Saturday, March 31, 2012

අහන් ඉන්න අහගෙන ඉන්න ....


මේ වචන දෙක කිව්වාම ඕන කෙනෙක් දන්නවා මොකක්ද මේ ගීතය කියලා. අවාසනාවකට මට මේක අහන්න ලැබෙන්නේ පිරිමි කටහඬකින්. ඒ මම දින කිහිපයකට උඩදී බැංකොක් සවාරියේ යෙදිලා ඉන්න අතරෙදි. අපි 42 ක කණ්ඩායමක්. එහි ඉන්න තරුණම කණ්ඩායම පුටු ටික ව්ට කරගෙන එක් දිනක කුඩා සංගීත සාජ්ජයක් පටන් ගත්තා. මමත් ගීත ගයන්න අහන්න හරිම ආසා නිසා එතනට එකතු වුනා. එතන සංගීතයට නායකත්වය සපයපු සුජාන්ගේ හඬින් තමයි මා මුලින්ම මේ ගීතය ඇසුවේ. මට ඒක අවසන් වෙනකම් ඉස්පාසුවක් නැති වුනා මේ මොකක්ද කියල දැන ගන්න. මම ඉතාම සංවේදී හදවතක් තියෙන පුද්ගලයෙක්. ඉතින් සුජාන් දන්න විදියට කිව්ව. මේක කියන්නෙ අන්ඳ ගර්ල් කෙනෙක්. එයා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තු වුනත් එයාට බ්‍රේල් ක්‍රමයට උගන්වන්න දන්න ගුරුවරු නැති නිසා එයා වෙනමම සංගීතය ඉගෙන ගෙන තමයි මෙ සින්දුව කියන්නෙ කියල. මම ලංකාවට ආපු ගමන්ම කරපු පලවෙනි දේ තමඉ මේ ගීතයට අහුන්කම් දීපු එක. මගේ වාසනාවකට     කියන ආදුනික ශිල්පියා රූප මුසුකරපු වීඩියෝව සෙවුම් යන්ත්‍රයෙන් ඉදිරියටම ආව. මම කඳුලු පෙර පෙර ඒක බැලුව. ඒ වීඩියොඅ එක මෙතනින් බලන්න 


http://www.youtube.com/watch?v=Rn6n-uHyMZE&feature=related


ඊට පස්සෙ මට ඕන වුනා මේකේ පසුබිම හොයා ගන්න. ඒකත් මම අද උදේ හොයා ගත්තා. අජිත් අලහකෝන් ලියල තියෙන මේ සංවේදී ලිපිය.


http://maremaru.com/sri-lankan-gossip-page.php?id=608


මෙතනදි සාකච්චා කරන්නේ අන්ද කෙනෙකුගේ සිත තුල කකියන සිතුවිලි වලට වලට සංවේඅදි වෙන්න කියල. කොටින්ම අප සමාජයේදි ඔවුන් කොන් නොකර සාමාන්‍ය හෝ විශේෂ  ආකාරයකට ඔවුන්ට සලකන්න කියන පණිවුඩය. ඒත් මට හිතෙනවා අන්ද නොවුනත් අපි සමහර දෙනෙකුටත් තමන්ගේ හිත තුල කකියන දේ කියාගන්න බෑ. එහෙම කිව්වත් ඒක අදාල කෙනාට අහන්න උවමනාවක් නෑ. ඒ අතින් බැලුවොත් මේ ගීතය අපි හැම දෙනාටම පොදු පණිවුඩයක් ගෙන එනවා. මේ හුදේක් ආදරයම විය යුතු නෑ. හිතන්න චෝදනාවකට ලක් වෙච්ච ඒත් නිවැරදි පුද්ගලයයෙකුටත් මේ වගෙ තමන්ට කියා ගන්න බැරි එහෙත් සමාජය පිලි නොගන්න දෙයක් තිබෙන්න පුලුවන්. ඒක නිසා මේක අපි හැමෝගෙම ගීතය.  මේ ගීතය විශේෂිත එකක් වෙන්න හේතු කීපයක්ම තියේනව. මේ ගීතය ලියන්නෙ අක්ෂි තාක්ෂණ විශේෂක්ඥ වරියක් වන සෝමලතා හේරත් මැණිකේ, ගයන්නේ සැබවින්ම අන්ද උපාදිධාරිණියක් වන චින්තනී මේකලා. මෙහි මදුර මනෝහර සන්ගීතය සපයට තියෙන්නේ රුවන් ශ්‍රී වල්පොල කියන සංගීතඥයා. ඔහු මේ ගීතයේ රසයට බාදා නොවන ආකාරයට මුදු සංගීතයක් එයට මුසු කර තිබීම ප්‍රසංසනීයයි. ඒ ඔහු මෙම ගීතය තුලින් ඉස්මතු නොවී මෙය ගයන මදුර හඬට ඉස්මතු වන්නට හැරීමෙන්. මම මේ ගීතය තව කී වරක් අසාවිදැයි මමවත් දන්නෑ. ඒ තරමටම මේ ගීතය මගේ හදවත ස්පර්ශ කල නිසා. 

අවසාන වශයේන් තුට්ටු දෙකේ ගීත නිශ්පාදනය වන මෙවන් යුගයක මෙම සම්භව්‍ය කෘතියට (Masterpiece ) දායක වූ සියලු දෙනාට මගේ හර්දයාංගම ස්තුතිය පුද කරනවා. 

Friday, March 30, 2012

තායිලන්තය ගැන කෙටියෙන්




කිසිදු යුරෝපීය ආක්‍රමණයකට ගොදුරු නොවූ, රජවරයෙක් ප්‍රධානත්වය දරන,  එහෙත් ව්‍යවස්ථාවක් මගින් පාළනය කරන රාජ්‍යයක්. ආසියාතිකයන් වශයෙන් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි. මෙහි දැන් සිටින නවවැනි රාමා රජතුමා 1946 සිට පාලනය ගෙන යයි. කිසිවකුගේ විරෝධයක් ඒ ගැන නැත. රජතුමාගේ දැවැන්ත ඡායාරූප සියළුම ස්ථාන වල දැක ගත හැක. එහෙත් මෙම රාජ්‍යය අශෝක අධිරජ්‍යයා විසිනි ආක්‍රමණය කරන ලද අතර එහි ප්‍රතිඵල ලෙස ඔවුන්ට ථේරවාදී බුදු දහම සහ සංස්කෘතියක්ද දායාද විය. වරෙක ශ්‍රී ලංකාවට උපසම්පදාව තායිලන්තයෙන් ලැබුන බවද අසන්නට ලැබෙයි. එවකට එය සියමය ලෙස හඳුනා ගනු ලැබූ අතර, තවමත් බුදු දහම ආශ්‍රිත, පාලි සහ සංස්කෘත වචන වලින් බිඳී ආ වචන අසන්නට ලැබේ. තායිලන්ත ලෝකයේ අංක එකේ සහල් අපණයන කරුවාය.  ඔවුන්ට පසුගිය කාලයේ ස්වභාවික මෙන්ම දේශපාලන අවපාතයන්ට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ගංවතුරක් ගැළු සේයාවක් හෝ දේශපාළන අස්ථාවර භාවයන්(රතු සහ කහ කමිස කරුවන්ගේ වීදි සටන්)  නිසා සිදු වු කිසිදු දේපල හානියක් අද බැංකොක් නුවර දකින්නට නැත. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 2400 කටත් වඩා ඈතින් පිහිටියද අතීතයේ සිට ඉතා කිට්ටු සබඳතාවක් අප හා තායිලන්තය අතර ඇත. තායිලන්තයේ 80%කට වඩා තායි ජාතිකයින්ද, 14% චීන ජාතිකයන්ද, 3%ක් මැලේ ජාතිකයන්ද වෙසෙන  අතර  95%ක් අදහන්නේ බුදු දහමයි.


Thursday, March 29, 2012

සියෑම් රාජ්‍යයට ගිය දෙවෙනි ගමන


2004 දෙසැම්බර් මාසයට පස්සේ නැවතත් මට තායිලන්තයට යන්න අවස්ථාව උදා වුනා. මේ පාරත් ක්‍රිකට් නිසාම යන්න ලැබීම එක් අතකින් දෛවෝපගත සිදුවීමක්. එදා පවත්වපු ක්‍රිකට් තරගය ගැන මම ලිපියක් ලිව්වා. ඒත් පහුගිය අවුරුදු 07 තුලදී තායිලන්ත ක්‍රිකට් සෑහෙන දියුනු තත්වයකට පත් වෙලා. එහි දැන් ක්‍රිකට් තරගාවලියක් පවා පවත්වනවා. ක්‍රීඩාංගණ 07ක් පවත්වාගෙන යනවා. මෙවර අප ක්‍රීඩා කල රෝයල් බැංකොක් ක්‍රීඩා සමාජයීය ක්‍රීඩාංගණය කොළඹ සිංහල සමාජයීය ක්‍රීඩාංගණයට සම කල හැකියි. එය පිහිටා තිබෙන්නේ ගොල්ෆ් ක්‍රීඩාංණයක් මැද. එනිසා ක්‍රීඩාංගණය මැදින් හමා යන මද නල ගෙන එන්නේ පුදුමාකාර පහසුවක්.

එම තරගය හා මෙවර මා ලැබු සියලු අත්දැකීම් කෙටි ලිපි ගොන්නක් මගින් ඔබ සමග බෙදා ගන්නම්. හුඟ කාළයකින් ලියන්න අවස්ථාවක් උදා වුන නිසා දිගු ලිපියක් ලිවීමට වඩ අවස්ථාවක් ලද විගසින් කෙටි ලිපි රාශියක් ලිවීම වඩා කාලෝචිතැයි මට සිතෙනවා.


Thursday, March 15, 2012

ගූගල්,විමල් සහ My Name is Khan



මගේ දියණිය ලැප්ටොප් එකට වතුර පොවල. ඒ නිස මදර් බෝඩ් එක ගිහින්. මේ දිනවල මගෙ cyber වැඩකටයුතු සෑහෙන්න අඩුයි. මේ දවස් වල පොස්ට් එකක් දාන්නේ බොහොම දුක් විඳලා. ඒ නිසා මගේ රාත්‍රී කාලයෙන් වැඩි කොටසක් ගත වෙන්නේ රූපපෙට්ටිය ඉදිරියේය. දැන් ඉස්සර වගේ නෙවෙයි සැටලයිට් තිබෙන නිසා ජාත්‍යන්තර නාලිකා වල යන වයිවාරන්න දේ නරඹන්න පුළුවං. ඊයේ Star Gold HD එකේ ගියා මරු ෆිල්ම් එකක්. මම සාමාන්‍යෙන් හිංදි ෆිල්ම්  බලන්න කැමැත්තක් නෑ. මොකද මල්ගස් වටේ දුවන ඒවයි, සීයක් දෙසීයක් එක පාරටම පාත් වෙලා නටන සීන් (කථාවට කිසි අදාලත්වයක් නැති ), බොරු ෆයිට් ඇරෙන්න ඒවාගේ අන්තර්ගතයේ ගන්න දෙයක් නැති නිසා. මෙතන දේශපාලනයට සම්බන්ධ දේවල්  පොස්ට් නොකරනයි හිතාගෙන හිටියේ. ඒත් ඊයේ බලපු ෆිල්ම් එකයි, විමල් ඇමති තුමාගේ කතාවයි මරුවට පෑහෙන නිසා පොඩ්ඩක් ලියන්නම හිතුනා. මම සාමාන්‍යෙන් වෙන බලන්න මොනවත් නැත්නම් තමයි ඉතින් ෆිල්ම් එකක් බලන්න සෙට් වෙන්නේ. Star Gold HD වලට ගියාම මම දැක්කා ෆිල්ම් එකේ නම My Name is Khan කියලා. මට කවුරුන් හෝ කියල තිබ්බ මේක හොඳ එකක් බව.  ඉතිං මගින් උනත් කමක් නෑ කියල බැලුව. මං හිතන්නේ මෙතන ඉන්න බොහෝ අය මේක නරඹල ඇති. නොබලපු කෙනෙක් ඉන්නවනම් දැන ගන්න්ත් එක්කයි, බලපු අයට මතකය අලුත් කර ගන්නයි හිතට වැදුන කොටස් ටිකක් ලියන්නම්. 

රිස්වාන් ඛාන් කියන්නේ මන්ද බුද්ධික තරුණයෙක්. ඔහුට මන්ද බුද්ධික කිව්වාට යමක් කමක් තෙරෙන එකෙක්. මෙ චරිතයට පණ දෙන්න "කිං ඛාන්" නොහොත් ෂා රුක් ඛාන්. මේ රිස්වාන් ඛාන්ට මුණ ගැහෙනව අවුරුදු 11 විතර වයස පුතෙක් ඉන්න හිංදු කාන්ථාවක්. ඇය මන්දිරා. මන්දිරාගේ චරිතයට පණ දෙන්නේ කාජොල්. ඇයගේ ප්‍රතිභාව ගැනත් විස්තර අනවශ්‍යයි කියා සිතනවා. අපි මේ නරඹන්නේ සිනමාපටයක්ද කියා අමතක වෙන තරමට මේ දෙන්නා මේ චරිත වල්ලට ජීවය දෙනවා. කථාවේ මුල් කොටස නරඹන්න බැරි වුනත් ඒ ටික අපේ ඔෆිස් එකේ සහෝදරියක්ගෙන් අද උදේ අහ ගත්තා. මම බලපු තැනදී පෙන්වන්නේ ඇමරිකානු ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වන අල් කයිඩා ප්‍රහාරය. එතැන් පටන් එහි ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ට ඇමරිකානුවන් සලකන්නේ මුර්ගයින් ලෙස. අපේ මෙ කථාවේ ඉන්න පුංචි කොළු පැටියා සමීර්, මුලින් ඛාන් තම මාව සමග එක් වනවාට කැමති වන්නේ නෑ. පසුව ඔවුන් හොඳ මිතුරන් බවට පත් වෙනවා. කොළු පැටියාගේ නමත් සමීර් ඛාන් වෙන්නේ ඉන් පස්සේ. මේ කොළු පැටියා පපන්දු ක්‍රීඩාවට කැමතියි. එක් දිනක් ඔහු සවස පුහුණුව සඳහා ක්‍රීඩංගණයට යනවා. ඔහුගේ ඇමරිකානු මිතුරා ඔහුව නොසලකා හරිද්දි ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් වනවා. අන්තිමේදි ගැටවර වියේ පසුවන කළු-සුදු ඇමරිකානු ගැටවුන්ගේ ප්‍රහාරයට ලක් වෙන කොළු පැටියා මරණාසන්න වෙනවා. ඔහුගේ මිතුරාට තර්ජනය කර අර දාමරික කොළු ගැටව් ටික පැන ගන්නාවා. අන්තිමේදී කොළුවා මරණයට පත් වෙනවා. මන්දිරා කොළුවාගෙ මව කෑ ගසා ඇඬුවත් ඛාන් නිහඬව සිටිනවා. ඒ ඔහුට උපතින් හිමි වූ සිහි මද ගතිය නිසා. දරුවාගේ මරණය ඛාන් නිසා සිදු වූවක් බව චෝදනා කරන මන්දිරා, තමන්ගෙන ඈත් වන ලෙස ඛාන් ගෙන ඉල්ලා සිටී. ‍යලි තමා හා එක් වීම සඳහා තමා කුමක් කල යුතුදැයි ඛාන් අසයි. ඇමරිකානුවන්ට (ජනාධිපතිත් ඇතුළුව) "MY NAME IS KHAN. I AM NOT A TERRORIST" ‍යයි පැවසිය යුතු බවයි. එය විශ්වාස කරන ඛාන් එය ඉටු කිරීමට ඉටා ගනියි. ඔවුන් දෙදෙනාටම රැකියා අහිමි වනවා. මිකැනික් වැඩට ඛාන්ට සහජයෙන් ආ දක්ෂතාවක්. අන්තිමේදී ඛාන් මහ පාරේ බෝඩ් එකක් දිගු කර කර වාහන රෙපෙයාර් කර සුලු මුදලක් උපයා ගන්නවා. 




වෙලාවකට මජං නාගෙන, තවත් වෙලාවක මහ වැස්සේ තෙමීගෙන ඛාන් එක දිගට වැඩ කරනවා. ඔහුට දිනක් බස් රථයේදි වෙනත් මුස්ලිම් යුවලක් කෑම ලබා දෙනවා. ඔහු දෙකක්ම ගෙන එකක් තම ජැකට්ටුවේ සඟව ගන්නවා. මේ වනවිට ඛාන් සහ මන්දිරා දෙතැනක. ඔහු එක්දිනක් රාත්‍රිය ගත කරන්න තෝරා ගන්නේ පාලු බස් නැවතුම්පොලක්. එහි සිටින ඔහු ඉදිරියට බයිසිකලයක් පැදගෙන ආ ඔහුගේ පුතාගේ වයසේ කළු කොල්ලෙක් බිම වැටී ආධාර ඉල්ල සිටිනවා. එවිට I cant Repair you පැවසූවත් පසුව එම කොළු පැටවා වාරු කරගෙන ඔහුගේ ගෙදරට යනවා. එහි සිටින ඔහුගේ මව තප්පදෝරු සයිස් කාන්ථාවක්. තමාට කල උදව්වට ඔහු බදාගෙන ස්තූති කරනවා. Please don't hug me යනුවෙන පවසනවා. ඉන් පස්සේ ඔහුට රාත්‍රී ආහාරය හා නවාතැන් එම නිවසින් ලැබෙනවා.ඔහු ඉතා ගිජු කමින් ආහාර ගන්නා දිහා කොළුවාගේ මව මම ජිනී බලා සිටිනවා. ඒ අතර වාරයේදි ඔහුගේ කථාව මමා ජිනීට විස්තර කරනවා.      එම නිවසේ හා යාබද් සියලුම නිවෙස් වල සිටින සියළු දෙනාගෙ නිවෙස් වලින් කිසිවකු හෝ අකාලයේ මිය ගොස් සිටිනවා. පසුදින ඔවුන්ගේ පල්ලියට ඛාන් රැගෙන යනවා. ඔවුන් සියළු දෙනා තමන්ගේ දුක හා නැතිවූ තමන්ගේ දරුවන් ගැන් එහිදී අනාවරනය කරනවා. ඛාන් තමන්ගේ කථාව පවසද්දී සියළු දෙනාගෙ දෑට කඳුළු නැගෙනවා. පසුව සියලු දෙනා එක්වී We can overcome this නැමති ගීතය ගයනවා. ඛාන් ඔවුන්ට සමු දී යත්දී ඔවුන්ට පොරොන්දු වෙනවා නැවතත් ඔවුන් හමු වන්න. මන්දිරා ඇගේ උත්සාහය අත අරින්නේ නෑ. ඇය පුතාගේ පාසැලේ පාපන්දු තරගයක් තිබෙන තැනක පුතාගේ ඡායාරූපයක් පෙන්වමින් යනව. පුත මියගොස් මාස 6ක් වනමුත් සාධාරණය ඉටු වී නැති බව එහි සඳහන් වෙනවා. ඔහුගේ මිතුරා සහ පහරදුන් සියලු දෙන භ්‍රාන්ත වී එදෙස බලා සිටිනවා.  

ඛාන් අන්තිමේදී හොලිවුඩ් වෙත යනවා. එහිදි මුස්ලිම් පල්ලියක සිටින තමන්ටම ඩොක්ටර් කියා ගන්න පුද්ගලයෙක් ඔහු යාඤා කරන අතරතුර මුස්ලිම් අන්තවාදීත්වය පතුරනවා. මේය ඉවසා සිටින්නට බැරි ඛාන් ඔහුට තම අත තිබෙන කුඩා ගල් කැබලි වලින් පහර දෙන්නේ HE IS A LIER කියමින්. අන්තිමේදී ඔවුන් පහර දීමට ප්‍රථම ඛාන් එතනින් පැන ගන්නවා. ඛාන් උපයාගෙන තිබෙන ඩොලර් 500ක් ඔහු අප්‍රිකානු කුසගිනි නිවන පුණ්‍ය ආයතනයකට ලබා දෙනවා. එතනදිත් ඔහු මුස්ලිම් නිසා මුලදි ඔහු ප්‍රතික්ෂේප කරනව. පසුව ඔහු අත ඇති මුදල නිසා බාර ගන්නවා. ඒ අතර ලඟ ස්ථානයකට ජානධිපති බුෂ් පැමිණීමට නියමිත බව ඔහු දැන ගන්නව. ඉදිරි පේලියේ සිට දැඩි රැකවල් මැද එන ජනාධිපති තුමාට ඇසෙන පරිදි ඔහු Mr. President MY NAME IS KHAN. I AM NOT A TERRORIST    යන්න රාව ප්‍රතිරාව කරනවා. මේ දෙසට ඉන්දියානු ආදුනික කැමරා ශිල්පියෙක් තම කැමරාව යොමු කරනවා. ඔහු එය පටිගත් කර ගන්නවා. තවත් මොහොතකින් බුෂ්ගේ ආරක්ෂකයකුට TERRORIST කියන වචනය පමණක් ඇසී ජනාධිපතිවරයා එතැනින් ඉවත් කර ඛාන් අත් අඩංගුවට ගන්නවා. ඔවුන් ඛාන්ට පහරදෙමින් ප්‍රශ්ණ කරනවා ඔහු පවසනේ එකම දෙයයි. MY NAME IS KHAN. I AM NOT A TERRORIST . අයිස් කුට්ටියක් මත තබා පහර දෙනවා. ඒත් ඔහු කියන්නේ අර වචන ටික පමණයි. ඔහුව හිර බාරයට පත් කරනවා. මේ දෙස බලා සිටි එක් නිතිඥවරියක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මේ අතර අර ආදුනික කැමරා ශිල්පියා තම වීඩියෝපටිය බලවත් පෙරැත්ත කිරීමකින් පසුව PBC නම් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කර ගන්නවා. අන්තිමේදී රූපවාහිණී විකාශණය මන්දිරා පවා දකිනවා. ඇය කඳුළු පිරි දෙනෙතින් එය බලන්නේ. එහෙත් එම දසුන් කීපය නිසා ඛාන් වට එහි සිටින ආසියාතිකයන් එකතු වෙනවා. ඔවුන් විරෝධතා සංවිධානය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිදහස් වනවා. ඔහු එලියට එන විට දකිනවා මන්දිරා කාගේ හෝ වාහනයක නැග යන්න පිලිසරණ පතන ආකාරය. ඛාන් ඇයට කථා නොකරම ඒ දෙස බලා සිටිනවා. මන්දිරා ඔහු නොදැකම එම කාරයෙන් පිටත් වී යනවා. 

 තවත් ටික දිනකින් ඇමරිකාවෙ ජොර්ජියා ප්‍රාන්තය හරහා සුලි කුණාටුවක් හමා යනවා. ඉන් පසුව ඇති වන මහ වැසි වලින් මුලු ප්‍රාන්තයම යට වී සියළු දෙනා අවතැන් වනවා. එය සාප්පුවක දමා තිබෙන රූපවාහිනි තිරයකින් ඛාන් දකිනවා. ඒ අතර මමා ජිනී ඇතුළු පිරිස පල්ලියේ අවතැන් වී සිටින ආකාරය ඔහු දකිනවා. ඒ මොහොතේම ඔහු ජෝර්ජිය බල පිටත් වනවා. මහ වැස්සේ, දියේ ගිලීගෙන ඔහු කන්දක් උඩ පිහිටා තිබෙන අර පල්ලියට ගොඩ වනවා. සියළු දෙනා ඔහුගේ පැමිණීමෙන මවිත වනවා. තව ටික වෙලාවකින් දැඩි හුලඟ නිසා දේවස්ථානයේ වහලේ තහඩු කීපයක් ගැලවී යනවා. ඛාන්ගෙ දෑතේ හැකියාව මෙහිදී ඉදිරියට එනවා. ඔහු දුව පැන වැඩ කරනව. ඊට ටික වේලාවකට  පසු රූපවාහිනි කණ්ඩායමක් මෙහි පැමිණෙනවා. ඔවුන් එය සජීවීව විකාශණය කරනවා.මෙහි සිටින්නේ දින කීපයකට පෙර සිද්ධියට අදාල ඛාන් බව සියළු දෙනාටම පසක් වෙනවා.  ඉන්පසු ඔහුට ප්‍රවෘත්ති සාකච්චාවක් ලැබෙනවා. ඒ අවස්ථාවේදි ඛාන් තමාගේ දරුවාට සිදු වූ අසාධාරණය ගැන පවසනවා. එය ඔහුගේ හොඳම මිතුරා කඳුළු පිරි දෙනෙතින් බලා සිටිනවා. පසුව ඔහු මන්දිරා මුණ ගැසී සිදු වූ සියල්ල විස්තර කරනවා. කෙසේ හෝ මිනීමරුවන් හිරගෙට නියම වෙනවා.  

මන්දිරා-ඛාන් මුණ ගැසෙන මොහොතේදීම අන්තවාදි මුස්ලිම් ජාතිකයකුගෙ පිහි පාරින් දැඩි තුවාල ලබා ඛාන් රොහල් ගත වෙනවා. මා ඒ දෙස බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්. මන්දිරාට තම සැමියාද අහිමි වේදැයි බිය ඇගේ මුහුණින්ම පේනවා. කෙසේ හෝ ඔහු යම් මට්ටමකට සුවපත් වෙනවා. ස්වභාවික ආපදාව සමයේදිම ඔබාමා ඇමරිකානු ජනධිපති ලෙස පත් වෙනවා. ඔබාම ඔවුන් සිටින පෙදෙසෙහි ජනතාව අමතන්න එන මොහොතට මන්දිරා-ඛාන් යුවල සහභාගි වෙනවා. ඛාන් සිටිනු දුටු ජනාධිපති ඔබාමා Mr. Khan could you please come here යනුවෙන් පවසනවා. ආරක්ෂකයන් පැමිණ ඔවුන් දෙදෙනා ඔබාමා වෙත ගෙන යනවා. සියළු දෙනාගේ ඔල්වරසන් මැද ජනාධිපතිවරයා වෙත යුවල ගමන් ගන්නවා. ඔබාම ඔහුට ස්තූති කරනවා. 




කෙසේ වෙතත් මෙය සිනමාපටයක් පමණයි. 

මේකේ නිදාන කථාවත් කියන්නම්කෝ මම අහල තියෙන විදියට. අපේ මේ ආසියාතික නළුව ඇමරිකාවේ සංචාරය කරද්දී එයාගේ නම මුස්ලිම් එකක් කියල, ගුවන්තොටුපොල බලධාරීන් ඔහුට එක්තරා ගුවන්තොටකින් ඇතුල්වන්නට හො පිටවන්න්ට අවසර දී තිබෙන්නේ දිගු ප්‍රශ්ණ කිරීමකට පස්සේ. සමහරවිට ෂාරුක්ට ඒ වෙලාවෙ මල පනින්න ඇති.  නමුත් ඔහු තමන්ට දැනුනු දේ හැඟීම්බර නොවී නිර්මාණෂීලි ලෙස ඉදිරිපත් කර ඇතිවා පමණක් නොව එය තමාගේ ගෞරවයට පාත්‍ර වන ලෙසින් සමස්ත ඇමරිකානුවන්ටම් ටොක්කක් ඇණ තිබෙනවා. 



ෂාරුක් ඛාන් යනු මුළු ලෝකයම පිලි ගන්නා ජනප්‍රිය පුද්ගලයෙක්. ඇත්තටම ඔහු පැව්සූවානම ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කරන්න කියා. උදාහරණයකට ඔහුම දැන්වීම් වල පෙනී සිටි පෙප්සි යයි හිතමු. හින්දි චිත්‍රපට උන්මාදයෙන් සිටින ලෝකයේ බොහෝ දෙනෙක් එය වර්ජනය කරනු ඇත. එසේ වූවානම් ඇමරිකවට යම්කිසි දැනීමක් සිදු වනු ඇත. 



අපේ විමල් වීරවංශ ඇමතිතුමා පැවසූදේ කෙතරම් දේශහිතෛශී වුවත්, ලංකාවේ සහ ලෝකයේ ඔහු පිලිගන්නා අය එය සිදු කලත් ලොව පුරා බිලියන් ගණනින් සිටින ගූගල් පරිශීලකයන් ප්‍රමණයට සාපේක්ෂව සියයට එකක තරම් වත් වෙනසක් එහි ඇති නොවන බව පිලි ගත යුතුය. එනිසා එය කෙතරම් ප්‍රායොගිකදැයි ඇමතිතුමා ඇතුලු අප කවුරුත් කල්පනා කල යුතුය. අප පුංචි ජාතියක් බව සැබෑය. අපට එවැනි ප්‍රකාශ කල හැකි අය සිටීමද ආඩම්බරයට කාරණයක් වුවත්, එයින් ලබා ගත හැකි වාසිය කුමක්දැයි අප සිතා බැලිය යුතුය. ප්‍රතිපත්තිගරුකව ඇමරිකානු දේ වර්ජනය කිරීමට ඔහු සිතුව විය හැක. එය කී දෙනෙක් අනුගමනය කරනු ඇත්දැයි යන්න සැක සහිතය. අප කල යුත්තේ ෂාරුක් ඛාන් කලාක් මෙන් ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීමයි. ගූගල්ම භාවිතා කර ඇමරිකාවට ගහන ආකාරයක් ඇමති තුම පැවසූවානම් අපද එයට දායක වීමට ඉඩ තිබුනි. එහෙත් ඇමරිකාවට රිදෙන්න ගහනවානම් අප වර්ජනය කල යුත්තේ ඇමරිකවට බිලියන ගණනින් මුදල් පොම්ප වන පේටන්ට් ව්‍යාපාරය වර්ජනය කිරීමයි. එසේ වූවනම් ජපානයේ, චීනයේ, කොරියාවේ, මැලේසියවේ තිය ඕනෑම රටක නිෂ්පදනය වන කිසිදු ඉලෙක්ට්‍රොනික හෝ විදුලි භාන්ඩයක් අපට භාවිත කල නොහැක. එසේ වුවානම් අපට නවතින්නට සිදු වන්නේ ගල් යුගයේය. අද කාලයේ චීනයටවත් ඇමරිකාව වර්ජනය කල නොහැක යන්න මගේ මතයයි. ඇමරිකානු නිෂ්පාදන වර්ජනය කල මුස්ලිම් ලෝකයට සිදු වූ දේ "අන්වර් මනතුංග "ගේ බ්ලොග් එකේ හරි අපූරුවට විස්තර කර ඇත. එනිස අප කල යුත්තේ ඇමරිකානු දේ තුලින්ම ඇමරිකාවට රිද්දීමයි. ෂාරුක් ඛාන් අපට දෙන ආදර්ශයද එයයි. 

ප.ලි. : මා මේ චිත්‍රපටය නැර්ඹූයේ ඊයේ නොව පෙරේදායි. මෙම ලිපිය ආරම්බයේ එය ඊයේ නැරඹූ ලෙස සටහන් කර ඇත. ඒ මෙම ලිපිය ඊයේ ආරම්භ කර අද අවසන් කල නිසාය. විමල්ගේ කථාව ගැන නොයෙකුත් බ්ලොග් ලිපි සහ පත්තර වාර්ථා අද වන විට සෑහෙන්න පල වී ඇත. මෙහි අවසාන පින්තූර තුන මා රූපවහිනී තිරයෙන් ජංගම දුරකථනයෙන් ගත් ඒවාය. එහි තිබෙන පැහැදිලි බවේ රහස එය HD විකාශණ මගින් ලබා ගත් ඒවා නිසාය. මෙම ලිපියේදී කිහිප තැනකම 
Star Gold HD 
යනුවෙන් සඳහන් කලේ HD වල තිබෙන සුපැහැදිලි දසුන් ගැන ඔබ දැනුවත් කිරීම සඳහය. 

Monday, March 12, 2012

බොම්බයි මොටයි

අද දවසට ලියන තුන්වෙනි පොස්ට් එක. අර බ්ලොග් මැරතන් එකේදි පැය කාලකට වරක් බ්ලොග් එකක් දාන්න ඔනෙ කියල සිංහල බ්ලොග් සංසදයේ කාලිංග ඇතුලත්මුදලි එවපු ඊමේල් එකක සඳහන් වෙලා තිබුන නිසා මට හිතුනා ඒකට පෙරහුරුවක් වෙන්නත් එක්ක ටිකක් ලියලා බලන්න. බලාගෙන යනකොට ඒකත් අමාරු පාටක් නෑ වගේ. ඒත් මගේ යාලුවෙක් කිව්ව "උඹ ලියන ඒවා හරියට දැන් විකුනන්න තියෙන බොම්බයි මොටයි ජාතිය වගේ කියල" මිනිහා කියන්නේ අර "කැන්ඩි ෆ්ලොස්" කියන ජාතිය ගැන වෙන්න ඔනෑ. ඔන්න මම සර්ච් කරල පින්තූරයකුත් හොයගත්තා.

අපි ලියන කතාව එක පාරටම කෙලින්ම කියල දැම්මොත් ඒකේ කිසි ගතියක් නෑ.  හැබැයි මේ බොම්බයි මොටයි හෝ කැන්ඩි ෆ්ලොස් කියන අන්වර්ථ නාමයට මම කැමතියි. මොකද බොම්බයි මොටයි කියන්නේ අපි පොඩි කාලේ රස කර කර පොර කකා කාපු කෑමක්. ඉතින් මගේ බ්ලොග් එකත් ඒ වගේ පොර කකා බලනවනං කොච්චර එකක්ද. මගේ මිතුරා කියපු තේරුම ලොකු පරිමාවක තිබ්බට ගන්න තියෙන දේ පොඩ්ඩයි කියන එක නම් මම කියන්නේ බෙහෙත් පෙත්තක් වගේ චූටියට හදලා කිසිම රසයක් නැතුව බඩට දා ගන්න දුන්නා නම් කවුද කැමති. හොඳයි කවුද අකමැති බොම්බයි මොටයි කන්න. ඒක හැම අතින්ම ආකර්ෂණීයයි. පාට, රස, මෘදු බව. ඉතිං ඔබත් එහෙම හිතුවා නම් මම හිතන්නේ මගේ උත්සාහය සාර්ථකයි කියල. ඔබට නොදැනීම ඔබේ සිත තුල යම්කිසි මතකයක් රඳවන්න මා සමත් ඌවා යයි ඔබ කියනවා නම් ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. ඉදිරියටත් ඔබෙ හිතේ ඒ පුංචි ඉඩ ප්‍රමාණය මා ලියන දේ වෙනුවෙන් තබා ගන්න. හැම්දා සරල මෙන්ම හස්‍ය මුසු යමකින් ඔබේ හිත සැහැල්ලු කරන්නම්. මෙතෙක් මට දිරි දෙමින් ම සමග ආ ඔබට මගෙ ආදණීය ස්තුතිය. 

පින්තූරය ගත්තේ : http://solidrecipe.com

ගායක ගායිකාවන් කොංක්‍රීට් පාරවල් වලට කැමති නැතිලු



අමරදේව මාස්ටර් සහ ලතා වල්පොල කිව්වාම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තියපු කලාකරුවන් යුගලක්. මේ දෙදෙනා මා දන්නා තරමින් එකදු යුග ගීයක් හෝ ගායනා කර නෑ. ඒ වගේම මේ දෙදෙනා කිසි විටෙකත් එකම සංගීත ආරක් අනුගමනය කරන්නෙත් නෑ. ඒ වුනාට මේ දෙදෙනාම එකම කාරණයක් නිසා සිත් තැවුලකට පත් වී සිටිනවා යයි කිව්වොත් ඔබ මවිත වනවා නිසැකයි. මා දැනට විශ්වාස කරන ආකාරයට දැනට මේ සිත් තැවුල ඇති වෙලා තියෙන්නේ මේ දෙදෙනාට පමණයි. ඒත් තවත් අයත් ඉන්න පුලුවන්. මේ දෙදෙනා මෙසේ සිත් තැවුල් අති කරගෙන ඉන්න කාරනය කිව්වොත් ඔබට මේ දෙදෙනා සමග උරණ වන බව සිකුරුයි. ඒ වගේම ඔවුන් කුහක අය යයි ඔබ පවසන්ත් ඉඩ තියෙනව. ඔවුන්ට ලොකුම ගැටළුව වී තිබෙන්නේ අවුරුදු කීපයක සිට "මග නැගුම" ව්‍යාපෘතිය කීවොත් ඔබ තවත් කෝප වනවා නිසැකයි. රටේ වැදගත් කලා කරුවන් දෙදෙනෙක් මෙසේ රටේ සිදුවන සංවර්ධන ව්‍යපෘති දෙස අසුබවාදී ආකල්පයක් දැරීම බොහො දෙනාගේ මවිතයට හේතු වී තිබෙනවා. වඩාත්ම බැරෑරුම් කාරණය වනුයේ කුඩා අතු පාරවල් කොංක්‍රීට් කිරීමට පමණක් ඔවුන් විරුද්ධත්වයක් දැක්වීමයි. මෙය කෙතරම් ජර වැඩක්දැයි ඔබට මෙන්ම මටද සිතෙනව. මේ රටේ දුක් විඳින ජනතාවගේ ඉතා ප්‍රසාදයට පාත්‍ර වු මෙම කුඩා මාර්ග කොංක්‍රීට් කිරීමට ඔවුන් විරුද්ධ ඇයි ? සමහර ගීත රචකයන් සහ තවත් විද්වත්හූ බොහෝමයක් මේ කාරණාවෙදි ඔවුන් සමග එකඟ බවද දැන් දැන් අසන්නට ලැබෙනවා. ඔවුන් දෙදෙනා පවසන්න ඉතිරි ගම්බද මාර්ග ටිකවත් ඔහේ තියෙන්නට ඉඩ අරිනවානම් හොඳ බවයි. 


හොඳයි කුඩා මාර්ග කොංක්‍රීට් කිරීමට ඔවුන් අකමැති ඇයි ? කාට හරි හිතන්න පුලුවන්ද පුලුවන් නම් කමෙන්ට් එකක් දාන්න. 


පින්තූරය ගත්තේ : http://www.sundayobserver.lk

මම ඔබ සොයා එමි රැයේ....





මගේ දුව යන්නේ ජාත්‍යන්තර පාසලකට. ජනප්‍රිය පාසලකට මගේ දුවවත් දාන්න මගේ හිතෙත් ලොකු ආශාවක් තිබුනා. ඒත් බොරු කියන්න, බොරු ලියවිලි හදන්න, ලෝකේ නැති බොරු දරුවා ලවා කියවන්න, තවත් කෙනෙකුගේ ලිපිනය බදු ගන්න වගේ දේවල් වලට මගේ තියෙන අකමැත්ත නිසා මං තීරණය කලා ඇයව ජාත්‍යන්තර පාසලකට ඇතුලත් කරන්න. ඉතිං එයාගේ සිංහල දැනුම නාම මාත්‍ර එකක්. ඒ ගැන මගෙ හිතේ ලොකු දුකක් තියෙනව. ඊයේ පත්තරයේ සිංහල උන්ගන්වන්න කැමති ගුරුවරියකගේ දැන්වීමක් දැකලා කතා කර ගත්තා. අපේ ගෙදර, මගෙ දරුවාට සිංහල උන්ගන්වන්න වූ එක දෛවෝපගත සිදුවීමක්. හරියට වඩුවාගෙ ගෙදර පුටුව නෑ වගේ. මොනව කරන්නද ? මේ දරුවා 
වැඩියෙන් දන්නේ ඉංග්‍රීසි වචන නිසා සිංහල වචන ගැන එතරම් අවුබෝධයක් නෑ. මගෙන් දවසක් ටෝයි (සෙල්ලම් බඩුවක්) අරන් ඉල්ලුවාම මම කිව්වා පඩි ගත්තාම ගෙනත් දෙන්නම් කියල. එතකොට එයා අහනවා පඩි කියන්නේ සල්ලි වලටද ? කියලා. මම ඔව් කිව්ව. මටත් ඒ වගෙ පොඩි කාලේ සිංහල වචන ඒ හැටියට තේරුණේ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ මට පොඩි කාලේ ඉංග්‍රීසි පුලුවන් කියන එක නොවෙයි. අපි කුඩා කාලයේ භාවිතා වුනු සිංහල වචන මහප්පරාන වෙච්ච එකයි. ඒ කාලයේ නිතර ඇහුණු ජනප්‍රිය ගීතයක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන "පියාපත්සල මම ඔබ සොය එමි රැයේ" කියන ගීතය. බොහොමයක් පොඩි එවුන් වගේ මමත් කණට ඇහුණ ගීතය පාඩම් කරගෙන මුමුණන පටන් ගත්තා. මගෙ මුලින් පෝස්ට් එකකදිත් කියල තියෙනව සමහර වචන වලට මම මටම ආවේනික තේරුම් හදාගෙන තිබුන බව. ඒ පොස්ට් එක මෙතැනින් කියවන්න.



http://www.blogger.com/blogger.g?blogID=5312591771037268816#editor/target=post;postID=4140551775925752695


මම ගොඩාක් කාලයක් යනකම් හිතාගෙන හිටියේ "පියාපත්සලා" කියන්නේ වත්සලා, නිසංසලා වගෙ ගෑණු ලමයෙකුගේ නමක් කියල. 

පින්තූරය ගත්තේ :  http://www.wildaboutmovies.com/

Sunday, March 11, 2012

එකැස් හොරාගෙන් ඉගෙනගත් ජීවන පාඩම (Life Lesson)



හොරා කිව් විගස ඔබේ මතකයට එන්නේ කුමක්ද ? අපැහිදිලි මුහුණක් ඇති (හරියට දැන් ටික කාලයකට පෙර හැම බාර් එකකම බෝඩ් එක සැරසූ - ස්ටවුට් දැන්වීම නිරූපණය කරන පුද්ගලයාට සමාන ) පුද්ගලයෙකි. මදක් ඔබේ දෑස වසා කල්පනා කරන්න. සමහරවිට ඔබට එවැන්නක් සිහියට නො එනවා ඇත. මන්ද ඔබ කිසි දිනක හොරුන් දැක නැත. (සමාවෙන්න. දේශපාලකයන් ඔබේ මතකයට ආවා නම්. ඔවුන් මෙම මාතෘකාවෙන් පිටයි ). ඔබ හොරුන් දැක නෑ යයි කීම සාධාරණයි. මොකද, අපි හොරුන් යයි ඔවුන් බෝඩ් එල්ලගෙන සිටින්නේ නැති බැවිනි.හොඳයි ඔබට ඕනෑතරම් හොරුන් මුණගැසී ඇතැයි මා පැවසුවොත් ඔබ පුදුමයට පත් නොවන්නේද ? ඔවු ඔබට හොරු මුණ ගැසී ඇත. සාමාන්‍ය සමාජයේදී ඔවුන් සාමාන්‍ය ලෙස හැසිරේ. එහි වරදක් ඇත්නම් මේ සමාජයේ සිටින බොහෝ දෙනෙකුද අඩු-වැඩි වශයෙන හොරුය. 


මොනවා උනත් හොරකම ආත්මගත පුරුද්දක් බව මගේ විශ්වාසයයි. එක්තරා රජෙකුද හොරෙකු වූ පුවතක් අප අසා ඇත. වාසනවාකට ඔහුගේ හොරකම සාධාරනීකරණය කරන්නට රජ වාසල බලධාරීන් වග බලා ගත්තා. ඒ එම හොරකම කරන දේට ගෙවන්න විශේෂ නියෝජිතයකු රජු පසු පසින් එවීමෙන්. හොරකම සඳහා පසුබිම් වන විවිධ හේතූන් ඇතත්. බොහෝවිට එය පිටුපස ඇත්තේ කම්මැලිකම බව පැහැදිලි වෙයි. කම්මැලි නැති අය මහන්සි වී මුදල් උපයයි. එහෙත් හොරාගේ චරිතය පිලිබඳ සමීක්ෂනයක් කිරීම මෙහි අරමුණ නොවේ. මෙය මා ලැබූ තවත් අත්දැකීමක් ශ්‍රී ලාංකික බ්ලොග් පාඨකයා හමුවේ තැබීමකි. 


මේ කියන පුද්ගලයා හමු වන්නේ මට අවුරුදු 16ක් පමණ කාලයේදීය. මගේ ජීවිතයේ එක් එක් කාලවලදි මා වැඩි කැමැත්තක් දැක්වූ ක්‍රීඩාවන් වේ. මේ කියන කාලයේදි ම වැඩිපුර කලේ වොලිබෝල් ක්‍රීඩාවය. වැඩෙන වයසේ වූ මාගේ උස යම් තරමක් හෝ වැඩි වීමට එය ඉවහල් වූ බව මෙම මාතෘකාවට අදාල නොවූවත් සඳහන් කල යුතුය. ඔහුගේ නම නිවැරදිව සඳහන් කිරීම තවමත් උසාවියකින් වරදකරුවකු නොවු ඔහුට කරන අපහාසයක් විය හැකි බැවින් මෙහිසිට මා ඔහු "ප්‍රේමකුමාර" ලෙස හඳුන්වන්නම්.


ප්‍රේමකුමාර දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහුගෙ උස අඩි හයකට වඩා වැඩි යන්න මගේ විශ්වාසයයි. ඉතා හොඳ කාය ශක්තියකින් යුක්ත වූ ඔහු ප්‍රතිවාදියාට ඔසවන්නට බැරි ඩෑෂ් පහරවල් එල්ල කිරීමට හා පන්දු පිරිනැමීමේ ගජ හපනෙකි.. එහෙත් ඔහු එකල හොරෙක් ලෙස කිසිවකු හංවඩු ගසා නොතිබුනා පමණක් නොව කාගේත් හිත හොඳ දිනාගත් ඉතාම ප්‍රියමනාප පුද්ගලයකු වූවේය. අපට ඔහු වීරයෙකි. වොලිබෝල් ගුරුවරයෙකි. එකල ඔහු ක්‍රීඩා කරන තරග නැරබීමට අප මෙන්ම වැඩිහිටියන්ද මහත් උනන්දුවක් දැක්වීය. එයට අමතරව සාමන්‍යෙන් ක්‍රීඩා කරන දින වලදි ඔට්ටුවට ක්‍රීඩ කිරීම වැඩිහිටි කීප දෙනෙකුගේ පුරුද්ද විය. මේවා මහ ලොකු ඔට්ටු නොව බීම බොතල් පහක් වැනි ඉතා සුලු ඔට්ටුය. පරදින කන්ඩායම දිනන කන්ඩායමට බීම බෝතල් පහ හෝ හය සැපයිය යුතුය. ප්‍රේමකුමාර ක්‍රීඩා කරන්න එන්නේ ඔහුගේ පා පැදියෙනි. ඔහු ආපසු යන ගමනේදී කවුරුන් හෝ ඉදිරිපස හිඳුවාගෙන යාම සමාන්‍ය සිරිතය. ඔහු කාටත් උදව් උපකාර කරන ජාතියේ හිත හොඳ පුද්ගලයෙකි. 


පසුකාලීනව මා පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවන්ට වැඩි කැමැත්තක් දැක්වූ බැවින් වෙනත් ක්‍රීඩාංගනයක ක්‍රීඩා කිරීමට යාම නිසා ප්‍රේමකුමර සමග ඇසුර අඩු. එහෙත් මග තොටදී දුටු විට සිනාසීම හෝ කතාබහ නොවුනා නොවේ. පස්සේ කාලෙක ආරංචි වුනා ප්‍රේමකුමාර සිංගප්පූරුවේ රැකියාවකට ගිය බව. එහෙත් අවුරුදු කීපයකින් ඔහු නැවතත් අපේ ගමේ දකින්නට ලැබුනා. 


එක්දහස් නවසිය අනූගණන් වල එක ජනවාරි පලවෙනිදාට උදාවන දිනයකදී මගේ මස්සිනාගේ කාර් එකේ ස්ටීරියෝ එක හොරු ගලවා තිබුනා. අපි මේ ගැන වටපිට අයට දන්වා සූදානම් ශරීරයෙන් හිටියා විනා පොලීසියට දැන්වූවේ නෑ. එකල රැකියාවක් නොකල මට අපේ ගෙදර සිට මස්සිනාගේ ගෙදරට උසස් වීමක් ලැබුනා. ඒ උනාට නිදියන්නැතුව ජනෙල් අසලට වී වටපිට දෙස ඇස් යොමාගෙන ඉන්න මට සිදු උනා. මම හිටියේ ඉස්සරහ කාමරයේ. මගේ ඇඳ යට තබාගන්න කඩුවක් ලබා දුන්න. සරමේ සිට කොට කලිසමට මාරු වුනේ ස්වේච්චාවෙන්ම අලුත් රැකියාවට තිබු ඇල්ම හෝ ඇම්ම මත. මා ඒ ගෙදර පදිංචියට යන්න දවස් කිහිපයකට කලින් අපූරු සිදු වීමක් සිදු වුනා. ඒ අර හොරකම වෙලා දවස් පහක් විතර ගියාට පස්සේ. අපේ අක්කා තමයි ඒ දිනවල මම වෙනුවට මේ වටපිට බැලිල්ල කලේ. එක් දිනක් බල්ලන් උඩු බුරලන සද්දයට අවදි වූ අක්ක ඉදිරිපස ජනේලය ලඟට වෙලා එලිය බලන් ඉඳල තියේන්ව. පාරෙ හ නිවසේ ඉදිරිපස තිබෙන ලයිට් නිසා ඉතා පැහැදිලිව ඉදිරිපස මෙන්ම නිවසේ දෙපසත් පැහැදිලිව පේනවා. සාලයේ හැම පැත්තේම ජනේල තියෙනව. ඒක නිස ඔනෑම පැත්තක් එක තැනක ඉඳන් බලන්න පුලුවන්. එලියේ ලයිට් දාල ඇතුලේ ලයිට් නිව්වාම එලියේ ඉන්න කෙනාට ඇතුලේ ඉන්න අයව පේන්නේ නැ. 


ඒත් හොරු කියන්නේ අති දක්ෂ, හොඳ හික්මීමක් තියේන, උකුසු ඇස් තියෙන කොට්ඨාශයක්. උන්ට හොඳ ඉවක් තියෙනවා වටපිට වෙන දේ ගැන. අක්කලාගේ ගෙදර ඉදිරිපස තියෙන විලෝ ගස් තුනයි බට පඳුරයි නිසා වත්තේ හැම තැනටම ලයිට් එලිය එක වාගේ ගලාගෙන යන්නේ නෑ. අක්කා මෙහෙම බලන් ඉන්න අතරේ එක පාරටම කවුරු හරි වත්තට පනින සද්දයක් ඇවිත් බලනකොට අක්කා පැහැදිලවම දැකලා තියෙනව හොරා ප්‍රේමකුමාර කියලා. අක්ක කෙලින්ම දොර ඇරගෙන ප්‍රේමකුමාරගේ නමත් කියාගෙනම "මෙන්න හොරූ" කියාගෙන එලියට පැනලා කෑ ගහගෙන. එතකොට වටපිට සූදානමෙන් හිට්ය අය අත අහුවෙන දේවල් අරගෙන එතනට එකතු වෙල. අක්ක කියල තියේනව හොර ප්‍රෙමකුමරමයි කියල. මෙන්න විනාඩි දෙක තුනක් යනකොට ප්‍රේමකුමාරත් එතන. "මං මේ කෑ ගහන සද්දේ ඇහිලා ආවේ" කියල කිව්වලු. අක්කත් කෙලින්ම ඇඟිල්ල දික් කරලා කථා කරන්න යන්නැතුව සද්ද නැතුව ඉඳලා. කොහොමින් කොහොමින් හරි මේ සිද්දිය දවස් කීපයක් යනකොට කාතත් අමතකයි. ඒත් මමයි අල්ලපු ගෙදර ඩඩ්ලි අයියයි සූදානමින් උන්නා. ඒ කාලේ දැන් වගෙ සෙලියුලර් තිබුනේ නෑ. එහෙම තිබ්බා නම් වැඩේ මීට වඩා ලේසියි. මම අක්කලාගේ ගෙදර රෑට හිටියට දවල්ට ඉන්නේ අපේ ගෙදර. රෑ 7.00ට විතර තමයි අක්කලාගෙ ගෙදර එන්නේ. දවසක් ඔහොම එනකොට ප්‍රේමකුමාර මාව එයාගේ බයිසිකලයට නග්ග ගත්ත අපේ ගෙවල් ලඟින්ම. අපේ ගෙවල් හරියේ එදා ලයිට් ගිහින්. වලවල් වල වැටෙනකොට මිනිහ කියනව


"කිව්වට විශ්වාස කරන්න සුභාෂ් මල්ලී සිංගප්පූරුවේ නම් උදේ නැගිටලා බලනකොට තමයි අපි දන්නේ පාර කාපට් දාල කියල." ඒ කථාව ඇත්ත කියල පස්සේ කාලේක සිංගප්පූරු ගියහම මටත් හිතුනා. ඔන්න එක පාරටම ඉස්සරහට ආවා හෙඩ් ලයිට් ගහ ගත්ත කාර් එකක්. මගේ ඇස් නිලංකාර වෙලා ගියා. 


"බලන්න මෙහෙම එක පාරට ලයිට් තිබිලා නැති උනහම බයිසිකලේ යන අපි මාර අමාරුවකනේ වැටෙන්නෙ" මම කිව්ව.


"අයියෝ ඒකට හොඳම දේ තමයි ලයිට් තියෙන වාහනේ පහු උන ගමන්ම එක ඇහක් පිය ගන්න එක. එතකොට තප්පර ගානකදි  ඇහැ සෙට් වෙනවා අඳුරට"


"අහ් ! එහෙනම් මෙහෙම තමයි මෙයා හොරකමේ යන්නත් ඇත්තේ" මම හිතුනා. 


ඊට පස්සේ මේ වගේ අවස්ථා වලදි එක ඇහක් වහන එක මගේ ජීවන පුරුද්දක් වුනා. හොරෙකුගෙන් වුනත් ඉගෙන ගන්න දේවල් තියෙනව කියල අර කවුදත් කියල තියේනවනේ. වෙන කවුරුවත් නෙවෙයි මේ මමම තමයි කියන්නේ. ඒත් නිකංම නිකං හොරෙක් නොවෙයි 


"එකැස් හොරෙක්"


පින්තූරය ගත්තේ :  http://theendofcinema.blogspot.com

Monday, March 5, 2012

වයිවර්ණ මැරතන් තරගය


මේ දවස් වල ඉන්දියාවේ හෝලි උත්සවයට සූදානම් වෙනවා. මේ හෝලි කියන්නේ මොකක්ද කියලාවත්, මොනවට කරන එකක්ද කියලාවත් මම දන්නෑ. ඒත් සිරසේ "ගොන් දෙපැයට" පින් සිද්ධ වෙන්න, වෙන්නේ මොකක්ද කියලා දැක්කා දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. උදේ වැඩට එනකොට ටාජ් හෝටලයේ බෝඩ් එකේ හෝලි වලට මොනවදෝ කරනවා කියලා දාලා තියෙනකොට අපි කරපු ඒ වගේ වැඩක් ගැන මතකයට ආවා. මොනව උනත් හෝලි කියන්නේ අම්බානකට පාට-පාට කුඩු නා ගන්න වැඩක් කියල කලින්ම කියන්න ඕනේ. නැත්නම් ඒක ගැන දන්නැති කෙනෙකුට මේක තෙරුම් ගන්න ටිකක් වෙල යයි. හැබැයි මෙකේ දාල තියෙන ෆොටෝ එක දැක්කාම නිකංම තේරෙනවා වැඩේ මොන ජාතියෙ එකක්ද කියල.




ඒ 1991 සිංහල අවුරුදු සමය. ඒ කාලේ මම සිංහල අවුරුද්දට ගෙදර හිටිය දවසක් මතක් කර ගන්න බෑ. මාව බෙන්තොට ක්‍රීඩා සමාජයට නැතිවම බැරි පුද්ගලයෙක් කියන එක ඒ කාලේ අපිත් එක්ක හිටි කෙනෙක්ගෙන් ඇහුව නම් කියයි. ඒ කාලේ දවස් දෙක තුනක් නිදි මරාගෙන අපි කරපු වැඩ අද කාලෙ නම් විනාඩි පහකින් කර ගන්න පුලුවන් ග්‍රැෆික් ඩිසයින් වලට පින් සිද්ද වෙන්න. අඩි 75ක් විතර දිග පොල්ගෙඩි අකුරු බැනර් එකක් අඳිනව ස්ටේජ් එක පහලින් ගහන්න. ඒකේ ප්‍රධාන චිත්‍ර ශිල්පිය වෙන්නෙ මම. අර අකුරු පෑනෙන් අඳින එකයි අයින දිගේ පින්සල ගෙනියන එකයි කරන්නෙ මම. මැද පුරවන්න ඕනෑතරම් අය ඉන්නව.  ඒ වගෙ සතුටින් ගෙවිච්ච කාලයක්. හැබැයි ටර්පන්ටයින් ගඳින් ටිකක් දවස් යනකම් නහය පිරිල. ඒකට අමතරව නිවේදන කටයුතු, බෝඩ් අඳින ඒව, කොට අදින ඒවා. මෙකී නොකී හැම දේටම සහභාගි වෙනව.  අන්තිම දවසේ තමයි මැරතන් එකයි අනිකුත් තරග ඔක්කොම තියෙන්නේ. එදා රෑට විශාල සංගීත රාත්‍රියකුත් තියෙනවා. ඒ දවස් වල සයිකල් රේස් එකේ ගාළු යන්නයි, සංගීත සංදර්ශණයේ ගීත පටිගත කර ගන්නයි තමයි අපි කාගේත් බලාපොරොත්තුව. ඒවා කරගන්න ඕනෙනම් අර කියපු වැඩ වලට සහභාගි වෙන්න ඔනේ. ඉතිං අපිට වඩා ටිකක් වයසින් අඩු කන්ඩායමක් හිටියා මේ වැඩට සහභාගි වෙන. ඔක්කොම විස්සක් විතර. ඔය අතරේ හිටිය ලොකුගේ කියල බොහොම උනන්දු කොල්ලෙක්. මැරතන් වලට උපන් හපන්. ඒ දක්ෂතා වලින් මිනිහ ගොඩක් ඉදිරියට ගියා. අපේ අවුරුදු උත්සවයෙ මැරතන් එකත් අනිවර්යෙන්ම දිනන්නෙ ලොකුගේ තමයි.


අජිත් කියන්නේ අපි අතර හිටිය කරන තරමකි මගෝඩි වැඩ කරන කොල්ලෙක්. මට වඩා ටිකක් වැඩිමල්. කට නිකං කතුර වගේ කියවනව ඉවරයක් නැතුව. මැරතන් එක තියෙන්නේ අවුරුදු උත්සවය දවසේ උදේ වරුවේ. හවස් වරුවේ තියෙන තරග වලට අවශ්‍ය වන බොහෝ දේ අපි සම්පාදනය කර ගන්නෙත් එදා උදේමයි. අජිතය පුෂ් බයිසිකලෙන් අළුත්ගම(අපේ ගමට ළඟම ටවුම) ගිහින් අරන් ආපු දේවල් අතරේ තිබුනා කුකුල් සායම් වගයක්. කණා මුට්ටි වලට තමයි මෙව දාන්නේ. මේක දැකපු ගමන් මට ආවා පොඩි අයිඩියා එකක්.


මම කිව්ව "මැරතන් දුවන් කොල්ලෙක්ගෙ ඔලුවට මේව දැම්මොත් ෂෝක් එකට හිටියි නේද ?" කියල.


"මේකට හොඳම එකා ලොකුගේ"  කියල තව කවුරුහරි කිවා. මම කිව්ව


"මම ලොකුගේව කතාවට අල්ල ගන්නම් කවුර් හරි දාපන්"  කියල. අජිත් ඒ වැඩෙත් බාර ගත්තෙ ඉතාම කැමැත්තෙන්. මම ලොකුගේට කතා කරලා කිව්ව


"මල්ලි උඹ තමයි මේ පාරත් රේස් එක දිනන්න ඔනේ" කියල කරට තට්ටුවක් දන ගමන්.


"අයියෝ සිම්පල් වැඩ්ක්නේ" ලොකුගේ එහෙම කථා කරනකොට අජිතය කුකුල් සායම් ලොකුගෙගෙ ඔලුවට දාලත් ඉවරයි. මට හිනා යන්න ආවත් තද කර ගත්තෙ බොහොම අමාරුවෙන්.


"අපරාදෙ සුදුපාට බැනියම. ඒ වුනාට මේක හරියටම වැඩ කරයිද ?, ඇස් වලට හරි නහයට හරි ගිහින් කරදරයක් වෙයිද" මම හිතුවෙ ටිකක් බයෙන්. ඔය අතරේ රන්ජන් තවත් කොල්ලේකුගෙ ඔලුවටත් මේව දාල. මොනව උනත් ලොකුගේ රේස් එක ඉවර කරනව. දැනට පස් වතාවක්ම ඌ දිනුවනේ. කොහොම කොහොමින් හරි තරගය ආරම්භ වුනා. මමත් දැන් ප්‍රචාරක රථයේ එනවුන්ස් කර කර යනව. ඒ වුනාට මගෙ පපුව යකාගෙ කම්මල වගේ. ලොකුගෙයා කිසි හැල හොල්මනක් නැතුව දුවගෙන එනව. උගේ බැනියම නිල්,කොල,දම් එක එක තැන එක එක පාට. මූනත් ඒ වගේ. ලොකුගෙයා යකා වගේ දුවනව. සපෝට් එකට එන උගෙ අයියා (කවුරුත් කියන්නේ කඩියා කියලා. පොලීසියේ ඒ.එස්.පී මහත්තයගෙ පියන්, ඒ වුනාට ඒ.එස්.පී. ටත් වඩා සැරයි කියලා තමයි ගමේ කාගෙත් පිලිගැනීම) අමු තිත්ත කුනුහර්පයෙන් බනිනවා වගෙ මට තේරෙනව. මෙදා පාර නම් මූ අපිව බලු කූඩුවට දාල තමයි පස්ස බලන්නෙ. මමත් හිතන්නැතුව කරන වැඩ. කොහොම කොහොමින් හරි මැරතන් එකත් හමාර වුනා. මම ටිකක් මග ඇරලා පැත්තකට වෙලා හිටිය. කඩිය ආව මගෙ ගාවට.


"තමුසෙලා මහ කැත වැඩක්නේ හලෝ කරල තියෙන්නේ. මම හිතුව තමුසේ ඉස්කෝලේ මහත්තයාගෙ පුතා නිසා හැදිච්ච මිනිහෙක් කියල. බලනව අපේ කොල්ල දිහා. තමුසේ අද හවසට එනවකෝ හොඳට ඇඳගෙන. මම ගහනව තමුසෙටත් සායම්"


මේක අහල මගෙ ඉහ මොල රත් වුනා. මම කිව්ව


"ඇයි අයියේ එහෙම කියන්නේ. අද උදෙත් මම ලොකුගේට කිව්වේ කොහොම හරි රේස් එක දිනන්න ඔනේ කියල"


"එහෙම කියල තමුසෙල සායම් ගැහුව. අනෙ යනෝ ඕයි යන්න" කඩියට අම්බානකට තද වෙල.


පස්සෙ මම ලොකුගේට කථ කරල  ෂේප් එකක් දැම්ම.


"මල්ලි මම උඹත් එක්ක කථා කර කර ඉන්නකොට තමයි කවුරු හරි මේවා දාන්න ඇත්තේ. උඹ දන්නවනේ මම මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා. අනේ කොල්ලෝ මට හවසට සායම් නම් ගහන්න එපා. මට හොඳටම වැඩ තියෙනව කියල උඹ දන්නවනේ. ගහනවනම් වෙන දවසක ගහපං." එහෙම කිව්වට මම හිටියේ ටිකක් බයෙන්. සූදානම් ශරීරේ කියල පරන ෂර්ට් එකක් තමයි ඇඳගෙන ආවේ. වාසනාවකට මොනවත් උනේ නෑ.



ප.ලි. 
මේ පින්තූරේ ඉන්න කොල්ලාගේ මූණ ලොකුගේගේ මූණට ගොඩාක් දුරට සමානයි. කඩියා කියන නම ලොකුගේගේ අයියට එන්න ඇත්තේ මිනිහා පුදුමකාර විදියට කළු නිස වෙන්න ඕනෑ.



පින්තූරය ගත්තේ :  http://therealunicornking.blogspot.com

Saturday, March 3, 2012

චූල - උදර රනවුට් වූ හැටි....



මේ ඡායාරූපය දැක්කාම ඔබට මොනවද හිතෙන්නේ ? මේක එක් දහස් නවසිය හැත්තෑ ගණන් වල සිදු වුන බොහොම ප්‍රසිද්ධ සිදු වීමක්. මේකට කියන්නේ මියැන්ඩාඩ් - ලිලී හටන කියලා. ඒ කාලේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මේ වගේ සිදු වීම් වෙයි කියල බලාපොරොත්තුවක් නැති නිසා මේවා වලක්වන්න ක්‍රිකට් නීති තුල ප්‍රතිපාදන තිබුනේ නෑ. එසේ වීම වරදක් කියා මා පවසන්නෙත් නෑ. බුදුරදුන් පාවා සමහර සූත්‍ර දේශණා කර තිබෙන්නේ එක් එක් අවස්ථා වල උද්ගතවෙන සිදුවීම් පදනම් කරගෙනයි. ඒකෙන් එවැනි සිදු වීම් ගැන බුදුරජාණන් වහන්සේ නොදැන හිටියා කියලා කාටවත් කියන්න පුලුවන් කමක් නෑ. ඒ ආකාරයෙන්ම ක්‍රිකට් බලධාරීනුත් මෙවැනි සිදුවීම් බලාපොරොත්තු නොවුනත් පසුකාලීනව මෙවැනි සිදුවීම් බහුලව සිදු වුණා. ක්‍රීඩකයන්ට අමතරව විනිසුරුවන්ට පවා පහර දෙන තත්වයකට ක්‍රීඩාව පිරිහුනා. ඒවා පදනම් කරගෙන නීති රීතිත් එන්න එන්නම දැඩි වුණා. 

අද කාලයේ මෙවැනි සිදුවීමකට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නෑ. එක් අතකින් එවැනි දේ කිරීම මොනතරම් අම්නෝඥ ක්‍රියාවක්දැයි අද ක්‍රීඩා කරන ක්‍රීඩකයින් දන්නවා. ඒ දැන් ක්‍රිකට් යනු ක්‍රීඩාවක් පමණක්ම නොවන නිසා. එය ඔවුන්ගේ ජීවනෝපාය  මාර්ගයද වන නිසා. වැඩ කරන තැන ප්‍රදානියකුට, සහෝදර සෙවකයකුට හෝ ඔබ ආයතනය සමග සෘජුව සම්බන්ධ වන වෙනත් අයෙකුට  ඔබ පහර දෙනවානම්, ගෙදර යාමට ඔබ සූදානම් විය යුතුයි. එය එසේම ක්‍රිකට් ක්‍රීඩාවටද අදාල වෙනවා. දැන් පැහැදිලියි නේද ක්‍රිකට් ක්‍රීඩාව තුල එවැනි දේ සුලබ නොවන්නේ ඇයි කියලා. ක්‍රිකට් ක්‍රීඩකයකු එවැනි දෙයක් සිදු කලහොත් සිදු වන ක්‍රීඩා තහනම නිසා  පඩි රහිත නිවාඩු යන්න වෙනවා. ඉතිං කාටද පාඩු. මේ ලිපියේ අදහස ක්‍රිකට් නීති රීති ගැන කථා කරන්න නොවෙයි. මේ පොටෝ එක දැක්කාම මගෙ හිත අතීතයට දිව ගිහින් නතර වුනු මගේ එක් අත්දැකීමක් මගේ බ්ලොග් පාඨකය සමග බෙදා ගන්නයි.

මේ වගේ සටන් ලැයිස්තු වල පකිස්ථානු ක්‍රීඩක ජාවේඩ් මි‍යැන්ඩාඩ්ගේ නම කිහිප අවස්ථාවකම ලි‍යැවිලා තියෙනවා. වරක් ශ්‍රී ලංකාවේ සී.සී.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු එකම ටෙස්ට් තරගේදී ඔහු ප්‍රේක්ෂකයන්ට පහර දීමට ප්‍රෙක්ෂකාගාරයට කඩා වැදුනා.

මේ කියන සිද්දියේ කථා නායකයා චුලා, මගේ මතකය නිවැරදි නම් චූලා අමරසිංහ. ඔහු ජාත්‍යන්තර, ජාතික හෝ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයකු නොවෙයි. ඔහු පාසැල් කාළයේදී ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන්නට පුලුවන්. ඔහු මට මුණ ගැහෙන්නේ කොන්ෆිෆි ව්‍යාපාර සමූහයේදී. ඔහු වෘතියෙන් සූපවේදියෙක්. ඔහු රාජකාරි කලේ ෆාම් ගාර්ඩ්න් කියන මොරගල්ල-බේරුවල තිබෙන සංචාරක හොටලයේ ප්‍රධාන සූපවේදියා විදිහට. සංචාරක හෝටලයක තියෙන ප්‍රධානම තනතුර මේක කිව්වොත් මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙකු මා සමග එකඟ වනවා. ඒ තරමටම සංචාරක හෝටලයක සිදු වන දෛනිකි ක්‍රියාවලියට ප්‍රධාන සූපවේදියා වැදගත්. ඒත් ක්‍රිකට් තරගයකදි කවුරුත් තවත් එක් ක්‍රීඩකයකු පමණක් වනවා. 
අපිත් ඔවුනුත් මුණ ගැසෙන්නේ  වාර්ෂිකව කොන්ෆිෆි හෝටල සමූහයේ ආයතන අතර පැවැත්වෙන ක්‍රීඩ තරගාවලියේදීයි. මෙහිදී ක්‍රිකට්, බැඩ්මින්ටන්, වොලිබෝල්, පාපන්දු සහ නෙට්බෝල් යන තරග අප සහෝදර ආයතන අතර පැවැත්වෙනවා. කොන්ෆිෆි හෝටල් සමූහයට රිවරිනා, ෆාම් ගාර්ඩන්, කොන්ෆිෆි සහ ප්‍රධාන කාර්‍යාලය අයත් වනවා. ඉතිං මේ කියන බොහොමයක් තරග සිවු-කොන් තරගාවලි ලෙස තමයි පැවැත්වුනේ. මේ ක්‍රීඩා වලින් හතර වර්ගයකටම මා ක්‍රීඩා කල අතර මේ සිදු වීම වුනේ 1992 හෝ 93 අවුරුද්දේ ක්‍රිකට් තරගාවලියේදී. රනවුට් වීම ක්‍රිකට් තරගයක්ට සාමන්‍ය දෙයක් වුනත් මේක ටිකක් විශේෂිත එකක්.

ක්‍රිකට් තරගාවලියේදී බොහෝ විට අවසාන තරගය රිවරිනා-ෆාම් ගාර්ඩ්න් අතර තමයි පැවැත්වෙන්නේ. මේකත් ඔය කියන අවසන් තරගයකදි වුන එකක්. ෆාම් ගාර්ඩ්න් කණ්ඩායම ප්‍රබලම කන්ඩායම. ඒ කොන්ෆිෆි සමුහ කණ්ඩායම නියෝජනය කරන වැඩි ක්‍රීඩකයනි පිරිසක් ඔවුන් සතුව හිටි නිසා. ජූඩ්, දර්ශණ, අන්ද්‍රාදි, රොෂාන් ඇතූළු දක්ෂ අයගෙන් වැඩි පිරිසක් අයත් වුනේ ෆාම් ගාර්ඩ්න් එකට. අපිට හිටියේ පාලිත, තිලක් සහ මම. ඒ ඇරුනහම සෙසු සියලු දෙනා සාමන්‍ය අය. තරගයට අවශ්‍ය නිසා ක්‍රීඩා කරන අය.  කන්ඩායම් දෙකේම එහෙමයි.

මේ කියාන තරගෙය පැවැත්වුනේ මර්කන්ටයිල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි. ටිකක් වැහිබර කාලයකදි. කලින් දවසේ වැහැලා තිබුන බව වටපිටාවෙන්ම පැහැදිලි වුනා. එදත් මූලික තරග කිසිම විශෙෂත්වයක් නැතුවම අවසන් වුනා. හවස් භාගය වෙත්දී වැහිබර ගතිය වැඩි වුනා. කාසියේ වාසිය දිනා ගත්ත ෆාම් ගාර්ඩ්න් කන්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්න. අපේ කන්ඩායමේ නායකත්වය දැරුවේ පාලිත ෆොන්සේකා. කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කල එයට නායක්ත්වය දුන් ක්‍රීඩකයෙක්.

තිස්සේ ඉන්න කාලේ අමාත්‍ය විමල් වීරවංශත් එයාගේ කණ්ඩායමේ සමකාලීනයෙක්.  ඒ වගේම කළුතර ටවුන් ක්ලබ් එකේ ඒ කාලයේ නායකයා. අපිට හිටිය හොඳම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කෙනෙක්. ෆාම් ගාර්ඩන් අය හිතුවට වඩා කලින් එයාලගෙ දක්ෂ අයව ක්‍රීඩාගාරයට යවන්න අපි සමත් වුනා. දැන් විකට් හයක් නැත්නම් හතක් ගිහින් ලකුණු සීයකටත් වඩා අඩුවෙන්. ඔවර් හතලිහෙන් විසි ගානක් ඇතුලත. පන්දුවට පහරදෙන්නේ අර කියපු චූලා එක පැත්තක, අනිත් පැත්තෙත් සාමන්‍ය ක්‍රීඩකයෙක් එතරම් දක්ෂ නෑ. අපි හිටියේ හොඳටම් උද්දාමයෙන් මෙදා පාර පළවෙනි වතාවට අපිට දිනන්න පුලුවන්. පාටියක් ෂුවර්. එක වතාවකත් අපි සය සාමාජික තරගය දිනලා අපිට පාටියක් දුන්න දෙහිවල අල්කට්‍රාස් කියන චයිනීස් රෙස්ටුරන්ට් එකේ. ඒ කාලයේදි චයිනීස් කන්න හම්බ වෙන්නේ කලාතුරකින්. චුලාට වයස හතලිස් ගානක්, ඒ මදිවට බඩගෙඩිය. දුවන්නේ බොහෝම අමාරුවෙන්. නිකංවත් දුවාගන්න බැරි මිනිහෙක් කොහොමද මේ තරම් ලට්ට ලොට්ට ටිකක් ඇඟේ ඔතාගෙන දුවන්නේ. මුලින්ම යාන්තමට දුවපු මිනිහා පස්සෙ පස්සේ නොන්ඩි ගගහා දුවන්න ගත්තා. අපිට හොඳටම ෂුවර් දැන්නම් එකසිය විස්සක් වත් ගහන්නෙ නෑ කියල. මමත් හිටියේ පුදුමාකාර සතුටකින්. ඒ වල්-අඩි ගහල මුල් මැච් එකකදි පනස් ගානක් ගහපු රොෂාන්ව එක ලකුණකට රනවුට් කර ගන්න කෙලින්ම විකට් එකට ගැහුවේ මම නිසා. මෙහෙම දුවල දුවලා චූලාට හොඳටම හති ඒ වගේම කකුලත් නොන්ඩි ගහනව. මිනිහා නතර වෙලා අම්පයර්ට කිව්වා එයාට දුවන්න ආදේශකයෙක් අවශ්‍යයි කියලා. අම්පයර් පාලිත දිහවට හැරිලා "හී වොන්ට්ස් අ රනර් " කියල කිව්වා. "නෝ කාන්ට්" කියලා පාලිතත් ගත් කටටම කිව්ව. රනර් කෙනෙක් විදිහට දුවන්න දැන් රොෂාන් බවුන්ඩ්‍රිය ලඟටම ඇවිත් සූදානමේ හිටියේ. දැන් චූලා පාලිතට හොඳටම බැනගෙන පාලිත ඉන්න දිහාවට එනවා. අපි හිටිය තැන් වලට වෙලා බලාගෙන ඉන්නවා. එක පාරටම චූලා බැට් එක ඉස්සුව පාලිතත්  විකට් කූරක් ගලවලා ගත්තා. මේ මොකක්ද මේ වෙන්න යන්නේ මට හිතුනා.  දෙන්න අතර බහින් බස් වීම දුර දිග යන පාටයි. මෙනා එක පාරටම චූලා බැට් එක උස්සලා පාලිතට ගහන්න පැන්නා. පාලිතය දුවන්න පටන් ගත්තා චූලාත් අත ඇරියේ නෑ. පලිත පස්සෙන් පන්නනවා. හරියට ඇඟිලි නවසිය අනූනවයක් කපල අන්තිම ඇඟිල්ල කපා ගන්න දුවන අංගුලිමාල වගේ. පාලිත මරබියෙන් දුවන අහිංසකයා වගේ හොඳටම හයියෙන දුවනවා. චූලත් හයියෙන්ම දුවනව. අපි කම්මුලේ අත තියාගෙන බලා ඉන්නව. අම්පයර් එයත් බලන් ඉන්නවා. දැන් නම මේක ක්‍රිකට් ත්‍රගයකට වඩා විනෝද ක්‍රීඩාවක් වගේ. පාලිතත් චුලාත් අතර පරතරය මීටර් තුනක්ට වැඩිය නෑ. දෙන්න දුවන්නෙ නයා යනවා වගේ. පාලිත දුවනව ඒ ගිය පාරෙම චූලත් දුවනව. ටිකක් වෙලා ගිහින් මේක නතර වුනා. අපි බඩ අල්ලගෙන හිනා වෙනව. මේ යකා කකුල අමාරුයි කියලා දුවන්න කෙනෙක් නේද ඉල්ලුවේ කියල. මොනව වුනත් අන්තිමට සුහදව මේක නිමා වුනා. අපි බැට් කරද්දි වැස්සා. දෙගොල්ලොම සම ශූරයෝ. අන්තිමට චුලා රනවුට් වුනේ පාලිත පස්සෙ දුවලා. මේ සිද්දිය වෙලා ගොඩ කාලයක් යනකම මළ ගෙවල් මගුල් ගෙවල් යන හැම වතාවකම චූලා රනවුට් වුන හැටි කථා කරලා මාර ෆන් එකක් ගන්නවා.

නවතම ක්‍රිකට් නීති රීති වලට අනුව එක්දින තරග වලදී ආදේශ දුවන්නකු ලබා ගත නොහැකියි.


ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...