Thursday, February 27, 2014

ඔබත් කාටූන් බලන වැඩිහිටියෙක්ද ? Are you an adult still watching Cartoons ?

අද මම ගෙදර ආවේ ලොකු සිත් තැවුලකික්. ඒ ගැන ප්‍රසිද්ධ වේදිකාවක කථා කරන්න බෑ. ඒ වුනත් කෙටියෙන් කිව්වොත් මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ගෙන් වෙච්ච හානියක් තමයි හේතුව. මම ගෙදර ඇවිත් මගේ දියණියව වෙනදාටත් වඩා වෙලාවක් තුරුල් කර ගත්තා. ඒ මා සිටි පීඩනයෙන් මිදෙන්න. මගේ හැඟුම්බර තත්වය ඇය මොහොතකින් හඳුනා ගත්තා. ඒ ගැන කෙලින්ම විමසා සිටියා. මම අහපු සමහර බොළඳ වදන් වලින් ඇගේ දෙනෙත් තෙත් වුණා. පසුව අඩන්න ගත්තා. ඇය අස්වසාලද්දී මගේ බරෙන් ගොඩාක් නිදහස්. පස්සේ මගේ හොඳම හිතවතෙකුට ඒ ගැන කතා කරලා හිත නිදහස් කර ගත්තා. එහෙම ඉන්න ගමන් මම මතක් කරන්න උත්සාහ කළා ඊයේ උදේ හීනෙන් ලියන්න හොඳ මාතෘකාවක් දැක්කා. නමුත් මතක් කරන්න කොයි තරම් උත්සාහ ගත්තත් වැඩක් වුණේ නෑ. 


පින්තූරය ගත්තේ : www.dooyoo.co.uk
මට නිකං ඉන්න ගමන් මගේ හිතේ හිර වෙලා තිබ්බ එක් දෙයක් ගැන ගූගල් සෙවීමක් කළා. ඒ වැඩිහිටියන් කාටූන් බලන්න කැමති ඇයි කියන කාරණේ. මොකද මමත් හරිම කැමැත්තෙන් කාටූන් බලන නිසා. ගිරිපුර ඇත්තෝ තමයි මගේ කැමතිම එක. ඊට අමතරව මගේ දියණිය බලන චෝටා බීම්, මිස්ටර් බීන් ඇතුළු බොහොමයක් කාටූන් වලට කැමතියි. ඇත්තටම මොකක් වෙන්න ඇතිද හේතුව ? මම දවසක් මේ කාටූන් බලන්න කැමති අය ගැන පොඩ්ඩක් හිතලා බැලුවා. ඒත් අද ඇත්ත කාරණාව හොයා ගන්නකම් මම හිතන් හිටියේ වෙන දෙයක්. ඒක කිව්වොත් නයා ඇදීමක් වෙන නිසා ඇත්ත කාරණේටම බහිමු.

බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කාටූන් බලන වැඩිහිටියෝ වයසිට ගියත් මානසිකව මුහුකුරා නොගිය අය කියලා. නමුත් මමත් ඇතුළුව මගේ ලිස්ට් එකේ ඉන්න අය එහෙම නෑ. එහෙම කියන්නේ මම නෙවෙයි.  http://www.2knowmyself.com කියන වෙබ් අඩවිය. මිලියන් 50ක් හිට්ස් තියෙන මේ අඩවියේ සඳහන් අනිත් කරුණුත් වැදගත්. මෙහෙම කාටූන් බලන වැඩිහිටින් එහෙම කරන්නේ තමන් තුල තියෙන ආතතිය ඉවත් කර ගැනීමට. කොහොමද එහෙම වෙන්නේ ?

කාටූන් මගින් ඔබව සමාන්තර විශ්වයකට ගෙන යනවා. සමහරවිට ඔබේ බාලා කාලයට. සමාන්තර විශ්වයේ ඔබට කරදර නෑ. එහෙම ඉන්න කෙටි කාලයේදී ඔබේ ආතතියෙන් වැඩි කොටසක් නැති කරගෙන සැහැල්ලු වෙනවා. ඔබත් ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් මෙන්න විසඳුම. කාටූන් .... කාටූන්..... කාටූන්.... මේ සඳහා චිත්‍රපට සමහරුන් යොදා ගත්තත් ඒවා ඔවුන්ගේ ප්‍රශ්නය සමහරවිට තීව්‍ර කරන්න හේතු වෙනවා. මොකද ඒවා සැබෑ ලෝකය පිළිබිඹු කරන නිසා. හොල්මන් චිත්‍රපට බලන්න සමහරු කැමති ඇයි කියන කාරණය ගැනත් මෙහි ලිපියක් තිබෙනවා. ඔබේ ශරීරයේ තුවාලයක් ඇති විට ඒ පීඩාවෙන් මිදෙන්න කදිම මගක් හොල්මන් චිත්‍රපට බව එහි සඳහන්. හේතුව අතක් පයක් හෝ බෙල්ලෙන් කොටසක් අහිමි කෙනෙකුගේ තත්වය සමග සංසන්දන කොට ඔබට ඒ වේදනාවෙන් මිදෙන්න හැකි බව එහි තවදුරටත් සඳහන්.

මගේ සැටලයිට් බොක්ස් එක කපලා. නැතිනම් මේ මොහොතේ හෝ මම කාටූන් බලනවා. මේක නම් හරි ශෝක වැඩක්. ඔන්න ඔබත් දැඩි පීඩනයකින් හෝ ආතතියකින් පෙලෙන්නෙක්ද ? එහෙනම් මෙන විසඳුම කාටූන්. මොකක්ද ? කාටූන්. 

Sunday, February 23, 2014

අසූ නවය අනූව ජේවීපී කාළේ - කෙරුවා අපිත් සේවය මේ ලෙස රාළේ ...... Attended to duties in 89/90 JVP Era

දිනෙන් දිනම ත්‍රස්තවාදය සහ රාජ්‍ය ත්‍රස්තවාදය අතර ගැටුම උග්‍ර විය. අපගේ පාර ගාලු පාරත් සමග සම්බන්ධ වන ගුණදාස මුදලාලිගේ බේකරියත්, අපගේ නිවාස පසුකර ගමන් ගත විට පහලවත්ත පාර හමු වන තැන අතර ඇති තුංමන් හන්දියත් අතර කිලෝමීටර් තුන්කාලක පමණ ප්‍රදේශය හැරෙන්නට අනෙකුත් සියලුම ප්‍රදේශ වල ජාතික හැඳුනුම්පත් මේ වනවිට සහෝදරවරුන්ගේ ආණ්ඩුව(මෙය ජේ.වී.පී යනුවෙන් බොහෝ දෙනා හැඳින්වූවත් ඒ වනවිට නියම ජේ.වී.පී. සාමාජිකයින් එක්කෝ මරා දමා තිබුණි නැතහොත් උපක්‍රමිකව ඔවුන් ක්‍රියාකාරීත්වයෙන් ඈත් වී සිටියා විය යුතුය. මේ වනවිට එහි ක්‍රියාකරීත්වයට සක්‍රීයව දායකව සිටියේ බොහෝ ගම්වල උන් තරුණ පිරිස් අතර ඔවුන් ජවිපේ යනු කුමක්දැයි හරිහැටි නොදනින බව මා හොඳින් දැන සිටි කාරණයකි. මා දන්නා එක්තරා එජාප පවුලක් වැඩිමහල් තරුණයෙකු එම සංවිධානයට එක වූයේ තම පවුලේ සාමාජිකයින්ගේ ජීවිත් බේරා ගැනීමටය) භාරයේ ඇත. කෙදිනක හෝ මේ අඳුරු යුගය අවසන් වූ විට ඒවා නැවතත් අපට ලැබේ යන බලාපොරොත්තුව ඔවුන් ලබා දී තිබුණි. මේ කාරණය නිසාම අදත් මා භාවිතා කරන්නේ පාසල්යේ නවය වසරේදී ලබා ගත් මුල්ම ජාතික හැඳුනුම් පතයි. 

එකල බොහෝ සෙයින් දක්නට ලැබුණු පෝස්ටර වලින් එකක්.
කුඩා ලියුම් කැබැල්ලක් ලබා දී කඩයක්, සාප්පුවක් හෝ ආයතනයක් සම්පූර්ණයෙන්ම වසා දමන්නට සහෝදර වරුන්ගේ ආණ්ඩුව බලවත් වී තිබුණි. මෙයට පෙරද ඇල්පිටිය මුල් කරගත් සහෝදර රාජ්‍යයක් ගැන අපගේ වැඩිහිටියන් නිරතුරුව පවසනු අප අසා ඇත. මෙවරද මගේ නිවසේ සිට කිලෝමීටර විස්සක දුරින් පිහිටි ඇල්පිටිය ඔවුන්ගේ එක් මුලස්ථානයක් බවට පත් වී තිබුණි. නමුත් 71 දී තරම් ඔවුන්ට ප්‍රබල වන්නට නොහැකි වූයේ රජය විසින් ගෙනගිය මර්දනය වඩා ප්‍රබල වූ බැවිණි. තරුණයන් වශයෙන් එකල අප ටයර් වලට මහත්සේ බියක් දැක්වූයේ, කෙදිනක හෝ අපටද ටයරයක් මත වාඩි වී පණපිටින් අවසන් ගමන් යන්නට සිදු වේදෝයි යන භිය එකල තාරුණ්‍යයේ සිටි අප කා තුලත් නොඅඩුව වූ නිසාය. සෑම දිනකම හිරු නැගී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඇසෙන්නේ කුමන හෝ ගම්පියසක දැල්වුණු ටයර් සෑයක් පිලිබඳවය. බොහෝ දෙන වැඩිපුර උන්දුවක් දැක්වූයේ අද කී දෙනෙක් හිටියාදැයි දැන ගැනීමටයි. එම ගණන පිලිබඳ තීරණයකට පැමිණෙන්නේ තවමත් නොදැල්වුණු හිස්කබල්, අත්-පා කොටස් වල ආධාරයෙනි. සමහරුන්ට මෙය විනෝදාංශයක් වුවද ටයරය මත සිටින අය හඳුනා ගත් විට බොහෝ දෙනා තුල ඇති වන්නේ භීතිය මුසු ශෝකයකි.  සහෝදරවරුන්ගේ පාලනය විසින් මුලින් මුලින් මරා දැමුනේ ගමක සිටි බොරු චන්ඩි හෝ ගමට අවැඩ දායක පුද්ගලයන්ය. එහෙත් රජයෙන් කෙරෙන මරා දැමීම් හමුවේ ඔවුනුත් පසුව එකට එක කරන සෙයක් දැනිණි. සමහරවිටක මෙහි අනිත් පැත්තද සිදු විය. ඒ ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරිකයෙකු මරා දමා දවස් කිහිපයකින් පසු එම නිවස ඉදිරිපිට ජවිපෙ ක්‍රියාකාරිකයන් මරා දමා තිබීමයි. නමුත් කාලයත් සමග ඔවුන්ට මරා දමන්නට තරම් ජවිපෙ ක්‍රියාකරුවන් නැතිවන විට අතට අහුවන තරුණයන් පිරිසක් ඒ සඳහා යොදා ගන්නට එවකට ප්‍රදේශය භාරව තිබූ හමුදා කාණ්ඩයට සිදු විය. ඒ ඔවුන්ට නායකත්වය දෙන ඉහල නිලධාරිගේ අණට අනුවය. එම ඉහල නිලධාරියාටද තවත් ඉහල නිලධාරියෙකුගේ හෝ දේශපාලනඥයකුගේ අණක් ලැබී ඇත.

මෙවැනි වාතාවරණයක් තුල කොන්ත්‍රාත් පදනම මත බෙන්තොට බීච් හෝටලයේ මා කරන රාජකාරියට නොයන්නැයි මගෙන් දෙමාපියන් ඉල්ලා සිටියද, එය කිසිසේත් අත හැරීමට මා සුදානම් වුයේ නැත. එකල රාජකාරි වලට යාම සහෝදර ආණ්ඩුව තහනම් කර තිබූ අතර, රජය ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවට පෙළඹිණි. අතට ලැබෙන පඩියට වඩා මා කැමැත්තක් දැක්වූයේ එහි සේවය කල විවිධ තාරාතිරම් වල ය සමග විවේක කාල වල කෙරෙන අල්ලාප සල්ලාප වලටය. එකල පොඩි එකා හෝ පොඩි මල්ලි යනුවෙන් කා අතරත් මා ජනප්‍රියව උන්නේ ක්‍රිකට් හෝ පාපන්දු තරගයකදී කණ්ඩායම් වලට නැතිවම බැරි වූ නිසාය. ඔවුන් මා මේ රැකියාව සඳහා තෝරා ගත්තේ ප්‍රදේශයේ අනෙකුත් සංචාරක හෝටල් සමග තරගයකට බැසීමෙනි. අයි පී එල් සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි කරන ආකාරයට මෙන් මෙහි මුදල් ලංසුවක් නොතිබුණද, ලබා දිය හැකි තනතුර නොයෙක් විට මෙම හෝටල් දෙක තුනේ සේවය කරන අප ක්‍රීඩා සමාජයේ ජේෂ්ඨයන් දන්වා තිබුණි. ලිහිණියා සර්ෆ් හෝටලයේ කැෂියර් තනතුරක් හෝ ක්ලාක් තනතුරක් යෝජනා වනවිට බෙන්තොට බීච් හෝටලයෙන් රිසෙප්ෂන් ක්ලාක් නමැති අමුතුම තනතුරක් ගැන පවසා තිබුණි. මගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර දෙකක් අතර තුර තිබූ එක් විවේක  දිනයක මා බෙන්තොට බීච් හෝටලයට කැඳවාගෙන යන්නට රොහාන් අයියා වග බලා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 16 දිනට කල්ගිය ව්‍යවහාරික ගණිත ප්‍රශ්නපත්‍රය ලියා අවසන් කළ මා අගෝස්තු 17 වැනිදා සිට රාජකාරියට එළඹිණි. අම්මාගෙන රුපියල් හාරසිය පනහක් ඉල්ලාගත් මා මොකෑසිනෝ නමැති එකල ජනප්‍රියම වර්ගයේ සපත්තු යුගලක් මිලදී ගත්තේ අලුත්ගම නගරයෙනි.
මේ කවුද මොනවද කරන්නේ
පින්තූරය ගත්තේ : cheapestinindia.com

මේ වනවිට රජයේ ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණි. පුද්ගලික ආයතනද ක්‍රමයෙන් වැසී යන තත්වයකි. එහෙත් මා සේවය කල බෙන්තොට බීච් හෝටලය සහ සෙසු හෝටල් කලින් වෙන් කරගත් විදේශිකයන්ගේ පැමිණීමේ ඒ හැටි අඩුවක් නොවිණි. ඔබ හොටෙල් රුවන්ඩා චිත්‍රපටය නරඹා ඇතිනම් එකල සංචාරක කර්මාන්තය කෙරුණේ ඒ ආකාරයෙනි. නමුත් කිසිදු සංචාරකයෙකුට මේ පාර්ශව දෙකෙන්ම අවහිරයක් නොවීය. එය අපට මහත් අස්වැසිල්ලක් වුවද, කෙදින මේ ආයතනද වසා දමන්නට අණ කෙරෙනු ඇතිද සැක සංකාව බොහෝ දෙනා අතර විය. ඒ දිනය මට අද වාගේම මතකය, මේ වනවිට සියලුම දෙනාට රාජකාරි වලට වාර්තා කිරීම තහනම් බව නිවේදනය වී තිබුණි. රජයද සහෝදරවරුද ඇඳිරි නීතිය සවස හයෙන් පසුව පනවා තිබුණි. මා එදින රාජකාරියට සැරසුනේ සාමාන්‍ය ඇඳුමිනි. මා සතුව තිබු කළු අළු සහ සුදු ඉරි සහිත අත්දිග කමිසය ඇඳ, මගේ නිල ඇඳුම සහ සපත්තු යුගලය පන් මල්ලක දමාගෙන, මට අවුරුදු තුනක් බාල මගේ සහෝදරයා සමග පා පැදියෙන් හෝටලය බලා පිටත් වූයේ, පිටාරඹ නමැති එම හෝටල් සංකීරණයේ කෙලවර ඇති අපගේ පුංචි අම්මාගේ නිවසට යන පරිද්දෙනි. අපි ඇත්තටම මුලින් එහි ගියෙමු.  සවස තේ පානය කර එම නිවසේ පිටුපසින් ඇති හෝටල් සඳහා වන ප්‍රවේශ මාර්ගයට පිවිසුනේ තවත් නිවාස කිහිපයක් පසුකර ගිය විට ඇති දෙවැටෙනි. මේ මාර්ගයත් දුම්රිය මාර්ගයත් සමාන්තරව ගොස් ගාලු පාර සමග එක් වන්නේ බෙන්තොට බීච් හෝටලය ඉදිරියෙන් ඇති වංගුව අසලය. මා හෝටලට මදක් ඔබ්බෙන් බැස වටපිට බලා හෙමින් ගමන් ගත්තේ සේවකයන් ප්‍රවේශ වන කුඩා දොරටුව වෙතය. මගේ සහෝදරයාට පහළවත්ත නමැති මැටි පාරෙන් නිවසට යන ලෙස උපදෙස් දුනිමි.

මා යනවිට එහි අනෙකුත් සේවකයන්ගෙන් අතලොස්සක් පැමිණ තිබුණි. පිටගම් වල ජීවත් වන ඔවුන් මෙහි කල් ගෙවන්නේ නිමල් බේකරියට යාබදව ඇති ක්වාටස් එකෙහිය. මේ ආයතන වල සේවක පරතරය මනා ලෙස පවත්වා ගත යුතු නිසා, මෙහි වාසය කරන්නට අවසර දී තිබුණේ සුපවයිසර් ශ්‍රේණියට අදාළ සේවකයන්ට පමණි. ආහාර සැපයුනේද අදාලා මට්ටමට ගැලපෙන ලෙසය. මේ ස්ථානය බලාකියා ගත්තේ ධර්මේ නමැති ඉතා අවිහිංසක සේවකයෙකි. ඔහු අපට පියෙක් මෙනි. මා මෙහි වාසය නොකලත් මගේ කාලයෙන් වැඩි කොටසක් එතන රස්තියාදුවට ගත විය. කැරම් බෝඩ් එකක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමේ ඇති හැකියාව මා ඒ ස්ථානයට ඇදබැඳ තබාගැනීමට හේතු විය. එම ස්ථානයට දහවල් පැමිණෙන වෙනත් සේවකයන්ද අප හා කැරම් සෙල්ලමට එකතු විය. වඩා දක්ෂයන් දෙදෙනෙකු වූ සුනිල් කොඩිකාර සහ අමරසේකර සමග ක්‍රීඩා කිරීම නිසා මගේ හැකියාවන්ද ඉහල තත්වයකට ගෙන ඒමට පහසු විණි. අමරසේකර නමැති චරිතය සමග මට මතක් වන්නේ ඔහු මුලින්ම සේවයට බැඳුනු දින අසන ලද ප්‍රශ්නයකි. මීට අවුරුදු දහයකට පමණ පෙර සිදු වූ ඒ සිදුවීම විස්තර කරන්නේ සෙසු අයයි. ඒ ඔහු නැති තැනකය. මුලින්ම මුළුතැන්ගෙයි සහයකයෙකු ලෙස සේවයට ඔහු එක් වී ඇත. සංචාරක හෝටලයක් වූ එයට ඇතුල් වූ මොහොතේම ඔහු කැඳවාගෙන ගිය පුද්ගලයාට පවසා ඇත්තේ
"හෝටලයක් වුණාට කෙසෙල් කැනක් වත් නෑනේ" යනුවෙනි.
මා සේවය කල වකවානුවෙත් ඔහුට මෙය මතක් කර ලුණු ඇඹුල් ඇතිව අසා ගන්නා අය ඇත. එය අපට මහත්  ප්‍රීතියක් ගෙන දෙන කාරණාවකි.

එදින සිටි සියළුම පිළිගැනීමේ අංශයේ සහ ගිණුම් අංශයේ අය කැඳවූ  සහයක කළමනාකරුවකු වූ මේරියන්ස් මහතා

"අද ඉඳන් කට්ටියට මෙහෙ නැවතිලා වැඩ කරන්න වෙනවා. අපි කාමර දෙකක් දෙන්නම් අපි ඉන්න පැත්තෙන්. ඔයාලට එකේ ඉඳන් වැඩ කරන්න පුළුවන්. ආපහු යන්න වෙන්නේ මේ ඇඳිරි නීති නැති දවසක"
 මෙය අසා අපේ බොහෝ දෙනෙක් අමන්දානන්දය  පත් විය. මෙම කාමර දෙක සඳහා මම, දිලිප්, ජයවර්ධන, ගමගේ, ජයසේන විය. අපට වඩා පහල ශ්‍රේණි වල සිටි බෙල්බෝයි වැනි සේවාවන් කල අයට වෙනම ක්වාටස් එකක් හෝටලයට යාබදව විය. අප සමග සේවය කල සහෝදර සේවිකාවන් තිදෙනාටද ටික කලක සිට නවාතැන් සපයා තිබිණි. ඒ වින්ද්‍යා, මංජුලා සහ ගීතාංජලී යන තිදෙනාටය. මංජුලා සහ වින්ද්‍යා එකම කාමරයක සිටි අතර ගීතාංජලී වෙනම කාමරයක  විය. ඈ මුලින්ම මා යටතේ මගේ රාජකාරිය පුහුණු කිරීමට යෙදවිණි. මට වඩා වැඩිමහල් වූද, වෙනත් හෝටල් රැසක සේවය කර තිබූ ඇය ඉතා ඉක්මනින් මගේ රාජකාරිය ග්‍රහණය කර ගන්නට සමත් විය. මුල් දවස් වල ගීතාංජලීට පුහුණුව දෙන අතර මා විහුළුවට මෙන් "අද මං ඔයාගේ කාමරයට එනවා" යයි කියා සිටියේය. එදින ඈ කාමරයේ සිට "ඔයා එන්නේ නැද්ද?"යි ඇසීය. මගේ ඇඟ සීතල විය. එය කිසිසේත් කල නොහැක්කකි. මේ බව මා එතැන හුන් බෙල් බෝයි වරයාට සහ තවත් කිහිප දෙනෙකුට පැවසීය. පසුදා උදෑසන එදින සිටි බෙල්බෝයි වරයාට පිළිගැනීමේ අංශයේ ප්‍රධානියා කනට ගසා ඇත. ඒ ගීතාංජලීගේ කාමරයට තට්ටු කිරීම නිසා යයි පවසා ඇත. නමුත් එසේ කර ඇත්තේ ඔහු නොවන බව හේ අඬමින් පවසයි. එහි ගියේ ඔහු නොවන බවත්, මා කතාව පවසන තැන සිටි මගේ වෙනත් මිත්‍රයකු බව පසුව දැන ගන්නට ලැබිණි. ඒ වනවිටත් එම කාමරයෙහි වෙනත් කළමනාකරුවකු සිට ඇත. දඬුවම සඳහා හේතුව එය විය.

  දිලිප්ගේ පෙම්වතිය වූ  වින්ද්‍යා එක් වරම පැපොල රෝගයෙන් රෝගාතුර විය. ඇය නිවසට ගොස් ඇරලවීය. අපට මේ නේවාසික සේවාව ඉබ්බා දියට දැම්මා මෙන් විය. අප බොහෝ දෙනෙකුට අඳින්නට වත් ඇඳුමක් නොවීය. අප මුලින්ම කරන්නේ අපගේ අමතර යුනිෆෝමය ලොන්ඩරියෙන් රැගෙන විත් කවුරුන් හෝ අත ඇඳ සිටි යුනිෆෝමය යැවීමයි. ප්‍රථම රාත්‍රියේදී මගේ වැඩ නියමිත වෙලාව වන රාත්‍රී දහයට අවසන් කර ගැනීමට නොහැකි විය. මම අඩි තුනයි දෙකේ සමරිය සහ කැල්කියුලේටර් පතයද ඔසවාගෙන ගමගේ සමග කාමරයට පිවිසුනෙමි. ඒ වන විට අපේ කාමරයේ කුඩා සාදයක සිරි ගෙන තිබිණි. ඒ බෙල්බෝයිලා, බාර්මන්ලා සහ වෙටර්ලාගෙන් සැදුම්ලත් කන්දයමකිනි. කොහෙන්දෝ ගෙනෙන ලද බෝතලයක් වටා දහ දෙනෙකු පමණ වට වී ඇත. විවිධ කෑම වර්ග රාශියක්ද ඇත.  මීට ටික මොහොතකට පෙර ගමගේත් මමත් හොඳට සප්පායම් වී සිටියෙමු. ඒ කුස්සියේ වැඩ කරන සේවකයන් අප වෙත ලබා දෙන ආහාර තොගයෙනි. ගමගේද ඒ සාදයට සහභාගී වන අතරේ මා කාමරය කෙලවර කන්නාඩි මේසය මත මගේ සමරිය දිග හැර, කැල්කියුලේටරය ප්ලග් එකට ඔබා වැඩ පටන් ගතිමි. එම සමරිය සෑදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. කැලමසු ක්‍රමයට වූ එය දෙපැත්තටම තුලනය කල යුතුය. කාමරයට ගොස් මෙසේ තුලනය කළහැකි බව කලින්ම දැනී මා අනෙකුත් ෆයිල් වලින් ගතයුතු ඩොලර්, පවුම් ආදී මුදල් වර්ග වල අගයන්ද, ඒ ඒ සංචාරක ආයතන වලට අදාළ ගණන්ද එක් එක කාමරයට අදාළ තීරුවේ සටහන්කොට ගත්තෙමි. දැන් ඉතිරිව ඇත්තේ ගණනය කිරීම්ය. මේ ගාලගෝට්ටි අස්සේ එය නිම කල නොහැක. මට තරමක විඩාවක්ද දැනේ. මා නාන කාමරයට පිවිසියෙමි.

මා පිටතට එන විට බොහෝ දෙනා සප්පායම් වී කියවමින්ද, සමහරු බිම නිදාගෙනද, සිටි අතර ගමගේ නාන කාමරයට පිවිසීමට සුදානම්ය. මා ඇඳට වී නිදන්නට සුදානම්ව සිටි අතර අපගේ දුරකථනය ක්‍රියා නොකරන බව පණිවුඩය ගෙන ආවේ වෙනත් සේවකයෙකුය. ගමගේ ආ පසු, සියලු දෙනා පිට වී යනතෙක් බලා හිඳ, අප දෙදෙනා තුවා වලින් සැරසී, තවත් තුවායක දෙකෙළවර ගැටයක් ගසා තනා ගත් හින්ගන්නකුගේ පොට්ටනිය සේ පෙනෙන මල්ලක් සකසා එහි කාමරයේ දුරකථනය හොවාගෙන, ගමගේ හොරෙන් ගෙනෙන ලද අසල හිස් කාමරයක යතුරද රැගෙන් හොරුන් සේ ඇඟිලි තුඩු වලින් පිය මැන්නෙමු. මේ අසල කාමර වල ප්‍රධාන කළමනාකාර හපුගොඩ මහතා, උප ප්‍රධානී විතාන මහතා ඇතුළු සියලුම ප්‍රධානීන්ගේ කාමරය. වැරදීමකින් හෝ ඉන් කෙනෙකු පිටතට පැමිණියහොත් අප දෙදෙනා සුංය. අනෙක් කාමරයට සීරුවෙන් ඇතුල් වූ අප එහි ඇති දුරකථනය ගැලව ගෙන ආ එක සවි කොට අපගේ කාමරයට අවශ්‍ය දුරකථනයත්, තවත් තුවායකින් සාදා ගත් මල්ලක එහි ඇති මිනරල් වතුර බෝතල් දෙකත් රැගෙන හොර බළලුන් දෙදෙනෙකු මෙන් අපගේ කාමරයට ආවෙමු. දැන් මට රාජකාරිය කල හැක. එහෙත් මට දැඩි විඩාවක් දැනේ.

"නිදා ගනින් බං - හෙට උදේට හදපන්. මම ලයිට් නිවනවා"

ගමගේ ගේ අණින් මාද ඇඳට වී නිදන්නට පටන් ගතිමි. පසුදා උදෑසන ඇහැරෙන විට මගේ වමතේ වැලමිටට පහලින් දිය බුබුලක් ඇති බව දැනිණි. එයින් කුඩා වේදනාවක්ද ඇති බවද දැනිණි. මගේ උගුර රිදෙන බව පැවසූ විට හනෝ නොහොත් ගමයා පවසා සිටියේ පෙරදින දහවල් ආහාරය සමග ගිල දැමූ අන්නාසි නිසා වන්නට හැකි බවයි. අද තැඹිලි ගෙඩියක් ඉල්ලාගෙන පානය කරන ලෙසයි. මාගේ අත බෙල්ලට ගමන් කලේ නිරායාසයෙනි, එහි තවත් බිබිලකි. මේ බව ගමයාට පැවසු විට

"බලපන් - බලපන් තව තියෙනවද කියලා. මට හිතෙන්නේ උඹටත් ගස්ලබු හම්බ වෙලා වගේ"

මට දෙලෝ රත් විය. දැන් කොහොමද වැඩ කරන්නේ. වෙලාව උදෑසන හතට ආසන්නය. වහා සුදානම් වූ අප දෙදෙනා පිය මැන්නේ පිළිගැනීමේ අංශයටයි. මීළඟ මට තිබෙන්නේ හිටගෙන ඉන්නා පැය තුනකි. ඒ මා සාදන ලද සමරිය ගිණුම් අංශයෙන් පරීක්ෂා කරන තුරුය. මා අංශ ප්‍රධානී නානායක්කාර මහතා වෙත කැඳවාගෙන ගිය ගමගේ, ඔහුට මාගේ තත්වය පෙන්වීය. ඔහු මගෙන් ඉල්ලා සිටියේ වැඩටික ජයවර්ධනට භාර දී වාහම නිවසට යන ලෙසය. එසැනින් මා නිවසට ගමන් ගතිමි.

_________________________________________

  • මට ඉතා දරුණු ලෙස පැපොල වැළඳිණි. සති දෙකක් පමණ බිම එලන පැදුරකට වී කොහොඹ කොළ මත කාලය ගත කලෙමි. සියොලඟම බිබිලි වලින් පිරිණි. පහුගිය කාලේ ආහාරයට ගත් ඉස්සෝ,දැල්ලෝ අන්නාසි වල ප්‍රතිඵල නිකුත් වී ඇත.
  • එම කාමරය ආ ගිය දහතුන් දෙනෙකුට පැපොල රෝගය පැතිරී තිබුණි. එක් අයකුගේ දෙමාපියන්ටද බෝ වී, සුලෙයිමාන් රෝහලේ ප්‍රතිකාර සඳහා රුපියල් 18,000 ක් වැය වූ බව පසුව දැන ගන්නට ලැබිණි.
  • ඉන් දින කිහිපයකට පසුව සියළුම හෝටල් දින නියමයක් නැතිව වසා දැමිණි.
  •   මිතුරන්ගේ තොරතුරු තබා රටේ සිදුවන දෙයක්වත් දැන ගත හැකි අයුරක් නොවීය. 

Tuesday, February 18, 2014

පොලීසිය ට්‍රැෆික් වැඩි කරනවාද ? අඩු කරනවාද ? / Are policemen Increase the Traffic Jam or what ?

පොලීසිය කිව්වහම ඉතිං අපේ කට්ටිය කිසිම ප්‍රසාදයක් නැතිව කතා කරන සේවාවක් නේ. මම නම් ඒ අය දිහා බොහොම අනුකම්පාවෙන් බලන්නේ. මොකද අපේ වගේ රටක පොලීසියේ වැඩ කරනවා කියන්නේ ඉතිං බොහොම අමාරු රාජකාරියක් නිසා. මේ මිනිස්සු අව්වේ/වැස්සේ විඳින දුක් ගැහැට දැක්කම ඇති වෙන්නේ පුදුම දුකක්. "ගිනියම් අව්වේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ" කියලා අපේ ටී.එම්. ජයරත්න මහත්මයා ගායනා කළත්, මේ අය දිහා දෙවියෝ නිකමට වත් බලන්නේ නැති බව තමයි පේන්න තියෙන්නේ.

මම කියන්න ආවේ ට්‍රැෆික් නොහොත් මාර්ග තදබදය ගැන. අම්මෝ ඒ ගැනනම් කථා කරලා වැඩක් නෑ. හිනාම යන කාරණේ තමයි ඉදිරියෙන් වාහන තදබදයක් දැක්කම බොහෝ දෙනෙක් කියන දේ "ඉස්සරහ පොලිස් කාරයෙක් ඇති" කියන එක. ඊයේ හවසත් අපි බලාගෙන ගියා. හරියටම හරි පොලිස් මල්ලිලා දෙන්නෙක් වැඩේට බැහැලා. මේ පොලිස් මහත්වරුන්ගේ ක්‍රියාවලියෙන් හොඳටම බැට කන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන මම වගේ සාමාන්‍ය පුරවැසියන්. මොකද හිතුණ හිතුණ පාරෙන් යන්නද ? ආපහු හරවලා වෙන පාරක යන්නද ? කීයට හරි බස් එක යන වෙලාවක තමයි යන්න වෙන්නේ. එහෙම ගිහින් බොහෝ දිනවලට රතු ඉරට අහු වෙනවා.

කෙනෙක්ට හිතෙන්නේ පුළුවන් ප්‍රමාදයට හේතුව පුද්ගලික බස් පදවන ක්‍රමය කියලා. නෑ. මම බොහෝ වෙලාවට ගමන් කරන්නේ ජාතික ප්‍රවාහනේ. සුළු දුරක් තමයි ජනතා සන්තකේ යන්නේ. මොකද අපේ ඔරලෝසු කැරකෙන වේගෙන් නෙවෙයි එයාලගේ ඔරලෝසු කැරකෙන්නේ. මේ ගැන මම මීට කලිනුත් ලියලා ඇති. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලීසියේ මහත්වරු ට්‍රැෆික් වැඩි කරන ආකාරය ගැන.

මම දිනපතා ගමන් කරන්නේ 163 කියන බස් මාර්ගයේ. මේ මාර්ගයේ නුගේගොඩ ඉඳලා පිටකෝට්ටේ කියන කෙටි දුර යන්න මිනිත්තු 15ක් ගතවෙනවා කියන එක බොරුවක් කියලද ඔබට හිතෙන්නේ. නමුත් මිනිත්තු දහයට යන වෙලාවල් ඉඳ හිට නැත්තේ නෑ. ඇත්තටම මේ කිලෝ මීටර් එකහමාරට ඒ තරම් වෙලාවක් ගත වෙන්නේ ඇයි ?

  • මේ මාර්ගය ඉතා පටු එකක් වීම. ඒ නිසා වේගෙන් යන්න කැමති වුණත් ඉස්සර කරන්න බෑ. දෙපැත්තටම එක වගේ උදේ කාලයේ වාහන ගමන් කරනවා. 
  • මෙහි තිබෙන කඳු සහිත මාර්ගයේ නිසි වේගයක් පවත්වා නොගතහොත් කඳු තරණය ඉතා මන්දගාමීව සිදු වීම. එනිසා පසුපසින් පැමිණෙන වාහන වලටද ඉදිරියේ යන වාහනයේ වේගයෙන්ම ගමන් කිරීමට සිදු වීම. මෙහි ඇති බස් නැවතුම් කඳු පල්ලම් වල පිහිටා තිබීම. 
  • දේවාල පාර නමැති අතුරු පාරෙන් එන වාහන නුගේගොඩ නාවල පාරට ගමන් කිරීම සඳහා අනවශ්‍ය ලෙස කාලය ලබා දීම. මේ නිසා ප්‍රධාන මාර්ගය අවහිර වීම. 
මේ මාර්ගය ගත්තම සිද්ද වෙන කාරණා මේවා තමයි. මෙතනදී මම ඇතුළු මගීන් බොහොම ආවේගශීලී වෙනවා. මොනවා කරන්නද මම නම් දැන් එෆ්.එම්. අහනවා. වාහන දෙක-තුනක් යන්න කලින් නවත්වලා අතුරු පාරට ඉඩ දෙනවා. ඉතිං මේ වගේ පොලිස් නිලධාරීන් හසුරුවන තැන් තුනක්ම මේ මාර්ගයේ තියෙනවා. නමුත් මෙතනට එන නිලධාරියාගේ රාජකාරිය දේවාල පාරෙන් එන වාහන වලට ඉඩ ලබා දීම නිසා ඔහු පොදු මගී ප්‍රවාහනය ගැන නොසිතා ප්‍රධාන පාර අවහිර කර අවස්ථාව ලබා දෙනවා.

 මේ පින්තූරයෙන් පෙන්වන්නේ මෙහි ප්‍රධාන පාර වන, නුගේගොඩ පිටකෝට්ටේ අතර ඇති පාගොඩ් පාර අවහිර වන ආකාරය.
මෙයට විසඳුමක් ලෙස මා යෝජනා කරනවා රතු ත්‍රිකෝණ තිබෙන තැන් වලින් ගමන් කිරීම උදේ කාලයේදී හෝ සම්පූර්ණයෙන්ම නතර කොට, දම් පාටින් පෙන්වා ඇති මාර්ගයේ වාහන යවන ලෙස. එසේ කළහොත් බොහෝ දෙනෙකුගේ කාලය ඉතිරි කර ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙය ඔවුන් භාවිතා කළයුතු සාමාන්‍ය මාර්ගයයි. විශේෂයෙන්ම මේ මාර්ගය(පාගොඩ පාර) භාවිතා කර ඉසුරුපාය, සෙත්සිරිපාය, විදේශ සේවා වගේ දහස් ගණනින් සේවකයන් සිටින ස්ථාන වල සේවයට යන අයගෙන් බොහොමයක් මෙතන හිර වෙනවා. ඔවුන් ලබාදෙන සේවය ගැන තක්සේරු කිරීම වෙනමම කාරණයක්. නමුත් මේ නිසා අහිමි වන ඔවුන්ගේ සේවා කාලය කොපමණද ? 

ඒ නිසා මේ පුංචි වෙනස්කම කරලා බලන්න කියලා මම පොලිස් බලධාරී මහතුන්ගෙන් ඉල්ලනවා. මා මුලින්ම කියපු කාරණය ගැනත් වචන කිහිපයක් සඳහන් කරන්න වටිනවා. සමහර පොලිස් නිලදරුවන් මේ අතුරු පාරට ඉඩ දෙන්න සේවයේ යෙදෙව්වාම, එයාලා කරන්නේ පුළුවන් තරම් ප්‍රධාන පාරේ එන වාහන නවත්වලා අතුරු පාරට ඉඩ දෙන එක. මේ වගේ තැන් තව බොහොමයක් තියෙනවා ඇති, මා මේ සඳහන් කලේ තවත් එක ස්ථානයක් විතරයි. වෙලාවකට හිතෙනවා පොලීසිය ඉන්නවා කියලා පෙන්වන්න, තදබදය නිර්මාණය කරනවා වත්ද ? කියලා. 

Tuesday, February 11, 2014

සිංහ පීකුදුත් සමග පොල් කෑවෙමි. Eaten coconut with Sinhapeekudu

මේ කියන සිද්දිය 1986-87 කායලට දිව යන්නක්. ඒ කාලේ ඕ ලෙවල් කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උන්නේ. පොත් පත් වලට ඇස් ඔබාගෙන හිටපු ඒ අසීරු යුගය පහු කරලා, කුරුල්ලෙක් වගේ නිදහසේ සැරිසරන්න ලැබුණ මේ මාස කිහිපය, මගේ ජීවිතයේ රසවත්ම කාලය කියලා කියන්න පුළුවන්. මේ සමය මා අංශ කිහිපයකින්ම නිදහස ලැබූ යුගයක්. ආර්ථික නිදහස, අධ්‍යාපන නිදහස වගේම සමාජීය නිදහස උපරිමයෙන් භුක්ති වින්දා. 
පින්තූරය ගත්තේ : http://www.exoticmeatmarkets.com/

ඒ දිනවල මගේ දිනචර්යාව වුණේ, නගරසභාවට අනුබද්ධව කෙරීගෙන ගිය නිවාස තක්සේරු නිලධාරීන්ගේ සහයකයෙකු ලෙස කල සේවය අවසන් කර ක්‍රීඩා කිරීම. ඒ මගින් මගේ අවශ්‍යතා සපුරා ගැනීමට සරිලන වැටුපක් සොයා ගන්න සමත් වුනා. කොටින්ම ඒ ලෙවල් කරන්න අවශ්‍ය පාසල් නිල ඇඳුම්, සපත්තු සහ වෙනත් දේවල බොහොමයක් මම සපුරා ගත්තේ මගේ දාඩිය මහන්සියෙන්. මේ අතරවාරේ උසස් පෙළ ගණිතය සඳහා පන්ති යන්නත් වග බලා ගත්තා.  ඉතිං ආර්ථික නිදහස ලැබුණේ ඔන්න ඔය විදියට. අපේ නිවාස ළඟ කුඩා කඩයක් පවත්වාගෙන ගිය දයානන්ද අයියා(බාප්පා) ගේ කඩෙත් මම නිතර ගැවසෙන තැනක් වුණා. 

උදේ හතට ගෙදරින් ගියේ පාපැදියෙන්. ඉන් පස්සේ මගේ ඉහල නිලධාරියා වුණ ධර්මරත්න මහත්මයා මගේ සයිකලයේ තබාගෙන අදාළ ප්‍රදේශයට යනවා. අපේ සහයට තවත් සේවකයෙක් සිටිනවා. එයා තමයි ටේප් එකේ කෙලවර අල්ලා ගන්නේ. මගේ රාජකාරිය බිත්තිය දිගේ ටේප් එක ගෙනගොස් ඇතුලත බිත්ති ඇති තැනදී අදාළ කියවීම ධර්මරත්න මහත්තයාට කියන එක. එහෙම කියන්නේ "දහතුනයි පොයින්ට්, විස්සයි පොයින්ට්" ආදී වශයෙන්. පොයින්ට් කියන්නේ බිත්තිය පිහිටන තැන. දහවල් 12න් පස්සේ මගේ රාජකාරිය අවසන්. මම කෙලින්ම ගෙදර දුවගෙන එනවා. දුවගෙන නොවෙයි පැදගෙන. එහෙම ඇවිත් දවල්ට තියෙන දෙයක් කාලා, පිට්ටනියට යන ඇඳුම ඇඳ ගන්නවා. එහෙම අඳින ඇඳුම හොඳින් හොදා අයන් කරන්න මම අමතක කලේ නෑ. 

මගේ ඉලක්කය වුණේ, පාසල ඇරෙන්නට පෙර ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට යන එක. එහෙම යනකොට අපේ කණ්ඩායමේ කිසිවෙක් ක්‍රීඩාංගනයේ නෑ. මම කෙලින්ම යන්නේ පිට්ටනියේ ඈත කෙලවරේ තියෙන සුසිරිපාල - කුසුම්සිරි කියන මගේ වයසේ සහ මදක් වැඩිමහල් අප කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිවසට. එහි තමයි අපගේ පාපන්දු සහ ක්‍රිකට් උපකරණ රාත්‍රී කාලයේ තබන්නේ. මීට අමතරව අපේ පිපාසාව සංසිඳුවා ගන්නේ එම නිවසින්. මම පාපන්දුව පමණක් ඉල්ලාගෙන එයට පයින් තට්ටු කරමින් එන්නේ මෑත කෙලවර තිබෙන ගෝල් කණුව වෙත. එයට මදක් ඔබ්බෙන් පිට්ටනිය අසලින්ම ගමන් ගන්නා අඩි පාරත්, තවත් යාර කිහිපයක් ඔබ්බෙන් ඇති ලඳු කැලෑව සහ පොල් ගස් කිහිපයේ සෙවනට. එතනින් ඔබ්බේ තියෙන්නේ ලන්දේසි ඇල. මෙතන ඉඳන් මා හොරගල් අහුලන්නේ පාසල නිම වී එන එක්තරා ශිෂ්‍යාවක් දකින්නට.

ක්‍රීඩා සමාජයේ උප ලේකම් වශයෙන්, මේ අයගේ සම්පූර්ණ පැටිකිරිය දන්නා නිසාත්, ඔවුන් සමග තොරතුරු හුවමාරු කර ගන්නා නිසාත් යම් හිතවත් කමක් ඔවුන් සමග ගොඩනගාගෙන තිබුණත්, ඒ කාලයේ කෙල්ලන් සමග දොඩමළු වන්න තරම් ආත්ම ශක්තියක් මට තිබුණේ නෑ. නමුත් පාසල ඇරෙන තුරු පාපන්දුවෙන් තනිවම පුහුණු වීම මගේ ජීවන පුරුද්ද වුණා. 

මා ඇරුණුපසු මෙහි කලින් පැමිණෙන තවත් දෙදෙනෙක් සිටියා. පළමුවැනියා එම පාසලේම පහල පන්තියක ඉගෙන ගන්නා සිසුවෙක්. අපි ඔහුට ආදාරයට හෝ උසුළු - විසුළුවට කිව්වේ ජෙමස්සිනා කියලා. ජෙමස්සිනා කාල වර්ණ, කෙසඟ කොලුවෙක්. ඉත්තෑකූරු කොණ්ඩයත්, ගිලී ගිය දෑසත් ඔහුට සැපයුවේ භයංකාර පෙනුමක්ද නැතිනම්විකට පෙනුමක්ද කියා අදත් මට හිතා ගන්න බෑ. නමුත් ජෙමස්සිනාට ඉතා හොඳ තීක්ෂණ ඇසක් තිබුණා. ඒ බව පසක් කරන්නේ ඇල අයිනේ ඇති පොල්ගස් වල තිබෙන ගෙඩි ගණන හරියටම නිවැරදිව සටහන් කිරීමට තිබූ හැකියාව. 

"සුභාෂ් අයියේ අන්න අර ගහ යට ගෙඩියක් තියෙන්න ඕනේ. අර ගහ යට දෙකයි. අදට ඒ ඇති"
එසේ පවසා ලඳු කැලෑවට රිංගන ජෙමස්සිනා ආපසු එන්නේ අතින් කටිං පොල් ගෙඩි බාදාගෙනය. ගෙන එන පොල් ගෙඩි අප අසල හෙළන කොලුවා වචනයකුදු නොදොඩා නැවතත් ලන්දට රිංගයි. ඔහු නැවත එන්නේ කහඹිලියා ගසක් මුලින් උදුරාගෙනය. මෙය අපට සුලබ දසුනකි. ඉන්පසු කහඹිලියා මුල සූරා ගන්නා හෙතෙම, කහඹිලියා ගෑවී, පලු නැගී ඇති තැන්හී අතුල්ලයි. සැනෙන් ඉන් සහනයක් ඇතිවන බව අත්දැකීමෙන් දනිමු. මෙය අපටහඳුන්වා දුන්නේ රෝහණ අයියයි. මෙය ඔබ අප සැම මතක තබා ගත යුතු කාරියකි. එය විසෙන් විස නැසේ කියන කියමන පසක් කරනවන එක් උදාහණරයක් පමණි.  

ඉන්පසු අප තිදෙනා පිය නගන්නේ ක්‍රීඩාංගනයට වාහන ඇතුලත් වීම වලක්වනු පිණිස අඩි හයෙන් හය පමණ පරතරයෙන් තබා ඇති කළුගල් වෙතය. දෑතින් ඔසවා පොල් ගෙඩි එම ගල් මතට දමා ගසන්නේ කතරගම දේවාලය සිහි ගන්වමිනි. නමුත් එහි වෙනසක් වේ. ඒ අප අත ඇත්තේ ලෙලි නොගැසූ පොල් ගෙඩිය. තවත් විනාඩි කිහිපයකින් පොල්ගෙඩිය වටා ඇති ලෙලි සහ පොල්මුඩු ඉවත් කරන්නට තරම් අප සමත් වීමු. එම හැකියාවන් තවමත් අප තුල පවතී.  අප මෙසේ ලෙලි ගසා ගන්නා පොල් ගෙඩිය ඉරටුවක ආධාරයෙන් එහි එක්ඇසක් විද වතුර ටික පානය කරමු. එය කාලය ගන්නා විට අප කරන්නේ පොල් ගෙඩිය අතේම තබාගෙන ගලේ ගැසීමය.  ඉන්පසු ඉතිරි වතුර ටිකද, පොල්ද කා දැමීම අරඹමු. මේ වනවිට තවත් දෙතුන් දෙනෙක් අප අසලය. 

ඉමහත් කෙලිදෙළෙන් සහ සමගියේ ගතකල මේ සුන්දර කාලය කෙසේ අමතක කරන්නද ? නමුත් ඔබ තුල තවමත් නොවිසඳුණු ගැටළුවක් ඇත. ඒ සිංහ පීකුදු පිට්ටනියකට එන්නේ කෙසේද යන්නයි. සිංහ පීකුදු අප වෙත ගෙන එන්නේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින ප්‍රසන්නයි. ඔහු සේවය කරන්නේ ඔහුගේ බාප්පාට අයිති අයිඩා ස්වර්ණාභරණ ආයතනයේය. එහෙනම් සුද්දන් මාර්ගයෙන් සිංහ පීකුදු අපවෙත එනවා යයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් දකුණු අප්‍රිකාව වැනි රටකින් හැරෙන්නට සිංහ පීකුදු කෙසේ මෙහි ගෙන එන්නද ?

ප්‍රසන්නගේ මුහුණට සමාන මුහුණක් අන්තර්ජාලයෙන් සොයා ගත නොහැක. ක්‍රිකට් පිස්සෙකු වූ ඔහු අත යහමින් මුදල් ගැවසේ. ගෙල වටා බැඳී රන් කඹය එයට සාක්ෂි සපයයි. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ඩෙවොන් ස්මිත්ට සමාන රූ සපුවක් ඇති ඔහු නිතරම සිනා මුසු මුහුණින් සහ විහිලු තෙපලමින් කල් ගෙවයි. ක්‍රීඩාංගනයට එන්නේද ඔහුගේ මෝටර් සයිකලයෙනි. පොලීසියේ සාජන් වරයාද ඔහුගේ හොඳම මිතුරෙකි. සිංහ පීකුදු හා පොල් කෑම කෙතරම් රසවත් දැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. ඇත්තටම සිංහ පීකුදු මොන රස ඇත්ද ? මා නම් කිසි දිනක කටේ තබා නැත. සමහරවිට වේලාපු ගෝන මස් රස මෙන් විය හැක. නමුත් ප්‍රසන්න නමැති මේ තරුණයා ඔහු විසින්ම ඔහුට අමතා ගන්නේ සිංහ පීකුදු යනුවෙනි. අපේ ගමේ ඕනෑම කෙනෙකු ඔහු හඳුනාගෙන ඇත්තේ සිංහ පීකුදු ලෙසය. අද මෙන් එදා පච්ච කෙටිල්ල තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔහු පපුවේ පච්චයක් ලෙස "සිංහ පීකුදු" කොටා ගනු ඇත. 

මා වරක් ඔහුගෙන් එහි තේරුම අසා ගත්තේ වාසනාවටය. නැතිනම් ඔහේ කියන්නං වාලේ මටත් සිංහ පීකුදු යනුවෙන් මුමුණ මුමුණා ඉන්නට හැක. අද දින ඔබ වෙත ගෙන එන්නේ එදා දූරදර්ශීව ගත් ඒ තීරණය නිසාය. 

"මචං කැලේ රජා කවුද ? සිංහයා. සතෙක්ගේ තියෙන හොඳම කෑල්ල මොකක්ද පීකුදු. ඉතිං සිංහ පීකුදු කියන්නේ ආයේ කාටවත් සෙකන්ඩ් නැති රජ පොරක්ටනේ. ඉතිං මම එහෙම නැද්ද ? "

ඇත්තටම කෙනෙකුට සිංහ පීකුදු අවශ්‍ය නම් http://www.exoticmeatmarkets.com/lionliver1lb.html වෙත යන්න.

_____________________________________________
ප්‍රසන්න නොහොත් සිංහ පීකුදු කොහේ හෝ ජීවත් වනවා යන්න මගේ විශ්වාසයයි. නමුත් ජෙමස්සිනා පිලිබඳ කිසිම ආරංචියක් නොමැත. ඔහු එකල පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස රැකියාවට ගියේ තම පවුලට තිබූ දුෂ්කරතාවන් පමණක්ම නිසා නොව, සහෝදර දේශපාලනයට සම්බන්ධව ඔත්තු බැලීමට එය කදිම අවස්තාවක් වූ බැවිණි. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැත.
_____________________________________________
කාට හරි කමෙන්ට් කරන්න හොඳ නමක් නේ සිංහ පීකුදු ?

Sunday, February 9, 2014

ලොල්ද මන්දා අංක 12 : විකුණන ඉඩමට නමක් ....... A perfect name for land for sale

අපේ කාර්යාලයේ ඉන්න කාන්ති නෝනා දවසක් තේ බොන වෙලාවේ අළුත් ආරංචියක් අරගෙන ආවා. මෙතන මේ වෙලාවේ හිටියේ අකිලත්, මමත් තව කිහිප දෙනෙකු විතරයි. ඇවිත් මෙන්න මේ වගේ ඉල්ලීමක කළා
පින්තූරය ගත්තේ : www.getmyland.com

"අනේ මල්ලිලා අපේ උඩහමුල්ලේ තියෙන ඉඩමක් කොටස් කරලා විකුණන්න යනවා. දැන් ඉතිං කොහේ ඉඩම් වෙන්දේසියක් ගියත් ඒවාට ඉංග්‍රීසි නමක් දානවනේ. අපේ එකටත් හොඳ නමක් හොයා ගන්න ඕනේ. පොඩ්ඩක් දෙන්නත් එක්ක මට උදව් කරන්නකෝ"

අපි දෙන්නත් ඔළුව වනලා වැඩේ භාර අරගෙන ඔෆිස් එකේ අපේ මෙසේ දෙපැත්තේ වාඩි වෙලා දැන් ඉඩමට දාන්න නමක් හොයනවා. අනේ ඉතිං දෙයියනේ කියලා එංගලන්තේ තියෙන හැම ප්‍රාන්තෙකම නම් අපේ කට්ටිය පාවිච්චි කරලා තියෙන නිසා ඒවා අත අරින්න වුණා. සමර්ෆීල්ඩ්, වින්ටර් ගාර්ඩන්, ස්ප්‍රින් වැලි, මේ හැම එකක්ම තියෙනවා. බැරිම තැන අකිල කාන්ති මිස් ලඟට ගිහින් වත්තේ සිංහල නම අහ ගත්තා.

වත්තේ සිංහල නම කහටගහවත්ත. අපි දෙන්නා දැන් දස අතේ කල්පනා කරනවා මේකේ ඉංග්‍රීසි නම. කොහේ හොයන්නද ? බැරිම තැන අපි මේකට කියන උද්භිද විද්‍යාත්මක නාමය දාමු කියලා කාන්ති මිස්වත් කැමති කරගෙන, බොහොම අමාරුවෙන් පාවිච්චි කරන්න ලැබෙන අන්තර්ජාලය පීරලා පීරලා නම හොයා ගත්තා. ඒක දැක්ක ගමන් අපි දෙන්නට හොඳටම හිනා. අකිලයා දුවලා-දුවලා ගිහින් කාන්ති මිස්ගේ කණට කරලා නම කිව්වා, කාන්ති මිස්ටත් හොඳටම හිනා.

හොඳයි මම දැන් ඕක මෙතන කියලා දැම්මොත් කිසිම ගතියක් නෑ. ඒ නිසා අපේ බ්ලොග් රසිකයින්ට මම විද්‍යාත්මක ගැටළුවක් විදියට මේක ඉදිරිපත් කරනවා. බලමු කවුද කියලා හරි උත්තරය දෙන්නේ ?

මොකක්ද ප්‍රශ්නේ : කහටගහට කියන උද්භිද විද්‍යාත්මක නාමය. 

අන්තිමට මේ වත්ත කහටගහවත්ත විදියට තමයි වෙන්දේසියට ගියේ. 

Thursday, February 6, 2014

මමත් මාරු වුනා සිම්පල් ප්ලෑන් එකකට (අතිශයින්ම පුරුෂ පාර්ශවයට) ...... I too found a simple plan (Extremely for Gents)

මට මගේ පියා ජීවිතය ගැන බොහෝ උපදෙස්  දී තිබෙනවා. නමුත් තරුණ වයසේදී අපි දෙමව්පියන් කියන දේවල් කණකට ගන්නේ නෑ. ටිකක් කල් යත්දී තේරෙනවා "අනේ තාත්තා කිව්වා කතාව ඇත්ත නේද ? අම්ම කිව්වා එක මම එදා ඇහුවේ නෑ නේද ? " කියලා. මම මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මම ඒ ලෙවල් කරනකොට වගේ, යන්තමට දැලි රැවුල වැවීගෙන එත්දී, මටත් හිතුනා රැවුල කපන්න. ඒ කාලේ ඉතිං මේ වගේ දෙයක් කරන්නත් ලේසි නෑ. මොකද අපේ අතේ මුදල් ගැවසෙන්නේ නැති නිසා. මම බික් රේසරයක් ඉල්ලලා වද කරනකොට තාත්තා කිව දෙයක් තමයි
"දැන් ඔයා ඔහොම ආසාවෙන් රැවුල කැපුවට, කවදා හරි ජොබ් එකක් කරන කාලෙට තේරෙයි ඕක මහා එපා කරපු වැඩක් කියලා"
ඒ කතාව 100% ඇත්ත කියලා මට පහුගිය කාලේ මතක් වුණා. මොකද සමහර වෙලාවට විනාඩියක දෙකක ප්‍රමාදය, කාර්යාලයේ රතු ඉරට අහු වෙන්න හේතු වෙනවා. මේ වගේ කතාවක් කිව්වම බොහෝ දෙනෙක් කියන කතාව තමයි
"තව පොඩ්ඩක් කලින් ලෑස්ති වෙන්න"
කියලා. ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මම කොහොමත් උදේ පහට, සමහර දවසකට ඊටත් කලින් ඇහැරෙන මිනිහා. ඒ වුණාට මම දන්නා දෙයක් තියෙනවා. අපි වැඩට යන්න සුදානම් වෙන්නේ අපේ පරිසරයත් එක්ක බැඳිලා, වටේ පිටේ ඇහෙන සද්දත් එක්ක. උදාහරණයකට උදේ 5:30 ට ආරම්භ වෙන පිරිත් අවසන් වෙන්න් උදේ 6:30 ට. මේක මම නොදැන ගත්තත් මගේ යටිහිත දන්නවා. ඒ නිසා ඔරලෝසුවේ වෙලාවට වඩා අපේ හිත මේ පරිසරයට බැඳිලා වෙලාව ගෙනියන්නේ ඒ ශබ්ද, ආලෝක, තත්වයන් එක්ක. ඒක වෙනමම කතාවක්. දැන් අපි එමු මාතෘකාවට.

ඉතිං මම රැවුල කපන්න ඕනේ කිව්වම මටත් හම්බ වුණා මෙන්න මේ පහලින් තියෙන ජාතියේ රේසර් එකක්. ඒ කාලේ හැටියට ඔනෙම ජගතෙක් මේකක් තමයි ගන්නේ. ඒ දවස් වෙනකොට මේවා ඇවිත් වැඩි කාලයක් නෑ. නමුත් සංචාරක පුරවරයක් වෙච්ච අපේ ගමට බොහෝ දේවල් කලින් ආවා කියලා මම මීට පෙරත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ දේවල් අපිට කලින්ම දැක ගන්න ලැබුණා. නමුත් පරිහරණය කරන්න ගියේ නෑ.
පින්තූරය ගත්තේ : sharpologist.com 
මේ වෙත්දී අපේ තාත්තා හැම දවසකම උදෑසන රැවුලත් එක්ක යුද්ධ කරනවා මම දැකලා තියෙනවා. සබන් කෑල්ලේ බුරුසුවක් අතුල්ලලා ඒක මුණේ උලාගෙන රේසරෙන් අදිනවා. මේ අපි වගේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් නෙවෙයි. ඇවිදින ගමන්. නොකැපිච්ච තැන හොයා ගන්නේ මුණ අත ගාලා. හැබැයි අපිට වගේ ලේසි රේසරයක් එයාලට තිබ්නුනේ නෑ. අපේ තාත්තා හැම දවසකම රැවුල කපන එක නොවරදවා කරපු දෙයක්. ඒ වගේම එයා මට මෙන්න මේ වගේ උපදෙසකුත් දුන්නා.
"හොඳට රැවුල කපලා, පිරිසිදු ඇඳුම් ඇඳගෙන, සපත්තු පොලිෂ් කරලා හැමදාම යන්න පුරුදු වෙන්න. ඕනෑම තැනකදී වැඩක් කරගන්න පුළුවන් එහෙම ගියාම"
ඇත්තටම ඒ උපදෙසත් 100%ක් සත්‍ය බව මට පහුකාලීනව වැටහුනා.  ඉස්සර අපේ ගෙදර ලයිට් නැති කාලේ තාත්තා රැවුල කපනකොට කුප්පි ලාම්පුව අල්ලලා තාත්තට උදව් කරේ මම. මුලින් මුලින් ආසාවෙන් ඒ වැඩේ කලත්, පස්සසේ මට මේක එපා කරපු වැඩක් වුණා. ඒ නිසා වෙන්න ඇති තාත්තා මුණ අතගාලා ඉතිරි රැවුල් ගස් හොයන ක්‍රමයට යන්න ඇත්තේ.
පින්තූරය ගත්තේ : www.digital-rights.net
 තාත්තා රැවුල කපන්න පාවිච්චි කලේ මේ වගේ රේසර් එකක්. මට නම් හිතා ගන්නවත් බෑ මේ වගේ එකකින් කොහොමද රැවුල කපන්නේ කියලා. ඒ වුනත් මට බාල සහෝදරයා මේ වගේ එකක් පාවිච්චි කරනවා කියලා දැන ගන්න ලැබුණා.
පින්තූරය ගත්තේ : www.ebay.com
ඒ කියන්නේ තවම මේවාට වෙළඳ පොලක් තියෙනවා කියන එක. 

ඒ ලෙවල් අවසන් වෙනවාත් සමගම රැකියාවක් කරන්න වාසනාව මට ලැබුණ නිසා, මට අවශ්‍ය අඩුම-කුඩුම සපයා ගන්නත් මට පුළුවන් වුණා. ඉන් පස්සේ මම විවිධ රේසර් වර්ග වලට මාරු වුණා. ඒ කාලේ නොයෙක් වර්ග වල රේසර් වෙළඳපොලට ආවා. විල්කින්සන් කියන රතු-කළු රේසරයක් මම කාලයක් පාවිච්චි කළා. නමුත් ටික කාලෙකින් ඒවා ගන්න නැති වුණා. ඒවා එංගලන්ත වෙළඳ භාණ්ඩ නිසා මිල අධික වීම වෙන්න ඇති හේතුව.

ඊට පස්සේ බොහෝ කාලයක් මගේ හිතවතා වුණේ ජිලට් බ්ලූ ටූ රේසර් එක.
පින්තූරය ගත්තේ : www.atc-center.com
මේක ඉතිං බොහෝ දෙනෙක් දන්නා නිසා, ආයි අමුතුවෙන් විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මම හිතන්නේ ලංකාවේ තවමත් වැඩියෙන්ම විකිනෙන්නේ මේ වර්ගය.

මට තියෙනවනේ ලෙඩක් අලුත් මොනවා හරි දැක්කොත් අත්හදා බලන. මෙහෙම කාලයක් ඉන්නකොට අනූ අටේදී විතර ආවා තල තුනක් තියෙන රේසර් එකක්. නුගේගොඩ සෑම්ස් එකේ මේක තියෙනවා දැක්කම මට ඉන්නම බැරි වුණා. ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව ගත්තා එකක්.
පින්තූරය ගත්තේ : www.acne.org
මේක අරගෙන ඉන්න බැරි කම කොයි තරම්ද කියනවා නම්, එදා හවසම මේකෙන් රැවුල ගා ගත්තා. "ඇත්තටම මේක නියම භාණ්ඩයක්" මට එහෙම හිතුණා. මම ඉතිං නිකන් හිටියේ නෑ ඔෆිස් එකේ මගේ යාලුවොත් එක්කත් මේ ගැන කිව්වා. මම හිතන්නේ ඉන් පස්සේ කවුරු හරි මේකක් ගත්තා. දැන් වැඩේ නැගලා යනවා. මේකට දාන්නා රේසර් තල වෙනම ගන්න ඕනේ. ඒවා තියෙනවා සුපර් මාර්කට් වල ඕනෑ තරම්. කෑලි දෙකේ ඒවා, කෑලි හතරේ ඒවා.  සමහර වෙලාවට ලොකු ඩිස්කවුන්ට් එක්ක. මම ඒ වගේ වෙලාවල් වලට දෙක-තුන අරන් තියා ගත්තා.

මට මතක හැටියට 2000 ඉඳලා 2005 වෙනකං මම පාවිච්චි කලේ මේ වගේ රේසර් සහ තල. කිසි වරදක් නෑ මුණ තුවාල වෙන්නේ නෑ. සුමුදුව රැවුල කැපෙනවා. ආ.... කියන්න අමතක වුණා. ශේවින් ෆෝම්, ආෆ්ටර් ෂේව්. ඒවාත් මම භාවිතා කළා. ආෆ්ටර් ෂේව් නම් මුල ඉඳලම. ඔව් ඔව් බ්ලැක් නයිට් තමයි. ගෑවාම දෙයියෝ සිහි වෙන්නේ. 

 ඇත්තටම හොඳට රැවුල කපන්න නම් මේ ජාති දෙක අත්‍යවශ්‍ය දේවල්. ශේවින් ෆෝම් සහ ආෆ්ට්ර් ෂේව් (මේවාට සිංහල වචන තියෙනවද ?). රැවුල් ගස් කෙලවර ඉහලට ඇවිත් රළු පෙනුම එන්නේ නෑ, ශේවින් ෆෝම් භාවිතා කලහම. හැමදාම කොල්ලා වගේ ඉන්න පුළුවන්. :) . ආෆ්ටර් ෂේව් ඉතින් පාවිච්චි කරන එක ශරීර සෞඛ්‍යයට හොඳයි. අපිට පෙනෙන්නේ නැති කුඩා කැපුම් නිසා ඇති වන විවර මේ මගින් වැහෙනවා. ඒ වගේම විෂබීජ නැසෙන්නත් හොඳයි. ඒ වගේම තමයි රැවුල කපද්දී උණු වතුරෙන් රේසරය හෝදන්න පුළුවන් නම්. ඒක රැවුල කපන සාම්ප්‍රාදායික ක්‍රමයේ තියෙන එක් අංගයක්. තව දෙයක් රැවුල කපද්දී, ඒවා පිහිටලා තියෙන අතට විරුද්ද අතට කපන්න හොඳ නෑ. එහෙම කැපුවොත් ඉන් පස්සේ ඒවාහරි පැත්තට කොයි තරම් කැපුවත් හරි යන්නේ නෑ. 

2006 දී විතර මල්ලී රට ඉඳලා එත්දී ගෙනත් දුන්නා මෙන්න මේ ජාතියේ එකක්. ඇත්තටම ඒක ජාති බඩුව. මොකද ඒක රැවුල කපන ගමන් වයිබ්රේට් වෙනවා(දෙදරනවා ලාවට). හැබැයි ඒකට බැටරි දාන්න ගියාම විකිණෙනවා. A3 වර්ගයේ බැටරි තමයි හරි යන්නේ. ඒ මගින් රේසරයට අවශ්‍ය බරත් ලැබෙනවා.

පින්තූරය ගත්තේ : www.mysupermarket.co.uk
 මට දුන්න එකට අමතරව එයා පාවිච්චි කල ඒකත් මටම දීලා ගියා.  එකක් තියා ගත්තේ ගමනක් යනකොට භාවිතා කරන්න කට්ටලයට. ඒ කාලේ නිතර ඇවිදින්න වෙච්ච නිසා ඒකත් පහසුයි. නමුත් මුල් කාලේ මේ කොළ පාට බ්ලේඩ් නැති නිසා. උඩින් තියෙන මැච් 3 ඒවාම මේකට දාලා භාවිතා කළා. එක දෙයක් මතක් කරන්න ඕනේ. මේවායේ මිල හරිම වැඩියි. ඩිස්කවුන්ට් දාන වෙලාවට ගන්න එක තමයි මගේ සිරිත. සමහර වෙලාවට රේසරෙත් එක්ක, කාට්‍රිජ් පැකට එකක් දෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ වෙලාවකට පොඩ්ඩක් ඔලුව භාවිතා කරලා වැඩ කරොත් වාසි ගන්න පුළුවන්.

ඉන් පස්සේ මම චන්ද්‍රිකා නාලිකා වල ජිලට් ෆියුෂන් පෙන්වනවා දැක්කා. මේකේ විශේෂත්වය තමයි තල 5ක් සහිත වීම. ඉතිං මටත් හරි ආසා හිතුණා එකක් පාවිච්චි කරලා බලන්න. ලංකාවේ 2008 විතර ඒවා තිබුණේ නෑ. මෙහෙට ආවේ 2011 අග හරියේ මගේ මතකය නිවැරදි නම්. ඉතින් සිංගප්පූරුවේ ගිය වෙලාවේ මමත් එකක් ගත්තා. ඒකත් එහෙදී පාවිච්චි කරලා බැලුව. මල් මසුරන්. මම එක දෙයක් දැනගෙන හිටියා. මේවාට කාට්‍රිජ් ලංකාවේ නැති බව. නමුත් මේවා මැච් 3 බ්ලේඩ් එක්ක ගැලපෙනවා. එහෙම නොගැළපෙන එකක් තියෙන්නේ සෙන්සර් එක්සෙල් කියන වර්ගය විතරයි. ෆියුෂන් වල තියෙන විශේෂයක් තමයි නාහේ, කනේ වගේ තියෙන රෝම ඉවත් කරන්න පුළුවන් තනි තලයක් බ්ලේඩ් මණ්ඩලයේ උඩ පැත්තේ තියෙන එක. ඒක නම් මම වගේ කණේ මයිල් මොඩ්ල් වලට හරි වැදගත්. හැබැයි ප්‍රවේසමෙන් මේවා භාවිතා කරන්න ඕනේ. වෙන කල්පනා වල ඉන්න ගමන් මේ වගේ වැඩ කරන එක අනතුරුදායකයි. කණේ සම හරිම සිනිඳුයි.
පින්තූරය ගත්තේ : http://www.frugalcouponliving.com

මේකත් මම 2012 විතර වෙනකම් පාවිච්චි කළා. එහෙම කරලා හොඳටම හෙම්බත් වෙලා අන්තිමේදී තාත්තා කිව්වා වගේ රැවුල කපන එක මහා වදයක් වුණා. පස්සේ මම රැවුල එක ගානකට ට්‍රිම් කරලා වැව්වා. පස්සේ තේරුණා ඒක ට්‍රිම් කරන්න යන කාලය ඊටත් වඩා වැඩියි කියලා. බැරිම තැන ආයිමත්  කපන්න ගත්තා. මේ පාර මම අලුත් වෙළඳ දැන්වීමක් දැක්කා. ඒ ජිලට් ෆියුෂන් ප්‍රෝග්ලයිඩ් කියන එක ගැන. ගාණත් ටිකක් අඩුයි. බලන්නත් එක්ක ගත්තා.

පින්තූරය ගත්තේ : http://thriftytexan.com
ෆියුෂන් එක්ක මේකේ තියෙන වෙනස, බැටරි යොදවන්නේ නැති එක. ඇත්තටම ඒක අත්‍යාවශ්‍ය නෑ. ඒ වයිබ්රේට් මොඩ්ල් එකේදී මුහුණ මත රේසරය ඉතා සුළු ප්‍රමාණයකින් බම්ප් වෙනවා. ඒ නිසා වෙන්නේ කැපෙන ප්‍රමාණය අඩු වෙනවා. හරියටම 50%කින් නැතත්, එයට ආසන්න ප්‍රමාණයක්. එතකොට මුහුණ තුවාල වීම අඩු වෙනවා. මොනවා වුණත් හොඳ සොයා ගැනීමක්. මේක ටිකක් බරයි. හැබැයි වැඩේ කෙරෙනවා.

කොහොම හරි පහුගිය කාලේ දවසක මට ඔෆිස් එකේ ෆුල් නයිට් ගහලා උදේ ලෑස්ති වෙන්න ගියාමයි තේරුණේ රේසරය ගෙනැත් නෑ කියලා. මම ළඟ කඩෙන් බ්ලූ 2 එකක් ගත්තා. අනේ මේ කැපෙන්නේ ශෝක් එකට. බැලුවම එක-එක ඒවාට වඩා මේක හොඳයි නේ. හරිම සිම්පල් ප්ලෑන් එක. මමත් සංගා වගේ මාරු වුණා මේ සිම්පල් ප්ලෑන් එකට.

මොනවා වුණත් ත්‍රිත්ව විද්‍යාලයේ සංගා ගත්ත ත්‍රිත්ව ශතකයට මගේ සුභ පැතුම්.

හා ! මේ ඉන්නේ හොරු ටික. මොකද මේ කාන්තා පාර්ශවේ කට්ටිය මේක බැලුවේ. කමක් නෑ. මම දන්නවා බලනවා කියලා. හැබැයි එයාලත් දැන් අපි වගේම ශේවින් ෆෝම් ගාලම ෂේව් කරනවා මෙයාලා. බොරුද බලන්න පහලින් තියෙන පින්තූරේ. හැබැයි මේක කාන්තාවන්ට පමණයි. මොකද මේ මහත්තුරු කට්ටිය මේක දිහා බලාගෙන ඉන්නේ. 


පින්තූරය ගත්තේ : www.wisegeek.com
මේ සටහන ලිවීමේදී අපේ විචාරක තුමාගේ ශෛලිය පොඩ්ඩක් අනුගමනය කළා. එතුමා ආඩම්බර වෙයි මම හිතන්නේ. :)

මේ පහලින් තියෙන පින්තූර අනාගතයේදී සත්‍යයක් බවට පත් වෙන්නත් පුළුවන්.

පින්තූරය ගත්තේ : http://hanistan.blogspot.com
 මේ පින්තූරය ගත්තේ ඒ ගැන බ්ලොග් පොස්ටුවක් දාපු තැනකින්. ගාසා තීරයේ සේවය කරන විදේශිකයෙක් තමයි මේ ඩබල් කිරිල්ල ගැන ලියලා තියෙන්නේ. තවමත් මෙහෙම එකක් නෑ. සමහරවිට එන්න පුළුවන්.
පින්තූරය ගත්තේ : https://www.fasthorseinc.com
මේ පින්තූරයත් බ්ලොග් එකකින්. එහි රචකයා කියන්නේ කොයි තරම් බ්ලේඩ් ප්‍රමාණයක් අවශ්‍යද කියන කාරණය. මේවා අනාගතයේදී වෙන්නත් බැරි නෑ. 

පින්තූරය ගත්තේ : http://russell.heistuman.com
මේ දාපු රසල් මහත්තයා බොහොම රසවත් සටහනක් ලියලා තියෙනවා. ඒ මුවර් ගේ (ඉන්ටෙල් සමාගමේ) න්‍යාය භාවිතා කරමින්. ඒ මාස 18කදී ප්‍රොසෙසර් එකේ වේගය දෙගුණ කරනවා කියන එක. ඒ වගේ දවසක ජිලට් ආයතනයත් මේ වගේ රේසරයක් හදන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. 

Sunday, February 2, 2014

අශ්වයින් නැති තුරඟ තරග පිටිය - A racecourse without Horses

එක්දහස් අටසිය හතලිස් ගණන් වල කඳුකර ප්‍රදේශවල දාරාවැල්ල වැනි ජනාවාස ඇති වනවාත් සමග ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කරන ශ්‍රී ලංකාවේ තුරඟ තරග වල මුල් කාලය පිලිබඳ ලිඛිත සටහන් ඇත්තෙම නැති තරම්. වසර කිහිපයක් අවෑමෙන් එය ගාලු මුවදොර තනනිල්ලේ තරඟ පැවැත්විණි. එම වකවානුවේ එය අද පවතිනවාට වඩා විශාලය. එය අභියෝගාත්මක පථයක් වුයේ, වියලි සමයේදී දුෂ්කර වූ, වැසි සමයේදී තෙත බරිත සහ බෑවුම් ප්‍රදේශයේ ඉහල පහල ගමන් ගැනීමට සිදු වීම නිසාය. තවදුරටත් එය ජනතාව නිතර ගැවසෙන ස්ථානයක් වීම නිසා එය වටා වැටක් ඉදි කිරීමට නොහැකි විය. එනිසාම එහි නිතර අනතුරු සිදු වන තත්වයක් ඇති විය. කරත්ත වලින් ප්‍රවාහනය කරන ලද බියර් බැරල් වලින් තරග වලට බාදා එල්ල වීම එක් උදාහරණයකි.
පින්තූරය ගත්තේ : http://www.serendib.btoptions.lk

1861 දී  තුරග තරග ක්‍රීඩා සමාජය බිහිවීමත් සමගම, කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයෙන් අත්පත් කරගත් අක්කර 27ක භූමි භාගයක් තරමක් විශාල තණකොළ පිට්ටනියක් බවට පරිවර්තයන කර ගන්නා ලදී.  එවකට එය ආකෘතිය සහ පහසුකම් අතින් දකුණු ආසියාවේ හොඳම ස්ථානය විය. ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ආනුභාවසම්පන්නය, ඉස්තාල ආම්පන්න වලින් සම්පූර්ණය, මහත්වරුන් සඳහා අශ්වාරෝහක පුහුණු කිරීමේ කිරීමේ ක්‍රීඩා සමාජයක් සමග ක්‍රීඩාංගනයක් වෙනමම පැවතිනි. සම්මත ආකාරයට සුදු පැහැති පීල්ලක් ධාවන පථය දෙපසින් ඉදි කර තිබුනේ බියර් කරත්ත සහ එවැනි හිරිහැර නතර කිරීමට වුවත් බල්ලන් සහ කබරයන් තරග පවතින අවස්ථා වලදී ධාවන පථය හරහා ගමන් කර ඇත.

කොළඹ තුරගතරග ආරම්භ වුයේ 1893 ජුනි 22 වන අතර පසුව එය දියුණු ව්‍යාපාරයක් බවට පත් වූයේ එයට ලැබුණු නොමද සහයෝගය නිසාය, එමගින් ඔට්ටු තැබීමේ අවස්ථාද ඇති විය. ඔට්ටු වශයෙන් තැබුණු රන්පවුම් ජයග්‍රාහකයන්ට ලබා දුන්නේ පිත්තල මංජුසාවකය. කෙනෙකු ගෙනගිය ආණ්ඩුකාරවරයාගේ කුසලානය තුල පවුම් හතක පැවති බව ජනප්‍රවාද ඇත. ලංකාවේ තුරඟ තරග සඳහා යනවිට මහත්වරුන් ටෙල්-කෝට් ඇඳ සුදු පැහැති උස හිස්වැසුම් පැළඳි අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් එයට සමානවම ශෝභන ලෙස සැරසී ඔවුන් සමග පැමිණියහ.

ලංකා ටයිම් පත්‍රය නිතිපතා පැවතී තරග පිලිබඳ සිත්ඇදගන්නා විස්තරයක් සපයා තිබුණේ
සවස හතරෙන් පසු විලාසිතාවට ඇඳපැළඳි ප්‍රේක්ෂකයන් සමූහයකගෙන්  ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය පිරී යනවිට, නවාතන්පළවල්වල සිටි සෙනග පිටියේ රැස්කකා උන්හ. තදරතු කබායන් හැඳි 73න්වන බලකා හෙවායන්ද, නිල්පැහැති ඇඳුමින් කාලතුවක්කු හමුදාසෙබළුන්ද, කොළපැහැති රයිෆල් හමුදාවද, කහ සිවුරු දැරූ බෞද්ධ භික්ෂූන්ද, සෑම වර්ගයකම වාහන වලින් පැමිණි බර්ගර් ජාතිකයින්ද(පහසුකම්සහිතව ගෙනයනයන් වල සිට තිරික්කල දක්වා), දෝලාවලින් පැමිණි මුවර් ජාතිකයන් ඔට්ටු බාරගැනීමට සුදානම්වද, පිටකොටුවේ තම්බින්ද, අලංකාර ඇඳුමින් සැරසුණු ස්වදේශිකයන්ද, ස්වදේශික කාන්තාවන් පුදුම එලවන වර්ණයන්ගෙන් සැරසීද, අපවිත්‍ර අස්පල්ලන්ද, ලංකාවේ පැවති පන්ති නිජෝජනය කරමින් උන්හ. 
 1922 දී කොළඹ තුරඟ තරග පිටිය නැගෙනහිර රටවලින් මුලින්ම ස්වයංක්‍රීය ඔට්ටු තැබීමේ ක්‍රමයක් සහිත එකම ස්ථානය විය.එම යන්ත්‍රය  "ටෝට්" යනුවෙන් බොහෝවිට හැඳින්වීය. මෙම විශාල සහ සංකීර්ණ යන්ත්‍ර ඒ වනවිට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ භාවිතා කලද, එවකට එවැන්නක් මෙහි ස්ථාපනය කිරීම විශාල තාක්ෂණික ජයග්‍රහණයකි.
1929 දී මෙම ස්ථානය ඡායාරූපයට නැගී ඇති ආකාරය. මෙම පින්තූරය ලබා ගත්තේ සිරාගේ කාමයරට එය විද්‍යුත් පණිවුඩයක් මගින් එවූ lankapura.com මගින් සිරා පළකළ ඡායාරුපය ඇසුරින්. 

ඉන් අවුරුදු විස්සකින් අණතුරුව එනම් 1942 දී තුරඟතරග පිටිය අසාමාන්‍ය පැවරීමකට ලක් විය. මහත් භයානක මොහොතක් වූ ජපනුන් ලංකාවට පහරදීම මයිකල් ටෝම්ලින්සන්, පර්ල් වරායේ පිබිදීම සහ සිංගප්පූරුවේ කඩාවැටීමෙහි විස්තර කර ඇත්තේ "බ්‍රිතාන්‍යපාළනය දිවයිනේ ආරක්ෂාව තර කිරීම සඳහා හදිසියේ ගුවන්පථයක් තුරඟතරග පිටියේ සුදානම් කළහ" යනුවෙනි.

අතිශයින් සාර්ථක වූ හෝ(ව්)කර් හරිකේන් වලින් සන්නද්ධ රාජකීය ගුවන්සේවයේ 258 වැනි කණ්ඩයද. බ්‍රිස්ටල් බ්ලෙන්හයිම් නමැති ද්වී-යන්ත්‍ර සැහැල්ලු බෝම්බ හෙලන යානය සමගින් 11 වැනි අනුකණ්ඩයද කඩිනමින් ස්ථානගත කළහ.

1942 අප්‍රේල් 5 වැනිදා ජපනුන් කොළඹ වරායට පහරදෙනවිට, මෙහි ගුවන්පථයක් පැවති බව ඔවුන් නොදැන සිට ඇත. එය ඉතා මෑතකදී නිර්මාණය වීම ඊට හේතුවයි.  එකක් පසුපස එකක් අහසට නැගුනු හරිකේන් යානාවන් ඔවුන්ගේ ප්‍රහාරයට දැඩි සේ බාදා එල්ල වීම නිසා එය දුබල විය. එනමුත් එම යානා 14න් පහක් පමණක් නිරුපද්‍රිතව පැමිණියහ. ජපන් ගුවන් යානා ඒවා ගෙනයන නැව් වෙත පැමිණීමට සැලසුම් කලද, 11 වන කාණ්ඩයේ බ්ලෙන්හයිම් යානා  ජපන් නැව් වලට පහරදුන්නේ ඔවුන් සොයා ගැනීමටවත් ඉඩ නොතබමිනි.

චර්චිල් අගමැතිවරයා එම ප්‍රහාරය සටහන් කලේ යුද්ධයේ වඩාත් දරුණුම මොහොත ලෙසයි. යම් හෙයකින් ජපානය දිවයින අල්ලා ගත්තා නම් ඉන්පසු ඉන්දියාවට සහ අප්‍රිකාවට පහසුවෙන් ඇතුලත් වනු ඇත. එනිසා 258 වන කාණ්ඩයේ ගුවන් නියමුවන් නිසා එය සිදු වීම විශාල වශයෙන් වැළකිණි. දෙවන ලෝක යුද්ධ ඉතිහාසයේ  තීරණාත්මක මෙහෙයක් කොළඹ තුරග තරග පිටියේ තිබූ ගුවන්තොට  නිසා සිදු විය. 

මෙම එදිරිවාදිකම් අවසන් වී තුරඟ තරග පිටිය යලි ආරම්භ වුයේ 1956 දීය. එතෙක් මෙම ක්‍රීඩාව තහනම්ව ඇත(එනමුත් නුවර එළියේ තරගාවලියක් පවත්වා ඇත).

කොළඹ තුරඟ තරග පථය රජය අත්පත් කොටගෙන එම ඉඩම බෙදා දෙන ලදී. ටික කලක් එහි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය කොළඹ සරසවිය භාවිතා කර ඇත. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත, තවත් ක්‍රීඩා සමාජ කිහිපයක් ස්ථාපිත කර ඇත. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුධ හමුදාවද භාවිතා කර ඇත. නමුත් එහි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ ධාවන පථය නගරයේ අශෝභන දර්ශනයක් විය. එනිසා එය නැවතත් යටත්විජිත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව, රජයේ කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිනිර්මාණය කර ඇත. ඒ සඳහා නායකත්වය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් අතර මීට ටික කලකට ප්‍රථම කොළඹ ඕලන්ද ආරෝග්‍ය ශාලාවද මෙසේ ප්‍රතිනිර්මාණය කර සාප්පු සහ ආපන ශාලා සංකීර්ණයක් ලෙස පත් කොට ඇත. 

තුරඟ තරගය පථය තිබූ ප්‍රදේශය ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාංගනයක් බවට පත් කොට ඇති අතර එය රටේ ප්‍රධාන ජාත්‍යන්තර රග්බි ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සහිත ප්‍රධාන ක්‍රීඩාංගනය බවට පත් කොට ඇත. ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අනාගත රග්බි ප්‍රේක්ෂකයන් වෙනුවෙන්  සංරක්ෂණය කරන ලද අතර  අතීතයේ දී අශ්වාරෝහකයන්ගේ කාමර, ආවතේව කරුවන්ගේ කාමර, විමසීම් කාමර සහ ඔට්ටු තැබීමේ කාර්යාල තිබූ 1923 දී ඉදි කරන ලද යාබද කුඩා ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම නැවත සකස් කර ඇත.

මෙම පුරාතන ස්වේත ගොඩනැගිල්ල සම්භාව්‍ය බ්‍රිතාන්‍ය විලාසිතාවට විශිෂ්ඨ  උදාහරණයකි. එහි මුහුණත අලංකරණය ඉතා කදිමය, එහි ජනෙල් විශිෂ්ඨය, විශාල වෘත්තාකාර අහස කවුළුද ඇත. පාරට මුහුණලා ඇති කොටසේ ත්‍රිත්ව කොළම සිත්වශීකරවන අඳුරු කොරිඩෝවක් තිබුණි. අතීතයේ මේවායේ විශාල රේස් කාමර පවතී මුත් අද ඒවා සාප්පු සංකීර්ණයක් සඳහා අලුත්වැඩියා කර ඇත.

ඉතිරි පරිච්චේද දෙක මගින් එහි ඇති සාප්පු සංකීර්ණ ගැන විස්තරයක් කර ඇත. 


මෙම ලිපිය රිචර්ඩ් බොයිල් මහතා සෙරන්ඩිබ් සඟරාවට සම්පාදනය කරන ලද ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයකි. 
Colombo Racecourse in 1929
පින්තූරය ගත්තේ : http://www.serendib.btoptions.lk

කොළඹ තුරඟ තරග පිටිය විසිවන සියවසේ මුල් භාගයේ දිස් වූ අයුරු/


පින්තූරය ගත්තේ : http://www.serendib.btoptions.lk
තුරග තරග පිටිය අද.
මෙහි මුල් ලිපියෙහි තවත් බොහෝ පින්තූර ඇතත්, ලිපියට අදාළ ඒවා පමණක් මෙහි එකතු කොට ඇත.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...