Saturday, May 18, 2013

වැස්ස සහ රබර් සෙරෙප්පු ....

මේ ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් වර්ෂා ලැබෙන කාලයයි. ලංකා සිතියමේ හරියට නිරිතදිග ලකුණු කලොත් ඒ ප්‍රදේශයට වැටෙන ගම් නගර වලින් එකක් වෙච්ච බෙන්තොට හෝ බෙන්තර කියන මගේ ගමට අවුරුද්දේ බොහෝ කාල වල වැසි යහමින් ලැබෙනවා. සමහර අවුරුදු වල වැඩි දවස් ගණනක් වර්ෂාව ලැබුන බව මට හොඳටම මතකයි. අපි කුඩා කාලේ අද වගේ නෙවේ පුළුවන් හැම වෙලාවකම වැස්සේ සෙල්ලම් කරනවා. දැන් අපේ දරුවන්ට වැහි පොදක් වත් වැටෙන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරන්නේ අද කාලේ ළමයි අපි තරම් ප්‍රතිශක්තියක් නැති නිසාද කියලා මට බොහෝ වෙලාවල් වල හිතුනා. නමුත් කාරණය අද තිබෙන්න නානාප්‍රකාර වයිරස් රෝග ප්‍රමාණය වැඩි වීම. ඒත් කලින් කිව්වා කාරණය අඩු වැඩි වශයෙන් අදාළ වෙනවා. අපේ තාත්තලා අපිටත් වඩා සොබා දහම එක්ක එකතු වෙලා කාලය ගත කරන්න ඇති.
පින්තුරය ගත්තේ කිත්සිරි ජයවීර මහතාගේ ෆේස්බුක් පිටුවෙන්
https://www.facebook.com/kithsiri.jayaweera.9
මගේ මේ මතකය අවධි වුනේ කවුරුන් හෝ ෆේස්බුක් එකේ බෙදා ගත්ත ඉහතින් පේන චායාරුපය දැක්කම. ඡායාරුපයක් වචන දාහකටත් වඩා වටිනා නිසා මේක ගැන විස්තර කරන්න මම වචන පාවිච්චි කරන්නේ නෑ. නමුත් මේක දුටු වෙලාවේ ඉඳලා මට අමතක වෙලා තිබුණු අතීත සිදුවීමක් මතකයට එන්නේ හරියට දිය යට ඔබන්න හදන රබර් බෝලයක් වගේ.

මේ සිදුවීම වුණ වසර හරියටම මතක නැතත් මමත් මගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා මේ කාලයේ අධ්‍යාපනය ලැබුවේ බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලේ. මේ පාසල පිහිටා තිබෙන තැනත් ඉතාම වටිනවා. ඒ කිව්වේ එක පැත්තකින් ඉලාස්ටෝ ආයතනය, අනිත් පැත්තෙන් ලන්දේසි ඇල. මේ ඇල හරහා තිබෙන පාලමට එහා පැත්තේ  පාසලේ අනෙක් කොටස. පාසලට ප්‍රවේශ වෙන ප්‍රධාන මාර්ගය තිබෙන්නේත් ඇලෙන් එගොඩ ඒ කොටසේ, ගුරු නිවාසය, බුදු මැදුර, ප්‍රින්සිපල් සර්ගේ කාර්යාලය, උසස්පෙළ පන්ති වගේම කුඩා ක්‍රීඩාංගණය තියෙන්නෙත් ඇලෙන් එගොඩ ඒ පැත්තේ. ඇලෙන් මෙගොඩ තියෙන්නේ විද්‍යාගාරය, ක්‍රීඩාංගණය සහ කනිෂ්ඨ පංති. ගාමිණි විද්‍යාලයේ ක්‍රීඩාංගනය ගැන කිව්වොත් ඒ කාලේ දකුණු පළාතේ දෙවන විශාලම ක්‍රීඩාංගණය. වැහි කාලෙට මේ පිට්ටනියත් ජලයෙන් පිරෙනවා හරියට වැවක් වගේ. අපි එහෙම දවස් වල ඉන්නේ විවේක කාලය එනකං වැස්සේ නටන්න. මේ පැත්තෙන්ම කුඩා ගුරු පාරකින් පාසලට එන එක තමයි අපේ පුරුද්ද වෙලා තිබුණේ. 
පින්තුරය කපා ගත්තේ google maps ආධාරයෙන්.

පිට්ටනිය පැත්තෙන් තියෙන පාර ගුරු පාරක් වුණත්, අපේ ප්‍රදේශයේ තියෙන පොළොවේ හැටියට ගුරු පාරක් වෙන්නේ නෑ. ඒක පායන කාලෙට වැලි පාරක් වහින දවස් වලට මඩ පාරක්. ඉහල තියෙන පින්තුරේ ඔය කළු පාට ඉරක් ඇඳලා පෙන්නලා තියෙන්නේ ඔය කියන මඩ පාරට. අවුරුද්දේ වැඩි දවසක් ඕක ඉතින් මඩ පාරම තමයි. ඔය පාරෙන් තමයි අපි අවුරුදු ගානක්ම පාසල් ගියේ. මමත් මල්ලීත්, නංගීත් එකට තමයි පාසල් යන්නේ. බොහෝ වෙලාවට ඒ පාසලේම ගුරුවරියක් වෙච්ච අම්මත් අපිත් එක්ක යනවා. 

මේ කියන දවස තවත් වැසි දිනයක්. එහෙම දවස් වලට අපි සෙරෙප්පු දාගෙන තමයි යන්නේ. පාසලෙන් සෙරෙප්පු පළඳිනවාට ඒ කාලේ කිසි බාධාවක් නෑ. බොහෝ ළමයි පාවහන් නැතිවත් එන්න පුරුදු වෙලා තිබුණා. උදේ පාසල් එද්දී තිබුන වැස්ස දිගටම ඒ වගේම තිබුණා. එදා කලින් පාසල අරින්න තීරණය කරලා. එහෙම දවස් වලට අපි ගෙදර දුවන්නේ මිටින් ඇරිය කුරුල්ලන් වගේ. සමහරු නම් පිට්ටනියේ සෙල්ලම් කරනවා. වැහි දවසට "සම්බෝල" ගහනවා කියන්නේ ඉතිං එහෙම ජොලියක් ආයේ නෑ. මම හිතන්නේ සම්බෝල කියන ක්‍රීඩාව ඔයාලාත් දන්නවා ඇති දෙපැත්තකට බෙදිලා ආර්පිකෝ රබර් බෝලෙන් (ස්පොන්ජ්) ළඟ ඉන්න ප්‍රතිවාදියාට ගහන එක. මම මේ ක්‍රීඩාවට එතරම් ඇල්මක් දැක්කුවේ නැත්තේ මගේ ඇඟේ බොලේ වැදුනම ඇතිවෙන රතු පාට පැල්ලම දවස් ගානක් හිටින නිසා.

මමත් මල්ලිත් පොද වැස්සේ දැන් යනවා. අර කළු ඉරක් ගහල තියෙන පාර, මද්දෙවෙල පාර කියන තවත් ගුරු පාරකට සම්බන්ධ වෙන තැන වතුරින් පිරිලා තිබුනා. එහෙම වතුර පිරිලා තියෙනකොට වාහන ගියාම මේවා මඩ ගොහොරුවක්ම වෙනවා. වතුර වල දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙකේත් වතුර පිරිලා. මමත් මල්ලිත් දෙන්නම මඩ වලට බැහැල යනවා. එක කකුලක් තියලා අනිත් කකුල ගන්න යනකොට සෙරෙප්පුව මඩටම ඇලිලා එන්නේ නෑ. මම කොහොම හරි මගේ සෙරෙප්ප දෙක අතින් අර ගත්තා. මම දැක්කා මල්ලි එක සෙරෙප්පුවක් තියාගෙන අනිත් එක හොයා ගන්න බැරිව මුණ රතු කරගෙන ඉන්නවා. මම එතනට ගිහින් හෙව්වත් හමු වුනේ නෑ. 

අන්තිමට වතුර වලෙන් එගොඩ වෙලා ගෙදර යන්න මල්ලිව කැමති කර ගත්තා. ඒත් අර තනි සෙරෙප්පුව ගෙදර අරගෙන යන්න මම වග බලා ගත්තා. මට හොඳට විශ්වාසයක් තිබුණා ඒක කොයි වෙලාවක හෝ උඩට එයි කියලා. ගෙදර අරන් ගිය තනි සෙරෙප්පුව මම අරන් තිබ්බ. අම්මාලාටත් වුණ දේ කියලා ෂේප් කර ගත්තා. මේ කාලේ අපි ගත්තේ ගෙවල් ලඟම තිබෙන නිෂ්පාදනයක් වෙච්ච ඉලාස්ටෝ සෙරෙප්පු. ඒවායේ වැඩි කැටයමක් නෑ. කලුපාට, බර, සෙරෙප්පු ජාතියක්. මේ වැස්ස දවස් කිහිපයකින් නැති වෙලා ගියා. මම දන්නා කියන හැමෝටම කිව්වා මෙතන අපේ සෙරෙප්පුවක් නැති වුනා දැක්කොත් අරන් තියන්න කියලා. 

වැස්ස නැති වෙලා දවස් කිහිපයක් යද්දී ඒ මඩ වල ඉතිරි වුනත් මිනිසුන් තබන ගල් කෑලි හෝ ලෑලි කෑලි නිසා මඩ ගා ගන්නේ නැතිව එතනින් යන්න පුළුවන්. හැම දවසකම මම එතැන නැවතිලා පොඩි විපරමක් කරලා යන්න වග බලා ගත්තා. කළු පාට මඩ ගොඩක කළු පාට සෙරෙප්පුවක් හොයන එකත් ලේසි නෑ. අන්තිමට පායාලා මෙතන සාමාන්‍ය පාර බවටම පත් වුණා. දැන් එතන මඩ වලක් තිබුනද කියලවත් හිතා ගන්න බෑ. 

ටික කාලයක් ගෙවිලා ගිහින් ආපහු වැහි කාලයක් ආවා. මේ කාලෙම ක්‍රීඩාංගනයේ වලවල් තිබෙන තැන වලට මැටි අරගෙන ට්‍රැක්ටර් වගයක් නිතරම යනවා එනවා. අර කියපු මඩ වල දැන් හොඳටම බොර වෙනවා. මෙහෙම වෙන එක ගැන මගේ හිතේ සියුම් සතුටක් තිබුණා. අඩි එකහමාරක් විතර යටින් තියෙන සෙරෙප්පුව උඩට එන්න, මේ ට්‍රැක්ටර් ටයර් වල තියෙන කට්ට වලට පුළුවන් කියලාම තමයි මම විශ්වාස කලේ. දැන් මෙතනින් දවස ගානේ යනවා. මම සමහරක් වෙලාවට හවසත් ගිහින් මෙතන බලාගෙන ඉන්නවා. 

එක් දවසක් උදේ යනකොට කවුදෝ කෙනෙක් පුංචි කානුවක් කපලා මේ පාරට හැරෙන තැනම තියෙන අනිත් පාර වෙච්ච් මද්දෙවෙලා පාර අයිනේ තියෙන ලොකු කාණුවට. වතුර ටික සේරම බැහැල ගිහින් තිබුනත් මඩ ගතිය තවම තියෙනවා. ට්‍රැක්ටර් ගිය පාරවල් පේන්න තිබ්බා. එතන වැඩි වෙලාවක් ගත නොකර මම පාසල් ගියා. දවල් එත්දීත් මඩ ගොඩ දිහා මම සුපුරුදු සුපරීක්ෂාකාරී බැල්ම දැම්ම. එතකොට මම එක තැනක දැක්ක රබර් පටියක් වගේ තියෙනවා. හරියටම සෙරෙප්පුවක පටිය වගේ. මම නිකමට එතනට ගිහින් බැලුවා. "හරි මේ අපේ සෙරෙප්පුව තමයි", මගේ හිතට ආපු සතුට කියා නිම කරන්න බැරි තරම්. මම වටපිට බැලුවා කියන්න කව්රුත් නෑ. මම පුළුවන් වෙර දාල ඇද්දා එන්නේ නෑ. පටිය ඇදුනා විතරයි.

ළඟ තියෙන වැටෙන් කෝට්ටක් කඩාගෙන, මගේ පොත් ටිකයි සෙරෙප්පු දෙකයි පැත්තක තියලා හාරන්න පටන් ගත්තා. විනාඩි පහක් දහයක් යද්දී මට පුළුවන් වුණා මල්ලීගේ සෙරෙප්පුව එලියට ගන්න. මට දැන් ගෙදර ගිහිං මේක පෙන්වනකම් ඉවසිල්ලක් නෑ. මම තව ටික දුරක් ආවහම තියෙන ඇලෙන් සෙරෙප්පුව වගේම මගේ අත පයත් හොදා ගත්තා. කෙලින්ම ගෙදර දිව්වා. 

"මල්ලී මේ තියෙන්නේ ඔයාගේ සෙරෙප්පුව"

කලින් අරන් තිබ්බ එකයි මේකයි තමන්ගේ කකුල් දෙකේ දාගෙන රවුමක් ඇවිදින මල්ලීගේ මුහුණේ තිබුනේ ජයග්‍රාහී සිනහවක්.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ලි. මගේ අලුත්ම පොස්ට් එක සිංහල බ්ලොග් කියවනයේ අප්ඩේට් වෙලා නෑ. පහල ලින්ක් එකෙන් ගිහිං බලන්න.

ඉන්දියාව ජයගත් IPL තරගාවලිය

50 comments :

  1. 'සම්බෝල ගහන' කතාව ඇහුවමයි.

    වැහි කාලෙදි හැම ළමයෙකුටම තියෙන්නේ එක, එක විදියේ අත්දැකීම නේද සුදීර....:)

    මල්ලි සෙරෙප්පු දෙක දාගෙන ඇවිදිනවා දැක්කාම මටත් හරි සතුටු හිතුනා.

    ReplyDelete
    Replies
    1. පහලින් තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා මේකට ප්‍රාදේශීය වශයෙන් වෙන වෙනම නම් තිබිලා තියෙනවා කියලා. අපි මේකට සම්බෝල කිව්වේ වැදුනම තරු පේන හින්දා.

      Delete
    2. අපේ පුතාල කියන්නේ සම්බෝල කඩනවා කියලා

      Delete
  2. පින්තුරයක් දැක්කම,ලිපියක් කියෙව්වම සුන්දර මතකයන් අවදි වෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. මට හිතුනා බොහෝ දෙනෙකුට මේ වගේ අත්දැකීම තියෙනවා කියලා.

      Delete
  3. ඉස්සර මම 8 9 පංති වලදි නම් සම්බෝල කඩනව...ඉතින් අහුවෙන එකාට දෙනව හොදවැයින් රබර් බෝල පාරක්.... කොච්චර හයියෙන් ගහුවත් පිට අල්ලගෙන දුවනො මිසක්... දැන් කාලෙ වගේ ඇයි ඩෝ හයියෙන් ගැහුවෙ කියල මාරගන්න සිරිතක් ඉස්සර නෑ....

    පට්ට ගති ඉස්සර කාලෙ... නමුත් දැන් එහෙම නෑ අයියේ... දන් ලමයි පංති පන්ංති පංති... කුණු ගෑවෙන නිසා සෙල්ලම් කරන්නෙ තියා පංතියෙන් එලියට බහින්නෙ ඈ.... ඔන්න අද අපේ රටේ සමාජ තත්වෙ....

    ReplyDelete
    Replies
    1. ඒ සෙල්ලමේදී මුලින්ම බොලේ උඩ දානවා. කණ්ඩායම දෙකක් ක්‍රීඩා කරනවා. බොලේ අහුලපු කෙනාට පුළුවන් තව කෙනෙකුට පාස් කරන්න නැත්නම් ළඟ ඉන්න ප්‍රතිවාදී පිලේ කෙනෙකුට පහර දෙන්න. ඒත් පහර දෙන්න කලින් පියවර තුනක් පනින්න ඕනේ. ඒ පනිද්දී අර කෙනාට තරමක් දුරකට යන්න පුළුවන්. මට මතක හැටියට ලඟම ඉන්න ඇයට පහර දෙන්න බෑ.

      Delete
  4. ගොඩක් ස්තුතියි ලස්සන ඡායාරූපයකින් අපිවත් අපේ අතීතයට ගෙන ගියාට. දැන් දරුවන්ට වැස්සක නටන්න ගොඩක් වෙලාවට හම්බ වෙන්නෙ නැහැ. ඒ මදිවාට රතු වැහි කියයි කහ වැහි කියයි, කොල වැහි කියයි.. ඒ අතින් මේ දරුවෝ නම් ගොඩක් වාසනාවන්තයි..

    හොද පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ පින්තුරේ ඉන්න දරුවෝ කවුද කියන්න දන්නේ නෑ. ඒත් වාසනාවන්තයි. මම පොඩි කාලේ වැස්සේ නාගෙන ආවා මගේ යාලුවෙක් දුන්න ලී වලින් හදපු තුවක්කුවක් අරං. අම්ම හිතුව හොරකම් කරලා කියලා. ආපහු එවෙලාවේම ගිහිං දෙන්න වුනා. එදා නම් හොඳට නාලා, හොඳට ගුටිත් කෑවා.

      Delete
  5. සුදීක ඔය සම්බෝල ගැහිල්ලට අපේ පැත්තේ කියන්නේ ටකරේ ගහනවා කියලා.. මේ සෙරප්පු කතාවෙන් තේරෙන්නේ එකල පටන් තිබූ ඔබගේ අධිෂ්ඨාන ශක්තියයි.. අද ඔබ යම් තැනකට ගෙන එන්නට පාරත් එයමයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමා නලී මමත් බැලුව මොකක්ද මේ "සබෝලේ"කියල.
      අපි කිව්වෙත් "ටකරේ"කියල.පිටට එහෙම සනීප පාරක් වැදුනොත් දවස් ගානක් මතක තියෙනව.

      Delete
    2. අපි දන්නා සැරම කෑම සම්බෝල නිසයි ඒ නම අපේ ගම්පලාත් වල ඇය ගන්න ඇත්තේ.

      Delete
  6. ඔය බෝ‍ලෙන් ගහගන්න වැඩේ අපිත් කළා. වැස්ස කාලෙට අපේ ඉස්කෝලෙ පිට්ටනියත් ඔය වගේ තමයි. අන්තිමට ප්‍රින්සිපල් ඇවිල්ල එලවනකල් වතුරෙ නටනව.

    තමංගෙ සහෝදරය වෙනුවෙන් කරපු කැපකිරීම අති විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. මට තිබ්බේ නිධානයක් හාරනවා වගේ කුතුහලයක් මේක එලියට ගන්න. ඒ කාලේ පොඩි වැඩි නිසා කෙලින්ම උදලු අරන් ගිහිං හාරන්න බෑ.

      Delete
  7. මට නම් ඒ සෙරෙප්පු දෙක හොයාගන්න උඹ කරපු මෙහෙයුම ගැන කියවලා විස්තර කරන්න බැරි හැඟීමක් ඇතිවුනා බං.

    ReplyDelete
    Replies
    1. ඒක උඹට දැනෙන්න ඇත්තේ උඹත් ඒ වගේ ප්‍රයෝගික දේවල් කරපු කෙනෙක් නිසා වෙන්න ඕනේ.

      Delete
  8. වැස්ස පායලා ඉවර වෙච්ච ගමන් ගෙයින් එළියට පැනලා මඩ වලවල් පාගන්න මම පුංචි එකා සන්දියෙ හරිම මනාපයි කියලා කිරි අම්මා ඉන්න කාලෙ මට කියනවා...ළමා කාලය කොච්චර සුන්දරද...වගකීමක්..ක්‍රෝධයක්..ඉරිසියාවක් නැති සුන්දර අතීතයක්...

    ReplyDelete
    Replies
    1. මේක කිව්වම මතක් වුනේ අපි කරපු තව වැඩක්. පාරේ තියෙන වතුර වලවල් වලට තනි කකුලෙන් පැනලා පැත්තෙන් විසි වෙන වතුර ටිකට අනිත් කකුලෙන් පහර දෙන එකට. එහම පහර දුන්නම එනවා සද්දයක් "පොග්" කියලා. ඒ නිසා ඒකට කිව්වේ "දිය පොග් ගහනවා" කියලා.

      Delete
  9. අපිත් ඉස්කෝලෙ ගියෙ ඔහොම මඩ වලවල් උඩින් තමයි.. සමහර දවස් වලට අයිනෙ තියන වැටේ එල්ලිලා යන්නෙ.. පාරක් නැති තරම්ම මඩ වල විශාලයි..

    සම්බෝල වලට අපි කිව්වෙ ගුටිපන්දු කියලා.. නම්වල ප්‍රාදේශිය වෙනස් කම් මාරයි ඈ..
    සෙරප්පුවක් වෙනුවෙන් කළ කැපකිරීමනම් ඉස්තරම්..සෙරෙප්පුවෙ අයිතිකාරයට ඒක නොතිබුනේ මොකද කියලා මම කල්පනා කළේ..

    ReplyDelete
    Replies
    1. සම්බෝල, ටක්රේ, ගුටිපන්දු තවත් නමක් තියෙනවා මගේ මතකයට එන්නේ නැති. සෙරෙප්පුව අයිති කාරයා පොඩියි. අනිත් දේ මිනිහා සම්පූර්ණ වෙනස් ගති සිරිත් තියෙන කෙනෙක්.

      Delete
    2. අපි කිව්වේ ඔය දෙකම නෙවේ. කිං ගහනවා කියලා. හෙළා ගහනවා කිව්වෙත් ඕකටමයි. හෙළා දකිනවා නෙවේ ඔන්න ඈ

      Delete
    3. ගුටිපන්දු වලට තව කියනවා, ‘පිට මරනව‘ කියලා. සුදීක අයියගෙ කතාවට මාත් සෑහෙන දුරක් හිතින් ආපස්සට ගියා

      Delete
  10. api kiyana "DUTU TANA GAHANAWA" kiyala. Ayya gana Adambran Mallit oya katawa kiyanawa ati.
    jayawewa.

    ReplyDelete
    Replies
    1. මේ කියන මගේ මල්ලි අන්තර්ජාලය පරිහරණය කරන්නේ නෑ. පවුලේ අනිත් අයනම් භාවිතා කරනවා මගේ දුවත් ඇතුළුව. එයාට තාම හොඳට කියවන්න බෑ. මේ තියෙන්නේ තව නමක්. "දුටු තැන ගහනවා" ඔයාගේ ගම් පළාත කිව්වොත් වඩා වැදගත් වෙයි.

      Delete
    2. Ayyandi danawane mama "RAJA RATA" "Anurdhapura" kollek kiyala.
      Jayawewa

      Delete
    3. ඔන්න කට්ටිය අනුරාධපුරේ සංජීව ඉන්න වෙලාවට යන්නේ බලාගෙන. "දුටු තැන ගහනවා" :)

      Delete
  11. අපි කිව්වේ සම්බෝල කඩනවා කියලා එක පාරක් මම ගහපු පාරක් කෙලින්ම ගුරු කාමරේ ජනේලෙන් ගිහින් බත් කකා හිටපු ටීචර් කෙනෙක් ගේ මුනේ ආය ඉතින් දිව්වා දිවිල්ලක් ලොවෙත් නැහැ

    ReplyDelete
  12. api okata kiwwe ''dushte'' gahanawa kiyala,
    kohomath maaspadiganna guruwaru hari perethayi u know wht i mean...

    ReplyDelete
  13. මං ඒ දවස්වල අපේ වත්තේ අයිනේ පොඩි ගල්වැටියක් බැන්දා.අම්මා ඒක කඩලා දැම්මා මිදුලේ පුරාම වතුර පිරිලා බැහැලා යන්නේ නැති නිසා...

    ReplyDelete
    Replies
    1. හුනු මී කෙන්ජියෙක් හැම තැනම ඉන්නව පේනව.
      මී පාසනම්ද/මී කතුරද ඕන දන්නෙ නැහැ.

      Delete
  14. අපි කිව්වෙත් ඕකට සම්බෝල කඩනවා කියලා... හපොයි පාරක් වැදුනම ඇති ඉතිං කෑ ගැස්සෙන්න... මූණ තමයි ‌බේරගන්න දුවන්නේ.. නහයට එහෙම වැදුනොත් විනාසයි... හි හි...

    අපේ එකෙක් එක දවසක් ඔය රබර් බෝලේ වගේම තනිකර රබර් ගුලියක් වගේ බෝලයක් අරන් ඇවිත්... අද මේකෙන් සෙල්ලම් කරමු කිව්වා.. පළවෙනි පාර කාපු එකා අඬන්න ගත්තා කෑ ගගහා.. එතකොට තමයි දන්‌ෙන් බෝලේ වෙනස... ඒකට තැලුම් තෙලුත් ගාන්න උනා... හි හි...

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම ඔට්ටපාලු බෝලයක් !!!

      Delete
  15. පොඩි කාලෙනං අයියල එහෙම තමා.. ඒත් ලොකු උනාම අයියල විතරක් නෙමෙ මල්ලිලත් වෙනස් වෙනව නෙව.. ඒ උනාට සෙරෙප්පුව ලැබ්ච්චි වෙලාවේ සන්තෝසෙ මැවිල පෙනුනා.. චික් ඔය ගාමීණි එක මහ මඩ වලක් තමා.. හැක් හැකැ හැක්..

    ReplyDelete
    Replies
    1. මල්ලී ඒ පැත්තේ වගේ මට හිතෙන්නේ ...

      Delete
    2. අපොයි නෑ.. ඔය පැත්තේ යාළුවෝ නං ඉන්නවා.. හැක් හැක්.. ඔට බළල පන්නන්නවත් හොද නැති සීමාව නෙව..

      Delete
  16. 3 පන්තියේදි සම්බෝලේ හෙවත් ටකරේ සෙල්ලම් කරනවා මම බලන් ඉදලා තියනවා ඒ දවස් වල ගමේ ඉස්කොලේ මිශ්‍ර නිසා ගැනු පිරිමි බේදයකින් තොරව සෙල්ලම් කරනවා, මමත් ඉස්කෝලේ 4 වසරට යනකම් රබර් සෙරප්පු දැම්මා ඔය වගේ මතකයන් මටත් තියෙනවා.අදටත් ල0කාවට ආවම රබර් සෙරප්පු දෙකක් දාන තරම් සැහැල්ලුවක් තවත් නෑ............ ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඔව්. සපත්තු අවුරුද්දේ වැඩි කාලයක් දාන අපිට සෙරෙප්පු දාන එක තරම් සුවයක් කොයින්ද?

      Delete
  17. දැන් බ්ලොග් ලියන ගොදය් අය තම ළමා කාලයට යනවා සුදීක අයියා.මේක ට්‍රෙන්ඩ් එකක්ද? :) නැත්තම් රොටි පුච්ච ගැනිල්ලක්ද?

    ReplyDelete
    Replies
    1. මේකට මම දෙයි කියලා ඔයා අනුමාන කරන උත්තරය මම දුන්න කියල හිතන්නකෝ.

      Delete
  18. ලස්සන අහිංසක මතකයක්.. :D ^_^

    ReplyDelete
    Replies
    1. මම තවමත් මගේ දේවල් පරිස්සම් කරනවා.

      Delete
  19. අපි ඔය සෙල්ලමට කිව්වෙත් ටකර ගහනව කියල. ඒ දවස්වල මං ටකර ගහන පළාතකින්වක් යන්නෙ නෑ :)

    ReplyDelete
  20. සෙරෙප්පුවේ කතාව නම් මාරම මාරයි.
    කිං ගහද්දි හොද සිද්දියක් මට මතක් උණා. අපි ෆ්‍රී පීරියඩ් එකක් ආව ගමන්ම කරන්නේ ඔය වගේ දේවල් තමයි. එක දවසක් අපි සෙට් උණා කිං ගහන්න. එකෙක් දෑත බදලා බෝලෙන් මට ගැහුවා. මට දැන් පේනවා බොලේ එනවා කියලා. හරියටම අර කාටුන් වල වෙනවා වගේ. ටික ටික ලොකු වෙලා ඇවිත් හරියටම මගේ නළලේ. ඒ වැදෙන කල් මට කිසිම දෙයක් කරගන්න බැරි උණා. ආයේ මාරම ආතල් එදා දවසම.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං ළඟටම එනකං නිකං බලං හිටියේ?

      Delete
    2. බලාගෙන ඉන්න විතරයි පුළුවන් උණේ, මම වත් දන් නෑ ඒ මොකද කියලා. පටෝන් ගලා වදින කල්ම ඒ විදියටම හිටියා.

      Delete
  21. මාරයි ..ඈ.. නිකන් මෙවුවා මේලා ගියා...

    ReplyDelete
    Replies
    1. මෙවුලා කිව්වේ ?

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...