Sunday, September 28, 2014

රාජකාරී දිවියේ මට ලැබුණු ලොකුම අහියෝගය - II කොටස ...... The biggest challenge ever given in duties - Part II

ගුහා සමග අනුරාධපුර සහ පොලොන්නරුව ප්‍රාදේශික වලට අදාළ යාවත්කාලීන කිරීම සහ පුහුණුව ලබා දීමේ සංචාරය දවස් හතරකින් පමණ නිමා කළෙමු. මෙම සංචාරයේදී මා තේරුම් ගත එක් දෙයක් නම් ගුහ උපන්ගෙයි ලෝභයෙකු බවයි. ඒ අනුරාධපුරයේදී නවාතැන් සොයා හෙම්බත් වූ අකාරය සහ අවසානයේ අපගේ බැංකු මිතුරෙකුගේ නිවසේ ලගා ගැහීමට පෙර සැලසුමක් ඇතිව සිටි බව පසක් වීමෙන්ය. නවාතැන් සඳහා ආහාර පාන අවශ්‍යතා සඳහා රාජකාරි ස්ථානයෙන් යුගයට ගැලපෙන මුදලක් ගෙවූවත් බොහෝ දෙනෙකුගේ පරමාර්ථය වුයේ එම මුළු මුදලම ඊට වැය නොකොට යම් මුදලක් ඉතිරි කර ගැනීමය. අප කිහිප දෙනෙකුට මෙය ලැජ්ජාවට කාරණයක් විය. ගුහා සහ අපගේ තවත් සගයෙකු වෙනත් ගමනකදී වාහනයේම රාත්‍රිය ගත කල ආරංචියක් ඇති නිසා මා කලබයට පත් වී සිටියේය. මුළු අනුරාධපුර නගරයම පීරා හෝටල් 20ක් පමණ පරීක්ෂා කොට ඒවායේ කුමක් හෝ අඩුවක් කියා ඔහු පිටතට එයි. රාත්‍රී අට පසු වන විට එහි කිසිදු හෝටලයක කාමරයක් වෙන් කර ගැනීමට නොහැකි විය. අවසානයේදී පෙරකී මිතුරාගේ නිවසට හිස් අතින්ම ළඟා වීමට සැරසෙද්දී මා කඩයකින් කුමක් හෝ මිල දී ගත්තා මතකය.
පින්තූරය ගත්තේ : www.theguardian.com

මේ ක්‍රියාව නිසා මා ගුහා සමග පසුවූයේ මද අමනාපයකය. නමුත් කල් යාමේදී ගුහා සකසුරුවමින් මුදල් පරිහරණය කළේ  ඔහුගේ නැගණිය දීග දීම සඳහා දෑවැද්ද සැකසීම සඳහා බව තේරුම් ගැනීමට හැකි විය. 

ඉන්පසු අපට ඔහු ගැන ඇති වුයේ අනුකම්පාවකි. නමුත් එසේ සාධාරණ ප්‍රශ්නයක් නැති උපන්ගෙයි ලොභයන් කිහිපයක්ද අප අතර විය.

දමිළ සමාජයේ මේ දෑවැදී ක්‍රියාව තදින්ම ක්‍රියාත්මක විය. දොස්තරලාට, බැංකු සේවකයන්ට,අයියටයි ඉංජිනේරුවන්ට පෙර නියම කල මිලක් විය. ඒ අනුව ගුහාට ලැබෙන මුදල කීයදැයි අප විමසූ විට, මට හම්බ වෙන එක නංගිටයි, අක්කා බැඳපු මස්සිනාටයි දෙන්න වෙනවා යයි හේ පවසන්නේ නෝක්කාඩු මුහුණකිනි. 


"ඇයි අක්කා බැන්ද මස්සිනාට කලින ඩව්රිය දුන්නේ නැද්ද ?" යි අප විමසු විට,

"දුන්නා බං ඒත් ඒ කාලේ ලක්ෂ දොළහයි, දැන් නංගී බඳින මස්සිනාට විස්සක් දෙන නිසා, ඌට තව ලක්ෂ දෙකක් වත් ඕනේ කියනවා"
"ඌ යකාගේ මස්සිනා කෙනෙක්නෙ. මමනම් ඌට බම්බු ගහගන්න  කියනව. මට දීපං උගේ නම්බර් එක. මම කියලා දෙන්න"

"අනේ .... බං..... උඹ හදන්නේ අක්කව ආපහු ගෙදර ගෙන්නලා දෙන්නද?" යයි පවසන්නේ මද සිනහවක් මුවේ නගාගෙනය.

මිතුරාගේ නිවසේ නතර වුයේ සිකුරාදා දින රාත්‍රියේය. ඔහුගේ නිවාස පිටුපස ළිිඳ ළඟට ගොස් හොඳින් ඇඟ සෝදා ගත් මම ආපසු එන ගමනේදී අපගේ රියදුරා වූ ගඩාෆි හමු වී  
"අදවත් නා ගත්තොත් හොඳ නැද්ද ජිනේ"

"ඔයා නා ගත්තනේ, ඒ මදිද මගේ වැඩේ මම කර ගන්නම්"

"ඒ වුණාට අපි කොහොමද ඔයත් එක්ක එක කාමරේ නිදා ගන්නේ"

"ආ මහත්තයලාට තමයි බැරි. මගෙත් එක්ක ලොකු - ලොකු මහත්තුරුත් නිදා ගන්නවා"

"පේනවා - පේනවා නිදා ගත්ත බවනම්"

ජිනදාස හොඳින් ඇඟ පත සෝදා ගන්නේ එහෙමත් දවසක බව දන්නා නිසා මෙසේ පවසන්නේ ඔහු සමග කථාව ඉතා රසවත් නිසාය. ඔහු බොහෝ විට වචන පටලවා ගනී. දවසක්

"මහත්තයා අපේ ගෙවල් ළඟ ගෑනියෙක් වීසා කළා" යනුවෙන් පවසන කතාව තේරුම් ගන්නට අපට දින කිහිපයක් ගත විය. අප සිතා උන්නේ රට යන්න වීසා ගත් බවකි. නමු ඔහු අදහස් කර ඇත්තේ "සීසර්" නොහොත් සිසේරියන් සැත්කම ගැනය. ඔහුට කවුරුත් අමතන්නේ ගඩාෆි යනුවෙන් බව මා කලින් ලිපියේ සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි. ඒ ලාෆින් බුද්ධාගේ පෙනුමට සමාන ඔහුගේ තරබාරු ශරීරය නිසා පට බැඳුණුු නමකි. සාවාලායා, ධීවරයා, ඇනෝප්ලීස්, ආදී අලංකාර අන්වර්ථ නම් වලින් ඔවුන් ඇමතීම සෙසු රියදුරන් සහ අප පමණක් නොව, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පුරුද්දයි.මේ නම් සාදා ගැනීමට පාදක වූ වෙනමම කතන්දර ඇත. ඒවා පසුදිනක හැකිපමණ ලියා තබන්නම්.

මා වඩාත්ම තැතිගැන්මකට පත්වුයේ පදවියට සහ කැබිතිගොල්ලෑවට ගමන් ගන්නා අවස්ථාවන්හීදීය. ඒ පදවියට යන ගමන බිම්බෝම්බ පිරි මාවතක් දිගේ ගමන් කරනවා වැනිය. දෙපස මීටර් 60ක් පමණ කැලය එළිි කර ඇත. මීටර් 100න් 100ට කුඩා බංකර් බැඳ ඇත. රාත්‍රී කාලයන්හිදී මේවායේ වෙඩි තබා ගැනීම් සිදු වේ. කොටින්ම සවස හයෙන් පසුව මේ පාර වසා දැමේ. බලන බලන තැන බිම්බෝම්බ පිපිරී ගිය වළවල් වසා ඇත. පැයට කිලෝ මීටර අසූවකට එහා වේගයකින් ජිනදාස වාහනය පදවයි. එය වළක වැටෙන සෑම මොහොතකම දැන් පුපුරා යනු ඇතැයි මගේ සිත කීරි ගැසෙයි. එවැනි තැනකදී මා දෑස් පියාගෙන ගමන් ගතිමි.
මේ පාරේ ලෑන්ඩ් මාස්ටර් මෝටර් සයිකල් සහ ලංගම බස් රථයක් සහ හමුදාවේ ට්‍රක් රථ ගමන් ගනී. පාර දෙපස නිවෙස් නැති තරම්ය.

අනෙක් අතින් කැබිතිගොල්ලාවට යන මාවත හුදෙකළාය. එහි කොටි නැති වුවද වෙනත් සතුරු කරදයක් වේදෝයි යන බිය අපට ඇති විය. බොහොම කලාතුරකින් මිනිස් පුළුටක් දැක ගත හැක. එහි සිට පැමිණි ගමනද කිසිදා අමතක නොවන්නකි. යන්තම් කහටගස්දිගිළියට ලඟා වු පසු මගේ බිය තුරන් විය.

මෙවැනි ගමන් යත්දී ගුහා ඉදිරි පස අසුනේ ගමන් ගත්තද, ආපසු කොළඹ බලා එන ගමනේදී ඔහු ස්වේච්ඡාවෙන්ම පිටුපස අසුනට ගමන් කරයි. ඒ චෙක්පොයින්ට් වල නවත්වන විට ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් කළහොත්, මුළු වාහනායම දැඩි පරීක්ෂාවකට ලක් කරන බැවැනි.

ඉන්පසු එළඹියේ සැබෑ අභියෝගයට මුහුණ දෙන කාලයයි. එම යුගයේ නිරතුරු පුවත්පත් බලමින්ද, වෙනත් මාර්ග වලින් ලැබෙන තොරතුරු වලින්ද අප සන්නද්ධ වුයේ අවාසනා රංගනයට කවදා හෝ මුහුණ දීමට සිදු වන බව දන්නා නිසාය. අනුරාධපුර ගමනින් පසුව එළැඹුණු සියලුම සති අන්ත වල කුමන හෝ ප්‍රාදෙශිකයකට අදාළ පුහුණු සැසියක් සංවිධානය කර තිබුණි. මේ බොහොමයට මටද සහභාගී වීමට අවස්ථාව ලැබුණි. කොළඹ ප්‍රදේශයේ මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වුයේ මහරගම තරුණසේවා රඟහලේය.

මේ ප්‍රයාමයේ පළමු පියවර හෙවත් පසුබිම සැකසීම අවසන් වී දෙසැම්බර් මාසයේ අග අන්තිම ඉරිදා දින නුගේගොඩ අපගේ තොරතුරු තාක්ෂණ ඒකකයේ කුමාරපතිරණ මහතා විසින් සියලු දෙනාට සංග්‍රහයක්ද පැවැත්වීය. දෙසැම්බර් මාසයේ 26 වෙනි දින සිට ජනවාරි 03වෙනිදා දක්වා කාලය අප පිටත ප්‍රාදේශික වෙත පිටත් කර හරින්නට අපගේ ඒකක ප්‍රධානියා වන නීල් විතාරණ මහතා සැලසුම් කොට තිබුණි. ඒ අනුව මා අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය යන ප්‍රාදේශික භාර නිලධාරියා වශයෙන් පිටත් කර යවන්නට තීරණය කර තිබුණි. මා සමග එවකට අප සමග කොන්ත්‍රාත් පදනමට සේවය කල ලිහිණිකඩුව නමැති කතා මවන්නාද විය. ඔහුගේ වැඩ සහ කතා වෙනමම සටහන් කල හැකිය. ඒ තරමටම ඔහු නිතරම රසකතා මවන්නෙක් විය. ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ පාසල් ජීවිතය පිළිබඳ කතා ඉතා රසවත්ය. ඔහු අද කැනඩාවේ වාසය කරයි. මෙයට අමතරව වෙනත් පද්ධතියක් පිළිබඳ ගැටලු වලට පිළිතුරු සැපයීම සඳහා බෙල්ලන්විල යනුවෙන් බොහෝ දෙනා හඳුන්වන සම්පත්ද අප හා එක් විය. මා ඔහු ඇමැතුයේ සත්කුමාර යන නමිනි. එයට ඔහු ඉතා කැමැත්තෙන් ප්‍රතිචාර දැක්වීය. මෙයට අමතරව ඔහුගේ ගමේ නමින්ද ඔහුව සමහරු අමතනු ලැබීය. ඒ මාකවිටයා නොහොත් මාකයා කියාය. ඒ නමට හේ වැඩි කැමැත්තක් නොදැක්වීය.  මෙවර අපගේ රථාචාර්ය භූමිකාවට පණ පෙව්වේ ජපන් බට්ටා යනුවෙන් මුළු බැංකුවම හඳුනන චන්ද්‍රසිරිය. මේ ගමනේදී ඔහුට කදිම අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු විය.එය මා පසුව විස්තර කරන්නම්.

26 වෙනිදා අනුරාධපුරයට ළඟා වූ අපගේ ප්‍රධානම ඉලක්කය වුයේ සතියක පමණ කාලයට නවාතැනක් සොයා ගැනීමයි. අනුරාධපුරයේ මිතුරකුගේ මග පෙන්වීම අනුව අප මුලින්ම ළඟා වූ ස්ථානයේ උඩු මහලේ කාමර දෙකක් පෙන්වීය. නමුත් දිවා කාලයේ ඇඳුම අකුලා බෑග් වලට දමා ඒවා වෙනත් ස්ථානයකින් තැබිය යුතු බව. එය ඇසූ මොහොතේ සිට සම්පත් "වෙන තැනක් බලමු මචං" යන්න මන්තරයක් සේ මතුරන්න්නට විය. අසිත නමැති අනුරාධපුර බැංකු මිතුරාගේ මග පෙන්වීමත් සමග සර්වෝදය සර්කිට් බංගලාව තෝරා ගතිමු. එහි විශේෂත්වය වන්නේ "කපල්" වලට දිවා කාලයේ කාමර ලබා නොදීමයි. පිරිසිදුකමත්, අබේරත්න නමැති එහි සිටි හිතෛෂී භාරකරුත් නිසා අප එම ස්ථානය තෝරා ගන්නට හේතු වුණා. ජනවාරි පළවෙනිදට එළිි වුණ දවසේ වෙච්ච කදිම සිදු වීමක් ලොල්ද මන්දා I - කළු ෂර්ට් කාරයාගේ රහස...... විදියට මීට කලින් සටහන් කරා ඔබට මතක ඇති.

අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර තුමා අපව ඉතා සාදරයෙන් පිලි ගනු ලැබුවා. ඒ කිව්වේ උත්සවාකාරයෙන් නෙවෙයි. ආගිය තොරතුරැ සහ, අපගේ නවාතැන, මේ ප්‍රශ්නය පිළිබඳ කෙටි පිළිසඳරක් වශයෙන්. මොකද ජනවාරි පළවෙනිදට එතුමාට ඉන්න වැදගත්ම පුද්ගලයන් වෙන්නේ අප  තිදෙනා නිසා. තුන්වෙනි මහලේ අපට පරිගණක කාමරයක් සුදානම් කර තිබුණා. එහි වින්ඩෝස් පද්ධතිය ස්ථාපනය කල පරිගණක පහක් පමණ තිබුණා. අප හැරෙන්නට එහි ප්‍රාදේශිකයේ පරිගණක කටයුතු වල යෙදී සිටි හසිත සහ එහි මූල්‍ය නිලධාරියාත් ඒ වනවිට සේවයේ යෙදී සිටියා. දින කිහිපයක් යත්දී ඒ දෙදෙනා සමග ඉතාම සුහද වන්නට අපට හැකි වුණා. අපගේ පද්ධතිය පදනම් වෙලා තිබුණේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය මත නිසා අප ගෙන ආ සර්වර් යන්ත්‍රය සහ වයිස් වර්ගයේ ටර්මිනල් යන්ත්‍රයත් සවි කර ගත්තේ පද්ධතිය පිලිබඳ ගැටළු විමසන විට පිළිතුරු දීමේ පහසුව සඳහාය. අප වෙත ලබා දුන් දුරකථන පිළිිබඳ එහි සේවය කල අනෙක් අය එතරම් ප්‍රාසාදයක් නොදැක්වූ බව පසුව අපට තේරුම් ගියා. ඒ ඔවුන් ඉන්ටකොම් පහසුකම භාවිතා කරත්දී අපට කෙළින්ම ඇමතුම් ලබා ගැනීමේ පහසුව තිබීම. මේ අතරේ නිතරම අප අසල දැවටෙමින් අපත් සමග හාද වූ කෙනෙක් වුවා. අද මට ඔහුගේ නම අමතක වුවත්, ඔහු නිතරම මුමුණන ගීතය අමතක වන්නේ නෑ. ඒ "මළ පොතේ අකුරු බෑ කී මිනිහා" ගීතය. මුලින් අපද ඔහු කරන මේ ගී ගැයීමට සවන් යොමු කළද, පසුව ඔහු එම ගීය ගයන්නේ අසනීප තත්වයක පසුවන, කලින් ශාඛාවක හොඳින් සේවය කල, දැන් කිසිදු කටයුත්තක් කල නොහැකි තත්වයේ සිටින, එහෙත් කාර්යාලයට වාර්තා කරන සේවකයෙකුට අවලාද ස්වරූපයෙන් බව දැනගත් පසු නොදුටු ස්වරූපයෙන් සිටින්නට වග බලා ගත්තා. "නිකං පඩි ගන්නවා - අපි වැඩ කරනවා" යන්න නිරතුරු ඔහු කරන චෝදනාව විය. නමුත් මෙසේ අනෙක් අය සේවය නොකරන බව පවසන බොහෝ දෙනාද වැඩ කරන්නට අකමැති අය බවත්, එහෙත් ලෝකයාට පෙනෙන්නට කුමක් හෝ කරන අය බවත් මා රාජකාරි ජීවිතයේ තේරුම් ගත් සත්‍යයක්.

ඔහු අපට නිතරම "හවසට සෙට් වෙමු. මගේ ෆ්‍රිජ් එකේ කකුළුවෝ කිලෝ එකක් තියෙනවා. හදාගෙන එන්නම්" යන යෝජනාව ගෙන ආවත්, ඔහු කෛරාටිකයෙකු බව තේරුම් ගන්නට වැඩි වෙලා ගත වුයේ නෑ. මේ අතර වාහනයට වී සිටින්නට කම්මැලි වූ චන්දරේ නොහොත් ජපන් බට්ටා, අප සිටින පරිගණක කාමරයේ අමතර පරිගණකය ඉදිරියේ හිඳ එය අත පත ගාන්නට පටන් ගත්තා. මේ මොහොතේ අප ඉදිරියේ ඇති භාරදූර කාර්‍යය නිසා ඔහුට විරුද්ධ වන්නට කිසිවෙක් ඉදිරිපත් වුයේ නෑ. දින කිහිපයකින් කුමක් හෝ කර එම පරිගණකය වැඩ නොකරන තත්වයට ගෙන එන්නට ඔහු සමත් වුණා. ඉන් පසු ඔහු වාහනයෙන් බැස ඉහළට ආවේ නෑ. මේ අතර නුගේගොඩ අපගේ කාර්යාලය සමග නිරතුරු සබඳතාව පවත්වාගෙන එහි සිදුවන්නේ කුමක්දැයි අප විමසිල්ලෙන් පසු වුවා. විශේෂයෙන් අනෙකුත් ප්‍රදේශික බලා ගිය අයගෙන් යම් විශේෂ තොරතුරක් තිබේදැයි අප සොයා බැලුුවා. නුගේගොඩ කාර්යාලයේ සිට අප සමග තොරතුරු හුවමාරු කර ගන්නට වෙනම කණ්ඩායමක් යොදවා තිබුණා. මුල් දින කිහිපයේ සැහැල්ලුවෙන් පසු වුවත්, අවසන් දින කිහිපය ළංවත්ම අප තරමක් නොසන්සුන් ගතියක් දැක්වූවා. මෙම ප්‍රදේශය භාර නිලධාරියා (පරිගණක ගැටලු සම්බන්ධයෙන්) මගේ හිසේ යම් බරක් තිබුණා. නිර්මාණශීලී පුද්ගලයෙකු වූ ලිහිණිකඩුව නුගේගොඩට තොරතුරු වාර්තා කරන්නට වෙනම පෝරමයක් නිර්මාණය කළා. පේන්ට් ආධාරයෙන් චෛත්‍යයක්, ගල් කණු දෙකක් සහිත පින්තූරයක් නිර්මාණය කල හෙතෙම එය කලින් කී පෝර්මයේ ලාංඡනය ලෙස යොදා තිබුණා. සම්පත් පසු වූයේ ඉතා සැහල්ලුවකිනි. ඒ ඔහුගේ පෙම්වතිය මේ ප්‍රදේශයේ වූ නිසාය. ඔහුට මේ ගමන පනින රිලවුන්ට ඉනිමං සේ විය. ඔහු නිතරම ඇය හා දුරකථන සබඳතාව තබා ගන්නට වග බලා ගත්තේය. අප වෙත ලබා දුන් කෙළිින්ම ඇමතිය හැකි දුරකථනද ඔහුට ඉනිමං සැපයීය. මේ දුරකථන ගැන උනන්දුවෙන් පසු වූයේ එම ස්ථානයේ සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන්ය. ඒ අප ගිය පසු මේවා ඔවුන්ගේ මේස මත තබා ගැනීමටය. මෙවැනි විශේෂ අවස්ථා නිසා කාර්යාලයක, රටක යටිතල පහසුකම් සංවර්ධනය නිසා පසුව ඒ කාර්යාලයේ නැතිනම් රටේ ජනයාට අත්වන පහසුවක් සිදු වේ. ඒ ගැන උදාහරණ ගැනීම මේ සටහනේ අරමුණ නොවේ. එහෙත් මේ Y2K ගැටලූුව නිසා අපේ කාර්යාල වල පරිගණක පද්දති වලට නව ජීවයක් ලැබුණි. 

ඒ කාලයේ නිවසින් පිටදී ලබාගන්නා හැම කෑම වේලකටම ෆ්‍රයිඩ් රයිස් කෑ යුතුය යන මතයේ සිටි අප, ආලන්කුලමට ගමන් ගත්තේ රාත්‍රී ආහාරයට යමක් රසට ගන්නට හැකි තැනක් නිසාම පමණක් නොවේ. ඒ එම ස්ථානයේ සේවය කල සුරූපී තරුණියක් මට ක්‍රෂ් වීම නිසාය. එකල මගේ ජනප්‍රියම ආහාරය වුයේ "නාසි ගෝරං" ය. මා එයට පුරුදු වූයේ කොහුවල ගිහාන්ස් රෙස්ටෝරන්ට් එක නිසාය. ජපන් බට්ටා එය හඳුන්වන්නේ "නාසි චෝරා" යනුවෙනි. පසුව ඔහු අර යුවතියටද "නාසි චෝරා" යන යෙදුම යොදා කථා කරන්නට පුරුදු විය. අදද ඔහු මුණගැසුණු මොහොතක, කොහොමද නාසි චෝරා යනුවෙන් අසන්නේ, අපගත් ආහාරය ගැන නොව, ආලන්කුලමේ සිටි පියකරු යුවතිය ගැනය. 

දෙදාහ උදා වන මොහොතට මුළු ලෝකයම සුදානම්ය. දෙදාහේ පළමු හිරුරැස් පතිත වන කිරිබැටි රාජ්‍යයට සංචාරකයන්ගේ දෑස යොමු විය. එය නරඹන්නට ලොව නන් දෙසින් සෙනග ගිණිිකොණ ආසියාතික  හෙවත් ආසියානු පැසිපික් කලාපයේ රටවල් වලට ඇදෙන්නට විය. මේ දින කිහිපය මුළු ලෝකයම ත්‍රාසය, භීතිය, කුතුහලයෙන් වෙලී ගියා යයි කීම අතිශෝක්තියක් නොවේ.  ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූ සිරස ආයතනය සහස්‍රය යන වචනය වෙළඳ පොළට ගෙන ආවේය. නුමත් නිවැරදි වචනය සහස්‍රකයේකය බව දැන ගන්නා විට නිර්මාණය ඔවුන් ප්‍රමාද වැඩිය. ලෝකයේ එක්-එක් රටවල් වලට වසර දෙදහාට හිරු උදාවනවාත් සමග ප්‍රචාරය කරන්නට ගීතයක් කර තිබුණි. ලංකාව වෙනුවෙන් ඒ කාර්යය කළේ සිරස ආයතනයයි. එදින ප්‍රචාරය වූ ගීත අතුරින වඩාත් සිත්ගන්නා නිර්මාණය කර තිබුණේ ලංකාවෙන් බව මමත් ලිහිණිකඩුවත් කථා කළා මතකය. සැබවින්ම එය අපූරු ගීතයකි. මෙය නෑසු කෙනෙක් සිටීදැයි සැකසහිත නමුත් මේ ගීය ප්‍රිය කල ඔබ අප කවුරුත් එය යළිිත් වරක් රස විඳින්නට කැමති වනවා ඇත. එය සාමය හීනයක්ව පැවති සම්මයක සාමය ගැන කියවුණු ගීතයකි.


අප Y2K ගැටලුුව වෙත සිත් යොමාගෙන සිටි නවිට ප්‍රාදේශිකය තුළ  ශාඛා අතර ලාභයේ උපරිමය ලබා ගැනීමේ තරගයක් විය. මුල්‍ය සහයකයා සහ අසිත මේ ඉලක්කම් ෆැක්ස් මගින් ගෙන්වාගෙන එක්සෙල් පිටුවක ඇතුලත් කරමින් පසුවිය. මේ අතරවාරයේ කුමක් හෝ කාරණයකට අපට පොලොන්නරුවට යන්න සිදු විය. එදින තදින් වැසි ඇති වූ දිනයක් වූ අතර වියලි කළාපයේ එතරම් සුන්දර දසුනක් මා කිසිසේත් බලාපොරොත්තු නොවුනකි. හබරණ සහ පොලොන්නරුව් අතර ප්‍රදේශයේදී අලි කිහිප දෙනෙකුද දකින්නට ලැබිණි. කාලයකින් රසවත් කොළ මිටක් බුදින්නට ඔවුන් එලියට එන්නට ඇත. අප ආපසු එත්දී මින්නේරිය ධීවර වෙළඳ සංස්ථාවට අනුබද්ධ සැලෙන් තිලාපියා මාළුවා කියුබ් කර විකුණන  කිලෝ කිහිපයක්ම ලබා ගත්තේ අහාරයට ගැනීමටත් ආපසු නිවසට එනවිට රැගෙන එමටත්ය. ඒ පිලිබඳ ඔත්තුව අපට ලබා දුන්නේ සර්වෝදය නිවස්නයේ අබේරත්නයි. නිතරම අප හා දොඩමළු වන අබේරත්න යම් අධ්‍යාපනයක් ලද පුදගලයෙක් බව ඔහුගේ කථාබහෙන් පැහැදිලි විය.

දෙසැම්බර් තිස් එක් වෙනිදා මේ ලෝකවාසී සියළු දෙනාට මෙන්ම අප තිදෙනාටද විශේෂ විය. අප නිවසින් පිට අලුත් අවුරුද්දක් ලබන පළමු වතාව මෙන්ම, එය තවත් සියවසක ආරම්භය වන්නේය. මේ දිනය උදාවත්ම තවත් ගැටළුවක් අප හමුවේ විය. එනම් අවුරුදු හතරකට වරක් අධික අවුරුද්දක් ලබන්නා සේම අවුරුදු 400කට වරක්ද අධික අවුරුද්දක් ලබන අබ්වයි. එනිසා එම අවුරුද්දේ පෙබරවාරි මසට දින තිහක් තිබේදැයි කිහිප දෙනෙකු තර්කයක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව එම වසරට දින 367 තිබිය යුතුය. වෙනත් යට මෙය තවත් දිනයක් පමණක් වුවත් බැංකු වල අපට එය බැරෑරුම් ප්‍රශනයක ආරම්භයක් විය හැකි නිසා නිරතුරුව එදිනෙදා පුවත් කෙරෙහි සැලකිල්ල යොමු කළෙමු. නමුත් අධික අවුරුදු සමපාත වනවිට එක් අමතර දිනයක් පමණක් තිබිය යුතුබව කවුරුන් හෝ ප්‍රකාශ කර තිබුණි. එසේ නොවුවානම් ප්‍රශ්න වෙනත් අතකට හැරෙන්නට ඉඩ තිබුණි. මේ වනවිට මේ ගැටළුව වෙනුවෙන් අප ඇති තරම් නිදි මරා ඇත. තවත් වෙහෙස වීමේ තේරුමක් නැත. නිවසින් පිට සමරන එකම 31 වෙනිදාවට අපද සැරසුනෙමු. වේලාසනම ආලන්කුලමෙන් අපට අවශ්‍ය ආහාර වෙන් කර ගතිමු. අපගේ බීම අවශ්‍යතාද වේලාසනම සපයාගෙන, සවස හත පමණ වනවිට සර්වෝදයට ලඟා වීමු.

අප ගෙනගියේ ඊයම් කොලයක ඔතාදුන් ග්‍රිල් කරන ලද ගරුපා මාලුවෙක් සහ එය වටේ තබා තිබු අනෙකුත් සැලඩ් වර්ග පමණක් නොව, එදින රාත්‍රියට අවශ්‍ය ආහාර පැකට් වලට අමතරව නිදිවරමින් රූපවාහිනී නැරඹීමට අවශ්‍ය බයිට් වර්ග රැසක්, කොකා කෝලා සහ ස්ප්‍රයිට්ද ඇති පමණ රැගෙන ගියෙමු. රාත්‍රී එකොළහ වනවිට සම්පත් නානකාමරයට වැඩ පිරිසිදු වී, අලුත් ඇඳුමක් අඳ සූදානම් විය. ඒකත් එකටම ඔහු ප්‍රියම්බිකාව මුණ ගැසීමට යනවා ඇත. නමුත් මේ රාත්‍රියේ කෙසේ යනු ඇතිද ? ජපන් බට්ටාද මද පමණට සළු වී සිටියි. කිතුනු බැතිමතෙකු වූ සම්පත් අවුරුදු සැමරීමට අනුරාධපුර තිබෙන ක්‍රිස්තියානි පල්ලියට යාමට සුදානම්ය. වාහනයද රැගෙන යාමට ජපානා සමග කතාබස් කොටගෙන ඇත. නමුත් අප ඒ ගමනට ඉඩ නොදී, ජපනාට වාහනය පදවන්නට දී ඔහුත් සමග ගමනට එකුතු වීමු. අප වාහනයේ අඩ නින්දේ පසු වෙත්දී පල්ලියේ සේවාවට සම්පත් සහභාගී විය. පැයක් පමණ අවෑමෙන් නැවතත් අපේ නවාතැනට පැමිණ උදෑසන තුන පමණ වනතෙක් රුපාවාහ්නිය ඉදිරියේ ගත කොට උදෑසන හයට අවධි වුයේ මහා ප්‍රයාමය්ට මුහුණ දෙන්නටය. අප හනික ප්‍රාදේශීය කාර්යාලයට ලඟා වීමු.

උදෑසනම මගේ නමට ත්‍රිකුණාමලය ශාඛාවෙන් දුරකථන ඇමතුමක් ඇති බව ලිහිකඩුව පැවසීය. මා විගස ඒ වෙත දිව්වෙමි.

"ෂර්. ගූඩ් මෝර්නින්, හැපී නිව් යර්, හැපී මිලේනියම්. අපිලට ප්රෝබලම් එකක්"

මා පෙර සුදානම් කරගත් කඩදාසි මිටිය සහ පාන ගෙන

"මොකක්ද බ්‍රාන්ච් එක ?"

"අපි ට්‍රින්කෝ ඉඳන් තම කතා කරනවා.. අපිලා කම්පියුටර් ඔන් කරනකොට ඩෙට් වැරදි කියනවා"

"හරි. ටිකක් ඉන්න. මම අපේ කුමරපතිරණ මහත්තයාට කථා කරලා ඔයාට කෝල් එකක් දෙන්නම්"

මම කුමරපතිරණ මහතා(නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා) අමතන්නට සුදානම් වනවාත් සමග ලිහිනිකඩුව දුවවිත් මගේ දුරකථනය විසන්ධි කර.

"මචන් ඒ කෝල් එක දීලා තියෙන්නේ අසිතයා"

"ඌ හරි මිනිහෙක්නේ. මේ වගේ වෙලාවට විහිලු කරනවද ?"

"හරි දැන් ඉතිං  යමන් උදේට කිරිබත් කන්න. ආර්. එම්. අපට එන්න කියලා"

"උඹ පලයන් මම ඉන්නම්. ඇයි බං මේ වගේ දවස් වලටවත් විහිළු නොකර ඉන්න බැරි"

"වරෙන් මචං යන්න"

ලිහිණියා මාවත් ඇදගෙන පහල මාලයට බැස යන්නට පටන් ගත්තේය. මමත් ඔවුන් සමග ගොස් ආහාර ගන්නට සුදානම් වනවාත් සමග මගේ ජංගමයට දුරකථන ඇමතුමක් ලැබිණි. 

"හලෝ. අන්කල් කරන්න දෙයක් නෑ. ඔබ ඇමතු අංකය වැරදියි"

"මොකක්. කවුද කථා නරන්නේ"

"ඔබ ඇමතු අංකය වැරදියි. අංකය පරීක්ෂා කර නැවත අමතන්න"

"පුතා ගෙදර ලොකු කෙනෙක් නැද්ද ? "

"නෑ අපි තමයි ඉන්නේ"

"^*((^*()(%**(((%"

මාරුවෙන් මාරුවට කථා කල පොඩි එවුන් දෙදෙනෙකුට, කාර්යාලයෙන් පිටතට පැමිණ එසේ ඇමතීමට සිදු වීම ගැන මා අදටත් කනගාටු වෙනවා. නමුත් මා ඒ මොහොතේ සිටි ව්‍යාකූල තත්වය දන්නේ මා පමණයි.කුමක් හෝ කරුණක් නිසා ත්‍රිකුණාමලයට යන්නට සිදු වුණා නම්, එය අද තරම් පහසු කාරණයක් නොවේ. ඒ හබරණ ත්‍රිකුණාමලය මාර්ගය එතරම් ආරක්ෂාකාරී නොවන නිසා. දහවල් දොළහ පමණ වනවිට කිසිදු බිඳ වැටීමක් වාර්තා වුයේ නෑ. නමුත් ප්‍රාදේශිකයේ පරිගණක ක්‍රියාකරු නැතිව කපිල නමැති මුල්‍ය නිලධාරියාට එම ප්‍රදේශයට අදාළ ලාභයේ එකතුව එක්සෙල් පිටුවක හදා ගන්න බැරිව දඟලන විට, මා වෙත ප්‍රාදේශීය කළමනාකරුවා පැමිණ බැගෑපත්ව ඒ සඳහා උදව් වන ලෙස ඉල්ලා සිටියා. කලයුතු කිසිදු රාජකාරියක් නොවූ නිසා මා ඉතා කැමැත්තෙන් එම කාර්යය ඉටු කර දුන්නා. මෑතකදී පත්වීම් ලැබූ අර තරුණයා  දියෙන් ගොඩදැමූ මාළුවෙකුගේ සිරි ගෙන සිටියා. නුගේගොඩින් අප දැනුවත් කලේ තුන් වැනිදා ආපසු කොළඹ පැමිණෙන ලෙසය. ලෝකයේ කිසිදු තැනකවත් කිසිදු නස්පැත්තිය වාර්තා වී තිබුණේ නෑ. නමුත් එය එසේ වුයේ පෙර සුදානම නිසා බව මගේ විශ්වාසයයි. 

මෙම ක්‍රියාවලියේදී අප දැක්වූ කැපවීම අගය කරමින් ආයතින කළමනාකාරීත්වය ලිපියක් ලබා දුන්නා. එහි පිටපතක අපගේ පුද්ගලික ලිපිගොනු වලටද යවා තිබුණා. 

34 comments :

  1. මම බ්ලාපොරොත්තු වුනේ සුදීකලා 31‍රැ දොළහට ඇහැරගෙන ඉඳන් කම්පියුටර් දාගෙන මොනාද වෙන්නෙ කියලා පරික්ෂා කරයි කියලා.. බලද්දි ආතල් දාන්න එළියට ගිහින්නේ.. සමාවෙන්න සුධීක, මටනම් මේ කතාව මාතෘකාවෙන් පිට ගිය වැල්වටාරම් ගොඩක්..

    ReplyDelete
    Replies
    1. අපිට ටෙස්ට් කරන්න දෙයක් තිබුණේම නෑ. මොකද අපි කලින් ඔය දිනේට වැඩ කරලා, එතනින් ඉදිරියට දින විසිතුනක් විතර ටෙස්ට් කරලා තිබුණේ. ඒ ප්‍රශ්නයේදී ඒ වගේ සුදානමින් සිටීම අත්‍යවශ්‍ය කරලා තිබුණේ. මේ ප්‍රතිඵලය එන බව දන්නවා වුණත්, හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න තමයි අපි එතන හිටියේ. ඒ ඇරුනම වැල්වටාරම් තමයි මුළු ගමනෙම.

      Delete
  2. මේක බාගයක් කියවන කොට තමයි තේරුනේ මේකේ එක මට මිස් වෙලා බව ඉන්නකෝ එහෙනම් එකත් හොයාගෙනම කියවලා එන්න

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක්... එහෙනම් බලලම එන්නකෝ.

      Delete
  3. ඔක්කොම ‍කරලත් අන්තිමේ ලෝකෙ ඔලුවඋඩට වැටුනත් කමක් නෑ කියල කට්ටිය හොඳ ආතල් එකක් අරන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැත්නම්. අපි කල්පනා කලේ අපි හරි නම් අවුරුද්ද ලබද්දී ඉන්න ඕනේ උඩ මළුවේ නේද කියලා ?

      Delete
  4. අපිටනම් ඔය කිසිම බරක් නෑ. ඉස්කෝලෙදිත් තිබුනු එක ප්‍රශ්ණය උනේ, සිරස කියන කතාව ද ආතර් සී ක්ලාක් මහත්තයා කියන කතාවද පිලිගන්නෙ කියන එක. සිරස කිව්වේ සහස්‍රය පටන් ගන්නේ 2000 ලබද්දි කියලා. ක්ලාක් මහත්තයා කිව්වේ 2001 දී කියලා. ඒ මොකද වසර 2000ක් සම්පූර්ණ වෙන්නෙ එතකොට නිසා. කොහොම හරි සිරස ඒ වැරැද්ද 2001 ජනවාරි ලබද්දි හදා ගත්තේ, හරියට 12 ට, ලක්ෂපතිආරච්චි මහත්තය, "කවුරු කොහොම කිවුවත් අපි දැං ඇත්තටම ඉන්නේ සහස්‍රයේ" කියලා කතාව පටන් අරගෙන.

    සූදීකගේ ලිපියෙන් පරණ සිද්දි ටිකක් මතක් උනා. කොහොම හරි මට Y2K ටී ශර්ට් එකක් ගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සමරන්න නම කොයි දිනෙත් එකයි. අපිට තිබ්බේ ඉලක්කම් ප්‍රශ්නේ. ඉලක්කම් හතරෙන් මුලින්ම අවුරුද්ද භාවිතා කරන්න ගත්තේ 2000 දී නිසා, අපිට නම් එතන තමයි වැදගත්. හැබැයි අපේ පරණම පද්දතියක් තිබ්බා ඒක සැලසුම් කරලා තිබ්බේ හොෆ්මාන් කියලා ඕලන්ද ජාතිකයෙක්. ඒකෙ ඒ කාලේ ඉඳලම ඉලක්කම හතරෙන් අවුරුද්ද තිබුණේ. මම හිතන්නේ ඒකද දන්නේ නෑ මුළු ලෝකෙම ඒ වගේ පෙර සුදානමක් තිබුන පද්දතිය.

      Delete
    2. ආතර් ශ්‍රී ක්ලාක් වගේ මහා විද්‍යඤයො සිරසෙත් හිටියද බොලං ඒ කාලෙ...

      Delete
  5. හෙක් හෙක් මිලේනියම් එක ලබද්දීම පොඩි එවුන් දෙන්නෙක් සුදීක අයියගේ පුෂ්පෙ විකසිත කරලා, :D

    මටත් ලිපි පෙළ කරකවලා අතහැරියා වගේ, එත් රස තැන නැත්තෙමත් නෑ, අයියගේ කතා විලාසයට කියවගෙන යන්නයි හිතෙන්නේ.

    දැන් නාසි ගුරාන් කොහෙද?

    ReplyDelete
    Replies
    1. නාසි ගුරාන් යනුවෙන් ලංකාවෙදි හදුන්වන ආහාරය මැලේසියාවෙන් පැමිණි එකක්. මැලේ භාෂාවෙන් නාසි යනු බත් වලට කියන නමයි. ගොරේන්ග් යනු බදින ලද (Fried) යන අදහස දෙන වචනයයි. ඒ අනුව මැලේසියානු භාෂාවෙන් Fried Rice හදුන්වන නාමය නාසි ගොරේන්ග් වෙයි. නමුත් එය ලංකාවේදී නාසි ගුරාන් ලෙස බොහෝ අය භාවිතා කරයි.

      Delete
    2. මට මැලේසියන් කාරයෙක්ම කිව්වා ඕක කියන්නේ ඉන්දුනීසියන් භාෂාවෙන් කියලා.

      Delete
    3. ඉන්දුනීසියාවෙ භාවිතා වෙන්නෙත් මේ භාෂාවම තමයි...නමුත් ටිකක් දුරට වෙනස් වෙනවලු...

      Delete
  6. Asawen eka husmata kiyawagena giye,niyamai,3 kotasa ikmanatama Balaporoththuwenawa.(Ranjan)

    ReplyDelete
    Replies
    1. මේකේ තුන්වෙනි කොටසක් නෑ. ලිව්වත් ඒ හැටි වැදගත් දෙයක් නෑ.

      Delete
  7. සුදීක..අර සින්දුව අපිට හොයල දුන්නු එකට නම් පින්.

    ඒ සින්දුව ඇද්ද බලද්දිත් එදා වගේම බොහොම නැවුම් ගතියක් දැනෙනවා...

    කතාව නම් හොඳයි..එත් ටිකක් දිග වැඩියි...

    අවුලක් නැහැ ..ඔක්කොම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ඔය ගීතයට මමත් හරි ආසයි. දිගට ලිව්වේ කොටස් තුනකට දාන එක කියවන යට වදේ හින්දා.

      Delete
  8. මගේ වෘත්තීය ජීවිතය තුල මා ලැබූ විශාලම අභියෝගයත් මට මේ වගේ ලියන්න අදහසක් ආවා....එය ලියවුනු දවසක කියවලා බලන්නකො සිරා කොලුවා කාපු කට්ට වගේ එකක් ඔයාලා කාලා තියෙනවද කියලා..

    ReplyDelete
    Replies
    1. හරි එහෙමන් දාමු බලන්න.

      Delete
  9. //ආලන්කුලමේ සිටි පියකරු යුවතිය// තාමත් ඉන්නවද දන්නේ නෑ පොඩ්ඩක් ගිහිං ඔලුව දාල බලන්න මේ පැත්තේ ඉන්න එකේ

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මම 2004 දී යනකොටත් හිටියේ නෑ. :)

      Delete
    2. මේකට අර රෙඩ්බුල් නංගිව පෙන්වන්න...

      Delete
  10. සුධීකගෙ මේ පෝස්ට් එකේ වැඩිපුර තියෙන්නෙ පොරොන්දුනෙ :)

    වෘත්තීය ජීවිතේදි අලුත් අලුත් අභියෝග ඇතිවෙන, වැඩිවෙන තරමට තමයි පුද්ගලයෙක් සාර්ථක වෙන්නෙ. අර මැනේජ්මන්ට් වල උගන්නන්නෙ, ප්‍රෙෂර් එක නොදී මස්ල්ස් බිල්ඩ් අප් කරන්න බෑ කියල.

    ඔය කියන පැතිවල ( සහ නැගෙනහිර ) මමත් 95 ඉඳල 98 වෙනකල් සෑහෙන්න කරක් ගැහුව. යුද්ධෙ නැතුව පාලුයි කියන උන්ටත් මේව කියවන්න දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මම බලාපොරොත්තු වුණ ප්‍රෙෂර් එක මේකෙදී ආවේ නෑ. ඇත්තටම ප්‍රෙෂර් එකත් එක්ක වැඩ කරන්න තමයි මම කැමති, හරියට බස් කොන්දොස්තරට ගෙදරදී ලියන්න මෙසේ හොල්ලන්න ඕනේ වගේ.
      ඔයා මතක් කල හින්දා කියන්නේ මේ කියන ගුහා එක්ක කොළඹ කොටුවේ තියෙන සැපයුම් අංශයෙන් බදු ටිකක් අරගෙන කුලියාපිටියට යන්න ගිහින් කොළඹ නගරයේදී විතරක් චෙක් පොයින්ට් අටකට අහු වුණා. අද මේ දේවල් බොහෝ දෙනෙකුට අමතකයි. වාහන පෝලිම තියෙන කොට පාරේ අනික් පැත්තෙන් ගිහින් පෝලිමේ මුලට ජැක් ගහන්න යනවා.

      Delete
  11. මටත් දිරවන්නේම නැති එකක් තමයි බ්‍රාන්ච් විසිට් වලදි, චමරි වලයි, එක එකාගේ ගෙවල් වලයි නිදා ගන්න එක. මම යන්න කලින් කාමරයක් බුක් කරලා යන්නේ. ඒකෙන් අපිටත් නිදහසක් නෑ. ගෙවල්වල මිනිස්සුන්ට නිදහසකුත් නෑ. බිස්කට් පැකට් එකක් වත් නැතුව ගෙවල් වල ගිහින් මිනිස්සුන්ට කොහොම ඇණ වෙනවද මන්දා.... ඔය හේතුවෙන් මාත් එක්ක හොඳ නැති උන් බොහෝමයක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වගේ. එක සැරයක් වැලිකන්දේ ගියා. කරුමෙට එහෙ නවතින්න කිසිම තැනක් නෑ(යුද්දේ තිබුණ කාලේ). රෙස්ට් හවුස් එක පාලු අම්බලමක් වගේ. එදා මටත් සිද්ද වුණා බ්‍රාන්ච් එකේ නිදා ගන්න.

      Delete
  12. මට නම් මේවා දැක්කාම හිතෙන්නේ සුදීකට කොච්චර ලස්සණ අත්දැකීම් තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ ඔය විදියටමයි. මම විඳපු හැම දුෂ්කරතාවක්ම අත්දැකීමක් කියන එක. එහෙම වෙලාවල් වලදී අපිට සාමන්‍ය වෙලාවට ඇහැ නොගැටෙන බොහෝ දේවල් දකින්න පුලුවන්.

      Delete
  13. ඔය හැම එකටම වඩා වටින්නේ මට “වීසා“ කරපු එක..

    ReplyDelete
  14. මේක අස්සෙ කතා ලොට් එකක්ම තියනව නෙ. මේ ගමන් වලට ගිය අයත් එක්කම, පස්සෙ කාලෙක මේව ගැන කතා කරන කොට තමයි මේව වඩාත් සුන්දර. ලස්සන ලස්සන නම් ටිකක් හෙමත් තියන්නෙ. කාර්‍යාල සගයො මේ බ්ලොග බලන්නෙ නැද්ද :)

    ReplyDelete
  15. අතපය හතර හොදට තියෙන මුස්ලිම් එකෙක් බස්සෙකේ ගොලු ඇඩ් එකක් දාල හිගාකනව.සික්..

    පෝස්ට් එක සම්පූර්නයෙන් කියෙව්ව. රාජගිරි බස්සෙක කොටුවෙ ඉදන් මරදානටම ඇවිත් දන්නෙම නැතුව.

    ReplyDelete
  16. ඇත්තටම කබිතිගොල්ලෑවේ ගමන නම් භයානක ගමනක්. මා වැලිඔය ප්‍රදෙශයේ සේවය කරද්දී බිම්බෝම්බ සිද්ධි කීපයක් සිදුවුනා. කාලයක් ඔය පාර හවස 5 සිට පසුදා උදේ 8 වනතුරු වසා තිබුනා.

    අපිටනම් ඉතිං රාජකාරිය සඳහා තැනින් තැනට යනවා කියන්නේ අතිශය සාමාන්‍ය දෙයක්නේ.

    ReplyDelete
  17. y2k ගැටළුව කෙසේ වෙතත්, සෑහෙන්න අත්දැකිම් නම් අරන් තියෙනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...