Thursday, March 28, 2013

අංක එකේ කැබ් සේවාවේ තුට්ටු දෙකේ සේවය ....


සතියකට දවස් තුනක් හෝ දෙකක් මට රාත්‍රී 7.45 දක්වා සේවය කරන්නට සිදු වෙනවා. එවැනි දින වලට අපට ප්‍රවාහනය සපයන්නේ ලංකාවේ අංක එකේ කැබ් සේවාව යයි බොහෝ දෙනා පිළිගන්නා, ලංකාවට කැබ් සේවාව හඳුවාදුන් 2688688 ආයතනයෙන්. මා සේවය කරන ආයතනයෙන් ප්‍රවාහනය නොලැබෙන්නේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන්. එයට හේතුව මෙවැනි සේවාවක කිලෝමීටරයක් සඳහා වන ගාස්තුව සේවාස්ථානයේ ගාස්තුවෙන් හරි අඩකට කිට්ටු අගයක් වීමයි. එය බැංකුවට සිම්පල් ප්ලෑන් එකකි. මුල් කාලයේ අපද එය මහත් කැමැත්තෙන් භාවිතා කළා. නමුත් එම ආයතනයේ සේවාව එන්න එන්නම පහත වැටෙන බව අපට දවසින් දවසම පැහැදිලි වූ කාරණයක්.

අප පමා වනතුරු සේවය කරන්නේ දැඩි කැමැත්තකින් නොවේ. ඒඅපටද දරු මල්ලන් සිටින නිසා. එවැනි දිනක නිවසට දිව යන්නේ මිටින් මුදා හැරි කුරුල්ලන් මෙන්. මේ නිසා   පිටත් වන්නට බොහෝ කලින් කැබ් රථයක් වෙන් කරවා ගැනීම අපේ සිරිතක්.(නමුත් මේ මාසයේ පමණක් අප රාත්‍රී 08.30 දක්වා සේවය කලේ විශේෂ කාර්යයක් සඳහා. එය ඊයෙන් නිමා වූ බව දැන ගත්තා) ඒ කවුරුත් නැති මේ පාලු මන්දිරයේ තවත් මොහොතක් හෝ රැදී නොසිට ගෙදර දුවන්නයි. ඒවා කෙසේ වෙතත් සේවාවක් සපයන ආයතන තමන්ගේ කොටස හරියාකාරව ඉටු කල යුතුයි. ඊයේ රාත්‍රියේ මා මුහුණ දුන් අමිහිරි අත්දැකීම ප්‍රථම වතාවට සිදු වුවක් නොවේ. මා මේ සේවාව ලබා ගන්නා අවුරුදු 06 ක කාලය තුල පැයකට වඩා පසුකර රථයක් ලබා දුන අවස්ථා අඩුම ගන්නේ 100 වත් ඇත. මෙවැනි සෑම අවස්ථාවකම පාලු යෝර්ක් වීදියේ සිට පුද්ගලික ජංගම දුරකථනයෙන් ඔවුන්ට බැන වැදීම මගේ සිරිතයි.  පාඩුව මටමයි. එහෙහ්ත් කිසිම දවසක වැරදි නිවැරදි කර ගන්නා ආකාරයක් නොපෙනේ. ඒ වුනාට අපි මුදල් ගෙවලා ලබා ගන්න සේවාවක් නිසා "මුදලට සරිලන වටිනාකම"(value for money) තිබිය යුතුයි.

ඊයේ රාත්‍රී 07.45 ට කැබ් රථයක් අවශ්‍ය බව මම දැනුම් දුන්නා, එහෙම ඇමතුමක් ගන්න හැම වතාවකම අවශ්‍ය ස්ථානය, වෙලාව, නම(දැන් දන්නවා), දුරකථන අංකය සටහන් කර ගන්නවා (මේක කොයි තරම් වරදක්ද, 588 එකට එක වතාවක් ඇමතුවාම ඔවුන්ගේ පරිඝනක පද්දතියේ සටහන් කර ගන්නවා. පසුව අමතන සෑම අවස්ථාවකම අපේ නමින් අමතන්න එය ඉවහල් වෙනවා. අඩුම ගන්නේ ත්‍රී වීල් ලංකා ආයතනයත් මේ ක්‍රමය භාවිතා කරනවා. 588 සමාගම දැන් ලබාදෙන රියදුරුගේ අංකය ඇතුළු විස්තර ගොඩක් කෙටි පණිවුඩයක් ලෙස අපට එවනවා). මේක හරියට ඉන්දියාව අපිට කලින් රුපවාහිනි විකාශණය පටන් ගත්ත නිසා මෑතක් වනතුරු බොහෝ ප්‍රදේශ වල කළු-සුදු විකාශන තිබුණා වගේ. ලංකාව පටන් ගත්තෙම වර්ණ නිසා පහසු වුණා.

මම රාත්‍රී 08.00 දෙවන ඇමතුම ලබා දුන්නා. එවිට පැවසුවා "සර්ගේ වාහනය පිටත් වෙලා තියෙන්නේ තව විනාඩි දෙක තුනකින් ඔතනට එයි කියලා" ඔය කතාව හොඳටම දන්නා නිසා මම රියදුරුගේ අංකය ඉල්ලා සිටියා. එවිට "මම ඩ්‍රයිවර්ට කියන්නම් සර්ට කෝල් කරන්න කියලා". ඉතිං මම 08.15 ට කාර්යාලය වසා පාරට ආවා. එහෙත් වාහනය නෑ. තුන්වන ඇමතුම ගෙන ටිකක් තදින් කතා කළා

"කෝ මගේ කැබ් එක"

"සර් එවලා තියෙන්නේ, පෑලියගොඩ ඉඳන් එන්නේ දැන් ළඟ එනවා ඇති"

"මම අටට කතා කලාමත් කිව්වේ ඕකමනේ. බොරු කරන්න එපා එවන්න වාහන නැත්නම් කලින් කියන්න තිබ්බා"

"නෑ සර් අද පොඩ්ඩක් හයර් වැඩි වුණා." (හැමදාම දෙන උත්තරේ)

"ඉතිං කලින් කියන්න තිබ්බනේ."

මම දුරකථනය විසන්ධි කළා. මේ වනවිට මම ඉන්නා තැනට කොහෙන්දෝ ආ කාරයක් නැවතුවා. මා විමසිල්ලෙන් හිටියා. එය ඇලියන් වර්ගයේ එකක්. මේ සේවාවට එවැනි කාර් නැති බව දන්නා නිසා එය වෙනත් කාරයක් බව වැටහුණා. තවත් ජීප් රථයක් ඊට මෙහායින් නැවැත්තුවේ එහි ප්‍රධාන ලාම්පු දල්වාගෙනම. මට එලෝ කෝටියට තද වුණා. ලයිට් ඩිම් කරන්නවත් ඒ නරුමයා කාරුණික නොවූ හැටි. තවත් විනාඩියකින් පමණ ඔහු පිටත් වුණා. මේ මොහොතේ මට මතක් වුණා මගේ කොණ්ඩය කපා ගන්න තිබෙන බව. රාත්‍රී 9.00 පෙර පැමිණියහොත් පුළුවන් බව නිවාස අසල සැලුන් මිතුරා පවසා සිටියා. මා එන්න පොරොන්දු වුනා. 

රාත්‍රී 8.25 ට 688 එකට අයිති නිල් පාට ප්‍රියස් වර්ගයේ රථයක් එතනින් ගමන් කරනවා දැක යලිත් (කිසිදු ලැජ්ජාවකින් තොරව) ඔවුන් ඇමතුවා. 

"හලෝ මේ දැන් හිස් නිල් පාට ප්‍රියස් එකක් මෙතනින් ගියා. තමුසෙලාට අපිට දෙන්න තමයි වාහන නැත්තේ"

"ආහ් නෑ සර් ඒ ෆොර්ට් HSBC එකට යන එක" එය අසා මට නැවතත් එලෝ කෝටියට තද වුණා.

"මේ ඕයි අපි ගෙවන්නේ සල්ලි නෙවෙයිද? හරි මට කියනවා මම කැබ් එක ඔර්ඩර් කරේ කීයටද ?"

"07.44 ට"

"දැන් වෙලාව කීයද ?"

"සර් අද පොඩි ප්‍රශ්නයක් සර්. "

"මේ හලෝ මම අහපු එකට උත්තර දෙනවා. දැන් වෙලාව කීයද ?"

"08.25 යි සර්"

"දැන් තමුසෙලාට 07.44 ට ඔර්ඩර් එකක් දුන්නම් 08.25 ටත් එවන්න බැරි නම් ඔය කැබ් සර්විස් එකේ ඇති වැඩේ මොකක්ද ? මම දන්නවා ඕක වැහිලා යන බව. මම බාලගෙන ඉන්නෙත් ඕක වැහිලා යනකම්. එතකොට හරි මිනිහෙකුට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. තමුසෙලා ගාව දැන් තියෙන්න කාර් 26ක් බවත් මම දන්නවා"

මගේ ඊළඟ ඇමතුමට ඔවුන් පිළිතුරු දුන්නේ නෑ. ඒත් මා සතුව තිබෙන අනිත් අංකයෙන් ඇමතුමක් ලබාගෙන නැවතත් ඔවුන්ට බැණ වැදුනා.

"මේ හලෝ තමුසෙලාට මේක විහිලුවක්ද ? මම මෙතන පාරට වෙලා බලන් ඉන්නවා පැයකට කිට්ටුව. කරුණාකරලා මට කියන්න පුලුවන්ද වාහනය එවන්න පුලුවන්ද කියලා"

උත්තර නැත. 

"තමුසෙලාට ඕක තේරෙයි කවදා හරි ඕක වැහිලා ගිය දාකට"

"වෙරි සොරි සර්"

මම ඊළඟ ඇමතුම ගත්තේ ලක්සලේ සේවය කරන සහෘද්ධ බ්ලොග් කරු සාගරට

"මචං 688 එකට කෝල් එකක් අරන් කැබ් එකක් ඉල්ලපන්. මොකක්ද කියන්නේ කියල මට කියපං"

මොහොතකින් සාගරගෙන් ඇමතුමක්

"මචං උන්ට කාර් එකක් එවන්න තව පැය භාගයක් වත් යනවා කිව්වා"

ඔවුහ් කරන ප්‍රෝඩාව අනාවරණය කරගන්නවත් සමගම වේගයෙන් ආ කැබ් රථයක් මා ඉදිරියේ නැවතිණි. ඔහු මා දන්නා කෙනෙකි. 

"ඔයාට කීයටද මේ හයර් එක දුන්නේ"

"දැන් විනාඩි 10ක් ඇති. පෑලියගොඩ ඉඳන් ආවේ. ඩබල් එකේ එන්න කිව්වා."

මම නැවතත් දුරකථන ඇමතුමක් ගෙන

"මේ හලෝ තමුසෙලා කරන බොරුව මාට්ටුනේ. බලනවා ඩ්‍රයිවර්ට මේ හයර් එක දීලා විනාඩි දහයයි. තමුසෙලාට ඕක කරගෙන යන්න බැරිනම් වහලා දානවා"

මම යන ගමන් කූල් ඩවුන් වීමට උත්සාහ ගතිමි. 

"මට 9.00 ට ගෙවල් ලඟට යන්න ඕනේ" එසේ පවසා මා නැවතත් සැලෝන් එකේ රොහාන් අමතා තව විනාඩි පහකින් පැමිණිය හැකි බව දන්වා සිටියා. මේ වනවින මා සිටියේ වැල්ලවත්තේ. 

"හරියට විනාඩි පහකින් එන්න පුලුවන්නම් ඉන්නම්"

රාත්‍රී 9.10 වනවිට එතනට යන්නට ඒ රියදුරු මහතා සමත් වුණා. වෙනත් රියදුරන්ගෙන් අසා දැන ගත් පරිදි මෙම ආයතනයේ අයිතිකරුවන් මෙය ජොලියට කරන ව්‍යාපාරයකි. ඔවුන්ට ඇති පදමට මුදල් ඇත. ඔවුන් කරන්නේ අලුත් වාහන කිහිපයක් ගෙන්වා. ඇති පාදම් දුවා වෙන්දේසි කිරීමයි. මෙවර දළදා මාලිගාවේ කටිනයට රුපියල් ලක්ෂ 18 ක් වියදම් කලත් ඔවුන්ගේ පඩි බේරා නැත(එය නම් මට අදාල නැත). පිං කිරීම ඉතා හොඳ කටයුත්තකි. නමුත් මෙම මධ්‍යස්තානයේ සිටින අයගේ නොසැලකිල්ල නිසා මේ සේවාව කඩා වැටෙමින් පවතී. මෙම අංකය ඉතා ලොකු ගණන් වලට ඉල්ලා ඇතත් ඔවුන් විකුණන්නේ නැත. 

අවසානයේ මෙය කියවන ඔබට එක් ප්‍රශ්නයක් ඇති වේ. කිලෝ මීටරයකට රුපියල් 72 ක් වැනි ඉහල ගණනක් අය කර ගන්නා මෙවැනි ආයතන හැර, හෝ එම මුදලටම වෙනත් තැනකින් මෙම සේවාව ලබා ගත නොහැකිද ? යන්න. එහෙත් අප මේ සේවාව නරකයි කියන තුරු බලා සිටින පිරිසක් සිටියි. ඒ මේ පහසුකම නැති කර දමන්නටයි. එය හොඳින් දන්නා අප මේ සේවාව සමග සටන් කර කර එයම භාවිතා කරයි. 

මෙය කියවන ඔබද කෙටි ගමන් සඳහා 688 සේවාව ලබා ගන්නා අය විය හැක. ඔබ පිටරට සිට පැමිණි විට නිවසට යන්නේ මේ සේවාවෙන් වන්නට පුළුවන. ඔබත් එවැනි අයෙක් නම් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සේවාව මග හැර වෙනත් එකක් තෝරා ගන්නා ලෙසයි. මෙවැනි කුඨ ව්යාපාර වසා දැමීමේ වග කීමද අප සතුව ඇත. මෙම සේවාවෙන් සිදු වූ තවත් ඛේදජනක අත්දැකීමක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. 

105 comments:

  1. අදනං හොදටම මල පැනලා වගේ...අසාධාරණයට විරුද්ධව නැගි සිටිම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. මම ලේසියෙන් කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. නමුත් තමන් ගන්න මුදලට සරිලන සේවාවක් සපයන්න බැරි නම් නිකං ඉන්න ඕනේ. මහමග පැයක් රස්තියාදු වෙන්න කවුද කැමති. ඔයා දන්නවද ඉස්සර හිල්ටන් එකයි, ටෙලිකොම් එකයි ගාවින් පහර වහද්දී මම යන්න ඕනේ හිල්ටන් එක ගාවට. එහෙම එන්න කියලත් මුන් කැබ් එක එවන්නතුව ඉඳල තියෙනවා. මම වැස්සේ තෙමි තෙමි හිටියා. මෙහෙම වෙච්ච් දවස් අඩුම ගානේ 50-60ක් වත් තියෙනවා.

      Delete
  2. එහෙත් අප මේ සේවාව නරකයි කියන තුරු බලා සිටින පිරිසක් සිටියි. ඒ මේ පහසුකම නැති කර දමන්නටයි. එය හොඳින් දන්නා අප මේ සේවාව සමග සටන් කර කර එයම භාවිතා කරයි.''
    මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ සේවාව මග හැර වෙනත් එකක් තෝරා ගන්නා ලෙසයි. මෙවැනි කුඨ ව්යාපාර වසා දැමීමේ වග කීමද අප සතුව ඇත.''
    තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේකයි අපි මේ සේවාව එපා කියලා එක් වරක් කලමනාකාරීත්වයට දැනුම් දුන්නා. ඔවුන් උත්තර තුනක් දුන්නා. 1)බැංකුවේ රථයක් යොදා ගන්න. 2) අපට අනුබද්ධ ලීසිං සමාගමයේ වාහනයක් යොදා ගන්න. 3) වෙනත් කැබ් සේවාවකට යන්න. වෙනත් කැබ් සේවාව කවදාවත් හම්බ වෙන්නේ නෑ. 1 සහ 2 ගත්තම ඒවා ගෙන්වා ගන්න දවස ගානේ පෝරම පිරවිය යුතුයි. ඒවා ඉහල කළමනාකාරීත්වයෙන් අනුමත කර ගත යුතුයි.

      ඔබ මෙය භාවිතා කරන්නේ පුද්ගලික මට්ටමෙන්. එවිට ඔබට එය මග හැරිය හැකියි. මෙයට වඩා හොඳ සේවා සපයන ආයතන දෙක තුනක්ම පවතියි.

      Delete
  3. දැන්නම් කමෙන්ට් කරන්ව එන උන්ටත් බැට් එහෙකින් ගහන මූඩ් එහෙක ඉන්නේ. ෂේප් එකේ මාරු වෙන්න ඕනේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ඊයේ නැගුනු කෝපය වියකෙන්න කලින් මේක ලිව්වේ මා මුහුණ දුන් අත්දැකීම ඔබට හොඳින් පැහැදිලි කරන්නයි.

      Delete
  4. හහ් හා අදනම් මල කරේ. ඇත්තටම අද ව්‍යාපාරිකයන්ට තෙරෙන්නෙ නෑ තරඟයට හරියන්න වැඩ කරන්න ඒ අය හිතන් ඉන්නෙ "කීර්ති නාමය" හැමදාම පවතිනවා කියලා අපේ ව්‍යාපාර්‍රිකයො කරන මෝඩම වැඩේ තමයි ඔය මහන්තත්වෙ ඉහෙ තියන් ඉන්න එක. අර කියුවා වගේ ඒ අය රටට පේන්න පිං කරනවා. තමන්ගේ ගෙදර උන් බඩගින්නේ. ඇයි දැන් ඔය ඕනතරම් නැනෝ කැබ්ස් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අපි මොවුන් සමග ගිවිසුමකට අනුවයි මේ සේවය ගන්නේ. වවුචර් මගින් ගෙවීම් කරන්නේ.

      Delete
    2. අන්න එතන තමයි ප්‍රශ්නේ. මොකද ඔබ ස්ථීර පාරිබෝගිකයෙක් නිසා ඔබෙන් ලැබෙන මුදල් කොහොමත් ලැබෙනවා. ඒවා ගැන කරදර නොවී එදිනෙදා ලැබෙන පාවෙන මුදල් ලබා ගන්න තමයි ඔවුන්ගේ අවදානය. ඔයවගේ ආයතන මට්ටු කරන්න නම් මේ වගේ ගිවිසුම් කීපයක් වත් නැති වෙන්න ඕන. නමුත් ප්‍රයෝගිකව එහෙම වෙන්නේ නැ. මොකද බොහෝ විට ඉහලින් ඉන්න කීප දෙනෙක් තමා ඔය ගිවිසුම පවත්වාගෙන යන්නේ ඉතින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු වෙනවා.

      Delete
  5. සුදික, බොහෝ බිස්නස් කාරයෝ හිතන්නේ උන්ගේ සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ සේවා වල ඉන්න රියදුරු මහත්වරු සහ වාහන හිමිකරුවන් බොහෝවිට හොඳ අය. මේවා පාලනය කරන මධ්‍යස්ථානයේ ඉන්න එවුන් තමයි පිස්සු කෙලින්නේ. හේතුව අයිති කාරයට සල්ලි තියෙනවා. මේක කරන්නේ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. ඔය මධ්‍යස්ථානයේ ඉන්න අයගේ වාහන තියෙනවා. උන් හොඳ ඒවා ඒ වාහන වලට දානවා. එතකොට සමහර වාහන හිර වෙනවා. නිසි කළමනාකාරීත්වයක් නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.

      Delete
  6. කැබ් සර්විස් ගැන නොදනිමි.. කිසිදා භාවිතා කර නැත..... ම්ම්ම්... මගේ මතකයේ හැටියට..... හි හි... සැමදා සුපුරුදු කෝච්චිය නැත්නම් බස් එක තමයි...

    හැබැයි එක පාරක් මාමගේ පොඩි එකාට රෑ අසනීප වෙලා ( ෆිට් එක හැදිලා) ළඟම තියෙන ලොකු නම්බර් කැබ් සර්විස් එකකට කෝල් කළාම වාහනේ එවුවේ පැය බාගෙකට පස්සේ... හොඳ වෙලාවට පොඩි එකාට ලොකු අමාරුවක් නැතුව ෂේප් උනා... තව පාරක් ඒසී තියෙන වාහනයක් එවන්න කිව්වම දොර අල්ලන් යන්න ඕනේ ජාතියේ එකක් එවලා තිබ්බා.. හි හි....

    ReplyDelete
    Replies
    1. මේ යක්කු මේවා කොටස් දෙකකට බෙදාගෙන කරනවා මට හිතෙන හැටියට. එකක් සංචාරකයන් සඳහා. අනික අපි වගේ ස්වදේශිකයන්ට. සංචාරකයන්ට වාහන ඕන වුනහම අපට ඇවිත් ඉන්න එකක් හරි ආපහු ගන්නවා.

      Delete
  7. මහත්තයා ත්‍රී වීලර් එකක ගියානම් ඉවරනේ... මේන් අපි ගියා.. නිවුන වෙලාවක ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. එහෙම යන්න තිබුණා අපේ අතට සල්ලි දෙනවනම්.

      Delete
    2. ඒ කියන්නේ උඹලගේ ආයතනයෙන් ඒ යක්කුත් එක්ක ගිවිසුමක් ගහලා

      Delete
  8. // ඒ වුනාට අපි මුදල් ගෙවලා ලබා ගන්න සේවාවක් නිසා "මුදලට සරිලන වටිනාකම"(value for money) තිබිය යුතුයි.
    //

    ලංකාවේ ගොඩක් දේවල් මේක නැහැ . මම දුරකථන සමාගම් කිහිපයක් එක්කම වලි දාගෙන තියනවා ඔය නිසා . අනික් ඔක්කොම අත්හැරල ඊමෙල් වලින් විතරක් ඩයලොග් එක්ක සම්බන්ධ වෙන්න ගත්තට පස්සේ මගේ ලේ උණු වෙන්නේ නැ . කැබ් සර්විස් භාවිතා කරන්නේ කලාතුරකින් 688 භාවිතා කරලාම නැ . දුප්පතාගේ හිතවතා ත්‍රිවිලරේ තමයි ටැක්සි ගමන්

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකව නම් මමත් තීවීලර් තමයි. ඒත් රාජකාරීමය වශයෙන් අපිට 688 ගන්න වෙනවා.

      Delete
  9. ගෑණු කෙනෙක් එහෙම ඕඩර් කළානම් විනාසයිනෙ.. තට්ට තනියම පාරට වෙලා ඉන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඕවා වැඩිපුරම ඇනවුම් කරන්නෙ කාන්තාවෝ තමයි

      Delete
    2. කාන්තාවෝ දෙදෙනක් අපිත් සමග වැඩ කරනවා. ඒ අය රෑට වැඩ කරන එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නොවුනම් සතියට එක දවසක් වගේ ඉන්න වෙන්නේ.

      Delete
  10. දැන් අවුරුදු 2කට විතර කලින් ලොකුවට ප්‍රචාර දීලා පටන් ගත්ත එකක් මටත් ඔහොම ජරා වැඩක් කලා, රස්තියාදුව පැයකට වැඩී ඒත් කියන්නෙ දැන් එයි දැන් එයි කියලා. ඒත් කොට්ටාවෙ තියන යුනියන් කැබ්ස් කියන ආයතනයෙන් තමයි අපි හුගක් වෙලාවට වාහන ගන්නෙ, ඔවුන් නම් හරියටම වෙලාවට කලින් විනාඩි 10 කට කලින් අදාල තැනට එනවා, එහෙම එන්න බැරි නම් අනිවාර්යෙන්ම කියනවා. හොද ආයතනයක්...

    ReplyDelete
    Replies
    1. අර දොර අල්ලන් යන්න ඕනේ වාහනේ එවලා තිබ්බේ යුනියන් කැබ්ස් එකෙන් තමයි.. හි හි.. හැබැයි ඒක උනේ අවුරදු 4කට විතර කලින්...

      Delete
    2. හොඳ ඒවා ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. මම පුද්ගලිකව කාර් එකකම යන්න ඕන වුනහම 588 ගන්නේ. ඔවුන්ගේ සේවාව වෘත්තීය මට්ටමේ තියෙනවා.

      Delete
    3. එයාලගෙන් මම නම් එහෙම දේකට මූණ දීලම නෑ හිරුවෝ, ට්‍රිප් යන්නෙ, එයාර්පෝට් එන්නෙ සේරම එයාලා එක්ක. තව කොට්ටාවේ හංදියෙම තියන එකකත් යනවා එතනත් හොදයි මට නම මතක නෑ,.ඔය ලොකු ලොකු ඒවයේ තමයි ප්‍රශ්න වැඩි මම හිතන්නේ...

      Delete
    4. පොඩි ඒවගේ තියෙන්නේ පුද්ගලික හිමි කරුවන්ගේ වාහන. සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අතේ තමයි වැඩේ තියෙන්නේ. අර බාස්ලා වගේ හැම එකම බදා ගන්නේ නැතිව, පුළුවන් ප්‍රමාණයට විතරක් සේවය දෙනවා නම් හොඳයි.

      Delete
  11. ඔය කැබ් සර්විස් එක අයිති රවී විජේරත්නට මිනිහ තමයි ස්ටාර් ඩස්ට් කැසිනෝ එකේ අයිතිකාරයා මිනිහට සල්ලි තියෙනවා නාන්න එක නිසා මේක ගැන දැන් ලොකු සැලකිල්ලක් නැහැ ,මේ සර්විස් එක පටන් ගත්තේ වැඩිපුරම මිහිහගේ කැසිනෝ එකේ කස්ටර්මර්ලාට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ඔය ටික මමත් දන්නවා. මට මතක හැටියට රන්ජන් විජේරත්නගේ ඥාති. ඒ කාලේ ග්‍රේලන් කියන බස් සේවාව කලෙත් ඔය කට්ටිය.

      Delete
  12. සුදීක අයියා වැනි අයට ගෙදර යාම අංක එක උනාට එම සේවාව පවත්වන අයට ඒය අංක එක නොවනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක නිදහසට කරුනක්ද නංගී ?

      Delete
    2. එක අයියේ පපුවේ තියෙන්න ඕන දේයක්.අපේ මිනිස්සු න්ට ඕන මුදල් විතරයි අද.අපේ සමහරක් අය කියනවා ඒවා වෙනස් කරන්න බැ කියලා.ආකල්පමය වෙනස් ඇති වෙන්න ඕන.බලන්න අයියා කී පාරක් ඇමතුම් ගත්තද කියලා.ඒත් ඒ අය ගණන් ගත්තද? අපේ නම් ඔය වගේ වැඩක් කරාම නිතීයෙන් දඬුවම් ලැබෙනවා.මිනිස්සු දඩුවමට බය නිසා හරි දේ කරනවා.සමහරක් තැන් වලදි ආකල්පමය වෙනසක් ඇති කරන්න නීතිය,දඩුවම වැනි දේ ඇතුලත් විය යුතුය.ඒ මිනිස්සු අයිය කියපු දේ මායිම් නොකරෙත් ඒ වගේ නිතීයකට යටත් නොවිම නිසයි.හමුදා නිතිය සිවිල් සමාජයට හරියන්නේ නැ කියලා ඇතෙමෙකු තර්ක කරන්නේ ඒ මිනිස්සුන්ගේ නිදහසට කාරණාවක් හැටියට සහ එවිට ප්රසශ්ණ වලින් ගැලවෙන්න පුළුවන් නිසායි.

      Delete
    3. ඔයාගේ කතාව ඇත්ත. සිංගප්පූරුව දැඩි නීති රීති තියෙන රටක්. එහි වැරදි වෙනවා අඩුයි. ඒත් ජනතාව ඉන්නේ සතුටින් නෙවෙයිලු. සාපේක්ෂව අපේ රටේ ජනතාව සතුටින් ඉන්නවා කියන්නේ. මේ දෙක අතරමැද තැනක් තමයි අවශ්‍ය.

      Delete
  13. Rs. 72/= for 1 km? OMG. When I was using this service it was Rs.38/= for a Km.

    ReplyDelete
    Replies
    1. Yeah it was same when I started getting their service. Until recently it was 68.

      Delete
  14. හොඳටම කේන්ති ගිහින් වගේ! සාධාරණයි අයියේ! මේ ලඟදි මටත් ඔහොම වැඩක් උනා මීටර් ටැක්සි එකක! මම නිතර යන එන ප්‍රසිද්ධ IT සම්බන්ධ ආයතනයක් තියනවා ගංගාරාමේ ළඟ..ඔතන ඉඳලා වැඩ කටයුතු ඉවර වෙඩි රෑ උනොත් මම කොටුවට එන්නේ මීටර් ටැක්සියක! ලඟදි දවසක මට නට්ටටම තද වෙලා presentation එකකට එන්න කොටුවෙන් ඇල්ලුවා මීටර් ටැක්සියක්! ආපුවහම දැක්කේ එකේ එකා මීටරේ on කරලා නෑ! රුපියල් 300 දෙන්නලු! අර හදිස්සියෙන් වගේ ආපු නිසා අන්දන්න ලේසියි කියලා හිතලා වෙන්න ඇති!
    හොඳට ජාතිය ඇමතුවා! 150න් වැඩේ ශේප්!

    ReplyDelete
    Replies
    1. අපි නිවටව ඉන්න කම් උන් අපිට පාට් දානවා. උන් හිතන්නේ ආණ්ඩුවේ ඔෆිස් වල ඉන්න එවුන්ට ඒවා ගාණක් නෑ කියල.

      Delete
  15. මම නම් කුලි රථ පාවිච්චි කරලා තියෙන්නෙ ජිවිත කාලෙටම එක වතාවයි. ඒත් ඕක නෙමේ. බජට් ටැක්සි! ඒ කියන්නෙ නැනෝ එකක්. එයාලනම් කිව්ව වෙලාවට නියම තැනට ආවා.

    හැබැයි මට ඔය වගේ අද්දැකීම් තියෙන්නෙ වෙනත් අංශයකට. මම මුලින් ම අන්තර්ජාල සම්බන්ධතාවය “වයර් ලයින්“. අපේ ප්‍රාදේශීය කස්ටමර් කෙයා එකට කතා කරලා ප්‍රස්ණ වගයක් අහපුවාම එහෙන් කියනවා මේ ගැන හරියටම දන්න කෙනා අද ශ්‍රමදානෙකට ගිහිල්ලලු. මොකද කරන්නෙ සර් කියලා.

    ඊට පස්සෙ මම ගත්තා අනාගතය අදයි කියන ඩොංගල් එකක්. එදත් කතා කලා කස්ටමර් කෙයා එකට. ඇහැව්වා මේ පැකේජ් එකෙන් වෙනත් එකකට මාරු වෙනවා නම් කරන්න ඕනේ මොකද්ද කියලා. මුලින්ම කිව්වා රු 300 රිලෝඩ් එකක් දාන්න කියලා. දෙවෙනියට කිව්වා එස්එම්එස් එකකින් මාරු වෙන්න බිලට 300 එකතු වෙයි කියලා. නැවත කතා කරලා ඇහැව්වා. ෆැක්ස් එකක් එවන්න වෙයි කිව්වා. ආය ගත්තා. අවුට්ලට් එකකට හරි, ආකේඩ් එකකට හරි එන්න වෙයි කිව්වා. ආය ගත්තා. කෝකටත් ඇවිල්ලා ලියුමක් අතින් ම දෙන්න කිව්වා. 6 වතාවක් කතා කලාම උත්තර 6 ක් දුන්නෙ. තාම දන්නැ මාරු වෙන්න කරන්න ඕනෙ දේ. ඕන වුනු දවසට ආය කතා කරලා තමා වෙනස් කරගන්න වෙන්නෙ.

    ලොකු තැන්වලිනුත් මේ දේවල් වෙන එක ගැන එක පැත්තකින් පොඩි කණගාටුවකුත් තියෙනවා. ඒත් ඕවා අල්ලලා දාලා ඉන්න එක කෝකටත් හොඳයි. මේක තමා ලංකාවේ හැටි. මේක තමා ලෝක ස්වභාවය කියලා හිතලා. අනිත් අයට එහෙම කරන්න කියනවා නෙමෙයි (මං කියන දේවල් කරන්නෙ කව්ද?)කොහොමත් මම එහෙම කරන්නෙ අමාරුවෙන් වඩවාගන්න ලේ ධාතුව H2O වෙයි කියලා බයට!

    ReplyDelete
    Replies
    1. එක පාරක් මට මතකයි ADSL වල ස්පීඩ් අඩු එකට e-mail ග්රූප් එකක් හදාගෙන ෆයිට් කළා. අපි තනිවම ෆයිට් කරනවට වඩා හොඳයි පාර්භෝගිකයන්ගේ එකතුවක් වශයෙන් ෆයිට් කරනකොට.

      Delete
    2. ඔය ලංකාවේ ටෙලිකොම් ගැන, ඩුබායි වල එකක් තියනවා එකේ ඔහෝම නෙමේ වෙන විදියක්.වෙන කෙනෙකුගේ(ලංකාවේ) විදේශ ගමන් බලපතකින් තව රටක කෙනෙක් පසු ගෙවීම් සම්බන්දයක් අරගෙන තමන්ගේ රටට කතා කරලා ලොකු බිලක් තියල දැන් එක අර විදේශ ගමන් බලපත අයිති කෙනාට ගෙවන්න වෙලා වගේ දේවල් වෙන්නේ.ආයතනයෙන් කියන්නේ නම තියන කෙනා ගෙවන්න කියල.පොලිසියට කියල ප්‍රදාන කාර්යලයෙන් අහපුවාම කියන්නේ මේ වගේ කේස් ගොඩක් තියන නිසා තීරණයක් දෙන්න කල් යනවා කියාලා. ඒ අතින් ඕක හොදා...

      Delete
    3. ඔය අනාගතය අදයි කියන කට්ටිය තමයි අර එකපාරක් බ්ලොගර් කේස් එකක් ගිය වෙලාවෙ බ්ලොග් සයිට් කිවුවම ඒව සෙක්ස් ඒවද කියල ඇහැව්වෙ. හතර අතිං කම්ප්ලේන් යන්න පටං ගත්තම තමයි උංටත් වැඩේ මීටර් උනේ. හැබැයි අනික් ඒවට වැඩිය ඒකෙ කස්ටමර් කෙයා එක හොඳ මට්ටමක තියෙනව.

      Delete
    4. ඔව් ඒගොල්ලන්ගේ කස්ටමර් කෙයා මෙව්වා එක හොඳයි. ඒත් දැන් ඒකට වඩා හොඳ එක්ක තියෙනවා. අරගොල්ල තරම් සැර දාන්නෙ නැතුව කතා කරන. :D

      Delete
    5. මාත් මේ ඒක තමයි මතක් කර කර කමෙන්ට් කියෝ කියෝ ආවේ ප්‍රසා අයියේ.. දවස් 4 තිස්සේ කොච්චර වද දුන්නද කිව්වොත් ඒකේ කට්ටියට මගේ බ්ලොග් එකේ නමත් මතකයි අන්තිමට... හි හි...

      හැබැයි එකක්.. උන්ගේ කස්ටමර් කෙයාර් ( කෝල් එක ගත්ත ගමන් සම්බන්ධ වෙන පාරිභෝගික සේවා එක ) එකේ හිටපු කට්ටිය පිස්සු කෙලියට, ටෙක්නිකල් එකේ කට්ටිය ප්‍රශ්නේ තේරුම් අරගෙන වැදගත් විදියට වැඩේ කළා එදා..

      Delete
    6. සෙන්නා ඒකලු නේද ලංකාව ලග ඉන්දියාව මවලා තියෙන්නෙ....කෝකටත් තෛලය

      Delete
    7. ඒ වීඩියෝ එක නම් මාරු සෙන්නා.

      Delete
  16. පව් බං ඉස්සර අපි මුන්ට විහිළුවටත් කෝල් කරනවා :)

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම කරන්න බෑ.

      Delete
  17. නම් ගම් එක්කම විස්තර බෙදාගත්ත එක ගැන මම අගය කරනවා...පාරිභෝගිකයෝ නැගීසිටින්නැත්නම් මේ වගේ ආයතන කවදාවත් හැදෙන්නෑ..

    මම මේ කැබ් සේවාව කීප වතාවක් ඇනවුම් කරලා තියනවා ගුවන්තොටුපල හයර් සඳහා නම්..ඒවා නම් වෙලාවට එනවා..

    ReplyDelete
    Replies
    1. මම ඉල්ලන්නේ ඔය ගුවන්තොටුපොළ හයර් එකටත් වෙන එකක් තෝර ගන්න කියලා.

      Delete
    2. රූ කියාපු දේ නම් ඈත්ත සුදීක - මමත් ගුවන් තොටට යන්නේ දැන් සෑහෙන කලක් තිස්සේ ඕවායෙන් - අවුලක් වෙලා නම් නෑ - එලවන මනුස්සයාගේ කන් කරච්චලේ මිසක් සමහර වෙලාවට. ඒත් පරිපාලනයක් නෑති බව ටික ටික තේරෙනවා රියදුරන් කියන ක‍ථා වලින්. අනෙක් නොම්මරේ අරන් බලමු මීට පස්සේ නේද?

      Delete
    3. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මෙතන පොඩි මාෆියාවක් තියෙනවා. මේ සෙන්ටර් එකේ වැඩ කරන අයගේ වාහන තියෙනවා. හොඳ හයර් තෝරලා අර වාහන වලට දෙනවා. දැන් හිතන්න මේ කියන වාහනයක් ගෝල්ෆේස් හරියේ ෆ්‍රී වෙලා තියෙනවා කියලා. ඔයා වැල්ලවත්තේ ඉඳලා එයාර්පෝර්ට් යන්න ඉල්ලුවාම ඔයාට යවනවා. 2200ක් කතා වෙලාම යන්නේ. එතකොට එයාර්පෝර්ට් ගියාම අනිවාර්යෙන් මේ පැත්තට තව එකක් ෂුවර්.

      Delete
  18. අපිත් ඔතන වැඩ කොලාට රෑ වදකොලේ නැහැ නොවැ.අනිත් එක ඉතින් අපිත් කොච්චර රෑ වුනත් පාරේ බස් එකේ තමා.නැත්නම් තුන්රෝද රිය සරනං ගච්චාමි.මං හැබැයි දවසක් ආතල් එකට කොටුවේ ඉදන් බොරලස්ගමුවට [මං ඒ දවස්වල නැවතිලා හිටියේ බොරලැස්ගමුවේ] පයින් යන්න ගියා.හප්පා කොළඹ කැම්පස් එක හරියට එනකොට මට ඇතිවුනා.ඊට පස්සේ බස් එකක නැග්ගා.

    ReplyDelete
    Replies
    1. හෙහ් ... හෙහ්.. හෙහ් .. මට හිතා ගන්න පුළුවන්.

      Delete
  19. මේක සුදීක ඔය අංක එකට විතරක් තියෙන ප්‍රශ්ණයක් නෙමේ. සාමාන්‍යයෙන් අපි කරන රැකියාව අනුව අඩුම තරමින් රාත්‍රී අට වනතුරුවත් අපි ඔෆීසියෙ ඉන්න ඕනෑ. අපේ ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් සපයලා තිබුනත් රාත්‍රී 8න් පසුව ඒ රියදුරන් නෑ. රාත්‍රී දහය වනතුරු වැඩකටයුතු තිබෙනවා නම් අඩුම තරමින් රාත්‍රී නමය වෙද්දිවත් කැබ් රථයකට කතා කරන්න ඕනෙ. අපේ ආයතනයේ පහසුකම් ලබා දීලා තියෙන්නෙ එක්සෙල් කැබ් සේවයටයි. රාත්‍රී නමයට කතා කරලා නමය හමාරට එන්න කිව්වම අඩුම තරමින් දහයයි කාල වෙද්දිවත් කැබ් එක ඔෆීසියට එනවා. ඒ එන්නෙත් දෙතුන් පාරක් දුරකතනයෙන් කතා කලාට පස්සෙයි. මේක දවසක් දෙකක් වෙන දෙයක් නෙමේ.

    නැනෝ කැබ් සේවාවන් වල ඔවුන් බිල් පතක් නිකුත් කරන්නෙ නැති නිසා ඒම සේවාවන් ලබා ගන්න අපිට බෑ.

    ReplyDelete
    Replies
    1. මේගොල්ලෝ අංක එක වෙලා හිටියේ බොහොම ඉස්සර. නමුත් හදා ගත්ත කීර්ති නාමය නිසා සංචාරකයෝ තවමත් මේ අංකයට කතා කරනවා.

      Delete
  20. එකෙන්ම ඔවුවන්ට හොඳක් වෙන්න හොඳ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. මගේ පැතුමත් ඕකම තමයි.

      Delete
  21. බැන්නට වැඩක් නෑ. කස්ටමර් සර්විස් එකේ මිනිස්සු කරන යමක් නෑ.
    පුළුවන් කමක් තියෙනවා නම් ආයතනයේ ඉහලා නිළධාරියෝ හමුවෙන්න. එයාලට අපි කියන භාශාව තේරෙනවා. මේක පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ.
    මා නම් නිතර කැබ් සර්විස් ගන්න කෙනෙක්. මුලින් මුලින් මටත් ඔය සිදුවීම වුනා. වෙන එකක් තියා ගෙවපු සල්ලි ගන්න ආරක්ශකයෝ වගේ අයගේ පිහිට හොයාගෙන යන්නත් වුනා.
    ඒත් පසුකාලිනව අවුරුදු තුනක් විතර තිස්සේ මා සේවා ලබා ගන්න ආයතනය ගැන කියන්න කිසිම වරදක් නෑ. (ආයතන හිමිකරු එක්ක ඩිරෙක්ට් ලින්ක් එකකුත් තියාගෙන ඉන්න හින්දා ලොකු සහනයක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න නම් වෙලා නෑ.) මොකද ඒ අය අපි වගේ සේවාදායකයෝ නැති කරගන්න කැමති නෑ. ඒක දෙපැත්තටම වාසිදායකයි.
    බැන්කුවක් වගේ ආයතනයක නිතර තියෙන ගණුදෙණු නැතිකරගන්න ආයත්න හිමිකරුවෝ කැමති වෙන එකක් නෑ. ඒක හින්දා උඩම කියපු දේ කරන්න ට්‍රයි එකක් දුන්නා නම් හරි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේකේ ඉහල නිලධාරියොත් ඒ වගේම තමයි. ඒ ගැන දැන ගන්න පුළුවන් මගේ ඊළඟ සටහනින්.

      Delete
  22. සමහර රටවල නම් ටැක්සි රථ පිළිබද සොයා බැලීමට රජයයන් වෙනම ආයතන පිහිටුවා තිබෙනව.ලංකාවෙ ඉතින් මොන කතාද?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඕනෑම දෙයකට වල්බුරු නිදහසක් තියෙන නිසා රැවටීම වැඩියි.

      Delete
  23. ඔයිට වඩා හොඳයි පොඩි වාහනයක් ගත්තානම්. අඩු ගානේ වෙලාවට ගෙදර යන්ට තිබුනා.

    හැම මගියෙක්ම මේවා ගැන පැමිණිලි කරනවා නම් මේ තත්වය ටිකක් හරි මග ඇරෙයි නේද?

    ReplyDelete
    Replies
    1. තවත් කාරණයක් සුදීක. ඇයි ඉතින් බැංකුවෙන් වාහනයක් රෑ වෙනකල් වැඩ කරන අයට (වෑන් එකක් වගේ ) ලෑස්ති කරලා දෙන්නේ නැත්තේ. ගොඩක් තැන්වල දැන් එහෙම කරනවා නේද?

      Delete
    2. ඒ ගැන මම ලියලා තියෙනවා. අපේ බැංකුවේ වාහනයක් නඩත්තු කරලා, ඩ්‍රයිවර් කෙනෙකුට පඩි ගෙවලා, ඔවුන්ගේ අතිකාලා හා අනෙකුත් දීමන දුන්නම, ඒ සඳහා යන ගාස්තුව මේ වගේ දෙගුණයක්.

      Delete
  24. මම කැබ් සර්විස් පාවිච්චියක් නෑ... අපේ ගෙවල් පැත්තෙ ඉන්නව ඩයල් එකක් වෑන් එකක් තියාගෙන... පොරත් එක්ක තමා අපි ගමනක් ගියොත් යන්නෙ... පොර හරිම සාදාරනයි....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම ඉන්නවා ත්‍රී වීලර් මිතුරෙක්.

      Delete
  25. කැබ් සර්විස් ගැන අත්දැකීම් නැත...

    ෆොම් පුරවලා මැනෙජ්මන්ට් එකෙන් අනුමත කරගන්නවාට වඩා බැන බැන ඔය කැබ් සර්විස් එක පාවිච්චි කරන එක ඇත්තටම ලේසිද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා, මම වැඩ කරන තැන තියෙන්නේ ප්‍රධාන කාර්යාලයෙන් තරමක් ඈත. ඔය විදියට වාහනයක් ගන්න නම් ෆෝම් එකත් අරන් යන්න වෙනවා. එතකොට් දවල් දවසේ පැයක් විතර එකට වැය වෙනවා.

      Delete
  26. kenti (tarha) pitama post eka liypu eka hodai.
    api ekatu wela fight karot..ekko un hadai natnam api hadai.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඕනෑම දෙකට සංජීව මගෙත් එක්ක ඉන්න බව.

      Delete
  27. මචන් ඔය කැබ් සෙවාවේ ප්‍රමිතිය ගැනනම් තඹේකට විස්වාස කරන්න බැ දවසක් අපේ ඔෆිස් එකේ මලගේක යන්න කැබ් එකක් ගෙන්නුවා යන්න ගත්තාම රියදුරු නිදිකිරා වැටෙනව බලන කොට ඉට කලින් දවසේ එලිවෙනකම් එකා රියදුරු වැඩේ කරල අපි කබ් එක ඔඩකලාම ඒ වැන් එක එවල තියෙන්නේ ලඟට යන්න තියෙන්නේ කියලා මලගේ තිබ්බේ ඇඹිලිපිටියේ ඉතින් යනකං එනකං රියදුරු වැඩේ කලේ අපේ එකේක් අර රියදුරු මහත්තයා පත්තකට වෙලා හොඳට නිදාගත්තා ඔන්න කැබ් සර්විස් වල වැඩ

    ReplyDelete
    Replies
    1. මටත් අනන්තවත් ඔය වගේ අය හමු වෙලා තියෙනවා. එක අතකින් රියදුරන්ව හුරා කරනවා.

      Delete
  28. අපේ office එක පාවිච්ච් කරන්නේ budget නැනෝ cabs. ඒ ගොල්ලෝ office එකට form එකක් දීල තියනවා. ඒක fill කරන්න විතරය් තියෙන්නේ. කියන වෙලාවට එනවා

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒ වගේ එකකට යන්න කාලේ හරි.

      Delete
  29. මමනං ඕව පාවිච්චි කරල නෑ. හැබැයි දැං මේ පැත්තෙත් ගොඩක් තැංවල අර නැනෝ ටැක්සි තියෙනව මම දැකල තියෙනව.

    ඔයවගේ කේස් එකක උනනානං කරන්න තියෙන්නෙ ටැක්සිය පරක්කු වෙලා ආවොත් වෙන වාහනයක් ලෑස්ති කරගෙන ඉඳල අරූට ආපහු හරෝගන යන්න කියල කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මුන්ට එහෙම කලත් ගානක් නෑ.

      Delete
  30. අලේ,, මට නම් නම්බර්ස් මතක නෑ,, හැබැයි කැබ් සර්විස් එක්ක නැතිනම් දෙකක් තියනවා ඔය වගේ,, එක සැරයක් අපි රත්මලානට ගියා නුගේගොඩ ඉදන්,එද්දී කැබ් එක කැඩිලා පැය එකාමාරක් විතර හිටියා ඒ පැය එකාමරටත් අපෙන් චාර්ජ් කරා.. :/
    අර සිල්වර් ලයින් කැම් සර්විස් එක නම් හොදයි කියලා හිතෙනවා මට,මොකද ඒක අපේ ගෙවල් ලග තියෙන්නේ කෝල් කරලා වාහනයක් එවන්න පුළුවන්ද ඇහුවාම තිබ්බත් නෑ කියනවා :D මොකද වාහනේ ලගට ගෙනල්ලා දෙන්නවත් ඩ්‍ර‍යිවර් කෙනෙක් නැතිනම් පාරිබෝගිකයා අමාරුවේ දාන්නෙ නැ..

    ReplyDelete
    Replies
    1. මේකත් ඒ වගේ තමයි. නිසි කළමනාකරණයක් නැති තැනක්.

      Delete
  31. ලංකාව දැන් ගසා කන්නන්ගෙ පරාදීසයක් වෙලා ඔය කස්ටමර් සර්විස් උන්ට තියෙන්නෙ කිඹුල් හමක් උන්ට ඕන කුණුහබ්බයක් අහං ඉන්න පුලුවන් විදිහටයි හදලා තියෙන්නෙ.

    ReplyDelete
  32. මම නම් අයියා ඇවිද්ද පය තමා...

    ReplyDelete
  33. ගමන් බිමන් වලට කෙලින් ම මුදල් දෙන ක්‍රමයක් තිබුණා නම් වටින්නෙ මෙ වගේ වෙලාවට තමයි....

    ReplyDelete
    Replies
    1. අපිට නම් ගෙවනවා Taxi බිල දුන්න ගමන්. ඒක ආයතනයෙන් ආයතනයට ගන්න මූල්‍ය විධිවිධාන.

      Delete
    2. අපේ අය සල්ලි අතට දෙන්න ටිකක් මැලියි.

      Delete
  34. මමත් එක සැරයක් මළ ගෙදරක පාංශකූලේ ඉවර වෙලා කනත්තට යන්න කැබ් සර්විස් එකකින් වෑන් දෙකක් කතා කරා. ටිකක් වැඩිපුර වෙලාව තියලා තමයි එන්න කිව්වෙත්. ඒත් පාංශකූලේ ඉවර වෙලා මිනිය උස්සන කොටත් කැබ් එක නෑ. හොද වෙලාවට අහ පහල තිබුන වාහන දෙකකින් වැඩේ ෂේප් කර ගත්තා. මම ගෙදරට වෙලා බලන් හිටියා. ගෙදරින් පිටත් වෙලාත් විනාඩි 10 කට විතර පස්සේ තමයි වෑන් දෙක ආවේ. එතකොට කියපු වෙලාවට වඩා විනාඩි 45 විතර ගිහින්.

    මම නිතරම වගේ පාවිච්චි කරන මහරගම JK cabs ආයතනයේ සේවය නම් හොද මට්ටමක තියෙනවා. ඔවුන් සේවය ලබා ගත් දවසට පස්සේ දවසේ දුරකතන ඇමතුමක් දීලා කලින් දවසේ අපි ලබා ගත්ත හයර් එක හොදද රියදුරා හොදද අපි ඒ ගමන ගැන සතුටු වෙනවද කියලා අහලා බලනවා. මෙච්චර කාලෙතට කියන වෙලාවට වාහන එවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ තොරතුරක් දුන්නේ. ලංකාවේ මේ වගේ එකක් ගැන හිතා ගන්නවත් අමාරුයි.

      Delete
  35. 688688 පරක්කු නම් වෙන කැබ් සර්විස් එකකට කතා කරන්න තිබුණනේ.

    ReplyDelete
    Replies
    1. බැරි හේතුව කියල තිබුනා නේ.

      Delete
    2. ඔව් කියලා තිබුනා. මේක ගිවිසුම් ගත නිසයි බැරි.

      Delete
  36. සුදීක, ඔය කැබ් සර්විස් එක පජාතයි. මම යන්නෙම නෑ. මොකද මමත් ගොඩක් වෙලාවට 9.00 ට රාජකාරි නිමවෙන නිසා මම ගෙන්න ගන්නෙ Budget Taxi. අන්න නියම උන්. පුළුවන්නම් එවනවා කියනවා. නැත්තම් නෑ කියනවා. බැරිද බැංකු පරිපාලනයට කියල මේකට විසඳුමක් ගන්න.

    ReplyDelete
    Replies
    1. මේක වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන අය මේකත් කපලා දාන්න විදියක් හොයා හොයා ඉන්නේ.

      Delete
  37. කැබ් සර්විස් නම් පාවිච්චි කරන්නේ නෑ. ඒත් ඔෆිස් එකෙන් දෙන ට්‍රාන්ස්පෝර්ට් එකත් ගන්නේ නැතුව මම පයින්ම බෝඩිමට යන්නේ ඊට කලින් මට බෝඩිමට යාගන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. එහෙම වාසනාවක් අපිට කොයින්ද.

      Delete
  38. මේ ලිපිය ගැන බුරා බුරා නැගෙන ආවේගාත්මක, සංවේගාත්මක අදහස් ඇතුලත් මගේ සිතුවමක් ඉදිරි දිනක දී බලාපොරොත්තු වෙන්න

    - මීට විදෙස් සිත්තරා

    ReplyDelete
    Replies
    1. “බොර දියේ මාළු බෑම“ හෙවත් “කල දුටු කල වළ ඉහ ගැනීම“ හෙවත් ......

      Delete
    2. හත්වලාමයි ... මේකට තමයි කියන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ කියලා.

      Delete
  39. දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    ReplyDelete
  40. මල් පොකුරම පැනලා වගේ අදනම්.

    ඔන්න ඔයිට එහා මෙහෙ බැංකු අපිට දෙන සේවයත්. පිස්සු හැදෙනවා මේ සුලු වැඩක් කරන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. හේතු දෙකයි. මට කැබ් එක නොඑවීම සහ මට පේන්න වෙන එවුන්ට කැබ් යැවීම.

      Delete
  41. ඇත්තටම 688 ට වඩා 588 හොඳයි. සාමාන්‍යෙයන් 588 එවන්න කියන වෙලාවට වගේම එවනවා. අනික අර ඔක්කොම විස්තර දාලා එස් එම් එස් එන නිසා ලේසියි. 688 විනෝදෙට කරන දෙයක් තමා. එතන රියදුරන්ටවත් රෙස්ට් රූම් නැහැ. කාඩ් බෝඩ් බිම දාලලු නිදා ගන්නෙ. අනික 588 ෆ්ලීට් එකත් වැඩියි

    ReplyDelete
    Replies
    1. ඔව් 588 හැම අතින්ම ඉදිරියෙන් ඉන්නේ. ඔවුන්ගේ වෙබ් එකෙනුත් බුක් කරන්න පුළුවන්. රට ඉඳල එන කෙනෙකුට මේක හරිම වටිනවා.

      Delete
  42. එක වතාවක් අපේ තාත්තා ආයෙම රට එන්න කටුනායක එන්න හදද්දී මෙහෙම ප්‍රමාදයක් උනා.. හැබැයි ඒ මේ කට්ටියමද කියලා මටනම් මතක නෑ.. ඔය සුදීක අයියා කතා කලාට එහා අපේ තාත්තා කතා කලේ..

    ReplyDelete
  43. ලංකාවේ අංක එක කැබ් සේවාව 688 කියන දේ වැරදියි. 588 කැන්ගරු එක තමයි පැරණිම සේවාව. ඔවුන්ගේ සේවය ඇති විශිෂ්ටයි. කිහිප වතාවක් මෙලෙස එකම පාරිභෝගිකයා අමතන විට ඒවා ගැන පරිපාලනය පරිගණක පද්ධතිය මගින් ඉබේම දැනුවත් වෙනවා. අදාළ දුරකථන ඇමතුම් පටිගත වන නිසා පසුව සොයා බැලිය හැකියි. මෙවන් සිදුවීම් ඔබට අත් විඳින්න සිදුවන්නේ නැතිම තරම්. මෙවන් පැමිනිල්ලකදී අදාළ ඇනවුම ලබාගත් නිලධාරියාගේ රැකියාව පවා අනතුරේ. එනිසා ඇනවුම් ලබා ගන්න අය ඉතා නිවැරිදිව එය කරනවා. පාරිභෝගිකයා රථයට ගොඩවූ බව තහවුරු වනතෙක් ඔවුන් විටින් විට එය සොයා බලනවා. විශාල රථ සංඛ්‍යාවක් ඔවුන් සතුයි.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...