Wednesday, June 5, 2013

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි (මුම්බායි ගුවන් තොටේදී හමු වූ දේව දුතයා) - IX කොටස

මෙම කොටස පල කිරීමට මෙතරම් පමා කිරීම ගැන මෙය කියවන පාඨක ඔබගෙන් සමාව අයදිමි. අවසන් වරට මේ ලිපි මාලාවේ සටහනක් ඵල කර ඇත්තේ මාර්තු 13 වෙනිදාය. හරිනම් මෙම කොටස මාර්තු මාසයේ අග භාගයේ ලියා අවසන් කල යුතුව තිබිණි. මේ ගැන ලොකුම චෝදනාව මට එල්ල කරන්නේ මාරයාය. මාරයා කිව්වේ බ්ලොග් ලියන මාරයාටය. මීට අමතරව මිලදී ගත විස්කි බෝතල් තුනට සිදු වූ දෙය දැන ගන්නට ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙක් බලාපොරොත්තු දල්වාගෙන සිටී. VIII වන කොටසේදී මා ලිව්වේ ජුහු නමැති ඉන්දියාවේ ධන කුවේරයන්, නළුවන්, ක්‍රීඩකයින් ඇතුළු ඉහල පැලැන්තියේ අය වෙසෙන මුම්බායි හදවත සොයා ගිය ගමන ගැනයි. ඒ එන අතරතුරේ ඉන්දියාවේ හයිවේ මාර්ගයේ දෙපස ඇති සමහර පැරණි මෙන්ම නව ගොඩනැගිලි කිහිපයක් ඡායාරූපයට නගා ගන්න අමතක නොකලෙමි. එහෙත් විටින් විට දෑස් පියවුනේ, සත්මහල් ප්‍රාසාදය තුල කරක් ගසා ඇති වූ තෙහෙට්ටුවටම පමණක් නොව, හරි හමන් දිවා ආහාරයක් ගන්නට නොහැකි වූ නිසාද විය යුතුය. 

මෙය කලබලයට බයිසිකල් පැදීමක් ලෙස සටහන් වී ඇත. එහෙත් එම මොබයිල් ඇප්ලිකේෂන් එක SportsTracker නමැති අපූරු එකකි. එමගින් ඔබ ව්‍යායාම කරන මොහොතක ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය, ගමනට ගත වූ දුර, වැයවූ ශක්තිය සහ තවත් බොහෝ මිනුම් දර්ශකයන් ලබා ගත හැක. එය වෙනමම කාරණයකි. නමුත් එයට පින් සිදු වන්නට මා ගිය ගමනෙහි සිතියම ඔබට පෙන්වීමට හැකි වී තිබේ.

ඉර බැස යද්දී මුම්බායි නගරයට සිසිලක් නැතත්, දිවා කාලයේ ඇති දැඩි අවු රශ්මිය නැති වීමම සහනයකි. එහෙත් එහි තිබෙන දැඩි රස්නය සම  කල හැක්කේ වායු සමනය කල ස්ථානයක දින කිහිපයක් එය ක්‍රියා විරහිත කර තැබූ පසු තිබෙන තත්වයටය. මාස ගණනකින් මුම්බායි නගරය වැස්සක් දැක නැත. ඈත පෙනෙක කඳුගැටය වියලී ගොස් ඇත. මුළු නැවි මුම්බායි ප්‍රදේශයම ගිණි ගෙන දැවී ගිය පාළු සොහොන් පිට්ටනියක් සේ මට පෙනෙයි. එහෙත් එහි සිටින කිසිවකුට එහි වගක් නැත. ඔවුන් යුහුසුළුව එහේ මෙහේ දුවයි. නැවි මුම්බායි හී මගේ නවාතැනට ලඟා වන විට පස්වරු පහ පසුවී විනාඩි කිහිපයක් ගත වී ඇති බව ඉහත පින්තුරයෙන් තේරුම ගත හැක. නමුත් මේ ලිපි මාලාව තුලම සඳහන් කල පරිදි මුම්බායි රස්නය ශ්‍රී ලංකාවේ මා කිසිදු පලාතක අත්විඳ නැත. ගෙන ආ දහයකට අධික ඉටි බෑග් තොගය ඇඳ මත තබා දිගු වෙලාවක් ස්නානය කලෙමි. 

NDTV තුල විකාශනය වන "Sri Lanka - Bring it On" නමැති වැඩසටහන දැන් විවාදයක් මට්ටමට උණුසුම් වී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන සනත් ජයසුරිය හුදකලා සටනක යෙදෙන අයුරු පෙනේ. මේ අතරින් ඉන්දීය කණ්ඩායම අඩුම කලක් නියෝජනය කල අතුල් වසන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙකේ කොලේට දමා කතා කරයි. මුරලිදරන් ගැන සහ මැතිව්ස්ගේ ආබාද නිසා අප අංගවිකල කණ්ඩායමක් බව ඔහු පුන පුනා කියයි. එහෙත් එහි ජාත්‍යානුරාගය මිස කිසිම තර්කානකුල දෙයක් නැති බව ඕනෑම කෙනෙකුට පැහැදිලිය. 

කාමරය තුල ජීවිතය තරමක් සුවදායකය. ඒ මුළු කාලය පුරාම ක්‍රියාත්මක වායුසමනය නිසාය. මා නැවතත් බෑග් සැකසීමේ කාර්යයට බැස්සෙමි. මේ වනවිටත් සකසා තිබු බෑග් තුනෙහි හිස් තැන් පුරවනු වෙනුවට වඩා වටිනා දේ අතේ ගෙන යන බෑගයන්ට දමා, වටිනාකමෙන් අඩු දේ වඩා විශාල බෑග් වලට දැමුවෙමි.  මුදලින් වටිනාමක මිනිය නොහැකි දියණියගේ කතාකරන බෝනික්කා එය ලබාගත් වෙළඳසැලේ බෑගයම සමගින් අතේ ගෙන යන්නට තීරණය කලේ මේ මොහොතේ වඩා වටිනාම වස්තුව එය බැවිනි. ආසියාතික ගුවන් තොටුපළවල් වල රේගු නිලධාරීන් සහ සුළු සේවකයන් එකතුව වටිනා දේ සොරකම් කරන බව මා අසා ඇත්තෙමි. මා සිංගප්පූරු ගිය ගමනේදී මගේ මිතුරන් දෙදෙනාගේ බෑග් aර එහි තිබූ දේ සොරාගෙන තිබුනද, මගේ බෑග් දෙක සුරක්ෂිතව පැවතින. සිංගප්පූරුවේ එසේ නම් ඉන්දියාවේ කෙසේ වියහැකියි මම මා සමගම තර්ක කලෙමි. සුදානම් ශරීරය හොඳ බව දන්නා නිසා මේ ක්‍රියාදාමය අනුගමනය කලෙමි. එවිට පාඩුව සහ දුක අවම වේ. 

මුම්බායි ගුවන්තොටුපළ වෙත යාමට අවම වශයෙන් පැය එකහමාරක් වත් වැය වෙතයි මා තීරණය කලේ එහි සිට පැමිණීමට මා හට පැයකට වඩා ගත වූ බැවිනි. මා ආපසු එන ගමනේදී, මාගේ කාමර බිල සකසන ලෙස එහි සිටින රාත්‍රී පිළිගැනීමේ නිලධාරියාට දැන්වූ විට, මා කලින් යන්නේ ඇයිදැයි ගැටලුව මතු කරන ගමන්ම ඊට උත්තරයද ඔහුගේ හිසේ වැඩකළ බව ඔහුගේ හිනාවෙන් පැහැදිලි විය. රාත්‍රී අහාරය ගන්නටත් මේ ගාස්තුව පියවන්නටත් මා යලිත් කාමරයෙන් පිටතට බැස්සේ දෙතුන් ගමනක්ම එහි දොර අගුල් වැටුනාදැයි සැක හැර දැන ගැනීමෙන් පසුවය. 

මා යනවිටත් ඔහු මාගේ බිල්පත පිළියෙළ කරමින් සිටී. රාත්‍රී ආහාරයෙන් පසු එය පියවන්නට පොරොන්දු වී නැවතත් සුපුරුදු පරිදි ඉනෝ(ර්)බිට් මෝල් වෙත ගමන් ගතිමි. රාත්‍රී කාලයට එහි තුන්වැනි මහලේ ආහාර පොල කදිම තැනක් බවට පත්වේ. විවිධ ජාතීන්ට අයත් අය එක්-එක් ආහාර කවුළු වෙතින් ආහාර ගෙන රස බලති. මට මෙවර වෙනස් ආකාරයක අහරක් ගන්නට සිත් වී පීසා හට් වෙත පිය නැගුවෙමි. මෙය තවමත් ඉන්දියාවේ එතරම් ජනප්‍රිය නැති, ඉහල පැලැන්තියේ යයි සිතිය හැකි අය සහ විදේශිකයන් පමණක් ඇදෙන තැනක් බව පැහැදිලිය. එහි සිට දුරකථනයේ අන්තිම මුදල අවසන් වනතුරු මෙහි පැමිණෙන බව පැවසු කුෂාන් නමැති කැබ් මිතුරා(ඔහු වාහන හිමිකරුවෙකි) සමග දොඩමලු වුයෙමි. 

ඔහු පැමිණෙන තෙක් ඉන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි. මා මේ වනවිට ආපසු යාමට ටිකට් සකසාගෙන ඇති බැව පැවසු විට ඔහු ඉතා කනගාටුවට පත් වුනි. එහෙත් වෙන කල හැකි දෙයක් නැත. දියණිය දැකීම ඊට වඩා සතුටකි. වියෝගය කදිමට දැනෙන මේ මොහොතේ මේ කිසි දෙයක වටීනා කමක් දැනෙන්නේ නැත. මේ වනවිටත් ඇය අක්කා සමග ගමේ ගොසිනි. මා හෙට උදෑසන නිවසට ලඟා වුවද, ඇය දකින්නට වෙන්නේ ඉරිදා රාත්‍රියෙහිය. පීසා එකක් සහ පෙප්සි එකක් සඳහා රුපියල් එකසිය ගාණක් වුවිට එය ශ්‍රිලංකාවේ මුදලට සමාන හෝ අඩු බව පැහැදිලිය. ඒ ඔවුන් තවමත් වෙළඳපොල ග්‍රහණයේ යෙදී සිටින නිසාය. 

ඇපෙක්ස් හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා මගේ බිල සකසා තිබූ මුත්, මා මෙහිදී හතරවෙනිදා දක්වා කල වෙන් කිරීම දක්වා ගෙවිය යුතු බව ඔහු සඳහන් කරයි. එහෙත් මා නොසිටින කාලයකට ගෙවිය යුතුයි ප්‍රශ්ණ කලවිට, එය නිවැරදි කරන්නට නම් හිමිකරු එනතෙක් සිටිය යුතු බව දැන්වීය. හෙට උදේ වනතෙක් මා නොසිටින බවට ඔහු සහතිකවම දනී. එය ඉන්දීය රුපියල් 6850කි. එහෙත් මා වැඩිපුර තර්ක නොකර එම මුදල පියවුයේ, මා මේ වෙන් කිරීම කල "හොටෙල් පුෂ්පැක්" නමැති වෙන් කිරීමේ වෙබ් අඩවියට සහ ඉන්දීය සංචාරක දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් එය සිදු නොවූ බවද කිව යුතුය. 

මා ආපසු යන වාහනය සුදානම් කර තිබුනේද ඔවුන්මය. එහි ගාස්තුව 1500ක් පමණ විය. මේ වනවිට අතේ ඉතිරිව ඉන්දීය රුපියල් 2300ක් පමණ විය. එය හොඳටම ප්‍රමාණවත්ය. ආපසු කාමරයට ගොස් මා යන ගමනට අඳිනා ඇඳුම හැර සියල්ල බෑග් වලට අසුරා, තුවායෙන් සැරසී රුපවාහිනිය දෙස නෙත් යොමු කලෙමි. තවත් පැය දෙකක් සඳහා නින්දක් ලබා ගත නොහැකිය. මෙහි ආවාට වඩා වැඩි උනන්දුවකින් මා ආපසු ශ්‍රී ලංකාව නමැති සුන්දර දේශය බලා යන්නට සුදානම්ය. "ආයෙත් ඉන්දියාව දිහා බලන් බත් කන්නේ නෑ". ඒ මගේ ප්‍රතිඥාවයි. ඒ තරමටම මට ඉන්දියාව එපා වුණි. ඉන්දියාව ගැන Lonely Planet නමැති සංචාරක වෙබ් අඩවියට සටහනක් ලියමින් කෙනෙකු පවසා තිබුනේ "ඉන්දියාව ලිට්මස් පරීක්ෂණයකි, සමහරුන්ට එහි නැවත නැවතත් එන්නට උවමනාය, එහෙත් සමහරුන්ට කිසිදා නැවත එන්නට නුවමනාය". එය 100% සත්‍ය බව මම හිතින් මුමුණා ගතිමි. 

මා සියලුම බෑග්(අඩි 3 x 2 1/2 බෑග් දෙකක්, අතේ ගෙනයන බෑග් දෙකක්, සහ බෝනික්කාගේ ඉටි බහලුම) ට්‍රොලියක දමාගෙන හෝටලයේ කුඩා ලොබියට පිවිසුනේ රාත්‍රී 11.45 වන විටය. වාහනය එහි එන්නට පොරොන්දු වුයේ රාත්‍රී දොළහටය. මේ වනවිට එහි සේවකයන් නිදි සුව ලබයි. පිළිගැනීමේ නිලධාරියාද තම අසුන මත සුපුරුදු කුකුල් නින්ද ලබමින් සිටී. ඔවුන් එක්තරා අන්දමකට දැන් මගේ මිතුරන් වී හමාරය. සියල්ල හරිදැයි මා නැවතත් වටපිට බලමින් පරීක්ෂා කලෙමි. ඇතුලටම වී සිටීම නුවණට හුරුය. එලිය මේ වනවිටත් උණුසුම්ය. ඉඳහිට එහා මෙහා යන කෙනෙක් දෙන්නෙක් තවමත් දකින්නට ලැබේ. හරියටම 12.00 වනවිට සුදු පාට ඇම් බැසිඩර් වර්ගයේ රථයක් හෙමින් විත් අප ඉදිරියේ නතර වුණි. ඒ මා රැගෙන යන වාහනය බව සේවකයා පැවසී විට ඔහුට සමුදී, ආරක්ෂක නිලධාරියාගේ ආධාරයෙන් වාහනය වෙත මගේ බෑග් ගෙන ගියෙමි. 

අවාසනාවකි ! එහි පිටුපස ඩිකියෙහි මගේ ලොකු බෑග් දෙකෙන් එකක්වත් එබිය නොහැක. වාහනයේ පිටුපස අසුන සහ ඉදිරිපස අසුන් අතර එක් බෑගයක් තැබිය හැක. සීට් මත බෑග් තැබීමට රියදුරා විරුද්ධ විය. ඔහු එය හුඩ්රැක් එක මත තැබීමට යෝජනා කල අතර වෙනත් කිසිදු විසදුමකට ඔහු එකඟ නොවීය. මේ මොහොතේ වෙනත් විකල්පයක් නොමැති නිසාත්, ඔහු සහ මා අතර භාෂා පරතරය වැඩි නිසාත් හුඩ්රැක් එක මත එක් ලොකු බෑගයක් තැබීමට එකඟ වනු හැර කල හැකි දෙයක් නොවිණි. ඔහු එය ගැට ගැසූවේ රෙදි පටියකිනි. එය දැක මා ඒ ගැන විමසීම් කල විට "නෝ ප්‍රොබ්ලම් ජී" යනුවෙන් පිළිතුරු ලැබිණි.  විස්කි බෝතල් තිබෙන බෑග් තුන(එකකට එක බැගින්) ළඟ තබා ගන්නට මා වග බලා ගතිමි. මන්ද එළියේ තිබෙන බෑග් එක වැටුනොත් මගේ ගමන යා නොහැකි වනු ඇත. 

ඉඳහිට නින්දක් ආවත්, බෑග් එකේ සිහිය නිසා යලිත් නොනිදන්නට සිතා ගත්තද, වාහන වල ලැබෙන සුව නින්ද මග හරින්නට නොහැකි විය. යලිත් මා ඇස් හැර බලන විට, මා සිටින්නේ ගුවන්තොටුපළේ බව පසක් විය. නිරතුරු මා මවිත කල ඒවායේ පේව්මන්ට් එක අඩි 2ක් තරම් උස විය. නියමිත ගාස්තුව ගෙවා මා ගුවන් තොටට ඇතුල් වුයෙමි. ඇතුල් වීමට පෙර යලිත් අඩක් නිදන මුම්බායි නගරය දෙස බලා "ආයි නම් තොපේ රටට අඩියක් තියන්නෑ " යනුවෙන් හිතින් ප්‍රතිඥා දුනිමි. "හෙට අපේ වුන් කප් එක ගත්තාම නුඹලාට උත්තර ලැබේවි". ඒ මගේ ප්‍රාර්ථනයයි. ට්‍රොලියේ හැඬලයට බර දී ඉදිරියට ඇදුනේ, "මගේ බෑග් කිලෝ තිහට වැඩි වෙයිද ?" කියන දෙගිඩියාවෙනි.  

මීළඟ ඉලක්කය මගේ අතේ තිබෙන ඉතිරි රුපියල් හයසිය ගණන ඩොලර් බවට පත් කිරීමයි. මා වහා Travelex කවුන්ටරයට ඇදුනෙමි. මා අතැති මුදල සහ මීට පෙර මුදල් මාරු කල කාඩ්පත(සාමාජික) දුන් විට ඔහු මුදල් මාරු කර දෙන ලද අතර ලැබෙන ගණනට වඩා ගෙවන ගණන ලොකු වෙනසක් ඇති බව වැටහින. රුපියල් 600 ටම මට ඔහු ලබා දුන්නේ ඩොලර් 12කි.ඉතිරි මුදල ඉන්දීය රුපියල් වලිනි. ඒ මුදල රැගෙන මා වහා ඇදුනේ පිටවීමේ කවුන්ටරයටයි. මගේ බෑග් නිදහස් කර ගැනීමේ ප්‍රයාමය ඊළඟ ඉලක්කයයි. මෙය ඕනෑම ගුවන් මගියකුට ඇති වන හිසරදයකි. එම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් කවුන්ටරයේ සේවයේ යෙදුනේ ඉන්දීය යුවතියකි. ඇය මගේ බෑග් මැන බැලුවාය. අමතර කිලෝ 2.5 ක් වුවද, ඇය බෑග් දෙක බෙල්ට් එකට අද දැමීය. සහතිකවම මේ ගුවන් ගමනට එක් වන සෙනග අඩු විය යුතුය.

ඉන් අනතරුව "සර් යුවර් හෑන්ඩ් ලගේජ්" යනුවෙන් ප්‍රශ්න කල විට මා සතු බෑග් තුනෙන් වඩා බර අඩු එක ඉහලට ඔසවා ගත් විට, ඇයට ඉතා සැහැල්ලු එකක් බව වැටහී, "දැට්ස් ෆයින්" යයි කීය. කොට එකියක් වූ ඇයට ට්‍රොලියේ තිබෙන බෑග් නොපෙනුනාද, නැතිනම් ඉක්මනින් නිදා ගන්නට අවැසි වුවාද ? ඇය නැවතත් කටහඬ අවධි කළාය 

"සර් ටුඩේ ඔන්වර්ඩ්ස් එව්රි පැසෙන්ජර් ෂුඩ් පේ ඇඩිෂනල් ටැක්ස් ඔෆ් සෙවන් හන්ඩ්‍රඩ් රුපීස්". මට දෙලෝ රත් විය. 

"කැන් අයි පේ ඉට් බයි කාඩ්ස් ?".

"නෝ සර්, වී ඩෝන්ට් ඇක්සේපට් කාඩ්ස්"

මේ වනවිටත් මා කාඩ්පත අතට ගෙන හමාරය. මා නැවතත් මුදල් කවුන්ටරය වෙන්ත ගමන් කලේ කාඩ්පත මගින් මුදල් ලබා ගත හැකිද ? යන්න සොයා බැලීමටයි. මගේ උත්සාහය වතුරේය. එහි කිසිදු බැංකුවක් හෝ ATM යන්ත්‍රයක්ද නැත. මා හොඳටම අසරණ වී වටපිට බැලුවෙමි. ශ්‍රී ලාංකිකයන් දෙතුන් දෙනෙකුම එම කවුන්ටර අසල විය. මා සතු ඩොලර් 12 යලිත් මුදල් කලපසු රුපියල් 550ක් විය. මා ජීවිතයේ කිසිම දිනක මෙවැනි අසරණ තත්වයකට පත් වී නැත. එතනින් එලියට යා නොහැක. මේ වනවිට  මගේ බෑග් දෙක ඔවුන්ට බාර දී අවසන්ය. මගේ බෝඩින් පාස් එක ලැබෙන තුරු මට ඇතුල් වීමට නොහැක. මා "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වැනි තත්වයකට පත් වීය. පෝලිමේ සිටින අනෙකුත් සිංහල අය සමග මේ අසාධාරණය ගැන කතා වුනෙමි. මට පිටිපස සිටි තරුණයා මුදල් මාරු කර එන විට මා වැටුන තත්වය ඔහුට පැවසීමි. 

"මචං මම වැඩ කරන්නේ මහජන බැංකුවේ. මට ලංකාවට ගිය ගමන්ම සල්ලි දෙන්න පුළුවන්" 
මා සිටි තත්වය තේරුම් ගත් ඔහු 

"උඹට කීයක් ඕනද මචං"

"මට රුපියල් 150ක් අඩුයි"

"හරි මම දෙන්නම්"

රුපියල් 200ක්ම ඔහු මා අත තැබීය. නොදන්නා රටකදී, නොදන්නා කෙනෙකුට රුපියල් 10ක් වත් දෙන්න කවුරුන් නම් ඉදිරිපත් වේද ? ඔහු දේව දුතයෙකි. මට සිතිනි. මට ඔහු බදා ගැනීමට තරම් සතුට මිශ්‍ර වේදනාත්මක හැගීමක් ඇති විය. ගහෙන් ගෙඩි එන්නට මෙන් ඔවුන් කියනා ගණන් ගෙවන්නට මා සුදානම්ව සිටියේ නැත. හනික දිවැවිත් ඔවුන්ගේ "දඩය" ගෙවා දැමීමි. නැවතත් මා ප්‍රියන්ත නමැති මාගේ ගලවුම්කරුවාට ස්තුති කර ඔහුගේ විස්තර ඉල්ලා ගතිමි. 

මෙම කොටසින් අවසන් කරන්නට උත්සාහ කලද තවත් කොටසකට මෙය ගෙන යන්නේ මුම්බායි ගුවන් තොටේදී හමු වූ ටෝනි නැමැත්තා ගැන මෙන්ම විස්කි බෝතල් වලට සිදු වූ දේ විස්තර සහිතව ලියන්නටය. 

25 comments :

  1. ක්‍රිකට් ගෑවුන නිසා මන් පෑල දොරෙන් වහන් වෙන්නත් හදලා ඔන්න ඔහේ ආව සුදීක...බැලින්නම් ජීවිතේට ලොකු අද්දැකීමක් ඇති කතාවක් මෙතන තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙතන ක්‍රිකට් ගැන අබමල් රේණුවක දෙයක් ලියවිලා නෑ.

      Delete
  2. අම්මෝ මේ කතාවනං අමතකත් වෙලය් තිබ්බේ. මේක දාන්න තිබ්බේ අයි පි එල් තියන කාලෙනේ. ඒ වුණාට වටිනවා සහෝ

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ගැන ලිව්වේ නෑ. ලොකු චෝදනාවක් තිබ්බ මේක මම නොලියනවා කියලා මාරයාගෙන් සහ ප්‍රසන්නගෙන්. මේක ලියන්න මතකය අවධි කර ගන්න වෙන නිසා හොඳ නිස්කලංක වෙලාවක් හොයන්න මහන්සි වුනා.

      Delete
  3. සිංගප්පූරුවෙදී බෑග්ස්වල තිබුණු දේවල් හොරකම් කලා කියලා හිතාගන්ටත් බෑ. අනෙක අර මුම්බායි රස්නේ ගැන ලියපු ටික තේරුණේ නෑ. සුදීක කියන්ට හදන්නේ රස්නේ උණත්, දවාලට එය උහුලන්නට පුලුවන් උණු බවක්ද?

    ඉන්දියාව එපා කරපු රටක් උණත් මම නම් යන්ට කැමති රටක්. බලලා ඉවර කල නොහැකි දේවල් එහි බොහොමයි. ඒ වගේම දන්නා කියන කෙනෙක් සිටිනවා නම් කරදරත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. මුම්බායි රස්නේ දරා ගන්න අමාරුයි. මම ලංකාවේ හම්බන්තොට, කතරගම, සුරියවැව, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය පළාත් වල රස්නය විඳලා තියෙනවා. මුම්බායි නගරයේ සෙන්ටිග්‍රේඩ් 40ට වැඩි රස්නයක් තියෙන්නේ. හෙවනක ඉන්න පුළුවන් වුනත් එළිමහනේ අධික වියලි රස්නය හැම පුපුරවන්න සමත්.

      Delete
  4. ලංකාවෙ අයව දැක්කම අහක බලාගන්න අය අතර ප්‍රියන්ත ප්‍රියම කොල්ලෙක් නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා ඊළඟ කොටසෙන් පැහැදිලි කරන්නම්.

      Delete
  5. 200 දුන්නද ඉතිං..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුදලින් ගෙව්වත් හදවතින් මා ඔහුට තවමත් ණයගැතියි.

      Delete
  6. Anurdhapura ticket ekak gana station ekadi Rs.30 ilala kollek mata "higa kiana epa oai" kiwa. (mage aduna Ayyand).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් මිනිසුන්ට වෙන්ව. ඒවා තේරුම් ගන්න පුළුවන් කම තමයි වටින්නේ. ලංකාවේ බොහෝ ප්‍රයෝග කාරයෝ ඉන්න නිසා තමයි ඔයාට ඔය කරදරය වෙන්න ඇත්තේ.

      Delete
  7. ඉන්දියාවත් දූරියන් ගෙඩියක් වගේ නෙවෙයිද මචං? මතකනේ මගේ දූරියන් කමෙන්ට් එකේ දූරියන් වලට ඇති කැමැත්ත අනුව මිනිස්සු වර්ගකරපු හැටි?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අර ලිට්මස් කතාවත් ඇත්ත.

      Delete
  8. මා එක්ක දැන් කේරළයෙන් පැමිණි තිදෙනෙකු සේවයේ යෙදී සිටිනවා..ඒ අය කියන විදියට මුම්බායි කියන්නෙ ඉන්දියාවෙ පාතාලය රජ කරන නගරයක්...2010 සිදුකල චෙන්නායි සංචාරයෙන් පස්සෙ මමත් කිසිම දවසක ආයෙත් ඉන්දියාවට යන්නෙ නෑ කියලා තමයි හිතා ගත්තෙ...ඒත් මේ කේරළ සගයන් කියනවා එහෙ එන්නලු...කිසිම ගැටුමක් නැති ප්‍රාන්තයක්ලු...ගග දිගට තියෙන බෝට්ටු කාමර වල නවතින්නත් පුලුවන්ලු...ස්භාව සෞන්දර්යයෙන් අනූනලු...ඉතිං ආයෙමත් ඉන්දියාවට යන්න හිතීගෙන එනවා ඔන්න...

    ReplyDelete
    Replies
    1. යාලුවන්ගෙ බෑග් වල බඩු අතුරුදහන් වෙන්න ඇත්තෙ ලංකාවෙ එයාර් පෝට් එකේදිම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...සිංගප්පූරුව වගේ ලෝක මට්ටමේ ගුවන් තොටුපලක මෙවැනි ක්‍රියාවක නිරත වෙන්න සේවකයෙකුට ඉඩක් තියෙන්න විදියක් නෑ නේද...

      Delete
    2. ඉන්දියාව ලෝකයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කේරල වැසියන් පිටරට කෙනෙක් ඇහුවම අපි කේරලේ කියල තමයිලු කියන්නේ.

      ඔව් අපි මේ වගේ එකක් වුණාම හිතන්නේ සිංගප්පූරුව හොඳයි කියලා. නමුත් අපි බැහැල විනාඩි 2-3 කින්ම අපේ බෑග් ලැබුණා. එනිසයි සිංගප්පූරුවේදී වෙන්න ඇතැයි සිතන්නේ.

      Delete
  9. කාලෙකට පස්සෙ මැච් එක ගහල තියන්නෙ.
    ලංකාවෙ එකෙක් අර වගේ උදව්වක් කළා කිවුවහම හිතාගන්වත් බෑ. ඒත් ඉතිං ලංකාවෙ ඉන්න හැම එකාම නරක එවුවො නෙමෙයිනෙ.

    විස්කිනං ඔහෙ තිබිච්චදෙං.

    ReplyDelete
    Replies
    1. ඒ දෙවදුතයා ගැන මම කියන්නම්.

      Delete
  10. මේ වගේම වැඩක් මටත් සිද්ද උනා, එකටත් ඉන්දියාව සම්බන්ද උනා...මමත් හිතාගෙන ඉන්නේ ඔය රටට යන්නේ නෑ කියල තමයි...

    ReplyDelete
    Replies
    1. මෙතන වෙච්ච එකටනම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමයි ඉන්දියාවේ රේගුවයි දෙකක්ම වග කියන්න ඕනේ.

      Delete
  11. කේරලේ එවුන් කියන්නෙ ඉන් දියාවෙ එහෙම උනත් කේරලේ එහෙම නොවෙය් කියලා

    ReplyDelete
    Replies
    1. ලැබෙන ආරංචි අනුන්ව කෙරළේ ය ටිකක් වෙනස් විදියකට ජීවත් වෙනවා.

      Delete
  12. මමත් ලබන මාසේ දිහාවට ඒ පැත්තේ ගිහින් එන්නයි ඉන්නේ...හැබැයි යන්නෙ ඔෆීෂියල් ට්‍රිප් එකක් නිසා කවුරුහරි උදව්වට ඉදි.. මුම්බායි වලටම තමයි යන්නේ ඒත් මට ආසයි වෙන තැනකට යන්න පුලුවන් උනානම්...

    ReplyDelete
  13. මම මුම්බායි නව දිල්ලි වල බැහැල තියෙනවා. ඉතින් ඔය කියන අප්‍රසන්න තත්තයනම් අත්වින්දේ නැහැ.

    මම කොංගෝ වලින් එද්දිත් හිතල ආවේ මේ රටටනම් හතුරෙකුටවත් එන්න නොලැබේවා කියල. කෙලත් ගැහුවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...