Tuesday, July 10, 2018

කැඩෙන්න කැඩෙන්න මුවහත් වූ යුගෝස්ලෝවියානු පාපන්දුව ......

යුගොස්ලෝවියාව ..... ? මේ රට ගැන ඔබ සමහරවිට අසා නැතුවත් ඇති. නමුත් 1976 දී කුඩා දරුවන්ව සිටි අප හට යුගොස්ලෝවියාව අමතක නොවන මතකයක් ඉතිරි කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුනු පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව නිසාය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති එකී සමුළුව අළලා බොහෝ පුවත් මෙන්ම කට කතාද නිෂ්පාදනය වූයේ හතු පිපෙන ගානටය. ඒ වනවිට වැන්දඹුවකව සිටි ඇයට යුගෝස්ලෝවියා අගමැති මාෂල් ටිටෝ සහ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූගේ නම් පටබැඳ නිර්මාණය වූ කතා එවකට එක්සත් ජාතික පාක්ෂිකයන් පවසා සිටියේ ඇසින් දුටු ගානටය. සියළු පුවත් රේඩියෝ සහ ප්‍රවෘත්ති පත්‍ර වලට සීමා වූ යුගයක, සංවෘත්ත ආර්ථිකයක් පැවති යුගයක, ලෝකය ගැන අල්ප දැනුමක් සාමාන්‍ය ජනතාව තුළ පැවති යුගයක මෙවැනි කටකතා වලට අත්තටු ලැබුණු එක පුදුම වන්නට කාරණයක් නොවීය. මේවායේ සත්‍ය - සත්‍ය අප දන්නේ නැත. නමුත් මේවා පිලිබඳ පුවත්, පත්‍ර මාර්ගයෙන් අප කියවුයේ විශ්මයකිනි. එකළ මගේ සිතේ වඩාත් පැලපදියම් වුයේ මේ එක්-එක් රටවල කොඩි පිලිබඳ මතකයන්ය. කුඩා දරුවාන් වූ අපගේ සාකච්ඡාවට බඳුන් වුයේ, ඒ සඳහා පැමිණි කාර් රථ, ඒ රටවල කොඩි, අගනගර, අගමැතිවරුන්ගේ නම් ආදියය. නමුත් අපේ ගම් වල වැඩිහිටියෝ මේ සමුළුව හැඳින්වුයේ කාපිරි මගුල කියාය. ඒ කළු සම සහිත රටවල නාකයන්ගේ පින්තූර දැකීමෙන්ම ඇති වූ අප්‍රසාදය නිසාද යන්න සැක සහිතය. කෙසේ වෙතත් යුගොස්ලෝවියාව යනු තවත් ඉතිහාසයට පමණක් ඉතිරි වූ රටකි. මා කළින් සඳහන් කළ කාළයේ නම් එය සෞභාග්‍යයෙන් පිරි රටක් වන්නට ඇත. නමුත් ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නොවේ යනම් කියමන තවත් වරක් සනාථ කරමින් ශක්තිමත් කොමියුනිස්ට් රාජ්‍යය කෑලි-කෑලි වලට කැඩී යන්නේ අප යෞවනය පසු කරමින් සිටි අනූව දශකයේ මුල් භාගයේය.

යුගොස්ලෝවියාවේ දේශපාලන තතු කෙසේ වෙතත්, පාපන්දු ක්‍රීඩාවට ඉහළ දක්ෂතාවක් දැක්වූ, 1930 දී පැවැත්වූ ආරම්භක ලෝක කුසලානයට ක්‍රීඩා කළ රටවල් අතරට එක් වුවා පමණක් නොව, පාපන්දු ලොව කිරුළු පලන් රජ වරු වූ බ්‍රසීලය පරදා පළමු තරගය ජය ගන්නටද සමත් විය. ඒ ලකුණු 2-1 වශයෙනි. එපමණක් නොව එකළ ලෝකය යුගොස්ලෝවියාව හඳුන්වනු ලැබූයේ යුරෝපයේ බ්‍රසීලය ලෙසය. එම වැකියෙන්ම පමණක් ඔවුන් කෙතරම් දක්ෂ පාපන්දු කණ්ඩායමක්ද යන්න පැහැදිලි වෙයි. 1930 කාලයේදී මේ තරග සඳහා ගමන් බිමන් සිදු වූයේ නැව් මාර්ගයෙන් බවද සිහිපත් කළ යුතුය. එකළ මෙකී කණ්ඩායමකට සහභාගී වන්නන් අතීතයේ ශ්‍රී පාද වන්දනා කරන්නට යන සුපින්වතුන් මෙන් තම දේපළ උරුමක්කාරයින්ට ලියා යන්නට ඇතැයිද කාට හෝ සිතුනහොත් එය පුදුමයක් නොවේ. එවන් පරිසරයක මෙවැනි තරගාවලීන් ආරම්භ කළ පුරෝගාමීන්ට පාපන්දු ලෝලී අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. විකිපීඩියා ආශ්‍රයෙන් එම මුල් පාපන්දු කණ්ඩායමේ ඡායාරුපයක් ලබා ගන්නට හැකි වීම සතුටට කරුණකි. 
පින්තූරය ගත්තේwww.wikipedia.org වෙතිනි.
මෙම කණ්ඩායම ලෝක 1930 ලෝක කුසලානය අවසන් කරන්නේ සිවුවන ස්ථානය හිමි කර ගනිමිනි. මෙයට අමතරව 1948 සහ 1952 ඔලිම්පික් තරගාවලීන්හීදී රිදීපදක්කම්වලටද යුගොස්ලෝවියාව හිමිකම් ලැබීම ඔවුන්ගේ දක්ෂතා මනාව ප්‍රකට කරන සාධක වෙයි.අවසන් වරට ඔවුන් යුගෝස්ලෝවියා නාමයෙන් පාපන්දු ලෝක කුසලානයකට පිවිසෙන්නේ 1998 වර්ෂයේදීය. යුගෝස්ලෝවියා නාමය රැගෙන යන රට ලෙස ඇද පිළිගන්නේ සර්බියාවයි.
මේතරම් විස්තරයක් යුගොස්ලෝවියාව  ගැන සටහන් කළේ මන්දැයි මෙය කියවන ඔබට සිතෙනු ඇත. මේ මාතෘකාව තෝරා ගැනීමේදී පවා, ඉන් කැඩී ආ කණ්ඩායම් අද දක්වන දක්ෂතාවන් අනුව, අතීතයේදී ඔවුන්ගේ මුතුන් මිත්තන් කෙතරම් දක්ෂතා දක්වන්නට ඇතිද යන්න යන කුකුස ඒ සඳහා පාදක වන්නේය. තවද මෙය කියවන බොහෝ දෙනෙකු  මේ  රට ගැන අසා නැතිවාට සැක නැත.

මා කලින් පැවසු පරිදි අතීතයේ සෞභාග්‍යමත්කොමියුනිස්ට් රාජ්‍යයක්(බෙදී වෙන් වන්නට කළින් ඒක පුද්ගල ආදායම ලෝකයේ 59 වැනි තැනට හිමිකම් කීවේය. එය ඩොලර් 5040ක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය සඳහන් කරයි). එය එකළ හඳුන්වා තිබු ණේ යුගෝස්ලෝවියානු සමාජවාදී ෆෙඩරල් ජනරජය ලෙසය. මෙහි ෆෙඩරල් යන වචනය සඳහන්ව තිබීමම එය පසුව බෙදුණු පොකුරු රාජ්‍යයන් සමුහයක් වීමට හේතු වුවාදැයි සැක මතුවේ. මේ දේශපාලනයට වඩාත් උචිත වැකි කිහිපය සටහන් කිරීමේ හේතුව ක්‍රීඩාවන් වඩා හොඳින් සිදු වීමට රටක දේශපාලන ස්ථාවරය මෙන්ම සවිමත් ආර්ථිකයද පිටුවහල් වන බව අද ලෝකයේ දියුණු ක්‍රීඩා කරන රටවල් දෙස බැලීමේදී පැහැදිලි වන නිසාය.

පහතින් දැක්වෙන රුපයේ එය බෙදී යාම ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. අද එය වෙන් විය හැකි කුඩාම ඒකක දක්වා වෙන් වී හමාරය. එයින් බෙදුණු රාජ්‍යයන් එකක් වත් ලැබූ දියුණුවක් වේදැයි යන්න විමසා බැලීමෙන් පැහැදිලි වෙයි. නමුත් ආශ්චර්යයක් මෙන් මෙසේ බිඳුණු යුගෝස්ලෝවියා රටවල සියල්ලම පාහේ සවිමත් පාපන්දු කණ්ඩායම් කිහිපයකට හිමිකම් කියයි. එය මා ඉහතින් සටහන් කළ වැකිය බොරු කරවන්නෙකැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එය ක්‍රීඩාව පිලිබඳ ඇති නොනිත් ආශාව නිසා ආ ගමනක් බව පැහැදිලිය. මේ කැඩුණු රාජ්‍යයන් යුරෝපීය රටවල් වීම වාසනාවක් වන්නට ඇත.

මෙහි වර්ණ ගන්වා ඇත්තේ කැඩුණු යුගොස්ලෝවියාවේ රටවල් කිහිපයය. නිල් පාටින් ස්ලෝවේනියාව, කහ පාටින් ක්‍රොයේෂියාව, කොළ පාටින් බොස්නියා සහ හර්සගොවිනාව, රෝස පහන් සර්බියාව සහ දම් පාටින් මැසිඩෝනියාවද පෙන්නුම් කරයි. නමුත් මේ රටවල් බිඳී යාම සබන් බුබුළු පිපෙන්නා සේ දිස් වන කදිම පින්තූරයක් පහතින් දැක්වේ.
පින්තූරය ගත්තේ www.wikipedia.org වෙතිනි.
මේ පින්තූරය දෙස සෑහෙන වෙලාවක් බලාසිටියත් එය කෙතරම් කොටස් ගණනකට කැඩෙනවාදැයි නිනව්වක් ඇති නොවේ. එය අපේ රටේ සංගීත කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂ බිඳෙන ආකාරයක් සිහි ගන්වයි. නමුත් මගේ මාතෘකාව දෙස යලිත් බලන්න ඔවුන්ගේ පාපන්දු කුසලතාව බිඳින්නට කිසිවකුට හැකි වී නැත. රටක් ලෝස නොබීඳීී යුගොස්ලෝවියාව අදත් පැවතියේ නම්, ඔවුන් යුරෝපා හෝ ලෝක කුසලානය දිනා ගනු ඇත. එය බිඳී ගිය රටවල් වල අද ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පැහැදිලි වනු ඇත. ක්‍රොයේෂියාව 2018 මේ වනවිටත් අඩුම තරමින් එහි සිවුවන ස්ථානයට උරුමකම් කියයි.
 
 
රට
ශ්‍රේණිගත කිරීම
ක්‍රොඒෂියාව
20
සර්බියාව  
34
බොස්නියා සහ හර්සගොවිනා
40
මොන්ටනීග්‍රෝ
43
ස්ලෝවේනිය
51
මැසිඩෝනියාව
71
කොසොවෝ
141

මෙහි සර්බියාව, මොන්ටනීග්‍රෝ, කොසොවෝ ලෙස රටවල් තුනක් ලෙස පාපන්දු ක්‍රීඩා කරතත් ඔවුන් අයත් වන්නේ සර්බියවටයි. බෙදී යත්දී මේ බොහෝ රටලවල් ශ්‍රේණිගත වන්නේ 150 රේඛාවේය. එය එකළ ශ්‍රී ලංකාව පැවති ස්ථානයයි. නමුත් ඔවුන්ට නියමිත තැනට වේගයෙන් ඔවුන් ගමන් කොට ඇත. ක්‍රොයේෂියාව 1998 දී සිවුවැනි තැනට පත් වන්නේ ලෝක කුසලානයේ සිවුවන ස්ථානයද හිමි කර ගනිමිනි. මෙවරද යලිත් ඔවුන් හැකියා පරිපූර්ණ කණ්ඩායමක් බව පෙන්වා ඇත. මේ අහිංසක ජාතිය ලෝක කුසලානය මෙවර දිනා ගන්නවා නම් මා පුද්ගලිකව ඉතා කැමතිය. මන්ද ඔවුන්ගේ කණ්ඩායම ඇහින්දාස් කණ්ඩායමක් නොවන නිසාය.

අප අමතක නොකළ යුතු කාරණය, ඔවුන් දස්කම් දක්වන්නේ පාපන්දු ක්‍රීඩාවට පමණක් නොවන බවය. ඔවුන් මළල ක්‍රීඩා වලටද ඉදිරිපත් වන රටවල්ය. නොවැක් ජොකොවික් ලෝක පූජිත් ටෙනිස් ක්‍රීඩකයා සර්බියානු ජාතිකයෙක් බවද මෙහිලා සිහිපත් කලයුතුය. මෙම රටවල් සියල්ල එක ගොන්නකට දමා කණ්ඩායම් බිහිකර ලෝකයේ රටවල් සමග ක්‍රීඩා කිරීමට යෙදෙව්වා නම් ඔවුන් කෙතරම් ඉහලකට ගමන් කරනු ඇතිද ? ඔවුන්ගේ වෙන් වීම අවාසනාවන්තම වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට බව මගේ විස්වාසයයි.

10 comments :

  1. ෆෙඩරල් .. අම්බෝ.. මයිල් කෙලින් වෙනෝ හිටං..
    ක්‍රොඒෂියාවට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මුල ඉඳලා ෆෙඩරල් රාජ්‍යයක් විදියට තිබුණ නිසා තමයි ඒක කැඩෙන්න හේතු වෙලා තියෙන්නෙත්. අපිට වගේ උන්ට කියන්න බෑනේ, "බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්" කියළා. ඇත්තටම ක්‍රොයේෂියාව දිනනවානම් හොඳයි. නමුත් මගේ විශ්වාසෙ එංගලන්තේ මේ පාර අනිත් කෙලවරට එයි කියළා. මේ වෙනකොට ප්‍රංශේ එක කෙළවරකට ආවා.

      Delete
  2. බොස්නියා සහ හර්ස්ගවිනා කියලා රටක් අද තියනව ද ? මට මතක විදිහට ඒකත් කැඩුනද කොහෙද ?

    ලංකාවේ තත්ත්වය කොහොමද? කිවෙනි තැනද ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. පාපන්දු වලදී නම් වෙන් වෙලා තමයි ක්‍රීඩා කරන්නේ. දේශපාලන වශෙයෙන් තවම එකට ඉන්නවා මම හිතන විදියට.

      ලංකාව 150 වගේ හිටියේ, ඒත් මෑතකදී ලැබුණු පරාජයන් එක්ක 200 ට ගිහිං. අපි එක්කම පාකිස්තානෙත් එතැනට ගිහිං. නමුත් ඉන්දියාව ෆුට්බෝල් ලීග් එකකින් තමන්ගේ රටේ තත්වය ඉහළ දාගත්තා. දැන් 75ට ගිහිං. සමහරවිට තව අවුරුදු 16ක් විතර යත්දී ඉන්දියාව අන්තිම 32ට එන්න පුළුවන්.

      Delete
    2. බොස්නියා කියල නේද දැන් හදුන්වන්නේ

      Delete
    3. ඔව් බොස්නියා කියන තනි වචනයෙන් තමයි රට හඳුන්වන්නේ, ඒ වගේම පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කරන්නෙත්.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  4. https://janeelaya.blogspot.com/2018/07/BreakupofYugoslavia.html

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නට එකම රට ගැන දෙවිදියකට එකම වෙලාවේ හිතුණු එක පුදුමයක්. යුගොස්ලෝවියාවේ දේශපාලිනික වෙන් වීම ගැන කාට හරි අදහසක් ගන්න ඕනේ නම් මෙන්න මේ ලිපිය කියවන්න්.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 33 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...