Tuesday, July 30, 2013

ලොල්ද මන්දා අංක 6 - ගල්කිස්ස තියෙන්නේ කොහේද ?

මේ දවස් වල මම වැඩ රාශියක් මැද්දේ වෙලාවක් හොයා ගන්නේ පොස්ට් එකක් දාන්න. ඒ නිසා දිග ඒවා ලියන්න වෙලාවක් නෑ. ඒත් එහෙමයි කියලා මගේ රසික රසිකාවියන්ව අතරමං කරන එකත් හොඳ නෑ. "මා ආ මග" වැඩසටහනේ රේකෝර්ඩින් එක අද ලැබෙයි හෙට ලැබෙයි කියලා බලන් හිටියා, ඒකත් හරි ගියේ නෑ. එහෙම වුණා නම් ඒකෙන් ගොඩ යන්න තිබුණා.  අද උදේ තුනට විතර ඇහැරිලා පොස්ට් එකක් ලියන්න ගත්තා. ඒක කොට කොටා ඉන්නකොට ආයෙත් නිදි මතක් ආවා. එහෙනං කෙටියෙන්ම කතාව ලියන්නම්.

පින්තුරය ගත්තේ : http://karenknowsbest.com
මේ සිද්දිය වෙලා තියෙන්නේ කොළඹින් ටිකක් ඈත තියෙන අපේ බ්‍රාන්ච් එකක. අපේ බැංකුවේ ඉන්නවා විවිධ තාරතිරම් වල පුද්ගලයෝ. උසස් වීමක් ලැබිලා අලුතෙන් ආපු මහත්මයෙක්ට බ්‍රාන්ච් එකේ කලමනාකාර මහත්මය පොඩි වැඩක් පවරලා. ඉස්සර දැන් වගේ විල්ගමුවෙන් සල්ලි දැම්මම කොළඹ ගිණුමට සල්ලි බැර කරන්න බෑ. කෙරෙන ක්‍රමේ තමයි ශාඛා නිවේදන නොහොත් බ්‍රාන්ච් ඇඩ්වයිස්. ඒ කියන්නේ ශාඛාවකින් තවත් ශාඛාවක ගිණුමකට මුදල් යවන්න අවශ්‍ය නම් මෙන්න මේ ජාතියේ එකක් යවන්න ඕනේ.

කළමනාකාර තුමා : කොහෙද කලින් වැඩ කළා කිව්වේ ?

සුමනසිරි මහතා : මම හිටියේ පොළොන්නරුවේ ලොකු මහත්තයා.

කළමනාකාර තුමා : මොනවද එහේදී කලේ ?

සුමනසිරි මහතා : ශාඛා නිවේදනයි, ගෙවීම් ඇනවුම් තමයි.

කළමනාකාර තුමා : බොහොම හොඳයි. මටත් මේ පෙන්ඩින් වැඩ වගයක් තියෙනවා. මිනිස්සුන්ගේ සල්ලි ගිහින්, නැතුව නිතරම කරදර කරනවා.

සුමනසිරි මහතා : හරි සර් මම කරලා දෙන්නම්.

කළමනාකාර තුමා : නන්දනී මේ සුමනසිරි මහත්තයට අර බ්‍රාන්ච් ඇඩ්වයිස්, පේ ඕඩර්ස් පොත් දෙක බාර දෙන්න. අද ඉඳලා ඒ සබ්ජෙක්ට් එක ඔයා කරන්න ඕනේ නෑ. ඔයාට වැඩ වැඩියිනේ.

ඉතිං පොත් ටික බාර අරගෙන සුමනසිරිත් ටිකක් වැඩ පෙන්නන්න හිතාගෙන හැදුවා පෙන්ඩින් තියෙන ලිස්ට් එකක්. මුලින්ම තියෙන්නේ ගල්කිස්ස බ්‍රාන්ච් එකේ එකක්. මිනිහා ගත්තා ඩයරිය අතට. කල්පනා කළා ගල්කිස්ස අයිති වෙන්නේ කොළඹ පිටත ප්‍රාදේශිකයට. දැන් හොයනවා, හොයනවා ගල්කිස්ස හම්බ වෙන්නේ නෑ. බම්බලපිටිය තියෙනවා, දෙහිවල බ්‍රාන්ච් දෙකම තියෙනවා, මොරටුව, ඔක්කෝම තියෙනවා. ගල්කිස්ස නෑ. මිනිහා බැරිම තැන බ්‍රාන්ච් එකේ අලුතෙන් ආපු කොල්ලෙක් ලඟට කිට්ටු කරා. 

"මල්ලි ගල්කිස්ස බ්‍රාන්ච් එකේ නම්බර් එක පොඩ්ඩක් හොයලා දෙනවද? "

කොල්ලා පොත අතට ගත්ත ගමන්ම හොයලා දුන්නා.

දෙයියනේ. එතකොට තමයි මිනිහට සිහි වුණේ වැඩේ. නළලට දාපු හීන් දාඩිය ටික ලේන්සුවෙන් පිහ දාන ගමන් කොල්ලගේ උරිස්සෙන් අල්ලලා

"උඹ ලොකු උදව්වක් මල්ලි කලේ" කිව්වලු. 

ඉංග්‍රීසියෙන් මුද්‍රණය වෙලා තියෙන ඩයරියේ ගල්කිස්සක් කොහේද? තියෙන්නේ මවුන්ට් ලැවිනියා නේ. 



Saturday, July 27, 2013

මා ආ මග දැනගන්න එන්න ....

"මා ආ මග" කිව්වම ඔබට අලුත් දෙයක් නොවන බව මම දන්නවා. බස් රේඩියෝවේ පවත්වන  ඉරිදා රාත්‍රී සජීවී වැඩසටහන තමයි "මා ආ මග". මේ වනවිට මෙහි වැඩසටහන් තුනක් පවත්වලා තිබෙනවා. මා ඒ වැඩසටහන් තුනටම සවන් දුන්නා.  ඒවා ඉතා සාර්ථක, ඒ වගේම අපේ එදිනෙදා කටයුතු වලට වැදගත් තොරතුරු දැන ගැනීමට ඉවහල් වූ බව සඳහන් කල යුතුයි. 

මගේ බ්ලොග් අඩවිය සමග එකතු වී සිටින ඔබ මාගේ රැකියාව කුමන ආකාරයේ එකක්දැයි මේ වනවිටත් දන්නාවා ඇති. මේ වනවිටත් ලිපි කිහිපයකින් ATM ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් ගනුදෙනු පිලිබඳ ගැටළු සහ සාමාන්‍ය දැනීම් බෙදාගෙන තිබෙනවා. ඇත්තටම ඒ සඳහා ඉහල ප්‍රතිචාර ලැබුණා. නමුත් ඒවා නොකියවූ ඒ වගේම බ්ලොග් නොකියවන එහෙත් බස් රේඩියෝවට ඇහුම්කන් දෙන රසිකයන් සැමත් සමග  මාගේ වෘත්තීය දැනීම බෙදා ගන්න මම එනවා මේ ඉරිදා බස්රේඩියෝවේ "මා ආ මග" වැඩසටහනත් සමග. ඔබටත් එවැනි ගැටලු කොතෙකුත් ඇති. 

මේ වනවිට ඔබට ගැටළුවක් ව පැවති දේ, ඒ වගේම නොදන්නා දේ ගැන දැන ගන්න ඔබේ ගැටලුත් ඉදිරිපත් කරන්න 28 වැනි ඉරිදා රාත්‍රී 8:30 ට බස් රේඩියෝවත් සමග එක වන්න.




Tuesday, July 23, 2013

ලොල්ද මන්දා 5 : කෙන්ජිගේ පළමු සටහන සහ ලන්ඩන් ගිය ගමගේ......

අන්තිමට ලියපු ලොල්ද මන්දා කතාව කියවපු අපේ කෙන්ජි ඒ වගේම කතාවක් ලියලා එවන්න පොරොන්දු වුණා. දින කිහිපයකින් මට හීයක් මගින් ඒ කතාව එවලා තිබුණා. කෙන්ජි ඉල්ලලා තිබුණේ වෙනස් විදියකයට ලියන්න කියලා. නමුත් ඒ කතාව මම හිතුවා ඒ විදියටම දාන්නා. මොකද මේ කෙන්ජි ලියන පළමු සටහන නිසා. සමහර විට වෙනත් තැනක කලින් ලියලද දන්නෙත් නෑ. මම දන්නා පළවෙනි එක මේක නිසා ඔන්න මම දානවා.

අපේ රටේ කොල්ලො 5 දෙනෙක් '89වලදී වගේ ජපන් යන්න හිතනව.කොහොම හරි ජපානෙට පැනල හොරෙන් රස්සාවල් කරල පුළුවන් තරම් සල්ලි හොයන් ඇවිල්ල ලොකු බිස්නස් එකක්,ලොකු ගෙයක් හදාගෙන පජෙරෝ අරගෙන හොද කෑල්ලක් සෙට් කරගෙන ඔය වගේ සිහින මාලිගා. 
පස් දෙනාගෙන් අයිය,මල්ලි දෙන්නයි එයාලගෙ ඥාති සහෝදරයො දෙන්නයි,අයියගෙ යාළුවෙකුයි.යාලුව එයාර් ලංකා කේටරින් වල වැඩ කරනවලු එතකොට.මට මතක විදියට බන්දුල වගේ නමක්.අයියයි,මල්ලිගෙයි තාත්ත එයාර්පෝට් immigration ඔෆිසර් කෙනක්.(මේ ලමයි දෙන්න දෙවැනි පවුලගෙ කියල පස්සේ ආරංචි උනා.ඒ කතාව අපිට අදාල නැහැ)
කොහොමත් බන්දුව අමුතු ඩයල් එකක්.කේඩෑරි,උස,උරහිසින් ටිකක් ඉදිරියට නැමිල,මෝඩ විහිළු කලවම් මුහුනක් තියෙන පොරක්.හැබැයි අති පණ්ඩිතය.ඇගැපුරා මොලේ තියෙන විදියට තමයි කතාව.ඒ පස් දෙනාගෙ ගැන්සියේ යමක් ඉගෙන ගෙන හිටියෙත් ඒක විතරයි.අනිත් එවුන් 4ම ගොන් තැම්බෝ.(මුන් ටික ජපානයට ආවම තමයි ඔය ටික දැනගත්තෙ) 
තාත්ත කාරය හදන්නෙ නැවකට නගින විදියට එයාපෝට් බස්සල වාෂ්ප කරන්න.කොහොමහරි එම්බසිය අල්ලල පස් දෙනා යන්නේ නැතිවම "ට්‍රාන්සිට් විසා" වද්දල ඒ ගේම ෆිනිෂ්.
දැන් වීසත් ලැබුනම බන්දුව සතුටින් අනිත් අයට කියනවලු අපිට රස්සාවක් තමයි බං ප්‍රශ්නෙ.රස්සාවක් හම්බුනාම විසා නැති එක ගානක් නැහැ බන් ලංකාවේ කිව්වම මාර තැනක්ලු තියෙන්නෙ, JRට මාර සැලකිල්ලලු. සැලකිල්ල කොහොමද කියනව නම් ගොඩක් ප්‍රසිද්ධ තැන් වල JR ගෙ නම ගහලලු. අර UN සෙමින එකේදි "නහි වේරේන"ගාථාව කියල ජපානෙ බෙරගත්තළු නෙ. එකනේ ලොක්ක ආපු ගමන් රුපවාහිනිය,ජ.පු.ඉස්පිරිතාලෙ තව ඔය මහවැලි වගේ ලොකු ප්‍රොජෙක්ට් සේරම ජප්පොනෙ දීල තියෙන්නෙ. අනිත් 4දෙනා තුස්නිම්බුත වෙලා අහගෙන ඉන්නව විතරලු. බන්දුව කියන එකට මහවැලිය කලේ ජපානෙන් නෙමේ කියන්න එකෙක් නැහැ. 
මගෙ පියාගෙ යාලුවෙක් අහල තියෙනව එයාගෙ යාළුවකුගේ ළමයි 5ක් ජපන් යනව, විසත් හරි එයාපෝට් එකෙන් බාර අරන් රස්සාවල් හොයල දෙන්න පුලුවන්ද පුතාට කියල. සමහරු අහන්නෙ පුතාට කියල අපේ ළමය ජපානෙට යවාගන්න ක්‍රමයක් නැද්ද කියලනෙ. පියා වගේම මමත් කල්පනා කලා අමාරුම දේ විසානෙ. ඉන්න,කන්න බොන්න රස්සාවක් ප්‍රශ්නයක් නැහැ ලංකාවෙ එව්වො නෙ කියල එකෙන්ම OK එක දුන්න. 
කොහොම හරි නරිට එයාපෝට් බැහැල 5ස් දෙනා කවුන්ටර් පහකට වෙනම ගිහිල්ල ට්‍රාන්සිට් (දින 7කට විසා)ගහගෙන එලියට එන තැනදී ඩයල් ටික අල්ලගෙන මා සහ මගේ මිත්‍රයකු ඔවුන් රැගෙන ස්කෙලේටර් නාග/බැස ගොස් දුම්රිය පලට ගියා. 
හිතා ගන්න පුලුවන්ද මොකද වුනේ කියල. මම ටිකට් අරං එද්දී දුරට පේනවා බන්දුව අර 4දෙනාට අතපය දික් කර කර පෙන්න පෙන්න කට කනේ. 
අපි ඇවිල්ල හිටියෙ ජැපනීස් රේල්වේ දුම්රිය ස්ථානයකට නිසා, දුම්රිය පෙට්ටි දුම්රිය ස්ථානයේ නම සහිත බෝඩ් වල JR කෙටි යෙදුම යොදල දැකල තමයි බන්දුවගේ කට කනේ.
පින්තුරය ගත්තේ : http://jats60.umin.jp

පුද්ගලික සමාගම් වලට අයිති වෙනම රේල්වේ ලයින් තිබෙනව.ඒවා ඒ සමාගම් නාමයන් ගෙන් හදුන්වනව.
Kenji @ Japan 

දැන් මෙන්න මගේ කතාව

මේ වගේ ලංකාවේ යාලුවේ දෙන්නෙකුත් එංගලන්තෙට ගියා. ඒ එක්දාස් නවසිය හැට ගණන් වල. එංගලන්තෙට වීසා ගන්න එතරම් අමාරු නැති නිසා දෙන්නටම කිසි කරදරයක් නැතිව වීසා ලැබුණා. එහේ ඉන්න යාලුවෙක්ගේ නිවහන මේ දෙදෙනාටත් සෙවන වෙලා. ඉතිං පුංචි පුංචි රස්සාවල් කරලා ජීවත් වෙන ගමන් ගානකුත් ඉතිරි කරගෙන මේ දෙන්නා සතුටින් සමාදානයෙන් ඉන්නවලු. 

මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ නම ජෝර්ජ්. ජෝර්ජ් කිව්වාම ඉතිං එංගලන්තේ කොයි තැන බැලුවත් තියෙනවනේ. කඩසාප්පු වලද, බස් නැවතුම් වලද, කොටින්ම රජ පරපුරේත් ජෝර්ජ්ලා ඉඳලා තියෙන නිසා තැනකට ගියත් ජෝර්ජ් කිව්වම මාර තැනලු. ඒ නිසා ජෝර්ජ් ඉන්නේ පොඩ්ඩක් උජාරුවෙන්ලු. මිනිහා නිතරම කියනවාලු
බලපන් අපේ පප්පා මට නම දාලා තියෙන්නේ බොහොම දුරදිග කල්පනා කරලා. පප්පා දැනගෙන ඉඳලා තියෙන්න ඇති මම කවදා හරි ඉන්ග්ලන්ඩ් යනවා කියලා. දැන් බලපන් ජෝර්ජ් කිව්වම මාර තැනක් නේ තියෙන්නේ 

මේකට දෙවෙනි යාලුවාගේ පොඩ්ඩක් හිත රිදිලා ඉඳලා තියෙන්නේ. මිනිහගේ නම ඉතින් ගමගේ නේ . ඔන්න දෙන්නා දවසක් හවස ලන්ඩන් නගරයේ පාරක් දිගේ යනකොට ගමගේ, ජෝර්ජ්ගේ අතින් අල්ලලා නවත්තුවාලු

ගමගේ : බලපන් කඩේ දිහා හොඳට 

ජෝර්ජ් : මාර බයිසිකල් තොගේ නේ 

ගමගේ : අන්න, අන්න උඹ කැත මිනිහා. මෙච්චර ලස්සනට ලොකුවට තියෙන එක උඹට පෙන්නේ නෑ.

ජෝර්ජ් : පේනවා, පේනවා, බයිසිකල් තමයි ඉතිං හැම තැනම.

ගමගේ : එතකොට උඹට ඔච්චර ලොකුවට ගහලා තියෙන, කඩේ බෝඩ් එක පෙන්නේ නෑ. බලපන් අපේ අය ලන්ඩන් ඇවිත් තියෙන්නේ උඹලට කලින්.

පින්තූරය ගත්තේ : www.lookandlearn.com
දෙන්නා නතර වෙලා බලන් ඉඳලා තියෙන්නේ මෙන්න මේ සාප්පුව ගාව. ඒගොල්ලෝ මේක කියන්නේ "ගැමේජ්" කියලලු. ජෝර්ජ්ට ඒ ගැන වැඩි තේරුමක් නැති නිසා තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉඳලා. 

 

Saturday, July 20, 2013

ඔබේ සාක්ෂරතාවට ගෙවීමක් (Payback for your Literacy)

මම ඊයේ හිටියේ කළුතර. හිටියා කිව්වට ගිහිං එන්න ගියේ. කළුතර කියන්නේ මගේ දෙවෙනි ගම වගේ තැනක්. ඒ මගේ පාසල් වියේ වැඩි හරිය කළුතර ගත කරපු කරපු නිසා. ඒ අත්දැකීම් බොහොමයක් තවමත් මා ඔබත් සමාගෙන බෙදාගෙන නෑ. එහි ගමන් කරන මාවතක් මාවතක් පාසා කුමක් හෝ මතකයක් අවදි වෙනවා. නමුත් මා අද ඔබට කියන්න යන්නේ වෙනස් කතාවක්.

සල්ගාදු හෝටල් සමූහයේ හෝටල් දෙකක් කළුතර තිබෙනවා. එකක් බස් නැවතුම්පොළ ඉදිරිපිට, අනික මහලේකම් කාර්යාලය ඉදිරිපිට. මම මහලේකම් කාර්යාලයට යාමේ බලාපොරොත්තුවෙන් තමයි කළුතර ගියේ. හරියටම උදේ 9.15ට එතැනින් බැස ගත්තා. උදේ ආහාර වේල මම පුරුද්දක් විදියට ගන්නේ මේ වෙලාවට. ඉතිං දෙවරක් නොසිතාම සල්ගාදු හෝටලයට ගොඩ වුණා. දැන් සල්ගාදු හෝටලය පෙර තරම් සාරයක් නෑ. ඉස්සර ඕනෑම නගරයක සල්ගාදු හෝටල් තරම් සුවිසල් ආහාරපාන සපයන තැනක් නෑ. සල්ගාදු හෝටල් වලට කුඩා කාලයේ ගිය විට බොස්ගෙඩිය ලොකු ෆෑන් එක දිහා බලා ඉන්න එක මගේ පුරුද්දක් වෙලා තිබුණා.

දැන් සල්ගාදු හෝටලුත් නවීකරණය වෙලා. කෙටි කෑම තමයි උදේට කන්න වුණේ. මෙහෙම කමින් ඉන්නකොට මගේ ඉදිරිපිට අපූරැ දසුනක් මැවුනා. මම මොහොතක් හෝ පමා නොකර එය ඡායාරූපයට නැගුවේ, සල්ගාදුවේ තිබූ ෂෝට් ඊට් වලට පින් දෙමින්. හොදි අනාගෙන කන කෑමක් වුනා නම් මට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. කොයිකටත් එක්ක පින්තූරේ දාන්නම්, එතකොට වැය වෙන වචන ගණන අඩුයිනේ.

පින්තුරයකින් වචන දාහකින් කියන්න බැරි දේවල් විස්තර වෙනවා කියලා තමයි මමත් විශ්වාස කරගෙන හිටියේ. මේ පින්තුරය දිහා බලාගෙන වචන දාහක් කියන්න පුළුවන්. ඒත් මෙතන වෙන්නේ මොකක්ද කියලා හරියටම කියන්න කාටවත් පුලුවන්ද? බෑ. බොහෝ දෙනෙකුට මේක ගැන දල අදහසක් ගන්න පුළුවන් වුණත්, හරියටම වෙන දේ කියන්න අපහසුයි. 

මේක දැක්කම මගේ මතකයට ආව කරුණු දෙකක් තියෙනවා. මේ දෙකේම සමානකම් බොහෝමයි. ඒත් මේවා සිද්ද වුනේ සාක්ෂරතාව බොහොම අඩු ප්‍රදේශ දෙකකින් වීම තමයි මෙහි පොදු ලක්ෂණය. පලවෙනි එක වුණේ වැලිමඩදී. ඒක නම් ඉතාම හාස්‍යජනක සිදු වීමක්. දෙවෙනි එක වුනේ මස්කෙළියේදී. මුලින්ම ඒක කියන්නම්. 

මගේ මතකය නිවැරදි නම් ඒ 2003 අවුරුද්දේ මුල් කාලය. මස්කෙළිය කියන්නේ ශ්‍රීපාදය පාමුල කිව්වොත් ඔබේ මතකයට එන්නේ මොන වගේ හැගීමක්ද ? සීතල. ඔව් දත් පැලෙන සීතලක් තියෙන්නේ. එහෙව් ප්‍රදේශේකට අපිට යන්න වුණේ පරිඝනක පද්දතිය එම නගරේ ශාඛාවේ ස්ථාපනය කරන්න. මේ වගේ ගමනකට තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යනවා. මේ ගමනට එකතු වුණේ මමත්, අකිල සහ ආනන්දත්. අපි තුන්දෙනා උදේ දහයට විතර එලියට බැස්සේ උදේට බඩට යමක් දා ගන්න. අපේ රුචිකත්වයට නැතත්, උණු උණුවේ වඩේ එකක් පරාටා එකක් කාලා ප්ලේන්ටියක් හරි කෝපි එකක් හරි බිව්වම එන ශක්තියෙන් ආයි එකට දෙකට දවල්ට කනකම් ඉන්න ඕනේ. 

මෙහෙම යනකොට වටපිටට ඇහැ යොමන එක මගේ පුරුද්ද. මොකද මොනවා හෝ අලුත් අත්දැකීමක් එකතු කර ගන්න මේ ගිය හැම ගමනකදීම පුළුවන් වුණා. වැස්ස... මේ වගේ ප්‍රදේශ වලට ආගන්තුක දෙයක් නොවේ. අනෙක් ඒවා කුඩු වැහි කියන ඝණයට තමයි අයිති වෙන්නේ. ලා හිරුරැස් යාන්තමට පතිත වෙලා තිබුණක් සීතලේ අඩුවක් නෑ. මම ජැකට් එකක් දාගෙනම හිටියේ. ආනන්ද මට වඩා හීතලට සංවේදී පුද්ගලයෙක්. වර අපි හෝර්ටන් තැන්නේ සංචාරයක නිරත වෙලා, එහිම තිබෙන වනජීවී දෙපාර්තමේන්තුවේ සර්කිට් බංගලාවක නතර වුණා. එදා රෑ ආනන්දට හීතල ඉවසන්න බැරිව කිව්වේ "මෙහෙ ඉඳන් දුක් විඳින්නේ නැතිව, බලංගොඩ හරියේ හෝටලයක නතර වෙලා හෙට උදේ එමු" කියායි. ඉතිං හිතා ගන්නකො මිනිහට හීතල කොච්ච්චර ඇලජික්ද කියලා. අකිල මීට හාත්පසින් වෙනස්. නුවර ඉපදුන අකිලට මේක දරා ගන්න පුළුවන් වුණා. 

එක්තාර පාලු කඩ කාමරයක් අසල පාරේ තැනකට මිනිසුන් වට වී සිටින අයුරු මා දුටුවා. සැනෙකින් අනෙක් දෙදෙනා නවතා මා ඒ අසලට ගියේ එහි වන දේ දැන ගන්න. මේසයක් මතා පිළිවෙලට තබා තිබෙන්නේ අපේ බැංකුවට අයත් මුදල් තැන්පත්, මුදල් ආපසු ගැනීමේ ස්ලිප් පෑඩ් කිහිපයක්. වට වී සිටින අය අත බැංකු පොත්ද, විදුලි බිල් සහ වෙනත් පෝරම කිහිපයක් තිබුණා. ඔහු වටපිට ගැන කිසිදු අවධානයක් නොගෙන එක දිගට මුදල් ගැනීමේ ස්ලිප් එකක් පුරවන ගමන්ම අසල සිටින වියපත් දමිල කාන්තාව වෙත ප්‍රශ්ණ යොමු කරනවා. ඒ සඳහා පිළිතුරුද ලැබෙනවා. කතා කල දේ ගැන වැඩි යමක් සඳහන් කරන්න බැරි මගේ දෙමළ භාෂාව පිලිබඳ සාක්ෂරතාව බිංදුව වීම නිසා. නමුත් ෆෝරමය පුරවා අවසානයේ මහළු කත ඔහු අත රුපියල් පහේ කාසියක් තැබුවා. පුරවන ලද ස්ලිප් එක ගත ඈ පාර මාරු වී ශාඛාවට යන දෙස මා බලා සිටියා. අර මිනිසා සුපුරුදු පරිදි වැඩ. තවත් කිහිප දෙනෙක් ඔහු වෙත ගමන් කළා. මේ වනවිට මගේ මිතුරන්ද මා අසලට පැමිණ සිටියා. කෑමට යන ගමන් ආනන්ද මෙවැනි තවත් සිදු වීමක් ගැන මතකය අවදි කළා.

ඒ සිදුවීම මා මුලින් සඳහන් කල සිදු වීම් දෙකේ පළවෙනි එක. එකවර ශාඛා දෙකක් පරිඝනක ගත කරන්න කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශයට ගමන් ගත්තා. ඒ වැලිමඩ සහ හපුතලේ. වැලිමඩ ශාඛාවේ මුදල් කවුන්ටරයෙදී ආනන්ද අපූරු දෙයක් නිරීක්ෂණය කර තිබුණා. මෙවැනි ශාඛාවකට අලුතින් පරිඝනක පද්දතියක් හඳුන්වාදීමත් සමග එතෙක් අත්හුරු ක්‍රමයට ගෙන ආ ලෙජර්-පාස්පොත් ක්‍රමය වෙනුවට පරිඝනක පාස්පොත හඳුන්වා දෙනවා. මෙහිදී අපි කරන්නේ පැරණි පාස් පොතේම නව අංකය සටහන් කර දීම. අංක හයකින් යුත් පැරණි අංකය වෙනුවට අංක දහයකින් යුත් නව අංකය හඳුන්වා දෙනවා. ඒත් බොහෝ දෙනා සුපුරුදු පරිදි අංක හයකින් යුත් පැරණි අංකයම සටහන් කරනවා. නමුත් මෙහිදී ආනන්ද එක්තරා වෙනසක් දුටුවා.

සියළුම කාන්තාවන් රැගෙන එන තැන්පත්/ආපසු ගැනුම් ස්ලිප් වල සම්පූර්ණ අංකය සටහන් වී තිබීම, පැහැදිලි අකුරින් සියලුම කොටස් සම්පූර්ණ කර තිබීම මේ කාරණා. ඇත්තටම මෙය අපගේ රාජකාරිය පහසු කරවන දෙයක්. දියෙන් ගොඩ දැමූ මාළුවන් සේ ගැහෙනා සේවාකයන් වෙනුවෙන් පරිඝනකය වෙත අවශ්‍ය දත්ත සටහන් කරන්නේ අපිමයි. නැතහොත් අදාළ ශාඛාවේ ගනුදෙනු කරුවන්ගෙන් අඩකට වත් සේවාව ලබා දෙන්න බෑ. ඒ ශාඛාවේ සිටින සේවකයන්ගේ පරිඝනක සාක්ෂරතාව අඩු නිසා. 

මටත් වඩා ආනන්ද හොඳ නිරීක්ෂකයෙක්. මේ දේ වෙන්නට ඇර, ශාඛාවේ ලොබියේ ගනුදෙනුකාර කාන්තාවන් පිරී සිටින එක් තැනක් වෙත ආනන්ද පිය නැගුවේ සිදු වන්නේ  කුමක්දැයි දැන ගැනීමට. වටවී සිටින කාන්තාව අතරින් තම නාසය දිගේ පහලට රූටන ඇස්කණ්නාඩිය වම් අතේ දබරන්ගිල්ලෙන් ඉහලට තල්ලු කරන බී.එම්. තම දිවෙන් තොලකට තෙමන ගමන් එහි සිටින තරුණ ලඳක් දෙස ඉහල සිටි පහලට කෑදර බැල්මක් හෙළා ප්‍රශ්න යොමු කල ආකාර ආනන්ද පසුව ඉතා කදිමට විස්තර කළා. එහි නමට අමතරව ලිපිනය, ස්වාමියාගේ රැකියාව (හමුදාවේද ? රටද ? ආදී ලෙස) විමසන ජවනිකාව ආනන්ද විස්තර කරන්නේ අසා සිටින සැම සිනා සයුරේ ගිල්වමින්. එයට ප්‍රධාන හේතුව බී. එම්. නමැති අපේ රියදුරු තැන උපන් ගෙයි මනමාලයෙකු වීමය. ඔහු ගුටි නොකා අනූ-නවයෙන් ජීවිතය බේරා ගත් අවස්ථා සහෝදර රියදුරු වරුන් අප වෙත කියන්නේ බී එම් නැති විටකය. 

කළුතරදී සිදු වූයේ ඉන් ඉතා අල්ප කොටසක් වුවත්. අප සමාජයේ දන්නා දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නා මෙවැනි දක්ෂයින් කොතෙකුත් සිටී. මේ සිද්දිය මතක් කල විට අපේ කාර්යාලයේ තවත් මිතුරකු වන සුරේෂ් පවසා සිටියේ අන්තර්ජාල බැංකු පහසුකම් භාවිතා කරමින් විදුලි බිල්පත් සඳහා මුදල් එක්රැස් කරන මිනි-ඔෆිස් කිහිපයක් තමා දැක තිබෙන බවයි. පද්දති ඇතුලේ පද්දති ගොඩ නගනා මෙවැනි අය සැබවින්ම දක්ෂයන් නොවේද ? මේ ඔවුන් ලබාගෙන තිබෙන සාක්ෂරතාව සඳහා ලබන ගෙවීම නොවේද ?

Thursday, July 18, 2013

සංකීර්ණ මනුෂ්‍ය චර්යා - රහසිගත ලලාසාව.....

අද සම්පූර්ණ දිනය තුලම මා ලියන්නට මාතෘකාවක් සොයන්න වෙහෙසුනත් රාත්‍රී 10.30 වන තුරුම එය සාර්ථක නොවිණි. රාත්‍රී ආහාරයෙන් පසුව රුපවාහිනිය දෙස දෑස් යොමා බලන්නට යමක් තිබේදැයි විමසිලිමත් වු විට  මගක් දුර ගොස් තිබූ ඉංග්‍රීසි චිත්‍රපටයක් අසු විය. ඉන්  පසුව FIFA කොන්ෆෙඩරේෂන් කුසලානයේ අවසන් තරගයේ විශේෂ අවස්ථා නැරඹුවෙමි. මේ සියල්ල රාත්‍රී 11.00 වනවිට අවසන්ය. එහෙත් එය නිදියහනට මා යන වේලාව නොවේ. තවත් බලන්නට දෙයක් සොයන්නට නාලිකා මාරු කිරීමක කරන විට නැෂනල් ජෝග්‍රැෆික්හී විකාශය වූ Taboo  වැඩසටහන දැක මදක් නැවතුනෙමි.

එම වැඩසටහ Private Passion නම් විය. එයරහසිගත කාමය හෝ රහසිගත ලලාසාව යනුවෙන් සිංහලට නැගුවද එහි නියම තේරුම ලැබේදැයි සැකසහිතය. මුලින්ම මේ Taboo වැඩසටහන ගැන යමක් කිව යුතුය. එමගින් පෙන්වන්නේ ලොව සතරදිග් භාගයේ ඇති විවිධාකාර මිනිස් චර්යාය. විවිධ හැසිරීම්, ආහාර චර්යා වැනි දේ එයට මාතෘකාය. මෙම මිනිස් කාණ්ඩයට පොදු ලක්ෂණය කිහිපයක් මගේ නිරීක්ෂණයට හසු විය. එනම් ඔවුන් සෙසු සමාජය හිතන දේ පිලිබඳ වද නොවී ඔවුන්ගේ හැසිරීම් කරගෙන යාම සහ එකිනෙකා වෙත දක්වන අන්‍යෝන්‍ය සුහදතාව, අවංකබව හා ගරුකිරීමය. ඇත්ත වශයෙන්ම එවැනි අයට නිසි අනුකම්පාව ශ්‍රීලංකාව වැනි රටක හිමි නොවුනද, බටහිර ජාතීන් වෙසෙන රටවල ඒවාට නිග්‍රහ නොකරයි.
පින්තූරය ගත්තේ : http://channel.nationalgeographic.com

අද වැඩසටහනේ මුල් කොටසින් පෙන්වුයේ ස්ව කැමැත්තෙන්ම සුනඛ වෘතයක් පුරන තරුණයෙක් සහ ඔහුගේ ස්වාමිදුව ලෙස රැඟුමක යෙදෙන ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හී වෙසෙන් යුවලකි. ඇය නමින් ලිලියන් වන අතර ඇගේ හුරතල් බල්ලා ලෙස රඟන ඔහු වයික් වේ. ඔවුන් දෙදෙනා එකිනෙකාට දක්වන කැමැත්ත, ආදරය සහ ගරුත්වය එම වැඩසටහන විකාශය වූ පැය භාගයෙන් විනාඩි 15කම කදිමට ප්‍රදර්ශණය කල අතර, ඒ පිලිබඳ මනෝ වෛද්‍ය විග්‍රහයන්ද ඉදිරිපත් කරන ලදී. ගූගල් සෙවුම් යන්ත්‍රය මට අදාළ ඡායාරුපය සහිත වෙබ් අඩවියට සබැඳියාව සොයා දුන්නේය.

අපූරු පෙම

නමුත් එහි වැඩි විස්තරයක් අඩංගු කොට නැත. එම වැඩසටහනේ එක් විශේෂිත කොටසක වීඩියෝව යූටියුබ් මගින් සොයා ගන්නට හැකි විය. 

එවැනි දෙදෙනෙකු අතර ලිංගික ක්‍රියාවලියක් අනවශ්‍ය බව ඇය පවසයි. එය එම සබඳතාවේ අත්‍යාවශ්‍ය කොටසක් නොවන බව ඇය වැඩිදුරටත් කියා සිටියි. එම වැඩසටහන පුරාම එම බලු වෘතය පුරන්නා ඇයට ඉතා අවනතව සිටී. 

මෙවැනි දෙදෙනෙකුගේ සිත් ක්‍රියාත්මක වන ආකාරය තරමක් සංකීර්ණය. සාමාන්‍ය මිනිස් ලක්ෂණ සහ චින්තනයන් ඇති අපට එය ග්‍රහණය කර ගත නොහැක. එහෙත් එවැනි සිතුවිලි සහිත අය අප සමාජයේද හමු විය හැක. අප ඔවුන්ට අනුකම්පා කල යුතුය. බෞද්ධයන් ලෙස අප විවිධ ආත්ම වල සතුන් ලෙස ජීවත් වන්නට ඇත, අනාගතයේද එසේ විය හැක. මේ ලක්ෂණ පෙන්වන්නේ සසර පුරුදු දිගටම ගෙන ඒමක් විය හැක. 

තවමත් අපේ නීතියේ එවැනි දේට ඉඩකඩ නැත. ඇමෙරිකාවේ තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. මෙවැනි චර්යා එවැනි රටකට සාමාන්‍ය නොවුනද ඔවුන් ඒවාට පරිභව කරන්නට නොයන්නේ එම රටේ මිනිස් අයිතිවාසිකම් වලට උපරිම ගරු කරන නිසා විය යුතුය. එසේම ඔවුන් සත්ව අයිතිවාසිකම් වලටද ඉහල තැනක් ලබා දේ. 


පින්තූරය ගත්තේ : http://channel.nationalgeographic.com

එම වැඩසහනේ ඊළඟ කොටසින් ඔවුන් පෙන්වූයේ තවත් එවැනිම යුවලකි. නමින් අලෝමා සහ මැතිව් නම්  ඔවුන් ආහාරයට ගන්නේ තනිකරම පලතුරුය. අහම්බෙන් ඉතා කුඩා එළවලු ප්‍රමාණයක්ද ඔවුන් පලතුරු හිඟ මොහොතක ලබා ගනී. නමුත් විශේෂත්වය නම් මේ පලතුරු ඔවුන් සපයා ගන්නේ කුණු කූඩ වලිනි. අඩක් නරක්ව විසි කල සියලුම පලතුරු ඔවුන්ගේ මල්ලට එකතු කර ගන්නේ රාත්‍රී කාලයේදීය. නිතර සිප වැළඳ ගමින්, තුරුළු වෙමින්, එම පලතුරු බුදින ඔවුන් වෙලාවකට නාට්‍ය ස්වරූපයේ රඟපෑමක්ද කරයි. 

එය විශ්ලේෂණය කරන විද්‍යාඥවරිය පවසන්නේ වසරකට ඇමෙරිකාවේ මිනිස් කුසකට නොයා කෙලින්ම කසල ගොඩට එක වන පලතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 33,000. එවැනි අයෙක් එහි ප්‍රයෝජනය ගැනීම ගැන ඇය සතුටු වන්නීය. මොවුන් දෙදෙනාට කිසිම දිනක බඩේ අමාරුවක්ද සෑදී නැත.  


නමුත් මේ වැඩසටහනේ වඩාත් සිත් ගත් කොටස නම් ඔවුන් එකිනෙකාට දක්වන කැමැත්ත, සෙනෙහස, ගෞරවය සහ අවංකත්වයයි. අප සමාජයේ විවාපත් සදාචාර සම්පන්න යැයි සලකන යුවලක් තුල දුලබ මේ ලක්ෂණ එවැනි යුවලක් තුල දක්නට ලැබීමෙන් මානසික විකෘතීන් ඇත්තේ ඔවුන්ටද නැත්නම් අපටද යන්න ප්‍රහේලිකාවකි. 

Sunday, July 14, 2013

ලොල්ද මන්දා 4 - සෙබස්තියන් කෝ ......

සෙබස්තියන් කෝ කියන නම ඇහුවාම කවුද නොදන්නේ. ඕනෑම කෙනෙක් දන්නවා. එංගලන්තෙන් බිහි වූ දක්ෂ දුර දුවන්නෙක්.  ඒත් ඉස්සර එයාගේ නම සෙබස්තියන් විතරයි පස්සේ තමයි මේ කෝ කෑල්ල එකතු වුණේ. කතාව මෙහෙමයි.

ඔන්න ජපානේ තිබුණ තරගාවලියකට සෙබස්තියන් සහභාගී වුණා. මිනිහට එහෙදී දවසක් හිතිලා සකේ වඩියක් ගහන්න. හවස කීප දෙනෙකුට කතා කලත් එකෙක් වත් කැමති වෙලා නෑ සෙබස්තියන්ගේ යෝජනවාවට. මිනිහා තනියම බැහැලා සීතලේ ගැහි ගැහී ගියාලු සකේ තැබෑරුමකට. එතන ඉන්නවලු තවත් සෙට් එකක් මේ තරගාවලියට ආපු. ඒ සෙට් එක ලංකාවේ. සෙබස්තියන්ගේ ඉහේ මලක් පිපුනලු. මිනිහා ගිහිං අපේ කට්ටියත් එක්ක එකතු වෙලා සකේ ගහන්න පටන් අරං.

ටික වෙලාවක් සකේ බිබී ඉන්න අතරේදී අපේ එකෙක් සෙබස්තියන්ට යෝජනාවක් කරලා. 

"මචං අපි ලංකාවේ. අපිට ඉන්න හිටින්න, කන්න හරියට නෑ. මේ දිවිල්ලත් කොයි තරම් කාලයක් කරන්නද? අපේ දරු මල්ලෝ ඉස්කෝලේ යවන්න, ගෙයක් දොරක් හදා ගන්න, වාහනයක් ගන්න. ඒවා හීන විතරයි. මේ දිවිල්ලෙන් පවුලක් නඩත්තු කරන්න බෑ බං. ඉතිං අපි හිතුවා අනිද්දට මැරතන් එකේ ටිකක් දුර දුවලා අතුරු පාරකට වැටිලා වහං වෙන්න. ජපානේ හොරෙන් හරි අවුරුද්දක් දෙකක් විතර හිටියොත් ගොඩම තමා. එහෙම ගොඩ ගිය අය ඕනෑ තරම් ඉන්නවා ලංකාවේ"

මේ කතාව අහගෙන හිටපු සෙබස්තියන් මෙහෙම කිව්වා
මහලොකු එංගලන්තේ හිටියට අපිටත් ඔහොමම තමයි. උඹලා හැරෙන තැන කියපන් මාත් එතනින් හැරෙනවා.
මෙහෙම ප්‍රතිඥාවක් දීගෙන කට්ටිය තමන් ඉන්න හෝටල් වලට ගියා. සහයෝගෙට එන එකාට පුෂ් බයිසිකලයකුත් හොයා ගත්තා. තමන්ට තියෙන ඉතාම වැදගත් දේවල් විතරක් බෑග් එකකට දාලා අර සහයෝගෙට එන එකාගේ කරේ එල්ලුවා.

තරගය ආරම්භ වුණා. කෙන්යාවේ,ඉතියෝපියාවේ කල්ලෝ සෙට් එක කඩාගෙන දිව්වා. දන්නවනේ උන්ට ඉතිං ඕවා ටොයිස් වැඩ නේ. අනෙක් සුද්දෝ ටිකත් අරුන් පස්සේ පැන්නුවා. සෙබස්තියන් අපේ සෙට් එකත් එක්ක පල්ලම් බැස්සා. ඔන්න ටිකක් දුර ගියාම තියෙනවා ගම්බද පැත්තකට යන පාරක්. අපේ එකෙක් එතනදී වමට සිග්නල් දාලා කෙලින්ම අර පාරේ හැරිලා දිව්වා. අනෙක් දෙන්නයි සෙබස්තියන් කාරයයිත් ඒ පස්සෙන් ඇරලා දැම්මා. මිනිස්සු කෑ ගහනවා ඉචිකෝ, බචිකෝ කියලා. මුන් ටිකක් නෙවෙයි හැරිලා බැලුවේ. දිගටම ඇරලා දැම්මා. දුවන්න බැරි පුතයලානේ.

අන්තිමට තරගය නිමා වුණා. වෙනදා කිසි ගේමක් නැතිව ගෝල්ඩ් එක ගන්න සෙබස්තියන් පැත්ත පළාතේ නෑ. ඔන්න එතකොට බ්‍රිතාන්‍ය බලධාරීන් සෙබස්තියන් හොයන්න පටන් ගත්තා. සුද්දෝ මොන වැඩේ කලත් ඉට්ටැයිල් එකටනේ කරන්නේ. එයාලා ගත්තා කඩදාසි මිටියක්. අරගෙන ලිව්වා "සෙබස්තියන් කෝ" කියලා. එකට සෙබස්තියන්ගේ පින්තුරෙත් එකතු කළා.  ඒවා පාරදිගේ බෙදන්න පටන් ගත්තා. අන්තිමට ජපන්නුන්ට මේ හරුපේ තේරුණේ නෑ. ඒ යක්කුත් අර කොලේ තියෙන එක ගිරව් වගේ කියවන්න ගත්තා. "සෙබස්තියන් කෝ...! සෙබස්තියන් කෝ ....!! " කියලා. 

අන්තිමට ජපන්නු හිතුවේ මේ ෆොටෝ එකේ ඉන්නේ සෙබස්තියන් කෝ කියලා. 

මගෙන් අහන්න එපා කොලේ ලිව්වේ ලංකාවෙන් ගිය එකෙක්ද කියලා. :) 

Friday, July 12, 2013

තඹාට නමක් ......

බොහොමයක් පත්තර වල තියෙන කොලමක් තමයි "බබාට නමක්" කියන එක. අලුත උපන් තම බිලිඳාට නම් දාන්න බලන් ඉන්න අය ඉතිං මේ වගේ පත්තර පිටු ගොඩ ගහගෙන ඒවායේ තියෙන නම් වලින් අරකට-මේකට හැම දේකටම ගැලපෙන නමක් හොයලා අන්තිමට අර පොඩි එකාට අවුරුදු 15 වත් වෙනකං හරියට කියව්ගන්නත් බැරි, ලියා ගන්නත් බැරි නමක් දානවා. අහුබුදු ශූරීන් සහ එතුමාගේ දුව වගේ අය අය ජීවිකාව කර ගත්තේ අපේ අයගේ තියෙන මෙන්න මේ දුර්වලතාව කිව්වොත් වඩා නිවැරදියි. 

මගේ මාතෘකාව බලපු ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ටයිපින් මිස්ටේක් එකක් කියලා. නැහැ. එහෙම නෙවෙයි. මේ තඹා කියන්නේ බබාට නෙවෙයි. එතකොට මොකාටද තඹා කියන්නේ? අපේ සමාජේ ඉන්නවනේ ඕනෑම දෙයක් කෙටි කරලා පහසුවට කියන අය. එයාලා මෙන්න මේ වගේ කොට කරපු නමක් තමයි මේ තඹා. අර ලැප්ටොප් එකට ලැපා, සෙල් ෆෝන් එකට සෙල, සන්ග්ලාස් එකට සඟ වගේ තම්බ් ඩ්‍රයිව් එකට කියන ඒ වගේ නමක් තමයි තඹා.

පින්තුරය ගත්තේ www.topfreebiz.com

මේ තම්බ් ඩ්‍රයිව් එකටත් කියන නම් ගොඩාරියයි. තම්බ් ඩ්‍රයිව්, ෆ්ලෑෂ් ඩ්‍රයිව්, පෙන් ඩ්‍රයිව් ආදී තවත් නම්. මේ කුලකයටම අයත් වෙන තව එකක් තමයි පොර්ටබල් හාර්ඩ් ඩිස්ක් (Portable Hard Disk). මේවායේ තියෙන පොදු ලක්ෂණය තමයි USB හරහා සම්බන්ධ වීම. 

බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මේ තඹා නැති වීම. මේක එන්න එන්නම පුංචි වෙලා දැන් නිකක් අඹ පොත්තක් ගානට පොඩි වෙලා තියෙන නිසා මේක නැති වෙන ප්‍රවනතාව වැඩියි. එකට බොහෝ දෙනා කරන්නේ අර "උර චක්‍ර මාලයක්" මේකට ගැට ගහන එක. ඒ වුණාට ඒක හරිම කරදරයක් බොහෝ වෙලාවට. 

කිව්වට කී දෙනෙක් විශ්වාස කරයිද මන්දා, මම මේ වෙනකොට තඹාලා දෙන්නෙක්ම ඇහිඳලා තියෙනවා. එයින් එකක ඔය කියන මාලේ තිබ්බා. ඒ තිබිලත් තමයි වැටිලා තියෙන්නේ. මම පුදුම උත්සාහයක් ගත්තා ඒකෙ තියෙන ඩේටා වලින් අයිති කාරයාගේ තොරතුරු හොයන්න කිසිම ඵලක් වුණේ නෑ. දෙවෙනි එක 4GB අලුත්ම එකක්. ඒකෙ කිසිම තොරතුරක් තිබුණේ නෑ. අන්තිමට මේ දෙකේම අයිතිකාරය මම බවට පවත් වුණා. 

මෙහෙම නැති වෙලා, අහුලපු කෙනා දෙන්න කැමති කෙනෙක් නම් ඒ වගේ තොරතුරක් ඔබේ තම්බ් ඩ්‍රයිව් එක තුල තිබුණා නම් ලැබෙන අවස්ථාව ටිකක් වැඩි වෙනවා. අද කාලේ බොහෝ දෙනෙක් මේවා ආපසු ලබා දෙන්න කැමතියි. එහෙමමත් කෙනෙක් තමයි නොදෙන්නේ. අනික මේ තම්බ් ඩ්‍රයිව් වල තිබෙන්නේ ඔබගේ දරුවාගේ මුල්ම උපන්දිනයේ ඡායාරුප වෙන්න පුළුවන්. එහමත් නැතිනම් ඔබේ ආයතනයේ රහස්‍ය හෝ සංවේදී දත්ත වෙන්න පුළුවන්. නමුත් ලැබෙන කෙනාට මේ කිසි දෙයක් වැදගත් වෙන්නෙත් නැති වෙන්න පුළුවන්.

මම කල්පනා කළා මේකට විසඳුමක්. මොකද මමත් බොහෝ වෙලාවට කොහේ හරි මේවා ගිහින් සවි කලොත් ආපසු ගලවා ගන්න අමතක වෙන ජාතියේ කෙනා. මට හිතුණා මේ පෙන් ඩ්‍රයිව් වලට දාන්න හොඳම නම (ඒ කියන්නේ Kingstan, Nano  වගේ නම රීනේම් කරලා) ඔබගේ ජංගම දුරකතනයේ අංකය කියලා. මමත් දැනට ඔය වැඩේ කරලා තියෙනවා.

එතකොට අපේ කාන්තා පාර්ශවේ අයට එක පාරටම හිතෙන දෙයක් තමයි "මේක නම් ඉල්ලන් කන්න වෙන වැඩක්" කියලා. අනිවාර්යයෙන්ම ඒකත් එහෙමම තමයි. අද කාලේ කෙල්ලෙක්ගේ මොබයිල් නම්බර් එක හම්බ වුනොත් මොනවද නොකරන්නේ. ඒකටත් පොඩි විසඳුමක් මම කල්පනා කළා. නෝට්පෑඩ් එකෙන් ෆයිල් එකක් ඇරලා ඒකෙ අයිතිකරු වෙත නැවත එය එවිය හැකි විස්තරය දාලා, ඒ ෆයිල් එක returninfo.txt විදියට නම් කරලා සේව් කරන්න. "ඉතිං දෙකම එකයිනේ" කියලා යලිත් ඔබට හිතෙන්න පුළුවන්. 

එහෙනං ඉතිං තමන්ගේ දුරකථන අංකය නොදා තමන්ගේ සැමියාගේ, පෙම්වතාගේ, පියාගේ, අයියාගේ, මාමගේ,මල්ලිගේ අංකය ඒ වෙනුවට යොදන්න. නැතිනම් returninfo.txt එකට යොදන්න. මේ පහලින් තියෙන්නේ  ආදර්ශ   returninfo.txt එකක්. 


මෙහෙම කරලා බලමු. නොදෙන කෙනා කොහොමත් දෙන්නේ නෑ. අපි වගේ කෙනෙකුට හමු වුනොත් ලැබෙන්න තියෙන අවස්ථාව වැඩියි. 

අනෙක දැන් පෙන් ඩ්‍රයිව් වල පාස්වර්ඩ් එකක් මගින් සඟවා තබන්න පුළුවන් කොටසක් තියෙනවා. ඔබගේ රහස් ඒ වගේම සංවේදී දත්ත ඒ කොටසේ තබන්න වග බලා ගන්න. අර පොදු කොටසේ මේ ෆයිල් එක පමණක් තිබුණත් වරදක් නෑ. 

මේ returninfo.txt කියන එක ට්‍රෙන්ඩ් එකක් බවට පත් කලොත් හරියටම හරි. එතකොට ඕනෑම කෙනෙක් දන්නවා මේ ෆයිල් එකේ තියෙන්නේ අවශ්‍ය කරන දේ කියලා. හරියට අර ඔබගේ ජංගම දුරකථනයේ ICE කියලා හදිසි ආපදාවකදී(In Case of Emergency) දැනුම් දෙන්න අවශ්‍ය අංකය වගේ මේකත් පුරුදු දෙයක් කරමු. එහෙම කලොත් අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. 

ඔබ සතුව තම්බ්ඩ්‍රයිව් තුන හතරක් තිබෙනවා නම්, දුරකථන අංකය සමග A,B,C,D වශයෙන් ඒවා නම් කරන්න පුළුවන්. 

Thursday, July 11, 2013

මම නොට්ටිගේ පුතෙක් නොවෙමි.

අපේ රටේ බහුවලව ඇහෙන කියමනක් තමයි "අප්පා කල දේ පුතා නොකලොත්, ඌ නොට්ටිගේ පුතෙක් කියලා". මේ නොට්ටිගේ කියන එකට විවිධ අය විවිධ අර්ථකතන දුන්නා. අපේ සිංහල රාජ් මේ මාතෘකාවෙන් පොස්ට් එකකුක් ලිව්වා. මෙතන නොට්ටිගේ කියන එකේ පද නිරුක්තිය අනුව හැදිලා තියෙන විදිය අපේ පැත්තේ අන්කල් කෙනෙක් දවසක් කිව්වා. ඒ කියනකම් මම හිතා හිටියේ මේක ලෙවල් ටූ කුණුහරපයක් කියල. ඒක වෙන්නේ නොට් + උගේ කියන හයිබ්‍රිඩ් නිරුක්තියකින් කියලා තමයි කියන්නේ. නොට්ටුගේ කියන එක පසුව නොට්ටිගේ වුණා කියලා තමයි අර අන්කල් කිව්වේ. 

අපේ තාත්තාගේ කාලයේ බ්ලොග් තිබුණේ නැත. තිබුණා නම් අනිවාර්යයෙන්ම තාත්තාද බ්ලොග් කරුවෙකි. එසේ වූවානම් මම නොට්ටිගේ පුතෙක් නොවීම සාධාරණය. නමුත් ලිවීමේ ක්‍රියාවලිය ඔබ කරන්නේ තල් පතක් මතද, ගල් කුලක් මතද නැතිනම් අපට වඩාත් හුරුපුරුදු බ්ලොග් එකකද යන්න එතරම් විශේෂයක් නොවේ. මෙහිදී ඔබ කොහේ හෝ ලේඛණ කලාව කරගෙන යාම ප්‍රස්තුත වේ. ඒ අතින් මගේ පියා හා මා ගත් කල මම "නොට්ටිගේ පුතෙක්" නොවෙමි. හේතුව තාත්තා සාම්ප්‍රදායික ලෙස පෑන සහ කඩදාසිය යොදා ගත් අතර මා වඩාත් පහසු බ්ලොග් කෙරුවාවට හුරු වීමය. 

අපේ තාත්තලාගේ කාලයේ ලියන්නට හැකි බොහෝ දෙනෙකුට සිදු වූ පරිදි, තත්තාටද ඔහු ලියූ පොත් එලි දක්වන්නට බොහෝ කාලයක් බලා ඉන්නට සිදු විය. කාලයක් තිස්සේ කඩදාසියේ සටහන් කර ගත් නවකතා කිහිපයක් ඔහු ළඟ තිබුණද, ඒවා එලි දක්වන්නට තරම් ආර්ථික ශක්තියක් රජයේ සේවකයෙකු වූ මගේ පියාට නොවිණි. තම අතින් ලියූ එක පොතක් හෝ මුද්‍රණ ද්වාරයෙන් එලි දැක්වීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව විය. අවසානයේ වසර 2005 දී මෙම හීනය හැබෑ කරගන්නට ඔහුට හැකි විය. පහලින් ලියවෙන්නේ ඒ පොත ගැන සුළු සටහනකි. අද එය විශ්ව විද්‍යාල වල සිසුන් සොයාගෙන එන්නේ අප මවිතයට පත් කරමිනි. 

එම පොත නමින් බෙන්තොට පාරාදීසය වේ. එහි පිටු සැකසීම මගේ නැගණිය වන සුදර්ශනී කන්නන්ගරගේ වන අතර පිටකවර නිර්මාණය ඔබ කවුරුත් හඳුනන සුභාෂ් දිල්රුක් කන්නන්ගරගේය. ඒ අතින් මගේ පියා වාසනාවන්තය තමන්ගේම දූ-පුතුන්ගේ සහයින් සහ තමන්ගේම ප්‍රකාශන අයිතියකින් එය එලි දක්වා ඇත. අප ගම ගැන ලියවුනු ඒ කුඩා පුස්තකහි සඳහන් මගේ සිත් ගත් කොටස් කිහිපයක් මා ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන්නම්. එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වී ඇත
පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් වල් වැදී ගිය බෙන්තොට පුරවර නැවතත් ඒකාලෝක වූ අයුරු රසවත් කතාපුවතක් මෙන් සුන්දරය. එකල්හී ගම්බිම් අතැර වෙනත් ප්‍රදේශවලට පළාගිය ජනතාව නැවතත් බෙන්තොට පුරවරය වට රොක්වන්නේය. ඒ බෙන්තොට ප්‍රදේශයේ දෙවන උත්පත්ති කාලයයි. 
අප කුඩා කාලයේ(ඉංග්‍රීසි පාළන කාලයයි) දුටු පුදුමාකාර අත්දැකීම් සමූහයක් මා මගේ දරුවන් සමග රසකර කීවෙමි. අප අසා ඇති එතිහාසික මෙන්ම අත්භූත සිද්ධීන්ද ඒ අතර විය. ඒවායින් මට මතක ඇති බොහෝ දෑ මෙහි සටහන් කරන්නට අමතක නොකළෙමි. ඒවා ඔබට රස විඳිය හැකි තත්වයේ ඇති බව මා විශ්වාස කරන්නේ වරක් ධර්මසිරි ගමගේ මාධ්‍යවෙදියාණන් අප සමග බෙම් ගඟේ  චාරිකාවක යෙදෙන අවස්ථාවේ මා කියූ අතීත පුවත් කිහිපයක් අසා එතුමන්ද ඒවා අගය කල බව මතක් වීමෙනි. 
බෙන්තොට අතීතයේදී ප්‍රසිද්ධියක් ඉසුලුවේ කුමක් සඳහාද ? මෙම ග්‍රන්ථය ඒ සඳහා සාක්ෂි දරයි.
නාවල අන්නාසි, කෝට්ටේ දොඩම්, මීගමුවේ අලුවා යන හෑල්ලෙහි බෙම්තර ප්‍රසිද්ධවැව තිබුනේ 'කාවාටි' නම් බෙල්ලන් විශේෂයටයි. මේවා ලබා ගත්තේ මෙහි ගං මෝයෙන් හෝ පහුරුමුල්ල සීමාවේ පිහිටි මහා ගල හා දිග් ගලෙනි. 
මේ කතාව මට තවත් ස්ථානයකින් තහවුරු කර ගන්නට හැකි විය. ඒ කළු සුදු සහ අළු චිත්‍රපටයෙනි. එහි එක් තැනක "බෙන්තරින් කාවාටි ගෙනැත් දෙන්න තිබුණා නේ" යයි කියන කොටසක් මගේ මතකයේ ඇත. මාද එක වරක් මෙම බෙල්ලන් විශේෂය රස බලා ඇත. ඒ මගේ පියාත් සමග ගඟේ නාන්න ගිය විටකදීය. ඉහත කී මහා ගලේ ඇලී ඇති, ගලටම සමාන ලක්ෂණ ඇති පතුරක්, ගලක් මගින් ගසා ගැලවූ විට ඒ තුල ඇති රිදී පැහැති දියරයක් මෙන් බෙල්ලන් අමුවෙන්ම උරා බීමය. මෙය අපේ ගමේ කොයි කවුරුත් එකල කල දෙයක්ය.

මීට අමතරව සංදේශ කාව්‍ය වල බෙන්තොට පිලිබඳ සඳහන් මෙම පොතෙහි සඳහන්ය. මයුර, තිසර, ගිරා සංදේශ වල සටහන් කවි මෙහි දක්වා ඇත. බෙන්තොට වඩාත් ප්‍රචලිත වූ වනවාස විහාරය ආශ්‍රිත සංදේශ සටහන් එකල සුලබ විය. පරෙවි, කොවුල්, ගිරා සංදේශ ඒ පිලිබඳ දක්වා ඇති කව්‍යද මෙම පොතෙහි අන්තර්ගතය.

මෙහ ශාස්ත්‍රීය සහ එතිහාසික දේ බොහෝ තිබුනද, මා සිත් ගත්තේ එහි තිබෙන හාස්‍ය සහිත දේටය. මේ එවැනි කතාවකි.

එකල ඕනෑම තොවිල් ගෙදරකට පැමිණ, උදව් කිරීමට සුදානම් තැනැත්තෙක් අපේ ගමේ විසුවේය. හේ රා බීමටද හපනෙකි. පියදාස නමින් හඳුන්වනු ලැබූ ඔහු මිටි පුද්ගලයෙකු වුයේය. එදින අපගේ තොවිලයට උදව් කිරීමට සඳහාද පියදාස පැමිණ සිටියේය. ඔහු ඇත පෙට්‍රෝමැක්ස් ලාම්පුව විය. මෙන්ඩිස් කට්ටාඩි උන්නැහේ පසුපසින්ම ගමන් කරමින් ඔහුට අවශ්‍ය පරිදි ආලෝකය ලබාදෙන්නට සැරසී සිටි පියදාස අනෙක් කිසිවක් පිළිබඳව අවධානය යොමු කලේ නැත.
මැන්ඩිස් අයියා ඉදිරියෙනි. පැට්‍රොල් මාක්ස් ලාම්පුව රැගත් පියදාස පසුපසිනි. සුරතින් කඩුව ගත් මැන්ඩිස් අයියා පුහුල් ගෙඩිය ගෙන දිය යටට යාමට සැරසෙයි. පියදාස මැන්ඩිස් අයියාට බොහෝ ආදර ගෞරව ඇත්තේ තව තවත් හොඳින් ආලෝකය ලැබෙන සේ ලාම්පුව අල්ලාගෙන සිටියි. මැන්ඩිස් අයියා පුහුල ගෙන එක්වරම දියයටට යනවිටිය හදිසියේම ආලෝකය නැති විය. තැතිගැන්මෙන් යුතු අප එකිනෙකාට ලං වීමු. තවත් මොහොතකින් ජල තීන්දුව කැපීමට දිය යටට ගිය මෙන්ඩිස් අයියා සමගින් පෙට්‍රෝමැක්ස් ලාම්පුව ඔසවා ගත් පියදාස දියෙන් මතුවෙනු ඒ වනවිට කරුවලට ඇස් හුරු වූ අපට පෙනිණ. 
මෙම පොතට පසුවදන සපයන ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ  මහතා මෙසේ සඳහන් කරයි
ඇල්බට් කන්නන්ගර මහතා ගුරු වෘත්තීය පිලිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති, බෙන්තොට ප්‍රදේශයේ තොරතුරු අතැඹුලක් සේ හොඳින්ම දන්නා, එය ලේඛනයට මහා පරිචයකින් ඉදිරිපත කල හැකි දක්ෂ නිර්මාණ ශිලිපියෙකි. මේ බව පසක් කර ගත්තේ බෙන්තොට පිලිබඳ සිළුමිණ, රසඳුන අතිරේකයට ලිපි මාලාවක් ලිවීම සඳහා මා  බෙන්තොට සංචාරයේ නියැලුණු අවස්ථාවේදීය. බෙන්තොට ප්‍රදේශයට අදාළ සියළුම පෞරාණික වූ ද වැදගත් වුද කරුණු කටපාඩමින් විස්තර කිරීමට තරම් හසල දැනුමක් එතුමා සතුව ඇත. 
එසේම ඉතා රමණීය භාෂා විලාශයකින් එය පාඨකයා වෙත ඉදිරිපත් කිරීමේ නිසඟ ලේඛන කුසලතාවක් ද එතුමා සතුව ඇත. එතුමා විසින් ලියන ලද "බෙන්තොට පාරාදීසය" කෘතිය අද සංචාරක පුරවරයක් තෙක් විහිද යන ඇති පෞරාණික ඉතිහාසයක් ඇති බෙන්තොට ප්‍රදේශය පිලිබඳ කෝෂ ග්‍රන්ථයක් වනු නොඅනුමානය. 
එතුමා පැවසූ අන්තිම වාක්‍ය සත්‍ය බව අපට වැටහුනේ, මගේ පියා සොයා එන විවිධ සරසවි ශිෂ්‍ය-ශිෂ්‍යාවන් ප්‍රමාණය දුටු විටය.

එම පොත ගැන පුවත් පත් වල සඳහන් වූ අවස්ථා කිහිපයක්ද නෙත ගැටුණි

[1] The temple on the rock

[2] ඩේලි නිවුස් පුවත


Tuesday, July 9, 2013

ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ......

කාලෙක ඉඳලා මගේ හිතේ වැඩ කරපු ප්‍රශ්ණයක් තමයි "ගැරන්ටි සහ වොරන්ටි කියන්නේ දෙකක්ද ? නැත්නම එකටමද ?" කියන එක. අපි මොකක් හරි භාණ්ඩයක් ගන්න ගියාම ඒවාට අච්චරක් වොරන්ටි, මෙච්චරක් වොරන්ටි තියෙනවා කියලා ගහලා තිබ්බත් මොකක් හරි වෙලා ගියාම හම්බ වෙන්නේ නෑ කියන එක තමයි බොහෝ දෙනාගේ මතය. මමත් බොහෝ කාලයක් හිටියේ මේ මතයේ. නමුත් පහුගිය කාලේ මගේ අත්දැකීම් මේ අදහස් වෙනස් කරන්න හේතු වුණා. 

මුලින්ම අපේ මුලික ප්‍රශ්ණයට පිළිතුර මොකක්ද කියලා බලමු. ඇත්තටම මොකක්ද මේ ගැරන්ටි කියන්නේ ? ගැරන්ටි වලට කාල සීමාවක් තියෙනවා කියන එක කවුරුත් දන්නවනේ. ඉතිං වොරන්ටි වලටත් කාල සීමාවක් තියෙනවනේ. මේ ගැන කෙලින්ම සටහනක් තියෙනවා http://www.differencebetween.info කියන වෙබ් අඩවියේ. එයට අනුව ගැරන්ටි සහ වොරන්ටි අතර වෙනස සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට.

වොරන්ටිය යනු පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකි. එය ගනුදෙනුකරුට
පින්තුරය ගත්තේ : http://www.differencebetween.info
යම් තොරතුරක් සහ තත්වයක් හෝ භාණ්ඩයක් පිලිබඳ සත්‍යතාවය සහතික කරන පොරොන්දුවකි. මෙය රක්ෂණ සහතිකයක් මෙන් නීතියෙන් බැඳුණු කොන්ත්‍රාත්තුවකි. මෙම ලියවිල්ල බොහෝවිට මුදල් ගෙවා ලබාගත යුතු වන අතර අදාලා භාණ්ඩයේ අලුත්වැඩියාව හෝ දෝෂ සහිත කොටස් ආදේශ කිරීමට යටත් වේ. මෙය භාණ්ඩයේ නිෂ්පාදකයාට හෝ විකුණුම්කරුට ලබා දිය හැකිය. එය බොහෝවිට අදාල භාණ්ඩය අලුත්වැඩියාව පිලිබඳ ආවරණයක් ලබාදේ, එසේ නොහැකිනම් සම්පූර්ණ භාණ්ඩයම ලබා දීම දක්වා විය හැක. බොහෝවිට සීමිත වොරන්ටි ලබාදීම සිරිත වුවත්, දිගුකාලීන ඒවාද ඇත. ඒවායේ කාලය යම් මුදලක් ගෙවා දිගු කර ගැනීමේ හැකියාවද ඇත. බොහොමයක් වොරන්ටි ලබා දෙන්නේ මාස 12කටය.
දැන් අපි බලමු ගැරන්ටියක් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියා

පින්තුරය ගත්තේ : http://www.differencebetween.info
ගැරන්ටියද පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ලකි. ගැරන්ටිය මගින් විකුණු යම් භාණ්ඩයක පොරොන්දු වූ තත්වය තිබෙන බවට සහතිකයක් ලබා දේ. විකුණු භාණ්ඩයක යම් දෝෂයක් වේ නම් එය නොමිලයේ අලුත්වැඩියා කරන්නටද එසේත් නැතහොත්  වෙනත් එකක් ලබා දීම විකුණන්නා හෝ නිෂ්පාදකයා සිදු කරයි. ගැරන්ටියක් බොහෝ විට නොමිලයේ ලබා දේ, ඒවායේ කාල සීමාවන් යම් ස්ථිර කාල සීමාවක් සඳහා වේ. උදාහරණයකට මාස 6, වසර දෙකක් වැනිය. සමහර ගැරන්ටි භාණ්ඩයේ මුළු ආයු කාලය සඳහාම වේ. සම්පූර්ණ සෑහීමකට පත් වීමේ ගැරන්ටිද ඇත. ගනුදෙනුකරුවා සෑහීමකට පත් නොවේ මුදල් ආපසු ලාබා දේ. ගැරන්ටියක් සඳහා යම් ලියාපදිංචි කාඩ් පත්‍රයක් පිරවීමට ගනුදෙනුකරුට සිදු වේ. නැතිනම් පොරොන්දු සේවාව ලබා දීමට හැකි කාඩ් පත්‍රයක් ගනුදෙනු කරුට ලබා දේ. 

බැලු බැල්මට මේ දෙක අතර වෙනසක් නැතත් වොරන්ටි ගෙවා ලබා ගැනීමද, ගැරන්ටි නොමිලේ ලබා දීමද මේ අතර ඇති එකම වෙනස බව පැහැදිලි වේ. එනමුත් මේවායේ නීතිමය තත්වයන් වඩාත් සංකීර්ණ විය යුතුය. දැන් බලමු මේ පිලිබඳ මගේ අත්දැකීම්. ඔබටද මෙහි හොඳ සහ නරක අත්දැකීම් තිබෙන්නට පුළුවන්.

මා පිටරටින් ගෙනෙනා ජංගම දුරකථන භාවිතා කර හෙම්බත් වී සිටියෙමි. එනිසා යලිත් ජංගම දුරකථනයක් ලබා ගන්නේ නම අදාළ සමාගමේ නිල ඒජන්ත වරුන්ගෙන් ලබා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියෙමි. ඒ වනවිටත් මේ ක්‍රම දෙකටම ලභාගත් දුරකථන පිලිබඳ පැහැදිලි තක්සේරුවක සිටියෙමි. 2010 ඔක්තෝම්බර් මාසයේදී සොෆ්ට්ලොජික් සමාගමෙන් නොකියා N8 දුරකතනයක් ලබා ගත්තේ ඉහතකී වගකීම සහතිකයක්ද සහිතවය. එහෙත් 2011 මාර්තු වනවිට එය කිසිදු හේතුවක් රහිතව රීස්ටාර්ට් වන බව දැක මා එම සමාගමට එය ගෙනගියා. එය පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට දින කිහිපයක් එය තබා ගැනීමට අවශ්‍ය බව පවසා භාවිතයට වෙනත් දුරකථනයක්ද ලබා දුන්නා. 

නමුත් ඔවුන් කර තිබුණේ එහි මෘදුකාංග නැවත ස්ථාපනය කිරීමයි. එමගින් අදාළ ප්‍රශ්ණයට විසඳුම් ලැබී තිබුණේ නෑ. මා නැවතත් ඔවුන්ට එය යොමු කරා. දින තුනකට පසු "ඕකේ  සර්" යනුවෙන් පවසමින් දුරකථනය මා අත තබා එය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා. එවිට එය සෑදූවාදැයි මා විමසා සිටි විට ඔවුන් කියා සිටියේ එය නවතාම එකක් බවයි. මා මේතාක් භාවිතා කරන්නේ එම දුරකතනයයි. ඒ වෙනුවෙන් වෙනම වගකීම් සහතිකයක් ලබා දීමටද කටයුතු කළා. මෙය නොකියා සමාගමේ ගනුදෙනුකාර සේවාවයයි. 

කිසිම ගැරන්ටියක් හෝ වොරන්ටියක් නැතිව මා මිලදී ගත ග්‍රේ නිකලස් වර්ගයේ පිත්ත ටික කාලයකදී හොන්දින් පහර දීමට නොහැකි බව පැවසූ විට එය "තව පාරක් සීසන් කරලා බලමු" යයි ක්‍රිකට් ෂොප් ආයතනයේ ෂිබ්ලි මහතා  පැවසුවා. එය සීසන් කිරීමට ලබා දුන් අතරේ එය නැති වී තිබුණා. එවිට මා කැමති පිත්තක් තෝරා ගන්න යයි පවසා ඔවුන් එය ලබා දීමට කටයුතු කළා. වටිනාම දේ ඔවුන් ලබා දුන්නේ මා මිලදී ගත් පිත්තටත් වඩා මිල අධික එකක් වීම සහ අප අතර කිසිදු ගිවිසුමක් නොතිබීමයි. නමුත් ගනුදෙනුකරුවගේ විශ්වාසය ඔවුන්ට ඊටත් වඩා වටිනා බව මට මේ සිද්ධියෙන් පැහැදිලි වුනා. 

එක වරක් මා මිලදී ගත් අලුත්ම පරිඝනක කවරය(Housing) දෝෂ සහිත එකක් බව ඔප්පු කර පෙන්වවූවත් කිසිදු සහනයක් ලබා දීමට පී.සී. හවුස් ආයතනය ක්‍රියා කලේ නෑ. 

ඔබටත් මෙවැනි අත්දැකීම් අනිවාර්යයෙන්ම තිබෙන්නට පුළුවන්. එවැනි දේ අපත් සමග බෙදා ගන්න මෙන්න අවස්ථාව.  

Saturday, July 6, 2013

ලොල්ද මන්දා ? 3 - වමත් කාරයා .....

අද මම ගොඩක් කාර්ය බහුල දවසක්. ඒ වුණත් මගේ බ්ලොග් එක කියවන හිතවතුන් අමතක කරන්න බැරි නිසා පුංචි රස කතාවක් එකතු කරන්න හිතුවා. මේක මට ඊයේ රෑ පෙන්නුවේ මේ දවස් වල අපේ කාර්යාලයට ඇවිත් ඉන්න ඉන්දියන් මිතුරා.  එහෙනම් කෙලින්ම කතාවට බහිමු.
පින්තුරය ගත්තේ : susanpolgar.blogspot.com

ඔන්න ගෑණු ළමයි දෙන්නෙක් චෙස් ක්‍රීඩා කරමින් ඉන්නවා. මේ දෙන්නට හරියටම චෙස් සෙල්ලම් කරන්න දන්නේ නෑ.  දෙන්න අතර ඇති වෙනවා මෙන්න මේ වගේ කතාබහක්.

පළමු ගැහැණු ළමයා : මෙතන ඉතුරු වෙලා තියෙන්නේ ඔයාගේ අලියයි, මගේ පල්ලියයි විතරයි. මට නම් දැන් ඇති වෙලා. අපි මේක නවත්වලා දාමුද ?

දෙවන ගැහැණු ළමයා : මමත් මේ ඔයාගෙන් අහන්න හිටියේ ඔය ප්‍රශ්නෙම තමයි. මටත් හරිම නිදි මතයි වගේ. අපි නවත්වලා දාමු.

මෙහෙම කියනකොටම එතනට කොල්ලෙක් එනවා. කොල්ලා ඇවිත් මේ දෙන්නගෙන් මෙහම අහනවා.

කොල්ලා : කවුද මගෙත් එක්ක චෙස් අදින්න එන්නේ ?

පළමු ගෑණු ළමයා  : අපෝ ! අපිට බෑ. ඔයා මාව නිකංම පරද්දලා දායි.

කොල්ලා : එහෙනම් ඔයා එන්න.

දෙවන ගැහැණු ළමයා : අනේ ඔව්. ඔයා මාවත් නිකංම පරද්දලා දැයි.

කොල්ලා : එහෙනම් ඔය දෙන්නම් එක පැත්තකට සෙල්ලම් කරන්න මම තනියම සෙල්ලම් කරන්නම්.

දෙදෙනාම : අපෝ බෑ. ඔයාට නිකම්ම අපිව පරද්දන්න පුළුවන්.

කොල්ලා : හරි අපි මෙහෙම කරමු. මම වම් අතින් සෙල්ලම් කරන්නම්(මුන් දෙන්නව අන්දන්න පුළුවන් යයි සිතමින්). ඔයාලා ඔයාලට හුරු අතින් සෙල්ලම් කරන්න.

දෙදෙනා : හරි. අපි කැමතියි. එහෙනම් සෙල්ලම් කරමු.

වැඩි වෙලාවක් යන්න කලින්ම කොල්ලා මේ කෙල්ලෝ දෙන්නව පැරද්දුවා. හිතිං හිනා වෙවී කොල්ලා යන්න ගියා. කෙල්ලෝ දෙන්නා ඊට පස්සේ බොහොම ලජ්ජාවෙන් ඉන්න අතරේ එක කෙල්ලෙක්ට සිහියට එනවා පරදින්න හේතුව.

"මම හිතන්නේ ඒ කොල්ලට අපි රැවටුණා. එයා වමත් කාරයෙක් වෙන්න ඕනේ"

"ඒක නම් හරි සෙල්ලම් කරපු විදියට වමත් කාරයෙක්ම තමා"

Thursday, July 4, 2013

වීදියේ පියා ......

පසුගිය 27 වෙනිදා ඩේලි නිවුස් පත්‍රයේ පිටු පෙරලාගෙන යන අතරතුර එහි ළමා පිටුව මගේ ඇස සොරා ගන්නට සමත් විය. ඒ එහි මුලින්ම සඳහන් වැකිය වූ මාර්ටින් ලුතර් කින්ග්ගේ ප්‍රකාශයක් වූ "Life's most urgent question is : What are you doing for others?" (ජීවිතයේ වඩාත් අත්‍යාවශ්‍ය ප්‍රශ්නය වන්නේ : ඔබ අන්‍යයන් වෙනුවෙන් කරන්නේ කුමක්ද ?) නොව, එහි දකුණු පසින් වූ Great Minds නමැති ලිපි මාලාවේ අවසන් කොටසටය. ඒත් සමගම මගේ මතකය 1998 තෙක් අතීතයට දිව ගියේ නිතැතිනි. 

එකල නිතරම මහජන බැංකුවේ ශාඛා පරිඝනකගත කිරීමේ යෙදුනු අපට, ලංකාවේ යුද්ධය නොපැවති ලංකාවේ  සෑම අස්සක් මුල්ලක් කරා යාමට වරම් උදා වී තිබුණි. මා එය වරමක් ලෙස සඳහන් කරන්නේ, කෙනෙකුට එවැනි අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් බැවිණි. මේ කියන කාල පරිඡ්චේදයේ අප වෙන්නප්පුව ශාඛාවේ පරිඝනකගත කිරීමේ කටයුතු වල යෙදී සිටියෙමු. විවේකී සෙනසුරාදා දිනයේ සවස තුන වන්නට ඇත. මාත් මගේ මිතුරු සුභාෂ් හේවාවිතානත් නගරයට ගමන් ගත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් කිහිපයක් මිලදී ගැනීමටය. අප දෙදෙනා නගරය දෙසට යන අතරේ සෙනග පොදිකමින් යමක් දෙස බලා සිටිනු දැක, මගේ ඉල්ලීමට අපද 50-75ක් වූ ඒ සෙනග ගොඩට  එක් වුනෙමු. 

එතනින් පසු ආපසු නවාතැන වෙත අප යන්නේ තවත් පැය කිහිපයක් එම ස්ථානයේ පොදි කෑ සෙනගත් සමග ප්‍රීතියෙන් කාලය ගත කිරීමෙන් පසුවය. එදා අප එතන ගත කල ජීවිතයේ තවත් සොඳුරු හෝරා-මිනිත්තු කිහිය පිලිබඳ මිහිරි මතකය නැවත අවදි කරන්නට ඉහත ලිපිය සමත් වන්නේ, ඒ ලිපියෙන් අප ලැබූ අත්දැකීම් වලට වගකිව යුත්තාගේ ඉතිහාසයම ගොනු කොට තිබීම නිසාය. මෙතනින් පසු මේ සටහනට එක වන්නේ ආදිතා දිසානායක ලියූ ඒ අපූරු ලිපියේ පරිවර්ථනයය.

ප්‍රමාද වී ධාවනය වන දුම්රියක් උදෙසා දුම්රිය ස්ථානයක සිටගෙන සිටින අවස්ථාවක් සිහියට නගන්න. එක්වරම ඔබේ අවදානය සොරා ගන්නේ අහම්බෙන් වේදිකාවේ මැදට  දිව එන කෙනෙකි. ඔබ බලා සිටියදී තවත් හත් දෙනෙකු ඔහු වටා එකතු වේ. මොහොතකින් නාට්‍යයක් දිග හැරේ, මොහතකින් තව එකක්, තවත් එකක්. ඒවායේ නම්ද රංගනය මෙන්ම විචිත්‍රය. "රජ දැක්ම",  "මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද" සහ "පෝලිම" ඒවාය. වීදි නාට්‍ය ලෝකයට ඔබ සාදරයෙන් පිළිගනිමු. 

වේදිකාව වීදිය වෙත ගෙන යාම, ටිකට් පතක් ගෙන එය නැරබීමට හැකියවුන් වෙතින් ඉවතට ගෙන යාම, මාවතට, දුම්රිය ස්ථානයට, ගම වෙත ගෙන යන්නේ ගැහැණු-පිරිමි සහ දරුවන්ට එය නරඹා ප්‍රීති වීමට අවස්ථාව සලසමිනි. නොමිලයේම.  ලංකාවට වීදි නාට්‍ය සංකල්පය හඳුන්වා දුන්නේ ආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතාය. 

අනුරාධපුරයේදී පළමු වීදි නාට්‍යයේ රඟ දැක්වූ ආකාරය අතීත ස්මරනයක යෙදෙන්නේ කංචුක ධර්මසිරි  මහතාය. දිනය 1974 ජුනි 7 වැනිදාය. රංගන ශිල්ප ශාලිකාවේ සිසුවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ වේදිකා නාට්‍ය ගුරුවරයා සමග අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන්නේකොළඹ බලා යාමටය. එම කණ්ඩායම අතර හේමසිරි අබේවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා සහ නිමල් චන්ද්‍රසිරි විය. "අනුරාධපුරයෙන් පිට වීමට බලා සිටින අතර කණ්ඩායමේ සාමාජිකයන් එක්වරම දුම්රිය වේදිකාවේ අනෙක් මගීන් වෙනුවෙන් නාට්‍යක් රඟ දක්වීමට තීරණය කරනවා" යනුවෙන් ධර්මසිරි මහතා ලියයි. "රඟ දැක්වීම සඳහා කලින් වෙන් කරගත් ප්‍රදේශයක් නොවූයෙන්, හත්තොටුවේගම මහතා ආධාරකයක් කඩුවක් ලෙස ලෙලවා වටේට ගමන් කොට, එක් තැනක් පෙන්වා, අපි මෙන්න මෙතන තමයි මේක පෙන්වන්නේ යයි ලකුණු කළේය". ඉන්පසු කණ්ඩායම "මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද" නාට්‍ය රඟ දක්වනවා. එසේ කරන්නේ දිගටම වෙනස් වන ප්‍රේක්ෂකයන් පිරිසක් වෙනුවෙනි. මන්ද යන-එන දුම්රියට එකතු වන සහ පිට වන අය මෙයට එක් වන නිසාය. ඔවුන් බලා සිටි කොළඹ බලා ගමන් ගන්නා දුම්රියට නළුව්න් ටික එක වන  තුරුම එය රඟදැක්වුණා. 

එසේ ආරම්භ වුයේ ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කළාවය. ගාමිණි හත්තොටුවේගමයන් වසර තිහක්ම ඔහුගේ සිසු-සිසුවියන් සමගඑක්ව  තීරණාත්මක ගමනක යෙදින. ඒ 2009 ඔක්තෝබර් 29 වනදා මෙලොවින් සමුගන්නා දවස දක්වාය. පරාක්‍රම නිරිඇල්ල මහතා මෙසේ සටහන් කරයි "ප්‍රබුද්ධයන, අඳුනන, මිතුරණ": "අකීකරු සහ එළිමහන් වේදිකාව අලංකාර අන්තයක් වෙත ගමන් ගන්නා බස් රථයක් වැනිය. අපේ ගුරුතුමා වූ හත්තොටුවේගම මහතා එහි රීයදුරාය".

1938 නොවැම්බර 29 දා ගාල්ලේදී මෙලොව එලිය දකින ගාමිණි කල්‍යානදර්ශ හත්තොටුවේගම  ඔහුගේ මුලික අධ්‍යාපනය ලබන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලිනි. ඔහු ජී.කේ. හතා, හත්තා යන නම් වලින්ද හඳුන්වනු ලැබිණි. 1956දී ඔහු ලංකා විශ්ව විද්‍යාලයයේ,  පේරාදෙණිය මණ්ඩපයට  ඇතුලත් වෙයි. එහිදී ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ගෞරව උපාධිය ලබයි.

ඉන්පසු යලිත් ගමට පැමිණෙන ඔහු ඉංග්‍රීසි සහ නාට්‍ය ගුරුවරයා ලෙස රිච්මන්ඩ් විදුහලෙන් වෘත්තීය ජීවිතය අරඹයි. 1965 දී ඔහු කැලණියේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට එක් වන්නේ  ඉංග්‍රීසි දේශකයකු ලෙසය. අවුරුදු හතලිහක කාලයක් කැලණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල සේවය කරන ඔහු විශ්‍රාම ගන්නේ 2005 දීය. 

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පද්මසිරි කුලසේකර මහතාට අනුව ගාස්තු අය කිරීමකින් තොරව ගම් සහ නගර වල වෙසෙන විවිධ කණ්ඩායම් වෙනුවෙන් වීදි නාට්‍ය  දර්ශන පැවැත්වීමෙන් සහ එහි නළු-නිලියන් සඳහා වැඩමුළු පැවැත්වීමෙන් වීදි නාට්‍ය ගුරුවරයෙකු ලෙස සහ නිෂ්පාදකයෙකු ලෙස  ආචාර්ය හත්තොටුවේගම පුරෝගාමී  මෙහවරක් සිදු කර ඇත.   

ඔහුගේ නාට්‍ය පිලිබඳ දායකත්වය  ශ්‍රී ලංකාවේ දේශීය  වේදිකාවට  පමණක් සීමා නොවීය. ඔහුගේ සේවාව විදෙස් රටවල් පවා ලබාගෙන ඇත. 1980 සිට ඔහු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නොර්වේ, ජර්මනිය, පිලිපීනය සහ තායිලන්තය ආදී විදෙස් රටවල් ගණනාවකම දේශන, වැඩමුළු, සුහද කථා, සහ වේදිකා නාට්‍ය සඳහා දායකත්වය ලබා දී ඇත. 

ජන සන්නිවේදනය පිළිබඳව ඔහු ලබා දී ඇති දායකත්වයද අතිවිශාලය. ඔහුගේ ශාස්ත්‍රීය දේශන, සාකච්ඡා සහ නාට්‍ය, චිත්‍රපට, පොත් බැරෑරුම් සමාලෝචන මගින් නොමිනිය හැකි සේවාවක් ඉතා පුළුල් දැනුමක් සඳහා දායාද කොට ඇත. 

"චිත්‍රපට විචාරයේදීද ආචාර්ය හත්තොටුවේගම මහතා  ප්‍රමුඛ චරිතයක් විය. චිත්‍රපට විචාර සහ මාධ්‍යවේදීන්ගේ සංගමය බිහි කරලීම සඳහාද ඔහු දායකත්වය සැපයීය. ඒ එම සංගමයේ ආරම්භක සභාපති වරයා ලෙස පත් වීමෙනි. ජනතාව වෙත ලෝක සිනමාව විවර කිරීමෙන් අරමුණින් එම සංගමය ගෞරවයෙන් පිලිගන්නා  විදේශීය චිත්‍රපට ඇතුලත් අන්තර්ජාතික චිත්‍රපට ප්‍රදර්ශන පැවැත්වීය".

විකල්ප වේදිකා සම්ප්‍රදායක් බිහි කිරීමෙහිලා ඔහුගේ දායකත්වය අගය කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා කළා සංගමය අනුග්‍රහයෙන් පවත්වන  රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබනු ලැබිණි. නැණවත් විද්‍යාර්තියෙකු වශයෙන් දහස් ගණන් සිසුන්ට දැනුම බෙදා දීම, පරිවර්තකයෙකු ලෙස, පරි-නිර්මාණකරුවකු ලෙස ලබාදුන් විශිෂ්ඨ සේවය, නාට්‍යකරුවකු මාධ්‍යකරුවකු ලෙස ලබා දුන් සේවය අගයනු වස් ඔහුට කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිලිබඳ සම්මාන ආචාර්ය පදවියක් පිරිනමනු ලැබූ බව මහාචාර්ය කුලසේකර පවසයි. ඒ කෙටියෙන් සටහන් කලේ අවිවාදයෙන්ම විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ වැඩිම ජානාදරයට පාත්‍ර වූ අයගෙන් කෙනෙකු වූආචාර්ය ගාමිණි හත්තොටුවේගම මහතා පිලිබඳ කතාවයි.
පින්තුරය ගත්තේ : http://www.dailynews.lk

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...