Friday, April 27, 2012

කෙටිම කෙටි ලොල් කතා - අංක 3 (ආරේ ගුණ ...)

මේ කතාව මට කිව්වේ එක්තරා ගුරු මහත්මියක්. ඇයගේ වැඩිමහල් පුතා ශිෂ්‍යත්ව විභාගය කරන කාලේ අත්දැකීමක්. ඉතිං මේ අම්මටා ගොඩක් ලොකු විශ්වාසයක් තිබුනා තමන්ගේ පුතා ඉතා ඉහලින් මේ කඩයිම පසු කරන බව. දෙදෙනාම ගුරුවරුන් වූ මේ පවුලට තමන්ගේ දූදරුවන් ඒ සඳහා සූදානම් කිරීම අපහසු කටයුත්තක් වුනේ නෑ. මොද නිවසෙහි නිතරම අධ්‍යාපනික පරිසරයක් තිබූ නිසා. මේ කතාවට වැදගත් වන නිසා මේ පවුලේ පියාගේ නම පමණක් මා මෙහි සඳහන් කරනවා. ඔහුගේ නම රණසිංහ ආරච්චිගේ ගුණදාස. අනෙක් අයගේ නම් මේ කතාවට අදාල වෙන්නේ නෑ.
විභාගයට පෙරදින තම පුතාව ළඟම ඇති විහාරයට කැඳවාගෙන ගොස් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දීමෙන් නොනැවතුනු මේ මව, එම නිවසට ආසන්නයේ ගිරි ශිකරයක තිබෙන දේවාලයකින් ගෙන්වා ගන්න ලද මහත් ආනුභාවසම්පන්න යයි කියන තෙල් ටිකක් හා ජීවං කරන ලද ආරක්ෂක නූලක් සූදානම් කරගෙන් තිබුනා පසුදින විභාගයට යන තම පුතුගේ ජය තහවුරු කරන්න. මහත් ඔනෑකමකින් බලා සිටි ඒ දිනයේදී හිසේ තෙල්ද, සුරතෙහි ආරක්ෂක නුලද ගැට ගැසීමෙන් පසු ඇය තම පුතා තුරුළු කරගෙන ඉතා වැදගත් අවවාද කිහිපයක් දුන්නා.

"පුතේ විභාග අංකය විතරයි උත්තර පත්තරේ ලියන්ඩ ඔනේ. නම ලියන්නේ නැහැ. උත්තර ලියන්න කලින් හොඳට ප්‍රශ්ණ පත්තරේ කියවලා බලන්න. මගේ පුතා හපනා"

ඉතින් මේ හුරුබුහුටි කොලු පැටියාත් ඒ දුන්න ඔවදන් හිතට අරන්, දෙමවු පියන් ඇතුළු වැඩිහිටියන්ගෙ ආශිර්වද අරගෙන උදේන්ම පිටත් වුනා. මෙහෙම කාලය ගත වුනා. දැන් මේ ගුරු මාතාව බලාගෙන ඉන්නවා විභාගය ලියල කොළුපැටියා ගෙදර එනකම්.

මෙහෙම බලා ඉඳිද්දී විභාගය අවසන් වෙලා කොල්ලා මහා වේගයෙන් දුවගෙන දුවගෙන ආවා. ආව ගමන් මොනවාදෝ කියන්න හදනවා. ඒත් දුවපු පාරට හති නිසාත්, කලබලය වැඩි නිසාත් කියන කිසිම දෙයක් පැහැදිලි නෑ.

"ආ..ම්...මේ ... හෑ .. හෑ.. හෑ.. හෑ. ම..ගේ... නා ... ම..."

"හා හා ඔහොම පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල්ලා ඔය තියෙන දෙයක් කාලා බීලා ඉන්න. පස්සේ බැරියැයි කථා කරන්න."

"නෑ ... අ.ම්.මේ..ඒ.. අ..පේ."

"මම දැන් එක පාරක් කිව්වනේ. මේ බීම ටික බොන්න ඉස්සෙල්ලාම"

ඔන්න ඒ පාර කොල්ලා අම්ම දීපු ක්‍රීම් සෝඩා බෝතලය එක හුස්මට බීගෙන බීගෙන ගියා. එහම බොන තම පුතා දිහා අම්මා බ්ලාගෙන උන්නේ හද උතුරා යන ආදරයකින්. "මගේ කොල්ලා හොඳට ලියල ඇති" ඇයට එහෙම හිතුනා. ඔන්න ටිකක් හති ඇරල කොල්ලා කථා කරන්න පටන් ගත්තා.

"අම්මේ, අම්මේ, හරි වැඩේ තමයි. අම්ම කිව්වා නේද උත්තර ලියන කොලේ නම ලියන්න එපා. අංකය විතරක් ලියන්න කියලා"

ඒ පාර අම්මගේ දොලෝ රත් වුනා.

"ඇයි පුතේ. විභාග අංකය ලිව්වේ නැද්ද?" කියලා මහත් විමතියෙන් ඇහුවා.

"හහ්.. හහ්. හහ් හා.. හා. හා. ඔන්න අම්මේ මම්ගේ නම නම් ලියන්න තැනක් තිබුනේ නෑ, අපේ තාත්තගේ නම නම් ලියන්න තැනක් තිබුනා මම ලිව්ව. අනිත් අය නම් ඒක දන්නෙ නෑ"

"මේ කොල්ලා ප්‍රශ්නේ පටලවාගත්ත වත්ද?" කියල හිතුන අම්ම ළමයගෙන් ඇහුවා.

"හා. හොඳයි කොතනද තාත්තාගේ නම ලියන්න තිබුනේ?"

"ඔන්න අම්මේ මුලින්ම තිබුනා හැදෙන ගහ" කියලා. "මම ඒකට දෙපෙත්තෙන් දැනේ කියලා ලිව්ව."

"හරි"

"ඊලඟට තිබුනා ආරේ ගුණ" කියල "මම ලිව්ව දාස" කියල හරි ලේසියි. ආරේ ගුණදාස. ආරේ ගුණදාස. හා.. හා... හා"

එතකොටයි අම්මට තේරුනේ "ආර් ඒ කියන්නේ රණසිංහ ආරච්චිගේ කියන එක. මේ කොල්ල පටලවාගෙන ආරේ ගුණදාස" කියල ලියල තියෙන්නේ කියල.

Tuesday, April 24, 2012

කෙටිම-කෙටි ලොල් කතා අංක 2 (චේන්ජ් මනි )



මේ කියන සිද්දිය වෙලා ටික කාලයක් වෙනවා. ඒත් මේ ලොල් කතා වල තියෙන විශේෂත්වය තමයි ඒවායේ රසවත් බවට කාලය-දීපය බල පාන්නේ නැති එක. එහෙම කිව්වට එහෙම කාලයත් එක්ක රසවත් බව නැසුන සිද්දිත් තියෙනව. ඒ කාලේ පැය ගණන් හිනා වුන ඒවාට දැන් කිචි කවාගෙනවත් හිනා වෙන්න බැරි. ඒ වගේ කතා කියන්න ගිහින් බොහෝ අය අමාරුවේ වැටෙනවා මම බලන් ඉඳල තියෙනව. සමහර ඇම්බැට්ට කොල්ලො-කෙල්ලො මේ කතා කියන වැඩිහිටියන්ගෙන් අහනව දැන් ඕකට හිනා වෙන්නත් ඔනද කියල කතාව ඉවර උනහම. එහෙම වෙලාවට අර කතාව කියපු කෙනාට පොලොව පලාගෙන යන්න හිතෙනවා. අනිත් කාරණය තමයි කතාවක් කියල මිනිස්සු හිනස්සවන පුළුවන් වුනාට මේ වගේ ලිපියකින් මිනිස්සු හිනස්සවන එක ලේසි නැහැ. 

මේ ටයිප් කරන්නේ දෙවෙනි වතාවට. ගියපාර ටයිප් කරලා(රියල් ටයිම් උනිකෝඩ් කන්වර්ටර් එකෙන්) වැරදිච්ච තැනක් හදන්න ක්ලික් කරනකොට රිසෙට් උඩ ක්ලික් උනා.  හොඳයි කෙටියෙන් කියන්න අවශ්‍ය නිසා අපි කතාවට බහිමු. 

මගේ යාලුවගෙ නම උදය. නමින් තරුණ වගේම හදවතිනුත් තරුණ පුද්ගලයෙක්. ඒ වුනත් මිනිහා දැන් පෙන්ෂන්. අවංකවම කියනව නම් පෙන්ෂන් යත්දීත් මිනිහට හතලිස් පහක පෙනුම. තරුණ බවේ රහස තමයි නිතරම හිනාවෙලා සතුටින් ඉන්න එක. මිනිහා මේ වගේ කතා කියන්න රුසියා. ඒත් මේක නම් උදයගේ රාජකාරි දිවියේ රසවත් සිදුවීමක්. මේ කියන කාලයේ අනුරාධපුර පැත්තේ තියෙන මහජන බැංකු ශාඛාවක තමයි මිනිහා වැඩ කරල තියෙන්නේ. උදයගේ ඔළුවේ එක කෙස් ගහක් වත් නෑ. තට්ටයා, කොටා, ඒ වුනාට ලෙනින් කට් එක ගහල ඉන්න මිනිහාගේ තියෙන්නේ මහ ගාම්භීර පෙනුමක්. මුලින්ම දැක්ක කෙනෙක්ට බලන්නත් බය හිතෙන රූපයක්. කළුත් නෑ සුදුත් නෑ. ෆිට් ඇඟක් තියෙන නිසා (දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්) දකින කෙනාට පේන්නේ හොඳ-හොඳ සෙල්ලම් දන්න කෙනෙක් වගේ. 

මිනිහා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශූරයා. කොයි දේටත්.:D. මේ කියන දවසේ කස්ටමර් සර්විස් ඔෆිසර් විදියට ඉඳල තියෙන්නේ උදය. මේ වගේ ගම්බද ශාඛාවක ඉතිං සේවක හිඟය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එක්කෙනෙක්ට දෙතුන්දෙනෙකුගේ වැඩ කරන්න වෙනවා. උදයලා අනුරාධපුරයේම ඉපදිලා, එහිම රාජකාරි කරන නිසා ඉතිං එතනින් එහාට මාරු වෙනව නම් තියෙන්නේ උතුරු-නැගෙනහිරට තමයි. කොළඹ කෙනෙක් ඒ පැත්තට ගියොත් යන්නේ පනිෂ්මන්ට් ට්‍රාන්සර් මිසක් කැමැත්තෙන් නොවෙයි. උදේ පාන්දරම සද්දන්ත සුද්දෙක් බ්‍රාන්ච් එකේ දොරෙන් යාන්තමට පාත් වෙලා ආවාළු. නිකම්ම නොවෙයි බිරිඳත් එක්ක(එගොල්ලොන්ගේ කසාද සහතිකේ බලල නෙවෙයි කිව්වේ). මෙහෙ එන සුද්දෝ මේ ගමනට විතරක් සෙට් කරගෙන එන අයත් ඉන්න බව ලියන මම දන්න නිසයි  ඒ කෑල්ල දැම්මේ. බ්‍රාන්ච් එකටම යන්තම් ඉංග්‍රිරිසියෙන් වචනයක් දෙකක් ගැට ගහ ගන්න දන්නේ උදය නිසා සුද්දාට ගොළු භාශාවෙන්ම ආරක්ෂක නිලධාරියා උදයව පෙන්නලා. දැන් සුද්දයි-සුද්දියි මිනිහා ඉස්සරහ හිටගෙන ඉන්නවා. 

එතනින් පස්සේ ඇති වුන කථාබහ මේ විදියට

"ටේක් අ සීට් සර්"  (බොහෝමා ආචාරශීලී විදියට)

"තෑන්ක්ස්" (සුද්දයි සුද්දියි වාඩි වුනාළු)

"කැන් අයි හෙල්ප් යූ".

යස්.අයි වොන්ට් ටු චෙන්ජ් මනී

අපේ මිත්‍රය ඉක්මනටම ඒකට අවශ්‍ය කරන දේවල් ලඟට අරගෙන. රෝස පාට ඩෙබිට් ව්වුචර් පෑඩ් එකයි. ෆොරින් කරන්සි වලට භාවිතා කරන සීල් ටිකයි.පියන්ට කතා කරල කිව්වළු 

"අර රට සල්ලි මාරු කරන ලෙජර් එක ගේන්න" කියල.

 සුද්ද නළල රෑලි කරගෙන් උදය දිහා බලාගෙන ඉන්නවාළු. ඔළුව ටිකක් ඇල කරලා දත් තිස් දෙකම පේන හිනාවක් දාලා අපේ මිත්‍රයා කිව්වළු 

"වන් මිනිට් සර්" කියලා. සුද්දගේ මූනේ කිසිම හිනාවක් නෑළු. අපේ මිනිහා 
"මුන් දෙන්නා ඊයේ රෑ වලියක් යන්න ඇති, නැත්නම් රෑටයි උදේටයි දෙකටම බඩගින්නේ ඉඳල වෙන්න ඔනේ"

 කියල හිතින් කියා ගන්න ගමන්. හරි බරි ගැහිලා

"කැන් අයි හෑව් යුවර් පාස්පෝට්" කියල කිව්වළු.

සුද්දත් අර හතර බීරි පෙනුමම දාගෙන. බෑග් එක ඇරලා පාස්පොර්ට් එක දුන්නළු. 

"යුවර් මනි සර්" කියල කිව්වහම

සුද්දා පර්ස් එක ඇරල රුපියල් දාහක් දික් කලාලු. 

අපෙ මිත්‍රයට හීන් දාඩිය දැම්මළු. "විලි ලැජ්ජාවේ බෑ. කවුරු හරි දැක්කද දන්නෙත් නෑ" කියල හිතන ගමන්. කරන්ට් වැදුනා වගේ එක පාරට නැගිටලා කවුන්ටරය දිව්වළු.  ටක් ගාල  සල්ලි මාරු කරල සුද්ද අතට දෙන ගමන් සොරි සර් කිව්වළු. ඒ පාර සුද්දා ඇහක් වහලා කට කොනකින් හිනා (;P)වෙලා යන්න ගියාළු. මූ නං සුද්දෙක් නෙවෙයි ඇලියෙක්ද කොහෙද කියලා ඉබේටම කියවිලා. එතකොට එතනට ආපු පියන් "ඈ" කියල. අපේ යාළුව කිව්වළු "හොඳ සුද්දෙක්" කියල. 



පින්තූරය : http://bathtagreby.blogspot.com


Monday, April 23, 2012

සයිබරයේ සිහින සැණකෙලිය 2012 - මා දුටු හැටි.(සවිස්තරව )



මුලින්ම කියන්න ඔනේ මේක අහිංසක උත්සාහයක්. "සිහින සැණකෙලිය" කියන වචන වලම එවැනි අරුතක් ගැබ් වෙලා තියෙනවා.  මේක බොහෝ දෙනෙකුට සිහිනයක් සැබෑ වීමක් බව ඇත්ත. මගේ අත්දැකීමෙන් මම කියන්නේ නොමේරූ සබඳතා තියෙන මේ වගේ අය එකතු වූ විට එකිනෙකා සමග කුළුපග(get on) වෙන්න ගත වෙන කාළය වැඩියි. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්. හේතුව කාන්තා පාර්ශවයේ කෙනෙකුට මේ වගේ දේවල් පසුවට ප්‍රශ්ණ වෙන්න පුළුවන්. 

මම කුරේ පාක් එකට ආවේ ප්‍රධාන දොරටුවෙන නොවෙයි. ක්‍රීඩාංගණයට පැත්තෙන් තියෙන පටු තීරුව හරහා. මම එත්දිත් එතන තරුණයෝ වගයක් පාපන්දු ක්‍රීඩා කරමින් හිටියේ. පස්සේ මට කෙනෙක් කිව්ව "ඔයා එත්දී මම හිතුවේ ෆුට්බෝල් ටීම් එකේ කෝච් කියල" කියලා. ඇත්තටම මමත් පාපන්දු ක්‍රීඩකයෙක්. අන්තිමට මම මේ ග්‍රවුන්ඩ් එකට ආවේ පාපන්දු පුහුණුවීම් වලට. ඒ නිසා ඒ කථාවටනම් මගේ හිතෙ පොඩි සතුටක් ඇති වුනා. මම අඳින විදිහ එයාට එහෙම හිතෙන්න හේතු වෙන්න ඇති. ක්‍රීඩාගාරයට ආවාම රාජ් මගේ ලඟටම ඇවිත් බොහොම කුලුපග විදියට කථා කලා. ඒකත් අගයන්න ඕනෙ කාරණයක්. කෙතරම් වැඩ ප්‍රමාණයක් තිබුනත් මා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න රාජ්ට පුළුවන් වුනා. ඒ විතරක්ද ලියාපදිංචි කිරීමේ ස්ථානයටත් මා කැඳවාගෙන යන්න ඔහු ඉදිරිපත් වුනා. රාජ්ව එක පාරටම අඳුනා ගන්න මට බැරි වුනා. මම ඇහුවා "ඔයා කාලිංගද ?" කියලා "නෑ මම රාජ්" කියල කිව්වේ හිනා මුසු මුහුණින්. වැඩිමනත් දේවල් ඔහුත් සමග කථා කරන්න නොහැකි වුනේ මේ සැණකෙලියේ බොහෝ වගකීම් ඔහු මත පැට්වී තිබූ නිසා. 

මෙතන මගේ හිත් ගත් දෙයක් තමයි පොල්තෙල් පහන දල්වන්න හදලා තිබුන (ගහක අත්තක්ට ලණු ඔතල ) එක. අර සුපුරුදු වදන් පෙලත් එක්ක පිත්තල පහණත් ආවානම් මේකත් තවත් එක් අවුරුදු උත්සවයක් වෙනවා. මගේ ප්‍රොෆයිල් එකේ කියල තියෙන විදියටම මම කැමති ඔනෑම දෙයක් වෙනස් විදියකට කරන්න. කාගේ අදහසක් වුනත්, කාගේ නිර්මාණයක් වුනත්. ලකුණු සීයෙන් සීයම ඒ වැඩේට. 

මුලින්ම මට මේ ගැන දොඩමළු වෙන්න ලැබුනේ ඊමේල් කවිකාරියත් සමග. 



"අපි වගේ අයට මේ වගේ එකක් ?" කියන ප්‍රශ්නාර්ථයත් සමග ඈ දොඩමළු වුනා. එතකොට මම කිව්ව 

"ඒ වුනාට මේ වගේ හමුවක් තියෙන එක හොඳයි නේද ? " කියල. ඇය ඒකට එකඟත්වය ඵල කලේ හිස වනමින්.  තරුණ වයසේ පසු වන අයට මේ වගේ අවස්ථාවක් "මැක්සා ෆන්" එකක් වුනත් වයසින් මෙන්ම දැනුමෙන් මුහුකුරා ගිය අයට මේක තවත් එක් අවස්ථාවක් පමණයි. ඒකත් සාමන්‍ය දෙයක්. විවිද අය විවිද අදහස් දරනවා වගේම එහෙම කරන්නත් ඔවුන්ට අයිතියක් තියෙනව. ඒ  ගැන විවාදයක් නෑ. මම වැඩ කරන දෙපාර්තමේන්තුව තරමක් විශාල එකක්. එහි 200ක විතර සේවක පිරිසක් ඉන්නවා. ඉතිං අපි සුබසාධක සමිතිය මගින් වාර්ෂිකව පවත්වන සුහද හමුව සංවිධානය කරන්න ගියාම මුහුන දෙන අකරතැබ්බත් එක්ක මේක මොකක්ද කියල හිතෙනව. සමහරු කැමතිම නෑ ඒ වගේ ඒවට, ඉතිං එගොල්ලෝ ගේන යෝජනා ජීවිතේට කරන්න බැරි දේවල්. සමහර විට බොරු වලවල් වල වට්ටන වෙලාවළුත්  නැත්තේම නෑ. 

එතනදී කිහිප දෙනෙක්ම මාත් සමග කථා කලා. ඒ අය බොහෝ දෙනෙක් මගේ බ්ලොග් එක කියවලා තිබුනා. සමහර අය ඔවුන් දැමූ කමෙන්ට් පවා පැවසුවා. මගේ ලිපි වලට නිරතුරු කමෙන්ට් කරන කිරිපුතා මම දුටු ගමන්ම ඇඳින ගත්තා. ඒ වගේම සුදා, තවත් මා කොහේදී හෝ දැක තිබුන පුද්ගලයා - කොල පාට ටී ෂර්ට් එකක් ඇඳල හිටියේ. නාකියා - මම මුලින්ම හිතුවේ මුස්ලිම් එකෙක් කියලා. ඒකත් එකටම මූ වෙන්න ඔනේ අන්වර් මණතුංග කියලා හිතුනත්. ටිකක් කතා බහේදී තේරුනා නාකියා රියල් පොරක් බව. ඒ කියන්නේ සිංහල වෙච්චි එක නොවෙයි. උගේ කට සහ හැසිරීම. මම මුලින් අනුමාන කලේ නාකියා මෑන් ඔෆ් ද මැච් වෙයි කියලා. එත පස්සේ පස්සේ ඒකට සුදුසු කිහිප දෙනෙක්ම හිටි බව පැහැදිලි වුනා. පොඩ්ඩි මෑන් එයින් එක්කෙනෙක්. අනිත් සුදුස්සා එක්ක කථා කරන්න මට බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නොවෙයි ඌට තුබුන කඩි කුලප්පුව. ඌව අල්ලන්න නම් මගේ පු*ට පෙට්‍රල් ගහන්න ඔනේ. ඒ රත්ගමයා කියල කියනව මට ඇහුනා. මෙතනට එත්දී කොහොම හරි කථා කරන්න හිතේ තියාගෙන හිටිය එකෙක් තමයි රත්ගමයා. දකුණේ කම හින්දදෝ මන්ද? මට රත්ගමයව අල්ලල ගියා. අනිත් අය තමයි මාරය, මාතලන්, කෙහෙල් කොටුවේ පුංචි මහත්තයා, සඳරූ. ඒ අය එතනට පැමිනිලා හිටියේ නෑ. ඒත් අර එක ජාතියේ කුරුල්ලෝ එකට එකතු වෙනවා කියමන ඇත්තක් කියල මට හිතුනේ අපි කට්ටියක් ඉබෙටම සෙට් වෙලා කථා කරද්දි. කැරකිලා කැරකිල අන්තිමට දකුණේ සෙට් එකක් එකට එකතු වුනා.

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම "කඳවුරු ඇතුලේ කඳවුරු බඳින්න හදනව" කියල. මේක එහෙම දෙයක් නොවෙයි. දකුණේ අය සමග වගේම ලංකාවේ බොහෝ පළාත් වල මට යාළුවෝ ඉන්නවා. හොඳම උදාහරණය තමයි දුකා. දුකා දැක්ක මොහොතේදීම මාත් සමග කුළුපගව කථා කලා. ඔහුගේ බිරිඳ අරඹලා තියෙන පුංචි ව්‍යාපාරය ඒකට නම හැදුන හැටි. ඒක අපූරු කතාවක්. දුකාගේ පුතාගේ නම් විරුෂ්(හරිද මන්ද ?). පොඩි කාලේ ඔනෑම දෙයක් වෙන කවුරු හරි ගන්නකොට. නෝ නෝ ඉට්ස් විරුස් කියලා කියන පුරුද්දක් මේ දරුවට තිබිලා තියෙනවා. අන්න ඒ විරූස් කියන වචන ආශ්‍රයේන් තමයි විරූස් කියන නම හදාගෙන තියෙන්නේ. ඉතිං මේ පුංචි ව්‍යාපාරයට අමුද්‍රව්‍ය සපායා ගන්න දරන්න වෙන පරිශ්‍රමය. ඔහු ඩුබායි ඉඳල ඒකට උදව් කරන්න ආපු ගමන. ඒ වගේම ඒ පුංචි නිවාවාඩුවකට ආපු මේ ගමනේදි සයිබර් සැණකෙලියත් අමතක නොකර ඒකටත් වෙලාවක් මිඩංගු කරපු එක. ඉතිං දුකාගේ බිරිඳගේ මේ උත්සාහය දැක්කහම මගේ හිතට ආවේ "මේ වෑයම රජ වෙන්න නොවේ" කියන ප්‍රයිවේට් බස් වල ගහල තියේන වැකිය. 

අර මං කලින් කියපු සෙට් එක සුදා, මම, කිරිපුතා, බ්ලොග් ගඩොල්,දේව්, පොඩි මෑන් සහ තවත් කිහිප දෙනෙක් අපේ බ්ලොග් අත්දැකීම් බෙදා ගන්නත් අමතක කලේ නෑ. පොඩි මෑන් ලියපු කවි චේන් ඊමේල් වලින් පොඩි මෑන්ටම ආපු හැටි. ඔහුගේ කවි වෙනත් වෙබ් අඩවි ඔවුන්ගේ කරගෙන පල කරලා තිබුන හැටි. මුලින්ම බ්ලොග් වලට ආපු කාලේ කන්නෙත් නැතිව බ්ලොග් ලියපු හැටි. කොච්චර හිට්ස් තියෙනවද කියල බලන්න තිබ්බ කුතුහලය. කමෙන්ට් ආවාද බලන්න ජීමේල් එක රිෆ්ෆ්‍රෙෂ් කර කර හිටිය හැටි. ඔෆිස් එකේදි ලියපු බ්ලොග්. එතකොට නවත්ත නවත්ත ලියපුව(මට නම් බැරිය ). මට තිබුන ලොකුම ගැටළුව සහ මගේ විශ්වාසය තමයි හොඳට ලියන්න පුලුවන් බොහෝ දෙනෙක් බ්ලොග් ලියන්නේ නැති බව. එක හේතුවක් තමයි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්වත් පරිඝණකය හැසිරවීම සහ ටයිප් කිරීමට නොහැකියාව හෝ අකමැත්ත. අර කෙහෙල් කොටුවේ පුංචි චූටි මහත්තයාගේ කියන කොට ටයිප් වෙන සොෆ්ට්වෙයාර් එක තිබ්බත් කරයිද මන්ද? අතින් හොඳට ලියන අය ටයිප් කරන්න දක්වන අකමැත්ත. මේ අනුව මගේ මතය නම් තවමත් හොඳ බ්ලොග් කරුවන් බිහි වීමට ඇති බවයි. මෙහෙම කිව්වේ දැනට ලියන අය අධෛර්යට පත් කරන්න නොවෙයි. ආරම්භක සිංහල බ්ලොග් එකක් වූ ටැබූට වෙච්ච දේ. පොඩිමෑන්ට අනුවනම් ටැබූගේ බ්ලොග් එක හැක් කරලා. මම හිතුවෙ අර මොකක් හරි එකකට ගියාම මගේ තියෙන කාගෙන යන ගතිය හින්ද තමයි මේ හිට්ස් බලන එකයි කමෙන්ට් වැටෙනකම් බලාගෙන ඉන්න එකයි කියල. බලාගෙන ගියහම ඒකත් ස්වභාවික කාටත් පොදු දෙයක්. එහෙනම් බෙහෙත් ගන්න අවශ්‍ය නෑ. 

අවසාන වශයෙන් මට පුංචි විවේචනයක් තියෙනවා. සංවිධායක මණ්ඩලය තරග වලට සහභාගී නොවුනානම් තමයි හොඳ. හැම කෙනාටම ආශාවල් තියෙන බව ඇත්ත. ඒත් අපිම දන්සැල් දීල අපිම කනවානම් බලාගෙන ඉන්න අය මොනවද කියන්නේ. මොනවා උනත් වැඩක් කරන්න ගියාම ප්‍රායෝගිකව එයට දායකත්වයක් නොදක්වා මේ වගේ විවේචන කරන්න සදාචාරාත්මක අයිතියක් මට නෑ. හැබැයි මම කිව්වේ මම දැක්ක දේ. මම අවුරුදු උත්සව, ක්‍රීඩා උත්සව ඔනෑතරම් සංවිධානය කරල තියෙනවා. ඒ අත්දැකීමෙන් තමයි මෙහෙම කිව්වේ. නැත්නම් මේ වගේ ප්‍රමාණයක් එක තැනකට එක්තැන් කරන එකත් මොන තරම් අමාරු වැඩක්ද කියලා මම දන්නවා.

මම දැක්ක තවත් දෙයක් තමයි අනික් ක්‍රීඩාගාරයේ කට්ටියක් වෙනම සෙට් වෙලා හිටිය එක. ඒක මේම සැණකෙලියේ ගලායාමට ( Go එකට  )බාදාවක් වුණා කියලයි මට හිතෙන්නේ. එහෙම හිතුවහම අවුරුදු උත්සවයක් පවත්වනවාට වඩා සුහද හමුවක් පැවැත්තුව නම් හොඳයි කියල මට හිතෙනවා. ඊලඟ අවුරුද්දට ඒකත් යෝජනාවක් විදියට තියා ගන්න. 

මෙම සැණකෙලියට සහභාගි වෙලා හිටිය අර අපේ සයිබර් මිතුරුකැලගේ පරිශ්‍රමයෙන් සුවපත් වූ දැරිය දුටුවාම මට ලොකු ආඩම්බරයක් ඇති වුනා. එකමුතු කමින් කෙනෙකුගෙ ජීවිතයකට අරුතක් එක් කරන්න උරදුන් සහෘදයන් කැලක් මට ලැබීම ගැන. 


බස් රේඩියෝවේ වැඩ කටයුතු අවස්ථානෝචිතව ඉතාම ඉහල මට්ටමකින් පවත්වාගෙන ගියා. එමෙ කන්ඩායමට මගේ සුභපැතුම්. වඩාම වැදගත් කොටස තමයි හැම කෙනෙකුගේම අදහස් ගත්ත එක. මගෙනුත් මොනවද ඇහුව නෙව. 

මට එකම එක ෆොටෝ එකක් වත් ගන්න හිතුනේ නැත්තේ ඇයි කියල මට දැනුයි හිතෙන්නේ. 

අවසාන වශයෙන් එහි ප්‍රධාන ආරාදිතයා වශයෙන් සහභාගි වූ ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යධිකාරී මහතා අපට දුන්න පණිවුඩය මෙහි සඳහන් කරන්නම්

"ඔයාලා දන්නවද දන්නෑ මේ කාලේ අන්තර්ජාලය තුල තියෙන ට්‍රෙන්ඩ් එකක්. අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන බ්ලැක්මේල් කිරීම්, පුද්ගලික මඩ ගැසීම්, අපචාර, අපයෝජන(ඇබියුස්). මෙන්න මේවා නවත්වන්න ඔයාලයගේ බ්ලොග් අඩවි ඔස්සේ පාඨකයන් දැනුවත් කරන්න."

මං හිතන්නේ එය කාලීන අවශ්‍යතාවක්. එහෙනම් අපි ඒකට වැට ගහන්න සෙට් වෙමු. 


 එන පාර අපි ඒ අඩුපාඩුවත් නිවැරදි කරගෙන් වඩා සාර්ථක සයිබීරීයාවම දෙදරුම් කන "සයිබර් සැණකෙලියක්" පවත්වමු. මම දෙන්නම් උපරිම සහයෝගයක්. 





Sunday, April 22, 2012

සයිබරයේ සිහින සැණකෙලිය 2012 - මා දුටු හැටි. (කෙටියෙන්)


සයිබරයේ සිහින උළෙලට යන්න මම පෙරුම් පිරුව කිව්වොත් ඒක බොරුවක් නොවෙයි. ඒ මෙතුවක් කල් අන්තර්ජාලය ඔස්සේ මිතු දම් ගොඩනගාගත් සහෘදයින් මුණ ගැසීමේ නොනිත් ආශාව නිසා. මම හිතන්හේ අද එයට ප්‍රථම වතාවට සහභාගි වුන බොහෝ දෙනෙකුට එය එහෙමයි. මේ වෙනකොටත් එය වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා. ඊයේ රාත්‍රිය පුරාම නුවර තිබුන අවමංගල්‍යකට සහභාගි වෙලා අද හිමිදිරි යාමේ තමයි ගෙදර ආවේ. මගේ සිඟිති දියණිය සුරතල් කිරීමට වත් මට වෙලාවක් මිඩංගු කරන්න නොලබුනේ කාරණා දෙකක් නිසා. එකක් අද මට රාජකාරි දිනයක් වී, අනික සයිබරයේ සිහින උළෙල. මේ දෙකම සමබරව කරන්න අවශ්‍ය නිසා රාජකාරියෙන් මදක් මිදිලා සිහින උළෙලටත් සහභාගි වුනා. මේ ඒ සඳහා මා සහභාගි වුන පළමු අවස්ථාවයි. සියළු දෙනාටම කථා කරන්න හිටියාත් එය සාර්ථක නොවන බව එතනට පැමිණිලා හිටිය ප්‍රමාණයම සාක්ෂියක් වුනා. ඉතින් මම තෝරගත් 20ක් පමණ දෙනෙක් සමග ආ ගිය කථාවෙහි යෙදුනා. මට මේ අවස්ථාවේ අමතක කරන්න බෑ මා ඉතා උණුසුම් අයුරින් පිළිගත් "රාජ්". මගේ බ්ලොග් එකට නිරතුරු කමෙන්ට් කරන "කිරි පුතා". රාජ් නම් හොඳටම කාර්‍ය බහුල වෙලා හිටියේ. එතනදී හමු වූ අය කිහිප දෙනෙක්, සුදා, දුකා, නාකිය, පොඩිමෑන්, ඊමේල් කවිකාරී, බ්ලොග් ගඩොල්. අනේ හුඟක් අයගේ නම් අමතක වෙලානේ. නොසැලකිල්ල කියල හිතන්න එපා. මම එතනට ආවත් මගේ හිත තිබුනේ ආපසු යාම ගැන. මේ ගැන දිගු විස්තරයක් පසුව ලියන්නම්. එතෙක් සයිබරයේ සිහින් උළෙල සංවිධානය කල සියළුදෙනාටත්, එයට සභාගි වූ සියලුදෙනාටත් මගේ අවංක ආදර ස්තූතිය. 

Wednesday, April 18, 2012

කෙටිම-කෙටි ලොල් කතා - අංක 1 (චූ කරන තැන )


මේ කතාව 1995 විතර ඈතට ගිය පරන කතාවක්. ඒ වුනාට අද පවා මතක් වූ වෙලාවට මගේ මුවට සිනහවක් මතු වෙනවා. මම බැංකුවට ආ අළුත හැම දාම බෙන්තර ඉඳලා කොළඹ ඇද්දා. ඒත් පැය දෙක-දෙක හතරක් දවසකට මගට ගෙවන එක අපරාධයක්. අනිත් පැත්තෙන් ඒ කාලේ චන්ද්‍රිකා වෙලාව පැයක් ආපස්සට ඇද්දා. මම වැඩට එන්න නැගිටින්නේ උදේ හතරට. මේ චන්ද්‍රිකාගේ වෙලාව හැදිල්ලෙන් හරියටම බැළුවොත් මම නැගිටින්නේ උදේ තුනට. උදේ හවස දෙකම මේල් කෝච්චියේ බඩ ගාල  හොඳටම හෙම්බත් වුනාට පස්සේ මම තීරණය කලා බොඩිමක් හොයා ගන්න.  අන්තිමට හොයලා හොයලා මට ගෙදර වගෙ තැනක් හමු වුනා. එහෙ ගිය අළුත වෙච්චි දෙයක් තමයි ලියන්නේ. 

මම එහේ යද්දි ඒ ගෙදර පුංචි ළමයි දෙන්නෙක් හිටියා. ලොකු එක්කේනා දුව. එයාගේ වයස අවුරුදු හතරයි. කොහොමත් මම වැඩිය කලබලයක් නැති මිනිහා. ඔෆිස් එකේ අනිත් අය සිකුරාදාම ගෙදර ගියත් මම හිතුවා නිකං දුක් විඳින්නේ නැතිව සෙනසුරාදා උදේ කලබලයක් නැතුව ගෙදර යනවා කියලා. එහෙ නතර වුන පලවෙනි සති අන්තයේ සෙනසුරාදා උදේ හතට විතර සතියෙම එකතු වෙච්ච රෙදි කන්දත් අරං මම ගියා එලියට රෙදි හෝදන්න. ගේ අයිනේ තාප්පයට හේත්තු වෙන්න ගහල  තිබුන වතුර පයිප්පේ ගාව කොංක්‍රීට් ලෑල්ලක් දාල හදල තියෙන තැන තමයි එගොල්ලෝ රෙදි හෝදන්නේ. මමත් ඉතින් රෙදි ටික පෙඟෙන්න දාල එතන ඉඳගෙනම දත් මැදින්න පටන් ගත්තා. සෙනසුරාද උදේ හතට ගෙදර අය කීයටවත් නැගිටින්නේ නෑ. ඒ නිසා නිදන් හිටිය සරමත් කැහැපොට ගහගෙන උඩට මොනවත් අඳින්නැතුවම මමත් හිටියා එතන. කල්පනා ලෝකයේ ගැලිල දත් මැද මැද ඉන්න මට  දොර අරින සද්දයක් යාංතමට වගේ ඇහුනා. ඒත් ඒ හරියේ ගෙවල් ලඟ-ලඟ තියෙන නිසා මට ඒ තරම් ෂුවර් නෑ මේ අපේ බෝඩිමේ දොරද ඇරුනේ කියලා.( මම ආවේ පස්ස දොරෙන්). එතකොටම ඒ ගෙදර ඉන්න අර කියපු දුව (ආදරේට හැමෝම කියන්නේ නංගි කියලා ) දුවගෙන ආව මම ඉන්න තැනට. සතියක්ම ඒ ගෙදර හිටි මාත් එක්ක මේ ළමය කුළුපග වෙලා හිටියේ. එහෙම දුවල ඇවිත් මට කියනවා 

"අංකල්-අංකල් මට චූ කරන තැන පෙන්නන්න" කියල

මගේ ඉහ මොල රත් වෙලා ගියා මේ කියපු කතාවට. දෙයියනේ මේ ළමයා මොනවද මේ කියන්නේ මම කොහොමද පොඩි එකෙක්ටවත් මේව පෙන්නන්නේ. මම පොඩි කාලේ ඉඳන් බොහොම ලැජ්ජාවට හැදිච්ච එකා. දැන් මට හීන් දාඩියත් දාගෙන එනව. මම වට පිට බැලුව. තාම කවුරුවත් නෑ. මොනවා වුනත් තව පොඩ්ඩක් ඉවසනව.

"මො...ක....ක්....ද නං....ගි කි....ව්....වේ?" කියලා මම ගොත ගගහා මම ඇහුවා. 

"මට චූ කරන තැන පෙන්නන්න" (ඒ පාර මූණත් පොඩ්ඩක් ඇඹුල් කරගෙන. මේ දවස් ටිකට මම තේරුම් ගත්ත දෙයක් තමයි පොඩි දේකට වුනත් මේ ළමයා අඬන බව)

හත් වලාමේ මම වැටිච්ච අමාරුවක්. ඉඳලා-ඉඳල හොයා ගත්ත බෝඩිමත් නැති වෙන වැඩක් තමයි මේක. ඔන දෙයක් වෙච්චාවේ

"අනේ අංකල් ඉක්මනට පෙන්නන්න. මට ඉන්න බෑ....." කෙල්ල අඬ-අඬා කිව්ව. මට එතකොටයි තේරුණේ. 

"ඔන්න ඔය පැත්තට යන්න කියල මම කිව්ව" 

ඒ පාර කෙල්ල මම පෙන්නපු පැත්තෙන් වාඩි වෙලා චූ කරනව. එතකොටයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ. හත් දෙයියනේ තව පොඩ්ඩෙන් හිරේ ගිහින් තමා නතර වෙන්න වෙන්නේ. එහෙම උනානම් පත්තරේ වැටෙයි "අවුරුදු හතරක කුඩා දැරියකට නිරුවත පෙන්වූ බැංකු නිලධාරියා රිමාන්ඩ්" කියලා. එහෙම උන්නානම් ඉතිං වහ ටිකක් කාලේ කැලේ නිදා ගන්න තමයි වෙන්නේ. මගේ අර ඉවසිල්ල තමයි මාව බේරුවේ. පොඩි-ලොකු කියලා බේදයක් නෑ ඕන එකෙක් ආසයි නෙව එලියේ චූ කරන්න. 


පින්තූරය ගත්තේ :  http://www.second-man.com

Monday, April 16, 2012

සුනාමිය සහ මගේ අවුරුද්ද (අසංෂිප්ත)

මුලින්ම මාගේ බ්ලොග් හිතවතුන්/හිතවතියන් සියළුදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා.


ඒ වගේම මම මේක අව්ස්ථාවක් කර ගන්නවා මාස තුනහමාරක් ඇතුලත් මගේ බ්ලොග් එකේ සමාජිකත්වය ලබා ගත් සියළුම දෙනාටත්(24), ඒ සඳහා මා දිරිමත් කරමින් කමෙන්ට් 89ක් එක් කල සියළු දෙනාටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න. 

මම අවුරුද්දට ගමේ යන්න හිටියේ 11ස් වෙනිදා. එදා හවස ඇති වෙච්චි සුනාමි පලහිලව්ව හින්දා ඒ ගමන පහුවදාට කල් දාන්න සිද්ද වුනා. මොනවා වුනත් එදා කොලඹ කොටුවේ අය ඇතුළු බොහෝ දෙනෙක් හැසිරිච්ච විදිහ ඉතාමත් ශෝකජනකකයි. ඒ වගේ කලබලයෙන් මිනිස්සු දඟලනවා මම කවදාවත් දැකලා නෑ. සුනාමියක් තියා මොන කරදරයක් ආවත් මහ පාරට බැහැලා ඉබාගාතේ දුවගෙන යන එක අල ගෙඩියක් තරම් වත් පුංචි මොලයක් තියෙන කෙනෙක් කරන දෙයක්ද ? හොඳ වෙලාවට මම ඩිස්කවරි නාලිකාවේ හැමදාම රෑ 9.00 ට යන Man vs Wild වයිල්ඩ් නරඹලා තිබුනේ. ඒකෙදි බෙයාර් ග්‍රිල්ස් (Bear Grylls) කියන (හිටපු හමුදා නිලධාරියෙක්) පෙන්වා දෙනවා කොහොමද ආපදාවකදී හැසිරෙන්න ඕනේ කියල. ඔහු නිතරම කියන දෙයක් තමයි කිසිම වෙලාවක කලබල වෙලා දඟලන්න එපා කියන එක. එහෙම දඟලන්න ගියාම තමන්ගේ ශක්තිය වැය වෙනවා කියල. ඉතිං මමත් මගේ මිතුරාත් ඒ ක්‍රමය අනුගමනය කලා. පාර දිහා බැළුවාම මුළු පාරම වාහන වලින් පිරී ඉතිරී ගිහින්. එහෙම වෙලාවක සුනාමි ආවානම් සොරිම තමයි. අපි කල්පනා කලේ පැරණි වුනත් අපි ඉන්න මේ ගොඩනැගිල්ලේ සවි කරපු H අයන් කණු පද්දතිය ඉතාම ශක්තිමත්, තුන්වෙනි මහලට ගියාම කොහොමත් අඩි 60ක් විතර උස තියෙනවා. උඩම තට්ටුවට ගිහින් ඒ කණුවක් බදා ගත්තත් බේරෙන්න පුළුවන්. ඉතිං අපි කලේ කලබල වෙලා පාරට පනින්නේ නැතුව පහු වෙලා පිටත් වෙච්ච එක. අපි 4.15ට පිටත් වෙලා 5.00 විතර වෙත්දී කරදරයක් නැතුව නුගේගොඩට ගියා. 


රාජකාරියේ යෙදිල ඉන්න ගමන් මම නිරතුරුවම ගෙදරත් සමග සම්භන්ධ වෙමින් ඒ පැත්තේ තොරතුරු ගැන දැනුවත් වුනා. අපේ කර්‍යාල ගොඩනැගිල්ල ගැන වචනයක් සඳහන් කරන්න වටිනව. අවුරුදු 100කට වඩා පැරණි මගේ කර්යාල ගොඩනැගිල්ලට භූමිකම්පාව දැනුනේ නෑ. වෙනත් කාර්යාල වල ඉන්න අපේ සහෘදයින් කථා කල දේවල් වලින් තමයි අපි ඒ ගැන දැනුවත් වුනේ. මෙහි දෙවන තට්ටුවේ තමයි මගේ කාර්‍යාලය තියෙන්නේ. එහි බිමට අතුරා තිබෙන්න ලී. ඒ නිසා හෝ මෙහි තිබෙන ඉතා ගන බිත්ති නිසා යන කාරණා දෙකෙන් එකක් නිසා හෝ දෙකම නිසා රිච්ටර් මාපකයේ අංශක 8.6ක් ලෙස සටහන් වූ භු කම්පනය අපට දැනුනේ නෑ. 



අපේ අම්මා හා තාත්ත අපේ ගේ ළඟම තිබෙන උඩකොටුව පුරාණ රජ මහ විහාරයට යාබදව තිබෙන ෂීලා මිස්ලගේ(අම්මත් එක්ක එකට උගන්නපු ) ගෙදර ගිහින් තිබුනා. අවුරුදු 61ක් වන මගේ අම්මා ඇවිදිනේ බොහොම අමාරුවෙන්. ඒත් ජීවත් වීමට ඔනෑම සත්වයකු දක්වන ආශාව ඇයව අඩි 250ක් පමණ උසින් තිබෙන කන්දක් නග්ගවන්න සමත් වෙලා. පස්සේ ඇයගේ කකුල් රිදෙන බව දැන ගන්න ලැබුනා. මගේ අක්කා ඉන්නේ බෙන්තොට ටාජ් හෝටලයට ආසන්නයේ. ඒ කියන්නේ රේල් පාර පැන්නහම මුහුදට යන දුරින්. සුනාමියක් ආවානම් ඒ ගෙදර අනිවර්යයෙන් මුහුදු රළ සිප ගන්නවා. අක්කා හා මගේ සිඟිති දියණිය දෙද්දුව කියන කිලෝමීටර 10ක් පමණ දුරින් ඇති ඇල්පිටිය පාරේ ඔවුන්ගේ වෙනත් නිවසකට ගොස් තිබුනා. එය අඩුම තරමින් මුහුදු මට්ටමට වඩා අඩි 25ක් වත් උසින් පිහිටි සුන්දර ගම් පියසක්.

මම ඊලඟට මුහුදුබඩ වෙසෙන මගේ සහෘද්ධයන් අමතා ඔවුන්ගේ තත්වය විමසා සෑහීමකට පත් වුනා. විශේෂයේන්ම කල්මුණේ ඉන්න රියාජ්. ඔවුන් පහුගිය වතාවේ සුනාමියෙන් හොඳටම බැට කෑවා. ඔවුන්ගේ දරු මල්ලන් ආරක්ෂිත ස්ථාන වල ඉන්න බව දැනගත් විගස මගේ හිතට සතුටක් ආවත්, තවත් කී දාහක් අවදානම් ප්‍රදේශ වල ඉන්නවාද යන සිතුවිල්ල මගේ හිතේ ගිගුම් දුන්නා. 



මගේ දුව මුලින්ම ඉන්ජෙක්ෂන් ගහද්දී හිනා වෙවී බලන් හිටිය එහෙත් එහි තිබෙන වේදනාව දැනගත් පසු ඉන්ජෙක්ෂන් යන නම අපේ කටින් පිට වූවත් ඇය අඬන්න පටන්ගන්නවා. මෙවර සුනාමි අණතුරු ඇඟවීමේදීත් අපේ අය හැසිරුනේ මගේ දියණිය වගේ නේද කියලා මට හිතුනා. 2004 දී ශ්‍රීලංකාවේ අපිට සුනාමි කියන වචනය පවා අළුත්. එහෙත් එහි ඵල විපාක් අපි සියැසින් මෙන්ම රූපවාහිණී තිරයේත් දුටුවා. මෙවර අපේ අය එම අණතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්වූවේත් ඒ සියළු අත්දැකීම් සහිතව. හැමොටම තමන්ගේ දරු මල්ලන් හා පවුලේ අය සිහිපත් වෙන්න ඇති. එනිසයි මා අර කලින් සඳහන් කල අනවශ්‍ය කලබල වීම ඇති වුනේ.

මම ගෙදර ගිය ගමන්ම නතර වුනේ රූපවහිණිය ඉස්සරහ. අපේ ඒවගේ දෙන්නෙත් අන්තර්ජාතික නාලිකා වල යන දේවල්ම නිසා, මම විදෙස් නාලිකා බලන්න පටන් ගත්තා. රෑ හත අට වෙනකනුත් මොනවත් නොවුන නිසා හා අභාග්‍යසම්පන්න කිසිවක් අහන්න තරම් අවාසනාවන්ත නොවුන නිසාත් මා අයිපීඑල නරඹන්න පටන් ගත්තා.



මේක සාමාන්‍ය මිනිස් පුරුද්දක්. අපි, දෙන්නෙක් රණ්ඩුවකට පැටලීගෙන එනකොට බොහෝ අය බලාගෙන ඉන්නේ මේ රණ්ඩුව දුර දිග ගිහින් අර දෙන්නා අතර ගුටි බැට හුවමාරුවක් වෙනකම්. මම මේක හොඳටම දැක්ක දවසක් බස් එකක් ට්‍රැෆික් එකට හිර වෙලා තියෙද්දී එලියේ මිනිස්සු දෙන්නෙක් එහෙම වාද විවාද වෙලා එක පාරටම එක මිනිහෙක්(නගර සභාවේ වැඩ කරන කෙනෙක් වෙන්න ඔනෑ) තැඹිලි කපන මිනිහෙක්ගේ මන්නය අරගෙන අනිකා පස්සේ පන්නන්න පටන් ගත්තා. මම හිටිය බස් එකේ හිටි හැම කෙනෙක්ම වගේ ජනෙල් වලින් එලියට ඔළුව දාගෙන බැළුව ඊලඟට වෙන්නෙ මොකක්ද කියල. ඒ වෙලාවේ මගේ කල්පනාවට ආවේ මිනිස්සු වැඩි දෙනෙක් දකින්න කැමති එතන බෙලි කැපීමක් සිදු වුනානම් බව. සුනාමියත් ඒ වගේමයි. අපි බලපොරොත්තු වුනේ සුනාමිය එනවාමයි කියල නේද. ඔබේ හදවතට තට්ටු කරල බලන්න මොකක්ද හිතුවේ කියලා. මම ගෙදර යනකම් ප්‍රාර්ථන කලා එහෙම නොවෙන්න කියල.

මේ සටහන කියවපු අයට මගෙන් වුනේ සුළු-පටු අසාධාරණයක නොවෙයි. මම හිතන්නේ මේක මට විතරක් වෙන දෙයක් නොවෙයි. දෙයක් පටන් ගත්තහම එක දිගටම ඒ වැඩේ කරලා ඉවර නොකර පසුවට කල් දැම්මොත් පස්සේ ඒක සම්පූර්ණ කරනන්න තියෙන ආසාව හෝ උණන්දුව හීන වෙනවා. මට මේ වගේ දේවල ගොඩක් වෙලා තියෙනවා. හොඳම උදාහරණය මේ බ්ලොග් එකට මම මගට ලියලා පබ්ලිෂ් නොකරපු පොස්ට් තුනක්ම තියෙනවා.


කොහොමින් කොහොමින් හරි මට නොදැනීම නින්ද ගිහින් මහ රාත්‍රියේදී ඇහැරුනා. ඒ වෙනකොටත් රුපවාහිණියේ මා නරඹමින් සිටි අයිපීඑල් තරගයේ නැවත විකාශණයක් යමින් තිබුනා. නැවතත් සවස් යාමයේ සුනාමි විස්තර නැරඹූ නාලිකාව දමා පැය භාගයක් පමණ බලා සිටියත් එම සුනාමිය පිලිබඳ අළුත් තොරතුරක් දකින්නට ලැබුනේ නෑ. එම සුනාමිය සිරස් අතට සිදු වූවක් නිසා සුනාමි අණතුරක් නැති බව වේලසනින්ම දැන සිටියත් තොරතුරු දැන ගැනීමට තිබෙන මගේ උණන්දුව මා තවත් පැය භාගයක් නිදි වර්ජිතව තබන්නට සමත් වූවා. ඊලඟ වතාවේ මට ඇහැරෙද්දි උදෑසන  හතත් පහු වී තිබුනා. මම දනි පනි ගා නැගිට උඩ තට්ටුවට ගොස බැලූවේ මස්සිනාත් ඔහුගේ දියණියත් ගමනට සූදානම් වී ඇත්ද යන්නයි. ඔවුන්ට තවමත් ඉර උදා වී නැති බැවින් මා නැවතත් පහල මාලයට ගොස් මගෙ බෑග් එක සකසන්න පටන් ගත්තා. 

මේ ලිපිය දිගටම ලියනවා ඒත් හුඟ කාලයකින් ලියන්න බැරි වුන හින්දා ලියන ලියන කොටස පෝස්ට් කරනවා.

Saturday, April 7, 2012

ඇවිලෙන ගින්නට භය නැතුව පිදුරු දාන්න


ඇවිලෙන ගින්නනට පිදුරු දානව කියන පැරණි කියමන කවුරුත් අහල තියෙනවනේ. ඒ වගේම එදිනේදා කතාබහේදීත් මේ කියමන නිතර අහන්න ලැබෙනවා. මේහි සමාන්‍ය තේරුම වෙන්න යන සිද්දියක් වඩා වේගවත් කිරීම. නිකංම නෙවෙයි කරන කතා වලින්, දාන වචන වලින්. ඉතිං අපේ සමාජයේ  තියෙන කොටවනව කියන වචනයත් මේකට අන්වර්ථ තේරුමක් දෙනවා. මොනව වුනත් මම මෙතන කියන්න යන කාරණාව ඊට හාත්පසින් වෙනස් දෙයක්.

පිදුරු කියන්නේ ඉතාමත් සැහැල්ලු ඒ වගේම අඩු ජ්වලන උෂ්ණත්වයක් දරන දෙයක්. ඉතාම ඉක්මනින් ගිනි ඇවිලේන සුලු දෙයක්. ගොයම් කපල වී  හුලං කරාට පස්සේ ඉතිරි වන පිදුරු අපි සාමාන්‍යෙන් ප්‍රයෝජනයට ගන්නේ ගවයන්ගේ ආහාරයට. ඊට අමතරව කඩදාසි කර්මාන්තයට. ඉතින් මේ සැහැල්ලු ද්‍රව්‍ය යොදාගෙන ශක්තිමත් දෙයක් කරන්න පුලුවන් විදියක් මම ඊයේ පෙරේද ඇස් දෙකෙන්ම දැක්ක. ඔබ අහල ඇති තවත් කියමනක් තියෙනව "විස විසෙන්ම නැසේ" කියල එහෙමත් නැත්නම් "කැලේ ගහක් නහන්න කැලේ ගහක්ම ඕනේ" කියලා. මේ කියමන් වල සත්‍යතාවය තවත් පසක් කරන දෙයක් තමයි මම දැක්කේ. පිදුරු කියල මාතෘකාවෙම කියල තියෙන නිසා මේක පිදුරු වලටම සම්බන්ධ දෙයක් කියලම කියමුකෝ. ගින්දර වැඩි කරන්න පිදුරු භාවිතා කරනව වගේම ගින්දර නවත්වන්නත් පිදුරු භාවිත කරන විදියක් ගැන තමයි මේ කථාව. අපේ office එකේ Server Room සියල්ල fireproof කරන්න යනවා. ඒක කරන්නෙ තියෙන partition එකට පිටින් අලුත් partition එකක් ගහනව. ඒකට ගන්න සියලුම ද්‍රව්‍ය ගිනි නොගන්න දෙවල් වෙන්න  ඕනේ කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. හරි ගින්දරට ඔරොත්තු දෙන වීදුරු තියෙන බව දන්නව, ඒ වගේම ගින්දරට ඔරොත්තු දෙන ලෝහ බාර් වගයකුත් ඔවුන් අරන් ඇවිත් තිබුනා. මම ටිකක් ඒ අයත් එක්ක කථා කරල බැලුව මේ බෝඩ් එක හදල තියෙන්නේ මොනවැයින්ද කියල. "මේක මහත්තයෝ පිදුරු වලින් තමයි හදල තියෙන්නේ" කියල කිව්වහම මට මහ ලොකු හිනාවක් ගිය. "පිදුරු වලින් කොහොමද ගින්දර නවත්වන්නේ ?" මේකනම් කවුරු හරි ගානක් හොයා ගන්න කරපු වැඩක් තමයි කියල මට නිකමට හිතුන. ඒත් ඒ සිතුවිල්ල වැරදියි කියල මට තේරෙන්න ගත වුනේ විනාඩි කීපයයි .  එහෙම හිතුනේ මේකේ විද්‍යාත්මක පැත්ත ඒ හාදය කිව්වට පස්සේ. පහලින් දාල තියෙන ෆොටෝ වලින් පැහැදිලි වෙයි මේක මොනවගේ දෙයක්ද කියල. පිදුරු කාබන් ඩයොක්සයිඩ් හෝ නයිට්‍රජන් වගේ ගිනි නොගන්නා පරිසරයක තියලා ජ්ව්ලන උශ්ණත්වය දක්වා රත් කර පසුව අධික ලෙස සම්පීඩනය කරලා තමයි අඟල් දෙකක් විතර ඝනකම මේ ෂීට් එක හදා ගන්නේ.

 මේ සම්පීඩනය නිසා තමයි මේක ගිනි නොගන්න ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ. මෙම ෂීට් වර්ගය නිපදවීමේදි එය කොතරම් හොඳින් සම්පීඩණයට ලක් කරනවාද කිව්වොත් ඒවා සෑදු පසු මෙම තහඩුව තුල වාතය බිඳක් වත් ඉතුරු නොවීම. එමගින් තමයි ඒය දහනය නොව ද්‍රව්‍යයක් බවට පත් වන්නේ. එහෙත් එහි කැපූ කෙලවරකින් ඇද ගත් පිදුරු ගහකට ගිනි අවුලවන්න ඉතා පහසුයි. මෙම තහඩු නිෂ්පාදනය පොලොන්නරුවේ සිදු වනවා යන්න ඇසීම තවත් සතුටට කරුණක්. ඒත් මෙය සොයා ගත්තේ අපිමදැයි යන්න තවමත් දන්නේ නෑ. පහලින් තියෙන පින්තූර ටික බලන්න.










Thursday, April 5, 2012

සජීවීකරණ කාර්ටූන් ශිල්පියෙකු ගොඩනැගූ පාපන්දු උන්මාදය : හිරු නැගෙන රාජ්‍යයේ පාපන්දු නැගීම.



සමහරවිට ඔබ මේ කතාව අහලත් ඇති. 1980 වනතෙක්ම ජපානය එතරම් පාපන්දු වලට උනන්දුවක් හෝ නිපුනතාවක් දක්වා නැහැ. ඇත්තටම සමහර ක්‍රීඩා වලට මේ කහ මිනිසුන් නිපුනතාවක් දක්වන්නේ නැහැ උදාහරණයකට ක්‍රිකට්. ඔවුන්ට එය එක් අතකින් හතරබීරි ක්‍රීඩාවක්. අනිත් අතින් එම කලාපය තුල ක්‍රිකට් ප්‍රචලිත නෑ. එය වෙනමම සාකඡ්චාවට බඳුන් කල යුතු මාතෘකාවක්. නමුත් පාපන්දු ඒ අතින් සරල නීති රීති මාලාවකට උරුමකම් කියන බොහෝ අඩු අධ්‍යාපන මට්ටමේ අයකුට වුවත් තෙරුම් ගත හැකි ක්‍රීඩාවක්. එහෙත් ජපානය එයට කැමැත්තක් දක්වා නෑ. නමුතු ඔවුන්ගේ අසල්වැසියන් සියල්ලම පාහේ මෙම ක්‍රීඩාව ඉතා ඉහලින් කර ගෙන ගියා. පාපන්දු කියන්නේ ලොව වැඩිම් දෙනෙක් නරඹන, වැඩිම දෙනෙක් ක්‍රීඩා කරන, ලොව ජනප්‍රියම ක්‍රීඩාව. එය ක්‍රීඩා නොකරන රටක් නෑ. ජපානයට එක පාරටම පාපන්දු පිලිබඳ උනන්දුවක් ආවේ ඔවුන්ගේ කාර්මික දියුණුවත් සමග. ඔවුන්ටත් ඔනෑ වුනා ඔවුන් තරග කරන යුරෝපීය රටවල් වල මෙන් තම රටේද ප්‍රධා ක්‍රීඩාව පපන්දු කරන්න. බොහෝ යුරෝපීය රටවල ජාතික ක්‍රීඩාව වන්නේ පපන්දු. ජපානය සිතුවොත් යමක් කරන ජාතියක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එයට හොඳම උදාහරණ තමයි 1945 දී හිරෝෂිමා බෝම්බ හෙලීමේ සිට අද දක්වා ඔවුන් ලබා තිබෙන දියුණුව. බොහෝම මෑතකදි අප දැක්ක සුනාමියෙන් ඔවුන් නැගී සිටි අකාරය. නමුත් ක්‍රීඩාවක් වෘත්තීය මට්ටමකට ගෙන ඒමට නම් එයට පරම්පරා දෙක තුනක් වත් අවශ්‍ය බව සාමාන්‍ය පිලිගැනීමයි. ඉතින් ජපානයට එම කියමනේ විශේෂත්වයක් නැහැ. එහෙත් මේ ජපානය සෙල්ලම් ජාතියක් නොවන බව අප දන්නව. "හරාකිරි" කියන වචනයම ඊට සාක්ෂි සපයනවා. ඉතින් ජපනා හපනා බව ඔවුන් නැවත වතාවක් ලොවට ඔප්පු කර පෙන්නුව.  

අසූව දශකයේ අග භාගයේ මේ අභියෝගය බාර ගත්තේ ජපානයේ සජීවීකරන කාර්ටූන් ශිල්පී "යොයිචි ටකාශි". ඔහු ගොඩනැගූ කාර්ටූන් චරිතය සුභාසා(මගෙ මුල් නම වගෙ :D) කුඩා කාලයේදි ට්‍රක් අණතුරකින් දිවි ගලවා ගන්නේ පාපන්දුවකට පින් සිදු වෙන්න. එයින් ප්‍රබෝදමත් වන ඔහු පාපන්දු ක්‍රීඩාවට පෙම් බඳිනවා. අවසානයේදී ඔහු මිඩ් ෆීල්ඩ් ක්‍රීඩකයකු ලෙස වර්ධනය වනවා. ඔහුගේ සිහිනය වන්නේ බ්‍රසීලයේ සාඕ පෝලෝ හෝ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා වැනි ක්‍රීඩා සමජයක කොන්තරාත්තුවක් දිනා ගැනීමට. ඔහුගේ ක්‍රීඩා ස්ථානය මා කලින් සඳහන් කලාක් මෙන් මිඩ්ෆීල්ඩ්(සිංහලෙන් මේයට වචනයක් නෑ. ඉදිරිපෙළ හා පසුපෙළ අතර ක්‍රීඩා කිරීම තමයි මෙසේ හඳුන්වන්නේ). අංකය 10 (දක්ෂම ක්‍රීඩකයා අඳිනේ මෙම ජර්සි එක) ඔහුගේ ජීවන මුඛ්‍ය පාඨය "පාපන්දුව මගේ මිතුරා" වුනා. මතක තබා ගන්න මේ සියල්ල මෙම කාර්ටූන් ශිල්පියාගේ නිර්මාණශීලී හිත තුල ඉපැදුනු දේ බව. 

අද ජපානය පාපන්දු ලෝකයේ සිටින තැන ගැන මා අමුතුවෙන් පැවසිය යුතුද ? 1998 දී ඔවුන් ලෝඅක ශ්‍රේණිගතකිරීම්වල 9 වන ස්ට්ථානය දක්වා ඉහල නැගීමට සමත් වනවා. එය ෆිෆා ශ්‍රේණිගතකිරීම්වල ඔවුන් ලබාගත් ඉහලම ස්ථානයයි.. මේ අතර වාරයේ ඔවුන් පාපන්දු අවසන් පූර්ව තරග දක්වාම පැමිණ තිබෙනවා. ඒ සියල්ල මේ කාර්ටූන් ශිල්පියාගෙ දක්ෂතාව බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් ජාතියක් වශයෙන් ඇති ඔවුන්ගේ එක්සත් හා එක්සිත් බවද අමතක කල යුතු නෑ. අද ලෝකයට වාහන,ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික් භාන්ඩ වලට අමතරව හොඳම මිඩ්ෆීල්ඩ් ක්‍රීඩකයන්ද සපයන්නේ ජපානය කිව්වොත් මුසාවක් නොවෙයි. උදාහරණ ලෙස ශින්ජි කගාව හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගේ පෙර පරම්පරාවන්ට වඩ අද බිහි වන මිඩ්ෆීල්ඩ් ක්‍රීඩකයන් ප්‍රමාණයෙන් මෙන්ම ගුණාත්මක බවින්ද ඉහල බව මා කියවූ 

Land of the Rising Stars: How a cartoon inspired a generation of Japanese footballers

ලිපියේ සඳහන් වනවා. 

එම ලිපිය මෙතැනින් බලන්න. 


පින්තූරය ගත්තෙත් එම බ්ලොග් එකෙන්මයි.

Tuesday, April 3, 2012

ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා ...





මේ සිද්දිය වුනේ මම A/L කරන කාලේ. ඒ කාලේ මම ඇතුළු අපි බොහෝ දෙනෙක් පුද්ගලික ටියුෂන් පංති වලට ගියේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ. මින් බොහෝ අයෙකුට තිබුනේ ආර්ථික දුෂ්කරතා. සමහරුන්ට ප්‍රවාහන ප්‍රශ්ණ වගේ දේවළුත් තිබුනා. සමහරු හවස පන්තියට හිටියේ බඩගින්නේ. මේ පන්තිය ඩන්කන් කුලසේකර කියන බොහෝ දෙනෙක් දන්න රසායනික විද්‍යා ගුරුතුමාගේ එකක්. ඩන්කන් සර් අපේ පුද්ගලික හිතවතෙකුත් වුනා. මුලින්ම අපි සර්ලගෙ ගෙදර තමයි පන්ති ගියේ. මේ කාලයේ තමයි ඩන්කන් සර් ෆීල්ඩ් එකට බැස්සේ. ටිකක් දවස් යද්දී ඉල්ලිම වැඩි හින්ද සර් පන්තියක් පටන් ගත්තා අළුත්ගම පොලීසියට ආසන්නයේ තියෙන පන්සලේ. ගෙදර පන්ති ගිය අපටත් අන්තිමට ඒකට එකතු වෙන්න සිද්ද වුනා කාගෙවත් වැඩි විරෝධතාවක් තිබුනේ නෑ. මොකද ඒ වගේ තැනකට ආවාම පොඩි රස්තියදුවකුත් ගහන්න පුලුවන් හින්ද. ඒකේදි අපට වටපිට තියෙන ඉස්කෝල කිහිපයකම ගෑණු-පිරිමි ළමයි මුණ ගැහුණා. සමහරු පුංචි කාලේ අපේ පන්ති වලම හිටිය අය.  මේ පංතිය හවස දෙකට පටන් ගන්නවා කියල තිබ්බට කොහොම හරි පරක්කු වෙනව. එක්කෝ සර් නැත්නම් ළමයි. මමත් බොහෝ දවස් වලට පරක්කු වෙලා තමයි පංතියට ආවේ. මොකද කළුතර ඉඳලා අළුත්ගමට පැය භාගෙකින් එන්න එක ඒ කාලෙදි ලේසි වුනේ නැති නිසා. ඒකම විතරක් නොවෙයි අර නොදැක ඉන්න බැරි අයව දැකල එන්න ඕනෑකමත් මගෙ පරක්කුවට හේතු වුනා. සර් ආවේ බලපිටියේ ඉඳලා. එතකොට සර් ඉගැන්නුවේ බලපිටියේ රේවත කියල ඉස්කෝලෙක. සමහර ළමයි අම්බලන්ගොඩ ඉඳලත් ආවා. දැන් පැහැදිලියිනේ පංතිය පම වෙන්න හේතුව. බොහෝ දවසට පංතිය පටන් ගන්නේ හවස තුනට. ඉතින් පටන් ගන්නකම් අපේ වැඩේ අරලිය ගහක් යටට වෙලා කයියක් ගහන එක. කථා කරන්න ඔනෑතරම මාතෘකා තිබුනා. කැඩටින්, ස්පෝර්ට් මීට්, ජේවීපී, අවුරුදු උත්සව, වෙසක්, පොසොන්, මේ ආදී විවිධ මාතෘකා ඔස්සේ අපි කථා කලා. අළුත්ගම විද්‍යාලේ අයනම් වැඩියෙන් කථා කලේ සරත් සර් කියලා සර් කෙනෙක් කියපු දේවල්.



පන්තියේ ගාස්තු එකතු කලේ අපිට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් අක්ක කෙනෙක්. එයාගේ තිබ්බෙ පුදුම ලෙවල් එකක්. හැමදාම සල්ලි දෙන්න පරක්කු වුනොත් මොනව හරි කට කැඩිච්ච කතාවක් කියනවා. හැබැයි එක හොඳකුත් තියෙනව සල්ලි ගන්න අපි ඉන්න අරලිය ගහ යටටම එනවා.  පළවෙනි සතියේදීම සල්ලි ගෙවන්න තරම් ඒ පංතියට ආව බොහෝ දෙනෙක්ගේ දෙමව්පියන්ට් වත්කමක් තිබුනේ නෑ. දෙවෙනි සතියේදි බොහෝ දෙනෙක් ගෙවනව. තුන්වෙනි හතරවෙනි සති වලදි තමයි අනෙක් අය ගෙවලා ඉවර කරන්නේ. අපේ පංතියට ආවා කොල්ලේක් අළුත්ගම විද්‍යාලේ නම හරියටම මතක නෑ. අපි ලේසියට සුනිල් කියමු. මේ කොල්ලාටත් අර කියපු ආර්ථික දුෂ්කරතා ඒ කියන්නේ සල්ලි අඟ හිඟකම තිබුනා. බොහෝ දවස් වලට තුන්වෙනි හතරවෙනි සති වලදි සල්ලි ගෙවන කෙනෙක්. ඒක අර සල්ලි එකතු කරන අක්කටත් නෝට් වෙලා තිබුනා. එක දවසක් දෙවෙනි සතියෙදි සල්ලි ඉල්ලපුවහම අර කොල්ලා පුරුදු පරිදි ලබන සතියේ දෙන්නම් කියල බොහොම බැගෑපත්ව කිව්ව.  


"ලබන සතියේ ගෙනාවෙ නැත්නම් කනට දෙන්නේ" කියල ඉතාම සැරෙන් කියාගෙන යන්න ගියා. එහෙම කියද්දී සුනිල්ගේ මූණ දුකෙන් බර වෙලා යනව දැක්කහම අපි කාටත් මල පැන්න. "අපි මේකිට හොඳ පාඩමක් උගන්නමු". එහෙම කිව්වේ අජිත්ගාමිණී . අළුත්ගම ඉන්න හොඳ ගණන් කාරයෙකුගේ පුතෙක්. අපිටත් යකා නැගල හිටියේ ඒත් කාටවත්ම කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරි වුනා. මෙහෙම ඉන්නකොට සර් ආවා. පන්තිය පටන් ගත්තා සුපුරුදු විදියට. පන්තියේ උගන්වද්දිත් මගෙ හිත එක තැනක තිය ගන්න බැරි වුනා සුනිල්ට වෙච්චි සිද්දිය නිසා. සර් දැන් උගන්වාගෙන යනවා. මගේ හිතනම් පන්තියේ නෑ. ඔය අතරේ මගේ මතකයට ආවා රංජි අයියා කියපු මරු කතාවක්. රංජි අයියා කියන්නේ අපේ ස්පොර්ට්ස් ක්ලබ් එකේ ලොක්කගේ පුතා. අමු මගෝඩියා. පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වෙලා හිටියේ. කරන මගඩි වැඩ හින්දාම එක ඉස්කෝලෙක මාස හය හතකට වඩ ඉන්න වාසනාව මිනිහට තිබ්බේ නෑ. ඒ කාලේ මිනිහා ගාල්ලේ රිච්මන්ඩ් එකට යද්දි පහසුකම් ගාස්තු එකතු කරනට ටීචර්ට කරපු වැඩක් මිනිහා කියල තිබුනා. ඒක අපේ මේ අක්කටත් කදිමට ගැලපෙනව කියල හිතද්දීම සර් අහනව ප්‍රශ්ණයක්.


"සාමන්‍යයෙන් රෙදි හෝදන සබන් වල තියෙන්න ඔනෑ ටී.එෆ්. එම්. අගය කීයද ? ආ සුභාෂ් දන්නවද උත්තරේ" කියල මගෙන් ඇහුවේ කීප දෙනෙක්ගෙන් ඇහුවට පස්සෙ. මගේ අර නරක පුරුද්දක් තියෙනවනේ ඔනෑම කොල ලේබල් වගේ ඒවගෙ නොතේරෙන  භාෂාවලින් තියෙන දේවල් හරි කියවල බලන. අන්න එකට පින් සිද්ද වෙන්න මට ලාවට වගේ උත්තරයක් මතකයට ආවා.


"සර් 58.2 යි"  කියල කිව්වට මට හරියටම ෂුවර් නෑ. මම හෙමිහිට වට පිට බැළුව. මේකනම් ඩන්කන් සර් මම වෙන කල්පනාවක ඉන්නව දැකල මාව අමාරුවේ දාන්න අහපු ප්‍රශ්ණයක්.


පහුගිය කාලේ දායනන්ද අයියගේ කඩේ ගාව තියෙන බංකුවේ රස්තියාදු ගහනව දැකල මට කීප වතාවක්ම අවවාදත් කලා. "අපරාදෙනේ සුභාෂ් ඔයා අර කඩේ ගාවට වෙලා නිකං කාලේ කන්නේ ගෙදර ගිහින් පාඩම් කරන්න. දැන් ෂෝර්ට් නෝට් එහෙම හදන්න පටන් ගත්තද ? තව මාස 9 යකට වඩා නැහැ නේද"  එහෙම කියපු හැම වතාවෙම "හා හොඳයි සර්" කියල ආපහු එතන රස්තියාදු ගහන්න යනවා. අන්තිමට සර්ටම ඇති වෙලා මට අවවාද කරන එක නැවැත්තුවා.



"හරි උත්තරේ හරි. කොහොමද දැන ගත්තේ? ඉස්කෝලේ මේ පාඩම කලාද ?"

" නෑ සර් මම දැක්කා සන්ලයිට් කොලයක"


"බොහොම හොඳයි අන්න එහෙම හොඳින් අපේ වටපිටාවේ තියෙන දේවල් ගැන නිරීක්ෂණයකින් ඉන්න ඔනෑ" කියල කිව්වහම මට පුංචි අස්වැසිල්ලක් දැනුනත් රංජි අයිය කියපු කතාව අනිත් එවුන්ට කියනකම් මට ඉවසිල්ලක් නෑ. කොහොමින් කොහොමින් හරි ක්ලාස් එකේ වෙලාවත් ඉවර උනා. ඒත් අදනම් සර්ගේ ඔරලොසුවේ කටු හෙමින් තමයි ගිහින් තියෙන්නේ. දැන් කට්ටිය දුවන්න ලෑස්ති බස් අල්ලන්න. මමනම් පයින් යන්නේ. සමහරු බයිසිකල් වලින්.

"මේ පොඩ්ඩක් ඉඳපල්ල මට ආව අදහසක්"


"අනේ බන් අපිට බස් එකට පරක්කු වෙනව පස්සෙ කියපන්. ආ ... මම අජිතයගෙන අහ ගන්නම් උඹ ඌට කියපන්" එහෙම කියල මේ ප්‍රශ්ණයෙන් වැඩියෙන්ම බැට කාපු සුනිලත් මාරු වෙලා ගිය. පව් අහිංසකය. මේ බස් එක මිස් උනොත් ආයි පැයකට වඩා ඉන්න වෙනව. එහෙම ගිහින් ගෙදර යද්දි මහ රෑ වෙනවා. ඌ ඉන්නේ පහේ කනුව කියන පැත්තට ලේසියෙන් බස් යන්නැති පැත්තක්.


මම අජිත් ගාමිණියවයි, තව කීප දෙනෙකුවයි අල්ලගෙන මගේ යෝජනාව දැම්ම. ඒක අහල අජිත් ගාමිණියට පස් වනක් පිනා ගිහින් කියනව


"මු බටු ඇටේ වගේ හිටියට මාර මොල කාරය. හිටපන් අරකිට ලබන සතියේ දෙන්නම්කෝ" කියල.


"ඕක මගේ අයිඩියා එකක් නෙවෙයි බං. මටත් කිව්වේ අපේ ක්ලබ් එකේ රංජි අයියා"


"මොකාගෙ උනහම මොකද බන් වැඩේ නියමයිනේ" ගාමිණිය ඉන්නේ රටක් රාජ්‍යක් දිනා ගත්ත සෙන්පතියෙක් වගේ සතුටකින්. එහෙම කියල අපි වෙන් වෙලා ගිය. ඊලඟ සඳුදා වෙනකම් දින ගැන ගැන හිටියේ බොහොම අමාරුවකින්. හොඳ වෙලාවට අපි හුඟ දෙනෙක් එදාට සල්ලි දෙන්න ඉතුරු වෙලා හිටියා. ඒ කාලේ අද වගේ මොබයි ෆෝන් තියා නිකං ෆෝන් වත් තිබ්බෙ නෑ. ඒ නිසා වැඩ කටයුතු සංවිධානය උනේ ක්ලාස් යන එන අතර බස් එකේදි. අපි මේක කෙල්ලන්ට නොදැනෙන්න කරන්න වග බලා ගත්තේ ඩන්කන් සර්ගේ නංගිත් මේ ක්ලාස් එකේ හිටිය හින්දා. එහෙම උනානම් මේක සර්ගේ කණට යනව.


මම මේක කිව්වට මට හොඳටම බයයි. මගේ පංති ගාස්තුව ඒ කියන්නේ රුපියල් විස්සක් අම්ම දුන්නා ඉරිදා හවස. රුපියල් විස්සක් කිව්වහම මේක බලන ඔයාලට හිතෙයි මු ඉස්කෝලේ ගිහින් තියෙන්නේ එද්දාස් නමසිය බර ගණන්වල. මූට ගල් ඉබ්බො දෙතුන්දෙනෙක් විතර වයස ඇති කියල. ඩන්කන් සර් ඒ කාලේ රුපියල් විස්සක් අය කරන්න හේතු කීපයක්ම තිබුනා. එකක් අපි බොහෝ දෙනෙක් සර්ව දන්න අය. අනිත් කාරණය තමයි සර් ක්ලාස් කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ වීම. මගේ පපුව කොහොමත් හාවෙක්ගේ වගේ දඩිබිඩියාවට ගැහෙන එකේ මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියාවකට නායකත්වය දුන්නාම ගැහෙන විදිය ආයි කියන්න දෙයක් නෑ. ඒ කාලේ මම හිටිය විදියට මේ වගේ වැඩක් මම සංවිධානය කලා කිව්වත් කවුරුත් පිලි ගන්න එකක් නෑ. මම නිකමට වගේ චෙක් කරල බැළුවා හැමෝම වැඩේට සූදානම්ද කියල. අම්ම ... අනිත් කට්ටිය මටත් වඩා ඉස්සරහින්. ඔන්න දැන් අර මහ ලොකු චන්ඩි ගෑනි එනව පේනව ඈත. මගෙ පපුව තවත් ගැහෙනව.



දැන් කට්ටිය තමන්ගේ අතේ තියෙන මළු පිටිපස්සට කරගෙන ඉන්නව හරියට හමුදාවක් පරීක්ෂා කරන්න එන සේනාධිනායිකාව පිලි ගන්න වගේ.

"ආ සුනිල් ගන්නව සල්ලි අදවත් ගෙනාවද ?"
ඔන්න සුනිල් පිටිපස්සට කරගෙන හිටිය කාසි මල්ල ඇදල ගත්තා. ඒකේ තියෙන්නේ සත් විසිපහේ, සත දහයේ, සත පහේ ඒවා.

"මේ මොකද තමුසේ පංසලේ කැටේවත් කැඩුවද ?"

"නෑ මේ ... මේ ... " සුනිල් ගොත ගහද්දි

"කමක් නෑ තමුසේ කැටේ කඩල හරි සල්ලි ගෙනාපු එක හොඳයි"


ඊලඟට මගේ ගාව නැවතුනා. මම රුපියල් දෙකේ ඒවගෙන් තමයි දුන්නේ. එකත් වැඩි කතාවක් නැතුව ගත්තා. ඊට පස්සේ බලන බලන එකා ගාව කාසි මළු. දැන් ගෑනිගෙ මූන රතු වෙලා කඳුළු කඩා වැටෙන්න ඔන්න මෙන්න.


"ඇයි මේ ඔක්කොම මාරු කාසි ගෙනැල්ලා. මොකක්ද වෙලා තියෙන්නේ. ඉන්නව මන් සර්ට කියන්න කියලා" බිඳුනු හඬකින් කියල යත්දී අජිත් ගාමිණියා කෑ ගහලා කියනව


"මෙවත් සල්ලි තමයි ශ්‍රී ලංකාව ඇතුලත ඔනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා භාවිත කල හැක"  කියලා.


පන්තිය පටන් ගත්තා. මම හිටියේ සර්ට හරියට පේන්නැති තැනක. බිම බලාගෙන. සර් උගැන්විල්ල පැත්තක තියලා වෙනම දේශණයක දුන්න බොහොම කලකිරුණු ස්වභාවයකින්.


"මෙත ඉන්න හැමෝම මම පුද්ගලිකව අඳුරන අය. ඒක නිසා තමයි මම බොහොම අඩු මුදලක් අය කරල මේ වගේ තැනක් මේකට සූදානම් කලේ. (අපේ වීරවරියත් ඉන්නව පැත්තක කන්දුලු පෙර පෙර. මට දුකත් හිතුන ). මටත් පුළුවන් මීට වඩා පහසුකම් තියෙන තැනකට මේක ගෙනියන්න. එතකොට මේ වැඩ වලට කීප දෙන්ක්ම යොදවන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාලට නිකමට වත් දෙවෙනි සතිය පහු වෙල පන්තියට යන්න බැරි වෙනව. කාට හරි අමාරුකමක් තියේනවනම් මට කියන්න තිබුනා. මීට පස්සේ මේ වගේ දේවල නොවෙයි කියල මම බලාපොරොත්තු වෙනව."

ප: ලි:
දැන් පංති යන අය මේවා අත්හදා බලන්න යන්න එපා. මොකද එතකොට සල්ලි ගැනල පන්තියට ගත්තොත් එහෙම කරන අයට පංතියට යන්න වෙන්නේ සෑහෙන වෙලාවක් උගන්නුවට පස්සෙ.



පලවෙනි පින්තුරය ගත්තේ : http://spicewriter.wordpress.com
දෙවෙනි පින්තුරය ගත්තේ  : http://www.shutterstock.com


Sunday, April 1, 2012

ඇමේසින්ග් තායිලෑන්ඩ් (Amazing Thailand )


මේ දවස් වල සැටලයිට් ටීවී වල නිතර දකින්න ලැබෙන වෙලඳ දැන්වීමක් තමයි ඇමේසින්ග් තායිලෑන්ඩ් (Amazing Thailand) කියන්නේ. ඇත්ත වශයෙන්ම ඔවුන් විශ්මිත ජාතියකි. ඒ අතින් ගත්තාම අපි හරිම සාම්ප්‍රදායික, අවස්ථාවන් මග හැර ඇති ජාතියක්. අප එක් වරක් නොව සිය දහස් වාරයක් ලජ්ජාවට පත් විය යුතු කාරණා ගොඩක් තියෙනවා. ඔවුන් ඔනෑම දෙයක් වෙළඳපොලට ගෙන එන්නේ ඉතාම සිත් ගන්නා සුලු ආකාරයකට. මෙය වටිනාකමක් එකතු කිරීමක් (Value Addition) ලෙසයි මා දකින්නේ.  


මෙහි පලමු කාරණය ලෙස මා ගන්නේ පලතුරු වෙලඳාම. ඔවුන් මග දෙපස තබාගෙන විකුණන පලතුරු වර්ග වන්නේ දූරියන්, වරකා, කොමඩු (රතු සහ කහ ), පේර, ගස්ලබු, අඹ, පලතුරක් නොවුනත් කුරුම්බා. ඉතිං මේ ජාති ටික ලංකාවේත් විකුණනවානේ. ඔබේ හිතට එහෙම සිතිවිල්ලක් 

ආව නේද? ඔව් අනිවර්යයෙන්ම. ඇත්ත අපිත් මේ ජාති ටික විකුණනවා. හැබැයි එහෙම්මම. ඒ කියන්නේ අපි දූරියන් විකුනන්නේ ගෙඩි පිටින් ඔවුන් ඒවායේ මද ඉවතට ගෙන රෙජිෆෝම් හා සෙලෝෆෙන්  ෆොයිල් භාවිතා කොට අගනා පැක් එකක් ලෙස විකුණනවා. ඉතිං මොකක්ද වෙනස ? සෞක්‍යය ආරක්ෂිත බව. අප ඒ ගැන සිතුවේ නෑ නේද. අපි ඵලතුරක් සුද්ද කලත් ඒවා දානේ සිලි කවර වල. දාලා ගැටයක් ගහනවා. ඔන්නම් කාපිය කියන්නා වගේ. ඒවා තුලින් ඇතුලත තිබෙන ආහාරය නිසි ලෙස ප්‍රදර්ශණය වන්නේ නෑ. ඉතින් පාරිභෝගිකයා ආකර්ශණය කර ගැනීම අතින් තායි කාරයො ඉන්නෙ අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන්. වරකා අපි විකුණනේ කොස් වහල්ලත් එක්කම. නමුත් ඔවුන් එය සුද්ද කරල නැවතත් අර කියපු ඇසුරුම් ක්‍රමයට ඉදිරිපත් කරනව. අනිත් කාරණය තමඉ මේ ජාති කොයි තරම් අපි විකුණවද කියන එක. බැංකොක් වල අඩියක් අඩියක් ගාගෙන් පලතුරු විකුණන්න තියෙනවා. ඔවුන් ඒවා විකුනන්නේ මුඛවාඩම් දාගෙන, අත් ආවරණ දාගෙන, පිරිසිදු ඇඳුම් ඇඳගෙන. ලංකාවේ ඔවුන්ට සාපේක්ෂව පලතුරු විකුණනේ බොහොම අඩුවෙන. අපි විකුණුවත් විකුණන්නේ ඇපල්, පෙයාර්ස්, දොඩම්(රට එක ). අපේ රටේ ඒවා අපි විකුනන්නේ නෑ නේද? මම මේවා 2004දිත් දැක්කා. කිය කියා ඇවිද්දා මිස මෙහෙම අපේ හඬ ඉදිරිපත් කරන්න අවකාශයක් තිබ්බේ නෑ. පත්තර වලට ලියන්න කාටද අවස්ථාවක් ලැබෙන්නේ. පේර, ගස්ලබු, අන්නසි මේ කියන කිසිම පලතුරුක් ඔවුන් අපි වගෙ ඔහේ කෑලි කපල විකුණනේ නෑ. දවසින් දවස ඔවුන් ඒවා කපන්න්ලත් අලුත් විදි සොයා ගනිමින් ඉන්නවා. 



සෙලෝපේන් කවරයකට දාල, චුරු හැලෙන්නැතිව, මිරිස්, ලුණු, සීනි කුඩු ටිකක් ඉහලා, ටිකක් ලොකු ටූත් පික් එකක් එක්ක දෙන්නෙ. අම්මපා දැක්කහම කන්න හිතෙනවා. අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනෑ නම් අඩුම ගානේ අපි තායිලන්තය කොපි කරන්න ඕනේ. 


කුරුම්බා තමයි ඔවුන් ඉතා ලස්සනටම වෙළඳපොලට ගේන්නේ. මම හිතන්නේ පින්තූරයක් වචන දාහකට වඩා වටිනවා කියල තියෙන නිසා පහල තියෙන පින්තූරයේන් ඒක බලන්න පුලුවන්. අපේ තැඹිලි කපන, කුරුම්බා කපන අය බෙල්ල කහන්නේත් ඒ මන්නයෙන්ම නේද ? ඔවුන් මේව ගෙන්නේ ගස් වලින් කඩපුව නෙවෙයි හරියට කර්මාන්ත ශාලාවක හදපුව වගෙයි. 
 


ඔවුන් මේ සියළුම පළතුරු වර්ග තබා තිබෙන්නේ කුඩු කරන ලද අයිස් මත. එයින් ඔවුන් කියාපාන්න උත්සාහ ගන්නේ එම පළතුරු නැවුම්ව ලබා දීම ගැනයි. බලන්න මේ කාන්තාව ගෙන යන තැටිය තුල තිබෙන්නේ සැන්විච්, කේක් සහ රසකැවිලි. 



Add caption

අප සිටින්නේ කොතැනද ? ආසියාවේ ආශ්චර්යය වන්නට නම් අප මේ ටික වත් කල යුතුයි. සංචාරක කර්මාන්තයේ අපට සිටින ප්‍රබලම තරඟකරුවා තායිලන්තයයි. ඔවුන් පරදන්න නම් අඩුම තරමින් ඔවුන්ව අප කොපි කල යුතුයි. මේය සුළු ව්‍යාපාරියකා වෙත ගෙන යා යුතුයි. සිලිකවර වෙනුවට සෙලෝපේන් භාවිතා කරන්න පුරුදු කල යුතුයි. මේවා බ්ලොග් කරුවන් වශයෙන් අප අන්තර්ජාල අවකාශයට පමණක් සීමා වෙනවා. පත්තර වලට ලියන මහත්වරු මෙව දකිනවානම ඔබේ පන්හිඳත් මේ වෙනුවෙන් මෙහෙයවන්න. මෙය මහින්ද රාජපක්ෂගේ රටවත් නාමල් රාජපක්ෂගේ රටවත් නොව අප සියලු දෙනාගෙ රටයි. මෙය දියුනු වූවොත් එහි ප්‍රතිලාබය අප සැමටයි. 


ප.ලි.


සංචරකයගේ හිත සතුටින් තැබීමට තායි වැසියා හැකි උපරිම උත්සාහයක යෙදෙයි. මන්ද ඔවුන්ට මේ සියළු දේ ලැබෙන්නේ සංචාරකයන් ඔවුන්ගේ රටට පැමිණෙනවානම් පමණයි. සුළු හෝ චෝදනවක් කිරීමට ඔවුන් ඉඩ තබන්නේ නැහැ.    

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...