Wednesday, November 13, 2013

පොඩි මහත්තයා - මහත්තයා, බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ලාගේ පරපුරේ එකෙක් වූ යෑන් යෑන් නමැති චීනා නිසා නැති වූ ලකුණු 20 Twenty Marks lost because of Yan Yan of Podi Mahaththaya Mahaththaya, Buthros Buthros Gali Generation

1988 වසර මට අමතක නොවන අවුරුද්දකි. එම වසර මට ජයග්‍රාහී වසරකි. එම වසරේ මුල් කාලයේදීම අපගේ ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා අපට වැදගත් ආරංචියක් ගෙන ආවේය. රෙජිස්ටර් තැපෑලෙන් පැමිණ තිබූ එම ලියමන අප අතට පත් වූ විගස, කරමින් සිටි පාපන්දු රාගය(මෙයට කියන වෙනත් නමක් නොදනිමි. එහෙත් පාපන්දු ක්‍රීඩකයින් වටවී පන්දුව බිම නොවට්ටා කරන සාමූහික ක්‍රීඩා කොටසකි) නවත්වා අප වට වී එය කියවන්නට පටන් ගතිමු. එය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බව පැහැදිලි වූයේ එහි ඉහළින්ම තිබූ මුද්‍රිත නිල සලකුණු දුටු විටයි. එය තරග විභාගයක් සඳහා කැඳවීමකි. ඒ සඳහා සූදානම් වන්නැයි මට, පතියාටත් සහ පොඩි සුබයාටත් අණ ලැබිණි.

අප මේ සඳහා කළයුතු දෙයක් ගැන හෝ අවශ්‍ය පෙර සූදානමක් ගැන කිසිදු දැනුමක් නොතිබුණි. ඒ "ක්‍රීඩා දැනුම මිනුම" වැඩසටහනේ දෙවන පියවර බව මගේ මතකයයි. මීට කලින් වතාවක් ජාතික රූපවාහිනිය ඔස්සේ එවැනි වැඩසටහනක් නරඹා තිබුණි. මා කොහොමත් දැනුම - මිනුම වැඩසටහන් වලට කැමැත්තක් දැක්වූ නිසා මෙවැනි වැඩසටහන් නොවරදවා බැලුවේ දෙමව්පියන්ගේ ආශිර්වාදයද සහිතවයි. වෙනත් වැඩසටහනක් බලන ඕනෑම විටක "ඉස්කෝලේ වැඩ එහෙම නැද්ද ?" යන පැනය දිව මතුරක් මෙන් මගේ මවගේ හෝ පියාගේ මුවින් පිට වන්නේ නිරායාසයෙනි. 

dinamina.lk
අප මුලින්ම මුණ ගැසුණේ ප්‍රවීණ ක්‍රීඩා නිලධාරියෙකු වූ, අප අතරින් වියෝ වූ, මගේ පියාගේ ඥාති
සහෝදරයකු වූ සිසිර කන්නන්ගර මහතා සමගය. ඊළඟ දිනයේ ක්‍රීඩාව පටන් ගැනීමට ප්‍රථම පැමිණෙන්නට ඔහු අපගෙන් ඉල්ලා සිටින ලද අතර එදින අප අන් අයට කලින් ගාමිණී විද්‍යාලයේ හිස් පන්ති කාමරයකට වී ඔහු එනතුරු බලා සිටියෙමු. තවත් විනාඩි ගණනකින් ඔහු පැමිණියේ ෆයිල් මිටියක්ද සහිතවයි. ඔහුට දරා ගන්නට බැරි බරක් වූ එම ලිපි ගොනු තොගය පිරී තිබුණි. ඒ ක්‍රීඩාව පිළිබඳ විවිධ ලිපි ලේඛන එකතුවකි. 

විවිධ ක්‍රීඩා ඉසව් වලට අදාළ දිග-පළල, ලෝක වාර්තා, ශ්‍රී ලංකා වාර්තා සහ පින්තූර පෙන්වමින් කල ඒ දේශනය අදටත් මා සහභාගී වූ හොඳම දේශන වලින් එකකි. එය එතරම්ම රසවත්ය. පැය දෙකක් වැනි කෙටි කාලයකදී ඔහු ලබාදුන් දැනුම් සම්භාරය පිටු හතළිහේ පොතක් පුරවා ගන්නට සමත් විය. සෑම ක්‍රීඩාවක් කෙරේම උනන්දුවක් දැක්වූ මා ඔහු විටින් විට නගන ප්‍රශ්න වලට ආසන්නම පිළිතුර ලබා දීමට සමත් වීම ඔහුගේ ප්‍රසාදයට හේතු විය. මෙම පන්තිය පැවැත්වීමෙන් පසුව  මගේ නිවසට කිට්ටු නිවසක සිටි ඔහු මට අමතර සටහන් කිහිපයක්ම ලබා දුනි. එයට මා දැක්වූ දක්ෂතාවට අමතරව ඥාතිත්වයද හේතු වන්නට ඇත.

මීට අමතරව නොදන්නා කරුණු පියල් වීරසේකර නමැති අති-දක්ෂ ජාත්‍යන්තර  මට්ටමේ ක්‍රීඩකයා සහ ගාමිණී විදුහලේ ක්‍රීඩා ගුරුවරයාගෙන් අසා දැන ගතිමු. විහාගය පැවතී සෙනසුරාදා දිනයේදී අපට ගාලු යාමට සිදු වූයේ, එය දිස්ත්‍රික්කයේම අය එක්තැන් කර සිදුකරන විභාගයක් වූ බැවිනි. පෙරදින ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා ලබාදුන් මුදල්ද රැගෙන අප තිදෙනා සමරසිංහ හන්දියට වී බලා සිටියේ ගාලු බසයක් එනතුරුය. එදින සෙනසුරාදාවක් වූවද අම්බලන්ගොඩ පසු වනතුරු හිටගෙනම යාමට සිදුවිය.  ඉඳ ගැනීමට හැකි වූ මොහොතේ සිට අප පොත් වලට දෑස් යොමු කළෙමු. ගාල්ලෙන් බැස පැවිලියන් හෝටලයෙන් උදේට සප්පායම් වූ අප තිදෙනා රිච්මන්ඩ් විදුහල සොයා ගමන් ගතිමු.

විභාගය සඳහා දෙසියපනහත් තුන්සීයත් අතර ප්‍රමාණයක සෙනගක් රැස් වී සිටි නිසා මද තැති ගැන්මක් මෙන්ම ඒ ගැන තිබූ බලාපොරොත්තුව අත් හැර ගන්නට අපට සිදු විය. ඉන් බොහෝ දෙනෙකු ක්‍රීඩාව පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් බව කණින් කොනින් ඇසෙන දෙයින් පැහැදිලි විය. අප අයිනකට වී ඈත පෙනෙන ගාලු කොටුව දෙස බලා උන්නෙමු. තවත් මිනිත්තු කිහිපයකින් ප්‍රශ්න පත්‍රය අතට පත් වූ විගස මගේ මව මට දී තිබූ රත්‍රන් ඔවදන අනුව යමින් සමූර්ණ ප්‍රශ්න පත්‍රයම මිනිත්තු ගණනකින් කියවා හමාර කළෙමි. එය බොහෝ දෙනා බලාපොරොත්තු වූ අකාරයේ හුදෙක් ප්‍රශ්න සහ උත්තර සහිත එකක් නොවීය. එය සාදා  තිබුණේ ප්‍රායෝගික ගැටලු පදනම් කරගෙනය. මුල්ම ප්‍රශ්න දෙක පාපන්දු ඇසුරින් තිබීම මගේ සතුටට හේතු විය. 

"පන්දුව තිබෙන ක්‍රීඩකයා එක් පහරකින් ප්‍රතිවාදී ගෝලය වෙත පහරක් එල්ල කළහොත් විනිසුරු වරයා කුමක් කළයුතුද ?" යන්න ඉන් එක ප්‍රශ්නයකි. 
එයට මගේ මිතුරන් දෙදෙනාට නිවැරදි පිළිතුර සොයා ගන්නට නොහැකි වූ බව පසුව කල පිලිසඳරේදී පැහැදිලි විය. මා ඒ කාලයේ පාපන්දු ක්‍රීඩා කිරීම නිසා අපහසුවක් නැතිවම එයට පිළිතුරු සපයන්නට හැකි විය. කොහොමත් මේ විභාගය ගැන ආශාව අත් හැර සිටියද,  දිනක හවස් වරුවේ මගේ නමට ලිපියක් තිබෙනු දැක පස් වනක් පිනා ගියේ, එකල තමන්ට ලිපියක් ලැබෙන තරම් සතුටක් කෙනෙකුට නොතිබූ බැවිනි.  එය කුමක් සඳහාද යන්න පෙර විනිශ්චයක් නොමැතිවම කඩිනමින් විවෘත කර බැලුවෙමි.

ක්‍රීඩා - දැනුම මිනුම තරගය සඳහා ගාලු දිස්ත්‍රික් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වූ තරග විභාගයෙන් ඔබ සමත් වී ඇති බව සතුටින් දන්වමු. එම කණ්ඩායම සඳහා තෝරා ගත් සියලු දෙනා ------- දින ගාල්ල කච්චේරිය වෙත වාර්තා කල යුතුය. 
සතුට, මවිතය අතර හැගීමක් තුළ මා ක්‍රීඩාංගණය වෙත දිව ගියේ දිවා ආහාරය උඩින් පල්ලෙන් ගිල දමමිනි. මගේ මිතුරන් දෙදෙනාගෙන පොඩි සුබයා එහි සිටි අතර ඔහුට එවැනි ලිපියක් ලැබී නොතිබිණි. පතියා කොළඹ ආනන්දයට යන නිසා සතියේ දිනවල ක්‍රීඩාංගණය වෙත පැමිණෙන්නේ නැත. සවස ක්‍රීඩා අවසන් වී ඔහුගේ නිවසට ගියේ රෝහණ අයියා සමගය. 

නියමිත දිනයේ ගාලු කච්චේරියට ගොස් හැඳුනුම්පත තබා ඔවුන් ලබා දෙන තාවකාලික අවසරපත රැගෙන නියමිත ස්ථානයට යන විට තවත් මාගේ වයසේ තරුණයෙකු එහි විය. අනෙක් අය අතරින් පසුගිය වසරේ එම වැඩසටහනට සහභාගී වූ වැඩිමහලු පුද්ගලයෙක් විය. ඔහු ග්‍රාමසේවක වරයෙකි. අනෙකා සාලිය නම් වූ අතර මගේ මස්සිනාගේ පන්ති සගයෙකු විය. නිශානි අක්කා ඉංග්‍රීසි ගුරුවරියකි. අවාසනාවකට අප හතරදෙනා තරගයට සහභාගී විය යුතු අතර පෙරකී අනෙක් තරුණයා ආදේශකයා වශයෙන් තෝරා ගෙන ඇත. එහිදී ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් ලබා දුන් අතර, ග්‍රාමසේවක තැන අපට බොහෝ ගුරුහුරුකම් ලබා දෙන්නට වීම විටෙක කරදරයක් විය. 
ගොන් ප්‍රශ්න අහන්න එපා 

යනුවෙන් ඔහු පුන පුනා පවසන්නේ මෝඩ උත්තර දීමෙන් වළකින ලෙසය. එදින ලා නිල් පාට කමිසයක් සහ කළු කලිසමකින් සැරසිය යුතු වූ අතර, නිල් පාට ටයි පටියක් පැළඳ පැමිණිය යුතු බව දැනුම් දී පෙරදින කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේ නතර විය යුතු බවද සඳහන් කරන ලදී. "අම්මලා කැමති වෙයිද?" යන කුකුස මගේ හිතේ නිතරම නැගිණි. මගේ ජාතික හැඳුනුම්පත මට මතක් වූයේ ගාල්ල කොටුවේ මද දුරක් පැමිණි පසුවය. ආපසු ගොස් එය රැගෙන ආවේ මගේ තනි-නොතනියට සිටි අර කළු-හීන්දෑරි මිතුරා නිසාය. අප දෙදෙනා ගැලපෙන වයසේ අය වූ නිසා ඉතා ඉක්මනින්ම මිතුරන් බවට පත් විය.

ඒ වනවිට ලා නිල් පාද කමිසයක් සොයා ගැනීම මට අභියෝගයක්ව පැවතිණි. ඒ මෙවැනි දේ වලට අවසරය ලැබෙන්නේත් ඉබ්බන්ගෙන් පිහාටු ගන්නා ආකාරයට නිසාය. මම ඒ ගැන ගෙදරට කරදර නොකොට මගේ පන්තියේ යාළුවන් දැනුවත් කළෙමි. ඔවුන් අතරින් විමල් ඉදිරිපත් වූයේ වාසනාවටය. ටයි එකක් කාගෙන් ලැබුනාදැයි මට නිශ්චිතවම මතක නැත. ක්‍රීඩා සමාජයෙන්ද ඒ හැටි ආධාරයක් නොලැබුණි. නියමිත දිනයේ පාසල් නොයා සවස එක වනවිට පොරොන්දු වූ පරිදි අලුත්ගම බස් නැවතුම්පළෙහි කොළඹ බස් නැවතුම්පොළ ඉදිරියටම වී සිටියෙමි. මාව ඔවුන්ට මග අරුණා වත්ද ? යන දෙගිඩියාවෙන් බල හිඳිද්දී පා පුවරුවට බැස අප භාරව යන ක්‍රීඩා නිලධාරියා මට කථා කළේය. ඒ අනුව දුවගෙන ගොස් මා බස් රථයට ගොඩ වීමි.

බස් රථයේ ගමන කෙසේ වුවාදැයි මට පැහැදිලි මතකයක් නැත. මන්ද ? මගේ හිත රුපවාහිනී කැමරාව ඉදිරියේ පැවැත්වෙන මේ තරගය ගැන යොමු වී තිබීම නිසාය. අපේ කණ්ඩායමට නායකත්වය දෙන ග්‍රාමසේවක තැන නිතරම අපගේ ක්‍රීඩා දැනුම මිනුමේ යෙදී සිටී. මේ දවස් වල ටෙනිස් ශූරයා කවුද ? වැනි ප්‍රශ්න ඔහු අසමින් ගමන් කරයි. බම්බලපිටියෙන් ටොරින්ටන් බලා ගමන් ගත් අප අපගේ ගමන් මලු කර ගහගෙන ටොරින්ටන්හි ක්‍රීඩාංගනයට යාබද ක්‍රීඩාගාරයට ගොඩ වීමු. මේ අතර මමත් සාලියත් ගැඹුරු කතාවකට මුල පුරා තිබුණි. ඒ ඔහුත් මගේ වැඩිමහල් සොයුරියගේ සැමියාත් එකම පංතියේ උගත් අය වීම නිසායි. අපේ ගමේ මගෝඩි කොලුවකු ඔහුට දුන් අන්ඩරය සිහිපත් කරන්නේ ප්‍රීති ප්‍රමොදයෙනි.

ඒ දෙසැම්බර් මස අපේ ගමේ පැවැත්වෙන් අනුබුදු කාශ්‍යප පෙරහැර බලන්නට ඔහු පැමිණ, අපගේ නිවාස අසලදී මස්සිනාගේ නිවස විමසා ඇත. ඔහුට එම කොලුවා අපගේ නිවාස පෙන්වා ඇත. තත්වය තේරුම් ගෙන ඇති අපේ තාත්තා නියමිත තැනට සාලියව යොමු කර ඇත. තාත්තා මෙවැනි කතාවක් පැවසූ බව ඉතා සියුම් මතකයක් ඇත. මේ පලහිලව්ව නිසා එකල දෙමාපියන් බොහෝ දේ සාකච්ඡා කළේ අප නින්දට ගිය පසුවය.

අපට නිදියන්නට වන්නේ ලෑලි බැංකු වැනි තට්ටු ඇඳන් මත බව දුටු විට මට එය විමතියට කරුණක් විය. මා එවැනි තට්ටු ඇඳන් දැක්කේ ප්‍රථම වතාවටයි. මගේ සිහියට එකවර ආවේ, අක්කාත් මමත් අපගේ පිටුපස වැට මායිමේ ඇති යාබද ක්‍රීඩාංගනයට නැමුණු සුරිය ගස උඩ තැනූ අට්ටලයයි. අපට ඕනෑ වුණේ පැල් රකින අකාරයේ පැල් කොටයක් අටවා ගන්නයි. එහෙත් එම උත්සාහය කිසිදිනක යථාර්ථයක් බවට පත් නොවූයේ,  හවස් වනවිට ඒ සඳහා යොදා ගත් ඇඳ පොලු ආපසු ගෙන යන්නට තාත්තා පැමිණි විටය. දහවලේදී ඒ සඳහා අපට විරෝධයක් ඇති නොවූයේ අප ඒ මත සිට පොත් පාඩම් කරන නිසාය.

අප වැනි කණ්ඩායම් බොහොමයක් ඒ වනවිට එහි පැමිණ තිබුණි. කළුතර කණ්ඩායමෙන් පැමිණි අක්කා කෙනෙකු මා මොරිනස් අඳුනනවාදැයි ඇසීය. ඔහු මාගේ හොඳ මිතුරකු බවත්, අප පාසල් යන්නේ එකට බවත් පැවැසූ විට, ඇය මගේ පාසල විමසා සිටියාය. මා කළුතර විද්‍යාලයේ යයි පැවැසූ විට ඇය එකවිටම පවසා සිටියේ
"අපේ බෝයිස් ස්කූල් එක" 
යන්නයි. අප තවත් බොහෝ දෙනා සමග කතාබස් කළෙමු. රාත්‍රියේ අහුමුලු වල විවිධ කාණ්ඩ ගැසී ප්‍රශ්න උත්තර සහ ආගිය කතා සාකච්ඡාවන් ගිය අතර රාත්‍රී දහය වනවිට අපේ නිදන ස්ථාන වලට අප ළඟා වීමු. නිශානි අක්කාට තනිවම කාන්තාවන් සඳහා වූ නේවාසිකාගාරයට යන්නට සිදු විය. අනුරාධපුරයෙන් පැමිණි තරමක් කටකාර අක්කා කෙනෙකු පෙන්වා තවත් අයෙක් කටෙහි වතුර ඇති විටක කරන ආකාරයේ සංඥාවක් දුන්නේ ඇය ගැන "නරක" සටහනක් තබන්නට බව මට වැටහුණි.

උදෑසනින්ම අවදි වූ අපට දකින්නට හැකි වූයේ ක්‍රීඩාංගණයේ පුහුණුවේ යෙදෙන තරුණ තරුණියන්ය. පිට්ටනිය වටේ ඇවිදින මහලු පුද්ගලයන් පෙන්වා ඉන් සමහරෙක් අතීතයේ ක්‍රීඩා වාර්තා තැබූ අය බව අප සමග ගිය ක්‍රීඩා නිලධාරියා හඳුන්වා දුනි. අප ඉහළ මාලයේ සිට උදෑසන තේ පැන් අවසන් කොට කඩිමුඩියේ ලක ලැහැස්ති වූයේ තරගාවලියට මුහුණ දීමටය. අපගේ ප්‍රතිවාදීන් වුයේ මොනරාගල දිස්ත්‍රික්ක කණ්ඩායමයි. මෙය නම් පහසු එකක් වනු ඇති බවට කාගේත් මතය විය. නිතරම විහිළුවෙන් සිටින සාලිය පවසන්නේ නොදන්නා දෙයක් තමන්ගෙන් ඇසුවහොත් ලබාදෙන පිළිතුරය

"මම කියනවා එච්.ආර්. ජෝතිපාල කියලා"

"අනේ වඳින්නම් ගොන් ප්‍රශ්න නම් අහන්න එපා"

අපේ ග්‍රාමසේවක රාළහාමිට උත්තර සහ ප්‍රශ්න මුලසිටම පැටලී ඇත. නිශානි අක්කාත් සාලියත් ඉතා සැහැල්ලුවෙන් පසුවෙයි. අප ගෙන යන්නට රුපවාහිනියේ වායුසමනය කරන ලද බස් රථයක් පැමිණ ඇත. එය මෙහෙයවන්නන් කඩිමුඩියේ අප දක්කාගෙන යන්නට සැරසේ. මෙය විනාඩි දෙකක ගමනක් බව පසක් වූයේ ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට රුපවාහිනියේ එළිපත්තටම ගොස් තිබූ බැවිනි. මේකප් කරන තැන රේණුකා බාලසුරිය මහත්මිය තමන්ගේ මේකප් කර ගනිමින් සිටී. එහි සිටින වේශ නිරූපණ ශිල්පීන් අප කැදවා අපේ මුහුනේ පින්සල් වලින් අලංකරණය කල අතර වැරදි යමක් ලියා ඇත්දැයි මා සැක හැර දැන ගත්තේ ඉදිරිපස ඇති කණ්ණාඩියෙනි.

dinamina.lk
දැන් තරගයට සියල්ල සූදානම්ය. එච්. එම්. ගුණසේකර මහතා ප්‍රශ්න විචාරකයා ලෙස කටයුතු කරයි. සියලු දෙනා ඉදිරියේ අපේ නම් ලියූ බෝඩ් එකක් ඇත. මයික්‍රෆෝනයට අමතර අන් අයගෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරැ දීමට ඔබන බොත්තම සහ තැඹිලි පැහැති ලාම්පුවක්ද සකසා ඇත. කැමරා කරුවන් අප වෙත කැමරාව මානාගෙන ඇත. තරගය ආරම්භ විය මුල්ම ප්‍රශ්ණ වටය දෙපැත්තේ නායකයන් දෙදෙනාටය. අපේ ග්‍රාමසේවක උන්නැහේ වැඩේ අනා ගත්තේය. රුපවාහිනී තිරයේ පෙන්වන එල්ලේ ප්‍රශ්නයට මා ලකුණු විස්සක් ලබා ගත්තද අනෙක් පස තරග කරුවාද එම ලකුණු ප්‍රමාණය ලබා ගති. ඉන් පසුව පාපන්දු ප්‍රශ්නය  යොමු කළේ සාළියටය. එය මගෙන් අහන්නට තිබුණා නොවේදැයි මගේ සිත දොස් නැගීය. දෙපැත්තේම ප්‍රශ්න දෙකෙන් එකකට හරි පිළිතුර මා ලබා දී තවත් ලකුණු දහයක් ලබා ගත්තද අප සිටින්නේ පිටුපසිනි.

පළමු වටය අවසන් වනවිට අප ලකුණු 30ක් පමණ පිටුපසය. මීළඟට බැඩ්මින්ටන් ප්‍රශ්නය මට යොමු විය. දිගු විස්තරයක් කල එච් එම් ගුණසේකර මහතා දර්ශන තිරයේ පෙන්වන ක්‍රීඩකයා කවුදැයි ඇසීය

"ශ්යැන් යෑන්"

මම පිළිතරු දුනිමි. එය මා ජීවිතයට නැසූ නමක් වුවත් කටට ඈ නිසා කියා දැම්මේය. ඔහු නැවත වතාවක් ඒ නම කියන්න යයි ඉල්ලා සිටියේය

"ච්යෑන් යෑන්"

මගේ පිළිතුර විය. කලින් කීවේ කුමක්දැයි මට මතක නැත. එවිට එච් එම් ගුණසේකර මහතා සිනාසී

"ශ්යෑන් - යෑන්, ජෑම් - යෑම්, ජෑම් - ජෑම් " යනුවෙන් පවසා මහා හඬින් සිනාසී

"නිවැරදි පිළිතුර :යෑන් - යෑන්" බව පැවසීය.

මට එලෝ කෝටියකට යෑන් - යෑන් ගේ දෙමව්පියන් හා තද විය. හේතුව එකම නම දෙපාරක් දමන්නට මුන්ට පිස්සුම තිබිය යුතුය. එහෙම නම් ඉතිං තියෙන්නේ බූත්‍රෝස් - බූත්‍රෝස් ගාලි හෝ කෝපි කඩේ ඉන්නා පොඩි - මහත්තයා - මහත්තයාට නොවේදැයි මගේ සිතින්ම කියා ගතිමි. අවසානයේ අප ලකුණු හතළිහකින් පරාජය වී පල්ලම් බැස්සෙමු.

_____________________________________________
මෙය නැරඹු මගේ මිතුරන් මට විවිධ කවටකම් කරන්නට පටන් ගති. ඒ මාගේ ප්‍රියතම ක්‍රීඩාව පාපන්දු බව අතින් පැවැසූ බවත්(වොලිබෝල් ලෙස). පහසු පාපන්දු ප්‍රශ්නයක් මා මග හරි බවත්ය. එතැන ඉන්නා විට මගේ බඩ කැලතී ආවේ උදේට කෑ බිත්තර නිසාද නැතිනම තැතිගැන්ම නිසාදැයි අදත් මා දන්නේ නැත. "කියන්න නම් ලේසියි" ඒ මගේ පිළිතුරයි.

නිශානි අක්කාත් මාත් කරගෙන ගිය ලිපි ගනුදෙනුව අවසන් වුයේ අපේ අම්මාගේ අනතුරු ඇඟවීම නිසාය.

ඉන්පසුව ක්‍රීඩා දැනුම මිනුම තරග තවත් එක වරක් පැවැත්විය.

එච්. එම්. ගුණසේකර මහතා තම හොඳින් දන්නේ බිබිල ප්‍රදේශයේදී බව මගේ පියා පසුව පැවසීය.

47 comments :

  1. සුදීක-සුදීකට මරු වැඩක් වෙලා තියෙන්නේ...:)

    අර නිශානි අක්කා එක්ක කරගෙන ගිය ලිපි ගනුදෙනුව මොකක්ද? :D

    ReplyDelete
    Replies
    1. මට ඒ හැටි මතක නෑ, අපේ අම්මා හැම ලියුමක්ම කඩලා බලලා තමයි මට දෙන්නේ. ඒකෙ සමහර තැන් වල මල්ලි පැටියෝ, බබා වගේ ආමන්ත්‍රණ තිබ්බා මතකයි. සමහර ලියුම් ඉංග්‍රීසියෙන් තිබුණේ. මොනවත් වැරදි දෙයක් නෑ. ඒත් ඒ කාලේ සන්නිවේදනය තිබ්බේ ඔය විදියට. නමුත් අපේ අම්මට මේකේ අවදානමක් පේන්න ඇති.

      Delete
  2. පිස්සු හැදෙන මතක සටහන් ලිපියක්.අන්තිම ටිකට හිනා..
    >>අපේ මුහුනේ පින්සල් වලින් අලංකරණය කල අතර වැරදි යමක් ලියා ඇත්දැයි මා සැක හැර දැන ගත්තේ ඉදිරිපස ඇති කණ්ණාඩියෙනි.<<
    මේ වගේ හීනියට ලියන දේවල හරි රසයක් තියෙනවා.ඔබගේ හැම ලිපියකම මෙවැනි තැන වලට හරිම ප්‍රියයි.
    අයියෝ නිශානි අක්කී.....පව් අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. නිශානි අක්කා මට 1989 දී විතර එයාලගේ ගෙදරට බණකට ආරාධනා කලා. ඒ වගේ දේවල් වලට යන එක අපේ අම්මත් එක්ක හීන තමයි.

      Delete
  3. නිශානි අක්කගෙනුත් අහලා බලන්ට ඕන ලියුම් වල මොනවද තිබ්බේ කියලා ...:D

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලියන්න ඕනෑ තරම් දේවල් තිබුණා. ටයර් සෑයවල් ගැන එහෙම.

      Delete
  4. තරඟ ප්‍රතිඵලයක් ලෙස තව පොඩ්ඩෙන් නිශානි අක්කවත් සැට් වෙනවා. :)

    කොච්චර බලාපොරොත්තු තියන් ගියත්, විශ්වාසයෙන් සිටියත් ඔය වගේ අවස්ථාවලදි මඤ්ඤං වෙනනවා තමා. පස්සෙ එතැනදි කලේ කිව්වේ මොනවද කියලවත් මතක නැහැ.

    සමහර අවස්ථාවලදී, ඔය වගේ තැන් වලදී, මටත් බඩේ කැලැත්තිලි ඇවිල්ල තියෙනවා. එහෙම වුනාම ආයෙත් විශේෂ අවස්ථාවක් ලැබුනම මම කරන්නෙ හිස් බඩම ඒකට සම්බන්ධ වෙන එක. නැත්තං හිතට හරි බරක්..

    ReplyDelete
  5. ඔන්න කාලෙකින් ඇවිද්ද පයටත් ගොඩ උනා

    ReplyDelete
    Replies
    1. රුපයට නගන්න මොනවත් එහෙම නැද්ද ?

      Delete
  6. රාගය , රාග දැමිල්ල ..........ඒ ඇරෙන්ඩ වෙන නමක් නැ මචං ඕකට , ඔය සීන්එක ජා ජාතිකයන්ගේ ( මැලේ ) ජාතික ක්‍රීඩාව (නිල නොලත් ), එයාලගේ පැරණි ක්‍රීඩාවක් තියනවා වේවැල් බෝලයකට හිසෙන් සහ පාදයෙන පහර දෙන , දැන් වේවැල් බෝලය භාවිතායේ නැති උනත් ක්‍රීඩාශිලි ජාවෙකුට බෝලයක් හම්බෙච්ච ගමන් නිරායාසයෙන් ඔය සින් එක කරනවා , රාග දැමිල්ල එයාලගෙ ලේ වල තියනවා , මැලේ ජාතිකයන් ෆුට් බොල් සමග තියන දැඩි බැදිම ඇතිවෙන්නත් ඕක ලොකු හේතුවක්

    ReplyDelete
    Replies
    1. ඔය වේවැල් බෝලෙන් ගහන එක තවම තියෙනවා. ඒ ක්‍රීඩාවට කියන්නේ "සැපක් තක්රෝ" (Sepak Takraw) කියලා. සැපක් කියන්නේ මලේ භාෂාවෙන් පාදයෙන් පහර දෙන (Kick), තක්රෝ කියන්නේ තායි වචනයක්. තේරුම ගොතන ලද බෝලයක් කියලා. අවුරුද්දකට වරක් ලෝක කුසලානයක් තායිලන්තයේ තියෙනවා. මෙතනින් ගිහින් බලන්න විස්තර
      සැපක් තක්රෝ (සැපක් අටමෝ)
      මේකට සැපක් රාග කියලත් කියනවාලු උඹ කිව්වා වගේ ජාවා කාරයෝ.

      Delete
    2. ඒ බෝලේ ඇතුලේ හිස් නේද ...? මාත් දැකලා තියෙනවා සෙල්ලම් කරනවා..

      Delete
  7. කලිසම්ය දේට වඩා පෝස්ට් එක බොහෝම රහයි.. උඹට මේ වගේ ලියන්න පුළුවන් පට්ටෙට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  8. මෝඩ ප්‍රශ්ණ අහන්න එපා! හි..හි..
    ඇත්‍තටම රසවත් මතක සැමරුමක්.
    හොද තරගයක් දීලා පැරදුනත් සැපයි. නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකේ මුලික තරග වලින් දිනපු එකත් ලොකු දෙයක්.

      Delete
  9. ජෑම් ජෑම් කිවුවනං සුදීකට ගොඩයන්නත් තිබ්බ. :D

    ඇත්තටම ඒ කාලෙ තිබ්බ දැනුම මිනුන වැඩසටහන් දැං තියෙන ඒවට වැඩිය බොහොම උසස් මට්ටමක තිබුණ.

    ReplyDelete
  10. උඹ මෙච්චර දිග රසවත් කතාවක් ලියලා තියෙද්දිත් අනිත් හුඳ දෙනෙකුට වගේම මගේ ඔලුවේ ‍රැඳුනේ
    රාග
    කටින් වතුර හඳවන සද්දේ
    නිශානි අක්කා
    විතරක් වුනේ කොහොමද කියලා මම තාම කල්පනා කරනවා.
    Reposted because I think the first comment was F**ked up. Please delete the duplicate in that case.
    සුදීක, ඔය ප්‍රශ්ණ විචාරාත්මක වැඩ සටහන් මෙහෙයවන පුද්ගලයො සමහරු නම් හරිම ඩවුන් ‍ටු අර්ත්. නමුත් සමහරුන්ට මාර ඊගෝ කේස් එකක් තිබ්බා. අනික මමයි ලොක්කා කියලා නොකිව්වත් එහෙම හිතා ඉන්නවා කියලා අපිට හිතෙන, අති පණ්ඩිත, ඒ වගේම තරඟ කරුවෝ මඩවන අයත් හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔය කට හෝදනකොට වගේ කම්මුල හෙලවෙන්න හුලං වලින් හොල්ලලා ගෑනු කෙනෙක් පෙන්වන්නේ එක්තරා සංඥාවක් දෙන්න.

      Delete
  11. කිව්වත් වගේ මෙච්චර ලොකු කතාවක් කියවලා ඔළුවට ආපූ එකම දේ නිශානි අක්කා විතරමනේ.

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි. හොඳ වෙලාවට අක්කල දෙක තුනක් තේරුණේ නැත්තේ.

      Delete
  12. අර නිශානි අක්කගේ ලියුම් පලහිලව්ව තරම් මේ රචනාවේ වෙන වැදගත් තැනක් මට අහු උනේ නෑ නේව...!!!

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය නිශානිකරණය වෙලා එහෙනම්.

      Delete
  13. සුදීක හරිම වාසනාවන්තයි....එච්.එම්. ගුණසේකර වගේ මහත්තයෙක් දවසකටවත් ඇසුරු කරන්න ලැබීම.

    අර වටවෙලා බෝලේ වට්ටන්නේ නැතුව සෙල්ලම් කරනවාට කියන්නේ රාග ගහනවා කියලා තමයි. ඕකට විශේෂිත වේවැල් බෝලයක් තිබුනා. ඕක ඉස්සර නගරයේ බජාර් එකේ අයියලා අතර නැගලා ගිය ගේමක්..වවුලා යාන්තමට පේන්න සරම උඩට ගැටගහ ගෙන දැල් බැනියම ඇඳලා, එක අතකින් සිගරට් එකත් තියාගෙන සෙල්ලම් කරන අයියලා හිටියා. බලන් ඉන්න හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඔව් දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙක්. මගේ පියා ඔහු ලගින් ඇසුරු කර තිබෙනවා බිබිල පළාතේ සේවය කරද්දී.

      Delete
  14. රසවත් පෝස්ට් එකක් සුදීක ... තවත් අතීත සිදුවීම් ලියන්න මතකෙට එන විදිහට ...

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් තියෙනවා සහන. බොහොම ස්තුතියි.

      Delete
  15. සුදීක මටත් අහන්න තියෙන්නෙ නිශානිගෙ වැඩේ ගැනයි රාග ගැහිල්ල ගැනයි තමා,ඔය කොළඹ අය වේවැල් බෝලෙන් පාර මැද සෙල්ලං කළා කියල අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මම නම් කොළඹ ඔය සෙල්ලම දැකලා නෑ.

      Delete
  16. තරග ප්‍රතිපල තව පොඩ්ඩෙන් එනව අම්ම මැද්දට පැන්නෙ නැත්තම්

    ReplyDelete
    Replies
    1. ඒක අම්මට එහෙම හිතිලා තිබුණා කියලා මටත් දැන් හිතෙනවා. නමුත් මගේ ආශ්‍රය මොන වගේද කියලා මට ඒ හැටි මතකයක් නෑ. ඒ ලියුම් වල ඔහේ වල් පල් ලිව්වා මිසක් ඒ වගේ දේවල් තිබුණේ නෑ.

      Delete
  17. මන්නම් එච්චර ක්‍රීඩා කරපු එකෙක් නෙවි.ඒත් අපේ අය්යා යොවුන් සමාජ මට්ටමින් සමස්ථ ලංකා මට්ටමට ගියා.එයයි ඒවා ගැන ලියයිනේ

    ReplyDelete
    Replies
    1. මේකට නම් ඉතිං ක්‍රීඩා කරන්නම ඕනේ නෑ. අර ග්‍රාමසේවක මහත්තයා ජීවිතේට පිට්ටනියකට බැහැල නෑ කියලා මට හිතෙන්නේ.

      Delete
  18. හොද තරඟයකින් පස්සේ පැරදුනත් මොකද සුදීක අයියේ.. කට්ටියම කියනවත් වගේ ලියුම ගැනමනේ මටත් උනන්දුව..

    ReplyDelete
    Replies
    1. එක ලියුමක් නෙවෙයි, ලියුම් පෝලිමක්.

      Delete
  19. Uttaraya mokakda? (vinisuruwaraya kumak kala utuda?)

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක් සංජීව : බොලේ ගන්න මුල්ම එක්කෙනාට පුළුවන් එයාගේ ටීම් එකේ වෙන කෙනෙකුට පාස් කරන්න විතරයි. ඒ නිසා පළමු පහරින්ම ගෝලයක් වාර්තා කරන්න බෑ. විනිසුරු තුමා කරන්න ඕනේ, නලාව හඬවල විරුද්ධ කණ්ඩායමට අවස්තාව දෙන එක.

      Delete
    2. niyamai Ayyandi. ada tea table ekadi mama oka ahanawa.

      Delete
  20. Suddik-Suddika, Sanjeewa-Sanjeewa, Kenji-Kenji, sAm-sAm, Sira-Sira.
    ekat naraka naha?

    ReplyDelete
    Replies
    1. මට මතක් වුණේ අර ඩයලොග් ඇඩ් එක.

      Delete
  21. පැරදුනත් ගේමක් දීලනේ අන්තිමේ වෙනකල්

    ReplyDelete
  22. අපූරු මතකයක්. අක්ක සීන් එකකුත් තියෙන්නේ........

    ReplyDelete
  23. දැනුම මිනුමෙන් වැඩේ නතර වෙලා නෑ එහෙනං...ලියුම් ගනුදෙනුත් වෙලා තියෙනවා...කොහොම උනත් සුන්දර අතීතයක්...

    ReplyDelete
  24. මටත් ළාවට මතකයක් තියෙනවා ඒවගේ සාමාන්‍ය දැනිම ප්‍රශ්න තරග තිබුණ රූපවාහිනි වැඩසටහන්. පැරදුනත් මොකෝ රූපවාහිනියෙන් පෙන්වනවනේ.. අනික දැනුම මිනුම තරඟවල ජයලබනවාට වඩා එයින් උගත හැකි දේ බොහොමයි.

    ReplyDelete
  25. සමහර විට අම්මගේ අනතුරු ඇගවීම හරි ඇති

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...