Thursday, June 19, 2014

පොලිස් පොඩ්ඩන්ගේ ජීවිත වල අඳුරු පැතිකඩ කියාපාන "කොස්තාපල පුඤ්ඤසෝම" ...... The dark side of lightweight Policemen's life "Kosthapal Pugngnasoma"

ඊයේ සවස කාර්යාලයෙන් කලින් පිටත් වූයේ ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ රැස්වීමකට සහභාගී වීමටය. එම රැස්වීම සවස පහ වන්නට පෙර අවසන් විය. මමත් ප්‍රියාන් විජේවර්ධන මහතාත් ගල්කිස්ස බලා ගමන් ගත්තේ එම සංගමයේ ගිණුම් පිලිබඳ කටයුත්තක් සඳහාය. එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් විය. ගල්කිස්සට ගමන් කරන අතරතුරදී, ඕඩියන් සිනමා ශාලාව දෙස නෙත ඇදී ගියේ නිරායාසයෙනි. ඒ මේ දිනවල බොහෝ දෙනාගේ කථාබහට ලක්වී ඇති කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටය එහි තිරගත වන දැන්වීම දුටු විටය. පහයි තිහට ගල්කිස්සේ ? කල හැකි දේ බොහෝය. ඒත් මගේ සිත පැහැර ගත්තේ මහේන්ද්‍ර පෙරේරා නමැති ශ්‍රී ලංකාවේ සිටින අංක එකේ රංගන ශිල්පියා පණපොවන කොස්තාපල් පුඤ්ඤසෝම සිනමා පටයටය.

මා එහි යනවිට වෙලාව සවස පහයි හතලිස් පහ පමණ වන්නට ඇත. තවත් පැය භාගයක් රස්තියාදු ගැසීමට නොහැක. බර්ගර් කිං වෙත ගියේ මගේ දියණියට ගෙන යන්නට යමක් මිලදී ගන්නටම පමණක් නොව, මේ වනවිට උත්සන්න වී ඇති වඩදිය බෑමේ දැඩි අවශ්‍යතාවද සංසිඳුවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එම කටයුතු අවසාන වනවිට සවස හය පමණ වී ඇත. වැහිබර අහස්කුස නිසා හාත්පස අඳුරු වීගෙන එයි. රුපියල් 150ක ඕ.ඩී.සී. ටිකට් පතක් ගෙන මා ඇතුළු වනවිට එහි සිටියේ පියෙකු සමග පැමිණි කුඩා පිරිමි දරුවන් සිව් දෙනෙකු සහ තවත් පෙම් යුවල දෙකක් පමණි. මෙම ශාලාව මෑතකදී නවීකරණය කල ලකුණු මැනවින් පැහැදිලි වන්නේ එහි සවිකර ඇති නවතම අසුන් පෙළය. හොඳින් විදුලි පංකාව ඇති ස්ථානයක් තෝරාගත් මා අසුන් ගෙන, බර්ගර් කිං වෙතින් ලබා දුන් පෙප්සි කෝප්පය අතට ගත්තේ ඉදිරි පැය කිහිපය තදින් සිනාසීමේ බලාපොරොත්තුව පෙරදැරිවය.

හරියටම හයයි කාලට ශාලාව අඳුරු කර, නොපමාව චිත්‍රපටය ඇරඹිණි. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ කොටස මැනවින් ඉටු කොට ඇති බව අමුතුවෙන් සඳහන් කලයුතු කරුණක් නොවේ. ඕ.අයි.සී. චරිතය රඟපාන ශ්‍රියන්ත මෙන්ඩිස්, සාජන්ගේ චරිතයට පන දෙන ගාමිණි හෙට්ටිආරච්චි, දුලීකා මාරපන සහ ශ්‍රීනාත් මල්දෙනිය කැපී පෙනෙන චරිතය.  

බලාපොරොත්තු ලෙසම විකට චිත්‍රපටයක ඇති අස්වාභාවික සිදුවීම් රැසක් සිනහාව උපදවන්නට යොදාගෙන තිබේ. අවංකවම ඇති වන්නට හිනා යන්නට ඒ කොටස් ප්‍රමාණවත්ය. නමුත් මේ සිනමාපටයේ මාගේ සිත්ගත් කොටස වූයේ, මේ විකට දසුන් අතරින් උදයකාන්ත වර්ණසූරිය මහතා පහල පොලිස් නිලධාරීන් මුහුණ පාන අටෝරාසියක් දුෂ්කරතා මැනවින් පෙන්වන්නට ගෙන ඇති උත්සාහයයි.

එහිදී ඉහලින් සහ පහලින් තැලෙන පෑගෙන පොලිස් පොඩ්ඩන් ගැන ලියවුනු මේ ගීතය සැබවින්ම දෑසට කඳුලක් නවන්න සමත්ය.
වාසනාවකට මේ වීඩියෝපඨය වෙනත් ආකාරයකට නිෂ්පාදනය කර යූටියුබ් අඩවිට එක් කර ඇත. එම ගීතයෙන් කියවෙන

ඉඳල හිටල දුන්නත් අතටම සිතාසිය
දුක හිතෙන්නැද්ද අව්වෙ කට්ට කන විලාසය
උඩින් යටින් දෙපැත්තෙන්ම තැලෙන උදවිය..
දුකට සැපට ඔබට ඉන්න ඔබෙ පොලීසිය..

හොර සතුරන් කල් බල බල එවන පතුරම
පපුව මැදින් යනතුරු ඉටු කරයි යුතුකම
කසිලි බිසිලි ගැහිලි බැනිලි හදයි නිතරම
නිවාඩු නෑ හෝදගන්න කාකි කලිසම

කොතරම තිබුනත් අපහට පොලිස් බලතල
කිසිලෙසකත් ගන්නේ නෑ අනිසි විලසක
දූෂණ භීෂණ වංචා කරන උදවිය
අල්ල ගන්නේ නොසිතා ඒ අයගේ පදවිය

විසිහතර පයම කාකි කෝට් එකට රිංගලා
මානව හිමිකම් යුතුකම් වලට කැපවෙලා
පිත්තල බොත්තම් හින්දම හුස්ම හිරවෙලා
දඩකොල ලියලම අත්වල ඇඟිලි කලුවෙලා

බොහෝ දෙනාට පොලීසිය පිලිබඳ ඇත්තේ යහපත් ආකල්පයන් නොවන බව මා දනිමි. "ඕකුන්ට ඔහොම වෙලා මදි" යන්න බොහෝ දෙනා පවසන වදනයි. නමුත් ඔවුන් පොලීසියේ ඉහල නිලධාරීන්ගෙන් නිරතුරු පෑගීමට ලක්වන පොලිස් පොඩ්ඩන්, එයින් නොනැවතී සමාජයේ විවිධ පදවි තානාන්තර දරන්නන්ගෙන්ද, මැරයන් කුඩු කාරයන්, ජාවාරම් කරුවන්ගේ විවිධ බල පුළුවන් කාර කම් හමුවේ අසරණ වන ආකාරයද, එතනින් නොනැවතී පවතින පරිභෝජන සමාජ තත්වය හමුවේ තම බිරින්දෑවරුන්ගේ නිරතුරු පීඩනයන්ට ලක්වන අකාරයද උදයකාන්ත වර්ණසූරිය මහතා කදිමට විදහා දක්වයි. මේ සැමටම වඩා බොහෝ සිදුවීම් නොදැක්කා සේ සිටීමට ඔවුනට සිදු වී ඇත. සමාජයේ සෙසු පුදගලයන්ට ඇති නිදහස් බව රාජකාරියේදී මෙන්ම, නිවසේ එදිනෙදා ජීවිතයේද අහිමි වන පුඤ්ඤසෝමලා සිටින්නේ පොලීසියේ පමණක්මද යන්න මගේ හිතට නැගුනු පැනයයි. නමුත් ගිනි අව්වේ, මහා වැස්සේ මැර තර්ජන හමුවේ ඔවුන්ට ලැබෙන පීඩනය ඔවුන් පොදු මහජනයාගේ පිටින් යවන්නේ වෙන කළහැකි දෙයක් නොවන නිසාය. ඔවුන්ගේ රාජකාරිය මගේ දැක්මේ හැටියට නගරසභා කම්කරුවන්ගේ රාජකාරියටත් අන්තය. 
කොස්තාපල පුඤ්ඤසෝම චිත්‍රපටය මහේන්ද්‍ර පෙරේරා ශ්‍රියන්ත මෙන්ඩිස් ගාමිණි හෙට්ටිආරච්චි නෝමන් පලිහවඩන
පින්තූරය ගත්තේ : gossiplanka.com
දියුණු රටක පොලිස් නිලධාරී තනතුරකට කෙනෙකු තෝරා ගන්නේ දිගු පරීක්ෂණ රාශියකින් පසුවය. එමෙන්ම එම රාජකාරි වල යෙදෙන්නන් එය සිදු කරන්නේ ඉතා අභිමානයකිනි. ඔවුන් මුදල්, තනතුරු, බල පුළුවන්කාර කම් ඉදිරියේ නැවෙන්නේ නැත. තම රාජකාරිය අකුරටම ඉටු කරයි. නමුත් අපේ පොලිස් නිලධාරීන් රාජකාරි අකුරට ඉටු කරනවාට අපි කවුරුවත් කැමති නැත. පොඩි ගානක් අතමිට මොලවා මාරු වීම සැමගේ කැමැත්තයි. අප ඔවුන්ට දොස් නගන්නේ ඔවුන්ගේ දෛනික ඉලක්කය සපුරා ගන්නට ලියන දඩ කොළයක අවාසනාවන්ත හිමිකරුවන් වීම නිසාය. දියණු රටක ජනතාව සහ බලධාරීන් වැරදි කරන ප්‍රවනතාව අඩු නිසා එම නිලධාරීන්ට වැරදි කරන අය අල්ලා ගැනීම පහසුය. නමුත් අපේ රටේ වැරද්දක් නොකරන කෙනෙකු සොයා ගැනීම නයි මල්ලේ ආඳා සොයා ගන්නවාටත් වඩා උගහටය.

 පුඤ්ඤසෝමගේ චරිතයෙන් පෙන්වන තවත් දෙයක් ඇත. ඒ අපේ පොලිස් සේවයේ සිටිනා සමහර නිලදරුවන්, එම තනතුරට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන්  ඌණ බවය. මෙහි සිටින මැරයන්ට පුඤ්ඤසෝමව ඇඟිලි දෙකෙන් උස්ස ගත හැක. නමුත් වඩා හොඳ ශරීර සුවතාවක් ඇති පුද්ගලයන් මේ "කට්ට කන" රාජකාරිය බාර ගන්නේ නැති බව අප කවුරුත් දන්නා සත්‍යයකි.   මේ චිත්‍රපටය නැරඹුවත් නැතත්, මා මේ අහිංසක ජන කොට්ඨාශය දෙස බලන්නේ අනුකම්පාසහගත ලෙසය. මා දුටු ආකාරයටම උදයකාන්ත වර්ණසූරිය මහතාද ඔවුන් දෙස බැලීම සතුටට කරුණකි. ඔබ මා හා එකඟ නොවන බව මා ඉඳුරා දනිමි. එහෙත් මට කීමට ඇත්තේ "පොලිස් කාරයෝද - මනුෂ්‍යයෝය" යන්නය.

__________________________________
බොහෝදෙනාගේ ඉල්ලීමට කන් දීමක් වශයෙන් "පාපන්දු" වෙනුවෙන් වෙනමම පිටුවක් සකස් කර එය ලෝක කුසලානය පවතින කාල සීමාව තුල දෛනිකව යාවත්කාලීන කරන්නට පියවර ගෙන ඇති බව සතුටින් දන්වමි. එබැවින් මා පාපන්දු ගැන තබනා සටහන් බලා ගන්නට පාපන්දු පිටුවට පිවිසෙන ලෙස ඉල්ලා සිටිමි.  

Monday, June 16, 2014

ලෝක කුසලාන කණ්ඩායම් වල අන්වර්ථ නාම - ඉතිරි කොටස ...... The Nicknames of Football World Cup - The rest......

පසුගිය කොටසින් අප සලකා බැලුවේ මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ඉදිරිපත් වී ඇති A කාණ්ඩය සහ B කාණ්ඩය යටතේ තරග කරන කණ්ඩායම් සඳහා යොදා ගන්නා අන්වර්ථ හෝ කෙටි නාමයන්ය. එහි ඉතිරි කොටස මෙසේ සටහන් කරමි. 
C කාණ්ඩය
කොලොම්බියාව
ලොස් කැෆෙටෙරොස්

මෙහි ධල තේරුම "කෝපි සාදන්නා හෝ පානය කරන්නා" යන්නයි. එමගින් එරටෙහි ප්‍රධාන අපනයනයක් ඒ සඳහා යොදා ගැනීමට බල කර තිබෙනවා.

ග්‍රීසිය
එත්නිකි


බොහෝ කාලයක් තිස්සේ ග්‍රීසි පාපන්දු කණ්ඩායම මෙනමින් හඳුන්වනු ලබනවා. එහි සරල තේරුම "ජාතික" යන්නයි.  2004 යුරෝපා පාපන්දු තරගාවලිය සමයේ ග්‍රීක පාපන්දු කණ්ඩායමට තදින් ඇලුම කරන එරට ගුවන් විදුලි නිවේදකයෙකු වන ජෝර්ජියස් හෙල්කිස් මෙම පාපන්දු සංචිතයට නව අන්වර්ථ නාමයක් දායාද කළේය. ඒ "ටු පිරාටිකෝ"  (To Piratico - The Pirate Ship) නොහොත් "මුහුදු කොල්ලකරුවන්ගේ නැව" යන අදහස ඇති නමක්. එය තරගාවලියේ ප්‍රථම තරගය ආරම්භයට   පෙර සිදුවීමක් දක්වා  දිව යන කතන්දරයකට හිමි කම් කියනවා, ඒ ග්‍රීසිය එම තරගාවලියේ සත්කාර රට වන පෘතුග්‍රීසිය සමග තරග වැදී විට, 16 වැනි ශතවර්ෂයේ පෘතුගාල නැවක්, තරගාවලියේ වේදිකාව සරසන්නට එරටෙහි  කීර්තිමත්  නාවික සංචාර සිහිපත්  කිරීම සඳහා යොදාගෙන තිබීම පාදක කරගෙනය. අවසානයේදී ඔවුන් සත්කාරක පෘතුගාලය පරදවා එම සමාරම්භක තරගය සහ එම තරගාවලියේ අවසන් තරගයද ජය ගන්නේ, අනපේක්ෂිත ලෙස යුරෝපා කුසලානයද හිමි කර ගනිමින්.
අයිවරි කෝස්ට්

ලෙස් එලිඵන්ට්ස්


  ලෙස් එලිඵන්ට්ස් ලෙස නම් කර තිබෙන්නේ අයිවරි කෝස්ට් රට දහනව වන සියවස තුල ඇත්දළ විකිණීම මුලික කරගෙනයි.

ජපානය
නිල් සමූරායි වරු


ජපන් පාපන්දු සංගමයවත් ඔවුන් දිගු කලක් තිස්සේ සැරසෙන  නිල් පැහැති  ජර්සිය කෙසේ ලැබුණාදැයි කීමට නොදනී.   1936 ඔලිම්පික් තරගාවලිය සඳහා නිල් ජර්සියෙන් සැරසී ස්වීඩනය පරාජය කිරීම හැර වෙනත් හේතුවක් නැත. එතැක් පටන එය ඔවුන්ට වාසානාව ගෙනෙන වර්ණය ලෙස සලකනු ලැබේ. සමූරායි සටන්කරුවන් කී විට ඕනෑම කෙනෙකුගේ මතකයට එන්නේ ජපානය. ඔවුන්ගේ ජර්සියේ වර්ණය වන නිල් පාට සහ එතිහාසික සමූරායි සටන්කරුවන් යන තේරුමින් මේ නම පට බැඳ තිබෙනවා. එනිසා ඔවුන් පාපන්දු පිටියේ සමූරායිවරුන් වනවා.

D කාණ්ඩය
උරුගුවේ

ල සෙලෙස්ටේ


ල සෙලෙස්ටේ යනු "ආකාසයේ නිල් පාට"(The Sky Blue) යන්නයි. එය ඔවුන්ගේ ජාතික ධජය මෙන්ම කණ්ඩායමේ ජර්සියේ වර්ණයද වනවා.

කොස්ටරීකා
ලොස් ටිකොස්

ලොස් ටිකොස් යනු බස් වහරෙහි පහසුව පිණිස කෙටි කරන ලද "කොස්ටරින්සෙන්සස්"(Costarrincenses) යන වදනයි. එය කොස්ටරිකානුවන් යන තේරුම දෙන වදනකි.

එංගලන්තය
ද ත්‍රී ලයන්ස් (The Three Lions)

එංගලන්තය සඳහා යොදා ගනු ලබන ත්‍රීසිංහ යන තේරුම ඇති ත්‍රී ලයන්ස් නාමයට දීර්ඝ සමෘද්ධිමත් ඉතිහාසයක් ඇති සිංහ හදවතක් ඇති රිචර්ඩ් නමින් ප්‍රචලිත 1189 සිට 1199 දක්වා එරට රජ කම දැරූ රජතුමා දක්වා විහිදේ. ඔවුන්ගේ නිල ඇඳුමේ ඇති ත්‍රිසිංහ ලාංඡනය එංගලන්ත හමුදා ආම්පන්න වලද සටහන් කර ඇත.  රිචර්ඩ් රජතුමා ඔහුගේ ලියකියවිලි වල මේ ත්‍රිසිංහ සලකුණ භාවිතා කර ඇත.

ඉතාලිය
අසුර්රි - ද බ්ලුස් (Azzurri - Les Blues)


ඉතාලි භාෂාවෙන් අසුර්රි යනු අසුර්රෝ නැමති වචනයේ බහු වචනයයි. එහි තේරුම වනුයේ නිල් පාට යන්නයි. මෙම නිල් වර්ණය හවුස් ඔෆ් සැවෝයි නොහොත් සැවෝයි නිවසේ වර්ණයයි. හවුස් ඔෆ් සැවෝයි යනුවෙන් හඳුන්වන ඉතාලි රාජධානිය  1861 දී එක් සේසත්  කල ඉතාලි රජ පවුලේ නිවසයි. එය ලොව පැරණිම රජ පවුල් වලින් එකකි. 

E කාණ්ඩය 
ස්විට්සර්ලන්තය
ල නාටි


ඉතාම සරලව "ද නැෂනල් ටීම්" හෙවත් ජාතික කණ්ඩායම යන අරුත මෙහි ගැබ් වී තිබෙනවා.

ඉක්වදෝරය
ල ට්‍රිකලෝ
මෙක්ස්කිකොවට බොහෝසෙයින් සමානව, ඉක්වදෝරයේ ජාතික කණ්ඩායම මෙසේ නම් කර ඇත්තේ ඔවුන්ගේ ජාතික ධජයේ වර්ණයන් ත්‍රිත්වය සිහි ගන්වමින්. ඒ කහ, නිල් සහ රතු වර්ණයන්. 

ප්‍රංශය
ලෙස් බ්ලූස්
ඉතාමත් සරලව බොහෝ කාලයක පටන් නිල් වර්ණය සහ අන්වර්ථ නාමය ප්‍රංශයේ විවධ කණ්ඩායම් ක්‍රීඩා කිහිපයකම භාවිතා වන්නක්.

හොන්ඩුරාස්
ලොස් කැට්‍රකෝස්
පාරම්පරික හොන්ඩුරාස් ජාතිකයන් හඳුන්වන්නේ කැට්‍රකෝස් යනුවෙන්. මෙම අන්වර්ථ නාමය  ලැබෙන්නේ එක්දහස් අටසිය ගණන් වල විලියම් වෝකර් නමැති ඇමරිකානු මධ්‍යම ඇමරිකාවේ නැවතත් වහල් සේවාව ස්ථාපිත කරන්නට ක්‍රියා කල හමුදාවන්ට එරෙහි සටහන මෙහෙයවූ ජෙනරාල් ෆ්ලොරෙන්සියෝ ක්සැට්‍ර්ක් ගේ නම යොදා ගනිමිනි. ක්සැට්‍රුක් ජය ලැබූ විට, අසල්වැසි නිකරගුවා ජාතිකයින් "මෙන්න එනවා   ක්සැට්‍ර්ක් කොල්ලෝ" යනුවෙන් කෑ ගසනු ලැබීය.  නිකරගුවා ජාතිකයින්ට  ක්සැට්‍ර්ක් යන්න උච්ඡාරණය කිරීමේ අපහසුව නිසා, එය   කැට්‍රකෝස් ලෙස  කියනු ලැබීය. අවසානයේදී එය ලොස් කැට්‍රකෝස් ලෙස භාවිතයට එකතු විය. 

F කාණ්ඩය
ආර්ජෙන්ටිනාව
ල ඇල්බිසෙලෙස්ටේ
ල ඇල්බිසෙලෙස්ටේ පරිවර්තනය වන්නේ "සුදු සහ අහසේ නිල්" (The White and Sky Blue) යනුවෙන්. මෙය ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ ජර්සිය සහ ජාතික කොඩිය හැඩගැන්වෙන දිගු අතට ඇති සුදු සහ ලා නිල් ඉරි සිහි ගන්වමින් යොදා ගත් පාඨයක්. 

බොස්නියා - හර්සෙගොවිනා
ස්මාජේවී
ස්මාජේවී යන්නෙහි ඒක වචනය "ස්මාජ්" වන අතර බොස්නියානු ජනවහරේ ඇති පරිදි එය "සාර්ථක මිනිසා" යන අරුත දේ. ස්මාජේවී යන්න පරිවර්තනය කළහොත් මකරා යන අරුත දේ. එය මුලදී "උමතු සහ ආශීර්වාදාත්මක" යන අරුතින් ක්‍රීඩා නිවේදක මර්ජාන් මිජාජ්ලොවික් යොදා ගන්නා ලදී. නමුත් දැන් එය බොස්නියා - හර්සගොවිනා හී ගෙදරදොර යෙදෙන වචනයකි. 2010 දී මිජාජ්ලොවික් බෝසිනියානුවන් බුන්ඩාස්ලීගා හී හොඳින් දස්කම් දක්වන විට මකරුන් යන අරුතින් එය යොදා ගත්තද පසුව එය ස්ථිර විය. 

ඉරානය
ටීම් මෙල්ලි (Team Melli)
ටීම් මෙල්ලි යනු සරලවම "ජාතික කණ්ඩායම" යන අරුත දෙන පාඨයකි.

නයිජීරියාව
ද සුපර් ඊගල්ස්(The Super Eagles)

නයිජීරියානු ජාතික පාපන්දු කණ්ඩායම මුලින්ම හැඳින්වූයේ "ග්‍රීන් ඊගල්ස්" යන නමින්. නයිජීරියානු ජාතික ධජයේ වර්ණය සහ එරටේ හමුදා නිල ඇඳුමේ සහ පාපන්දු ක්‍රීඩා ඇඳුම් වල ඇති සංකේතයේ ඇති රාජාලියා යොදා ගනිමින් මෙම නාමය සාදා ඇත. 1988 දී අප්‍රිකානු අර්දද්වීපික තරගාවලියේ අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගත් විට "ග්‍රීන්" වෙනුවට "සුපර්" නමින් යොදා ගනිමින් "සුපර් ඊගල්" නාමය ලැබුණු අතර එය අද දක්වාම භාවිතා කරයි.
G කාණ්ඩය
ජර්මනිය
ඩී මැන්ශාෆ්ට්
ඉතා සරලව "ඩී මැනස්ශාෆ්ට්" යනුවෙන් අදහස් වන්නේ "ද ටීම්"(කණ්ඩායම) යන අදහසය.

පෘතුගාලය
අ සෙලෙසෝ  ඩස් ක්විනාස්
පෘතුග්‍රීසි භාෂාවෙන් "සෙලෙසෝ ඩස් ක්විනාස්" යනු "ද සිලෙක්ෂන් ඔෆ් තේ ශීල්ඩ්ස්" යන තේරුම ගෙනෙන වැකියක්. එයින් අදහස් වන්නේ ඔවුන්ගේ රාජකීය හමුදා කබායේ රඳවා ඇති නිල් පැහති ඵලක පහ සිහි ගන්වමින්. එම නිල් පාලක සඳහා වෙනමම ඉතිහාසයක් ඇත. 1139 දී පෘතුග්‍රීසිය පාළනය කළ අල්ෆොන්සෝ I නමැති පළමුවෙනි පෘතුග්‍රීසි රජවරයා විසින් පරාජයට පත් කල මුවරිෂ් හමුදාවන් පහ සිහිගන්වීමට මෙම ඵලක පහ යොදා ගනී.

ඝානාව
ද බ්ලැක් ස්ටාර්ස්
ඝානාවේ අන්වර්ථ නාමය සඳහා ඔවුන්ගේ ජාතික ධජයේ ඇති කළු පැහැති තරුව තදින්ම හේතු වන්නට ඇත. මාර්කස් ගාර්වී ගේ "බ්ලැක් ස්ටාර් ෂිපින් ලයින්" නමැති නාවුක සේවාවේ සලකුණ මෙය ජාතික ධජයට යොදා ගැනීමට හේතු වී තිබේ. බ්ලැක් ස්ටාර් නැව් සේවාව ක්‍රියාත්මක වී ඇත්තේ 1919 සිට 1922 දක්වාය. එහි අරමුණ වී ඇත්තේ කළු වහල් වෙළඳාම සඳහා සේවාව සැපයීමය. කළු ජනයා අප්‍රිකාව සහ ඇමරිකා රටවල සහ කැරිබියන් දූපත් දක්වා ප්‍රවාහනය මෙහි අරමුණ වී තිබුණි. 

එක්සත් ජනපදය
ද යෑන්ක්ස්
යෑන්ක්ස් යනු යැන්කීස් යන්නෙන් සාදා ගත් යෙදුමකි. එය ඇමෙරිකානුවන් හඳුන්වන වදනකි. එක්සත් ජනපද කණ්ඩායම "ස්ටාර්ස් ඇන්ඩ් ස්ට්‍රයිප්ස්" යනුවෙන්ද බොහෝවිට හඳුන්වනු ලබයි. එය ඔවුන්ගේ ජාතික ධජයෙන් උකාහා ගන්නා ලද යෙදුමකි. 

H කාණ්ඩය
බෙල්ජියම
ද රෙඩ් ඩෙවලස් (රතු යක්ෂයින්)
ඔබ බෙල්ජියම ජාතිකයකුගෙන ඇසුවොත් ඔවුන්ගේ කණ්ඩායම හඳුන්වන නම කුමක්ද කියා, "රෝඩ් ඩූවල්ස්(ලන්දේසි බසින්), ඩයබල් රෝග්ස්(ප්‍රංශ බස) හෝ රෝට් ටූෆල්(ජර්මන් බස) යන පිළිතුරු ඔබට ලැබෙනු ඇත. නමුත් ඒ සියල්ල එකම තේරුමක් ගෙන එයි. ඒ රතු යක්ෂයින් යන්නයි. මාධ්‍යවේදී පියරේ වොකියර්ස්ට මේ අන්වර්ථ නාමය මතුකරලීම පිලිබඳ ගෞරවය හිමි වේ. ඒ බෙල්ජියම එක දිගට විරල ජයග්‍රහණ තුනක් 1906 දී ලබාගැනීමෙන් පසුවය. මෙම කණ්ඩායම පිහිටුවා ගත් විගසමය. ඔවුන් 5-0 ලෙස ප්‍රංශයද, ඕලන්දයට එරෙහි තරග දෙකක් 5-0 සහ 3-2 ලෙස ජය ගැනීමෙන්ය. අනෙක් කාරණය මුල සිටම කණ්ඩායම රතු ඇඳුම් පැළඳීමයි. 
ඇල්ජීරියාව
ලෙස් ෆෙනෙක්ස්
ෆෙනෙක් යනු යනු උතුරු අප්‍රිකානු කාන්තාර වල  වෙසෙන නිශාචර වෘක පවුලේ කුඩා සතෙකි. එම සතා ඇල්ජීරියාවේ ජාතික සත්ත්වයාද වෙයි.

රුසියාව
ස්බෝර්නයා
ස්බෝර්නයා යනු ඉතාම කෙටියෙන් ජාතික කණ්ඩායම යන තේරුමය.

දකුණු කොරියාව
ටේජුක් වොරියර්ස්

ද රෙඩ්ස් යනුවෙන්ද ඔවුන් හඳුන්වන්නේ දිගුකාලීනව ඔවුන් අඳිනු ලබන රතු ඇඳුම් නිසාය. ටේජූක් වොරියර්ස් යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ ටාඕ දහමේ එන ද්විත්ව ශක්තීන් සිහි ගන්වමිනි. යින් - යැන් නම තුලන චිත්‍රය කොරියාවේ සෑම දෙයකම දැකගත හැකි සංකේතයකි. එයින් ඔවුන් පෙන්වන්නේ ඉහත කී තුලනයයි. මෙම සංකේතයේ නිල් පැහැය සෘණ ශක්තීන්ද, රතු පැහැය ධන ශක්තීන්ද නිරූපණය කරයි. ටේජූක් යනු මෙම සංකේතයයි. එමගින් විශ්වයේ උපත නියෝජනය වේ. 
__________________________________________
අනෙකුත් පාපන්දු ක්‍රීඩා කරන රටවලටද මෙවැනි අන්වර්ථ නම් ඇත. නමුත් ශ්‍රී ලංකාවට එවැනි විශේෂ නමක් නැත. අප එවැනි ඉහල මට්ටමට ආවා නම් "The Tea Boys"  යන්න සුදුසු යයි මා යෝජනා කල බව මතක තබා ගන්න. තොරතුරු සහ ඡායාරූප ESPN වෙබ් අඩවියෙනි. 




Friday, June 13, 2014

මෙවර පාපන්දු ලෝක කුසලාන කණ්ඩායම් වල අන්වර්ථ නාම ...... The Nicknames of Football World Cup ......

කෙටි නම් වලින් පුද්ගලයන් හෝ කණ්ඩායම් හැඳින්වීම පාපන්දු ක්‍රීඩාවට පමණක් සීමා වුණු දෙයක් නොවෙයි. තවත් බොහෝ ක්‍රීඩාවල මෙන්ම වෙනත් බොහෝ කටයුතු වලදීද මේ කෙටි නම්(Nickname) යොදා ගනු අප දැක ඇත. කෙසේ නමුත් 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරන්න ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. ලෝක කුසලානය ආරම්භයට පෙර සිට සටහන් තැබූ පාපන්දු පිලිබඳ සටහන් වල අවසාන සටහන මෙය වනවා. නමුත් කුසලානය අතරතුරදී තවත් සටහන් කිහිපයක් තබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අවශ්‍ය මාතෘකාවක් ලැබුනොත්. 

ක්‍රිකට් සහ පාපන්දු ලෝලීන්ට අමතක නොවන තැනක් තමයි ESPN වෙබ් අඩවිය.ඔවුන් මෙවර ලෝක කුසලානය වෙනුවෙන්, එක්-එක් කණ්ඩායමේ ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ රුව යොදාගෙන මේ කණ්ඩායම් වලට ඇති අන්වර්ථ හෝ කෙටි නම් සහිත අලංකාර චිත්‍ර දාමයක් නිර්මාණය කරවා ගත්තේ බ්‍රසීල චිත්‍ර ශිල්පියෙකු සහ පරිගණක ග්‍රැෆික් නිර්මාණකරුවකු වන ක්‍රිස්ටියානෝ සෙකුයිරා ලවාය. හොඳයි අප මෙවර ලෝක කුසලානයේ A/B කාණ්ඩ දෙකට ක්‍රීඩා කරන කණ්ඩායම් අටට ක්‍රීඩා කරන රටවල් වල කෙටි නම් දෙස හැරී බලමු.

A කාණ්ඩය 

බ්‍රසීලය 


මෙවර සත්කාරක රට ඒ වගේම වඩාත් ජනප්‍රිය සහ කතාබහට ලක් වන බ්‍රසීල කණ්ඩායම හඳුන්වන්න නම් කිහිපයක්ම තිබෙනවා. Canarinho(කැනරින්හෝ) හෝ Little Canarinho යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ, බොහොමයක්  තරඟ වලදී සැරසෙන තද කහ පැහැති ජර්සිය සිහි ගන්වමින්. Verde-Amarela කොළ සහ කහ යන තේරුම සහිත තරමක් අප්‍රසිද්ධ තවත් නමකින් ඔවුන් හඳුන්වනවා. බ්‍රසීලයට ආවේනික නැටුම් ශෛලියක් වන සම්බා සිහි ගන්වමින් සම්බා කිංග්ස් යනුවෙන්ද ඔවුන් හඳුන්වනවා. ඒ ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන්ගේ පාද චලන හැකියාවන්  සම්බා නැටුමක යෙදෙන්නන්ට නොදෙවෙනි නිසා.  නමුත් වඩා ජනප්‍රියම නම ඉහල පින්තූරයේම පෙන්වන සෙලෙසෝ(Selection යන ඉංග්‍රීසි තේරුම සහිත වචනයක්). බ්‍රසීල ජනතාවා සාමාන්‍යයෙන් ඕනෑම පාපන්දු කණ්ඩායමක් හඳුන්වන්නේ මේ නමින්. නමුත් ඔවුන් ජාතික පාපන්දු කණ්ඩායම "The Selection" යන තේරුමෙන් හඳුන්වනවා.

ක්‍රොඒෂියා

වෙට්‍රෙනි යන පදයෙහි ඉංග්‍රීසි තේරුම "ද බ්ලෙසර්ස්" යන්නයි. බ්ලෙසර් යනු අතීතයේදී සුලබව ක්‍රීඩකයින් තරගයට පෙර අඳින කබාය යන්නෙහි ඉංග්‍රීසි තේරුමයි. ක්‍රීඩාංගනයේදී ක්‍රීඩකයින්ට දක්වන වේගවත් බව සහ උනන්දුව සහ උමතුවෙන් ඒ සඳහා සහයෝගය දක්වන ප්‍රේක්ෂයින් සිහි ගැන්වීමට මේ නම යොදාගෙන තිබෙනවා.

මෙක්සිකෝව
එල් ට්‍රි හෝ වඩාත් පැහැදිලිව එල් ට්‍රිකලර් (ද ත්‍රී කලර්) යනුවෙන් සඳහන් කරන්නේ වර්ණ තුන යන අදහසයි. මෙයින් මෙක්සිකානු ජාතික කොඩියෙහි ඇති වර්ණ තුන වන රතු, කොළ සහ සුදු යන්න අදහස ගැන්වෙනවා.

කැමරූන්
දි ඉන්ඩොමිටබල් ලයන්ස් (යටත් නොකළ හැකි සිංහයන්)

කැමරුන් රාජ්‍යය තමන්ගේ රටේ දේශ්‍රීය විදහා දක්වන සිංහ ගහනය සංරක්ෂණය සඳහා   තීරණාත්මක පරිශ්‍රමයක යෙදුන අතර, එමගින් මෙම සත්ත්ව වර්ගයාගේ දේශ්‍රිය ප්‍රසිද්ධිය වැඩි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. පාපන්දු කණ්ඩායමේ මෙම අන්වර්ථ නාමය මෙම මනෝභාවය ඇති කිරීමට බල කෙරෙන වා  මෙන්ම එම කණ්ඩායම තුල සෑම විටම ඇති ආත්මවිශ්වාසය සහ ශක්තියට හේතු වේ. "දි ඉන්ඩොමිටබ්ල් ලයන්ස්" මුලින්ම ලොව පුරා පුවත් පත් වලට මග සොයා ගත්තේ 1990 දීය. ඒ රොජර් මිල්ලා ඇතුළු කණ්ඩායම මුළු පාපන්දු ලොවම විශ්මයට පත් කරමින් අර්ධ අවසාන පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීමත් සමගය. මෙහිදී මූලික තරග වටවලදී මැ රඩෝනාගේ ආර්ජෙන්ටිනා කණ්ඩායම පැරදවීමද අමතක නොකළ හැකි කරුණකි.

B කාණ්ඩය 
ස්පාඤ්ඤය
ලා ෆියුරීයා රෝජා (ද රෙඩ් ෆියුරි)

මෙම අන්වර්ථ නාමය පිලිබඳ ඉතිහාසය 1920තෙක් දිව යන්නකි. ස්පාඥ්ඥ ජාතික කණ්ඩායමේ මුල් කාලවලදීම කණ්ඩායම මෙම නම ලැබීමට හේතු වූයේ, ඔවුන්ගේ දේහධාරී ශරීරත්, ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවත්, ඔවුන්ගේ ජර්සි වල වර්ණය වූ රතු(රෝජා යනු රක්ත වර්ණය යන අදහස ගෙන දෙන්නකි) මෙම නම ලැබීමට හේතු විය. ෆ්රැන්සිස්කෝගේ ෆ්‍රෑන්කෝ රෙජීමය පැවති යුගයේදී  "වියරුව (ලා ෆියරියා)" යන යෙදුම ස්පාඥ්ඥ ජනජීවිතයේ විවිධ තැන් වල විවිධ මුහුණුවරින් අසන්නට ලැබිණි. විශේෂයෙන්ම ස්පාඥ්ඥ සිවිල් යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේදී මෙය කියවිණි. මෙම නම එකතු වීමත් සමග ක්‍රීඩා විලාශයද සියුම්ව වෙනස් වනු දක්නට ලැබිණි. ටික-ටකා නමැති කෙටි පන්දුව හුවමාරු කිරීමේ ක්‍රමය යොදාගත්තද මෙම අන්වර්ථ නාමය දිගටම පැවතිනි.

නෙදර්ලන්තය

නෙදර්ලන්ත කණ්ඩායමේ තැඹිලි පැහැති ඇඳුමක් ඇඳීම ගැන බොහෝ දෙනාට පැහැදිලි අදහසක් නැත. ඒ ඔවුන්ගේ ජාතික දජයේ වර්ණයන් වන රතු, සුදු හෝ නිල් වලට කිසිදු සම්බඳතාවක් නොමැති නිසාය. නමුත් පිළිතුරු වන්නේ එය ඕලන්ද රාජකීයයන්ගේ වර්ණය තැඹිලි පැහැ වීමය(තැඹිලි නසාවූ නිවස). එය විලම් වෑන් ඔරේන්ජ් නමැති ස්පාඤ්ඤ  පාලනයට එරෙහි  අරගලය සංවිධානය කල පුද්ගලයා දක්වා දිව යන සිහිවටනයකි. 1648 දී ඔවුන් ස්පාඤ්ඤ පාලනයෙන් නිදහස් විය. 

චිලී
B කාණ්ඩය යටතේ කාණ්ඩ ගත කර ඇති ස්පාන්ක්ඤය මෙන්ම චිලි කණ්ඩායමද ල රෝජා ලෙස හඳුන්වයි. කෙටියෙන් ඔවුන් පළඳින රතු ඇඳුම සලකා මෙසේ ආමන්ත්‍රණය කරයි. චිලි කණ්ඩායම මුලින්ම රතු, නිල් සහ සුදු වර්ණ පෙළ සහිත ඇඳුම 1947 දී කෝපා ඇමරිකා තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරන ලදී.

ඔස්ට්‍රේලියාව
මෙය තේරුම් ගැනීමට එතරම් අපහසු එකක් නොවේ. නමුත් කණ්ඩායමට සොකරූස් නාමය ලැබීම තරමක් රසවත් කතාවකි. බොහෝ දෙනා ඒ සඳහා ගෞරවය ලබා දෙන්නේ සිඩ්නිහී මාධ්‍යවේදියෙකු වන ටෝනි හොර්ස්ටෙඩ් ටය. මෙම අදහස ඔහු ඉදිරිපත් කර ඇත්තේ 1967 දී වියට්නාමය බලා ගිය හොඳහිත වර්ධනය කර ගැනීමේ චාරිකාව කාලයේදීය. 1972 වනතෙක් සොකරූස් යන නාමය  විධිමත්ව භාවිතා නොවීය. එම වසරේදී ඕස්ට්‍රේලියානු පාපන්දු ෆෙඩරේෂණය ඔවුන්ගේ  ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ  ප්‍රයත්නයත් සමග  නව සංකේතයක් හඳුන්වා දීමත් සමග සිදු විය. පාපන්දු බූට් පැළඳ සිටින කන්ගරුවකු සහ ඊට පහතින් "1974 ලෝක කුසලාන සොකරූ" යනුවෙන් මුද්‍රණය කර තිබුණි. එම කාලයේදීම තම කොළම  මගින් බොහෝසෙයින් මේ වදන පුන-පුනා ලිවීම නිසා එය ඔස්ට්‍රේලියාව තුල ප්‍රචලිත විය. 

___________________________________________________
මේ දිනවල කාලය සහ අන්තර්ජාලය  පිලිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් මෙය කොටස් වශයෙන් ලියා පල කිරීමට සිදු වී ඇත. 

Friday, June 6, 2014

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන රටවල් කල ඉල්ලීම් ...... Demands made by World Cup Football Teams

පාපන්දු ගැන පොස්ට් එකක් ලියූ පසු ලැබෙන ප්‍රතිචාර එතරම් හොඳ නොවුනත්, මා මේ ගැන දක්වන උනන්දුවත්, කලින් පොස්ට් එකෙන් ලබා දුන් පොරොන්දුවත් අනුව මේ සටහන ලියා තබන්න සිතුනා. පහුගිය පොස්ට් එකෙන්ම මහේෂ් රත්නායක කරපු ඉල්ලීම නිසා මුලින්ම මෙවර ලෝක කුසාලනයේ නිල ගීතය ඉදිරිපත් කරන්නම්.  මෙයට හඬ එකතු කරන්නේ අපි කවුරුත් දන්නා ජෙනිෆර් ලෝෆේස් සහ බ්‍රසීලයේ පොප් ගායකයෙකු වන පිට්බුල්.බ්‍රසීලයට ආවේනික සම්බා(මම හිතන විදියට) නර්තනයක යෙදෙනෙ තරුණියන් මේ වීඩියෝව වර්ණවත් කරනවා. 

මේ කාන්තාවන් දෙදෙනා දුටු විට ඔබට මතක් වුනෙත් කෙන්ජයියාමද ?
කොහොම වුණත් අපේ අදහස මේ සඳහා සහභාගී වන රටවල් ඉල්ලා සිටි ඉල්ලීම් මොනවාදැයි සලකා බැලීමට. ඇත්තටම වෙනත් ක්‍රීඩා වල මෙවැනි ඉල්ලීම්(Demands) ගැන අහන්න ලැබෙනවා අඩුයි. එනිසා ප්‍රංශය ඇතුළුව අනෙකුත් කණ්ඩායම් කල මෙම ඉල්ලීම් සලකා බලන්නම වටිනවා. 
පෘතුගාලය : සියලුම කාමර වලට කන්සොල් එකක් බැගින් ඉල්ලා ඇත. මෙය කුමක් සඳහාද යන්න පැහැදිලිව සටහන් කර නෑ. මෙයට අමතරව ඔවුන් ආරක්ෂක නිලධාරීන් 6ක් ඉල්ලා තිබෙනවා. එයින් දෙදෙනෙක් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝව මුළු කාලය පුරාවටම බලා ගැනීම වෙනුවෙන් වෙන් කරන්නත් ඔවුන් තීරණය කරලා. 
ප්‍රංශය : මුලින්ම ඔවුන් ඉල්ලා සිටියේ සබන් කෑලි වෙනුවට දියර සබන්(Liquid Soap) තබන ලෙසට. ඉන්පසුව එය වර්ග දෙකකින් අවශ්‍ය බව සඳහන් කළා. ඒ ඇත සහ ශරීරය පිරිසිදු කිරීමට. ඔවුන් සබන් ගැන මෙතරම් වද වන්නේ ඔවුන් ප්‍රංශ ජාතිකයින් නිසාම බව තැනෙක මා කියවූවා. ප්‍රංශ බලධාරීන් පවසා සිටින්නේ සියලුම ක්‍රීඩකයන්ගේ කාමර වර්ණය දක්වාම එකම සමාන අයුරකින් තිබිය යුතු බවයි.  
උරුගුවේ : ඉතාම නිහඬ(Silent) වායු සමන යන්ත්‍ර සියලුම කාමර වල තිබිය යුතු යයි දන්වා තිබෙනවා. 
ඇල්ජීරියාව : සියළුම කාමර වලට කුරාණයේ පිටපතක් තැබිය යුතු බව පවසා තිබුණා. 
ඉක්වදෝරය : ක්‍රීඩකයන්ට නිදහසේ දිගෑදෙන්නට විශේෂ කාමරයක් සහ සියළු කාමර වල තිබෙන පලතුරු වට්ටි(Basket) සඳහා විවිධ වර්ග වල ඉක්වදෝර කෙසෙල් ගෙඩි තබන ලෙස ඉල්ලා තිබෙනවා. 
එංගලන්තය : ඔවුන්ගේ භාවිතාවට ආපන ශාලා තුනක් වෙන් කර තබන ලෙස ඉල්ලා තිබෙනවා. මෙයට අමතරව නවීනතම ගේම් වලින් සමන්විත වීඩියෝ ගේම් කාමරයක් ඉල්ලා ඇත. මෙම කාමරයේ රූපවාහිනී තිර තුනක් තිබිය යුතු බවද සඳහන්. පැය ගණනාවක්ම ඔවුන්ගේ තනි භාවිතාව සඳහා නාන තටාකය සහ ව්‍යායාම් ශාලාව(Gymnasium) වෙන් කර තබන ලෙස දන්වා තිබෙනවා. සියලුම කාමර සඳහා නවතම ලී බඩු සහ එහි පොලොව ලී වලින් අලුතෙන්ම නිමවීම, මල රහිත සඳළුතල සහ වායුසමන යන්ත්‍රද මේ ලැයිස්තුවට ඇතුලත්.
හොන්ඩුරාස් : සියළුම කාමර වලට තිබෙන නාලිකා වලට අමතර ස්පාඥ්ඥ නාලිකා පහක් ඉල්ලා ඇති අතර එයින් දෙකක් හොන්ඩුරාස් ඒවාම විය යුතු බව අවධාරණය කර ඇත. 
ජපානය : සියළු කාමර වලට ජැකුසි තටාකයක් තබන ලෙස ඉල්ලා තිබෙනවා. 
ඔස්ට්‍රේලියාව : ඔවුන්ගේ කාමර වලට ආසන්නයේ විශාල කෝපි මැෂින් දෙකක් සවි කරන ලෙසත්, එම ප්‍රදේශයේ ලෝකයේ විවිධ රටවලට අයත් විවිධාකාර ප්‍රවෘත්ති පත්‍ර තැබිය යුතු බවත්, ඔවුන්ට රතු මස්, මාළු සහ කුකුල් මස්  සහිත බ්‍රසීල ආහාර උවමනා බවත් එනමුත් ඒවා පිසීමේදී සෞක්‍යයට හිතකර සංකල්පයන් යටතේ සිදු කලයුතු බවත් සඳහන් කර ඇත. 
බොස්නියා සහ හර්සේගොවිනාව (එක රටක් - නැතිනම් ක්‍රීඩා කරන රටවල් 33 ලෙස දැකිය හැක ) : ක්‍රීඩකයන් සහ කළමනාකරුවන් ආහාර ගන්නා කොටසේ ඔවුන් දෙකොටස වෙන් කිරීම සඳහා ශබ්ධය එහා මෙහා නොයන තිරයක් සවි කරන මෙන් ඉල්ලා ඇත. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ, මෙම කොට්ඨාශ දෙකෙහි කතා මිශ්‍ර වීම වලක්වීමයි. 
ස්විස්ටර්ලත්නය : අධි වේගී අන්තර්ජාල සබඳතා සහ සියලුම කාමර සඳහා ස්විස් නාලිකා තිබිය යුතු බව ඉල්ලා ඇත. 
චිලී දේශය : කාමර සඳහා නව ඇඳන් සහ පැතලි තිර රූපවාහිනී තිබිය යුතු බව පවසා ඇත. 
කොස්ටරිකා : අධිසීත එක් විශාල කාමරයක්, සෝෆා, රුපවාහිනී සහ වීඩියෝ ගේම් සමග පැවතිය යුතු බව සටහන් කර ඇත. 
කොලොම්බියාව : වාසනාවන්ත (තරගයකින්) තෝරා ගත් යොවුන් ක්‍රීඩකයින් පහළොස් දෙනෙකු ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා සහයට අවශ්‍ය බව දන්වා ඇත. 
නමුත් ජර්මනිය කල දේ විශ්මය දනවන සුළුයි. ඔවුන් බ්‍රසීලයේ ඇති හෝටල් ගැන සෑහීමකට පත් නොවී අලුතෙන්ම හෝටල් සන්කීරණයක් සියළුම පහසුකම් සහිතව නිමවා ඇත. කැම්පෝ බහියා යනුවෙන් නම් කර ඇති මෙය නිවාස 13කින් සමන්විත ගම්මානයක්. එහි සෑම නිවසකටම කාමර පහ බැගින් ඇත. එවිට කාමර 65ක හෝටල් සංකීර්ණයක්. එයට ලඟම ඇති ගුවන්තොටුපලට දුර කි.මී. 15ක්. ඒ ඔවුන්ගේ ගමනාත්ත වෙත පහසුවෙන් ලඟා වීමට. මෙම තරගාවලියෙන් පසු සොබාව සහ ක්‍රීඩාව ඇති හෝටල් සංකීරණයක් බවට මෙය පත් වනු ඇති. 
FIFA world Cup 2014 schedule ෆිෆා ලෝක කුසලානයේ තරග සටහන කණ්ඩායම් බෙදී ඇති ආකාරය
පින්තූරය ගත්තේ : http://www.wisconsinsoccercentral.com
මේවා දුටු විට ඔබට හිතෙන දේ මට හිතා ගැනීමට පුළුවන් වුවත්, ඒ සඳහා ඔබට ඉඩ සපයා බලා සිටීමට සිත් විය. නමුත් තවත් රටවල් 17 කිසිදු ඉල්ලීමක් කර නෑ. 

Tuesday, June 3, 2014

මෙවර ලෝක කුසලානයේදී පාපන්දු ක්‍රීඩාවටත් තාක්ෂණය හඳුන්වාදීමට යයි...... Introduction of Technology To Football in this World Cup.

2014 පාපන්දු ලෝක කුසලානයට ඇත්තේ හරියටම තවත් දින 8ක් පමණයි. පාපන්දු ක්‍රීඩාව සඳහා තාක්ෂණය මේ දක්වා යොදා නොගත්තේ, එමගින් ක්‍රීඩාවේ ඇති උද්වේගකර බව ගිලිහී යන නිසාවෙනි. ක්‍රිකට් හෝ ටෙනිස් ක්‍රීඩා වල දැනට යොදා ගන්නවා මෙන් ක්‍රීඩාව නවතා විනිසුරු තීරණ තාක්ෂනය මගින් නිවැරදි කිරීම සඳහා තරගය නතර කළොහොත්, යලි තරගය ආරම්භ කිරීම තනිකරම විහිළුවක් බවට පත්වීම නොවැලක්විය හැකි දෙයකි.මන්ද පාපන්දු තරගයක් නැවතුන පසු එය යලි සුපුරුදු රිද්මයට පැමිණීමට යම් කාලයක් ගත වන බැවිණි.
Interesting facts about fifa world cup 2014 ෆිෆා ලෝක කුසලානය පිලිබඳ රසවත් තොරතුරු
පින්තූරය ගත්තේ : http://www.flipoutmama.com

පසුගිය ලෝක කුසලානය අවසානයේදීම, මෙවර තාක්ෂණය යොදා ගන්නා බවට ඉඟි පළ කර තිබුණි. මගේ මතකය නිවැරදි නම් ඒ Off Side අවස්ථා හඳුනා ගැනීම සඳහායි. සාමාන්‍යයෙන් Off Side(පන්දුව රැගෙන යන කණ්ඩායමේ ක්‍රීඩකයන් එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට පන්දුව ලබා දුන් විට, එම ක්‍රීඩකයා පන්දුව ලබා ගනිද්දී සිටියේ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින්ට ඉදිරියෙන්ද යන්න තීරණය කිරීම) සඳහා තීරණ ලබා දෙන්නේ පැති විනිසුරු වරුන්ය. නමුත් එම තීරණ ඔවුන් වරද්දා ගත අවස්ථා බොහොමයක් අප දැක ඇත. ඒ රූපවාහිනී තිරය තුලින්ය. නමුත් පැති විනිසුරු වරුන් ක්‍රීඩකයා දුවන වේගයෙන්ම දාවනයේ යෙදෙමින්ම, මේ පිලිබඳ තීරණය ගත යුතුය. වරක් ප්‍රතිවාදී ගෝලය අසල තණකොළ කැපීම, කුඩා තීරු වලට බෙදා සිදු කිරීමන් මෙය පහසු කර ගැනීමට හැකි බවට මත පල විය. තවත් අය එය තාක්ෂනය යොදාගෙන සිදු කල හැකි බවට තර්ක කළහ. පන්දුව තුල ජංගම දුරකථන වල ඇති ආකාරයේ මයික්‍රෝ චිප් එකක් රැඳවීමෙන් මෙයේ සිදු කිරීමටද පර්යේෂණයන් සිදු විය. මෙවර එය නියත වශයෙන්ම සිදු වන බවද නිවේදනය කළහ. එහෙත් සියල්ල පසෙක දමා මෙවර තාක්ෂනය යොදා ගන්නට යන්නේ මේ කිසිවක් හෝ ඉහත කී දේ සඳහා නොව, ගෝල් ලබා ගැනීම විනිසුරු නිවැරදිව දුටුවාද යන්න පෙන්වා දීම සඳහාය. 

ඒ සඳහා කදිම පසුබිම් කතාවක්ද වෙයි. මුළු ලෝකයම නිවැරදිව දුටු එංගලන්ත ක්‍රීඩක ෆ්රෑන්ක් ලම්පාඩ් විසින් ලබා ගත් ගෝලය, එම ක්‍රීඩාංගනයේ විනිශ්චයේ යෙදුනු විනිසුරු තුමා නොදැකීම කනගාටුවට කරුණකි. එහෙත් සාමාන්‍ය මිනිසෙකු ඇසිපිය හෙලන මොහතක සිදු වූ සියල්ල කැමරා කාච මත සටහන් විය. එනිසා එය ගෝලයක් බව ලෝකයාම දුටුවේය. අසරණ විනිසුරුවා තරගය දිගටම ක්රියාමතක කරවීය. පහත වීඩියෝව එයට සාක්ෂි සපයයි. යම් හෙයකින් එය ගෝලයක් ලෙස සටහන් විණි නම්, කණ්ඩායම දෙකෙහිම ලකුණු සමාන වෙයි. 

සියල්ල සිදු වන්නේ යහපතටයි කියා අප කුඩා කාලයේ පටන් කියන කියමනට කදිම සාධාරණයක් ගෝල පිරික්සීමට නව තාක්ෂනය හඳුන්වා දීමෙන් ලබා දේ. පෙර සඳහන් කල පරිදිම ක්‍රීඩාවේ ගලායාමට බාධාවක් නොවන්නට එය සිදු කරන්නට ඔවුන් වග බලාගෙන ඇත. තරග පැවැත්වෙන සෑම ක්‍රීඩාංගනයකම ඇතුලත රාමුවේ සවි කරන කැමරා 14ක් මේ සඳහා යොදා ගනී. මේ අනුව කැමරා 7ක් මගින් එක් ගෝලයක් ආවරණය වන බව පැහැදිලිය. මෙම කැමරා 7 අංශක 360 ම ත්‍රිමානව ආවරණය කිරීමට සමත් වේ.  මේවා  සියල්ලම මධ්‍යගත මේන්ෆ්‍රේම් වර්ගයේ පරිගණකයක් වෙත සම්බන්ධ කර ඇත. තරගය සඳහා යොදා ගන්නා පන්දුව ගෝල රේඛාව පසු කරත්ම විනිසුරුවරයාගේ අතේ බැඳී ඔරලෝසුව දෙදරීම(Vibrate) මගින් ඒ බව විනිසුරු වෙත දැනුම් දේ. ඉන් නොනැවතී එම ඔරලෝසුවේ මුහුණත මත "GOAL" යනුවෙන් සටන් වේ. මෙම තොරතුරු ඔරලෝසුව වෙත සම්ප්‍රේෂණය කරන්නේ මධ්‍යගත මේන්ෆ්‍රේම් පරිගණයකයයි. අත්හදා බැලීමක් වශයෙන් මෙම තාක්ෂනය 2013 බ්‍රසීලයේදීම පවත්වන ලද අන්තර් - මහද්වීපික තරගාවලියේදී යොදා ගන්නා ලදී. අප බොහෝ දෙනෙකුට ලෝක කුසලාන තරගයකදී ලබා දුන් අසාධාරණ එක් තීන්දුවක් වත මතක තිබේ. 2010 ලෝක කුසලානයේදී ලම්පාඩ් ලබාගත් ගෝලය සඳහා මුළු ලෝකයක් සාක්ෂි සපයන මොහොතක එක් දෑසක් එය නොදක තිබීම අතිශය කණගාටුදායක සිදුවීමකි. එම එක පුද්ගලයා තරගයේ විනිසුරු වීම මේ කනගාටුව වඩාත් තීව්ර කරයි. ඒ කාලයේ තිබූ පැහැදිලි කෝපය සහ අපේක්ෂා භංගත්වය සතුටක් සහ සහනයක් බවට පත් කරන්නට මෙමෙ තාක්ෂණික විසඳුම සමත් වී තිබේ. වඩාත් වටින්නේ එය තරගය නරඹන ඔබට මට නොදැනෙන්නට සිදු කිරීමයි.
ගෝල රේඛාව හෝ ගෝල් ලයින් (Goal Line) යනුවෙන් හඳුන්වන මෙම තාක්ෂනය, ඉදිරියේදී විනිසුරු තීරණ වඩාත් නිවැරදි කරන ගමන්, විනිසුරු වරයාට කදිම සහයක් සපයයි.   ඔබ දන්නවාද ? 
  • ගෝල් ලයින් තාක්ෂණය යොදා ගන්නා පළමු ලෝක කුසලානය මෙය වනු ඇති.
  • තරග සංවිධායක කමිටුවට බ්‍රසීල ලෝක කුසලාන ජයගත් කණ්ඩායම් නියෝජනය කල ක්‍රීඩකයින් පස් දෙනෙකු යොදා ගනු ඇත. 
  • බ්‍රසීලයේ ලෝක කුසලානය පැවැත්වෙන දෙවන වතාව මෙයයි.
  • ලෝක කුසලානයක් දෙවරක් සංවිධානය කල පස්වෙනි රට බ්‍රසීලයයි.
  • ලතින් ඇමෙරිකාවට ලෝක කුසලානය පැමිණෙන්නේ අවුරුදු 36කත පසුවයි. 
  • මෙවර ලෝක කුසලානය සංවිධානය කිරීමට ආර්ජෙන්ටිනාව සහ කොලොම්බියාවද කැමැත්ත පල කර තිබුණි.
  • නගර 17 ලෝක කුසලානය සංවිධායක නගරය වන්නට බලාපොරොත්තු විය.
  • ප්‍රථම වතාවට එක ළඟ ලෝක කුසලාන දෙකක් යුරෝපයෙන් පිට පැවැත්වීම. 
  • 2014 ලෝක කුසලාන තරගාවලිය රූපවාහිනී තිරය මත නිල  විවෘත කිරීම සජීවිකරණ  වීඩියෝවක් ලෙස ඉදිරිපත් කෙරේ.
  • නියමුවන්  රහිත ඩ්‍රෝනා යාත්‍රා සහ එක්සත් ජනපද රොබෝවන් මෙම ලෝක කුසලානයේදී යොදා ගනු ඇත. 
  • ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ඇති තරගාවලිය මෙය වනු ඇත.
  • විරෝධතා වැළක්වීමේ අරමුණින් ෆිෆා ලෝක කුසලානය වෙනුවෙන් කතා පැවැත්වීම පිටු දැක ඇත.
  • මෙවර ලෝක කුසලානයේ ආරම්භක පා පහර, දෙපා පන නැති දරුවකු විසින් සිදු කරනු ඇත. මින් පෙර ඉතා ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් මෙය සිදු කර ඇත.
  • කාලගුණ තත්වයන් මත තරග දෙතුන් වතාවක් තාවකාලිකව නැවතීමට විනිසුරුවන්ට අවස්ථාව.
  • නිල ලෝක කුසලාන ගීතය "අප සියල්ලන්ම එකයි"(We are one) ලෙස නම් කර ඇත.
  • නිල ලෝක කුසලාන ජයගීතය "අප මගක් සොයමු" (We will find a way) යනුවෙන් නම් කර ඇත.
  • කොකා-කෝලා නිල ජයගීතය "ලෝකය අපෙයි" (World is ours) යනුවෙ නිමවා ඇත.
  • රිකී මාර්ටින් ලෝක කුසලාන ජයග්‍රහණයේ ගීතය ගයනු ඇත. 
  • ගියවර ලෝක කුසලානය ගැයූ ශකිරා මෙවරද ගීතයක් පටිගත කර ඇත.
  • නිල 2014 ලෝක කුසලාන ගීත ඇල්බමයට ගීත 17ක් ඇතුලත් වේ.
  • වර්ග දෙකක සබන් වර්ග සියලුම හෝටල් කාමර වල තැබිය යුතු යයි ප්‍රංශය ඉල්ලා ඇත.
  • ජර්මනිය ඔවුන්ගේම ලෝක කුසලාන හෝටලයක් සහ පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කොට ඇත.
  • ෆිෆා ලෝක කුසලානය බ්‍රසීලය වෙත පැමිණියේ දින 267ක් දිගු ගමනකින් පසුවයි.
  • ජනප්‍රිය සිම්ප්සන් කාටූන් වැඩසටහන ලෝක කුසලානය වෙනුවෙන් පිළිගන්වා ඇත.
  • වාර්තාගත ස්වේච්ඡා සේවක අයදුම්පත් ප්‍රමාණයක් ෆිෆා වෙත ලැබිණි.
  • බ්‍රසීල වඩාත්ම මිල අධික කණ්ඩායම බවට පත් වී ඇත.
  • ලයනල් මෙසී වඩාත් මිල අධික ක්‍රීඩකයා වී ඇත.
  • මෙවර ජය ලබන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 35ක මුදලක් ලැබෙනු ඇත.
  • නිදහස් පහර සඳහා ස්ථානය ලකුණු කිරීමට, තාවකාලික අතුරුදහන් වන ස්ප්‍රේ කෑන් විනිසුරුවන් යොදා ගනු ඇත. 
  • නිල ටී ෂර්ට් යට පණිවුඩ පාඨයන් සටහන් කරන ක්‍රීඩකයන්ට ෆිෆා මගින් තහනම් පැනවෙනු ඇත. 
  • සහභාගී වන රටවල් තුනක් තරගාවලිය තුලදී කිලෝ මීටර 14000 කට අධික දුරක් ගමන් ගනු ඇත. 
  • ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් තරග සඳහා බොස්නියා සහ හර්සගොවිනා සුදුසුකම් ලබා ඇත. 
  • පෘතුගාලයට එරෙහි ජර්මානු තරගය ඔවුන්ගේ 100 වන ලෝක කුසලාන තරගය වනු ඇත.
  • ගෝල 15 වේ රොනල්ඩෝගේ වාර්තාව බිඳ දැමීමට මිර්ස්ලාව් ක්ලොසේ බොහෝ දුරට සමත් වනු ඇත. ඔහු මේ වනවිට ගෝල 14ක් ලබාගෙන ඇත.
  • ලෝක කුසලාන තරගය තවමත් දිනා නැති කණ්ඩායම් වනුයේ හොන්ඩුරාස් සහ බොස්නියා හර්සගොවිනා යන රටවල් දෙකයි.
  • කිසිදු ස්කැන්ඩිනේවියන් රටක් මෙවර ලෝක කුසලානය සඳහා තරග නොකරනු ඇත. 
  • 2006 දී හඳුන්වා දුන් ෆිෆා පාඨක තරගාවලිය මෙවරද පැවැත්වෙනු ඇත. 
  • අවසන් කණ්ඩායම් 32න් බොහෝ කණ්ඩායම් ඔවුන්ගේ කඳවුරු සාවෝ පෝලෝ සහ රියෝ ද ජැනීරෝ යන නගර දෙකෙහි පිහිටුවාගෙන ඇත.
  • මුළු ලොවම ලෝක කුසලාන තරග විකාශනය කරනු ඇත.
  • විනිසුරුවන් 25ක් තරග විනිශ්චය කරනු ඇත.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...