Sunday, April 26, 2015

ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ...... I can't my son

රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්. දන්නවනේ ගම් වල ඉන්න අපේ දෙමව්පියන් ගෙන්දගම් පොළවේ පය ගහන්න අකමැති බව. අම්මා ඉන්න එක මේ පවුලට විශාල සවියක් වුණ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගෘහ සේවිකාවක් හිටියත් තමන් නිවසේ නැති වෙලාවට හැම දෙයක්ම බලා කියා ගත්තේ මේ මව. සාමන්‍යයෙන් නැන්දම්මා - ලේලි ප්‍රශ්න තිබුනත්, මේ බිරිද ඉතාම ආදරයෙන් තමන්ගේ නැන්දම්මාට සැලකුවා. ඒ නිසා මේ දෙදෙනා, එකිනෙකාට ගරුත්වයෙන් සලකන ඉතාම ආදර්ශවත් දෙදෙනෙක් වුණා. බොහෝ දෙනා ඒ ගැන කථා වුණා. 

මේ පවුල ඉතාම සතුටින් තමයි කාලය ගත කළේ. ඒත් මේ යට පොඩි ප්‍රශනයක් තිබුණා. ඒ නිවාස ප්‍රශ්නේ. මේකෙදී අම්මා සහ පුතා හිටියේ දෙපැත්තක. අම්මට උවමනා වුණේ ටිකක් ලොකු ඉඩමක මැද්දට වෙන්න හදපු තනි තට්ට්ටුවේ නිවසක්. ඒත් පුතා සහ බිරිඳ එදිනෙදා ජීවිතයේ පහසුව ගැන හිතුවා. එයාලා කැමති තට්ටු නිවාසෙකට. නමුත් එයාලගේ අම්මා නිතරම කියන කතාවක් තමයි.
"බලන්න පුතේ මේ ගෙදර කෙනෙක් කැස්සත්, අල්ලපු ගෙදර ඇහෙනවා, කතා කරන දෙයක් වුනත් ඇහෙන්න බැරි නෑ. ඒ වගේද ඉඩමක් අරගෙන ගෙයක් හදා ගත්තම"
"ඒ වුණාට අම්මේ, ඒවා වියදම් යන කරදර වැඩ"

පුතා එහෙම කිව්වම අම්මා නිහඬ වුණා. මොකද ගමේ ඉඩම් කඩම් විකුණලා ළමයින්ට උදව් කරන්න තිබුණ අකමැත්තට වඩා ඇයට තිබුණේ, පරම්පරා දේපල විකුණන්න තියෙන අකමැත්ත. නමුත් මේ යුවල ඉතා ධෛර්යසම්පන්නයි. කොහොම හරි මුදල් එකතු කරලා. බැංකු ණයකුත් අරගෙන අලුතෙන් කොළඹ ඉදි වෙන තට්ටු නිවාස සංකීර්ණයක කොටසක් වෙන් කර ගත්තා. පුතාට මේක අම්මා එක්ක කියනකම් සතුටක් නෑ. ඔහුගේ බිරිඳට මෙය අලුත් පුවතක් නෙවෙයි. දෙදෙනාම එකතු වෙලා තමයි මේ එපාර්ට්මන්ට් එකට සල්ලි බැන්දේ. ගෙදර ආව ගමන් පුතා අතේ තිබුණ ලොකු සඟරාවේ තිබුණ පින්තූරය අම්මට පෙන්නුවා. 

"අම්මේ අපි මෙන්න මේකෙන් තමයි අලුත් එපාර්ට්මන්ට් එක ගත්තේ. අපි ටිකක් වැඩියෙන් ගෙවලා මෙන්න මේ කෑල්ලෙන් තමයි ගත්තේ"
තම පුත්‍රයාගේ දබරැඟිල්ල යොමු වූ තැනට තම උපැස් යුවල හරහා දෑස් යොමු කල මවගේ නළල් තලය රැලි ගන්වමින් සිහින් දාඩිය බින්දු කිහිපයක් මතු වුණා.

"ඇයි පුතේ වැඩිපුර ගෙවලා මේ කෑල්ලෙන් ගත්තේ. අනිත් පැත්තෙන් ගන්න තිබුණානේ. මම නම් මේ ගෙදරට එන්නේ නෑ. මේ නහින - දෙහින කාලේ ඉන්න මට ඔය ගෙවල් වල සර්කස් පෙන්නන්න තරම් හයියක් නෑ. පුතාල එහෙ යන්න මම ගමේ යන්නම්"
"මම දන්නවා අම්මා එපාට්මන්ට් වලට අකමැති බව. මේවා හොදට සැලසුම් කරලා හදන ඒවා. මේ ගෙවල් වලින් සද්දේ එහා-මෙහා යන්නේ නෑ"
ඇයි අම්මේ මේක කොයි තරම් ලස්සන තැනක්ද ? ගෙදර බැල්කනියට ආවම පේන්නේ බේරේ වැව, ගංගාරාම පන්සල, වික්ටෝරියා පාක් එක.
එහෙම කිව්වේ අපේ මිතුරාගේ බිරිඳ.
"ඒකනම් කමක් නෑ. සද්දේ අඩුවෙන් කථා කළා කියමුකෝ.  දැන් ඔය ගෙදර හිටගන්න වෙන්නේ ඇදේට, ඇවිදින්න වෙන්නේ ඇදේට, නිදා ගන්න වෙන්නේ ඇදේට ඔය ඔක්කොමත් හරි වැසිකිලියට යන්න වෙන්නෙත් ඇදේට. මේවා ගන්න කලින් පොඩ්ඩක් හිතුවේ නැද්ද ? මේ පොඩි එවුන් හැම තිස්සෙම වැටෙයි. ලිපේ තියෙන කෑම බිමට වැටෙයි"

එතකොට තමයි අපේ මිත්‍රයාට කාරණේ වැටහුණේ. සැනසුම් සුසුමක් හෙළන ගමන් ඇති වුණ මද සිනාවත් සමග බිරිදගේ මුහුණ දිහා බැලුවා. ඇයත් සමාන සිනහවකින් මුව පුරවාගෙන. 
Alatir Colombo Apartments
පින්තූරය ගත්තේ : www.sundaytimes.lk

තවමත් මූලික අදියරේ තියෙන මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තම මේ වගේ කථා අහන්න ලැබෙන්න පුළුවන් නිසා ඔන්න මම කලින්ම ඒ ගැන සටහනක් තිවුවා.   

Wednesday, April 22, 2015

අවුරුද්දට නුවර එළියේ යන්නේ ඇයි ? ,,,,,, Why Colombo Citizen visit Nuwara Eliya in Sinhala New Year Season

මේ දවස් වල ඔෆිස් එකේ කණක් ඇහිලා ඉන්න නෑ. ඒ අපිත් එක්ක ඉන්න නෝනා නුවර එළියේ ගිහින් ඇවිත් ඒකෙ පුර වරුණාව එයාගේ ක්ලෑන් එකත් එකක් බෙදා ගන්න අපූරුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අහගෙන ඉන්න සිදු වෙලා තිබීම නිසාය. ඉස්සර නම් මටත්, මගේ සගයාටත් මේවාට ඇහුන්කන් දෙන්න අනිවාර්යයෙන් සිදු වුණා. දැන් අපි දෙදෙනාම මේ ඇත්තී සමග ඇයි-හොඳැයියක් නැති නිසා මේවා අසන්නට වෙන්නේ බලහත්කාරයෙනි. එකම දේ දහ පහළොස් වතාවක් අසන්නට සිදු වීම කරුමයකි. මෙවැනි වෙලාවකට මා කරන්නේ ඉයර්ෆෝන් කණේ ඔබා ගැනීමය. 
Nuwara Eliya Flowers Hakgala Gardens
පින්තූරය ගත්තේ : www.sundayobserver.lk

ඉස්සර රටේ බොහෝ දේවල් කොළඹ සිදු වීම නිසා, එය මහලොකු තැනක් වී තිබුණි. අපි කොළඹ යැයි මහත් ආඩම්බරයෙන් කියා ගන්නා පිරිස් අප දැක ඇත. නමුත් අද දකින්නට ඇති තත්වය වෙනස්ය.   ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලකම කොළඹ මෙන්ම එක සේ නාගරීකරණය වී පවතී. අද ලංකාවේ එක් අයෙකුට අඩුම වශෙන් ජංගම දුරකථන අංක දෙකක් ඇති බව සංගණන වාර්තා පෙන්වා දෙයි. ඩෙනිමද, ස්මාර්ට් ෆෝන් එකද, 3G ද 4G ද එකලෙස කොළඹ මෙන්ම පිට පළාත් වලද ඇත. කොළඹ අයට වඩා පොෂ් විදියට සිටින්නට උත්සාහ කරන ගම්වැසියන්ද ඉඳහිට දැකගත හැක. 

ඇත්තටම කොළඹ ඉපැදුනු අය ඕනෑවට වඩා පොෂ් නැත. පොෂ් වෙන්නට අමුතු උත්සාහයක් ගන්නේද නැත. නමුත් කොළඹට සංක්‍රමණය වූ තදාසන්න ප්‍රදේශ වල අය එය මහත් අභිරුචියකින් කරගෙන යන බව දකින්නට ඇත. ඒ ඔවුන්තුල ඇති කුමක් හෝ හීනමානයක් නිසාය. කොළඹට පිට පළාත් වලින් ආ අය, පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන් වෙනම රංචුවක ජීවත් වෙයි. ඔවුන් අවුරුදු සමරන්නේද, මරණය මගුල කරන්නේද ඔවුන්ගේ පළාතේ සනුහරය සමගය. උදාහරණයකට කොළඹට දකුණින් සංක්‍රමණය වූ අය එකට එකතු වන අතර, නුවරින් පැමිණියවුන් වෙනම එකතු වේ. 

දැන් අපේ මාතෘකාවට එමු. කොළඹ අය අවුරුද්දට නුවරඑලි යන්නේ ඇයි ? නුවර එලියට අප්‍රේල් මාසයට වසන්තය උදා වන නිසාද ? ශ්‍රී ලංකාවට ඉර මුදුන් වන මෙවැනි කාලයක, නුවර එලිය වැනි අධික ශීත දේශගුණයක් ඇති ප්‍රදේශයක මේ කාලය ගෙවා දැමීම පහසු නිසා යැයි බොහෝ දෙනෙකු සිතා ඉන්නට ඇත. නමුත් සත්‍යය එය නොවේ. අද කොළඹ බොහෝ ගෙවල්, හෝටල්, සහ සාප්පු සංකීර්ණ වායු සමනය කර ඇත. එමෙන්ම වාහන වලද වායු සමාන යන්ත්‍ර ඇත. එනිසා ප්‍රශ්නය එය නොවන බව පැහැදිලිය. නමුත් මේ කාරණය පදනම් කරගෙන එහි යන්නෝද විරල නොවේ.

මා පොෂ් වීම පිළිබඳව මුලින් කථා කලේ, මේ ගමන තමන් පොෂ් යයි සෙස්සන්ට පෙන්වන්නට අවුරුද්දට නුවර එලි යන කොටස බහුතරය බව වටහා ගැනීමට අපහසු නැති නිසාය. එසේ නොගියොත් තමන් නෝන්ඩි වන ගතියක් තිබෙන නිසා කෙසේ හෝ නුවර එළියේ බඩ ගාන්නට උත්සාහ ගන්නෝද විරල නොවේ. මේ කාලයට නුවර එළියේ කිසිදු හෝටලයක කාමරයක් සොයා ගැනීම කළුනික හොයනවා වගේ වැඩකි. සියලුම සංචාරක හොටල්ද, නිවාඩු නිකේතනද අතුරු සිතුරු නැතිව පිරී පවතී. රජයේ, සංස්ථා මණ්ඩල ආදියේ නිවාඩු නිකේතන වෙන් කරවා ගන්නට සියල්ලෝම දත කන්නේ එහි යාමට ඇති කැමැත්තට වඩා ශේප් එකයි පාරයි කර ගැනීමට පහසු නිසාය. එකී නිවාඩු නිකේතන ලබා දෙන්නේ නාමික මුදලකට වීම මේ පොරකෑමට හේතු සපයයි. අනෙක එවැනි ස්ථාන වල පහසුකම් අතින්ද කිසිම අඩුවක් නැත. ඉතිං අඩු ගණනකට මේවා වෙන් කරගත්තොත් බෝනස් එකක් වන්නේය. දැන් මෙවැනි ආයතන මේවා වෙන් කරන්නේ ලොතරැයි ක්‍රමයටය. නැතිනම් එවැනි රාජකාරි කරන අයට ලේසියෙන් තමන්ගේ රැකියාව කර ගන්නට නොහැක. මේ ක්‍රමය නොතිබුනානම් එවැනි තැන් වල ජරාව කන්නන්ද වැඩි වනු ඇත. 

සැමදා සීතලත් සමග ඔට්ටුවන නුවර එලිය වාසීන්ට අප්‍රේල් මාසයේ විශේෂත්වයක් නැත. ඔවුන් කරන්නේ තම නිවාස අවුරුදු කාලයේදී කොළඹින් එන්නන්ට බදු දී, ආසන්න ප්‍රදේශයක වෙසෙන තම ඥාතීන් වෙත හෝ දන්නා කියන තැනක නවාතැන් ගැනීමය. එමගින් ඔවුන් සැලකිය යුතු මුදලක් උපයා ගනියි. මේ තරමටම නුවර එළියේ යන්නේ ඇයිදැයි ඔබටද හිතෙන්නට ඇත. සීතලද, බලන්නට තිබෙන හක්ගල මල් වත්තද, ග්‍රෙගරි වැවද, එසේත් නැතිනම් තේ වතුද ?  නැතිනම් ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය නිසාද ? මේ කාලයට කොළඹින්ම එහි ගොස් සිටින සූරාකන කඩ සාප්පු කරුවන් නිසාද ? ගොඩක් දෙනෙකු එකතු වන තැනක ෆන් එක වැඩි නිසාද ? මේ කිසිවක් නොවේ. 

සත්‍ය කාරණය මේ වෙනකකි. නමුත් මෙය ඈත අතීතයේ සිට පැවත එන්නක් බව පැහැදිලිය. සුද්දන් රට පාළනය කල යුගය දක්වා දිවෙන පුරුද්දක් බව පැහැදිලිය. සුද්දන් කිසිම දෙයක් හේතුවක් නැතිව කළේ නැත. මේ ප්‍රශ්නයට මා නිවැදි පිළිතුර සොයා ගත්තේ රිවරිනා හෝටල් සමූහයේ සේවය කල කාලයේදීය. ඒ අවුරුද්දට එහි ආ කොළඹ වැසියන්ගෙන් කල විමසීමක ප්‍රතිඵලයක් ලෙසය. අවුරුද්දට ඩවුන් සවුත් යන්නේද, නුවර එලි යන්නේද එකම කරුණකට බව පැහැදිලි වන්නේ එදා නොව අද දිනදීය. එකල සුද්දන්ගේ සහ නගර වැසියන්ගේ ආවතේව කලේ දුර බැහැර ප්‍රදේශ වලින් මෙහි ආ දුප්පත් ගැමියන්ය. ඔවුන් අවුරුද්දට ගමේ යාම සිරිතක් මෙන්ම අනිවාර්ය අංගයක් විය. මේ කාලයේදී අතට පයට සේවකයන් තබාගෙන සිටි සුද්දන් සහ ඒ පන්නයේ ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ දෙයක් කර ගන්නට නොහැකි විය. 

සුද්දා රාජකාරියට කොළඹ සිටියද වඩා ඇලුම් කලේ සීතල නුවර එළියටය. එනිසා ලැබුණු ඉසිඹුවෙන් ඔවුන් නුවර එලියට බඩ ගාන්නට විය. ඒ නිසා ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් වැනි විනෝදය පදනම් වූ තරගාවලි ඔවුන්ම ලක ලැස්ති කර ගන්නට ඇත( එහි පසුබිම පිලිබඳ පැහැදිලි අවුබෝධයක් නැත). සුද්දන් රට හැර ගිය පසු ඉතිරි වූ ඔවුන්ගේ සමීපතමයන්ගේද, නගරයේ රාජකාරි කල අනෙක් අයගේද දින චරියාව සුද්දන්ට දෙවෙනි නොවීය. පසුකාලීනව මේ රැල්ලට සිදු වන්නට විය. කොහොමත් කොළඹ තිබෙන සියලු ආයතන, කඩ සාප්පු, සේවා සපයන ස්ථාන වල සේවකයන් පිට පළාත් වල ජනතාවය. මේ අය අවුරුදු නිවාඩුවට ගමේ ගියවිට කොළඹට ඇඳිරි නීතිය මෙන් වෙයි. මුළු නගරයම පාළු ස්වභාවයක් උසුලයි. කොළඹ වෙසෙන්නන්ගෙන් 40% දකුණේ අය බව මා කොහේ හෝ කියවා ඇත. දකුණේ අය අවුරුදු සමරන්නේ තම උපන් ගම්පියසේදීය. ඉතින් එනිසා ඒ මත යැපෙන කොළඹ පොෂ් හෝ නොපොෂ් අයට වෙනත් පලාතක් බලා යාමට සිදු වීම අරුමයක් නොවේ. අවුරුද්දට නුවර එළියේ යන්නේ එහි ඇති කෙන්ගෙඩියක් නිසා නොවන බව දැන් ඔබට පැහැදිලිය. 

තමන්ට හවුහරණක් නැති මොහොතක සිදු වූ ඇබැද්දියක්, තමන් විඳි කුමාර සැපක් සේ පාරම් බාන මිනිසුන්ට අප අනුකම්පා කල යුතුය. 

__________________________________________
අද ලෝක මිහිකත දිනයයි. අද දිනයේදී වැඩිවන උෂ්ණත්වය ගැන කථා වනු ඇත. ඒ අතින් ගත් විට මෙය කාලීන මාතෘකාවකි. 
මෙය කියවන ඔබද අවුරුද්දට නුවර එලියට යන්න ඇත. සමහරවිට දරුවන් සමග අවුරුදු නිවාඩුව ගත කරන්නට විය හැක. නමුත් මගේ විවේචනය එවැනි අය ගැන නොව රැල්ලට සහ පොයියට එහි යන්නන් ගැනය. 

Friday, April 17, 2015

වයි-ෆයි ඔබේ සෞඛ්‍යයට අවදානම්ද ?...... Is Your Health at Risk From Wi-Fi ? ......

Wi-Fi signal in wall tiles Blue and Dark Blue

අප ජීවත් වන්නේ රැහැන් රහිත තාක්‍ෂණයකින් දිවෙන යුගයකයි. අපගේ එදිනෙදා ජීවිතයේදී ජංගම දුරකථනය සහ වයි-ෆයි තාක්‍ෂණය  යොදා ගැනීම අතිශය සාමාන්‍ය දසුනක්. කොහොමනමුත්, අප වැඩි අවධානයක් යොමු නොකරන මේ රැහැන් රහිත තාක්ෂණයේ භයානකත්වයක් තිබෙන බව පෙනී යනවා.

සෞඛ්‍යමය කාරණා

දින 365හේ පැය 24 හිම, සෙල්ෆෝනය සහ වයි-ෆයි භාවිතයේ පැවතීම සමහර පුද්ගලයන්ට සෞඛ්‍ය ගැටළු සහ ප්‍රශ්න ඇති වීමට හේතු වූ බව චෝදනා කරනවා. කවුරුවත් තමන්ගේ සෙල්ෆෝනය හෝ වයි-ෆයි සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර දමන්නේ නැහැ. එනිසා අප අතිවිශාල විද්‍යුත් චුම්බක තරංග රළකට උවමනාවටත් වඩා නිරාවරණය වී සිටිනවා. 

 හිස කැක්කුම, නිදිමත නැති වීම, සිත එකඟ කර ගැනීමට නොහැකි වීම, විඩාපත් බව, කැරකිල්ල සහ අක්‍රමවත් හෘදස්පන්දයනයත් ඇතුළුව, විද්‍යුත්-චුම්බක සඳහා සංවේදී භාවය පුළුල් පරාසයක රෝග ලක්ෂණ ප්‍රමාණයකට සම්බන්ධ වනවා. මේ පිලිබඳ සිදු කෙරෙන පර්යේෂණ, තවමත් මේ රෝග ලක්ෂණයන් සඳහා විද්‍යුත්-චුම්බක තරංග හේතු වන බවටම ඔප්පු කිරීමට ඉතිරිව ඇති මුත්, ඒ සඳහා පෙර පරිස්සම් වීමේ උපාය මාර්ග ගැනීම තවමත් ඉතා වැදගත් වනවා. එය කල හැක්කේ ජංගම දුරකථන, විදුලි උපකරණ සහ රවුටර් වැනි උපකරණ සැලකියයුතු දුරකින් තැබීමෙන්. එමගින් විද්‍යුත්-චුම්බක කිරණ වලට නිරාවරණ අඩු කර ගත හැකිය.

පෙර පරිස්සම් වීමේ උපාය මාර්ග 

ජංගම දුරකථන භාවිතා කරනවිට කණේ පළඳින ස්පීකර් භාවිතාව සහ ඔබේ සිරුරට හැකිතාක් දුරකින් එය තබාගෙන සංවාදයේ යෙදීම, ඔබ නිතර ගැවසීමට හොඳටම ඉඩකඩ ඇති  ස්ථාන ආසන්නයේ රවුටර් නොතැබීම සහ විදුලි උපකරණ ඔබේ සයනයෙන් අඩුම තරමේ අඩියක් වත් ඈතින් තැබීම මෙම උපාය මාර්ග වලට ඇතුලත්. 

කරුණු

මෙම කරුණට අදාළ සෞඛ්‍ය ගැටළු කිහිපයක් ඇති බව මෑතකදී සිදුකෙරුණු ඩෙන්මාර්ක අධ්‍යනයක් පෙන්වා දෙනු ලබනවා. ඩෙන්මාර්ක සිසුන් සීඝ්‍රයෙන් වැඩෙන සලාද වර්ගයක බීජ 400ක් කොටස් දෙකකට වෙන් කර කාමර දෙකක තබනු ලැබුවා. මෙම කාණ්ඩ දෙකටම සමාන ප්‍රමාණයක සත්කාරයන් කරනු ලැබුවා. නමුත් එක් කාමරයක් අසල වයි-ෆයි රවුටර තැබුවා. දින 12කට පසුව, රවුටර ආසන්නයේ ඇති කාමරයේ ඇති බීජ  වලින් අංකුර ඇදී වැඩුනේ නෑ. නමුත් අනෙක් බීජ කොටස සාමාන්‍ය ආකාරයට වැඩුනා.

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සැලසුම් කර තිබෙනවා  විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර, සාමාන්‍ය ජංගම උපකරණ ක්‍රියාවලියක් මගින් ලබා දෙමින්, මෙම අධ්‍යනය නැවතත් සිදු කරන්න. 

මේ අතර වාරයේ, ඹබ වටා ඇති තාක්ෂණික උපකරණ වල ඇති භයානකත්වය පිලිබඳ දැනුවත් වීමට කාලය එළැඹ ඇත. ඒ සඳහා ඉදිරිපත වී මෙම දැවැන්ත ශක්ති ප්‍රභවයන්  පිලිබඳ කථිකාවක් ඇති කර ගන්න. භාවිතා නොකර අවස්ථා වල රවුටර් ක්‍රියා විරහිත  කරන්න. එම ක්‍රියාවන් දිගුකාලීනව සිදු කිරීමේ ප්‍රශංසාව ඔබටම හිමි වනු ඇත.  

තොරතුරු සහ පින්තූර මුලාශ්‍ර www.wellnessbin.com වෙතින්.

_______________________________
දැන් ඔබට මෙහි ඇති ඕනෑම කොටසක් හයිලයිට් කොට ට්විටර් සහ ෆේස්බුක් වෙබ් අඩවි වල බෙදා හරිය හැක. 

Wednesday, April 15, 2015

සුරා සොඬ සැමි වලප ......

අයස ලඟදි මා ළඟ සිටි 
යසවතිය
සසිරිබර සැපත නොම දුටු
 සිරිමතිය
නීරස කුල බොජුන් වැලඳු
රසවතිය
කටුක වැල්  යහන සැරසු
පතිවතිය

පර මල කියා මා ගැරහුකුසුමාවී
අඳ වූ මනෙත දිවසින් දුටු  නයනාවී
මූ දේවිය ලෙස මා දුටු
සීදේවී
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමිදේවී



කෑවද බීවද කොහිදෝ අදත්ගියේ
නින්දට යන තුරුම නිදහස  නසාවියේ
නුඹ නැතිදා මගෙ නිදහසඑපාවියේ
ඇයි මා දා ගියෙ මුරදේවතාවියේ



මේ අත් දනී දුන් හැටි බැට නිමක්නැතී
මේ මුව දනී දුන් නොසරුප් බැනුම්  වැසී
අනේ ගහ බැනුම් කිසිවක් හිතේනැතී
පාලුයි මගේ පැල අඳුරුයි පබාවතී



වද වද මගේම පරපුර හොඳ හිතින්දරා
ලැබ ලැබ කටුක දුක් ගිනි නැගුනු බුර   බුරා
විඳ විඳ  අපා දුක් මට සැපත දුන් සරා
අභිනික්මන් කලේ ඇයි මගෙයසෝදරා

මෙම කවිපෙළ මාගේ නිර්මාණයක් නොවේ. රචකයාද අඥාත මෙය මගේ සොයුරියට ලබා දී තිබුණේ ඇගේ නිවසේ මියුරල් වැඩක් කරන්න ආ පුද්ගලයෙකි. සහකාර ඉංජිනේරුවකු වශයෙන් සේවය කර පසුව නිර්මාණකරණයේ යෙදෙන ඔහුද දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙකු බව දැනගන්නට ලැබුණි. ඔහුගේ නිර්මාණය පසුව රසවිඳිමු. 


Sunday, April 12, 2015

පිරිමින්ට පමණයි කිව්වට වැදගත් වෙන්නේ කාන්තාවන්ට ...... Important for Ladies but Gentlemen only ......

මාතෘකාව බැලුවම මොකක්ද මම මේ කියන්න යන හරුපේ කියලා අපේ කාන්තා වගේම පිරිමි පාර්ශවේ අයටත් හිතෙන්න පුළුවන්. ඇයි දෙයියනේ මේ අවුරුදු කටේ මේ වගේ හරුපයක් කිව්වම මඥ්ඥකොරොස් වෙන්නේ නැද්ද ? මේ දවස් වල ලංකාවට ඉර මුදුන් වෙලා නිසා ඔලුව කුරවල් වෙලා කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. සිංහල අලුත් අවුරුද්ද කිව්වම කොහෝ නාදය, අවුරුදු ක්‍රීඩා, රසකැවිලි වගේම වැදගත් දෙයක් තමයි අලුත් ඇඳුම්. මේ සටහන අලුත් නැතත් පරණ ඇඳුම් පිළිවෙලකට තබා ගන්න වැදගත් වෙනවා කියලා කියන්න පුළුවන්. 

ඇඳුම් කිව්වම ඉතින් ඕනෙම කෙනෙකුට මතක් වෙන්නේ ෂර්ට්, කලිසම්, සරම්, ගවුම්, සාරි හැට්ට්ට වුණත්. වැඩට යන, ක්‍රීඩා කරන, පුරුෂ පාර්ශවයට ඉතා වැදගත් ඇඳුම් කොටසක් තමයි මේස් නැත්නම් සිංහලෙන්ම කියනවා නම් සොක්ස් (හරි හරි නෑ කිව්වේ නා යටිතල පහසුකම් .... ඒවත් ඇඳුම් තමයි. හැබැයි මෙතනට අදාළ නැති නිසා ඒ ගැන දොඩවන්න යන්නේ නෑ. ඇරත් ඉතිං ඒවා ගැන කථා කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා නේ. දැන් බ්ලොග් වසන්තයා නිදියගෙන හිටිය අමු වැඩ්ඩෝ ටිකක් අවුස්සගෙන ඉන්න හින්දා මොන මොනවා ලියවෙයිද කියලා කියන්න බෑ. අප්පට සිරි තවම වරහන් ඇතුලේ නේද යන්නේ. කෝ ඉන්න මං වහලා දාන්නනම්). ඕං වැහුවා. 

හරි මම මොනවද මේස මේස් (දෙමළ නයන්නාගේ පෙන්වීම අනුව නිවැරදි කරන ලදේ)වලින් දාන්න යන සෙල්ලම. අන්තිමට බලන්නකෝ. මොනවා වුනත් මම නොමිලේම මගේ මේස් දාලා තියෙන පෙට්ටි දෙක පෙන්වනවා ඔයාලට නොමිලේම. නයා පාරක් කියලා හිතන්න එපා. අන්තිම වෙනකම් බලන්න. මේ තියෙන්නේ බඩු. 

උදේට හරි කරදරේ. අපේ ගෙදර ඉන්න අයිල් මැතිනිය තමයි මේ රාජකාරිය කරන්නේ. වැඩේ තියෙන්නේ උන්දා ගහන ගැට නිසා පෙට්ටි දෙකක් පුරාවට මේවා පුරවලා තියෙන්න වෙලා. එක පෙට්ටියක දැම්මොත් උදේට එකටත් විනාඩියක් විතර අපතේ යනවා. හැබැයි අපි දකින්න යන මේ වැඩෙන් වෙලාවත් ඉඩත් ඉතිරි වෙනවා. මොකටෙයි මම අටුවා ටීකා ලියන්නේ ඔන්න වචන දහසක් වටින ජේ.පී.ජී. පින්තූර නෙවෙයි ඒ වගේ තුන් ගුණයක් ඒ කියන්නේ වචන තුන්දහසක් වටින ජී.අයි.එෆ්. වලින්ම. අන්තිමට තියෙන වීඩියෝව කැමති නම් බලන්න. තාම හැම තැනම ෆ්‍රී වයිෆයි නෑ තමයි. 

මේ තියෙන්නේ සෙල්ලම චීන්නු හැම දේකටම මොනවා හරි කෙටි ක්‍රමයක් හොයා ගන්නවා. මුලින්ම තියෙන තනි රූපෙන් වැඩේ අල්ලා ගත්ත අය කෙලින්ම යටට ගිහිං මගේ සොක්ස් පෙට්ටි වලට මොනවද වුනේ කියලා බලාගෙන ඩේටා ඉතිරි වෙලා තියෙනවා නම් වීඩියෝ එකත් බලන්න. 


පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
මුලිම්ම මේම නමා ගන්න

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/

 ඊට පස්සේ මේම නමා ගන්න(නමා ගන්න කිව්වම අපේ ගල් බලකායේ මහත්තුරුන්ට මතක් වෙනව ඇත්තේ වෙන දෙයක්)

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 ඊට පස්සේ මේම නමන්න. අරිම ලේසියි අනේ. පේනවා නේ නෝනලා නමන්නේ. නෝනලා ....

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 දැන් ඔන්න මුල ඉඳලා නමන ඇටි බලා ගන්න. අපි තාම බැඳලා නෑ කිව්වා. හා එහෙනම් බැන්දට පස්සේ බලන එකයි ඇත්තේ.
පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
 ඕං පේනවා නේද රිසාල්ස් එක. ඉඩ ඉතුරුයි. වෙලාවත් ඉතුරුයි. හැබැයි ඔය උඩ ඉන්න උන්දෑ දිගටම එකම සොක්ස් එක නැමුවට ඔයාලා ඒම කොරාණ්ඩ යන්ට එපා. තව වැඩ තියෙනවනේ. අනිත් ඒවා නමන්න. කමක් නෑ අවුරුදු ඉන්දා මාත්තයාගේ බෝතලෙනුත් එකාක් නමා ගන්න.

පින්තූර ගත්තේ : http://www.buzzfeed.com/
තොරණේ විස්තරය ඉවරයිද නෝනාවරුනි මහත්වරුනි. නැත නැත පිංවත කලින් පෙන්වනවා කිව්වා මගේ නයි පෙට්ටිය. ඕං බලාන්ඩලා. 

මොකෝ මේ මැජික් වගේ එක පෙට්ටියක් වාලා. ඇයි අනේ නයි දාසයක්ම එක පෙට්ටියකට දැම්මට පස්සේ මොකටෙයි තව පෙට්ටියක්. ඒකෙ වෙන මොනවා හරි දාන්න බැරියැයි. හා... හා... බිත්තර බැරිනම් ඔම්ලට් හරි මගේ මොකෝ. 

ඔන්න දැන් තමයි වීඩියෝ එක. බලාගන්නකෝ මුල ඉඳන් සරල පැහැදිලිව. 
මේක දැක්ක ගමන් අපේ විචාරක මහත්තයයි, ජූඩ් නෙවෙයි ඩූඩ් කියලා සුදු මහත්තයෙක් ඉන්නවා මතක ඇතිනේ. අන්න එයයිලා පරල වෙනවා ෂුවර්. මොකද ඒ දෙන්නට මේවා පෙන්නන්න බෑ. 

එහෙනම් ලබන්නාවු සිංහල දමිල අවුරුද්දද සියලු දෙනාටම සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා. 

Monday, April 6, 2015

දිනේශාගේ බිත්තිය, බිත්ති තුනක් මැද කථාව සහ විලියම්ගේ ටෙඩ් වීඩියෝව ......

දිනේෂා මට හමු වන්නේ රිවරිනා හෝටලයේ මා සේවය කල සිව් වසරක කාලය තුළදීය. මා රිවරිනාවේ සේවයට යන්නේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පරිගණක පාඨමාලාව අවසන් කරනවාත් සමගමය. ඇය ඒ වනවිටත් එහි සේවයේ නියුතුවුව සිටියාය. මේ කතාවට දිනේෂා විශේෂ වුවත්, පිළිගැනීමේ අංශයේ සේවය කල දිනේෂලා සහ අප අතර මිතුදම තර වන්නේ දවසට දෙවරක් ලැබෙන තේ විවෙකයේදීය. රිවරිනාවේ ගිණුම් අංශය ඇත්තේ හරියටම පිළිගැනීමේ අංශයට පිටුපසිනි. එනිසා තේ විවේකයට පිළිගැනීමේ නිලධාරීන්, දුරකථන ක්‍රියාකරුවන් සහ අප එක වන්නේ අප දෙපාර්තමේන්තු දෙක යා කරන දොරටුව අසල ඇති බිත්ති තුනකින් වට වූ වර්ග අඩි 10ක පමණ කුඩා ඉඩකදීය. 

ගිණුම් අංශයේ අපට රාජකාරී අවශ්‍යතා මත හැර පුද්ගලික කථාබහ සඳහා ඉඩකඩක් නැත. අප විහිළුවක් තහළුවක් හෝ ඕපයක් දොඩවන්නේ මේ මිනිත්තු පහේ විවෙකයේදීය. එකල මා පරිගණක කාමරයක කොටු කර තැබූ බැවින්, උදේ ආහාරයෙන් පසු මේ විවේකය එනතුරු මා බලා සිටින්නේ තේ විවේකය එනතුරුය. ඉන්පසු දොළහයි පහලවට එන දිවා ආහාර විවේකය වෙනතුරුද, සවස තුනට ලැබෙන තේ විවේකය ලඟා වනතුරු මා නොඉවසිලිවන්තව බල සිටියා මතකය. මේ තේ විවේකයේදී නොයෙක් විහිලු තහළු, ඕපාදූප, අණ්ඩර දීම් සහ අවලම් විහිළුද විසි කරනු ලබයි. වරක් මා දිනේශාට කල එවැනි විහිළුවක් නිසා ඇයට සිනහව නවතා ගන්නට බැරිව  බොමින් සිටි තේ උගුර අසල බිත්තියක් ස්ප්‍රේ කළා තවමත් මතකය. 

ෆේස්බුක් වෙබ් අඩවියේ සුවිශේෂත්වය ලෙස මා දකින්නේ, යුග ගණන් ඔබට මගහැරුණු ඔබේ මිතුරන් යලි මුණගැසීමේ අවස්ථාව ඔවුන් සලසා තිබීමය. ජංගම දුරකථන පැමිණෙන්නට ප්‍රථම මෙසේ වෙන් වුවන් සියල්ල සමග ලිපි ගනුදෙනු නොකිරීම, ස්ථාවර දුරකථන සුඛෝපබෝගී සේවාවක්ව පැවති එම යුගය තුල සිදු නොවීය. ඇරත් සාමාන්‍ය ජීවිතයේදී ගැඹුරු මිත්‍රත්වයක් නොමැති අය සමග ලිපි මගින් අදහස් හුවමාරු කර ගන්නේ නැත. නමුත් අරයාට යවන ලිපියේ මෙයාවද මතක් කරන්න යන ආයාචනා බොහෝ තිබු බව මෙය කියවන  තිස්පහ ඉක්මවූ සැවොම දන්නා කරුණකි. ෆේස්බුක් වඩා වැදගත් වන්නේ මේ සියලු කල්හී පැවති මිතුරු සමාගම් මවුස් ක්ලික් කිහිපයක දුරින් තබා ගැනීමේ හැකියාවය. එලෙස දිනේශාත් මාත් නැවත මිතුදම ගොඩනගා ගන්නේ දැනට අවුරුදු කිහිපයකට උඩදීය. ඇයට මා ගැන පැහැදිලි මතකයක් නැතත්, ෆේස්බුක් මිතුරන් සේ ගත කිරීම එයට බාධාවක් නොවේ. අප දෙදෙනා අතර වැඩි චැට් ගනුදෙනුවක්ද නොවීය. 

එහෙත් මෝඩයාගේ දිනයේදී ඇගේ ෆේස්බුක් බිත්තිය නොහොත් වෝලය මත දමා තිබූ වීඩියෝව නිකම්ම නිකං එකක් නොව ටෙඩ් වීඩියෝවකි. මේ වන විට ඔබ අප සැම ටෙඩ් වීඩියෝ එකක් හෝ කිහිපයක් බලා ඇත. ටෙඩ් යනු ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානය යන වර්ගීකරණයට අයත් ආයතනයකි. රාජ්‍ය නොවන යන වචන යුගලය දුටු ගමන් අපේ සිතට එන්නේ මොකක් හෝ මර උගුලක් යන්න බව නොරහසකි. ඔවුන්ගේම වචනයෙන් කියනවනම්
ලොව තුල ප්‍රචලිත කිරීමට වටින නව අදහස් සඳහා වේදිකාවකි. 1984 දී තාක්‍ෂණය, විනෝදාස්වාදය සහ සැලසුම් වල එකතුවක් වූ සමුළුවක් ලෙස ඇරඹියද, අද විද්‍යාවේ සිට ව්‍යාපාර දක්වාත්, ටෙඩ්(TED) පුළුල් පරාසයක විහිදුනු අදහස් භාෂා 100කට වැඩි ගණනකින් ප්‍රචලිත කරන  ආයතනයකි. මේ අතර  ටෙඩ්-එක්ස්(TEDx) තමන්ගේ ජාතීන් අතර ටෙඩ් වැනි නිදහස් උළෙලවල් සංවිධානය කරන ලොව පුරා විසිරුණු සංවිධාන සඳහා උපකාර කිරීමේ අරමුණින් පවත්වාගෙන යන්නකි. 



දිනේෂා බෙදාහැර තිබු වීඩියෝව විලියම් කම්ක්වම්බා විසින් ටෙඩ් වේදිකාවේ පවත්වන ලද්දකි. මේ ඔහුගේ කතාවයි
අවුරුදු දෙකකට කලින් මා ටැන්සානියාවේ අරුෂා නගරේදී ටෙඩ් වේදිකාවට ගොඩ වුණා. එහිදී මම ඉතා කෙටියෙන් කථා කළා මගේ භාණ්ඩ නිෂ්පාදනයෙන් එකක් ගැන. ඒ මගේ ජීවිතය වෙනස් කල සරල යන්ත්‍රයක් ගැන.
 ඊට කලින් මම මලාවි රටේ තියෙන මගේ ගෙදරින් පිට ඉඳලා නෑ. ජීවිතේට කොම්පියුටරයක් පාවිච්චි කරලා නෑ. අන්තර්ජාලය  දැකලා  නෑ. එදා වේදිකාව  උඩදී  මාව වෙව්ලුවා. මගේ ඉංග්‍රීසි නැති වෙලා ගියා. මට වමනේ දාන්න හිතුණා. ජීවිතේට ඒ තරං  අසුන්ගු ගොඩක් මා වටේ ඉඳලා නෑ. (අසුන්ගු කියන්නේ) සුදු මිනිස්සු.
 එදා මම කිව්වේ නැති කතාවක් තිබුණා. හොඳයි දැන් මම ඉන්නේ හුඟාක් හොඳින්.  මම කැමති ඒ කතාව අද කියන්න.ඒ අපි   දැක්කේ මගේ පවුලේ ළමයි.මං ඇරෙන්න  හැමෝම කෙල්ලෝ. මේ මම තාත්තා එක්ක ගොඩාක් පුංචි  කාලේ. විද්‍යාවේ  ආශ්චර්ය ගැන දැන ගන්න කලින් මම දුප්පත් ගොවියන්ගේ රටේ සාමාන්‍ය ගොවියෙක්. අනිත් හැමෝම  වගේ අපිත් වැව්වේ බඩ ඉරිඟු .

එක අවුරුද්දක වාසනාව  අපිට පයින්  ගැහුවා. 2001 දී අපිට භයානක අහේනියක් ඇති වුණා. මාස පහක් ඇතුලත හැම මාලාවි ජාතිකයෙක්ම බඩගින්නේ මැරෙන්න පටන් ගත්තා.මගේ  පවුලේ  අය  දවසකට  කෑවේ  එක  කෑම  වේලයි. ඒකත්  රෑට. ඒ (න්)සිමා ගුලි තුනක් එක් කෙනෙකුට. අපේ ඇඟවල් හරහා ඒ කෑම ගියා. අපිව ක්ෂය වෙලා ගියා.
මලාවි රටේ උසස් පෙලට ගෙවන්න සිදු වෙනවා.  බඩගින්න නිසා මට පාසලෙන් පිටමං වෙන්න සිදු වුණා. මම තාත්තා දිහාත්, වියලී ගිය ගොවි බිම දිහාත් බැලුවා. ඒ මට බාර ගන්න අකමැති අනාගතය. 
උසස් පෙලට පාසල් යන්න ලැබීම ගැන මම සතුටු වුණා, අධ්‍යාපනය ලබා ගන්න ඕන දෙයක් කරන්න මම හිතා ගත්තා. මම පුස්තකාලයට ගියා. මම පොත් කියෙව්වා, විද්‍යාව විශේෂයෙන්ම පිසික්ස්. මට එච්චර හොඳට ඉංග්‍රීසි කියවන්න බෑ.  මම රූප සටහන් සහ පින්තූර වලින් ඒවා වටේ තියෙන වචන තේරුම් ගත්තා. 
තවත් පොතක් ඒ දැනුම මගේ දෑතට ගෙනාවා. හුලං මෝලකට ජලවිදුලිය දෙන්නත්, වතුර පොම්ප කරන්නත් හැකි බව තිබුණා. වතුර පොම්ප කරනවා කියන්නේ වාරිමාර්ග, ඒ වෙනකොට අපි අත්විඳපු බඩගින්නට විරුද්ධව කළහැකි සටන. මම තීරණය කළා මමත් හුලං මෝලක් හදා ගන්නවා කියලා. නමුත් මට ඕන කරන කළමනා තිබ්බේ නෑ,  මම ගියා සුන්බුන් ගොඩක් ලඟට එතැන මට ඕන දේ තිබුණා. මගේ මවත් ඇතුළුව බොහෝ දෙනෙක් කිව්වේ මට පිස්සු කියලා. 
 මට හමු වුණා ට්‍රැක්ටර් ෆෑන් එකක්, ශෝක් ඇබ්සෝබර් එකක්, පී.වී.සී. බට, බයිසිකල් රාමුවක් සහ ඩයිනමෝවක්. මම මගේ මැෂිම හැදුවා. මුලින්ම එක ලයිට් එකක්. පස්සේ ලයිට් හතරක් සුවිච් විතරක් නෙවෙයි  විදුලි සීනුවක ආකෘතියට හදපු සර්කිට්  බ්‍රේකර් එකක් එක්කම.  තවත් මැෂිමක් වතුර පොම්ප කරා.
 පෝලිං ගණන් මිනිස්සු අපේ ගේ ළඟ පෝලිමට හිටියා එයාලගේ ජංගම දුරකථනය චාජ් කර ගන්න. මට ඔවුන්ගෙන් ගැලවෙන්න බැරි වුණා. පත්තර වාර්තා කරුවනුත් ආවා, තවදුරටත් යත්දී බ්ලොග්කරුවනුත් ආවා, ඉන්පස්සේ ටෙඩ් කියලා එකකිනුත් ආවා. මම ඊට කලින් ගුවන් යානයක් දැකලා තිබුණේ නෑ. හෝටලයක නිදාගෙන තිබුණේ නෑ. ඒක නිසා අරූෂා වල වේදිකාවේදී මගේ ඉංග්‍රීසි නැති වෙලා ගියා. මම මෙහෙම දෙයක් කිව්වා "මම උත්සාහ කළා. මම හැදුවා"
 ඒ නිසා මට හැම කෙනෙකුටම, මම වගේ අප්‍රිකානුවන්ට, බඩගින්න වෙනුවෙන් තමන්ගේ හීනත් එක්ක අරගල කර දුප්පතුන්ට,  කියන්න දෙයක් තියෙනවා. දෙවිපිහිටයි. කවදාහරි ඹබ මේක අන්තර්ජාලයෙන් දකින්න පුළුවන්. මා ඔබට කියනවා, තමන් ගැන විශ්වාස කරන්න, බලාපොරොත්තු තියාගන්න. මොනවා වුණත්, අත අරින්න එපා. ස්තුතියි.   
ඇත්තටම ලෝකය අද පවතින තත්වයට පත්වෙලා තියෙන්නේ මේ වගේ උඩුගම් බලා පීනපු මිනිසුන් නිසා. තමන්ට යමක් ගැන විශ්වාසයක් තියෙනවනම්, අනෙක් අය මොනවා කිව්වත් ඒ දේ කරන්න ඕනේ. විලියම් අපිට කියා දෙන පාඩම එයයි.

මේ අපූරු වීඩියෝව ශෙයා කල මගේ මිතුරිය දිනේශාටත්, TED ආයතනයටත් මගේ ස්තුතිය. මම හිතනවා ඔබත් මං වගේ අද ඉඳලා TED වීඩියෝ පිස්සෙක් වෙයි කියලා. ඔබේ දරුවන්ටත් මේවා පෙන්වන්න. එය ඔවුන් තුල ආත්ම විශ්වාසය ඇති කරයි.


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...