Saturday, December 29, 2012

ලාවට එක දෙක වෙච්ච වෙලාවල් ......

සිංහලෙන් බ්ලොග් ලියන කියවන අය අතරේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා නොහොත්  බුද්ධි නොමැකෙන සටහනක් තිබ්බ කියන එකයි මගේ විශ්වාසය. බුද්ධිගේ විශේෂය වුනේ චිත්‍ර ඇඳීමේ කෞශල්‍යය පමණක්ම නොවේ. ඔහුගේ නිර්මාණශීලී රචනා කලාවත් ඊට ඉවහල් වුණා. මට හිතෙන්නේ නම් මම මාර අවසානවාවන්තයෙක් කියලා. මොකද මගේ සිංහල බ්ලොග් කෙරුවාවේ වයස අවරුද්දකට කිට්ටු නිසා. මුල ඉඳලම මේ කෙරුවාවට සහභාගී වෙන්න ලැබුණානම් හොඳයි කියලයි නිතරම හිත වද දෙන්නේ. 1998 විතර ඉඳලා අන්තර්ජාලයේ සැරිසරලත් සිංහල බ්ලොග් ලෝකෙට කඩා වැටෙන්න 2011 වෙනකම්ම ඉන්න වුණා. 

බුද්ධි තියලා ගිය මතක සටහන කාගේත් හිත් වල නොමැකී තිබේවි. එහෙත් ඒ අඩුව මකන්න කව්රුන් හෝ ඉදිරිපත් විය යුතුයි. ආයි ඉතිං අපට ඒ වගේ සිත්තරෙක් හමු වෙන එකක් නෑ කියල හිත හිත ඉන්නකොට, යන්තම් හරි ඒ අඩුව පුරවන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක් මේ දවස් වල යාන්තමට හිස ඔසවාගෙන එනවා. කොපි කිරීම ඒ හැටි හොඳ දෙයක් නොවේ කියා ඔබ කියාවි. ඒත් මහ වැසි තිබුන තැනකට පොද වැස්සක් වත් නැත්නම් කිසිම ගතියක් නෑ. හැබැයි පොද වැස්ස වැටෙද්දී මහ වැස්ස තිබුණා නම් කිය කියා ඉන්න එකේ තේරුමකුත් නෑ. බුද්ධි ආයෙත් බ්ලොග් ලියන්න හෝ සිත්තර නිර්මාණ ඉදිරිපත් නොකර ඉන්න ගත්ත තීරණය අපිට වෙනස් කරන්න බෑ. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්. සමහරවිට කෙනෙක් සැක කරන්න පුළුවන් මේ ලෝක විනාශ කතාව නිසා ඇති වුන කලකිරුණු හිත නිසා බුද්ධි ඒ වගේ තීරණයක් ගන්න ඇති කියලා. 

මං මේ වටරවුමක් කියාගෙන ආවේ කා ගැනද කියලා මේ වෙනකොටත් ඔබට දළ අදහසක් ඇති. ඔව් ඔබ හිතුව ඇති මාත් මේ කියන්න හදන්නේ අවතාර් ගැන. දෙදෙනෙක් සංසන්දනය කියන්නේ මහා මෝඩ වැඩක්. මේ ලෝකයේ 100% සමාන දෙදෙනෙක් නෑ. එහෙම වෙන්නෙත් නෑ. සමහරවිට නිවුන්නු එහෙමෙ වෙයි කියල ඔබ කිව්වොත් සමහර නිවුන්නු ඉන්නවා පෙනුමෙන් වත් සමාන නැති. අවතාර් ගැන මේ තරම් ගුණ වරුනාවක් ගහන්නේ එයාගේ බ්ලොග් එකේ මගේ පොස්ට් එකක් ගැන ඇඳපු සිත්තරේ කියල ඔබ කියාවි. ඔහු පවත්වපු තරගයේ ජයක් ලැබුණ නිසා ටිකක් සුදු හුණු පාරක් ගානවා කියල ඔබ හිතාවි. ඔව් ඒක එහෙම කියල හිතා ගන්නකෝ. හැබැයි මට කියන්න ඕන මේක නෙවේ. 

අවතාර් මේ පවත්වපු ප්‍රශ්ණ විචාරාත්මක තරගයේ එක් පියවරක ජය ගන්න මට ලැබුණ එක මහා ලොකු අරුමයක් විදියට මම සලකන්නේ නෑ. ඒත් කාලෙකට පස්සේ තමයි එක-දෙක වගේ තැනක් ලැබුණේ. මේක සම ජයග්‍රහණයක්. මටත් සයුරිටත් සම ජයග්‍රහණ තමයි මෙතන දීලා තියෙන්නේ. එකෙන් වුනේ මගේ මතකයේ සදාකාලිකව සැඟවෙන්න තිබුන එහෙත් ඉඳහිට මතක් වෙන කතාවක් එලියට ආපු එක. මේක එක්තරා විදියකට තවත් අඳුරු යුගයේ මතක සටහනක්.

ඒ 1989 වර්ෂය, අපේ උසස් පෙළ ප්‍රතිපල අනුව, මට හිමි වෙලා තිබුණ තැන වැඩියක් බර වෙලා තිබුනේ සරසවි වරම් නොලැබෙන පැත්තට. ඒත් සමහරු ඒ කාලේ කාලකන්ණි බලාපොරොත්තුවකින් හිටියා. මෙහි සඳහන් කරන්නවත් වටින්නේ නැති වුනත්, ඔබගේ දැන ගැනීමට එය සටහන් කරන්නම්. සමහර අවස්ථාවාදීන් තේරුණ කෙනෙක් ඒ කාලේ තිබ්බ වාතාවරණය යටතේ මරණයට පත් වෙලා තමන්ට අවස්ථාව පෑදෙයි කියන අර කලින් කිව්වා කාලකන්ණි බලාපොරොත්තුවෙන් හිටියා කියන එක බොරුවක් නොවේ කියල ඔබට පිලි ගන්න වෙන්නේ පාසලට ළමයි ඇතුලත් කරන්න ගිය විට තිබෙන සටන් දැක්කාම. එහෙම ගොඩ ගිය අයත් ඉන්නවා. ඒත් ඒ වගේ අවස්ථාවකින් මට කැම්පස් යන්න නොලැබුණ එක ගැන අදටත් මගේ හිතේ කහටක් නෑ. ඒ කාලේ එහෙම හිතපු අයට නොතේරුන දෙයක් මට තේරුණා, ඒ තමයි අපි වගේම තවත් එකෙක් ගැන නේද අපි එහෙම හිතන්නේ කියන එක. ඒ තරුණයාගේ අම්මට ඔහු ලෝකයේ ඉන්න හොඳම පුතා. අන්න එහෙම හිතුවොත් නම් ඒ වගේ අවලං සිතුවිලි කෙනෙක්ගේ හිතට එන්නේ නෑ.

මම ඒ කාලේ වෙනකොට රැකියාවක් කරනවා. මා ඒ වෙත්දී දක්වපු ක්‍රීඩා කෞශල්‍යට පිහිට වෙන්න. අපේ පන්තියේ හිටිය විසි ගාණක් දෙනා අතරෙන් මුලින්ම රැකියාවක් කල කෙනා මම. ඒ අතිනුන් ඔන්න මම එක. මෙහෙම රැකියාවකට ගොස් ඉන්න අතරේ, අපි අතරේ අර තරුණ ව්‍යාපාරයට යොමු වෙච්ච අය, තමන් ක්‍රියාකාරී වූ පැති වල ඉඳල මට දුරකථන ඇමතුම් දෙන එකටමනම් මම හිටියේ පොඩ්ඩක් වත් කැමැත්තකින් නොවේ. මොකද එය ඒ කාලේ මරණයට අත වැනීමක් වගේ හින්දා. මම හරියටම දන්නේ නෑ ඔහු තවමත් ජීවතුන් අතරද කියලා. මගෙත් එක්ක පාසල් බස් රථයේ ගිය මිතුරෙක් තමයි නලීන්. උසස් පෙළ හදාරන්න කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. පාසල් බස් රථයේ මිතු දම අනිත් හැම එකකටමත් වඩා ලොකු වුන ඒ කාලේ, විභාගයෙන් පස්සේ හම්බ වෙන මිතුරන් අතරේ තමන් දැන් කරන දේවල් ගැන අදහස් හුවමාරු වෙච්ච වෙලාවක තමයි නලීන්ට මම ඒ කාලේ වැඩ කරපු බෙන්තොට බීච් හෝටලයේ අංකය ලබා දුන්නේ. 

"උඹ කොහෙන්ද කෝල් කරන්නේ?" මම විමතියෙන් ඇහුවේ, ඒ කාලේ දුරකථන කියන්නේ සුඛෝපබෝගී සම්පතක් වෙලා තිබුණු හින්දා. ගෙදරක ටෙලිෆෝන් තියෙනවා නම් එහෙමත් කෙනෙකුට තමයි. කොල්ලන්ගේ භාෂාවෙන් කිව්වොත් ධල කාරයන්ට තමයි ඒ කාලේ දුරකථන පහසුකම් තිබුනේ. 

"හරි මම කෝල් කරන්නනම්කෝ" ඒ නලීන්ගේ පිළිතුර. මමත් වැඩි විස්තර අහන්න ගියේ නැත්තේ අපි දෙදෙනා අතර මහ ලොකු සම්බන්ධයක් නොතිබුන නිසා. ඒත් ඒ යුගයේ දවසක රාත්‍රී අටට පමණ මට දුරකථන ඇමතුමක ආවා නලීන්ගෙන්.

"මචං මම නලියා"

"ආහ් ! උඹ කොහොමද කතා කරන්නේ"

"ඒවා සුළු දේවල්" එහෙම කිව්වට නලින් කතා කරන්නේ රහසින් වගේ. මොකක් හරි හොරයක් ඇති.

"උඹ කොහෙද ඉන්නේ" 

"මම ඉන්නේ මීගමුවේ. අපි මේ දවස් වල මිනිස්සු හම්බ වෙන්න යනවා තුවක්කුත් අරන්" එහෙම කියත්දී මට නිකන් කලන්තයක් වගේ ආවා.

"මො .... කා....ක් .... අයි කියපන්"

"යකෝ අපි T56 අරගෙන යනවා. ගිහින් මිනිස්සුන්න්ගේ පපුවට තියල ප්‍රශ්ණ කරනවා. සමහරු එහෙමම කලන්තේ දාල වැටෙනවා. අපිට උවමනා සල්ලියි ආයුධයි. තිබුනොත් අර ගන්නවා. දඟලන අයට උත්තර දෙනවා"

මේ කතාව අහගෙන ඉන්න මගේ අත-පය ගැහෙන්න පටන් ගත්තා.

"මේ මම යනවා පස්සේ කතා කරන්නම්" හදිසියෙන්ම කියාගෙන නලිනය දුරකථනය විසන්ධි කළා. මං අතේ තිබ්බ රිසීවරය මුණ ඉදිරියට ගෙනත් බලල නැවතත් කණට තියලා ආපහු තිබ්බ නෙවෙයි තියවුනා. ළඟ තිබ්බ පුටුවේ වාඩි වුනා නෙවෙයි. පුටුවට වැටුනා. මොකද මල්ලී කියල රොහාන් අයියා අහද්දී මම දුවලා දුවල ගිහින් කෙලින්ම නැවතුනේ නාන කාමරයේ.

හෙට ජයවික්‍රමය හම්බ වුණාම මේ ගැන කතා කරගන්න හිතේ තියාගෙන මගේ රාජකාරියට හිත යොමු කළා. ඒත් හිත යන්නෙම නලීනය කියපු කතාවට. මේ යකා මට ආයි කතා කරයිද ? මගේ නම ලියපු කොලය හමුදාවට අහු වුනොත් මටත් දෙවි පිහිටයි. හෙට ජයවික්‍රමයා අහු වුණාම අහල බල්ලන හිතේ තියාගෙන වැඩේට හිත යෙදෙව්වා. 

මම සාමාන්‍යයෙන් උදේ හතට සේවයට වාර්තා කරන්න නියමිත වුනත්, රොහාන් අයියාව දැනුවත් කරලා එදා උදේ වැඩට නොයා ඉන්න තීරණය කලේ ජයවික්‍රමයාගේ මල කරදරේට. ආයි ඒ ලෙවල් කරන්නේ නෑ කියලා ඉන්න මට ඊයේ හම්බ වෙලා ජයවික්‍රමයා කලේ පුදුම කරදරයක්.

"මචං අපිට වගේ නෙවේ උඹට හොඳට වැඩ පුළුවන් එකේ, මේකට ඇවිල්ල පලයන්"

"මේ මම අයි ඒ ලෙවල් නොකරන්නයි හිතාගෙන ඉන්නේ"

"ඒ මොකද? උඹ නොකලා කියලා විභාග තියන එක නවත්වන එකක් නෑ"

"මට විභාග තිව්වත් එකයි, නැතත් එකයි. මම කිව්වනේ මම ආයි ඒ ලෙවල් කරන්නේ නෑ"

"ඒ මොකද? කිසිම විශේෂ හේතුවක් නෑනේ. ප්‍රජා රේණුක සාර පොරොන්දු වෙලා තියෙනවා, රිවිෂන් ක්ලාස් එකේ මුල දවසේ ගණන් දෙකක් දෙනවා, ඒකට වැඩිම ගන්න කෙනා දුප්පත් වුනත් පෝසත් වුනාට වැඩක් නෑ. ෆ්‍රී කාඩ් එකක් දෙනවා" කියල.

"ඉතිං මට මොකෝ. මම කිව්වනේ හිටපන්කෝ කරදර නොකර"

මෙහෙම කියත්දී ජයවික්‍රමගේ හිනා මුහුණ අඳුරු වෙලා යනවා දැක්කහම මට පොඩි දුකක් ඇති වුනා. 

"හරි මම හෙට විතරක් එනවා එහෙනං. හැබැයි මට දිගටම එන්න කියල නම් කතා කරන්න එපා"

ජයවික්‍රමයාගේ මුණේ තිබ්බ ශෝකය කොහෙන් ගියාද නෑ. ආයෙත් පුරුදු විදියට හිනාවෙන් පිරුණා. ජයවික්‍රමයි මමයි  අතරේ කිසිම රහසක් තිබුනේ නෑ. මට සිද්දිය වෙන විදිය අයන්න අයන්නේ ඉඳල පැහැදිලි කළා

"උඹ ඇවිත් අර විභාගේ ලියල ෆ්‍රී කාඩ් එක අරන් දීපන්. ඊට පස්සේ එන්න ඕනෑ නෑ. දැන් සල්ලි අත ගාලා උඹට අධ්‍යාපනය කරන්න හිතෙන්නේ නෑ." මේකගේ කතාව හරියට අධ්‍යාපන ඇමතිගේ වගේනේ මට මොහොතකට හිතුනා.

මම පොරොන්දු වුන විදියට උදේ හතට අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකට ගියා. මම යනකොටත් ජයවික්‍රමයා ඇවිත්. 

"මම බස් එකේ එත්දී දැක්ක උඹ පාලම උඩ එනවා"

"මූ හිතාගෙන ඉඳලා තියෙන්නේ මම එන එකක් නෑ කියලා" මට එහෙම හිතුණා. දෙන්නත් එක්ක කතා කර කර ගිහින් අන්තිමට හතාමාර වෙත්දී පන්තිය තියෙන තැනට ආවා.  හරියටම කියනවනම්  කළුතර බාලිකාව පිටිපස්සේ තියෙන පුද්ගලික පන්තිය.

"බලපන් ඉන්න සෙනග. මේ හැමෝම ට්‍රයි කරන්නේ ෆ්‍රී කාඩ් ගන්න"

"උඹ දැන් හිතන් ඉන්නේ උඹටයි මටයි හම්බ වෙයි කියලනේ ? බලාගෙන හිටපං. බලපන් මට තාම නිදිත් මතයි"

"හරි හරි වරෙන් අපි මොනවා හරි කන්න" අපි දෙන්න කැන්ටිමට ගිහින් උදේට කෑවා. යන්තමට අට වෙත්දී ඇතුලට ගියා. එදා කාඩ් බැලුවේ නැති නිසා මමත් නිකම්ම ඇතුලේ. ජයවික්‍රම  යාලුවෙකුට කියල අපිට බංකුවක් වෙන් කරගෙන තිබුණා. 
පින්තූරය ගත්තේ : labspace.open.ac.uk
එදා ඉගැන්නුවේ පරාවලය කියන ගණිත කොටස. මම ආසම කොටසක්. ඉතාම උනන්දුවෙන් ගණන් කීපයක් කළා. ඒ වගේම තියරිත් කළා. අන්තිමට විවේකයෙන් පස්සේ ගණන් දෙකක් දුන්න හදන්න. මුල ගණන සාමාන්‍ය එකක් වුනත් දෙවෙනි ගණන ටිකක් සංකීර්ණ එකක්. ගණිතය හදාරපු අයට නම් තේරෙයි. ඒකේ තිබුනේ පරාවල දෙකක්. සමීකරණ එහෙම මට මතක නෑ. ඒ දෙක එක්තරා තැනකදී කැපෙන්න අවශ්‍යතාව කියලා t1t2 >= ..... කියල කොටසක් දීල තිබුණා. මමත් හිතන්නේ නැතිව ඔන්න  ගාණ හදාගෙන යනවා. ඒ කාලේ ගණනකට පරාද වෙන්න මම කීයට වත් කැමති නෑ. අන්තිමට එක තැනක හිර වුණා. තවත් විනාඩි දහයක් විතර ඉතුරුයි. මම වටපිට බැලුවා අනිත් හැමෝම ඔලුව ඔබාගෙන වැඩ. මමත් ආපහු ඔලුව ඔබා ගත්තා. අර අන්තිමට තියෙන කොටසේ t1t කෑලි හැම තැනම. මම නිකමට මේ t1t2 කියන තැනට x අකුර දාලා ලියල බැලුවා. එතකොට තේරුනා ඒක ax2  + bx + c =0 වර්ගයේ සමීකරණයක් කියලා. ඉතිං මේ වගේ ඒවායේ තියෙනවනේ b2 -4ac >=0  කියලා කලින්ම පිලි අරන්. මම එක මෙතනට දැම්මා. දාලා සුළු කරගෙන ගිහින් අන්තිමට අර x තියෙන තැනට t1t එතකොට අර කියපු උත්තරය ආවා. මම වෙලාව බැලුවා තව විනාඩි 2ක් ඉතුරුයි. මම වටපිට බල බල හිටියා. ජයවික්‍රමයා ජයග්‍රාහී ලීලාවෙන් මගේ දිහා බැලුවා. 

"ඒ කියන්නේ මූටත් හරි උත්තරේ ඇවිත්? නරක නෑ පහුගිය ටිකේ ගෙදර ඉඳන් ගණන් හදන්න ඇති" මට හිතුනා.

පන්තිය ඇරලා යන ගමන් උත්තර ගැන කව්රුත් කතා කළා. මම ජයවික්‍රමගෙන් ඇහුවා 

"උඹටත් හරි උත්තරේ ආවා නේද?" කියල. හිනා වෙලා මගෙන් ඇහුවා

"උඹ හරියට හැදුවා නේද ?" කියලා

"ලාවට එක ගාණක් නම් හරි" මම කිව්වා


"දෙවෙනි එකද ? " ඇස් උඩ තියාගෙන ජයවික්‍රමයා අහනවා

"නෑ පලවෙනි එක"

"අයියෝ ඒක මටත් හරියට හදන්න පුළුවන්. උඹ දෙවෙනි එක හැදුවේ නැත්ද?"

"ටිකක් දුරට" මම කිව්වා

දන්න කියන කාටවත් හරි උත්තරය ඇවිත් නෑ. අපි දෙන්නත් ආගිය කතා, පැරණි කතා, ඒ දවස් වල රටේ වාතාවරණය ගැන එහෙම දිගු කයියක් ගහගෙන ඇවිත් අන්තිමේදී අලුත්ගම බස් ස්ටෑන්ඩ් එකේදී වෙන් වුණා. ජයවික්‍රමයාගේ හිත මාව එන සතියෙත් ගෙන්න ගන්න. මම ඔලුව වනලා ආවා.

මට මේ සිද්දිය ඒ තරමට ලොකු වුනේ නෑ. ඒ දවස් වල මට රස්සාව නැගලම ගියා. මගේ ෂිෆ්ට් එක තිබුනේ රෑ 6.00 - 10.00 උදේ 7.00 - 10.00. මේ වගේ ඒවාට ස්ප්ලිට් ඩියුටි කියල කියන්නේ. ඒත් ඒ කාලේ හරියට කියන නම කවුරුවත් දන්නේ නෑ. ස්ප්‍රීට් එක වගේ වචන තමයි හැමෝම කිව්වේ. මෙහෙම් වැඩ කරද්දී උදේ 10.00 විතර වෙත්දී හොඳටම නිදි මතයි. දවසක් මෙහෙම නිදාගෙන ඉන්න කොට අම්ම ඇවිත් මාව අහරුවා. ජය්වික්රමයා ඇවිත්. මම නිදි මැලි කඩ කඩ වෙලාව බැලුවා හවස එකත් වෙලා. අපි දෙන්න එලියට ගිහින් කතා කරන්න පටන් ගත්තා.

"උඹ දන්නවද ප්‍රජා රේණුක සර්ගේ ගණන් දෙක කවුද හරියට හදල තියෙන්නේ. මම මේ පන්තියට ගිහින් එන ගමන්. උඹ ආවේ නෑනේ"

"ඉතිං කියපන්. කවුද ?"

"පලවෙනි තැනට ඉඳලා තියෙන්නේ බාලිකාවේ කෙල්ලෝ දෙන්නෙක්. හැබැයි උන් දෙන්න කොපි කරලා කියල දෙන්නම කපලා. ඊළඟට ලකුණු තියෙන්නේ උඹට. ෆ්‍රී කාඩ් එක අව්රුද්දටම. එන සතියේ ඉඳල යමං"

"මේ...මේ...මේ... මම කිව්වනේ. ඔහොම නෙවේ කොහොම කිව්වත් මම එන්නේ නෑ" 

"හරි උඹ එන සතියට විතරක් ඇවිත් ෆ්‍රී කාඩ් එක අරන් දීල නවතියන්. එතකොට අපිට ඒකෙන් යන්න පුළුවන්"

මට මතක විදියට මම ඒ වැඩේටත් ගියේ නෑ. ඔන්න ඔහොමයි මීට කලින් තරගයකින් මම එක වුනේ. හැබැයි දැන් නම් හරියට කට්ටිය එක වෙනවනේ බ්ලොග් වලට කමෙන්ට් දාලා. 

Wednesday, December 26, 2012

රාමරාජ්ලා අපට කියා දෙන පාඩම

කාලෙකට පස්සේ පහුගිය සෙනසුරාදා ගෙදර ඉන්න අවස්ථාවක් ලැබුණා. එහෙම කිව්වේ බොහෝවිට සෙනසුරාදා දින වල වැඩ කරන්න සිදු වෙන නිසා. ටිකක් වැඩි වෙන්න නිදාගෙන උදේ අටට විතර ඇහැරිලා සාමාන්‍යයෙන් එදිනෙදා කරන වැඩ ටික වෙනදට වඩා මන්දගාමීව ගෙවලා ලැප් එක ඉදිරියේ වාඩි වෙලා ඉඳිද්දී කුඩා කාලේ නිතරම වගේ අහපු දැන් වැඩියෙන් අහන්න නොවෙන පාරේ කෑ ගහන සද්දයක් ඇහුනා. ඒ "පිහිය මුවාත් - කතුරු මුවාත්" කියන වදන. දැන් කාලේ මේ වදන් පෙළ ඇහෙන්නේ බොහොම අඩුවෙන් කියල ඔබ කව්රුත් පිලිගන්නවා නේද ? 

එහෙම වෙන්න හේතුව මොකක් වුනත්, නිදි මරගාතේ ලැප් එක ඉස්සරහට වෙලා හිටිය මගේ මොලය හරහා විදිලි කෙටුවාක් වගේ පණිවුඩයක් ආවා. "ඒ අපේ ගෙදර තියෙන එක පිහියකින් වත් මැරිච්චි මිනිහෙකුගේ නහය වත් කපන්න බෑ නේද ?" කියන එක. මම දෙපාරක් හිතන්නේ නැතිව එලියට දුවලා ඒ තරුණයාව අපේ නිවසට කැඳවා ගත්තා. ඉතාම විනීත ස්වරුපයක් පෙන්නුම් කරපු මේ පුද්ගයලා නිවසට අතුලු වත්දී ඔහුගේ පාවහන් දෙක ගලවා ආවා. මා පිහි ටික ගෙන්න ඇතුලට ගියේ මගේ නංගිගේ පුත්‍රයාට ඒ පැත්ත බලා ගන්න කියා.

මා පිහි ටික රැගෙන එන විට, ඉස්තෝප්පුවේ එක් කෙළවරකට වන්න තිබෙන ටැප් එක ළඟ මේකා කකුල් දෙක සහ පාවාහන් යුගල හෝදනවා. ඒක දැකලා මට පොඩි කලකිරීමක් ඇති නොවුනෙත් නෑ. ඒත් මා බලා සිටියා මේකා ඊළඟට කරන්නේ කුමක්ද කියා. නැවතත් සෙරෙප්පු දෙක අතට ගත් ඔහු යලිත් එය ඇතුළු වන දොරටුවෙන් පිටත තබන්න වග බලා ගත්තා. මොහොතකට ඇති වූ කලකිරීම නැවතත් යථා තත්වයට පත් වුනා. මම අරගෙන ආ පිහි ටික අතට දී

"මේ ටික මුවත් තියන්න කීයක් යනවද ?" 

කියා විමසා සිටියා. ඔහු වයස 30ක පමණ තරුණයෙක් වග නිගමනයකට එන්නට මට වැඩි වෙලා ගියේ නෑ. පිහි ටික දෙස රිලා බැල්මක් හෙලා අවසානයේ කට හඬ අවධි කළා

"මාත්තයා හොඳ පිහි ටිකනේ, හොඳට මුවාත් කොල්ලා දෙන්නං, රුපියල් තුන්සිය පනාක් දෙන්න"

"තුන්සිය පනහක් වැඩියි. තුන්සීයක් දෙන්නම්"

"පනාක් බලන්න එපා මාතියා"

"හරි හරි පටන් ගන්නකෝ"

අපේ ගෙදර අමුතුම මාදිලියේ ඉස්තෝප්පුවක් තියෙන්නේ. මේක අඩි 10 x 30 ප්‍රමාණයේ එකක්.(මගේ දියණිය මෙතැන් චායාරුප බොහෝවිට ගන්නවා. එහෙම එකක් තිබුනොත් දාන්නම්). එතනම වාඩි වූ ජංගම කම්මල්කරුවා(අවසානයේදී කල කථාවේදී අසා ගත් නම පොස්ටුව ගලා යාමේ පහසුව සඳහා මෙතැන් සිට භාවිතා කරන්නම්. ඔහුගේ නම රාමරාජ්)

ෆැන්ටා ක්‍රෙට් එකක් මත වක්‍රාකාර ගිනිගලක් සවි කල සරල උපකරණයක් ජීවිත සටනක් ගෙන යන්න දිරි දෙන උපාංගයක් ලෙස යොදා ගැනීම කෙතරම් අපූර්ව ජනකද? බොහෝ දෙනෙකුට තම ජීවිකාව කරගෙන යන්නට කෙතරම් උපාංග ප්‍රමාණයක් උවමනා කරනවාද ?මේසන් බාස් කෙනෙකුට, වඩු බාස් කෙනෙකුට. ඔහු ළඟ මේ අපුර්ව උපකරණය හැරෙන්නට අඬුවක් සහ මිටියක් ඇති බව පැහැදිලි වුණා. හිටි තැනම වාඩි වූ රාමරාජ් එක් පිහියක් අතට ගෙන පිහියමුවාත් යන්ත්‍රය කරකවන්න පටන් ගත්තා. එය කරක්වෙන රිද්මය සහ කුඩා ගිනි පුපුරු විහිදුවමින් ඇති කරනා චිරි චිරියත් දෙස ආසාවෙන් බලා සිටි මගේ මතකය කුඩා කල වෙත පිය මැන්නේ නිරායාසයෙන්. එහෙත් මොහොතකින් යන්ත්‍රය හෙමින් එහා මෙහා යන බව මට තේරුනා. වහා ඔහු නවත්වා ගරාජ් බිම වෙත ස්ථාන මාරුවක් කලේ. ඉස්තෝප්පු බිම ඉරි ඇඳුනොත් පිහි කෙතරම් හොදින් මුවහත් වුවත් වැඩක් නැති නිසා.

හිස නවාගෙන පාඩුවේ තම රාජකාරිය රාමරාජ් තම රාජකාරිය කරන දෙස අප දෙදනා බලා සිටයේ දැහැන්ගතව. කුඩා කල සිටම විවිධ රැකියා කරන අය නිරීක්ෂණය කිරීම මගේ විනෝදාංශයක්. ඒ මගින් ඒ එක් එක් රැකියාව පිලිබඳ යම් අවුබෝධයක් ගන්න මා පුරුදු වී සිටියා. පිහි හතර මුවහත් කරන්නට ඔහුට ගත වුනේ විනාඩි 20ක් පමණ කාලයක්. ඒ කියන්නේ එක් පිහියක් සඳහා ගත වන්නේ මිනිත්තු පහක් වගේ කාලයක්. ඔහු දෙස බලා සිටි මා හිතින් බ්ලොග් පොස්ටුවක් ලිව්වා.  විනාඩි විස්සකට පසු වතුර වීදුරුවක් ඉල්ලා පානය කල ඔහුට මා රුපියල් තුන්සීයක් දිගු කළා. 

"මාත්තයා පනාක්ම අඩු කළා නේ"

ඒ වචන පෙළ මගේ මහත්තයා කම යම් හෑල්ලුවකට ලක් වුවා නොවේදැයි යන සිතුවිල්ල මගේ හිතේ ඇති කලා. යම් කෙනෙකුගේ වෘත්තීය ගරුත්වය අප ආරක්ෂා කල යුතු නොවේද? මා තවත් රුපියල් විස්සක් ඔහු අත තැබුවා. පනහම දෙන්න සිත පහල වූවත්, භාණ්ඩයක් හෝ සේවාවක් ගැනීමේදී හැකි හැම විටම කේවල් කල යුතු නොවේද? ඒත් මේ අහිංසක පිහිය මුවාත් කරුගෙන් රුපියල් පනහක් ඉතිරි කරගෙන කළහැකි මහා ඉතිරිය කුමක්ද ? මේ සිතිවිලි අතර භ්‍රමණය වූ සිතිවිලි මාලාව පසෙක තබා මා ඔහු සමග කෙටි පිළිසඳරක යෙදුනා.

රාමරාජ් පදිංචි වී සිටින්නේ මොරටුවේ. මොරටුව යනු දෙමළ ජනතාවට ආවේනික ප්‍රදේශයක් නොවේ. එහෙත් පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මන්නාරමේ සිට මොරටුවට සංක්‍රමණය වී එහි ජීවත් වේ. රාමරාජ් කොළඹ එන්නේ දුම්රියෙනි. ඉන් පසු යම් මාවතක් තෝරා ගන්නා ඔහු මෙවැනි නිවෙස් කිහිපයකට සේවාව සපයයි. දවසකට රුපියල් 1500ක් පමණ උපයා ගත් පසු නැවතත් තම කැදැල්ල බලා පියාඹයි. එහි ඔහුගේ බිරිඳත් දියණිය සහ පුතාද වෙයි. ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපයන්නේ මේ රුපියල් 1500යි. මගේ විශ්වාසයේ හැටියට ඔහුට ඉතිරි කල හැකි මුදලක්ද වෙයි. ඔහු තම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දෙයි. රාමරාජ් මුළු රටටම ආදර්ශයක් වන්නේ අන්න එතැනදීය.

"දැන් මාත්තයා ඉස්සර වගේ වැඩ නෑ. දැන් චීන බාල පී තියෙන ඉන්දා මිනිස්සුලා ඒවා අරගන්නවා රුපියල් ඇත්තා පායි පනායි දීලා. ඇබැයි මාත්තයා දවස් දායක් කපන්න බෑ" (අපේ පිහි අතරින් කලින් සඳහන් කල වර්ගයේ පිහිය අතට ගෙන පෙන්වයි). 

"ඇබැයි මේ වගේ ඔඳ පී ගොඩාක් කාලයක් කපාන්න පුළුවන්" (හොඳ පිහියක් අතට ගෙන පෙන්වයි).

ඔහු කියන කතාව ඇත්තය. චීනයෙන් එන අඩු මිල ද්‍රව්‍ය නිසා අපේ රටේ පොඩි මිනිහාට කණ-කොකා අඬන කෙතරම් ක්ෂේත්‍ර වේද? අප රට චීනය විසින් කරනු ලබන ක්‍රමානුකුල ආක්‍රමණයකට නතු වී ඇත්ද ? මෙය ගැඹුරුව අධ්‍යනය කල යුතු විෂයකි. මන්ද ? උපන්ගෙයි කම්මැලියන් වෙසෙන රටක් මෙවැනි අඩුමිල කම්කරුවන්(Low cost Labour) සපයන උල්පතකට කදිම ඉලක්කයකි. මා ලියූ පසුගිය ලිපියකින් (චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....) පැහැදිලි කල වෙළඳ නියෝජිත රැකියා පවා අනවසරයෙන් කරගෙන යන ආකාරය දැක ගත හැක. 

නමුත් මා කතා කරන්නට යන්නේ චීන්නු ලංකාවේ කරන මංකොල්ලය ගැන නොවේ. රාමරාජ් වැනි ආදර්ශමත් තරුණයන් ගැනය. යුද්ධය පැවතී සමයේ රාමරාජ් කොළඹ හිටියානම් ඔහුට නිතරම හිරබාරයට පත් වීමට සිදු වනවා ඇත. රාමරාජ්ලාගේ ගමේ පිහියමුවාත් රැකියාවට වෙළඳපොලක්ද නැත. රාමරාජ්ලා ඉසුරුසොයා කොළඹ බලා ගමන් ගෙන ඇත. අපවැනි සේවාදායකයන් කලාතුරකින් හෝ ඔහුට ඇත. රාමරාජ්ලා බඩුමිල වැඩි යයි දෙස් දෙවොල් තබන්නේ නැත. ඔවුන් ලිප්ටන් වටරවුමට(රවුම ඉතා කුඩාය) හෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට එකතු වී කෑ ගැහුවත් කාටවත් නොදැනෙනු ඇත. තිස් වසරක කුරිරු යුද්දයෙන් බැට කෑ රාම්රජ්ලාට තරම මේ නිදහස ආශීර්වාදයක් වූ වෙනත් කොටසක් නැත.

ජීවන වියදමෙන් බැට කන්නේ හෝ එය මහා බරක් ලෙස දැනෙන්නේ රාමරාජ්ලාටවත්, සුළු වෙළඳාමේ සිට මහා පරිමාන වෙළඳාම දක්වා ව්‍යාප්ත වී තිබෙන මොහොමඩ් අහමඩ්ලාට වත් නොව. රැකියා වල පිහිටෙන් ජීවිකාව ගැට ගහ ගන්නා සිංහල මධ්‍යම සහ සුළු ධනේශ්වර පන්තිය නියෝජනය කරන අපට බව ඉතා ලජ්ජාවෙන් වුවද කිව යුතුය. රාමරාජ්ලාගේ රැකියාවේ මිල තීරණය කිරීමට ඔවුන්ට ඇති නිදහස විශ්‍රාමය හිමි රජයේ සේවකයන් වන අපට තිබේද ? අපට පඩි වැඩි කර ගන්නට සැබෑ සටනකට බැසිය යුතුය. රාමරාජ්ලාගේ ජීවිතය සරලය. අප නියෝජනය කරන පන්තියේ වැඩි හරිය සිංහල ජන කොට්ටාශය බව පැවසිය යුතුය. රැකියා කරන මොහොමඩ්ලා සයිඩ් බිස්නස් එකක් කර කීයක් හරි හොයා ගනී. රැකියා නියුතු දෙමළ ජනයා අර පිරිමැස්ම සහ අල්පේච්ච දිවි පෙවෙතෙන් යම් මුදලක් ඉතිරි කර ගනී. රැකියා කරන අපේ කණ්ඩායමට ජීවන බර ඉහලින් දැනෙන්නේ ඇයි ? හැම බරම රජයට හෝ සේවාදායකයාට පටවා වැඩි පඩි ඉල්ලා කෑ ගසනෝ අපි වෙමු. 

ඒ අතින් රාමරාජ් ඇතුළු රට පුරා විසිරී සිටින දෙමළ ජනයා අපට මහත් ආදර්ශයකි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ පිට කොන්ද ඔවුන් යයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මා ලංකාව තුල සෑම අස්සක් මුල්ලක් නෑර ඇවිද ලැබූ අත්දැකීම මෙයට සාක්ෂි සපයයි. මුස්‌ලිම ජන කොට්ටාශය වෙනත් සෙල්ලම් දමා මුදල් උපයයි. ඔවුන් රටේ ශ්‍රම බලකායට දායක වන්නේ ඉතා අල්පාවය. ඒ නැගෙනහිර වී ගොවිතැන මගිනි. වෙනත් දෙයක් මගේ සිතට නොඑයි. එසේ තිබෙනවා නම් සඳහන් කරන්න. අඩු ආදායම් ලාභී සිංහල ජනයාද කාටවත් මැසිවිලි නොනගයි යන්න මගේ විශ්වාසයයි. රැකියාවැති අපට සියල්ල මහා බර වුයේ මන්ද ?

ප.ලි. 

රාමරාජ්ගේ සේවය ඔබටද අවශ්‍ය වේ යයි මට සිතේ. ඔහුගේ දුරකථන අංකය මගේ ජංගම දුරකථනයෙහි සටහන් කර ගත්තේ ඒ වෙනුවෙනි. අමතන්න රාමරාජ් - 0770358672(කරුණාකර ඇන්දීමට භාවිතා නොකරන්න).

Tuesday, December 25, 2012

ඔබම සාදාගන්න(Do It Yourself) I - නත්තල සහ මගේ දියණිය

නත්තල් සමයේදී මගේ දියණිය පමණක් නොව ලෝකයේ සිටින සියලුම දරුවන් නත්තල් සීයාගේ පැමිණීම ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා. කිසිම ආගම් බේදයකින් තොරව දරුවන් අතර නත්තල් සීයා ජනප්‍රියයි. මගේ දියණියත් එසේමයි. ඇය සෑම දිනකම උදෑසන කොට්ටය යටට තෑගි තිබෙනවා බලන්න සතුටින් ඉන්නවා. මෙය අපගේ ආගමේ කොටසක් නොවන බව හෝ එසේ තෑගී ලැබෙන්නේ නත්තල් දින පමණක් බව මා තේරුම් කරන්න ගියේ නෑ. එවැනි දෙයක් තේරුම් ගන්න තරම් ඇය මුහුකුරා  ගිහින් නෑ. දිනක් මා හිම මිනිසෙක් සුපිරි වෙළඳ සැලකින් මිලදී ගෙන ඇයගේ කොට්ට අසල තැබුවා. නමුත් එය දුටු විගස ඇය හඬමින් පවසා සිටියේ තමා කලින් නොදන්නා දෙයක් ත්‍යාගය ලෙස ලැබිය යුතුය යන්නයි. පසුව මම චොකලට් හෝ වෙනත් කෑමක් ආදේශ කර බැලුව. ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මම හිතුව නත්තල් සීයාගේ ඇඳුම ඇය වෙනුවෙන් නිර්මාණය කරන්න.

අවසන් වතාවට කේ.එෆ්.සී. වෙළඳසැලට ගිය අවස්ථාවේ ඇයට ලැබුණු නත්තල් සීයා පළඳින තොප්පිය අප සතුව ඒ වන විටත් තිබුනා. එනිසා ඇයට නත්තල් සීයාගේ ඇඳුම වැනි එකක් අවශ්‍යව තිබුණා. මගේ මව මැහුම් වලට කුඩා කල සිට දක්ෂ වූ අතර ඇය නිවසේදී ඇඳුම් මැසීමට රුච්කත්වයක් දක්වන ලද නිසා ඒ අවස්ථා වලදී ඇයට අත් උදව් සපයා ලබා ගත් දැනුම් මට තිබුණා. අතේ මැසීම එකල අපට පාසලේදීත් කියා දී තිබුනා. ඇඳුමක වාටියක් අතින් මසන්න අම්මා කියා දුන්නේ අප කුඩා කාලයේදීමයි. කමිසයක්ට බොත්තමක් අල්ල ගන්න අපිට කුඩා කල සිටන් පුළුවන්. මගේ අම්මා තාත්තාගේ කලිසම් පවා මසා දුන්නා මට මතකයි. ඉතිං ඇයගේ දක්ෂතාව කෙතරම්ද කියා ඔබට හිතා ගන්නට පුළුවන් නේද? ඇගේ විනොදාංශයට සහය දීමෙන් මුලික මැහුම් පිලිබඳ අවුබෝධයක් ගන්න මට හැකි වුණා. මේ හැකියාව තවත් දියුණු කර ගන්න පුළුවන් වුණා 89/90 කාලේ මා නවාතැන් ගත් තැන සිටි ටේලර් මිතුරාට සහය දීමෙන්.

වාසනාවකට මීටර් දෙකක් පමණ රතු පොප්ලින් රෙදි කෑල්ලක් මා ගාව තිබුණා. මම එය දෙකට නවා පෙටිකෝට් එකක ආකාරයෙන් කපා ගත්ත(මට එය කපන ආකාරයේ චායාරුපයක් ගන්න බැරි වුනා. සමාවෙන්න).  මගේ කලක් හොඳම මිතුරකුව සිටි අලුත්ගම ලාල් ටේලර්ස් අධිපති ලාල් ඇඳුම් කපන විට එහි බලාගෙන සිට ලැබූ අත්දැකීම් මෙතනදී ප්‍රයෝජනවත් වුණා.  එනිසා දෙපැත්ත විතරක් මහන්න අවශ්‍ය ආකාරයට එය කපා ගන්න හැකි වුනා. එය අවසාන කරන්න අඩුම තරමින් පැයක් ගත වුණා. මසා අවසන් කල පසු ලොකු සතුටක් ඇති වුනේ එය ඇයට කදිමට ගැලපුන නිසා. එය ඇඳගත් විගස යට නත්තල් සීයාගේ සුදු රැවුල අවශ්‍ය වුණා. එයටත් මට පහසු පිළිතුරක් තිබුණා. පුළුන් ටිකක් තිබුනා හොඳ වෙලාවට ගෙදර. අවශ්‍ය හැඩයට එයත් කපාගෙන ඇගේ කට සඳහා විවරයක් කපා ගත්තා. ඒත් හුස්ම ගන්නා විට පුළුන් නාසයෙන් පෙනහළු දක්වා යන්න පුළුවන් කියන භය මට ආවා. ඇලජික් නොවන සුදු පාට ප්ලාස්ටර් රෝල මේ වෙලාවේ මගේ පිහිටට ආවා. එම ප්ලාස්ටර් රෝල උපයෝගී කරගෙන නහය අසල කොටස ඔතා ගත්තා. එවිට පුළුන් ඇගේ නාසයට කිසිලෙසකත් ඇතුල් වෙන්නේ නෑ. සැරසූ පසු ඇය උද්දාමයට පත් වෙලා තෑගී දමා ගන්න කුඩා පන් බාස්කට් එක යොදා ගත්තා.

චායාරුප කිහිපයක් ගන්නත් මට පුළුවන් වුණා.




පසුබිමේ ආහාර ගන්නේ මගේ සොයුරිය.


ප:ලි: බ්ලොග් කියා යමක් තිබෙනවා යයි නොදත් අවධියේ ෆේස්බුක් නෝට්(2010.01.10) වශයෙන් ලිය තැබුණු සටහනකි. මෙය තමන්ම සාදා ගන්න (Do it Yourself) ගණයේ නිර්මාණයකි. මෙවැනි දේ සඳහා ඔබේ දරුවන් යොදා ගැනීමෙන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කල හැක.

ෆේස්බුක් නෝට් එක අවශ්‍ය අයට මෙතැනින් ගොස් බලන්න පුළුවන්.

නත්තල සමරන සියලුම බ්ලොග් සහෘදයන්ටත්, මෙහි පැමිණ කියවා යන සියලු දෙනාටත් සුභ නත්තලක් වේවා !!!

Sunday, December 23, 2012

ලෝකය 2012 දෙසැම්බර් 21 අවසාන නොවුයේ මන්ද ? නාසා ආයතන විස්තර කරයි.



දෙදහස් දොළහක් වූ දෙසැම්බර් මස විසි දෙවන දින වන අද ඔබ මෙම වීඩියෝව බලනවා නම් ඉන් එක දෙයක් තේරුම් යයි. ඒ ඊයේ ලෝක විනාශය සිදු නොවූ බවයි. මාධ්‍ය වාර්තා වලට අනුව ඉපැරණි මායා මිත්‍යාවන් කියන්නේ ලෝකය 2012 දෙසැම්බර් 21න් පසුව විනාශ වීමට නියමිතව තිබුණි. එහෙත් මේ දෙස  බලන්න. නාසා ආයතනයේ පුරාවිද්‍යාත්මක-තාරකාවිද්‍යා මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂක ආචාර්ය ජෝන් කාසන් මහතා පවසන්නේ මුළු සිද්දි දාමය ආරම්භයේ සිටම වැරදි වැටහීමක් බවයි. මායා කැලැන්ඩරය 2012 දෙසැම්බර් 21 දින අවසන් වුයේ නැති අතර එදින ලෝක  විනාශයක් පිලිබඳ කියැවෙන මිත්‍යා මතයක්ද මේ දක්වා නැත.  ඔහු පවසන්නේ සත්‍යය මේ මිත්‍යාවට වඩා සිත්ගන්නා බවයි. කාසන්ස් මහතා ඉතා ගැඹුරු පුරාවිධ්‍යත්මක තාරකා විද්‍යාඥයෙකි. ඈත මන්දාකිණි පිලිබඳ අධ්‍යාන සඳහා උපාධි කිහිපයක හිමිකරුවෙකි.

ඔහු මේ සිද්ධීන් පිලිබඳ ඇල්මක් දක්වන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 35කට පමණ පෙර සිටය. ඒ ඔහු සහභාගී වූ ඇමරිකානු විද්යාහිවර්ධන සංගමය මගින් පවත්වන ලද හමුවකට සහභාගී වූ අවස්ථාවකදීය. මායා පිලිබඳ ඔහු දැන ගන්නේ එහිදීය.

File:Maya civilization location map-blank.svg
www.wikipedia.org
මැසෝ ඇමෙරිකානු වැහි වනාන්තර එක් යුගයකදී විශාල සමෘද්ධිමත් ශිෂ්ඨාචාරයකට හිමිකම් කීවේය. මායා සමාජයේ ජනතාව ගොඩ නැගු දැවැන්ත නගරයන්ගේ ජන ඝනත්වය ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය හා සැසඳිය හැකි මට්ටමක පැවතිනි. ඔවුන් ජෝතිෂයෙහි කෙල පැමිණි අතර රූපමය ලිඛිත භාෂාවක්  දියුණු කරන ලදී. ඔහු විස්තර කරන අන්දමට වර්තමාන තාරකාවිද්යාඥයන් ඔවුන් භාවිතා කරන ලද කාල ගණනයන් භාවිතා කරයි.

අපේ විද්‍යාවට අනුව මීට වසර බිලියන් 13.7කට පෙර විශාල පිපිරීම සිදු විය. එය මායා නටඹුන් බිලියන බිලියන වතාවක් දිග හරුමක් වුවත් ඊට වඩා වැඩිය.  මායා වරුන්ගේ දිගු ගණන කැලැන්ඩරය දිගු විරාමයන් තුල පවත්වාගෙන යයි. මෙය මිහිපිට සෑදු සංකීර්ණම කැලැන්ඩර් පද්දතියයි.  මෙය ලියා ඇත්තේ නවමු කාල විකාසන භාශාවකිනි. මෙය සිහිගන්වන්නේ කාරයක ඇති ඕඩෝමීටරය නොහොත් සතපුම්මානයකි. මන්ද එහි
අංක කරකැවෙන අතර කැලැන්ඩරයද මේ ආකාරයෙන් කැරකි නැවතත් මුලටම පැමිණේ. එය  නැවත නැවතත් සිදු වේ. මෙම නැවත කැරකීම 2012 සිද්ධියට පාදක වූ කාරණයයි.




මායා පුරාවිද්‍යාවට අනුව ලෝකය නිර්මාණය වී ඇත්තේ අදින් වසර  5125කට පෙර අතුවය.           මෙවැනි ගමනකදී ක්‍රිස්තු වර්ෂ 3114 අගෝස්තු 11 දිනදීද මෙම කැලැන්ඩරය මේ වාගේමය. 2012 දෙසැම්බර් 21 වනදා වුයේද මේ සිද්දීයමය. මායා වරුන්ගේ භාෂාවෙන් "බක්ටියුන්" 13ක් මේ දින දෙක අතර ගෙවී යයි. මෙය මායා පුරාවිද්‍යාව සමග සම්බන්ධ වේ. නමුත් මෙය විනාශකාරී දෙයක් නොවන බව කාසන් අවධාරණය කරයි.

පුරාවිද්‍යාඥයන්ගේ පරීක්ෂණයන්ට භාජනය දහස් ගණනක් වන පුරා වස්තු, ටැඩ්ලට් හෝ හිටිපිලිම කිසිවක් මෙවැන්නක් නොපවසයි. ගූගල් හැන්ගවුට් මගින් එක්වූ නාසා විද්‍යාඥයින් මේ වර්තමාන විද්‍යාත්මක එකඟතා බෙදා ගත්තා.

නාසාහි පෘතුවි ආසන්න අකාෂ වස්තු වැඩසටහනේ ප්‍රධානී දොන් යේමන් මහතාට අනුව දන්නා ඇස්ට්‍රොයිඩයක් හෝ උල්කාපාතයක් පෘතුවිය වෙත ගැටීමට නොපැමිණෙන බවයි.
වෙනත් ඉබාගාතේ යන ග්‍රහලොවක් හෝ අප හා ගැටී විනාශ නොකරන බවයි. නාසාහී ගඟන-ජීවවිද්‍යාඥ ඩේවිඩ් මොරිසන් පවසන්නේ එවැනි ග්‍රහ වස්තුවක් පෘතුවිය දෙසට ගමන් ගන්නේ නම් එයා වඩා දීප්තිමත්ව අහසේ දැක ගත හැකි බවයි. පොළොවේ සිටින සැමට එය දකින්නට හැකියි. ඔබට රජයට කියා සිටින්නට අවශ්‍ය වන්නේ නෑ එළිමහනට ගොස් බලන ලෙස.





 එහෙම දෙයක් නෑ. නාසාහී තරුත් සමහ ජීවය වැඩසටහනේ ප්‍රධානී කිකා ගුහාතකුර්ටා මහත්මිය පවසනවා. හිරුවත් එහෙම තර්ජනාත්මක නෑ. වසර බිලියන ගණනාවක් හිරු දැල් විහිදවමින් සිටිනවා මායා ශිෂ්ටාචාරය ආරම්භයටත් පෙර සිට. මෙතරම් කලක් ඔහුට අප විනාශ කරන්න අවශ්‍ය නොවුනා නම් ?

 මේ මොහොතේදී අවුරුදු එකොළහක් වන හිරුගේ ක්‍රියාකාරීත්ව චක්‍රය වෙත ලඟා වෙමින් සිටිනවා ඇය තවදුරටත් පවසා සිටිනවා.  මෙය හිරුගේ වී.පී.එස්. චක්‍රය . පහුගිය වසර 50කට එය අහිතකර හෝ සංතෘප්ත වූ බව වාර්තා වන්නේ නෑ. 



කාසන්ට නම් දෙසැම්බර් 21 බියකරු දිනයක් නොවේ. ලෝක විනාශය ගැන ඔහු පවසන්නේ මේ දිනය ලඟා වනතුරු තමා වසර 30 පුල පුලා බලා සිටි බවයි. දෙසැම්බර් 21 අත්දැකීම ඔහුට නම් යුකාටන් හී මායා ශිෂ්ටාචාරය වෙත යලි සිතින් පියනගීමකි.  ආදී මිනිසා වත්මනට සාපේක්ෂ කාලය විශිෂ්ට ලෙස ගණනය කිරීම් සඳහා යොදාගෙන ඇත. ඇත්ත වශයෙන්ම ඊයේ ලෝක විනාශය සිදු නොවීම ගැන අගය  යුතුය. 








ප.ලි. මෙය නාසා ආයතනය මගින් දෙසැම්බර් 22 වන දා නිකුත් කරන ලද වීඩියෝවකි. මෙම විනාඩි හතරකුත් තතත්පර 21 ක් තුල එම නිවේදකයා වචන 607ක් මේ සිදුවීම ගැන පවසා ඇත. මෙය සිය වාරයකට වඩා නැවත නැවතත් ශ්‍රවනය කර මුලින්ම එය ඉංග්‍රීසියෙන යතුරු ලියනය කර පසුව සිංහලට පරිවර්තනය කරන ලදී. මේ සඳහා මට වච 561ක් අවශ්‍ය විය.

එම වීඩියෝව මෙතනින් නරඹන්න

දෙසැම්බර් ලෝක විනාශය නොවුනේ මන්ද ? නාසා ආයතනය විස්තර කරයි.










Thursday, December 20, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 26 - මායාවරුන්ගේ ලෝක විනාස කතාව බොරුවක් බව මුලින්ම කිව්වේ අපේ රෝහණ ජයසිංහ



මේ ලොල් කතා කියවන වේලාවකද කියලා ඔබට හිතෙන්න පුළුවන්. මොකද මේ මායාවරුන්ගේ ලෝක විනාස කතාව නිසා මුළු ලෝකෙම කැලඹීලා ඉන්නේ. ලෝක විනාස කතාව විතරක්යයි තව ලෝකේ තියෙන කතන්දර ගොඩක් කිව්වනේ. දවස් තුනක කළුවර වෙනවා කිව්වා, හැම ආගමකම අය කිව්වා , ජ්‍යෝතිෂ කාරයෝ කිව්වා, හැබැයි අපේ සම්බුදු පියාණන් ලෝක විනාසය වෙන කාලය ගැන කියලා තියෙන ඉඟි වලින් නම් එකක් දෙකක් ඇරෙන්න අනෙකුත් බොහෝ දේ සත්‍ය වුනේ නෑ. කොහොමටත් ලෝකේ අනිත් අයට වඩා අපේ අය මිත්‍යා මත වලට හරි ඇල්මයි නොවැ. නිකමටද අර ලංකා බෙල් ඇඩ් එකේ කියන්නේ "ලෝකේ අනිත් අයට වඩා අපේ රටේ අය වෙනස් " කියලා. ඒ කතාව කියපු මනුස්සයාගේ නම් කටේ මසුරං දාන්න වටිනවා. 

පින්තුරය ගත්තේ : 2012end.info


මම කියන්නේ අපේ රටේ පුංචි මිනිහෙක්, ඔය ආකාශ වස්තු ගැන මෙලෝ හසරක දැනුමක් නැති, ඒ මනුස්සයා මට හිතෙන්නේ ජ්‍යෝතිෂය ගැනවත් අබමල් රේණුවක විශ්වාසයක් නෑ. කොහොමද එතුමා ඕක ටක්කෙටම දැන ගත්තේ කියන එකනම් තවමත් නොවිසඳුණු කෙස් එකක්. මට මතක හැටියට එතුමා මේක කිව්වේ 1992දී විතර.

 නාසා ආයතනයත් සෑහෙන කාලයක් මුනිවත රැකලා මේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්චාවක් තියල කියල තිබුණා එහෙම එකක් තව කල්ප කාලාන්තරයකට වෙන්නේ නෑ කියල. මම එහෙම කැලැන්ඩරේ හැදුවා නම් මෙච්චර කල්වත් හදන්නේ නෑ. හැබෑටම මායා කාරය මොකද මගින් නැවැත්තුවේ. වෙන ආරංචියක් නම් ආවා ඇත්තද මන්ද ?

ඔයා මායා රටේ තිවිලා තියෙනවා මායාතිසා කියල වැවක්, ඒ වැව කිට්ටුව රජකම් කරපු මායා රජ කෙනෙක් ඉඳල තියෙනවා මායාධාතු කියල. ඒ රජ්ජුරුවෝ එයාගේ ඉන්න හොඳම ගල් වැඩකාරයෝ දෙන්නෙක් (අයියයි මල්ලියි) ට කතා කරලා මායා භාෂාවෙන්ම කියලා තියෙනවා "හදපියව් කැලැන්ඩරයක් මුළු ලෝකෙම හෙල්ලෙන්න, හැබැයි පස්සේ උඹල දෙන්න මට කියන්ඩ ඕනේ කොහොමද ඕකෙන් ලෝකෙම හෙල්ලෙන්නේ කියලා"

ඉතිං මේ ගල්වඩුවෝ දෙන්නත් ඉතිං රජාට තියෙන බයටද වෙන එහෙකටද මන්ද, මායා රටේ තිබ්බ හොඳම ගල් ගෙනල්ල, දන්නා ශිල්ප ඔක්කෝම දාල හැදුවලු කැලැන්ඩර් දෙකක්. අයිය හදපු කැලැන්ඩරේ අශ්වකරත්ත දෙකකින් ගෙනත් තියෙන්නේ. මල්ලි හදපු එක නිකංම අශ්වයාගේ පිටේ තියාගෙන ඇවිල්ල තියෙන්නේ. දැන් රජා තමන්ගේ ඇමති මණ්ඩලය එහෙම කැඳවලා ලොකු පාටියක් එහෙම ලැස්ති කරලා මේ දෙක වහල තිබ්බ රෙදි දෙක පහලට අදින්න කියල බිසවුන් වහන්සේලා දෙන්නෙකුට කියල. අයියාගේ එක කරත්ත රෝදයක් විතර විශාලයි. මල්ලිගේ එක් නිකං මෝටර් සයිකල් රෝදයක් විතර ඇති. රජා එක ජාතියක මිනිහා. මිනිහට ඔය ලොකු වැඩ අල්ලන්නේ නෑ. මිනිහා ආස පොඩි ඒවාට. මොකද පොඩි ඒවා ගණන් බව මිනිහා දන්නවා. රත්තරං, මැණික්, ප්ලැටිනම් මේවා පොඩි වුනාට ගණන් කියල. මිනිහා අර දෙකෙන් පොඩි එක තේරුවා. ඒ වෙලාවේ ආතල් එක වැඩි වෙච්ච් පාරට මල්ලි හු තුනක්ම තිබ්බ.  මේ අයියා මලෝ දෙන්න කතා වෙලා හිටියේ තමන්ගේ එක තේරුණොත් හූ තුනක් තියනවා කියල. ඉතිං පොරොන්දු වුන විදියටම මල්ලියා වැඩේ කරා. 

අයියට ෆුල් අප්සට් වැඩේට. මෙච්චර මහන්සි වෙලා අර සෙලින්කෝ කාරය කියන්න වගේ "ලෝකෙටම එකයි" කියල හදපු එක එපා කිව්ව හැටි. "මේ රජාටනම් පිස්සුද කොහේද කියල හිතින් මතුරනකොටම පොරට මතක් වුනා.රජාගේ වැඩක් ෆේල් වුනොත් ඉතිං සිරිසඟබෝ සීන් එක වෙන බව" ඊට වඩා හොඳයි වහ ටිකක් කාල කැලේ ගිහිං මදුරුවෝ තලන එක කියල හිතනකොටම හාට් ඇටෑක් එකක් හැදිලා මිනි එතනම පත බෑවුනා. රජාත් ඉතිං "මෙන්න මේකව අර කළු දිවියෝ දෙන්නගේ වලට දාල දාපල්ලා" කියල ගියා රජ මාලිගාවට. ඊට පස්සේ මේ කැලැන්ඩරේ තමයි නැගලා ගියේ. දෙස් විදෙස් කාගේත් හිත ගියා මේ සියුම් නිර්මාණය ගැන. පහුකාලීනවා මායා රටේ ගීතයක් පවා නිර්මාණය වුණා "මේ තරම් සියුමැලිද මඩ ගල්" කියලා.

ඊට පස්සේ රජතුමා මල්ලිට ආරාධනා කළා රජතුමාගේ ඇමති ගොල්ලත් එක්ක ඩිනර් පාටියකට එතනදී රජා මල්ලිගෙන් ඇහුවා 

"කොහොමද බං මුළු ලෝකෙම හොල්මන් වෙන්නේ මේක දැකලා ?"කියල

"ඇයි රජතුමෝ මේක හදාගෙන යනකොටයි මට තේරුණේ අව්රුදු තුන්දාහක් වත් හදන්න මේකේ බැරි බව. 2012.12.21න් මේක ඉවර කරන්න වුනා. බලන්න රජතුමනි කවදා හරි මුළු ලෝකෙම මිනිස්සු හොල්මං වෙන්නැද්ද කියලා"

"හා. එතකොට බැරියයි" කියල රජතුමා අණ කලා මේක සිරි යහනේ  සිරි යහන ගබඩාවේ ගහන්න. 

ඔන්න ඔහොමයි අතීත කතාව.
දැන් කොහොමද අපේ මේ රෝහණ ජයසිංහ මහත්තයා මායා කාරයන්ගේ මේ සෙප්පඩ - විජ්ජාව දැන ගත්තේ 

මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න


දැක්ක නේද ? ඕක රචනා කරේ මායා දේශයන් සැතපුම් දහස් ගානකට මෙහා තියෙන පුංචි රටේ රෝහණ ජයසිංහ මහත්තයා. එතුමාට අපි හිස නමා ආචාර කරමු. 

Wednesday, December 19, 2012

මේ ගෙවී යන්නේ Dot Matrix ප්‍රින්ටරයේ අවසාන දශකයද ?

මුලින්ම ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හෙවත් NIBM  පරිඝනක පාටමාලාව හදාරද්දී විවිධ වර්ග වල මුද්‍රණ යන්ත්‍ර හෙවත් ප්‍රින්ටර් ගැන ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තා මට අද වගේ මතකයි. ඒ කාලයේ වර්ග ගණනාවක මුද්‍රණ යන්ත්‍ර ගැන ඉගෙන ගන්න ලැබුණා. ඩේසි වීල් ප්‍රින්ටර්, ලයින් ප්‍රින්ටර්, ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්, ප්ලෝටර්ස්,  ඉන්ක් ජෙට්, ලේසර් ජෙට්. 

එක්දාස් නවසිය අනූ ගණන් ගත්තොත් පරිඝනකකරණයේ ස්වර්ණමය යුගය විදියට සලකන්න පුළුවන්. මේ කාලයේදී තමයි බොහෝ කාර්යාල වල අත් හුරු ක්‍රමයට සිදු වෙච්ච බොහෝ කටයුතු පරිඝනක ගත කෙරුනේ. මේ කාලයේදී ඉහලම භාවිතයක් තිබ්බ ප්‍රින්ටර් හෙවත් මුද්‍රණ යන්ත්‍රය වුනේ ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්.

මෙය ඉතා අනර්ඝ පින්තුරයක්. මෙමගින් පැහැදිලිව දැක ගන්න පුළුවන් විවිධ ප්‍රමාන වල පින් ඇති ප්‍රින්ටර් වලින් මුද්‍රණය සිදු වන ආකාරය. පින්තුරය ගත්තේ : encyclopedia2.thefreedictionary.com
 අර කොලේ දෙපැත්තේ හිල් තියෙන ප්‍රින්ට් අවුට් කොලයක් අතේ දරාගෙන යනවා කියන්නෙත් නිකං මහා ලොකු පොරක් වගේ පේන යුගයකුත් තිබ්බා. එහෙම යන කෙනෙක් ගැන අනෙක් අය හිතන්නේ. "මිනිහා සිරා කොම්පියුටර් පොරක් කියල නැත්නම් ලොකු ඔෆිස් එකක ඉහල තානාන්තරය දරන කෙනෙක්" කියල. 
Epson Fx-1170 කියන්නේ ජනප්‍රියම ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටරයක්. ඒ වගේම කල් පැවැත්මෙන් ඉහල එකක්. බැංකු වලට මේ වගේ මුද්‍රණ යන්ත්‍ර කල මෙහෙය අමතක කරන්න බෑ. තවමත් උකස් කටයුතු වලදී මේවා සුලභව භාවිතා වෙනවා. ඒත් ඒ කටයුත්ත ලේසර් එකට කරන්නත් පුළුවන්.  පින්තුරය ගත්තේ : riodejaneiro.inetgiant.com.br

අනු ගණන් වල ඔනෑම ඔෆිස් එකක ඕනෑම කාර්යයක් සඳහා පාවිච්චි කලේ මේ කියන ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්. මා මුලින්ම පරිඝනකය ආශ්‍රිත රැකියාවක් කරද්දී තිබු මුද්‍රණ යන්ත්‍රයට බහාලන රිබන් කාට්‍රිජය අවසන් වූ පසු එහි ඇති රිබන් පටිය අතින් අනිත් පැත්තට දමා භාවිතා කිරීම මාගේ රැකියා ජීවිතයේ මා කල ලොකුම වික්‍රමයක් ලෙස අදටත් මට සිහිපත් වේ.  බැංකුවට ආ පසුවත් මේ වර්ගයේ ප්‍රින්ටර් එක්ක හැප්පිලා හොඳ දැනුමක් ලබා ගන්න මට පුළුවන් වුනා. අනුව දශකයේ මද භාගයේ වගේ ආපු බබල් ජෙට් ලේසර් ජෙට් නිසා අපි මේ ප්‍රින්ටර් වලට දක්වපු ඇල්ම අඩු වුණා. ඒවායෙන් ගන්න මුද්‍රණ වල තිබුන පැහැදිලි භාවය ඒකට හේතු වුනා. බොහෝ මිල ගණන් ගෙවලා මේ මුද්‍රණ පිටපත් අර ගන්න ඒ කාලේ කිසි කෙනෙක් මැලි වුනේ නෑ. මමත් පහුකාලීනවා මේ බබල් ජෙට් වර්ගයේ මුද්‍රණය යන්ත්‍රයක් ගත්තා. ඒත් ඒවාට ටෝනර් දාන්න ගියාම තමයි හොම්බ බිම ඇනෙන්නේ. මේ වර්ග වල ප්‍රින්ටර් ජනප්‍රිය වෙන්න බොහෝ හේතු තිබුනා.

  • ඩොට් මෙට්‍රික්ස් වල අඩු වේගය
  • ඝෝෂාකාරී බව
  • ග්‍රැෆික්ස් මුද්‍රිත වල අපැහදිලි බව (ඒත් ඉතා පැහැදිලි මුද්‍රිත දෙන NLQ - Near Letter Quality  මුද්‍රණ යන්ත්‍ර තිබුනා)


ඉන් ප්‍රධාන තැනක් ගත්තා. අද ඉතා වේගයෙන් ලේසර් කරණය වේගෙන යනවා. මේ යන විදියට මේ දශකය අවසානයේදී මේ ප්‍රින්ටර් දකින්න වෙන්නේ කටු ගෙයි තමයි කියා ඔබටත් හිතෙන්න ඇති. ඒත් බැංකුව මගින් ඔබට ලබා දෙන පාස් පොත තවමත් මුද්‍රණය වන්නේ මේ ගණයට අයිති ප්‍රින්ටර්යකින් බව ඔබට මොහොතකට වත් සිතුනාද ? හොඳයි පාස් පොත වෙනුවට ආදේශකයක් වශයෙන් මාසික ප්‍රකාශනයක් නිකුත් කාරණා තත්වයක් උදා වුනොත් මේ ප්‍රින්ටර් වලටත් ආයුබෝවන් කියන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. එක අතකට අන්තර්ජාල බැංකු පහසුකම් වගේ ඒවා තිබෙන මෙවැනි යුගයක, පාස් පොත් පස්සේ යන්නේ කවුද? මම මතක ඇති කාලයක පාස් පොතක් යාවත්කාලීන කරගෙන නැත්තෙමි. 

ඒත් බොහෝ සුපිරි වෙළඳසැල් මගින් ලබා දෙන බිල මුද්‍රණය වන්නේ ඩොට් මෙට්‍රික්ස් ආකාරයේ ජර්නල් මුද්‍රණ යන්ත්‍රයකිනි. එහෙත් දැන් ඒවාටද තර්මල් වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර ආදේශ කරමින් යයි. වර්තමානයේ ඉතාම ජනප්‍රිය මුද්‍රණ යන්ත්‍රයක් වනුයේ, පිටපත්, මුද්‍රණ, සහ ෆැක්ස් යන සේවා තුනම එක් කල මුද්‍රණ යන්ත්‍රයන්ය. මේ යන විදියට නම් ඩොට් මෙට්‍රික්ස් වල මළගමට සහභාගී වන්නට සිදු වේ යන්න දැන් බොහෝ දෙනාගේ හිත් වලට ආ කාරණය වනු නොඅනුමානය. 

අපි කොයි තරම හිතාගෙන හිටියත් මේ ගෙවෙන්නේ මේ වර්ග වල ප්‍රින්ටර් වල අවසාන දශකය කියලා, පහල පින්තුරයේ පේන ජාතිය මුද්‍රණය කරන්න අවශ්‍ය නම් ඩොට් මෙට්‍රික්ස් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් අතවශ්‍ය වෙනවා. හැබැයි මේවා සඳහාත් දැන් විකල්ප තියෙනවා. ඒ topan-moor වගේ ආයතන වල තියෙන අධි වේගී මුද්‍රණ යන්ත්‍ර. ඔබගේ ටෙලිකොම් මාසික මුද්‍රිතය ලැබෙන්නේ මේ මුද්‍රණ යන්ත්‍ර ආධාරයෙන්. ඒවා විනාඩියට පන්සීයකට වඩා වැඩි වේගයකින් මුදනය වනවා. ඒ වගේම දෙපැත්ත මුද්‍රණය කරන්නත් මෙවැනි මුද්‍රණ යන්ත්‍ර දෙකක් synchronise කර භාවතා කරනවා. මේවා මුද්‍රණය වන වේගය නිසා කිසිවකුට එහි තිබෙන අන්තර්ගතය කියන්වන්න බෑ. ඒ කියන්නේ රහස්‍ය භාවය ආරක්ෂා වනවා. ඒ වගේම ඒවා නැවී, ඉරන්න අවශ්‍ය තැන අර්ධ ලෙස කැපී, ඇලවී පිටතට එනවා. ඒත් මෙවැනි විකල්පයන් සඳහා යන්න බැංකු තවමත් දක්වන්නේ ඇල් මැරුණු උනන්දුව. තවත් විකල්පයක් තමයි පින් අංකය පාරිභෝගිකයාගේ ජංගම දුරකතනයට එස්.එම්. එස්. වීම. එහෙත් මේවා ගැන බැංකු මෙන්ම ගණුදෙනු කාරුවන් දක්වන විශ්වාසය අඩුයි. එනිසා තවම ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර් වලට වෙළඳපොළක් තිබෙනවා. 
 මේවා ගහන්න නම් ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර් තියෙන්නම ඕනේ. හැබැයි රිබන් නම් අවශ්‍ය නෑ.
පින්තුරය ගත්තේ : luckyforms.com
____________________________ගැටලුව ___________________________

පින්තුරය ගත්තේ : andrimn.blogspot.com 

පුළුවන් නම් මේ ගැටලුව විසඳන්න බලන්න : දවසක් මම රිබන් එක දාත්දී මගේ අතින් වැඩියෙන් තද වෙලා රිබන් එක ගියා හෙඩ් එකෙන් පහලටම. එහෙම පහලට ගියාම ආපහු ගන්න බෑ. බොහෝ දෙනෙක් කතුරක් අරන් කපමු කියා යෝජනා කලත් මා බොහෝ වෙලාවක් උත්සාහ කොට ආපසු රිබන් එක එලියට ගත්තා එකම ඇණයක් හෝ ගලවන්නේ නැතිව. දැන් කියන්න පුලුවන්ද කොහොමද ගත්තේ කියලා ?

Monday, December 17, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 25 - දැන් ඔතනින් එලියට පලයන්

පින්තූරය ගත්තේ : article.wn.com
මේ කතාව එක්දහස් නවසිය අනු ගණන් වලට දිව යන එකක්.  මම වැඩ කරන්නේ මහජන බැංකුවේ පරිඝනක අංශයේ කියල කව්රුත් දන්නවනේ. ඉතිං මේ ශාඛා ජාලය පරිඝනක ගත කරන්න ගිහින් අපේ කණ්ඩායම මුහුණ දුන් රසවත් සිදු වීම් වලින් එකක්. හැබැයි මම මුහුණ දීපු එකක් නොවුනත්, අදාළ පුද්ගලයා වන සිල්වා මහත්මයාගේ කටින්ම අහ ගත්ත කතාවක්.

කතාවට එන්න කලින් සිල්වා මහත්තයා කවුද කියල කියන්න ඕනේ. මුළු මහජන බැංකුවේම ඒ කාලේ ප්‍රසිද්ධ නමක් තමයි එම්. කේ. සිල්වා කිව්වහම. ඕනනම් ගිහින් ඕනෑම මහජන බැංකුවක සේවකයකුගෙන් අහල බලන්න සිල්වා මහත්තය කියන්නේ කවුද කියල. හැබැයි ඔහු වැඩියෙන් ප්‍රසිද්ධ එම්. කේ. කියන නමින්. ඔහු බැංකුව පටන් ගත්ත කාලෙම සරසවිය වෙනුවට බැංකුව තෝර ගත්ත කෙනෙක්. ඉතින් ඔහුගේ මුළු ජීවිත කාලයම බැංකුව වෙනුවෙන් ගත කරා. මුලින්ම බැංකුවේ අත්හුරු ක්‍රමයට තිබ්බ කටයුතු පසුකාලීනව ක්‍රම-ක්‍රමයෙන්(ග්රැජු - ග්රැජුවලි ..D) යන්ත්‍ර සුත්‍ර මගින් කරන තත්වයකට ආවා. මුලින්ම හඳුන්වා දුන්න යන්ත්‍ර කැඩුනම හදන්න එම්. කේ. අදාළ කොම්පැනි වල සේවකයන්ටත් වඩා නිපුණතාවක් දැක්වුවා. ඒ කාලේ තිබ්බ බොහෝ යන්ත්‍ර යාන්ත්‍රික(Michanical) ඒවා. මහා සද්දයකුත් එක්ක තමයි මේ යන්ත්‍ර ක්‍රියාත්මක වුනේ. පසුකාලීනව 1987 දී පමණ බැංකුවට පරිඝනක හඳුන්වා දුන්නා. ඉතිං බැංකුවේ තොරතුරැ තාක්ෂණ දෙපාර්තමේන්තුවක් පටන් ගන්නකොට ඒ සඳහා එකතු කර ගත්ත පුරෝගාමී සේවකයෙක් තමයි අපේ එම්. කේ. 

එම්.කේ. කියන ඔහුගේ මුලකුරු වලට, ඒ කාලේ "මැෂින් - කඩන" කියන වදන් එකතු කලේ එතුමාට හිතවත් කමටද නැත්නම් අහිතවත් කමටද කියන එක මට තාමත් ගැටළුවක්. අත්හුරු ක්‍රමයට වැඩ කල කෙනෙක්ට පරිඝණකයෙන් වැඩ කරවන්න තියෙන අපහසුව, පහුකාලීනව මේ සේවක පුහුණුවට එකතු වෙච්ච මම අත්දැකීමෙන් දන්නවා. අද සියලුම කටයුතු මවුස් ක්ලික් වලින් සිදු වුවත්, ඒ කාලේ සියලුම කටයුතු යතුරුපුවරුව මගින් ලබා දෙන විධානයන්ට අනුව සිදු වුනා. මුලින්ම හඳුන්වා දුන් නිකස්ඩෝෆ් පරිඝණකයත් මේ යතුරු පුවරු විධානයන් මගින් ක්‍රියාත්මක වුනේ.

ඒ කාලේ මෙනු වලින් තමයි බොහෝ දේ කෙටි කරලා තිබුනේ. Menu-Driven System කියලා තමයි මේවා හැඳින්වූවේ. 
පින්තුරය ගත්තේ : dbfeeder.sourceforge.net



ඉහතින් තියෙන පින්තුරය අපේ තිබ්බ මෙනු වලට හරියටම සමාන නොවුනත්. මේ වගේ එකක්. එත් මෙනු එකක 50 කට වඩා අයිතමයන් තියෙනවා. ඕනෑම මෙනු එකක පිට වීමේ මෙනු අංකයකුත් තියෙනවා. ඉතිං එතනින් ඉවත් වෙනවනම් ඒ අංකය ගහල තමයි ඉවත් වෙන්න ඕනේ.

කොළඹින් පිටත් ශාඛා වල යට යම් ගැටළුවක් ඇති වුනාම ඒ අය සහය ගන්න කතා කරන්නේ සිල්වා මහත්තයට. එහම කතා කරන අයට කුනුහර්පයෙන් බනින අවස්ථාත් අපි දැකල තියෙනවා. ඒත් සිල්වා උන්නැහේ බැංකුවේ සේවකයන්ට සැලකුවේ තමන්ගේ දරුවන්ට වගේ. ඒ ආදරේ හින්දම වෙන්න ඇති එහෙම බනින්න ඇත්තේ. සිල්වා මහත්තයා නිකන් කතා කලත් කුණුහරපයක් දෙකක් කියවෙනවා. ඒකට එරෙහි වෙන්න ඒ කාලේ කාටවත් හයියක් තිබ්බේ නෑ. බැංකුවේ සභාපතිවරුන් ඉදිරියේ පවා කෙලින් කතා කරපු මිනිහෙක් තමයි සිල්වා මහත්තයා. දවසක් මෙන්න මේ වගේ දුරකථන සංවාදයක් ඇති වෙලා

අපි හිතමු කතා කල පුද්ගලයා දිසානායක කියලා(මගේ විශ්වසේ අනුව නම් අපේ බැංකුවේ වැඩියෙන්ම ඉන්නේ දිසානායකලා හෝ රත්නායකලා)

දිසා : සර් හරි වැඩේ මට අද උදේ ඉන්ටර්ස්ට් රිපෝර්ට් එක අදින්න බැරි වුනා (අදින්න කියන්නේ ප්‍රින්ට් කරන්න)

එම්.කේ. : තොගේ අම්#### $^&^&*& පුතෝ මෙච්චර වෙලා? දැන් යූ.ආර්. 49 ගනින්. (ඒ කියන්නේ මේ  පද්දතියේ තිබ්බ මෙනු එකක්)

දිසා : හරි සර්.

එම්.කේ. : දැන් 13 එන්ටර් 5 එන්ටර් 7 එන්ටර්.  දෙවෙනි යතුර එස් 2 ට කරකවලා එස් එන්ටර්. 

දිසා : හ...හා... හරි සර්. 

එම්.කේ. : මොකද උඹ තටමන්නේ? දැන් ඔතනින් එලියට පලයන්. ඊට පස්සේ දෙවෙනි යතුර ටී1 ට කරවපන්.

එම්.කේ. : හලෝ . හලෝ.. හලෝ...තෝ කොහේ මක බෑවුනාද ?
කියල සිල්වා මහත්තය කියාගෙන යන අතරේ මිනිහට තේරුනා ටෙලිෆෝන් එක පැත්තක් තියනවා. ඒ එක්කම පද්දති කාමරයේ දොර ඇරෙන වැහෙන සද්දේ. යකා නැග්ග සිල්වා මහත්තය දුරකථනය විසන්දි කරලා. අමු තිත්ත කුණුහරප පේලියක් කියාගෙන ගියා.  මෙහෙම ඉන්නකොට ආයෙත් දුරකථනය නාද වුනා. නැවතත් අමු සිංහල පද පේලියක් කියාගෙන ගිය සිල්වා මහත්තය.

"තෝ තටමනකොට මම දැන ගත්තා තොට රෙ** බරක් හැදිලා ඇති කියලා. තෝ කොහෙද ප* ගියේ?"

දිසා : සර් කිව්වනේ ඔතනින් එලියට යන්න කියලා. ඒක නිසයි මම එලියට ගියේ. (අපේ යාලුවට අමතක වෙලා මෙනු එකෙන් එලියට යන්න කිව්ව වග).

Saturday, December 15, 2012

මට මෙහෙම හිතෙනවා : හරිද / වැරදිද මන්ද ?

පින්තූරය ගත්තේ : forums.somethingawful.com
මම බ්ලොග් ලෝකෙට කඩා පාත් වෙලා හරියට අවුරුද්දක් වෙන්න තව දවස් කීපයයි තියෙන්නේ. මේ ගෙවපු දවස් තුන්සිය ගානෙදී විවිධ වර්ග වලට අයත් අය මෙහි දැනුම බෙදා ගන්නවා දැක තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර වලට අයිති අය තමන් දන්නා දේ තමන්ගේ බ්ලොග් පොස්ට් වලට එකතු කරනවා. එහෙම ගත්තාම සිංහල බ්ලොග් අවකාශය කියන්නේ දැනුම එකතු කර ගන්න පුළුවන් සැබෑ විශ්ව කෝෂයක්. ඒ මේ කතාවේ සුදු පැත්ත. ඕනෑම තැනක සුදු වගේම කළු පැත්තකුත් තියෙනවා. බ්ලොග් ලෝකෙට ටිකක් ආධුනික  xxxxxxxxxxxxxxxx අද ෆේස්බුක් එකේ දාල තියෙනවා එයාගේ අම්ම කියපු කතාවක්. 

"අපේ අම්ම කියනවා සමහර සිංහල බ්ලොග්ස් වල තියන ඒවා අපේ අප්පච්චිටවත් කියන්න නුසුදුසු තරම් කුනුහරපලු...

මම කල්පනා කරා මේ කතාව ඇත්තක්ද කියල. ඒ හැටි කල්පනා කරන්න දෙයක් නෑ. ඉතිං සමහර ඒවගේ අමු කුණුහර්ප එහෙම පිටින්ම දාල තියෙනවා. ඇයට දෙන්න තියෙනවා උත්තර කිහිපයක්ම.


  • "තමන්ගේ මැට්ටන් තම්මට්ටන්" කියන්න වගේ තමාගේ බ්ලොග් එකේ ලියන්නේ තමන්ට අවශ්‍ය, තමන්ට ඕන කරන දේවල්. අපිට ඒවා පාලනය කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ ඒවා නොබලා ඉන්න එක.
  • එයාල ඒ වගේ දේවල් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ?
  1. තමන්ගේ බ්ලොග් එක ජනප්‍රිය කර ගන්න. ඒ කියන්නේ වැඩිම හිට්ස් ප්‍රමාණයක් එකතු කර ගන්න. 
  2. තවත් සමහර අය පුරුද්දට වගේ කුනුහර්පම ලියනවා. ඕනෑම කෙනෙකුට ආවේනික විෂයයක් තියෙනවා හොඳට දන්න. ඉතිං ඒ ඇය දන්නා හොඳම විෂය එය වෙන්න පුළුවන්.
  3. සමහරු දක්ෂ විදියට ව්‍යංගෙන් ලියනවා. ඒත් තේරුම ගත්තාම එකයි.  
  4.  සිංහල බ්ලොග් වලට තවම ගූගල් වලින් ගෙවන්නේ නෑ. නමුත් එයාලා ගෙවන්න පටන් ගත්තොත් තමන්ගේ බ්ලොග් එකට යන - එන ප්‍රමාණය වැඩි වූ තරමට හොද්ද බොර කර ගන්න පුළුවන්. ඒ ගැන අරමුණු කරගෙන ලියන අය ඉන්නත් පුළුවන්.
කතාව රසවත් කරන්න එතනට වඩා ගැලපෙන වචනය කුණුහරපයක් කියමු. මේක ඒත්තු යන විදියට මුල් අකරු විතරක් දාලා, අවශ්‍ය අයට ග්‍රහණය කර ගන්න පුළුවන් විදියට කරන එකේ මම ඒ හැටි වැරද්දක් දකින්නේ නෑ. එය හරියට චිත්‍රපටයකට ලිංගික දර්ශන එකතු කරනවා වගේ. එතනින් එන්න අවශ්‍ය පණිවුඩය ප්‍රේක්ෂකයාට ලබා දෙන්න පුළුවන්. ඒත් සමහරු හිතා මතාම එවැනි කොටස් එකතු කරනවා, තමන්ගේ චිත්‍රපටිය ජනප්‍රිය කර ගන්න. 

 අපි මේ කොච්චර කථා කලත් හැම දෙනෙක්ම මේ දේවල් කියවන්න කැමතියි කියන එකයි මගේ විශ්වාසෙ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ප්‍රසිද්ධියේ මේ දේවල් කතා කරන්න අකමැති එකයි වැඩේ. අපේ සංස්කෘතියට අනුව දෙමාපියන් දරුවන් එකට ඉඳගෙන මේ දේවල් කතා කරන සිරිතක් නෑ. අපට ගැටලුව ඇති වෙන්නේ අන්න එතන. බ්ලොග් අවකාශයේ මම දන්නා විදියට විවිධ දේශ-දේශාන්තර වල ඉඳන් ලියන අය ඉන්නවා. ඉතිං එහෙම රටක(ප්‍රංශයේ වගේ) ඉඳන් ලියන කෙනෙක් එහෙම ලියනවා වෙන්නත් පුළුවන්. මොනවා වුනත් මට කියන්න තියෙන්නේ මේ දේවල් අපට අනවශ්‍ය නම මගහැරීම තමයි හොඳම. මොකද අපි බ්ලොග් වර්ජනය කිරීම වගේ දේවල් සාමුහිකව කරන්න ගියොත්, සිංහලෙන් මොනවා හරි ටිකක් කොටන පිරිස අඩු වෙයි. 

අද මගේ පොස්ට් එකෙන් මම සාකච්චා කරන්න බලාපොරොත්තු වුන දේ මේක නෙවයි. මේ දීර්ඝ විස්තරය කරේ ඕනෑම දෙයක සුදු පැත්ත වගේම කළු පැත්තක් තියෙනවා කියන්න ගිහිං. ඒ කාරණාව එක පාරටම කියනවට වඩා හොඳයි ටිකක් උදාහරණ සහිතව අපේ සමාජයේ වෙන සිද්ධි ටිකක් එක්ක පැහැදිලි කලොත්. එහෙම උදාහරණ දුන්නම තේරෙයි මේ බ්ලොග් ලෝකේ වෙන්නෙත් අනිත් ක්‍ෂේත්‍ර වල වෙන දේවල්මයි කියල. හැබැයි මේ දේවල් රැකියා කරන ස්ථාන වල අඩුයි, ඒත් කලාව ක්‍රීඩාව වගේ තැන් වෙලා එමට සිදු වන දේවල් තමයි.

මම මුලින්ම අවධානය යොමු කරන්නේ චිත්‍රපට/ටෙලිනාට්‍ය/නාට්‍ය ක්ෂේත්‍රයන්ට. ඔන්න මුලින්ම නළුවෙක් හෝ නිලියක් අපි දකිනවා. ඉතා හොඳින් රඟපෑම කරලා ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නගිනවා එක්කෝ ඊට කිට්ටු මට්ටමකට. වෙළඳ දැන්වීම් ලැබෙනවා, විවිධ උත්සව වලට ආරාධනා ලැබෙනවා, විවිධ රුපවාහිනි නාලිකා සහ පත්තර මගින් මේ අයගේ සම්මුඛ සාකච්චා, නිතර නිතර ප්‍රචාරය කරනවා. මේ වෙනකොට මේ අදාළ ශිල්පියා සැලකිය යුතු වත්කමකට හිමිකම් කියනවා. ඔන්න එතකොට අර ශිල්පියාට එනවා මේ වගේ අදහසක් 

"මම දැන් රඟපෑවා හොඳටම ඇති, මට රඟපාන්න බැරි චරිතයක් නෑ, මට තෝර ගන්න බැරි තරමට අලුත් නිර්මාණ වල රඟපාන්න ආරාධනා එනවා, හැමතැනම මා ගැන කථා වෙනවා. මම මේකම කරලා හරි යන්නෑ. මමත් චිත්‍රපටිය/ටෙලිනාට්‍යක්/වේදිකා නාට්‍යක් කරන්න ඕනේ. සල්ලිත් අතේ තියෙනවා, මේවට සම්බන්ධ ශිල්පීන් අඳුනනවා. තවත් ඉතිං බලන් ඉන්න දෙයක් නෑ."

ඔන්න ඉතිං ඔය කියන කෙනා වැඩේට බහිනවා. එක්කෝ අධ්‍යක්ෂණයට නැත්නම් නිෂ්පාදනයට. සමහරවිට මේ දෙකටම. ඇත්තටම සමහර අය සාර්තකත්වයට පත් වෙනවා. ඒකට හේතුව තමයි මුලින් නළුවෙක් / නිලියක් ලෙස ආපු මේ අය තුල අර කියන ඉහල රාජකාරියට අවශ්‍ය හැකියාව සහජයෙන්ම තිබීම. තවත් කෙනෙකුට ඒ ක්‍ෂේත්‍රයේ නියැලීමෙන් ලැබූ අත්දැකීම් ප්‍රයෝජනයට ඇරගෙන, තවත් ඇය මේ පිලිබඳ කර තිබූ වෘත්තීය අධ්‍යාපන. ඒත් සමහරු එක තැනම කඩා වැටෙනනවා. හේතුව තමයි අරමුණක් නැතිව කරන ආරම්භය. රැල්ලට වගේ. මේ බොහෝ අයට වරදින තැනක් තමයි ඒවායේ ගැඹුර නොදැනීම. මතුපිටින් බලා තීරණ ගැනීම. වඩාම වැදගත් දේ තමයි යම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව. 

ඉතින් සංගීත ක්ෂේත්‍රය ගත්තත් ඔය ටිකමයි. ගීත ගයනාව. ජනප්‍රිය වෙනවා. ඉන් පස්සේ සංගීත අධ්‍යක්ෂණය වගේ අපහසු කාර්ය වලට බහින්න යනවා. සමහරුන්ට හරි යනවා. සමහරුන්ට වරදිනවා. වරදින බොහෝ අවස්ථා වල හේතුව ඒ අය එකට සපුරන්න ඕනෑ නියම සුදුසකම් සහ අත්දැකීම් පසු නොකර හුදෙක් මුදල් පමණක්ම තීරණාත්මක සාධකය කරගෙන ඔය කියන කාර්‍යට බැසීම. 

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අය පුහුණුකරුවන්,විනිශ්චයකරුවන්, විස්තර විචාරකයන් එහෙමත් නැත්තනම් ක්‍රීඩා භාණ්ඩ අලෙවිය වගේ ක්ෂේත්‍ර වලට බහින්න යනවා. එක අතකට මේවගේ වැරද්දක් නෑ. මොකද ක්‍රීඩකයෙකුට හැම දාම එක වගේ ක්‍රීඩා කරන්න බෑ. ඒ අය ජීවනෝපාය වෘත්තිය ලෙස තමයි ඒවා තෝරා ගන්නේ.  ඒත් අසාර්ථක වන ප්‍රමාණය වැඩියි.

දැන් හැමෝම කල්පානා කරනවා ඇති බ්ලොග් ලෝකේ මොනවද මේ විදියට වෙන්නේ කියලා. ඇත්තටම බ්ලොග් ලිවීමෙන් ආත්ම තෘප්තිය, ලිවීම සුමට කර ගැනීම, විවිධ පුද්ගලයන් හඳුනා ගැනීමට අමතරව ඔබට ලැබෙන දෙයක් නෑ. මම මේ මෑතක දැක්ක දෙයක් තමයි හොඳට බ්ලොග් ලියලා තමන්ට හොඳ හිට්ස් ප්‍රමාණයක් දවසකට ලැබෙන ගානට ආව බොහෝ දෙනෙක් කරන, අර ලස්සන ලිවිල්ල අත හැරලා දාලා පටන් ගන්නවා සින්ඩිකේටර් එකක්. ඊට පස්සේ බ්ලොග් ලියන අය එකට එකතු කර ගන්නවා. ඇත්තටම කාට හරි කියන්න පුලුවන්ද දැන් මේ බ්ලොග් අවකාශේ තියෙන සින්ඩිකේටර් ප්‍රමාණය කොපමණද ? කියල. සමහරු ඒක බොහොම සුමට විදියට කරනවා. ඒත් බොහෝ දෙනෙක් කරන්නේ මම අර චිත්‍රපට ක්‍ෂේත්‍රයේ උදාහරණය දුන්න වගේ. අපරාදේ අර තමන් ගොඩ නගා ගත්තු හැකියාව සහ ජනප්‍රියත්වය. 

මගේ විශ්වාසය අනුව බ්ලොග් රෝල් එකක් තියෙන හැම බ්ලොග් අඩවියක්ම වක්‍රව සින්ඩිකේටර් එකක් ලෙස ක්‍රියා කරනවා. මගේ බ්ලොග් එකට එන අය දිහා බැලුවාම එහෙම හිතෙන්නේ. කාට හරි කියන්න පුලුවන්ද ඇත්තටම තියෙන සින්ඩිකේටර් ප්‍රමාණය කීයක්ද ? කියල. මේක කාටවත් මඩ ගැහීමක් ලෙස කරපු දෙයක් නෙවෙයි. අර ඉහතින් දක්වපු දේ හා සමාන කමක් දැක්ක නිසා තමයි මේක ලිව්වේ. මා දන්නා විදියට සින්ඩිකේටර් එකක් පවත්වාගෙන යන්න තනි පුද්ගයෙකුට අපහසුයි. ඒ වටා විවිධ තාක්තණික නිපුනතා තිබෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. එහෙම නොවුනොත් අර අධ්‍යක්ෂණයට බැහැපු නළුවන් තත්වයට පත්වීම නවත්වන්න බෑ. 

මේ ළඟදී දැක්කා සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල ජනප්‍රියතාව ගැන විස්තර කරපු ලිපියක්. ඒකෙදී සින්ඩිකේටර් 19ක විස්තර දාල තිබුණා. මම විශ්වාස කරන විදියට තව විස්සක් වත් තියෙනවා අප්‍රසිද්ධ ඒවා. ඒ ලිපියට මෙතනින් යන්න. 

මා ඔබට යොමු කරන ප්‍රශ්ණ
  • දැන් තිබෙන සින්ඩිකේටර් ප්‍රමාණය ප්‍රමාණවත්ද ? නැත්නම් ඕනෑවටත් වඩා වැඩිද?
  • තවත් සින්ඩිකේටර් අවශ්‍යද? ඒ කුමන ආකාරයේ ඒවාද?
ප.ලි : අපේ තියෙන සින්ඩිකේටර් වලට දාල තියෙන්නේ බොහෝ දේවල් එකතු වෙලා හැදෙන වගේ තේරුම්. උදාහරණයකට කොත්තු, අච්චාරු, එහෙම ගියාම රවුන්දබවුට්, බේරුවල් බොක්ක, ගණිකාව වගේ ඒවත් නරක නෑ අලුතින් පටන් ගන්න කෙනෙකුට. 

Thursday, December 13, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 24 - නෙක්ටෝ බීපු මිනිහා මලා.

මේ කතාව මගේ කනින්ම අහපු එකක් නෙවේ. මගේ කාර්යාලීය මිත්‍ර අකිල තමයි මට මේක කිව්වේ. මේක මිනිහා අරගෙන ආවේ තිස්සමාහාරාම පැත්තේ රාජකාරියකට ගිහින්. එහෙදි අකිලට මුණ ගැහිලා තියෙනවා අපූරු චරිතයක්. හරියටම සඳහන් කරන්න නම මතක නැති වුනත් මේක එක්තරා විදියක සිනා උපදවන කතාවක්.

මම රාජ්‍ය බැංකුව වැඩ කරන කෙනෙක් කියල මෙතනට යන එන යට අලුතෙන් කියන්න අවශ්‍ය නැති වුනත් අලුතෙන් එන කෙනෙකුට දැන ගන්න මෙහෙම සඳහන් කලේ. නැත්නම් මම තිස්සමහාරාම බ්‍රාන්ච් එකේ කිව්වහම කෙනෙක් අහන්න පුළුවන් "ආ දැන් තිස්සමහාරාම කියල ගසුත් තියෙනවද?" කියල. ඇයි ඉතින් බ්‍රාන්ච් කියන්නේ අතු වලටනේ.

දැන් මගේ මිත්‍රය තිස්ස්මාහාරාම බ්‍රාන්ච් එකේ රාජකාරි කටයුතු වල යෙදිලා ඉන්නවා. එහෙ බ්‍රාන්ච් එකේ පියන් හරිම විහිලු කාරයා. නිතරම අකිල ලඟට ඇවිත් අහනවාලු

"හා සර් කියන්න බලන්න නෙක්ටෝ බීපු මිනිහා මැරිලා, මැහි තෙල් බීපු මිනිහා බේරුනේ කොහොමද කියලා ?"

"යකෝ මැහි තෙල් බොන්නේ මැරෙන්නනේ. ඒකනේ මැරෙන්න තිබ්බේ. මම නම් අහල නෑ නෙක්ටෝ බීලා මිනිස්සු මැරුණ කතාවක්"

දැන් විවිධ අය මේකට විවිධ පිළිතුරු ලබා දෙනවා. මගේ මිත්‍රයත් කෙළවරක් නැතිව උත්තර දෙනවා. අන්තිමේදී කාටවත් උත්තර දෙන්න බැරුව යනවා. අර පියන් කොලුවා අපූරු උත්තරයක් දෙනවා. හොඳයි අපේ බ්ලොග් කියවන ලියන සිරා මීටර් පොරවල් ඉන්න නිසා මට හිතෙනවා මේකට අවස්තාවක් දීල බලන්න. කොහොමද වුනේ ? දන්නා කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. හෙට උදේ හයට උත්තරය දානවා හරි උත්තරය තිබුනත් නැතත්.
පින්තූරය ගත්තේ : imporats.ch


අර ඉන්දීය සංචාරයේ විස්තර කියවල කට්ටියට මහන්සි ඇතිනේ. ඒ නිසා ඒක හෙමිහිට දාන්නම්. 

Sunday, December 9, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - V කොටස.







මං හිතනවා මේ පොස්ට් එක කියවන සියලු දෙනාන ඉහලින් තියෙන පොස්ට් හතර කියවලා ඇති කියල. කොටස් හතර එකින් එකට සම්භන්ධයක් නැති නිසා අවශ්‍ය කෙනෙකුට මේ පොස්ට් එක කෙලින්ම කියවීමේත් කිසි ගැටළුවක් නෑ. මම හිතන්නේ මෙතන පොඩ්ඩක් තුන් වන කොටසට සම්භන්ධ වෙනවා. එතැනදී අවසන් කලේ මාර්තු තිස් වෙනිදා හවාස 2ට විතර. එදා තමයි ඉන්දියාව සහ ඔවුන්ගේ පරම දේශපාලන හතුරා වන පාකිස්තානයත් අතර තීරණාත්මක අවසන් පුරවා තරගය තිබුනේ. මම ඉනොර්බිට් සාප්පු සංකීර්ණයෙන් එනකොට එතන තිබ්බ ගෝෂාවෙන් මගේ කන් දෙක පිරිලා තිබ්බේ. මට කොහොමත් වැඩි ඝෝෂාකාරී තැන් වල ඉන්න අපහසුයි. එතනින් පිට වෙලා මගේ නවාතැනට ආවේ මගේ දියණිය අමතන්න තියෙන ආශාවට. මම දන්නාවා මගේ දුවගේ හිතේ මේ දවස් වල ඉන්නේ කතාකරන බෝනික්කා ලැබෙන තුරු. ඇත්තටම යට වයස අවුරුදු හයකටත් කිට්ටුයි. ඒත් මේ බෝනික්කන් ගැන තියෙන ආශාව. මම හිතන්නේ බොහොමයක් ගෑනු ළමයි වයසින් මුහුකුරා ගියත් මේ බෝනික්කන් ගැන තියෙන ආශාවේ අඩුවක් නෑ. මම එන ගමන් ඔරලෝසුවේ වෙලාව බැලුව, සවස දෙකයි හතලිස් පහ කියන්නේ තරගය ආරම්භ වෙලා. මම කාමරයට යන ගමන් දැක්ක කාමර වලට යන පටු තීරයේදී තරප්පු පෙළ ලංගම තියෙන රූපාවාහිනිය ගාව ඉන්දියන් කාරයෝ දෙන්නක් රස කර කර මැච් එක බලනවා. ඒ වෙත්දී ඉන්දියාව පන්දුවට පහර දීම ආරම්භ කරලා. ශිවාග් සහ තෙන්දුල්කාර් නොදැවී ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. තරගය තියෙන්නේ පන්ජාබයේ. මගේ හිත මොහොතකට මෑතකදී කියවූ පරිවර්තන කතාවක් වෙත ආදී ගියා. ඒ ඝනඳුර, කතාවෙන් කියවෙන්නේ ඉන්දියාවට අද නිදහස ලැබෙයි, හෙට නිදහස ලැබෙයි කියලා තියෙන යුගයේ පන්ජාබය ආශ්‍රිත කතාවක්. ඒ පොතේ මගේ හිතගිය තැන තමයි. මුස්ලිම් පල්ලියට දාන්න ඌරෙකුගේ මළසිරුරක් අවශ්‍ය වෙච්ච් හින්දු ව්‍යාපාරිකයෙක් මේ කොන්ත්‍රාත්තුව පවරනවා එක්තරා දුප්පතෙකුට. ඔහු මේ ඌරා මරා ගන්න මුළු රැයක් විඳින සටනක්. එක්තාර තැනකදී ඔහුට උරා ගැන අනුකම්පාවක් ඇති වී, මේ කාර්ය දමා ගසා පලා යන්න පවා හිතෙනවා. අන්තිමේදී කොහොම හරි ඌරු කුණ මුස්ලිම් දේවස්ථානයට දානවා.

මේ තරගයත් ඒ වගේ පරිසරයක පැවැත්වෙන්නේ, ඉන්දියාවෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් බවට පාකිස්තානය පත් වුනත් පන්ජාබයේ දේශ සීමා අරගල තිබෙනවා. ඊට ටික කාලෙකට පස්සේ ඉන්දියාවේ හිමාචාල් කියන ප්‍රදේශයේ සංචාරය කරපු මගේ කාර්යාලීය හිතවතෙක් මේ දේශ සීමාව දෙපැත්තේ ඉඳන් දෙගොල්ලන්ට හු කියා ගන්න සිරිතක්, දෙපැත්තේ කොඩි හුවමාරු කර ගන්න හරි අපූරු සිද්දියක් වීඩියෝ සහ චායාරූප වලින් විස්තර කරද්දී ආයි නම් ඉන්දියාව පැත්ත බලන් බත් වත් කන්නේ නෑ කියා කියා උන්න මට එහෙ යන්න හිතුණා. මම කාමරයට ඇවිත් කී ටැග් එක නියමිත රඳවනයට එබුවා. මේ කී ටැග් එක රඳවනයට එබූ පසුව තමයි කාමරයේ විදුලිය ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ එකක් බදුල්ලේ පුංචි හොටලයකත් මම දැකල තියෙනවා. මම රුපවාහිනිය දාගෙන මැච් එක බලන්න පටන් ගත්තා. එත්දී මේ හෝටලයටම අනුබද්ද ආපන ශාලාවෙන් අර ගත්ත අඹ යුෂ බෝතලය කඩලා පොඩ්ඩක් බිව්වා. අම්මේ එහෙම රසක්. සීනිත් ටිකක් විතර වැඩියෙන් එකතු කරලා තියෙන්නේ. කොකා-කොලා සමාගම තමයි ඉන්දියාවේ මිනිස්සුන්ට අඹ යුෂ කරලා විකුනන්නේ. නරක නෑ නේද? මොකද කොකා-කෝලා වලට ඉන්දියාවේ තියෙන ඉල්ලුම බොහොම අඩුයි. පෙප්සි කියන්නේ ඉන්දියාවේ පුදුම විදියට ජනප්‍රිය පානයක්.  මේවා මොනවා වුනත් ඇමරිකන් නිෂ්පාදන. ඉන්දියාවේ වැව් දහස් ගනනන්ක් ප්‍රතිසංස්කරණය කරන්න අනුග්‍රය(කාලය එක්දහස් නවසිය පනස් ගණන් වෙන්න ඕනේ) දක්වල තියෙන්නේ පෙප්සි ආයතනය. ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලලා තියෙන්නේ ඒ වැව ඉස්මත්තේ කුඩා සමරු පාලකයක් පිහිටවන්න විතරයි. අන්න ඒකට කල ගුණ සැලකීමක් වශයෙන් තමයි ඉන්දියාවට පෙප්සි එන්නේ. ඒත් ඉන්දියාව ඒ වෙනුවෙන් පන්ජාබයේ පලතුරු යුෂ ඇමරිකාවට යවන්නත් ගිවිසුමකට එළඹිලා තමයි අවස්ථාව ලබා දීල තියෙන්නේ. 

පින්තුරය ගත්තේ : valuemart.co.in. හරියටම මෙන්න මේ ජාතියේ බෝතලයක් තමයි මම බිව්වේ. අමෘතේ පරාදයි. මිලි 600 ඉන්දියන් රුපියල් 30යි. 
අන්තිමට හවස හයට විතර කොහොම හරි දුවට කතා කළා. අය අහන්නේ "තාත්තා අර ඩෝල්ව ගත්තද ?" කියන ප්‍රශ්නය විතරයි. "අරගෙන තියෙන්නේ" කිව්වහම ඇය ප්‍රීතියෙන් පිනා යනවා. මට වෙලාවකට හිතෙනවා මම ආවේ නිෂ්පල ගමනක් කියලත්. මේ දුරකථන ඇමතුම හමාර වෙත්දී අර ලංකාවෙන් දාගෙන ආපු රුපියල් දාහේ එයාර්ටෙල් රීලෝඩ් එක ඉවරයි. දැන් මට මෙතන අභියෝග තුනක් තියෙනවා, තරගය සඳහා ටිකට් පතක්, ටෝකින් ඩෝල් කෙනෙක්, විස්කි බෝතල තුන විකිණීම. විදෙස් සංචාරයක් කරන කෙනෙක් මුහුණ දෙන වඩාත් සංකීර්ණම ගැටළුව මේ එකක්වත් නොවෙයි. ඒ තමන්ගේ බැගේජ් එක නියමිත බර සීමාවේ තබාගෙන තමන්ට අත්‍යවශ්‍ය බඩු මුට්ටු වලින් ඒක පුරවන එක. ඉතින් යත්දී අරගෙන ගිය දේවල් එනකොටත් බරට එකතු වුනොත්? ඕනෙමනම් අමතර ගෙවලා වැඩිපුර බඩු ගේන්නත් පුළුවන්.  ඒත් එතකොට දෙවතාවක් හිතන්න වෙනවා. අපි මුලින්ම බැංකොක් ගිය ගමනේදී වෙනම කාර්ගෝ එකක් වශයෙන් සෑහෙන බඩු මුට්ටු ප්‍රමාණයක් මමත් මගේ මිතුරන් කිහිප දෙනෙකුත් එකතු වෙලා හවුලේ ලංකාවට එව්වා. ඒ ගමනට පහළොස් දෙනෙක් එකතු වෙලා හිටියා. එතකොට අපේ බෑග් සාමුහිකව තමයි කිරන්නේ. එහෙම වෙත්දී එක් අයෙකුට ලැබෙන කෝටාව තුල බර තබා ගන්න පැය බාගෙකට සැරයක් බෑග් කිරණ එක තමයි හිනා යන කාරණේ. මේ සිද්දි එක්ක එකට ගිය කණ්ඩායමේ සුළු සුළු අමනාපකම් වගේම විවේචනත් ඇති වුනා. ආඬි හත් දෙනා වගේ  තමන්ගේ බර කිලෝ එකක් දෙකක් වැඩියෙන් තියාගෙන ඉන්නත් සමහරු පෙළඹුණා. මෙහෙම අමතර බර වැටිලා වෙනම ගෙවන්න වුනොත් මිලදී ගන්නා සෑම භාණ්ඩයකම මිලට ඒ අමතර ගාස්තුවෙන් කොටසකුත් එකතු වෙනවා. එහෙම වුනාන සමහර බඩු ලංකාවේ තියෙනවනම් මෙහෙන් ගන්න එක වාසියි. අපේ ඒ බැංකොක් ගමනට ගිය මිත්‍රයෝ දෙන්නෙක් හෙල්මට් ගෙනල්ලා වෙච්ච නියම පලහිලව්වක් තියෙනවා පස්සේ දාන්නම්. 

කොහොම හරි ඉන්දියාව ලකුණු 260ක් ගහ ගත්තා. මම වොෂ් එකක් දාගෙන මේ පාර ෂෝටකට බැස්සා. එළියේ මිනිසුන් ඉන්නේ පුදුමාකාර කැළඹීමකින්. හරියට අර ඉස්සර ලංකාවේ බෝම්බයක් පිපිරුනාම තියෙන තත්වේ වගේ. කොච්චර ක්‍රිකට් උන්මාදයක් තිබුනත්, මේ මිනිස්සු නිවාඩු දාගෙන ගෙදර ගිහිං මැච් බලන ජාතියක් නෙවේ කියල මට පැහැදිලි වුනේ, මැච් එකේ බ්රේක් එක වෙලාවේ මම නැවතත් රාත්‍රී අහාරය ගන්න කියල ඉනොර්බිට් මෝල් එකේ ආහාර පාන තියෙන ඉහළම මහලට ගිය වෙලාවේ. එතන කට කපල නැති වුනත් තවම සෙනග. මම මේ පාර ෆ්‍රයිඩ් රයිස් පාරක් බඩට දා ගන්න හිතාගෙන වටේ කැරකෙනකොට මෙන්න තියෙනවා චීන්නු වගයක්ම කරගෙන යන චයිනීස් ස්පොට් එකක්.  සාමාන්‍යයෙන් චීනය හා ඉන්දියාව මිතුරු රටවල් දෙකක් නොවේ. ඉන්දියාව පෙර සිටම රුසියාව සමග යුධ ගිවිසුමක සිටි නිසා චීනය ඉන්දියාව සමග ඉන්නේ නෝක්කාඩුවෙන්. එහෙම තියෙද්දිත් බොම්බායේ තියෙන සුපිරි වෙළඳ සැලක චීන්නුන්ට කඩයක් දාන්න දීම පුදුමයට කරුණක්. මමත් චිකන් ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරලා එකට ගාන ගෙවලා ඉඩ තියෙන තැනකින් වැඩි වුනා. මේකේ ඉන්න තඩි චීනාට මේ ක්‍රිකට් අල්ලන්නේ නැති නිසාද කොහෙද ඌ කනේ ඉයර් ෆෝන් ගහගෙන සින්දුවක් අහන ගමන්ම තමයි අපේ ඕඩර් ගන්නේ. මිනිහගේ සහයට ඉන්නේ අවරුදු දහතුනක විතර පොඩි කොල්ලෙක්. සමහරවිට පුතා වෙන්නත් පුළුවන්.

Shahid Afridi and Sachin Tendulkar share a laugh
පින්තුරය ගත්තේ : www.espncricinfo.com බලන්නකෝ දෙන්නගේ මුණු දෙකේ තියෙන පින් පාට. කොහොමද ඉන්දියාවයි පකිස්තානෙයි වෙන් නොවුනානම් හැදෙන ටීම් එක ? එහෙනම් වර්ල්ඩ් කප් ගහන එකක් නෑ. 


දැන් පාකිස්තානය බැට් කරන්නේ. චීනාට හෝ ගාලා ඕඩර් දැන් විනාඩි දහයක් විතර ගියා. හැම මේසෙකම ඉන්න එවුන් කෑම පැත්තකින් තියල ඉන්දියාවට හුරේ පාර දානවා. චීනා මට දබර ඇඟිල්ල උස්සල පෙන්වලා අත්පුදී ගහනවා වගේ සන් කළා හරියට මටත් අත්පුඩි ගහන්න කියන්න වගේ. මට මේක හතරබීරියි. මම ගියා ඌ ගාවට, සමහරවිට මේ උන් කෑම එක හරි කියන විදියද දන්නේ නෑනේ? මෙන්න එක පාරටම ඇතුලේ ඉන්න ඉන්දියන් කාරයෝ මහා හයිහෙන් ඝෝෂාව. මම ආපහු හැරිලා ටී.වී එක දිහා බැලුවා. පාකිස්තානේ විකට් එකක් ගිහිං. චීනාත් ඒ වගේම සතුටකින් අත්පුඩි තලනවා. සමහරවිට එක දාගන්න වෙන්නැති. එතන ඉන්න දෙමළ ටයිප් පොරවල් මං දිහා අමුතු විදියට බැලුව. මොකද මම ඉන්දියාවට හුරේ පාර දන්නෑනේ. චීන්නු කොහොමත් ආණ්ඩපාලලානේ. මම චීනාට හිතින් බැන බැන ආයෙත් ගිහින් වාඩි වුනා. තවත් විනාඩි දහයකට පස්සෙයි මට කෑම එක දුන්නේ. උණු උණුවෙම ගිලලා දැම්මා. අපිට ලංකාවේ හම්බ වෙන ෆ්‍රයිඩ් රයිස් එකක් වගේමයි. ගාන ඉන්දියන් රුපියල් 90ක් වගේ මතක.

මම ආයෙත් වාසස්තානයට ගියා. ඇවිත් එක දවසක් වුනත් දෙතුන් පාරක් එහා මෙහා ගිහින් ගාන හොඳට හුරුයි. රුපියල් විස්සකට වඩා වැඩි වෙන්නේ පාර නොදන්නවානම්. ආපහු යත්දී පලවෙනි මහලේ ලොබියේ ඉන්දියන් කාරයෙක් මැච් එක බලනවා. මමත් එතන නතර වුණා ස්කෝර් එක බලා ගන්න. එතන හිටිය ඉන්දියන් කාරයා මගෙත් එක්ක කතාවට වැටුනා නිකංම. මිනිහා අනිත් ඉන්දියන් කාරයන්ට වඩා වෙනස්. නවදිල්ලියේ කෙනෙක්. මිනිහා හොඳ ගානට බීල හිටිය හින්දා හොඳටම කියවනවා. මමත් අසාවෙන් මිනිහත් එක්ක විවිධ මාතෘකා ඔස්සේ කථා කරා. එතන තිබ්බ රස්නේ සහ දුම තමයි මට ඉවසන්න බැරි වුනේ. පස්සේ මිනිහාගේ කාමරේ ටීවී එකෙන් මැච් එක බලන්න මට ආරාධනා කලා. දැන් අපි දෙන්න හොඳ මිතුරන්. බොහෝ දේ ගැන අපි දෙන්නා දරන්නේ එකම අදහස්. මිනිහා ටිකක් ඉහල පලන්තියක වගේ. ඒ නිසා සාමාන්‍ය ඉන්දියානු හැසිරීම මිනිහට දිරවන්නේ නෑ. හොඳින් ඉංග්‍රීසි කථා කරනවා. ඒ නිසා අපි දෙන්න නිකංම හොඳ මිත්‍රයෝ වුනා. හරියට අවරුදු ගානක ඉඳන් අඳුරනවා වගේ. මිනිහා ටික වෙලාවකින් මම සචින් තෙන්ඩුල්කාර් වගේ කියලත් කිව්වා. එහෙම කිව්වා පලවෙනි සහ අන්තිම කෙනාත් මිනිහා නෙවේ. ඒ ගැන පසුව ලියන්නම්. හැබැයි එක අවුලක් මට මිනිහගේ නම මතක නෑ. මට බොරු නමක් දාන්න පුළුවන්. ඒත් ඒක මගේ හිතට හරි නෑ.

මම මිනිහට අර චීනාගේ කතාව කිව්වා. ඒක අහල මිනිහා බඩ අල්ලන් හිනා වුනා. මිනිහා දීපු උත්තරය තමයි.

"ඉන්දියා ඉස් නොට් අ කන්ට්‍රි ඉන්දියා ඉස් අ වර්ල්ඩ් මයි ෆ්‍රෙන්ඩ්"

කතාවේ තේරුම තමයි ඉන්දියාවේ හැම ජාතියකම පෙනුම තියෙන මිනිසුන් ඉන්නවා. චීන්නුන්ට සමාන, මොනොගොලියන් කාරයන්ට සමාන, යුරෝපීය පෙනුම තියෙන තනිකර ඉංග්‍රීසි කථා කරන, පෘතුග්‍රීසි ලන්දේසි මිශ්‍ර අය ගොවා වගේ පැති වල ඉන්නවා. ඉතිං මම අර දැකපු චීනා ඉන්දියන් කාරයෙක්. මට පස්සෙයි කම්පනාවට ආවේ ඌත් මැච් එක රේඩියෝ එකෙන් අහල තියෙන්නේ, ටීවී එක නොපෙනෙන නිසාම නෙවෙයි. සැටලයිට් ටීවී එකට කලින් මැච් එකේ අලුත්ම තත්වය රේඩියෝ එකෙන් අහන්න පුළුවන් නිසා. බැලුවම චීනා ක්‍රිකට් අන්තවාදියෙක්.මේ වෙලාවේ මගේ සිහියට ආවේ

"ක්‍රිකට් ඉස් අවර් රිලිජන් තෙන්ඩුල්කාර්  ඉස් අවර් ගෝඩ්"

කියන ප්‍රසිද්ධ කියමන. සිංහලෙන් කියනවා නම් අපේ ආගම ක්‍රිකට් අපේ දෙවියා තෙන්ඩුල්කාර්. ඇත්තටම ඒ කතාව ඇත්ත.


පින්තූරය ගත්තේ : siliconeer.com. 
 බොරුද මම කියන්නේ? තරගය ඉන්දියාව දින්නාම මම නවදිල්ලි මිතුරාට සුභ පැතුවා. ඔහුත් ඒ වගේම මටත් සුභ පැතුවා ටිකට් පතක් ලැබෙන්න කියලා. හෝටල් අයිති කාරටත් ටිකට් එකක් ගැන කියල තිබුනේ. ඔහු මට පොරොන්දු වුනා ටිකට් පතක් හොයා දෙන්න. එක පාරටම හෙන පුපුරන හඬක් ඇවිත් මම කාමරේ තිර රෙද්ද මෑත් කරලා බැලුව. එළියේ එකම සැණකෙළියක් වගේ. මම දොර වහගෙන දුවලා ගියා හෝටලයේ ලොබින් එලියට. පාර රතිඥ්ඥා දුමින් පිරිලා මිනිසුන් කඩයක ඇරලා තියෙන දොර ලෑල්ල ළඟ පොදි කනවා. මම නිකමට කඩේ බෝඩ් එක දිහා බැලුව. එකේ ගහල තියෙනවා

"ලක්ෂ්මි ෆයර්ව්ර්ක්ස් ඇන්ඩ් එන්ටප්‍රයිසස්" කියල. අද හොඳ බිස්නස්. කඩ කාරයාට රජ මගුල් වගේ. මට බය මේ කඩේට දවල්ට ගිනි අවිලේද කියල. ඇයි ඉතින් සෙටිග්රෙඩ් 40 ක්ම රස්නේයිනේ.

මේ මම ගත්ත ජායාරුප. මේ ටික හම්බ වුනේ අද(2012.12.11). මේ තියෙන්නේ අර කියපු රතිඥ්ඥා කඩේ. 



ප.ලි. තවම ඉවර කලේ මාර්තු 30 අත්දැකීම් විතරයි. 31/01 දවස් දෙකේ වුන දේවල් තියෙනවා. දිග වැඩිද කියල මටත් හිතෙනවා. කරුමෙට ලියාගෙන යත්දී චිත්‍රපටිය වගේ මතකෙට එනවා. ඉතින් නොලියා කොහොමද? මේ මාරයාගේ පොරොන්දු කඩ කල දෙවෙනි සති අන්තය.  මේක දැන් දවස් ගානක් ලියාගෙන ගිය එකක්. අද උදේ දාන්න හිටියේ. පොඩි මිස් ෆයර් එකක් වුණා. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...