Sunday, August 31, 2014

ලොල්ද මන්දා අංක 15 : චන්ද ව්‍යාපාරට ටී ෂර්ට් යොදා ගැනීමට පෙර දෙවරක් සිතන්න Think twice before you use T shirts for election campaigns

මේක ලොල් කතාවක් විදියට ලියනවද කියලා කල්පනා කරලත්. ඒ තරම් දිග නැති නිසා ලොල්ද මන්දා කැටගරියෙන් ලියන්න හිතුනා. තව හේතුවක් තමයි හැම කෙනාටම මේක තේරුම් නොයන්නත් පුළුවන්. මොකද මේකේ ඉන්න ලේකම් වරයාටත් වෙන්නේ ඒ දේමයි. එහෙනං කියවලා බලන්නකෝ ඔයාලටත් තෙර්රෙනවද කියලා. 

පහුගිය චන්දෙ කාලෙක කැලණිය පැත්තේ චන්ද අපේක්ෂකයෙක් ඉඳලා තියෙනවා බෙවන් කියලා. ඒ අපේක්ෂක තුමාගේ මනාප අංකය වෙලා තියෙන්නේ 10. ඉතිං එයාගේ ආධාරකරුවෙක් එතුමාට ටී ෂර්ට් 1000ක් මුද්‍රණය කරලා ගෙනැත් දීලා. ඒවායේ ගහලා තියෙන්නේ "බෙවන් 10" කියලා. 

Boys loves ben10 Tshirts T Shirts T-Shirts
මුල් පින්තූරය : www.clipartbest.com
මේවා ඉතිං බෙදා දෙන්නේ චන්ද අයිතිය තියෙන අය අතරෙනේ. අනිත් එක තමන්ගේ ආධාරකරුවන්ට දෙන එක විශේෂයි. මොකද විරුද්ධ පක්ෂේ අයට දුන්නොත් මේවා කුස්සියේ වැඩට ගන්න බැරි නැති නිසා. එහෙම වුණොත් ප්‍රචාරණ ජාලය අඩපන වෙනවා. 

ඒත් දවස් දෙකක් තුනක් යත්දී අවුරුදු 6-12 වයසේ පාසල් සිසුන් පෝලිමේ එනවලු එතුමාගේ චන්ද්‍ර කාර්යාල වලට මේ ටී ෂර්ට් එක ඉල්ලගෙන. "පොඩි එවුන්ට මේවා අන්දලා යවන එක හොඳයි. එතකොට මේවා හැම තැනම යනවා නේ" කියලා හිතලා පොඩි එවුන්ට දුන්නලු ටී ෂර්ට්. 

මෙහෙම දීලා ඒ කාර්යාලේ ඉන්න ලේකම් කෙනෙක් වැඩේ කෙරිලද බලන්න පොඩි එවුන් සෙල්ලම් කරන පිට්ටනිය පැත්තේ ගිහිං. පොඩි එවුන් ටීෂර්ට් ටික ඇඳගෙන ඉන්නවා දැකලා මිනිහට බොහොම සන්තෝස හිතිලා. මුළු පිට්ටනියේම ඉන්න පොඩි එවුන් ඇඳගෙන ඉන්නේ මේ ටී ෂර්ට් එක නිසා.  ආපු සතුටට මිනිහා ගියාලු තව ටී ෂර්ට් සෙට් එකක් අරගෙන එන්න. මේ පොඩි එවුන්ට බෙදන්න කියලා හිතාගෙන. 

ටී ෂර්ට් ටික අරගෙන ලඟට ගිහිං බලනකොට මිනිහට හිතා ගන්න බෑලු වෙලා තියෙන දේ. බෙවන් කියන නමේ අකුරක් හැලිලා. මේ ලේකම් මහත්තයා ටිකක් වයසක කෙනෙක්. මිනිහා වහාම දුරකථන ඇමතුමක් ගත්තලු අර ටීෂර්ට් පරිත්‍යාග කරපු මහත්මයාට.
"මහත්මයා, ඔබතුමා ලබා දීපු ටී ෂර්ට් වල අකුරු හැලෙනවා නේ"
"මොනවා .... වෙන්න බෑ ... මම දන්නා කියන හොඳම තැනකට දීලනේ ඕවා ප්‍රින්ට් කලේ"
"ඒකනම් මම දන්නේ නෑ. බොරුවක් කියනවා කියලා හිතනවා නම් දැන්ම එන්න. මම ඉන්නේ අල්ලපු වත්තේ තියෙන ඉස්කෝල පිට්ටනියේ"
"හරි මම දැන්මම එන්නම්, ටීෂර්ට් ගහපු තැන මල්ලිත් එක්කම"

ටික වෙලාවකින් අර පරිත්‍යාගය කරපු මහත්මයායි, ටී ෂර්ට් ප්‍රින්ට් කරපු තැන තරුණයා විතරක් නෙවෙයි එයගේ පොඩි පුතෙකුත් ආවලු අර කියපු ග්‍රවුන්ඩ් එකට. පොඩි එවුන් ටිකත් දැන් වටවෙලා, අලුත් ටී ෂර්ට් එක ගන්න බලාගෙන ඉන්නවාලු. ඒ අතරේ ටී ෂර්ට් බෙදනවා කියලා ආරංචිය ගම වටේට ගිහිං, මෙතන නොහිටි පොඩි එවුනුත් ඇවිත් වට වෙලා බලාගෙන ඉනන්වාලු. මේ අතරේ අර ටී ෂර්ට් ප්‍රින්ට් කරපු තැන මල්ලිගේ පුතා අර මනුස්සයාට කරදර කරනවාලු ඒ ජාතියේ ටී ෂර්ට් එකක් ඉල්ලලා. 

"පොඩ්ඩක් ඉන්න පුතා කරදර නොකර. මම වැඩකටනේ ඇවිත් ඉන්නේ. ගෙදර ඕන තරම් ටී ෂර්ට් තියෙනවා. ගෙදර ගිහිං දෙන්නම්"
"නෑ. අප්පච්චි මට ඕනේ අර අයියලා ඇඳන් ඉන්න එකක්"
"ඇයි පුතා ඒවා ඕනේ"
"මමත් ආසයි බෙන්ටෙන් ටී ෂර්ට් වලට"
එතකොටයි ටීෂර්ට් ප්‍රින්ට් කරපු තරුණයට වැඩේ වැටහිලා තියෙන්නේ. මේ මගෝඩි කොල්ලෝ ඒ ටී ෂර්ට් එකේ මැද තියෙන 'ව'යන්න මකලා. එතකොට ටී ෂර්ට් පෙන්නේ

"බෙ  න් 10 "  
 කියල. කොහොමද පොඩ්ඩන්ගේ ටිකිරි මොලේ. 
මේ කතාව ලිව්වේ හාස්‍ය සඳහා පමණක් බව සලකන්න.  

Tuesday, August 26, 2014

පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න ...... Get close to a Blooming Flower

මේ කතාව කොහොම ලියලා ඉවර කර ගන්නද කියලා මං කල්පනා කරපු වාර අනන්තයි. මේ කතාවේ අවසානය සිද්ධ වෙන්නේ මේ මාතෘකාවේ තියෙන වාක්‍යය ගාව. ඒක මතක් වුණ වෙලාවකට මට හොඳටම හිනා යනවා. ඒත් මේක සිද්ධ වෙච්ච කාලේ මම පපුවේ බිත්තර තම්බපු ආකාරෙ සිහි වෙලා ඇඟේ හිරි ගඩු පිපෙනවා. කොහොම නමුත් මේ සියලු අත්දැකීම් ලියා හමාරා කරන්න ඕනේ කියන බලාපොත්තුව හිතේ තියෙන නිසා, අද ලියන්න පටන් ගත්තා. නැත්නම් වෙන්නේ සෑහෙන කාලෙකට මේ මාතෘකාව ආයේ හිතන්ට එන්නේ නැති එක.

දයානන්ද අයියා කියන්නේ ඥාති කමට මට බාප්පා වෙන කෙනෙක්. ඒ වුණාට මම මිනිහට බාප්පා කියලා අමතපු දවසක් මතක නැති තරම්. ඒකට එක හේතුවක් තමයි දයානන්ද අයියා විවාහ වෙන්න ප්‍රමාද වෙච්ච එක. ඉතිං මිනිහා කොල්ලෝ සෙට් එකත් එක්ක තමයි ආශ්‍රේ. මේකට පාර කැපුනේ අපේ ගෙදරට මීටර් 50 විතර දුරින් පාරෙන් අනිත් පැත්තේ, පන්සලට හැරෙන තැනම තිබුණ මිනිහගේ කඩේ. ඒ වෙනකොට එයාගේ බිස්නස් දෙක තුනක්ම තිබුණා. මේ කඩේ ප්‍රධාන ව්‍යාපාරය නොවුනත්, රෑ මද්දවන එක තමයි ප්‍රධානම එක. උදේට රෑ ටික එකතු කර ගන්න යන්නේත් එයමයි. ඒවා ස්කාගාරේ පීප්ප වලට පුරවලා ඉතිරි හරිය ගමේ ඉන්න බඹරුන්ට පොවන එක මිනිහගේ රාජකාරිය. පොවනවා කිව්වට නොමිලේ නෙවෙයි. සල්ලි වලට.

උදේම රා ටික පීප්ප ගත කරලා මදින්නා උදේට කන්න ගිය වෙලාවට කඩේට එනවා. එතැන පැයක්-එකහාමාරක් වෙළඳාම කරලා, ආයෙත් රෑ එකතු කරන්න යනවා. මේ එකතු වෙන රා ටික බොහෝ වෙලාට යොදාගන්නේ සිල්ලර වෙළඳාමට. ඒක නීතියෙන් තහනම්. කිහිප වතවාක්ම අහු වුණත්, එයාලගේ ගේ පිටිපස්සේ ජයටම වැඩේ යනවා. මිනිහා වෙළඳාම වේගවත් කරන්න නොයෙකුත් ප්‍රයෝග කරනවා. දවසක් එහෙම කරපු එකක් අපෙත් එක්ක කිව්වා.

"එදා වැස්ස දවසක්. වැහි දවසට රා ටිකක් දියාරු හින්දා මිනිස්සු බොන්න එනවා අඩුයි. ඒ වුණාට මේ ටික ඉවර කර ගන්නත් එපැයි. ඒ වෙලාවේ රා බීපු මිනිහා දෙවෙනි වීදුරුව මගක් හරියට යනකොට මම කිව්වා 'අද නම් බඩු ටික ඉක්මනටම ගියා' කියලා. අර මිනිහා බොන ගමන්ම අතින් තව එකක් ඕඩර් කළා. ඒ වෙනකොට විකුණා ගන්න බැරි බෝතල් දහයක් පහළොවක්ම තිබුණා. මිනිහා එක හුස්මට වීදුරු තුනක් ඇදලා දැමමා. තුන්වෙනි එක ඉවර කළා විතරයි. දැම්මේ නැද්ද කබරයා. ඊට පස්සේ තව වීදුරු දෙකක් අරන් බිව්වා. මම ගොඩ"
වෙළෙන්දෙක් වුණාම, ඉතිං ඒ වගේ ප්‍රයෝග කරන එක සාමාන්‍ය දෙයක් වුණත් අපිට ඒ කාලේ මිනිහා ගැන පිළිකුලක් ඇති කරන්න ඒ සිද්ධිය සමත් වුණා. ඒත් අපි එක්ක තිබුණ යාළුකම හින්දා මේවා අමතක වෙලා යන්න වැඩි දවසක් ගියේ නෑ. හවස එක වෙනකොට රා ටික ඉවර වෙලා මිනිහා ඇවිත් කඩේ අරිනවා. කඩේ අගුව යට ලැල්ලක් ලී කොට දෙකක් උඩ සවිකරලා හදලා තිබුණ ලෑල්ලේ ප්‍රධාන සාමාජිකයෙක් වෙන්න මට ඒ කාලේ පුළුවන් වුණා. එහෙම රස්තියාදු ගහන්න එපා කියලා මට රසායන විද්‍යා පන්ති කරපු ඩන්කන් සර් මට කිහිප විටක්ම අවවාද කළා. තරුණ වියට බ්රේක් නෑ කියන්නැහේ මමත් අත ඇරියේ නෑ. මගේ උපාධියේ මුල් කොටස සම්පූර්ණ වුණේ ඒ බැංකු ලෑල්ල උඩ. අධ්‍යන විෂය වුණේ  සමාජ විද්‍යාව. මෙතන රස්තියාදු ගහපු පූර්ණ කාලීන සාමාජිකයන් කවූරුවත් හිටියේ නෑ. ඒ ආසන්නයට ආවේ මම තමයි. අනෙක් අය කඩේට ගොඩ වෙන්නේ සිගරට් එකක්, බුලත් විටක්, පාන් ගෙඩියක් ගන්න. මම මිනිහට කඩේ වැඩ වලට සහයෝගය දුන්න අවස්ථාත් තිබුණා. 

දයානන්ද අයියා නිතරම කියපු දෙයක් තමයි 
"මම තමුසෙලාගේ තාත්තටත් මචං කියලා තියෙනවා - තමුසෙටත් මචං කියනවා" 
කියලා. ඒක ඇත්තටම දෛවෝපගත සිදුවීමක්. මට නෙවෙයි ඔහුට. මොකද ඔහුගේ අත්දැකීම්වල තියෙන්න පුළුවන් මගෙන් සඟවන්න අවශ්‍ය දේවල්. මට ඒ වගේ දේවල දැන ගන්න අවශ්‍ය වුණෙත් නෑ. මේ කඩේට නිතරම ගොඩ වෙන අනික් සාමාජිකයින් තමයි. පැටී නොහොත් ජානක, ජයතිස්ස අයියා(දැන් ජීවතුන් අතර නෑ. බෙන්තොට ලිහිණියා සර්ෆ් හෝටලයේ කෝකියෙකු විදියට සේවය කරලා ඉවත් වෙලා හිටියේ), මහේෂ් සහ මහින්ද සහෝදර වරු. නමුත් ඉඳ හිට ගොඩවන බොහෝ දෙනෙක් හිටියා. අපේ ගමේ ජීවත් වෙච්ච මහා පුදුමාකාර චරිතයක් වෙච්ච පොලා නොහොත් ෆොරින්  බොහෝ විට මෙතැනට ගොඩ වෙනවා සිගරට් පැකට් එකක් ගන්න. ඒ වගේම පුදුමාකාර නොමසුරු පුද්ගලයෙක්. එතැන ඉන්න බාල මහළු හැම කෙනෙකුගේම අතේ මොනවා හරි තියලා යන්න පොලා අමතක කරන්නේ නෑ. හොඳකට හෝ නරකකාට මේ කඩේ පොතට බඩු ගන්න පුළුවන් කම තිබුණා. ඒ නිසා තමයි මගේ මුල්ම රැකියාව කරන කාලේ මමත් පොතට බඩු(කෑම-බීම තමයි) ගත්තේ. ලොකු බිලක් තිබුණේ නෑ. මාසෙකට උපරිම රුපියල් එකසිය පහක් දහයක් වගේ ගාණක්. 

මෙතනට එකතු වෙන අය බොහෝ මාතෘකා ඔස්සේ කතා කරනවා. දේශපාලනය කතා වෙන්නෙම නෑ. එහෙම වුණානම් විවිධ වාද-විවාද හේතුවෙන් කඩේ වැහෙන්න ඉඩ තියෙනවා. වැඩියෙන්ම කතා වෙන්නේ විහිළු කතා. කවුරු හරි කෙනෙක්ව දවසකට බයිට් එකට අල්ලා ගන්න එක එතන සිරිතක්. දයානන්ද අයියා කොහොමත් හිනා වුන ගමන් හිටිය කෙනෙක්. ඒ නිසා හිනාව පුරවන් දවස ගෙවුවේ. මිනිහා සෑහෙන වයසක් යනකම් විවාහ වුණේ නෑ. ඒකට නිශ්චිත හේතුවක් තිබුණෙත් නෑ. මේ කඩය කරනවා, රා මදිනවා. ඉතිං හොඳටම බිසී. ගමේ වගේම අහල පහල ගම් වලත් මගුලක්, මරණයක්, දානයක් තිබුණොත් නොවැරදීම යන එක මිනිහගේ හොඳ ගුණයක්. ඒ වගේමයි අලුත්ගම ලිබර්ටි සහ ලිච්ඡවී සිනමා ශාලා දෙකට එන චිත්‍රපට අත අරින්නේ නැතිව බලන එකත් මිනිහගේ පුරුද්දක්. සාමාන්‍යයෙන් කොල්ලෝ සෙට් එකක් එකතු වුණ තැනක ඉතින් සෙක්ස් ගැනත් කථා වෙනවානේ. මෙතනත් ඒ වගේ කථා ඕනෑතරම්. මොකද සංචාරක පුරවරයක ඒ වගේ අත්දැකීම් එතැනට ආ බොහෝ දෙනෙක් බෙදා ගත්තා. ඒ වගේ දෙයකට දායක වෙන්න බැරි ය හිටියානම් මමත් දයානන්ද අයියාත් පමණයි. 

ඒ වගේම එතැන එක්තරා විදියක පුස්තකාලයක් වගේ තැනක්. ඒ මේ කඩේ පිටිපස්ස කොටසේ පදිංචි වෙලා හිටිය මදින්නා නොහොත් මදින මාමාගේ කාමර කෑල්ල. එතනට විවිධ පත්තර සහ පිටරටින් එන සෙක්ස් මැගසින් එකතු වෙලා තිබුණා. මෙතනට ඒ වගේ ඒවා ගෙනත් දාන්න බොහෝ දෙනා කාරුණික වුණේ, මෙතනට එකතු වෙන අයගේ ජන-විඥ්ඥානය දියුණු කරන්නම නෙවෙයි. ඔවුන්ගේ නිවෙස් වල වැඩිහිටියන්ගෙන් සහ දරුවන්ගෙන් මේ වගේ දේවල් ඈත් කර තබන්න ඔවුන්ට උවමනා නිසා. මේකෙන් වැඩි ප්‍රයෝජනය ගත්තේ එතනට හිස් අතින් ආව ගිය අපි වගේ අය. මේ මදින්නාගේ නම සැක්සන්. ඔහු කළුපටි කාරටේ ක්‍රීඩකයෙක්. පහු කාලෙක මමත් මහේෂුත් ඔහුගෙන් කරාටේ ඉගෙන ගත්තා. 

දයානන්ද අයියා කොල්ලන්ට ගිනි-ගෙඩි දෙන්නත් උපන් හපන් කමක් දැක්වූ කෙනෙක්. දවසක් එතැනින් මෝටර් සයිකලයක ගිය ජයවීර පවුලේ කෙනෙකුගේ කලිසමේ පිටිපස්සේ පර්ස් එක අඟල් භාගයක් විතර උඩට ඇවිත් තියෙනවා දැකලා එතැන හිටපු මහේෂ්ට කිව්වා. 

"වැඩි දුරක් යන්න කලින් අර පර්ස් එක වැටෙනවා. පස්සෙන් ගියොත් වරදින එකක් නෑ"  
කියලා. මේක අහපු ගමන් දෙවරක් නොසිතා මහේෂ් බයිසිකලයට ගොඩ වෙලා පස්සෙන් ගියා. පය භාගයකට පස්සේ ආවේ හිස් අතින්. හිතපු විදියට වැඩේ සිද්ධ නොවී. මේකා පිටත් වෙනකොටම දයානන්ද අයියා ඔයදේ, ඔය විදියට සිද්ධ වෙන බව එහි සිටි අයට කීවේ සින්සෙමින්. 

මේ කඩේත් ඉස්සර බොහෝ කඩවල වගේම, මේසය ඉතා උස එකක් වුණා. එහි පහල කොටස ලෑලි ගසා ආවරණය කර තිබුණා. ඒ ලෑලි ගහපු කොටසේ තමයි වෙළඳ දැන්වීම අලවලා තිබුණේ. මගේ ජීවිතේට මුහුණ දීපු ලොකුම අපහසුතා වලින් එකක් සිද්ධ වුණේ මෙන්න මේ දැන්වීමක් නිසා කිව්වොත් ඔබ පිළිගන්නවද ? මගේ ජීවිතේ තියෙන කං මට ඒ අත්දැකීම අමතක වෙන එකක් නෑ. 

අවුරුදු හතළිහකට ආසන්න තනිකඩ දිවියට තිත තියලා, දයානන්ද මුදලාලි විවාහ වුණා. අපිත් ඒ වෙඩින් එකට බැහැලාම වැඩ කළා. අපේ ගෙවල් වලින් ඒ ගැන බාධාවක් තිබුණේ නෑ. ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ දෙයක් වුනු බ්රේක්-ඩාන්ස් තරගයක් කට්ටියගේ නර්තනය අවසානයේ තිබුණා. ඒ කාලේ බ්රේක් ඩාන්ස් කරපු අයට ජොයින්ට් නැති තැන් වලිනුත් අත් නවන්න පුළුවන් වගේ තමයි වැඩ කිඩ. වැඩි කාලයක් හනිමූන් ගත නොකර මිනිහා පුරුදු ව්‍යාපාරයට එකතු වුණා. වෙනසකට තියෙන්නේ කඩේ වැඩට බිරින්දෑ කැන්දන් ආපු එක. එයා ආවාට අර මෙසේ පිටිපස්සට වෙලා බයාදු විදියට බලාගෙන හිටියාට, දයානන්ද අයියා වගේ කඩේට එන අයත් එක්ක කතා-බහට ගියේ නෑ. මේ කඩේ දවල්ට ලයිට් දන්නේ නැති නිසා මද අඳුරු ගතියක් තිබුණා. ඇත්තටම ඇය කඩේ ඉන්නා බවක් වත් අපට දැනුනේ නෑ. 

දවසක් පාසැල් ගොස් ආපසු තියෙන දෙයක් බඩට දමාගෙන, මම දයයන්ද අයියාගේ කඩේට දුවලා ගියා. ඒ යනකොට අර කියපු මෙසේ ලෑල්ලේ අලුත් පෝස්ටරයක් අලවලා. ඒක ඒ කාලේ නැතිවම බැරි දෙයක් වෙච්ච පවුඩර් වල දැන්වීමක්. අදටත් මට මේ වෙළඳ දැන්වීම් පෝස්ටරය මැවී - මැවී පේනවා. එහි මුද්‍රණය කරලා තිබුනේ 

"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න ...."
Get close to the fragrance of the blooming flower
පින්තූරය ගත්තේ : http://addspakistan.blogspot.com

කියලා. ඒ වැකිය මේ සටහනට මාතෘකාව වෙන්නෙත් ඒ නිසා. ඒ කාලේ ඒ වගේ එකක් දැක්කම කට තියාගෙන ඉන්න බැරි කමක් අපිට තිබුණා. මේ වාක්‍යය එක පාරට කියාගෙන ගිය මම මෙහෙම කිව්වා

"පිපුණු මලක සුවඳ තුරුළු කර ගන්න - බැරිද මෙන්න මේකත් කටෙන්  තියා ගන්න"
එහෙම කියලා මම දයානන්ද අයියාගේ ප්‍රතිචාරය බැලුවා. වෙනදා එහෙම එකක් කිව්වම කොක්-හඬලා හිනාවෙන මිනිහා ඉන්නවා තක්බීර් වෙලා. මෙහෙම කඩේ ඇතුලට පොඩ්ඩක් ගිය මම
"මොකද අද නිකං බය වෙලා වගේ. අපි අරක බලමුද ?'
කියලා. ඉහල රාක්කයක් උඩ තියලා තිබුණ නිල්-සඟරාව ගන්න හදනකොට

"මොන අරකක්ද ? - එතන මොනවත් නෑ. මොනවද ගන්න ආවේ"
කිව්වේ තරමක බැරෑරුම් මුහුණ ආරූඩ කරගෙන. මට එක පාරටම වම පැත්තේ කෙලරව මොකක්දෝ ඡායාවක් වගේ දෙයක් පෙනුණේ, මෙන්න මේ මොහොතේ. මගේ ඔලුවත් එක්ක හිරිවැටිලා ගියා. "යකෝ මේ මනුස්සයා මෙතන ඉන්නවා කියලා කවුද දන්නේ." කියලා හිතින් කියනා ගමන් මම පස්ස නොබලා දිව්වා ගෙදර. ගෙදර ගිහිං කාමරයට වැදිච්ච මම එලියට ආවේ රෑට කෑම කන්න. අවුරුදු ගාණක් පුරුදු තැනකට අලුතෙන් කෙනෙකු එකතු වුණාම, එහෙම නොවුනා වගේ දැනෙන එක සාමාන්‍යයි. 

මේ සිද්ධිය ගොඩින් බෙර ගන්න දයානන්ද අයියා සමත් වෙලා තිබුණා. මගේ අතේ බීලා විසි කරපු සුරුට්ටු කොටයක් තිබුණා එයා දැක්කා කියලා. නමුත් එයාගේ වයිෆ් මේක අපේ අක්කා හරහා අපේ අමම්ටත් දැනුවත් කරලා තිබුණා. ඉන් පස්සේ වුණ හරිය ඉතිං විස්තර කරන්න අවශ්‍ය නෑනේ.  තව පොඩ්ඩෙන් මිනිහගේත් කොලේ ඉරෙනවා.

Moral of the Story : යමක් පවසන්න පෙර දෙතුන් වතාවක් වටපිට බලන්න. මන්ද කටින් පිටවූ වචන ආපස්සට ගත නොහැකි බැවිනි. 

Saturday, August 23, 2014

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.


Tips to Lose Weight Without Diet and Exercise


1. ඇති පමණ ජලය පානය කරන්න
අනෙකුත් බොහෝ දේවල් අතර, ජලය ඔබේ ඉන සඳහා වැදගත් වන්නට, බොහෝ හේතූන් ඇත. සිසිල් දිය පානය කිරීම ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය උපකාරී වන්නේ සිසිල් ජලය උණුසුම් කිරීම සඳහා ඔබගේ ශරීරය තදින් ක්‍රියාකාරී වන නිසා වන අතර එයින් අදහස් වන්නේ එය වැඩි කැලරි ප්‍රමාණයක් දහනයට හේතු වන බවය. නිතරම ජලපානයෙන් ඔබේ කුස පිරී ඇති බවක් ඔබට දැනෙන නිසා අඩුවන කැලරි සඳහා ඔබට අමතර කෙටි ආහාර ගැනීමට අවශ්‍ය නොවෙන අතර ව්‍යායාම කිරීමට ප්‍රථම සජලනය මස්පිඩු  ලිහිල් කරයි, ඔබේ සිරුරේ හෝමෝන නිපදවේ,  එය ඔබගේ ශක්ති ඉලක්කයන් සපුරනවා පමණක් නොව පරිවෘත්තිය සඳහාද හොඳ පුවතක් වේ. 
 2. හොඳ නින්දක් ලබා ගන්න
වෛද්‍යවරු සහ ජනප්‍රිය චරිත හෝ එවැනි අය බර අඩුකර ගැනීමේ රහස් පිළිබඳ කථා කිරීම නැවැත්විය නොහැක : නමුත් බර අඩු කරගැනීමේ හෝ වර්ධනය වීම නැවතීමේ ප්‍රධාන සාධකයක් වනුයේ හොඳ නින්දක් ලැබීමය. ඇයි ? අප දිගු නින්දක් නොලබන සෑම අවස්ථාවකම වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම සිදු වේ. මෑතකදී කල අධ්‍යනයකින් පෙන්නුම් කරන ලද්දේ, ඒ සඳහා සහභාගී වූ අයගෙන් පැය හතරක නින්දක් ලබන අය ඔවුන් විවේකයෙන් සිටින විටදී ගන්නා ප්‍රමාණයට වඩා කැලරි 300කට වඩා ලබා ගන්නා බවයි. 
3. ආහාර වේලේ ප්‍රමාණය  පාළනය කරන්න පුරුදු වන්න
ඔබ ආහාරය පාළනය කරන කෙනෙකු නොවුවද, ඔබ ගන්නා ආහාර ප්‍රමාණය ගැන සිතීම හොඳ පුරුද්දකි. ඔබ කුසපිරෙන තරම් ආහාර ගෙන ඇති බව ඔබගේ මොළයට දැනීමට මිනිත්තු කිහිපයක් ගත වෙයි. එනිසා ආහාර වේලකදී ඔබගේ කුස පිරෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය පිළිබඳ දැනුමකින් අහර ලබා ගැනීම, පමණට වඩා කෑම නිසා එකතු වන අමතර කිලෝ ගණන අඩු කර ගැනීමට ඉවහල් වනු ඇත. 
 4. හරිත තේ (Green Tea) බොන්න 
පරිවෘත්ත ක්‍රියාවලිය සඳහා උපකාරී වන එකම විකල්පය ජලයම නොවේ. හරිත තේ පානය ඔබගේ පරිවෘත්ත ක්‍රියාවලිය මද වශයෙන් ඉහල නැංවීමට සමත් බව අධ්‍යනයන් මගින් අනාවරණය වී ඇති අතර එය සතියකට අමතර කැලරි 400ක් පමණ දහනයට ඉවහල් වේ ! එපමණක් නොවේ, හරිත තේ වලට අධික ප්‍රති-ඔක්සිකාරක*(Antioxidant) ශක්තියක් ඇත. එනිසා පානය කරන්න. 
5.  මිතුරන්ගේ සහය ගන්න
සම අදහස් දරන මිතුරකුගේ සහය සහ දිරිගැන්වීම නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට උපකාරී වේ. එවැනි කණ්ඩායමක්ම සිටියොත් එය වඩා හොඳ තේරීම වනු ඇත. ඔබට දැනේවි ඔබ වෙනදාට වැඩියෙන් ඔබ-මොබ ගමන් ගන්නා බව, වැඩි කැලරි සහිත ආහාර ගන්නා වේලාවන් අතපහු කරන බව සහ බර අඩුකරගැනීමට දායක වන වෙනත් ජීවනරටාවන්ට පුරුදුවන බව. 

* මගේ දැනීම අනුව සමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන.

www.ealthDigeZt.com වෙබ් අඩවියේ පල වූ Tips to Lose Weight Without Diet and Exercise ලිපියෙහි පරිවර්තනයකි. 

Thursday, August 21, 2014

ශ්‍රී ලාංකිකයන් ඕපදූප/තොරතුරු පිපාසයෙන් පෙලෙන්නෝද ? ...... Are Sri Lankans hunger in Gossip/Information .....

මේ අදහස මගේ හිතට ඇවිත් බොහෝ කාලයක් වුවත්, ඒ පිලිබඳ පර්යේෂණය කිරීම තව-තවත් පසුපසට දැමුනේ ලිවීමට වෙනත් මාතෘකා තිබීම සහ කාලය පිලිබඳ ගැටළු නිසාය. මේ පිලිබඳ සොයා බලන්නට මගේ හිතට අදහස ආවේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේය. එකල මා භාවිතා කල බ්‍රවුසරය වුයේ ෆයර්ෆොක්ස්ය. ඒ සඳහා තිබු දිගුවන්(Extension) අතර මා වඩාත් ප්‍රිය කළ එකක් වූ Alexa Traffic Rank එක නිරතුරුවම මා බ්‍රවුසරයට එක් කරගෙන තිබුණේ, එදා defence.lk සහ tamilnet.com සඳහා වන පිවිසුම් වල ප්‍රමාණය දැන ගැනීමටය. සමහරවිට ලොව පුරා විසිරී සිටින සිංහල/දමිළ අය ඕපාදුප හෝ තොරතුරු හොයන්නට පටන් ගන්නේ මේ යුද්ධය නිසාම වන්නට පුළුවන. 
පින්තූරය ගත්තේ : www.picturequotes.com

ගොසිප් වෙබ් අඩවි වල මූලිකම අරමුණ වනුයේ ජනතාවට නිවැරදිව තොරතුරැ වාර්තාකරණය නොව තමන්ගේ අඩවියට බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමය. අද බොහෝ ජනමාධ්‍යද නිවැරදි සහ වේගවත් තොරතුරු වාර්තාකරණයෙන් බැහැර වන්නේ කලින් සඳහන් කල ට්‍රැෆික් රෑන්ක් හෝ රේටින්ග්ස් නිසාවෙනි. වැඩිම දෙනෙකු නරඹන, වැඩිම දෙනෙකු කියවන හෝ වැඩිම දෙනෙකු පරිශීලනය කරන නාලිකාව, ප්‍රවෘත්ති පත්‍රය හෝ වෙබ් අඩවිය වීම මේවායේ අරමුණ වී තිබීම එයට හේතුවයි. එම වර්ගීකරණ වල හිනිපෙත්තේ රැඳීම එකී ආයතන වලට වෙළඳ දැන්වීම් ලබා ගැනීමේ ලා ප්‍රමුඛ කාර්යයක් සිදු කරයි. සියල්ල දැන්වීම් මත පදනම් වන යුගයක ඒවායේ හරි වැරදි සොයා බැලීම කෙතරම් යුක්තිසහගතදැයි නොදනිමි. මන්ද ආයතනයක පැවැත්ම පවා ලැබෙන ආදායම මත පදනම් වන නිසාය.

නමුත් මාගේ සිත්ගත් කාරණය වෙනකකි. ඒ සිංහලයා හෝ අඩු වැඩි වශයෙන් දමිළයා මේ තරමට තොරතුරු පසුපස හඹා යන්නේ ඇයිද ? යන්නයි. එයට ප්‍රධාන හේතුව මා කලින් සඳහන් කලාක් මෙන් දශක තුනක් පැවති යුද්ධයම නම්, මේ වනවිට එය සමනය වන්නට ප්‍රමාණවත් කාලයක් පසු කොට ඇත. අඩු වැඩි වශයෙන් මානව හිමිකම් පිලිබඳ කාරණා ඉඳහිට මතු වී නැති වී යන බව සත්‍යයකි. එහෙත් ඒවා පිලිබඳ දිගු සංවාද ඇති වන්නේ නැත. අවම වශයෙන් සතියකින් දෙකකින් මේවා වියැකී යයි. සිංහලයා(ප්‍රධාන වශයෙන්) සොයන්නේ ජාතික, ආගමික හෝ දේශගුණික තොරතුරු පමණක්ම නොවන බව හතු පිපෙන්නාක් මෙන් බිහිවන ගොසිප් වෙබ් අඩවි දෙස බලන කල පැහැදිලි වෙයි. ඒවාගේ බොහෝ විට ඵල වන්නේ ඕපාදූප ගණයේ තොරතුරුය. බොහෝවිට තොරණ් ස්වභාවයේ නිවී-නිවී දැල්වෙන අකාරයේ බැනර්(කුඩා දැන්වීම්) වලින් මේවා පෝෂිතය. සමහරවිට බලා සිටින්නට අපහසු වේගයකින් ඒවා  දිලිසෙන අකාරයෙන් නිමවන්නේ ඔවුන් අතර ඇති තරගය මොනවට විදහා දක්වමිනි. මේ බොහෝ අඩවීන් ගෙන එන තොරතුරු බොහෝවිට සමානය. නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගේ, දේශපාලකයින්ගේ අභ්‍යන්තර ජීවිත ගැන තොරතුරු, ලිංගික අතවර, පැහැරගැනීම්, මංකොල්ලකෑම් මේවා ආතර ප්‍රධාන තැනක් ගනී. සමහර විට යූටියුබ් හී ඵලවන වීඩියෝ සහ චිත්‍රපට සඳහාද සබැඳියාවන් ඵල කරයි. 

මේ සඳහා බොහෝ දෙනෙකු යොමු වන්නේ ෆේස්බුක් හී, බෙදා(share) ගැනීම් මගිනි. නමුත් මේ අඩවි වලට නිරතුරු පිවිස කිහිප වතාවක් තොරතුරු විමසන අයද වෙයි. මේ පිලිබඳ අදහසක් ගැනීමට Alexa Traffic Rank එක ප්‍රමාණවත්ය. එහිදී ඒවා වැඩි වශයෙන් භාවිතා වන රටේ මෙන්ම ලෝකයේ වර්ගීකරණ ස්ථානය පෙන්නුම් කරයි. එමගින් අදාළ අඩවිය කෙතරම් ජනප්‍රියදැයි අදහසක් ගත හැකි වේ. අංක එකේ සිට 250 දක්වා ශ්‍රී ලංකාවේ Traffic Rank බලාගෙන එන අතරතුර, මා හට හමු වූ ප්‍රවෘත්ති සහ ගොසිප් අඩවි පිලිබඳ සටහනක් පහතින් දැක්වේ. ඒවා ප්‍රධාන වශයෙන් ඊයේ(19.08.2014) දිනයට අදාලවය. මෙම වර්ගීකරණ ස්ථාන පහත් දහයත් අතර අගයක විචලනය වීම සාමන්‍ය ලක්ෂණයකි. 


දේශීය
ලෝක
අඩවිය
වෙනත්
රට/මාධ්‍යය
9
6132
http://gossiplankanews.com


13
9573
http://adaderana.lk


14
5690
http://hirufm.lk


16
10869
http://lankacnews.com


17
4638
http://lankadeepa.lk


21
13255
http://nethfm.com


22
10931
http://newsfirst.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
30
2361
http://tharunaya.co.uk
94
දකුණු කොරියාව
34
11496
http://dailymirror.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
42
20109
http://gossip-lankanews.com


46
7200
http:/divaina.com


53
10652
http://lakbima.lk


55
46
http://bbc.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
56
93
http://dailymail.co.uk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
59
27207

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
62
146
http:///bbc.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
63
59169
http://gossipbook.lk


69
47996
http://gossiplankahotnews.com


73
17584
http://rivira.lk


75
43230

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
78
19847


82
39536


83
29699
http://lankatruth.com

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
84
27271
http://dailynews.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
85
19733
http://dinamina.lk


86
21103
http://mawbima.lk


100
29931
http://sundaytimes.lk

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
102
16672
http://shaafm.lk
327
දකුණු කොරියාව
106
53460
http://newstamilwin.com


110
3941
http://tharunee.lk


114
63


123
12469
http://lankahotnews.net
478
දකුණු කොරියාව
142
35931
http://hirutv.lk


154
41213


161
6092

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
169
138

ඉංග්‍රීසි මාධ්‍යයෙන්
170
25833
http://infolanka.com


171
20257
http://www.lankachannels.info


172
201763
http:/gossiplanka9.info


176
69990
http://lankanewsalert.com


187
268
http://ndtv.com
31
ඉංග්‍රීසි මාධ්‍යය / ඉන්දියාව
199
72584


201
42238
http://gossipelankanews.info

ඉංග්‍රීසි මාධ්‍යය
242
217361


249
111954
http://www.lankaviews.com


250
99678
http://lankagossip.info







ඇලෙක්සා ට්‍රැෆික් රෑන්ක් සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් වෙයි. පසුගිය මාස තුනෙහි පිවිසීම්(Hits) ප්‍රමාණය, වෙනත් අඩවි වලින් ලබා දෙන සබැඳියාවන්(Back-links) ප්‍රමාණය ඉන් ප්‍රධානය. මෙයට අමතරව පිවිසුම්කරුවකු ගත කරන කාලය සහ යලි පැමිණීම(Bounce Rate) ආදියද ඔවුන් සැලකිල්ලට ගනී. මේ අනුව පැහැදිලි වන්නේ අඩවියකට, නිත්‍ය පිවිසුම් ප්‍රමානයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. එනිසා මේ අඩවි වල පරිපාලකයන්(Admins) විවිධ ප්‍රයෝග යොදමින් පාඨකයා ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරයි. නමුත් මේවා පිලිබඳ පුළුල්ව අධ්‍යනය සහ ප්‍රායෝගික දැනුම සපයන වෙනමම මාතෘකාවක්ද වෙයි. ඒ Search Engine Optimization (SEO). ඒ පිලිබඳ වැඩි අවුබෝධයක් නැතත් අන්තර්ජාලය තුල අතෝරක් නැතිව ඒ සඳහා ලිපි පලවී ඇත.

ලෝක වර්ගීකරණය වල දහදාහකට අඩු වර්ගීකරණ අංකයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව වැනි කුඩා රටක වෙබ් අඩවියකට හැකිවීම එක්තරා අකාරයකට මවිතයට හේතු වේ. සිංහලෙන් කියවන ප්‍රමාණය ලෝකයේ වෙනත්  භාෂා වලින් කියවන ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා ස්වල්පය.  ඉංග්‍රීසි භාෂාවෙන් ඵලවන ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 337 වන ස්ථානයේ පසු වෙයි. ලොව මහත් ආන්දෝලනයට තුඩු දුන් විකිලීක්ස් අඩවිය සිටින්නේ අපේ ගොසිප් සයිට් වලට වඩා පිටුපසිනි. ඒ 14770 වන ස්ථානයේය. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් කියන චීන(සහ ඉංග්‍රීසි) බසින් ඵලවන ඒෂියා ටුඩේ අඩවිය 127546 ස්ථානයේ පසු වීමෙන් පෙනෙන්නේ චීනුන් තොරතුරු ගැන උනන්දුවක් නැති බව නොවේද ? චීනයේ තවත් අඩවියක් වන http://www.beijingbulletin.com පසු වන්නේ 4068432 ස්ථානයේය. ලංකාවේ ගොසිප් අඩවි මෙතරම් ඉහලට පැමීණී තිබීම එක්තරා අයුරකින් අපට ආඩම්බර වන්නටද හැක. එහෙත් සියල්ල රඳා පවතින්නේ අපේ ජනතාවගේ ඕපාදුප වලට තිබෙන කැමැත්ත මතය.  

බ්ලොග් ලියන්නන්ද(මමද ඇතුළුව) පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට විවිධ උපක්‍රම යොදා ගනිමින් සිටී. අද ඵල වන බොහෝ පත්තරද මෙයට සමගාමී අකාරයේ පුවත් ඵල කරයි. බලාගෙන යනවිට මෙය කාලයේ තාලය බවට පත් වී හමාර බව පැහැදිලිය. ඔබ සිතනා ආකාරයට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි වලින් මුල් 250 අතර තිබෙන්නේ කුමක්ද ? එය නොදුටු ලෝකය බ්ලොග් අඩවියයි. ඒ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම තුල 200 වන ස්ථානය හිමි කරගෙන සිටී. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...