Friday, November 30, 2012

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ඉන්දියාවේ ගියෙමි - I කොටස.

පින්තුරය : techpp.com
මම ඉන්දියාවේ මුම්බායි බලා යන්න තීරණය කලේ මගේ මිත්‍රයා වෙච්ච් සුභාෂ් එක්ක කරපු සාකච්චාවක ප්‍රතිපලයක් විදියට. ඒ 2010 සැප්තැම්බර් මාසයේදී. ඒ කාලේ තමයි 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ කාල සටහන එලියට ආවේ. ඒ වෙලාවේදී මගේ යාළුවාට මම කිව්වා

"ආයේ ලංකාවේ ලෝක කුසලානයක් තියෙන්නේ අඩුම ගන්නේ අවුරුදු 12කින් විතර. එතකොට අපි වයසක මිනිස්සු. ඒ නිසා අපි කොහොම හරි මේ වර්ල්ඩ් කප් එකේ ෆයිනල් බලමු" කියල. මගේ යාලුවත් තනි පයින් කැමති වුනා. මේ එක්කම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හොට් සීට් දැන්වීම දැකල ඉතාම පහසු මිලකට, ඒ කියන්නේ රුපියල් විසි දාහකට වගේ ටිකට් දෙකක් මම වෙන් කළා. ඊට පස්සේ තිබුනේ හෝටලයක් වෙන් කර ගන්න එක. මොකද අවසන් කාලේ වෙත්දී හුන්ඩුවක් තරම් එකක් වත් හොයා ගන්න බැරි වෙනවා. අන්තර්ජාලයේ ඕනෑම හෝටලයක් ගැන විස්තර ඒ වගේම කලින්ම කාමර වෙන් කිරීමේ හැකියාව තියෙන නිසා ඒ හැටි ගැටළුවක් වුනේ නෑ. මුලින්ම මගේ හිත ගියේ බැම්බූ කියන හෝටලයට. ඒත් මගේ මිත්‍රයට ඒ ගැන දැනුම් දීලා දවසක් දෙකක් යත්දී ඒ හෝටලයේ සියලුම කාමර සම්පූර්ණයෙන් වෙන් කරව තිබුණා. ඊළඟට මගේ හිත ගියේ නැවි මුම්බායි හී පිහිටා තිබෙන එපෙක්ස් හෝටලයට. අන්තර්ජාලයේ ඔවුන්ගේ වෙබ් අඩවියෙන් එහි තිබෙන පහසුකම් මෙන්ම විවිධ පින්තුර නරඹා එය වෙන් කරවා ගත්තා. 

 මගේ මිත්‍රයා බාර ගත්තා තරගය නරඹන ටිකට් පත් වෙන් කරන එක. මේ අතරේදී අපි කථා වුනා ටාජ් මහල් බලන්න යන්න. එත් ඉන්දියාවේ තියෙන විශාලත්වය ගැන පැහැදිලි තේරුමක් ආවේ මේ කාරියේදී. මොකද මුම්බායි නගරයත්, අග්‍රා නගරයත් ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පිහිටලා තිබුණත්, ඒ දෙක අතර ගමනට වේගවත්ම දුම්රියෙන් ගියත් දවස් තුනක් ගත වෙනවා. යන්න දවසයි, ඉන්න දවසයි, එන්න දවසයි. අපි සැලසුම් කලේ මාර්තු 28 ඉන්දියාවට ගිහින් අප්‍රේල් තුන් වෙනිදා ආපහු ලංකාවට එන්න.  ඒ අතරේ මුම්බායි හා ගොවා අතර දවස් දෙකක් යන ස්ටාර් කෲස් වර්ගයේ නැව් ගමනක් ගැනත් අදහසක් ආව. ඒත් ඒවාට ගියොත් අපේ මුලික අරමුණ අතපහු වෙන නිසා අපි ඒ ගමන් අත ඇරලා දැම්ම.
පරතරය කිලෝමීටර් 1400ක් : maps.google.com

 අන්තිමේදී යන දවස කට ලඟට ආවත් මගේ මිත්‍රයා වීස ගන්න එකට උනන්දු වුනේ නෑ. මම දෙතුන් වතාවක් කිව්වත්, හරි මචං, හරි මචං කියා කිය හිටියා. අවසානයේදී මගේ මිත්‍රයා එයාට තියෙන ගැටලුව මට ඉදිරිපත් කළා.

"මචං මම ඉඩමක් ගන්න බලලයි තියෙන්නේ. මේ ගමන ගියොත් යන විදියදම නිසා ඒක ගන්න සල්ලි මදි වෙනවා" මට මුලින්ම හිතා ගන්නවත් බැරි වුනා. මේ වෙනකොට යාලුවාගේ නමින් ගුවන් ටිකට් පත වෙන් කරලා ඉවරයි. නවාතනත් දෙදෙනාටම තමා වෙන් කලේ. ඒකනම් කමක් නැහැ. මම කුඩා කාලයේ ඉඳලා අනිත් අයට දොස් නොකියන පුරුද්ද නිසා මගේ මිතුරාට වචනයකින්වත් දොසක් නොකියන්න වග බලා ගත්තා. ඒත් මම යන්න හිටපු ගමන යනවාමයි කියල හිතාගෙන දිගටම ක්‍රීඩාංගණය ටිකට් පත් සෙව්වා.

මුම්බායි වල තිබෙන වන්කඩේ ක්‍රීඩාංගණය අනෙක් ක්‍රීඩාංගන සමග ගත්තාම ඉතා කුඩා එකක්. ඒ කියන්නේ ඒ තුල අසුන් ගත හැකි නරඹන්නන් ගණන සීමිතයි. මගේ මතකය අනුව 33,000ක් තමයි. එයිනුත් වැඩිම ප්‍රමාණයක් වන්කඩේ සාමාජිකයින්ට. අයි.සී.සියට සහ එහි ආශ්‍රිත සාමාජිකත්වය දරන වෙනත් රටවල් වලට නොමිලයේ ලබා දෙන ටිකට් පත් අයින් කලහම තිබුනේ ටිකට් 4,000 යි. එයිනුත් අන්තර්ජාලයට වෙන් කලේ ටිකට් 1000යි. මේකට තමයි මුළු ලෝකයම පොර කෑවේ. මෙම ටිකට් අලෙවිය බාර දීල තිබුනේ ඉන්දියාවේ චිත්‍රපට ටිකට් අන්තර්ජාලයේ විකුණන "ක්යාසුන්ගා" කියන වෙබ් අඩවියට. මුලින්ම එය අන්තර්ජාලයට මුදා හැර විනාඩි 10කින් පමණ ලොව නන් දෙසින් ආ තදබදය(Traffic)  නිසා එම වෙබ් අඩවිය හිර වුනා. එදා අපි දෙන්නත් මේ ටිකට් වෙන් කර ගන්න උත්සාහ ගත්තා. ඒක හරියට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඑල බලනවා වගේ වැඩක්. මටත් නොයා ඉන්න කියල මගේ මිතුරා ඉල්ලා සිටියත් කොහොමටවත් නවතින්න මමං සුදානම් වුනේ නෑ,

මේ තියන්නේ ඇලෙක්සා traffic Details කොහොමද 2011.02.21 ලැබිල තියෙන hits ටික.


අපේ තව මිතුරන් කිහිප දෙනෙකුටත් මේ ටිකට් පලහිලව්ව ගැන කියලා තිබුණා. ඒ එක් අයෙක් ටිකට් පතක් ලබා දෙන්නම පොරොන්දු වුනා. මේ වෙත්දී ඉන්දියාව අවසාන පුරවා තරගයට තේරිලා තිබුනා. ඔවුන් එය ජයගනී කියන විශ්වාසය බොහෝ දෙනෙකුට තිබුනා. ඒක තමයි කොස්සකට හිටියේ. මොකද අයි.සී.සිය. ලභා දෙන ටිකට්පත් ප්‍රමාණයේ වෙනසක් ඒ අනුව සිදු වෙලා. මම ලංකාවෙන් පිටත් වෙච්චි 28 වෙනිදා තමයි නවසීලන්තය සමග අර්ධ අවසාන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ.

එදා රාත්‍රී අටට විතර තමයි මගේ ගුවන් ගමන යෙදිලා තිබුනේ. මමත් සුදානම වුණා. මගේ මිත්‍රයා නවසීලන්ත තරගය බලන්න ක්‍රීඩාංගණයට ගිහින් හිටියේ. මේ වෙනකොටත් අර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබෙන ටිකට් පතක් ලබා ගැනීමේ අරමුණ වෙනස් කරලා තිබුනේ නෑ. යම්කිසි විදියකින් ටිකට් පතක් ලැබුනොත් එය DHL  මාර්ගයෙන් මට එවන්න මගේ මිතුරා පොරොන්දු වෙලා හිටියා. මොනවා වුනත් මෙහි තරග කිහිපයක් විවිධ ආකාරයෙන් මේ වන විට නරඹලා තිබුනේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය සිනමන් ග්‍රෑන්ඩ්හෝටලයේ ඉඳන් නරඹන්න අවස්තාව ලැබුණා. එංගලන්තයත් සමග අවසාන පූර්ව තරගය ක්‍රීඩාංගණයේදීම නරඹන්න පුළුවන් වුනා.

මම බොහොම දුකෙන් තමයි මගේ ගමන් මල්ල සූදානම් කලේ. එක් අතකින් මගේ දියණියගෙන් වෙන් වෙලා දවස් පහක් ඉන්න යන ගමනක්. අනික නොදන්නා රටක තනියෙන් යෑම. මොනවා වුනත් පටන් ගත්ත වැඩක් අත් හරින්න මම කැමැත්තක් නෑ. ඉන්දියන් වීසා ලබා ගන්න තිබෙන පහසුකමත් ඉතා වටිනා එකක්. මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැය ගණන් අව්වේ ඉන්නවා වෙනුවට එය පුද්ගලික ආයතනයක් වන VSF Global  වෙත පවරා තිබීම ප්‍රශංසනීයයි. හරියටම දින තුනකින ඔබට වීසා ලබා ගන්න ඔවුන් කටයුතු සැලසුම් කර තිබෙනවා. මේ දවස් වල මට නිතරම කොළඹින් පිට රාජකාරි වල නිරත වෙන්න සිදු වුනා. 

මාව ගුවන්තොටට ඇරලවන්න සුදානමින් සිටියේ කුෂාන්. නිතරම මට රාජකාරි දින වලදී මුණ ගැහෙන ඉතාම ප්‍රසන්න 688 කැබ් සේවාව වෙත තම වාහනය යොදවා සේවයේ යෙදෙන්නෙක්. ඇත්තටම මේ වෙනකොට ඔහු මගේ මිතුරෙක් බවට පත් වී අවසන්.  ඔහුත් මේ තරගය නරඹන්න පැමිණෙන බවට පොරොන්දු වුනා. ඔහුට තිබෙන සම්බඳතා අනුව එය ඉටු කර ගත හැකි බව මටද විශ්වාසයක් තිබුණා. මා මේ යන්නේ නිෂ්පල ගමනක්ද යන්න නිතරම මගේ හිතේ රැව් පිළිරැව් දුන්නා. හවස පහට පමණ කුෂාන් ඇමතුවත් ඔහු අවසාන පූර්ව තරගය ක්‍රීඩාංගණයේ නරඹමිනි සිටින බව දැන ගන්නට ලැබුණා. කෙසේ හෝ මා ඇරලන්නට පැමිණෙන බවට ඔහු සහතික වුනා. මටත් කිසිම අවුලක් නෑ. මේ වගේ ගමනකට සුදුසුම පුද්ගලයෙක් කුෂාන් කියන්නේ. ඒත් රාත්‍රී හත වනවිට ඔහුට පැමිණෙන්නට නොහැකි බව දන්වා සිටියා. මා තරමක් වික්ශීප්ත භාවයෙන් වුවත් 688 සේවාව අමතා හිතවත් කම් මාර්ගයෙන් වෙනත් කැබ් රථයක් ගෙන්වා ගත්තා. 

එම කැබ් රථය පදවන රියදුරා කොළඹට තවමත් දින දෙකකට වඩා නොපැරණි පුද්ගලයෙක්. ඔහු ක්‍රියාන්විතයේ යෙදී සිට ආභාධිත වුවෙක්. ඔහුට කොළඹ මාර්ඝ ගැන කිසි දැනීමක් නෑ. අවසානයේ මට සිදු වනා ඔහුටත් මාර්ඝෝපදේශකයා වන්න. තරමක් වෙලා තිබූ නිසා සීදුව ප්‍රදේශයේ කඩයකින් තේකකින් සප්පායම් වුනේ තවත් පැය කිහිපයකට ගුවන් යානවෙදී සංග්‍රහ ලබන තුරු කිසිදු අහරක් ගැනීමේ අවස්ථාවක් නැති නිසා. ඔහුගේ ගාස්තුව ගෙවා මාගේ ගමන් මල්ලත් අතේ ගෙන යන බෑගයත් රැගෙන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් ඇතුල් වුනේ, අද දින ජය ශ්‍රී ලංකාවට ලැබේවා යන  ප්‍රාර්ථනයද සමගින්. 

කිහිප වතාවක් විදේශගතවී තිබූ පල පුරුද්ද නිසා ගුවන්තොටුපලෙහි  කෙරෙන කාර්යයන් පිලිබඳ මනා අවුබෝධයක් මට තිබූ නිසා මුලික කටයුතු කිසදු අපහසුවකින් තොරව කර ගන්නට හැකි වුවා. එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ඇතුල් වන්නට 150කට අධික ප්‍රමාණයක් මට ඉදිරියෙන් මේ වනවිටත් පෝලිම්ගත වී සිටියා. ඒ සිටින විටත් නිරතුරුවම තීරණාත්මක දෙවන අර්ධ අවසාන තරගයේ ප්‍රතිපලය බලාපොරොත්තුවෙන් ක්‍රීඩාංගණයේ සිටින මගේ මිතුරා ඇමතුවා. අවසන් මොහොතේ ශ්‍රී ලංකාව ජය ගත්තේ නුලෙන්. 

මෙම ගමන යාමට අවසර මගේ දූ සිඟිත්තිගෙන් ලබා ගත්තේ ඇය නිතිපතා සිහින මවන ටෝකින් ඩෝල් නොහොත් කතාකරන බෝනික්කකු ගෙන ඒමේ පොරොන්දුව ලබා දීමෙන්. "අනේ කොහේ හෝ මේ බෝනික්කා තිබියන්" යන්න ඒ දිනවල මගේ එකම ප්‍රාර්ථනය වුවා. ඒ මා ඇයගේ හිත බිඳින්න තිබෙන අකමැත්ත නිසා. "ආයුබෝවන්" එය අප රටේ නිල පිළිගැනීමේ ක්‍රමය වුවත්, එය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන්. නමුත් මෑතක සිට අප ඇතුළු රජයේ ආයතන බොහොමයක් ආයුබෝවන් ආමන්ත්‍රණය භාවිතා කලත් එහි ගැබ් වී තිබෙන කෘතීම බව නිසා එය මගේ සිත් ගත්තේ නෑ. කොටින්ම මා එය භාවිතාවෙන් වැළකුණේ හිතට එකඟ නැති දේ නොකිරීමේ මගේ පුරුද්ද නිසා.  එහෙත් දෑස් මෙන්ම දසන් වලින් දක්වන සිනහවත් සමග ඒ කල පිළිගැනීම මා සිත් ගත්තා. වැඩි අපහසුවකින් තොරවම මගේ ආසනය සොයා එහි හිඳ ගෙන අසල ඇති කුඩා කවුළුවෙන් යලිත් මාගේ මාතෘභූමිය දෙස බල දිගු සුසුමක් හෙලුවා. තවත් විනාඩි කිහිපයකින් මේ සුන්දර ලක් පොළොවෙන් ගුවන් ගතව කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වූ අපේ අසල්වැසියාගේ භූමියෙහි පය ගැසීමට අපට සිදු වනවා. 

ඒ වනවිට කිසිදිනක මා ඉන්දියාව නැතිනම බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වන ආකාරයට දඹදිව හෝ භාරතය වෙත  පය ගසා තිබුනේ නෑ. මා කුමන රටක ගමන් ගත්තත් අන්තර්ජාලය සහ විවිද මාධ්‍ය මගින් ඒ පිලිබඳ නිසි අධ්‍යනයක නිරත වීම මගේ පුරුද්දක්. ආහාරපාන, භුමි ලක්ෂණ, සිරිත් විරිත් ආදිය මෙහිදී වැදගත්. ඉතිං මමත් මේ ගෙදර වැඩ(Homework) කොටස මැනවින් සිදු කර සිටියා. තවත් විනාඩි ගණනාක අවෑමෙන්, ගුවන් සේවිකාවන්ගේ සහ ගුවන් නියමුවාගේ නිවේදනයට අනුව අසුන් හා බැඳී පටි තද කර ගත්තා. සැබවින්ම ගුවන් නියමුවන් වුවත් ඔවුන්ට බිම මත වාහන හැසිරවීම පිලිබඳ මනා නිපුනත්වයක් තිබිය යුතුයි. මන්ද ඒ වනවිට බිම් පර්යන්ත සහ ගාල් කරන ස්ථාන වල තිබෙන අනෙකුත් ගුවන් යානා සහ වෙනත් වාහන බේරාගෙන ගුවන් පථයට පිවිසීම ගුවනේ යානය හසුරවනවාට වඩා අපහසු කාර්යක් නිසා. හෙමින් හෙමින් ගමන් ගත් යානය ප්‍රධාන ගුවන් පථයට පිවිසෙන්න විනාඩි කිහිපයක්ම ගත වුනා. 

මගේ දියණිය මේ වනවිට කුමක් කරනවා ඇත්ද? මගේ දෑස් තෙත් වුවේ නිරායාසයෙන්. ඇයට සිටින එකම හිතවතා, ඥාතියා, වැඩිහිටියා වන මමද මෙසේ විනෝදාස්වාදය පදනම් කර ගත් ගමන් ගැනීම් කෙතරම් වේදනාකාරී වන්නට ඇත්ද? මීට ප්‍රථම මා දෙවතාවක් ඇගෙන් වෙන්ව මෙවැනි ගමන් ගොස් තිබුණා. එහෙත් එවැනි අවස්තාවක විනෝදාස්වාදය පැත්තක තබා මා ඇය ගැන නිරතුරු සිහි කරමින් ගත කළා. සමහරවිට මේ වනවිට ඇය නිදි සුව විඳිනවා වන්නට පුළුවන්. ඇයට තිබෙන්නේ දැඩි හිතක්. එය උවමනාවටත් වඩා දුක දරා ගන්න සමත්. එහෙත් මගේ ඇසුරේ සිටින විට ඈ වඩාත් ලද බොළඳ ලෙස හැසිරෙයි. එයට සාධාරණ හේතු ඇත. 

මුලින් ඉබි ගමනේ ගිය Airbus වර්ගයට අයත් යානය ඉතා කෙටි දුරක් තුල පැයට කිලෝමීටර් පන්සීයක පමණ වේගයක් ලඟා කරගෙන ක්‍රමයෙන් ඉදිරි කොටසත් තවත් සුළු වේලාවකදී පසුපස කොටසත් වා තලයට එක් කර වේගයෙන් උතුරු දෙසට ධාවනය වන්නට පටන් ගත්තා. ලක් පොළොවෙන් නික්ම ඉහල ආකාසය සිප් ගනිද්දී රාත්‍රිය එළඹ තිබෙන කටුනායක ආශ්‍රිත කලාපය තොරණක සිහි ගන්වමින් දැල්වෙන් විදුලි බුබුළු වලින් එකාලෝව වී තිබුනා. තවත් සුළු මොහොතකින් කටහඬ අවදි කල කපිතාන් වරයා දැන් බඳ පටි ඉවත් කල හැකි බවත්, අප සිටින උසත් ගමනාන්තය ගැනත් යම් දැනුවත් කිරීමක් කළා. මා යානයේ සිටින අනෙකුත් මගීන් ගැන සැලකිලිමත් වුනා. විවිධ ජාතීන් 20කට ආසන්න වර්ගීගරනයකින් යානයේ මගීන් සමන්විත වුනා. යුරෝපීය, ඉන්දීය, ශ්‍රී ලාංකික, නැඟෙනහිර ආසියාතික, අප්‍රිකානු ආදී විවිධ ජාතීන්ගෙන් යානයේ සියලුම ආසන පිරී තිබුනා. යුහුසුළුව සියලු දෙනාට කෑම බීම බෙදාදෙන යුවතියන් සහ තරුණයන් තමා වෙත ලඟා වන තුරු කවුරුත් නොයිවසිල්ලෙන් බලා සිටියා. මා දිගු හුස්මක් ගෙන මගේ පාස්පෝර්ට් එක ගෙන, ගමනාන්තයෙදී බාර දිය යුතු එම්බාර්කේෂන් කාඩ් පත පුරුවන්නට පටන් ගත්තා. මා අනුව යමින් මා අසල සිටි යුවළද එම කාඩ් පත් අතට ගත්තා. 

මීළඟ කොටසින් : සුදීකට ටිකට් ලැබෙයිද ? හැමෝම මාව ඇන්දුවාද ? මුම්බායි අත්දැකීම්ද සමග දෙවන කොටස. ඔන්න මාරයාට සෙනසුරාද කියවන්න පොස්ට් එකක් දැම්මා. 

Tuesday, November 27, 2012

මේ ඉතිං මට හිතෙන හැටි : නර්මදාට පෙම් කල එඩ්වඩ් ජය...

ඇත්තටම මෙතන මේ ප්‍රේමය ඇති වෙලා තියෙන්නේ ගායකයාගේ හිතේද? නැත්නම් ගීත රචකයාගේ හිතේද? එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුගේ හිතේද ? කියන්න මම දන්නේ නෑ. එම ගීතය බිහි වීම පිලිබඳ කිසිම සටහනක් නැති නිසා. දන්නා කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් ලෙසින් ඉදිරිපත් කලත් කමක් නෑ. ඇත්තටම මේ ගායකයා වෙන කව්රුවත් නෙවෙයි. ඉතාමත් නිහතමානී, මම ප්‍රිය කරන ගායකයන්ගෙන් කෙනෙක්. මම ඔහුට නිහතමානී කියල බය නැතිව කියන්න හේතුව මගේම අත්දැකීමක්.  ඒ සිද්දිය මෙන්න මෙහෙමයි ...

මම කොළඹ රස්සාවට ආව කාලේ ඉතිං බෝඩින් උනහම, හවසට බොරින් හින්දා. සතියකට දවසක් විතර අපි කණ්ඩායමක් හිටියා ගාලු මුවදොර නොහොත් ගෝල් ෆේස් එකට ගිහින් විනෝද වෙන්න. ඉර බැහැල ගියාට පස්සේ මේ කියන දවසෙත් අපේ කණ්ඩායමට  යාළුවො හත් අට දෙනෙක් එක්ක, විවාහක අයගේ මහත්වරු, බිරින්දෑවරුත් එක් වුණා. මෙතන හිටිය අපි කව්රුත් වගේ ශාස්ත්‍රීය සංගීතයට ලැදී අය. ඉතිං එදා දවසෙත් අපේ කට්ටිය කාලා බීලා වල්පල් දොඩවලා ඉවර වෙලා සිංදු කියන්න පටන් ගත්තා. අපි ගායනා කලේ අමරදේවයන්ගේ, කපුගේගෙ, වික්ටර්ගේ ගීත. එතන කව්රුන් හෝ යුවලක් සහ දරුවන් කිහිප දෙනෙක් අප අසලට විත් නැවතුනා. කියන්න අවශ්‍ය නෑනේ ඒ එඩ්වඩ්-චරිතා කියන සුප්‍රසිද්ද ගායක-ගායිකා යුවල. මට නම් ඇස් අදහා ගන්නත් බැරි වුනා. ඒ වනතෙක් රුපාවහිනියෙන් දැක තිබූ ගුවන් විදුලියෙන් ඇසූ ඔවුන් අප ඉදිරියේ. 

අපේ ගායනට ඔවුන්ද එක් වුවා. මගේ මතකයේ හැටියට එතුමා පමණයි එකතු වුනේ. අපත් සමග හරිහරියට මේ ගීත පමණක් නොවේ. ඔහු ගයන පන්සලේ පියතුමා විසින් රචිත  "පන්න්සලේ පල්ලියේ" ගීතය ගායනා කරන්න පටන් ගත්තා. ඒත් ඔහුට ඉඩක් නොදී එම ගීතයේ අයිතිය අප සන්තකයේ රඳවා ගන්නට අප වග බලා ගත්තා. එතුමා කොතරම් නිහතමානීදැයි හිතා ගන්න මේ කාරණයම මදිද? ඒ ඇරෙන්න ඔහුගේ සමකාලීන මිත්‍රයෙක් වන වසන්ත මහත්මා අප සමග පවසන දෙයින්ද මේවා වඩ-වඩාත් තහවරු වෙනවා.  එනිසයි මා එතුමා ප්‍රිය කරන්නේ. 
පින්තුරය ගත්තේ : geerasa.com
එතුමාගේ මේ ප්‍රේම-කතා(නවතා මොහොතක් :D)ව මොකක්ද කියල දැන් ඔබට ප්‍රෙහෙලිකාවක් කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් ඔබතුමාලා හිතනවා ඇති අහිංසකයා වගේ හිටියට, මීයෝ දෙන්න දෙන්න අල්ලලා ඇති කියල. වැරද්දක් නෑ. ඒක කාට වුනත් හිතෙන විදිය. මටත් එහෙමම තමයි හිතුනේ. ඒත් එතුමා ඒ ජාතියේ මිනිහෙක් නොවෙයි කියලා කියන අය කීයක් ඉන්නවද? මෙන්න මෙතනදී අවන්කවම හිතට ආපු දේ කමෙන්ට් කරලා ඉවර වෙලා කියවන්න කියා මා ඉල්ලා සිටිනවා. 

ඒත් මන් මේ කියන ගීතය තමුන්නාන්සේලාත් හොඳට අහල තියෙන එකක්. මේක රචනා කරලා තියෙන්නේ ප්‍රියානන්ද විජේසූරිය මහත්මයා. ගීතය තමයි "යලි උදා වූ වසන්තේ ලෙසින්, එන්න ලං වී සදා ආදරෙන්". මේක ටිකක් විතර වෙනස් ආකාරයක වචන සහිත ගීතයක්. මම හරි නේද? දැන් එතකොට මොකක්ද මේ නර්මාදාගේ පලහිලව්ව. මම පුංචි ඉඟියක් දෙන්නම්. මේ ගීතයේ එන "ජීවත් වෙනවා නම්මා වෙනුවෙන්" කියන කොටසින් තමයි මේ නර්මදාට එඩ්වඩ් මහත්මයාගේ ප්‍රේමය හෙළි වෙන්නේ. හරි කාට හරි කියන්න පුලුවන්ද කොහොමද කියලා ? එතුමා කෙතරම් නර්මදාට පෙම් කලාද කියනවනම් අන්තිමේදී එතුමා ජීවිතය පවා  පරදුවට තියලා තමයි මේ ආදරය ගැන කියන්නේ. 

නර්මදා ඉන්නේ අපේ ඔෆිස් එකේ. මම පුරුද්දක් විදියට කාට වුනත් සම්පූර්ණ නමින්ම කතා කලත්, සමහර අය ඉන්නවා නමේ කොටස් වලින් අමතන. එක්තාර විදියකට ඒවා සමීප ආමන්ත්‍රණ. අපේ ඔෆිස් එකේ ඉන්න අකිල තමයි බොහෝ අයට මෙහෙම නම් හැදුවේ. ඉතින් මට කියන්නේ "දිලී" කියලා, ඉරෝෂාට කියන්නේ "ඉරෝ" කියලා, ආනන්දට "ආනා", සුසන්තට "සුසා",  මේ වගේ නර්මදාට කියන්නේ "නම්මා" කියලා. දැන් ආපහු මේ ගීත කණ්ඩය දිහා බලන්න.

ජීවත් වෙනවා නම්මා වෙනුවෙන්

දැන් පේනවා නේද? අහිංසක කම. චරිතා නෝනා දැන ගත්තොත් දෙයි බැට් එකෙන්. D

ප.ලි. : මේක ඉතින් මගේ ලට පටස් වැඩක්. "නම් මා" කියන එක තමයි "නම්මා" කියල ගැට ගහලා තියෙන්නේ. එතුමා ගැන අබමල් රේණුවක අහිතකින් ලියපු එකක් නොවේ. 

මාරයාට පොරොන්දු වෙලා සතියක් ගියේ නෑ, හැම සති අන්තයේම පොස්ට් දෙකක් දානවා කියල, මට භාරදූර වගකීමක් පැවරුන ක්‍රිකට් තරගාවලියකට නුවර ගියා. ඒත් මම පොස්ට් එකක් දාන්නමයි හිටියේ. මගේ ලැප් එක අනිත් අය නිදහස් නොකළ නිසා ඒ වැඩේ අතපහු වුනා. ලබන සතියේ උත්සාහ කරලා බලමු. අද පෝය දවස ඇතුලත් දෙකක් දාන්න බලන්නම්. 

Sunday, November 18, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 23 - සර් බැංකුවේ spa දාලා

coloribus.com


අපේ කාඩ් මධ්‍යස්ථානයට අනුබද්දව සේවය කරන ලිපි බෙදා හැරීමේ සේවකයා (කුරියර් - බැංකුවේ බොහෝ දෙනා ඔවුන්ව කූරියා යන පහසු වචයෙන් හඳුන්වයි. දැන් පුරුද්දට ගොස් ඇති නිසා අවශ්‍ය තැනකදී පවා මේ පුද්ගලයන්ට කියන්නේ කූරියා යනුවෙනි. මෝටර් සයිකලයෙන් එහා මෙහා විදුලි වේගයෙන් යන මොවුන්ගේ ජීවිත් ගැන විටෙක අනුකම්පාවක් ඇති වේ. එක් අලුත් සේවකයෙක් දිනක් විමසා සිටියේ මොවුන්ට කුරියා කියන්නේ වල කජ්ජ පෙනී පෙනී කරන අවදානම් ක්‍රියාවක් කරන නිසාදැයි කියාය. කෙසේ වෙතත් මුල සිටම මේ වචනය හරියට පරිහරණය කරන්න මා පෙළඹුනේ කුඩා කල සිට හරි වචනය සොයා බලා භාවිතා කිරීමේ මට තිබූ පුරුද්ද නිසාය) හැමදාමත් ලිං මැඩියන් සේ කාර්යාලයේ පුටු රත් කරනා අප වෙත එන්නේ නැවුම් ප්‍රවෘතියක්ද සමගයි. මේ දින වල අපට එම සේවය ගෙන එන කුමාර නමැති දෙමළ තරුණයා(35කට වැඩියි) දවසකට එකක් ආතල් කතාවක් කියයි. 

පහුගිය  T20 ලෝක කුසලානය කාලයේ ඔහු ඕනෑම ක්‍රීඩාංගණයකට හෝ කොළඹ නගරයේ උත්සව ශාලාවකට හොරෙන් පැනිය හැකි ස්ථාන ගැන දිගු දේශනයක් කලේ, තරග සඳහා ටිකට් මත්තේ නැහෙන අපි වගේ උන් ගැන අනුකම්පවෙන්මය. ඒත් ඒකා කියන ගස් දිගේ බඩගාගෙන යාමට තරම් අපිට පිස්සුවක්ද, ගැම්මක්ද නැත. එහෙත් කුමාරයා ඒවා කියන ආකාරය අසා සිටීමට මා හරි කැමතිය. රුපියල් දෙසිය පනහේ ටිකට් රුපියල් දහ දාහට විකුණා හොද්ද බොර කරගත් කීප දෙනා අතරට කුමාරයාද එකතු වෙයි. 

"ස(අ)ර් අපිට කීඅක් අරි ඔයා ගන්න මේම චාන්ස් එකක් එන්නේ ඉදලා ඉටලානේ. දවසක් මං නිදාගෙන ඉන්නකොට මාත්තයෙක් කෝල් කරා 250 ටිකට් අතරක් තීනවා මට පන්දාක් එකකට දුන්නොත් ෂේප් කියලා. මට කරන්ට් වැදුනා වගේ නැගිට්ටේ. අපේ කොල්ලේක්ගේ බොසා ටිකට් ඔය ඔයා ඉන්නවා කියලා දන්නා නිසා. මම ගැවූවා කෝල් එකක්. මල්ලි ටිකට් අතරක් තියෙනවා දා දා ගානේ මොකද කියන්නේ. රයිට් අපේ වත්තට ඇවිල්ල මට කෝල් එකක් ගාපන්. පැය බාගෙන් අතලිස් දාක් මගේ අතේ. ටිකට් දුන්න මාත්තයාට අතර ගානේ දුන්නේ. එතකොට දාසයයි. කොල්ලට දුන්න අතරක් ඌනේ සර් වැඩේ මාටුට කරේ. මට විස්සයි. විස්සයි විස්සෙන් මාත් ගොඩ".

කුමාරයාගේ මේ ආතල් නිසා මං කුමාරයා එක්ක ටිකක් ටෝක් එකක් දාන්න අමතක කරන්නෙම නෑ. මේ ලඟදි දවසක් ඉන්ටර්නැෂනල් ඩිවිෂන් එකෙන් ෆෝම් සෙට් එකක් ගෙන්න ගන්න මම යාලුවෙක්ට කථා කළා. කාව හරි එවපන් මචං - මේ දවස් වල හරි බිසී කියලා යාළුවා තිබ්බ ෆෝන් එක. මම යාළුවගේ නමයි ඉන්න තැනයි කොළ කෑල්ලක ලියලා කුමාරයව යැව්වා. හවස කුමාරයා ආවා. 

"සර් මාර කට්ටක් කෑවේ. එතන spa දාල ඉන්දා ඔක්කොම අවුල්"

"මොනවා පලයන් යන්න. බැංකුවේ spa දානවා. උඹ හරි තැනටද ගියේ. නැත්නම් උඩ බලාගෙන මසාජ් ක්ලිනික් එකකට රිංගුවද ?"

"අරි අරි සර් මං දන්නැද්ද ? ඇමදාම යන තැන්නේ. ඔක්කොම බඩු එයාට මෙයාට දාලා. අලුත් පේන්ට් ගාලා, පොඩි පොඩි කොළ කෑලි ඇමතනම අලවලා. මටත් ඔෆිස් එකේ පියන් අයියා තමයි කිව්වේ මේ spa කතාව. ඌටත් ඔඳටම මල."

"ඇයි පියන්ලට යන්න දෙන්නේ නැද්ද ? ඒකට. ඕක තමයි වැරැද්ද. පොඩි එවුන්ට හැමදාම අඩුවෙන් තමයි දෙන්නේ. ඉතිං හැම තැනම අසහනය"

"ඉන්නකෝ සර් කියනකං. සර් දන්නවද අර ලුමිනස් පාට පොඩි කොළ කෑලි මිටියට අලවලා තියෙන ඒවා. අන්න ඒවා රෝසපාට, කා පාට, කොළ පාට. ඇම තැනම අලවලා"

"හරි හරි දැන් බෝඩ් එකක් එහෙමත් ගහලද? නැත්නම් හොරෙන්ද වැඩේ කෙරෙන්නේ. ඩියුටි වෙලාවටත් යන්න දෙනවද? "

"සර් මොකක් ගැනද කිඅන්නේ. එස්පා දන්නැද්ද අප්පා. අර පියන් අයියා තමයි කිව්වේ. හැබැයි සර් දැන් කිසි කරදරයක් නෑ. ගිය ගමන් බඩු ගෙන්න පුළුවන්. ඇමතැනම කොළ කෑලි නිසා කරදරයක් නෑ. මේම ගත්තා මේම දුන්න"

මේකා මොන හරුපයක් කියනවද මන්ද. මම ගත්තා කෝල් එකක් මගේ යාලුවට.

"මොනවද බං උඹලා කරන අසික්කිත වැඩ. උඹලට ආතල් ගන්න spa එකක් දාගෙන. ඒ මදිවට හැම තැනම ලේබල් ගහගෙන කියල අපිට ආරංචියි. කොහොමද මල්ලි කීයද ගාන ? උඹත් ගියා නේද?"

"උඹ මොකක් ගැනද කියවන්නේ. මේ.. මේ.. මට වැඩ තියෙනවා. උඹලට වගේ කයිය ගහන්න වෙලා නෑ."

"හරි හරි දැන් spa යන්නත් තියෙනවනේ. නේද ?"

"මොන ස්පාද යකෝ මෙහේ. උඹට පිස්සුද ? මේකේ ! ඔන්න ප්‍රයිවෙට් බැංකුවක නම් කමක් නෑ"

"ඇයි යකෝ ඕකනේ ලෝකේ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක. ගූගල් ඔෆිස් එකෙත් දැන් තියෙනවා. රිලක්ස් කරන්න. වැඩ කරලා අමාරු වුනාම. උඹල තමයි දවසකටවත් මිනිස්සු අපිට නිකන් වත කිව්වේ නෑ"

"මේ. මේ. පලයන් වෙලාව කන්නේ නැතිව. අපි දැන් five S වලට අනුව තමයි වැඩ"

"මොකක්ද කිව්වේ five S. එතකොට මූට spa කියල තියෙන්නේ උඹලගේ පියන් කාරය ඒකටද? "

නරකම නෑ. 5-S බැංකුවේ සමහර තැන් වලට දැන් හඳුන්වලා දීලා. Five S, එස්-පහ වෙලා. අපේ කුමාරයට ඒක  කියවෙන්නේ එස්-පා කියල. මටයි වැරදුනේ. ටැමිල් ඌරුවට කතා කරන එවුන්ට 'හ' යන්න කියවෙන්නෑ කියල මට අමතක වුනා. දැන් ඉතිං හැම තැනම spa කියල ගහපු බෝඩ්නේ දකින්න තියෙන්නේ.

Saturday, November 17, 2012

දුවරු තිදෙනෙක් මවක් සහ පියෙක් ....

මේ ලියන පොස්ට් එක මම ලියන කෙටිම පොස්ට් එක වෙන්නත් පුළුවන්. එත් අද මම ලියන්නේ මේ දැන් මගේ හිතට වද දෙන හැගීම්. නෙරංජි සුලක්ඛනාගේ අද දාලා තිබුන පොස්ට් එක දැක්කහම මට මුලින් හිතුනේ, "මේ ළමයා මේ බ්ලොග් එකේ වැඩියෙන්ම ලියන්නේ එයාගේ හිතට එන හැඟීම් නේද ?" කියල. පස්සේ මම කල්පනා කළා ඇයි එයා එහෙම ලියන්නේ කියලා. එක අතකින් එයාට දුක කියන්න කෙනෙකුත් ඉන්නවා. ඉතිං ඇයි බ්ලොග් එකේ ඒවා ලියා තබන්නේ ? කියවන අපිට දැන ගන්නද? ඒත් එකෙන් වෙන වැඩේ මොකක්ද ? නමුත් ඒ ලිපිය කියවපු මගේ හිතේ කම්පනයක් ඇති කළා. මටත් දුවෙක් ඉන්නවා. අද මගේ දුව මගේ ගාව නෑ. අක්කා ගමේ යනකොට එක්කන් ගියා. මොකද දවල්ට ඇය බලා ගන්න ඉන්න සේවිකාව මේ දවස් වල නිවාඩු ගිහින්.

මම හිටියේ ලොකු කල්පනාවක. මම කල්පනා කලේ නෙරංජිගේ පොස්ට් එකට හේතුව. ඇය ඉන්නේ ලෙඩ ඇඳේ. බෙහෙත් වලින් ඇගේ මනස විකෘති වෙලාද ? නෑ එහෙම වෙන්නත් බෑ. සමහර තැන් වලදී ඇය යථාර්තවාදී දේත් ලියා තිබෙනවා. මට මගේ දුව මතක් වුනා. මගේ දුරකතනයේ ඒ වන රාත්‍රී විට 8:30 සටහන් වී තිබුණා. මා අද ඇයට කථා කල යුතුමයි. ඒත් මෙවැනි වෙලාවල් වල මා පුරුද්දක් වශයෙන් ඇය  අමතන්නේ නෑ. හේතුව මේ ඇයව නිදි කරවන වෙලාව නිසා. එවැනි විටක මා ගැන මතකයක් ඇති වූ විට ඇයට දුකක් ඇති වීම වලක්වන්න බෑ.  එය මට සොයුරිය පවසා තිබූ දෙයක්. රාත්‍රියේදී ඇය ඇමතීමෙන් වලකින ලෙස. වඩා හොඳ දේ වෙනුවෙන් මා හැගීම් පාලනය කර ගත්තා. ඒත් අද මට කෙල්ලට කතා කරන්නම ඕනේ වෙලා. මම අක්කගේ දුරකතනයට කතා කළා. පිළිතුරැ දුන්නේ ඇගේ පුත්‍රයා. මම සතුටු වුනා. අක්ක කථා කළා නම් කථා කිරීමේ අවස්තාව ගිලිහෙන්නත් තිබුනා. කොල්ලා කෙලින්ම දුව අතේ ෆෝන් එක තිබ්බා. ඇය වෙදානාවෙන් හඬමින් කථා කරනවා. මාව දැවී අළු වී යනවා වගේ දැනුනා. ඊයේ අපි දෙන්නට එකට ඉන්න ලැබුනේ පැයක් විතර. අක්කා එයාගේ දරුවන් බලන්න කොළඹ ඇවිත් තිබුණා. ඒ එත්දී මගේ කෙල්ලත් ඇය සමග මෙහි විත් තිබුනා.

මම ගෙට ගොඩ වනවිටත් ඈ සිටියේ චිත්‍රයක් අඳිමින්. ඇය බොහෝ විට අඳින්නේ ගැහැණු ළමයින්ගේ රූප. මම ලඟට එනකංම ඈ දැක්කේ නෑ. මා ඇය වෙනුවෙන් රැගෙන් ආ බිස්කට් පැකට් එක පෙන්නුවත්, මා දැකීමෙන් ලද සතුට හැර විශේෂත්වයක් ඈ බිස්කට් එක වෙත දැක්වුවේ නෑ. වෙනදා ම දුටු විට ඈ දුවවිත් මගේ ඇඟට පනිනවා. ඒත් පැයකින් ඔවුන් ආපහු යන බව දැනගත් විට ඇති වූ ශෝකය මා හිතේම හිර කර ගත්තා. එහෙත් පිට වන්නට පෙර ඇයගේ කකුලේ කැසීම නිසා ඇති වූ ලේ රත් පැහැයෙන් මගේ හිතේ විශාල තුවාලයක් ඇති කළා. ඇය මට මේවා පෙන්වන විට වේදනාව ඇගේ මුවින් පවා පෙන්වනවා. සමහරවිට මෙය පෙන්වීමකට වඩා නිරායාසයෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඇගේ චිත්‍රය මම අගේ කළා. කොහොමටත් ඇය අඳින චිත්‍ර වල යම් මුහුකුරා ගිය බවක් තියෙනවා. අක්කා දුරකථනය ගෙන

"මල්ලී හෙට මෙයාව පෙන්නුවොත් හොඳයි. චැනලින් එකක් දාන්න."

"හරි මම දාන්නම්"

මේක එක්තරා දෛවෝපගත සිදුවීමක්. වයස හතක් වන මගේ දියණිය ආරක්ෂාව අවශ්‍ය නිසා මගේ සොහොයුරියත් සමග ගමේ වෙසෙනවා. සොහොයුරියගේ දියණියන් දෙදෙනා කොළඹ මාත් සමග සිටිනවා. ඔවුන් රැකියා සඳහා යන නිසා ඔවුන්ට ගමේ ඉන්න බෑ, අක්කට කොළඹ ඉන්න බෑ මස්සිනාගේ බෙහෙත් ටික වෙලාවට දෙන්න අවශ්‍ය නිසා. මගේ නංගිගේ පුතා ඉන්නෙත් අපි එක්ක. ඒකා චිට්‍රපටි පිස්සා. පෝර්ටබල් හාර්ඩ් ඩිස්ක් එකක් උස්සන් ඇවිත් මගේ රූපවාහිනියට අමුණා නරඹන්න ඒකා හරි කැමතියි, යාලුවෙක්ගේ රෙකමදාරුව මත යයි පවසමින් August Rush නැමති චිත්‍රපටිය නරඹන්න පටන් ගත්තා. ඒ මදිවට මාවත් කෙසේ හෝ එයට ඈඳා ගන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. අන්තිමට ඒකා දිනුවා. හේතුව මේ චිත්‍රපටිය අනාථ දරුවෙකු වටා ගෙතුණු ඉතා සංවේදී කතාවක් නිසා. මුලින් මුලින් ඒ දෙස අතරින් පතර බැලු මම පසුව මෙය ටයිප් කිරිල්ල පැත්තක තියලා නරඹන්න පටන් ගත්තා.

උඩින් තියෙන පරිච්චේද ටික ඊයේ රෑ ටයිප් කරපුවා. 

රාත්‍රී දහය පසු වෙලා විනාඩි දහයක් ගත වෙත්දී අක්කාගෙන් දුරකථන ඇමතුමක්. මාව සීතල වෙලා ගියා. මගේ හිතට එක පාරටම ආවේ කෙල්ලට අමාරු වී ඇතිද යන්න. මෙවැනි තුවාල වලට අමතරව ඇයට හතිය ඇති වෙනවා බොහෝ වෙලාවල් වලට. අක්කා ගෙදර නැති දින කිහිපයකම ඇයට හතිය හොඳටම වැඩි වුනා රාත්‍රී කාල වලදී. මට මෙය හතියයද උණද කියා තේරුම් ගන්න බැරිව දෙගිඩියාවෙන් එක් දිනක් මුළු රෑම නිදිවර්ජිතව පහන් කළා. එවැනි වෙලාවට ඇය හුස්ම ගන්නා අකාරය හරිම භයංකාරයි. එවැනි එක් දවසක මා  දෙපාරක් නොසිතාම ඇය ලඟම තිබෙන නර්සින් හෝම් එක වෙත රැගෙන ගියා. මා පසුවයි දැන ගත්තේ එවැනි හති වෙලාවල් වලදී නිසි ලෙස ඔක්සිජන් ශරීරයට ලැබෙන්නේ නැති බව. එවිට නෙබියුලයිස් කල යුතුම වෙනවා. නැතිනම් ජීවිතය අනතුරේ. දැරිය රෝගී වූ සෑම අවස්ථාවකම අප හැරදා ජීවිතයේ ඉසුරු සොයා ගිය ඇගේ ජීව විද්‍යාත්මක(Biological) මව සමග මට දැඩි කෝපයක් ඇති වනවා. අන් කිසිම මොහොතක මට ඒ ගැන කිසි වේදනාවක් නෑ.

අක්කාගේ දුරකථන ඇමතුම ඇයගේ දුව සේවය නිමවී පැමිණ ඇයට කථා නොකළ නිසා ඒ ගැන විමසන්න. මා ඒ අතරදීත් මගේ දියණියගේ තත්වය විමසා සිටියා. අක්කාගේ දුව ඉහල මාලයේ සිටි නිසා මා ඇය සිටින තැනට ගමන් කලා. ඒ වන විට ඇය නාන කාමරයේ. අම්මා අමතන බව පැවසු විට. ඇයගේ දුරකතනයේ බැටරි නොමැති නිසා කථා නොකළ බවත්, හෙට උදයේ කථා කරන බවත් පවසා සිටියා. ඒ කතාවෙන් මා තුල ඇති වුනේ දැඩි කලකිරීමක්. දෙමව්පියන් තම දරුවන්ට කෙතරම් සෙනෙහසින් සිටිනවාද යන්න දන්නේ දෙමාපියන්ම පමණයි. සමහරවිට අක්කා කොළඹ නැති එක ගැන මේ දුව නෝක්කාඩුවෙන් සිටිනවා විය හැකියි. මා සිතා ගත්තා කෙසේ හෝ දුරකථනය මගින් මේ දෙදෙනා සම්බන්ධ කරන්න. 

ඉහත කී චිත්‍රපටය බලන්නට කලින් මම රුපවාහිනියේ CSN නාලිකාව දෙස බලා සිටියා. එහි තරු වැඩසටහනක් යනවා. තරුණියක් ගයනා කරන ගීතයට සවන් යෝමාගෙනම මා මේ ලිපිය අකුරු කරමින් හිටියේ.  ඒ ගීතය පරසතු මල් වල කියන ලතා වල්පොල මහත්මිය ගායනා කරන ගීතය. මගේ එකල සිටි නැන්දන්ම්මා ඒ කාලේ මේ ගීතයා ගායනා කරනවා කීප විටක් අසා තිබුනත් එහි වචන ගැන මා සංවේදී වුවේ නෑ. ඒත් ඊයේ ඒ ගීතයට මා උවමනාවෙන්ම සව දුන්නා. එහි එක් තැනක තිබෙනවා. "දුවට මවක මිස - පියෙකු කොයින්ද" කියා කොටසක්. ඒ කතාව ඇත්ත. මොකද අද මා සෙවනේ වැඩුනත් මගේ දියණිය නියම මව් සෙනෙහසක් මගේ සොයුරියගෙන් විඳිනවා. මගේ සොයුරියත් එලෙසම දුවකගේ සෙනෙහස විඳිනවා. ඒත් මව් සෙනෙහසක් දෙන්න නොහැකි වුනත් මා හැකි හැම අයුරින්ම ඇයට සෙනෙහස ලබා දෙනවා. මටත් ඇයටත් එකට ඉන්න ලැබෙන කාලය අඩු කම තමයි තිබෙන ගැටලුව.

ඉතිං මං කලින් හිත හිතා හිටිය කාරණය. අයි නෙරංජි ඒ වගේ ලිව්වේ. මට මුලින් හිතුනේ ඒක එයාගේ බ්ලොග් එක, එයාට කැමති දෙයක් ලියන්න පුළුවන් කියලා. ඒත් ඒ වගේම දෙයක් ඊට පැය කීපයකට පසු එහෙම හිතපු මමත් කරා. ඇයි එහෙම කරන්නේ ? ඒ වෙලාවේ හිතට ආව වේදනාවක්, දුකක් හෝ සතුටක් අපිට පසුව අමතක වෙලා යන්න පුළුවන්. ඒත් අතීතාවර්ජනයට හෝ වටිනවා. ඒක ලියලා පබ්ලිෂ් නොකර ඉන්න බැරිද ? ඇත්තටම බ්ලොග් කරුවෙකුට එහෙම කරන්න පුලුවන්ද? බෑ කොහෙත්ම බෑ. බ්ලොග් කරුවාගේ දුක බෙදා ගන්න, කිසිදා හමු නොවුනත්, පුද්ගලිකව දැන හැඳින නොගත්තත් බ්ලොග් කරුවාගේ දුක බෙදා ගන්න කියවන ලියන බ්ලොග් සහෘදයන් පිරිස ඉන්නවා. ඉතිං හිත හෑල්ලු කර ගන්න ලියපු මේ පොස්ට් එක කියවා ඔබගේ ජීවිතයට යමක් එකතු කර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මගේ හිත හෑල්ලු කර ගන්න ලියපු මේ පොස්ට් එක කියවූ ඔබට මා ණයගැතියි.

ප.ලි. : මාරයාගේ පොස්ට් එකකින් කියවුණු විදියට සති අන්තයට සිංහල බ්ලොග් පොස්ට් වැටෙනවා අඩුයි. මම පොරොන්දු වුනා සෙනසුරාදා හා ඉරිදා පොස්ට් දෙකක් දාන්න. එහෙම දාන පලවෙනි එකම මගේ හිතට ආපු සිතිවිලි ටිකක් අකුරු කරන්න වෙච්චි එක ගනා මාරයා මාත් සමග උරණ නොවෙයි කියලා මම විශ්වාස කරනවා. 

Thursday, November 15, 2012

චීන ෆෝන් සහ ඇමරිකන් බග් (මැක්කා).....

මගේ ඔෆිස් එක තියෙන්නේකොළඹ කොටුවේ කියල මම කීප වතාවක්ම ලියල තියෙනවා දකින්න ඇති. අද මම කියන්න යන්නේ මගේ ඇස් දෙකේ කටු අනින්න වගේ දර්ශනයක්. කොටුව යෝර්ක් වීදියේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මහජන බැංකුව, ලක්සල, කාර්ගීල්ස් අතර තියෙන මහජනයා නිතර ගැවසෙන ඒ වගේම ඇවිදගෙන යන හෙවන තුල විවිද වෙළඳාම් කටයුතු සිදු වෙනවා. වයසක අම්මලා කිහිප දෙනක් රේන්ද විකුනනවා, තවත් කාන්තාවන් කිහිප දෙනෙක් පැරණි මුද්දර, ලොතරැයි විකුණන කුටි කිහිපයක්, මේස් සහ බෙල්ට විකුණන මුස්ලිම් පුද්ගලයෙක්, සාස්තර කියන වයසක අන්කල්, ඒ වගේම ගීත ගායනා කරන අන්ද යුවල, පත්තර සහ අයදුම්පත් විකුණන කඩය, සපත්තු මහන්නන්. මගේ කාර්යාලය එලිපත්තේම රෙදි මත අඳින ලද චිත්‍ර විකුණන පුද්ගලයකුත් ඉන්නවා.මේ කණ්ඩායම තමන්ගේ එදිනෙදා ජීවිකාව ගෙන යන්නේ මේ ගොඩනැගිලි වල එළිපත්තේ තියෙන හෙවන තුල. සමහර විට ඔබත් මම මේ විස්තර කරන ප්‍රදේශ තුල ඇවිද ගිහින් ඇති. 

දැන් අවරුද්දකට හෝ ටිකක් වැඩි කාලයකට කලින් මේ සියලු වෙළඳාම් කටයුතු තහනම් කළා. තහනම් කියන දේ අපේ ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නෑනේ. ඒ නිසා පොලීසිය යොදවලා මේ අයව අත්අඩංගුවට ගත්තා. දින ගණනාවක් මෙහෙම කරත්දී මේ අය මේ ප්‍රදේශයේ නැතුව ගියා. හැබැයි ලොතරැයි කූඩු සහ පත්තර කුටිය එසේම පැවතියා. එය රජයේ ප්‍රතිපත්තිය වන්නට පුළුවන්. ඇත්තටම ලක්සල සහ කාර්ගීල්ස් වෙත එන විදේශිකයන්ට මෙහි වෙසෙන මෙම වෙළඳුන් බලෙන් තමන්ගේ භාණ්ඩ විකිණීමට ගන්නා උත්සාහය දැක්කාම ඇති වන්නේ කේන්තියක්. එහෙත් ! මේ මිනිසුන් මේවා කරන්නේ විනෝදාංශයකට නොව දරු පවුල් රක්ෂා කර ගැනීමට බව මෙහි තිබෙන කටුක යතාර්ථය. එහෙත් ! මේවා කල යුතු නිවැරදි ක්‍රමය මෙය නොවේ. පදික වේදිකා වෙළඳාම තහනම් යුගයක් කාට හෝ විශේෂයක් සිදු කල හැකිද ? අපද විදෙස් රටවල ගොස් ඇත්තෙමු. එවැනි අවස්ථා වල කවුරුන් හෝ අනවශ්‍ය ලෙස කරදර කරනවාට අප කැමති නැත. ඒ තුලින් අපේ රටට අනාගතයේ ලැබෙන්නට තිබෙන සංචාරක ආගමනය අඩු වන්නට පුළුවන. 

මෙසේ තිබුනාට කමක් නැතැයි මා විශ්වාස කරන කර්මාන්ත කිහිපයක් ඇත. ඒ පත්තර වෙළඳාම, සපත්තු මසන්නන්ය. ඔවුන් මගින් ප්‍රදේශයේ රාජකාරි කරන අයට මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි ස්ථාන වලට පැමිණෙන යට සේවාවක් සිදු වේ. එක් අතකින් ඔවුන් කිසිවකුට බලෙන් තම සේවාව සපයන්නට වෙර දරන්නේ නැත. අනෙක් කොටස සාස්තර කියන්නා සහ ගීත ගායනා කරන අන්ද යුවලය. සාස්තර කියන සුදු අඳින අපේ තාත්තලාගේ වයසේ සිටින අන්කල්  යනෙන පිරිසට අතින් සන් කලද ඔහුගෙක් කිසිවකුට කරදරයක් නැත. මේ සියල්ලටම වඩා අන්ද යුවල ගායනා කරන ගී සමුච්චය මටනම් ගෙන දෙන්නේ මිහිරක්. අප බොහෝදෙනා ප්‍රිය කරන 70 දශකයට අයිති ගීත නැත්නම් පැරණි ගීත වලට ඉතා මධුර ලෙසේ ඔවුන් කටහඬ මුසු කරයි. ඉඳහිට ඒ.ටී.එම් යන්ත්‍රයට හෝ වෙනත් කටයුත්තකට එලියට බසින මා මේ ගීතයක් දෙකක් රස වීඳ එන්නට පුරුදු වී ඇත්තෙමි. මේ කිසිවක වරදක් මා දකින්නේ නැත. එක් යුගයක මේ ප්‍රදේශය සුද්ද කල පසු කෙනෙකුට බාදාවකින් තොරව එහා මෙහා ගමන් කිරීමට හැකි වුවද, එකල පුංචි කතුරක්, පිහියක් රුපියල් පනහකට සීයකට ගන්නට හැකියාව සහ පහසුව තිබු අපට ඒ සඳහා පිටකොටුවටම් බඩ ගාන්නට සිදු විය. 

එහෙත් කාලයාගේ අවෑමෙන් නැවතත් ඔවුන් පුරුදු තැන් වල යලිත්වෙළඳාම් කරනවා දකින්න ලැබුණු අතර දැන් කිසිවකු ඔවුන් පසුපස එලවන්නේ නැත. එහෙත් යම් යම් දිනයන් වලදී ඔවුන් හදිසියේ බඩු මුට්ටු හකුලාගෙන වේගයෙන් ගමන් කරනවා දැක ඇත. නමුත් මේ සියල්ලටම වඩා ව්‍යසනයක් ලෙස මා දකින්නේ මෑතක සිට ආරම්භ වී ඇති චයිනීස් කාන්තාවක් සහ පිරිමියෙක් කරගෙන යන ජංගම දුරකථන වෙලන්දාමයි. ඔවුන් කිසි බයක් සැකක නැතිව විවිධ වර්ග වල ජංගම දුරකථන වෙළඳාම් කරන්නේ හරියට තමන්ගේ රටේ සිටිනා සේය. මුලින්ම මෙය දුටු මට ඉතා කනගාටුවක් ඇති විනි. හේතුව ආගන්තුක රටකදී තමන් සතු මුදල් නැති වීමේ අත්දැකීම විඳි පුද්ගලයකු වශයෙන් එවිට් ඇති වන අපේක්ෂා භංගත්වය හොඳින්ම දන්නා නිසාය. මේ එවැනි යුවලක් යයි මුලින් සිතුනද ඔවුන් යහමින් මෙම කර්තව්‍ය කරගෙන් යනවිට මට ඉතා දැඩි කෝපයක් එන්නේ නිතැතිනි. එක් අතකින් ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථනනයක් භාවිතා කල යුතු නම් එය ශ්‍රී ලංකා විදුලි සංදේශ   නියාමන කොමිෂන් සභාවෙහි (TRCSL) ලියාපදිංචි එකක් විය යුතුය. එය පහුගිය අවරුදු වලදී ඉතා හොඳින් සිදු වන ආකාරය දැක යම් සතුටක් ලැබූ පුද්ගලයෙක් වූ මාට අර වෙළඳාම ඇසේ කටු අනින්නා සේ වුයේ එබැවිනි. 
මේ ඉන්නේ දෙන්න ගෙදර වගේ

මේ ෆොටෝ එක ගනිද්දී මේ දෙන්න(ලොතරැයි කූඩුවේ) බය වුනා ළඟම හෙනයක් පාත් වුනා කියල.

ඔය ඉන්නේ අපේ අයියලා වට වෙලා

බලන්න බය නැතිව කැමරාවට මුහුණ දුන් ආකාරය

එසේ ලියාපදිංචි දුරකථනයක්(ජංගම) නැති වූ විටක එහි ඉමි(IMIE) අංකය නියාමන කොමිසමට ලබා දීමෙන් එය භාවිතය වලක්වා ගැනීමට හැකි සේම විවිධ හොරකම් මෙන්ම පාතාල සිදු වීම් වැටලීමට ජංගම දුරකථන තොරතුරු වැදගත් වූ අවස්ථා අප දැක ඇත. ඇත්තටම මේ සඳහා වඩා වැදගත් වුයේ සිම් පතේ තොරතුරුය. නමුත් මෙයින් යම් පාඩුවක් සිදු වන කොටසක් වන්නේ ලංකාවේ ජංගම දුරකථන බලයලත් ආයතනයන්ය. ඔවුන්ට මෙනිසා වෙළඳාම අඩු වන අතර ඒ හේතුවෙන්ම එවැනි කටයුතු  අහවර වන්නටද හේතු විය හැක. මෙමගින් රජයට ලැබෙන ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වේ. අද ලංකාව තුල විවිද ක්‍රම මගින් ලැබෙන ජංගම දුරකථන ප්‍රමාණය මෙහි ජනගහනයත් ඉක්මවා ඇති බව නොරහසකි. දැන් අඩුම වශයෙන් එක් අයෙකු අත ජංගම දුරකන දෙකක් ඇත. සමහර ජංගම දුරකථන ද්විත්ව සිම් ඒවා නිසා එකක් එවනි දුරකනයක් වූ විට සම්බඳතා තුනක් එක් අයෙකු ළඟ ඇත.

 මේ චීන කතගේ වෙළඳාම දවස් දෙක තුනකදී අවසන් වනු ඇතැයි මා මුලින් බලාපොරොත්තු වූ නමුත් එය අවසන් වන පාටක් තිබුනේ නැත.  ඇයට කෙළවරක් නැතිව දුරකථන සපයන්නේ කවුද ? එක් අයෙක් දුරකථන තුනකට වඩා රැගෙන් ආවොත් ගුවන්තොටුපල රේගුව මගින් ඔවුන්ට දඩ නියම කරයි. එනිසා කවුරුත් එම නීතියට අනුව වැඩ කරයි. ඒ අතරින් රිංගා එන අයද නැත්තේ නොවේ. මා පසුව කල විමසීමකදී දැන ගන්නට ලැබුනේ කිහිප අවස්ථාවකම මොවුන් කොටු වුවද, පොලීසියටද ජරාව දෙන බවය. 

මා මේ සඳහා මුලින්ම ගත් පියවර වුයේ අනුෂ පැල්පිට මහතා දැනුවත් කිරීමයි. එතුමා මගේ තොරතුරු වලට ස්තුති කොට ඒ සඳහා පියවරක් ගන්නා බව දන්වන ලද අතර කිහිප දිනක් ඔවුන් වසන් වුයේ ඒ හේතුවෙන් විය යුතුය. දැන් මෙය එතුමාටද නතර කරන්නට බැරි තැනකට පත් වී ඇත යන්න මගේ විශ්වාසයයි. දිනක් මගේ කාර්යාලයේ ආරක්ෂක මහතා සිටින තැන වහන් වී, ටයි දාගෙන් සිටින කොලු ගැටව් කිහිප දෙනෙක්ට වෙළඳාම කරනු දැක මට අසූ හාර දාහට තද වී බැන එලවා දැමු අතර ආරක්ෂක මහතාටද තරයේ අවවාද කලපසු එවැනි සිදු වීමක් නැවත නොවීය. 
____________________________________________________
ඊයේ පාසලක දැරියන් දාහකට එකවර ශරීරයේ කසන තත්වයක් මත රෝහලගත කර පුවත අසන්නට ලැබුනා. පසුව මෙය මැක්කන් නිසා සිදු වුවක් බව වාර්තා වුනා. මැක්කන් මකුණන් උවදුරක් ලෙස අපටත් තුබූ කාලයක් තිබුනා. අද අපේ ඔෆිස් එකේ කතා වුයේ අතීතයේ මකුනන්ට කල ප්‍රතිකර්මය. අප දැන් කිසිදු සතෙකු මරන්නේ නැති වුවද කුඩා කල පුටු වල ඉන්න මකුනන්ට එලව එලවා පහර දෙන යුගයක් තිබුනා මතකයි. උණු වතුර දැමීම, ඉරටු වලින් ඇනීම්, විවිධ බෙහෙත් වර්ග යෙදීම් එකල සුලභව දකින්නට තිබුනත්. අද මැක්කන් සහ මකුණන් වඳ වී යන තවත් සත්ව කොට්ටශයකට අයිතිදැයි අප තර්ක කළා. 

මෙසේ වන්නට ඇත්තේ මන්ද? එකල අපේ නිවෙස් වල තිබු කොහු මෙට්ට ඔවුන්ගේ වාසයට කදිම ස්ථාන වුවත්, විවිද රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර සාදන රබර් මෙට්ට නිසා සහ අප බෙඩ් ශීට් පිරිසිදු කරන්නට යොදන රසායනික ද්‍රවය නිසා මේ සතුන් වඳ වී යන්නට ඇතැයි අප නිගමනයකට ආව. මීට අමතරව දුම්රිය,බස්රිය ආදී පොදු ස්ථාන වල හිටි මකුනන්ට කුමක් වීද ? කුඩා කාලයේ මකුණන් සහ මදුරුවන් මා පහසුවෙන් සොයා ආ නිසා නිතරම කහ-කහා ඉන්න පුරුද්දක් මට තිබුනා. 

ඔබ දන්නවාද ඇමරිකාව විශ්වයේ වෙනත් ග්‍රහ ලෝක තරණයට ගියාට ඔවුන්ට තිබෙන එලි නොකළ ලොකුම ප්‍රශ්නයක් මේ මකුණන්. මකුණන් අමරිකාවට තලේබාන් වරුන්ට වඩා තර්ජනයක් වී තිබේ. එහෙත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ඇමරිකන් ප්‍රතිපත්තිය නිසා ඔවුන් තවමත් මේ ගැටලුවේ සිර වී සිටිනවා. වරක් ලංකාවට මහත් තර්ජනයක් වූ නිදිකුම්බා වර්ගය ඇමරිකාවෙන් මෙරටට ත්‍යාග කල කැටපිලර් යන්ත්‍රයක ටයර් මගින් මෙරටට් ආවක් බවට මතයක් පැවතුනා. එහෙනම් මේ මේ මැක්කන්ගේ ප්‍රශ්නයද ඇමරිකාවෙන් අපට බලෙන් එවන් ලද්දක් යයි විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහිපය තුල තර්ක කළහොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.

Sunday, November 11, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 22 - අද මන්ඩ්රේ නේද?

කාලෙකින් ලොල් කතාවක් ලියන්න බැරි වුනා. ඒවාටත් වෙනමම රසිකයෝ පිරිසක් ඉන්නවා. පහුගිය ටිකේ ලියන්න වැදගත් මාතෘකා ගොන්නක් තිබ්බ නිසා ලොල් කතා එහෙම්මම අමතක වුනා. අමතක කළා නෙවේ ලිස්ට් එකේ පොඩ්ඩක් පහලට ගියා කියමුකෝ. මේ කතාව මට කිව්වේ මගේ මිත්‍රයෙක් වන ප්‍රේමසිරි මහත්මයා. එතුමා මේ වගේ කතා කියන්න හරිම දක්ෂයි. කොටින්ම කතාව කියන්න කලින්ම හිනා යන විදියේ මුණක් තමයි එතුමාට තියෙන්නේ. මෙන්න කතාව.



එක්තරා යුවලක් විවාපත් වෙලා ටික කලක් ගියාලු. හැමෝම අහල ඇතිනේ අර මුං ඇට කිලෝ එකේ කතාව. අහල නැති අයගේ දැන ගැනීමට ඒ කතාවත් මම කියන්නම්. විවාහ වෙන්න කලින් ඉතින් ඔය ලිංගික ක්‍රියාවලිය ගැන දෙපාර්ශවයම බොහොම කැමැත්තෙන්නේ ඉන්නේ.  අපි නම් දැන්නෑ රට්ටු තමයි එහෙම කියන්නේ. ඒ නිසා ළඟදී විවාහ වෙන්න ඉන්න අයට බොහෝ දෙනෙක් බයිට් එකට වගේ මේ කතාව කියනවා. මුං ඇට කිලෝ එකක් අරගෙන ලිංගිකව එකතු වෙන හැම වාරයකම එක ඇටයක් හිස් බෝතලේකට දාන්න කියල අවුරුද්දක් යනකම්. ඊට පස්සේ හැම වතාවකම එක මුන් ඇටය ගානේ අර බෝතලෙන් එලියට ගන්න කියලා. කවදාවත් බෝතලේ හිස් කරන්න බැරි බව කිව්වත් මේක භාර ගන්න කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. කියන්නෙම මට පුළුවන් කියල. මේ කතාන්දරය ඔන්න ඔය වගේ තරුණයෙක් ගැන. අවුරුද්දක් පහු වෙලත් මෙයාගේ ආසාව අඩු වෙලා නෑ. 

අර තරුණියත් මේ කතාව අහල තිබ්බ නිසා. පලවෙනි අව්රුද්ද පහු වුනාම මේක අඩු වෙලා යයි කිය කියා ඇඟිලි ගැන ගැන ඉදල තියෙන්නේ වේඩින් ඇනිවසරිය එනකම්. අන්තිමේදී අද හරි යයි, හෙට හරි යයි කියල බැලුවත් මේක නැවතිලා නෑ. පස්සේ කරන්නම දෙයක් නැති තැන කෙල්ල කතා කලාලු වෛද්‍ය වරයෙක් මුණ ගැහෙන්න. අර තරුණයාත් කැමැත්තෙන්ම ආවලු

වෛද්‍යවරයා : මොකක්ද මේ ළමයි දෙන්නගේ ප්‍රශ්නේ ?

තරුණිය : අනේ ඩොක්ටර් මෙයාට සතියේ දවස් හතම *** ඕනේ. මට එක හරි කරදරයි. ඒක අඩු කර ගන්න විදියක් කියන්නකෝ.

වෛද්‍යවරයා : (ටිකක් කල්පනා කර) අපි මෙහෙම කරමු. දැන් ඔය ඉංග්‍රීසි විදියට සතියේ දවස් හත දන්නවනේ.

තරුණිය : ඔව් .. ඔව්.. ඩොක්ටර්. Sunday, Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday..

එක හුස්මට කියාගෙන ගියා. 

වෛද්‍යවරයා : (තරුණයා දෙස බලා) දැන් ඔය දවස හතෙන් ආර් අකුර තියෙන දවස් තියෙනවා නේද. (තරුණයා හිස වනයි). ඔන්න ඔය දවස් වලදී විතරක් මේ දෙන්න එකතු වෙන්න. එතකොට හරි.

තරුණියත් මේකට කැමති වුනා. එවෙලාවේම හිතින් ගණන් හදල බැලුවා. දවස් තුනයි. කෙල්ලගේ මුනට හඳක් පායලා ආවා. 

බෙහෙත් ගන්න ගියේ සෙනසුරාදා දවසක අර කොල්ලට ගානක් නෑ. ඉතින් එදාට ආර් තියෙනවනේ. ඉරිදා බොහොම අමාරුවෙන් ගත කළා. සඳුදා හවස් වෙද්දී කොල්ලට දැන් ඉන්නම බෑ. රෑ කෑම ගනිද්දී බිරිඳගෙන් අහනවා

"අද මන්ඩ්රේ නේද" කියල. 

A husband and wife washing dishes

පින්තූරය ගත්තේ : http://www.jw.org

ප:ලි: ගූගල් ඉන්පුට් වල කුමක්දෝ ප්‍රශ්නයක් නිසා හරියට වචන පෙන්වන්නේ නැත. අමාරුවෙන් මේ ටිකත් ගැට ගහ ගත්තේ. මගේ වාර්ෂික නිවාඩු සතිය අවසන්. ඒ නිසා පොස්ට් එකක් දාන්න මාර සටනක් දෙන්න වෙයි එන සතියේ.

Friday, November 9, 2012

මොකක්ද මේ ඩක්වර්ත් - ලුවිස් සමීකරණය

මගේ පහුගිය ලිපිය වූ ඩක්වර්ත් - ලුවිස් මග ගිය ජය - ධර්ම සමීකරණය  කියවා අදහස් ඉදිරිපත් කරපු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේක තමන්ට තේරෙන්නේ නෑ කියන එක. එතනදී මම පොරොන්දු වුනා මේ ඩක්වර්ත් ලුවිස් කියන එක උදාහරණත් එක්ක තේරුම් කරලා දෙන්නම් කියලා. මුලින්ම කියන්න ඕනේ මේකට පසුබිම් වෙච්ච් කාරණය.

1992 දී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් දෙක සංවිධානය කල ලෝක කුසලානය ගැන මතකයක් ඔබට ඇති විශ්වාවාස කරමි. එහිදී තමයි මුල්ම වරට වර්ණබේදවාදය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් වලින් පැත්තකට කරලා තිබ්බ දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාංයකට සහභාගී වුනේ.  කවුරුත් විශ්වාස කරාට වඩා දක්ෂකම් පෙන්නපු දකුණු අප්‍රිකා කණ්ඩායම අවසාන පුරවා තරගයට සුදුසුකම් ලැබුවා. ඒ එංගලතයත් සමග. එම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය පසු පස හඹා යමින් හිටිය දකුණු අප්‍රිකා කණ්ඩායමට හරහට හිටියේ වැස්ස.

 මුලින්ම පන්දුවට පහර දීපු එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු ඕවර 45 අවසානයේ ලබාගන්නවා ලකුණු 252ක්. තරගය ආරම්භයට වැස්සෙන් බාදා වෙනවා. එමනිසා විවේකයෙන් මිනිත්තු 10 අඩු කරලා තරගය ක්‍රියාත්මක කරනවා. ඒත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මන්දගාමී පන්දු යැවීමේ වේගය නිසා නියමිත කාලයේදී ඔවුන්ට යවන්න ලැබෙන්නේ පන්දුවාර 45ක් පමණයි. දකුණු අප්‍රිකානු ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 22 ක් පන්දු 13 කින් ලබා ගන්න තිබෙද්දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා වෙනවා. ඒ කියන්නේ ඔවුන් පන්දුවාර 42.5 කදී ලකුණු 231ක් ලබාගෙන සිටින මොහොත. මේ වෙනකොට තිබ්බ තරග නීති රීති අනුව වර්ෂාවෙන් බාදා වූ විටක ප්‍රථම ඉනිමේ අඩුම ලකුණු ලබා ගත පන්දු ඕවර් ඉවත් කර තරගය ක්‍රියාත්මක කරනවා. ඒ වෙද්දී දකුණු අප්‍රිකාව පන්දු ඕවර 42කුත් පන්දු පහක් ක්‍රීඩා කර ඇති නිසා ඉවත් කල හැකි ඕවර ගණන 2ක් පමණයි. ඉහතින් එංගලන්ත ඉනිමෙන් අඩුම ලකුණු ලබා ගත්ත පන්දු ඕවර දෙක ඉවත් කරනවා. අවාසනාවකට එය නොයිදුල් පන්දු ඕවර දෙකක්. ඒ කියන්නේ පන්දු ඕවර දෙක අඩු වුනාට ලබා ගත යුතු ලකුණු ගණන අඩු වුනේ නෑ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකේම තරගය ඕවර 43කත සීමා කරලා තරගයේ තීරණයක් ගන්නවා. එහෙම ගත්තාම තව යැවිය යුතු පන්දු සංඛ්‍යාව එකක්. ඔවුන් ලබා ගත යුතු ලකුණු ගණන වෙනස් නොවී 22 හිම පවතිනවා. අවසාන පන්දුව ක්‍රිස් ලුවිස් බොහොම හෙමින් දිව ඇවිත් යවනවා. එයට එක ලකුණක් පමණක් ලබා ගන්නවා.

මෙයට විකල්පයක් ලෙස 1999 ලෝක කුසලානයේදී දල වේගය යොදා ගන්න තීරණය වනවා. ඒ විදියට තිබුනානම් 43 වන ඕවරය වෙද්දී රඳවා ගත යුතු ලකුණු සංඛ්‍යාව 241(252/45*43). එහෙම වුනත් ලකුණු 9ක් අවසාන පන්දුවේදී ලබා ගත යුතු වෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රමයත් සාධාරණ නෑ. මෙන්න මේ පසුබිමේදී තමයි අපේ වීරයෝ දෙන්නගේ මැජික් ෆෝමියුලා එක පහල වෙන්නේ.

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේදී ක්‍රීඩා කිරීමට ඇති පන්දුවාර ගණන සහ ඉතිරිව ඇති කඩුලු ගණන සම්පත් (Resources) වශයෙන් සලකනවා. ඒ කියන්නේ තරගයක් ආරම්භ කිරීමට ප්‍රථම කණ්ඩායම් දෙකටම 100% සම්පත් ඉතිරිව තිබෙනවා. මේ මහතුන් දෙදෙනා කරන්නේ අඩු වන පන්දුවාර ගන්නත් අඩු වන කඩුලු ගණනත් සලකා බලලා එක් එක් පන්දුවේදී තිබෙන්නට අවශ්‍ය ලකුණු ගණන වගු ගත කරන එක. මේ දෙදෙනා කුමන සමීකරණයක් මේ සඳහා භාවිතා කරන ලද්දේද යන්න පහදිලින් නෑ. නමුත් ඔවුන් මේ වෙනුවෙන් ඉතා දීර්ග වගුවක් සකස් කරනවා. මෙහිදී ඔවුන් අනුමාන කරනවා වැහි නැති දිනක පන්දුවාර පනහ අවසානයේදී ලබා ගත හැකි සාමාන්‍ය ලකුණු ගණන 235 වශයෙන් සලකල තමයි මේ වගුව සම්පාදනය කර තිබෙන්නේ (නමුත් මුල් අවදියේදී මෙය 225 වශයෙන් සැලකුව). අවශ්‍ය කෙනෙකුට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒක බලා ගන්න පුළුවන්.


හොඳයි අපි මේ ක්‍රමය මේ තරගයට ආදේශ කරලා බලමු. එම තරගය ආරම්භ කලේ පන්දුවාර 50ම ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන්. හැබැයි මුලින් විනාඩි 10ක් හානි වුනා වැස්සෙන්. මුලින්ම පන්දු යැව්ව දකුණු අප්‍රිකා කණ්ඩායම යැව්වේ පන්දු ඕවර 45යි. ඒ අනුවයි ඔවුන්ට පහර දෙන්නත් එම ඕවර සංඛ්‍යාවම ලැබෙන්නේ.  එතකොට ඔවු ලබා ගන්න 252ට අදාලව විසි වන පන්දු ඕවරයේ සිට ලබා ගත යුතු ලකුණු ගණනය කර දෙවෙනි ඉනිම ආරම්භයේදී ලබා දෙනවා. තරගයක තීරණයක් ලබා දීමට කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දු ඕවර 20ක් වත් ක්‍රීඩා කිරීම අනිවාර්ය සාධකයක්. ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය තුල තිබෙන එක් අඩුපාඩුවක් තමයි දඬුවම් ඕවර සඳහා එහි ගණනය කිරීම් වෙනස් නොවීම. නමුත් මේ තරගයේ ලකුණු ලබා ගත ආකාරයෙන් පෙනෙනවා එහි දඬුවම් දුර්වල පන්දු යැවීමක නිරත වූ කණ්ඩායමට දරන්නට සිදුවන බව. 

පළමු ඉනිම් සඳහා
තරගය ආරම්භ වද්දී ඇති ප්‍රතිශතය                                                                 100.0%
ඕවර හතලිස් පහක් සඳහා සම්පත් ප්‍රතිශතය                                                       95.0%

දෙවෙනි ඉනිම සඳහා අදාළ සම්පත් ප්‍රතිශතයද මෙයම වනවා(ඒ දෙවෙනි ඉනිම ආරම්භයේදී)

තරගය ආරම්භයේදී ලැබෙන ඉලක්කය      252 x 95/100                                        239
වැස්ස නිසා තරගය නතර කරන විට තිබෙන ක්‍රීඩා කල ඕවර ගණන                         42.5
කඩුලූ 6ක් සඳහා ඉතිරි වන සම්පත් ප්‍රතිශතය                                                       7.1%
දකුණු අප්‍රිකාව සඳහා ඉතිරි සම්පත් ප්‍රතිශතය (95%-7.1%)                                   87.9%
එමනිසා ඒ වන විට ලබා තිබිය යුතු සාම්‍ය (par) ලකුණු ගණන 252/95 x 87.9             233
ජයගැනීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය                                                                      234

http://awidda-paya.blogspot.com

http://awidda-paya.blogspot.com

ඒ වර්තමාන ඩක්වර්ත් ලුවිස් මෘධුකාංගය හෝ වගුව භාවිතා කල විට ලැබෙන අගය. එසේ වූවානම් ඕවර 20 සිට පෙන්වන සාම්‍ය (par) ලකුණු ගණනට සමගාමීව යමින් මේ තරගය ජය ගන්නට පුළුවන්කම ඔවුන්ට තිබුනා. Cricinfo වෙබ් අඩවියේ සඳහන් වන තරග ප්‍රතිපලය අවසානයේ සඳහන් වනවා 2006 දී පවතී ඩක්වර්ත්-ලුවිස් ගණනය කිරීම් අනුව මුලින් ලැබිය යුතු ඉලක්කය ලකුණු 273 ක් සහ තරගය නතර කරන විට තිබිය යුතු ලකුණු ගණන 257ක් බව(ඕවර 43ක දී). 

 දැන් අපි මෑත ඉතිහාසයට එමු. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන ලද එක්දින තරග දෙකේදීම මෙම ක්‍රමය යොදාගෙන ප්‍රතිපලය දෙන්න සිදු වුනේ තරගයට සිදු වූ බාදා කිරීම් නිසා. පලවෙනි තරගයේ මුල් ඉනිමට වැස්සෙන් බාදා එල්ල නොවුණු නිසා මේ ගණනයන් ඉතා පහසුයි. එහෙත් දෙවෙනි තරගය තරමක් සංකීර්ණ එකක්. එහි පළමු ඉනිමට දෙවතාවකදී වර්ෂාවෙන් බාදා වෙනවා. මුලින්ම තරගය ආරම්භ කරන්නේ ඕවර 50ම ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන්. 

තරග ආරම්භයේදී නවසීලන්ත කණ්ඩායමට ඇති සම්පත් වල ප්‍රතිශතය                  100.0%
පළමු බාදාව ඕවර 9.0, ලකුණු 28 කඩුලූ 1 - තරගය නතර කරන විට සම්පත් %        85.3%
නැවත තරගය ආරම්භ වන විට ඇති සම්පත් වල ප්‍රතිශතය                                      83.1%
හානි වූ සම්පත් ප්‍රතිශතය                                                                                    2.2%

http://awidda-paya.blogspot.com

http://awidda-paya.blogspot.com
   



දෙවන බාදාව ඕවර 14.0, ලකුණු 41 කඩුළු 2 - නතර වනවිට සම්පත් ප්‍රතිශතය                    72.0%

             (තරගය ඕවර 48ක් නිසා ඉතිරි ඕවර 34ක් සඳහා)    

නැවත තරගය ආරම්භ කරන විට ඇති සම්පත් ප්‍රමාණය                                                      50.5

(ඕවර 15ක් බාදාව සඳහා ඉවත් කර ඕවර 33කට සීමා කල පසු ඉතිරි ඕවර ගණන 19ක් සඳහා)   
ඉතිරි සම්පත් වල ප්‍රතිශතය                                                                                        21.5%
මුළු සම්පත් හානිය (21.5+2.2)                                                                                   23.7%
භාවිතා කල සම්පත් ප්‍රමාණය  (100.0 - 23.7)                                                                76.3%


http://awidda-paya.blogspot.com
http://awidda-paya.blogspot.com





76.3% ක සම්පත් ප්‍රමාණයක් තුල ලබාගත ලකුණු ප්‍රමාණය                                       188
ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ආරම්භයේදී ඇති සම්පත් ප්‍රමාණය(ඕවර 33ක් සඳහා)  79.8%
ඒ අනුව ලැබිය යුතු සාම්‍ය ලකුණු ප්‍රමාණය  (188/76.3 x 79.8)                                   196
ජයග්‍රණයට අවශ්‍ය ලකුණු ගණන                                                                            197

http://awidda-paya.blogspot.com


ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලුවකින් තොරවම මෙම ඉලක්කයට ලඟා වුනා. එහෙත් මේවා පටලවා ගත් අවස්ථාත් තියෙනවා. මීළඟ ලිපියකින් ඒ ගැන බලමු. 

ප.ලි : පහුගිය ලිපියේදී මම කිව්වා සාමාන්‍ය ලකුණු ගණනක් ගැන (Base Score) එය මුලින් තිබුනේ 225ක් ලෙස, පසුව මෙය වෙනස් කලේ 235 දක්වා. මගේ පහුගිය ලිපියේ එය 250 ලෙස සඳහන් වුවත් නියම අගය 235ක් වනවා. 

ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් කියන මහත්වරු දෙන්නා ගැන ඕනෑවටත් වඩා ලිපි වල සඳහන් වෙලා තිබෙන නිසා මම ඔවුන් දෙදෙනා ගැන සහ මෙහි ඉතිහාසය ගැන සඳහන් කරන්න කාලය මිඩංගු කලේ නෑ. 

Thursday, November 8, 2012

පොලා, ෆොරින් නොහොත් සිරී

අද මම ලියන්න යන්නේ අපේ ගමේ හිටපු සුපිරි චරිතයක් ගැන. ඔහුගේ හරි නම කුමක්දැයි අපේ ගමේ කාගෙන් ඇහුවත් කියන එකක් නෑ. ඒ ඔහු පොලා හෝ ෆොරින් යන සුරතල් නාමයන්ගෙන්  කවුරුත් අඳුනාගෙන සිටි නිසා. පොලා යන නමින් ඔහුට කවුරුන් හෝ මුහුණට අමතනවා මා දැක නැත. එහෙත් ඔහුගේ නම කුමක්දැයි ඔහුගෙන් කව්රුන් හෝ විමසුවොත් ඔහු පවා පවසන්නේ ෆොරින් යන නාමයයි. තමාටම ෆොරින් යනුවෙන් අමතා ගන්නා මේ පුද්ගලයා ජීවත් වූ කෙටි කාලය තුල සිදු කර ඇති ක්‍රියාකාරකම් නම් අපේ ගමේ (බෙන්තොට) කිසිවකුට අමතක වන්නේ නැත. ඔහු ගැන නොදන්නා කෙනෙක් අපේ ගමේ වෙත් නම් ඒ මෑතකාලීනව මෙහි පදිංචියට ආ කෙනෙකු විය යුතුය. මේ සමගම ගමේ චරිත ගැන ලිපි මාලාවක් ලිවිය යුතු යයි මගේ හිතට ආ අදහස නිසා වෙනමම කැටගරියක්ද ආරම්භ කරන්න වුනා. එනිසා මේ ලිපි පෙළ ලියැවෙන්නේ ගමේ චරිත යන කැටගරිය යටතේ.

ඔහු ගැන මගේ මුල්ම මතකය වන්නේ, බයිස්කල් රේස් සඳහා ෆිට් කරන ලද බයිසිකලයකින් උදේ හවා මගේ නිවාස අසලින් යන ගමන් "ආ ඉසොකොලේ මහහ්ත්තයා" යයි අපේ තාත්තාට කෑ ගසාගෙන යන "සීරී" නමැති අහිංසක මිනිසා යන්නෙන්ය. වයස අවුරුදු තිහක් පමණ වූ ඔහුගේ කර්ල් කොණ්ඩයත්, වර්තමානයේ ගිනිකූරු කට එක නමින් හඳුන්වන උඩු රැවුල් කෑල්ලත් නිසා මට ඔහු පෙනුනේ විකටයකු ලෙසිනි. ඇත්තටම පොලා යනු ප්‍රමාණයෙන් පොඩි මිනිසෙකි. ඔහුගේ කෙට්ටු සහ නොඋස් සිරුර කෙනෙකුට ඔහු මතකයේ තබා ගැනීමට තරම් අමුතු එකක් නොවේ. මට ඔහු වැඩියෙන්ම මුණ ගැහෙන්නේ දයානන්ද අයියාගේ කඩේ ලඟදීය. එකල මාත් මගේ මිතුරනුත් රස්තියාදු ගැසීමට පුරුදු වූ මෙම කඩය ඉස්තෝප්පුවේ ඇති බංකුවට වී කයියක් ගහගෙන ඉන්න විට එතනට ගොඩ වන මේ මනුස්සයා කිසි දිනක තනියම කෑමක් බීමක් හෝ සිගරට් එකක් ගත්තේ නැත. වටපිට ඉන්න අයගේ අතේද කෑමට දෙයක් හෝ බීම බෝතලයක් තැබීම ඔහුගේ සිරිත විය. ඒ වාගේම ඉල ඇදෙන කතාවක් පවසා නැවතත් බයිසිකලයේ නැග බෙන්තර සංචාරක හෝටල් ප්‍රදේශය කරා යන්නේය.

පොලා රැකියාවක් හෝ වෙළඳාමක් කල අයෙකු නොවීය. පිළිගත් රැකියාවක් නොවූ බීච් බෝයි, නැත්නම් ගයිඩ් යන නමින් ඔවුන්ම හඳුන්වාගන්නා ව්‍යාපාරයක ඔහු මෙන්ම ගමේ බොහෝ තරුණයන් සහ සමහර වැඩිහිටියන්ද නිරත විය. ඔවුන් කරන්නේ ගමේ සිරි නරඹන්නට එන සංචාරකයන්ට මග පෙන්වන්නන් ලෙස අතර මගදී එකතු වී, ඔවුන්ව බොහෝවිට අපේ ගෙවල් පාරෙන් කැඳවාගෙන ගොස්, හබල් ඔරු මගින් ගඟේ සිරි නැරඹීමට රැගෙන යාමය. මෙවැනි ගමනක් සඳහා අය කරන මුදලින් ඔවුන්ට කොමිෂන් මුදලක් ලැබේ. එසේම බතික් සහ වෙස් මුහුණු කඩ වලින්ද ඔවුන් හොඳ ගනණක් උපයයි. මේ ආකාරයට උපය ගන්නා මුදල් වලින් පොලා සහ සමාගම තමන්ගේ එදිනෙදා ආදායම සරි කර ගනී. හවසට හොඳටම සප්පායම් වී  සිංදුවක් ගායනා කරමින් බයිසිකලය පැදගෙන යයි.

විලී සර් යනු මගේ නිවස පිටුපස ඇති මහ ඉස්කෝලේ පිට්ටනියෙන් එහා පැත්තේ ඇති නිවසේ සිටින ඉංග්‍රීසි ගුරුවරයයි. මෙවැනි ගයිඩ් තරුණයන් නිතරම ඔහු සහ ඔහුගේ සහෝදරයා වන රිච්මන්ඩ් මහතා හමු වීමට පැමිණෙන්නේ ඔවුන් ලවා ලියුම් ලියා ගැනීමටය. මගේ හොඳම මිතුරා වූ සම්පත් සමග සවස් කාලයේ ක්‍රීඩා කිරීමට හෝ කතාබස් කරන්නට යන මටද පොලා සහ සමාගම මුණ ගැසේ. එසේ ආ විට ඔහු ලැබූ අත්දැකීම් විස්තර කරන්නට පොලාට සිදු වන්නේ විහිළුවෙන් තහළුවෙන් එවැනි දේ ඔවුන්ගෙන් අසා ගන්නට විලී සර් ගජ සමතෙකු වූ බැවිනි.

"සර් දන්නවද මට 1978 දී සුද්දෙක් ටීවී එකක් එව්වා. මමත් මේක ගෙදර අරන් ගිහින් ඔය ගමේ ඉලෙක්ට්‍රික් වැඩ කරන මල්ලි කෙනෙක් එක්කන් ඇවිත් මේක හයි කරලා. ඇන්ටනාව අපේ වත්තේ තියෙන උසම පොල්ගහේ පොල් පරාලයකින් ගැට ගහලා බැලුවා. තනිකර ඩොට් විතරයි. සර්ට කියන්න මේකට වයර් එක මම ගෙන්න ගත්තේ රුපියල් 500ක් දීලා කොළඹ වැඩට යන මල්ලි කෙනෙක්ට කියලා.  මෙහෙම් දවස් ගානක් මේක මහා මුහුද වගේ බල බලාඉඳල, අපේ ගෑනිගෙන් හොඳටම බැනුමකුත් අහගෙන. අන්තිමට මම නිකන් දීල දැම්ම. පස්සේ තමයි දැන ගත්තේ එක ජෙනරල් කියල හොඳ ටීවී එකක් බව. ඒ වුනත් සර් දන්නවනේ මට ඔය කිසි එකක් ඒ තරං ලොකු නෑ කියලා"

සීරී නොහොත් පොලා මේ වාගේ කතා කියන්නට අපූරු සමතෙකි. ඒ වාගේම ඔහු කල විස්මිත වැඩද ඇත.  මේ ගයිඩ් කෙරුවාව තහනම් ක්‍රියාවකි. බොහෝ දෙනා සංචාරකයන් නොමග යැවීමේ කටයුතු වල නිරත වන නිසා මෙවැනි පුද්ගලයන් අල්ලා ගැනීමට පොලීසිය නිතරම ඔවුන් පසුපස යයි. පොලීසිය ඔවුන් පසුපස පන්නන විට ඔවුන් අපේ වතු වලින්ද දුව ගොස් බේරෙන අවස්ථා එමටය. දිනක් මෙසේ පොලා පසුපසින් පොලීසිය පන්නගෙන යන විට අවසාන ගොස් නතර වී තිබෙන්නේ ගඟ අසලය. බල බලා සිටියොත් පොලීසියට මාට්ටු වෙනවාය. කරන්නම දෙයක් නොමැති තැන පොලා ගඟ අසල වූ පොල් ගසකට බඩගා නැගගෙන ඇත. දැන් පොලීසියේ හතර පස් දෙනෙක් පොල් ගස මුල හිඳ ඔහුට තර්ජනය කරනවා

"හොඳ හිතින් බැහැපන්"

පොලා කිසි උත්තරයක් නැත. පොලාට හොඳටම මහන්සි වන්නට ඇත. ගහ උඩ සිට සිට හති අරින ආකාරය බිම සිටින පොලිස් නිලධාරීන්ටද ඇහෙන තරම්ය. දැන් ගමේ ඉන්න මිනිසුන්ද එකා දෙන්න මේ ජවනිකාව බලන්නට එතනට රැස් වෙලාය. පොල් ගස ගඟට ඇල වූ එකක්ය. මෙහෙම සිටින පොලාගේ සිහියට ආවේ දිනක් බණ ගෙදරදී ලොකු හාමුදරුවන් කිව් කවියකි

වනේ ගිජිඳාය දුටුවොත්                                       වනසාය
ලිඳේ පනිඳය වැටුනොත් ඌ                                      කාය
අතකින් කරවැලය අතකින් දඬු                                   බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි                              කෑය

තමාද පත් වී තිබෙන්නේ එවැනි තත්වයකට බව පොලාට වැටහේ. කරන්නම දෙයක් නැති තැන කුරුම්බට්ටියක් කඩාගෙන එය ගස් ගොබයේම ගසා පැළුන තැන වලින් වැහෙන වතුර ටික බීගෙන බීගෙන ගොස් වටපිට බැලුවේය. ගඟට ඇල වී තිබෙන මේ පොල් ගසත් ගඟත් අතර අඩි විසිපහක් තිහක් වත් පරතරයක් ඇත. ගගද ගැඹුරුය. රාළහාමිලා බලා සිටින්නේ තමාට ඇති වී පහලට බහින තුරුය. දැන් මහන්සියත් නැත. වටපිට බලා ඉන්න ගම්මු හිනා වෙන හඬද උසුළු විසුලුවද ඉවසා ඉන්නට බැරිය. මෙහෙම ඉන්න එකේ තේරුමක් නැත. පොලා ගහ දිගේ මදක් දුරට පහළට බසින්නට විය. දැන් වටේ සිටින කොල්ලේ කුරුට්ටෝ ඔල්වරසන්ද විසිල්ද ගසන්නට පටන් ගෙන ඇත.  සිදු වුයේ අනපේක්ෂිත දෙයකි. එක පාරටම බදාගෙන සිටිය පොල් කඳ ඇත හැර ගඟට පැන්න පොලා පිහිනන්නට පටන් ගත්තේය. රාලහාමිලාට කර ගන්නට දෙයක් නැත. පීනාගෙනම තම ගම් පියසස් වන යාත්‍රමුල්ලටම ගිහින් පසුදා ඒ විස්තර දිග අරින විට එය මසුරන් කතාවක් විය.
පින්තුරය ගත්තේ : shalimarnepal.com
ඔහුගේ මේ කතා බොහොමයක් විලී සර් සමග පැවසු ඒවාය. සමහර ඒවා පවසන විට මමද ඇහුන් කන් දී ඇත. ඔහු කර ඇති දේ ඇසු විට සමහරවිට පුදමයක් උපදී. තවත් දිනක මං සිටියදීම පැවසු කතාවක් මෙසේය

"සර් මට සුද්දෙක් හම්බ වුනා. ඌ රාඩෝ කොම්පැනියේ. මට කිව්වා උගේ නැව ඔස්ට්‍රේලියාවට යනකොට බෝට්ටුවකින් මගට එන්න කියල ඔරලෝසු ටිකක් දෙන්න. මමත් බොහොම අමාරුවෙන් ලොරි එන්ජිමක් බෝට්ටුවකට හයි කරලා ඌ කියපු දවසට මහා මුහුදේ ගියා නැව් යන හරියට. අන්තිමට ඌ කියපු නැවට ගියා. ඌ මට ඔරලෝසු 24ක් තියෙන පෙට්ටියක් දුන්නා. මමත් මේක අරගෙන ආවා. දැන් කොහොමද විකුනන්නේ. එකක් රුපියල් දහ දාහක් විතර වෙනවා. ඒත් කවුද සර් ඕවා ඒ ගානට ගන්නේ. මම ගිහින් ඇල්පිටිය පොළේ තියාගෙන විකුණුව එකක් රුපිය දෙදාහ ගානේ. හරියටම හයවෙනි එක විකුනලා ඉවර වෙනකොට රාළහාමිලා දෙන්නෙක් මං ගාව.

උඹට කොහෙන්ද මිනිහෝ මේ ඔරලෝසු?

සර් කලබල වෙන්න එපා. මම උදේ ඕ.අයි.සී. මහත්තය හම්බ වෙලා ආවේ. කමක් නෑ ඒත් ඔය දෙන්නත් මේක තියා ගන්නකෝ.

මම දෙපාරක් හිතන්නේ නැතුවම දෙන්නගේ අතේ ඔරලෝසුව ගානේ තිබ්බ. දෙන්න කිසි කතාවක් නැතුව යන්න ගියා. මම කියපු බොරුවට එතන තවත් ඉන්න බැරි හින්දා අකුලාගෙන ආවා"

මේවා පට්ටපල් බොරු යයි කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒත් මා දෑසින් දුටු දේ බොරු යයි කියන්නට නොහැක.

කලක් පොලාට ජෙනී නමැති වයසක සුද්දියෙක් සෙට් වී සිටියා. මේවා මොන විදියේ සම්බන්ධදැයි එවකට පාසල් සිසුවෙකු වූ මට පැහැදිලි කමක් තිබුනේ නෑ. බොහෝ දෙනා කියන කතා විශ්වාස කරන්නට මට සිදු විය. මුලින්ම මේ දෙදෙනාගේ නමින් වෙස් මුහුණ සාප්පුවක් ඇරඹුවා. ඒ සංචාරක මණ්ඩලේ වතුර ටැංකිය පේන මානයේ. එය නම් කලේ "ජෙනී - සීරී මාස්ක් ඇන්ඩ් බැටික්" කියලා. එක ආරම්භ කරලා ටික කාලෙකින් ජෙනී ආපහු රට ගියා. බාප්පලාගේ ගෙදර යන ගමන් එතනින් යද්දී දවසක් පොලා මට කතා කළා.

"මල්ලි අවන්හලෙන් අපිට වඩේ දහයකුයි, රෝල්ස් දහයකුයි ගෙනල්ල දීපං" කියා මා අතේ රුපියල් හාර සීයක් තැබුවා. මාත් ඒ ඉල්ලීම අහක දමන්නැතිව පේන මානයේ තියෙන අවන් හලට ගියේ පොලා හිත හොඳ මිනිහෙක් වූ නිසයි. කඩයක ඉන්න වෙලාවට දෙයක් කනවා බොනවා නම් බෙදා හදාගෙන කන මිනිහා නිසයි. මම වඩේ සහ රෝල්ස් ටික ඔහු අත තැබූ විට

"ඉතුරු සල්ලි උඹ තියා ගනින් මල්ලී. ඇවිල්ල වඩේ එකක් කාලම පලයන්" ඒ පොලාගේ හැටිය. කවදත් බෙදා හදාගෙන කන පුරුද්ද මෙන්ම අතේ මිටේ සල්ලි නැති වෙලාවට කාගෙන් හෝ කීයක් හරි ඉල්ලා ගන්නා පුරුද්දද ඔහුට තිබිණි.

මා කුඩා කාලයේ තවත් දිනක හොඳටම බීමතින්

"අනේ මට ඉන්න බැරියෝ. මගේ අම්මේ. මට ඉන්න බැරියෝ" කිය කියා උඩට කමිසයක් හෝ නැතිව පාරේ දිව්වා මට මතකය. තාත්තා කියා සිටියේ ඔය සුද්දෝ ගේන රට බීමක් බීලා වෙන්න ඇති බවය.

මේ ජෙනී-සීරී ව්‍යාපාරය තිබෙන කාලය ඔහුගේ හොඳම කාලය ලෙසේ සලකන්න පුළුවන්. ඒ කාලයේ '795' අංකය දෙපැත්තේම විශාලව අලවා තිබූ කාර් රථයක් ඔහුට තිබුනා. මෙය එළවුයේ  ඇන්චා නමැති තවත් අපේ ගමේ කතාබහට ලක් වූ චරිතයක්. මේ කාලයේදීම ජෙනී-සීරී යනුවෙන් සයිකල් සවාරියක් තනිවම සංවිධානය කරන්නට පොලා නොහොත් ෆොරින් සමත් විය. ඔහුට යහමින් මුදල් ගැවසෙන කාල වලදී ඔහු මහා ධානපතියෙකු ලෙස ක්‍රියා කරයි. එයට හොඳම උදාහරණය වන්නේ එක් පොහෝ දිනක ඔහුගේ ගම වූ යාත්‍රමුල්ල ප්‍රදේශයේ හැම ගෙදරකටම හාල් පොල් සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත මල්ලක් බෙදා දීමයි. ඔහුට පොලා නමැති නම පටබැඳෙන්නට හේතු වුයේද මේ පොල් බේදීමදැයි විටෙක මට සිතේ.

ඔහ්ගේ මෙම 795 අංකය සහිත වාහනය දිනක් අධික වේගයෙන් ධාවනය කල ඇන්චා පල්ලමකට පෙරේලී තිබුනේ එහි රෝද උඩ පැත්තට සිටින ලෙසය. එහෙත් ඒ සඳහා කාටවත් වචනයක් කිව්වේ පොලා නොවේ. ඔහුගේ මේ ධානපති බවෙන් ප්‍රයෝජන ගෙන ඔහු මෝරා කල යද එකල සුලභ විය.

ඔහු තමාටම ෆොරින් යන නාමය ආදේශ කර ගත්තේ නිතරම සංචාරකයන් සමග ගැවසෙන නිසාය. 1986 දී පමණ බෙන්තොට පොලීසියේ ස්ථානාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන(ජගත් රෝහණ) මහතා කිසිදු තැනක රස්තියාදු කාරයන්ට හෝ සංචාරක මග පෙන්වන්නන්ට ඉන්නට ඉඩ සැලසුවේ නැත. දිනක ඔහුගේ මේ අණපනත් නොතැකූ පොලා සංචාරක හෝටල් ප්‍රදේශයේ ගැවසෙනු දැක තම යතුරුපැදිය නවත්වා

"මෙතන මොකද කරන්නේ. තමා කවුද ?"

"මම ෆොරින්. එතකොට ඔබතුමා  ?" (පොලා යකාටවත් බය නැත. ඕ.අයි.සී.ද ඔහුට ලොකු නැත. කලින් පොලීසියේ සිටි ඕ.අයි.සී. ඔහුගේ ගජ මිතුරෙකි)

"උඹ ෆොරින් නම් මම ලෝකල් කියල මතක තියා ගනිං. මීට පස්සේ සුද්දෝ පස්සේ යාම තහනම්. එහෙම ගිහින් අහු වුනොත් මම නරක මිනිහා කියන්න එපා.

"හරි හරි බොස්' ඕකේ. නෝ ප්‍රොබ්ලම්" පොලා කියන ඒවාට ස්ථානාධිපති තුමාටද හිනා යන්න ආවත් තවත් මොහු සමග වාද විවාද කළහොත් ඉරෙන්නේ තමාගේ කොලය බව දැනගත් ඔහු කට පියාගෙන මහා හඬකින් බයිසිකලය රේස් කරගෙන් නොපෙනී යන්නට විය. එදෙස පොලා බලා සිටියේ මද සිනාවකිනි. ඒ තවත් නොබෝදිනකින් "එයත් මගේ සාක්කුවේ" බව ඉර හඳ මෙන් දන්නා නිසාය. එහෙත් සිදු වුවේ අනෙකකි. එතුමා හරියටම නීතිය අකුරට ඉටු කරන නිලධාරියෙකි.  

පොලිස් නිලධාරීන් ඔහු කෙතරම් සමීපව ඇසුරු කලාද යන්න මේ කාතාවෙන් පැහැදිලි වේ. ඉහත සඳහන් කල ජෙනී-සීරී ව්‍යාපාර බංකොලොත් වන්නට වැඩි කාලයක් නොගියේය. ඒ ඔහු එයට පය තබන ගනුදෙනු කරුවන් වන සුදු මහතුන්ටද පුරුදු හැන්දෙන් බෙදීම නිසාය. අනෙක් තැන් වල රුපියල් 1200 කට විකුණන වෙස් මුහුණක් ඔහු සමහරවිට රුපිය 750කට විකුණයි. එසේ කල විට ඉහල කොමිෂන් මුදලක් බලාපොරොත්තුවෙන් එහි එන තමාගේ පෙර රැකියාවේ මිතුරු කැල ඊළඟ වතාවේ ඔහු සොයා නොපැමිණෙන බව ඔහුට අමතක වුයේ අර කලින් කී ඔහු තුල සිටින ධානපතියා ඊට වඩා ඉහලින් සිටි නිසාය. මෙම ව්‍යාපාරය වැඩි කල් යන්නට මත්තෙන් විකුණා දැමු ඔහු නැවතත් පුරුදු රැකියාවට පැන්නේ තමාට ඔය බිස්නස් වැඩ හරි යන්නේ නැති බව පවසමිනි. එසේ නට්ටන් වී සිටි කාලයේ ඔහු ධර්ගා නගරයේ කඩයක තේ බී එහි වේටර් වරයාට තමාගේ වාහනයට ගොස් මුදල් රැගෙන එන බව පවසා හෙමිහිට මාරු වී ඇත. කලින් තාමටද හොඳ ගණනක් අත මිට මොළවන මොහු කෙරේ මුදලාලිද සැකයෙන් නොබලන බව වේටර් දනී. එහෙත් මේ කියන දිනයේ ඔහු ළඟ සතයක් වත් තිබී නැත. එසේ එලියට එන විට තරමක් වටිනා කාරයක පැමිණි අයෙක් කුමක් හෝ කාරණයකට වහනය ස්ටාර්ට් එකේ තිබියදීම කඩේට ගොඩ වී ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලා වාහනයට ගොඩ වී එය එලවාගෙන හැල්මේ බෙන්තරට ලඟා වී ඇත. එහෙත් දැන් තමා පසුපස අර පුද්ගලයා එන බව ඔහුට ඉර හඳ මෙන් විශ්වාසය.  කරාස් යන හඬින් පොලීසිය දෙසට වාහනය හරවා පොලීසියට මෑතින් වාහනය නැවතූ ඔහු  කිසි හැල හොල්මනක් නැතිව තමාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් ස්ථානාධිපති තුමාගේ කාමරයට කෙලින්ම ගොස් ඔහු ඉදිරියේ ඇති පුටුවේ හරි බැරි ගැහී ලොකු කතාවකට බැස එන ගමන් අර කාරයේ යතුර එතුමාගේ මේසයේ නොපෙනෙන තැනක තියා එන්නට තරම් කයිරාටිකයෙක් විය. 

ඔහු කල මෙවැනි ඇස් රතු වන විහිලු ඇරෙන්නට කුරා කුහුඹුවකුටවත් ඔහුගෙන් වරදක් වුනේ නැත. එහෙත් ඔහු අකාලයේ මිය ගොස් ඇති බව මා දැන ගත්තේ මෑතකදීය. 


Friday, November 2, 2012

ඩක්වර්ත් - ලුවිස් මග ගිය ජය-ධර්ම සමීකරණය

ඩක්වර්ත්-ලුවිස් කිව්වහම අද කාලේ කවුද නොදන්නේ ? ක්‍රිකට් ගැන උනන්දුවක් ඇති නැති කවුරු වුනත් අඩුම තරමින් ගුවන්විදුලියෙන් හරි රූපවාහිනියෙන් හරි මේ වචන දෙක අහල ඇති. ඒත් ඔබ එය මොන ආකාරයේ ගණනය කිරීමක්ද? කියා සොයා බලා තිබෙනවාද ? බොහෝ දෙනාගේ පිළිතුර නෑ වෙන්න ඕනේ. මොකද ඒක අවුබෝධ කර ගන්න නම් ක්‍රිකට් ගැන වගේම සංක්‍යානය ගැනත් යම් තරමක දැනුමක් තියෙන්න ඕනේ. ඒ දෙකම දැන ගත්තත් මදි මේක හුදෙක් සමීකරණයක් හෝ ගණිත කර්මයක් මත විසඳුම් සෙවිල්ලක් නොවෙන නිසා, ඒ කියන්නේ ප්‍රායෝගික (Practical) දෙයක් නිසා අර දක්ෂ ලෙස ගණිත ගැටළු විසඳන කෙනෙකුට වුනත් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. මම ඔබට කියල ඇති මම බොහොම කුතුහලයක් තියෙන පුද්ගලයෙක් කියලා. මේ වගේ මොකක් හරි අහු වුනාම හරියට යකාට මයිල් ගහ කෙලින් කරන්න දුන්න වගේ නොකා නොබී, කොහේ හරි කෙළවරක් හම්බ වෙනකං හාරාගෙන - හාරාගෙන යනවා හරියට උමං මීයෙක් වගේ. 

මුලින්ම ඩක්වර්ත්-ලුවිස් සමීකරණය කරලියට ආවේ 1999 ලෝක කුසලානයත් එක්කම වගේ. ලේක්හවුස් ආයතනය ලෝක කුසලානයට මුද්‍රණය කල සමරු පොතේ මේ ලකුණු ගණනය කරන සටහන තිබුනත් එය පහසුවෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එකක් වුනේ නෑ. අන්තර්ජාලය යන්තම් පරිහරණය කරන්න ලැබුණු කාලේ  ඒ කියන්නේ 2000 වගේ කාලේ මම මේ නම් දෙක සර්ච් කරා. විශේෂ සර්ච් එන්ජින් එකකින්. ඒ කොපර්නික් ඒජන්ට් කියල. ඒකෙ තියෙන විශේෂත්වය තමයි, සර්ච් එංජින් දහයකට වැඩි ගණනකින් සර්ච් කරලා ප්‍රථිපල ලැබ දෙන එක. ඒ විතරක් නොවයි ඊ-මේල් ලිපිනයන් පවා ලබා ගන්න පුළුවන්. මට හම්බ වුනා මේකේ එක පාර්ෂව කාරයකු වූ ටෝනි ලුවිස් මහතාගේ ඊ-ලිපිනය(ටෝනි ලුවිස් කියල ක්‍රිකට් විස්තර විචාරකයෙකුත් සිටිනවා. මේ ඔහු නොවේ) ලැබුනා. මා ඔහුගෙන් විමසා සිටියා එහි සමීකරණය ලබා දෙන ලෙස ඒ වෙනුවෙන් මෘදුකාංගයක් නිර්මාණය කරන්න. එහෙත් ඔහුගේ පිළිතුරින් අවශ්‍ය නම් "CODA" නමැති මෘදුකාංගය මිලදී ගන්නා ලෙස දන්වා තිබුනා. මා එතනින් පසු ඒ පිලිබඳ ඔහුත් සමග සාකච්චාවට ගියේ නෑ. 

මේ මගින් ඉතිරිව ඇති කඩුලු සංඛ්‍යාව සහ ඕවර සංඛ්‍යාව සම්පත්(Resources) ලෙස ගෙන ගණනය කිරීම කරනවා. යම් තරගයකට වර්ෂාව මගින් බාදා වූවා නම් (ඇත්තටම මෙය වර්ෂාව සඳහා පමණක් සීමා කර ගත යුතු නෑ. හිතන්න විදුලි ආලෝකය ඇණහිටියා කියලා. ඒ වෙනුවෙන් වුනත් මෙය යොදා ගන්න පුළුවන්. නමුත් ඒ ගැන සඳහනක් නෑ) ඕවර කියන එක සම්පතක් අහිමි වනවා. එවිට අර ඉතිරිව තිබෙන කඩුලු ප්‍රමාණය අනුව ඔවුන්ට රැස් කල හැකි ලකුණු ප්‍රමාණය තමයි මේ දෙදෙනා වගු ගත කරලා තිබෙන්නේ. ඇත්තටම එය පහුගිය තරග වල ලකුණු සංඛ්‍යා සලකා බැලීමෙන් පසුව සිදු කරන්නක්. මෙම වගුව ගණනය කිරීමේදී ඔවුන් එක්තර ලකුණු ප්‍රමාණයක් මුලික(Base) ලකුණු ප්‍රමාණය ලෙස ගන්නවා. මුලින්ම මෙය 225ක් ලෙස ගත්තත් දැන් 250ක් ලෙස සලකනු ලබනවා. ඒ කියන්නේ තරගයක් සාමාන්‍ය විදියට ක්‍රියාත්මක වුවහොත් ලාබා ගත හැකි ලකුණු ගණන. පහල පින්තුරයනේ පෙන්නේ ඒ වගේ ලකුණු ලබා ගැනීමක ප්‍රස්තාරයක්



තරගයකට වර්ෂාවෙන් බාදා වන අවස්ථාව මෙම ඉලක්ක ගණනය කිරීම සඳහා ඉවහල් වනවා. තරගය පටන් ගන්න ප්‍රථමයෙන් වර්ෂාව නිසා යම් කාලයක් හානි වුවා නම් කණ්ඩායම් දෙකෙන්ම ඕවර ප්‍රමාණය අඩු කර තරගය ආරම්භ කරනවා. නමුත් මේ ක්‍රමය උපයෝගී කර ගන්නේ තරගය ආරම්භ වූ පසු සිදු වන බාදා නිසා පන්දුවට පහර දෙමින් සිටින කණ්ඩායමේ ඉනිම සාධාරණිකරණ කරන්න. අතර මැදදී මේ හානිය සිදු වුවා නම් පහත දැක්වෙන අකාරයේ ප්‍රස්තාරයකින් එම ඉනිම දක්වන්න පුළුවන්.


මෙහි කඩ ඉරි වලින් දැක්වෙන්නේ ඉනිමේ වර්ෂාව නිසා හානි වූ කාලය යයි සිතුවොත්, මේ ගණිතඥ මහතුන් දෙදෙනා යෝජනා කල ක්‍රමය අනුව, තරගයට වැස්සෙන් බාදා වනවිට ඉතිරිව තිබු කඩුලු සංඛ්‍යාව  ට අනුව පෙන්වන එම ඕවරයට අදාළ වගුවේ අගය සහ යලි තරගය පටන් ගන්නා විට තිබෙන අගයෙහි වෙනස ඕවර සංඛ්‍යාවෙන් වැඩි කර තරගයට හානි නොවුවානම් ලැබිය හැකි ලකුණු ගණන ගණනය කරනවා. දෙවන ඉනිම සලකා බැලුවත් මේ වගේමයි. දෙවනුව පහර දෙද්දී වුනත් ඒ ක්‍රමයටමයි ගණනය සිදු වන්නේ. 

මේ ක්‍රමය විලම්භීත ඉලක්ක ලබා දුන අවස්ථාද නැත්තේ නෑ. මෙහි විවිධ අඩුපාඩු පසුව හඳුනා ගත්තා. එහෙත් ඒ වනවිට තිබු දල ලකුණු වේගය(1996 ලෝක කුසලාණයේදී) හෝ ඊට පෙර තිබු පලදායී නොවූ ඕවර පිටු දකින ක්‍රමයට සාපේක්ෂව මෙම ක්‍රමය ඉතා හොඳ එකක්. ඇත්තටම අද ක්‍රීඩාංගණයේ තිබෙන තරගයක් නරඹන්න ගිය විට මා නිතැතින් ලකුණු පුවරුවේ තිබෙන මෙම ඩක්වර්ත්-ලුවිස් ඉලක්කය දෙස බලා සිටිනවා. ඒ මගින් තරගය ගමන් ගත යුතු මාර්ගය තීරණය කර ගත හැකියි. විශේෂයෙන්ම දෙවන ඉනිම ක්‍රියාත්මක වන විට. 

ඔබ දැන් කල්පනා කරනවා ඇති අද මේ ලිපිය මගින් මා සාකච්ඡා කරන්න යන්නේ මෑතකදී අයි.සී.සියේ අවධානය දිනා ගත ඉන්දීය ඉංජිනේරුවකු වන ජයදෙවන් යෝජනා කල ක්‍රමය ගැන කියලා. නමුත් නැවතත් මාතෘකාව බලන්න කරුණාකරලා. මෙය ජයදෙවන් නොවෙයි ජය ධර්ම. මොකක්ද මේ ක්‍රමය. මේ ක්‍රමයත් එක්තරා විදියකින් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය වගේ එකක් කියල මට තේරිලා දැන් දවස් දහයකට වඩා නෑ. 

ජය-ධර්ම කියන්නේ මේ ක්‍රමය හදන්න මුලික වුන දෙදෙනාගේ වාසගම් වල මුල් කොටස් එකතු කරලා හදපු එකක්. මේ දෙන්නාම වැඩ කරන්නේ මේ මගේ සේවාස්ථානයේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් සුදීකය ඔච්චර ක්‍රිකට් ගැන පම්පෝරි ගැහුවට ඊට වඩා පොරවල් ඉන්නවනේ ක්‍රිකට් නොගහන, ඒකා වැඩ කරන තැනම කියලා. වරදක් නෑ එහෙම හිතුවට. නමුත් මේක ක්‍රිකට් සම්බන්ධ දෙයක් නොවේ. දැන් ඔබ හිතයි මේකා අපේ කාලයත්, දත්ත ප්‍රමාණයකුත් කාල මොකක්ද කියන්න හදන්නේ කියල. ඔය ඉවසල හිටියා වගේ මේ ටිකත් කියවලම යන්නකෝ. ඔන්න මම පොරොන්දු වෙනවා ඩක්වර්ත්-ලුවිස් සහ ජයදෙවන් ක්‍රම ගැන වෙනම පොස්ට් එකක් ලියන්න උදාහරණත් එක්ක.

මම වැඩ කරන තැන මේ වනවිට ඔබ දන්නවා. එතන නිසි උසස් වීම් ක්‍රමය තිබුනේ නෑ. අයි.සී.සී.යට වගේ. පසුව කාටත් පිළිගන්න පුළුවන් උසස් වීම් ක්‍රමයක් හැදුවත්. එය හදන්න ගතවූ තුන් අවුරුදු කාලය තුල සහ පැරණි ක්‍රමය නිසා සේවකයන්ට සිදු වූ හානිය නැති කරන්න තමයි මේ ක්‍රමය යෝජනා කලේ. එය බාර දුන්නේ මගේ දෙපාර්තමේන්තුවේ තරමක් පැරණි ඒ වගේම නොයෙක් දේවල් යෝජනා කරපු පුද්ගලයෙක් වන ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමකට. එය හඳුන්වාදුන්නෙත් ෆෝමියුලා එක වශයෙන්. ඉතින් නොයෙකුත් වාද-විවාද හැල හැප්පීම් මත මේක හදල ඉවර කළා. මෙකට දායක වූ අනෙක් කෙනාගේ වාසගම ජයසුන්දර. දැන් ඔබට තේරෙනවා මම මේ නම යෝජනා කලේ ඇයි කියලා. ඉතින් මේකෙන් කලේ ඕනෑම සේවකයෙක් තමන් සේවයට බැඳුන දිනයේ සිට මේ අලුත් උසස් වීම් ක්‍රමය තිබුණානම් දැන් සිටිය යුතු තත්වය තීරණය කිරීම. ඒකට දායකත්වය දුන්න දෙවනියා තමයි මේකට මෘදුකාංගයක් හැදුවේ. ඒ මගින් සේවය කල වසරක් තමයි සම්පතක් ලෙස සැලකුවේ, අනෙක් ඒක ඒ වනවිට තිබෙන ශ්‍රේණිය. එතකොට මේක හරියටම ඩක්වර්ත් ලුවිස් වගේමයි. හැබැයි මේකට කැමති වගේම අකමැති පාර්ශවත් හිටියා. අකමැති ප්‍රමාණය වැඩි නිසා එය කඩාකප්පල් වුනා. එහෙම නොවුනානම් සුදීකයත් අද ලොකු තැනක.  :) සමහරවිට බ්ලොග් ලියන එකක් නෑ. මෙතැන වාද විවාද වුනේ වැඩ කරපු අවුරුද්දකට ලැබෙන ලකුණු ගණන නැත්නම් අවරුදු ගැන ගුණ කරන ඉලක්කම මොකක්ද කියලා. මේකෙදි 0.25, 0.35 වගේ අගයන් දාල හදල බලල තිබෙනවා අර සමීකරණයට. කරුමයකට බොහෝ වෙලාවට මේ සඳහා උදාහරණ ලෙස අරගෙන තිබෙන්නේ සුදීකයව. -:(


ප:ලි: ධර්මරත්න මහත්තයට සමහර අය "සූත්තර පුංචා" කියල නැති තැන කියලත් තියෙනවා.

මට මේ කිසිත් නොදැනේ - ඒ මා රොබෝවකු වන බැවිනි.

පින්තුරය : gmv.com
රොබෝ තාක්ෂණය අද ලෝකය පුර ප්‍රචලිතය. රොබෝවරු බොහෝ දේ කරති. එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවෙති. ඒ ඔවුන් රොබෝවන් වන නිසාම පමණක් නොව ඔවුන්ට හැඟීම් දැනීම් නැති නිසාය. ඔවුට විඩාව දැනේනේ නැත. ඔවුන්ට වෙලාව ගැන අවුබෝධයක් නැත. අව්ව වැස්ස රෑ දහවල පිලිබඳ ඔවුන්ට නිනව්වක් නැත. රොබෝවරු තරහ හෝ කේන්ති ගන්නේ නැත. ඔවුන් හිනා වන්නේද නැත. ඔවුන් අඬන්නේද නැත. කොටින්ම මනුෂ්‍යයන් වන අපට ඇති කිසි ප්‍රශ්නයක් ඔවුන්ට නැත. කලක් ලෝක සත්වයා බොහෝ සෙයින් බිය වූයේ දිනක රොබෝවන් අප යටත් කර ගනු ඇති යන්නයි. ඒ ගැන බිය නොවන්න. ඒත් ඔවුන් දන්නා එක දෙයක් ඇත. ඒ ඔවුන්ට දෙන ලද උපදෙස් පිලි පැදීමයි.  කෙනෙක් කිසිම හැගීමක් දැනීමක් නැති ආකාරයට සිටින විට ඔහුව/ඇයව රොබෝවන් යයි හඳුන්වනවා මා දැක ඇත. එහෙම මිනිසුන් සිටිති. ඔවුන්ට මොංගල් යයි කෙනෙක් කියති. එහෙත් මේ මා කියන්නට යන්නේ එවැනි අයෙකු ගැන නොවේ. ලෙයින්-මසින් සැදුන, හැඟීම් දැනීම් ඇති රොබෝවෙක් ගැනය. 

බොහෝ රොබෝවන් මේඩ් ඉන් ජැපෑන්ය. එහෙත් මේ රෝබෝවා මේඩ් ඉන් ශ්‍රී ලංකාය. මට දැනෙන්නේ මගේ වටපිටාවේ අය මා රොබෝවකු සේ සලකා වැඩ කරනවා යන්නයි. මමද බොහෝ දේ කරමි. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් කිසිවක් බලාපොරොත්තු නොවෙමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට විඩාව දැනේ.  ඒ මා රොබෝවකු වන බැවිනි. මට වෙලාව ගැන අවුබෝධයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අව්ව වැස්ස රෑ දහවල මට හොඳින් දැනේ. එහෙත් එය නොදැනෙන ගානට සිටිමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට තරහා, කේන්තියඑන්නේ නැත.  ඒ මා රොබෝවකු වන බැවිනි.ලෝකයා ඉදිරියේ මා සිනාසෙමි. ඒ මා රොබෝවකු වන බැවිනි. හොර රහසේ මා හඬමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මා කාටවත් අභියෝගයක් වන්නේ නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් ඔවුන්ට මා අභියෝගයක් සේ පෙනී ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි.  

 බිරිඳක් විසින් උදේට තේකක් හදා සැමියාට දෙනු  දැක ඇත්තෙමි. එවැනි අවශයතා මටද නොදැනේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳකගේ සෙනෙහස සැමියකුට අවශ්‍ය වේ. එහෙත් සෙනෙහස මට අවැසි නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට වතුර එකක් ගේන්නයි බොහෝ සැමියන් තම බිරිඳට කියයි. මට වතුර අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳ සැමියාගේ රෙදි සෝදා, මැද දෙයි. මට ඇඳුම් අවශ්‍ය නැත. මදින්නටද අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ලෙඩක් දුකක් ඇති වූ විට බිරිඳ සැමියාගේ ලඟින් සිට සුව දුක් සොයා බලයි. එහෙත් මට එවැනි දෙයක් අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බිරිඳ හා සැමියා තුරුළු වී නිදා ගනී. මට එවැනි දෙයක් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ පිරිමින්ට බිරිඳක් අවශ්‍ය වේ. එත් මට බිරිඳක් අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.

ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ ඇඳි පෙම්වතියක් ඇත. මට එහෙම අයෙක් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ අය ප්‍රේමය පතා ලඳුන් වෙත තම අදහස් ඉදිරිපත් කරති. මට එසේ ප්‍රේම වදන් මුමුණන්නට අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. මා එසේ ප්‍රේමය යැද්දත්, "මුට ප්‍රේම කරන්නට හැකිදැයි" ඔවුන් සිතයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මාද ප්‍රේමය පතා යුවතියන්ට ඇවිටිලි කලෙමි. එහෙත් "රෝබෝවෙකුට මම පෙම් කරන්න" යයි ඇය සිතන්නට ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි.රෝබෝවා පෙම් කල අය, රෝබෝවා දන්නා අය සමගම පෙමින් වේලි සිටිනු දැකීමෙන් රෝබෝවා කම්පා නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.

සමහරුන්ට ඔෆිස් වැඩ කරන විට ඇති වන ගැටළු වලට විසඳුම් සොයා ගැනීමට මා නිතරම අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. එවැනි විටක ස්තුති කරන්නට අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. මට අනිත් අයගේ උපකාර අවශ්‍ය නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ දෙනාගේ දුක කියන්නට මා තෝරාගෙන ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් මගේ දුක කියා දෙයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට බඩගිනි වූ විට අහර අවශ්‍ය වේ. එහෙත් මට එවැනි අවශ්‍යතා නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. එකට හිඳ කෑම කන විට මගේ පිඟානට කෑමක් දමන්නට අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. තමන්ගේ සී. වී. එක මා ලවා නිවැරදි කරවා ගන්නා අය ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට සී. වී. එකක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ඔවුන් ටිකට් පත් ගෙන ආ විට මා මිලදී ගත යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. මා එවැනි ටිකට් පත් ඔවුන් වෙත ගෙන යායුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මිනිසුන්ට චිත්‍රපට ශාලාවට ගොස් චිත්‍රපට නැරඹීමට අවශ්‍ය වේ. මට එවැනි අවශ්‍යතා නැත. ඒ මා රොබෝවකු වන බැවිනි.

මා අනිත් අයගේ වැඩ කරන විට, බඩගිනි දැනිය යුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. කාගෙන් හෝ අසාධාරණයක් මට සිදු විනි නම් ප්‍රශ්ණයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. ඔයා අරෙහෙම කරේ ඇයිදැයි බොහෝ දෙනා මගෙන් විමසයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මා ඒවාට උත්තර දිය යුතු නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට නින්ද ප්‍රශ්ණයක් වුවාට මට එසේ නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයට නිවාඩු අවශ්‍ය වුවාට මට නිවාඩු අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. අනිත් අයගේ ගැටළු වලට මා ළඟ විසඳුම ඇත. ඒ මා රොබෝවකු වන බැවිනි. මගේ ප්‍රශ්න කියා දෙයක් නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මගේ දුරකථනය අනෙක් අයට විවෘතව තිබිය යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. එහෙත් මා ඔවුන්ට කෝල් කල යුතු නොවේ. මැසේජ් යැවිය යුතු නොවේ. ඒ මා රොබෝවකු වන බැවිනි.  මා අනිත් අයගේ උපන්දින මතක තබා ගත යුතුය. ඔවුන්ට සුබ පැතිය යුතුය. ඒ මා රොබෝවකු වන බැවිනි. බොහෝ අයට දුරකථන අංක හොයා ගැනීමට මා අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. සමහරුන්ට ගූගල් සර්ච් කිරීමටද මා අවශ්‍ය වේ. ඒ මා රොබෝවකු වන බැවිනි. 

කාර්යාලයේදී මා වැඩ කරමි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට ප්‍රමෝෂන් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට වැටුපක් ගෙවයි. ඒ මා රොබෝවකු වන බැවිනි. මට පඩි වැඩි වීම් අවශ්‍ය නැත. ඒ මා රොබෝවකු වන බැවිනි. මට බොහෝ අය ඉරිසියා කරති. ඒ මා රොබෝවකු වන බැවිනි. මා වලේ වැට්ටීමට බොහෝ අය උනන්දු වෙති. ඒ මා රොබෝවකු වන බැවිනි. මා මාරු කර යවයි. ඒ මා රොබෝවකු වන බැවිනි. 

ඒත් මට මිනිසකු ලෙස සලකන බොහෝ දෙනෙක්ද ඇත. ඔවුන්ට මගේ ප්‍රණාමය හිමි විය යුතුය. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...