Thursday, January 28, 2016

කෙලතොල්ලා නොහොත් කපිල ...... Kapila the Drooler

කාර්යාලයේ මගේ පොත්පත් වලින් කොටසක් ඇත. ඒ මට නිදහසක් ඇති විට කියවීමටය. අද මේ පොත් ගොන්න දෙස බලා සිටි මගේ නෙත් නතර වුයේ, කාලයටක ඉහතදී භාවිතා කරලා ලද මගේ ක්ෂේත්‍ර සටහන් පොතෙහිය(Field Note Book). එය මාගේ දෙවැනි ක්ෂේත්‍ර සටහන් පොත වේ. මුල් පොත කොහේදැයි නිනව්වක් නැත. මගේ රාජකාරි ගවේෂණ බොහොමයක් ගැන මතකය අවධි කරගත හැකි කදිම මෙවලමක් ලෙස මෙය හැඳින්විය හැක. අලුතෙන් එක් වූ දාහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ කිහිප දෙනෙකුට පමණක් පිටු 100කින් සමන්විත මෙම පොත ලබා දුනි. එහි මුල් පිටුවේ අපගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කලයුතු අතර, අනෙක් පිටුවේ ඇත්තේ එය පරිහරණය කල යුතු උපදෙස් මාලාවයි. 

බැංකුවට එක් වී දෙවැනි සතියේ සිටම රාජකාරි සඳහා පිටපළාත් වල ගමන් කිරීමට අපට සිදු විය. එකල තාරුණ්‍යයේ පසු වූ බොහෝ දෙනෙකු මේ ගමන් වලට එක් වන්නට පොරකෑ යුගයකි. මාද එසේ ගමන් කිරීමට පළමුව තෝරාගත් කණ්ඩායමට ඇතුලත් විය. එය පැරණි කිහිප දෙනෙකුත් අප කිහිප දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විය. මේ ප්‍රථම ගමන මහියංගනයට බව අදටත් මට ඉතා හොඳින් මතකය. එකල මා රාජකාරියට පැමිණියේ මගේ ගම වන බෙන්තොට සිට දුම්රියෙනි. උදෑසන 5:15 ට පැමිණෙන තැපැල් දුම්රියට ගොඩ වී, පහසුවෙන් අත්පත් කරගත හැකි අසුනකට බරවී නිදා ගැනීමක එකල මගේ සිරිත විය. 

මේ ගමන ගැන වඩාත් සතුටට පත් වුයේ මගේ පියාය. ඔහු ලංකාවේ බොහෝ පළාත් වල රාජකාරි කර ඇත. මහියංගනයට යනවා යයි කී විට ඔහු සතුටට පත් වන්නට ඇත්තේ, එය ඔහුගේ මුල්ම රාජකාරි ස්ථානය වූ බිබිලට ආසන්න නගරයක් වූ නිසාය. බිබිලේ රාජකාරි යෙදුනු ආකාරය, විඳි දුෂ්කරතාවන්, රසවත් සිදුවීම් සියල්ල ඔහු අපට කිහිප වරක්ම පවසා ඇත. ඔහු මට ලබාදුන් ඔහුගේ අත් පිටපතේද මේ ගැන සටහනක් ඇති බව මගේ මතකයි. ඒවා කෙදිනක හෝ බ්ලොග් අවකාශයට එකතු කිරීමට බලාපොරොත්තු වෙමි. 

නමුත් මා කියාගෙන ආවේ මාගේ දෙවෙනි ක්ෂේත්‍ර සටහන් පොත ගැනයි. මේ පොත් අතට පත් වූ ඕනෑම, මෙහොතක එහි පිටු පෙරලා බැලීම මගේ සිරිතයි. එහි දකින දකින පිටුවක් පාසා අතීත මතක සිත තුල අවධි වේ. ඒවා ඒ මොහොතේම අකුරු කරන්නට ඇත්නම් කදිමය. නමුත් එය ප්‍රායෝගික නොවන කාර්යයකි. මේ පොතේ පිටු අතර දෙනෙත් යවත්දී මගේ කාර්යාලීය සගයන් දෙදෙනා වෙනත් කෙනෙකු ගැන කතිකාවක යෙදෙනු ඇසුණි. වෙලාවකට මේවා මට මහත් වදයකි. මන්ද මගේ සිතේ සොඳුරු සිතුවීලි වලට ඒවා බාදා කරන බැවිණි. එහත් මගේ දෙනෙත වැල්ලවායේ ශාඛා විසිත්තය අතර හිර වන විටම 

"අරයා කථා කරනකොට කටින් කෙළ බේරෙනවා" යනුවෙන් එක් අයෙකු තමන්ගේ නිරීක්ෂණ සඳහන් කරන විට, ඉතා ඈත මතකයක් වෙත මගේ සිත දිව ගියේය. අද වනවිට කහගැහී තිබෙන එය මුලින් ලබාදුන් දිනයේදී කිරි සුදු පාටින් පවතී බව මගේ මතකයි. මා හනික  වැල්ලවායට ගිය දිනය පිටු අතරින් සොයා ගත්තේ, මෙය බ්ලොග් සටහනකට කදිම ආරම්භයක් නිසාය. එම සටහනට අනුව අප වැල්ලවායට ගොස් ඇත්තේ 2002 වර්ෂයේදීය. 

ඉන් පෙර කඩ කාමරයක් තුළ පවත්වාගෙන ගිය ශාඛාව නව ගොඩනැගිල්ලකට මාරු කිරීම සිදු වෙමින් පැවතිණි. එයට සමගාමීව පැබ්ස්(PABS)යනුවෙන් හැඳින්වූ, අපගේ සේවකයන් විසින්ම සංවර්ධිත බැංකු පද්දතිය එම ශාඛාවට හඳුන්වාදීම අපට පැවරී තිබුණු වගකීමය. එවැනි විටක ඉන්පෙර අර්ධ වශයෙන් පරිගණක ගත කොට තිබූ සියළු ගිණුම් මේ පද්දතියට ඇතුලත් කර ගැනීම අපගේ රාජකාරියෙන් කොටසකි. මෙවැනි විටෙක ශාඛාවක ක්‍රියාකාරී පුද්ගලයන් අප හා කුළුපග වෙයි. ඒ ශාඛාව තුලනය කර මෙම පද්දතිය ඇතුලත් කිරීමට දක්වන දායකත්වය නිසාය.
old field note book entry fond memories කහගැහුණු ක්ෂේත්‍ර සටහන් පොත
අමරජිත් තවත් එවැනි එක් චරිතයක් නොවීය. ඔහු අපගේ කාර්යයට සක්‍රීයව සහයෝගය ලබා දුන්නා පමණක් නොව, ශාඛාවේ කටයුතු වලටද උරදී කටයතු කරන ඉතා කාර්යශූර සේවකයෙකි. ඔහුගේ මේ නායකත්වයේ ස්වභාවය නිසා බොහෝ ගනුදෙනුකරුවන් කළමනාකාර තුමා සිටියදීම ඔහුට මැනේජර් මහත්තයා යනුවෙන් ඇමතීය. එයට කිසිවකුගේ හෝ විරෝධයක් නොතිබිණි. ඒ වනවිට නිලධාරී මට්ටටම හෝ උසස් නොවූ හෙතෙම,   ලිපිකරු ශ්‍රේණියක සේවය කළේය. නමුත් ඔහුගේ පෞර්ෂය සහ නායකත්වයේ ලක්ෂණ ඔහු ජනතාවගේ කළමනාකරුවා බවට පත් කර තිබිණි.

දින කිහිපයක අැවෑමෙන් ඔහු අපගේ ගජ මිතුරෙකු බවට පත් විය. මුලින් වෙනමම කකුළුවන් ඇල්ලු අපේ කණ්ඩායම පුළුල් වී, අමරජිත් එහි නිත්‍ය සාමාජිකයෙකු බවට පත් විය. කකුළුවන් අල්ලනවා යන්න අපේ ගමේ ක්‍රීඩා සමාජයේ මට ජේෂ්ඨ කණ්ඩායම සෙට් වීම සඳහා භාවිතා කළ කෝඩ් නේම් එක විය.  ගඟ සහ මුහුද ආසන්නයේ සිටින අපගේ ප්‍රදේශයේ එවැනි වදනක් කෝඩ් නේම් එකක් සඳහා භාවිතා කරනවා යන්න සොයා ගැනීම ඉතා අපහසු කාර්යයකි. මටද එය තේරුම් ගැනීමට ටික කලක් ගත විය. සෑම දිනකම රාත්‍රී හත පහු වී අල්ලන්නේ රැළ කක්කුට්ටන්දයි මා ඇසු වීට රෝහණ අයියා මට කාරණාව පැහැදිලි කරන ලදී. අප වැල්ලවායේ ගත කල කාලයේ නැවතී සිටි නිවාස ගැනද සටහනක් තැබිය යුතු මුත්, මේ ඒ සඳහා වෙලාව නොවේ. අමරයා පසුව අපගේ දිගුකාලීන මිත්‍රයෙකු බවට පත් විය. ඒ නිතර දෙවේලේ විවිධ ගැටළු විසඳා ගැනීම සඳහා අපට දුරකථන ඇමතුම් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේ සෙට් වන්නට නියමිත තවත් දිනක, බයිට් ලබා ගන්නේ කොහෙන්දැයි අසන ලද පැනයට අමරයාගේ පිළිතුර වුයේ,

"රෙස්ට් හවුස් එකට අලුතෙන් නියම කොල්ලෙක් ඇවිත් ඉන්නවා කපිල කියලා. ඌ බෙන්තර පැත්තේ එකෙක්. නියම රසට බයිට් දානවා"

"බෙන්තර පැත්තේ. එහෙනම් අනිවාර්යෙන්ම මාව දන්න ඕනේ" මා නොයිවසිල්ලෙන් පිළිතරු දුන්නේ, ඒ ගැන මට තිබූ විශ්වාසය නිසාය. අප ගම් ප්‍රදේශයේ පමණක් නොව අසල ගම් කිහිපයක බොහෝ දෙනෙකුද එකල අප හඳුනාගෙන තිබුණේ, බෙන්තොට ක්‍රීඩා සමාජයට පින් සිදු වන්නටය. මා නොහඳුනනවා නම් මගේ පියා, හෝ මස්සිනා මේ ප්‍රදේශයේ අය හැඳිනිය යුතුය. ඒ මගේ පියා අසල ගම කිහිපයක පාසල් වල සේවය කල නිසා හා මස්සිනා ව්‍යාපාරිකයකු වූ නිසාය.

තවත් මිනිත්තු කිහිපයකින් අප තානායම මිදුලට ලඟා වූ අතර, පළපුරුදු අයෙකු මෙන් අමරෙයා කුස්සියට අප කැටුව යන්නට සමත් විය. මොහොතකින් "සර්" ආමන්ත්‍රණයෙන් ඔහු අසලට ආවේ තරමක් තරබාරු, එහෙත් හුරුපුරුදු මුහුණකි.

"මේ ඉන්නේ මම කියපු අර කුක් - කපිල"

යනුවෙන් අමරජිත් පවසනවාත් සමග "කෙලතොල්ලා" මට ඉබේම කියැවිණි. එහෙත් එම වචනය එක් වරම හඳුනා ගන්නට මා අසල සිටි නාමල් හෝ අකිල සමත් නොවිණි. ඒ එය අපේ පාසලේ, ප්‍රාථමික වයසක කොල්ලෙකු විසින් තවත් අයෙකු හඳුන්වන්නට යොදා ගත් නිතර භාවිතයේ නැති නමක් වීමයි.

මෙම සටහනේ ප්‍රවේශයට මොහොතක් නැවතත් ඔබේ අවධානය යොමු කළහොත්, "එයාගේ කටින් නිකංම කෙල බේරෙනවා" යනුවෙන් මගේ සහෝදර සේවිකාව පැවසු බව මා සඳහන් කල බව ඔබට මතකද ? සත්‍ය එයයි. කපිල නොහොත් කෙලතොල්ලාට තිබු අඩුපාඩුවද එයම විය. එය ඔහු අනෙක් අයගෙන් ප්‍රතික්ෂේප වන මට්ටමට ගෙන එන්නට බොහෝ සෙයින් සමත් විය. කුඩා කළ සිටම කෙනෙකු කොන් නොකරන්නට වග බලා ගත් මා ඔහු තරමක දුරින් ආශ්‍රය කරන්නට වග බලා ගත්තේ, එක් අවධියකදී එම පාසලේම ප්‍රාථමික පන්තියක ගුරුවරියක වූ මගේ මව ඔහුට අනුකම්පා දක්වා මේ දඟකාරයා හොඳ ළමයෙකු කරන්නට ගත් උත්සාහයට යම් අත්වැලක් සපයන්නට එකල සිදු වූ නිසාය.

කෙලතොල්ලා අප පාසලේ බොහෝ දෙනෙකුගෙන් කොන් වූ අතර, ඔහු ඉතා දදබ්බරයෙකු ලෙස පාසලේම පැතිරී තිබුණි. මේකාගේ තවත් නරක පුරුද්දක් විය. ඒ ඔහු අසලට එන්නන් හට තම කට දෙපසින් බේරෙන කෙළ සහ කටින් තම අතට එකතු කර ගන්නා කෙල වලින් පහර දීමයි. එනිසා අපේ පන්තියේ චන්ඩින් වූ විජිත හෝ චමින්ද වත් ඔහුගේ ඇඟට අත තබන්නට තබා අසලට යන්නට සමත් නොවුහ. මේ නිසා කපිල අනෙක් අය අතර යම් මට්ටමක ප්‍රසාදයක් ලබා තිබුණි. කපිලගේ පියාගේ ජීවිකාව වුයේ සිමෙන්ති බෑග් වලින් විවිධ ප්‍රමාණයේ කවර සාදා කඩවල් වලට දැමීමය. අප සිටින වටරවූම් පාරේ තරමක් දුරින් ජීවත් වූ, ඉතා දුෂ්කර කුඩා කාලයක් ගත කළ, කපිලයා නොහොත් කෙලතොල්ලා අද වටිනා රැකියාවක් කරන පුද්ගලයෙකු වීම මට සතුටට කරුණකි. එහෙත් ඔහුගේ ඒ අමුතු චර්යාව ගැන මාගේ මිතුරන් දෙදෙනාට නොපවසා ඉන්නට වග බලා ගත්තේ, බයිට් කෑම ඔවුන් ප්‍රතික්ෂේප කරාවි යන සැකය මතය.

වැල්ලවායේ විවිධ චරිත කිහිපයක් අපට මුණගැසිණි. ඒ අතරින් අදත් මුවගට සිනා නවන වැල්ලවායේ සෙකියුරිටි නටන ලද නාඩගම තව භාගයක් ගන්න අමතක නොවන සිදුවීමකි. අප නතර වූ නිවසේ හිමිකාරිය, ශාඛාවේ කළමනාකරු, බුල්කානි, වෙනත් මාර්ගයකින් අප හඳුනාගත් රජිත, ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ නිදන් හඹා ගිය පුතු තවත් චරිත කිහිපයකි. ඉඩක් ලද හොත් ඔවුන් පිලිබඳ සටහනක් තම්බන්නම්. ඌව වෙල්ලස්ස පිලිබඳ සැඟවුණු කතා කිහිපයක්ද ඒ අතර වේ. 

Tuesday, January 12, 2016

කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම ...... Camp(aign)s within camp(aign)s

මාතෘකාව දැක්ක ගමන් ඔබට මොනවද හිතුනේ ? මම හිතන්නේ බොහෝ දෙනෙක් බලන්න ඇත්තේ ඇඩ්‍රස් බාර් එක දිහා, නැතිනම් බ්ලොග් එකේ ලෝගෝ එක දිහා. බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අපේ හමුදාව ගැන ලියන අපේ විචාරක මහතාගේ වැඩක් කියලා. නැතිනම් නේවි එකේ ගයානිගේ බ්ලොග් එක කියලා. එහෙම හිතුවනම් වැරදි නෑ. ඒත් ඔබ ඇවිත් ඉන්නේ ඇවිද්ද පය ..... බ්ලොග් එකට කියලා ඔබට පැහැදිලි ඇති. "ඌ මොනවද දන්නේ යුද්දේ ගැන ?" බොහෝ දෙනෙකුට මේ පැනය හිතේ ඇති වෙන්න ඇති. විශේෂයෙන්ම අපේ දේශාට මේ වගේ අදහස් එනවා. එහෙම කිව්වට දේශා මගෙත් එක්ක තරහා වෙන එකක් නෑ. කොහොම වුණත් කවුරුත් කියන පලියට නිකම්ම භාර ගන්නේ නැතිව, හොඳින් හොයා බලලා බාර ගන්න එක හොඳ ලක්ෂණයක්. යුද්ධය ගැන මෙලෝ අත්දැකීමක්(හමුදාමය) නැති මම කොහොමද නොදන්නා දෙයක් ගැන ලියන්නේ. මේකත් අපේ අතර තියෙන තවත් එක දුර්වල කමක්. අපිට පිටින් බලලා දෙයක් ගැන යම් විනිශ්චයකට එන්න පුළුවන් වුණත්, ඒ දේ ශාත්‍රීයව නැතිනම් විද්‍යාත්මකව නොදැන ලිවීමෙන් වෙන්නේ අර මතුපිටින් පේන දේ ලිවීමමයි. එහෙම ලිව්වම තවත් මතුපිටින් බලන කෙනෙකුට ඒක රසවත් වෙන්න පුළුවන්. නැතිනම් ඔබ කියන ඕනෑම දෙයක් බාර ගන්න කෙනෙකුට ඒක හරි වෙන්නත් පුළුවන්. එහෙම දෙතුන් දෙනෙකුගේ ඇගයීම සමග මම ලියපු දේ හරි කියලා හිතුනොත් ඔබට වෙන්නෙත් වැල්ලේ ඔලුව හංග ගත්ත පැස්බරාට වුණ දේමයි. 

මාතෘකාවෙන් පිටට ගියාම ඔහේ ඉබාගාතේ යන එකත්, එක අතකින් ස්ටයිල් එකක්. තවත් පැත්තකින් වැඩේ නීරස වෙන්නත් පුළුවන්. මේක අපේ බ්ලොග් කරුවෝ හඳුන්වන්නේ හැලප ස්ටයිල් එක කියලා. නමුත් මගේ විශ්වාසය නම් ඒ ස්ටයිල් එකට මුළින්ම ලිව්වේ මහින්ද අබේසුන්දර කියලා. ඒ "මහින්දගේ ආගි කතා" කියන කොළමෙන්. ඒක මම පුදුම විදියට රස වින්දා පමණක් නොවෙයි. මම බැංකුවට බැඳුනු කාලේ ඒ.ටී.එම්. එකෙන් දෙන රිසිට් එකෙන් ලියපු 4 X 4 පත්තරරේ ලියපු බොහොමයක් ලිපිත් මේ ආරට ලියපුවා. එහෙම ගත්තම මම ලියපු මුල්ම ලිපි පෙළ ඒවා තමයි. ඒවා මොකටද මෙතනට. මාතෘකාවට බහිමු පඳුරු තැලිල්ල පැත්තකින් තියලා.  
 පින්තූරය ගත්තේ : www.apeaceoffice.com

මගේ ජීවිතේ මට ලැබුණු හොඳම කළමනාකරුවෙක් තමයි, නුගේගොඩ අපේ ඔෆිස් එකේ හිටපු විතාරණ මහත්මයා. මම අදටත් ගෞරවයෙන් මතක් කරන පුද්ගලයෙක්. හැඩරුව කිව්වොත් දිඹුලාගල හාමුදුරුවෝ වගේ. එතැනින් එහාට අටුවා-ටීකා, ටිප්පනි අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් දන්නවා. ඒත් එතුමා ගැන යමක් කියන්න ඕනේ. මිනිහා හරි සෘජු කෙනෙක්. තමන්ගේ තීරනයේම පිහිටලා කටයුතු කරන්නේ. අමු සිංහළෙන් තමයි කතා කරන්නේ. ඇඳුම් අඳින්නේ එකම පාටකින්. ඒ බේජ් පාටෙන්. කලිසමත් කමිසයත් එකම පාටයි. . ඉතිං මේ කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම කියන කතාව එතුමාගේ කතාවේ නිතරම තියෙන එකක්. එයා කියපු වැඩක් කරන්න බෑ කියලා, කෙලින්ම මාව ගෙදර යවන්න ලැස්ති වුණා, එක පාරක්. ඒ කතාව මම අඩක් ලියා නිම කරපු බ්ලොග් පොස්ට් එකක් විදියට තවමත් ඩ්‍රාෆ්ට් විදියට තියෙනවා. ඒක මුල් කාලේ ලියපු එකක්, බ්ලොග් ගැන අඩු අත්දැකීමක් තිබුණු කාලේ ලියපුවා ලියන ශෛලියෙන් නෙවෙයි දැන් ලියවෙන්නේ. ඒ නිසා දැන් ඒක අවසන් කලොත් කෙසෙල් ගහකට බෝගන්විලා බට් කළා වගේ තියෙයි. නමුත් ඒ ලිපියේ පලවෙනි කොටස එහෙම තිබියදී මම දෙවෙනි කොටස ලිව්වා. 

වරක් අපේ මේ කළමනාකාර තුමාව මුණගැහෙන්න අපට පරිගණක සපයන ආයතනයක, කණට කරාබුවක් දාපු මහත්මයෙක් ආවා. මිනිහා මොන විදියට පැහැදිලි කළත් අපේ ලොක්කා රෝන්ග් ටෝක් මයි දුන්නේ. අනිත් එක අමු සිංහලෙන්. මැෂින් කියලා අපි භාවිතා කරන වචනේ එතුමා යන්ත්‍ර විදියටත්, කැපෑසිටි කියන වචනය ධාරිතාව ලෙසත්, මදර් බෝර්ඩ් කියන වචනය මව් පුවරුව ලෙසත් ආදී වශයෙන් සියලුම වදන් සිංහලෙන් යොදමින් කථා කරන පුද්ගලයෙක්. ලොක්කාව මේච්චල් කරන්න පහසු තැන, කරබුවා කඩ්ඩෙන් කොටන්න පටන් ගත්තා. ඔහුගේ ජීවිතයේ කරන ලද වැරදීම විනිශ්චය එය බව ඔහුගේ සේවකයින් සමග පසුව පවසා ඇත. විතාරණ මහතාට ඉතා ව්‍යක්තව ඉංග්‍රීසි බස හැසිරවිය හැකි බව දන්නෝ අල්පය. එදා අසුනින් නැගී සිට ඔහු කරාබුවාට දුන් කඩු පහරවල් විස්තර කරන්නට සමතෙකු අදද, අප අතර නැත. ඒ තරමට බරසාර වචන හේ දනී. නමුත් සිංහලෙන් කථා කරන කිසදු මොහොතක ඒවා යොදා නොගනී. යම්කිසිවෙකු ඉංග්‍රීසි භාවිතා කරයි නම් ඔහු එයට ගැලපෙන ලෙස කතා කරයි. එකල ඔහු නිරන්තරයෙන් මා හට දුන් අවවාදයක් නම්, ඉංග්‍රීසි උසස් පෙළ විභාගය කරන ලෙසය.
"උසස් පෙළ ඉංග්‍රීසි කරපු කෙනෙක් එක්ක කවුරුත් හැප්පෙන්න එන්නේ නෑ" 
ඔහුගේ වදන් අදත් මගේ හිතේ රාව ප්‍රතිරාව දෙයි. ඔහු මට ජීවිතයට වටිනා අවවාද දෙකක් දී ඇත. එකක් ඉහත ඔබ කියවන ලද අවවාදයයි. අනෙක  මෙහි සටහන් නොකරමි. මන්ද ඔහු දුන් එම අවවාදයට අදාළ කාරණය දැනටත් සිදු වී හමාර නිසාය.  

මම ඒ වනවිට පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක රස බලමින් සිටියෙමි. පසුව අපගේ වෙනත් කළමනාකාර මහතෙක් මැදිහත්ව මා මෙතැනට ගන්නා ලද අතර, ඒ ඔහුගේ සහයකයා ලෙසය. මට තිබුණේ ඔහු සාදන මෘධුකාංග ටෙස්ට් කිරීම, ඒවා ශාඛා වල ස්ථාපනය කිරීම, අදාළ සේවක මහත්ම මහත්මීන්ට අවැසි පුහුණුව ලබා දීම  වගේ කටයුතුය. එය අපූරු රාජකාරියකි.  මේ මෘදුකාංගය  ලංකාවේ ප්‍රධාන නගර වල ඇති ශාඛා වලට පමණක් රැගෙන යාමට සිදු විය. කොළඹ, නුවර, අනුරාධපුර, කුරුණෑගල, ගාල්ල, හික්කඩුව වැනි සංචාරයකයින් නිරතුරු ගැවසුණු ප්‍රදේශ වලට එය විශේෂ වුණා. ඊට අමතරව බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි ඇති  කවුන්ටර් වලටත් යාමට සිදු වුණා. ඒ කාලේ ලංකාවේ තිබුණු යුධමය වාතාවරණය නිසා ගුවන්තොටට යාම එතරම් පහසු කටයුත්තක් වුයේ නෑ. ඒ සඳහා එතෙර ගනුදෙනු ඒකකයේ ප්‍රධාන කළමනාකරුගේ ලිඛිත ඉල්ලුම් පත්‍රයක් ගුවන්තොටුපල බලධාරීන් වෙත ගෙන යා යුතුයි. කෙනෙකු මෙවැනි ස්ථාන වල රස්තියාදු වීම ප්‍රිය නොකලද, මා තුල සිටි මාධ්‍යකරුවා ඒ සඳහා තුල කිසිදු විරෝධයක් ඇති කලේ නෑ. බලා හිඳීම මගේ විනෝදාංශයක් බව මා ලියු පසුගිය සටහනකින් ඔබ දකින්නට ඇති.

ඒත් .... මං මේ කියන්න ආවේ ..... ආ..... කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම. ඒ කාලේ මම අර කලින් කිව්වා කළමනාකාර තුමා මාව එයාගේ බඩියා කර ගන්න හැදුවා. ඇත්ත වශයෙන්ම බඩියා කියන වචනය හොඳ වැඩියි. මිනිහා හරි ඒකාධිපතියා අදටත්.  කිව්වා දේ ඒ විදියටම ඕනේ. හැබැයි මම කලින් කිව්වා විතාරණ මහත්මයාටත් කිව්ව දේ ඒ විදියටම ඕනේ. මොකක්ද මේ දෙන්නාගේ වෙනස ? විතාරණ මහත්මයා සත්‍ය මත පදනම්ව තමයි කටයුතු කරන්නේ. මිනිහාගේ පංගු-බේරු, පාට-පක්ෂ, ලොකු-පොඩි බේද නෑ. වැඩ කරනවා නම්, අද ආ කෙනත්, අවුරුදු දහයක් හිටිය කෙනාටත් එකයි. අද ආ කෙනා හොඳක් කළොත්, ඒක ප්‍රසිද්ධ්යේම පසසනවා. ඒ වගේම අවුරුදු දහයක් වැඩ කරපු කෙනා වැරද්දක් කලොත් නිර්දය ලෙස පහර දෙනවා. කරපු කෙනාට ලැජ්ජාවේ ඉන්න බැරි වෙන්නම. ඒ නිසා මිනිහා එක්ක කවුරුත් වැඩ කලේ ඉතාම ප්‍රවෙසම්ව. හැබැයි ඒ වගේම ඉක්මණින් සිසිල් වෙනවා. පස්සේ තමන් රළු වුණා වැඩියි කියලා, කනස්සලු බව ප්‍රකාශ කරනවා. මට දවසක් කිව්වා "මම හරියට දැදුරු ඔය වගේ, වෙලාවකට බොහොම සැරයි, තවත් වෙලාවකට බොහොම ශාන්තයි" කියලා. දැන් අර අපි කිව්ව, ඒකාධිපතියා මිනිහා සලකන්නේ එයාට පක්ෂපාතී අයට, කන්න-බොන්න ගේන අයට, මිනිහගේ ගුණ වයන අයට. මිනිහාගේ අණක් නොතැකුවොත් ඒක මතක තියාගෙන ඉඳලා පහර දෙනවා. එක පාරක් පහර දීලා මදිනම් තව-තවත් පහර දෙනවා. අනිත් අයට තැන-නොතැන නොබලා අර කියපු කෙනා ගැන විවේචන කරනවා. මේ දෙදෙනාගෙන් කවුරුද හොඳ කියලා දැන් ඔබට පැහැදිලියි. ආ තවත් දෙයක් අර දෙවෙනියා හරි ආත්මාර්ථකාමියා. තමන්ට ලැබෙන දේ ගැන තමයි නිතරම හිතුවේ. දවසක් Y2K වෙනුවෙන් කරන ලද මෙහෙය අගයන චක්‍රලේඛණයේ තමාගේ නම නැතියි, දිගු ගෝරනාඩුවක් මේ ඒකා-අධිපතියා කළා. බැරිම තැන විතාරණ මහතා සියල්ලගේම අවධානය ඉල්ලාගෙන රෙදි ගැලවෙන දේශනාවකින් සංග්‍රහ කළා. හරි ඒක මම වෙනම වෙලාවක කියන්නම්. ඔය කියන ඒකාධිපතියා ගැන මම සටහනක් තම්බන්නම ඕනේ.

ඉතිං මේ නිලධාරියා මාව ඇබිත්තයා(ඒක තමයි හොඳම වචනේ) කර ගන්න හදන එකට විතාරණ මහතා මුල ඉඳලා විරුද්ධ වුණා. ඒ අන් කිසිවක් නිසා නොව, තරුණයෙකු වශයෙන් මාගෙන් ලබාගත හැකි සේවය ලඝු කිරීමට අර පුද්ගලයා දැරූ උත්සාහය ව්‍යර්ථ කිරීමට. එයින් මගේ අනාගතයටද සිදු විය හැකි පාඩු ඇති බව මටද වැටහී තිබුණා. මන්ද විතාරණ මහතා මා යොදවන්න උත්සාහ කලේ සම්පූර්ණ බැංකු පද්දතිය පිලිබඳ කටයුතු වලට වන අතර, එකී පුද්ගලයා උත්සාහ කලේ ඔහුගේ පද්දතියේ මා හිර කර තැබීමටය. එයින් මට අවැඩක් මිස යහපතක් සිදු වන්නේ නැත. මාස ගණනකට පමණක් වැඩ කිරීමට සිදු වන එම පද්දතියේ කටයුතු නීරස බව මට සතියකින් පමණ වැටහිණි. ඔහු මා ඒ සඳහා වෙන් කර තබා ගැනීමට ගත් උත්සාහය විතාරණ මහතා හඳුන්වා දෙනු ලැබුවේ "කඳවුරු ඇතුලේ කඳවුරු බැඳීම" ලෙසය. එය පැවසු දිනයේදී එය හුදු විහිළුවක් ලෙස පෙනුනද, ඔහු එසේ පැවසුවේ ගැඹුරු අර්ථයකින් බව මට අද වඩාත් පැහැදිළි වේ.

මේ කතාව මගේ මනසට ආවේ වර්තමානයේ සමාජය තුල සිදු වන විවිධ කණ්ඩායම් ගොණු වීම් පිලිබඳ අසන්නට ලැබෙන විටයි. මේ ක.ක.බැ. වැඩිමනත්ම සිදු වන්නේ දේශපාලනය තුලයි. එය අපට වඩාත් ඉස්මතුව පෙනෙන්නේ ඒ පිලිබඳ ජනතාව දක්වන උනන්දුව සහ මාධ්‍ය ආවරණය නිසාය. මෙසේ ක.ක.බෑ නොවුණු කිසිදු පක්ෂයක් වර්තමානයේ දකින්නට නැත. ඒ පිලිබඳ මා උදාහරණ සපයන්නටද උත්සුක වන්නේද නැත. නමුත් එක්තරා විදියකින් සමිති, සමාජ, සංගම් ආදී වශයෙන් නා-නාවිධ සංවිධාන හතු පිපෙන්නා සේ ඇති වේ. බොහෝ ඒවාට ආයුෂ අඩුය. නමුත් හොඳ ජන පදනමක් ඇති ඒවා ඉදිරියට ගමන් ගනී. යහපත් අරමුණු වෙනුවෙන් ඇති වන්නාවූ සංවිධාන තුල වුවද මේ කියන කඳවුරු බැඳීම සිදු වෙයි. අද සමාජය තුල මෙසේ ඇතිවන කණ්ඩායම් වැඩියක් උපන් ගම් ප්‍රදේශ සහ අධ්‍යාපනය ලැබූ පාසල් අනුව ගොණු වේ. උදාහරණයකට, අපි දකුණේ, අපි නුවර, අපි කුරුණෑගල, අපි රත්නපුරේ, අපි මහින්දෙ, අපි සීවලී වාගේ නම් වලින් වේ. මෙසේ කණ්ඩායම් ගැසීම ගම පදනම් කරගෙන බොහෝ විට සිදු වේ. තවමත් බිහි නොවූ ඒවා වන්නේ ගාලු පාරේ අපි, හයිලෙවල් පාරේ අපි, නුවර පාරේ අපි වාගේ ඒවාය. ඉදිරියේදී එවැනි ඒවා බිහි වුවද එය පුදුමයට කරුණක් නොවේ. මෙල්බර්න් නගරයේ පවා අපේ අය විවිධ කණ්ඩායම් සිය ගණනක් ගොඩ නගාගෙන ඇති බව අසන්නට ලැබුණි.

 අද මේවා වඩ-වඩාත් සිදු වන්නේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය. යහපත් දෙයක් දකිණු රිසියෙන් උදේ පාන්දර ෆේස්බුක් සමාජ ජාලයට ගොඩ වන අපට දකින්නට ලැබෙන්නේ, සිත් තැවුල්, සිත් රිදවීම්, පලිගැනීම්, අවලාද, මඩ, චෝදනා, ගර්ජනා ආදී නරක අතමය. ඉඳ-හිට හොඳ වීඩියෝවක්/ෆොටෝවක් දකින්නට ලැබේ. එය එසේ වුවාට කම් නැත කියා සිතෙන්නේ සංග සමාජය තුලද විවිධ හැල-හැප්පීම් දකින විටය. ඒ සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල සත්ධර්මයට විවිධ අර්ථකතන සපයන්නට යාමෙන් හෝ වත්කම් ප්‍රශ්න නිසාය. "ඕනෑම ගැටුමක් ඇති තැනක කෙලවර කාන්තාවක් ඇත යන්න" අපේ පැරණි කියමන බොරුවක් බව වර්තමානය විසින් ඔප්පු කර හමාරය. අද කාන්තාව චීත්ත නොඅඳින පරිසරයක සමහර පිරිමින් චීත්ත ඇඳ ඇතැයි නිතර අසන්නට ලැබේ.

වරක් සිංහල බ්ලොග් අවකාශයේද මෙවැනි කඳවුරු දෙකක් ඇති විය. නමුත් එවර සිදු වුයේ කඳවුර තුල කඳවුරු බැඳීමක්ද යන්න මට අදටත් ගැටලුවකි. එහි සිදු වූයේ පැරැන්නන් පිරිස අලුතෙන් එක් වුවන් ප්‍රතික්ෂේප කිරීමය. මාද බ්ලොග් ලියන්නට පිවිසි සමයේදී එක් වූ පිරිසට පැරණි පිරිස බ්ලොග් අඩවි වල කමෙන්ට් මගීන් සහ ඔවුන් එක් වී සාදාගත් බ්ලොග් අඩවියක් මගින් පහර දෙන ලදී. ඒවායේ විශේෂය ඇනොනිමස් වශයෙන් පැමිණ වාද-විවාද වල පැටලීමයි. මේවා පුද්ගලික මඩ ප්‍රහාර දක්වා දීර්ඝ විය. "කබ්බන්" ලෙස එදා නමු වූ අපට ඔවුන් පහර දුන් තරමටම අපේ අයද ප්‍රති ප්‍රහාර එල්ල කරන ලදී. මා මෙහිදී අප යනුවෙන් හඳුවන්නට කැමති නැති වුවද, ඔවුන් කිසි සේත් අප "ටොයියන්" ලෙස නොසලකන විට අප නිකම්ම කබ්බන් ලෙස නම් විය. නමුත් මේ අතර වාරයේ සංවිධානය වන බ්ලොග් ගෙට් සහ අවුරුදු උත්සව වලදී අප සමග ඉතා කුළුපගව මේ කටයුතු කරගෙන යන්නට ඔවුන් වග බලා ගත්හ. නමුත් තිරය පිටුපසදී අපට නිර්දය ලෙස පහරදීම් වලට අමතරව මේ ගෙට් සහ උත්සව වලට සහභාගී වුවහොත් පහර දෙන්නෙමු යන තර්ජනද ඉදිරිපත් විය. නමුත් ඒ අතර අප සමග ඉතා කුළුපගව කටයුතු කල නිහතමානී පැරැන්නන් පිරිසක්ද විය. පසුව "බ්ලොග් ලියන කබ්බෝ" නමින් ෆේස්බුක් සමූහයක්ද ඇරඹිණි.

පසුව අප තේරුම් ගත්තේ බ්ලොග් කරුවන් යන ලේබලය යටතේ සිටින, බ්ලොග් කෙරුවාවෙන් පරිනත නැති පිරිස මෙම පහරදෙන කණ්ඩාමේ සිටින බවයි. එකල ජනප්‍රියම බ්ලොග් කරුවන් අපගේ ආගමනය අස්වැසිල්ලක් කරගත් බව පැහැදිලිය. නමුත් අදට වඩා බොහෝ කියවන්නන් පිරිසක් එකල සිටි බව මගේ විශ්වාසයයි. ඔවුන් බ්ලොග් වලින් ඈත් කරවුයේ මේ කඳවුරු ප්‍රශ්නයද යන්න අප සියළු දෙනා අපගෙන්ම අසා ගත යුතු පැනයයි. එදා-මෙදාතුර සියලුම බ්ලොග් කියවමින්, කලාතුරකින් කමෙන්ට් කරන දෙදෙනෙකු මගේ කාර්යාල සගයන් වේ. ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව වැඩියෙන් ප්‍රහාරයට ලක් වුයේ අප අතර සිටි හොඳින්ම හිට්ස් ලැබෙන්නන් බවය. මේ ප්‍රශ්න කාලයත් සමග තුනී වී ගිය අතර, අළු යට ගින්දර තිබේදෝයි මම නොදනිමි. අද ඔවුන්ද, අපද බ්ලොග් කෙරුවාව නොකෙරෙන තරම්ම අකර්මණ්‍ය වී ඇත. ඔවුන් යලි ක්‍රියාත්මක කරවා ගන්නට පහුගිය කාලයේ "බ්ලොග් වසන්තය" නමින් උත්සාහයක් ඇති වුවද ? ඒවා බීරි අලින්ට වීණා ගැයීමක්ම විය. අප මෙසේ වැටි වැටි හෝ දුවන්නට උත්සාහ ගන්නේ ඔවුන්ට සිදු වූ දෙයම අපටත් සිදු වේය යන බිය නිසාය. ඔවුන් නැවතත් සක්‍රීය වනවානම් මා පුද්ගලිකව කැමතිය. මන්ද බොහෝ අය මතය සමග ගැටුනද, ඒවා පුද්ගලික කර ගන්නට නොගියේය. හමු වූ විටෙක කා-බී ප්‍රීති වන්නට ඔවුන්ද අපද වග බලා ගතිමු. 

Sunday, January 3, 2016

කෙටිම කෙටි ලොල් කතා අංක 39 : මාරුව ...... Transfer ......

නිශාන්ත රජයේ සේවකයෙක්. දන්නවනේ රජයේ සේවකයින්ට තියෙන ලොකුම ගැටළුවක් තමයි ස්ථාන මාරු. සමහරුන්ට කැමති-කැමති විදියට ස්ථාන මාරු කර ගන්න පුළුවන් වුණත්, තවත් සමහරෙකුට ජීවිතේ එපා වෙන ගාණට තිත්ත වෙන වැඩක් මේක. ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙච්ච අපේ ඩූඩ්ට වෙච්ච අලකලංචිය කට්ටිය කියවන්න ඇතිනේ. මේ මෑතක ගියේ පොස්ට් එක. දෑසට කඳුළු නංවන කතාවක්. 

මේ නිශාන්තත් හරිම කරුමක්කාරයයෙක්. මොකද මිනිහට නිතරම මාරු එනවා. ගහෙන් ගෙඩි එන්න වගේ. මිනිහට මේකට හොඳටම මළ-පැනලා ඉන්නේ මේ වැඩේට. උපන්නේ එක පළාතක. ගෙවල් හැදුවේ තවත් පළාතක. මිනිහට එන මාරු නිසාම අඹු දරුවනුත් මේ පස්සෙන් යන-යන තැනට යනවා. නිශාන්තගේ බිරිඳට මේ වැඩේට හොඳටම තද වෙලා එක පාරක් කිව්වලු "අර ගමේ තියෙන කුඹුරු කරගෙන ඉන්න යමු. මේ ළමයි ගමේ ඉස්කෝලෙට දාගෙන" කියලා. මේ වැඩෙන් මේ ළමයි දෙන්නගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙනවා. අහන්න දෙයක් නෑනේ. මේ වාරේ එක ඉස්කෝලෙක, අනික් වාරේ තවත් ඉස්කෝලෙක.

අන්තිමට පත්වෙලා ආපු කාර්යාලේ පියන්, නිශාන්තත් එක්ක බොහොම කුළුපග වුණා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි දෙන්නා එක්ක ප්ලේන්ටියක් බීලා, සිගරට් එකක් ගහන්න නිතර එලියට යන නිසා. එළියේදී දෙන්නා එක සිගරට් එක නොගත්තත්, කාර්යාලය පිටිපස්සෙදී, නැත්නත් හවසට පොඩි සෙට් වීමක් තිබුණොත් දෙන්නා එක සිගරට් එකත් බෙදාගෙන අදිනවා. 

දවසක් උදේ පාන්දර, වැඩට එනකොටම පියන් ගොයියා මූණ ටිකක් අමුතු කරගෙන, ලියුම් කරදහියක් අතේ තියාගෙන නිශාන්ත ඉන්න දිහාවට එනවලු. 

"අනේ නිශාන්ත මහත්තයා ඕවා ගණන් ගන්න එපා" කියලා මිනිහා අතේ ලියුම තිබ්බලු. බලනකොට ඒ තමන්ගේ රාජකාරි ජීවිතේ 28 වෙනි ස්ථාන මාරුව සම්බන්ධ ලියුම.

නිශාන්තට මේවා ඒ තරම් අමුතු දේවල් නෙවෙයි. ටිකක් රැඩිකල් මිනිහා මේ වගේ මාරුවක් ආවම ටිකක් සද්දෙන් කෑ ගහනවා. එහෙම දවසක් දෙකක් ඉඳලා මිනිහා හිත හදා ගන්නවා. හැබැයි බොහෝ තැන්වල මිනිහට මාරුව ලැබෙන්නේ කළමනාකාර තුමාගේ කුමන්ත්‍රණයක් නිසා. බලාගෙන යනකොට මිනිහා කවදත් සාමාන්‍ය සේවකයාගේ පැත්තේ ඉන්න කෙනෙක්. ඒ නිසා මුළින් කුළුපග වුණත්, ටිකක් දවස් යනකොට මැනේජර් මහත්තුරුන්ට වහ-කදුරු වෙනවා. අවුරුදු 25ක සේවා කාලෙට මාරු 28ක් කිව්වම. හරියට බලාගෙන ගියොත්, එක තැනක අවුරුද්ද්දක් වැඩ කරලා නෑ. දුෂ්කර සෙව්වෙත් කාලසීමාව ස්ථාන හත අතකට කඩලා තමයි ගත කරලා තියෙන්නේ.

දවසක් නිශාන්ත සෙට් වුණ වෙලාවක බොහොම කණගාටුවෙන් මේ කතාව කියලා තියෙනවා. ඒ නිසා  තමයි පියන් කොලුවටත් මේ ගැන දුක. මේ පියන් කොලුවා ටිකක් විතර මෝඩ පහේ කෙනෙක්. එහෙමත් තැනක තමයි ඉතිං නුවණක්කාර පියන්ලා ඉන්නේ. දැන් නිශාන්තගේ හිත සනසවන්න මෙහෙම කියනවාලු.

"අනේ නිශාන්ත මහත්තයෝ ඕවා ගණන් ගන්න එපා. අපිට මොනවද මාරුවක් එනවා කියන්නේ. රජ කාලේ රජ වරුන්ටත් මාරු ආපු එකේ"
මේ හතරබීරි කතාව අහලා නිශාන්තට මද සිනහවක් පහළ වෙලා. මොකද පියන් කොල්ලා හිටි ගමන් මේ වගේ වයර් මාරු කරගෙන ආතල් සපයන නිසා.
"මොකක්ද ධර්මේ ඒ කතාවේ තේරුම ? මොන රජ්ජුරුවන්ටද මාරුවක් ඇවිල්ලා තියෙන්නේ."
කොල්ලව අන්දන හිතින් හිනාව මැඩගෙන නිශාන්ත අහලා තියෙනවා.
"නිකං රජෙක් නම්  මොකද? රාවණ රජ්ජුරුවෝ. රාවණ රජ්ජුරුවෝ. උන්නාන්සේටත් මාරු එවුවනම්, අපිට මොන කතාද ?"
නැව-ගිලුනත් බෑන්-චූන් කියලා හිතා ගත්ත නිශාන්තත්, තව ටිකක් කොල්ලව ගහේ නග්ගන්න පුලුවන් බව තේරිලා මෙහෙම ඇහුවලු.

"මගේ ජීවිතේට අහපු නැති කතාවක්. කවදද බන් රාවණා රජ්ජුරුවොන්ට මාරු ආවේ. ඔන්න සීතා දේවිට නම් ඉන්දියාවේ ඉඳලා ලංකාවට මාරුවක් ආවා කීවැකි. අපි කියවපු ඉතිහාස පොත නෙවෙයිද උඹ කියෙව්වේ?"
පියන් කොල්ලා අන්තිමට මෙහෙම කිව්වලු

"අපිනම් දන්නේ නෑ. ගුවන් විදුලි සංස්ථාව ඉතිං බොරු කියන එකක් යැයි. අද උදේ මම බස් එකේ එනකොට තමයි සින්දුවකින්ම ගියේ"
"මොකක්ද බං සිංදුව". එහෙම ඇහුවේ නිශාන්ත

"රාවාණා රජු මාරුව දැකලා....."

ඔන්න අහලා නැති කට්ටිය ඉන්නවා නම් පහලින් තියෙනවා සිංදුව.


 

Friday, January 1, 2016

හතර ...... Four ......

හතර කිව්වම කෙනෙකුට මුළින්ම සිහියට එන්නේ සිව්පාවුන්ය. සොබාදහම විසින් ඔවුන්ව කකුල් තුනකින් නිර්මාණය නොකරන ලද්දේද, කකුල් තුනකින් කනප්පුවක් මිස පුටුවක් තැනීම නොකළේද, එකම හේතුවක් නිසාය. ඒ බැලන්ස් නැතුව ගොස වැටීමේ ඉඩකඩ ඇති නිසාය. නමුත් බෞද්ද කෙනෙකුට හතර කී විට සිහියට එන බොහෝ දේ ඇත. ඒ සතර අගති, සතර බ්‍රහ්ම විහරණ, සතර සතිපට්ඨානය,  සතර වරම් දෙවිවරු වැනි දේය. මාර්ගයක නම් හතරමං හන්දිය හෝ සිවුමංසල වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ හතරේ පහර අමතක කළ නොහැක්කකි. රජයේ සේවකයෙකුට හතරේ කණිසම අමතක කළ නොහැකිම දෙයකි. හතරැස් කොටුව බෞද්ධ සංස්කෘතියේ එන තවත් වදනකි. කැරම් බෝඩ් එකක වළවල් හතරක් ඇත. සමහර වාහන වල රෝද හතරම දාවනයට යොදා ගත හැක. ඒවා ෆෝ වීල් ඩ්‍රයිව් වශයෙන් හඳුන්වයි. දෙදෙනෙකු විසින් කරන රහස් සාකච්චාවක් හතරකන්මන්ත්‍රණය ලෙස හඳුන්වයි. මේසයක හතර කෙලවරකි. මිනිසා විසින් නිර්මාණය කරන බොහෝ දේ හතරැස්ය. නොකියා දුරකථන සමාගම මේ හතරැස් කමට විරුද්ධව ගොස් කෙලවර රවුම් දුරකථන නිපදවූ බව මගේ මතකයි. අධික අවුරද්දක අග ඉලක්කම් දෙක ඉතිරි නැතිව හතරෙන් බෙදේ. 

මට අමතක වූ තවත් හතරේ අංකයට අයත් තවත් බොහෝ දේ වෙයි. ඒවා මෙහි පැමිණෙන ඔබගේ කමෙන්ට් සඳහා ඉතිරි කර තබමි. මට අමතක වනන්නට ගොසින් අහම්බෙන් මතක් වූ හතර වන්නේ, මේ බ්ලොග් අඩවියේ වයසයි. අදට මේ බ්ලොග් අඩවිය ආරම්භ කර හරියටම අවුරුදු හතරකි. එය මෙතෙක් කල් ඇදගෙන ආවේ මෙහි පැමිණෙන ඔබගේ ධෛර්යය නිසාය. පහ වසර තුළවත් හොඳින් බ්ලොග් සටහන් තබන්නට කාළය කාරුණික වේවායි මම පතමි. මෙහි පැමිණි ඔබ සැමට සුබ නව වසරක් පතමි. 

කෙළවර රවුම් කල නොකියා ලොසින්ජනරයකින් සප්පායම් වන ලෙස මෙහි පැමිණි ඔබගෙන් ඉල්ලා සිටිමි. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...