Saturday, April 26, 2014

මයිල් ඇතිනිය අප අන්දන හැටි - තවත් වැඩනොගත් මොළයක් ...... Another Brain in the Drain story

මේ කතාව මා ලියන්නට සිටියේ මීට බොහෝ කාළයකට ප්‍රථමයය. නමුත් කුමක්දෝ හේතුවක් නිසා එය මග හැරිණි. මාතෘකාව කියවූ ඔබේ සිතේ මේ වෙලාවේ තිබෙන කුතුහලය කුමක්දැයි මට පැහැදිලිය. ඒ නියපොතු වල මවිල් හට ගන්නේ කෙසේද යන්නයි ? සැබවින්ම ඔබේ ගැටළුව එය නම් මේ සටහනේ අවසානය දක්වා කියවන්න. මෙහි යම් තැනකදී නියපොතු වල මවිල් හට ගන්නේ ඇයිද යන්නට ඔබට පිළිතුරු ලැබෙනු ඇත.

මගේ දියණියට වයස අවුරුද්දක් වනවිට ඇය බලාගැනීමට ගෘහ සේවිකාවකගේ අවශ්‍යතාව ඇති විය. මුලින්ම ඒ සඳහා පැමිණි මල්ලිකා නමැති හෙර වැඩි කාලයක් යන්නට පෙර ගෙදර යවන්නට හැකි වූයේ, මා සිදුකල රහස් පරීක්ෂක වැඩක ප්‍රතිඵලයක් ලෙසය. ඇය නිවසට ලබා ගන්නා දුරකථන ඇමතුම් මගේ ජංගමය මගින් /රෙකොර්ඩ්/පටිගත(ඉස්සර කාලේ යොදා ගත් තෙරුම දැන් විහිළුවක් වී ඇත) කරගෙන මගේ කාර්යාලීය මිතුරු ශෆීර් ලවා තේරුම් ගත පසු අමතර වැයකින් තොරවම ඇයව නිවසට පිටත් කරන්නට හැකි විය.

නමුත් එදා මෙදාතුර මගේ දියණිය බලාගන්නේ කහවත්ත ප්‍රදේශයේ කාන්තාවකි. ඇය අංක එකේ ගෘහසේවිකාවක් බව මා තේරුම් ගත්තේ, තම නිවසේ කාර්යබහුලත්වය සමග තාවකාලිකව සේවයෙන් ඉවත් වී සිටි කාලයේය. එම කාලය සඳහා අපට සේවය ලබාදුන් කරුණාවතී නමැති අනුරාධපුර ප්‍රදේශයේ සිංහල කාන්තාව අපට මෙම දමිළ කාන්තාවගේ වටිනාකම කියා දුන්නාය. අපගේ ආවතේව කටයුතු කෙසේ වුවත්, ඇයගේ අවශ්‍යතා සැපයීමට අපට සිදු විය. ඇයගේ නම කරුණාවතී වුවද, මගේ දියණියට ඉතා අකාරුණික අයුරින් සලකා තිබූ බව දියණිය පවසන දෙයින් පැහැදිලි විය. ය අප නිවසට පැමිණ තිබුණේ සේවයක් ලබා දීමට නොව, නිවාඩුවක් ගත කිරීමටය. ලොකුම ප්‍රශ්නය වූයේ ඇය ගමේ යන දිනට ගෙනවිත් දීමට තිබූ කෝන් ෆ්ලෙක්ස් පැකට්ටුව සහ නියමිත දිනට පඩි ගිණුම්ගත කොට පරිගණක මුද්‍රිතය ඇයට ලබා දීමය.

මාතෘකාව වත්මන් සේවිකාව පිලිබඳ බැවින් කරුණාවතී පිලිබඳ  කතාපුවත පසුවට සටහන් කිරීමේ පොරොන්දුව ලබා දෙමි. මගේ ගෘහ සේවිකාව නොහොත් අයිලන්ඩම් උපත ලබන්නේ පස්සර ප්‍රදේශයේය. අවුරුදු දහයේදී නුගේගොඩ නිවසක සේවය කරන ඇය, තවත් අවරුදු කිහිපයකින් පරම්පාරගත රැකියාව වන දළු කැඩීමට යොමු වේ. ඉන්පසු කහවත්ත ප්‍රදේශයේ විවාහකයෙකුගේ දෙවන බිරිඳ ලෙස පැමිණෙන්නීය. එතැක් පටන් කහවත්ත/පැල්මඩුල්ල ප්‍රදේශ වල වතු වලත්, එම ප්‍රදේශයන්හී නිවෙස්වල  මිදුල සහ පිළිකනු සරසන මැදරට තේ දළු කඩන්නියකගේ චරිතයට පණ පොවන්නේ, ටේලර් වරයෙකු වූ තම සැමියාගෙන් තිලිණ වූ ළමුන් පෙලියගේ අවශ්‍යතා සපුරන්නටය. එසේ ගෙවතු තේ වගාවේදී හමු වූ ඇය අප නිවසට එක් වන්නේ 2007 දීය.

ඇගේ ආගමනය මට මුලින් මහත් හිසරදයක් වුවේය. හේතුව ඈ උයන කෑම මෙලෝ රහක් නැති වීමය. පසුව මගේ සොයුරිය දින කිහිපයක් අපේ ක්‍රමය ගැන හුරුවක් ලබා දුන් අතර සති කිහිපයක් යනවිට සියළු දෙනා පරයා රසවත් කෑම සාදන්නට ඈ සමත් වන්නීය. මුල් දිනවල ඈ සාදන කෑම මා ප්‍රතික්ෂේප කරනා බව දැන මා හා කථා කිරීමෙන් පවා වැළකී සිටියාය. මට මුලින්ම ඇගේ අසීමිත හැකියාව පිලිබඳ අවුබෝධයක් ආවේ ඉන් පසුවය.

ඇය මෙහි පැමිණි මුල් කාලයේ ඇය ගමේ ඇරලවන්න්ට සහ කැඳවාගෙන එන්නට නැන්දම්මාට, මට හෝ බිරිඳට යාමට සිදු විය. ඒ ඇගේ සාක්ෂරතාව බිංදුවේ පැවතීම නිසාය. එහෙත් මාස කිහිපයක් යනවිට ඒ කරදරයෙන් අප මුදවන්නට ඈ සමත් විණි. ඇයට අකුරු බැරි වුවත් කුමක් හෝ සංකේත ක්‍රමයකට සියළු දේ මතක තබා ගැනීමට ඈ දක්වන්නේ උපන් හපන් කමකි. එක් දෙයක් පිලිබඳ එක වරක් දැන ගැනීමෙන් එය හොඳින් ග්‍රහණය කර ගැනීමට ඈ දක්වන හපන්කම පුදුම එලවන සුළුය.

ඇගේ නම අයිලන්ඩම් වූවද, ඇය තේ දළු කඩන්නට යෙදුනු ප්‍රදේශයේ ඇය ඇයට අයිලි යන නමින්ද, ඇය මෙහි කැදවාගෙන ආ අපේ නැන්දම්මා ඇතුළු පවුලේ ඇය අයිල් යනුවෙන්ද ඈ අමතයි. අපද තවමත් ඈ අමතන්නේ අයිල් යනුවෙනි. මේ නිවසේ සිටින දරුවන් ඈ අමතන්නේ අයිල් ඇන්ටී යනුවෙනි. ඒ අතින් ඇය වාසනාවන්තය. බොහෝ ගෘහ සේවිකාවන්ට නිවෙස්වලින් ලැබෙන්නේ තුන්වන පන්තියේ සැලකිලිය. එහෙත් පසුව ගමේ අය සමග ඈ මේ නිවසේ සේවයට දක්වන කැමැත්ත පවසා තිබුණේ "මට මගේ ගෙදරටත් වඩා හොඳයි" යනුවෙනි.

ඇය පංගුබේරුවට වැඩ කරන්නේ නැත. මගේ සොයුරිය මෙම නිවසේ සිටින කාලයේ අතින් සේදිය යුතු සියලු රෙදි ඈ සෝදා, වෙලා නවා අදාළ කෙනා වෙත ලැබෙන්නට සල්ස්වන්නීය. කිසිදින වැඩක් කිරීමට ඈ මැලිකමක් නොදක්වන්නීය. ඔය අතර ඇඳුමක් දෙකක් ගොඩවල් මාරු කර තබන්නේ, ඒවා පිලිබඳ නිසි මතකයක් අයිතිකරුවන්ට නැති නම්, ඒවා ගල් කිරීමටය. මාස කිහිපයකින් මේ ගතිය හඳුනාගත් මා නිතරම මගේ ඇඳුම් සහ වෙනත් දේ පිලිබඳ විමසන්නට පටන් ගත්තේ, එසේ කිරීමට අවදානම් බව ඇයට හඟවන්නටය. එසේ අස්ථානගත කරනා ඇඳුම් පිලිබඳ විමසීමක් නොකළ කල්හී මාස දෙක තුනකින් ඒවා සුරක්ෂිතව කහවත්ත බලා පිටත් කෙරේ. 

ඈ ගමේ යන සෑම දිනකම ඉතා විශාල බෑගයක් පුරවාගෙන යයි. අපි ඒ පිලිබඳ විමසීමක් නොකරමු. කිසිදු දිනක බෑග් පරීක්ෂා කරන්නට නොයන්නෙමු. මේ ගැන පැවසූ විට මගේ මිතුරෙකු පෙන්වූයේ, ඇය යන්නට සුදානම් විට ඇයව කඩයට පිටත් කොට බෑගය පරීක්ෂා කරන ලෙසය. නමුත් ඈ පිටත් වන හිමිදිරියේ කඩ අරින්නේ නැත. කලින් දින කතිකා කරගත් ත්‍රී රෝද රථයක් නිවස අසලට පැමිණෙන අතර, මිනිත්තු කිහිපයකින් එම බඩු ගොන්නද රැගෙන ඈ ඉගිලෙන්නීය. වරක් මගේ සොයුරිය මෙම නිවසින් ඉවත් කරන සියල්ල එක්රැස් කරගන්නා ලෙස ඇයට දන්වා අනවශ්‍ය සියළු දේ ඇයට පරිත්‍යාග කරන්නට අප සියළු දෙනා දැනුවත් කරන ලදී. එසේ එකතු කර ගන්නා ළද සියළුම ගණයේ අබිලි ද්‍රව්‍ය ලොරියක් පුරවා රැගෙන යන්නට ඈ පසුබට නොවීය. මේවා ඇගේ ගමේ අය අතර බෙදා දෙන බව පසුව දැන ගන්නා ලදී. 

මගේ පැරණි ජංගම දුරකථනයකට පෙරගෙවුම් පැකේජයක් දමා අප නිවසේ එවක සේවය කල නානා යනුවෙන් අප අමතන මුස්ලිම් ජාතිකයා සහ ඇයට ලබා දුනිමි. දවස් කිහිපයකින්ම එහි සම්පූර්ණ අයිතිය ඈ සතු කරගන්නා ලද අතර, මුල් මාසයේ හැරුණුකොට එයාර රීලෝඩ් දැමීම අප සිදු කලේ නැත. එසේ ඉල්ලා ඈ අපට කරදර කලේද නැත. මුලින් මුලින් ඒ සඳහා මුදල් ඉල්ලා සිටියත් පසුව අපගේ සාක්කු වල තිබෙන මුදල්ද, අතන මෙතන තිබෙන කාසිද, කඩේ ගොස් ලැබෙන ඉතිරි මුදල් මාටියා ගැසීමෙන්ද එම මුදල් සම්පාදනය කරගන්නට සමත් වන්නීය. මුල් මාස කිහිපයේ හැරුණුකොට, කිසිමදිනක රීලෝඩ් දමා ගැනීමට ඈ අපගේ සහය ඉල්ලා සිටියේ නැත. දැන් ඇය මෙහිසිට ඇගේ නිවසේ කටයුතු සහ ගමේ අයට උපදෙස් දෙන්නේද ජංගමයෙනි. මා දහවල් කාලයේ දියණියගේ හඬ ඇසීමේ පරමාර්ථයෙන් ලබා දුන් ජංගමය දැන් සමහරවිටෙක අපට හිසරදයකි. ඒ අත්‍යාවශ්‍ය වැඩ පසෙක ලා ඈ  දුරකථනයට ප්‍රමුඛත්වල ලබා දීම නිසාය. දැන් ඇය මිස් කෝල් දීමට දනී. දහවල් කාලයේ දියණියට මා ඇමතීමට අවශ්‍ය නම් ඇය එසේ කරයි. නිවසේ හොඳින්ම සිග්නල් තිබෙන තැනින් ජංගමය තබන්නේ පැය 24 ම ලැබෙන ඇමතුම අතපසු වේ යන බියෙනි. 

ඇගේ පවුලේ කෙනෙකු බොහෝවිට/ඉඳහිට අපගේ නිවසේ නවාතැන් ගැනීමට පැමිණේ. එසේ පැමිණි දිනකට ඉතා හොඳ රාත්‍රී භෝජනයක් ගැනීමට අපටද අවස්ථාව හිමි වේ. ගෘහසේවිකාවකවට ඔහේ නටන්නට ඉඩදී බලා සිටිනවා යන චෝදනවා ඔබගේ හිතේ දැන් නලියනවා වන්නට පුළුවන. නමුත් ඇය අපට ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක පවතී. ඉතා පිරිසිදුව නිවෙස පවත්වාගෙන යයි. ආහාර ප්‍රනීතව සහ නැවුම්ව ලබා දෙයි. කිසිදු පැකීලීමකින් තොරව රෙදි සේදීම, නැවීම සහ එකිනෙකාට අදාළ ස්ථාන වල තබයි. ඇය ලබා ගන්නා වැටුපට සරිලන සේවාවක් අපට ලබා දේ. අපද ඉලක්කම් වලට සීමා නොවී අවශ්‍යතා ඇති වනවිට යට මුදල් ලබා දේ. මේ සියළු කාරණා නිසා සහ මගේ කුඩා දියණියට ඇය දක්වන ගෞරවය සහ ආදරය නිසා දීර්ඝකාලීනව අප නිවසේ සේවයට කැප වී සිටී.

ඇය විශ්වාස කරන්නේ මගේ දියණිය දෙව්දුවක් බවයි. විටෙක් රාජු බබා යනුවෙන් අමතනු මගේ සොයුරියගේ දියණිය අසා සිට ඇත. එය මගේ වාසනාවකි. මගේ දියණියද කිසිදු චකිතකයකින් තොරවම ඇය සිප ගනී. අපද ඊට වචනයක් හෝ හරස් කරන්නේ නැත. කුඩා දරුවන් එසේය. කිසිදු දිනක ඇයට බොහෝ නිවෙස් වල සේවකයන්ට කථා කරනා සේ අප අමතා නැත. ඇත්ත වශයෙන්ම කිසිදු සේවක/සේවිකාවකට අප එසේ අමතන්නේ නැත. උඹ/බං/තෝ/තොපි අපේ වාග් මාලාවට එන්නේ මිතුරන් හමු වූ විටෙකදීය. ප්‍රයෝග යොදා යම්-යම් දේ සඟවා නොගන්නේ නම් ඇයතරම් වටිනා සේවිකාවක් නැත. එසේ ප්‍රයෝග යොදා කිරි-පිටි සහල් වැනිදේ ඉතිරි කරනා අකාරය විශ්මයජනකය. මගේ සොයුරිය පවසන්නේ ඇය නිසි අධ්‍යාපනයක් ලැබුවේ නම් ආචාර්ය පදවියක් ලබා ගන්නා බවයි.

කිරිපිටි දමා තිබෙන භාජනයෙන් තුනෙන් එකක් පමණ ඉතිරිවනවිට, කිරි අවසන් වන නිසා නව පැකට්ටුවක් රැගෙන එන ලෙස පවසයි. අප ගෙනෙන නව පැකට්ටුව එම බඳුනට දමන ඈ, ඉතිරිව තිබෙන තුනෙන් එක කවරය පිටින්ම සඟවා තබයි. නව කිරිපිටි පැකට්ටුව අඩක් නිමවනවිට නැවතත් කිරි ගෙනෙන ලෙස ඉල්ලයි. මෙවර ඇය කරන්නේ අප රැගෙන එන නව පැකට්ටුව සඟවා, සඟවා තැබූ තුනෙන් එක, ඉතිරිව ඇති භාගයට එක කිරීමයි. එවිට් අප බලන විට වැටහෙන්නේ නව පැකට්ටුව භාජනයට දමා ඇති බවයි. සහල් වලටද මෙවැනි දේ සිදු කරයි. අප අතර ඉතා අඩුවෙන් සිදු වන සන්නිවෙදනයද ඇය වාසියට හරවා ගනී. එකම කාරණයක් සඳහා අප දෙතුන් දෙනාගෙන්ම මුදල් ඉල්ලා ගැනීමට ඈ පසුබට නොවන්නීය.

මයිල්ඇතිනිගේ පඩි මා ලබා දෙන්නේ දිනපොතක සටහන් කරගෙනය. මේ කිසිදු සටහනක් නැතිව තමාට ලැබිය යුතු ගණන මට වැරදුනු විට පෙන්වා දෙන්නේ මා මවිතයට පත් කරමිනි. කොලයක ලියා ගණන් හදන්නට නොදන්නා නමුත් හිතෙන් තමාට ලැබිය යුතු ප්‍රමාණය ඇය ගණනය කරන්නීය. විටෙක අගේ අධ්‍යාපනය සඟවා සිටින්නේදැයි මට සිතේ. නමුත් සමහර අවස්ථා වලදී කරන කූට උපක්‍රම අප ඉවසා සිටින්නේ මෙවැනි ගෘහසේවිකාවක් සොයා ගැනීම දුෂ්කර කාරියක් නිසාය. තම පුතා රට යැවීමට යයි කියා දිනක් මගෙන් රුපියල් 25000 ඉල්ලා ගත් ඈ, එම මුදල මාසිකව පඩියෙන් අඩු කරගන්නා ලෙස ඉල්ලා සිටියාය. මාද එම මුදල ලබාදී දිනපොතෙහි සටහන් කරමින් පඩි ලබා දුන්නෙමි. අතරින් පතර මාසයක ණය මුදල කපා නොගන්නැයි ඉල්ලා සිටි විටෙක එයද මා ඉටු කලේ ඇගේ සේවය වටිනා නිසාය. නමුත් අවසන් වාරිකය කපා දැමු දින ඇය පැවසූවේ තමා ණය ගෙවා අවසන් බවය. මේවා පවසන්නේ ඉතා යාප්පුවෙනි. එවැනි පාඩුවක් විඳ දරා ගැනීමට අපට සිදු වේ.  මෙවැනි අවස්ථා දෙකකදීම පාඩුව මාහට උරුම වීම නිසා, මම කැලැන්ඩරයේ වැඩ කල දින සහ මුදල සටහන් කරන්නට පටන් ගතිමි.

සමස්තයක් වශයෙන් ගත් කල ඇයට ලැබෙන මුදලට වඩා සේවාවක් ලබා දේ. නමුත් තමන්ට නිවාඩු අවශ්‍ය නම් කෙසේ හෝ එය ලබා ගන්නට ඇය පැකිලෙන්නේ නැත. පසුගිය කාලයේ ඇයගේ පුතාගේ විවාහ අපේක්ෂක ලේලිය ජෝර්දානයේ සිට පැමිණි අතර, ත්‍රිකුණාමලයේ සිංහල කෙල්ලක වූ ඇයගේ නිවසින් මේ සබඳතාවට හරස් කැපීය. නමුත් ඔවුන් හමු වන්නට ගොස් ප්‍රශ්නය සමතයකට පත් කරගන්නට මයිල්ඇතිනිය සමත් විය. මේ සම කරුණක් සඳහාම දවස් දෙකක නිවාඩු ගන්නා ඇය යලි පැමිණෙන්නේ දින පහක් පමණ ගත කිරීමෙන් පසුවය. පසුගිය වතාවේ ඕනෑ දෙයක් කියා මා ඇයට හොඳින්ම දොස් පවරන්නට වග බලා ගත්තේ, මෙම පුරුද්ද හිසරදයක් වූ කළය. එක වතාවක් ඇයගේ පුතෙකුට සහ ස්වාමිපුරුෂයාට මිනීමැරුම් චෝදනා ඇති විය. එවිට අපෙන් සමුගෙන ගියද ඇය යලිත් ගෙන්වා ගැනීමට අපට හැකි විය. දෙවන වතාවටද අපට සමුදී ඈ ගමරට බලා ගියේ, ඔවුන්ගේ නිවෙස අත්පත් කර ගැනීමට වතු අධිකාරී වරුන් ක්‍රියා කරන්නට සුදානම් වත්දීය. නමුත් මෙවර ඇයට වත්තේ ලබා දී තිබී ඇත්තේ නාගයෙකු වසන පාලු පෙදෙසකි. ඒ සමග ආ අයුතු යෝජනාවක් නිසා, නැවතත් ඇය අපගේ සේවයට පැමිණියේ පඩි වැඩි වීමක්ද සමගය. නමුත් දැන් මා ඇයට ගෙවන්නේ වැඩ කල දවස් ගණනටය.

මයිල් ඇතිනිය යනුවෙන් මා අයට යොදා කථා කරන්නේ, මගේ කාර්යාලීය මිතුරන් සමගය. එම වචනය අනිත් පැත්ත හරවා බැලූ විට "අයිල් මැතිනිය" යනුවෙන් පෙරළේ. ඉතිං ඒ නම නරකදැයි මා ඔබෙන් අසන්නේ, ඇය ලබා දෙන සේවය සහ අපව නටවන හැටියට මැතිනිය යනුවෙන් ඇමතීම කාලෝචිත නොවන්නේද යන සිතුවිල්ලෙනි?
_______________________________________________
ප.ලි.
දමිළ සංස්කෘතික උත්සව සියල්ල සඳහා ඈ නිවාඩු ඉල්ලා සිටින්නීය. ඇය ගෙදර පිටත් කළ විට තිබෙන ලොකුම ගැටළුව වන්නේ යලිත් ඈ ආපසු එන දිනය පිලිබඳ විශ්වාසයක් නැති කමය. විවිධ හේතු පවසමින් ඈ එන දිනය මග හරින්නීය.

පසුගිය කාලයේ ලේලිය ලංකාවට ආවාය. ඇය එහි සේවය කර තිබුණේ හවුස් මේඩ් රකියාවකය. තම පුතා වැඩ කරන ගාමන්ට් එකටම අද උදෑසන ඇයද පිටත් විය. නමුත් හවුස් මේඩ් තනතුර පාස්පෝට් එකේ තිබෙන විට වීසා ගැටළු ඇති වන බැවින් නව පාස්පෝට් එකක් සාදා ගත් බව ඇය පවසන්නීය. ලේලියා ආ දා සිට ඇයව තම දියණිය සේවය කරන ඇඟලුම් කම්හලටම මාස කිහිපයකට ඇතුලත් කරන්නේ අද උදෑසන සඵල කරගත් බලාපොරොත්තුව ඇතිවය. එමගින් අත්දැකීමද, නව පාස්පෝට් එක මත ජුකී මැෂින් ඔපරේටර් යන්නද සටහන් කරගන්නට ප්‍රමාණවත් විය. ඊළඟ පියවර දියණිය ඒ මග ඔස්සේම පිටත් කර යැවීමය. එතනින් නතර නොවන ඈ, මුළු ගමේම අයට පාස්පෝට් හදන හැටි උපදෙස් දෙන්නීය. 

Friday, April 25, 2014

ලොල්ද මන්දා අංක 14 : ඒ කඩේ කේම රස නේ මාත්තයා ...... Food in that hotel have no taste sir

ඊයේ හවස මම ඔෆිස් එකෙන් එලියට ආවේ හරියටම හවස 5.05 ට තලංගම බස් ඩිපෝව ඉදිරියේ තියෙන බස් නැවතුමට එන කැස්බෑව බස් එක අල්ලා ගන්න. එක අහු වුණොත් 5.45 ට ගෙදර. නමුත් මම පොඩ්ඩක් ප්‍රමාද වැඩියි. බස් එකක් එනකම් අපේ ආරක්ෂක නිලධාරියත් එක්ක පොඩ්ඩක් කතා කරලා 163 බස් එකක් එත්දී හෝල්ට් එක පැත්තට යන්න හැදුවා විතරයි, නිල් පාට ලෑන්ඩ් කෲසර් එකක් මගේ ඇඟට කැපුවා. බලනකොට බැංකුවේ එකක්. ඒක ප්‍රධාන කාර්යාලට යන නිසා එයට ගොඩ වුණා. ඩ්‍රයිවර් මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්. ඉක්මනින්ම් රාජගිරියට එන්න පුළුවන් වුණා. බස් හෝල්ට් එකට එත්දීම බස් එකක් ගියා.

 මට හිතුණා එතන තියෙන හෝටලයට ගොඩ වෙලා කෝපි කෝප්පයක් බොන්න. එහෙම හිතලා කඩයට යන්න හදනකොටම ඒ පැත්තේ ඉඳගෙන එන මුස්ලිම් වගේ මනුස්සයෙක් මගෙත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

මිනිහා : මාත්තයා මම දන්න ඉන්දා කියන්න ඔය කඩේට යන්ඩ එපා කේම රස නේ.

මම : නෑ මම යන්නේ කෝපි කෝප්පයක් බොන්න.

මිනිහා : ඉතිං මාත්තයා කේම රස නේ කියන්නේ, කෝපිත් රස නේ කියන එකනේ. එගොල්ලා රස නෙතුව තමයි හදනවා.

මම : ඔයා කොහොමද දන්නේ ?

මිනිහා : මාත්තයා පොඩ්ඩක් එයා පැත්තේ තියෙනවා මුස්ලිම් හෝටල් එකක්. පොඩ්ඩක් ගීන් බලන්ඩ.

මම : නැ කමක් නෑ මම මේකට යනවා.

මට වෙන්න යන වැඩේ යස අපූරුවට වැටහිණි. මුන් හදන්නේ සිංහල කඩේ වහලා දාලා, උන්ගේ කඩ පෝසත් කරන්න. ඉතිං බොදු බල සේනා හැදෙන එක පුදුමයක් නෙවෙයි. එහෙං ඉඩම් අල්ලනවා, මේ කස්ටමර්ලා අල්ලනවා. මම කඩේට ගොස් කෝපි කෝප්පයක් බීවෙමි. එහි කිසි අඩුපාඩුවක් නැත. එවෙලාවේ ඇති වූ කේන්තිය නිසා එළවළු රොටි දෙකක්ද කෑවද, ඒවා රසින් කිසි අඩුවක් නොවීය. මා නැවතත් එන විට සිනා මුසු මුහුණින් "තම්බියා" මා දෙස බලා සිටී.

මම : මේ ඕයි . නිකං යනවා යන්න බොරු නොකියා. ඒ කඩේ කෑම රසයි. තමුසෙලා හදන්නේ සිංහල කඩ වහලා තමුසෙලාගේ ඒවාට බිස්නස් වැඩි කර ගන්නද ?

තම්බියා : කෑ ගහන්න එපා සර්. අපි නෙවෙයි එගොල්ලා තමයි කියන්නේ කෑම රස නේ කියලා.

මම : ඒ කියන්නේ තමුසේ කඩේ ඉන්න කොල්ලන්ට ගානක් දීලා අල්ලාගෙන කෑම වල රස නැති කරනවා. ඉන්නවා මම තමුසෙට හොඳ වැඩක් කරන්න.

මම නැවතත් කඩේ දෙසට යන්නට සරසුනෙමි. මෙවර තම්බියා මගේ අතින්ම අල්ලාගෙන යලිත් කථාව පටන් ගති.

"බලන්න සර් එගොල්ලා බෝඩ් ගහලා කියලා තියෙන එකනේ මම කියන්නේ. සර් නිකං කේන්ති ගන්ඩ හොඳ නේ"

මම කඩයේ බෝඩ් එක දෙස බැලුවෙමි. මට හිනහව නතර කර ගැනීමට නොහැකි විය.

"නේ - රස කියන්නේ ඉතින් රස - නේ කියන එකනේ සර්"

මිනිසාගේ කරට තට්ටුවක් දැමූ මම කඩයේ බෝඩ් එකේ ෆොටෝ එකක් ගතිමි. පින්තූරය පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න. මෙහි තේරුම කුමක්දැයි සොයන්න පසුවට තබා මා බස් රථයට ගොඩ වුණේ  ළඟ එන වැස්සට අසු නොවීමේ බලාප්රොත්තුවෙනි.

රාජගිරිය හන්දියේ තිබෙන නේ - රස හෝටලය

Wednesday, April 23, 2014

එල්.ඊ.ඩී. භාවිතා කර ලයිට් බිල අඩු කරගත් පෙරේරා මහතා ...... Mr. Perera who slashed his electricity bill by using LED

පහුගිය වතාවේ විදුලි ගාස්තු ඉහල ගියාම බොහෝ දෙනෙක් උත්සාහ කළා මොනවා හරි කරලා ලයිට් බිල අඩු කර ගන්න. මමත් බොහොම දැඩි උත්සාහයක් ගත්තා අඩු කරගන්න. නිතරම ඇවිදලා අනවශ්‍ය විදුලි පහන්, විදුලි පංකා නිවා දමන්න. ඒ වගේම මම කරපු තව දෙයක් තමයි නිවසේ සමහර පෙදෙස් වලට අදාළ සර්කිට් බ්‍රේකර් වසා දමන්න. මොකද එකකට එකක් යා කරලා හදලා තියෙන අපේ නිවෙස් වල, ඉහලම මාලේ තිබෙන විදුලි රැහැන් වලට කොක්කක් ගහලා විදුලිය ගන්නත් බැරි නෑ. ඒ වැඩේ යම්තාක් දුරට සාර්ථක වුණා. නමුත් විශාල වශයෙන් නෙවේ. ඉතිං මමත් තීරණය කළා එල්.ඊ.ඩී.ගන්න. 
LED bulbs එල්.ඊ.ඩී. බල්බ විදුලි පහන්
පින්තූරය ගත්තේ : http://www.relumination.com

දැන් ඉලෙක්ට්‍රික් වැඩ දන්නා බොහෝ දෙනෙක් කරන සයිඩ් බිස්නස් එකක් තමයි මේ එල්.ඊ.දී. විදුලි බුබුළු එකලස් කරන එක. මොකද මේ මගින් විදුලි බිල්පත 40% කින් විතර අඩු කර ගන්න පුළුවන් කියන එක තමයි මතය. පෙරේරා මහත්මයා තව අවුරුද්දකින් විශ්‍රාම ගන්න ඉන්න කෙනා. මේ වගේ ලොකු විදුලි බිලක් ගෙවන්න වුනොත් ඉතිං අනික් වැඩ පල කර ගන්න සල්ලි මදි වෙනවා. ඒ නිසාම පෙරේරා මහත්තයා එයාගේ දරු මල්ලෝ තුන් දෙනාට කෑම මෙසේදී මේ ගැන කිව්වා. කොච්චර කිව්වත් ගෙදර රූපවාහිනිය නිවා දමන වෙලාවක් නැති තරම්. නිතරම ෆෑන් දෙක තුනක් කැරකෙනවා. දවල්ට වොෂින් මැෂින්, රයිස් කුකර්, බෙලෙන්ඩර් හැම එකක්ම ක්‍රියාත්මක වෙනවා. මුළු පැය විසිහතරම ශීතකරණය. අන්තිමට මිනිහගේ හිත ළඟදී එල්.ජී. එකෙන් හදපු අර රෑට ඕෆ් කරන්න පුළුවන් ශීතකරණයට ගිහින් තිබුණේ. 

පෙරේරා මහත්මයා මුළු බෝනස් එකම මේ වෙනුවෙන් යොදවන්න තීරණය කළා. ඉතින් දෙසැම්බර් මාසයේ නිවසේ සියලුම විදුලි පහන් එල්.ඊ.ඩී. කළා. ඒකට පෙරේරා මහත්තයාට වැඩි මුදලක් වැය නොවුණේ, තමන්ගේ කාර්යාලයේ ඉන්න මිත්‍රයෙක් ඒ බල්බ් එකලස් කරපු නිසා. ඒත් ඒ කඩේ විකුණන නුදලට සාපේෂව. නමුත් රුපියල් දහ - දාහක් කියන්නේ ලේසි මුදලක් නොවෙයි. මේකේ ප්‍රතිලාභ ලබන්නත් සෑහෙන කාලයක් ඉන්න වෙනවා. පෙරේරා මහත්තයා එකෙනුත් සෑහීමකට පත් වුණේ නෑ. එක මාසයක් ලයිට් බිල අවාම කලින් එකත් එක්ක බැලුවා 15% විතර තමයි අඩු වෙලා තියෙන්නේ. මිනිහා කෙලින්ම ගිහින් නැවතුනේ බල්බ් ටික එකලස් කරපු කාර්යාලීය මිත්‍රයා ගාව

"මොකක්ද බන් උඹේ එල්.ඊ.ඩිය දාලත් බිල අඩු වුණේ රුපියල් 750 යි නේ"

"මේකනේ පෙරේරා අයියේ බලබ් දැම්මම, බල්බ් වලට යන ඒවායින් 40%ක් අඩු වුනාට, අයන් එක, ෆ්‍රිජ් එක, සිවිලින් ෆෑන්, බ්ලෙන්ඩර්, රයිස් කුකර්, වොෂින් මැෂින්. මේවා පාවිච්චි කරනවා නම් බිල අඩු කරගන්න වෙන්නේ පාවිච්චිය අඩු කරලා"

"ඒකත් එහෙමද ? උඹ හදන්නේ බ්ලබ් විතරද ?"

"ඔව්. පෙරේරා අයියේ"

පෙරේරා මහත්තයා ඊළඟ නැවතුනේ නගරයේ තියෙන විදුලි, ඉලෙක්ට්‍රොනික් උපකරණ විකුණන මුස්ලිම් කඩේ.

"මුදලාලි ඔයාලා ගාව තියෙනවද එල්.ඊ.ඩී. ෆ්‍රිජ්, ෆෑන් එහම"

"ෂර් කියන්නේ එල්.ඊ.ඩී. හයි කරපුවද ?"

"නැතුව ඉතිං එල්ලන්නයි"

මුදලාලිට තේරුණා කතන්දරේ. කොහොමත් මාසයක් යනකං අවුලක් නැති නිසා. ෆ්‍රිජ් එකකුයි ෆෑන් දෙකකුයිම පෙරේරා මහත්තයාගේ ඇඟේ ගැහුවා. 

මේ භාණ්ඩ ටික ගෙදර ගෙනාව පෙරේරා මහත්තයා සැනසුම් සුසුමක් හෙළුවා. පරණ ෆ්‍රිජ් එකයි ෆෑන් දෙකයි ළඟ ඥාතියෙකුට දුන්නා. ඊළඟ මාසේ ලයිට් බිල ආවා. මිනිහට හිතා ගන්නත් බෑ ලයිට් බිල රුපියල විසි ගානකින් වැඩි වෙලා. මිනිහා කඩාගෙන ගියා කඩේට

"මොනවද නිසාර් තමුසේ කරන්නේ. බලනවා තමුසෙගෙන් එල්.ඊ.ඩී. ෆ්‍රිජ් එකයි ඵ් දෙකයි ගෙනිච්චේ අතේ සල්ලි තියෙනවට නෙවෙයි. ලයිට් බිල අඩු වුණේ නෑ. මට පෙන්නේ තමුසෙත් අපේ ඔෆිස් එකේ බල්බ් හදන එකාගේ කවුරු හරි වෙන්න ඕනේ. එල්.ඊ.ඩී. දැම්මම 40% කින් බිල අඩු වෙනවා කිව්වට, කිසි වෙනසක් නෑනේ අයිසේ"

"මේකනේ මාතියා ඔය ෆ්‍රිජ් එක ඇතුලේ හයි කොරලා තියෙන්නේ එල්.ඊ.ඩී. තමයි. ෆෑන් එකේ රේගුලේටර් එකේ තියෙන්නේ පොඩි එල්.ඊ.ඩී. තමයි"

"ඉතිං අයිසේ ඔය කෙහෙල් මල හයි කරාම ලයිට් බිල අඩු වෙනවා කියන්නේ බොරුවක්ද?"

"අපි නම් දන්නේ ෂර් කවුද කිව්වා"

"තමුසෙලා ඔක්කොම එකයි" 

 කියාගෙන පෙරේරා මහත්තයා එලිට බැස්සා.
__________________________________________________
මේ ළඟදී මම ගෙදර විදුලි පහන් වලට එල්.ඊ.ඩී. දැම්මා. අපේ අය රැල්ලට ගියාම කෙළවරක් නැතිව යන නිසා, මට හිතුණා, කෙනෙකුට මේ වගේ හිතෙන්න පුළුවන් කියලා. LED කියන්නේ Light Emitting Diodes කියන එක බොහෝ දෙනක් දන්නේ නැති බව පැහැදිලි වෙනවා. සමහරු හිතන්නේ මේක ලයිට් බිල අඩු කරන යුනිට් එකක් කියලා. මගේ කාර්යාලීය මිත්‍රය කිව්වා දෙයක් තමයි ෆෑන් එක අඩුවෙන් දැම්මත්, වැඩියෙන් දැම්මත් වැය වෙන විදුලි ගාස්තුවේ වෙනසක් නෑ කියලා. 

Saturday, April 19, 2014

සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යය ...... Sri Lankan youth who have chosen Fantastic Names for Social Networks

මගේ අවුරුදු පහකටත් වැඩි ෆේස්බුක් සමාජ ජාල ගිණුමට මම යොදා ගත්තේ මගේ ඇත්තම නම. මුල් කාලයේදී ඒ ගැන කිසිම අවුබෝධයක් තිබුණේ නෑ. ටිකක් කල් යත්දී තමයි මේකේ හැඩරුව තේරුම් ගත්තේ. අදවනවිට ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් නැති තරම්. ඊට අමතරව තවත් සමාජ ජාලා බොහොමයක් තියෙනවා. මේ තුලින් විවිධ ආර්ථික වාසි සපයා ගන්නා අයත් ඉන්නවා. ඒවා වෙනම සාකච්ඡා කලයුතු මාතෘකා.

එක-එක කාල කාල වලදී ෆේස්බුක් භාවිතාව අවම වෙලා මිතුරන් ඒ ගැන විමසන්න පටන් ගත්තම තමයි මම නැවතත් සක්‍රීය වෙන්නේ. උදාහරණයකට 2010 පාපන්දු ලෝක කුසලානය පැවැත්වුණු කාලේ FIFA වෙබ් අඩවියේ තිබුණු දැනුම උරගා බලන ගේම් එකකට ඇබ්බැහි වෙලා, අන්තර්ජාලයේ කරන සියලුම කටයුතු පැත්තක තියලා ඒක කරගෙන ගියා. පස්සේ මිතුරන් ඇහුවම තමයි මම අනෙක් කටයුතු වලට යොමු වුණේ. බ්ලොග් පටන් ගත්ත කාලෙත් ඒ වගේ තමයි, සියළු කාරියන් පැත්තක් තියලා බ්ලොග් කියවන්න ගත්තා. ඉන් පස්සේ ලියන්න ගත්ත. මට හිතුණේ "ඒක තමයි නියම තැන" කියලා.  ඔහොම කාලයක් යත්දී තේරුණා බ්ලොග් ලියන කියවන අය මටත් වඩා ෆේස්බුක් එකට ඇබ්බැහි වෙච්ච් කණ්ඩායමක් කියල. ඔන්න මම ආයෙත් ෆේස්බුක් සහ බ්ලොග් සමව බෙදාගෙන පරිහරණය පටන් ගත්තා.

බ්ලොග් අවකාශේ ඉන්න කට්ටිය එකතු කර ගන්නත් මේ කාලයට සමානතරව සිදු වුණා. විශේෂයෙන්ම වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අවුරුදු උත්සවයෙන් පස්සේ. මෙහෙම මුලින් එක්කෙනා, දෙන්නා දවසට එකතු කරගෙන ගිහිං, පස්සේ දවසට දෙන්නා තුන් දෙනාගෙන් ඉල්ලීම් එන තරමට මේ සමාජ සබඳතාවය වර්ධනය වුණා. මමත් ඒ වගේම දෙන්නා තුන්දෙනාට ඉල්ලෙම් යවලා අන්තිමේදී මට තෝරා ගන්න බැරි තත්වෙකට මේක පත් වුණා. ඉස්සර ෆේස්බුක් එකේ තිබුණා මිතුරන්ව කාණ්ඩ ගත කරන ක්‍රමයක්, මේ ටයිම්ලයින් හඳුන්වාදීමත් එක්ක ඒක නැති වුණා. ඒ වෙනකොට මගේ පාසලේ ආදී ශිෂ්‍ය කණ්ඩායම්, බැංකුවේ සහෝදර කණ්ඩායම්, ගමේ ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් වශයෙන් පවත්වාගෙන නිසි පාලනයකින් ගියත් පසුව ඒ තත්වය ගිලිහුණා.

මෑතකදී මගේ මිතුරන් පිරිසක් මට පුංචි දෝෂාරෝපණයක් කළා. ඒ අපේ බ්ලොග් ලෝකේ සමහර ය දාන පින්තූර, ස්ටේටස් වලට මාව ටෑග් වෙලා තිබිලා සුද්ද සිංහළෙන් යන මේ මාතෘකා ඒ අයට දරාගැනීමට හෝ තේරුම් ගැනීමට අපහසු වෙලා. අනෙක් අතින් මගේ විදේශික මිතුරන් බොහොමයකට මේවා තේරුම් ගන්න බෑ. මට වුනත් මගේ සමහර හින්දි මිතුරන් දාන ස්ටේටස් කරදරයක්. ඉතිං මම කල්පනා කළා බ්ලොග් අවකාශේ මිතුරන් සඳහා වෙනමම ගිණුමක් අරඹන්න. මීට ටික දිනකට කලින් ඒ ගැන දැනුම්දීමකුත් කරලා ඔයාලා මාව වඩාත් හොඳින් හඳුනන සුදීක කියන නමින් ගිණුම ඇරඹුවා. ඉතිං මම මේකට ක්‍රම-ක්‍රමයෙන් (ග්‍රැජු-ග්‍රැජුවලි) මිතුරන් එකතු කළා. සමහරුන් මේක වැරදියට තේරුම් ගත්තේ මගේ සාමාන්‍ය ගිණුමෙන් ඔවුන් ඉවත් කළවිට, කුමක් හෝ ආරෝවකට මේක කළාද සිතමින්. මිතුරන් කිහිප දෙනෙක් ඒ ගැන විමසා සිටියා.

මෙහෙම සුදීක ගිණුමෙන් මිතුරන් එකතු කරත්දී මම දැක්කා අපූරු ෆේක් නම් ටිකක්. ටිකක් කිව්වට දහස් ගණනක්. ඒ අය ඒ වගේ නම් වලින් ඉන්නේ ඇයි කියන එක මට ඇති වෙච්ච ලොකුම කුතුහලයක්. ඉතිං මම ඒ ගැන විමසලා මත විමසුමක් කළා(Opinion Poll) නමුත් ඒ වැඩේට එතරම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නෑ. පස්සේ මම කලේ අර වගේ අමුතු නම් තියෙන අයව එකතු කරපු එක. විශේෂයකට තියෙන්නේ ඉල්ලීම් කර බොහෝ කාලයක් බලා ඉන්න නොවීම. සමහර ඒවා එසැනින්, තවත් සමහරු පැය භාගයකින් වගේ ප්‍රතිචාර දැක්වූවා. එහෙම දැක්ක නිර්මාණශීලී නම් ගොන්න මෙතනට එකතු කරන්නයි මගේ උත්සාහය. මම නොදුටු ඒ වගේ ලස්සන නම් ඇතොත් කමෙන්ට් වලින් ඒවා සඳහන් කිරීම ඔබට භාරයි. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ඔබත් එවැනි ගිණුමක් භාවිතා කරනවා නම් එය තෝරා ගැනීමට පදනම් වෙච්ච නිධාන කතාව හෙළි කරන්න කියා.
මුහුණුපොත ෆේස්බුක් සඳහා නම්  Fake Names for facebook

මම මෙතැනදී තේරුම් ගත්ත දෙයක් තමයි බොහෝ අය තෝරාගෙන තියෙන්නේ ඔවුන් කැමති රූපවාහිනී වැඩසටහන්(දෙස්/විදෙස්) වල ඉන්න චරිත. තවත් අය සුරංගනා කතා වල එන චරිත, තමන්ගේ චර්යාව විස්තර වන චරිත(අහිංසක සමනලයා වගේ නම්), දේශපාලන වීරයන්, ජාතික වීරයන්ගේ නම්, නළු-නිළියන්ගේ නම්. ඒ වගේ ලැයිස්තුවක් මම දාන්නම්. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන්. මම චැට් එකෙන් විමසා සිටි අයගෙන් පිළිතරු දුන්නේ එක් අයෙක් නැතිනම් දෙදෙනක්.

දොරලොක් හෝම්ස් / කළු මල්ලී (එයාගේ ගමේ අය අමතන නම)

හොර පූසා / විසේකාර අරුමැත්තී

අන්තිම පේලියේ ගල්පාත (අන්තිම පේලිය බ්ලොග් එකක්)

පත්තර මල්ලී (මෑතකදී ජනප්‍රිය කමෙන්ට් කරුවෙක්)

බ්ලැක් පුමා (බ්ලොග් කරුවෙක්) / පිනි බිඳු

පවනි තරංගා(ගැහැණු නමක් තිබෙන පිරිමි බ්ලොග් කරුවෙකි)

කුවේණි(මෑතකදී ජනප්‍රිය වුණු බ්ලොග් කාරියක්)

ලෙජන්ඩ් ස්පියර් රෝමන් රෙයින්ස් /මියැසි පැංචි / පොඩි මදු

පොල් වොර්කර් / මම බීලා / පිස්සු දිමුවා / හාදු පැටියා

මරු සිරා / හිම හංසි / ඇස්ටන් මාර්ටින් / මිසිස් මෝහිනී 

සොමිය සොයන සොමි සඳ /  සංජු මල්ලි / ෆේස්බුක් පොලිස්සිය

පිනක් පැන්තර් / මම තනියම / මලීනා පෙරෙස් / බූත පැටියා

ඔබ මට හීනයක් / සුපර් යාලු ජෝකර් / ෂෝන් බැටළු පැටියා

ෆේක් බුවා / සරායා පෙයිජ් ලයන් / කාලීන සිතුවිලි

ඔෆී ක්ලාරා / ලොකු අයියා /ඇලපාත මුදලි /

පොලිස් මාමා / සායම් කුරුල්ලා / මෝල් කාරයා /ස්වීට් කෙල්ල

ඇල්බර්ටෝ ඩෙල් රියෝ (රෙස්ලින් කරුවෙකුගේ නමකි)

ඉතිං අපිට මොකෝ / මිස්ට පිටරට / හිරු කුමාරයා

අරක්කු සිකරට් / පුංචි රාහුල්ගේ අරෝහි / සුදු නංගා

සෝස කැකුලි / අහිංසක සුරංගනාවී / චූටි පූස්

ගජයා මල්ලි / කැලේ හයිලෑන්ඩ්ර් / පොර කුකුළා

මර්ලින් දී මැජිකල් එම්රස් / දෙවැන්දරා සන්

මඩයා / ඩීන් ඇම්බ්‍රෝස් ද.ශීල්ඩ් / පැණි කුරුල්ලා

මගේ මරණය (පැරණි ජනප්‍රිය බ්ලොග් කරුවෙකි)

බීට්ල් බෙයිලි (ජනප්‍රිය බ්ලොග් කරුවෙකි)

සී එම් පන්ක් එස්.එල් / සුපර් ජෝකර් මං සුපර්

තරු අරුන්දතී / චූටි මදු / සිත්තරී මං (බ්ලොග් කාරියකි)

සුදු මහත්තයා(බ්ලොග් කරුවෙකි) / කින්ග් ආතල්

සින්ඩරැල්ලා කුමරිය / සිහින කුමරා

බඩු කාරයා(මෑතක ජනප්‍රිය කමෙන්ට් කරුවෙකි)

ජයන්ති කවිකළනි තාරකා (ඇත්ත නමක්මද මන්දා?)

රෝඩ් ඩෝග් / මං උයාගේ චීස් බොලේ

නොතිර සසර / මොංගල් කොල්ලා

ජෝන් මොරිසන් එස්.එල්. / සිහින දෙව්දුව

අහිංසක මොනරි / කොස්ගොඩ සුදු මල්ලි

හුදකළා කවියා / නටාල්‍යා ෆැන්ටසි / චූටි මල්ලියා

පට්ටලේ පියදාස / අන්දරේගේ සවාරිය

රැන්ඩි ඕර්ටන් / ජෝජ් බුෂ් / ජපන් කෙල්ල

රෝමියෝ රාජ් කුමාර් (ගැහැණු ළමයි හින්දා කියලා කෙටි පිළිතුරක් දුන්නා)

සර්කිට් හන්දියේ මඩයා / පර්සියන් ජැක්සන්

සිහින කුමාරයා / ඉකිබිඳින හදවත / මීඩියා කෙල්ල

රස්තියාදුකාරයා මං / සුන්දරයි ජීවිතේ

ගුවෙන් ටෙනිසන් / සෙල්ලන්ද ෂෝන්

නේතන් ජෝන්ස් සිංහයා රට වෙනුවෙන්

අහින්සක ආදරය / හල්ක් ඉන්ක්‍රෙඩිබල්

වියරු හා පැටියා / ජිම් පප්පා(මහතා එකා)

කිරි ඉතිරේවා නව වසරේ 

ඒ අතරින් මට හමු වෙච්ච සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. බලන්න කොයි තරම් අහිංසක පැතුමක්ද එයාට තියෙන්නේ කියලා.

ජිමීයා රහස් පරීක්ෂකයා

මට හීනයක් තිබ්බ , තාමත් තියනව .... ! මේකයි මං "ජිමියා රහස් පරීක්ෂකයා" කියල නම දාන්න හේතුවත් මගේ ඒ අහිංසක හීනෙ නිසා තමයි ,, ඒ හීනේ 2005 අවුරුද්දෙ ඉදන් මගේ දකුනු මොලේ කිදා බැහැල තිබ්බ , මං 5 වසරෙ ඉද්දි කියෙව්වා " ශර්ලොක් හෝම්ස් " පොතක් .. ඒ චරිතෙට අද වෙනකම් ආදරේ කලා , තව දුරටත් එහෙමයි , අම්ම, තාත්තා පවුලෙ උදවියට හැර වැඩියෙන්ම ලව් කලේ ඒ පොතකට පමනක් සීමා වූ අජීවමානී චරිතෙට , මට 12 වසරට ගියපු අලුත රැස්වීමක කතාවක් කරන්න සෙට් උනා , මගෙ ඔලුවට ආවෙ මෙයාව. මං පොඩි එකෙක් වගේ මෙයා ගැන කියෙව්ව, හැමෝම හිනා උනා , ඒත් මම සැලුන් නෑ ,

මම දන් නෑ රහස් පරීක්ශකයෙක් වෙන්න තියෙන්න ඕනා සුදුසුකම් මොනවාද කියලවත් , ඒත් මං ගණ්තයට දක්ශ නැති නිසා මට යන්න බැරි වෙයි , බුද්දි අංශයට යන්න ඕන උස මදි වෙයි , මහත මදි වෙයි... ඒත් මං මගේ ඒ හීනෙට නිකංම පැනල යන්න දෙන් නෑ .

ඔයාලත් හීනයක් මවා ගන්න . මං සමාජෙට මෙහෙම පුද්ගලයෙක් වෙනව කියල , හීන වලට නිකම්ම නැති වෙලා යන්න දෙන්න එපා , හීන තුලම නිදාගන්න . ඔයාලා වෙන්න බලන්න ලසිත් මාලිංග කෙනෙක් , ශාහිඩ් කපූර් කෙනෙක් , ශිහාන් මිහිරංග කෙනෙක් , දසුන් මදුශාන් කෙනෙක් , මොකද ඒ මිනිස්සු කාගෙවත් කොපියක් නොවුනු තමන්ගේ අනන්‍යතාවයෙන් රට තුල , ලෝකය තුල නම රැංදූ මිනිස්සු වන නිසා ... හිත ඇත්නම් පත කුඩාද කියනවනෙ , අන්න ඒක ඔලුවට ඇරගෙන හීනය ජය ගන්න බලන්න , ඔන්න එහෙනම් අද ‪#‎ජිමියගේ‬ කතාව . !!
සැ:යු : ඔබට පොල් ගසක දල්ල අල්ලන්න ඕනෑනම් හද අල්ලන්න ට්‍රයි එකක් දෙන්න , එතකොට දන් නැතිවම පොල් ගහේ දල්ල ගාවට යයි :)

මට අන්තර්ජාලයෙන් හමු වුණා, මේ පිලිබඳ කරපු මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් පිලිබඳ වාර්තාවක්. ලැබෙන ප්‍රතිචාර මත එහි පරිවර්තනයක ඉදිරිපත් කරන්නම්.

Tuesday, April 15, 2014

බක්මහ කඳුල ...... The April Cry

නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ....නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි .... නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි ....  සුනෙත් එක දිගට තොල් මතුරමින් ගමන් කරයි. නුගේගොඩ පාගොඩ පාර බස් නැවතුමෙන් 119 බස් රථයෙන් බැස ගත් හේ කඩිනමින් නුගේගොඩ සුපර්මාර්කට් ගොඩනැගිල්ල වෙතට එන්රිච් හෝටලය අසලින් පාර පනියි. 

"බූරුවා... මැරෙන්න හදනවද යකෝව් ...."

ත්‍රී රෝද රථ රියදුරා බෙරිහන් දුන්නද, සුනෙත් නෑසු කන්ව ගොළුබෙලි ගමනින් පාර මාරු වෙයි. 

"අර ත්‍රී වීල් කාරයාට නම් පිස්සු නේද මල්ලි? අපිත් පාරේ යන්නෙපැයි ... නැද්ද ?"

සුනෙත් හිස ඔසවා බලා මද සිනා පා ඉදිරියටම ගමන් කරයි. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි .... යනුවෙන් හෙතෙම මුමුනන්නේ,  ඔහු අවුරුද්දේ ප්‍රිය කරන මාස කිහිපයයි. මේ කැමැත්තට හේතු වන්නේ ඒ මාස කිහිපයේ පවතින ශීත දේශගුණයයි. මාර්තු මාසය එළඹෙන විට ඇතිවන තද අව් රශ්මිය ඔහු කෙසේවත් ප්‍රිය නොකරයි. අනපේක්ෂිතව කඩා වැටෙන අකල් වැසි නිසාත්  විටෙක ඔහු සොබා දහමට දෙස් තබයි. 

"කරුණාකර ඉඩ ලබා දෙන්න... මේ ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේ නුගේගොඩ එක්සත් තරුණ කැල ඉදිරිපත් කරන බක් මහ උලෙළේ මහා...... සයිකල් ධාවන තරගයයි"

නුගේගොඩ සෑම්ස් පාමසිය ඉදිරිපස නතර වන සුනෙත් ඉතා කැමැත්තෙන් සයිකල් තරගය දෙස බලයි. ඔහුගේ හිත එකවරම අතීතයට ගොස්  නවතී. අද ගමේ සිටියා නම් ... දිගු සුසුමක් පිට කරන ගමන් නැවතත් පදික වේදිකාවේ ගිනියම් වී ඇති කාපට් පොළොව දෙසට යොමුකළ දෑසින් කල්පනාවක ගිලෙයි. ගාලු පාරට මීටර් 200 පමණ ඈතින් පිහිටා ඇති තම නිවසේ සිට සයිකල් තරගයක නිවේදනය ඇසුණු සැණින් ළමා වයසේ දිව ගිය අයුරු සිහිපත් වේ. මෙසේ දිව ගියේ තමා පමණක් නොව, ප්‍රදේශයේ බාල මහලු සියල්ලම එක  හැල්මේ මහපාර වෙත දිව ගියහ. එය සිහිපත් වී ඔහුගේ මුවගට මද සිනහවක් නැගේ. සමහරු පාරේ ඇද වැටුණු සැටිත්, එසේ දිව යන අයව අසල්වැසි මදාවි කොලු කුරුට්ටන් වතුර බාල්දි වලින්නැහැවූ සැටිත්, සමහරුන්ගේ සෙරෙප්පු ගැලවී එසේත් නැතිනම් ඒවායේ පටි ගැලවී ඒවා දෑතට ගෙන දිවූ  සැටිත්, ක්ෂණයකින් ඔහුගේ මතකය අලුත් කරයි. ඔවුන්ගේ නිවාස අසලින් ගලායන ගඟ නිසා මෙසේ ගමන් ගන්නා බොහෝ තරග සම්පූර්ණයෙන් හෝ කොටසක් දැක ගැනීමට සුනේත්ලාගේ ගමේ අය වාසානාවන්ත විය. පාලම අසලින් තරගය එනවිට කිසිදු බාධකයක් නැති ගං කlaපුව දිගේ හුළං පාරත් සමග යකඩ කටින් කෙරෙන් බෙරිහන් දීම සුනේත්ලාගේ ගම්පියසට කලින්ම සේන්දු වේ. තරගකරුවන් ඊළඟ කිලෝමීටර පසු කරන්නට පෙර ඔවුන් පාර අසලය. එහෙත් සමහර දක්ෂ තරගකරුවන්ට ඔවුන් පැරදුණු අවස්ථා විරල නොවීය. සමහර අවුරුදු සමයයන් වල ඇසෙන වෙනත් ලවුඩ්ස්පීකර් හඬවල් පටලවාගෙන මහපාර වෙත දිවූ අවස්ථාද නැත්තේ නැත. මෙසේ එකෙකු දුවනා කල පසුපසින් සියල්ලන් දුවන විට සිහියට එන්නේ ලෝකේ පෙරළෙන  කතාවයි. සමහර ගැටවරයන් සුනේත්ලා රැවටීමටද එසේ දිවූ බව සුනේත්ගේ සිහියට එයි. 

"අපේ සයිකල් රේස් එකත් එක්ක ගත්තම මේවා මොනවද ? "

වදනින් පිට නොකර ඔහුගේ දෙතොල් මුමුණයි. ගමේ ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරිකයෙකුව සිටියදී සැතපුම් 100ක සයිකල් තරගයක් පැවැත්වූ ආකාරය නැවතත් ඔහුව කල්පනා ලොවට ගෙන යයි. මේ වනවිට නුගේගොඩ නගරය වටා වට විසි ගණනක් යන තරගයේ සියළලු තරග කරුවන් ඔහු පසු කර ගොසිනි. 

"අපේ සයිකල් රේස් එකනම් හැරෙව්වේ තැන් දෙකක විතරයි. ඒ කළුතර ඔරලෝසු කණුව ගාවයි ගාල්ල ටවුමේ ඔරලෝසු කණුව ගාවයි. මෙහෙම ගියාම ස්පීඩ් කරන්න බෑනේ. වංගු ගන්නකොට ස්ලෝ වෙන නිසා කිසි ගතියක් නෑ. හැබැයි ඉතිං හැමෝටම කරදරයක් නැතිව බලා ගන්න පුළුවන්". 

මේ වනවිට තමා තොල් මතුරන දෙස ගැහැණු පිරිමි කිහිප දෙනෙකුම බලා සිටිනු සුනෙත් දකියි. ලජ්ජාවෙන් මුහුණ රතු කරගන්නා ඔහු තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගමන් කරයි. බෝඩිමට වී හුදෙකලාව කාලය ගත කරන ඔහු මේ පැමිණ තිබෙන්නේ තම දිවා ආහාරය සඳහා බඩට යමක් දා ගැනීමට තැනක් සොයමිනි. එකල තම ගමේ පාපැදී තරගයේ ගමන් මගේ ගමන් කිරීමට තම වයසේ සෙස්සන් පොර කනවිට තමා කිසිදු බාධකයකින් තොරවම සහභාගී වූ අයුරු සුනේත්ට සිහිපත් වේ. තමාගේ හොඳම මිතුරන් වන ධම්මික, රන්ජා, සුසීරි,සිරිමල්  සහ සේනා මේවා වෙනුවෙන් කොපමණ කොට ප්‍රමාණයකට කර ගැසුවාද, වළවල් කීයක් හෑරුවාද, කටු කම්බි රෝල්ට අත තුවාල කර ගන්න ඇත්දැයි ඔහු ස්මරණය කරන්නේ තරමක ශෝකයකිනි.  සම වයසේ පසු වූ ඔවුන් බර වැඩ කරන අතර තමාට තිබූ රාජකාරි වූයේ බැනර් ඇඳීම, අවුරුදු උත්සවයට පෙර කෙරෙන නිවේදන කටයුතු, තරග වලට සහභාගී වන්නන්ගේ නම් සහ ජයග්‍රාහකයන්ගේ නම් ලැයිස්තු පිළියෙල කිරීම් සහ මැරතන් සහ පාපැදි තරගයේ නිවෙදනයන්ය. මෙයින් වඩාත්ම වටිනා රාජකාරිය වූයේ පාපැදි තරගයේ නිවේදන කටයුතුය. එමගින් තමාට අන් කවරෙකුටවත් නොලැබෙන අවස්ථාවක් හිමි වූ බව ඔහු සිහිපත් කරන්නේ තරමක ආඩම්බරයකිනි.

කුඩා කල සිටම ලේඛන කටයුතු සහ කථිකත්වයට දක්වන කුසලතාව නිසා බර වැඩ වලින් මිදී සයිකල් තරගයේ ඉදිරියෙන්ම ගමන් කරමින් යකඩ කටින් කෑ ගසන්නට ලැබෙන වරම සුළු පටු එකක් නොවූ බව ඔහු මෙන්ම අනෙක් අයද පිළිගත් කරුණකි. නුගේගොඩ සයිකල් තරගය දැන් පසු වන්නේ දහතුන් වන වටයේය. මෙයට අදාළ අවුරුදු උත්සවය පවත්තෙන්නේ තමන්ගේ වම්අත පැත්තෙන් ඇති නුගේගොඩ සුපිරි වෙළඳ සංකීරණයේ බව ඔහුට එක්වරම පසක් වේ. තමා මෙවැනි අවරුදු උත්සව කීයක නම් සංවිධාන කටයුතු වල නියැලෙන්නට ඇත්දැයි සිතන ඔහු යළිත් දිගු සුසුමක් පිට කරයි. 

අවුරුදු උත්සවය දකින ඔහුගේ බඩගින්න එකවරම නිවී යයි. මායාබන්ධනයකට හසු වූවකු මෙන් එක් වරම වමට හැරී සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ කඩිමුඩියේ සංවිධානය කෙරෙන බක් මහා උලෙළවෙත ඇදී යන  ඔහුගේ සිතට යම් අස්වැසිල්ලක් එක් කරයි. එය ඔහුට කිසිදු අයුරකින් ආගන්තුක නොවන දසුනකි. නමුත් කොට්ටපොර තරගය සඳහා වන සැකිල්ල දුටු විට නවතාගනීමට නොහැකි හිනාවක් ඔහුට ඇති වෙයි. ගමේ අවරුදු උත්සවයට පුවක් ගස් තෝරා ගන්නා අකාරය ඔහුට සිහි වේ. ඒ සඳහා ස්වෙච්ඡ්ඡාචාවෙන් ඉදිරිපත් වන කිහිපපලක් වෙයි. එසේ ලැබෙන ගස් වලින් උසම සහ පුෂ්ටිමත්ම ගස ලිස්සන ගහ වෙනුවෙන් වෙන් කරන ඔවුන් සෙසු ගස් අතරින් මදක් උස ගස් දෙකක් ඉල්ලා ගන්නේ කොට්ටපොර අට්ටාලය සඳහාය. ඒ සඳහා තෝරා ගන්නේ වෙනත් ප්‍රයෝජනයක් නැති ගස්ය. ඉන්පසු සයිකල් තරගයේ ආපදා රථයේ නැගී යන්නට පොර කන විස්සකට අධික පිරිස විසින් මේවා සුද්ද කර අවශ්‍ය අකාරයට අට්ටාලය සාදයි. නමුත් නුගේගොඩ අට්ටලයේ හරස් කඳ පමණක් පුවක් ගසක් වූ අතර, දෙපස සඳහා යොදාගෙන තිබුණේ නිවාස ඉදි කරන්නට ගන්නා යකඩ පලංචි දෙක බැගින් දෙපසින් තැබූ අඩක් කෘතීම, අඩක් ස්වභාවික අට්ටාලයකි. ඔහුගේ හිතට එකවරම ආවේ ඔහු මේ දිනවල තදින් පාඩම් කරනා බ්‍රිතාන්‍ය පරිගණක සංගම් විභාගයේ විෂයක එන මෙහෙයුම් පද්ධති පිළිබඳ ඉගෙන ගන්නා විට අසා තිබූ හයබ්‍රිඩ් නමැති සංකල්පයයි. එනිසා ඔහුට ඇතිවන හිනාව නවතා ගත නොහැකි විය. නමුත් මැදහත් සිතින් බලද්දී කාපට් පොලවක් මත මෙවැනි අට්ටාලයක් ඇටවීමට මීට වඩා හොඳ ක්‍රමයක් නැති බව ඔහුට පසක් වේ.

සුනේත්ගේ හිත එකවරම අනිද්දා පැවැත්වෙන බ්‍රිතාන්‍ය පරිගණක සංගම් විභාගය වෙත ඇදී ගියේ ඇඟ පුරා දිවූවිදුලි කෙටීමක් වැනි හැගීමක් සමගිනි. රාජකාරි කරන අතරතුර කරනා මේ විභාගයට තමාත් සමග තම දෙපාර්තමේන්තුවේ සේවය කරන අයගෙන් මුහුණ දෙන්නේ තිදෙනෙකු පමණි. විභාගය අතළඟ වුවත් තවමත් අත නොතැබූ සටහන්, නිබන්ධන සහ අච්චු පොත්වලින් ගන්නා ලද ඡායාස්ථ පිටපත් කොතෙක් ඇත්ද? සියල්ල පසෙක තබා ඔහුට නැවතත් බෝඩිමට දුවන්නට සිතේ. එහෙත් මෙහි සිදු වන දේ බලා සිටින්නට ඔහුට ඇත්තේ පුදුම ආශාවකි. මින්පෙර තමා අවුරුදු උත්සව සංවිධානය කළා මිසක, කිසි දිනෙක නරඹා හෝ තරග වලට සහභාගී වී නැත. එකවරම ඔහුට බඩගින්නක්ද දැනේ. ගිනි ගහන අවු කූටේ ඔහුගේ හිස දවාලන්නට සමත්ය. යාන්තමට හිසේ කැක්කුම් ගතියක් දැනෙයි. එකවරම සුපර්මාර්කට් බිමෙන් එළියට දුව එන ඔහු වම්පසට හැරී මද දුරක් දිවයන විට, දකුණු පසින් තිබෙන පාරේ ඇති බත්කඩය සිහි වී පාර පැන එදෙසට ගමන් කරයි. රුපියල් හතළිහකින් දිවා අහාරහ සප්පායම් වන ඔහු ඉන් පිටවන විට සුපර්මාර්කට් බිමේ පැවැත්වෙන අවුරුදු උත්සවයේ තරග සඳහා තරගකරුවන් ඇතුළත් කර ගැනීමේ නිවේදනය වෙමින් පවතිද්දීයි 

"අදවත් මොකක් හරි එකක් කරපං සුනෙත්"

ඔහුගේ සිත බල කරයි. ගිනියම් අව්වත්, මොහොතකට පෙර මාතර බත් කඩෙන් රසබලන්නට ලැබුණු බත් පතේ තිබූ මාළු ඇඹුල්තියල් කැබැල්ලට යොදා තිබු මිරිස් සැර නිසාත් ඔහුගේ හිසෙන් පිටවන දහඩිය කන් දෙපසින් බේරී විත් ඇඳ සිටින කමිසය තෙත් කරවයි. හනික ලේන්සුව අතට ගන්නා ඔහු, මුහුණ පුරා වැහෙන දහඩිය පිස දමයි. බෝඩිමේ සියල්ලන්ම ගමේ ගොස් ඇති මොහොතේ මෙවැනි අහරක් කුසට වැටීම ඔහුගේ සිත ඇති කළේ  ප්‍රීතියකි. නිවැසියන් මාතර තම ගමේ ගොස් ඇති මේ මොහොතේ කොළඹ රැදී සිටීම ඔහුට දඬුවමක් සේ දැනෙයි. උදෑසන අසල්වැසි නිවසින් ලබාදුන් කිරිබත් කැබලි කිහිපයෙන් බඩ පුරවා ගත්තද, පසුගිය දින කිහිපයේ හරි හමන් කෑමක් නොවීය. මාතර හෝටලයේ කෑම වේල අම්මා බෙදා දෙන බත් පතට බොහෝ සෙයින් සමාන විය. රතුබත්, පොල් මැල්ලුම, මාළු ඇඹුල් තියල්, වම්බටු ව්‍යංජනය සහ අල බැදුම යළි යළිත් ඔහුගේ සිහිය නැගේ. රුපියල් හතළිහකට මේ මොහොතේ කෑම ලබාදුන් මුදලාලි මහතා දෙවියෙකැයි ඔහුට සිතේ. තවත් ඇඹුල් තියල් මාළු කෑල්ලක් ඉල්ලා ගන්නට කොතෙකුත් සිතුනද, "මොනවා කියයිද දන්නෑ" යන සිතුවිල්ල ඔහුගේ පසුතැවිල්ලට හේතු විය. නමුත් එහි වුන් බොහෝ දෙනා තවත් රුපියල් දහයක් දී අමතර පිඟානක් පිරෙන්නම බත් ඉල්ලා ගනු හෙතෙම බලා සිටියේ නෝක්කාඩු සිතිණි. එහෙත් දොස් කිව යුත්තේ තමාටම බව ඔහුට පසක් විය. 

"කණා මුට්ටිය බිඳීමේ  තරගය සඳහා ඉදිරිපත් වන තරග කරුවන්, අප කාර්යාලය වෙත නම් ලබා දෙන්න. මෙම තරගය සඳහා ඇතුළත් කර ගන්නේ විසි දෙනෙකු බව කරුණාවෙන් සලකන්න"

"පලයන්. සුනෙත්. පලයන්"

ඔහුගේ සිත හඬගා කීවේය. දෙවරක් නොසිතු ඔහු කෙළින්ම ගොස් නවතින්නේ කනාමුට්ටි තරගය සඳහා නම් ඇතුළත් කර ගන්නා පෝලිමේය. බිඹට නැඹුරු වූ හිසින් සිටින ඔහුට ඉදිරිපසින් සිටින්නේ හය දෙනෙකු බව සිතින් එකිනෙකාගේ පාද මට්ටමෙන් ගැනගෙන එන ඔහුට වැටහේ. නමුත් ඉදිරියේ සිටින බොහෝ තරගකරුවන් අවුරුදු දහයේ පමණ අයය. එහෙත් තමාට පිටුපසින් තම වයසේ සහ ඊට වැඩි අයද ඇති බව ඔහුට පසක් වේ. මේ වනවිට ඔහුගේ හිතේ ඇති වූ ලජ්ජාව මදක් පහව ගොසිනි. යකඩ කටින් ජෝතිපාලගේ සිංදුවක් ඇසේ

"කිරි ඉතිරේවා - නව වසරේ ....."

ගීත ගැයීමේ දක්ෂයෙකු වූ සුනෙත් සිතින් එම ගීතය මුමුනන්නේ සැහැල්ලුවක් සිත්හී දරාගෙනය.

"මොකක්ද නම ?:"

එක් වරම කල්පනා ලොවින් පිටවන සුනෙත්, තමා පෝලිමේ ඉදිරියට පැමිණ ඇති බව වැටහේ

"සු...සු... සු...නෙ...ත්"

"සුනෙත් වල්පොලද ? වෙන නමක් නැද්ද ? අපිට තව වැඩ තියෙනවා. හවස වහින්න එන නිසා ඉක්මනට ඉවර කර ගන්න ඕනේ"

"විදානගමගේ සුනෙත්  තෙන්නකෝන්"

"හා ... හා... ඔය ඇති. ඊළඟ ..."

අනෙක් තරගකරුවන් පසුපසින් යමින් ගොස් සුනෙත් නතර වන්නේ තරගය පැවැත්වෙන එන්රිච් පැත්තට වන්නට තිබෙන කෙළවරේය. මේ වනවිට තමාට ඉදිරියෙන් සිටින්නේ තරගකරුවන් තිදෙනෙකු බව සුනෙත් දකී.

"හනේ දෙයියනේ. මුන් මේ තරග පවත්වනවා නෙවයි. තියන්න ඕනේ හින්දා තියනවා" සුනේත්ට ඉබේම කියවිණි.

"මුන් මල්ලි මේවා සල්ලි මාටියා ගහ ගන්න කරන වැඩ" පිටුපසින් උන් තරග කරුවා උත්තර දිනි.

ආපසු හැරී බැලූ සුනේත්ට පෙනුණේ ඔහුනම් අඩුම තරමේ වයස හතළිස් පහක් වත් වන අයෙකුයයි කියාය. දැන් තමාට කිසදු ලැජ්ජාවක් නොදැනේ. "හැබැයි වැඩේ තියෙන්නේ ගමේ කෙනෙක් දැක්කොත් තමයි" සුනේත්ට හිතෙයි. එහෙත් අද නුගේගොඩ නගරය පාළු සොහොන්පිටියක් බඳු යැයි සුනේත්ට සිතුණු වාර අනන්තය. අවුරුදු කාලයේදී නුගේගොඩ නගරය දක්වන්නේ ඇඳිරි නීති ඇති කලෙක සිරිය. "කොළඹින් 40%කම සිටින්නේ දකුණේ මිනිසුන් බව කොහේදෝ කියවූ වාර්තාවක් සුනේත්ගේ සිහියට නැඟෙයි. ඒ කාතාව ඇත්ත වෙන්න ඕනේ. ඒත් මාතර බත් කඩේ නම් ඇරලා" ඔහුට සිතෙයි. ඉදිරියේ උන් තරගකරුවන් වේලාසනින්ම මුගුර වැනූ නිසා, කඩිනමින්ම සුනේත්ට වාරය ලැබුණි. තරග සංවිධායකයා කතාවක් නැතිවම සුනේත්ගේ ඇස් බැඳීම ඇරඹීය. සුනේත්ගේ මතකය වේගයෙන් ගමේ අවුරුදු උත්සවයට ඇදිණි.

"අපේ අවුරුදු උත්සවේ නම් අපි මේ වගේ තරග කරන අයට කරදරයක් වෙන්න සංවිධානය කරන්නේ නෑ. මොනව කරත් අවුරුද්දේ සතුට බෙදා ගන්න කරන දේවල්නේ. ඒකට මුන්. ළමයින්ගේ ඇස් ගටගහන්නේ මරන්න ගෙනියන හරක්ගේ බෙල්ල ගැටගහනවා වගේ. අනේ මෙහෙමත් මිනිස්සු" සුනේත්ට සිතේ.

තාමගේ දෑස් නිලංකාර වන තරමට පටිය තද කර ඇති බව සුනේත්ට දැනිණි. යළිත් සුනෙත් කල්පනා ලෝකයේය. මේ අතර සුනේත්ගේ අතට මුගුර ලබා දී ඔහුව වාමාවෘත්තව වට තුනක්, හා දක්ෂිණාවෘත්තව වට දෙකක් කරකවීය. කුඩාකල වට ගණනක් කැරකී නතර වූ පසු හාත්පස ඉහළ - පහළ යමින් කැරකෙන්නා සේ දුටු දර්ශන ඔහුගේ මතකයන නැගේ.  කෙතරම් ප්‍රමාණයක් එකතැන කරකැවී ඇත්දැයි ඔහුට සිහිපත් වේ. ගමේ තරග සංවිධයකුව සිටි කාලයේ, ප්‍රදේශයේ බාල මහලු කවුරුත් තමාට ගෞරවයෙන් සැලකු ආකාරය සුනේත්ට සිහිපත් වේ. එකල බොහෝ දෙනෙක් තමාට ඇඟෑලුම්කම් පෙන්වා හිනා වන්නේ හැකිනම් බක් මහ උළෙල අවසානයේ පැවැත්වෙන සංගීත සංදර්ශනය සඳහා ඇතුල්වීමේ අවසරපතක් ඉල්ලා ගැනීමේ අරමුණින් බව ඔහු දනී. නමුත් සමහරෙක් හුදෙක් හිතවත්කමටද සිනා වන බවද ඔහු විශ්වාස කරයි.

කෙසේ නමුත් අවරුදු උත්සවය පැවැත්වෙන දින දහවල් නිවසට එන ඔහු දිගු ස්නානයකින් පසුව තමාට තිබෙන හොඳම ඇඳුමින් සැරසෙන්නේ අවුරදු උත්සව භූමියට යාමටයි. එහිදී විවිධ ස්ථාන වලට අදාලා පුවරු සවි කිරීමෙන් පසුව, කම්බි වැටකින් වටකළ අවුරුදු උත්සව භූමියේ එක් කෙළවරක ඇති අරලිය ගසක් යටින් මේසයක් තබාගෙන තරග සඳහා ඉදිරිපත්වන්නන්ගේ නම් ලැයිස්තු ලබා ගනී.

"මල්ලි ... ඔයා හරිම ලෙඩෙක්නේ ... යන්නැද්ද ? .... යන්නත්තම් මම පටිය ගලවනවා"

"හරි ... හරි.. අයියේ"

සුනේත්ට එකවරම හැඬුම් එයි. ඒ තමන් අවුරුදු උත්සව ගණනාවක ගෞරවාන්විත පුද්ගලයකුව සිටි කාලය, සහ අද එළැඹ තිබෙන තත්වය සිහිපත් වීමෙන්ය.

"යකෝ... මම මේ වගේ අවුරුදු උත්සව නෙවෙයි සංවිධානය කරලා තියෙන්නේ. උඹලා මොන කබ්බෝද ? දන්නැත්තං වරෙල්ල කොපි පොතකුත් අරගෙන අවුරුදු උත්සව කරන හැටි කියලා දෙන්න"

ඔහුට එසේ කියන්නට සිතුනත්. මේ එයට අවස්ථාව නොවන බව දන්නා හෙයින් වචන ගිලගත්තේ දත්මිටි කමිනි. ඔහුගේ දෑසින් කඳුළු පනින්නට විය. දෙනෙත් ගැට ගසා තිබෙන කළු පටියද තෙමාගෙන දෙකම්මුල් දිගේ රූරා වැටෙන කඳුළු වමතින් පිස දාගෙන ඉදිරියට යන්නට යත්න දරුවත්, නොනැවතීම කඳුළු ගලන්නට විය. සංවිධායකයා ඔහු වෙත පැන, පටිය ඉවත් කර බැනගෙන - බැනගෙන යන්නට විය.

"මේ මල්ලි.... තමුසේ හිතාගෙන ඉන්නේ අපිට වෙන වැඩ නෑ කියලද? නිකං පව් නොදී යනවා ඕයි යන්න"

ඔහු කිසිවක් නොකියා ආපසු හැරී යන්නට විය. මෙය බලාසිටි වෙනත් සංවිධායකයෙක් ඔහු වෙත පැමිණ කරට අතක් දාගෙන, ඔහුගේ කනට කර යමක් කීය.

"මල්ලි මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ ? ඔන්න ඕවා අමතක වෙන්නත් එක්ක ගහමු පොඩි අඩියක්. අපි ස්ටේජ් එක පිටිපස්සේ සෙට් වෙලා ඉන්නේ"

මේ අවස්ථාවේ යකඩ කටින් ගුණදාස කපුගේ මහතා ගායනා කරන අපූරු ගීතයක් වාදනය විය.

"හද පොදි බැඳී දුක දියකර පා කර .... ඔබේ ලොවට මා මොහොතින් එනවා"
කණා මුට්ටි තරගය

එතැනින් බොහෝ අමාරුවෙන් පිටවී එනවිට කපුගේ මහතාගේ තවත් ගීතයක් වාදනය විය

"කොළඹ අහස කළුකරගෙන ... මුහුදු හුළඟ හඬලනකොට... ඔටුන්න බිමදා දුවගෙන .... එන්නද එක පිම්මේ"

පාරට දිව ආ ඔහු ත්‍රී රෝද රථයක් නවත්වා "ගාලු පාරට යමු" යනුවෙන් පවසා, සාක්කුවෙන් ඇදගත් ලේන්සුව දෑසට තද කර ගත්තේය.

Sunday, April 13, 2014

ලොල්ද මන්දා අංක 13 : හතියට ප්‍රත්‍යක්‍ෂ ඖශධයක් ......

ඇවිද්ද පය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ වෙනකම් සතියක් එක දිගට පොස්ට් එකක් නොදා ඉඳලා නෑ. එහෙම ඉන්න වුණේ පහුගිය ටිකේ ගත වෙච්ච අවිවේකී කාලසටහන නිසා. අනෙක මේ දවස් වල තියෙන රස්නය නිසාත්, ගෙදර එනවිට තෙහෙට්ටු ගතිය නිසා ඉක්මනින් නින්දට යනවා. බොහෝ ලෙඩ රෝග වලට හොඳම ප්‍රතිකාර ආහාර කියලා කියන උදවියත් ඉන්නවා. කොහොමත් පෙන්තකොස්ත වගේ ආගමික නිකායන් අදහන අය ලෙඩට ප්‍රතිකාර ගන්නේ නෑ. නමුත් මා දන්නා කෙනෙකුට අසාධ්‍ය තත්වයේදී බෙහෙත් ගන්න සිද්ධ වුණා. ආහාර මගින් ලෙඩ රෝග පාළනය කර ගන්න පුළුවන් කියන එක එක්තරා දුරකට සත්‍යයක්. තමාට පත්‍ය/අපත්‍ය ආහාර වර්ග හඳුනා ගැනීමෙන් මෙය කරන්න පුළුවන්. ඒත් හතිය වගේ ක්ෂණිකව උත්සන්න වන රෝගයකට ප්‍රතිකාර නොකර සිටීම ඒ තරම් ඥානාන්විත ක්‍රියාවක් කියා කියන්න බෑ. 

නිතරම තමා අහාර මගින් ලෙඩ රෝග අඩු කරගන්නා බව දොඩවන මගේ මිත්‍රයෙක් ඉන්නවා. මිනිහා මේක අඩුම තරමේ දවසකට දෙතුන් වතාවක් වත් රාව ප්‍රතිරාව කරන කරුණක්. වැඩේ තියෙන්නේ ඌට ඉහෙන් බහින රෝගයක් නැති එක. 
"කවුද දන්නේ මේකා හොරෙන් බෙහෙත් බොනවද ? නැත්නම් විටමින් ජාති ගන්නවද ? කියලා"
මේ වගේ සංවාද ඇති වෙන්නේ අවුරුද්දකට තියෙන අසනීප නිවාඩු හෝ මෙඩිකල් ක්ලේම් එකක් වත් කිසිදා නොදාන මේ හාදයා නිසා කටඋත්තර නැති වෙච්ච  අපේ යාළුවො සෙට් එක. අපි මේ යකාගේ ගෙදරටත් කෝල් කරලා බැලුවා, ඒත් කිසිම ලෙඩකට පැනඩෝල් පෙත්තක්, සමහන් එකක් ගන්නේ නැති බව ගෙදරිනුත් තහවුරු කරා. අන්තිමේදී බැරිම තැන අපි කියන්න ගත්තේ 
"මොකක්ද මේ කරච්චලේ බං හැමදාම ? අපිට දැන් ඔය කතාව අහලා ඇති වෙලා තියෙන්නේ. උඹ බොන්නේ නැත්නම් නොබී හිටපන්. අපි නම් ලෙඩට දුකට බෙහෙත් බොනවා"
"යකෝ, උඹලා වගේ ගොන් හරක් සෙට් එකක්. උඹලට ඉතිං හොඳයි බැංකුවෙන් මෙඩිකල් ක්ලෙම් කරන්න දීලා තියෙන නිසා. දොස්තරලා නම් කැමති වෙයි උඹලා වගේ අයට"

අපි කල්පනා කලේ, මේකා ගෑනියෙක් වත් වුණා නම් කියලා. එහෙම වුණා නම් ළමයෙක් හම්බ වෙන්න ගියාම වත් ඉතින් ඉස්පිරිතාලේ බඩ ගාන්න වෙනවා නේ. අනිත් එක ෆෝලික් ඇසිඩ් ගන්න වෙනවානේ. මෙහම ඉන්න අතරේ දවසක් උදේ නාහේ දක්වා දාඩිය පොල්ලක් දාගෙන මූ කඩාගෙන එනවා.
"මල්ලී උඹලට මේ පාරනම් ගැලවිල්ලක් නෑ. ඔන්න දොස්තරලා හොයාගෙන තියෙනවා හතියට නියම බෙහෙතක්. පුලුවන්නම් කියාපල්ලා?"
"අනේ අපි දන්නා බෙහෙතක් නෑ. නිකං පච කෙලින්නේ නැතිව හිටපං බං" එහෙම කිව්වේ මේකාගේ ජෝක් අහලා ඇතිවෙච්ච අපේ සගයෙක්.
"හරි උඹලට බැරි නම් මම කියන්නම්. අන්තිමට බෙහෙත හොයාගෙන තියෙන්නේ හතියට"
"හතියට ? මොන පිස්සු දොස්තරද බං එහෙම කියන්නේ ? අනික උන්ට හම්බෙන ගතමන්ට් එක නැති කර ගන්න කවුද කැමති වෙන්නේ? ඉස්සර නං මිනිස්සු කොටි බෙල්ල හරි කිඹුල් මස් හරි කනවලු. දැන් උඹ අලුතෙන් හොයා ගත්තෙත් ඔය දෙකමද ?"
"ඒවා අපි දන්නේ නෑ මල්ලි. ඒ වුණාට හෝටල්/රෙස්ටුරන්ට් කාරයෝ නම් මේකෙන් හොඳ ගානක් හොයා ගන්නවා"
"හරි මොකක්ද දැන් උඹ කියන මහා ලොකු කෑම හතිය ලෙඩාට හොඳ ?"
"කොත්තු"
"ඇත්තටම බං බලපන් උඹේ ඔලුවේ අන්තට්ටුවක් එනවද කියලා? යකෝ කොත්තු වලට බිත්තර දානවා. බිත්තර කනකොට සෙම එනවා. හතිය කාරයෙක් සතියක් කොත්තු කෑවොත්, මල් ශාලා කාරයන්ට නම් හොඳ වෙයි"
"අනේ බං, පොඩ්ඩක් පාරේ යත්දී සෝදිසියෙන් වටපිට බලපල්ලා හැමතැනම දැන් තියෙනවා වීස් කොත්තු කියලා බෝඩ් වල ගහලා"
"වීස් කොත්තු"
"ඔව්.ඔව්. බං වීස් කොත්තු"
 ඔයාලත් ටිකක් විමසිල්ලෙන් බලන්න වීස් කොත්තු කියලා බෝඩ් වල ගහලා තියෙනවා. හැබැයි හැම කඩේම නෙවෙයි. සමහර ඒවායේ. මම දැකලා තියෙනවා ඒ කොත්තු වලට මෙන්න මේවා  දානවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පින්තූරය ගත්තේ : www.sodahead.com

Saturday, April 5, 2014

ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව වුණේ ඇයි ?...... Why Cricket is called Gentlemen's game ?

ලසිත් මාලිංග සහ ජාතික ගීය සම්බන්ධයෙන් ෆේස්බුක් අඩවිය තුල ඇති වූ විවාදාත්මක තත්වයේදී, මා එසේ වාදයට ඉදිරිපත් වූ අයට පොරොන්දු වූවා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් සාම්ප්‍රදායිකව පවත්වාගෙන එන ආචාරධර්ම පිලිබඳ සටහනක් තබන්න. වසර සීයකට වැඩි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල සහ ඉන්පසු එයට එකතු වූ සියළුම වර්ගයේ ක්‍රිකට් වලටත් මේවා අදාළයි. නමුත් මෑතකදී හඳුන්වා දුන් විස්සයි20 ක්‍රීඩාව තුලදී මේවා යම් මට්ටමකින් ගිලිහී යන ආකාරයක් අප දකිනවා. 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසාලනය ලබා දෙන්නට නායකත්වය ලබා දුන් අර්ජුන රණතුංගයන්, විස්සයි20 හඳුන්වා දීම පිලිබඳ සතුටක් දැක්වූයේ නෑ. එයින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන්නට හැකි බව ඔහු අදහස් ඵල කළා.  
හොඳයි, ඒ පිලිබඳ වෙනමම කථා කලයුතු නිසා දැන් අපි බලමු මොනවද මේ ක්‍රීඩාව තුල තිබෙන අචාරධර්ම කියා. ඔබ කුඩා කල සිට ක්‍රිකට් ක්‍රීඩාව කල කෙනෙකු නම් ,ඒ පිලිබඳ නිසි අවුබෝධයක් ඔබ සතුව ඇති. නමුත් ඔබ ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ප්‍රේක්ෂකයෙකු නම් මේ දේවල් පිලිබඳ ඔබේ අවුබෝධය අවම විය හැකියි. මන්ද රූපවාහිනී කැමරාවෙන්, ක්‍රිකට් පිටියක සිදුවන සියළුම සිදුවීම දකින්නට නොලැබෙන නිසා. ඒ වගේම මේවා පොත් පත්වල සඳහන් නොවන කාරණා නිසා. ක්‍රිකට් බිහි වුණේ එංගලන්තයේ කියා ඔබ සියළු දෙනා දන්නා කරුණක්. එංගලන්තය යනු ලිඛිත ව්‍යවස්ථාවක් පවා නැති රටක්. නමුත් ඔවුන්ගේ මහත්මා ගති නිසා කිසිවිටෙකත් පහත් මට්ටමේ දේ කිරීමට පෙළඹීම අඩුයි. නමුත් ව්‍යවස්ථාවක් සහ නීති පද්දතියක් තිබෙන අපේ රටේ තත්වය කුමක්ද ?

මේ ආචාරධර්ම බොහෝවිට ඔබේ ක්‍රිකට් ගුරුවරයා ඔබට උගන්වනවා. ඒ වගේම ක්‍රීඩාව අතරතුර බොහෝ විනිසුරුවරුන් නොදත් අයට ඒවා පිලිබඳ දැනුවත් කරනවා. පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන පිතිකරුවකු පිත්ත රැගෙන යා යුතු ආකාරයක් තිබෙනවා, වමත් පිතිකරුවෙක් නම් දකුණු අතින් සහ දකුණත් පිතිකරුවෙක් නම් වම් අතින්. එසේ ගමන් කරන්නේ  ප්‍රතිවාදී පිලට පිතිකරුවා වමත්/දකුණත් බව දැන්වීමට. එමගින් පන්දු රකින්නන් ස්ථානගත කර ගැනීමට පහසු වනවා. පිතිකරුවෙක් ලෙස කඩුල්ලට පිවිසෙන පිතිකරුගේ ආරක්ෂක ආවරණ නිසි ලෙස පැළඳ, කමිසය හෝ ටී ෂර්ට් එක කලිසමට යට කර තිබීම අනිවාර්ය වනවා. එසේ නැති අවස්ථා වල විනිසුරු පෙන්වා දෙනවා. මෙය පන්දු රකින්නන්ටද පොදුයි.

පිතිකරුවෙක් කඩුල්ල වෙත ආ විගස කලයුතු දෙයක් තමයි, තමාගේ ඉන්න ලබා ගැනීම. ලනු පැදුරක් මත ක්‍රීඩාව සිදු වනවා නම් ඒවා ලකුණු කිරීම සිදු කල යුත්තේ තමන් පිත්ත අල්ලන පහල අතින්. දකුණත් කෙනෙකු නම් දකුණින්, වමත් පිතිකරුවෙකු නම් වමතින්. එසේ ඉන්න ලබා ගැනීම සඳහා විනිසුරුගෙන් "ලෙග් ස්ටම්ප් ප්ලීස් සර් හෝ මිඩ්ල් ස්ටම්ප් ප්ලීස් සර්" ආදී වශයෙන් ඇමතිය යුතුයි. සියලුම ක්‍රීඩකයින් විනිසුරුට "සර්" යන ආමන්ත්‍රණය සිදු කල යුතුයි. ඉන්න ලබා ගත් පසු "තැනක් යූ සර්" වශයෙන් ස්තූති කල යුතුයි. පහල අතින් අත් ආවරණ ඉවත් කිරීමෙන් පසුවයි රටහුණු කැබැල්ල අධාරයෙන් ඉන්න සලකුණු කරගත් රේඛාව අඳින්න ඕනේ. ඉන්පසු විනිසුරු පන්දු යවන්නා පන්දු එවන අන්තය සහ ඔහු පන්දු යවන්නේ වමතින්/දකුණතින් බව ඉතිරිව ඇති පන්දු ගණන දන්වනවා.  එම අවස්ථාවෙදීත් පිතිකරු විනිසුරුට ස්තුති කල යුතුයි.

පන්දු රකින කණ්ඩායමේ නායාකයා තමයි විනිසුරුගේ අත තිබෙන පන්දුව ඉල්ලා ගත යුත්තේ. පිතිකරුවකු දැවී ගියා යයි ඉල්ලීම් කරන සෑම විටෙකම "හව් ඉස් දැට් සර්" යනුවෙන්ද, ඔහු එය ප්‍රතික්ෂේප කළහොත් "සොරි සර්" යනුවෙන් කනගාටුව ඵල කල යුතුයි. කිසිවිටෙකත් පිතිකරුවන්ට බැන වැදීම්, ඔවුන්ගේ හැකියාවට අගෞරව වන වචන ආදිය පාවිච්චි නොකළ යුතුයි. මේවා ක්‍රිකට් නීති මගින්ද යම් මට්ටමකින් ආවරණය වනවා. හොඳ පහරක් එල්ල කල විට එය අගයන අවස්ථා ඔබ දැක ඇති. ශතකයක් අර්ධ ශතකයක් ලබා ගත් විටදය ඒවා අගයන එක හොඳ ගුණයන්. පන්දුවට පහරදෙන පිතිකරුගේ පා ආවරණ, සපත්තු ලේස් ලිහිල් වී හෝ ගැලවී ඇති අවස්තාවක ඒවා සකසා ගන්නට ප්‍රතිවාදී පිලේ කෙනෙකුගෙන් ඉල්ලා සිටියහොත් කිසි විටෙකත් ඒවා ප්‍රතික්ෂේප නොකර එම අවශ්‍යතාව ඉටු කර දිය යුතුයි. එවැනි විටෙක ස්තූතය ඵල කිරීම සාමාන්‍ය දෙයක්. සමහරවිට ඉන්න සලකුණු කිරීමට පවා සමහර ක්‍රීඩකයින් තම අත් ආවරණ ඉවත් නොකොට ප්‍රතිවාදී පිලෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒවා ඉටු කර දීමට කිසිම ක්‍රීඩකයෙක් පසුබට වන්නේ නෑ. සමහර විට පළමු තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් මේ ඉල්ලීම ප්‍රතිවාදී පිලේ ජේෂ්ඨ ක්‍රීඩකයෙකු වෙතින් ඉල්ලා සිටින්නට පුළුවන්. සාමාන්‍යයෙන් එසේ කරන්නේ නෑ. නමුත් ඉල්ලා සිටි විටෙක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. සමහරවිට විනිසුරුවරුන් පවා ක්‍රීඩකයින්ට කමිසය තුලට තමන්ගේ කරමාලය ඇතුලත් කර ගැනීම වගේ කාරණා වලදී උපකාර කරනවා. 

එකඟතාවය මතා ලබා ගන්නා තනි ලකුණ ( Agreed Single) කියන්නේ පන්දු රකින කණ්ඩායම ලකුණක් ලබා ගත හැකි යයි පැහැදිලිව තිබෙන මොහොතක දුවද්දී දවා ගැනීමට  කිසි විටෙකත් උත්සාහ නොකිරීම. කණ්ඩායමක අවසන් පිතිකරුවන් පන්දුවට පහර දෙනවිට ඔවුන් වෙත බවුන්සර් පන්දු නොයැවීමත් මෙහි දැකීමට හැකි හොඳ ගුණාංගයක්.  පිතිකරුවකු දවා ගැනීමට හැකි බොහෝ ක්‍රම තිබුණත් සමහර ඒවා භාවිතා කරන්න කිසිවකු  නොපෙළඹෙන්නේ මේ මහත්මා ගුණය නිසා. ශතකයක් අර්ධ ශතකයක් ලබා ගත් විට ප්‍රේක්ෂකයන් ලබා දෙන ප්‍රතිචාර පිළිගැනීම සඳහා පිත්ත ඔසවා  අචාර  කිරීමත් මේ අචාරධර්ම වලම කොටස්. ඒ වගේම තමයි ඉහල ලකුණු ගණනක් ලබා දැවී හෝ විවේකයක් සඳහා ක්‍රීඩාගාරයට යනවිට නරඹන්නන් හෝ තමා කණ්ඩායමේම සගයන්ගෙන් ලැබෙන දිරිගැන්වීම  පිත්ත උරහිස මතට ගෙන එය පිළිගැනීම කල යුතුයි. පන්දු යවන්නෙක් දස්කම් දැක්වූ   විට තරගය අවසානයේ ඔහුට පන්දුව ලබා දීමට විනිසුරු කාරුණික වනවා. එවැනි විටෙක පන්දුව ඔසවා ක්‍රීඩාගාරයට  පෙන්වමින් ක්‍රීඩාගාරයට ගමන් කල යුතුයි. ක්‍රීඩාගාරයට මෙසේ තරගය අවසානයේ හෝ විවේකයක් සඳහා ගමන් ගන්නා විට දස්කම් දැක්වූ කෙනාට ඉදිරියෙන්ම යාමට සලස්වන්නේ කණ්ඩායම් දෙකෙහිම අය එකතුව. අලුතෙන් කණ්ඩායමේ ස්ථානය ලබා ගන්නා අය සඳහා කණ්ඩායමේ කැප් තොප්පිය ලබා දීම තරග දින උදෑසන කණ්ඩායම නායකයා අතින් සිදු වනවා.   විනිසුරුට හතරේ සීමාව පසු කර ගිය පන්දුවක් ගමන් ගත් අකාරය අනුව ලැබිය යුතු ලකුණු ප්‍රමාණය දැක්වීමද තවත් එක අංගයක්. මෙසේ කිරීමට අවශ්‍ය වන්නේ හතර හෝ හය විනිසුරුට පැහැදිලි නොමැති විටෙක. බොහෝ විටෙක ක්‍රීඩාංගනයේ පන්දු රකින්නන්  දක්වන ලකුණු ප්‍රමාණය ලබා දීමට විනිසුරු වරයා පැකිලෙන්නේ නෑ.තමන් උඩ පන්දුවක් රැකගත් මොහොතක, පන්දුව පොලව ස්පර්ශ වූවා නම් අවංකව එය විනිසුරුට දන්වන අවස්ථා අප දැක තිබෙනවා.  අද නම් එවැනි අවස්ථා පිලිබඳ තීරණය ගන්නේ තෙවෙනි විනිසුරු. ප්‍රතිවාදී කණ්ඩායමේ දැවුණු ක්‍රීඩකයෙකුට, හතරේ සීමාවෙන් පිට වීමට ප්‍රථම, ඔහුට ලැබුණු තීන්දුව පිලිබඳ පන්දු රකින පිලේ නායකයා සෑහීමකට පත් නොවන්නේ නම්, ඔහුට දිගටම පන්දුවට පහරදීමට ඇරයුම් කිරීමට පන්දු රකින පිලේ නායකයාට හැකියි. ඇත්තටම එය නීති වල අඩංගු වූවත්, එය ක්‍රියාවට නැගීම ක්‍රීඩකයන්ගේ මහත්මා භාවය අනුව සිදු වෙන්නක්.
පින්තූරය ගත්තේ : www.cockfosterscc.freeuk.com
පින්තූරය ගත්තේ : recoveringagnostic.wordpress.com
පින්තූරය ගත්තේ : www.blackcaps.co.nz
පින්තූරය ගත්තේ : www.telegraph.co.uk
පින්තූරය ගත්තේ : www.smh.com.au



අද බොහෝ විනිසුරුවන් ශ්‍රී ලංකාව තුල තරග වලදී සිංහල භාෂාවෙන් ක්‍රීඩකයින් ඇමතුවත්, අතීතයේදී මේ සන්නිවේදන සියල්ල සිදු වූයේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම ඒ සඳහා භාවිතා වන වචන මාලාවක්ද තිබුණා. නමුත් ඒවා දැන් ක්‍රමයෙන් වියැකී, අපේ  භාෂාවෙන්ම බොහෝ බොහෝ දුරට මේ සන්නිවේදනය සිදු වනවා. මෙය කිවයන කෙනෙකුට සුද්දා කරපු ආකාරයෙන්ම මේවා සිදු කලයුතුයි ප්‍රශනයක් සිතට නැගෙන්න පුළුවන්. නමුත් ක්‍රිකට් සම්බන්ධ නීතිරීති සංශෝධනයට ලක් වුවත්, මේ අචාරධර්ම බොහෝදුරට පරපුරෙන් පරපුරට ඉදිරියට යනවා. 


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...