Saturday, July 28, 2012

කෙටීම් කෙටි ලොල් කතා 15 - තව භාගයක් ගන්න

මේක නම් මම ඇස් දෙකෙන්ම දැක්ක සිදුවවීමක්. මගේ මතකය නිවැරදි නම් මේක වුනේ 2003 මැද හරියේ. මගේ බ්ලොග් එකේ නම්ට යටින් තියෙන අර පාටයේ  කියල තියෙන විදියට රාජකාරියට ලංකාව් වටේ යන්න ලැබීම මහත් භාග්‍යයක් කියල මගේ තාත්ත මුලින් කිව්වම මම ඒක පිළිගන්න කැමති නැති වුනත්, ආපසු හැරී බැලුවම ඒ කතාව් ඇත්ත කියල 200% පිළිගන්න වෙනවා.

අපි ගියා වැල්ලවාය ශාඛාව පරිගණකගත කරන්න. ගියේ නාමලුයි,මමයි, අකිලයි. මේ වගේ ශාඛාවක් සති අන්තයේදී තමයි සියළුම අවශ්‍ය කටයුතු කරන්නේ සඳුදාට ඔන්ලයින් යන්න. කෙටියෙන් කිව්වොත් පරිගණකය ආධාරයෙන් වැඩ කරන්න. මේ කටයුත්ත කරලා අපි වැඩ ඉවර කරන්නේ ඉරිදා රෑ. අපි පිටින් ගියා අය හින්දත්, එයාලට මේකෙන් වෙන පහසුවත් හින්ද එයාල අපිට පාටියක් දෙනවා. කෑමද, බීමද අරකද මේකද සියල්ලම. එහෙම තියෙන පාටි වැඩි වෙලා ඇදගෙන යන්න අපි දෙගොල්ලන්ට්ම උවමනාවක් නැ. මොකද අපි හැමෝම සඳුදා උදේ අටට කලින් බ්‍රාන්ච් එකේ ඉන්න ඕනේ. එහෙම ඔන්ලයින් යද්දී උත්සවයක් පවත්වන එකත් සාමාන්‍ය දෙයක්. බොහෝ විට ඒවට ඉහල නිලදාරියෙක් ආවත් එදා එන්න නියම වෙලා තිබුනේ රජයේ ඇමති වරයෙක්. ඒ නිසා කණ බොන ඒවා නිමා කරලා අපිත් අපේ නැවතනට ගියා. එතැන හිටිය ආරක්ෂක නිලදාරිය හොඳ බෙබේ කෙනෙක් මිනිහාට යන්න අදහසක් තිබුනේම නෑ. අපි වාහනයේ යද්දී දැක්ක ශාඛාවේ සුළු සේවකයෙක්  අර ආරක්ෂක නිලදාරියත් පිටිපස්සේ ගෙන අපිව ඉස්සර කරලා යනවා.

පහුවදා උදේ සියළු දෙනාම කලබලෙන් එහා මෙහා දුවන අතරේ මම දැක්ක අර ආරක්ෂක නිළදාරිය මැනේජර් එක්ක කතා කර කර ඉන්නවා. සිකුරිටිගේ මුණේ තුන් පොලක ප්ලාස්ටර් දාලා. දැක්කම හිනා යන්න ආවත් අමාරුන් ගිල ගෙන් එතනට ගියා.

"තමුසේ හැරී වැඩනේ ඕයි කර ගන්නේ. තමුසේ කොහොමද දැන් ඇමති තුමා එනකොට ඉස්සරහ ඉන්නේ. තමුසේ යනවා පස්ස දොර ගාව්ට, අර රිජනල් එකෙන් ඇවිත් ඉන්න සුදු හාදයාට කියනවා ඉස්සරහට යන්න කියල. "

"හ..රි... ස..ර්"

මම මිනිහට කිට්ටු වෙලා ඇහුවා මොකද උනේ කියල. බොහොම අමාරුන් කට කොනකින් හිනා වුනා වගේ එකක් කරලා මිනිහා යන්න ගියා. මුණේ තුවාල විතරක් නම් මදැයි. හොඳටම් ඉදිමිලා. ඒ මදිව්ට රතු වෙලා. මිනිහව දැක්කාම හිනා නොවීම ඉන්න බෑ. මටත් දැන් ඉවසිල්ලක් නෑ. මම ගියා මිනිහත් එක්ක ගියා අනිත් කෙනා ගාවට.

"මොනවාද අර සිකුරීටිට කලේ ?"

"මම මොනවත් කලේ නැ. අප්පෝ මගෙන් නම් ඕව අහන්නෙපා. මට වැඩ තියෙනවා. මම යනවා" කියාගෙන මිනිහා මාරු වුනා. ඒක ඇහුවාම මගේ කුතුහලය තවත් වැඩි වුනා. මම ආපහු ගියා සිකුරීටි ගාවට, ගිහින් ගෑවා පොඩි  බටර් පාරක්.

"ඔහොම තමයි ජිවිතේ, මොකක්ද වුනේ, මම කාටවත් කියන්නැ. අපි කොහොමත් සිකුරදට යනවනේ. කියන්න, කියන්න, කාටවත් නොකිය හිටිය කියල මොකක්ද තියෙන පලේ. කිව්වම හිත නිදහස් වෙනවනේ, වලියක් ගියාද ?" මම මිනිහගේ පිටට තට්ටුවක් දැම්ම.

"අ..රි වැ..ඩ..ක් උ..නේ. අ..පි ඕ..ගො..ල්..ලො..ත් එ..ක්..ක ෂෙ..ට් වෙ...ලා හි..ටි..යේ"

"ඔව් ඔව් ඉතිං"

"ප..ස්..සේ අ..පි දෙ..න්..න ගි..යා බ...යි..ක් එ..කේ"

"හරි හරි මම දැක්ක"

"බා..ර් එ..ක ල..ඟ..දි ම..ම බැ..ස්..ස ත..ව භා..ග..ය..ක් ග..න්..න කි..ය..ල"

"ඉතිං, ඉතිං" මම හු මිටි තිව්ව.

"ම..ට හො..ඳ..ට..ම ම..ත..ක..යි බ..යි..ක් එ..ක න..ව..ත්..ත..ලා ති..බු..නේ කි..ය..ල. ඒ..ත් අ..රූ කි..ය..න..වා ම..ම ය..න බ..යි..ක් එ..කෙ..න්..ලු බැ..ස්..සේ කි..ය..ල"

කොහොම ඇද්ද 40-50 යන බයික් එකකින් බැස්සම පදින එකටත් නොකිය. ඩෝප් නිසා මිනිහට වැඩි ගානක් වෙලා නෑ බයික් එක නවත්තලා නෑ කියල.

"අයියෝ ඕක මොකක්ද මම කාටවත් කියන්නෑ"

ඔන්න මම කාටවත්ම කිව්වේ නැ, අද ඔයාලට කියනකං. අපි එහෙමයි ඈ.

Thursday, July 26, 2012

කදුළු සලන හත්පෙති මල ......


ෆේස්බුක් වල කුමක් හෝ ගෲප් එකක් මගින් පල කරන ලද එක්තරා නෝට් එකක් කියවා මා කෙතරම් වෙලා කඳුළු පෙරුවාදැයි මතක නැත. ඒ තරමටම එම රචනාව මගේ හදවතට සමීප විය. එම කතාවේ සාරාංශය ගතහොත් 

තම පියා සමග සුපිරි වෙළඳ සැලකට ගමන් කරන කුඩා දියණිය ඉතා අලංකාර වර්ගයේ සෙරෙප්පු තිබෙන තැනක සිට තම පියාගෙන් මටත් අරවයින් එකක් කියා පවසද්දි පියාගේ මුළු ඇඟම සීතල වී ගියේ තමාගේ පසුම්බියේ තිබෙන මුදල් නෝට්ටු වල අගය ඔහු හොඳින්ම දන්නා නිසාය. එය මිලදී ගන්නවා තියා සතියේ ආහාර අවශ්‍යතා වලටවත් ප්‍රමාණවත් මුදලක් ඔහු ලඟ නැති බව දියණියට කෙසේ කියන්නද ? එහෙත් දියණිය ඉල්ලා සිටින්නේ වීදුරුවෙන් එලියේ රටකජු විකුණන වෙලෙන්දා ලඟ තිබෙන රටකජු ගොට්ටක් බව පසක් වූ විට අර පියාට තම දියණිය බදා ගන්නට තරම ආදරය මුසු එහෙත් තමා පිළිබඳ ඇතිවෙන කලකිරීම මිශ්‍ර හැඟීමක් ඇති වේ. 

මෙවැනි අවස්ථා මගේ ජීවිතයේද එමටය. මටද සිටින්නේ දියණියකි. ඇයගේ ලෝකයේ පිරී සිටින්නේ සුරංගනාවියන්, බාබි ඩෝල් වර්ගයේ බෝනික්කන්, දිය කිඳුරියන් බව මා දන්නේ ඇයට පරිඝණකය හැසිරවීමට ලබා දුන් ඔනෑම මොහොතක යූටියුබ් මගින් ඇය පෙරලා ගන්නේ එවැනි දසුන් බැවිනි. එහෙත් වෙලඳපොලේ ඒවාය්ගෙ ගණන් විමසූ විට මටද අර පියාට ඇති වූ හැඟීමම ඇති වීම වැලැක්විය නොහැක. එක් අතකට තමන්ගේ දරුවන් වෙනුවෙන් හද උණු කරගත් එකම පියා මා නොවනු ඇත. එහෙත් ආදරය යනු කුමක්ද යන්න මා තේරුම් ගත්තේ ඈ මෙලොව එලිය දුටුවායින් පසුවය. 


ඔබ පෙම්වතියට, බිරිඳට, දෙමව්පියන්ට යන මේ කුමන කෙනාට ආදරය කලත්, කෙදිනක හෝ මවකු-පියකු වශයෙන් තම දරුවන්ට ආදරය දැනෙන විට එය කෙතරම් ශක්තිමත් හා හැඟීබර එකක්දැයි මෙය කියවන ඕනෑම දෙම්ව්පියෙක් දන්නවා. දෙමව්පියන්ගේ ආදරය හරියට ලිඳක තිබෙන ජලය මෙන් යයි මා කොහේදී හෝ දැක ඇත. මා අද කරන සෑම දෙයක්ම කරන්නේ මගේ එකම දියණිය වෙනුවෙන්. සමහරවිට ඇයට මාත් සමග ගත කරන්නට තිබෙන කාලය අල්ප වන්නේද වැඩ රාජකාරී තුල මා සිර වී ගෙදර ලඟා වන්නේ ඉර බැසගොස් තවත් පැය කිහිපයක ඇවෑමෙන් නිසාය. ඒ මොහේතේදී පවා මා කරන අතිකාල පැය මුදල් වූ විට ඉන් වැඩි හරිය ඇයගේ සුබසිද්දිය වෙනුවෙන් වෙන් වනු ඇත. ඇත්තටම මා මේ කියන්න යන්නේ ඉහත කී සිද්දි වලට සමාන මා මුහුණදුන් සිදුවීම් කිහිපයකි. මේවා මෙසේ අකුරු කරන්නට මාගේ අදහසක් තවමත් නැතැයි පසුගිය සතියේදී මා කොහේ හෝ සටහනක් තැබූ බව මතකය. 

ඇයගේ මව අප හැර දමා යන්නට ගියේ හරියටම ඇයට අවුරුදු දෙකකුත් මාස හතරක් වන විටය. එතැන් පටන් අප දෙදෙනාගේ සම්බන්ධය වඩා දැඩි වූ බව නොරහසකි. ඇය මා හට දක්වන ඇල්මද ඉතා තද බව මට දැනේ. එතැක් පටන් මගේ වැඩිමහල් සොයුරියගේ ඇකයේ හැදී වැඩෙන ඇය දිනෙන් දිනම මට දක්වන ආදරය නිසාම මා මේ ලෝකයේ ජීවත් වන බව මට දැනින. ඇත්ත වශයෙන්ම අද මා ජීවත් කරනවන බලවේගය ඇයය. 

ඇය මුලින්ම පාසල් යන්නට පටන් ගත්තේ යන්තම් වයස හතරක් වන විටිදීය. මේ කතාබහ වන විට ඕනනම් ඇයට වයස අවුරුදු හතරහමාරක් වන්නට ඇත. දිනක් ඇයගේ වතුර බෝතලය බොහොම අබලං වී ඇති බව දැනී පුතාට අළුත් වතුර බෝතලයක් අරන් දෙන්නදැයි ඇසූ විට, නෑ තාත්තේ මට මේ තීන බෝතලේ හොඳයි කියූ විට මගේ දෑස් තෙත් වූවා පමණක් නොව, මගේ මුළු පපුවම හිර වී යන බවක් මට දැනුන. එවන් හැඟීමක් ඇති වූ විට යථා තත්වයට පත් වන්නට සෑහෙන වෙලාවක් ගත වෙනවා.  


එහෙත් ඇය මගේ ආර්ථික තත්වය මෙතරම් කලින්ම තේරුම ගත්තේ කෙසේදැයි යන ප්‍රහේලිකාවේ ගැලී සිටියෙමි. තවත් මොහොතකින් තාත්තේ වයි ආර් යූ සෑඩ් කියා අසන්නීය. ඇත්තටම මගේ මුහුණේ වන පුංචි වෙනස් වීමක් පවා ඇයට ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකි මට්ටමකට ඇය දියුනු වී තිබීම සතුටට මෙන්ම අර කියූ කලකිරීමටද හේතු වනවා. මා ඇය තුරුළු කරන එදා කොපමන වේලාවක් කඳුළු පිට නොකර කෙතරම් හැන්ඩුවාදැයි මතක නැත.

තවත් දිනයකදී ඇගේ බෑගයේ හැඬලය කැඩුනද මා වෙනත් බෑගයක එම කොටස එම බෑගයට බද්ද කලේ මෙවැනි දේට මා කුඩා කල සිටම දක්වන ලද දක්ෂ කම නිසාය. එහෙත් මා අත යහමින් මුදල් ගැවසෙන දිනයකදී නම් මා මේසේ නොකරනු ඇත. ඒ වෙනුවට පහුවදාම අලුත් බෑගයක් ඇයට තිලින කරනු ඇත. එම බෑගයට දමන ලද ඇණ දවස ගානේ තද කල යුතු විය. ඇය එම බෑගය බිම් තබා(රෝද සහිත) ඇදගෙන එන විට ඇණ්-මුරිච්චි බුරුල් වීම සාධාරණය. නමුත් මා දින කිහිපයකට නිවසින් පිටව සිටි දිනක මේ ඇණ මුරිච්චි හැලී අර බෑගය එල්ලෙන තත්වයකට පත් වී තිබුනි. එයද කම්බියක් දමා ගැට ගැසූ මා පුතාට පඩි ගත්ත ගමන් අළුත් බෑග් එකක් ගෙන්නම්, මේ පාර ඕනේ බාබි ඉන්න එකක්ද, මර්මේඩ් ඉන්න එකක්දැයි ඇසීමි. පුදුමයකි. මට අලුත් බෑග් එපා තාත්තී, මේක හොඳයි. මා නැවත් වරක් අර අසරණ තත්වයටම පත් වුනෙමි. එහෙත් දින කීපයකින් අළුත් බෑගයක් ගෙන යන්නට සමත් වුනෙමි. 

තවත් දිනක ඇය වාර විභාගේදී දක්වන ලද දක්ෂතා නිසා මා ඇයට ත්‍යාගයක් අරන් දීමට මා කැමති කරවා ගැනීමට ඇය සමත් විය. එහෙත් ක්‍රෙඩිට් කාඩ් එකේ ඉතිරි තවත් රුපියල් දෙදාහකට අඩු මුදලක් බව මා කාඩ් මධ්‍යස්ථානය අමතා දැන ගතිමි. අප දෙදෙනා පාමංකඩ තිබෙන ක්‍රීඩා භාන්ඩ තිබෙන අළෙවි සැලට ගියේ මගේ ත්‍රීවීල් මිතුරා සමගයි. සර් මේවගේ බඩු හරි ගණන්, සර්ට දෙකෙන් පංගුවට ගන්න පුළුවන් පිට කොටුවට ගියානම්. ඔහු කියන කතාව සත්‍ය වුවත්, කුඩ දරුවන්ට අවශ්‍යතාව ආ විට කල් ගැනීම පහසු නොවේ. අනික ඇයට මතක ඇති කාලෙක මා කිසිදු ත්‍යාගයක් අරන් දුන්නේ නැත. නෑ සාගර අපි මෙතනින් ගමු. ඇය තෝරා ගත්තේ ඇයට වඩා මදක් මිටි බාබි වර්ගයේ බෝනික්කෙකි. එහි පෙට්ටියේ සඳහන් මිල දුටු විට මට උන් හිටි එතැන් අමතක විය. සාගර කිව්වේ ඇත්ත බව මට වැහුනේ එවිටයි. නැවතත් මා අර අසරණ පියාගේ තත්වයට පත් වුනේ නිතැතිනි. මෙවර නම් ඇය සිටින්නේ අර බෝනික්කාව දැඩිව වැළඳගෙනය. අදනම් කෙල්ල අඬාවී යන්න මගේ හිත කියයි. මම ඇගේ කණට කර "ඉට්ස් ටූ එක්ස්පෙන්සිව්"  කියා අගේ මුහුණ බැලුවා. ඇය කිසිදු වෙනසක් නැතුවම "ඕකේ තාත්ති ලෙට්ස් බයි සම්තින්ග් එලස්". අවංකවම එවර නම් මට් ඇය බදා ගන්නට සිතිනි. ඉන්පසු මුළු වෙළඳසැලේම ගමන් ගත් ඇය කුඩා වෝකි-ටෝකි යන්ත්‍රයක් මා අත තබා "චෙක් දිස්" යයි පැවසුවා. මගේ වාසනාවට එය රුපියල් අට්සීයකට මදක් අඩු එකක්. මා දෙවරක් නොසිතාම කැෂියර් වෙත ගමන් ගත්තා. 

මගේ ලැප්ටොප් එකට් ඇය අතින් වතුර ගියා බව මා බ්ලොග් පොස්ට් කිහිපයකම සඳහන් කරා ඔබට මතක ඇති. දිනක් "තාත්ති වයි ඩෝන්ට් යූ මෙන්ඩ් ඉට්" යැයි කියා සිටියා. "යූ නීඩ් ලොට් ‍ඔ‍ෆ් මනි" කියා මා කිව් විට මෙවර සිංහල අවුරුද්දටට ඇයට ලැබුණු රුපියල් අටසිය ගණනක් මා අත තැබුවා. එයට වැඩ විශාල මුදලක් අවශ්‍ය බව කිව විටනම් අගේ මුණ මැලවී යනු මා දුටුවා. මෙවර එය පිලිසකර කර ඇතත් ඈ ඒ දෙසවත් බලන්නේ නෑ කීවොත් ඔබ පුදුම නොවන්නේද ? ඇයට මා කිසිදු තහංචියක් පනවා නැති වුවත් ඇය විසින්ම එය මගහැර සිටීම කෙතරම් ආශ්චර්යයක්ද ?

මෙතරම් කලින් ඈ මගේ හැඟීම් තේරුම් ගනීවියැයි මා හීනෙකින්වත් බලාපොරොත්තු නොවුනත් ඇය අද මට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. ඇය වැනි දුවක් ලැබීම මගේම භාග්‍යයක් යයි මම සිතමි. මේ දේවල් මෙහි සඳහන් කලේ ඔබගේ අනුකම්පාව ලබා ගැනීමටවත්, වෙනයම් ප්‍රතිලාභයකටවත් නොව, ඇය ඔබ වෙනුවෙන් කල සේවයක් සඳහන් කිරීමටය. මගේ ලැප්ටොප් එක කැඩුන සමයේ මා බ්ලොග් පොස්ට් දැමූවේ කාර්‍යාලයේ සිට මගේ රාජකාරී කාලයෙන් පසුවයි. ඒ හැම මොහොතක්ම ගෙදර ගොස් ඇය සමග ගත කිරීමට තිබූ වෙලාවන්ය. මා ලියූ දේය ඔබ කියවා යම් වින්දනයක් ලැබුවානම් ඇයටත් එම ගෞරවයෙන් කොටසක් හිමි විය යුතුයි. මගෙන් ඇයට ලැබී තිබෙන් එක් ගුණයක් යයි ම බය නැතුව කියන "පරිත්‍යාගය" ඇය ඔබ වෙනුවෙන් කර ඇත. 

මේ සියල්ලටම වඩා අද දින ඇයට වැදගත්ය, ඒ ඇගේ හත්වන උපන්දිනය අදට යෙදී තිබීමයි. කඳුළු පිරි දෙනෙතින් ලියා අවසන් කරන මේ පොස්ට් එක මේ ලොවේ මා වෙනුන්වෙන් සිටින් එකම ජීවියා වන ඇගේ උපන් දිනයට සුබ පැතීමටයි. මගේ රත්තරන් දුවේ ඔයාව මට මුළු ලෝකෙටත් වඩා වටිනවා. ඔයාට සුබ උපන්දිනයක් !!! 

පින්තූරය ගත්තේ :http://www.flickr.com/photos/arifaqmal/

ප: ලි: සමහර දෙබස් ඉංග්රීසියෙන් ලියා ඇත්තේ සිදුවීම එලෙසම ඉදිරිපත් කිරීමටය. අවංකවම ඇයට හොඳින් ඉංග්‍රීසි හසුරවන්නට පුළුවන් වන්නේ ඇය ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවක් නිසාය.  


Tuesday, July 24, 2012

රෙන්ගනාදන්ට ඇන්දූ හැටි


මේ කියන කතාව සිදු වූයේ 1991 දි යයි මට සිතේ. ඒ මම එන්.අයි.බී.එම් පරිඝණක පාඨමාලාව අවසන් කර  කොන්ෆිෆි හෝටල් සමූහයේ රිවරිනා හෝටලයේ සේවයට එක් වූඒ 1990 අග භාගයේදී නිසයි. 1988 දී උසස් පෙළ විභාගයට ප්‍රථම වතාවට මුහුණ දුන්නත්, 1989දී නැවත වරක් විභාගය කරනවාට වඩා මුදල් ගෙවා පරිඝණක පාඨමාලාවක් හැදෑරුවේ උසස් රැකියාවක් කිරීමේ අරමුණින් නොව, ජීවිත ආසාව නිසාය. ඒ එවකට පැවති භීෂණකාරී වාතාවරණය නිසයි. එකල තාරුණ්‍යයේ පසු වූ අප එම භීෂණය ඇති කල කණ්ඩායම් දෙකටම ගොදුරු වීමේ අවදානමින් මිදීම සඳහා මෙවැනි විකල්ප තොරා ගත්තා. 1990 යනු  මෙම තත්වය සමනයට පත් වී යම් තාක් දුරකට  අප නැවත සාමාන්‍ය සිවිල් සමාජයේ කටයුතු එදිනෙදා කරන ගානට ආ කාලසීමාවය. කුමක් හෝ රැකියාවක් සොයමින් සිටි මේ කාළයේදී පරිඝණාක අංශයේ රැකියාවක් සොයා ගැනීම උගහට විය. එක් අතකින් මා කොළඹ රැකියාවක් කරනවාට අම් මා කැමති වූයෙ නැත, අනික් අතින් රැකියා ස්ථාන කිහිපයකම සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දී මාද හෙම්බත් වූයේ, ඔවුන් මගේ හැකියාවට වඩා මගේ ගම් පළාත ගැන සිතූ බැවිනි. එතරම දුරක සිට කෙසේ සේවයට පැමිණිය හැකිද? රෑ වනතුරු වැඩ කල හැකිද ? ආදී නොයෙකුත් ප්‍රශ්ණ වලට අමතරව එකල මා පාසල් දරුවකුගේ ස්වරූපය ගත් බැවින් මගේ වයස ගැන ඔවුන්ට විවිධ ප්‍රශ්ණ ඇති විය. අනෙක මේ නවතම ක්ෂේත්‍රයේ රැකියා සෙවූයේ පාසල් හැර යන වයසේ සිටි අප පමණක් නොවන බව පසක් වූයේ මගේ කාන්ඩයේ (Batch) සිටි 120 කට ආසන්න විවිධ වයස් මට්ටමේ සහ විවිධ රැකියා කරන අයවළුන් දුටු විටය. මට දවස් දෙක තුනකින් දමා ගසා ආපසු යන්නට සිතුනද, ආරම්භක දේෂණය කල ආචාර්ය ජයසිරි මහතා පැවැසූ ලෙස "මං මේක කොහොම හරි කරනවා" කියන අධිෂ්ඨානය මගේ සිතේ විය. 

රිවරිනා හෝටලය පරිඝණක ගත කරන්නට යනවා යන ආරංචිය මගේ කණට ආවේ මේ කාලයේදීය. ලහි ලහියේම එයට අයදුම්පතක් යොමු කල මා එතරම් බලාපොරොත්තුවක් නැතුව බෙන්තොට   බීච් හෝටලයේ ක්වාටස් එකේ කාලය ගෙවමින් උන්නේ මගේ පැරණි මිතුරන් සමගය. ඔවුන් සමග කෑම බීම ගෙන බැඩ්මින්ටන් සහ කැරම් ක්‍රීඩාව කිරීම සඳහා කඳු ගැට්ටක් මත   පිහිටි නිදහස් ස්ථානයක් වූ මෙතැනට යාමට මං පුරුදු වෙලා හිටියා. 


මේ අතර රිවරිනා ආයතනයේන් මට සම්මුඛ පරීක්ෂණයකට   කැඳවා ටෙලිග්‍රෑම් එකක් ලැබුණ. ඔවුන් ඉතා කැමැත්තෙන් මා අනියම් සේවකයකු ලෙස සේවයට බඳවා ගත්තා. ඒ වනවිටත් එහි සේවකයන් දෙදෙනෙකුට පුහුණුවක් ලබා දී තිබුනත් පරිඝණකය පිලිබඳ වෙනත් දැනීමක් ඔවුන්ට තිබුනේ නෑ. පොතේ සටහන් කරගත් දේ ඔහේ කරගෙන යාමට ඔවුන් පුරුදු වී සිටියා. එහෙත් එම ආයතනයට එක් වී දින කිහිපයකින් එම පද්දතිය පිළිබඳවත්, ලොටස්, වර්ඩ්ස්ටාර් වැනි පැකේජ පිලිබඳවත් මා දක්වන ලද නිපුනතාව නිසාම අනෙක් අය පසෙකට වී මට එම කටයුත්ත තනිවම කරගෙන යාමට ඉඩ දුන්නා. 


පරිඝණක ආයතනයකින් පිට වූ නවකයකුට රිසි සේ පරිඝණකයක් හැසිරවීමට ලැබීම තරම් තවත් දෙයක් තිබේද? මා එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මට අවශ්‍ය සියළුම ප්‍රායෝගික හුරුව එහි සිට ලබන්නට අවස්ථාව උදා වුනා. ගෙදරින් උදෑසන හයහාමාරට පිටත් වන මා නැවත නිවසට පැමිණෙනේ රාත්‍රී අටත් නවයත් අතර කාලයේදී. එහෙත් මෙම පරිඝණකය ගැනද යමක් කිව යුතුය. එහි මොනිටරය කළු-සුදු (මොනෝක්‍රෝම්) වූ අතර පරිඝණකය 386 එකක් විය. එහි හාර්ඩ් ඩිස්ක් එක 40MB කිව්වොත් ඔබ පිලිගන්නවාද ? එය කොටස් දෙකකට බෙදා (Partition) ඩොස් 5MB වලද ඉතිරිය යුනික්ස් (Unix) මෙහෙයුම් පද්දතිය යටතේද ක්‍රියාත්මක කලා. එක් ටර්මිනලය සම්බන්ධ කර එමගින් පද්දතියට දත්ත ඇතුලත් කරා. 


එහෙත් එහි තිබූ සති ගානක විශාල අතපසු වීම(Arrears) ලඟා වීම හීනයක්වම පැවතුනා. එක් අතකින් එය පෙර නිමි පද්දතියක්(Package) වූ බැවින් අත්හුරු ක්‍රමය හා එය අතර විශාල පරතරයක් තිබුනා. ලෙජර් හා පොත්පත් වල වැඩට හුරුවූ සේවකයන් බොහෝ දෙනෙකු විශ්වාස කල දෙයක් තිබුනා. ඒ යම් දිනක පරිඝණක ආදේශ වී ඔවුන්ගේ රැකියා අහිමි වේ යන බිය. එනිසාම ඔවුන් එම පරිඝණකයට හානි පැමිනවිය හැකි ක්‍රමයක් සොය-සොයා සිටියා. මීට් පෙර බාර් එකට ගෙනා කෑෂ් රෙජිස්ටරයට ලයිම් ජූස් පෙවීමට ඔවුන් කාරුණික වී තිබුනා. 

ඒ කාළයේ අපි පරිඝණක වයිරස් ගැන අසා තිබුනා. දවසක් සහකාර ඝණකාධිකාරී වරයෙක් මට කිසි හේතුවක් නැතුව බැන වැදුනා. එහි වැඩ කල රාත්‍රී විඝණක (Night Auditor) වරයෙකු වූ මයිකල් අයියා සමග මා කියා සිටියේ 

"මුං මට වැඩිය පාට් එක දැම්මොත් කොළඹින් ගෙනැල්ල වයිරස් දානවා" කියාය.

එම අවස්ථාවේ මා කිව් දේ නොතේරුනත්, (නිතරම කළමනාකරීත්වය සමග ගැටුම ඇති කර ගන්නනා මේ රාත්‍රී විඝණක වරුන් දෙදෙනා, මයිකල් සහ ශාන්ත මේ පරිඝණක පද්දතිය පිළිබඳ උපන් කේන්තියකින් පසු වූ දෙදෙනෙක් බව ටික දවසකින්ම වැටහුනා) දිනක් මා ඇමතූ මයිකල් කියා සිටියේ

"මල්ලි මේකට උඹ අර වයිරස් ටික ගෙනැල්ලා විදපං, එතකොට මුන්ට ඉන්න වෙන්නේ ඉස්පිරිතාල වල තමයි" යන්නයි. ඇත්තටම ඒ කාලයේ කුමන කෙනෙකුට වයිරස් ගැන කිව්වත් තේරුම ගන්නේ ඔය ආකාරයටමය. හේතුව අද මෙන් එකල පරිඝණක සුලභ මෙවලමක් නොවීමය. එසේ කිව්විට මගේ මතකයට එන්නේ අපට මුල්ම පරිඝණක දේශණ සැපයූ රෙක්ස් ප්‍රනාන්දු මහතා පරිඝණක අනාගතය ගැන කියූ දෙයක්ය.

"බය නැතුව ඉගෙන ගන්න තව ටික කාලයක් යනකොට ආප්ප කඩ වලත් පරිඝණක තියෙයි"

ඇත්තටම අද ඒ අනාගත වාක්‍ය සත්‍යක් බවට පත් වී හමාරය. පරිඝණකයක් නැති තැනක් හරියට මිනිහෙක් නොමල ගෙයකින් අබ මිටක් ගේන්නැයි බුදුරජානන් වහන්සේ කිසා ගෝතමියට  පැවසූ උපහැරණය වැනිය. අද පරිඝණකයක් නැති තැනක් හොයා ගන්නට  අමාරුය. 

මා මෙහි සේවයට ගිය අළුත ගැටළු කිහිපයකටම මුහුණ දෙන්න සිද්ධ වුනා. එකක් තමයි තමාට කොන්දේ අමාරුවක් ඇතැයි පවසා රෙන්ගා මගේ පුටුව උදුරා ගානීම. රෝද සවි කරන ලද පුටුවෙන් එහා මෙහා ගමන් කල මට එය මහත් හිසරදයක් විය. මෙම පරිගණකය හා වෛර බැඳී අය මා සමගද වෛර බැඳීමය. දිනක් සම්මුක පරීක්ෂණයකට ආ කෙල්ලක් පවසා ඇත්තේ අර අයියාට නම් නියම රස්සාවක් තියෙන්නේ, " වාඩි වෙලා ඉඳන් ටීවී බලන එකනේ" යනුවෙනි.

ඒ කාලයේ බොහෝ ආයතන වල පරිඝනක පද්දතියද ස්ථාපනය කරනු ලබන්නේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ කොනකය. මෙහිද පරිඝණක පද්දතිය ප්‍රාධාන ගණකාධිකාරී වරයා යටතේ පැවතුනි. රෙන්ගනාදන් නම් දමිළ ගණකාධිකාරීවරය එතරම් උගත් පුද්ගලයෙකු නොවීය. දමිල අය නිපුනතා දක්වන එක ක්ෂේත්‍රයක් ලෙස එකල ගණකාධිකරණය මුල් බැසගෙන තිබුනි. එම දෙපාර්තමේන්තුවේද බොහෝ දමිලයන් විය. 


රෙන්ගනාදන්ට කවුරුත් කියන්නේ රෙන්ගා කියාය. දෙමළ යයි කී විට කළු තඩියෙක් ඔබෙ හිතේ මැවුනානම් සාධාරණ වුවත් ඔහු සුද්දෙක් ගානටම සුදු උස මහත, එහේත් වැඩි පෞර්ෂයක් නොමැති ඉතා අහිංසක දෙමළෙකු විය. එහෙත් ඔහු තමා අහිංසක බව පිලිගන්නට සූදානම් නැත. ඔහු මෙම පරිඝණක පද්දතියට මෙන්ම එහි ක්‍රියාකරු වූ මටද ආදරයක් දැක්වීය. ඊට අමතරව ඔහු එම කාර්යාලයේ නජීරා, නෙවිල්, රාජෙන්ද්‍ර වැනි තෝරාගත් කිහිප දෙනෙකුට සෙනෙහසක් දැක්වීය. ඇත්තටම මේවා හිතවත්කම්ය. ආදරය යන්න එයට යොදා ගත් විට ඔබ වෙනත් තේරුමක් ගනු ඇත. 


රෙන්ගා ටික කාලෙකින් පරිඝණක පාඨමාලාවක් හැදෑරීය. එහි බොහෝ ප්‍රායේගික නිබන්දන මා ලවා කරවා ඔහු ඉගෙන ගත්තේය. එවැනි දිනක කේක් කෑල්ලකින් සහ කොකා කෝලා එකකින් සංග්‍රහ කිරීමට තරම් ඔහු කාරුණික විය. රෙන්ගාගේ සියල්ල හොඳ වුවත් අප නිවාඩු ගන්නවාට ඔහු අකමැති විය. 


මෙහි නිවාඩු ක්‍රමය පිළිබඳවද යමක් සඳහන් කල යුතුය.  මෙහි ලීව් කාඩ් නම් නිවාඩු සියල්ල සඳහන් කරනා කාඩ් පතක් ඇත. මාසය මුලදී සේවක (Personnel) දෙපාර්තමේන්තුව විසින්  මාසය සඳහා හිමිකම් කියනු ලබන නිවාඩු ගණන එකතු කරයි. එහි සති අන්තය හෝ වෙනත් විශේෂ නිවාඩු දින කිසිවෙකුටත් නිවාඩු නැත. එය සංචාරක හෝටලයක් බැවින් පැයැ විසි හතරම සහ දින තුන්සිය හැටපහම විවෘතව පවතී. එනිසා නිවාඩු ලබා ගත යුත්තේ පූර්ව අනුමැතිය යටතේය. 


දුර පළාත්වලින් මෙහි පැමිණ සේවය කරන්නන් බොහෝ විට එකදිගට වැඩ කරන්නේ දිනපතා ආහාර වෙල් තුනම හෝටලය විසින් ලබා දෙන නිසාය. මාසේ අන්තිමට හෝ මාස කිහිපයකට වතාවක් දවස් තුන හතරක් නිවාඩු ගැනීම ඔවුන්ගේ සිරිතයි. එහෙත් නිවසේ සිට සේවයට පැමිණි අපට මෙය මහත් හිසරදයකි. මට බොහෝ සෙනසුරාදා දින වල ක්‍රිකට් තරග පැවතීම නිසා මා නිතර නිවාඩු ගන්නට පෙළඹුනි. එහෙත් රෙන්ගා අප නිවාඩු ගන්නවාට කැමති නැත. කිසි කරදරයක් නැතුව මෙහි නිවාඩු ගන්නා සේනාරත්න සමග මා දින කිහිපයකින්ම කුළුපග වුනා. නිවාඩු පිළිබඳ ගැටළුව මා ඔහු වෙත පැවසූ විට 

"මං මේ මාසේ අන්තිමට ලීව් ගන්න යනවා එතකොට ඔය දොර පොඩ්ඩක් ඇරලා අහගෙන හිටපං"

මා සිටි කියුබිකල් එක තිබුනේ ප්‍රධාන ගණකාධිකාරී වරයාගේ කියුබිකල් එකට යාබදවය, ඒ අතර පහසුවෙන් එහා මෙහා යාමට ස්ලයිඩින් ඩොර් එකක් සවි කර තිබුනි. පොඩ්ඩක් ඇරගෙන අහගෙන ඉන්න යයි සේනා පවසන ලද්දේ මේ දොරය. ඒ දිනය උදා විය. සේනා ලීව් කාඩ් එක සමග රෙන්ගාගේ කාමරයේය. මා කකුළෙන් ස්ලයිඩිං ඩෝර් එක ඇරියේ රෙන්ගාට නොදැනෙන්නටය. 

"මිස්ටර් රෙන්ගනාදන් මම ගමේ යනවා. මට දවස් පහක් ලීව් ඕනෑ"

"දැන් බලාන්ඩ ෂේනාරට්න, ඔයා ගියාම කවුද ස්ටොක් ටේකින් කරනවා"

"ඇයි මේ ඕන තරම් කට්ටිය ඉන්නේ"

"ඒ වුනාට ෂේනාරට්න ඔය තමායි ෂරි. අනිත් කට්ටිය දන්නාවානේ මොකාක්ද කරනවා කියල, නිකාං කොල එක ලියාගෙන යනවා, මිස්ට සුබ්‍රමානියම්  දෙන ගත්තනම් මට තමායි ලෙඩේ"

"හරි ඒ කථාව ඇත්ත තමයි ඒ වුනාට මෙක උත්කෘෂ්ඨ අවශ්‍යතාවක්, දැනටමත් මෙහි කුරිරු බව ප්‍රායෝගිකව ෂාක්ශාත් කර ගැනීමට උගහටයි. ඒ නිස මට අනිවාර්‍යෙන්ම මේ ලීව් පහ අව්ශ්‍ය වෙනව" 

"ආ, ශරි, ශරි, අප්පා එහෙනම් ගිහින් එන්න  ෂේනාරට්න . ගිව් මී අයි විල් සයින්".

මට කාරනය කදිමට වැටහුනි. ඉන් පසුව කිසි දිනක මටද නිවාඩු ගැඨළුව ඇති නොවිනි. මා ලඟට ආ සේන පැවසූවේ

"ඌට ටිකක් මහප්පරානෙන් ටෝක් එක දුන්නම හරි" යන්නයි. 

ඉන් පසුව සෙන්නාටත් වඩා කදිමට මා මේ ක්‍රියාවලියෙ නිරත විය. හැබැයි අද වනතුරුත් මෙය ඒ ආයතනයනේ අනික් සේවකයින්ට රහසකි. අප රෙන්ගාට ඇන්දවූයේ එසේය.  


Friday, July 20, 2012

කෙටිම කෙටි ලොල් කතා 14 : බඩේ ගෑස් වලට පිලියම




මේක වුනේ මම බැංකුවේ වැඩට ආව අළුත. මම ක්‍රිකට් ගහන්න ගියා. ඒ කාලේ බැංකුවේ කන්ඩායමේ හිටියේ ටිකක් වය්ස්ගත කට්ටිය. පරන කට්ටිය සෙට් වෙලා කථා කරද්දි අපි අයිනක් අල්ලගෙන බලං ඉන්නවා. එයාලගේ කථා වලට හොම්බ දාන්න ගිහින් බැනුම් අහගන්න බැරි නිසා. පින්නදූව මහත්තයා මම දකිනකොටත් අවුරුදු පනස් ගානක්. මොකද මම ඇවිල්ල අවුරුදු එකහමාරක් විතර ගියහම මිනිහා පෙන්ෂන් ගත්තා. කළුයි, කොටයි, ඒ වගේම අම්බානකට බොනවා. මැච් තියෙන වෙලාවෙ වගේම මැච් නැති වෙලාවෙදීත් මිනිහාගේ කථාවේ කුණුහර්ප 3:2 අනුපාතෙට වගේ ගැබ් වෙලා තිබුනා. ඒ කියන්නේ වචන පහක් කතා කලොත් 2ක් විතර කුණුහර්ප. මේක අතිශෝක්තියක් නොවෙයි. ඇත්ත. අනිත් අයගේ අතින් වරදක් වුනාම හොඳටම බණිනවා. ඒ වෙලාවට මිනිහා කැප්ටන්ද, නැද්ද කියන එක මිනිහට වැඩක් නෑ. හැබැයි ෆීල්ඩ් කරනකොට මිනිහාගේ අතට පන්දුව දැම්මාම මින්හා බෝලෙට අත තියන්නේ හරියට අනවශ්‍ය දෙයක් තමන්ගේ ඇඟේ හැප්පෙන්න එනවා වගේ. හැබැයි බැට් කරනකොට මිනිහගේ වයස පැත්තක තියලා හයේ පාරවල්මයි ගහන්නේ. ඒක නිසා තමයි මිනිහා බය නැතුව කථා කරන්නේ. මෙයාලගේ තව පුරුද්හිඅක් තිබුනා ඒ මැච් එක ඉවර වෙන්නත් කලින් බොන්න සෙට් වෙන එක. සමහරවිට පොඩි පොදක් ගහල මැච් එක නතර කලොත් පටන් ගන්නවා. චන්න කියන්නේ අපේ කණ්ඩායමේ හිටිය තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක්.මිනිහා ක්‍රිකට් පවුලකින් එන කෙනෙක්. ඒ කියන්නේ තාත්තා විනිසුරුවෙක්. මල්ලී ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරපු කෙනෙක්. ඉතිං මිනිහට උඩින් ක්‍රිකට් කථා කරන්න හයියක් තිබුනා නම් ඒ පින්නදූව මහත්තයාට විතරයි. දවසක්  දෙන්න අතර ඇති වුන දෙබසක්

චන්න : මොකද බං උබේ බඩ ගෙඩිය එන්න එන්නම් වැඩි වෙනවා, වොට්ස් රොන්ග් විත් යූ ?

පින්නෙ : අයි තින්ක් අයි හෑව් ගෑස්ට්‍රික්.

චන්න : ඔහ් අයි සී, වයි ඩොන්ට් යූ ටේක් ඩයිජින්.

පින්නෙ : මොකක් ?

චන්න : ඩයිජින් මචං ඩයිජින්.

පින්නෙ : ඔකේ. ලෙට් මී ට්‍රයි.

ඊලඟ තරගේ තිබුනේ තව සති ගානකට පස්සේ. මැච් එකට කලින් ආගිය කථා යනව තරගෙට සූදානම් වන අතරේ. එක පාරටම පින්නදූව  මහත්තයා චන්නගේ ඇඟට කඩාගෙන පැන්න

පින්නෙ : මොනවද හු*** උඹ මට ගෑස්ට්‍රික් වලට බොන්න කිව්වේ ?

චන්න : ඩයිජින්, එනිතින්ග් වෙන්ට් රෝන්ග් ?

පින්නෙ : මීට වඩා හොඳයි තොගේ අම්මට... යකෝ මම හොස්පිටල් ඇඩ්මිට් වෙලා බේරුනේ. 

චන්න : ඔහ් රියෙලි, නෝ වන් ටොල්ඩ් මී නෝ.

පින්නෙ : උඹ කිව්වට මම ඩ්‍රයිජින් කාල, කාල හැමදාම හවසට ගත්තා, යකෝ එන්න එන්නම වැඩි වෙලා අන්තිමට හොස්පිටල් ගියා. මට පාන් කියාගන්න බෑ යනකොට. තවඩිංගෙන් තෝ හින්දා මම කම්බස් වෙනවා.

පිංතූරය ගත්තේ : short-articles.net



ප:ලි: පින්නදූව මහතා අපි අතරින් සමු ගත්තේ වකුගඩු අමාරුවකින් අකාලයේ. ඒ කියන්නේ පෙන්ෂන් අරන් අවුරුද්දක් වත් යන්න කලින්. අපි දවසක් ගියා මිනිහව බලන්න, මමයි, මලින් සහ චන්න.


චන්න : වට් ඩිඩ් ඩොක්ටර් සේ ?


පින්නේ : ආස්ක් මෙ ටු ඩ්‍රින්ක් මෝ වෝටර්. හව් කැන් අයි ඩ්‍රින්ක් සික්ස් ලීටර්ස් අ ඩේ. මට මේ එක බෝතලයක් වත් බොන්න බෑ.


චන්න : ඔහ් වෝටර්, මයි ෆේවරිට් ඩ්‍රින්ක්.(එතකොට අරව)


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ප.ප.ලි: එක දවසක් මම රනවුට් වෙලා එද්දී අනිත් අය අතොප්ලසන් දුන්නා, ක්‍රිකට් වල සම්ප්‍රදායට අනුව. ඒත් 



පින්නෙ : මොකක්ද හු** කලේ?


මම : එයා දිව්ව හින්දා මාත් දිව්ව
.
පින්නෙ : තෝ මහ ගොනෙක් ප*. ඌ දිව්වට කෝල් එක (ඒ කියන්නේ දුවන්න අඩ ගැසීම ) උඹේනේ. තොට දුවන්නැතුව ඉන්න තිබ්බනේ කැ*යෝ.


මම නිහඬව ඇතුලට ගියෙමි. නැත්නම තවත් කුණුහර්ප වැලක් අසන්නට හැකිය.



Monday, July 16, 2012

දැන්වත් මුව හමට තඩි බෑම නවත්වමුද ?


පින්තූරය ගත්තේ : http://zebrarug.com

පහුගිය සතියේ එක හුස්මට දවස ගානේ පෝස්ට් දාලා ඊයේ පොඩි විවේකයක් ගත්තා. එකෙන් මං අතින් ගිය මාසේ කැඩුනු (Lost) මගේ බ්ලොග් පොස්ටින්ග් රිද්මය (Rythm) නැවතත් අල්ල ගන්න පුළුවං තත්වයකට ආවා. සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඔනේ බස් රේඩියෝවේ බ්ලොග් සම්මාන උළෙලට. එයාල ඉල්ලල තිබුනානේ දවසකට එක ගානේ දාන්න කියල. ඔන්න මමත් කොහොම හරි දැම්ම ඉතාම අඩු පහසුකම් යටතේ වුනත්. මම හිතන්නේ බස් රේඩියෝවේ අය මුළු සිංහල සයිබර් අවකාශයම කලඹලා ගත්ත. අපි වගේ නවක අයට මේක හොඳ අවස්ථාවක් වුනා. ප්‍රවීන අය මේකෙදි ඒ හැටි කලබල නොවුන එකත් එක අතකට හොඳයි. දැන් මාතෘකාවට බහිමු.
මම ගෙදරදී ලංකාවේ රූපවාහිණී නාලිකා නරඹන්නේම නෑ. ඒකට ඉතිං කාටවත් දොස් කියන්නත් බෑ. එෆ්.එම්. අහන්නෙත් නෑ. ඒවා අහගෙන ඉන්න අමාරුයි. ඒවගේ කියන්නේ සිංහල නොවෙන නිසා. හැබැයි මේ තත්වේ වෙනස් වෙනවා අපි වැඩට යනකොට. අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඩ්‍රයිවර් මහත්තයා දාන දෙයක් අහගෙන යන්න වෙනවාමතකෙට එන්නේ රොඩ්නි වර්ණකුල කියන "සිරි සංගබෝධි මහත්තය අනුරපුරේ සිට නැග ගත්තා සැප බස් රියක" කියන ගීතය . සමහරුනම් තමන්ගේ අළුත්ම ස්මර්ට් ෆෝන් අත ගගා (මං හිතන්නේ නයාට එහෙම නොවෙයි ) තමන්ට කැමති ඒවා අහනවා. මට බස් එකේ යන්න වෙන වෙලාව අඩු නිසාත්. බස් වල යන බාල-මහළු, ගැණු-පිරිමි, මල්-ඵලතුරු  (සමා වෙන්න ඕනේ පොඩි කාලේ අක්කලත් එක්ක කරපු සෙල්ලමක් මතක් වුනා).
කරන මේ නාඩගම දැකල ඇති වෙච්ච පිලිකුලත් නිසා මේ වැඩෙන් මම වැලකිලා ඉන්නවා. සමහරු අනවශ්‍ය වුනත් කෝල් ගන්න ගමන් ෆෝන් එක කණටයි-කටටයි ලන් කරනවා. සමාවෙන්න, මට මේ වෙලාවේ මාතෘකාවත් අමතක වුනා. ඉතිං අද බස් එකේ යද්දී අහපු නිවුස් එකක් තමයි මේ පොස්ට් එකට වස්තු බීජය සපයන්නේ. ඒ කියන්නේ හිර ගෙවල්වල තිබිලි අහු වුන සෙල් ෆෝන් වලට අමතරව හිර ගෙවල් ඇතුලට දමලා ගහපු සෙල් ෆෝන් වගයකුත් මේ ළඟදී හම්බ වුනා කියන ප්‍රවෘත්තිය. ඉතින් මොන ආකාරයට හරි හිර ගෙදරට සෙල් ෆෝන් ගෙනියන එක නතර කරන්න පුළුවන්ද ? මම හිතන්නේ අසීරු කටයුත්තක් කියල. ඒ අය මොන ආකාරයකින් හරි මේව ගෙන්ව ගනීවි. අර පූසන්ගේ ආධාරයෙන් ඇතුලට හෙරොයින් යවල තිබුනේ. ඉතිං මගේ අවශ්‍යතාව මේ ගෙනියන ක්‍රමය නවත්වන්න නොවෙයි. දැන් ඔයාලට අම්බානකට තද වෙයි ගෙනියන්න අරිනවා නම් මොන කෙංගෙඩියටද මේ පොස්ට් එක ලියන්නේ කියලා. නැත්නම් හිර කාරයන්ගේ මානව අයිතිවාසිකම් ගැන කථා කරන්න තමයි හන්නේ කියල. හොඳයි කාට හරි එහෙම හිතුනේ නැද්ද ? මම කියන්නේ සෙල් ෆෝන් ගෙනියන එක නවත්වන එක හරියට "ගෙදර තියෙන මුව හමට තඩි බානවා" වගේ වැඩක් කියල. දැන් ඔබට හිතෙයි අපි හිතුවා හරි මූ එන්න හදන්නේ "අනේ පව් අහිංසක හිරකාරයෝ. ඔන්න ඔහේ වයිෆ්ලා ළමයින්ට කතා කරන්නවත් එපැයි" වගේ තැනකට කියලා. හරි එහෙම හිතෙන එක සාධාරණයි. 

එහෙම ගෙන්ව ගන්නම ඕනෙනම් ජේලර් මහත්තුරු ලවා ගෙන්න ගන්නත් පුළුවං. නැත්නම් ජේලර් මහත්තයකුගෙ හිත උණු වෙන කතාවක් කියල එයාලගේ ෆෝන් එකෙන් කෝල් කරනනත් පුළුවන්. ඉතිං ඔය කියපු මොන ආකාරයකට ගෙන්න ගත්තත් කරන්නේ තමන්ගේ බිරිඳට, ළමයින්ට කථා කරන එක නොවෙයි. මේ වගේ තැන් වලට ගාල් වෙලා ඉන්න කුඩු ජාවාරම් කාරයෝ, පාතාල නායකයෝ, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණු වලින් ඇතුලට යන අය, තමන්ගේ ව්‍යාපාර එලියේ කලාටත් වැඩිය හොඳට කරගෙන යන්න භාවිතා කරන ප්‍රධාන මෙවලමක් තමයි මේ ජංගම දුරකතනය. මේවට ගාල් වෙලා ඉන්න මහ මොළ කාරයන්ට අත්‍ය අවශ්‍යම උපකරණය. හැබැයි පාළකයන්ට සැබෑ අව්ශ්‍යතාවක් තියෙනවානම් මේවා වලක්වන්න පුළුවං ක්‍රම කිහිපයක්ම තියෙනවා.

එකක් තමයි ජංගම දුරකතන සමාගම් හරහා. ඒ අයට පුළුවං මොන දුරකතනය මොන ස්ථානයේද තියෙන්නේ කියලා හරියටම කියන්න. මොන කුළුනෙන්ද එම ජංගම දුරකතන වලට සිග්නල් යන්නේ කියලා. ඔබ දන්නවාද ඔනෑම ජංගම දුරකතනයක් ඔෆ්/ඔන් කියන අවස්ථා දෙකේදිම එම දුරකතනයට හොඳටම සිග්නල් ලැබෙන කුළුණු 10ක විස්තර (Statistics) දුරකථන මධ්‍යස්ථානයේ ඇති තමන්ගේ වාර්තාවේ යාවත්කාලීන (Update) කරන බව. එම තොරතුරු මත පදනම් වෙලා තමයි ඔබගේ අතේ තිබෙන දුරකතනය කුමන කුළුනත් සමග සබඳතාව පවත්වා ගත යුතුද යන්න තීරණය වන්නේ. ඉතිං හිර ගෙදර තිබෙන ස්ථාන නිවැරදිව අඳුනාගෙන සිග්නල් ලැබීම වලක්වන්න පුළුවන්. හැබැයි 100%ක්ම ප්‍රායෝගික නෑ. කෙනෙකුට පුළුවන් එහා මෙහා ඇවිදලා සිග්නල් ඉතා අඩුවෙන් ළැබෙන සිථානයක් සොයා ගන්න. 
පින්තූරය ගත්තේ :  http://www.methodshop.com

හොඳයි මේ සඳහා තිබෙන පහසුම ක්‍රමයත් මම කියන්නම්. හිතන්න ඔබ ඉතා උනන්දුවෙන් දේශණයකට සවන් දෙමින් ඉන්නවා, නැත්නම් ඔබ සමවැදිලා චිත්‍රපටියක් බලනවා, පුස්ථකාලයේ, බස් එකේ නිවි හැනහිල්ලේ ඉන්නවා. ඒත් කාගේ හරි ජංගම දුරකතනය නාද වෙනවා. ඔහුට/ඇයට එය නවත්වාගන්න ලැබෙන්නේ තවත් විනාඩි කිහිපයකින් පස්සේ. මේ වගේ තැනකට මොනවට සිග්නල් වැඩ කරනවද කියල ඔබට හිතෙන්න පුළුවන්. අපි කලින් කතා කරපු විදියට සිග්නල් වලින් නවත්වන එකත් ඒ තරම් සාර්ථක නෑ. එහෙනම් මොකක්ද කරන්න පුළුවන්. "මොබයිල් ජෑමර්" (Mobile Jammer) භවිතා කරන්න පුළුවන්. ඔබට හිතයි මූ මේ වැල්වටාරම් කියාගෙන ආවේ මේක ගැන කියන්නද කියල.
මේව ගැන අපිට අහන්න ලැබුනේ හතරවන ඊලාම් යුද්දය තිබ්බ කාලේ. ඒ කාලේනම් මේවා ගෙන්වන එක හිරේ යන වැරද්දක්. ඒත් දැන් මේ වගේ ඒව අපට ගෙන්වීමේ අපහසුතාවක් නෑ. ශ්‍රී ලංකා දුරකථන නියාමන කොමිෂන් එකේ අවසරය මත ගෙන්වා ගන්න පුළුවං. හැබැයි කාටවත් හානි වන දේවල් වලට මේව යොදා ගන්න හිතන්න එපා. එහෙම කරලා මේවා ගෙන්වන එක නැවැත්තුවොත් මම මේ කරන්න යන යෝජනාව අසාර්ථක වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා උත්තරය. පිංතූර දෙකේ තියෙන්නේ ජංගම සහ විශාල ප්‍රමාණ වල ජෑමර් දෙකක්. ජෑම් කරනවා කියන්නේ ඉතිං "සොරි" කරනවා වගේ එකක් කියල හිතා ගන්නකේ තේරෙන්නේම නැත්නම්. ඒ කියන්නේ මෙම උපාංගය භාවිතා කරමින් මීටර් 50-80 ප්‍රමාණයක ජංගම දුරකතන භාවිතය නවත්වන්න පුළුවන්. එතකොට අර හිරේ ඉන්න මහ මොළ කාරයන්ට පුළුවං දෙයියනේ කියලා ඇන්ග්‍රි බර්ඩ් වගේ ගේමක් ගහලා හිත හදා ගන්න. හැබයි බොහේ රටවල මේවා සමාන්‍ය ජනතාවගේ අතට යාම වලක්වලා තියෙන්නේ. විශේෂයෙන් අපේ රටේ ඉන්න "දැලි පිහි ගත්ත රිලව්" වගේ හැසිරෙන අයගෙන් මේවා ඈත් කර තබන්න ඕනේ. රටින් ගේන්නම අවශ්‍ය නෑ. මගේ මතකය නිවැරදි නම් යුද්ධ කාලෙදී අවශ්‍ය කරපු ජෑමර් නිර්මාණය කලේ මොරටුව සරසවිය. ගූගල් සර්ච් කරලා බැලුවොත් මේ සඳහා අවශ්‍ය සර්කිට් පවා තියෙනවා. මම කියන්නේ මේ වගේ ඒවානම් අත්හදා බලන්නවත් එපා කියල. ඉතිං මේ හිර ගෙවල් පාළණය කරන ඉහල බලධාරීන්ට පුලුවන් මේ වගේ විකල්පයක් යොදල මේක මැඩ පවත්වන්න. මම දන්නවා කමෙන්ට් වලට එන දේවල්. කෙනෙක් කියන්න පුළුවන් දේශපාළන බලවතුන්ගේ සමීප හිතවතුන් ඉන්න නිසා මේවා හීන විතරයි කියල. මම කියන්නේ විකල්පයක්. බලධාරීන්ගේ ඇස මේවට යොමු වෙන්න කියල තමයි මම කියන්නේ. 

ප:ලි: හැබැයි මේ කුළුණ හෝ උපාංගය ආරක්ෂා කර ගන්න ලොකු ගාඩ් එකක් දාන්න වෙන එකනම් සිකුරුයි. 

Saturday, July 14, 2012

ගුවන් කරණම්


මේ දවස් වල ඩිස්කවරි නාලිකාවේ යන "මෑන් වර්සස් වයිල්ඩ්" (Man vs Wild) ඒ කියන්නේ වනයට එදිරිව මිනිසා යන තේරුම. බෙයාර් ග්‍රිල්ස්  (Bear Grylls)කියන ඉංග්‍රීසි ජාතිකයා ලෝකයේ අමාරුම ස්ථාන වලට ගුවනින් බැස රාත්‍රියක් හෝ කිහිපයක් ගත කරන අත්දැකීම බෙදා හදා ගන්න වැඩසටහනක් මේක. බෙයාර් මෙ ස්ථාන සියල්ලටම වාගේ ලඟා වන්නේ ගුවනින්. පැරචුට් එකක් මගින්. මේ ගුවනින් ඔහු බසින හැම වෙලාවකම මට ගුවන් කරණම් මතක් වෙනවා. ඒ එක්කම මම ගුවන් කරණම් කරපු ආකාරයත් මතක් වෙනව. ඔව් ඔබට බ්ලොග් ලියන සුදීකයා එකම එක වතාවක් ගුවන් කරණමක් සඳහා ඉදිරිපත් වෙලා තියෙනව. ඔබට පුදුම හිතෙනවද ? නැත්නම් මේ යකා නොකරන මගුලක් නෑනේ කියල හිතෙනවද ? හොඳයි දැන් දිග හැරෙන්නේ සුදීකගේ ගුවන් කරණම ගැන මතකය.

ඒ 1983 වර්ෂයයි. අප්‍රේල් සිංහල අවුරුදු නිවාඩුවට අපේ පුරුද්දක් තිබ්බා බයිසිකල් වලින් තරමක් ඈත ඉන්න මිතුරන්ගේ නිවෙස් වලට යන. ඉස්සරම නම් ගියේ පයින්. ඒත් දනුෂට හා ජගත්ට බයිසිකල් දෙකක් එයාලගේ දෙමව්පියෝ අරන් දීල තිබ්බ. ජගත්ට තිබ්බේ චොපර් එකක්. ඒ ශිෂ්‍යත්වය සමත් වීම වෙනුවෙන්. දනුෂට තිබ්බේ ඒෂියා බයික් කියන ස්ටෑන්ඩඩ් බයිසිකලයක්. වෙන විදියකට කිව්වොත් නිකං බයිසිකලයක්. ජගත් ඉන්නේ තරමක් ඈතින්. ඒත් දනුෂගේ ගෙදරට අපේ ගෙදර ඉඳල තිබ්බෙ මීටර් දෙසීයක් විතර. හැබැයි අපි පරන පාර කියන අතුරු පාරේ හිටියට දනුෂ හිටියේ ගාළු පාරේ. මට ඒ කාලේ ගෙවල් කිහිපයකට යන්න පූර්ව අවසරය තිබ්බ. ඒ සම්පත්, දනූෂ සහ ජගත්ගේ නිවෙස් වලට. දනූෂ කියන්නේ සම්පත්ලගේ ලොකු තාත්තගේ පුතා. සම්පත් කිව්වේ පාරේ ගෙදර මල්ලී කියලා. අපි දෙන්නා බොහේ දිනවල හවස් වරුවේ දනුෂලාගේ ගෙදර යනව. එහේ කැරම් බෝඩ් එකක් තියෙනවා. අපි හැමදාම සෙල්ලම් කරනවා. 
මෙහෙම ගිය දවස් වලට අපි ගෙදර එන්න රෑ පිටත් වෙන්නේ. එදා අපි යන ගමන් හොඳ වැඩක් සෙට් කරගෙන ගියේ. ඒ හඳුන්කූරක රතිඤ්ඤයක් ගැට ගහල හඳුන් කූර පත්තු කරගෙන. එහෙම ගෙනිහින් දනුෂලාගේ තාප්පේ අයිනෙන් තියලා අපි කැරම් ගහන්න පටන් ගත්තේ. අපි කැරම් ගහන තැනට දනුෂලාගේ අක්කල දෙන්නත්, අමම් තාත්තත් එනවා. ඔහොම කැරම් ගගහා ඉන්නකොට අපි අටවපු උගුල වැඩ කරා. අපි දෙන්නා හොඳටම හිනා. අක්කල දෙන්නා පාපුවේ අත තියාගෙන. මේක අපේ වැඩක් කියල නිකංම මාට්ටු. එදා අපි හිටියේ හරිම සංන්තෝෂයකින්. හවසට තේ බීලා ඉවර වෙලා අපි එන්න ලෑස්ති වුනා. දනුෂ කවදත් වගේ ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා අපිව ඇරලන්න. පාරෙන් අනිත් පැත්තට බයිසිකලය දාලා, ඉස්පිරිතාලෙට යන පාර ගාවදි තමයි අපි දෙන්න නැගේ. සම්පත් පොල්ලේ, මම හැඬල් එක උඩ. එහෙම හැඩල් එක උඩ යන්න ඒ කාලේ අපේ පළාතෙම හිටිය දක්ෂයා මම කිව්වොත් හරි. මොකද මම ඒ කාලේ බොහොම කෙසඟයි. පොඩියි. ඕන කෙනෙක්ට මාව තියාගෙන පදින්න පුළුවන්. අපේ පාරට හරවන්න යන්න තියෙන්නේ මීටර් අසූවකට වගේ දුරක්. ඒ වුනාට දනුෂ  හරීම වේගෙන් පැද්ද. අපිටත් හරි සතුටුයි. වමට හරවනවාත් එක්කම මට දැනුනා මාව උඩු ගුවනේ පා වෙලා යනවා. ඇත්තටම මම අඩි තුනහමාරක් විතර උඩින් ගිහින් පාරට වැටෙනවාත් එක්කම අත් දෙක බිමට තියලා ඔළුව වදින එක බේර ගත්තා. ඒත් මට දැනුනා මගේ නලලේ වම් පැත්තයි, වම් උරහිසයි පාරේ ඇතිල්ලීගෙන යනවා. මම නැගිට්ට. එතනට කට්ටිය වට වුනා. සම්පතුයි දනුෂයි දුවගෙන ආවා. ගුණදාස මුදලාලි ඇතුළු පවුලේ සියළු දෙනා ආවේ. 

"මෙහෙම හයියෙන් යන්වද ළමයෝ" කියාගෙන.

"අපි හිතුවේ ඉස්කෝලෙ   මහත්තයගෙ පුතා ඉවරයි කියලා. හොඳ වෙලාවට හීරිලා විතරයි ඒත් ලේ ගලනව නේද ? යමු ඉස්පිරිතාලෙට" 

එතකොටම දනුෂ ඉදිරිපත් වුනා

"නෑ මම අපේ අම්මට කියල බෙහෙත් ටිඅකක් දම්මන්නම්"

දනුෂලාගේ අම්ම වැඩ කලේ නර්ස් කෙනෙක් විදියට. මගේ මුළු ඇන්ඟේම වැලි, කටෙත් එක්ක. අනේ මගේ අලුත් ටී ෂර්ට් එක. ඒකත් ඉරාගෙනම තමයි මගේ කර හීරිලා තියෙන්නේ. මුනේ පැත්තක් නෑ වගේ තමයි මට දැනුනේ. ඒත් මම අඬන්නෙ නැතුව ඉවසගෙන හිටිය. ඒත් අද ගෙදර ගියාම කන් දෙක පිරෙන්න හම්බවෙයි. මේ වෙනකොටත් ගමේ බොහෝ පිරිසක් දනුෂලාගෙ ගෙදර ගාවට වට වෙලා. ඒ සෙනග පීරගෙන ආපු අපේ අක්කා මගේ අතින් අල්ල ගත්තා. ඒ වෙද්දි මගෙ තුවාල වලට බෙහෙත් දාල ඉවරයි. සර්ජිකල් ස්පිරිට් දාද්දි මට චූ යන්න ආව, කාගෙන හිටිය. හෙට ඉඳල ඉතිං පාරෙ ගිහින් ඉවරයි. දනුෂලාගෙ ගෙදර දැන් ගමේ කට්ටියගෙන් පිරිලා. අක්ක මගේ අතින් අල්ලගෙන ගෙදර අරන් ගියා. අම්ම මොනවත් නොකියාම මගේ ඔළුව අත ගාලා කුස්සිය පැත්තට ගියා. දැන් අර වට වෙලා හිටිය සෙනග අපේ ගෙදරට පෙරහැරක් වගේ ඇවිත් මට හොඳටම දාඩියත් දාලා. ඇඳේ හාන්සි කරල ඉන්නවා. මගේ නංගියි මල්ලිලා දෙන්නයිත් මගේ කකුළ් දෙක ගාව. මගේ කටේ තියෙන වැලි ටික තමයි ලොකුම ප්‍රශ්ණේ. එතන විස්සකට වඩා වැඩි පිරිසක් හිටියා. මට ඕන වෙලා තිබ්බේ මම ඇඳන් හිටිය කොට කලිසම ගලවල සැහැල්ලු ඇඳුමක් දා ගන්න. මේ ඉන්න සේනාවටයි වටවෙලා අහන ප්‍රශ්ණයි, දෙන උපදෙසුයි මට මහ වදයක් වෙලා තිබුනේ. 

"පලයව් සේරම මෙතනිං"

 කියල මම කෝපයෙන් කියන ගමන් පයින් ගැහුවා. ඒක වැදුනේ අපේ නංගිගේ යටි බඩට. කෙල්ල අඬාගෙන යද්දි මට මාර දුකක් ඇති වුනා. අදටත් ඒ සිද්දිය මතක් වෙද්දි මට දුකයි. මම අක්ක එක්ක රංඩු සරුවල් වුනාට නංගිටයි, මල්ලිලා දෙන්නටයි ගහන්නේ කලාතුරකින්. එහෙම ගහපු සිද්දිත් මතක් වෙනවා. එතකොට මට මාර දුකක් ඇති වෙනවා. 

ප.ලි.: නරක නෑ නේද මම ගහපු ගුවන් කරණම. එතනදි ඇති වෙච්ච වේදනාවට වඩා මගේ හිතේ ඇති වෙච්ච වේදනාව තවමත් තීනවා නංගිට ගහපු එක ගැන. එම ගුවන් කරණම් දර්ශණය ඇසින් දුටුවෙකු පසුව පැවසූවේ "සුදීකයා දිවි ගලවාගෙන ඇත්තේ පූරුවේ වාසනාවකට" බවයි. එහෙනම් ඉතිං ඇවිද්ද පය ...... එහෙම එකක් අද දකින්න නැති වෙයි.   

පසුදින ඵලවූ පුවතක් : පසුව කල විශ්ලේශණයකින් පැහැදි ලි වූ ආකාරයට, සුදීක අහසට විසි වී ඇත්තේ බයිසිකලයේ බ්‍රේක් පද්දති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙනි. එසේ වන්නට හේතු වශයෙන් දක්වා ඇත්තේ, බයිසිකල් වල බ්‍රේක් ඉතා තදට තිබෙන විට, හැරවීමේදී බ්‍රේක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවයි. සිද්දිය සිදු වූ ස්ථානයේ තිබී සොයා ගන්නා ලද කළු පෙට්ටියෙහි පටිගත් වී තිබූ දසුන් මගින් මෙය වඩාත් තහවුරු වන බවද, සාමාන්‍යෙන් කෙරෙන්නේ අහසේ සිට පහලට වැටෙන ගමන් ගුවන් කරණම් ඉදිරිපත් කිරීම වුවද, සුදීකගේ ගුවන් කරණම පහල සිට ඉහලට ක්‍රියාත්මක වූවක් බැවින් මෙය වඩාත් සුවිශේෂී වන බවද ගිනස් වාර්තා උපුටා දක්වන ලංකා පුවත් සේවය සඳහන් කරනවා. 

පින්තූරය ගත්තේ :  http://sherrymeneley.com




Friday, July 13, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 13 - ලයිට් ඕෆ් කරල ....

මේ කතාව ටයිප් කර කර ඉන්නකොට එක පාරටම මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලොස්ට් වෙලා බැලුවාම ඔෆිස් එකේ සර්වර්ස් වලට දාල තියෙන යූ.පී.එස් දෙකම ඩවුන්. මගේ දෙලෝ රත් වෙලා ගියා. මම කෙලින්ම ගිහින් බැළුවේ සර්වර් රූම් එකට. ඔක්කෝම මොනිටර්   කළු පාටට බැබලෙනව. ඒ කියන්නේ බඩු බනිස් වෙලා. මම ගියා යූපීඑස් රූම් එකට එතන එරර් මැසෙජ් එකක්. එතනම තමයි අපි ඉස්සර ප්‍රින්ට් අවුට් තිබ්බේ. ඉතිං දැන් නැති වුනත් ඒ කාලේ මේ ඔෆිස් එකේ ගොඩක් අය වැඩ කලා (ඔපරේෂනල් ස්ටාෆ්) දැන් එයාල ඉන්නේ වෙනම තැනක. ඉතිං අද කොළඹ බොහොමයක් ඔෆිස් වලට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙලා. සමහරු කියන්නේ ෆ්‍රයිඩේ ද තර්ටීන්ත් හින්ද කියල. මට නම් මේක තවත් දවසක් විතරයි. අද කොළඹ ලයිට් කැපිල්ලකුත් තිබ්බලු. අනේ මන්ද අපිට මුකුත් වුනේ නෑ. ඉඳල-ඉන්දල යූපීඑස් දෙක ඩවුන් වුනා විතරයි. ඉතිං මම හිතුව අද ලයිට් සම්භන්ධ කතාවක් ලියන්න. මතකයට ආවේ මේ සිද්දිය හින්දා. 

අපේ ඔෆිස් එකේ ළමයි 20ක් විතර ඉන්නව උසස් පෙළ ඉවර වුනු ගමන් ආපු අය. අර ස්කූල් ලීවර්ස්ලා කියන්නේ. අන්න ඒගොලොලෝ. ඒ අයට පාසලේ ඇත්දැකීම් ඇර වෙන කිසිම දැනුමක් නැතුව තමයි එන්නේ. ඉතිං නිසි පුහුණු කිරීමේ ප්‍රතිපදාවක් නැති නිසා මුඛ පරම්පරාවෙන් ගිය දැනුමක් තමයි තියෙන්නේ. මෙතනට ඒ වගේ ආපු ළමයින්ව තමයි සුළු රාජකාරි වලට යොදවන්නේ. එතනම ඒගොලොලෝ වගේ මාස හයකට කලින් ආපු අයත් අර අලුත් අයව තමයි මැසෙන්ජර් වගේ ජොබ් වලට යොදවන්නේ. ඒකත් හරියට අර කැම්පස් එකේ රැග් සීසන් එක වගේ. ඉතිං අර වඩුමඩුවට මුළින්ම ආපු කොල්ලන්ව තෙත්තියං ගේන්න යවනව වගෙ අපේ ලඟට එවනව ප්‍රින්ට් අවුට් ගෙනියන්න. මේ වගේ අළුතෙන් ආපු සුදු ලස්සන ගෑණු ළමයෙක් හිටිය (දැන් වෙනත් ඔෆිස් එකක ) නදීෂා කියලා. ඒ ළමයත් ආව අලුතම අර මැසෙන්ජර් ජොබ් එකට දැම්මා. එක දවසක් ඒ ළමය ඇවිත් මගෙන් මෙන්න මෙහෙම අහනව

"අයියේ ලයිට් ඕෆ් කරල ස්ටේට්මන්ට් එකක් ගමුද කියලා"

මගෙ ඇස් උඩ ගිය. අනේ අම්මප දැන් හැදෙන කෙල්ලන්ගේ තියෙන නැහැදිච්ච කම. ලයිට් ඕෆ් කරා වගේ නෙවෙයි කවුරු හරි ඇවිත් දැම්මොත්. මේ මොන හරුපයක්ද මේ කියන්නේ. ආව ගමන් ළමයෙක්. මම ටිකක් කල්පනා කරලා මුකුත් ඇහුන්නැති ගානට හිටියා. මේ ළමයා ආයිත් කියනවා

"ලයිට් ඕෆ් කරල  ස්ටේට්මන්ට් එකක් අරන් එන්න කිව්ව"
*
*
*
*
*
*
*
*
*
*
*
*


"ලයිට් ඕෆ් කලත් එකයි නැතත් එකයි. ඔයාට ඕන ස්ටේට්මන්ට් එකක්නේ. මොකක්ද නම්බර් එක"

බයාදු පාටට අහිංසක විදියට හිනා වෙච්චි මේ ළමය කොල කෑල්ලක් අතේ තිබ්බ. මම ඒ දුන්න නම්බර් එක පරිඝණකයට ඇතුලත් කලා. එතකොටයි මට වැඩේ මීටර් වුනේ. මම තව පොඩ්ඩක් මඩවලා කියල දෙනව කියල හිතාගෙන ආයෙත් ඇහුවා ඔයාට මොනවද ගේන්න කිව්වේ කියල. 

"අනේ මන්ද අයියේ මම ගිහින් අහගෙන එන්නම් කියල මේ ළමය ආපහු දිව්ව"

ඒ අතරෙදි මම ඒ ළමයගේ සෙක්ෂන් එකට කෝල් කරල ඇහුවා

"මොනවද බං සමන්ත මේ පොඩි කෙල්ලන්ව කඩේ අරින්නේ. මට ඇවිත් අර අලුත් කෙල්ල කියනව ලයිට් ඕෆ් කරල ස්ටේට්මන්ට් එකක් ගමුද කියල"

"හහ්..හහ්..හැහ්.හැහ්. හා.. හා මචං මං ගෙන්න කිව්වේ රයිට් ඕෆ් (Write  Off) එකවුන්ට් එකක ස්ටේට්මන්ට් එකක්"

ඊට පස්සෙ  ඒ ළමය මේ පැත්තට ආවහම මම අහනව

"නදීෂා නංගී ලයිට් ඕෆ් කරල ස්ටේට්මන්ට් එකක් ගමුද ?" කියලා

"අනේ යන්න දිල්රුක් අයියේ  මම කිව්වේ රයිට් ඕෆ් කියල" මූණ රතු කරගෙන ඒ ළමය යනවා. 

ටියුබ් ලයිට් හමුදාව වෙනුවෙන් : Write Off කියන්නේ නරක ණය(Bad Debts)  ගණයට මාරු කරපු එකවුන්ට්. අර රුපියලේ බැලන්ස් තියෙන්නේ. (තේරුණාද මන්දා ?). හිනා ගියේ නැද්ද ? අයියෝ එහෙනම් කිචි කවා ගන්නම වෙනව.  


Thursday, July 12, 2012

ලියන්න පෙරම අසමත් වූ විභාගයක් ....


මගේ දැනුමේ හැටියට මා ඉදිරිපත් වී අසමත් වූ විභාග ගණන තුනක්. සමත් වෙච්චි ඒව ගැන ලියල වැඩක් නෑනේ. මම ලියපු මගේ ක්‍රිකට් අන්දරයේදී මම ලිව්ව මම අසමත් වෙච්ච පලවෙනි විභගය ගැන. ඒ පහ ශ්‍රේණියේදී පවත්වන ශිෂ්‍යත්ව දෙවෙනි කොටස. දෙවෙනි එක ගැන තමයි මේ ලියන්න යන්නේ. තුන්වෙනි එක. නෑ ඒක වෙනමම පොස්ට් එකකින් ලියන්නම්. මේක අමුතුම ගණයේ අසමත් වීමක්. අර ශ්‍රීලංකාව අසමත් රාජ්‍යයක් වුනා වගේ. මම 1997 දී පටන් ගත්තා බීසීඑස්. ඒ කියන්නේ බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි කියන ආයනයෙන් පවත්වන විභාග. තනියම නොවෙයි මගේ සහෝදර සේවකයෝ වෙච්ච සුසන්ත හා ටෙෂාන් එක්ක.  කවුරුත් කිව්වේ එහෙම ලේසියෙන් කෙනෙකුට ඕවා පාස් වෙන්න බෑ කියල. මම හිතුවේ අනිත් පැත්ත. මම හිතුව මට පුළුවං කියලා. ආයි කථා දෙකක් නෑ එග්සෑම් වලදී මට පොඩි ලක් එකක් තියෙන බව මම කුඩා කාලේ ඉඳන් දැනගෙන හිටිය දෙයක්. හැබැයි මම පාඩම් කරනවා කියල ජාතියක් කරන්නේ නෑ. මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය තමයි උගන්වන දේ හොඳින් ඉගැනීම. ඒ කියන්නේ ගුරුවරු පංතියේදී දෙන නෝට් හරි ටියුට් හරි කියලවල නිකං ඉන්නේ නෑ. පොත් හොයාගෙන කියනවා. පහුකාලීනව අන්තර්ජාලයෙන් සොයා ගත්ත දේත් කියෙව්ව. එහෙම කරලා හොඳ දැනීමක් ගොඩ නගා ගන්නවා. හැබැයි මගේ තියෙන දුර්වලතාවේ තමයි සමහර පුංචි දේවල වලට මම ඕනෑවට වඩා කාලය මිඩංගු කරන එක. එහෙම වේලා කරන්න තියෙන ප්‍රැක්ටිකල් අතපහු කර ගත් වාර අනන්තයි.  

ඒවායින් මට කිසි දිනක පාඩුවක් වුනා කියා මා විශ්වාස කරන්නේ නෑ. ඒ මගින් තවත් අළුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒත් මම විභාග වලදි කරන්නේ සමත් වෙන්න අවශ්‍ය ගානට මට පහසුවෙන්ම උත්තර සපයන්න පුළුවන් ප්‍රශ්ණ  ටිකක් තෝරාගෙන ඒවාට ඇට්ටි හැලෙන්න ලියන එක. එක විභාගයකදි මම ප්‍රශ්ණ පහකට ලියන්න තිබ්බත් එයින් හතරකට හොඳ උත්තර ලිව්වා. ලකුණු 70ක් ගත්තා. වැඩේ නරක නෑ නේද ? හැබැයි මේව කරන්න බැරි තැනුත් තියෙනවා. ඒ එන්.අයි.බී.එම් වගේ ඒවා. එහෙදි ප්‍රශ්ණ දහයක් තිබ්බොත් දහයම ලියන්න ඕනේ. ඔන්න කියනකොටම ඒකත් මතක් වුනා. පස්සෙ ලියන්නම. එතන නම් මාර හාස්‍ය පිරි අත්දැකීම් ගොඩයි. ඉතිං මම මගේ යාළුවොත් එක්ක බම්බලපිටියේ අයි.ඩී.එම් එකට ගියා. කියන තරමට ඒ සබ්ජෙක්ට්ස් අමාරු නෑනේ. මමයි සුසන්තයි නියම ගානට උගන්නපුවා ග්‍රහණය කර ගත්තා. ටෙෂාන්ට ටිකක් අමාරු වුනේ මිනිහට වේගෙන් ලියාගෙන යන්න අමාරු නිසා. මට ඒව නම් ගානක් වත් නෑ. හැබැයි පස්සේ කියවනවා බොරු. හරියට වෙද මහත්තයෙක්ගේ බෙහෙත් වට්ටෝරුවක් වගේ. ඒ වුනාට මට ලස්සන අත් අකුරු ලියන්නත් පුළුවන්. ඒවටත් ගත්ත සහතික තියෙනවා. 

ඔන්න විභාගයට අයදුම් කරන කාළේ ආවා. අපරාදෙ කියන්න බෑ අයි.ඩී.එම්. එකට මල් තියල වඳින්න ඕනේ. තමන්ගේ ආයනයට අය වෙන්න තියෙන පන්ති ගාස්තු හරියට වෙලාවට නොගත්තත්, මේවට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය අප වෙත ලබා දුන්න. අපිත් ඒ ෆෝම් ඉතා පරිස්සමෙන් පුරවා ගත්තා. මහජන බැංකුවේ වැඩ කරන අපිට මේවට අවශ්‍ය ෆොරින් ඩ්‍රාෆ්ට් ලභා ගන්න එක ඉතාම පහසු කාර්‍යයක්. මම ඒ කාලේ වැඩ කලේ එතෙර ගණුදෙනු ඒකකයට අනුයුක්තව. ඒ නිසා ඩ්‍රාෆ්ට් එක ගන්න එක මට සිම්පල් වැඩක්. ඒකත් අරන් සියළුම අඩුම කුඩුමත් අරන් මම ගියා එතන ඉඳන් පයින් යන්න පුළුවන් දුර තියෙන (ඩී.ආර්. විජේවර්ධන මාවතේ) ජීපීඕ එකට. තැපැල් සේවේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානේ තියෙන්නේ එතන. තව දවස් 10ක් විතර තියෙනවා ක්ලෝසින් ඩේට් එකට. එතනට ගියාම මම දැක්ක ඊ.එම්.එස්. කියල සේවාවක්. එක්ස්ප්‍රස් මේල් සර්විස් කියන එක තමයි ඒකේ තේරුම. මේකනම් මගේ වැඩේට හරියනව කියලා මමත් ආයි දෙපාරක් හිතන්නැතුවම කවුරුත් නැති කවුන්ටරය ගාවට ගිහින් විස්තර ඇහුවා. නිදිලොවත්, මෙලොවත් අතර හිටි තැපැල් මහත්තයාගෙන් මං මෙහෙම ඇහුවා

"එංගලන්තෙට මේ සර්විස් එකෙන් දවස් කීයකින් ලියුමක් යවන්න පුළුවන්ද?"

"මෙන්න මේ ලිස්ට් එකේ ඔක්කොම තියෙනවා"

මම ලිස්ට් එක අරගෙන බැළුවා දවස් තු...නා...යි. හහ් හහ් හා" මගේ හිතට ආවේ ලොකු සැනසිල්ලක්. 


මම දෙපාරක් හිත්න්නැතුවම ලිස්ට් එකක් අරගෙන එක හුස්ට පුරවාගෙන ගියා. අන්තිමේදි ගාස්තුව ඇහුවා. රුපියල් 645යි. කිසි පැකිලීමක් නැතුව ඒකත් ගෙවල මම රිසිට් එක අරන් දා ගත්ත ෆයිල් එකට.  පුදුමාකාර සැහැල්ලුවකින් මම ආවේ . හෙමිහිට සිංදුවක් සිවුරුහම් කරමින්. ආව ගමන් මම මේ ආරංචිය මගේ යාළුවෝ දෙන්නට සැල කරා. ඒත් ඒගොල්ලෝ නිකං පොස්ට් එකේ තමයි දාල තියෙන්නේ. හහ්.. එහෙනං හෙමිහිට මටත් නොකියම දැම්ම දෙන්නත් එක්කලා. මට එහෙම හිතුනා. බලමුකෝ කාගේ එකද ඉක්මනටම යන්නේ කියලා. 

මෙහෙම කාලය ගෙවී ගියා. අවසාන සතියෙදි අපි නිවාඩු ගත්තා. සුසන්ත ස්වේචාවෙන්ම ඉදිරිපත් වුනා අපට එයාලගේ ගෙදර නවාතැන් දීල පාඩම් කරන්න. මායි ටෙෂානුයි ගියා සුසාලගේ ගෙදර. අපි දැන් පාඩම් කරනව, සිංදු අහනවා කනව බොනවා ටීවී බලනවා. විභාගයට තව දවස් තුනයි. සුසන්ත එයාගේ ඇඩ්මිෂන් එක ආව සුභ ආරංචිය අපට ගෙන ආවා. අපි දෙන්නා එදා උදෙන්ම පිටත් වුනේ අපේ ඇඩ්මිෂන් දෙක ආවද බලාගන්න. 

උදේ දහය වෙත්දී ටෙෂාන් කථා කරා මගේ ජංගම දුරකථනයට

"මචං මගේ ඇඩ්මිෂන් එකත් ඊයේ ඇවිත්"

"මගේ එක තාම නෑ මචං මොකද දන්නෑ සීන් එක" මම කෙලින්ම ගත්තේ ක්ලාස් එකෙ ඉන්න තව යාළුවෙක්ට

"මචං උඹට ඇඩ්මිෂන් ආවාද ?"

"නෑ, මචං උඹට ආවාද ?"

"නෑ මටත් නෑ. මොකද බං කරන්නේ?"

"මචං මං තව එකෙක්ට කෝල් කරා ඌ එග්සැමිනෙෂන එකට ගිහින් අරන් තියෙන්නේ. උන්ගේ පොස්ට් කිරිල්ලේ මොකක් හරි කේස් එකක්"

"එහෙනම් අපිත් යං මචං"

අපි දෙන්න හවසම ගිය එග්සැමිනෂන් එකට. කොච්චර හෙව්වත් මගෙ එක හම්බ වුනේ නෑ. 

"මචං මාර අප්සට් එකනේ උඹ දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ"

"මචන් හෙටත් බලල යනව ජී.පී.ඕ. මම එක්ස්ප්‍රස් මේල් එකේ යැව්වේ. නැති වෙන්න විදියක් නෑ."

මම පහුවදාත් බලාගෙන හිටිය පොස්ට්මන් එනකං. ඒත් මගේ ඇඩ්මිෂන් එක නෑ. මට අසූ හාරදාහට තද වුනා. මම ගිය ජී.පී.ඕ. එකට මගෙ රිසිට් එකත් අරන්. 

"මම ගිය මාසෙ යැව්ව මෙන්න මේ ලෙටර් එක ගිහින් නෑ පොඩ්ඩක් බලනවද මොකද වෙලා තියෙන්නේ කියලා?"

විනාඩි කිහිපයකට පසු අතුලෙන් මොනවාදෝ පරීක්ෂා කරල මිනිහ ආව. 

"මහත්තය මේක ගිහින් තියෙන්නේ ඊට පහුවදාම. නැති වුනානම් ලන්ඩන් වලදි තමයි වෙන්න ඇත්තේ. අර බෙල්ට් වල යද්දි අස්සකට වත් ගියාද දන්නෑ."

මෙ යක්කුන්ට කොච්චර කතා කරත් වැඩක් නෑ. මම පහුවදා ඔෆිස් ගියා. එතන කට්ටිය අහන ඒවට උත්තර බඳින්නෙ නැතුවම මම ලියුමක් ඩ්‍රාෆ්ට් කරලා ලඟ තියෙන කමියුනිකේෂන් එකකින් ෆැක්ස් කලා.
පැය කාලකට විතර පස්සෙ කමියුනිකෙෂන් එකෙන් ආවා කෝල් එකක්. මගෙ ෆැක්ස් එක ඇවිල්ලා. මම දුවගෙන ගියා එතනට. ලියුම අරන් එක හුස්මට කියවාගෙන ගියා. 

"We write with regret that we have not received your draft yet" 

මම කට ඇරගෙන කල්පනාවකට වැටුනා. පස්සේ අපේ බැංකුවෙන් චෙක් කලා මොකද ඩ්‍රාෆ්ට් එකට වෙලා තියෙන්නේ කියලා. මොනවත් වෙලා නෑ. ඒ කියන්නේ ලියුම නැති වෙලා. දැන් ඉතිං තවත් අවුරුද්දක් බලාගෙන හිටපන්කෝ. ඉන්න එකට වඩා එක එකා කියන ඒවට උත්තර දෙන්න ගියාම තමයි මල. මදැයි එක්ස්ප්‍රස් මේල් සර්විස් එකෙන් යැව්වා.

ඔන්න ඔහොමයි ලියන්නත් කලින් විභාගයක් අසමත් වෙන්නේ. කාට හරි ට්‍රයි කරල බලන්න පුළුවන්. අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

පින්තූරය ගත්තේ :  samdailytimes.blogspot.com




Wednesday, July 11, 2012

ජනතාව කැලඹීමට ප්‍රවෘත්ති යයි කිව හැකිද ?

මගේ දියණිගේ පළමු උපන්දිනය වෙනුවෙන සාදයක් කොළඹින් තරමක් දුර බැහැර බලංගොඩ ප්‍රදේශයේදී පැවැත්තුවා. ඒ සඳහා එක් වූ පිරිසට කෑම බීමට අමතරව පැදුරු සාජ්ජයකින් සංග්‍රහ කරන්නත් අප අමතක කලේ නෑ. සහභාගි වූ සියළු දෙනා පිටත්ව ගිය පසු අප යුහුසුළුව අස් පස් කිරීමේ කටයුත්තේ නිරත වුනා. මට සුව විඳින්න ලැබුනේ රාත්‍රී එකත් පසු කර සෑහෙන වෙලාවක් ගිය පසුයි. එහෙත් මගේ නින්ද පැය තුනකට සීමා කර හදිසියේ ඇහැරෙන්නට සිදු වූයේ එදින මට ධණාත්මක චින්තනය(Positive Thinking) පිළිබඳ පුහුණුවකට සහභාගි වන්නට සිදු වී තිබූ නිසා. එය කිසිසේත් මග නොහැරිය හැකි එකක් බැවින් මා කෙසේ හෝ උදෑසන දහයට ආසන්න වෙලාවක එම ශාලාවට ඇතුළු වූයේ දේශක තුමාගෙන් අවසර ගැනීමෙන් පසුවයි. සියළු දෙනාගේ දෑ මා වෙත යොමු වූයේ මා කෙසේවත් මේයට සහභාගි වෙතැයි කිසිවකු විශ්වාස නොකල බැවින්. එහෙත් මම නින්ද ගැන එතරම් තැකීමක් නොකරන කෙනෙක් බව වටහාගන්න මාස හයක් තුලා මා ලියූ පෝස්ට් හැටදෙක ප්‍රමාණවත් යයි මා සිතනවා. එයින් වැඩි හරියක් මා ලියූවේ රාත්‍රියේදි බව මට සහතිකවම කියන්න පුළුවන්. නිදිබරිත දෑසින් හා නොකැපූ රැවුලෙන් මා එතනට අමුතු ජීවියෙකුගේ සිරි ගෙන දුන්නා. එහෙත් මා ප්‍රමාද වූ කාරණාව විමසා සිටි දේශකයා මගේ පැමිණීම ඉතා අගය කලා. එතනින් පසු ඔහු මාත් සමග වැඩිපුර දොඩම්ළු වූ බව මට දැනුනා.  

පෙරදිනයේදී නොමදව වෙහෙසට පත් වී සිටි මා දහවලේදී නිදා වැටීම කිසි ලෙසකින් වත් වලක්වන්නට නොහැකියි. එහෙත් එම පුහුණුවට වළලු වලින් රිංගීම  වැනි ක්‍රියාකාරකම් එක් කර තිබුනේ මගේ වාසනාවකටැයි මට සිතුනා. මන්ද අසුනෙහි රැඳෙමින් දේශණයකට සවන් දෙන්නට වූවානම් මට අනිවාර්‍යයෙන්ම් නින්ද යනවා. මා එතුමාට හිතින් ස්තූති කරමිනුයි උන්නේ. එතුමා එකවිටම දේශණය වෙනත් මගකට යොමු කලා. ඔහු මීළඟට කථා කලේ සෘණාත්මක අදහස් (Negative Thoughts) ගැන. ඒවා ඇති වෙන්නේ කෙසේද යන්න ගැන ? 

විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කලා. මගේ වාරයේදී මා පවසා සිටියේ මාධ්‍ය ඒවාට මුල් වනවා යන්නයි. මා ඉදිරිපත් කල කාරණය ඔහු එකවිට බාර ගත්තේ නෑ. ඒ කෙසේදැයි විස්තර කරන්නැයි ඔහු මාගෙන් ඉල්ලා සිටියා. කෙතරම් නිදිමතකින් සිටියත් ඔබ ප්‍රිය කරන දෙයක් ගැන කථා කරද්දී නිදිමත අමතක වනවා. මා ඒ වනවිට කොහෝ හෝ කියවා තිබූ ප්‍රවෘත්තියක් පිළිබඳ ඔහුට විස්තර කරා. ඉන්දියාවෙන් පහල වූ ශ්‍රේෂ්ඨ නායකයකු වූ අබ්දුල් කලාම් මහතා වරක් ඉන්දීය මාධ්‍යට කල ඉල්ලීමක් නිසා ඉන්දියාවේ බෝම්බ පිපිරීමක් සිදු වූ දිනට පසුදින පුවත් පත් වල ඒ පුවත ඵල කිරීමෙන් වැලකී තිබුනා. ඒ වෙනුවට එක් පත්‍රයක් මල් වත්තක අපූරු දර්ශණයක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස දක්වා තිබුනා. මා පැවසූ විට ඔහු මා අනුමත කලා පමණක් නොව ඒ ඔස්සේ දිගු දේශණයක් කලා. ඇත්තටම අවුරුදු තුනකට පෙර ගිනිගත් දේශයක ප්‍රවෘත්ති පත්‍රයක එවැනි කරුණක් නැති දිනක් මතක තිබූවාදැයි මා ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද ?

අද 100% ක් නැති වුනත් සාපේක්ෂ සාමකාමී රටක, ඵල වන පුවත් ගැන ඔබට පවසන්න්ට ඇත්තේ කුමක්ද ? ඊයේ රාත්‍රියේදි මළ ගෙදරකට සහභාගී වන ගමන් අවුරුදු ගණනාවක් අලෙවිකරණ විධාකයකු ලෙස සේවය කල මගේ මිතුරෙක් සහ මා වර්තමාන පුවත් ගැන ඉතා ගැඹුරු සාකඡ්චාවක නිරත වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද මේ පෝස්ට් එක ලි‍යැවෙන්නේ. 

මුළු දිනයේම රාජකාරි වලි ආතතියට පත් වන අප ගෙදර ගිය පසු රටේ කුමන හෝ මුල්ලක සිදු වන සිද්දීන් ටිකක් ගැන කල්පනා කර සුසුම් ලන්නටත්, ඉන් නොනැවතී පසුදින් උදෑසන කාර්‍යාලයේදී ඒ ගැන කම්මුලේ අත තබාගෙන කතා කල පසු කෙසේ නම් ධාණාත්මක සිතුවිලි අප තුල ජනිත වේද ? ආයතනය පුද්ගලික වේවා රාජ්‍ය වේවා එයින් සිදු වන්නේ ඔබගේ ඵලදායීත්වය අඩු වීම නොවේද? ඉදින් රටේ ශ්‍රම බලකාය මේසේ මන්දෝත්සාහී තත්වයට පත් කිරීමෙන් රටට සිදු වන යහපත කුමක්ද ? ඇත්තටම කුමක් හෝ කුණු කන්දලයක් ගැන ඕනෑවට වඩා සිත් යොමු කරන ජනතාව ඉන් පසුව ලවක්-දෙවක් නැතුව පොලීසියට, උසාවියට හා ආණ්ඩුවට බැණ වැදීමට පටන් ගනී. අවසානයේදී වාද විවාද අවසානයේදී ඔවුන් වැඩට පිවිසෙන්නේ නහර රත් කරගෙනය. ඉතින් ඔවුන්ගේ සේවාදායකයන්ට දෙවි පිහිටය ?

එම සාකඡ්චාවේදී අප නිරතුරුවම සන්සන්දනයට ගත්තේ අසල්වැසි ඉන්දියාවයි. කලක් මගේ සිතේ තිබුනු ලොකුම ප්‍රශ්ණය වූයේ ඉන්දියානු චිත්‍රපට සහ මෙගා සීරීස් වලින් ජනතාව ගොනාට අන්දන බවයි එසේත් නැත්නම් ජනතාව සිහින ලෝක වල අතරමං කරන බවයි. මා එකල ඒ පිළිබඳ තර්ක කරන විට ඊට පක්ෂ එහෙත් මෙහි නම් සඳහන් කල නොහැකි අයෙක් කියා සිටියේ තමන්ගේ එදිනෙදා ජීවිත තුල ඉන්දීය ජනයාට විවිධ ගැහැට, දුක් කම්කටොළු ඇති පදම දැක ගත් හැකි නිසා තවත් එවැනිම දෙයක් නරඹීමේදී ඔවුන්ට අමුත්තක් නැති බවයි. එම මෙගා නාට්‍ය මාලාවල් වල පෙන්වන සුර සැප විඳින ඔවුන්ගේ ප්‍රියතම නළු-නිලියන්ට ඊර්ෂා කරනවා වෙනුවට තම හිතින් එතනට සම වැදී ඉන්දියානු ජනතාව යම් වින්දනයක යෙදෙනා බවයි. 

ඇත්ත වශයෙන්ම එම අදහසට මා දැන් එකඟයි. එහෙත් මා මෙහි මතු කරන්නට උත්සාහ කරන්නේ රජයේ මැති ඇමති වරුන්, ඔවුන්ගේ සමීපතම සගයින් කරනා නොපනත් කම් සඟවා සිටින්නැයි කරන බාල ගනයේ ඉල්ලීමක් නොවේ. රටේ දැවෙන ප්‍රශ්ණ අමතක වන ආකාරයට මාධ්‍යා වාර්තා කරන්නට කරන ඉල්ලීමක්ද නොවෙයි. එහෙත් ජනතාව කුපිත වන ආකාරයේ පුවත් නිරතුරු මධ්‍ය මගින් විසුරවා හැරීමෙන් සිදු වන්නේ කුමක්ද ? ජනතාව දැනට බිය දක්වන දේවල් සමාන්‍ය දේවල ලෙස සමාජගත කිරීමයි. පවතින රජයක් විසින් කරන අතපසුවීම්, අමතක කිරීම්, අයුතු, අකටයුතුකම් නොපිරිහෙලා ජනතාවට වාර්තා කිරීම මාධ්‍ය කරුවා පමණක් නොව  බ්ලොග් ලියන අපගේද වගකීමයි. එහි තර්කයක් නැත. එහෙත් ස්ත්‍රී දූෂණ, මිනිමැරුම්, රිය අණතුරු, පැහැරගැනීම්, වංචා, දූෂණ විශේෂ ප්‍රවෘත්ති කර හුවා දැක්වූ විට ජනතාව ඒවා පිළිබඳ දක්වන බිය තුරන් නොවනවා යයි සිතිය හැකිද ? මෙකී කාරණා සාමාන්‍ය තත්වය පත් වූ පසු දැනට මේ කාරණා වලට පසුගාමී වන අය උද්දීපනය නොවන්නේද ? අද වැඩියෙන්ම පුවත් පත් කියවන්නේ කවුද? ඉතා සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති, පහල සමාජ මට්ටම් වල ගැවසෙන ත්‍රී රෝද රථ රියදුරන්, බස් රියදුරු සහ කොන්දොස්තර වරුන්ය. ඔවුන්ට මේ දේවල රස කර කර කියවන්න කදිම මාතෘකාය. ඔවුන් මේවා කියවා යහපත් වනවා යයි ඔබ සිතනවාද ? ඔවුන් මේවාගෙන් ගන්නේ නිවැරදි පූර්වාදර්ශයන්ද?


මෙවැනි පුවත් වපුරවන්නේ මුද්‍රිත, ගුවන්, රූපවහිණී වැනි මාධ්‍ය වලින් පමණක් නොව මෑතකදී කරලියට ආ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාලද මේවාට සෑහෙන දායකත්වයක් සපයියි. කලක් මෙවැනි පුවත් බෙදා (Share) හැරීමට මාද සක්‍රීයව දායක වුවද, දැ න්  මෙවැනි දේ සඟවන්නට (Hide) මා නිරතුරු උත්සාහ ගනිමින් සිටියි. එස්.එම්.එස් වඩා වේගවත්ම මාධ්‍යයය. මේවා නොයෙකුත් ප්‍රවෘත්ති ජාලා මගින් ලබා ගැනීමට අමාරුවෙන් උපයා ගන්නා මුදල් වැය කරනවා පමණක් නොව ඒවා තවත් දහ දෙනෙකුට පමණ බෙදා හැරීමටද අප ධනය වැය කරයි. සැබවින්ම මේවා නාස්තීන් නොවේද ? මේවාගෙන් මඩි තර කර ගන්නෝ ජංගම දුරකථන ක්‍රියාත්මක කරවන්නන්ය(Mobile Operators). ඔවුන්ගේ තත්පරයක ආදායම කොපමණද ? ඒ මුදල් වලින් අඩුම වශයේන් 30% වත් අප පිට රටට පටවමින් සිටියි. මේවාට කිව හැක්කේ "අපේ වල අපම කපා ගන්නවා" කියා නොවේද?

ඔබ මේ කඩාකප්පල් කරමින් සිටින්නේ රජයේ ඉදිරි ගමන නොව, අපේ රටේ ඉදිරි ගමනයි. රටක් සංවර්ධනය කරා යන්නට නම භෞතිකව මෙන්ම සිතුම් පැතුම, ආකල්ප(Attitudes)  මගින්ද එහි ජනයා දියුණු විය යුතුය. අනුන්ගේ ආගත-නාගත සොය සොයා වැය කරන්නට කාලයක් දියුණු රටවල මිනිසුන්ට නැත. ඒවාට කාලය මිඩංගු කලහොත් ඔවුන්ට අතපසු වන්නේ ඔවුන්ගේ එදා වේලය. එනිසා ඔවුන් නිතිපතා කාලසටහනකට වැඩ කරයි. අපේ රටේදී රස්තියාදු ගහන අයද, දේශණා පවත්වන අයද, බණ කියන අය සහ මේකී නොකී සියළුම කුලක වලට අයත් අය මේ කියන දියුණු රට වලදී ඔවුන්ගේ පීල්ලට(Track) වැටී හැල්මේ වැඩ කරයි. කට පියාගෙන තමන්ගේ පාඩුවේ සිටියි. අප මේවා පාඩමට ගත යුතුයි. අප විඳි දුක් කන්දරාව අපේ දරුවාගේ පිට මතින් හෙට දවසේ තබනවාද ? නැත්නම් යහපත් හෙටක් වෙනුවෙන් වැඩ කරනවාද  ?යන්න අප ඉදිරියේ හෙට දිනයේදී තිබෙන පහසු පැණයයි. පිළිතුරු සැපයීම ඔබගේ වගකීමයි. රට කරවන අය කවදාවත් පරදින්නේ නැත. සියළු දෙනා අත් වැල් බැඳගෙන ඉදිරියට යනවාද ? නැත්නම් ප්‍රභාකරන් වැනසූ තැන සිට අපි පටන් ගන්නවාද ? තීණය ඔබ සතුයි.

හිතවත් මාධ්‍ය කරුවනි. රටේ දියුණුවට ඔබටත් දායක විය හැක. එය රට කරවන අයගේ දියුණුව යයි සිතුවොත් අප පරාදය. තවමත් අප ප්‍රමාද නැත. ධනාත්මක මාධ්‍යකරණයකට කාලයයි මේ. 

පින්තූරය ගත්තේ : (1) tranganhdep.com, (2) https://www.facebook.com/SrikanthGopisetty

Tuesday, July 10, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 12 - කම්මළේ බල්ලෝ


බස් රේඩියෝවේ බ්ලොග් සතිය වෙනුවෙනි.

සයිමන් අයියා හිටියේ මහරගම පැත්තේ. මිනිහාගේ රස්සාව තමයි කම්මල් වැඩ. කම්මල් වැඩ කරන මිනිහෙකුට බොහොම රළු හිතක් තමයි තියෙන්නේ. ඒක අමුතුවෙන විස්තර කරන්න දෙයක් නෑ. එක අතකින් එය මහා දුෂ්කර කටයුත්තක්. තද යකඩයක් රත් කලා කියලා වැක්කෙරෙන ගානට උණු වෙන්නේ නෑ ගිණියම් වුනත් තද ගතිය අඩු වෙන්නේ නෑ.  ගිණියම් වූ යකඩයට ඔහු එක් අතකින් පහර දෙන ගමන් අනිත් අතින් යකඩය තදින අල්ලාගෙන සිටිනවා. සුළු අත් වැරදීමකින් මහා විපතක් වෙන්න හැකි නිසා.  

මේ විස්තරය කලේ කම්මල් කරුවා කියන සමාජයේ කොන් වූ පුද්ගලයා ගැන කියවන කෙනා තුල යම් වටිනා කමක් ඇති වෙන්න. මම හතරවන ශ්‍රේණියේදී කම්මල් කරුවා ගැන කියවූ කවි පන්තියක මෙන්න මෙහෙම තිබුනා. හත්වලාමයි අවසන් පද තුන විතරයි මතක ඒ වුනත් ඒකත් දාන්නම්. ඒ තරමටම ඒ කවි පෙළ මගේ හිතේ පැලපදියම් වුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. 

..........................................
අදිනා මයින හම ආයුධ දමන ඔප
අඬු මිටි පීරි කටු කොකු ඇණ යතුරු කැප
මිනිසෙකු කෙරෙහි කෙදිනක ඇති වෙයිද සැප

මෙතන තියෙන අවසාන පදයෙන් මුළු කවි පන්තියෙන්ම කවියා මතුකරන්න උත්සාහ කරන දේ එලියට එනවා. ඒ නිසා ඔය ඇති. අහල තියෙනවා නේද කම්මළේ බල්ල ගැන. ඌට හෙණ ගැහුවත් එකයි, යකඩ තැලුවත් එකයි. ඒත් මේ කියනසයිමන් අයියා අපි හිතන තරම් රළු පුද්ගලයෙක් නොවෙයි. හිත උණුවෙන කෙනෙක්. එහෙම හිතෙන්නේ තමන්ගේ කම්මලේ එලිපත්ත උඩ දවසක් උදේ පාන්දරම කවුරු හරි ගෙනත් දාපු අහිංසක බලු කුක්කෝ දෙන්න දැකල සයිමන් අයියා තුල ඇති වෙච්චි සත්ව කරුණාව දැක්කම. වෙන අය වගේ සයිමන් අයිය ගෙනත් දාපු අයට අම්ම-මෝ නැතුව බැන්නෙත් නෑ. අර බලු පැටව් දෙන්නව එලවා ගත්තෙත් නෑ. උන් දෙන්නාට කන්න බොන්න දී හදා වඩා ගත්තා. ඒත් සයිමන් අයියාට ටික දවසක් යත්දී තෙරුනා මේ බලු පැටව් දෙන්නාගෙන් එකෙක් කෑමට කෑදරයි, අනිකා එහෙම නැති බව. සයිමන් අයියා කල්පනා කලා මුන් දෙන්නට වෙන වෙනම කෑම දෙන්න. එහෙම හිතලා තදු දෙකකින් වෙන වෙනම පිඟන් දෙකකුත් හැදුවා.


දැන් දෙන්නට වෙන වෙනම කෑම දානවා. ඒත් දෙන්නම එක පාරට එක පිඟානේ කනවා. දැන් සයිමන් අයියට මේක මහ වදයක් වුනා. දවසක් කම්මළට වැඩක් කර ගන්න ආව කෙනෙක් සයිමන් අයියට කිව්වා මේ දෙන්නට නම් දෙකක් දාන්න කියලා. සයිමන් අයියාට ඔය නම් දැමිල්ල ගැන ඒ හැටි තේරුමක් නෑ. මිනිහා දන්න වචන ටික කැත්ත, මන්නේ, පිහිය වගේ දේවල විතරයි. එදා ඉඳලා කම්මළට එන අයගෙන සයිමන් අයියා නම් ගැන අහනවා. ඒත් ඒ අය දෙන නම් වලට සයිමන් අයියාගේ කිසි කැමැත්තක් නෑ. අන්තිමේදී එතනට ආපු තරම විහිළු තහළුවට බර කටකාර කොන්දෙක් මිනිහට අපූරු නම් දෙකක් කියලා ගියා.

"අර කළු පාට පුල්ලි තියෙන එකාට කියපං විකයි කියලා, අනිත් එකාට කියපං හපයි කියලා" 

දැන් සයිමන් අයියා ඉතා සංතෝසයෙන් මේ දෙන්නට කෑම දීලා හදා වඩා ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා ලොකු වුනා. දවසක් කම්මලට මිනිස්සු එත්දී මේ දෙන්නට කෑම දානවා සයිමන අයියා 

"විකයි, විකයි, විකයි..... හපයි, හපයි, හපයි" කියලා. කම්මලට එන මිනිස්සු ගාල කඩාගෙන ආපහු දුවනවා. පස්සේ පස්සේ සයිමන් අයියට මේක තේරුනා. එතන හිටිය ගෝලයා මේකෙන් මාර ආතල් එකක් ගත්තා. එතනින් මිනිස්සු යන වෙලාවට අර කොල්ල කෑ ගහනවා

"විකයි, විකයි, විකයි.... හපයි, හපයි, හපයි" කියල. මිනිස්සු පාර දිගේ දුවනව. 

Monday, July 9, 2012

ඉර බැස යන දර්ශණයක් ..... An art on a sunset ......


"මේ මාතෘකාව ඔස්සේ පොස්ට් එකක් දාන්න ඔනෑ" කියලා හිතලා ගොඩක් කල්. ඒත් විවිධ හේතූන් ඒකට හරස් වුනා. හරස් වෙච්ච් හේතු මොනවද කියල කියනවට වඩා, මේක යලි යලිත් මගේ හිතේ ඉහලම ස්ථානයට ගෙන එන්න හේතු වුන කාරණා ටික කියන එක වැදගත් කියලා මට හිතෙනවා. මෙතනට එන බොහෝමයක් දෙනෙක් බ්ලොග් ලියන අය. එහෙම නොලියන අයත් ඉන්නවා. ඒත් බහුතරය ලියන අය. හොඳයි කවුරු හරි මෙතන ඉන්නවද පුරුද්දක් විදියට තමන් දාන පොස්ට් වලට මාතෘකා දාන්නේ නැති ? මං හිතන්නේ අතපහුවීමකින් නොවුනා නම් කවුරුවත් මාතෘකාවක් නැති බ්ලොග් පෝස්ට් එකක් දාන්නේ නෑ. මොකද දාන මාතෘකාව තමයි බොහෝ දෙනෙක් තමන් ලියන එක කියවන්න හේතු වෙන බව අපි හැමෝම දන්න කාරණයක්. ඕනෙම කෙනෙක් ආසයිනේ තමන් ලියන දේ අනිත් අය වට වෙලා බලලා ගුණ දොස් කියනවානම්. එහෙම නෑ කියල කවුරු හරි කියනවනම්, ඒක එහෙම කියන කෙනා තමන්ව රවටා ගැනීමක් හැටියටයි මට තේරෙන්නේ. මට තේරෙන විදියට නම මාතෘකා හා පින්තූරය බොහෝමයක් බ්ලොග් පෝස්ට් කියවන්නාට එය අවසානය දක්වා කියවාගෙන යන්න  හේතු සපයනවා. බ්ලොග් ලියන අපට වැදගත් පාඩමක් උගන්වපු මහත්මයෙක් ගැන සහ එම පාඩම ගැන තමයි අද මම  කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 

මම හත ශ්‍රේණියේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ කලුතර ඥානෝදය මහා විද්‍යාලයේ. එය ඉතා ඉහල මට්ටමේ පාසලක් කියල මම බය නැතුව කියනවා. අධ්‍යාපනය අංක එක තැනේ තියලා වැඩ කරන පාසලක්. එම පාසලේ වාරය පටන් ගන්න දින වගේම වාරය අවසන් කරන දින දෙකෙත් මුළු කාළයම පංති වලා වැඩ කරනවා. ඒ තත්වයෙන් පාසල පවත්වාගෙන යන්න එවකට එම විදුහලේ විදුහල්පතියා වෙච්චි කන්නනන්ගර මහතා වග බලා ගත්තා. මතක් වෙන මොහොතක් පාසා මගේ හිතින් නමස්කාර කරන නියම ගුරු භවතෙක්. මගේ වාසනාවකට එම පාසලේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු කියල කියන්න පුළුවන් බොහොමයක් මුණ ගැහුනා. ඒක ලැයිස්තුවක් විදියට ඉදිරිපත් කලොත් දීර්ඝ එකක් වෙයි. ඒත් මගේ මතකයෙන් කවදාවත් ගිලිහෙන්නේ නැති කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන වෙන වෙනම පෝස්ට් දාන්න මම බලාපොරොත්තු වෙනවා ඒ ඒ කාළයට අදාල වෙන පරිදි. 

එයින් අර කියපු ඉතාම වැදගත්, කිසිදා අමතක නොවෙන නම් තමයි, එස්.ඒ. දිසානායක, එල්මෝ ප්‍රනාන්දු, මාලනි පෙරේරා, වර්ණකුල සර් ගුණවර්ධන සර්. මෙතන නම් ලිස්ට් එකෙන් කොටසයි.  මේ ඉන්න අයගෙන් මම අධ්‍යාපනයට වඩා ජීවිතයට වැදගත් පාඩම් ඉගෙන ගත්තා. හොඳයි මම මේ නම් වල ඉන්න අය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්. 

එස්.ඒ. දිසානායක කියන්නේ මගේ ජීවිතේ වඩාත් සිත් ගත් ගුරුවරයා. ඔබට එක පාරටම මතකයට එන්නේ නැතු වුනත්. මිහිර, නවයුගය වගේ පත්තර වලට කාටූන් සැපයූ දක්ෂ  චිත්‍ර  ශිල්පියෙක්. එතුමා ඇඳපු කාටූන් අතර "යෝධය","බටකොල ආච්චි","බූ", "පඬිතුමා" සඳහන් කරන්න පුළුවන්. දැන් ඔබේ මතකය අළුත් වූවා කියල මම හිතනවා. මෙතුමා මගේ චිත්‍ර ගුරුවරයා වගේම පංති බා  ගුරුවරයා විදියටත් ඉඳල තියෙනවා. මගේ නිර්මාණශීලීත්වය එලියට ගත්තේ මෙතුමා කිව්වොත් නිවැරදියි.

එල්මෝ ප්‍රනාන්දු කියපු ගමන් ඔබේ මතකයට එයි බී.බී.සී. සන්දේශය ගෙන එන එල්මෝ ප්‍රනාන්දු මහතාව. නැහැ, මේ එයා නොවෙයි ඒත් මෙතුමාත් ඒ වගේම ලෝකයේ සිදු වෙන දෑ ගැන බොහොම විමසිල්ලෙන් හිටිය. අපිට ඉංග්‍රීසි භාෂාව මෙන්ම ගායනය, සහිත්‍ය වගේ බොහෝ දේ උගන්වපු අපූරු ගුරුවරයෙක්. මගේ පන්ති බාර ගුරුවරය ලෙස ඔහුත් සේවය කරා අවුරුදු දෙකකදීම. මෙතුමා සුනිල් ශාන්තයන්ගේ ගීත වලට අත්වැල් ගායනා කරපු පුද්ගලයෙක්. ඉතිං ඒ වගේ කෙනෙකුගේ ඇසුර ලැබීමත් මහත් භාග්‍යක් විදියට තමයි මා දකින්නේ. 

ගුණවර්ධන  මහතා අපිට සිංහල හා බුද්ධ ධර්මය උගන්වපු ගුරුතුමෙක්. මම සිංහල හරියට ඉගෙන් ගත්තේ එතුමාගෙන් කිව්වොත් මට සිංහල උගැන්වූ අනෙකුත් ගුරු බවතුන්ට කරන අසාධාරණයක් නොවෙයි කියලයි මට හිතෙන්නේ. දැන් මතක නැති උනත් (D ) උක්ත/ආඛ්‍යාත සම්භන්ධය, විභක්ති, න-ණ,ල-ළ වගේ දේවල් මම හරියට ඉගෙන ගත්තේ එතුමාගෙන්. එතුමා මගේ පියාගේ සමකාලීන ගුරු මිත්‍රයෙක්  මෙන්ම අපේ ගමේ ඉපැදුන පුද්ගලයෙක් නිසා අපේ කියන ගතිය එතුමාගේ තිබුනා. මම අද ලියන හැම අකුරකටම එතුමාට පින් දෙන්න ඕනෑ. සාමාන්‍ය-පෙළ සිංහලට මම ගත්ත විශිෂ්ඨ සාමාර්ථයෙන් වැඩි කොටසකට ගෞරවයත්  එතුමාට හිමි වෙන්න ඕනෑ. (මගේ පියත් මගේ සිංහල ගුරුවරයෙක් එතුමාගෙන් මට ලැබුන දේ ගැන අමුතුවෙන් මෙහි සඳහන් කරන්න අවශ්‍යද ?) 

මාලනී පෙරේරා මහත්මියත් එක අවුරුද්දක මගේ පන්ති භාර ගුරුවරිය වගේම මගේ සිංහල ගුරුතුමියක්. එතුමිය අපේ ජීවිත වලට ගුරුවරියකට වඩා මවක් වගේ ඉඳන් උපදෙස් දුන්නා. පාසලේදි මම ජයග්‍රහණ ලබා ගත් හැම අවස්ථාවකම එතුමය ආඩම්බරයෙන් කථා කලා. මට එසෙම්බ්ලි එකේදී කලන්තේ හැදුන මොහොතේ මට පවන් ගැහුවෙත් එතුමිය.  එනිසා එතුමියත් මට අමතක කරන්න බෑ. 

හරි ඔන්න මම මූලික හැඳින්වීම කලා ඒත් මෙතන තවත් ගුරු මහත්ම/මහත්මීන් ගොඩක් ඉන්නවා ඒ අය ගැන සඳහනක් නොකරන්නෙ මෙතන මාතෘකාවට ඒ දේවල අදාල නොවෙන නිසා. ඔබගේත් ජීවිත වලට මේ වගේ බලපෑම් කරපු අය අනන්තවත් ඇති. මතකද ඒ අයව ? එහෙනම් නිකමට අතීත මාවත් දිගේ සැරිසරන්න මොහොතකට. 

මම ඥනෝදයට ගිය මුල් අවුරුද්දේ අපේ පන්තියේ චිත්‍ර ගුරුවරය වුනේ අපේ තාත්තා. ඒ නිසා රෙද්ද බැනියම අඳින ඉතාම ප්‍රසන්න එස්.ඒ. දිසානායක කියන ළමා ලෝකයේ හිටිය වීරයගේ ඇසුර ලබන්න මට තවත් අවුරුද්දක් බලා ඉන්න සිදු වුනා. අට ශ්‍රේණියේදී ඔහු අපේ චිත්‍ර ගුරුවරයා පමණක් නොව පන්ති භාර ගුරුවරයාද වුනා. මෙය මා අමානන්දයට පත් කල කාරණයක්. එතුමා මුණ ගැහෙන තුරු මා සිටියේ දැඩි නොයිවසිල්ලකින්. එතුමා අපට මුලින්ම කියා දුන් පාඩම මට අද වගේ මතකයි. ඒ වර්ණ මිශ්‍ර කර වෙනත් වර්ණ සාදා ගන්නා ආකාරය. 

මුල වාරයේදී එතුමා චිත්‍ර ප්‍රදර්ශණයකට "නාන තොටක" චිත්‍රයක් ඇඳගෙන එන්නැයි අපට දන්වා සිටියා. කවුරුත් වගේම මාත් එකක් ඇඳගෙන ගියා. මගේ චිත්‍රය මටවත් තේරුම් ගන්න අපහසු මට්ටමට පත් වූයේ නිසි ලෙස පින්සල හැසිරීමට මා එදා නොදැන සිටීමත්, එවැනි දර්ශණයක් අඳින විට මා මුළු ගං තොටක සිදු වන සියළු දේ අඟල් 12 x 8 වැනි ඉඩකඩක පුරවන්නට යාමත් නිසාය. මා කාඩ්බෝඩ් 3-4ක්ම නාස්තිකර කොපමණ ඇන්දත් කිසිම චිත්‍රයක් අවශ්‍ය දේ පැහැදිලිව පෙනෙන මට්ටමකට ආවේ නෑ. කෙසේ වෙතත් තිබෙන ඒවායින් හොඳම චිත්‍රය මා පාසලට අරගෙන ගියා. එහෙත් චිත්‍ර වලට උපන් හපන්කම් දැක්වූ හරිතප්‍රිය, ප්‍රසාද් සහ දළුගොඩගේ චිත්‍ර අහලක තබන්නවත් මගේ චිත්‍රය  සමත් වුනේ නෑ. මට වඩා පහල පන්තියක මල්ලී කෙනෙක් ගෙනා චිත්‍රය දෙස මා හොරැහින් බැළුවා. ඔහු ඇඳ තිබුනේ ගඟක් වැනි තැනක බාල්දියකින් තම හිසට ජලය දමා ගන්නා කාන්තාවක් හා ගසක සිට ජලයට පනින කොළු පැටියෙක්. එම චිත්‍රය බොහෝ සෙයින් අගය කල දිසානායක සර් 

"සුභාෂ්, මෙන්න මේ වගේ තමයි චිත්‍ර අඳින්න ඕනේ. ලෝකේ තියෙන හැම දේම එක චිත්‍රයකින් පෙන්නන්න බෑ. මාතෘකාව කෙලින්ම පැහැදිලි වෙන ආකාරයට තමයි චිත්‍රය අඳින්නේ. මේ චිත්‍රයේ ගොඩක් දේ නැති වුනත් අවශ්‍ය දේ තියෙනවා. හොඳයි දැන් මේ ළමය පන්තියට යන්න. මම මේක ප්‍රදර්ශණයට යවන්නම්". 
එතනින් මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා. අඳින්න ඕනේ මොන විදියටද කියලා මට දැන් තේරෙනවා. 

මිනිස් සිරුරු, ගස් වගේ දේවල පාට කරන ආකාරය එතුමා ඉතා කදිමට කියලා දුන්නා. කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ගසක හෝ අතක එක් පැත්තක් අඳුරුවත්, අනිත් පැත්ත ඉතාම ලා පාටටත් අඳින්න ඉගැන්නුවා (Shading). ඒත් මම තව අවුරුද්දක් බලා ඉන්න එපැයි මේ වගේ අඳින්න. මට දැන් දිය සායම් වලින් චිත්‍ර අඳින්න පුළුවන්. පින්සල් නොමති විටක හෝ අවශ්‍ය විටෙක් වැටකෙයියා මුලකින් පින්සලක් තනා ගන්නා ආකාරයද එතුමා කියා දුන්නා. මට වැටකෙයියා මුලක් හොයා ගන්න එක ටොයිස් වැඩක්. ඒත් අපේ පන්තියේ සමහර ළමයින්ට ඒක අමාරු වුනා. මම නැති අයටත් එක්ක හීනි වැටකෙයියා මුල් අරගෙන ගියා. අතීතයේ චිත්‍ර ඇඳීම සඳහා යොදා ගන්න ලද ස්වභාවික වර්ණ සහ ඒවා සේදී යාම වලක්වා ගැනීමට යොදා ගත් කහට වර්ග ගැන එතුමා ඉතා උගන්වත්දී අප ඉතා උනන්දුවෙන් සවන් දුන්නා. මේ කාළය වෙද්දි මම කැමතිම විෂය වෙලා තිබුනේ චිත්‍ර. බිතු සිතුවම් අඳිද්දි වර්ණ ගන්වන ආකාරයත්. කොලාජ් නැමැති පාට පාට කඩදාසි වලින් තනා ගන්නා චිත්‍ර, පිඟන් කටු වලින් සෑදිය හැකි මොසායික් චිත්‍ර (දෙහිවල සත්තු වත්තේ ඇති ආකාරයේ), පේපර් පල්ප් වලින් මිනිස් හෝ සත්ව අනුරූ සාදා ගන්නා ආකාරයත් ඉගැන්නුවා. එතුමා කියා දුන් එහෙත් අපට පන්තියේදි කරන්න බැරි වූ එකම දේ වීදුරුවක චිත්‍ර කරන ආකාරයයි. ඒ කාලේ සැලුන් දොරවල් සැරසුවේ මේ වාගෙ ඒවා. 

දැන් එතුමාගේ ගුරු-හුරුකම් වලින් අලංකාරව චිත්‍රයක් සායම් කර ගන්න මටත් පුළුවන්. එක් වෙසක් මාසයක, වෙසක් සිරිය දැක්වෙන චිත්‍රයක් අඳින්න වාර මැද විභාගයකදී ඔහු ලබා දුන් ප්‍රශ්ණ පත්‍රය (කළු ලෑල්ලේ ලියූ) සඳහන් වූවා. මම දන්නා ශිල්ප හා වර්ණ යොදාගෙන මගේ හිතට සෑහෙන ඉතා අලංකාර චිත්‍රයක් නිමවන්නට මට හැකි වුනා. මගේ වම් පැත්තේ ඉන්න ඉරොෂ් ප්ලැටිග්නම් දෙකක් තියාගෙන මුළු චිත්‍රයම ඒකෙන් පාට කරනවා මම දැක්කා. ඔහු ළඟ තිබූ වර්ණ දෙක වුනේ කහ සහ දම්. "මූ නම් සර්ගෙන් හොඳ බැනුමක් අහ ගනියි" යන්න මගේ හිත කීවා. පහුවෙනි දිනයේම සර් චිත්‍ර වලට ලකුණු දමා නැවැතත් සියලු දෙනාගේ චිත්‍ර බෙදා දුන්න. එහෙත් ඉරොෂ්ගේ චිත්‍රය ආපසු නොදී පන්තියේ සියළු දෙනාට පෙනෙන පරිදි කළු ලෑල්ලේ කෙලවරක ඇමිණූ ගුරුතුමා කථා කරන්න පටන් ගත්තා. "දැන් ඉතිං ඉරෝෂයා ඉවරයි. මම හිමිහිට් ප්‍රසාද්ගේ කණට කෙඳිරුවා". මා අනුමත කරන ආකාරයට ප්‍රසාදුත් හිස වැනුවා. 

"හැමෝම මේ චිත්‍රය දිහා බලන්න. බලන්න කොයි තරම් ලස්සනට මේක පාට කරලා තියෙනවද කියලා"
මුළු කොලය පුරා දම් පාට උලලා(හරියට අර තුවාල වලට ගහන බෙහෙත් වගේ) සමහරක් තැන් ටිකක් කළු පාටයි. එක තැනක හඳ ඇඳලා තිබුනා කහ පාටින්. තව තැනක වෙසක් කූඩුවත් කහ පාටයි. ගෙවල් වල වහලත් එහෙමයි. මේ චිත්‍රය කොහොමද එච්චර ලස්සන. කිසිම දෙයක් පැහැදිලි නෑ. එහෙම චිත්‍රයක් කොහොමද ලස්සන වෙන්නේ. හැමදාම ලස්සටම අඳින ප්‍රසාද්ටයි හරිතප්‍රියටයි අට-අට දීලා තිබුනා, මට හතයි. එතකොට ඉරෝෂයට නමයක්. හප්පේ සර්ට ඉතිං කොහොම අඳින්නද කියල මට නම් තේරෙන්නෑ. මම හිතින් කියා ගත්තා. 

නමුත් නවය-දහය ශ්‍රේණි වලට එද්දි එතුමාට නැතිවම බැරි ගෝලයෙක් වෙන්න මම සමත් වුනා. ඒ මගේ සමාජශීලී ගතිය නිසා. ඒ කාළයේ අපේ පලාතේ මළ ගෙවල් වල බැනර් හා තොරණ් අඳින්න මමත්-පාලිත අයියාත් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වුනා. මට විතර හොඳට ලැකර් වලින් අකුරු අඳින්න කාටවත් බැරි වුනා. එක් නිවාඩු කාලයකදි මුළු පාසලම කල එලි කරන්න විදුහල්පති තුමා තීරණය කරා. හැම ගොඩනැගිල්ලක්ම පින්තාරු කරා. පාසලේ පාර දෙපැත්තේ බෝඩ් දෙක අඳින්න දිසානායක සර්ට බාර වුනා. අන්තිමේදි බෝඩ් එකේ අකුරු අඳින්න මම බාර ගත්තා. ඉතාම පැහැදිලිව බෝඩ් දෙක ඇඳ නිම කරන්න මට පුළුවන් වුනා. මම මේකෙදි පොඩි ප්‍රයෝගයක් දැම්මා. සර් ඒකට ඉතාම සතූටු වුනා. පරණ බෝඩ් එක මකන්න කලින් සව් කඩදාසි වලට අකුරු ටික ට්‍රේස් කර ගත්තා. පසුව පසුබිම වර්ණ ගැන්වූවායින් පසුව, කාබන් කොළ තබා නැවත පෙර තිබූ අකුරුම (අලංකාර) බෝඩ් එකට ගත්තා. ඉන් පසුව තමයි පාට කරේ. විදුහල්පති තුමා මේකට එසෙම්බ්ලි එකේදී හොඳ ස්තූතියක් ලබා දුන්නා. 

අපි දහය වසරෙදි පාසලේ උසස්පෙළ පන්ති පවා පරාජය කරමින් හොඳම සඟරාවට හිමි ත්‍යාගය දිනා ගන්න සමත් වුනෙත් දිසානායක සර්ගේ අනුශාසකත්වය ශක්තියක කර ගනිමින්. එහි සම - සඟරා සංස්කාරකවරයෙක් වෙන්න අද මේ ලිපිය ලියන සුදීක සමත් වුනා. එහිදීත් අප අනිත් අයට වඩා ඉදිරියෙන් හිටියේ පත්තර වල තිබෙන පින්තූර අපේ සඟරාවට ගන්න මම දාපු පුංචි, බොහෝ දෙනෙක් දන්න  ප්‍රයෝගයක් නිසා. මුලින්ම ඉටි පන්දමක් අරන් පින්තූරය දාන්න අවශ්‍ය ප්‍රදේශයේ හොඳින් ආලේප කරනවා, පසුව අර පින්තූරය එය මත තබා හොඳින් අතුල්ලනවා සුමට උපකරණයක් භාවිතයෙන්. එහෙම කලාම අර පිංතූර ඒ විදියටම එතන. දන්නේ නැත්නම් ට්‍රයි කරල බලන්න.

එක ඇසල පෙරහැරකට අපි අලි හිසක අනුරුවක් හැදුවා සර්ගේ යෝජනාවකට. ඒ හිස උණ පතුරු වලිනුත්, එහි සම වැනි කොටස තෙත් කර ගත් සිමෙන්ති කොල වලිනුත් සාදා, කඳ ප්‍රදේශයට සිසුන් දෙදෙනෙකු යොදා ගත්තා. මෙය හරියට චීන පෙරහැරවල් වල ගෙන යන මකරාට සමානයි. 

ඉතිං මේ ආකාරයට තමයි සර් අපිව නිර්මාණශීලී අය බවට පත් කලේ. මා කරන හැම නිර්මාණයක් පිටුපසම මේ නිර්ව්‍යාජ කලාකරුවා සිටිනවා කියලයි මට හිතෙන්නේ. හැබැයි මෙතන සඳහන් කලයුතුම සර් දීපු හොඳම අවවාදම මම තාමත් සඳහන් කලේ නෑ. ඒ තමයි.
 "කවදාවත් චිත්‍රයක් ඇඳලා මාතෘකාවක් දාන්න එපා, ඉර බැස යන දර්ශණයක් වගේ. චිත්‍රය බලන කෙනාට ඒකේ මාතෘකාව තේරුම යන ආකාරයටයි අඳින්න ඕනේ" 
එදා ඉඳන් මම හැමදාමත් මේ "රන්- නීතිය" (Golden Rule) අනුගමනම කලා. 





මේ පින්තූරය ගත්තේ එතුමා සම්පත් දායකත්වය සපයන http://lakdivapuvatha.org වෙබ් අඩවියෙනි.

එස්.ඒ. දිසානායක ගුරු පියාණන්ට දීර්ඝායු පතන ගමන් එතුමාට උපහාර පිනිස ලියා තබන ලදී.



ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...