Tuesday, April 26, 2016

ගොවිපලේදී ...... තෙවන කොටස

දවසක් කටුම්බා ජෝ එක්ක මාව බලන්න ආවා. කාටෝගේ ඔළුව ගියාට පස්සේ, මට ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නම බැරි වුණා. මම වැඩියක්ම කාලේ ගත කළේ අම්මා නිසොල්මනේ අඬන වෙලාවට එයාගේ ඇස් වලින් කඳුළු ගලන විධිය බලාගෙන ඉන්න. ඇන්ටි කිට්ටුව පාත ඉන්න වෙලාවක එයා ඉතාම පහත හඬකින් කථා කරනවා ඇහුණා. 

"තාත්තා කිවුවා ඒ වැඩේ කරලා තියෙන්නේ ටොමාමා කියලා" ජෝ කිවුවා.

"මම දන්නේ නෑ" මම කිවුවා.

"එයාගේ ඔළුව ගන්න කාටෝට එයා ටොෆි/චොකලට් ටිකක් දෙන්න ඇති" කටුම්බා කිවුවා.

"තාත්තා කිවුවා එයා ඒ වැඩේ කරනවා පොලීසියට අහු වෙලා තියෙනවා කියලා, ඒ වුණාට ඒ හැම පාරම එයා පැනගෙන. එයා කිව්වා පිට කෙනෙක් කථා කළොත් ගණන් ගන්න එපා කියලා

"ඒත් ටොමාමා පිට කෙනෙක් නෙවෙයිනේ"

"පිට තමා. එයා මේ ගමේ දැන් ටික කාලෙක ඉඳලා නෑනේ, එයා එන්නේ ඔයා වගේ පුංචි අයගේ චූ එක කපාගෙන  යන්න, මන්තර  කාරියන්ට දෙන්න"

"ඒකයි එයා  පෝසත්"

"ඔව්. එයාගේ වෙළඳාම තියෙන්නේ ළමයින්ගේ ඔළුයි, චූ එකයි  එක්ක"

මම පොඩ්ඩක් හිතලා බැලුවා පිරිමි ළමයි දෙන්නා කියන දේවල් ගැන. ඒගොල්ලෝ කථා කරන්නේ මොනවද කියලා දෙවියෝ තමයි දන්නේ. මම එයාලගේ කථාව අහගෙන වාඩි වෙලා හිටියා. කාටෝගේ මරණෙන් පස්සේ අම්මගේ මුණේ චිත්‍රයක් මම හිතිං ඇඳ ගත්තා, කොහොමද එයා කෙහෙල් ඇවරියක් ළඟ තියාගෙන, නැවිලා ඔළුව ගහගෙන පැය ගාණක් ඉන්නේ කියලා, එයින් එකක් අරං ලෙලි ගහන්නැතුව.

"ඉස්සර වගේ එයා අපිට ටොෆි/චොකලට් දුන්නොත් මොකද කරන්නේ, අපි ඒවා ගන්න ඕනෙද ?"

"හා, කොලොප්පන්ද, ඔයාගේ දත් දෙක තුනකුත් නැති ඔය තඩි ඔලුගෙඩිය යයි කාට හරි සල්ලි වලට. ඔයා හැමතිස්සෙම සෙල්ලම් කරන චූ එකත් යයි, සමහරවිට ඊට යටින් තියෙන බෝල දෙකත් එක්කම" කටුම්බා හිනාවුණා. 

එයාලගේ වචන දරා ගන්න බෑ. අවුරුදු හයේදීත්, කටුම්බා දන්නේ නෑ, එයාගේ වචන වල තියෙන තේරුම් අනිත් අයට දැනෙන විදිහ. එයාගේ වචන මට තවත් එයාලත් එක්ක ඉන්න අපහසු කරවනවා. මම ගොවිපළට ගිහින් අපි තුන්දෙනා කාටෝත් එක්ක සෙල්ලම් කරපු හැම වතාවකම හිටිය කෙහෙල් ගාලක් ළඟින් වාඩි වුණා, අල වලින් කුරුල්ලෝ ඇවිත් කෙහෙල් පැල වෙන්නේ ඇයි කියන එකට හේතුව අපි හැම වෙලාවකම කල්පනා කරා, ඇයි ඒවා ඇට තවාන් කරලා ගන්නේ නැත්තේ, ඇයි පලතුරු  ආවම ගහ කපලා දාන්නේ. මම එතන වාඩි වෙලා පුදුමයෙන් කල්පනා කළා මට ආයේ කාටෝ  දකින්න වෙයිද කියලා, එයාගේ ඔළුවට ලැබෙන මුදල අම්මට ලැබේවිද කියලත්. අසිහියෙන් වගේ ජෝයි කටුම්බයි කියන දේවල් අහගෙන, මම කිසි දවසක දන්නේ නැති සිංදුවක් කියන්න පටන් ගත්තා. ඒක මගේ මගේ දිවට හඬක් එකතු කළේ නෑ; ඒක මගේ හදවතේ ඉතිරි වුණා, නැතිවුණ දයාබර සහෝදරයා වෙනුවෙන් ගැයුණු ගීතය ! මම ආපහු එනකොට, කොල්ලෝ දෙන්නා තවමත් කතා කරනවා. 

"නකාටෝ, අඬන්න එපා, තාත්තා අද ටොෆි චොකලට් මොනවා හරි ගෙනෙයි, මම ඔයාටත් ටිකක් දෙන්නම්

"මම ආයි ඕවා කන්නේ නෑ ජෝ" මම කිවුවා.

"ටොමාමාව අල්ලලා මරයි" කටුම්බා කිවුවා.

"මට ඒකෙන් වැඩක් නෑ, එහම කළාට කාටෝ ආයෙත් එන්නේ නෑ

කොල්ලෝ දෙන්නා කථා නැතිව උන්නා. කෙහෙල් අතු වලට හුළං හැමීම නතර වුණා. මගේ පපුව හරි උවමනාවකින් ගහන තොවිල් බෙරයක් වගෙයි. එක තණකොළපෙත්තෙක් ඉහළට පැන්නා ආපහු වැටෙන්න කලින්. මම මතක් කළා කටුම්බා එකෙක්ගේ ඔළුව ලේසියෙන්ම ගලවපු විධිය සාස්පානට දාන්න කලින්.  ටොමාමාගේ අතින් කාටෝව තණකොළපෙත්තෙක් වගේ වෙලා පහසුවෙන්ම ඔළුව ගැලවුණාද, නැත්නම් අපි නත්තල දවසේ බෙල්ල කැපෙනකොට සන්තෝස වුණ කුකුලේගේ වගේ වුණාද ? ගොවිපලේදී, ළමයින්ව කුකුල්ලු වෙනවද නැත්තං තණකොළපෙත්තෙක් වෙනවද ?

"ඒත් ඇයි එයාව ඒගොල්ලෝ නැවැත්තුවේ නැත්තේ ?" ජෝ ඇහුවා.

මෙහෙම කියන්න කලින් කටුම්බා හිනාවෙනවා මට ඇහුණා "ඒගොල්ලෝ එයාව නවත්වයි, එයාලට අල්ලගන්න පුළුවන් වුණු දවසක"

"ඒ දවස කවදද, හෙටද ?" මම ඇහුවා.

"මම දන්නේ නෑ, ඒ වුණාට කවදා හරි වෙයි"

මම දුක් වුණේ අම්මා ගැන, එයාට මුළු දවසම හරි අඬන්න පුළුවන්. තාත්තා හැම දවසකම වගේ නගරෙට ගියා, මම දන්නේ නෑ ඇයි එයා නිතරම එහෙම ගියේ කියලා. එයා තවමත් කාටෝව හොයනවද ? මම දැනන් හිටියේ නෑ. මම ප්‍රාර්ථනා කරේ තාත්තා කාටෝව ආපහු ගෙනෙයි කියලා. මගේ ප්‍රාර්ථනාව, වල දිහාවත් නොබලා මම වීසි කරපු පස් කුට්ටියට පුළුවන් වේවා කියලා එයාගේ ඔළුව කොහෙන් හරි ඇවිත් ඇඟට බද්ධ වෙන්න. තාත්තා හැමදාම නගරෙට යන එකේ බලාපොරොත්තුව කාටෝව හොයා ගන්න එකනම්, ඒක මට හොඳ ආරංචියක් වේවි, කටුම්බයි - ජෝයි මමත් එක්ක සතුට බෙදා ගන්න එකතු වේවි. ඒ වුණාට මගේ බලාපොරොත්තු සුන් කරපු සිදුවීමක් වුණේ, අම්මත් එක්ක තාත්තා අවසිහියෙන් වගේ හරිම හෙමිං කථා කරත්දී. අම්මගේ හඬේ ඉකි ගැසීමක් ඇහුණු වෙලාවක, මම ඇඬුවා. ටොමාමාව ගොනි්`යකුත් එක්ක, කාර් එකේ ලේ පැල්ලම් එක්ක අහු වෙලා කියලා තාත්තා අම්මට කියත්දී ඒක ලොකු සාක්කියක් නෙවෙයි කියලා, මට තේරෙන්නෑ මම මොනවද හිතන්න ඕනේ කියලා. මම මගේ හුදෙකlaa ඇඳේ ගුලි ගැහුණා. කාටෝගේ මරණයෙන් ඇති වෙච්ච් හිඩැස ගොඩාක් ලොකු එකක්, අපි මව් කුසයේ නිවුන්නු විධියට එකට ඉඳීමේ ඉඳලා මේ වෙනකම් හිටියේ එකට - අලුතෙන් ඇති වෙච්ච මේ හිස් ගතිය දරා ගන්න බෑ. 

අම්මා තාත්තට කිව්වා හැම දෙයක්ම අත ඇරලා දාන්න කියලා. ඒත් තාත්තා ඉල්ලා හිටියේ එයා දිගටම මේ ගමන යන්නම් කියලා. එයා පොලීසියේ කෙනා ඉල්ලපු ගාන ගෙවනවා කිව්වා, ඒක කාටෝගේ ෆයිල් එක හුළඟට ගහගෙන යන්න නොදී තියාගන්න පුළුවන් ගල්ගෙඩියක් වගේ ඒක උඩ තියෙයි මේ පරීක්ෂණය ඉවර වෙනකන්. එයා සල්ලි ගෙවන්නේ ටොමාමාව ආපහු හිර ගෙදරට ගේන්න, එයාව අල්ල ගත්ත වෙලාවේ මුත්‍රා දාන්න කියලා ගිහිං එයා ඇවිත් නෑ. තාත්තට ඕනේ දකින්න මන්තර කාර දොස්තර පාපෝච්චාරණය කරනවා ටොමාමා එක්ක කරපු ගනුදෙනුව ගැන, පොලීසිය කියන්නේ ඒ වගේ උන්මත්තකයෙක්ගෙන් අහලා වැඩක් නෑ කියලා. 

මට ඇස් දෙක ඇරලා බලන්න ඕනේ වුණත්, රාත්‍රිය හරිම කළුවර වුණා. එය අන්ධකාරයක්. රාත්‍රිය හුඟාක් දිගයි. අවසිහියෙන් වගේ මට ඇහෙනවා කටුම්බා එක්ක ජෝ කරන කථාබහ. ඒ දෙන්නා ඇඳේදී මාව ඇහැරවලා තිබ්බා. උදෑසන වෙනකොට අම්මාගේ මූණ බර වෙලා තිබුණා. මට කටුම්බායි ජෝයි මුණගැහෙන්න තිබුණා. ජෝ කටුම්බාට වඩා වැඩිමල් වුණේ අවුරුදු දෙකකින් වුණත්, එයාගේ කථාවේ මුහුකුරා ගිය ගතිය තිබුණා. 
banana plantation in africa
පින්තූරය ගත්තේ : http://www.farmlandgrab.org/

කටුම්බාත්, ජෝත් එක්ක ගත කරන වෙලාවට මට මේ ප්‍රශ්න ටිකකට අමතක වුණා. කටුම්බා අපට උපදෙස් දුන්න මුකාසා මහත්ගේ වත්තට ගිහින් පැපොල් ටිකක් අරගෙන එමු කියලා. අපි හොරෙන් රිංගුවා මුකාසා මහත්තයාගේ වත්තට, එයාගේ හට් එකට වෙලා එයා මොනවා හෝ කරමින් උන්නේ, එයාගේ හට් එකට උඩින් අහසට නැගුණු සුදු දුමින් විතරක් එයා අපට අත වැනුවා. කටුම්බා හොඳට ඉදිච්ච පැපොල් ගෙඩියක් තෝරා ගත්තා. අපි ගොවිපලේ හුඟාක් ඈතට ගිහිං, එක තැනක නතර වුණා, එතැනට ඉර එලිය වැටෙන්න කෙසෙල් අතු කොහොමටවත් ඉඩ දුන්නේ නෑ. එතැන හරිම අඳුරුයි, ඒ වුණත් අපි එතැනට කැමති වුණා. අපේ ගමේ අඳුරු තැන් වලට අපි හුරු වෙලා හිටියේ. එතැන පොඩ්ඩක් සුද්ද කරත්දී, අපිට හමු වුණා එතැන වැහිලා තිබුණු තෙතමනය නිසා මොළොක් වෙච්ච කෙසෙල් අතු. අපි ඉඳ ගත්තා, කටුම්බා පැපොල් ගෙඩිය කැපුවා. අපි කෑවේ මෝඩ හිනාවක් දාන ගමන්. ජෝ නැගිට්ටා. අපි දැක්කා එයාගේ කකුල පොළවේ බහිනවා, එයා කකුල ආපහු ඉහළට ඇදගෙන අපිට දුවන්න කිවුවා. එහෙම කිව්වේ ඇයි කියලා මම දන්නේ නැති වුණත්, මම ත් ජෝ පස්සෙන් දුවගෙන ගියා මොකද මම ජෝව විශ්වාස කරපු නිසා. කටුම්බා එතනම ඉඳගෙන අපිට හිනා වුණා.

"මොකද ඕගොල්ලෝ දුවන්නේ" එයා ඇහුවා.

එයාගේ අත් වලින් එයා පස් හාරලා පිටිපස්සට විසි කළා. මම ටිකක් පස්සට වෙලා එයා ලඟින් හිටගෙන බලාගෙන හිටියා. ජෝ හිටියේ අපිට ගොඩක් ඈතින් හිටගෙන. කටුම්බා දිගටම හාරාගෙන ගියා එයාට ගෝනියක් දකිනකන්, එයා හිතපු දේ ඒකෙන් තහවුරු වුණා. මුකාසා මහත්තයා එතැන කෙසෙල් වළලලා. ගෝනියේ තැවරිලා තිබුණු පස්ස ඔක්කොම එයා පිහදාලා ඉවර වුණාම, එක පාරටම එයා ඒක ඇරියා, කහපාට කෙසෙල්ගෙඩි ටිකක් දකින ආශාවෙන්. එයා එකපාරටම පස්සට පැන්නා. මම දිහා බැලුවා, මට පෙනුණා එයාගේ ඇස් පළලට ඇරගෙන,  ඇස්ගෙඩි ලොකු වුණා.
african boy with his eyes open wider
පින්තූරය ගත්තේ : http://www.flickriver.com/

ජෝ මගේ ළඟට ආවා. අපි දෙන්නා කටුම්බා ළගට ගියා එයා දැක්කේ මොකක්ද බලන්න. වචනයක්වත් නොකියාම අපි දුවන්න පටගන් ගත්තා. අපි දිවුවා, අපි හුස්ම ටිකක් ගන්න එක තැනක නැවතුණාම, කටුම්බා කිව්වා, "එයාගේ ඔළුවට පණ තියෙනවා" කියලා.

"ම...ම... දන්නෑ" ජෝ කිවුවා.

"ඒක ඇත්ත ජෝ, මම ගෝනිය ඇරියම එයා මං දිහා බලාගෙන හිටියා"
african boy killed while his eyes open
පින්තූරය ගත්හේ : http://flickrhivemind.net/

"යන්න...යන්න...එයාට කථා කරන්න, එයාව එළියට අරන් අපි ගෙදර යමු" එයා ආයෙත් දුවන්න පටන් ගත්තා. කටුම්බා ජෝගෙයි, මගෙයි පිටිපස්සෙන් දිවුවා. මම දැකපු කිසිම දෙකට වඩා, ඒක හරිම භයංකාරයි. මම කාටෝගේ ඔළුව දකින්න කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ. ඇත්තටම කාටෝ පණපිටින්. එයාගේ ඇස් ඇරිලා. එයාට පේනවා, මම හෙමින් කිවුවා.  එයාට පැහැදිලිවම පේනවා, එකම ප්‍රශ්නේ එයාට කථා කරන්න බැරි එක විතරයි. මේ වෙලාවේ එයාගේ කටහඬ ඇහෙන්නේ නෑ. කාටෝට පේනවා, ඒත් එයාගේ කටහඬ. මුකාසා මහත්තයාගේ හට් එක පැත්තට දුවන අතරේ මම එක-එක දේවල් කිව්වා, ඒත් ඒවා මම දැනගෙන හිටියේ නෑ; අපිට කාගේ හරි උදව් ඕනෑ වුණා.

අවසානෙට අපි දැක්කේ ගෝනියෙන් එළියට පැන්නා ලොකු රිදී කුරුසයක්.

"එයා දාගෙන හිටිය ඒ කුරුසේ , අපිටත් වැටෙන්න පුළුවන්" ජෝ කේන්තියෙන් කිව්වේ දුවන ගමන්ම.

"ඔව්, අපි හැමෝටම වැටෙන්න පුළුවන්" මම කිවුවා, මම කියන්නේ මොනවද කියලා හරියටම නොදැන.

"මම හිතන්නේ එයාව මරන්න කලින් එයා අඬලා" ජෝ කිවුවා.

"වෙන්න පුළුවන්"

"කාට හරි ඇහුණානම් එයාට උදව් කරන්න ඉඩ තිබුණා"

"කාටෝගේ කටහඬ හරිම බාලයි, කාටවත් ඇහෙන්නේ නෑ. අනික මෙතන හරිම අඳුරුයි, අපි ඉන්නේ ගොවිපලේ, කාටවත් කොහොමටවත් මේක පෙන්නේ නෑ"

කටුම්බා අපිට වඩා හයියෙන් අපිට කලින් දිවුවා, අපි දැක්කා එයා මුකාසා මහත්තයාගේ ගෙදරට ඇතුල් වෙනවා. අපිත් එයාගේ පස්සෙන් ගියා; අපි දොර ගාවට යනකොට, එයා ආපහු එමින් හිටියා. එයා කිව්වා මුකාසා මහත්තයාගේ ගෙදර බෝතල්වලට ලේ පුරවලා තියෙනවා එයා දැක්කා කියලා. අපි මොනවත් අහන්න කලින් එයා ආපහු දුවන්න ගත්තා. අපි එයා පස්සෙන් දිවුවා, මම හැරිලා කෙළින්ම ගෙදරට දුවන්න කලින්.

මම ගෙදර එනකොට තාත්තා උළුවස්සට හේත්තු වෙලා හිටියා. මම දන්නේ නෑ මම මොනවද එයාට කිවුවේ කියලා. ඒ වුණාට මට ඇහුණා එයා කියනවා, "මම ගිහිං ඒක අරගෙන එන්නම්" කියලා. මම දන්නේ නෑ එයා කියන්නේ කොයිකද කියලා, ඔළුවද නැත්නම් බෝතල්ද? මට මවාගන්න බෑ, තාත්තගේ අතේ කාටෝගේ ඔළුව තියෙනවා.

මම මගේ ඇඳේ පෙරළිලා ඇස් දෙක වහ ගත්තා මට කාටෝගේ ඔළුව ආයේ නොපෙනෙන්න. මුකාසා මහත්තයයි, ටොමාමායි කාටෝගේ ඔළුව මිරිකලා ලේ ගන්න එක හිතුවම, මම පොරෝනේ විකා ගත්තා. මට හට් එක උඩට නැගලා බිමට පනින්න ඕන වුණා. මම ඇඳේ වැතිරිලා බලාගෙන හිටියා තාත්තා මොනවද අරගෙන එන්නේ කියලා. මම එකදිගට රහසින් කිවුවා, තාත්තා  කාටෝගේ ඔළුව හයි කළාම අපිට ආයි එකට ඉන්න පුළුවන් කියලා. 

http://africanwriterstrust.org/ විසින් පල කාරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට "ඔයෙට් සිස්ටෝ ඕෂන්" විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.

Friday, April 22, 2016

ගොවිපලේදී ...... දෙවන කොටස

පලවෙනි කොටස >>>

අපේ අම්මාට කුකුල් සුප් හදන්න ඕන වුණාම, කුකුල්ලු මරන්න පාවිච්චි කළෙත්, අපි සෙල්ලම් කරන ඒ ලස්සන පිට්ටනියේ හරියටම එතැන. එයා ඒ වැඩේට හරි දක්ෂයි. එයා මුලින්ම එක කකුලකින් පාගනවා කුකුළගේ අත්තටු දෙක, ඉන් පස්සේ අනිත් කකුලෙන් උගේ කකුල් දෙක පාගනවා,  දකුණු අතේ පිහිය තියා ගන්නවා. වම් අතින් අල්ල ගන්නවා කුකුළාගේ ඔළුව. තනි පහරෙන් සතාගේ බෙල්ල කපනවා. ඉන් පස්සේ එයා ඌට ඔළුව නැතිව පියාඹන්න අරිනවා. ඊට පස්සේ ඌ ඉවරයක් නැතුව අතන මෙතන වැදෙනවා. බෙල්ලෙන් ලේ වැක්කෙරෙනවා. මමයි කාටෝයි එතැන හිටගෙන කුකුළාගේ මේ දැඟලිල්ල බලාගෙන ඉන්නවා, අන්තිමට ඌ නතර වෙනකම්, ඊට පස්සේ අම්මා කරන්නේ ඌව උණු වතුර එකක බස්සලා පිහාටු උගුල්ලන එක. 

අපි මිදුල පැත්තට එනකොට දැනගත්තේ එතනට මිනිස්සු එකතු වෙලා ඉන්න බව. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. පිරිමි උදවිය වාඩිවෙලා එයාලගේ ඔළුව බිමට නවාගෙන. හැම ගෑණු කෙනෙක්ම වගේ හිටියේ ඇතුළේ, ඒගොල්ලන්ගේ ඇස් වලින් කඳුළු ගලනවා. ගේ ඇතුළෙන් එක කටහඬක් විතරක් ඇහුණා. ඒක මට හොඳට හුරුයි. මම සෙනග අස්සේ තෙරපිලා දොර ගාවට ආවා, මට අම්මගෙන් අහගන්න ඕනේ වෙලා හිටියේ මොකද අපේ මිදුලේ හැමතැනම මිනිස්සු පිරිලා ඉන්නේ කියලා. ඒ වුණාට දොරෙන් ඇතුළට රිංගන්න බෑ, ඒ තරමට හිර වෙලා, ඇන්ටි දොර ගාවට ඇවිත් මාව අරගෙන මිදුලේ කෙළවරට ගියා, එයත් අඬනවා. මම කටේ ඇඟිල්ලක් දා ගත්ත මට එයාගෙන් මොනවත් අහන්න බෑ. මම කල්පනා කරේ අම්මයි තාත්තයි නැති වෙලාවනම්, ටොමාමා ගාවට ගිහිං මාවයි කාටෝවයි නගරෙට අරං යන්න කියලා ඉල්ලන්න, අම්මයි තාත්තයි නැතුව මට ගමේ ඉන්න බෑ කියලා. මම දැක්කා ඈතින් මුකාසා මහත්තයා සෙනගට එක්කහු වෙනවා. එයාගේ මූණ එක්කෝ හිනාවෙනවා වගේ නැත්නම් අඬනවා වගේ, මට කියන්න බෑ ඒ කොයිකද කියලා. එයා එයාගේ කොන්දට එක අතක් තියාගෙන අනිත් අතින් හැරමිටියත් අරගෙන  ඉදිරියට නැමිලා ගියේ. ඒ ඉරියව්ව රඟපාලා පෙන්නන්න කාටෝ හරිම කැමතියි.
small black african girl crying while her finger in her mouth
පින්තූරය ගත්තේ : http://nairobiwire.com/

"ඒ කාටෝ" ඇන්ටි කඳුළු අතරින්ම කිව්වා. මම එයාගේ ඇස්දෙකට එබිලා බැලුවා කාටෝට මොකක්ද වුණේ කියලා එයාටම කියන්න, ඒත් ඒ වෙනුවට එයා ඔළුව පහළට නැමුවා, එයාගේ ඇහෙන් වැටිච්ච උණු කඳුළු කැට මගේ අත්වලට වැටුණා.

"කාටෝ කොහේද ?" මම ඇන්ටිගෙන් ඇහුවා.

"එයාගේ ඔළුව ගලෝලා ගිහිං"

ළු !!! මම මටම කියා ගත්තා. එයාගේ ඔළුවට මොකද වුණේ ? එයා මොකටද ඔළුවට යන්න දීලා බලාගෙන හිටියේ. ඇන්ටි දැන් කියන දේ ගැන එයාට විශ්වාස ඇති. "කාටෝගේ ඔළුව ගිහිං" මොකක්ද ඒකෙ තේරුම ?

ඇඬීම අස්සෙන් එයා මෙහෙම මුමුණනවා මට ඇහුණා "මම හිතනවා ඔයාගේ තාත්තා මේක බාර ගන්න ඇති කියලා" එයා ඉකි ගැහුවා. මගේ ඇස් කඳුළු වලින් පිරිලා ගියා, ඒ වුණාට මම අඬන්නේ ඇයි කියලා මම දන්නේ නෑ. සමහරවිට ඇන්ටි අඬන නිසා වෙන්න ඇති ? හැබැයි එයා කිව්වා දේ නම් මට අඬන්න තරම් දෙයක් නෙවෙයි. කාටෝගේ ඔළුවා ගියා නම්, ඒක ආපහු එයි. ඒක කාටෝව හොයාගෙන හයි වේවි, අපිට ආයේ කෙසෙල් කොටුවේ හුඟාක් දුරට තියෙන අඩි පාරේ දුවන්න පුළුවන් වේවි, අපිට ජෝවයි, කටුම්බාවයි හමු වේවි, බොහෝවිට අපි වෙනද වගේම මුකාසා මහත්තයාගේ පැපොල් වගාවෙන් හොරාකන්න සැලසුම් කරලා, හොරෙන් කඩාගෙන අරං ඇවිත් අපේ පිළිකන්නේ ඉඳගෙන කාවි.

මම ඇස් දෙක ඇරියම, කඳුළු වැටුණා. මම දැක්කා ජෝයි කටුම්බයි තවමත් අපේ මිදුල ළඟ තියෙන පාරේ හිටගෙන ඉන්නවා; ඉස්කෝලේ ඉඳලා ආවට පස්සේ එයාලා තවමත් ගෙදර ගිහිං නෑ. ඇන්ටි දිගටම අඬනවා.

"මම දැනගෙන හිටියා ඔයාගේ තාත්තා වැරදියි කියලා, එයාට තිබුණේ කන් විදින්න ඉඩ දෙන්න"

ඇන්ටි පැහැදිලි කළා, එයා කම්පාලා ඉන්නකොට; එයා දැකපු ගොඩාක් පෝස්ටර් වල දෙමව්පියන්ට අවවාද කරලා තිබුණ බව ළමයින්ව බිලි දෙන්න දඩයම් කරන මන්තර කාරයන්ගෙන් බේරගන්න කියලා. මන්තර කාරයෝ හිතන්නේ, මනුස්සයෙක් බිල්ලට දුන්නම එයාලගේ ව්යාපාරේට ලොකු ධනස්කන්ධයක් එක්කාසු කර ගන්න පුළුවන් කියලා. මට ඇන්ටි කියන දේ පැටලිලා තියන්නේ, අවසානේදී එයා කිව්ව කාටෝව මරලා කියලා. මගේ මොළේ වැඩ කරන්නේ නැතිව ගියා ඒක ඇහුවම. මට හැම කෙනෙකුවම ඈතින් තියෙන මීදුමක් වගේ පේන්න ගත්තා. මට ඇන්ටිගෙන් ලිස්සලා යන්න ඕනේ වුණා, මට බිම පෙරළි-පෙරළි අඬන්න ඕනේ වුණා, ඒත් එයා මාව තදින් අල්ලාගෙන හිටියා.

දවස් දෙකක්ම අම්මයි මමයි වචනයක්වත් කථා කළේ නෑ. මට උවමනා වුණා මොනවා හරි කියලා, අකාල වැස්සක් කඩා වැටුණා වගේ තියෙන අපි දෙන්නගේ නිහැඬියාව බිඳින්න. මට ඕනේ වුණා කියන්න ටොමාමා කම්පාලා ඉඳලා ආව හැම වෙලාවකම අපිට ටොෆි ගෙනත් දුන්න බව කියන්න, ඒත් මට තේරෙන්නෑ කොහොම ඒක කියන්නද කියලා. මට ඕන වුණා එළි කරන්න අපි ඉස්කෝලේ ඇරිලා එත්දී, ටොමාමාගේ කාර් රෝද පාරවල් පස්සේ ගිය කතාව. කොහොම වුනත්, එයාට කථා කරන්න මට තිබුණ උවමනා වුණත්, අපි දෙන්නගේ නිහැඬියාව බිඳින්න මට බැරි වුණා.

මට එයා දිහා බැලුවම, මතකයට ආවේ එයා නත්තලට කුකුල්ලු මරපු විදිය. එයා උන්ගේ බෙල්ල කැපුවත්, උන් උඩට පියාඹලා ගිය විදිහ. හයියෙන් ලේ බෙරෙනකොට, මමයි කාටෝයි හිනා වෙච්ච විදිහ. ඒ මතකයත් එක්ක මම බොහෝ දුරට හිනා වුණා වගේ. කාටෝගේ බෙල්ල කපන්නත් ඒ පිහියම පාවිච්චි කරන්න ඇති, මොකක්දෝ  දෙයක් අමුතු හුළඟක් වගේ ඇවිත් මගේ උගුරේ හිර වුණා. මට හුස්ම වැටුණේ නෑ. නොපෙනන අත් වලින් මගේ බෙල්ල මිරිකන නිසා මගේ ඇස් වලින් කඳුළු ඇවිත් මගේ කම්මුලට පෙරලුනා. මම අඬනකොට අම්මා පිස්සුවෙන් වගේ මොර දුන්නා.

තුන්වෙනි කොටසට >>

___________________________________________
http://africanwriterstrust.org/ විසින් පල කාරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට "ඔයෙට් සිස්ටෝ ඕෂන්" විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.

Tuesday, April 19, 2016

ගොවිපලේදී ...... පළමු කොටස

මට තවමත් මතකයි ඒකෙ තිබුණ පැණිරහ එයා ඒවා අපිට දුන්න වෙලාවේ. කෙහෙල් කොටුවේ අපි සෙල්ලම් කරණකොට, ටොමාමාට අපිව හමු වුණේ. අපි වැහිකාලෙට අපේ ගමේ මතු වෙන තණකොළ පෙත්තෝ ජාතියක් වෙච්ච ස්නෙනෙනේලාව හොය-හොයා හිටියේ. අපි උන්ව හෙවුවේ බිමයි, ඇකිලිච්චි කෙහෙල් කොළ අස්සෙයි. අපි මුළින්මඒවා කෑවේ කම්පාලා ගිහින් එන ගමනේ ඇන්ටි අරගෙන ආපු වෙලාවේ. 

"නකාටෝ එන්න කාටෝත් එක්ක, මෙන්න මම රස කෑම ජාතිය අරං ආවා" එයා කෑ ගැහුවා. අපි ගේ පිටිපස්සේ තියෙන වහලට තණකොළ දාපු මඩුවේ ඉඳගෙන, උන්ගේ කකුලුයි, පිහටුයි ඉගිල්ලුවා. ටොපි ජාතිය එක-එක පාටයි. මම සුදුපාට ඉටිකොළේ ගලවලා, එකක් මගේ කටට දා ගත්තා. කටේ ඇලෙන පැණි රහකින් මගේ කටම පිරිලා ගියා, මම එක ගිල්ලා. 

අපි ජෝගේ ගෙදරත් පහුකරගෙන කටුම්බාගේ ගෙදරට දිවුවා එයාට ස්නෙනේලාව කන්න දෙන්න. කාටෝ හති හලමින් උන්නා. අපිට ඕන වුණේ කටුම්බාට විස්තරේ කියලා ඉක්මනට ආපහු ගෙදර දුවන්න. අම්මා අපි කටුම්බා එක්ක සෙල්ලම් කරනවට කැමති වුණේ නෑ. එයා කියනවා කටුම්බාට නරක පුරුදු තියෙනවා කියලා. කටුම්බා අපි ඉස්සරහ  එයාගේ පිරිමි අවයවයත් එක්ක සෙල්ලම් කරන්න ආසයි. 

"කටුම්බා අපේ ඇන්ටි ආවා කම්පාලා ඉඳලා" කාටෝ එයාට කිව්වා, එයා වාඩි වෙලා හිටිය සිසිල් හෙවනේදීම.  එයා ස්නෙනේලාගේ කකුලුයි,  අත්ටටුයි උගුල්ල-උගුල්ල හිටියේ. කෙසෙල් අතු අස්සෙන් පුංචි හුළඟක් හැමුවා, ඒකට කෙසෙල් අතු පැත්තෙන් පැත්තට වැනෙන්න ගත්තා. "එයා අපට ටොපි වගයක් ගෙනාවා". කටුම්බාගේ අතේ තිබුණ සාස්පාන බිම වැටුණා. කාටෝ ටොපිය කටින් දෙකට කැඩුවා, ඒවා හරියට පුංචි ගල් කෑලි දෙකක් වගේ, එකක් දුන්නා කටුම්බාට.

"කන්න".

අම්මාගේ තහංචිය නොවෙන්න ඒ දෙන්නා හොඳ යාලුවෝ. කටුම්බා එයාගේ භාගේ කටට දා ගත්තා. ඉන් පස්සේ එයා කට ඇරියා, තොල් දෙක ඇඹරුවා, ඊට පස්සේ කට හැදුවා හරියට හෝල් එකක් වගේ පේන්න. එයාගේ යට ඇන්දේ දත් දෙකක් නෑ, ඒ අස්සෙන් අපිට හොඳට පේනවා එයාගේ දිව කැරකෙන විදිය. ඒකට අපිට හිනා ගියා.
Black boy smiles while snenene in his teeth
පින්තූරය ගත්තේ : www.dreamplango.com

කටුම්බා හිනාවෙලා කියනවා "ඒක හොඳට ඉදිච්ච කෙසෙල් වගේ රසයි".

කාටෝ කිව්වා "ඔව්, ජැනට් ඇන්ටි කිව්වා ඒවා ළමයින්ගේ දත් වලට හොඳයි කියලා

එක අහපු ගමන් කටුම්බා ඉතිරි වෙලා තිබුණ කොටස අරගෙන එයාගේ රෝස පාට වීදුරුමහේ අතුල්ලන්න පටන් ගත්තා, ඒකට අපිට තවත් හිනා. කටුම්බාගේ ගෙදරත්, අපේ ගෙදරත් යා කරන කෙහෙල් කොටුව මැදින් තියෙන පාර දිගේ අපි දුවගෙන ගියා. ඒකේ අයිතිකාරයා වුනේ වයසක මුකාසා මහත්තයා. එයාගේ ගොවිපලේ පැත්තක දොඩම් සහ පැපොල් වගා කරලා තිබුණා. අපේ පලතුරු ගස් හිස් වෙච්ච ගමන් අපි එයාගේ ගස් වලින් හොරෙන් කඩ ගන්නවා. අම්මා හොරකං කරන්න කිසිම බුරුලක් නොදීපු නිසා, අපි හොරෙන් කඩා ගන්නේ එයා කොහේ හරි ගිය වෙලාවට.

අපි ගෙදර එනකොට, ඇන්ටි අම්මට නගරය ගැන කියා-කියා හිටියා. එයා කිව්වා ටොමාමාගේ ව්‍යාපාර වලින් එයා නගරයේ ඉන්න ලොකුම පොහොසතෙක් වෙලා කියලා. එයාට තියෙන ධනස්කන්දෙන් ඕනෙනම් ගමක්ම  ඒකෙ තියෙන අනික් දේවලුත් එක්කම සල්ලි වලට ගන්න පුළුවන් කියලා. 

එදා උදේ ඇන්ටි එයා නගරයෙන් ගෙනාපු සියුම් ලෝහ උපකරණය අරගෙන ආවා. ඒ අපේ කන් විදින්න. ඇන්ටි අපේ කන් විදින්න එන්න කියලා කථා කළා ඒකෙදී අපට ළමා කාළයේ චර්ම-ඡේදනයෙදී කරන කන්නලව් කරන්න හිතුණේ නෑ. පිරිමි ළමයින්ගේ කන් විදිනවාට තාත්තා විරුද්ධ වුණා, ඔහු කියන්නේ එකෙන් ඔවුන්ව පියරු බබාලා වගේ වෙනවා කියලා. ඉතිං ඇන්ටිත් අම්මත් මගේ කණ් විද්දත් කාටෝගේ විද්දේ නෑ. ඒක වේදනාකාරීයි, ඒත් ඇන්ටි කිව්වා එක සුව වුණාම, මට දිලිසෙන, කර ගාවටම එල්ලෙන ලස්සන කරාබු දාන්න පුළුවන් වෙයි, ඒකෙන් ඔයාව ලස්සනට පෙනෙයි කියලා. 

කටුම්බයි, ජෝයි ගෙදර ආවාම, අපි පැපොල් ටිකක් කඩා ගන්න හෙමිහිට රිංගුවා මුකාසා මහත්තයාගේ ගොවිපලට. පැපොල් ලැබුණ ගමන් අපි දිව්වේ ගේ පිටිපස්සට, එතැන ඉන්නකොට අපිව කාටවත් පේන්නේ නෑ. ගොවිපල තිබුණේ අපි ගමේ ඉඳන් අපි යන ඉස්කෝලෙට දුවන පාර ළඟ. ඇන්ටි කම්පාලා ඉඳලා එන්නෙත් මේ පාරෙමයි.  අපේ පිට්ටනියෙදී, අපි පැය ගණන් වාඩි වෙලා ඉන්නවා, වැඩිම දුරට ගල් ගහන්න පුළුවන් කාටද කියලා තරග කරන ගමන්. සමහර වෙලාවට අපි හරිම පුංචි දේවල් වලට සන්ඩු කර ගන්නවා. ඊට පස්සේ අපි එකම තැනකට එක් රස වෙනවා.  පිට්ටනියෙදී අපි කථා වෙනවා අනාගතේදී කවුරැ වෙන්නද කැමති කියලා. කාටෝ හීන මවන්නේ ජනපති වෙන්න, ජෝ හීන දකින්නේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න, කටුම්බා හිතන්නේ ඉස්කෝලේ විදුහල්පති වෙන්න. මමත් හීන දැක්කේ මගේම පාසලේ ගුරුවරියක් වෙන්න, ප්‍රධාන ගුරුවරිය වෙන්න වගේම මිස් ජෝන් වගේ කණ්නාඩි කුට්ටමක් දාගන්න. 

ටෝමාමා ඒ පාරේ ආවා. එයා අපිට අත වනලා කතා කරා. එයා ඉන්න පැත්තට අපි දිවුවා. එයා මොනවා දෙයිද කියලා අපි හිතෙන් මව-මවා හිටියේ. අපි එතැනට ගියාම, කළුපාට ප්ලාස්ටික බෑග් එකකින් එලියට ගත්තු ටොෆි එයා අපට දුන්නා. ඒ සමග අපි හරිම සන්තොසයනේ ඒවා කන්න පටන් ගත්තා. එයා ඉස්සරහට එලවාගෙන ගියා. අපි එයාගේ පස්සේ වැටිලා දුවන්න පටන් ගත්තා. හෙවනකට වෙලා කාඩ් සෙල්ලම් කරමින් හිටිය මිනිස්සු කට්ටියකටත් ජනේලය පාත් කරලා මොනවා හරි දුන්නා. එයා මෙහෙම කෑ ගහගෙන එතැනින් ගියා "මුකුළු - මුකුළු ලොකු මිනිහා, ලොකු මිනිහා". ගමේ පහළට ගිහිං නොපෙනී යනකං අපි එයාගේ පස්සේ දිගටම දිවුවා. එයාගේ කාරය නිසා ඇවිස්සුණු දූවිල්ල දිහා අපි හිටගෙන බලාගෙන හිටියා. කටුම්බා කිවුවා කාරයෙන් පිට වෙන සුවඳට එයා හරි ආසයි, ඒවාත් එක්ක පාන් කනවා වගේ හැඟීමක් එයාට එනවා කියලා. 

 ඊළඟ දවසේ අපි ඉස්කෝලේ ඉඳලා ආපහු ගෙදර එත්දී, ටෝමාමාගේ කාර් එකෙන් සටහන් වෙච්චි ටයර් පාරවල් පස්සේ අපි ආවේ. කටුම්බාත් මමත් දකුණු පැත්තෙන් එනකොට, ජෝ ආවේ වම් පැත්තෙන්. කාටෝ එදා ඉස්කෝලේ ආවේ නැත්තේ, ඇඟට ටිකක් හරි මදි හින්දා. අම්මා තීරණය කළා එයාව ගෙදර තියලා, වත්තේ පැල වලට සාත්තු කරන්න යන්න. ආපහු එත්දී අපිට එයා නැති අඩුව දැනුණා. ඒ වුණාට අපි වෙනදා වගේම සෙල්ලම් කළා. අපේ ගේ පිටිපස්සට ගියාම, කටුම්බා දැක්කා වැල්ලේ රතු පාට මිශ්‍ර වෙච්ච දෙයක්. 

"ඒ ලේ" එයා කිව්වා.

"නෑ ඒ මුකාසා මහත්තයාගේ පැපොල්" එහෙම කියපු ජෝ හිනාවුණා.

"අද අපේ අම්මා කුකුල් මස් උයලා" මම කිව්වා.


දෙවෙනි කොටසට >>>

http://africanwriterstrust.org/ විසින් පල කාරණ ලද සූබී නමැති කවි සහ කතා එකතුවට ඔයෙට් සිස්ටෝ ඕෂන් විසින් රචිත In the Plantation කතාවේ පරිවර්තනයකි.

Sunday, April 17, 2016

පණපිටින් මියැදුනෙමි ...... I Died Alive

මම මියදුනෙමි

එනමුදු මගේ පපුවට හුස්ම වැටිණි

මම නිහැඬියාවෙහි ගැලුෙණමි

එනමුදු එතුළින්ම කටහඬ ප්‍රතිරාව දුනි

මම අඳ වුයෙමි

එනමුදු ඇතුළත දෑසින් හාත්පස පෙනුණේය

මම නිසල වුණෙමි

එනමුදු ජවසම්පන්න සිහින මා ගව් ගණන් දුර ගෙන ගියේය

මම මියදුනෙමි

නමුදු පණපිටින් මියදුනෙමි
____________________________________________

හැරියට් ඇනේනා විසින් රචිත I Died Alive කවියේ පරිවර්තනයකි.
____________________________________________

හැරියට් ඇනේනා උගන්ඩා කවිකාරිය
පින්තූරය : twitter.com
හැරියට් ඇනේනා ග්‍රන්ථ කත්රුවරියක මෙන්ම ප්‍රවෘති පත්‍ර කතුවරියකි. ඇය උතුරු උගන්ඩාවේ ගුළු හීදී උපත ලැබීය. වර්ෂ 2010දී  ජනසන්නිවේදනය පිලිබඳ කළා උපාදිය ඈ ලබා ගන්නේ මකයිඋරේ සරසවියෙනි. මේ වනවිට මානව අයිතිවාසිකම් විෂයෙහි ශාස්ත්‍රපති උපාධිය හදාරණ ඈ, ඩේලි මොනිටර් ප්‍රවෘති පත්‍රයේ උප-කතෘ වරියකි. කාවීත්වය පිලිබඳ හැරියට්ගේ ආශක්ත භාවය හෙළිදරව් වන්නේ  2001 වසරේදී, සම්මාන ලාභී "ඇකොලි දරුවාගේ බහ දීම" නමැති කවිපන්තියෙනි. වසර විස්සක් දිගු උතුරු උගන්ඩාවේ සිවිල් යුද්ධය, ඒ සමග හැදී වැඩෙන ඇයගේ, මුල් රචනා සඳහා පදනම් වේ. ඇය බ්ලොග් කාරියකි



ගූගල් සෙවීම් යන්ත්‍රයෙන් අහම්බෙන් හමු වූ කවි සහ කෙටි කතා පොතක මෙම කවිය අඩංගු වුණා. මෙය එහි තිබූ කෙටිම සටහන. ඉදිරියේදී එම කතා සහ කවි හැකි පරිදි පරිවර්තනය කරන්නම්. 

Friday, April 15, 2016

ගෘහස්ථ කාරණා ? ඒ මොනවද ? ...... Household matters ? What are they all about ?

මගේ කාර්යාලයේ සහෘදයෝ තිදෙනෙක් වෙති. ඔවුන් තිදෙනාම මා බ්ලොග් කරණයේ යෙදෙන බව දනිති. බ්ලොග් කියන්නේ, ඉන්ටර්නෙට් එකේ කොටාගෙන-කොටාගෙන යන වැඩක් බවද ඔවුන් දනිති. නමුත් මා ලියන්නේ මොනවාදැයි ඔවුන් නොදනිති.  දන්නවානම් අම්භානක නෙලති. ඒ මොකදැයි කියා කියලාඔබලාටා තේරෙන්නට ඇති. මා මෙතැන කොරන්නේ එවැනි දැලි පිහියෙන් මීකිරි කනවා වගේ වැඩක් බව දන්නේ මා පමණකි. ආහ් .... !  නෑ තව දෙදෙනෙක් දනිති. ඒ මටත් පෙර සිට බ්ලොග් රසිකයින් දෙදෙනෙකු සහ මගේ හොඳම විවේචකයින් දෙදෙනා වන සහ වෙනත් තට්ටුවක සේවය කරන මගේ මිතුරන් දෙදෙනා වෙති. 

මේ ළඟදී දිනක මට සම්මානයක් ලැබුණු බව පෙරකී සහෘදයෝ තිදෙනා දැනගත්තෝ වෙති. ඒ මා ඔවුන් දැනුවත් කල නිසා වෙති. මොනවද උඹට හම්ඹ වුණේ, ඔවුන්ගෙන් කෙනෙක් අසති. පොතකි, සී.ඩී. පටයකි, ජී.බී. අටේ පෙන් ඩ්‍රයිව් එකකි, නෝට් පොතකි, ටක්-ටික් පෑනකි, මුදල් ත්‍යාගයකි.  සම්මාන ලැබුණේ මොනවාටදැයි විමසති. ගෘහස්ථ කාරණා වලටැයි පැවසෙති. ඔවුන් විපිළිසර වෙති. පසුව මවිසින්ම ඒ පිළිබඳ විස්තර කෙරෙති. ආහ්..... !!! මේවාටත් සාම්මාන දෙනවාදැයි විමසෙති. පසුව මට පොළොව පලාගෙන යන්නට සිත් වෙති. 

දැන් නියම කාරණයට එමු. ගෘහස්ථ කාරණා යටතේ සම්මාන ලැබූ මා පසුගිය වසරේ කල ගෘහස්ථ කටයුත්තක් නැත. ඒ මගේ විශ්වාසයයි. පොඩි එවුන් නළවා ගන්නට කල පුංචි ප්‍රයෝගයක් විනිශ්චය මණ්ඩලය විශ්මිත කරන්නට සමත් වී තිබේ. එහෙත් මා මීට පෙර නම් ඒ අංශයෙන් නොයෙකුත් දෑ ලියා ඇත. කොටින්ම එහෙම ලේබලයක් මගේ බ්ලොග් අඩවියේ නැත. නමුත් පැත්තකින් එදිනෙදා ජීවිතයට යන කොටුවේ ලියා ඇත. ඉදිරියට ලියන්නටද සිතේ තබාගෙන උන්නෙමි. ඒ මා දන්නා ඒ දේ යමෙකුට ප්‍රයෝජනවත් වේ යන සිතුවිල්ල නිසාය. මෙයට අමතර DIY ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ ලියා ඇත්තෙමි. තවත් එකක් ලියන්නට ඇත. අර කොටුවේ මා ලියන්නට සිටි තවත් කරුණක් මෙසේ සවිස්තරාත්මකව දිග හරින්නේ, ලැබුණු සම්මානයට සාධාරණයක් ඉටු කරන්නටය.

මෙහි ලියැවිය යුතු මාතෘකාව හරියට පොල් ගෙඩියක් බිඳින්නේ කෙසේද ? යන්න වුවත්, මෙයට ගැලපෙන ප්‍රවේශයක් නිසා ඉහත මාතෘකාවෙන් පැමිණියෙමි. අදසිට ගෘහස්ථ කාරණා යනුවෙන් ලේබලයක්ද පටන් ගනිමි. ඒ ඔබගේ මතු ප්‍රයෝජනයටය. මෙය මට මගේ පියා ලබා දුන් ස්වල්පයක් වූ ගුරු මුෂ්ටි වලින් එකකි. මගේ පියා දන්නා කාරණා බොහෝ ඇතැයි මින් අදහස් කරන්නේ නැත. ඔහු කියා දුන් බොහෝ දේ අද කාලයට වැදගත් වන්නේ නැත. උදාහරණයකට පුෂ් බයිසිකලයකට කෙනෙකු යන ගමන් නංවා ගන්නට පෙර සිදු කළයුතු දේ වාගේ ඒවාය. නමුත් ඒවාද වැදගත් වන කෙනෙකු සිටින්නට හැක. බ්ලොග් අවකාශයේ බලාපොරොත්තු විය නොහැක. පියෙකු තම පුතුට ලබාදෙන ගුරුහරුකම් සිත්හී ධාරණය කර ගැනීම, තාරුණ්‍යයට තරම් නොවුණත්, අපද ඔවුන්ගේ තැන ගන්නා දින ඒවා කදිම දේවල්දැයි සිතේ. 

මේ පහළ පින්තූරයෙන් පෙනෙන්නේ ඊයේ සවස කිරිබතට අවශ්‍ය පොල් ඔයා (ලෙලි ගසා), මගේ පියාගේ වචනයෙන් කියනවානම් බ්ලේඩ් තලයෙන් කැපුවා සේ බිඳ ගත් පසු දිස්වන ආකාරයයි. මේ හැම ගෙඩියම බිද ගැනීමට එල්ල කරන ලද්දේ මන්න පහරවල් එකකි. නිලය බලා එල්ල කළහොත්, මන්නයේ බරද, අරකද මේකද වැදගත් වන්නේ නැත. මගේ වැඩිමහල් සොයුරියගේ දියණියක් විවාපත් වන මොහොතේ පොල් ගෙඩිය බිඳීමේ භාරදූර වගකීමට සාර්ථකව මුහුණ දුන්නේදේ මේ ශිල්පයට පින් සිදු වන්නටය.

coconut halves after broken on the banana leaf

පහළින් තිබෙන මේ පින්තූරයෙන් එය කෙතරම් දුරට බ්ලේඩ් තල කැපීමක්දැයි ඔබට පැහැදිලි වනු ඇත. ඡායාරූපය මදක් ගැස්සී ඇති එක වෙනම කාරණයකි. ඉහළ රූපය දෙස නැවත බැලුවොත් එහි සමහරක් තැන් බ්ලේඩ් පහර වැදී නැති බව පෙනෙන්ට තිබේ. එයට හේතුව මා දෙවන පහරක් එල්ල නොකරම, පිහිය විවරයට දමා විවෘත කරන්නට යාමේ ප්‍රතිඵලය. නමුත් සමස්තය හරියට සිදු වී තිබේ. 

how to break a coconut nicely


පොල් ගෙඩියක් බිඳින්නට යාම ඉතා පුංචි වැඩක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් නිසියාකාරව සිදු නොකළොත්, එයද කුඩු වී කෑලි කිහිපයක් බවට පත්වේ. ඕනෑම දෙයක් කරන්නට විද්‍යාත්මක ක්‍රමයක් තිබේ. නමුත් මෙය ක්‍රියාවෙන් අවුබෝධය නමැති අප කුඩා කාලයේ පාසැල්වල තිබූ දෙයට සමාන දෙයකි. මගේ පියා මට මෙය එක සිය වාරයක් පමණ පෙන්වා දෙමින් සිදු කර, පසුව මට ඒ සඳහා අවස්ථාව සලසා දුනි. ඇත්ත වශයෙන්ම මෙය සරල දෙයක් වුවද, වැඩේ වරද්දා ගතහොත් මදය කට්ටෙන් ගැලවේ. බොහෝ දෙනා ඉඳහිට වටේටම පහර දීගෙන යාමේදී හරි තැනට කණා ෂොට් එකක් වැදී වැඩේ සිදු වේ.

ඔබ කළයුත්තේ මෙපමණයි. හොඳින් කෙඳි ඉවත් කරගත් පොල් ගෙඩිය දෑතට ගෙන, එය රවුමක් කරකවා  බලන්න. එහි ඇති බෙදුම් රේඛා තුනෙන් වෙන්වන කොටස් තුනක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇත. ඉන් විශාලම කොටස සහ එයට මදක් කුඩා කොටස වෙන්වන රේඛාව තෝරා ගන්න. දෙතුන් වරක් කරකවා හෝ එය පැහැදිලිව වෙන් කර ගන්න. එම ස්ථානයට මද වේගයෙන් මන්නය හෝ කැත්ත යොදාගෙන පහරක් ගසන්න. ඔබ මවිතයට පත්කරමින් ඉහත රූපයේ දැක්වෙන පරිදි එය වෙන් විය යුතුය. මන්නයේ බර හෝ ඔබ යොදනයා බලය එහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ ඔබ හරි ස්ථානයට පහර දුන්නාද යන්න පමණි.  

Saturday, April 9, 2016

ලැබෙනවානම සම්මාන ලැබිය යුත්තේ මේවාටය ......

දෙවන වරටත් පවත්වන්නට යෙදුණු නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලින් පසුවද, පළමු වරට පැවැත්වීමෙන් අනතුරුව පැවතියාට පසු ඇති වූවාට වඩා වෙනස් කතිකාවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ එයට විවිධ මට්ටමෙන් සහභාගී වුවන් ලියා තිබෙන බ්ලොග් පොස්ට් සහ ඊ-මේල් පණිවුඩ මගින් කෙරෙන සංවාද හරහාය. ඊයේ මමත් අටමාත් මේ ගැන තරමක දුරකථන සංවාදයක් කරනු ලැබූ අතර ඉන්පසුව මෙහි ඇති සංකීර්ණ තත්වය පිළිබඳ යම් තරමක අවුබෝධයක් ඇති වුවා යැයි මට විශ්වාසයක් ඇති විය. 

අපි බ්ලොග් ලියන්නේ ඇයි ?

අප කිසිම කෙනෙක් සම්මාන බලාපොරොත්තුවෙන් බ්ලොග් ලියන්නට පටන් ගත් අය නොවේ යන්න මගේ විශ්වාසයයි. එහෙත් පසුගිය සහ මෙවර සම්මාන උළෙලවල් දැක, ඒ නිසා යම් කෙනෙකු ලිවීම ආරම්භ කළානම් එයද සම්මාන උළෙල ලද ජයක් වේ. මන්ද තමාගේ සැඟවුණු හැකියාවක් ඇතැයි විශ්වාස කරන තවත් කෙනෙකු මේ අවකාශයට එකතු වීම නිසාය. ඔහුට හෝ ඇයට ඔහු පිළිබඳව ඇති තක්සේරුව සම්මාන නොලැබුනද එයට ලැබෙන ප්‍රතිචාර වලින් අවුබෝධ කර ගත හැක. අප සැවොම අයත් වන්නේ ලියන්නට යමක් තිබුණද ,ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ අවකාශයක් නොලැබෙන පිරිසටය. මෙය ලෝකය පුරා හඳුනාගෙන තිබෙන්නේ පුරවැසි මාධ්‍ය ලෙසය. ඒවාට ප්‍රධාන දහරාවේ අයට කල නොහැකි බිම් මට්ටමේ වාර්තාකරණයක යෙදිය හැකිය. නමුත් වාර්තාකරණය බ්ලොග් වල කෙරෙන්නේ ඉතා ස්වල්පවය. නමුත් ෆේස්බුක් ආදී වෙනත් වඩා ඉක්මන් මාධ්‍ය වල ඒවා යහමින් සිදු වෙමින් පවතී. 

කාලයක් තිස්සේ බ්ලොග් කියවීමෙන් මා ලද අවුබෝධය නම් සමහර ප්‍රධාන මාධ්‍ය වලට වඩා රසවත්, ගවේෂණාත්මක, ඉහළ ප්‍රමිතියකින් යුක්ත ලිපි රචනා, කවි, ගීත, පරිවර්තන මේවායේ පළ වන බවය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා මමනම් බ්ලොග් වලට විශේෂ කැමැත්තක් දක්වන්නේ, මේවා කැපිලි කෙටිලි වලට ලක් කිරීමෙට කිසිවෙකුටත් නොහැකි නිසාය. ඒ පිළිබඳ අත්දැකීම් කිහිපයක්ම මටද ඇත. ලිවීමේ නිදහස මේවායේ උපරිමයෙන් තිබේ. නමුත් ප්‍රධාන මාධ්‍ය ඉක්මවා යාමට තරම් ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීම අපගේ වගකීමය. ලැබෙන අවකාශය අවභාවිතා කරන්නන්ද උපරිමයෙන් ඇත. නමුත් ඒවාට වාරණ දමන්නට කිසිවෙකුට නොහැකිය. කෙසේ වෙතත් බ්ලොග් යන්න අන්ධයන් දුටු අලියාට සමාන කල හැක. මා බ්ලොග් යනුවෙන් අවුබෝධ කරගෙන සිටින දෙයට වඩා සහමුලින්ම වෙනස් දෙයක් තවත් කෙනෙකු අවුබෝධ කරගෙන තිබීම අනිවාර්ය සිද්ධියකි. ඒ අය පසුකාලීනව කණ්ඩායම් වශයෙන් ගොනු වීමද වැලක්විය නොහැකි කරුණකි. ඒ රසවින්දනය පැත්තෙන් දක්වන සමානතාවය නිසාය. පහළින් මා දක්වන්නේ එසේ එක්-එක් අය අවුබෝධ කරගන්නා කාණ්ඩ කිහිපයකි
  • තමාගේ රසවින්දනය කවි, රචනා, නිසදැස්, කෙටිකතා, නවකතා (කොටින්ම සාහිත්‍ය )පැත්තට යොමු වුවන් සිතා සිටින්නේ හෝ නැතිනම් සිතන්නට පෙළඹෙන්නේ බ්ලොග් කරණය වඩා ඉහළින් යොදා ගත යුත්තේ එම කටයුතු වලට බවය. ලංකාවේ සාහිත්‍ය සහ පාසල් තරග කෙරෙන්නේ මෙයට අඩු වැඩි වශයෙන් සමාන පදනමකින් බව මගේ විශ්වාසයයි. සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • තමන්ගේ රසවින්දනය විද්‍යා සහ තාක්ෂණික පැත්තට යොමු වුවන් සිතන්නේ වඩා හොඳ සහ වටිනා ලියවිලි කළ යුත්තේ මේ අංශයෙන් බවය. වඩා ඉහළ පරාසයක් තිබෙන්නේ මේ පැත්තෙන් ලියන්නන්ට බවය. වැඩියෙන් පරිවර්තනයන් සිදු විය යුත්තේ මේ අංශයෙන් බවය. සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය. 
  • තමන්ගේ රසවින්දනය විනෝදාත්මක සහ සරල පැත්තට යොමු වුවන් සිතා සිටින්නේ වැඩි-වැඩියෙන් ලිපි සම්පාදනය විය යුත්තේ මේ පැත්තෙන් බවය. මේ අංශයෙන් ලියවෙන දෙයට ඉහළ ප්‍රතිචාර ලබා දීමට සහ ඒවා සම්පාදනය කරන කොටස විශ්මිත පිරිසක් බව ඔවුන් විශ්වාස කරති. සත්‍ය වශයෙන්ද ලියවීමකින් කෙනෙකු තුළ සිනහ ඇති කිරීම දක්ෂතාවකි. ඔවුන් සිතන්නේ සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය. 
  • වැඩි වශයෙන් ගුප්ත, අභිරහස්, සහ සැඟවුණු දේ පිළිබඳ ඇල්මක් දක්වන්නන් සිතා සිටින්නේ, වැඩි වශයෙන් මේ කාණ්ඩයේ බ්ලොග් කරුවන් බිහි වෙනවානම් කදිමයි යන්නය. එසේ ලියන අය ඉතා ඉහළ රසවින්දනයකින් යුක්ත පිරිසක් බව ඔවුන් විශ්වාස කරයි. ලොව පුරා සැඟවුණු හෝ අභිරහස් පිළිබඳ නිරන්තර සෙවිල්ලකින් පසුවන මෙම පිරිස වඩ-වඩාත් මේ අංශයෙන් ලියවෙන සහ පරිවර්තනයන් සිදු වීම අපේක්ෂා කරයි. ඔවුන්ද සිතන්නේ සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • 18+ ආරේ රසවින්දනයක් සහිත පිරිසක්ද අප අතරේ සිටිති. සමහරවිට බහුල වශයෙන් සිටින්නේ ඔවුන් විය යුතුය. මන්ද ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කථා කරන්නට බොහෝ දෙනා මැලි වන්නන් වුවද, රසවින්දනයට ඕනෑම කෙනෙකු අකමැත්තක් නොමැති බැවිනි. නමුත් ප්‍රසිද්ධයේ ඒ පිළිබඳ දිරිගන්වන්නට නොයන්නේ, තමන්ගේ කාඩ් එක කුඩු වන නිසාය. මගේ විශ්වාසයනම් වැඩිම මාකට් එකක් ඇත්තේ මේ ආරෙන් ලියන්නන්ට බවය. ඉතිං ඒවාට ප්‍රසිද්ධියේ ඇලූම් කරන, ඒවාම ජීවිතය කරගෙන සිටින්නන් සිතා සිටින්නේ සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • දේශපාලනය තම ජීවිතය කරගත් පිරිසක්ද අප අතර ඇත. ඔවුන්ට හිරු උදා වන්නේද, හිරු නොව සඳ බැස යන්නේද දේශපාලන කරුණු මත්තෙන්ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයේද වඩා බහුලව ඇති මේ අංශයේ ලිපි හැකිතාක්(සමහරවිට තමන් සහයෝගය දක්වන පාර්ශවයට සාධාරණත්වයක් දක්වමින් ලියන) කියවීම ඔවුන්ගේ අරමුණයි. මුහුණුපොතෙහි ඒවාට වෙන්වුණු පිටු වල වැටෙන පොස්ට් වලට කෙස්-පැළෙන තර්ක තම තම නැණ පමණින් ඉදිරිපත් කරයි. ඒවා ඔස්සේ ලියවෙන බ්ලොග් ඉතා අගය කරයි. ලියනවානම් ලිවිය යුත්තේ මේ අංශයෙන් බවද, හොඳ ලියන්නන්ගේ අඩුවක් ඇතැයිද විශ්වාස කරයි. ඔවුන්ගේ විශ්වාසය සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • ක්‍රීඩාව විශේෂයෙන්ම ක්‍රිකට් තම ජීවිතය කරගත් පිරිසක්ද ඇත. ඒ වෙනුවෙන් ලියන පිරිසක්ද ඇත. ඒ අංශයෙන් ලියවෙන ප්‍රමාණය සහ පරිවර්තනය වන ලිපි ප්රාමනයේ මද කමක් ඔවුන් දක්වයි. වත්පොත් සමාජ ජාලයේ ඒ පිළිබඳව ඇති කාණ්ඩ වල වැටෙන පොස්ට් වලට තමන්ගේ ප්‍රිය ක්‍රීඩකයා/ක්‍රීඩිකාව පැත්තෙන් සිට කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරති.සමහරවිට දේශාපාලනයද ඈඳාගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරති. ඔවුන්ටද හිරු උදා වන්නේද, සඳ බැස යන්නේද ක්‍රිකට් වලිනි. මේ පිළිබඳ ලියවෙන ප්‍රමාණයේ මදකමක් තිබෙන බව ඔවුන්ගේ මතයයි. නව ලියන්නන් එනවානම් ඒ පිළිබඳ මනා අවුබෝධයක් ඇති අය වියයුතු යයි විශ්වාස කරයි. නැතිනම් දැඩි සේ විවේචනය කරයි. ඔවුන්ගේද විශ්වාසය සම්මාන ලැබෙනවානම් ලැබිය යුත්තේ මේවාට බවය.
  • සංගීතය ජීවිතය කරගත් පිරිසක්ද, සිනමාව ජීවිතය කරගත් පිරිසක්ද, යුද්ධය හෝ සාමය ජීවිතය කරගත් පිරිසක්ද, ඡායාරූපකරණය, රථවාහන, බස් කෝච්චි, පරිසර, ආහාර පාන, සංචාරය, ගැජට් සහ ස්මාර්ට් උපකරණ, විලාසිතා, නිෂ්පාදන, ප්‍රවෘති සහ කාලීන සංවාද, ආර්ථික, සුරතල් සතුන්, ආදී මෙකී නොකී සෑම අංශයකම බ්ලොග් එක්කෝ ලියවෙයි නැතිනම් කලක ලියවී වියැකී ඇත. මේ පිරිස්ද සිතන්නේ වඩාත් වැදගත් කාර්ය සිදු වන්නේ අප අතින් සහ මේ අංශයෙන් බැවින් වඩ-වඩාත් බ්ලොග් පොස්ට් ලියැවිය යුත්තේ මෙකී අංශයන්ගෙන් බවද සම්මාන ලැබෙනවානම සම්මාන ලැබිය යුත්තේ මේවාට බවය.
ඉතිං මෙය අන්ධයන් දුටු අලියාට සමාන කිරීමේ වරදක් තිබේද ? නමුත් මේ සියලුම අංශ වල සටහන් ඉතා උපේක්ෂාවෙන් කියවන පිරිසක්ද සිටී. තමන්ට අදාළ අංශයට ප්‍රතිචාරද දක්වයි. නොදන්නා දේ නොන්දන්නා බවද නිහතමානීව පවසයි. සමහරු නොදන්නා දේ දන්නා බව හඟවන්නට ගොස් අමාරුවේ වැටේ. සමහරුන් පෙන්වා දුන්පසු නිහතමානීව පිළිගනී. සමහරු තමන්ට වරදින බව පිළිගන්නට කැමති නැත. 

වරක් ප්‍රවීණ මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතා මට ඉතා අගනා අවවාදයක් දෙනු ලැබිණි. ඒ "ඔබගේ කියවීම ප්‍රවෘත්ති, සාහිත්‍ය, දේශපාලනය, කලාව, විද්යාව, ක්‍රීඩා යන සියලුම අංශයන්ගෙන් සිදු කරන්න" යන්නයි. එතැක් පටන් මා කියවීම් සහ රූපවාහිනී රසවින්දනය ඒ අංශ වලට යොමු කරන්නට වග බලා ගන්නා ලද අතර, කාලානුරුපව මේවා ස්පර්ශ කරන ප්‍රමාණයන් අඩු වැඩි කළෙමි. මා දැන් වැඩි වශයන් කරන්නේ ගූගල් කිරීම බවද පැවසිය යුතුය. ඇත්තටම ගූගල් දෙවියෙකි. ගූගල් දෙවියෙකු කර ඇත්තේ එය ඇසුරු කරන ජනතාවමය.

ඉතිං මෙවැනි සංකීර්ණ පරාසයක විහිදුණු ලියැවිලි වලට සම්මාන දීම දැලි පිහියෙන් මීකිරි කනවාට වඩා ටී56න් මී පැණි බොනවා වගේ වැඩකි. එනිසා කෙදිනක සම්මාන උත්සව තිබුණද, තමන්ගේ සයිලෝවේ සිට තීන්දු ගන්නන් සිටින විට, විවේචන චෝදනා හෝ ගර්ජනා ඇති වීම ස්වභාවිකය. 

මගේ විශ්වාසය නම් "ඔබට කුමන අංශයෙන් සම්මාන ලැබුණොත් ඔබ සතුටු වන්නේද ?" යන්න තරගයේ යෙදී සිටින්නන්ගෙන් විමසිය යුතුය. ඉන්පසුව එකී බ්ලොග් කරු එම වර්ෂයේ ඒ අංශයෙන් ලියන ලද බ්ලොග් පොස්ට් විමසා බලා වඩාත් සුදුසු යයි හැඟෙන පොස්ට් තේරීම් කමිටුව විනිශ්චය මණ්ඩලයට යොමු කල යුතුය. එක අයෙකුට වර්ගීකරණ කිහිපයකට ඉදිරිපත් වීමට අවසර දිය යුතුය. ඒ ඒ සම්මාන අංශයට පතල දක්ෂතා දක්වන අය ලවා ඒ ඒ අංශ විනිශ්චය කර ගත යුතුය. එවිට අඩුම තරමෙන් සම්මාන ලබන්නා වත් සතුටට පත් වේ. සම්මානය සඳහා චිත්‍රපට යොමු කරන්නේද එලෙස බව මගේ විශ්වාසයයි. "තමන් පිළිබඳ නිසි තක්සේරුවක් තමන්ට තිබේ" යන්න මෙහි පූර්ව නිගමනයයි. අප බ්ලොග් ලියන අරමුණද එයයි. මේ වැඩි අංශ ගණනාවකට දස්කම් දක්වන්නා හොඳම බ්ලොග් රචකයා විය යුතුයි.ලෝක රූ රැජින තෝරන්නේ මෙවැනි පදනමකිනි. හොඳම චිත්‍රපට තොරන්නේද එවැනි ක්‍රමයකිනි. එක අංශයකට සුදුසුකම් ලැබීම වෙන අංශයකට ලැබෙන ලකුණු අඩු කිරීම ඔහුට හෝ ඇයට කරන අසාධාරණයකි. කණ්ඩායමක් විසින් රචනා කරනා බ්ලොග් පිළිබඳ වෙනමම සලකා බැලිය යුතුය. එවැනි තැනකදී ඒ ලියන අය වෙන, වෙනම තෝරාගැනීමට ලක් කල යුතුය. හොඳම ඒක පුද්ගල බ්ලොග් අඩවිය සහ හොඳම බ්ලොග් අඩවිය යන සම්මාන දෙකක් විය යුතුය. සමහරවිට තනි කෙනෙකුට මේ දෙකම ජය ගත හැකිය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...