Wednesday, May 28, 2014

මගේ පුංචි ආමඩිල්ලෝ ...... My Little Armadillo

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සුරතළුන් ගැන මා ලියූ සටහනේ අවසන් කොටසේ සඳහන් කළපරිදි තවත් දින කිහිපයකින් ආරම්භ වන 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් තෝරාගෙන ඇති මැස්කොට් හෝ සුරතලා වන ආමඩිල්ලා ගැන. ඔවුන් ආමඩිල්ලා මේ සඳහා තෝරා ගැනීමට හේතුවත් එහිදී සඳහන් කළා ඔබට මතක ඇති. යලිත් මතක් කලොත් ආමඩිල්ලා කියන්නේ ලෝකයේ වඳවීමේ තර්ජනයට ගොදුරු වී ඇති තවත් අහිංසක සත්ව කොට්ඨාශයක්. ඒ ගැන අහන්න සිදු වූ මොහොතේ සිට, මට මේ අහිංසකයා ගැන සෙවීමේ පිපාසාවක් ඇති වුණා. පෙරදින උදෑසන ඒ ගැන හොයා බලන්නත් මා අමතක කලේ නෑ. මේ ගැන කියවන විට මට කුඩා අනුකම්පාව මුසු ආදරයක් මේ සතා  ගැන ඇති වුනා. 


නැෂනල් ජෝග්‍රැෆික් වෙබ් අඩවියේ ආමඩිල්ලා ගැන තිබූ මේ සටහන පරිවර්තනය කරන්නට සිතුවේ, සයිබර් අවකාශයේ සිටින සංවේදී පාඨක පිරිස සහ ඔවුන්ගේ දූ දරුවන් සමග එය බෙදා ගැනීමේ අරමුණෙනි.
ආමඩිල්ලා පිලිබඳ ජීවන විස්තර Armadillo NGC National Geographic article translated
ආමඩිල්ලෙකු වනයතුල බිම් ස්ථරය පීරමින් අහර සොයන අන්දම. ඔවුන්ට
ඉතාම දුර්වල  පෙනීමක් ඇති නමුදු, තියුණු ආඝ්‍රහණ ශක්තියක් සහ
හෑරීමට උපකාර වීම සඳහා දිගු නිය පෙළක් පිහිටා ඇත. 

ලතින් ඇමරිකානු භූමි ප්‍රදේශය තුල දැනට ජීවත් වන්නේ 20ක් පමණ ආමඩිල්ලන් ප්‍රබේද වලින් එක් වර්ගයක සතුන්ය.  වඩාත් හුරුපුරුදු මුදු(පිට මත පිහිටා ඇති කටු කොටස්) නවයේ ආමඩිල්ලන් ප්‍රබේදය එක්සත් ජනපදයත් ඇතුළුව ඔවුන් ජීවත් වන කළාපය තුල වාසය කරයි.

කහ පාටින් පෙන්වා ඇත්තේ 
ආමඩිලලන් වාසය කරන 
ප්‍රදේශයයි.
__________________________

ආමඩිල්ලෝ යනු "කුඩා ආරක්ෂක ආවරණයක් ඇත්තා" යන තේරුම දෙන ස්පාඤ්ඤ වචනයකි. එයට හේතුව මෙම සත්ත්වයාගේ හිස, පිට, පාද සහ  වලිගය වසා පිහිටා ඇති විකාරරූපී තද
කටුපෙළක්(ඉබිකටුව වැනි)  සහිත මැවිල්ලක්  නිසාය. එවැනි කටුවකින් සැරසීගත් දැනට ජීවත් වන එකම ක්ෂීරපායී සත්ත්ව ප්‍රබේදය ලෙස ආමඩිල්ලන් සැලකේ.    



|  අඩි 6 ක් උස මිනිසෙකුට සාපේක්ෂව
|  ආමඩිල්ලකුගේ ප්‍රමාණය.

|   ___________________________
| තොරතුරු කෙටියෙන්
|
|  වර්ගය : ක්ෂීරපායි
|
|  ආහාර රටාව : සර්වභාක්ෂක
|
|  සාමාන්‍ය ආයුකාල පරාසය : 
|  අවුරුදු 12 ත් 15 අතර
|
|  ප්‍රමාණය : අඟල් 5 සිට 59 දක්වා (සෙ.මී. 
|   13 සිට 150 දක්වා)
|
|  බර : අවු. 3 සිට රා. 120 දක්වා (ග්‍රෑ. 85
|  සිට කි.ග්‍රෑ. 54 දක්වා)
|
|  ආරක්ෂක තත්වය :  අනතුරුදායකයි
|
|  ඔබ දන්නවාද ? : මුදු නවයේ 
|  ආමඩිල්ලන් රතවාහනවලාට යට 
|  වීමේ අවාසනාවන්ත ප්‍රවනතාවක් වී
|  ඇති අතර එය "වේග පාලක ගොඩැල්ල" 
|  යන අන්වර්ථ නාමය ලැබීමට හේතු වී ඇත.
|
ඈන්ට් ඊටර්ස් (කුහුඹුවන් පමණක්
ආහාරයට ගන්නා කබැල්ලෑ වර්ගයක්) සහ ස්ලොත් නමැති සත්ත්ව විශේෂයන්ට ඉතා ළඟ නෑකම් දක්වන ආමඩිල්ලන්ට උල් හෝ සවලක් මෙන් හොම්බක් සහ කුඩා ඇස් ඇත. ඔවුන් ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල වශයෙන් වෙනස්කම් දක්වයි. සෙන්ටි මීටර් 15(අඟල් 6) සිට සැමන් මාළුවාගේ රෝස පැහැයට සමාන මීටර්1.5 (අඩි 5 ක්) පමණ දිග ආමඩිල්ලන්ද,  තද දුඹුරු ආමඩිල්ලන්ද වේ. අනෙකුත් සතුන් කළු, රතු, අළු හෝ කහ පැහැයට හුරු වර්ණයන්ගෙන් යුක්තය.

සෑම ආමඩිල්ලකුටම තමන්ගේ කටුව තුලට රිංගා ගැනීමට නොහැකි බව ප්‍රතිවිරුද්ධ සිට  පොදු අදහස් දක්වන්නන්ගේ පිළිගැනීමයි. මුදු(පිටේ ඇති කටු) තුනේ ආමඩිල්ලන්ට පමණක් තම කටුව තුලට රිංගා ගත හැකිවන අතර, තම හිස සහ පිටුපස පාද රැලි ගන්වමින් සහ උන්ගේ කටුව පාලනය කරමින් තද බෝලයක් සේ ක්‍රියා කරන්නේ විලොපීයන් පලව හැරීමටය.

ආමඩිල්ලෝ වැසිවනාන්තර, තෘණභූමි සහ අර්ධ-කාන්තාර  ඇතුළුව උණුසුම් සහ සමෝෂ්ණ වාසස්ථාන වල ජීවත් වේ. ඔවුන්ගේ අඩු පරිවෘත්තීය අනුපාතය සහ ඌන මේධ තැන්පතු නිසා සීතල ඔවුන්ගේ සතුරෙක් වන අතර  පමණ ඉක්මවා සිදුවන හදිසි ජල ගැලීම්  සමස්ථ ගහනයම අතුගා දැමීමට ප්‍රමාණවත්ය.

බොහෝ විශේෂයන් ගුල් හාරා දිනකට පැය 16 පමණ ඵලදායක නින්දක් ලබා ගන්නා අතර, හිමිදිරියේ සහ සහ සන්ධ්‍යාවේ  කුරුමිණීන්, කුහුඹුන්, වේයන් සහ අනෙකුත් කෘමීන් ආහාරයට ගැනීම සඳහා බලා හිඳීී.  ඉතා දුර්වල ඇස් පෙනීමක් සහිත  මොවුන් දඩයම් සඳහා භාවිතා කරන්නේ තියුණු ආඝ්‍රාහන ශක්තියයි. ශක්තිමත් පාද සහ තියුණු නිය  හෑරීම සඳහා ඉවහල් වන අතර දිගු ඇලෙනසුළු දිව කුහුඹුවන් සහ වෙයන් ඔවුන්ගේ තුඹස් වලින් ඇද ගැනීමට යොදා ගනී. කුහුම්බුවන්ට අමතරව ආමඩිල්ලන් කුඩා පෘෂ්ඨවංශිකයන්, පැලෑටි සහ සමහර පලතුරු වාගේම ඉඳහිට මලකුණුද ආහාරයට ගනී. 

සියළුම සත්ත්ව කොට්ඨාශයන්හී ගහන අගයයන් තර්ජනයට ලක්වන්නේ නිජබිම් අහිමි වීම නිසා  සහ අධි-දඩයම් නිසාය. උතුරු/දකුණු ඇමරිකාවල බොහොමයක් දෙනා ආමඩිල්ලන් පරිභෝජනයට ගන්නේ ඔවුන්ගේ මස ඌරු මස් වලට රසයෙන් සහ ස්වහාවයෙන් සමාන බැව් කියමිනි. වර්තමානයේ මුදු - නවයේ ගහනය වර්ධනය වුවද,  රෝසපහැති දිව්‍යමය වර්ගය ඇතුළු බොහෝ විශේෂයන් තර්ජනයට ලක්ව ඇත. 

නැෂනල් ජෝග්‍රෆික් වෙබ් අඩවියේ  (This is a translation of article published in National Geographic Web Site) පලවූ http://animals.nationalgeographic.com/animals/mammals/armadillo/ ලිපියේ පරිවර්තනයකි. 

Sunday, May 25, 2014

පාපන්දු ලෝක කුසලානයේ සුරතළුන් ...... Official Mascots of FIFA World Cup

තවත් සති තුනකින් බ්‍රසීලයේ රියෝ ද ජෙනීරෝ නගරයේදී  ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය හරියටම මාසයක් පුරා පැවැත්වෙනු ඇති. ඒ සඳහා ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරනා කළාප වලින් කණ්ඩායම් 32ක් මේ වනවිටත් තෝරාගෙන අවසන්. පස් වතාවක්ම ජූල්ස් රෙමිට් නම් මෙම කුසලානය හිමිකරගත් ප්‍රබල බ්‍රසීල කණ්ඩායම මෙවරත් එය සතු කර ගනී යන විශ්වාසය බොහෝ දෙනා තුල තිබෙනවා. ඒ වගේම විචාරකයන් පවා එවැනි මතයන් පල කරනවා. නමුත් අද අප සලකා බලන්නේ පාපන්දු ලෝක කුසලානය සමගම අපට නිරතුරු සිහිපත් වන තවත් දෙයක් වන ලෝක කුසලාන සුරතලුන් පිළිබඳව.

http://www.pinterest.com
1966දී බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ තරගාවලියත් සමග ෆිෆා ලෝක කුසලානය සඳහා සුරතලුන් හදුන්වාදීම සිදු වුනා. එදා පටන් මේ දක්වා පැවැත්වූ සියලුම ලෝක කුසලාන සඳහා මැස්කොට් හෝ මේ සුරතලුන් හඳුන්වා දුන්නා. මෙහි ආකෘතිය පැවැත්වෙන රටට ආවේනික දෙයක් මත පදනම් වනවා. ඒ එක්-එක් වසරවල සුරතලුන් ගැන අප දැන් සලකා බලමු.

1966 බ්‍රිතාන්‍යය -  මෙම පළමු ලෝක කුසලාන සුරතලා තෝරා ගත්තේ ඒ සඳහා පැවැත්වූ තරගාවලියකින් පසුවයි. World Cup willie යනුවෙන් මෙම තෝරා ගැනීමේ තරගාවලිය හඳුන්වනු ලැබුවා. ලංකාවේ වගේම එංගලන්තයේත් ජාතික සත්වයා ලෙස සැලකෙන්නේ සිංහයා. එනිසා එංගලන්ත කොඩියෙන් නිමවන ලද ටී ෂර්ට් එක මත "WORLD CUP" යනුවෙන් සටහන් කර තිබුනා.

1970 මෙක්සිකෝව  - ජුආනිතෝ යනුවෙන් හැඳින්වූ මෙම සුරතලා, මෙක්සිකන් පාපන්දු ඇඳුමින් සහ "සොම්බ්‍රේරෝ" නම් මෙක්සිකානු තොප්පියකින් හැඩගැන්වුනා. එම තොප්පියේ  "MEXICO 70" යනුවෙන් සටහන් කර තිබුනා. ජුආනිතෝ යන නාමය මෙක්සිකෝවේ වැඩියෙන්ම භාවිතා වන නමක් වන "ජුවාන්" යන නම ආශ්‍රිතව නිර්මාණය කරන ලද්දක්.

 1974 බටහිර ජර්මනිය - බර්ලින් තාප්පයෙන් නැගෙනහිර බටහිර වශයෙන් වෙන්ව පවතී සමයේදී බටහිර ජර්මනියේදී පැවති මෙම තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කල සුරතලා ටිප් සහ ටැප් යනුවෙන් නම් කළා. ජර්මන් ඇඳුමින් සැරසුණු කුඩා පිරිමි ළමුන් දෙදෙනක් ටිප් සහ ටැප් ලෙස මෙම 74 සුරතලුන් බවට පත් වුණා.  එම ටී ෂර්ට් වල ඉංග්‍රීසි WM සහ 74 යන්න මුද්‍රණය කර තිබුණා. WM යනුවෙන් සටහන් කලේ Weltmeisterschaft යන ජර්මානු වදන. එහි තේරුම වනුයේ ලෝක ශූරතාවය යන්නයි.

1978 ආර්ජෙන්ටිනාව - ගුආචිතෝ ලෙසින් නම් කල කුඩා පිරිමි ළමයෙකු අර්ජෙන්ටිනා ඇඳුමින් සැරසී සිටිනු මෙම මැස්කොට් එකෙන් දැක්වුණා. එම සුරතලා පැළඳ තිබෙන තොප්පියේ ARGENTINA '78 යනුවෙන් සටහන්ව තිබුණා. එයටම ගැලපෙන් ගෙල පළඳින ලේන්සුවක් සහ සතුන් පාලනය කරන කෙවිටක් මේ ළමයා අත ඇති ලෙස නිර්මාණය කර තිබුණා.

1982 ස්පාඤ්ඤය - නරන්ජිතෝ යනුවෙන් නම් කල මෙය දොඩම් ගෙඩියක් ලෙස පෙනී සිටින පාපන්දු ක්රීදකයෙකුගෙන් සැරසුණා. සුපුරුදු පරිදි පවත්වන රටේ පාපන්දු ඇඳුම් වලින් එයද සැරසී සිටිනු පෙනුණා. නරන්ජිතෝ යන නම ස්පාඤ්ඤ භාෂාවෙන් දොඩම් සඳහා භාවිතා කරන නරන්ජා යන වචනයෙන් සාදා ගන්නා ලද්දක්.

1986 මෙක්සිකෝව - මෙක්සිකෝව ප්‍රසිද්ධියක් උසුලුන මිරිස් කරලකින් 1986 සුරතලා නිර්මාණය කෙරුණා. පිකේ යනුවෙන් නම් කල සාම්ප්‍රදායික උඩු රැවුලකින් සහ මෙක්සිකානු තොප්පියකින් සැරසුණා. පිකේ යන නම පිකැන්තේ යනුවෙන් සැර යන තේරුම සහිත ස්පාඤ්ඤ වදනින් බිඳී ආවක්.

1990 ඉතාලිය - කෝටුකිතයි රූපයක් පාපන්දු ක්‍රීඩා කරන විලාසයක් මෙම මැස්කොට් එක වශයෙන් යොදා ගැනීම විශේෂයක්. එහි හිස පාපන්දුවක් ලෙස ගෙන, ශරීරය ඉතාලියානු කොඩියේ පාටින් සරසා තිබුණා. මෙය නම් කලේ සියාඕ ලෙසින්. එය ඉතාලි සුබපැතුම් පතන වචනයක්.

1994 එක්සත් ජනපදය - ඇමෙරිකාවේ සුලබම සුරතලා වන බල්ලෙකුගේ හැඩරුවින් මෙය සංකේතවත් වුණා. සුපුරුදු පරිදි පවතින රටේ පාපන්දු ඇඳුමින් එයද සරසා තිබුණා. "USA 94" යන වදනද එහි සඳහන්ව තිබුණා. එය නම් කලේ "Striker, the World Cup Pup" යනුවෙන්.

1998 ප්‍රංශය -  ප්‍රංශයේ ජාතික සංකේත වලින් එකක් වන කුකුළා ඒ සඳහා තෝරා ගත්තා. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල ඇඳුම මත FRANCE 98 යනුවෙන් මුද්‍රණය කර තිබුණා. ෆූටික්ස් යනුවෙන් නම් කල එය, පාපන්දු සංකේතවත් වන Foot සහ Asterix යන විකට නම් දෙක එකතුවෙන් සාදන ලද්දක්. මේ සඳහා විකල්ප ලෙස රැෆී(Raffy), හෞපි(Houpi)  සහ ගැලික් (Gallik) යන නම්ද යෝජනා වුණා.

2002 දකුණු කොරියාව සහ ජපානය - ප්‍රථම වරට ආසියාවට ලැබුණු මෙම තරගාවලිය පැවැත්වුනේ ජපානය සහ දකුණු කොරියාව යන රටවල් වල. පරිගණක මගින් නිර්මාණය කරන ලද සත්ව රූප තුනක් මේ සඳහා යොදා ගත්තා. ඔවුන් නමින් අටෝ(Ato), කස් (Kaz) සහ නික්(Nik) ලෙස නම් කෙරුණා. මෙයින් අටෝ පුහුණුකරු ලෙසස්ද අනෙක් දෙදෙනා ක්‍රීඩකයින් ලෙසද නම් කෙරුණා. Atmoball යනුවෙන් හැදින්වෙන මනඃකල්පිත පාපන්දු ක්‍රීඩාවේ ක්‍රීඩකයන් ලෙස මේවා යොදා ගත්තා. මෙම නම් තෝරා ගත්තේ අන්තර්ජාලය සහ මෙම රටවල් දෙකේ මැක්ඩොනල්ඩ් අවන්හල් වලට යනෙන ජනතාවගේ මත විමසුමකින්.

2006 ජර්මනිය - ගෝලියෝ VI ලෙසින් නම් කෙරුණු මෙය සිංහයෙකු අතෙහි පාපන්දුවක් තබාගෙන සිටින අයුරක් පෙවන්නක්. මෙම සිංහයා පැළඳ සිටින ටී ෂර්ට්ය මත අංක 6 සටහන්ව තිබුණා. ගෝලියෝ යන වදන Goal සහ Leo යන වදන් එකතු කර සකසන ලද්දක්. මෙම පාපන්දුව පිල්ලේ (Pille)  ලෙස නමුත් කෙරුණා. එය ජර්මන් බසින් පාපන්දුවට කියන වෙනත් නමක්.

2010 දකුණු අප්‍රිකාව - මෙය නම් කලේය සකුමි(Zakumi) යනුවෙන්. එය දකුණු අප්‍රිකාවට ආවේනික දිවියකු ලෙසින් හැඩ ගන්වුනා. Za යනුවෙන් දකුණු අප්රිකාවද Kumi  යනුවෙන්  අප්‍රිකාවේ භාවිතා වන බොහෝ භාෂාවලින් දහය ලෙසට ගැනෙන වදනත් සටහනේ කෙරුණා. මෙම දිවියාගේ හිසකෙස් කොළපාටින් සහ ශරීර කොටස් රත්‍රන් පාටින් සලකුණු කලේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නිලධාරීන් ඇඳුමේ වර්ණ සිහිගන්වන්න.

2014 බ්‍රසීලය -
bbc.co.uk
ආර්මඩිලෝ කියන්නේ වඳවෙමින් යන සත්ත්ව  කොට්ඨාශයක්. ෆුලේකෝ නමින් හඳුන්වන මෙම සුරතැලා බ්‍රසීල් 2014 යනුවෙන් සටහන් ටීෂර්ට් එකක් පැළඳ සිටිනවා. ෆුලේකෝ නාමාවලිය Football සහ Ecology යන වදන් වලින් සැකසූවක්. 

Monday, May 19, 2014

ගල් වගේද රෙඩ් ලේබල් ? ...... Red Label is better than Extra Special.


මේ පින්තූරේ දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ ? ඉබ්බෙක් ඇරියොත් සාමාන්‍යයෙන් මෙහෙම තියන්නේ නෑ. මෙහෙම තිබ්බම කාට හරි මේක උස්සන් යන්න පුළුවන්. ඒ වගේමයි ඉන්න කෙනාව ඇතුලේ තියලා ලොක් කරන්නත් පුළුවන්. තවත් නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඒ කොයි හැටි වෙතත් මේක දැක්කම මටනම් අපේ ශාඛාවක අසූවේ මුල් දශකයේ වුණු කතන්දරයක් මතක් වුණා. ඇත්තටම මේක මම අත්දුටු දෙයක් නොවුනත්, අද ජීවතුන් අතර නැති ගාමිණි නමැති පැරණි සේවකයෙක් මගේ කනේ තිබ්බ කතාවක් . එක පාරට සිහියට ආවා. 

කලින් කිව්වා වගේ මේ වැඩේ වෙලා තියෙන්නේ අසූව දශකයේ මුල් කාළයේ. ආර්ථිකය විවෘත කරලා අවුරුදු කිහිපයයි ගියේ. ඒ වෙනකොටත් පැවතී සංවෘත ආර්ථිකය යටතේ තිබුණ විදියමයි. සමහර දේවල ලංකාවට ආවේ බොහොම මන්දගාමීව. විස්කි කියන මත්පැන් වර්ගය ඒ කාලේ සුඛෝපබෝගී භාණ්ඩයක්. ඉතිං බාර්/වයින් ස්ටෝර්ස් වල මේවා සුලභව තිබුණේ නෑ. කෙනෙකුට මුදලට ගන්න නැති තරම්. ඒ කාලේ ඉතිං බොහෝ දෙනෙක් කියපු මන්තරේ තමයි "කොටියා පොල් ගහ යට ඉන්නේ පොල් වීරයා - දාන් ලෑල්ල වගේ ඉන්නේ ගල් මාරයා" කියන නිහාල් නෙල්සන්ගේ ජනප්‍රිය ගීතය. මට මතකයි තැඹිලි පාට මූඩියක් තියෙන බෝතලයක් තාත්තලා ඒ කාලේ පාවිච්චි කළා. මම කරන්න ආවේ අරක්කු පිලිබඳ විග්‍රහයක් නොවෙන නිසා කියන්න ආපු කතාව කියන්නම්.

බැංකුවක සෙකන්ඩ් ඔෆිසර් කියන්නේ ඒ කාලේ බොහොම බලවත් චරිතයක්. දෙවෙනි නිලධාරියා අතේ තමයි බොහෝ ශාඛා වල පාළනය තිබුණේත්. ඒ කළමනාකාර තුමාට වඩා වැඩිමල් බොහොම අත්දැකීම සහිත අය මේ තනතුරේ හිටි නිසා. හරියට පොලීසියේ සාජන් මහත්මයා වගේ. බොහෝ නවක සේවකයා බොහොම බියක් දැක්වූවා මේ වගේ අයට. අපේ හිතවතා ගාමිණි මහත්මයා කොළඹ එක්තරා ශාඛාවක වැඩ කරන කාලේ, ඉතිං කොත්තමල්ලි පානයට වුණත් බොහොම  නවක සේවකයන් පෙළඹෙනවා බොහොම අඩුයි. ඒ වුණත් එහෙම නොවුනෙත් නෑ. ඒ කාලේ ඉතිං රටබීම බෝතලයක් කියන්නේ මහා අරුමයක්. 

දවසක් ඉහළ පෙළේ ගනුදෙනු කරුවෙක් බ්‍රවුන් පේපර් බෑග් එකක ඔතාගෙන යම් භාණ්ඩයක් මේ දෙවෙනි නිලධාරියාගේ මෙසේ උඩින් තියලා ගියාළු. එහෙම කළේ තමන්ගේ සුහදත්වය පෙන්වන්න. ගනුදෙනු කරුවා විශ්වාස කලේ ශාඛාවේ ඔහුත් සමග ගැටෙන අයවත් එකතු කරගෙන මේක දෙවෙනි නිලධාරියා අනුමත කරාවි කියලා. එහෙම වුණාම රස්තියාදුවක් නැතිව වැඩ කර ගන්න පුළුවන් නේ. ගනුදෙනු කරුවාට යන්න ඇරලා, දෙවෙනි මහත්තයා කෙලින්ම තමන්ගේ මෙසේ පිටිපස්සේ තිබෙන කබඩ් එකට මේ මාහැඟි වස්තුව ප්‍රවෙසමට යවලා. දැන් ඉතින් කට්ටිය සුදානමේ ඉන්නවා අද හවසට මේකෙන් අනුමත වෙන්න. ඒ නිසා බොහෝ දෙනා කලින්ම තමන්ගේ වැඩ කටයුතු එහෙමත් හමාර කරලා. මේක ලැබෙනවා දැකපු අය අනිත් අයව ඉතා වේගයෙන් දැනුවත් කලේ, හවසට වැඩ ඇරිලා තමන්ගේ පෙම්වතිය එක්ක ජෝඩු දාලා යන්න බලන් ඉන්න අයට එහෙම බොරුවක් ඇද බාලා වැඩේට සෙට් වෙන්න ඉඩකඩ සලසා ගන්න.

මුළු බ්‍රාන්ච් ඒකෙම ඉන්න පිරිමි කට්ටිය රට කොත්තමල්ලි වලින් සන්තර්පණය වෙන්න සුදානමින් ඉන්නකොට, තමන්ගේ කබඩ් එක ලොක් කරපු සෙකන්ඩ් ඔෆිසර් කඩිමුඩියේ මැනේජර් උන්නැහේගේ කාමරයට දුවනවා කව්රුත් බලාගෙන. බොහෝ දෙනෙක් විශ්වාස කලේ අද වැඩේ වේලාසනින්ම පටන් ගනී කියලා. මැනේජර් මහත්තයත් එක්ක සුළු මොහොතක් කතා කරලා, එලියට ආපු දෙවෙනියා බෑග් එක අතට ගන්නකොට කට්ටියට දවල් තරු පෙනුණා. 

"මම අද හදිසි වැඩකට ෂෝර්ට් ලීව් එකක් යනවා"

කියපු දෙවෙනියා හිමිං මාරු වෙන දිහා බොහෝ දෙනෙක් දත්කුරු කමින් බලාගෙන උන්නා. 

"මේ යකා අමු කුම්මැහියා. මේකා හදන්නේ අපිට නොදී මේක තනියම බොන්න" කෙනෙක් කිව්වා. ඒ කථාවත් බොරුවක් නොවෙන වග අත්දැකීමෙන් දන්නා කිහිප දෙනෙක්ම උන්නා. මේක අපිත් එක්ක බෙදා නොගෙන බිව්වොත් හොඳ පාඩමක් උගන්නමු කියලා කිහිප දෙනෙක් දිවුරුවා. දවස් කිහිපයක්ම මෙහෙම ගත වෙලා ගියත් සෙකන්ඩ් ඔෆිසර් කාරයා නෙවෙයි මේ ගැන කටක් ඇරලා කථා කලේ. දැන් කට්ටියට වැඩේ හොඳටම පැහැදිලියි. මේ අතරේ මේකට ඇහැ ගැහගෙන හිටිය කෙනෙක්‌, බෝතලේ ජොනී වෝකර් රෙඩ් ලේබල් ලීටරේ එකක් බවත්‍, ඊයේ හවස් කුඩා බෝතලයකට එයින් කොටසක්  පුරවා ගන්නවා තමන් දුටු බවත් අනෙක් අයටසැල කර සිටිනවා. දැන් නම් තමන්ට විස්කි රස බලන්න අවස්ථාව නොලැබෙන බව බොහෝ දෙනෙකුට වැටහී ගියා. 

මේ මනුස්සයා කොහේ ගියත් කබඩ් එක ලොක් කරනවා. උදේ ආපු ගමන් කබඩ් එක ඇරලා තමන්ට අවශ්‍ය දේ ගන්නා ඔහු, සැනෙකින් කබඩ් එකේ ඉබ්බා දමා වසා දමන්න වග බලා ගන්නවා. මෙයට වැඩේ දෙන්න සැලසුම් කරගෙන සිටි අය ඉතාම සෝදිසියෙන් හිටියේ, කොයි මොහොතක හෝ සෙකන්ඩ්  ඔෆිසර්ට මේ ලොක් කිරිල්ල අමතක වෙයි කියලා. එක දවසක්වත් හවසක  ප්‍රධාන කාර්යාලයෙන් ආපු දුරකථන ඇමතුමකට දුවගෙන යන දෙවෙනියා දුටු එක් අයෙක්‌ තමන්ගේ සැලසුම ක්‍රියාත්මකයි කරන්න ශාඛාවේ හත්වෙනි ශ්‍රේණියේ සේවකයාට පණිවුඩය දුන්නා. වහා දිව ආ පියන් උන්නැහේ කබඩ් එකේ සොයිබයේ එල්ලෙන ඉබ්බා ඉවත් කොට සමාන වෙනත් ඉබ්බෙක්‌ එය මත රැඳවූයේ වෙනසක් නොදැනෙන ආකාරයට. තවත් මිනිත්තු කිහිපයකින් තම අසුනට ආ දෙවෙනි නිලධාරියා සුපුරුදු පරිදි වැඩ අවසන් කර කුඩා කුප්පියට තමන්ගේ දෛයිනික විස්කි සලාකය පුරවා ගත්තා. ඔහු සැලසුම් කරගෙන සිටියේ මාස කිහිපයක් එසන්ස් කුප්පියකට පුරවා ගෙනගොස් මෙය භාවිතා කිරීමට. 

සූපුරුදු පරිදි හවස හතරයි හතලිස් පහට සෙකන්ඩ් ඔෆිසර් මහත්මයා පිටවී ගියා. වහා ක්‍රියාත්මක වූ පිරිස අවශ්‍ය අඩුම කුඩුම එක්රැස් කර ගත්තා. තම අත වූ යතුරෙන් පහසුවෙන් ඉබ්බා ඇරගත් පියන් වරයා, ඉතා සීරුවෙන් මේ මාහැඟි වස්තුව එලියට වැඩමවාගෙන ආවා. වෙනත් බෝතලයකට ඉතිරි වී තිබූ විස්කි තුණ්කාල හිස් කොට, මොහොතකට පෙර ගෙන ආ ගල් බෝතලයෙන් අදාල ප්‍රමාණය පුරවනු ලැබුවා. යලිත් ප්‍රවේශමෙන් බ්‍රවුන් පේපරේ කවරයේ දවටා විස්කි බෝතලය අදාල ස්ථානයේ ස්ථානගත කළා. ඉන්පසු සෙකන්ඩ් ඔෆිසර් මහතාගේ නියමිත ඉබ්බා දමා කබඩ් එක ලොක් කරනු ලැබුවා. කට්ටිය ඉතාම සහයෝගයනේ මේ තුන්කාල බෙදා හදාගෙන අනුමත වුණා. පහුවදා ඉඳලා කිසිම වෙනසක් නැතිව දෙවෙනියාත් සමග වැඩ කටයුතු කරන්නත් වග බලා ගත්තා.

ඉන් ටික කලකට පසු  දෙවෙනි නිලධාරියා ශාඛාවේ පාටියක් තිබෙන මොහොතක මෙවැනි ප්‍රකාශයක් කළා
"මල්ලි ඔය විස්කි තියෙනවා නේද, ආයේ අරක්කු වගේ නෙවෙයි කිසිම කරදරයක් නැති බීමක් තමයි. සුද්දෝ ඕවා හදලා තියෙන්නේ ගානට බීලා - ගානට සූර් වෙලා ඉන්න. අපේ අරක්කු වගේ බිව්වම ගඳ ගහනවා කියලද, පහුවදාට හිසේ රදේ කියලද, මේ කිසි කරදරයක් නෑනේ"
දන්න කට්ටිය මේ දෙකේ වෙනස ගැන පසුව අහුමුලු වලදී සාකච්ඡා වුණා.  

Wednesday, May 14, 2014

තිරිංග ක්‍රියාවිරහිත දුම්රියක අනතුරුකින් තොරව නවත්වා ගැනීමට හැකි ක්‍රමයක් ...... A possible solution for slowing down unstoppable train

පසුගිය සතියේ අපගේ සහෘද්ධ බ්ලොග් කරුවෙක් වන සෙන්නා ඉදිරිපත් කරලා තිබුණා, ගාර්ඩ්-ඩී-ලියෝන් දුම්රිය අනතුර පිලිබඳ ඉතා සවිස්තාරාත්මක සටහන් දෙකක්. එය කියවන විටදී මගේ හිතට ආපු කාරණයක් තමයි මේ වගේ වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් නවත්වන්න ක්‍රමයක් නැතිද යන්න. මගේ හිතට එක පාරටම ආවේ හොලිවුඩ් චිත්‍රපටයක දුටු, නවත්වා ගත නොහැකි ගුවන් යානාවක් නවත්වා ගැනීමට එක්තරා ගුවන්තොටක යෙදූ උපක්‍රමය. 

එහිදී කරන්නේ ක්‍රෑෂ් ලෑන්ඩින් ක්‍රමයට ගුවන් යානයට ඉදිරියට යන්නට හැර, වැලි පවුරක ගැටීමට සැලැස්වීම. නමුත් වෙඩි උණ්ඩයක් ලෙස දිගටම ඉදිරියට යන දුම්රියකට එවැනි විසඳුමක් යෙදීමේ ප්‍රායෝගික ගැටළු ඇති වනවා. හේතුව දුම්රිය මගකට වැලි යෙදීමෙන්, රේල් පීලි වැසී යාමේ තර්ජනය තිබෙන නිසා, වේගයෙන් පැමිණෙන දුම්රිය මාර්ගයෙන් පිටතට ගොස් අනතුර වඩාත් තීව්‍ර වීමේ ඉඩකඩ වැඩි නිසා. නමුත් අවසාන විසඳුම ලෙස යොදා ගැනීමට එයත් නරක නැහැ. මන්ද අරමුණ විය යුත්තේ  අනතුර වැලක්වීමට හෝ අවම හානියක් සහිතව  එය නවතා ගැනීම නිසා. 

ඒ විසඳුම ගැන සිතමින් සිටින විට මගේ මතකයට එක පාරට ආවේ, වේගයෙන් දුම්රිය ගමන් ගැනීම සඳහා දැනට මාර්ගය සපයන සහයෝගය නවතා දැමුවහොත් දුම්රිය නවතාගනීමට හැකි බව. නමුත් මෙය කරන්නේ කෙසේද ? මා සිතුවා එය මේ ක්‍රම සියල්ලේම සම්මිශ්‍රණයක් ලෙස යෝජනා කරන්න. ඔව් අපට කල හැක්කේ යෝජනා කිරීම පමණයි. මන්ද අප මෙම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් නොවන බැවින්, මෙය ස්ථිර විසඳුමක් වේ යයි සහතික කල නොහැකි නිසා. නමුත් මෙවැනි අදහසක් වැඩි දියුණු කිරීමෙන් අවශ්‍ය විසඳුම සොයා ගත හැකියි.

පළමුව පැමිණෙන දුම්රියෙහි තිරිංග ක්‍රියාත්මක නොවන බව ඉදිරියේ තිබෙන දුම්රිය ස්ථාන වලට දැනුවත් කල යුතුයි. ඉන්පසු, මුලින්ම එම මාර්ගයේ ගමන් ගන්නා දුම්රියේ වේගය ගැන සැලකිලිමත් වෙමින්, එය සමාන්තර වෙනත් මාර්ගයකට ගත යුතුයි. එම මාර්ගයේ මුල් හරියේදී දුම්රියට කෙරෙන විදුලි සැපයුම කපා හැරිය යුතු අතර, එමගින් එය තවත් වේගවත් වීම නවතින අතර පවත්වාගෙන යන වේගය යම් මට්ටමකට අඩු කර ගත හැක. වැදගත්ම කොටස තිබෙන්නේ ඉන් පසුවයි. ඇත්තටම ඔබ ව්‍යායාම සඳහා නිපදවා තිබෙන TreadMill යන්ත්‍රය දැක ඇතැයි සිතමි. මෙහිදී භාවිතා කල යුත්තේ එම මූලධර්මයයි. 

TreadMill යන්ත්‍රයේදී එය භාවිතා කරන්නාගේ ශක්තියෙන් පටිය දිවවීම සිදු කරයි. එමගින් පරිශීලකයාගේ ශක්තිය දැවීමක් සිදු වේ. මෙහිදීද නිපදවිය යුත්තේ ගමන් ගන්නා රේල් පීලි (Moving Rails) පද්දතියකි. එවිට දුම්රිය රැගෙන එන චාලක ශක්තිය මිගින් පහත රූපයේ පෙනෙන අකාරයේ රෝද කරකවන්නට සැලැස්විය හැක. එම චාලක මාර්ගයේ ඝර්ෂණය අවම විය යුතුයි. එවිට මාර්ගය මුලින් දුම්රියේ වේගයෙන්ම ගමන් කරයි. පසුව දුම්රියේ රෝද කරකැවීමට ශක්තියක් නොලැබෙන බැවින් වේගය අඩු වන්නට පටන් ගනී. මේ ආකාරයෙන් දුම්රිය නවතින්නට ආසන්න මොහොතක මෙම මාර්ගය නවත්වා(Still) එය මදක් ඉදිරියේ නවත්වන්නට සැලැස්විය හැක. එම ස්ථානයේදී යලි දුම්රියට විදුලි සැපයුම දිය යුතු අතර, ඒ වනවිට රියදුරා දුම්රිය ධාවනය වැළක්විය යුතුය. එසේ විදුලි සැපයුම ලබා දෙන්නේ එහි දොරවල් වීවෘත කිරීම සඳහාය. යම් හෙයකින් එන්ජිම නවතාලිය නොහැකි තත්වයක ඇතිනම් දොරවල් විවෘත කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් ගත යුතුය.  


පින්තූරය හදා ගන්නට කෝච්චිය සොයා ගත්තේ මෙතනින් :www.visitnorthwest.com
ඉහත රූපයේ තිබෙන ආකාරයට චාලක මාර්ගය නිමවිය නොහැකි නම්, වඩාත් සුමට ආකාරයට පහත රූපයේ පෙන්වන ආකාරයට එය නිමවා ගත හැක. මෙසේ කොපමණ දිගකින් යුතු කැරකෙන පාරක් (Rotary Rail) නිපදවිය යුතුද යන්න ගණනය කල හැක. නමුත් මේ මාර්ගය සෑදීමේදී ඉතා සියුම්ව පර්යේෂණය කලයුතු බව පැහැදිලිය. ඒ මෙම ස්ථානයේදී දුම්රිය පීලි පැනීමට කිසිදු ඉඩකඩක් ලබා දිය නොහැකි නිසාය. 

මෙම විසම්දුමෙහි යම් වරදක් සිදු වුවහොත් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට ඉදිරියේ වැලි පවුරක්ද නිමවිය හැක. 


______________________________________________
මා උසස් පෙළ ගණිතය හැදෑරීමෙන් පසුව වෙනත් ඉංජිනේරු පාඨමාලාවන් හදාරා නැති බැවින් මෙය කෙතරම් ප්‍රායෝගික එකක්දැයි නොදනිමි. නමුත් උත්සාහ කර බැලීම වටී. සයිබර් අවකාශයේ සිටින ඉංජිනේරු මහතුන්ට මේ ගැන සිතා බලන්නට මම යෝජනා කරමි. 

නමුත් එක් වරම චලනය වන දුම්රියක් නැවත්වීම මගීන්ට හානි විය හැකි බැවින්, අවශ්‍ය ආකාරයට මෙම රෝද පද්දතියට යොදන ඝර්ෂණය පාලනය කරමින් මෙම විසඳුම වඩාත් ප්‍රායෝගික කර ගත හැක. 


Sunday, May 11, 2014

කකාගේ බලාපොරොත්තු සුන් වෙයි...... End of Kaka's Hopes

ඕනෑම කෙනෙකුට වැඩ පෙන්නන්න පුළුවන් කාලයක් තියෙනවා. ඕනෑම  ක්ෂේත්‍රයක හිනි පෙත්තේ රැඳීලා ඉන්න එක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවුරු හරි එහෙම හිතාගෙන ඉන්නවනම් ඒක මෝහයක් නැත්නම් මුලාවක්. ඒත් අනපේක්ෂිත විදියට මෙහෙම පල්ලම් බහින්න වෙයි කියලා කකා හීනෙකින්වත් හිතන්න නැතිව ඇති. නමුත් ලෝකේ මේ තාක් කාලෙකට සිදු වෙච්ච එකම අනපේක්ෂිත සිදුවීම ත්මෙය නොවෙයි. ඕනෑතරම් දේවල් වෙලා තියෙනවා. 

තවත් මාසයකට අඩු කාලයකදී බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගයේ ආරම්භ වන පාපන්දු වසන්තය හෙවත් පාපන්දු ලෝක කුසලානය සඳහා හා සුදුසුකම් ලැබූ කණ්ඩායම තිස්දෙකක ක්‍රීඩකයන් ලහි ලහියේ සූදානම් වෙනවා. පාපන්දු කිව්වම ඕනෑම කෙනෙකුට මතයට එන්නේ බ්‍රසීලය. පාපන්දු ක්‍රීඩාවේ මහා ගෙදර විදියට බ්‍රසීලය සලකන්න බැරි වුනත්, ක්‍රිකට් වලට ඔස්ට්‍රේලියාව වගේ පාපන්දු වලට ඉතිං බ්‍රසීයල තමයි. බ්‍රසීලය පාපන්දු සහ ඔස්ට්‍රේලියාව ක්‍රිකට් වලින් හැමදාම රජවරු. මේ රටවල් දෙක එක්-එක් ලෝක කුසලානය වැඩිම වාර ගණනක් දිනා ගත්තු රටවල් දෙක. ඒ වගේම දෙගොල්ලන්ගේ ඇඳුම් පවා බොහෝදුරට සමානයි. හැබැයි 2006 ලෝක කුසලාන තරගයකදී තව ඩිංගෙන් බ්‍රසීලය ඔස්ට්‍රේලියාවට පරදිනවා. යන්තම් විනිස්චකරු ගොඩ දාල දුන්නේ නැත්නම්. 

2010 අවුරුද්දේදී මේක ප්‍රවෘත්තියක් වුණා නම් කී දෙනෙක් හාට් ඇටෑක් හැදිලා මැරෙයිද? මොකද 2010 වෙත්දී බ්‍රසීලයේ පාපන්දු තරුව වුනේ කකා. බ්‍රසීලය වගේ රටක මේ කිරුල රැක ගන්න බොහොම අමාරුයි. 1994 දී රොමාරියෝ, 1998 දී රොනල්ඩෝ, 2002 දී රෝනල්ඩිනෝ, 2006 රෝබින්හෝ, 2010 දී කකා, 2014 වෙත්දී ඔවුන්ගේ තරුව වන්නේ නේමාර්. ඔවුන් තව ලස්සන දෙයක් කරනවා. ඒ තමයි මීළඟ ලෝක කුසලානයට තරුව වෙන්න සිටින ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු වර්තමාන තරගාවලියට රැගෙන ඒම. එහෙම කරලා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පසු තරගයක් ඒ ක්‍රීඩකයාට ලබා දෙන්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. ඉතිං 2006 වසරේ එහෙම ඉඳලා, 2010 දී තරුව වශයෙන් හිටිය කකා මේ පාර ඉවත් කළවිට මේක බොහෝ දෙනෙක් මවිත කරපු සිදු වීමක්.

පාපන්දු ලෝක කුසලාන 2014 ජය කාටද who will win fifa world cup 2014
පින්තූරය ගත්තේ : http://lubbockonline.com



මෙවර ලෝක කුසලානය අහිමි වෙන්නේ කකාට පමණක් නොවේ. 2006 දී මෙන්ම පහුගිය වරත් නියෝජනය කල රෝබින්හෝ ඒ වගේම 2002/2006 නියෝජනය කරපු රොනල්ඩිනෝත් මේ පාර තරගාවලිය ගැන බලාපොරොත්තු දල්වාගෙන හිටියා. ලෝක කුසලාන තරගාවලියක් එනකොට තියෙන මතය තමයි, ඒ සඳහා ලෝක කුසලාන අත්දැකීම් වැදගත් වෙනවා කියන කාරණය. ඒ වුණත් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට කකා, රෝබින්හෝ හෝ රෝනල්ඩිනෝ ඇතුලත් වන්නේ නෑ. බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරු වන ලුයිස් ෆිලිප් සොලාරි නම් කල කණ්ඩායමය පසුගියවසරේ පැවැති අන්තර් මහද්වීපික තරගාවලිය ජයගත් කණ්ඩායමේ සිටි 17 දෙනෙකුගෙන්ම සමන්විතයි. 

මා එකවරම පාපන්දු ක්‍රීඩාව වෙත නැඹුරු වූ කරුණ දැන් ඔබට පැහැදිලි ඇති. ඒ ජුනි මස හය වැනිදා සිටි හරියටම මාසයක කාලයක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය නිසා. මා ක්‍රිකට් මෙන්ම  පාපන්දු වලටත් ඇලුම් කරනවා. පාපන්දු ලෝක කුසලානය පිලිබඳ ලිපි කිහිපයකින් ඉදිරියේදී හමු වෙමු. 





Thursday, May 8, 2014

අමුතු හෝටලයකින් අමුතුම කෑමක් කෑ ජයසිංහ...... Jayasinghe who had strange food at strange hotel

මගේ බ්ලොග් අඩවියේ තේමා පාඨය විදියට "රාජකාරි ගවේෂකයාගේ මතකසටහන් ......" කියලා දා ගත්තට, ඒ හැටියට රාජකාරී ගමන් වලදී මුහුණ දීපු අත්දැකීම් බෙදාගන්න බැරි වුණා. එක අතකට එක දිගටම එහෙම රාජකාරිය පිලිබඳ දේ ලියන්න ගියානම්, කියවන ඔබට එය නීරස වෙන්නත් තිබුණා. මොනවා වුනත් හිතපු තරමටම ලියාගන්න බැරි වුණා. මට වෙලාවකට හිතෙනවා බ්ලොග් එක ආරම්භ කරපු අරමුණු වලින් මම පිට ගියාදෝ කියලා. ඒ වුණත් ලැබෙන ප්‍රතිචාර අනුව, ලියන දේ ඔබ කැමැත්තෙන් කියවනවා කියා හිතෙනවා. මොනවා වුණත් අද ලියන්න යන්නේ රාජකාරි අත්දැකීමක්. 

බ්ලොග් එක පටන් ගත්තට පස්සේ කිහිප වතාවක් අදාළ කතානායකයන්ගේ නම්, ගම සඳහන් වීම නිසා පොඩි-පොඩි නොහොඳ නෝක්කාඩු ඇති වූ අවස්ථා නැත්තේ නෑ. නමුත් මගේ අත්දැකීම් මට ඕන විදියට ලියන්න බැරිද ? කියලා මට වෙලාවකට හිතෙනවා. කෙසේ නමුත්, අපිට මේවා රසයක් ගෙන දුන්නත් සමහරු තමන් කරදරයක වැටුන දේ ප්‍රසිද්ධ වෙනවට කැමති නෑ. මේ කාරණය නිසා මම එක පොස්ට් එකක් අන්පබ්ලිෂ් කරලා දැම්මා. ඒ නිසාම අපි කතානායකයාගේ නම්ගම් පොඩ්ඩක් වෙනස් කරමු. එතකොට ඒ කෙනාට කෙලින්ම ඇඟිල්ල දික් කරන්න බෑ. නමුත් විස්තර වෙන සිද්ධිය අනුව නම් මේ කවුද කියන්න අපේ ඔෆිස් එකේ අයට ටොයිස් වැඩක්. 

හොඳයි අපි ඔහුට ජයසිංහ යයි කියමු. ජයසිංහ කියන්නේ මා සමග එකම දෙපාර්තමේන්තුවේ වැඩ කරන ඉතාමත් ජේෂ්ඨ සේවකයෙක්. නමුත් කිසිම දිනක ඔහු කිසිවෙකුට මේ ජේෂ්ඨ කම් පෙන්වන්න ආවේ නෑ. මේකට හේතුව විදියට බොහෝ දෙනෙක් කිව්වේ ඔහු වැඩට ඒ තරම් දක්ෂ කෙනෙකු නොවුන බවයි. නමුත් ඔහුට පවරන වැඩේ කෙසේ හෝ කරගන්නට වග බලා ගන්නවා.

මේ කියන කාලේ බැංකුවේ මගේ අත්දැකීම අවුරුදු තුනක් විතර ඇති. ඒ කාලේ මම ශාඛා පරිගණකගත කරන කණ්ඩායම් වලට එක් වීමට කෙතරම් කැමැත්තෙන් සිටියත්, එවකට අපේ අංශ ප්‍රධානියා වෙච්ච ගුණසේකර උන්නැහේ මා එක්ක තිබුණු පුද්ගලික කෝන්තර නිසා ඒ සඳහා මාව නොයොදන්න වග බලා ගත්තා. එහෙම ගමනක් ගියාම ලැබෙන ගමන් වියදම් වලින් භාගයක් විතර තමයි වියදම් වෙන්නේ. ඉතිං පඩියයි අතිකාල දීමානවයි ඉතුරුයි. සමහරු මේවා එකතු කරලා වාහන පවා ගත්තා. ඒ කාරණය නිසාම ගුණසේකර උන්නැහේට විවිධ පඬුරු පාක්කුඩම් දෙන්නත් මේ වැඩේටම සෙට් වෙලා හිටිය සමහරු වග බලා ගත්තා. සමහර කාන්තා පාර්ශවයේ අය මානසික අල්ලස් දෙන්න පටන් ගත්තා. ඉතිං වැඩිකාලයක් ඉන්න පුළුවන් තැන වලට මාව නොයවන්න ගුණසේකර උන්නැහේ වග බලා ගත්තා. මගේ හිතමිතුරන් මා ඉල්ලා සිටියත් මා යැව්වේ නෑ. බොහෝ විට මෙවැනි ගමනක් බැංකුවේ වාහනයකින් ගමන් ගත්තත්, එවැනි කණ්ඩායමක් ගිය පසු දෙවැනි හෝ තුන්වැනි සතියේ මැද දිනක මා යවන්නට ඔහු පෙළඹුණා. රටවටා ඇවිදින්න තිබූ කැමැත්තත්, මගේ පියා විසින් ඒ පිලිබඳ මට ලබා දුන් උනන්දුවත් බසයේ හෝ එවැනි තැනකට යන්නට මා පෙළඹුවා.

තවත් එවැනි දවසක සෙංකඩගල ශාඛාවට යා හැකිදැයි මගෙන් විමසා සිටි මොහොතේ, දෙවරක් නොසිතා මා කැමැත්ත පල කළා. ඒ වනවිටත් බස් එකේ ගමන මට යම් ආශ්වාදයක් ලබා දුන්නා. සුපුරුදු පරිදි පසුදා උදෑසන  මා නුවර බලා පිටත් වුණා. එය සාමාන්‍ය ගමනක්. සටහන් කලයුතු කිසිවක් සිදු වුවේ නෑ. නුවරට මා ලඟා වනවිටත් නගරය කාර්යබහුල වී තිබුණා. චීන අවන්හලක් වැනි තැනකින් නිවාඩු පාඩුවේ උදෑසන අහාරය ගත් මා, මගේ ඊළඟ ඉලක්කය වූ සෙංකඩගල සොයා යා යුතුව තිබුණා. මේ වනවිටත් උදෑසන නවයයි තිහ පසු වී තිබූ නිසා, ත්‍රී රෝද රථයකට ගොඩ වී, මා සෙංකඩගලට ගෙන යන ලෙස ඉල්ලා සිටියා. මිනිත්තු දහයක- පහළොවක ඇවෑමෙන්, වියලි-නැගගෙන යන කන්දක ත්‍රීරෝද රිය නතර කල රියදුරු, මේ සෙංකඩගල ප්‍රදේශය යයි පැවසුවා. මා එලියට බැස හාත්පස බැලුවත්, කිසිදු ආයතනයකට අයත් ගොඩනැගිල්ලක් දකින්න ලැබුණේ නෑ. කළහැකි කිසිවක් නොමැති වූ විට, ඉතාමත් කලාතුරකින්  භාවිතා කරන මගේ ජංගම දුරකථනය ගෙන මේ වනවිටත් සෙංකඩගල ශාඛාවේ සිටින උපුල් වෙත දුරකථන ඇමතුමක් ඇල්බා ගත්තා.

"උඹට පිස්සුද බං. ටවුමේ ඉඳලා පයින් යන දුර. ටවුමට ඇවිත් කෝල් කලානම් ඉවරනේ"
යනුවෙන් පවසා සිටියා. මා නැවතත් නගරයට පැමිණ, ඔහුගේ ගාස්තුව වූ රුපියල් එකසිය පනහා ගෙවා දැම්මා. ඉන්පසු උපුල් ලබාදුන් උපදෙස් අනුව, පයින්ම ශාඛාවට ලඟා වුවා. මහජන බැංකුවේ අපිට මේ වගේ වරදින ස්ථාන කිහිපයක්ම තිබෙනවා. කන්කසන්තුරේ ශාඛාව පිහිටුවා තිබෙන්නේ යාපනය නගරයේ, රැජින වීදිය ශාඛාව, මහ බැංකු බෝම්බ පිපිරීමෙන් පසු ඩී.ආර්. විජේවර්ධන මාවතට ගෙන ආවේ රැජින ශාඛාව ලෙස නම් කරමින්. නුවරවැව ශාඛාව තිබෙන්නේ අනුරාධපුරයේ. කෙසේ නමුත් කෙනෙකුට දෙයක් පිලිබඳ නිසි අධ්‍යයනය ලැබෙන්නේ වැරදීම් තුලින් යන්න මා ඉතා ඉහළින් අදහන ධර්මයක්. එසේ මා වැරදීම් තුලින් ඉගෙන ගත් දේ නිසා වෙනත් අය වාසි අත් කරගෙන තිබෙනවා. ඒ මා හැමවිටම අන් අයත් සමග මේ දේ බෙදා ගන්නා නිසා.

 නුවර නගරය කිසිදු කම්මැලි කමකින් තොරව කාලයක් ගත කිරීමට ඉතා වැදගත් ප්‍රදේශයකි. වසරේ සෑම කාලයකම විදේශිකයන් ගැවසෙන, නිතර ජනතාව එහා මෙහා යන, කාර්‍යබහුල නගරයක් වන නිසාම එහි පවතින විවිධත්වය, කොළඹට සාපේක්ෂව ඇති පිරිසිදුකම සහ එදා පටන්ම පැවතී ශාන්ත සිසිල් පරිසරය කෙනෙකු තුල ඇති කරන්නේ ප්‍රසාදයකි. අහර ගැනීමට නුවර නගරයේ තරම් ළඟ-ළඟ විවිධ මට්ටම් වල හෝටල් සහ ආපන ශාලා ඇති ස්ථානයක් සිතා ගත නොහැක. අප මෙහි සිටි සති දෙකක කාලය තුල එකම ස්ථානයකින් දෙවරක් ආහාර ගත්තා මතක නැත. විවිධ ස්ථාන තෝරා ගනිමින් අපි ඉතා රසවත් සහ පිරිසිදු  ආහාර නුවරදී රස වින්දෙමු. මුදල් පිලිබඳ ප්‍රශ්නයක් හෝ ඉතිරි කිරීම පිලිබඳ උවමනාවක් අප තිදෙනා තුලම නොවීම සතුටට කරුණකි. මෙවැනි ගමනකදී එක් අයෙක් හෝ හෝ මසුරු ලක්ෂණ පෙන්වූවා නම් මේ සතුට වියැකී යනු ඇත.

සෙංකඩගල ශාඛාව ගැනද යමක් සඳහන් කල යුතුය. මගේ වෘත්තීය දිවියේදී දුටු හොඳම ශාඛා කළමනාකරු යයි කිවහැකි නවරත්න මහතා එය ඉතා මැනවින් පවත්වාගෙන ගියේය. සියලුම දෙනා ඉතා සමගියෙන් එකම පවුලේ අය මෙන් සේවයේ නියුතු විය. ඔවුන් සතියකට අතිකාල කලේ දින දෙකකි. එහි දෙවැනි නිලධාරියා ලෙස එවකට උන් බොනිපස් පෙරේරා මහතා අද මහජන බැංකුවේ නියෝජ්‍ය වරයෙකි.      සියළුම සේවක මහතුන්ගේ මේසය අසල ඔවුන්ට අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය මනාව සකසා තිබුණි. කිසිවකුට තම මේසයෙන් ඉවත් වී වෙනත් තැනකට ගමන් කිරීමේ අවශ්‍යතාවක් නොවිණි. නිතරම් "අක්කා / අයියා" යන ලෙන්ගතු ආමන්ත්‍රණ වලින් එකිනෙකා අමතන මේ සේවක පිරිස නම් කිසිදින අමතක කල නොහැක. මෙම ස්ථානයේ පිරිසිදු කම මෙන්ම ක්‍රමවත් බව පවත්වා ගැනීමේ ගෞරවයෙන් වැඩි කොටස සුනිල් නමැති හත්වැනි ශ්‍රේණියේ සේවකයාට හිමි විය යුතුය.

ජයසිංහ අප දෙපාර්තමේන්තුවේ කාගේත් වාගේ බයිට් එකකි. නමුත් කිසිදින කෝප නොගන්නා චරිතයක් වීය. එහෙත් ඔහු මට එක් දිනක් කෝපයෙන් අමතා ඇත. නමුත් ඔහු හොඳ මිතුරෙකි.   ඔහුගේ කථා ශෛලිය ඉතාමත් වෙනස්ය. ඔහු කථා කරන්නේ ඉතා වේගයෙන් මුත් රහසින් අමතන අයුරකිනි. එවකට අප දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ කුමාරපතිරණ මහතා ඔහුට විහිලුවට
"ජයසිංහ උඹගේ බුද්ධ ශාසන අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකෙන් ක්‍රිස්තියානි අරමුදලට සල්ලි යනවා කියන්නේ ඇත්තද ?"
යනුවෙන් පවසා මහා හයියෙන් සිනාසේ.

අප නුවර ගතකල එක් දිනක සවස තේ පානය සඳහා යාමට තැනක් විමසන විට
"අද බකේ හවුස් එකෙන් තේ බොමු"
යනුවෙන් ජයසිංහ පවසන්නේ අප දෙදෙනා මොහොතක විමතියකට පත් කරමිනි. තවත් තත්පර ගණනකදී ඔහු මේ පවසන්නේ බේක් හවුස් ආපන ශාලාව බව පැහැදිලි වූ විට අප දෙදෙනාට සිනහව නවත්වා ගත නොහොකිය විය. ඔහු අනුව යමින් අපි එහි ඉහල මාළයට ගොස් තේ සඳහා කෙටි ආහාර ඇනවුම් කර, එය ලැබෙන තුරු මෙනූ පත දෙස දෑස් යොමු කළෙමු. මෙනූ පතේ එක් අයිතමයක් ළඟ තම ඇඟිල්ල නතර කරගත් ජයසිංහ ඔහුට සුපුරුදු විසුළු මුත් පහත ස්වරයෙන්
"මොනවද බං මේ එස්.පී.ඒ.ජී. හෙට්ටි කියන්නේ ?
ඒ සමගම රජ කාලයේ සේවකයෙකු මෙන් සුදු ඇඳුමින් සැරසුණු සේවකයා අප ඇනවුම් කල කෙටි කෑම ගෙනෙන ලදී. අප සිනහව නවත්වාගෙන කෑමට සැරසිණි. කිසිම වෙනසක් නොමැතිව ජයසිංහ පෙස්ට්‍රියක් තම පිඟාන මත තබා ගෑරුප්පුව සහ පිහිය ආධාරයෙන් බොහොම අමාරුවෙන් ආමාශගත කරන්නේ මිස්ටර් බීන් සිහිපත් කරමිනි. අප දෙදෙනා කෑම හමාර කර තේ බොන තුරුත්  ඔහු එම පෙස්ට්‍රිය සමග ඔට්ටු විය. එයින් භාගයක් කුඩු ස්වරූපයෙන් පිඟාන මත විසිරී ඇතත් ඔහු අත අරින්නේ නැත.
නුවර බේක් හවුස් මෙනූ පත ස්පැගති
පින්තූරය ගත්තේ : http://clementinedaily.com

පසුව අප මෙය අපේ කාර්යාලීය මිතුරන් සමග පැවසු පසු ජයසිංහට කවුරුත් එස්.පී.ඒ.ජී. හෙට්ටි යනුවෙන් අමතනු ලැබීය.

Sunday, May 4, 2014

ඔබත් නිතර බැකප් එකක් ගන්නවද ? ...... Are you getting Backups Frequently ?

මගෙත් එක්ක නිතර කථා බහේ යෙදෙන මිත්‍රයෙකුට අද මම ඇමතුමක් ගත්තා. එක පාරටම මේකා ඇහුවේ නැද්ද "කවුද මේ ?" කියලා. මම හිතුවා විහිළුවක් වත් කරනවාද කියල. නමුත් ඔහු තේරුම් කරන දුන් පසුව මෙය බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්නයක් බව පැහැදිලි වුණා. ඔහුගේ ජංගමයේ කන්ටැක්ට් සියල්ල මැකී ගිහින්. නමුත් සතුටින් කියන්නේ මේ වැඩේ එකම වතාවක්වත් මට වෙලා නෑ. හේතුව මම තාක්ෂණය සමග ජීවත් වුනත් තාක්ෂනය ගැන 100% විශ්වාස නොකිරීම. ඔබ විශ්වාස කරයිද මන්දා මම ඉඳහිට ඩයරියක් අරන් ෆෝන් එකේ තියෙන කන්ටැක්ට් ලියාගෙන ලියාගෙන යනවා. සමහර දවසකට මෙහෙම ලියලා දවස් කිහිපයකින් ෆෝන් එක වැඩකරන්නේ නැතිව යනවා. ඔබේ හිතටත් මේ වගේ අණතුරු ඇඟවීම් දැනිලා ඇති. එහෙම දැනුනොත් දෙපාරක් හිතන්න එපා ලියන්න පටන් ගන්න. මේක මහා කම්මැලි වැඩක් වගේ දැනෙයි. ඒත් එහි වටිනාකම ගැන වචන වලින් විස්තර කරන්න ඕනේ නෑ. මේ දේ නොවුන කෙනෙකුත් නැති තරම්.  අද මට කතා කරපු මිත්‍රයටත් මම දුන්නේ ඔය උපදෙසමයි. 
අතින් තැබූ දුරකථන අංක ලැයිස්තු ටෙලිෆෝන් ඉන්ඩෙක්ස්

මම මේ වගේ ලියා ගත්තු ලැයිස්තු කිහිපයක්ම තවම මගේ බෑග් එකේ තියෙනවා. ඉස්සර නම් ඕන කෙනෙක් ගාව ටෙලිෆෝන් ඉන්ඩෙක්ස් එකක් වැරදුනේ නෑ. දැන් එහෙමත් කෙනෙක් ගාව තමයි තියෙන්නේ. එහෙම කළාම තියෙන එක වටිනාකමක් තමයි, ඔබේ ජංගම දුරකථනය නැති වුනත්, බිම වැටිලා එක පාරම වැඩ කරන්නේ නැතිව ගියත්, අලුත් එකක් ගත්තම පරණ කන්ටැක්ට් වලින් අවශ්‍ය ඒවා පමණක් ඇතුලත් කරගෙන, ඒවා අතරේ නිසි කළමනාකරණය පවත්වා ගැනීමේ හැකියාව. දැන් කන්ටැක්ට් වලට සීමාවක් නැති වුණත්, ඉස්සර ලබා දීපු සිම් කාඩ් පතක තැන්පත් කරන්නක පුළුවන් ප්‍රමාණයක් තිබුණා. 100ක්, 250ක් ආදී වශයෙන්. පසුව සුපර් සිම් වගේ ජාති ආවා. ඒ එක්කම ජංගම දුරකථනයේ ඉඩ ප්‍රමාණය මත අවශ්‍ය ප්‍රමාණයක් තබා ගන්න හැකියාව වර්ධනය වුණා. දැන් ඒවා කෙතරම් දියුණුද කියනවා නම්, මිතුරාගේ පින්තූරය, QR කේතය, ඊ-මේල් ලිපිනය, වෙබ් අඩවිය, ආදී ඕනෑම දෙයක් සටහන් කර ගන්න පුළුවන්. මෑතකදී වින්ඩෝස් ෆෝන් එකකට මාරු වූ පසු හරි අපූරු Application  එකක් හමු වුණා. ඒ CamCard. එමගින් ඔබට ලැබෙන ව්‍යාපාරික කාඩ්පත් ස්කෑන් කිරීමකින් සියලු තොරතුරු එක් රැස් කර ගන්න පුලුවන්. මම හිතන්නේ Android, BlackBerry වලට මීට වඩා හොඳ Apps තියෙනවා. ඒ වුණාට මතක තබා ගන්න හොඳම මාධ්‍යය කඩදාසිය බව.
කැම් කාර්ඩ් කාඩ් CamCard ජංගම දුරකථන වින්ඩෝස් 8 මෘදුකාංගය

අපේ දෛනික රාජකාරී වල අපට තිබෙන වැදගත්ම වගකීමක් තමයි අප බලා ගන්නා පද්දති වල Backup ලබා ගැනීම. මොනවා අතපහු කලත්, අමතක නොකර කලයුතු කාරියක් තමයි Backup කිරීම. මගේ මැනේජර්ට අපි කියන්නේ Mr. Backup කියලා. ඒ ඔහු නිතරම මේ ගැන සොයා බලන නිසා. දවසකට අපි පද්දති දෙකක බැකප් හයක් ගන්නවා. ඒවා විවිධ ස්ථාන වලට යැවීමත් වැදගත්. පද්දතිය තිබෙන ස්ථානයේ බැකප් පිටපත් තැබීම ගින්නකදී, බෝම්බ පිපිරීමකදී වගේ අවස්තාවක කිසිසේත් ප්‍රයෝජනවත් වන්නේ නෑ. ඩිස්කට් වලින් පටන් ගත්ත බැකප් කිරීම, Tanberg Tape, DAT Tape දක්වා වර්ධනය වෙලා දැන් DVD හෝ External Hard Disk දක්වා දියුණු වෙලා තියෙනවා. බැකප් කිරීම කොයි තරම් වැදගත්ද කියලා දැනෙන්නේ ඔබ වැඩ කරන පද්දතියක් බිඳ වැටුණු විට. ඉස්සර අපගේ පද්දති Stand Alone හෝ Distributed විදියට තිබුණු කාලේ, අපි ශාඛා වල පද්දති නිලධාරියාට දැඩි අවධාරණයෙන් දෙන  උපදෙස තමයි, දවස අවසාන කටයුතු වලට පෙරත්, පසුවත් නොවැරදීම බැකප් එකක් ලබා ගන්නා ලෙස. එහෙම අතපහු වුණ වෙලාවකට අන්තිමට ගත්තු බැකප් එක පද්දතියට ලෝඩ් කරලා. එතන ඉඳන් කරපු ගනුදෙනු ඇතුලත් කරන්න සිද්ධ වෙනවා. එහෙම දවස් හය - හත ඇතුලත් කරන්න වුණු අත්දැකීම් පවා අපට තියෙනවා. ඒ කාලේ අඩක් අත්හුරු ක්‍රමයට තිබුණ නිසා ඒ වගේ කටයුතු ගැටළුවක් වුණේ නෑ. 

මේ කතාව අතරේ මට සිද්ධ වුණු ලස්සන සිදුවීමක් මතක් වුණා. අලුතෙන්ම ශාඛාව පරිගණකගත කරපු මුල සතියේ කාර්යබහුල නැති දවසක මගේ අත්වැරදීමකින් Master File එකක ගිණුම් අංක උඩින් වෙනත් අංක වගයක් සටහන් වුණා. මට එක පාරටම වෙන්න යන භයානක තත්වය වැටහුනා. මම කෙලින්ම දිව ගියේ ශාඛාවේ කළමනාකාර තුමා වෙත, ඔහු ඉතාම කාරුණික නිලධාරියෙක්. මගේ විස්තරය අහගෙන ඉඳලා 

"හරි මල්ලි දැන් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනේ?" කියලා ඇහුවා. 

මම වෙන්න ඕනේ දේ විස්තර කරා. ඉන්පසු මා මා නතර වුවේ වොෂ්රූම් එකේ. එදින වැඩ ආරම්භ කර මිනිත්තු කිහිපයකට පසුව සිදු වූ දෙයක් නමුත්, මෙය ආපසු හරවන්න ගත වන කාලයත් සමග සසඳා, පෙරදින බැකප් එක ස්ථාපනය කර, එදින කල ගනුදෙනු නැවතත් ඇතුලත් කිරීම පහසු බව මට වැටහුණා. තවත් මිනිත්තු කිහිපයකදී අපට වරද නිවැරදි කර ගන්න හැකි වුණා. ඒ අප පෙරදිනයේ බැකප් කිරීම නිවැරදිව කර තිබූ නිසාවෙන්. ඉතිං ඕනෑම දෙයක බැකප් එකක් අරන් තැබීම ඉතාම ප්‍රඥාගෝචර දෙයක්. ඔබ ළඟ තිබෙන සියලු ඉලෙක්ට්‍රොනික් මෙවලම් වල බැකප් එකක් කර ගන්න. ජංගම දුරකථනයේ කන්ටැක්ට් සහ වැදගත් දේ බැකප් කිරීම Schedule කරන්න පුළුවන්. එහෙම කරන්න නම් මෙමරි කාඩ්පතක් එහි අඩංගු වෙන්න ඕනේ. හැබැයි දැන් අළුත් ක්‍රම තියෙනවා.  දැන් ජංගම දුරකථන වලින් දුරකතනයකට දත්ත සම්ප්‍රේෂණය කරන්නේ ඊ-මේල් ගිණුමක් හරහා නැතිනම් ස්කයිව් ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව් වැනි දුරස්ථ මතකයක් ආධාරයෙන්. මගේ නව දුරකථනයට එකදු දුරකථන අංකයක් ඇතුලත් කරන්න මට සිදු වූයේ නෑ. ඒ වින්ඩෝස් ජංගම දුරකථන සක්‍රීය කරන්නේ හොට්මේල් ගිණුමක් හරහා නිසා. කලින් මේ හොට්මේල් ගිණුමට කැන්ටෑක්ට් සහ වෙනත් වැදගත් දේ අප්ලෝඩ් කර පසුව නව දුරකථනය සක්‍රීය කළා. එවිට් ඒ සියලු දත්ත නව දුරකථනයේ. 

මා සමග ටික කලකට පෙර සේවය කළා ගුහානන්ද නමැති දමිළ මිතුරෙක්. ඔහුට මිනිත්තු දහයකට සැරයක් බැකප් එකක් නොගත්තොත් ඉන්න අමාරුයි. එවැනි තත්ව නම් විස්තර කල හැක්කේ ආත්ම විශ්වාසයේ(Self Confidence) අඩු කමක් ලෙස. ඔහු ඉතා කලබල වන්නෙක්(Panic) චරිතයක්. පුංචි දෙයටත් ලොකු තොයිල් නටන්න සූදානම් පුද්ගලයෙක්. ඔහු ගැන වෙනම ලිපියකින් ඔබ වෙත එන්නම්. ඔහු අකාලයේ මිය ගියේ පිළිකාවකට ගොදුරු වෙලා. 

ඉතිං බැකප් අමතක කරන්න එපා. ඕනෑම දෙයක බැකප් එකක් තබා ගන්න. හොඳම එක කඩදාසිය(Paper Backup). ඒ කියන්නේ ඡායා පිටපත්, පරිගණක මුද්‍රිත, අතින් තැබූ සටහන් මේ සඳහා යොදා ගන්න පුළුවන්. තවමත් මා විශ්වාස කරන්නේ මුද්‍රිත සහ අතින් තැබූ සටහන්. Magnetic Memory ගැන මට තියෙන්නේ බොහොම අඩු විශ්වාසයක්. ඔබේ ජංගම දුරකථනයට පුළුවන් මේ දත්ත මකා දමන්න. ඉතිං බොහොම ප්‍රවේසමෙන් මේවා හසුරුවන්න ඕනේ. ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වල තිබෙන Magnetic Strip (චුම්බිත තීරුව) මකා දමන්න එය සමත්. එනිසා මේ දෙක එකට තබා ගන්න එපා. කෙසේ නමුත් ඔබේ කාඩ්පත් වල බැකප් ගන්න උත්සාහ කරන්නත් එපා. එය නීති විරෝධී ක්‍රියාවක්. නමුත් ඔබේ කාඩ් අංක වල ඡායා පිටපත් හෝ පින්තූරයක් ලබා ගන්න පුළුවන් නම් එය වැදගත් වේවි. 

___________________________________________
මෙය මා තබන 300 වෙනි සටහන බවත් සඳහන් කරන්න ඕනේ.

ඩයලොග් එක අවුරුදු කිහිපයකට කලින් ඔබේ කන්ටැක්ට් බැකප් කරන්න ක්‍රමයක් හඳුන්වා දුන්නා. කම්මලිමනම් එය භාවිතා කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මුදල් අය කරන එක. 

Thursday, May 1, 2014

ATM කාඩ්පත මිතුරන්ට දී මුදල් ගෙන්වා ගන්නා අයටයි. Those who send others to ATM

අද උදේ ලාස්ට් රෝ එකේ සටහනක් කියවත්දී තමයි මේ සටහන තබන්න අදහස ආවේ. ඒක ටිකක් හාස්‍යය පදනම් වෙච්ච කතාවක්. මීට කලින් දේශ් සටහනක් තියලා තිබුනා කාඩ්පත හොරකම් කරපු සිද්ධියක් ගැන. "යාලුවෙකුට දීලා සල්ලි ටිකක් ගෙන්න ගත්තම මොකද වෙන්නේ ?  යාලුවා මට විශ්වාස නම්" ඔබට එහෙම හිතෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වැරදි වැඩේ කරනවා. වැරදි වැඩේ නෙවේ නීති විරෝධී ක්‍රියාවක්. බොහෝ බැංකු වලින් නිකුත් කරන කාඩ් වල පිටුපස ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒත් සමහර බැංකු ඒ බව කෙළින්ම සඳහන් නොකර "කාඩ්පත සමග නිකුත් කල නීති-රීති වලට එකඟව මෙය භාවිතා කල යුතුය" වැනි අදහසක් මුද්‍රණය කර තිබෙනවා. මම සේවය කරන මහජන බැංකුව නිකුත් කරපු කාඩ්පතේ පිටුපස ඡායාරුපයක් පහතින් බලන්න
ක්‍රෙඩිට් කාඩ් සොරකම් අන්සතු කිරීම ඩෙබිට්

මම විශ්වාස කරනවා මේක කියවන ඔබ, කවදාවත් කාඩ්පත පිටුපස තිබෙන මේ කොටස කියවා නැති බවට. එහෙම කියවන කෙනෙක් ඉන්නවා නම්, මට කියන්න තියෙන්නේ "ඔබ බොහොම ප්‍රවේසමෙන් කටයුතු කරන කෙනෙක්" බවයි. තේරුණේ නැති වුණත් මේවගේ කාඩ්පතේ පිටුපස, එහෙමත් නැත්නම් කාඩ්පත සමග තිබෙන ගිවිසුම කියවා බලන ලෙස මා ඉල්ලා සිටිනවා. ඔබ නීතිඥවරයෙක්/වරියක් නම් අනිවාර්යයෙන්ම මෙය කියවනවා සිකුරුයි. මොකද ඔවුන්ගේ වෘත්තීය අනුව ගිවිසුම් එහි කොටසක්. මෙහි අත්සන තබන කොටස මා මකා දැමුවා. කාඩ්පත ලැබුණු විගස අත්සන තැබීම ගනුදෙනුකරුවාගේ වගකීමක්. බොහෝ බැංකු ඔවුන් ඉදිරියේම මෙම අත්සන තැබීමට ගනුදෙනුකරුවන් පොළඹවනවා. අතීතයේදී නම් ATM යන්ත්‍ර සඳහා පමණක් තිබෙන කාඩ්පතට(මෙවැනි කාඩ් Proprietary කාඩ් වශයෙන් හඳුන්වනවා) අත්සන් තැබීම අත්‍යාවශ්‍ය වන්නේ නෑ. නමුත් දැන් බොහෝවිට ඔබ අතට ලැබෙන්නේ හර කාඩ්පතක්. 

හර කාඩ්පතක් කියන්නේ කුමක්ද ? කියලා පොඩි සඳහනක් කරන්න වටිනවා. ජාත්‍යාන්තර වීසා (VISA) ආයතනට අනුව නම් Debit Card කියන්නේ ඔවුන් සතු සන්නමක්(Product)  පමණයි. බොහෝවිට VISA Electron කාඩ් පතක් තමයි මහජන බැංකුවේ අපි ගනුදෙනුකරුවාට ලබා දෙන්නේ. අනෙකුත් බැංකුත් Electron කාඩ් පත ලබා දෙනවා. VISA Plus කියන්නේ තවත් එවැනි සන්නමක්. මාස්ටර් කාඩ් ආයතනය සතුවත් ඔවුන්ට ආවේනික සන්නම් තිබෙනවා. නමුත් මේ කොයි නමින් ලැබුනත් මේවාගේ භාවිතය පොදුයි. ඒ කියන්නේ හර නැත්නම් Debit. මේවා බැංකුවල ඉන්නා කෙනෙකුට මේ වගේ වර්ගීකරණයක් තුලින් දකින්න ලැබුනත්, සාමන්‍ය ගනුදෙනුකරුවන් වන ඔබට ATM කාඩ්පතම පමණයි. බොහොම සවල්ප දෙනෙක් තමයි මෙය හර කාඩ්පත ලෙස භාවිතා කරන්නේ. 

කලින් සඳහන් කළා වගේ ඔබට හිතෙන්න පුළුවන් "ඉතිං යාලුවා අතේ යවලා සල්ලි ගෙන්නා ගත්තොත් මොකක්ද තියෙන වරද  ?" කියලා. හොඳයි, වරදක් නෑ ? මම අහනවා සීයට කීයක් යාළුවාව විශ්වාසයිද කියලා. 100% නැත්නම් ඉතිං ඔයාලා පරාදයි. මොකද 10% වත් ඔවුන් වංචාකාරීනම්  ඒ ඇති. ලෝකය පිළිගන්නා විදියට මිනිසාගෙන 10% ක් පමණයි එලියට පෙනෙන්නේ, 90% ක්ම පිටතට පෙන්වන්නේ නෑ. ජලයේ පාවෙන අයිස් කුට්ටියකට තමයි මිනිස් සිත සමාන කරන්නේ. 

මම දැකලා තියෙනවා මේ දේ වැඩියෙන්ම කරන්නේ හමුදාවේ අය. එකවර කාඩ් පහක්-හයක් අරං ඇවිත් මුදල් අරගෙන යන. හමුදාවේ නිලධාරීන්ට "බඩී" කෙනෙක් ඉන්න නිසා ඔහුව සියළු කටයුතු වලට කඩේ යවනවා ඇති. ඒ වුනත් ඔබ නිසි අවධානයකින් නොසිටියහොත් මේ ක්‍රියාවලියෙන් කරදර වෙනවා. මෙහෙම වුණාම බැංකුවටත් බොහොමයක් කරදරයි. නමුත් ඔබේ කාඩ්පත අන්සතු කරනවා නම් එහි පූර්ණ වගකීම ඔබටම බාර ගන්න වෙනවා. ඇත්තටම මෙතනදී වඩාත් අවදානම් PIN අංකය වෙනත් කෙනෙක් දැන ගැනීම. අපේ බැංකුවේම සහෝදර සේවිකාවන් දෙදෙනක් අතරේ සිදු වුන සිද්ධියක් මතකයට නැගෙනවා

මදුවන්ති සහ දුෂිකා නවක සේවකයන් ලෙස පත්වීම් ලබා බැංකුවට එකතු වෙන්නේ එකම දවසේ. කන්නේ -බොන්නේ, යන්නේ-එන්නේ එකට. බොහෝවිට දුරබැහැර රාජකාරි වලට යනවා නම්, මේ දෙදෙනා එකටම යන්න පුරුදු වෙලා හිටියා. මධුවන්ති බොහොම අහිංසක චරිතයක් කියලා බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ කථා බහෙන්. නමුත් දුෂිකා   ගුප්ත චරිතයක් බව බොහෝ දෙනා කථා වුණා. බැංකුවේ වුනත් බොහෝ දෙනා කරපු දෙයක් තමයි පෙට් එකට(ATM යන්ත්‍රයට බොහෝ දෙනා කියන්නේ මෙහෙම) කවුරු හරි යනවා නම් කාඩ්පතයි PIN අංකයයි යවලා මුදල් ගෙන්වා ගන්න එක. මුල් කාලයේ තමන්ගේ පාස්පොත යාවත්කාලීන කරනකන් අර මිතුරා හෝ මිතුරිය කරපු ගනුදෙනුව කොපමණද කියලා කිසි කෙනෙක්ට දැන ගන්න ක්‍රමයක් තිබුණේ නෑ.(නොතිබුනාම නොවෙයි, බොහෝ දෙනා එය භාවිතා කලේ අඩුවෙන්. අවසාන ගනුදෙනු පහක් පෙන්වන MiniStatement එක තිබුණත් නිතර භාවිතා කලේ නෑ) ඒත් විශ්වාසය සහ ඒ වගේ තත්වයට(අගහිඟ කම් නිසා හොරකමට)  පත් වන අය බැංකු වල නැති නිසා මේවා කරදරයක් නැතිව සිදු වුණා.  සේවය කරපු තැන ඉඳලා පෙට් එකට මීටර් සීයක දුරක්වත් නැති වුණත් මධුවන්ති කම්මැලි කමට දුශිකා අතේම යවලා මුදල් ගෙන්වා ගත්තා. ඒ වගේම එහෙම යන ගමනකදී ඒ වගේ අවශ්‍ය අයට මුදල් ගෙනවිත් දීමට දුෂිකා කාරුණික වුණා. 
SMS Alert නැති 1990-2000 වගේ කාලයේදී තමන්ගේ ගිණුමෙන් සහ ක්‍රෙඩිට් කාඩ් පතෙන් කල ගනුදෙනු කිහිපයක් ගැන මධුවන්ති දැන ගන්නේ බොහෝ කාලයකට පස්සේ. ඇය තමන්ගේ ප්‍රධාන කළමනාකරු වෙත මේ බව දන්වනවා. අන්තිමේදී ක්‍රෙඩිට් කාඩ්පතින් මිලදී ගැනීම කරලා තිබුණේ පිටකොටුවේ රත්‍රන් භාණ්ඩ වෙළඳ සැලකින්. ඉතාම සූක්ෂම විදියට දුෂිකා වෙනත් ශාඛාවක පරිගණකගත කිරීමේ කටයුත්තකට පිටත් කරලා, එම වෙළඳ ආයතනයේ කැමරා(ඒ කාලේ තිබුනේ VHS පටි වල සටහන් වන පැරණි ක්‍රමයක්) පද්දතියේ සටහන් වී තිබූ වීඩියෝ පට වලින්, සැකකාරිය හඳුනා ගන්නවා. නමුත් බැංකුව පැත්තෙන් ලොකු දඬුවමක් දුෂිකාට හිමි නොවෙන්න හේතුව මගේ මිතුරන්ට මා ඒ කාලයේත් පැහැදිලි කළා. මෙවැනි කරුණු සඳහා පොලිස් පැමිණිල්ලක් මත උසාවිය මගින් ඇය වැරදි කරු වීම අවශ්‍යයි. ඒ සඳහා මදුවන්ති ඉදිරිපත් වුණේ නෑ. නමුත් සියළුම දෙනා දුෂිකා වර්ජනය කළා. මෙයින් බැංකුව තුල සිදු වී තිබුණේ කාඩ්පත් සොරා ගැනීම පමණයි. නමුත් කාඩ්පත් නැති වූ බව මධුවන්ති චෝදනා කර නෑ. හේතුව එසේ නැති වීම ඇයට නොදැනුන නිසා. ඒ සැකකාරිය යලිත් තිබූ ආකාරයටම ඇගේ කාඩ්පත් බෑගයට දැමූ නිසා. 
මධුවන්තිට අවුරුදු ගණනක් වැටුප් වර්ධක තහනම් වුයේ නොසැලකිල්ල නිසා. දුශිකා වෙනත් ස්ථානයකට මාරු කර යැවුනා. මධුවන්තිගේ කාරුණික කම නිසා දුෂිකාගේ රැකියාවට අනතුරක් වුයේ නෑ. 

 අද මේ වගේ ගනුදෙනුවක් සිදු වනවා නම් SMS Alert මගින් අදාළ ගනුදෙනුකරුවාට මොහොතකින් දැනුම් දෙනවා. එනිසා මෙවැනි අවස්ථා වලට ඉඩකඩ නෑ. කොහොම වුනත් තමාගේ කාඩ්පත වෙනත් අයෙකු අත යැවීම එතරම් නුවණට හුරු වැඩක් නොවෙයි. මොකද කුමක් හෝ තාක්ෂනික ගැටළුවක්, එහෙමත් නැතිනම් ඔබගේ ජංගම දුරකථනයේ බැටරි අවසන් වූ මොහොතක මෙය සිදු වන්න පුළුවන්. හිතාමතා එවැනි දෙයක් කරන කෙනෙකුට ජංගම දුරකථනය නිහඬ(Silent Mode) තත්වයට පත් කර එසේ කරන්න පුළුවන්. කුමක් හෝ හොරකමක් සිදු වූ විට පොලීසිය රාජකාරි කරන්නේ ලඟම ගැවසෙන පුද්ගලයන් සැකකරුවන් කරමින්. එහි සැඟවුණු සත්‍යයක් තිබෙනවා. හේතුව මෙවැනි බොහෝ හොරකම් සිදුකර තිබෙන්නේ ලඟින්ම සිටිනා අයෙකු විසින් වීම. ඉතිං අවදානමට පෙර සූදානම කියලා තියෙන කතාව වගේ, පොඩ්ඩක් කම්මැලි නොවී ATM යන්ත්‍රයට ඔබම යන්න පුරුදු වෙන්න. නැතිනම් පාඩුවේ ප්‍රමාණය කොතරම්ද යන්න තීරණය වන්නේ ඒ වනවිට ඔබේ ගිණුමේ හෝ ක්‍රෙඩිට් කාඩ්පතේ තිබෙන මුදල් ප්‍රමාණය අනුව. ඒ වගේම ඔබ PIN අංකය මෙන් ඔබේ ජංගම දුරකථනයත් ප්‍රවේසම් කර ගත යුතුයි. 

කාන්තාවන් සඳහා විශේෂයි : ඔබේ කාඩ්පත් මෙන්ම අනෙකුත් සියළුම උපාංග පුරුදු වූ නිශ්චිත තැනක තබන්න. එවිට අස්ථානගත වීමක් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ජංගම දුරකථනය සහ කාඩ්පත් සමීපව තැබීම කිසිසේත් අනුමත කරන්න බෑ. මේකට සුදුසු විකල්පයක් තෝරා ගන්න. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...