Saturday, October 5, 2013

බොරැල්ලේ සිර කරුවෙකු වීමි......I කොටස

මේ දවස් වල කොළඹ කොටුවට මොන පාරෙන් ආවත් එන්න ලේසි නෑ. ඒ අතෝරක් නැතිව සිදු කෙරෙන මාර්ග සංවර්ධනය නිසා. පුදුම මාර්ග තදබදයක් තියෙන්නේ. මෙහෙම තදබදයන් ඇති වෙන්න තව හේතුවක් තමයි ට්‍රැෆික් රාලහාමිලා. එයාලා ඔක්කෝම නවත්වලා අතුරු පාරවල් වලින් එන වාහන වලට ඉඩ අරගෙන දෙනවා. ඉතිං අර ප්‍රධාන පාරේ තියෙන වාහන වල ඉන්න මිනිස්සු වැටෙන්නේ පුදුම අමාරුවක. මේ වගේ ඉන්න වෙලාවක අපේ ඩ්‍රයිවර් කොල්ලෙක් කියපු කථාව තමයි

"සර් මේ පාරවල් පනින ඒවා පොළොව යටින් දාල දෙන්න ඕනේ"

"ඇයි යටින්ම උඩින් දැම්මත් එකයි නේ."

"නෑ සර් උඩින් දානකොට යන්න පුළුවන් උසම කන්ටේනර්, කැටපිලර්, ක්‍රෙන් වල උසට හරියන්න හදන්න වෙනවා. එතකොට පඩි ගාන වැඩියි. මිනිස්සු එච්චර උසක් නගින්න කැමති වෙන්නේ නෑ. ඒ වුණාට පොළොව යටින් දානවනම් අඩි හතක අටක් පහළට දැම්මම ඇති. මිනිහෙකුට යන්න පුළුවන් ගානට. දැන් බලන්න බොරැල්ලේ මේ වැඩේ සාර්ථක වෙලා තියෙනවා. කවුරුත් උඩින් පනින්නේ නෑ"

"ඇත්ත නේන්නම්"

ඒ කතාව පැත්තකින් තබා මා බොරැල්ල ගැන සිතන්නට පටන් ගතිමි. බොරැල්ලේ හැම අස්සක් මුල්ලක් නෑරම රිංගා පළපුරුද්දක් ඇති මා ඒ මිහිරි/අමිහිරි මතකය ආවර්ජනයක යෙදුණෙමි.

1989 අඳුරු යුගයේ ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ පරිගනක පාඨමාලාව හදාරන්නට තෝරා ගැනීම මෝඩ කමක් යයි මට සිතුන වාර අනන්තය. නමුත් ආරම්භක දේශනයේදී ආචාර්ය ජයසිරි මහතා පැවසූ කතාව නිසා එය කෙසේ හෝ නිම කරනවා යන්න මගේ සිතේ තදින් ධාරණය වී තිබුණි. ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අඩාලව තිබූ එවන් යුගයක සැතපුම් හතළිහක දුර සිට දිනපතා පැමිණීම ලේසි පහසු කටයුත්තක් නොවිණි. බෙන්තොට සිට අලුත්ගමට මා ඇරලවන්න පැමිණෙන තාත්තාගේ බයිසිකලය පාලම උඩදී නිතරම ලිස්සා යන්නේ පාලම උඩ ඇති ලේ මතින් ගමන් කරන විටය. ඒ එම යුගයේ අල්ලා ගන්නා තරුණයන්ගේ ගෙල ඉලෙක්ට්‍රික් කියත් මගින් සිඳින්නේ මෙම ස්ථානයේ නිසාය. එවැනි බියකරු අත්දැකීමක් විඳගෙන කොළඹට ළඟා වන්නට මහා සටනකට මුහුණ දීමට එකල අපට සිදු විය.

බෝඩිමක් හොයන්නට මා ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වුයේ මා දකුණු පළාතේ තරුණයෙකු වූ බැවිනි. එකල දකුණු පළාතේ කිසිවකුට නවාතැන් දීම සියතින් ගෙල සිඳ ගැනීමක් වැනි අමනෝඥ ක්‍රියාවක් ලෙස බොහෝ දෙනා විශ්වාස කල දෙයකි. ඒ කාරණය නිසාම මට බොහෝ දිනයන්හි කොළඹ ගමන අත් හැර ආපසු ගෙදර යාමට සිදු විය. එක් අතකින් මා යළිත් නිවසට ලඟා වනතුරු අම්මා පුදුම භීතියකය. ඇත්තටම ඒ කාලයේ අප ඉතා ප්‍රවේශමෙන් කාලය ගත කළෙමු. එසේ නොවුවාවනම් අද අපද මළවුන් අතරය.

රොබින්සන් අයියා යනු මගේ නැන්දාගේ දුවක් සමග විවාහ වී සිටි සේරසිංහ අයියාගේ නැගණියගේ සැමියාය. ඔහුට අයිති කඩ කාමරයක් බොරැල්ලේ තිබෙන බවත්, එහි මට නවාතැන් දිය හැකි බවත් සේරසිංහ අයියා පැවසූ විට මගේ ඉහේ මලක් පිපුණු ගානේ සතුටක් ඇති විය. ඒ මේ වනවිට අඩක් නිමා වන්නට ළඟ මාගේ පරිගනක පාඨමාලාවේ බොහෝ දේශන මට මග හැරී තිබූ බැවිනි. එකල ආපසු නිවසට සවස හයට ලඟා වීමට නම් මා සවස තුනයි තිහට වත් එතනින් පිටත් විය යුතුවූ නිසා බොහෝ ප්‍රායෝගික අවස්ථා අත් හැර දමන්නට සිදු විය. සවස හයේ සිට අට දක්වා තිබෙන ප්‍රායෝගික අවස්ථා මා බොහෝ විට වෙනත් අයෙකු සමග හුවමාරු කර ගන්නට වග බලා ගත්තේ යළි නිවසට ළඟා වනතුරු අම්මා බලා සිටිනවා යන සිතිවිල්ල නිතරම මගේ සිතේ වැඩ කල නිසාය.

සේරසිංහ අයියා දුන් ලියුමත්, සතියකට සෑහෙන ඇඳුම් බෑගයත්, අම්මා දුන මුදල්ද රැගෙන දෙමාපියන් දෙපා නැමද මා පිටත් වන්නේ ඉහ වහා යන සතුටකින් මෙන්ම හදපිරි දුකකිනි. ඒ මේ වනවිට එක් රැයක් හෝ නිවසින් පිට ගත කර නැති මා දෙමාපියන් සහ සහෝදර සහෝදරියන්ගෙන් වෙන්ව ගත කරන මුල්ම රාත්‍රිය අද වන නිසාය. එහි නිදා ගැනීමට ඇඳන් නොමැති නිසා පන් පැදුරක් රැගෙන් යන්නට මා වග බලා ගතිමි. එහෙත් එය බෑගයේ අඩියේම සඟවා ගත්තේ මගේ බැචාලා මෙය දැන ගතහොත් ඇතිවන තත්වය පිළිබඳ කලින්ම දැන සිටි බැවිනි. එම කාණ්ඩයේ සිසු/සිසුවියන් එකසිය විසි ගණනක් වූ අතර බොහෝ දෙනා කැම්පස් යාමට නොහැකි නිසා මෙයට එක් වුවන්ය. එනිසාම ඇති වූ තරග්කාරීත්වයද වැඩි විය. විවිධ අධ්‍යාපනයන් ඔස්සේ දැනුම් සහිත අය වූ නිසා දේශකයන් නොමැති විට දේශකයන් වූ බොහෝ දෙනෙක්ද අප අතර විය.

තුනයි තිහට දේශන අවසන් වූ වහාම බොරැල්ල පැත්තට ගමන් ගන්නා රොහාන් සහ තවත් කිහිප දෙනෙකු සමග මා පිටත් වුයේ එකසිය පනස් හතර බස් රථයකින් මේ සුළු දුර ගමන් ගැනීමටය. අද මෙන් එකල පාර පුරා වාහන තදබදයක් නොමැති නිසා විනාඩි කිහිපයකින් මා බොරැල්ලේ සුපර් මාර්කට් බස් නැවතුමෙන් බස මිතුරන්ගෙන් වෙන්ව දැන් යා යුත්තේ රිජ්වේ ආර්යා රෝහලේ වතුර ටැංකිය තිබෙන බොරැල්ල හරස් පාරටය. බොරැල්ල හරස් පාර සොයා මා සෙමින් සෙමින් මරදාන දෙසට ගමන් ගතිමි. රිජ්වේ ආර්යා රෝහල දකිත්ම වටපිට බැලූ විට පහසුවෙන්ම හරස් පාර හසු වූ අතර ඒ ඔස්සේ බෑගයේ බරද දරාගෙන විමසිල්ලෙන් ගමන් ගතිමි. වතුර ටැංකිය ඇත්තේ බේස්ලයින් පාරට මෙම පාර හමු වන තැනය.
පින්තුරය ගත්තේ : http://wikimapia.org/
රතු කවයෙන් පෙන්වා තිබෙන්නේ මා සිටි කඩ කාමර කිහිපය තිබූ තැනයි.

මා දැන් සිටින්නේ වතුර ටැංකිය අසල හරස් පාර අසලය. මා ඒ ගොඩනැගිල්ල දෙස බැලීමි. එය ඉතා පැරණි අබලන් කඩ කාමර කිහිපයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලකි. එහි යට කොටසේ මැදට වන්නට බාබර් සාප්පුවක් තිබේ. එහි ඇතුළට ගිය විගස කොණ්ඩය පොකුටු අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී උන් මැදිවියේ පුද්ගලයෙක් මට සැලුන් පුටුව පෙන්වූවද, ඔහුට කිට්ටු කර මා ඇසුවේ රොබින්සන් මහතාවය. ඔහු පැමිණෙන්නේ සවස පහ මාරත් හයත් අතර බව පවසා, නැවතත් මගේ හිසේ සිට දෙපතුල දක්වා බැලූ ඔහු

"රොබින්සන් මහත්තයාගේ ඥාතියෙක්ද ?" යයි ඇසීය. මම හිසින් ඔහුට "ඔව්" යන පිළිතුර දී එහා පුටුවේ කොණ්ඩය කපන බාබර් මහතා දෙස බැලීමි. ඔහු රැවුල කපා අවසන් කර කොළ පාට ගල් කෑල්ලක් අර තරුණයාගේ මුහුණේ අතුල්ලමින් සිටී. මේ වෙලාවේ ගුවන් විදුලියේ සිංහල කාලය අවසන් වී දෙමළ නිවේදකයාට අවස්ථාව උදා වී ඇත

"ඉද ඔලිවරප්පු කූටතාපන සිටි එෆ්.එම්. ස(ර්).ව." වැනි වදනක් කියලා දෙමළ ගීතයක් පටන් ගති. මම ඔරලෝසුව දෙස නෙත් යොමු කළෙමි. එහි වෙලාව හරියටම සවස හතර සටහන් වී ඇත. නැවතත් කොණ්ඩ පොකුට්ටා වෙත ගමන් ගත් මා

"අයියේ මම පොඩ්ඩක් ටවුමේ ඇවිදලා එන්නම්. එතකම් මේ බෑග් එක බලා ගන්න පුලුවන්ද ?"

"ආ ... හරි හරි මල්ලි මම බලා ගන්නම්. මල්ලි ගිහින් එන්න. කෝ දෙන්න මම ඕක අරන් තියෙනනම්."

ඔහු මගේ බෑගය කබඩ් එකක් තුළට දමා දොර වැසීය. මම නැවතත් මාර්ගයට බැස්සේ සබන් ඇතුළු අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සහ රාත්‍රී කෑම සඳහා කෑම පාර්සලයක් රැගෙන ඒමටය.

තවමත් තද හිරුරැස් බොරැල්ල නගරයට වැටේ. මා දෑසට උඩින් අත තබාගෙන නගරය දෙස බැලුවෙමි. පාරෙන් එහා පැත්තේ සයිකල් බසාර් යනුවෙන් දැවැන්ත බෝඩ් එකක්ද පඩිපෙළ අසලිනි කුඩා බෝඩ් එකක ඩිජිටල් රිසර්ච් යනුවෙන්ද ඇත. මගේ මතකයට එකවර පැමිණියේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙකු වූ මගේ බැචෙක් වන ආනන්ද වැඩ (පාර්ට් ටයිම්) කරන්නේ මෙතන බවයි. එහෙත් සියලු කාර්යාල කෙමෙන් වැසීයන මොහොතේ එහි යා නොහැක. මා යළිත් බොරැල්ල මංසන්ධිය දෙසට ගමන් ගතිමි. 

මැගසින් හෝටලයට ගොස් බනිස් ගෙඩියක් කා ටී එකක් බී නැවතත් එළියට විත් මංසන්ධිය දෙසට ගමන් ගතිමි. එක් වරම දකුණු දෙස ඉහළ මාලයක සඳළුතලයේ හිඳිනා සුදු ලස්සන යුවතියක් දැක ඒ දෙස මොහොතක් බලා ඉදිරියට ඇදුනෙමි. දාස බිල්ඩිම අසලින් පාර පැන ලිපිද්‍රව්‍ය විකුණන කඩයෙන් පැන්සලක් මිලදී ගෙන යලිත් පුංචි බොරැල්ල දෙසට යන මාවතේ ගොස් එක්තරා කඩයකින් කෑම පාර්සලයක් මිලදී ගතිමි. නැවතත් ඔරලෝසුව දෙස බැලීමි. හතරයි පනහ එහි සටහන් වේ. මං නැවතත්  හරස් වීඩිය දිගේ ගමන් ගතිමි. දකුණු පස ජල කරාමයක් අසල දිගු පෝලිමක් ඇත. ඒ අසල පුටුවක් තබාගත් කෙනෙකුගේ විධානය අනුව කෙනෙක් වතුර ගනී. මුඩුක්කු ජීවිත ගත කරන කාන්තාවන් යයි සිතිය හැකි කිහිප දෙනෙක් බාල්දි බේසම් වල තබාගෙන රෙදි සෝදන අයුරු පෙනේ. මේ පාරෙහි මැද හරියට වන්නට බස් නැවතුමක් ඇත ඉතා පියකරු යුවතියක් පොත් කිහිපයක් ළැමට තුරුළු කරගෙන පාරේ ඈත ඉම දෙස නෙත් යොමා සිටියි. මා යලිත් බාබර් සාප්පුවට ඇතුළත් වුණෙමි. කොණ්ඩ පොකුට්ටා මා දෙස බලා මද සිනාවක් පා දිගටම වැඩෙහි යෙදේ.  මෙවර ලෙනින් කට් ගැසූ අයෙක් මා දෙස බලා හිඳී. එවිට් පොකුට්ටා නැවතත් පිළිතුරු දුන්නේ

"රොබින්සන් මහත්තයාගේ ඥාති කෙනෙක්"

දැන් සිටි එෆ්.එම්. සේවාව ඉංග්‍රීසියට මාරු වී ඇත. මෙවර රෙදි මිටියක්ද ගෙන කඩයට ඇතුළු වන්නේ බලපිටිය-කොස්ගොඩ ආරයේ කථාවක් සහිත තරුණයෙකි. ඉතා කෙසඟ ඔහු ගිරවකු මෙන් ඇද-පැද කථා කරයි. මා ඔහු දෙස බලා සිනාසුණ විට ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය. 

"මම යනවා උඩට " කියමින් ඔහු පිටුපස දොරටුවෙන් පිට වුයේ රෙදි මිටි දෙකක් දෑතේ එල්ලාගෙනය. මා නැවතත් කල්පනාවට වැටුණෙමි. වෙනදා නම්  මේ  වනවිට අම්මා වැට අසලට වී මා එනතුරු බලා හිඳි. එහෙත් අද මා කොළඹ සිටින බව ඈ දනී. අපේ නිවසේ දුරකථනයක් නැත. එහෙත් මා මාස කිහිපයක් සේවය කල බෙන්තොට බීච් හෝටලයේ දුරකථනයක් ඇත. රොහාන් අයියාට කථා කළහොත් යම් පණිවිඩයක් දිය හැක. එහි සේවය කරන ජයසේනට අපේ නිවාස ඉදිරිපස නිවාස කුලියට ලබා දීමට කටයුතු කළේ මමය. ජයසේන අතේ වුවද පණිවිඩයක් යැවිය හැක. එහෙත් දුරකථන ඇමතුමක් ලබා ගන්නේ කෙසේද? 

තවත් මොහොතකින් "මල්ලි ... මල්ලි...." හඬින් මා අවදි වී බලන විට කොණ්ඩේ පොකුට්ටා සහ තවත් පුද්ගලයකු මා අසල සිටී. කාර්යාලයක සේවය කරන පෙනුමැති අවුරුදු හතළිහක් පමණ අයෙකි. ඔහුගේ අතේ සාගත මල්ලක්ද ඇත. 

"මේ මල්ලි ඇවිත් ඉන්නේ මහත්තයා හම්බ වෙන්න"

එහෙනං මේ රොබින්සන් අයියාය. සිහින් උඩු රැවුලක් සහිත, කොණ්ඩය පැත්තට පීරා ඇති ඔහු දුටු මගේ හිතට නිතැතින් ආවේ කොපි කඩේ රත්නපාලවය. 

"ය..ය..යමු මල්ලි උඩට"

මා සේරසිංහ අයියා දුන් ලියුමද ඔහු අත තැබුවෙමි.

ඊළඟ කොටසට ........ 

34 comments :

  1. ඩ්‍රයිවර් මල්ලි කියපු කතාව ඇත්ත සුදීක...

    ReplyDelete
  2. //ඒ එම යුගයේ අල්ලා ගන්නා තරුණයන්ගේ ගෙල ඉලෙක්ට්‍රික් කියත් මගින් සිඳින්නේ මෙම ස්ථානයේ නිසාය.//
    එහෙව් ලන්කාව මේ

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඒවා බොහොම පැරණි කතාවල්.

      Delete
  3. එක හුස්මට කියෙව්වා සුදික ..... මම වගේ නැතුව ඉක්මනට 2 කොටසත් දායි කියල හිතනවා

    ReplyDelete
    Replies
    1. බලමු හෙට උදෙන් ඇහැරුනොත්.

      Delete
  4. athatama ayiye lankaawe oya yatin paara paninna hadana kathaawa mamath anumatha karanawa e wagema handi wala athuru paarawaluth polawa yatin yawwanam oya traffic eka saahenna adukaraganna puluwan

    ReplyDelete
    Replies
    1. දැන් නම් එහෙම කරන්නම වෙනවා.

      Delete
  5. ඇඟ හිරිවැටිලා කියෙව්වේ මොකක් හරි ලොකු සිදුවීමක් වෙයි කියලා. ඒක ඊලඟ එකට දාලානේ.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම අනිත් කොටසත් දාන්නම්.

      Delete
  6. ගෙන්දගම් පොලව මටනම් හරිගියේ නෑ...ඒකයි ආපහු ගමට ආවේ...

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නවා.

      Delete
  7. ඩ්‍රැයිවරලටයි, සාමාන්‍ය මිනිස්සුන්ටයි තියෙන මොළේ ඔය ලොකු ලොකු ඉංජිනේරුවන්ට නෑනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න වැරදුණු තැන ප්‍රසන්න අය්යේ... අදහස් දීම ඕන කෙනෙක්ට කරන්න පුළුවන් " ඕක අතනින් දාලා මෙහෙන් ගත්ත නම් වැඩේ හරි " කියලා...

      ඒත් ඒවා කරන්න ගියාම තමයි කාට කාටත් ඉංජිනේරුවෝ ඕනේ වෙන්නේ.. ආතර් සි උන්නැහේත් කිව්වා විතරනේ.. ඒවා ක්‍රියාවට නැංවුයේ කව්ද ..?

      Delete
    2. මේ දේවල් හිතන්න ඕනේ ඇමතිවරු. ඉන් පස්සේ ඉංජිනේරුවන් ඇතුළු පිරිස ලවා කරවන්න ඕනේ.

      Delete
  8. පොළොව යටින් මගී මාරුව දාන කතාවේ ඇත්තක් තියෙනවා තමයි.

    ඒ නැතත් අර පාලු ගුවන් පාලම් හිඟන්නන්ගේ බේබද්දංගේ කුඩ්ඩංගේ තිප්පොලවල්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිතරම ජනයා ගැවසෙනවා නම් පාලුවට යන්නේ නෑ.

      Delete
  9. අමතක නොවන අත්දැකීමක් වගේ..

    පිස්සුයි බං ඔය පැත්තෙ ජිවත් වෙනව කියන එක.. !

    ReplyDelete
    Replies
    1. දරාගන්න වුණා. කරන්න දෙයක් නැති කමට.

      Delete
  10. මොකද අෆ්ෆා මේ කෂ්ඨිය කොටස් වශයෙන් පෝස්ට් දාන්නේ?

    ReplyDelete
    Replies
    1. මීට වඩා එක දිගට ලියාගෙන ගියානම් කලබලයට අන්තිම කොටස නීරස වෙන්න තිබුණා.

      Delete
  11. දෙවනි කොටසත් ඉක්මණින් ලියන්න ,, හැලප අයියගේ කතා වගේ කියවද්දී ආසයි ,,

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන විදියට බලමු.

      Delete
  12. දැන් නම් ඔය කියපු තැන් සංවර්ධනය වෙලා වෙනස් වෙලා ඇති. බොරැල්ල පොඩි උනාට එතනින් සෑහෙන මාර්ග ගනනාවකට බස් ගන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මම එතනින් යන හැම වෙලාවටම එතන බලාගෙන යනවා. පොඩ්ඩක් තීන්ත ගාලා විතරයි වැඩි වෙනසක් නෑ.

      Delete
  13. පාර යටින් මාරුවෙන කතාව නම් නියමයි.එහෙම දැනුම් තේරුම් අයත් ඉන්නව සමහර මුර්ගේස් ල අතර.
    කතාව ලියාගෙන යන ආකාරය නම් සුපිරියටම පට්ටය.

    ReplyDelete
    Replies
    1. ඔව්. පොත පත අධ්‍යාපනය නැති වුණත් හිතන්න පුළුවන් අය ඕනෑතරම් මේ සමාජේ ඉන්නවා.

      Delete
  14. ඒ ඩ්‍රයිවර්ට තිබ්බ දැක්මෙන් හතරෙන් එකක් අපේ බලධාරීන්ට තිබ්බනම්. .....! ක්හොම වුනත් ලස්සනට කතාව ගලාගෙන යන බව නම් පේනවා ...බලමු ඊළඟ කොටසත්

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේ ප්‍රායෝගික පැත්ත හිතන අයට අපේ රටේ ඉඩක් නෑ. බලමු ඊළඟ කොටස මොන වගේ වෙයිද කියලා.

      Delete
  15. අයියෝ මට අනාන්තවත් වැරදිලා තියෙනවා.පොළව යටින් යන්න ගිහිං යන්න ඕන පාරට නෙමෙයි වැටෙන්නේ.අයියගේ මතකයන් ගැන සතුටුයි.

    ReplyDelete
  16. මමත් ඉතින් බොරැල්ලේ,පුංචි බොරැල්ලේ හරියට ගැවසුනා. අප්‍රසන්නම තැන් දෙකක් තමයි සුපර් මාකට් එකේ මස් කඩේ සහ දාස එක ඉස්සරහ බාර් එක (ඩියුරෝ ).අප්‍රසන්න උනත් ඩියුරෝ එකේ ලාබයි...මැද මිදුල රෙස්ටොරන්ට් එකත් දාස එක ඉස්සරහට ආවා කාලෙකදී. රසකතා බොහොමයි සුධීක.

    ReplyDelete
  17. ලස්සන කතාවක ආරම්භයක්...ගොඩක් කල් ගන්නේ නැතිව ඉතිරි ටික දාන්ට සුදීක. නැත්නම් කතාව අමතක වෙලා මේ ගලායෑමත්, රසයත් නැතිවෙන්ට පුලුවන්.

    ReplyDelete
  18. හොදම ටික ඊලගට වගේ.. ඉක්මනට ඒඛ දාවි කියල හිතනවා අයියේ..

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...