Wednesday, February 22, 2017

එළුපැටියාගේ කතා - තෙවන කොටස ......

මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා. 

දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද

එළුපැටියා වරකා කාපු කතාව 

ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
පින්තූරය ගත්තේ : dreamstime.com
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.

දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
පින්තූරය ගත්තේ : pinterest වෙතින්

"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"

තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

Friday, February 10, 2017

ලෝබයාගේ දේ කූඹියා කෑම හෙවත් මැට්ගේ බෝතලය ඉස්සීමේ මෙහෙයුම ......

මේ කතාව සත්‍ය සිදුවීමක්. මම සේවය කරන ආයතනයේ ගොඩ කාලෙකට කලින් වුණු දෙයක්.  මේක මම අහ ගත්තේ මේ වනවිටත් අප අතරින් වියෝ වූ රණේ මහතාගෙන්. ඔහු තරුණ කාලේ මගෝඩි දෙයියෙක් බව කියන්නට යෙදුන කතා වලින් පැහැදිලි වනවා. රණේලා බොරැල්ලේ බ්‍රාන්ච් එකේ වැඩ කරපු කාලේ නිතරම මල් ශාලාවට ටෙලිෆෝන් කරලා මිනී පෙට්ටියක් ගන්න කෙනෙක් වගේ කතා කරනවාලු. එහෙම කරත්දී මල් ශාලාවේ අය බොහොම උනන්දුවෙන් තමන් ගාව තියෙන මිනි පෙට්ටි ගැනත්, ඒවා භාවිතා කල ඉහළ පෙළේ පුද්ගලයින් ගැනත් පාරම් බාලා කෙසේ හෝ අතේ තියෙන ගාන දැන ගන්න උත්සාහ කරනවාලු. පුලුවාන් තරම් හෙට්ටු කරලා, ගාන හොදටම අඩුවට කතා කරගෙන කට්ටියට ඇති කියලා හිතුණාම කියනවාලු

"අයියේ හැබැයි පොඩි අප්ෂට් එකක් තියෙනවා"

"ඒ මොකක්ද මල්ලි" (ආදරේ වැඩි කමට නෑ කම් වලින් තමයි කතා කරලා තියෙන්නේ)

"තාත්තා හොඳටම අසාධ්‍ය වෙලා දැන් මාස හයක් විතර හොස්පිටල් ඉන්නේ. තාම තාත්තා මැරුණේ නෑ. මැරුණට පස්සේ එන්නම්කෝ කියලා" 

ඒ එක්කම ෆෝන් එක විසන්ධි කරනවාලු. හැබැයි සී.එල්.අයි. එන්න කලින්. දැන් දුන්නොත් නොමිළේ එම්බාම් කරවා ගන්න පුළුවන්.

ඒක පොඩි පඳුරක්. එහෙම නැතුව  ඉතිං ගතියක් නෑනේ. දැන් අපි කථාවට බහිමු. රණේලාගේ ස්වර්ණමය යුගය පසු කරලා තියෙන්නේ ඉබ්බන්වල කිට්ටුව බ්‍රාන්ච් එකක ඉන්න කාලේ. ඒ යුගයේ තමයි එයාගේ දයාබර පෙම්වතිය එහෙමත් මුණ ගැහිලා තියෙන්නේ. මේ කාලේ අපේ රණේ ගැටවරයා. ලිපිකරුවෙකු වශයෙන් සේවය කරලා තියෙන්නේ. ඒ යුගයේ ඔෆිසර්ලා බොහොම සැර පරුෂ පුද්ගලයෝ. ටිකක් ලෙවල් එකෙන් තමයි ඉන්නේ. ආවට ගියාට ඔෆිසර් පට්ටමක් ලැබෙන්නේ නෑ. දැන් ඒකට. ඒ කතා වැඩක් නෑනේ. ඔන්න එක ඔෆිසර් කෙනෙක් ඉඳලා තියෙනවා හරිම මට්ටකුන්ඩලී ටයිප්. කොටින්ම කිව්වොත් කුණු ලෝභයෙක්. මම අලුතෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ඔය වගේ අය කොතැනත් ඉන්නවා. 

මේ කියන ඔපිසර් තුමාට මැට් කියමුකෝ. මොකද එම්.කේ. කියලා කෙටි කරළා ලිව්වොත් අපි අතර හිටිය හොඳ විනෝදකාමී, සුපිරි වැඩ කාරයෙක්, ඒ වගේම මල පනින සොමි ඩයල් එක ගැන වැරදි අර්ථකතනයක් දුන්නා වෙනවා. මම ලියපු ලොල් කතා කිහිපයක්ම එතුමා කියපුවා. බ්‍රාන්ච් එකකට ඒ කාලේ ඔෆිසර්ලා දෙන්නෙක් නැතිනම් තුන්දෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. මේ කියන මැට් උන්නැහෙත් එක්කෙනක්. මම කලින් කිව්වනේ ලොභයා කියළා. ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් මකලා දාන්න පුළුවන්. ඒ වුණාට අමාරුවෙන් ටයිප් කොරපුවානේ. ඔහෙළා කියවන එකනේ. මයෙ මොකෝ. මකන්නෑ. කියෝගන්න එකයි ඇත්තේ. අවුරුද්ද අන්තිමට අපේ වගේ ආයතන වල බ්‍රාන්ච් වලට බොහොම සරු කාලයක්. මොකද ගනුදෙනු කරුවන්, විශේෂයෙන්ම වෙළෙන්දන් විවිධ ත්‍යාග ලබා දෙන කාළේ. මේ කියන මැට්තුමාට ලැබුණා කියන්නකෝ රතු ලේබල් ජොනී වොර්කර් එකක්(අපේ විචාරක තුමාට ලැබුණු එක සිහියට එනවා). මිනිහා මේක දෝතින්ම භාරගෙන කෙළින්ම මිනිහාගේ කබඩ්ගත කරනවා ඒ ශාඛාවේ පියන් උන්නැහේ දුටුවා. මේකෙන් දෙකක් දාගෙන කණ රත් කරගෙන යනහැටි දැන් පියුං උන්නැහේට මැවිලා පේනවා. හවස දෙක තුණ වෙත්දී කට්ටිය මැට් ගාවට ඇවිත් මෙහෙම අහනවලු

"බයිට් වලට මොනවද ගේන්න ඕනේ?"

එතකොට මැට්තුමා මුකුත් නොදන්නා තොත්ත බබා වගේ

"අද බොන්නද ලෑස්තිය. මොනවා හරි හම්බ වුණාද ?" කියලා අහනවලු. මේක  අහලා අපේ රණේලා ඇතුළු පිරිසට පෝක් ඩෙවල් නොහොත් ඌරු ජුවල් වෙලා. ඒත් ඔපිසර් තුමා හින්දා කොරන්න දෙයක් නැති හින්දා පහු බැහැලා.අවුරුද්ද අවසානේ තියෙන පාටියට මේක වඩම්මවයි කියන බලාපොරොත්තුවෙන් හිටියලු.හැබැයි මේක ගෙදර උස්සන් යනවද කියලා කට්ටිය බොහොම සෝදිසියෙන් විශේෂයෙන්ම පියුං උන්නැහේ ඇහැ ගහගෙන ඉඳලා. අන්තිමට අවුරුදු මාරු වෙලා උන්නැහේගේ උපන්දිනේ එහෙමත් පහු වෙලා ගියාලු. මේ අතරේ කොල්ලෝ ගෙන බෝතල් වලින් හීනියට දෙකක් දාගෙන මැට්තුමා ආතල් එකේ මොකුත් නොලැබුණු ගානට ඉන්නවාලු. හැබැයි මිනිහා කබඩ් එක ලොක් කරළා යතුර පණමෙන් සුරකිනවාලු. මේ අතරේ පියුම්ලා රණේලා ගහනවා සැලසුමක්. ඒක අපේ අම්බලන්ගොඩ මලයලා දුන්න සැලසුම වගේම එකක්. 

අන්තිමේදී කට්ටියට දවසක මැට් තුමාටත් ආරාධනය කරනවා ගල් බෝතලයක් හිස් කරන්න. මෙතැන හත් අට දෙනෙක්ම හිටියත් හැමෝම බොහොම ලාවටලු අනුමත වෙන්නේ. නමුත් මැට්තුමා පුරුදු මාත්රාවෙන්ම ඇරලා දාලා. එදා කොහොම හරි ගෙදර යනකොට මිනිහට හොඳටම සූර්ලු. ඊට ටික දිනකට පස්සේ බ්‍රවුන් පේපර් බෑග් එකකින් ඔතපු මැට් තුමාගේ කබඩ් එකේ තිබුණ විස්කි බෝතලය ඉතාම සීරුවෙන් සාගත මල්ලට යනවලු. සඳුදා දවසේ අපේ කතානායක තුමා ඉන්නවලු නයා මැරිච්ච අහුකුන්ටිකයා ගානට. කවුරුත් මොනවත් අහන්නේ නෑ. සීරුවෙන් වැඩ කරගෙන යනවා. 

වෙලා තියෙන දේ හිතා ගන්න අපේ ගල් බලකායේ උදවියටනම් අපහසු නැතිව ඇති. මැට් ගාව තිබුණ රතු ජොනියාගේ දියර හිස් කරලා(ස්ට්‍රොබ් නැති වෙන්නම ඕනේ-මේක මගේ මිතුරෙක් කියපු වචනයක් අර වැඩියෙන් වැටෙනවට දාල තියෙන බොලේ) ,සීරුවෙන් ගල් අරක්කු බෝතලයකුත් තවචුට්ටක් වක්කොරලා තියලා. කොහොමද එහෙම කළේ. මේකත් අර අම්බලන්ගොඩ මලයා දීපු සීන් එක වගේ එකක්. අපේ රහසිගත සංවිධානය මේක උස්සන්න තීරණය කොරලා. උස්සන විදිය ගැන රහසින් සාකච්ඡා කොරලා. අන්තිමේදී මේ අයගේ නිරීක්ෂණයට  හසු වෙලා තියෙනවා මැට් මහතා පොත අත්සන් කොරන්න ලොක්කගේ කාමරේට මිනිත්තු පහකට විතර කළින් ගිහිං එන වගත්, ඒ මොහොතේ පමණක් ඉබ්බාගේ යතුර, ඉබි මල්ලිට තදින් අල්ලා සිටින ලෙසට අණ කොරලා යන බවත්. ඉතිං තවත් දිනයක ඔත්තු සේවාවේ සාමාජිකයින් මැනේජර්ගේ කාමරයේ සිට කබඩ් එක දක්වා සෙනිකව ස්ථානගත වුණා. මැනේජර් ළඟ ඉන්න කෙනා මැට් උන්නහෙව කතාවකට අල්ලා ගත්තා. ඉතිං මිනිහට දනි පනී ගාලා එන්න විදියක් නෑ. මේ අතරේ බෝතලේ ඉස්සුවද පින්වත්නි ? නෑ එහෙම එක පාරට මේවා උස්සන සිරිතක් නෑ. මේක ඉස්සුවේ එතුමා නිවාඩු දවසක බොහොම නිවිහැනහිල්ලේ. ඒ කෝමද අප්පා ඒක කොලේ ? ටිකිරි මොළවලට එන්නේ නැද්ද අදහසක් ?   මොකද කියන්නේ අම්බලන්ගොඩ මලේ කට්ටියට හිතන්න අවස්ථාවක් දෙමුද ? නැත්නම් අර ස්පාඤ්ඤ රජතුමාගේ ඇමති මණ්ඩලය වගේ කියයි. අයියෝ අපි ඕක දැනගෙන හිටියේ කියලා. එහෙනම් දෙමු ට්‍රයි එකක්.

හැබැයි මේවා එහෙම තිබුණානම් කෙලවුන්ස් තමයි
පින්තූරය ගත්තේ :https://www.aliexpress.com
ඔය නෝටි මල්ලිලා, පුතාලා, සේවකයෝ, අරුං-මුං ඉන්න අයට මේක පොරෝජනවත් වෙයි. මෙතැනින් ගිහිං ඩොලර් 11 වැනි සුළු මුදලකට ගන්න පුළුවන්.

Tuesday, February 7, 2017

බන්දු අංකල් ...... Uncle Bandu

බන්දු අංකල්ට, බන්දු අංකල් කියනවාට වඩා වැඩි යමක් කියන්නට මම නොදනිමි. ඒ ඔහු ගැන මතකය අප ඉතා කුඩා කාලයට දිව යන බැවිණි. කෙනෙකු ගැන අලගිය - මුලගිය තොරතුරු හෝ වෙනත් ආගත-නාගත දැන ගන්නට කුඩා එවුන්ට අවශ්‍යතාටක් පැන නගින්නේ නැත. ඔවුන් මිනිසුන් පිලිබඳ මතකය ගොඩ නගාගන්නේ තමන් දකින රූපය මතය.  කෙනෙකුට දක්වන ගරුසරුව හෝ භක්තිය ඇති කර ගන්නේද මෙකී රුපය හෝ දේහය මතය. බන්දු අංකල් ගැන අපගේ(මගේ) මතකයද එලෙසය. 

 කුඩා කාළයේ මගේ ලෝකය සීමා වී තිබුණේ ඉතාම සීමාසහිත  වපසරියක බව කිවයුතුය. එදිනෙදා ජීවිතය බොහෝවිට සීමා වුයේ මගේ නිවසත්, එයට යාබද මහ ඉස්කෝලේ නොහොතේ බෙන්තොට කුමර විදුහල සහ ඉන් ඔබ්බෙන් ඇති මගේ මිතුරු සම්පත් විජේසේකරගේ නිවස(ඇත්ත වශයෙන්ම එය නිවාස සංකීර්ණයකි. ඒ අද පවතිනවා මෙන් එකපිට එක අහස දක්වා ගිය සංකීරණයක් නොව, විශාල වත්තක වට කඩොලු නොමැතිව තනා තිබෙන නිවාස කිහිපයකි)අතරය. ඉතා කළාතුරකින් දවසක් ඉන් ඔබ්බට ගියානම්, ඒ අපේ නැන්දලාගේ ගෙදරට හෝ නිවසට ඉතා ආසන්නයේ ඇති උඩකොටුව රජමහා විහාරයටය. තනියම යනවානම් එසේ වුවද, වැඩිහිටියෙක් සමග යනවානම්, පිටරඹ සිටින ජයසේන බාප්පලාගේ ගෙදර හෝ මවගේ උපන්ගම වන ගෝනගල වැනි තරමක් ඈතින් පිහිටි ස්ථාන වලද කරක් ගැසිය හැකිය. එසේ නමුදු පළමු පන්තියේ සිට තනිවම පාසල් යාමට මට අවස්ථාව හිමි විය.

පාසල් ගොස් ගෙදර ආ විගස බඩට යමක් දා ගැනීම ඕනෑම දරුවකුගේ සිරිත වුවද, පාන් කැබැල්ලකට හෝ තේකකට වඩා දෙයක් අපට හිමි නොවීය. ඒ පාසල් ගුරුවරියකු වූ මගේ මවගේ සහයට කිසිවකු නොසිටි යුගයක, ඇය දිවා ආහාරය පිළියෙළ කරන්නේ පාසැල් ගමනෙන් පසුව වීමය. මේ වයසේදී කෑම බීම ගැන වගක් ඇති ළමයෙකු සොයා ගැනීම ඉතා අසීරු කරුණකි. මා මේ සඳහන් කරන වයස අවුරුදු නවයක් හෝ දහයකි. කෙළිලොල් අපට හවසට ක්‍රිකට් ක්‍රීඩා කරනවාට වඩා දෙයක් නැත. ඉහත කී නිවාස සංකීර්ණය තුල වාහන ගමන් ගත හැකි පාරවල් දෙකක් ඇත. එකක් විජේසේකර මහ ගෙදරට ප්‍රවේශ වන මාර්ගයය. අනෙක ඉන් බිඳී අංශක තිහක පමණ කෝණයකින් නිරිත දෙසට ගමන් ගන්නා අනෙක් මාර්ගයයි. මේවායේ පළල අවම වශයෙන් අඩි දහයක් පමණ ඒවාය. නිරිත දෙසට ගමන් ගන්නා මාර්ගය නිවාස දෙකක් ආවර්රණය කරයි. එකක් සම්පත්ගේ ලොකු නැන්දා පදිංචි තට්ටු දෙකේ නිවසය, අනෙක සම්පත්ගේ නිවසය.

මේ මාර්ග ගැන විශේෂයෙන්ම සඳහන් කළේ, ඒවා අපි ක්‍රිකට් ක්‍රීඩාකල විකට් නිසාය. සම්පත්ලාගේ නිවසින් අවසන් වන මාර්ගයේ සම්පත්ලාගේ නිවස  අසල එක් විකට්ටුවකුත්, ඔවුන්ගේ  මහගෙදරින් අවසන්වන මාර්ගයේ අනෙක් විකට්ටුව ලෙසත් භාවිතා  කළෙමු. මේවා  නියම  ක්‍රිකට්  පිච්  ලෙස පවතින්නේ අප ප්‍රදේශයේ ස්වාභාවයෙන්ම පිහිටා  ඇති වැලි සහිත මඩ පස නිසාය. යටින් තද වී ඇති නිසාත්, මතුපිටින් වැලි ඇති  නිසාත් රබර් බෝලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උචිතම ස්ථාන දෙකක් විය. මම, සම්පත් සහ ඔහුගේ සහෝදරයා ක්‍රීඩා කරන දිනකදී ඔහුගේ නිවස අසල විකට්ටුවත්, පිරිස වැඩි දිනයන්හී(ඉන්දික සහ ඔහුගේ ඥාති සොයුරා)  මහගෙදර විකට්ටුවත් භාවිතා කළෙමු. සම්පත් ගැන වචනයක් සඳහන් කල යුතුමය. ඔහු පන්දුවට පහර දෙන අවස්ථා වලදී දැවී යාමට ඉතා අකමැතිය. මා හෝ ඔහුගේ සහෝදරයා හෝ ඔහුව කලින් දවා ගත්තොත් ඔහු උරණ වෙයි. ඉන් පසු ඉතා වේගයෙන් අපට පන්දු යොමු කරයි. එනිසා බොහෝවිට අප කරන්නේ පන්දු නිදැල්ලේ යාමට ඉඩ හැරීමයි. එවැනි පන්දුවක් ඔවුන්ගේ නිවසේ වීදුරු ජන්ලෙයක වැදුණු විට ඔවුන්ගේ මව නිශේද බලය පාවිච්චි කර ක්‍රීඩාව අත්හිටුවයි.

කලින් සඳහන් කළ සම්පත්ගේ  ලොකු නැන්දා හෙද පාළිකාවක්(Sister) වුවාය. ඇය විවාපත් වී සිටියේ බන්දු අන්කල් සමගය. ඔහු සේවය කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේය. ඒ නිසාමදෝ සෑම දවසකම සූර් වී ගෙදර පැමිණෙන ඔහු,, ල ලොකු නැන්දා සමග කුමක් හෝ ආරෝවක් පටලවා ගනී. ඔහු සේවයට ගොස් පැමිණෙන්නේ සම්පත්ලාගේ නිවෙස පිටුපසින් ඇති පටු මාවත ඔස්සේය. ඔහුගේ රූපකායට සමාන පුද්ගලයන් අද කෙතරම් සිටියත්, එවකට මා ඔහු සමාන කරගෙන සිටියේ මගේ චිත්‍ර ගුරුතුමා විසින් නිර්මාණය කල කාටූන් චරිතයක් වූ යෝධයාටය. හෙතෙම යොදයෙකුට සරි සිරුරකට හිමිකම් කීවේය. නමුත් බඩ තඩිය නිසා පෙරකී යෝධයාට සමාන විය. දීපාල් සිල්වාට සමාන ඝන උඩු රැවුල ඔහුට රවුද්‍ර පෙනුමක් ගෙන දුන්නේය. නමුත් කුඩා අපත් සමග ඉතා කුළුපග පුද්ගලයෙකු විය. ඔහුගේ එකම සතුරා ලොකු නැන්දාය. ඇය දුටු තැන ඇඟට කඩා පැනීම ඔහුගේ සිරිත විය. බීමතින් ඔහුටම ආවේනික ශෛලියකින් ඉතා රෑ බෝ වනතුරු සිංදු කීම ඔහුගේ සිරිත විය. දවසක් පිටි ටින් එකක් අතැතිව ඔහුට මුහුණදුන් ලොකු නැන්දාට සිදු වුයේ බෝම්බ ප්‍රහාරයකට මුහුණ දීමටය. ඒ ඔහු එය උදුරාගෙන පයින් ගැසීම නිසාය. පියන ඇරුණු පසු දුම් වලාවක් සේ පළාතම වැසීගත් ඒ දසුන අදටත් මගේ මතකය අලුත් කරයි. කුඩා දරුවන් වූ අප බන්දු අන්කල්ගේ මේ වැඩ කිඩ ගැන කතා කලේ මහත් උජාරුවකිනි. විශේෂයෙන්ම සම්පත් ඔහු ගැන මහ ඉහලින් වර්ණනා කළේය.

බන්දු අන්කල් සතුව මූනිස්සම් තුවක්කුවක් විය. මෙය කාලයාගේ අවෑමෙන් අපගේ පරිහරණයට සරි විය. සම්පත් සතුව මූනිස්සම් දෙකක් විය. ඉන් එකක් තුවක්කුව කඩා, ලෝඩ් කරගත්තද කොකා ගැස්සීමට ඔහු බිය විය. ඔහුගේ පියා වෙත එය ගෙන යාමට ඔහු මැලි කමක් දැක්වු නිසා, එයත් රැගෙන හනික අපේ ගෙදරට ගමන් ගත්තේ මහ ඉස්කෝලේ පිට්ටනිය හරහාය. මගේ පියාට දුන් විට, තමා බිබිලේ රාජකාරි කරන කාලයේ තුවක්කුව පරිහරණය පුරුදු වූ බව පවසා, එහි මිට උරහිසට තබා, අසල තිබුණ ටින් එකකට ඉලක්කය ගෙන කොකා ගැස්සීය. මෙය බලාගෙන සිටි අපට මෙය ටොයිස් වැඩක් බව පැහැදිලි වුවද, හරියට මෙය පරිහරණය නොකළොත් උරිස්ස පැනීමට වුවද ඉඩකඩ ඇති බව පියා අනතරු ඇඟවීය. දෙවන මූනිස්සම ලෝඩ් කරගත් අප, දැන් ඒ කාලයේ තිරගත වූ වීර පුරන් අප්පු ජවනිකාවක් රඟ දැක්වීමට සුදානම්ය. සම්පත්ගේ සිත්ගෙන තිබුණේ සුද්දන් දන නමා කල වෙඩි තැබීමටය. පිට්ටනියේ ඔහුගේ නිවාස අසලට වන්නට පොල් ලෙලි වේලෙන්නට දමා තිබෙන තැනට ගොස්, සුද්දන් අනුගමනය කරමින් දන බිම ඇණ, වන්-ටු-ත්‍රී යනුවෙන් තමන්ටම කියාගත් ඔහු කොකා ගැස්සීය. ඩෝං හඬක් නංවමින් එය පත්තු වූ උද්දාමයෙන් මා කෑ ගැසුවත් සම්පත්ගේ මුහුණ එතරම් හොඳ නැති බව පැහැදිලි විය. පසුව බැලීමේදී තුවක්කුවේ කොකාට ඔහුගේ ඇඟිල්ල අසු වී ළේ එන්නටම තුවාල වී තිබුණි. ඉන් පසුව ඔහු කිසිම දිනක එය පරිහරණය නොකළේය. පසුව එහි නිත්‍ය ක්‍රියා කරුවා මා විය. නමුත් මූනිස්සම් නැතිව කෙසේ වෙඩි තබන්නද ? ඒ ගැන කල විපරමකදී කෙනෙකු පැවසුවේ මූනිස්සම් වෙනුවට මුං ඇට යොදා ගත හැකි බවය. ඉන් පසුව අප මුං ඇට යොදාගෙන කදිමට වෙඩි තබන්නට පටන් ගත්තද, කවුරුන් හෝ සම්පත්ලාගේ මවට ලබා දී තිබූ ඔත්තුවක් නිසා එම අවස්ථාව මග හැරී ගියේ ලත් තැනම ලොප් වන ස්වභාවයකිනි.

අපට පාපන්දු ක්‍රීඩා කරන්නට මහත් ආශාවක් තිබුණි. නමුත් අපට තිබුණු එකම අඩුපාඩුව පාපන්දුවක් නොමැති කමය. මේ බව බන්දු අංකල්ට පැවසු විට,තමාද පාපන්දු ක්‍රීඩා කර ඇති බවත්, යලිත් ක්‍රීඩා කිරීමට තමාටද අවශ්‍යතාවක් ඇති බවත්, තමන් පාපන්දුවක් අපහට ගෙනැවිත් දෙන බවත් පොරොන්දු වීය. නමුත් කන බොන මිනිසුන්, දෙකක් දා ගත් වෙලාවට කියනා දේවල් එතරම් ගණන් නොගත යුතු බව පාලිත අයියා ඇතුළු බොහෝ දෙනාගේ මතය විය. වැඩ ඇරී ගෙදර එන ගමන්, පිට්ටනිය අසලට වී අප කරන ක්‍රීඩාව දෙස මදක් බලා සිටින බන්දු අංකල් සමග බොහෝ දෙනා කථාවට පෙළඹෙන්නේ, දෙකක් දමා සූර් වි සිටින ඔහුගෙන් හොඳ කියුම් කිහිපයක් අසා ගැනීමේ අදහසිනි. නමුත් එක් දිනක් අප බොහෝ දෙනා මවිත කරමින්, දුඹුරු පැහැති පොල් ලෙල්ලක් වැනි යමක් තමන්ගේ බෑගයෙන් ඇද අප වෙත විසි කරන ලදී.  ඇත්තටම එය තොප්පියක් වැනිය. මොහොතකින් එය බෝලයක් බව කාලයක් ක්‍රීඩා කර අත්දැකීම් ඇති පාලිත අයියා වටහා ගත්තේය. නමුත් තවමත් අපට මෙය අදහා ගත නොහැකි වුයේ, බෝලයක් නම් රවුම් විය යුතුය.

"මේක හරියට වළඳක් වගේනේ"  කෙනෙකු පැවසීය.

"මේකට හුලං ගහන්න පොම්පයක් ඕනේ වෙනවා". අවස්ථාවේ වීරයා වූ පාලිත අයියා කියා සිටියේය.

මොහොතකින් කෙනෙකු ගෙදර දිව ගියේ, තම පියාගේ බයිසිකලයට හුලං ගසන පොම්පය රැගෙන එන්නටය. ඒ අතරතුරදී මෙහි ඇති ලේස් ලිහා බැලුම් බෝලයක කටක් වැනි කොටසක් එලියට ගන්නට පාලිත අයියා සමත් විය. අපට බෝලය දුන් බන්දු අංකල් ගැන වගේ වගක් නැතිව උන් අපගෙන් කෙනෙකු ඔහුව හොයන්නට වුයේ ඔහුගෙන් ඒ ගැන වැඩි තොරතුරු විමසන්නටය. දැන් සම්පත් මේ දෙස බලා සිටින්නේ ඉතා ආඩම්බරයකිනි. මන්ද මෙහි නිත්‍ය හිමිකරුවා තමා වන බැව් හේ ඉවෙන් මෙන් වටහාගෙන සිටි බැවිණි. මාලනී නැන්දා සමග විවාපත් බන්දු අංකල්ට තවමත් දරු සුරතල් බලන්නට අවකාශ ලැබී නොතිබුණෙන්, ඔවුන්ගේ දරුවන්ගේ අඩුව අප කිහිප දෙනෙකු පුරවාලනු ලැබිණි. ඒ නිසා ඔවුන්ගේ ආදර සත්කාර අපට නොඅඩුව ලැබුණි. ඒවා රසකවිල්ලකට තේ කෝප්පයකට සීමා නොවී පාපන්දුවක් දක්වාම වර්ධනය වුයේ එහෙයෙනි. ඔහුට ළමයින් වූවානම් තත්වය මීට වඩා වෙනස් අතක් ගන්නවා සිකුරුය.

තවත් මොහොතකින් පොම්පයේ බටය, වැල් කටට තදින් අල්ලා ගන්නට එකෙකුට පවරා පාලිත අයියා බයිසිකලයට හුලං ගසන ආකාරනම් ඊට හුලං පිරවීය. එය හෙමින්-හෙමින් රවුංවී එනු අප බලා උන්නේ නොයිවසිල්ලෙනි. එක්තරා මට්ටමකට හුලං ගැසූ  පාලිත  අයියා, වාහා පැන එහි කටින් අල්ලා ගත්තේ බැලුන් බෝලයක කට අල්ලා ගන්නා නියායෙනි. ඉන්පසු එය ඇතුළට දමා නවා, බුරුල් කල ලේස් අල්ලා තද කරන ලද අතර. එය දෑතින් තද කර හුලං ප්‍රමාණය පිරික්සීය.

"තව පොඩ්ඩක් හුලං වැදුනානම් තමයි හොඳ. ඒත් කමක් නෑ උඹලාට වැඩිය හුරු නැති හින්දා" යයි දනමුත්ත්තෙකු සේ කියා සිටියේය. ඉන් පසුව එය උඩ දමා පා පහරක් ගැසීය. එය ගමන්ගත් පැත්තට අප දිව ගියේ පිස්සුවෙන් මෙනි. ඉන්පසු ලැබෙන ලැබෙන එකා එයට පයින් පහර දෙන්නට විය. නමුත් බොහෝ පහරදුන් කිසිවෙකු යලිත් එයට පහර දීමට නොයා කකුල අල්ලාගෙන තැන-තැන වාඩි විය. පන්දුවට පහරක් දුන් මටද දවල් තරු පෙනුණේය. ඒ මගේ කකුලේ මහපට ඇඟිල්ල බිත්තියක, පුටු කකුලක ඇනුනාට වඩා වේදනාවක් දුන් නිසාය. සියළු දෙනා කදවාගත් පාලිත අයියා එයට පහර දෙන අකාරය පෙන්වීය. අපිද ඔහු පෙන්වන ආකාරයට පාදය හරවා පැත්තෙන් පහර දෙන්නට උත්සාහ ගතිමු. තවත් ටික වෙලාවකින් කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රීඩා කරන්නට අපට හැකි විය. ඒ වනවිට බන්දු අන්කල්ද අප හා එක් වී පොඩි එකෙකු සේ පන්දුව පිටුපස හඹා යාමේ කර්තව්‍යට උර දී හමාරය. තවත් මොහොතකින් තවත් ගැටළුවක් මතු විය. ඒ පන්දුවේ ලේස් තිබෙන ප්‍රදේශයට පහරදුන් අය යලිත් කකුල් අල්ලාගෙන බිම ඉඳ ගැනීම නිසාය. ඇත්තටම එය මහත් වේදනා ගෙන දෙන අවස්ථාවකි. කකුල පැත්තට හරවා පහර දෙනවාට වඩා, ඇඟිලි උඩට නවා යටි පතුලෙන් පහර දීමේ පහසු ඉරියවව්වක් අප පසුව සොයා ගතිමු. ටික දිනකින් මේ ආරංචිය ඔස්සේ පාපන්දු ක්‍රීඩාවට බොහෝ දෙනා පැමිණෙන්නට විය.

මේ ආකාරයෙන් අපේ වීරයා වූ බන්දු අංකල්, තවත් වීරයෙකු වන ආරංචියක් සම්පත් ගෙන ආවේය. ඒ බන්දු අංකල් "වීර පුරන් අප්පු" චිත්‍රපටයේ රඟපා ඇති බවය. එහි දොලාවක් කර ගහගෙන යන හතර දෙනාගෙන් කෙකු ඔහු බව සොයාගෙන තිබුණි. එය අපේ ගමේ ලැවූ ගින්නක් සේ පැතිර ගියේ, බන්දු අංකල් ගමේම වීරයෙක් කරමිනි. මේ කිසිවකින් ආඩම්බර නොවූ හෙතෙම හවසට මදුවිතක් තොල ගා සිංදුවක් කියාගෙන ගෙදර ආවේය.
පින්තූරය ගත්තේ : https://www.etsy.com

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...