Wednesday, February 27, 2013

e-mail හුට පට ....

අපි මුලින්ම e-mail එකක් අටවා ගත්තේ එක්දාස් නවසිය අනූ ගණන් වල අග භාගේ. ඒ කාලේ බොහොම සීමිත පිරිසක් තමයි e-mail භාවිතා කලේ. තියෙන අය මේක බොහොම ලොකු දෙයක් විදියට තමයි යොදා ගත්තේ. ඒ කාලේ අන්තර්ජලා භාවිතයත් බොහොම අඩුයි. හේතුව තමයි ඒ සඳහා වන පිරිවැය. මොකද දැන් පාවිච්චි කරන දත්ත ප්‍රමාණයට (Pay per packet) ආකාරයට බිල හැදුනත් ඒ කාලේ පාවිච්චි කරපු වෙලාවට (pay per minute/seconds) තමයි බිල ආවේ. සමහර මාස වල බිල ආවහම දෙලෝ රත් වෙනවා. නමුත් ලොකු මුදලාලිලා නොදැන ගත්තු අන්තර්ජාලා ප්‍රවේශන නාම සහ රහස් වදන් ඒ කාලේ සමාජයේ බොහෝ ලෙස ප්‍රචලිත වෙලා තිබුන නිසා ඒ හැටි ගැටළුවක් වුනේ නෑ. ඉතිං එවන් යුගයක  e-mail යැවීල්ලත් බොහොම සීරු-මාරුවට සිදු වුනේ. බොහොම පරිස්සමට තමයි පාවිච්චිය. පිටරටවල ඥාති මිත්‍රාදීන් ඉන්න අය තමයි වැඩියම ඕවට උනන්දු වුනේ.  ඒ කාලේ  e-mail පණිවුඩයක් යවලා ඒක බලන්න කියලා කෝල් කරලත් කියන්න ඕනේ තරමට මේවා නිරතුරු පරීක්ෂාවේ නොහිටි යුගයක්. 

සාපේක්ෂව ලංකාව අද අන්තර්ජාල භාවිතාව(penetration) ඉහලම රටක් කියලා අපිට භය නැතිව උදම් අන්න පුළුවන්. අද  e-mail ගිණුමක් facebook ගිණුමක් නැති කෙනෙක් නැති තරම්. අපේ තාත්තලාගේ පරම්පරාවේ අයට තමයි නැත්තේ. අලුත් පරම්පරාවේ අය අන්තර්ජාල ඇසුර බොහොම වැඩියි. පරිඝණකයක් නැති ගෙදරක්, ඩොන්ගල් එකක් නැති කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. ඔබ කියාවි ඕවා නගරයේ විතරයි කියලා. ඒත් මම 2002 දී විතර අරලගංවිල ප්‍රදේශයට ගියා අපේ ශාඛා විසිත්තයක් විදියට, එහෙම ගිහින් සබන් කෑල්ලක් ගන්න පොඩි කඩයකට ගොඩ වුණා. මුදලාලිගේ මෙසේ පැත්තක IBM වර්ගයේ පරිඝණකයක් තිබුණා. අද මගේ  e-mail ගිණුමෙන්, බ්ලොග් එකෙන්, facebook ගිණුමෙන් මම ඈත් වෙලා ඉන්නේ නින්දට වෙන් කරලා තියෙන පය 4-5ත්, නිවසේ ඉඳලා කාර්යාලයට යන වෙලාවත්, වැසිකිලි අවශ්‍යතා ඉටු කර ගන්න වෙලාවල් වලදීත් විතරයි. නිදියන වෙලාවෙත් අන්තර්ජාලයට සම්භන්ධ කල පරිගණකය සුදානමින්. ඒ ඇහැරුනා වෙලාවකට ඉක්මණින් බලන්න. බස් එකේ යත්දී ජංගම දුරකථනය සුදානම්. 

අද ලොව පුරා හුවමාරු වෙන,  e-mail පණිවුඩ ගණන, සමාජ ජාලා පණිවුඩ, skype කතා බහ, chat ප්‍රමාණය ඉරි වලින් ඇන්දොත් ලෝකය නූල් පන්දුවක් විදියට වැහිලා යාවි. ඉතිං හුවමාරු වෙන ප්‍රමාණයත් එක්ක ගත්තම වරදින්න තිබෙන හැකියාවත් අඩුයි.

මගේ මිතුරෙක් ඉන්නවා. බොහොම අඩු කාන්තා ඇසුරක් තියෙන. කොටින්ම එයාගේ බිරිඳත් එක්කත් වැඩි ගනුදෙනුවක් නෑ. නම් ගම් සඳහන් කරන එක මගේ ශරීර සෞඛ්‍යට හොඳ නැති නිසා, මිත්‍රයාට අපි AKMan කියමු. එතකොට දන්නෝ දන්නවා. හැබැයි මේ නම නෙවෙයි. AKMan ට  e-mail එකක් හදල දුන්නෙත් මම. තවමත් එකමද මන්ද පාවිච්චි කරන්නේ ? මගේ මිත්‍රයා ඔය ඔෆිස් එකේ ඉන්න පොඩි කෙල්ලන්ට විහිලු තහළු නම් කරනවා. මෙයාගේ හැටි දන්නා නිසා එයාලත් බය නැතිවම කියන දේවල් අහන් ඉන්නවා. මොකද හිතේ කහටක් තියාගෙන කියන ඒවා නෙවේ කියලා දන්නා නිසා. අනිත් එක මිනිහා හරිම නීතිගරුකයි. අකුරට වැඩ. වෙලාවට වැඩ. පරක්කු වුනොත් තමන්ගේ බිරිඳටත් සමාවක් නෑ. ඉතාම පිරිසිදුවට පිළිවෙලට වැඩ වගේම තමන්ගේ මෙසේ, ගෙදර අස්-පස් කරන් ඉන්න මේ යාළුවා, තමන්ගේ e-mail එකත්, ඉතා පිරිසිදුව තබා ගත්තා. ඒ කියවා අවසන් කර, ෆොර්වර්ඩ්/රිප්ලයි කල පසු සියලුම පණිවුඩ මකා දැමීමෙන්. හැබැයි මිනිහා මොනවා මැකුවත්, මකන්න බැරි එකක් මිනිහා ෆෝවර්ඩ් කරලා තිබුණා.


පින්තුරය ගත්තේ : www.rswarrior.com (මවිසින් lens කර ඇත)
තමන්ට ලැබෙන e-mail ඔෆිස් එකේ ඉන්න පුංචි නංගිලා සෙට් එකට ෆොර්වර්ඩ් කරන පුරුද්දක් අපේ මේ යාළුවාට තිබුණා. අහිතකින් නොවෙයි. විහිලු-තහලුවට. ඔන්න දවසක් මිනිහට ටයර් සම්බන්ධ වෙළඳ දැන්වීමක් ආවා. මේකේ තියෙන්නේ අඩ නිරුවත් කාන්තාවක් හිටගෙන ඉන්න දර්ශණයක්. බලාගෙන ඉන්න ඕනෑම කෙනෙකුගේ සිත් ඇද ගන්නා සරාගී පෙනුමක් සහිත මේ රූමතිය දිහා ඕනෑම නාඩි වැටෙන පුද්ගලයෙක් ඇහැ අහකට ගන්නේ නැතිව බලා ඉඳීවී ඕනෑම වෙලාවක්. ඊළඟට කව්රුත් නොහිතන දෙයක් වෙන්නේ. ඇගේ නිරුවත් දෙපා අතරින් ඇදී එන්නේ ලොව සුපතල ටයර් වර්ගයකින් එකක්. කී දෙනෙක්ගේ හිත මේ ටයර් වෙත ඇදී ගියාදැයි මම දන්නේ නෑ. මිත්‍රයා දෙවරක් නොහිතාම තම මිතුරු මිතුරියන්ගේ නම ටයිප් කර කර මේ mail එක ෆොර්වර්ඩ් ලැයිස්තුවට එකතු කළා. ආහ් ! මිනිහගේ තව පුරුද්දක් තියෙනවා. ඒක තමයි ෆොර්වර්ඩ් කරන mail එකක තියෙන තමන්ට කලින් එවපු කෙනාගේ තොරතුරු මකලා යැවීම. එතකොට අර subject box එකේ තියෙන Fwd:Fwd:Fwd... වගේ ඒවා සහ පණිවුඩයේ තියෙන e-mail ලිපිණයන් මකා දමනවා. දකින කෙනා හිතන්නේ මේක AKMan ගේ වැඩක් කියලා. 

ඉතිං අර mail එක යවලා සුපුරුදු රාජකාරියේ යෙදිලා  ඉන්නකොට, විනාඩි 10ක් යන්න කලින්  මිනිහට ආවා දෙපාර්තමේන්තු ප්‍රධානියාගෙන් දුරකථන ඇමතුමක්.

"AKMan මොනවද අයිසේ මේ දාගන්න ලෙඩ ? බලනවා තමුසේ මහා ජරා e-mail එකක් DGM ඉන්ද්‍රසිරිට යවලා නේ"

"නෑ සර් මම කාටවත් DGM කෙනෙකුට e-mail. යැව්වේ නෑ. අද උදේ මගේ යාලුවොන්ට නම් මම mail එකක් ෆොර්වර්ඩ් කරා"

"මම දන්නෑ තමුසෙම ගිහින් උත්තර දෙනවා. මට හිතෙන විදියට විනය පරීක්ෂණයකුත් තියයි. දන්නවනේ DGM ඉන්ද්‍රසිරිගේ හැටි" (DGM ඉන්ද්‍රසිරි කියන්නේ ඉතා හැඩි දැඩි පුද්ගලයෙක් වගේම, මුහුණේ හිනාවක් නැති බොහොම ගාම්භීර පුද්ගලයෙක්. එයා එන මගකවත් කෙනක් ඉන්න බයයි. මුළු බැංකුවේම ඉන්න සේවකයෝ ඉතාම බයයි එතුමාට)

මෙහෙම කියලා දවසක් දෙකක් යනකොට පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේ මිත්‍රයාට කැඳවීමක් ආවා. AKMan ගේ සියල්ල මකා දමන ප්‍රතිපත්තිය නිසා වුන දේවත් හොයා ගන්න බැරි වුණා. ඒත් මිනිහා අලුත් මේල් එකක් යවන්න වගේ එක එක නම් ටයිප් කරනකොට මිනිහට වෙච්ච් දේ පැහැදිලි වුණා. 

පරීක්‍ෂකයා : (මුද්‍රිත e-mail එකක් පෙන්වමින්) ඔයාද මේක DGM ඉන්ද්‍රසිරිට යැව්වේ ?

AKMan: ඕක යැව්වේ නම් මම තමයි. ඒත් DGM ට යැව්වේ නෑ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා නංගි කෙනෙක්, එයාගේ නම ඉන්ද්‍රමාලි. e-mail ඇඩ්රස් එක indramali@gmail.com ඒක ටයිප් කරද්දී සර්ගේ එක තමයි ඇවිත් තියෙන්නේ. මට ඒක ඒ තරම් නෝට් වුනේ නෑ(DGM ගේ මේල් ඇඩ්රස් එක indra@අපේආයතනය.lk ). 

පරීක්ෂක : හොඳයි. මම පිලි ගන්නවා මේක අතපසු වීමක් කියලා. ආයි මේ වගේ ඒවා වෙන්න තියන්න එපා. හොඳයි දැන් යන්න. මම DGM සර්ටත් කියන්නම්.

අපේ මිත්‍රයා ජයග්‍රාහී විලාසයෙන් ආවේ. මොකද වැඩේ ගොඩ හින්දා. හැබැයි මිනිහට හිතට හරි මදි නියම තැනට අර මේල් එක නොගිය නිසා. යාලුවෙකුට කතා කරලා ආයෙත් අර මේල් එක ගෙන්වාගෙන යැව්වලු. හැබැයි දෙවෙනි පාරත් DGM ගේ මේල් එක ටයිප් වෙලා කියලා තමයි රට්ටු කියන්නේ. 

නම්, ගම්, e-mail  මන:කල්පිතයි 
_______________________________________________

මේ කතාවේ නම් මන:කල්පිතව නම් දැම්මොත් කතාවේ කිසිම රසයක් නැති වෙනවා.  ඒ නිසා වෙච්ච ආයතනයේ නම සඳහන් නොකර ඉන්නම්. ඒ මේල් එක ටයිප් කරපු කෙනාගේ නමත් රහසක් ලෙස සඟවා තබා ගන්නම්. ඒත් මේකට අදාල ලෝක්කගේ නම නම් සඳහන් නොකර මේ කතාව ලියන එකේ කිසි ගතියක් නෑ. මේකට මම මාතෘකාවක් දානවා

තාක්ෂණයේ දියුණුවෙන් බැට කන මිනිස්සු කියලා.

මේ ලොක්කා e-mail ටයිප් කරන්න හොරයි. ඒකට හේතු කාරණා විදියට කවුරුත් හිතන් හිටියේ ලොක්කගේ ඉංග්‍රීසි දැනුම අඩුයි කියන එක. නමුත් සත්‍ය හේතුව තමයි තමන්ගේ mail ඇඩ්රස් එක භාවිත නොකර අනෙක් ස්ථාන වලට අදාළ ඒවායි මේවා යවන එක. නමුත් යවන්නේ තමන්ගේ නමින්. ඉතින් දකින කෙනාට නිකංම තේරෙනවා මේක අදාළ පුද්ගලයා එවපු එකක් නොවෙයි කියලා. ඒ වුනත් ඇඟ බේරා ගන්නා කලාව හොඳින් හදාරා තිබුන මේ කෛරාටික ලොක්කා නිතරම අනුන් ලවා වැඩ කරවා ගන්න පුරුද්දක් තිබුණ. නිල බලයේ හැටියට ලේකම් වරියක් තබා ගන්න ඔහුට අවසර තිබ්බත් වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් එම අසුන හිස්ව තබා අනෙකුත් සේවක/සේවිකාවන්ගෙන්ම ඒ අවශ්‍යතා ඉෂ්ඨ කර ගන්න මේ නිලධාරියා වග බලා ගත්තා. 

දවසක් මෙම ආයතනයට සේවා සපයන සමාගම් කිහිපයකට, තාක්ෂණික නිලධාරීන් කිහිපයකට සහ ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපයකට යවන්න අවශ්‍ය e-mail එකක් අකුරු කරන්න ඉල්ලා සිටියා එම ස්ථානයේ ඉන්න ඉතා දක්ෂ ඒ වගේම කීකරු සේවකයෙක්ට. ඉතා ඉහල නැති වුනත් අර නිලධාරියාගේ ඉංග්‍රීසි දැනුමට වඩා දැනුමක් මේ කොල්ලට තිබ්බා. යවන්න අවශ්‍ය දේ කිව්ව ගමන් ලිපිය අකුරු කර ගන්න තරම් මේ සේවකයා සමත් වුණා. වෙනදාට මේවා අකුරු කරන්නේ හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබෙන කනිෂ්ඨ නිලධාරී දෙදෙනෙක්. 

මේ කොල්ලා කොච්චර දක්ෂ වුනත් කොයිකටත් කියලා යවන්න කලින් නැවතත් e-mail පණිවුඩය කියවා සැක හැරගෙන වැඩි හොඳට spell checker එක අධාරයෙන් වචන නිවැරදි කළා. තමන්ගේ අක්ෂර වින්‍යාස පිලිබඳ හොඳ විශ්වාසයක් තිබුණ මේ සේවකයා "correct all" කියන මනාපය තෝරා මෙම ලිපිය ඉක්මනින් යවා තිබුණා. 

මෙම ලිපිය ලද සියලු දෙනා මවිතයට පත් කරමින් යවන්නාගේ නම සටහන් වී තිබුනේ

චැපල් (Chappel) 

ලෙස. මම කියවන ඔබට අවස්ථාවක් දෙනවා ලොක්කාගේ නම මොකක්ද කියන්න.

moral of the story 

ඔබ යවන e-mail පණිවුඩ send button මත ක්ලික් කිරීමට පෙර නැවතත් කියවා බලන්න. යවන්නේ නිවැරදි පුද්ගලය්න්ටදැයි සැක හැර දැන ගන්න. 

____________________________________________

ප.ලි. : බ්ලොග් ලියන AKM ට අසාධාරණයක් නොවන්නට, මෙහි AKM ලෙස තිබූ කතානායකයාගේ නම AKMan ලෙස වෙනස් කරන ලදී. 


Monday, February 25, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 28 : නලාකරුගේ මරණය

මගේ මිත්‍රරයෙක්ට මේ ළඟදී එයාලගේ තාත්තගේ තුන් මාසේ දානෙට හාමුදුරුවෝ වඩම්මන්න බෙර/නලා කණ්ඩායමක් ගෙන්න ගන්න ඕන වෙලා. එයාගේ තාත්තගේ මළගමට වගේම හත් දවසේ දානේටත් බෙර ගහපු කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු කරන කරුනාසේනගේ මොබයිල් ෆෝන් එකට කතා කරලා. 

මිතුරා : අන්කල් මම මේ ප්‍රසන්න කතා කරන්නේ. අර (ඇඩ්රස් එක කියයි) ඉන්නේ. මතකද අර අපේ තාත්තගේ මල ගෙදරටයි හත් දවසේ දානෙටයි ආවේ. 

කරු : මහත්තයෝ, ඇත්තම කියන්නේ මට මතක නෑ. මොකද අපිටත් දවස් හතේම වැඩ වරදින්නේ නෑනේ. අහල ගං හතකට ඉන්නේ අපි ටික විතරයි. කියන්නකෝ මොනවද ඉතිං වෙන්න ඕනේ.

මිතුරා : අපේ තාත්තගේ තුන් මාසේ දානේ තියෙනවා මේ මාසේ විසි හත් වෙනිදට. එදාට හාමුදුරුවෝ වඩම්මන්න හේවිසි ගහන්න තමා කතා කලේ.

කරු : දෙන්න පුළුවන් මහත්තයා. හැබැයි නලාව නැතුව. 

මිතුරා : මොකක් ? බෙර විතරක් නලා නැතුව. මිනිස්සු හිතයි මං මහ කුණු ලෝබයෙක් කියලා. අනේ අංකල් නලා නැතුව නම් බෑ. ඇයි නලා ගහන එක්කෙනාට මොකද? අසනීපයක් වත්ද? නැද්ද වෙන කෙනෙක්.

කරු : මහත්තයෝ, ඔය නලා ගහන මනුස්සයා හරි උනන්දු මනුස්සයා. නිතරම අලුත් සිංදු පුරුදු වේවි ගැහුවා. මේ ළඟදී ලොකු මුදලාලි කෙනෙකුගේ පිරිතකට යන්න අපි හොඳටම සුදානම් වෙලා ඉන්නකොට තමයි මහත්තයෝ මේ කරදරේ වුනේ. ඒකට අලුත් සිංදුවක් අල්ල අල්ල ඉන්නකොට තමයි මිනිහා මලේ. 

මිතුරා : අයියෝ .... මිනිහා මලාද. හරි අහිංසක මනුස්සයා. ඉතිං ඉතිං මොකද වුනේ. මං හිතන්නේ මිනිහා බොන නිසා වෙන්න ඇති. (මගේ මිත්‍රයාගේ මතකෙට අර කිරුල මුතු ලිහී කියන ගීතය එක පාරටම හිතට ඇවිල්ලා)

කරු : අනේ නෑ මහත්තයා. අපේ ඔය නල ගහපු සමරපාලයා හැම තිස්සෙම අලුත් සිංදු පුරුදු වුණා. දන්නවනේ මහත්තයා අපේ ඔය නලා පාර ගහන්නේ වඩම්මන හාමුදුරුවොත්  නැටවෙන්න.  මහත්තයා දන්නවනේ මිනිහට අල්ලන්න බැරි සිංදුවක් නෑ. මහත්තේලාගේ එක වෙද්දී වගේ මිනිහට තිබ්බ හොඳම සින්දුව තමයි කොලවෙරි එක. ඒක ලස්සනට ගහනවා. ඒ වගේම තමයි මේ දවස් වල රේඩියෝ එකේ යන ජනප්‍රිය සිංදු ඔක්කොම මිනිහා දන්නවා. මේ ළඟදී අඩියක් එහෙම ගහලා අලුත් සිංදුවේ තාලේ අල්ලනකොට තමයි මිනිහට මේ කලබගෑනිය වුනේ.

මිතුරා : ඉතිං ඉතිං මොකක්ද අංකල් ඔය සිංදුව. මං හිතන්නේ "නොදක ඉන්න බෑ වෙන්නැති"

කරු : අපෝ නෑ. ඒක සමරයට පුළුවන්.

මිතුරා : එහෙනං හීනයක් වගේ, හිත හදා ගන්න බෑ, ඔබ මට අහිමි වෙලා, දුක වැඩි තරමට, නිහඬ ගමනේ, හිත දුර හන්දා,  සිනාසෙන්න බෑනේ, පෙරදාක සුසුමක්, ඇහිදරා, මට ඔයා මගේ පණ වගේ?

අපේ මිත්‍රයා දිගටම කියාගෙන ගියා

කරු : නෑ.... නෑ.... මහත්තයා. ඔය එකක් වත් නෙවෙයි. ඒක කියන ගමන් නටන්න ගිහිං නලාවේ කෑල්ලක් උගුරේ හිර වෙලා තමයි මේකා මලේ. අර මහත්තයෝ ආවේස වෙලා වගේ නටන්නේ, අත කරකවා

"ඕපන් ගංගම්  ස්ටාර්" කියලා.  අන්න ඒක.


Wednesday, February 20, 2013

ආදරය... ආදරය..... ආදරය...... සහ ආදරය ......

හැම එකටම දිනයක් වෙන් කරන බටහිරයෝ පහුගිය 14 වෙනිදා වෙන් කරලා තිබ්බේ ආදරයට. මේ ගැන දැන් මොනවා කථා කරනවද කියල ඔබට හිතෙන්න පුළුවන්. ෆේස්බුක් එක දරුවන්ට, තරුණයින්ට හානියක් කරනවා කියන කතාව මම පිලි ගන්නේ නෑ. මොකද ඔය ඕනෑම එකක් හොඳ පැත්තට යොදා ගන්නවා නම් එහෙමයි, නරකට යොදා ගන්නවා නම් ඒත් එහෙමයි. හැබැයි මේකේ වැඩි හරියක් සංසරණය වෙන්නේ අසික්කිත දේවල්, මඩ ප්‍රහාර, ඒ වගේම විකට දේවල්.  මම ප්‍රතිපත්තියක් විදියට බෙදා ගන්නේ(share) කෙනෙකුට ජීවිතයට එකතු කර ගන්න පුළුවන් දෙයක්, දුර්ලභ ඡායාරුපයක්, එහෙමත් නැත්නම් වීඩියෝවක් පමණයි.  මාව ටෑග් කරලා දාන පින්තුර වලින් මම ටෑග් අයින් කරන අවස්ථා එමටයි. 

 පහුගිය දා හතර වෙනිදා කවුරුත් වැලන්ටයි දිනයට රෝසමල්, කේක්, ආදරවන්තයින්ගේ පින්තුර shere කරන විට මට දකින්න ලැබුණා Think Different කියන facebook පිටුවෙන් දාපු මෙන්න මේ කොටස 


Its love, ♥when a little girl puts her energy to givedad a headmassage.
... Its love, ♥when a wife makes tea for husband andtake a sipbefore him.
Its love, ♥when a mother gives her son the bestpiece of cake.
Its love, ♥when ur friend holds ur hand tightly on aslipperyroad.
Its love, ♥when your brother messages you and asksdid youreach home on time..
Love is nott just a guy holding a girl andgoing around.Love is wen u send a small msg to yurfrens to mk them smile♥ Luv ♥ is actually a name of "care"..
Happy valentine's day ♥


මේක තේරුම් ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම කියන්න, මම පරිවර්තනය දාන්නම්.  මගේ අද පොස්ට් එකට පදනම වැටෙන්නේ මේක වුනත් අද උදේ පහට ඇහැරිලා පුරුද්දට වගේ facebook එක බැලුවම දකින්නට දේ තමයි මගේ පොස්ට් එක සරසන්නේ. අදත් සුපුරුදු හලාල් සටන පිලිබඳ පින්තූර, වීඩියෝ, සහ ප්‍රකාශන මුළු පිටුවම් අරක් ගෙන නොතිබුනාම නොවේ. ඒත් අද වාසනාවකට මගේ මිතුරන් දෙදෙනක් share කර තිබූ වීඩියෝ දෙකක් මා අමුතුම ලෝකයකට ගෙන ගියා. පින්තුරක් වචන 1000 කට වඩා වටිනවා කියන්නේ පැරණි වගේම ජනප්‍රිය කියමනක්. වීඩියෝවක් වචන කීයක් වටිනවාදැයි මා ඔබෙන් ඇසුවොත්? අඩුම ගන්නේ වචන 999 ක් වටිනවා යන්න මගේ උත්තරය. 

ඉහලින් මා දක්වපු Think Different වෙතින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කල ප්‍රකාශය කෙතරම් වටිනවාදැයි බලන්න. සමහරවිට ඔබ මේ වනවිටත් මෙය දැක තිබෙන්න පුළුවන්. මෙහි සරල තේරුම ආදරය යනු ප්‍රේමවන්තයන්ට පමණක් සීමා නොවුණු දෙයක් බව. ඒ අනුව ආදරය කොතනත් තිබෙනවා.  මා මුලින්ම ඔබේ අවධානය යොමු කරන්නේ අද උදේ මට දකින්න ලැබුණු මෙන්න මේ වීඩියෝවට. එය නම් කර තිබුනේ "You will not believe your eyes!!!" (ඔබේ දෑස් අදහා ගත නොහැකි වනු ඇත). නමුත් එහි අවසානයේ ඔවුන් පවසන වාක්‍යයෙහි  මෙලෙස සටහන් වී තිබුණා. 

"A love story for our time from the heart of the Pacific" 


එහි සරල තේරුම 


පැසිෆික් සාගරයේ හදපතුලින් එන අපේ කාලයේ ආදර කතාව
video

 (සෙන්නාගේ ඉල්ලීම මත මහත් පරිශ්‍රමයකින් මෙම වීඩියෝව අප්ලෝඩ් කරන ලදී)

වගේ එකක්. මා එය විස්තර කරන්න යන්නේ නෑ ඔබම නරඹන්න.  මොකද හිතෙන්නේ. මිනිස් සංහතියේ කෙනෙකු වශයෙන් පුදුම ලැජ්ජාවක් ඇති නොවේද ? නැහැ යන්න ඔබේ පිළිතුර නම ඔබ තුල ආදරය නැතැයි යන්න මගේ නිගමනයයි.  මේ වීඩියෝව share කර තිබුනේ මා මිත්‍ර තිලක් ලියනවඩුගේ. ඔහු හොඳ මානව හිතවාදියෙක්. ඒ වගේම සත්ව හිංසනයට විරුද්ද පුද්ගලයෙක්. අද ජීවත් වෙන්නේ ජර්මනියේ. 

ඊළඟට මගේ බැංකු ඒ වගේම ක්‍රිකට් සහෘදයෙක් වන ශාන්ත උදය කරුණාරත්න share කර තිබූ මේ වීඩියෝව මා දුටු හොඳම ඒවායින් එකක්. ඔබේ හිත ඕනෑම ආකාරයකින් තැලී තිබෙන විටෙක නැරඹිය යුතු එකක්. එයත් මොහොතක් නොහිතාම share කරන්න මා පසුබට වුනේ නෑ. මගේ දියණිය ඇහැරවා එය පෙන්වනකම් මා සිටියේ නොයිවසිල්ලෙන්. එය නම් කර තිබුනේ ලොව ලස්සනම වීඩියෝව නමින්. තවත් වචන 999 ක් වැය නොකර එහි සබැඳියාවත් පල කරන්නම්.

ලොව ලස්සනම වීඩියෝව
video
 (සෙන්නාගේ ඉල්ලීම මත මහත් පරිශ්‍රමයකින්  මෙම වීඩියෝව අප්ලෝඩ් කරන ලදී)

 රොජර් ෆෙඩරර් කියන්නේ මා කැමතිම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. ඔහු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා. ලෝකයේ වැඩියෙන්ම මුදල් උපයන ක්‍රීඩකයින් අතර ප්‍රමුඛ ස්ථානයක ඉන්න කෙනෙක්. මාත් ඇතුළුව ඔහුගේ ෆේස්බූක් මිතුරු හවුලේ මිලියන 12.5 ක රසිකයින් පිරිසක් ඉන්නවා. දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ ප්‍රාන්තයේ තිබෙන ළමා නිවාසයකට ගිය මොහොතක. පහලින් තිබෙන වචන 1000ක් වටිනා පින්තුරය බලන්න. 
පින්තුරය ගත්තේ https://www.facebook.com/Federer?fref=ts

ඔබ කියයි ඔහු ජනප්‍රියත්වය උදෙසා මේ දේවල් කරනවා කියා. එහෙත් අපේ රටේ කෝටිපති ක්‍රිකට් ක්‍රීඩකයන් කී දෙනෙක් ඉන්නවාද, තමන් ඉගෙනගත් පාසල දිහාවත් නොබලන. 



මම fecebook වල ඉන්න ජනප්‍රිය චරිත කිහිපයක් සමගම මිතුරුකම් ඇති කරගෙන තිබෙනවා. එහෙම කරන්නේ සමහරවිට මා තුල ඉන්න රසිකයා ඉස්මතු වී වෙන්න පුළුවන්. කාංචන කොඩිතුවක්කු නමැති ටෙලිනාට්‍ය නළුවාත් ඉන් කෙනෙක්. ඔහු සමග ඇති කර ගත් මිතුරු කම කෙතරම් වටිනවාද යන්න පසක් වුනේ මේ කතාව දැක්කට පස්සේ.  පහලින් තිබෙන වචන 1000ක් වටිනා පින්තුරය දෙස බලන්න

පින්තුරය ගත්තේ : https://www.facebook.com/sudeshbahrain


ඔහු මේ කඳුළු පෙරාගෙන අඬන්නේ ඔහු කල අධම ක්‍රියාවක් නිසා ඇති වූ ලැජ්ජාව නිසා නොවෙයි. ඔහු විසින් ඔහුගේම මංගල උත්සවයේ බජට්ටුවෙන් ඉතිරිකරගත් මුදලින් රාගම රණවිරු සෙවනේ සිටින අබාධිත සෙබළ සොයුරන්ට කෘතීම පාද 50ක් පරිත්‍යාග කල මොහොතේ සංවේදී බව දරා ගන්න නොහැකිව.  මා කිසි දින දැන-නොහඳුනන සුදේශ් කරුණාතිලක මහතා එම පින්තුර ඇල්බමයට එක් කර තිබූ සටහන නම් කර තිබුනේ 
කාංචනයක් වූ කාංචන ඔබ අපිට ආදර්ශයක් .. 

යනුවෙන්.  


ඉතිං මේ කතා වලින් පැහැදිලි වන්නේ ආදරයට තැනක් නොතැනක්, වර්ණයක්, උස්-මිටි බේදයක්, වයස් බේදයක් නොමැති බව නොවේද ?

ෆේස්බූක් නරක තැනක් යයි කියන්නේ කොහොමද ? එය හොඳ තැනක් හෝ නරක තැනක් කර ගැනීම ඔබ සතු වගකීමයි. බ්ලොග් ලෝකයටද ඒ කතාව ඒ ආකාරයෙන්ම වලංගුයි. 

Monday, February 18, 2013

සුද්දාට ඇන්දවූ මාළු වෙළඳපොල

පින්තුරය ගත්තේ : https://twitter.com/LittleFishHove

මේක මම රිවරිනා හෝටලයේ වැඩ කරද්දී සිද්දියක්. ඒ ගැන මතකය අවදි වුනේ, ඩිස්කවරි නාලිකාවේ පෙන්වන Man vs Wild වැඩසටහනේ ඉන්නේ Bear Grylls කියන හිටපු එංගලන්ත විශේෂ බලකා සෙබලා අද වැඩසටහනේ ආහාර හොයා ගන්නා අකාරය දැක්කම. පිහිය සහ වතුර බෝතලය ඇරුනම කිසිම උපකරණයක් ඔහු ළඟ නෑ. ඒත් ඔහු ගොඩබහින වටපිටාවේ තිබෙන දේවල් වලින් රාත්‍රියක් ගත කරන්න අවශ්‍ය හැම දේම ඔහු තනා ගන්නා ආකාරය විශ්මය ජනකයි. හුළු අත්තක් පත්තු කරගෙන ලී කොටුවක් උල් කරගෙන අයිස් මිදෙන සීතල තිබෙන ගඟකින් ඔහු මාලුවෙක් මරා ගන්නවා. ඔහු මේ පෙන්වන්නේ වැරදීමකින් හෝ ඔබගේ ගුවන් යානයේ දෝෂයක් ඇති වී කාන්තාරයකට, ඝන කැලාවකට, හිම මතට වැටුනොත් ඉන් ගොඩ එන ආකාරය.

පින්තුරය ගත්තේ : steveandzach.wordpress.com 


රිවරිනා සංචාරක හෝටලය පිහිටා තියෙන්නේ බේරුවල නගරයත් අලුත්ගම නගරයත් අතර තියෙන මොරගල්ල කියන ප්‍රදේශයේ. එතන සංචාරක හොටල ජාලයක්ම තියෙනවා. ඒ නිසා මේ සංචාරක හෝටල් අතර තරගයක් තියෙන්නේ. ඒ නිසාම එක්-එක් සංචාරක හෝටලයේ ඉන්න සේවක පිරිස අතර පුදුම සමගියක් තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ නෑ ඉන්න අය අතර ගැටළු නෑ කියන එක. ඒත් ඒ මොන දේත් පිටතට ගෙනියන්නේ නෑ. ඒ මොකද අර කියපු තරගයේදී මේ ප්‍රශ්න උපයෝගී කරගෙන ඒ ඒ හෝටල් වල රහස් එලියට ගන්න පුළුවන් නිසා. 

පින්තුරය ගත්තේ : umamimart.com
කලින් කියපු තරගය නිසාම අලුත් දේවල් අත්හදා බලන්න මේ හෝටල් වල ඉන්න සේවකයෝ නිරතුරු උත්සාහ ගන්නවා. එහෙම අලුත් අදහසක් අනුව පවත්වන කුමක් හෝ අවස්ථාවකට තරගකාරී හෝටල් වල ඉන්න සංචාරකයන් වුනත් ආකර්ෂණය කර ගන්නා අවස්ථා තියෙනවා. ලංකාවට එන සෑම සංචාරකයෙක්ගේම පොකට්ටුවට විදින සභ්‍ය ක්‍රම කියලා මේ දේවල් හඳුන්වන්න පුළුවන්. වෙරළේදී මේ එන සංචාරකයන් මිත්‍රත්ව වගේම අනියම් සබඳතා ගොඩ නගා ගන්නවා.  ඉතිං අකාර්ශනීය යමක් මේ හෝටල් වල වෙනවා නම් අනෙක් හෝටල් වල ඉන්න අය අතරට ඒ පණිවුඩය වේගයෙන් ගලා යනවා. 

පින්තුරය ගත්තේ : www.barcelonawinebar.com
මම වැඩ කරපු ගිණුම් අංශයට මේ දේවල් කෙලින්ම වැදගත් නොවුනත්, මාසයේ 10 වෙනිදාට ලැබෙන සේවා ගාස්තුවට(Service Charge) මේ සිදු වෙන දේවල් බලපාන නිසා අපිත් මේ ගැන නිරතුරු අවධියෙන් හිටියා. රිවරිනා එක මේ වාගේ සංවීධානය වෙච්ච් වැඩසටහන් කිහිපයක් තමයි රාත්‍රී කානිවල් එක, Red & Black Night, Fish Market  නොහොත් මාළු වෙළඳපොළ. මාළු වෙළඳපොල මතක් වෙන මතක් වෙන පාරට හිනා යන වැඩක්. මගේ මතකය නිවැරදි නම් මේකට නායකත්වය දුන්නේ ප්‍රධාන සුපවේදී මිරැන්ඩා මහතා. සංචාරක හෝටලයක ඉන්න ප්‍රධාන නිලධාරීන්ගෙන් කෙනෙක් තමයි ප්‍රධාන සුපවෙදියා නොහොත් චෙෆ් මහත්මයා. අදටත් සංචාරක හෝටලයක වැඩිම පඩි ලාභියා වෙන්නේ චෙෆ් මහත්වරු තමයි. එකට හේතුව මුළු සංචාරක හෝටලයේම පැවැත්ම එයාලගේ අතේ තිබීම.

මේ කියපු කාලය වෙනකොට 1991 නැත්නම් 1992 අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස වලින් එකක්. මේ වගේ කාල වලදී තමයි හෝටලයක කාමර සම්පූර්ණයෙන් පිරෙන්නේ. ඒ වගේ කාලෙකට සංචාරයකි 300-400 ත් අතර ප්‍රමාණයකට සේවය සපයනවා. මේ වගේ කාල වලදී අනියම් සේවකයින් පවා බඳවා ගන්නවා. කොතැනක හෝ පුංචි වැරද්දක් වෙන්න තියන්නේ නෑ. කවුරුත් ඉතාම උද්‍යෝගයෙන් වැඩ කරන කාලයක්. කොටසක් සංචාරකයන්ට වයින් විකුනන්න උත්සාහ ගන්නේ හෝටලයේ ආදායම තර කරන්නම නෙවෙයි. 20% ත් 35%ත් අතර කොමිෂන් එක ලබා ගන්න. මේ කාල වලදී අහාර පාන අංශයේ අය පෝසතුන් වෙන කාලය. රුපියල් හත් අට දාහක් සන්තෝසම් වශයෙන්ම ලැබෙනවා. ඒත් මේවා ගෙදර ගෙන යන්න තහනම්. ඒ කතාව වෙනමම එකක් නිසා පස්සේ කියන්නම්.
පින්තුරය ගත්තේ : www.jiaweichineserestaurant.com.sg
මේ වගේ ව්‍යාපෘතියක් කරන්න කලින් දිගු සාකඡ්චාවක නිරත වෙනවා හෝටලයේ ඉහල කළමනාකාරීත්වය සහ සුපවසර් මට්ටමේ සියලු දෙනා. මේ කර්තව්‍යට පසුබිම වශයෙන් තෝරා ගන්නේ නානතටාකය ආශ්‍රිත ප්‍රදේශය. නඩත්තු අංශය ඒ සඳහා අවශ්‍ය පසුබිම, ලී මැස්සවල් සහ පොල් අතු පියස්ස සහිත මඩුව තනා දෙනවා. එය අලංකරණය කරන්නේ කාමර අංශය සහ අහාර පාන අංශය එකතුව. ඒ වගේම කලමනාකරණ පුහුණුවන්නන් ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබා දෙනවා. මෙහි අදහස අළුත් මාළු සංචාරකයාට විකිණීම. යුරෝපයේ සිට පැමිණෙන සංචාරකයා කිසි දිනක මේ මාළු ඇල්ලීම දැල් දැමීම යන ක්‍රියාවලිය දකින්නේ නෑ. ගිණුම් අංශය වන අප අතට ලැබෙනවා මෙහි ඇස්තමේන්තුව. එහි සිටින එකම පරිඝණක නිලධාරියා වූ මට පැවරෙන්නේ එය යතුරුලියනය කර මුද්‍රිත පිටපත් මේ සියලු අංශ ප්‍රධානීන් වෙත යැවීම. මෙයින් අපේක්ෂිත ආදායම මුළු වැය වගේ දෙගුණයක් වත් වනවා. ඒ කියන්නේ ඉතා ඉහල ආදායමක්. 

සෙනසුරාදා උදේ හය වන විට ඔබට අළුත් මාළු මිලදී ගෙන එතැනම ආහාරයට ගන්න පුවන් වග සියලු සංචාරකයන්ට විවිධ ආකාර වලින් නිවේදනය කරනවා. එය අත් පත්‍රිකා, නාන තටාකය හා ප්‍රධාන ආපන ශාලාව තුල හා පිළිගැනීමෙන් අංශයේ තබා තිබෙන දැන්වීම් පුවරු, වෙනත් අවස්ථා වලදී ලබා දෙන නිවේදන වලින් දැනුවත් කරනවා. අද මෙන් අන්තර්ජාලය තිබුනානම් එය ලෝකයම දන ගන්නවා. හා දැන් සැලසුම ගැන කියන්න ඕනේ. මෙය තනිකරම නාට්‍යයක්. මෙහි ධීවරයාගේ භූමිකාවට පන දෙන්නේ හෝටලයට මාළු සපයන ලක්ෂමන් සිල්වා මහතා ඇතුළු පිරිස.

වැඩසටහන මෙහෙමයි. රාත්‍රී දෙක වනවිට හෝටලය විසින්ම ලබා දෙන බෝතල් දෙක තුනකින් සප්පායම් වන ලක්ෂම්න්ගේ කණ්ඩායම (දහය පහළොවක් පමණ) මෝටර් බෝට්ට්ටුවකිනි දියඹ බලා පිටත් වනවා. රාත්‍රී හත වනවිට හෝටලයේ අයිස් කාමර වල තිබෙන නොකැපූ සම්පූර්ණ මාළු වර්ග සියල්ල ගණන් තබාගෙන රෙජිෆෝම් පෙට්ටි තුලට බහා ලක්ෂ්මන්ගේ ලොරියට පටවනවා. රාත්‍රී දෙකට පිටත් වන මේ මෝටර් බෝට්ටුවට අපේක්ෂිත අස්වැන්න කලින්ම පටවා ඉවරයි. දෙකට පිටත් වන බෝට්ටුවට අමතරව තවත් කෝල්ලෑ ඔරු කිහිපයකුත් උදේ හතරට පමණ පිටත් වනවා. මාළු දැලට ගෙන යන මාළුන්ගේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ මාළුන් සහ ඉස්සන් දමා එහි කෙලවර කොල්ලෑ ඔරු වල සිටින දීවර නළුවන්ට ලබා දෙනවා. මේ වගේ දවසක උදේ පාන්දරින් සේවයට යන්න අපිටත් උනන්දුවක් ඇති කලේ සුද්දට අන්දන විදිය බලා ගන්න. 
පින්තුරය ගත්තේ : www.formerchef.com
සියලුම සුද්දන් උදේ හය වන විට වෙරළට වී බලා හිඳිනවා. ලක්ෂමන්ගේ ගොඩබිම කණ්ඩායමට කොල්ලෑ ඔරුවේ සිටින නළුවන් පිරිස දැලේ කෙලවර ලබා දෙනවා. ඔවුන් දන්නා භාෂා සියල්ල දමා දල ගොඩට අදිනවා. මේ  සුදු ගොන් රැලට මාළු කෑමේ පෙරේත කම නිසා මාළුන්ට පණ තිබිය යුතුයි කියන මුලික සිද්දන්තය අමතක වනවා. එතනින් පසු සිදු වන්නේ සාමාන්‍ය ධීවර වරායක සිදු වන කටයුත්තක්. අවශ්‍ය බලු කැල සහ කපුටන් ස්වේච්චාවෙන්ම මේ නාටකයේ තමන්ගේ භූමිකාවන්ට පන පොවනවා. ප්‍රධාන සූපවෙදියා ලක්ෂ්මන්ගේ අත රුපියල් දාහේ නෝට්ටු මිටියක් මිට මොලවා දැලේ සහ මෝටර් බෝට්ටුවේ තිබෙන අයිස් දිය කර ලුණු එකතු කරන ලද මාළු තොගය මිලදී ගන්නවා. ඉන්පසු කුස්සියේ සේවකයන් මේ මාළු අර මැස්සවල් වලට පටවනවා. සුද්දන් පෝලිමේ සිට මේ මාළු ග්රෑම් ගණනට මිලදී ගන්නවා. පෝලිමේ අඩුම තරමින් සුද්දන් සියයක්වත් ඉන්නවා. හෝටලේ මස් කපන්නා නොහොත් Butcher යුහුසුළුව මාළුවා කපන දෙස සුද්දන් බලා සිටින්නේ නළල රැලි කරන්.

දැන් සුද්දන් තමන් මිලදී ගත් මාළු ග්රෑම් 200 හෝ 500 අනෙකුත් අරක්කමියන්ට ලබා දී බලා සිටිනවා දත මැදගෙන. විවිධ ක්‍රම වලට මාළුන් තැම්බෙනවා. බාබෙකිව්, ෆ්‍රයිඩ්,ග්‍රිල්, බෝයිල් මේ ආකාර සියල්ලෙන් නිපැයෙන මාළු කෑල්ල කා සුද්දන් මුව නොසෑහෙන්න කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා අළුත් මාළු කන්නට තමන්ට අවස්ථාව උදා කිරීම ගැන. අනෙක් දවසට කන්නෙත් මේ මාලුම නොවේදැයි කිසිවකු ප්‍රශ්ණ කරන්නේ නෑ. වාසනාවකට මේ සංචාරක කැලට ස්වදේශිකයන් කිසිවක් ඇතුළු වන්නේ නෑ. එහෙම වුණානම් මුළු හෝටල් සමුහයටම දෙව් රැකවරණ ලැබෙන්න ඉඩ තිබුනා. වඩාත් හාස්‍යජනකම සිදුවීම තමයි මේ මාළු ගොන්නට වෙල්වල සහ වැව්වල සිටින තෙප්පිලි හා කොරලි නමැති මාළුන්ද අයත් වීම. සුද්දන් ඒ කාලයේ තෝර මාළු ග්රෑම් 100ක් රුපිය 250 කට පමණ මිලදී ගත්තා. ඒ ඩොලරයක් සඳහා රුපියල් විසි තිස් ගණන් ගෙවූ සමයේ. අද මිල හිතා ගන්න පුළුවන් නේද?
පින්තුරය ගත්තේ : www.chicagofoodies.com
ඒ වගේ දවස් වලට සුද්දගේ ගොන්කම අපේ අහුමුළු සකච්ඡා වලට මාතෘකාව වෙනවා. ඒ මාළු කා සුද්දන් කිසිවකුට බඩේ ගාය නොවැළඳීම ගැන සේවක මණ්ඩලය වූ අප අදටත් දෙවියන්ට ස්තුති වන්ත විය යුතුයි. මේවා පිලිබඳ රහස් රැකීම වෙනුවෙන් ගයිඩ් මහත්වරුන්ට විවිධ සන්තෝසම් ලැබෙනවා. 

Saturday, February 16, 2013

ඔබේ ගතිගුණ කියාපාන ඔබේ අත්සන

මාගේ මිතුරකු වන අංජන ඉතා හොඳ කියවන්නෙක්. ඔහු දිනක් පැවසුවා Doodle Analysis නමැති විද්‍යාවක් ගැන. ඒ යම් සාකච්චාවක, දුරකථන ඇමතුමක, හෝ වෙනත් කල්පනාවක සිටින විට කඩදාසිය මත ඔබ කුරුටු ගැන දේ මගින්, එම අවස්ථාවේ ඔබේ සිතේ තිබූ අදහස් විශ්ලේෂණය කල හැකි බව. මෙය ඇසූ මොහොතේ සිට Doodle Analyst  කෙනෙකු වන්නට ඇත්නම් කියා මටත් සිතුනා. ඉන් පසුව මා ඒ පිළිබඳ ලියැවුණු යම් පොතක් වේ දැයි අන්තර්ජාලය පීරමින් සෙව්වත්, වෙනත් දෙයක් හොයද්දී ලැබුණු මේ ලිපිය කිහිප වරක්ම කියවූ අතර මෙහි තිබෙන දේ මගේ කාර්යාලීය මිතුරන්ගේ අත්සන් සමග සසඳා බැලුවා. මෙහි තිබෙන බොහෝ කරුණු සත්‍ය බවද වැටහුනා. අවසන් නම සහ වාසගම අතර පොඩි ප්‍රශනයක් තිබෙනවා. දමිළ ජාතිකයින්ට සහ මුස්ලිම් අයට වාසගමක් නෑ. ඔවුන් පියාගේ පසු නම ඔවුන්ගේ මුල් නම ලෙස යොදා ගන්නවා. මොනවා වුනත් මුල් නම සහ අවසන් නම යන්න හිතේ තබාගෙන මෙය කියවන්න. 
අත් අකුරු වල සැඟවී ඇති පුද්ගල ලක්ෂණ කියවීම ග්‍රාෆොලොජි(Graphology) ලෙස හඳුන්වනවා. මෙහි ඇති ක්‍රමවේදය ඉතා සරලයි. අත් අකුරු යනු මොලයේ තිබෙන විද්‍යුත් ආවේගයන් පිට කිරීමේ මාධ්‍යක්. එනිසා කෙනෙකුට එමගින් එම පුද්ගලයා ගැන ප්‍රකාශ කල හැක.


හොඳයි ඉතිං ඇයි අත්සන මේ සඳහා යොදා ගන්නේ ?

දවසින් දවස ඉලෙක්ට්‍රොනින් මාධ්‍යය ලබන දියුණුවත් සමග ඔබ නිතරම අතින් දෙයක් නොලියන තරම්. ඔබ ඊමේල් යැව්වත්, කෙටි පණිවුඩයක් යැවුවත් යවන්නේ ඒ ඒ මාධ්‍යයේ තිබෙන එක් ෆොන්ට් විශේෂයක් මගින් නිසා හැම කෙනෙකුම සමානව දකින්න පුළුවන්.

කොහොමවුනත් තවමත් ඔබ යම්-යම් ලිපි ලේඛන, කොන්ත්‍රාත්තු හෝ පෝර්ම  වලට අත්සන යොදනවා.  එහි ඔබේ පුද්ගල ස්වභාවය තිබෙනවා. ඔබේ පුද්ගලික ගතිලක්ෂණ එමගින් දකින්න පුළුවන්.

ඔබේ ළමා කාලය ගැන හිතන්න. ඔබේ මුල් ළමා කාලය ගැන, පාසල් ගිය මුල් අවුරුදු කිහිපය ගැන. ඔබට කී වාරයක් කියා දී ඇත්ද කොහොමද අකුරු ලියන්නේ කියා? ඔබගේ ගුරුවරුන්, දෙමව්පියන් සැලකිය යුතු කාලයක් ගත කරන්නට ඇති හැමදෙනාම ප්‍රිය කරන වැල් අකුරු ඔබට පුහුණු කරවන්න. එහෙත්, අප සියලු දෙනාම අවසානයේ අපට අවෙනික් ශෛලීයකින් ලියනවා නොවේද ?

ඒ අපි එකිනෙකාගෙන් වෙනස් ආවේනික ලක්ෂණ සහිත ,  වෙනමම උවමනාවන් ඇති,  ඉගෙනීමේ විවිධ හැකියාවන් ඇති පුද්ගලයන් වීම නිසා. එනිසා ඔබේ අත් අකුරු වෙන කිසිවක් නොව ඔබේ පුද්ගල ස්වභාවය කඩදාසිය මත විදහා දැක්වීමක්.

ඔබේ අත්සන, ඔබේ පුද්ගල ස්වභාවයේ අහඹු ලෙස ගත චායාරුපයක්.
අත්සන විශ්ලේෂණය කල හැකි මුලික නීති




  • අත්සනේ ප්‍රමාණය
  •  අස්ත්සනේ මුල් අකුරේ ප්‍රමාණය
  •  ආනත භාවය
  •  මුල් නම භාවිතය, අවසන් නම භාවිතය හෝ අකාරාදිය
  •  යටින් ඉරි ඇඳීම
  •  තිත් තැබීම





අත්සනේ පළමු අකුරේ ප්‍රමාණය


අත්සනක පළමු අකුරේ ප්‍රමාණයන් යම් අදහසක් ගන්න පුළුවන් එම පුද්ගලයා  තමන්ව සෙසු ලෝකයට සාපේක්ෂව හෝ සැසඳීමේදී සිතන ආකාරය පිළිබඳව. 

මෙහි වෙනස තිබෙන්නේ අකුරේ ඉහලම තැන සහ පහලම තැන අතරයි.  ඉහල කොටසින් තමාවද පහල කොටසින් සෙසු ලෝකය ලෙසද තේරුම් ගන්නවා. මෙය සමහර විට අහංකාර කම මැනීමටද උපකාර වනවා.

සමහර වෙනස් වීම් භාවිතා කරනවා 


  • මුල් අකුර කැපිටල් අකුරක් නම්, තමා වැදගත් කොට සලකනවා
  • මුල් අකුර සිම්පල් අකුරක් නම්, පුද්ගලයා බොහෝ විට පොලවේ පය ගසා ඉන්නා කෙනෙක්.
අත්සනක ආනත භාවය

අත්සනක ආරම්භය පහලින් සහ අවසානය ඉහලින් අවසන් වන විටෙක : පුද්ගලයා බලාපොරොත්තු සහිත වන අතර ඉදිරිය ගැන සිතන අයෙක්.

කෙලින්ම ඇති අත්සන (තිරස්ව) : ජීවිතය හෝ රාජකාරිය ලෙස ගත්තොත් ඔහු හෝ ඇය සමබර කෙනෙක්.

ඉහලින් පටන් ගෙන පහලින් අවසන් වන්නක් නම්, උදාහරණයකට ඉරි ඇති පොතක ඉරට උඩින් ආරම්බ කර ඉරෙන් පහලට ගමන් කරයි නම් : ඉන් පැහැදිලි වන්නේ එම පුද්ගලයා තමා ගැන විශ්වාසය අවම පුද්ගලයකු වන බවයි.

මුල් නම භාවිතය, වාසගම භාවිතය හෝ අකරාදිය  


බොහෝ දෙනෙක් මෙම නම් දෙකම එනම් මුල් නම හා වාසගම යන දෙකම අත්සන සඳහා භාවිතා කරනවා. නමුත් මේ කරුණු පැහැදිලි කරනවා ඒවායින් අදහස් වන්නේ කුමක්ද කියා 



  • මුල් නම පමණක් යොදා ගැනීම : ඔහු හෝ ඇය තමා ගැන විශ්වාස කරන අතර තම පවුලට පිහිට වන කෙනෙක් නොවේ. නිතරම නිදහස් අදහස් ඇත්තෙකු වන අතර බොහෝවිට වැඩ වලින් ඉවතට වී සිටියි.  මුදල් ඉපයීම ගැන ඉතාමත් උනන්දු වෙයි.
  • වාසගම පමණක් යොදා ගත් අය : පවුලත් සමග නිතරම ජීවත් වන්නෙකි. පවුලට ආදරය කරයි. ලැබෙන රැකවරණයෙන් පිටදී ඔහුට ජීවත් වීමේ ගැටළු තිබේ.
  • මුලකුරු සමග වාසගම : සමබරයි.
  • වාසගම මුලින් ලියා අත්සන් කරන අය : තමාට පෙර පවුල ඉදිරියෙන් තබන්නෙකි
අත්සන යටින් ඉරි ඇඳීම 

යටින් ඉරි ඇඳ නැතිනම් :  කිසිවක් පිලි නොගන්න පුද්ගලයෙක්. එතරම කලබල නොවන්නෙකි. තම වටිනාකම කිසිවකුට විස්තර නොකරයි. 

අත්සන යටින් එක් ඉරක් ඇත්නම් : තමා කියා කෙනෙකු සිටින බව අන් අයට ඇඟවීමට කැමතියි. එමෙන්ම තමා ගැන කථා කිරීමට කැමැත්තක් දක්වයි. එහෙත් එය සාමාන්‍ය ප්‍රමානයෙනි.  තමා සිටිනා බව ඇඟවීමට කැමතියි.

අත්සනට යටින් ඉරි දෙකක් අඳියි නම් :  කීර්තිය ලැබීමට කැමතියි. අන් අයට තමා කල උපකාර මතක් දීමට කැමතියි. 

අත්සන කපාගෙන යන රේඛාව :  තම වචනය ආපස්සට ගනී.  තමා මුලින් කතා කල දේට ප්‍රතිවිරුද්ද දේ පසුව කතා කරයි. 

තිත් තැබීම 

සමහරු අත්සනෙහි තිත් තබයි. බොහෝ අය තම අත්සනට යටින් ඉරි ඇඳීමෙන් පසුව එසේ තිත් තබයි. ඉරි ඇඳීමෙන් තමාගේ පැවතීම සහතික කාරයි. එහෙත් තිත් තැබීම නරකය. 

එක තිතක් තබයි නම් : ඔබ දැන ගත යුතුයි මා කවුද කියා, මම කරන්නේ මොනවාද කියා සහ මම කලේ මොනවාද කියා, මේ යලි මතක් කිරීමකි. 

තිත් දෙකක් තබයි නම් : අමතක කරන්න එපා කවුද මේ දේ කලේ කියා.

පිටු පසින් පටන් ගන්න තොණ්ඩු 

එවන්නම් තිබේ නම් එයින් පහත සඳහන් අදහස් වලින් එකක් ගැලපේ 
  • හැම දෙයක් ගැනම ඕනෑවට වඩා සිතන කෙනෙක්
  • හැමදේම තමාගේ කරගෙන වැඩ කර වටේ සිටින සියලු දෙනා සතුටු වන තුරු තැවුලෙන් පසු වේ.
  • එකම තැන කැරකි-කැරකී යම් දෙයක් ගැන විස්තර කරයි. 
  • අවශ්‍ය වේ නම කුමක් හෝ බොරුවක් ගොතා පවසයි.
ඔබට කල හැකි දේ 

අත් අකුරු විශ්ලේෂණය හෝ අත්සන් විශ්ලේෂණය හරියටම විද්‍යාවක් නොවේ. ඇත්තටම මෙහි සඳහන් කල කාරණා සමග ඔබටම ආවේණික සලකුණු ටිකක් වර්ධනය කර ගත යුතු වේ.

මා අවුරුදු ගණනාවකට පෙර සිට ආරම්භ කර නිර්මාණය කර ගත්තා චිත්ත ආකෘතියක්. මා එය භාවිතා කරන්නේ මෙලෙසින්

  • කෙනෙකුගේ සේවාව ඔබට අවශ්‍ය නම්, අත් අකුරු සහ අත්සන පමණක් යොදා ගැනීමෙන් තීරණය නොකරන්න.
  • මම සාදා ගන්නවා  සාමාන්‍ය මතයක් {කවුරුත් වගේ මුල් දර්ශනය(1st impression) මත}. ඉන්පසුව ඉවතට ගන්නවා හෝ එම චිත්තරුපයට  යම් දේ එකතු කරනවා. 
එහෙත් මෙන්න වැදගත්ම කොටස

ඔබට වෙනස් විය හැකයි, ඔබේ භාහිර ස්වභාවය, ටිකෙන් ටික, හෙමිහිට,  නමුත් ඔබේ අත්සන වෙනස් කිරීම. ඔබේ අදහස් දක්වන්න, මා පවසන්නම් කල යුත්තේ කුමක්ද කියා.

එහෙම කියන්නේ සුදීක නොවෙයි. මෙන්න මෙයා  prabhjotbedi profile image ප්‍රබ්ජෝත් බෙඩි. ඔහුගේ බ්ලොග් අඩවිය වන http://prabhjotbedi.hubpages.com න්. ඉතිං ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුනා නම්. කමෙන්ට් එකක් ලෙස ඉදිරිපත් කරන්න. ගැලපෙන ප්‍රශ්නයක් ඔහුගේ ලිපියට මීට කලින් ඉදිරිපත් කර, ඔහු පිළිතුරු ලබා දී තිබේ නම් එය කියවා ඔබට දන ගන්නට සලස්වන්නම්. ඔහුගේ ලිපියට  ප්‍රතිචාර 220ක් ලැබී තිබෙනවා. 

________________________________
ප.ලි. 
මම කලින් වැඩ කරපු තැන, අත්සන් හොර කරපු ලොකු වංචාවක් සිදු වුණා. ඒක විමර්ෂණය කරන්න ආපු රහස් පොලිස් නිලධාරීන් හැමෝගෙන්ම කොළ විස්සක අත්සන් 50 ගානේ වගේ ගත්තා. එහෙම කරන්න ඇත්තේ අත්සන වෙනස් කරලා ගහන්න ට්‍රයි කලොත්, එකම වෙනස්කම 1000ක් කරන්න බැරි නිසා. ඒ වගේම ඒ ඇයට පිටපත් ලියන්නත් දුන්නා ඉංග්‍රීසි සඟරාවක් බලාගෙන. 

ඕනෑම කෙනෙකුගේ අත්සන යොදා ගන්නා වාර ගණන අනුව, ටික කාලෙකදී සංකේතයක් බවට පත් වෙනවා. චිත්‍ර වලට දක්ෂ ඇයගේ අත්සන අලංකාරයි. මේවා මගේ අත්දැකීම් වලින් කියන ඒවා. 

Monday, February 11, 2013

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන්ද ?

මා සිංහල බ්ලොග් අවකාශයේ තවමත් ළමා විය පසු කරන්නෙක්මි. එහෙත් මට වයසින් බාල වුවද අවුරුදු හතරකට පහකට පෙර සිට බ්ලොග් ලියන්නන් ස්වල්ප වශයෙන් හෝ තවමත් දැක ගත හැක. මා බ්ලොග් ලෝකයට අහම්බෙන් කඩා වැටුනෙක් බව මා පුන-පුනා කීවෙමි. අවුරුද්දකුත් මාස එකහමාරකට ආසන්න මගේ බ්ලොග් ඉතිහාසයද මට පවසන්නේ සිංහල බ්ලොග් ලෝකය දවසින් දවස පරිහානිය කරා ගමන් කරන බවයි. විවිධ අය විවිධ බලාපොරොත්තු වලින් තමන්ගේ බ්ලොග් අඩවියට ලිපි එකතු කරමින් සිටියි. මෙය දැනට ලෝකයේ තිබෙන නිදහසම මාධ්‍යය වන නිසා සාරවත් දේ මෙන්ම අසාරවත් දේද මෙතුලින් විකාශණය වීම වැළක්විය නොහැක. දළදා මාලිගාවට හෝ ජය ශ්‍රී මහ බෝධිය වඳින්නට ධර්මය නිරතුරු ඇසුරු කරන සුපින්වතුන් මෙන්ම සොරුන්, මංකොල්ලකරුවන් හා දාමරිකයන්ද පැමිණේ. ඉතිං අන්තර්ජාලය සුදනන් සෙවීම හරියට නයි මල්ලක ආඳා සොයනවා වගේ වැඩකි. 

සාමාන්‍යයෙන් කෙනෙකුගේ නියම ස්වභාවය ඔහු කියන කරන, දෙයින් හෝ ලියන ලිපියකින් තෝරා ගත නොහැක. මන්ද මිනිසා පැහැදිලිවම අයිස් බර්ග් එකකට සමාන බැවිනි. පාවෙන අයිස් කුට්ටියකින දිය මතුපිටින් දිස් වන්නේ 1/8 කි. ඉතිරි 7/8 ම ඇත්තේ ජලයෙන් යටය. මා පහුගිය අප්‍රේල් මාසයේ පැවති සයිබරයේ සිහින බක් මහා උළෙලට සහභාගී වූවෙමි. එහිදී පැරණි බ්ලොග් කරුවන් බොහොමයක් මෙන්ම මා වැනි නවකය සුලුතරයක්ද අඳුනා ගන්නට ලැබිණි. ගම්පහ ගෙට්ටුව ඒ හා සැසඳුව හොත් එයට සහභාගී වූවන්ගෙන් බහුතරය නවකයන්ය. එහි වරදක් හෝ හොඳක් මා දකින්නේ නැත. ඕනෑම සමාජයක  රිලේ තරගයක් ආකාරයට බැටන් එක අතින් අතකට මාරු විය යුතුයි. පැරැන්නන් බලා සිටියදී ඒ තැන නවකයන් ගත යුතුය. එහි වරදක් නැත. නමුත් මෑතක සිට බ්ලොග් අවකාශයේ පැරැන්නන්ගේ සහභාගීත්වයද හීන වීගෙන යන සෙයක් අප දකිමු. මෙය 100% ම නොවේ. ඉඳහිට ලිපියකින් මතකය අලුත් කරන්නන් නැත්තේම නොවේ. 

මා බ්ලොග් ලියන්න පටන් ගන්නා විට සිංහල බ්ලොග් කියවනය තුල බ්ලොග් කරුවන් 1000 කට මදක් වැඩි ප්‍රමාණයක් ක්‍රියාකාරී බ්ලොග් කරුවන් සිටි බව මට හොඳින්ම මතකය. නමුත් අද එය 587 දක්වා පහල බැස ඇත. කලක් ඉතාම ජනප්‍රිය බ්ලොග් කරුවකු වූ සඳරුවන් පවා අද බ්ලොග් පොස්ට් එකක් දමන්නේ නැත. නමුත් දිගටම තම රාජකාරිය කරගෙන යන කතන්දර කාරයා, මාරයා, පොඩි කුමාරිහාමි වැනි අය  තවමත් තම ගමන නොවෙනස්ව පවත්වාගෙන යයි. මෑතකදී රෙප් මහත්තයා ලියන අරුණ මෙහි ඉතිහාසය පිලිබඳ සවිස්තර පොස්ට් එකක් මහත් පරිශ්‍රමයකින් ලියා තිබෙනු දුටිමි. එය කියවූ විට මෙහි ගමන් මග ගැන දල අවුබෝධයක් ලබා ගත හැක. 

මේ ලිපිය ලියන මොහොතේදී පවා මගේ හිතට වද දෙන සිතුවිල්ල නම්, මෙවැන්නක් ලිවීමට මාහට සුදුසුකම් තිබේද ? යන්නයි. මන්ද එක් අතකින් මෙවැනි ලිපියකට සැමගෙන් ලැබෙන අදහස් ඉතා වැදගත්යක්, අනෙක් අතින් මා වැනි මුළු ඉතිහාසය නොදත් අයෙක් ලියද්දී බොහෝ වැදගත් කරුණු අතපහු වීම, හෝ හිඟ වීම නොවැලක්විය හැකි කරුණක් වීමය. මෙය ලිවීමේ අරමුණ මෑතකදී බ්ලොග් ලෝකයට එකතු වී මෙය සරසන මගේ සමකාලීන සහ මෑතකාලීන මිතුරු කැල අදෛර්යය  කිරීම නොව, යන ගමන හරියට දැනගෙන යාම අප කාටත් නුවනට හුරු බැවිණි. මගේ මේ උත්සාහයද ඒ ස්වර්ණමය අතීතය සහ වර්ථමානය නොබිඳෙන හුයකින් ගැට ගැසීමයි. පොස්ට් එකක් නොලියා ඉන්න ඔබට මෙන්ම මටද සාධාරණ හේතු 1001 තිබෙන්නට පුළුවන. එහෙත් මෙවැනි පොස්ට් එකකට කමෙන්ට් එකක් එක් කර ඔබ සිටිනවා හෝ ඔබ තවමත් කියවනවා යන්න තහවුරු කල හැක. 

අම්පාර පාසල් සත්කාරයට යන ගමනේදී නම මතක නැති එක පැරන්නෙකු පවසා තිබුණේ ඕනෑම බ්ලොග් ලියන්නෙකු අවරුදු තුනකට වඩා ලියන්නේ නැති බවයි. එය 100%ක්ම සත්‍යදැයි මා නොදනිමි. නමුත් අද අපි දකින යම් ක්‍රියාකලාපයන් තුල එම කියමනට අවශ්‍ය සාක්කි සැඟවී ඇත. මේ නැගෙන චෝදනාවට පිළිතුරු දිය හැක්කේ අද දවසේ ලියන්නන් වී තිබෙන අපටමය. "අප එසේ නොවේ, අපද ඔබ ගෙනගියාට වඩා හොඳින් මේ දේ කරනවා" යන අභියෝගය බාර ගැනීමට අද අකුරු කරන අපට හැක. 

මීට සතියකට දෙකකට පෙර සිට කන්දක් විලි ලා වැදූ මී පැටියෙක්ගේ අසාර්ථක උත්සාහය අප දුටුවෙමු. මේ ගැන අදහස් දක්වූ බොහෝ දෙනාගේ අදහස වුයේ මේවා තඹ දොයිතුවකට වත් මායිම් නොකළ යුතු බවය. මාද ඒ අදහස දැරුවෙමි. එයින් ප්‍රහාරයට ලක් වූ ඇතාගේ ඇඟට මේ මී පැටියා පැන කරන දැඟලීම දැනෙන පාටක් නැත. නමුත් මීයා පාරම් බාන්නේ තමා කරගෙන ගිය වැඩේ ඇතාට හොඳටම දැනුනා යන්නයි. එහෙත් සැබෑව නම් කිතුල යට සිට කිතුල් බඩ කමින් සිටි ඇතාගේ පිටට කිතුල් මලක් වැටීමය. එය පිටට වැටුන පාරට ඇතා යම් කෙඳිරියක් නිකුත් කල විට මී පැටියා සිතා ගත්තේ තමාගේ ප්‍රහාරය ඇතාට දනී ඇති බවය. මී පැටියාගේ ගුලටම අත දමා එලියට ඇද දැමීමට හැකි වුවද, අප මී පැටියාට ඔහේ වසන්නට ඉඩ හරිමු. මන්ද ඌත් මේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආහාර දාමයේ කොටසක් වන බැවිනි. 
පින්තුරය ගත්තේ : http://www.focuskenya.org
බ්ලොග් කරුවන් ලිපි ලියන්නේ විවිධ අදහස් හිත දරාගෙනය, විවිධ බලාපොරොත්තු ඇතිවය. මටද එවැනි බලාපොරොත්තු ඇත. හැමටම ඕනෑම දෙයක් ලිවීමේ නිදහසද ඇත. සමහරු කාන්සිය නිවා ගන්නද, සමහරු පොරවල් වන්නටද, තවෙකෙක් තමන්ගේ හැකියාවන් එලි දක්වන්නද, තවත් අයෙකු "අපේ චූන් අපට චූන්" ප්‍රතිපදාවද අනුගමනය කරමින් ලියති. දැනුම බෙදන අයද, දැනුම හොරා කන අයද මේ අතර වෙති. පිටරට සිට අප ලියන දෙයක් කියවා අපට මුව නොසෑහෙන්න ස්තුති කරන හිතවතුන්ද, කෙනෙක් දියුණු වී ඉහලට යනවා බලා සිටින්නට බැරි අයද හිඟ නොවේ. තනිකරම කුණුහර්පද, ඩබල් මීනින්ද, අහිංසක විහිළු, වටිනා කවි පංති, වටිනා අදහස් ඉදිරිපත් කරන්නන්ද විරල නොවේ. මේ අතරතුර තමන්ගේ පහත් ආශාවන් ඉටු කර ගන්නන්ද එසේත් නැතිනම් සමස්ථ මානව සමාජය දෙස කුහකත්වයෙන් බලන හීනමානයෙන් දවසම ගෙවන්නන්ද ඇත. වඩාත් වේදනාකාරී දෙයනම් බැටළු හම් පොරවාගෙන සිටින වෘක්කයන්ද මේ අතර සිටීමය.  සමහරු අනුන්ගේ ගිණුම් වලට බැර වන්නට ඇති පදම්අකුරු ගොණු කරමින් සිටිති. 

සිංහල බ්ලොග් අවකාශයේ ස්වර්ණමය යුගය අවසන් වීද යන්න මා හට ඒ හැටි නිනව්වක් නැත. එහෙත් ඒ පිලිබඳ දන ගැනීමට මා හට මෙන්ම ඔබටද ආශාවක් ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මා ඒ වෙනුවෙන් පුංචි අදහස් විමසීමක් මාගේ බ්ලොග් පොස්ටුවට වම් පැත්තෙන් විජට්ටුවක් ලෙස එක් කර ඇත. එහි නිවැරදි තාවය ඔබ සපයන චන්දය මත තීරණය වනු ඇත. මෙය කියවීම මෙන ඒ ගැන ඔබ දන්නා තරමින් නිසි පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. එය මෙය කියවන අප සියලු දෙනාට වැදගත් තොරතුරු වේ. එවිට අපටද පැරණි බ්ලොග් පීරා රත්ත්‍රන් සොයා ගත හැක. එවැනි වටිනා බ්ලොග් වලට ලින්ක් සපයන්න්ද නොමසුරු වන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි. එය බ්ලොග් කියවන සියළු දෙනා වෙනුවෙනි. 

කෙනෙකුගේ මුළු ජීවිතයම බ්ලොග් ලිවීම හෝ කියවීම නොවේ. අපට අපේ පවුල් වල මෙන්ම රාජකාරී වශයෙන් බොහෝ යුතුකම් සහ වගකීම් ඇත. මේ සියල්ල කරන්නේ ඒවා කරමින් යන අතරතුරය. බුදුදහමට අනුව තමන් විසින් ජීවිතයේදී එකතු කර ගන්න පිං සහ කුසල කර්මයන් මෙන්ම පව් සහ අකුසල කර්මයන් වල ශේෂය මීළඟ ආත්මය කරා ගෙන යනවා ඇත. මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කණ කැස්බා නෙත විය සිදුරින් සඳ බලනවා වැනි දුර්ලභ අවස්ථාවක්  බව බෞද්ද ඉතිහාසය සාක්ෂි දරයි. ඉතිං මේ ලැබූ දුර්ලභ මිනිස් බවයේදී ඔබ එකතු කර ගන්නේ මොනවාදැයි ඔබම තීරණය කරන්න.     

Saturday, February 9, 2013

හැකිනම් පිළිතුරු දෙන්න

මෙය කෙටිම කෙටි ලොල් කතා වල ලියනවද ? නැත්නම් වෙනම ලියනවද? කියලා ලොකු දෙගිඩියාවක ඉඳලා, මෙහම ලියන්න හිතුවා.  ඇත්තටම කියනවා නම් මම පොඩ්ඩක් බිසි වෙලා නිසයි මේ පුංචි කතාව දාන්නේ.

මෙන්න කතාව

කොළඹ හතේ එක්තරා නෝනා කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ගෙදර වැඩට ගන්නෙම පිරිමි අයලු. විශේෂ හේතුවක් නැති වුනත්, ඕනෑම කෙනෙකුට සැක එනවා. මොකද නෝනා පිරිමි සේවකයන්ම ගන්නේ කියලා. ඒක ඒ නෝනගේ මහත්තයාටත් මහා හිසරදයක්ලු. අහන්නත් දෙයක් යැයි. හැබැයි ඒ ගෙදර නෝනගේ පාලනයක් තිබිලා තියෙන්නේ. ඒ වුනාට නෝනා එහෙම අයුතු සම්බන්ධකම් තියා ගන්න කෙනෙකුත් නෙවෙයිලු. හැබැයි හරි සැර කෙනෙක්. 
පින්තුරය ගත්තේ : http://interculturalmeanderings.wordpress.com
මේ නෝනාට තියෙන්නේ මහා හැකර කටක්. නෝනා ඕනෑම සේවක්යෙක්ගේ නම අගට "යා" කියල දාළලු කතා කරන්නේ. හිතන්න ගෙදරට ගෙනාව කියල සමන් කියලා සේවකයෙක්, නෝනා කියන්නේ සමනයා කියලා. නිමල් නම් නිමලයා. සුනිල් නම් සුනිලයා. රංජි නම් රංජියා. අපිත් සමහර වෙලාවට මෙහෙමනේ කතා කරන්නේ. සුමනපාල නම් සුමනපාලයා. 

මේක ගෙදර මහත්තයට වගේම සේවකයන්ටත් හරි ප්‍රශ්නයක් වුනා. අන්තිමේදී මහත්තයා එයාගේ යාලුවෙකුට මේක කිව්වා. යාලුවා දක්ෂ වගේම ටිකක් කඩවසම් කෙනෙක්ව සේවකයා විදියට ගෙනත් දීලා තියෙනවා. හැබැයි නෝනා කිසිම දාක මිනිහට "යා" කෑල්ල දාලා කථා කරලා නෑ. 

මේක තමයි ගැටළුව. පුළුවන් නම් නම හොයන්න. 

පොඩි උදව්වක් වශයෙන්. මේ නමට සමාන නම් තියෙන බ්ලොග් කරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.

උත්තර මම දානවා සඳුදා. කොළඹින් පිට රාජකාරියකට ගිහින් එන්නේ එදාට. 

Monday, February 4, 2013

චන්ද්‍රිකාගේ ඇපල් වත්ත

පින්තුරය ගත්තේ : http://www.prairiegardensadventurefarm.com/


ඒ 1998 වර්ෂයයි. එවර පෙබරවාරි මස හතර වෙනිදා සමරන්නට යෙදී තිබුනේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ගෙවන පනස් වන සංවත්සරයයි. බොහෝ දෙනා 1948 දී අපට ලැබුනේ නිදහසක්දයි ප්‍රශ්ණ කරති. ඇත්තටම ශ්‍රී ලංකාව ලෙස ජනරජයක් බවට පත් වුයේ 1972 දීයී. ඉතිං අප දැන් සමරන්නේ නිදහසද ? නැතිනම් ජනරජ දිනයද ? යන්න පැහැදිලි නැත. බොහෝ බ්ලොග් ලිපි වලින් නිදහසේ ඉතිහාසය, අපේ රට ගැන විදේශිකයන් දකින ආකාරය, නිදහස දිනා දීමට සටන් කල වීරවරු ගැන සටහන් කියව බැලුවෙමි. මේ අතරින් වඩාත් සිත් ගත්තේ මල් කැකුළු බ්ලොග් අඩවියේ තිබූ පළවැනි නිදහස චිත්‍රයට නැගූ ලංකික ඉන්ජිනේරුවාගේ කතාවය.  එහෙත් මගේ මතකයට ආ මේ නිදහස් කතාව මීට වසර 15කට පෙර සැමරූ 50 වෙනි නිදහස් උළෙල සහ ඉන්පසු සති දෙක ගැනය.

50 වැනි නිදහස් උළෙලට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වුණු ප්‍රදර්ශණය සඳහා රාජ්‍ය ආයතන සියල්ලම පාහේ නියෝජනය කරමින් විවිධ ප්‍රදර්ශන කුටි සුදානම් කර තිබුණි. මහජන බැංකුව ලෙස අපට පැවරුණු රාජකාරිය වුයේ මේ සඳහා ටිකට් පත් නිකුත් කර ආදායම ජනාධිපති ලේකම් කාර්යාලට භාර කිරීමය. මීට අමතරව අපගේ ප්‍රදර්ශන කුටි කිහිපයක්ද ඒ භුමියේ සුදානම් කර තිබුණි. නිල බැංකුකරුව ලෙස බැංකු කවුලුවක්ද දෙවන ශාලාවේ පිහිටුවා තිබිණි. අප කෙලින්ම රාජකාරි වාර්තා කලේ ජනාධිපති ලේකම් වරයෙක් වූ නියංගොඩ මහතාටය. හතරවැනිදා පැවැත්වෙන නිදහස් උළෙලට දින දෙකකට පෙර සිටම අප රාජකාරියෙන් නිදහස් කර එහි පෙර පුහුණුව සඳහා යොදවා තිබුණි. අපට බැංකුවේ වියදමින් ක්‍රීම් පාට කමිස දෙකක් හා ටයි දෙකක්ද, කාන්තා පාර්ශවයට සාරි දෙකකුත් ලැබිණි. මීට අමතරව අපගේ වියදමින් කලිසමක් මසා ගත යුතුව තිබුණි.  බැංකුව වෙනුවෙන් මේ සඳහා නායකත්වයට පත් කර තිබුනේ පර්යේෂණ අධ්‍යක්ෂ සිරිවර්ධන මහතා, සුමතිපාල කාරියවසම් මහතා, රොහාන් පතිරගේ මහතා, විමලරත්න මහතා, ඩෙරික් සෙනෙවිරත්න මහතා  යන කණ්ඩායමය. රොහාන් පතිරගේ මහතා හැර අද අනෙක් සියලුම දෙනා විශ්‍රාම සුව විඳිති. 

අපගේ කණ්ඩායම එකසිය ගණනකි. මේ සඳහා එකල තරුණ වයසේ වැඩි දෙනෙක් සිටි තොරතුරැ තාක්ෂණ අංශයම මේ සඳහා යොදවා තිබිණි. (එකල අපගේ ප්‍රධාන රාජකාරිය වූ අත්හුරු ක්‍රමයට ගෙනගිය ශාඛා පරිගණකගත කිරීම මොහොතකට නවතා අප මෙම සේවයට අනුයුක්ත කර තිබුණි. අද නම් එක් අයෙකු හෝ සේවාවෙන් වියුක්තව තැබීම හිතන්නටවත් බැරිය). සියලු දෙනාම පාහේ ඉතා කැමැත්තෙන් මෙයට ඉදිරිපත් විය. හේතුව මෙය නිදිමත නැති මහජනයා සමග ගැටෙන රාජකාරියක් වූ නිසාය. මේ සඳහා යොදවා සිටි සියලුම දෙනා පෙබරවාරි මස 03 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිටුපස ඇති රැස්වීම් ශාලාවට කැදවා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණි. එයට යාමට සුදානමින් පස්වරු එක වනවිට අප ප්‍රධාන කාර්යාලයේ ලොබියට වී සිටින විට, ලැබුණු ආරංචියෙන් සියලු දෙනා සලිත විණි. ඒ මරාගෙන මැරෙන කොටි කතක් කොම්පඤ්ඤවීදීය පොලීසියට අනුබද්ද මුර කපොල්ලක කර ගත් පුපුරවා ගැනීමය. මේ කොටි කත පැමිණ තිබුනේ එවකට ජානධිපතිවරිය ඝාතනය කිරීමට බව රේඩියෝවට සවන් දුන් විට දැන ගත හැකි විය. එහෙත් තවත් සුළු මොහොතකින් බැංකු වාහාන වලට ගාල් කර අප ගෙනියන විට එකිනෙකාගේ මුහුණු වල සටහන් වුයේ මරන්නට ගෙන යන හරකුන්ගේ ඇති බියකරු ස්වභාවයයි. කොටි භීතිය එකල නගර ගම් බේදයක් නැතිව පැතිරී තිබිණි. 

මෙය දින කීපයකට ප්‍රථම  සිදු වූ තවත් කොටි ප්‍රහාරයක් නිසා ජනතාව බොහෝ සෙයින් කැළඹ සිටි කාලයකි. ඒ ශ්‍රී ධලදා මාලිගාවට ඊට දින කිහිපයට පෙර එල්ල කල ප්‍රහාරයයි. ඒ සම්බන්ධ අපූරු පින්තුරයක් අන්තර්ජාලයෙන් හමු විය. 
පින්තූරය ගත්තේ : http://www.lankanewspapers.com
බැංකුවේ සියලු දෙනා හමු වන දෙවන දිනය අදය. බැංකුවේ සේවයට යන්තම් අවුරුදු තුනකට කිට්ටු කාලයක් වන අප 11000ක් වන මහජන බැංකු සේවකයන්ගෙන් අඳුනාගෙන සිටියේ අතලොස්සකි. විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත ශාඛා වල අය සමග අප ගැටුනේ සුළු වශයෙනි. නමුත් මේ අය සමග කුළුපග වන්නට සහ කල්ලි ගැසෙන්නට අපට ගත වුයේ පැය කිහිපයකි. කල්ලි ගැසුනේ නිවසටම ඇරලවන නිසා ඒ ඒ මාර්ග වල අය එකතු වූ විටය. එවකට සාමාන්‍යධිකාරී වරයා වූ සහබන්දු මහතා ඉතා ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතාවක් කරමින් එහි තිබෙන භාරදුරත්වයත්, අප මහජනයාට සැලකිය යුතු ආකාරයත් විස්තර කරමින් කල කතාව අදටත් රැව් පිලි රැව් දෙන්නා සේ දැනේ. ඔහුගේ කතාව අවසන් කල වචන කිහිපය මට තවමත් මතකය. ඒ "So Mission Granted"  යන්නය. එය හුදෙක් ටිකට් විකිනීමකට වඩා මෙහෙයුමක් බව ඔහු එයින් අවධාරණය කර සිටියා. 

එම දේශණය අවසානයේ කණ්ඩායම් සඳහා නායකයන් තෝරා ගැනීම සිදු වුණා. මේ නායකයන් පුරුෂ පාර්ශවයට සීමා කෙරිණි. මා එක කණ්ඩායමක නායකයා විය යුතු බව රොහාන් පතිරගේ මහතා යෝජනා කලත් එයට කෙලින්ම විරෝධය දැක්වූ බොහෝ දෙනකේ පවසා සිටියේ ඒවා ඔෆිසර් වරයෙක්ගේ රාජකාරියක් බවත්, කිසිදින මුදල් ගණුදෙනු වලට හුරු නැති අප වැන්නන් මේ සඳහා නුසුදුසු බවත්ය. මොහොතකින් ඔවුන් නම් කල අය මේ නායකයන් ලෙස නම් කෙරිණි. එහෙත් දින දෙකකට පසු මා යලිත් කණ්ඩායම් නායකයෙකු කලේ, අර නම් කල අය ඒ පිලිබඳ දක්වන ලද මන්දෝත්සාහී ලක්ෂණ නිසාය. 

මගේ මතකයේ හැටියට තුන්වැනිදා පැය කිහිපයක් මහජනයාට මෙම ප්‍රදර්ශණය විවෘත්ත කර තිබිණි. රාත්‍රී අටට අවසන් වූ පසුත් ටිකට් ඉල්ලා පැමිණි එක් පුද්ගලයෙකුට කරුණාවෙන් කල ආයාචනය ඉක්මවා ආ කල මගේ මිත්‍රයා මලින් ඔහුට තේරෙන භාෂාවෙන් පිළිතුරු සපයා ඔහු නිහඬ කරවන ලදී. එහෙත් ආපසු මුදල් භාර දීමට යන අතර වාරයේ මා ඔහුට හොඳටම දෝශාරෝපනය කලේ ඒ හැසිරීම හරි නැති බව පවසමින්ය. පළමු දින රාත්‍රී ආහාරය ග්‍රේට් වෝල් චයිනීස් කෑම පාර්සලයකි. ඊට අමතරව කොකා කෝලා ලබා ගත හැකි ටිකට් දෙකක්ද දිනකට අපට ලබා දෙන ලදී. 

දෙවන දින එනම් හතරවන දින උදේ 9.00 ට සියලු දෙනා රැගෙන විත් තිබුණි. කඩවත, නුගේගොඩ, මොරටුව, වත්තල ආදී මධ්‍යාස්ථාන කිහිපයකට එකතු වන සියල්ල බැංකුවේ වාහන වලින් මෙම ස්ථානයට ගෙන ගොස් ඇරලවයි. අප එකතු වුයේ නුගේගොඩ ප්‍රාදේශීය කාර්යාලයටයි. එම ස්ථානයේ සිට විනාඩි ගණනකින් ටොරිංටන් පෙදෙසට ගමන් කල හැක. එනිසා එයට ලඟම කණ්ඩායම ලෙස අප උදේ සහ සවස යන කාල දෙකේදීම වෙලාව ඉතිරි විය. හතර වෙනිදා උදේ කාලයේ බොහෝ දෙනා නොපැමිණියත් පාසැල් සිසුන් තොග ගණනින් දිවයිනේ සියලු පළාත් වලින් ගලා ආවේ කුහුඹු රැලක් සේය. ඔවුන්ට අය  කිරීමේ ගාස්තුව රුපියල් දෙකකි, පාසැල් නොවන ළමුන් සඳහා රුපියල් පහක්ද, වැඩිහිටියන් සඳහා රුපියල් 10ක් ද වන සහන මිලකට ටිකට් නිකුත් කරන්නට යොදා තිබුණි. 

ලොතරැයි කූඩු මෙන් දැල් ගසා ටකරන් යොදා නිමවා තිබූ කූඩු මේ සති දෙකක කාලය අපට සෙවන සහ ආරක්ෂාව සැලසීය. පළමු දින දිවා අහාරය ලබා දුන්නේ අහාර දෙපාර්තමේන්තුව එම ස්ථානයේ පවත්වාගෙන ගිය කැන්ටිමෙනි. එය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට හේතු විය. පළමු දින අවසානයේදී අප සියලු දෙනා ඊට විරෝධය දක්වමින්, හොඳ අහාර වේලක් ලබා නොදුන්නොත් අප නැවත මේ සේවයට නොඑන බව පවසා සිටි විට, අපේ ප්‍රධානීන් වහා ක්‍රියාත්මක වී ග්‍රේට් වෝල් කෑම ලබා දීමට පොරොන්දු විය.




පින්තූර තුනම ගත්තේ : http://coins.lakdiva.org/

පින්තුරය ගත්තේ : http://notes.lakdiva.org
පින්තුරය ගත්තේ : http://notes.lakdiva.org : 200 නෝට්ටුව බහා තිබූ ඇසුරුම. මෙහි පිටපතක් මා ළඟ තවම තිබේ. 
මේ කාල සීමාවේදී දිවා ආහාරය  ගැනීම සඳහා අසල පිහිටි ආයතන වූ චාර්ටඩ් ආයතනය, දේවස්ථානය වැනි ස්ථාන වලට යාමට අප පුරුදු විය. තෙවන දිනයේදී අප සමග ආහාර ගත් පොලිස් කොස්තාපල් වරුන් කිහිප දෙනෙක් නරක වූ ඔවුන්ගේ ආහාරය කුණු කුඩයට ඔබනවා බලා සිටි අපට මහත් දුකක් ඇති වී, අප කල විරෝධය සහ ලැබුණු සුබදායි පිළිතුර පැහැදිලි කල විට ඔවුන් පවසා සිටියේ 

"යාපනයට මාරුවක් ලැබෙනවාට වඩා කෑම නොකා සිටීම හොඳයි" යන්නයි. ඔවුන් ගැන මහත් අනුකම්පාවක් අපට ඇති වුවත්, ඒ වනවිට අප සතුව ඔවුන්ට දීමට අහාර පැකට් කිසිවක් ඉතිරිව නොතිබිණි. අපට උවමනාවටත් වඩා බීම සහ කෙටි කෑම ලැබිණි. අපට ලැබෙන වැඩි බීම බෝතල් හමුදාවේ අයට දෙන්න අප අතර සිටි කෙනෙක් උත්සාහ කලත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කලේ ඔවුන්ගේ දැඩි විනය මොනවට පැහැදිලි කරමිනි. එහෙත් එක් දිනක් අසල වෙසෙන පොලිස් නිලධාරී මහතුන්ට බීම ලබා දුන් විට ඉතා කැමැත්තෙන් ඒවා ලබා ගත් ඔවුන්, ඊළඟ දිනයේද සුපුරුදු පරිදි ඒවා ලබා ගැනීමට පැමිණ සිටියේ ඔවුන්ගේ විනයෙහි අඩුවක්ද නැතිනම් ඔවුනට ලබා දෙන අඩු පහසුකම් මට්ටම නිසාදැයි තවමත් නොදනිමි. 

අපගේ මේ එකසිය ගණන තුලද විවිධ  කල්ලි ගැසීම් ඇති වීම වැලක්වීමට නොහැකි විය. ඒවා විස්තර කලොත් කලින් පණින කණ්ඩායම්, අයිස් ගසන කණ්ඩායම්, උද්යෝගයෙන් වැඩ කල කණ්ඩායම්, සහ ඕපාදුප කණ්ඩායම්, සහ වනිතා කටයුතු පිලිබඳ උනන්දු කණ්ඩායම් වශයෙනි. මෙය අපේ ආයතනයට විශේෂ වූ දෙයක් නොව ශ්‍රී ලංකාවේ ඕනෑම ජන සමූහයක හරස්කඩ කියා පාන දර්ශකයකි. 

අවසානවකට මේ කලින් පණින කණ්ඩායම් කිහිපයෙන් එකක් මා ගමන් කරන රථයේද විය. ඔවුන් දවස් දෙකක් තුනක් යද්දී එක කණ්ඩායමට එක් වී රාත්‍රීය වනවිට අඳුරු මුල්ලක තිබෙන කූඩුවක් සොයාගෙන දහවලේදීද අනෙක් කූඩු වලට ජනයා යොමු කරමින්, ප්‍රදර්ශන භුමියේ ජනතාව අතර සැඟවී කාලය ගෙවා, රාත්‍රී හත වනවිට එම කූඩුවේ විදුලිය නිවා දමා, සෙනග නැති පවසමින් අට වනවිට මුදල් තුලනය කර බාර දී රාත්‍රී ආහාරයද ගෙන යාමට සුදානම් වෙයි. ඔවුන්ට ලොකුම බාදාව වුයේ මමයි. මා රාත්‍රී අට වනතුරුත් වැඩ කර තවත් පැය භාගයක් පමණ ගෙන පැමිණෙන විට ඔවුන්ගේ මුහුණු බලන්නට බැරි තත්වයේ තිබුණි. මගේ මිත්‍ර මලින් මාගේ ඇඟට ගොඩ වූ පසු අප දෙදෙනා අතර නොහොඳ-නෝක්කාඩුවක් ඇති විය. මා ඔහු සමග කතා කලේ ප්‍රදර්ශනයද නිම වී දින කිහිපයකට පසුවය. නමුත් සත්‍ය තත්වය නම් අනෙක් අය මා නැති තැන කරන දෝෂාරෝපණය ඉවසා සිටීමට බැරි තැන ඔහු එසේ කල බවය. 

අයිස් ගසන කණ්ඩායම ඒ වනවිට අවුරුදු 15-16 සේවය කර තෙම්පරාදු වූ පිරිමි අයයි. ඔවුන් බොහෝ විට පැමිණෙන්නේ ප්‍රමාද වීය. ඒ වනවිට ටිකට් කවුළු වලට කණ්ඩායම් යවා අවසානය. ඔවුන් කරන්නේ කෑම-බීම බෙදා හැරීමය. අද මොන කවුන්ටරේදැයි ඔවුන්ගේ විමසූ  "වතුර පාටියේ " වැඩ කාරනාව යනුවෙන් පවසයි. ඔවුන් කලේ මේ අයිස් ක්‍රීඩාවය.

උද්යෝගයෙන් වැඩ කල කණ්ඩායමට මම අයිති වුවද, අධි උද්යෝගයෙන් වැඩ කල කණ්ඩායමක්ද එහි විය. ඔවුන්ට නායකත්වය දුන්නේ පතිනායක නමැති පැරණි එමෙන්ම යුනියන් නියෝජිතයාය. ඔවුන්ගේ අරමුණ උපරිම ටිකට් ගණනක් විකිණීමය. ඔවුන් තෝරා ගන්නේ කස්සප පාරට හැරෙන තැන ඇති බස් නැවතුම අසල ටිකට් කවුන්ටරයය. එහි කෙතරම් ටිකට් විකෙනනවාද යන්න පැහැදිලි වන්නේ ඔවුන් දිනකදී කරන ලද මුදල් එකතුව දකින විටය. ඒ රුපියල් 225,000 ක්ය. එම ප්‍රදර්ශනයට එක් දිනක ආ ජනකාය ඔබට හිතා ගත හැක. එම දින දී මගේ කවුන්ටරයේ එකතුව රුපියල් 175,000 කි. එදින පෝර උරයක රුපියල් 125,000 ක්ද කඩා ඉතිරි ටිකට් කොටස්ද පුරාවාගෙන මා ප්‍රධාන දොරටුවෙන්ම ගමන් ගත්තද, ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකුටද එම දොරටුවෙන් යා නොහැකි විය. හේතුව අපගේ හැඳුනුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ එකක් වීමය. 

ඔපාදූප කණ්ඩායම අයිස් කණ්ඩායමේ අනෙක් පැත්තයි. ඒ කියන්නේ ඔවුන් පැරණි කාන්තා කණ්ඩායම වූ අතර ඔවුන් රස කතා කීමට ඇසීමට වැඩි කාලයක් ගත කරන්නට පුරුදු වී තිබුණා. මුලින් මුලින් මා සිටි කවුන්ටර් වලදී රසකතා කියා කෙල්ලන් අතර මා ජනප්‍රිය වීම නිසා ටික කලකදී මෙම කාන්තාවන් මා සිටින කවුන්ටරයට ඉල්ලාගෙන පැමිණීමට බොහෝ දෙනාට ගැටළුවක් වුනා. 

රුයදුරු මහත්වරුන් මෙය නම් කර තිබුනේ "චන්ද්‍රිකාගේ ඇපල් වත්ත" කියාය. හේතුව ඔවුන්ට ඇති වන්නට අතිකාල දීමනා මෙමගින් ලැබී තිබුන නිසාය. නමුත් එහි සේවය කල අපට විශේෂ උත්සවයක් තබා රුපියල් 8,000 ක් පමණක් ලබා දුනි. ඒ රත්තරං කාසිය්කට සමාන අගයක්ය. එක් දිනක් සතුටු සාමීචියේදී ඩොක්ටර් සිරිවර්ධනගෙන් 

"දැන් අපිට ඉවර වුනාම මෙඩල් එකක් දෙනවද සර්" කියා තරමක් පැරණි සේවිකාවක් අසා සිටි විට,  දිව විකාගෙන මෙන් කතා කරන එතුමා

"මෙජල් ඕන අයට  මෙජල් දෙන්නම්, තල්ලි ඕන අයට තල්ලි දෙන්නම්. හැබැයි මෙජලුයි තල්ලියි දෙකම බෑ" කීවේ බොහෝ දෙනා සිනා සාගරයක ගිල්වමිනි. අප සිනාසුනේ ඇයිදැයි ඔහු තවමත් නොදන්නවාට සැක නැත. මෙය ඒ වෙලාවේදී කී අයුරින්ම අකිල කියන ආකාරෙන් මෙහි සටහන් කලෙමි. 

මෙහි එක් දිනක් වැඩ කල විට අනෙක් දින නිවාඩුය. එකල බෝඩිමක පසු වූ මට නිකං ගෙදර ඉන්න වෙන එක මහා දඬුවමක්ය. බොහෝ දින වල මා කලේ ස්වේච්චාවෙන් සේවයට යාමයි. එවැනි දිනක වෑන් රථය නැතිව නුගේගොඩ එකතු වූ අප තිදෙනෙක් බස් රථයේ යාමට තීරණය කලා. මා හැරුණු කොට සිටි දෙදෙනා සරසවි වරම් ලබා අපගේ සේවය එකතු වූ තරුණියන් දෙදෙනෙකි. දෙදෙනාගෙන් එක් අයෙක් ඉතාම පියකරුය. මේ දෙදෙනා සමග කතාවට එක් වූ වට අර ලස්සන යුවතිය මා ඒ ලෙවල් කල අවුරුද්ද විමසා සිටියා. මා අසාධාරණයක් නොවන්න මේ දෙදෙනා සමගම කතාබස් කරමින් දහවල් 11.00 වනවිට ප්‍රදර්ශන භූමියට ලඟා වුනා. සුමතිපාල මහතා අප තිදෙනාට ප්‍රමාදය ගැන දොස් පවරා, පාලුවට ගිය එක් කවුන්ටරයට අපව වාහනයකින්ම පිටත් කර යැව්වා. පැය භාගයක් ඇතුලත ආ ජන ගංගාව නිසා අකරතැබ්බ දෙකක්ම විය. ඒ කවුන්ටරයට එන සෙනග වැඩි නිසා අර පියකරු යුවතිය හා දොඩමලු වීමට තිබූ අවස්තාව අහිමි වීම හා සෙනග විසින් තල්ලු කල කවුන්ටරයේ නායකයා ලෙස ඔවුන් දෙදෙනා හා මගේ ජීවිතය බේරා ගැනීමට දැල් කූඩුව දෑතින් දරා ගන්නට ගොස් ඇඟිල්ලක් තුවාල වීමයි. මිනිත්තු කිහිපයකදී වාහනයකින් පැමිණ ඔවුන් දෙදෙනාද, පසුව මමද එම කවුන්ටර් වලින් ආපසු රැගෙන රැස්වීම ශාලාවට ගෙන ගියා, ඒ වන විට සියලුම කවුන්ටර් වසා අනෙක් සියලු දෙනාද එහි වුනා. 

මෙඩල් දෙන පොරෝදුව ඇසූ සැනින් ඊට සමාන මුදලක් තමන් ලබා ගන්න බව පවසා ඒ මුදල ලබා ගත් කිහිප දෙනා වාසනාවන්ත විය. කිසිවෙකුට පසුව මෙඩල් ලබා දීමක් නොවීය. එහෙත් සියලු දෙනාට රාත්‍රී ආහාරයක් සමග රුපියල් 8,000 ක් ත්‍යාගයක් ලබා දුනි. 

ඉතාම සතුටින් ගෙවූ කාලයක් අවසානයේ රාජකාරි වලට යනවිට බොහෝ දෙනාට වැලි කැස්සක් සහ දුඹුරු පැහැ ගැහුණු සමක් උරුම වුණේ ඒ කාලෙයේ ලංකාව හරහා හමා ගිය "එල්-නිනෝ" නමැති තාප තරංගය නිසා යයි සමහරුන්ගේ මතය විය. අප ලැබූ 50 වන නිදහස සති දෙකකට සීමා විය. 

______________________________________________
පසුව මතක් වූ නොකියාම බැරි කොටස් 

දිනක් මමත් තුෂාරත්(අධි - උද්යෝගී කණ්ඩායමේ කෙනෙක්) කෑම තිබෙන පෙදෙසේ සරි සරද්දී ඩොක්ටර් සිරිවර්ධන මහතාට මුණ ගැසිනි. අපට බැනුම් අසන්න වේදෝ බියෙන් මා ඉදිරිපත් වී "හරිම බඩගිනියි සර් කන්න මොනවා හරි හොයාගෙන ආවේ" යි කී විට, "ආ මමත් මේ ෆුඩ් ඩිපාට්මන්ට් කැන්ටිම පැත්තේ ගිහින් එන ගමන්, එතන තියෙනවා හොඳ මාළු පාන්, ගිහින් කන්න" කීවිට අපට මහත් අස්වැසිල්ලක් දැනිණි.

තවත් දිනක කොකා කෝලා වෙළඳ කුටියට යන වාරයේ කාන්තා ඔරලෝසුවක් ඇහිඳ, දැන් කුමක් කරන්නද? මේ එක්සිබිෂන් එකේ අයිති කාරයා සොයන එක ලේසි කාරියක් නොවන බැවින් මා සමග සිටි සුනිල්ගෙන් ඒ ගැන විමසා සිටියෙමි. "ඔන්න ඕක අපේ කාට හරි දීපං" යයි කී විට. එදින මගේ කවුන්ටරයේ වැඩ කල ඉන්දු ට දුන්නේමි. අවුරුදු කීපයකට පසු ඇගේ ශාඛාවට ගිය විට "මේ අර ඔරලෝසුව" යයි ඈ පෙන්වීය.  

මා මෙහි සඳහන් කල කාන්තාවන් පිලිබඳ උනන්දු කණ්ඩායම ගැන විස්තර කොට නැත. එම කණ්ඩායමට අයිති එක් මහතෙක් තමාගේ කණ්ඩායමට එක්තරා කාන්තාවක් ඇතුලත් කරන ලෙස සෑම උදේම ඇවිටිලි කරයි. නමුත් එවිට ඔහුට විමලරත්න මහතා  සැර  වූ ආකාරය මට අදටත් සිහියට නැගේ. ඔහු අද කළමනාකරුවෙකි.

මුලින් සතියකට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය 25 වන දින දක්වා දීර්ඝ කලේ, දිනපතා එන අධික ජන ගංගාව සැලකිල්ලට ගනිමිනි.

ඒ කාලයේ මේ ප්‍රදර්ශනයේ වාදනය වූ ගීත අතර "පොල් කට්ටට වතුර අරං මුහුණ සෝදලා හනිකට.... පස්ස ඉරුණු කලිසම ඇඳ අකුරු කරන්නට යනවිට " ගීතය මට අදටත් මතකය.

සෑම දිනකම අවසානයේ සංගීත ප්‍රසංගයක් පවත්වයි. එක් දිනක් අපද අවසාන පේලි වල සිට මොහොතක් එය නරඹමින් සිටියෙමු. අපේ කණ්ඩායමේ පස් දෙනාගෙන් දෙදෙනක් කාන්තාවන්ය. පෙබරවාරි මාසයේ වැහි බින්දුවක් හෝ නොතිබි 1998 වසරේ, ඉදිරියෙන් නැගෙන දුහුවිලි දැක, "මේ මිස්ට් එක නෙවෙයි, ඩස්ට් එක" යයි මා අසල සිටි උදිත පැවසීය. මේ වන විටත් නාසය පමණක් ලේන්සුවෙන් බැඳගෙන සිටි නිසා අපට ගැටළුවක් නොවීය. රාජකාරි අවසන් වී තිබුනත් මා ටයි එක බුරුල් කළා මිස ඉවත් කලේ නැත. ජානාධිපති කාර්යාලයෙන් ලබා දුන් හැඳුනුම්පත්ද කරේ දමාගෙන සිටියෙමි. අප සිටි තැන එක් වරම විශාල ගැටුමක් ඇති විය. කොහෙන්දෝ මතු වූ (රහස් පොලිස්) ආරක්ෂකයි කිහිප දෙනෙක් (ඔවුන් නිල ඇඳුම් ඇඳ සිටියේ නැත, ටී ෂර්ට් එකේ වෝකි ටෝකි ගසාගෙන සිටි බැවින් ඔවුන් ආරක්ෂක අංශයේ බව පැහැදිලි විය) "කාටද ගේම ඕනේ ?" යනුවෙන් කෑ ගසා මා අසල සිටි සුමිත්ගේ ද අතින් අල්ලා ගත විට "අපි ස්ටාෆ් " යයි සුමිත් කීවද ඔවුන් අත අරින පාටක් නොවීය. එවිට මා ඉදිරිපත් වී "ඔව් මේ අපේ ස්ටාෆ් කට්ටිය" කී විට ඔහු නිදහස් කරන ලද අතර, මේ වනවිට මගේ දෙපස සිටි කාන්තා පාර්ශවේ දෙදෙනා මාගේ අත් දෙකේ එල්ලී සිටින විට මට දැනුනේ මා මහා වීරයකු ලෙසයි.

මේ ප්‍රදර්ශනයේ මගේ සිත් ගත් අංගය වුයේ ස්වයන්ක්‍රීයව ආප්ප හදන යන්ත්‍රයයි. එහි පිටි වැක් කිරීම, තාච්චිය කරකැවීම, පියනින් වැසීම, ඉවත් කිරීමට ප්‍රථම පිහියක් වැනි උපකරණයකින් බුරුල් කිරීම, පිඟානක් මතට වැටීම දක්වා සියලු කටයුතු ස්‌වයංක්‍රීයව සිදු වුනි.  

මෙහි අප විකුණනු ලැබූ ටිකට් පොත් වල මැද ටිකට් අඩු බව අපට මුල් දිනයේම තේරුම් ගොස් ඒ ගැන දන්වා සිටි විට, එසේ අඩු වන ඒවාට අප මුදල් ගෙවිය යුතු නැති බව දන්වන ලදී. ඉන් පසු අප සියලු ටිකට් පොත් වල විකිණීමට ප්‍රථම ටිකට් ගණන් කලේ දවසකට 100 පමණ අඩු වුවහොත් එය පිළිගත නොහැකි නිසාය. ටිකට් කැඩීමට කෙටි ක්‍රමයක් මා හඳුන්වා දුන්නේ එක වර ටිකට් 10-15 ඉල්ලන විට ඒවාට වෙලාව ගත වන බැවිනි, පොතේ දැන් තිබෙන අංකයට ඉල්ලන අංකය එකතු කර කෙලින්ම ටිකට් කඩා දෙන විට අපේ අයද, පැමිණෙන යද පුදුමයට පත් විය. (උදා : නොකඩා ඉතිරිව ඇති ටිකට්  අංකය 004 නම් ඉල්ලන ගණන 15ක් නම් එකතුව 19 වේ, එවිට 019 හැර ඉතිරි ටික එකවර කඩා ගත් විට ටිකට් 15ක් දිය හැක) එහෙත් අතර මැද ටිකට් නැති විට ගැටළු ඇති වේ. නමුත් මුලින් ගණන් කරනා නිසා එවැනි ටිකට් පත් භාවිතා කලේ නැත. 

එක් දිනක් පොලිස් ප්‍රධානියෙක් (ඔහු එම කනිෂ්ඨ එහෙත් වියපත් කොස්තාපල් වරයා මඩවනවා සේ තේරිණි) රාත්‍රී අටට පමණ සියලු දෙනා පරීක්ෂා කරන්නයි කොස්තාපල් වරයාට අණ කළේය. ඔහු මගේ පෝර මල්ල පරීක්ෂා නොකොට මට යන්නට කී විට "ඒකත් බලපන් යකෝ" යයි ගෝරනාඩු කලේ අර නිලධාරියා ඉතා පහත් තත්වයකට ඇද දමමිනි. 

_____________________________________
හුඟක් පස්සේ මතක් වුන දෙයක් (2013.02.06)

මම නිවාඩු දවසක සැහැල්ලු ඇඳුමෙන් සැරසිලා ගියා ප්‍රදර්ශනය බලන්නම ඕනේ නිසා. ඒ යනකොට ගේට්ටුවේ සාමාන්‍ය පරීක්ෂාවට ලක් වුණා. මගේ ජංගම දුරකථනය ඔවුන්ට ලොකු ප්‍රශ්ණයක් වුණා. එහි බැටරිය ගලවා පෙන්වන්න සිදු වුණා. පසුව එය දුරකථනයක්මදැයි පැහැදිලි කර ගැනීමට වෙනත් දුරකතනයකට ඇමතුමක් ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ කාලේ දුරකථන ඇමතුමකට රුපියල් 8.00ක්. මම මගේ හොඳම මිතුරකුට දුරකථන ඇමතුමක් ගත්තා. ඒ කාලේ දුරකථනයත් බෝමබයක් යයි සැක කල කාලයක්. මෙය සටහන් කලේ තව ටික කාලෙකින් ඒ කාලේ තිබුණ මර බිය අමතක වුණ අයට සහ එය නොදැනුන යට දැන ගන්න. 


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...