Wednesday, April 3, 2019

අභියෝගයට බය නැති අයට ......

මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට ඔබ වෙත ගෙන එන්න හිතා ගත්තේ ජනවාරි මාසේ වුණත්, මේ දක්වා කල් පසු වුණේ මොන හේතුවකට වුණත්, ඒක එහෙම වුණ එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. මේ එක්කම බ්ලොග් ලිවිල්ලෙන් බුකියට මාරු වෙන්නත් පුංචි අදහසක් ආවා කියමුකෝ. එහෙම වුණේ මං එරන්දිත් දැන් එහෙම කරන නිසා, ඇයගේ පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට දාන්න යෙදුන මේ සටහන මෙහි සටහන් කරන්නත් එතැනදී මම පොරොන්දු වුණා. ඉතිං මට එතැනදී හිතුණා බ්ලොග් පෝස්ට් එකකදී අපි දාන දේවල් අල්ලගෙන අපිට ගහන උදවිය වගේ අකාරුණික මිනිස්සු බුකියේ නැතිබව එරන්දිගේ පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට එකතු කරපු මේ පොස්ට් එකට ලැබුණු ප්‍රතිචාර වලින් තේරුණා. එතැන හිටපු ඕඩියන්ස් එක පොස්ට් එකට හරි ගියා කියලත් මට හිතුණා. බුකියේ ලියන අයට බ්ලොග් ලියන්න කියලා පෙරැත්ත කරන මටත් ආපහු බුකිගත වෙන්න හිතුණා කියමුකෝ. ඒකට මේ සටහන තියන ඇපල් වර්ගයේ ෆෝන් එකත් හේතුවක් වුණා. අවංකවම කියනවා නම් මම දැන් ලැප් එක දිග අරින්නේ බොහොම කලාතුරකින්. ඒ තරමට මේක බොහොම පහසු මෙවලමක්. ඒ ගැන පසු සටහනකින් විමසා බලමු. මෙන්න සටහන

නංගි, මේක දැක්කම මම කරපු පොඩි වැඩක් මතක් වුණා. ඒ පොඩි අභියෝගයකට මුහුණ දීපු එකක්. මැහීමට සම්බන්ඳ නිසාත් මෙහි සටහන් කිරීම වටිනවා. එක දෙයක් මුලින්ම කිවුවේ නැතිනම් බලන අයගේ හිතේ ලොකු ප්‍රහේලිකාවක් ඇති වෙනවා. ඒ අපේ ගෙදර ඉන්නේ මමත් දියණියත් විතරයි කියන එක. ඒ අභියෝගය මම භාර ගත්තා. මට සහයෝගය දෙන ලොකු පිරිසකුත් ඉන්නවා. මේ අවුරුද්දේ ජනවාරි පාසල් වාරය ආරම්භ වෙනකොට දුව කනිශ්ඨ ශිය්‍ය නායිකාවක් වෙලා පාසල් යන පළමු දවස. මේකට මම හරි සතුටෙන් හිටියේ. රෝයල් ඉන්ස්ටිටියුට් එකට යන නිසා නිල ඇඳුම් වෙනස්. ක්‍රීම් පාට උඩ කොටසක් තියෙන්නේ. විවිද හේතු ගොඩක් හින්දා අලුත් යුනිෆොම් ශර්ට් එක ගන්න එක ප්‍රමාද වුණා. අන්තිමට යුනිෆෝම් විකුණන ගෑණි මාව අන්දවලා තුන්කාලේ අත් තියෙන උඩ කොටසක් දුන්නේ "මම දැකලා තියෙනවා සිංහල ළමයිත් මේක අඳිනවා" කියලා. මමත් අරං ආවා. කෙල්ල එකහෙලා මේක අඳින්න බෑ කිවුවා. මම උගතෝකෝඨික ප්‍රශ්නයක හිර වුණා. කෙල්ල කියන්නේ පරණ එකක් අඳින්නම් කියලා. තිබුණ කිසිම එකක් අලුත් පාටක් වත් නෑ. අවපාට වෙලා. පැල්ලම් හැම තැනම. මේ වැඩේ කරන්න මගේ හිත කීයටවත් ඉඩ දුන්නේ නෑ. මේ වෙලාවේ මගේ ඇඟ ඇතුලේ ඉන්න DIY යක්ෂයා ආරූඪ වුණා. DIY කියන්නේ Do it Yourself ඔබම කරගන්න වගේ සිංහල තේරුමක් තියෙන ක්‍රියාවලියක්. මේකට මට සහජ වගේම පුරුදු කරගත්ත හැකියාවකුත් තියෙනවා.

හිතා ගත්තා මේකේ අත් දෙක මම හදනවා කියලා. මෙතැනදී වැදගත් වුණු කරුණු කීපයක් සඳහන් කරන්න වටිනවා. ඒ
  • අම්මා පුංචි කාලේ අතින් මහන්න පුරුදු කරපු එක. 
  • මම බෝඩිමක ටේලර් කෙනෙක් (සම වයසේ) එක්ක ඉන්නකොට අවුරුදු කාලෙට බොත්තම් කාස, කලිසම් කමිස වල වාටි මහන්න කරපු උදව්. 
ඉන් පස්සේ 
  • මගේ හොඳම මිතුරෙක් වුණු අලුත්ගම ලාල් ටේලර්ස් එකේ ලාල් එක්ක කාලය ගත කරමින් කරපු නිරීක්ෂණ. 
දවසක් 
  • ක්‍රිකට් ගහන්න අඳින මගේ අත් දිග ටී ෂර්ට් එකක් කපත්දී අක්කා දුන්න පොඩි උපදෙසක් "මල්ලි ඕක ඇලේට කපන්න". 
කියන කාරණා. පරණ එකකින් අතේ වගේම අනිත් කොටසත් මැන ගත්තා. නවලා මහන්න තව අඟල් තුණක් විතර තියලා කැපුවා. බයක් දැණුනේම නෑ.
ඇතුල් පැත්තේ නිමාව පෙනුණේ මෙන්න මේ විදියට. වෘත්තීය මැහුම් කරුවෙක් නොවෙන නිසාත්, කලබලය නිසාත්, මේවායේ අතර පරතරය ටිකක් අවිධිමත්.

පිට පැත්තේ පෙනුම මෙන්න මේ වගේ. නූල් වවල වර්ණයේ නොගැලපීම නිසා අඩුපාඩු පැහැදිලිවපෙනෙනවා. නැති වුණානම් හොයන්නම වෙන්නේ නෑ.

මෙන්න මේ පටි කෑල්ල මුස්ලිම්ඇඳුම් වල නෑ. ඒ කොටසක් කරන්න වෙලාවකතු නෑ. මැෂින් එකක් නැතිව කරන්නත් බෑ. හැබැයි වෙලා තිබුණා නම් අර ත්‍රිකෝණාකාර විවරය කරන්න තිබුණා.
ඉන් පස්සේ ලේන්සුවක් තෙමලා අත් දෙක අවශ්‍ය ගානට නවලා අයන් කලා. ඊළඟට හෙමිහිට මැහුවා. පොඩි ප්‍රශ්නයකට තිබුණේ ඒ හදිසි මොහොතේ දුවගේ මැහුම් කට්ටලයේ හරි පාට නූල් නොතිබුණ එක. 100% ක්ම නැති වුණත් ජාම බේරගන්න මේ ඇති. පොඩි පසුතැවිල්ලක් හිතේ තිබුණා. ඒ අත් කෙලවර ත්‍රිකෝණයක් වගේ ඇතුලට නවලා මහලා බොත්තමක් අල්ලන්න බැරි වුණ එකට. තවමත් එයා ඒක අඳිනවා. මේක ඉවර වෙනකං ළඟට වෙලා බලං හිටපු කෙල්ළගෙන් මට මහමෙරක් වගේ තෑග්ගක් ලැබුණා. ඒ බෙල්ල බදාගෙන දුන්න හාද්දක්. තාත්‍තෙකුට ඊට වඩා වෙන මොනවද ?


බ්ලොග් එකේ ලියන්න හිටපු එකක් මෙතැන කොටලා දැම්මා. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ෆොටෝ ගත්තද මතක නෑ. තිබුනොත් දාන්නම්. Moral of the story ඔයාම ලියන්න.

ප.ලි. : අද උදේ මේකේ දෙවෙනි කොටස වුණා. ඒ කෙල්ලගේ ඉස්කෝලේ අවුරුදු උත්සවයට අඳින්න මහපු රෙද්ද-හැට්ටේ ඇඳුමේ රෙද්ද කොටස මහලා තිබුණ රේන්දේ ගාවින් ඒ දුහුල් රෙදි වර්ගයේ නූල් ඇදිලා දෙකට පැලුනා. මේ වෙනකොට අපි ඌබර් කැබ් එකක් ඕඩර් කරලා තිබුණේ යන්න. දෙපාරක් නොහිතා ඒකත් ඒ විදියටම මහලා දැම්මා. ඇහේ කඳුළු පුරවාගෙන "මටමමයි මෙහෙම වෙන්නේ" කියපු එකී කඳුළු පිහ දාගෙන ඉස්කෝලේ ගියා.

18 comments :

  1. ඔය වගේ වැඩක් කරපුවහම පට්ට self satisfaction එකක් එනවා අයියේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං අත් විඳලම බලන්න ඕනේ. ආත්ම තෘප්තියට අමතරව තව බොහෝ දේ ලැබෙනවා, මෙතැනදී මට ආදරය ලැබුණා, දියණියගෙන් පමණක් නෙවෙයි, මෙය කියවපු බොහෝ දෙනෙකුගෙන්. මම හිතන්නේ වචන වලින් විස්තර නොකලත් බොහේ දෙනා, මගෙත් එක්ක ඒ අත්දැකීම වින්දා. මුදල් ඉතිරියත් ඒ වගේමයි. මේ වගේ වැඩකට අද නොහිතනා ගණනක් අය කරනවා. ඒ වගේම නිපුණතාවක් ගොඩ නැගෙනවා. අහම්බයෙන් මේ දේවල් කරනකොට වගේ නෙවයි, යම්කිසි පුරුද්දක් ඇතිව කළොත්, ඉහළ නිමාවක් ගන්න පුළුවන්. උඹ ඒ ටික නොකිව්වට හිතේ තියෙන්න ඇති.

      Delete
  2. Youtube is better than google god for this kind of things. Things I DIY lately, Iron turning circuit breaker off, Vacuum cleaner overheating and upgrading my home PC RAM to 8G.
    Good luck with DIY

    ReplyDelete
    Replies
    1. Yes. Sure. You suggested it in a moment, I thought of making a Channel for me. Thanks Buddy.

      Delete
  3. මගේ facebook සටහනට අයියා නිර්ලෝභී ව අයියාගේ අදහස එකතු කිරීමෙන් ඊට ලැබුනේ පුදුමාකාර වටිනාකමක්. කමෙන්ට්ස් හැටියට ආවේ නැති විශාල අදහස් ප්‍රමණයක් අයියාගේ අදහස නිසා මට මැසේජ් හැටියට ලැබුනා. අත්දැකීම් ඇති මිනිසුන් හැටියට අයියලා ලිවිය යුතමයි!
    එකඟයි අයියේ. මමත් මුලින්ම ලිව්වේ facebook එකේ. මගේ බ්ලොග් ආගමනය ඇත්තටම අහම්බයක්. නමුත් අයියා කිව්වා වගේම කාර්‍යබහුල බව නිසාම අද වෙන කොට laptop එක කියන්නේ පොත් රාක්කයක පොත් නොවැටි තියෙන්න හදපු උපකරණයක් තරමට දැන් ඈත් වෙලා. ඒ නිසාම මමත් බ්ලොග් ලිවිමෙන් බොහෝ දුරට ඈත් වෙලා. ඒකට තවත් හේතුවක් අපි ලොයන යමක් ග්‍රහණය කරගත හැකි හොඳ පිරිසක් සිටීම වගේම නිරන්තරයෙන් කියවන්නට යමක් අදවන විට facebook තුලින් හමුවීමත් නිසා බ්ලොග් ලිවීම මග ඇරෙනවා. තාක්ෂණික පැත්තෙන් වගේම ජේෂ්ඨ ම බ්ලොග්කරුවන් හැටියට අයියලා වගේ බ්ලොග් කරුවන් බ්ලොග් වල වගේම ෆේස්බුක් එකෙත් රැදෙනවා නම් ඇත්තටම වටිනවා අයියේ.  බොහෝම ස්තූති !

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් මට බ්ලොග් අත අරින්න බෑ. බ්ලොග් ලිවීම නිසා මට බොහෝ දේ ලැබුණා. විශේෂයෙන්ම හොඳ මිනිසුන් පිරිසක්. ෆේස්බුක් එකේ විවධ ගැටළු තියෙනවා. මේ දෙකම පවත්වන් යන ක්‍රමය තමයි හරි. නමුත් මම ලියන සමහර දේට, ඒවායේ එන චරිත විරෝධය ඵල කරනවා. ඒ නිසා තමයි මම බ්ලොග් වලට වෙනම ෆේස්බුක් ගිණුමක් පටන් ගත්තෙත්. නමුත් ඒ දෙකක් කරන්න හරි අමාරුයි. මං වෙනුවෙන් පණිවුඩ එවපු හැමට ස්තුති කරන්න. මම කළේ ඔබට කළහැකි දෙයක් පෙන්වා දීම පමණයි. දෙමවියන්ට තම දරුවෙන් වෙනුවෙන් මේ වගේ දේවල්ද කරන්න පුළුවන් ?

      Delete
  4. මගෙත් ටුල් බොක්ස් එකේ නැතිවෙන්නෙම නැති දෙයක් තමයි කළු සුදු නුල් බෝල දෙකක් සහ ඉඳිකටුවක්.. (හිටපු නාවිකයෙක් නිස්සද මන්දා) නේවි එකේ සෙනසුරාද දවසට කියන්නේ make & mend routine එක කියල. ඒ කියන්නේ ඒ කාලේ නම් ඉරුණු රුවල් එහෙම මහගන්න පිළිසකර කරගන්න කය වෙනකරපු දවස. දැන් එකට වෙන්නේ යුනිෆෝම් වල අඩුපාඩු හදාගන්න එක. කොහොම උනත් මටත් පොඩි කාලේ ඉඳල ඉන්දිකට්ට නුල හුරුයි. තාම දෙයියනේ කියල ඉන්දිකට්ටට නූල අමුණ ගන්නත් පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැම කෙනෙකුටම හමුදා පුහුණුව දෙන්න ඕනේ. එයින් ලැබෙන ශික්ෂණය ජීවිතයේ බොහෝ දේට වැදගත් වෙනවා. එහෙම බැරිනම් යුනිෆෝම් අඳින කුමක් හෝ රැකියාවක් කරන්න ඕනේ. ඒවගෙන් ලොකු නිහතමානීත්වයක් පවා ගොඩ නැගෙනවා. මගේ පලවෙනි රස්සවේදී මට යුනිෆෝම් එකක් අඳින්න වුණා. ඒ ෂර්ට් එක කලින් කෙනක් ඇඳපු එකක්. මගේ ගානට ඒක හදලා දුන්නා.

      Delete
  5. දක්ෂකම. තාත්තා මහපු එක අගය කල දුවටත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්. මේක දක්ෂකමට වඩා උවමනාව. If you have willingness will take you to great heights කියළා මම කොහේ හරි කියවලා තියෙනවා.

      Delete
  6. DIY මගෙත් ප්‍රියතම වැඩක්. මමත් ඔය වගේ කරපු කිහිපයක් තියනවා. සුදීක ගානට වැඩේ ගොඩ දාගන, පොඩි එකාගෙ අපහසුතාවයත් නැතිකරලා දාලා.

    බ්ලොග් අවකාශේ අයම නෙමේද අඩු වැඩි වශයෙන් facebook එකේ ඉන්නේ? මේකෙ ලියන දේවල් හැමෝටම සර්ච් කරලා උනත් කියවන්න පුළුවන් එක මේකෙ තියන එක වාසියක්. facebook එකේ ලියන ඒවා කියවන්න ගිණූමකින් ලොගින් වෙන්න ඕනා නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතා ගත්තා මේකේ දෙවෙනි කොටසත් කරන්න. මොකද පලවෙනි කොටසින් මම කළේ අවස්ථාවට මුහුණ දීපු එක. ඊයේ හරි පාට නූල් පන්දුවක් ගත්තා. දැන් තියෙන්නේ ඒ වැඩේ ඉවර කරන්න. මේ පාර අර ත්‍රිකෝණාකාර විවරය මහන්න බලාපරොත්තු වෙනවා. තව මම ගත්තු කලිසමක උස හදන්නත් තියෙනවා. දවස් වල වැඩියෙන් කාළය ගත කරන්නේ බිත්තියත් වහලත් අතර තියෙන විවරය ජිප්සම් බෝඩ් එකකින් වහන ක්‍රියාදාමයක. ඇත්තටම මේවා විකුණන තැන් වල ඉන්න මිනිසුන්ගෙන් කිසිම සහයෝගයක් නෑ. මම කිවුවා මට ජිප්සම් බෝඩ් එක අඟල් හයක් පළල කෑලි වලට කපලා දෙන්න කියළා. උන් ඒ වැඩේ බෑම කිවුවා. අත කැපුනොත් කවුද වග කියන්නේ ඇහුවා. මහත්තයට මේක කපන්න බැරි වෙයි කිවුවා. මම සල්ලි ටිකක් දෙන්නම් කිවුවම වැඩේ කළා.
      බ්ලොග් අවකාශේ ඉන්නේ හරියට විවාහයක් කර ගත්ත අය වගේ. ඒ අය එතැනට එන්නේ උවමනාවෙන්ම ලියන්න. හැබැයි ෆේස්බුක් එකේ බොහෝ දෙනෙක් අඩුවැඩි වශයෙන් ලියනවා. ඒවා ස්ථිර සාර ලියවිලි නෙවෙයි, අවස්ථාවට ගැලපෙන්න ලිවීම්. මේක සංරක්ෂණය වීම තමයි වඩා වැදගත්.

      Delete
  7. මුලින්ම කියන්න ඕන මචං උබල තමයි මේ බ්ලොග් කලාවේ ලොක්කන්. එක එක ඇවුන් කියන දේවල් අහල මේක අත අරින්න එපා. කමෙන්ට් මගඇරුනට උබල ලියන ඔක්කොම කියවනව. මේ ලඟදි මට අහුඋනා එකෙක් අනෝ ඇවිල්ල බයිලා කියන. මම ඒකව අතඇරල දැම්ම.
    මගේ අම්ම නම් මැහුමට ගෙතුමට කලාවට ලංකාවටම ප්‍රසිද්ද කෙනෙක්. අම්මගේ කලාව දුවට ගිහිං අක්ක ඇඳුමෙන් පටන්ගත්ත එක කේක් කලාවෙන් ගිහිං ලංකාවේ වගේම ඇමෙරිකාවෙත් යම්කිසි ප්‍රාන්තයක ප්‍රසිද්ද කෙනෙක් ඕනෑම විදිහක කේක් හදන්න පුළුවන් තරමට කප් ගහල.
    හනේ ඉතිං මට අවුරුදු 15ක විතර වයසේදී මම මොකක්ද නස්කුනි වැඩක් කරල ගෙදර එද්දි අම්ම මට බැන බැන ඕවර ලොක් මැෂින් එකේ ඉද්දි මැෂින් එකට ඇඟිල්ල අහු උනා කියහන්කො. මම කොහොමහරි මැෂින් එක ගලවල අම්මව ඉස්පිරිතාලයට එක්කරගෙන ගියේ රොබින් හුඩ් අම්මගෙ ඇඟිල්ල හරහට ඊ තලයක් විද්ද ගානට. 😇

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට මුලින් උත්තර බැන්දට අනික් අය මං එක්ක තරහා ගන්න එපා. ටික්කා මට හිතෙන්නේ ටී.වී. එකේ දකින්න ඇත්තේ උඹගේ අක්කා වෙන්න ඕනේ. වැඩසටහන තිබුණේ කේක් හදන ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන. මේ බ්ලොග් කලාවේ ලොක්කෝ අපි කියන එක දැන්නම් කිවුවට ගැටළුවක් ඇති වෙන්නේ නෑ. මොකද මේකේ සින්නක්කර අයිති කාරයෝ වගයක් අපි මේකට ආව කාලේ හිටිය නිසා. ඇත්තටම ඒ කාළේ ඉතා ඉහළ මට්ටමේ බ්ලොග් කරුවෝ කිහිප දෙනෙක් හිටියත් එක්ක. මම නම් එච්චර සිරා ලෙවල් එකෙක් නෙවෙයි. හැබැයි ලංකාවේ මුල් 500 ට ඇලෙක්සා රෑන්ක් එකට එන්න ඒ කාලේ පුළුවන් වුණා, නලීන්ට, සුදු මහත්තයාට සහ මට. ඒකත් ඉතින් ලිවීමේ ගුණාත්මක භාවය සලකලා දෙන එකක් නෙවෙයි. ඒ කාළේ ඇනෝ ගහන්නේ සංවිධානාත්මකව. පසුව එයාලම ඒවා අපි එක්ක පාපොච්චාරණය කළා. මගෙත් ඇඟිල්ලේ ඔහොම ඉඳි කටුවක් ඇනුනා, වෙලාවට ඉඳි කටුව කැඩුණා. වාසනාවකට ලොකු කරදරයක් වුණේ නෑ. පොඩි කාළේ තුවාලත් එක්කම හැදුන මට ඒවා ගාණක් වුණේ නෑ.

      Delete
  8. මැලේසියාවෙ හිටිය කාලෙ අම්මා නූල් බෝලෙකුයි ඉඳි කට්ටකුයි එවලා තිබුනා..හදිසියක් උනොත් පාවිච්චි කරන්න කියලා...ඒත් ඒක පාවිච්චි කරන්න උනේම නෑ...කාලෙකින් බොලාව කියවන්න ආවෙ.

    ReplyDelete
    Replies
    1. මම ඉස්කෝලේ යන කාලේ ඉරුණ කමිසයකට සුදු පාට රෙදි කෑල්ලක් තියලා ඇලෙව්වා රෙජිෆෝම්-පෙට්‍රල් වළින් හදපු ගම් එකකින්. මම මුහුණ දීපු ලොකුම අභියෝගයක් තමයි, අපේ ඉස්සරහ ගෙදර මහින්දගේ ගෙදර කැරම් බෝඩ් එක හදපු එක. ඒකනම් බ්ලොග් පොස්ට් එකක් ලියන්නම වටින කතාවක්. මතක් වුණ එක ලොකු දෙඉයක්.

      Delete
  9. මොනවා නැතත් බ්ලොග් එක ලියපු එක ගැන නම් සතුටුයි.
    මමත් ඉතිං ඔය ශිල්පය තමා පාවිච්චි කරන්නේ ඩෙනිම් වලට. මොකද මම අඳින ඩෙනිම් දැන් එන්නේ නෑ ලු. අර බම්බු ඩෙනිම් (Slim fit) තමා දැන් එන්නේ. ඉතිං මමත් පරණ ඒවා හදාගන්නවා.
    සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

    ReplyDelete
  10. මේ තුන්වෙනි පාරට රිප්ලයි කරන්නේ අඟහරුවෝ. ගුගල් ප්ලස් නැති වුනාට පස්සේ මොකක්ද අවුලක් වෙලා. බ්ලොග් එක නිකං අම්මා - තාත්තා ගානට ඇවිල්ලා. ඔයා කියන්නේ බැගී ස්ටයිල් එකනම් තොග ගානට ගන්න බඩු ඝියෙනවා අඩුවට. ඩිලිගන්ස් එකේ ලිවයිස්ම තියෙනවා.කවුරුත් ගන්නේ නෑ. එහෙම හදාගන්න හැකියාව සහ උනන්දුව තියෙන එක ලොකු දෙයක්. සුබ අලුත් අවුරුද්දක් අඟහරුවාටත්

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 9 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 34 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) ලෝක කුසලානය (World cup) ( 1 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...