Friday, June 29, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 11 - රාණි කෝ ? සහ සිරිමල්ගේ සිහිනය


දිගු කාලයකින් ලියන්නට මෙන්ම කියවන්න්ටද අවස්ථාවක් උදාවිය. පහුගිය දින කිහිපයෙහි තිබූ කාර්ය බහුලත්වය හා නිවසෙහි පරිඝණකයක් නොවීම ඊට හේතුවයි. මගේ ලැප්ටොප් එකට සිදු වූ සන්තෑසිය පසුගිය ලිපියකින් විස්තර කලා ඔබට මතක ඇතෑයි සිතමි. අද මම ලියන්නට යන්නේ අපූරු හෙල්මට් කතා දෙකකි. මේවා ඇත්තටම සිදු වූ සිද්දීන්ය. හිතා මතා ගොතන ලද කතා නොවේ. 


පලවෙනි කතාව 

ලෙස්ලි කියන්නේ මාත් සමග එකම දෙපාර්ථමේන්තුවේ එකට සේවය කරන සහෝදර සේවකයෙකි. නිතරම විහිළු තහළුවට බර පුද්ගලයෙකි. නිතරම ලොල් කතා පවසන්නෙකින්. මෙය ඔහු කියූ කතාවක් නොව ඔහුට සැබැවින් සිදු වූ අත්දැකීමකි. ලෙස්ලිගේ බිරිඳගේ නම "රාණි". ඔහු තරමටම නිතරම සිනාවෙන් ගත කරන ඔහුගේ බිරිඳද ඉතා සිරියාවන්ත කාන්තාවකි. ඇයට ඉතා හොඳ ඉවසීමක් ඇත්තේය. ලෝකයේ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත(Nobody is perfect). අප සියළු දෙනාගේ පොඩි -පොඩි අඩු පාඩු ඇත. ලෙස්ලිට මේ වගේ තිබූ අඩුපාඩුව ළඟ මතකය(Instant Memory) නැති වීමයි. ඒ කියන්නේ විනාඩියකට කලින් කල දේ අමතක වීමයි. මටත් ටිකක් වෙන්න මේ අඩුපාඩුව තියෙනවා. මේ කියන කාලයේ ලෙස්ලිත් මාත් එකම ඒකකයක වැඩ කලේ. එක දවසක් කෙටි නිවාඩුවක් ගත්ත ලෙස්ලි අපිට මෙහෙම කිව්වා

"මචං අද මම පොඩ්ඩක් කලිං ගෙදර යනවා. හෙට අපේ කෙල්ල මුලින්ම ඉස්කෝලේ යන දවස"

"හරි මචං අපි වැඩ ටික බලා ගන්නම්"

අපි එහෙම කිව්වේ ලෙස්ලියා ගැන තියෙන අනුකම්පාවටම. ලෙස්ලි කියන්නේ දෙමළ කිතුනුවෙක්. රාණිත් එහෙමයි. ඒ කාරණය මෙතන දැම්මේ මේ කතාව තේරුම ගැනීමේ පහසුවට. ලෙස්ලි හැමදාමත් වැඩට එන්නේ මෝටර් සයිකල් එකේ. රාණිවත් ඔෆිස් එකට ඇරලගෙන එනවා. බොහොමයක් ඔෆිස් එන නෝනා මහත්වරු මේ වගේ කරනවා මම දැකල තියෙනවා. අර නෝනා හෙල්මට් එකත් අරගෙන ඔෆිස් යන්නෙ. එකෙන්  සිද්  වෙන තව දෙයක් තියෙනව. තමා විවාහක කාන්ථාවක් හෝ විවාහ අපේක්ෂාවෙන් සිටින පෙම්වතියක් බව එකෙන් හැඟවෙනවා. ඒත් සමහර අය මේ හෙල්මට් එක තියා ගන්නේ වෙනත් කාරණයක් නිසා බව මට මිතුරෙක් කිව්ව. එහෙම නෝනා හෙල්මට් එක දවල්ට තියා ගත්තාම තමන්ගේ සැමියාට හෝ පෙම්වතාට ඩබල් දාලා දවල්ට ගමන් යන්න බැරිය කියන විශ්වාසෙන් තමයි එහෙම කරන්නේ. නමුත් ඕන එකා යාළුවෙක්ගේ හෙල්මට් එකක් ඉල්ලා ගන්නවා. මම හිතන්නේ නම් උපතින් හින්දු කාන්ථාවක් වෙච්චි රාණි මේ දේ කලේ තමන්ගේ පති-භක්තියට. අනවශ්‍ය බරක් තම සැමියාට පටව්න්නැතුව ඉන්න. මේ කියන දවසේ ලෙස්ලි අපේ ඔෆිස් එකෙන් පිටත් වුනේ  තුනයි කාලට විතර. අපේ ඔෆිස් එක තියෙන්නේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර. හවස හතරහමාරට විතර ලෙස්ලිගේ වයිෆ් ඒ කිව්වේ රාණිගෙන් අපේ ඔෆිස් එකට ආව කෝල් එකකකින් මුලු ඔෆිස් එකම කැලඹිලා ගියා. 

"හලෝ. ලෙස්ල් ඉන්නවද?" (රාණි කථා කරන විදියට ලෙස්ලි කියන එක ඇහෙන්නේ ලෙස්ල් කියලා)

"ඔවු රාණි නේද, එයා ඔෆිස් එකෙන් ආවේ තුනයි කාලට විතරනේ දැන් එතනට එන්න වෙලානේ. තවම ආවේ නැද්ද?"

"හරි මම තියන්නම්"

ඇය දුරකථනය විසන්දි කලා. අපට මාර ප්‍රහෙලිකාවක් ලෙස්ලියාට මොකද වුනේ කියල. ඒ 2006-2007 කාල සීමාව. හැමතැනම යුධ හමුදා මාර්ග බාධක. ඒ මදිවට ලෙස්ලි දෙමළ (හැබැයි දෙමළ හරියට බෑ, සිංහල තමයි ලියන්න කියන්න පුළුවන්). 


"මූව හමුදාවෙන් අල්ල ගත්තා වත්ද ?" එහෙම කිව්වේ ප්‍රියන්ත. 

"උගේ සෙල් එකට මම කෝල් කරා, ඒකත් ඔෆ් කරගෙන මූ කොහේ ගියාද ?" 

"උගේ සෙල් එක ඉතිං හරියට වැඩ කරන එකක්   නෙවෙයිනේ"

තවත් විනාඩි හතලිස්පහකින් විතර රාණිගෙන් කෝල් එකක් ආවා. දැන් රාණි ඉන්නේ ගෙදර. අපට දැන් කතාව හතර බීරියි. මූට මොනවා හරි කරදරයක්ද. අපේ ඇස් දෙක නිරායාසයෙන් ඇදී ගියේ රූපවාහිණියට. අපි සිරස දාගෙන බලාගෙන හිටියා මොනවා හරි බෝම්බ පිපිරීමක් ගැන විස්තරයක් තියෙනවද කියලා. ඒත් රෑ 7.00 වනතුරුත් කිසිම විස්තරයක් නෑ. මම දිගටම ලෙස්ලිගේ සෙල් එක ට්‍රයි කරමින් උන්නේ. එක පාරටම රිං වුනා.

"මචං අද මාර වැඩක්නේ වුනේ" ලෙස්ලියා බක බක ගාගෙන හිනා වෙනවා. උගේ හැටි එහෙම තමයි. කොයි දේටත් හිනා වෙනවා. දවසක් කාගෙ හරි අම්ම බාත් රූම් එකේ වැටුනා කිව්වාම "ෂා මරුනේ" කියල කිව්වේ නැද්ද. එවෙලාවේ ගුටි නොකා බේරුණේ ඌ ගැන හැමෝම දන්න නිසා. 

"මොනවද බන් උඹ කරන්නේ. රාණි අපට එක දිගට කෝල් කරනවා. මොනවත් හරියට විස්තරයක් කියන්නෑ. ආපහු ඔෆිස් ආවද කියන එක තමයි අහන්නේ" ඒක අහල ඌ තවත් එක දිගටම නවත්තන්නැතුව හිනා වෙනවා.  මට අම්බානකට තද වුනා. 

"යකෝ දැන්වත් ඔය හිනාව නවත්තගනිං. උඹට ගෑණි දෙයි අද"

"නෑ. මචං රාණිට ගානක්වත් නෑ. මම ගෙදර යන්න කලින් රාණි ගෙදර ගිහින්"

"ඒකම තමයි යකෝ අපිටත් තියෙන ප්‍රශ්ණේ. තුනයි කාලට මෙතනින් ගිය එකා කොහෙ මක බෑවුනාද කියලා"

"උඹට කියන්නේ මම රාණිගේ ඔෆිස් එක ගාවට යද්දී රාණි මාව දැක්ක ගමන්ම හෙල්මට් එක දා ගන්නව මම දැක්ක. මම බයික් එක නවත්වලා. සාක්කුවෙන් ලේන්සුව අරගෙන ඇස් දෙක ඩිංගක් පිහදාලා. වයිසර් එක පාත් කරලා යන්න පිටත් වුනා. කිසි ට්‍රැෆික් එකක් තිබුණේ නෑ. අපි ඉතින් පොඩි කයියක් ගහගෙනම තමයි හැමදාම යන්නේ. මම ඉතිං වටපිට දකින දේවල් ගැන රාණිට පෙන්න පෙන්න, ඒවා ගැන කිය කිය තමයි යන්නේ. අද ගෑණි වැඩි කථාවක් නැත්තේ ඔෆිස් එකේ මොනව හරි ප්‍රශ්ණයක් වෙන්න ඇති කියල මට හිතුනේ. කොහොමත් එහෙම දවස් තියෙනවා. ඒත් කවදාවත් මගෙත් එක්ක තරහා වෙලානම් කථා නොකර ඉන්නේ නෑ. අපි මස් ටිකක් අරගෙන යමු කියලා මම වත්තල හන්දියේදි  බයික් එක මස් කඩේ ගාව නැවැත්තුවා. හෙල්මට් එක ගලවන ගමන් අද මොනවද ගන්නේ කියල අහද්දිත් රාණි උත්තර දෙන්නේ නෑ. රාණි තමයි අනිත් දවසට ගන්න දේවල කියන්නේ. රාණි බැහැල ඇති කියල හිතාගෙන මමත් බයික් එකෙන් බැස්සා. එතකොට තමයි මට දෙලෝ රත් වුනේ. රාණි නෑ"

"මොනවා රාණි නෑ. එතකොට රාණි වැටිලා"

"නෑ, නෑ  බං. මටත් මුලින්ම හිතුනේ එහෙම තමයි. මම කෙලින්ම ඇරලා දාලා රාණිගේ ඔෆිස් එක ගාවට ගියා. එතනත් නෑ. පස්සේ මම හෙමිහිට පාරේ ඇවිත් බැළුවා කොතනවත් වැටිච්ච කෙනෙක් ඉන්නවද කියලා. එහෙම ඇවිත් ගෙදර ආවේ රෑ හතට විතර"

"අම්මට සිරි. එතකොට කොහොමද රාණි ගෙදර ආවේ උඹට කලිං?"

"නෑ මචං. මම රාණිගේ ඔෆිස් එක ගාවදී ඇස් දෙක පිහදාන එක හැමදාම කරනවා. එහෙම පිහදාල ඉවර වෙනකොට රාණි නැගල ඉවරයි. මම කෙලින්ම ගෙදර යනවා. ඒත් අද මචං" ඌ ආයෙත් බක බක ගාලා හිනා වෙන්න ගත්තා.

"උඹට නං හිනා. එතකොට රාණි කොහොමද ගෙදර ආවේ"

"මචං මම ඇවිත් තියෙන්නේ රාණි නගින්න කලින්. රාණි මුලදි හිතල තියෙන්නෙ මම විහිළුවක් කරනවා කියලා. ඊට පස්සේ මගේ සෙල් එකට දිගටම ට්‍රයි කරල. ඒත් වැඩ නැති වුනාම තමයි උඹලට කතා කරල තියෙන්නේ. රාණි ත්‍රීවීල් එකේ ගෙදර ඇවිත්. මම මස් කඩෙ ඉන්නකොට වෙන්නැති මාව පාස් කරගෙන යන්නැත්තේ. මම මස් කඩේ ඉඳල ආපහු කෙලින්ම ගියේ රාණිගේ ඔෆිස් එකටනේ".

"අපිට ඔහොම එකක් වුනානම්" මම දිගු හුස්මක් හෙලන ගමන්ම කිව්ව. 

පින්තූරය ගත්තේ :http://www.123rf.com


දෙවෙනි කතාව 


මුලින්ම මගේ බ්ලොග් රසික/රසිකාවියන්ගෙන් සමාව ඉල්ලනවා පොරොන්දු වෙච්චි විදියට දෙවෙනි කතාව දාන්න බැරි වීම පිලිබඳව. එහෙම වෙන්න හේතුවත් යටිතල පහසුකම් ප්‍රශ්ණයම තමයි. මේ දවස් වල මගේ ඩුප්ලිකේට් අයිපෑඩ් එකට සිංහල ෆොන්ට් ටිකක් දා ගන්න මාර් දත කැවිල්ලක් දානව. වැඩේ ලේසි නැති පාටයි. ගූගල් ප්ලේ එක මගේ එක ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් විදියට අයිඩෙන්ටිෆයි කරන්නෑ. එහෙනම් කතාවට බහිමු.


සිරිමල් කියන්නේ එක්තරා ගමක හිටපු තරුණයෙක්. මේ කොල්ලා එක කන්නයක අස්වැන්න විකුණපු ගමන්ම කරේ මෝටර් සයිකලයක් ගත්ත එක. මෝටර් සයිකලයක් විතරක් නොවෙයි හොඳම වර්ගයේ හෙල්මට් දෙකකුත් ගත්තා. සිරිමල්ට තිබුන හීනයක් තමයි මේ මෝටර් සයිකලයේ පුංචිමැණිකාවත් දාගෙන ගම වටේ උජාරුවට රවුමක් යන්න. පුංචිමැණිකා කියන්නේ සිරිමල්ගේ අනාගත සහකාරිය වෙන්න ඉන්න කෙනා.  ඉතිං ටවුමෙන් මෝටර් සයිකලය ගත්ත සිරිමල් හැල්මේ ඒක පැදගෙන ආවේ පුංචිමැණිකලාගේ දිහාවට. අළුත්ම කිරි ටොයියා බයික් එක දැක්කහම පුංචිමැණිකාටත් වඩා ආඩම්බර උනේ උන්දැගේ තාත්තා වෙච්චි සියාතු ගොයියා. එතන ඇති වුනා මෙන්න මේ වගේ දෙබසක්.


"ආ සිරිමල් අයියන්ඩී මේ තේක බීල ඉන්ටකෝ"


එහෙම කියද්දිත් සිරිමල් උන්නේ බයිසිකලයේ අතන-මෙතන තවමත් ඉතිරිවෙලා තිබ්බ ඉටිරෙදි කෑලි ගලවමින්. එක පාරටම තමන් උන්න සිහින රාජ්‍යයෙන් බිමට කඩා වැටුන සිරිමල් පුංචිමැණිකා දුන්න තේක අතට ගත්තා. අරගෙන එක උගුරට ඒකෙන භාගයක් ඉවර කරලා කෝප්පය පුංචිමැණිකාගේ අතේ තියන ගමන් මෙහෙම කිව්වා. 


"දැන් ඉතිං සුනංගු නොවී ඉක්මනට ඇඳුමක් දාගෙන එන්ට. අපි යමු කන්ඳේ දේවාලෙට ඉස්සිස්සෙල්ල" 



මේ කථාව දිහා තවත් කෙනෙක් කන් යොමාගෙන හිටියා. ඒ සියාතු සිරිමල්ගේ අනාගත මාමන්ඩී. එලිපත්තේ තියෙන බූරු ඇඳේ වාඩි වෙලා බුලත් විටක් සූදානම් කරමින් උන්න සියාතු සිරිමල්ට මේ වගේ ආයාචනයක් කලා


"අනේ සිරිමලෝ මාත් හරිම ආසාවකින් උන්නේ ඔය මොටෝ බයිසිකලයක කොහේ හරි යන්ට. උඹට බැරිද මාවත් ටිකක් දුර ඕකේ තියාගෙන යන්ට?"


ඒ කියපු කථාවට සිරිමල් ඇද වෙලා ගියත්. මාමණ්ඩියා තරහා කරගෙන කොහොමද ? කියන ප්‍රශ්ණාර්ථය සිරිමල්ගේ හිතේ බුර බුරා නැග්ගා. දැන් ඉතිං මොනවා කරන්ටද ? එක්කං යනව ඔන්න ඔහේ. කියල සිරිමල් හිතා ගත්තා. මමත් බූරුවා වගේ කඩාගෙන මෙහාට ගෑටුවානේ. එන්ට තිබ්බේ කවුරුත් නැති වෙලාවක් බලලා. ඒත් එහෙම කරන එකත් නරකයි නොවැ. මේ ගං තුලානේ උන් හිතයි මං කවුරුත් නැති වෙනකං ඉඳලා ගෙට රිංගනවා කියලා. සිරිමල්ගේ හිතට දහසක් දේ ආවා. අන්තිමේදි හිත හදාගෙන මාමණ්ඩිගෙන් මෙහෙම ඇහුවා.


"සියාතු මාමා මීට කලියෙන් මෝටර් සයිකලයේ ගිහින් තියෙනවාද ?"


"අනේ නැහැ කොළුවෝ. උඹට තමා මේ පළමු වතාවට කිව්වේ"


"හා යං එහෙනම් මේ හෙල්මට් එක දා ගන්ට. ඉන්ට මමම දාන්නම්."


සීරිමල් දඟලලා දඟලලා සියාතුගේ ඔළුවට හෙල්මට් එක දැම්මා. වයිසර් එකත් වහලා බොහෝම පරිස්සමට සියාතුව පස්සෙන් නග්ගගෙන දැන් යනවා. මෙහෙම ගියාට සියාතුත් හොඳටම බයයි මෝටර් සයිකලේ යන්න. එක පාරටම සියාතු මහා හඬින් කෑ ගහන සද්දෙට ගැස්සිලා ගිය සිරිමල් බයිසිකලය නවත්වලා ස්ටෑන්ඩ් එක ගහලා බැස්සා. 


"අනේ බුදු අම්මෝ මං නැතෝ. අනේ සිරිමල් කොළුවෝ මට මොනවද වුනේ. මේ වහන්තරාව ගලවපන්. මගේ ඔළුව පැලිලිලද බලපං"


හෙල්මට් එක ගලවන්න කලින්ම සිරිමල්ට කාරණය වැටහුනා. ඒ දැකපු දර්ශණයෙන් සිරිමල්ට ආවේ වේදනාවක්. අන්තිමට වෙලා තිබුන දේට කොයි තරම් දුකකින් හිටියත් සිරිමල්ට හිනා ගියා. හෙල්මට් එක ගලවන ගමන් මෙහෙම කිව්ව.


"මාමන්ඩී මේ හෙල්මට් එක ඉස්සරහ වීදුරු වගේ තියෙන එක (වයිසර් එක) තියෙද්දිම තමයි විට කාල කෙල ගහලා තියෙන්නේ. 





Friday, June 22, 2012

පියරත්න අයියා 2 : ගැටළුවට විසඳුම්.



මේ පොස්ට් එක ලියන්න හිටියේ 19 වෙනිදා උනත්, මගේ දුව ඉස්කෝලේදි නළල තුවාල කරගෙන. පහුගිය දවස් දෙකේම ඒකට දුව-ඇවිද්දා මිස මොනවත් සිහියට ආවේ නෑ. ඉතිං මම හිතනවා ඔයාලට ඒ තත්වේ තේරුම් ගන්න පුළුවං කියලා. අපි දැන් ගැටළුවට යොමු වෙමු.

මට එතනදි සඳහන් කරන්න බැරි වුනු එකම දේ තමයි, මේ මළ ගෙදර වුනේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රත්නපුර ප්‍රාදේශීය කාර්‍යාලයේ රියැදුරෙකු වෙන පියරත්න මහතාගේ නිවසේ කියල.

කතාවේ දෙවෙනි කොටසත් ලියන්නම්.

සිකුරාදා ඔන්න ශාඛාවේ වැඩ කටයුතු හමාර කරලා, එයාල දුන්න පාටියත් බුක්ති විඳලා, රෑ අටට විතර එන්න පිටත් වුනා. මේක ජයන්තයගෙන් අහල ඌව අපහසුතාවට පත් කරනකම් අපිට ඉවසුමක් නෑ. ඒත් තනිපංගලමේ මිස්ට ජයන්තව අල්ලගන්න අපිට බැරි වුනා. එ  ත් කරුමෙට නිශාර් මහත්මයා අපේ වාහනේට නැග්ග ඇහැලියගොඩින් බහින්න. එතුමාව නිවසටම ඇරලල ආපහු කොළඹ පාරට දැම්ම ගමන් මම  කටහඬ අවදි කලා

"ජයන්ත : පියරත්න අයියගෙ පුතා පව් නේද ?"

"අනේ ඔව් මිස්ෂ දිල්රුක්, පුතාට වඩා පියරත්න අයියා පව්"

"එතකොට ජයන්ත කොයි කාලෙද පියරත්න එක්ක වැඩ කලේ ?" එහෙම ඇහුවේ ආනන්ද.

"ගිය මාසෙත් වැඩ කලා මිස්ෂ ආනන්ද"

"කොහේදිද පියරත්න අයියත් එක්ක වැඩ කලේ ?" කතා බහට නාමලුත් එක් වුනා.

"ක්ලියරින් එකේදිනේ අපි දෙන්න එකට වැඩ කලේ. ඉතිං දවසක් කයියක් ගහගෙන් ඉන්නකොට තමයි පියරත්න අයියා මට මේ ගැන කිව්වේ"

"අනේ නිකං පලයං ජයන්ත යන්න, උඹ පියරත්නව ඇහැටවත් දැකලා නෑ. ඇයි යකෝ අපේ පියරත්නයා අඩි හයකටත් වඩා උසයිනේ" ආනන්ද කියද්දී ජයන්ත කිසි සද්දයක් නෑ.

"උඹ හිතුවද අපිව තම්බන්න, මේ පියරත්න වැඩ කරන්නේ එන්.එස්.බී. එකේ."

"ආහ් ! ඇත්තද ? අනේ බොරු කියන්න එපා මිස්ෂ දිල්රුක්"

-----------------------------------------------------------------------
හැබැයි ඔයාලා කතාව හරියට කියෙව්වානම් මෙන්න මේ කාරණා පැහැදිලියි


අපේ පියරත්න වැලිවේරියේ මේ පියරත්න පැල්මඩුල්ලේ. 



//"අර වැලිවේරිය පැත්තේ ඉන්නේ. මිනිහගේ ඇඟ නම් ගැලපෙන්නේ හමුදාවේ ලොක්කෙකුට. ඒත් පුදුම අහිංසකයෙක්"  එහෙම කිව්වේ මම//


අපේ පියරත්න අඩි හයකටත් වඩා උසයි හැබැයි මේ පියරත්න අඩි පහක් විතර ඇති. 

//"ඔව් දන්න්නවා අර යෝදයෙක් වගේ මිනිහානේ. පර්මනන්ට් එක්කෙනෙක්නේ. අපිත් එක්ක ගමනක් දෙකක් ගිහින් තියෙනවා"//

//සුදු බුෂ් කෝට් එකක් ඇඳගත් අඩි පහක් විතර උස් කෙනෙක් ඇවිත් වට පිට බලද්දී අර කාන්තාව අපිව පෙන්නුවා//

සැකය උපදින්නේ මෙන්න මෙතනදී 

//මෙහෙම කියද්දි තමන්ගෙ දරුව මළ ශෝකයෙන් ඉන්න පියරත්න අයියාගෙ මුහුනේ සිහින් සිනා රැල්ලක් ඇඳී යන බවත් ජයන්තය අප් දෙස හොරෙන් බලනවාත් //

ෆොටෝ එකේ පියරත්න අයියල දෙන්න ඉන්නවා.

පින්තූරය ගත්තේ : http://uphillwriting.org

Monday, June 18, 2012

පියරත්න අයියා



ආරම්භක සටහනේදී පොරොන්දු වෙච්චි විදියට මට රාජකාරි දිවියේ රසමුසු තැන් බෙදා හදා ගන්න බැරි වුන බව පනස්වෙනි පෝස්ට් එකේදි මම ලියපු 50 වැනි පියවරේදී ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමක් කියන ලිපියෙන් පෙන්වා දුන්නා. මා මේ ලිපි පෙල ගෙන යන රිද්මයට අනුව ලිපියක් හැර ලිපියක් "ලොල් කතාවක්"  ලිවීමේ පරිචය ආරක්ෂා කරගනිමින් 55වන පොස්ට් එකටත් ලොල් කතාවක් ලිව්ව. එහෙනම් දැන් වාරය එලඹිලා කියල මට හිතුනා. 


මෙම සිදුවීම සිදුවෙච්ච කාලසීමාව හරියටම කිව්වොත් 2003 පෙබරවාරි මාසේ මැද හරියේ. අපි ඒ කාලේ කරපු රාජකාරිය තමයි අත්හුරු ක්‍රමයට ඒ කියන්නේ මැනුවල් ක්‍රමයට තිබුන අපේ ශාඛා පරිඝණකගත කරන ගමන් එම ශාඛා වල ඉන්න බාල-මහළු සේවක මහත්ම මහත්මීන්ට මේ පද්දතිය පිලිබඳ පුහුණුව ලබා දෙන එක. මම හිතන්නේ මගේ රාජකාරි දිවියේ ඉතාම රසවත් කාලසීමාව මේක කිව්වොත් නිවැරදියි. ඔය කියන කාලයේ අපේ ඔෆිස් එක තිබුනේ නුගේගොඩ පාගොඩ පාර පටන් ගන්න තැන තියෙන මහජන බැංකු ශාඛාවේ තුන්වෙනි මහලේ. එතන අපේ ප්‍රධානියා වෙලා හිටියේ විතාරණ කියලා මහත්මයෙක්. ඔහුගේ හැඩහුරුකම ගැන වැටහීමක් ගන්න අවශ්‍ය නම් දිඹුලාගල හාමුදුරුවෝ සිහිපත් කර ගන්න. ඒ වගෙ සියයට සීයක් පැහුණු කොන්ඩයක් සහ රැවුලක් තිබුණු පුද්ගලයෙක්. හරිම වෙනස් චරිතයක්. වෙලාවකට අම්බානකට තද වුනත්, බොහෝ වෙලාවට මිත්‍රශීලී පුද්ගලයෙක්. ඒ වුනාට අපි මිනිහත් එක්ක වචන පාවිච්චි කරන්නේ බොහොම පරිස්සමට. වැරදිලාවත් වැරදි දෙයක් පිට වුනොත් තව අවුරුද්දකින් විතර තමයි ඒකේ ප්‍රතිවිපාක විඳින්න ලැබෙන්නේ. මේ මහත්තයාගේ තිබ්බ තවත් හොඳ ගුණයක් තමයි එතුමාගේ සැලකිල්ල තනතුරු මත පදනම් නොවී කල හැකි වැඩ හා දක්වන ලද කැපවීම මත පදනම් වෙන එක. එතුමා ගන්න තීරණයක් වරදින්නේ කලාතුරකින්, හරි හෝ වැරදි එම තීරණයේ එතුමා ඉන්නවාව. මේ කතාවට එතරම් වැදගත් නොවුනත් ඒ කාළයේ අපිට මුහුණ දෙන්න වුනු අත්දැකීම් වලට එතුමත් වගකිවයුත්තෙක්. ඉතිං එතුමා ශාඛාවකට යන්න තුන්දෙනෙකුගේ වැඩිම උනොත් හතරදෙනෙකුගේ නම් වයිට් බෝඩ් එකේ ලියනවා. හරියට නම් ප්‍රසිද්ධ කරනවා වගේ. ටිකක් කලින් බෝඩ් එකේ ලියනවා යම් අපහසුතාවයක් තියෙන අයෙක් ඉන්නවා නම් කතා කරගෙන් වෙනස් කර ගන්න පුලුවන්. හැබැයි වෙනත් ශාඛාවකට යන කණඩායමක තමන්ගේ මට්ටමේ කෙනෙක් එක්ක විතරයි. 

ඔන්න ඔය වගේ වාතාවරණයක් තිබුන කාලෙක පැල්මඩුල්ල ශාඛාවට යන්න ලියලා තිබ්බේ නාමල්, ආනන්ද එක්ක මගේ නම. අපි ඉතිං මේව සංශෝදනය කරන්න ගියේ නෑ. එතකොට මමයි ආනන්දයි තනිකඩයෝ(තනි-කාඩයෝ) වුන නිසා අපට ගැටළුවක් නෑ. නාමල්ටත් ඒක ප්‍රශ්ණයක් වුනේ නෑ. කොහොමත් මේ බෝඩ් එක ලියන්නේ නාමල් හින්දා නාමල්ගේ නම ලියවෙනවා කියන්නේ ඉතිං ඒක වෙනස් වෙන්න බෑ. එහෙම වුනොත් කලාතුරකින්. කොහොමින් කොහොමින් හරි ඔය කියන දවසත් ලං වුනා. අපි මේ වගේ ගමන් යන්නේ සිකුරාදා උදේ. හුඟක් දුර ගමනක් නම් ඊටත් කලින් පිටත් වෙනවා. මේ කාලේ අපේ ප්‍රවාහණයට බැංකුවට වෙනත් පුද්ගලික ආයතනයකින් ගත්ත වාහන තමයි යොදා ගත්තේ. එහෙම එන වාහන බොහේ විට අයිතිකරු විසින්ම පදවගෙන යන අවස්ථාත් තියෙනවා නැත්නම වෙනත් රියැදුරෙක් සේවයට යොදලා එවනවා. මේ වගේ එන ඩ්‍රයිවර්ලා ඉන්නවා එක-එක තරාතිරම්වල, එකිනෙකට වෙනස් චරිත. බොහෝ චරිත හරි විහිළු සහගතයි. සමහරු අහිංසකයි. විවිධ අත්දැකීම් තියෙන අයත් ඉන්නවා. මේ ගමනටත් අපිට සෙට් වෙලා හිටියේ හොඳ කයිවාරු කාරයෙක් වන මිස්ට ජයන්ත. ඉන්න තැන අපි ජයන්ත කිව්වත් නැති තැන කියන්නේ මිස්ට ජයන්ත කියලා. එහෙම කියන්නත් හේතුවක් තිබුනා බොහේ දෙනා අපිට නාමල් මහත්තයා , ආනන්ද මහත්තයා, දිල්රුක් මහත්තයා ආදී වශයෙන් කථා කරන්න පුරුදු වෙලා හිටියත් ජයන්ත විතරක් මිස්ට නාමල්, මිස්ට ආනන්ද, මිස්ට දිල්රුක් කියල අමතනකොට අපට හිනා නොවී ඉන්නම බැරි වුනා. මොකද මේ හාදයා මිස්ට කියන එකත් ටිකක් පොෂ් විදියට කිව්වේ "මිස්ෂ"  කියල. නිතරම තවුසන්ඩ් ටොක්ස් දෙන එක තමයි මිස්ට ජයන්තගේ තිබුන අනිත් විශේෂත්වය. මිනිහා කියන විදියට ඉස්සර මිනිහට හොඳට සල්ලි තිබී ඇත. 


"ඒ කාලේ මාත් මිස්ෂ දිල්රුක්ල වගේ හොඳට කාල-බීල-ඇඳලා හිටියා. මම ඒ කාලේ මිස්ෂ දිල්රුක් වගේම හොටෙල් එකේ වැඩ කරේ. දන්නවනේ හොටෙල් වල වැඩ කරනකොට ඉතිං ටිප් එක එහෙමත් හොඳට හම්බෙනවනෙ. ඒ කාලේ මට ඉතිං කිසි අඩුවක් තිබුනේ නෑ.  මට හොඳට කුකිං එහෙමත් පුළුවන්."


මේ වෙලාවේ මගේ සිහියට ආවේ මේ හාදය හොඳට කුකිං දන්නවා කියල ක්‍රිකට් ටීම් එකත් එක්ක නුවර එළියේ ගිය වෙලාවේ ඔම්ලට් හදන්න ගිහින් කටේ තියන්න බැරි ගානට කර වෙච්ච ඔම්ලට් හැදුව හැටි. ඒ වගේම මේකාගේ තවත් පුරුද්දක් තිබුනා, ඒ අපේ කට්ටියත් එක්ක රෙස්ටුරට් වලට ගිය වෙලාවට ඉවක් බවක් නැතිව බයිට් ඕඩර් කරන එක.  දවසක් නුවර එළියේ අර ලයන් පබ් එකේදී මිනිහා


"මල්ලි චිප්ස් එකක් ගෙන්න, මල්ලි ඩෙවල්  එකක් ගෙන්න" 


කියා කියා බයිට් ඔර්ඩර් කරත් බිල ආවාම ඔලුව කහ කහ ඉන්න එක තමයි පුරුද්ද. අපේ සමහර අයට මේක මහා වදයක් වෙලා තිබුන. ඒ වගේම තමයි මේ වගේ දුර ගමන ගියාම හදන පූල් එක සෙට්ල් කරන්නති එක. පූල් එක කියන්නේ සියලු දෙනාගේ වියදම් එකතු කරලා ගිය අය අතර බෙදා ගන්න එක. අවසානයේදී හැමෝම තමන්ගේ වියදම පියවන එක තමයි කරන්නේ. ඒ වගේ වෙලාවට මිස්ට ජයන්ත අපිට කියංන්නේ මේ වගේ කථා


"මිස්ෂ දිල්රුක් මම නුගේගොඩ ගිය ගමන්ම දෙන්නම්"


මෙහෙම කියල ෂේප් වුනත් කවදාවත් මතක් කරලා දෙන පුරුද්දක් මිනිහ ගාව තිබ්බේ නෑ. කවුරැ හරි බල කරලා ඉල්ලුවොත් හතරෙන් පංගුවක් විතර දීලා ඉතිරි ටික පස්සේ දෙන්නම් කියනවා. මිනිහාගේ තියෙන හොඳ ලක්ෂණය තමයි නීට් එකට අඳින එක.  බොහෝ වෙලාවට අපි මේ වගේ කන්ට්‍රක්ට් ඩ්‍රයිවර්ලට ලොකු ගණන් දැම්මේ නෑ. බොහෝ විට කෑම වියදම් විතරයි ගත්තේ. ඇත්තටම මේ අයට ලැබෙන පඩිය අපි වගේ හැසිරෙන්න ප්‍රමාණවත් නෑ. පැල්මඩුල්ලේ යන දවසට කලින් දවසේ අපේ අය අතර වුන සාකච්චාවක් මෙන්න මේ වගේ


අකිල : මචං අර මිස්ට ජයන්ත කවදාවත් හරියට පූල් එක සෙට්ල් කරන්නෑ. මම නං  හරියට ගාන කියල ඉල්ලා ගන්නවා.


පෙරේරා : උන් බං බොරුව කරන්නේ. උන්ට ඕනෑතරම් සල්ලි හම්බ වෙනවා. මස්සිනාගේ වාහනේ කිව්වට ඒක උගේද කියල කවුද  දන්නේ?


ගුහා: පව් බං හයින්සකයෝ. උන්ට එච්චර පඩිය හම්බෙන් නේ. දවසක් මං එක්ක එනකොට බබාට කිරි පැකට් ගන්ඩ ෂල්ලි නේ කියල මගෙන් තමා ෂල්ලි ඉල්ලා ගත්තා. මම ෂල්ලි එපා කිව්වා.



මම : මටත් පොළු කීප වතාවක්ම තිව්ව. මේ පාර නම ඔක්කොම ගන්න ඕනේ.


අකිල : යන්න කලින් කියපං ගමනට ඇති වෙන්න සල්ලි අරන් එන්න කියලා. මම නම කියනව යි දෙකක් නෑ.


මෙහෙම කතාව අවසන් වෙලා වාහනේට දාගන්න තියෙන ප්‍රින්ටර් රිබන්, නම්බරින් මැෂින්, ටේප්, ඩිස්කට් ටිකත් අරන් මං පහලට බැස්සා. පහලම තට්ටුවේ කොරිඩෝ ඒක ළඟ තියෙන ඩිවාන් එකක තමයි අපේ ඩ්‍රයිවර්ලා ටික වාඩි වෙලා ඉන්නේ. එතන මිස්ට ජයන්ත ඇතුළු ඩ්‍රයිවර්ලා කිහිප දෙනෙකුත්, අපේ බඩු පටවන ප්‍රසන්නත් හිටිය. මම ප්‍රසන්නට බඩු ටික දීලා මෙහෙම ඇහුව


"හෙට අපෙත් එක්ක පැල්මඩුල්ලේ යන්නේ කවුද ?"


"මම"  කියල ජයන්ත නැගිට්ටා


"එහෙනම් එහෙදි වියදමට ඇති වෙන්න සල්ලිත් අරගෙන එන්න. අපේ ලඟත් සල්ලි නෑ මේ දවස් වල. එහෙනම් හෙට උදේ අට වෙද්දී අපේ ගෙදරට එන්න"
එහෙම කියද්දී ජයන්තගේ මුණ ඇද වෙලා යනවා මම දැක්ක. කොච්චර වුනත්  මගේ හිතට හරි නෑ. මම ගෙදර ගියා.


ඊලඟ දවස උදා වුනා. ජයන්ත ආවා උදේ අට වෙද්දී. ගෙදර අයට කියල මගේ බෑග් එකත් පටවගෙන දැන් අපි දෙන්න යනවා ආනන්දව ගන්න. ටිකක් දුර යනකං දෙන්නම කථා නෑ. මේ මිනිහා මගෙත් එක්ක තරහ වෙලාද? ටික වෙලාවකින් ජයන්ත කථා කළා. 


"මිස්ෂ දිල්රුක් ඊයේ මොකද වුනේ. මිස්ෂ දිල්රුක් කවදාවත් ඒ වගේ කථා කරන එක්කෙනක් නෙවෙයි. කට්ටිය ඉස්සරහ මාර ලැජ්ජාව. පැත්තකට අඬගහල කිව්වනම් කමක් නෑ."


"අනේ සොරි ජයන්ත අපේ කට්ටිය මේ ගැන ගොඩක් කථා වුනා ඊයේ. යන්න කලින් ඩ්‍රයිවර්ස්ලට මෙහෙම කියන්න ඕනේ කියල. කරුමෙට මේක මුලින්ම කියන්න වුනේ මට"


ඊට පස්සේ මිනිහා ඩයරිය අස්සෙන් ඇදලා ෆොටෝ එකක් ගත්තා. 


"මේ බලන්න මිස්ෂ දිල්රුක් මේ ඉන්නේ මගේ නොනයි බබයි මායි. ඔයා දන්නවා නේද  අර ..... කියන නිළිය එතකොට එයාගේ නංගි .... ඒ මෙයාගේ අක්කකයි නංගියි.  මම ඩීසළුත් ගෙදරින් ගේන්නේ.බොරුනම් බලන්න පිටිපස්සේ තියෙන බැරල් එක"


මට හරි දුකක් ඇති වුනා. මිනිහට ඇත්තටම අමාරු ඇති. නැත්නම් මේ ෆොටෝ ගෙනත් පෙන්නන්නෑ. මේ පාර මිනිහගේ වියදම මම ගෙවනවා. එහෙම හිතද්දී අපි දෙන්න ආනන්දලාගේ ගෙදර ගාවට ඇවිල්ල.


"හරි ජයන්ත දැන් වුන දේ වුනා. ඕක අමතක කරලා දාන්න. අපි එහෙට ගිහින් හොඳ සොමියක් දාමු".


ආනන්ද ආවා. ඊළඟට නාමල් ගත්තා නිට්ටඹුවට ගිහින්. අපි පැල්මඩුල්ලට ගියා. මම හිතුවා මිනිහා මේ පාර අපෙන් ඈත් වෙලා පැත්ත ගහල ඉඳීද කියල. එත් මිනිහගේ කිසි වෙනසක් නෑ. මේ වගේ බ්‍රාන්ච් එකක් ඔන්ලයින් කරන්න ගියහම අපිට ඩ්‍රයිවර්ස්ලා එක්ක වැඩිය කතා කරන්න හම්බ වෙන්නෑ. කෑමට යන ගමන් නැත්නම් තේකක් බොන්න යන ගමන් තමයි කතාවට සෙට් වෙන්නේ. එහෙම සෙට් වෙන වෙලාවට බ්‍රාන්ච් එකේ එකේ මොකක් හරි ඔපයක්‌ හොයාගෙන එන්න ජයන්ත දක්ෂයා. මිනිහා බ්‍රාන්ච් එකේ සෙකුයුරිටි එක්ක ලොකු කයියක් ගහගෙන ඉන්නවා අපි දැක්ක. එදා ඒ කියන්නේ අපි එහෙ ගිහින් හතරවෙනි දවසේ විතර හවස පහට අපිත් එක්ක තේ බොන්න ටවුමේ කඩේකට යන ගමන් මිනිහා පුරුදු පරිදි කතා කරන්න පටන් ගත්තා. 


මිස්ෂ නාමල් දන්නවද අපේ පියරත්න අයියා ? "


"ඔව් දන්න්නවා අර යෝදයෙක් වගේ මිනිහානේ. පර්මනන්ට් එක්කෙනෙක්නේ. අපිත් එක්ක ගමනක් දෙකක් ගිහින් තියෙනවා"


"අන්න හරි අර අම්පාරේ ඉඳලා ලඟදී ට්‍රාන්ස්පොර්ට් එකට මාරු වෙලා ආවේ"


"අර වැලිවේරිය පැත්තේ ඉන්නේ. මිනිහගේ ඇඟ නම් ගැලපෙන්නේ හමුදාවේ ලොක්කෙකුට. ඒත් පුදුම අහිංසකයෙක්"  එහෙම කිව්වේ මම


"ඕව්, ඔව්, ඔව්, ආන්න හරි මිස්ෂ දිල්රුක්"


"ඉතිං, ඉතිං මොකද වෙලා තියෙන්නේ?"


"මිස්ෂ ආනන්ද, අපි ඉතිං ප්‍රයිවෙට් පර්මනන්ට් කියල නෑ. ඉන්නේ එකටනේ, අනිත් එක සමහර පර්මනන්ට් කට්ටිය වගේ මිනිහා කාටවත් කැපිල්ලක් දාන්නෙත් නෑ. මේ කේස් එක හින්ඳා මිනිහා මාර අප්සෙට් එකේ හිටියේ"


"පියරත්න අයියා කොහොමත් හිත හොඳ මිනිහනේ. එයාගේ හොඳම යාළුවාගේ දුවව ගෙදර නවත්වා ගත්තා. ඒක තමයි කෙස් එක වෙලා තියෙන්නේ"


"ඕක මහ ලොකු කේස් එකක්ද. කන්න බොන්න ටිකක් දීලා, පොඩ්ඩක් බලා ගන්න එකනේ තියෙන්නේ. එතකොට මොකටද ඒ ළමයව පියරත්නලගේ ගෙදර නවත්තං තියෙන්නේ"


"එහෙම නෙවෙයි මිස්ෂ ආනන්ද, පියරත්න අයියගේ පුතාත් ගෙදර ඉඳිද්දී පිට කෙල්ලෙක් ගෙදර නවත්ත ගත්තේ පියරත්න අයියගේ තියෙන හිත හොඳ කමට. හොඳම යාළුවාගේ වචනේ අහක දාන්න බැරි කමට උදව් කරන්න්න ගිහින්නේ මේ කරදර ඔක්කොම. ඒ ළමයව පංති යන්න තමයි එහෙ නවත්තං තියෙන්නේ"


"හරි දැන් මොකද වෙලා තියෙන්නේ ?" අපි දෙන්නෙක්ම එකම ප්‍රශ්ණේ එක පාර ඇහුවා.


"වෙන්න තියෙන ලොකුම දේ වෙලා. මෙහෙම කොල්ලෙකුයි, කෙල්ලෙකුයි එකට තිබ්බම සෙට් වෙන එක නවත්වන්න බෑනේ. දෙන්න සෙට් වුනා. අන්තිමට කෙල්ල බඩ වුනා. කොල්ල බය වෙච්ච පාර බෙල්ලේ වැල දා ගත්තා !!!"


"ඊයේ තමයි වෙලා තියෙන්නේ. අද රෑට නම් මම කොහොම හරි යනවා. හෙට ආදාහනේ"



"නෑහ් ! පුදුම මෝඩයක්නේ" එහෙම කිව්වේ කවදත් විහිළුකාරයෙක් වෙච්ච ආනන්ද. 


"හරි දැන් ඔයා ගිහින් කොහොමද ? කවුද වාහනය එලවන්නේ? "


"නෑ නෑ කොහේවත් යන්න ඕන නෑ. මළගේ තියෙන්නේ මේ ළඟ බලන්ගොඩ පාරේ කිලෝ මීටර් පහක් විතර ගියහම"


"හරි ඒ වැඩේ හරි කියමු. අපි අද තුසිත මල්ලිත් එක්ක කථා වුනානේ ඇල්ලක් ගාව නාන්න යන්න" 


"හරි කමක් නැහැ. අපි එතනට ගිහින් රෑ වෙලා යමු" 


"ආ එහෙනම් එහෙම කරමු" 




දිය ඇල්ලට ගිහින් නා කියාගෙන අපි දන්න තවත් ගෙදරකටත් ගිහින් මළ ගෙදර යන්න පිටත් වුනා. මට යන අතරෙදි හිතුනේම මේකනම් කිලෝමීටර් ගාණ වැඩි කරන්න මූ කරන කට්ට කමක් කියලමයි. රෑ දහයත් පහු වෙලා දැන් පැල්මඩුල්ල නගරය පහු කරලා බලන්ගොඩ පැත්තට වාහනය සාමාන්‍ය වේගයකින් ගමන් කරනවා. මෙහෙම ටික දුරක් ගිහින් දකුණු පැත්තට තියෙන්න පල්ලමට වාහනය හරවලා ඉදිරියට යත්දී කටහඬ අවදි කරපු නාමල්


"මළ ගෙදර හරි නේද ජයන්ත ?" 


"ඔව් ඔව් මම ඔක්කේම විස්තර අහ ගත්තා මිල්ටන්(සෙකියුරිටි ) අයියගෙන්"


පල්ලමේ කිලෝ මීටර් භාගයක් විතර ගිය තැන වාහනය නතර කලා. කරලා අපිත් වාහනයෙන් බැහැ ගත්තා. අපි ඇඳන් ඉන්න ඇන්දුම් ගැන සිහියට ආවේ එතනදි. මෙහෙම මළ ගෙවල් වල යන එක හොඳද ? මම ඇඳල හිටියේ තැඹිලි පාට ටී ෂර්ට් එකකුයි නිල් පාට ෂෝර්ට් එකකුයි. 


"කමක් නෑ මිස්ශ දිල් රුක් පියරත්න අයියා අපේ එකානේ මොනවත් හිතන එකක් නෑ"


මෙහෙම ශෝර්ට් ගහගෙන යන අපි දිහා මළ ගෙදර තැන තැන පිරිල උන්න කොල්ලෝ අමුතු විදියට බලනවා. සැහෙන්න පිරිසක් මළ ගෙදර පිරිලා ඉන්නේ අකල් මරණයක් හින්දා වෙන්න ඔනේ. මට දැන් මැවිලා පේනවා ඇඩූ කඳුලින් ඉන්න පියරත්නව. මල ගෙදර මිදුලට ගිය ගමන්ම ජයන්ත ක්‍රියාත්මක වුනා. ගෙදර හිටිය කාන්තාවක් දෑත් එක්කොට අපි පිළිගන්නවාත් එක්කම මෙහෙම ඇහුවා. 


"කෝ පියරත්න අයිය පේන්න නෑනේ ?"


"ආ ඉන්න මම එයාට කථා කරන්නම් ගේ ඇතුලේ ඇති. මහත්තෙලා වාඩි වෙන්න"


"කියන්න අපි බැන්කුවේ එයත් එක්ක වැඩ කරන කට්ටිය කියලා"


මේ අතර වාරෙදි බිස්කට් හා තේ වලින් අපට සංග්‍රහයක් ලැබුනා. සුදු බුෂ් කෝට් එකක් ඇඳගත් අඩි පහක් විතර උස් කෙනෙක් ඇවිත් වට පිට බලද්දී අර කාන්තාව අපිව පෙන්නුවා.


අපිට ආචාර කරපු පියරත්න(අපිට හිනා යන්න ආවත් මළ  ගෙදරක් හින්දා වලක්වාගෙන බොහොම අමාරුවෙන් හිටියා එක්ක ජයන්ත කතා කරන්න පටන් ගත්තා.


අනේ පියරත්න අයියෙ මම මේ දැන ගත්තු ගමන්මයි ආවේ. මට ඉතින් පියරත්න අයියා මෙ විස්තර ටික කියලනේ තිබුනේ"


මෙහෙම කියද්දි තමන්ගෙ දරුව මළ ශෝකයෙන් ඉන්න පියරත්න අයියාගෙ මුහුනේ සිහින් සිනා රැල්ලක් ඇඳී යන බවත් ජයන්තය අප් දෙස හොරෙන් බලනවාත් වාඩි වී උන් අප දැක්කා. අප තිදෙනා කථා වූවේ මේ ගැන පසු දිනයක ජයන්තගෙන් විමසන බවයි. මළ ගෙදර සිට යන අතරදීත් ජයන්ත පියරත්න අයියා ගැන කියවන්න ගත්තත් සිදු වී තිබෙන දෙය තේරුම් ගත් අප පස්සෙ වෙලාවක මූට අම්බානකට දෙන්න හිතාගෙන නිදි සුවයෙන් ගමන් ගත්තා. 



පින්තුරය ගත්තේ : statsmakemecry.com

Tuesday, June 12, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 10 - එතකොට අනිත් එක්කෙනා ?



http://www.moviefanfare.com
මේ කතාව මම අහපු එකක්. මේක මම දන්න ඩ්‍රයිවර් කෙනෙකුට වෙච්ච වැඩක්. හැබැයි එයා මේ කතාව කියන්නේ නෑ. මේ ඩ්‍රයිවර්ලා ස්ථිර සේවකයෝ නෙවෙයි. එක යුගයක් තිබුනා රජයේ වගේම පුද්ගලික ආයතන සියල්ලම වගේ වෙනත් පුද්ගලික ආයතනයකින් වාහන කිලෝ මීටර් ගානට ගන්නවා. එහෙම ගත්තාම ඒ ආයතනයට හොඳටම ලාබයි. ආයතනයේ ඩ්‍රයිවර් කෙනෙක් වෙනුවෙන් කරන වියදම වගේ භාගයයි යන්නේ. වාහන ගන්න යන වියදමත් ඉතුරුයි. මේ කියන කාල වකවානුව හරියටම මතක නැති වුනත් මේ සහස්රකය(අර සිරසේ කට්ටිය පට්ට ගහපු වචනේ ඕං මතක් වුනා) ලැබුව ගමන් වගේ කාලේ තමයි වුනේ. මේ වගේ පුද්ගලික ආයතනයකින් ආව ඩ්‍රයිවර්ලා අතරින් ඉතාම අහිංසක වගේ ඒ කියන්නේ වැඩිය කට වාචාල නැති, තමන්ගේ පාඩුවේ එලවන, හොඳට අඳින පලඳින, කියන්න වරදක් නැති, බීම සිගරට් වගේ නරක පුරුදු නැති, හරියට අර මංගල දැන්වීම් වල අහන අය වගේ හැම දේකින්ම අංග සම්පූර්ණ ඩ්‍රයිවර් කෙනෙක් වෙච්චි  කෙනෙක්. ඩ්‍රයිවර් කෙනෙකුට නෙවෙයි අද කාලේ හාමුදුරු නමකටවත් මේ වගේ හික්මීමක් නෑ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඔනෑම කෙනෙකුගේ මොනව හරි පොඩි අඩුපාඩුවකුත් තියෙනවනේ. ආහ් ! මට මේ ඩ්‍රයිවර්ගේ නම කියන්න අමතක වුනානේ. එක එක්කෙනා විහිළුවට නම් එක එක නම් කියනවා ඒත් මෙයාගෙ හරි නම .... නෑ ඒක මෙතන දාන එක හරි නෑ. අපි එයාට කියමු ඥානපාල කියලා. ඉතිං  මං අර කියාගෙන ආව අඩුපාඩුව මොකක්ද දන්නවද? මිනිහා ටිකක් විතර මෝඩයි. මෝඩ කෙනෙක්ට ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බෑනේ. මිනිහා ඒ තරමටටම මෝඩත් නෑ. වැඩේ තියෙන්නේ මිනිහට අර කොමන් සෙන්ස් කියන එක පොඩ්ඩක් අඩුයි. එක පාරටම වදින්නේ නැති පොඩි ටියුබ් ලයිට් ගතියක් තියෙනවා. ඒ ඇරෙන්න මිනිහගේ කියන්න වැරැද්දක් නෑ. හැමෝගෙම හිත දිනා ගෙන ඉන්නවා. මේකට ඉරිසියාවෙන් පසු වෙච්ච අයත් නොහිටියාම නොවෙයි. ඒත් මිනිහා මිනිහාගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. ඉතිං මේ ආයතනයේ අය නිතරම කියන දෙයක් තමයි. 

"මෙන්න මේ වගේ මිනිස්සු තමයි පර්මනන්ට් වෙන්න ඕනේ" කියලා. 

ඉතිං මේ අදහස මේ ආයතනයේ ට්‍රාන්ස්පොර්ට් මැනේජර්ටත් දැනිල තිබුනා. මිනිහට තිබ්බ සිත් තැවුල තමයි මේ වගේ එකෙක් පර්මනන්ට් කරන්න විදියක් නැති එක ගැන. හැමෝම හොඳ කියන හින්දා ට්‍රාන්ස්පොර්ට් මැනේජර් තුමත් බය නැතුවම ඕන ලොක්කෙක්ගේ ස්ථිර ඩ්‍රයිවර් නැති තැන යවන්නේ අපේ මේ ඥානපාලව. 


තවත් එක දවසක ආයතනයේ ලොකුම ලොක්කෙක්ගේ ඩ්‍රයිවර් දින භාගයක ලෙඩ  නිවාඩු ගියා. මේ කියන දවසේ මේ ලොක්කට තරු පහේ හෝටලයක කොන්ෆරන්ස් එකක් තිබුනා. ඒක අවසන් වුනේ   රාත්‍රී භෝජන සංග්‍රහයකින්. උදේ ගිය ගමන් නිසා ලොක්කට නොදන්වාම එයාගේ ස්ථිර ඩ්‍රයිවර් රථය පාර්ක් එකේ නවත්වල ට්‍රාන්ස්පොර්ට් මැනේජර්ට ඇවිටිලි කරලා ගෙදර ගිහින්. මිනිහාගෙ තත්වේ දැක්කහම නොයවත් බෑ. ඉතිං මෙහෙම උගතෝකෝටික ප්‍රශ්ණෙක ගැලිලා ඉන්නකොට මිනිහගේ හිතට ටක් ගාලා ආවා අපේ ඥානපාල ගැන. ෂාහ් ! මේ ඉන්නේ නියම මිනිහා. එවෙලාවෙම පාර්ක් එකට කෝල් කරපු මේ මැනේජර් තුමා ඥානපාල ව ගෙන්වා ගත්තා. දැන් ඥානපාල බොහොම යටහත්  පහත්ව මැනේජර්ගේ රූම් එකට ඇවිත් ඉන්නවා. ඉක්මනටම දුරකථන සංවාදය අවසන් කරපු මැනේජර් මහත්තයා ඥානපාල  දිහා බොහොම ලෙන්ගතු හිනාවක් පාලා කථා කරන්න පටන් ගත්තා. 

"ආහ්! ඥානපල ආව එක හොඳයි. අද ඔයාට කරන්න ලොකු වැඩක් තියෙනවා"


"හොඳමයි සර්" ඥානපල ඉතා යටහත් පහත්ව කිව්ව.

"ඔයාට අද යන්න තියෙන්නේ ..... මහත්තයව එක්කගෙන එන්න. දන්නවනේ මහත්තයට හොඳටම කේන්තිය යනවා. ඒ වගේම බොහොම ගරු සරු ඇතුව වැඩ කරන්න ඕනේ. ඔයා දන්නවද ගලදාරි හෝටලය තියෙන තැන ? එතනට හරියට රෑ 8.45ට යන්න. ගිහින් මහත්තයාව ගෙදරට ඇරලවන්න. වාහනය දැක්කාම මහත්තයා ඇවිත් නගියි පිටිපස්සෙන්. ඔයාට මහත්තය පාර කියයි. ඇරලවලා වාහනය මහත්තයාගේ ගෙදරම දාලා බස් එකේ ගෙදර යන්න"

"හොඳමයි සර්"

මැනේජර් මහත්තයා දුන්න වෙහිකල් ෆෝම් එකයි යතුරයි  අතට අරන් ඥානපල පහලට ගියේ හරියට රටක් රාජ්‍යයක් දිනා ගත්ත කෙනෙක් වගේ. ඇයි ඉතිං මේ වගේ ලෑන්ඩ් කෘසර් එකක් කවදානම් එලවන්නද ? පොඩි චකිතයකුත් ඥානපලගේ හිතේ තිබුනා. දැන් ඉතින් මේක භාර ගත්ත එකේ කරන්න ඔනෙමනේ. "මට කවුරුවත් මේ තරම් කාළෙකට වරදක් කියල නෑනේ. අදත් වරදින එකක් නෑ. බොහොම හෙමිහිට යනවා. මහත්තය කිව්වොත් විතරක් ටිකක් හයියෙන් යනවා. මේ වගේ වාහනයක් කොහෙ හරි ගෑවුනොත්". ඥානපාල වාහනයත් අරන් ඉතාම හෙමින් ගලදාරි හෝටලයේ ලොබියට අරගෙන ගියා හරියට 8.43 වෙත්දී. 8.45 වෙත්දී ටයි කෝට් දාපු මහත්තයෙක් ඇවිත් දොර ඇරගෙන පිටිපස්සේ සීට් එකට නැග්ගා. ඥානපල යන්නෑ. අර ලොක්ක කථා කලා

"කවුද මේ ළමයගේ නම"

"ඥානපාල සර්"

"ඇයි ඥානපාල යන්නේ නැත්තේ"

"සර් ... එ.ත.කො.ට අ.නි..ත් ම.හ..ත්..ත..යා"

"මොන අනිත් මහත්තයෙක්ද ? කෝ මෙහාට දෙනව වෙහිකල් ෆෝම් එක" ගැහෙන අතින් ඥානපාල  වෙහිකල් ෆෝම් එක මහත්තයට දුන්නා.ලොක්කට ඒ පාර අසූ හාර දාහට තද වෙලා  කිව්වා

"අයිසේ .. මේකේ තියෙන්නේ මගේ නම විතරයි. මගේ යකා අවුස්සනැතුව යනවා" වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ. කියවල-කියවල කටපාඩම් වෙච්ච නම ඥානපාල සිහින් හඬින් මිමිණුවා.

"ගාමිණී  සහබන්දු" !!!

ටියුබ් ලයිට් වලට නොවේ. 


මේ දැන් උණු උණුවෙම වෙච්ච දෙයක් මෙතන දාන්නම්. ඔන්න සයිබර් අවකාශේ ඉන්න ඔයාලා තමයි මේක මුලින්ම දකින්නේ. එහෙම ඇවිත් මුලින්ම කියවපු කෙනා කමෙන්ට් එකක් දානව නම් තමයි මම කැමති. අපේ ඔෆිස් එකට අළුතෙන් රැක් සර්වර්ස් වගයක් මේ දවස් වල ගෙනත් තියෙනව. ඒව අරගෙන එන මගේ මිත්‍රයාට පොඩි අලකලංචියක් වෙලා. මිනිහාගේ කීබෝඩ් එකේ බිංදුව වැඩ කරන්නැතුව ගිහින්. ඉතිං යූඑස්බී කීබෝඩ් එකක් ඉල්ලගෙන ආවා මගෙ ලඟට.

"මචං යූඑස්බී කීබෝඩ් එකක් එහෙම නැද්ද වැඩිපුර ?"

"පොඩ්ඩක් ඉඳපං මචං. ඇයි මොකක්ද අවුල ?"

"නෑ මචන් මගේ කීබෝඩ් එකෙ බිංදුව වැඩ කරන්නෑනේ"

"ආහ් ! ඇත්තද? මචං උඹට තියෙන්නේ වන් මයිනස් වන් ගහන්න" කියල මං කිව්ව. 



Friday, June 8, 2012

ආරිච්චි බෝරිච්චි කම්බිකූරු ....


ඉතා දීර්ඝ පොස්ට් එකක් ලියමින් ඉන්න ගමන් මොන හේතුවකට හරි මගේ හිතට ආපු මේ කාරණය නම් යටපත් කර ගන්නම බෑ. වයර්, කම්බි, බැටරි, ටොර්ච් බල්බ් එක්ක කුඩා කාලයේ මම ගෙවපු ජීවිතය මතක් වුනාම මටම හිනා යනවා. මම පුදුම ආසාවකින් තමයි පාට පාට වයර් කෑලි එකතු කලේ. ඉස්සර අපේ ගෙදරට කවුරු හරි අන්කල් කෙනෙක් ආවොත් මම අහන ප්‍රශ්ණයක් තිබුනා

"අංකල් මට පොඩි වයර් කෑලි ටිකක් හොයල දෙන්න බැරිද?"

මේ ප්‍රශ්ණය දිව මතුරක් වගේ මගෙ කට කෙලවර තිබුනා. මේ ආසාව මට තිබුනේ මම පාසල් අධ්‍යාපනය පටන් ගත්ත කාලෙම වගේ. ඒ දවස් වල මගේ කුඩා කල අතිජාත මිතුරා මිල්රෝයි එක්ක එක එක තැන් වල ඇවිදලා මේ වගේ වයර් කෑලි ගෙදර ගෙනල්ලා ගොඩ ගහනවා. අපි බෙන්තොට ටෙලිකමියුනිකෙෂන් එකට ගිහින් එතන ඉවත දාල තියෙන වයර් කෑලි එකතු කරගෙන එනවා. තොරන් ගහන තැන් වලිනුත් ඒ වගේම හම්බ වෙනවා. එක කාලයක් බෙන්තර ගඟ හාරන්න ආපු ක්‍රෙන් සවි කරන තැනිනුත් අපට වෛවර්ණ වයර් එකතු කර ගන්න පුළුවන් වුනා. මට වගේම මේ ඉලෙක්ට්‍රික් පිස්සුව ගහල තිබ්බ තව කෙනෙක් හිටියා. ඒ අපේ නැන්දගේ බාල පුතා වෙච්ච සුනිල් අයියට. අපි දෙන්න දවසක් අපේ තාත්තලාගේ වෙඩිං ෆොටෝ එකේ තිබ්බ වයර් එකත් ගලව ගත්තා ඒකට වෙන නූලක් එල්ලලා. මම මෙහෙම කරගෙන යනකොට ඒ කාලේ අපේ ගෙවල් වලට ආගිය අය කියල තියෙනව කවදා හරි ඉංජිනේරුවෙක් වෙයි කියලා. සුනිල් අයියනම් දැන් වැඩ කරන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. 

dreamstime.com
අපට ඒ කාලේ මේවා හොයාගෙන තැන් තැන් වල යන්න සිද්ද වුනේ දැන් වගෙ ඉස්සර ඒවා සුලබ නැති නිසා. මේව හොයන්න හවස් වරුවේ එහේ මෙහේ ගිහින් දෙමව්පියන්ගෙන් ගුටි කාපු අවස්ථාත් අනන්තයි. ඉස්සර අපිට ඉස්කෝලේ බිස්කට් දෙනව. මට හිතෙන්නේ එක්කෙනෙකුට දහයක් දෙනවා. මම මට හම්බ වෙන බිස්කට් වලින් 5ක් කාලා අනිත් 5 ගෙදර අරගෙන යනවා මගේ නංගිලා මල්ලිලාට දෙන්න. ඒ බිස්කට් පුදුමාකාර රසයි. ඇදිහැස කියල තමයි පෙට්ටි වල ගහල තියෙන්නේ. ඇමරිකාවේ ආධාරයක් විදියට තමයි ඒවා ලැබුනේ. ඒ කාලේ ජේ.ආර්. පප්පගේ ආන්ඩුව නෙව තිබුනේ. ඉතිං වයර් අස්සෙන් ආපු බිස්කට් කතාව මොකක්ද කියල දැන් ඔයාලට හිතෙනවා ඇති. අපේ ප්‍රයිමරි කොටස ඉස්සර වෙනම තිබුනේ. ටිකක් ඈතින් තමයි ඉහල පංති තියෙන ඉස්කෝලේ තිබ්බේ. ලොකු පංතිවල අයියලා එක-එක දේවල අරගෙන එනවා ඒවා අපට දීලා බිස්කට් වලට හුවමාරු කර ගන්න. අපේ ඉස්කෝලේ වටේට ගහල තිබ්බ කම්බි වැට අයිනට තමයි එගොල්ලෝ එන්නේ. දවසක් අර වගේ ලස්සන වයර් කෑලි දහයකට මම බිස්කට් පහක් දුන්නා.(මේක තමයි මම කරපු පලවෙනි ගනුදෙනුව කිව්වොත් නිවැරදියි. ) මගේ අතින් බිස්කට් ටික අරගත්ත අයියා වයර් ටික නොදීම පැනල දිව්ව. මම හිතන්නේ මම අඬාගෙන ගියා අම්මගේ පන්තියට. ඒ සිද්දියෙන් නම් මම පුදුමාකාර කලකිරීමක් ඇති වුනේ. අපි කරපු වැඩේ තමයි මේ වයර් ගෙනල්ලා, දෙමව්පියන්ට කරදර කරලා හරි නැත්නම් ටොර්ච් එකේ තියෙන බල්බ් එක හරි අරගෙන මේව පරිපථ විදියට තියල දල්වන එක. බැටරි සපය ගන්න ඒ කාලේ හරිම පහසුයි. ටොර්ච්, රේඩියෝ වගේ දේවල ඒ කාලේ හැම ගෙදරකම වගේ තියෙනවා. 

අපේ ගෙදර ඉඳලා ගාළු පරට මීටර් 300ක් විතර තියෙනව. බොහොම අමාරුවෙන් තමයි ඒ පැත්තේ යන්න අවස්ථාවක් හදා ගන්නේ. එක දවසක් හවස් වරුවේ මම ගාළු පාරට ගියා ගියහම දැක්ක ටෙලිෆෝන් කණුවක් යට තියෙන කම්බි(තඹ කම්බි දෙකක් කෙලින්ම කණු වල ඇදලා තමයි ඒ කාලේ ටෙලිෆෝන් දීල තිබුනේ). මම හිටියේ කොතනද කියලා මට අමතක වුනා. කෙලින දුවල ගියා. ඇදලා ගත්තා. පාරෙන් පැන්නා.බිම දාගෙනම ඇදගෙන දිව්ව. කෙලින්ම ගෙදර. ගෙදර ගියා විතරයි එකම ගිනි විජ්ජුම්බරයයි. අම්මයි තාත්තයි පටන් ගත්ත දේශනාව

colourbox.com
"කොහේ තිබිලද ඕක ඇදගෙන ආවේ"

"ගාළු පාරේ"

"ඔයාටනම් පිස්සු. බැරි වෙලාවත් ඕක කරන්ට් තියෙන එකක් වුනා නම් මොකද වෙන්නේ දන්නවද ?"

"මේක ටෙලිෆෝන් වයර් එකක්. පාරේ වම් පැත්තේ කරන්ට් වයර් තියෙන්නේ. අනිත් පැත්තේනේ ටෙලෙෆෝන් වයර් තියෙන්නේ" [ මේ කාලේ මට වයස හතක් අටක් වුනත් දවස පුරාම පාර අයිනට වෙලා උඩ බලාගෙන ඉඳලම මම දන්නවා ටිකක් මහත කම්බියක් තියෙන සුදු (ඇළුමිනියම් ) වයර් එක තමයි කරන්ට් තියෙන එක කියලා. ]

"ඔයා කොහොමද දන්නේ මේකෙ කරන්ට් නෑ කියල"

"ඉතිං නැති නිසානේ මම අරගෙන ආවෙ"

"වහ ගන්නව කට. තව මෙතන එකට එක කියන්නත් එනව. ඕවා රජයේ දේපල. කාටවත් අයිතියක් නෑ ඒව ගන්න. අපි රජයේ සේවකයො. අපිට රස්සාත් නැති වෙයි කවුරු හරි පෙස්සමක් ගැහුවොත්. ඕක ගිහින් දානව තිබුන තැනටම"

"මට නම් කියන්න එපා මේක ගෙනියන්න කියලා. මම නම් ගෙනියන්නෑ. මට ආස හින්දයි මම අරන් ආවේ" 

මම අඬන්න පටන් ගත්තා. ඉතිං පස්සේ ඒක ගෙනිහින් දැම්මෙත් නෑ. මට බැන්නට මොකද පස්සේ ඒකෙන් කෑලි අරන් තිබුනා එක එක වැඩ වලට. රෙදි වැලවල්, ගස් ගැටගහන්න, අරකට මේකට. පස්සේ මටම හිනා. 


දැන් අපිට මේ වගේ වයර් කොයි තරම් තියෙනවද. අපේ දරුවෙකුට ඕන කිව්වොත්. cat5 (network) කේබල් මීටරයක් දෙකක් අරන් සුද්ද කරල දෙන්න පුලුවන්. ඒ කාලේ අපිට ඔන දේවල් අපිම සපයා ගත්ත. එවත් එක්කම අපේ නිර්මාණශීලීත්වයත් දියුණු වුනා. ඒත් දැන් ? 

පස්සෙ කාලෙක මම තායිලන්තයට ගියාම දැක්කා මිනිස්සු මේවායින් ලස්සන නිර්මාණ කරනවා. මමත් අරන් ආවා මෝටර් සයිකලයක්. 

thai-craft.net
පින්තූර හොයන්න ගියාමයි දැක්කේ මේ තායි-ක්‍රාෆ්ට් කියන එකෙන් මේව ඔන්ලයින් මිල දි ගන්නත් පුළුවන්.




ප.ලි. : යම් හැකියාවක් තියෙන කෙනෙකුට ස්ව‍යං රැකියාවක් පටන් ගන්නත් මේක හොඳයි. 

Tuesday, June 5, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 9 - මෙන්න ආයෙත් දෙකක්


මේ කතාව මම අහල ගොඩක් කාලයක් වුනත් මතක නැතුව තිබුනේ. මගේ යාළුවෙක් එයාගේ වයෝවෘධ පියා ගැන විස්තරයක් මේ ළඟදි කිව්ව. ඒක නිසාද කොහෙද අද උදේ මට හීනෙන් ඒ පියා කියල හිතන්න පුළුවන් කෙනෙක් පෙණුනා. වකුටු වෙලා නිදන් ඉන්න වයසක කෙනෙක් තමයි මම දැක්කේ. ඒ පියාගෙයි මේ කතාවෙයි තියෙන සම්බන්ධය තමයි වයස. 

පලවෙනි කතාව

ඔන්න එක සීය කෙනෙකුයි එයාගේ මුණුපුරයි නුවර එලියේ ගියා. ඇත්තටම වුනේ මේ දෙන්නා නුවර එලියේ ගිය එක නොවෙයි, පවුලේ සියළු දෙනාම ගියා. මේ දෙන්න තමයි එක කාමරයේ එකට නිදා ගන්න සෙට් වුනේ. මේ දෙන්නා එකට දාන්න සාධාරණ හේතු තිබුනා. මේ දෙන්නා ජාඩියට මූඩිය වගේ හරියට පෑහෙනවා. සීයා මුණුබුරාටත්, මුණුබුරා සීයාටත් පණ වගේ ආදරෙයි. පොඩි කාලේ සීයා කොල්ලව බලා ගත්ත දැන් කොල්ල සීයව බලා ගන්නව. ඉතිං නිතරඟයෙන්ම සීයා එක්ක නිදා ගන්නයි සීයා ගැන බලාගන්නයි මේ කොල්ලාට අවස්ථාව ලැබුණා. මාතෘකාව නුවර එලිය වුනොත් තහනම් වචනය "සීතල" වග අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. බිං කරුවල වැටීගෙන එද්දී සීතල දෙගුණ තෙගුණ වෙනවා. ඉතිං මේ සීයාත් මුණුබුරාත් දෙන්නම "අරවෑයිං ටිකක් ගන්න අය නෙවෙයි" එහෙම ටිකක් ගන්න සීයා කැමති වුනත් කොල්ලගේ අම්ම ඒ කියන්නේ සීයාගෙ දුව නෙවෙයි ඒවාට ඉඩ තියන්නේ. අනික සීයාට රාත්තිරියට බොන්න බෙහෙත් පෙති හත අටකුත් තියෙනවා. ඒවයි, මේවයි කලවං වුනොත් සුං. 


රෑ බෝ වෙත්දී නුවර එලිය වගේ පලාතක කරනන්න දෙයක් නැති හින්ද රෑට කෑම කාලා කට්ටිය නින්දට ගියේ හෙට උදෙන්ම (උදේ පාන්දර 11.00ට විතර ) හක්ගල යන බලාපොරොත්තුවෙන්. මේ කොලු ගැටයා සාමාන්‍යෙන් ගෙදරදී නිදා ගන්නේ දහය එකොලාහ පහු වෙලා නිසා ඇඳට වෙලා කල්පනා කර කර හිටියා. ටිකක් වෙලා යද්දී සීයා කෙඳිරි ගාන හඬක් මේ කොල්ලට ඇහිලා නැගිටලා ලයිට් දාලා සීයාට හොඳට පෙරවලා ආයෙත් ඇඳට වෙලා කල්පනාවේ ඉන්නවා. නින්ද යාගෙන වගේ එත්දී කොල්ලට ආයෙත් ඇහෙනවා සීයාගේ කෙඳිරිය. ටිකක් කල්පනාවෙන් ඇහුවාම කොල්ලට මෙන්න මේ වගේ දෙයක් තමයි ඇහුනේ

"සී...ත....ලා...යි - ගූ... ග...ඳා...යි"  

"සී...ත....ලා...යි - ගූ... ග...ඳා...යි" 

"සී...ත....ලා...යි - ගූ... ග...ඳා...යි "


එක දිගටම කියන මේ හරුපේ තේරුම මොකක්ද කියල බලන්න කොල්ලා පැන්න ඇඳෙන් බිමට. සීතලේ ගැහි ගැහි ආයෙත් ගිහින් ලයිට් දාලා බැළුව සීයාගේ පොරෝනේ එහාට මෙහාට වෙලා වත්ද කියල. එහෙමත් නෑ සීය ඔළුව වෙනකං පොරෝගෙන නිදි. ඒත් අර වචන පේලිය නවතින්නේ නෑ. කොල්ලට එහෙම දැනෙන ගඳකුත් නෑ. කොයි එකටත් කියල බාත් රූම් එකේ දොර ඇරගෙන ගිහින් කොමෝඩ් එක ඇරල බැළුවා. ඒකෙත් කිසිදෙයක් නෑ. සීයා මොන මගුලක් ගැනද මේ කියන්නේ. කොල්ලා ඇවිත් සීයාගේ පොරොනේ ටිකක් උස්සලා මෙහෙම කිව්වා.

"සීයේ මේ කාමරේ කිසි ගඳක් නෑ. සීයා කෙඳිරිල්ල නවත් වලා නිදා ගන්න"

මේ කියන දේවල සීයාට ඇහුනේ නෑ. දිගටම අර විදියට කෙඳිරි ගානව. කොල්ලට අම්බානකට තද වුනා. තද වෙලා 

"මොන මගුලක්ද මන්දා ඇති ගඳකුත් නෑ. පිස්සුද මන්දා" කියල හිතාගෙන කොල්ලා කඩාගෙන ගියා සීයා ගාවට. ගිහින් අතටම ඇදලා ගත්තා සීයාගේ පොරොනේ. කොල්ලට ඇස් අදහාගන්නත් බෑ. සීයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා. පස්සෙයි කොල්ලට කාරණය වැටහුනේ. සීයා සීතල වැඩි කමට වකුටු වෙලා, වකුටු වෙලා ඔලුව ගහගෙන කකුල් දෙක අස්සේ. හීතල වැඩි වෙන්න, වැඩි වෙන්න සීයා ඔළුව පුළුවන් තරම් කකුල් දෙක  අස්සේම ගහගෙන. වයස හින්ඳා නැවිල්ලෙත් ඒ හැටි අපහසුවක් නෑ. හරියට මේ පහලින්ත් තියෙන පින්තූරේ වගේ. හැබැයි එකම  වෙනසකට තියෙන්නේ සීයාගේ නසයයි ගුදයයි ඉතාම කිට්ටු වෙලා තියෙන එක විතරයි. ටියුබ් ලයිට් අයට පස්සේ උත්ත්තර දෙන්නම්. 




පින්තූරය ගත්තේ :  http://vi.sualize.us

දෙවෙනි කතාව

මේ කියන්නේ මේ කතා දෙකම ලියන්න නිමිත්ත කරගත් මගේ මිත්‍රයාගේ තාත්තා ගැන. එයානම් ලේසි පහසු පුද්ගලයෙක් නෙමේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා විදිහට සැලකෙන අර හිපොක්‍රටීස් කියන පඬිවරයා හිටියා නම් බෙල්ලේ වැල දා ගන්නවා. මොකද මේ කියන පුද්ගලයා මුළු බටහිර වෛද්‍ය විද්‍යාවම බොරු කරපු කෙනෙක් නිසා. ඉතිං මේ අවුරුදු 85ක් විතර වෙන එකතැන් වෙලා හිටිය මනුස්සයෙක් කොහොමද මේ තරම බලගතු ශාස්ත්‍රයක් බොරු කරන්නේ. ඒක වුනේ මෙන්න මෙහෙමයි. මිනිහා ඔත්පලවෙලා ඇඳේ ඉන්න ගමන් හොඳටම අසාධ්‍ය වුනා. එතකොට එයාගේ දරු මල්ලෝ ටික මේ මනුස්සයවා රජයේ රෝහලකට අරගෙන ගියා. මාසයක් විතර බෙහෙත් කලත් අන්තිමට කිසිම සුවයක් නෑ. ඒ කියන්නේ බටයකින් කෑම දානවා. හුස්ම ඉහල පහල වැටෙනවා පේනවා වුනත් වචනයක් කතා කරන්නේ නෑ. කියන දේ ඇහෙනවාද කියල පැහැදිලිත් නෑ. අර හිපොක්‍රටීස් බිහි කල අද පරම්පරාව, ඒ කියන්නේ සාමාන්‍ය සහ විසේසඥ වෛද්‍යවරු ඒකමතිකව තීරණයකට ආවා මේ ලෙඩාව කිසි දාක ගොඩ දාන්න බෑ කියලා. මගේ මිත්‍රයාගේ වචනයෙන් කියනවනම් මලාට හොඳ කරන්න බෑ. ඉතිං මේ දරු මල්ලව කැඳවලා මෙන්න මෙහෙම කිව්වා

"දැන් ඔයාලගේ තාත්ත ඉන්න තත්වෙන් ගොඩ ගන්න බෑ. ඔයාලටත් පේනවා නේද අපි කොයි තරම් මහන්සි වුනත් කිසි සුවයක් නෑ. දැන් තියෙන්නේ ගෙදර ගෙනිහින් කන්න බොන්න කැමති දෙයක් දෙන එක."

ඒ කථාවට කිසි විරුද්ධත්වයක් දක්වන්න අපේ මිත්‍රයාගේ පවුලේ කිසි කෙනෙකුගේ දිවක් නැවුනේ නෑ. දොස්තර මහත්තෙලා කියන එක ඇත්ත වෙන්නැති. දැන් තාත්තටත් හොඳටම වයසයි.

තාත්ත අදද-හෙටද කියල නෑ කියපු මිනිහා මෙන්න හිනා වෙවී පහුවදා වැඩට එනවා. ඒ ඇවිත් අර වෛද්‍ය විද්‍යාව බොරු කරේ අපේ තාත්තා කියලා හැම තැනම කිය කියා යනවා. හරියට පැහැදිලිව මොනවත් කියන්නෑ. බඩ අල්ලගෙන හිනා වෙනවා. බැරිම තැන මම කිව්වා

"අපිටත් හිනා වෙන්න වෙච්ච දේ කියපන් බන්" කියල.


අන්තිමේදී බඩ අල්ලගෙනම මෙහෙම කිව්වා

"තාත්තා වැඩියෙන්ම ආස බ්‍රැන්ඩි බොන්න නිසා මල්ලී බ්‍රැන්ඩි බෝතලයක් ගෙනාවා. වීදුරුවක් එක්ක ඇඳ ගාවට ගෙනිහින් බෝතලයට වීදුරුවෙන් පොඩි තට්ටුවක් දැම්ම. මෙන්න බොලේ හරහට දාලා ඇස් පියාගෙන හිටිය මිනිහා එක පාරට වාඩි වුනා හරියට අර මී කතුරක් දිග ඇරෙනවා වගේ" කියලා ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා.

"දැන් තාත්තා වෙනදා වගේ කඩපලටත් යනවා. හොඳට කාලා බීලා ඉන්නවා. ඒකයි මම කිව්වේ අපේ තාත්තා වෛද්‍ය විද්‍යාවත් බොරු කරපු කෙනෙක් කියලා"


Friday, June 1, 2012

දැන්වීමක් හා ජාතක කතාවක්


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියළුම වැසියන් වෙත කෙරෙන කාරුණික නිවේදනයයි. 2012 ජනවාරි පළවනදා සිට 2012 මැයි 22 දක්වා "ඇවිද්ද පය" යන මාගේ බ්ලොග් එකේ නාමයෙන්ද, 2012 මැයි23 සිට අද දක්වා (නොදැනුවත් කම නිසා) "අමුතු ඉලංදාරියා" යන නාමයෙන්ද පෙනී සිටි මා අද සිටි "සුදික" යන මගේ  නම් වල මුලකුරු එකතු කර සාදන ලද අන්වථ නාමය මදක් වෙනස් කොට "සුදීක" යන නමින් පෙනී සිටින බව කරුණාවෙන් දැනුම් දෙමි. මේ දිවයින පත්තරේ ගාමිණි සුමනසේකර මහතා ගාසු ලෙසත් කරුණාදාස සූරියාරච්චි මහතා කසුරි යනුවෙනුත් සුන්දර නිහතමානි මැල් මහතා මානි යන්න භාවිතා කිරීම අනුකරණයකි. එහෙත් මේ ගලිවරයන් අසලින්  තැබුවහොත් මා ලුලිපුට්ටෙක් බවද කිවයුතුය.  මින් ඉදිරියට සුදීක යන නමින්  බ්ලොග් ලිපි ලියන බවත්, අනෙකුත් අයගේ බ්ලොග් සඳහා කමෙන්ට් පල කරන බවත් ඉතා කාරුණිකව දන්වා සිටිමි.  මා මෙසේ කලින් කලට (පලින් පල ) නම් වෙනස් කිරීම නිසා යම් අපහසුතාවක් මාගේ බ්ලොග් අඩවිය කියවන ඔබහට හෝ මා කියවා කමෙන්ට් කල යම් බ්ලොග් අඩවියක කිසිවකුට සිදු විනි නම මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි. මින් පසු ඔබගේ බ්ලොග් පොස්ට් එකක හෝ කමෙන්ට් එකක මා ගැන සඳහන් කරනවා නම් " සුදීක " යන නාමයෙන් අමතන ලෙස තවදුරටත් ඉල්ලා සිටිමි. මා මෙසේ නම් වෙනස් කරන්නේ හුදෙක් මාගේ ලාභ ප්‍රයෝජනයකට නොව මාගේ නොමේරූ කම නිසා සිදු කරන්නට යෙදුනු යම් යම් දුර්වලතා මග හරවා ගැනීමටය.


මා අතින් සිදුවූ පලවෙනි වැරැද්ද ලෙස මා දකින්නේ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට මත්තෙන් අනෙක් අය ලියූ බ්ලොග් අඩවි යම් කාලයක් නොකියවීමයි. එසේ වූවානම් මෙතනට දැමිය යුතු නාමය එක වරම තෝරා ගන්න ට තිබුනි. ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොවීම නිසාම මා ඒ සඳහා "ඇවිද්ද පය" යන මාගේ බ්ලොග් අඩවියේ නාමයම භාවිතා කරන ලදී. එහෙත් එහි යම් අඩුපාඩුවක් ඇති බව මට හැඟී ගියේ මා ගැන යමෙකු සඳහන් කරන විට "අන්න ඇවිද්ද පය  කියල තියෙනවා" වගේ වාක්‍යක් දුටු විටයි. ඉන් පසුව සිහින සැණකෙලියේදී මට හමුවූ අයගේ නම් හා බ්ලොග් අඩවි අතර වෙනසක් ඇති බවද දැනුනා. ඉතිං "ක්‍රියාවෙන් අවුබෝධය" ක්‍රමයට පවත්වන් ආ මගේ බ්ලොග් අඩවිය යම් යම් අවස්ථාවන්හිදී බොහෝ වෙනස්කම් වලට භාජනය කරන ලදී. බ්ලොගර් තීම් සිය වතාවකට වඩා මාරු කරන්නට නැත. අර විජට් එක  මේ විජට් එක එහෙට මෙහෙට දම දමා වෙනස් කර කර බලා අන්තිමට තිබූ  බ්ලොගර් තීම් එකෙහි ජනප්‍රිය ලිපි කාලීනව වෙනස් වනවා යන්න සඳහන් කර තිබුනත් එය එසේ සිදු නොවෙන බව ටික කාලයක් යත්දී තේරුම් ගියත්, හරි හමං තීම් එකක් නොමැති කමින් තිබෙන එකම තිබෙන්නට හැරියා. මේ කාලයේදී මගේ සිත් ගත් සමහර තීම් මාරු කල පසු ඒවායේ යම් යම් අඩුපාඩු නිසා විනාඩි කිහිපයක් ඇතුලත මාරු කර දමන්නට සිදු වුනා. 

ඉන් පසු මගේ ස්වරූපයට ගැලපෙන නියම නම, ඒ කියන්නේ මා අමුතු විදියට හිතන අයෙක් වූ නිසා, "අමුතු ඉලංදාරියා" යන්න භාවිතා කරන බව මගේ 50වෙනි පෝස්ට්  එකේදී සඳන් කලා ඔබට මතක ඇති. ඒ සඳහා කමෙන්ට් එකක් එක් කල කතාන්දර මගෙන් විමසා ඇත්තේ මා පොත කියවා තිබේද ? යන්නයි. එහි ගැඹුර මා තේරුම ගත්තේ හොඳින් පොත් කියවන මාගේ මිතුරියක් මේ බ්ලොග් පොස්ට් එක කියවා මගෙන් එම ප්‍රශ්ණයම ඇසීමෙන් පසුවයි. එම කතාවෙහි සිටින තරුණයා "ගේ " අයෙක් බව පැවසූ විට මට ඉතා ලජ්ජාවක් ඇති විය. ඉතිං ඒ මොහොතේම මා මේ නම වෙනස් කල යුතු බව ඉඨා ගත්තා. කෙනෙක් තම ජීවිත කාලයේදී මෙහි පළමු පරිච්චේදයේ සඳහන් ආකාරයේ දැන්වීමක් පත්තර වල පල කර නම් වෙනස් කරන්නේ නොවැලැක්විය හැකි හේතුවක් නිසාමය. එසේ මටද නොවැලැක්විය හේතුවක් උදා වූ නිසා මෙසේ නම් වෙනස් කරන්න සිදු වුනා. 

පොසොන් පෝයත් ළඟටම ඇවිත් නිසා මගේ පියා මා කුඩා කාළයේ පැවසූ ජාතක කතාවක් මෙහි සටහන් කර තබන්නම්. එකල අප බෝධිසත්වයෝ අලි ආත්මයක් ලබා පන්සීයකට වැඩි ඇත් රංචුවක නායකයාව උන්හ. ඉතිං මේ ඇත් රංචුව ජලය සඳහා එක් විලකට යාමට පුරුදුව සිටින ලද අතර, නායකයා ඉදිරියෙනුත් සෙසු ඇත්හූ වයසේ අනුපිළිවෙලට එකා පිටුපස එකා ඉතා සංවර ගමනක යෙදෙමින් මෙම විල වෙත ලඟා වී තම පිපාසය සන්සිඳුවා ගන්නට යෙදුනහ. මෙම අලි ඇතුන් අතර ටික කාලයකදී සංවාදයට තුඩු දුන් කාරණයක් විය. ඒ එම ඇත් රංචුවට අයත් කුඩා ඇත් පැටවුන් අතුරුදහන් වන බවයි. පසුව ඔවුන් මෙම කාරණය ඔවුන්ගේ නායක ඇත් රජු වෙත දන්වන ලදුව පසුව සෙසු ඇතුන්ට ඉදිරියෙන් ගමන් ගන්නා ලෙසත් තමා පසුපසින් පැමිණෙන බවත් දන්වන ලදී. මෙසේ ගමන් ගත් පලමු දිනයේදීම විල අසල එක්තරා තැනකදා දැවැන්ත කක්කුට්ටේක් හිඳ අප බෝසත් ඇතුගේ කකුලෙන් අල්ල ගන්නට තැත් කරද්දී බෝසත් ඇතුන් එල්ල කරන ලද පා පහරින් එම කකුළුවාගෙ අන්ඩ කැඩී අසල ගම්මානයකට විසි වී ගියේය. 


ඉන්පසු ඒ ගමේ මිනිසුන් එක කකුළු අන්ඩ වේලා සුද්ද පවිත්‍ර කොට, එහි සිලින්ඩරාකාර භාහුව වැනි කොටසින් බෙරයක් තනන ලද අතර එය වාදනය කල විට සදෙව්ලොවට පවා එහි හඬ ඇහුනේළු. එරටෙහි රජතුමාටද මේ හඬ ඇසී රාජ පුරුෂයන් යවා එම බෙරය රජ වාසල වෙත ගෙන්වා වාදනය කොට පසුව එහි හඬට වශී වූ රජ තුමා එය රාජකීය වස්තුවක් බැවින් එයට මැණික් ඔබ්බවා රන් ආලේප කර හැඩ ගන්වන ලෙස් අණ කරන ලදුව, එසේ වැඩ දැමූ බෙරය වාදනය කල කල්හී එය "බල් - බල්" හඬක් නැංවීය. 

එම ජාතක කතා වස්තුවේ සරල හරය ඔබ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඔපවත් කරන්න ගියහොත් එහි තිබෙන ගුණාත්මක බව හෝ එහි මූලික හරය විනාශ වී යන්නේය, යන්නයි.

ඉතිං අපට මෙමගින් උගත හැකි පාඩම් බොහේ වේ යන්න මගේ අදහසයි.   මගේ මරණය  ලියා පලකල Write to express, not to impress යන්නෙන්ද කියැවෙන්නේ මෙවැනිම කතාවකි. ඔබ පරිඝණක මෘදුකාංග නිෂ්පාදනය කරන්නේ නම් ඔබ මේ ගැන නිතරම සිහියෙහි තබා ගත යුතුය. 


මෙසේ විටින් විට නම, බ්ලොගර් තීම්, විජට් වෙනස් කරන මා චංචල පුද්ගලයකු යයි යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මගේ මතකය නිවැරදි නම් කුමාරතුංග මුණිදාසයන් පැවසූ මෙම කවිය මෙහි සටහන් කර අදට නවතින්නම්. 

අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී - හිඟා කන්න බැරි වුන තැන ලගී ගයා මර ගී. 

ප:ලි: මා මේ කතාව විස්තර කලේ මාගේ පියා මට කියා දුන් ආකාරයටය. ඇත්තටම මේ  කර්කඨක ජාතකය  වේ. 

පින්තූරය ගත්තේ :  http://www.gutenberg.org


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...