Friday, March 22, 2013

රෝයි ඩයස් සහ මාවන් අතපත්තු අතර සිටිය යුත්තා

අද රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් ගැටුම පැවැත්වෙන දිනයයි. මේ දවස් වල සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තරගාවලියක සිටින නිසා පාසැල් ක්‍රිකට් ගැන සොයා බලන්නට වෙලාවක් තිබුනේ නෑ. ඒත් මගේ මිත්‍ර නදීර උඩවත්ත ගාල්ලේ සිට එවූ ට්විටර් පණිවුඩයකින් ගාල්ලේ මහා සටන පැවැත්වෙන බව දැන ගන්නට ලැබුණා. ගාල්ලේ රිච්මන්ඩ් කියූ පමණින්ම මගේ ඉදිරියේ මැවෙන එක් ක්‍රිකට් රුපයක් තිබේ. ඒ චන්දන අමරසිංහයි. චන්දන අමරසිංහ යනු කුඩා කාලයේ මගේ ක්‍රිකට් වීරයාය. වීරයා කියන නම මේකට හරියටම ගැලපෙනවාද ? නැත. මගේ ක්‍රිකට් ඇරඹු දා සිට මා අනුකරණය කල ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය.
පින්තුරය ගත්තේ : http://cricketique.wordpress.com

දැන් අපේ මාතෘකාව දෙසට හැරෙමු. ඔබ රෝයි ඩයස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැක තිබේද ? ඔබේ පිළිතුර නැත නම් ඔබට කියන්නට තිබෙන්නේ "මේ දෑස මක්කටද ?" කියයි. මන්ද රෝයි ඩයස් ක්‍රීඩා කරනු නොදක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කිරීමේ පලක් තිබේද ? යන්න මගේ සිතට එන ගැටළුවක් නිසාය. ඔබ එක් දහස් නවසිය අසූ ගණන් වල ඉපදුන කෙනෙකු නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ කුඩා ළදරුවෙක්ය. එනිසා ඒවා දකින්නට ඔබට අවකාශ නැත. අද වගේ පඳුරකට එක ගානේ චැනල් ඒ කාලයේ තිබුනේ නැත. රෝයි ඩයස්ගේ ක්‍රිකට් දිවිය 1982 - 1987 අතර කෙටි කාලයයි. එකල අද මෙන් සෑම මාසයකම ක්‍රිකට් දකින්නට තිබුනේද නැත. ඔබගේ පිළිතුර ඔව් නම් ඔබ 1975 ට කලින් ජන්ම ලාභියෙකු විය යුතුය.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

ඒ කෙසේ වෙතත් ඔබ මාවන් අතපත්තු ක්‍රීඩා කරනවා දැක තිබිය යුතුමය. මාවන් අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 2007 වසරේදීයි. ඔහු ගැන නොදන්නා කෙනෙකුද සිටිය නොහැක. නමුත් මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ මාවන් අතපත්තු හෝ රෝයි ඩයස් ගැන නොවේ. රෝයි ඩයස් හා මාවන් අතපත්තු අතර තැබිය හැකි තවත් එවන් ක්‍රීඩකයෙකු ගැනය. රෝයි සහ මාවන්ගේ සමානත්වය ගැන කතා නොකොට ඒ ක්‍රීඩකයා ගැන කතා කල නොහැක.
පින්තුරය ගත්තේ : http://www.espncricinfo.com/

රෝයි ඩයස් යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂනය අතින් ඉහලින්ම සිටින ක්‍රීඩකයා යයි මා බය නැතිවම පවසමි. එයට විරුද්ද වන්න අර්ජුන රණතුංග මහතාටවත් බැරිය. ඔහුගෙන් එම ප්‍රශ්ණය ඇසුවොත් එයට ලැබෙන පිලිතුරද එයම වනු ඇත. මාවන් යනු රෝයිට පමණක්ම දෙවෙනි වන තාක්ෂණික පිතිකරුවා යයි මා පැවසුවොත් එයටද අර්ජුන රණතුංග මහතා එකඟ වනු ඇත. එහෙත් මේ දෙදෙනා අතර තැබිය හැකි, ඒ කියන්නේ මේ දෙදෙනා අතර තිබෙන තාක්ෂණික හිඩැස පිරවිය හැක්කේ චන්දන අමරසිංහටැයි මා පැවසුවොත් මෙහි සිටින ඔබ සැම ඔලුව කසන අතර අර්ජුන රණතුංග මහතා නිකට කසනු ඇත. නමුත් අර්ජුන රණතුංග මහතාට නිසැකවම චන්දන අමරසිංහ ඇස ගැටී තිබිය යුතුය. චන්දන අමරසිංහ යනු මේ දෙදෙනාට අතරමැද කාලයක ක්‍රීඩා කල, මේ දෙදෙනාගේ තාක්ෂණික දක්ෂතාවයන් අතරමැද තැබිය හැකි ක්‍රීඩකයෙකි. රෝයි ඉවත් වුයේ 1987 දී වන අතර මාවන් ආරම්භ කලේ 1997 දීය(පළමුව ඔහු 1990 දී ඇතුලත් කලද සාර්ථක නොවීය). මේ අවුරුදු දහයක කාලය චන්දන අමරසිංහට එතනට එන්නට කදිම කාලයක් වුවත්, කොහේ හෝ ඇති වරදක් නිසා ඔහු අකාලයේ පරවූ තවත් මලක් යයි කිව හැක. 

මා හා එකඟ වන්නට හැකි කිසිවෙක් මේ බ්ලොග් එක කියවනවාදැයි සැක සහිතය. ඔබ චන්දන අමරසිංහ ක්‍රීඩා කරනු දැක ඇත්ද ? ඒ පිළිතුරට ඔව් කියන්නට පුළුවන් කෙනෙකු සිටිනවාදැයි ඔබ දන්නා ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙකුගෙන් අසා බලන්න. චන්දන අමරසිංහ උපත ලැබුවේ බෙන්තොට හබුරුගල නමැති ග්‍රාමයයේය. මට මෙන්ම මගේ දෙමව්පියන්ටද ඔහුගේ පවුල විශේෂ වේ. ඒ මගේ දෙමව්පියන්ගේ විවාහයට සාක්ෂි වශයෙන් අත්සන් කල එක් පුද්ගයෙක් චන්දන අයියාගේ පියා වීමය. ඔහු ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ බෙන්තොට ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩා කල දක්ෂ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකි. ඔහු පසුව සිංගර් සමාගමට එක් වී ක්‍රීඩා කල අයෙකි. එකල සිංගර් සමාගම වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලිය තුල ජයකෙහෙලි නැංවූ කාලයකි. මේ කාලයේම අර්ජුන රණතුංග මහතා යුනියින් ඇෂුවරන්ස් සමාගම වෙනුවෙන් ක්‍රීඩා කල නිසා චන්දන අමරසිංහ සහ ඔහු ක්‍රීඩා කල තරගයක් තිබෙන්නට පුළුවන්. එහෙත් අර්ජුනට ක්‍රීඩකයන් කැඳවීමට හැකියාව ආවේ 1992 පමණ කාලය වන විටයි. මේ වනවිට චන්දන අමරසිංහගේ හොඳ කාලයක් නොවුණු අතර, ඔහු ක්‍රීඩා කලේ සිංගර් ආයතනයට පමණි. චන්දන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා නොකිරීම බලවත් වරදකි. එයට හේතුව මා නොදනිමි. 

ඔහුට ජාත්‍යන්තර තලයට එන්නට නොලැබුණේ ඒ කාලයේම ගාල්ලෙන් බිහි වූ තවත් ක්‍රීඩකයෙකු වූ මිහිර එගොඩගේ නිසා වන්නට පුළුවන්. ඒ කාලයේ පිටස්තර ක්‍රීඩකයින් සංචිතයට කැඳවන්නේ බොහොම සීමිතවයි. චන්දන අමරසිංහ සහ මිහිර එගොඩගේ එකවිට සංචිතයට කැඳවිය නොහැකි තත්වයක් ඒ කාලයේ තිබෙන්නට ඇත. මගේ මතකය අනුව 1983/84 කාලයේ මිහිර එගොඩගේ එංගලන්ත සංචාරයකට ගිය අතර ඉන් අනතුරුව අපගේ බෙන්තොට ක්‍රීඩා සමාජය හා ගාලු ක්‍රීඩා සමාජය අතර තරගයට බෙන්තොට ගාමිණි විද්‍යාල ක්‍රීඩාංගනයට මේ දෙදෙනාම ක්‍රීඩා කළා මට අද වගේ මතකය. මේ දෙදෙනාම හොඳින් ක්‍රීඩා කල අතර, වඩා ප්‍රවේගකාරී පිතිකරු වුයේ මිහිර එගොඩගේය. 

එම සංචාරයට අසංක ගුරුසිංහද අනිවාර්යයෙන්ම සහභාගී වුවා විය යුතුය. එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන ස්ථානය (රෝයි ඩයස් සහ මාවන් අතර) හිමිකම් කීවේ ගුරුසිංහය. ගුරුසිංහ ඇත්ත වශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් මා කතා කරන්නේ තාක්ෂනය අතින්ය. ටෙස්ට් තරගයකට වඩාත් නිවැරදි තාක්ෂනය ඇති ක්‍රීඩකයන් ක්‍රීඩා කල යුතුය. එකල අද මෙන් ටෙස්ට්, එක්දින වෙන වෙනම කණ්ඩායම් තිබුණා නම් සහ අද වැනි හොඳ තත්වයක් පිට පළාත් ක්‍රීඩකයින්ට තිබුණා නම් චන්දන අමරසිංහවද ඔබට දකින්නට ඉඩ තිබුණි. මෙය මගේ මතයක් නොවන බවද සඳහන් කල යුතුයි. ඒ කාලයේ අප ක්‍රීඩා සමාජය හා ක්‍රීඩා කල (ඩේලි නිවුස් කුසලානයට) බොහෝ අනෙක් කණ්ඩායම් වල අයද මේ මතය ඵල කළා මතකය. ක්‍රීඩා කල හැම කෙනෙකුටම ජාතික කණ්ඩායමට එන්නට වරම් ලැබෙන්නේ නැත. එහෙත් එකල ක්‍රීඩා කල ප්‍රමාණය අතර චන්දන අමරසිංහද ශ්‍රී ලංකා ඒ සංචිතයකට වත් එන්නට හැකි ක්‍රීඩකයෙක් බව මගේ විශ්වාසයයි. 

මා කුඩා කල චන්දන අයියා ඇවිදින විදියට ඇවිදින්නත්, ඔහුගේ තාක්ෂණය කෝපි කරන්නත් නිරතුරු උත්සාහ කළා. නමුත් තාක්ෂනය අතින් නම් යම් තරමකට ඉදිරියට එන්නට මට හැකි වුණා. මා ඔහු යනුව යමින් අත් දිග සුදු කමිසයක් මසා ගන්නට කල වෑයම ඔබ කියෙව්වද ?

32 comments:

  1. මාවන්වනම් දැකලා තියෙනවා.ඒත් රෝයි දයස්ලගේ දස්කම් දැකලා නෑ.දැනට ලංකාවේ සිටින හොදම තාක්ෂණික පිතිකරුවා සංගක්කාර නේද ?

    ReplyDelete
    Replies
    1. සංගක්කාරත් මහේලත් එකම මට්ටමේ වගේ ඉන්නේ. අනුෂ්ක පොලොන්නොවිට දැකල තියෙනවනම්, මාවන් අතපත්තු වමතින් බැට් කරනවා වගේ. සංගක්කාරගෙයි මහලේගෙයි කස්ට්මයිස්ඩ් ෂොට්ස් තියෙනවා. ඒ නිසා හොඳම තාක්ෂනය කියන උදාහරණ වලට ගන්න අමාරුයි. නමුත් සමහර පාරවල් නිවැරදිව ක්‍රීඩා කරනවා මේ දෙදෙනාම.

      Delete
  2. රෝයි ඩයස් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒත් නොදන්නා කෙනෙක් ගැන කතා කරන්නෙ කොහොමද...? ඔය වගේ ක්‍රීඩකයෝ අනන්තවත් උන්නා. අපේ පන්තියේ උන්න චින්තකයට බිග් මැච් එකවත් හම්බ උනේ නෑ. ඒ කාලේ අයට මතක ඇති තරික් මරික්කාර්.. ඒත් මම හිතන්නෙ ක්ලබ් එකකටවත් ගැහුවේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත. බොහෝ අය හිටියා. හැබැයි මමත් ටී.වී. එකෙන් හරි 1982 ඉඳලා ක්‍රීඩා කරන බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. ඒ නිසයි මේ ගැන කතා කලේ.

      Delete
  3. රෝයි ඩයස්, චන්දන අමරසිංහ " නොදනිමි..

    ReplyDelete
    Replies
    1. ටෙන් ස්පෝර්ට්ස් වල හිටපු ගමන් පරණ මැච් යනවා පුළුවන් නම් රෝයි ඩයස්ගේ මැච් එකක් බලන්න.

      Delete
  4. රෝයි ඩයස් සහ මාවන් දෙදෙනාම ක්‍රීඩා කරනු නරඹා ඇත්තෙමි.නමුත් ඔබේ වීරයා වූ චන්දන ගැන මගේ මතකය අවදි නොවේ.
    ගුරුසිංහ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ වඩාත්ම තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවා නොවේද

    ReplyDelete
    Replies
    1. උසින් ඉතා වැඩි ක්‍රීඩකයන් තාක්ෂණයට වඩා උස භාවිතා කර ගන්නවා. ගුරුසිංහ, මයිකල් වැන්ඩොර්ට්, මුබාරක් වගේ අයට උස නිසා තාක්ෂනය එතරම් වැදගත් නෑ.

      Delete
  5. චන්දන අමරසිංහ කෙනෙක් ගැනනම් මේ ඇහුවමයි..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඒ වගේ අයට ප්‍රසිද්ධිය ලැබුනේ නෑ.

      Delete
  6. මේ අයගෙන් ක්‍රීඩා කරනවා දැකලා තියෙන්නේ මාවන් අතපත්තු පමණයි! මොකෝ මම 90 දශකයේ නිසා... බලන්න ඕනේ කිව්වා වගේ පරණ මැච් එකක් රෝයි ඩයස්ගේ පිති හරඹය බලන්න...

    ReplyDelete
    Replies
    1. දැන් බැලුවොත් නම් හිනා යන්නත් පුළුවන්. මම යූ ටියුබ් එකත් සර්ච් කරලා බැලුවා. තිබුනේ නෑ.

      Delete
  7. "Niroshan Bandaratillaka" "Murali" ge ganata hitapu spinner kenak "England" tour ekakdi una dayak nisa cricket walin ayin kara kiyala ahala tiyanawa.
    waradi nam niwardi karana.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ආරංචියක් තියෙනවා. ඒත් සත්‍ය අසත්‍ය ගැන හරි තහවුරුවක් නෑ. කෞෂාල් ලොකුආර්ච්චිට නම් මෙහෙදී වුණ රිය අනතුරක් නිසා තාවකාලිකව ඉවත් වෙන්න වුණා. පස්සේ ආවත් තැන ස්ථිර කර ගන්න බැරි වුණා. මොනවා වුනත් ඒ අය එක දවසක් හරි ලංකාවට සෙල්ලම් කළා.

      Delete
  8. රෝයි ඩයස් සහ මාවන් දෙදෙනාම ක්‍රීඩා කරන ආකාරය දැක තිබේ. චන්දන ගැන නොදනිමි.

    මහේෂ් ගුණතිලකත් මා ප්‍රිය කල ක්‍රීඩකයෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද ? මහේෂ් ගුණතිලක කියන්නේ ලංකාවෙන් බිහි වූ හොඳම කදුළු රකින්නේ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔයත් ක්‍රිකට් වලින් හොදතැනකට යන්න පුළුවන්කම් තිබුන ක්‍රීඩකයෙක් කියල මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම පුංචි කාලේ ඒ වගේ අනාවැකි පල කරපු අයත් හිටියා.

      Delete
  11. මට මේ බ්ලොග් එකට එන ගොඩක් වෙලාවට හිතෙන දේ තමයි
    සුදීක අය්යා නම් පුදුම ක්‍රිකට් පිස්සෙක් කියලා.. :D

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩාක් අඩුයි. ඉස්සර නිවාඩු අරගෙන මැච් බලන්නනේ.

      Delete
    2. මටත් එහෙම හිතුනා.
      He walks cricket, he talks cricket, he eats cricket, he drinks cricket, he sleeps...

      Delete
  12. රෝයි ඩයස් ගැන දන්නවා.එත් චන්දන අමරසිංහ ගැන දැන ගත්තේ අද.

    ReplyDelete
    Replies
    1. මට ඕන වුනේ කවුරුහරි එයා ක්‍රීඩා කරනවා දැකපු කෙනෙක් ඉන්නවද බලන්න.

      Delete
  13. තාක්ෂණයෙන් පිරිපුන් පන්දු යවන්නෝ දැන් අපේ කණ්ඩායමේ නැතිද....?

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටන දෙයක්. දැන් අය තමන්ගේ තාක්ෂණය ටිකක් එහාට-මෙහාට කරනවා පිතිකරු තුල කුතුහලයක් ඇති කරන්න. තාන්ක්ෂණයෙන් පිරිපුන් පන්දු යවන්නන්ට පහරදීම පහසුයි.

      Delete
  14. මම රෝයි ඩයස් සෙල්ලම් කරන වීඩියෝ එකක් බලල තියෙනවා. හිටපු ගමන් පරණ මැච් පෙන්වනකොට. ඔබගේ යාලුවනම් දන්නෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. මම YouTube එකෙත් බැලුව, තිබුනේ නෑ. නැත්නම් එය බලන්නම වටිනා එකක්.

      Delete
  15. මම ක්‍රීඩා ගැනනම් ඒතරම් දන්නෙ නෑ. ඉඳහිටල ඇහැ ගැහුනොත් බලනවා. ඒත් රොයි, සිදත්, රොමේෂ් ක්‍රීඩාකළ යුගය ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වෙලා තිබුණා

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඒ කාලේ ක්‍රීඩා කලේ හොඳ මහත්වරු. ඒකත් හරියට දැන් ඉන්න සම්භාව්‍ය ගණයේ ගායකයන්ට වඩා ජෝතිපාල ගැයූ ගීත හොඳ වගේ තමයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...