Tuesday, October 29, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 33 - ඕක තියපන් ...... Keep It aside

අපේ සිංහල රාජ් මගෙන් අහලා තිබුණා ලොල්ද මන්දා සීරීස් එක පටන් ගත්තේ, කෙටිම කෙටි ලොල් කතා ලිවිල්ල නතර කරලද කියලා. ඇත්තටම මටත් ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. පොස්ට් එකක් ලියලා, කියවන අයව හිනා ගස්සනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සමහර කතා තියෙනවා, කියනකොට මාර හිනා නමුත් අකුරු කළොත් මෙලෝ රහක් නෑ. ඉතිං ඒ වගේ ඒවා නම් ගොඩක් තියෙනවා. කොහොම  දාන්නද කියලා හිත හිතා ඉන්නකොට තමයි මට මේ කතාව මතක් වුණේ. ඒ වගේ ඒවා දානවා නම් වීඩියෝ කරලා දාන්න ඕනේ.

ලංකාවේ නමගිය දානපතියෙක්, ඒ වගේම හොඳ ව්‍යාපාරිකයෙක්ට තමයි මේ සිද්ධියට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. මේ කතාව අවුරුදු විස්සක් විසි පහක් විතර පරණ එකක්. අද කාලේ මේක ඒ හැටි දැනෙන දෙයක් නෙවෙයි. අපේ මේ දානපති ව්‍යාපාරිකය කොළඹ ජීවත් වුණාට, කොළඹ එතුමාගේ ව්‍යාපාර කරගෙන ගියාට, කොළඹ එතුමාගේ සමාජ සේවා කටයුතු කරගෙන ගියාට එතුමාගේ ගම බොහොම පිටිසර එකක්. ඒ කාරණා මේ කතාවේ රසයට වැදගත් නැති නිසා මම ඒවා සඟවලාම ලියන්නම්. ඉතිං මේ ව්‍යාපාරිකයා අවුරුද්දකට සැරයක් විතර තමන්ගේ ගමේ යනවා තමන්ගේ නෑ පරපුරට තෑගී - බෝග අරගෙන. එහෙම ගිය වෙලාවට ගමේ පන්සලටත් ගොඩ වෙන්න, පස් පව් වලින් වැළකිලා, පෝයට සිල් ගන්න එතුමා අමතක කරන්නේ නෑ. 

අවසාන වතාවට ගමේ ගිය වෙලාවේ, එතුමා නායක ස්වාමීන් වහන්සේ  බැහැදකලා, තමන් ගෙනගිය පිරිකර එහෙම පූජා කරලා, වැඳ නමස්කාර කරලා, කුඩා බංකුවක අසුන් ගෙන නායක ස්වාමීන් වහන්සේ සමග ගුණ දොස් විචාරනවා. මෙන්න මේ වගේ දෙබසක් තමයි ඇති වෙලා තියෙන්නේ

දානපතියා : අවසර අපේ හාමුදුරුවනේ, කොහොමද ඔබ වහන්සේට, මොනවද මගෙන් පන්සලට කෙරෙන්න ඕනේ ?

නා.ස්.ව. : දැන් ඉතිං බොහොමයක් කළමනා සම්පූර්ණයි උපාසක මහත්මයා. අපිට තව එක පොඩි අඩුවක් නම් තියෙනවා.

දානපතියා : ඒ මොකක්ද අපේ හාමුදුරුවනේ, මට කරන්න පුළුවන් දෙයක් නම් මම නොකර ඉන්නේ නෑ.

නා.ස්.ව. :  මේකයි උපාසක මහත්මයා, දැන් බොහොමයක් පන්සල් වලට ටැලිෆෝන් එකක් තියෙනවා. අපේ විහාරස්ථානෙට තවම එකක් නෑ. දැන් පෙළක් පන්සල් වලින් දාන, පිරිත් පිංකම් වලට ආරාධනා කරන්නේ ටැලිෆෝන් එකෙන්. කීපයක්ම පන්සල් වල ලොකු නමවල් මගෙන් ඇහුවා, තවම ගත්තේ නැද්ද කියලා. ඒ විතරක්ද දැන් දායක මහත්තුරුත් ටැලිෆෝන් පාවිච්චි කරනවනේ. ඉතිං මොනවා හරි කළමනාවක් ගැන දැන ගන්න හරි විශේෂ තොරතුරක් දැන ගන්න හරි ටැලිෆෝන් එකක් තිබුණා නම් හරි වැදගත් වෙනවා. 

දානපතියා : ඔබ වහන්සේ කලබල වෙන්න එපා. මම ලබන සතිය වෙනකොට වැඩේ කෙරෙන්න සලස්වන්නම්. ඕනනම් කණු හතක් අටක් දාන්න වෙයි.

නා.ස්.ව. :  මම නොදන්නවැයි. උපාසක මහත්මයා ගැන. කවදාවත් අපේ ඉල්ලීමක් අහක දානවද ? ඔබ තුමාට සුළු පටු පිං කන්දරාවක් නෙවෙයි රැස් කොර ගන්නනේ. 

ඉතිං අර දානපති ව්‍යාපාරිකයා කොළඹ ආ ගමන් කරපු පළමු රාජකාරිය තමයි ගමේ පන්සලට දුරකථනයක් ලබා දෙන්න කටයුතු කරපු එක. අදාළ ආයතන වලට කථා කරලා, විෂය භාර ඇමැතිවරයාටත් දැනුම් දීලා වැඩේ කරවා ගත්තා. ඒ විතරක් නෙවෙයි මේක හරි ගියාද බලන්න දුරකථන අංකයත් එතුමා ඉල්ලා ගත්තා. සති අන්තයේ විවේකීව ඉන්න ගමන් එතුමාට හිතුණා ලොකු හාමුදුරුවන්ට "සර්ප්‍රයිස්" එකක් දෙන්න. එතුමා ගත්තා දුරකථන ඇමතුමක්. ඔන්න මුලින්ම ෆෝන් එක රිංග් වෙනකොට නායක ස්වාමීන් වහන්සේට පුදුමාකාර චිත්තප්‍රීතියක් ඇති වුණා. ඒ වෙනකොට රැස්  වෙලා ඉන්න දායක පිරිස දෙසත් බොහොම උජාරුව්න් බලලා, පෙට්ටගම උඩ තිබ්බ දුරකථනයට පිළිතුරු දුන්නා. 

නා.ස්.ව. :  හැලෝ 

දානපතියා :  මම මේ ..... කතා කරන්නේ.

මේ වෙනකොට නායක ස්වාමීන් වහන්සේට පේනවා පන්සලේ ඇබිත්තයා දානෙකට ගෙනා පලන්ගානම් දහයක් විතර එක පිට එක අට්ඨි ගහගෙන, රබන් කරකවනවා වගේ අරං එනවා. එහාට මෙහාට වැනෙන්නේ හරියට කරටි කැඩෙන්න ගහලා ගෙදර එන කෙනෙක් වගේ. දැක්ක කෙනෙක්ට හිතෙන්නේ දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා. උපාසකම්මලාගේ අත කම්මුලට ගියේ නොදැනුවත්වම.  මේ දර්ශනය දැක්කම අපේ නායක ස්වාමීන් වහන්සේට උන් හිටි තැන් අමතක වුණා. උන් වහන්සේ දැන් මෙහෙම කියනවා
මුල් පින්තූර : http://tragicocomedia.com/
    tanamatales.com

"මගේ යකා අවුස්සන්නැතුව ඕක තියාපන්"

මේක අහගෙන හිටිය අපේ දානපති-ව්‍යාපාරිකයාට හීන් දාඩිය දැම්ම. උගුරත් නිකන් වේලිලා වගේ ගියා. එතුමාට දැනුණේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක්. එතුමා දුරකථනය තිබ්බා. ආයෙමත් ඩයරිය අතට අරගෙන පන්සලේ අංකෙ බොහොම සීරුවෙන් ඩයල් කරා. නායක ස්වාමීන් වහන්සේ දෙපාර වදිනකොට ෆෝන් එක අරන් කනේ තියා ගත්තා. ඒත් උන් වහන්සේ ඉන්නේ උතුරා ගිය කේන්තියකින්. අර පිඟන් කෝප්ප  අට්ඨිය ඇබිත්තයා කොයි වෙලාවේ බිම දායිද කියලා. මේවා නිකං පිඟන් කෝප්ප නම් කමක් නෑ. පරම්පරා ගානක ඉඳන් භාවිතා කරන ඒවා. උන් වහන්සේ ආයෙමත් කොල්ලට කෑ ගැහුවා යටිගිරියෙන්

"මම දැන් එක පාරක් උඹට සිංහලෙන්ම කිව්වා නේද ? තවත් බලාගෙන් ඉන්නේ ඕක තියාපන් පොල් බූරුවා" 

මේක අහලා, හොඳටම කලකිරුණු දානපති ව්‍යාපාරිකයා ෆෝන් එක තියලා ඔළුවේ අත ගහ ගත්තා.

Monday, October 28, 2013

රසවත් ඇබැද්දියක් ...... Troubled but enjoyed

සෙලියුලර් ෆෝන් ලංකාවේ වඩාත් ජනප්‍රිය වේගෙන ආව 1995 වගේ කාලේ තමයි මම බැංකුවට ආවේ. ඒ කාලේ අපි ගාව පේ ෆෝන් කාඩ් අට්ටි ගණන් තිබුණා පාවිච්චි කරපු. හැම දෙනා අතම ජංගම දුරකථනයක් නොතිබුණු ඒ කාලේ, එක්කෙනා දෙන්නා හොරෙන් හොරෙන් වගේ ජංගම දුරකථන ගත්තා. විශේෂයෙන්ම අපි වගේ කොළඹට සංක්‍රමණය වෙච්ච අයට මේක වැදගත් මෙවලමක් වුණේ, ඒ කාලේ තිබ්බ බෝම්බ පිපිරීම් එක්ක. මේ බෝම්බෙනුත් අපි බේරුණා කියලා ගෙදරට කියන්න. 1996 ජනවාරි තිස් එක් වෙනිදා මහා බැංකුවට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයත් එක්ක කැළඹිලා හිටිය ගෙදර උදවියට පණිවුඩය දෙන්න හොඳටම ප්‍රමාද වුනාම මමත් තීරණය කරා ජංගම දුරකථනයක් ගන්න. 

මුලින්ම ගත්ත මොබිටෙල් සබඳතාවයක්. එකේ පිටතර රුපියල් දහතුනයි, පැමිණෙන ඒවාට රුපියල් දහයයි. හිතා ගන්නවත් පුළුවන්ද ? ඒ කාලේ සමහර ඒවා රුපියල් දහ-නවයක් අය කළා. මේ කාරණය නිසාම මම ඩයලොග් සබඳතාවක් ගත්තා අනු අටේදී. එතකොට ඩයලොග් වැඩිය ජනප්‍රිය නෑ. කවුරුවත් ගන්නෙම නැති ගණන්. කිසි වදයක් නැතිව ගන්න පුළුවන්. කෝල් නෙවෙයි සබඳතාවය. කෝල් එකක් ගන්න අට වතාවක් උත්සාහ කරන්න ඕනේ. අපි ඒ කාලේ ඔටෝ රී ඩයල් දැම්මා. පස්සේ බිල ආවම දැන ගත්තේ, ඔටෝ ඩයල් වෙච්ච හැම එකකටම බිල් වෙලා කියලා. ඉතිං කියන්න බැරි වුණා, මගේ සබඳතවේ පිටතට අටයි, ඇතුළතට හතරයි, පළමු විනාඩි තුන නොමිලේ. වන් ෆෝ වන කියලා එකක් තිබ්බා. ස්ථාවර දුරකථන වලට එක කෝල් එකක් ගත්තම. ගන්න හැම විනාදියකටම ස්ථාවර ලැබෙන ඇමතුමක සමාන විනාඩි ගණනක් නොමිලේ. අපි පුදුම විදියට ඒ කාලේ ඕවා කළමනාකරණය කළා. විශේෂයෙන්ම දුරකථන නැති අය එන ඇමතුම වලට අපේ අංක භාවිතා කළා විනාඩි තුන ඇතුලත. මගේ රුපියල් අටට තිබ්බ අවුට්ගොයින් ඒකත් රුපියල් නවයක් වුණා ටික කාලෙකදී. ඒ අනුව තමයි දහ අට තිබ්බ සෙල්ටෙල් ඒවා දහ නවයත්, දොළහට තිබ්බ මොබිටෙල් ඒවා දහතුන වුණෙත්.

පින්තූරය ගත්තේ : www.flashgsm.ro
මේ කාලෙදී මම වැඩ කල කාර්යාලය තිබ්බේ නුගේගොඩ. එකක් කියන්න ඕනේ මගේ ගාව ඒ කාලේ තිබ්බ Sagem RT635 කියන ෆෝන් එක. කියලා වැඩක් නෑ කණ පැලෙන්න සිග්නල් තියෙනවා. ඉස්සර ලංකාවේ හැමතැනම ඇවිද්ද අපිට මේකෙන් වෙච්ච සේවේ කියලා වැඩක් නෑ. ඒ කාලේ හැටියට තිබ්බ ගඩොල් වල හැටියට මේක මාර ස්ලිම් ෆෝන් එකක්. මිනිස්සු ඉල්ලගෙන බලපු අවස්ථාත් තියෙනවා. මම මේකට රුපියල් එක්දාස් පන්සීයක් දීලා කවරෙකුත් ගත්තා. ඉස්සර මේවා සාක්කුවේ දාගෙන ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. දැන් වගේ ස්ලිම් ෆිට් කලිසම් ඇන්දා නම් දාලා හමාරයි. ඉතිං මම ඔෆිස් ගිය ගමන් ෆෝන් එක අරගෙන මෙසේ උඩින් තියනවා.

දවසක් මෙහෙම තියලා තේ බීලා එනකොට අපේ ඔෆිස් එකේ චුලා (මගෝඩි වැඩ වලට දෙයියා) මගේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවා මම දැක්කා. මාව දැකපු ගමන් චුලා ෆෝන් එක මෙසේ උඩින් තිබ්බා. මමත් ගණන් ගත්තේ නෑ. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. දවසක් ලෙස්ලියා මගේ ගාවට දුවගෙන එනවා ප්‍රින්ට් අවුට් කෑල්ලකුත් අරගෙන.

"මචං බලපන් හරි වැඩක් නේ වෙලා තියෙන්නේ. උඹේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට ගිය මාසේ කෝල් එකක ඇවිල්ලා. විනාඩි දහයක් අපි දෙන්නා කථා කරවද ? මම විනාඩියෙන් කට් කරන එකා. බලපන් බිල. විනාඩි දහයට රුපියල් එකසිය හැටක් ගිහිං"

"මටත් හිතා ගන්න බෑ. පොඩ්ඩක් හිටපං මගෙත් බිල ආවට මම කඩලා බැලුවේ නෑ. බෑග් එකේ ඇති"

මම බිල අරන් කඩලා බැලුවා. මගෙන් ලෙස්ලිගේ ෆෝන් එකට කෝල් එකක් ගිහින්. විනාඩි දහයට මට රුපියල් අනූවක් ගිහිං. මම ටිකක් කල්පනාවට වැටුණා. ටික වෙලාවකින් මට වැඩේ මීටර් වුණා.

"මචං දවසක් මම තේ බීලා එනකොට චුලා මගේ ෆෝන් එක අතේ තියන් ඉඳල පැත්තකින් තිබ්බ. මමත් බැලුවේ නෑ. සමහරවිට උඹ අනිත් පැත්තෙන් කවුරුවත් කතා නොකරන නිසා කට් කරන්නේ නැතිව ෆෝන් එක තිබ්බද දන්නේ නෑ. මටත් රුපියල් අනූවක් ගිහිං"

"බලපන් බං වැඩේ හැටි, ගත්තු එකාට අනූවයි. ආපු එකාට එකසිය හැටයි !!!"

______________________________________
අද කාලේ මේ වගේ එකක් වුණත් කවුරුවත් ගණන් ගන්නේ නෑ. ඒ කාලේ අපි පුදුම අරපිරිමැස්මෙන් තමයි ෆෝන් භාවිතා කලේ. දැන් නම් ඉතිං බ්ලාස්ටර්, උපහාර නිසා මේවා ගාණක් වත් නෑ. අනිත් එක තමයි ඒ කාලේ සී.එල්.අයි. නෑ. හරියට අන්ඩර දෙනවා, විනාඩිය පනිනක්න්. මෙන්න මේ අතීතය පොඩ්ඩක් මතක් කරන්නත් එක්ක මේ කතාව මතක් කලේ.
__________________________________________
ප.ලි. පස්සේ දැක්කේ මේ මම ලියපු 250 වෙනි පොස්ට් එක කියලා. 

Saturday, October 26, 2013

අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ ...... We are not BIG nor small

"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ" කියලා කියමනක් තියෙනවා බොහෝ දෙනෙක් අහලා ඇති. ඉතිං මේ බ්ලොග් ලිවිල්ලත්  වගේ තමයි. ඒ වගේම තමයි අනෙකුත් සමාජ ජාලා. ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩ් ඉන්, පින්ටරස්ට්, මයි ස්පේස්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්‍රෑම්,දෙවියන්ට් ආර්ට්, ලයිව් ජර්නල්,ටැග්ඩ්,ඔර්කට්, කැෆේමම්,නින්ග්,මීටප්, මයි ලයිෆ්, ආසක් එෆ්.එම්,ටම්බ්ලර් .... ඉවර කරන්න බැරි ලැයිස්තුවක් තියෙනවා. සමහර ඒවා රටටම ආවේණික ඒවා.

මේ අතරට අලුතෙන්ම එක් වෙන්නා තමයි "මීඩියම්". මේ ගැන දැන ගන්න ලැබුණ වෙලාවේ මමත් ගිහිං මීඩියම් ගිණුම ඇරඹුවා. බලාගෙන යනකොට මේක නිකංම නිකං එකක් නෙවේ. අපි වගේ ලියන්නන්ටම හැදිච්ච එකක්. හැබැයි පටන් ගත්ත මුල් දවස් වල මේ අය ලියන්න දුන්නේ තෝරාගත් පිරිසකට. මම හිතන්නේ ඇල්ෆා පරීක්ෂණ යුගයේ. අද මේක බීටා පරීක්ෂණ යුගයට ඇවිත්. අද උදේ මගේ ගිණුම සක්‍රීය කරලා, ඒ වගේම ලියන්න ඉඩ ඩී තිබෙන බව දැන ගත් විගස මමත් සටහනක් දැම්මා. මට මුලින්ම දන ගන්න ඕනෑ වුණා සිංහලෙන් ලියන්න පුළුවන්ද කියලා. මම එකේ නිතර අසන පැන (FAQ) කියවලාම වැඩේට බැස්සා. වාසනාවකට වෙනත් භාෂා වලටත් එයාලා ඉඩ දීලා තියෙනවා. මමත් ලිව්වා සිංහලෙන්. මම දන්නේ නෑ, මීඩියම් වල මුලින්ම සිංහලෙන් ලියපු කෙනා සුදීකද කියලා.

සුළු මොහොතකින් මම එය ෆේස්බුක් වෙත මුදා හැරියා. තවත් විනාඩි ගණනකින් අපේ මහා වෙදනා සටහනක් එකතු කළා. මම හිතන්නේ කියවන ලියන හැමෝටම මේක වැදගත් වෙයි ඉදිරියට. මේ ඒ ගැන කෙටි හැඳින්වීමක්.

අන්තර් ජාලයේ බ්ලොගර් සහ වෙනත් සමාජ ජාලා හරහා අදහස් බෙදා ගත් අපට ලැබෙන නවතම ලිවීමේ මාධ්‍යය මීඩියම් වේ. මෙය තවමත් පවතින්නේ බීටා පරීක්ෂණ තත්ත්වයේය. ඔවුන්ගේ බලාපොරොත්තුව බ්ලොගර් තරම් දිගු නොවූත්, ට්විටර් තරම් කෙටි නොවූත් සටහන් ලියා තැබෙන අවකාශයක් ලෙස මීඩියම් හඳුන්වා දීමටය. ඇත්ත වශයෙන්ම එය අද සිට ක්‍රියාත්මක වේ.

මෙන්න ඒ සටහනට යන සබැඳියාව ------> ගිහින් බලන්න. මහා වෙදනා එකතු කරපු සටහන මේ ------>.

මීට අමතරව විවධ භාෂා වලින් ලියවුණු සටහන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙනං ගිහිං බලන්න. මෙය ජනප්‍රිය වේවි කියල මට පොඩි විශ්වාසයක් තියෙනවා. මේකද ටැබ්ලට් වගේ ඒවා භාවිත කරන අයට මේවා කියවන්න පහසුයි. මගේ සටහනේ පින්තුරයක් පහළින්. ලංකාවේ අපි අලුත් දේවල් ග්‍රහණය කර ගන්න ටිකක් මැලියි. ඒ නිසා අපේ අය පසුගාමීව මෙයට එකතු වෙයි. හැබැයි එහෙම නොහිතන අයත් ඉන්නවා.
____________________________________
ප.ලි. : මෙහි හිමිකාරීත්වය දරන්නේ ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියයි. බ්ලොග් වලට තිබෙන ජනප්‍රියත්වය නිසා ඔවුන් මේ පියවර ගනු ලැබුවා යයි සිතන්නට පුළුවන්. මෙහි කමෙන්ට් කිරීමද ඉතා පහසුයි. ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය වාක්‍යය හයිලයිට් කර දකුණු පැත්තේ ඇති + බොත්තම ඔබා කමෙන්ට් එක් කිරීමයි. සිංහලෙන් යතුරුලියනය තරමක් අපහසුයි. වෙනත් තැනක ටයිප් කොට එකතු කල හැක. ඔබට ලැබෙන ප්‍රතිචාරද එතැනින්ම බලා ගැනීමට හැක. 

Wednesday, October 23, 2013

බලු වතුර ......

දැන් අවුරුද්දකට විතර කලින් යාළුවෙකුගේ පාටියකට ගිහිං මහ රෑ ගෙදර එන ගමන් දැක්ක සිදුවීමක් මගේ මතකයට ආවා. මට යාළුවෙක් ලිෆ්ට් එකක් දුන්නා. ඉතිං ගෙවල් ළඟටම එන්නේ නැතිව මම හැරෙන හන්දියෙන් බැහැල ආවා. එදා හොඳට පාරේ එළිය තිබුණා.මම ටිකක් ගමනේ වේගය බාල කළා සිද්ධ වෙන දේ දැන ගන්න.  මගේ ඇස් දෙකෙන්ම මම දැක්ක දේ මට අදහා ගන්නත් බැරි වුණා. හොඳට ඇඳ ගත්තු මහත්තයෙක් ගෙදරක ගේට්ටුව ගාව බිම වාඩි වෙලා. මිනිහගේ බෑග් එකත් පැත්තක තියෙනවා. ඕනනම් වයස හතළිස් පහක් පණහක් විතර ඇති. මේ මහා රෑ මිනිහෙක් වෙනත් කෙනෙකුගේ ගේට්ටුවක් ගාව වාඩි වෙලා මොනවා කරනවද ? මට ඇති වෙච්ච් ප්‍රශ්නේ ඒක. මේ වෙනකොට ඔබටත් ඒ ගැටලූවම ඇති වෙලා ඇති.
පින්තූරය ගත්තේ : www.reddit.com

මිනිහා කිසිම වගක් නැතිව වතුර බෝතලයක් අරගෙන මුලින්ම මුණ හොද ගත්තා. මිනිහට හොඳටම ඩෝප් කියලා පැහැදිලියි. ඊට පස්සේ අර බෝතලේ කටේ තියාගෙන ගුඩු-ගුඩු ගාලා බොනවා. මිනිහා අරං ආපු වතුර බෝතලයක් වෙන්න ඇති පැත්තක බෑග් එකත් තියෙනවනේ. දුර ඉඳන් එන කෙනෙක්ද ? නෑ එහෙමත් වෙන්න බෑ. අම්භානක ගහලා දුර ගමන් යන්නේ නෑනේ. වතුර බීලා ඉවර වෙලා මූඩියත් හොඳි වහලා ගේට්ටුව කෙළවරින් තියලා මිනිහා යන්න නැගිටිනකොට මමත් එතනම. දැන් එයා ඉස්සරහට යනවා.

"අංකල් - අංකල් ඔයාගේ වතුර බෝතලේ අමතක වුණාද ?"

මිනිහා ආපහු හැරිලා මම දිහා මොහොතක් බලාගෙන හිටියා. ඊට පස්සේ මෙහෙම කිව්වා

"මේක මගේ වතුර බෝතලයක් නෙවේ කොල්ලෝ. අර බලපන් අනිත් පැත්තේ තව එකක් තියෙන්නේ. උඹටත් ඕනේ නම් බීපන්"

මේ කතාවට මට පොඩ්ඩක් ලජ්ජත් හිතුණා. ඊට පස්සේ මම සුපුරුදු වේගයෙන් ගෙදර ගියා. මම කල්පනා කළා. මගේ මතකය අතීතයට ඇදිලා ගියා. බෙන්තර පාලම පහු කරපු තැනම තියෙන පිංතාලිය මගේ මතකයට ආවා. පිංතාලිය ගැන මට මුලින්ම කිව්වේ අක්කා. 

"පින්තාලියක් තියෙන්නේ රජ කාලේ දුරකතර ගෙවාගෙන යන යට තමන්ගේ පිපාසය සන්හින්දුවා ගන්න කියලා බුද්ධාගම පොතේ තියෙනවා. අපිත් ගේ ඉස්සරහා එකක් තියමුද මල්ලී"

අපේ ලිඳේ වතුර බොන්න බෑ. අපි වතුර ගන්න යන්නේ පන්සල කන්දේ පාමුල තියෙන, ඒ කියන්නේ  බෙන්තොට උඩකොටුව විහාරයට අයිති ලිඳෙන්. ඒ ළිඳ නාග ලෝකයට ගැඹුරයි කියලා කියන්නේ පොඩි කාලේ මගේ හොඳම මිතුරිය වෙච්ච ලාලනී ගේ ආච්චි. අපි ඇතුළු ගම්වාසීන් හැමෝම වතුර ගන්නේ මේ ලිඳෙන්. පායන කාලෙට මේ ළිඳ අඩියටම හිඳෙනවා. එතකොට වතුර ගන්න පෝලිමේ ඉන්න ඕනේ. මේ ළි  අපේ ගමට විශේෂයි. මොකද මුහුද කිට්ටුව හොඳ වතුර තියෙන තැන් බොහොම අඩුයි. ඒ වගේමයි ගං කලපුව වටේ තියෙන මඩ සහිත පස. කිසිම විදියකින් හොඳ වතුරක් එන්නේ නෑ. ඒ මදිවට පොළොව පොඩ්ඩක් හාරපු ගමන් හිරිගල්. මේ හිරිගල් වලට මගේ අත කොයි තරං හම ගිහින් ඇත්ද ?

"නාග ලෝකේ කියන්නේ මොකක්ද ? ඒකෙ ඉන්නේ නයිද ?"

ඒ ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දුන්නේ නෑ. අක්කයි මායි ගෙදර තියෙන ලොකු ඇලුමිනියම් මුට්ටියක් අරගෙන හොඳට සෝදලා ගත්තා. ඊට පස්සේ පරණ බංකුවක් හොයාගෙන ආවා. අපි ඒ බංකුව අපේ කඩුල්ලෙන් එළියේ තියෙන තණ බිස්සේ තියලා වතුර මුට්ටිය තිබ්බා.

"අක්කේ මේක ටිකක් ඇලයි වගේ නේද ? ඉන්න මම උදැල්ල අරං එන්න"

මම ගෙයි පිළිකන්නට දුවලා උදැල්ලත් අරගෙන ආවා. විනාඩි කිහිපයකින් අපි එතන පොළොව සමතලා කරලා, බංකුව උඩ වතුර මුට්ටිය තිබ්බා. පරණ පීරිසි කොප්පෙකුත් තිබ්බා. වතුර අර ගන්න පරණ ටිංකිරි ටින්එකකට කෝටුවක් තියලා කම්බියකින් බැන්ඳා. ඒක මුට්ටියේ පියන උඩින් තිබ්බා. එහෙම තියලා අපි එළියේ තියෙන බංකුවට වෙලා බලාගෙන හිටියා. කවුරුත් වතුර බොන පාටක් නෑ. ඊට පස්සේ අපේ යාළුවෝ යද්දී කතා කරලා බොන්න කිව්වම, ඒගොල්ලෝ නම් බිව්වා. අපරාදේ අක්කයි මායි බොහොම අමාරුවෙන් ගිහිං ගෙනාපු වතුර කළේ. අපි වතුර ගේන්නේ කළේ දෙපැත්තෙන් අත් දාලා අල්ලාගෙන. මැටි කළ මේ වැඩේට හරි යන්නේ නැත්තේ අත ලිස්සලා වැටෙන වාර වැඩි නිසා. ඇලුමිනියම් කළේ අල්ලාගෙන එන අපිට හොඳට පුරුදුයි. ඉස්සර මට මාර පුරුද්දක් තිබ්බේ මේ කළේ  ඇතුලට පුංචි අශෝක වීදුරුව කටේ ගෑවෙන්නේ නැති වෙන්න දාලා වතුර අරන් බොන්න. හැබැයි වැඩේ වැරදිච්ච වෙලාවලුත් තියෙනවා. එහෙම දාට කළේ අස් කරලා වීදුරු කටු අයින් කරලා පිරිසිදු කරන එකත් මටම කරන්න වුණා. 

මේ අර මනුස්සයාගේ ක්‍රියාවලියත් එක්ක මගේ මතකය ගිය තැන්. නමුත් ඊට ටික කාලයක් යද්දී ගෙවල් සීයක් ගත්තොත් හැටක විතර ඔය මෙගා බෝතල් වල වතුර පුරවලා තියන එක කරනවා. පස්සේ තමයි මම දැන ගත්තේ මෙහෙම වතුර තියන්නේ බල්ලෝ ඇවිත් පහරන හෝ මුත්‍රා කිරීම වළකන්න කියලා. අපේ මිනිස්සුන්ටත් මොකක් හරි ආවොත් මෙලෝ විචාරයක් නැතිව කරගෙන යනවා. මේකෙන් වැඩිම වාසි ලබන්නේ අර වගේ දෙකක් දාලා හෙම්බත් වෙලා එන මිනිස්සු නැත්නම් වාහනේකට වතුර දා ගන්න ඕනේ වෙන අය. කිසිම කෙනෙකුට කරදර කරන්නේ නැතිව වතුර ටිකක් හොයා ගන්න පුළුවන්. අද මම වැඩට ආපු ලංගම බස් එකටත් ඔය වැඩේ වෙලා, කොන්දොස්තර ලීටර් පහේ හිස් බෝතලයක් අරං හැම තැනම දිව්වා වතුර හොයන්න. ඔන්න ඔයා වෙලාවේදී මට අර සිද්ධිය මතකයට ආවා.
පින්තූරය ගත්තේ : doitandhow.com

ඇලජික් නෑ. මම කිව්වේ.

නමුත් කවුරුත් හොයලා බැලුවේ නෑ නේද මේකේ විද්‍යාත්මක පැත්ත. ඇයි එහෙම වතුර බෝතල් දෙකක් තිබ්බම බල්ලෝ එන්නේ නැත්තේ. බල්ලොන්ට වතුර ඇලජික් කමක් නෑනේ. මේ ගැන මාව දැනුවත් කලේ මගෙත් එක්ක එකම දිනයේ බැංකුවට බැඳුණු රියාජ් නමැති සුපිරි ඩයල් එක. මේ දවස් වල අම්පාරේ වැඩ කරන්නේ. අපේ සඳරුගේ පී.සී. එකේ කේස් එක බලවන්නත් මම යැව්වේ රියාජ් ගාවට. මම හිතන්නේ සඳරුට හොයා ගන්න බැරිව තිබ්බ මදර්බෝඩ් කේස් එක හොයලා දුන්නේ රියාජ්. රියාජ් කියන්නේ 1995 දී යන්තම් දැලි රැවුල වැවීගෙන එන වයසේ කොල්ලා. ඉපදිලා තිබ්බේ කල්මුණේ. ඒ ලෙවල් කළෙත් නෑ මම හිතන්නේ, ඒ වුණාට මාර ඉවක් වගේම හොඳ අයි.කිව් එකකුත් තියෙනවා. රියාජ් ආසන්නයේ ඉඳගෙන කවුරුත් පාස්වර්ඩ් එකක් ගහන්නේ නෑ. විනාඩි ගණනකින් ඒ පාස්වර්ඩ් එක කියනවා. බලාගෙන ඉඳලා නෙවෙයි. කනට ඇහෙන සද්දෙන්. අන්න ඒ වගේ සුපිරි චරිතයක්. ගණන්, ප්‍රෝග්‍රෑමින් කප්පිත්තෙක්. කොළඹට එද්දී සිංහල අකුරක් වත් බෑ. කථා කරන්නත් බෑ. මාස ගාණක් යනකොට ඒ සේරම හරි. අපේ සුමිත් කියන්නේ ඌ වචන ටික එක පාරට තියලා ෆුට් බෝලෙකට පයින් ගහනවා වගේ ගහනවා කියලා. කථා කරන්නෙත් ඒ වගේම වේගෙන් (අයි.කිව් වැඩි අය වේගෙන් කතා කරනවා කියන එක මගේ විශ්වාසෙ)

"මචං ඔකේ වෙන්නේ මෙන්න මේකයි. වතුර ෆුල් බෝටල් තියන්න හොඳ නෑ. ටූ තර්ඩ් වගේ තියන්න ඕනේ. මූඩිය තද කරන්නත් හොඳ නෑ. පොඩ්ඩක් බුරුල් කරන්න ඕනේ. එතකොට දවල්ට රස්නේ නිසා එකෙන් පොඩි නොයිස් එකක් එනවා. අපිට ඇහෙන්නේ නැති වුණාට බල්ලොන්ට ඇහෙනවා. රෑට අනිත් පැත්ත, එළියෙන් ඇතුළට එයාර් යනවා. එතකොටත් නොයිස් එකක් එනවා. බල්ලට ඒ නොයිස් එකට ඉන්න බෑ"

දැන් තේරෙනවා නේද අපි නොදැන කරපු එකේ විද්‍යාත්මක පැත්ත. මේක කවුරුවත් ඔප්පු කරලා පෙන්වපු දෙයක් නොවුණත්, මමත් විශ්වාස කරනවා ඇත්ත වෙන්න ඇති කියලා.


Tuesday, October 22, 2013

මේ ලක්ෂ දෙකේ හිමිකරුවා ඔබද ? කවුද ජයග්‍රාහකයෝ ?

ඊයේ මම දාපු ලක්ෂ දෙකේ තරගයට ගොඩාක් දෙනෙක් ඉදිරිපත් වුණා. තරගයට නම් ටික දෙනයි. ඒ වුනාට සුබ පතන්න නම් බොහොම දෙනෙක් හිටියා. හැමෝටම වැඩේ මිස් වෙලා කෙස් ගහෙන්. හැබැයි මේක දැකලා මුලින්ම කමෙන්ට් කලේ ඩ්‍රැකී (මේ නම ටයිප් කරන එක හරිම අමාරු වැඩක්). හැබැයි ජයග්‍රහණය දෙන්න පුලුවන්ද ? නමුත් බොහොම දක්ෂ විදියට එක්කෙනෙක් ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරං එවුවා. නමුත් ඒක ගැන මට හරි විශ්වාසයක් නෑ. මම ඒ අවස්ථාවත් කියවන පාඨකයන්ට දෙනවා කවුද හරි කියලා තෝරන්න. මම හිතන්නේ මිනිහා කොම්පියුටර් ජිල්මාට් එකක් කොරලා වගේ. මට ඕවා විශ්ලේෂණය කරන්න වැඩි දැනුමක් නැති නිසයි මම ඔබට මේ අවස්ථාවත් දෙන්නේ. 

හොඳයි මම පින්තූර දෙකක් දානාවා මේ දෙකෙන් එකක් මම ගත්ත එක, අනිත් එක අපේ ඩුඩා නොහොත් හෙන්රි ජයවර්ධන එවපු එක. දැන් ඔයාලා තීරණය කරන්න ඕනේ මේ දෙකම ෆොටෝ ෂොප්ද ? මගේ එක ෆොටෝ ෂොප්ද ? හෙන්රියාගේ එක ෆොටෝ ෂොප්ද ? නැතිනම මගේ එක හරි හෙන්රියාගේ එක හරි නියම ඒවාද ? නැත්නම් දෙකම නියම ඒවාද ? කියලා. මෙන්න ෆොටෝ දෙක.
හෙන්රි ඩූඩ් දාපු එක

මම ගත්ත එක 
මේකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක පොඩි ආතල් එකක් ආවා. ඔන්න ඔය ෆොටෝ ෂොප් එක්ස්පර්ට්ලාට වැඩක්. පුලුවන්නම් හොයන්න කවුද හරි කියලා. 

ලක්ෂ දෙක මේ විදියට බෙදා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. සමාගමක ඉන්නවනේ කැපිටල් ෂෙයා හෝල්ඩර්ස්ලයි ඔර්ඩිනරි ෂෙයා හෝල්ඩර්ස්ලයි කියලා ජාති දෙකක්. ඉතිං මම හිතුවා මේක ෆලෝ කරන අයව කැපිටල් විදියට සලකන්න. මේකෙන් 50% ක් කැපිටල් කට්ටිය අතර බෙදා දෙන්න හිතුවා. ඒ අතරින් ඊයේ කමෙන්ට් කරපු අයට 10%ක් වැඩියෙන් දෙන්න. අනිත් ටික එදිනෙදා යන අය අතරේ බෙදන්න. හැබැයි මේ විදියට ජොයින් වෙච්ච දවසේ ඉඳලා අද දවස දක්වා දවස් ගණනින් බෙදලා (365+296=661).

එතකොට මෙහෙමයි ඊයේ ෆලෝ කරපු කෙනෙකුට ලැබෙන විදිය (100000/661=151. ඒ ගණන සාමාජිකයින් 268 න් බෙදනවා එතකොට  0.56 දවස් ගණන එක නිසා එයාට 0.56 දවස් සීයක් හිටිය කෙනෙකුට 56යි. තේරුනා නේ ක්‍රමය.ඊයේ කමෙන්ට් කරපු කෙනෙක්ට නම් 61යි.)

ඉතිං මේකට විසඳුම ලැබෙන කං කවුරුවත් ගැන පොස්ට් එකක් ලියන්න ලැබෙන්නේ නෑ. 

___________________________________________
සංජීව මෙන්ඩිස් මේ දවස් වල නැති එක ගැන කණගාටුයි.

Monday, October 21, 2013

මේ ලක්ෂ දෙකේ හිමිකරුවා ඔබද ?

ලක්ෂ දෙකක් කියන්නේ අද කාලේ ලේසි දෙයක් නෙවේ. එහෙම වෙලාවක ලක්ෂ දෙකක් අතට ගන්න ක්‍රමයක් ගැන කියන්නයි මම යන්නේ. ඔයාලට එක එක සයිට් වලට ගිහින් ක්ලික්ස් දාන්න කියලා මම කියන්නේ නෑ. ලොතරැයි අරගෙන දිනුම අදින කං බලාගෙන ඉන්න කියලත් මම කියන්නේ නෑ. හැබැයි මේකට තව වැඩි කාලයක් නෑ. තව විනාඩි කිහිපයයි තියෙන්නේ. මමත් මේක ඊයේ දාන්න හිටියට අර බස්රේඩියෝ එකේ වැඩසටහනට සහබාගී වුන නිසා කරන්න බැරි වුනා. මට මේ අදහස දුන්නේ ලොකු ජෝන්.  ඒත් වල්පල් ටයිප් කරන්න ගිහින් ඔයාලගේ අවස්ථාව මග හැරුනොත්. හොඳයි මම කෙලින්ම කියන්නම්.

මගේ බ්ලොග් එක හිට්ස් ලක්ෂ දෙකට ලඟා වෙන්න තව හිට්ස් පනහකටත් වඩා අඩු ගාණක් තියෙන්නේ. ඒ මොහොත දැක්ක ගමන් ස්ක්‍රීන් ෂොට් එකක් අරගන්න සමත් වෙන කෙනා තමයි දිනුම්. ඒක අරගෙන මගේ ඊමේල් එකට එවන්න. දිනපු කෙනා ගැන මම ලියනවා පොස්ට් එකක් ත්‍යාගය විදියට. එහෙනම් පමා නොවී වැඩට බහින්න. දැනටමත් ලේට්ද මන්දා ?

මේ තාක් කාලයක් මගේ බ්ලොග් එක කියවමින් මාව දිරිමත් කල සියලු දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා. මේ වගේ අවස්ථා සමරන්න ඕනේ කියලා කියන්නේ අපේ ආචාර්ය මාතලන්. එතුමාගේ පරිගණකයේ අවහිරතාව නිසා කියවන්න බැරි වුණත්, මාව දිරිමත් කල කෙනෙක් හැටියට එතුමාව මේ අවස්ථාවේ සිහිපත් නොකර බෑ.  

Saturday, October 19, 2013

අකාලයේ මියගිය - මගේ ෆේස්බුක් දරුවා ......

මා ෆේස්බුක් ගිණුමක් සාදා ගත්තේ 2008 වසරේදීයි. එහෙත් ෆේස්බුක් යනු කුමක්ද ? එහි කල හැකි දේ මොනවාදැයි නොදැන කලක් ඔහේ බලා සිටියෙමි. මගේ හිතවතෙකු වන දිනේෂ් .............. නිතරම එවන ඉල්ලීම්(Request) නිසා ෆේස්බුක් යනු කුමක්දැයි හදාරන්නට මට අවශ්‍ය විය. මේ කාලය වනවිට අප තොරතුරු බෙදා ගත්තේ ඊමේල් පණිවුඩ එහා-මෙහා යැවීමෙනි. දිනක් "Dinesh .............. has written on your wall" යනුවෙන් සටහන් පණිවුඩයක් මගේ ඊමේල් ගිණුමට ලැබී තිබිණි. මට එක පාරටම සිහියට ආවේ බාලිකා විදුහල් තාප්ප වල ස්ප්‍රේ පේන්ට් වලින් වැකි ලියන කොලු කුරුට්ටන්ය. ඇත්තටම මෙය එවැනි ක්‍රියාවක්ද? මා හනික මගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් වී බැලුවෙමි. දිනේෂ් සටහහනක් තබා ඇති බව පෙනේ.  ටික දිනක් යන්නට මත්තෙන් මා ෆේස්බුක් අන්තුවෙකු බවට පත් විය. මේ වනවිට විවිධ ෆෝරම් වල සහ ඊ මේල් ෆෝවඩ් කර ලැබූ සතුට හා දැනුම එක් තැන් කල ස්ථානයක් ලෙස ෆේස්බුක් හඳුනා ගතිමි. 

ටික කලක් යද්දී එක් එක් සංවිධාන හෝ ආයතන  වෙනුවෙන් සාදා ගන්නා ෆේස්බුක් පිටු  සඳහා එකතු වන්නටද ඉල්ලීම් විය. මේ අතර කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ෆේස්බුක් පිටුවක් තිබෙන බව දැක මට මහත් දුකක් ඇති විය. ඒ මගේ පාසල සඳහා එවැනි සමූහයක් නැති බැවිනි. මා මොහොතක කල්පනාවකට වැටුණෙමි. මා පළමුව කළේ එවැනි දෙයක් මේ වනවිට ඇත්දැයි සොයා (Search) බැලීමයි. එහෙත් එවැන්නක් නැත. මම ආනන්ද මහා විදුහලේ ෆේස්බුක් පිටුවට එකතු වන්නට ඉල්ලීමක් කලෙමි. එය සාර්ථක වුයේ දින කිහිපයකට පසුවයි. මා එම පිටුවේ සැරිසරා එහි සිදුවන දේ පිලිබඳ අවුබෝධයක් ලබා ගතිමි. ආනන්ද පිටුවේ වම් කෙළවර පහල "Create a Page" යනුවෙන් දක්නා ලද අතර මොහොතක් නොසිතම මා ඒ මත ක්ලික් කර මගේ පාසල වන කළුතර මහා විද්‍යාලය වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් නිර්මාණය කළෙමි. 

එහෙත් මා මුහුණ දුන් ප්‍රධාන ගැටලුව වුයේ, මේ සඳහා පාසලේ ලාංඡනය සොයා ගැනීමයි. එතෙක් කළුතර බෝ සමිදුන්, කළුතර නදිය, චෛත්‍ය රාජයා සහිත ඡායාරුපයක් අන්තර්ජාලයෙන් සොයා එක් කළෙමි.  පාසල සමග කිසිදු සබඳතාවකා නැතිව එය කර ගැනීමට නොහැක. මට කදිම අදහසක් පහල විය. අස්වීමේ සහතිකය. ඔව් ඒකෙ තියෙනවනේ. මම විවේකී දිනයක අස්වීම් සහතිකය ගෙන මගේ ජංගම දුරකථනයෙන් විවිධ ස්ථාන වල තබා ඡායාරුප ගත්තද, එකක්වත් නිසි තත්වයක නොවිණි. එනිසා ඒ අදහස අතහැර දැමීමට සිදු විය. එහෙත් මා එය කාර්යාලය වෙත රැගෙන ගියේ ස්කෑන් කළහොත් කදිමට තිබිය හැකිය යන විශ්වාසයෙනි. මේ අතර අප විදුහලේම ආදී ශිෂ්‍යයෙකු වූ මංගල ගුණතිලකද සේවය කළේ මා සමගය. පාසලයේ ඉතිහාස කතා ගැන මා සවස වැඩ කරන සෑම සංධ්‍යාවකම ඔහු හා දොඩමළු වන පුරුද්ද කාලයක සිට සිදු වූවකි. මේ ෆේස්බුක් පේජ් යන්න ඔහුට හකුරුයි-පොලුයි මෙන් විය. නමුත් පාසල වෙනුවෙන් යමක් කරන බව දන ඔහු සතුටු විය. 

දිනක් උදෑසන ෆේස්බුක් වෙත ලොග් වී බලනවිට පාසලෙහි පිටුවට එක් වීමට ඉල්ලීමක් කර තිබෙන බව දුටිමි. නමින් දර්ශන වීරකෝන් වූ ඔහුගේ ඉල්ලීම මා එක මවුස් ක්ලික් එකකින් අනුමත කළෙමි. ඉන් පසුව ඔහුගේ ප්‍රොෆයිල් එක බලා ඔහුට මිතුරු ඉල්ලීමක්(Friends Request) යැවීමි. මොහොතකින් එය අනුමත වූ අතර, තවත් මොහොතකින් ඔහු මා හා චැට් කිරීමට පටන් ගති. මගේ ස්කයිප් හැඳුනුම ඉල්ලා සිටියත් මා සිටින්නේ කාර්යාලයේ බැවින් එය කල නොහැකි විය. ටික දිනකින් ඔහු හා මා හොඳ මිතුරන් බවට පත් විය. තවත් දින කිහිපයකින් විදුර දන්තනාරායන නමැති පාසලේම ශිෂ්‍යයා එයට එක් විය. පාසලේ ලාංඡානක තිබූ අඩුව ඔහු සැපිරූ අතර, එම පිට අකාලයේ මිය යන තෙක්ම එහි තිබුණේ එම ලාංඡනයයි. ඒ අතරවාරයේ විදුහල පසුකර නිවාස කරා යන මොහොතක බස් රථයේදී මං ජංගම දුරකථනයෙන් ගන්නා ලද ඡායාරුපයක් ලාංඡනයේ අඩුව පිරවීය. මෙම පිටුවට පාසලෙන් ඇඩ්මින් වරයෙක් අනිවාර්යයෙන් සිටිය යුතු බව විශ්වාස කල මා විදුරට එම අවස්ථාව ලබා දුන් විට ඔහු ඉතා කැමැත්තෙන් එය භාර ගන්නා ලදී. පාසලේ මේ ගැන දැනුවත් කරන්නට යමක් කල හැකිදැයි මා ඔහුගෙන් විමසා සිටි අතර, ඔහුගේ අදහස වුයේ එවැනි දේ සඳහා පාසලේ ගුරුවරුන් ඉඩ නොතබන බවයි. අපේ කාලයේ වළක් ලෙස ප්‍රචලිතව තිබූ අප පාසල අද තිබෙන තත්වය ගැන මා සතුටට පත් වුයේ මගේ නැගණියගේ දරුවාද එම පාසලට යන බැවිනි. 

දර්ශනද එහි ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගත් අතර අප තිදෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මාස දෙකක් ගත වනවිට එයට පාසලේ සිසු - ආදී සිසුවන් තිස් හතළිස් ගණනක් එක් කර ගන්නට හැකි විය. මගේම පංතියේ මිතුරෙකු වූ චන්දන පෙරේරා තවත් ටික කාලෙකින් එයට එකතු විය. පාසල වෙනුවෙන් සෑදු ෆේස්බුක් පිටුව නිසා කාලයක් මග හැරී සිටි මිතුරන් එකතු වීම ගැන මට අප්‍රමාණ සතුටක් ඇති විය. පාසලෙන් එක් වූ ජයාන් චාමිකර මාපලගම සහ විදුර අපගේ දිගින් දිගටම කියා සිටියේ අපගේ පාසලේ නිවැරදි නම "කළුතර විද්‍යාලය ජාතික පාසල" බවයි. නමුත් ෆේස්බුක් පිටවක නම වෙනස් කිරීමට ලබාදෙන කාලය ඒ වනවිට අප පසු කර ඇත. මේ වනවිට සාමාජිකත්වය පනහා දක්වා වැඩි වී ඇත. වෙන කළහැකි දෙයක් නැති නිසා මා නිතරම කලේ, පාසලේ වෝල් එක මත "Kalutara Vidyalaya National School" ලෙස ටයිප් කර බෙදා(share) හැරීමයි. 

අප නොසිතුව වේගයකින් සාමජිකයන් සීය පසු කිරීමට හැකි විය. මේ අතර විදුරට තම උසස්පෙළ කටයුතු නිසියාකාරව කර ගැනීමට අවශ්‍ය නිසා ටික කලක් ඇඩ්මින් කටයුතු වලින් නිදහස් කරන මෙන් ඉල්ලා සිටි අතර මා ඒ වෙනුවට නිතරම අන්තර්ජාලයේ රැඳෙන තවත් පාසලේ මෙන්ම ස්ලිට් ආයතනයේ අධ්‍යාපනය ලබන ආදී සිසුවෙකු වූ කසුන් ශම්මික පත් කල අතර, එය ඔහු ඉතා උද්දාමයෙන් භාර ගන්නා ලදී. ජයාන්ද මේ වනවිට ඉතා හොඳ මට්ටමක ඉංග්‍රීසි දැනුමක් සහ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි නිසා ඔහුටද ඇඩ්මින් වරයෙකු වන ලෙස මා කල ඉල්ලීම ඉතා සතුටින් ඔහුද බාර ගන්නා ලදී. සාමාජිකයින් දෙසීය, පන්සීය ඉතා ඉක්මනින් අප ළඟා වූ අතර, බිග්-මැච් එක සඳහා සහභාගී වන්නැයි ජයාන් සහ විදුර මගෙන් නිතරම කල ඉල්ලීම විය. මා එහි යන්නම සිටියත් එය පහසු කටයුත්තක් නොවීය.  එසේ ගියානම් මගේ පාසල් මිතුරන් මෙන්ම තවත් බොහෝ වැදගත් පිරිසක් සමග එක් වීමට අවස්ථාව උදා වනු ඇත. එහෙත් කසුන් සහ ජයාන් එම තරගයේ චායාරුප එක් කිරීම නිසා තවත් බොහෝ දෙනා අප පිටුව ලයික් කර තිබුණි. 

තවත් කිහිප දිනකින් ප්‍රථම කාන්තාව අපේ පිටුවට එක් වීමට ඉල්ලීම් කර තිබුණි. ඒ ලක්මාලි ශිරෝමි ජයසේකරයි. ඇය මගේ පාසල් කාලයේ හොඳ මිතුරියක් වූ අතර, මෙලෙස ඇය හමු වීම මහත් සතුටක් ගෙන දුනි. ඉන් අනතරුව ඇය මගේ හොඳම මිතුරියක් බවට පත් විය. මේ වනවිට අපගේ ගම් පියසේම මල්ලී කෙනෙක් පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බැවින් ඔහුවද ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියාය. ඔහු නමින් රංග ගමගේ විය. මේ වනවිට සාමාජිකයන් දාහේ කඩයිම පසු කරන්නට අපට හැකි විය. රංග එක් වූ දිනයේ සිට මේ ගැන නිතරම ආදී ශිෂ්‍ය සංගමයට දන්වා, මා ගැන යම් සටහනක් එහි කර තිබුණි. මීට අමතරව මා ආදී ශිෂ්‍ය සංගමයට බඳවා ගන්නත් ඔහු ඉතා උනන්දුවෙන් ක්‍රියා කළේය. මගේ නිවසටම පැමිණ ෆෝම් පුරවාගෙන ගොස් මා එයට එක් කර ගන්නට අවශ්‍ය සියල්ල ඔහු ඉටු කළේය. එම වසරේද බිග්-මැච් බලන අවස්ථාව මට මග හැරිණි. මේ වනවිට එම පිටුවට දෙස්-විදෙස් බොහෝ දෙනෙක් එකතු විය. ඒ බොහෝ දෙනා මෙම පිටුව ආරම්භ කිරීම ගැන මට බොහෝ සෙයින් කෘතඥතාව පල කළෝය. මගේ මතකයට එන නම් අතරින් සුසන්ත ප්‍රදීප් හේවගේ ඉන් කෙනෙකි. 

මගේ පරණ ඔෆිස් මිත්‍රයකු වූ අරුණ ගුණරත්නගේ කාර්යාලයේ සිටින මලිත රුවින්ද ඉතා දක්ෂ අයෙක් බවත් ඔහු මේ අඩවියට එක් කර ගතහොත් ඉතා හොද සේවාවක් ලබා ගත හැකි බව මට මිතුරා දැනුම් දුන් අතර, ඔහු සමග කළ කෙටි සාකච්ඡාවකින් ඔහුද එක් කර ගැනීමට අපට හැකි විය. එක් බිග්-මැච් එකක ලකුණු යාවත්කාලීන කරන්නට ඔහු සමත් විය. එමගින් බොහෝ දෙනා අපගේ පිටුවට එක් විය. මේ වනවටි මා අවුබෝධ කර ගත් එක් දෙයක් විය. ඒ ෆේස්බුක් පිටුවක් ප්‍රචලිත කිරීමට හොඳ ක්‍රමය වෝල් එක මත නිතර කිසිවක් සටහන් කිරීමයි නැතිනම් පින්තුරයක් ශෙයා කිරීමයි. එකල එසේ සටහන් කරන ෆේස්බුක් පිටු පිළිබඳ දර්ශන තිරයේ දකුණු පැත්තේ සටහන් වේ. හිතන්න ඔබ කළුතර විදුහලේ පිටුවට එක් වී ඇති මිතුරන් සිටින එම පාසලේ අයෙකු කියා, ඔබ තවමත් එක් වී නැතිනම් ඔබගේ දකුණු පස නොමිලයේ එම පිටුව පිළිබඳ වෙළඳ දැන්වීමක් (එකල) ප්‍රදර්ශනය කරයි. එවිට් ඔබ නිතැතින් එයට එක් වේ.  මේ ආකාරයෙන් සාමාජිකයන් එක්දහස් පන්සීය අපට පසු කරන්නට ගත වුයේ තවත් සුළු කාලයකි. 

එකල මේ පිටුව මගේම දරුවෙක් ලෙස මා ආදරය කළ කාලයයි. බොහෝ දෙනෙක් තම පාසල හැරගිය පසු එයට යම් සේවයක් කරන්නේ එක්කෝ තමන්ගේ දරුවා මේ වනවිට පාසලේ අධ්‍යාපනය ලබන නිසාය නැත්නම් ඉදිරියේදී පාසලට ඇතුළත් කිරීමට තම දරුවෙක් සිටින නිසාය. නමුත් මේ කාරණා කිසිවක් මට අදාළ නොවීය. මා එක් අතකින් ජීවත් වුයේ කොළඹය, මට සිටින්නේ දියණියක්ය. බොහෝ දෙනා මගෙන් විමසා සිටියේ මේ පිටුව ප්‍රචලිත කිරීමට එතරම් මහන්සි වන්නේ ඇයිදැයි කියාය. නමුත් මා පටන් ගත් දෙයක් අඩාල වන්නට නොදී පවත්වාගෙන යාම මගේ යුතුකම සහ වගකීම ලෙස මා විශ්වාස කල හෙයින් එසේ කරන බව ඒ සැමට මා දුන් පොදු පිළිතුර විය. මේ කාලයේදීම තවත් අන්තර්ජාලය බෙහෙවින් පරිහරණය කරන දර්ශන අනුරාධ මට හමු විණි. ඇඩ්මින් කෙනෙකු වීමට මා කල ඉල්ලීම ඔහු ඉතා කැමැත්තෙන් භාර ගත් අතර අවසානය දක්වාම ඔහු එයට සේවය කළේය.

සාමාජිකයන් දෙදාහක් !!! මෙය මා කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූ දෙයක්. සාමජිකයි හත්සිය පනහක් වන කාලයේ මා වෝල් එක මත ශෙයා කල එක් වැකියක් මට අද මෙන් මතකය. ඒ "I think our page is in near saturation of menbership" යනුවෙනි. එහි තේරුම වනුයේ අපගේ පිටුව දැන් සාමාජිකත්වයෙන් සංතෘප්ත මට්ටමකට කිට්ටුව ඇති බවයි. මා එසේ සටහන් කළේ ඒ කාලයේ ෆේස්බුක් සමග එක් විය හැකි වයසේ සිටිය අය ගැන සිතමිනි. එහෙත් මගේ මතය වැරදි බව මට තේරුණේ ජංගම දුරකථන සහ වෙනත් උපාංග වලින් අන්තර්ජාලයට පිවිසෙන තත්වය තුළ ඉතා විශාල පිරිසක් ෆේස්බුක් වැළඳ ගන්නා බව වැටහීමෙනි. එයට සාපේක්ෂව කළුතර විදුහල් ආදී ශිෂ්‍යයන්ද පිටුවට එකතු විය. දෙදාහේ මට්ටම පසු කරනවිට තවත් එක් උද්යෝගී පාසල් සිසුවෙකු මට හමු විය. ඔහු ලේඛනට දක්ෂ මෙන්ම පාසලේ විවිධ පැරණි පොත් පත් පුස්තකාලයෙන් සොයාගෙන ඉදිරිපත් කළේය. මේ වනවිට ඇඩ්මින් වරයෙකු වූ රංගද කිහිප වතාවක් ඔහු ගැන මට පවසා සිටි අතර ඔහු ඇඩ්මින් කරමු යන යෝජනවා ආවේ ඔහුගෙන් පමණක්ම නොවිණි. මේ කොලු ගැටයාද තමන්ව ඇඩ්මින් කර ගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ නම මා කෙලින්ම මෙහි සඳහන් නොකරන්නේ ඔහුට යම් අගතියක් වේ යන අදහසින්ය. මේ වනවිට ඔහු පාසල හැර යන වයසේ විය යුතුය. ඔහුට මා යොදන අන්වර්ථ නාමය "ලසමා" යනුවෙනි. ඒ ඔහුගේ නම ඇසුරින් තනා ගත් නමකි.

රංජන් පරණවිතාන යනු අප පාසලෙන් ලක්මවට දායාද කල පරසිදු අය අතර තවත් වටිනා චරිතයකි. මට දිනක් ඔහු බසයේදී මුණ ගැසී තිබිණි. ඔහුද මේ වනවිට යම් තරමකට ෆේස්බුක් පරිහරණය කරන බව මට වැටහිණි. දින කිහිපයක් ඔහු හා කල චැට් වල ප්‍රතිඵලයක් ලෙස ඔහු එක් කර ගන්නට මට හැකි විය. මේ අතර මාධ්‍යකරනය ගැන වටිනා ඔවදන් බොහොමයක්ද ඔහුගෙන් ලබා ගන්නට මට හැකි විය. ඒ අනුව අපගේ පිටුව නවමු ආකාරයකින් ඉදිරිපත් කරන්නට මට හැකි විය. කියවීම පිළිබඳවද ඔහු ඉතා වටිනා අදහස් මා හට ලබා දුනි. එම පිටුව පවත්වාගෙන යාම ගැනද ඔහු මට ස්තුති කළේය. 

අලුතෙන්ම ඇඩ්මින් කල ලසමා කළුතර විද්‍යාලය ජාතික පාසල යනුවෙන් වෙනත් කාණ්ඩයක් පවත්වාගෙන යන බව මට දැන ගන්නට ලැබුණේ මා ඔහුව මෙහි ඇඩ්මින් කර ටික කලකට පසුවය. ඇත්තටම එය ප්‍රධාන ඇඩ්මින් වරයකු නොකළ යුතු දෙයකි. ඔබ යම් අයෙක් ඔබගේ පිටුවේ ඇඩ්මින් වරයෙකු ලෙස පත් කර ගන්නවානම් ඔහු ගැන හොඳ පෙර සෝදිසියක් ගැඹුරින් කල යුතුය. මේ සඳහා, අධ්‍යාපන මට්ටම, මානසික මට්ටම, සමාජීය හැසිරීම යන දේ දැන සිටිය යුතුය. නමුත් මා රංග මේ පාසැල් සිසුවා ගැන දුන් රෙකමදාරුව මත මා ඔහුට එම අවස්ථාව ලබා දුනි. ඔහු කල බොහෝ දේ නිසා මට බොහෝ තැන් වලදී ප්‍රසිද්ධ චරිත වලින් සමාව පවා අයැදීමට සිදු විය. 

වරක් ඔහු "Greatest Old Boys of Kalutara Vidyalaya" නමින් ෆොටෝ ඇල්බම් එකක් එකතු කළේය. එයට පාසලේ ආදී සිසුවන් බොහෝ දෙනෙකුගේ ඡායාරූප එක් කර තිබුණි. නමුත් චැට් එක මගින් එක් වූ රංජන් අයියා පවසා සිටියේ "Greatest" යනුවෙන් සිටිය හැක්කේ එක් අයෙකු බවත් මෙය "Great" ලෙස නිවැරදි විය යුතු බවත්ය. මා එය එසැනින්ම නිවැරදි කළේ රංජන් අයියාට ස්තුතිය පුද කරන ගමන් සමාවද ඉල්ලමිනි. ඔහු මා ගැන කුමක් සිතන්නට ඇත්ද යන්න මගේ සිතට වදදුන් කරුණ විය. මෙහි පින්තූර තිබෙන අනු පිළිවෙළද මා වෙනසකට ලක් කළේය. ඕනෑම අඩවියක ප්‍රධානියාට සෙසු අය එක් කරන දේ නිවැරදි කිරීම හෝ සංශෝධනය කිරීමට අයිතියක් ඇත. ලසමා මේ පින්තූර ගොන්නෙන් මුල්ම ස්ථානයේ රඳවා තිබුණේ ඒ කාලයේ ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ පසු වූ චාමික සිරිමන්නවය. නමුත් පණ්ඩිත් අමරදේවයන්, නාරද දිසාසේකරයන්ට ඉදිරියෙන් තමන්ව තබා තිබෙන බව චාමික දැන ගත්තා නම් ඔහුවත් සතුටු වන්නේ නැති බව මට විශ්වාසය. එනිසා මා එම පැරැන්නන්ගේ පින්තූර ඉදිරියෙට ගෙන චාමිකව මදක් පහළට ගෙන ගොස් දැමීය. එහෙත් තවත් පැය ගණනික් එහි මාතෘකාව "Greatest" ලෙසද ඡායාරූප අනුපිලිවෙළද තිබුණ අකාරයටම පත්ව තිබිණි. මා කල වෙනස්කම මෙහි සිදු නොවීද ? යන සැකයේ සිට මා නැවතත් එය නිවැරදි කළේය. එහෙත් තවත් පැය ගණනකින් එය පෙරසේය.

 මේ ඇල්බමය ඔහුගේ සමූහයේද මේ අකාරයෙන්ම පැවතීම මුලදී ගැටලුවක් වුවත්, පසුව ඔහු මෙය හිතා මතා කරන ප්‍රයෝගයක් බව මට වැටහිණි. ඒ මෙහි සිටින කෙනෙකු එතැනට එකතු කල (ග්රූප් වලට ඕනෑම කෙනෙකුට සාමාජිකයන් එකතු කල හැක) පසු වෙනසක් නොදැනෙන්නටය.

එසේ නොකරන ලෙස ඉල්ලා ලසමාට මා පණිවුඩයක් යැවීය. එහෙත් ඔහුගේ හිතුවක්කාර කම නොනැවතිණි. ඊළඟ චෝදනාව මට ආවේ දිගු ඊමේල් පණිවුඩයකිනි. ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ දේශකයකුගෙනි. ඔහු අපගේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු ගැන සඳහනක් වත මෙහි නොවීම ගැන ඔහුගේ සිත් තැවුලට හේතු විය. මා ඔහුගේ ජංගම දුරකථනයට කථා කොට ඔහු අස්වසා, ඔහුගේ ඡායරුපයද එම ගොන්නට එකතු කරන්නට කටයුතු කළේය. මේ ඇල්බමය මට මහත් හිසරදයක් දෙන කාරණාවක් බවට පත් විය. මේ කාලයේ අපට සිත් යොමු කරන්නට තවත් වැදගත් කටයුත්තක් විය. ඒ පාසලේ වාර්ෂික පා ගමනයි. පාසල හැත්තෑවෙනි සංවත්සරය සමරන මොහොතේ සිදු කෙරෙන එයට අනිවාර්යනම සහභාගී වනලෙස ආදී ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමක් මට ලැබී තිබුණි.

"සෝමවංශ අයියාට සුභාෂ් අයියව හමු වෙන්න ඕනේ කිව්වා"  

යනුවෙන් රංග කී විට මට නිහතමානි සතුටක් ඇති විය. ඒ සෝමවංශ අමරසිංහ යන ජවිපෙ දේශපාලන නායකයා අපගේ ආදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් මට කල ආරාධනාව නිසාය. මේ පිටුව මා නිර්මාණය නොකරන්නට එවැනි තත්වයක් මට උදා වන්නේ නැත. 

මේ කාලය වනවිට තම අලෙවි ප්‍රවර්ධනය සඳහා ෆේස්බුක් යොදාගත් කොකා-කෝලා වැනි බහු ජාතික සමාගම් මෙන්ම දේශීය පෙරේරා සහ පුත්‍රයෝ (Perera & Sons)  භාවිතා කල Landing Tab සංකල්පය මගේ සිතේ තදින් කා වැදිණි. අන්තර්ජාලයෙන් උකහා ගත දැනුමෙන් මා නිර්මාණය කල කළුතර විද්‍යාලයේ පිටුවටත් මහජන බැංකුවේ පිටුවටත් මා භාවිතා කරන Ulead Photo Express  ග්‍රැෆික් පැකේජය මගින් පින්තූර කිහිපයක්ම නිර්මාණය කළෙමි. මෙම landing tab දැමීමට යම් මට්ටමක ජාවා ස්ක්‍රිප්ට් දැනුමක්ද අවශ්‍ය විය. කෙසේ හෝ මා එයද සාර්ථකව නිම කරන්ට සමත් විය. වාසනාවකට මගේ පරිගණකයේ එම පින්තූර දෙක තිබුණි. 


යම් පිටුවකට නව සාමාජිකයන් ආකාර්ශනය කර ගැනීමට එවකට තිබූ හොඳම ක්‍රමය මේ landing tab ය. එනිසා සාමාජිකයින් යොමු කෙරෙන තැනට එක් පින්තුරයක්ද, සාමාජිකයින් නොවන අයට තවත් පින්තුරක්ද නිර්මාණය කර ඇතුලත් කලෙමි. මගේ පිටුවට දැන් සාමාජිකයින් එක් වන්නේ ඉතා මන්දගාමීව බව මට වැටහුණු අතර, ලසමාගේ ප්‍රොෆයිල් එකට දිනෙන් දින මෙහි සාමාජිකයින් එකතු වන බව පැහැදිලිව පෙනිණි. තවත් දවස් කිහිපයකින් ඔහුගේ අරමුණ තේරුම් ගත් මා ඔහු ඇඩ්මින් තනතුරින් ඉවත් කලේ ඔහුට ඒ ගැන දන්වමිනි. හේතුව ලෙස මා දැක්වූයේ සමහර අය දැක්වූ අප්‍රසාදය බවය. ලාසමා මේ වනවිට සාමාජිකයින් දාහක් පසු කර එකතු කරගෙන තිබුණි. ඒ අතර විදේශීය අයද බොහොමයක් විය. ඉන් පසු තමා ඉවත් කිරීම ගැන ඉතාම සිත් තැවුලින් පසු වන බවද, එසේ කල එක අසාධාරණයක් බවද, තමා ඇඩ්මින් වූ පසු මේ පිටුව "රොක්" වූ බව තම මිතුරන් පවසූ බවද පවසා මට දිනකට පණිවුඩ දෙකක් පමණ එවමින් ආයාචනා ඉදිරිපත් කළේය. මේ අතර නිතරම මට දුරකථන ඇමතුම් දුන් රංගද පවසා සිටියේ

"අයියේ, බැරිද ආපහු ලසමව ඇඩ්මින් කරන්න. මේක නිසා කොල්ලා මාර අප්සට් එකේ ඉන්නේ"

"ඒක නම් කරන්න විදියක් නෑ මල්ලි. එයා මෙතන ඉඳගෙන එයාගේ ප්‍රොෆයිල් එකට මේකේ කට්ටිය බා ගත්ත එක කලේ. බොහෝ දෙනෙක් රැවටිලා එයාව ඇක්සෙප්ට් කළා"

"හරි අයියේ. කමක් නෑ. මං බැලුවේ කොල්ලා අප්සට් නිසා"

ඒ මොහොතේම මා ජයාන් අමතා 

"මල්ලී මේ ලසමා මොන වගේ එකෙක්ද?"

"ඇයි අයියේ එහෙම අහන්නේ ?"

"නෑ. ටිකක් පිස්සු කෙලින චරිතයක් වගේ මට දැනුණා. මම ඇඩ්මින් වලින් අයින් කරා"

"මට අයියට කියන්න විදියක් නැතිව හිටියේ. ඒකා කොහොමත් ඔළුවේ අප්සට් එකක් තියෙන එකෙක්. එක පාරක් මගේ ෆොටෝස් වලට කුණුහරපෙන් කමෙන්ට් දාල තිබ්බා. මම කිව්වා එහෙම කරන්න එපා කියලා. ඒ පාර වෙන ප්‍රොෆයිල් එකකින් ඇවිත් කුණුහර්ප දැම්ම. මම ඉස්කොලෙටම ගිහිං මුට ගහලා ආවා"

මේ වනවිට ලසමා ප්‍රොෆයිල් එක පවා හකුළා දමා ඇත. මා දරදඬු වුවා වැඩිදැයි මට සිතේ. එහෙත් මෙහි සිට වෙනත් කාණ්ඩයකට සාමාජිකයින් බා ගන්නට ඉඩ දී බලා සිටිය හැකිද ? මම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට සිත ගතිමි. 

වෝක් එකේදී මේ සියලු දෙනා හමු වේ යන සතුටින් එයට සහභාගී වුණෙමි. පා ගමන ඉතා සාර්ථක විය. මා සෝමවංශ අමරසිංහ මහතා හමු වීමට ගියේ මගේ නැගණියගේ පුතාගේ කරට අතක් දමාගනිමිනි. රංග මා හඳුන්වා දීමෙන් පසු සෝමවංශ මහතා 

"අපිට රට ඉන්න අයගේ ඊමේල් ඇඩ්රස් ටික හොයලා දෙන්න පුළුවන්ද ? අපි අලුත් ගොඩනැගීල්ලක් හදන්න යන්නේ. ඒකට ආධාරයක් ගන්න"

මා ඔහුට කැමැත්ත පල කර විශ්ව සමග ගෙදර ආවෙමි. සවස් වරුවෙම මා ලබා ගන්නාලද ඡායාරුප එක් කළෙමි. එහෙත් තවත් පැය ගණනකදී ලසමාගේ ග්රූප් එකේද එම ඡායාරුප ඇල්බමය ගෙඩි පිටින් පල වී ඇත. කාරණය දැන් මට හොඳටම පැහැදිලිය. එහි එක් ඡායාරුපයක් ඵල කර නොතිබිණි. ඒ ඇඩ්මින් වරුන් එකතුව ගන්නා ලද ඡායාරුපයයි.

එදින සවස චැට් කල විට මාලිංග බණ්ඩාරව ඡායාරූපයට හසු කර ගන්නට නොහැකි වීම ගැන මා රංජන් අයියාට පැවසුවෙමි.

"බලන්න ඔයා කරලා තියෙන දේ. අද දවසේ දාන්න තිබ්බ වටිනාම ෆොටෝ එක ඔයා මිස් කරගෙන. මුලින්ම දැක්ක ගමන් ෆොටෝ එකක් ගන්න. කොතැනක් ඉඳන් හරි. පස්සේ හොඳ ඒවා ගන්න පුළුවන්. එහෙමයි කෙරෙන්න ඕනේ"

තිලකරත්න දිල්ශාන් දක්ෂතා දක්වන විට ඒවා පිටුවේ ශෙයා කරන්න අමතක නොකරන්න යනුවෙන්ද ඔහු මට උපදෙස් දී ඇත. අපේ පිටුව මාකට් කිරීමට හැකි හොඳම පුද්ගලයා දිල්ශාන් බව නොරහසකි. මා ඔහුගේ ඔවදන් අකුරටම පිළිපැද්දේ, ඒවා අවුරුදු ගණනක් මාධ්‍ය ඇසුරු කොට ලබාගත් අත්දැකීම් බැවිනි. මේවා දේශන වලට සහභාගී වී ලබා ගත්තානම් කෙතරම් කාලයක් හා මුදලක් වැය වන්නේද? සැබවින්ම ඔහු දක්ෂ උපදේශකයෙකි.

තවත් මාස කිහිපයක් මෙසේ ගත විය. දැන් අපේ පිටුවට සාමාජිකයින් එකතු කිරීමට කිසිදු වෙහෙසක් අනවශ්‍යය. අඩුම වශයෙන් දිනකට දෙදෙනෙක් වත් එකතු වේ. දෙසැම්බර් මාසය එළඹිණි. නත්තල් දින උදාවත් සමග මා ඇඳේ සිටම නත්තල් පණිවුඩය ජංගම දුරකථයනයෙන් එකතු කරන්නට උත්සාහ කළෙමි. අපේ පිටුව ලෝඩ් වන්නේ නැත. මා නැවතත් අකුරු පරීක්ෂා කළෙමි.

www.facebook.com/kmv.lk

නැත. මා නිතරම ඔන් කර තිබෙන පරිගණකය වෙත පැන. පිරික්සා බැලීමි. අපේ පිටුවට කවුරුන් හෝ වැඩසටහනක් දී ඇත.

"This page hacked......:)"

යනුවෙන් එහි සටහන් වී ඇත. මට අපමණ දුකක් ඇති විය. මොහොතක් නිහඬව සිටි මා මුලින්ම කළේ මගේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වැඩි කිරීමය. පසුදා උදෑසන මා රංගට දුරකථන ඇමතුමක් දුනිමි.

"අපි ආයෙත් පටන් ගමු අයියේ"

රංග මා අස්වසලමින් කතා කළත්

"මොකටද මල්ලි. මගේ ළමයෙක් ඉස්කෝලේ දා ගන්නද ? මට ඕකෙන් කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි. දැනට මට තව පේජ් ගානක් තියෙනවා වැඩ කරන්න. අර ලසමගේ එක තියෙන්නේ. මේ වැඩේ කරන්න ඇත්තෙත් එයා වෙන්න ඇති. හැබැයි ලසමට ඔච්චර දෙයක් කරන්න බෑ"

මට ලසාමා ඔච්චම් කර ෆේස්බුක් පණිවුඩයක් ඒවා තිබේ. මා පිළිතුරු දුන්නේ

"කරපු කෙනාට දඬුවම් නිසි ලෙස ලැබෙයි"

යනුවෙනි. තවත් මාස කිහිපයකට පසු නැවතත්

"කෝ මොනවද කළේ ?"

යනුවෙන් පණිවුඩයක් එවා තිබුණද, මා පිළිතුරු යැවීමෙන් වැළකුණේ, කුඩා කොලුවකු හා ඔට්ටු වීම මට තරම් නොවන නිසාය.

_____________________________________________

පසු කාලෙක රංගගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි

"අයියේ ෆේස්බුක් එක කමියුනිකේෂන් එකකින් බලලා ලොග් අවුට් වෙන්න බැරි වුණොත්, පස්සේ යන කෙනාට ඒක පාවිච්චි කරන්න පුලුවන්ද ?"

"බොහෝවිට පුළුවන්. ඔයා වැරදිලා හරි Remeber me දාල තිබ්බොත්, අනිත් කෙනා බ්‍රව්සර් එක ඔන් කර ගමන් ඒක එනවා"

"හරි වැඩේ අයියේ, අපේ පේජ් එකටත් වුණේ ඒකමද කොහෙද, මම ඊට කලින් දවසේ කමියුනිකේෂන් එකකින් ලොග් වුනා OBA එකේ නිවුස් ටිකක් දාන්න. මම එතනින් යනකොට ලොගවුට් කරන්න බැරි වුණා. ලසමත් නිතරම එතනට එනවා"

මට සිදු වූ දේ පැහැදිලි විය. එයද සතුටට කාරනාවකි. මා මුලින් සිතුවේ විවිධ රට වල අය ලවා යම් යම් ක්‍රියාකාරකම් කරවාගෙන ෆේස්බුක් ගිණුම් හැක් කරදෙන අඩවියක් හරහා මෙය කරගෙන ඇත්ද ? යන්නය.

_____________________________________________

කෙසේ හෝ ඉතා ආදරයෙන් හදා වඩා ගත් ෆේස්බුක් දරුවා මෙසේ අකල් මරණයකට ගොදුරු වුයේ, වැරදි අය, වැරදි තැන් වලට පත් කිරීමට දඬුවමක් ලබා දෙමිනි. තවත් දින කිහිපයක් අවෑමෙන්   මා බ්ලොග්කරණයට පිවිසියේය. 

Thursday, October 17, 2013

අපි තෝසේ කෑ හැටි - පාසල් සමයේ අත්දැකීමක් ......

 සයිබර් යාය ලියන අපේ බුද්ධි විතර පාසල් කාලයේ අත්දැකීම් බෙදා ගත් තවත් කෙනෙක් නැති තරම්. අන්තිමට බුද්ධි දාල තිබ්බ ඥාණතිස්සලාගේ කතාව කියවද්දී මගේ මතකය එක පාරටම උසස් පෙළ කරපු කාලෙට ඇදිලා ගියා. අපේ ඉස්කෝලෙන් අත්පත් කර ගත්ත ඉඩමක තමයි කළුතර ප්‍රාදේශීය අධ්‍යාපන කාර්‍යාලය හදලා තිබුණේ. අපි ඒක දැන ගත්තේ අපේ ශිෂ්‍ය නායක අයියා කෙනෙක් ගෙන්. ඒ කතාව පිළිගන්න තිබුණ ප්‍රධාන හේතුව තමයි අපේ පාසලත් මේ කාර්‍යාලය පරිශ්‍රයත් අතර තාප්පයකින් හෝ වැටකින් වෙන් කර නොතිබීම.

එක කාලයක් මේ ගොඩනැගිලි සහ ඉඩම නැවතත් අපට ලබා දෙන්න කියලා ශිෂ්‍ය උද්ගෝශණයක් කරන්න අපේ වැඩිහිටි ශිෂ්‍යයෝ සංවිධානය කරා. මේකට අපි සහභාගී වුණේ ඉතාම කැමැත්තෙන්. මොකද එක අතකින් පංතියේ ඉන්නවට වඩා එළිමහනේ කාලය ගත කරන්න බොහෝ දෙනෙකුගේ තිබුණ කැමැත්ත, අනිත් අතින් කොළඹ ටියුෂන් යන අයට වේලාසනින් පනින්න ලැබෙන අවස්ථාව. නමුත් අපි බලාපොරොත්තු නොවුන විදියට මේක කරගෙන යන්න අපේ වැඩිහිටි ශිෂ්‍ය කණ්ඩායම සුදානම් කරලා තිබුණා. ඒ ජපාන ක්‍රමයකට. ජපන්නු වැඩ වර්ජනය කරන්නේ වැඩිපුර වැඩ කරලා, එහෙම නැතිනම කළු පටියක් හිසේ දවටගෙන කියලා කිව්වෙත් අර කලින් කිව්වා ශිෂ්‍ය නායකයාමයි.

"ඉතිං අපි කොහොමද කළු පටි ඔළුවේ ගැට ගහගන්නේ ?"

"එහෙම කරන්න අවශ්‍ය නෑ. අපි කළු පාට වයරින් ටේප් එකක් ෂර්ට් අතේ අලවා ගනිමු. හැබැයි මේක ඉස්කෝලෙදී දාගෙන ඉන්නවා වගේම ගෙදර යද්දීත් දාගෙන යන්න ඕනේ. එතකොට මේක දාගෙන ඉන්නේ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් කතාව මුල ඉඳන් විස්තර කරන්න ඕනේ"

මේ යෝජනාවට අපි කැමැත්ත පල කළේ අත් දෙකම උස්සලා. මොකද මේ වගේ එකකින් තමන් එන බස් වල කෙල්ලන් ඉදිරියේ කැපිලා පෙනෙන්න පුළුවන් නිසා. මේ ශිෂ්‍ය නායකයාම දවසක් බ්ලේඩ් තලයක් ගෙනත් අපේ කමිස කලිසම් වල තිබ්බ ලේබල් සියල්ල ඉවත් කළා. කාගේ වත් වෙළඳ දැන්වීම අපි කරන්න අවශ්‍ය නෑ කියලා.  මුළු දවසෙම අපේ උවමනාවට පංති වර්ජනයත් හොර රහසේ සිද්ධ වුණා. අපිට කැන්ටිමේ දොර වැහුණා. අපිට වෙනත් විකල්පයක් සොයා යන්නට සිදු වුණා. යාබදව තිබෙන අධ්‍යාපන කාර්යාලීය කැන්ටිමට දවසක් හෙමිහිට රිංගන්න අපෙන් කෙනෙක් සමත් වුණා. ගැටලුවක් ඇති නොවුන නිසා වැඩේ නැගලා ගියා. 

"මචං එතන අපේ කැන්ටිම වගේ නෙවෙයි. අපේ එකේ තියෙන්නේ මාළු පාන්, ජෑම් පාන්, සීනි සම්බල් පාන්, වඩේ වගේ ඒවානේ. ඒකෙ තියෙනවා ඉඳි ආප්ප, බත්, තොසේ, මසල වඩේ"

"තෝසේත් තියෙනවද ?"

පින්තූරය ගත්තේ : chef.blogs.smugmug.com
හැමෝම වගේ ඇහුවේ එක පාරට. මොකද අසු තුනේ ජුලි කලබලයට කළුතර ටවුන් එකේ තිබ්බ සයිවර් කඩ  වැහුවට පස්සේ කවුරුත් තොසේ රස බලලා තිබ්බේ නෑ. ඒ කාලේ තොසේ වල තියෙන ඇඹුල් ගතියට අපි හැමෝම ආසා කළා. මටනම් තොසේ කන්න ලැබුණා. ඒ සිරිසේන අයියලාගේ ගෙදරින්. සිරිසේන අයියා සී.ජී.ආර්. එකේ වැඩ කළේ. අලුත්ගම ක්වාට්ස් එකේ ඉන්න සිරිසේන අයියගේ බිරිඳ වෙච්ච මේරි අක්කා විවිධ කෑම වර්ග උයා යම් ආදායමක් ලබා ගත්තා. අසූ තුනේදී එයාලට ලොකු චෝදනාවක් ආවා අලුත්ගම දෙමළ කඩයක් වෙච්ච සරස්වතී එකේ මුදලාලිව හංගාගෙන හිටියා කියලා. 

මම මුලින්ම තොසේ කෑවේ කළුතර ටවුන් එකේ කඩේකින්. මමයි තාත්තයි ගිහින් කඩේ වාඩි වුණා. බාල්දියක් මෙසේ උඩ ගෙනත් තිබ්බා. මම වතුර එකක් අරං ඒකට අත හෝදන්න හදනකොටම, තාත්තා මගේ අතින් අල්ලා ගත්තා. 

අපි අධ්‍යාපන කාර්යාල කැන්ටිමට වෙලාවේ වගේම අවේලාවෙත් යන්න පුරුදු වුණා. ඒ කැන්ටිම කොයි වෙලාවෙත් ඇරලා තිබ්බ එක අපට වාසියි. ඒක තිබ්බේ පාර අයිනට වෙන්න. ඉස්කෝලේ ගොඩනැගිලි ක්‍රීඩාංගණයෙන් පිටුපසට වෙන්න තිබුණ නිසා, යන කෙනෙක් දැක්කත් පැහැදිලිව එක පාරට හඳුනා ගන්න බැරි වෙනවා. එතනට ගිහින් ටික දවසක් යද්දී ඒ කැන්ටිමේ වැඩ කරන අපටත් වඩා බාල කොලු ගැටයෙක් අපිත් එක්ක කුළුපග වුණා. ඔහු මගෙත් එක්ක වඩාත් කුළුපග වුණේ මේ කැන්ටිම කරන අයිතිකරුවා සහ මේ කොලු ගැටයාත් අපේ ගම් පලාතට ටිකක් ඔබ්බෙන් තිබ්බ ඉඳුරුව ප්‍රදේශයේ වෙච්ච නිසා. ඒ බව මට කිව්වේ තාත්තා. කොල්ලාගේ ගම දැන ගත්තේ අපි කරපු සුහද කතාබහෙන්.

මෙහෙම එතැන කෑම යහමින් තිබ්බත්, අපේ අතේ ඒ දවස් වල යහමින් මුදල් තිබුණේ නෑ. අපි කරන්නේ හැමෝගෙම තියෙන සල්ලි එකට එකතු කරන එක. එහෙම එකතු කරත් තොසේ හත අටකට වඩා කන්න පුළුවන් මුදලක් අපි අතේ තිබුණේ නෑ. ඉතිං අපි කැන්ටිමට ගිහින් මුලින්ම ගන්නවා තොසේ තුනක් මුදලාලිට සල්ලි ගෙවලා. මෙතනදී කිසිම පොර කෑමක් නෑ. තුන් දෙනෙක් විතර එකතු වෙලා උඩින් තියෙන තොසේ දෙකකුයි සාම්බාරු හොදි ටිකයි සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊට පස්සේ හොදි දාන්න කියලා අපේ හිතවත් මලයට දෙනවා. ඒකා තව තොසේ දෙකකුත් දාලා හොදිත් දාලා දෙනවා. මේ පාර ඉවර වෙන්නම කනවා. ආපහු තොසේ තුනකට මුදල් ගෙවනවා. දෙකක් කනවා එකක් ඉතුරු කරනවා. හොදි දානවා. අවසානයේදී අපි තොසේ පහළොවක් විතර කාලා. කොලුවාටත් රුපියල් පහක් විතර දීලා එනවා. හැබැයි මේ වැඩේ බකල් ගිය දවසුත් තියෙනවා ඒ කොල්ලා වැඩට ආවේ නැති දවස් වලට. එදාට ඉතිං තොසේ හතක් විතර කාලා  සද්ද නැතිව ඉන්නවා. අන්තිමේදී පාසලේ විනය බාර ජයසේන සර් පන්තියටම ඇවිත් එහේ යන ගමන නතර කළා.

____________________________________________

අපේ පාසලේ පහළ පන්ති වල මල්ලිලාට ෆිල්ම් එකක් බලන්න සල්ලි ඕන වුණොත් කරන්නේ කළුතර බෝධිය ගාවට ගිහින් බස් වල අය විසි කරන සල්ලි ඇහිඳින එක. ඉහළ පන්ති වල හිටිය අපිට ඒක කරන්න ටිකක් ලැජ්ජාවක් තිබුණා. ඒ කවුරුහරි ගෑණු ළමයෙක් බස් එකක ඉඳන් දැක්කොත් කියලා.

මගේ ඕලෙවල් කෘෂිකර්ම පොත් ඉල්ලපු පාසලේ කෘෂිකර්ම ගුරුතුමියට ඒවා බාරදෙන්න මම පුස්තකාලයට ගියා. වැඩ නැති වෙලාවට මිස් ඉන්නේ එතන. මගේ අතේ කළු පටිය දැකලා මිස්ලා දෙන්නට හොඳට හිනා. කෘෂිකර්ම ගුරුතුමියත් මම වගේම ඥානෝදයේ ඉඳන් මෙහෙට මාරු වෙලා ආවේ.

"මෙයා එහෙ ඉන්නකොට නම් හරිම අහිංසක ළමයා" කියලා කිව්වා. 

Sunday, October 13, 2013

සුද්දාගේ තෑග්ග ......

මගේ මතකයට අනුව ඒ එක්දහස් නවසිය අසූ තුන වසරයි. බෙන්තොට මගේ නිවසට යාබද පාසල් ක්‍රීඩාංගණයේ සෑම සති අන්තයේ දිනකම  ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අප කැමැත්තක් දැක්වූවෙමු.  තවත් එක දිනක මා පන්දුවට පහර දෙමින් සිටියදී විදේශික යුවලක් එම ස්ථානයට පැමිණ තරගය නරඹන්නට විය. අප කණ්ඩායමේ කිහිප දෙනෙකුම ඔවුන් කලින් දන්නා බව එළියේ සිදු වන ක්‍රියාවෙන් පැහැදිලි විය. මහින්ද, කුමාර සහ මිල්රෝයි ඒ අය වූහ. එකල මා දවා ගන්නට සමත් පන්දු යවන්නෝ අපගේ ප්‍රදේශයේ නොවීය. ඒ මා නොම්මර එකේ ලෑල්ලෙකු වූ නිසාය. එකල ලකුණු ගැන ඒ හැටි නිනව්වක් නොවීය. නමුත් පිත්තටම ලැබෙන ෆුල් ටොස් පන්දුවක් අපේ නිවසට යාබද නිවසේ පිටුපසට එල්ල කිරීමේ හැකියාව මට ලැබුණේ එල්ලේ ක්‍රීඩා කිරීම නිසා බව අදටත් මගේ විශ්වාසයයි. 

අපගේ යාබද නිවස පිටුපස කොටස කුඩා හබරල ගහන කැලෑවක් සහිත මඩ ගොහොරුවකි. මගේ පියාට අනුව අපගේ නිවසේ පිටුපසින් ලන්දේසි ඇළක් තිබී ඇත. දැන් එය ගොඩ වී ඇතත් එහි මඩ ගතිය තවමත් ඇත. ඉතිං මේ ක්‍රීඩාංගණයේ එක් කොටසක් මේ ඇල ගොඩ කල කොටසේ ඇත. එනිසා එහි තිබෙන වන ගහණය කඩොලාන පරිසරයක තිබෙන ගස් සහ පැළෑටි වලින් පිරී ඇත. ලුණුවිල නමැති ජලජ ශාඛයද මේ ආශ්‍රිතව යහමින් තිබුණි. එය ආයුර්වේද බෙහෙත් වට්ටෝරු වලට නැතිවම බැරි ද්‍රව්‍යයකි. වැඩි වශයෙන් හබරල වර්ගද, වෙල් ආතා සහ තවත් නොදත් බොහෝ පැළෑටි වර්ග එහි විය. නමුත් කිසිවෙක් මේ ප්‍රදේශයට පන්දුව ගියහොත් සොයන්නට කැමැත්තක් නොදක්වයි. ඒ මෙය යාබද නිවාසෙහි  කුලියට වෙසෙන ජයවර්ධන නමැති පුද්ගලයා සහ ඊට පෙර සිටි බොහෝ අයද තමන්ගේ කුණු වල ලෙස භාවිතා කිරීම නිසාය. මෙයට බෝතල් කටු විසි කර තිබීම මේ භීතිකාවට ප්‍රධාන හේතුව විය. නමුත් වමතින් පහර දෙන කෙනෙක් මෙම ප්‍රදේශයට පහර දුන් විට අපගේ කණ්ඩායමේ සිටින කොලු-කුරුට්ටන් අපූරු වචන දෙකක් කියා කෑ ගසයි. ඒ "ප්‍රීති කැලේ" යනුවෙනි. ඒ භාවිතා කරන ලද උපත් පාලන කොපුද යහමින් එහි වූ නිසාය.

එම තරගයේදී මා ක්‍රීඩා කල අකාරය ගැන පැහැදුණු බ්‍රයන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා මට ත්‍යාගයක් දෙන්නට පොරොන්දු විය. ඒ ඔහු ඊළඟ වරට පැමිණෙන විටය. මට අවශ්‍ය කුමක්දැයි ඔහු විමසා සිටියේය. එහෙත් එක වරටම මගේ සිතට කිසිවක් නො-ආවේය. මා ඔහුගේ ලිපිනය ඉල්ලා සිටියේ පසුව දන්වා එවන පොරොන්දුවටය. එවිට තම බෑගය හැර ඔහු ලිපිනය සටහන් කරන්නට සුදානම් වන විට, එහි සිටි ඔහු කලින් හඳුනන අය ඉදිරිපත් වී මගේ ලිපිය ඔවුන්ගේ කවරයේම එවන්නට ඉදිරිපත් විය. එයට හේතුව ඔවුන්ව කපා දැමීමට මට හැකි නිසා බව පසුව තේරුම් ගතිමි. අපගේ ප්‍රදේශයේ මෙසේ සංචාරකයන් වෙන් කරගෙන සිටීම සාමන්‍යයකි. එක් සුද්දෙකු හෝ කිහිප දෙනෙකුට ඔවුන් "පාටිය" යනුවෙන් ආමන්ත්‍රණය කරති. මගේ පාටිය, අපේ පාටිය යනුවෙන් එසේ වෙන් කරගත පසු වෙනත් අයට ඔවුන් සමග ගනුදෙනු කිරීමට තහනම්ය. මේවා බෙදා ගන්නට නොහැකිව ඇතිවන රණ්ඩු-සරුවල්ද බහුලව ඇත.

මම කිහිප විටක්ම මගේ සොයුරියත් සමග එකතුව ලියුම් ලියා දුන්නද, ඒවා බ්‍රයන් යුවලට ලැබෙන පාටක් නොවීය. අවසන් වශයෙන් අපගේ නිවස ඉදිරිපිට සිටින මහින්දව අල්ලාගෙන අපේ ලියුමද ඔහුගේ ලියුම සමග යවන ලෙස ඉල්ලා සිටියෙමු. කොහොමත් මහින්දට ඉංග්‍රීසි කියවීම, ලිවීම නොහැකි වූ නිසා ඔවුන්ගේ ලියුම් ලියවා ගන්නේ මුදල් ගෙවමිනි. මෙය අවස්ථාවක් කරගත් අප ඔවුන්ගේ ලියුම් නොමිලයේ ලියා දෙන්නට ඉදිරිපත් වූ විට අපගේ ලියුමද යවන්නට මහින්ද එකඟ විය. අවසානයේ බ්‍රයන් මහතාට පණිවුඩය සන්නිවේදනය කර ගන්නට අපට හැකි විය. ඔහු නැවතත් පැමිණෙන්නේ ඊළඟ වසරේ මැද හරියේ බව දැනගන්නට ලැබිණි. ඒ සඳහා තවත් බොහෝ කාලයක් තිබුණි. 

මගේ නැන්දාගේ පුතෙකු වූ විජේසේන අයියා කොළඹ ගිය විට ඔහුගේ මුලකුරු ප්ලාස්ටික් තීරුවක මුද්‍රණය කර තම ඔරලෝසුවේ අලවාගෙන තිබෙනු දැක, "ඒ කුමක්දැයි" ප්‍රශ්න කළවිට කොළඹ ගිය විට එය මුද්‍රණය කරගත් බවත්, ඒ සඳහා රුපියල් විසිපහක් වැනි මුදලක් අය කල බවත් පැවසීය. එය දුටු දිනයේ සිට ඒ පිළිබඳ උනන්දුවක් මා තුළ ඇති විය. ඉතිං බ්‍රයන් මහතාගෙන් මා ඉල්ලා සිටියේ එලෙස ප්ලාස්ටික් මත අකුරු තබන යන්ත්‍රයක් ගෙන එන ලෙසය. බ්‍රයන් මහතා නැවතත් ලංකාවට පැමිණ ඇති බව කණින් කොනින් ආරංචි විය. අනෙක් අය ඔහු හමු වී තමන්ට ගෙනා දේ රැගෙන ආවත්, අපට ඔහු හමු වීමට අවසර දෙමාපියන්ගෙන නොලැබිණ. නැවතත් කුඩා ලිපියක් සකස් කල අප එය මහින්ද අතේ එවන ලෙසත්, ඔහු අවංක පුද්ගලයෙක් බවත් සටහන් කොට මහින්ද අතේ යැවීමු. අපට සවස් කාලයේදී එම ත්‍යාගය සහිත බෑගයද, කුඩා ලිපියක්ද ලැබිණි. අක්කා ලියුම බලන අතර මම පාරසලය දිග හැර බැලුවෙමි.


පින්තූරය ගත්තේ : www.walmart.com
එහි තිබුණේ හරියටම ඉහළ පින්තූරයේ තිබෙන අකාරයේ යන්ත්‍රයකි. මගේ සතුට ඉහ වහා ගියද එය ක්‍රියාත්මක කරන අකාරයක් ගැන දැනුමක් නොවීය. ඉන්පසු ඒ සමග එන කුඩා අත්පොත බලා එයින් එක ටේප් පටියක් යන්ත්‍රයට ඇතුළත් කර ගත්තේ ප්‍රවේසමිණි. පහළ තිබෙන ලීවරය මිරිකන විට එහි අකුරු මුද්‍රණය විය. උඩ අකුරු සහ අංක තිබෙන රවුම කරකවා අපට අවශ්‍ය අකුර හෝ අංකය නියමිත තැනට ගෙන අකුරු මුද්‍රණය කල හැක. මුලින්ම මගේ සහ අක්කාගේ නම් පාට පාටින් මුද්‍රණය කර ගන්නට අප සමත් වීමු. මල්ලිලා දෙදෙනාට සහ නංගීටද කිහිපයක් මුද්‍රණය කර දුන්නෙමු. කළගුණ සැලකීමක් වශයෙන් මහින්දටද කිහිපයක්ම පාට පාටින් මුද්‍රණය කර දුනිමු. නමුත් මේ හැම වතාවකම එය ක්‍රියාත්මක කළේ මා පමණකි. එය කිසිවකුට අල්ලන්නට අවසර නොදුන්නෙමි.
පින්තූරය ගත්තේ : www.ciao.co.uk 

පින්තූරය ගත්තේ : http://graphicdesigncontextualstudies.blogspot.com
පින්තූරය ගත්තේ : http://kola.manufacturer.globalsources.com
වසර මැද වාර විභාගය ළඟ එන බැවින් එය පසෙක තබා පාඩම් කරන ලෙස අම්මා බොහෝ විට කෑ ගැසුවාය. අවසානයේ මමද පංතියේ එක,දෙක,තුන ස්ථානයක් හිමි කර ගැනීමේ අරමුණින් පාඩම් කිරීම ආරම්භ කරන ලද්දේ, සියලු පන්ති වල සිටින හොඳම අය එකතු කර සෑදු පන්තිය නිසා සෑහෙන සටනක් දීමට අවශ්‍ය නිසාය. විභාගය තිබෙන කාලය අතරතුර මා එය පාසලට රැගෙන ගොස් මගේ මිතුරන්ටද ලේබල් මුද්‍රණය කර දුන්නෙමි. එහෙත් සීමිතවය. එහි පටි අවසන් වුවහොත් එම යන්ත්‍රයෙන් පලක් නොවනු ඇත. 

දිනක් දිවා විවේකයේ අහාර රැගෙන ආපසු යනවිට අපේ පංතියේ ගුණවීර එය අතට ගෙන යහමින් වැඩය. එවෙලෙහි මට ඇති වූ කේන්තිය කොපමණද කියා දන්නේ මා පමණි. වහාම මා යන්ත්‍රය උදුරා ගත් අතර, අපේ පංතියේ චණ්ඩියා වූ ලොකු රවියා ගුණවීරගේ බෙල්ලෙන් අල්ලා ගන්නා ලදී. ඒ මේ වනවිය සියලු මිතුරු මිතුරියන්ට ලෝබ නැතිව මා ලේබල් ගසා දුන් බැවිනි. නමුත් ලොකු රවියාට තරමක් වැඩියෙනි. 
පින්තූරය ගත්තේ : 


ටික කලක් යනවිට මෙය තද කරනවිට, එහි තිබූ තද ස්ප්‍රින් වල හයිය නිසා ප්ලාටික යන්ත්‍ර කරමුලින් කැඩී ගියේය. පසුව කම්බි දෙකකින් තද කර ටේප් ටික අවසන් වනතුරු පාවිච්චි කරන ලද අතර, අන්තීමෙදී මගේ ලට්ට-ලොට්ට පෙට්ටියේ කෙළවරක් එයට උරුම විය. 

Wednesday, October 9, 2013

බොරැල්ලේ සිර කරුවෙකු වීමි III කොටස - මගේ ප්‍රථම ප්‍රේමය

මෙහි ලියා තිබූ ප්‍රථම පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ඉවත් කළෙමි. ඒ මේ වනවිටත් දන්නා කතාවේ පසුබිම යළිත් සඳහන් කිරීම අනවශ්‍ය නිසාය. මෙම සටහන ලියන්නට පටන් ගත්තේ මා බ්ලොග් ලියන්නට අවතීර්ණ වූ මුල් යුගයේය. දැන් ඒ සඳහා වෙනම ප්‍රවේශයක් ලැබී තිබේ. පසුගිය සටහනේ රණසිංහ අයියා කෙනෙකු ගැන සටහන් කළා මතක ඇතයි සිතමි. රණසිංහ අයියාගේ කඩය තිබුණේ සර්පන්ටයින් පාරට හැරෙන තැනම පාරේ දකුණු පැත්තට වන්නට ඇති කුඩා කඩපෙලියේය. එය දෙවන හෝ තුන්වන කඩය විය යුතුය. ඇත්තටම මේවා කඩ යයි කීවත්, අඩි හයේ හයේ පමණ කුඩා කාමරය. මේ කාමරය තුළ කෑම පිස පාර අයිනේම තබා ගනුදෙනුකරුවන්ට සපයා, දරුවන් හයදෙනෙකුගෙන් යුත් පවුලක් රක්ෂා කරන රණසිංහ අයියා ගැන මට තිබෙන්නේ ගෞරවය මුසු කණගාටුවකි. ඔහුගේ සහයට ඔහුගේ වැඩිමහල් පුත් නිශාන්තද එකතු වී ඇත.

මා රණසිංහ අයියා හඳුනා ගත්තේ කෙසේද ? මගේ නැන්දාගේ නිවසේ කොටසක් කුලියට දුන් කාලයක් විය.  මතකහිටින කාලයක් රණසිංහ අයියා ඇතුළු පවුල එහි  ගත කළෝය. එවකට ඔහු කුමක් කළේද යන්න මගේ මතකයේ නැතත්, බොහෝ කාලවල කාර්යාල කැන්ටින් බදු ගෙන පවත්වාගෙන යාම ඔහුගේ ජීවිකාව විය. බොරැල්ලේ මා ගෙවන සිරගතකළ ජීවිතයට රණසිංහ අයියාගේ මේ පැවැත්ම අස්වැසිල්ලකි. ඒ පසුකාලීනව උදෑසන අහාරයත්, රාත්‍රී ආහාරයත් සඳහා මා එතැන තෝරා ගැනීම නිසාය. ගමේ කෙනෙකු, දන්නා කෙනෙකු උයා දෙන කෑමක් වත් කන්නට ලැබීම භාග්‍යයක් නොවේද ? අනික නිවසින් පිට ජීවත් වන මට දන්නා කියන කෙනෙක් අහල පස් මානයේ සිටීම ශක්තියක් නොවේද ? රණසිංහ අයියා යනු ඉතා කුඩා සිරුරකට හිමිකම් කී ජීවිත් වන හැම දිනයක්ම සතුටින් ගත කළ පුද්ගලයෙකි. කොටු සරමත් මේස් බැනියමත් හැඳ, තෙල් ගා පිළිවෙළකට පැත්තට පීරූ කොණ්ඩයත් නිසා ඔහුගේ ප්‍රියමනාප බව තවත් වැඩි විය.

මා එහි යන්නේ උදෑසන හතට පමණය. උදේම නා, පිරිසිදුවත් හොඳින් ස්ත්‍රික් කර ඇඳුම් අඳින්නත් මා පටන් ගත්තේ දින කිහිපයක සිටය. මගේ මේ වෙනස බොහෝ අයට දැනී තිබිණ. ආදරයත් කැස්සත් හංගන්නට නොහැකි බව මා අසා ඇත. මේ කඩය ඉදිරිපස පාරෙන් අනික් පැත්තේ තිබෙන්නේ උස තාප්පයකි. කළු තෙල් වලින් එහි ලියූ කිසිවක්, කළු තෙල් වලින්ම වසා ඇත. ඉන් ඔබ්බේ තිබෙන්නේ කුමක්දැයි කියා නොදනිමි. එහෙත් මේ පසුබිම ඉදිරියෙන් සෑම දිනකම උදෑසන ගමන් ගන්නා සුදු පරවී රෑන නෙතට රසඳුනකි. ඔවුන් ගමන් ගන්නේ අසල ඇති රත්නාවලියට බව මා දැන ගත්තේ නිශාන්තගෙනි. රණසිංහ අයියා හදන පරිප්පු හොද්ද දැන් පැහෙමින් පවතී. තෙල් තාච්චියට කරපිංචා, රම්පෙ, සුදු ළූණු සහ රතු ළූණු දමා තෙලෙන් මලවා ගන්නා ඔහු එය පරිප්පු හොද්දට උඩින් අතුරණ දසුන ඇසට මෙන්ම නහයටද ගෙන එන්නේ මිහිරකි. තවත් මොහොතකින් මවක තම දරුවන්ට කෑම බෙදා දෙන්නාක් මෙන් මුල්ම පිඟාන මට බෙදා පිළිගන්වයි. මේ වනවිට පාන්ගෙඩි හත අටක්, පාන් කාල් කොට වට්ටියකට අතුරන්නට ඔහුගේ පුතා නිශාන්ත සමත් වී තිබේ.

උදෑසන කෑමට මා වැඩි වෙලාවක් ගන්නට කැමති නැත. ඒ ඇය එතනින් යනවිට පාන් කාලක් අතේ තබාගෙන සිටීම නොහොබිනා ක්‍රියාවක් යයි මගේ සිතට හැඟෙන නිසාය. දනී පනි ගා කෑම ගිලින මාදෙස මද සිනාවකින් බලා සිටින රණසිංහ අයියා පවසන්නේ
"අර ළමයා දැම්ම එන්නේ නෑ. හෙමිහිට කන්න"
 "ඔව් ඒගොල්ලෝ මෙතනින් යන්නේ හතයි විසි පහට" ඒ නිශාන්තය.

ඔවුන් දෙදෙනාද මා තරමටම දැන්  මේ ප්‍රේම වෘතාන්තයට පැටලී ඇත. රණසිංහ අයියා මේක කාටහරි කියයිද ? අපේ ගෙදරට ආරංචි වුණොත් ? මගේ සිතේ වැඩ කරන්නට විය. එහෙත් මේ සුකොමාල යුවතිය දකින විට මට සියල්ල අමතකව යයි.

"එයාටත් මොකක් හරි අමුත්තක් තියෙනවා. නැත්නම් මාව දැක්කම හිනා වෙන්නේ. ඒ මදිවට හැරිලා බලනවත් එක්ක"

පින්තූරය ගත්තේ : http://theglamourwhore.blogspot.com
එංගලන්තයේ ඩයනා කුමරියගේ කොණ්ඩ මෝස්තරය මේ වන විට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර තරුණියෝ අනුකරණය කර ඇත. "ඩයනා කට්" යනුවෙන් බොහෝ දෙනා අතර ප්‍රචලිත එම කොණ්ඩ මෝස්තරය ඇයද තෝරාගෙන තිබිණි. එය ඇගේ සුකොමල බව තවත් වැඩි කරන්නට හේතු වී ඇත. ඇය ඩයනා තරම් නැති වුවත් රූමත්ය. නමුත්  උසින් අඩු වූවාය. මම ඉක්මනින් කෑම අවසන් කර අත් සෝදා ගතිමි. පාරේ ඈත කෙළවර නිල් පාට ටයි පටි පැළඳි සිසුවියන් කිහිප දෙනෙක් පැමිණේ. මේ එන්නේ ඇය සහ මිතුරියන් යන විශ්වාසයෙන් දෑස් අයා බලා සිටියත්, එක්කෝ ඒ පහළ පන්තියක සිසුවියන් කිහිප දෙනෙකි. නැතිනම් ඇයට වඩා වයසින් වැඩි කිහිප දෙනෙකි. මගේ නොයිවසිලිවන්තකම ගැන මා සිතින් මටම දොස් නගා ගතිමි. මේ වෙලාවේ මා කථාවට පටලවාගන්නා නිශාන්ත, ලවක් දෙවක් නැති ප්‍රශ්න අසයි. නැතිනම් කොහේ හෝ ටයර් දමා තරුණයන් පුච්චන ලද කතාවක් පවසයි.

මා  හැරී බැලුවේ ක්‍ෂණයකිනි. ඇය මේ වනවිටත් සුපුරුදු සිනාමුසු මුහුණින් මා දෙස බල-බලා නමුත් කඩිනමින් ගමන් කරයි. ඇගේ මිතුරිය හා හඬ නගා සිනාසෙයි. මගේ කන් දෙක රත් වී යන සෙයක් දැනිණ. එහෙත් පෙරළා සිනාසුණෙමි. මගේ ප්‍රමාදය ගැන මටම පසුතැවිල්ලක් ඇති වේ. ඇය දකින නිමේෂයේ සියල්ල මොහොතකට නතර වෙතැයි මට සිතේ.

"ෂික් මේ නිශාන්තයාටත් මාව කයියට අල්ලගන්න ඕනේ වුණානේ මේ වෙලාවේම. මූ නම් මගේ හතුරෙක්. හිතලම කරාද මන්දා ?"

මට තිබෙන එකම ගැටලුව ඇය ඉතා කුඩා එකියක් වීමයි. මුලදී මා ඇය දෙස බැලුවේ පාසල් යන කුඩා ශිෂ්‍යාවක් ලෙසයි. නමුත් පසුව මා තේරුම් ගත්තේ අඩුම තරමේ ඇය නවය වසරේ වත් විය යුතු බවයි. ඕවා නං ඉති මොනවද ? සමහරු ඉන්නේ ලොකු වයස් පරතර තියෙන. අපේ අම්මයි තාත්තයිම අවුරුදු දහයක්. මොනවද මම මේ හිතන්නේ ? තවම කෙල්ල හිනා වෙනවා විතරයි. බඳින්නත් කල්පනාව. මම ඔරලෝසුව දෙස බැලුවෙමි. එහි හතයි හතළිහ සටහන් වී ඇත. මා බොහෝ වෙලාවක් කළුතෙල් ගෑ තාප්පය දිහා බලාගෙන කල්පනාවේ සිට ඇත. මා ඔළුව ගසා වටපිට බැලුවේ කවුරුන් හෝ මා දෙස බලා සිටිනවාද යන්නයි. රණසිංහ අයියාත් නිශාන්තත් යමරෙට වැඩ නිසා මා එතැනින් ගැලවුනි.

මගේ ගත මෙන්ම සිත ඉතා උණුසුම් වී ඇත. විපුල පවසන්නේ ඇය මුණගැසී කෙළින්ම මේ ගැන අසන ලෙසයි. ඒත් දෙනෝදාහක් මද ? කෙල්ල බැන්නොත් ? ගණන් නොගෙන ගියොත්, ඉස්කෝලේ ගුරුවරු දැක්කොත්, කෙල්ලගේ ගෙදර අය දැනගත්තොත් ඌට තියෙන ගට මට කොහොමත් නෑනේ. මැගසින් හෝටලේ ප්ලම්ස් ටික කන එකාට ඕවා මොනවද ? මේ කෙල්ල දකින වෙලාවටත් මගේ කකුල් ගැහෙනවා. කෙල්ල එක්ක හිනා වෙනවා කෙල්ලගේ ගෙදර කෙනෙක් දැක්කොත් කෙළින්ම බොරැල්ල කනත්තට තමයි යන්න වෙන්නේ.

උදේ ප්‍රැක්ටිකල් අවසන් කර මා කාමරයට එනවිට දහවල් දොළහ පසු වන්නට ඇත. මා ඇඳ සිටියේ මාළඟ තිබෙන හොඳම ඇඳුමයි. ඒ ලා කොළ පැහැති ටී ෂර්ට් එක සහ කළු කලිසමයි. මා ළඟ සෙන්ට් එකක් නැතත්, ආෆ්ටර් ෂේව් ටිකක් මුහුණේ සහ බෙල්ලේ දෙපැත්තේ ගා දෑත පිස දමා සුවඳ බැලීමි.

"කොල්ලා අද කොහේද යන්නේ ?" විපුලගේ ඇසූ විට.
"ම..ම.. මම අ...ද  අ..ර.. වැඩේට යන්න කියලා"
"අප්පට සිරි ගිහිං වරෙන්. මොකද උඹ බය වෙලා වගේ. ඔය ඉන්නේ නළුවා වගේ"

සැලුන් එකට නොයා එළියට යාමට ගේට්ටුවක් තිබුනත් මා අද සැලුන් එක තුළින්ම ගියේ මුහණ පොඩ්ඩක් බලා ගැනීමටයි. සැලුන් එකේ වාදනය වන ගීතය මටම කියන්නා සේ දැනේ.

දෙතොලග සිනහාආදර කැල්මෙන් නැහැවෙ
පෙම් රස අනා අමුනයි සුන්දර තාවේ 
නුවන'ග බැලුම් නිහඬව ගැයු ගී රාවේ 
මධුරස පිරී සවනත මී විත යා වේ .... 
මා කෙළින්ම කැම්බල් පාක් එක අසලින් යන ගුරු පාර දිගේ ඇදුනෙමි. විශාල රුක් ගොමු නිසාත්, හමාගෙන යන සුලන් රැල්ලත් නිසා ගතට අමුතුම ප්‍රබෝධයක් දැනේ. රත්නාවලිය ඇරී කුඩා පන්ති වල සිසුවියන් කෙමෙන් කෙමෙන් පිටතට පැමිණේ. මා අසල යකඩ වැට ළඟ නතර වී බලා සිටියෙමි. ඈතින් ඇය එනු පෙනේ. දැන් ඇය මා ළඟමයි. සුපුරුදු සිනහව, සංසාර පුරුද්දක් සේ දැනේ. මා ඇයට කිට්ටු කළෙමි. ඇය ලජ්ජාවෙන් මා දෙස බලා සිටී.

"මේ .. මේ... නංගි ම..ට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ?"
ඇය තවමත් සිනාසේ. මෙවර ඔළුව පැත්තකට ඇල කරගෙන සිටී.

"ඔයාගේ නම මොකක්ද ? "
"මම මදාරා..."
මදාරා බිම බලාගෙනම පිළිතුරැ දෙයි. මෙලෙස බොහෝ දේ දොඩමින් ඇයත් මමත් ඇවිද ගියෙමු. එක වරම

"ඉඳා උඹට ...."

මගේ පිට හරහා එල්ල වුණු පහරින් තුෂ්ණිම්භූතව වටපිට බැලීමි.

"යකෝ ... උඹ අද ක්ලාස් යන්නේ නැද්ද ? මම කවදාවත් දැකලා නෑ උඹ මේ වගේ නිදියනවා. බලපන් වෙලාව නමයයි"

විපුලගේ හඩින් මම තිගැස්සීමි. අයියෝ ඒකත් හීනයක්ද ? මම නැවතත් දෑස් පියා ගතිමි.  එහෙත් සිහිනය යළි නොපෙනේ. මගේ පපුව වේගයෙන් වැඩ කරන බව පමණක් මට දැනේ.

දැන් ඉතිං ක්ලාස් පටන් අරං ඇති. ෂික් ! අද අරයව දකින්නත් නැති වුණා. ඒ වුණාට හීනේ

මම හිතින් කියා ගතිමි.

මචං විපුල මම හීනෙන් දැක්කා අරයා මාත් එක්ක සෙට් වෙලා ඉන්නවා

යකෝ ඕකට හීන දැකලා හරි යන්නේ නෑ. උඹ තාම ඇහුවේ නැද්ද ? උඹ වගේ බය ගුල්ලෙක්. මමනං මෙලහට .....

මට බයයි බං. කවදාවත් කෙල්ලෙක්ගෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහලා නෑ

හරි. උඹට අකුරු ලියන්නත් බැරිද ? ලියපං ලියුමක්. අද මේකේ දෙකෙන් එකක් බේරගමු

මගේ සියොළඟ දැවෙන්නා සේ දැනේ.  මේකා හදන්නේ මාට ගුටිකවන්නද ?

මචං අපි තව පොඩ්ඩක් ඉවසමු. පොඩ්ඩක් විස්තර හොයාගෙන බලමු. වනාතේ කවුරුහරි අයියා කෙනෙක් ගේ දුවෙක්ද දන්නෑ

අනේ මේ ඕකේ ඉන්න අයියලා මම දන්නැද්ද ? උඹ අදම ලියන්න ඕනේ ලියුමක්. නැත්තං ආපහු ඔය ගැන කථා බෑ

හරි. හරි... මං ලියන්නම්

දවල් දහය වනවිට ලියුම ලියා අවසන් කර, නාන්නට පහළට බැස්සේ ලියුමද රැගෙනය. වැරදිලාවත් තියලා ආවොත් විපුලයා ඕකත් බලනවා. වෙනදාටත් වඩා වෙලාවක් නාගෙන, හොඳින් රැවුල කපා කාමරය වෙත එන අතරදී එලියට ඔළුව දමා පියල්

ඇයි මල්ලි අද ක්ලාස් යන්නේ නැද්ද ?”

නෑ පියල් අයියේ අද නිවාඩු

ළාකොළ පැහැති ටී-ෂර්ට් එකෙන් සහ කළුකලිසමෙන් සැරසුණු මා සිහිනයේ දුටු පරිදිම මුහුණේ ආෆ්ටර් ෂේව් එක ගෙන ගලවා අඟල් හයයි හතරේ කණ්ණාඩි කෑල්ලෙන් මුහුණ බැලීමි.

හා ... හා... ඔය ඇති දැන් වෙලාවත් ළඟයි. යමං යමං


අප දෙදෙනා පාරට බැස සර්පන්ටයින් පාර අසලට ගමන් ගතිමු. ගිනියම් වූ ගෙන්දගම් පොළොව තව මොහොතකින් ගිණි ගන්නට සුදානම් වන සෙයකි. නමුත් දෙසැම්බර් මාසය ලැබූ නිසා උදෑසන සීතලට තව-තවත් ගුලි වී නිදාගන්නටම සිතේ.  අප දෙදෙනා නැවතුණේ අපේ කාමරයට නිතර දෙවේලේ යන එන ත්‍රී වීල් කරුවකු වූ ඌරාගේ ත්‍රී රෝද රථය අසලයි. ඔහු මෙඩිකල් රිසර්ච් ඉදිරිපිට තම ත්‍රී රෝද රථය නවත්වාගෙන සිටී.

"නැගපන්"

කිසිදු ප්‍රශ්නයක් නොනගාම මා ත්‍රීවීලරයට ගොඩ වී වාඩි වුණෙමි. සවස එකයි තිහට තවත් විනාඩි දහයක් පමණ ඇත.

"කොහෙටද බං යන්නේ"

ඌරාගේ ප්‍රශ්නයට විපුල පිළිතරු දීම වෙනුවට නිහඩව මග බලා සිටී. ඌරා යනුවෙන් ඔහු අමතන්නේ ඔහුගේ තරබාරු සිරුරට වන්නට ඇත. සුදු සමක් ඇති, තරබාරු පුද්ගලයකු වූ ඔහුට කවුරුත් ඌරා කියනු මිස හරි නමකින් අමතනවා මා අසා නැත. දැන් ගැහැණු ළමෝ එකා දෙන්නා පාර පැන මේ පැත්තට එනු පෙනේ. තවමත් විපුල ඇය හඳුනන්නේ නැත. හිතට අල්ලන මුහුණක් එන පාරක් පාසා විපුල දොඩමළු වෙයි.

"මේ එන්නේ ඒකද ? මේකනම් පුතේ උඹට හරි යන එක"
විපුල තොරතෝංචියක් නැතිව කියවයි. එහෙත් මා සිටින්නේ ගිනිගොඩක් උඩය. අද මගේ ඉරණම විසඳෙන දවස වන්නට පුළුවන්. ඒ කියන්නේ මේ කෙල්ලගේ තාත්තා විසින් මා කෝටු මස් කරන දවස ළඟ බවයි.  මේ කල්පනා සහ වචන හුවමාරුව අතරේ පුරුදු රුව ඈත එනු මා නිවැරදිව වටහා ගත්තත් විපුල වැනි ගහෙන් පෙත්තෙකුට ඇය පෙන්වේම මදකට පමා කරන්නට සිතුවෙමි.

"කෝ බං ? අද නැද්ද ? ඇත්තටම ඔහොම කෙල්ලෙක් ඉන්නවද ? උඹ නිකං අපට ප්‍රෝඩාව දානවද ?"

"අඩෝ වාඩි වෙලා හිටියත් ගාන ගන්නවා"

අලි මදිවට හරක් කීවා සේ ඌරාද ඝෝෂාව අරඹා ඇත. මම ඉන්නේ දෙලොවක් අතරය. යකාගේ කම්මල සේ හැල්මේ හඬ නගන මගේ පපු කුහරය දෙන හඬ මුන් දෙදෙනාට නොඇසේ. අතෝරක් නැතිව පාරේ ගමන් කරන වාහන ගොන්න මගේ හද නගන හඬ යටපත් කරගෙනම හාත්පස වෙලා ගෙන ඇත. දැන්නම් ඒ කෙල්ල සෑහෙන දුරක් ගොස් තිබිය යුතුය. සමහරවිට ගෙදරටම.

"විපුල ඒ වගේ කෙල්ලෙක් පොඩ්ඩක් යනවා වගේ මම දැක්කා. කලබලේ නිසා හරියටම තෝර ගන්න බැරි වුණා. පොඩ්ඩක් අපි මේ පාරේ ගිහින් බලමුද ?"

"යකෝ රෙදි කෑලි දෙකක් මහා ගත්තනම් මට රුපියල් දෙසීයක් - තුන්සීයක් හොයා ගන්න තිබ්බා. මේ බලපන් ඌරා මේ වගේ එකෙක් උඹේ ජීවිතේට දැකලා තියෙනවද ?. යමං - යමං. උඹ නං ...."

විපුලයා නම් මාරයාගේ පුතෙක් විය යුතුය. මේකා යකාට වත් බය නැත. ඉතිං මාත් මොකටද බය වෙන්නේ ? ත්‍රී රෝදය හැල්මේ සර්පන්ටයින් පාර දිගේ ගමන් කරයි. තවත් ටික දුරකදී මම ඇය හා මිතුරිය සහතිකවම හඳුනා ගතිමි.

"මචං අර යන්නේ දෙන්නා"

"කොයි එකද ? කොණ්ඩේ කපපු එකද ? අනිත් එකද ?"

"කොණ්ඩේ කපපු ළමයා තමයි"

"ළමයා තමයි. දෙන්න හිතෙනවා. දැන් වත් බැහැලා කෙළින් කථා කරපං"

වේගයෙන් ගමන් ගත් ත්‍රී රෝද රථය ඇය යන ගමන් මග හරස් කොට නැවතීය. "මගේ හදවත ගැහෙන තරම් වේගයෙන් කාල් ලුවිස් මීටර් සීය දුවත්දීවත් ගැහෙනවාද ? දන්නේ නෑ". ඒ ප්‍රශ්නය මුවින් පිට නොකළේ විපුලගෙන් ලුණු-ඇඹුල් ඇතිව අහගන්නට තිබෙන බිය නිසාය. මම ත්‍රී රථයෙන් ඔළුව හරවා බලත්ම ඈ මා හඳුනා ගත්තාය. ඇගේ මුහුණ විළියෙන් රතු වනු දැක ඇති වුයේ සතුටක්ද?, බියක්ද? නැතිනම් දුකක්දැයි නොදනිමි. මම සාක්කුවෙන් ලියුම ගෙන ඇයට දිගු කළෙමි. මේ මොහොතේ ලෝකයම නිසලව අප දෙදෙනා පමණක් සිටිනවා යයි මට සිතේ. මගේ වම් අතේ මහපටෑඟිල්ල මගේ දත් අතර හිර වුයේ නිරායාසයෙනි. ඇය තවමත් නිසලව බලා හිඳී. තවත් මොහොතකින මිතුරියගේ අතින් අල්ලා ගත් ඈ ඉදිරියට දිව ගියාය. මගේ දැඩි ඉල්ලීම මත පසුපසින් එළවීම නතර කල අතර, ත්‍රී රෝද රථයේ ගාස්තුව වශයෙන් රුපියල් හතළිහක් ගෙවා දමා නැවතත් එන්නට වීමු.

මගේ ඉහිං කණින් දහදිය ගලයි. විපුලට මෙය විනෝද සමයක් වැනිය. එතැන් පටන් බොහෝ කලක් යනතුරු මා නියපොතු කෑ අකාරය ඔහු රඟ දක්වා පෙන්වයි. ඒ සිද්ධිය මතක් වන වාරයක් පාසා මගේ හිත මටම දොස් තබයි. ඒ මා ඉස්සර වුවා වැඩිද ? නැතිනම් අවශ්‍ය වෙලාවේ ක්‍රියාත්මක නොවීම නිසා එම අවස්ථාව මග හැරුණාද ? යන දෙගිඩියාවයි. නමුත් ඒ ප්‍රශ්නයට පසුදාම පිළිතුරු ලැබිණි. සෙනසුරාදවාක් වූ පසුදින මම පුරුදු පරිදි රණසිංහ අයියාගේ කඩයට බඩ ගෑවේ බඩට යමක් දා ගන්නටය. නමුත් ඉතා අනපේක්ෂිත පරිදි සුපුරුදු දසුන යලිත් මා ඉදිරියේ මැවී පෙනිණි. මම දෑස් පිසදා නැවතත් බැලුවෙමි. ෆයිල් කවරයක් පපුවට තුරුල් කරන් ඇය මා පසුකර ගමන් කරයි. ඇගේ දෙනෙත එක් වරම බිමට නැඹුරු විය. වෙනදා දකින සිනහව වෙනුවට තැතිගත් මුවත්තියකගේ ස්වරූපයක් පෙනිණ. මා ඇය නොපෙනී යනතෙක් ඒ දෙස බලා සිටියද ඇය ආපසු නොහැරී ඉදිරියටම ගමන් ගත්තාය.  මා දිගු සුසුමක් පිටකර වටපිට බැලීමි. සුපුරුදු සිනහවෙන් සිටින රණසිංහ අයියාගේ පුත් නිශාන්ත

"අද ඕ ලෙවල් විභාගේ පටන් ගන්නවා"
එකෙණෙහි මගේ සිතේ හටගත් කැළඹීම ලිහා ගන්නට සති ගණනක් දුක් විඳින්නට සිදු විය. එහෙත් නැවතත් කිසි දිනක අප දෙදෙනා ඒ මාවතේ නම් හමු නොවීය.

_____________________________________________
ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ පරිගණක පාඨමාලාව හමාර කර මද විවේකයක් ගන්නට  අප තෝරා ගත්තේ අපගේ බැචෙකු වූ නිශාන්තගේ නිවස පිහිටි අනුරාධපුර බලා ගමන් ගැනීමටය. මැයි මාසයේ අග හරියේ පාඨමාලාව හමාර වූ නිසා පොසොන් සමයේ අනුරාධපුර යාමට කතිකා කරගත් අපි නියමිත දිනයට කලින් දිනයේ වත්තල වෙසෙන වනිගසේකර ලාගේ නිවසට සේන්දු වුනෙමු. ඔවුන්ගේ මව පිළියෙලකර දුන් ආහාරද රැගෙන මරදාන දුම්රිය ස්ථානයට ගොඩ වූ අප වවුනියාව බලා යන දුම්රියට හිටි තැනින්ම ගොඩ වූයෙමු. මගේ බෑග් තඩිය රාක්කයට ඔබා වටපිට බලන කල එක් හිස් අසුනක් තිබෙනු දැක දෙවරක් නොසිතාම හිඳ ගත් අතර, අනෙක් අයට අසුන් සොයා ගැනීමට නොහැකිව ඔවුන් නැවතත් බෑග් අතට ගෙන ඉදිරියට ගමන් කරන්නට විණි. මාගේ බෑගය ගන්න යනවාත් සමග ඉදිරිපස අසුන දෙස දෑස් යොමු වුයේ නිරායාසයෙනි. ආශ්චර්යයකි. මේ මා දකින්නේ සිහිනයක්ද ? නැවතත් මද සිනා සහිත ඒ මුහුණ දැක ගන්නට මට වාසනාව උදා වී ඇත. නමුත් ඇගේ යාබද අසුනේ ගුවන් හමුදා නිලධාරියෙකි. ඒ ඇගේ පියා විය යුතුය. මට මෙහි තවත් රැඳෙන්නට අවශ්‍ය මුත්, මාගේ මිතුරන් දැනටමත් මා පසුකොට ඉදිරියට ගොස් ඇත. අර සුන්දර මුහුණ යලිත් රතු වී ඇත. දෑස් බිමට යොමා සිටින මුත් ඇගේ දෙතොල දක්වන මද සිනහව සතුට ප්‍රකාශ කිරීමක්ද ? නැතිනම් හාස්‍ය නිසා ඇති වුවක්දයි මා අදත් නොදනිමි.


ඒ වියෝගයේ වේදනාව ඔබ වෙනුවෙන් ලියන්නට ගොස් අදද මට දැනිණි.

කවදා හෝ ලියා අවසන් කරන්නට බලාපොරොත්තුවෙන් ලියන්නට පටන් ගත මෙය මුලින් නම් කර තිබුණේ "නොදොඩා මුවින් - හමු වී දෙනෙතින් : මගේ ප්‍රථම ප්‍රේමය" ලෙසය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...