Sunday, March 30, 2014

මගේ මැතිවරණ මතක - 1977 ...... My Political Election Memories - 1977

චන්දය යන වචනය මගේ කණ වැකුණේ කවරදාකදයි නිසි මතකයක් නැතත්, එය 1970 සහ 1977 අතර කාලයේ විය යුතු බව හැඟෙයි. මන්ද මේ කාලසීමාව අතරතුර එවක පැවති චන්ද ක්‍රමයට අනුව අතුරුමතිවරණ කිහිපයක් පවත්වන්නට යෙදුන බැවිණි. එසේ වතුදු සාමාන්‍ය නිවසක සිටින බාලකයෙකුට එම වදන කන නොවැකිය හැක. එහෙත් තදින් දේශපාලනයට ඇලී ගැලී සිටි මගේ පියා නිසා එසේ විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. මගේ පියාගේ දේශපාලනය ගැන යමක් මෙහි සඳහන් නොකළහොත් මෙය කියවන ඔබට මා කරන බලවත් අසාධාරණයකි. එසේ නොකලද  මෙම සටහන කියවාගෙන යත්දී ඔබට එය වැටහෙනු ඇත. මගේ පියාගේ දේශපාලනයේ තිඹිරිගෙය එක්සත් ජාතික පක්ෂයයි. හෙතෙම ඩඩ්ලි සේනානායක නමැති මහත්මා දේශාපාලනයට ප්‍රමුඛ නාමය ඇති ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන සටහනක් තබා ගිය කෘතහස්ත නායකයාගේ චන්ද වේදිකාවේ කථාවක් කිරීමට භාග්‍යය ලැබූවෙකි. එක්දහස් නවසිය පනස් ගණන් වල බන්ඩාරණායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කලවිට එහි ආරම්භක සමාජියෙකු වන්නට ලැබුණු බව ඔහු පවසන්නේ මහත් ආඩම්බරයකිනි. එදා පටන් අද දක්වා ඔහු අදහන්නේ එම දේශපාලනයයි. නමුත් ඔහුගේ දෙටු පුත්‍රයා වූ මා කලින් කලට මගේ තීරණය වෙනස් කර ඇත.

1977 චන්දයයේ ප්‍රතිඵල නිකුත් වනතුරු එය මට චමත්කාරජනක අත්දැකීම වුවේය. කිසිදින දැකනැති සැරසිලි, පෙළපාලි සහ කැන්වසින් ව්‍යාපාර  මගේ  ප්‍රීති ප්‍රමෝදයට හේතු විය. ළඟටම ගෙනැවිත් දෙන විවිධ වර්ණ වලින් මුද්‍රිත පත්‍රිකා, පෝස්ටර් එකතු කිරීම මගේ විනෝදාංශය විය. කොළ පැහැති ඒවා තනිකරම කොළ පැහැතිය. නිල් නම් නිල් පැහැති ඒවාය. රතු ඒවාද කිහිපයක් විය. එකල වර්ණ මුද්‍රණය සිදු වූයේ නැති බැව් ඉන් පැහැදිලි වේ. පෝස්ටර්ද එක් වර්ණයක් යොදාගෙන සුදු කඩදාසියේ මුද්‍රණය කර තිබුණි. අදාළ අපේක්ෂකායේ නම යටින් සඳහන් වී නොතිබුණි නම් ඒ කාගේ ඒවාද යන්න පැහැදලි නැත. නමුත් එකල ආසන මට්ටමෙන් චන්ද විමසීම සිදු වූ නිසා, එක් එක් පාටින් නියෝජනය වන්නේ කුමන අපේක්ෂකාද යන්න සියළු දෙනා පැහැදිලිව දනී. එකල නිල් පාටින් ඇති පොස්ටරයෙහි අත සලකුණ ඉතා විශාලව ඇඳ ඇත. එය ඇල්බට් කාරියවසම් මහතාගේ එකකි. එය බලා අප ප්‍රදේශයේ එජාප අධාරකරුවන් පවසන්නේ,
"කාලා-කාලා බෙල්ලත් පෙන්නේ නැති හැටි"
යනුවෙනි. කොළපාට පෝස්ටරයේ අලියා ලකුණින් තරග කලේ රූපා කරුණාතිලක මහතායි. එතුමාද කාරියවසම් උන්නැහේගේ ප්‍රමාණයට සරිලන දේහ ලක්ෂණ පෙන්නුම් කළේය. නමුත් ඒ ගැන කතා කරන්නට ළමා වයසේ පසු වූ මගේ සොයුරිය සහ මා හැරෙන්නට කිසිවෙක් නොවීය. රතු පාටින් බෙන්තර - ඇල්පිටිය ආසනයට තරග කළේ පීටර් ජයසේකර මහතායි. රතු තරුවක් ඔහුගේ කාරයේ සවි කරගෙන ගිය ආකාරය මට අද මෙන් සිහි වේ. අපගේ නිවාස අසල වාහනය නතර කොට මගේ පියා හා වචනයක් දෙකක් කථා කරන්න ඔහු අමතක කලේ නැත. 

එකල දේශපාලනය අද හා සසඳන විට ඉතා ළදරු තත්වයේ තිබුණේ යයි අද දේශපාලනය කරන කෙනෙකුගෙන් ඇසුවහොත් පවසනු ඇත. මන්ද මා කලින් විස්තර කල කුඩා අත් පත්‍රිකා, නිවෙසින් නිවසට ගොස් බෙදීම, ආසනයක එකක් පමණ වන්නට වූ රැස්වීමක්ද, ඉඳ හිට පැවැත්වෙන පෙළපාලියක් හැරුණු කොට, ඔබ අද දකින දාහකුත් එකක් වූ දේ එදා නොවීය. මේ හැම වර්ණයකම පෝස්ටර් සහ පත්‍රිකා එකතු කිරීම එකල අපගේ විනෝදාංශය විනි. එකල  මගේ හොඳම මිත්‍රයා වූ සම්පත්ද, පාසලේ හොඳම මිත්‍රයා වූ අයිවන්ද සතුව මෙවැනිම එකතුවක් විය. අප ළඟ වැඩිපුර තිබෙන පත්‍රිකා හා පෝස්ටර් හුවමාරුවද ඒ කාලයේ කදිමට සිදු විය. සමහරු ඉඳහිට මේවා හොරකම් කල අවස්ථාද ඇත. මා වැඩිපුර මනාපයක් දැක්වූයේ මේ චන්ද ලකුණු හැකිතරම් එකතු කර ගැනීමටය. අත, අලියා, තරුව, ඇස වැනි ලකුණු මා සතුව තිබූ බව තවමත් සිහිපත් වේ. 

සිරිමාවෝ මැතිනිය පැමිණෙන බෙන්තොට කහඹිලියාකන්ද හන්දියේ පැවැත්වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලියට මගේ පියා බොහෝ කැපවීමෙන් වැඩ කළේය. මේ කාලයේ නිතරම ඔහුගේ උගුර බැරැන්ඩි වී තිබුණේ අද මෙන් පහසුකම් නොවූ එදා කුඩා රැස්වීම් ඇමතීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එකල ඔහුගේ දිවග නිතර රැඳී වචන මාලාවක් වූයේ "බෙන්තර - ඉඳුරුව, පහලගම් හය" යන්නය. මට එකල මේවා ප්‍රහෙලිකාවන්ය. මගේ මවගේ නිවසට යායුතුව තිබුණේ ඉඳුරුව පසු කරමිනි. එනිසා ඉඳුරුවු වූ කලී ගමක නමක් බව මා තේරුම් ගත්තද, පහල ගම් හය යනුවෙන් සඳහන් කරන්නේ පොලොව මට්ටමට පහලින් ඇති ගම් කිහිපයක් බව මගේ වැටහීම විය. අක්කාටද එයට වඩා වැඩි දැනුමක් ඒ ගැන නොතිබුණි. ඉහත කී රැලිය සඳහා වේදිකාව තනන්ට භාවිතා කලේ අපගේ නිවසේ වහල ගසන්නට එක්රැස් කරගෙන තිබූ පොල් පරාල සහ යට ලී කිහිපකි. සිරිමාවෝ මැතිනියට මල් බොකේ එකක් දීම සඳහා එකල වයස දහයක් වූ මගේ සොයුරිය තෝරාගෙන ඇති බව දැන ගත්තේ දෙමව්පියන් කරන කථා වලට රහසින් කන් දීමෙනි. එකල වැඩිහිටියන් කථා කරන අසලක ගැවසීමට හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීම සපුරා තහනම් කටයුතුය. 

නිල් පාට මල් බොකේ එක තනන්නේ  අපේ නිවසට ආ ගිය මගේ පියාගේ හිතවෙකුගේ බිරිඳ බවත්, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව හෙට ඔහු පැමිණි විට ලබා දෙන බවත් පියා පවසනු ඇසිනි. ගුරුවරුන්ටද දේශපාලන සංවාදයක් කරන්නට අවශ්‍ය වූ විට ඔවුන් අපට පවසන්නේ කැමති චිත්‍රයක් අඳින ලෙසය. අප එවිට කරන්නේ දේශපාලන වේදිකාවක් චිත්‍රයට නැගීමයි. අප අඳින වේදිකාවට අනුව ගුරුබවතුන්ට අපගේ ගෙදර දේශපාලනය කියවීමට හැකිය. ඒ අප අඳින්නේ අපගේ දෙමාපියන්ගේ දේශපාලාන දෘෂ්ඨියට අදාල ලකුණ සහ පාටට සරිලන වේදිකා බැවිනි. අපගේ නිවසට ආසන්නව අලුත්ගම නගර පිහිටා තිබුණි. එනිසා එහි පැවැත්වූ රැස්වීමක්ද බලන්නට අපත් කැටුව, අම්මා, තාත්තා පුංචි අම්මලා කිහිප දෙනෙකුද ගමන් ගති. පයින් යන ගමන මා ඉතා ඇලුම් කල දෙයක් වූයේ ගඟ හරහා පාළම පසුකර ගමන් කරන්නට සිදු වූ නිසාය. මෙවැනි ගමනකදී අප සෙවන සෙවන සහ ආරක්‍ෂිත තැනක නවතා අපේ පියා රැස්වීමෙන් ඉදිරිපසට ගමන් කරන්නේ තමන් දන්නා කියන මිතුරන් සමග එක්වී රස්වේම නැරඹීමටය. බේරුවල ආසනය බහු-ආසනයක් වූ බැවින් එයින් ආසන දෙකක් හිමි වන බව පියා පවසා සිටි විට මා අසා සිටියේ "ආසන කියන්නේ පුටු නේද ? එතකොට ඔච්චර මහන්සි වෙලත් ඕගොල්ලොන්ට පුටු දෙකද හම්බ වෙන්නේ?" යන්නයි. එවිට මවගේ මුහුණ බලා සිනාසෙනු හැර පියා යමක් පවසන්නේ නැත. 

මල් බොකේ එකට අවශ්‍ය ලැයිස්තුව පියාගේ මිතුරා ලබා දුන් විට එය දිග හැර කියවා මද සිනහවක් මුවේ රඳවා ගත මගේ පියා මිතුරාගෙන් විමසා සිටියේ

"මල් බොකේ එක හදන්න බිත්තර හයක්ම ඕනේ වෙනවද ?"
"හා... හා.. ඕක මෙහාට දෙන්න මහත්තයා මට වැරදිලා දීලා තියෙන්නේ අපේ නෝනා කේක් එකක් හදන්න ගේන්න කියපු ලිස්ට් වෙන්න ඇති. ... ආ... මේ තියෙන්නේ හරි එක"
සවස  දෙකට පැවැත්වූ එම රැස්වීම පිලිබඳ සිහිනයක් මෙන් මතකයක් ,මගේ සිතේ ඇත. එය පවත්වා මිනිත්තු ගණනකින් ධාරනිපාත වර්ෂාවක් අද හැලුනේය. එම චන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදාපාළු වී ගියේ එම වැස්සට කාණු පිරී ඉතිරි ගලා ගිය ජාල ධාරවාන්ට අසු වූ පරඬැලා පතක් මෙනි. මගේ සොයුරිය මැතිනියට මල් බොකේ එක ලබා දෙන ඡායාරූපයක් බොහෝ කලක් අප නිවසේ තිබුණද, කාලයත් සමග ඒවා විනාෂා වී ගොසිනි. චන්ද ප්‍රතිඵල එන්නට පෙර එම අවස්ථාව ඉතා දුර්ලභ එකක් බවත්, එය සොයුරියගේ වාසනාවක් බවත් බොහෝ දෙනා පවසා සිටියෝය. නමුත් මැතිනිය දෙවන වරට අගමැති වූ පසු ඇයගේ අතින් සහතිකයක් ගන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් මට මග හැරී ගියේය. මහජන බැංකුවට එක් වූ විගස ක්‍රිකට් තරගාවලියක අවසාන තරගයට ක්‍රීඩා කිරීමට මට අවස්ථාව උදා විනි. එහි වැඩිම ලකුණු ලාභියා වීමට වාසනාවන්ත වුවත්, අවසාන තරගයට අප හා ක්‍රීඩා කල ජාතික රූපවාහිනී කණ්ඩායමේ අවසාන විකට්ටුවට ක්‍රීඩා කල උපාලි අරඹවෙල සහ සගයා, අපගේ අතටම පන්දුව ලබා දී ලකුණු තුනක් උදුරා ගැනීම නිසා අපට ශූරතාව අහිමි විය. අතට ලැබුණු පන්දුව කැලෑවට විසි කල අයට මා අදත් සිතින් දොස් තබන්නේ, එම පන්දුව රැගෙන කඩුල්ලට ආවා නම්, මා මුලින්ම ලබන්නේ ශූරතාව දිනාගත් සහතිකයක් බැවිණි. මැතිනිය අතින් එය ලබාගන්නා ඡායාරූපයක් මගේ පියාට පෙන්වූවා නම් ඔහු නගන සතුටු කඳුළු ප්‍රමාණය මට සිතා ගත හැකිය. නමුත් ඒ වනවිට මා ශාඛා පරිගණකගත කිරීම සඳහා ඇඹිලිපිටියට ගොස් සිටි නිසා, එම වර්ණ රාත්‍රියට සහභාගී වීමට නොහැකි විය. එම සහතිකය තවමත් එවකට අප ක්‍රීඩා සමාජයේ එවකට ලේකම් වරයා වූ ගයා පෙරේරා මහතා ළඟ ඇති බව දනිමි. එය අතුරු කතාවකි.

එම රැස්වීමට පැමිණි ආරියවංශ පතිරාජ කවියා අලියා විසුළුවට ලක් කර හිටිවන කවි ගායනා කලබව මට හොඳින්ම මතක තිබේ. මීට අමතරව අනගාරික ජී.අයි.ඩී. ධර්මසිරි මහතා ඇතුළු කණ්ඩායම අප නිවසට කැඳවා පාටියක් පැවැත්වීය. 

එකල අප පදිංචි වී සිටියේ අපගේ නිවසේ පිටුපසට වන්නට තිබෙන කාමර දෙකක් පමණක් සදා ගෙනය. පාරේ සිට අඩි හතළිහක් පමණ ඈතින් තිබූ එම කොටසේ ඉදිරිපස බිත්තියේ ඇල්බට් කාරියවසම් මහතාගේ පෝස්ටරයක් සහ අත ලකුණ සහිත පෝස්ටරයක් අලවා තිබුණි. මෝටර් සයිකලයෙන් පැමිණි පොලිස් නිලදරුවෙක් එය ඉවත් කරන ලෙස දන්වා සිටියත්, මගේ පියා පවසා සිටියේ පෝස්ටර් ඇලවිය නොහැක්කේ ප්‍රසිද්ධ ස්ථාන වල පමණක් බවය. නමුත් ඉන්පසු ඉතා තදින් කථා කල නිලධාරියා එය වහාම ඉවත් කරන ලෙස දන්වා සිටි විට, මගේ මව එය ගලවා දැමීය. ආණ්ඩුව විසුරුවලා නිසා එහෙම තර්ජනය කල බවද, තව ටික දිනකින් ඕවා නැතිවන බවද පැවසීය. ඉදිරියට පැමිණෙන්නේ අපට ඉතා අපල කාලයක් බව ඔහු නොදැන සිටියාද, නැතිනම් එසේ සිතන්නට අකමැති වූවාද යන්න ගැටලුවකි.

චන්දෙ ප්‍රතිඵල අහන්නේ නැන්දලාගේ ගෙදර බව මව පැවසු විට, මට එය මහත් ප්‍රහේලිකාවක් විය.

"මොනවද අහන්න තියෙන්නේ"

"ප්‍රතිඵල"

"කාගෙන්ද අහන්නේ"

"අහන්නේ රේඩියෝ එකෙන්"

"ඉතිං මේ තියෙන්නේ රේඩියෝ එකක්"

"ඒ වුණාට පුතේ, ප්‍රතිඵල යන්නේ රෑටනේ, අපිට මෙහෙ ඉන්න  බයයි"

"ඒ මොකද බය ? අනිත් දවස් වලත් ඉන්නේ"

"ඔයාට මේවා තේරෙන්නේ නෑ. ප්‍රතිඵල හොඳ නැති වුනොත් අපිට ගෙදර ඉන්න හොඳ නෑ. ජයසේන බාප්පා තමයි කිව්වේ එහෙ ඉන්න කියලා"

ඒ කාලේ මගේ වීරයා වෙලා හිටිය ජයසේන බාප්පා කියන ඕනෑම දෙයක් හරි බව මා විස්වාස කළ නිසා, එතැනින් එහාට කිසිවක් අසන්නට මා උත්සාහ කලේ නැත. ඇඳිරි වැටෙන්නට හැර  අපගේ නිවසින් මීටර් සීයක් පමණ ඈතින් ඇති නැන්දලාගේ නිවසට පයින්ම ගියේ අපගේ නිවසේ ඉදිරිපසින් නොව පිටුපස ඇති මහ ඉස්කෝල පිට්ටනිය හරහා ගොසිනි. එය ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීමක් විය. එකල මේ හැම දෙයක්ම ප්‍රශ්න කරන්නට ගොස් මා බැණුම් ඇසූ වාර අනන්තය. නැන්ද යනු මගේ පියාගේ එකම සොහොයුරියයි. ඇයට පුතුන් හතරදෙනෙක් වූහ. ඔවුන් සියළු දෙනා හැඩි දැඩි තරුණයන් විය. එනිසා අප ප්‍රදේශයේ කිසිවකු ඔවුන් සමග කලහයට නොආවේය. අප එහි යන්නට හේතු වූයේ එයම බව පසුව තේරුම් ගතිමි.

නැන්දලාගේ ගෙදර නිවසකට වඩා පොදු විනෝදාස්වාදය සඳහා වෙන්වූ තැනක් මෙන් විය. පල්ලියේ ගෙදර යනුවෙන් කවුරුත් හැඳින්වූ එම නිවසේ දහවල් කාලයේ බොහෝ දෙනාගෙන් පිරී ඉතිරි පවතී. එම නිවාස සහ ඉඩම අතීතයේදී ඕලන්ද සභාවට අයිති ස්ථානයක් විය. අප දන්නා කාලයේ සිට එහි ඕලන්ද ආකෘතියේ පල්ලියක් විය. පසුව එය ගරා වැටීමත් සමග, එහි වූ කොස් බංකු දෙකක් අපේ නිවසටද ලැබිණි. ඒවා උස්සන්නට අලි මාළු කෑ යුතු බව එකල බොහෝ දෙනාගේ මතය විය. නැන්දා විවාහ වී සිටියේ ජේමිස් නමැති ගැටහැත්තේ උපන් අතිදක්ෂ සූපවෙදියෙකු සමගය. ඔහු මුලින්ම බෙන්තොට තානායමේ සේවය කර ඇත. පසුව බෙන්තොට ජෑම් මෝල නමැති, ජෑම් නිෂ්පාදනාගාරයේ ප්‍රධාන කෝකියා(බාස්) වශයෙන් සේවය කර ඇත. එකල එංගලන්තයට ගිය වෛද්‍යවරයෙකුට මාස ගණනක් කල් තබා ගන්නට හැකිවන පරිදි ඔහු සාදා දුන් සීනි සම්බලය ගැන ඉංග්‍රීසි පත්තර වල වාර්තා තිබූ බව, මස්සිනා ගැන ඉතා ආඩම්බරයෙන් කථා කරන මගේ පියා පවසයි. ජේමිස් මාමා පෝලියෝ රෝගයට ගොදුරුව එක් පාදයක් අද්දමින් ගමන් ගන්නා අකාරය මට තවමත් සිහි වේ. ඔහුගේ ආරයට යමින් ඔහුගේ වැඩිමහල් පුතා වූ ජයතිස්ස අයියා, පියසිරි අයියා සහ විජේසේන අයියා සූප ශාස්ත්‍රයට යොමුව සංචාරක හෝටල් වල සේවය කළහ. මින් පියසිරි අයියා පිළිබඳව මෑතකදී මාධ්‍ය කථා කරන්නට පටන් ගෙන තිබුණි. ඔහු කලක් ආකාස කඩේ කෝකියකු ලෙස සේවය කර, පසුව ලලිත් කොතලාවල මහතාගේ පුද්ගලික කෝකියා ලෙසද, මාලදිවයිනේ ගෝල්ඩන් රොක් කැෆේ හීද, දැන් රජ බොජුන් හී ප්‍රධාන සූප වේදියා ලෙසද කටයුතු කරයි. දිනක් මා ඔහු මුණගැසෙන්නට එහි ගිය විට, එහි තීරයකට මුවා වී බලා පසුව මා මුණ ගැසීමට පැමිණියේය. එසේ කලේ ඇයිදැයි මා ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ

"අරටුව පත්තරෙන් එනවා රෙසිපි ඉල්ලාගෙන, ඔහොම දෙන්න රෙසිපි තියෙන්නේ කා ලඟද බං" යනුවෙනි.

එයද අතුරු කතාවකි. අපේ නැන්දාගේ මෙම පුතුන් නොවන්නට 1977 දී අප මරු තුරුලට යන්නට ඉඩ තිබුණි. ප්‍රතිඵල අසන්නට තිහකට ආසන්න පිරිසක් එහි විය. රේඩියෝව වටා වටවුණු පිරිසට ආලෝකය  දුන්නේ පැට්‍රොමැක්ස් ලාම්පුව්කි. එයට හුලං ගැසීමට එදින බොහෝ දෙනෙකි. ඒවාගේ එලිය තරම් එළියක් බල්බ් වලින් නොලැබෙන බව මගේ විශ්වාසයයි. රජයේ ගැසට් පත්‍රයක් සොයාගෙන තිබුණේ, සියලුම ආසන සඳහා වූ නම් ලැයිස්තුව එහි වූ නිසාය. එහි මුලින්ම ප්‍රතිඵල සටහන් කරන්නට ඉදිරිපත් වූයේ මගේ පියාය. මුල්ම ප්‍රතිඵලය මගේ මතකය නිවැරදි නම් පදිරිප්පු නමැති මඩකලපු දිස්ත්‍රික්කයේ කුඩා ආසනයේය. එක හැල්මේ එක්සත් ජාතික පක්ෂය දිනන විට මගේ පියා පැත්තකට විණි. ඉන් පසු ප්‍රතිඵල සටහන් කලේ රණසිංහ අයියායි. කිසිම ආසනයක් තාත්තාගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාත්‍රියේදී නොලැබිණි.

"මිනිස්සු පරිප්පු කන්න චන්දෙ දුන්නා එහෙනං"

යනුවෙන් මගේ පියා පැවසීය. මැතිනියගේ ආණ්ඩුවේ පැවති සංවෘත ආර්ථික රටාව නිසා රටේ ඇති වූ හාල්, පිටි, සීනි හිඟය නිසා ජනතාව බොහෝ අපහසුතාවන්ට පත් වූ පසු මෙවැනි ප්‍රතිඵල ලැබීම සාමාන්‍ය කරුණක් ලෙස පසුව මා දැන ගත්තේ පුවත් පත් වලිනි. හාත්පස වෙඩි පුපුරන්නා සේ ඇසෙන රතිඤ්ඤො හඬ කන් පිපිරෙන තරමට විය. උදෑසන වනවිට  දැඩි එජාප පාක්ෂිකයෙකු වූ අප නිවසට ඉදිරිපස නිවසේ වූ ඊබට් අංකල් බීමතින් කමිසයක් නොහැඳ, රේඩියෝව කරේ තබාගෙන පාරදිගේ එහා මෙහා ගමන් කරන අයුරු අප බලා සිටියේ විමතියෙනි. කුඩා කාලයේ උගුරේ තෙල් ටිකක් ගාගෙන අපව ගිලිනවා යනුවෙන් මේ කාල වර්ණ පුද්ගලයා අප බියවැද්දීය. ඔහු මගේ පියා සමග ජම්මාන්ත වයිරක්කාරයෙක් සේ හැසිරිණි. මගේ පියාට එලියට එන්නයි නැන්දාගේ නිවාස ඉදිරිපස හන්දියේ සිට අභියෝග කළේය. මගේ පියා ආයාසයෙන් කෝපය මැඩගෙන සිටින අයුරු අප බලා සිටියේ ශෝකයෙනි.

5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ රජය සතියක් පොලීසියට නිවාඩු ලබා දෙන බව පැවසීමෙන්, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට උඩ-ගෙඩි දීමක් කළේය. අපට දවස් දහයකට පසු අපගේ නිවසට යාමට හැකි විය. එහෙත් අප පසුවූයේ භීතියෙන් බව පැවසිය යුතුය. එය එල්.ටී.ටිය සිටින ආසන්නයේ සිංහල ගමක වසනව වැනිය. සෑමදිනකම බීමතින් පැමිණෙන ඊබට් අංකල් පවසන ලද කුණුහර්ප මාලාව අපට ඒ විෂය පිලිබඳ විශ්ව විද්‍යාලයක් බඳු විය. අපගේ නිවසේ පිටුපසට ඇසෙන්නට තරම් ප්‍රමාණයකින් ඔවුන්ගේ රේඩියෝව ක්‍රියාත්මක විය. අපේ නිවස අසලින් පෙළපාලි යනවිට ජයසේන බාප්පා  බයිසිකලයෙන් පැමිණ, අපගේ ගේට්ටුව හරස් කරගෙන නවතින්නේය. නැතිනම ඔලුවට බාල්දි දමාගත්, කොළ අතු ඇඳගත් වනචාරීන් ලෙස හැසුරුණු පිරිස, බොහෝ අමාරුවෙන් කළ දවස ගෙවූ මේ රජයේ සේවකයාගේ නිවාස පොළොවට සමතලා කරනවා නියතය.

1977 Sri Lanka General Election Results
පින්තූරය ගත්තේ : www.wikipedia.org
ප්‍රතිඵලය මේ පින්තූරයෙන් පෙනෙන අකාරයේ විය. නිල්පාටින් දක්වා ඇත්තේ මැදවච්චිය, ආනමඩුව, ගම්පහ, අත්තනගල්ල, කොත්මලේ, නුවර එලිය-මස්කෙළිය(බහු ආසනය), මැද කොළඹ(බහු ආසනය), හාරිස්පත්තුව(කුඩය ලකුණින්) යන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයගත් ආසනය.

Wednesday, March 26, 2014

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වෙලා ..... A/L Chemistry Paper Out ....

මේ මාතෘකාව දුටු විට  ඔබේ සිතේ ඇති වන ප්‍රහේලිකාව වටහා ගැනීමට අපහසු නැත. මාර්තු මාසයේ උසස් පෙළ විභාගයක් සාමාන්‍යයෙන් නොපැවැත්වෙන බව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු දනී(එහෙත් එක් වසරක කුමන හෝ කාරණයක් මත අප්‍රේල් නිවාඩුවේදී උසස් පෙළ විභාගයක් පැවති බව සිහින් මතකයක් ඇත). නමුත් මා අද සටහන් තබන්නට යන්නේ   වර්තමානයේ හෝ පසුගිය වසර කිහිපය ඇතුලත සිදු වූ සිදුවීමක් නොව මීට කලකට පෙර මා උසස්පෙළ හදාරන යුගයේ මගේ අත්දැකීමකි. ඒ එම  වසරේ  ජූලි මාසයයි. එය වුවත් අද හෙළි කිරීමට තරම් ඥානාන්විත කරුණක් නොවන බව ඔබට පැහැදිලි කරුණකි. මේ වනවිට එම  වසරේ උසස්පෙළ විභාගයට මුහුණ දුන් අයගේ දුවා දරුවන්ද සරසවි වරම් ලබන්නට කාලය වී හමාරය. කෙසේ නමුත් එම ප්‍රශ්නපත්‍රය පිට වීමේ සම්පූර්ණ වගකීම මා සතු වන නිසා එය මෙසේ ලියා තැබීමට වටිනා කරුණකි. 
sri lanka students discussing advanced level paper
පින්තූරය ගත්තේ : www.infolanka.com

මෙය මාගේ මතකයේ තිබුණ කරුණක් බව ඊයේ දහවල් කාලය වනතුරු මට නොදැනින. එම මතකය අවදි වන්නට හේතු වූයේ මගේ කාර්යාල මිතුරියක් දිවා විවේකයේ පැවසූ අගනා කතාවක් නිසාය. අවුරුදු පහක් පමණ වයසැති ඇගේ කුඩාම දියණිය අපගේ කාර්යාලය ඉදිරිපිටම ඇති අන්තර්ජාතික පාසලට අනුබද්ධ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රැඳවීමට රැගෙන යාම  අගේ දෛනික චර්යාවේ කොටසකි. එවැනි අවස්ථාවක ඇගේ කන වැකුණු ඔපාදුපය ඉතා රසවත් කතාවකි. ඒ තම නිවසේ කිරීමට කිසිදු රාජකාරියක් නොමැති, මෙවැනි පාසල් වල ගේට්ටු මුර කරන මව් වරුන්ගේ සංගමය හා දොඩමළු වන්නට ලැබුණු අවස්ථාවක කන වැකුණු නැවුම් ප්‍රවෘතියක් නිසාය. ඇයට නම් මේ ඕපාදූප ගෙන දුන්නේ ප්‍රීතියකි. ඒ ඇය මෙහි යාවජීව සාමාජිකාවක් නොවන හෙයිනි. ඇගේ කන මේ ප්‍රවෘත්තිය තබා ඇත්තේ එතැන දෛනිකව රස්තියාදුවේ යෙදෙන මවකි. එම ප්‍රවෘත්තිය මෙසේය;  අවරුදු පහක් පමණැති මේ කුඩා දරුවන්ට වාර විභාගයක් පවත්වන බවත්, එක් පන්තියකට ඊයේ සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වූ බවත්, අද ඔවුන්ගේ දියණියන්ගේ පන්තියට විභාගය පැවැත්වූ අතර එම ප්‍රශ්න පත්‍රය ඊයේ දුන් එකම වීම නිසා සමහර දරුවන්ට එයින් වැඩි ලකුණු ගන්නට අවස්ථාව උදා වී ඇති බවත්ය. ඊයේ පන්තියට "ර" යන්නනේ වචන ලියන්නට දී ඇති බවත්, එම ප්‍රශ්න පත්‍රය ඡායාස්ථ පිටපත් කර සමහර මවුවරුන්ට ලබා දී ඇති නිසා මේ ගැටලුව ඇති වී තිබෙන බවය. 
"රයන්නෙන් වචන ලියන්න දුන්නම ඉතින් රට කියලා ලියනවා ඇරෙන්න මේ පොඩි ළමයි රඹුටන් කියලා ලියනවාද ?"
යනුවෙන් එම මව වැඩිදුරටත් පවසා ඇත. මගේ මිතුරිය පවසා ඇත්තේ තම දියණියට අකුරු ඉගෙන ගැනීමට නොහැකි වුවත් කමක් නැත යන්නයි. 

ඒ අතුරු කතාව නොලියාම සිටින්නට බැරි නිසා මෙහි සඳහන් කලේ, මා පවසන්න යන කතාවට මුලාරම්භය එමගින් ලැබුණු නිසාය. උසස් පෙළ විභාගය ලියන්න සතියකට දෙකකට කලින් පවත්වන මේ විභාගය ලියන්න ඉදිරිපත් වුයේ මගේ පන්තියේ සිවු දෙනෙකි. අනෙක් අය එය මග හැර සිටියාද, නැතිනම් මෙමගින් මානසිකත්වය අවුල් වේ යයි බියෙන් එයට මුහුණ නොදුන්නාද, මුදල් හිඟකම නිසා අමතක කර දැමුවාද යන්න පිලිබඳ නිසි මතකයක් මට නැත. නමුත් එම කාරණා තුනම අඩු -වැඩි වශයෙන් ඊට මුල් වූ බව සඳහන් කල යුතුය. ටෙරන්ස් නමැති මගේ මිතුරා ඉන් තුන්වන කාරණය නිසා එම විභාගයට මුහුණ නොදුන් බව නම් මම සහතිකවම දනිමි. අතුරු කතාවක් වුවත්, ටෙරන්ස් ගැන යාම සටහනක් කල යුතුමය. ඔහු සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවේ, අප පාසල අසලම පිහිටා ඇති කටුකුරුන්ද විදුහලෙනි. උසස් පෙලට කළුතර මහා  විද්‍යාලයට එකම දිනයක මමත්, ටෙරන්ස් සහ තවත් කිහිප දෙනෙකු ඇතුලත් වූයෙමු. එතැන් පටන් ටෙරන්ස් මගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු විය. එනිසාම ඔහුගේ ගෙදර දොර විත්ති සහ ආගිය තොරතුරු බොහොමයක් හෙතෙම මා සමග පැවසූවේය.

ටෙරන්ස් ජීවත් වූයේ කටුකුරුන්ද නමැති කොළඹ - ගාලු පාරේ කළුතර නගරය පසු කළ ගමන්ම හමුවන අර්ධ නාගරික මංසන්ධිය වටා ගොඩනැගුනු ප්‍රදේශයේය. මතුගම පාර, ගාලු පාර සමග එක් වන්නේ කටුකුරුන්ද හන්දියේදීය. මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන්ද, සිංහල කිතුණු බැතුමතුන්ද, මුස්ලිම් ජනතාවද සම සමව වාගේ සහජීවනයෙන් වාසය කරති. ඉඳහිට ගැටුමක් ඇති වුවත්, එකිනෙකා හඳුනාගෙන, එකිනෙකා සමග මිශ්‍රව මෙහි ජනතාව වෙසෙති. මගේ මිතුරා තරමක් දිළිඳු පසුබිමක් ඇති අයෙක් බව වටහා ගන්නට, ඔහු ලඟින් ඇසුරු කල මා හට තේරුම් ගැනීමට වැඩි කලක් ගත නොවීය. හැකි අයුරින් ඔහුට සහනයක් කරන්නට මා මෙන්ම බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට මෙන්ම නැරඹීමට හෙතෙම දක්වන ලද කැමැත්ත අප දෙදෙනා සමීප කරන්නට හේතු විය. ටෙරා සැබවින්ම අවිහිංසකකි. ඔහුගේ නිතරම සිනහාබර මුහුණ සහ ප්‍රියමනාප කථාව ඊට සාක්ෂි සැපයීය. නමුත් ඊට යටින් ඇති ටෙරාගේ දුක්ඛිත කථාව ඇසට කඳුළු නන්වන්නකි. නමුත් ක්‍රිකට් සහ පාපන්දු ඔහුගේ සතුට සහ ජීවන බරටද පිටිවහලක් සපයා තිබුණි. සෙනසුරාදා පැවැත්වෙන ටිල්නි ද සිල්වා ගුරුතුමාගේ අමතර පන්තියට ඔහු එන්නේ දහඩිය පෙරාගෙනය. ඒ උදේ වරුවේ කටුකුරුන්දේ හෝ පයාගල පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගයක් විනිශ්චය කිරීමෙන් අනතුරුවය. මුළු ඉරිදා දිනයම තරග විනිශ්චයට කැප කරන ටෙරන්ස් තම ක්‍රීඩා කිරීමේ ආසාව ආයාසයෙන් යටපත් කර ගන්නේ ඒ සඳහා ලැබෙන ගාස්තු මගින් තමන්ගේ අමතර පන්ති ගාස්තුව පියවීමට යොදා ගන්නා උදාර පරමාර්ථයෙනි. මා ඉතසිතින් ටෙරාට සරසවි වරම් පැතුවද, එකල පැවතී වාතාවරණයත් සමග අප පන්තියෙන් සරසවි වරම් ලබන්නට සමත් වූයේ එක් අයෙකි. 

අජිත් මහින්ද, චන්දන, ජනක සහ මා කළුතර අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන දිස්ත්‍රික් මට්ටමේ වාර විභාගයට මුහුණ දුන් සිව් දෙනාය. අප හතර දෙනෙකුට විභාගය පැවැත්වීම ඉතා පහසු කටයුත්තක් නිසා එකල අපට සිප්සතර කියාදුන් ගුරුවරුන්ටද මහත් අස්වැසිල්ලක් විය. මාලදිවයිනේ ඉගැන්වීමේ රැකියාවන් කල ගුරුබවතුන් දෙදෙන්ක්ම මට හමු වුයේ මේ විදු පියසේය. නන්දාවතී ගුරු මහත්මිය(මෙනෙවිය) අපගේ ඉංග්‍රීසි ගුරුවරිය  වශයෙන් කාලයක් අප හා කුළුපග වී සිටියද, ප්‍රනාන්දු ගුරු මහතා එහි ව්‍යවහාරික ගණිත ගුරුවරයා වශයෙන් අප හා එක් වූයේ අවසාන් මාස කිහිපයේය. ඒ වනවිටත් ඔහු ප්‍රදේශයේ දස්කම් දැක්වූ ගුරුබවතෙක් විය. නමුත් ඔහුගේ හිඩැස පිරවීමට ධර්මලතා ගුරුතුමිය අප හා එක්වූවද, ඇයගේ විෂයපථය වූයේ රසායන විද්‍යාවයි. මුලදී ඇයට අමාරු ගණන් සාදා පෙන්වීමට මා සහ චන්දන සමත් වූ අවස්ථා තිබුණි. ඇයද අපගෙන් විමසන්නට තරම් නිහතමානී විය. අපේ පන්තිභාර ගුරුවරිය වූ ඇයට අප හැර යන්නට වූයේ ප්‍රනාන්දු ගුරු මහතාගේ ආගමනයත් සමගය. මටනම් ඔහුගේ ඉගැන්වෙම් රටාව හෝ ඇගයීම එතරම් දිරවූයේ නැත. ඔහු අපගෙන් ඉතා වේගවත්ව ගැටළු විසඳීම බලාපොරොත්තු වූ අතර අතැඹුලක් සේ ඇති ගණිත ගැටළු කළුලෑල්ලේ ලියාගෙන යන්නේ යන්ත්‍රයක් පරිදිය. එම විභාගයේ ප්‍රශ්නපත්‍රය ඇගයු ඔහු මගේ මානසික මට්ටම ඉතා පහලට දමන ආකාරයේ ප්‍රකාශයක් කළ අතර මා එය තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ මා පිලිබඳ හොඳ තක්සේරුවක් මා තුල තිබූ නිසාය. අනෙක් අතින් මා පුද්ගලික අධ්‍යාපනය ලැබූ නන්දසිරි ගුරු මහතා ඒ වනවිටත් මා ගැන ඉතා ඉහළින් ඇගයීම් කර තිබූ නිසාය. 

මගේ මතකය නිවැරදි නම් එය සිකුරාදා දිනයකි. මේ වනවිට එක් ප්‍රශ්ණ පත්‍රයකට අප මුහුණ දී තිබුණි. එදින අපට නියමිතව තිබුණේ  ශුද්ධ ගණිතය විෂයයි. විභාගය ලියන හතරදෙනාට අමතරව පන්තියේ සියළුම දෙනා නොවරදවා පාසැල් පැමිණීය. එය බොහෝ දෙනාගේ ජීවන පුරුද්දකි. අප හතර දෙනා නියමිත වෙලාවට පැමිණෙන තෙක් අප රසායන විද්‍යා ගුරුතුමිය වූ සොයිසා මහත්මිය, සිව් දෙනෙකෙකුට සෑහෙන පාසලේ කුඩාම මුල්ලක සාදා තිබූ විභාග කාමරයට වී සිටියාය. බොහෝවිට මුහුණේ සිනහවක් දකින්නට නැති ඇය, ඒ දිනවලදී අප දුටු විට මුවගට සිනහවක් නගා ගත්තේ, පාසල නිමවී තම දරුවන් නිවසට පැමිණෙන විට බලා සිටින මවක මෙනි. වැඩි කථාවක් නැතිවම අප අසුන් ගෙන අවසන් වීමට ප්‍රථම ඇය ප්‍රශ්න පත්‍රය අපගේ මේස මත තබා
"මේක ඒලෙවල් වලට කලින් තියන අන්තිම විභාගේ නිසා හරියට ලියන්න, කොපි කලොත් වැඩක් වෙන එකක් නෑ"
යනුවෙන් පවසා ශාලාවෙන් පිටවී ගියාය. ඉන්පසු අපට කථා නොකර සිටීමට උගහටය. ඒ අප වෙත ලබා දී තිබුණේ ඇයගේ විෂයම වූ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය බැවිණි. ඇය ශාලාවේ නොමැති වුවත් ඉතා පහත් හඬින් කතා කරන්නට අප වග බල ගත්තේ, එතැනින් යන වෙනත් ගුරුවරයෙකු නිකමට ගොඩ වුවහොත් ඇතිවන තත්වය දන්නා නිසාය. තවමත් අපට උසස් පෙළ විභාගයේ ඇතුල්වීම්පත  ලැබී නොමැති නිසා මේ දිනවල සියළු සිසුන් ඉතා විනීතව හැසිරෙන ආකාරය ගුරුවරුන්ගේද විමතියට හේතු විය. මේ වනවිට පාසලේ නොසන්ඩාල වැඩ කිහිපයක්ම(විමල්ගේ වික්‍රමය තව ලිවීමෙට බොහෝ දේ ඇත)  සිදු කර ඇති නිසා අප කෙරේ ගුරුබවතුන් දැක්වූයේ එතරම් හොඳ ආකල්පයක් නොවේ. 
"මචං අද තියෙන්නේ පියෝ පේපර් එක නේද ?" කෙනෙකු විමසීය. 
"ඔන්න ඔහේ ලියපන් බං" තවත් කෙනෙකු පැවසීය.
මා හැරෙන්නට අනෙක් තිදෙනාම රසායන විද්‍යා විෂයට ඇලුම් කළ නිසා ගුරුතුමියට වසං කර එම ප්‍රශ්න පත්‍රයට ලිවීමට ඒකමතිකව තීරණය කළෙමු. අපට ලබා දී තිබුනේ පළමු ප්‍රශ්න පත්‍රයයි. දැන් සියල්ලන්ගේම සිත් ප්‍රීති ප්‍රමෝදයෙන් උතුරා ගොසිනි. හේතුව සඳුදාට පෙර මෙය දිස්ත්‍රික්කයේ අනෙක් අය අතට පත් කළ හැකි බැවිණි. උදෑසන එකොළහමාර වන විට සියලු දෙනා පිළිතුරු බැඳ අවසාන වී තිබූ නිසා උත්තර පත්‍ර එකතු කරගත් සොයිසා මහත්මිය පිටව ගියාය. තවත් වෙලාවක් නොගෙන මමත් ජනකත් පාසලෙන් පිට වීමු. මට ගෙදර එනතුරු ඉස්පාසුව නොතිබිණි. ඒ අලුත්ගම මහ විදුහලේ බොහෝ සිසුන් ප්‍රමාණයක් මගේ මිතුරන් වූ බැවිණි. ඩන්කන් කුලසේකර මහතාගේ රසායන විද්‍යා පන්තියට අලුත්ගම මහා විද්‍යාලයේ සියල්ලන්ම වගේ පැමිණේ(ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා කියවන්න). එහෙත් මෙය මා කා අත තබම්ද ? යන ගැටලුව මගේ සිතේ ඇති කළේ ප්‍රහේලිකාවකි. "හරි අලුත්ගම බස් හෝල්ට් එකේ හමු වන පළමු කෙනාට දෙනවා" යනුවෙන් සිතාගෙන ජනේලයෙන් පිටතට දෑස් යොමා ගතිමි. 

අලුත්ගමදී කිසිවකු මුණ නොගැසිනි. මේ විභාග දිනයන් නිසා කවුරුත් රස්තියාදුවේ යන්නේ නැත. බොහෝ දෙනා තම නිවෙස් වලට වී පොත් පත් සමග කාලය ගත කරයි. අලුත්ගම සිට බෙන්තරට ඇති කිලෝ මීටර් එකහමාරක දුර පයින් යෑම මට කජු කනවා වගේ වැඩකි. වටපිට සිරිය නරඹමින් පාළම අසලට පැමිණෙන මා, පාළම ළඟදී මද විවේකයක් ගන්නේ මද්දෙදූව නමැති පාලම දෙක අතර පිහිටා ඇති කුඩා දූපත මතය. එහිසිට ගං කලපුවේ දෙපස කොහේ හෝ වේගයෙන් ගමන් ගන්නා බෝට්ටුවක් හෝ එයට අමුණා ඇති කඹයක එල්ලී දිය කපාගෙන යන විදේශිකයෙකු දෙස බලා සිටින්නට මම පුරුදු වී සිටියෙමි. අද එසේ රැදී සිටින්නට මගේ හිත ඉඩ නොදුන්නේ මගේ මිතුරකු අත මෙම ප්‍රශ්න පත්‍රය තබා ඔහු මවිතයට පත් කරන තුරු ඉස්පාසුවක් නොවූ බැවිණි. 

නිවසට පැමිණ බත් පිඟාන අහුරට දෙකට කා, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් දමාගෙන, ප්‍රශ්න පත්‍රය හතරට නවා සාක්කුවේ දමාගත් මා පාපැදියට ගොඩ වී හැල්මේ පෑගුවේ ලෙනාඩ්ලාගේ(විජේ අංකල්ගේ ඉංග්‍රීසි - පියාගේ රස කතාවකි) නිවසටය. බයිසිකලය නිවස ඉදිරිපස නතර කර ගෙට ගොඩ වූ මා, එහි සිටි ඔහුගේ මවගෙන් ලෙනාඩ් සිටින තැන අසා, ඔහු සිටින කාමරයට ගොඩ වීමි. ඒ වනවිටත් නළල රැලි ගන්වාගෙන ගණනක් දෙස යොමු වූ දෑස්ව ඔහු බලා සිටියේය. මා අසලට යනවිට හිස ඔසවා මද සිනහවක් මුවේ රඳවාගෙන මදෙස බලනවාත් සමගම මා සාක්කුවට අත අවා ප්‍රශ්න පත්‍රය ගෙන උවමනාවකට නැතිව ඔහුගේ මේසයට විසි කළේය. 

"ඇයි උඹ අරගෙන ආවේ. මම හවස ඒ පැත්තේ එන්න හිටියේ පේපර් එක ඉල්ලා ගන්න. කොහොමද ලේසිද ?"
"දිග ඇරලා බලපන්කො"
එය දිග හැර බැලූ ඔහු 
"අද පියෝ නේද තියෙනවා කිව්වේ"
"ඔව්. උඹලගේ ඉස්කෝලේ පියෝ දෙන්න ඇති. ඒත් අපිට දුන්නේ කෙමිස්ට්‍රි"

අප දෙදෙනාට සිනහව නතර කර ගන්නට බැරි විය. 
"මචෝ. මේක මම දුන්නා කියන්න එපා. කට්ටියත් එක්ක හෙමිහිට බලපන්"
මම නැවත ගෙදර ආවෙමි. සඳුදා උදේ ප්‍රශ්නපත්‍රයට මුහුණ දීමට අප විභාග ශාලාවට වී බලා සිටින විට,  සොයිසා ගුරු මහත්මිය වෙනුවට එහි ආවේ විදුහල්පති තුමාගේ පියන් වරයාය. 
"අන්න කට්ටියට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා"

එය අප බලාපොරොත්තුවෙන් සිටි තත්වයකි. මේ වනවිට අලුත්ගම මහා විද්‍යාලයේ දැන්වීම් පුවරුවේ නිවැරදි පිළිතුරු සහිත ප්‍රශ්න පත්‍රය අමුණා ඇති බව දැනගන්නට ලැබිණි. ඉරිදා හවස වනවිට එම ආරංචිය ලැව් ගින්නක් සේ පුනරීක්ෂණ පන්ති වල පැතිරී තිබිණි. අප සිව් දෙනා එකිනෙකාගේ මුහුණු බලා තුෂ්නිම්භූතව විදුහල්පති තුමාගේ කාර්යාලට වාර්තා කළෙමු. එහි යනවිට හැඩූ කඳුලින් සිටින සොයිසා ගුරු මහත්මිය දැක, අප තුල ශෝකයක් ඇති විණි. 

"ආ ... මෙගොල්ලොද කට්ටිය. මට කියන්න හතරදෙනාගේ ගම්"

මුලින්ම ඉදිරිපත් වූ අජිත් මහින්ද සහ චන්දන "කළුතර" ලෙස පිළිතුරු දුනි.

"මේ දෙන්නගෙන් වෙන්න බෑ මිස්. කියමු බලන්න අනිත් දෙන්නා"

"මම බේරුවල" යනුවෙන් ජනක පැවසීය. "මම බෙන්තර" 

"හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගෙන් තමයි යන්න ඇත්තේ. ඔය ළමයි නොදන්නවා වෙන්න බෑ. අද දෙන්න තිබුන ප්‍රශ්න පත්තරේ  ගිය සිකුරාදා දීලා තියෙන්නේ. මේ ළමයි කාටද එක දුන්නේ. බෙන්තර කෙනා කියමු බලන්න"

"සර්... මම අපේ ගෙවල් ගාව යාලුවෙක්ට දුන්නා. එයා අම්බලන්ගොඩ ඉස්කෝලේ යන්නේ"

"හා ... අනිත් කෙනා කියන්න බලන්න"

"සර් මම කාටවත් දුන්නේ නෑ"

"එතකොට කාගෙන්ද මේක යන්න ඇත්තේ. හරි මේ ළමයි දැන් යන්න පන්තියට. මම අධ්‍යක්ෂක තුමාට කියන්නම්"

කතාව එසේ නිමා වුවද, මා ලබා දුන් ප්‍රශ්න පත්‍රය පිටපත් කර බෙදා නොදී, එය දැන්වීම් පුවරුවට යැව්වේ කවුරුන්ද යන්න අදටත් ගැටලුවකි. අදත් මා වරදක් කල බව මගේ සිත කියයි.

Friday, March 21, 2014

කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස් : අද ලෝකයේ ජනප්‍රිය තේමා ගීතය Conquest of Paradise : World's most Popular theme song today

කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස්  කිව්වම ඔබට පුංචි ආධුනික ගතියක් දැනුනත්, ගීතය වාදනය කරොත් එය ඔබට සමීපම ගීතයක් බව වැටහේවි. මේ දිනවල බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන විස්සයි20 ලෝක කුසලානයේ හැම තරඟයකට ප්‍රථම මේ ගීතය වාදනය වනවා. සමහරවිට මේ වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේදීත් තරඟයට පෙර වාදනය වන්නට ඉඩ තිබෙනවා. බොහෝවිට 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී මෙය වාදන වීමට ඉඩ තිබෙනවා. මේ ගීතය තරග සංවිධායකයින්ගේ සිත් මේ තරම් ඇද බැඳ ගන්නට පාදක වෙච්ච හේතුව මොකක්ද ?

ඊට කලින් තවත් එක වතාවක් එහෙනම් ගීතයට ඇහුන්කම් දීලම ඉමු. 


1992 දී තිරගත වූ රිඩ්ලි ස්කොට් අධ්‍යක්ෂණය කළ Conquest of Paradise චිත්‍රපටයට වැන්ගේලිස් නමැති  ග්‍රීක සංගීතඥයා නිර්මාණය කල තේමා ගීතයයි. එය බොහෝ රටවල ගීත දර්ශක දිග් විජය කරන්නට සමත් වූවා. එය බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ ගීත දර්ශකයේ පළමු තැනට එන්නට සමත් වූවා. නමුත් බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ එයට ලැබුණු ඉහලම ස්ථානය අංක 33. ජර්මනිය පුරා එය ජනප්‍රිය වීමට විශාල වශයෙන් බලපෑවේ එරට බොක්සිං ක්‍රීඩක හෙන්රි මාස්ක් එය ඔහුගේ තේමා ගීතය ලෙසට භාවිතා කිරීම නිසාය.
වැන්ගේලිස් කොන්ක්වෙස්ට් ඔෆ් පැරඩයිස්
එය නවසීලන්තයේ රග්බි ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ කිහිපයක්ම තම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග වලදී වාදනය කරනවා. කෘසේඩර්ස්, විඩ්නස් වයිකින්ග්ස් ඒ අතරින් විශේෂයි. කෘසේඩර්ස් කණ්ඩායමට ආවේනික නගරය වූ ක්‍රයිස්චර්ච්හී මෙය නොනිල තේමා ගීතය ලෙස සැලකෙනවා.
2011 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාංයෙදීත් මේ ගීතය තරගයට පෙර වාදනය කරන්න සංවිධායකයින් කටයුතු යොදා තිබුණා. කණ්ඩායම් දෙකෙහි ජාතික ගීයට ප්‍රථම එය වාදනය වනවා. 2010 අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාංයෙදීත් එය යොදා ගත්තා.
2011 අල්ට්‍රා-ට්‍රේල් ඩු මොන්ට් බ්ලෑන්ක් නමැති මැරතන් තරගයේ කිලෝ මීටර් 150ක් තරගය අවසන් කලපසු මෙම ගීතය වාදනය කළා. එය එන්ගඩින් ස්කීමැරතන්(ලිස්සායාමේ) තරගය ආරම්භය සටහන් කිරීමටද භාවිතා කළා.
එම ගීතය බොහෝ ගායකයන් පිරිසක් විසින් ගායනා කර තිබෙනවා. බ්ලේක්, ක්ලාවුස් ශුල්ස්, ෆ්‍රී ද ස්පිරිට්, ද වියානා සිම්පනික් ඔකෙස්ට්‍රා ප්‍රොජෙක්ට්, ජෝන් විලියම්ස් සහ බොස්ටන් පොප් ඔකෙස්ට්‍රා(1996), ඩේලයිට්(1997), ඩනා විනර්(2002), ද ටෙන් ටෙන්ර්ස්(2004) සහ රිඩියාන්(2009).
චීන ටෙලි මාලාවක් වූ සොල්ජර් සොර්ටී(2007) සහ බොලිවුඩ් චිත්‍රපටයක් වූ කොයිලා(1997) එය තේමා ගීතය ලෙස භාවිතා කළා. මීට අමතරව දමිළ චිත්‍රපටයක් වූ සුන්දර පුරුසන්(1996) ද මෙම ගීතය භාවිතා කළා.
ඡායාරූපය සහ තොරතුරු www.wikipedia.org ඇසුරෙනි.
____________________________________________
මේ ගීතය අසන සෑම විටකම මට ජයග්‍රාහී හැගීමක් ඇති වනවා. ඔබට එය දැනුණේ කොහොමද ?
අද එය විශ්ව ගීතයක් බවට පත් වී හමාරයි. එහි තේරුම හෝ වචන ගැන උනන්දු නොවී ඒ ගයුම රස විඳින්න ලෝකය පුරා විවිධ භාෂාවන් කථා කරන ජනයා එකතු වන්නේ විශ්මයජනක ආකාරයකට.
සිය ගණනක පිරිසක් විසින් සංගීතය සපයමින් ගායනා කරන අකාරය පහල සබැඳියෙන් බැලීමට හැකියි.
මේ ගැන ලිවීමට මා දිරිමත් කල සුභාෂ් හේවාවිතාන මගේ මිතුරාට විශේෂ ස්තූතිය. 

Sunday, March 16, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 35 : ජපන්නු කෝට්ටේ ගියා වගේ ...... Japanese in Kotte

නුගේගොඩ පාගොඩ පාරේ තියෙන තදබදය ගැන මම පහුගිය පොස්ට් එකකින් විස්තර කරා මතක ඇතිනේ. ඉතිං මේ හරියේදී ඇති වෙන ආතතිය මග අරව ගන්න මම කරන්නේ රේඩියෝ එක අහන එක. දවසක් මෙහෙම කනේ ඉයර්ෆෝන් ජැක් ගහගෙන ඉන්නකොට මම දැක්කා චීන්නු දෙන්නෙක් කඩයක් ගාව නැවතිලා අනිමිස ලෝචනය දාගෙන බලාගෙන ඉන්නවා. ඒ කඩේ ටිකක් අමුතු විදිහේ එකක්. මම නුගේගොඩ ඔෆිස් එක තිබුන කාලේ කිහිප දවසක්ම ඔතනට ගිහින් තියෙනවා. මෙතන බස් එක ටිකක් හිර වෙලා මම පොඩ්ඩක් ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව අටයි විසිපහයි. අද ෂුවර් එකටම රතු ඉර වදිනවා. රතු ඉර වැදුණා කියන්නේ වරුවක් නිවාඩු. මේ වගේ දවස් වලට මම කරන්නේ කොහොමත් එකයි කියලා මගින් බැහැලා දොළහට ඔෆිස් යන එක.

ඕන දෙයක් කියලා මම බැස්සා අර චීන්නු දෙන්නා ඉන්න තැනින්. මේ යක්කු බලාගෙන ඉන්න විදියට කඩේ කඩන්නවත්ද කියලා මට සැකයක් ආවා. ඉතිං බ්ලොග් කාරයෝ වෙච්ච අපිට අද ලංකාවේ ඉන්න මාධ්‍ය කාරයන්ට වඩා හොඳ ඉවක් අයිතියක් වගේම වගකීමකුත් තියෙනවානේ මේ වගේ දේවල් ගැන හොයා බලන්න. ඒ ගැන ඉතිං මොනවට කියනවද? මම බස් එකෙන් බහිද්දීත් කීප දෙනෙක්ම මගේ දිහාට රබර් ඇහැ දාලා බැලුවා. මම හිටිය බස් එක යන්න ඇරලා මම හෙමිහිට චීන්නු දෙන්නට කිට්ටු කළා. මම අර දෙන්නට කෙලින්ම කථා කළා. සමහරවිට මේ දෙන්නත් චීන මාධ්‍ය කාරයෝ දෙන්නෙක් වෙන්නත් බැරි නෑ. එකෙක්ගේ කරේ කැමරාවක්. හිටු කියලා ෆොටෝ ගහනවා. වැඩියෙන්ම පොටෝ ගහන්නේ කඩේ බෝඩ් එක. 

මම : ගුඩ් මෝර්නින් ජෙන්ට්ල්මන් ! ෆ්රොම් වෙයාර් ආර් යූ ? ඇන්ඩ් වට් ආර් යූ ලුකින් ෆෝ ?

චීන්නු : ගුඩ් මෝනින් ! වී ආර් ෆ්‍රොම් ජැපෑන්. ඉස් දීස් ෂොප් ඔව්න් බයි එ ජැපනීස් ?

මම : ඔහ් ! අයි සී (ජපන්නු බව තේරුම් ගත් පසු). නෝප් දිස් ෂොප් ඕනර් ඉස් සිංහලීස්. වයි ?

ජපන්නු : යූ නෝ මෑන්. හිස් නේම් ඉස් "හිතා" ඇන්ඩ් මයි නේම් ඉස් "හොන්ඩා"

මම : හව් ආර් යූ හිතා ඇන්ඩ් හොන්ඩා. හව් ඩු යූ ෆයින්ඩ් ශ්‍රී ලංකා. (මා අවසන් කිරීමට පෙර ජපනා උත්තර දේ)

ජපනා1 : යූ සී. දිස් ෂොප් නේම් ඉනසිඩෙන්ටලි ඉස් කොම්බිනේෂන් ඔෆ් අවර් නේම්ස්. අයි හෑව් හර්ඩ් සම් පීපල් හියර් නේම් ශෝප්ස් ඕන් ජැපනීස් නෙම්ස් ලයික් "ජපන් ලංකා ඔටෝ ලෑන්ඩ්", "ඔසාකා ට්‍රේඩර්ස්" ඇන්ඩ් සෝ ඔන්. වී වොන්ඩර් හී නේම් දිස් විත් අවර් නේම්ස්. හී මයිට් හෑව් වර්ක්ඩ් ඉන් ජැපෑන්. 

මම : නෝ වේ ෆ්‍රෙන්ඩ්ස්. හී ඉස් එ රෙපියුටඩ් බිස්නස්මන් හියර්. 

ජපනා2 : දෙන් වයි හී නේම් හිස් ෂොප් ඔන් අස්. එනිවේ හී ෆොගොට් ටු පුට් අ හයිෆන් ඉන් බිට්වීන්.

මම : දිස් ඉස නොට් ජැපනීස් නේම්. වට් ද හෙල් ආර් යූ ටෝකින් එබවුට් ? (මේ අතර මගේ පිටුපසින් කවුරුන් හෝ කෑ ගසනු ඇසේ)

"මහත්තයා - මහත්තයා  නැගිටින්න මේ කොස්වත්ත හන්දිය "

මම කලබලයෙන් වටපිට බැලීමි. හෙඩ් ෆෝනය තදින් ඇදගත් මම බසයෙන් බැස ගත්තෙමි. මා හීනයක් දකිමින් සිට ඇත. ලේන්සුව ගෙන මූණ පිසදාන ගමන් සිහිනය ගැන නැවතත් කල්පනා කලෙමි. එම සිද්ධිය සිදු වූ ස්ථානය මට මැවී පෙනේ. ඒ පිටකෝට්ටේ සහ නුගේගොඩ අතර පාගොඩ පාරේ පිහිටා ඇති "හොඳහිත" ව්‍යාපාරයයි.

මා නැවතත් කල්පනා කලෙමි. "HONDAHITHA" යනුවෙන් ඉංග්‍රීසියෙන්ද එතැන බෝඩ් එකක් ඇත. ආහ් ! මට මෙවර හිනාව නවතා ගත නොහැකි විය. ජපන්නු පටලවාගෙන ඇත්තේ අපේ හොඳහිත මුදලාලිගේ කඩයි. ඔවුන් කියන්නේ එය "HONDA - HITHA" ලෙස ලිවිය යුතු බවයි. 
Honda Hitha Curd Shop හොඳහිත මී කිරි කඩේ

Wednesday, March 12, 2014

අපේ රටේ මිනිස්සු වෙනස් ...... Our countrymen are different

මීට අවුරුදු එකහාමාරකට විතර කලින් දිග පර්ස් එකක් ගත්තේ  කාරණා කීපයක් මුල් කරගෙන. දෙකට නවපු පර්ස් එක්ක ප්‍රමාණය ලොකු නිසා සාක්කුවට දැම්මම බස්රථයේ හෝ ඔෆීසියේදී ඉඳගන්න ගියාම කරදරයි. අනිත් එක එය කොන්දේ ආබාද ඇති වෙන්න හේතු වෙනවා කියලා මම කොතැනක හෝ කියවා තිබුණා. අනෙක් කාරණය තමයි මුදල් වලට වෙන හානිය. මුදල් නවන්නේ නැති වුණොත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් කාලය වැඩියි. ඒ වගේමයි විවිධ කාඩ් වර්ග වලට හානි නොවී තබා ගන්නත් මේක ඉවහල් වෙනවා. මීට අමතරව ඔය බිල්පතක්, කුඩා ප්‍රමාණයේ ලියුමක් වැඩිය කරදරයක් නැතිව ගෙනියන්නත් මේක හොඳයි.
Large Wallet in Pocket

ඕනෑම දෙයක හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවනේ. මේක තියෙන ලොකුම අඩුපාඩුව තමයි, සමහර කලිසම් සාක්කු වලට මේක දැම්මම වැඩි කොටසක් එලියට ඇවිත් තියෙන එක. මේක මට ඒ හැටි කරදරයක් නොවුනට බලාගෙන ඉන්න අයට ප්‍රශ්නයක් බව මට තේරුණේ මේක පාවිච්චි කරපු මේ කාලෙට මේක වැටෙන්න යයි, එහෙමත් නැත්නම් පික් පොකට් ගහයි කියලා අනතුරු අගවපු ප්‍රමාණය නිසා. මේ කාරණය හින්දම තමයි මට හිතුනේ අපේ රටේ මිනිස්සු වෙනස් කියන කථාව ඇත්ත කියලා. මොකද සාපේක්ෂව ආසියාවේ වෙනත් රටවල් එක්ක ගත්තම ලංකාවේ මිනිස්සු අවංකයි.  කලින් අනතුරු අඟවන්නේ සමහරවිට මිතුරන් වුවත්, නන්නාඳුනන බොහේ දෙනෙකුත් මේ වෙත්දී මට ඒ බව දැනුම් දීලා තියෙනවා. ඒ ගැන අහන සෑම වතාකවම මට අපේ රට ගැන පුංචි ආඩම්බරයක් ඇති වෙනවා.

නමුත් ලංකාව පොකට් ගැහිල්ල අඩුම රටක් නෙවෙයි. මේ වනවිටත් මේවා සිදු නොවෙනවා කියන්න බෑ. කෙලින්ම පොකට් එකට ගහන්නේ නැති වුණත් වෙනත් ක්‍රම වලින් සාක්කුවට බහින ක්‍රම අනන්ත අප්‍රමාණව වාර්තා වනවා. මේ බොහෝ තැනක කාන්තා පාර්ශවය කෙළවරක ඉන්නවා. ඔය ගෑණු පරාණයක් දැක්ක ගමන් මුළු ලෝකෙම අමතක වෙන මහත්වරුන්ට පොකට් කාරයෝ හොඳ පාඩම් උගන්වනවා. එහෙම නැතිව තමන්ගේ පාඩුවේ මනෝ පාරක් ගහගෙන යන අයටත් මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

පොකට් කාරයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා බොර දියේ මාලු බාන කණ්ඩායමක් තමයි, ප්‍රයිවෙට් බස් කොන්දොස්තරලා. මට මතකයි මම මුලින්ම 1990 කොළඹ ආපු කාලේ පිටකොටුවෙන් බස් එකට ගොඩ වෙනකොටම බස් කොන්දොස්තරලා නිතර දිව මතුරක් වගේ කියන වචන පේලිය
"ඔය සාක්කු පර්ස් පරිස්සම් කර ගන්න" කියලා.
 මේක ඇහුන ගමන් අපි බය වෙලා කලබල නැතුව බස් එකට ගොඩ වෙනවා. එතකොට කොන්දොස්තර මහත්තයාට එයාගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්.  මිනිහා ටිකට් කඩන ගමනුත් ක්‍රමානුකූලව කට්ටිය එහාට මෙහාට අඩුක් කරන්නේ මේ තියරිය පාවිච්චි කරලා. මෑතකදී නම් අර විල්බට් අඹතලාව කියන අපේ කාලයේ  කවියාගේ කවි නිර්මාණයක් බස් එකේ ඉස්සරහ දොර ළඟ අලවලා තියෙනවා.

   
අපහට සිදු වේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට සිදු වේ තෙරෙපෙන්න
ඔබගේ පොකට්ටුව ඉඩ ඇත නැති වෙන්න
පාපුවරුවේ නොසිට කරුණාකර පස්සට යන්න
  
මේ පර්ස් එක ගැන කියන්න ඇවිත් පික් පොකට් කතා ගැන කියන්න වුණානේ. 2010 දී මම  මැලේසියාවට ගිය වෙලාවේ මගේ ජංගම දුරකථනයට සිම් එක දාගන්න අතරතුරේ මගේ පර්ස් එක අමතක වුණා. ඒ කේ.එල්. සෙන්ට්‍රල් කියන දුම්රිය ස්ථානයේ තියෙන සාප්පු සංකීරණයේ. ආපහු ලැබෙනකොට ඩොලර් 600 ක් විතරක් අරගෙන තිබුණා. මොනවා වුණත් මට කෝච්ච්යේ යන්න, දවල්ට කන්න සල්ලි ඉතුරු කරන්න හොරා කාරුණික වෙලා තිබුණා. මම ඒ ගැන මගේ මැලේසියානු මිතුරත් සමග කී විට ඔහු මට යූටියුබ් වීඩියෝ බර ගණනක් පෙන්නුවා මැලේසියාවේ සිදු වන පොකට් ගැසීම් සහ මංකොල්ල කෑම් ගැන. ඔවුන් සාමාන්‍යයෙන් සංචාරකයන් ගැවසෙන ස්ථාන වලට යන්නේ නැති බවත් සඳහන් කළා. ඔහු මට කලින් මුණගැසී තිබුණානම් කියා සිතුණා.

අපේ අසල්වැසි ඉන්දියාවත් ඒ වගේ. නමුත් මුම්බායි නගරය කෙනෙකුගේ පසුම්බියක් ලැබුණොත් නැවත ලබා දීමට කැමති අය වෙසෙන නගරයක් බව සමීක්ෂණ වලින් හෙලි වෙලා තියෙනවා. මමත් මුම්බායි ගිය නිසා ඒකෙ පොඩි ඇත්තක් ඇති කියලා හිතෙනවා. නමුත්  ඉන්දියාවේ මසන කලිසම් වල ඇතුලත පොකට්ටුවක් තිබීමෙන් එහි තරම තේරුම යනවා.

රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව වගේම ෆොර්බස් සඟරාවත් මේ ගැන පර්යේෂණ කර තිබෙනවා. රීඩර්ස් ඩයිජෙස්ට් මගින් ඔවුන් පර්යේෂණය කරන නගර වල මුදල් පසුම්බි දහයක් බිම දමා එහි හිමිකරුගේ ලෙස දුරකථන අංකයක් සටහන් කර අයිතිකරු අමතන ප්‍රමාණය මගින් සමීක්ෂණය කර තිබෙනවා. යුරෝපයේ නගර අතරින් ලිස්බන් නගරය එයින් නරකම තැනට පත්වූ අතර හෙලින්සිංකි නගරය හොඳම තැනට පත් වී තිබෙනවා. මෙහි ආසියාව ගැන සඳහනක් නෑ. නමුත් සමීක්ෂණ ප්‍රතිඵල මගින් අවසන් තීරණයකට එන්න අපහසුයි. මෙය 100% සාර්ථක නොවන බව  මා විශ්වාස කරන්නේ හොඳම නගරයේ වෙනත් දස දෙනෙකු සහ නරකම නගරයේ වෙනත් දස දෙනෙකු තෝරා ගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වන බව පැහැදිලි නිසා.

කෙතරම් ආර්ථික අහේනියක සිටින රටක් වුවත්, ලංකාවේ අපේ අයගෙන් බහුතරය අනුන්ගේ දෙයක් ලබා ගන්න අකමැති බව පහුගිය අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයකදී මා තේරුම් ගත්තේ, මගේ පොකට්ටුව ගැන අනතුරු ඇඟවූ ප්‍රමාණය සහ පිටකොටුව වැනි ජනාකීර්ණ තැන් වලත් නිතර සැරිසරා ලබා ගත් අත්දැකීමෙන්. මේ ලිපිය ලියන්න ආරම්භ කල සඳුදා උදේ වරුවෙම ඉහත රූපයේ පෙනෙන ආකාරයට මගේ පොකට්ටුව දැක මට දන්නා නොදන්නා තිදෙනෙක් පැය කාලක් ඇතුලත එය පෙන්වා දුන්නා. එය මා තුල ඇති කලේ ඉතාම හැඟුම්බර ගරුත්වයක්. ඒ මගේ රටේ පුරවැසියන් ගැන. ලෝකයේ මේ තරම් අනුන්ගේ සතුට වෙනුවෙන් වෙහෙසෙන ජාතියක් නැතිව ඇතැයි කියන හැගීම මට ඇති වුණේ පොඩි ආඩම්බරයකුත් එක්ක. ඉතිං "අපේ රටේ මිනිස්සු වෙනස් නැද්ද ?"


Saturday, March 8, 2014

කෝ අද රත්නේ ..... කෝ... බිසී ද රත්නේ . Ratne Where are you ?

අර තැඹිලි කපන කොල්ලා සහ තැඹිලි ගන්න කොල්ලා ගැන මගේ පහුගිය පොස්ට් එක බලලා බොහොම දෙනෙක් කමෙන්ට් කරා.  ඒ අතරින් අපේ දේශකයා දාපු කමෙන්ට් එකක් නිසා මේ පොස්ට් එක ලියන්න අදහස ආවා. දේශකයා කිව්වේ මේ දවස් වල ඩයලොග් එකෙන් දාන රින්ගින් ටෝන් ඇඩ් ටික ගැන. ඇත්තටම කාලෙකින් දැක්ක බොහොම නිර්මාණශීලී වෙළඳ දැන්වීම කිහිපයක්. කවුරු මේකට දායක වෙලා තිබුණත් මුලින්ම මම සුභ පතනවා ඒ අදහස හිතට ආපු කෙනාට. ඇත්තෙන්ම ගත්තොත් අපි ඕනෑ තරම මේ වගේ ගීත අපිට ආවේනික වචන යොදාගෙන කියනවා. ඔය මළ ගෙවල්වල එහෙම යනකොට කියන සින්දු වල බොහොමයක් තියෙන්නේ අපේ වර්ෂන්. සමහර පද පේළි පිටින්ම අපේ ක්‍රමයට කියනවා. 
Ko ada rathne ko

කොළඹ කොටුවේ තිබ්බ අපේ ඔෆිස් එක බත්තරමුල්ලට ආපු ගමන් කන්න බොන්න අපි ගියේ සෙන් සාල් එකට. මීට කලින් මම බත්තරමුල්ලේ ඉන්න කාලේ සෙන්සාල් තිත්ත වෙලා තිබුණේ. මොකද සුපිරි මිලක් අය කලාට සුපිරි සේවාවක් නැති නිසා. මේ පාර ආපු වෙලාවේ අපි තේරුම් ගත්තේ මෙහෙ ඉන්න මිනිස්සු ගානටම රෙස්ටෝරන්ට්, ස්නක් බාර්, බත් කඩ, හෝටල් තියෙන බව. මගේ එක්ක ඉන්න මගේ සගයා, හැමදාම දවල්ට කාලා තොප්පියක් දාගෙන කිලෝ මීටර් දෙකක් තුනක් පයින් යන පුරුද්දක්. ඔහොම ගිහින් ඔය කෑම කඩ හොයාගෙන එන්නේ මිනිහා තමයි. දවල්ට කාපු ගමන් යන්නේ හවස තේ එක බොන්න මොනවා හරි හොයාගෙන. ඔහොම ගිය දවසක කොස්වත්ත හන්දියේ අලුතෙන් දාපු පුංචි ස්නැක් බාර් එකක ආරංචිය අරගෙන ආවා. මිනිහා මේකට කැමති වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.

නිතරම ගෙදරදී ඔෂින්, දිරිය දියණිය, චන්ගුමී වගේ වැඩසටහන් බලන අපේ මිත්‍රයා, මේක තනියම කරගෙන යන කෙල්ල ගැන තිබුණේ පුදුම පැහැදීමක්. මේ වගේ තැනක ඔය වගේ ව්‍යාපාරයක් කරගෙන යන එක අභියෝගයක් බව මගේ මිතුරා නිතරම පවසනවා. කතාව ඇත්ත. තනියම කොස්වත්ත හන්දියේ ව්‍යාපාරයක් කරන එක ලේසි නෑ. එතන තියෙන්නේ ජූස් බාර් එකක්. ඉතින් දවල්ට කාලා ඇවිදින ගමන් මගේ මිත්‍රයා එතැනින් පලතුරු වීදුරුවක් බොන්න මගේ මිතුරා පුරුදු වුණා. ඒ එක්කම මේ තරුණිය මගේ මිත්‍රයා එක්ක සුහදත්වයක් ඇති කර ගත්තා. ඔය කියන හින්දා මමත් දවසක් ගියා බලන්න. ඇත්තටම එතැනින් මමවත් ආවේ බ්ලොග් පොස්ට් එකක් ලියන බලාපොරොත්තුවෙන්. නමුත් ඒක ලියන්න බැරි වුණා. ඇය පලතුරු වීදුරුව එවෙලාවේම හදලා දීලා ඒකෙ ගුණ දොස් අහන්නත් අමතක කරන්නේ නෑ. අවුරදු තිහක් පමණ වෙන මේ යුවතිය කාගේත් සිත් ඇද ගන්නා ආකාරයට වැඩ කරනවා. කඩාගෙන යන ලස්සනක් නැති වුණත් යම් ආකර්ශනීය පෙනුමක් ඇයට තියෙන්නේ. ඇයගේ පෙම්වතා යයි සිතිය හැකි පුද්ගලයෙක්ද පසුබිමින් උන්නත් ඔහු වැඩිය කරලියට එන්නේ නෑ. 

පහුගිය ටිකේ ඉතා ජනප්‍රිය වෙච්ච් ඩයලොග් ඇඩ් ටිකෙන් මට නැගලම ගිය එක තමයි "කෝ අද රත්නේ  - බිසී ද රත්නේ" කියන එක. මට විතරක් නෙවෙයි මගේ දුවත් ඒකට කැමතියි. කොහොමත් රෙගේ රිද්මය මට අල්ලලා ගිය එකක්. ඉතිං මම ඕක මුමුණ - මුමුණ ඉන්නවා. ඔය අතරේ මගේ මිත්‍රයා පහුගිය දවසක කියනවා මෙහෙම
"මේ දවස් වල අව්ව හරි සැරයි බං. යන්න හිතෙන්නේ නෑ එලියට. අද පලතුරු එක බොන්න වෙන්නෙත් නෑ"
මෙහෙම කිව්වා ගමන් මට ඉබේම මෙහෙම කියවුණා.
"දැන් කඩේ කෙල්ල කියනවා ඇති කෝ අද රත්නේ කෝ - බිසීද රත්නේ" කියලා.
එහෙම කියලා මම මෙහෙමත් කිව්වා. ඔය රත්නේ කියන තැනට ඕනනම්  තට්ටේ කියලා දා ගන්නත් පුළුවන්. මොකද මගේ යාලුවාගේ කොන්ඩේ තාම වැවෙන නිසා.

මෙන්න වීඩියෝ එක



ඔය හැම එකකටම තව මොකක් හරි විකල්පයක් හිතෙන එක මට තියෙන ලෙඩක් නේ. ඒ සිංදුව යත්දී මගේ මතකෙට එන්නේ මම කුඩා කාලේ නිතරම ඇහුන, සිසිර/ඉන්ද්‍රානි සේනාරත්න  සුසිල් ප්‍රේමරත්න සහ මල්ලිකා කහවිට ගායක (විචාරක මහතාගේ දැනුවත් කිරීමෙන් නිවරදි කල පසු)යුවල ගායනා කරන "ආදර රත්නේ මොකද ඔයා" ගීතය. මේ ගීතය ඇහෙනකොට මගේ හිත ළමා කාලයට දිව යනවා. ඒ කාලේ මම මේ සිංදුව රස විඳපු පරිසරය සිහිපත් වෙනවා. හිතට අමුතුම පාලු ගතියක් දැනෙනවා.
විචාරක මහත්මයාගේ පෙන්වාදීමෙන් පස්සේ මේ ගීතය එකතු කරන ලදී. 

Tuesday, March 4, 2014

එක වල්ලේ පොල් ...... Coconut from same Bunch

ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන පවුලක ඒ වනවිටත් සිටින දරුවන් සිව් දෙනාට අමතරව තවත් දරු සම්පතක් ලැබෙනවා. ඒ කාසල් රෝහලේදී. බොරැල්ලත් නාරහෙන්පිටත් අතර මුඩුක්කුවක ලෑලි වලින් වටකර තිබෙන මේ නිවසට තවත් දරු උපතක් යනු අමතර බරක් බව පවසන්න අවශ්‍ය නෑ. නමුත් මේ දෙමාපියන් උපත් පාළනය පිලිබඳ අල්ප හෝ දැනුමක් ඇති අය නොවේ. වර්ග අඩි 20ක් වත් නැති ඒ නිවසේ සෙසු දරුවන්ගෙන් පාසල් යන්නේ දෙදෙනෙකු පමණයි. අනෙක් අය කුඩා කළම විවිධ ආදායම් මාර්ග සඳහා යොමු වී තිබෙන්නේ ඔවුන්ගේ පියා දැනට කරගෙන යන තැඹිලි කැපීමේ රැකියාවට සහයක් වන්න. 

පින්තූරය ගත්තේ : http://packwel.blogspot.com/
ඔවුන්ගේ පවුලට තවත් සාමාජිකයෙකු එකතු වන බලාපොරොත්තුව ඔවුන්ට තිබුණත්, එය නිවුන් දරු
උපතක් වන බව හීනෙකින්වත් ඔවුන් බලාපොරොත්තු වුණේ නෑ. රජයේ රෝහල් වල අපේක්ෂිත දරුවන් පිලිබඳ ස්කෑන් පරීක්ෂණ කෙරෙන්නේ නෑ. එසේ තිබුනද එය දන ගැනීමට ඔවුන්ට ඒ හැටි උනන්දුවන් නෑ. ගැබ් ගැනීම සහ දරුවන් ලැබීම ඔවුන්ට ඒ හැටි අරුමයක් නොවේ. මෙම නිවුන් දරු උපතත් සමග පියා වූ සුමනපාලගේ නළල රැලි ගැන්වුණේ සිහින් දහඩියත් සමගම. සවස ආපසු නිවාස කර යන ගමනේදී වත්තේ කිහිප දෙනෙකු  සමග එය  පැවසුවේ අපේක්ෂා භංගත්වයෙන් පිරි මුහුණින්.

එදින රෑ හදිසියේ ඔවුන්ගේ නිවසට ගොඩ වදින්නේ, සවස් යාමයේ නව දරු උපත ගැන ආරංචිය කන වැකුණු අයගෙන් කෙනෙක්. ඔහු පැමිණෙන්නේ හිස් අතින් නොව ගල් බෝතලයක්ද සමගිනි. නිවාස ඉදිරිපිටට වී එය හිස් කරනා අතරේ අමුත්තා තමන් ආ කාරණය පැහැදිලි කරනවා. 


"සුමනේ උඹලා කොහොමද තව ළමයි දෙන්නෙකුට පිටිකිරි දෙන්නේ. කන්න අඳින්න ඉස්කෝලේ යවන්න. අද කාලේ මේවා ලේසි වැඩ නෙවෙයි. උඹලා කැමති නම් මං  වැඩට යන බංගලාවේ මහත්තයාගේ ගමේ මල්ලිගෙන් අහලා බලන්නම්. ඒ මිනිස්සු රත්තරන් වගේ හොඳයි. ආපු වෙලාවට මටත් කීයක් හරි දීලා යන්නේ. හැබැයි ඒ ඉස්කෝලේ මහත්තයාට තියෙන එකම අඩුපාඩුව ළමයි නැති එක. උඹ කැමති නම් මං අහලා බලන්නං. උඹලාගේ දෙන්නගෙන් එකෙක් දෙන්න" 

"අනේ බං මට ඔය ගැන තීන්දු කොරන්න බෑ. අපේ සිරියාවතී ගෙන් අහලා බලන්න ඕනේ"
"හරි බං මේවා හදිස්සියට කොරන්න පුළුවන් කාරණා යැයි. හැබැයි ඉස්පිරිතාලෙන් එන්න කලින් කොරන්න වෙනවා. මොකද උප්පැන්නේ හදන්න එපැයි. ඒ වැඩ කර ගන්නත් පුළුවන් එතැන මහත්තැන් කෙනක් ඇල්ලුවාම"
"අනේ මං දන්නේ නෑ බං. සීදේවි කොලු පැටව දෙන්නා. අනික් උන් ටිකට වඩා ටිකක් පාටයි"

මේ කතාව එතනින් අවසන් වුවත්, දින කිහිපයකදී සියලු වැඩකටයුතු යුහුසුළුව සිදු වෙනවා. කොළඹින් ඈත ප්‍රදේශයකට එක් ළදරුවෙක් ගෙන යනවා. සිරියාවතී තමන්ගේ ඇඟේ ලේ වලින් සැදුනු මේ කුඩා පැටිත්තා නෝනා මහත්මියට දෙන ගමන් දෑසේ කඳුළු පුරවාගෙන මෙසේ ප්‍රාර්ථනා කරනවා
"අනේ මගේ පුතේ. මට සමා වෙයන්. උඹව හදා ගන්න තරම් අපි පෝසත් නෑ. උඹ ඔය මහත්තැන්ලාගේ ගෙදර හැදිලා මනුස්සයෙක් වෙයං"

මෙහෙම අවුරුදු විස්සක් විසි පහක් ගෙවී යනවා. එදිනෙදා ජීවන බරත් සමග වෙන්වූ දරුවා පිලිබඳ හාන්කවින්සියක් සියලු දෙනාට අමතක වී යනවා. වැඩිදුර අධ්‍යාපනයක් නොකරන පවුලේ බඩපිස්සා පියාගේ තැඹිලි කපන රැකියාවට උර දෙනවා. කැහුටු පෙනුමත්, විකට මුහුණත්, වාචාල එහෙත් අරුතක් ඇති යමක් මේ කොලුවාගේ කටින් නිතර පිට වෙනවා. "පණ්ඩිතයා" යන නම ඔහු ඇති තැනත්, නැති තැනත් කියවෙනවා. 

ඔහුගෙන් තැඹිලි ගෙඩියක් බොන්නට එන ගනුදෙනුකරුවන් සමග වචනයක් දෙකක් දොඩමලු වන්නට මේ කොලුවා අමතක කරන්නේ නෑ.   තවත් දිනක් ඔහු තැඹිලි කැපීමේ නිරත වෙනවා. ඔහු වෙත පැමිණෙන්නේ ඔහුගේම තරමේ නමුත් ඉතා හොඳ ඇඳුමකින් සහ ටයිපටියකින් සැරසුණ තරුණයෙක්. බැලූ බැල්මට මේ තරුණයා තැඹිලි කපන සුමියාගේ පෙනුමට සමානයි. නමුත් පාරට හැදුනු සුමියාට වඩා මදක් ගනුදෙනුකරුවා පිරිසිදුයි. තමන්ගේ පොල් කෑල්ල වැනි දත් කුට්ටම විදා පා සුමියා මෙසේ පවසනවා

"වාසිය අවාසිය තීන්දු කරනවට වඩා  ජීවිතේ  ඇදගෙන යන්නෙ මේ ගමනෙන්නේ"
ගමේ සිට කොළඹ පැමිණි තරුණයා විශ්මයෙන් මේ තැඹිලි කපන කොලුවා දෙස බලා සිටිනවා. ඔහුට මේ කොලුවාගේ සුබවාදී සංකල්පය ගැන පුදුමාකාර පැහැදීමක් ඇති වනවා. ඔහුගේ මතකයට එන්නේ මීට දින කිහිපයකට පෙර නගරයේ රැකියාවට පැමිණි විගස ලැබුණු ධානාත්මක චින්තනය පිලිබඳ පුහුණුව. ඒ අතින් මේ කොළුවා කෙතරම් ධානත්මකව සිටිනවාද ? ඒ හැමට වඩා ප්‍රසන්නට ඔහුගේ මුහුණේ දැනෙන යම් සමීප බව නිසා, කලෙක සිට දන්නා කියන හැගීමක් ඇති වනවා.

"තව එකක් කපන්න"
මේකා නම් ඊයේ කට් වෙන්නම ගහලද කොහෙද ? ඒ වුණාට හරි සීදේවි මහත්තයා. මං විතරම ඇති. දෙකක් බොනවා කියන්නේ, තුන්කාලක්වත් ගහලා ඇති. හැබැයි හොඳට දැකලා පුරුදු පාටයි. එහෙම හිතන ගමන් දෙවෙනි තැඹිලි ගෙඩිය කපා තරුණයාට දිගු කරනවා. 

"මේක ඔයාට"
සුමියාගේ කට කනට යන්නේ මේ මොහොතේ. එයට සමගාමීව ප්‍රසන්නගේද කට කනට යනවා. එවිටයි දෙදෙනාට අදහා ගන්නට බැරි වන්නේ තමන් මේ ඉන්නේ කන්ණානාඩියක් ඉදිරිපිටද කියා. දෙදෙනාගේම නල දත් පිහිටා ඇති අකාරය දෙදෙනාගේම විමතියට හේතුව.

______________________________________________

මේ කතාව මගේ හිතට ආවේ මේ දිනවල රූපවාහිනී නාලිකා වල දර්ශනය වන ඉතාම ජනප්‍රිය වෙළඳ දැන්වීමක් දුටුවාම. හේතුව තමයි තැඹිලි කපන්නා සහ සේවාදායකයා යන දෙදෙනාම එකම රූප ස්වභාවයේ අය වීම. ඇත්තටම ඔවුන් නිවුන් සහෝදරයන්ගේ පෙනුම ඇති අය. එය ඉතා සාර්ථක වෙළඳ දැන්වීමක් වන්නට තිබුණා, ගනුදෙනු කරුවාට තරමක් කඩවසම්, මදක් තරබාරු සිරුරක් ඇති අයෙක් තෝරා ගත්තා නම්. නමුත් ඔවුන් සිතුවේ මෙහි අනෙක් පැත්තද යන්න සිතා බලන්නට වෙනවා. ඒ පහල ස්ථරයේ ජනතාවට ගැලපෙන සේවකයන් පිරිසක් ඔවුන් සතු බව පෙන්වීමට උත්සාහ කලාද යන බව . ඔවුන්ගේ මානුෂීය බව එයින් ඉස්මතු කරන බව ඉතා පැහැදිලියි. 
______________________________________________
මෙන්න දෙන්නා
පින්තූරය කපා ගත්තේ : http://www.cclk.lk/ 

Saturday, March 1, 2014

ලෝකයේ ඔබ සිටින නගරයට අනෙක් පැත්තෙන් තිබෙන නගරය කුමක්ද ? What is the city opposites to your's ?

"මම අමුතු විදියට හිතන කෙනෙක්. ඕනෑම දෙයක් වෙනස් විදියට දකින්න, නිමවන්න තමයි මම කැමති" 

මේ වාක්‍ය දෙක ඔබ මීට පෙර දැක තිබෙන්නට පුළුවන්. එහෙම නොදැක්කා නම් වම්පැති තීරුවේ තිබෙන මා ගැන මමම කරන ප්‍රකාශය බලන්න. ඒක මම මා ගැන දුන්නු අර්ථකථනය. මේ මාතෘකාව සහ තවත් බොහොමයක් ඒවා දැක්කම ඔබටත් මා ගැන එහෙම හිතුනා නම් පුදුමයක් නෑ. ඇත්තටම මට පොඩ්ඩක් වෙනස් විදියකට බොහෝ දේවල් පේනවා. මෙහෙම කිව්වේ ලොකු කමටවත්, නයා දාන්නවත් නෙවෙයි. ඒ මගේ හැටි. මේක වරදවා වටහා ගත් අයත් නැත්තේම නෑ. 

ඔබ අසා තිබෙනවාද කියමනක් "මුළු චීන ජනගහනයා බීජිං නගරයට එකතු වෙලා එකවර පොළොවට තදින් පහර දුන්නොත්, ඇමරිකාවෙන් විශාල කොටසක් ගැලවී විශ්වයට එකතු වේවී" කියන ප්‍රකාශය ? මේක ජේ.ආර්.පී. සූරියප්පෙරුම උන්නැහේ රාව-ප්‍රතිරාව නංවනවා දොරමඬලාව ඔස්සේ. දැන් අපේ මවුතුමිය සිහි කරන්න එපා එතුමාව සිහිපත් කරාට. හැබැයි මම මේ කථාව අහලා තිබුණේ අපේ තාත්තාගෙන්. මේ කතාව මගේ හිතේ පුංචි කාලේ ඉඳලා තදින් පැලපදියම් වෙච්ච එකක්. මම හැම තිස්සෙම හිතුවේ ලංකාවට යට පැත්තේ තියෙන්නේ මොන රටද කියලා? හොඳ වෙලාවට මට පහුගිය දවසක මේක නැවතත් සිහිපත් වුණා. අද කාලේ මගේ බොහෝ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සපයපු ගූගල් දෙවියන්ගෙන් ඇහුවා. හොඳ වෙලාවට අපි හිතන විදියට හිතන අය තව ලෝකේ ඉන්නේ. 

ඉතින් ගූගල් දේවතාවුන් වහන්සේ ලබා දුන්න පිළිතුර ඔස්සේ ගියාම මගේ හිත කඩා වැටුණා. මොකද අර කලින් කියපු කියමන භෞතික විද්‍යාත්මකව ඇත්ත වගේ පෙනුනට, භුගෝලීයව සාවද්‍ය කරුණක් නිසා. හොඳයි අපි මුලින්ම බලමු ලංකාවට අනෙක් පැත්තේ, එහෙමත් නැත්නම් යට පැත්තේ තියෙන නගරය මොකක්ද කියා.අපට වරදින තව තැනක් තමයි අපි ලෝක සිතියම දැක්කෙම පොතක නිසා මේකට උත්තරය අපි හොයන්නේ කඩදාසිය මත ඇන්ද සිතියමක වීම. 

World Map

කරුමෙක මහත, ලංකාවේ අනිත් පැත්තේ තියෙන්නේ දකුණු පැසිපික් සාගරය. මම හිතනවා "Journey to the Centre of the Earth" කියන ලස්සන චිත්‍රපටය ඔබ නරඹන්නට ඇති කියලා. ඒ චිත්‍රපටයේ තියෙන්නේ මේ පැත්තෙන් ගිහින් අනිත් පැත්තෙන් මතු වන කතාවක්. ඔවුන් මතු වෙන්නේ ඉතාලියෙන්. අපි එහෙම ගියොත් හොඳටම නාන්න වෙන්නේ. මම ලෝකයේ නගර බොහොමයක් මේ විදියට මේ අපූරු වෙබ් පිටුවෙන් බලා ගත්තා. ඒත් බොහෝ තැන් වලට එන්නේ මහා මුහුද. මුලින්ම හිතුනේ මේක වැරදියි කියලා. හැබැයි අන්තිමේදී මට දෙපැත්තේ පිහිටන නගර/රටවල් දෙකක් හමුවුණා. ඒ චිලී සහ චීන දේශයන්. 

ඉහල පින්තූරේ සමකය තමයි කඩ ඉරෙන් පෙන්වන්නේ. නමුත් ඒ පින්තූරේ අපි ඉන්නේ සමකයට උඩින් අනෙක් පැත්තේ තැන පෙන්වන්නේ සමකයට යටින්. මතක තබා ගන්න ලෝකය ගෝලාකාර බව.එතකොට උඩ අර්ධයේ පිහිටන නගරයක අනෙක් පැත්ත පිහිටන්නෙම යට පැත්තෙන්. හා.... මම හොයා ගත්ත එක. ඔන්න ඒකත්. 

චිලී දේශයේ සන්තියාගෝ නගරය සෙවීම් කලාම ලැබෙන උත්තරය ඔන්න. දැන් තමයි මට වැඩේ අහු වුණේ. සමකයේ ඉඳලා පහලට හෝ ඉහලට තිබෙන දුර, අනෙක් පැත්තේ නගරයේ පිහිටන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන දුරකින්. දැන් ඔයාලටත් මේ වගේ ඒවා ගොඩක් හමු වෙයි. මෙන්න ලින්ක් එක ගිහින් ඒ වගේ ලැබුණු ඒවා කමෙන්ට් විදියට එකතු කරන්න. එතකොට අපිට හොඳ ලැයිස්තුවක් හදා ගන්න පුළුවන් වෙයි.

World Map

මේ ලින්ක් එක බුක්මාර්ක් කර ගන්න වටිනවා. මම නම් කළා. කන්ට්‍රෝල් + D ගහන්න.
____________________________________________
ප.ලි.
පහුගිය පොස්ට් එක අතරමැද මගේ ෆලෝවර්ස්ලා ගණන 300ක් වුණා. කිසිම කෙනෙකුගෙන් ඉල්ලන්නේ නැතිව මෙහි ලියන දේ ගැන සිතා එකතු වූ 300 ක් තමයි එහි ඉන්නේ. ඉතිං ඒක මට සතුටට කරුණක්. ඇවිද්ද පය ...... කියවා ඒ හා එක්වූ ඔබ සැමට තුති. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...