Tuesday, December 31, 2013

බත්තරමුල්ලේ නිවිසැනසිල්ලේ බත් ටිකක් කන්න පුලුවන් තැනක් ....... A place to enjoy a plate of rice in Battaramulla

බත්තරමුල්ල කිව්වම එක පාරට ඔළුවේ ඇඳෙන චිත්‍රය හොඳ එකක් නෙවෙයි. හේතුව බත්තරමුල්ල කියන්නේ කිසි පිළිවෙළක් නැති නගරයක්. ඔබ කියයි බත්තරමුල්ල කොයි තරම් හොඳද කියලා. කතාව ඇත්ත. සමහර තැන් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. උදාහරණයකට දියත උයන, අපේ ගම, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය. ඒ පැති නම් මල් මසුරං. ඒ වුණාට ටවුම, ටවුම කොහොමද මතක් වෙනකොටත් බඩ දඟලනවා. ඊට එහා ටවුමේ හරියට ඉඳගෙන රසට කන්න පුළුවන් තැනක් නැති එක. හොඳ තැන් නැතුවම නෙවෙයි. ඒත් ඒ තැන් වලට ළඟා වෙන්න ටිකක් වෙලා යනවා. ඉතිං නගරයේම ඉන්න කෙනෙකුට හරි, හදිසියේ ටවුමෙන් වැඩක් කරගෙන යන්න ආව කෙනෙකුට හරි වැදගත් වෙන තොරතුරක් තමයි මම මේ කියන්න යන්නේ.  ඉතා සුපිරි මිලක් අය කරලා, විනාඩි 10-15 රස්තියාදු වෙලා, මෙලෝ රසක් නැති කෑම කන්න නම් තැනක් තියෙනවා. දන්න අය දන්නවා.

දවස් කීපෙකට කලින් බස් එකේ යද්දී දැක්ක මේ තැනට ගිහින් බලන්න මට හිතුණා. පහුගිය දවසක මම එතනට ගොඩ වැදුණා. ඇත්තටම හිතුවාටත් වඩා හොඳට මෙතැන හදලා තියෙනවා. මම කන්න වාඩි වෙලා තියෙන්නේ එතැන හිමිකරුත් සමග එකම මේසෙ. ඒ නිසා එතුමාගේ අවසර ඇතුවම මම ඡායාරුප කිහිපයක් ගත්තා.
 හිතාගන්නවත් බෑ නේද ? බත්තරමුල්ල නගරයේ  මේ වගේ තැනක් තියෙනවා කියලා. ඉදිරියෙන් පෙනෙන්නේ නැති වුණත් එතනින් ඇතුළේ මේ වගේ නිස්කලංක තැනක් තියෙනවා.
 ස්ථානය අලංකාර කරන්න මේ වගේ ඒවාත් තියෙනවා.
 රෑට මෙතන කොත්තු, ආප්ප වගේ දේවල් ඇති කියලා හිතුණා. අර පිටිපස්සෙන් පේන තැන ඒවාට සුදානම් වෙමින් තිබුණා.
 අද කාලේ කොතැනට ගියත් බොහෝ දෙනෙක් හොයන්නේ නැවුම් පලතුරු යුෂ වීදුරුවක්. පිරිසිදුව ඒ වගේ දෙයක් පානය කරන්නත් පුළුවන්.
 ෆවුන්ටන් බීම, ඒවාත් තියෙනවා.
 එයාලාගේ මේස පුටුත් සිත් ගන්නා සුළුයි. බොහොම පිරිසිදුව ඒවා පවත්වාගෙන යනවා. බලන්න දකුණු කෙළවරේ සාමාන්‍ය කෙනෙක් ආහාර ගන්නේ.
 දැන් බොහොම දෙනෙක් කන්න කැමති රයිස් ඇන්ඩ් කරි නේ. මම කෑවෙත් එහෙම. ඉතාම පිරිසුදුවටත් ප්‍රණීතවත් තියෙනවා.
 ෆ්‍රයිඩ් රයිස් කන අයට එහෙම කන්නත් පුළුවන්. බිරියානිත් තියෙනවා.
 මේ හිටගෙන ඉන්නේ එහි අධිපතිතුමා. ගනුදෙනුවන්ට බොහොම කුළුපග පුද්ගලයෙක්.
 කෙටි කෑම ගැනීමට බොහෝ දෙනෙක් එතැනට එනවා කියලා මට හිතුණේ, දවල් 1.30 වෙත්දීත් ඒ සඳහා ගනුදෙනුකරුවෝ හිටි නිසා.
 මේ එයාලගේම බයිට් වෙළඳ සැල. ඇතුල් වෙන තැනම තියෙන්නේ. මේ සලකුණ නිසා තැන හොයා ගන්නත් ලේසියි. රිෂි ෆූඩ් තමයි තැන.
මේ පොල්ගහ තියෙන තැන තමයි මේ කියන රිෂි ෆුඩ් තියෙන්නේ. කෝට්ටේ සිට කඩුවෙල පැත්තට යනකොට කොට්ටාව පාරට හැරෙන්න පොඩ්ඩක් කලින් දකුණු අත පැත්තේ. එහෙනම් ගිහිං බලන්න. 

_____________________________________________
මගේ විදේශගත මිතුරු/මිතුරියන්ට නම් මේ පොස්ට් එක වැදගත් නොවෙන්න පුළුවන්. ඒත් කවදා හරි ලංකාවට ගොඩ වැදුනාම මේ දේවල වැදගත් වෙයි.

මේක මම මේ මාසේ දාන්න සැලසුම් කරගෙන හිටපු නිසා දැම්මේ. නැතිනම් හෙටත් පොස්ට් එකක් එකතු කරනවා. ඒ හරියටම අවුරුදු දෙකකට කලින් සිදු වෙච්ච "ඇවිද්ද පය ......" ආරම්භය සමරන්න.

මෙන්න මැප් එක

Friday, December 27, 2013

පාපන්දුව ඇත්තටම රවුම්ද ? II කොටස ( Is football really round ? Part II )

පංචාශ්‍ර 12කින් සහ ෂඩශ්‍ර 20 කින් නිමවා තිබෙන පාපන්දුවක් මහන්න මැහුම් කීයක් අවශ්‍යද ? කියන ගණිත ගැටළුවට බොහෝ දෙනාගේ පිළිතුර වුනේ මැහුම් 90ක් කියන එක. ඒ ප්‍රශ්නෙට කිසිම කෙනෙක් නිවැරදි උත්තරය දෙන්න සමත් වුණේ නෑ.  ඔබට මේ පිළිතුර හොයා ගන්න තිබුණා ඒ පින්තූරයක් මත ක්ලික් කර විශාල කර බැලුව නම්.

හොඳයි අපි පංචාශ්‍ර වලින් පටන් ගමු. පංචාශ්‍ර දෙකක් එකිනෙකට සම්බන්ධ වෙන්නේ නෑ. ඒ නිසා පංචාශ්‍රයේ පැති පහ වටා මහලා තියෙන්නේ ෂඩශ්‍ර පහක්. එතකොට පංචාශ්‍ර වටා තිබෙන මැහුම් ගණන 60යි(12 x 5). අනිත් අතින් ෂඩශ්‍ර වල පැති තුනක් පංචාශ්‍ර සමගත්, අනෙක් පති තුන ෂඩශ්‍ර සමගත් සම්බන්ධ වනවා. මෙතනදී පංචාශ්‍ර වල මැහුම් ගණන අපි කලින් ගත්ත නිසා ඒවා අත අරින්න වෙනවා. එතකොට හැම ෂඩශ්‍රයකට අදාලව තවත් මැහුම් තුනක් තියෙනවා. එහෙම ගත්තොත් 20 x 3 = 60 කියලා ගන්න පුළුවන්. හැබැයි එතනත් පොදු ඒවා තියෙනවා. අපින් ගණන් කරන්න ගන්න පලවෙනි ෂඩශ්‍රයට කොහොමත් මැහුම් තුනක් අනෙක් ෂඩශ්‍ර තුනක් සමග තිබෙනවා. නමුත් ඒ ෂඩශ්‍ර තුන ගත්තොත් ඒවායේ එක මැහුමක් මේ වනවිට ගණන් ගෙන අවසන් නිසා ඒවායේ ඉතිරි මැහුම් ගණන 2 යි. ඒ දාමය සම්පූර්ණ කරගෙන ගියොත් ඊළඟට එන හැම එකකම ගණන් ගන්න ඉතිරි මැහුම් ගණන දෙකක් බව පැහැදිලියි. එතකොට 20 -1 = 19 x 2 = 38 යි. දැන් තියෙන්නේ මේ ටික එකතු කරන්න. 60 + 3 + 38 = 101යි. ඒක තමයි නිවැරදි පිළිතුර. හැමෝටම පැහැදිලිද ?

හරි අපි නතර කලේ 1990 එට්‍රස්කෝ යුනිකෝ එකෙන්. 1994 දී මේ ලෝක කුසලානය යන්නේ ලෝක පොලිස් කාරයාගේ රටට. එහෙට යනකොට නිකං පරණ එකම දුන්නොත් ඉතිං වෙන්නේ මොකද කියලා කියන්න ඕනේ නෑනේ. තවත් දෙයක් ඇමරිකාවේ මිනිස්සු ඒ තරම් පාපන්දු ක්‍රීඩාවට එතරම් කැමැත්තක් නෑ. එහෙදී කරපු සමීක්ෂණයකින් එලි වුණා එම තරගාවලිය එහි පැවැත්වෙන බව 55% තරම් දෙනා දන්නේ නෑ කියලා. ඒ හරිය අතුරු කතාවක්. ක්වෙස්ට්‍රා කිව්වට එක පාරට ඔලුවට එන දෙයක් නෑ. නමුත් මෙය එක්සත් ජනපදයේ තියෙන පැරණි කියමනක් වෙච්ච "ක්වෙස්ට් ඔෆ් ද ස්ටාර්ස්" කියන එකෙන් ගත්ත නමක්. ඒකටත් හේතුවක් තියෙනවා. මුලින්ම සඳ තරණය කරපු ඇපලෝ II යානය සහ ඒ ගමනට අවුරුදු 25 ක් පිරෙන්නේ 1994 ට. මේ බොලේ මුද්‍රණය කරපු කොටසේ බලන්න ඔවුන් ග්‍රහ තාරකා තමයි එය සරසන්න යොදා ගෙන තිබෙන්නේ. 

1998 දී ලෝක පාපන්දු තරගාවලිය පැවැත්වුණේ ප්‍රංශයේ. ටැංගෝ මාදිලියේ අවසාන පුරුක ලෙස ට්‍රිකොලෝ(ර්) නමැති සැලසුම ගෙන එන්න ඇඩිඩාස් සමාගම ක්‍රියා කළා. ඒ වනවිටත් ටැංගෝ ආකෘතිය අවුරුදු විස්සක් සැපිරුණා. ට්‍රිකොලෝ(ර්) යන ප්‍රංශ වදනේ තේරුම ත්‍රෛ-වර්ණ නොහොත් වර්ණ තුනක් යන්නයි. පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම මුද්‍රණය වරණවත් වුයේ මේ තරගාවලියේදී. නිල් පැහැති ට්‍රයැඩ් මත ප්‍රංශයේ ජාතික සලකුණ වූ කුකුළා සංකේතවත් කරමින් අපූරු මෝස්තරයකින් එය හැඩ ගැන්වුණා. එය නිෂ්පාදනය වුයේ මොරොක්කෝවේ සහ ඉන්දුනීසියාවේදී. මෙහිදී යොදා ගත වර්ණ තුන ප්‍රංශ ජාතික කොඩියේ තිබෙන නිල්,රතු සහ සුදු.



ෆිෆා ආයතනය 2002 දී මේ තරගාවලිය ආසියාවට ගෙන එන්නට කටයුතු කළා. මෙය නම් කරනු ලැබුවේ ෆෙව(ර්)නෝවා යන නමින්.මෙහි මුද්‍රණය පදනම් වුයේ ආසියාතික සංකෘතිය. මෙහිදී පිටත් නිමාවට වඩා වැඩි බරක් එය නිපදවන අමුද්‍රව්‍ය සහ ගුවනේදී එය ගමන් ගන්නා අකාරය වෙත තැබුවා. මීට පෙර තරගාවලී සඳහා යොදාගත් බොහෝ පන්දු පහරදුන් පසු ගමන්ගන්නා අකාරය නිශ්චය කිරීමේ අපහසුතා තිබුණා. මෙහිදී එය මග හරවනු ලැබුයේ ස්ථර තුනකින් සමන්විත ගොතන ලද ඇතුලත රාමුවක් මගින්.

කෙසේ නමුත් මෙම බෝලය බොහෝ විවේචන වලට ලක් වුණා. ඒ මෙය පමණට වඩා සැහැල්ලු වීම පිළිබඳව. ඒ වාගේම කොරියාවේ සහ ජපානයේ පැවති තරගාවලියේ පිලිමළුන් පිටු දැකීමෙන් අදියරයන් වල  වාර්තා වූ සමහර දර්ශණීය ගෝලයන් මෙම පන්දුව නිසාම සිදු වූ ඒවා බවට චෝදනා එල්ල වුණා.

පැනල් 32 කේ ටැංගෝ ආකෘතිය පැත්තකින් තිබ්බ ඇඩිඩාස් සමාගම  මොල්ටන් නමැති තවත් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන සමාගමක් සමග එකතුව වක්‍ර පැනල 14ක නව ආකෘතියක් නිපදවනු ලැබුවා. මෙය එක්තරා ආකාරයක අශ්ටතලයක්(කවාකාර වූ). ටැංගෝ බෝලය මසා නිම කලත් මෙය බන්ධනය(පෑහීමක්) කර නිමවනු ලැබුවා. මෙහි නම ඉතා රසවත්. ටීම්ගීසිට් යන ජර්මානු වචනය ගෙන දෙන්නේ "කණ්ඩායම් ජීව ගුණය" ( team spirit) තේරුම. නමුත් එය වෙළඳ සලකුණක් කර ගැනීමට නොහැකි නිසා එයට ඉදිරියෙන් ධන ලකුණක් යොදා +ටීම්ගීස්ට් ලෙස නම් කළා. මෙසේ කෑලි 14කින් නිපදවීම මගින් ඔවුන් උත්සාහ කලේ පන්දුව හැකිතරම් රවුම් කරන්න.

මෙම බෝලය නිර්මාණය කරද්දේ උපරිම වශයෙන් විද්‍යාව යොදාගෙන තිබෙනවා. මෙහි පැනල් ප්‍රමාණය අට දක්වා අඩු කර ඒවා තාප පෑස්සුම් ක්‍රමයක් මගින් සවි කර තිබෙනවා. මෙම පැනල් ගෝලාකාර කර තිබෙන්නේ අච්චුවක් මගින්. වාතය තුලින් ගමන් කිරීමේදී වායුගතිකය(aerodynamics) වර්ධනය කිරීම සඳහා ඒවායේ මතුපිට සියුම් දාර කපා තිබෙනවා. එය ඔවුන් හඳුන්වන්නේ "ග්රිප් ඇන්ඩ් ගෘව්" ලෙස. ඒ සඳහා පර්යේෂණ දායකත්වය ලබා දුන්නේ ලොෆ්බෝරෝ සරසවිය. මෙය වර්ණවත් කිරීම සඳහා වර්ණ 11 යොදා ගත්තා එමගින් කණ්ඩායමක සිටින ක්‍රීඩකයින් 11 සංකේතවත් කෙරුණා. ඊට අමතරව එම තරගාවලිය පැවැත්වූ දකුණු අප්‍රිකාවේ භාවිතා වන භාෂා 11 ද සංකේතවත් කෙරුණා. එපමණක් නොව ජුනි මස 11 පටන් ගත් තරගාවලිය නිමා කෙරුනේ ජුලි 11 වනදා. ජබුලානි ලෙස එය නම් කළා. දකුණු අප්‍රිකානු ගෝත්‍රයක් වන සුළු ජාතිකයන් ප්‍රීතියෙන් සමරනවාට කියන වචනය තමයි ඒ. අවසාන තරගය සඳහා යොදා ගත් බෝලය ජෝ'බුලනි ලෙස නම් කලේ එම තරගය පැවැත්වූ ජොහැන්නස්බර්ග් නගරය සිහි වන්නට. නමුත් එම බෝලයටද විවේචන එල්ල වුණා. එය ප්‍රහාරකයාට පහසු නමුත් ගෝල් රකින්නා අපහසුවට පත් කරවන්නක් බව බ්‍රසීල දැල් රකින්නා වන ජුලියෝ සීසර් පැවසුවා. රෝබින්ඥ්හෝ නමැති බ්‍රසීල ප්‍රහාරකයා පැවසුවේ "මෙය නිපදවූ අය කිසිදා පාපන්දු ක්‍රීඩා කර නොමැති බව තමාට විශ්වාස බවය"


2014 බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලානය වෙනුවෙන් මේ වනවිටත් බෝලයක් නිර්මාණය කර අවසන්. එය නම් කෙරුනේ බ්‍රසුකා ලෙස. එහි තේරුම බ්‍රසීල ජාතිකයකු වීමේ අභිමානය අර්ථ ගන්වන්නක්(ඒ කියන්නේ proud to be Brazilian තේරුමක්). මෙය තෝරා ගත්තේ මිලියනයක් බ්‍රසීල පාපන්දු ලෝලීන් අතර පැවැත්වූ මත විමසුමකින්. එයි 77.8% ක්ම ඒ සඳහා තම මනාපය එකතු කළා.  බ්‍රසුකා පැනල හයකින් නිර්මාණය වී තිබෙනවා. එමගින් තවදුරටත් පන්දුව රවුම් ස්වභාවය පවත්වාගන්න උත්සාහ කොට තිබෙනවා. මෙහි වායුගතිකය තව දුරටත් වැඩිදියුණු කර තිබෙනවා. නමුත් මෙම බෝලයද ගුවනේදී වේගවත් බව පැවසෙනවා. එනිසා මෙය ගෝල් රකින්න්නට එතරම් සුභ ආරංචියක් නොවනු ඇති. 

ඉතා ප්‍රාථමික මට්ටමකින් ආරම්භ වී අද දක්වා විකාශය වත්දී අත් කරගෙන ඇති දියුණුව කෙතරම්ද කියා ඔබට වැටහෙනවා නේද ? කිසිදින පන්දුවකට පය තබා නැති උගතුන් පිරිස නූගතුන්ගේ දුප්පතුන්ගේ (ඉවාන් පවුලූෂාගේ මතක් කර දීම නිසා වෙනස් කරන ලදී)  ක්‍රීඩාව වෙනුවෙන් කරන කැප කිරීම ප්‍රශංසනීයයි. 

__________________________________________
තොරතරු සහ ඡායාරුප www.wikipedia.org ඇසුරෙන්.

Monday, December 23, 2013

පාපන්දුව ඇත්තටම රවුම්ද ? Is football really round ?

මේ බෝලෙත් රවුම්.......

පහුගිය සයිබර් මෙගා බීච් පාටියේදී මඩ ප්‍රහාර වැදුන අයගෙන්, සුදීක ඉදිරියෙන්ම ඉන්නවා. එහෙම ඉතිං මඩ ගහන්නෙත් ලේසි පහසු අයට නෙවෙයිනේ. ඒ නිසා මට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඒ ඡායාරුප අතරින් රන්දුනු යසරංග දාපු මෙන්න මේ ඉහලින් තියෙන ඡායාරූපයට මම හරිම කැමතියි. මේකට යොදලා තියෙන මාතෘකාවටත් ඒ වගේම කැමතියි. හේතුව තමයි මගේ ක්‍රිකට් වලට වගේම පාපන්දුවටත් තියෙන ඇල්ම. බොහොම දෙනෙක් බලන්න ඇති මහේල ජයවර්ධනත් එකම බංකුවේ ඉඳ වර්ල්ඩ් කප් නැරඹුවෙමි සටහන. මම ක්‍රිකට් වගේම සමානව පාපන්දුත් ක්‍රීඩා කරා. 

ඇත්තටම මේ බෝල රවුම්ද ? මේකට උත්තරේ නෑ කියන්නත් පුළුවන්, ඔව් කියන්නත් පුළුවන්. හේතුව තමයි දැන් තියෙන බෝල බොහෝ දුරට රවුම් වීම. නමුත් 100% නෙවෙයි. අතීතයේදී හදපු බෝල නම් එක එක හැඩයේ ඒවා. බලන්න මේ පින්තුරේ තියෙන එක. 

මම මුලින්ම ක්‍රීඩා කරපු පාපන්දුවත් මෙන්න මේක වගේ එකක්. එකේ සපත්තුවකට වගේ ලේස් දාලා ගැටගහන ආරේ එකක්. මේක මුලින්ම භාවිතා කරලා තියෙන්නේ 1930 දී විතර. නමුත් පාපන්දු ඒ හැටි දියුණු නැති ශ්‍රී ලංකාවේ අසූවදශකයේ  මුල් කාලයේත් මේ වගේ බෝල තිබුණා. අපිට මුලින්ම මේ වගේ එකක් අරන් ආවේ බන්දු අංකල්. බ්ලොග් පොස්ට් එකක් ලියන්න තරම් කරුණු තියෙන කෙනෙක් තමයි බන්දු අංකල්. එයා එක්සයිස් දෙපාර්තමේන්තුවේ තමයි වැඩ කරේ. හැඩරුව කියනවා නම් මිහිර පත්තරේ යෝධයා වගේ. බය හිතෙන උඩුරැවුලක් මිනිහට තිබුණා. එයාට ළමයි නැති වුනත්, තමන්ගේ මස්සිනාගේ ළමයි වෙච්ච් සම්පත් සහ සමාගම වෙච්ච අපිට මිනිහා ආදරෙයි. ඒ නිසා තමයි මේ වගේ බෝලයක් අපිට ගෙනත් දුන්නේ. 

මේකට හුලන් ගහන්න, මේ ලේස් ලිහලා ඇතුලේ තියෙන ටියුබ් එක(හරියට බැලුන් එකක් වගේ) එලියට ගන්නවා. එහෙම හුලන් ගහලා, කට තද කරලා නවලා ගැට ගහනවා. ඉන් පස්සේ තමයි හොඳම හරිය. හැබැයි හොඳම හරිය ඊළඟ පොස්ට් එකෙන් බලන්න කියන්න තරම් මම සාහාසික වෙන්නේ නෑ. ඉන් පස්සේ කරන්නේ බොහොම අමාරුවේ අර කට වගේ බට කෑල්ල නවලා ඇතුලට දාලා, ලේස් එක තද කරන එක. ඒක හොම්බෙන් යන වැඩක්. අපි මේවා දිහා බලාගෙන හිටියා විතරයි. පාලිත අයියා තමයි මේ වැඩේ කරන්න හපනා.

මේකෙන් සෙල්ලම් කරන්න ගියාම ඊට වඩා තරු පේන වැඩේ. අපි දන්නේ නැතිව මුලින්ම කකුලේ ඇඟිලි වලින් තමයි මේකට පත බෑවේ. ඊට පස්සේ කව්රුත් කරන්න බිම වාඩි වෙලා ඇඟිලි අත ගාන එක. පස්සේ ටිකක් වයසින් වැඩි අය මේකට පහර දෙන්න ඕනේ ආකාරය කියලා නොදෙන්න, අපි දැන් අබ්බගාත් මහත්තුරු. පහුකාලීනවා ඇඩිඩාස්, මිකාසා වගේ ජාති වල බෝල අපිට ලැබුණේ, අපේ ගම සංචාරක පුරවරයක් වෙච්ච නිසා. අමතක වුණා කියන්න, කකුලේ කොතනින් ගැහුවත් අර ජොයින්ට් එකේ වැදුනොත් නම් දවස් දෙකක් නිවාඩු ගන්න වෙනවා. 

ඒ කිව්වේ අතුරු කතාවක්. මගේ පාපන්දු සම්බන්ධ රස කතා ගොඩක් තියෙනවා. ඒවා ගැන පස්සෙන් පහුව ලියන්නම්කෝ. ඒත් මේ බොලේ රවුම් කරන්න මේවා නිෂ්පාදනය කරපු ඇඩිඩාස් ප්‍රමුඛ අනෙකුත් සමාගම් වල උත්සාහය කොතරම්ද කියලා පහලින් තියෙන, එක්-එක් ලෝක කුසලාන වෙනුවෙන් නිෂ්පාදිත බෝල වර්ග දුටුවාම ඔබට පුදුම හිතෙන්න්නත් පුළුවන්. ඇඩිඩාස් සමාගමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලානයේ නිළ  පාපන්දු සපයන්නා බවට පත් වෙන්නේ 1970. එදා සිට අද දක්වා නොකඩවාම විවිධ වෙනස්කම්, දියුණුවීම් එකතු කරමින් ඒ සමගම අඛණ්ඩව මේ රාජකාරිය කරනවා. 

1970 දී මෙක්සිකෝවේ පවත්වපු ලෝක කුසලානයේදී පාවිච්චි කරපු කළු-සුදු පාපන්දුව ඔවුන් නම් කලේ ටෙලෙස්ටාර්   කියන නමින්. මෙතන 1974 දී බටහිර ජර්මනියේදී පාවිච්චි කරපු බෝලය පෙන්වා තිබුණත්, 1970දී පාවිච්චි කලෙත් මේ වර්ගයේම(නිෂ්පාදන ක්‍රියාවලියෙන් සමාන) එකක්. පාපන්දු වලට මේ නම් යොදන්න ගත්තු ක්‍රමයත් හරිම රසවත්, ටෙලෙස්ටාර්  යනුවෙන් මේක නම් කලේ ඒ කාලේ කාගේත් අවධානය දිනා ගත්තු ටෙලෙස්ට්‍රා කියන චන්ද්‍රිකාවේ නම යොදාගෙන. මෙහි කළු පන්චාශ්‍ර 12ක් සහ සුදු ෂඩශ්‍ර 20 කින් සමන්විත වෙනවා. ඒ කියන්නේ කෑලි 32ක්. මේක මහලා නිමවන්න මොන වගේ වෑයමක් අවශ්‍යද කියලා දැන් තේරෙනවා ඇතිනේ. ඒ මදිවට ඇතුලට ටියුබ් එකකුත් දාලා. නමුත් මේ විදියට මුලින්ම පන්දුවක් හදලා තියෙන්නේ 1962 දී. 

1974 දී මෙය ටෙලෙස්ටාර් ඩර්ලාස්ට් කියලා නම් කලේ මෙහි පිටතින් පොලියුරෙතින් ආලේපයක් එක් කරලා ජලයට ඔරොත්තු දෙන්න හැදුවාම. ටෙලෙස්ටාර් කියන චන්ද්‍රිකාවත් බොහෝදුරට රවුම්. හැබැයි 100% නෑ. මේ බොලෙත් ඒ වගේමයි.

ඔබ මේ වනවිටත් දන්නවා ඇති ලෝක කුසලාන වගේම ඔලිම්පික් තරගත් පවත්වන්නේ අවුරුදු හතරකට සැරයක් කියලා. එතනින් නොනැවතුණු ඇඩිඩාස් සමාගම තවත් ඉදිරි පියවරක් 1978දී තැබුවා. ඒ ටැංගෝ නමින් අලුත් බෝලයක් හඳුන්වා දෙමින්. මේ පින්තූරයෙන් පැහැදිලි වන ආකාරයටම සෑම පංචාශ්‍රයක් වටේම ට්‍රයැඩ්ස් නමින් හඳුන්වන වෘත්ත 12ක් එය අලංකාර කරන්නට යොදා ගන්නවා. මේවා විවිධ තරඟ පවත්වා යෝජනා ලෙස ලැබුණු ඒවා. එය තමයි පාපන්දු ඉතිහාසයේ වැඩිම මිලක් නියම වුණු පාපන්දුව. ඇමරිකන් ඩොලර්
299.95 කට එහි මිල සලකුණු කර තිබුණා. ඔවුන්ගේ මෙම ටැංගෝ නාමය යලි සිහිපත් කරන්න, මෑතකදී නැවතත් එනමින් ඔවුන් බෝලයක් හඳුන්වා දුන්නා. ඒ ටැංගෝ 12 නමින්. නමුත් පැරණි ටැංගෝ සහ වර්තමාන ටැංගෝ සඳහා යොදා ගත් නිෂ්පාදන ක්‍රියාවලිය සහ අමුද්‍රව්‍ය බොහෝසෙයින් වෙනස්.  1982දී ලෝක කුසලානය පැවැත්වුනේ ස්පාඥ්ඥයේ. එනිසා පාකිස්තානයේ සියල්කොට්හී නිෂ්පාදිත බෝලය නම් කෙරුනේ ටැංගෝ එස්පානා නමින්. ටැංගෝ නාමය සහිත පාපන්දු බොහෝ ප්‍රමාණයක් විවිධ තරගාවලි ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන්න ඇඩිඩාස් සමාගම පසුබට වුණේ නෑ. මින් ප්‍රධාන තරගාවලියක් තමයි යුරෝපා තරගාවලිය. ටැංගෝ ඩියුරලාස්ට්, රිවර්ප්ලේට්, ඉතාලියා, එස්පානා, මුන්ඩියාල්, සෙවිල්ලා, යුරෝපා, 12 ආදී වශයෙන්. මීට අමතරව විවිධ නගරයන් නමිනුත් ඔවුන් පාපන්දු නිෂ්පාදන එක් කළා රෝමා, නැපොලි, මියුනිච්, ස්කොපියන්, මෙන්ඩෝසා, ගෝල්, ඉන්ඩෝර් බෝල්, ටුවර්නියෝ ඒවායි. 

1986 දී ටැංගෝ වලින් මිදී නවතම නමක් එක් කරන්නට ඇඩිඩාස් කටයුතු කළා. ඒ ඇzස්ටෙකා නමින්. 1986 ලෝක කුසලානය පැවැත්වූ මෙක්සිකෝ රටේ තිබෙන විශාලතම ක්‍රීඩාංගනයක් තමයි ඇzස්ටෙක් කියන්නේ. ඇzස්ටෙක් ගෘහනිර්මාණ ශිල්පය මායා ශිෂ්ඨාචාරය තෙක් දිව යන්නක්. මෙහි ඇඳි සිතුවමට පදනම් වී ඇත්තේ මේ ඇzස්ටෙක් ගෘහනිර්මාණ ශිල්පය. මේ ක්‍රීඩාංගනය ගැනත් යමක් සඳහන් කරන්න වටිනවා. එය ලෝකයේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගන වලින් එකක්. 1986 දී නම් එතරම් ලොකු එකක් ලෝකේ තිබුණාදැයි සැකයි. ප්‍රේක්ෂකයින් ලක්ෂකට වැඩි ප්‍රමාණයක් එක් තරගයක් බලන්න එක්රැස් වුණාම තියෙන අසිරිය කොහොම වෙන්න ඇතිද ? මේ වගේ ක්‍රීඩාංගන වල වෙන දෙයක් තමයි, තෙරපීම නිසා ප්‍රේක්ෂකයින් මරණයට පත් වීම. දැන් ඉතා ප්‍රසිද්ධ මෙක්සිකන් රැල්ල මුලින්ම දකින්න ලැබුනෙත් ඇස්ටෙක් ක්‍රීඩාංගනයේදී බව මතක් කරන්න ඕනේ. 


ඉන් පස්සේ 1990 දී ඉතාලියට මේ තරගාවලිය යනවා. එතනදී ඇඩිඩාස් ආයතනය නවතම නිර්මාණයක් එලි දක්වනවා. ඒ එට්‍රස්කෝ යුනිකෝ නමින්. මෙවර ඔවුන් ට්‍රයැඩ්ස් නිර්මාණය තුලට ඉතාලියානු කාලාත්මක ඉතිහාසය හැඩ ගැන්වූ එට්‍රස්කන් සිංහ රූපය ඇතුලත් කරනවා. මතකද ෂඩශ්‍ර 20ක් මේ බෝලයේ තියෙනවා. ඒ හැම එකකම ට්‍රයැඩ් එකක් තියෙනවා. මෙය ක්‍රීඩා කරන විට යම් ලස්සනක් පාපන්දුවට ගෙන එනවා. මතක තබා ගන්න මේ දක්වාත් ඔවුන් උත්සාහ කරනවා පුළුවන් තරම් රවුම් පන්දුවක් නිර්මාණය කරන්න. තවමත් 100% රවුම් වෙන්නේ නෑ. හේතුව මේවා මහන මැහුම් නිසා තරමක් ඇතුලට නෙරා යාම. 

මේ පොස්ට් එක ඇසුරෙන් ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නම්. මේ පන්දුවක කෑලි තිස් දෙකක් තිබෙන බව කලින් කිව්වා. ඒ පන්චාශ්‍ර 12ක් සහ ෂඩශ්‍ර 20ක් වශයෙන් එහෙනං මැහුම් කීයක් තියෙනවාද ?

මීළඟ කොටසින් එදා සිට අද දක්වා. මතක තබා ගන්න 2014 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේ රියෝ නගරයේ පැවැත්වෙනවා. ඒකට හොඳ ආරම්භයක් වෙයි මේ සටහන. 

විශේෂ ස්තූතිය : මෙම ලිපියට ප්‍රවේශය සපයපු  රන්දුනු යසරංග අලුත් මිතුරාට. එහෙනං දෙවෙනි කොටසත් බලන්න.

______________________________________________
මේ පාපන්දු ගැන දැනීම මට බොහෝ කලක ඉඳන් තිබුනත්, මේ සටහන සම්පූර්ණ කරන්න www.wikipedia.org වෙබ් අඩවිය බොහෝ සෙයින් ඉවහල් වුණා. නැතිනම් මෙය ලියන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. මේ කාරණා අඩංගු online quiz එකක් www.fifa.com හී තිබෙනවා. එම ප්‍රශ්නාවලියට මා කාලයක් තදින් ඇබ්බැහි වී සිටියා. එම ක්‍රීඩාව කරද්දී මේ ගැන දැනුම ඉබේම වර්ධනය වනවා. සියලුම පින්තූර www.wikipedia.org(Photo Credits).

Tuesday, December 17, 2013

සුවඳ හමන රුපවාහිනිය ........ Televisions that smells good ......

ඔබ මෑතකදී නව ඉලෙක්ට්‍රොනික් හෝ ඉලෙක්ට්‍රිකල් උපාංගයක් මිලදී ගත්තාද ? හොඳම උදාහරණය ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගනයකය. මේ හැම එකක්ම මිලදී ගෙන මුල් දවස් කිහිපයේ වයර් පිච්චෙන ගඳක්  දැනිලා ඇති. මේක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබේ නවතම රූපවාහිනියෙන් නොනවත්වාම ගඳ-සුවඳ හමන්න ගත්තොත් ඔබ මොකද කරන්නේ ? බොහෝ විට මෙය නිෂ්පාදන දෝෂයක් (Manufacturing Defect) කියා ඔබ එය නැවත මිලදී ගත් වෙළෙන්දා හෝ නිෂ්පාදිත ආයතනය වෙත ගෙන යනවා නියතයි. මේක කියවද්දී අර චූටි මල්ලියි පොඩි මල්ලියි හිටිය ඇඩ් එක සිහියට එනවා ඇති.

මම කියන්න යන්නේ ඒ වගේ සිද්ධියක් ගැන නොවෙයි. මා කුඩා කාලයේදී මගේ පියා මා හා නිතර කිව් දෙයක් තමයි, "අනාගතයේදී රූපවාහිනියෙන් ගඳ-සුවඳ එන්න පුළුවන් විදියට හදනවා" කියන එක. ඒ කාලයේදී මට මේක දැනුණේ විහිළුවක් වගේ. අද වුණත් කෙනෙකුට මේක විහිළුවක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් නුදුරු අනාගතයේදී තවදුරටත් මේක විහිළුවක් වෙන්නේ නෑ. අසීරු වුණත් විද්‍යාඥයෝ මේ උත්සාහය අත අරින්න සුදානම් වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ස්මෙල්-ඕ-විෂන් ටී.වී. කියන නවතම මානයකට රුපවාහිනිය ගෙන යන්නේ. 

ස්මෙල්-ඔ-විෂන් පිලිබඳ මුලින්ම වාර්තා වන්නේ 1960 දී නිෂ්පාදනය කරන ලද "ද සෙන්ට් ඔෆ් මිසරි" චිත්‍රපටයෙනි.  මයික් ටොඩ් නමැති චිත්‍රපට නිෂ්පාදකය තම සියළු ධනය ඒ වෙනුවෙන් ආයෝජනය කරන ලදී. එම චිතරපටයේදී එක්-එක් පුද්ගලයාගේ ආසනට සම්බන්ධ කර තිබූ නාල මගින් මේ සුවඳ එවන්නට සැලසුම් කොට තිබුණි. 1980 ගණන් වල නිපදවූ පොලියෙස්ටර් නම් චිත්‍රපටයේදී යලිත් ස්මෙල්-ඔ-විෂන් යොදා ගන්නා ලදී. ඒ මයික් ටොඩ්ගේ පියාගේ හොඳම මිතුරකු වූ එඩී ෆිෂර් විසිනි. ඔහු එවර එම තාක්ෂනය මදක් වෙනස්ව යොදා ගන්නා ලදී, ඒ වෙනුවට දියර වර්ග සෑම අසුනකම ආසන්නයේ ස්ථානයක තබා ඇති කාඩ්පතකට කවා ඇත. ප්‍රේක්ෂකයා එම කාඩ් පත  සූරා සුවඳ බැලීය යුතුය. 
පින්තූරය ගත්තේ : theinstitute.ieee.org

ඕනෑම තාක්ෂණයක ප්‍රාථමික යුගය මදක් විසුළු ස්වභාවයක් ගනී. නමුත් එය විකාශණය වත්ම එහි ඇති අඩුපාඩු ඉවත් කර මටසිලිටුව නිපදවන්නට පර්යේෂකයෝ සමත් වෙති. රුපාවහිනිය සමග ස්මෙල්-ඔ-විෂන් තවමත් පසු වන්නේ ප්‍රාථමික අවධියේය. මේ වසරේ මාර්තු මාසයේ ඉලෙක්ට්‍රොනික් සහ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු ආයනතය විසින් පවත්වන "වර්චුවල් රියලිටි" සම්මන්ත්‍රනයේදී හරුකා මට්සුකුරා, හිරෝෂි ඉෂිඩා සහ ටට්ෂිරෝ යොනිඩා විසින් ඔවුන්ගේ නව නිර්මාණය ප්‍රදර්ශණය කරන ලදී. ඔවුන් එය නම්කොට ඇත්තේ "ඕල්ෆැක්ටරි ඩිස්ප්ලේ" යනුවෙන් (ආඝ්‍රහණ ප්‍රදර්ශකය). මෙහි තිරය දෙපස සුවඳ නිකුත් කරන කවුළු දෙකක් තබා ඇත. තිරලා එල්.සී.ඩී. වර්ගයේ එකකි. එම මොනිටරය වර්ග අටක සුවඳ නිකුත් කිරීමට සමත්ය.

නමුත් මෙම සොයා ගැනීම රුපවාහිනියේ ශ්‍රව්‍ය - දෘශ්‍ය සංඝටක දෙක සිදු වන ආකාරයට සපුරා වෙනස් අයුරකින් සිදු වේ. මෙහිදී සුවඳ ලබා දිය යුතු ස්ථාන කලින් දැන සිටිය යුතුය. උදාහරණයකට මල් වත්තක දසුනක් යන මොහොතක මල් සුවඳක් හැමීමට සැලැස්විය හැක. රස ආහාරයක් පිලිබඳ වැඩසටහනක් යන විට අදාළ සුවඳ විසරණය කල හැක. මෙය වඩාත් යෝග්‍ය වෙළඳ දැන්වීම් සඳහාය. දැනටමත් ආහාරපාන නිෂ්පාදකයෝ ඔවුන්ගේ වෙළඳසල් වල විවිධ සුවඳ වර්ග හැමීමට සලස්වා ඇත. මැලිබන් සහ මන්චි ආයතන අසල මේ සුවඳ ඇති බව ඔබ දන්නවා ඇත.

නමුත් නිසියාකාරයෙන් සිදු වන්නට නම් අපට සුවඳ පටිගත කර ගැනීමට හැකි විය යුතු අතර අදාළ සුවඳ විකාශණය කල හැකි විය යුතුය. නමුත් මෙහි සිදු වන්නේ පටිගත කල දසුනට අදාළ සුවඳ ලැබෙන්නට සැලැස්වීමයි. එනිසා මේ ක්‍රමය සජීවී වැඩසටහනක් සඳහා යොදා ගත නොහැක. එසේ කල යුතු නම් රූකඩ නටවනවා වගේ සිදු කල යුතුය. කෙසේ නමුත් මෙම උත්සායහ අගය කල යුතුය. මන්ද එය තුලින් නියමිත ඉලක්කයට යාම ආරම්භ කල හැකි බැවිනි. මේ සමග ඇතිවන අතුරුඵල ගැනද සිතිය යුතුය. සමහරු ප්‍රිය කරන සුවඳක්, තවත් කෙනෙකුට අප්‍රිය විය හැකි නිසාය. 

Thursday, December 12, 2013

පෘතුවිය කරා පැමිණි එකම පිටසක්වල සංඥාව ...... The only Signal that Planet Earth Received from Extra Terrestrial

විස්මයජනක දෙයක් සිදුවන ඕනෑම මොහොතක, මිනිසුන්ගේ කටින් පිටවන වචන වන්නේ "මගේ දෙයියනේ" (ඉංග්‍රීසියෙන් නම් OMG - Oh ! My God නැතිනම් awesome) යන්නයි.  එහෙත් 1977 අගෝස්තු 18 වැනිදා, තමන්ගේ මුළුතැන්ගෙයි මේසයක ඉඳගෙන උන් ජෙරී එහ්මන්, තමන් ඉදිරියේ ඇති පරිගණක මුද්‍රිතයක දුටු ඉලක්කම් සහ අකුරු හයක එකතුවක් දුටු විට ඔහු තෝරා ගත්තේ ඉංග්‍රීසි බසෙයි ඉතා කුඩාම හැඟුම් ප්‍රකාශන වචනයකි - එම සංකේත හය පසුව ලෝකයේ විශාලම ප්‍රහේලිකා අතුරින් එකක් බවට පත් විය. සැණෙකින් රතු පෑන අතට ගත් ඔහු, එම සංකේත වටා රවුමක් ඇඳ පසෙකින් මෙසේ ලිවීය

Image courtesy of the OSU RO and NAAPO

ජෙරී එහ්මන්  මෙම අකුරු තුනේ වචනය "Wow" ලියන විට, ඔහු ඔහියෝ ජනපද සරසවියේ මහාචාර්ය වරයෙක් වශයෙන්, පිටසක්වල බුද්ධි ගවේෂණය කරන ආයතනයේ (Search for Extra Terrestrial Intelligence - SETI) ස්වෙච්ඡා සේවකයෙකු වශයෙන් සේවය කළේය. සෑම දින කිහිපයකට වරක්ම, පාපැදියක පැමිණෙන පණිවුඩකරුවකු, ඔහියෝහී ඩෙළවෙයා ප්‍රදේශයේ පිහිටුවා ඇති දැවැන්ත රේඩියෝ සංඥා දුරේක්ෂය මගින් ලබා ගන්නා ඈත විශ්වයේ සිට පැමිණෙන හඬවල් පිළිබඳ පරගණක මුද්‍රිත ජෙරී වෙත ලබා දෙයි. යම් විස්මිත දෙයක් මතුවුවහොත්, ඔහු  එය අනෙකුත් සෙටි(SETI) සහෘද්දයන් වෙත  දන්වයි.

එදින ඔහු දුටු දෙය, ප්‍රතිචාර ලැබූ දේව කන්නලව්වක් වැනිය.

මම පිටසක්වල ජීවියෙක් නම් .....

වසර දහඅටකට ප්‍රථම, කෝනල් භෞතික විද්‍යාඥයින් දෙදෙනක් වන පිලිප් මොරිසන් සහ ගුසෙප්පේ කොකොනි, පෘතුවිය වෙත සංඥාවක් එවීමට පිටසක්වල බුද්ධිමත් ශිෂ්ටාචාරයක් පවතීද  යන්න ගැන
අදහසක් ගන්නට උත්සාහ කර ඇත. "අප රේඩියෝ සංඥා ලැබෙනවාදැයි බැලිය යුතුයි" ඔවුන් පවසයි. රේඩියෝ සංඥා ජනිත කිරීමට වැඩි ශක්තියක් අවශ්‍ය නැත, එහෙත් අභ්‍යාවකාශය හරහා  අතිවිශාල දුරක් ගමන් කරයි.
Image courtesy of the OSU RO and NAAPO
 කොකොනි සහ මොරිසන් අනුමාන කරනවා පිටසක්වල ජීවීන් සංඛ්‍යාත තෝරා ගන්නේ, ගණිතය සහ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති ජීවියකුට ගෝචර වන ඒවා බවය. විශ්වයේ වඩාත් පොදු පදාර්ථය වන්නේ හයිඩ්‍රජන්ය. හයිඩ්‍රජන් අනුවකට එක්තරා වේගයකින් පහර දීමෙන් අනුනාදයක් ලැබේ.එය මෙගහර්ට්ස් 1420(MHz).ක්. ඔවුන් පවසනවා "ඉතිං බලන්න, මෙගාහර්ට්ස් 1420කින් පැමිණෙන, ලොකු ශබ්දයක් බලන්  සිටින අපගේ අවධානය එය වෙත යොමු වෙනවා"

අගෝස්තු 15 වෙනිදා හරියටම බලාපොරොත්තු වූ අයුරින්ම එය ආවා.

ජෙරී දුටු දෙය වුයේ, ඔව් එය රේඩියෝ සංඥාවක්, ඔව් එය මෙගා හර්ට්ස් 1420 කට ඉතාමත් ආසන්න සංඛ්‍යාතයක එකක් (නිවැරදි අගය 1420.4556 MHz, එය බලාපොරොත්තු වූ තැනින් බොඳවී). එය මිනිත්තු 2ත් 2 1/2 අතර කාලයක් පැවතිණි. එය විශාල ශබ්දයක්. කොකොනි සහ මොරිසන් අනාවැකි පළ කල ආකාරයේ සම්ප්‍රේෂණයක්. ඔබ මේ මුද්‍රිතය දෙස බැලුවොත්, ඔබට 6EQUJ5 යන අක්ෂර මාලාව දැකිය හැකිය.

විද්‍යා රචකයකු වන මයිකල් බෘක්ට අනුව, ඔහුගේ 13 වැනි පොත වන "Things That Don't Make sense" "ඉලක්කම් සහ අක්ෂර, වීද්‍යුත්-චුම්බක සංඥා රිසීවරය වෙත ලැබීමේදී එහි තීව්‍රතාව මැනීමට අත්‍යවශ්‍ය වනවා. අඩු ශක්තියකින් එන තරංග 0 සිට 9 දක්වා අංක වලින් සටහන් කරගන්නා අතර ඉහළ ශක්තීන්ගෙන් යුත් සංඥා සඳහා, පරිගණකය අක්ෂර යොදා ගණන්ව : 10 A අකුරිනුත්, 11 B ආදී වශයෙන්". ඉංග්‍රීසි හෝඩියේ අග හරියේ අක්ෂර ලැබෙද්දී ඔබට ඉතා ශක්තිමත් සංඥා ලැබෙනවා. 
Image courtesy of the OSU RO and NAAPO

එනිසා තමයි ජෙරී U අක්ෂරය(ඉංගීසි හෝඩියේ 21ක් වෙනි අකුර U වේ) දකිද්දී ඔහුට  දැනුණා කිසිවක් සිදු වෙයි කියා.

ජෙරී පවසනවා "මා මීට් කලින් එතරම් ශක්තිමත් සංඥාවක් දැක නෑ.  "U" ලොග් අගයන්ගේ ගත් විට, සාමාන්‍ය සංඥාවක් හා සැසඳීමේදී එය (ගැඹුරු අභ්‍යාවකාශයේ සිට එන) තිස්ගුණයකට වඩා වැඩි ශබ්දයක්. එය එක්තරා මට්ටමක 'හලෝ' කීමක් ඒ වගේම  එය ජෙරීගේ ප්‍රතිචාරය පැහැදිලි කිරීමක්.

"එය වාව් ගෑමට හොඳම කාරණාව. මම විස්මයට පත් වුණා" යයි ජෙරී තවදුරටත් පැවසීය.

  සක්වල ඝෝෂාකාරී ස්ථානයකි.

B.J. Mochejska (CfA), J. Kaluzny (CAMK), 1m Swope Telescope
ජෙරී පුදුම වූ තරමටම ඔහු තුළ ප්‍රහෙලිකාවක්ද ඇති විය. ඒ කොහි සිට මේ සංඥාව පැමිණියේද යන්නයි ? SETI විද්‍යාඥයින් එය සැගිටෙරියස් තාරකා මණ්ඩලයේ සිට පැමිණි බව සොයා ගත්තා, M55 ගෝලාකාර රාශියට වයඹට වනන්නට මෙය පිහිටා ඇත. නමුත් එය ජනිත වූ ස්ථානය සෙවූ ඔවුන්ට, එහි ග්‍රහලොවක් හෝ තරුවක් හෝ කිසිවක් නැති බව පැහැදිලි විය. නමුත්, තවමත් එම සංඥාවේ ඒ.එම්/ එෆ්.එම්. ස්වභාවයේ පටු ආයාමය  සහිත සංඛ්‍යාතය, එය සිතා මතා එවූවක් යයි යෝජනා කිරීමට  අමුතුවෙන් නොකිවයුතු  පුදුමාකාර ලෙස වද දෙන්නකි. සමහරවිට මෙම සංඥාව එවූ පුද්ගලයා කවුරුවූවත් හෝ කුමක්වූවත් එතනින් ඉවත් වී තිබිය හැක.

නැතිනම් එසේ නොවන්නටද පුළුවන. සමහරවිට සංඥාවක් නැති වන්නටම පුළුවන්. ජෙරී සහ කණ්ඩායම මෙයට සමාන වෙනත් විකල්ප ගැන සොයා බැලීය. එය චන්ද්‍රිකා සන්නිවේදන පනිවුඩයක්ද(නැත), හමුදා  සංඥාවක්ද(නැත), ගුවන් යානා සංඥාවක්ද(නැත),   ගුවන්විදුලි තරංගයක්ද(නැත) ? ස්වභාවික දෙයක් විය හැකිද? ස්පන්දනය වන තරුවක් ? එතනින් තමයි එය බේරුම් කර ගැනීමට හැකි වුවේ.

 තාරකාවිද්‍යාඥයින් විශ්වයේ හඬ නගන්නන් සොයාගැනීමේ කාර්යයේ දිගටම නිරත වූහ: ගට්ටනය වන කළු විවරයන්, හදිසියේ ක්‍රියා විරහිත වන අඳුරු තාරකාවන්, පිපිරෙන ගැමා කිරණ ආදී වශයෙන්. කොලොම්බියා සරසවි තාරකා විද්‍යාඥයකු වන කැලෙබ් ශාර්ෆ් පවසන්නේ අප සෑම වසරකම තවත් අලුත් දේ දැන ගන්නා විට, වියහැකි දේ  කිසිදා නොසිඳෙන  බවයි.

ජෙරීට එහ්මන්ට තිබෙන ලොකුම ප්‍රහේලිකාව වන්නේ "එක  සංඥාවක් පමණක් ලැබුණේ ඇයි? එය පිටසක්වල බුද්ධිමත් ජීවීයකු යම්තැනකට යවන්න උත්සාහ කල පණිවුඩයක් නම්,   ඔවුන්ට එය කිහිප වතාවක් යැවීමට තරම් හැගීමක් ඇති නොවිනිද ? සංඥාව 1977 අගෝස්තු 15 වනදා පතිත වුවත්, එය නැවත සිදු නොවීය.

"එය තමයි විද්‍යාත්මක ක්‍රමයට පදනම" යනුවෙන් කොලොම්බියාහී ශාර්ෆ් පවසයි. "ඔබට එය නැවත සිදුවීමට අවශ්‍යද ?". ඒ විදියටම අනෙකුත් විද්‍යාඥයින්ට එම සොයාගැනීම    සනාථ කල හැක".

Wow ! සංඥාව ගැඹුරු අභ්‍යාවකාශයේ සිට උවමනාවෙන්ම පෘථිවිය වෙත එවූවා සැලකිය හැකි ගුණාත්මක බැවින් යුත්, පටිගත කල එකම සංඥාව වේ. ජෙරී එහ්මාන් එය පිටසක්වලින්ම ලැබුණු එකම සංඥාවට තමා සවන් දුන්නේ යයි පවසන්නේ නැත. එය පැමිණි අත ගැන තවමත් විවෘත්ත ගැටලුවක් ඔහුට ඇත. ජෙරී එහ්මාන්ට පැවසිය හැක්කේ, (හැකි උපරිමයෙන්) එසේ නොවිය හැකි සියලුම කාරණා ඉවත දැමිය හැකි බවත්, පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් බව ඔහුට තවමත් ඉවත දැමිය නොහැකි බවත්ය.

2008 දී මයිකල් බෘක් ලියා පළ කල " Things THat Don't Make Sense" නමැති පොතෙහි, හත්වන  පරිච්ඡේදයෙහි ඇති මේ පිළිබඳ සටහනෙහි "Wow ! පණිවුඩය බොහෝවිට මා කියවූ හොඳම දේ විය හැකියි" යනුවෙන් සටහන්ව ඇත. 


මී කලින් මේ ලිපියට ප්‍රවේශයක් ලැබුණ මේ ලිපි දෙක නොබැලු අය ඉන්නවාද ? .......

[1] ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අභිරහස් දහය - I කොටස

[2] ලෝකයේ මෙතෙක් නොවිසඳුණු අභිරහස් දහය - II කොටස

Saturday, December 7, 2013

ලෝකයේ තවමත් නොවිසඳුණු අභිරහස් දහය - II කොටස World's most unsolved mysteries - Part II

6.තමාම් ෂුඩ් ගැටලුව


තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන  තවමත් මෙය  නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).

එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.

කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.

(තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)

7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow)  සංඥාව


1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial  Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා  අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්‍ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.

එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා  දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.

එහ්මන් වාව් (Wow !)  යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.

සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි.

(මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)

8. ග්‍රහචක්‍ර ලිපි.

ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත. 

මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත. 

9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ

ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය. 

මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද,   ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි. 

එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්,  එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය"  බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය. 

10. රොන්ගොරෝන්ගෝ


රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක්  හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි. 

මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි.

මෙය
 http://alft-teluu.blogspot.com/ හී පලවූ World's Most Unsolved Mysteries නමැති ලිපියේ සිංහල පරිවර්තනයේ දෙවන කොටසයි.
_____________________________________________
මේ එක්-එක් සිදුවීම සම්බන්ධයෙන් ඇති ලිපිද ඉතා සිත්ගන්නා සුළු නමුත් දීර්ඝ ඒවාය. ඔබේ කැමැත්ත අනුව ඉන කිහිපයක් හෝ සියල්ල පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙමි. 

Wednesday, December 4, 2013

ලෝකයේ තවමත් නොවිසඳුණු අභිරහස් දහය මෙන්න. World's most unsolved mysteries.

නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම් කරනා සෙයකි. එම පණිවුඩ රහස් සංකේත ලෙස දක්වා ඇත්තේ ඇයි ?


ඒවා තුළ බැරෑරුම් රහස් ඔවුන් සඟවා තැබුවාද ? බොහෝ උගත් ඉතිහාසඥයන්ගේ, ගුප්ත ලේඛන කියවන්නන් සහ අධිෂ්ඨානශීලී නිදන් හොරුන්ගේ උත්සාහයන් හැරුණුකොට , ඉතිහාසය ප්‍රහේලිකා වලින් පිරී ඇති නිසා අප මේ දක්වා ව්‍යාකූල වී ඇත.  මෙවැනි සැබෑ ජීවිතයේ ප්‍රහේලිකා හා සසඳන විට, ප්‍රබන්ධ කතා පදනම් කරගත් "ඩාවින්සි කෝඩ්" සහ "නැෂනල් ට්‍රේෂර්" වැනි චිත්‍රපට වල කිසිවක් නැති තරම්ය.   ලොව නොවිසඳුණු හොඳම ගුප්ත අභිරහස් සහ සංකේත දහය ලෙස අප විශ්වාස කරන ලැයිස්තුව මෙන්න

1.වොනික් අත්පිටපත

1912 දී පෝලන්ත-ඇමරිකන් සම්භවයක් ඇති පුරාවස්තු රැස් කරන්නෙකු වන  විල්ෆ්‍රඩ් එම්. වොනික් අත්පත් කරගෙන ඇති සහ ඔහු නමින් නම් කර ඇති මෙම  පිටු 240ක සවිස්තරාත්මක පොත ලියා ඇති භාෂාව අදටත්  නොදනී. මෙම කෘතිය තුළ නාඳුනන දේ,  අමුතු අවස්ථා සහ මෙතෙක් හඳුනා ගත කිසිදු ප්‍රභේදයකට අයත් නොවන ශාඛ පිළිබඳ වර්ණවත් චිත්‍ර වලින් පිරී ඇති නිසා එය කෘතිය පිළිබඳ කුතුහලට වඩාත් තීව්‍ර කරන අතර එය තේරුම ගැනීම තවත් අපහසු කරයි. තවමත් මෙහි නියම රචකයා කවුරුන්දැයි නොදනී. නමුත් කාබන් කාල නිර්ණයට අනුව මෙම පිටු ක්‍රි.ව. 1404 සහ 1438 අතර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත. එය "ලෝකයේ   වැඩිම අභිරහස් අත්පිටපත" ලෙස හඳුන්වනු ලබයි.

අත්පිටපතෙහි ආරම්භය සහ ස්වභාවය පිළිබඳ න්‍යායාත්මකව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ,  එය මධ්‍යතන හෝ නුතන යුගයේ මුල් කාලයට අයත් ඖෂධසංග්‍රහයක් බවයි. එය රසායනඥයන්(ඇල්කෙමියකන්) සඳහා වූ මුද්‍රිතයක් බව එහි ඇති බෙහෙත් පැළෑටි සහ පැල පිළිබඳ රූප ඉඟි සපයයි. බොහොමයක් චිත්‍ර තාරකාශාස්ත්‍රමය ආරම්භයක් සහිත වූ නිර්මාණය නිසා,  ඒවාට පිටසක්වල ජීවීන් විසින් සකන්සන්නක් විය හැකි බව  කාල්පනික න්‍යායාචාර්ය වරුන් යෝජනා කරයි.

බොහෝ න්‍යායාචාර්ය වරුන් එකඟ වන කාරණය නම් එය අසම්භාව්‍ය වංචාවක් නොවිය හැකි බවයි. හේතුව එම නිර්මාණයට යම් කාලයක් සහ මුදලක් සහ  විස්තර ප්‍රමාණයක් ගොනු වී තිබීමයි.

2.ක්‍රිප්ටොස්

ක්‍රිප්ටෝස් යනු චිත්‍ර ශිල්පී ජිම් සැන්බෝන් විසින් නිර්මාණය කරන ලද අභිරහස් මූර්තියකි. එය  ඇමෙරිකාවේ ලැන්ග්ලි හී පිහිටා ඇති සී.අයි.ඒ. මුලස්ථානය එළිපත්තේ ස්ථාපනය කර ඇත. එය කෙතරම් අභිරහස්දයි කිවහොත් සී.අයි.ඒ. ආයතනය පවා එය මුළුමනින්ම සාමාන්‍ය බසට පරිවතනය කරන්නට සමත් වී නැත.

මෙහි අන්තර්ලේඛන හතරක් අඩංගු වන අතර ඉන් තුනක් කඩන්නට දැනට සමත් වී ඇතත්, සිව් වන්න තවමත් අල්ලාගැනීමට නොහැකි වී ඇත. 2006 දී සැන්බෝන් විසින් පළමු අන්තර්ලේඛනය සහ අවසන් එක අතර තිබෙන ඉඟියක් ලබා දුන් අතර, 2010 දී තවත් ඉඟියක්  ඵල කළේය: ඒ හතරවන අන්තර්ලේඛනයේ ඇති 64-69 දක්වා අක්ෂර NYPVTT වන අතර එය BERLIN බවය.

ඔබට තවමත් එය විසඳීමට උත්සාහ කර බැලිය හැක.

3.බෙල් සයිපර්ස්


ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 1818 දී තෝමස් ජෙෆර්සන් බෙල් නමැති අරුම පුදුම පුද්ගලයාය.

මෙම කේතාංක සටහන් වලින් දෙවෙනි සටහන  පමණක් මේ දක්වා බේරුම් කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා භාවිතා කර ඇති කේතාංක යතුර වී ඇත්තේ එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශ කිරීමේ  පාඨයයි.  කුතුහලය දනවන කරුණ නම් නිදහස් පාඨය නිර්මාණය කල තැනැත්තාට බේල්ගේ නමම තිබීමයි.

මෙහි තේරුම් ගත් කොටසේ වත් එම නිදානය වළලා තැබූ නියම ස්ථානය වූ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, බෙඩ්ෆොර්ඩ් ප්‍රදේශය සටහන්ව නැත   නමුත් එය තවමත් තේරුම් නොගත් කේතාංක තුළ බොහෝවිට සැඟවී තිබෙන්නට පුළුවන්. අද දිනය දක්වාත්, නිදන් සොරු, බෙඩ්ෆෝර්ඩ්හී කඳුකර ප්‍රදේශ වල (බොහෝවිට අනවසරයෙන්) ගෙන සෝදා කොල්ලකනවා.

4.ෆායිස්ටස් තැටිය.

ෆායිස්ටස් තැටියේ අභිරහස ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේ එන කතාවක් වැනිය. ඉතාලි පුරාවිද්‍යාඥ ලුයිගි පර්නියර් විසින් 1908 දී ඵයිස්ටස්හී මිනොන් මාළිගා බිමෙන් සොයා ගන්නා ලද තැටිය මැටි වලින් සාදා ඇති අතර, එහි අඩංගු වන අභිරහස් සංකේත වලින් නොදන්නා රුපාක්ෂර වර්ගයකි. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සැලසුම් කලා යයි පිළිගැනේ.

සමහර විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ මෙම තැටියේ ඇති රූපාක්ෂර සමානතාවක් දක්වාන්නේ පෞරාණික "ක්රේට්" වල භාවිතා වන අක්ෂර ඇති රේඛීය ඒ සහ රේඛීය බී වලට බවයි.

අදත් මෙම තැටිය පුරාවිද්‍යාව මගින් නොවිසඳූ ප්‍රහේලිකාවක් වශයෙන් පවතී.

5.ශග්බරෝ (පිළිගැන්වීමේ) වාක්‍යය

එංගලන්තයේ, ස්ටඵර්ඩ්ෂයර් හී 18 වන සියවසේ එඬේරාගේ සමාධියට පෙනෙන දුරින් ඇති එය නිකලස් පොසින්ගේ ප්‍රසිද්ධ චිත්‍රයක් වන "රමණීය දේවගැතියා" හී නැවත නිර්මාණය කරන ලද මූර්තියක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. ලංව බැලුවොත් ඔබට පෙනේවි අපූර්ව අකුරු පන්තියක්, "DOUOSVAVVM" ලෙස. එම කේතය  අවුරුදු 250ක කියවා තේරුම් ගැනීමේ ප්‍රයත්නයන් ඉක්මවායන බව. 

මෙහි කැටයම්කරුවා කවුද යන්න තවමත් අභිරහසක් වුවද, සමහරුන් අනුමාන කරන්නේ ටෙම්ලර් හී ආදිපාදවරුන් ශුද්ධවූ බඳුන(යේසු තුමා අවසන් භෝජනය සඳහා භාවිතා කල) සඟවා ඇති ස්ථානය පිළිබඳ රහස මෙහි සඟවා තබන්නට ඇති බවයි. 

ලෝකයෙන් බිහි වූ විශිෂ්ඨතම චින්තකයන් යුගලක් වූ චාර්ල්ස් ඩාවින් සහ චාර්ල්ස් ඩිකන්ස් මෙම අභිරහස විසඳන්නට ඉදිරිපත් වුවද අසමත් වුහ.
___________________________________________
මෙවැනි ලිපි පරිවර්තනය ඉතා අසීරු බැවින් වඩා රසවත් ඉතිරි පහ දෙවන කොටස දක්වා ගෙන යාමට සිදු වේ. 

මෙය http:/alft-teluu.blogspot.ca හී පල වූ World's most unsolved mysteries. ලිපියේ පරිවර්තනයකි. 

Saturday, November 30, 2013

ගූගල් සිතියමේ මා මේ පුංචි දේ දුටුවා. මා එය විශාලණය කර බැලුවා. මට එහි කල හැකි දෙයක් තිබුනේ නෑ.

මගේ මිතුරෙකු යම් අක්ෂාංශ, දේශාංශ ඛණ්ඩාංක යුගලක් ලබා දී ගූගල් සිතියමේ සොයන ලෙස පැවසුවා. එය අප්‍රිකානු මහාද්වීපයේ වැලිකතරක තිබෙන ස්ථානයක් බව මට මොහොතකින් පසක් වුණා. මා මුලින් සිතුවේ ඔහු මට අන්ඩරයක් දුන්නා කියලයි.   නමුත් එය විශාලණක කර බැලූ විට මහද කැලඹුනා.  මා දුටුවා එහි ගුවන්  යානයක හැඩය සහිත කුඩා සංකේතයක්. 

මා තවදුරටත් ඒ ගැන සොයා බැලීමක් කළා. පසුව  සොයාගන්නට හැකි වුණා, එහි පිටුපස අතිශය පුදුමය දනවන ශෝඛාන්තයක් වටා ගෙතුණු අපූරු කතාවක් තිබෙන බව. මුල සිට අග දක්වා කතාවයි මේ.

යූ.ටී.ඒ. යානා අංක  772 කොංගෝ ජනරජයේ බ්‍රසාවිල් ගුවන්තොටුපලේ සිට ප්‍රංශයේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණා.  පහතින් තිබෙන්නේ එහි ගුවන් පථය. 

 නමුත් එයට ගමනාන්තයට ලඟා වන්නට බැරි වුණා. සියලුම මගීන් සමග යානය විනාශ වුනා. 
ඉන් වසර දහඅටකට පසු අනතුරටගොදුරු වූ මගීන්ගේ නෑසියන් එකතු වුණා. ඒ ස්මාරකයක් ගොඩ නගන්න.
 එම ස්ථානයේ දුරස්ථ භාවය යානයේ සුන්බුන් ඒ වනතුරුතු එහි ඉතිරිව තිබුණා.



 එය ගොඩනැගුවේ "Les Families de I'Attentat du DC-10 d'UTA" නමැති යානයේ සිටි අයගේ පවුල් වල අයගේ සංවිධානය සහ එම ප්‍රදේශයේ වැසියන් එකතුව.


 එම ස්මාරකයේ වැඩි කොටසක් මිනිස් දෑතින් නිමවුණු අතර අඩි දෙසීයක් විශ්කම්භයකින් යුත් කවයක් ආකාරයෙන් කළුගල් තබා එය ඉදි වුණා.
 ටෙන්රේ ප්‍රදේශය ලෝකයේ ලඟා වීමට අපහසුම ස්ථාන වලින් එකක්. කළුගල් එම ස්ථානයට ගෙන ආවේ කිලෝමීටර් 70ක් පමණ ඈතින්.



 ස්මාරකය සාදා නිම කිරීමට මාස දෙකක කාලයක් ගත වුණා. ඒ 2007 මැයි සහ ජුනි මාස වල.


 බිඳුණු කන්නාඩි 170ක් එහි ගමන් ගත් මගීන් සිහිපත් වීමට එම කවයේ පිටතට ආසාන්නයේ (පරිධිය දිගේ)තැබුවා.
යානයෙහි දකුණු පස තටුව එම ස්මාරකය තිබෙන ස්ථානය සලකුණු කිරීමට ස්ථාපනය කෙරුණා. එය වැලි හාරා ගොඩ ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දරන්නට සිදු වුණා. සැතපුම් දහයක් ඈත සිට එය ට්‍රක් රථයක් මගින් ප්‍රවාහනය කෙරුණා. 
 හාරා ගොඩ ගැනීමෙන් පසු සේවකයන්ට එහි වැලි ඉවත් කරන්න සිදු වුණා.



 එම ස්මාරකය සඳහා වන අරමුදලෙන් කොටසක්  ලිබියානු රජය මගින් පිරිනැමුණු ඩොලර් මිලියන 170 ක වන්දියෙන් ලැබුණා.





ස්මාරකය  සම්පූර්ණ වූ පසු.


 මෙම ස්මාරකය ගූගල් සිතියමෙහිද, ගූගල් අ(ර්)ත් (Google Earth) මෘදුකාංගයේද දැකිය හැකියි. 


ලිබියානු ජාතිකයන් හයදෙනෙකු අවසානයේ මෙහි වරදකරුවන් බවට තීන්දු වුණා. ඔවුන් සූට්කේස් බෝම්බයක් යොදා ගනිමින් යානය පුපුරුවා හැරියා. එහි ගමන් කරමින් සිටි මගීන් 155ක් සහ ගුවන් සේවකයන් 15 දෙනෙකු මරුමුවට පත් වුණා. 
ඛේදාන්තයක අභිමුවේ වුවද මෙවැනි අලංකාර ස්මාරකයක් ඉදි කරන්නට ඔවුන්ගේ නෑසියන් ඉදිරිපත් වුවා. ඔවුන් නෑසියන්ගේ හදවත් තුලත්, කාන්තාරයේත් ඒ වාගේම ගුගල් අර්ත් තුලත් ජීවත් වනු ඇත. 


I Noticed This Tiny Thing On Google Maps. When I Zoomed In… Well, Nothing Could Prepare Me. 
 නමින්   http://www.amazingoasis.org/2013/11/i-noticed-this-tiny-thing-on-google.html  හි පලවූ සංවේදී පුවතේ සිංහල පරිවර්තනයයි.

_________________________________________
කෙනෙකු එහි ඛණ්ඩාංක ඉදිරිපත් කර තිබුණා. +16°51'53.76", +11°57'13.44 ලෙස.

පසුව හමු වූ වඩාත් හොඳ ඡායාරුප ඇල්බමයක්

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...