Saturday, August 5, 2017

උමා ඔයෙන් ගොඩ යාමට නම් ...... To Recover from Uma-oya adversity

උමා ඔය ව්‍යාපෘතියන නිසා බණ්ඩාරවෙල  ආශ්‍රිත ප්‍රදේශයට වන හානිය ඔබ මේ වනවිට හොඳින් දන්නා කාරණයක්. ඉන් ඇති වී තිබෙන ජල මුලාශ්‍රය සිඳීම, නිවාස ඉරිතැලීම වැනි හානි නිසා එම ව්‍යාපෘතිය නතර කිරීම අනුවන ක්‍රියාවකි.  වෙල්ලස්සේ ජනතාව බොහෝවිට වසරේ දින 365ම ජල හිඟය නිසා පීඩා විඳියි. එයට පිලියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම යහපත් ක්‍රියාවකි. මා කිසිසේත් මෙවැනි ව්‍යාපෘති වල සිදුවන ගනුදෙනු, ටෙන්ඩර් ගැන හොඳ හෝ නරක කථා කිරීමට බලාපොරොත්තු නොවේ. නමුත්  අද මුහුණ දී ඇති තත්වයට අපි ජාතියක් වශයෙන් මුහුණ දිය යුතුය. පවතින රජය කෙසේ හෝ එම තත්වය මගහරවාලීමට කටයුතු කළ යුතුය. මන්ද වෙල්ලස්සට වතුර දෙන්න ගොස්, ඌවත් විනාශ කර ගත යුතු නැත. මා කලින් යහපත් ක්‍රියාව ලෙස අර්ථ දැක්වූයේ ඌවේ ජල අතිරික්තය වෙල්ලස්සට ගෙන යාමයි. 

මෙවැනි ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථම කලයුතු දේ පිලිබඳ දැන් වාද විවාද කිරීමෙන් පලක් නැත. තිබෙන එකම ඵලය  දේශපාලන වාසි ලබා ගැනීමයි. නමුත් පසුගිය රජයට එරෙහිව එවැනි වාසි ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැවතත් 2020 දීය. ඒ මැතිවරණය කාළයකදීය. මේ දවස් වල ස්කෝර් කර තිබීම හොඳ යයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අද තිබෙන තත්වය එසේ පවත්වා එම වාසියද ලබා ගත නොහැකිය. ඒසේනම් කළ යුත්තේ මේ තත්වයට මුහුණ දීමය. පහලින් තිබෙන්නේ සමාන තත්වයකදී මැලේසියාව හැසිරුණු ආකාරයය. එහි විපක්ෂය හෝ රජය මේ පිළිබඳව තර්ක විතර්ක කර ගත්තාදැයි නොදනිමු. නමුත් එම ව්‍යාපෘතිය සිදු කළ අකාරය නම් ප්‍රශංසනීයය. මෙම ලිපිය ලියන්නට මා මෙතරම් ප්‍රමාද වීම ගැන අදටත් පසුතැවෙමි. මන්ද මා එය නැරඹුයේ එය මුලින්ම නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ විකාශණය වූ අවස්ථාවේදීය. නමුත් ඒ අවස්ථාවේ උමා ඔය ආශ්‍රිත මේ ඉරි තැලීම්, වියලීම් පිලිබඳ මට අසන්නට නොලැබිණි. අපේ මිත්‍ර කලාහිත තැබූ සටහන් කිහිපයක්නම් කියවූ මතකය ඇත. 

එම වීඩියෝව අපේ සිද්ධිය හා කෙතරම් සමපාත වනවාදැයි  මට  පසක්  වුයේ  සති  කිහිපයකට පෙරය. ඒ  උමා ඔය  ව්‍යාපෘතියේ  සැබෑ තත්වය  රුපවාහිනි  නාලිකා මගින්  පෙන්වන  විටය. මා  වචනයෙන් එය  විස්තර  කරන්නට යන්නේ  නැත. ඔබට  ඉංග්‍රීසි තේරුම් ගැනීමට  නොහැකි වුවත්, මෙහි සිදු වන්නේ කුමක්දැයි  තේරුම් ගැනීමට පහසුය. මැලේසියානු උමං දුම්රිය මාර්ගය තැනීමට ඔවුන්ට සිදු වන්නේ දහසකුත් එකක් ජනතාව ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශ හරහාය. නමුත් ඔවුන් කෙතරම් සියුම්ව එය සිදු කළාදැයි ඔබට මේ වීඩියෝව නරඹා අවසන් වනවිට තේරුම් යනවා ඇත. එහිදීද නගරයේ ජනතාවට විශාල නිවාස හානි වලට මුහුණ දෙන්නට සිදු වේ. නමුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඉංජිනේරුවන් එයට පිළියම් යොදයි. එය සිදු කරන ආකාරය ඔබගේ දෑසින්ම නරඹන්න. මේ සඳහා වැය වන දත්ත අපතේ ගියා සේ ඔබට නොසිතෙනු  ඇත.

  
දියුණු එමෙන්ම එක්සත් ජාතියක් ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරයත්. අප වැනි අවස්තාවාදී දේශපාලනයක  නියැලෙන රටක එම ප්‍රශ්නය භාවිතා කරන ආකාරයත් දැන් ඔබට වැටහෙනවා ඇත. මෙහිදී මා දකින තවත් එක් වැදගත් දෙයක් වෙයි. මෙම වීඩියෝව නැරඹු ඔබටද එය පසක් වී ඇතුවාට සැක නැත. ඒ තනිකරම ආධුනික ස්වදේශීය ඉංජිනේරුවකු, ජාර්මන් විසේසඥයන් ඇසුරේ ප්‍රවීනයෙකු වන ආකාරයයි. එම ව්‍යාපෘතියේදී එවැනි අතුරු අන්තරාවක්(Project Variation) සිදු නොවිණි නම්, ඔහුගේ අත්දැකීම හුදෙක් කැණීම් ඉන්ජිනේරුවෙකුගේ අත්දැකීමක් වනු  ඇත. නමුත් දැන් අප වැනි ජාතියකට උපදෙස් දෙන්නට තරම් අත්දැකීම් ඔහු සතුව ඇත. කෙනෙකු වඩාත්  පරිණත වන්නේ, ඔහු මුහුණ දෙනු ලබන අත්දැකීම් වල ගැඹුරත් සමග යයි මාගේ විශ්වාසයයි. අද එම ඉංජිනේරුවා අපට පසක් කරන්නේ එයම නොවේද?

එය නරඹා අවසන් වූ පසු මෙම වීඩියෝවද නරඹන්න

මමත් මෙම වීඩියෝව නරම්බින් සිටින නිසා ඒ පිලිබඳ අදහස් දැක්වීමෙන් වැලකෙමි. නමුත් එයද මා  නරඹා ඇතිවා යන්න මතකයක් තිබේ. ඒ පිලිබඳ සටහනක් පසුව ඉදිරිපත් කරමි.

Wednesday, July 26, 2017

නයිට් ගැහිල්ල ......

අපේ අල්ලපු ගෙදර මළ ගෙයක්. ඒ ගෙදර හිටිය වයසක අම්මා මිය පරලොව ගිහින්. මම තවම ගියේ නෑ. නොගියත් ඒ අය කළබල වෙන්නෙත් නෑ. මොකද මේ නාගරික පරිසරයේ කවුරුවත්, තවත් කෙනෙකු වෙනුවෙන් මහන්සි වෙන්නෙත් නෑ, එහෙම වෙයි කියළා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. 

අපි ගං වල මිනිස්සුනේ. ඉතිං හොඳට නයිට් ගැහිල්ල පුරුදුයි. අවුරුදු අසූවක් පැනපු මගේ පියාත් තවම ගමේ මළ ගෙවල් වල නයිට් ගහන්න යනවා. නගරේ ඔය තත්වේ වෙනස්. අපි ඔෆිස් එකේ මෙනකාගේ මාමණ්ඩි මල වෙලාවේ මමත් ගියා නයිට් එකක් ගහන්න බලාගෙන. මොකද එයාලගේ ඒ ගෙදරට ලඟම කාර්යාලීය සගයා මම වෙච්චි, නොයන එක හිතට මහ මදිකමක් වුණා. මමත් වොෂ් එකක් දාගෙන එහෙම මළගෙට ගැලපෙන ඇඳුමක් එහෙම දාගෙන ගියා නයිට් එකක් ගහන්න. ඔන්න හතහාමාර - අට වෙනකොට මළගෙදරට ආව ඒකා දෙන්නා මාරු වෙනවා. රෑ දහය විතර වෙනකොට මම විතරයි. දැන් මෙනකාගේ හස්බන්ඩ්ට හොඳටම නිදි මතයි කියළා මට පේනවා. ඇමති බිරිඳක් වෙච්චි මේනකාගේ සොයුරියත් එක්ක මම දිගු කයියකට සෙට් වෙලා හිටියේ. මේ අතරේ මේනකා එනවා මං ලඟට ඇවිදින් කියනවා

"සුදීකෝ අපි නම් තව ඩිංගකින් දොරවල් වහලා දාලා නිදා ගන්නවා. උඹත් ගෙදර ගිහිං නිදා ගනින්"

මාව කරකවලා අතඇරියා වගේ වුණා. ඇයි හත් දෙයියනේ මළ ගෙවල් වල දොරවල් ජනෙල් වහනවා කියලා මම ඔය ඇහුවමයි. අපේ ගං වලනම් හත්දොහේ දානෙත් අහවර වෙනකං ඉතිං දොරවල් වහනවා තියා නිදා ගන්නවත් බොරු. මේ කොළඹ හැටි වෙන්න ඇති. මට හිතුණා. 

ඊට පස්සේ මගේ මතකය ඊටත් පොඩ්ඩක් පස්සට දිවුවා. ඒක ඊට එහා කතාවක්. ඔන්න අපෙත් එක්ක එකට බැංකුවට ජොයින් වෙච්ච රොහාන් කාරයාගේ ආච්චි නැති වුණා කියන ශෝකජනක පුවත අපේ දෙසවන වැකුණා. අපි එදා හවස වැඩ අහවර වෙනකං හිටියේ පුදුම නොයිවසිල්ලකින්. කොළඹ බෝඩින් වල ජීවත් වෙච්ච අපිට මේ වගේ සීන් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතිං බෝනස් එකක්. මොකද ඒ වෙනකෝටත් ඔෆිස් එකෙන් ඕෆ් වෙලා හවස බස් හෝල්ට් එකේ පැය දෙක තුනක් කථා කර කර ඉන්න අපි කිහිප දෙනෙක් පුරුදු වෙලා හිටියා. වැඩියෙන්ම මමයි ප්‍රියන්තයි. ඒ කාළෙ අපේ සිත් ගත් කුමාරිකාවෝ ගැන තමයි මේ සතර කම්මන්ත්‍රණය. ඊට අමතරව ගුණසේකර උන්නැහේ, සිල්වා උන්නැහේ, මහින්ද වගේ චරිත ගැන කථා වෙනවා. මොකද ඔය රාජකාරි ගවේෂණයන්ට ඒ කාලේ කවුරුත් පොර කනවා. තාරුණ්‍යයේ පසු වුණු කවුරුත් වගේ ලංකාවේ සතර දිග්භාගයේ ඇවිදින්න තමයි ආශාව. මේ වගේ චෑන්ස් ඉතිං කාටද අප්පේ හඹා වෙන්නේ. ඇවිද්ද පය ...... ලියන්න තිබුණු මූලික අරමුණත් ඒකම තමයි. ඒ වගේ ගමන් වල අත්දැකීම් බෙදා ගන්න. ඒ කාරිය තවම අහවර කරන්න බැරි වුණා. 

ඉතිං ඔය මුලින් කිව්ව චරිත තුණ තමයි තීරණය කලේ අපි කොයි දිසාවේද යන්න ඕනේ කියළා. මේ වෙලාවේ මතකෙට එන දේවල් එහෙමම අමුවෙන් කියලා දාන්න හිතුණා. මුලින්ම මේ වගේ පිට පළාතකට ගෙනියන්න තීරණය වුණු අලුත් අයගෙන් කිහිප දෙනෙකු අතරට මමත් එකතු වුණා. ඒ අපි ජොලියට බර පොරවල් නිසා බව තමයි පැරැන්නෝ කිව්වේ. නමුත් මේ එක්කම වෙනත් හැකියාවල් එහෙමත් මැනගෙන තිබුණා. රුචි අරුචිකම් එහෙමත් ඕවාට අඩංගුයි. ඉතිං මුලින්න එහෙම යන්න වුණේ බදුරලිය බ්‍රාන්ච් එකට. මගේ ගම් පළාත ගැන හිතලා ගුණසේකර උන්නැහේ මාවත් මේකට දාන්න තීරණය කරලා තිබුණා. මගෙන් ඒ ගැන විමසුව ගමන්ම මම කැමැත්ත ඵල කළා. අහවල් එහෙකට අකමැති වෙන්නද ? මෙතැන යම් වැරදි වැටහීමක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ මමත් එක්ක එක දවසෙනම පත්වීම් ලැබූ මගේ අතිජාත මිත්‍රයා සුභාෂ් සහ මම(සුභාෂ්) දෙදෙනා පටලාවා ගනිමින්. අපි මුලින්ම වැඩට ආපු දවසේ ජයවර්ධන නෝනා අපෙන් නම් අහත්දී මමත් මගේ මිතුරාත් දෙදෙනාම එකම නම කිවුවා. ඇය එවිට අපගේ වෙනත් නම් විමසා සිටියා. මම දිල්රුක් නම කියා සිටියා, මගේ මිතුරා ලංකා යන නම ඉදිරිපත් කළත්, ඔහුට සුභාෂ් සහ මට දිල්රුක් යනුවෙන් ඇමතීම යෙහෙකැයි ඇය පවසා සිටියා. 

නමුත් ඒ වනවිට අප දෙදෙනාම සුභාෂ් යනුවෙන් අමතන්න ඉඳහිට ප්‍රධාන කාර්යාලට සැපත් වන මේ චාරිකා නඩය හුරු වී තිබුණා. මේ වෙනස් කම පිලිබඳ තවමත් ඔවුන් දැනුවත් වුයේ නෑ. එයට ප්‍රධාන හේතුව, පිස්සුවක් මෙන් ලංකාවේ හතර දිග් භාගයේ ගැහැණු පිරිමි භේදයක් නැතිව සැරිසැරූ මේ නඩය ඉඳහිට කොළඹට සම්ප්‍රාප්ත වන්නේ ඔවුන්ගේ අතිකාල සහ ගමන් වියදම් දීමනා ඉදිරිපත් කිරීමට පමණක් වීම. මේසේ ගමන් ගැනීම අපූරු ඉල්ලම් බවට කිහිප දෙනෙකු පත් කරගෙන තිබුණා. ඒ තමන්ගේ වේතනය ගෙඩි පිටින්ම ඉතිරි කිරීමේ හැකියාව ඇති නිසා. මේ නිසා අපවැනි අවස්ථා පසුපස ලුහු නොබඳින කිහිප දෙනෙකුට වට කඩොලු ඇහුරුණා. මා කියාගෙන ආවේ අප දෙදෙනාගේ නම් පටලැවිල්ල පිළිබඳවයි. බදුරලිය ගමනේ ස්වේච්චා නායකත්වය භාර ගත් ලලිතා මෙනෙවිය(අවිවාහක) මා වෙනුවට, සුභාෂ් කැඳවාගෙන මේ ගමන පිටත් වෙන්න සැලසුම් කළා. නමුත් ඒ සඳහා මුලින් තෝරා ගෙන තිබුණේ මා බව මා ඔවුන්ට පවසන්න උත්සුක වුණේ නෑ. එහෙම පුරුදුදක් මගේ ළඟ තිබුණේ නෑ. පසුව ඔවුන්ගේ ඒ ගමන අත්දැකීම් බහුල එකක් බවට පත් වී තිබුණා. ඒ අනපේක්ෂිත ගංවතුරකින් ඔවුන්ට සංග්‍රහ කර තිබීම නිසා. නමුත් කුරුවිට ප්‍රදේශයේ උපන් මගේ මිතුරාට මෙය අලුත් අත්දැකීමක් නොව, එදිනෙදා ජීවන පුරුදුදක් නිසා කිසි කලබලයක් ඇති වී තිබුණේ නෑ. ඔවුන් හබල් ඔරුවකින් ගමන් ගන්නා දර්ශණ ඡායාරූපයට නගා තිබුණේ අපේ කාර්යාලයේ ඉරෝෂා. ඇය මෙවැනි ගමනකට ෆිල්ම් රෝල් දෙක තුනක් අවසන් කරන්න අමතක කලේ නෑ. අදත් ඇයගේ ඇල්බම් පෙරළුවා නම් අපූරු අත්දැකීම් පිලිබඳ මතකය යළි ගෙන එන්න ඉඩ තිබුණා. නමුත් ඇය මේ වනවිට විදේශගතවයි සිටින්නේ. ඒ කාළයේ කවුරුත් ඇය ආමන්ත්‍රණය කලේ ෆොටෝජෙනික් නමින්.

මා ලියාගෙන ආ මූලික කතාව මෙය නොවෙයි. ඒ නයිට් ගැහිල්ල. ඉතිං රෝහාන්ලාගේ ගෙදර යන්න මේ අතරින් අප කිහිප දෙනෙකු(කොළඹ සිටි) කථිකා කර ගත්තා. සුමිත්, මලින්(විජේරාමෙ හාදයෙක් වුණත් අප සමග ඉතා කුළුපග මිතුරෙකු වී සිටියා), චමිල, ප්‍රියන්ත සහ මම එකතු වුණා. ප්‍රියන්ත ගැන පුංචි දෙයක් සඳහන් කරන්න ඕනෙමයි. ඒ ඔහු කොළඹ සරසවියේ සිසුවෙකු ලෙස බ්ලොම් නේවාසිකාගාරයේ සිටි අයෙකු වීමයි. මා එකළ බදුල්ලේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ගොස් එන ඕනෑම දිනක නවතින්නේ මේ බ්ලොම් නේවාසිකාගාරයේ. ඒවාට යන එන අය ගැන වැඩිමනත් කවුරුත් වද වෙන්නේ නොමැති වීම ඒ කාරණයට පිටිවහලක් වුණා. ඔවුන් අතර සහෝදරත්වය, සමානාත්මතාවය මැනවින් තිබුණා. කොහොමත් අප දෙදෙනා එක වයසේ පසු වූවන් නිසා කාටත් සැකයක් ඇති වන්නට හේතුවක් වුණේ නෑ.  ඉතිං අපි හතරදෙනා කොම්පකදකදවීදියෙන්(කොම්පඤ්ඤවීදියේ දුම්රිය පොළේ සටහන් වෙන ආකාරයට) සප්පායම් වී වී බත්තරමුල්ලේ පිහිටි රෝහාන්ලාගේ නිවසට යන්න බස් රථයකට ගොඩ වුණා. 

ඒ වර්ෂාධික දිනයේ රෝහන්ලාගේ නිවාස සොයාගෙන එහි ලඟා වනවිට රාත්‍රී නවයට ලං වී තිබුණා. අප සමග අල්ලාප-සල්ලාපයේ යෙදුණු රොහාන්, මම නම් තව ටිකකින් නිදා ගන්නවා. ඔයාලත් නිදියනවානම් උඩ තට්ටුවේ ඉඩ තියෙනවා යනුවෙන් පවසා සිටියා. අපි කිහිප දෙනා තුෂ්නිම්භූතව එකිනෙකාගේ මුහුණ බලා ගත්තා. මේ අතර රොහාන් වෙනත් කාරියකට නිවාස තුලට ගියා. මූට වැඩක් නැත්තම් අපි මොකටද ඉන්නේ ? එහෙම කිව්වේ සුමිත්. තවත් සුළු මොහොතකින් අපි පිටත් වීමට සුදානම් වුණා. අන්තිමේදී දෙපාර්ශවයටම අගතියක් නොවන විසඳුම වන ආපසු ගෙවල් බලා යාමට අපි තීරණය කළා. එනකං හැම කෙනාම රෝහාන්ලාගේ හත්මුතු පරම්පරාව සිහි කළා. මම එදිනත් බෝඩිම වෙත නොයා ඉහත කී බ්ලොම් එක නොහොත් බ්ලොම්ෆොන්ටීන් එකේ නතර වුණා. එහම කඩා වැටෙන්න පුළුවන් තැනක් තිබුණු එකත් හොඳයි. 

මේ සටහන ලියන්න අදහස ආ මොහොතේ මම හිතුවේ මේ නයිට් ගැහිල්ල ගැන සුද්දන්ට, හෝ දියුණු යයි සම්මත රටක එකෙකුට කීවොත් ඔවුන් කුමක් පවසාවිද යන්නයි. අනිවාර්යයෙන් අපිට පිස්සු බව ඔවුන් පවසනු ඇත. මේ සටහන තබන මොහොතේ පවා අල්ලපු වත්තේ සිටිනවුන් උස් හඬින් කරන සංවාදය හීනියට ඇහෙනවා. වාසනාවකට මා නිදන කාමරයට මේ හඬවල් ඇහෙන්නේ නෑ. නගරයේද එසේ වන්නේ එක්තරා පිරිසකගේ බව මට පසක් වන්නේ, අල්ලපු ගෙදරට එලිවනතෙක් එකතු වන ජනකාය සහ මොරටුවේ සොයිසලාගේ මවගේ මළ ගෙදරට ගිය ගමන සිහිපත් වීමෙනි. මා සොයිසාගේ මවගේ මළගෙදර පැමිණියේ ගලේවෙල ශාඛාවේ තාවකාලිකව පුහුණුව ලබා දීමට ගිය ගමනේ සිටයි. වරුවක නිවාඩුවක් ගෙන මා පැමිණියේ කාරණා දෙකක් ඉටු කිරීමටයි. ඒ මාගේ මිතුරෙකු සේවය කල ටී හවුස් නමැති ආයතනයේ අධිපතිනියට අයිති හර්මිටෙජ් නමැති අන්ටික් සාප්පුවට මා සංවර්ධනය කල මෘදුකාංගය ස්ථාපනය කිරීමට සහ මළ ගෙදරට යාමටයි. කොළඹට පහට ලඟා වුවත් පෙන් ඩ්‍රයිව්ස් නොමැති කාලයක ඩිස්කට් මගින් දත්ත හුවමාරු කිරීමේදී නොවක් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වීමේ ප්‍රතිපලයක් ලෙස මා සොයිසාලාගේ නිවසට ලඟා වුවේ රාත්‍රී එකොළහට පමණය. එහි පැයක් රැඳී මා ආපසු නිවසට ආයේ, උදැසනම ගලේවෙල යාමේ අරමුණෙනි. 

සොයිසලාගේ නිවාස පිරෙන්න සෙනග සිටි බව අදටත් මට මතකය. අපේ ගමේ මළ ගෙදරකටත් වඩා මෙහි කලබල සහිත වටපිටාවක් විය. හතරවටේ කැරම් සහ කාඩ් සෙල්ලම් කිරීමේ යෙදී සිටි පිරිසට මළ ගේ වගේ වගක් නැත. තැනක කෝපිද, තවත් තැනක් බිස්කට්ද සංග්‍රයක් සිදු වේ. මේවා කිසිවක් ඉතිරි වන්නේ නැත. මේ අතර සොයිසා වෙත ලඟා වූ අයෙක් තර්ජනාත්මකව මෙන් පවසා සිටියේ පැමිණ සිටි අයට සිගරට් නොදුන්නොත් එක-දෙක වනවිට කිසිවෙකු ඉතිරි නොවන බවය. මේ අතර මෙහි පැමිණ සිටි මාගේ සෙසු මිතුරන් සෙට් වීම සඳහා වෙනත් ස්ථානයක් වෙත ගමන් ගත් බව සොයිසාගෙන්ම දැන ගතිමි.

රත්නසිරිලාගේ නැන්දම්මාගේ මළ ගෙදර යාමද සිහිපත් කළ යුතුමය. එහි ගොස් වත්තේ තැනක සෙට් වූ අපට කෑම ගැන වගේ වගක් නොවිණි. ටික මොහොතකින් මම වෑන් එකේ පිටුපස කොටසේ නිදා ගත්තෙමි. සපත්තු ගලවා නිදා ගත් මම නින්දෙන් අවදි වී මේස් පිටින්ම ඔබ මොබ සක්මන් කලෙමි. ටික මොහොතකින් මගේ යටිපතුල් ඇලෙන ස්වභාවයක් ගත් අතර, පසුව කල විමසීමකදී දැන ගනු ලැබුණේ, මේ වනවිට අප සමග ආ පිරිස වත්තේ කොස් ගසකින් ගෙඩි කිහිපයක්ම බිම හෙලා ඇති බවයි. රාත්‍රී හතට පමණ අපට නිවේදනයක් නිකුත් කරමින් රත්නසිරි අල්ලපු ගෙදරකට ගමන් ගත්තේ "මමනං එහා ගෙදරට යනවා කන්න. කැප්ටන්ලා කන්නේ නැද්ද ?" යනුවෙන් පවසමිනි. උප්පත්තියෙන්ම වතුපිටි ඉඩකඩම් වලට හිමිකම් කී රත්නසිරි කා හටත් ඇමතුවේ කැප්ටන් යනුවෙණි. එනිසාම බොහෝ දෙනෙකු පෙරළා ඔහු අමතුවේද කැප්ටන් යනුවෙනි. කප්ටන්ට එකල වැදුණු කාඩ් කිහිපයක්ම විය. ඒවායින් වඩා හාත්ස්‍යොත්පාදකම එක වන්නේ, බිරිඳගේ හෝ ඔහුගේ ඥාතියෙකු මිය පරලොව ගිය විට ඔහුට ඉඩම් අක්කර කිහිපයක්ම හිමි වන බවයි. 

සප්පායම රාත්‍රී දහයට පමණ නිම කල අප පිරිස, රත්නසිරිගෙන් ඩිනර් ඉල්ලා සිටියේය. "දැන් කරන්න දෙයක් නෑ කැප්ටන්, ඒ ගෙදර වහලා" රත්නසිරි විහිළුවෙන්ම පැවසීය. එනමුත් මද පමණින් සිටි අපේ කණ්ඩායම සැලුනේ නැත. "උඹ දැන්මම කඩේ ගිහිං අපිට කන්න අරන් වරෙන්, නැත්නම් අපි මෙතැන සිංදු කියනවා" එවර තර්ජනය උපුල්ගේනි. පැමිණ සිටින පෝරිසාදයන්ගේ හැටි හොඳහැටි දන්නා රත්නසිරි මදක් පසුබැස තකහනියක් හෝමාගමට ගොස් ෆ්‍රයිඩ් රයිස් ගෙනැවිත් තිබුණි. එහෙත් ඒ සඳහා වැය වූ මුදල ගැන තෝරා-තෝංචියක් නැතිව කියවන්නට පටන් ගති. එයට හිලව්වට ඔහුගේ නිවසෙන් පිටවන විට අපේ අය ගේට්ටුවේ කම්බි කූරු මත ඇති ඔටුණු කිහිපයක් ගලවාගෙන කාර්යාලයට ගෙනැවිත් තිබුණි. පසුව ඒ පිලිබඳ ආඩාපාලි කියූ කැප්ටන් "ඕගොල්ලෝ හරි මිනිස්සු තමයි කැප්ටන්, ගෙදරකට එක්කන් යන්න බෑ. මොනවා ගලවාගෙන එයිද දන්නේ නෑ" යනුවෙන් පැවසුවේ මද සිනහවක්ද මුහුණට නගා ගනිමිනි. 

සතිපොතට කළ සටහන ඇවිද්ද පයට ...... සෑහෙන නිසා මෙහි ඵල කලෙමි.

Thursday, June 15, 2017

මගේ අලුත් බ්ලොග් එක : දිනපොතෙන් - සතිපොතට ......

මේක ඇවිද්ද පයට වඩා වෙනස් එකක්. හිතට එන දේ ඔහේ ලියා දමන සරල රසවින්දනයට වෙන් වුණු එකක් කියලා දැනට හිතා ගමුකෝ. මේක තවමත් තියෙන්නේ සංවර්ධන තත්වයේ. කට්ටිය බලලා අඩුපාඩු එහෙම කියන්ට ඕනෑ



මෙන්න තියෙනවා සබැඳියාව ගිහිං බලන්න. මේ ටික මම වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකක ලිව්වා. නමුත් බ්ලොගර්ට අපි හුරු වෙලා නිසා, ආපහු එතනටම කඩා වැටුණා. 

මාව කියවන්න උවමනා අය, මේවා තමන්ගේ කියවීමේ ලයිස්තුව්ටා එකතු කර ගන්ට ඕනෑ. බ්ලොග් රෝල් වල දාන්නට ඕනෑ. මේක ගැන පුළුල් ප්‍රචාරයක් දෙන්ට ඕනෑ. 

ටයිප් කරලා කෙළින්ම යන්න බලාපොරොත්තු වෙන පින්වතුන් මෙන්න මෙහෙම ටයිප් කොරන්ට ඕනෑ

 https://sathipotha.blogspot.com/

Sunday, May 14, 2017

හිත සැහැල්ලු කර ගන්න ......

බ්ලොග් ලිවිල්ලට මම කම්මැලි වෙලාද? නැතිනම් ඇත්තටම වෙලාවක් නැත්ද ? උවමනාවක් නැත්ද? අනේ මන්දා මේ ඔක්කොම කිව්වොත් නිවැරදියි. අඩු -වැඩි වශයෙන් මේ ඔක්කොම හේතු වෙනවා. ඉස්සර බ්ලොග් පොස්ට් එකක් ලියන එක උදේට දත් මදිනවා වගේ වැඩක්. පුරුද්දක් වශයෙන් සිදු වෙනවා. ඕනෑම පුරුද්දක් අත අරින්න හෝ පුරුද්දක් ඇති කරගන්න හොඳම ක්‍රමය. හැමදාම උදේ අවදි වෙලා, ඇඳෙන් බිමට කකුල් තියන්න ප්‍රථම, හිතට ගන්න ඕනේ මම අද ඉඳන් අහවල් දේ අත අරිනවා නැතිනම් අහවල් දේ බදා ගන්නවා (වැරදි අදහස් ගන්න ඕනේ නෑ). දෙයක් අලුතෙන් පටන් ගන්නවා කියන්නේ, ඒ දේ බදා ගන්නවා කියන එක තමයි බුදු දහමට අනුව. අනේ නෑ.... මම බණ කියන්න කොහෙත්ම සුදානම් නෑ. මෙතැන ඉන්න වැඩි දෙනෙක් නිර්-ආගමකින උදවිය කියන එක මම දන්නවා. ඉතිං අර දෙයක් පුරුද්දක් විදියට ඇති කර ගන්න ඕනේ නම්, එකදිගට දවස් විසි එකක්, ඒ දේ කරන එකයි තියෙන්නේ. එකම බොරුව හත් වතාවකට වැඩියෙන් කියෙව්වාම ඒක අත්තක් වෙනවා කිව්වේ ඔන්න ඔය නීතිය මත පදනම් වෙලා කියලත් මට හිතෙනවා. මොකද බොරුවේ ප්‍රබල කමට තුණෙන් එකක කාළය ප්‍රමාණවත්. 

මේක ලියන්න විවේකයක්(මානසික) ඕනේ කියලා හිතෙන වාර අනන්තයි. මානසික විවේකයක් ඇති වෙන්න නම් මනස අවුල් නොවී තියෙන්න ඕනේ. මනස අවුල් නොවී තියෙන්න නම්, ඔබ සිටින පරිසරය නිරවුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඉන්න මේ පරිසරය අවුල්ද ? කියන එකද ? ඇත්තටම ඔව්. අපේ ගෘහ සේවිකාව නොහොත් අයිල්, පසුගිය දෙසැම්බර් නිවාඩුවට ගමේ ගිය ගමන් ආවේ නෑ. ඒ නිසා පසුගිය වාරයේ පුදුම කට්ටක් කන්න වුණා. දියණිය පාසැල් ඇරලවන්න, ආපහු ගන්න කටයුත්ත සුළු-පටු කාරණයක් නොවෙයි කියලා තේරුම් ගන්න මේ කාළය පුදුම විදියට උපකාරී වුණා. අයිල් මැතිණිය වර්ජනයක යෙදුණා නොවෙයි. ඇයගේ මව ඇයට කරපු තර්ජනය නිසා තමයි එහෙම වුණේ. අවුරුදු 93ක් වයසැති ඇගේ මවට දියණියන් කිහිප දෙනෙකු සිටියත්, අයිල්ගේ සාත්තුවම අවශ්‍ය වුණා. හේතුව ඇගේ තියෙන ලෙන්ගතු කම, වැඩකට ගියාම තියෙන අත් නොහරින ගතිය. මේ නිසාම තමයි අපිත් වෙනත් කෙනෙකුගේ සහය ගන්නේ නැතිව, ඇයවම ගෙන්වා ගන්න උත්සාහ කරන්නේ.
පින්තූරය ගත්තේ : https://dohanews.co

මම පහුගිය සතියේ විදේශ ගත වුණා. ඒ දින කිහිපය පමණක් සේවය ලබා දීමට ඇය පොරොන්දු වුණා. නමුත් අනපේක්ෂිත විදියට අවසාන මොහොතේ, ඇය පසු බැස්සා. නිදහසට කාරණාව වුණේ, තමන්ගේ වෙන්ඩ ලේලියක් ඩෙංගු රෝගයට ගොදුරු වී මිය ඇදීම. සමහරවිට මෙවර ඇය බොරුවක් කිව්වා වෙන්න පුළුවන්. නමුත් එහෙනම් මීට කලින් ලබා දීපු කාරණා අමුලික බොරු. එක්කෝ පරණ වේවා නැත්තම් මේක. කාලේ හැටියට මේක අත්තක් වෙන්නත් පුළුවන්. නමුත් ඇය හෙන මීටරේ නිසා මට හිතෙන්නේම මේකත් තවත් බොරුවක් කියලා. ඒ බාරදුර කාර්යයට මගේ වැඩිමල් සහෝදරිය කර ගැහුවා. නමුත් ඇය මුලින් ගෙන ආ යෝජනාවට මම කිසිසේත් කැමති වුණේ නෑ. ඒ මේ සතිය දියණිය අපේ ගමේ(බෙන්තර සිට) වෑන් එක්ක එවීම.කාලයක සිටන් නොකරන දෙයක්, එක පාරටම කරන්න වුණාම, බලන්න කෙනෙක් නැතිනම්, අමාරුවේ වැටීමේ ප්‍රවනතාව වැඩියි. මගේ සොයුරිය පත්තර-ටීවී බලනවා අඩු නිසා මෙහි බැරෑරුම් පැත්තේ දන්නේ නෑ. මම ඇහුවේ එක දෙයයි. පාසල ලඟට වෑන් එක රියදුරු පමණක් සමග පැමිණියහොත් කුමක් සිදු වේද? යන්නයි. විය හැකි දේ ඔබට සිතා ගන්න පුළුවන්.

ඒ කරුණු ටික ලියන්න වුණේ, නිවසේ තිබෙන අවුල් බවට සහ අවිවේකී බවට හේතු පැහැදිලි කරන්න. ඉතිං ගෙදර අවුල් වගේ, අවිවේකී වුණාම බ්ලොග් ලියනවා වගේ නිදහස් දේවල් කරන්න කාළය වෙන් කර ගන්න අපහසුයි. කොහොම වුණත් යළි දිවයිනට පැමිණි නවවෙනිදා තනිකර නින්දේ ගත කරන්න වුණා. ඒ වගේම මගේ මිතුරෙකුගේ නිවසේ නවතා තිබුණු මගේ වාහනය ගෙන ඒමට යන්න වුණා. හවස් වරුවේ බොහොම අමාරුවෙන් තමයි ඒ වැඩේට ගියේ. නමුත් වාහනේ නැතිව කොහෙවත් යන්න බැරි නිසා හවස හතරට විතර ඒ නිවසට යන්න වුණා. මගේ මිතුරා ඉන්නේ විජේරාමේ. එයාපෝට් ගිය දවසේ වෙච්ච කතන්දරයත් කියන්නම ඕනේ.මගේ සොයුරිය සමග මා පොරොන්දුව ඇති කර ගත්තේ, මා පිටත් වන දින වූ තුන්වෙනිදා පාසැලට දැරිය ඇරලවීමේ වගකීම මා තබා ගනිමින්. නමුත් එය ඉතා අපහසු කටයුත්තක් වුයේ, පාසැලට ඇය ඇරලවිය හැකි අවම වෙලාව උදෑසන හත වීම. නමුත් මිනිත්තු දහයක් කලින් වුවද එහි සේවකයන් සහ ගුරුභවතුන් පාසලේ සිටිනු මා දැක තිබුණා. නමුත් මෙවැනි අවස්ථාවක අපරීක්ෂාකාරීව හැසිරෙන්න මා කොහෙත්ම කැමති වුණේ නෑ. 10:50 ට තිබෙන ගුවන් යානාවේ පිටත් වන වේලාවට පැය තුනකට කලින්, ගුවන් තොටුපලට ඇතුල් වීම කාලයක පටන් සිදු කෙරෙන කටයුත්තක්.

ඒ සංචාරය මා තනිවම ගමන් කරන එකක් නොව, 70කට ආසන්න ක්‍රීඩක සහ නිලධාරීන් පිරිසක් ගමන් ගන්නා ක්‍රිකට් සංචාරයක්. එහි පළමු පෙළ කණ්ඩායමේ කළමනාකරු ලෙස මට යම් වගකීම් ප්‍රමාණයක් පැවරී තිබුණා. මේ සියල්ලටම   වඩා  තවත් අභියෝගයක් මට තිබුණා. ඒ දියණියව පාසැලට නියමිත වෙලාවට ඇරලවා මගේ ගමන පිටත් වීම. මෙයට අමතරව වාහන ගාල් කිරීමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වුණා. කළින් මෙහි වාහන ගාල් කළේ මවත් පහල මාලයේ කුළී නිවැසියාත් පමණයි. නමුත් මෑතකදී මෙහි පදිංචියට ආ මෙහි හිමිකරුවාගේ දියණියගේ ස්වාමියා නොහොත් සුරාජ් අලුත් වාහනයක් මිලදී ගෙන තිබුණා. දැන් අපිට වාහන ගාල් කරන්න සිදු වී තිබෙන්නේ මේ කළුබෝවිල ප්‍රදේශයේ බොහෝ දෙනා කරන ආකාරයට පාරේ එක් පැත්තක. මම එයට දැඩි විරෝධයක් දක්වන පුද්ගලයෙක්. නමුත් අනපේක්ෂිත ආකාරයට පසුගිය සතියේ එක් දිනක් මට පාරේ වාහනය නවතා තබන්න සිදු වුණා. ඒ මේ සංචාරයට එළිවෙන රාත්‍රිය. එක් දිනක් ඉදිරිපස නිවසක සිටින කුළී පදිංචි කරුවෙක් අපගේ දොරටුව වසා තම රථය ගාල් කර තිබුණා. නමුත් ඔහු සොයා ගැනීමට මට පැය ගණනක් රස්තියාදු වන්නට සිදු වුණා. එදින මා ඔහුට තදින් අවවාද කළා, මින්පසු එය සිදු නොවීමට වග බලා ගන්නා ලෙසට. ඉතිං මා කෙලෙස එම වරද සිදු කරන්නද ?  මා විජේරාමයේ සිටින මගේ මිතුරාගේ නිවාස තෝරා ගත්තේ, මාගේ නිවසට අඩුම දුරකින් සිටින, ඉඩකඩ ඇති එකම ස්ථානය ලෙස. මෙම සංචාරයට සහභාගී වන මහජන බැංකුව නියෝජනය කරමින් සහභාගී වන ශාන්ත කෙළින්ම ගුවන්තොටට පැමිණීමට කැමති  වීම අපටමහත් අස්වැසිල්ලක් වුණා. ඒ එය අපට ඇති අභියෝගයෙන් කොටසක් ඉවත් කර ගැනීමක් නිසා. අනෙක් දෙදෙනා වන චමිල සහ තරිඳු පෙරදිනයේ අපගේ කොළඹ නවාතන්පොලේ සිට මේ ගමනට එක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. මෙයට කොළඹ ප්‍රදේශයෙන් සහභාගී වන රසික වැල්ලමිපිටියේ සිට එක් වන නිසා එය එතරම් අමාරු සැලසුමක් වුයේ නෑ.

මා උදේ හතේ සිට අනෙක් පසට ගණන් බැලුවා. උදේ හතට හෝ මිනිතු දහයක් කලින් පාමන්කඩට එන්න නම්, විජේරාමයෙන් හයයි තිහට පිටත් විය යුතුයි. වැල්ලම්පිටියෙන් උදේ හයයි කාලට පිටත් වුවොත් අඩු වාහන තදබාදයක් ඇති මොහොතක මිනිත්තු 15-20 අතර කාළයකදී නුගේගොඩ විජේරාමයට පැමිණිය හැකියි. රසිකට මා උදේ හයයි පහලවට පිටත් වීමට දැනුම් දී, වාහනයේ රියදුරුට උදේ හයට එහි යාමට උපදෙස් දුන්නා. මාත් දියණියත් උදේ හයට සුදානම් වී විජේරමය බලා පිටත් වුණා. උදෑසන හයයි පහලවට ප්‍රථම අප විජේරාමයේ මලින්ගේ නිවසට ලඟා වුණා. නමුත් ඉන් මොහොතකට පසු මගේ මිතුරා රාජකාරියට යන්න පිටත් වුණා. ඒ මට පුංචි අවවාදයක් කරමින්. උදේ හත වෙන්න කලින් නුගේගොඩ පන්නා ගන්නා ලෙස. මා දුරකථන ඇමතුම් කිහිපයක් ලබා දුන්නත් රසික පිටත් වී තිබුණේ නෑ. ඔහු තවමත් පවසන්නේ ඔහු හයයි තිහට නිවසින් පිටත් වූ බව. නමුත් ඒ පැය කාලේ ප්‍රමාදය, සියළු සැලසුම් විනාශ කළා. හතයි පහට විජේරමයෙන් පිටත් වූ අප, දියණියගේ පාමන්කඩ පාසැල අසල පාලමට  ලඟා වන්නට මිනිත්තු හතළිහක් ගත වුණා. නමුත් මෙහිදී මා රියදුරුගේ යම් වෙනස් හැසිරීමක් නිරීක්ෂණය කළා. ඔහු වාහන තදබදය අස්සේ රුපවාහිනියේ සුසර කරගෙන, ඉතා උනන්දුවෙන් ඒ වෙත ඇස යොමාගෙන සිටිය. එයින් නොනැවතී බස් රථ ගමන් කරන වම්පස තීරුවේ ගමන් ගනිමින්, ප්‍රමාදය තවත් වැඩි කරන ආකාරයක් මට පෙනුණා. උදෑසන හතට කිරුලපන පොලීසිය කිරුලපන පාලමින් ඉදිරියට ඇති 138 මාර්ගය තනි අතට දිවෙන ලෙස වසා දමනවා. ඉතිං කෙළෙසකවත් දියණියගේ පාසල අසලට යා නොහැකි නිසා(එසේ ගමන් කරනවා නම් පාමංකඩ  දෙසට 120 මාර්ගයේ ගොස්, ඊශ්වරී මාර්ගයේ පැමිණිය යුතුයි. එය අනවශ්‍ය කාළය කෑ දැමීමක්). මේ මොහොතේ දියණියගේ මුහුණේ කිසිදු ප්‍රසාදයක් නෑ. ඒ වෙනුවට ඒ පුංචි මුහුණේ අපේක්ෂා භංගත්වයක් දිස් වුවා. මා දියණියට සමු ඩිය යුතු මොහොතේ අප දෙදෙනාම ඉතාම පීඩනයකින් පසු වුවා. එය මගේ දෑසට කඳුළු නවන්නට සමත් වුවත් මා කෙසේ හෝ ඉවසා සිටියා.

මේ සංචාරයට සහභාගී වන සෙසු සියළු දෙනාට උදෑසන හතට ගුවන්තොටට එන්නට අප දන්වා තිබුණා. ඉතිං එහි නිලධාරියෙකු ලෙස සහභාගී වන මා කෙසේ ප්‍රමාද වී එක් වන්නද? මා පසු වූ කේන්තිය මේ මොහොතේ කෙසේ හෝ යටපත් කරගත්තත් ඒ සමග එන ආතතිය පාළනය කර ගැනීම උහගට කාරණයක්. මා ඔවුන් දෙදෙනාට අප පාළම උඩින් බස්සවා, 120 මාර්ගයට හරවා නවතා සිටින්නට අණ කර, දියණිය කැටුවා මාර්ගයෙන් අනෙක් පසට ගියේ ඇගේ අතින් ඇදගෙන වාගේ. අයටද ඉතා ඉක්මනට පාසැලට යාමට අවශ්‍ය වුවා. වලවල් වල වැටෙමින් ගොස් මා ඇයගෙන්  පාසල අසළින් සමු ගත්තේ හදවත දරාගත් දැඩි වේදනාවකින්. ඇගේ හිස මත පුංචි හාදුවක් දී හනික ඈ පාසල වෙත යවා, මා හැල්මේ දිවුවේ ඔවුන් දෙදෙනාට සිටින්නට අන්කල ස්ථානයට. නමුත් එහි වාහනය පෙනෙන්නට තිබුණේ නෑ. මා රියදුරුගේ දුරකතනයට ඇමතුම ගත්තා. තිබෙන පීඩනයේ තරම කෙසේද යත්, දුරකථනය සම්බන්ධ වන්නත් ප්‍රථම මා "හෙලෝ" කියන්නට වුවා. මේ වනවිට සියළු දෙනා ගුවන්තොටට ඇතුලත් වී තිබුණා. එහි සිටින ශාන්තගේ ගුවන් ටිකට් පත මා ළඟ තිබුණ නිසා, ඔහුත් සංගමයේ ලේකම් තුමා වන උදය ඉමල්ෂ මහතාත් මා වෙනුවෙන් පිටත රැදී සිටියා. අපගේ අනෙක් මිතුරන් දෙදෙනා මරදාන පොලීසිය අසල රැදී සිටියා. ඔවුන් කිසිදු කෝපයක් මා වෙත පිට නොකලත්, මා තරමටම ජේෂ්ඨ චමිල රසික අමතා හොඳ දේශනාවක් දුන් බව පසුව දැන ගත්තා.

මුන් දෙන්නා කොහෝ ගියාද ? දුරකතනයේ අනෙක් පසින් රියදුරුගේ කටහඬ අවධි වුණා.

"සර් අපි මේ අමානා බෑන්ක් එක ගාව"

"ඒ කොහෙද ?"

"138 පාරේ යන්න දුන්නා, අපි ඇවිත් ඉන්නේ"

"එහේ ගියේ මොකටද ? මම කලින් කිව්වේ අපි ගාලු පාරෙන් දාගෙන මැරීන් ඩ්‍රයිව් එකෙන් යමු කියලා. ආපහු හරවලා පාමන්කඩින් වැල්ලවත්තට එන්න. ගාලු පාරට යන පාර. හරිද ?

තවත් මිනිත්තු 15 පමණ ගත කර ඔවුන් මා සිටින තැනට ලඟා වුණා. මට විස්තර කරන්න බැරි පීඩනයක් දැනුණා. මේ වනවිට සියළු දෙනා මා වෙත දුරකථන ඇමතුම් දෙමින් විමසීම් කර සිටියා. අපට ඉන් එහා ගමන ඉතා වේගවත්ව කර ගැනීමට හැකි වුණා. මරදානෙන් පසු අප වාරයෙන් මේ සංචාරයට එක් වන ඉන්දිකවත් එක් කර ගැනීමට සිදු වී තිබුණා. ඔහු මේ ගැන කිසිදු විටක කලබල වුයේ නෑ. වරායේ ආරක්ෂක ඉහල නිලධාරියෙකු වන ඔහු මා හා පවසා සිටියේ කැමති නම් කොටුවෙන් වරායට ඇතුල් කර කොටහේනෙන් පිටතට ගැනීමට අවස්ථාව සැලසිය හැකි බවයි. නමුත් මරදානේ සිට නැවත කොටුවට ගමන් ගැනීමට වඩා කලින් ඔහු සිටි තැනට අපට ලඟා විය හැකියි. ගුවන්තොටට ඇතුලත් විය හැකි අවසාන වෙලාව නවයයි පනහා බව මා දැන සිටියා. ඒ අපේ ගුවන් යානය පිටත් වන වෙලාවට පැයකට කළින්. ඉමල්ෂ මහතා නැවතත් මා ඇමතුවා. ඉන්දික අප හා එක්වූ මොහොතේදී අප සිටින්නේ අධිවේගී මාර්ගයේ බව මා පවසා සිටියා. නවයයි විස්සට මා ගුවන්තොටට එන බව පවසා සිටියා. ඇත්ත වශයෙන්ම අපි නවයයි පහළොවට ගුවන්තොටට ලඟා වුණා. සියළු දෙනාගේ විමතියෙන් යුතු බැලුම් මැද අප පස් දෙනා පිටවීමේ කවුළුවෙන් ඇතුළු වුණා.

බලාපොරොත්තු වුවාට වඩා දිගු වූ නිසා, හිත සැහැල්ලු කර ගන්න ගෙනා කතා දෙක මීළඟ කොටසින් එකතු කරන්නම්.

Thursday, March 30, 2017

සම්මාන නොහොත් ගම්මාලු ......

තුන්වෙනි වරටත් නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල ඉතා ඉහළ මට්ටමින් පැවැත්විණි. පළමුවෙන්ම අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම වෙනුවෙනුත්, පසුගිය අඩුපාඩු මකාගෙන තත්වය උසස් කිරීම වෙනුවෙනුත්, එහි සංවිධායක මණ්ඩලයට, විශේෂයෙන්ම අජිත් ධර්මකීර්ති, කල්‍යාන ඇතුළු ඒ සඳහා දායකත්වය දැක්වූ සියල්ලන්ට මගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි. ඒ හුදෙක් මමද එහි සම්මාන ලාභියෙක් වීම නිසා නොව, තමන්ගේ වියදමින් සිංහලෙන් කියවන දනන්ගේ දැනුම සුපෝෂණයට කැපවුණු අමුතු තාලයේ මිනිසුන් කොටසක් අතරින් කිහිප දෙනෙකු තෝරා ඇගයීමට ලක් කිරීම වෙනුවෙනි.  

මෙයට පෙර අතුව සම්මාන උළෙලවල් දෙකක් සිදු කෙරුණු අතර, දෙවෙනිවර මටත් දෙවෙනි ස්ථානයක් හිමි විය. ඒ ගෘහස්ථ කටයුතු කාණ්ඩයෙන්ය. තවත් එකකට මගේ නම නිර්දේශ වූ අතර, එයින් නම ඉවත් කරගැනීමට නිහතමානීවා කටයුතු කිරීමට මට සිදු වුයේ, මා කල පරිවර්තනයක් සඳහා විද්‍යා හා තාක්ෂණ අංශයෙන් නිර්දේශ වීම නිසාය.  ඒ පිලිබඳ සංවිධායක මණ්ඩලයේ කිසිදු විරෝධයක් නොවිණි. වෙනත් කෙනෙකුට ලැබිය යුතු ගෞරවයක්, සුදුසුකම් නොලබා මට ලැබේනම් එය දැනුවත් කිරීම මගේ යුතුකම බව මම සලකමි.  වරක් සිංහල අවුරුදු උත්සවයක වොලිබෝල් තරගාවලියකදී, මා චියර් කලේ මගේ ක්‍රීඩා සමාජයේ වැඩි මිතුරන් පිරිසක් ක්‍රීඩා කළ කණ්ඩායමටය. මා ජීවත් වූ ප්‍රදේශය අනුව මා ක්‍රීඩා කලයුතු වූයේ,  මගේ විරුද්ධවාදීන් බොහොමයක් ඇති කන්ඩායමකටය. එම තරගාවලිය අන්තර් ග්‍රාමසේවක වසම් තරගයකි. මා පුරුදු පරිදි චියර් කිරීමේ නිරත විය. අවසානයේ මගේ මිතුරන්ට ජයග්‍රහණයද, පසමිතුරන්ට අනු ශූරතාවයත් හිමි විය.  පසුදිනක මගේ නිවසට පසමිතුරු කණ්ඩායමේ ක්‍රීඩා කල ලෙසට සහතිකයක් ලැබී තිබුණි. මා චියර් කර තිබුණේ, මට විරුද්ධවය. එනිසා ඒ සහතිකයට මා මගේ සහතික ගොන්නට එකතු කර ගත්තේ නැත. මන්ද හදවතට එකඟව එයට මා හිමිකම් නොකියන නිසාය. පසුගිය වසරේ එකී සම්මානයද එලෙසය. 

මේ අස්සේ මට තවත් සිද්දියක් සිහියට  නැගේ. ඒ මා කළුතර ඥානෝදය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාළයේ සිදු වූ සිදුවීමකි. මාත් ඉන්දකත් විහාගය අවසන් වී පාසල ඇති පටුතුමග දිගේ නගරය දෙසට ඇදී එන්නට වීමු. එච්.පී.ටී. නමැති නිවාස දේපොළ වෙළඳ සමාගමේ කාර්යාලයක් මේ පටුමගේ පිහුටුවා තිබුණි. ඒ අසලා මාර්ගයේ කාන්තා පර්ස් එකක් තිබෙනු දැක, එය අහුලාගත් මා එය ඉහලට ඔසවා, මෙය කාගේද අසන්නට ප්‍රථමයෙන්, ඉන්දකයා "අපි දෙන්නා මේක බෙදා ගමු" වචනය පේලිය කියා නිම කරන්නට පෙර, එය අයිති කාන්තාව අප අසල සිටි නිසා, සියල්ල යහපත් අතට සිදු විණි. එදා සිට මට අයිති නැති දේ නොගැනීම මගේ සිරිත විය. මේ සඳහා තවත් බොහෝ උදාහරණ සැපයිය හැක. මේ ඒ සඳහා වෙලාව නොවේ. මේ බ්ලොග් සටහනද මේ වනවිට යල්පීනු තත්වයට පත් වන්න ආසන්නය. කුමක් කරන්නද, මගේ රාජකාරියේ ස්වභාවය සහ ගෘහසේවිකාව හදිසියේ සේවයෙන් ඉවත් වීම තුල මාගේ විවේකය සීමා වී ඇත. එහෙත් මා මෙය ලිය අවසන් කල යුතුමය. ඒ මෙය කියවූ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් සම්මාන ගන්නට පාර කැපුවෝ ඔබ වෙති.

හොඳයි අප දැන් මෙහි මාතෘකාව දෙසට හැරෙමු. එය "සාම්මාන නොහොත් ගම්මාලු" යනුවෙ මා නම් කළේ මන්දැයි මෙය කියවා අවසන් කරන මොහොත වනවිට ඔබට තේරුම් යනවා ඇත. ගම්මාලු නමැති වෘක්ෂය දැකිය හැක්කේ කඳුකර ප්‍රදේශ වළය. හරියටම කීවොත් ඌව කඳුකරයේය. ශ්‍රී ලාංකකියන් මෙම වෘක්ෂයේ කොටස්   ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් සඳහා භාවිතා කරති. "ගසක් කැපුවා" යයි කීවොත්, එය ළී සඳහා හෝ දර සඳහා යන අපගේ පුරුදු භාවිතාව ඕනෑම කෙනෙකුගේ සිහියට එයි. සත්‍ය වශයෙන්ම මෙහි වැඩි භාවිතාව සිදු වන්නේ ළී දඬු නැතිනම් දැව නිෂ්පාදනයටය. වැඩිමනත් භාවිතා කරන්නේ යටලී, පඩිපෙළ අත්වැල් හෝ ජනෙල් දොරවල් සඳහාය. මෙය තද රතු පති ලීයකි. වාර්නිෂ් ආලේප කලවිට කදිම ගාම්භීර නිමාවක් දැකිය හැක. වරක් හපුතලේ ප්‍රදේශයේ කල රාජකාරි ගමනකදී, එහි තිබෙන රෙස්ට් හවුස් එකක පඩිපෙළ අත්වැල සහ යටලී මෙම දැවයෙන් කර ඇති බව අසා දැන ගතිමි. ඒ එහි සිත්ගන්නා නිමාව නිසාය.

නමුත් ගම්මාලු වල වැදගත් යෙදවුම වන්නේ, ඖෂධයක් ලෙසය. එය දිව්‍ය ඖෂධයකි. සමහරවිට මේ සඳහා වෙනත් ගම්මාලු වර්ගයක් යොදා ගන්නවාද යන්න මා සහතිකවම නොදනිමි. එනමුදු ගම්මාලු මැරෙන්නට යන, ජීවිතය ගැන බලාපොරොත්තු අත්හල රෝගීන් සඳහා භාවිතා කරන බව අසා ඇත්තෙමි. නිදා සිටින එවැනි රෝගියෙකුගේ දෙතොළ මත ගම්මාලු ඉස්ම රැඳවු විට දුන්නක් සේ නැගිටින බව අසා ඇත්තෙමි. මේ අස්සේ තවත් පඳුරු කතාවක් සිහියට එයි. දැනට විශ්‍රාම ගත් මා සේවය කරන ආයතනයේ, එක් පැරණි සේවක මහතෙකු වරක් කාගේ හෝ බසකට අනුව එය අධික මාත්‍රාවෙන් පරිභෝජනා කර රෝහල් ගත කිරීමට පවා සිදු වී ඇත. ඒ එහි වාජීකරණ ගුණයක් ඇතැයි, කෙනෙකු පැවසු ගමන තමන්ගේ එරියස් එකක් කවර් කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. අදද එය මාගේ මුහුණට සිනාවක් ගෙන එන කදිම අනුස්මරණයකි. ඒ එම පුද්ගලයාගේ රාජකාරි කල අවසන් කාළයේ ලිංගිකත්වය වෙත තිබූ නැඹුරුව සිහිපත් වීම නිසාය.

ඉතිං මේ සම්මාන උළෙලට ගම්මාලු වල ඇති සම්බන්ධය කුමක්ද ? අර ලයිෆ්බෝයි වෙළඳ දැන්වීමේ මෙන් "මොකක්ද සම්බන්ධෙ" යනුවෙන් කෙනෙකුට අසනු හැකිය. හොඳයි මා විස්තර කරන්නම්. මෙම සම්මාන උළෙලේ මට දැනෙන අරමුණ, තමන්ගේ කාලය, ධනය සහ ඩේටා වැයකරමින්, සෙසු ලෝකය දැනුවත් කරන්නට උත්සාහ කරන ස්වෙච්චා රචකයන් ගොන්නක් අතුරින්, වඩාත් සිත්ගන්නා ලියවීම් කළ අයගේ උද්‍යෝගය අගයනු සඳහාය. එමගින් මන්දෝත්සාහී තවත් පිරිසකට නව ජීවයක් සැපයීමද සිදු වේ. නමුත් කලක් තිස්සේ බ්ලොග්කරණයේ යෙදි, බ්ලොග් අඩවිය වසා දමන්නට ඔන්න මෙන්න තත්වයේ කෙනෙකුගේ ඉඳහිට කෙරෙන ලියවිල්ලකට මෙවැනි සම්මානයක්, මරණාසන්න පුද්ගලයෙකුට ගම්මාලු සැපයීම මෙන් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ පණ ගිලිහී යා නොදී රැක ගත හැක. සමහරවිට දිගු කලක් අල්ලා සිටින්නටද හැකිය. හෙම්බෙන් හෝ ඇවිද්ද පයට සම්මානයක් හිමිකරදීම එවැනි ක්‍රියාවකි. මා බ්ලොග්කරණයේ රැදී සිටින්නට එය නව ජීවනයකි. එනමුදු ගම්මාලු නැතත් අපට මේවා වසා දමන්නට නොදී සිටින එක් පුද්ගලයෙකු වේ. ක්‍රිකට් වලට පර්සි මෙන් බ්ලොග් වලට නම් මෙන්ඩා එවැනි පුද්ගලයෙකී. ඇත්තටම ඔහු සිංහල බ්ලොග් ලෝකයට බලපෑමක් කළහැකි පුද්ගලයෙකි. ඒ දිරිගැන්වීම මගිනි. ඒ ගැන බොහෝ තැන්වල දැනටමත් කථා වී තිබේ. එනමුදු ඇවිද්ද පය ලියන සුදීකට ඔහු සුවිශේෂී පුද්ගලයෙකි. මා නිද්‍රාවට පත් සෑම මොහොතකම කමෙන්ට් නමැති වතුර බාල්දියෙන් ගැසුවේ මෙන්ඩාය. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කළේ මේ  බ්ලොග් අඩවියට මෙන්ඩා දක්වන ආදරය නිසාය. එයට හේතුව කුමක්දැයි මා කිසිදින මේ කෙසඟ, කාල වර්ණ පුද්ගලයාගෙන් විමසීමක් කර නැත. මන්ද ඒ ඔහුගේ කැමැත්ත නිසාය.

නමුත් මේ සම්මානය මා අතට පත් කරන්න වෙහෙස මහන්සි වූ බොහෝ දෙනෙක් සිටී. ඒ මගේ දෙවම්පියන්, සියළුම ගුරු බවතුන්, ලිවීමට මා දිරිමත් කළ හිතවතුන්(චන්දිමා, ප්‍රසාද්, සුරේෂ්), මගේ බ්ලොග් අඩවිය නිරතුරු කියවා කමෙන්ට් කරන ඔබසැම, විශේෂයෙන් මේ අප්‍රිකානු කථාවට පෙම් බැඳී අරුණ පෙරේරා, සෙන්නා, අජිත් සහ කල්‍යාන සහ මනෝජ්  සිහිපත් කලහැකිය. මෙහි නම් සඳහන් නොකළ එනමුදු කමෙන්ට් කළ තවත් බොහෝ දෙනෙකු වේ. ඒ සියළුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය හිමි වේ. දැන් ගම්මාලු බී යළිත් නැගීසිටි මා  කුමක් හෝ මෙහි ලියා තැබිය යුතුය. එය මගේ යුතුකමය. එසේ නම් බලාපොරොත්තුවෙන් හිඳින්න. මාගේ බ්ලොග් චාරිකාවේ දෙවෙනි ඉණිම නොබෝ දිනකින් අරඹමි. එතෙක් ඔබ සැමට පුංචි විරාමයක්.

සම්මාන ලැබුණු "ගොවිපලේදී" බ්ලොග් ලිපි මාලාව සඳහා මෙතැනින් පිවිසෙන්න
 

Tuesday, March 7, 2017

ලාවළු කරිය : 72 -77 කාළයේ පරිප්පු සඳහා ආදේශකය ......

නාමේ නොදිරනා දෙවෙනි කොටස ඔබ බලාපොරොත්තුව සිටින මොහොතක, ලාවළු උයන ආකාරය ගැන සටහනක් තබන්නට හේතු වන කරුණු කිහිපයක්ම වෙයි. ඒ පසුගිය බදාදා අහම්බෙන් ෆුඩ් සිටියට ගොඩ වූ විට, ලාවළු ගෙඩියක් වත මගේ ඇස ගැසීම සහ රත්නසිරි නොහොත් විල්සන් කරූගේ ඡායාරුපය ලබාදීමට පොරොන්දු වූ මගේ කාර්යාලීය සගයාට එය අමතක වීමය. අප ඔහුට කාළය ලබා දිය යුතුය. මන්ද ඔහු අපට ලබා දෙන්නට යන්නේ විරල ගණයේ ඡායාරුපයක් වීම නිසාය. ආසන්න වශයෙන් එය 2002/03 කාළයේ එකක් විය යුතුය. එකල ඩිජිටල් කැමරාවක් සතු වූයේ එහෙමත් කෙනෙකුට වීම නිසාය. 

ලාවළු(ඉංග්‍රීසියෙන් Canistel, Eggfruit යනුවෙන් හඳුන්වන) යනු ඉතා රසවත් පලතුරකි. දූරියන් මෙන්ම රසය සහ ගුණය වැඩි නිසා එහි සුවඳ සහ රසය සමහරුන්ට දරා ගැනීමට නොහැකි මට්ටමක පවතී. ඇත්ත වශයෙන්ම කිවහොත් බොහෝ දෙනාට දිරවන්නේ නැති කෑමකි. නමුත් අප කුඩා කාලයේ අතට අහුවන ඕනෑම දෙයක් කටට ඔබාගත්, මෙහි මාතෘකාවේ සඳහන් කාලයේ මේවා අපට දිව බොජුන් වුවා අදටත් මතකය. පරිප්පු පිලිබඳ අපට එතරම් පැහැදිලි මතකයක් නොවූ ඒ කාලයේ රජයට පක්ෂ විපක්ෂ කවුරුත් පරිප්පු හිඟය පිලිබඳ මහත් ශෝකයෙන් කථා කරනු අප අසා සිටියේ අයාගත් දෑසිනි. පරිප්පු කියන්නේ මොනවාදැයි එකළ කුඩා දරුවන් වූ අප නොදතිමු. නමුත් වැඩිහිටියන් පවසන මේ ආහාරය කුමක්ද ? පටන් ගත් දවසේ සිටම අගහිඟයට පුරුදු ළමා අපට මේ කියනා "හිඟය" කුමක්දැයි වටහා ගැනීමට තවත් බොහෝ කාලයක් ගත විය.ලාවළු ඉතාමත් ගුණවත් ආහාරයකි. ඒ බව මෙන්න මේ ලිපියෙන් ඔබට දැනගත හැකිය. මෙය කියවූ පසු අපේ උදවිය ලාවළු හොය-හොයා කනු ඇති බව මගේ විශ්වාසයයි. 

 දැකලා නැති කට්ටිය බලා ගන්න. මේ තියෙන්නේ ලාවළු ගෙඩිය. මේක ඔය කියපු කාළයේ කරපු සේවාව විස්තර කරන්න වචන නෑ. මොකද පරිප්පු වලට දොලදුක හැදුන මිනිස්සුන්ගේ ඒ කුසගිනි දාහය නිව්වේ වගේම ගුණය සැපයුවේ මේ ආහාරය. හැබැයි ආපහු පරිප්පු ආපු ගමන් ලාවළු ගෙඩි ගස් යට කුණු වෙන්න ගත්තා. සමහරු මල-කරදරේ කියලා ගස් කපලා දාන්නත් ඇති. නමුත් මේවායේ තියෙන ගුණය දැන ගත්තානම් මේසේ ඒවා විසි නොකරන බව මගේ විශ්වාසයයි. අර කලින් දක්වලා තියෙන ලිපියෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් සී සහ ඒ අධික වශයෙන් මේවායේ අඩංගු වෙනවා.
 මම සාමාන්‍යයෙන් මග අරින කාගීල්ස් ෆුඩ් සිටියෙන් තමයි මට මේ ගෙඩිය ගන්න පුළුවන් වුණේ. එතරම් මිල අධික සුපිරි පන්නයේකෑමක් නොවෙයි. සල්ලි වලට ගත්තා කිව්වොත් බොහෝ දෙනෙක් හිනා වෙයි. ඒත් මේ ගෙන්දගම් පොලවේ හැම දෙකටම මිළක් තීන්දු කරලා තියෙන එකේ මේවා විතරක් නිකං දෙන්න කාටද පුළුවන්. එක වෙළඳ පොළට එන එක ගැන මම නම් ඉතාම සන්තෝෂ වෙනවා. මොකක් හරි කාරියක් හදන්න ගන්නකොට අවශ්‍ය දෑ සඳන් කරන එක සාමාන්‍ය පිළිවෙත නිසා ඔන්න මමත් විස්තරයක් කරනවා. 

අවශ්‍ය දෑ
  • අමු ලාවළු ග්‍රෑම් 100
  • අතට අහුවෙන ප්‍රමාණයේලොකු ළූණු ගෙඩි එකයි
  • රම්පෙ(ගස් රම්පෙ තමයි හොඳ. මෙතැන මම යොදා ගත්තේ පෝච්චියක වවලා තියෙන කුරු මොඩල් කොළ කෑලි වගයක්), 
  • කරපිංචා ඉත්තක්, 
  • මිරිස් තේ හැඳි එකයි, 
  • තුනපහ තේ හැඳි කාලක්, 
  • අබ ස්වල්පයක්, 
  • අමු මිරිස් කරළක්, 
  • සුදු ළූණු බික් දෙකක්.
  • ලුණු කුඩුතේ හැඳි එකක්. 
 මුලින්ම ලාවළු ගෙඩිය හොඳින් සෝදා ගන්න. තමන්ම ගහෙන් කඩාගත්තත් හෝදා ගන්න  එක  නුවණට හුරුයි. 
 බොම්බයි ළූණු නැතත් අපට ලංකා ලොකු ළූණු තියෙනවනේ. ඒකෙ වියලි උඩ සිවිය වගේම ඊළඟ පොත්තත් අයින් කරන්න. ඕක මට කියලා දුන්නේ අටමා. ඉන් පස්සේ හේදුවේ නැති වුණත් කමක් නෑ. අනික එතකොට සැර ගතිය අඩු වෙන්නේ නෑලු.  ගෙඩිය මේ වගේ දෙකට කපලා, අර මුල් කෑල්ල මේ පින්තූරේ පේන විදියට ඇලයට කපලා ඉවත් කරන්න. මුලින් කැපුවොත් ගෙඩියෙන් හොඳ ප්‍රමාණයක් අහක. එහම කරන්න කැමතිනම් එහෙම කලත් කමක් නෑ. මේක මගේ ක්‍රමය. ඉන් පස්සේ හීනියට ලියා ගන්න.
 සුදු ළූණු කපනවට වඩා හොඳයි මෙහෙම තලන එක. පිහිය යටින් තියලා තැලුවම ඒකෙ රස ගුණ හොද්දට එකතු වීම පහසුයි. කැපුවම අඩු ඇති කියලා මට හිතෙනවා. මෙහෙම තැලුවම පොත්ත පහසුවෙන් ඉවත් කරන්නත් පුළුවන්. මතක ඇතුව දෙකෙළවර කපන්න. (චෙෆ් පීටර් කුරුවිටත් භාවිතා කරන්නේ මේ ක්‍රමය)
 මේ තියෙන්නේ අවශ්‍ය දෑ. සිංහලෙන්ම කිව්වොත් ඉන්ග්‍රීඩියන්ට්ස්. මේ වැඩේට මගේ පොඩි එකී කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ කියන්නේ ඡායාරුප ශිල්පියාගේ ඩියුටියට. දැන් පොඩි එවුන් අපි වගේ එතන රස්තියාදු වෙලා අපි කරන දේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ නෑ. මම යලට-මහට ෆොටෝ අල්ලන්න කියනකොට ගන්න එතන රස්තියාදු වෙන්න ඒකි කැමති වුණේ නෑ. ඕන වෙලාවට කථා කරන්න කියලා කාමරේට ගියා.
 මෙහෙම කැපුන එකත් එක අතකට හොඳට හිටියා. අනික් අතට කැපුනානම්, ඇට දෙකත් හොද්දට එකතු වෙන එක වලක්වා ගන්න බෑ. මේ දෙක පිහිය ආධාරයෙන් උගුල්ලලා දාන්න.
 මට මුලින්ම හිතුණා, මෙහෙම ග්‍රේට්  කරලා ගත්තොත්  හොඳයි  කියලා. ඒ එක්කම මතකයට ආවා, ලාවළු දිය වුණොත් කියලා. පස්සේ ඒ ටික හොද්ද රස වෙන්න තියා ගන්න හිතාගෙන අර මැල්ලුමට කොස් කපන ආකාරයට කපා ගන්න හිතා ගත්තා.
 ග්‍රේට් කළාම එන්නේ මේ වගේ හීන් තීරු.
 ඇටඉගුල්ලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. මේ වැඩේ පරිස්සමෙන් කරන්න ඕනේ.
 මෙන්න මේ වගේ කොටු හිටින්න ගහගෙන - ගහගෙන යන්න. අහයි පරිස්සමෙන්.
 ඉන් පස්සේ මේ වගේ කපා ගන්න පරිස්සමෙන්.
 අපි මේ කරියට ගෙඩියෙන් භාගයයි ගන්නේ. අනිත් කොටස පස්සේ උයා ගන්න බැරියැයි.
 මේ තියෙන්නේ ඒ වගේ කපා ගත්ත කෑලි. නූල් දෙකේ තරමට කපා ගත්තොත් හොඳයි. පරිප්පු වගේ තියෙන්නත් එපැයි.
 පස්සේ හිතුණා, මේ වගේ තීරු කපලා, ඒවා කොටු කපන එක වඩාත් කාර්යක්‍ෂමයි කියලා. මේ ක්‍රමය යොදා ගන්න. පොඩි කිරි ගතියක් තියෙනවා. ඒක නැති කර ගන්නත් එක්ක මම මේ කියුබ් ටික ලුණු වතුරෙන් හේදුවා.
 ඉන් පස්සේ මේ වගේ පෙරා ගත්තා. මෙතැන තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. තුන් දෙනෙකුට සෑහෙනවා.
 ඉන් පස්සේ කපාගත්තා ලොකු ළූණු වලින් භාගයක් එකතු කරන්න. රම්පෙ හීනියට කාපාගෙන එකතු කරන්න. කරපිංචා අතින් පොඩි කරලා දාන්න. අමු මිරිස් හරහට කපලා එකතු කර ගන්න. මිරිස් තේ හැන්දයි, තුනපහ තේ හැඳි කාලයි මේ වගේ එකතු කරන්න. අවශ්‍යනම් උළු හාල් ඇට දෙක තුනක් එකතු කරන්න. සුදු ළූණු බික් දෙකෙන් එකක් දාන්න.
 ඉන් පස්සේ හොඳට ගින්දර දාලා රත් කරන්න. බුබුළු නැගලා හොද්ද පිටට උතුරලා යන එක වලක්වන්න මේ වගේ ළී හඬක්  හැන්දක් හරහට තිබ්බම පුළුවන් කියළා මම කොහේ හරි දැක්කා. වැඩේ ඇත්ත.  වතුර හිදෙන්න කිට්ටු කරලා පොල් කිරි (මිටි කිරි සහ දියකිරි සමානව) කෝප්පයක් එකතු කරන්න. ඒකටම ලුණු කුඩු තේ හැන්දත් කලවම් කර ගන්න. මම යොදා ගත්තේ රේණුකා උකු කිරි ටින් එකකින් 1/3 විතර. වෙළඳ පොලේ තියෙන පොල්කිරි පැකට් වර්ග වලින් රේණුක එක තමයි හොඳම.  ටිකක් රත් වේගෙන ආවම ගින්දර අඩු කරළා. තවත් සුළු වෙලාවකින් ලිප නිවන්න. මොකද මැටි ඇතිළිය, එයා ලබා ගත්ත රස්නෙන් තවත් මිනිත්තු තුනක්-හතරක් බුබුළු දම - දමා උතුරන්න වග බලා ගන්න නිසා.
 ඉතිරි ළූණු ටිකයි. සුදු ළූණු බිකක් සහ කරපිංචා තෙල් මේස හැඳි තුනක් හතරක් දාලා රන්වන් පාට වෙන්න බැද ගන්න. මේකට අබ ස්වල්පයක් එකතු කරන්න. මේවා කරත්දී පොඩ්ඩක් ඇස් පරිස්සම් කර ගන්න. අබඇටපිපිරුණාම, මේ ටික උණු-උණුවෙම  හොද්දට  එකතු කරන්න. මේ වගේ  කරියක්  හදද්දී මිරිස් සහ පැණිරස බැලන්ස් කරන එක ලොකු වගකීමක්. මුලින් එකතු කරපු මිරිස් ප්‍රමාණය මදි කියලා මට හිතුණා. පස්සේ හැඳි1/3 වගේ එකතු කළා. මේවා අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕනේ දේවල්. ඔය ලොකු චෙෆ්ලා වුණත් එක පාරටම හරියට මිරිස් දාන්න දන්නේ නෑ. පස්සේ රස බලලා බැලන්ස් කරනවා. මතක
 මේ තියෙන්නේ හදා ගත්ත කරිය. එකට මම කොත්තමල්ලි කොළ සහ තක්කාලි පුංචි ගෙඩියක් කපලා මේ වගේ එකතු කර ගත්තා ලස්සන, රසය වගේම සුවඳත් එකතු කර ගන්න.  
අපි රෑට කෑවේ පාන්. බත් එක්කත් හොඳයි. මම පහුවදා ඉතිරි කොටස ඔෆිස් අරන් ගිහිං කට්ටියට දුන්නා රස බලන්න. ට්‍රයි කළාට පාඩුවක් නෑ. ලාවළු කනවා කියළා හිතන්නේ නැතිව කෑවොත් කන්න පුළුවන්. මේකේ පුංචි පැණිරස ගතියක් තියෙනවා. මැලේසියන්, තායි වගේ යට අහු වුණොත් බේර ගන්න බැරි වෙයි.

මේක මම ලියපු 400 වැනි සටහන. පන්සීයකින් පස්සේ අලුත් බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නේ.

Saturday, March 4, 2017

නාමේ නොදිරනා - කුණුකය දිරනා ......

තමන් දන්නා කෙනෙක් ගැන තවත් කෙනෙකුට විස්තර කරන එක පහසු කටයුත්තක් නොවේ. ඒ පිලිබඳ කොතෙකුත් අත්දැකීම් මට මෙන්ම ඔබටද ඇත. එයට ප්‍රධාන හේතුව කෙනෙකුට තමන්ගේ හිතේ ඇති දේ පැහැදිළිව විස්තර කිරීමේ හැකියාවක් නොමැති කමයි. සමහරවිට තමන් නොකියූ කොටස පවා තමා පැවසු බව හිතේ තබාගෙන කියන්නට යාමෙන් තත්වය තවත් නරක අතට හැරෙයි. මේ වරද කරන එක් ප්‍රධාන උදාහරණයක් මගේ කාර්යාලයේ වෙයි. ඒ අපගේ අංශයේ ඉහල නිලධාරියා වන ලසන්තයි. ඔහු අපට දෙයක් පවසන විට, වඩාත් රසවත් කොටස මුලින්ම කියා දමයි. නැතිනම් බොහෝ කොටස් අප දන්නවා යන මතයේ සිට ප්‍රකාශ කරයි. නමුත් ඔහු පැවසු දෙය නිසි පරිදි තේරුම් කර ගැනීමට අපට තවත් බොහෝ ප්‍රශ්න ඔහු වෙත යොමු කිරීමට සිදු වෙයි. ඔහු බොහෝ විට දෙවන වාක්‍යයේ සිට කතාව විස්තර කරන බව අපේ අත්දැකීමයි. මෙවැනි බොහෝ දිනක ඔහු කරගෙන යන කථාවට බාදා කරන ජනක, 

"ඉස්සෙල්ලාම ඔය කතාවේ මාතෘකාව කියන්න" යනුවෙන් පවසා සිටියි. එවිට මද සිනහවක් මුවට නගා ගන්නා ලසන්ත, පසුබට නොවී තොර තෝංචියක් නැතිවම කියවාගෙන යයි. අපට තිබෙන්නේ ප්‍රහේලිකාව විසඳා ගැනීමයි. කිසි දිනක කුණුහර්පයක් තමන්ගේ මුවින් නොපවසන ඔහු, වෙනත් වචන වලින් පවසාගෙන යන විට එය අසා සිටින කෙනෙකු එයට අදාළ කුනුහර්පය පවසයි. එවිට ඉතා තදින් හිනාවෙන ඔහු පුදුම වින්දනයක් ලබයි. එවැනි බොහෝ අවස්ථාවක මා පවසා සිටින්නේ

"ඔයාට කුනුහර්පයක් කියන්න ඕනේ නම් ඔයාම කියා ගන්න, අපි ලවුවා කුණුහරප කියවන්න ලැස්ති වෙන්න එපා" යනුවෙනි. මා මේ කරගෙන ආවේ පඳුරු තැලිල්ලක් බව ඔබට වැටහුණේ නැති බව මට හොඳටම විශ්වාසය. ඒ කෙනෙකුට සාර්ථකව යමක් පැහැදිලි කිරීමට නොහැකි බව, පැහැදිලි කිරීමට මා ගත් උදාහරණය බව මදක් ආපස්සට ගොස් බැලුවහොත් ඔබට වැටහෙනවා ඇත. සමාවන්න, මා පවසාගෙන ආවේ, කෙනෙකුට තවත් කෙනෙකු ගැන විස්තර කිරීම කරන්න අමාරු වැඩක් නෙවෙයි - කරන්න බැරි වැඩක් බවයි.  මෙහෙම කියන්නේ "ඉන්ස්පෙක්ටර් ලකී". ඉන්ස්පෙක්ටර් ලකී කියන්නේ කවුදැයි කියන පැනය ඔබ විමසනවානම්, මේ පහලින් තිබෙන පින්තූරය බලන්න. මගේ වාසනාවට ගූගල් දෙවියන් සිටියි. එසේ නොවුණානම් ඉස්නේප්ක්ටර් ලකී කියන්නේ දෙරණේ යන කාටූන් එකක්ය, ඒකෙ නම සූටිං-මාටිංය, ලංකාවේ සූටිං මාටිං වුණාට ඉන්දියාවේ ඒකට කියන්නේ මොටු-පට්ලුය, ඒකෙ මේ රාලහාමිගේ චරිතයට කියන්නේ චින්ගම්ය, චින්ගම්ගේ තාත්තා චුවින් ගම්ය, මේ දෙදෙනාට හඬ කවන්නේ චූටි මල්ලියි, පොඩි මල්ලියිය කියා එකදිගට විස්තර කරගෙන යා හැකිය. කවුරුන් හෝ මගෙන් සූටි මල්ලි සහ පොඩි මල්ලි ගැන විමසුවහොත් මට සිදු වන්නේ චින්ගම්ගේ තුවක්කුවෙන් ඉහලට වෙඩිල්ලක් තබා ගැනීමය. එවිට වැටෙනා පොල් ගෙඩියක් මගේ හිසට අවශ්‍ය සම්බාහනය ලබා දෙනු ඇත.ඔබත් මා මෙන් කාටූන් බලන වැඩිහිටියෙකු නම් මේ ගැන මට වචන වැය කරන්නට සිදු වන්නේ නැත.
පින්තූරය ගත්තේ : http://www.newindianexpress.com/education/edex/2016/oct/16/when-a-fat-and-a-thin-guy-manage-to-get-together--1527829.html
නොදන්නා අය මේ සබැඳියාව ඔස්සේ ගොස් කියවා බලන්න.

මා කියාගෙන ආ කතාව කියාගෙන යාමනට නොහැකි වන්නේ, පඳුරු තැලිල්ල කුඩු ගැහුවා වගේ වැඩක් නිසාය. පඳුරු තලන්නට පුරුදු වූ එකාට කලාඳුරු ගසක් දැක්කත් වැටකෙයියා ගාලකට නෙලන සෙයියාවෙන් නෙලන්නට සිතෙයි. එය මාගේ වරදක් ලෙස නොසලකන්න. පඳුරු තලිල්ලට ගොස් නැති වුයේ ලියන්නට ගිය කතාවම පමණක් නොවේ. මා ලියාගෙන ආ ශෛලියද වෙනස් වූ බව පැහැදිලිය නැතිනම් පලවෙනි ඡේදය බලන්න. ඉතිං මට පවසන්න අවැසි වුයේ කෙනෙකුට තවත් කෙනෙකු ගැන විස්තර කරන්න නොහැකි වන්නේ මන්ද ? යන සංකීර්ණ කාරණාව සත්‍යයක් බවයි. ඔබ පරිගණක වැඩසටහන් සම්පාදකයෙකු නම්, ඔබට ලබා දී තිබෙන රත්ත්‍රන් නීතියක් වනුයේ, ගනුදෙනු කරුවාගේ අවශ්‍යතාව, ඔහු ලවාම ලියවාගෙන, ඔහුගෙන් අත්සන් ලබා එය තබා ගන්නා ලෙසයි. මන්ද ඔබ වැඩසටහන සංවර්ධනය කලවිට ඔවුන්ගෙන් 99%ක්ම පවසන්නේ අප ඉල්ලා සිටියේ මෙය නොවන බවයි. ඇත්තටම මෙය communication gaps  නිසා සිදුවන්නකි. එය අවශ්‍යතාව පවසන්නා සහ එය සපුරන්නාගේ ගනුදෙනුවේ අඩුපාඩුය. බොහෝ ගැටළු වලටද මුල් වන්නේ මේ සන්නිවේදන ඌනතාවන්ය. නමුත් මට අවශ්‍ය දේ තවමත් මා පැවසුවේ නැත. 

කියන්නා කෙසේ කීවත් - අසන්න්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවට ඇති පැරණි කියනමන, ඔබව සිහිබුද්ධියෙන් ඇහුන්කන් දෙන්නෙකු කරවනු වස් පැවසු දෙයක් නොව, ඔබ සිතා ගන්නා දේ පිලිබඳ වගකීම ඔබ සතු බව පවසන වාක්‍යයක් බව මගේ පුද්ගලික විශ්වාසයයි. කෙනෙකු තවත් කෙනෙකු ගැන විස්තර කරන විට නිතරම උදාහරණ වලින් විස්තර කරන්නේ ඒ නිසාය. අනේ අර සනත් ජයසුරිය වගේ කෙනා. නැතිනම් සුනිල් හෙට්ටිආරච්චි වගේ කෙනා යනුවෙන් කෙනෙකු පවසයි. අද සමාජයේ විස්තර කිරීමට කොතෙකුත් චරිත තිබුනද, අතීතයේ සිනමා නළු නිළියන්ගේ හැඩ රුව වලින්ම විස්තර කිරීම අපේ පුරුද්දයි. අද මගේ කතාවේ කතා නායකයා බ්ලොග් අවකාශයේ සිටින කිහිප දෙනෙකුම හොඳින් දන්නා කියන චරිතයකි. නමුත් මා ඔහු ගැන විස්තර කරන්නට අකුරු හෝ වාක්‍ය යොදා ගත්තේ නම්, එයට අනුරූපව ඔබේ හිතේ ඇඳෙන පුද්ගලයා චිත්‍රයට නගන්නැයි මා ඉල්ලා සිටියොත්, මේ අවකාශයේ සිටින දක්ෂම චිත්‍ර ශිල්පියෙකු වන විදෙස් සිත්තරා අඳින රූපය වුවද බොහෝවිට මා අදහස් කල පුද්ගලයාට බොහෝ සෙයින් වෙනස් බව ඉර - හඳ සේ විශ්වාසය. ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන දේ වෙනත් කෙනෙකුට පැහැදිලි කරගන්න්ටම නොහැකි බවමද ? නැත. එවැනි චිත්‍ර ඇඳීම් මගින් අපරාදකරුවන් කොටු කරගත් අවස්ථාද ඇත.

මා මේ කියන්න යන පුද්ගලයා රත්නසිරිය. මා දන්නා රත්නසිරිලා තුන් දෙනෙකු ඇත. ඉන් පළමුවැන්නා ඉතා විනොදකාමියෙකි. ඔහු තිලකරත්න දිල්ශාන්ගේ මාමාය. මා සමග බොහෝ කාලයක් පාපන්දු ක්‍රීඩා කර ඇතිවා සේම ලඟින් ඇසුරු කර ඇත්තේය. දෙවෙනි රත්නසිරි අපේ බැංකුවේ ඔපිස්ර් මහත්මයෙකි. ඔහුද ඉතා විනෝදයට බර සැහැල්ලුවෙන් සිටිනා පුද්ගලයෙකි. ලෝකය හිස මත කඩා පාත් වුවද එලෝ -මෙලෝ නැතිව සිටින්නට හැක. තුන්වෙනි රත්නසිරි මට මුණ ගැහෙන්නේ රාජකාරි දිවියේදීය. ඒ රත්නසිරිටද මුලින් විස්තර කල රත්නසිරි ලාට ඇති පොදු ගතිගුණය ඇත. ඒ විනෝදයට බර සැහැල්ලුවෙන් සිටින පුද්ගලයෙකු යන පොදු වාක්‍යයයි. එය ඔවුන්ගේ මහා පොදු සාධකයයි. ඔබ දන්නා රත්නසිරිලාටද මේ ගුණය ඇත්දැයි සිතා බලන්න. මේ ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දෙන කිහිප දෙනකුටම සිටින බව පැහැදිලිය. ඒ අරුණ පෙරේරා නොහොත් අරූ, x-පෝටර්, Dr. ඇල්බන් සහ රහස් නමකින් සිටින අනෙක් බ්ලොග් කියවන මගේ කාර්යාලීය මිතුරායි. 

යලිත් මාතෘකාව දෙස බලන්න නාමේ නොදිරනා -කුණු කය දිරනා ......ඇත්තවශයෙන්ම මාකියන්නයන්නේ, අපට කියව-කියවා රසවිඳින්නට අපූරු මතකයක් ඉතිරි කර ගිය රත්නසිරි නමැති පුද්ගලයා ගැනය. ඔහුගේ නම රත්නසිරි වුවද බොහෝ දෙනා ඔහුට පවසන්නේ විල්සන් කරූ කියාය. ඒ ඔහු රංගන ශිල්පී, සටන් නළු විල්සන් කරූට 90%ක්ම සමාන රූප සොබාවක් ඇති පුද්ගලයෙකු නිසාය. මා ඔහුගේ කොණ්ඩය මේ වාගේය, මුහුණ මේ වාගේය,  ඇඟ මේ වාගේය, කථාව මේ වාගේය කීවානම් 100%ක්ම හිතේ ඇඳ ගන්නේ වෙනමම රූපයක්ය. එය ඔබගේ හෝ මාගේ වරදක් නොවේය. බොහෝ නවකතා චිත්‍රපටයට නැගුන විට "ෆිල්ම් එකට වඩා පොත හොඳයි" යනුවෙන් ඔබ පවසන්නේ ඒ නිසාය.

රත්නසිරි නොහොත් විල්සන් කරූ ගැන සඳහන් කිරීමට මේ පොස්ට් එක දිග වැඩිය. ඔබ මේ තාක් කියවාගෙන ආවානම් ඒ, මා ඔබ තුල ඇතිකළ කුතුහලය නිසාය. මා ඊළඟ සටහනින් පඳුරු නොතලා කෙළින්ම පවසන්නම්. ඒ දෙල්කඳ අසල ජීවත් වූ, අකාලයේ මියගිය, තවත් අපූර්ව චරිතයකට හිමිකම් කී, විල්සන් කරු නොහොත් රත්නසිරිගේ කථාවයි.

Wednesday, February 22, 2017

එළුපැටියාගේ කතා - තෙවන කොටස ......

මම මුළින්ම ලියපු එළු පැටියාගේ කතා මාලාව බොහොම ජනප්‍රිය වුණා. කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒකට නෙලුම් යායෙන් සම්මානයකුත් ලැබුණා. එළුපටියාගේ කතා එතරම් ජනප්‍රිය වුණේ ඇයි ? මම කළින් ලිපියෙන් පැහැදිලි කළා වගේ, දරුවන් නිදි ගන්වන්න ගියාම එයාලා වැඩියෙන්ම කැමති දේ කතා අහන එක. නමුත් ඔබේ කතා ගබඩාව ඔබටත් නොදැනීම අවසන් වෙන්නේ හිරු දුටු පිණි මෙන්. අන්තිමේදී දෙමව්පියන් අසරණ වෙනවා. මෙහෙම අසරණ වුණු වෙලාවක මගේ හිතට නැගුණු අදහසක් තමයි මේ "එළු පැටියාගේ කතා". මේකේ තවත් දෙයක් තියෙනවා. දන්නා කතාවක් ආපහු කියන්න ගියාම අපි වැරද්දුවොත් පොඩි එවුන් අපිව නිවැරදි කරනවා විතරක් නොවෙයි, ඔවුන්ගේ නින්දටත් බාදා කර ගන්නවා. අනිත් කාරණයේ තමයි දවසේ වැඩ කටයුතු කරලා ඉන්න දෙමව්පියන්ට කතා කියාගෙන යනකොට ඉබේම නින්ද යනවා. එවෙලාවට ඇහැරෙන්නේ හීනෙන් දකින වචනයක් මහ හයියෙන් කියාගෙන. මේක අර කියාගෙන ගිය කථාවට කිසිසේත් සම්බන්ධ නෑ. එතකොට පොඩි එවුන් අහානවා එක එක ප්‍රශ්න. ඒවාට උත්තර දෙන්න ගියාම අනිවාර්යනෙන් අනාත වෙනවා. 

දවස් තුනකට කළින් මගේකෙළි පොද්දටත් ආපහු ආස හිතුණා මේ කතාවක් අහන්න. එයා මට නැවතත් මතක් කළා "තාත්තේ එළු පැටියාගේ කතාවක් කියන්න බැරිද ?" කියලා. සිම්පල්නේ කියලා හිතිං හිතාගෙන මම ඇහුවා පුතා දන්නවද

එළුපැටියා වරකා කාපු කතාව 

ඔන්න දවසක් එළු පැටියා ටකස්-ගකස් ගාලා පාර දිගේ ඇවිදගෙන ආවා(මේ වෙලාවේ දරුවාගේ පිටේ කොඳු නාරටිය දිගේ ඇඟිලි වලින් එළුවා ඇවිදිනවා වගේ කරන්න ඕනේ. ඒක නින්ද ලඟා වෙන්න කරන පුංචි සම්බාහනයක් වෙනවා).
පින්තූරය ගත්තේ : dreamstime.com
මෙහෙම පාලු වත්තක් ගාවින් යනකොට එයාට ආවා පුදුම සුවඳක්. එයා එතැන නැවතිලා වටපිට බලන්න පටන් ගත්තා. ඒත් එයාට හරියටම ඒ සුවඳ එන්නේ කොතැනින්ද කියලා හොයා ගන්න බැරි වුණා. ඒ වුණාට සුවඳ එන පැත්තට එයා ඇවිදගෙන ගියා. හොඳටම සුවඳ දැනුණත් සුවඳ එන්නේ කොතැනින්ද කියලා තාම පේන්නේ නෑ. එළු පැටියා වටපිට බැලුවා. බිම බැලුවා. අන්තිමට උඩ බැලුවා. "මගෙ අම්මේ ..." එළුපටියට ඉබේම කියවුණා. එළු පැටියා ඇවිත් තියෙන්නේ වරකා ගහක් මුළට. එක පාරටම කටට කෙළත් ඉණුවා. දැන් මොකද කරන්නේ ? එළුපටියා කල්පනා කළා. ඉන් පස්සේ එයා හිතා ගත්තා ගහට නැගලා වරකා ගෙඩිය කඩාගෙන කනවා කියලා. එළුවන්ට කොහොමත් උඩ නගින්න පුළුවන්නේ. ඔන්න එයා මුළින්ම, ටිකක් උඩට නැග්ගා. ඉන් පස්සේ හෙමින් වරකා ගෙඩිය තියෙන අත්ත දිගේ ඇවිදගෙන ගියා. බිම බලනකොට පොඩ්ඩක් බයත් හිතුණා.

දැන් කොහොමද ගෙඩිය කඩා ගන්නේ ? ආයෙත් එයා කල්පනා කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාට හොඳ දෙයක් හිතුණා. එළු පැටියාට ඇඟිලි නැති නිසා ගෙඩිය කඩා ගන්න බෑ. එයා කලේ වරකා ගෙඩියේ නැට්ට කටින් විකන්න ගත්තා. ටිකක් විකාගෙන යනකොට, හොඳටම ඉදිලා තිබුණ වරකා ගෙඩිය බිමට වැටුණා. "දොන්ත පතෝස්" කියළා. තව ඩින්ගෙන් එයාවත් "දොන්ත පතෝස්" වෙනවා. ඒ නිසා උඩ නගිනකොට පරිස්සමෙන් නගින්න ඕනේ. බිමට වැටිච්ච වරකා මදුළු හැමතැනම විසිරුණා. එළුපටියා පරිස්සමෙන් බිමට බැහැලා, සුවඳ හමන, පැනීම පැණිරස වරකා කන්න පටන් ගත්තේ. ඉන් පස්සේ එයා සන්තෝසෙන් කෑ ගැහුවා
පින්තූරය ගත්තේ : pinterest වෙතින්

"බෑහෑ ... උම්බැහෑ ..."කියලා. ඒ සද්දෙට එහා වත්තේ සෙල්ලම් කරගෙන හිටපු ළමයි ටිකත් එතැනට දුවගෙන ආවා. පස්සේ එයාලත් වැලි ගෑවිච්ච නැති වරකා මදුළු ටිකක් රස බැලුවා. හැමෝට සන්තෝසයි. ඉන් පස්සේ ළමයි ටික එළු පැටියාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන "ගිණි - ගිණි බෝලේ සෙල්ලම කළා"

තව කතා දෙකක් තියෙනවා. ඒ දෙක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

Friday, February 10, 2017

ලෝබයාගේ දේ කූඹියා කෑම හෙවත් මැට්ගේ බෝතලය ඉස්සීමේ මෙහෙයුම ......

මේ කතාව සත්‍ය සිදුවීමක්. මම සේවය කරන ආයතනයේ ගොඩ කාලෙකට කලින් වුණු දෙයක්.  මේක මම අහ ගත්තේ මේ වනවිටත් අප අතරින් වියෝ වූ රණේ මහතාගෙන්. ඔහු තරුණ කාලේ මගෝඩි දෙයියෙක් බව කියන්නට යෙදුන කතා වලින් පැහැදිලි වනවා. රණේලා බොරැල්ලේ බ්‍රාන්ච් එකේ වැඩ කරපු කාලේ නිතරම මල් ශාලාවට ටෙලිෆෝන් කරලා මිනී පෙට්ටියක් ගන්න කෙනෙක් වගේ කතා කරනවාලු. එහෙම කරත්දී මල් ශාලාවේ අය බොහොම උනන්දුවෙන් තමන් ගාව තියෙන මිනි පෙට්ටි ගැනත්, ඒවා භාවිතා කල ඉහළ පෙළේ පුද්ගලයින් ගැනත් පාරම් බාලා කෙසේ හෝ අතේ තියෙන ගාන දැන ගන්න උත්සාහ කරනවාලු. පුලුවාන් තරම් හෙට්ටු කරලා, ගාන හොදටම අඩුවට කතා කරගෙන කට්ටියට ඇති කියලා හිතුණාම කියනවාලු

"අයියේ හැබැයි පොඩි අප්ෂට් එකක් තියෙනවා"

"ඒ මොකක්ද මල්ලි" (ආදරේ වැඩි කමට නෑ කම් වලින් තමයි කතා කරලා තියෙන්නේ)

"තාත්තා හොඳටම අසාධ්‍ය වෙලා දැන් මාස හයක් විතර හොස්පිටල් ඉන්නේ. තාම තාත්තා මැරුණේ නෑ. මැරුණට පස්සේ එන්නම්කෝ කියලා" 

ඒ එක්කම ෆෝන් එක විසන්ධි කරනවාලු. හැබැයි සී.එල්.අයි. එන්න කලින්. දැන් දුන්නොත් නොමිළේ එම්බාම් කරවා ගන්න පුළුවන්.

ඒක පොඩි පඳුරක්. එහෙම නැතුව  ඉතිං ගතියක් නෑනේ. දැන් අපි කථාවට බහිමු. රණේලාගේ ස්වර්ණමය යුගය පසු කරලා තියෙන්නේ ඉබ්බන්වල කිට්ටුව බ්‍රාන්ච් එකක ඉන්න කාලේ. ඒ යුගයේ තමයි එයාගේ දයාබර පෙම්වතිය එහෙමත් මුණ ගැහිලා තියෙන්නේ. මේ කාලේ අපේ රණේ ගැටවරයා. ලිපිකරුවෙකු වශයෙන් සේවය කරලා තියෙන්නේ. ඒ යුගයේ ඔෆිසර්ලා බොහොම සැර පරුෂ පුද්ගලයෝ. ටිකක් ලෙවල් එකෙන් තමයි ඉන්නේ. ආවට ගියාට ඔෆිසර් පට්ටමක් ලැබෙන්නේ නෑ. දැන් ඒකට. ඒ කතා වැඩක් නෑනේ. ඔන්න එක ඔෆිසර් කෙනෙක් ඉඳලා තියෙනවා හරිම මට්ටකුන්ඩලී ටයිප්. කොටින්ම කිව්වොත් කුණු ලෝභයෙක්. මම අලුතෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ඔය වගේ අය කොතැනත් ඉන්නවා. 

මේ කියන ඔපිසර් තුමාට මැට් කියමුකෝ. මොකද එම්.කේ. කියලා කෙටි කරළා ලිව්වොත් අපි අතර හිටිය හොඳ විනෝදකාමී, සුපිරි වැඩ කාරයෙක්, ඒ වගේම මල පනින සොමි ඩයල් එක ගැන වැරදි අර්ථකතනයක් දුන්නා වෙනවා. මම ලියපු ලොල් කතා කිහිපයක්ම එතුමා කියපුවා. බ්‍රාන්ච් එකකට ඒ කාලේ ඔෆිසර්ලා දෙන්නෙක් නැතිනම් තුන්දෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. මේ කියන මැට් උන්නැහෙත් එක්කෙනක්. මම කලින් කිව්වනේ ලොභයා කියළා. ඒක කලින් නොකිව්වනම් තමයි හොඳ. දැන් වුණත් ඕනෑනම් මකලා දාන්න පුළුවන්. ඒ වුණාට අමාරුවෙන් ටයිප් කොරපුවානේ. ඔහෙළා කියවන එකනේ. මයෙ මොකෝ. මකන්නෑ. කියෝගන්න එකයි ඇත්තේ. අවුරුද්ද අන්තිමට අපේ වගේ ආයතන වල බ්‍රාන්ච් වලට බොහොම සරු කාලයක්. මොකද ගනුදෙනු කරුවන්, විශේෂයෙන්ම වෙළෙන්දන් විවිධ ත්‍යාග ලබා දෙන කාළේ. මේ කියන මැට්තුමාට ලැබුණා කියන්නකෝ රතු ලේබල් ජොනී වොර්කර් එකක්(අපේ විචාරක තුමාට ලැබුණු එක සිහියට එනවා). මිනිහා මේක දෝතින්ම භාරගෙන කෙළින්ම මිනිහාගේ කබඩ්ගත කරනවා ඒ ශාඛාවේ පියන් උන්නැහේ දුටුවා. මේකෙන් දෙකක් දාගෙන කණ රත් කරගෙන යනහැටි දැන් පියුං උන්නැහේට මැවිලා පේනවා. හවස දෙක තුණ වෙත්දී කට්ටිය මැට් ගාවට ඇවිත් මෙහෙම අහනවලු

"බයිට් වලට මොනවද ගේන්න ඕනේ?"

එතකොට මැට්තුමා මුකුත් නොදන්නා තොත්ත බබා වගේ

"අද බොන්නද ලෑස්තිය. මොනවා හරි හම්බ වුණාද ?" කියලා අහනවලු. මේක  අහලා අපේ රණේලා ඇතුළු පිරිසට පෝක් ඩෙවල් නොහොත් ඌරු ජුවල් වෙලා. ඒත් ඔපිසර් තුමා හින්දා කොරන්න දෙයක් නැති හින්දා පහු බැහැලා.අවුරුද්ද අවසානේ තියෙන පාටියට මේක වඩම්මවයි කියන බලාපොරොත්තුවෙන් හිටියලු.හැබැයි මේක ගෙදර උස්සන් යනවද කියලා කට්ටිය බොහොම සෝදිසියෙන් විශේෂයෙන්ම පියුං උන්නැහේ ඇහැ ගහගෙන ඉඳලා. අන්තිමට අවුරුදු මාරු වෙලා උන්නැහේගේ උපන්දිනේ එහෙමත් පහු වෙලා ගියාලු. මේ අතරේ කොල්ලෝ ගෙන බෝතල් වලින් හීනියට දෙකක් දාගෙන මැට්තුමා ආතල් එකේ මොකුත් නොලැබුණු ගානට ඉන්නවාලු. හැබැයි මිනිහා කබඩ් එක ලොක් කරළා යතුර පණමෙන් සුරකිනවාලු. මේ අතරේ පියුම්ලා රණේලා ගහනවා සැලසුමක්. ඒක අපේ අම්බලන්ගොඩ මලයලා දුන්න සැලසුම වගේම එකක්. 

අන්තිමේදී කට්ටියට දවසක මැට් තුමාටත් ආරාධනය කරනවා ගල් බෝතලයක් හිස් කරන්න. මෙතැන හත් අට දෙනෙක්ම හිටියත් හැමෝම බොහොම ලාවටලු අනුමත වෙන්නේ. නමුත් මැට්තුමා පුරුදු මාත්රාවෙන්ම ඇරලා දාලා. එදා කොහොම හරි ගෙදර යනකොට මිනිහට හොඳටම සූර්ලු. ඊට ටික දිනකට පස්සේ බ්‍රවුන් පේපර් බෑග් එකකින් ඔතපු මැට් තුමාගේ කබඩ් එකේ තිබුණ විස්කි බෝතලය ඉතාම සීරුවෙන් සාගත මල්ලට යනවලු. සඳුදා දවසේ අපේ කතානායක තුමා ඉන්නවලු නයා මැරිච්ච අහුකුන්ටිකයා ගානට. කවුරුත් මොනවත් අහන්නේ නෑ. සීරුවෙන් වැඩ කරගෙන යනවා. 

වෙලා තියෙන දේ හිතා ගන්න අපේ ගල් බලකායේ උදවියටනම් අපහසු නැතිව ඇති. මැට් ගාව තිබුණ රතු ජොනියාගේ දියර හිස් කරලා(ස්ට්‍රොබ් නැති වෙන්නම ඕනේ-මේක මගේ මිතුරෙක් කියපු වචනයක් අර වැඩියෙන් වැටෙනවට දාල තියෙන බොලේ) ,සීරුවෙන් ගල් අරක්කු බෝතලයකුත් තවචුට්ටක් වක්කොරලා තියලා. කොහොමද එහෙම කළේ. මේකත් අර අම්බලන්ගොඩ මලයා දීපු සීන් එක වගේ එකක්. අපේ රහසිගත සංවිධානය මේක උස්සන්න තීරණය කොරලා. උස්සන විදිය ගැන රහසින් සාකච්ඡා කොරලා. අන්තිමේදී මේ අයගේ නිරීක්ෂණයට  හසු වෙලා තියෙනවා මැට් මහතා පොත අත්සන් කොරන්න ලොක්කගේ කාමරේට මිනිත්තු පහකට විතර කළින් ගිහිං එන වගත්, ඒ මොහොතේ පමණක් ඉබ්බාගේ යතුර, ඉබි මල්ලිට තදින් අල්ලා සිටින ලෙසට අණ කොරලා යන බවත්. ඉතිං තවත් දිනයක ඔත්තු සේවාවේ සාමාජිකයින් මැනේජර්ගේ කාමරයේ සිට කබඩ් එක දක්වා සෙනිකව ස්ථානගත වුණා. මැනේජර් ළඟ ඉන්න කෙනා මැට් උන්නහෙව කතාවකට අල්ලා ගත්තා. ඉතිං මිනිහට දනි පනී ගාලා එන්න විදියක් නෑ. මේ අතරේ බෝතලේ ඉස්සුවද පින්වත්නි ? නෑ එහෙම එක පාරට මේවා උස්සන සිරිතක් නෑ. මේක ඉස්සුවේ එතුමා නිවාඩු දවසක බොහොම නිවිහැනහිල්ලේ. ඒ කෝමද අප්පා ඒක කොලේ ? ටිකිරි මොළවලට එන්නේ නැද්ද අදහසක් ?   මොකද කියන්නේ අම්බලන්ගොඩ මලේ කට්ටියට හිතන්න අවස්ථාවක් දෙමුද ? නැත්නම් අර ස්පාඤ්ඤ රජතුමාගේ ඇමති මණ්ඩලය වගේ කියයි. අයියෝ අපි ඕක දැනගෙන හිටියේ කියලා. එහෙනම් දෙමු ට්‍රයි එකක්.

හැබැයි මේවා එහෙම තිබුණානම් කෙලවුන්ස් තමයි
පින්තූරය ගත්තේ :https://www.aliexpress.com
ඔය නෝටි මල්ලිලා, පුතාලා, සේවකයෝ, අරුං-මුං ඉන්න අයට මේක පොරෝජනවත් වෙයි. මෙතැනින් ගිහිං ඩොලර් 11 වැනි සුළු මුදලකට ගන්න පුළුවන්.

Tuesday, February 7, 2017

බන්දු අංකල් ...... Uncle Bandu

බන්දු අංකල්ට, බන්දු අංකල් කියනවාට වඩා වැඩි යමක් කියන්නට මම නොදනිමි. ඒ ඔහු ගැන මතකය අප ඉතා කුඩා කාලයට දිව යන බැවිණි. කෙනෙකු ගැන අලගිය - මුලගිය තොරතුරු හෝ වෙනත් ආගත-නාගත දැන ගන්නට කුඩා එවුන්ට අවශ්‍යතාටක් පැන නගින්නේ නැත. ඔවුන් මිනිසුන් පිලිබඳ මතකය ගොඩ නගාගන්නේ තමන් දකින රූපය මතය.  කෙනෙකුට දක්වන ගරුසරුව හෝ භක්තිය ඇති කර ගන්නේද මෙකී රුපය හෝ දේහය මතය. බන්දු අංකල් ගැන අපගේ(මගේ) මතකයද එලෙසය. 

 කුඩා කාළයේ මගේ ලෝකය සීමා වී තිබුණේ ඉතාම සීමාසහිත  වපසරියක බව කිවයුතුය. එදිනෙදා ජීවිතය බොහෝවිට සීමා වුයේ මගේ නිවසත්, එයට යාබද මහ ඉස්කෝලේ නොහොතේ බෙන්තොට කුමර විදුහල සහ ඉන් ඔබ්බෙන් ඇති මගේ මිතුරු සම්පත් විජේසේකරගේ නිවස(ඇත්ත වශයෙන්ම එය නිවාස සංකීර්ණයකි. ඒ අද පවතිනවා මෙන් එකපිට එක අහස දක්වා ගිය සංකීරණයක් නොව, විශාල වත්තක වට කඩොලු නොමැතිව තනා තිබෙන නිවාස කිහිපයකි)අතරය. ඉතා කළාතුරකින් දවසක් ඉන් ඔබ්බට ගියානම්, ඒ අපේ නැන්දලාගේ ගෙදරට හෝ නිවසට ඉතා ආසන්නයේ ඇති උඩකොටුව රජමහා විහාරයටය. තනියම යනවානම් එසේ වුවද, වැඩිහිටියෙක් සමග යනවානම්, පිටරඹ සිටින ජයසේන බාප්පලාගේ ගෙදර හෝ මවගේ උපන්ගම වන ගෝනගල වැනි තරමක් ඈතින් පිහිටි ස්ථාන වලද කරක් ගැසිය හැකිය. එසේ නමුදු පළමු පන්තියේ සිට තනිවම පාසල් යාමට මට අවස්ථාව හිමි විය.

පාසල් ගොස් ගෙදර ආ විගස බඩට යමක් දා ගැනීම ඕනෑම දරුවකුගේ සිරිත වුවද, පාන් කැබැල්ලකට හෝ තේකකට වඩා දෙයක් අපට හිමි නොවීය. ඒ පාසල් ගුරුවරියකු වූ මගේ මවගේ සහයට කිසිවකු නොසිටි යුගයක, ඇය දිවා ආහාරය පිළියෙළ කරන්නේ පාසැල් ගමනෙන් පසුව වීමය. මේ වයසේදී කෑම බීම ගැන වගක් ඇති ළමයෙකු සොයා ගැනීම ඉතා අසීරු කරුණකි. මා මේ සඳහන් කරන වයස අවුරුදු නවයක් හෝ දහයකි. කෙළිලොල් අපට හවසට ක්‍රිකට් ක්‍රීඩා කරනවාට වඩා දෙයක් නැත. ඉහත කී නිවාස සංකීර්ණය තුල වාහන ගමන් ගත හැකි පාරවල් දෙකක් ඇත. එකක් විජේසේකර මහ ගෙදරට ප්‍රවේශ වන මාර්ගයය. අනෙක ඉන් බිඳී අංශක තිහක පමණ කෝණයකින් නිරිත දෙසට ගමන් ගන්නා අනෙක් මාර්ගයයි. මේවායේ පළල අවම වශයෙන් අඩි දහයක් පමණ ඒවාය. නිරිත දෙසට ගමන් ගන්නා මාර්ගය නිවාස දෙකක් ආවර්රණය කරයි. එකක් සම්පත්ගේ ලොකු නැන්දා පදිංචි තට්ටු දෙකේ නිවසය, අනෙක සම්පත්ගේ නිවසය.

මේ මාර්ග ගැන විශේෂයෙන්ම සඳහන් කළේ, ඒවා අපි ක්‍රිකට් ක්‍රීඩාකල විකට් නිසාය. සම්පත්ලාගේ නිවසින් අවසන් වන මාර්ගයේ සම්පත්ලාගේ නිවස  අසල එක් විකට්ටුවකුත්, ඔවුන්ගේ  මහගෙදරින් අවසන්වන මාර්ගයේ අනෙක් විකට්ටුව ලෙසත් භාවිතා  කළෙමු. මේවා  නියම  ක්‍රිකට්  පිච්  ලෙස පවතින්නේ අප ප්‍රදේශයේ ස්වාභාවයෙන්ම පිහිටා  ඇති වැලි සහිත මඩ පස නිසාය. යටින් තද වී ඇති නිසාත්, මතුපිටින් වැලි ඇති  නිසාත් රබර් බෝලයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උචිතම ස්ථාන දෙකක් විය. මම, සම්පත් සහ ඔහුගේ සහෝදරයා ක්‍රීඩා කරන දිනකදී ඔහුගේ නිවස අසල විකට්ටුවත්, පිරිස වැඩි දිනයන්හී(ඉන්දික සහ ඔහුගේ ඥාති සොයුරා)  මහගෙදර විකට්ටුවත් භාවිතා කළෙමු. සම්පත් ගැන වචනයක් සඳහන් කල යුතුමය. ඔහු පන්දුවට පහර දෙන අවස්ථා වලදී දැවී යාමට ඉතා අකමැතිය. මා හෝ ඔහුගේ සහෝදරයා හෝ ඔහුව කලින් දවා ගත්තොත් ඔහු උරණ වෙයි. ඉන් පසු ඉතා වේගයෙන් අපට පන්දු යොමු කරයි. එනිසා බොහෝවිට අප කරන්නේ පන්දු නිදැල්ලේ යාමට ඉඩ හැරීමයි. එවැනි පන්දුවක් ඔවුන්ගේ නිවසේ වීදුරු ජන්ලෙයක වැදුණු විට ඔවුන්ගේ මව නිශේද බලය පාවිච්චි කර ක්‍රීඩාව අත්හිටුවයි.

කලින් සඳහන් කළ සම්පත්ගේ  ලොකු නැන්දා හෙද පාළිකාවක්(Sister) වුවාය. ඇය විවාපත් වී සිටියේ බන්දු අන්කල් සමගය. ඔහු සේවය කළේ සුරාබදු දෙපාර්තමේන්තුවේය. ඒ නිසාමදෝ සෑම දවසකම සූර් වී ගෙදර පැමිණෙන ඔහු,, ල ලොකු නැන්දා සමග කුමක් හෝ ආරෝවක් පටලවා ගනී. ඔහු සේවයට ගොස් පැමිණෙන්නේ සම්පත්ලාගේ නිවෙස පිටුපසින් ඇති පටු මාවත ඔස්සේය. ඔහුගේ රූපකායට සමාන පුද්ගලයන් අද කෙතරම් සිටියත්, එවකට මා ඔහු සමාන කරගෙන සිටියේ මගේ චිත්‍ර ගුරුතුමා විසින් නිර්මාණය කල කාටූන් චරිතයක් වූ යෝධයාටය. හෙතෙම යොදයෙකුට සරි සිරුරකට හිමිකම් කීවේය. නමුත් බඩ තඩිය නිසා පෙරකී යෝධයාට සමාන විය. දීපාල් සිල්වාට සමාන ඝන උඩු රැවුල ඔහුට රවුද්‍ර පෙනුමක් ගෙන දුන්නේය. නමුත් කුඩා අපත් සමග ඉතා කුළුපග පුද්ගලයෙකු විය. ඔහුගේ එකම සතුරා ලොකු නැන්දාය. ඇය දුටු තැන ඇඟට කඩා පැනීම ඔහුගේ සිරිත විය. බීමතින් ඔහුටම ආවේනික ශෛලියකින් ඉතා රෑ බෝ වනතුරු සිංදු කීම ඔහුගේ සිරිත විය. දවසක් පිටි ටින් එකක් අතැතිව ඔහුට මුහුණදුන් ලොකු නැන්දාට සිදු වුයේ බෝම්බ ප්‍රහාරයකට මුහුණ දීමටය. ඒ ඔහු එය උදුරාගෙන පයින් ගැසීම නිසාය. පියන ඇරුණු පසු දුම් වලාවක් සේ පළාතම වැසීගත් ඒ දසුන අදටත් මගේ මතකය අලුත් කරයි. කුඩා දරුවන් වූ අප බන්දු අන්කල්ගේ මේ වැඩ කිඩ ගැන කතා කලේ මහත් උජාරුවකිනි. විශේෂයෙන්ම සම්පත් ඔහු ගැන මහ ඉහලින් වර්ණනා කළේය.

බන්දු අන්කල් සතුව මූනිස්සම් තුවක්කුවක් විය. මෙය කාලයාගේ අවෑමෙන් අපගේ පරිහරණයට සරි විය. සම්පත් සතුව මූනිස්සම් දෙකක් විය. ඉන් එකක් තුවක්කුව කඩා, ලෝඩ් කරගත්තද කොකා ගැස්සීමට ඔහු බිය විය. ඔහුගේ පියා වෙත එය ගෙන යාමට ඔහු මැලි කමක් දැක්වු නිසා, එයත් රැගෙන හනික අපේ ගෙදරට ගමන් ගත්තේ මහ ඉස්කෝලේ පිට්ටනිය හරහාය. මගේ පියාට දුන් විට, තමා බිබිලේ රාජකාරි කරන කාලයේ තුවක්කුව පරිහරණය පුරුදු වූ බව පවසා, එහි මිට උරහිසට තබා, අසල තිබුණ ටින් එකකට ඉලක්කය ගෙන කොකා ගැස්සීය. මෙය බලාගෙන සිටි අපට මෙය ටොයිස් වැඩක් බව පැහැදිලි වුවද, හරියට මෙය පරිහරණය නොකළොත් උරිස්ස පැනීමට වුවද ඉඩකඩ ඇති බව පියා අනතරු ඇඟවීය. දෙවන මූනිස්සම ලෝඩ් කරගත් අප, දැන් ඒ කාලයේ තිරගත වූ වීර පුරන් අප්පු ජවනිකාවක් රඟ දැක්වීමට සුදානම්ය. සම්පත්ගේ සිත්ගෙන තිබුණේ සුද්දන් දන නමා කල වෙඩි තැබීමටය. පිට්ටනියේ ඔහුගේ නිවාස අසලට වන්නට පොල් ලෙලි වේලෙන්නට දමා තිබෙන තැනට ගොස්, සුද්දන් අනුගමනය කරමින් දන බිම ඇණ, වන්-ටු-ත්‍රී යනුවෙන් තමන්ටම කියාගත් ඔහු කොකා ගැස්සීය. ඩෝං හඬක් නංවමින් එය පත්තු වූ උද්දාමයෙන් මා කෑ ගැසුවත් සම්පත්ගේ මුහුණ එතරම් හොඳ නැති බව පැහැදිලි විය. පසුව බැලීමේදී තුවක්කුවේ කොකාට ඔහුගේ ඇඟිල්ල අසු වී ළේ එන්නටම තුවාල වී තිබුණි. ඉන් පසුව ඔහු කිසිම දිනක එය පරිහරණය නොකළේය. පසුව එහි නිත්‍ය ක්‍රියා කරුවා මා විය. නමුත් මූනිස්සම් නැතිව කෙසේ වෙඩි තබන්නද ? ඒ ගැන කල විපරමකදී කෙනෙකු පැවසුවේ මූනිස්සම් වෙනුවට මුං ඇට යොදා ගත හැකි බවය. ඉන් පසුව අප මුං ඇට යොදාගෙන කදිමට වෙඩි තබන්නට පටන් ගත්තද, කවුරුන් හෝ සම්පත්ලාගේ මවට ලබා දී තිබූ ඔත්තුවක් නිසා එම අවස්ථාව මග හැරී ගියේ ලත් තැනම ලොප් වන ස්වභාවයකිනි.

අපට පාපන්දු ක්‍රීඩා කරන්නට මහත් ආශාවක් තිබුණි. නමුත් අපට තිබුණු එකම අඩුපාඩුව පාපන්දුවක් නොමැති කමය. මේ බව බන්දු අංකල්ට පැවසු විට,තමාද පාපන්දු ක්‍රීඩා කර ඇති බවත්, යලිත් ක්‍රීඩා කිරීමට තමාටද අවශ්‍යතාවක් ඇති බවත්, තමන් පාපන්දුවක් අපහට ගෙනැවිත් දෙන බවත් පොරොන්දු වීය. නමුත් කන බොන මිනිසුන්, දෙකක් දා ගත් වෙලාවට කියනා දේවල් එතරම් ගණන් නොගත යුතු බව පාලිත අයියා ඇතුළු බොහෝ දෙනාගේ මතය විය. වැඩ ඇරී ගෙදර එන ගමන්, පිට්ටනිය අසලට වී අප කරන ක්‍රීඩාව දෙස මදක් බලා සිටින බන්දු අංකල් සමග බොහෝ දෙනා කථාවට පෙළඹෙන්නේ, දෙකක් දමා සූර් වි සිටින ඔහුගෙන් හොඳ කියුම් කිහිපයක් අසා ගැනීමේ අදහසිනි. නමුත් එක් දිනක් අප බොහෝ දෙනා මවිත කරමින්, දුඹුරු පැහැති පොල් ලෙල්ලක් වැනි යමක් තමන්ගේ බෑගයෙන් ඇද අප වෙත විසි කරන ලදී.  ඇත්තටම එය තොප්පියක් වැනිය. මොහොතකින් එය බෝලයක් බව කාලයක් ක්‍රීඩා කර අත්දැකීම් ඇති පාලිත අයියා වටහා ගත්තේය. නමුත් තවමත් අපට මෙය අදහා ගත නොහැකි වුයේ, බෝලයක් නම් රවුම් විය යුතුය.

"මේක හරියට වළඳක් වගේනේ"  කෙනෙකු පැවසීය.

"මේකට හුලං ගහන්න පොම්පයක් ඕනේ වෙනවා". අවස්ථාවේ වීරයා වූ පාලිත අයියා කියා සිටියේය.

මොහොතකින් කෙනෙකු ගෙදර දිව ගියේ, තම පියාගේ බයිසිකලයට හුලං ගසන පොම්පය රැගෙන එන්නටය. ඒ අතරතුරදී මෙහි ඇති ලේස් ලිහා බැලුම් බෝලයක කටක් වැනි කොටසක් එලියට ගන්නට පාලිත අයියා සමත් විය. අපට බෝලය දුන් බන්දු අංකල් ගැන වගේ වගක් නැතිව උන් අපගෙන් කෙනෙකු ඔහුව හොයන්නට වුයේ ඔහුගෙන් ඒ ගැන වැඩි තොරතුරු විමසන්නටය. දැන් සම්පත් මේ දෙස බලා සිටින්නේ ඉතා ආඩම්බරයකිනි. මන්ද මෙහි නිත්‍ය හිමිකරුවා තමා වන බැව් හේ ඉවෙන් මෙන් වටහාගෙන සිටි බැවිණි. මාලනී නැන්දා සමග විවාපත් බන්දු අංකල්ට තවමත් දරු සුරතල් බලන්නට අවකාශ ලැබී නොතිබුණෙන්, ඔවුන්ගේ දරුවන්ගේ අඩුව අප කිහිප දෙනෙකු පුරවාලනු ලැබිණි. ඒ නිසා ඔවුන්ගේ ආදර සත්කාර අපට නොඅඩුව ලැබුණි. ඒවා රසකවිල්ලකට තේ කෝප්පයකට සීමා නොවී පාපන්දුවක් දක්වාම වර්ධනය වුයේ එහෙයෙනි. ඔහුට ළමයින් වූවානම් තත්වය මීට වඩා වෙනස් අතක් ගන්නවා සිකුරුය.

තවත් මොහොතකින් පොම්පයේ බටය, වැල් කටට තදින් අල්ලා ගන්නට එකෙකුට පවරා පාලිත අයියා බයිසිකලයට හුලං ගසන ආකාරනම් ඊට හුලං පිරවීය. එය හෙමින්-හෙමින් රවුංවී එනු අප බලා උන්නේ නොයිවසිල්ලෙනි. එක්තරා මට්ටමකට හුලං ගැසූ  පාලිත  අයියා, වාහා පැන එහි කටින් අල්ලා ගත්තේ බැලුන් බෝලයක කට අල්ලා ගන්නා නියායෙනි. ඉන්පසු එය ඇතුළට දමා නවා, බුරුල් කල ලේස් අල්ලා තද කරන ලද අතර. එය දෑතින් තද කර හුලං ප්‍රමාණය පිරික්සීය.

"තව පොඩ්ඩක් හුලං වැදුනානම් තමයි හොඳ. ඒත් කමක් නෑ උඹලාට වැඩිය හුරු නැති හින්දා" යයි දනමුත්ත්තෙකු සේ කියා සිටියේය. ඉන් පසුව එය උඩ දමා පා පහරක් ගැසීය. එය ගමන්ගත් පැත්තට අප දිව ගියේ පිස්සුවෙන් මෙනි. ඉන්පසු ලැබෙන ලැබෙන එකා එයට පයින් පහර දෙන්නට විය. නමුත් බොහෝ පහරදුන් කිසිවෙකු යලිත් එයට පහර දීමට නොයා කකුල අල්ලාගෙන තැන-තැන වාඩි විය. පන්දුවට පහරක් දුන් මටද දවල් තරු පෙනුණේය. ඒ මගේ කකුලේ මහපට ඇඟිල්ල බිත්තියක, පුටු කකුලක ඇනුනාට වඩා වේදනාවක් දුන් නිසාය. සියළු දෙනා කදවාගත් පාලිත අයියා එයට පහර දෙන අකාරය පෙන්වීය. අපිද ඔහු පෙන්වන ආකාරයට පාදය හරවා පැත්තෙන් පහර දෙන්නට උත්සාහ ගතිමු. තවත් ටික වෙලාවකින් කණ්ඩායම් දෙකකට බෙදී ක්‍රීඩා කරන්නට අපට හැකි විය. ඒ වනවිට බන්දු අන්කල්ද අප හා එක් වී පොඩි එකෙකු සේ පන්දුව පිටුපස හඹා යාමේ කර්තව්‍යට උර දී හමාරය. තවත් මොහොතකින් තවත් ගැටළුවක් මතු විය. ඒ පන්දුවේ ලේස් තිබෙන ප්‍රදේශයට පහරදුන් අය යලිත් කකුල් අල්ලාගෙන බිම ඉඳ ගැනීම නිසාය. ඇත්තටම එය මහත් වේදනා ගෙන දෙන අවස්ථාවකි. කකුල පැත්තට හරවා පහර දෙනවාට වඩා, ඇඟිලි උඩට නවා යටි පතුලෙන් පහර දීමේ පහසු ඉරියවව්වක් අප පසුව සොයා ගතිමු. ටික දිනකින් මේ ආරංචිය ඔස්සේ පාපන්දු ක්‍රීඩාවට බොහෝ දෙනා පැමිණෙන්නට විය.

මේ ආකාරයෙන් අපේ වීරයා වූ බන්දු අංකල්, තවත් වීරයෙකු වන ආරංචියක් සම්පත් ගෙන ආවේය. ඒ බන්දු අංකල් "වීර පුරන් අප්පු" චිත්‍රපටයේ රඟපා ඇති බවය. එහි දොලාවක් කර ගහගෙන යන හතර දෙනාගෙන් කෙකු ඔහු බව සොයාගෙන තිබුණි. එය අපේ ගමේ ලැවූ ගින්නක් සේ පැතිර ගියේ, බන්දු අංකල් ගමේම වීරයෙක් කරමිනි. මේ කිසිවකින් ආඩම්බර නොවූ හෙතෙම හවසට මදුවිතක් තොල ගා සිංදුවක් කියාගෙන ගෙදර ආවේය.
පින්තූරය ගත්තේ : https://www.etsy.com

Monday, January 16, 2017

සැබෑ නොවූ සිහින - ඉබි කටුව ...... Dreams Never Come True - Tortoise Shell

ශ්‍රී ලංකාව තුල ගෙවුණු ඉතාම සංවෘත්ත ආර්ථික යුගය පසුකල, බ්ලොග් කරණයේ යෙදෙන කිහිප දෙනාගෙන් කෙනෙකු වශයෙන්, එසමය තුල අත්දැකීම බෙදා-හදා ගැනීම අපගේ වගකීමකි. 70 - 77 කාළ සමය පිලිබඳ එකිනෙකා විවරණයේ යෙදෙනෙ තමන්ගේ දේශපාලන පොල්කටුව තුල සිටිමින්ය. ඒ සමයේ අපට ඉතාමත් සීමිත ආහාර වර්ග කිහිපයකින් සන්තර්පණය වන්නට සිදු විණි. එකළ මා ළදරු වියේ පසු වුවද, පැවතී අහේනිය පිලිබඳ පැහැදිලි මතකයක් තිබේ. එමෙන්ම එයට හසු වූ අපගේ ශාරීරික වර්ධනයද සීමා වූ බව නොරහසකි. ආනයනයන් සීමා වූ එම කාලපරිච්චේදය තුල, සීනි, සහල්, පරිප්පු, මිරිස් අඩුවෙන් දකින්නට ලැබිණි. ජනතාව තම අවශ්‍යතා සඳහා සමුපකාරය සහ සතොස සහ අලෙවි මණ්ඩලය වෙත පිය නගන එම යුගයට "පෝලිම් යුගය" ලෙසට නම් පට බැඳුනේ, පාන් ඇතුළු බොහෝ දේ මේවාගෙන් ලබා ගැනීමට පෝලිම් වල සිටීමට සිදු වීම නිසාය. 

එවකට ළදරුවන් වූ අපට නම් මේ අත්දැකීම බඩගින්නට වඩා සතුට ගෙන දෙන්නක් විය. මන්ද නිවසින් පිට ඇවිද යාමට දෙමව්පියන්ගේ අවසරය ලැබුණේ මේ පෝලිම් වල සිටීමට යන යෞවනයේ පසු වූ පුංචි අම්මලාගේ ආරක්ෂාවට අපවද පිට කර යැවීම නිසාය. පාන් සඳහා කාඩ් පතක් තිබූ බව අද පුරාවෘත්තයක් වුවද, මා ඒ පාන් කාඩ්පත අත දරා පෝලිමේ සිට ඇත. විටෙක තමන්ගේ පරපුර එක්-එක් දේවල් කල බව මුහුණු පොතේ පින්තුර බෙදා ගන්නා අයුරු දකින විට, "පාන් පෝලිමේ - පාන් කාඩ්පත දරාගෙන සිටගෙන සිටි පරම්පරාව" අප බව ඕනෑනම් බෙදා ගත හැකි බව මගේ මතකයට එයි.

අද උදෑසන ප්‍රවෘත්ති නරඹන විට පවතින නියං තත්වය තුල කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුබවයට ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකු පවසන දසුනක් දකින්නට ලැබිණ. මගේ මතකය නිරන්තරයෙන් ඇදී ගියේ 70-77 යුගයටයි. අප පරිප්පු වෙනුවට අමු ලාවළු උයා කෑ(අවශ්‍ය නම රෙසිපිය පසුව ඉදිරිපත් කරන්නම්) මතකය සිහියට එයි. එවැනි බොහෝ ආදේශක එකල අපට තිබුණි. එසේ සංවෘත්ත ආර්ථික ප්‍රතිපත්තියක් එකල අනුගමනය  කිරීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒම බව පසුව දැන ගන්නට ලැබුණි. එකල සීනි වෙනුවට හකුරු වර්ග ආදේශක ලෙස භාවිතා විය. කිතුල් හකුරු යහමින් නිෂ්පාදනය නොවූ නිසා සක්කර හෝ පොල් හකුරු නිෂ්පාදනයට කර්මාන්ත බලධාරීන්ගේ දෑස් යොමු වී තිබුණි. අපේ ගමට එම යුගයේ අලුතෙන් හඳුන්වාදුන් නිෂ්පාදනය වූයේ, පොල් ගස ආශ්‍රිත නිෂ්පාදනයන්ය. ඒ පොල් පැණි සහ හකුරුය. මෙයට අමතර තවත් බොහෝ දේ තිබෙන්නට ඇත. නමුත් මේ පොල් පැණි කර්මාන්තය පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ සවස් කාලයේ මගේ පියා හමු වන්නට පැමිණෙන ආනන්ද අයියාගෙනි. ඔහු පන් මල්ලක තමන්ගේ රාත්‍රී ආහාරයත්, වතුර බෝතලයකුත් රුවාගෙන්, එය තම බයිසිකල් හැඬලයේ රඳවාගෙන පැමිණේ. ඔහු රාත්‍රී කාලයේ කරන්නේ පොල් පැණි කර්මාන්තයට  මැද ඇති බෙන්තොට සංචාරක කළාපයේ පොල් ගස් මුර කිරීමය. එමගින් ප්‍රදේශයේ තරුණයෙකු වූ ඔහුට රැකියාවක් සලසා තිබේ. ඒ කාළයේ මාළු පවා අලෙවි වුයේ, ධීවර දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ගමේ එක්තරා තැනකට පැමිණ වෙළඳාම් කරන අවස්ථාවන්හීය.  එමගින්  ලංකාවේ මුහුදුබඩ නොවන පළාත් වලට මේ ක්‍රමයට මාළු ලැබෙන්ට ඇත. ඒවා දමා දුන් මාළුවකුගේ හැඩයේ සංකේතයක්  සහිත මුද්‍රිත ඉටි බෑගය අදටත් මගේ මතකය අලුත් කරවයි. කුකුල් මස් එම යුගයේ සුඛෝපභෝගී ආහාරයක්ම විය.
පින්තූරය ගත්තේ : http://colomboo.lk/directories/search?what=&where=c&paging=true&page=42

ඉබිකටුව මාතෘකාව ඔස්සේ මේ කියාගෙන යන්නේ මොනවාදැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මේවා අද සිනහමුසු මුහුණින් අනුස්මරණය කරන්නට හැකි ඉමිහිරි මතකයන්ය. එය පෝලිම් යුගයක් වූවාසේම, අඟහිඟ යුගයක්ද විය. අතීත කතා ලියන අතරතුර පඳුරු තැලිල්ල හඳුන්වා දුන්නේ හැලපයා වුවද, ආපසු ලියන්නට මට ආරාධනය කල ඩී.ජී.එම්. බස්සා පවසා සිටියේ කතා ලියන අතරතුර අවශ්‍යනම් පඳුරක් දෙකක් තලා දමන ලෙසය. ඉබ්බා දියට දැම්ම විට ඇන්නාවේ කීවා සේ මාද එය දොහොත් මුදුණින් භාර ගතිමි. මන්ද එය විටක් හපන විට අමතර එකතු කර කරඳමුංගු, කාරබුනැටි, සාදික්කා වසාවාසි වැනි සටහන රසවත් කරණ අමතර එකතු කිරීම් නිසාය. අපේ ඔෆිස් එකේ සුමිත් මේවාට පවසන්නේ "මීස්තරය" කියාය. එකල බියර් පානය කරන ගමන් ඊට අරක්කු මදක් එකතු කරන ඔහු පවසන්නේ "මීස්තරේට අරක්කු පොඩ්ඩක්" යනුවෙනි. ඉදින් ඉහලින් ඇති පරිච්ඡේද මේ කතාවේ මීස්තර වේ. සමහර විට මීස්තරය රසවත් වීමට ඉඩ ඇත.

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද  බොහෝවිට විවිධ ද්‍රව්‍යයන් එකතු කිරීමේ යෙදෙති. මුහුදුබඩ ගමක ඉපදී හැදී වැඩුණු මා හට එසේ එකතු කල හැකි ද්‍රව්‍යයන් බොහෝ විය. අනෙක එක්-එක් වයස් තුලදී මේ ඇබ්බැහිය වෙනස් මගක් ගත් බව මගේ මතකය පවසයි. ඉතා කුඩා කාලයේ මා එකතු කලේ සිප්පි කටු, බෙලි කටු, දැලි පොතු(මේවා පිත්තල පහන් පිරිසිදු කිරීමට යොදා ගනී) වැනි මුහුදු වෙරල ආශ්‍රියෙන් අහුලා ගත හැකි දේවල්ය. නමුත් අවාසනාවකට කුමන කටයුත්තක් සඳහාවත් මගේ දෙමව්පියන්ගෙන් මුහුදු වෙරළට යාමට අවසර ගත නොහැක. මේවා මා එහි යන මිතුරන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා ගතිමි. මුහුදු වෙරළට ආසන්න වුවද, ඉන් කිලෝමීටරයකට මත්තෙන් අපේ ගම ඇතුළට වන්නට වී වගාව සිදුවේ. වෙනත් අයුරකින් කිවහොත් වෙල් ඉඩම් බහුලය. ඒවා බෙන්තර ගඟ සහ එයට සම්බන්ධ වන අතු ගඟක් වන දෙද්දු ගඟ ආශ්‍රිතව සිදු වේ. නමුත් වඩදිය නොහොත් කරිජ්ජ ගතිය වැඩි මාගේ නිවස ආසන්නයේ ගං ඉවුර ආශ්‍රිතව වී වගා හෝ වෙනත් කිසිදු වගාවක් සිදු නොවේ. මගේ පියා තුණ්දුව නමැති ග්‍රාමයේ ඇති කනිටු විදුහලේ සේවය කරන අවධියේ මා හට ඉබි කටුවක් ගෙනවිත් දුන්නේ, මා මේ කටු(shell) වලට ප්‍රිය කල අයෙකු යන අදහසින් විය යුතුය( shell කීවාම 100% ක්ම මා shell කාරයෙකු වන්නේ අදටද, මා Unix/Linux ආශ්‍රිත Shell Programming සිදු කරන නිසාය). අපගේ නිවාස ආශ්‍රිතවම ඇති බෙන්තොට වගුරු බිමෙහිද ඉබ්බන් සිටින බව අප හට පැවසුවේ මගේ පියාගේ අතිජාත මිත්‍රයා වූ ජයසේකර ගුරුතුමාය. එතුමාගේ නිවාස පිටුපස මේ වගුරු බිමට යා වී ඇත. දිනක් එම ඉවුරට ඉතිරි වූ ගොම වගයක් විසි කරනවිට, ඉබ්බන් පොරකාගෙන ඒවා කෑ බව ඔහු අපත් සමග පවසා ඇත. නමුත් ජීවත් වන ඉබ්බන්ගෙන් මා හට පලක් නැත. මට අවශ්‍යව තිබුණේ ඉබි කටු එකතු කර ගැනීමයි.
පින්තූරය ගත්තේ :http://markopolio-stock.deviantart.com
අපිට ඒ කාලේ පින්තූර ගන්න විදියක් තිබුණා නම්, මේ බ්ලොග් වල අලංකාරේ කියා නිම කරන්නට බැරි වන මට්ටමකට ගෙන එන්න තිබුණු බව සහතිකය.මට ලැබුණේ ඔය ඉහලින් පෙන්වා තිබෙන වර්ගයේ ඉබි කටුවකි.එහෙත් එකතුවක් පවත්වාගෙන යන පෙර පාසල් වයසේ කොලු පැටවෙකුටඑය මහඟු දායාදයක් බඳු වේ. ඉන්පසුව මා කලේ මුණගැසෙන හැම කෙනෙකුගෙන්ම ඉබි කටු ඉල්ලා සිටීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ  ප්‍රමාණයේ ඉබි  කටු හත අටක්ම මා සතුව විය.

තාත්තා ඒ කාලයේ සමුපකාර  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස වැඩ කළේය. ඔවුන්ගේ කාළයේ බෙන්තොට වැව ඉදිරිපිට  අවන්හලක්  පවත්වාගෙන යන්නට හැකි විය. එය පොල් කොට මත ඉදි කල නිසා එයට "කොට උඩ කඩේ" යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳිණි. අදටත් එය සිතින් මවා ගැනීමට මට හැකිය. දුඹුරු පාට කරන ලද පොල් කොටන් සිටව නිමවා තිබූ එහි උඩු මහල තනිකර ළී බිමකින්ද, වහළය පොල් අතු සෙවිළි කර තිබුණි.  අවන්හලෙන් කෑ රෝල්ස් වල රස මට තවමත් දැනෙන්නා සේය. එකල එයට ඉඳි ආප්ප සපයනු ලැබුයේ අපේ ලීලා පුංචි අම්මාය(ජයසේන බාප්පාගේ බිරිඳ). ඈ ඒවා සාදා ඉතිරි වන රබර් ඇටයක් තරමේ අවසාන පිටි ගුලියෙන් තලපයක් සාදා, වට්ටියක තබා ඉඳි ආප්ප සමගම තම්බා මට කෑමට දෙයි. මේ අවන්හළේ ඉදිරිපස කුඩා පොකුණු දෙකක් විය. ඒවායේ කුඩා කිඹුල් පැටවුන් ඇති කර තිබුණි. සති අන්තයේ හවසක අක්කා, මා සහ මල්ලීව මෙතැනට කැඳවාගෙන යයි. මල්ලීටත් මටත් එතන කෑම බීම වලට වඩා අවශ්‍ය වී තිබුණේ, එතැන තිබෙන පොකුණු වල ඇති වතුරට පයින් ගැසීමයි. නමුත් තාත්තා හෝ අම්මා සිටීනම් අප ඇදගෙන යන්නේ මහා කිඹුල් තඩියෙක් සිටිනා තැනකින් ගමන් කරන විලාසයටයි. එහි සිටින උන්ට අප බය නොවුයේ, උන් කිඹුලා බනිස් එකේ තරම් කුඩා කිඹුල්ලු නිසාද, නැතිනම් නොන්දන්නා කමටදැයි එකල අපට නිනව්වක් නොතිබුණි. මේ සමූපකාර පඳුර තලන්න ගොස් තව ඩිංගෙන් කියන්න ඕනෑම දේ මිස් වෙනවාය. 

කළු හෙක්ටර් නමැති පුද්ගලයෙකුද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේය. ඔහුගේ මුහුණ දකින්නද බියකරු පුද්ගලයෙකු වුයේය. නයිජීරියානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන් හැඩි-දැඩි වුවා සේම, සායි බබා මේ කොණ්ඩයක්ද ඔහු සතු විය. කුඩා දරුවන් වූ අපට, ඔහු දැකීම ඉතා බියකරු දර්ශනයක් විය. ඔහු ගැන ගුණ වරුණාව අපේ තාත්තා පණ පිහුටුවා පවසයි.
"ඔය කළු හෙක්ටර් ඉබි මස් කනවා. දවසක් ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගිහිං. ගහන-ගහන ඉන්ජෙක්ෂන් කටු කැඩිලා. අන්ම්තිමට දොස්තරට වැඩේ එපා වෙලා"
ඉතිං අපි බය වෙන එකත් සාධාරණය. එහෙත් මට තිබූ ප්‍රශ්ණය එය නොවේ. ඉබි මස් කනවා නම්, ඉබි කටු ඉල්ලා ගන්න පුළුවන් නේදැයි යන්න මගේ සිතේ වැඩ කළ එකම ප්‍රශ්නයයි. නමුත් කළු හෙක්ටර් සිහි වනවිට මගේ ඇඟට පණ නැති වන තරමට ඔහු බියකරු පුද්ගලයෙකු නිසා, ඒ ආශාව මම අත් හළෙමි.

ඉබිකටු කිහිපයක් දැනටමත් මා සතු නිසා, තව-තවත් ඉබිකටු පිටුපස යාමේ තේරුමක් නැත. මට ඉන් පසුව ඕනා වුණේ, මේවා විවිධ වර්ණයන් ගැන්වීමය. මාකළේ විවිධ වර්ණවල රටහුණු වලින් මේවා පාට කිරීමය. නමුත් ඒවා වතුර බිඳක් ඉහුනොත් සේදී යන නිසා, මා පියාගේ අධාරය පැතීය. එවිට ඔහු තම ළමා කාලයේ විවිධ වර්ණ තනා ගත් ආකාරය විස්තර කළේය. නමුත් ඒ ක්‍රම වලට වර්ණ සම්පාදනය දැන් අපහසු බව අපේ දෙදෙනාටම පැහැදිලි වූ නිසා, බැනර් සහ බෝඩ් අඳින රණවීර අන්කල්ගෙන් ලැකර් ටිකක් ඉල්ලා දෙන්නට තාත්තා පොරොන්දු විය. දින බයිසිකලයක් පැදගෙන අප නිවාස පසුකර යන තලත්තෑනි පුද්ගලයෙකු නවතා ගත් ඔහු, වර්ණ පිලිබඳ විස්තරය ඔහු හා පැවසීය. ඒ අසා වර්ණ ලබා දීමට පොරොන්දුවක් ලබා දීඔහු පිටත් වුවත්, ඔහුගේ මුහුණෙන් එය ඔහුට කරදරයක් බව පැහැදිලි විය. ඔහු පාරේ ගමන් කරනු  දකින  හැම  අවස්ථාවකම ඔහුට ඇවිටිලි කලද, හෙට දෙන්නම් -අනිද්දා දෙන්නම් වැනි උත්තර වලටම එය සීමා විය. පසුව මේ ආසාව යටපත් කරගන්නට මට සිදු විය.

අන්තර්ජාලය පිරික්සීමේදී මේවා වර්ණ ගන්වන්නට කමත් මා වැනි  තවත් බොහෝ පිරිසක් ඇති බව පැහැදිලි විය.
පින්තූරයගත්තේ : www.pinterest.com
 
මෙය මා කරන්නට සිටි විලාශයේ පාට කිරීමකි. නමුත් පැසිපික් දූපත් වල සිටින, අබෝරෝජින්වරුන් මේවා ඉතා අලංකාරව වර්ණ ගන්වා තිබෙනු දක්නට හැක. යලිත් ඉබි කටු කිහිපයක් සොයා ගත හැකිනම්, මේ සිහිනය සැබෑ කර ගත හැකිය. නමුත් ඉබිකටු ඇතිවිට තීන්ත නැත - තීන්ත ඇතිවිට ඉබිකටු නැත.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...