Thursday, January 31, 2013

කෙටිම කෙටි ලොල් කතා අංක 27 - රණේගේ ප්‍රථම හාදුව

දැන් කීප දෙනෙක් මමත් එක්ක ඔරොප්පුවෙන් ඉන්නේ එක දිගට ක්‍රිකට් ගැන ලියනවා කියලා. ඇත්තටම ඉතින් මගේ අත්දැකීම් වල මම වැඩියෙන්ම කැමති කොටස ක්‍රිකට් සම්බන්ධ ඒවා. ඒ වගේම මගේ ක්‍රිකට් ගැන කැමැත්ත කොයි වගේද කියලා කවුරුත් දන්නවනේ. ඒක දන්නා නිසා තමයි ගම්පහ ගෙට් එකේදී අමුතු ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන්න මට අවස්ථාව දෙන්න ඇත්තේ. ඒ මොනවා වුනත් අටමා බුදුන් වඳින දෑතින් වැඳලා කියලා තියෙනවා නේ දැන් ක්‍රිකට් ගැන ලිව්වා ඇති කියලා. ඒ නිසා මම ලියපු වර්ග වලින් වැඩිම ජනප්‍රියත්වයක් තියෙන ලොල් කතා සීරීස් එකේ තවත් එකක් ලියන්න ඕනේ කියල හිතුවා. අනිත් එක ගෙට්ටුවෙදී අලුතෙන් අඳුනා ගත් අයත් බ්ලොග් එකට එකතු වෙලා ඉන්න වෙලාවේ හැමෝටම බලන්න ආස හිතෙන එකක් ලියන්න වටිනවා කියලා මටත් හිතුනා. 

මම මේ බ්ලොග් එක පටන් ගත්ත වෙලාවේදී කිව්වෙත්, මේ බ්ලොග් එකේ තේමා පාඨයෙන් කියවෙන්නෙත් මගේ රාජකාරී දිවියේ අත්දැකීම් බෙදා ගන්නවා කියලා. ඒ වුනාට මොකද මම තාම රැකියාස්තානගේ සිදුවීම් ලියලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ කතාව වුනත් අහපු කතාවක් මිසක් මට සෘජුව සම්බන්ධ එකක් නෙවෙයි. 

මේ කතාව පටන් ගන්න කලින් කියන්න තවත් කාරනාවක් තියෙනවා. මම ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දා දුටු පේටන්ට් සංකල්පය කෙටි කරලා ඕනෑම කතාවක් වචන සීයයි බ්ලොග් එකට ලියපු තෙල් බෙහෙත් වෙළෙන්දාගේ පාපොච්චාරණය පහුගිය සෙනසුරාදා පිට වෙච්ච තරුණයා පත්තරේ පල කරලා. එයාලා එතැන මගේ බ්ලොග් එකේ නමත් සඳහන් කරලා තියෙන නිසා සතුටුයි. මට මේක පෙන්නුවේ අපේ බ්ලොග් හිතවත්තු දෙන්නෙක් වන සමියා සහ දේශ්. ඉතිං ඒ දෙදෙනාට ස්තුති කරන්නත් මම මේක අවස්තාවක් කර ගන්නවා. එයාල නොපෙන්නුවා නම් මම ඒක දකින්නේ නෑ. 

ඉහලින් තියෙන කාරණා තුන නොලියා ගහෙන් ගෙඩි එන්න වගේ මේ කතාව ලියන එක හරි නැති නිසයි ඒ ටික සඳහන් කලේ. දැන් අපේ නියම කතාවට යමු. මේක බැංකුවේ කතාවක්. 

රණේ කියන්නේ අපේ කතා නායකයාගේ නියම නම නොවුනත් ඔහුගේ වාසගම තියෙන කෙනෙකුට අපේ සමාජයේ අය අමතන්න යොදා ගන්න හුරතල් නාමේ. එතකොට ඔය වාසගමට රණවීර, රණසිංහ,රණතුංග මේ කැමති එකක් හිතා ගත්තට වරදක් නෑ. රණේට බැංකුවේ පත්වීම ලැබුනේ 1978 නැත්තම් 79 දී. මේක කියවන සමහරු ඉපදිලා නැතිවත් ඇති. එයාගේ පෙම්වතිය වෙච්ච පසුව විවාහ වෙච්ච සීතා මහත්මියත් මේ එකම බැච් එකේ දෙන්නා. එකම බ්‍රාන්ච් එකට වැටුනේ. මේ බ්‍රාන්ච් එක කොළඹ කොම්පඤ්ඤවීඩිය කිට්ටුව බ්‍රාන්ච් එකක්. එහෙම කිව්වේ හරියටම බ්‍රාන්ච් එක කිව්වොත් කෙනෙක්ට මම කියන කෙනාව අඳුනා ගන්න පුළුවන් වෙන නිසා. මගේ බ්ලොග් පොස්ට් වල නම් සඳහන් වෙච්ච අපේ සමහර මාත්වරු ඉන්නේ ඒ ගැන වැඩි හිත සතුටකින් නෙවෙයි කියලා ආරංචි වුන නිසා ශරීර සෞඛයටත් හොඳ නිසා ටිකක් සඟවලා ලියන්න හිතුවා. 

ඉතින් අපේ රනේ බොහොම කඩවසම් තරුණයා ඒ කාලේ. හිතාගන්නකෝ අර චිත්‍රපටි වල විජේ කුමාරතුංග මහත්මයා ඇඳගෙන ඉන්න අර රවුම් ලොකු කොලර් ෂර්ට් අඳිනා කාලේ. කනෙන් භාගයක් වැහෙන්න වලස් තොප්පිය වගේ හෙයාර් කට් එක ගහන කාලේ. උසට ගැලපෙන මහතා ඒත් ටිකක් විතර කුලෑටි අපේ රණේට ඒ ශාකාවේම අල්ලපු කවුන්ටරේ වැඩ කරන සීතා කෙල්ල ගැන පිලිබඳ සිතක් පහල වුණා. සීතා කෙල්ලත් හිරිමල් ගැටිස්සි. ඉස්කෝලෙන් අවුට් වෙච්ච් ගමන්මයි බැංකුවට එකතු වුනේ. අපේ රනේ තරම් උස මහතා නැති වුනත් හුරුබුහුටියි. රණේ තරම් සුදු නැති වුනත් තලෙලුයි. රණේට ඇයව කොයි තරම් හිතට වැදුනද කිව්වොත් බලන බලන හැම අතකම ඇයව පේන්න ගත්තා. තනියම ඉන්න වෙලාවට ඇයගේ අත අරගෙන විහාර මහා දේවි පාර්ක් එකට යන, බ්‍රාන්ච් එක කිට්ටුවම තියෙන එම්පයර් එකට ෆිල්ම් බලන්න යන දර්ශන හින්දි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනා. දෑසින් කරන ඉඟි බිඟිත්, මිතුරන්ගේ ඇනුම් පදත් නිස මේ දෙදෙනා ටික කලක් යනකොට නිකංම පෙම්වතුන් බවට පත් වුණා. 

දැන් මේක පටන් ගත්ත දවසේ ඉඳන් රණේට මිතුරන්ගෙන් ගැලවීමක් නැති වුනා.

"අයියෝ තාම ෆිල්ම් එකක් වත් බැලුවේ නැද්ද, ඔය ලයිබ්‍රියටයි, විහාර මහාදේවී පාක් එකටයි ගිහිං කොහොමද ලව් කරන්නේ. (කනට කර රහසින්) තාම කිස් එකක් වත් දුන්නේ නැත්ද?"

ඒත් අපේ රණේට මේ වගේ එකක් සීතාගෙන් අහන්න ගටක් නෑ. තවත් අතකින් මේක සෙට් වුන දවසේ ඉඳලා සීතා නහයෙන් අඬන්න පටන් ගත්තේ

"කවදද අපේ ගෙඅර එන්නේ ?" කියලා. දන්නැද්ද ඉතිං ඒ කාලේ ගෑණු ළමයි බොහොම ලැජ්ජා බයට හැදුන නිසා දෙමව් පියන්ගේ අවසරයක් නැතිව වතුර ටිකක්වත් බොන්නේ නෑ. හැබැයි හැමදාම ගෙදරින් එනකොට මොකක් හරි බොරුවක් කියලා රණේටත් එක්ක බත් මුලක් ගැට ගහගෙන එන්න සීතා කෙල්ලත් පසුබට වුනේ නෑ. 

මේ වැඩේ හරි යන්නෙම නැති තැන රණේගේ හොඳම මිතුරා ඇයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා

"අයියෝ සීතෝ අපි නම් සෙට් වෙලා මාසයක් යනකොට ෆිල්ම් එකක් බැලුවා. උඹලා තාම ළදරුවෝ වගේනේ. මේ දවස් වල ලස්සන හින්දි චිත්‍රපටියක් යන්නේ. ආයි බලන්න හම්බ වෙන්නේ නෑ. මම රණයට කියන්නම් එක්කං යන්න කියල. උඹ කැමතියි නේද ?"

"අනේ මං දැන්නෑ ඇනයියේ, අම්මලා දැන ගත්තොතින් මොනවැයින් මොනවා වෙයිද දන්නෑ. අපේ තාත්තා හරි වසයි"

"අනේ මෝඩියේ කවුද ඕවා අම්මලට කියන්නේ. උඹලා බැඳලා ළමයිත් හම්බ වුනහමද ෆිල්ම් එකක් බලන්නේ ? ඔන්න හෙට ෂෝට් ලීව් එකක් දාලා පලයන් දෙන්නත් එක්ක. පයින්ම යන්නත් පුළුවන් එකේ. රණයට මම කියන්නම් කලින් ගිහින් ටිකට් ගන්න කියලා. අපි කවුන්ටරේ වැඩ බලා ගන්නම්. "

පහුවදා රණේ මනමාලයා වගේ ඇඳලා වැඩට ආවේ. අනිත් කොල්ලේ නැති තැන මේ ගැන කතා වුනත් රණේට මූනට මොනවත් කියන්න ගියේ නෑ. මොකද රණයට තද වුනාම අතට අහු වෙන එකෙන් ගහන ජාතියේ මුලං කාරයා නිසා. කොහොමින් කොහොමින් හරි හවස් තුනත් වුණා. රණයට වෙලාව යන්නේ හෙමින් වගේ තමයි එදා දැනුණේ. බොහොම අමාරුවෙන් පචයක් ගහලා තමයි මැනේජර් මහත්තයා ශේප් කරගෙන සීතා එලියට බැස්සේ. රණේ වරුවක් නිවාඩු දාලා තමයි පිට වෙලා තිබුණේ. හොර පූසෙක් වගේ ටවුමේ කරක් ගහලා බැල්කනි ටිකට් දෙකක් අරගෙන එලියට ඇවිත් සීතාගේ කුඩය යටටම් රිංගාලා ඇසුරු සැණින් දෙන්නා ෆිල්ම් හෝල් එකට රිංගලා බැල්කනියට ගොඩ වුනේ ඉහින් කනින් දාඩිය දාගෙන. ඒ තරමට දෙන්නා බය වෙලා හිටියේ. 

තවත් විනාඩි 10-15 කට පස්සේ ශාලාව අඳුරු වෙලා චිත්‍රපටිය ඇරඹුනා. දැන් රනේගේ හිතේ තියෙන්නේ සීතාට කොහොම හරි කිස් එකක් දී ගන්න. සීතා චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්නවා. මේ වෙනකොට ඇය අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි චිත්රපටි නරඹලා තිබුණේ. ඉතා වේගයෙන් කාලය ගෙවීගෙන යනවා. සීතා සමවැදිලා චිත්රපටිය නරඹනවා. රනේ දෙතුන් වතාවක්ම සීතාගේ මුහුණට මුණ කිට්ටු කලත් කරුමෙට එක්කෝ එලිය ටිකක් වැඩි වෙනවා, නැත්නම් කව්රු හරි බලාගෙන ඉන්නවා කියන විචිකිච්චාව රණේගේ හිතේ වැඩ කරනවා. රණේගේ පපුව යකාගේ කම්මල වගේ වැඩ කරනවා. අන්තීමට හිතට දහිරිය ගත්ත රනේ එක පාරටම සීතාගේ බෙල්ල සිප ගත්තා. සීතාගේ කටින් මර ලතෝනියක් පිට වුණා. චිට්‍රපටිය නවතලා ශාලාවේ ලයිට් දැල්වුණා. හැම දෙනෙක්ම දැන් මේ යුවල දිහා බලාගෙන ඉන්නවා. සීතාට සිහිය නෑ. අන්තිමට වතුර ගහලා තමයි සිහිය ගත්තේ. ඒ එක්කම රණේ සීතාවත් එක්කං එලියට යනවා. හේතුව මොකක්ද ?
පින්තුරය ගත්තේ : http://vancouverisawesome.com

දිගටම පෙන්නගෙන ආපු හින්දි චිත්‍රපටිය ඉවර වෙලා එදා උදේ තමයි වැම්පයර් චිත්‍රපටියක් පෙන්නන්න අරගෙන තියෙන්නේ. රණේට තිබුන කලබයල නිසා ෆිල්ම් එක මොකක්ද කියලා බලන්න අමතක වෙලා. පස්සේ පෙම්වතියගෙන දැනගෙන තියෙන්නේ හරියටම වැම්පයර් චිත්‍රපටියේ ඉන්න කාන්තාවකගේ බෙල්ල හපලා ලේ බොන දර්ශණය යනකොටම තමයි අපේ රණේ ඇගේ බෙල්ල සිපගෙන තියෙන්නේ. :)

ප:ලි: බ්ලොග් ගෙට්ටුවෙදී මා සොයා පැමිණි මට ටී ෂර්ට් එකක් පරිත්‍යාග කල සුනිල් සංජීව මෙන්ඩිස් මහතාට මගේ කෘතඥතාව.

Tuesday, January 29, 2013

බොරු නැත්තෙමය මහතුන් පැවසූ තෙපුල - I

ඒ 1991 වර්ෂයයි. මාසය සහ දිනය පිලිබඳ මට නිශ්චිත මතකයක් නැත. මර්කන්ටයිල් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක වුයේ සය සාමාජික ක්‍රිකට් තරගාවලියකි. එය එම  සංගමය වාර්ෂිකව පවත්වන්නක්. කණ්ඩායම් 50ක් වත් එතැන ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වුනා. ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැඩි පිරිසක් ක්‍රීඩා කලේ නවලෝක කණ්ඩායමටයි. එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අරවින්ද එම කණ්ඩායමට ක්‍රීඩා කළා. නවලෝක සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු කණ්ඩායම් තරගය දෙස සියලු දෙනාගේ ඇස් යොමු වී තිබුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ බැංකු කණ්ඩායම. දුමින්ද පෙරේරා යැවූ මුල්ම පන්දු තුනටම හයේ පහර තුනකින් සංග්‍රහ කල චමින්ද ප්‍රනාන්දු ඇතුළු බැංකු කන්ඩායම ලකුණ 85ක් ලබා ගත්තා. අද නම් නවලෝකෙ මුල් මැච් එකෙන්ම එලියට යයි යන්න කාගේත් විශ්වාසය වුනා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට අරවින්ද සමග බටු කොල්ලෙකු ක්‍රීඩාංගනය තුලට ආවා. අරවින්දත් පළමු පන්දු තුනට හයේ පහරවල් එල්ල කලේ එකට එක කිරීමක් වගේ. අර බටු කොල්ලාගේ නම කලුවිතාරණ බව ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දැන ගත්තා. කලුවිතාරණ කුඩා කොලුවෙකු වුවද සියලුම පහරවල් එල්ල කලේ ක්‍රීඩාංගනයට එළියෙන් තිබෙන විශාල ගොඩනැගිලි වල වහලවල් වලට උඩින් යන්නයි. තරගය පන්දු ඕවර තුනයි බෝල ගණනකින් අවසන් කරන්නට මේ කුඩා මිනිසාට හැකි වුනා. 

රොමේෂ් කලුවිතාරණ. අමුතුවෙන් ඔහු ගැන අටුවා ටීකා ලියන්නට අවශ්‍යද? ටෝනි ග්‍රෙග් මහතා  "ලිට්ල් කලූ", "ලිට්ල් ඩයිනමෝ" හෝ "ලිට්ල් ඩයිනමයිට්" යන හුරතල් නාම වලින් අන්තර්ජාතික විස්තර විචාර වලින් හැඳින්වූ රොමේෂ් කලුවිතාරණ මහතා සමග සම්මුඛ සාකච්චාවක් කරන්න සුදීකට අවස්ථාව ලබා දුන්නේ මුද්‍රිත සහ රුපවාහිනි මාධ්‍ය කරුවන් බොහෝ දෙනෙක් සිටියදී. එය සිංහලෙන් බ්ලොග් කරන ඔබ අප සැම දෙනා ලැබූ ජයග්‍රහණයක්.   පසුගිය 26 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වූ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ආරාධිතයකු ලෙස ඔහු පැමිණසිටියා. රොමේෂ් කලුවිතාරණ යනු ඉතාමත් නිහතමානී සුහදශීලී වචනයේ පරිසමාප්ත් අර්ථයෙන්ම මහත්මයෙක් බව මා මෙහි සඳහන් කලත් නැතත් ඔබ දන්නවා. එවැනි මහත්මයකු සමග සජීවීව සම්මුඛ සාකච්චාවක් කරන්න ලැබීම මහත් භාග්‍යයක්. දැන් මා ඇසූ දේ සහ  ඔහු ලබා දුන් පිළිතුරු බලමු.



ප්‍රශ්නය : ඔබ හිතනවද අධ්‍යාපනයයි ක්‍රීඩාවයි එකට යනවා කියල ?

මං හිතන්නේ ක්‍රීඩාව සියලු දෙනාටම ජීවිතයේ ලබන්න පුළුවන් ලොකුම එක්ස්පීරියන්ස් එකක්. මොකද අධ්‍යාපන කරන කෙනෙකුට ඇත්තටම ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් උගන්වනවා. එකක් පේෂන්ස්, ඒ වගේම සාමුහිකව වැඩ කරන්න, ඒ වගේම බලාපොරොත්තුවක් ඇතුව ඉල්ක්කයකට වැඩ කරන්න. මං හිතන්නේ කණ්ඩායම් හැගීම්, මේ කියන සියලු දේම  තියෙනවා  ක්‍රීඩාවකදී.  ඉතිං ඒ සියළු දේත් එක්ක  තමන්ගේ අධ්‍යාපනය හොඳ තත්වෙකට ගෙන්න පුළුවන් නම්  පරිපූර්ණ මනුස්සයෙක් හැටියට තමයි මන් දකින්නේ. ඉතින් කොපමණ අධ්‍යාපනය කරලා ඉදිරියට ගියත් ස්පෝර්ට්ස් එක්ක යන්න පුළුවන් නම් ජීවිතයේ ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක්. මේ ක්‍රීඩා තරගය දිහා බලනකොට, මේ ක්‍රීඩකයන්ගේ දක්ෂකම් බලනකොට හිතන්න බෑ ඇත්තටම මේගොල්ලන් මේ කැම්පස් එකේ අධ්‍යාපනය ලබන ස්ටුඩන්ට්ස්ලද කියල.  මොකද ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් ක්‍රීඩා කරනවා. ඉතිං ඇත්තටම ලොකු ආඩම්බරක් මේ වගේ අධ්‍යාපනයක් ලබලා අපේ අනාගතය බාර ගන්න ඉන්න, අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා බාර ගන්න ඉන්න අපේ පිරිස ස්පෝර්ට්ස් වලින් ඉදිරියට යන එක ගැන ගොඩක් ආඩම්බරයි. 


ප්‍රශ්නය : ඔස්ට්‍රේලියාවේ නොදන්නා දෙදෙනෙක් මුණ ගැහුණම අහන්නේ මොකක්ද ඔබේ ක්‍රීඩාව කියලා ලංකාවේ නම් රස්සාව මොකක්ද කියල, ඒ ගැන මොනවද හිතෙන්නේ. ඔස්ට්‍රේලියාවෙයි ලංකාවෙයි තියෙන පරතර ගැන ?


ඇත්තටම දැන් ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්පෝර්ට්ස් එකක් කරන එක්කෙනෙක්ට , දැන් අපි හිතමු ක්‍රිකට් ගහන කෙනෙක්ට වුනත් ඕෆ් සීසන් එකේදී ඒගොල්ලන්ට ගහන්න  ක්‍රීඩාවක් තියෙනාවා. ඒගොල්ලෝ රග්බි සෙල්ලම් කරන්න ඕනේ. අපේ ලංකාවේ පුළුවන් මාස දොළහෙම ක්‍රිකට් ගහන්න. හරි රග්බි ගහන්න . නමුත්  ඒ වගේ රටවල් වල පුළුවන් මාස කීපයක් පමණයි. ඊට පස්සේ වෙනින් ක්‍රීඩාවක් තෝර ගන්න ඕන. ඇත්තටම අධ්‍යාපනය කරන ළමයින්ට ඒගොල්ලන් ස්පෝර්ට් එක  අනිවාර්ය කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒක ජීවිතයේ එක පැත්තක්. මං හිතන්නේ ලොකු පැත්තක් හැටියට දැකලා ඒක ඉදිරියට ගෙනියන්න තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව. ඉතිං ඒක නිසා තමයි ඔවුන් හැම එක්කෙනාම ක්‍රීඩකයන් ආකාරයේ හිතන්න, ඒ වගේම සාමූහික හැංගීමෙන් ඒ වගේම ලොකු බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන්න. ඒ බලාපොරොත්තු ඉලක්ක කරා යන්න. ඒ වගේම මෙන්ටලි ටෆ්න්ස්, ඒගොල්ලන්ගේ හොඳ වෙලා තියෙන්නේ, මං හිතන්නේ ඒ වගේ දේවල් හන්දා.  ඉදිරි අනාගතයේදී, අපේ ලංකාවේදීත් ඒ වගේ තත්වයක් සියලු දෙනාටම යම්කිසි සපෝර්ට් එකක් අනිවාර්ය කරොත්, ඒක හොඳ තත්වයක් හැටියට තමයි මම දකින්නේ. 
ප්‍රශ්නය :  දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තොත්, 96යේ අපේ ජයග්‍රාහකයෝ කවුරුවත් නෑ මං හිතන්නේ යුනිවසිටි එකකට ගිය. ඒ වගේම දැන් අපි මෑත ඉතිහාසයෙත් දකින්නේ කුමාර් සංගක්කාරයි ඊට පස්සේ මුබාරක් මං හිතන්නේ ඒ දෙදෙනා විතරයි. මේ දෙක එකට යන්න නම් මොකක් වගේද වෙන්න ඕනේ ?


මං හිතන්නේ අපේ ලංකාවේ යන ක්‍රීඩකයන් ගොඩක් ස්පෝර්ට්ස් වලට ගියාම ඒ ඔස්සේම තමයි ක්‍රියා කරන්නේ. ඒක අපටත් වුනා(සිනාසෙමින්).  කුඩා කාලයේදී ඇත්තටම අපි බැලන්ස් එකක් කියන එක තිබුන්නැහැ. අඩුයි. ක්‍රීඩා කරන්න ගියහම. එකට ගොඩක් කාලයක් අපි ගත කරා. ක්‍රීඩාවේ තියෙන, ක්‍රීඩාවක් කරන ගමන් තමන්ගේ අධ්‍යාපනයට දිය යුතු කාලය දුන්නා මදිදෝ කියල හිතෙනවා. ඒ ඔස්සේ බලනකොට, අපිට යම්කිසි බැලන්ස් එකක් පුලුවන්නම්, තමන්ගේ ක්‍රීඩාවයි අධ්‍යාපනයයි එකට ගෙනියන්න ගිහිල්ල, යම්කිසි කාලයකදී ක්‍රීඩාවට වැඩි කාලයක් දිය යුතු නම්, ඒ දෙන එක ගැන හිතන්න පුළුවන් නම්, මං හිතන්නේ මීට වඩා ක්‍රීඩකයෝ අධ්‍යාපනය පැත්තෙන් ගිහිල්ල පහු කාලයකදී  ජාතික කණ්ඩායම හා  කණ්ඩායමට  ක්‍රීඩා කරන්න හරි  ඒ වගේ අවස්ථාවක් ලබා දෙන්න අවස්ථාවක් තියෙයි. නමුත් ඒක ඉතින් මං හිතන්නේ  ඒක...ද... කියන එක හරියටම කියන්න බෑ. ඒකද සොලියුෂන් එක කියන එක කියන්න බෑ. මොකද අපේ  ලංකාවේ කල්චර් එකත් එක්ක අපට ඒක කරන්න පුලුවන්ද ? කියන එකත් ලොකු ප්‍රශයක් මොකද ක්‍රිකට් ක්‍රීඩාවේ වගේ ක්‍රීඩාවක් කරන්න ලොකු මුදලක් යනවා. ලොකු කැප වීමක් කරන්න ඕන. වෙලාව හැටියෙන් ගොඩාක් කැප වීම් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සමහරවිට වෙන්නැති අපේ ලංකාවෙන් එවැනි ක්‍රීඩකයන් බිහි වෙන්නැත්තෙ. 
 ප්‍රශ්නය : ලංකාවේ ගොඩක් අපි දැන් රොමේෂ් ක්‍රීඩා කරපු කාලේ ගත්තොත් අඩු පහසුකම්නේ තිබුනේ. බොහොම පාසලකට තියෙන බඩු මුට්ටු කට්ටල බොහොම සුළු ප්‍රමාණයයි පොදු ඒවා තමයි පාවිච්චි කරන්නේ නමුත්  අද අපි දකිනවා හැම කුඩා ක්‍රීඩකයෙක් අතේම ක්‍රිකට් බෑග් එකක් තියෙනවා. මේ ඔස්...සේ වත්  ලංකාවේ ක්‍රිකට් සහ අධ්‍යාපනය ඉහල මට්ටමකට යයිද ?

ඔව් දැන් ඉස්සරට වඩා තියෙන ෆැසිලිටීස් වැඩියි. ඒක ඇත්තටම හොඳ දෙයක් . නමුත් දැන් එහෙම කියලා ක්‍රීඩාවේ බලාපොරොත්තු ගොඩාක් ලොකු විදියට වෙනස් වෙලා නෑ. මට මතකයි අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා, ක්‍රීඩකයන් ඉස්කෝලේ ගහන කාලේ ඉඳන්ම නැෂනල් කණ්ඩායමට රිප්‍රසන්ට් කරන්න පුළුවන් ක්‍රීඩකයන් හිටියා. දැන් එහෙම ක්‍රීඩකයන් බිහි වෙනවා අඩුයි. ඉතිං ඒකට ෆැසිලිටීස් තිබුනා කියලා  ඒක මං හිතන්නේ ඉදිරියට ඇවිල්ල ලොකු වෙනසක්  වෙලා නැති නිසා මට ඒක ඒ ගැන හරියටම කියන්න බෑ. නමුත් ෆැසිලිටීස් මොන තරම් දුන්නත් තමන්ගේ හැකියාව ඔප නංවලා තමන්ගේ කමිට්මන්ට් එක ක්‍රීඩාවට දුන්නොත් මං හිතන්නේ ලොකු වෙනසක් කරන්න පුලුවන් කියන එක තමයි මගේ හැගීම. 
ප්‍රශ්නය : දැන් ටී ටුවෙන්ටි ක්‍රිකට් නිසා, දැන් ඇත්තටම ක්‍රිකට් වල තියෙන ජීව ගුණය අඩු වෙලා යනවා කියල ලොකු විවේචනයක් තියෙනවා. මේ කියන්නේ  ටෙස්ට් ක්‍රිකට් වගේ තැන්පත් ක්‍රීඩාවක් නෙවෙයි මේක තවදුරටත්, ප්‍රවේගකාරී ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා, දැන් අලුතෙන් පටන් ගන්න ක්‍රීඩකයෙක් මේ දිහා බලල ක්‍රිකට්ඉගෙන ගත්තොත් අනාගතේදී ටෙස්ට් ක්‍රිකට් නැති වෙලා යයිද ?

 ක්‍රිකට් වල පලවෙනි ස්ථානය තිබිය යුත්තේ ටෙස්ට් ක්‍රීඩාවට. ක්‍රීඩාවේ හැම හරයක්ම, හැම ගුනයක්ම තියෙන්නේ ටෙස්ට් වල, ඇත්තටම ක්‍රිකටර් කෙනෙක්ගේ හරි ටෙස්ට් කිරීමක් කෙරෙන්නේ ටෙස්ට් ක්‍රීඩාවෙදී. ඔහුගේ මානසික ඒකාග්‍රතාවය, ඔහුගේ හැකියාව කියන්නේ පේෂන්ස්, වගේම ගොඩාක් දේවල් එකෙන් ටෙස්ට් ක්‍රීඩාවේ ඇත්තටම ටෙස්ට් කෙරෙනවා. හැම ක්‍රීඩාවක්ම  රැඳිලා තියෙන්නේ ක්‍රීඩාව ඒක බලන ප්‍රේක්ෂකයන්,ඒකේ තියෙන ගුණාත්මක භාවය සහ ඒකේ තියෙන එන්ටර්ටේන්මන්ට් එක. ඉතිං දිහා බලනකොට ඉතිං හරි...ද/වැරදි....ද කියන එක, ක්‍රීඩාව බැලුවොත් එහෙම, ඇත්තටම ක්‍රීඩාවේ ටෙක්නික් පැත්ත අඩු වෙන ගමන් ක්‍රීඩාව නරඹන  ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ක්‍රීඩා කරන අයට ලැබෙන බෙනිෆිට්ස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒකේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. ඉතිං හැම දේකම එහෙමයි.
 මෙහි දෙවෙනි කොටස ලෙස පල කිරීමට බලාපොරොත්තු වන්නේ දිමුත් කරුණාරත්න මහතා සමග කල සම්මුඛ සාකච්චාවයි. 

චායාරුප සඳහා සාදර අනුග්‍රහය නදීශාන් මීඩින් මහතා.

Sunday, January 27, 2013

බැංගලෝරයට ඉංජිනේරුවන් පැටවීම .....

මාතෘකාව දැක්කම මොකද හිතෙන්නේ ? එක පාරටම කෙනෙකුගේ සිහියට එන්නේ අර පොලිස් රාලහාමි කෙනෙක්ව රවට්ටපු කෛරාටික කොලුවාගේ කතාව. පොලිස් රාලහාමි මේ කොල්ලව අල්ලගෙන ප්‍රශ්න කරනවා. කොල්ල දෙන්නේ කපටි උත්තර. කොල්ලා දන්නවා පොලිස් රාලහාමිලාට අක්ෂර වින්‍යාස දුර්වලතා තියෙන බව. 

රාලාහාමි : (රැවුල කරවමින්) තාමාගේ රැකියාව ?

කොල්ලා : ස්පාඥඥයට පි..පි..පිං...ඥඥා පටවනවා.

අන්න ඒ වගේ සෙල්ලමක් ගැන තමයි අද ලියන්නේ. ඉන්දියාව කියන්නේ ගණිතඥයන්ගේ නිජබිම. එහෙව් එකේ මොකටද ලංකාවෙ ඉංජිනේරුවන් එහෙ පටවන්නේ? බැංගලෝරයේ ඉංජිනේරුවන් නැතුවද ? මේක මේ කෙටිකාලීන ව්‍යාපෘතියකට. යන්නේ මොරටුව සරසවියේ ශියයෝ 14 දෙනෙක්. කාට හරි කියන්න පුලුවන්ද මොකටද කියල? 

හරියටම පෙබරවාරි 26 වෙනිදා මේ කට්ටිය බැංගලෝර් නගරයේ ඉන්න ඕනේ. ඒ ඔවුන් අද විශේෂ හපන් කමක් කරපු නිසා ලැබුන අවස්ථාවක්. අද තමයි රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය තිබුනේ වනාතමුල්ලේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ. එම තරගය තිබුනේ රොෂාන් මධුසංඛගේ නායකත්වයෙන් යුත් ජපුර කිංග්ස් කණ්ඩායම සහ රොමේෂ් මධුසංඛ නායකත්වය දුන් මොරටුව ෂාර්ක්ස් කණ්ඩායම අතර. හරියටම හවස 2.00 ට තරගය පටන් ගත්තා. තරගය ජය අරගෙන බැංගලෝරයේ පැවැත්වෙන ලෝක තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව උදා කර ගත්තේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම. අනුග්‍රහය රෙඩ්බුල්(එයාලට ප්‍රමෝෂන් අවශ්‍ය නෑ කියල කියලම තියෙන්නේ). 

මටත් බ්ලොග් කරුවෙක් විදියට අවස්ථාව උදා වුණා ඒ තරගාවලිය සජීවීව ආවරණය කරන්න. මම මාධ්‍ය දෙකෙන්ම අප්ඩේට් යැව්වා. 

සිංහලෙන් : රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය - අවසාන මහා තරගය (මේකේ විජට් එක මගේ බ්ලොග් එකෙත් දාලා තිබ්බා)

ඉංග්‍රීසියෙන් : https://twitter.com/RBCT20

මීට අමතරව මට විරල අවස්තාවක් ලැබුනා. ඒ 1996 ක්‍රිකට් ජයග්‍රහණයේ වීරයෙක් වෙච්ච රොමේෂ් කලුවිතාරණ මහතාව සම්මුඛ සාකච්චාවකට එක් කර ගන්න. ඒ අවස්ථාව දුන්නේ මට විතරයි. දිමුත් කරුනාරත්නගේ  සම්මුඛ සාකච්චාව කරන්නත් දුන්නේ මට විතරයි. ඒවා යථා කාලයේදී අකුරු කරන්නම්. 

කැම්පස් දෙකෙන්ම හොඳ ප්‍රමාණයක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් එකතු වෙලා හිටියා, මුළු ක්‍රීඩාංගණයම එකම ජනඝෝශාවක්, ඒ මදිවට ඔවුන්ට අවශ්‍ය රිද්මය නංවාල දුන්නේ පපරේ බෑන්ඩ් එක. පපරේ ගහනකොට ඉතින් නිකංම නැටවෙනවනේ. සවුන්ඩ් සිස්ටම එකෙත් අර අයි.පී.එල්. එකේ වගේ ඕවරයක් අවසන් වූ ගමන් මියුසික් දානවා. මැච් එක යත්දී විස්තර විචාරය (වෙලාවකට කරදයක් වුණා). නමුත් වෙලාව ගෙවෙනවා දැනුනේ නෑ. හැබැයි මම හිටියේ වැඩ දෙක තුනක් එක පාර කරගෙන. උඩ තියෙන අප්ඩේට් දෙක භාෂා දෙකකින් දාන්නයි. ක්‍රිකට් ප්‍රේමියෙකු විදියට තරගය නැරඹන්නයි. එතන තිබ්බ අධික හුළඟට අරව මේවා වැටෙන්න දෙන්නේ නැතිව අල්ල ගන්නයි. අනිත් අය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි. ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව හා සමගාමීව මගේ ලකුණු පුවරුව පවත්වාගෙන යන්නයි. මෙකී නොකී වැඩ ගොඩක් මැද්දේ. අර ඉන්ටර්වීව් දෙක කරපු වෙලාව ඇර අනිත් වෙලාවල හරියටම වැඩේ උපරිමෙන් කළා. 

උදේ තිබුනා අවසාන පුර්ව තරග දෙකේදී පරාජිත කණ්ඩායම් දෙක අතර තරඟය. ඒ තුන්වෙනියා තෝරන්න. වයඹ හීරෝස් සහ පේරා ලයන්ස් කණ්ඩායම් දෙක තමයි තරංග වැදුනේ. මේ තරගය බලාගෙන හිටිය මට හිතුනේ මේ විකට් එකේ 100ක් ගත්තත් දිනන්න පුළුවන් කියලා.  මුලින්ම පන්දුවට පහර දීපු  පේරා ලයන්ස් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 97ක් පමණයි. ලකුණු 98ක පහසු ඉලක්කයක් හඹා ගිය වයඹ හීරෝස් කණ්ඩායම ලකුණු 86කට සීමා කරන්න පේරා ලයන්ස් සමත් වුනා. 

සාරාංශය 

පේරා ලයන්ස් සියලු දෙනා දැවී ලකුණු 97.

ආර්.එස්. විජේසේකර 39 /එස්.එච්. වීරසිංහ 11 / ඩබ්.එන්. රණසිංහ 11 

 ඩී. එස්. ජයසේකර ලකුණු 11 ට කඩුලු 3 / අයි.එම්. ජවාඩ් ලකුණු 17 ට කඩුලු 3.

පිළිතුරු ඉනිම - වයඹ හීරෝස් පන්දු ඕවර 20ක් තුලදී කඩුලු 6 කට ලකුණු 86.

ඒ. ඩී. මධුරංග 21 / ජී.කේ. උදාර 16

එම්. කේ. පෙරේරා ලකුණු 17 කට කඩුලු 2

පේරා ලයන්ස් පිලට ලකුණු 11 ක තියුණු ජයක්. 


එම තනතිල්ලේම පැවැත්වූ අවසාන මහා තරගයේදී දෙපිලම ලකුණු 110 සීමාව පසු කර යන්න සමත් වුණා. ඇත්තටම එය හොඳ විස්සයි 20 විකට්ටුවක් කියා කියන්න පුළුවන්. 

කාසියේ වාසිය දිනා ගත්තේ ජපුර කිංග්ස් කණ්ඩායමේ නායක රොෂාන් මධුසංක කුරේ. ඔහු ආරාධනා කළා රුමේෂ් මධුසංඛගේ නායකත්වයෙන් තරග කල මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්න.

ආරම්භක පිතිකරු යුගලය වන විජේරත්න මාරසිංහ යුගලය මෙම තරගාවලිය තුලදී පවර්ප්ලේ ඕවර 6 දී ලබාගත් උපරිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට සමත් වුණා. පිටියේ සෑම අන්තයකටම පන්දුව යොමු කරමින් ඉතා හොඳ ආරම්භයක් ලබාගෙන ශක්තිමත් ඉනිමක් සඳහා අඩිතාලම යෙදුවා. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක් රැස් කරන්න මෙම සුසංයෝගය සමත් වුණා. පළමු කඩුල්ල ලෙස එන්. එස්. මාරසිංහ දැවී යනවිට පන්දු 23 කදී ප්‍රවේගකාරී ලකුණු 39 ක් ලබා ගත්තා. එම ඉනිමට හතරේ පහරවල් හයක් සහ එක් හයේ පහරක් ඇතුලත්.  තුන්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ ඩබ්. එස්. පෙරේරායි. ඔහුත් විජේරත්නත් එකතුව දෙවන කඩුල්ල සඳහා තවත් ලකුණු 29ක් එක කලේ පන්දු 30 කදී. ඒ ලකුණු 24කට විජේරත්න දවා ගැනීමට ජපුර කිංග්ස් සමත් වීම නිසා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් තුනක් ඇතුලත්. ඉන්පසුව පෙරේරාට එක වු මධුභාෂණ තෙවන කඩුල්ල සඳහා ලකුණු 24 එක් කළා. ඒ සඳහා වැය වුයේ පන්දු 21ක් පමණයි. තෙවන කඩුල්ල ලෙස මධුභාෂණ මුළු ලකුණු සංඛ්‍යාව 111ක්ව තිබියදී දැවී යනවිට පන්දු 14 කදී එක හතරේ පහරක් සමග ලකුණු 14ක් ලබා ගන්නට ඔහු සමත් වුනා. ඉන්පසුව මොරටු ෂාර්ක්ස් ඉනිම කඩා වැටුනා යයි කීවොත් නිවැරදියි. තවත් පන්දු 28ක් තුල කඩුලු 6ක් පූජා කරන්නට මොරටු ක්‍රීඩකයන්ට සිදු වුණා. එසේ නොවන්නට ඔවුන්ට පැහැදිලිවම ලකුණු 160කට එහා ප්‍රමාණයක් ලබා ගන්නට තිබුනා. එම පන්දු 28 තුලදී ඔවුන් ලබා ගත්තේ ලකුණු 26ක් පමණයි. 

කඩුලු වැටීම : 1 - 58 / 2 - 87 / 3- 111 / 4 - 119 / 5 - 119 / 6- 119 / 7 - 127 / 8 - 136 / 9 - 136

ලකුණු 138 ක් පන්දු 120 ක් තුල ලබා ගැනීම තරමක අසීරු ඉලක්කයක්. ඒ සඳහා ඉතා වටිනා ලකුණු 92 ක සබඳතාවක් ගොඩ නගන්නට පන්දු ඕවර 14ක් පමණයි ජපුර කිංග්ස් පිලට වැය වුනේ. තවත් පන්දු ඕවර 6 කදී ලකුණු 46 ක් කඩුලු නවයක් අතැති කණ්ඩායමකට විස්සයි විස්ස තරගයකදී ඉතා පහසු ඉලක්කයක්. ලකුණු 92 දී ආරම්භ පිතිකරු ලෙසේ පිටියට පැමිණි රොෂාන් කුරේ ලකුණු 56 ක් ලබා ගත්තේ පන්දු 51කදී, ඒ තුල හතරේ පහරවල් 5ක් සහ හයේ පහරවල් දෙකක්ද ඇතුලත්.  ඊළඟ කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 14ක සම්බන්දතාවක් ගොඩ නගා ගන්නට ඔවුන් පන්දු 13ක් වැය කර තිබුණා. කඩුළු අතැතිව සිටින කණ්ඩායමක් වේගයෙන් ලකුණු රැස් කලයුතු කාලයකදී මන්දගාමී ස්වරූපයක් දැක්වුවා. ඉන්පසු පිටියට පිවිසි කිසිවෙක් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවන අයුරක් දකින්න ලැබුනේ නෑ.  එක් අවස්තාවකදී ඔවුන් පන්දු 17කින් ලකුණු 21ක් ලබා ගැනීමේ පහසු ඉලක්කයක සිටියත් ඔවුන් 16,17,18 පන්දු ඕවර වල අවශ්‍ය වේගය රඳවා ගත්තේ නෑ. 

කඩුලු වැටීම : 1 - 92 / 2 - 106 / 3 - 112 / 4 - 112

එම කණ්ඩායම් දෙකෙහි ලකුණු ලබා ගැනීමේ ප්‍රස්තාරය දෙස බැලූ විට ඉහත කී කරුණු පැහැදිලි වනවා. 


මෙම තරගයේ ත්‍යාග ප්‍රදානය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කලුවිතාරණ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න, තරගාවලියේ අධ්‍යක්ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු, ජයවර්ධනපුර සරසවියේ උප කුලපති මහාචාර්ය එස්.එල්.ඒ. කරුණාතිලක, මොරටුව සරසවියේ උප කුලපති නියෝජනය කරමින් මහාචාර්ය ආර්. අතලගේ, මොරටුව සරසවියේ ක්‍රීඩා අධ්‍යක්ෂ කේ. රත්නමුදලි, ජයවර්ධනපුර සරසවියේ ක්‍රීඩා අධ්‍යක්ෂ  අසෝක අමරසේන එක් වුවා. 

තරගාවලියේ හොඳම පන්දු යවන්නා : සී.ඒ. නවරත්න  - පේරාදෙණිය ලයන්ස්.

තරගාවලියේ හොඳම පිතිකරු : කේ.එම්. වීරරත්න - වයඹ හීරෝස්. 

අවසාන තරගයේ : කේ.ඩී.එම්.එල්. මාරසිංහ - මොරටුව ෂාර්ක්ස්.

තරගාවලියේ වීරයා : ඩබ්.එස්. යූ. පෙරේරා - මොරටුව ෂාර්ක්ස්.  

Friday, January 25, 2013

අඩුම ප්‍රතිචාර ලැබුණු ඔබේ පොස්ට් එක මොකක්ද ?

අපි බ්ලොග් පොස්ට් එකක් දාන්නේ විවිධ අරමුණු ඇතිව. ඒත් ප්‍රධානම දේ තමයි බොහෝ දෙනෙක් කියවයි කියන බලාපොරොත්තුව. ඒත් කලාතුරකින් හිතේ තියෙන පීඩනය නැති කර ගන්න, තමන් දුටු විශ්මයජනක අවස්තාවක් විස්තර කරන්න පොස්ට් එකක් දාන අවස්ථාත් නැත්තේම නෑ. බ්ලොග් ලියන අපි කවුරුත් පොස්ට් එකක් දාලා එකට හිට්ස් එනකොට කමෙන්ට් වැටෙනකොට නිහතමානී සතුටක් විඳිනවා. ඒක කව්රු හරි නෑ කියල කියනවනම් මම අහන්නේ, ඇයි ඔබේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට එකතු කලේ කියලා. 
පින්තුරය ගත්තේ : http://blog.pentaho.com
ඔන්න මම ඔබ සියලු දෙනාට අවස්ථාවක් දෙනවා හොඳට නැගල යයි කියල හිතාගෙන ලිව්වත් ඉතාම අඩු ප්‍රතිචාර ලැබුණු පොස්ට් එකේ ලින්ක් එකක් කමෙන්ට් එකක් තුල දාන්න. අපේ ආධුනික බ්ලොග් කරුවන්ට නම් මේක කදිම අවස්ථාවක් වෙයි. 

හැබැයි තව දෙයක් කියන්න ඕනේ. මම දැකල තියෙනවා බොහෝ දෙනෙක් ලින්ක් එකක් කමෙන්ට් එකටකට දාන හරි ක්‍රම දන්නේ නෑ. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි

මම දාපු ඒ වගේ අඩු ප්‍රතිචාර ලැබුණ පොස්ට් එකක් තමයි 

"ගුවන් කරනම්" කියන එක. ඒකේ ලින්ක් එක තියෙන්නේ 

 http://awidda-paya.blogspot.com/2012/07/blog-post_14.html

දැන් ඕක කමෙන්ට් එකට එකතු කරන්නේ මෙහෙමයි

<a href="http://awidda-paya.blogspot.com/2012/07/blog-post_14.html">  ගුවන් කරනම්</a>

කෙටියෙන් කියනවා නම් 

<a href="ලින්ක් එක"> හෙඩිම </a>

එහෙනම් දැන් දාන්න බලන්න ඔබේ බ්ලොග් එකේ අඩු ප්‍රතිචාර ලැබුණු ඒත් එහෙම නොවෙයි කියල හිතපු පොස්ට් එක.

මගේ එක පලවෙනි කමෙන්ට් එක විදියට දාන්නම්.

Thursday, January 24, 2013

26 වෙනිදාට මධුසංකලා දෙන්නා මොනවා කර ගනීද ?

ඔබ බලනවා ඇති කවුද මේ මධුසංකලා දෙන්නා කියලා. හරියට තොම්සන් ඇන්ඩ් තොම්සන් වගේ.        මේ ළඟදී ටී.වී. එකේ ගිය ටු රොඩ්නීස් වගේ.වෙන කව්රුවත් නෙවෙයි මේ දෙන්න කණ්ඩායම් දෙකකට නායකත්වය දෙන ක්‍රිකට් ක්‍රීඩකයින්. පහුගිය ටිකේ පැවැත්වුණු රෙඩ්බුල් කැම්පස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට ක්‍රීඩා කරන්න සමත් වෙලා තියෙන මොරටුව ෂාර්ක්ස් කණ්ඩායමේ සහ ජපුර කිංග්ස් කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනා. මේ දෙදෙනාගේ සමාන කම කොයි තරම්ද කිව්වොත් අනිත් නම් දෙකත් එකම අකුරෙන් පටන් ගන්නේ. එක්කෙනෙක් රොෂාන් අනිත් එක්කෙනා රොමේෂ්.  මට මුලින්ම හිතුනේ මේ දුරකථන අංක ලබා දී තිබෙන්නේ වැරදියට කියා. මේ දෙදෙනා රොෂාන් මධුසංක සහ රොමේෂ් මධුසංක. ටිකක් අමාරු උත්සයකින් පස්සේ මේ දෙන්න එකතු කර ගන්න පුළුවන් වුනා පුංචි කතාබහකට. ඒ සංවාදය කෙරුන විදියටම දාන්න මම හිතුවා.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
 මා මුලින්ම සංවාදයට එකතු කර ගත්තේ ජපුර කිංග්ස් කණ්ඩායමට නායකත්වය දෙන රොෂාන් මධුසංක කුරේව.

සුදීක : මල්ලි මොන ඉස්කෝලෙටද ගියේ ?

රොෂාන් : අයියේ මම කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ. 

සුදීක : කැම්පස් එකේ කීවෙනි වසරේද ? මොකක්ද ෆීල්ඩ් එක ?

රොෂාන් :  මම තුන්වෙනි වසරේ ඉගෙන ගන්නේ  මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ. 

සුදීක : පාසල නියෝජනය කරන කාලේ මොන Division එකේද ක්‍රිකට් ගැහුවේ ?

රොෂාන් :  අපේ ඉස්කෝලේ අයිති වුනේ Division II එකට. 

සුදීක :  ඉන් පස්සේ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කලාද ?

රොෂාන් :  නැහැ අයියේ, ස්කූල් ගහලා ඉවර වුනාට පස්සේ කැම්පස් එකට තමයි සෙල්ලම් කලේ. 

සුදීක :  දැන් කැම්පස් එකට වාර(Season) කීයක් වගේ සෙල්ලම් කරනවද ?

රොෂාන් :  මේ යන්නේ මගේ හතරවෙනි සීසන් එක. 

සුදීක :  පාසැල් කාලයේදී මොනවද පෙන්වපු දක්ෂකම් ?

රොෂාන් :  මම අවරුදු දෙකක්ම බිග් මැච් වලදී පාසල නියෝජනය කළා. 2007/2008 වාරයේදී ලකුණු 678ක් ලබා ගත්තා. වැඩිම ලකුණු 128ක්. සෙන්චරි හතරක් මේකට ඇතුලත්. 

සුදීක :  කැම්පස්  ක්‍රිකට් ගහන්න ගත්තට පස්සේ ගහපු වැඩිම ලකුණු කීයද ?

රොෂාන් :  ඉන්ටර් යුන්වර්සිටි ටුනමන්ට් එකේදී, ඌව වෙල්ලස්සට ලකුණු 92ක් ගැහුවා. 

සුදීක :  නායකත්වය දරන්නේ කී වෙනි අවුරුද්දටද ?

රොෂාන් : මේ මගේ පලවෙනි අවුරුද්ද අයියා. 

සුදීක :  මෙම තරගාවලියේදී ලබා ගත්ත හොඳම ජයග්‍රහණය මොකක්ද ?

රොෂාන් :  අපි කලම්බු කැම්පස් එක ලකුණු 47කට දවා ගත්තා. අපේ බොලර්සලා තමයි වැඩියෙන්ම දක්ෂ. 

සුදීක :  මේ තරගාවලියට මුහුණ දුන්නේ කොහොමද ?

රොෂාන් :  ඇත්තටම, මේකෙදී අපිට දෙපැත්තක් බලන්න වුනා. අපේ හුඟක් අයට එක්සෑම් ලියන ගමන්ම තමයි ටුනම්න්ට් එක සෙල්ලම් කලේ. ක්වාටර් ෆයිනල් වෙනකම්ම අපිට විභාගයි, ක්‍රිකට් තරගයි දෙකම තිබුණා. ෆයිනල් එකට නම් අපි ෆ්‍රී ඉන්නේ. 

සුදීක :  ඔයාලගේ කණ්ඩායමේ විශේෂ දක්ෂතා දක්වපු කවුරු හරි ඉන්නවද ? නැත්නම් වැඩියෙන්ම බලාපොරොත්තු තියා ගන්නේ කවුරු ගැනද ?

රොෂාන් : ඇත්තටම අයියේ අපේ ටීම් එකේ ඉන්න ඔක්කොම එක වගේ බැටින්, බොලින්, ෆීල්ඩින් වලට දක්ෂයි. එක්කෙනෙක් අද හොඳට කරොත් අනිත් කෙනා ඊළඟ මැච් එකේදී හොඳට කරනවා. එකොලොස් දෙනාටම හොඳට බැට් කරන්නත් පුළුවන්. 

සුදීක :  කොහොමද කැම්පස් එක පැත්තෙන් මේකට ලැබෙන සහයෝගය ?

රොෂාන් :  මුලදී නම් ඒ තරම් උනන්දුවක් තිබුනේ නෑ. ඒත් ක්වාටර් ෆයිනල් වලදී අපට කෝච් කෙනෙක් ලැබුණා. ඔහු ලක්මාල් (අනිත් නම් නම් දන්නේ නෑ අයියේ) ගාල්ලේ රිච්මන්ඩ් එකේ ඇසිස්ටන්ට් කෝච්. 

සුදීක : මේ තරගාවලියේ අවසන් තරගය ගැන මොකක්ද තියෙන බලාපොරොත්තුව ?

රොෂාන් :  කොහොම හරි දිනන්න තමයි බලන්නේ. අපේ අය හොඳ දක්ෂ අය නිසා දිනන්න පුළුවන් කියල හොඳ විශ්වාසෙකින් ඉන්නේ. 

සුදීක : පාසැල් යන කාලේ කොහොමද ක්‍රිකට් ගහන්න ලැබුණ පහසුකම් ?

රොෂාන් : අපේ කණ්ඩායමේ හුඟක් අයට බැට් එකයි ග්ලවුස් වගේ දේවල් තිබුණා. අනිත් දේවල් පාසලෙන් සපයපු ඒවා තමයි පාවිච්චි කලේ. 

සුදීක :  හොඳ (ආනන්ද/නාලන්ද/රෝයල්) පාසලක් නියෝජනය කළා නම් මීට වඩා හොඳ තැනකට එන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද ?

රොෂාන් :  හිතෙනවා. ඒ වගේ ලොකු ඉස්කෝලෙකින් ක්‍රිකට් ගැහුවා නම් මීට වඩා හොඳට සෙල්ලම් කරන්න තිබ්බ. පහසුකම් අතිනුයි පිළිගැනීම අතිනුයි අපිට වඩා හොඳයිනේ.

සුදීක :  කොහොමද කැම්පස් එකේ ක්‍රිකට් ගහන්න තියෙන උනන්දුව ?

රොෂාන් :  ඇත්තටම අයියේ ඉස්කෝලේදී ක්‍රිකට් ගහපු බොහෝමයක් දෙනා කැම්පස් ආවාහම ක්‍රිකට් ගහන්නේ නෑ. හේතුව අධ්‍යාපනය කඩාකප්පල් වෙයි කියන බයට.  දැන් නම් ටිකක් කට්ටිය උනන්දුයි.

සුදීක : මේ ක්‍රිකට් තරගාවලිය මොන වගේද දැනෙන්නේ ?

රොෂාන් : ඇත්තටම මේක අපට ලොකු අවස්ථාවක්. පාට ඇඳුම් ඇඳලා. ටර්ෆ් එකේ. වයිට් බෝල් එකෙන් සෙල්ලම් කරන්න ලැබුණ එකට හැමෝම ඉන්නේ සතුටින්. අපිට හැම දෙයක්ම සංවිධායකයින් ලබා දෙනවා. පාසැල් කාලෙන් පස්සේ දැන් තමයි අපි ටර්ෆ් වල සෙල්ලම් කරන්නේ. මේ ටුනම්න්ට් එකෙන් පස්සේ නම් හුඟක් අය සෙල්ලම් කරන්න එයි කියලා තමයි මගේ විශ්වාසෙ. මේ වගේ ග්‍රවුන්ඩ් එකක සෙල්ලම් කරන්න ලැබුණ ඒකත් හුඟක් අයට ලොකු දෙයක්. 

සුදීක :  ඔයාගේ ටීම් එකේ පිට පළාත් වල අයත් ඉන්නවද ?

රොෂාන් :  කොළඹ අය ඉන්නේ පහක් විතර අනිත් අය පිට පළාත් නුවර, මොනරාගල, මීගමුව අය ඉන්නවා.

සුදීක :  ඔයා සෙල්ලම් කරන්න ගත්තට පස්සේ මොනවද ලැබුව ජයග්‍රහණ ?

රොෂාන් :  අපේ ස්ලග් ටුනමන්ට් එකේ ශුරතා අනුශුරතා ලබා ගත්තා. 

සුදීක :  දැන් මේ තරගය දිනුවොත් ඔයාලට ඉන්දියාවේ යන්න ලැබෙනවා ලෝක තරගාවලියට ? ඒක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ? ඒ නිසා ක්‍රිකට් සෙල්ලම් කරන්න එන ඇය වැඩි වෙයිද ?

රොෂාන් :  ඔව් අපේ ප්‍රධාන බලාපොරොත්තුව මේ තරගය දිනන එක. අනිවාර්යෙන්ම මීට වඩා වැඩි දෙනෙක් ක්‍රිකට් සෙල්ලම් කරන්න එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

සුදීක :  මේ තරගාවලියත් එක්ක කොහොමද ලැබුණු පිළිගැනීම ?

රොෂාන් :  ක්වාටර් ෆයිනල් දින්නට පස්සේ බොහෝ දෙනා මේ ගැන උනන්දුයි. අපි විශ්වාස කරනවා ෆයිනල් එකට අපිට සහයෝගය දෙන්න ගොඩාක් පිරිසක් 26 වෙනිදා සරවනමුත්තු ක්‍රීඩාංගණයට එයි කියලා. 

සුදීක :  මාධ්‍ය ආවරණය ගැන මොනවද හිතෙන්නේ ?

රොෂාන් :  ඇත්තටම මදි කියලයි මට හිතෙන්නේ. එහෙම වුනානම් මීට වඩා ගොඩාක් දෙනා චියර් කරන්න එනවා. දැන් අපි කැම්පස් එකේ අයවනම් දැනුවත් කරනවා. 

සුදීක : අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැද්ද ?

රොෂාන් : අපේ මේ අවුරුද්දේ ඉඳල ඩිවිෂන් ත්‍රී ගහන්න බලාපොරොත්තු වෙනවා.


සුදීක : අනාගත බලාපොරොත්තු මොනවද ?

රොෂාන් : කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ, රැකියාවක් කරන තැනකට ක්‍රිකට් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ කතා බහේදී මට තේරුම ගිය දෙයක් තමයි රොෂාන් හොඳින් ඇහුම්කන් දීලා, පැහැදිලි උත්තර ලබා දෙන කෙනෙක් කියලා. මට මොහොතකටවත් හිතුනේ නෑ, මං මේ කතා කරන්නේ කැම්පස් එකක තරුනයෙකුටද කියලා. ඒ තරමට තැන්පත් සහ ගෞරවයකින්  ඔහු කතා කලේ. 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඊළඟට මොරටුව ෂාර්ක්ස් පිලට නායකත්වය දෙන රුමේෂ් මධුසංඛව එකතු කර ගත්තා. 



සුදීක : මල්ලි මොන ඉස්කෝලෙටද ගියේ ?

රොමේෂ්  : මම කොළඹ ඩී. එස්. එකේ.

සුදීක : කැම්පස් එකේ කීවෙනි වසරේද ? මොකක්ද ෆීල්ඩ් එක ?

රොමේෂ්  :  හතරවෙනි වසරේ සිවිල් කරන්නේ.

සුදීක : පාසල නියෝජනය කරන කාලේ කොයි තරම් ක්‍රීඩා කරාද  ?

රොමේෂ් : මම අන්ඩර් 17 වෙනකම් විතරයි ක්‍රීඩා කලේ. 

සුදීක :  දැන් කැම්පස් එකට වාර (Season) කීයක් වගේ සෙල්ලම් කරනවද ?

රොමේෂ් :   මේ සෙල්ලම් කරන්නේ දෙවෙනි සීසන් එක. 

සුදීක :  පාසැල් කාලයේදී මොනවද පෙන්වපු දක්ෂකම් ?

රොමේෂ් :  පන්දු යවන්නෙක් විදියට තමයි ක්‍රීඩා කලේ. දැන් බැට්ස්මන් කෙනෙක් විදියට සෙල්ලම් කරන්නේ.

සුදීක :  කැම්පස්  ක්‍රිකට් ගහන්න ගත්තට පස්සේ මොනවද පෙන්නපු දක්ෂතා  ?

රොමේෂ්  :  අපේ කැම්පස් එකෙන් සංවිධානය කරපු ට්‍රයැන්ගිවුලර් ටුනම්න්ට් එකක් තිබුණා.  ඒකට ගහපු අනිත් ටීම් දෙක තමයි කැලණියයි පේරාදෙණියයි. මම එකේදී බෙස්ට් බැට්ස්මන් වුනා.  කේ.ඩී.යූ එකෙන් කරපු  T20 ටුනමන්ට් එකකත් බෙස්ට් බැට්ස්මන්  වුනා. ඒකට කේ.ඩී.යූ එක, කැළණි කැම්පස් එක, ස්ලිට් එක සෙල්ලම් කරා. නුගේගොඩ ක්‍රිකට් ක්ලබ් එකෙන් කරපු සික්ස් අ සයිඩ් එකකදී මෑන් ඔෆ් ද සීරීස් හම්බවුනා. ඒ ටුනමන්ට් එකට ශ්‍රී ලංකා ටීම් එකට ගහපු අකලංක ගනේගමත් සෙල්ලම් කළා.

සුදීක :  නායකත්වය දරන්නේ කී වෙනි අවුරුද්දටද ?

රොමේෂ්  : ඇත්තටම පලවෙනි වතාවට. අපේ කැප්ටන් හිටිය කෙනා පලවෙනි තරගේ දෙවෙනි ඕවරේදීම තුවාල වලා මේ ටුනමන්ට් එකෙන්ම අයින් වෙන්න වුණා. මම වයිස් කැප්ටන් විදියට හිටියේ. ඒ නිසා මම කැප්ටන් වුනේ අහම්බෙන් වගේ. අපිට හිටිය හොඳම ඕල් රවුන්ඩර් නැති වෙලත් ෆයිනල් ආපු එක ලොකු දෙයක්. 

සුදීක :  මෙම තරගාවලියේදී ඔයා වැඩියෙන්ම ලකුණු ගත්ත මැච් මොනවාද  ?

රොමේෂ්  :  ලීග් වටයේදී ලකුණු  44 නොට් අවුට් ගහන්න පුළුවන් වුණා සවුන්දර්ය විශ්ව විද්‍යාලයත් එක්ක තරන්ගේදී. ක්වාටර් ෆයිනල් එකේදීත් ලකුණු  20 ක් ගැහුවා පොඩි ලකුණු ගණනක් ෆලෝ කරද්දී. 

සුදීක :  මේ තරගාවලියට මුහුණ දුන්නේ කොහොමද ?

රොමේෂ්  :  අපිට මේකත් එක්කම ඒගසෑම් තිබුණා. ඒත් කැම්පස් වහපු නිසා හොඳට හිටියා. 

සුදීක :  ඔයාලගේ කණ්ඩායමේ විශේෂ දක්ෂතා දක්වපු කවුරු හරි ඉන්නවද ? නැත්නම් වැඩියෙන්ම බලාපොරොත්තු තියා ගන්නේ කවුරු ගැනද ?

රොමේෂ්  : අවසන් පූර්ව තරඟයේදී විකට් හතරක් අර ගත්ත විමුක්ති ගුණතිලක ගැන විශේෂ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. 

සුදීක :  කොහොමද කැම්පස් එක පැත්තෙන් මේකට ලැබෙන සහයෝගය ?

රොමේෂ්  :  ඉතාම හොඳයි. 

සුදීක : මේ තරගාවලියේ අවසන් තරගය ගැන මොකක්ද තියෙන බලාපොරොත්තුව ?

රොමේෂ්  :  මම හිතන්නේ මේක දිනන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒකත් පහුගිය මැච් වගේම හොඳට සෙල්ලම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. 

සුදීක : පාසැල් යන කාලේ කොහොමද ක්‍රිකට් ගහන්න ලැබුණ පහසුකම් ?

රොමේෂ් :  අපේ පාසල ක්‍රිකට් වලට හොඳ පහසුකම් තියෙන තැනක්. 


සුදීක :  කොහොමද කැම්පස් එකේ ක්‍රිකට් ගහන්න තියෙන උනන්දුව ?

රොමේෂ් :  ක්‍රිකට් ගහල තියෙන්න, ක්‍රිකට් ගහන්න උණ තියෙන ටික දෙනා කොහොමත් එනවා.

සුදීක : මේ ක්‍රිකට් තරගාවලිය මොන වගේද දැනෙන්නේ ?

රොමේෂ්  : ඇත්තටම මේක අපිට හොඳ අවස්ථාවක්. මේ වගේ ක්‍රීඩාංගන වල ක්‍රීඩා කරන්න ලැබෙන එකත් ලොකු දෙයක්. රෙඩ්බුල් කට්ටිය මේක හොඳට සංවිධානය කරලා තියෙනවා. 

සුදීක :  ඔයාගේ ටීම් එකේ පිට පළාත් වල අයත් ඉන්නවද ?

රොමේෂ්  :  ඔව්. ලංකාවේම අය ඉන්නවා. කුරුණෑගල, නුවර, ගාල්ලේ, මාතර, අනුරාධපුර, ගම්පහ අය ඉන්නවා. 

සුදීක :  ඔයා සෙල්ලම් කරන්න ගත්තට පස්සේ මොනවද ලැබුව ජයග්‍රහණ ?

රොමේෂ්  :  2010යි 2011යි ඉන්ට යුනිවර්සිටි තරගාවලියේ තුන් වන ස්ථානය, 2012දදී අපි චෑම්ප්. කේ.ඩී.යූ තරගාවලිය දෙවරක් ජය ගත්තා. නුගේගොඩ ක්‍රීඩා සමාජයේ තරගාවලියෙදී අනුශුරතාව. 

සුදීක :  ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් පවත්වන තරගාවලි වලට සහභාගී වන්නේ නැත්ද ?

රොමේෂ් :  අපි මේ අවුරුද්දේ ඩිවිෂන් ත්‍රී සෙල්ලම් කරලා අනුශූරතාව දිනා ගත්තා. 

සුදීක :  දැන් මේ තරගය දිනුවොත්  ඔයාලට ඉන්දියාවේ යන්න ලැබෙනවා ලෝක තරගාවලියට ? ඒක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ? ඒ නිසා ක්‍රිකට් සෙල්ලම් කරන්න එන ඇය වැඩි වෙයිද ?

රොමේෂ් :  ඔව් අපි බලාපොරොත්තු වෙනවා දිනන්න. එහෙම ටුවර් එකක් දෙන එක හොඳයි. එතකොට ක්‍රිකට් ගහන්න එන අය වැඩි වෙනවා. 

සුදීක :  මේ තරගාවලියත් එක්ක කොහොමද ලැබුණු පිළිගැනීම ?

රොමේෂ්  :  මොරාස්පිරිට් එකෙන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපේ ස්කොඩ් එකට 15ක් හිටියත් ක්‍රිකට් ගහන අනිත් අයත් ඇවිත් අපිට ප්‍රැක්ටිස් වලදී බෝල් කරලා සහයෝගය දෙනවා. 

සුදීක :  මාධ්‍ය ආවරණය ගැන මොනවද හිතෙන්නේ ?

රොෂාන් : කවුරුත් ලයිව් දෙන්නේ නම් නෑ. ඒත් මේ ලැබෙන ටිකත් ඇති. 


සුදීක : මේ දවස් වල ප්‍රැක්ටිස් කරනවද ? කවුද කෝච්

රොෂාන් : ඔව් මේ දවස් වල දිගටම ප්‍රැක්ටිස්. අපේ කෝච් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හේමන්ත දේවප්‍රිය මහත්මාගේ පුතා. මනිල් චතුරංග හෙට්ට්වත්ත.    එයා අපේ කැම්පස් එකෙන් අවුට් වෙලා පස්සේ මාස්ටර්සුත් අපෙන්ම කරලා ඉන්න කෙනෙක්.

රමේෂ් වගේම රොෂානුත් ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ඉතාම කැමැත්තෙන් මේ සංවාදයේදී තොරතුරැ ලබා දුන්නා. තරමක් ලජ්ජාශීලීද කියලා මට නිකමට හිතුනා. 

Tuesday, January 22, 2013

එක්පයර් වෙච්ච් බඩු අරන් තියෙනවද ?

එක්ස්පයර් ඩෙට් කියන්නේ අද කාලේ පාරිභෝගිකයාගේ වගේම වෙළෙන්දාගේ කටේ නිතර ගැවසෙන වචනයක්. මේක කියවන්න ආපු හැම කෙනෙකුටම පහුගිය අවුරුදු දහය ඇතුලත කුමක් හෝ කල් ඉකුත් වූ භාණ්ඩයක් මිලදී ගන්න වෙලා ඇති අනිවාර්යයෙන්ම. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් "අපි නම් හොඳට බලල තමයි අර ගන්නේ ඒ නිසා වරදින්න විදියක් නෑ" කියලා. හරි මම මෙහෙම අහනවා 
පින්තුරය ගත්තේ : mybizoflife.com
"හදිසියකදී කඩේ වහන්න ඔන්න මෙන්න කියල දුවගෙන දුවගෙන ගිහිං, අන්තිම විනාඩියේදී ගන්නවා චොක්ලට් එකක්, මේ කඩේ හෝ සුපිරි වෙළඳසැලේ ලයිට් දෙක තුන ඔෆ් කරනකොට මිලදීගැනීමේ අවශ්‍යතාවය ඉහලටම ආපු වෙලාවකට නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වූ දිනය, කාණ්ඩ අංකය මේවා බලනවද ?" 

ප්‍රායෝගිකව බැලුවොත් නෑ කියන එක තමයි උත්තරය. මොකද තමන්ට විනාඩි දෙකක අවස්තාවක් ලැබුණු විටදී කොහොමද මේවා බලන්නේ? මමත් නිරතුරුවම මේ දේවල් ගැන හොඳ විමසිල්ලකින් ඉන්න කෙනෙක්. ඒත් හැම වතාවකදීම මෙහෙම එක්ස්පයරි ඩෙට් බල-බලාම ගන්නවා කියල හරියටම සහතික වෙන්න බෑ,
පින්තූරය ගත්තේ : guywifekitchen.wordpress.com
එක්ස්පයරි ඩෙට් නොහොත් කල් ඉකුත් වූ දිනයක් තියෙන්නේ භාණ්ඩ වලට විතරක්ද ? එතකොට සේවාවල් ? ඔව් සේවාවල් වලටත් එක්ස්පයරි ඩෙට් එකක් තියෙනවා. හිතන්න දුම්රියට ටිකට් පත ගැන. එකේ සඳහන් කරලා තියෙනවා නිකතු කල දිනට පමණක් වලංගුයි කියලා. ඒ වගේම දැන් සුලභව භාවිත වෙන දුරකථන කාඩ්, ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් පත් මේ හැම දෙකටම එක්ස්පයරි ඩෙට් එකක් තියෙනවා. හැබැයි සේවා සඳහා තියෙන එක්ස්පයරි ඩෙට් එක ගැන අපි සැලකිලිමත් නොවුනත්, නිකුත් කරන්නා සැලකිලිමත්. මේකෙන් අදහස් වෙන්නේ නෑ භාණ්ඩ නිෂ්පාදකයා සැලකිලිමත් නැහැ කියන එක. මොකද එයාලත් අවන්කවම මේවා අඩාල භාණ්ඩයේ මුද්‍රණය කරලා එවන්නේ හුදෙක් පාරිභෝගික  අධිකාරී වලින් ගැලවෙන්නම පමණක් නොවෙයි.  ඔවුන් වඩාත්ම සැලකිලිමත් වන්දේ තමයි ඔවුන්ගේ කීර්තිනාමය. ඒ වගේමයි යම්කිසි කාරණයක් නිසා ඔවුන්ගේ බලපත්‍රය අවලංගු කලොත්. 
පින්තුරය ගත්තේ : lankaenews.com

 2006 දී මට වුනා නියම සිද්දියක්. මට හදිසි රාජකාරියකට යන්න වුනා ගොඩකවෙල ශාඛාවට. එහෙම ගමන් යත්දී භාවිතා කරන දත් බේත්, සබන්, ආෆ්ටර් ෂේව් වගේ අත්‍යවශ්‍ය කට්ටලයක් තියෙනවා.  දත් බේත් ටියුබ් එක අවසාන නිසා, යන ගමනේදී හෝමාගම කාර්ගීල්ස් සුපිරි වෙළඳ සැලට ගොඩ වුනා. මගේ දත් හිරි වැටීමේ ප්‍රෂ්ණයක් නිසා මම පාවිච්චි කලේ සෙන්සිටිව් ටූත්පේස්ට්. මේවා ටිකක් ගණන් වැඩි වුනත්  , දත් වලට ලැබෙන සහනය ගැන හිතුවාම, කුමන මුදලක් වැය වුනත්, හොයා ගන්න කොයි තරම් අමාරු වුණත්, පුළුවන්තරම් මහන්සි වෙලා හරි හොයා ගන්න හිතෙනවා. ඉතිං ඒ දවස් වල මම ගත්තේ මැක්ලීනස් කියන වෙළඳ නාමය තියෙන සෙන්සිටිව් ටූත් පේස්ට්. ඒක නිතරම ගන්න ලැබෙන්නේ නැති නිසා එතන තිබ්බ තුනම ගත්තා.එදා ගිය ගමනේදී මේවා පාවිච්චි කරන්න නොවුනේ හිතුවට කලින් වැඩ ටික හමාර කරලා ගෙදරම එන්න ලැබුණ නිසා. මමත් ආවයි කියමුකෝ ගෙදර. එදා රෑ පාවිච්චි කර කර හිටපු එක පැත්තකින් තියලා ගත්තා අලුත් එකක්. එකේ එක්පයර් ඩෙට් එක 2008, ප්‍රශ්නයක නෑ. මම පහුවදා අනිත් දෙකේ එක්ස්පයර් ඩෙට් නිකමට බැලුව. දෙයියනේ ! එක්ස්පයර් වෙලා මාස හතරක් විතර ගිහිං. දැන් ඉතිං මොන දෙයියන්ට කියන්නද ? අයියෝ සල්ලි කියලා හිතුනා. මම නිකමට බිල් පත ඇරගෙන බැලුව. ඒකෙ තියෙන දුරකථන අංකයට කථා කරලා වෙච්ච් සිද්දිය කිව්වා. 

"සර් ඔය ටූත් පේස්ට් තුනම ඔහොම තියාගන්න. සාර්ට ලඟම කාර්ගීල්ස් එක කොහේද ?"

"කොහුවල"

"හරි මම කොහුවල මැනේජර්ව ගෙදරටම එවන්නම් සල්ලිත් එක්ක"

"නෑ. එපා. මම පාවිච්චි කල එකේ වරදක් නෑනේ. ඒක මම තියා ගන්නම්. අනිත් දෙක මම කොහුවල ෆුඩ් සිටියට අරන් එන්නම්"

"සර්ට කරදරයක් නැත්නම් ! මම එතන මනේජර්ට කියල තියන්නම්. සර් ගිහිං කෙලින්ම මනේජර්ව හම්බ වෙන්න"

කොහොම හරි මට මේ වැඩේට දවස් දෙක තුනක් ගත වුණා. ගෙනියන්න බලනකොට අන්තිමට පැකට් දෙකෙන් එකයි තියෙන්නේ. මම හැමෝගෙන්ම අහල බැලුව. හැබැයි මේ වෙනකොට අපේ ගෙදරවැඩ කල  සේවිකාව අමු හෙර. ඇය ගෙදර ගිහිං. මට සිද්ද වෙච්ච් දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ. මම ඉතිරි එක අරන් ගිහිං කියපු විදියට මැනේජර් මුණ ගැහුනා.

"ආහ් ! ඔව් සර් මට හෙඩ් ඔෆිස් එකෙන් සර් එයි කියලා කිව්වා. සර්ට උවමනා සල්ලිද ? නැත්නම් වෙන මොනවා හරි බඩු ගන්නද?"

"මම බඩු ගන්නම්'

මේ කතාව ලාෆ්ස් ආයතනයේ තොරතුරු තාක්ෂණ කලමනාකාරු ලෙස සේවය කල අමිලට මම කිව්වා.

"අපරාදේ උඹට හොඳ ගානක් ගන්න තිබුණා. උඹ දන්නවද ඕනනම් උඹට උන්ගේ ලයිසන් කැන්සල් කරන්න පුළුවන්. ඒ නිසා උන් කියන ගානක් දීලා ගන්නවා"

අයියෝ සල්ලි. මොනවා වුනත් මල්ලිකාගේ දත් වැටෙන්න නැතිව ඇති කියලා මම විශ්වාස කරනවා. 

අපි දන්නා යාලුවෙක් ඉන්නවා. මිනිහා පුරුද්දක් විදියට කරන්නේ හොඳ නොහොඳ කොහොම වුනත් මේ ආයතන වලට ලියුම් ලියනවා. ලිව්වට පස්සේ ඒ තැන් වලින් ගෙදරටම කෑම වර්ග, ත්‍යාග පාර්සල් ගෙදරටම ලැබෙනවා. මිනිහා කෑම කාපු රෙස්ටුරන්ට් වලටත් මේ වගේම චෝදනා කරලා වාසි ගන්නවා.

තව කෙනෙක් ඉන්නවා විශේෂ අවස්ථාවක හිල්ටන් හෝටලයට ගිහිං රාත්‍රී ආහාර වේලාක් ගන්න. මේක තිබිලා තියෙන්නේ එළිමහනේ. එහෙම ඉඳිද්දී මිනිහට ගඳක් ඇවිත්. අන්තිමට හොයාගෙන යත්දී එතන කුණු ගෙන යන කානුවක්. මිනිහා කාර්ය මණ්ඩලයට හොඳටම බැන වැදිලා. අර මිනිස්සු තියෙන සුපිරිම තැනක එදා රාත්‍රී අහාර වෙලා ගන්න සලස්වලා. ඊට පස්සේ මේ පුද්ගලයා කියල තියෙනවා මගේ ළමයි දෙන්නටයි, අපි දෙන්නටයි මාස හයක් ඇතුලත බඩේ අමාරුවක් එහෙම හැදුනොත් තමුසෙලා වග කියන්න ඕනේ කියලා.

තවත් දෙයක්. අපි කුමක් හෝ භාණ්ඩයක් මිලදී ගනිත්දී හිතන්න ඕනේ, ඒක කොයි තරම් කාලෙකටද අපි මිලදී ගන්නේ කියල. මොකද අපි සමහරවිට ගන්න දේවල් අවුරුදු ගණන් පාවිච්චි කරන දේවල් වෙන්න පුළුවන්.  එක්ස්පයර් වුනොත් මොකද වෙන්නේ ? කෑමක් නම් විස වෙන්න පුළුවන්, අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්, ගුණයට හානි වෙන්න පුළුවන්, නියම රසය නැති වෙන්න පුළුවන්. ආලේපන ද්‍රව්‍ය වගේ දෙයක් වුනත් අසාත්මික වීමේ හැකියාව තියෙනවා. නියම වර්ණය හෝ ගුණය නැති වෙන්න පුළුවන්. හැම දේකටම මේ වගේ ආවේණික ගුණාංග තියෙනවා. ඒවා අඩු වැඩි වීම තමයි වෙන්නේ. 

නමුත් හෝටල් වලින් කෑම කන අපි කොයි තරම් කල් ඉකුත් වූ කෑම කාල ඇත්ද ? තවත් මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැන් සුපිරි වෙළඳ සැල් වල අපේ පහසුවට වගේ කැරට් කපලා, පිපිංඤඤා කපල, කට්ලට් හදලා, හුරුබුහුටියට ඇසුරුම් කරලා දෙන දේවල්. මට හිතෙන්නේ බාගෙට කුණු වෙච්ච එළවලු පලතුරු තමයි මේ විදියට විකුණන්නේ. එනිසා මම ඒ විදියට තියෙන දේවල් මිලදී ගැනීමෙන් වැළකෙනවා.

හොඳයි එක්ස්පයර් ඩෙට් පනින්නේ නැති භාණ්ඩ එහෙම මොනවත් තියෙනවද ? මේ කථාව ඒ වගේ එකක්. වසරකට වරක් පවත්වන වර්ණ රාත්‍රීයේදී සංග්‍රහ කරන්න විවිධ මත් පැන් වර්ග ගේනවා. අපි ඒවා ගේන්නේ ඒ දවසේ උදේ වරුවේ. මෙහෙම ගෙන්න අවශ්‍ය ප්‍රමාන තීරණය කරන්න අපි කථා වෙත්දී අපේ ලේකම් තුමා

"මෙන්න මේ බ්‍රැන්ඩි බෝතලේ ගිය පාර ඉතිරි එකක්. මේකත් ගන්න පුලුවන්ද බලන්න"

බෝතලය මුලිනම් ගත් කෙනා මේක ඒ මේ අතට පෙරලලා කිව්වා

"මේක වැඩක් නෑ, මේක එක්ස්පයර් වෙලා කියලා" එහෙම කිව්වේ දීකිරට බළල්ලුත් සාක්කි වගේ වැඩක් කරන්න හිතාගෙන. එතන හිටිය නොම්මර එකේ බේබද්දෙක්, ඒ වගේම පොර ටෝක් දේනේ එකෙක් පැන්න ගමන් කිව්වේ නැද්ද

"අරක්කු වලට කොහොද බං එක්ස්පයර් ඩෙට්" කියල හිනා වෙවී. කිව්ව මෝඩකම කියල පස්සේ හිතෙන්න ඇති. 

ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඕනෑ තරම් ඇති. අපි කැමතියි දැනුවත් වෙන්න. 

ප.ලි : සමහරු තෑගී ගන්න දෙන ඒවාගේ මේ එක්ස්පයරි ඩේට් එක හොයන්නේ නෑ. එහෙම වුනාම විසි කරනවා ඇරෙන්න කරන්න පුලවන් දෙයක් නෑ. උත්සව සමයේදී තමයි මේවා වැඩි වෙන්නේ. 

අන්තර් ජාලයේ දැක්ක බියර්, අයිරිෂ් ක්‍රීම්(කිරි මිශ්‍ර නිෂ්පාදනයක්) වගේ ඒවායේ එක්ස්පයරි ඩෙට් එකක් තියෙනවා කියලා. 

Monday, January 21, 2013

ගෙදර ප්‍රශ්න අමතක කර ලෝකයට මුහුණ දීම

ටිකක් බැරෑරුම් මාතෘකාවක්. දැන් ඔබට හිතෙන්න පුළුවන් සුදීක මේ මොකක් ගැනද ලියන්න යන්නේ කියලා. හොඳයි මම මෙහෙම කියන්නම්. ගෙදර අඹු සැමියන් අතර කුමක් හෝ ප්‍රශ්නයක් නිසා මත ගැටුමක් ඇති වෙනවා. කතාවට කිව්වත් මේවා බත් හැලිය ඉදෙනකන් විතරයි කියල. සමහර ප්‍රශ්න බොහෝ කාලයක් ඇදී යනවා. සමහර විට ඔය කතාව කියන්න ඇත්තේ අතීතයේ පවුල් සමාජය ගැන හිතලා වෙන්න පුළුවන්. මේ කොහොම නමුත් හිතන්න ගෙදර අඹු සැමියෝ විරසක වෙලා ඉන්න වෙලාවක ඔවුන්ගේ ළමයෙක් කුමක් හෝ තරගයකට ඉදිරිපත් වෙනවා, දෙමාපියන් විදියට ඔවුන් ඒ සඳහා සහයෝගය දෙන්න ඕනේ. එතකොට මේ දෙන්නා දෙමාල්ලාන්ට සිද්ද වෙනවා අර ප්‍රශ්නේ මොහොතකට අමතක කරලා ළමයාගේ දේ පිලිබඳ හිත යොමු කරන්න. ඒ වගේ හිත යොමු කරන්න බොහෝ දේ තියෙනවා නම් ක්‍රියාකාරකම් තියෙනවනම් මේ වගේ අභ්‍යන්තර ප්‍රශ්ණ අඩු වෙනවා කියන එක තමයි මගේ විශ්වාසෙ.

මේ දවස් වල මොරටුව සරසවියේ ඇති වෙලා තියෙන අභ්‍යන්තර ගැටුමත් මෙන්න මේ අඹු-සැමියන් අතර ඇති වෙන ප්‍රශ්නයක් වගේ මට පෙනුනේ. මේ සම්බන්ධව සියලුම මාධ්‍ය වලින් නිකුත් කරපු වාර්තා අපිට කියවන්න, අහන්න දකින්න ලැබුණා. ඊට අමතරව අපේ බ්ලොග් සහෘද්ධයන් කිහිප දෙනෙකුත මේ ගැන තමන්ගේ මත පල කළා. ඊයේ මොරටුව විශ්ව විද්‍යාලයට තවත් විශේෂ දවසක්. ඒ රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ නිසා. ඒ වයඹ සරසවියත් සමග පවතී තරගය ජය ගනිමින්. මම දන්නේ නෑ මේ කණ්ඩායමට එන්.ඩී.ටී. නියෝජනය කරන ක්‍රීඩකයින් කී දෙනෙකු ඉන්නවාද කියා. නමුත් ඔවුන් එකම සරසවියක අධ්‍යාපනය ලබන අය. මා විශ්වාස කරනවා මේ තරගාවලියේදී මොරටුවේ ජයග්‍රහණයට එන්. ඩී. ටී. සිසුවන් හදවතින් හෝ සහයෝගය ලබා දෙන්න ඇති. සිදු විය යුත්තේත් එයමයි. තමන් අතර තිබෙන ප්‍රශ්ණ අමතක කර දමා මෙවැනි අවස්ථා වල සාමයෙන් සමගියෙන් කටයුතු කිරීමයි.

විශ්ව විද්‍යාල අතර පැවැත්වෙන මේ තරගාවලියේදී කිසිදු කලහකාරී සිද්ධි වාර්තා නොවූ නිසාම පැහැදිලි වනවා සිසුන් සඳහා මෙවැනි අවස්ථා වැඩි වීමෙන් අප කලින් සඳහන් කල අභ්‍යාන්තර ගැටුම් අඩු වන බව. ඒ අතරතුරදී බලධාරීන්ට පුළුවන් මේ ආරවුල් වල මූලයට විසඳුම් සොයන්න. 

මගේ රෙඩ්බුල් පිලිබඳ මගේ මතකය සහ කැම්පස් ක්‍රිකට් තරගාවලිය  පොස්ට් එක බලපු සමහරු මට චෝදනා කළා මා රෙඩ්බුල් ප්‍රොමෝෂන් එකක් කරනවා කියලා. මා අදත් කියන්නේ මා විස්තර කලේ මගේ අත්දැකීම් පමණයි. මේ ලිපියෙන් පසු මට ආ එක් ඊ-මේල් පණිවුඩයක සඳහන් කර තිබුනා 
රෙඩ්බුල් ආයතනය මෙම තරගාවලිය සංවිධානය කිරීමෙන් කිසිදු වෙළඳ ප්‍රචාරණයක් බලාපොරොත්තු වන්නේ නෑ, මෙය හුදෙක් සමාජ කටයුත්තක් සේ සලකා සිදු කරන්නක්.  රෙඩ්බුල් වෙළඳ ප්‍රචාරණය නව්‍යමය ආකාරයෙන් සුදුවන්නක් බැවින් වෙනත් ප්‍රචාරණ අවශ්‍ය නොවන බව. 
 එම ඊ-මේල් පණිවුඩයෙන් මෙම අවසාන පූර්ව තරග නරඹන්නට මට ආරධානා කරන්නත් ඔවුන් කාරුණික වුණා. 

අවසාන පූර්ව තරග පැවැත්වුයේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයෙදී. පසුගිය සති කිහිපයේදී පැවති වැහිබර කාලගුණ තත්වය පහවී හිරු එලිය ඉතා හොඳින් ලැබුණු දින කිහිපයකට පසුව ක්‍රිකට් තරගයක් පවත්වන්නට උචිත දිනයක් ලෙස එය සඳහන් කරන්න පුළුවන්. මුලින් මෙම තරග දෙක ජනවාරි 19 දිනට සැලසුම් කර තිබුණත් එය 20 වෙනිදාට කල් දමන්නට තරග සංවිධායකයින් තීරණය කළා.

 උදෑසන පැවැත්වූ තරගය ජපුර කිංග්ස් කණ්ඩායම සහ පේරා ලයන්ස් අතර පැවැත්වුනා. පළමුව පන්දුවට පහරදුන් ජපුර කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පේරා ලයන්ස් පිල පන්දු ඕවර 19.2 කදී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 105ක් පමණයි. ඒ අනුව ජනවාරි 26 වනදා සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අවසාන තරගය සඳහා මුලින්ම සුදුසුකම් ලබන්නට ජපුර කිංග්ස් කණ්ඩායම සමත් වුවා.

සවස් වරුවේ පවත්වන ලද දෙවන තරගය සඳහා සුදුසකම් ලබා ගත්තේ මොරටුව ෂාර්ක්ස් සහ වයඹ හීරෝස් කණ්ඩායම්. කාසියේ වාසිය ලබා ගත් මොරටුව ෂාර්ක්ස් කණ්ඩායම මුලින්ම පන්දු රකින්නට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයඹ හීරෝස් කණ්ඩායම මුලදී හොඳ ආරම්භයක් ලබා ගත්තත් (පළමු කඩුල්ල සඳහා ලකුණු 23ක සබඳතාවක්), හොඳ පන්දු යැවීමක නිරත වූ මොරටුව ෂාර්ක්ස් පන්දු යවන්නන් ඔවුන් ලකුණු 87කට සීමා කරන්නට සමත් වුවා. විමුක්ති ගුණතිලක ඉතා අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් වයඹ පිලේ කඩුලු හතරක්ම දවා ගත්තා. මෙම පහසු ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි ෂාර්ක්ස් ආරම්භය එතරම් සාර්ථක කරගන්නට හීරෝස් අවස්ථාව ලබා දුන්නේ නෑ. ඒ ප්‍රථම කඩුල්ල ලකුණු අටක් තුලදී දවා ගනිමින්. කෙසේ වෙතත් මෙම තත්වය මැඩපවත්වා ගනිමින් ෂාර්ක්ස් පිල, නියමිත ඉලක්කය වූ ලකුණු 87 පසු කර යන්නට ලබා ගත්තේ ඕවර 14ක් පමණයි. නුවන් සමීර අගනා ලකුණු 42ක් (ජයග්‍රාහී ඉලක්කයෙන් භාගයක්) ලබාගෙන ෂාක්ර්ස් පිලි ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් විය. 

දැන් සියළු දෙනා ඉතා බලාපොරොත්තුවෙන් පසු වනවා 26 වනදා කුමක් සිදු වේද කියා. ගෙදර ප්‍රශ්ණ අමතක කර කිරුල හිමි කරගන්නට "මොරටු මෝරුන්ට" හැකි වේද ?
Photo Credits : Flicker/LibiyanSoup & http://karmicconsulting.net


පසු සටහන : 
ක්‍රිකට් ප්‍රේමියකු වශයෙන් රෙඩ්බුල් ආයතනයේ මේ උත්සාහය මා අගේ කොට සලකනවා. අවස්ථා අහිමි බොහොමයක් වෙසෙන සරසවි පද්දතියේ, සැඟවුණු දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට වේදිකාවක් සැපයීම වෙනුවෙන්. 

Saturday, January 19, 2013

ක්‍රිකට් එක්ක ඉගෙන ගන්න බැරිද ?

පින්තුරය ගත්තේ : http://www.boredcricketcrazyindians.com / සංශෝධනය : සුදීක.
මේක මට පොඩි කාලේ ඉඳලා තිබුණු ප්‍රශ්නයක්. මම කුඩා කාලේ ක්‍රිකට් ගහන්න හදන කොට මගේ දෙමව්පියෝ දාපු බාල්දි මම කලින් ලියපු තර්ඩ්මෑන් කළාපයෙන් ක්‍රීඩාංගණයෙන් එලියට ගිය අත් දිග සුදු කමිසය පොස්ට් එක කවුරුත් බලන්න ඇතියි කියල හිතනවා. මොකද මගේ දෙමව්පියන්ට ඕන වුනේ මට උගන්වන්න මිසක් ක්‍රිකට් ගස්සන්න නොවේ. ඒ කාලයේ හැටියට එහෙම නොවුනානම් තමයි පුදුමේ. මට ඒ කාලේ අපේ අම්මලා කරපු ලොකුම අභියෝගය තමයි "පුළුවන් නම් ක්‍රිකට් ගහල විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක් පෙන්වනවා" කියන එක. මට තිබුන එකම උත්තරය මගේ ක්‍රිකට් ගුරුවරයා වෙච්ච ජයතිලක අයියා. එයත් හතරවෙනි අවුරුද්දේ ප්‍රතිපල වලින් වෛද්‍ය විද්‍යාලයට ගිහිං අන්තිම මොහොතේ මාට්ටු වුණා. ඒ ගමේ කෙනෙක්ම යවපු පෙත්සමක් හින්දා. නැත්නම් මිනිහා දොස්තරම තමයි. ඒ වෙනකොටත් සෑහෙන දැනුමක් තිබ්බා. මේ කෙරුවාවෙන් මටයි බැට් එක පැත්තකින් තියන්න වුණේ. ඒ කතාව කියන්න නෙමේ අද මම සුදානම් වුනේ. මම ඔය දෙකම බාගෙට කර ගත්ත බව දැන් හැම දෙනාටම පැහැදිලියිනෙ පහුගිය පොස්ට් කියවපුවාම. ඒත් මට තියෙන ක්‍රිකට් උන්මාදය නැති වෙන්නේ නම් නෑ. අධ්‍යාපනය නිසා  ක්‍රිකට් අත ඇරපු කී දෙනක් ඇත්ද? ඒ වගේම ක්‍රිකට් නිසා අධ්‍යාපනය අඩාල කර ගත් කී දෙනෙක් ඇත්ද ?

ක්‍රිකට් සහ අධ්‍යාපනය යා දෙක නොරත රත වගේ එකට යන්න බැරි රේල් පාරේ පීලි දෙක වගේ කියල තමයි 100ක ගෙන් ඇහුවොත් 99ක්ම දෙන උත්තරේ. ඒ ක්‍රිකට් වලට පාසල් වෙලාව යෙදෙව්වහම අධ්‍යාපනය අඩාල වෙනවා කියන පූර්ව නිගමනයේ හිටියොත්. ඇත්තටම ඉස්කෝලෙක ගත්තොත් සාමාන්‍යපෙළ තුන්වෙනි පාර සමත් වෙලා කළා අංශයෙන් උසස්පෙළ කරන අය තමයි බොහෝවිට ක්‍රිකට් කණ්ඩායමේ දකින්න ලැබෙන්නේ. මේ සැකය නිසාම අපි බොහොමයක් දෙනෙක් ක්‍රිකට් ගැසීම පැත්තක තියලා අධ්‍යාපනයටම හිත යොමු කළා. ඒත් මේ දෙකම එක වගේ කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු අය අද ඕනෑතරම් ඉන්නවා. අවාසනාවකට ලංකාවේ ඉන්නේ බොහොම අතලොස්සයි. අත් දෙකේ ඇඟිලි ගානටත් අඩුයි. 

හැබැයි මම බලල තියෙන දෙයක් තමයි, ක්‍රීඩාවෙන් සමු ගත්තට පස්සේ ක්‍රිකට් සම්බන්ධ ඉහල තනතුරු වලට (ලංකාවේ නොවේ) යන්නේ අර කියපු අතලොස්ස. මේකට අපි අවම සුදුසුකම වශයෙන් විශ්ව විද්‍යාල උපාධියක් හා ජාතික කණ්ඩායම නියෝජනය කල අය වශයෙන් ගත්තොත්, ලංකාවේ නිතැතින් මතකයට එන නම තමයි කුමාර් සංගක්කාර. ඔහු කොළඹ නීති පීටයට තේරුණා. මම දන්නා තරමට දැන් ඔහු නීතිඥයෙක් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු දිහා බැලුවාම මේ වෙනස පැහැදිලි වෙනවා. බොහොම විනීත, චතුර, ප්‍රසන්න පුද්ගලයෙක් ලෙස තමයි ඔහු ලෝක ක්‍රිකට් සමාජය තුල වර්ණනා කෙරෙන්නේ. අපි නොදන්නවාට ජෙහාන් මුබාරක් ක්‍රීඩකයාත් කොළඹ සරසවියේ රසායන විද්‍යා උපාධිදාරියෙක්. ඉන් පස්සේ අපේ මතකයට එන්නේ සමන් ජයන්ත. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම සීමිත තරග සංඛ්‍යාවක් නියෝජනය කරපු ඔහු මා දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාව පැත්තක තියලා රුහුණු සරසවියේ අධ්‍යාපනය කරගෙන ගියා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම කඩුළු රකින්නා යයි බොහෝ දෙනා පිලිගන්නා මහේෂ් ගුණතිලක තමයි ටෙස්ට් තත්වය ලැබුනට පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු එකම සරසවි ලාභියා. ඊට කලින් ගජන් පත්මනාදන් කියා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉඳලා තියෙනවා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරපු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක්. නමුත් ඒ ටෙස්ට් තත්වය ලැබෙන්න පෙර.

තවත් සඳහන් නොකරම බැරි නම් දෙකක් තියෙනවා ලංකාවේ ක්‍රිකට් එක්ක ගහට පොත්ත වගේ ඇලිලා යන ඒ ප්‍රේමසර ඈපාසිංහ සහ පර්සි අබේසේකර. මේ දෙදෙනාත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු අය.

හොඳයි අපි අසල්වැසි ඉන්දියාව දෙසට හැරෙමු. වර්තමාන ඉන්දියාව නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් ගෞතම් ගාම්භීර් දිල්ලි විශ්ව විද්‍යාලයට අනුබද්ද හින්දු කොලේජ්හි උපාදිය ලබා තිබෙනවා. වී වී එස් ලක්ෂ්මන් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවත් එය අමතක කර දිගටම ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුනා. අධ්‍යාපනය පසෙක ලා ක්‍රිකට් තෝරා ගත් අනෙක් ක්‍රීඩකයා තමයි ඉන්දියාවේ මද වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන්. ඔහු ඉංජිනේරු පීටයට සුදුසුකම් ලබා අධ්‍යාපනය ආරම්භ කලත් පසුව එය ඇත හැර පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණා. ඔහුගේ සහෝදරයන් දෙදෙනාම ඉංජිනේරුවන්. මෑතකදී ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් වූ අනිල් කුම්බ්ලේ සහ ජවගාල් ශ්‍රීනාත් යන දෙදෙනාම ඉංජිනේරුවන්. ඔබ දන්නවා අනිල් කුම්බ්ලේ ඉලෙට්‍රොනික් ඉංජිනේරුවෙක් බව. මීට අමතරව අපේ මතකයට එන්නේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කල ක්‍රිෂ්නමචාරී ශ්‍රීකාන්ත්. ඔහුත් ඉංජිනේරුවෙක්. 

අපේ ලඟම අසල්වැසියා නොවුනත් පකිස්තානයත් අපිට සමීප රටක්. එහි තත්වය ගත්තොත්. වර්තමාන ක්‍රීඩකයන්ගෙන් මිස්බා උල් හක් ව්‍යාපාර කළමණාකාර පස්චාත් උපාධිදාරියෙක්. ෆවාඩ් අලාම් වැඩිය හුරු පුරුදු නමක් නොවුනත් ඔහුත් වාණිජ උපාධිදාරියෙක්. මීට අමතරව සහීඩ් අන්වර් ඉංජිනේරුවෙක් බව බොහෝ දෙනා දන්නවා. ඒ වාගේම ලෝකයේ බිහිවූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් සැලකෙන පකිස්තානයට ලෝක කුසලානය දිනා දුන නායකයා වන ඉම්රාන් ඛාන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිදාරියෙක්. ජනප්‍රිය විස්තර විචාරක පාකිස්තානය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කල රමීස් රාජාත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිදාරියෙක්. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අනෙක් ආසියාතික කණ්ඩායම වන බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් මෑතකදී ඉතිහාසය පිලිබඳ පශ්චාත් උපාධිය හිමි කර ගත්තා. 

ක්‍රිකට් ලොවට හඳුන්වාදුන්, ඒ වගේම එදා සිට  අධ්‍යාපනය ලොවට බෙදන එංගලන්තයේ තත්වය කොහොමදැයි බලමු. ක්‍රිකට් හඳුන්වාදුන් යුගයේ එය මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙන් නම් කෙරුනේ, එය ක්‍රීඩා කරන බොහොමයක් ඉහල සමාජයේ අය වීම. ඒ වගේම උගතුන් වීම.  ඉතිහාසය පුරාම එංගලන්ත කණ්ඩායම නියෝජනය කල  බොහෝ ක්‍රීඩකයින් උසස් අධ්‍යාපන ලැබූ අය. අපේ මතකයට නිතැතින් එන මයිකල් ඇතර්ටන් ඉතිහාසය පිලිබඳ උපාධිදරයෙක්. දැන් ඔහු පූර්ණකාලීන ක්‍රිකට් විස්තර විචාරකයෙක්. එංගලන්ත කණ්ඩායමේ වර්තමාන නායකයා ඇන්ඩ්රු ස්ට්‍රෝස්. ඔහු එංගලන්තයට නායකත්වය දුන් අය අතර සුවිශේෂී පුද්ගලයෙක්. එංගලන්තය ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් කිරීමේ නියමුවා ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහු ආර්ථික විද්‍යා උපාදියෙහි නිබන්ධනය ලියමින් ඉන්නවා කියා තමයි ආරංචිය. මයික් බ්රෙයර්ලි ඔබට මතක ඇතැයි මා සිතනවා. ශ්‍රී ලංකාව ටෙස්ට් තත්වය ලඟා කරගන්නට මත්තෙන් කල එංගලන්ත සංචාරයේදී එංගලන්තයට නායකත්වය දුන්නේ ඔහුයි. පසුව MCC ආයතනයේ සභාපති ධුරය පවා ඉසිලූ ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පිටවූ උපාධිදරයෙක්.

මේ නම් ලැයිස්තුව සම්පූර්ණ කරන්න ගියොත් මට තව මාසයක් විතර ගත වෙනවා. ඒ තරමට එංගලන්ත ක්‍රීඩකයින් උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා. මේ සමග අමතක කරන්නම බැරි දෙදෙනෙක් ඉන්නවා ඒ ග්‍රැහැම් ගූච් සහ මයිකල් වෝන්. මේ දෙදෙනාට සම්මාන ආචාර්ය පදවි පිරිනමලා තිබෙනවා ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය සලකලා. ඒ කාරණය අපේ මාතෘකාවට අදාල නොවුනත් සඳහන් කරන්න වටින නිසා තමයි මතක් කලේ.

ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාවේ රජුන් බිහිකරන රාජ්‍යයය. ඔවුන් සාමාන්‍ය පෙළින් පසු කඩයිමක් ලෙස ක්‍රීඩාවට දක්ෂ අයට අවස්ථාවක් ලබා දෙනවා ඉදිරියේදී ක්‍රීඩාව දිගටම කරගෙන යනවාද නැත්නම් අධ්‍යාපනය සම්පූර්ණ කරනවාද කියලා. එක් පැත්තකින් අවදානම් වුනත් එය කදිම තීරණයක්. මෑතකදී කියවනු ලැබූ ඉන්දීය ග්‍රන්ථ රචක චේතන් බාගත් ගේ 3 Mistakes in my Life කියන කෘතියේ සඳහන් වෙනවා "අපේ රටවල් වල ඔනෑම කෙනෙක් විමසා සිටින්නේ ඔබේ රැකියාව කුමක්ද ? කියා එහෙත් ඕස්ට්‍රේලියානුවන් විමසන්නේ ඔබේ ක්‍රීඩාව කුමක්ද ? කියා" මම හිතනවා මේ කතාව ඇත්තක් කියා. මොකද ඕස්ට්‍රේලියාව ක්‍රීඩාව වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරන රටක්. ඕස්ට්‍රේලියානුවන් ඉතාම දක්ෂ පන්දු රකින්නන් ඒ වගේම හොඳ කාය ශක්තියක් තියෙන කඩිසර ක්‍රීඩකයින්. නමුත් මා කුඩා කාලයේදී ගුවන්විදුලියෙන් ඇසූ කම්මැලි ඕස්ට්‍රේලියානුවා ජෙෆ් ලෝසන්. ඔහු අක්ෂිවෛද්‍යවරයෙක්. මෑතක් වනතුරුම ක්‍රීඩා කල වේග පන්දු යවන මයිකල් කැස්ප්රෝවිෂ් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් අධ්‍යක්ෂක වරයෙක්. ඔහුගේ පශ්චාත් උපාධිය ක්වීන්ස්ලන්ත සරසවියේ මේ වනවිට කරගෙන යනවා.

ඕස්ට්‍රේලියාවේ තවත් වැදගත් දෙයක් සිදු වනවා. ඔවුන්ගේ විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමය මගින් ක්‍රීඩාවට දස්කම් දක්වන අය සඳහා උපකාර කරනවා. මෙය සිදු කරන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය (Australian Institute of Sports). ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔවුන් එසේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඔවුන් ඉන් පිටවන්නේ   ක්‍රීඩාව පිලිබඳ උපාධිදාරීන් ලෙස. එසේ පිටවුවන් අතර ස්ටුවර්ට් ලෝ, මයිකල් බෙවන්, බ්‍රෙන්ඩන් ජුලියන්, මයිකල් ස්ලේටර්, ග්‍රෙග් බ්ලුවට්, ජස්ටින් ලැන්ගර්, ඩේමියන් මාර්ටින්, ෂේන් වෝන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මයිකල් කැස්ප්‍රෝවිෂ්, ස්ටුවර්ට් මැක්ජිල්, ග්ලෙන් මැක්ග්‍රාත්, රිකි පොන්ටිං, ජේසන් ගිලෙස්පි, බ්‍රෙට් ලී කිහිප දෙනෙක් පමණයි.

මෙසේ වට්ටෝරුවක් ලෙස සියලුම රටවල් ක්‍රීඩකයින්ගේ විස්තර මා සටහන් කරන්න යන්නේ නෑ. මෙහිදී පෙන්වා දීමට උත්සාහ කලේ ආසියාව හා ලෝකය අතර අප සිටින තැන. මේ ගැන අදහස පහල වුවේ මේ දිනවල පැවැත්වෙන රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් තරගාවලිය ගැන විස්තර දැන ගැනීමට ලැබුණු පසු. මෙම තරගාවලිය තුල ශ්‍රී ලංකාව හෝ වයස 19න් පහල ශ්‍රී ලංකාව නියෝජනය කරන/කල අය මා දන්නා තරමින් නෑ. එයින් පැහැදිලි වන්නේ ක්‍රිකට් සහ අධ්‍යාපනය සමබරව තාබාගන්නා අය නැතිතරම් කියා  නොවේද ?

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...