Sunday, March 30, 2014

මගේ මැතිවරණ මතක - 1977 ...... My Political Election Memories - 1977

චන්දය යන වචනය මගේ කණ වැකුණේ කවරදාකදයි නිසි මතකයක් නැතත්, එය 1970 සහ 1977 අතර කාලයේ විය යුතු බව හැඟෙයි. මන්ද මේ කාලසීමාව අතරතුර එවක පැවති චන්ද ක්‍රමයට අනුව අතුරුමතිවරණ කිහිපයක් පවත්වන්නට යෙදුන බැවිණි. එසේ වතුදු සාමාන්‍ය නිවසක සිටින බාලකයෙකුට එම වදන කන නොවැකිය හැක. එහෙත් තදින් දේශපාලනයට ඇලී ගැලී සිටි මගේ පියා නිසා එසේ විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. මගේ පියාගේ දේශපාලනය ගැන යමක් මෙහි සඳහන් නොකළහොත් මෙය කියවන ඔබට මා කරන බලවත් අසාධාරණයකි. එසේ නොකලද  මෙම සටහන කියවාගෙන යත්දී ඔබට එය වැටහෙනු ඇත. මගේ පියාගේ දේශපාලනයේ තිඹිරිගෙය එක්සත් ජාතික පක්ෂයයි. හෙතෙම ඩඩ්ලි සේනානායක නමැති මහත්මා දේශාපාලනයට ප්‍රමුඛ නාමය ඇති ශ්‍රී ලංකා දේශපාලනයේ නොමැකෙන සටහනක් තබා ගිය කෘතහස්ත නායකයාගේ චන්ද වේදිකාවේ කථාවක් කිරීමට භාග්‍යය ලැබූවෙකි. එක්දහස් නවසිය පනස් ගණන් වල බන්ඩාරණායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කලවිට එහි ආරම්භක සමාජියෙකු වන්නට ලැබුණු බව ඔහු පවසන්නේ මහත් ආඩම්බරයකිනි. එදා පටන් අද දක්වා ඔහු අදහන්නේ එම දේශපාලනයයි. නමුත් ඔහුගේ දෙටු පුත්‍රයා වූ මා කලින් කලට මගේ තීරණය වෙනස් කර ඇත.

1977 චන්දයයේ ප්‍රතිඵල නිකුත් වනතුරු එය මට චමත්කාරජනක අත්දැකීම වුවේය. කිසිදින දැකනැති සැරසිලි, පෙළපාලි සහ කැන්වසින් ව්‍යාපාර  මගේ  ප්‍රීති ප්‍රමෝදයට හේතු විය. ළඟටම ගෙනැවිත් දෙන විවිධ වර්ණ වලින් මුද්‍රිත පත්‍රිකා, පෝස්ටර් එකතු කිරීම මගේ විනෝදාංශය විය. කොළ පැහැති ඒවා තනිකරම කොළ පැහැතිය. නිල් නම් නිල් පැහැති ඒවාය. රතු ඒවාද කිහිපයක් විය. එකල වර්ණ මුද්‍රණය සිදු වූයේ නැති බැව් ඉන් පැහැදිලි වේ. පෝස්ටර්ද එක් වර්ණයක් යොදාගෙන සුදු කඩදාසියේ මුද්‍රණය කර තිබුණි. අදාළ අපේක්ෂකායේ නම යටින් සඳහන් වී නොතිබුණි නම් ඒ කාගේ ඒවාද යන්න පැහැදලි නැත. නමුත් එකල ආසන මට්ටමෙන් චන්ද විමසීම සිදු වූ නිසා, එක් එක් පාටින් නියෝජනය වන්නේ කුමන අපේක්ෂකාද යන්න සියළු දෙනා පැහැදිලිව දනී. එකල නිල් පාටින් ඇති පොස්ටරයෙහි අත සලකුණ ඉතා විශාලව ඇඳ ඇත. එය ඇල්බට් කාරියවසම් මහතාගේ එකකි. එය බලා අප ප්‍රදේශයේ එජාප අධාරකරුවන් පවසන්නේ,
"කාලා-කාලා බෙල්ලත් පෙන්නේ නැති හැටි"
යනුවෙනි. කොළපාට පෝස්ටරයේ අලියා ලකුණින් තරග කලේ රූපා කරුණාතිලක මහතායි. එතුමාද කාරියවසම් උන්නැහේගේ ප්‍රමාණයට සරිලන දේහ ලක්ෂණ පෙන්නුම් කළේය. නමුත් ඒ ගැන කතා කරන්නට ළමා වයසේ පසු වූ මගේ සොයුරිය සහ මා හැරෙන්නට කිසිවෙක් නොවීය. රතු පාටින් බෙන්තර - ඇල්පිටිය ආසනයට තරග කළේ පීටර් ජයසේකර මහතායි. රතු තරුවක් ඔහුගේ කාරයේ සවි කරගෙන ගිය ආකාරය මට අද මෙන් සිහි වේ. අපගේ නිවාස අසල වාහනය නතර කොට මගේ පියා හා වචනයක් දෙකක් කථා කරන්න ඔහු අමතක කලේ නැත. 

එකල දේශපාලනය අද හා සසඳන විට ඉතා ළදරු තත්වයේ තිබුණේ යයි අද දේශපාලනය කරන කෙනෙකුගෙන් ඇසුවහොත් පවසනු ඇත. මන්ද මා කලින් විස්තර කල කුඩා අත් පත්‍රිකා, නිවෙසින් නිවසට ගොස් බෙදීම, ආසනයක එකක් පමණ වන්නට වූ රැස්වීමක්ද, ඉඳ හිට පැවැත්වෙන පෙළපාලියක් හැරුණු කොට, ඔබ අද දකින දාහකුත් එකක් වූ දේ එදා නොවීය. මේ හැම වර්ණයකම පෝස්ටර් සහ පත්‍රිකා එකතු කිරීම එකල අපගේ විනෝදාංශය විනි. එකල  මගේ හොඳම මිත්‍රයා වූ සම්පත්ද, පාසලේ හොඳම මිත්‍රයා වූ අයිවන්ද සතුව මෙවැනිම එකතුවක් විය. අප ළඟ වැඩිපුර තිබෙන පත්‍රිකා හා පෝස්ටර් හුවමාරුවද ඒ කාලයේ කදිමට සිදු විය. සමහරු ඉඳහිට මේවා හොරකම් කල අවස්ථාද ඇත. මා වැඩිපුර මනාපයක් දැක්වූයේ මේ චන්ද ලකුණු හැකිතරම් එකතු කර ගැනීමටය. අත, අලියා, තරුව, ඇස වැනි ලකුණු මා සතුව තිබූ බව තවමත් සිහිපත් වේ. 

සිරිමාවෝ මැතිනිය පැමිණෙන බෙන්තොට කහඹිලියාකන්ද හන්දියේ පැවැත්වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලියට මගේ පියා බොහෝ කැපවීමෙන් වැඩ කළේය. මේ කාලයේ නිතරම ඔහුගේ උගුර බැරැන්ඩි වී තිබුණේ අද මෙන් පහසුකම් නොවූ එදා කුඩා රැස්වීම් ඇමතීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එකල ඔහුගේ දිවග නිතර රැඳී වචන මාලාවක් වූයේ "බෙන්තර - ඉඳුරුව, පහලගම් හය" යන්නය. මට එකල මේවා ප්‍රහෙලිකාවන්ය. මගේ මවගේ නිවසට යායුතුව තිබුණේ ඉඳුරුව පසු කරමිනි. එනිසා ඉඳුරුවු වූ කලී ගමක නමක් බව මා තේරුම් ගත්තද, පහල ගම් හය යනුවෙන් සඳහන් කරන්නේ පොලොව මට්ටමට පහලින් ඇති ගම් කිහිපයක් බව මගේ වැටහීම විය. අක්කාටද එයට වඩා වැඩි දැනුමක් ඒ ගැන නොතිබුණි. ඉහත කී රැලිය සඳහා වේදිකාව තනන්ට භාවිතා කලේ අපගේ නිවසේ වහල ගසන්නට එක්රැස් කරගෙන තිබූ පොල් පරාල සහ යට ලී කිහිපකි. සිරිමාවෝ මැතිනියට මල් බොකේ එකක් දීම සඳහා එකල වයස දහයක් වූ මගේ සොයුරිය තෝරාගෙන ඇති බව දැන ගත්තේ දෙමව්පියන් කරන කථා වලට රහසින් කන් දීමෙනි. එකල වැඩිහිටියන් කථා කරන අසලක ගැවසීමට හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීම සපුරා තහනම් කටයුතුය. 

නිල් පාට මල් බොකේ එක තනන්නේ  අපේ නිවසට ආ ගිය මගේ පියාගේ හිතවෙකුගේ බිරිඳ බවත්, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව හෙට ඔහු පැමිණි විට ලබා දෙන බවත් පියා පවසනු ඇසිනි. ගුරුවරුන්ටද දේශපාලන සංවාදයක් කරන්නට අවශ්‍ය වූ විට ඔවුන් අපට පවසන්නේ කැමති චිත්‍රයක් අඳින ලෙසය. අප එවිට කරන්නේ දේශපාලන වේදිකාවක් චිත්‍රයට නැගීමයි. අප අඳින වේදිකාවට අනුව ගුරුබවතුන්ට අපගේ ගෙදර දේශපාලනය කියවීමට හැකිය. ඒ අප අඳින්නේ අපගේ දෙමාපියන්ගේ දේශපාලාන දෘෂ්ඨියට අදාල ලකුණ සහ පාටට සරිලන වේදිකා බැවිනි. අපගේ නිවසට ආසන්නව අලුත්ගම නගර පිහිටා තිබුණි. එනිසා එහි පැවැත්වූ රැස්වීමක්ද බලන්නට අපත් කැටුව, අම්මා, තාත්තා පුංචි අම්මලා කිහිප දෙනෙකුද ගමන් ගති. පයින් යන ගමන මා ඉතා ඇලුම් කල දෙයක් වූයේ ගඟ හරහා පාළම පසුකර ගමන් කරන්නට සිදු වූ නිසාය. මෙවැනි ගමනකදී අප සෙවන සෙවන සහ ආරක්‍ෂිත තැනක නවතා අපේ පියා රැස්වීමෙන් ඉදිරිපසට ගමන් කරන්නේ තමන් දන්නා කියන මිතුරන් සමග එක්වී රස්වේම නැරඹීමටය. බේරුවල ආසනය බහු-ආසනයක් වූ බැවින් එයින් ආසන දෙකක් හිමි වන බව පියා පවසා සිටි විට මා අසා සිටියේ "ආසන කියන්නේ පුටු නේද ? එතකොට ඔච්චර මහන්සි වෙලත් ඕගොල්ලොන්ට පුටු දෙකද හම්බ වෙන්නේ?" යන්නයි. එවිට මවගේ මුහුණ බලා සිනාසෙනු හැර පියා යමක් පවසන්නේ නැත. 

මල් බොකේ එකට අවශ්‍ය ලැයිස්තුව පියාගේ මිතුරා ලබා දුන් විට එය දිග හැර කියවා මද සිනහවක් මුවේ රඳවා ගත මගේ පියා මිතුරාගෙන් විමසා සිටියේ

"මල් බොකේ එක හදන්න බිත්තර හයක්ම ඕනේ වෙනවද ?"
"හා... හා.. ඕක මෙහාට දෙන්න මහත්තයා මට වැරදිලා දීලා තියෙන්නේ අපේ නෝනා කේක් එකක් හදන්න ගේන්න කියපු ලිස්ට් වෙන්න ඇති. ... ආ... මේ තියෙන්නේ හරි එක"
සවස  දෙකට පැවැත්වූ එම රැස්වීම පිලිබඳ සිහිනයක් මෙන් මතකයක් ,මගේ සිතේ ඇත. එය පවත්වා මිනිත්තු ගණනකින් ධාරනිපාත වර්ෂාවක් අද හැලුනේය. එම චන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදාපාළු වී ගියේ එම වැස්සට කාණු පිරී ඉතිරි ගලා ගිය ජාල ධාරවාන්ට අසු වූ පරඬැලා පතක් මෙනි. මගේ සොයුරිය මැතිනියට මල් බොකේ එක ලබා දෙන ඡායාරූපයක් බොහෝ කලක් අප නිවසේ තිබුණද, කාලයත් සමග ඒවා විනාෂා වී ගොසිනි. චන්ද ප්‍රතිඵල එන්නට පෙර එම අවස්ථාව ඉතා දුර්ලභ එකක් බවත්, එය සොයුරියගේ වාසනාවක් බවත් බොහෝ දෙනා පවසා සිටියෝය. නමුත් මැතිනිය දෙවන වරට අගමැති වූ පසු ඇයගේ අතින් සහතිකයක් ගන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවක් මට මග හැරී ගියේය. මහජන බැංකුවට එක් වූ විගස ක්‍රිකට් තරගාවලියක අවසාන තරගයට ක්‍රීඩා කිරීමට මට අවස්ථාව උදා විනි. එහි වැඩිම ලකුණු ලාභියා වීමට වාසනාවන්ත වුවත්, අවසාන තරගයට අප හා ක්‍රීඩා කල ජාතික රූපවාහිනී කණ්ඩායමේ අවසාන විකට්ටුවට ක්‍රීඩා කල උපාලි අරඹවෙල සහ සගයා, අපගේ අතටම පන්දුව ලබා දී ලකුණු තුනක් උදුරා ගැනීම නිසා අපට ශූරතාව අහිමි විය. අතට ලැබුණු පන්දුව කැලෑවට විසි කල අයට මා අදත් සිතින් දොස් තබන්නේ, එම පන්දුව රැගෙන කඩුල්ලට ආවා නම්, මා මුලින්ම ලබන්නේ ශූරතාව දිනාගත් සහතිකයක් බැවිණි. මැතිනිය අතින් එය ලබාගන්නා ඡායාරූපයක් මගේ පියාට පෙන්වූවා නම් ඔහු නගන සතුටු කඳුළු ප්‍රමාණය මට සිතා ගත හැකිය. නමුත් ඒ වනවිට මා ශාඛා පරිගණකගත කිරීම සඳහා ඇඹිලිපිටියට ගොස් සිටි නිසා, එම වර්ණ රාත්‍රියට සහභාගී වීමට නොහැකි විය. එම සහතිකය තවමත් එවකට අප ක්‍රීඩා සමාජයේ එවකට ලේකම් වරයා වූ ගයා පෙරේරා මහතා ළඟ ඇති බව දනිමි. එය අතුරු කතාවකි.

එම රැස්වීමට පැමිණි ආරියවංශ පතිරාජ කවියා අලියා විසුළුවට ලක් කර හිටිවන කවි ගායනා කලබව මට හොඳින්ම මතක තිබේ. මීට අමතරව අනගාරික ජී.අයි.ඩී. ධර්මසිරි මහතා ඇතුළු කණ්ඩායම අප නිවසට කැඳවා පාටියක් පැවැත්වීය. 

එකල අප පදිංචි වී සිටියේ අපගේ නිවසේ පිටුපසට වන්නට තිබෙන කාමර දෙකක් පමණක් සදා ගෙනය. පාරේ සිට අඩි හතළිහක් පමණ ඈතින් තිබූ එම කොටසේ ඉදිරිපස බිත්තියේ ඇල්බට් කාරියවසම් මහතාගේ පෝස්ටරයක් සහ අත ලකුණ සහිත පෝස්ටරයක් අලවා තිබුණි. මෝටර් සයිකලයෙන් පැමිණි පොලිස් නිලදරුවෙක් එය ඉවත් කරන ලෙස දන්වා සිටියත්, මගේ පියා පවසා සිටියේ පෝස්ටර් ඇලවිය නොහැක්කේ ප්‍රසිද්ධ ස්ථාන වල පමණක් බවය. නමුත් ඉන්පසු ඉතා තදින් කථා කල නිලධාරියා එය වහාම ඉවත් කරන ලෙස දන්වා සිටි විට, මගේ මව එය ගලවා දැමීය. ආණ්ඩුව විසුරුවලා නිසා එහෙම තර්ජනය කල බවද, තව ටික දිනකින් ඕවා නැතිවන බවද පැවසීය. ඉදිරියට පැමිණෙන්නේ අපට ඉතා අපල කාලයක් බව ඔහු නොදැන සිටියාද, නැතිනම් එසේ සිතන්නට අකමැති වූවාද යන්න ගැටලුවකි.

චන්දෙ ප්‍රතිඵල අහන්නේ නැන්දලාගේ ගෙදර බව මව පැවසු විට, මට එය මහත් ප්‍රහේලිකාවක් විය.

"මොනවද අහන්න තියෙන්නේ"

"ප්‍රතිඵල"

"කාගෙන්ද අහන්නේ"

"අහන්නේ රේඩියෝ එකෙන්"

"ඉතිං මේ තියෙන්නේ රේඩියෝ එකක්"

"ඒ වුණාට පුතේ, ප්‍රතිඵල යන්නේ රෑටනේ, අපිට මෙහෙ ඉන්න  බයයි"

"ඒ මොකද බය ? අනිත් දවස් වලත් ඉන්නේ"

"ඔයාට මේවා තේරෙන්නේ නෑ. ප්‍රතිඵල හොඳ නැති වුනොත් අපිට ගෙදර ඉන්න හොඳ නෑ. ජයසේන බාප්පා තමයි කිව්වේ එහෙ ඉන්න කියලා"

ඒ කාලේ මගේ වීරයා වෙලා හිටිය ජයසේන බාප්පා කියන ඕනෑම දෙයක් හරි බව මා විස්වාස කළ නිසා, එතැනින් එහාට කිසිවක් අසන්නට මා උත්සාහ කලේ නැත. ඇඳිරි වැටෙන්නට හැර  අපගේ නිවසින් මීටර් සීයක් පමණ ඈතින් ඇති නැන්දලාගේ නිවසට පයින්ම ගියේ අපගේ නිවසේ ඉදිරිපසින් නොව පිටුපස ඇති මහ ඉස්කෝල පිට්ටනිය හරහා ගොසිනි. එය ඔලුව වටෙන් අත දමා නහය ඇල්ලීමක් විය. එකල මේ හැම දෙයක්ම ප්‍රශ්න කරන්නට ගොස් මා බැණුම් ඇසූ වාර අනන්තය. නැන්ද යනු මගේ පියාගේ එකම සොහොයුරියයි. ඇයට පුතුන් හතරදෙනෙක් වූහ. ඔවුන් සියළු දෙනා හැඩි දැඩි තරුණයන් විය. එනිසා අප ප්‍රදේශයේ කිසිවකු ඔවුන් සමග කලහයට නොආවේය. අප එහි යන්නට හේතු වූයේ එයම බව පසුව තේරුම් ගතිමි.

නැන්දලාගේ ගෙදර නිවසකට වඩා පොදු විනෝදාස්වාදය සඳහා වෙන්වූ තැනක් මෙන් විය. පල්ලියේ ගෙදර යනුවෙන් කවුරුත් හැඳින්වූ එම නිවසේ දහවල් කාලයේ බොහෝ දෙනාගෙන් පිරී ඉතිරි පවතී. එම නිවාස සහ ඉඩම අතීතයේදී ඕලන්ද සභාවට අයිති ස්ථානයක් විය. අප දන්නා කාලයේ සිට එහි ඕලන්ද ආකෘතියේ පල්ලියක් විය. පසුව එය ගරා වැටීමත් සමග, එහි වූ කොස් බංකු දෙකක් අපේ නිවසටද ලැබිණි. ඒවා උස්සන්නට අලි මාළු කෑ යුතු බව එකල බොහෝ දෙනාගේ මතය විය. නැන්දා විවාහ වී සිටියේ ජේමිස් නමැති ගැටහැත්තේ උපන් අතිදක්ෂ සූපවෙදියෙකු සමගය. ඔහු මුලින්ම බෙන්තොට තානායමේ සේවය කර ඇත. පසුව බෙන්තොට ජෑම් මෝල නමැති, ජෑම් නිෂ්පාදනාගාරයේ ප්‍රධාන කෝකියා(බාස්) වශයෙන් සේවය කර ඇත. එකල එංගලන්තයට ගිය වෛද්‍යවරයෙකුට මාස ගණනක් කල් තබා ගන්නට හැකිවන පරිදි ඔහු සාදා දුන් සීනි සම්බලය ගැන ඉංග්‍රීසි පත්තර වල වාර්තා තිබූ බව, මස්සිනා ගැන ඉතා ආඩම්බරයෙන් කථා කරන මගේ පියා පවසයි. ජේමිස් මාමා පෝලියෝ රෝගයට ගොදුරුව එක් පාදයක් අද්දමින් ගමන් ගන්නා අකාරය මට තවමත් සිහි වේ. ඔහුගේ ආරයට යමින් ඔහුගේ වැඩිමහල් පුතා වූ ජයතිස්ස අයියා, පියසිරි අයියා සහ විජේසේන අයියා සූප ශාස්ත්‍රයට යොමුව සංචාරක හෝටල් වල සේවය කළහ. මින් පියසිරි අයියා පිළිබඳව මෑතකදී මාධ්‍ය කථා කරන්නට පටන් ගෙන තිබුණි. ඔහු කලක් ආකාස කඩේ කෝකියකු ලෙස සේවය කර, පසුව ලලිත් කොතලාවල මහතාගේ පුද්ගලික කෝකියා ලෙසද, මාලදිවයිනේ ගෝල්ඩන් රොක් කැෆේ හීද, දැන් රජ බොජුන් හී ප්‍රධාන සූප වේදියා ලෙසද කටයුතු කරයි. දිනක් මා ඔහු මුණගැසෙන්නට එහි ගිය විට, එහි තීරයකට මුවා වී බලා පසුව මා මුණ ගැසීමට පැමිණියේය. එසේ කලේ ඇයිදැයි මා ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ

"අරටුව පත්තරෙන් එනවා රෙසිපි ඉල්ලාගෙන, ඔහොම දෙන්න රෙසිපි තියෙන්නේ කා ලඟද බං" යනුවෙනි.

එයද අතුරු කතාවකි. අපේ නැන්දාගේ මෙම පුතුන් නොවන්නට 1977 දී අප මරු තුරුලට යන්නට ඉඩ තිබුණි. ප්‍රතිඵල අසන්නට තිහකට ආසන්න පිරිසක් එහි විය. රේඩියෝව වටා වටවුණු පිරිසට ආලෝකය  දුන්නේ පැට්‍රොමැක්ස් ලාම්පුව්කි. එයට හුලං ගැසීමට එදින බොහෝ දෙනෙකි. ඒවාගේ එලිය තරම් එළියක් බල්බ් වලින් නොලැබෙන බව මගේ විශ්වාසයයි. රජයේ ගැසට් පත්‍රයක් සොයාගෙන තිබුණේ, සියලුම ආසන සඳහා වූ නම් ලැයිස්තුව එහි වූ නිසාය. එහි මුලින්ම ප්‍රතිඵල සටහන් කරන්නට ඉදිරිපත් වූයේ මගේ පියාය. මුල්ම ප්‍රතිඵලය මගේ මතකය නිවැරදි නම් පදිරිප්පු නමැති මඩකලපු දිස්ත්‍රික්කයේ කුඩා ආසනයේය. එක හැල්මේ එක්සත් ජාතික පක්ෂය දිනන විට මගේ පියා පැත්තකට විණි. ඉන් පසු ප්‍රතිඵල සටහන් කලේ රණසිංහ අයියායි. කිසිම ආසනයක් තාත්තාගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාත්‍රියේදී නොලැබිණි.

"මිනිස්සු පරිප්පු කන්න චන්දෙ දුන්නා එහෙනං"

යනුවෙන් මගේ පියා පැවසීය. මැතිනියගේ ආණ්ඩුවේ පැවති සංවෘත ආර්ථික රටාව නිසා රටේ ඇති වූ හාල්, පිටි, සීනි හිඟය නිසා ජනතාව බොහෝ අපහසුතාවන්ට පත් වූ පසු මෙවැනි ප්‍රතිඵල ලැබීම සාමාන්‍ය කරුණක් ලෙස පසුව මා දැන ගත්තේ පුවත් පත් වලිනි. හාත්පස වෙඩි පුපුරන්නා සේ ඇසෙන රතිඤ්ඤො හඬ කන් පිපිරෙන තරමට විය. උදෑසන වනවිට  දැඩි එජාප පාක්ෂිකයෙකු වූ අප නිවසට ඉදිරිපස නිවසේ වූ ඊබට් අංකල් බීමතින් කමිසයක් නොහැඳ, රේඩියෝව කරේ තබාගෙන පාරදිගේ එහා මෙහා ගමන් කරන අයුරු අප බලා සිටියේ විමතියෙනි. කුඩා කාලයේ උගුරේ තෙල් ටිකක් ගාගෙන අපව ගිලිනවා යනුවෙන් මේ කාල වර්ණ පුද්ගලයා අප බියවැද්දීය. ඔහු මගේ පියා සමග ජම්මාන්ත වයිරක්කාරයෙක් සේ හැසිරිණි. මගේ පියාට එලියට එන්නයි නැන්දාගේ නිවාස ඉදිරිපස හන්දියේ සිට අභියෝග කළේය. මගේ පියා ආයාසයෙන් කෝපය මැඩගෙන සිටින අයුරු අප බලා සිටියේ ශෝකයෙනි.

5/6 ක බලයක් ලබාගත් ජේ.ආර්.ජයවර්ධන මහතාගේ රජය සතියක් පොලීසියට නිවාඩු ලබා දෙන බව පැවසීමෙන්, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට උඩ-ගෙඩි දීමක් කළේය. අපට දවස් දහයකට පසු අපගේ නිවසට යාමට හැකි විය. එහෙත් අප පසුවූයේ භීතියෙන් බව පැවසිය යුතුය. එය එල්.ටී.ටිය සිටින ආසන්නයේ සිංහල ගමක වසනව වැනිය. සෑමදිනකම බීමතින් පැමිණෙන ඊබට් අංකල් පවසන ලද කුණුහර්ප මාලාව අපට ඒ විෂය පිලිබඳ විශ්ව විද්‍යාලයක් බඳු විය. අපගේ නිවසේ පිටුපසට ඇසෙන්නට තරම් ප්‍රමාණයකින් ඔවුන්ගේ රේඩියෝව ක්‍රියාත්මක විය. අපේ නිවස අසලින් පෙළපාලි යනවිට ජයසේන බාප්පා  බයිසිකලයෙන් පැමිණ, අපගේ ගේට්ටුව හරස් කරගෙන නවතින්නේය. නැතිනම ඔලුවට බාල්දි දමාගත්, කොළ අතු ඇඳගත් වනචාරීන් ලෙස හැසුරුණු පිරිස, බොහෝ අමාරුවෙන් කළ දවස ගෙවූ මේ රජයේ සේවකයාගේ නිවාස පොළොවට සමතලා කරනවා නියතය.

1977 Sri Lanka General Election Results
පින්තූරය ගත්තේ : www.wikipedia.org
ප්‍රතිඵලය මේ පින්තූරයෙන් පෙනෙන අකාරයේ විය. නිල්පාටින් දක්වා ඇත්තේ මැදවච්චිය, ආනමඩුව, ගම්පහ, අත්තනගල්ල, කොත්මලේ, නුවර එලිය-මස්කෙළිය(බහු ආසනය), මැද කොළඹ(බහු ආසනය), හාරිස්පත්තුව(කුඩය ලකුණින්) යන ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයගත් ආසනය.

61 comments :

  1. Replies
    1. බොහොම ස්තුතියි සරත්.

      Delete
  2. //නමුත් ඔහුගේ දෙටු පුත්‍රයා වූ මා කලින් කලට මගේ තීරණය වෙනස් කර ඇත.//
    අපේ ඡන්දෙන් උන් සැප ගන්න එකේ, අපිටත් වාසිවෙන්ඩ පිල්මාරුවක් කලාට අවුලක් නෑ නේද අයියෙ :D

    ReplyDelete
    Replies
    1. මම නම් ලබා ගත්ත වාසියක් නෑ. නමුත් එක්තරා යුගයක ජවිපෙ යමක් කරයි කියා විශ්වාස කළා.

      Delete
  3. පක්ෂ දේශපාලනයේදී ගහමරාගැනීම නමැති ප්‍රාථමික අමනුෂ්‍ය ලක්ෂණය අපේ පරපුරෙන් අවසන්වේයයි සිතුවත් අපිම එය ඊළඟ පරපුරට දායාද කිරීම මහා පාපකර්මයකි. අපේ පවුලත් පක්ෂ දේශපාලනයෙන් බැටකෑම හේතුවෙන් ලබාගන්නට තිබුණු දීප්තිමත් අනාගතයක් අහිමි වුණ තවත් එක් පවුලක්. ඒ නිසාම මම මගේ දරුවන් කිසිදිනක දේශපාලනයට යොමු නොකළ නිසා ඔවුන් අද දීප්තිමත් අනාගතයකට හිමිකම් කියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියලාව් වැඩක් නෑ විචාරක තුමා. අපේ පුංචි අම්මලා දෙන්නෙක් විරැකියාවෙන් 40 පහු කළා.

      Delete
  4. පෂ්චාත් මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා... හි ඇරඹුම..
    ඔය කියන දැන්වීම් අත්පත්‍රිකා එකතුකරන පුරුද්ද මටත් තිබුණා
    එක අඳුරු රාත්‍රියක අපේ අම්මා ඒ ඔක්කොම ගිනි තිබ්බා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එය නිමා කරන්න චන්ද්‍රිකා මහත්මිය ගත් උත්සාහය අගය කරන්න ඕනේ. පොඩි කාලෙදී තියෙන ආසාවල් නේ. ඊයේ චන්ද පොළ අවට දාලා තියෙන මලික්ගේ පොඩි ෆොටෝ කෑලි ටිකක් මගේ කෙලි පොඩ්ඩ එකතු කරගෙන ආවා.

      Delete
  5. ගමේ කමටද මංදා අපේ සීයලා අදටත් අති උග්‍ර යූඑන්පී පාක්ෂිකයන්.. ඒත් අපේ තාත්තා දැරුවේ වෙනස් මතයක්..මමනම් පක්ෂ වලට වැඩිය බලන්නේ චන්දය දෙන පුද්ගලයා සතු සුදුසුකම් හා ඔහුගේ අතීතය.

    පොලීසියට තාමත් නිවාඩු කියලා මටනම් හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. පැරණි බොහෝ දෙනා ප්‍රතිපත්තිගරුකයි සෙන්නා. අපේ තාත්තා වුණත් උග්‍ර කියන විශේෂණයෙන් හඳුන්වන්න පුළුවන්.

      වෙනසකට තියෙන්නේ 77 දී ප්‍රකාශ කරලම කරපු එකයි.

      Delete
  6. ඇත්තටම ඒ කාලෙ ඡන්ද ප්‍රතිඵල අහනවයි කියන්නෙ හරි රසවත් අත්දැකීමක්. මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති උනත් ටීවී එක ඉස්සරහ ඉඳගෙන රෑ නිදිමරාගෙන බලාගෙන ඉන්නව. ඔය කොළ, අර ඩේ කාඩ් සයිස් පොඩි කාඩ් එකතුකරන වැඩේ මාත් පොඩිකාලෙ කළා.

    නියම අත්දැකීම් ටිකක්නෙ විස්තර කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වෙනම සැදී පැහැදී කරන වැඩක් තමයි. අනෙක් කොටස් වලින් ඉන් පස්සේ චන්ද වල තත්වය විස්තර කරන්නම්.

      Delete
  7. Nice article the realty of 1977 elections. I still remember the first results on radio as a 12 year old kid and it was for Sammanthurai electorate won by A Majeed of UNP.

    ReplyDelete
    Replies
    1. Thanks for your compliments. We enjoyed the strange moment as kids even though we were in a trouble.

      Delete
    2. හරියටම හරි. මට අවුරුදු 15යි. පරක්කු වෙලා පරක්කු වෙලා සම්මන්තුරේ රිසල්ට් එක දුන්නා.

      සුදීක හාරිස්පත්තුව දින්නෙත් ස්වාධීනව ඉල්ලලා පස්සේ යුඇන්පියට ගියා විජේසිරි කියලා කෙනෙක්. පස්සෙ කුන්ඩසාලේ ආසනයට ඉල්ලුවා වගේ මතකයි.

      Delete
    3. හරියටම හරි. මට අවුරුදු 15යි. පරක්කු වෙලා පරක්කු වෙලා සම්මන්තුරේ රිසල්ට් එක දුන්නා.

      සුදීක හාරිස්පත්තුව දින්නෙත් ස්වාධීනව ඉල්ලලා පස්සේ යුඇන්පියට ගියා විජේසිරි කියලා කෙනෙක්. පස්සෙ කුන්ඩසාලේ ආසනයට ඉල්ලුවා වගේ මතකයි.

      Delete
    4. ඔව්. ආර්.පී. විජේසිරි මට මතක හැටියට.

      Delete
  8. රජ බොජුන්හි පියසිරිත්, ලොකුම ලොක්කා පාලිතත් අපේ හොඳම මිතුරන්. රජ බොජුන් ටී වී ඇඩ් එකේ මමයි නෝනයි පුතයි තුන් දෙනාම ඉන්නවා.

    77 මැතිවරණය මට හොඳට මතකයි. කැළණියට අලි පාටියෙන් ඉල්ලූවේ සී සිරිල් මැතිව්, අතෙන් එරින් සේනානායක. අපේ ගෙදර යූ ඇන් පී ලීෆ්ලට් අලවලා තිබුනේ. මට හොඳට මතකයි සිරිල් මැතිව් අපේ ගෙදරත් ආවා. තාත්තගේ පැත්තෙන් දුරින් නෑ කමකුත් තියෙනවා. එයාගේ පුතා නන්ද මැතිව්. නන්ද මැතිව්ගේ නෝනා නියම රූප සුන්දරියක්. රේඩියෝ එකෙන් රිසල්ට් ඇහුවේ බාප්පලගේ පවුලයි අපේ පවුලයි එකතු වෙලා. මට මතකයි මුළු රෑම නිදිමරාගෙන රිසාල්ට් ඇහුවා. අපේ අම්මයි, බාප්පගේ නෝනයි ඩාන්ස් කලා. ඊට පස්සෙ අපිත් නැටුවා. තාත්තලා ඒ කාළේ කැපුවත් යූ ඇන් පී. දැන් නම් මහින්ද මහත්තයට පන දීගෙන ඉන්නේ. විරුද්දව මක්කා හරි කිව්වෝත් හොඳට අහගන්න පුළුවන්. රනිල් පේන්න බෑ.

    යූ ඇන් පී වේදීකාවේ නැෂනල් එකක් ගහපු විරිඳු කාරයෙක් කියාපු විරිඳුවක් මට අදටත් මතකයි..

    එරින් නෝනා යන්න....
    ළමයි බලා ගන්න....

    ReplyDelete
    Replies
    1. මේ අපේ පියසිරි අයියව ඔයා දන්නවද ? මම අහන්නම්.

      මමත් අහලා තියෙනවා ඒ කාලේ සින්දු වල වචන වෙනස් කරලා හදපු කැසට් එකක්.

      Delete
    2. මටත් සිරිල් මැතිව් මතකයි. අර නෝනාව මතක නැහැනේ. අපේ තාත්ත සහ තව කට්ටිය එක ගෙදරකට එකතු වෙලා තමයි ප්‍රතිපල ඇහුවේ. මටත් ඒ දවස හොඳට මතකයි. ඊට පස්සේ අර ලාම්පු කලගෙඩි සෙල්ලම ඊට වඩා හොඳට මතකයි.
      හොඳ මතක සටහනක් සුදික . මන් මගේ කමෙන්ටුව මෙතෙන්ටම එල්ලුවේ කැලණියේ නිසයි .ඇත්තටම කැලණිය මායිමේ වුනාට අපි අයිති බියගමට .:D

      Delete
    3. ලාම්පු කලගෙඩි සෙල්ලම ගැනත් ලියන්න ඉන්නේ.

      Delete
    4. මාතා.....මට ඔය කියන රජ බොජුන් මුල්ම ඇඩ් එක මතකයි. ඒකේ හිටිය එකා මූන රතු චබි පොරක්. අපි ඒ දවස්වල ඕක බලනකොට කිව්වා ඒ යකා නම් රජ බොජුන්ම කන එකෙක්ද කොහෙද කියලා. මම කියන එකා වගේ එකෙක් නම් ඒ ඇඩ් එකේ හිටියේ මගේ මතකය නොට් බෑඩ්. ඕක තිබුනේ යූනියන් ප්ලේස් එකේ ෆ්‍රොස්ටෙයාර් එක කිට්ටුවද? නැත්නම් මට වැරදිලාද? මතක් කරපන්.

      1977 කැළණියේ SLFP එකෙන් ඉල්ලුවේ ආර්.එස්.පෙරේරා නෙමෙයිද? පොරගේ පුතා මාත් එක්ක ඉස්කෝලේත් හිටියා. නන්ද මැතිව්ගේ ලඟම ඥාතියෙක් තමයි අපිට සම්බන්ධ වුනේ. ඒවා වැඩක් නැහැ. පස්සේ කියන්නම්.

      Delete
    5. මන් හිතන්නේ ඔයා අනුමාන කරන කෙනා හරි.

      Delete
  9. මමත් කාලයක් ජවිපෙ ට බැහැගෙන වැඩ කරා සුදීක අයියෙ..තෝරගන්න තිබුන හොඳම විකල්පය උන නිසාවෙන් මගේ දැනීමෙ හැටියට...දැන් තත්වෙ කියන්න දෙයක් නෑනෙ එයාලගෙ. !!!

    ReplyDelete
    Replies
    1. එයාලට එහෙම තාවකාලික ආධාරකරුවන් ටිකක් හිටියම ඇති.

      Delete
  10. ලිපිය ඉතාම රසවත්. ඒ වගේම 1977 මැතිවරනය මතක තිබෙන අය බ්ලොග් ලෝකෙ ඉදිරියෙන්ම ඉන්න එක අහල තවත් සතුටු වුනා. 1977 මැතිවරණයත් 1994 මැතිවරණය වගේම තීරණාතමක මැතිවරණයක්. පශ්චාත් දේශපාලන ප්‍රචන්ඩත්වය 1977 තදින්ම තිබුනලු. ලු කියන්නෙ ඒ මැතිවරණය ගැන මට ජීවන අත්දැකීම් නැති නිසා. 1994 දි නම් පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා කරන්න චන්ද්‍රිකා ඉඩ දුන්නෙ නෑ. රිටන් එක දෙන්න ශ්‍රී ලංකා කාරයො සූදානමින් හිටියෙ. සමහරු 1977 දි දෙකට පලපු අල්මාරි එහෙම සිහිවටන ලෙසලු තියාගෙන හිටියෙ.ඒ අතින් චන්ද්‍රිකා ජේ ආර් ලට වඩා පරිණතයි. ප්‍රචන්ඩ ක්‍රියා ජේ ආර් ගෙ අනුග්‍රහයෙන් සිදුකරල අන්තිමට කිව්වලු තව අලිය හොඩවැල ඉස්සුව විතරයි කියල. ජේ ආර්ලගෙ මට්ටමේ ශ්‍රී ලංකා කාරයන්ට හිරිහැර වුනේ නෑනෙ. ගම්වල දුප්පත් ශ්‍රී ලංකා කාරයන්ට දුප්පත් යූ ඇන් පී කාරයො ගැහුව. ඒක තමයි කැත වැඩේ.

    ReplyDelete
    Replies
    1. මම විශ්වාස කරන්නේ මම ජීවිතය ගැන ඉගෙන ගත්තේ එතැනින් කියා.

      Delete
  11. IN 1977 I WENT ON ELECTION DUTY TO ATHNAWALA M.V. KEGALLA
    DIST.

    ReplyDelete
  12. මට හොඳට මතක රූපා මහත්තයාව... එයාට නම් උපතින්ම බෙල්ලක් නැද්ද කොහෙද... අහිංසක මනුස්සයා පාර්ලිමේන්තුවට ගිහින් බුදියගෙන ඉඳලා ආපහු එනවා... ඉස්සර පත්තරවල කටත් ඇරන් බුදියං ඉන්න පින්තූර පල වුණා කියලා මතකයි...
    ඔය වගේ පශ්චාත් දේශපාලන වලි අපේ පැත්තෙ තිබුනෙම නැති තරම... ඉඳහිට අහන්න ලැබෙන වචන හුවමාරුවක් වගේ දෙයක් ඇරුනුකොට...

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ අවුරුදු උත්සවේ ප්‍රධාන ආරාධිතයා. ඒ නිසා මට එතුමා ළඟින්ම වැඩ කරන්න වුණා.

      Delete
  13. මට නම් මැතිවරණ ගැන ළමා කාලයේ ඉස්සෙල්ලාම ඇහුවෙ හරියටම කොතැනද කියලා මතකයක් නෑ....ඒ උනාට අපේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන යන හැටි බලන්න රැස් වෙන්න ගමේ මිනිස්සු අතරට මමත් එකතු වෙලා තියෙනවා..සමහරු ඒ වෙලාවට බට්ටො වැළක් දෙකක් පත්තු කරනවා...ගමේ හිටිය විනෝදකාමීන් විවිධ වදන් පවසමින් ජනතාව සිනහා ගස්සනවා...
    අද ඒ ඉතිහාසය නෑ...විනෝදකාමීන් ඔක්කොම වගේ වල පල්ලට ගිහින්...

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වම මතක් වුණේ. අපේ පැත්තේ පාරම්පරික එජාප කණ්ඩායමක් හිටියා, චන්දෙ තියෙන ඉස්කෝලේ පිට්ටනිය කෙලවරට වෙලා මුළු දවසම බලාගෙන ඉන්නවා. මේ කණ්ඩායම ගැහැණු-පිරිමි දෙපාර්ශවයෙන්ම සැදුම්ලත් එකක්. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක්ම තමයි. අයථා කටයුතු වෙයි කියලා තමයි එහෙම උන්නේ.

      Delete
  14. කාලයට අනුව කැමැත්ත වෙනස් වෙනවනම් එතනින් කියවෙනව පුද්ගලික වාසි නැතුව නිවරදි තිරනය ගන්නව කියල.මටනම් මතක ලාම්පු කලගෙඩි සෙල්ලම

    ReplyDelete
    Replies
    1. දැන් වෙලා තියෙන්නෙත් ඒකම තමයි. ලාම්පු කලගෙඩි ගැන ලියන්න ඊළඟට.

      Delete
  15. අපෙන් ඡන්දේ අරන් එයාල පක්ෂ මාරු කරන එකේ, අපිත් කාලෙන් කාලෙට වෙනස් උනාම මොකද.. අනික වෙන්නත් ඕන ඒකම තමයි.. හැමදාම එකම පාටක එල්ලිලා ඉන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. වාසියට නෙවෙයි මාරු කරන්න ඕනේ. හොඳ ගැන හිතලා.

      Delete
  16. ජීවිත කාලේම එකම පක්ශෙකට චන්දෙ දීම, අවුරුදු විසිපහකට තිහකට එහා කරපු වැරදි ගැන කිය කියා තවත් පක්ශෙකට චන්දෙ නොදීම, කොච්චර වැරදි කලත් තමන් කැමති පක්ශයට චන්දය දීම වගේ මෝඩ වැඩ නොකරන තාක්කල් අපේ පොඩි උන්ට අනාගතයක් තියෙයි.

    ReplyDelete
    Replies
    1. මේක දකුණු ආසියාතික ලක්ෂණයක්. අත අරින්න අකමැති කම.

      Delete
  17. ඒ කාලේට සාපේක්ෂව දැං හොදයි. නැත්නං රේඩියෝ එකෙන් නෙමි කොහොම ඇහුවත් ගෙදර ඉන්න දෙයිද? මේ දිනන හැටියට??

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දේශා දැන් මිනිස්සු ඉස්සර වගේ මොඩ නැහැ.එකයි ඔය පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා අඩු.මැතිවරණයක් කියන්නෙත් එක්තරා ක්‍රීඩාවක්.ජය පැරදුම දෙකම පොදුයි.

      Delete
  18. මමත් පාවෙන ඡන්දයක් සුදීක අයියා.............. මුල්ම ඡන්දය දුන්නෙ ජේ.වී.පී එකට.......... පළාත් සභා එකකදි......... ඒක තමයි එයාලට දීපු පළවෙනි සහ අවසාන එක වුණේ............ කතාව තරම් වැඩ පේන්න නෑනෙ ඒ ගොල්ලන්ගෙ....... ඕන දෙයක් ගැන තර්ක කරල දිනයි............. ඒත් තර්කයට හරි කියන්නෙ යථාර්තයම නෙවෙයි............
    මගෙ ඡන්දෙ ආයෙ ඒ ගොල්ලන්ට ගන්ඩනම් වඩාත් වැඩවර්ජනළ උද්ගෝෂණ, මිනී මරවා ගැනීම් වගේ විනාශකාරී මානසිකත්වයෙන් පිරුණු ක්‍රියාමාර්ග පස්සෙ නොගිහින් සිහින ලෝක වලින් මිදිල ප්‍රාෙයා්ගිකව සැළසුම් සහිතව, දැනෙන වැඩ කොටසක් කරල පෙන්වන්න වෙයි.................

    ReplyDelete
    Replies
    1. ඔව් යතාර්ථවාදී තැනකට ආවොත් චන්ද ගන්න පුළුවන් වෙයි.

      Delete
  19. අද කල යුතු දේ අදම කල යුතුයි කිව්වත් ඔබේ පොස්ටුව අද කියවන්න බෑ.මොකද රස විද විද කියවන්න ඕනෙ නිසාම හෙට කියවනවා.

    ReplyDelete
    Replies
    1. දැන් කියවලා ඇති මට හිතෙන්නේ.

      Delete
  20. සුදීක......කියන්න බොහෝ දේවල් මතක් වුනා..හරිම රසවත් පෝස්ට් එකක්.
    මම 1977 ඡන්දය ගැන ලියන්න හිටිය නිසා මේක නියම රෙඩ්බුල් එකක් උනා. 1977 ඡන්දෙන් පස්සේ වෙච්ච විනාශය තරම් විනාශයක් විරුද්ධ පාක්ෂිකයින්ට වෙලා නැතුවම ඇති. නින්දිතයි.1977 ඡන්දේ මම ඇහුවේ පන්සලේ ඉඳන්.

    රූපා කරුනාතිලකගේ ඥාති පුතා ගයන්ත අපිත් එක්ක එකට ඉගෙනගත්තේ.
    ආරියවංශ පතිරාජ කියන්නේ සිනමාවේදි ධරමසේන පතිරාජයන්ගේ අයියා. ඔහු ඇත්ත පත්තරය ආරම්භ කරන්නත් මුල්වෙලා තියෙනවා. විජය කුමාරනතුංගගේ මහජන පක්ෂය වෙනුවෙන් මුලීකවි වැඩ කරා. හොඳ මිනිසෙක්.

    රූපවාහිනියේ උපාලි අරඹවෙල නේද චීෆ් ඉන්ජිනියර් වුනේ පසු කාලයකදි.

    මේ ලිපිය ගැන වෙනම ලිපියක් ලියන්න පුළුවන් සුදීක...එතරම් කරුණු මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගයන්ත දැන් අපේ පැත්තෙන් ඉල්ලනවා. කාරියවසම් කරුණාතිලක නිවෙස් දෙක මම බැංකුවට ආවට පස්සේ දැක්කා. එක තාප්පෙන් වෙන් වෙලා තියෙන්නේ. දෙගොල්ලොම තේ වවන කට්ටිය මට හිතෙන්නේ.
      ආරියවංශ පතිරාජ මහතාගේ කතාව සහ නම විතරයි මට මතක.
      ඔව්. අරම්බවෙල ලොක්කා තමයි චීෆ් ඉන්ජිනියර් වුණේ.
      ඔයාගේ ලිපිය මීට වඩා රසවත් වෙයි. ඉක්මනටම ලියන්න.

      Delete
  21. අපිට රසවත් කතාවක් වුණත් සුදික අයියාලාට නම් ඒ අතීතය රසවත් නොවෙන හැඩයි.
    අපේ තාත්තාත් හරිම ශ්‍රී ලංකා කාරයෙක්.මේ පාරත් ජන්දේ දාන්න කලින් ආණ්ඩුවට බැනලා ගිහින් සන්ධනෙටම ජන්දේ දාලා.:D ඒ දාලා ඇවිත් ආයෙත් ආණ්ඩුවට බයිනවා.

    එකටත් එක්ක අපේ අම්මාලාගේ පරම්පරාවම යු.එන්.පි.රනිල්ට පාලු යන්න බැන,බැන අලියාටම දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් ඒක රසවත් අත්දැකීමක්. ඉන් පස්සේ සිදු වෙච්ච සිදුවීම් සහ එදා වුණේ මොකක්ද කියලා තේරුම් යනකොට තමයි බරපතල කම දැනුණේ.

      Delete
  22. හරියටම හරි. මට අවුරුදු 15යි. පරක්කු වෙලා පරක්කු වෙලා සම්මන්තුරේ රිසල්ට් එක දුන්නා.

    සුදීක හාරිස්පත්තුව දින්නෙත් ස්වාධීනව ඉල්ලලා පස්සේ යුඇන්පියට ගියා විජේසිරි කියලා කෙනෙක්. පස්සෙ කුන්ඩසාලේ ආසනයට ඉල්ලුවා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා ඔය දිනපු අයගේ නම් රාව-ප්‍රතිරාව කරන නිසා ඒ නම් මටත් හොඳ හැටි මතකයි. සිරිමාවෝ, එස්.ඩී.බණ්ඩාරනායක, ආනන්ද දසනායක, අනුර බණ්ඩාරනායක, ආර්.පී. විජේසිරි.හලීමි ඉෂාක්, මෛත්‍රීපාල සේනානායක.

      Delete
  23. ආච්චි කතාන්දර කියනකොට අහගෙන ඉන්න හරි ආසයි. ඒවගේ තමා ඔය වගේ පරණ කතා අහගෙන ඉන්න ගොඩක් ආසයි.ඒවෙනුවෙන් මාගේ කෘතඥතාවය ඔබට.මොනව උනත් සුදීකයියගෙ මතක ශක්තිය නම් නියමයි.සුදීකයියලා 77 නිදිවරාගෙන ඡන්දෙ ඇහුව වගේ මම අත්දැකීම ලබා ගත්තෙ 94.ඇත්තටම ඒකනම් හරිම සුන්දරයි.මං හිතන්නෙ 77න් පස්සෙ ඒ වගේ තත්ත්වයක්උදාවෙන්න ඇත්තෙ 94 අවුරුද්දෙ වෙන්නැති.අපේ තාත්තත් පරම්පරාගත නිල් කාරයෙක් වුණත් මෑතකදී ඒ තත්ත්වය වෙනස් කරා වගේ මතකයක් තියෙනවා.මං හිතන්නෙ ඒ වගේ පුද්ගලයින්ගෙන් තමා ආණ්ඩුබලයක් වෙනස් වෙන්නෙ.ඒ කොහොම උනත් ලස්සන කතාව හරි ආසාවෙන් කියවන් ගියා.

    ReplyDelete
  24. Replies
    1. පාවෙන චන්ද ගොඩයි. හැබැයි හැම එකම දාලා තියෙන්නේ සංජීව ;)

      Delete
    2. සමාවෙන්න වැරදිමක්..හොර චන්ද දැමිමා කියලා අල්ල ගනිද දන්නේ නැ.

      Delete
  25. Sanjeewa is back to normal. ඔන්න කොල්ලා ආපහු ඇවිත්. දැන් ඉතින් කොමන්ටු දෙන්නමි රමිපෙට පොරි හැලෙන්න.
    ඉන්දියා-ලංකා ගිවිසුම අත්සන් කරපු දවසේ අපේ තාත්තා ගහකට නැගලා කලු කොඩියක් දාලා JR අමිමට $%^&*$#@$^% කියලා ඡාතිය අමතා කථාවක් කලා. පැය 24 න් මාරැ කරා තාත්තා පැය 24 න් මාරැව අවලංගු කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. //Sanjeewa is back to normal.// හරිම සන්තෝසයි මල්ලි. එහෙනං දෙමුකෝ පොරි හැලෙන්න.

      Delete
  26. මටත් මතකයේ තියෙන්නෙ 1977 න් පස්සෙ මැතිවරණ විතරයි. 77 මැතිවරණයේදි අප්පච්චිගේ පවුලේ සියලු දෙනා සියලු පක්ෂ නියෝජනය කරන්නන් වු නිසා පුංචි ජොලියක් අපිට තිබුනේ හැම වර්නයෙන්ම නිර්මාණය කරපු පෝස්ට්ර් ඒ එක එක කාමරවල බිත්තිවල අලවා තිබෙන විටයි.

    ඒනාලෙ චන්ද ප්‍රතිපල රේඩියෝවෙන් විතරනේ රූපුරා හැම ගෙදරම එකම සද්දයක් එළිවෙනතුරු. කමින් බොමින් ප්‍රතිපල පොත්වල ලියමින් ගතකරපු සුන්දර දවස්.

    මට මේක කියවද්දිත් ඒ අතීත කතාවම මතක් වුණා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...