Sunday, June 30, 2013

බ්ලොග් සඳහා අචාරධර්ම පද්දතියක් ....

මීට දින කිහිපයකට පෙර මා ලියූ ඔබේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද ? සටහනට අදහස් දක්වමින් බොහෝ දෙනා තමන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අදහස් වලට එක් කොට තිබුණි. කමෙන්ට් කිරීමට මෙන්ම කමෙන්ට් පාළනය කිරීමටද ක්‍රමයක් තිබිය යුතු යයි මගේ සිතට ආවේ, එහි තිබූ යම්-යම් ප්‍රකාශණයන් දුටු විටය. මෙය සිංහල බ්ලොග් අවකාශයට පමණක් සීමා වූ දෙයක් විය නොහැක. වැඩියෙන්ම ලොව බ්ලොග්කරණයේ යෙදෙන ඉංග්‍රීසි මාධ්‍යයේ තත්වය සොයා බලන්නට සිත් වුයේ, එතුල මේ සඳහා විසඳුමක් අනීවාර්යයෙන්ම තිබිය යුතු බව වැටහුණු නිසාය.

ඒ පිලිබඳ සොයා යාමේදී විකිපීඩියා වලින් විසඳුම සොයා ගැනීමට හැකි විය. එහි නිධාන කතාවක්ද වෙයි. 

පින්තුරය ගත්තේ :
onemansblog.com 
කැතී සියෙරා යනු ඇමෙරිකානු පරිඝනක මෘදුකාංග උපදේශිකාවක් සහ පරිඝනක ක්‍රීඩා (Computer Games) වැඩසටහන් සම්පාදිකාවකි (Programmer). එයට අමතරව පරිඝනක වැඩසටහන්කරණය පිලිබඳ ඉතා ජනප්‍රිය Head First නම් පොත් මාලාවක සම ලේඛිකාවකි. එම පොත් සාම්ප්‍රදායික නොවන අයුරකින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. TerraTpoia නමැති පරිඝනක ක්‍රීඩාවේ ප්‍රධාන ශිලිපිණිය ඇයයි. සියෙරාගේ පොත් මාලාවේ පොත් තුනක් Jolt Awards නමැති සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන් අතරට එක වී තිබූ අතර , 2005 දී Head First Design Patterns ග්‍රන්ථය 2005 සඳහා Jolt Award සම්මානයෙන් පිදුම් ලැබීය.  එම පොත Amazon.com හී මුල් පොත් දහයේ ලැයිස්තුවේ 2003-2005 දක්වා ඇතුලත්ව තිබිණි.  
2007දී පවත්වන්නට  නියමිතව තිබූ O'Reilly ETech conference නමැති සම්මන්ත්‍රණය ඇය හදිසියේම අවලංගු කරන්නේ බ්ලොග් පොස්ට් එකක් මගින් සහ ඊ මේල් පණිවුඩ මගින් ඇයට ලැබෙන මරණීය තර්ජන නිසාය. එක්තරා බ්ලොග් පොස්ටුවක ඇගේ ගෙලට තොන්ඩුවක්ද දමා තිබිණි. ඉන් තැති ගත් ඇය මෙසේ ලීවාය
 "මම සියලුම දේශණ අවස්ථා අවලංගු කලෙමි. මගේ නිවසින් පිට වීමට බියෙන් පසු වෙමි. මට වෙනදා හැගීම් නොදැනේ. මම වෙනදාට වඩා වෙනස් වෙන්නෙමි"
ඉහත සිද්දිය පාදක කර ගනිමින් ටිම් ඔරිලි මහතා බ්ලොග් කරුවන් උදෙසා අචාරධර්ම පද්දතිය සම්පාදන කරන ලදී. එහි සංක්‍ෂිප්තයක් විකිපීඩියාහී ඇත. මා මෙහි පල කරන්නේ එහි පරිවර්තනයකි.  

 බ්ලොග් කරුවන් සඳහා වන ආචාරධර්ම පද්දතියක් යෝජනා කරන්නේ ටිම් ඔරිලි මහතාය. එහි තේමාව වන්නේ "බ්ලොග්කරණයේදී ශිෂ්ඨසම්පන්න වීම සහ කමෙන්ට්ස් පාලනය (Moderate)" යන්නය. එයට හේතු වන්නේ කැති සියෙරා නමැති බ්ලොග් කාරිනියට 2007 දී තර්ජන නිසාය. මෙහි මූලික අදහස මුලින්ම ඵල කලේ බී.බී.සී. ප්‍රවෘත්ති සේවයයි. ඒ ඔරිලි මහතාගේ කියමනක් උපුටා දක්වමිනි. "මම හිතනවා අපිට යම් ආචාරධර්ම පද්දතියක අවශ්‍යතාවක්  සහ කුමක්ද පිළිගතහැකි හැසිරීම  යන්න යන අවශ්‍යතාවක් තිබේ කියා.  එය නීති මාලාවක් නොවී ස්ව-නියාමනයක් ලෙස ඇති වේ කියා මම විශ්වාස කරනවා. 

අයර්ලන්තයේ ඵලවන Sunday Business Post නමැති පත්‍රයට ලියන ඩබ්ලින් හී රේඩියෝ නිවේදකයකු සහ පුද්ගල සබඳතා පිලිබඳ උපදේශකයකු වන සයිමන් පැල්මර් 2009 දී මෙය මතු කරනවා. ඒ අයිරිෂ් බ්ලොග් මගින් සේවාදායකයෙකු ගෙන එන වැරදි තොරතුරැ නිසා. ඔහුගේ කමෙන්ට් වලින් පසුව ඔහුට Online අපයෝජන චෝදනා අයිරිෂ් බ්ලොගර්ස් මගින් එල්ල කරනවා. නිර්නාමික(ඇනෝ) බැන අඬ ගැසීම් එල්ල වනවා. මරණ තර්ජන පවා එල්ල වනවා. 

New York Times පුවත් පතට අනුව, ඔරිලි සහ ජිමී වේල්ස් මහතා පදනම් කරගෙන ඇත්තේ BlogHer නමැති කාන්තා බ්ලොග් සඳහා වන සහයක ජාලයක් විසින් කෙටුම්පත් කල ලැයිස්තුවක් සහ තවත් කිහිප දෙනෙකුගේ දායකත්වයන්. කරුණු හතක අඩංගු ලැයිස්තුවක් ඔවුන් සම්පාදන කොට ඇත
  1. ඔබ ලියන දේ පිළිබඳව මෙන්ම එහි ඵල වන කමෙන්ට් සම්බන්ධයෙන් වගකීමක් ඔබ විසින් දැරිය යුතුය. 
  2. අපයෝජන සහිත කමෙන්ට් පිලිබඳ මට්ටම ඔබ විසින් ලේබල් කල යුතුය. 
  3. නිර්නාමික(ඇනෝ) කමෙන්ට් ඉවත් කිරීම පිලිබඳ සලකා බලන්න.
  4. බැන අඬ ගැසීම් නොකරන්න.
  5. අවශ්‍ය සාකච්චා බ්ලොග් වලින් පිට සිදු කරන්න(offline).  කෙලින්ම කථා කරන්න. එසේත් නැතිනම් එසේ කල හැකි අතරමැදියෙකු සොයා ගන්න.
  6. කවුරුන් හෝ නරක ආකාරයේ හැසිරීමක් පෙන්වයි නම්, ඔවුන්ට එය පවසන්න. 
  7. පුද්ගලිකව හමු වී කිව නොහැකි කිසිම දෙයක් බ්ලොග් එක මගින් (online) නොපවසන්න.
හොඳයි. මේ නීති අචාරධර්ම පද්දතිය පිලි පදින්න මා සුදානම්. සහෝදර බ්ලොග් කරුවන්/කාරිණියන් වන ඔබ සූදානම්ද ? කමනේට් කරන ඔබ සුදානම්ද ?

මෙය නොයෙකුත් තර්ජන, ඝර්ජන සහ බියගැන්වීම් හෝ සිත් කලකිරීම් නිසා බ්ලොග්කරණය අත් හැර දැමූ සියලුම සහෝදර බ්ලොග්කරුවන්/කාරිණියන් වෙත පුදමි.    

ඔරිලි මහතාගේ  පින්තුරය සහ තොරතුරැ www.wikipedia.org ඇසුරෙනි. 

Saturday, June 29, 2013

ඇඟ කිලිපොලා යන දසුනක් ........

පින්තුරය ගත්තේ :
anklesprainrecovery.org
මගේ පහුගිය පොස්ට් එකට එකතු වූ කමෙන්ට් වලට පිළිතුරු කමෙන්ට් එකතු කරන අතරතුරම ශ්‍රීලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තුන්කුන් තරගාවලියේ ප්‍රථම තරගය අතරින් පතර නැරඹුවෙමි. කමෙන්ට් කිරීම හමාර කර මා නැවතත් රුපවාහිනිය දෙස දෑස් යොමු කලෙමි. එය එතරම් උද්යෝගීමත් තරගයක් නොවේ. පන්දු යවමින් සිටින්නේ බටහිර ඉන්දීය ක්‍රීඩක රවී රාම්පොල්ය. මේ වනවිට තණතිල්ල මත දිවීම නිසා ඔහු අවවාද ලබා තිබුණි. 

මට තිබූ ලොකුම ගැටලුව එය නොවේ. ඔහු පන්දු යවන විට ඔහුගේ අතපය වැඩ කරන ආකාරයයි. අමුතුම අත්පා කරකවීමක් කරන මේ ක්‍රීඩකයා වස කම්මැලියෙක් යයි ඔහුගේ කඳබඩ දකින ඕනෑම අයෙකුට සිතේ. හරියට බලෙන් ඇදගෙන ගොස් ක්‍රීඩා කරන්න දැමූ එකෙක් මෙන් ඉතා අපහසුවෙන් මෙන් එහා මෙහා ගමන් ගනී. එහෙත්  ඔහු ඉතා හොඳින් මොලය පාවිච්චි කරන බව වැටහෙන්නේ ඔහු පන්දුව පතිත කරන ආකාර දුටු විටය. එසේ සිතා වැඩි කාලයක් ගත වුයේ නැත. අඩමානයට කකුල තබා වළලුකර පෙරලා ගනු ලැබීය. මේ දසුන දකින විට මගේ සියොළඟ හිරිගඩු පිපෙන්නේ මේ අත්දැකීමට මාද මුහුණ දී ඇති නිසාය. 

එක් වතාවක් මෙය සිදු වුවේ මා සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන අතරතුරදීය. එහිදී ඉදිරියට පැන පහර දෙන්නට ගොස් මගේ දකුණු කකුල පෙරලින. එය සිදු වූ මොහොතේ වහා නැගී සිට එතැන් සිට ක්‍රීඩා කලද, පසුව දා උදෑසන වනවිට මගේ වළලුකර ඉදිමී තිබූ ආකාරය සිහි වනවිටද හීන් දාඩිය දමයි. ඉන්පසු ඇන්කල් ගාඩ් එකක් දමාගෙන සති ගණනාවක් තවමින්ද, ඉතා ප්‍රවේසමෙන් ඇවිදීමෙන්ද හොඳ කර ගතිමි. 

එහෙත් 2006 දී නැවත වතාවක් මාගේ වම් පාදයේ වළලුකර පෙරලිනි. එය සිදුවුයේ මා උදෑසන ව්‍යායාම සඳහා දෙහිවල එස්.ද එස්. ජයසිංහ ක්‍රීඩාංගනයට ගොස් සිටි අලුයම් කාලයකදීය. මා වටා වට වූ සෙස්සන් පැවසුයේ එහි ඇති කුමක් හෝ පෑගී එසේ වන්නට ඇතැයි යන්නයි. දුවන විටදී සිදු වූ බැවින් එය අධික වෙදානාවක් ගෙන දුනි. එහෙත් ගෙදර විත් කාර්යාලයටද වාර්තා කලෙමි. උදෑසන දහය වනවිට මාගේ පාදය බෙරකොටයක් මෙන් ඉදිමී තිබූ අතර මුළු කකුලම වෙදානාවෙන් හිරි වැටිණි. මා වේදනාවෙන් පසු වන බව දුටු මගේ ප්‍රදානියෙක් මා රෝහල වෙත යොමු කරන ලදී. 

මුලින්ම මා රෝද පුටුවක් තබාගත් ඇටෙන්ඩන්ට් වරයෙක් වෛද්‍ය වරිය වෙතද, එතනින් එක්ස්රේ කාමරය වෙතද ගෙන යන ලදී. මට පුදුම ආත්ම අනුකම්පාවක් ඇතිවිණි. මේ මා වැඩිහිටියෙකු වශයෙන් වෙනත් කෙනෙකුගේ ආදාරයෙන් ගමන් කරන පළමු වතාවයි. වෛද්‍ය වරියට පෙන්වූ පසු සහ එක්ස්රේ ගත පසු මගේ වෙදානාවෙන් සෑහෙන ප්‍රමාණයක්ද, කිසිදු හානියක් නොවී ඇතැයි ද පවසන විට වෙදානාවෙන් තවත් කොටසක් අඩු විය. මට තරු පෙනුණේ ඇය අනුමත කල ඇන්කල් ගාඩ් එක දමන්නට ගොස් අර ඇටෙන්ඩන්ට් වරයා මගේ වලලුකරෙහි ඉදිමුණු තැන රිදවීමය. මා ඔහුට පැත්තකට වන්නැයි පවසා, එය මවිසින්ම පළඳා ගන්නා ලදී.

ලෙඩ රෝග ඇති වූ විට එය ශාරීරිකව බලපානවාට වඩා මානසිකව බලපායි. ඕනෑම ලෙඩක් සනීප කර ගැනීමට 60%ක් හිත ඉවහල් වන බව පර්යේෂණ වලින් ඔප්පුකොට ඇත. නමුත් මෙවැනි අනතුරක් වූ වහාම වෛද්‍ය වරයෙකු වෙත යොමු වීමෙන් එවැනි තත්ත්ව මග හරවා ගත හැක. අනෙක් කාරණය මෙවැනි අනතුරු වලින් ඇති වන අභ්‍යන්තර තුවාල වීම් හොඳ වන්නට නම් විවේකය අවශ්‍ය වේ. වැඩිපුර නින්ද ඉක්මන් සුවයට මග පාදයි. 

පින්තුරය ගත්තේ :
virtualsportsinjuryclinic.com
මම ඡායාරුපයෙන් මෙම අනතුර වන ආකාරය පෙන්වා දී තිබේ. ඔබගේ පාදය(විශේෂයෙන්ම සපත්තු පැළඳ ඇති විට) ඉහත ආකාරයට අඩමානයට තැබීමෙන් අනතුරට ලක් වේ.  මෙහිදී එයට පිටතින් ඇති පේශී ඇදීමෙන් සහ වෙනත් තැනකට පැනීමෙන් වේදනාව ඇති වේ. මෙම අනතුර පිට පැත්තෙන් පමණක් නොව ඇතුල් පැත්තෙන්ද සිදු විය හැක. මෙසේ වලලුකරවල් පෙරලෙන අයට මෙම අනතුරු නිතර සිදු වේ. පසුව ඇති වන පෙරලීම සුව වීමට අවශ්‍ය කාලය වැඩි වේ. 

මේ සඳහා ජනප්‍රිය ප්‍රතිකර්මය  RICE ලෙස හැඳින්වේ. හාල් වලින් මේවාට ප්‍රතිකර්ම කල හැකිද ? මෙය ඔබට මෙන්ම මටද ඇති වූ ගැටලුවයි. මෙහිදී රයිස් යනුවෙන් හඳුන්වන්නේ Rest(විවේකය), Ice(අයිස්) එය සිදු වූ අවස්ථාවේ අයිස් තැබීම, Compress(තද කිරීම) - බැන්ඩේජ් හෝ ඇන්කල් ගාඩ් එකක් මගින් තද කිරීම, Elevation(එසවීම) - විවේක ගැනීමේදී මදක් ඉහලින් පාදය තබා ගැනීම.
පින්තුරය ගත්තේ :
depositphotos.com

අයිස් තැබීම කල යුත්තේ එම අනතුරු සිදු වූ වහාමය. ඒ අභ්‍යන්තර ලේ වහනය නතර කර ගැනීමටය. වෛද්‍යවරයෙක් හමු වනතුරු කල හැකි හොඳම ප්‍රතිකර්ම්යද මෙය වේ. නමුත් ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නෙක් නම් අයිස් තැබීමට ප්‍රථම වෛද්‍ය වරයකුගෙන් ඒ ගැන විමසීමක් කල යුතුය.
පින්තුරය ගත්තේ : firstaid.webmd.com 

මෙය බැන්ඩේජ් කිරීමෙන් හෝ ඇන්කල් ගාඩ් එකක් භාවිතාවෙන් compress (තද) කල හැකිය. මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ, ඕනෑවට වඩා තද කිරීමත්, ඕනෑවට වඩා බුරුල් කිරීමත් යෝග්‍ය නොවන බවය.  වරක් මා වැඩිපුර තද කර බැන්ඩේජ් දමා, ඉදිමුම වෙනත් තැනකට යනු අත්විඳ ඇත. ඉහත පින්තුරයෙන් බැන්ඩේජ් කල යුතු ආකාරය දක්වා තිබෙනවා. 
පින්තුරය ගත්තේ :http://www.wikihow.com
මෙසේ ඉහලින් තබාගෙන විවේක ගැනීමෙන්, එම ස්ථානයට බර නිසා සිදු වන වෙදානා සහ අධික ලේ ගමනාගමනය අඩු වීමෙන් ඇති වන වේදනාව අඩු කර ගත හැකි වේ. 

මෙවැනි අනතුරු වන අය ප්‍රවේසම් විය යුතුය. මන්ද ඒවා නැවත-නැවතත් සිදු වීමෙන් ප්‍රවනතාවක් ඇති නිසාවෙනි. ක්‍රීඩා කරන විට වළලුකර ආවරණයක් පැළඳීම වඩාත් සුදුසු වේ. 





Thursday, June 27, 2013

ඔබේ කමෙන්ට් කිරීමේ ප්‍රතිපත්තිය කුමක්ද ?

මේ ලඟදි ඉඳලා සෞක්‍යය ගැන හිතලා මම උදේට සයිවර් කෑම කන්න පටන් ගත්තා. මොකද ඒවා පූර්ණ නිර්මාංශික වගේම, උඳු මත පදනම් වෙච්ච ආහාර හින්දා කොහොමත් හොඳ නිසා. මේ සයිවර් කඩේ ඉන්නවා මම තෝරා ගත්ත එක්තරා වේටර් වරයෙක්. මට හොඳට සංග්‍රහ කරනවා. මමත් එයට ප්‍රතිචාර දක්වනවා රුපියල් 10,15,20 වගේ සන්තෝසමක් දීලා. නමුත් අද උදේ මේ වේටර් වරයා කිසිම විශේෂත්වයක් නොදක්වා තමයි මට සේවාව සැපයුවේ. ඒත් මම සුපුරුදු සන්තෝසමම දීලා ආවා. එහි සිට එත්දී මට හිතුනා ටිප් දීමයි කමෙන්ට් කිරිල්ලයි එක වගේම නේද කියලා. 

පින්තුරය ගත්තේ :
http://sylvianenuccio.com
හොඳයි අපි දැන් කමෙන්ට් පැත්තට හැරෙමු. අපි කොහොමද කමෙන්ට් කරන්නේ. සමහරු "පිට කහ ගැනිල්ලක්" විදියට කරනවා. ඒ කියන්නේ කෙනෙකුගේ බ්ලොග් රෝලේ ඉන්න ඒවාට ඒ කෙනා  ගිහින් මොනවා හරි කමෙන්ට් කෑල්ලක් කොටලා එනවා. එතකොට අර බ්ලොග් කාරයාට මතක් වෙනවා "අඩේ අරකා මට හැමදාම කමෙන්ට් කරනවා නේද ?" කියලා. එතකොට එයත් ගිහින් ප්‍රතිඋපකාර කරලා එනවා. ඉතිං මේවගේ වැටෙන කමෙන්ට් ගැන මම අමුතුවෙන් ලියන්න අවශ්‍ය නෑ. මේ බ්ලොග් සාගරේ දවස ගානේ සැරිසරන ඔබ තමුන්නාන්සේලා ඔය ගැන හොඳටම දන්නවා ඇති.

තවත් කොටසක් ඉන්නවා. ඒ කොටස තමයි මම වැඩියෙන්ම කැමති කොටස. නිදහස් මතදාරියෝ කියලා කිව්වොත් වඩා නිවැරදියි. උදාහරණ දෙනවා නම් සුමිත් නිරිඇල්ල  තැනක කමෙන්ට් කරන්නේ හුදෙක් හිතවත් කමටම නෙවෙයි. මිනිහට කථා කරන්න යමක් තියෙනවා නම්. හොඳ හෝ නරක කමෙන්ට එකක් එකතු කරනවා. මේ ගණයේ මම දන්න තවත් අය ඉන්නවා. නොදන්නා අයත් ඇති, මෙතනදී සුමිත්ව තෝරා ගත්තේ බොහෝ දෙනා දන්නා ඒ වගේම මමත් හොඳට දන්නා කෙනෙක් නිසා. 

බොහොම සුළුතරයක් ඉන්නවා තනිකර බ්ලොග් කියවන. ඒ අය තමන්ගේ රුචිකත්වය අනුව බ්ලොග් තෝරා ගන්නවා, ඒ වගේම හොඳ හිත පවත්වා ගනිමින් කමෙන්ට් කරනවා. මේ වගේ අය කියවන්නේ විනෝදාස්වාදය සහ කාන්සිය මකා ගැනීම සඳහා. ඉතිං ඒ අය කා සමගවත් ආරෝවක් ඇති කර ගන්නේ නෑ. ඉතාම වැදගත් කොට්ඨාශයක් වුනත් ඉන්නේ බොහොම ස්වල්ප දෙනෙන්ක්.

තවත් කොටසක් ඉන්නවා කියවලා මොනවා හිතුනත් කමෙන්ට් එකතු නොකරන. ඒ ය ගැන යමක් කියන්න නොහැක්කේ ඔවුන් ගැන තේරුම් ගන්න බැරි නිසා. ඒත් බ්ලොග් කරුවෙක් විදියට ඒ අයත් අපිට ඉතා වටිනවා. මොකද ඔවුන්ගේ කියවීම පවා අපට දිරියක් නිසා. 

අනිත් කොටස තමයි බ්ලොග් ලියන ඒ වගේම කියවන අය. සමහරු මුලින් මුලින් බ්ලොග් එකකට ගොඩ වැදිලා කමෙන්ට් කරලා බලනවා ඒ කෙනා තමන්ගේ එකටත් ගොඩ වැදිලා කමෙන්ට් කරනවද කියලා. එන්නෙම නැත්නම් ඉල්ලීමක් කරනවා අපේ එකත් බලන්න කියලා. එහෙම කරලත් හරි ගියේ නැත්නම් අර බ්ලොග් එක අත් ඇරලා දානවා. එක්කෝ ඉඳ හිට නොදැම බැරිනම් කමෙන්ට් එකක් දානවා.

තවත් සමහරු විවිධ මතවාදීමය හේතු නිසා බ්ලොග් වර්ජනයක යෙදෙනවා. කොටින්ම මමත් එහෙම නොයන බ්ලොග් තියෙනවා. ඒවාට විවිධ හේතු කාරණා තිබෙන්න පුළුවන්. අන්තර්ගතය තමයි ප්‍රශ්නේ වෙන්නේ. පුද්ගලික මඩ ප්‍රහාර දියත් කරන ඒවාට නම් මම පුද්ගලිකව අකමැතියි. ඇත්ත, නැත්ත කුමක් වුනත් මේ වාගේ දේවල් වලින් කාට හෝ හානියක් වෙනවා. ඒ නිසා එවැනි බ්ලොග් දිරි ගැන්වීමක් වෙනවා අපි එහි ගියොත්. එනිසා නොයන එක හොඳයි. 

හොඳයි තව කණ්ඩායමක් ඉන්නවා මතවාදී ගැටුම් කමෙන්ට් තුල ඇති කර ගන්න. "බුවා, සයිලන්ට් සහන් සහ මාතලන්" මේ කොටසට  හොඳ උදාහරණ. තමන් පිලි ගන්නේ නැති ඕනෑම දෙයක් විවේචනය කරන්න මේ අය  පසුබට වෙන්නේ නෑ. මේ කණ්ඩයාම සටහනට පමණක් නොවෙයි කමෙන්ට් තුල තිබෙන දේ සමග පවා මතවාදීමය ගැටුම් ඇති කර ගන්නවා. සමහර වෙලාවට මාතෘකාවෙන් පිට යන වෙලාවලුත් එනවා. 

ඊළඟ කණ්ඩායම තමයි සුප්‍රසිද්ද "ඇනෝ" වරු. එයාලාව කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි නමිනි පෙනී හිටින්න අකමැති වුනත්, ඵලදායි කමෙන්ට් එකතු කරන්නන්. තවත් අය ඉන්නවා නමින් පෙනී ඉන්නෙත් නෑ, නමුත් කිසිම දිනක බ්ලොග් එකකට හොඳක් කියන්නෙත් නැති. ඊළඟ කොටස තමන්ට නමින් පෙනී ඉඳලා කියන්න බැරි ඒවා අත ඇරලා දාන්නා ඇනෝ ලේබලය යොදා ගන්නා අය. භයානකම කොටස මේක තමයි. ඉතිං මේ නිසා බොහොමයක් බ්ලොග් දැන් ඇනෝ වාරණයක නිරත වෙලා. 

මම කමෙන්ට් කරන විදිය නම්, බොහෝ විට අර ටිප් එකක් දෙනවා වගේ ලිවීම දිරි ගැන්වීමක් වශයෙන් බලන හැම එකකටම කමෙන්ට් එකක් එකතු කරනවා. මම දන්නවා මේ ක්‍රමයෙන් නමක් දිනා ගන්න බෑ කියලා. ඒත් කුමක් හෝ ලියන අය අප අතර ඉන්න ඕනේ නිසයි මම එහෙම කරන්නේ. (කුමක් = වලට අයිති නැති තැනුන් තියෙනවා).

හොඳයි, ඔබ කොහොමද බ්ලොග් එකකට කමෙන්ට් කරන්නේ ? සියලු දෙනාගේ අදහස්  දැන ගන්න කැමතියි. මේ වගේ රිසර්ච් කරන එක මගේ විනෝදාංශයක්නේ. ඔන්න මේකටනම් හැමෝම කමෙන්ට් කරන්න ඕනේ. 

Tuesday, June 25, 2013

පිස්සොත් දැක්කා මේ වගේ පිස්සෝ නොදැක්කා ......

චැම්පියන්ස් තරගාවලිය ඉවර වුණ නිසා දැන් මට ක්‍රිකට් වලින් මිදිලා අවට ලෝකය දිහා බලන්න පුළුවන්. මෙහෙම කිව්වම සමහරවිට කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ක්‍රිකට් කියන්නේ මම ආයාසයෙන් කරේ තියන් ඉන්න බරක් කියලා. නෑ. එහෙම හිතුවොත් වැරදියි. මට බරක් නැතිම දේ ක්‍රිකට්. ඒ වුනත් වැඩේ තියෙන්නේ ඒකට මම වෙලාව ගත කරද්දී අනෙක් දේවල් මගෙන් මග හැරෙන එක.  ඔන්න දැන් ඉතිං  අනෙක් දේවල් වලට කාලේ.

ඊයේ මම ගෙදර යත්දී කරන්න කියලා ඒ හැටි වැඩක් තිබුණේ නෑ. මම ඉතින් වෙනදා පුරුද්දට ඩිස්කවරි චැනල් එක දාගෙන බලන් හිටියා. කිසිම ත්‍රිල් එකක් නෑ. හතට සුපුරුදු පරිදි මෑන් වර්සස් වයිල්ඩ්, අටට ෆූඩ් ෆැක්ටරි අන්න ඒක නම් මම පොඩ්ඩක් ආසාවෙන් බලන් හිටියා. මොකද අර මැෂින් වලින් මේ පැත්තෙන් අර්තාපල් දැම්මම අනිත් පැත්තෙන් Lays කියන චිප්ස් පැකට් හැදිලා එන නිසා. 

මෙහෙම ගිහින් දහයට පටන් ගත්තේ නැද්ද වැඩසටහනක්. ඒකෙ තිබුනේ නික් වැලෙන්ඩා කියලා මිනිහෙක් කම්බියක ඇවිදින එකක්. ඔව්. අර සර්කස් වල යන්නේ කඹේ. අන්න ඒ වගේ වැඩක්. මේක එහෙම ලේසි පහසු වැඩක් නම් කමක් නෑ. ඇමෙරිකාවේ තියෙන කොලරාඩෝ ගඟ ගලාගෙන යන ග්‍රෑන්ඩ් කැන්යොන් කියන විශාලම හිඩැස කම්බියක් දිගේ තරණය කරපු එකේ වැඩසටහන. මගේ ජීවිතේට දැක්කැයින් දැක්කේ නෑ මේ වගේ පිස්සෙක්. නිකම්ම එකෙක් නම් කමක් නෑ දරු මල්ලෝ තුන් දෙනෙක් ඉන්න එකෙක්.

සර්කස් එකක නම් කඹේ යන එකා  වැටුනොත් බේරෙන්න දැල්, රබර් මෙට්ට යටට දානවනේ. නැත්නම් නොපෙනෙන කම්බියක් වත් පිට පැත්තේ සවි කරනවනේ. මේකේ ඒ වගේ වැඩ මොනවත් නෑ. එක්කෝ මේ පිස්සා පවුලේ අයත් එක්ක තරහා වෙලා. නැත්නම් ලොකු ඉන්ෂුරන්ස් එකක් වත් ගෙදරට ලැබෙන නිසා මෙහෙම වැඩකට අත ගැහුවද මන්දා. මේක මම කොහොමද වචනයෙන් විස්තර කරන්නේ. 

අඟල් දෙකක් විෂ්කම්භය තියෙන වානේ කම්බියක් තමයි මේකට යොදා ගත්තේ. දෙපැත්තේ ඒක සවි කරන්න හෙළිකොප්ටර් අදාර කර ගත්තා. ඒ කම්බිය හොඳට තදින් ඇදිලා හිටින්න සවි කරලා එකේ සවි ශක්තිය එහෙම බලලා තමයි වැඩේට බැස්සේ. හැබැයි මේ හාදයා එයාගේ ගමේ ඒ කියන්නේ ෆ්ලොරීඩාවේ සරසෝටා කියන පළාතේ සතියක් විතර මේකට පෙර පුහුණුවක් කළා. ලිස්සලා වැටුනොත් අල්ල ගන්න වගේ දේවල් වලටත් පෙර සුදානමක් තිබ්බා.

ඩිස්කවරි ආයතනය මේ වැඩසටහන නම් කරලා තිබ්බේ “Skywire with Nik Wallenda” කියලා. මම නොදන්නවා වුණාට මේ වැඩසටහන බලන්න පෙරුම් පුරපු කට්ටියකුත් ඉඳලා. දන්නේ කොහොමද පහුගිය ටිකේ ලංකාවේ වුණේ මොනවද කියලවත් මට වගක් තිබ්බද ? 

අන්තිමට ඩිස්කවරි නාලිකාවේ මේ දශකයේ වැඩිම රේටින්ග්ස් ලැබුණ වැඩසටහන වෙලා තියෙන්නේ මේක. ලොව පුරා මිලියන් 13 ක ජනතාවක එදා ඩිස්කවරි නාලිකාව වටා එකතු වෙලා. මීට කලින් වසර 2000 දී විකාශණය කල “Walking with Dinosaurs” කියන වැඩසටහනට පස්සේ මෙවැනි ඉහල රේටින්ග්ස් ලැබුණේ පසුගිය විසිතුන් වනදා බවයි ෆොක්ස් ප්‍රවෘත්ති (FOX NEWS) ආයතනය පවසන්නේ. 

මේ හාදයාගේ වයස අවුරුදු 34යි මීට කලින් ලෝක වාර්තා හතක පිහුටුවල තියෙනවා. මේ මනුස්සයාගේ සීයා සර්කස් කාරයෙක්. ඉතිං පොඩි කාලේ ඉඳලා තමයි මේ දේවල් වලට හුරුව තිබිලා තියෙන්නේ. මේ ගමන ගැන නික් හීන මවලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලා. 

මේක දැකපු අපේ ගෙදර ඉන්න නංගිගේ පුතා කිව්වේ කොහොමද කුරුල්ලෙක් වත් ඇවිල්ලා කෙටුවොත් කියලා. මම හිතන්නේ මේකට නම් මැස්සෙක් ආවත් එකයි. මේ වෙලාවේ පොඩි හුලඟකුත් තිබ්බා. මොනවා වුණත් ආත්ම විශ්වාසෙ කියන එක ඉහලින්ම තියෙන කෙනෙක් තමයි මේ නික් වැලෙන්ඩා කියන්නේ. මම ටී වී එකෙන්ම පින්තුර ටිකක් ගත්තා. බලලම තීරණය කරන්න.








Monday, June 24, 2013

ලොල්ද මන්දා 2 - සුරක්ෂා ඉන්දීවරී

මං මුලින්ම අවස්ථාවක කර ගන්නවා මගේ 200 වෙනි පොස්ට් එකට සුබ පැතුම් එක් කල සියලු හිතවතුන්ට ස්තුතිය පුද කරන්න. 201 වෙනි පොස්ට් එක ටිකක් විනොදාස්වාදයට බර එකක් ලියන්න කියල හිතා ගත්තා. මේකත් කෙලින්ම ලොල් මට්ටමට නැති නිසා "කෙටිම කෙටි ලොල් කතා" යටතට දාන්න බෑ. එනිසා "ලොල්ද මන්දා" වලින් දෙන්න හිතුවා. "ලොල්ද මන්දා" එකත් හිතුවට වඩා ජනප්‍රිය වුණා. 

අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු සුරක්ෂා ඉන්දීවරී නංගි ඉස්සර වැඩ කරලා තිබුනේ නළු නිළියන්ගේ සම්බන්ධීකාරක කාර්යාලයක පුහුනුවන්නියක් විදියට. බොහොමයක් නළු නිලියෝ අලුත් චිත්‍රපට වලට අවස්ථාව උදා කර ගන්නේ මේ සමාගම හරහා. එහෙම කරන එක නිෂ්පාදක/අධ්‍යක්ෂක වරුන්ට වගේම නළු නිළියන්ටත් වාසිදායක වුණා. 

ලංකාවෙන් අවුරුදු විසි ගණනක් ඈත් වෙලා හිටිය පැරණි චිත්‍රපට නිෂ්පාදක වරයෙක් ලංකාවට ආවේ එයා අලුතෙන් හදන්න යන චිත්‍රපටියට නළු නිලියන් ටිකක් තෝරා ගන්න. ඉතිං ලංකාවේ ඉන්න තමන්ගේ හිතවතුන්ගෙන් එයා දැන ගත්තා මේ සමාගම ගැන. ඉතිං ලංකාවට ආව ගමන්ම තමන්ට ඕන කරන නළු නිළියන්ව තෝරා ගන්න. ඉතින් මෙයා අර සමාගමට ඇපොයින්මන්ට් එකක් දා ගත්තා. 

පිටරටක වැඩ කරපු මේ නිෂ්පාදකයා පිටරටම ඉන්න තමන්ගේ අධ්‍යක්ෂක වරයාත් සමගම නියමිත වෙලාවට අර කාර්‍යාලයට ආවා. නමුත් මේ සමාගමේ හිමිකරුගේ නැගණියත් රට ඉඳලා එන හින්දා ඔහුට සිදු වෙලා ගුවන්තොටුපලට යන්න. එයා යන්න කලින් එතන ඉන්න අයට මෙහෙම කියලා

"මම එන්න පරක්කු වුණොත් ඔයාලගෙන් කවුරු හරි කෙනෙක් නළු නිලියන් ටික ධර්මවර්ධන මහත්තයාට අඳුන්වලා දෙන්න. මම ට්‍රයි කරනවා විනාඩි පහක් දහයක් පරක්කු වෙලා හරි එන්න"
දැන් නළු නිලියෝ ටිකත් කියපු වෙලාවට ආවා. දෙගොල්ලොම හරි නමුත් සමාගමේ හිමිකරු නැති නිසා අපේ මිතුරියට තමයි මේ අය අඳුන්වලා දෙන්න සිදු වුණේ. අනිත් අය කර ඇරිය නිසා සුරක්ෂාටත් කරන්න දෙයක් නෑ. කවදාවත් මේ වගේ වැඩක් කරලා නැති නිසා සුරක්ෂාව ගැහෙන්න ගත්තා. අන්තිමට මේ දෙගොල්ලෝ මැද්දට සුරක්ෂා යනකොටත් අපේ පරණ නළු නිලියන් වන රවීන්ද, මාලනී, සබීතා වගේ අය එක්ක අර නිෂ්පාදකයා කථාව. 

මේ අතරේ කොහෙන්දෝ සමාගමේ අයිතිකරු කඩා පාත් වුණා. එතකොට තමයි සුරක්ෂාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. වෙන දේ බලා ගන්නත් එක්ක සුරක්ෂාත් එතටම වෙලා හිටියා. සමාගමේ  හිමිකරුවා මොහොතක් වත් ප්‍රමාද නොකර වැඩේ පටන් ගත්තා. මේ කට්ටියත් එක්ක මේ වෙත්දී කථා කරන්න ඉදිරිපත් වෙච්ච සුරක්ෂා ගැනත් ඔහුගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා.

"ඕකේ. ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් හිය(ර්) වී ආ(ර්). මිස්ට(ර්) ධර්මවර්ධාන හව් ඩූ යූ ඩූ ?"
"අයිම් ෆයින්. අයි නෝ ඔල් මෝස්ට් එව්රි වන්. බට් හූ ඉස් දිස් ලව්ලි ලිට්ල් ගර්ල්?"
"දිස් ඉස් සුරක්ෂා ඉන්දීවරී"
"ඔහ්! සුරක්ෂා, ධීවරී මස්ට් බී අ ගූඩ් මූවී. අයි ලයික් දැට් කයින්ඩ් ඔෆ් මූවීස් වෙරි මච්. මූවීස් එබවුට් සෆරින්(ග්) පීපල්. හෑව් යූ වොන් එනි එවො(ර්)ඩ්ස් ෆො(ර්) දැට් ?. මිස්ට(ර්) රත්නායක ෂී මස්ට් බී ඉන් ද ඒජ් ඔෆ් මයි ඩෝට(ර්). ෂී සීම්ස් ටු හෑව් අ බ්‍රයිට් ෆියුච(ර්)"
අවුරුදු ගානක් පිටරට හිටිය නිෂ්පාදකවරයාට ලංකාවේ වෙන දේවල් ගැන ඒ හැටි දැනුමක් තිබිලා නෑ. සුරක්ෂාටත් මේ කියපු ටික කේකුයි-පපඩනුයි වගේ හින්දා හී .. හී.. මුණක් දාගෙන ලජ්ජාවෙන් ඇඹරිලා බිම බලා ගත්තා.  

ඇත්තටම වෙලා තියෙන්නේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්. සුරක්ෂා ඉන්දීවරී කියන එක ධර්මවර්ධන මහත්තයට ලැපටිලා. ඉන්දීවරී කියන එක ඉන් ධීවරී කියලා අර පද නිරුක්තියට කඩලා තමයි අරන් තියෙන්නේ. දැන් මගෙන් අහන්න එපා ධීවරී කියන්නේ කවුද කියලා :)

සැ.යු : අගති විරහිතයි. මේක ගොතපු කතාවක් ඈ.

Sunday, June 23, 2013

එකසීයට දෙසීයක් : මගේ දෙසියවෙනි සටහන ....

2012 ජනවාරි පළවෙනිදා බ්ලොග් ලියන්න පටන් ගන්නකොට, නිකමටවත් හිතුවේ නෑ අවුරුදු එකහමාරක් ඇතුලත් සටහන් 200ක් ලියන්න පුළුවන් වෙයි කියලා. මට ලියන්න පුළුවන් කියලා හිතුවත් ළඟ-ළඟ පොස්ට් දාන්න තරම් නිමිති පහල වෙයි කියලා කොහොමටවත් හිතුවේ නෑ. රාජකාරි අත්දැකීම් පමණක් ලියන්න කියලා මුලින් හිතුවත් කියවන ඔබගේ අවශ්‍යතාවන් මත විවිධ මාතෘකා ඔස්සේ ලියන්න සිදු වුණා. 

නමුත් මම ලියන දේවල් වලින් ක්‍රිකට් සහ ලොල් කතා දිනෙන් දින රසික ප්‍රතිචාර වැඩි කරන ප්‍රවර්ග දෙක බවට පත් වූ බව නොරහසක්. බ්ලොග් ලිවීමෙන් මා ලද බොහෝ දේ අතර වඩා වටිනා දේ තමයි, දෙස් විදෙස් හොඳ මිත්‍ර සමාගමක් ඇති කර ගන්න ලැබීම. බ්ලොග් සුහද හමු වලට සහභාගී වීම මගින් තමයි මේ හිතවත් කම් වඩ-වඩාත් තර වුණේ. ඒත් තවමත් හමු නොවූ, හමු වීමේ බලාපොරොත්තු සහිත මිතුරු මිතුරියන් සමූහයක්ම සිටිනවා. කෙදිනක හෝ ඔවුන් හමු වන්නත් බලාපොරොත්තු වනවා. 

මේ පොස්ට් 200 අතරතුර මගේ බ්ලොග් අඩවියේ සාමාජිකත්වය ලබා ගත ගණන 228ක්, ඇත්තටම සංසන්දනාත්මකව බැලුවෙත් මෙය අඩු ප්‍රමාණයක් වුවත්, කිසිම බලපෑමකින් තොරව එකතු වූ මේ ගණන ගැන මට තිබෙන්නේ බලවත් සතුටක්. මන්ද එම ගණන අව්‍යාජ පාඨක සමූහයක් බැවිනි. පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු ඇති කරගත් අයත් ඉන්න පුළුවන්. ඒත් කිසිවකුට හිතා-මතා අහිතක් හෝ අවැඩක් කරන්න සුදීක හිතන්නේ නෑ.

මම සියවෙනි පොස්ට් එක ලියපු වෙලාවේ මට මිත්‍රශීලී අභියෝගයක් ඉදිරිපත් කල, අටමා කියා සිටියේ 200 මට කලින් ඔහු දමන බවක්. එය විය හැකි දෙයක් යයි මාද විශ්වාස කළා. නමුත් ඔහුගේ මේ අභියෝගය මා දිරිමත් කරන්න ඔහු කල විහිළුවක් බව අද මට පසක් වෙලා තියෙනවා. නම් වශයෙන් සඳහන් කලොත් කිසිවකුට අසාධාරණයක් වෙන නිසා මම කවුරුවත් වෙනුවෙන් විශේෂ සඳහනක් කරන්නේ නෑ. මොකද මේ සටහන් 200 ම කියවපු එහෙත් කමෙන්ට් එකක් එක නොකළ සැගවුණු මිත්‍රයන් වුවත් ඉන්න පුළුවන්. කෙනෙකුගේ දෙන්නෙකුගේ නම් සඳහන් කලොත් ඒ අයට කරන අසාධාරණයක්. 

සටහන් 200ක් ලියා නිම කරන මොහොතේදී මා සිටින්නේ ඉතාමත් ප්‍රීති-ප්‍රමෝදයකින්. ඒ මේ ලිවිල්ල නිසා මට ලැබුණු අවස්ථා ගැන තිබෙන සතුට නිසා. විශේෂයෙන්ම මා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව සහ ඒ පිලිබඳ ඇති දැනුමට ගරු කිරීමක් වශයෙන්, ලෝක කැම්පස් ක්‍රිකට් තරගාවලියට සමාජ ජාලා වාර්තාකරුවකු ලෙස සහභාගී වන්නට ලැබීම, ඒ ඔස්සේ ඇති කරගත් මිත්‍ර සබඳතා නිසා 2013 චැම්පියන් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ගූගල් හැඟවුට් කිහිපයකට ආරාධනය ලැබීම විශේෂයි.

ඉතිං මගේ බ්ලොග් අඩවියට ගොඩ වෙලා කමෙන්ට් කර හෝ නොකර පහුගිය වසර එකහමාරක කාලයක් මාත් එක්ක එකතු වුන මගේ මිතුරු/මිතුරියන්ට ත්‍යාගයක් වශයෙන් ක්‍රිකට් එක්ක සම්බන්ධ පුංචි ලොල් කතාවකින් මේ සටහන අවසන් කරන්නම්.

මේක ගමේ ගොඩේ ඔය හරියට ක්‍රීඩාංගණයක් වත් නැතිව, හිස් ඉඩවල් වල ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ කණ්ඩායමක් වටා ගෙතිච්ච කතාවක්. පුංචි කාලේ සෙනසුරාදා/ ඉරිදා දවස් දෙකටම ක්‍රිකට් තරග දෙකක් ගහන්න පුරුදු වෙලා හිටියා මතක ඇතිනේ. අන්න ඒ වගේ කණ්ඩායමකට අයියයි මල්ලියි දෙන්නෙක්ම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරගය විනිශ්චය කරන්න පිටින් විනුසුරු වරයෙක් ගෙන්වා ගත්තේ එදා තියෙන තරගය ටිකක් විශේෂ එකක් නිසා. අනිත් එක දන්නවනයේ බැට් කරන පැත්තෙන් අම්පයර්ලා දැම්මම වෙන දේ. 

ඔන්න ඉතිං අර පිටින් ආපු විනිසුරුවා පිට්ටනිය මැදක් හරියට ගිහින් තමන්ගේ සාක්කුවේ කාසියක් අතට ගත්තා. පිටින් ආපු කණ්ඩායමේ නායකයා අර විනිසුරුවා ලඟට ආවත්, ගමේ කණ්ඩායමේ නායකයාට මුත්‍ර පහ කිරීමේ අවශ්‍යතාවක් දැනිලා අවට කැලෑවට රිංගන ගමන් තමන්ගේ මල්ලීට පැවරුවා ටොස් එක දාන වැඩේ. 

දැන් මල්ලී විනිසුරුවා එක්ක කථා කර කර ඉන්න පිටස්තර කණ්ඩායමේ නායකයා ඉන්න තැනට ගියා. මේ වගේ තරග වල සම්ප්‍රදායක් තමයි, ක්‍රීඩා කරන ස්ථානයට අදාලා කණ්ඩායමේ නායකයා හතරේ සීමාව තියෙන තැන පෙන්වන එක. මොකද හතර වටේට හතරේ සීමාව ලකුණු කරපු ක්‍රීඩාංගන නැති නිසා, "අර වහල උඩින් ගියොත් හයයි, මේ ගස් වල වැදුනොත් හතරයි, ගස් කැච් ඔට්ටු නෑ" වගේ ඒවා කියන්නේ ගමේ කණ්ඩායමේ නායකයා. මේ දෙන්නා දැක්කම අර අම්පයර් කරන්න ආපු කෙනා තමන් ටිකක් ඉංග්‍රීසි දන්නා බව අඟවන්නත් එක්ක මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා 

හූ ආර් ද කැප්ටන්ස් ?

එතකොට අර ගමේ කන්ඩායාමේ නායකයාගේ මල්ලි කිව්වා

අයියා ද කැප්ටන් කියලා.
එතනින් එහාට මම මොනවත් කියන්නේ නෑ. ඔයාලම හිතා ගන්නකෝ. :)

Friday, June 21, 2013

ලොල්ද මන්දා I - කළු ෂර්ට් කාරයාගේ රහස......

කෙටිම කෙටි ලොල් කතා වලට අන්තිමට ලියපු සටහනේදී (අර නයා තොතපු එක) සමහරුන්ට ඒකෙ හිනා යනවා මදි කියලා කිව්වා. ඒකට හේතුව තමයි සමහර කතා වල තියෙන රසය වචන වලින් විස්තර කරන්න බැරි කම. ඒ නිසා මම හිතුව "ලොල්ද මන්දා" කියන හිසින් ඒ වගේ කතා ලියන්න. මේ කතාවත් ඒ වගේ එකක්. 

මේක වුණේ වසර 2000 ලැබුව ගමන්ම් වගේ. හැමෝටම මතක ඇති Y2K ප්‍රශ්නේ. ඒකට බැංකු විදියට අපි ගොඩාක් බයෙන් හිටියේ. මොකද බැංකු වල සිද්ද වෙන හැම ගනුදෙනුවකටම දිනය වැදගත් නිසා. ඉතින් අපේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ කණ්ඩායම් වශයෙන් බෙදලා ප්‍රාදේශීයව ස්ථානගත කරා යම් ගැටළුවක් ඇති වුනොත් ඒවාට මුහුණ දෙන්න. මාව මේ ක්‍රියාන්විතයේදී යොදවලා තිබුනේ අනුරාධපුරයේ. 

මම ඇතුළු කණ්ඩායම නතර වෙලා හිටිය හෝටලයට 2000 ලැබුවත් එක්කම කළු ෂර්ට් ඇඳගත්තු කොන්ඩේ බැඳපු කණ්ඩායමක් ආවා. පළවෙනිදා හවස තමයි ආවේ. කළු පාට පෙට්ටි වගයකුත් බෑවා. දැන් අපිට හිතා ගන්න බෑ මේ කොන්ඩ කාරයෝ කවුද කියලා. ඒ අතරින් ඉන්න අය අපෙත් එක්ක හිනා වුනත් අපේ කට්ටිය හිනා වෙන්නවත් ගියේ නැත්තේ මොන ජාතියේ මිනිස්සුද කියලා දන්නේ නැති නිසා. අනිවාර්යෙන්ම කොළඹ ඉන්න රස්තියාදු ටීම් එකක්ද කොහෙද කියන එක තමයි අපි කථා වුණේ. 

"මම හිතන්නේ කැලිප්සෝ මියුසික් කාරයෝ සෙට් එකක්" එහෙම කිව්වේ අපෙත් එක්ක ගිය ඩ්‍රයිවර් ජපන් බට්ටා.

"ඒත් එහෙම වුණා නම් ඊයෙනේ එන්න තිබ්බේ" මම කිව්වා. මොකද 2000 ලබනවත් එක්කනේ මියුසික් කරන යට වැඩ තියෙන්න තිබ්බේ. 

"මොක්කු වුණත් අපිට මොකද? අපි යමු බං නිදා ගන්න" එහෙම කිව්වේ අපි අතර ඉන්න කම්මැලියා සම්පත්. 

මේ අයව ගණන් ගන්නේ නැතිව අපි හතර දෙනා අපේ කාමර වලට ගිහින් නිදා ගත්තා. මම කවදත් උදෙන් නැගිටිනවා. මේ කියන දවසේ උදේ මම නැගිටලා උදේට ටිකක් ව්‍යායාම කරන්න හිතාගෙන සුදානම් වුණත්, තවම ඒ හෝටලයේ සේවකයන් අවදි වෙලා නැති නිසා අපේ කාමර තියෙන කොරිඩෝව දිගේ සක්මන් කර කර හිටියේ. මේ එක්කම මගෙත් එක්ක ගිය ලිහිනිකඩුව  කියන මගේ මිත්‍රයාත් ආවා. 

දැන් වෙලාව උදේ 6.30 විතර ඇති. අපි දෙන්නා කථා කර කර ඉන්න තැනට අර කොන්ඩේ බැඳපු අයගෙන් ටිකක් විකට පාට එකෙක් ආවා. අපි දෙන්නා නොදැක්ක ගානට අපේ කතාව කරගෙන ගියා. ඒත් අර කොන්ඩයා මට අතින් කථා කරා. කොච්චර රස්තියාදුකාරයෙක් වුනත් තිබුණේ බොහොම බයාදු පෙනුමක්. මමත් පුරුෂ දෛරිය අරගෙන භය නැතිව ගියා කොන්ඩයා ලඟට. මිනිහා මගේ කණට කරලා රහසින් අහනවා

"සර්, මේ හරියේ පරවියෙක් හොයා ගන්න තැනක් නැද්ද ?" කියලා

"පරවියෙක්. පරවියෙක් මොකටද මේ උදේ පාන්දර. පරවියෝ ඇති කරන්නේ කොළඹ පැත්තේ මිනිස්සුනේ" කියල මම මහා හයියෙන්ම කිව්වා.

"ස්.... ස්... කෑ ගහන්න එපා සර්. අපි ගෙනාපු පරවියා මගේ අතින් පැනලා ගියා. අපේ ලොක්කට ඇහුනොත් ඉවරයි"

"හරි ඉතිං කියන්නකෝ මොකටද කියලා"

"අපි අද මැජික් ෂෝ එකක් කරනවා සෙන්ට්‍රල් කොලේජ් එකේ. ඉතිං පරවියා නැතිව කොහොමද මැජික් එක කරන්නේ"
පින්තුරය ගත්තේ : http://www.clker.com

ඇත්තටම "පරවියා නැති වෙච්ච මැජික් කාරයා" කියන්නේ "නයා මැරිච්ච අහිකුන්ටිකයා" වගේ තමයි. ඉතිං මේ කතාව අපේ ඔෆිස් එකේ කිව්වහම නම් කිහිප දෙනෙක් බඩ අල්ලාගෙන හිනා වුණා. ඔයාලටත් හිනා යනවද බලන්න.


Wednesday, June 19, 2013

වාප්පු ලිපිකරු ( Wharf Clerk ) ගේ කතාවෙන් ගත හැකි පාඩම ....

සුළු මොහොතකට කලින් මගේ ඉහල නිලධාරියා (Immediate Boss) ගෙන් මට ඇමතුමක් දී තිබුණා. ඒ වනවිට මා මගේ අසුනේ හිඳ නෑ. මම ආ විගස ඔහු අමතන ලෙස පණිවුඩයක් තබා තිබුණා. එය සාමාන්‍ය දෙයක් වුවත්, සර්වර් කාමරය (Server Room) තුල ඇති දුරකථනයෙන් එය ලබා ගන්නා ලෙසසද දන්වා තිබුණා. ඉතිං මම කියපු ආකාරයට ඔහු ඇමතුවා. ඔහුට දැන ගැනීමට අවශ්‍ය වී තිබුණේ අපගේ එක් සර්වරයක තිබෙන Windows Edition එක. එය ඉතාම සරල දෙයක් වුවත්, ඔහු සහභාගී වී තිබූ රැස්වීමට එය වැදගත් තොරතුරක්.

මෙවැනි දේවල් සාමාන්‍යයෙන් මතක තබා ගත යුතු වුවත්, සමහර පුද්ගලයන්ට මේ වගේ තාක්ෂණික දේවල් මතකයේ රැඳෙන්නේම නෑ. එහෙත් නළු නිලියන් සම්බන්ධ ඕපා-දුපයක් නම් අනිවාර්යයෙන්ම මතක තිබෙනවා. හොඳයි රැස්වීමකට සහභාගී වන කෙනෙක් ළඟ තමන් සේවය කරන ස්ථානයට අදාළ Executive Information වල මුද්‍රිතයක් තබා ගත්තත් වරදක් නෑ. මේ කතාවත් එක්ක අපේ බැංකුවේ ක්‍රිකට් ක්‍රීඩා කර විශ්‍රාම ගත් කිචිලාන් මහතා වරක් කාගේ හෝ අමතක වීමක් දුටු තැන පැවසූ කතාවක් මතකයට නැගුනා. 
පින්තුරය ගත්තේ : lankapura.com

වාප්පු ලිපිකරු කියන වචනය අපට පොඩ්ඩක් නුහුරු වචන වුනත්. Wharf Clerk කියන නම අපට හුරුයි. සමහර සිංහල වචනයට වඩා පහසු ඉංග්‍රීසි වචන ගොන්නක් තිබෙනවා. මේ ඒ අතුරින් එකක්. මේ වාප්පු ලිපිකරුවන් ඉන්නේ රේගුවේ. එයට අමතරව ඔවුන් සමග ගනුදෙනු කරන ආයතන ඒ වෙනුවෙන් යොදවා ඉන්න සේවකයනුත් හඳුන්වන්නේ මේ නමින්.

මේ කියන කතාව බොහොම ඉස්සර සිද්ද වුණු එකක්. ඒ ඉංග්‍රීසි ආණ්ඩුව ලංකාව පාලනය කරන කාලේ. එක්තරා සමාගමක, හිතන්නකෝ කුරුඳු රට යවන තැනක කියලා, මේ වගේ වොර්ෆ් ක්ලාක් කෙනෙක් හිටියා. ඔහු ඉතා දක්ෂ, ඒ වගේම හිමිකරුට ලැදි, පුද්ගලයෙක්. හිමිකරුවාත් ඔහුට ඒ වගේම කැමතියි. ඒ ඔහු කරදර අඩුම සේවකයෙක් නිසා. මේ කියන වොර්ෆ් ක්ලාක්ට හිමිකරුවා ඉතා ඉහල වැටුපක් ලබා දෙනවා. 
එතන ඉන්න අනෙක් අය ඔහුට මේ කාරණය නිසා ඉරිසියයි. කුරුඳු එකතු කරලා මිටි ගැටගහන සේවකයෙක් ඔහු දිහා ඇහැ ගහගෙන හිටියා. ඔහුටත් උවමනා වුණා ඉරිසියා නොකර මේ වගේ වෙලා වැඩි වැටුපක් ලබා ගන්න. ඉතිං මේ සේවකයා අර වොර්ෆ් ක්ලාක්ගේ වැඩපල දිහා හොඳින් ඇහැ ගහගෙන හිටියා. විශේෂයෙන්ම හිමිකරුවා සහ ඔහු අතර ඇතිවන සංවාද වලට මේ කියන සුළු සේවකයා ඇහුන්කන් දුන්නා. 
ඒ කාලේ අද වගේ කියුබිකල් නොතිබුණ නිසා ඒ කටයුත්ත පහසු වුණා. අවුරුද්දක් විතරම මේ දේ කලාම අර සුළු සේවකයාට මෙන්න මෙහෙම හිතුනා "මේ මිනිහා මොනවද කරන්නේ, මටත් බැරියැයි ඔය ටික නම්. ෆයිල් එකක් අරන් වරායට යනවා. ආපහු එනවා. ලොක්ක අහන ලේසි ප්‍රශ්ණ වලට උත්තර දෙනවා".
එහෙම හිතලා මේ සේවකයා ඊළඟ දවසේ ජැන්ඩි පහට ඇඳලා අර සේවකයා එන්නත් කලින් ගිහින් හිමිකරු මුණගැහුනා. 
 "මුදලාලි, මමත් මේ වැඩපලට ඇවිත් දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මෙතැන කෙරෙන දේවල් ගැන හොඳට දන්නවා. අර වොප් ක්ලාක් මහත්තයා කරන වැඩේ කරන්න මටත් පුළුවන්. මම මේ ආවේ, මටත් ඔය වොප් ක්ලාක් වැඩේ කරන්න දෙන්න කියන්න"
"හරි තමුසේ හෙට ඉඳලා ඒ වැඩේ කරනවා". මුදලාලි ගත කටටම කිව්වා. දැන් මේ සුළු සේවකයාට හරිම සතුටුයි. හිතපු නැති විදියට මුදලාලිත් කැමති වුණා. මිනිහා එදා වගේම ජැන්ඩි පහට ඇඳලා වැඩට ආවා. ටිකක් උජාරුවෙන් වටපිට බල බල ගිහිං ඔෆිස් එකේ වෝෆ් ක්ලාක්ගේ පුටුවේ වාඩි වුණා. මුදලාලි ඇවිත් අනිත් කට්ටියට කිව්වා අද ඉඳලා වරායට යන්නේ මෙයා කියලා. ඒකට මිනිහට ඊටත් වඩා සන්තෝසේ. කලින් වෝෆ් ක්ලාක් දවස් කිහිපයකට නිවාඩු ගත්තා.
පලවෙනි දවසේ අලුත් වෝෆ් ක්ලාක් වරායට ගිහිං ඇවිදලා කරලා ආවා. මුදලාලි මිනිහා ගෙන්වල ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
මුදලාලි : අද වරායට නැව් කීයක් ඇවිත් තිබුනද ?
(අපේ මිත්‍රයා වරායට ගිහින් ලියකියවිලි ටික අත්සන් කරලා. සල්ලි ටික ගෙවලා ආවට. වෙන මොනවත් බලා ගත්තේ නෑ."
"පොඩ්ඩක් ඉන්න මුදලාලි මම ගිහින් බලන් එන්නම්" කියලා මිනිහා හනිකේ දිව්වා වරායට.
"මුදලාලි නැව් හතක් ඇවිත් තියෙනවා"
මුදලාලි : එතන එංගලන්තෙන් ආපු නැව් කීයක් තිබුනද ?
"පොඩ්ඩක් ඉන්න මුදලාලි මම ගිහින් බලාගෙන එන්නම්" අපේ මිත්‍රයා ඉහිං-කනින් දාඩිය දාගෙන ආපහු වරායට දිව්වා.
         "නැව් දෙකක් එංගලන්තෙන් ඇවිත් තියෙනවා"
මුදලාලි : "හොඳයි. අද සීනි නැව් කීයක් ආවාද ?"
"පොඩ්ඩක් ඉන්න මුදලාලි." ආපහු වරායට
"සීනි නැව් එකක් වත් නෑ" 

"හරි. අද කුරුඳු ගන්නේ කීය ගානේද?"
දැන් නම් අපේ මිත්‍රයට වැඩේ එපා වෙලා. ඇයි දෙයියනේ ගිණි මද්දහනේ, වරායට දුවනවා වැඩපලට දුවනවා. ඉවරයක් නෑ. "මේ යකාට මේක එක පාරකට කියන්න බැරි හැටි". අන්තිමට මුදලාලි ප්‍රශ්ණයක් අහන අහන පාරක් ගානේ වරායට දුවන්න අපේ අර උසස් කල සුළු සේවකයාට වුණා. මුදලාලි අන්තිමේ මිනිහගෙන් මෙහෙම ඇහුවා
"දැන්, තමුසේ දිගටම වෝෆ් ක්ලාක් වැඩේ කරනවද කරපු රස්සාවම කරනවද ?"
"අනේ මුදලාලි මම කරපු රස්සාවම කරගෙන යන්නම්".
ඊළඟ දවසේ පරණ වෝෆ් ක්ලාක්ටම නැවත ඒ රාජකාරිය පැවරුවා. පරණ ක්ලාක් වරයා ගිහින් ආව ගමන් අර සුළු සේවකයාට කථා කරලා බලාගෙන ඉන්න කියලා මුදලාලි ප්‍රශ්ණ ටික ඇහුවා.
කොහොමද අද වරායේ තත්වේ ?
මුදලාලි අද වරායට අලුතෙන් නැව් 5ක් ඇවිත් තියෙනවා. ඊයේ ඉඳන් නැංගුරම් දාලා තිබුන තුනත් එක්ක අටයි. දෙකකට කුළුබඩු පටවනවා. ඒ දෙක එංගලන්තේ. වාහන බාන ඒවා තව සතියක් විතරම තියෙයි. අද කුරුඳු මිල පොඩ්ඩක් වැඩි වෙලා. ඊයේ ආපු සීනි නැව් දෙක අද පිටත් වෙලා. අද ආව එක නවක විතරක් රෝගියෙක් ඉඳලා තියෙනවා. අපි ගෙවන්න තියෙන මුළු මුදල රුපිය හාරසිය දහ තුනයි.

මේ විදියට එක දිගට විස්තරය කරගෙන ගියාට පස්සේ මුදලාලි අර සුළු සේවකයාගෙන් අහල තියෙනවා
"දැන් පේනවා නේද වෝෆ් ක්ලාක් කෙනෙක් දැන ගන්න ඕනේ දේවල්" කියලා.

මේ කතාවෙන් අපිට ගන්න ඕන පාඩමක් තියෙනවා. තමන් ඉන්න තැන පිලිබඳ ධල අදහසක් ඕනෑම් සෙවකයෙකු ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම ඊට පරිභාගිර දේ වුනත් දැනන් ඉන්න එක වටිනවා. අනෙක් දේ තමයි පිටින් බලලා කෙනෙකුගේ දැනුම් ගැන තක්සේරුවකට එන එක හොඳ නෑ. 

Tuesday, June 18, 2013

එස්.එම්.එස්. පණිවුඩය සහ දකුණු අප්‍රිකානු (කළු) මිතුරිය ...

මගේ මතකය එකවර 2010 මැදභාගයට ඇදී ගියේ මන්දැයි නොදනිමි. එහෙත් කවදා හෝ මෙහි සටහන් කරන්නට ඉටා ගත් තවත් එක් අපූරු කතාවක් බව නම් කිව යුතුමය. ඉතා කෙටි මොහොතක ඇති වූ මිතුදමක් එක් එස්.එම්.එස්. පණිවුඩයක් නිසා නැති වූ බව ඔබ පිලි ගන්නවාද? මා ඒ පිලිබඳ අදත් ශෝක වන්නේ ඇය (අප්‍රිකානු කළු) යුවතියක් වූ නිසාම නොවන බව වරදවා වටහා නොගන්න.

මහේල ජයවරධනත් සමග එකම බංකුවේ හිඳ වර්ල්ඩ් කැප නැරඹුවෙමි ලෙසින් මා ලියූ ඉතා ජනප්‍රිය වූ සටහන ඔබට මතක ඇතැයි සිතමි. මෙය ඊට පසුව මා හිල්ටන් හෝටලයට අයත් ඉතාලි අවන්හල් භූමියට ගිය තවත් දවසක් සිදු වූවකි. 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මේ කාලයේ ක්‍රියාත්මක වෙමින් පැවතිනි. හිල්ටන් හෝටලය පුංචි දකුණු අප්‍රිකාවක් බවට පරිවර්ථනය කර තිබුණි. එයට විශේෂ හේතුවක් තිබුණා. දකුණු අප්‍රිකාවේ මෙම ලෝක කුසලානය පැවැත්වුවද, එය නරඹා ප්‍රීති වීමට හැකි හොඳම වෙලාව උදා වන්නේ ඊට පැය ගණනක් කලින් ඉර බසින ශ්‍රී ලංකාවා ඉන්දියාව තිබෙන කාලා කාලපයටය. එබැවින් බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක එකතුවක් ලෙස මෙය සංවිධානය කර තිබුනා. VISA ආයතනය මා මෙතනට ගෙනයන්න පෙළඹුවා. ඇත්තටම එහිදී ලෝකයේ විවිධ රටවල පාපන්දු ප්‍රේක්ෂකයින් ඒ දින කිහිපයේ එතනට එක් රොක් වුණා.
පින්තුරය : හිල්ටන් ෆේස්බුක් පිටුවෙන්.

 මා ක්‍රිකට් වලට මෙන්ම පාපන්දු ක්‍රීඩාවටද එකලෙස ප්‍රේම කරමි. ක්‍රීඩා කර ඇත්තෙමි. මගේ තරුණ වියේ වැඩි කාලයක් ක්‍රීඩා කලේ පාපන්දු බවද කිව යුතුය. සංචාරක පුරවරයක් වූ බෙන්තොට ප්‍රදේශයේ ක්‍රිකට් වලට වඩා පාපන්දු ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වීම මීට හේතුවයි. අනෙක ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින ක්‍රීඩාව ලංකාවේ දෙවැනි ජනප්‍රිය ක්‍රීඩාව වත් වීම පුදුම විය යුතු නැති කරුණකි.

දිනය කවදාදැයි නිශ්චිතව මතක නැති මුත් අවශ්‍ය නම් අන්තර්ජාලය පීරා එය මෙහි සටහන් කල හැක. නමුත් මේ කියන කතාවට දිනයේ වටිනාකමක් නැති බැවින් ඒ ගැන වෙහෙසීම නිෂ්ඵල ක්‍රියාවකි. මගේ මතකය නිවැරදි නම් මට නරඹන්නට අවශ්‍යව තිබුනේ එදින පැවැත්වූ දෙවැනි තරගයයි. ඒ මා මුල සිටම ස්පාඤ්ඤ කණ්ඩායමට සහයෝගය දැක්වූ නිසාය. එදින ස්පාඤ්ඤය ජය ගතහොත් අවසාන පූර්ව තරගයට සුදුසකම් ලබනු ඇත. එහි ගාස්තුද ඉතා සාධාරණ බව කිව යුතුය. එනමුත් ඒ ගැන මෙහි සටහන් නොතබන්නේ, ඒ පිලිබඳ පෙර සටහනින් පැහැදිලි කල නිසාය. මුල් තරගය මා ඔහේ නැරඹුවෙමි. ආහාර පාන ගෙන දෙවෙනි තරගයට සුදානම් වීමට මා වග බලා ගත්තේ නිස්කාන්සුවේ තරගය නැරඹිය හැකි නිසාය. 

කෙනෙකුට මෙම වටපිටාවේ ස්ථිර ආසන ලබා ගත යුතු නම් එය වෙන් කරවා ගැනීම කල යුතුය. එසේත් නැතිනම් ලැබෙන තැනක සිට තරගය නැරඹිය හැකිය. මා මෙහි තරගය නැරැඹීමට කැමති වීමට තවත් එක් හේතුවක් වූයේ, එය විවිධ ජාතීන්ගේ පිරී ඉතිරී යන නිසා විවිධ රටවල විවිධ පුද්ගයලන් සමග අදහස් හුවමාරු කර ගත හැකි වූ නිසාවෙනි. එදින මට කථා කරන්නට ලැබුණේ අරාබි කාරයන් දෙදෙනකු සමගය. ඉන් එක් අයෙක් කුවේට් වැසියෙකු වූ අතර අනෙකා සෞදි අරාබි ජාතිකයෙක් විය. 

විව්කය අතර කඩා වැටුණු වැස්සට මා අගු පිලකටට(සමා වන්න හිල්ටන් හෝටලයේද වහලක කෙලවර හැඳින්වීමට වෙන විශේෂ වචනයන් නැත)  දිව ගිය මුත් කුවේට් වැසියා කැමැත්තෙන්ම වැස්සේ තෙමිනි. අපට වැස්ස මහත් කරදයක් වුවද, වැස්ස අවසන් වූ පසු කුවේට් වැසියා සහ සෞදි ජාතිකයා පැවසු දෙය පුදුමසහගතය. 

මා: ඔබ වැස්සට හෙවනට ආවේ නැත්තේ ඇයි ?

කුවේට් වැසියා : අපේ රටේ කෙනෙකුට වැස්සක් දකින්න ලැබෙන්නේ අවුරුදු ගණනකට දවසක්. ඉතිං හිතා ගන්න පුලුවන්ද අපි වැස්සට කෙතරම් ආසදැයි කියා ?

මට හාස්‍ය මුසු කණගාටුවක් ඔවුන් කෙරේ ඇති විය. මේ අතර එතනින් ඇති සිමෙන්ති වැටිය දිගේ එන දකුණු අප්‍රිකානු කළු යුවතිය කාගේත් අවධානය දිනා ගත්තේ, ඇගේ ඇඟේ තිබෙන හැඩය සහ කළු කෙල්ලක් වීම නිසාම නොව, මොහොතකට පෙර ඇය වේදිකාවේ සිට දමන ලද රංගනයද නිසාය. ඇය අප්‍රිකානු ආරේ බටහිර ගීත කිහිපයක් මෙන්ම, එම ලෝක කුසලානය වෙනුමෙන්ම සම්පාදිත "වක්කා-වකා" ගීතයද වැඩ දමා ගායනා  කර අවසන මේ එන්නේ සමහරවිට විඩාව නිවා ගන්නට විය හැකිය. අරාබි කාරයා කිසිම චකිතයකින් තොරව ඇය අපගේ මේසයට කැඳවා ගන්නා ලදී. ඇයද දෙවරක් නොසිතාම එහි අසුන් ගත්තා.

දැන් දෙදෙනා තරගයට ඇයත් සමග බර කථාවය. මටද ඒ කථා වලට සමන් යොමනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් නොවීය. අවැසි නම් මට කාර්යාලට ගොස්, නැවත පැමිණීමේ හැකියාව තිබුණත්, විදේශිකයන් සමග කතාවෙන් ඔවුන්ගේ රටවල් පිලිබඳ යම් අවුබෝධයක් ලබා ගැනීමට ප්‍රමුකත්වය ලැබිණි. අරාබි කරුවා නවාතැන් ගෙන සිටින සිනමන් ලේක් හෝටලයේ පැවති ශ්‍රී ලාංකික විවාහ මංගල උත්සවයක් වීඩියෝ කරගෙන ඇත. ඇයට ඔහුගේ ඇපල් දුරකථනය හරවා හරවා පෙන්වන්නේ කුඩා කොලු පැටවකු සිහි ගන්වමිනි. මෙය සිනහ උපදවන කරුණක් වුවද මම නිහඩව බලා උන්නෙමි.

කුවේට් කාරයා ඇයට පින්නවල අලි අනාථාගාරයට ගොස් පටිගත කරගෙන ඇති වීඩියෝව පෙන්වයි. නමුත් අප්‍රිකාවේ කෙනෙකුට අලි පෙන්වා පුදුම කල හැකිද? කුවේට් කරුවන්ට එය මැජික් වූවත් ඇය අර මංගල උත්සවය බැලීමේ යෙදී සිටී. කුවේට් කාරයා ටික වෙලාවකින් තම ජංගම දුරකථනය මට පෙන්වන්න පටන් ගත්තද, එය මා දන්නා දෙයක් නිසා ටික වෙලාවකින් අකුලා ගැනිණි. 
පින්තුරය : හිල්ටන් ෆේස්බුක් පිටුවෙන්.

කළු ගායිකාව අපේ මංගල උත්සවය ගැන විවිධ ප්‍රශ්ණ නැගුවද, එයට පිළිතුරු දීමට අරාබි කරුවාට නොහැකි විය. තවත් ප්‍රශ්ණ අසද්දී මට බලා සිටින්නට නොහැකි වුයේ, ඇය මේ විමසන්නේ මගේ රටේ තොරතුරු බැවිණි. මගේ රට ගැන විමසන කෙනෙකුට ඒ ගැන කියා දීම මගේ යුතුකමය. ඇයට අවශ්‍ය පලතුරු බීම බඳුන ලැබුණු විට ඇය මා අසලට විත් ඒ ගැන විවිධ ප්‍රශ්න නැගීය.

ඇය මුලින්ම මංගල ඇඳුම ගැනද, පසුව චාරිත්‍ර වාරිත්‍ර ගැනද විමසුවාය. මා දන්නා අයුරින් ඇයට විස්තර ලබා දුනි. 

ඇය : ඔබේ රට හරිම හොඳයි. මම අද උදේ පාසලකට ගියා. එහි සිටි ගැහැණු ළමුන් ඡායාරුප වලට පෙනී සිටීමට ඉතා ලජ්ජාශීලී බවක් දැක්වුවා. නමුත් අපේ රටේ අය එහෙම නෙවෙයි. අවුරු 15-16 වනවිට බොහෝ දේවල් ගැන අත්දැකීම ලබනවා. ඔබේ රටේ විවාහ වන්න දක්වන උනන්දුව දකුණු අප්‍රිකාවේ නෑ. බොහෝ කලක් ඇසුරු කර තමන්ට හොඳයි කියා හිතෙනවා නම් තමයි පිරිමි අපිව තෝරා ගන්නේ.

මා : එය ඉතා කනගාටුදායක තත්වයක්. අපේ රටේ දෙමව්පියන් නිරතුරුව දැරියන් ආරක්ෂා කරනවා. ඒත් විවාහයට පෙර පෙම් සබඳතා පවතිනවා. නමුත් වැඩි ප්‍රවනතාව තියෙන්නේ විවාහයට.

ඇය : මෙහි විවාහ නොවී පවුල් කන අය සිටිනවාද ?

මා : ඉතාම අඩුයි. එවැනි දේ පවතින්නේ ඉහල පැලැන්තියේ අය අතර.

ඇය: ඔබේ රටේ කාන්තාවන් හරිම වාසනාවන්තයි. අපේ රටේ පිරිමි හරි ආත්මාර්තකාමීයි. ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරගත් පසුව ඔවුන් පිටුපානවා. සමහර කෙල්ලන්ට දරුවන් පවා සිටිනවා. 

මා : ඔහ් ! ඇත්තටම ?

මේ අතර ඇයගේ දෙවෙනි ගායන වාරයට ඇය කැඳවාගෙන යන්නට ඇගේ කණ්ඩායමේ කෙනෙකු පැමිණ ඇත. ඇයට මා සමගද මට ඇය සමගද කථා කිරීමට තවත් බොහෝ දේ ඉතුරුය. මා එවිට ඇගේ ෆේස්බුක් නාමය විමසා සිටි අතර, ඈ පවසන නාමය මට පැහැදිලි නැත. අවට තිබෙන සද්ද බද්ද නිසා කොහෙත්ම කියන දේ පැහැදිලි නැත. ඔවුන්ගේ නම්ද අපට ඒ හැටි හුරු නැත. මා එකවරම මගේ ජංගම දුරකථනය ඇද, නව එස්.එම්.එස් පණිවුඩයක් සටහන් කරන තිරයක් ගෙන, ඇය ඇත එය තැබූ විට අරාබි කරුවන් දෙදෙනා මද සිනා සහිතව මා දෙස බලා සිටී. මොහොතකින් ඇය දුරකථනය මා වෙත දී මගෙන් සමු ගත්තාය.

තරගය ආරම්භ වන්නට තවත් විනාඩි කිහිපයක් ඇත. මා එම එස්.එම්.එස්. පණිවුඩයට කුමක් කරම්දැයි කල්පනා කොට එය නොදන්නා කෙනෙකුට යැවීම හොඳ යයි සිතා, එය යවන්නට දුරකථන අංකයක් මගේ දුරකතනයෙන් සොයා A අකුරෙන් පටන් ගන්නා ACBT ආයතනයේ අංකය(ලංකා බෙල්) වෙත මේ පණිවුඩය යවා දමා දුරකථනය සාක්කුවට දමා ගත්තේ, මෙය සෙන්ට් ගොඩේ තිබිය යුතුයයි සිතමිනි.

තරගය නිමවී මධ්‍යම රාත්‍රියේ නිවසට ලඟා වී ඇය සොයා ගන්නට මගේ පරිඝනකය ඉදිරියේ අසුන් ගතිමි. නමුත් අවාසනාවක මහතා එම එස්.එම.එස්. පණිවුඩය මගේ දුරකතනයේ නැත. නමුත් එය සොයා ගැනීමට තවත් අවස්ථා ඇත. ඒ සඳහා සඳුදා වනතුරු බලා සිටිය යුතුව ඇත.  සඳුදා ඇගේ නම ලැබුණාද ? එම නමට X අකුරක් තිබූ බව මට හොඳටම මතකය. එය සොයා ගැනීමට ක්‍රම දෙකක් ඇත. ඩයලොග් ආයතනය ඇමතීම හෝ ACBT ආයතනය ඇමතීමය ? 

හිල්ටන් හෝටලයේ ෆේස්බුක් පිටුවේ ඇති ඡායාරුප ඇල්බමය
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ප.ලි. : ඩයලොග් එකට කතා කලත් ඔවුන් එහි අන්තර්ගතය ලබා දීම ප්‍රතික්ෂේප කළා. මේ වීඩියෝව බලන්න.

මේකේ මුල හරිය වගේ තමයි වුණේ


Saturday, June 15, 2013

යස අපූරුවට මාකට් වෙන ඉන්දු-පකිස්තාන් දේශ සීමා අරගලය ....

මීට අවුරුදු දෙකකට විතර කලින් මම කියවපු පොතක් ඝනඳුර. ඒක පරිවර්තනයක්. එයට පසුබිම් වෙන්නේ ඉන්දියාවට සහ පාකිස්තානයට නිදහස ලැබෙන්න ඔන්න-මෙන්න කියලා කියපු කාලේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තේ සිද්ද වෙච්ච සිදුවීම් රැසක්. සමහරවිට එහි තිබෙන කතා බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන්. අද මේ පොත මගේ ගාව නෑ. ඒක දන්නා කෙනෙකුට දුන්නා බලන්න තවම ලැබුණේ නෑ. ලැබෙන එකකුත් නෑ. තිබුණා නම් එහි තිබෙන අපූරු කොටස් ටිකක් උපුටා ගන්න තිබුණා. 

ඒ පොත කියවගෙන යත්දී වෙලාවකට පුදුම හිතෙනවා, තවත වෙලාවකට හාස්‍යක් ඇති වෙනවා, තවත් වෙලාවකට ඇතිවෙන්නේ කනගාටුවක්. ඒකෙ තියෙන සිද්ධි ටික කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. 
  • පන්ජාබ් ජාතික තරුණයෙකුව අල්ලා ගන්නා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ඔහුව බලනේ සුන්නත් කරනවා. ඔහු ආපසු ආ විට තමන්ගේ ජාතියෙන් ඔහුට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. 
  • මුස්ලිම් දේවස්ථානයක මිදුලේ දවසක් ඌරු කුණක් දමා තිබෙනවා. එය මරන්න යොදවන පුද්ගලයා මුදල් නිසා කොහොම හරි රාත්‍රියක් නිදි වර්ජිතව අර ඌරා සමග පොර බදනවා. වෙලාවකට ඔවුන් දෙදෙනාටම හොඳහැටි හති වැටෙනවා. වෙලාවකට අර මිනිසාට ඌරා ගැන දුක හිතී ඌ නිදහස් කරන්න පවා සිතෙනවා. තවත් විටෙක ඔහුට මේ කොන්ත්‍රාත්තුව අතැර පලා යන්න සිතෙනවා. අධික සීතල සහ මුදල් නිසා ඔහු අවසානයේ අවශ්‍යතාව ඉටු කරනවා.
මේ වගේ සිද්දීන් සිය ගානක් ඒ පොතේ විස්තර කර තිබෙනවා. මේ හැම දෙයකින්ම් පෙනෙන්නේ ඔවුන්ගේ තිබෙන අන්තවාදී ස්වභාවය සහ එකට එක කිරීම. මම හිතන්නේ අපේ රටේත් ඔය එක එක දේවල් පස්සේ යන හැමෝම කියවන්න අවශ්‍යම පොතක් තමයි මේක. ජාතීන් දෙකක් බේද-භින්න වෙන ආකාරය හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ඒ පොත බැලුවම. 

මේ ප්‍රශ්ණය අද කොයි තරම් ඔඩු දුවලද කියලා තේරෙනවා, ඔවුන්ගේ දේශ සීමාවන් තිබෙන ප්‍රදේශ වල සංචාරය කල අය පෙන්වූ වීඩියෝ පඨ දැක්කම. ඉන්දියානුවන් නිපදවන චිත්‍රපට දැක්කම, ඒ වගේම මේ දෙගොල්ලෝ ඉඳහිට කරන අවි අත්හදා බැලීම් දැක්කම. 

මේ නිපදවන චිත්‍රපට වලින් කෙරෙන්නේ මොකක්ද? අර පාරම්පරික වෛරයෙන් පැසවන ජාතික හැගීම් තියෙන ජනතාවට තාවකාලික ආතල් එකක් සපයලා නිෂ්පාදකයා මඩිය තර කර ගැනීම. 

මෑතකදී ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශයේ සංචාරය කරපු මගේ මිත්‍රයෙක් පෙන්වපු වීඩියෝව දැක්කම මට හිතුනේ මේ මිනිස්සු මේ නිගා කර ගන්නේ මිනිස් කමටම නේද කියලා. ඔවුන් දෙපැත්තට වී හූ කියා ගන්නා දර්ශන, හමුදා චාරිත්‍ර වලින් තමන් ඉහල ජාතියක් යයි පෙන්වන්නට කරන උත්සාහයන්. මට නම් මේවා තනිකරම සිනහව සහ කලකිරීම ඇති කරවන දර්ශණ. 

පින්තුරය ගත්තේ : www.espncricinfo.com
මේ දෙගොල්ලා අතර තියෙන සීතල යුද්ධය වඩා හොදින්ම පිට කරන අවස්ථාවක් තමයි ඉන්දියා පාකිස්තාන් ක්‍රිකට් තරග. මේ දෙගොල්ලෝ දෙගොල්ලන්ගේ රටවල් වලට ගිහින් ක්‍රිකට් ගහන්නේ නෑ. එහෙත් වෙනත් රටක තිබෙන තරග නරඹන්න මේ කණ්ඩායම් දෙකේ ආධාර කරුවන් බුරුතු පිටින් පැමිණෙනවා. එතනදී අර පාරම්පරික වෛරය පිට කරනවා. මේක හොඳින්ම දන්නා රුපවාහිනී නාලිකා මේක හොඳටම මාකට් කරනවා. ඒ අය විතරක් නොවෙයි අයිසීය පවා මේවා හොඳට මාකට් වෙන බව දන්නවා.

අනිත් දේ තමයි තරග අතරතුරදී මේ දෙගොල්ලෝ ඇති කර ගන්නා උණුසුම් වාද විවාද සහ වෛරය පිට වන ආකාරයේ හැසිරීම්. මේවාට පදනම් වෙන්නේ කුඩා දරුවන් කාලේ ඉඳලම මේ අයගේ හිත් වලට කාවද්දලා තිබෙන වෛරය.  

හැබැයි මේ දෙගොල්ලෝ යස අපූරුවට එකම කණ්ඩායමකට ක්‍රීඩා කරපු අපූරු තරගයක් නරඹන්න මට අවස්ථාව ලැබුණා. ඒ 1996 දී ආරක්ෂක තත්වය මත ශ්‍රී ලංකාවේ තරග ප්‍රතික්ෂේප කරපු ඔස්ට්‍රේලියාවට සහ බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් වලට මෙහි එහෙම ගැටළුවක් නැති බව පෙන්වන්න පැවැත්වුන තරගය. එම තරගයේදී ඉන්දියාවේ අසාරුදීන්, ජඩේජා, මොන්ගියා වගේම පාකිස්තානයේ අක්රම්, වකාර් එකම කණ්ඩායමක ක්‍රීඩා කළා. 

ඒක ඉන්දීය-පකිස්තාන් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් විදියටයි මම දකින්නේ. අද පාකිස්තානයේ කිසිම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ නෑ. ඒකට එකම හේතුව ඉන්දු-පකිස්තාන් අරගලය නොවුනත්, ඉන්දියාව තුලට පාකිස්තානුවන්ට එන්න අවසරත් නෑ. 

මේ වෙනුවෙන්ම නිපදවන රුපවාහිනි වෙළඳ දැන්වීම් පවා තියෙනවා. පහලින් තිබෙන වීඩියෝ තුනෙන් එකක් මේ දෙගොල්ලන් අතර ඇති වෙච්ච උණුසුම් අවස්ථා ගැන. අනෙක් දෙක ඉන්දියා පකික්ස්තාන් ක්‍රිකට් උණුසුම ගැන කියවෙන ඒවා. ඒවා බලලම තීරණයකට එන්න.

මේ සටහන තියන්න විශේෂ හේතුවක් තියෙනවා. අද මේ දෙගොල්ලන් අතර තරගයක් තියෙනවා චැම්පියන්ස් කුසලානයේ. නමුත් මේ වෙනවිට කණ්ඩායම් දෙකට මේ තරගය තීරණාත්මක නෑ. ඒත් මේ දෙගොල්ල්නගේ තරගයක් ඉතාම උණුසම් වනවා නොරටකදී පවා. ප්‍රේක්ෂකයන්ගෙන් පිරුන ක්‍රීඩාංගණයක් අද දකින්න පුළුවන්. 

වල ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට. මේ දෙගොල්ලන් උණුසුම් වෙනකොට ස්ටාර් ටී.වී. ආයතනය සහ අයි.සී.සිය වෙළඳ දැන්වීම් වලින් හොද්ද බොර කර ගන්න බව එයාලට තේරෙන්නේ නෑ. 




_______________________________
ප.ලි. : ලියන්නම අවශ්‍ය දෙයක් අමතක වුණා. මෙතන ඉන්දියාවට තියෙන ප්‍රශ්ණය අර හිතුමතේට දුව දීග ගියහම වැඩිහිටියන්ට තියෙන දුක වගේ එකක්. තමන්ගෙන් වෙන් වෙලා ගිය නිසා තමයි වැඩිම තරහා තියෙන්නේ. මේ වගේ උදාහරණ ලංකාවෙත් සමහර දේශපාලන පක්ෂ වල තියෙනවා.

Thursday, June 13, 2013

IDD ගණන් කාලේ වෙච්ච් සීන් එකක්....

ඊයේ මගේ නංගිගේ පුත්‍රයා වෙච්ච් කසුන්, ඒකාගේ දිවි දෙවෙනි කොට තකන, රටේම තියෙන සල්ලි වලින් රීලෝඩ් දානා ජංගමේ මං ගාවට උස්සගෙන ඇවිත් පෙන්නලා කියනවා

"ලොකු මාමේ මේ බලන්න මේ නම්බර් එක, මේකෙන් මට කෝල් එකක් ආවා, මමත් කථා කළා. අන්තිමට විනාඩියකට 25ක් විතර මගෙන් කැපිලා"

මම ඒ වෙලාවේ හිටියේ චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් කෙරීගෙන යන, CricTurf වෙබ් අඩවියේ සිදත් සමීරගේ ඕව(ර්)ත්රෝ කියන +Google Hangout සාකච්ඡාවට පෙර සුදානම් වෙමින්. මම ඒ වෙලාවේ හැටියට වැඩිය කථා කරන්න යන්නේ නැතිව දුන්න උත්තරේ තමයි

"දන්නැති නම්බර් වලින් එන කෝල්ස් වලට ආන්සර් කරන්න යන්න එපා" කියන එක. 

දැන් දුරකථන ඇමතුමකට කොයි තරම අඩුවෙන් අය කරනවාද කියලා දන්නේ එක්දාස් නමාසිය අනු පහේදී වගේ ජංගම දුරකතනයක් පාවිච්චි කලානම්. ඒ කාලේ කෝල් එකක් ආවහම විනාඩිය යන්න කලින් කට් කරන්න මාර සටනක් දුන්නේ. ඇයි එන ඒවා කියලා නෑ අස්ප ගණන් තමයි අය කලේ. මේ ළඟදී මගේ ත්‍රී වීල් හිතවතාගෙන් මට කෝල් එකක් ආවා. මම සාගර... සාගර... ගෑවට අනිත් පැත්තෙන් සුවීට් වොයිස් එකක් තියෙන තරුණියක් කථා කළා. මම ආයෙත් ෆෝන් එක කණෙන් අරන් බැලුවා කවුද කතා කරන්නේ කියලා. සාගරම තමයි. 

එටිසලාට් වලත් මේ කෙරුවාව තියෙනවා. ඒ ගන්න කෙනාගේ ෆෝන් එකේ ක්‍රෙඩිට්ස් නැත්තම ලබන එකාගෙන විමසනවා යාලුවට සල්ලි හිඟයක්, තමුසේ ගෙවන්න කැමතිද ? කියලා. හැබැයි ඔය මම කිව්ව් විදියට රළුවට නෙවෙයි අහන්නේ. අර කලින් කිව්වා වගේ සුවීට් වොයිස් තියෙන කෙල්ලෙක් දම්මලා අහන්නේ. එතකොට ඉතිං අනේ ඔන්න ඔහේ කමක් නෑ කියලා හිතෙනවා. ගෑනු ඉස්සරහ හිට්ලරුත් දන ගැහුවා කියනවනේ. 

මේ කතා දෙක හින්දා මගේ මතකය ඇදිලා ගියේ මම බැංකුවට ආපු අලුත් වෙච්ච සිද්දියක්. ඒ කාලේ හොඳ ලස්සන, අඟර - දඟර අක්කා කෙනෙක් හිටියා. පස්සේ එයා බැංකුවෙන් අස් වෙලා විදෙස් ගත වුනා. මම මුලින්ම සති අන්තෙක බැංකුවේ වැඩ කරපු දවසේ. අපි වැඩ කරපු හරිය තිබුණේ පොඩ්ඩක් ඇතුලට වෙන්න. ඇතුල් වෙන තැනම තියෙනවා අපේ එම්. කේ. මහත්තයාගේ ෆෝන් එක. ඒකෙන් කවුරුවත් කෝල් එකක් නොගන්නේ, කී පෑඩ් එකට උඩින් ලෝක් එකක් අලවලා, ඉබ්බෙක් දාලා තිබ්බ නිසාම නෙවෙයි. එම්. කේ. කියන්නේ ආයි සුද්ද සිංහලෙන්ම කථා කරන බැංකුවේ ආරම්භක සාමාජිකයෙක්. එතුමා ගැන අපි පස්සේ කතා කරමු.

අපේ ඉරෝෂා හරි ආසයි කෝල් එකක් අරන් ටිකක් කථා කර කර ඉන්න. අපි ඒ කාලේ ඔෆිස් ෆෝන් වලින් කෝල් ගන්න හිතන්නේ වත් නෑ. අපි හැමෝම අතේ පේ ෆෝන් කාඩ් තිබුණා. මගේ ගාවත් ජාති තුනකින්ම තිබ්බා. නිතරම ගෙදරට පණිවිඩයක් දෙන්න මේවා නැතුව බෑ. ඔන්න ඔය වගේ වාතාවරණයක් තිබ්බ කාලෙක තමයි මේ සිද්දිය වුණේ. අහම්බෙන් කෙනෙක් ගාව ගඩොල් භාගයක් තිබ්බත් කවුරුත් ඒවා කථා කරන්න භාවිතා කලේ නෑ. ඒවා වැඩි හරිය පාවිච්චි කලේ මෙසේ උඩ තියෙන කඩදාසි හුළඟට යන එක නවත්තන්න. 

ඉරෝෂා නිතරම මේ ෆෝන් එක පැත්තේ හොර ගල් ඇහිඳින්නේ, කාගෙන් හරි කෝල් එකක් එයි කියන බලාපොරොත්තුවෙන්. මෙහෙම ෆෝන් එක පැත්තට ගිය ඉරෝෂා පැය කාලකින් විතර හති දාගෙන දුවන් ඇවිත් කිවා 

"අන්න කැනඩා ගිය මානෙල්ගෙන් කෝල් එකක් මමත් මෙච්චර වෙලා කථා කර කර ඉඳලා ආවේ. ඔගොල්ලන්ටත් කථා කරන්න ඕනේ කිව්වා"

මේ ටික ඇහුවා විතරයි කට්ටිය හැල්මේ දුවල ගිහින් පෝලිමේ පොර කනවා කථා කරන්න. කොහොමින් - කොහොමින් හරි වැඩේ නැගලම ගියා. වැඩට ඇවිල්ල මාස දෙකක්වත් නැති මා එක්කත් කතා කරන්න තරම් මානෙල් අක්කා හරි නිහතමානී වෙච්ච එක ගැන මට ඇති වුණේ පුදුමාකාර සතුටක්. ඇයි ලංකාවේ ඉන්නකොටවත් මං එක්ක ඔච්චර වෙලා කථා කරලා නෑ. 

මේ සිද්දිය වෙලා ටික දවසක් ගත වුණා. ඒ කාලේ අපේ සෙක්ෂන් එක භාරව හිටිය මිස්ට ගුණසේකර ඇවිත් කියනවා 23න් වෙනි සෙනසුරාදා වැඩ කරපු ඔක්කොම කට්ටියට මිස්ට කුමාරපතිරණ(අපේ සහකාර  සාමාන්‍යධිකාරී වරයා) කථා කරනවා කියලා. එයාගේ පොත් වගයක් පෙරලලා නම් ලිස්ට් එක කියවාගෙන ගියා. මගේ නමත් ඔය අතරේ තිබුණා. මම, රොහාන්, හරන් ඇතුළු අලුතෙන් ආපු කීප දෙනෙන්ක්ගෙම නම් කියවුණා. අපිව ගෙන්නපු කුමාරපතිරණ මහත්මයා කටහඬ අවධි කළා

"මේ වැඩේ කරපු කෙනා ඉදිරිපත් වුනේ නැත්තනම් මට සිද්ධ වෙනවා ඔයාලා කට්ටියගේ පඩියෙන් මේ ගණන අය කරන්න. චීෆ් එකවුන්ටට් ඩිපාට්මන්ට් එකෙන් අහල එවල තියෙනවා මේ ගැන. එක කෝල් එකකට රුපිය දහදාස් හත්සිය පනහක්. කවුද මේ කෝල් එකක් ගත්තේ"

අපි කවුරුවත් කථා කලේ නෑ. කුමාරපතිරණ මහත්මයා නැවතත් කථා කළා

"හරි මට කියන්න මේ කෝල් එකට මුලින්ම ආන්සර් කරපු කෙනා කවුද කියලා"

ඔන්න එතකොට ඉරෝෂා "මම සර්" කියලා ඉදිරිපත් වුණා.

"හරි මේ කෝල් එක ඔයාලා ගත්තේ නැත්නම්, ඒකත් එකටම මේක ආපු කෝල් එකක්. එහෙම කෝල් එකක් ආවහම අහනවා අපි ගෙවන්න කැමතිද කියලා. එහෙම ඇහුවේ නැද්ද ?"

ඉරෝෂා : "නෑ සර් එහෙම ඇහුවේ නෑ"


"මට දැන් තේරෙනවා වෙලා තියෙන දේ. ඉන්කමින් කෝල් එකක් කියලා කථා කලේ නේද ? එතකොට ඔයගොල්ලෝ කට්ටියම කථා කලාද ?"

සැවොම : "ඔව් සර්"

"තමුසෙලා හරි මිනිස්සු කට්ටියක් නේ. ඔහේ ආව නිසා කතා කර කර හිටියා. කාගෙන්ද ? කොහෙන්ද ? මේ කෝල් එක"

ඉරෝෂා "සර්. මානෙල් අක්කාගෙන් ආවේ. අර ඉස්සර මෙහෙ ඉඳලා කැනඩාවට ගියේ"

ඔන්න ඒ කථාව අහලා එතුමා අන්දුන් කුන්දුන් වෙච්ච ගාණයි. 

"හරි ඔයාලා යන්න මම පොඩ්ඩක් චීෆ් එකවුන්ටන්ට කථා කරලා බලන්නම් ඔයාලා මේකට ගෙවන්න ඕනෙද කියලා. නොදැනුවත්ව වෙච්ච දෙයක් හින්දා මම පලවෙනි වතාවට මෙහෙම කරන්නේ. ආයි එහෙම මෙහෙම වෙන්න බෑ. හරිද ?"

"හරි සර්"

අපි එක හඩින් එහෙම කියලා ආවා. මම ආපු ගමන්ම ගාන හදලා බැලුව. එක්කෙනෙකුට  1790ක්. අන්තිමට මේක ගෙවන්න නොවුනේ පූරුවේ වාසනාවකට. 

මේකෙන් මම කියන්න ආවේ ඉස්සර විතරක් නෙවෙයි දැනුත් මේ වගේ ලබන්නාගේ කැමැත්ත විමසලා දුරකථනය සම්බන්ධ කරන ක්‍රමය තියෙනවා. එහෙම කෝල් එකක් ආවොත් බොහොම පරිස්සමට තමයි තෝරා ගන්න ඕනේ. මොකද මේ වගේ වැඩක් වුනොත් ඉතිං සොරිම තමා. තනියම ගෙවන්න වුනොත්.

බලාගෙන යනකොට මේක ලබන්නා ගෙවන දුරකථන ඇමතුමක්(Receiving Party Pay). 

Tuesday, June 11, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 32 - තොතපන් - තොතපන් ආදලේතනේ තොතන්නේ .....

අපේ බොහොමයක් බ්ලොග් හිතවතුන් හරි අකමැතියි මම ක්‍රිකට් ගැන ලියනවට. තව කට්ටියක් ගණිත ගැටළු වලට අකමැතියි. ඒ නිසා කවුරුත් වගේ කැමති ලොල් කතා සීරීස් එකට අලුත්, පුංචි කථාවක් එක් කරන්න හිතුවා. හැබැයි එකක් කියන්න ඕනේ චැම්පියන්ස් කුසලානය තියෙන කාල සීමාවේදී මගේ ක්‍රිකට් උණ අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් ගණන් එහෙම හදලා සමහරු බලාගෙන ඉඳලා හෙම්බත් හින්දා කතාව කියන්නම්.

සයිමන් අයියා කියන්නේ කිසිම ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගය තිබුන පුද්ගලයෙක් නෙවෙයි. මිනිහා අහු වුන වැඩේ කරලා එදා වේලට කීයක් හරි හම්බ කරගත්තා. කාටවත් කරදරයක් නෑ. හවසට පොඩ්ඩක් දා ගත්තාම පොඩ්ඩක් කියවන එකයි වරද. මිනිහා ඉතිං ගෙදරක වහලක් හෙවිලි කලත්, ගමේ බණ ගෙයක්, තොවිල් පවිල් වැඩක් තිබුණත් ඒ හැමතනකටම ඇවිත් උදව් කලේ මුදල් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. ඒ වගේමයි ගමේ අයත් මේ වගේ අත් උදව්වක් දුන්නම සයිමන් අයියගේ අතේ කීයක් හරි මිට මොළවනන අමතක කලේ නෑ. 

සයිමන් අයියා කරන රාජකාරී වලින් හැම දවසකම උදේ කරන්නේ ගමේ මුදලාලිගේ රා බාන වැඩේට උදව් කරන එක. එහෙම රා බාන ගමන් රා දමන ලී බාල්දිය පිරුණම ඉතිරි වෙන ටික සයිමන් අයියා කටේ හලා ගන්නේ, රා වලට වැටිලා ඉන්න මැස්සෝ, මී-මැස්සෝ රැවුලෙන් පෙරලා. ඒ තරමට ඝනට වවිච්ච සුදු දිග රැවුලක් සයිමන්ට තිබ්බේ. තවත් දවසක රා බාලා අර වෙනද වගේම ඉතිරි ටික කටේ හලාගෙන එන අතර තුරදී සයිමන්ට මතක් වෙනවා ගමේ කෙනෙක් කියපු බෙහෙත් පැලයක් හොයන්න තියෙන බව. එහෙම එකක් හොයා දුන්නොත් පොඩි ගාණක් වරදින්නේ නැති බව සයිමන්ට විශ්වාසයි.

සයිමන් කැලෑවේ රිංගගෙන යනකොට ටිකක් එහාට වෙන්න තියෙන ගස් දෙබලක් දැකලා සයිමන් අයියගේ හිත කීරි ගැහිලා ගියා. මේ වගේ දෙබලකින් මීට කලින් අල්ල ගත්ත මයින් පැටව තුන්දෙනාට ජර්මන් කාරයෙක් රුපියල් දෙදාහක්ම ලැබුන බව සයිමන් අයියගේ සිහියට ආවහම හිතේ සතුට වැඩි කමට විෂිල් පාරක් ගහපු සයිමන් තප්පර දෙක තුනකින් සරමත් කැහැපට ගහගෙන තරමක් දිරා ගිය ගහ මුල. 

ගස් බෙනේ හැටියට නම් මයින් හෝ ගිරා පැටව් තුන් හතර දෙනෙක් වරදින්න විදියක් නෑ. සයිමන් අයියගේ අත්දැකීමෙන්ම සයිමන් අයියා ඒක හොඳ හැටි දන්නවා. බෙනේට ලං වෙත්දී පුංචි කෙඳිරිලි හඬක් ඇහිලා සයිමන් අයියගේ සතුට ඉහ වහා ගියා.  දනි-පනි ගාලා බෙනේට ලං කරපු සයිමන් අයියා ඇතුලේ ඉන්න කුරුළු පැටවුන්ට කථා කරන්න ගත්තා
පින්තුරය ගත්තේ : www.sciencedaily.com

මගේ පැටව් ටික මං එනවා අම්මා. තව පොඩ්ඩයි කලබල කන්නැතිව හිටපං දෙයියෝ. 

එහෙම කියලා සයිමන් අයියා හෙමිහිට බෙනේට අත දැම්මා. මෙහෙම ඇත දානකොට කුරුළු පැටව තමන්ගේ අම්මා කෑම ගෙනල්ලා කියලා සතුටින් කෑ ගහනවා. ඒත් මෙදා පාර එහෙම සද්දයක් ආවේ නැති නිසා සයිමන් නෝක්කාඩු කියන්න ගත්තා.

ඇයි මගේ පැටව ටික සයිමන් මාමා එන්න පරක්කුයි. තරහා වුණා. තරහා ගන්න එපා මගේ පැටව්නේ. මම උඹලව ජර්මනියට යවනවා මේ පාර. 

එහෙම කියපු සයිමන් අයියා අත ඇතුලටම දැම්මා. ඒ පාර මෙන්න අතට හෙමිහිට කොටනවා දැනිලා සයිමන් අයියා කියනවා මෙහෙම

තොතපන්-තොතපන් ආදලේතනේ තොතන්නේ කියලා.

එහෙම කියලා ඉවර වෙනවත් එක්කම සයිමන් අයියාට දෙලෝ රත් වෙන පාරක් අතට දැනෙනවත් එක්කම පිඹින සද්දයක් ආවා. සයිමන් අයියගේ මුළු ඇඟම හිරි වැටිලා ගොහින් ගහෙන් පල්ලට වැටෙන කොට දැක්කා බෙනෙන් එලියට ඔලුව දාලා පෙනේ කරන් ඉන්න නාග රාජයා. සයිමන් අයියා තව මොන මොනවදෝ කිව්වා. ඒත් සද්දේ පිට වුනේ නෑ. 

Sunday, June 9, 2013

ඔබත් පුංචි පහේ හපනෙක්ද ? එහෙනම් මෙන්න වැහිබර ඉරිදා සන්ධ්‍යාවේ කරන්නට යමක් ....

මේ දවස්වල වැස්ස. ඒ වගේමයි සුළඟ. ගෙදරට වෙලා කොහෙවත් යන්නේ නැතිව කම්මැලි කමේ ඉන්න යට මෙන්න කරන්න නියම වැඩක්. Cryptography(මම ඒ ගැන ඉගෙන ගත්තේ චුලන්ත කුලසේකර  කියන අති දක්ෂ ඒ වගේම නිහතමානී අචාර්ය වරයාගෙන්. මම ඉගෙන ගත්ත විෂයයන්ගෙන් ආසම විෂයයක්) කියන්නේ අද පරිඝණක ආරක්ෂාවට යොදා ගන්නා එහෙත් පැරණි සංකල්පයක් මත ගොඩනැගිච්ච මුලධර්මයක්. ඒකෙන් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වෙනුවට වෙනත් අකුරු භාවිතා කරලා යවන්න ඕනේ පණිවුඩය යම් ආකාරයක වෙනසකට ලක් කරන එක. එහෙම කරලා යවන ඒවා අල්ල ගන්න අමාරුයි. ඉතින් මට අහම්බෙන් වගේ රීඩර්ස් ඩයිජෙස්ට් කියන සඟරාවේ වෙබ් පිටුවේ තියෙන මේ වගේ ගැටළු අතරින් හිත ගිය එකක්, ඒ වගේම මම විසඳූ එකක් ඔයාලටත් උත්සාහ කරන්න දෙන්නම්. නිවැරදි පිළිතරු සඳුදා හවස නිකුත් කරනකම් කමෙන්ට් වහනවා. නිවැරදි නැති ඒවා නිකුත් කරනවා. එතකොට ඒවා උපයෝගී කරගෙන තව කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන් නිසා.

පහල පින්තුරේ හිස් තැන් වලට එන්න ඕනේ පිළිතුරු වාක්‍ය හොයා ගන්න. ඒ එක් එක් අකුර යෙදීලා තියෙන වාර ගණන තමයි උඩින් තියෙන ඉංග්‍රීසි හෝඩියේ අකුර ඉහලින් තියෙන්නේ. අපි බලමු කවුද හපනා කියලා. මම විනාඩි 13යි තත්පර ගණනකදී මේක විසඳුවා. මේක විසඳලා ඉවර අයට රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවේ වෙබ් පිටුවේ තිබෙන අනිත් ගැටලුත් විසඳන්න පුළුවන්.

වඩා විශාලව දර්ශනය වීමට පින්තූරය උඩ ක්ලික් කරන්න.

පොඩි උදව්වක් කරන්නම් මේ වාක්‍යයේ මගේ මාතෘකාවේ ඉංග්‍රීසි පරිවර්තනය සැඟවිලා තියෙනවා. ඒ නිසයි මම විශේෂයෙන්ම මේක තෝරා ගත්තේ. අනිත් එක එක තැනකට හරි යන අකුර හොයා ගත්තම ඒ අකුර තියෙන අනිත් තැන් වලටත් අර හොයා ගත්ත අකුර යොදන්න පුළුවන්.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. මෙන්න හරි උත්තරය මම ගත්ත එකේ සාක්ෂිය.


මේකේ online ගේම් එකේ අන්තිම අකුර දැම්ම ගමන් පහල තියෙන screen එක එනවා. සෑහෙන වෙලාවක් කල්පනා කරන්න වුණා අකුර දාපු ගමන් නවත්තන්න පුලුවන්ද කියලා. පස්සේ ඕන දෙයක් කියල "Z" අකුර දැම්ම. දැම්ම ගමන් මේ පහලින් තියෙන screen එක ආවා.




Saturday, June 8, 2013

2013 චැම්පියන්ස් කුසලානය කාටද ?

1998 වනවිට ලෝක ක්‍රිකට් සමුළුවේ සභාපති ධුරය දැරූ ජග්මොහාන් දල්මියා මහතාගේ අදහසකට අනුව අයි.සී.සී. පිළිමුන් පිටු දැකීමේ තරගාවලිය (ICC Knock-out Tournament) ලෙස ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලිය අවුරුදු දෙකකට වරක් පවත්වන්නට යෝජනා විනි. එය 2006 දක්වා නොකඩවා ක්‍රියාත්මක වූ අතර 2008 දී සත්කාරකත්වය බාර වූ පාකිස්ථානයේ  ආරක්ෂක  තත්වය නිසා එය අත්හැර දමා 2009 දී එය නැවතත් දකුණු අප්‍රිකාවේදී පණ ලැබීය. මුල සිටම එහි නම වෙනස් කම් වලට ලක් විය. අයි.සී.සී. නොකවුට් ලෙස ආරම්භ වූ එය, පසුව පුංචි ලෝක කුසලානය (Mini World Cup) ලෙසත් 2002 වසරේ සිට   ශුරයන්ගේ කුසලානය(ICC Champions Trophy) ලෙස හඳුන්වනු ලැබීය. කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වෙන තරගාවලියෙන් මෙය අවසන් වන අතර, මෙයට ආදේශකයක් ලෙස 2017 දී ලෝක ටෙස්ට් ශූරතාව ක්‍රියාත්මක වනු ඇත. 
පින්තුරය ගත්තේ : http://www.wisdenindia.com

මෙම තරගාවලියෙන් මුලිකමව කරුණු දෙකක් ඉෂ්ඨ කර ගන්නට එවකට සභාපති වරයා බලාපොරොත්තු විය. එහිලා අංක එකේ තිබුණේ අයි.සී.සියේ අරමුදල් තර කර ගැනීමයි. ඔවුන්ගේ දෙවන බලාපොරොත්තුව වුයේ ටෙස්ට් ක්‍රීඩා නොකරන රටවල් වල ක්‍රීඩකයන්ට ලෝක කුසලානයක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නටත්, එම රටවල ප්‍රේක්ෂකයින්ට සජීවී තරග නැරඹීමට අවස්ථාවක් දීම මගින් උනන්දුවක් ඇති කිරීමත්ය. නමුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලි ඇරඹීමත් සමගම එක්දින වලට තිබූ ජනප්‍රියත්වයනේ වැඩි කොටස එම තරගාවලි වලට ලැබිණි. නමුත් අද විස්සයි විස්සේ ඉදිරි අනාගතය අවිනිශ්චිත තැනකට ගෙන ඒමට බුකි කරුවන් සමත් වී ඇත. එය වෙනමම සකච්ඡා කලයුතු බැරෑරුම් මාතෘකාවකි.

මෙවර චැම්පියන්ස් ලෝක කුසලානය පැවැත්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන එංගලන්තයේය. එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනමම හැදෑරිය යුතු විද්‍යාවක් බඳු වේ. ඒ ගැන විචාරය කරන්නට එංගලන්තයෙන් පිට අය බිය දක්වීමම එයට හොඳම උදාහරණයකි. මන්ද එංගලන්ත තණතීරු සහ කාලගුණය එහි පවත්වන තරග වල ප්‍රතිඵල වලට සෘජුවම බලපාන බැවිනි. මගේ විශ්වාසයේ හැටියට මෙවර තරගාවලියේ ජය කාටද යන්න දැන ගැනීමට පහතින් දැක්වෙන දර්ශක ඉතා වැදගත් වේ.  
  1. දේශගුණය
  2. විකට්ටු සහ ක්‍රීඩාංගන
  3. කණ්ඩායම් වල වත්මන් තත්වය
  4. නව නීති රීති
  5. පෙර පුහුණුව
  6. ඉතිහාසය
  7. ශ්‍රේණිගතකිරීම
දේශගුණය

මෙය එංගලන්තයට හොඳින් හිරුරැස් පතිත වන කාලයකි. එහෙත් පසුගිය පුහුණු තරග වලදී ලැබුණු තොරතුරු අනුව, කෙතරම් එළියක් තිබුනද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ක ප්‍රමාණයේ පවතියි. මේ කාරණය නිසා ඝර්ම කලාපීය දේශගුණයට හුරු වී තිබෙන ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රීඩකයන්ට එම දේශගුණික තත්වයන් තුල සුපුරුදු දක්ෂතා වලට ඒමට නොහැකි වනු ඇත. ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රීඩකයන් වෙසෙන පෙදෙස් වල සීත දේශගුණය නිසා යම් මට්ටමකට ඔවුන්ට එය දරා ගත හැකි වනු ඇත. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට මෙම දේශගුණයට සමාන දේශගුණික තත්වයන් ඔවුන්ගේ රටවල ඇත. 

මෙම දේශගුණික තත්වයන් බලපාන්නේ ක්‍රීඩකයින්ටම පමණක් නොවේ. කොහොමත් රතු පන්දුවට වඩා වැඩි දෝලනයක සුදු පන්දුවේ දැකිය හැකිය. එනිසා එංගලන්තයේ තිබෙන සීත සහ වලාකුලින් බර කාලගුණික තත්ත්ව වලදී වැඩි දෝලනයක් බලාපොරොත්තු විය හැක. එහෙත් මේ දක්වා පැවැත්වුණු තරග වලදී වැඩි දෝලනයක් පෙන්නුම් කලේ නැත. නමුත් එංගලන්තයේ කාලගුණය වෙනස් වීමට දවස් ගණන් අවශ්‍ය නැත. එහි කාලගුණික වාර්තා පැය කිහිපයෙන් කිහිපය යාවත්කාලීන කරන බව එහි දිගු කාලයක් ජීවත් වන අයගෙන් ලැබෙන තතු සාක්ෂි දරයි. එම නිසා කාලගුණික සහ දේශගුණික සාධකහි වැඩි වාසිය සත්කාරක එංගලන්තයට සහ එම තත්වයට පසුගිය සති කිහිපයේම එහි සංචාරය කරන නවසීලත්නය, එම දේශගුණික තත්වයන්ට හැඩ ගැසීමට පහසු සුදු හම සහිත අනෙකුත් කණ්ඩායම් වලට ලැබෙනු ඇති.

විකට්ටු සහ ක්‍රීඩාංගන

එංගලන්ත විකට්ටු සාමාන්‍යයෙන් වේග පන්දු සහ මදවේග පන්දු යවන්නට උචිත වේ. ඒවායේ දෝලනයත් ඉහල නැගීමත් වැඩි නිසා පිතිකරුවන්ට රිසි සේ පිත්ත හැසිරවීමට කාලයක් නැත. පන්දුව පතිත වනවාට වඩා වේගයකින් ලැබෙන නිසා පිතිකරුවන් වෙනදාට වඩා වේගවත් විය යුතුය. මෙහිදී වඩාත් අසීරුතාවට ලක්වන්නේ ආසියාතික තණතීරු වලට හුරු වී සිටින අපේ ක්‍රීඩකයන්ය. මෙම වේගවත් තත්වයන්ට එංගලන්ත, නවසීලන්ත, ඕස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකානුවන් හුරු වී ඇත. එංගලන්තයේ සමහර ක්‍රීඩාංගන වල ලකුණු හතරක් දිවීමෙන් ලබා ගැනීමට හැකි තරම දුරක හතරේ සීමාව පවතින අතර සමහර පැති වල ඉතා ළඟ පවතී. මේ තත්වයන් වඩා හොඳින් කලමනාකරණය කර ගැනීමට කවුරුන් සමත් වේද යන්න පැවසිය නොහැකිය. එහෙත් කුමන තත්වයක් යටතේ වුවත් හොඳින් ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාවට මෙහි වැඩි වාසි ලැබෙන බව මගේ විශ්වාසයයි.

කණ්ඩායම් වල වත්මන් තත්වය

සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතර පවතී ටෙස්ට් සහ එක්දින තරගාවලි චැම්පියන්ස් තරගාවලියේ පුහුණු තරග පැවැත්වෙන අතරතුර අවසන් විය. මේ නිසා එක්දින කණ්ඩායමක් ලෙස එකට එක්වී ක්‍රීඩා කිරීමට අනෙකුත් කණ්ඩායම් වලට වඩා මෙමෙ කණ්ඩායම් දෙකට අවස්ථාව ලැබිණි. මෙහිදී එකට ක්‍රීඩා කිරීම පමණක්ම නොව එකම සමුහයක් ලෙස කාලයක් සිටීමද කණ්ඩායමේ ශක්තියට ඉතා හොඳ බව මා අත්දැකීමෙන් දන්නා කරුණකි. අනෙකුත් බොහෝ කණ්ඩායම් වල ක්‍රීඩකයන් අයි.පී.එල් තරගාවලියේ කොටස්කරුවන් ලෙස එක්කෝ තරග ක්‍රීඩා කල අතර, නැතිනම් බංකු වලට වී නරඹන්නන් ලෙස කාලය ගත කරන ලදී. එනිසා ඔවුන් තමන්ගේ රටවල අනෙකුත් ක්‍රීඩකයන් සමග එකට කටයුතු කිරීම මෙන්ම ඔවුන්ගේ දක්ෂතා ගැන ඇති මතකයද අවදි කර ගත යුතුව ඇත. මේ සඳහා යම් කාලයක් ගත වනු ඇත.


නව නීති රීති

මෑතකදී හඳුන්වා දුන් අන්ත දෙකෙන්ම නව පන්දු භාවිතා කිරීම සහ යාර තිහේ සීමාවේ නව නීතිය නිසා දඟ පන්දු යවන්නන් බහුල ආසියාතික රටවලට කෙලින්ම අපහසුතා ඇති වේ. මෙම එක්දින තරගයක් අවසන් වනවිට පන්දුවක් පරණ වී තිබෙන්නේ ඕවර විසි පහකි. පන්දුව පරණ වන්නට වන්නට වැඩි වාසිය අත් වන්නේ දඟ පන්දු යවන්නන්ටය. අනෙක් කාරණය එහි තද ගතිය සහ සුදු පැහැය අඩු නිසා පිතිකරුවන්ට එයින් අවාසි වනු ඇත. නමුත් නව නීතිය නිසා වේග පන්දු යවන්නන් කෙරේ වැඩි ව්ශ්වාසයක් තබන ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය වැඩි වාසි ගනු ඇත. මෙයින් යම් මට්ටමකට පකිස්තානය සහ බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ද වාසි ලබා ගනු ඇත. මෙයින් පැහැදිලි අවාසිය අත් වන්නේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවටය. වැඩි වේග පන්දු යවන්නන් යෙදවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අවස්ථා අවමය. ඒ ඔවුන් සතුව හොද දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුට වඩා සිටින නිසාය. මෙම කණ්ඩායම් වල තරග සංයුතිය වෙනස් වීමෙන් කණ්ඩායමේ සමතුලිතතාවය පිලිබඳ ගැටළු ඇති වනු ඇත. 

මුරලි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන කාලයේ පන්දුව අතට ගන්නේ දොළොස් වෙනි පන්දු ඕවරයේ සිටය. ඉතාම කලාතුරකින් ඔහුට ඊට කලින් පන්දු යැවීමට සිදු වුවත් ඔහු එසේ කරන්නේ දැඩි අකමැත්තෙනි. දැන් මුරලි ක්‍රීඩා කළා නම් ඔහුට පන්දු යවන්නට සිදු වන්නේ විසිතුන් වන ඕවරයේ හෝ විසි හතරවන ඕවරේ සිටය. එසේ වූවානම් අපට අත්වන තත්වය පැහැදිලිය. 

පළමු පවර් ප්ලේ තත්වයෙන් පසුවත් යාර තිහෙන් ඔබ්බේ රැඳවිය හැකි ක්‍රීඩකයන් ගණන් හතරක් දක්වා අඩු කිරීමෙන් එහි අවාසියද ආසියාතික කණ්ඩායම් වලට අත් වේ. එමගින් දඟ පන්දු යවන්නන්ට පහර දීමට පිතිකරුවා පොළඹවන තත්වයක් ඇති වේ.  

එමනිසා එම වෙනස් වූ නීති රීතිද වැඩි වේග පන්දුයවන්නන් සිටින සහ යොදවන කණ්ඩායම් වලට ලැබේ. ආසියාතික කණ්ඩායම් වලටද අකමැත්තෙන් වුවද වැඩි වේග සහ මද වේග පන්දු යවන්නන් යොදවා ක්‍රීඩා කිරීමට සිදු වේ. එමගින් දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට දුර්වල පිතිකරුවන්ට ස්ථාවර වීමා කදිම අවස්ථාවක් සලසා ඇත. 

පෙර පුහුණුව

මෙම තරගාවලියට වඩාත් උචිතම පෙර පුහුණුව ලැබුණේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තයටය. අනෙක් කණ්ඩායම් වල පෙර පුහුණුව බොහෝවිට ලැබුනේ අයි.පී.එල්. තරගාවලිය තුලය. නමුත් එහි දස්කම් දැක්වූවන්ට මෙහි යම් අවාසි සහගත තත්වයක් ඇත. නමුත් එම තරගාවලියේදී ක්‍රීඩා නොකල අයට පහසුවෙන් මෙම තණතීරු වලට හැඩගැසිය හැක. 

ඉතිහාසය 

මේ තරගාවලියේ ඉතිහාසය බැලුවහොත් එය අවුරුදු දෙකෙන් දෙකට කණ්ඩායම් ලබා ගන්නා ස්ථාවරත්වය මත ජයග්‍රාහකයන් තීරණය වන්නක් බව මුලින් පෙනුනද පසුව මෙය කාලීන ලෝක ශූරයන්ගේම තවත් ගොදුරක් බවට පත් වී ඇති බව පෙනේ. 1998 දී මෙය දකුණු අප්‍රිකාවද, 2000 දී නවසීලන්තයද, 2002 දී සමශූරයන් ලෙස ශ්‍රීලංකාව සහ ඉන්දියාවද, 2004 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ද,  2006 සහ 2009 දී එය ඔස්ට්‍රේලියාව විසින්ද දිනාගෙන ඇත. අවසන් තරගයකට ඔස්ට්‍රේලියාව ආ අවස්ථා දෙකේදීම ඔවුන් ජය ගෙන ඇති අතර, නවසීලන්තය එක් දිනුමක් සහ එක අනුශූරතාවක් ලබාගෙන ඇත. බටහිර ඉන්දීය කණ්ඩායම දෙවරක් අනුශූරයන් වී ඇත. ඉන්දියාව සහ එංගලන්තය එක වරක් අනුශූරයන් වී ඇත. 

ශ්‍රේණිගතකිරීම්

කණ්ඩායම් වල වත්මන් තත්වය හොදින්ම විදහාපාන තවත් දර්ශකයක් වන්නේ ශ්‍රේණිගතකිරීමය. මෙම තරගාවලියට පෙර වර්ගීකරණයන්ට අනුව එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉහලම සිටින්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව, එංගලන්තය,ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී. විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියෙන් සිටී. මා මේ සියලු ශ්‍රේණිගතකිරීම් සැලකිල්ලට ගන්නේ ඒ සියල්ල මගින් කණ්ඩායම් වල එකමුතුව ක්‍රීඩා කිරීමේ හැකියාව මැන ගත හැකි නිසාය. මෙම දර්ශකයන් තුන තුලම ඉන්දියාව මුල් ස්ථාන හතරෙන් එකක සිටී. දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එක්දින සහ ටෙස්ට් වර්ගීකරණ වල ඉහලින් ඇත. ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කණ්ඩායම් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම වල ඉදිරියෙන් සිටී. 

මෙම ශ්‍රේණිගත කිරීම් දිගුකාලීන ස්ථාවර භාවය සහ මෑතක ස්ථාවර භාවය පිලිබඳ සාක්ෂි සැපයි. ඒ අනුව ඉන්දියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වන අතර, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ඊට පිටුපසින් සිටින අනෙකුත් රටවල්ය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් විට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් කණ්ඩායම් හතර වීමට බොහෝ ඉඩකඩ තිබේ. නමුත් මේ තරගාවලියේ කළු අශ්වයා ලෙස සැලකිය හැකි කණ්ඩායම නවසීලන්තය වේ. සත්කාරක එංගලන්තය සමග එංගලන්තයේදී මෑතකදී නිමාව දුටු එක්දින තරගාවලිය ජය ගැනීමෙන්ම එය තහවුරු වේ. එමනිසා ඔස්ට්‍රේලියාව පරදවා ඒ කාණ්ඩයේ දෙවන කණ්ඩාම නවසීලන්තය වීමට බොහෝ ඉඩකඩ ඇත. එසේ වුවහොත් නවසීලන්තය පෙරළිකාර ලෙස මේ කුසලානයට හිමිකම් කියනු ඇත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අනාවැකි පල කිරීම මෝඩ ක්‍රියාවක් බව බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි. ක්‍රිකට් ඒ තරමටම අවිනිශ්චිත ක්‍රීඩාවකි.


පින්තුරය ගත්තේ : www.sportinglife.com
ප.ලි. රාජ්ගේ(සිංහල) ඉල්ලීම ඉටු කර ඇත. 

Wednesday, June 5, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි (මුම්බායි ගුවන් තොටේදී හමු වූ දේව දුතයා) - IX කොටස

මෙම කොටස පල කිරීමට මෙතරම් පමා කිරීම ගැන මෙය කියවන පාඨක ඔබගෙන් සමාව අයදිමි. අවසන් වරට මේ ලිපි මාලාවේ සටහනක් ඵල කර ඇත්තේ මාර්තු 13 වෙනිදාය. හරිනම් මෙම කොටස මාර්තු මාසයේ අග භාගයේ ලියා අවසන් කල යුතුව තිබිණි. මේ ගැන ලොකුම චෝදනාව මට එල්ල කරන්නේ මාරයාය. මාරයා කිව්වේ බ්ලොග් ලියන මාරයාටය. මීට අමතරව මිලදී ගත විස්කි බෝතල් තුනට සිදු වූ දෙය දැන ගන්නට ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙක් බලාපොරොත්තු දල්වාගෙන සිටී. VIII වන කොටසේදී මා ලිව්වේ ජුහු නමැති ඉන්දියාවේ ධන කුවේරයන්, නළුවන්, ක්‍රීඩකයින් ඇතුළු ඉහල පැලැන්තියේ අය වෙසෙන මුම්බායි හදවත සොයා ගිය ගමන ගැනයි. ඒ එන අතරතුරේ ඉන්දියාවේ හයිවේ මාර්ගයේ දෙපස ඇති සමහර පැරණි මෙන්ම නව ගොඩනැගිලි කිහිපයක් ඡායාරූපයට නගා ගන්න අමතක නොකලෙමි. එහෙත් විටින් විට දෑස් පියවුනේ, සත්මහල් ප්‍රාසාදය තුල කරක් ගසා ඇති වූ තෙහෙට්ටුවටම පමණක් නොව, හරි හමන් දිවා ආහාරයක් ගන්නට නොහැකි වූ නිසාද විය යුතුය. 

මෙය කලබලයට බයිසිකල් පැදීමක් ලෙස සටහන් වී ඇත. එහෙත් එම මොබයිල් ඇප්ලිකේෂන් එක SportsTracker නමැති අපූරු එකකි. එමගින් ඔබ ව්‍යායාම කරන මොහොතක ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය, ගමනට ගත වූ දුර, වැයවූ ශක්තිය සහ තවත් බොහෝ මිනුම් දර්ශකයන් ලබා ගත හැක. එය වෙනමම කාරණයකි. නමුත් එයට පින් සිදු වන්නට මා ගිය ගමනෙහි සිතියම ඔබට පෙන්වීමට හැකි වී තිබේ.

ඉර බැස යද්දී මුම්බායි නගරයට සිසිලක් නැතත්, දිවා කාලයේ ඇති දැඩි අවු රශ්මිය නැති වීමම සහනයකි. එහෙත් එහි තිබෙන දැඩි රස්නය සම  කල හැක්කේ වායු සමනය කල ස්ථානයක දින කිහිපයක් එය ක්‍රියා විරහිත කර තැබූ පසු තිබෙන තත්වයටය. මාස ගණනකින් මුම්බායි නගරය වැස්සක් දැක නැත. ඈත පෙනෙක කඳුගැටය වියලී ගොස් ඇත. මුළු නැවි මුම්බායි ප්‍රදේශයම ගිණි ගෙන දැවී ගිය පාළු සොහොන් පිට්ටනියක් සේ මට පෙනෙයි. එහෙත් එහි සිටින කිසිවකුට එහි වගක් නැත. ඔවුන් යුහුසුළුව එහේ මෙහේ දුවයි. නැවි මුම්බායි හී මගේ නවාතැනට ලඟා වන විට පස්වරු පහ පසුවී විනාඩි කිහිපයක් ගත වී ඇති බව ඉහත පින්තුරයෙන් තේරුම ගත හැක. නමුත් මේ ලිපි මාලාව තුලම සඳහන් කල පරිදි මුම්බායි රස්නය ශ්‍රී ලංකාවේ මා කිසිදු පලාතක අත්විඳ නැත. ගෙන ආ දහයකට අධික ඉටි බෑග් තොගය ඇඳ මත තබා දිගු වෙලාවක් ස්නානය කලෙමි. 

NDTV තුල විකාශනය වන "Sri Lanka - Bring it On" නමැති වැඩසටහන දැන් විවාදයක් මට්ටමට උණුසුම් වී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන සනත් ජයසුරිය හුදකලා සටනක යෙදෙන අයුරු පෙනේ. මේ අතරින් ඉන්දීය කණ්ඩායම අඩුම කලක් නියෝජනය කල අතුල් වසන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙකේ කොලේට දමා කතා කරයි. මුරලිදරන් ගැන සහ මැතිව්ස්ගේ ආබාද නිසා අප අංගවිකල කණ්ඩායමක් බව ඔහු පුන පුනා කියයි. එහෙත් එහි ජාත්‍යානුරාගය මිස කිසිම තර්කානකුල දෙයක් නැති බව ඕනෑම කෙනෙකුට පැහැදිලිය. 

කාමරය තුල ජීවිතය තරමක් සුවදායකය. ඒ මුළු කාලය පුරාම ක්‍රියාත්මක වායුසමනය නිසාය. මා නැවතත් බෑග් සැකසීමේ කාර්යයට බැස්සෙමි. මේ වනවිටත් සකසා තිබු බෑග් තුනෙහි හිස් තැන් පුරවනු වෙනුවට වඩා වටිනා දේ අතේ ගෙන යන බෑගයන්ට දමා, වටිනාකමෙන් අඩු දේ වඩා විශාල බෑග් වලට දැමුවෙමි.  මුදලින් වටිනාමක මිනිය නොහැකි දියණියගේ කතාකරන බෝනික්කා එය ලබාගත් වෙළඳසැලේ බෑගයම සමගින් අතේ ගෙන යන්නට තීරණය කලේ මේ මොහොතේ වඩා වටිනාම වස්තුව එය බැවිනි. ආසියාතික ගුවන් තොටුපළවල් වල රේගු නිලධාරීන් සහ සුළු සේවකයන් එකතුව වටිනා දේ සොරකම් කරන බව මා අසා ඇත්තෙමි. මා සිංගප්පූරු ගිය ගමනේදී මගේ මිතුරන් දෙදෙනාගේ බෑග් aර එහි තිබූ දේ සොරාගෙන තිබුනද, මගේ බෑග් දෙක සුරක්ෂිතව පැවතින. සිංගප්පූරුවේ එසේ නම් ඉන්දියාවේ කෙසේ වියහැකියි මම මා සමගම තර්ක කලෙමි. සුදානම් ශරීරය හොඳ බව දන්නා නිසා මේ ක්‍රියාදාමය අනුගමනය කලෙමි. එවිට පාඩුව සහ දුක අවම වේ. 

මුම්බායි ගුවන්තොටුපළ වෙත යාමට අවම වශයෙන් පැය එකහමාරක් වත් වැය වෙතයි මා තීරණය කලේ එහි සිට පැමිණීමට මා හට පැයකට වඩා ගත වූ බැවිනි. මා ආපසු එන ගමනේදී, මාගේ කාමර බිල සකසන ලෙස එහි සිටින රාත්‍රී පිළිගැනීමේ නිලධාරියාට දැන්වූ විට, මා කලින් යන්නේ ඇයිදැයි ගැටලුව මතු කරන ගමන්ම ඊට උත්තරයද ඔහුගේ හිසේ වැඩකළ බව ඔහුගේ හිනාවෙන් පැහැදිලි විය. රාත්‍රී අහාරය ගන්නටත් මේ ගාස්තුව පියවන්නටත් මා යලිත් කාමරයෙන් පිටතට බැස්සේ දෙතුන් ගමනක්ම එහි දොර අගුල් වැටුනාදැයි සැක හැර දැන ගැනීමෙන් පසුවය. 

මා යනවිටත් ඔහු මාගේ බිල්පත පිළියෙළ කරමින් සිටී. රාත්‍රී ආහාරයෙන් පසු එය පියවන්නට පොරොන්දු වී නැවතත් සුපුරුදු පරිදි ඉනෝ(ර්)බිට් මෝල් වෙත ගමන් ගතිමි. රාත්‍රී කාලයට එහි තුන්වැනි මහලේ ආහාර පොල කදිම තැනක් බවට පත්වේ. විවිධ ජාතීන්ට අයත් අය එක්-එක් ආහාර කවුළු වෙතින් ආහාර ගෙන රස බලති. මට මෙවර වෙනස් ආකාරයක අහරක් ගන්නට සිත් වී පීසා හට් වෙත පිය නැගුවෙමි. මෙය තවමත් ඉන්දියාවේ එතරම් ජනප්‍රිය නැති, ඉහල පැලැන්තියේ යයි සිතිය හැකි අය සහ විදේශිකයන් පමණක් ඇදෙන තැනක් බව පැහැදිලිය. එහි සිට දුරකථනයේ අන්තිම මුදල අවසන් වනතුරු මෙහි පැමිණෙන බව පැවසු කුෂාන් නමැති කැබ් මිතුරා(ඔහු වාහන හිමිකරුවෙකි) සමග දොඩමලු වුයෙමි. 

ඔහු පැමිණෙන තෙක් ඉන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි. මා මේ වනවිට ආපසු යාමට ටිකට් සකසාගෙන ඇති බැව පැවසු විට ඔහු ඉතා කනගාටුවට පත් වුනි. එහෙත් වෙන කල හැකි දෙයක් නැත. දියණිය දැකීම ඊට වඩා සතුටකි. වියෝගය කදිමට දැනෙන මේ මොහොතේ මේ කිසි දෙයක වටීනා කමක් දැනෙන්නේ නැත. මේ වනවිටත් ඇය අක්කා සමග ගමේ ගොසිනි. මා හෙට උදෑසන නිවසට ලඟා වුවද, ඇය දකින්නට වෙන්නේ ඉරිදා රාත්‍රියෙහිය. පීසා එකක් සහ පෙප්සි එකක් සඳහා රුපියල් එකසිය ගාණක් වුවිට එය ශ්‍රිලංකාවේ මුදලට සමාන හෝ අඩු බව පැහැදිලිය. ඒ ඔවුන් තවමත් වෙළඳපොල ග්‍රහණයේ යෙදී සිටින නිසාය. 

ඇපෙක්ස් හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා මගේ බිල සකසා තිබූ මුත්, මා මෙහිදී හතරවෙනිදා දක්වා කල වෙන් කිරීම දක්වා ගෙවිය යුතු බව ඔහු සඳහන් කරයි. එහෙත් මා නොසිටින කාලයකට ගෙවිය යුතුයි ප්‍රශ්ණ කලවිට, එය නිවැරදි කරන්නට නම් හිමිකරු එනතෙක් සිටිය යුතු බව දැන්වීය. හෙට උදේ වනතෙක් මා නොසිටින බවට ඔහු සහතිකවම දනී. එය ඉන්දීය රුපියල් 6850කි. එහෙත් මා වැඩිපුර තර්ක නොකර එම මුදල පියවුයේ, මා මේ වෙන් කිරීම කල "හොටෙල් පුෂ්පැක්" නමැති වෙන් කිරීමේ වෙබ් අඩවියට සහ ඉන්දීය සංචාරක දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් එය සිදු නොවූ බවද කිව යුතුය. 

මා ආපසු යන වාහනය සුදානම් කර තිබුනේද ඔවුන්මය. එහි ගාස්තුව 1500ක් පමණ විය. මේ වනවිට අතේ ඉතිරිව ඉන්දීය රුපියල් 2300ක් පමණ විය. එය හොඳටම ප්‍රමාණවත්ය. ආපසු කාමරයට ගොස් මා යන ගමනට අඳිනා ඇඳුම හැර සියල්ල බෑග් වලට අසුරා, තුවායෙන් සැරසී රුපවාහිනිය දෙස නෙත් යොමු කලෙමි. තවත් පැය දෙකක් සඳහා නින්දක් ලබා ගත නොහැකිය. මෙහි ආවාට වඩා වැඩි උනන්දුවකින් මා ආපසු ශ්‍රී ලංකාව නමැති සුන්දර දේශය බලා යන්නට සුදානම්ය. "ආයෙත් ඉන්දියාව දිහා බලන් බත් කන්නේ නෑ". ඒ මගේ ප්‍රතිඥාවයි. ඒ තරමටම මට ඉන්දියාව එපා වුණි. ඉන්දියාව ගැන Lonely Planet නමැති සංචාරක වෙබ් අඩවියට සටහනක් ලියමින් කෙනෙකු පවසා තිබුනේ "ඉන්දියාව ලිට්මස් පරීක්ෂණයකි, සමහරුන්ට එහි නැවත නැවතත් එන්නට උවමනාය, එහෙත් සමහරුන්ට කිසිදා නැවත එන්නට නුවමනාය". එය 100% සත්‍ය බව මම හිතින් මුමුණා ගතිමි. 

මා සියලුම බෑග්(අඩි 3 x 2 1/2 බෑග් දෙකක්, අතේ ගෙනයන බෑග් දෙකක්, සහ බෝනික්කාගේ ඉටි බහලුම) ට්‍රොලියක දමාගෙන හෝටලයේ කුඩා ලොබියට පිවිසුනේ රාත්‍රී 11.45 වන විටය. වාහනය එහි එන්නට පොරොන්දු වුයේ රාත්‍රී දොළහටය. මේ වනවිට එහි සේවකයන් නිදි සුව ලබයි. පිළිගැනීමේ නිලධාරියාද තම අසුන මත සුපුරුදු කුකුල් නින්ද ලබමින් සිටී. ඔවුන් එක්තරා අන්දමකට දැන් මගේ මිතුරන් වී හමාරය. සියල්ල හරිදැයි මා නැවතත් වටපිට බලමින් පරීක්ෂා කලෙමි. ඇතුලටම වී සිටීම නුවණට හුරුය. එලිය මේ වනවිටත් උණුසුම්ය. ඉඳහිට එහා මෙහා යන කෙනෙක් දෙන්නෙක් තවමත් දකින්නට ලැබේ. හරියටම 12.00 වනවිට සුදු පාට ඇම් බැසිඩර් වර්ගයේ රථයක් හෙමින් විත් අප ඉදිරියේ නතර වුණි. ඒ මා රැගෙන යන වාහනය බව සේවකයා පැවසී විට ඔහුට සමුදී, ආරක්ෂක නිලධාරියාගේ ආධාරයෙන් වාහනය වෙත මගේ බෑග් ගෙන ගියෙමි. 

අවාසනාවකි ! එහි පිටුපස ඩිකියෙහි මගේ ලොකු බෑග් දෙකෙන් එකක්වත් එබිය නොහැක. වාහනයේ පිටුපස අසුන සහ ඉදිරිපස අසුන් අතර එක් බෑගයක් තැබිය හැක. සීට් මත බෑග් තැබීමට රියදුරා විරුද්ධ විය. ඔහු එය හුඩ්රැක් එක මත තැබීමට යෝජනා කල අතර වෙනත් කිසිදු විසදුමකට ඔහු එකඟ නොවීය. මේ මොහොතේ වෙනත් විකල්පයක් නොමැති නිසාත්, ඔහු සහ මා අතර භාෂා පරතරය වැඩි නිසාත් හුඩ්රැක් එක මත එක් ලොකු බෑගයක් තැබීමට එකඟ වනු හැර කල හැකි දෙයක් නොවිණි. ඔහු එය ගැට ගැසූවේ රෙදි පටියකිනි. එය දැක මා ඒ ගැන විමසීම් කල විට "නෝ ප්‍රොබ්ලම් ජී" යනුවෙන් පිළිතුරු ලැබිණි.  විස්කි බෝතල් තිබෙන බෑග් තුන(එකකට එක බැගින්) ළඟ තබා ගන්නට මා වග බලා ගතිමි. මන්ද එළියේ තිබෙන බෑග් එක වැටුනොත් මගේ ගමන යා නොහැකි වනු ඇත. 

ඉඳහිට නින්දක් ආවත්, බෑග් එකේ සිහිය නිසා යලිත් නොනිදන්නට සිතා ගත්තද, වාහන වල ලැබෙන සුව නින්ද මග හරින්නට නොහැකි විය. යලිත් මා ඇස් හැර බලන විට, මා සිටින්නේ ගුවන්තොටුපළේ බව පසක් විය. නිරතුරු මා මවිත කල ඒවායේ පේව්මන්ට් එක අඩි 2ක් තරම් උස විය. නියමිත ගාස්තුව ගෙවා මා ගුවන් තොටට ඇතුල් වුයෙමි. ඇතුල් වීමට පෙර යලිත් අඩක් නිදන මුම්බායි නගරය දෙස බලා "ආයි නම් තොපේ රටට අඩියක් තියන්නෑ " යනුවෙන් හිතින් ප්‍රතිඥා දුනිමි. "හෙට අපේ වුන් කප් එක ගත්තාම නුඹලාට උත්තර ලැබේවි". ඒ මගේ ප්‍රාර්ථනයයි. ට්‍රොලියේ හැඬලයට බර දී ඉදිරියට ඇදුනේ, "මගේ බෑග් කිලෝ තිහට වැඩි වෙයිද ?" කියන දෙගිඩියාවෙනි.  

මීළඟ ඉලක්කය මගේ අතේ තිබෙන ඉතිරි රුපියල් හයසිය ගණන ඩොලර් බවට පත් කිරීමයි. මා වහා Travelex කවුන්ටරයට ඇදුනෙමි. මා අතැති මුදල සහ මීට පෙර මුදල් මාරු කල කාඩ්පත(සාමාජික) දුන් විට ඔහු මුදල් මාරු කර දෙන ලද අතර ලැබෙන ගණනට වඩා ගෙවන ගණන ලොකු වෙනසක් ඇති බව වැටහින. රුපියල් 600 ටම මට ඔහු ලබා දුන්නේ ඩොලර් 12කි.ඉතිරි මුදල ඉන්දීය රුපියල් වලිනි. ඒ මුදල රැගෙන මා වහා ඇදුනේ පිටවීමේ කවුන්ටරයටයි. මගේ බෑග් නිදහස් කර ගැනීමේ ප්‍රයාමය ඊළඟ ඉලක්කයයි. මෙය ඕනෑම ගුවන් මගියකුට ඇති වන හිසරදයකි. එම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් කවුන්ටරයේ සේවයේ යෙදුනේ ඉන්දීය යුවතියකි. ඇය මගේ බෑග් මැන බැලුවාය. අමතර කිලෝ 2.5 ක් වුවද, ඇය බෑග් දෙක බෙල්ට් එකට අද දැමීය. සහතිකවම මේ ගුවන් ගමනට එක් වන සෙනග අඩු විය යුතුය.

ඉන් අනතරුව "සර් යුවර් හෑන්ඩ් ලගේජ්" යනුවෙන් ප්‍රශ්න කල විට මා සතු බෑග් තුනෙන් වඩා බර අඩු එක ඉහලට ඔසවා ගත් විට, ඇයට ඉතා සැහැල්ලු එකක් බව වැටහී, "දැට්ස් ෆයින්" යයි කීය. කොට එකියක් වූ ඇයට ට්‍රොලියේ තිබෙන බෑග් නොපෙනුනාද, නැතිනම් ඉක්මනින් නිදා ගන්නට අවැසි වුවාද ? ඇය නැවතත් කටහඬ අවධි කළාය 

"සර් ටුඩේ ඔන්වර්ඩ්ස් එව්රි පැසෙන්ජර් ෂුඩ් පේ ඇඩිෂනල් ටැක්ස් ඔෆ් සෙවන් හන්ඩ්‍රඩ් රුපීස්". මට දෙලෝ රත් විය. 

"කැන් අයි පේ ඉට් බයි කාඩ්ස් ?".

"නෝ සර්, වී ඩෝන්ට් ඇක්සේපට් කාඩ්ස්"

මේ වනවිටත් මා කාඩ්පත අතට ගෙන හමාරය. මා නැවතත් මුදල් කවුන්ටරය වෙන්ත ගමන් කලේ කාඩ්පත මගින් මුදල් ලබා ගත හැකිද ? යන්න සොයා බැලීමටයි. මගේ උත්සාහය වතුරේය. එහි කිසිදු බැංකුවක් හෝ ATM යන්ත්‍රයක්ද නැත. මා හොඳටම අසරණ වී වටපිට බැලුවෙමි. ශ්‍රී ලාංකිකයන් දෙතුන් දෙනෙකුම එම කවුන්ටර අසල විය. මා සතු ඩොලර් 12 යලිත් මුදල් කලපසු රුපියල් 550ක් විය. මා ජීවිතයේ කිසිම දිනක මෙවැනි අසරණ තත්වයකට පත් වී නැත. එතනින් එලියට යා නොහැක. මේ වනවිට  මගේ බෑග් දෙක ඔවුන්ට බාර දී අවසන්ය. මගේ බෝඩින් පාස් එක ලැබෙන තුරු මට ඇතුල් වීමට නොහැක. මා "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වැනි තත්වයකට පත් වීය. පෝලිමේ සිටින අනෙකුත් සිංහල අය සමග මේ අසාධාරණය ගැන කතා වුනෙමි. මට පිටිපස සිටි තරුණයා මුදල් මාරු කර එන විට මා වැටුන තත්වය ඔහුට පැවසීමි. 

"මචං මම වැඩ කරන්නේ මහජන බැංකුවේ. මට ලංකාවට ගිය ගමන්ම සල්ලි දෙන්න පුළුවන්" 
මා සිටි තත්වය තේරුම් ගත් ඔහු 

"උඹට කීයක් ඕනද මචං"

"මට රුපියල් 150ක් අඩුයි"

"හරි මම දෙන්නම්"

රුපියල් 200ක්ම ඔහු මා අත තැබීය. නොදන්නා රටකදී, නොදන්නා කෙනෙකුට රුපියල් 10ක් වත් දෙන්න කවුරුන් නම් ඉදිරිපත් වේද ? ඔහු දේව දුතයෙකි. මට සිතිනි. මට ඔහු බදා ගැනීමට තරම් සතුට මිශ්‍ර වේදනාත්මක හැගීමක් ඇති විය. ගහෙන් ගෙඩි එන්නට මෙන් ඔවුන් කියනා ගණන් ගෙවන්නට මා සුදානම්ව සිටියේ නැත. හනික දිවැවිත් ඔවුන්ගේ "දඩය" ගෙවා දැමීමි. නැවතත් මා ප්‍රියන්ත නමැති මාගේ ගලවුම්කරුවාට ස්තුති කර ඔහුගේ විස්තර ඉල්ලා ගතිමි. 

මෙම කොටසින් අවසන් කරන්නට උත්සාහ කලද තවත් කොටසකට මෙය ගෙන යන්නේ මුම්බායි ගුවන් තොටේදී හමු වූ ටෝනි නැමැත්තා ගැන මෙන්ම විස්කි බෝතල් වලට සිදු වූ දේ විස්තර සහිතව ලියන්නටය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...