Monday, January 27, 2014

කෙටිම කෙටි ලොල් කතා අංක 34 : මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

පාසල් ගුරුවරුන්ට තරම් ලොල් කතා අහන්න ලැබෙන වෙනත් කොට්ඨායක් නැති තරම්. මොකද හය-හතරක් නොදන්නා පොඩි එවුන් කියන කරන දේවල් වැඩිහිටි අපට වෙනත් තේරුමක් සහිතව ලොල් වෙන නිසා. මෙහම කතා රාශියක් අහලා තිබුණත්, කාලෙකට කලින් අහපු මේ කතාව නම් හරිම රසවත්. මේක කොයි කාලේ වුණාද ? කොහේදී වුණාද ? කියන්න නම් මතකයක් නෑ. අනිත් එක කටින් කට එන මේ යාන් හෑලි වලට දින වකවානු නෑ. 

මේ පන්තිය අපි හිතමු පහ ශ්‍රේණිය කියලා. එතකොට ශිෂ්‍යත්වයට  කවියක්  දීලා ඒවායේ තේරුම අහන එක සිරිතක්. ඉතිං සඳුදා උදෑසනක පන්තියේ රූමත් තරුණ ගුරුවරිය පන්තියට ඇවිත් ළමයි නිශ්ශබ්ද කරලා කළු ලෑල්ලේ ලිව්වා පහළින් තියෙන බොහොම දෙනෙක් දන්නා කවියක්. 



වනේ ගිජිඳාය දුටුවොත්               වනසාය
ළිඳේ පනිඳාය වැටුනොත් ඌ            කාය
අතකින් කරවැලය අතකින් දඬු          බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි     කෑය

ළමයින්ට මේක ලියා ගන්න කියලා ගුරුවරිය තමන්ගේ ආසනයට ඇවිත් වාඩි වුණා.  ඉන් පස්සේ උණු වතුර බෝතලය ඇරලා තේ ටිකක් බිව්වා.ඊට පස්සේ රැල් බුරුල් එහෙම ඇරලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා

"හා .... ළමායි දැන් කියන්න බලන්න මේ කවියෙන් කියවෙන්නේ මොන වගේ කෙනෙක් ගැනද කියලා ?"

ළමයි දීපු උත්තර මෙන්න මේ වගේ

සීයා කෙනෙක් / නාකි එක්කෙනෙක් / වයසක කෙනෙක්

මේක අහලා ගුරුතුමියට හොඳටම කේන්තියි. අනිත් එක වෙනදා උත්තර නොදෙන අයත් පැන-පැන උත්තරය දුන්නේ හිනා වෙමින්.

"මොනවා? තමුන්ට හිතෙන්නේ මේ කවිය වයසක කෙනෙක් ගැන ලියවිලා කියලා"

එහෙම කියලා ගුරුතුමිය කවිය විස්තර කරන්න හිතාගෙන කළුලෑල්ල තියෙන තැනට ඇවිද ගෙන ගියේ   හිතෙන්කවිය කියවන ගමන්. අන්තිම පේළිය කියවන්න ගියාමයි ගුරුතුමියට තරු පෙනුණේ. "ම" යන්නෙන් පටන් ගන්න ඕනේ හතර වෙනි පේළිය පටන් අරන් තිබුණේ "ප" යන්නක් දාලා. ගුරුතුමිය තේරුම් කිරීම පැත්තකින් තියලා මුළු කවියම මකලා දැම්මා. 

Wednesday, January 22, 2014

කොස්ගහ කපන්නේ නැතිව මායිම ගහන්න බැරිද ?

වීඩියෝව ගත්තේ :Inflame (Pvt) Ltd හී youtube නාලිකාවෙනි. 
"හරියටම මායිම බෙදන්න නම් කොස් ගහ කපන්නම වෙනවා"

මේ ඉහතින් තිබෙන වීඩියෝ පටයේ හොඳින් ඵලදාව ඇති කොස් ගසක දර්ශනයත් සමග පසුබිමින් ඇහෙන වදන් පෙළයි. මේ වචන පේළිය ඇසුණ විට පපුව හෝස් ගා නොයන්නේ කාගේද ? අපි කොස් ගහට එතරම් ඇලුම් කරමු. හේතුව කොස් ගසේ දල්ලේ සිට මුල දක්වා සෑම කොටසක්ම මිනිසාට ප්‍රයෝජනවත් වන බැවිනි. ඉතිං මේ වීඩියෝ පටය අවසානය තෙක් කට බලියාගෙන නොබලා සිටින්නේ කවුද ? එය විකාශනය වන මොහොතේ ඔබ දුරස්ථ පාලකය ගෙන වෙනත් නාලිකාවක් නැරඹීමට හිතුවා නම්, තවත් මොහොතක් (තත්පර 32ක්) හිඳ එය නරඹා අවසන් කරනු නියතයි.  හොඳයි පළමු වතාවට ඔබ එසේ කළා යයි සිතමු. දෙවන, තෙවන හෝ විසිවන වතාවේ වත් ඔබට නාලිකාව වෙනස් කිරීම හෝ, රුපවාහිනිය ක්‍රියා විරහිත කරන්නට සිතුණාද ? උත්තරය 99% ක්ම "නෑ" බව විශ්වාසයි. 

කොස් ගහ කපන්න වෙනව් නම් මායිම අපේ පැත්තට ගන්නැයි, මායිමේ අනෙක් පාර්ශවය පවසයි. එය කෙතරම අසම්භාව්‍ය වුවද, එමගින් කොස් ගසට මෙරට ජනයාගේ ඇති ප්‍රේමය නැවත වතාවක් පසක් කරවයි. මේ වනතෙක් ජවනිකාවේ කිසිදු ගැටලුවක් නැත. අපේ රටේ මිනිස්සු බෙදා හදා ගන්න ජාතියක් බව පැවසීමත් මුසාවක් නොවේ. එතෙක් පවසන්නේ මේ රටේ ජීවත් වන ජාතියේ හැඟුම්බර ස්වභාවය නොවේද ? වරක් මා සහභාගී වූ නායකත්ව පුහුණු වැඩසටහනකදී පිය ගුණ ගීතයක් අසන්නට සලස්වා, සියලු දෙනාගේ දෙනෙතෙන් කඳුළු වැටෙද්දී, ඔබ වැඩ කරන ආයතනය ඔබගේ පියා මෙන් සුරකින්න යන පණිවුඩය අපට හීනියට ඔබන්නට එය සිදු කල සම්පත් දායකයා සමත් විය. කෙනෙකු හැඟුම්බරව සිටින විට දෙන පණිවුඩය හිතේ ධාරණය වන බව මා දැන ගත්තේ ඉන් පසුවයි. 

ඒ සමගම දෙන දුරකථන සමාගමේ පණිවුඩය ප්‍රේක්ෂක ජනයාගේ සිත්හී තදින් ධාරණය කරන්නට මේ වෙළඳ දැන්වීම් මාලාව නිෂ්පාදනය කල ඉන්ෆ්ලෙම් පුද්ගලික සමාගම උත්සාහ දරා ඇත. මෙයින් නොනැවතී ඔවුන් මොබිටෙල් සමාගම වෙනුවෙන්ද, "ඔක්කොම ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුණාද" යනුවෙත් තවත් එවැනිම ගණයේ වෙළඳ දැන්වීමක් නිපදවා ඇත. වෙළඳ දැන්වීම් සඳහා ඕනෑම දෙයක් යොදා ගත හැකි වුවත්, ප්‍රේක්ෂකයාගේ හැගීම් සමග සෙල්ලම් කිරීම කෙතරම් සාධාරණද ? මොනවා පෙන්නුවත් ඔබ බුද්ධිමත්ව තෝරා ගැනීම් කළයුතු බව කෙනෙකු පවසනු ඇත. ප්‍රශ්ණය මෙරට සිටින සියලුම ස්තර වල ජනතාව බුද්ධිමත්ද ? යන්නයි. 

නමුත් ඇත්තටම කොස් ගස බේරා වැට ගසන්නට අවශ්‍ය නම් පහත පෙනෙන එක් ක්‍රමයක් උපයෝගී කර ගත හැක. 
දෙපාර්ශවයම යම් කැප කිරීමක් කිරීමෙන් මේ අකාරයේ වැටක් ගැසිය හැක. කොස් ගස අයිති පාර්ශවයට කුඩා ගේට්ටුවක් දමා ගැනීමෙන් ඵලදාව නෙලීමට ගසට ළඟා විය හැක. 


නමුත් මායිමක තිබෙන ගස් වල ඵලදාව දෙපාර්ශවයටම හිමි විය යුතුය යන්න බොහෝ දෙනාගේ විශ්වාසයයි. එනිසා එම ක්‍රමයට යනවා නම් ගසටම කම්බි ඇණයක් ගසා පහත ආකාරයට වැට ගැසිය හැක. 

මෙලෙස දෙපසින් වැටවල් ඉදි කර මැද දෙපාර්ශවයටම අයිති නැති (No man's Land) ඉදි කරන්නේ, ගොඩබිමින් දේශ සීමා ඇති රටවල් වලය. ඉතිං ගමටම කන්න කොස් ගස තැබීමට නම් පාර තිබෙන පැත්තෙන් අඩි දෙකක පමණ පාරක් කොස් ගහ වෙත තැබිය හැක. 

Monday, January 20, 2014

ඔලුවට උඩින් .... Over the head

දිනය : 2020/02/12

ස්ථානය : කොළඹ 7, තුරඟ තරඟ පිටියට යාබද නව ගොඩනැගිල්ලෙහි ඇති අයි.සී.සී. ප්‍රධාන කාර්‍යාලය. 

කාරණය :  2020/02/02 දින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවතී ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවාසාන පන්දු ඕවරයේ දෙවනි පන්දුවේ සිදු වූ අස්වාභාවික ඉපිලීම පිළිබඳ සාකච්ඡා කිරීම. 

මේ වනවිට අයි.සී.සී. හී පූර්ණ සාමාජිකත්වය දරන රටවල් දහතුනට අමතරව, ආශ්‍රිත සාමාජිකත්වය දරන සෙසු රටවල් වලද, ඉතා අල්ප ලෙස ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන රටවල් වල සියලුම මාධ්‍ය වලින්ද, ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු ලෙසකින් සිදු නොවන රටවල් වල මාධ්‍ය පවා මේ පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි. කොටින්ම කීවොත් ලෝකයම කතා වන මාතෘකාව බවට එය පත්විණි. එසේ හෝ ලෝකයේ සියලුදෙනා ක්‍රිකට්  ගැන කථා කිරීම  අයි.සී.සීය කැමැත්තෙන් පසු විය. එහෙත් ඔවුන් ඒ බව පිටතට නොපෙන්වා ඉකුත් සිද්ධිය ගැඹුරින් අධ්‍යනය කරන බවක් පෙන්වීය.  මේ කාරණය මත හෝ තමන් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කරගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන රටවලට ක්‍රිකට් යන නාමය හෝ ප්‍රචලිත වීම මහත් සම්පතක් ලෙස ඔවුන් තේරුම් ගෙන තිබුණි. එහෙත් මී සිද්ධිය පිළිබඳ අවුල ලිහා ගැනීමට තබා, ඒ පිළිබඳ තම මතය ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත. ඒ අතින් ඔවුන් සිටින්නේ දැඩි කැළඹිලි සහගත මානසික තත්ත්වයකය. 

පන්දුව ගමන් කර තිබුණේ ඉහත පින්තූරයේ පෙනෙන අකාරයටය.
පන්දුවේ ගමන් මග අධ්‍යනය කිරීම සඳහා නාසා ආයතනයේ පවා සහය ඉල්ලා ඇත. මීට ප්‍රථම එල්.බී. ඩබ්ලිව් නොහොත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වන පිතිකරුවන් නිවැරදිව දැවී ගියාදැයි සොයන්නටද නාසාහි උපකාරය ඉල්ලා සිටියත්, ඔවුන් පවසා තිබුණේ තමන්ට මීට වඩා සිතීමට බොහෝ දේවල් තිබෙන නිසා, ඔවැනි දේවල් සඳහා කාලයක් නැති බවයි. නමුත් අවකාශය තුළ ගමන් ගන්නා වස්තූන් පිළිබඳ අධ්‍යනය කිරීමට තාක්ෂණය සහ දැනුම  වෙනත් කිසිවෙකු සතුව නොතිබිණි.  වායු ගතිකවිද්‍යාව(Aerodynamics) පිළිබඳ විශේෂඥයින් බොහොමයක් ඔවුන් සතුව ඇත. මෙවර ඔවුන් මේ පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ විශේෂ හේතුවක් නිසාය. නමුත් සාමාන්‍ය ජනතවාට දින දෙක තුනක් යද්දී එය අමතකව ගොස් තිබුණි. ඒ ඔවුන්ට හිතන්නට ඊට වඩා දේවල් ඕනෑ තරම් තිබුණ නිසාය. 

එකී තරගය එතනින් අවසන් කර දමන්නට එහි තරග තීරකයා කිසිදු පැකිලීමකින් තොරව තීරණය කර තිබුණි. මන්ද මීට පෙර බටහිර ඉන්දීය ක්‍රීඩාංගණයක පැවති තරගයකදී මේ අකාරයෙන්ම ඉතාම හෙමින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු බවුන්සර් පන්දුවක් යැවීම නිසාය. එකී පන්දුවේ වීඩියෝ පට කිහිප විටක් නරඹා තීරණයක් ගැනීමට නොහැකි වූ විට, ස්පයිඩර් කැමරාවේ සටහන් වී තිබූ දර්ශනය සියල්ලන් මවිත කළේය. ඒ පන්දුව පතිත වන්නට මොහොතකට පෙර, පන්දුව පතිත වන තැන දිලිසෙන බව දැකීමෙන්ය. එකී කමිටුවේ ප්‍රධානත්වය ගෙන කටයුතු කල සයිමන් ටවුෆල් මහතා එකෙණෙහිම ලබාදුන් නියෝගයකට අනුව, ආරක්ෂක ලෙස වසා දමා තිබූ ක්‍රීඩාංගණය විවෘත කර එම තනතීරුව හාරා එහි පස් විශ්ලේෂණය සඳහා ගෙන ආ යුතු බවයි. 

එසේ ගෙන යන්නට පස් ඉවත් කිරීම එම තනතීරුවේ දකුණු කෙළවරින් ආරම්භ කල අතර මිනිත්තු කිහිපයකින් ස්පයිඩර් කැමරාවේ සටහන් වූ දිලිසෙන වස්තුව සොයා ගන්නට එහි සුළු සේවකයෙකු සමත් විය. බොහෝ දෙනාට එය අදහා ගන්නට නොහැකි විය. ලෝකයේ බොහෝ ක්‍රීඩා නාලිකා වල කැමරාවන් එදෙසට යොමු වී තිබුණි. එම සේවකයාඑම බෝතලයට  තම ඇත තිබු කම්බි කූරකින් එල්ල කරන ලද වේගවත් පහර නිසා එය බිදී ගියපසු අවුබෝධ වුයේ, එය කොකා කොලා බෝතලයක් බවය. එසේ තමා වියරුවෙන් මෙන් එයට පහර දුන්නේ ඇයිදැයි විමසු විට, තමාගේ මිතුරකු ගී ගයන රෙගේ සංගීත ප්‍රසංගයට යන්නට නොහැකි වුයේ තමාව හදිසියේ කැඳවා සවස හය වනතුරුත් ක්‍රීඩාංගණයේ තබා ගැනීම නිසා බවද, තමා සිටියේ දැඩි කෝපයෙන් බවද එම සේවකයා පවසා ඇත.  දිලිසී ඇත්තේ එහි පියනය. කුමක් හෝ හේතුවක් නිසා  එය හරියටම උඩු අතට පිහිටා තිබුණි. මුලින්ම එය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඇති කෞතුකාගාරයේ තැන්පත් කළයුතු බවට යෝජනා වූවත්, තම භාෂාව වෙනස් කල ඇමරිකාවේ නිෂ්පාදනයක් තමන්ගේ කෞතුකාගාර වල තබා ගැනීමට එංගලන්ත බලධාරීන් දැක්වුයේ ඇල්මැරුණු උනන්දුවකි. පසුව එය විශාල මුදලක් ගෙවා කොකා-කෝලා ආයතනය මිලදී ගෙන ඇත. 
පින්තුරය ගත්තේ : http://www.sfu.ca/
බොහෝ ඉල්ලුම්කරුවන් අමතක කොට එය තමන් වෙත ලබා දීම නිසා, එම ක්‍රීඩාංගණයේ යෝධ කොකා-කොලා බෝතලයක් නිර්මාණය කරන්නට ඔවුන් ඉදිඉපත් විය. මේ සඳහා තමන්ට තිරයෙන් පිටුපස සිට උපකාර කර හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නකු වන ඩේවිඩ් රිචඩ්සන් මහතා සිහි වීම පිණිස විශාලා කඩුළු රකින අත් ආවරණයක්ද නිර්මාණය කර ඇත. 
blog.percyswildride.com
ඉතා සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන බටහිර ඉන්දීය දුපත්වල ජනතාව, මෙසේ නොසැලකිලිමත් ලෙස හැසිරෙන බව ලෝකයාම පිළිගත් කරුණකි. එනිසා මෙවරද සිදු වී ඇත්තේ සමාන සිදු වීමක් බව, එදින පැවැත්වූ වීඩියෝ සාකච්ඡාවකින් තීරණය කල පසු එම විකට්ටුවද හාරා, සියලු පස් විශ්ලේෂණය කළද කිසිම හෝඩුවාවක් නොලැබී ඇත. කලින් වතාවේ එම පස් මිශ්‍ර කරන සේවකයා තදින් කොකා කෝලා වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන්නට ඇති බවත්, එය පස් මිශ්‍ර කරන අතරවාරයේදී මිශ්‍රණයට වැටෙන්නට ඇති බවත් පසුව නිගමනය විය.

නමුත් මෙවර පස් මිශ්‍රණයෙන් බලාපොරොත්තු වූ ඝන ද්‍රව්‍යයක් හමු නොවීය. ප්‍රශ්නය තවත් සංකීර්ණ වුයේ ඉන් පසුවය. විවිධ අය විවිධ මත පළකරන්නට විය. සමහරුන් කීවේ එය ලක්ෂයකට වරක් සිදු විය හැක්කක් බවයි. නමුත් එම පන්දුව යවමින් සිටියේ ඉතාම මන්දගාමී දඟ පන්දු යවන්නෙක් වන විශ්ව අදීප නමැති තම පළමු තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයායි. ඔහු යැවූ පළමු පන්දුවට පහසුවෙන්ම හතරේ පහරක් ලබා ගන්නා ලදී. එක් අතකින් හොඳටම පහර කා හෙම්බත් වී සිටින අවස්ථාවක මෙවැනි පන්දු යවන්නෙක් දමා කඩුල්ලක් ලබා ගැනීම සාමාන්‍ය පුරුද්දයි. මෙම ළාබාල ක්‍රීඩකයා තෝරාගෙන තිබුණේ පිතිකරුවකු ලෙසයි. නමුත් බිම පතිත වූ පසු මීටර් හයක් පමණ ඉපිලීමක් ලබා ගැනීමට සමතෙක් කිසිදා බිහි වී නැත. 

අයි.සී.සීය ඉන්පසු කළේ මහජන මතය විමසීමයි. කිසිදු විද්‍යාඥයෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට අපොහොසත් මොහොතක, තවත් අභිරහසක් ලෙස සැඟවී යන්නට නොදී එයට කුමන හෝ විසඳුමක් සොයා ගැනීම එකම විකල්පය ලෙස අයි.සී.සියේ විධායක කමිටුව තීරණය කර, කොළඹ නගරයේ ඇති තම ප්‍රධාන කාර්යාලයට රැස් වුයේ තෝරාගත් එවැනි විසඳුම් කිහිපයක් විමසා බැලීමටයි. එම හමුවට නාසා නියෝජිතයන්, රසායන, භෞතික විද්‍යාඥයන්, පරිගනක විශේෂඥයන්, රහස් ඔත්තු සේවා වල නියෝජිතයන් සහභාගී විය. කලින් සුදානම් කරගත් පරිදි වෙලාවටම සමුළුව ආරම්භ කරන ලදී. හොඳම විසඳුම් ලබා දුන් පර්යේෂකයන් පස් දෙනෙකුද කැඳවා තිබුණි. 

පළමු විසඳුම ලෙස ඉදිරිපත් කර තිබුණේ, එය පන්දුවේ යම් තද ගතියක් නිසාත්, විකට්ටුවේ ඇති පිපිරුමක ගැටී ඉහළ එන්නට ඇතැයි කියාය. නමුත් ඒ වනවිට පන්දු ඕවර 113 ක් යවා අවසන් වී තිබූ අතර ලකුණ 472 ක් ලබාගෙන තිබුණි. එවැනි කාරණයක් මත පන්දුව ඉහළ එන්නේ නම්, අඩුම තරමේ ඉන් පෙර පන්දු දෙක තුනක් වත් ඉහළ ආ යුතු බව ක්‍රිකට් විශ්ලේෂකයන්ගේ මතය විය. 

ඉන්පසු විසඳුම ඉදිරිපත් කල පාකිස්තානු ජාතිකයා පවසා සිටියේ සමහර පන්දු නිෂ්පාදකයන් පන්දුව ඇතුළතට ගලක් වැනි තද ද්‍රව්‍යයක් යොදා පන්දුව එතීමට පටන් ගන්නා බවයි. මෙයට හේතුව එය විය හැකි බවත්, පන්දුව කපා එහි මැද පරීක්ෂා කළයුතු බවත් ඔහුගේ මතය විය. මේ වනවිට අයි.සී.සී. ප්‍රධාන කාර්යාලයේ සේප්පුවක් තුළ සුරැකිව තබා ඇති පන්දුව ගෙන සියලු දෙනාගේ කැමැත්තට අනුව එය දෙපළු කරන ලද මුත්, හණ නූල් සහ කිරල ඇබ හැරෙන්නට කිසිවක් එහි නොවීය. 

තුන්වන විසඳුම ලබා දුන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා පවසා සිටියේ තමා එම වීඩියෝව කිහිප විටක්ම ප්‍රතිවාධනය කර බැලු බවත්, එම අවස්ථාවේදී පන්දුවට පහර දෙන ක්‍රීඩකයාත්, විකට්ටුව මත ඇති බේල් යුගලයත්, දෙවෙනි විනිසුරු සහ එම රූප රාමුවට හසු වූ අනෙකුත් ක්‍රීඩකයන්ගේ හිස් වැසුම් සහ ඔවුන්ද මද වශයෙන් ඉහළ ගොස් තිබු නිසා මෙය ගුරුත්වාකර්ශනයේ යම් විෂමතාවක් බවයි. නමුත් බොහෝ දෙනා ඊට විරුද්ධව අදහස් එකතු කළහ. සමහරෙක් පැවසුවේ ඒ වනවිට ක්‍රීඩාංගණය හරහා හමා ගිය පැයට කිලෝ මීටර 30 ක පමණ හුළඟ නිසා එය වන්නට ඇති බවත්ය. නමුත් ඔහුගේ තර්කය වුයේ සුළඟ පැවතියේ නිරිතදිග සිට ඊසානදිග දෙසට නම් එයට ඉහළින්  අඩු පීඩනයක් ඇති කල හැකිද යන්නයි. තම පිළිතුර සත්‍ය බව ඔප්පු කිරීමට නම් ඒ ආසන්න රටවල ජනතාවගෙන් අදහස් විමසිය යුතු බවත්ය. ගුරුත්වාකර්ෂණය තප්පරයෙන් සීයෙන් පංගුවක් වන සුළු මොහොතකට නතර වුවා නම් මෙසේ පන්දුව ඉහළ යා හැකි බව ඔහු නිගමනය කර තිබුණි. එම ප්‍රේක්ෂකයාගේ අදහසට පක්ෂව සහ විපක්ෂව සමව ඡන්දය දුන් එහි සිටි විද්වතුන් ඔහුගේ පිළිතුර තවදුරටත් සලකා බැලිය යුතු බව තීරණය කර දිවා විවේකය සඳහා එම සැසිය අවසන් කළහ. 

සාකච්ඡා කාමරයෙන් පිටතදී කිසිවෙක් ඒ ගැන අදහස් පළ කරන්නට කාලය වැය කළේ නැත. ඒ ඔවුනට හිතන්නට තවත් බොහෝ දේ තිබූ බැවිනි. බොහෝ දෙනා තම ජංගම දුරකථන, ටැබ්ලට් ආදියෙන් තම පවුලේ අය අමතන්නට පටන් ගත් අතර සමහරු ඉතා ඉහළින් සපයා තිබූ දිවා ආහාරය භුක්ති වින්දේ තම මිතුරන් සමග ආගිය කථා වල යෙදෙන ගමන්ය. 

හතරවෙනුව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු භෞතික විද්‍යා මහාචාර්ය වරයා පවසා සිටියේ එය නිතැතින්ම ක්‍රීඩකයාගේ හිස් වසුමේ ගැටුන බවය. නමුත් බටහිර ඉන්දීය ක්‍රීඩකයින් පළඳින හිස් ආවරණය බොහෝ දුරට පන්දුවේ වර්ණයට සමාන නිසා එය ගැටුණාද නැත්ද යන්න සොයා ගැනීම උගහට බව අවධාරණය කෙරිණි. බොහෝ දෙනාට මේ වර්ණ පිළිබඳ අදහස සිත් ගත් නිසා මිනිත්තුවකට රූප රාමු හයදාහක් ලබාදෙන විශේෂ කැමරාවකින් ගන්නා ලද රූප රාමු ශාලාවේ ඇති පුළුල් තිර HD තිරය මත දිග හැරුණේ විසිපස් දෙනෙකුට පමණ අසුන් ගතහැකි, ඉතා ප්‍රශස්ත මට්ටමක වායුසමනය කරන ලද ශාලාවේ ආලෝකයද මදක් අඩවන් කළ පසුය. මිනිත්තුවක් තුළ ගන්න ලද රුප රාමු එකින් එක දිග හැරීමට මිනිත්තු දහයක පමණ කාලයක් වැය වන ලදී. ඇත්ත වශයෙන්ම ක්‍රීඩකයාගේ හිස් ආවරණ සහ පන්දුව ගැටෙනවාද යන්න එම දසුන් වලින් පැහැදිලි නැත. යළිත් ශාලාවේ ආලෝකය එනවිට බොහෝ දෙනා සිටියේ කෙටි නින්දකය. තවත් සමහරු ඈනුම් අරිමින්, හිස කසමින් සිටිනු දුටු මහාචාර්යවරයා තම දිගු රැවුල අතගාමින් අප්‍රසාදය සහිත මුහුණක් පෙන්වීය. 

නමුත් නින්ද නොලබා සිටි එක් පුද්ගලයෙක් අදහස් දක්වමින්, ස්නිකෝමීටරය සහ හොට්ස්පොට් දර්ශන වලින් ඔහුගේ තර්කය බිඳ වැටෙන බව පැවසු විට නිදමින් හුන් අයද ඔහුට හූ මිටි තබමින් ඒ අදහසට එකඟත්වය පල කළහ. 

අවසන් අදහස එක් කල එංගලන්තයේ කාලගුණ විද්‍යා විශේෂඥයෙක් පවසා සිටියේ, එය ඉහළ අහසේ ඇති වූ අවපීඩන තත්වයක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් බවයි. මේ සඳහා අවට ප්‍රදේශ වල ජනතාවගේ අදහස් විමසා බැලිය යුතු බව ඔහුගේද මතය විය. 

එංගලන්ත කාලගුණ විද්‍යාඥයා සහ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා ලබා දුන් විසඳුම් බොහෝ දුටර සමාන හා පිලිගතහැකි තත්වයේ තිබෙන බැවින්, මේ පිළිබඳ අවසන් නිගමනයකට ඒමට නම් ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනයේ(USGS) අදහස් විමසිය යුතු බව නිගමන විය. තවත් දිනක හමුවන බලාපොරොත්තුවෙන් පැමිණි සාමාජිකයින් විසිර ගියේ එකිනෙකා වැළඳ ගනිමිනි. 

_________________________________________
මෙය ප්‍රබන්ධ කරන්නට මා හට මුලින්ම අදහස ඇති වුයේ බීටල් ලියන අකුරු බ්ලොග් අඩවියේ පලවූ සරුංගල් මහාචාර්යවරයා කියවද්දීය. නමුත් එහි මතකය ගිලිහී ගොස් තිබිණි. දින කිහිපයකට උඩදී අපූර්වී ඔමායා එවන ලද වීඩියෝ පටයක් (ගුරුත්වය මොහොතකට නතර වුවහොත්) නරඹද්දී මේ මතකය අලුත් විය. 

Wednesday, January 15, 2014

ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම .....II කොටස Reach your nose other way Part II

උදෑසන දහයට කිට්ටු වෙලාවක  පෙම්වතියගේ නිවසට ලඟා වුණත්, කරුමයට කකුල් හතරක් ඇත කියලා මට හිතුනේ, ඇය හෙට තිබෙන තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ විවාහ මංගල උත්සවයේ කටයුත්තක් සඳහා නිවසින් බැහැර වී තිබීමයි. ගෙන ගිය කේක් පෙට්ටිය පසෙකින් තැබූ මා වටපිට බලන විට වෙන්ඩ මාමණ්ඩිය සිනා මුසු මුහුණින් ඇය නිවසේ නොමැති බව දන්වා සිටියේය. ඔබට හිතෙන්නට පුළුවන් "ඇයි කලින් දන්වලා යන්න තිබුණා නේ" කියා. නමුත් මට අවශ්‍ය වුයේ ඇය මවිතයට පත් කරන්න. අන්තිමට වැඩේ හුලං. සුපුරුදු පරිදි වෙන්ඩ මාමණ්ඩිය උයා දුන දවල් බත අනුභව කර බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියේ ඇයගේ සම්ප්‍රාප්තිය මේ දැන් සිදු වේ කියා. එම නිවසේ බල්ලා මා නිතරම මුලාවේ දැමීමට සමත් වුයේ ගහක අත්තක් සෙලවුනත් බිරීම නිසයි. නිවැසියන් නිවසෙන් පිට වී යලි එනතුරු බලා සිටින කණ්ඩායමක් තමයි සුනඛ නිකාය. හාම්පුතුන්ගේ ඉව ඉතා ඈතදීම දැන ගන්නා ඔවුන් පෙරමගට ගමන් ගන්නේ තම හිතවත්කම මොනවට කියා පාමින්.

ක්‍රම-ක්‍රමයෙන්(ග්‍රැජු-ග්‍රැජුවලි) දොළහේ, එකේ, දෙකේ, තුණේ, හතරේ කනිසම් නිවසේ  පසුපස බිත්තිය අරා සිටින ඔරලෝසුව නිවැරදිව සංඥා කලත්,  ඇයද - මවද පැමිණියේ නැත. ඔවුන් රත්නපුරය බලා ගමන් ගෙන තිබුණා. බිම ආලේප කර තිබෙන ෆ්ලෝ-පේන්ට් වලින් නික්මෙන ටර්පන්ටයින් ගඳ මට එතරම් ආගන්තුක දෙයක් නොවූවත්, එය මේ මොහොතේ මට මහත් වදයක් වූවා. අවසානයේ මස්කෙළිය බලා යන අවසන් බස් රථය හෝ අල්ලා ගැනීමේ බලාපොරොත්තුව සිතේ දාරාගෙන නිවසින් පිට වුණා. මා ආ බවවත් දන්වන්නට ඇයගේ ජංගම දුරකථනය ක්‍රියා කලේ නෑ. අපේක්ෂා භංගත්වයෙන් කිලෝමීටරයක් මග පයින් ගෙවා ප්‍රධාන පාරට අවතීර්ණ වුයේ, හැකි ඉක්මනින් ආපසු යන්නට ලැබේවා යන පැතුම සිතේ දරාගෙන. මා කුමන බස් රථයකට ගොඩ වුවාද, කෙතරම් වෙලාවක් එම රථයේ රැදී සිටියාද යන්න දැනීමට තරම් යහපත් මානසික තත්වයක් තිබුණේ නෑ. අවිස්සාවේල්ල බස් නැවතුමට අනෙක්පසින් ඇති බස් නැවතුම(දුම්රිය ස්ථානය ඉදිරිපස) මස්කෙළිය, හැටන් ආදී ගමනාන්ත සටහන් කර තිබෙනු මා මීට පෙරත් දැක තිබුණා. එම බස් නැවතුමේ මා ඇරෙන්න තව දෙතුන් දෙනෙක් සිටියද, කිසිම බස් රථයක මස්කෙලිය සටහන් වී තිබුණේ නෑ. පැමිණෙන බොහෝ බස් රථ හැටන් හෝ නාවලපිටිය සටහන් වී තිබුනා. වෙලාව සවස හය ආසන්න වත්දී මා දෙගිඩියාවකට පත් වුණා. මා කොළඹට ගොස් හෙට උදෑසනින් පිට වනවාද, නැතිනම් තවත් බලා හිඳීනවාද ?

අවසානයේ මේ ගමන කොටස් දෙකකින් හමාර කරන්න මා තීරණය කළා. ඉතා හිමින්සීරුවේ පැමිණි හැටන් වායු සමනය කල බස් රථයකට ගොඩ වූවා. එහි රියදුරු තැන අසල ආසනය හිස්ව පැවතියා. මා එතනින් හිඳගන්නවාත් සමගම වම්පස අසුනේ සිටි මහළු, බියකරු පෙනුමැති පුද්ගලයා මා දෙස බලා නැවතත් ඔහු ඇත තිබූ ලියවිල්ලක් දෙස දෑස් යොමු කළා. දෙහිවිට වනතෙක් මන්දගාමීව පැමිණි බස් රථය තේ පානය සඳහා නතර කළා. ඉතා කඩිනමින් චයිනීස් රෝල් දෙකක් ගිල දමා, ස්ප්‍රයිට් කෑන් එකක් ගෙන මා බස් රථයට ගොඩ වූයේ එය ඉක්මනින් පිටත් වේවායි පතමින්. නමුත් එහි පැමිණි මගීන්ට පවා මට තිබෙන හදිසිය තිබුනේ නෑ. මග දෙපස තිබෙන බෝක්කු-පාලම වල තිබෙන අංක කියවනවා හැරෙන්නට මට කල හැකි දෙයක් තිබුනේ නෑ. මඩ පැහැයෙන් චණ්ඩ ලෙස ගලා යන කැළණි ගඟ පසක් කලේ, මේ පොහෝදින ඉහල කඳු ප්‍රදේශ වැසිදියෙන් නහවනවා ඇත යන්නයි. අවාසනාවක මහත, කොට කොටා යන බස් රථයට ඇසළ පෙරහැරක් ඉදිරියට හමු වීමය. එය ගහට-ගහක් මොරටුවේදී හමු වීම වැනිය. ඒ.සී. යන්න සටහන් කර තිබුණත් මේ බස්රථය ගමන් කරන්නේ මග දෙපස තිබෙන ඒ.සී. වලිනි. මේ ප්‍රදේශ වලට සබැවින්ම වායු සමනය අවශ්‍ය නැත.

රාත්‍රී හත පමණ විට හැටන් නගරයට බස් රථය ලඟා වුණා. මගේ මීළඟ ඉලක්කය මස්කෙලියට යන බස් රථයක් සොයා ගැනීමයි. නමුත් මේ නගරය පාළුවට ගොස් ඇති සෙයක් දිස් වුවා. නොනවතින චුරු-චුරු වැස්ස සහ තෙත බරිත පොළව ගෙන දුන්නේ මුළු දිනයම මේ වැස්ස පවතින්න ඇති යන හැගීම. චිරි චිරියට අමතර මඩ, අඳුර, සීතල යන උල් සහිත ආයුධයකින් අණින ස්වභාවයක් මෙවැනි අවස්ථාවක ඇති වන්නේ නිරායාසයෙන්. මා මගේ පසුම්බිය ඇද බැළුවෙමි. එහි රුපියල් නවසිය ගණනක් ඇත. යම් හෙයකින් ගමනාන්තය වෙත ලඟා වීමට නොහැකිනම් මා නවාතැනක් සොයා ගත යුතුය. තේකක් බීමේ අවශ්‍යතාව ඇති වුවද, එයට මේ මොහෙතේ ප්‍රමුඛතාව ලබා දිය නොහැක. පසෙක නවත්වා ඇති ඩෙලිකා වැන් තුන හතර ඉදිරිපස, ජැකට් වලින හිස සිට වසාගෙන සිටින ඒවායේ රියදුරන් මට පෙනුණේ, නගරයට පැමිණෙන  ආගන්තුක අය ගිල ගැනීමට සිටිනා රකුසන් ලෙසයි. අප වැනි ඉබාගාතේ යන්නන් ඔවුන්ට සම්පතක වුවත්, ඔවුන් අප නොදුට ගණනට හැසිරෙන්නේ, අප ඔවුන් වෙත ලඟා වනතුරුය. නමුත් මේ මොහොතේ එවැනි විකල්පයකට යනවාට වඩා මෙහි නවාතැන් ගැනීම පහසුය. මා වටපිට බැලීමි. පාරෙන් එහා පැත්තේ සිටින පුද්ගලයෙකු කෑ ගසන හඬක් ඇසේ. නමුත් එය බස් කොන්දොස්තර වරයකුගේ හඬක් නොවන බව පැහැදිලිය. වඩාත් ලං වනවාත් සමග ඇසුණු ඒ මහළු හඬ මගේ සිතේ අස්වැසිල්ලක් ඇති කළේය.

"මස්කෙළිය - නෝර්වුඩ්, මස්කෙළිය - නෝර්වුඩ්"

මේ අර බස් රථයේ සිටි ලොක්කාය. මා හනික ඒ දෙසට ලඟා වුණේ, වෙනත් කෙනෙක් ඒ තැන ගන්නට පෙරය. ඔහු මේ වනවිටත් ත්‍රී-රෝද රියදුරෙක් සමග ගණනක් කථා කරගෙන හමාරය. ඒ රුපියල් හාරසිය පනහක්ය. එය අන්තිම සාධාරණය.

"පුතා මස්කෙලියටද යන්නේ ? මේකට රුපියල් හාරසිය පනහක් යනවා, පුතාට කීයක් දෙන්න පුලුවන්ද ?"

මහළු නමුත් ශක්තිමත් ස්වරයකින් ඔහු අසා සිටී. මා ගත් කටටම

"මම භාගයක් දෙන්නම්"

ලෙස පිළිතරු දුන්නත්. ඔහු

"නෑ පුතා ඔයා රුපියල් සීයක් දෙන්න. මම කොහොමත් නෝර්වුඩ් වලට යන්න ඕනනේ"

"හරි යමු"

පුටු-පුටු හඬින් ත්‍රී වීලරය පණ ගැන්විණි. චුරු-චුරු වැස්ස තවමත් එසේමය. මම සැනසුම් සුසුමක් හෙලීමි. මහළු පුද්ගලයා කථා කරන්නට පටන් ගත්තේය.

"පුතා මස්කෙළියෙද, නෝර්වුඩ්ද ?"

"නෑ අංකල්. ඒ දෙකම නෙවෙයි. මම රාජකාරියකට මස්කෙළියට සති දෙකකට ඇවිත් ඉන්නේ"

ත්‍රී රෝද රථය ඉතා හෙමින් පුටු - පුටු ගමනින් යයි. එහි දුර්වල එළියෙන් දකුණු පස ඇති විශාල කළුගල් තාප්පයක් දිස් වේ. කාණු පුරා වතුර ගලා බසී. තවත් මොහොතක් පුටු-පුටු-පුටු ගෑ ත්‍රී රෝද රථය නතර විය. එය පණ ගැන්වීමට ත්‍රී රෝද රථ රියදුරා ගන්නා ලද සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. කරුමයකි.

"මහත්තයා තෙල් ඉවර වෙලා"

"ඇයි. අයිසේ තමුසෙට ඕක කියන්න මෙච්චර දුරක් එන්න හිටියේ"

මහළු පුද්ගලයාට හොඳටම කේන්තිය. මට ඇත්තේ "අද නම් මහා කරුම දවසක්" යන හැගීමයි.

"පුතා දැන් කරන්න දෙයක් නෑ. ආපහු ටවුමට යමු"

දැන් මහල්ලා සහ මා සරණාගත තත්වයකට පත්ව ඇත. මා ලේන්සුව ගෙන හිස ආවරණය කර ගත්තද, මහල්ලාගේ සන්තකයේ තිබුණේ කුඩා ගමන් මල්ලකි ඔහු එය හිසට තබාගෙන, බඩ තඩියත් ඔසවාගෙන යන ගමන ඇති කරන්නේ අනුකම්පාවකි.

"පුතා මම ඊබට් සිල්වා එකේ වැඩ කරේ. අවුරුදු තිස් ගාණක් වැඩ කරලා. අද අස් වෙලා යන ගමන්. පුතා කොහෙද වැඩ කරනවා කිව්වේ"

"මම මහජන බැංකුවේ. මෙහෙ බ්‍රාන්ච් එක කම්පියුටරයිස් කරන්න ආවේ"

"ආ ඒක හොඳයි. නැත්නම් අපිට හැමදාමත් පෝලිමේ පැය ගණන් රස්තියාදු වෙන්න වෙනවා. හෙට මට කොහොමත් බැංකුවට එන්න වෙනවා. මගේ ෆන්ඩ් එකේ චෙක් එක මාරු කර ගන්න"

"හරි එන්න අන්කල්. මම උදව් කරන්නම්"

මේ කතාබහ අතරතුර යාන්තමට නැවතත් මඩ නාගෙන නගරයට පාත් වුනෙමු. මෙවර ත්‍රී වීල් කරු හමු වූ හැටියේම අන්කල් ඔහුට ප්‍රශ්න පත්තරයක්ම ඉදිරිපත් කළේය. ඒ අතරින් වඩාත්ම සිත් ගත්තේ

"මේ පුතා අපිට මග රස්තියාදු ගහන්න නම් බෑ. කලින් ගිය එක පැට්‍රොල් නැතුව නතර වුණා. පැට්‍රොල් නැත්නම් ගහයෙන යමු"

මෙවර මා කැමැත්තෙන්ම භාගයක් ගෙවීමට ඉදිරිපත් වූ විට, අංකල් විරෝධයක් නැතිවම වාහනටය ගොඩ විය. සීතල එන්න එන්නම් දැඩි විය. නෝර්වුඩ් හරියට ලඟා වත්ම මගේ හිතට සැනසුමක් ඇති විය. මේ සීතල තවත් විනාඩි කිහිපයකින් නැති වනවා නේදැයි සිතුණා. අංකල්ට නොවක් ස්තුති වන්ත වීමට මා වග බලා ගත්තේ, මේ මොහොතේ ඔහු මට පියෙකු මෙන් වූ නිසාය. ඔහුගේ කොටස මා අතට දී, රියදුරාට මා ඇරලවන අකාරය විස්තර කර, පාරෙන් පහලට ඔහුගේ බකල අඩි තබා ගමන් ගන්නා අකාරය මා තුල ඇති කලේ ශෝකයකි. 

පැය ගණනක් මුළුල්ලේ මහ මග ගිය ගමනක් මෙසේ රාත්‍රී නවයට පමණ අවසන් කර හෝටලයට යන්නට පෙර, රාත්‍රී ආහාරය ලෙස කොත්තු රොටියක් ලබාගෙන ඇඟ රත් කර ගැනීමට කෝපී කෝප්පයක්ද පානය කර, හෝටලයට ලඟා වනවිට කාමරයේ ජනේලයෙන් උඩුකය නිරාවරණය කරගෙනම සිටින අකිල දුටිමි. 

ඇත්තටම මේ ගමන  ඔලුව වටෙන් අත දා නහය ඇල්ලීමටත් වඩා දිගු එකකි. බොගවන්තලාව හරහා පැයකින් පමණ යා හැකි ගමනට පැය හයක් හතක ගත වීම කනගාටුවට කරුණකි. මේවා ඉදිරියේදී වෙනස් වනු ඇත. 


_______________________________________
මෙහි අතුරු කතා හැකි තරම් අඩු කලේ, ඔබගේ බලවත් ඉල්ලීමටය. නැතහොත් අතුරුකතා කිහිපයක් එබීමට ඉඩ තිබිණි. 

Monday, January 13, 2014

ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීම ..... Reach your nose other way

අද උදේ පහට විතර දොර ඇරගෙන කුස්සිය පැත්තට ගියේ, මටයි පොඩි එකීටයි උදෑසන තේ වෙලා සාදා ගන්නට වතුර ලිපේ තැබීමටය. අද උදෑසන හීතල වෙනදාට වඩා වැඩි යයි මට සිතුනා. මේ දින වල අධික සීතල නිසා නිදන කාමරයේ සියළු ජනෙල් වසා දමන්නේ පින්න නිසා කෙලි පොද්ද ලෙඩ වෙන්න පුළුවන් නිසා. එවැනි සීතලක් මට මින් පෙර කොළඹදී දැනී නැහැ. දුරුතු මාසයේ සීතලට මා කුඩා කල සිටම ප්‍රියයි.   නමුත් ඒ සීතල නිසා හිත යට සැඟවිලා තිබුණ තවත් අපූරු අත්දැකීමක් මතකයට පැමිණියා. අපේ සේවිකාව ඊයේ උදෑසනම තම ගම් බිම් බලා පිටත් වුයේ තයිපොංගල් උත්සවය සමරන බලාපොරොත්තුවෙන්. මේ ගෘහ සේවිකා රැකියාවේ යෙදී සිටින බොහොමයක් දෙනා හිංදු ආගමේ තියෙන හැම උත්සවයක්ම සමරන්න වග බලා ගන්නවා. ආයතන වල රැකියා කරන අපි තමයි එවැනි දින වලත් බොහෝවිට සේවයට වාර්තා කරනවා. ඒ ඔවුන්ට එවැනි උත්සව සමරන්න අවශ්‍ය බරපැන සපයන්නම පමණක් නොවෙයි. නිවාස ණය ඇතුළු තවත් බොහෝ ණය නිසා මාසික පඩිපත කෘෂ වීම නිසා අතිකාල මත යැපෙන්න මා වැනියවුන් බොහෝ දෙනෙකුට සිදු වී ඇති නිසා. ඔවුන් මෙසේ ලැබෙන සෑම අවස්තාවකම ප්‍රයෝජනයට ගැනීම ඉවසන්න බැරි විටෙක මා ඇයගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා 

"ඕගොල්ලන්ට අවුරුදු කීයක් තියෙනවද ? අවුරුද්දකට ?" කියලා.

මා මුලින් හිතුවේ මෙය අප වැනි ගෘහ සේවිකාවන් සිටින අයට ආවේනික ගැටළුවක් ලෙසය. නමුත් එය තවත් බොහෝ දෙනාට බලපාන ගැටළුවක් බව පසක් වුණේ, මේ දිනවල මා මුද්‍රණ කටයුත්තක වෙනුවෙන් නිතරම මුද්‍රණාලයක් වෙත පියමනින නිසා. එහි අධිපතිවරයාත් මීට සමානම අදහසක් දැරුවා. ඒ මේ සතියේ මැදට එන නිවාඩු දෙකම එතුමාගේ මුද්‍රණ සේවකයන් ලබා ගන්නා බව. සමහරවිට ඇඟ වෙහෙසලා වැඩ කරන අය නිසා වෙන්නත් පුළුවන්. මා ගෘහ  සේවිකාව සමග වැඩි වාද විවාද වලට නොයන්නේ, එවැනි දක්ෂ සේවිකාව සොයා ගැනීමේ අපහසුව දන්නා නිසයි. ඉදිරියේදී ඇය ගැන වෙනම සටහනක් තබන්නම්.

මගේ මතකය නිවැරදි නම ඒ 2002 අගෝස්තු මාසයයි.  ඔය කියන වකවානුවේ මා සති දෙකක කාලයක් සඳහා මස්කෙළිය ශාඛාවේ රාජකාරියේ යෙදී සිටියා. එකල මා කල රාජකාරිය පිලිබඳ යමක් සටහන් කරන්නේ මෙහි පැමිණෙන නවක පාඨකයන් වෙනුවෙනි. එවක මගේ රාජකාරිය වුයේ ලංකාව පුරා විසුරුණු ශාඛා ජාලයෙන් පරිගණකගත වන ශාඛා වල නව පද්දතිය ස්ථාපනය සහ සේවක පුහුණුවයි. ජීවිතයේ මා ලැබූ සොඳුරු මෙන්ම කටුක අත්දැකීම් බොහොමයකට පසුබිම් වුයේ මේ රාජකාරියය. ඒ නිසාම තමයි ඇවිද්ද පය ...... බ්ලොග් එකට "රාජකාරි ගවේෂකයාගේ මතක සටහන්" යනුවෙන් තේමා පාඨය එක් කලේ.  අද කියන්න යන සතිය මේ සතියට බොහෝ සමාන ලක්ෂණ තිබුණා.  හේතුව සතිය මැද පසළොස්වක පෝය යෙදී තිබීම. හිතන්න, දුර ඈත නගරෙක  ඉන්න වෙලාවක සතිය මැද නිවාඩුවක් එනවා කියන්නේ මොන වගේද කියලා. එක අතකින් බැලුවොත් ඒක බෝනස් එකක්, තවත් අතකින් කරුමයක්. බෝනස් එකක් වෙන්නේ ඒ පළාතේ බලාකියාගන්න හොඳ තැනක් තිබීම. කරුමේ වෙන්නේ එහෙම දවසක නිකං ඉන්න වුණොත්. මට මේ දෙකටම නැති දෙයක් තමයි කරන්න වුණේ. ඒ කියන්නේ සරල රේඛාවකින් ඇන්දොත් කිලෝ මීටර් පනහකටත් වඩා අඩු දුරකින් ඉඳපු මගේ පෙම්වතිය බලන්න යන එක.
පින්තූරය ගත්තේ :http://globalbhasin.blogspot.com/
ඉතිං මම අර කියපු හීතල නොඅඩුව තියෙන පළාතක් තමයි මස්කෙළිය. කවුරු හරි මගෙන් ඇහුවොත් ලංකාවේ සීතලම කොහේද කියලා මගේ උත්තරය මස්කෙළිය. සමහරවිට ඊට වඩා සීතල තැන් ඇති මම නොගිය. එක පැත්තකිනි චුරු-චුරු වැස්ස, අනිත් අතින් දත් පැළෙන සීතල. දවල් රෑ කියලා වෙනසක් නෑ. රෑට නම් ඉතින් හොඳට පොරවාගෙන ගුලි වෙලා නිදියන්න පුළුවන්. ඒත් දවල්ට ශාඛාවේ කවුන්ටරයක ඉන්න කෙනෙක් ගාව හිටගෙන මේ සීතල දරා ගන්න ගියාම තියෙන සනීපෙ කියලා වැඩක් නෑ. බ්‍රාන්ච් එකේ අයත් එක්ක කතා වෙලා එයාලගේ චමරියේ උයන කෑම කන්න අවස්ථාව හදා ගත්තේ දවල්ට වුණත් එළියේ ඇවිදින්න තියෙන අමාරුව නිසා. මගේ මතකයේ හැටියට ඒ කර්තව්‍ය කරේ ඥානසිරි කියලා මහත්තයෙක්. අපිත් දවල්ට දානෙට වඩිනවා වගේ චමරියට ගිහිං පිළිවෙලකට තියලා තියෙන ඇඳන් වල වාඩි වෙලා උණු - උණුවේ බෙදා දෙන බත් කට පිච්චි-පිච්චි බඩට දා ගන්නවා. බ්‍රාන්ච් එකේ ඉන්න ගෑනු ළමයිත් ජාති බේදයකින් තොරව ඇවිත් මේ ඇඳන් වල වාඩි වෙලා කනවා. මුස්ලිම් තරුණියක් වෙච්ච නිම්නාස් වගේම දමිළ තරුණියක් වූ ලලිතා කියන දෙන්නත් අපිත් එක්කම ඇවිත් මේ ව්‍යාපාරෙට හවුල් වුණා. එක අතකින් ඒ අය අපේ ඇසුරට කැමති වුණා. අපිත් ඒ වගේමයි. අපේ බ්‍රාන්ච් එකට එන කුරියර්(බොහෝ දෙනෙක් කියන්නේ කූරියා කියලා) සේවාවේ තරුණයා කියන්නේ

එක්කෝ වහින්න ඕනේ. නැත්තං පායන්න ඕනේ. එක තැනකට වැහැලා තව තැනකට පායනකොට තමයි එපා වෙන්නේ. වහින හරියේදී වැස්සේ නාගෙන ගිහිං පායන හරියකදී හුලං වදිද්දී තියෙන්නේ පුදුම අමාරුවක්. ඒ වගේම තමයි සමහර ගස් වල මල් පාරට වැටිලා වැස්සත් එක්ක එකතු වෙලා සෙවල වගේ හැදිලා තියෙන තැනක බෙන්ඩ් එකක් ගන්න ගියාම. එක දවසක් මම එහෙම බෙන්ඩ් එකක් ගන්න ගිහිං ලිස්සපු පාරට තේ වත්තකට විසි වෙලා ගියා. මට එතන සිහිය නැතිව සෑහෙන වෙලාවක් ඉඳලා මගේ වාසනාවකට ඒ හරියේ දළු කඩන්න ආපු අක්කා කෙනෙක් දැකලා තිබුණේ. 
ඉතිං ඒ ටික අතුරු කතාවක් වුනත් මෙතනට එකතු කලේ මේ පැතිවල ජීවිත වල දුෂ්කරතාව තේරුම් කරන්න. අද ඒ වගේම හීතලක් දැනුණා, අනිත් අතින් හෙට - අනිද්දා දෙක සතිය මැද නිවාඩු. බොහෝ දෙනෙක් වගේ මේ නිවාඩුවට මමත් කැමති වුණා ඒ කාලේ හැටියට. මොකද මට ඒ කාලේ පෙම්වතිය බලන්න යන්න රැයක් දවාලක් නෑ. සමහර දවසකට රෑ දෙකට විතර ඇහැරුනොත් ඒ වෙලාවේ පිටත් වෙනවා. කොළඹ ඉඳලා බලන්ගොඩ කිට්ටුව තිබුන මේ පලාතට කිලෝ මීටර් සීයක් වුණත්, මස්කෙළිය සහ බලන්ගොඩ අතර තියෙන්නේ බොහොම කෙටි දුරක්. හැබැයි තවමත් මේ පළාත් එක අතර කේබල් කාර් නෑ. අනාගතයේ එහෙම එකක් ආවොත් හොඳයි. බොහෝ දෙනාගේ කාලේ ඉතිරි වෙනවා. ඔය කියන පෝය දවසට කලින් දවසේ හවස් වෙද්දී බ්‍රාන්ච් එක පාලුවටම ගියා. ඉතිරි වුණේ මමයි මගේ සගයා වෙච්ච අකිලයි බ්‍රාන්ච් එකේ කළමනාකාර තුමා(එතුමත් පිට ගං කාරයෙක්) මස්සිනා කියන ලේසි වචනයෙන් හඳුන්වපු අපේ මිත්‍රයා(නම මතක නෑ) කියන හතර පස් දෙනෙක් විතරයි. මම නින්දට ගියේ උදෑසන හතරට එලාම් එක තියලා.  ඒ පාන්දර හතරයි තිහට තියෙන බස් එක අල්ලා ගන්න.

මම හතරට එලාම් එක වදින්න මොහොතකට කලින් ඇහැරිලා එලාම් එක වැඩි වෙලාවක් වදින්න නොදී අක්‍රීය කලේ මගේ මිත්‍රයාගේ නින්දට   බාදා කරන්න තියෙන අකමැත්තට. තවත් විනාඩි ගණනකින් ඉතා ස්වල්ප ප්‍රමාණයකින් ඇඟ හෝදාගෙන කලින් සුදානම් කරගෙන තිබුණ ඇඳුම ඇඳ ගත්තා. මම උදේ යනවා කියලා අකිලට කියලා තිබ්බ නිසා, පාන්දර ඇහැරවලා කරදර කිරීම අනවශ්‍ය නිසාත් හෙමින් දොර වහගෙන යන්න පිටත් වුණා. හැමදාමත් ගෙදරින් එලියට යනකොට තියෙන පුරුද්දට සාක්කු පහටම තට්ටුවක් දාල බලලා හෝටලයේ පඩිපෙළ බැහැගෙන එලියට ගියා. හොද වෙලාවට මේ හෝටලයේ මුරකරුවෙක් හිටියේ. සමහර පැති වල තියෙන හෝටල් සහ තානායම් වල සේවකයෝ එන්නේ උදේ හතට විතර එතකං අපි ඉන්නේ නිවාස අඩස්සියේ වගේ. හතරයි තිහට තව විනාඩි දහයක් විතර තියෙන නිසාත්, දැඩි සීතල ඉවසන්න අපහසු නිසාත් ඒ වෙනකොට නගරයේ විවෘත්තව තිබුණ හෝටල් දෙකෙන් එකකට ගොඩ වෙලා කිරි කෝපි එකක් බී වහා බිල ගෙවා පිට වූවා. ඉන් පස්සේ කලින් දැනගත්ත පාර දිගේ පාන්දර වුණත් යුහුසුළුව ගමන් කරන කිහිප දෙනාට එකතු වුණා. මගේ මතකයට ආවේ රුසියානු පොත් වල තියෙන පරිසරය. ඇත්තටම කතාවක් ලියද්දී ඒ ප්‍රදේශයේ කාලගුණය ගැන අදහසක් දුන්නේ නැතිනම් ඒක ලොකු අඩුපාඩුවක්. සමහර පළාත් වල උදේ පාන්දර හතරටත් දාඩිය දානවා. අපි ලියද්දී ඒ ගැනත් සටහන් කරන්න වටිනවා.

කලින් අසා දැනගත් පරිදි බස් නැවතුම සොයා ගන්න අපහසු වුයේ නැත. අප ගෙනත් ඇරලවූ වාහනය හෝටලයේ නවතා තිබුණත්, එහි රියදුරා වූ රොෂාන් පෙරදින පාන්දර කොළඹ බලා පිටත් වුයේ මෙහි ආ ගමන එන්න පිටත් වෙත්දී හෝමාගම පොලීසිය විසින් රඳවා ගත්ත ඔහුගේ(අකිලගේ) රියදුරු බලපත්‍රය  රැගෙන ඒමටය. ඒ වනවිට ඔහු සතුව තිබුණේ පොතුහැර පොලීසිය මගින් ලබා දී තිබූ දඩ කොළයකි. එය රඳවා ගැනීම ප්‍රතික්ෂේප කල නීතිගරුක පොලිස් නිලධාරියා වෙනත් රියදුරු බලපත්‍රයක් ඇතිනම් රඳවා ගත හැකි බව දන්වා සිටි විට, අකිලගේ රියදුරු බලපත්‍රය ලබා දුනිමු. එම නීතිගරුක නිලධාරියා මෙසේ දඩ ලියවිල්ලක් ලබා දීමට ප්‍රථම අප ඔහුට සුපුරුදු ඉල්ලීම් මාලාව ඉදිරිපත් කලද ඔහු අප කියන සියල්ල සාවධානව සවන් දී, ඉතා නිරවුල්ව සිනහ මුසු මුහුණින් පිළිතුරු ලබා දුන්නේ අප නිරුත්තර කරමිනි. අප බැංකුවේ හදිසි ගමනක් යන බව පැවසූ විට ඔහුගේ උත්තරය වුයේ, හදිසි වෙලාවට අධික වේගයෙන් ගමන් ගැනීමට අවසරයක් බැංකුව ඔබ වෙත ලබා දී තිබේද යන්නයි. එනිසා ඔහු සමග එවැනි ගොඩින් බේරා ගැනීමක් පහසු නැති බව වැටහී ගිය විට, අපට නිහඬව ඔහුගේ කටයුතු නිහඬව කරගෙන යාමට ඉඩ දීම හැරුණු කොට කල හැකි කිසිවක් නොවිණි. සියල්ල අහවර වූ පසු මා ඔහුට කිට්ටු කර "මෙහි ගමන් කල හැකි උපරිම වේගය කුමක්ද ?" යන ප්‍රශ්නය ඉදිරිපත් කල විට, "හැත්තෑවකට අඩුවෙන් යන වාහන අපි අල්ලන්නේ නෑ" යන පිළිතුර ලබා දුනි. 

නිසල එහෙත් සීතල මස්කෙළිය නගරයට මදක් පහලින් ඇති එක බස් නැවතුමක වටවී සිටින ස්වල්ප දෙනා වත් හඬක් නොනගන මේ මොහොතේ එහි ඇත්තේ දැඩි පාලු ස්වභාවයකි. ඉතා ඈතින් බොඳ වූ එළි දෙකක් සමගින් මතු ගොඩ-ගොඩ හඬ සමගින් ඉබි ගමනේ ආ බස් රථය අප සිටින ස්ථානයේ තිරිංග යොදනවාත් සමග තැනින් තැන සිටි පිරිස බස් රථයේ දොරටුව අසල රොක් විය. අප ගොඩ වී හමාර වුවත් මේ බස් රථ වල කෙරෙන අනෙකුත් රාජකාරිය වූ තැපැල් මල්ල බාරගෙන අහවර වන තුරු බස් රථය පිටත් නොවිණි. ටිකට් පත ලබා ගත විගස මම දෑස් පියා ගත්තේ මද හෝ නින්දක් ලැබීමටය.  මා නින්දෙන් අවදි වනවිට් බස් රථය ඉතා අලංකාර පෙදෙසක් පසු කරමින් සිටියි, ඒ ගිනිගත්හේන නගරය පසු කොට මද දුරක් ගමන් කල විට හමු වන පෙදෙසයි. හිරු එලිය නැතත් අරුණෝදය නිසා හාත්පස පැහැදිලිය. පහලින් පුලින් යායක් වැනි වලාකුල් රැසක් ඇත. අතරින් පතර පෙනෙන තුරු ලතා මේ මනස්කාන්ත දර්ශනය වඩ-වඩාත් අලංකාර කරයි. මේ වනවිට සියළු ආසන පීරී ඇත. හිටගෙන සිටින අය අතර පාසල සිසුවෙක්ද වේ. අද වැනි පොහෝ දිනක පාසල් පැවැත්වේද ? නමුත් ඒ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුවෙකි. උදෑසන  එම බස් රථය අවිස්සාවේල්ල නගරයට පිවිසිණි. 

අවිස්සවෙල්ලෙන් බස් රථයෙන් බසින විට මට දැඩි උණුසුමක් දැනිණි. ඒ මස්කෙළිය විසින් ගිලගෙන තිබූ මගේ ශාරීරික උෂ්ණත්වය යලි ලැබීම නිසාය. අවිස්සාවේල්ලේ සමූපකාර අවන්හලට ගොඩ වූ මා ඉඳිආප්ප වලින් සප්පායක් වී නැවතත් බලන්ගොඩ දෙසට යන බස් රථයක බලාපොරොත්තුවෙන් බස් නැවතුම්පල ඉදිරිපස ඇති කුඩා බොස් හෝල්ට් එකට වී සිටියෙමි. තවත් මොහොතකින් බලන්ගොඩ බස් රථයක්ම එහි විත් නතර විය. දෙවරක් නොසිතාම මම බස් රථයට ගොඩ වී හිඳ ගතිමි.  බස් රථයපැල්මඩුල්ලට ලඟා වෙත්ම මගේ මතකයට ආවේ මා ඇගේ නිවසට යාමට කිසිත් මිලදී නොගත් බවය. නැවතත් පැල්මඩුල්ලෙන් බැස ගත් මා එහි ලඟා වනවිට උදෑසන නවයත් පසු වී තිබිණි. 

ඉතා රසවත්ම කොටස වන ආපසු එන ගමන දෙවන කොටසින් බලාපොරොත්තු වන්න. 

Sunday, January 12, 2014

මේ කවුද ? මොනවද කරන්නේ ? Who is he ? What does he do ?

 මේ පින්තූරයේ ඉන්න කෙනා කවුදැයි ඔබට හඳුනා ගන්න පුළුවන්ද ? බොහෝ දෙනෙකුගේ හිතට එන්න ඇත්තේ කලක් ඉන්දියානු රෝ ඔත්තු සේවය සොයමින් හුන් වීරප්පන් නමැති කාඩ්-බෝඩ් වීරයා කියා විය යුතුය. වීරප්පන්ගේ හැඩරුවට බොහෝ සෙයින් සමාන මොහු කවුද ? මොහු දුටු විට අපගේ ජනප්‍රිය බ්ලොග් කරුවකු, ඔහුගේ බ්ලොග් අඩවිය හඳුන්වා දී ඇති, තේමා පාඨය මගේ සිහියට එන්නේ නිතැතිනි. එය ඔබ, මා, අප සියලු දෙනා දන්නා එකකි. ඒ 

"හොරෙක් - මංකොල්ලකාරයෙක් - දේශප්‍රේමියෙක්"

එතකොට මේ ඉන්නේ මාතලන්ද ? නැත. කොහෙත්ම නැත. මෙහි සිටින්නා හොරෙක් නොවන බව මා තේරුම් ගත්තේ ඔහු සමග දොඩමළු වූ මිනිත්තු කිහිපයෙනි. ඔහු මංකොල්ලකාරයෙක්ද ? මේ කතාව අවසන ඔබට ඒ ගැන යම් සැකයක් ඇති විය හැක. ඔහු දේශප්‍රේමියෙක් බව මට සහතික කොට කිව හැක.  මා මේ කියන කතාව ඔබට ප්‍රහේලිකාවක් බව දනිමි. 

වරක් මා අගය කල මාතලන් නමැති ප්‍රවීණ බ්ලොග් කරුවා පැවසුවේ 
"බ්ලොග් කරුවන් යනු පුරවැසි මාධ්‍යකරුවන්(Citizen Journalist) බවත්, ඔබගේ වගකීම රටට සමාජයට වැදගත් වන දෙයක් දුටු විට වාර්තා කිරීමය"
යන වදන් කිහිපයය. මා පහුගිය කාලයේ කල බොහෝ බ්ලොග් සටහන් මේ ස්ථාවරයේ හිඳ ලියූ ඒවාය. සැබවින්ම අප පුරවැසි මාධ්‍යකරුවන්ය. 

දිනය පහුගිය සිකුරාදාය. වෙලාව සවස දෙක පමණ වන්නට ඇත. මා සිටියේ දැඩි බඩගින්නකය. ස්ථානය : අඹගහ හන්දිය. ඒ මට බාරදී තිබෙන සමරු කලාපයක කටයුතු සඳහා "අඹගහ හන්දිය" නමින් හඳුන්වන, තලංගම කොස්වත්ත, අයි.ඩී.එච්. සහ රාජගිරිය යන මාර්ග තුන එකට එකතු වන, කුඩා අඹගසක් ඇති හන්දියට ගිය අවස්ථාවේදීය. මා සිටියේ ත්‍රී රෝද රථයක් බලාපොරොත්තුවෙනි. එක් වරම එහි ළඟා වූ බට්ටා වර්ගයේ කුඩා ලොරියක් නවත්වා, එහි රියදුරු මා හට ගොඩ වන ලෙස ඉල්ලා සිටියේ ප්‍රිය මනාප සිනහවක් පල කරමිනි. මා දෙවරක් සිතා එයට ගොඩ වීමි. එහි පුරවාගෙන තිබුණේ කාර්යාල සඳහා සපයන පානීය ජල බෝතල්ය. එය මා තුළ මේ පුද්ගලයා කෙරෙහි සැකයක් ජනිත නොකරන්නට හේතු වන්නට ඇත. ඉන්පසු එකදිගට දොඩමළු වූ ඔහු

මහත්තයා කවුද කියන්න මම දන්නේ නෑ. ඒත් හුඟාක් වෙලාවට පාරේ ඉන්න කවුරු හරි කෙනෙක්ව මේ නිකං තියෙන සීට් එකේ දාගෙන යනවා. අද කාලේ හොර හතුරන් ඉන්න හැටියට මේ වගේ දෙයක් කරන්න බයයි. ඒත් මහත්තයා දැක්ක ගමන් මට කියන්න පුළුවන් කවුද කියලා. මාත් ලංකාවේ හතරදිග්භාගයේ වැඩ කරලා අත්දැකීම් තියෙන මිනිහෙක්. මම හමුදාවේ වැඩ කළේ. සර්විස් එකෙන් පෙන්ෂන් අරගෙන හොරකම් කරන්න මංකොල්ලකන්නේ නැතිව, මාසෙට මේකේ ලීස් ගෙවලා, තෙල් ගහගෙන අතට රුපියල් දෙදාහක් තුන්දාහක් හොයා ගන්නවා. ඒ අතරේ කවුරු හරි කෙනෙක් දැක්කොත් උදව් කරනවා. කෙනෙක් දාගෙන යන්නත් අද කාලේ බයයි. ඒ වගේ අප්සට් කෙනෙක් නැග්ගොත් මැරෙන්න වුණත් ගහන්න යකඩ පොල්ලක් මා ගාව තියෙනවා. මම හමුදාවේ හිටපු සේවා කාලේ වත් කිසිම වරදකට අහු නොවුන නිසා මට කේ.එස්.පී. අඳින්න ලැබුණා

මේ වනවිට මාගේ ගමනාන්තයට ළඟා වූ බැවින් ඔහු වාහනය පසෙකට කර නවත්වා මා හා දොඩමළු විය. 

මොකක්ද කේ.එස්.පී. කියන්නේ ?

කේ.එස්.පී. කියන්නේ කීර්ති සේවා පදක්කම. මේ තියෙන ගැසට් එකෙන් අපිට ඒ සම්මානේ දුන්නේ. අපි කාටවත් බරක් නොවී සමාජයේ ජීවත් වෙන්න ඕනේ. මම අරක්කු - සිගරට් කිසි දෙයක්, අඩුම ගණනේ බුලත් විටක් වත් කටේ තියෙන්නේ නෑ. ඕවා ඔක්කොම පුරුදු මහත්තයා. හිත තමයි තියෙන්නේ. හිතුවොත් ඕනෑම දෙයක් නතර කරන්න පුළුවන්. මම 1995 ඉඳලා හරක් මස් කෑම නැවැත්තුවා.  

ඔහුගේ නම ආර්.ඩී. එන්. ධර්මදාසය. ඔහුගේ නම ඉදිරියෙන් කේ.එස්.පී. - wo ලෙස තැබිය හැකි බව ඔහු පවසයි. ඔහුගේ ගම වැල්ලව - කුරුණැගල ය. ඔහු සැබවින්ම රටට ආදර්ශමත් එමෙන්ම කීර්තිමත් රණ විරුවෙකි. අද අපේ රටට අවශ්‍ය මෙවැනි පුද්ගලන්ය. ඔහුට බොහෝ සෙයින් ස්තුති වන්ත වූ මා කාර්යාලය අසලින් බැහැ ගත්තේ මේ සටහන තබන්නට සිතෙහි තබාගෙනය.
______________________________________________
පසුව එකතු කල පින්තූරය.
පින්තූරය : http://documents.gov.lk/Extgzt/2012/PDF/Oct/1779_23/1779_23%20(S).pdf

Thursday, January 9, 2014

පහේ ශිෂ්‍යත්ව විවාදය අස්සේ හමු වූ ජෝන්ස් ජේල් ජර්නල් බ්ලොග් අඩවිය John's Jail Journal found during Grade V Scholarship Debate

අවුරුදු කිහිපයක පටන් දේශීය රුපවාහිනී නාලිකා නැරඹීම සහමුලින්ම අත් ඇර දමා තිබෙන මා, අද දින(2014. රාත්‍රී දහයට දේශීය නාලිකාවක් බලන්නට තීරණය කරන්නේ අපේ රටේ පාසල් සිසුන්ට අතිශය වැදගත් මාතෘකාවක් ඔස්සේ රජයේ ඇමති වරයෙක් සහ රජයේම පළාත් සභා ඇමති වරයෙක් අතර පවත්වන ලද විවාදයට සවන් දීමටය. දේශීය නාලිකා නැරඹීම අත් හැර ජාත්‍යන්තර නාලිකා නැරඹීමට බොහෝ සාධාරණ හේතු මා ඇතුලු බොහෝ පිරිසකට ඇත. එසේම ජාතික පාසල් තරගය අතහැර ජාත්‍යන්තර පාසල් වලට ළමුන් යොමු කරන කණ්ඩායමේ කෙනෙකු හැටියට ඒ සඳහාද සාධරාන හේතු බොහොමයක් අපට ඇත. මගේ දරුවා සම්බන්ධයෙන් මේ කරුණ මට වැදගත් නැතත්, නිදහස් අධ්‍යාපනය ලැබූවෙකු වශයෙන්(අධ්‍යාපනය සහ සෞඛ්‍යය නිදහස් රටවල් දහයක් ඇති බව උදය ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය. ඒ ආර්ජෙන්ටිනාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය,  නොර්වේ, ස්කොට්ලන්තය,  බ්‍රසීලය, ජර්මනිය,     ලිබියාව සහ ශ්‍රී ලංකාව).

නින්දත් නොනින්දත් අතර මේ වාදය නරඹමින් සිටින අතරම පී.අයි.පී.(PIP) මගින් නැෂනල් ජෝග්‍රෆික් නාලිකාවේ යන මගේ ප්‍රියතම වැඩසටහනක වන "බැන්ග් අප් එබ්‍රෝඩ්" නමැති වැඩසටහනද නරඹන අතරය. (පී අයි පී යනු නාලිකා දෙකක වැඩසටහන් එකවර නැරඹිය හැකි පහසුකමකි.  එමගින් තිරයේ විශාලව එක් නාලිකාවක්ද, තිරයේ කෙලවර හතරින් කැමති තැනක තවත් නාලිකාවක්ද දර්ශණය කල හැක. කැමති නාලිකාවක හඬට ඇහුම්කන් දීමටද පුළුවන. මා කලේ ප්‍රධාන තිරයේ නැෂනල් ජෝග්‍රෆික් සහ කුඩාවට වාදයද, වාදයේ හඬද තබා ගැනීමයි. වාසනාවකට එන්.ජී.සී. හී ඉංග්‍රීසි උප සිරස දර්ශණය විය). ශිෂ්‍යත්ව වාදය බොහෝ දෙනෙකු නරඹන්නට ඇති නිසා මා "ජෝන්ගේ සිරගත සටහන් " නොහොත් ජෝන්ස් ජේල් ජර්නල් ගැන සටහනක් තබන්නම්. 

ඊට පෙර "බැන්ග් අප එබ්රෝඩ්" ගැනද වචනයක් කිව යුතුය. මෙම වැඩසටහනින් බොහෝ විට පෙන්වන්නේ නොකළ වරදකට සිරගත වූ හෝ නිවාස අඩස්සියකට පත් වූ අයගේ සත්‍ය අත්දැකීම් ඇසුරෙන් කරන ලද  නිර්මාණයකි. එය අතරවාරයේ බොහෝ විට එම අත්දැකීම් ලද තැනැත්තා කථා කරන අතර ඔහු/ඇය මුහුනදුන්නාට සමාන සිදු වීම් පෙළක් නිර්මාණය කර පෙන්වයි. එදින එහි පෙන්වන ලද වැඩසටහන යම් සිර කඳවුරක් බව පැහැදිලි විය. නමුත් ඔවුන්ගේ උපසිරසේ "Jonh's Jail Journal" යන්න දිස් වූ වහාම මා කලේ එය ගූගල් කිරීමයි. මොහොතකින් මා ඔහුගේ බ්ලොග් අඩවිය තුලට ගියෙමි. ඔහු බ්ලොග් කරණයට පිවිස ඇත්තේ 2004 සැප්තැම්බර් බව පැහැදිලි විය. එම බ්ලොග් අඩවියට අලුතෙන් ගොඩවන්නන් වෙනුවෙන් වෙනමම සටහනක් ඔහු තබා ඇත. එම කෙටි සටහන මෙසේයි
ෂෝන් අට්වුඩ්
දුෂ්ඨ ෂෙරිෆ් වරයෙකු වූ ජෝ ආපයියෝ විසින් පාළනය කරන ලද ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ, ෆීනික්ස් හී උපරිම රැකවරණය සහිතව පැවති මැඩිසන් මාවතේ සිරගෙදර  තත්වය නිරාවරණය කිරීමේ අදහසින් මා ජෝන්ස් ජේල් ජර්නල් ආරම්භ කලේ 2004 දීය. ගොල්ෆ් පැන්සලක් බ්ලොක්-ගල් බිත්තියේ හෝ යකඩ දොරෙහි ඌරච්චි කර උල් කරගෙන තැබූ සටහන් සතිඅන්තයේ මා බැලීමට පැමිණෙන මගේ නැන්දා වූ ඈන් හොර රහසේ සිපිරිගෙයින් පිටතට රැගෙන ගියාය. එංගලන්තයේ උන් මගේ දෙමව්පියන් මේ සටහන් අන්තර්ජාලයට එකතු කරන ලදී. එම බ්ලොගය ජාත්‍යන්තර මාධයන්හී අවධානය දිනා ගත අතර මැඩිසන් වීදියේ සිරගෙදර වසර කිහිපයකින් පසුව වසා දමන ලදී. 
එහි සිටි ෂෙරිෆ් ජෝ තවමත් මැරිකෝපා නමැති ප්‍රාන්ත සිරගෙවල් සහ පහසුකම් පද්දතියේ  ප්‍රධානියා වේ. ඔහුගේ විවේචකයන් ඔහු හඳුන්වන්නේ මරණයේ සුරදූතයා ලෙසය. ඒ ඔහු පාළනය කරනු ලබන සිර ගෙවල් වල සිදු වන අසාමාන්‍ය මරණ සංඛාව පමණක්
ෂෙරිෆ් ආර්පයියෝ
නිසා නොව, ඔහුගේ ගාඩ්වරුන් ඒ සඳහා පොළඹවන්නේ රැඳවියන් මරා දැමීම පිලිබඳ වගකීම ෆෙඩරල් උසාවිය දරනවා යන මතය ඔවුන්ට ඉඟි කරමිනි. 
මා එහි සිරගතව සිටි කාලයේ රැඳවියන් සිය ගණනක් බලා ගැනීම සඳහා ගාඩ් නිලධාරීන් දෙදෙනෙකු පමණක් යොදවා තිබූ අතර, ඔවුනට වඩා වැඩි පාළන බලයක් මෙක්සිකන් මාෆියාව වැනි  කල්ලි වලට තිබුණි. හිසවල් වැසිකිලි වල යකඩ දොරවල් වල ගසන හඬවල් මට පුරුදු වී තිබූ අතර එම ශරීරයන් එහා මෙහා විසි කරන හඬවල්ද සුලබ විය.

 එම සිරගෙදර ආරක්ෂක කැමරා වල සටහන්ව තිබූ එවැනි මරණයක් පිලිබඳ වීඩියෝවක් මෙම සටහනට පහලින් ඇත. 

ඔහු විසින් තබන ලද සටහන් තුනක් එහි උදෘත කොට ඇත. ඒ අතුරින් එහි තත්වය විස්තර වන නමුත් හිරිකිත බවින් අඩුම සටහන මා මෙසේ ඉදිරිපත් කරන්නම්

2004 ජුලි 13
 හදිසියෙන් එකපිට-එක එන ශෝකාන්තයන් මෙම සටහන තැබීමට මගේ සිත මට බල කර සිටී. පහුගිය සති අන්තයේ මා සිටින මහලේ සිරකරුවන් දෙදෙනක් සියදිවි හානිකර ගැනීමේට උත්සාහ ගන්නා ලදී. එක් අයෙක් බැල්කනියෙන් බිමට පනින ලද මුත් ජීවිතය හානි නොවීය.  අනෙකා ගෙල වැල ලා ගෙන මිය යාමට උත්සාහයක යෙදින.  එසේ තිබියදී මධ්‍ය-මට්ටමේ ආරක්ෂාවක් යටතේ පැවති කොටසක රැඳවියකු නාන කාමර ඇති පෙදෙසෙහි මිය ගොස් තිබුණි. සිරකරුවන් බොහෝවිට මෙම පෙදෙසෙහිදී පහරදීමට හේතුව, ආරක්ෂක කැමරා මගින් එය ආවරණය නොවන නිසාය. බලධාරීන් එම මියයාම පිලිබඳ හේතුව සඳහන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙහි පිටත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 114 කි.  අපගේ හිරකූඩු වලට කාන්දු වන වායු දහරාවන් දැනෙන්නේ හෙයාර්ඩ්‍රයර් එකකින් එන උණුසුම් වායු දහරාවක් ලෙසය. දිවා - රාත්‍රී දෙකෙහිම අපගේ  ඇඟවල් දහදියෙන් පෙඟුණි. දහදියෙන් තෙත් වූ කඩදාසි මත ලිවීම අපහසුය. වැඩි දෙනෙකුට දැන් සමේ රෝග සහ දද සෑදී ඇති අතර ඒවා නිරන්තර කැසීමක් සිදු වේ. මගේ සිරුර දහදියෙන් පෙඟීම නිසා කසන විට නියපොතු අස්සේ සම් කැබලි එකතු වේ. මෙසේ දහඩිය වෑහීම සහ කැරපොත්තන් කරන යටිපතුල් කිචි කැවීම අතර නින්ද පහසු කාර්යයක් නොවේ. ඊයේ රාත්‍රියේ එක පසකට ඇලවී නිදා සිටි මගේ කණ දහදියෙන් පිරුණු විට මා හිස හැරවූ පසු දහදිය මුහුණ දිගේ ගලන්නට විය. මා ඇහැරුණේ තැතිගන්මකිනි. එය හරියට මගේ කම්මුල කිසිවකු අතගාන ලෙස දැනිණි. 
 වරක් මා ගාඩ්වරයකුගෙන් පරිපාළනය මේවාගෙන් ඉවත් වී සිටින්නේ කෙසේදැයි ඇසූ විට, ඔහුගේ පිළිතුර වුයේ "මෙහි සිදුවනදේ ගැන ලෝකයාට දැනුමක් නෑ" යන්නයි.
 ළමා කාලයේදී මා අපාය කෙසේදැයි සිතින් මවා ගතිමි.  එහි ඇති ගල්ගුහා වල ශාප ලද්දන් හිරවී ඇත, වදහිංසා පමුණුවා ඇති ඔවුන් පිච්චී ඇත. විස්තර කල නොහැකි උරගයින් එම ශරීර වල ඇදීයාම මා සිතින් මවා ගෙන ඇත. එහෙත් මා කිසිදිනක මිනිසුන්ගේ ද්වේශසහගත ස්වභාවය මිහිමත නැවත නිර්මාණය වේ යයි සිතින් මවාගෙන නැත. 
ඔහු ජෝන් නමින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, සත්‍ය වශයෙන්ම්  අන්වර්ථ චරිතයක් වීමේ අවශ්‍යතාවකින් බව පැහැදිලිය. ලෝකයාට මේ තොරතුරු ලබා දෙන්නේ ඔහු යයි ඔවුන් දැන ගත්තානම්, වැඩිකලක් ජීවත් වීමට අවස්ථාව අහිමි වන්නට තිබුණි. ඔහුගේ සත්‍ය නාමය වන්නේ ෂෝන් අට්වූඩ් ය. සැබෑ අත්දැකීම් කැටිකොටගත් මෙම බ්ලොග් අඩවියට ගොඩ වන්නට ඔබටත් හැකියි. එහි ලිපිනය වන්නේ

http://jonsjailjournal.blogspot.com/

මානව හිමිකම් ගැන කථා කරන අය මේවා නොදකීද ?

Friday, January 3, 2014

චාලි නමැති බෙදා හරින්නා නොහොත් Charles - the Delivery Man

අපට එදිනෙදා රාජකාරි වලදී බොහෝ මිනිසුන් මුණ ගැසේ. විවිධ තරාතිරම් වල අය සමග ගනුදෙනු කිරීමට සිදු වේ. ඉතා දැන උගත්, පොහොසත් අය මෙන්ම නුගත් පහළ සමාජ තලවල ජීවත් වන්නන් මුණ ගැසේ. මා ප්‍රිය කරන්නේ මේ දෙවෙනි කොටසටයි. හේතුව ඔවුන් සමග කථා බහේදී අපිට ළඟා විය නොහැකි තැන් පිළිබඳ දැන ගැනීමට හැකි වීමයි. එසේත් නැතිනම් අප පරිහරණය නොකරන දෙයක් හෝ අප නොයන තැනක් පිළිබඳ අපූරු  විස්තරයක් ඔවුන් කරයි. හැබැයි මේවා දැන ගන්න නම් ඔවුන් සමග කුළුපග විය යුතුය. එය එතරම් පහසු කාර්යයක් නොවේ. හේතුව ඔවුන්ට සහජයෙන් හිමි ඉවය. අප හැරෙන්නේ කුමකටද යන්න ඔවුන් පහසුවෙන් වටහා ගනී. මා මේ කියන්න යන්නේ එසේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගොඩ නගා ගත් හිතවත්කමක් නිසාම දැන ගත් කරුණුය. මා මේ සටහන ලියන්නට පෙර ඔහුගෙන් අවසරද ඉල්ලා සිටියෙමි. ඔහු කීවේ එක දෙයකි. ඒ
පින්තූරය ගත්තේ : http://www.dedegames.com

"ඕන දෙයක් කරන්න. හැබැයි ෆොටෝ එක නම් දාන්න එපා"

මෙතැන් සිට අපි ඔහුට "චාලි" කියමු. ඒ ඔහුගේ උප්පැන්නයේ සඳහන් නම නොවේ. ඔහුගේ බජාර් එකේ නමද නොවේ. මේ කතාව ගෙන යන්නට අවශ්‍ය නිසා යෙදු අන්වර්ථ නාමයකි. ඒ ඔහුගේ ආරක්ෂවටය. ඔහු අපගේ ලියුම් බෙදන්නය. ලියුම් බෙදන්නා යයි කීවද, ඔහු තැපැල් පියන් කෙනෙක් නොවේ. චාලි අප වෙත එන්නේ මෑතකදී ජනප්‍රිය වූ කුරියර් හෝ ඩිලිවරි සේවාව සමගය. මා මීට කලිනුත් සඳහන් කර තිබූ පරිදි රටක - සමාජයක ඉදිරියට යාමට මේ සියළු දෙනාගේ සේවාවන් වැදගත් වේ. අප ඉටු කරන්නේද එවැනි සේවා දාමයක කොටසකි. මේ කතාවන් මා කියන්නේ බොහෝ දෙනෙකු මෙවැනි අය තලා පෙළා කතා කිරීම නිසාය. නමුත් චාලි වැන්නන් සහමුලින්ම සොරුන්, මංකොල්ල කරුවන් නොවී මෙවැනි දෙයක් තම ජීවනෝපාය මාර්ගය කරගෙන සිටීමට අප ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුය. මගේ කාර්යාලීය සගයන්ගෙන් මට නිරතුරු ලැබෙන අවවාදය වන්නේ ඔවැනි පුද්ගලයන් සමග ප්‍රවේශමෙන් ගනුදෙනු කරන ලෙසය. නමුත් මා නතර කරන්නේද නැත. මෙවැන්නන් සමග වචනයක් දෙකක් කථා කිරීමද යම් ආකාරයක සතුට ලැබිය හැකි කාරියකි.

චාලි කොළඹ හතේ ජීවත් වන දමිළ කොල්ලෙකි. කොල්ලෙක් කී විට ඔබේ හිතේ මැවෙන රූපයට වෙනස් යයි මා ඉඳුරාම දනිමි. හේතුව ඔහු දරු පවුලක් රක්ෂා කරන තිස් ගණන් වල මුල් හරියේ වයසක් උරුම පුද්ගලයෙක් නිසාය. කෙසඟ සිරුරත්, මීයකුගේ මෙන් ඉදිරියට නෙරා ඇති කන් දෙකත්, චීනකුගේ මේ ලාවට වැඩී ඇති රැවුලත්, නෑබිලි කට් කොණ්ඩයත්, නිරන්තරයෙන් ඇති නොන්ඩි ගැසීමත්  ඔහුට එක් කරන්නේ විකට පෙනුමකි. ඔවුන් කොළඹ හතට ආ කතාන්දරයද විටෙක මට පවසා ඇත. ඔවුන් මුලින් සිටි මුඩුක්කු ප්‍රදේශය යම් සංවර්ධන කටයුත්තකට අත්පත් කර ගැනීම නිසා ඔවුන් අද සිටින තැනට පැමිණ ඇත්තේ මීට අවුරුදු පහලවකට පමණ පෙරය. පහසුවට මා එතැනට ඉන්ගම්මාරුව යනුවෙන් පවසන්නම්.

ඇත්තටම අප ජාතික රුපවාහිනියේ දුටු ඉන්ගම්මාරුවේ කතන්දර බොහොමයක් සත්‍ය යයි මා පිළිගන්නේ චාලි මට පවසන දේ සමග සැසඳෙන බැවිනි. කොළඹ හතේ වත්ත නිසා ඔවුනට ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස ඔවුන්ගේ දරුවා අපටද කිසි විටෙකත් ළඟා නොවිය හැකි රෝයල්, විශාඛා වැනි ජනප්‍රිය මෙන්ම සුපිරි පාසලකට ඇතුළත් කර ගැනීමට හැකි වීමය. ඒ සඳහා ඔවුන්ට ව්‍යාජ උප්පැන්න සහතික අවශ්‍ය නොවේ. ඔප්පු, විදුලි බිල්, ජල බිල් මේ කුමන අකාරයෙන් ගත්තද ඔවුන් ඉන්නේ මේ ජනප්‍රිය පාසල් වලට නියමිත සීමාවේය. එනිසා ඔවුන් මගහැර දැමීමට පාසල් බලධාරීන්ට කල නොහැක.  ඒ අතින් ඔවුන්ගේ දරුවන් වාසනාවන්තය. නමුත් ඒ දරුවන් ඒ පාසලට යවා සෙසු දරුවන්ගෙන් කොන් නොවී තබා ගැනීමට ඔහු දරන වෑයම මගේ සිතේ ඇති කරන්නේ කම්පනයකි.

චාලිගේ දින චරියාව ආරම්භ වන්නේ උදෑසන හතරයි ගානකටය. පෙරදින දසතේ මෝටර් සයිකල් පැදීම නිසා ඇතිවන විඩාව නිවා ගැනීමට අමුවෙන්ම ගල් කාලක බඩට දා ගන්නා බව ඔහු මා හා පවසා ඇත. පාන්දර හතරහාමාරට ඔහු අවදි වන්නේ වන්-වන් ඩබල් සීරෝ නමැති ජනප්‍රිය නොකියා ජංගම දුරකථනයේ පිහිටෙනි. එහි එලාමය සතියේ දවස් හතටම එක සේ ක්‍රියා කරවන්නට ඔහු වග බලා ගනී. එසේ නොවුණා නම් අතට ලැබෙන ගානෙන් කොටසක් අහිමිය. පාන්දර පහට චාලි වාර්තා කරන්නේ ඔහුගේ සාමාන්‍ය රැකියාවට නොව, පාර්ට් ටයිම් ජොබ් එකටය. අප වැනි කෙනෙකුට පාට්-ටයිම් තරමක් නුහුරු දෙයක් වුවද, සමාජයේ මෙම ස්තරයේ සිටින්නන් මෙවැනි රැකියා කිහිපයක්ම කරන්නේ, රැකියාවෙන් ඔවුන්ට ලැබෙන සොච්චම හැරෙන්නටවත් මදි නිසාය. තවත් ශ්‍රී ලංකාවේ අතිරේක රැකියාවක් කිරීම තත්වයට හොඳ මදි දෙයක් සේ සැලකුවද බොහෝ දියුණු රවටල් වලට සංක්‍රමණය වී ඇති සියලු දෙනා එවැනි රැකියා දෙක තුනක්ම කරයි. ඒ ඒවාට ගරහන්නට හෝ තහංචි පනවන්නට කිසිවකු නැති නිසාය. අනෙක් අතින් එවැනි සටනක් නොදී ජීවත් වන්නට ඔවුන්ටද නොහැකි බැවිනි. ඒ අතින් චාලි ලා ජීවත් වන්නේ අපට වඩා ගව් ගාණක් ඉදිරියෙනි.

ඩිලිවරි සමාගෙම් තමා වෙත ලබා දී තිබෙන මෝටර් සයිකලය ඔහුගේ ගමනකට යොදා ගත්තාට ඒ සමාගම ඔවුන් සමග උරණ වන්නේ නැත. ඒවා පාලනය කිරීමට ඔවුන්ට වෙලාවක් නැත. එහි හිමි කරුවන්ටද බත සරි කරන්නේ, දුවිලි - දුම් කාගෙන පිම්මේ දුවන ඔවුන් නිසාය. පාර්සලයක නියමිත වෙලාවට නියමිත් ස්ථානයට ගෙනගොස් භාරදුන් විට සමාගමට රුපියල් එක්දහස් පන්සීයක් ලැබේ නම් චාලිට එයට රුපියල් පනහක් ලැබේ. එනිසා මෝටර් සයිකලය ගැන වැඩි යමක් කොම්පැනිය සොයන්නේ නැත. එහි පෙට්‍රල් සඳහා ලබාදෙන මුදල් එහා මෙහා කර මේ අමතර ගමනින් චාලි තමන්ගේ පවුල් සංස්ථාව සඳහා යම් මුදලක් උපයයි. තම බිරිඳ සාදා දෙන තේ කෝප්පය එහෙන්-මෙහෙන් බඩට දා ගන්නා චාලි මිටින් මුදා හල කුරුල්ලෙකු මෙන් තවත් විනාඩි ගණනකදී කොළඹ කොටුවේ ඇති අයිලන්ඩ් ප්‍රවෘත්ති පත්‍ර කාර්යාලය වෙත ළඟා වේ. ඉන් ලබා ගන්නා පත්තර මිටිය බයිසිකලයේ පෙට්‍රල් ටැංකිය උඩ තබා ගන්නා චාලියා ඉන් පසුව අතැඹුලක් සේ ඇති  ගමන් මාරගයේ අදාළ ස්ථාන වලට ගුවනින් පත්තර යොමු කරමින් ගමන් කර උදෑසන හතට පමණ යළිත් නිවස කරා ළඟා වේ.

දිනක් මෙසේ ගුවනට යොමු කල පුවත් පත කෙලින්ම ගොස් වැදී තිබෙන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ ඇති හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියගේ උදරයේය. මාස අවසානයේ මුදල් එකතු කිරීමට යනවිට ඒ බව පවසා ඔහුව බිය වද්දන්නට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරියා උත්සාහ කලද, අදාළ තරුණිය මුණ ගැසී ඔහුගේ සුපුරුදු සිනහව සමග කතාව දමා වැඩේ ෂේප් කරගෙන ඇත.

චාලියාගේ භාෂාවද මා අපමණ ප්‍රිය කරන්නකි. එහි කිසි විටෙකත් "හ" යනු නැත. පායි කියන්නේ පහයි කිව යුතු තැනටය, දහයට කියන්නේ දාය කියාය. මා ඔහුගේ අගය කරන ලක්ෂණය වන්නේ, කුමන ඇබද්දීයකට මුහුණ දුන්නද, ඒ බව පවසන්නේ සිනහවකින් මුව පුරවාගෙනය. ඔහු කිසි විට කෝප ගන්නෙකු නොවේ. එසේ වුවානම් මේ රාජකාරි කරගෙන යාමට නොහැක.

වඩාත්ම රසවත් කතා ඇත්තේ ඔහුගේ මේ අතුරු රැකියාව සමගය. මුලින්ම ඔහු පත්තර ලබාගෙන තිබෙන්නේ ඔවුන්ගේ වත්ත ආසන්නයේම ඇති මුදලාලි කෙනෙකුගෙනි. ටික කාලයක් එහි රැකියාව කරනවිට ඇති වූ කුළුපග කම නිසා මුදලාලි ඔහුට ලබා දිය යුතු මුදල ඉක්මවා රුපියල් හැටදසහක් පමණ ලබා දී ඇත. මුදලාලිගේ බිරිඳ පියකරු කතක් වුවද ඒ ගැන කිසිදු ඇල්මක් මුදලාලි දක්වා නැත. ටික කලිකින් චාලියාව වරදට පොළඹවාගෙන ඇත්තේ මුදලාලිගේ බිරිඳමය. ඒ බවට සාක්ෂි ලෙස ඉදිරිපත් වුයේ දිනක් මුදලාලිගේ අතටම ඔහු මාට්ටු වූ පසු පොලීසිය පැවැත්වූ අපරාධ පරීක්ෂණයේදීය. මුදලාලිගේ බිරිඳගේ සහ චාලිගේ ජංගම දුරකථන වෙත ආ ගිය ඇමතුම් පරීක්ෂා කලවිට, සියළු ඇමතුම් රූමත් බිරිඳ විසින් ලබා දී ඇත. ඇයගෙන් ලැබුණු විවිධ ප්‍රතිලාභද චාලියා ඒ කාර්ය සඳහා තව-තවත් නැඹුරු කරන්නට හේතු විය. පොලීසිය කිසි විටෙකත් ආගන්තුන නොවන චාලියාගෙන්

"කොහොමද බං හිටගෙන වැඩේ දුන්නේ" යනුවෙන් පොලිස් නිලධාරියා ඇසූ විට.

"සර්ලා ඉටගෙන කරන විදියටම තමයි" යනුවෙන් පිළිතරු දී ඇත්තේ නිලධාරියාට ඉන් එහාට කිසිවක් පවසන්නට ඉඩ නොතබයා.

"මුලින්ම ඕටලයකට තමයි ගියේ. පස්සේ-පස්සේ ගෙදරටම එන්න කරදර කරා. ඔක්කොම අරි සර් මට අපේ ගෑණිගේ මුණ බලන්න බැරුව ඉටියේ. අපේ ගෑණි නිසා ඔඳයි. දැන් නම් මූනට අම්බ වුණත් මං ආක බලාගෙන යනවා"

එක්තරා තානාපති කාර්යාලයකට ඔහු එකම වර්ගයේ පත්තර හයක් දිනපතා සපයයි. ටික කලක් යද්දී ඔහු එතනට පත්ත්ටර පහ බැගින් දමා තවත් නිවසකට ඉතිරි පත්තරය නිකුත් කොට ඒ මුදල ඔහු වෙනම ලබා ගනී. මා විමසා සිටියේ එම්බසියෙන් මුදල් ගන්න යනවිට එය අසු නොවන්නේද යන්නයි. ඔහුගේ පිළිතුර වන්නේ 

"කවුද සර් ඕවා ඔයන්නේ. ඇවුවත් මම කියන්නේ, ඇයි අයම දුන්නේ. කියලා. අනිත් එක සල්ලි ගෙවන එක්කෙනා පත්තර ගණන් කරන්න යන්නේ නෑනේ"

එවැනි පුංචි ප්‍රයෝග වලින් ඔහු යම් මුදලක් වැඩිපුර සොයා ගනී.  කොළඹ තිබෙන ඕනෑම ක්‍රීඩාංගනයකට හොරෙන් ඇතුල් වන ස්ථාන චාලියා දනී. පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය සඳහා මා සහ මගේ මිතුරන්ට ටිකට් ලැබුනේ නැත. අප අවසන් තරගය නැරඹුවේ සී.එච්.ක්‍රීඩාංගනයේදීය. ඒ සඳහා රුපියල් දාහක ඇතුලත් වීමේ ටිකට් පතක් මිලදී ගැනීමට සිදු විය. ඒ බව චාලියාට පැවසු විට

"ඇයි අප්පා දන්නැද්ද ග්‍රවුන්ඩ් එකට රිංගන තැන. මට කිව්වා නම් පෙන්නනවනේ. අර ලොකු නුග ගහෙන් නැගල බහින්න පුළුවන්"

ඔහු මේ පවසන්නේ ක්‍රීඩාංගනය අසල ඇති ගසකින් බසින අකාරයකි. අපට එවැනි ක්‍රියා කොහොමටවත් හරි යන්නේ නැති බව ඔහුට නොතේරේ. 

වරක් සිරස නාලිකාව මගින් පවත්වන සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස්, අවසානයේ එහි තිබූ බැනරයක් ගලවාගෙන යන්නට ආසන්න වනවාත් සමගම ඔහු ඇතුළු කිහිප දෙනෙක්ම පොලීසියට කොටු විය. ඔහු ඇතුළු එකිනෙකා නොදත් කන්ඩාමයට කිසිදු සහනයක් නොලැබිණි. කෙලින්ම ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. රිමාන්ඩ් එකට ගිය විට එහි සිටින අයියා කෙනෙකු චාලියාට පාට් එක දමන්න පැමිණ ඇත.

"අඩෝ උඹ කවුද ඩෝ ?"

"ඇයි ආන්නේ ?"

"අඩේ මේ රිමාන්ඩ් එකේ මට උඩින් යන්න එකෙක් නෑ. උඹ කොහෙද ?"

"මම ඉන්ගම්මාරුවේ. ඇයි මොකද ?"

"අඩේ එහෙනං කමක් නෑ. උඹට කවුරු හරි පාට් එකක් දැම්මොත් මට කියපං. උඹලාගේ වත්තේ මගේ යාලුවෝ දෙන්නේ ඉන්නවා. ගියාම පොඩ්ඩක් කියපන් මන් ගැන"

"අරි. අරි. ලොක්කා"

ඉන්පසු චාලියාට පාට් දමන්නට කවුරුත් පැමිණ නැත. ඔහු පවසන්නේ එහෙම සයිස් දන්නා එන අයට කතා කල යුත්තේ ඒ ආකාරයට බවයි. චාලියාගේ පසුබිම ගැලපෙන නිසා එසේ කතා කලද, අප එවැනි ඒවා කරන්නට ගියොත් නැව් ගුටි වලින් කන්නට හැකිය.

තවත් දිනක චාලියා නිවසේ නිදා හිඳීද්දී පොලීසියෙන් පැමිණ ඇත.  වෙනත් කිසිවක් කතා නොකොට ඔහුගේ හොඳම මිතුරකුගෙන්, "මේ ඉන්නේ චාලියාද ?" අසා ඔහුව ජීප් රියට නග්ගා ගෙන ඇත. මොහොතකින් සිදු වූ සියල්ල තේරුම් කර ගැනීමට චාලියාට හැකි වී ඇත. හේතුව මීට පැය කිහිපයකට කලින් මල් සොයාගෙන ආ මිතුරාට තම වත්තේ තැනකින් මල් සපයා දී තිබීමයි. ඔවුන් මීළඟ හොරට පවත්වාගෙන ගිය  සුරා සැලක් වටලන ලද අතර එහි තිබූ රටබීම වර්ග සියල්ල අත් අඩංගුවට ගෙන ඇත. අද රාත්‍රිය රිමාන්ඩ් භාරයේ ගත කරන්නට සිදු වන බව ඉඳුරාම දැනගත් චාලියා, එහි සිටි සාජන් වරයා අමතා

"සර් අද රෑ කොහොමත් රිමාන්ඩ් නේ. අපි මේකෙන් පොඩි ෂොට් එකක් දා ගන්නද?" යි අසා ඇත.

"දාගනිං හැබැයි ගොඩක් බොන්න බෑ. එකක් අර ගනින්"

ඔවුන් දෙදෙනා අතට අහු වූ බෝතලයකින් සප්පායම් වී ඉතිරි කොටසට මුහුණ දී ඇත. පසුදා උසාවියට යන විට ඔවුන් අතට බෝතල් දී, වැරදිකරු  බව පිළිගන්නා ලෙස අණකර ඇත.

ඔහු අතේ මුදල් යැවීම ඉතාම අවදානම් කටයුත්තකි. දිනක් තම පුත්‍රයාගේ පන්තියේ ගුරුතුමිය හමු වන්නට ඔහු ගොස් ඇත. කුමක්දෝ කටයුත්තක් සඳහා රුපියල් දෙදාහක් අවශ්‍ය බව ගුරුවරිය පැවසූ විට, කවුරුන් හෝ වෙනත් අයෙකුට යවන මුදල් ප්‍රමාණයක් ඔහුගේ සාක්කුවේ තිබී ඇත. දෙවරක් නොසිතාම එම මුදල් ගෙන ගුරුවරියට මුදල් ගෙවා ඇත. එවැනි අවස්ථාවක මුදල් ලබා දුන් පුද්ගලයා මුණගැහෙන්න එන්නේ චාලියා නොවේ. නමුත් ඔහු කිසිදිනක මෙවැනි ක්‍රියාවක් මට සිදු කර නැත. ඒ මා දෙසැම්බර් සහ අප්‍රේල් මාස වල ඔහුට සන්තෝසමක් ලබා දෙන බැවිනි. මගේ කාර්යාලීය සගයාට කිහිප විටක්ම ඔහු මේ අන්ඩරය දී ඇත. චාලියා විටක නොසැලකිලිමත් ලෙස හැසිරෙයි. මගේ කාර්යාලීය සගයාගේ වැටුප් මුද්‍රිතය අස්ථානගත කර ඇත. එය සොයා ගැනීමට මගේ මිතුරා නොවිඳිනා දුකක් නැත.

චාලියාට ඔහුගේ බාල සහෝදරයා සමග ලොකු ඔරෝප්පුවක් ඇත. ඒ අරාබියේ වෙසෙන ඔහු තමාට උදව් නොකර නිසාය. එම සහෝදරයා පහුගිය කාලයේ ජාත්‍යන්තර කරදරයක පැටලී ඇත. ඒ ඉතාලියේ සිටින ශ්‍රී ලංකික කතක් හා විවාහ වී එහි යාමට කරන ලද සැලසුමක් නිසාය. ඒ කත ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දොළහක් ඉල්ලා ඇත. නමුත් මේ වනවිට අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික කතක් හා පෙමින් වෙලී සිටින සහෝදරයට, පෙම්වතිය ඒ ගමනට ඉඩ දෙන්නේ නැත. මේ දෙසැම්බරයේ ඉතාලියේ සිට ලංකාවට එන කාන්තාව තමාට ලක්ෂ තුනහාමාරක් අවශ්‍ය යයි ඉල්ලා ඇත. ඒ මුදල දී ඉන් නිදහස් වන ලෙස ඔවුන්ගේ මවද ඉල්ලා ඇතිමුත්, චාලියා ඊට එකඟ නැත. ඔහුගේ උත්සාහය මේ මුදල සහෝදරයාගෙන් ගෙන ඉතාලි කතට කොකා පෙන්වීමයි. ඒ සඳහා ඔහු මගෙන් උපදෙස් ඉල්ලා සිටි අතර මා එයට ලබා දුන් විසඳුමට ඔහු ඉතා කැමති විය. සහෝදරයාගෙන් මුදල් ගැනීම ගැන අප අප්‍රසාදය ඵල කලද, ඔහු කියා සිටින්නේ කොහොමත් යන ගාන මට දුන්නාම මොකද වෙන්නේ යනුවෙනි.

චාලියා දෙසැම්බර් මාසයට කදිම උපක්‍රමයක් යොදයි. ඒ තමා විසින්ම මුදල් එකතු කරන ලැයිස්තුව සකසා, ඔහු පත්තර බෙදන නිවෙස් වලට ගෙන යාමයි. ඔහු එහි පළමු සටහන කිසි දිනෙක එසේ ආධාර නොකරන කෙනෙකුගේ නමින් ලියවා ගන්නේ තම බිරිඳ ලවාය. එය රුපියල් දෙදාහක් ලෙස සටහන් කරගත් විට අනෙක් නිවෙස් වලින් රුපියල් දාහක් වත් ලැබෙන බව මට පෙන්වූ සටහන සාක්ෂි දරයි. එම ලැයිස්තුවට උඩින් සටහන් කර ඇති වාක්‍ය කිහිපය කෙනෙකුගේ හිත මෙලෙක් කිරීමට සමත්ය. මගේ මතකයේ ඇති වාක්‍ය දෙක-තුනක් ඇත.

"I am Charley who deliver newspapers everyday. It is Christmas season and time to enjoy & give. So it is your turn for some donation. Wish you Merry Christmas & a Happy New Year !!!"

චාලියාගේ රසවත් කතා තව බොහොමයක් ඇතත්, ඒවා එකතු කිරීමට ගියහොත් සටහන දිගු වන බැවින්, චාලියාගේ කතාව මෙසේ නිමා කරමි.


Wednesday, January 1, 2014

ඇවිද්ද පයට වසර දෙකයි. It's 2nd Anniversary of Awidda Paya

2012.01.01 දින පටන් ගත් මේ බ්ලොග් අඩවිය අදදිනට වසර දෙකක් සම්පූර්ණ වේ. ඒ සතුට මා හා බෙදා ගන්නට, මෙහි නිරතුරු පැමිණ මා දිරිමත් කල ඔබ සැම ආරාධනා කරමි. පසුගිය වසර දෙක තුල ඇරඹි මෙම සයිබර් මිතු දම නිසා ඔබට ලියන්නට මා දිරිමත් කරවීය. 

පසුගිය වසර දෙක තුල ඔබ ලබා දුන් දායකත්වය 2014 වසර පුරා ලබා දෙන මෙන් ඉල්ලමි.

------------- සුදීක ---------------------

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...