Thursday, November 12, 2020

සඳෙන් එහා කඳු මුදුන් නිවී ......

 මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන සඳෙන් එහා කඳු මුදුන් නිවී - හිමවු තලාවේ තුෂාරයේ, කියන ගීත කණ්ඩය ඇසෙන හැම මොහොතකම මගේ හිතේ මැවෙන එක්තරා චිත්තරූපයක් තියෙනවා. මේකට පසුබිම සැකසෙන්නේ අපේ ගමේ, ඒ කියන්නේ බෙන්තොට (බෙන්තර) ගාමිණී  විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ තිබුණු සංගීත ප්‍රසංගයකදී ඔය කිවුව ගීතය මට අහන්න ලැබුණු දා පටන්. නමුත් මේකට සමගාමීව තවත් දෙයක් සිදු වුණා. ඒ නිසාමයි අදටත් මේ ගීතය ඇහෙන වෙලාවට ඒ දසුන විදිල්ලක් වගේ මතු වෙන්නේ. 

මගේ මතකය නිවැරදි නම් මම තුන්වැනි ශ්‍රේණියේ විතර ඉන්න කාලයේ මේක් වුණේ. ඔව් ! ඔබේ හිතට ආව ප්‍රශ්නය මට තේරුණා. මොකක්ද මේ ශ්‍රේණිය. ඒ කාලයේ එහෙම තමයි තිබුණේ. හරියටම ගත්තොත් දැන් හතර වසර වගේ. ඒ කතාව පැත්තකින් තියමු. මේ ප්‍රසංගය තිබුණේ සිකුරාදා දිනක. ඒ කාලයේ ටීවී එකක්වත් ගෙදර නැති එකේ, මේ වගේ දෙයක් ගමේ තියෙනවා කිවුවම, ගමේ අය විතරක් නෙවෙයි, අහල ගං හතක(හතක කියළා කතාවට කිවුවට අටක් අපේ ගම් පද්දතියේ තියෙනවා. අපේ තාත්තා දිව මතුරක් වගේ කියාගෙන යන බෙන්තර, ඉඳුරුව, පහළගම් හය. හැබැයි මේ හය මොනවද කියන්න නම් මම දන්නේ නෑ. අපේ තාත්තා තදින්ම දේශපාලන වැඩ කටයුතු කරපු නිසා. ඒවා දිග කතා මෙතන ලියන්න ගියොත් තවත් පඳුරු තැලිල්ලක් වෙනවා)  උදවිය එක්කාසු වෙනවා. මමත් බොහොම අමාරුවෙන් මෙතනට ගියා. කා එක්කද ගියේ කියලා නම් මතක නැතුවට, මේ සඳහා අනුග්‍රහය දැක්වුවේ ලොතරැයි මණ්ඩලය බවනම් මට හොඳහැටි මතකයි. මේ වෙනකොට මගේ ප්‍රියතම ගායකයින් වෙලා තිබුණේ සිසිර සේනාරත්න මහත්මයා සහ පුන්සිරි සොයිසා මහත්මයා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනික් අයගේ ගීත වළට අකමැති බවක්. මට ඕනෑම ගායනයක් රස විඳින්න පුළුවන්. ඒ කාලයේ මගේ කටේම තිබුණ සිංදු දෙක තමයි නීල ජලාසේ රඟනා හංස කුමරී සහ පුන් සඳින් රැස් ගං තෙරින්.

සිකුරාදා ඔය ප්‍රසංගය කීයට ඉවර වුණත් 10:00 විතර වෙත්දී මම ගෙදර. අඩි රූල(ඉස්සර තිබුනේ ලී අඩි රූල්. මම ඕක විවිධ දේවල් සඳහා පාවිච්චි කළා. කරන්නම දෙයක් නැති කොට, එක කෙළවරක මැදින් හිලක් විදලා, නුලක ගැට ගහලා, ගිනිබෝල කරකවනවා වගේ හයියෙන් කරකවනවා. එතකොට ඌම් - ඌම් කියළා සද්දයක් එනවා) අරන් සින්වේතටික්වැල් පුටුවට රිද්මයකට ගහන ගමන්, සඳෙන් එහා කඳු මුදුන් නිවී කියන කොටස රාව ප්‍රතිරාව කළා. වැඩි වෙලාවක් එහෙම නොකළේ අම්මා සුපුරුදු දේශනාව පටන් ගත්ත නිසා. මම කීයට නින්දට වැටුනද කියලා මතක නෑ. උදේ 7:00 ට විතර ඇහැරෙනකොටත් අර සින්දුව කණේ අලවලා වගේ. ඒ කාලයේ මුළු ගීතයම හොයාගන්න සෑහෙන දුකක් විඳින්න වෙනවා. මොකද කැසට් රෙකෝඩර් තිබුණෙත් කළාතුරකින් තැනක. ආයේ රේඩියෝ එකේ යනකං ඉන්න වෙනවා මුළු සින්දුව හොයාගෙන පාඩම් කරන්න. හැබැයි අපේ ඉස්සරහා ගෙදර මහින්දලාට පිං සිද්ද වෙන්න කැසට් පිටින් සින්දු අහන්න අපිට චෑන්ස් එකක් වැදුනා. ඒ රට(ස්විස්) මහින්දලාගේ අක්කා එවපු කැසට් රෙකෝඩර් එකේ, එක කැසට් පීස් එකක් කැඩෙනකම්ම එක දිගට දානව. එතකොට දවසකට කොහොමත් හත් අට වතාවක් එකම සිංදුවක් අහන්න ලැබෙනවා. එහෙම වුණාම, නිකම්ම සිංදුව කට පාඩම්. ඔය නිසා මට මිල්ටන් මල්ලවාරච්චි, එච්.ආර්. ජෝතිපලා, ෆ්‍රෙඩි සිල්වා වගේ ඒ කාළයේ ප්‍රසිද්ධ බොහෝ දෙනාගේ ගීත කටපාඩම්. මම ඒවා කියද්දී අපේ තාත්තා උරණ වෙනවා. අර බීඩි උරණ රස්තියාදුකාරයාගේ සිංදුද තමුසේ පාඩම් කරන්නේ. අර අමරදේව මහත්තයා කොයි තරං ලස්සන සිංදු කියළා තියෙනවද ? එයින් එකක් කට පාඩම් කර ගන්නවා.   

ඔය කාළෙම අපේ හිත් පිනවපු අනෙක් දේ තමයි චිත්‍රකතා. ඉස්සර, මම නම මතක නැති වුණත් පන්සලේ සාමනේර නමගෙන් තමයි පත්තරේ ඉල්ල ගන්නේ. ඒකත් ඉතිං මගේ තනි උවමනාවටම නෙවෙයි. අපේ අක්කා, චූටි අක්කා(ලොකු අම්මගේ දුව) සහ ගෙදරට යන-එන අනෙක් අයගේ හිත සුව පිනිස. අපි බොහොම සහයෝගයෙන් පත්තරේ බෙදාගෙන බළන්නේ. මං වැඩියෙන්ම කැමති ටෝගා චිත්‍රකතාවට. ඒ වුණත් මගේ වයසේ බොහෝදෙනෙක් කැමති වුණේ යුනිකෝට. මොකද යුනිකෝගේ ඇස්දෙක ලස්සන තහඩු පටියකින් ආවරණය කරළා තිබුණ නිසා ඔහුට එක්කාසු වෙලා තිබුණ අමුතු පෙනුමට. හැබැයි ඒකම නෙවෙයි කාරණය. යුනිකෝ වැඩ්ඩා නිසා. අනික ස්කිනිය, ෂෝට ගහලා, අර කලින් කිවුව සන්ග්ලාස් වගේ ඇස් ආවරණයත් එක්ක තිබුණ් හැන්ඩි පෙනුමට. ඒකට ටෝගා, උඩට මුකුත්ම නැතුව කොටි හමකින් හරියට මදින මාමලා අඳිනවා වගේ කොට සායක් වගේ එකක් තමයි මිනිහා ඇඳන් හිටියේ.

වෙනදත් එදා වගේම උදේ 11:00 වෙත්දී පත්තරේ මගේ අතේ. පන්සලේ ලොකු හිමිනම බොහොම සැරයි. ඒ සෝමසිරි හාමුදුරුවෝ. පණ්ඩිත හිමිනමක්. අහළ ගං හතක මිනිස්සු භයයි. අපි පන්සල පැත්තේ යන්නෙත් භයෙන්. සියඹලා, අඹ ගස්‍ යට වැටුණත් අහුලන්නවත් කෙනෙක් හිතට දෛරයක් ගන්නේ නෑ, මොකද සෝමසිරි හාමුදුරුවන්ගේ ඇස ගැටුනොත් වෙනම ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙන නිසා. ඉතිං හිතන්නකෝ අවුරුදු 10ක විතර කොලුවෙක් මේ හාමුදුරුවන්ගේ තියුණු ඇස් වලට වැලි ගහලා චිත්‍රකතා පත්තරයක් ඉල්ලන් එන්නේ කොහොමද කියළා. මම කළේ දළදා මාලිගාවේ ආකෘතියට හදලා තියෙන පන්සලේ  අලුත් බුදුගෙය පිටුපස්සෙන් ගිහින් එතැන තියෙන පුංචි ලඳු කැලෑව වගේ කොටස පහුකරගෙන පහළ ධර්ම ශාලාව පිටුපසට සේන්දු වෙන එක. (ඒ බුදුගෙය තියෙන්සානේ අංශක හතලිස්ම පහකට වගේ ආනතියකින්නේ නැගගෙන යන්රන තියෙන පාරේ කෙළවර. ඉතිං ඒ පාරේ කෙලවරට ආවා කියන්නේ අර බුදුගෙය ඉදිරිපිට).  හාමුදුරුවන්ගේ කුටිය තිබුණෙත් මේ කොටසේ. ඉතිං පත්තරය අතට ගත්තට පස්සේ මිටින් මුදා හැරපු කුරුල්ලෙක් වගේ මම ගෙදර දුවගෙන එනවා.  මම එනකොට මේ සංසදයේ අනික් සාමාජිකයෝ තවමත් වැඩ නිම නොකරපු අපේ ගෙදර ඉදිරිපස කාමරයේ තියෙන පුටු බංකු වල සහ ජනෙල් පඩි වල වාඩි වෙලා හිටියේ විසේෂඥ වෛද්‍ය කෙනෙකුගේ කාමරය අසල ගැවසෙන රෝගීන් පිරිසක් වගේ. ඇත්තටම මේ පත්තර කියවිල්ල රෝගයක්. එහෙම කිවුවේ ඔය කියපු බෙන්තර සෝමසිරි ස්වාමීන් වහන්සේ මා අරභයා. ඒ වගත් මෙසේය.

අපේ ඉස්සරහ ගෙදර බොහොම පැරණි එකක්. වරිච්චි බිත්ති වලින් හදලා කපරාරු කරපු, වහලට සිංහල උළු පල හතරට හෙවිල්ලපු තරමක විශාල ගෙයක්. ඒ වගේම මේ ආකෘතියේ ගෙවල් වලට ගෙට පිටුපසින් වෙනම මුළුතැන් ගෙයක් සහ ගෙට ඈතින් වැසිකිලියක් තිබුණා. මේ ගේ සමර පින්තාරු කරපු එකක්. බිත්තියක් අඩි දෙකක් විතර ඝනකමට බන්දලා තිබුණේ. ඉස්සරහ ඉස්තෝප්පුවේ පැත්තෙන් භාගෙට තියෙන කෙටි බිත්තියේ කෙනෙකුට නිදා ගන්න පුළුවන්. මේක අයිති වෙලා තිබුණේ තාත්තලාගේ මහ ගෙදර ආසන්නයේ තියෙන ගුණසේකර වලව්වේ අයට. නමුත් එයාලා මේ ගෙදර පදිංචි වුණේ නෑ. බොහෝ කාළ වල මේ ගෙදර කුලී නිවැසියන් තමයි වාසය කළේ. මේ ගෙවල් වලට එන බොහෝ දෙනෙක් අපිත් එක්ක කුළුපග වුණා. මේ කාළයේ මේ ගෙදර හිටියේ කොපරේටිවූ එකේ කළමනාකාරිණිය වශයෙන් සේවය කරපු හැරියට් ඇන්ටි. එයාගේ පුතාම එයාට විහිළුවට කියන්නේ හැරියට් ටී. ජයසේකර කියළා. මගේ මතකය නිවැරදි නම් ඒ නම විරිදු ගායිකාවකගේ ඒ කාළයේ නිතර රේඩියෝවෙන් ඇහුන නමක්. මේ ගෙදර අයගේ වයෝවෘද්ධ දෙමාපියන්  මියපරලොව ගියෙත් මේ නිවසේදී, ඔය අවස්ථා දෙකෙන් එකකදී තිබුණ මතක බණ අහන්න අපිත් ගියා. මම හිටියේ පිටුපසටම වෙන්න. මගේ සාක්කුවේ මොනවා හරි ඔතාගෙන ආපු චිත්‍රකතා පත්තර පිටුවක් තිබුණා. බණ අතරතුර තියෙන ඉන්ටෝල් එකේදී මම පැට්‍රොමැක්ස් දෙකකින් ඒකාලෝක කරපු එම නිවසේ සාලයේ කෙළවරක ඉඳන් අර අහුලාගත්ත පත්තර කෑල්ල කියවන්න ගත්තා. ඒ තරමටම මේ පත්තර උණ වැළඳිලා හිටියේ. සෝමසිරි හාමුදුරුවන්ගේ උකුසු ඇස් මා වෙත යොමු වෙලා තිබුණා කියළා මට වගක් වුණේ නෑ. දෙවෙනි කොටස ආරම්භ කරන්න කළින්, හාමුදුරුවෝ බණ කියන්න ගත්තේ මා අරභයා. 

"දැන් බොහොම දෙනෙක් චිත්‍රකතා පත්තර කියවන්න ඇබ්බැහි වෙලා.  මේ කන්නන්ගර ඉස්කෝලේ මහත්තයාගේ ළමයත් දැන් මෙතැන චිත්‍රකතා පත්තර කෑල්ලක් කියවනවා මම දැක්කා. ඒ වගේම අපේ සාමනේර නමගෙන් පත්තර ඉල්ලා ගන්න පන්සලට එනවා කියලත් මම දන්නවා. වහාම ඔය වැඩ දෙකම නවත්වන්න ඕනේ. අපි දන්න කෙනෙක් ඔය ඇබ්බැහි වීමක් නිසා ජීවිතය කාලකන්නි කර ගත්තා"

අපේ අම්මටයි-තාත්තටයි මේ ප්‍රකාශය සෑහෙන කාළයකට ඇති වුණා මට උපදෙස් දෙන්න. නිතරම සෝමසිරි හාමුදුරුවන් පැවසු පරිදි තමයි මට අවවාද උපදේශ ආවේ. ඔය කිවුවා කියළා චිත්‍රකතා කියවන එක මම නැවැත්තුවේ නෑ. මගේ පන්තියේ මිල්රෝයි කියළා යාලුවෙක් හිටියා. මිනියා පන්තියේ කියවීමට දුර්වලයි. හැමදාම රත්නසේන සර්ගෙන් බැනුම් අහනවා. ඉතිං මේ ගැන මමත් හිටියේ දුකෙන්. මම දවසක් තිලකා ඇන්ටි(මිල්රෝයිගේ මවට) මේ ගැන කිවුවා. මම ඒ එක්කම යෝජනාවකුත් කළා. සිත්තර වගේ පත්තරයක් ගත්තනම් කියවන්න උණන්දුව වැඩි වෙයි කියළා. ඉතිං තිලකා ඇන්ටිත් පත්තරේ බලන්න කැමති කෙනෙක් නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කළා. පුදුමයකි ! සති කිහිපයකින් මිල්රෝයි යස අගේට සිංහල කියවීම කරන්න පටන් ගත්තා. මට පුදුම සතුටුයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම ඇල්ලුවා නේද ? කියළා. 

ඔන්න ඔහොමයි අපි ටෝගා

පින්තුරය ගත්තේ නන්ද වන්නිනායකගේ
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකෙන්

-යුනිකෝ-ඉතිං ඊට පස්සේ බැලුවේ. ඒවායෙන් අපි නරක් වීම කොයි හැටි වෙතත් කල්පනා කිරීමේ ශක්තිය වර්ධනය වුණා කියලයි මගේ විශ්වාසය. ඉතිං මේ කියපු ටෝගා චිත්‍ර කතාවේ එකතැනක තිබුණා, ටෝගා වාසය කරන ඝන වනාන්තරයේ කඳු පන්තියක් උඩින් ගුවන් යානයක් යනවා ටෝගා බලාගෙන ඉන්නවා. ඉතිං අර සඳෙන් එහා කදු මුදුන් නිවී කියනොට මට ඔය චිත්ත රූපය මැවෙනවා. මොකද ටෝගා කතාවේ වෙලාවකට ඩයිනෝසරයන් පවා හිටියා. ඒ වගේ සතුන් හිටි කාළය වෙනකොට රයිට් සහෝදරයෝ ලොවෙත් නැති නිසා ප්ලේන් එකක් කීයටවත් තියෙන්න විදියක් නෑ. එක්කෝ මේක ඇඳපු සිංහට වැරදුණා. අපි පංතියේ සෙට් එක නිතරම මේ ගැන කථා වුණා. සමහරු යෝජනා කළා මට ටෝගා අත ඇරලා යුනිකෝ තෝරා ගන්න. නමුත් මම කැමති වුණේ නෑ. තවත් කෙනෙකුගේ අදහස වුණේ, අනික් පිටුවේ තියෙන කාටුන් එකේ තියෙන ප්ලේන් එකක් මගේ වැඩි උනන්දුව නිසා ටෝගා එකට ඈඳාගෙන කියළා. මේ කියවන ඔබටත් හිතෙයි මේක තමයි වෙන්න ඇත්තේ කියළා. නමුත් මට අද වගේ මතකයි මේක මෙහෙම තිබුණා කියළා. අපේ පංතියේ තමරංගට යුනිකෝව ඒ විදියටම අඳින්න පුළුවන් කම තිබුණා. අපි හැමෝටම ඒ තරම් හොඳට අඳින්න බෑ. 

දැන් කාලේ පොඩි එවුන්ට මොනතරම් දේවල් තිබුණත්, මේ චිත්‍රකතා බලලා ඒවා ප්‍රතිනිර්මාණය කරන්න අපි පොඩි පොඩි කැලෑ වල පුංචි යුද්ධ කරපු අත්දැකීම විඳින්න වාසනාව නෑ කියලත් කියන්නම ඕනේ. 


32 comments:

  1. චිත්‍ර කතානම් මැරෙණකම්ම ආසාවෙන් ආවර්ජනය කරන්න පුළුවන් දෙයක්.. ටෝගා, යුනිකෝ, ප්‍රාග්..

    මට මතකයි යුනිකෝ එක පාරක් ගියා අහසෙ තියන අත්භූත පාවෙන දිවයිනක් වගේ එකකට..ඒළියක් දිගේ තමා උඩට යන්න තිබුනේ..

    ඉස්සර මධුර පත්තරේ තිබුනා මතකද සැඟවුන මූණක් හොයන තරගයක්..පත්තරේ කතාවක් අස්සෙ සීරුමාරුවට ඒ මූණ හඟලා තිබුනා.. හොයලා යවන්න ඕනා තැපැල් පතක අලවලා...

    සුදීකට කියන්න ඉස්සර කරාටේ සහ හුළං කියවනකොට, ඊළඟ සතිය වෙනකම් ඉන්න බැරි නොයිවසිල්ල නිසා මම හිතුවා පත්තරේ වීදුරුවක් හයි කරපු ප්ලාස්ටික් එකකින් වගේ ඇවිල්ලා මුළු කතාවම ආයෙ ආයෙ බලන්න පුළුවන් විදිහක් තිබුනනම් හොඳයි කියලා.. අද ඒක එක විදිහකින් සැබෑ වෙලා (youtube) ඒත් තීන්ත සුවඳ ගහන පත්තරෙන් ලබපු ආස්වාදය වෙන කිසිම දේකින් ලබන්න බෑ.. අනිත් එක අපි ඒකාලෙ පත්තරේ බලලා ලබපු වින්දනය දැන් ලබන්නත් බෑ. දෙතුන් පාරක් අලුතෙන් ආපු චිත්‍ර කතා ප්ත්තර ගත්තා බලන්න කියලා ඒත් ඒ ආස්වාදය, උනන්දුව නෑ....

    ReplyDelete
    Replies
    1. සෙන්නා. මුලින්ම දුකෙන් වුණත් කියන්න ඕනේ, සෙන්න විතරයි බ්ලොග් ස්පේස් එකේ තනියම ඉතුරු වෙලා ඉන්නේ. හැම කෙනෙක්ම බුකියට පැන්නා. හරියට ටී.වී. ආවම ටෙලිනාට්‍ය රඟපාන්න ආවා වගේ. මට යුනිකෝ එකේ දෙබස් හොඳට කට පාඩම්. "ෂාහ්... හොඳටම නින්ද ගියා.... බොන්න ඕනේ වතුර ටිකක්. ස්ටීල් උඹටත් තිබහද ? ග්ලබ් ග්ලබ් ග්ලබ් .... ක්‍රෑ ... ක්‍රෑ .... ක්‍රෑ ... කුරුල්ලෙක් නේද ? ඇඟටමයි එන්නේ. වරෙන්කෝ ... ඉඳා කාලා වරෙන් .. ආහ් ... ඒ පාර වැරදුනා .. වරෙන් මේ පාර .. ඉඳා .. ක්‍රෑ...හ් ක්‍රීහ් .... කෲහ්....."
      මතකද හුලං නිතරම ප්ලේන්ටියක් ඉල්ලනවා ?

      Delete
    2. පුදුමයි ඒවා මතක හිටි එක. මට මතක යුනිකෝ මස් කෑල්ලක් බැද ගෙන කන් එක. අර කෝට්ටක ගහල. පිටරට ඇවිල්ල තමා වැඩේ අත්හදා බැලුවේ.
      ඔන්න සුදික මලේ අසාධාරන් කටහ්වක්. මම නම් දිගටම බ්ලොග් එකේ හිටිය. ඔයා දැක්කේ නැති වුනාට . ඔයා හිටි ගමන් අතුරුදහන් වෙලා ආවේ.

      Delete
    3. සුධීක, බ්ලොග් වල ස්ක්‍රීය අය තවම ඉන්නවා. ඒ ගොල්ලො මුහුණු පොතෙත් ඉන්නවද දන්නෙ නෑ.. මමත් ඉතින් දැන් කමෙන්ට් එකක් දානවට වැඩිය දෙයක් බ්ලොග් උදෙසා කරන්නෙ නෑ..

      Delete
    4. මෙහෙම තියෙන එකත් හොඳයි එක අතකට. කොපි කිරිල්ල නිසා බොහෝ දෙනෙක් යූ ටියුබ් පටන් අරං. ඉන්ස්ටග්‍රෑම් තමයි දැන් ට්‍රෙන්ඩ් එක. අජිත් මම දන්නවා ඔයාත් සෙන්නාත් ප්‍රසන්නත් නොවැරදීම බලන වග. කෝ මේ මෙන්ඩියා ?

      Delete
    5. කරුමෙට මට චිත්‍ර අඳින්න බෑ.. නැත්නම් මම බ්ලොග් එකෙන් සතිපතා යන චිත්‍ර කතාවක් පටන් ගන්නවා.. ඒකෙන් ආයෙ මාධ්‍ය‍ය දෙකම නග්ගලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා...

      Delete
    6. මට යම් මට්ටමකට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි වේගය මදියි. බොහොම හෙමිහිට. කොපි කරන්න හොඳට පුළුවන්.

      Delete
  2. චිත්‍ර කතා කි්‍යන්නෙ ඒ කාලෙ කවුරු උනත් ආසාවෙන් කියෝපු, බලපු එකක් වගට ඕනම කෙනෙක් සාක්ෂි දරයි. දැං පරම්පරාවට ඒ වගේ මාධ්‍යයක් නොලැබෙන එකනං කණගාටුවට කරුණක්.

    කාලයක් ශ්‍රේණි වසර උනාට දැන් ආයෙ තියෙන්නෙ ශ්‍රේණිම තමයි.

    අර උන්නාන්සෙනං ඕනනැති දේකට ඇඟිල්ල ගහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපිට ඒ කාලේ වෙන විකල්පයක් තිබුණේ නෑ ප්‍රසන්න. හැබැයි ඒ පත්තරත්, මේ පත්තරත් හැර තවත් පත්තර වර්ගයක් තිබුණා. ඒ සරණ පත්තරයි ස්වාමීනී. ටී වී ආවම චිත්‍රකතා වලට තිබුණ උණන්දුව අඩු වුණා.

      Delete
    2. සරණ පත්තර කියන්නෙ අර ඉස්කෝලෙ පිට්ටනිය වටේ තියෙන ගස් බෙන අස්සෙ හංගගෙන බලපුව වෙන්ටැ.

      Delete
    3. ඔව්. ඉස්සර ඕලෙවල් පන්තියේ ගණිත මිස්ට මාට්ටු වුණා. එයා කිවුවේ වැඩ නැති වෙලාවට බලන්න කියලා. අපිට ගණන් ටිකක් දීලා එයා බලන්න ගත්තා.

      Delete
  3. "වහාම ඔය වැඩ දෙකම නවත්වන්න ඕනේ. අපි දන්න කෙනෙක් ඔය ඇබ්බැහි වීමක් නිසා ජීවිතය කාලකන්නි කර ගත්තා"


    ඕක තමා වෙන්නේ සිවුරක් දාගත්තම සියල්ල දත් වෙනවා
    ඊට පස්සේ ඉතින් හැමදේම ගැනම උපදෙස් දෙන්න යනවා
    කන්න ඕනේ මොනවද, කියවන්න ඕනේ මොනවද, වියදං කරන්නෙ කොහොමද, අඳින්න ඕනේ කොහොමද, ගෑනු යටට අඳින්න ඕන මොනවද, කොටින්ම කිව්වොත් අර කරන්න කරන්නේ කොහොමද ගැන පවා උපදෙස් දෙනවා

    ReplyDelete
    Replies
    1. මගෙත් එක්ක ගේම ඉල්ලුවොත් අතිපණ්ඩිත වුණත් අත අරින්නේ නෑ. උන්නාන්සේට දෙන්න තියෙන උත්තරය තමයි පොතක කවරයකින් පොත ගැන පූර්ව නිගමන වලට එන්න එපා කියන එක.

      Delete
  4. අපෝ ඒ කාලේ මචෝ මතක් අක්රන්න් එපා. පුදුම ඇබ්බැහියක්. අපේ තාත්ත හෝ අම්ම කවදාවත් මුකුත් කියල නැහැ. මම චිත්‍රකතා පොතුත් ගත්ත එකෙක්. විදේයේ බණ්ඩාර , සඳ කුමරිය හෙම මතකද/ සතුට පත්තරේ, යුනිකො, ටෝගා, සරත්මධු ගේ , ජනක ගේ කතා. අපේ ළමා කාලය රසවත් වුනේ එවයිනේ නේ.
    මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොතේ මිල්ටන් ගේ ඔය ගීතය ගැන සඳහනක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා තමා පත්තරේ ගේන්නෙ..අපිට කවදාවත් චිත්‍රකතා තනමක් තිබුනෙ නෑ. අපි ඇඟිලි ගැන ගැන බලන් ඉන්නෙ පත්තරේ එනකම්.. මම ආසම නැති වැඩේ තමා කෑලි කඩන් කියවන් එක.. මට මුළු පත්තරේම අතේ තියන් එක් හුස්මට කියවලා ඉවර කරන්න ඕනා. ඒක නිකං භාවනාවක් වගේ..

      එතකොට කතා එකතු කරලා අපි වෙනම පොත් හැදුවා.. දයා රාජපක්ෂගෙ මුත්තයියා පාර මතකද? බොහොම ආසාවෙන් කියවපු කතාවක්..

      Delete
    2. / මුත්තයියා පාර// මේක මට එපමණ මතක නැහැ . ඇත්තටම අර පහල කියල තියනව වගේ ඒවා අපහු බලන්න තියනවා නම් හොඳයි . පොඩි නොස්ටල්ජියාවක් තිබෙනවා

      Delete
    3. අජිත් : ඒ කාලේ මේකට ඇබ්බැහි වෙනවා කියන්නේ කුඩු ගහනවා වගේ වරදක් වැඩිහිටියන්ට. විශේෂයෙන්ම අපේ ගුරු දෙමාපියන්ට. අපේ පන්තියේ ගුරුවරුන්ටත් මේක ආරංචි වෙලා මට අවවාද කළා. මගේ ගෙවල් මාරුවත් එක්ක පොත කොහේ හරි කෙළවරකට වෙලා. ඒකෙ තව පරිච්ඡේද කිහිපයක් ඉතුරුයි කියවන්න.
      සෙන්නා : අපිට එහෙම කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඉක්මනින් කියවා අවසන් කරළා රිටර්න් කරන වගකීමත් තිබුණේ මට. ඔය අතරේ බෙදා ගන්න ගිහිං වලි-ගිය, ඉරුණු අවස්ථාත් නැත්තේම නෑ.
      මුත්තයියා පාර මටත් මතක නෑ. හැබැයි දිනමිණේ දයා රාජපක්ෂගේ ආදර කොමා නම් මතකයි. ඒකට හේතුවක් තිබුණා. මට බාල මල්ලි අවුරුද්දක් දෙකක් වගේ වෙන බත් කන්න ගියාම මාළු කෝ කියළා අහන්නේ කොමා-කොමා කියළා. ඉතිං අපේ පුංචි අම්මලා එයාට කියන්නේ ආදර කොමා කියළා.

      Delete
  5. අර හාමුදුරුවො බණ කියද්දි "කන්නංගර ඉස්කෝලෙ මහත්තෙයගෙ පුතා" කියල හයිලයිට් කරල ප්‍රසිද්ධියෙම විවේචනය කරපු එක මට පේන්නෙ පට්ට බලු බවැඩක්. ළමයෙක්ගෙ පෞරුෂය බිංදුවට බස්සන්න පුළුවං වැඩක් ඒක. අනික ඊර්ෂයාව හරි හීනමානය හරි තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බලු හෝ නැතා. ඒ කාලේ එහෙමයි. ඒගොල්ලෝ කිවුවොත් කිවුවා. අපේ තාත්තාත් එයාගේ ගෝලයෙක් මට හිට්යේ.

      Delete
  6. යුනිකෝ මාත් අපේ අයියත් දෙන්නම කියවපු කතාවක්. අපේ ගෙදර දොරවල් දෙකේම පැස්ටල් වලින් අපි දෙන්නා ඇඳලා තිබුණා යුනිකෝ ව.

    ටෝගා පළවෙනි කතාවෙ තියෙන්නෙ ඇමරිකාවෙ වීදි සටන් කාරයෙක් කොහෙ හරි ගමනක් යන ගමං කැලෑ වැදිලා වනචාරී ක්‍රියාදාමවලට මැදි වෙන කතාවක්. ඒ අතින් ප්ලේන් එකක් තියෙන්න පුළුවන්. පසුකාලීන කතාවල හෝ, සිංහ ඇඳපු වෙන කතාවක තමා මට මතක හැටියට ඩයිනෝසෝරයො හිටියෙ.

    www.slcomics.wordpress.com කියල සයිට් එකක් තිබුණා එය හැම පරණ චිත්‍රකතාවක්ම වගේ පළකරපු. මේ මෑතක ඉඳලා ඒ සයිට් එක close කරලා. අපරාදෙ. ඒකෙ 'සිකරි' එහෙමත් තිබුණා. යුනිකෝ / ටෝගා සීරිස් ඔක්කොමත් තිබුණා. 'දියසායම්' 'මාරම්බරී' එහෙමත් පට්ට කතා ඒ කාලෙ ආව...

    ReplyDelete
    Replies
    1. slcomics වහල දාපු එකනං අපරාදෙ. මේවා යම් ක්‍රමයකින් සංරක්ෂණය වෙනවා නං තමා වඩා හොඳ. වීරකතා කියන්නෙ, කියන්නෙ ලමා මනස පෝෂණයට අත්‍යාවශය දෙයක් කියායි මට නං හිතෙන්නෙ.

      Delete
    2. එහෙනං අපිට තිබුණ පිස්සුව ඩ්‍රැකියටත් තිබිලා. ටෝගාගේ ආරම්භය එහෙනම් වැඩේ සාධාරණයි. ඩයිනොස්ර්ලා තවමත් ඉතුරුයි කියළා මේ වගේ කතාවකින් පෙන්වීමත් වැරදි නෑ. අනේ ඒ සයිට් එක නැත්ද? සරත් මධු මහත්මයාම තමයි මට ඔය ලින්ක් එක දුන්නේ. මමත් ෆලෝ කරලා තිබුණා.

      D G M බ : කොහොමත් ලේඛනාරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඇති නේද ? මම පොඩ්ඩක් හොයලා බලන්නම්. ඇත්තටම දැන් වීර කතා තියෙන්නේ සුපර් මෑන්, ස්පයිඩර් මෑන් ෆිල්ම් සහ ඇනිමේෂන් කාටුන් වලින් නේ. මගේ අක්කගේ ලොකු දුවගේ පොඩි එකා නමේ අගට ස්පයිඩර් මෑන් කියලත් කියනවා. ඒ අතින් මේ කාටූන් වීරකතා වල අවශ්‍යතාවය සපුරලා.

      ඩේටා ඉෂු එකක් නිසා කමෙන්ට් කරන්න පරක්කු වුණා.

      Delete
  7. කාළෙකින් හිත පිරෙන්න කියෙව්වා. වෙලා අරගෙන විස්තර ඇතුව හොඳට ලියල තියනවා. ඔය චිත්‍රකතාවලට තිබ්බ වැඩිහිටි විරෝධය වගේම එකක්, බයිලා වලටත් තිබ්බා. ඉතාමත් ලස්සන බයිලා කියපු එම් එස් ප්‍රනාන්දු, වොලී බැස්ටියන් පවා මේ විරෝධයට අහුවුනා. ඒ කාළේ වැඩිහිටියන් ගේ අනවශ්‍ය මෝඩකමක් ලෙසයි, දැන් නම් හැඟෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක කොටස් ගානකට කඩලා දවස් ගානක් ලිවුවා. අපි ආපු මුල් කාලෙනම් දවස් දෙකකට-තුනකට සැරයක් පොස්ට් එකක් දානවා. ඒ තරමට සිංහල බ්ලොගර්ස් සින්ඩියේ අපේ පෝස්ට් පහළට යනවා. ඔව් බයිලා වලටත් එමමයි. අපේ තාත්තා එම්.එස්. ඇතුළු ඒ සෙට් එකට කියන්නේ රස්තියාදු කාරයෝ කියළා. රේඩියෝ එකේ නෑහෙන තරම් නේ. මේක අපේ දෙමවුපියන්ගේ පමණක් වරද නෙවෙයි. ඒ කාළයේ තිබුණු අනිකුත් මාධ්‍ය වලින් පවා මේ ගායකයින් හෑල්ලුවට ලක් කළා. වාසනාවකට චිත්‍රපටි වල ඔවුන්ට අවස්ථාව ලැබුණා. ඒ කාලේ මගේ ආසම ගායකයෙක් තමයි එම්. එස්. "ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න-ගසක තිබෙන තල් කොළ මදි ලියාල දෙන්න" මගේ ආසම ගීතයක් අදටත්.

      Delete
  8. තාම කියවනවා. ලඟදිත් ග්‍රැෆික් නවල්ස් ගොඩක් ඩවුන්ලෝඩ් කරගත්තා, readcomicsonline එකෙන් . මහේෂ් රත්නායකගෙ උදවු ඇතුව getcomics එකෙනුත්.

    මාත් කල්පනා කරන්නේ ඒ කාලෙ සමහර වැඩිහිටියන් අතර චිත්‍රකතා කියවීමෙන් වෙනත් ප්‍රශ්නවලට අමතරව භාෂා දැනුම අඩුවෙනවයි කියලත් මතයක් තිබුනේ මොකද කියලා. මං හිතන්නෙ ටීවී නොතිබුන ඒකාලයේ ලමයි පොත් කියෙව්වා. ඉතින් චිත්‍රකතාවගේ සරල මාධ්‍යයක් නිසා කියවීමේ කොලිටි එක බාලවෙනවයි කියල වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවට හොඳම උත්තරය දුන්නේ අපිට උසස් පෙළදී ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමිය නන්දා මිස්. එයා අපට කිවුවේ මුලින්ම බ්‍රෝකන් ඉන්ග්ලිෂ් කථා කරන්න පස්සේ ඉම්ප්රු වෙයි කියළා. එකම තමයි මේකෙත් වුණේ. කියවන්න පටන් ගන්න කෙනෙකුට මේක හොඳයි

      Delete
  9. ඒ කාලයේ සතුට පත්තරේ නොකියවපු ළමයෙක් හිටියේ නෑ කියලයි මම හිතන්නෙ. ඊට අමතරව මම කියෙව්වෙ මිහිර සහ නවයුගය.

    ReplyDelete
    Replies
    1. සිත්තර ? කියෙවුවේ නැත්ද ? සතුට පස්සේ මධුර වුණා මතකද ? සිත්තර පත්තරේ ගජමෑන් ඇනිමේෂන් ෆිල්ම් එක තාම හෝල් වලට ආවේ නෑ. මේ දෙසැම්බර් එනවා කියළා කතාවක් තිබුණා. බලාගෙන ඉන්නේ එනකං.

      Delete
  10. සිත්තර පත්තරේ පරණ කොටස් අපේ පුංචිඅම්මා එකතු කරලා තිබුණා . ඉතින් ඊට පස්සේ යන කාලයේ තමයි ඔය පත්තරේ ගැන දැනගත්තේ . මිහිර විජය ජගතා වගේ පත්තර වල චිත්‍ර කතා නම් අතාරින්නෙ නැතුව කියෙව්වා . මල් මාමා එහෙම කියවන්න ලැබුණා . දැන් ළමයින්ට ඒවා ලැබෙන්නේ නැහැනේ .

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මිනිස්සු හරි සරළ අහිංසක අය. ඔය වගේ පුංචි දේවල් තමයි විනෝදාංශ වශයෙන් කලේ. මගේ යාළුවෙකුගේ තාත්තා සිළුමිණ පත්තරේ එකතු කරළා තිබුණා මුල ඉඳන්. පියල් උදය සමරවීර තමයි මල් මාමා ඇන්දේ.

      Delete
  11. අපේ අම්මත් හැරියට්! එයාගේ ගම උබලගේ ගමෙන් පොඩ්ඩක් එහා මෙහා - ඉත්තෑපාන. මගේ උප්පැන්නේ තියෙන්නේත් උපන් ස්ථානයට ඉත්තෑපාන රජයේ රෝහල. අපේ ලොකු අම්මලා හිටියේ දෙද්දූව! උඹ මේ කථාව කියද්දී මගේත් මතක ඈතින් ඈතට ගියා. උඹ දුන්නේ හොඳ උත්තේජනයක්!
    මමත් බලාන හිටියා චිත්‍ර කථා ගැන ලියන්න. උඹ ඒකට හොඳ උත්තේජනයක් දුන්නේ.
    සුපිරි රසවත් ලිවීමක්! එළම එළ!!

    ආ හැරියට් ඊ ජයසේකර කිව්වේ ඔය "නාසානන්ද තෛලය" ප්‍රොමෝට් කරපු වෙද මහත්තයා නේද?

    ReplyDelete
    Replies
    1. අම්මා ෂුවර් එකටම අපේ තාත්තව දන්නවා ඇති. දෙද්දුව ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා හිටියා. ඉත්තෑපාන තමයි ඉස්සර බ්ලොග් ලියපු රෙප් මහත්තයා හිටියේ. මම එකම-එක වතාවක් ගියා හෝම් කමින් එකකට. ලියපං-ලියපං ආසයි බලන්න. ලින්ක් එකත් දාපං.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (7) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (6) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (19) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (11) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (3) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (11) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (94) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (43) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...