Sunday, May 14, 2017

හිත සැහැල්ලු කර ගන්න ......

බ්ලොග් ලිවිල්ලට මම කම්මැලි වෙලාද? නැතිනම් ඇත්තටම වෙලාවක් නැත්ද ? උවමනාවක් නැත්ද? අනේ මන්දා මේ ඔක්කොම කිව්වොත් නිවැරදියි. අඩු -වැඩි වශයෙන් මේ ඔක්කොම හේතු වෙනවා. ඉස්සර බ්ලොග් පොස්ට් එකක් ලියන එක උදේට දත් මදිනවා වගේ වැඩක්. පුරුද්දක් වශයෙන් සිදු වෙනවා. ඕනෑම පුරුද්දක් අත අරින්න හෝ පුරුද්දක් ඇති කරගන්න හොඳම ක්‍රමය. හැමදාම උදේ අවදි වෙලා, ඇඳෙන් බිමට කකුල් තියන්න ප්‍රථම, හිතට ගන්න ඕනේ මම අද ඉඳන් අහවල් දේ අත අරිනවා නැතිනම් අහවල් දේ බදා ගන්නවා (වැරදි අදහස් ගන්න ඕනේ නෑ). දෙයක් අලුතෙන් පටන් ගන්නවා කියන්නේ, ඒ දේ බදා ගන්නවා කියන එක තමයි බුදු දහමට අනුව. අනේ නෑ.... මම බණ කියන්න කොහෙත්ම සුදානම් නෑ. මෙතැන ඉන්න වැඩි දෙනෙක් නිර්-ආගමකින උදවිය කියන එක මම දන්නවා. ඉතිං අර දෙයක් පුරුද්දක් විදියට ඇති කර ගන්න ඕනේ නම්, එකදිගට දවස් විසි එකක්, ඒ දේ කරන එකයි තියෙන්නේ. එකම බොරුව හත් වතාවකට වැඩියෙන් කියෙව්වාම ඒක අත්තක් වෙනවා කිව්වේ ඔන්න ඔය නීතිය මත පදනම් වෙලා කියලත් මට හිතෙනවා. මොකද බොරුවේ ප්‍රබල කමට තුණෙන් එකක කාළය ප්‍රමාණවත්. 

මේක ලියන්න විවේකයක්(මානසික) ඕනේ කියලා හිතෙන වාර අනන්තයි. මානසික විවේකයක් ඇති වෙන්න නම් මනස අවුල් නොවී තියෙන්න ඕනේ. මනස අවුල් නොවී තියෙන්න නම්, ඔබ සිටින පරිසරය නිරවුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඉන්න මේ පරිසරය අවුල්ද ? කියන එකද ? ඇත්තටම ඔව්. අපේ ගෘහ සේවිකාව නොහොත් අයිල්, පසුගිය දෙසැම්බර් නිවාඩුවට ගමේ ගිය ගමන් ආවේ නෑ. ඒ නිසා පසුගිය වාරයේ පුදුම කට්ටක් කන්න වුණා. දියණිය පාසැල් ඇරලවන්න, ආපහු ගන්න කටයුත්ත සුළු-පටු කාරණයක් නොවෙයි කියලා තේරුම් ගන්න මේ කාළය පුදුම විදියට උපකාරී වුණා. අයිල් මැතිණිය වර්ජනයක යෙදුණා නොවෙයි. ඇයගේ මව ඇයට කරපු තර්ජනය නිසා තමයි එහෙම වුණේ. අවුරුදු 93ක් වයසැති ඇගේ මවට දියණියන් කිහිප දෙනෙකු සිටියත්, අයිල්ගේ සාත්තුවම අවශ්‍ය වුණා. හේතුව ඇගේ තියෙන ලෙන්ගතු කම, වැඩකට ගියාම තියෙන අත් නොහරින ගතිය. මේ නිසාම තමයි අපිත් වෙනත් කෙනෙකුගේ සහය ගන්නේ නැතිව, ඇයවම ගෙන්වා ගන්න උත්සාහ කරන්නේ.
පින්තූරය ගත්තේ : https://dohanews.co

මම පහුගිය සතියේ විදේශ ගත වුණා. ඒ දින කිහිපය පමණක් සේවය ලබා දීමට ඇය පොරොන්දු වුණා. නමුත් අනපේක්ෂිත විදියට අවසාන මොහොතේ, ඇය පසු බැස්සා. නිදහසට කාරණාව වුණේ, තමන්ගේ වෙන්ඩ ලේලියක් ඩෙංගු රෝගයට ගොදුරු වී මිය ඇදීම. සමහරවිට මෙවර ඇය බොරුවක් කිව්වා වෙන්න පුළුවන්. නමුත් එහෙනම් මීට කලින් ලබා දීපු කාරණා අමුලික බොරු. එක්කෝ පරණ වේවා නැත්තම් මේක. කාලේ හැටියට මේක අත්තක් වෙන්නත් පුළුවන්. නමුත් ඇය හෙන මීටරේ නිසා මට හිතෙන්නේම මේකත් තවත් බොරුවක් කියලා. ඒ බාරදුර කාර්යයට මගේ වැඩිමල් සහෝදරිය කර ගැහුවා. නමුත් ඇය මුලින් ගෙන ආ යෝජනාවට මම කිසිසේත් කැමති වුණේ නෑ. ඒ මේ සතිය දියණිය අපේ ගමේ(බෙන්තර සිට) වෑන් එක්ක එවීම.කාලයක සිටන් නොකරන දෙයක්, එක පාරටම කරන්න වුණාම, බලන්න කෙනෙක් නැතිනම්, අමාරුවේ වැටීමේ ප්‍රවනතාව වැඩියි. මගේ සොයුරිය පත්තර-ටීවී බලනවා අඩු නිසා මෙහි බැරෑරුම් පැත්තේ දන්නේ නෑ. මම ඇහුවේ එක දෙයයි. පාසල ලඟට වෑන් එක රියදුරු පමණක් සමග පැමිණියහොත් කුමක් සිදු වේද? යන්නයි. විය හැකි දේ ඔබට සිතා ගන්න පුළුවන්.

ඒ කරුණු ටික ලියන්න වුණේ, නිවසේ තිබෙන අවුල් බවට සහ අවිවේකී බවට හේතු පැහැදිලි කරන්න. ඉතිං ගෙදර අවුල් වගේ, අවිවේකී වුණාම බ්ලොග් ලියනවා වගේ නිදහස් දේවල් කරන්න කාළය වෙන් කර ගන්න අපහසුයි. කොහොම වුණත් යළි දිවයිනට පැමිණි නවවෙනිදා තනිකර නින්දේ ගත කරන්න වුණා. ඒ වගේම මගේ මිතුරෙකුගේ නිවසේ නවතා තිබුණු මගේ වාහනය ගෙන ඒමට යන්න වුණා. හවස් වරුවේ බොහොම අමාරුවෙන් තමයි ඒ වැඩේට ගියේ. නමුත් වාහනේ නැතිව කොහෙවත් යන්න බැරි නිසා හවස හතරට විතර ඒ නිවසට යන්න වුණා. මගේ මිතුරා ඉන්නේ විජේරාමේ. එයාපෝට් ගිය දවසේ වෙච්ච කතන්දරයත් කියන්නම ඕනේ.මගේ සොයුරිය සමග මා පොරොන්දුව ඇති කර ගත්තේ, මා පිටත් වන දින වූ තුන්වෙනිදා පාසැලට දැරිය ඇරලවීමේ වගකීම මා තබා ගනිමින්. නමුත් එය ඉතා අපහසු කටයුත්තක් වුයේ, පාසැලට ඇය ඇරලවිය හැකි අවම වෙලාව උදෑසන හත වීම. නමුත් මිනිත්තු දහයක් කලින් වුවද එහි සේවකයන් සහ ගුරුභවතුන් පාසලේ සිටිනු මා දැක තිබුණා. නමුත් මෙවැනි අවස්ථාවක අපරීක්ෂාකාරීව හැසිරෙන්න මා කොහෙත්ම කැමති වුණේ නෑ. 10:50 ට තිබෙන ගුවන් යානාවේ පිටත් වන වේලාවට පැය තුනකට කලින්, ගුවන් තොටුපලට ඇතුල් වීම කාලයක පටන් සිදු කෙරෙන කටයුත්තක්.

ඒ සංචාරය මා තනිවම ගමන් කරන එකක් නොව, 70කට ආසන්න ක්‍රීඩක සහ නිලධාරීන් පිරිසක් ගමන් ගන්නා ක්‍රිකට් සංචාරයක්. එහි පළමු පෙළ කණ්ඩායමේ කළමනාකරු ලෙස මට යම් වගකීම් ප්‍රමාණයක් පැවරී තිබුණා. මේ සියල්ලටම   වඩා  තවත් අභියෝගයක් මට තිබුණා. ඒ දියණියව පාසැලට නියමිත වෙලාවට ඇරලවා මගේ ගමන පිටත් වීම. මෙයට අමතරව වාහන ගාල් කිරීමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වුණා. කළින් මෙහි වාහන ගාල් කළේ මවත් පහල මාලයේ කුළී නිවැසියාත් පමණයි. නමුත් මෑතකදී මෙහි පදිංචියට ආ මෙහි හිමිකරුවාගේ දියණියගේ ස්වාමියා නොහොත් සුරාජ් අලුත් වාහනයක් මිලදී ගෙන තිබුණා. දැන් අපිට වාහන ගාල් කරන්න සිදු වී තිබෙන්නේ මේ කළුබෝවිල ප්‍රදේශයේ බොහෝ දෙනා කරන ආකාරයට පාරේ එක් පැත්තක. මම එයට දැඩි විරෝධයක් දක්වන පුද්ගලයෙක්. නමුත් අනපේක්ෂිත ආකාරයට පසුගිය සතියේ එක් දිනක් මට පාරේ වාහනය නවතා තබන්න සිදු වුණා. ඒ මේ සංචාරයට එළිවෙන රාත්‍රිය. එක් දිනක් ඉදිරිපස නිවසක සිටින කුළී පදිංචි කරුවෙක් අපගේ දොරටුව වසා තම රථය ගාල් කර තිබුණා. නමුත් ඔහු සොයා ගැනීමට මට පැය ගණනක් රස්තියාදු වන්නට සිදු වුණා. එදින මා ඔහුට තදින් අවවාද කළා, මින්පසු එය සිදු නොවීමට වග බලා ගන්නා ලෙසට. ඉතිං මා කෙලෙස එම වරද සිදු කරන්නද ?  මා විජේරාමයේ සිටින මගේ මිතුරාගේ නිවාස තෝරා ගත්තේ, මාගේ නිවසට අඩුම දුරකින් සිටින, ඉඩකඩ ඇති එකම ස්ථානය ලෙස. මෙම සංචාරයට සහභාගී වන මහජන බැංකුව නියෝජනය කරමින් සහභාගී වන ශාන්ත කෙළින්ම ගුවන්තොටට පැමිණීමට කැමති  වීම අපටමහත් අස්වැසිල්ලක් වුණා. ඒ එය අපට ඇති අභියෝගයෙන් කොටසක් ඉවත් කර ගැනීමක් නිසා. අනෙක් දෙදෙනා වන චමිල සහ තරිඳු පෙරදිනයේ අපගේ කොළඹ නවාතන්පොලේ සිට මේ ගමනට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. මෙයට කොළඹ ප්‍රදේශයෙන් සහභාගී වන රසික වැල්ලමිපිටියේ සිට එක් වන නිසා එය එතරම් අමාරු සැලසුමක් වුයේ නෑ.

මා උදේ හතේ සිට අනෙක් පසට ගණන් බැලුවා. උදේ හතට හෝ මිනිතු දහයක් කලින් පාමන්කඩට එන්න නම්, විජේරාමයෙන් හයයි තිහට පිටත් විය යුතුයි. වැල්ලම්පිටියෙන් උදේ හයයි කාලට පිටත් වුවොත් අඩු වාහන තදබාදයක් ඇති මොහොතක මිනිත්තු 15-20 අතර කාළයකදී නුගේගොඩ විජේරාමයට පැමිණිය හැකියි. රසිකට මා උදේ හයයි පහලවට පිටත් වීමට දැනුම් දී, වාහනයේ රියදුරුට උදේ හයට එහි යාමට උපදෙස් දුන්නා. මාත් දියණියත් උදේ හයට සුදානම් වී විජේරමය බලා පිටත් වුණා. උදෑසන හයයි පහලවට ප්‍රථම අප විජේරාමයේ මලින්ගේ නිවසට ලඟා වුණා. නමුත් ඉන් මොහොතකට පසු මගේ මිතුරා රාජකාරියට යන්න පිටත් වුණා. ඒ මට පුංචි අවවාදයක් කරමින්. උදේ හත වෙන්න කලින් නුගේගොඩ පන්නා ගන්නා ලෙස. මා දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන්නත් රසික පිටත් වී තිබුණේ නෑ. ඔහු තවමත් පවසන්නේ ඔහු හයයි තිහට නිවසින් පිටත් වූ බව. නමුත් ඒ පැය කාලේ ප්‍රමාදය, සියළු සැලසුම් විනාශ කළා. හතයි පහට විජේරමයෙන් පිටත් වූ අප, දියණියගේ පාමන්කඩ පාසැල අසල පාලමට  ලඟා වන්නට මිනිත්තු හතළිහක් ගත වුණා. නමුත් මෙහිදී මා රියදුරුගේ යම් වෙනස් හැසිරීමක් නිරීක්ෂණය කළා. ඔහු වාහන තදබදය අස්සේ රුපවාහිනියේ සුසර කරගෙන, ඉතා උනන්දුවෙන් ඒ වෙත ඇස යොමාගෙන සිටිය. එයින් නොනැවතී බස් රථ ගමන් කරන වම්පස තීරුවේ ගමන් ගනිමින්, ප්‍රමාදය තවත් වැඩි කරන ආකාරයක් මට පෙනුණා. උදෑසන හතට කිරුලපන පොලීසිය කිරුලපන පාලමින් ඉදිරියට ඇති 138 මාර්ගය තනි අතට දිවෙන ලෙස වසා දමනවා. ඉතිං කෙළෙසකවත් දියණියගේ පාසල අසලට යා නොහැකි නිසා(එසේ ගමන් කරනවා නම් පාමංකඩ  දෙසට 120 මාර්ගයේ ගොස්, ඊශ්වරී මාර්ගයේ පැමිණිය යුතුයි. එය අනවශ්‍ය කාළය කෑ දැමීමක්). මේ මොහොතේ දියණියගේ මුහුණේ කිසිදු ප්‍රසාදයක් නෑ. ඒ වෙනුවට ඒ පුංචි මුහුණේ අපේක්ෂා භංගත්වයක් දිස් වුවා. මා දියණියට සමු ඩිය යුතු මොහොතේ අප දෙදෙනාම ඉතාම පීඩනයකින් පසු වුවා. එය මගේ දෑසට කඳුළු නවන්නට සමත් වුවත් මා කෙසේ හෝ ඉවසා සිටියා.

මේ සංචාරයට සහභාගී වන සෙසු සියළු දෙනාට උදෑසන හතට ගුවන්තොටට එන්නට අප දන්වා තිබුණා. ඉතිං එහි නිලධාරියෙකු ලෙස සහභාගී වන මා කෙසේ ප්‍රමාද වී එක් වන්නද? මා පසු වූ කේන්තිය මේ මොහොතේ කෙසේ හෝ යටපත් කරගත්තත් ඒ සමග එන ආතතිය පාළනය කර ගැනීම උහගට කාරණයක්. මා ඔවුන් දෙදෙනාට අප පාළම උඩින් බස්සවා, 120 මාර්ගයට හරවා නවතා සිටින්නට අණ කර, දියණිය කැටුවා මාර්ගයෙන් අනෙක් පසට ගියේ ඇගේ අතින් ඇදගෙන වාගේ. අයටද ඉතා ඉක්මනට පාසැලට යාමට අවශ්‍ය වුවා. වලවල් වල වැටෙමින් ගොස් මා ඇයගෙන්  පාසල අසළින් සමු ගත්තේ හදවත දරාගත් දැඩි වේදනාවකින්. ඇගේ හිස මත පුංචි හාදුවක් දී හනික ඈ පාසල වෙත යවා, මා හැල්මේ දිවුවේ ඔවුන් දෙදෙනාට සිටින්නට අන්කල ස්ථානයට. නමුත් එහි වාහනය පෙනෙන්නට තිබුණේ නෑ. මා රියදුරුගේ දුරකතනයට ඇමතුම ගත්තා. තිබෙන පීඩනයේ තරම කෙසේද යත්, දුරකථනය සම්බන්ධ වන්නත් ප්‍රථම මා "හෙලෝ" කියන්නට වුවා. මේ වනවිට සියළු දෙනා ගුවන්තොටට ඇතුලත් වී තිබුණා. එහි සිටින ශාන්තගේ ගුවන් ටිකට් පත මා ළඟ තිබුණ නිසා, ඔහුත් සංගමයේ ලේකම් තුමා වන උදය ඉමල්ෂ මහතාත් මා වෙනුවෙන් පිටත රැදී සිටියා. අපගේ අනෙක් මිතුරන් දෙදෙනා මරදාන පොලීසිය අසල රැදී සිටියා. ඔවුන් කිසිදු කෝපයක් මා වෙත පිට නොකලත්, මා තරමටම ජේෂ්ඨ චමිල රසික අමතා හොඳ දේශනාවක් දුන් බව පසුව දැන ගත්තා.

මුන් දෙන්නා කොහෝ ගියාද ? දුරකතනයේ අනෙක් පසින් රියදුරුගේ කටහඬ අවධි වුණා.

"සර් අපි මේ අමානා බෑන්ක් එක ගාව"

"ඒ කොහෙද ?"

"138 පාරේ යන්න දුන්නා, අපි ඇවිත් ඉන්නේ"

"එහේ ගියේ මොකටද ? මම කලින් කිව්වේ අපි ගාලු පාරෙන් දාගෙන මැරීන් ඩ්‍රයිව් එකෙන් යමු කියලා. ආපහු හරවලා පාමන්කඩින් වැල්ලවත්තට එන්න. ගාලු පාරට යන පාර. හරිද ?

තවත් මිනිත්තු 15 පමණ ගත කර ඔවුන් මා සිටින තැනට ලඟා වුණා. මට විස්තර කරන්න බැරි පීඩනයක් දැනුණා. මේ වනවිට සියළු දෙනා මා වෙත දුරකථන ඇමතුම් දෙමින් විමසීම් කර සිටියා. අපට ඉන් එහා ගමන ඉතා වේගවත්ව කර ගැනීමට හැකි වුණා. මරදානෙන් පසු අප වාරයෙන් මේ සංචාරයට එක් වන ඉන්දිකවත් එක් කර ගැනීමට සිදු වී තිබුණා. ඔහු මේ ගැන කිසිදු විටක කලබල වුයේ නෑ. වරායේ ආරක්ෂක ඉහල නිලධාරියෙකු වන ඔහු මා හා පවසා සිටියේ කැමති නම් කොටුවෙන් වරායට ඇතුල් කර කොටහේනෙන් පිටතට ගැනීමට අවස්ථාව සැලසිය හැකි බවයි. නමුත් මරදානේ සිට නැවත කොටුවට ගමන් ගැනීමට වඩා කලින් ඔහු සිටි තැනට අපට ලඟා විය හැකියි. ගුවන්තොටට ඇතුලත් විය හැකි අවසාන වෙලාව නවයයි පනහා බව මා දැන සිටියා. ඒ අපේ ගුවන් යානය පිටත් වන වෙලාවට පැයකට කළින්. ඉමල්ෂ මහතා නැවතත් මා ඇමතුවා. ඉන්දික අප හා එක්වූ මොහොතේදී අප සිටින්නේ අධිවේගී මාර්ගයේ බව මා පවසා සිටියා. නවයයි විස්සට මා ගුවන්තොටට එන බව පවසා සිටියා. ඇත්ත වශයෙන්ම අපි නවයයි පහළොවට ගුවන්තොටට ලඟා වුණා. සියළු දෙනාගේ විමතියෙන් යුතු බැලුම් මැද අප පස් දෙනා පිටවීමේ කවුළුවෙන් ඇතුළු වුණා.

බලාපොරොත්තු වුවාට වඩා දිගු වූ නිසා, හිත සැහැල්ලු කර ගන්න ගෙනා කතා දෙක මීළඟ කොටසින් එකතු කරන්නම්.

24 comments :

  1. ඔබතුමා ඒ වේලාවේ හිටියේ මාර පිඩනයක වෙන්න ඇති. මට උනොත් ඒ ගැන හිතාගන්නට වත් බෑ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ තුමා කෑල්ල? බිව්වම මචං කියාගෙන ඉන්න එවුන්. නමුත් දැන් විස්තර කරත්දී අමුතු ගතියක් තියෙනවා. මම දියණියව පාසැලට දාන්න ගිය වෙලේ හිතා ගත්තේ, අනුන්ගේ වරදකට මම පීඩනයක් ගන්නේ මොකටද කියලා. මෙවැනි සුන්දර, සැහැල්ලුවෙන් ඉන්න මොහොතක අපි මූණු රතුකරන් ඉන්න එක හොඳ නෑ. මට තිබුණ ලොකුම ප්‍රශ්නේ ඒ සංචාරේ කළමනාකරුවෙක් වශයෙන් කටයුතු කරන මම ආදර්ශවත් නොවීම. මේ බව දන්නවා නම් මගේ වාහනේ මම යනවා එයාර්පොර්ට් එකටම. මම කිසි විදියකින් ප්‍රමාද වෙලා තැනකට යන්න කැමති කෙනෙක් නෙවෙයි. හැබැයි මගතොට ප්‍රශ්න නිසා ප්‍රමාද වෙන්ව එකට කරන්න දෙයක් නෑ. නමුත් ඒවාට අපි ප්‍රොවිෂන් තියා ගන්න ඕනේ. නිදසහට කරුණු කිසි විටෙකට සලකා බැලිය නොහැකියි.

      Delete
  2. මම ලියන්න ලියන්න කියලා කිව්වට ඔයා කියනවා වගේ මේ තරම් හරි ලියන එකට ඔයාලට සම්මාන පිට සම්මාන දුනත් මදි

    ReplyDelete
    Replies
    1. නැහැ මෙන්ඩා වෙලාව නැතිව නෙවෙයි, වෙලාවට එනකොට මම ෆුල් ෆෙඩ්-අප්. මේක ලියනවා නම හොඳ සැහැල්ලු මානසික තත්වයක ඉන්න ඕනේ. එහෙම නැතිව ලිව්වම ගතියක් නෑ. මම ඊමේල් එකෙන් එන කමෙන්ට් බල බලා නිකං හිටියා. ඛණ්ඩා මගේ මුළු බ්ලොග් එකම කියවාගෙන කමෙන්ට් කරනවා. මට උත්තර ලියා ගන්න වෙලාවක් නෑ. වෙනදා ඔෆිස් එකේ තිබ්බ නිදහසත් දැන් ඇහිරිලා. අම්මට - තාත්තට කතා කරන්නෙත් එයාලා ගත්තම. මේ අස්සේ කෙල්ලව ගමෙන් කැඳවාගෙන එන්න වුණා, මැයි පළවෙනිදා. මග්ගොනදී ඩබල් ලයින් තියෙන තුරුම ඉරි කපන්නේ නැතිව පාළම ලඟට වෙනකන් ආව. පයාගලදී කඩ ඉරක් දැකලා කොට-කොටා යන ත්‍රීවීල් දෙකක් ඉස්සර කරන්න ගියා. නමුත් වම් පැත්තේ එක, දකුණු පැත්තේ ඒකා ඕවර්ටේක් කරමින් හිටියේ. මගේ වේගය පොඩ්ඩක් වැඩි නිසා,කඩ ඉරි ඇතුළෙම ලයින් එකට එන්න බැරි වුණා. පයාගල පොලීසියෙන් අල්ලාගෙන ලිව්වා. මම ශේප් කර ගන්න ගියේ නෑ. වැරදි කරානම් දඬුවම් විඳින්න ඕනේ. පස්සේ ගිය ඉරිදා ගියා ලයිසන් එක අරන් එන්න තකහනියක්. ඉතිරි කිලෝ මීටර් දහය ගියානම් ගෙදරට යන්න තිබුණා. ඒත් ආපහු ආවා.

      Delete
  3. ඔය වැනි ඉතා හදිසි කටයුතු අස්සේ ඇතිවන පීඩනය ගැන නම් කියන්න දෙයක් නෑ. හදිස්සියට කොරොස් කටටත් අත දාගන්න බෑ කියන කියමන බොහොම හරි කියා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමා. කොහොම හරි සංචාරයකර සාර්ථක වුණානේ ඒ මදැයි.

    ReplyDelete
    Replies
    1. ඒක අත්දැකීමෙන් මම දන්නවා. මම කොහොමත් අන්තිම මොහොතේ වේගෙන් වැඩ කරන කෙනෙක්(ප්‍රෝකැස්ටිනේෂන් කියන්නේ). වැඩේ තියෙන්නේ මේ වගේ දවස් වලට මම කල්තියා සුදානම් වෙනවා. දෛනික කටයුතු වලදී හුරුව තියෙන නිසා, අන්තිම තප්පරේ වැඩ කරගෙන යන්න පුළුවන්. මම වැඩ කරන ආකාරය අනෙක් නිලධාරීන් දන්නවා. ඒ නිසා කවුරුත් මට මොනවත් කිව්වේ නෑ. හැමෝම කිව්වේ පරිස්සමෙන්, හෙමිහිට එන්න කියලා. ඒකත් මට ලොකු අස්වැසිල්ලක්. මම කලබල වෙලාවට හෙමින් වැඩ කරන්න කියලා කියමනක් අහලා තියෙන නිසා, ඒ ක්‍රමය අනුගමනය කරනවා. නැතිනම් යතුරු කටෙන් යතුර ගන්නත් බෑ.

      Delete
  4. සුදීක මොන කරදරයක් විඳගෙන හරි දියණිය එදා පාසැලට ඇරිය එක හොඳයි. ඒ දවසේ වැට ටික ඈට මිස් වුණා නම් වසර අවසාන විභාගයෙන් අසමත් වෙලා, ඒක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළටත් බලපාන්න තිබුණා. එහෙම වුණානම් මෙඩිකල් කොලේජ් යන්න සයිටම් එකත් නැතිවෙන එකේ රස්සාවක් නැතිව ගෙදර ඉන්න තමයි වෙන්නෙ. ඔබ කොහොම හරි ඒක වළක්වපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකෙන් ඔබ ඉතා පැරණි අතීතයකට මාව ගෙන ගියා. 1988 භීෂණ සමය පටන් ගත් කාලයේ, බේරුවල තිබුණා සර්ව රාත්‍රික සංගීතයක්. මේකට සන්ෆලවර් ආවා වගේ මතකයේ තියෙන්නේ. මේක සංවිධානය කරන්නේ, ඉතාම තරබාරු ශරීරයකට හිමිකම් කියන, ඇඹුල්දෙනිය නම් පුද්ගලයා. චන්ඩියෙක්. ඒ වුනාට කාගේත් හිත දිනාගෙන හිටියේ. බේරුවල මාළු බිස්නස් කරපු කෙනෙක් වෙන්න ඕනේ. මේ සංගීතය බලලා උදේ හයට ගෙදර ගිහිං වොෂ් එකක් දාලා නිදාගන්න සුදානම් වෙනකොට, අම්මා ඇවිත් කිව්වා "වාහාම ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න. අද නොගියොත් ආයේ ඉස්කෝලේ යන්න බෑ" කියලා. ඉතිං එදා මම ඉස්කෝලේ ගියා. පන්තියේ ඉන්නකොට උගන්වන ගුරුවරු අංශක තිහක් විතර දකුණට-වමට ඇලවෙනවා වගේ මට පේනවා. ආයෙත් හිටි තැනට එනවා. ඒ කාලේ ඒ පාඩම ඉගෙන ගත් නිසා, අද මට එක දිනයක්වත් මගේ දියණිය ගෙදර තියා ගන්න හිතෙන්නේ නෑ. නමුත් ඇගේ ආරක්ෂාව පැත්තෙන් හිතන හැම මොහොතකම, සේෆ්ටි ෆස්ට් තමයි.

      Delete
    2. සුදීක මම අදහස් කලේ වෙන දෙයක්. බැරෑරුම් අවස්ථාවලදී තීරණ ගැනීමේදී තෝරාගැනීම් කරන්න වෙනවා. කුඩා කාලයක් ඇතුලතදී ගුවන් තොටුපලේ සිටිය ඔබ දරුවා සමඟ පාසැලට යද්දී තිබූ පීඩනය නිසා වෙන අකරතැබ්බයක් වෙන්න ඉඩ තිබ්බා. එහෙම වුනානම් ඔබට මෙම ගමන යන්න වෙන්නේ නැහැ. ඊට වඩා එම අකරතැබ්බය නිසා දීර්ඝ කාලයක් පීඩා විඳින්න වෙන්න පුළුවන්. මෙය ඔබ යන්නට තිබූ විනෝද චාරිකාවක් නොවේ. වගකීමක් දරන්නෙකු ලෙස ඔබට එහි යන්නම වෙනවා. එදා මම නම් ගන්නා තීරණය දරුවා එදා පාසැල් නොයවනවා කියන එකයි. එක දිනක් පාසැල් නොයාමෙන් වෙන පාඩුව සහ කලබලයේ යාමෙන් ප්‍රශ්ණයක් ඇතිවී දරුවා සහ ට්‍රිප් එකේ වගකීම ඉටුකිරීමට නොහැකිවීම යන දෙක සංසන්දනය කර අවදානම අඩුම තීරණය ගන්නවා. ජීවිතය කියන්නේ තෝරාගැණීම් මිස at any cost සියළුම දේ කිරීම නෙවෙයි කියන එකයි මගේ පිළිගැනීම.

      Delete
    3. එහෙම වුණානම් මට යන්න වෙන්නේ නෑ. මොකද මගේ සොයුරිය එදා දවල් කොළඹ ඇවිත් ඇය රැගෙන යන්න පොරොන්දු වුණා. ඉතිං පාසැලට ඇරලනවා හැරෙන්න කළහැකි දෙයක් නෑ.

      Delete
  5. සමහර විට මේ වගේ පීඩනයක් ආවාම එක දිගටම එවැනි සිද්ධි කීපයක් ඇති වෙනවා. මම අත්දැකීමෙන් ඒ බව දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට පීඩනයක් ආවේ, මොන ප්‍රශ්න මැද්දේ වුණත් මම මගේ කොටස හරියට කරපු නිසා. අර ප්‍රමාද වුණ රසිකගේ නිදහසට කරුණත් ඉතාම මානුෂීය එකක්. එයාගේ අලුත උපන් දරුවාට මව්කිරි දොවා වෙනම ලබා දෙන්න සිදු වී තිබෙනවා. මුළු රාත්‍රිය පුරාම මේ කර්තව්‍ය වෙනුවෙන් වරින් වර ඇහැරිලා මේ පුද්ගලයා බොහොම තෙහෙට්ටුවෙන් ඉඳලා තියෙන්නේ. මේ බවක් ඔහු මට කලින් දැනුම් දී තිබුණානම්, මේ සැලසුම වෙනස් කරනවා. නමුත් මා ඔහුට ලබාදුන් උත්තරය වුයේ, මෙවැනි ගමනක් සඳහා සහභාගී වනවිට ඉන්පසුව දිනයේ මේ වගකීම බාර ගන්නා කෙනාට තව දිනක් කලින් මේ වගකීම පවරා ඔහු එයට සුදානම් විය යුතු බවයි. මා කළානම් සිදු කරන්නේ ඒ ක්‍රමයට. මා අයිල් මැතිනියටත් එන්න කිව්වේ දවසක් කලින්. අප හමුදා නිලධාරීන් නොවන නිසා වැඩේට සින්ක් වෙන්න ටික වෙලාවක් යනවා. අන්න ඒ සඳහා කාලයක් වෙන් කර ගන්න ඕනේ.
      ඔබ කියන කතාව සහතික ඇත්ත. මේ වගේ සිදුවීම් දෙක තුනක් එකවිට සිදු වෙනවා. මේවා ග්‍රහචාරේ ප්‍රශ්න කියලා සමහරුන් විශ්වාස කරනවා.

      Delete
  6. ඔය වගේ වෙලාවක කෝල් එනකොට බොරුවක් කිව්වොතින් වැඩේ තවත් දෙල් වෙනවා.අර කියපු බොරුව ඇත්ත වෙනවා.එහෙම අත්දැකීම් ගස්ලබ්බට තියනවා.ඒ නිසා පමා උනොත් පමා උනා කියල බැණුම් අහන එක සැපයි.. එතකොට අනිත් අය ඒකට අදාලව ප්ලෑන් එක වෙනස් කරගන්නවානෙ.ඔය වගේ දවසක මම නම් මලාට ඔච්චර ටෙන්ශන් එකක් ගන්නෙ නෑ.මොන ගේමක් ගහල හරි වැඩ අඩු කරගන්නවා මයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕක අපි කරන ලොකුම වැරද්දක් තමයි. අනිත් පැත්තේ ඉන්න එකාව බැලන්ස් කරන්න යාම. එතකොට ඒ ඉන්න කෙනා, පැය දෙක තුනක් කට්ට කාලා හොඳට මල අතට අරන් ඉන්නේ. ඉතිං එයා අනුමාන කර වෙලාවට යා ගන්න බැරි වුණාම, එලෝ කෝටියට තද වෙනවා. සාධාරණයි. අපි කිව්වා බොරු වල වටිනාකම එන්නේ එවෙලාවට. මමත් එහෙම කටුවක් කාලා තියෙනවා. එදා මගෙන් අපේ ලේකම් තුමා ඇහුවා කීයට මෙතනට එන්න පුලුවන්ද කියලා. මම කිව්වේ 9:20ට නමුත් අපි 9:15 ට ගියා. එයා අහනකොටත් ඇහුව ඔය කියන්නේ ඇත්තම නේද කියලා.

      Delete
  7. එයින් ගියා මදැ

    ReplyDelete
    Replies
    1. මම නිසා කවුරුවත් රස්තියාදු වෙන එකටත්, වෙන කෙනෙක් නිසා මම රස්තියාදු වෙන එකටත් මම හරිම අකමැතියි. එක පාරක් මෙහෙම හැමදාම ප්‍රමාද වෙන අපේ මිතුරෙක්ව හලලා අපි ට්‍රිප් එකක් ගියා. අන්තිමට පොර ත්‍රී වීල් එකකික් වාද්දුව වෙනකං එළවලා අල්ලා ගත්තා. එහෙම දඬුවම් තමයි දෙන්න ඕනේ. මෙතනත් ඒ දේ කරන්න තිබුණා, ලගේජ් නොතිබුණානම්.

      Delete
  8. වයිෆ් අසනීප වුනු පහුගිය ටිකේ, ගෙදර කටයුතු බලාගන්න වයිෆ්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ඉඳලත් මට දැනුනු පිීඩනය හොදට මතකයි. සූදීකගෙ තත්ත්වෙ මට හිතා ගන්නත් අමාරුයි. ස්තූතියි සුදීක මට වැඩිය අමාරුකම් තියන අය ඉන්නවා කියලා මතක් කරලා දුන්නට.

    හිතේ නිදහස ඇතිවී, නැවතත් ලියන්න ඉඩහසර ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. පුදුම අමාරු කාලයක් ගෙවන්නේ. රාජකාරි වැඩ නැතිනම් ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ඔෆිස් එකේ මීටින් වැටෙනා එක තමයි ඉවසන්න බැරි. මම අභියෝග වලට කැමතියි. ඒ නිසාම බොහෝ දෙනා කරගන්න බෑ කියපු දේවල් මම කරලා පෙන්වලා තියෙනවා. අදත් මට බොහෝ දෙනා කියන්නේ ඔය විදියට කරන්න බෑනේ කියලා. නමුත් අපි බලපු චිත්‍රපට, කතා පොත් වල තියෙන චරිත හීන වෙන්න නොදී, අපිත් ඒ චරිතෙකට පණ පොවන්න ඕනේ. ඒ තරම් බැරි වුණත්, පුළුවන් මට්ටමින්. මෙහෙම යත්දී අහිමි වෙන දේ බොහොමයි.

      Delete
  9. ටුවර් එක සාර්ථකද?

    ReplyDelete
  10. ඉතාම අවදානමක්.කොහොම උනත් තත්වය තාම හරි නැති බවයි උත්තර නොලිවීමෙන්ම පේන්නෙ. ඉස්සෙල්ල ප්‍රශ්ණෙ විසඳගන්න.

    ඉන්දික උ.

    ReplyDelete
  11. මොකක්වත් අවවාදයක් දෙන්න නම් යන්නේ නැහැ. උඹ ඉන්න තත්වේ දන්නා නිසා මචන්. කොහොමහරි දුවත් ඉස්කොලේට දාල ගමනත් ගිය එකට සතුටු වෙයන්. මම උඹ නම් හුඟක් වෙලාවට ඉයන් කිව්වා වගේ ඊට කලින් දවසේ දුව ගිහිල්ල අක්කලාගේ ගෙදර දාල ගමන යනවා. මේ වගේ පීඩන මග හරින්නම් තමයි මම ට්‍රයි කරන්නේ බැරිම වුනොත් මිසක්.

    ReplyDelete
  12. මේක කියවද්දී මටත් ඒ අමාරුව දැනුනා කියලා හිතුනා. ගොඩක් වෙලාවට කීප දෙනෙක් එකතු වෙලා යන ගමනකදී අනිවාර්යෙන්ම ප්‍රමාදයක් ඇති වෙනවා. කියන වෙලාවට වැඩ කරන අය ඉන්නේ හරිම අතලොස්සක් නිසා.

    ReplyDelete
    Replies
    1. මමනම් බනිනවා පරක්කු වෙලා ආවොත්... මොකද චාරයක් නැති උන් හින්දා වෙලාවට වැඩ කරණ උන් හැමදාම කට්ට කන්න ඕනා..අපේ මිනිස්සුන්ට පරක්කු වෙනවා කියන එක ගැන ගානක්වත් නෑ. නරකම වැඩේ හැම තැනම පරක්කු ⁣වෙන උන්ව ඇක්සෙප්ට් කරනවා "අපි තව ටිකක් බලමුනේද ?" කියලා..

      Delete
  13. දිගටම ලියමු අයියේ.. මොන යම් හේතු ආවත්.. !

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...