Wednesday, January 16, 2013

පින්සල් මිටිය.

පින්තුරය ගත්තේ : laurakhorton.wordpress.com
මෙය කුමන අවුරුද්දක දකින්නට ලැබුන දර්ශනයක්දැයි හරියට නිනව්වක් නොමැත. එහෙත් 2005/2006/2007 යන අවුරුදු තුනෙන් එකක විය යුතුය. මා 176 බස් රථයක ඉදිරිපස අසුනකට බාරදී කල්පනාවකට වැටී සිටි මොහොතකි. තවත් බස් හෝල්ට් කීපයකින් පසු නිවසට ලඟා විය හැකි මුත් බස් රථ ගමන් කරන්නේ අපට උවමනා වේගයෙන් නොවේ. වායුසමනය නොකළ බස් රථයක තිබෙන දැඩි උෂ්ණත්වය ගැන ලංකාවේ කෙනෙකුට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. සෙනග පිරී ගිය බස් රථයේ අධික උෂ්ණත්වය දරා ගන්නට නොහැකිව දහදියෙන් තෙත් වූ කමිසයෙහි උඩ බොත්තම හැර ජනේලය දෙස බැලුවෙමි. එය සම්පූර්ණයෙන් හැර තිබුනත් එයින් එන සුළං ප්‍රමාණය මෙහි සිටින සියලු දෙනාගේ දාහය නිවා දැමීමට ප්‍රමාණවත් නැත. බස් රථය නුගේගොඩ සුපර්මාර්කට් ගොඩනැගිල්ල අසල ඇති බස් නැවතුමේ නතර වූ පසු එහි සිටි අයගෙන් භාගයක්ම බැසගිය අතර ඊට තවත් කොටසක් බසයට එක් විය.

අවසාන මගියා ලෙස බස් රථයකට ගොඩ වූ පුද්ගයලා තම අත වූ ඉටි බෑගයෙන් පින්සල් මිටියක් අතට ගත්තා. "දැන් බස් වලත් පින්සල් විකුනනවා එහෙනම්" යන්න මගේ සිතට ක්ෂණිකව ආ සිතිවිල්ලයි. නමුත් ඒ සිතිවිල්ල වැරදි බව වටහා ගන්නට ගත වුනේ තවත් තත්පර කිහිපයකි. එම පින්සල් මිටිය වමතෙහි ගුටි කරගත් පුදගලය කථා කරන්නට පටන් ගත්තා. මුලින්ම මගේ ඇස යොමු කලේ මේ පුද්ගලයාගේ භාහිර ස්වරූපය දෙසයි. එය මා සාමාන්‍යයෙන් කරන දෙයක්. ඕනෑම කෙනෙකුගේ භාහිර ස්වරූපයෙන් ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය ගැන යම් අවුබෝධයක් ගන්න පුළුවන්. කිලිටි නොවුවත් ඉතා පරණ අත් කොට කමිසය ඔහුගේ ආදායම් මට්ටම ගැන යම් තීන්දුවකට පැමිණීමට ප්‍රමාණවත්ය. කලිසමද ඊට දෙවෙනි නැත. බොහෝ කාලයකින් අයන් එකක් මේ ඇඳුම් දෙක මතින් ගොස් නැත. රබර් සෙරෙප්පු දෙක හා දූවිලි පිරී ගිය දෙපා සහ ඔහුගේ විඩාබර මුහුණ ඔහු මාර්ගයේ හෙම්බත් වූ කෙනෙකු බව පැහැදිලි කළේය. බසයට ගොඩ වන වෙළෙන්දන් සහ හිඟන්නන් මගියාට ඇති කරන්නේ පුදුම කරදරයකි. මේ තවත් එවැන්නෙක්ද ? මා සමාන්යනේ මෙවැන්නන් බස් රථයට ගොඩ වූ විට බස් රථයෙන් එලියට අවධාය යොමු කරතත් අද මොහු දෙස බලා සිටියේ මෝහනයට පත් වූ කලක මෙනි. ඔහු කතා කරන්නට පටන් ගත්තා.

නෝනාවරුනි මහත්වරුනි තමන්ගේ වැඩ රාජකාරි කරලා ගෙදර යන වෙලාවේ ඔබතුමාලගේ දෙපා ලඟට ඇවිත් මෙහෙම කරදර කරනවාට සමා වෙන්න. ඉස්සර මගේ අතේ යහමින් මුදල් ගැවසුනා. අද මෙහෙම බස් එකකට ගොඩ වෙලා ඔබතුමාලා ඉදිරියේ මගේ දුක කියලා ලැබෙන සුළු මුදලින් තමයි මගේ මුළු පවුලම ජීවත් වෙන්නේ. මහත්තයෝ මම දරුවෝ දෙන්නෙක්ට උගන්වන්නේ ඔබතුමාලා දෙන පුංචි ආධාරයෙන්. මීට අවරුදු දෙක තුනකට කලිනුත් මම කරේ චිත්‍ර අඳින එක. ඒ කියන්නේ බෝඩ්, කටවුට්, බැනර්, පෝස්ටර්. අර පෑලියගොඩ තියෙන ලොකු බෝඩ් එකේ අලවන පෝස්ටරේ  ඇන්දේත් මම. ඒ දවස් වල එකක් ඉවර වෙන්න එකක් වැඩ, ඉවර කරගන්න බෑ. රෑ දවල් දෙකෙක්ම වැඩ. චිත්‍රපටිද, ටියුෂන් සර්ලගෙ වැඩද හැම එකම තිබුනා. ඒත් මහත්තයෝ පහුගිය අවුරුදු දෙක තුනේ ඉඳල වැඩ එන්න එන්න අඩු වුණා. ඒත් මම කරගෙන ගියා දන්නා ශිල්පෙ මේකනේ. දැන් නම් වැඩ එන්නේම නෑ. කඩ කුලිය ගෙවා ගන්නත් මදි. තීන්ත පින්සල් ඒවගේ ගණන් දැක්කම මේ රස්සාව කරන්නේ කොහොමද කියලා හිතෙනවා. දැන් ඔක්කොම කරන්නේ කොම්පියුටර් වලින්නේ. අපි පාරට වැටුනා. ඔබ තුමාලා දෙන සත පනහා රුපියල තමයි අද මගේ දරු පවුල ජීවත් කරන්නේ. ඔබතුමාලාට ජය වෙන්න ඕනේ.

මගේ දෑසට කඳුලක් ගලා ආවා. මා මොහොතක කල්පනාවට වැටුනා. දැන් හැම තැනම ග්‍රැෆික් ඩිසයිනින් වලින් තමයි වැඩ කර ගන්නේ. ෆොටෝෂොප්, කොරල් ඩ්රෝ මෙකී නොකී පැකේජ් වලින් අද පාසල් යන වයසේ කොල්ලෝ කෙල්ලෝ වැඩ පෙන්න යුගයක්. මේ වගේ සාම්ප්‍රදායික චිත්‍ර කලාවට වැලේ වැල් නැති වෙලා ඇති. ඇත්තටම මේක චිත්‍ර කලාවම නෙවේ. 

මම උඩ සාක්කුවේ තිබු මුදල් ගැන බැලුවෙමි. රුපියල් දහයේ විස්සේ කොළ කිහිපයක් තිබුණි. සියල්ල ගුටි කර අර පුද්ගලයාගේ අතේ තැබුවෙමි. ඔහු මා පසුකර ගියේ බොහෝ වෙලාවක් පින්දීමෙන් අනතුරුවයි. මා නැවතත් කල්පනා කරන්නට පටන් ගතිමි. ඇත්තටම මේ මිනිසුන් දැන් මොනවා කරනවා ඇත්ද? ඉස්සර මේ වගේ වැඩ වලින් ඉතා හොඳ ජීවන තත්වයක් ලඟා කරගත් මිනිසුන් කී දෙනෙක් සිටියාද? මගේ මතකයට මුලින්ම ආවේ අලුත්ගම පොළ අසල නිවාස පුරා චිත්‍ර පුරවාගෙන සිටින ලයනල් පෙරේරා චිත්‍ර ශිල්පියාවයි. මගේ පියා හඳුනන පුද්ගලයෙකු වූ ඔහුගේ නිවසට අප ගොඩ වදින්නේ පොලේ ගිය විට බයිසිකලය නැවත්වීමට තාත්තා යන්නේ එම නිවසට බැවිනි. කුඩා කල සිට චිත්‍ර ඇඳීමට ආශා කල මම එහි ගිය විට දෑස් අයාගෙන එහි තිබෙන චිත්‍ර දෙස බලා සිටින්නේ තාත්තා පොලට ගොස් බඩු ගෙන එන අතරතුරය.  ඊළඟට මගේ මතකයට ආවේ කළුතර කටුකුරුන්දේ ප්‍රිස්කා සිනමා ශාලාවේ පෝස්ටර ඇඳීමෙන් තමන්ගේ ටියුෂන් ගාස්තුව සොයාගත් අපේ පන්තියට ආ ගැහැණු ළමයෙකි. තවත් දිනක මගේ මිත්‍ර ප්‍රසාද් පාසලට රැගෙන් ආ අපූරු වීදුරු කැබලි කිහිපය අහසට අල්ල අල්ලා බැලුවෙමු. එහි තිබෙන්නේ කළුතර තිබෙන සිනමා ශාලාවල විවේකය වෙලාවේ ප්‍රදර්ශනය කරන දැන්වීමය. ව්විද වර්ණ වලින් ලියා කළු පාටින් පසුබිම වර්ණවත් කර ඇත. සමහර දිනවල මේවා ඇල වේ, තවත් දිනක උඩ යට මාරු වේ. දැන් හේතුව පැහැදිලිය. 

අද මුද්‍රණ කර්මාන්තය තනිකරම පරිඝනකය ආධාරයෙන් සිදු වේ. බැනර් කටවුට් ස්ටිකර් මේ සියල්ල නිර්මානයා කරන්නේ පර්ඝනයක් ඉදිරියේ ඉඳගත් කොලුගැටකි. ඔවුන්ට ලැබෙන ආදායමක්ද නැත. මේවාගේ මුදල් උපයන්නේ එම මුද්‍රණය ආයතනය හිමි පුද්ගලයාය. එකල මැරුණු කෙනෙක්ගේ චායාරුපය විශාල කර අඳින්නේ ගමේ හෝ නගරයේ සිටින චිත්‍ර ශිල්පියාය. අද සියලුම ස්ටුඩියෝ වල ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් මේවා කදිමට ප්‍රතිනිර්මාණය කර දෙයි. ඒවාට සුපිරි මිලක්ද අය කරයි. අවාසනාවකට් වෘත්තීය චිත්‍ර ශිල්පීන්ගේ සංගමයක් තිබුනේ නැත. නැත්නම් මේවා එනවිට ඔවුන්ටද රට පුරා වැඩ වර්ජනය කර මේවා වලක්වන්නට ඉඩ තිබුණි. මේ කාරණය නිසාම කැන්වස් රෙද්දේ චිත්‍ර අඳින සුපිරි පැලැන්තියක් යෙහෙන් වැජඹේ. ඔවුන්ගේ චිත්රයක අවම මිල ආරම්භ වන්නේ රුපියල් හතලිස් දාහක් වැනි සුළු මුදලකිනි. 

මෑතකදී අපේ සෑමා ලියූ පොස්ටුවක මෙවැනි චිත්‍ර අඳින තරුනයෙකු ගැන සඳහන් කර තිබුණි. එහෙත් එවැනි තරුණයෙකුගේ චිත්‍ර වලට අර කියූ ඉල්ලුම නැත. රුපියල් දෙදාහකට හෝ ඒවා විකුණා ගත නොහැක. හොඳ මිලකට ඒවා විකුනන්නේ නමක් දිනාගත් චිත්‍ර ශිල්පීන්ය. ඔවුන් නම හදා ගන්නේ ලයනල් වෙන්ඩ්ට් වැනි තැන් වල චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමෙනි. ඒවාට පෙර කියූ තරුණයා වැනි අයට අවස්තාවක් නැත.

ලෝකයෙන් එන ඕනෑම කුණු ගොඩක් කර පින්නාගෙන යන ශ්‍රී ලංකාවේ මෙසේ වීම පුදුමයට කරුණක් නොවේ. අද ග්‍රැෆික් ඩිසයින් කරන තරුණ පරපුරේ කී දෙනෙක් තුල චිත්‍ර ශිල්පීන් සිටිනවාදැයි නොදනිමු. අන්තර්ජාලයෙන් සොයා ගන්න චිත්‍රයකට අකුරු ටිකක හැඩ වැඩ කර එකතු කර ඔවුන් ශිල්ප දක්වයි. එහෙත් ඩිජිටල් ආර්ට්වර්ක් එකක් කල හැක්කේ ස්වල්ප දෙනෙකුටය. ඒ සඳහා වෙනමම උපකරණ ඇත. එසේ නමක් දිනා සිටින පුද්ගලයෙකි සිසිර විජේතුංග. ඔහු කැසට්, සීඩී, පොත් පිටකවර නිර්මාණය කරයි. මා දන්නාපරිදි බ්ලොග් කරුවකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතාද ඩිජිටල් ආර්ට්වර්ක් උගන්වයි.

මෙම පැකේජ් වල දියසායම් චිත්‍ර, පැස්ටල් චිත්‍ර, පැන්සල් කුරුටු, අඟුරු කුරුටු ආදී දේ ජනය කිරීමට මවුස් ක්ලික් කිහිපයකින් සිදු කල හැක. ඔබගේ සාමානය චායාරුපයක් ඉහතකී ආකාරයට තත්පර ගණනකින පරිවර්තනය කල හැක. 

ගම් ප්‍රදේශ වලට වන්නට තවමත් චිත්‍ර ශිල්පීන ස්වල්පයක් තම කටයුතු කරගෙන යයි. යාපනය ප්‍රදේශය හොඳම උදාහරණයයි. එහෙත් මේවා වෙනස් වීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අපගේ කුඩා දරුවන් රැක ගැනීමට නම් ඔවුන්ට කුඩා කාලයේ හැකි තරම් කඩදාසියේ චිත්‍ර ඇඳීමට සැලැස්විය යුතුය. මෙම පැකේජයක් තුලට නිර්මාණශීලීත්ව එකතු කර එවන නිසා ඒවා භාවිතයෙන් නිර්මානශීලේත්වය මොට වීම නැවැත්විය නොහැක. තව කාලයකදී රටින් එන පොටෝෂොප් ගණයේ පැකේජයක සාඩම්බර ඔපරේටර් වරු සිටින හොඳම රට ලංකාව වනු ඇත. 

ප.ලි. : අද 2013/01/18 මම පැගෝඩා එකට ගියා. එය පෙර තිබුනාට වඩා ඉතා අනර්ඝ ලෙස නවීකරණය කරලා. එහි ඉතා වටිනා පින්තුර එල්ලා තිබෙනවා. ඒවා චිත්‍ර ලෙස පෙනුනත් මුද්‍රණය කල ඒවා බව වටාහාගන්න පුළුවන් චිත්‍ර කිහිපයක් බැලුවම. මොකද එකම වර්ණයකින් තමා මේවා ඇඳ තිබෙන්නේ. මෙය හොඳම උදාහරණයක් තමයි ග්‍රැෆික් පැකේජ් ආධාරයෙන් චිත්‍ර ලෙස පරිවර්තනය කිරීමට. නමුත් චිත්‍ර ශිල්පියකුගේ නමක්ද එහි සඳහන්. 

54 comments :

  1. මේක ටිකක් එක විදියක ප්‍රශ්නයක් සුදීක...

    කලාකාරයින් හුග දෙනෙක් ආර්ථික කලමණාකරණය අතින් දුර්වලයින්... ඒ අතරින් කිහිප දෙනෙක් තමයි කලාවයි ආර්ථිකෙයි දෙකම බැලන්ස් කරලා කරගෙන යන්නේ... ප්‍රෙඩී සිල්වලා..ලතා වල්පොලලා වැනි අය දිහා බැළුවම ඕන තරං කතා මතක් කර ගතෑකිනේ..

    අනිත් අතින් කලා කාරයා අනාගතය දකින්නෙක් එහෙමත් නැත්තං ජනතාවට පෙරටුව ගමන් කරන්නෙක් කියලයි සැලකෙන්නේ. හැබැයි ඒ පෙරටුගාමියා තුල තමාගේ අනාගතේ නොදැක මායාවක සිරවී සිටීමත් අරුමයක්...

    හුගාක් දුක කියන කලාකරුවන් සිය ජිවිතයේ හොඳම කාලයේදී නිසි ආර්ථික කලමණාකරණයක් නොකල අය වගේම තමන්ගේ කලාවේ අනාගතය ගැන අවබෝධයක් නැතිව කටයුතු කරන අය කියලයි මට හිතෙන්නේ...

    ඔබ ඔය කිව්ව ඉන්ද්‍රනාථ අයියලා වගේ අය නිතරම පරණ රාමුවේම කොටු වෙවී දන්න දේ විතරක් කරමින් ඉන්න අය නෙවෙයි.. එයාලා තාක්ෂණයත් එක්කම ඉස්සරහට යන අය...

    එහෙම බැළුවාම පින්සල් මිටිය අතින් ගත්ත හාදයා අපිට කියන්නේ මොන වගේ කතාවක්ද..?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මට නම් පරිඝනක භාවිතයෙන් කරන චිත්‍ර නිර්මාණයේ වරදක් පෙන්නේ නැහැ. :)

      පළමුව බලමු මේ චිත්‍ර ශිල්පියා දෙස. සංවර්ධනය වෙන රටක , නව තාක්ෂනය , නිර්මාණ ශිල්පිය ක්‍රම දවසෙන් දවස වෙනස් වෙන , දියුණු වෙන යුගයක තමන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඒ ඔස්සේ යෙදවුවේ නැති , යාවත්කාලින කර ගත්තේ නැති මිනිස්සුන් ඩයිනසෝර්ල වඳ වෙලා යනවා වගේ වඳ වෙලා යනවා. ඕකට අර ස්වභාවික වරණයද කොහෙද කියල කියනවා නෙව.

      මාරයා අයිය කිව්වා වගේ "තමන්ගේ කලාවේ අනාගතය ගැන අවබෝධයක් නැතිව කටයුතු කරන" , වෙනස්වෙන ලෝකය , තාක්ෂනය , තම කලාවේ අනාගතය ගැන අනවබෝධයෙන් කටයුතු කරමින් තම දැනුම , හැකියාවන් යාවත්කාලින කර ගත්තේ නැති මිනිස්සුන් තමන්ට ඇති ඉල්ලුම නැතිවිගිය කල හිඟා කනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ?

      ග්‍රැෆික් ඩිසයින් ඔපරටර්ට්ස් ල හින්ද දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ තැන නැතිවෙලා ගිහිල්ල නැහැ. ඇත්තටම කියනවා නම් ඔවුන්ට ඇති ඉල්ලුම ඉස්සරටත් වඩා වැඩියි. වෙලා තියෙන්නේ ඔවුන් වැඩ කරන මානයන් සහ උපයෝගී කරගන්න උපාංග වෙනස්වීම පමණයි. ඉස්සර පින්සලට තිබ්බ තැන දැන් තියෙන්නේ ග්‍රැෆික් ටැබ්ලේට් එකට. පරිඝනක භාවිතය නිසා ඔවුන්ගේ කාර්යක්ෂම තාවයත් ඉහල ගිහිල්ල. දක්ෂයට කොතනත් තැන හා ඉල්ලුම තියෙනවා.

      Delete
    2. මෙහෙමයි මෙතන කාරණා දෙකක් තියෙනවා. ඔය කියන චිත්‍ර ශිල්පියා පරිඝනක කරණයේ සංක්‍රාන්ති සමයට අහු වුන කෙනෙක්. එතකොට එයාට පරිඝනකයක් භාවිතා කරන්න පටන් ගත්තත් ප්‍රවීනතාවක් දක්වන්න පුළුවන් වයස් සීමාවක නොවෙයි ඉන්නේ. මම බැංකුවේත් මේක අත් දැකල තියෙනවා පරණ ඇය පරිඝනකයට පවා බයයි. පින්සලට අත හුරු කරගෙන ඒ මගින් කඩදාසිය හෝ කැන්වස් එක මත චිත්‍රයක් ජීවමාන කරන්න තියෙන නිපුනතාව කොහොමද පරිඝනකයකට අලුතෙන්ම බැහැපු කෙකෙන්ට එන්නේ ?

      අනිත් කාරණය තමයි ඒවායේ තිබෙන ටූල්ස් භාවිතයට දක්ෂකමක් දැක්වීම, ඒ ගැන නිසි දැනුම මගින් සාමාන්‍යයෙන් අඳිනවාට වඩා දෙයක් කරන්න පුළුවන්.ඇත්තටම මේවගේ තියෙන්නේ පැකේජ් එක හදපු කෙනාගේ දක්ෂතාව.

      මාරයා කියන ආර්ථික කලමානකරණ දුර්වලතාව මම පිලි ගන්නවා.

      Delete
  2. අපේ පැත්තෙත් කටවුට් බැනර් අඳින කෙනෙක් ඉන්නවා. එයාටත් අත්වෙලා තියෙන්නේ මේ ශෝචනීය ඉරණමම තමා. ඒත් එයා මේ වැඩ කරන ගමන් චිත්‍ර ශිල්පයත් හොඳට කරන නිසා ඒ පැත්තෙන් වැඩ තියෙනවා. පහුගිය අවුරුද්දේම ඉන්දියාවේ පන්සලක චිත්‍ර අඳින්න එයා ගිහින් හිටියා. ඒකේ වැඩවලු දැන් අන්තිම ටිකලු යන්නේ. ඊළඟට අපේ පන්සලේ අලුත් විහාර මන්දිරයේ චිත්‍ර අඳින්න එයා පටන් ගන්නවා....

    මාරයා කිව්වා වගේ තාක්ෂණයත් එක්ක එයාලා ඉදිරියට ගියා නම් හොඳයි. ඒත් දැන් ප්‍රමාද වැඩියි

    ReplyDelete
    Replies
    1. හසිත මේ කතාව කිව්වම මතක් වුනේ, මම මේ ළඟදී දැක්ක ෆ්ලෙක්ස් එකේ ප්‍රින්ට් කරලා ගහපු තොරණක්.

      Delete
  3. ඉස්සර හිටියා මේ පැත්තේ චිත්‍ර කතා එහෙමත් ඇන්ද පොරක් . වැඩ සුපිරිම සුපිරියි. පොරටත් දැන් වැලේ වැල් නැ

    ReplyDelete
    Replies
    1. චිත්‍රකතා ලියාගෙන යත්දී මිනිහට හිතෙන්න නැතුව ඇති කවදාවත් මෙහෙම වෙයි කියලා.

      Delete
  4. මේක තාක්ෂනේ වරද කියන්න බෑ. මනුස්සය තාක්ෂණේ එක්ක ඉස්සරහට යන්නැති එකයි වරද.
    අපි ඒ ලෙවල් කරන කාලෙ ටියුට් දුන්නෙ රෝනියෝ කරල. දැං රෝනියෝ මැෂිමක් හොයාගන්නවත් නෑ. දැං ඩුප්ලෝ නැත්තං ඔෆ්සෙට්. ඒ කාලෙ මෙහේ තිබුන එක කඩේක විතරයි රෝනියෝ මැෂිමක් තිබුණෙ. මිනිහත් ඔය වගේ ඉස්සරහට ගියේ නැති හින්ද අන්තිමට කඩේ වහන්න උනා.

    ReplyDelete
    Replies
    1. හරි ඔයා කියන්න බලන්න රෝනියෝ අතින් ලියපු මිනිස්සුන්ට මොකද වුනේ කියල. කොටින්ම ටයිප් රයිටර් කරපු අයට මොකද වුනේ කියලා ? ඉස්සරහට යන්න පුළුවන් මුදලාලිලාට පමණයි. පරණ මැෂිම විකුනලා අලුත් මැෂිමක් ගත්තා, අලුත් සේවකයෝ ගත්තා. එයා ගොඩ.

      Delete
    2. සුදීක කියන ඒවගෙත් ඇත්තක් තියනව

      Delete
  5. තාක්ෂනයට දොස් කිලා වැඩක් නෑ. කලාත්මක ඇහැක් නැති කෙනෙකුට හොද ග්‍රැෆික් ඩිසයිනින් කෙනෙක් වෙන්න බෑ.
    තාක්ෂණයත් එක්ක ඉස්සරහට නොගියොත් අපි පරදිනවා. මාරයා කිව්වා වගේ දුරදිග බලලා වැඩ කරොත් ඔය කාටවත් වරදිනනෙ නෑ. හණමිටි අදහස් ඔලුවේ තියාගෙන දියුණු වෙන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ අද ඊයේ චිත්‍ර ඇඳපු කෙනෙක් ගැන නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ චිත්‍ර ඇඳලා අවුරුදු 40ක් 50ක් වෙන කෙනෙක් එක පාරටම ග්‍රැෆික් ඉගෙන ගෙන ඒවායි චිත්‍ර අඳිනවා කියන්නේ හාස්කමක් වගේ දෙයක්. ඔන්න අවරුදු 18ක වගේ තරුනයෙකුටනම් ඕනෑම අවදානම අරන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්.

      Delete
  6. සුදීක සමහර පුද්ගයයන් තාක්ෂණයත් එක්ක අප්ඩේට් වුණා. ඒ අය අදත් ඉතා හොඳින් වැඩ කරනවා.අපේ කාර්යාලයේ ඉන්නවා පීරිස් අයියා කියලා පොරක්.එයා ගේ සර්විස් එක දැන් අවුරුදු 40ත් පැනලා.සේවයට එක් වෙලා තියෙන්නේ ලඩ් ලෝ කියන පැරණිම මුද්‍රණ ක්‍රමය තියෙන කාලේ. කාලෙත් එක්ක එය ඊයම් යුගය, ලෙටර් ප්‍රෙස් යුගය,පේස්ට් අප් යුගය පසු කොට අද ඉන්ඩිසයින් යුගයට ඇවිත් තියනවා. මේ වයසක පොර තමා අදත් පිටුවක් සැකසීමේ දී ඉන්න සුපිරිම පොර.මිනිහා හැමදාම අප්ඩේට්.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. මොකද එයාට හැම ජෙනරේෂන් එකකම තාක්ෂනය එක්ක ගියාන් නිසා ඊළඟ පියවර අපහසු වෙලා නෑ. ඒත් අතින් චිත්‍ර ඇඳපු කෙනෙක්ට පරිඝනකය හසුරවන එක ලේසි නෑ නේද?

      Delete
  7. ලෝකේ ඉස්සරහට යන්න අලුත් දේවල් ඕනි. අලුත් දේවල් වැළඳ ගෙන තමා දන්න ඩේ අලුත් විදියට කරන අය ඉස්සරහට යනවා. අනිත් අයට වෙන්නේ නවතින්න. මොකද මේක ලොකු තරගයක්. කාටවත් බෑ කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හරි ඔයාලට මතක ඇති Y2K ප්‍රශ්නේ. එතනදී බොහෝ බැංකු පෙර සුදානමක් ඇති කර ගත්ත පරිඝනක පද්දති සම්පූර්ණයෙන්ම අක්‍රිය වුනොත් අත්හුරු ක්‍රමයට ලෙජර් ෂීට් ලියන්න. මේ ප්‍රශ්නය ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවට තදින්ම ඇති වුණා. හේතුව එහි සේවකයෝ කිසි දිනක මැනුවල් වැඩ කරලා නෑ. දැන් නිකමට හිතන්න මේ පැකේජ් පැත්තක තියල අතින් මේ දේවල් කරන්න දවසක සිදු වුනොත් අපේ ඇයට පුලුවන්ද ආපස්සට යන්න ? තනිකරම ඒ මත යැපෙන කොටසක් වුනාම, ඒ ඇය ගහන පදයට නැටවෙන්නෙක් වෙන්නේ නැත්ද ? එයාල අත ඇරියොත් මේ පැකේජ් එවිල්ල අපිට මොකද වෙන්නේ?

      Delete
    2. අපි ඔක්කොමල දැන් යැපෙන්නේ පරිගණක පැකේජ් මත එක ඇත්ත එත් එකපාරට ඔය ඔක්කොම නතර උනොත් අපි වඩා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මටත් තියනවා. office එකට යන්න ඕනි නෑ. අපේ ගෙදර උනත් ඔය ටිකම තමා. අයන් එක කැඩුනොත් මොකද කරන්නේ ගෙවල කීයක පොල්කටු අයන් තියනවද? ඉලෙක්ත්රික් අයන් ආපු ගමන් පොල්කටු අයන් එකට ආයුබෝවන් කිව්වා. මේක පොඩි උදාහරණයක්. ගොඩක් ක්ෂේත්‍ර වල උනේ ඕකයි දැන් එක ගැන හිතන්න ඕනි මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ කියල.

      Delete
  8. මෙතන ග්‍රැෆික් ඩිසයින් කියන්නෙයි චිත්‍ර ඇදීම කියන්නෙයි දෙකක් සුදීක අයියේ..

    ඇත්ත.. බැනර්, කටවුට්, පෝස්ටර් ඇඳපු අයට වැලේ වැල් නැති උනා ..ඒක ඇත්ත... ඒ ව‌ෙග්ම ඩිජිටල් ප්‍රින්ටින් ආවම ඕෆ්සෙට්, සික්‍රීන් ප්‍රින්ටින් වලටත් ලොකු පාරක් වැදුනා... ඕවා තාක්ෂණික දේවල් විතරයි...

    ග්‍රෑෆික් ඩිසයිනින් කියන්නේ වෙනස්ම දෙයක්.... සො‌ෆ්ට්වෙයාර් ටික දාගෙන, ටූල්ස් ටික අල්ලගත්තම අපේ රටේ ග්‍රෑෆික් ඩිසයිනර් කෙනෙක් කියලා හිතනවා.. ඒත් ඒකේ ඊට වඩා ලොකු දෙයක් තියෙනවා.. ඒකත් ලොකු කලාවක්.. ඒ ව‌ගේම අංශ කීපයක දැනුම අවශ්‍යයි... චිත්‍ර ශිල්පියෙක් නොවුනත්, චිත්‍ර ශිල්පය ඇඟේ නැති කෙනෙක්ට සාර්ථක ග්‍රෑෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ආමාරුයි.. මේක ලොකු කතාවක් සුදීක අයියේ. මං කෙටියෙන් කිව්වේ...

    චිත්‍ර ශිල්පීන්ට උනත් තාක්ෂණිකව පාවිච්චි කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා මේ වෙනකොට... ඒ වගේම ඉස්සර වගේ චිත්‍ර වලට වෙළඳපොළක් හදන්නත් ඒ තරම් අමාරුවක් නෑ තාක්ෂණය පාවිච්චි කරනවා නම්.. ඒත් අපේ ගොඩක් ශිල්පීන් තාක්ෂණයට බයයි... අන්න ඒකයි ඔතන තියෙන ලොකුම ප්‍රශ්නේ..

    මෙතනදි චිත්‍ර ශිල්පීන්ටම තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ කියලා එකක් නෑ.... එයාලගේ දැනුම,පළපුරුද්ද තමයි අවශ්‍ය තාක්ෂණයත් එක්ක එකතු කරන්න... හොඳ පරණ චිත්‍ර ශිල්පියෙකුයි, කම්පියුටර් දන්න අලුත් පරම්පරාවේ කෙනෙකුයි එකතු උනා නම් එතන හොඳම නිර්මාණයක් බිහි වෙනවා... ඒත් ඔය සමහර ශීල්පීන් තරුණ අයත් එක්ක වැඩ කරන්න, ශිල්පය දෙන්න අකමැත්ත නිසත් පස්සට යනවා සමහර වෙලාවට.. එහෙම නම් හරි යන්නේ නෑ ඉතිං...

    ReplyDelete
    Replies
    1. මෙතන වුනේ අර මිනිස්සු ජීවත් වෙන්න තියාගෙන හිටිය සබ්ජෙක්ට් එක වැඩේ සෙට් වුන එකනේ.

      Delete
    2. //චිත්‍ර ශිල්පය ඇඟේ නැති කෙනෙක්ට සාර්ථක ග්‍රෑෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ආමාරුයි.//
      හිරුවට වුණෙත් මේකමද මන්දා...

      Delete
  9. ලෝකෙ දියුණු වෙද්දි ඕවා ඔහොම වෙනවා නේද ? ගමට පාලම එනකොට තොටියා දැනගන්න ඕනා ඒ විදිහට අනුවර්තනය වෙන්න. නැතුව පාලම දැම්මට පස්සෙත් ඔරුවක් තොටුපලේ තියන් හිටියට වැඩක් නෑනෙ..

    ඔය වගේ අළුත් අළුත් දේවල් නිසා වලපල්ලට ගිය දේවල් කීයක් ඇත්ද. එතකොට ඒ හා සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් අපහසුතාවයට පත්වෙනවා තමයි ඒ වුනට අර ගමන නවතින්නෑ නේද ?

    මේවට කාටවත් දොසක් කියන්නනම් බෑ කියලයි මට හිතෙන්නෙ.

    "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියලත් කියලා තියනවනෙ..

    ReplyDelete
    Replies
    1. සමහර චිත්‍ර ශිල්පීන් ඉන්නවා උප්පතියෙන්ම ඒ ශිල්පය ගෙන ආපු. ලොකු උගත් කමක් නෑ. පරිඝනකයක් හසුරුවන්න හැකියාවක් නෑ. මෙහෙම අයත් ඉන්නවා. මම කියන්නෑ මේ ග්‍රැෆික් පැකේජ් අහකට දාලා ඔවුන්ට ඉන්න අරිමු කියලා. නමුත් අපේ අය වේගෙන් වෙනස් වෙනවා. හොඳ දේවල් වලදී නම් කමක් නැහැ. බස් එකක බෝඩ් එකක්වත් දැන් චිත්‍ර ශිල්පියෙක් ලවා අන්දවා ගන්නේ නෑ.(මම කියන්නේ අකුරු අඳින ඒවා). පන්සල් චිත්‍ර පුළුවන් අය ටිකක් හරි ගොඩ.

      //"අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" කියලත් කියලා තියනවනෙ..//

      අපේ ඇය තනන්නේ නැති එක තමා ප්‍රශ්නේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. එන රැල්ලත් එක්ක ඉස්සරහට නොගියොත් අපිට වෙන්නේ, වැටිලා පෑගෙන්ට. මෙහෙම වෙන එක ගැන කණගාටුයි. ඔක්කොටම වඩා දුප්පත්කම මේ හැමදේටම බාධාවක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ කියන මනුස්සයා ඕක දැන ගන්න ඇත්තේ පාරට වටුනටත් පස්සෙයි. අනිවාර්යයෙන්ම දුප්පත්කම ගොඩක් දේවල් වලට බාධාවක්.

      Delete
  11. තවමත් ටවුන්හෝල් එකෙන් ඔය කියන පුද්ගලයා 120 බස් එකට නැගලා ඔය විදියටම කියනවා. මම නම් හිතන්නේ තමාගෙන් ගිලිහුන දේ ගැන පසුතැවෙමින් පාරක් පාරක් ගානෙ හිඟමන් යදිනවට වඩා ඔහුට කරන්නට යමක් තියනවා. ඒ තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ට කරන්නට හැකි රැකියාවක් හොයාගැනීමයි. 2007 ඉඳලා ගත්තත් ඔහුට වෙනත් වෘතියකට යොමුවීමට තිබුන අවස්ථා වැඩියි. ඔහු එහෙම නොකරන්නේ හිඟමන් යැදීම අද සුපිරි වෘතියක් වෙන නිසයි. කොළඹ කොටුවේ රාජකාරි කරන ඔබ මේවගේ පුද්ගලයන්ගේ හැසිරීම හොඳින් දන්නවා යැයි සිතමි.

    අහිංසක චිත්‍ර ශිල්පීන් පිළිබඳව සත්‍යය ඔබ කී ලෙසමයි.

    ReplyDelete
    Replies
    1. මා හින්ගන්නනේ ආදායම පිලිබඳ දින කිහිපයක් සැලකිලිමත් වෙලා තිබෙනවා. අද බස් එකකට නගගොත් ඕනෑම හිඟන්නෙකුට රුපියල් 50ක් හොයා ගන්න පුළුවන්. කොහොම හරි කරලා බස් 50කට නැග ගත්තොත් රුපියල් 2500 ආසන්න වශයෙන් සොයා ගන්න පුළුවන්. දවසේ වියදමට රුපියල් 1000ක් වැය වුනත් 1500ක් ඉතුරුයි. රැකියා කරන අපට එහෙම කරන්න පුලුවන්ද? හින්ගන්නන්ගේ ජාවාරමක් තියෙන්නේ. ඒ මුදලට අයිති මුදලාලි කෙනෙක් ඉන්නවා. මා අදහස් කලේ ඔහුට මුදල් දිය යුතු බව නොවේ. ඔහුට අත් වූ ඉරණම ගැන.

      Delete
    2. ඇත්ත. පරිගනකය ඔවුනට ලොකු පහරක් උනා. ඒත් . . .

      අත්වූ ඉරණම පිළිබඳව ඔහු තව කොපමණ කාලයක් මැසිවිලි නගාවිද? මට තියෙන ප්‍රශ්ණය ඒකයි.

      Delete
    3. මෙහෙමයි මට හිතෙන විදියට පින්සල් වලින් කරන ඇඳීම් මේ පුද්ගලයා එයාගේ ආත්මේ කරගෙන තියෙනවා. ඒකයි මොකක්ද මේ පරිඝනකේ කියලා හොයා බලන්නැතිව දිගටම එයාගේ රස්සාව කරගෙන ගිහින් තියෙන්නේ. නත්නම් බොහෝ අය කියනවා වගේ එයාටත් තිබුනා එකක් අරන් අත පත ගාලා ඉගෙන ගන්න.

      Delete
  12. අයිය කියන අනාථවීමට ෆිල්ම් කටවුට් අඳින අයත් මුහුණ දුන්න. ලංකාවේ වගේම ඉන්දියාවෙත්. අලුත් තාක්ෂණයට මුහු වෙන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ඒ නැතත් පින්සල් චිත්‍රකාරයට වැලේ වැල් නැහැ කියල ම කියන්නත් අමාරුයි. පත්තර කාර්යාලවල ඔය තාම ඉන්නෙ......

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් ඉන්දියන් තීන්තෙන් තමයි කාටූන් ඇන්දේ පත්තර වල. ඒත් දැන් පින්සල් වලින් අඳිනවද කියලා ෂුවර් නෑ.

      Delete
  13. මට මේ ගැන මෙහෙම දෙයක් කියන්න තියෙනවා.මගේ අය්යා වෙබ් අඩවි නිර්මාණ කරුවෙක්,ඒ වගේම එයාගේ ඇගේ හොදට චිත්‍ර ශිල්පය තියෙනවා,හැබැයි ඒ සම්බන්දව මුකුත් සහතිකපත්‍ර නැහැ,වෙබ් නිර්මාණය ඔහු ඉගෙනගත්තේ තනියම.අපේ රටේ ගොඩක් වෙබ් අඩවිවල එයා නිර්මාණ කටයුතු කරලා තියෙනවා,ඒත් ඒවායින් එයාට ලැබුනේ වැඩකරපු තැනින් ලැබුණු රුපියල් 10000 පඩිය විතරයි,සල්ලි ඔක්කොම ගත්තේ කොම්පනියේ අයිතිකාරයා.ඒත් එයාගේ නිර්මාණශීලී බව දැකපු එක් ආයතනයකින් එයාට රැකියාවක් දුන්නා ඔවුන්ගේ වෙබ් අඩවි නිර්මානකරුවිදිහට.

    එයා දැන් කරන වෙබ් අඩවිය පහුගිය අවුරුදු දෙකේම ඔවුන් තරගකරපු අංශයෙන් ලංකාවේ හොදම වෙබ් අඩවිය විදිහට තේරුනා,ඒත් සම්මානය ගියේ ආයතනයට.මගේ බ්ලොග් අඩවියේ ලොගෝ එක නිර්මාණය කරලා දුන්නෙත් එයා.ඒත් එයා දන්නවා මේ වෙබ් අඩවි නිරමානකරුවිදිහට හැමදාම එයාට ජොබ් එක කරන්න බෑ කියලා,ඒනිසා ඔහු දැන් පද්ධති කළමනාකරුවෙක් විදිහටත් වැඩකරනවා.

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් නිර්මාණශීලීත්වය විකිණිලා.

      Delete
  14. මටත් මේ මනුස්සයව මතකයි.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මම දැකල තියෙනව තාක්ෂනයත් මිශ්‍ර කරගෙන අතින් චිත්‍ර අදින තාත්තා හා පුතු යුවලක්.

    විහාර කීපයකම ඔවුන් චිත්‍ර ඇන්දා..වැඩ තියෙනව හරියට..වැඩකට අල්ලගන්න නම් මාස6කට කලින් වත් පොරොන්දු වෙන්න ඕන.

    පුතා අවු.22ක් විතර ඇති.ලැප් එක,ප්‍රින්ටරේ අරන් ඇවිත් විහාර ගේ ඇතුල මැනල ස්කේල් කරල,එක චිත්‍රය ගානෙ ස්කේල් කරනව නැවත..(අර කො‍ටු ගහල මිනුම් ගන්නෙ.) ඊට පස්සෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් ඒක බලාගෙන තමා විහාරයෙ චිත්‍ර අඳ්න්නෙ. පැරනි හා නව යුගය යාකිරීම අපූරුයි.

    ඒ තාත්ත කලින් ඉඳලම විහාර චිත්‍ර ඇඳල තියෙනව ඒත් මේ තරම් සාර්තක වෙලා තියෙන්නෙ පුතා සහබාගීකරගත්තම තමා.

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබීම සතුටක්. අපේ පැත්තෙත් හිටියා ස්ටිකර් අලවන කෙනෙක්. අපේ නංගිත් එතකොට ග්‍රැෆික් කලේ. නංගිගෙන් ප්‍රින්ට් අවුට් එකක් අරන් ගිහිං ඒවා ස්ටිකර් උඩ තියලා කපල අලවනවා. මිනිහා එහෙම කලේ වෙලාව ඉතුරු කරගන්න. ඒ වුනාට මිනිහාගේ තියෙන හැකියාවන් ගිලිහෙනවා කියල තමයි මගේ විශ්වාසෙ ඒ වගේ පුරුදු උනහම.

      Delete
  17. //කලාකාරයින් හුග දෙනෙක් ආර්ථික කළමනාකරණය අතින් දුර්වලයින්//මෙයනම් සහතික ඇත්ත.තාක්‍ෂණය කියන දේ දවසින්,දෙකින් ඉබේ කඩාවැටුන දෙයක් නෙමේනෙ?හුගක් රටවල, ජනයා විශාල වශයෙන් ගැවසෙන තැන්වල අපගේ ජීවමාන රුපය ඇදල දීල ගාන හොයාගන්න ච්ත්‍රශිල්පින් දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මට පොඩි ගැටළුවක් තියෙනවා මෙතන කොට්ටාශ දෙකක් ඉන්නවද නැත්නම එකක්ද කියල. මොකද සමහරු ඉන්නවා චිත්‍ර වගේම අකුරුත් අඳින්න පුළුවන්. ඒ කියන්නේ බැනර් කටවුට් පෝස්ටර් අඳින. නමුත් සමහරුන්ට පුළුවන් මේ අකුරු විතරයි. එතනදී චිත්රයක් තරම් ගැඹුරු දෙයක් නෑ. සමහරු ඉන්නවා ඔබ කියනවා වගේ ජීවමාන චිත්‍ර අඳිනවා හිතා ගන්න බැරි තරම් ලස්සනට. මම මැලේසියාවේදී වරුවක් බලාගෙන හිටියා. එහෙම අය මෙහෙත් ඉන්නවා කලාතුරකින්.

      Delete
  18. මමද පරිඝණක ග්‍රැෆික් හා සම්බන්ධව රැකියාව කරන නිසා ඒ පිළිබදව යමක් කීමට සිත් විය. ලෝකයේ තාක්ෂණය යනු දිනපතා වෙනස්වන දෙයකි. තමන් ඒ තාක්ෂණය සමග යාවත් කාලීන වනවාද යන්න ඒ ඒ පුද්ගලයා තීරණය කල යුතු තත්වයකි. කලින් මා සේවය කල ආයතනයක සේවය කල රවී අයියාද එවැනි අයෙකි. හේවුඩ් වල වසර 5 ක පමණ කාලයක් චිත්‍ර‍ ශිල්පය හැදෑරූ එහු සුපිරිම හැකියාවක් ඇති චිත්‍ර‍ ශිල්පියෙකි. නමුත් පරිගණක ක්‍ර‍මලේඛ භාවිතයට පැමිණීමත් සමගම ඔහු අමාරුවෙන් හෝ ඒවා අතපත ගා ඊට අනුගත විය. එදා තීන්ත ඇගේ පතේ ගාගෙන අමාරුවෙන් සිතුවම් ඇදි ඔහු අද ඇපල් පරිගණකයකට මුවා වී අති විශිෂ්ඨ නිර්මාණ බිහිකරයි.

    Photoshop 7 හා Illustrator 10 මූලික පරිගණක පාඨමාලාවේදී හැදෑරූ සිරා අද භාවිතා කරන්නේ CS 6 නම් නවීනතම සංස්කරණයකි. කලින් සංස්කරණ දැනගත්තාම ඇති යනුවෙන් මම හිතා සිටියා නම් වර්තමාන රැකියා වෙළදපොල තුල මම නුසුදුස්සෙකි. තාක්ෂණය සමග යාවත්කාලීන වීම සියලුම රැකියාවන් සදහා අවැසි බව මගේ විශ්වාසයයි.

    නමුත් එක දෙයක් කිය යුතුය. අතින් අදින චිත්‍ර‍ පරිගණක චිත්‍ර‍ වලට වඩා සජීවීය. ශිල්පියාගේ හැගීම් මැනවින් එහි නිරූපනය කල හැකිය. අනාගතයේ දිනෙක නැවතත් චිත්‍ර‍ ශිල්පය එතැනට පැමිණීමට ඉඩක් නැතුවාම නොවේ.

    ReplyDelete
    Replies
    1. නමුත් මා කතා කලේ පරිඝන භාවිතාවට හෝ ඒ පිලිබඳ කිසිම දැනුම නැති පුද්ගලයෙක් ගැනය. සිරා මේ ක්ෂේත්‍රයට ආ වෙලාව හොඳය. මගේ දියණියද පේන්ට් ආදාරයෙන් හෝ අන්තර්ජාලයේ ඇති එවැනි නිර්මාණ කල හැකි ළමා සයිට් වල අපූර්ව නිර්මාණ කරයි.

      Delete
  19. මමත් දවසක් ඔය කියන පුද්ගලයා දැක්කා. මටත් බොහොම දුක හිතුන මිනිහ ගැන.

    ඔය සිරා ගේ කතාව ඇත්ත. මොන ආකාරයේ දෙයක නියලුනත් අප් ඩේට් වෙන්නම ඕනේ. මගේ පුද්ගලික අදහසනම් පරිගණක ආශ්‍රයෙන් කරන චිත්‍ර වලට වඩා අතින් අඳින ඒවා බොහොම වටිනා බවය.
    අනික ඔය චිත්‍ර විකුණාගන්න ලයනල් වෙන්ට් වැනි කලගරම ඕනේ නැහැ. හොඳ වෙළඳ පොලක් (දෙස්, විදෙස්) මේ චිත්‍ර වලට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මම මතු කරන්න හදන දේ බෙහෝ දෙනෙකුට වගේම ඔයාටත් තේරුනේ නෑ. මම කියන්නේ පරිඝනකය සංක්‍රාන්ති සමයේ හිටිය බොහෝ දෙනෙකුට මේක අල්ලන අවස්ථාව ආවේ නෑ. ඉස්සර පරිඝනයකය තනිකර භාවිතා කලේ ලොකු ගණිත ගැටළු විසඳන්න, ඊට පසුව ගිණුම්කරණ කටයුතු වලට, ඊටත් ගොඩක් පස්සේ, 1995න් පස්සේ වගේ වින්ඩෝස් ආවට පස්සේ තමයි බොහෝ දෙනාගේ භාවිතයට එය ආවේ. අද හැම ක්ෂේත්‍රයකම වගේ පරිගණකය භාවිතා වනවා. එයා අප්ඩේට් වෙන්න ඕන කාලෙදී එයාගේ වයස හතලිස් පහක් විතර වුනොත් මේක අහු වෙන්නේ නෑ. පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරලත් මම මුලින්ම ග්‍රැෆික් පැකේජ් එකක් ඇල්ලුවේ 1999-99 දී විතර. මගේ ඔෆිස් එකේ ඉන්නවා කොරල් ඩ්රෝ, ෆොටෝ පේන්ට් කිව්වොත් දන්නැති පරිඝනක නිලධාරීන්. ඉතිං මේ වගේ මිනිස්සු අතරට පරිඝනකය යන්නේ කොහොමද.? මේක ඔයාට විතරක් නෙවෙයි, උද කමෙන්ට් කරපු බොහෝ දෙනාට මම දෙන පිළිතුර.

      Delete
  20. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  21. මම නම් හිතන්නෙ අපිට තාක්ෂණයට එරෙහේ වෙන්න බෑ. තාක්ෂණය වැඩ පහසු කරගන්න මෙවලමක් කරගන්නවා වගේම අපිත් ඒත් එක්ක යාවත්කාලීන වෙන්න ඕනෙ.

    මම නම්මහ ලොකු චිත්‍ර ශිල්පියෙක් නොවුනත්, මුලදි අතින් කඩදාසියක චිත්‍ර ඇන්ද මම දැන් graphic tablet එකක් පාවිච්චි කරලා LCD තිරයක් මත අඳිනවා. නමුත් ඒක පුරුදු වෙන්න ලේසි වුනේ නෑ මොකද ඒ අඳින්නෙත් අතින්. නමුත් ඒකෙන් මගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව මොට වුනා කියලා මම නම් හිතන්නෙ නෑ. අලුත් මානයක් සොයා ගියා විතරයි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ හෙන්රි මේකට මම අලුතෙන් උත්තර බඳින්න අවශ්‍ය නෑ. විනෝදාංශයට චිත්‍ර අඳින කෙනෙකුයි, ජීවිකාව ගෙන යන්න චිත්‍ර අඳින කෙනෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ චිත්‍ර ශිල්පියාට ග්‍රැෆික් ඉගෙන ගන්නවත් වෙලාවක් නෑ. එහෙම කලොත් ගෙදර ඇය බඩගින්නේ.

      Delete
  22. පස්සේ කමෙන්ට් කරන්නම්. දැන් කියවල දුවන්න වෙලාව හරි.

    ReplyDelete
  23. චිත්‍ර ශිල්පින්ගේත් වෙනම දේවල් තියෙනවා නේද, සංවිදාන , තරග , නිර්මාණ දේවල් වගේ , exhibition එකකට ගියත් බොහෝ දෙනා තමන්ගේ පින්තුරයක් ඇදගන්න කැමති වියදමක් දරල හරි ,

    සුදික අයියා කියා කතාව ඇත්ත , ගොඩක් graphic කරනා අය කරන්නේ අන්තර්ජාලයෙන් නිර්මාණයක් අරන් වෙනස් කරන එකයි ,

    මගේ යාලුවෙක් ඉන්නවා මනුස්සයා කම්පියුටර් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ කලිනුත් දැනුත් වැඩිය , කලින් සැහෙන්න ලස්සන චිත්‍ර ඇන්දේ , කාලෙකින් මට මුණ ගැහුනේ නැහැ , මෑතකදී නැවත මුණ ගැහුනා ෆේස්බුක් එකෙන් ඔහු දැන් පරිඝනක 3D , Artwork වලින් මාර නිර්මාණ කරනවා ,

    ReplyDelete
  24. සුදීක ඔබ කියන දේවල්වලින් එකක් ඇර අනික් ඔක්කොටම එකඟ වෙන්න පුළුවන්.සංගම් හදාගෙන අලුත් තාක්ෂණයට විරුද්ධවෙන්න කියල කියන එක වැරදියි.එහෙම කරන්නත් බෑ.එහෙමනම් තලේබාන් නීති දාන්න වෙනව.
    එහෙම හිතුවොත් බරකරත්ත කාරයො සංගම් හදාගෙන වාහන වලටත් විරුද්ධ වෙන්න තිබුන.ඔබ කියන විදියට කළානම් රෝදය මුලින්ම හොයාගත්ත වෙලාවෙ ඒකටත් විරෝධයක් ඇවිත් අපි තවම ගල් යුගයෙ.
    කරන්න දෙයක් නෑ.මිනිසා යන්නෙ ඉස්සරහට
    තාක්ෂණය නිසා අපේ රැකියාත් ඉදිරියෙදි නැතිවේවි.අපි තාක්ෂනයට විරුද්ධ වෙන්නෙ නෑ.අපි වෙනස්වන ලෝකයට අනුව හැඩගැසෙනව මිස

    ReplyDelete
    Replies
    1. ඕනෑම කර්මාන්තයක නියැලෙන්නන්ගේ එකතුවක් අද තියෙනවා. ඒවාගේ අරමුණ අලුතෙන් එන විකල්ප සම්පූර්ණයෙන් අතුගා දැමීම නොවෙයි. නමුත් ඒවා සමග තරගයක් දෙන ගමන් තමන්ගේ කර්මාන්තයේ යෙදෙන අය ආරක්ෂා කර ගැනීම. ඔවුන්ගේ වෘත්තීයට ගරුත්වයක් එකතු කර ගැනීම වගේ අරමුණු.

      Delete
  25. මට මේ මනුස්සයාව මුලින්ම හම්බ වෙන්නේ 2002 අවුරුද්දේ නුගේගොඩදි බස් එකට නගින්න ඉද්දි, මෙයා නුගේගොඩ බස් නැවතුමේ බිම අකුරු ඇදලා පෙන්නුවා නදිශා නදිශානි ආර්ට්ස් කියන්නේ මෙයාගේ ව්‍යපාරය, කම්පුටර් ග්‍රැපික් ඩිසයිනර්ස්ලා, ඩිජිටල් ප්‍රින්ටින් තාක්ෂණය නිසා අතරමං උන කතාවක් තමයි කියන්නේ. වැඩේ කියන්නේ මාත් ග්‍රැපික් කෝස් එකක් කරන ගමන් හිටියේ ඒ කාලේ. මට ඇත්තටම දුක හිතුනා තාක්ෂනය නිසා මිනිස්සුන්ගේ රස්සාවල් වලට වෙන දේ ගැන. මම රු 20 දුන්නා මේ මනුස්සයට, අනිත් අයත් දුන්නා.

    මට මේ මනුස්සයව අයෙත් හම්බවෙන්නේ රාජගිරියෙදි එකම කාතාව වෙනසකට තියෙන්නේ කාලය වෙනස් වෙලා.

    මෙතන කතා දෙකක් තියෙනවා එකක් රස්සාව නැති උනාම මනුස්සයෙක් වෙන රස්සාවක් හොයාගන්න අවුරුදු 12 යන්නේ නෑ. මිනිස්සු පරිසරයට තාක්ෂනයට අනුගත නොවුනොත් පැවැත්මක් නෑ. හොදම උදාහරනේ දක්ශ කාටූන් චිත්‍ර ශිල්පියෙක් වෙච්ච අවන්ත අටීගල මහත්තයා මුලින් අතින් කාටූන් අැඳලා ඒක ස්කැන් කරලා පරිඝණකයට ගත්තා දැන් wacom digital drawing tablet එකක් පාවිච්චි කරලා කෙලින්ම පරිඝණකයේ චිත්‍ර අඳිනවා.

    මටනම් පැහැදිලිවම හිතෙන්නේ මේ විදියට හම්බ කරන ආදායම වෙන කිසිම දෙයකින් හොයාගන්න බෑ කියලා මේ මනුස්සයා දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මතකය නිවැරදියි. මටත් මතක් වුනේ මේ කිව්වම "නදීෂා නදීශානි" කියන්නේ මෙයා කරපු ව්‍යාපාරය. මගේ තර්කය අවනත ආටිගල වගේ අය හිටිය තැන නෙවෙයි මෙයාලා හිටියේ. එයාලා පරිගණක දකිමින් ඔවුන්ගේ රැකියාව කලේ. මෙයාලා මඩුවකට වෙලා, නැත්නම් ලොකු බිත්තියක චිත්‍රයක් අඳිමින් හිටිය අය. මේ දෙගොල්ලන්ගේ Exposure එක වෙනස්. මෙයාලගේ සේවය ගත්ත බිත්ති, තාප්ප, බෝඩ් වලට. පත්තර කාටූන්, පත්තර දැන්වීම්, චිත්‍රකතා වෙනත් තලයක තිබුණේ. මම කියන්න හදන දේ පැහැදිලියි නේද ?

      හැබැයි මම පිලිගන්නවා හිඟා කෑම හැම දේටම වඩා ලොකු ආදායම උපයන එකක් කියලා. මෙයා මට ඊළඟට හමු වුනොත් මම කියන්නේ "පාර අයිනේ ඉඳන් පොඩි පොඩි චිත්‍ර පෑන් වලින් ඇඳලා විකුනන්න" කියලා. මම මැලේසියාවේදී එහෙම ය දැක්කා. අපේ රටෙත් එහෙම අයට කාලයක් යයි.

      Delete
    2. ඔයාගේ මතයට මම එකඟයි. ඒත් මම 100% සහතික වෙනවා. මේ මනුස්සයට රස්සාවක් දුන්නොත් කවදාවත් කරන්නේ නෑ කියලා. මොකද මීට වඩා ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් රස්සා තව තියෙන්නේ කිහිපයක් නිසා. ඒ මොනවද කියලා සූදිකට හිතාගන්න අමාරු වෙන එකක් නෑ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...