Saturday, August 31, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ මරාගෙන මැරෙන ප්‍රතිපත්ති ......

ලෝක ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ඉන්දියාවේ හයිද්‍රාබාද් ලොකු කර නොගෙන තමන් උපන් රටේ කඳුකර පෙරමුණ වෙනුවෙන් ක්‍රීඩා කරන්නයි අපේ ක්‍රිකට් බලධාරීන් යෝජනා කර ඇත.ක්‍රිකට් සම්බන්ධයෙන් මේ තරම දේශ හිතෛෂී ප්‍රකාශයක් මා මීට පෙර  අසා නැත. එක්කෝ මට මතක නැත. 

පින්තූරය ගත්තේ : http://kumarsangakkara.lk
මා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලෙස නොහඳුන්වා, ලෝක ක්‍රිකට් ක්‍රීඩක ලෙස හඳුන්වන්නේ, ඔහු ලංකාවෙන් බිහි වුවද, අද ලෝකයේම ජනාදරයට පාත්‍ර, ලෝකයම ඉතා කැමැත්තෙන් බලා සිටින, කියන දෙයක් අසා සිටින ලෝක වස්තුවක් බවට පත් වී හමාර නිසාය. මේ සිද්ධිය මාලිංග මූලික කරගෙන සිදු වුවා නම්, බලධාරීන්ගේ මේ ප්‍රකාශයට අලගු තබන්නට තවත් බොහෝ දෙනෙක් එකතු කර ගන්නට හැකියාව ඇත. එහෙත් සංගක්කාර යනු ආවාට ගියාට වචන පිට නොකරන, වැදගත් මහත්මයකු ලෙස ලෝකයම පිළිගෙන ඇති, හුදෙක් පිත්තෙන් පන්දුවට පහර දෙන තවත් එක්  ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. අද ලෝකයේ ඕනෑම කණ්ඩායමක නායකයෙකුට කණ්ඩායමක් තෝරා ගන්නට කීවොත් එම කණ්ඩායමට නම් කරන වර්ගයේ ක්‍රීඩකයෙකි. ඔහුගේ වටිනාකම පිටිය තුලත්, ඉන් පිටත් මනාව ප්‍රකට කරන්නට කුමාර් සංගක්කාර සමත් වී ඇත. හැබවින්ම ඔහු සමතෙකි. 

සියලු දෙනාම පළමුවෙන් තේරුම් ගත යුතු දෙය නම් අයි.පී.එල්. සහ චැම්පියන්ස් කුසලානය යනු අයි.පී.එල්. මගින්ම සංවිධානය කරන තරගාවලීන් බවයි. චැම්පියන්ස් තරගාවලියට ඔවුන් කණ්ඩායම් තෝරා ගන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම් තුන සහ අනෙකුත් රටවල් තුල පවත්වන විස්සයි20 දේශීය තරගාවලි හරහාය(ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් තරගාවලියේ මුල් කණ්ඩායම දෙක, දකුණු අප්‍රිකාවේ රෑම් ස්ලෑම් තරගාවලියේ මුල් කණ්ඩායම් දෙක, කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් වශයෙනි). මෙම තරගාවලියට හෝ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙක් අදාලා කණ්ඩායම නියෝජනය කරනු විනා තම රට නියෝජනය නොකරයි. හේතුව මේවා රටවල් අතර තරග නොව එකී කණ්ඩායම් අතර තරග වීමයි. 

මෙම තරගාවලියට පහුගිය අවුරුද්දේ තෝරා ගැනුනේ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ජයගත් ඌව නෙක්ස්ට් කණ්ඩායමයි. එම කණ්ඩායමේ පකිස්ථානයේ උමාර් ගුල්ද, නවසීලන්තයේ ජැකොබ් ඔරම්ද  සිටි බව මතක් කල යුතුයි. මේ වසරේදී එම තරගාවලිය නොපැවැත්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය බරපැන පොම්ප කිරීමට පසුගිය වසරේ එකඟතාවන් ඇති කරගත් කණ්ඩායම හිමිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙනි. එය වෙනමම මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කලයුත්තකි. මෙවර චැම්පියන්ස් කුසලානයට කණ්ඩායමක් නම් කිරීමට අවශ්‍ය නිසාම ඉතාම චාමෙට පැවැත්වූ දේශීය විස්සයි20 තරගාවලිය දිහා අප බලා සිටියේ ඉතා අනුකම්පාවෙනි. එය හරියට සුනාමියට අසු වූ නගරයක මිනිසුන් සිහි ගන්වන ආකාරයේ එකක් විය. අයි.පී.එල් බැලු කෙනෙකුට එය නවදැලි හේනට ගිය මානසිකත්වය ඇති වීම නවතාලිය නොහැක. කොටින්ම කියනවා නම් කිසිම "ගෝ " එකක් නැත. එනමුදු ලෝකයට විවිධ වාර්තා එකතු කරමින් සිටින අපි එහිද වාර්තාවකට හිමිකම් කියයි. ඒ රටක ක්‍රිකට් බලධාරීන් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් අයි.පී.එල් වෙතින් මුදල් ලබා ගන්නා පළමු අවස්ථාව එය බැවිනි. අනෙකුත් සියලුම කණ්ඩායම් වෙනුවෙන් අදාලා කණ්ඩායම වෙත මුදල් ගෙවීම සිදු වේ. 

එවැනි දියාරු තරගාවලියකින් තෝරා ගත් කණ්ඩායම "මෙන්න අපේ චැම්පියන්ලා" යයි පම්පෝරි ගසා අයි.පී.එල් එකට පෙන්වන්නට අපේ බලධාරීන් සිතුවා වන්නට හැක. එහෙත් මෙම කණ්ඩායම එහි නියම තරගාවලියට අවතීර්ණ වීමට නම්  ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ හතරවන ස්ථානයට පත් සන්රයිසස් හයිද්‍රාබාද්, පකිස්තානයේ ෆයිසලාබාද් වුල්ව්ස්, නවසීලන්තයේ ඔටෙගෝ වොල්ට්ස් යන කණ්ඩායම් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ජය ගත යුතුය. ඒ අතින් ගත් විට සංගක්කාරට මෙම කණ්ඩායම් දෙකෙන් කොයික නියෝජනය කලත් එකය. එහෙත් මෙම කණ්ඩායම් දෙක සැසඳූවොත් වඩා ශක්තිමත් සහ වඩාත් සංවිධානාත්මක කණ්ඩායම සන්රයිසස් කන්ඩායම බව පිළිගත යුතුය. 

කණ්ඩාම් තෝරා ගැනීමේ ගැටලුව ඉදිරියට ආ පළමු වතාව මෙය නොවේ. පසුගිය වසරේ එවැනි සිද්ධියක් බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන පොලාර්ඩ්ට සහ බ්‍රාවෝට් ඇති විය. ඒ ගැන ක්‍රීක්ටර්ෆ් වෙබ් අඩවියේ පලවූ අපූරු වාර්තාවක පරිවර්ථනයක් ඇවිද්ද පය බ්ලොග් අඩවියේ පසුගිය වසරේ පල කළෙමු. එය කියවූවානම් මෙය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට පහසු වනු ඇත. අයි.පී.එල්. සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යොමු කරන්නේ අපගේ බලධාරීන්ය. එම ගිවිසුම් වලට අත්සන් තබන්නේ ක්‍රීඩකයා පමණක්ම නොවේ. පාලක මණ්ඩලය වෙනුවෙන්ද කෙනෙකු අත්සන් තබයි. ඉතිං මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ද බැදී සිටී. ඒ අනුව යම් ක්‍රීඩකයෙක් අයි.පී.එල්. කණ්ඩායම නියෝජනය නොකර තම රටේ කණ්ඩායම හෝ වෙනත් රටක කණ්ඩායමක් නියෝජනය කරයි නම් එය ගිවිසුම උල්ලංඝණය කිරීමකි. එවිට ගිවිසුම් ප්‍රකාරව නියම වන දඩ මුදලක් පෙරලා අයි.පී.එල්. වෙත ගෙවීමට ඔවුන් බැදී ඇත. 

මෙය මරාගෙන මැරීමක් ලෙස මා නම් කලේ එමගින් මුල්‍ය අලාභ සිදු වන්නේ කුමාර්ට පමණක් නොවන බැවිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයකටද සැලකිය යුතු මුදලක් අහිමේ වේ. මෙම තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතද ඩොලර් මිලියන 1.5 ක මුදලක ලැබේ(සහභාගී වන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු මුදලින් 10% ක කොමිෂන් මුදල් මගින් හා කණ්ඩායම සහභාගී කරවීමට ලැබෙන ඩොලර් මිලියන භාගයක මුදල). එයින් ඩොලර් එක් ලක්ෂ පනස් දාහක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි වේ. නමුත් සන්රයිසස් වෙතින් කුමර්ට ලැබෙන මුදලින් කොටසක් අඩු කිරීමට ඔවුන්ට හැකියාව ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයට දෙන්නට හැදුවේ, රට අමතක කර මුදල් පසුපස දුවන තත්වයක් යන ලේබලයයි. දැන් එය ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇත. රට වෙනුවෙන් සෑම අතින්ම ගරු නම්බු නාම හිමි කර ගන්නා කුමාර් වැනි ක්‍රීඩකයන් රටට සම්පතක්ය. 2011 කොලින් කවුඩ්රි දේශනයත් සමග ක්‍රිකට් ලෝකය මවිත කල කුමාර්ට, ක්‍රිකට් රන් දෙවොල ලෙස සැලකෙන එම්.සී.සී. හී ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය පවා හිමි වුණි.

මේ සිද්ධියෙන් පසු ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් වන කුමාර්, 2003 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලැබීමෙන් පසු දේශීයව තමන් වෙතට ලැබුණු සහ ඉපයූ කිසිම මුදලක් තමා නොගත් බවද, ඒවා සෙසු ක්‍රීඩකයන් අතරේ බෙදා දුන් බවද පවසා ඇත. තම ක්‍රීඩා සමාජය තමා වෙත ලබා දුන් මුදල් එහි සේවකයන්ට පරිත්‍යාග කල බවද ඔහු පවසා ඇත. එමගින් ඔහු පෙන්වන්නට උත්සාහ දරා ඇත්තේ තම වචන වලින් පමණක් නොව ක්‍රියාවෙන්ද "මුදල් පසුපස නොගිය අයෙක් බවයි". මෙවැනි දේ කිසි දිනක පවසන්නට ඔහු සිතා නොසිටින්නට ඇත. නමුත් බලධාරීන් ඔහු පත් කල අසීරුතාව නිසා මේ දේවල් හෙළි කරන්නට ඔහුට සිදු වන්නට ඇත. නියමිත දිනට ක්‍රීඩකයන්ගේ පඩි වත් ලබා නොදෙන තත්වයක එවැනි චෝදනාවක් කිරීම කෙතරම් යුක්තිසහගතද ? ඇත්ත වශයෙන්ම මුදල් උපයන්නට අවශ්‍ය නම් ඔහුට මේ වනවිටත් විවිධ රැකියා අවස්ථා ඇත.  අයි.සී.සී. ආයතනය පවා තනතුරු ලබා දෙන්නට සුදානම්ය. ක්‍රිකට් නිවේදකයෙක් වන්නට ඔහුට ඉහල හැකියාවක් ඇත.

මෙවැනි ජාතික සම්පත් නොව ලෝක සම්පත් ලෙස සැලකිය හැකි ක්‍රීඩකයන්ට පල නොකියා පලා බෙදීමෙන් ඔවුන් අකාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්වන්නට දරන උත්සාහයන්ද යන්න අපට ඇති වන සැකයයි. 

Tuesday, August 27, 2013

Facebook සඳහා වඩාත්ම ගැලපෙන් සිංහල නම ......

මගේ දියණිය ගෙදර සිටින වෙලාවකට පරිඝණකය පරිහරණය කරන්න ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එය මා සතු උපකරණයකට වඩා ඈ සතු උපකරණයක් යයි කීවොත් වඩාත් නිවැරදිය. පහුගිය කාලයේ ගමේ ගොස් සිට ඊයේ මෙහි සැපත් වූ ඈ රිසි සේ එය පරිහරණය කරන මොහොතේ මා රුපවාහිනිය දෙස දෑස් යොමා ගත්තද, බලන්නට හිතෙන කිසිම වැඩසටහනක් එහි නොවීය. මට නින්දක අවශ්‍යතාව තිබුණත්, නොනිදා සිටියේ දියණිය නිදි කරවීමේ අවශ්‍යතාව නිසයි. මා බිත්තියේ එල්ලෙන කැලැන්ඩරය දෙස දෑස් යොමු කල විට, එහි Facebook යන්න මුද්‍රණය කර තිබුනේ Face Book යනුවෙන් සන්දි කර බැවින් මගේ මුවගට සිනහා ඒම වැළක්විය නොහැකි විය. e-mail යන්න මුද්‍රණය කර තිබුනේ E-mail යනුවෙණි. 

පින්තුරය ගත්තේ : http://www.deliberatelyconsidered.com
මෙය මුද්‍රණ දෝෂයක් නිසා, ඒ තරමට ගණන් ගත යුතු දෙයක් නොවේ. නමුත් පරිඝනක ලෝකයේ සිංහලෙන් හරඹ කරනා අපි කොතෙක් ඉංග්‍රීසි වචන භාවිතා කරන්නෙමුද ? බ්ලොග් ලෝකයට මා කඩා වැටුණු මොහොතේ මට තිබූ ප්‍රධාන ගැටළුවක් වුයේ "බ්ලොග් යන්නට සිංහල තේරුමක් තිබිය නොහැකිද ?" යන්නයි. එය මා ලියූ තුන්වන ලිපියයි. මා බ්ලොග් පටන් ගන්නට ප්‍රමාද වීමට එක ප්‍රධාන හේතුවක් මේ බ්ලොග් කියන වචනයයි. එය මා ඇලුම් කල වචනයක් නොවීය. හේතුව එහි ශබ්දාර්ථයයි. අප මෙසේ ඉංග්‍රීසි වචනම භාවිතා කරන තවත් බොහොමයක් ඇත. නමුත් සමහර සිංහල වචන භාවිතා කරනවාට වඩා ඉංග්‍රීසි වචන සරල වන අවස්ථාද ඇත. හොඳම උදාහරණය බ්‍රෑන්ඩ් යන්නට සන්නම් කියන තේරුමය. 

රන්ජනාස් මගින් නිකුත් කර තිබූ අර කැලැන්ඩරය(දින දර්ශනය :D) දෙස බලාගෙන මා කල්පනා කලේ ෆේස්බුක් සඳහා ගැලපෙන සිංහල නම කුමක්ද යන්නයි. මේ වනවිට ෆෙස්බුකිය, බුකිය, මුහුණුපොත ආදී වචන භාවිතා වුවත්, ඒවා සාධාරණ නම් නොවේ යන්න මගේ විශ්වාසයයි. හේතුව බුකිය යන්න සූදුව සඳහා භාවිතා වන නමක් වන නිසාය. මෙය සමහරුන්ට එක්තරා විදියක සූදුවක් වුවද ? සමහර අයට අත්‍යාවශ්‍ය සන්නිවේදන මාර්ගයකි. මාගේ පාසල් කාලයේ මිතුරන් බොහෝ දෙනෙක් සමග ගිලිහී ගිය සබඳතා යලි ඇති කර ගත්තේ ෆේස්බූක් අඩවිය නිසාය. මුහුණු පොත යන්න එය සන්දි කර එක්වචනය බැගින් සිංහල යෝදාගානීමකි. එනිසා එයද ඉතා සාධාරණ පරිවර්තනයක් නොවේ(මගේ විශ්වාසය). 

මා දිගටම කල්පානාවේ යෙදී අවසානයේ ඒ සඳහා කදිම වචනයක් සොයා ගතිමි. යුරේකා යනුවෙන් කෑ ගසාගෙන දුවන්නට පෙර මෙය ගූගල් කර බැලීමට සිතා ගත්තත් දියණියගෙන් පරිඝනකය නිදහස් වනතුරු සවස හය පමණ වනතෙක්  බලා ඉන්නට සිදු විය. ඒ අතරවාරයේ මා කල්පනා කලේ එහි යෙදුම් කුමන ආකාරයෙන් විය යුතුද යන්නයි. මා කල්පනා කල වචන මාලාව බලන්න

facebook  - වත්පොත 
facebook friend - වත්පොත්/වත්පොතේ මිතුරා
facebook account - වත්පොත් ගිණුම 
facebook status - වත්පොත් ප්‍රකාශය
facebook group - වත්පොත් සමූහය
facebook page - වත්පොත් අඩවිය
facebook profile - පැටිකිරිය

අවසානයේ මා ගූගල් කල පසු එය අලුත් දෙයක් නොවන බව වැටහිණි. ඒ වනවිට බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් එම වචනයක් භාවිතා කර තිබීම සතුටට කරුණකි. ඒ 


Rear Gate බ්ලොග් අඩවියේ ඇනෝවකු (2012 සැප්තැම්බර්)

සුදු, කළු සහ අළු  බ්ලොග් අඩවියේ කතෘ වරයා විසින්ම (2011 ජනවාරි)

මිදුණු හදවත (2013 ජුනි) 

තහනම් වචන (2013 අගෝස්තු) යන බ්ලොග් අඩවි වල සහ 

දිනමිණ  (2013 අගෝස්තු)

දිවයින (2012 අගෝස්තු) 

සිළුමිණ (2013 මාර්තු)

තවත් බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි බොහොමයක් තිබුනත් ලයිස්තුවේ මුලට ආ කිහිපයක් සඳහන් කර ඇත. නමුත් එය තවමත් ජනප්‍රිය හා ප්‍රචලිත වචනය නොවන බව පැහැදිලිය. 

Sunday, August 25, 2013

ඉදිරියේදී විනිශ්චයකරු වෙනුවට රිටක් හිටවයිද ?

කාලෙකින් ක්‍රිකට් ගැන කුමක් හෝ ලියන්නට නොහැකි විය. ඇවිද්ද පය කියවන  පාඨකයන් බොහෝ දෙනෙක් ක්‍රිකට් ගැන වැඩි උනන්දුවක් නැති බව දනිමි. එහෙත් ක්‍රිකට් ගැන නොහිතනනා මොහොතක් මගේ ජීවිතයේ තිබී නොමැත. ඒ තරමට ක්‍රිකට් සමග සමීප සබඳතාවක් මට ඇත. මගේ ක්‍රිකට් පිස්සුව කෙතරම්ද කියනවා නම්, ඊයේ උදෑසන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සජීවීව නරඹමින් සිටින අතරතුර මා කුඩා නින්දකට වැටී, සිහිනෙන් එම තරගාවලිය ක්‍රීඩාංගණයේ නරඹමින් සිටිනු දුටුවෙමි. 

අද මෙම සටහන තබන්නේ එම තරගාවලියේ අවසන් තරගය නරඹන අතරතුරය. එක් අතකින් මෙම තරගාවලිය ලංකාවේ අපට වැදගත්ය. හේතුව මෙම අවසන් පූර්ව තරග දෙකම ජයග්‍රහණය කරා මෙහෙයවූයේ අපේ ක්‍රීඩකයන් දෙදෙනක් වීමය. එක් අවසන් පුරවා  තරගයක දිල්ෂාන් තරගයේ වීරයා වූ අතර, අනෙක් තරගයේ වීරයා වූයේ සංගක්කාරය. දිල්ෂාන්ගේ කණ්ඩායමේ මාලිංගද, සංගක්කාරගේ කණ්ඩායමේ මුරලිද ක්‍රීඩා කිරීම, මෙම තරග නැරඹීමට අප පොළඹවන තවත් හේතූන්ය.

මට විවිධ අවස්ථා වල නොයෙක් අදහස් පහල වේ. බොහෝ විට ඒවා නව නිර්මාණයන් බවට පත් කල හැකි ඒවාය. ඔබටද එවැනි අදහස් පහල වී තිබෙන්නට පුළුවන්. මා එලෙසෙ සිතු බොහෝ දේ සති ගණනකින් හෝ මාස ගණනකින් අදාලා සමාගම් නිර්මාණය කර තිබෙන දැකීම පුදුමයට කරුණකි. එහෙත් ඔබට තිබෙන නිර්මාණ අදහස් ඔබ යතාර්ථයක් බවට පත් නොකළහොත්, ඒ අදහස පහල වන වෙනත් කෙනෙකු එසේ කරනු ඇත. 

මා එලෙස සිතූ තවත් දෙයක් දැන් යතාර්ථයක් බවට පත් වෙමින් තිබේ. නමුත් මා සිතූ ආකාරයට මදක් වෙනස්ව එය නිමවා ඇත. මෙම නව නිර්මාණය කුමන නමකින් හඳුන්වනවාදයි මා නොදනිමි. මුලින්ම මගේ අදහස ඉදිරිපත් කරන්නම්. මගේ නිර්මාණය මා නම් කිරීමට සිතා සිටියේ තර්ඩ් අයි(Third Eye) නමිනි. එනම් විනිසුරු පළඳින කූලින් වර්ගයේ කන්නාඩියක්, හෝ අව් කන්නාඩියකට සවි කල හැකි කුඩා කැමරාවකි. 


තර්ඩ් අයි අදහස ඉදිරිපත් කලේ නම්, විනිසුරුවන් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මගින් එම තීරණය ලබා දීමට මා යෝජනා කරනු ඇත. එවිට එක අයෙක් වැරදි තීරණයක් ලබා දුන්නත් තවත් දෙදෙනෙකුගෙන එය නිවැරදිව ලැබෙනු ඇත. 

එසේ සවිකරන කැමරාවක් මගින් විනිසුරු දකින මට්ටමට බොහෝ සෙයින් සමාන දසුනක් ලබා ගත හැක. එම දසුන් යොදාගෙන තෙවන විනිසුරුට තීරණ දීමට පහසු වනු ඇත. නමුත් විනිශ්චකයරු දකින දසුනට සමාන දසුනක් පමණක් එය ලබා දේ. උදාහරණයකට විකට්ටුව දෙස බලා සිටිය යුතු මොහොතක ඔහු ඉවත බැලූයේ නම් එම කැප් වීව් කැමරාව ලබා දෙන්නේද එවැනිම දසුනකි. නමුත් එය නොවෙනස්ව තැබීමට නම් එය විනිසුරුගේ ස්ථානයේ සවිකළ හැකි රිටක් හෝ බටයක් විය යුතුය. එවිට පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හෝ පන්දුව එහි නොගැටුනහොත් එය පැහැදිලි දසුන් ලබා දේ. නමුත් ඕවරයකට පසු අන්තය මාරු වනවිට එය අනෙක් අන්තයට රැගෙන යාමද සිදු කල යුතුය. අද මෙය ඔබට විහිළුවක් මෙන් පෙනුනද අනාගතයේදී මෙය සිදුවීමට බොහෝ ඉඩකඩ ඇත. 






මෙමගින විනිසුරුවන්ට සපයන පහසුකම් බොහෝ ඇත. ක්‍රීඩාංගණය මැදදී ඇතිවන පීඩනය, ප්‍රේක්ෂකයන්ගේ නාදය මගින් සිදුවන බාදාවල් මගහරවා, සීතල එමෙන්ම පිටත නාදයන් ඇතුලතට නොඑන(Sound Proof) කාමරයක සිට තීරණය ලබා දිය හැක. එවිට බොහෝවිට වඩාත් නිවැරදි තීරණය ලැබෙනු ඇත.

පෙර පැවති ලෙස කිසිදු තාක්ෂණික සහයක් නොමැතිව තරග කෙරෙනවාට කැමති බොහෝ දෙනෙක් ඇත. ඇත්තටම පෙර වාර්තා සියල්ල තාක්ෂණය අවම කාලයක තැබූ ඒවාය. එනිසා එම අද තැබෙන වාර්තාවන් වඩා නිවැරදි සහ අපහසු ඒවා වේ. තාක්ෂණයේ හොඳ පැති මෙන්ම නරක පැතිද බොහොමයක් ඇත. ඕනෑවට වඩා තාක්ෂණික වීමෙන් තරගයේ රිද්මයට බාදා සිදු වන බව බොහෝ දෙනා පිළිගන්නා මතයයි. නමුත් මීළඟ පාපන්දු ලෝක කුසලානයේදී තාක්ෂනය යොදා ගැනීමට FIFA තීරණය කරන්නේ වඩාත් සාධාරණව තරගය සිදුවීමට එය පිටිවහලක් වන බැවිණි.

Wednesday, August 21, 2013

සිරියලතා ...... සිරියලතා ......

ලංකාවට මොකක් ආවත් ඒක කෑලි යන්න පට්ට ගහන එක අපේ තරුණ පරම්පරාවේ සිරිත. මගේ මුල්ම මතකය තියෙන්නේ ඩිස්කෝ, ඊට පස්සේ බ්රේක් ඩාන්ස්, යෝ - යෝ. ආයි ඉතිං වසංගත ගානට ගිය ඒවා තමයි. තව දාහක් දේවල් තියෙනවා. මොනවා ආවත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා යන්න ගතවෙන්නේ දවස් කිහිපයයි. ෆේස්බුක් එකත් ඒ වගේ පැතිරිලා බිමට වැටෙන්නේ නැතිව එක වගේ නැගලා යන අලුත්ම වසංගතේ. බොරු කියන්න ඕනේ නෑ මේ මමත් ඕකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. 

ඒ වගේම මොනවා ආවත්, ඒක දෙකේ කොලේට වට්ටන්න අපේ අයට ගත වෙන්නෙත් සුළු කාලයයි. දැන් ඒ වගේ නැති වෙන්නම නැගල යන සීන් එකක් තමයි ෆොටෝ කමෙන්ට්. "ආඩම්බරයි පුතේ", "අම්මප කියහන්කෝ", "කුමක්ද ඔබ පවසන්නේ" මේ වගේ නැගලා යන (මට) ෆොටෝ කමෙන්ට්. ෆේස්බුක් එකේ ගෘප් හැදිල්ලත් එච්චරයි. නිර්මාණශීලී ඒවා ගොඩක් අතරේ කොප්ප ගහන එවුනුත් නැත්තේම නෑ. මුලින්ම කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය ආවා. පස්සේ කජු කියන එකට ආදේශක කීයක් නම් ආවාද ? එතකොට තමයි අර මම ටික කාලෙකට කලින් ලියපු, තරුණයා පත්තරෙත් ඵල වෙච්ච තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය ලොල් කතාව  සිහියට එන්නේ. මේ වගේ තව ටිකක් නිර්මාණශීලී ග්රූප් එකක් තමයි සිරියලතා. කවුරුත් පාවිච්චි කරන්නේ නැති නමක් ඒ අය යොදාගෙන තියෙන්නේ. 

සිරියලතා කිව්වහම මට නිතරම හිනා යන කතන්දරයක් මතක් වෙනවා. මේක වෙලා බොහොම කාලයක් වුණත්, සිද්දිය මට අද වගේ මතකයි. අපේ ගමෙන් ගෙදර ඉස්සරහම ගෙවල් තුන හතරක් එකටෙක යාබදව තියෙනවා. හරියට නගරයක කඩ සාප්පු පේලියක් සිහි ගන්වමින්. වත්ත මැදට වෙන්න ගේ ගානේ තිබ්බ ඒ කාලේ අපිට මේක හරි මැජික් වගේ දෙයක්. මේ ගෙවල් වලින් දෙවෙනි ගෙදර හිටියේ බොහොම අහිංසක පිරිමියෙක්, යකඩ හයියක් තියෙන ගැහැණියෙක් සහ හදා ගත්ත දරුවෙක්. අර අහිංසක මනුස්සය වැඩ කරේ අලුත්ගම නගරයේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ. නිතරම හිස නවලා අහිංසක හිනාවක් පාන මනුස්සයා. අර කාන්තාව වගේ චරිතයක් මම දැකලා තියෙන්නේ චිත්‍රපටි වල විතරයි.

Photo Credit : http://www.flickr.com/photos/humanityashore/
උදේ හතරට විතර ඇහැරෙනවා, අනුන්ගේ වතු වල වැටිලා තියෙන පොල් අතු දහයක් පහළොවක් අහුලාගෙන කෙලින්ම ගඟට යනවා. පොල් අතු ටික ගඟේ තෙමෙන්න දාලා කඹයකින් ගැට ගහලා, ඊලගට යන්නේ අපේ නැන්දලාගේ වත්තට. ඒ රෑ තිස්සේ වැටෙන දිවුල් ඇහිඳින්න. එහෙම නැති කාලෙට පාරේ වලවල් වල ගැලවිලා තියෙන කළුගල් ඇහිඳීනවා. මෙහෙම එකතු කරපු ගල් වලින් තමයි ඒ ගෙදරම බිමට සිමෙන්ති දාන්න අවශ්‍ය ගල් එකතු කරේ. පිලිගන්නත් අපහසුයි නේද ? ගෙදර එක පොල් ගහක් නැති වුණාට පොල් අතු දෙසීයක් විතර මාසෙකට විකුණනවා. ගෙදර තියෙන පුංචි කඩේ ආදායමෙන් ඒ ගෙදර හැම වරිච්චි බිත්තියක්ම කඩලා සිමෙන්තියෙන් හැදුවා. අවසානයේ වහලත් පිළිසකර කළා. අර ප්‍රියංකර කොලුවාගේ වාසනාව කියලා තමයි ගමේ හැමෝම කිව්වේ. නමුත් ඇත්ත කතාව, අර යකඩ ගැහැනියගේ අප්‍රතිහත දහිරිය.  අන්තිමට ගමේ ඉන්න පෝසත්ම අය වෙන්නත් මේ කාන්තාවගේ දහිරිය හේතුවක් වුණා. 

විවිධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තරගයට වගේ අරගන්නත් මේ අය පසුබට වුණේ නෑ. ගමේ අයට පොලියට මුදල් දීමත්, සීට්ටු ආරම්භ කිරීමත් මේ කාන්තාවගේ ඊළඟ ව්‍යාපාරික අංශ වුණා. නමුත් මේ කාන්තාවගේ නරක පුරුදු කිහිපයකුත් තිබුණා. ඒ අර අහිංසකයා ගෙදර නැති අවස්ථා වල ගමේ තරුණයන් සමග හාද පවත්වපු එක. ඒකට අහිංසක සැමියා සිරිල්ගේත් වැඩි විරුද්දත්වයක් තිබුණ පාටක් නෑ. එහෙම හිතෙන්න එක  හේතුවක් තමයි කට ගොන්නක් බීගෙන එන සිරිල්ගේ  අයියා වෙච්ච පියදාස(අපේ තාත්තාගේ පොතේ එන චරිතයක්) එතන නිතරම කරන ගෝරනාඩුවේදී අඩු වැඩි වශයෙන් මේ නම් කිහිපයක් කියවීම. නමුත් ඔහු ආපු වෙලාවට සිරිල්, ලතා හෝ සිරිල්ගේ මව එලියට එන්නේ නෑ. අපේ තාත්තා කියන විදියට සිරිල්ට මේ ගේ ලියා දී පියදාස පාරට බැස්සවීම තමයි මේකට හේතුව. පියදාස සේවය කරේ නගරසභාවේ. ඉතිං මේ වගේ හැසිරීමක් අර නැගී එන ව්‍යාපාරික යුවලට දරා ගන්න ටිකක් අමාරු වුණා. ඒත් කිසිමදාක ඔහුට විරුද්දව ක්‍රියා කරන්න ඔවුන් ඉදිරිපත් වුණේ නෑ. 

පියදාසගේ හිතේ වැඩිපුරම වේදනා දුන්න කාරණේ එලියට ආවේ පොඩ්ඩක් සප්පායක් වෙච්ච වෙලාවට. ඔහු ඒ නිවසට කිට්ටු කරන විට ගායනා කරන එකම එක සින්දුවක් තිබුණා. ඒ මිල්ටන් මලල්ලවාරච්ච් ගායනා කරන 

සමාව දෙනු මැන - සමාව දෙනු මැන වරදක් වූවානම්
ගීතය. ඒ කාලේ මේ ගීතය අසා නොතිබුන අපි හිතුවේ මෙය මව් ගුණ ගීතයක් කියලා.  පියදාසගේ වැඩ-කිඩ වෙනම ලියන්න වටිනවා. පියදාස සොහොනේ කොටසක අටවගත්ත පැල් කොටයක තමයි ජීවත් වුණේ. පොඩි කාලේ මම ආසම චරිතයක්. ගමේ ඕනෑම මල ගෙදරක, මගුල් ගෙදරක ස්වේච්චාවෙන් වැඩ කරන්නේ. 

ඉතිං අර ගෙදරට ගෙනාපු ඉලෙක්ට්‍රික් භාණ්ඩ අතරේ නැගලම යන එක වුණේ කැසට් රෙකොර්ඩර් එක. හේතුව තමයි මෙහා පැත්තේ ගෙදරත් එක්ක තරගෙට කැසට් වාදනය කරපු එක. අපිටත් ඉතිං මාර චාන්ස් එක. මල්වත්ත පාරේ ගියා වගේ. දවසක් ප්‍රියංකර, ඒ කියන්නේ මේ යුවලගේ පුත්‍රයා ඇන්ටන් ජෝන්ස්ගේ කැසට් පටයක් වාදනය කර එහි යන ගීතයකට මහ හයියෙන් අත්වැල් අල්ලාගෙන ඉන්නකොට, එතනින් බයිසිකලයක් පදවාගෙන ආවා කට කැඩිච්ච කොල්ලෙක්. 

ප්‍රියංකර : පොළොන්නරුවේ පොඩි විජේ ....

බයිස්කල්කරු : බොලැ අම්මගේ පොඩි විජේ ..

කියමින් මුළු ප්‍රදේශයම හින්ස්වමින් පලා ගියා. ලපටි කොලු පැටියකු වූ ප්‍රියංකරට මේකේ හයක් හතරක් නොතේරී "අම්මේ" කියාගෙන ගෙට දිව්වත්, අහල පහල අය සිනහා උපදවා ගත්තේ අර කාන්තාවගේ රහස් සබඳතා ගැන දන්නා නිසා. 

ප්‍රියංකරත් මගේ ලොකු මල්ලීත් එකම පන්තියක අධ්‍යාපනය කරපු නිසා, මල්ලී නිතරම ප්‍රියංකරගේ කතාවල් ගෙදර ඇවිත් කියනවා. මෙහෙම එක දවසක් ලජ්ජාවෙන් මුහුණ රතුකරන් ආව මල්ලි නියම කතාවක් දිග ඇරියා.

මේගොල්ලෝ ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා - ටීචර්ලා ඒ වුනාට සිංදුවක් වත් නෑ. බලන්න ඕනේ ප්‍රියංකරලගේ අම්මලා-තාත්තලා ගැන සිංදුවකුත් තියෙනවා. ඒගොල්ලෝ පොඩි පොඩි වැඩ කරාට, අලුත් කැසට් එහෙක ඒ දෙන්නා ගැන සිංදුවක් යනවලු.
හරි දැන් මොකක්ද සිංදුව ? ඒගොල්ලෝ ඔය මහා හයියෙන් දාගෙන ඉන්න සිංදු ඔක්කොම මගේ කාමරේට ඇහෙනවනේ. මම නොදන්නා එකක් වෙන්න බෑ.
වෙන මොකක්ද ඉතිං සිරිල්-ලතා... සිරිල්-ලතා.... සිරිල්-ලතා ...
මේක අහලා මට හිනාව නවත්තගන්න පැය කාලක් විතර ගියා. අන්තිමට අපේ අම්මගේ සැර කිරිල්ලට තමයි මම හිනාව නවත්තලා කතාව කිව්වේ. මොකක්ද දන්නවද සිංදුව 
සිරියලතා - සිරියලතා මගේ සිත ගත් සුදු කෙල්ලේ ...
මගේ පෙම් ලොව එලිය කලේ ...
ඔබේ පෙම් සිනාවයි - ඔබේ සිනාවයි  
 ලස්සන වීඩියෝ එකක් තියෙනවා යූ ටියුබ් එකේ. බැලුවට පාඩු නෑ.

______________________________________________
මේක මුලින්ම ලොල් කතාවකට ලියාගෙන ගියේ පස්සේ ඔන්න ඔහේ සිරියලතා කළා.

Monday, August 19, 2013

ගනුදෙනුකරුගෙන් කොමිෂන් අය කිරීම සාධාරණද ?

අද දින බ්ලොග් පොස්ට් එකක් දැමිය යුතු වුවත් ඒ සඳහා කිසිම හැකියාවක් නොමැති නිසා මේ දක්වා පරිගණකයෙන් ඈත වී සිටියෙමි. හේතුව මගේ දකුණු ඇහැ වසාගෙන තිබෙන නගනයයි. එය ඉදිමී ඇස ඇර ගන්නට බැරි තත්වයේ ඉඳන් බ්ලොග් පොස්ට් එකක් දැමීම කොතරම් ඥානාන්විත ක්‍රියාවක්දැයි ඔබට වැටහෙනු ඇත. මීට පෙර කිහිප වතාවක් නගන ඇවිත් තිබුණත් මෙවර නම් ඉතා භයානක තත්වයක් යයි මට සිතේ. ඒත් මතක් වූ වෙලාවට නොලිව්වොත් නැවත එය ලියන්නට සිත් නොවේ. එහෙනම් අපි මාතෘකාවට බහිමු. මේ දවස් වල බ්ලොග් කියවන්න අවස්ථාවක් නොගන්නේ අසනීප තත්වය නිසාය. ඒ ගැන අහිතක් නොසිතන්න.
පින්තුරය ගත්තේ : http://www.rankia.com

අද උදේ මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්, අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මගෙන් විමසා සිටියේ 

"ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න ගියාම කඩේ අය කියනවා, HNB මැෂින් එකක් තියෙන නිසා අපේ කාඩ් වලට 3%ක කොමිෂන් එක අපෙන් ගන්න කියලා HNB එක කියලා තියෙනවා කියලා"

ඉතිං මේ වගේ අවස්ථා වලට ඔබ මෙන්ම මමත් අනන්තව මුහුණ දී තිබෙනවා. මගේ දියණිය අධ්‍යාපනය ලබන රෝයල් ඉන්ස්ටිටියුට් එක පවා මේ බොරුව අපට පවසනවා. යුනිටි ප්ලාසාහී තිබෙන පරිගණක කඩද  ගනුදෙනුකරුගෙන් කිසිදු කැතක් නැතිව එම මුදල අය කර ගනී.ඒ නිසා මෙහි නිවැරදි තත්වය කුමක්ද කියා අප දැනුවත් විය යුතුයි.

කාඩ් පතකින් වන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ගෙන් කොමිෂන් මුදලක් කාඩ් මධ්‍යස්ථානය අය කරන්නේ, මුදල් අතේ නැති වුවත් ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවන්නට ගනුදෙනුකරු පෙළඹෙන්නේ, වෙළෙන්දා කාඩ් වලින් ගෙවීම ලබා ගැනීමට සුදානම් නිසාය. ඇත්තටම එය සත්‍යකි. මුදල් නැතිවුවත් ඔබ ළඟ කාඩ් පතක් ඇතිනම් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීමට ඔබ ඉදිරිපත් වන්නේ එම ස්ථානය කාඩ් භාර ගන්නේ නම් පමණකි.

මේ කොමිෂන් වල ප්‍රතිශතය 1% සිට 5% දක්වා අගයන් ගනී. එය තීරණය වන්නේ ඔවුන් කරන වෙළඳාම මතය. බොහෝවිට අධ්‍යාපන ආයතන වලට ඉතා අඩු අගයක් අය කිරීමට යන්ත්‍ර නිකුත් කරන  ආයතන ක්‍රියා කරයි. නමුත් වෙළෙන්දා ගනුදෙනු කරුගෙන් අය කරන්නේ 3% සාමාන්‍ය අගයය. ඔවුන් එතන ලාබයක් ලබා ගන්නා අවස්ථාද තිබේ.  එය ගනුදෙනු කරු මත පැටවීම සම්පූර්ණ අසාධාරණ, අවස්ථාවාදී ක්‍රියාවකි. මෙවැනි වෙළෙන්දන් ගැන මට කීමට ඇත්තේ ඔවුන් වෙළඳාම ගැන හයක් හතරක් නොදන්නා පිරිසක් බවයි.

වෙළෙන්දාට හිමි මුදල දවසකින් හෝ දෙකකින් ලබා දීමට කටයුතු කර තිබියදීත් එවැනි ක්‍රියා කරන්නන් කෙතරම් අවස්තාවදීදැයි ඔබට දැන් වැටහෙනු ඇත. නමුත් 90% කඩ-සාප්පු සහ ආයතන මෙම වාසිය පසුපස යන්නේ නැත. මෙවැනි ආයතන අදාළ කාඩ් මධ්‍යස්ථානයට වාර්තා කිරීම ගනුදෙනු කරුවන් වශයෙන් ඔබට සහ මට කල හැකි හොඳම දෙයයි. ඔබ ගන්නට යන භාණ්ඩය අත්‍යවශ්‍ය නම් එම මුදල ගෙවා ලබා ගන්න. ඉන්පසු කුමන ආයතනයේ යන්ත්‍රයක්දැයි සැක හැර දැන ගන්න. පසුව එම ආයතනය අමතා එම තත්වය වාර්තා කරන්න. 

යන්ත්‍ර ලබා ගන්නට පොරොත්තු ලේඛන වල  වෙළෙන්දන් සිටිනා තත්වයක, මෙවැනි අවස්ථාවාදීන් සොයා ගැනීමට ක්‍රෙඩිට් කාඩ් ආයතන සහ යන්ත්‍ර ලබාදෙන වෙනත් ආයතන(ග්ලෝබල් පේමන්ට් වැනි) වලට කරන සහයකි. එවැනි අවස්ථාවක වෙළෙන්දා ඉදිරියේම එය කළහැකි මුත් කළහ ඇති කර ගැනීම නුවනට හුරු නොවන්නේ, සමහර වෙළෙන්දන් වෙසින් පෙනී සිටින්නේ පාතාලයේ නායකයන්ද විය හැකි නිසාය. 

Friday, August 16, 2013

ක්‍රෙඩිට් කාඩ් වල තියෙන CVC / CVV / CVV2 මොනවාද ? මොනවටද ?

අද කාලේ රැකියාවක්, ව්‍යාපාරයක් කරන බොහෝ දෙනෙක් අතේ තියෙනවා අනිවාර්ය මෙවලමක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන ඕනෑම කෙනෙක් ගාව කාඩ් දෙකක් වත් තියෙනවා කියන එක තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න විද්වතුන්ගේ පිළිගැනීම. ඉතිං තියෙනවා වගේම තමයි පාවිච්චියත්. විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතාව. 2005 ඉඳලා 2010 දක්වා අන්තර්ජාල භාවිතාවට සාපේෂව පහුගිය අවුරුදු දෙකහමාර තුල ඉතාමත් ඉහල ගිහිං. ප්‍රධාන හේතුව තමයි ඊ-බේ ආකෘතියේ ඊ-වෙළඳාම් කරන වෙබ් අඩවි. 

අන්තර්ජාල ගනුදෙනු වලදී වංචා(Fraud) සහ අවභාවිතාවන්(misuse) වැඩි නිසාම ඇති වෙන ගැටලුත් වැඩියි. ඕනෑම කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පතේ අංකය තුන්වෙනි පාර්ශවයකට දැන ගන්න තියෙන ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. මාසිකව ඔබේ නිවසට ලැබෙන ප්‍රකාශනයෙන් වුනත් මේ අංකය පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඔබ කාඩ් පත භාවිතා කරමින් ගනු දෙනු කල රිසිට් පත්‍රය, ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගත් විට දෙනු ලබන මුද්‍රිතයේ මේවා දකින්න පුළුවන්. හැබැයි දැන් සම්පූර්ණ කාඩ් අංකය ඉහතින් දක්වපු රිසිට් පත්‍ර වල සටහන් වෙන්නේ නෑ. ඒක වෙනමම මාතෘකාවක් ඔස්සේ කථා කරන්න ඕනේ මාතෘකාවක්. ඊට අමතරව ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතා කරමින්, සන්නිවේදන සබඳතා වලට සම්බන්ධ වීමෙන් කාඩ් අංක උකහා ගත්තු අවස්ථා එමටයි. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන විටදී විවිධ උපක්‍රම යොදමින් කාඩ් අංක සොරා ගන්නා අවස්ථාත් එමටයි. 

ගනුදෙනුකරුවෙක් අන්තර්ජාලය ඉදිරියේ ඉඳගෙන භාවිතා කරන්නේ නියම කාඩ්පතද කියල දැන ගන්න තමයි සීවීසී (CVC) අංකය කරලියට එන්නේ. CVC කියන්නේ Card Verfication Code සමහර අවස්ථා වල මේක CSC - Card Security Code විදියටත් ආමන්ත්‍රණය කරනවා. මාස්ටර්කාඩ් ආයතනය තමයි මේක මුලින්ම භාවිතා කලේ, ඒ 1997 දී. වීසා ආයතනය එය භාවිතා කරන්නේ 2001 දී. අපි මේ CVC, CVV, CVV2 ගැන කථා කලාට, බොහෝ දෙනෙක් ළඟ කාඩ් පත් තිබුණාට, මේ අංකය සටහන් වෙලා තියෙන්නේ කොහේද කියලා බොහෝ දෙනෙක්ට අවුබෝධයක් නෑ. මම එහෙම කියන්නේ අන්තර්ජාල ගනුදෙනු අතරමැද්දේ ඉඳගෙන මේ අංකය හොයා ගන්න ලැබෙන ඇමතුම් නිසා. හරි අපි මේක පින්තූරයකින්ම බලා ගමු. 


පින්තූරය ගත්තේ : www.iweb2cell.com
වීසා හා මාස්ටර් ආයතන මේක මුද්‍රණය(engrave) කරන්නේ කාඩ්පත පිටුපස. ඇමෙරිකන් එක්ස්ප්‍රස් ආයතනය මේක ඉදිරිපසම මුද්‍රණය කරනවා. මෙතන අමෙක්ස් ආයතනය පොඩි ප්‍රයෝගයක් කරනවා. ඔවුන් කාඩ්පත පිටුපස වීසා හා මාස්ටර් ආයතන මුද්‍රණය කරන තැනම ඉලක්කම් තුනේ අංකයක් මුද්‍රණය කර තිබෙනවා. නමුත් නිවැරදි අංකය ඉදිරිපස තිබෙන ඉලක්කම් හතරකින් යුත් අංකයයි. 

වර්තමානයේ ඔබේ කාඩ්පතේ පිටුපස තිබෙන අංකය CVV2 වශයෙන් හඳුන්වනවා. මෙහිදී පෙර පැවති CVV අගය හා මෙහි ඇති එකම වෙනස නම් මෙම CVV2 අංකය අනුමාන කිරීමට අපහසු එකක් වීමයි. එහෙම කියන්නේ මේ ආයතන දෙකමයි. එය දෙවන පරම්පරාවේ (2nd Generation) අංකයක් ලෙසයි හඳුන්වන්නේ. එහෙත් ඉලක්කම් තුනක, අහඹු ලෙස තෝරාගත් අංකයක් අනුමාන කිරීම අපහසු වුවද, මතක තබා ගැනීමේ කිසි ගැටළුවක් නැත. අද දින ඔබට මෙන්ම මටද තිබෙන ගැටලුව එයයි. 

මෙම අංක සහ රහස් අංක කිසිදු විටෙක පටලවා නොගෙන භාවිතා කිරීම ඉතා වැදගත්. දුරකථනය මගින් ඔබේ කාඩ් අංකය සහ CVC අංකය ලබා දුන්නත්, රහස් අංකය කිසිවෙකුට හෙළි නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි. 

Wednesday, August 14, 2013

ලොල්ද මන්දා අංක 8 : ප්‍රමෝෂන් නැතිව පෙන්ෂන් ගිය ආතර් ......

අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රමෝෂන් පිලිබඳ ප්‍රශ්නයක් තිබුණ කාලෙක බොහෝ දෙනා අසහනයට පත් වෙලා හිටියා. එහෙම ඉන්න කාලෙක අර "වැඩ කරමින් සිනාසෙන්න" කියන වාක්‍ය කිහිපය කඩදාසියක ලියාගෙන රෝස පාට ප්ලැටිග්නම් එකකින් වටේට ඉරි ගහලා දැන්වීම් පුවරුවේ ගෙනත් ගැහුවේ ලෙස්ලි. ලෙස්ලි ගැන කෙටිම කෙටි ලොල් කතාවකින් කිව්වා. බොහෝ දෙනෙක් බලන්න ඇති. ඉතින් මේ ප්‍රමෝෂන් ප්‍රශ්ණය ලෙස්ලිටත් තිබුණා. ඒත් මිනිහා සත පහකටවත් ගණන් නොගෙන මේ කරපු එකට බොහෝ දෙනෙක්ට තරහත් ආවා. ලොක්කන්ට ගොට්ට අල්ලනවා කියලා කියපු අයත් නොහිටියේ නෑ. 

ලෙස්ලි කියන්නේ බොහොම විනෝදයෙන් කාලය ගත කරන, ලොල් කතා කියලා තමන් වටේ ඉන්න ය හිනස්සන, බොහෝ දෙනාගේ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ඉතිං ලෙස්ලිගෙන් මේ ගැන අහන්න කිහිප දෙනෙක්ම ඉදිරිපත් වුනා

"මොකක්ද මචං මේ කරපු වැඩේ. අපි හැමෝම ප්‍රමෝෂන් නැතිව තද වෙලා ඉන්න වෙලාවක උඹ වැඩ කරමින් සිනා සෙන්න කියලා එකක් ගැහුවේ. ඕක නොදන්නා කෙනෙකුත් නෑ. ප්‍රමෝෂන් නැති වුනා කියලා අපි වැඩ නොකර ඉන්නෙත් නෑ"

"උඹලා හැම තිස්සෙම ප්‍රමෝෂන් ගැන හිතනවා. බලපන් අර ආතර් අංකල් පෙන්ෂන් යනකම්ම එකම ප්‍රමෝෂන් එකක් වත් නෑ. බලපන් ඒ මිනිහා හිනා වෙලා ඉන්න හැටි"

"කවුද බන් ආතර්, උඹලගේ අන්කල් කෙනෙක්ද? අපේ ගමේ නම් ආතර් අන්කල් කෙනෙක් ඉන්නවා. මම දන්න කාලෙක  නම් මිනිහා රස්සාවක් කරලා නෑ"

"නෑ බන් ආතර්  දන්නේ නැද්ද ? මිනිහට පෙන්ෂන් යනකම්ම එකම ප්‍රමෝෂන් එකක්වත් නෑ. ඒ වුනාට උඹලා වගේ කාටවත් දොස් කියන්නෙත් නෑ"

"හරි හරි කවුද එතකොට ඔය ආතර්. ෂුවර් එකටම කොලිෆිකේෂන් නැති පොරක් වෙන්න ඇති. එක්කෝ වැඩ බැරි ටාසන් කෙනක්"

"අනේ පලයන් යන්න. ඒ මිනිහා කරපුව නැත්නම් උඹලා මැච් බලලත් ඉවරයි. මම අයියට කෝල් කරලත් ඉවරයි. ආතර් කියන්නේ ආතර් සී ක්ලාක් !!! මිනිහට හම්බුන ප්‍රමෝෂන් එකක් නෑ. හැමදාම ක්ලාක්"
පින්තූරය ගත්තේ : http://tvtropes.org

Saturday, August 10, 2013

LankaPay ජාලය ගැන අහල තියෙනවද ?

LankaPay කිව්වම මොකක්ද එක පාරටම හිතට එන්නේ ? මම හිතන්නේ බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. මේක පටන් අරන් සති දෙකකට වඩා නැති හින්දා බොහෝ දෙනෙක් මේක ගැන දැන ගන්න විදියක් නෑ. මේක මගේ රාජකාරියේ කොටසක් නිසා ඔයාලව ඒ ගැන දැනුවත් කරන එක මගේ යුතුකමක්. බස් රේඩියෝ එක්ක කරපු ඉන්ටර්වීව් එක අහපු කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් මේ Paypal වගේ එකක් කියලා. 

LankaPay කියන්නේ ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය බැංකු දෙක එකතු වෙලා හදා ගත්ත පොදු ATM ජාලයක්. ඒ කියන්නේ මේ බැංකු දෙකේ අයට පුළුවන් මහජන බැංකුවද, ලංකා බැංකුවද  කියලා හොයන්නේ නැතුව කෙලින්ම තමන්ට කිට්ටුම බැංකුවට ගිහින් මුදල් අරගන්න. කලිනුත් ඉතින් පුළුවන් නේද ? කියන ප්‍රශ්ණේ ඔයාලගේ හිතට එන්න පුළුවන්. ඇත්ත. කලිනුත් මේ පහසුකම තිබුණා. ඒත් ඒ වෙනුවෙන් ගෙවන්න වෙන ගාස්තුව නිසා කලින් මේ ගැන දෙපාරක් හිතන්න ඔබට සිදු වුණා. කොටින්ම මමත් අපේ බැංකුවක් හොයාගෙන යනවා.

කලින් ඒ කියන්නේ මේක නිල වශයෙන් හඳුන්වලා දුන්න පහුගිය 23න් වෙනිදා වෙනකං මේ වෙනුවෙන් අය කරපු ගාස්තුව රුපියල් 75.00 ක්. ඒක මුදල් ලබා ගැනීම හෝ ශේෂය විමසීම යන කාරණා දෙකටම එකයි. එහෙම තියෙද්දීත් බොහෝ දෙනෙක් මේ පහසුකම භාවිතා කලේ ත්‍රී වීල් එකක ගියොත් ඊට වඩා ගානක් යන නිසා. ඇත්තටම ඒ ගාස්තුව VISA ජාලාවට එකතු වෙලා තියෙන බැංකු ගනුදෙනු සඳහා නියම කරලා තිබෙන එකක්. ATM නඩත්තු කරන්න යන ගාස්තුත් එක්ක ඒ ගානත් එක අතකට සාධාරනයි. නමුත් ගනුදෙනුකරුවන්ට කරුවන්න්ට මේක දරා ගන්න අපහසුයි. මොකද ගිණුමේ තියෙන්නේ රුපියල් 150.00 ක් නම් ගාස්තු වලට 75.00 වෙන් කලාම අවම මුදල වෙන රුපියල් සීය වත් ලබා ගන්න බැරි වෙනවා. 

මේ ගාස්තුව වැඩියි කියලා තීරණය කරපු ශ්‍රී ලංකා මහා බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කළා National Switch එකක් හරහා සම්බන්ධ වෙලා මේ ගාස්තු අඩු කරන්න අවශ්‍යයි කියලා. දිගු කාලීනව කරපු අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් ලෙස පහුගිය මාසේ 23න් වෙනිදා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති නිවාඩ් අජිත් කබ්රාල් මහතා අතින් වෝටර්ස් එජ් හෝටලයේදී මෙම ජාලාව විවෘත වුණා. දැන් මුදල් ලබා ගැනීමකදී ගනුදෙනුකරුවන්ගෙන් අය කරන්නේ රුපියල් 15.00ක් වැනි කෙනෙකුට දරා ගන්න පුළුවන් මුදලක්. ඒ වගේම ශේෂය විමසීමකදී රුපිය 10.00ක් අය කරන්නේ. ඇත්තටම හදිසියකදී මුදල් ලබා ගන්නාවා ඇරෙන්න ශේෂය විමසුම් කරන්න අවශ්‍ය නෑ. 

මේ මගින් මෙම බැංකු දෙකේ ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 1000 කට ආසන්න ජාලය භාවිතා කිරීමෙන් පහසුකම ලැබෙනවා. මෙය ක්‍රියාත්මක කරන්නේ ලංකා ක්ලියර් ආතනයේ ප්‍රධානත්වයෙන්. තවත් පුද්ගලික බැංකු කිහිපයක්ම දැන් මේ ජාලාවට එකතු වෙන්න කැමැත්ත ඵල කරලා තියෙනවා. මේ නිසා දැන් ඔබට පයින් යන දුරකින් ATM යන්ත්‍රයක් භාවිතා කිරීමේ පහසුකම ඔබට ලැබෙනවා. ඒ කතාව සමහර පළාත් වල අයටනම් සත්‍ය වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒත් බොහොමයක් දුෂ්කර පළාත් වල ATM යන්ත්‍රයක් ස්ථාපනය කරන්න මහජන බැංකුව සමත් වෙලා තියෙනවා. 

ඉදිරියේදී මේ බැංකු දෙකම එකම පලාතක ATM යන්ත්‍ර සවි කරනවා වෙනුවට, යම් එකඟතාවක් මත ඒවා ස්ථාපනය කරන්න පුළුවන්කම මේ හරහා තියෙනවා. ගනුදෙනු කරුවන්ට මෙය ඉතා හොඳ පහසුකමක් වුවත්, මෙහි තාක්ෂණික පැත්ත කරගෙන යන අපිට දැඩි කැපවීමකින් ලබා දෙන්න වෙන සේවාවක් කියලා කියන්න පුළුවන්.

දකින දකින ATM යන්ත්‍රයට යන්න පෙර,  එම යන්ත්‍රය මේ ජාලාව හා සම්බන්ධ වූ එකක්ද කියා දැන ගන්න එක වටිනවා. නැත්නම් පස්සේ කියයි සුදීක කිව්වා නිසා ගියා, ඒත් රුපියල් 75.00 ක්ම කපලා කියලා. ඒක දැන ගන්න පහසු වෙන්න ඇතම් යන්ත්‍රයේ හෝ එහි දොර මත මෙන්න මේ ආකාරයට ස්ටිකර් එකක් අලවලා තියෙනවා.


Friday, August 9, 2013

A Common Man නැරඹුවෙමි.

පසුගිය සෙනසුරාදා(මෙය ලියා දින කිහිපයක් වනවා. මෙයින් අදහස් කරන්නේ පසුගිය 27 වන සෙනසුරාදා දිනයයි) සවස් වරුවේ කලාතුරකින් ලැබෙන "කරන්න කිසිත් නැති" විවේකයක් ලැබුණා. එවැනි අවස්ථා උදා වන්නේ කලාතුරකින්. දියණිය පාසල් නිවාඩුවට ගමේ ගොස් සිටි නිසා මේ පාළුව තවත් වැඩි වුණා. මා රුපවාහිනිය ඉදිරියේ වාඩි වී බලන්නට හැකි චිත්‍රපටයක් ඇත්දැයි සෙවූ මුත් කිසිවක් ඇස ගැටුනේ නෑ.. මේ අතර වාරයේ මගේ මතකයට ගලා ආවේ මා නිතර බලන්නට ඕනෑම කියා සොයා බලන එක්තරා චිට්‍රපටයක්. ඒ "A Common Man" ය.

යූ ටියුබ් වෙබ් අඩවියේ මීට පෙර කරන ලද සෙවුම් වලින් එහි ට්‍රේලර් එක පමණක් නැරඹුවද, මෙවර එය කිසිවකු විසින් සම්පූර්ණ චිත්‍රපටයම අප්ලෝඩ් කර තිබිණි. මා කලේ ලැප් එක සහ රුපවාහිනිය HDMI කේබල් එක මගින් සවි කිරීමයි. වාසනාවට එය ඉතා හොඳ තත්වයෙන් තිබුණා.

පැයකුත් විනාඩි විසිපහක් දිවෙන මේ චිත්‍රපටය ගැන අගක් මුලක් තේරුම් ගැනීමට අඩුම ගානේ විනාඩි හතලිස් පහක් වත් නැරඹිය යුතුය. ඇත්තටම එය දුටු විට හිතෙන්නේ එය විදේශිකයකු විසින් අපේ පොලීසිය ඇන්දවීමට ගන්නා උත්සාහයක් ලෙසය. යුධ භීතියෙන් මුළු රටම ඇලලී ගිය යුගයක ජාත්‍යන්තර ත්‍රස්තවාදියකුගේ චරිතයට පණ පොවන  ඉහත රූපයේ සිටින බෙන් කිංස්ලි කාල බෝම්බ කිහිපයක් පොලීසිය ඇතුළු ස්ථාන කිහිපයක අටවනවා. ඔහුගේ ඉල්ලීම වන්නේ සැකකරුවන් කිහිප දෙනෙකු නිදහස් කර ගැනීමයි.

මහල් නිවාස සංකීර්ණයක ඉහලම මාලයේ සිට ඔහු ක්‍රියාත්මක වනවා. රුපවාහිනි තිරයක් දෙස නිතරම බලා සිටින ඔහු නිතරම මාධ්‍යවේදිනියක් අමතා මෙම ස්ථානයේ විශේෂ සිදුවීමක් වනවා යනුවෙන් දන්වා රුපාවාහිනී කැමරාව ඔහුට අවශ්‍ය ප්‍රදේශයට යොමු කරවා ගන්නවා. මමත් සමගම මෙම චිත්‍රපටය අතරින් පතර නැරඹු මගේ සොයුරියගේ පුත්‍රයා මෙය හින්දි කොපියක් බව පවසා සිටියත්, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයත් සමග මෙය කදිමට මුසු කොට නිර්මාණය කරන්න චන්ද්‍රන් රත්නම් මහතා සමත් වී තිබෙනවා.

කිසිම කම්මැලි කමකින් තොරව බලා සිටිය හැකි, ශ්‍රීලාංකිකයෙකු නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය මටනම් ඉතා ඉහල නිර්මාණයක්. එම චිත්‍රපට යූටියුබ් මගින් නරඹන්න පුලුවන්. 

මේ පිලිබඳ දීර්ඝ විස්තරයක් නොකරන්නේ ඉන් මෙය නරඹන කෙනෙකු තුල ඇති විය යුතු කුතුහලය අඩු වන නිසාය. 

video

Thursday, August 8, 2013

වැඩියෙන්ම කොටන බස් රූට් එක මොකක්ද ?

1956 ආණ්ඩුව බස් ජනසතු කළා කියලා අපේ තාත්තා කියනවා මම අහලා තියෙනවා. ඒ කියන්නේ ලංගම ඇති වෙන්න කලින් තිබ්බ පුද්ගලික බස් සේවේ. ඊට පස්සේ යලින් පුද්ගලික බස් සේවාවක් පටන් ගන්නේ 1977 ආණ්ඩුව. එහි වරදක් දකින්න බෑ. මොකද ලංගමට විතරක් මේ කාරිය කරන්න බැරි නිසා හොඳ පුද්ගලික සේවාවක අවශ්‍යතාව ඒ කාලේ තිබ්බා. මුලින් පටන් ගත්ත කාලේ නම් මිනිස්සු කැමැත්තෙන්ම ඒ බස් වල නැගලා ගමන් බිමන් ගියා. ඒත් ටික කාලයක් ඒවායේ යනකොට මිනිසුන්ට ප්‍රයිවෙට් බස් එපා වුණේ පොල් පටවනවා වගේ පැටවිල්ල සහ කොන්දොස්තරගේ විධානයට අනුව ව්‍යායාම කරන්න සිද්ද වෙච්ච නිසා. 

මට මතකයි ඉස්සර ඉසුසු එල්ෆ් කියලා පොඩි වෑන් ජාතියක් තිබුණා. ඒ වගේ බස් එකක ගිහින් බහින කොට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා ඒ බස් වල ගිය අය දන්නවා. මේ ප්‍රයිවෙට් බස් එක්ක ඇති වෙච්ච උප සංස්කෘතිය තුල ඇති වෙච්ච් වචන මාලවකුත් තියෙනවා. ඒ වගේ වචනයක් තමයි කොටනවා කියන්නේ. මේවාගේ තේරුම් ලංකාවේ කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කපාගෙන යනවා කියන්නෙත් ඒ වගේ තවත් වචනයක්. ජැක් ගහනවා කියන්නෙත් ඒ වගේම එකක්. තවත් ඕනෑ තරම් ඇති.

මොනවා වුණත් අද මම කියන්න යන්නේ කෙටිල්ල ගැන. ඊට කලින් මේ බස් අංක ගැනත් යමක් කියන්න ඕනේ. මේ ලංකාවේ වගේ බොහෝ රටවල බස් අංක විදියට භාවිතා වෙන්නේ ඉලක්කන් තුනේ මේ අංක. මම දවසක් ඩිස්කවරි එකේ බලාගෙන හිටියා වැඩසටහනක් ඒකෙ කිව්වේ ප්‍රථමක(Prime Numbers. මතකනේ අර එකෙනුත් ඒ ඉලක්කමෙනුත් බෙදෙන අංක) සංඛ්‍යා පාවිච්චි කරන බස් අංක වඩා සාර්ථකයි කියලා. ඒගොල්ලෝ සාර්ථක කියන්නේ ආදායම පැත්තෙන්. මගියාගේ පැත්තෙන් සාර්ථක වෙන්නේ මොන අංකද කියලා හොයලා බලන්නත් වටිනවා.

කෙටීම ගැන මගේ මතකයට ආවේ, මට නැවතත් බත්තරමුල්ලේ කාර්යාලයට සේවයට වාර්තා කරන්න සිද්ද වෙච්ච නිසා. දැන් 163 බස් එකේ තත්වය ටිකක් හොඳයි. ඉස්සර වගේ නෙවෙයි. 2005-2007 කාලෙත් මම මේ බස් ඒකෙම ගියා. එතකොට කෙටුව කෙටිල්ලට මට මේක එපා වෙලා තිබුණේ. කිසි දවසක වෙලාවට ඔෆිස් යන්න බැරි වුණා. දැන් ඔවුන්ට පැයක් ඇතුලත මේ ගමන නිමා කරන්න අවශ්‍යයි කියලා නීතියක් දාලා. ඒක නිසා ටිකක් හොඳයි. ඒ වුණාට ඔවුන් පුරුදු විදියට විනාඩි 45ක් කොටලා ඉතිරි ටික යනවා හැල්මේ. මේ බස් මාර්ගය ප්‍රමාද වෙන්න තවත් හේතුවක් තමයි පටු පාර සහ කඳු. ඒ නුගේගොඩ සිට පිටකෝට්ටේ දක්වා කොටසේදී.

කෙටිල්ලට ඉතාම ප්‍රසිද්ධ තවත් බස් රූට් එකක් තමයි 255 කොට්ටාව - ගල්කිස්ස. මම ජීවිතේටම එකම එක වතාවයි ඒ බස් මාර්ගේ ගිහින් තියෙන්නේ. ඒකෙන් මේ කියන කථාව මම තේරුම් ගත්තා. අපේ ලයනල් කියලා මිත්‍රයෙක් කියපු කතාවක් මතක් වුණා මේ බස් මාර්ගේ සම්බන්ධව. මේ බස් එකේ ගිය සරසවි ශිෂ්‍යයෙක්, ගමනාන්තයෙදී ඩ්‍රයිවර් මහතාගෙන් අහලා තියෙනවා
මේ ඉක්මන් ඩොට් එල්කේ කියන එක දැක්කම හිනා යන්නේ නෑ නේද ?

"උඹේ අම්මා ඉස්සර ඉබ්බෙක් එක්ක යාලු වෙලා හිටියද ? " කියලා. එහෙම කියලා එතන ඉන්න නම් නැතිව ඇති.

කෙටිල්ල ගැන තවත් ප්‍රසිද්ධ බස් මාර්ගයක් තමයි කැලණිය - කොහුවල. කොටනවා කියන්නේ හොඳ එකෙන්ම කොටනවා. මේ වගේ තවත් බස් රූට් ඕනෑ තරම් ඇති ලංකාවේ. මේ සටහනේ අරමුණ අන්න ඒවා අපේ කමෙන්ට් කරන අයගෙන් දැනගෙන හෙළිදරව් කරන එක.  

Tuesday, August 6, 2013

ලොල්ද මන්දා අංක 7 - සාදුගේ පුතා ........

ජාත්‍යන්තර පාසලකට යන මගේ ඥාති පුත්‍රයෙක් දැන් අවුරුදු කිහිපෙකට කලින් මගේ ලඟට දුවගෙන - දුවගෙන හති දාගෙන ඇවිත් කියනවා.

"අන්කල් අපේ පන්තියේ ඉන්නවා සාදු කෙනෙකුගේ පුතෙක්"

"ඒ කොහොමද එහෙම වෙන්නේ ? සාදු කියන්නේ නමක්ද ?"

"නෑ. නෑ. අර ටෙම්පල්ස් වල ඉන්න කට්ටිය. අර ඔරේන්ජ් ඩ්‍රෙස් එකක් දාන සාදුලා"

"ඔයාට කවුද කිව්වේ ? සාදුගේ පුතා කියන කෙනාද ?"

"නෑ. නෑ. එයා නෙවේ කිව්වේ. අපේ ක්ලාස් එකේ ඉන්න  ට්‍රෙවින්"

"හරි. ට්‍රෙවින් කොහොමද දන්නේ ? ට්‍රේවින්ට සාදුගේ පුතා කියලද ?"

"අයියෝ ! කමෝන් අන්කල්. දිස් ඉස් කොමන් සෙන්ස්. එයාට තාත්තගේ සර්නෙම් එක එනවනේ. සර්නෙම් සජෙස්ට්ස් හී ඉස් අ සන් ඔෆ් සාදු"

"හරි. මට තේරුනා. එයාගේ සර්නෙම් එක මහානාම ද ?"

"නෑ"

"විමලසිරි"

"නෑ"

"සරණපාල"

"නෑ"

"සෝභිත"

"නෑ"

"ධර්මසිරි"

"නෑ"

"නන්දසිරි"

"නෑ"

"ඥානසාර"

"නෑ"

"ඉන්ද්‍රසිරි"

"නෑ"

"ආනන්ද"

"නෑ"

"නාලන්ද"

"නෑ"

"සරණපාල"

"නෑ"

මමත් අත ඇරියේ නෑ. අපි නොදන්නා සාදු සර්නෙම්

"භාතිය"

"නෑ. අයියෝ හී ඉස් අ සිංගර්"

"නාරද"

"නෝ"

"විදුර"

"නෝ. නෝ. ඉට්ස් අ ස්කූල්"

මේකා මාව බයිට් එකටවත් ගත්තද මන්දා

"බන්දුල"

"නෑ"

"කොන්ඩඥඥ - වප්ප - බද්ද්දිය - මහානාම - අස්සජි"

"නෑ"

"ඉට්ඨිය - උත්තිය - සම්බල - බද්දසාල - සුමන"

"නෑ"

"රත්නපාල"

"නෑ"

"උපාලි - සුමංගල "

"නෑ"

"සෝමසිරි"

"නෑ"

"ජිනසිරි"

"නෝ බට් වෙරි ක්ලෝස්"

"හරි. හරි. මට බෑ. තමුසේ කියනවා"

"ට්‍රයි ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි"

"රතන - ඥානානන්ද - අරියධම්ම - ධම්මාවාස - මේධංකර - දීපංකර - කාශ්‍යප - සරණංකර"

"නැත. මම කියන්නද?"

"ඒකනේ එක පාරක් කිව්වේ සිංහලෙන්ම"

"ජිනවංශ හලෝ ජිනවංශ"

"එතකොට දැන් එයා කොහොමද සාදු කෙනෙක්ගේ පුතෙක් වෙන්නේ ?"

"අයියෝ සිම්පල්. ඉන් ට්‍රෙවින්ස් නේබරින් ටෙම්පල් දෙයා ඉස් අ මන්ක් කෝල් ජිනවංශ"

"සෝ හී ඉස් දැට් ෆෙලොස් ෆාදර්"

"නෝ. බට් මේ බී අ රිලේෂන්"

කොහොමද ටිකිරි මොලේ ?




Sunday, August 4, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි (මුම්බායි ගුවන් තොටේදී හමු වූ යක්ෂයා) - X(අවසන්) කොටස

මා ගලවා ගත් ප්‍රියන්ත නමැති මේ පුද්ගලයට කෙසේ නම් ප්‍රති උපකාර කරම්ද? මට තිබූ ගැටලුව එයයි. එම මුදල ලක්බිමට ගොඩ බට වහාම ගෙවා දැමිය හැකිය. එහෙත් එය හුදෙක් ගනුදෙනුවකින් අවසාන කල හැකි දෙයක් නොවේ. මා ඊට වඩා දෙයක් කල යුතුය. යකාගේ කම්මල මෙන් වූ මගේ හිතට මේ වෙලාවේ කිසිවක් ගලා එන්නේ නැත. මා දෙවියන් විශ්වාස කරන්නේ හෝ අදහන්නේ නැති මුත් ඉෂ්ඨ දේවතාවන් යයි කොටසක් සිටින බව පිළිගන්නේ බෞද්ධයකු නිසාය. මේ මොහොතේ මට උපකාර කිරීමට ප්‍රියන්ත මහතා පොළඹවන්නට ඇත්තේ ඔවුන්ය. දියණිය, ලෝක කුසලානය, ප්‍රියන්ත ආදී සිතුවිලි රාශියක් මගේ හිත වටේ කැරකෙන්නට විය.

මේ වනවිට ප්‍රියන්ත ගුවන් මගීන් ඇතුල්වන කවුන්ටර පසුකර ගොස් හමාරය. මා ඔවුනට වඩා මිනිත්තු දහයක් පිටුපසිනි. මේ අකරතැබ්බයට මුහුණ දුන් අනෙක් අයද මා සමගය. මාද හනි-හනික මගීන් ඇතුළුවන කවුටරය දෙසට මගේ ට්‍රොලිය පදවාගෙන ඇදිණි. එහි සිටින රේගු නිලධාරියා එම බෑග් විවෘත කරන ලෙස දන්වා පරීක්ෂා කර කර නැගී සිට 

"සර් යූ හෑව් ටූ ලිකර් බෝටල්ස් හියර්. නො ලිකර් ඉන් හෑන්ඩ් ලැගේජ්"

මගේ කන් දෙක රත් විණි. එක් වරම මගේ මතකයට ආවේ අතේ ගෙන යන බෑග් වල කිසිදු දියර වර්ගයක් ගෙන යා නොහැකි බව මා හොඳින්ම දන්නා නිසාය. මට කල හැකි කිසිවක් නොවිණි. හිරේ විලංගුවේ නොවැටී බේරුනොත් ඇති යන්න එක වරම මගේ හිතට ආ සිතුවිල්ල වුවද, ඉන්දියාවේ දූෂිත නිලධාරීන්ගේ තෝතැන්ක්ක බවද එක වරම සිතට ගලා ආවේය. මා ඉන්දියාවට ඇතුලත් වුවේද එවැනි සන්තෝසමක් ගෙවමිනි. ඒ මේ විස්කි බෝතල් සඳහාය. දැන් නම් මේවාගෙන් ලාභයක් තබා, වියදම් කල මුදල වත් ලබා ගැනීමට නොහැකි තත්වයකි.

"සෝ වට් කැන් අයි ඩු. කැන් අයි සෙල් දීස්"

"ආර් යූ සෙලින් දිස්. හව මච්"

"තවුසන්ඩ් රුපීස් ඊච්"

"ඕකේ. වේට් හියර්"

ක්ෂණිකව එම ස්ථානය වසා දමා ඔහු පිටත් විය. ඔහු ආපසු පැමිණියේ කුඩා ගමන් මල්ලක්ද සහිතවය. එය පසෙකින් තබා

"පුට් ඉට් ටු ද බෑග්"

මම බෑග් දෙක හැර පෙට්ටි සහිත බ්ලැක් ලේබල් විස්කි බෝතල් දෙක එම බෑගයට දමා සිට ගතිමි. ඔහු මහත්මා ගාන්ධි තුමාගේ ලොඹු රූපය සහිත දාහේ කොලයක් මා වෙත දිගු කරයි.

"අයි සෙඩ් තව්සන්ඩ් ෆොර් වන්. නීඩ් ටූ තව්සන්ඩ්"

"නෝ. නෝ. දෙන් කාන්ට් හෙල්ප්"

මට කල හැකි කිසිවක් නොවිණි. මොහොතක් හිඳ, "ඕකේ" යනුවෙන් පවසා එම රුපියල් දාහ ගෙන මගේ බෑග් දෙක අතට ගෙන, ඔහුට ස්තුති කර ස්කෑන් පරීක්ෂණයට බෑග් දෙක සහ බෝනික්කාගේ සිලි බහලුම තැබීමි. කිසිදු හින්සාවකින් තොරව එම කඩයිම පසු කර මගීන් ගුවන් යානයට ඇතුලත් කරන තෙක් විවේක ගන්නා ස්ථානයට ගොස් වටපිට බැලීමි. එතන මාගේ ඉෂ්ඨ දේවතාව නොහොත් ප්‍රියන්ත මහතා සිනා මුසු මුහුණින් මා දෙස බලා සිටී.

මා ඔහු වෙත ඇදුනේ දෙමව්පියන් වෙත දිව යන කුඩා දරුවකි ලෙසිනි. මේ මොහොතේ මට වටිනාම පුද්ගලයා ඔහුය. අප දෙදෙනා කථාවට වැටිණි. ඔහු බවර්ස් සමාගමට අනුබද්දව සේවය කරන වෙනත් සමාගමක අලෙවි විධායකයෙකි. ඔවුන් විවිධ බෙහෙත් වර්ග ලංකාවට ගෙන එයි. මේ එන්නේ එවැනි බෙහෙත් ගෙන්වන සමාගම සම්මන්ත්‍රණයකට ගොස් බවද, තමාටද කුඩා දරුවෙක් සිටින බවද, ඔහු මසකට වරක් වත් මුම්බායට එන බවද පැවසීය. ඉන් අනතුරුව අප දෙදෙනා එම කොටසේ ඇති සාප්පු සංකීර්ණයට පිවිසියේ නිවෙස් වලට ගෙන යා හැකි දෙයක් ඇත්දැයි බැලීමටය.

එහෙත් මගේ අදහස වුයේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේන් ගන්නා දෙයක් ගැනීමටය. මේ මොහොතේ තද කළු කෙසඟ පුද්ගයෙක් අප දෙදෙනා අසලට පැමිණ

"උඹලා, දෙන්නා ලංකාවේ නේද ? මම ටෝනි යනුවෙන් පවසා අත දිගු කළේය"

මා සහ ප්‍රියන්ත ඔහුට අප හඳුන්වා දුන්නෙමු. 

"මචං මම එන්නේ දකුණු අප්‍රිකාවේ ඉඳලා. එහේ රටවල් ගානක වැඩ කරා. මගේ ට්‍රිප් එක දවස් තුනයි. ඉතියෝපියන් එයා ලයින් එකේ එන්නේ. කෑම බීම ඕනෑතරම් දෙනවා. මෙහෙ රෙස්ටුරන්ට් එකෙන් කන්න පුළුවන් ඇති තරම්. යමු ෂොට් එකක් දා ගන්න. මට නිකං හම්බ වෙන එකනේ"

ආගන්තුකයකු එක වරම කරන සංග්‍රහයක් ලබා ගැනීමට ත‍රම් අඥානයන් සේ ක්‍රියා කල හැකිද ? අනෙක වෙනත් රටක ගුවන් තොටක. මෙය කෙසේ වත් කල නොහැක. මා ප්‍රියන්ත ගේ මුහුණ බැලුවෙමි. ඔහු පිළිතුරු දෙන්න ඉදිරිපත් විය

"අපිට තව බඩු වගයක් ගන්න තියෙනවා. අපි ගිහින් ඒ පැත්තට එන්නම්"

"හරි මම මේ කියන්න හිටියේ. ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ චොක්ලට් ගණන්. මෙහෙන් ගනින් මචං. එහෙනං මං ඒ පැත්තේ බලා ඉන්නවා"

අප ඔහුගෙන් ගැලවුනෙමු. මේ එන්නේ මොනවාගේ කරදරයක්දයි අපට නොවැටහේ. ඔහුගේ ඉතියෝපියන් ගුවන් සමාගම ලංකාවට එන කොටස ඔහුට ශ්‍රී ලන්කන් සමාගමෙන් යන්නට සලස්වා ඇත. අප දෙදෙනා වෙළඳ සැලක් තුලට පිවිසුනෙමු. මා දියණියට අවශ්‍ය චොක්ලට් මිලදී ගතිමි. එවිට මා අත රුපියල් තුන්සිය පනහක් පමණ ඉතිරි විය. මා ප්‍රියන්ත අසලට ගොස් ඔහුගේ මුදල් ආපසු ලබා දුන්නේ මුව නොසැහෙන ස්තුතියක්ද සමගය. ලංකාවට ගිය පසු ඔහු මුණ ගැසී මීට වඩා දෙයක් කල යුතුය යන අදහස මගේ හිතේ තදින් කිඳා බැස තිබුණි.

මට මුදල් ලැබුණු ආකාරය ඔහුට ගැටලුවකි. මා ඒ කතාවද ඔහුට විස්තර කලෙමි. මා ප්‍රියන්තගේ බිස්නස් කාඩ් පත දෙස නැවතත් බැලුවේ ඔහුට හොරෙනි, ඔහු එම්.බී.ඒ. දක්වා අධ්‍යාපනය ලත් සැබෑ මහත්මයෙකි. අප දෙදෙනා නැවතත් ගුවන්තොට මගී පර්යන්තයේ පුටු දෙකකට බර දී වැඩි කථාවක් නැතිව උන්නෙමු. එවිට අප වෙත නැවතත් කඩා පාත් වූ ටෝනි මා අසලින් සිටගෙන කන්න-බොන්න යාමට ආරාධනය කළේය. 

"අපි දෙන්නා ඩියුටි ෆ්‍රී එකෙන් ෂෝර්ට් ඊට් වගයක් කෑවා" පිළිතුරු ප්‍රියන්තගෙනි. මට ටෝනි ගැන කනගාටුවක්ද ඇති විය. එහෙත් මෙවැනි තැනකදී "අනුකම්පාව-භූමිකම්පාව" විය හැකිය. අප දෙදෙනා නැගිට්ටේ නැත. බොහෝ සෙයින් ඇවිටිලි කල ටෝනි. 

"ඉඳපන් මම උඹලා දෙන්නට බොන්න මොනවා හරි ගෙනත් දෙන්නම්" යයි බමන මතින් පවසා, වැනි වැනී නැවතත් අවන්හල තුලට රිංගන ලද අතර ප්‍රියන්ත මා දෙස හැරී

"මචං ඒ යකා එක්ක වැඩිය කතාවට යන්න එපා. ඇණයක් වගේ. ෆ්ලයිට් එකේ නිදා ගන්න හම්බ වෙන එකක් නෑ" යයි පවසා කට ගන්නට පෙර ටෝනි අප ඉදිරියේය. දුඹුරු පැහැති හරහට ඉරි ඇති ටී ෂර්ට් එක සහ බාගෙට වවා ගත තැනින් තැන ඉදුණු රැවුල සහ රැලි ගැසුණු මුහුණ සිහි ගන්වන්නේ ඉතියෝපියන් කාරයෙකි.

"මචං මෙන්න මම උඹලා දෙන්නට කොකා-කොලා කෑන් දෙකක් අරන් ආවා. කෝ උඹලා දෙන්නා එන්නේ නෑනේ" යයි පවසමින් එය අප වෙත පෑ විට. නොරටකදී හමු වන සිංහලයා යන සිතිවිල්ල මගේ හිතට ආ නිසා මා එය ප්‍රතික්ෂේප නොකොට භාර ගත් අතර ප්‍රියන්තද මුවින් නොබැන එය ගෙන ඔහුගේ බෑග් එකක රුවා ගත්තේය.  අප දෙදෙනා අතර වූ අසුනේ හිඳ ගත් ටෝනි කථාව පටන් ගති.

"මචං මම මුලු අප්‍රිකාවේම කරක් ගහලා තියෙනවා. මම වැඩ කරන්නේ දකුණු අප්‍රිකාවේ ඉලෙක්ට්‍රික් කම්පනියක. මම ඉන්ජිනියර් කෙනෙක්. (ඔහුගේ හැඳුනු පතද ඩයරියක් අස්සෙන් ඇද පෙන්වා). අපි දැන් කරන්නේ කැලෑවල් මැද්දෙන් හයි ටෙන්ෂන් ලයින් දාන එක. වාහන දීලා තියෙන්නේ. යන යන තැන ෆුල් සැප. උඹලට කියන්න මට අප්‍රිකාවේ ළමයිත් ඉන්නවා. (නැවතත් ඩයරිය අදිමින් ෆොටෝ එකක් පෙන්වමින්) මචං මේ ඉන්න මගේ අප්‍රිකාවේ ගෑණි. මේකිට මගෙන් ළමයෙක් හදා ගන්නම ඕනේ වුණා. උන් හරි ආසයි දිග කොන්ඩේ තියෙන ළමයි හදා ගන්න. එහෙ ඉන්න කෙල්ලෝ ඕන එකෙක්ට ළමයි. අපේ එවුන්ට වගේ නෙවෙයි කිසි ගාණක් නෑ. තාත්තා කවුද දන්නේ නෑ සමහරු. කෙල්ලෝ ළමයා පිටේ ගැට ගහගෙන කැම්පස් යනවා. ඕන තැනක බඩු ඉන්නවා. ඩොලර් පහයි ගාන. මිනිහා ගෑනිව දෙන තැනුත් තියෙනවා. උන්ට ඕනේ සල්ලි. කොන්ඩම් නැතුව නම් ඩොලර් තුනයි. (ප්‍රියන්ත අහක බලා ගනී). හැබැයි එහේ ගෑනු දහයක් ගත්තොත් නමයකට ඒඩ්ස්. වෙලාවක වරෙන්කෝ සොමියක් දාල යන්න. මම ඉන්නයි කන්නයි දෙන්නම්"
පින්තූරය ගත්තේ : http://www.unmultimedia.org

මම සිනාසී ඔහුට ඇහුම්කන් දීගෙන සිටියෙමි. එහෙත් ප්‍රියන්ත මේ කිසිවක් නොඇසෙනා ගානට අහක බලා සිටී. නැවතත් නැගී සිටි ටෝනි

"මම යනවා තව ෂොට් එකක් දා ගන්න. නිකං දෙන එකනේ. ඒක නෙවෙයි මල්ලියා උඹ බැංකවේ නේද වැඩ කරනවා කිව්වේ. මට උඹව සෑහෙන උවමනා වෙනවා. අපේ ගෑනිගේ මොකක්ද කෙස් එකක් තියෙනවා මහජන බැංකවේ. උඹ මට උදව් කරනවා නේද? මට දියං උඹේ නම්බර් එක.(ප්‍රියන්ත නොදෙන දෙස මුහුණෙන් පෙන්වයි - මටද ගණදෙවි නුවණක් පහල විය"

මා කටපාඩමේ නම්බර් එකක් කියාගෙන ගියෙමි. ඒ මගේ පැරණි විසන්ධි කල දුරකථන අංකයයි. නැවතත් ටෝනි ගිය පසු ප්‍රියන්ත කථා කරන්නට විය

"උඹට එපා කියත්දී ඇයි නොම්බරේ දුන්නේ. දැන් ඉතිං උඹට ඉන්න හම්බ වෙන එකක් නෑ. ඒකා කොම්පන්ඥවීදියේ නේද ? උඹට නිකමටවත් හිතුනේ නැද්ද මේ වගේ එකෙකුට නම්බර් එක දෙන එක කරදරය් කියලා. මේ යකා උඹට කෝල් කරලා ඊට පස්සේ මොනවා හරි ලෙඩක් දා ගත්තොත් උඹවත් එක්කම අරගෙන යයි"

"නෑ මචං මම ඌට දුන්නේ ඩිස්කනෙක්ට් කරපු පරණ නම්බර් එකක්" ප්‍රියන්ත මගේ උරහිසට තට්ටුවක් දැම්මේ මා කල දේ අගයමිනි.

නැවතත් මට ටෝනි හමු වුයේ ගුවනේදීය. ඒ ගුවන් සේවිකාවන්ගෙන් අමතර විස්කි ඉල්ලා නොදෙන තැන ඔවුන් හමු වන්නට පිටුපසට යන ගමනය. ඔහු දුටු විට ප්‍රියන්ත අහක බලා ගන්නේ නිතැතිනි. එහෙත් මා ඔහු කියන දෙයක් සිනාසී අසා සිටියෙමි. මටද පිටුපසට යන්නට ආරාධනා කලද මා නිදිමත බවක් දෑතින් පෙන්වා මග හැරිමි. ප්‍රියන්තගේ බෑගයේ තිබූ කොකා කොලා කෑන් එකද මා වෙත දිගු කල ඔහු පවසා සිටියේ 

"මං කොකා කෝලා බොන්නේ නෑ" යන්නය. මා එයද මගේ බෑග් එකේ රුවා ගතිමි. තවත් සුළු මොහොතකින් ලංකාවේ නොවේද යන සිතුවිල්ලත් සමග දෑස පියා ගතිමි. 

Thursday, August 1, 2013

ගිය ඉරිදා "මා ආ මග" ට සවන් දෙන්න බැරි වුන අයට ....

කාලාන්තරයක් තිස්සේ කරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදියට හරියටම පහුගිය ඉරිදා රාත්‍රී 8:30 ට බස් රේඩියෝවේ "මා ආ මග" වැඩසටහනට සම්පත් දායකයා විදියට එකතු වෙන්න මටත් පුළුවන් වුණා. බොහෝ දෙනෙකුට ඒක සජීවීව අහන්න බැරි වුන බව දැනුම් දීලා තිබුණා. ඔන්න ඒ අයගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්න අවස්ථාව ඇවිත්. මේ වැඩසටහනේ භාරදුර කාර්යයක් ඉටු කරන තිසර මධුවන්ත නොහොත් සිහින මල්ලි අද උදේම මට ඒ ලින්ක් ටික එවලා තිබුණා. 

මේක කොටස් හතරකින් තියෙනවා. හැබැයි මම තෝරපු සිංදු ටික නම් ඉවත් කරලා. ප්‍රමාණය අඩු කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ. සින්දු ටිකේ ලින්ක් ටිකත් මම දාන්නම්.



මේකෙදී විශේෂයෙන්  ස්තුති කරන්න ඕනේ කිහිප පලක්ම  ඉන්නවා. මේ වැඩසටහනට ගැන මුලින්ම කිව්වේ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදානේ. ඒ වෙනකොට ලක්මාල් එක්ක රසික නානායක්කාර    නොහොත් රණා මේක ගැන මුලික අදහස සාකච්ඡා කරලා තිබුණා. මගෙන් අටමා ඇහුවා මේකට සහභාගී වෙන්න කැමතිද කියලා. පස්සේ රණා එක්ක කාලයක් තිස්සේ කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් මල්ඵල ගැනීමක් විදියට තමයි පහුගිය 28 වෙනිදා සම්පත් දායකයා විදියට මාව තෝරා ගත්තේ. ඇත්තටම ඒ වැඩේදී රණා දක්වපු උනන්දුව පැසසුම්සහගතයි.

බොහෝ කාලයක් මේ වැඩසටහන මෙහෙයවන්නා විදියට කටයුතු කරන දුලිප් සිකුරාජපති නොහොත් ඕනයා දැඩි කැපවීමක් කරලා තමන්ගේ මිතුරකුගේ නිවසේ ඉඳන් තමයි වැඩසටහන මෙහෙයවීම කලේ. ඉතිං ඕනයාටත් ස්තූතිවන්ත වෙනවා දක්වපු උනන්දුව සහ ඉතාමත් රසවත් විදියට සහ මිත්‍රශීලී විදියට ඒ වැඩසටහන කරපු ආකාරයට.

මේ වගේ  තාක්ෂණික ක්‍රියාවලියක් පිටුපස්සේ ඉන්න කුඩා සිරුරක් තිබ්බත් අයෝමය පුද්ගලයා වෙන්නේ තිසර මධුවන්ත. දන්නා භාෂාවෙන් කිව්වොත් සිහින මල්ලී. මේකේ පර්යේෂණ කාලයේදී ඉතාමත් ලොකු උත්සාහයක් ගත්තා ස්කයිප් වලින් එන කෙනෙක්ව කෙලින්ම වැඩසටහනත් එක්ක සම්බන්ධ කරන්න. ඉදිරියේ දවසක අපිට ඒ පහසුකමත් අත්විඳින්න ලැබෙයි. ඉතිං තිරය පිටුපස්සේ ඉඳන් කරන ඒ සේවය අපි කවුරුත් අගය කරන්න ඕනේ. මේ පර්යේෂණ කාලේ උදව් කරපු නෙරංජි  ටත් අපේ ස්තුතිය හිමි වෙන්න ඕනේ.

ඇත්තටම මේ වැඩසටහන යත්දී බස් රේඩියෝව මම දාගෙන හිටියේ නෑ. ඒ සමග එකතු වෙලා ශ්‍රවණය කරපු සියලු දෙනාටත්, ඒ හරහා ඉතා වැදගත් ප්‍රශ්ණ ගොඩක් යොමු කරපු අයටත් මගේ ස්තුතිය හිමි වෙන්න ඕනේ. මට මේකේ නිෂ්පාදන අංශයෙන් යොමු කරපු ප්‍රශ්ණ වලට තමයි මම පිළිතුරු දුන්නේ. තව මොනවා හරි ප්‍රශ්ණ තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට යොමු කරන්න. හැකි විදියට පිළිතුරු දෙන්නම්. 

එතනදී සජීවීව එකතු වෙච්ච සමකය වටේ බ්ලොග් අඩවියේ නිර්මාතෘ නලීන් දිල්රුක්ෂ ට, ජපානයේ සිට එකතු වෙච්ච කෙන්ජි, අපේ බ්ලොග් සහෘද්ධ මාතලන්, මේ වැඩසටහනේ එක් දිගහැරුමක් මෙහෙයවපු වැපා, නවෝද්‍යා,  මනුර තමෙල්, එංගලන්තයේ ඉඳගෙන ශ්‍රවණය කරමින් ප්‍රශ්ණයක් යොමු කරපු මගේ බාල සහෝදරයා සොමීන්ද්‍ර  ටත් ස්තුති කරන්න කැමතියි. ඒ වගේම යම් අතපසු වීමකින් මෙහි නම් සඳහන් කිරීමට නොහැකි වූ, මෙයට සක්‍රීයව දායක වෙච්ච සියලු දෙනාටත් මගේ ස්තුතිය එක් කරන්න කැමතියි. 

අවසාන වශයෙන් බස් රේඩියෝවේ සියලු දෙනාටත් මගේ ස්තුතිය පුද කරන්න කැමතියි.   

මේ වැඩසටහනේදී අපිට අහන්න ලැබුණේ මම ඉල්ලපු ගීත වලින් කිහිපයක් පමණයි. හේතුව තමයි ඔබගේ ප්‍රතිචාර වැඩි කම. නමුත් අපේ වැඩසටහන කරපු නිෂ්පාදක කණ්ඩායම මේ වැඩසටහන හරියටම වෙලාවට පටන් ගෙන වෙලාවටම අවසන් කළා. කාලය පැය දෙකක් හරියටම ගත්තේ. ඒකත් අගය කරන්න ඕනේ දෙයක්. මේකේ මම කැමතිම ගීතය තිසර හොයාගෙන තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. මම හිතන්නේ තිස්ස දොඩන්ගොඩ වෙන්න ඕනේ ගීතය ලබා දුන්නේ. ඒ "නිදිකුම්බා මල් කැකුලී" කියන ගීතය. ඒක මියුරු ගී වල තියෙනවා. ඒ ලින්ක් එක තමා මම මෙතන දාලා තියෙන්නේ. තිසර පුළුවන් නම් ඒ ගීතය මට එවන්න. 










මෙතනට ගිහින් සනත් නන්දසිරි ගායකයාව තෝරන්න
එතන ගීත අංක 276





සඳෙන් එහා කඳු මුදුන් නිවී - මිල්ටන් මල්ලවාරච්චි

ප.ලි. : මේකේ ප්‍රමුඛ කාර්යභාරයක් කරපු ලිෂාන් පුවක්ඕවිට මගේ මිත්‍රයට ස්තූති කරන්න මට එදත් අමතක වුණා, අදත් අමතක වුණා. මම ලිශාන්ගෙන් සමාව අයදින ගමන්ම, මේ සඳහා අලංකාර බැනර් එක නිර්මාණය කරපු ලිශාන්ට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...