Wednesday, February 29, 2012

මා කල පර්යේෂණ - I ......


Cistern Toilet Water Flush Empty Waste
පින්තූරය ගත්තේ :  http://en.allexperts.com

පහුගිය කාලේ අපේ ඔෆිස් එකේ ටොයිලට් වල සිස්ටන් කැඩිලා ඒවායෙන් දිගටම වතුර ගලාගෙන ගියා. ඉතිං මේවා අදාල අංශ වලට දන්වලා ගොඩක් කාලයකින් පිළිසකර කර ගන්න පුලුවං වුනා. දිගටම වතුර ගලාගෙන යද්දී අපි තීරණයකට ආව ෆ්ලෂ් නොකර ඉන්න (පුරුෂයින් සඳහා වෙන් වුන පැත්තේ ටොයිලට් දෙකක් තියෙනව, පාවිච්චි කරන්නේ අපි තුන් දෙනෙක් ). එතකොට දෙන්නෙක් අතර පරතරය විනාඩි දහයක් වුනත් කරදරයක් නෑ.


මේවා හැදුවට පස්සේ මට හිතුනා කොයි තරම් වතුර ප්‍රමාණයක් අපතේ ගියාද කියල හොයල බලන්න. මම ගිහින් සිස්ටන් එකේ පියන උස්සලා බැලුවා. එහි ලීටර් දහතුනක ප්‍රමාණයක් සටහන් කරල තිබුණා. ඒත් මෙහි ලීටර් දොලහක් දක්වා වතුර පිරිල තිබුණා. පිරිල තුබුන වතුර එක ෆ්ල්ෂ් කරලා මම නැවත් පිරෙන්න යන කාළය මැන්න. ඒ සඳහා විනාඩි දෙකකුත් තත්පර දහයක් ගත වෙනවා. ඒ අනුව එයට වතුර ගලා එන වේගය තත්පරයට ලීටර් 0.0923 (12/130) ක් වෙනවා. ඒ අනුව එක් දිනක් තුල මෙසේ ගලාගෙන යන ජල ප්‍රමාණය ලීටර් 12/130 x 60 x 60 x 24 = 7975 ක් වෙනවා. ඔබට මෙය අදහා ගන්න පුලුවන්ද ? මෙවැනි ටොයිලට් දෙකකින් ගලගෙන යන ජල ප්‍රමාණ ලීටර් 15950ක් වෙනවා. මෙය එක් දිනක් සඳහා යන ජල ප්‍රමාණය ප්‍රමාණයි. එක් අයෙක් දවසකට පස් වතාවක් ටොයිලට් එක භාවිතා කලහොත් 5 x 12 x 3 = 180. එතකොට අපතේ යන ප්‍රමාණය  ලීටර් 15770.


මම ලංකවේ හුඟක් පලාත් වලට ගිහින් තියෙනවා. බොහොමයක් පළාත් වල ජනතාවට බොන්න හොඳ වතුර නෑ. සමහරුන්ට කොහෙත්ම වතුර නෑ. එයාලා වතුර ගන්නේ හරියට අවුරුදු දහයකට කලින් අපි අන්තර්ජාලයට ගියා වගේ. මහ රෑ, නැත්නම් පාන්දරින් නැගිටලා ලිඳට යනවා. මගේ උපන් ගමටත් නල ජලය එන්න කලින් පානීය ජල ප්‍රශ්ණය තිබුණා. ඒ කාලේ අපිත් පන්සල කන්ද පාමුල තිබ්බ ලිං කීපයකින් තමයි වතුර ගත්තේ. බෙන්තොට කියන්නේ මුහුදුබඩ ඒ වගේම ගඟක් තියෙන පහත් බිම් ප්‍රදේශයක්. ටිකක් පහලට ගියාම හිරිගල් අහු වෙනවා. එතකොට ඒ ලිඳෙන් හොඳ වතුර බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඒ ලිං වැසිකිලි භාවිතය වගෙ එදිනෙදා කටයුතු වලට භාවිතා කලා. බොන්න වතුර ගේන්න පන්සල ලිඳට යනව. පායන කාලෙට වතුර ගන්න පෝලිම. අඩියේ හිර වෙලා තියෙන වතුර ටික කල වලට පුරවා ගන්නවා. බොහෝ විට ටින් එකකින් සාදා ගත්ත බාල්දියකින් අඩි 80ක් විතර පහලට දාල එකෙන් භාගයක් වගේ පුරවගෙන උඩට ගන්නවා. අක්කයි මායි නැත්නම් තාත්තයි මායි තමයි ලිඳට යන්නෙ. දෙපැත්තෙන් අත් දෙක දාලා කලේ අරන් එනව. එහෙම වතුර ගෙනාපු කෙනෙකුට තමයි වතුරේ අගය තේරෙන්නේ. මම පොරක් වෙන්න උත්සාහ කරනවා කියල හිතන්න එපා. අපේ පැත්තෙ නාන්න ඕන තරම වතුර තියෙනව. ඒත් බොන්න නෑ. පන්සල කන්ද වටෙට තිබුන ලිං කීපයක් තමයි මුළු ගමටම වතුර දුන්නේ.


ලෝකයට සාපෙක්ෂව ලංකාව ජලය හොඳින් පවතින රටක්. ඕනෑනම් ලෝකයට දෙන්න උනත් ජලය තියෙනව කියලයි කථාවට කියන්නෙ. ඒත් රට ඇතුලේ ජලය බෙදාහැරීමේ විෂමතා තියෙනවා. නගරාසන්න ජනතාව කාර් හෝදන්න, මල් වලට දාන්න, නාන්න, ගෙවල් පිරිසිදු කරන්න ගන්නෙත් පිරිපහදු කල පානය කරන්න පුලුවන් ජලය. අපි ගන්න වතුර වලට බිලක් ගෙවනවනේ කියල ඔබට හිතෙන්න පුලුවන්. ඒත් අපි කාර් හෝදන වතුර ටිකක් බොන්න වත් වාසනාව නැති අය මේ රටෙ කොයි තරම ඉන්නවද. ගෙවලවත් එගොල්ලොන්ට හොඳ වතුර ටිකක් ගන්න නෑ. බෝතල් කල පානීය ජලය මේ ප්‍රශ්ණය විසඳුව කියල කවුරු හරි කියනවනම් ඒක මහ මුලාවක්. මේ රටේ ඉන්න හැම කෙනෙකුටම බෝතල් වතුර බොන්න තරම් වත්කමක් නෑ. අනිත් අතින් අපි හිතුවට හැම් ගම් දනව්වකටම ඒව යන්නෙන්ත් නෑ. නාගරික හා අර්ධ නාගරික පෙදෙස් වල තමයි මේවා දකින්නට තියෙන්නේ. ලංකාවේ අවශ්‍යතාවට සරිලන්න අලියා බීම හෝ මංචි/මැලිබන් බිස්කට් නිශ්පාදනය කරන්න බැරි බව ඔබ දන්නවාද? ඉතිං ජලය බෙදී යාමේ විෂමතා ගැන් කුමන කථාද?


මගේ පුද්ගලික විශ්වාසය තමයි ලංකාවේ ජලය වර්ග දෙකකින් තිබිය යුතු බව. ඒ කියන්නේ දැන් තියෙනව වගේ සුපිරිසිදු තත්වයේ වතුර එක් නල පද්දතියකිනුත්. පිරිසිදු නොකල ජලය තවත් පද්දතියකිනුත් සියලුම පලාත් වලට බෙදා හරින යාන්ත්‍රනයක් තිබිය යුතුයි. එත්කොට බීමට හා ස්නානයට එම ජලයත්. පිරිසිදු නොකල ජලය අනෙකුත් පවිත්‍රතා කටයුතු වලටත් භාවිත කරන්න පුලුවන්. එහෙම වුනොත් අඩු මිලකට සැම දෙනට හොඳ ජලය සපයන්න පුලුවන්. භාවිතා කරන ලීටර් ප්‍රමාණය අඩු වෙද්දි මිලත් අඩු වෙනවා. සම්ප් වල හා ටැංකි වල පානීය ජලය එකතු කිරීම නතර කරන්න වෙනව. මෙය පාලනය කරන්න බැරි නිසා කරන්න පුලුවන් හොඳම දේ පිරිසිදු නොකල ජලය නල ජලය ලෙසත්. පානීය ජලය සහනදායි මිලකට බොතල් ලෙසත් ලභා දීම. නැත්නම් තායිලන්තයේ නගර වල වගේ කාසි මගින් ක්‍රියා කරන පානීය ජල බෙදාහැරීමේ ව්‍යපෘති ආරම්භ කරන්න පුලුවන්.



Sunday, February 26, 2012

ලගාන් සිහි ගැන්වූ අපේ තායිලන්ත ක්‍රිකට් තරගය.

  
මෙම සිද්දිය 2004 වසරේ අග භාගයේදී සිදු වූවක්. මා අප ආයතනයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බව මීට පෙර මෙහි සඳහන් කර නැතැයි මාගේ විශ්වාසයයි. මෙතුවක් ලිවූ සටහන් වල එය සඳහන්දැයි පරීක්ෂා කරන්නට කම්මැලි කමද නැත්නම් ලියූ දෙයක් ආපසු කියවද්දී එහි අඩුපාඩු දුටු විට ඒවා නිවැරදි කරන්න ගොස් මූලික අරමුණෙන් පිට පනින මාගේ සාම්ප්‍රදායික පුරුද්දට කොටු වේදෝ යන බියද යන්න නොදනිමි. 2004දී අපට එම අවස්ථාව උදා වූයේ ජනසතු සේවා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවක් හා අනු-ශූරතාවක් ලබා ගැනීමෙන් දක්වන ලද කුසලතාව ඇගයීමක් ලෙසය. එක පාරටම මේ මතකය අවදි වූයේ නැවත වතාවක් අප කන්ඩායමේ කිහිප දෙනෙකුට එවැනි අවස්ථාවක් උදා වීමේ ලකුණු පහල වීමත් සමගමය. "තායිලන්තයේ මොන ක්‍රිකට්දැයි" බොහෝ දෙනා ප්‍රශ්ණ කරන්නේ මුවගට නග ගන්න උපහාසාත්මක සිනහවක්ද සමගිනි. 2004දී අපද එසේ සිතා එම සංචාරය වෙනත් රටකට ලබා දිය නොහැකිදැයි ප්‍රශ්න කලෙමු. කෙසේ වෙතත් 2004දී අප නොසිතූ පරිදි එහිදි අපට එක් තරගයකට සහභාගී වීමේ අවස්ථාව උදා විය. ඒ වනතුරු මා ඇතුලු බොහෝ දෙනා කිසිදු විදෙස් සංචාරයකට සහභාගී වී නොතිබිනි. අද වාගේ බජට් එයාර්ලයින් සංකලපය එදා තිබුනි නම් අපද ඊට පෙර විදෙස් ගත වන්නට ඉඩ තිබුනි. ඒ වනතෙක් තායිලන්තය (බොහෝ දෙනා බැංකොක් ලෙසින් හඳුන්වයි ) ගැන මා අසා තිබූ හොඳම කථාවද මෙහිලා සඳහන් කරනු වටී. එක්තරා මහත්මයෙකු බැංකොක් යනවා යයි ඔහුගේ මිතුරෙකු සමග පැවසූ විට, බිරිඳත් එයට සහබාගි වනවාදැයි මිතුරා විමසා ඇත. පිලිතුරු ලෙස ඒ මහතා පවස ඇත්තේ

"පුත්තලමට යනවිට ලුණු අරගෙන යන්නේ කවුරුන්දැයි" කියාය. එම වැකියේ හාත්ස්‍යත් සමග බොහෝ දෙනා බැංකොක් යන්න ග්‍රහණය කරගෙන ඇති ආකාරය කදිමට පැහැදිලි වෙයි.

අපිට අද මැච් එක, හෙට මැච් එක කියා කල්මරන විට සියලු දෙනාට අම්බානකට මල පැනීම සාධාරණය. ඒ අප චැම්පියන් කන්ඩායම නිසා ඕස්ට්‍රේලියාව ආවත් අම්බානකට නෙලන මාන්සිකත්වයෙන් සිටිය නිසා නොව, ක්‍රීඩා ආම්පන්න ගෙනියන්න හැමෝගෙන්ම කිලෝ දෙක දෙක අඩු කල නිසාය. කිලෝ දෙකක් අඩු කලේ ඇඟේ බර නොව. බැගේජ් වලට ලැබෙන කෝටාවය. රට ගිය කෙනෙකුට කිලෝ දෙකක් තව බඩු ගෙන එන්න ලැබෙනවාය කියන්නේ මොනතරම් වාසනවක්ද යන්න ඉඳහිට රට ගිය ඕන කෙනෙක දන්නවා. අන්තිමේදී කොටියා ආවා වගේ හෙට මැච් එක යයි කී විටි අපට සිහි වූයේ බාලගිරි අද නොවේ හෙට වැනි අදහසකි.


ඔය කිව්වට හෙටත් උදේ වෙනකොට කියයි "අනිත් ටීම් එකට එන්න බැරි නිසා වෙන දවසකට දා ගමු කියලා" කියල.

"බලපන් හෙට පලවෙනිදා. අපි අනිද්දා ලංකාවට යන්නත් ඕනේ. මොනවත් හරියට ගන්නත් හම්බ උනේ නෑ. මුන් පහුගිය සතියෙම එක - එක බොරු කිය කියා කල් දාලා, යන්න දවසක් තියලා තමයි මැච් එක සෙට් කරන්නේ" කෙනෙක් කීය.

"ඇයි උඹ පහුගිය දවස් 6යේ අල හිටෙව්වද ? අනේ පලයං යන්න. එතකොට පහුගිය දවස් ටිකෙ මලු මලු උස්සගෙන ආවේ අලම වෙන්නැති." ඒකට නිසි උත්තර බැන්දේ කවුදැයි අද මට හරි හැටි මතක නැත.

"බලපං ! මේ දවස් ටිකේ රෑට - රෑට බිව්ව මිසක් එක දවසක් වත් ප්‍රැක්ටිස් පාරක් වත් දාන්න බැරි වුනා. මැච් එකක් ගහනවනං අඩු ගානේ ග්‍රවුන්ඩ් එකකට ගිහින් එක්සයිස් පරක් වත් දාන්න ඔනෙ නේද ?" ඒ තවත් කෙනෙක්ගෙ අදහසයි.

"මම නම් පුලුවන් තරම් පයින් ගියා. ඒක නිසා ෆුල් එක්සයිස්. ඇයි බං බොබේ මාර්කට් එකේ ඒ කෙලවරට යනවා මේ කෙලවරට යනව. හැතප්ම කීයක් නම් බඩ ගන්නද්ද ?

"මට නම් තියෙන ලොකුම ප්‍රශ්නය ඕක නෙවෙයි. හරියට කටට සැරට බත් ටිකක් කන එක. මුන් රතට රතේ පොල් සම්බල් දුන්නට කිසි සැරක් තියෙනවද ? " අප නවාතැන් ගත් ස්ථානය සිංහල මහතෙකුට අයිති හෝටලයක වුවත්, එහි සිංහල ආකාරයේ ආහාර පාන තිබුනත් (බත්, ගොටුකොළ සම්බෝල, මාලු, පරිප්පු, පොල් සම්බෝල, කිරිබත්, ලුණු මිරිස්) මේ කිසිම දෙයක් ලංකාවේදී අප ආහාරයට ගන්නා තරම් කටට-රසට හෝ කටට සැරට නොතිබුනි. මේ සියල්ලටම වඩා ප්‍රශ්ණය වූයේ ඔවුන් ඒ සඳහා භාවිතා කරණ තෙල් වර්ගයයි. එයින් පුදුමාකාර ගඳක්(අපට දැනෙන්නේ එසේය ) වහනය වේ. බොහෝ දෙනෙකුට එය මල පැනීමට කාරණයක් වී තිබුනි. පාරේ ගමන් කරන විට මේ ගඳ ආ විට අම්ම-මෝ නැතුව බනින්නත් අපේ සමහරු කාරුණික වී තිබුනි. ශ්‍රී ලාංකිකයකු වූ හෝටල් හිමියා දැන්-දැන් අපේ අය සමග කදිමට එකතු වී ඇත. ඔහුද අපේ අය සමග රාත්‍රියට සෙට් වෙයි. ඔහු ඉඳ හිට ලභා දෙන බ්‍රැන්ඩි භාගය නිසා මේ කෑම වල ඇති අඩු පාඩු අමතක කර දැමීමට සියලු දෙනා කාරුණික වී ඇත. මෙවැනි දෝශාරෝපණයක් කරන්නේ අහු-මුලු වලය. "මිනිහ හරි හොඳ නේදැයි" සමහරුන් විමසයි.

මේ කථා බහින් පසු සියලු දෙනා සුපුරුදු පරිදි රාත්‍රී ආහාරය සඳහා එක් මේසයට වාඩි වූහ (එක් මේසයක් කිව්වාට මේස දෙක තුනක් එකතු කර සාදන ලද්දකි ). එදිනද සුපුරුදු පරිදි හොටල් හිමිකරුගේ බෝතලය මේසයට වැඩම කරන ලදී. "දැන් ඉතින් සියලු රෝග නිවාරණයි" කසු කුසුව මටද පැහැදිලිව ඇසුනි. කවරදාවත් නැති තරමට කාරුනික වූ හොටල් හිමියා එදින මුලු රාත්‍රියේ සෙට් වෙන්නට යන සියලු බර පැන දරන ආකරයක් පැහැදිලි විය. කටගැස්මට අවශ්‍ය සියලු ද්‍රව්‍ය පවා ඇණවුම් කරන්නේ ඔහුය. ටික වේලාවකින් හෝටලයේ ප්‍රධාන අරක්කැමිය ඇමතූ ඔහු හෙට අපගේ තරගය පැවැත්වෙන බැවින් ඒ සඳහා අවශ්‍ය දිවා ආහාර හෙට උදෑසන 8.30 වන විට සූදානම් කරන ලෙස දන්වන ලදී. "මෙදා පාර නම් මැච් එක තියෙන පාටයි. අන්තිමේදි කොහොම හරි මැච් එකක් ගහන්න හම්බ උනා" යැයි කවුරුන් හෝ ඉතා කැමැත්තෙන් පවසනු ඇසිනි. සමහරුන්ටනම් ඒ පිලිබඳ නිනව්වක් නැතිවා සේය. හෙට දින තරගය තිබෙන බව පසක් වූ නිසා කවුරුත් පාහේ කලින්ම කාමර වලට ගොස් නිදා ගන්න කතිකා කර ගැණුනි. කාලෙකට පස්සේ ටිකක් නිදා ගන්න චාන්ස් එකක් ලැබුනා" යයි කෙනෙක් කියයි.

පෙරදින රාත්‍රී දහය වන විට නිදාගත් නිසාදෝ හිමිදිරි පාන්දර හතර වන විට මට ඇහැරුණි. මා මිත්‍ර මලින් තවමත් හොඳහැටි නින්දේය. දැන් ඉතිං මට නින්ද යනවා බොරු. කරන්න දෙයක් නැත. රූපවාහිණී යන්ත්‍රය පණ ගන්වන්න්නත් බැරිය. එහෙම වුනොත් මලිනයගෙන් හොඳවැයින් අහ ගන්නට හැක. මම දොර ඇර ගෙන කොරිඩෝවට ගොස් පාර දෙස බලා උන්නෙමි. අප සිටියේ තුන්වන තට්ටුවේ නිසා පාරෙහි සිදු වන දෑ කදිමට දැක ගත හැක. ඉඳහිට පාරේ ගමන් ගන්න හිඟන්නන් හා නගරය පිරිසිදු කරන නගරසභා කම්කරුවන් හැර කිසිවකුත් පාරේ නැත. එහෙත් මුලු නගරයම පෙරදා රාත්‍රියේදී මෙන් විදුලි ආලෝකයෙන් බබලයි. මට ලංකාව ගැන සිහිපත් විය. දැන් ලංකාවේ අය මර නින්දේ සිටින වෙලාවයි. කොළඹ නම් උදෑසන හතර වන විටත් පාරවල් වල මීට වඩා සෙනග ගැවසෙයි. ඒ අතින් බැංකොක් නගරය පාලුය. එහෙත් නොනිදා සිටින අයද වෙති. හිඟන්නන් වැඩ පටන් ගන්නේ රාත්‍රී දහය පමන වන විටය. ඔවුන් පාරේ අතන මෙතන දමා ඇති හිස් බොතල් හා  බියර්  කෑන් එකතු කරන්නට පටන් ගන්නේ අපේ බෝතල් පත්තර කාරයන් සිහි ගන්වමිනි. ඇත්තටම ඔවුන්ට හිඟන්නන් යයි ඇමතිය නොහැක. මන්ද හිඟන්න වූ කලී අනුන්ගෙන් යැපෙන්නන් පිරිසක් මිස දාඩිය මහන්සියෙන් යමක් හරි හම්බ කරන ජාතියක් නොවන බැවිනි. මා කොරිඩෝවේ කෙලවර ඇති ඔරලෝසුව දෙස නෙත යොමු කලෙමි. යාන්තම් උදෑසන හතරයි විස්ස පසු වුවා පමණි. නගරයේ කඩ සාප්පු වලින් මිනි මාර්ට් වගේ ඒව අරින්නේ උදෑසන පහ මාරට පමණය (අප නතර වී උන් හෝටලයෙන් උදෑසන තේ සපයන්නේ නැති බැවිනුත්, බැංකොක්  වල අපේ වගේ තේ කඩ් නැති බැවිනුත්, මමත් මලිනුත් උදෑසෙන තේ පානය සඳහා සෙවන් ඉලෙවන් මිනි මාර්ට් එක සොයා ගතිමු. එහි තේ නැති වුවත්, නෙස්කැෆේ සාදගෙන බීමේ අවස්ථාව සලසා ඇත). දිග සුසුමක් හෙලා නැවතත් පාරෙ සිදු වන දේ ගැන නෙත යොමා ගත්තෙමි. ලංකාවේ වෙසෙන මගේ බිරිඳද මේ වෙලාවේ තද නින්දේ පසුවෙයි. වැරදිලාවත් ඇය අවදියෙන් සිටියානම් කවුන්ටරය  මත ඔලුව ගහගෙන කුකුල් නින්දක පසු වන ටෙලිපෝන් ඔපරේටර් මහතාට දෙවියන්ගේම පිහිටය. ඉඳ හිට බල්ලෙක් බුරන හඬ හෝ ඈතින් ගමන් ගන්නා වාහනයක සද්දයක් මගේ දැහැන බිඳියි. බෝතල එකතු කරන්නා මගේ අවධනය නැවතත් සොරා ගනියි. රාත්‍රියේ සිට උදය දක්වා ඔවුන් මුලු නගරයම පෙරල-පෙරළා බෝතල් සොයන්නේ හරියට අපේ ලංකාවේ මැණික් පතලක් හමු වූ විට මිනිසුන් මුලු ප්‍රදේශයම උඩු යටිකුරු කරන්නා සේය. හැබැයි මෙහි එක් විශේෂත්වයක් ඇත. ඔවුන් කලහ කර ගන්නේ නැත. ඔවුන් සමගියෙන් සියලු බෝතල් සහ ටින් වර්ග වෙන වෙනම මලු වලට දමා ගනී. අවසානයේ ඔවුන් ලැබෙන මුදල බෙදා ගන්නවා ඇත. ඒ ලැබෙන මුදලින් ඔහුගේ මුලු පවුලෙහිම වියදම සරි කර වනු ඇත. එහෙත් ඔහු පවුලේ සැමට දවල් කාලයෙහි කන්න අඳින්න  දී දහවලේදී නිදා ගන්නවා ඇත. එවැන්නන් ගැන මට ඇති වන්නේ කණගාටුවකට වඩා ආඩම්බරයකි.  ප්‍රශ්ණ හමුවේ කඩා වැටෙනවාට වඩා ප්‍රශ්ණ වලට අභියෝග කරන ඔවුහූ සැබෑ පිරිමින්ය.


කොහේදෝ හෝරා ස්ථම්භයක උදෑසන පහේ කණිසම වැදෙනාවා ඇසුණි. ඒ තරම් උවමනාවකින් මා කිසිම දෙයකට ඇහුන්කන් දේ ඇත්දැයි නොදනිමි. මා මේ පසුවෙන  හැම තප්පරයක්ම ගෙවා දමන්නේ මහත් අසීරුවකිනි. මෙවැනි නීරස පැය කීපයක් මා මීට පෙර ගෙව ඇත්ද ? විභගයක්දී කාලය ගෙවී යන්නේ කෙතරම් වේගයකින්ද ? එහෙත් මහත් ඕනෑකමකින් පහමාර වනුතුරු කල් මරන මට දැනෙන්නේ පුදුමාකාර කනස්සල්ලකි. අඩුම තරමින් තවත් විනාඩි විස්සක්වත් මා මෙතැන රැඳී සිට්යි යුතුය. උදෑසනට තේකක් නැතුව දවස පටන් ගන්නට ශ්‍රිලාංකික අපට නොහැක. නගර සභාවේ කුණු ලොරිය පෙත්බුරි සොයි සෙවෙන්ටීන්, ඒ කියන්තෙ පෙත්බුරි නගරයේ 17 වන වීදියෙහි කුණු පටවාගෙන හමාර කර ඇත. දැන් එය හෙමිහිට ඉදිරියට ඇදෙයි. එහෙත් බෝතල් එකතු කරන්නා තවමත් අහුමුලු ඔස්සේ ඉව අල්ලයි. ඔවුන් නගරසභා සේවකයන්ටත් වඩා යුහුසුලුව හා ඕනෑකමකින්, වෙරිමතින් කුණු බක්කිය අමතක කර එහෙ මෙහෙ විසි කරන ලද දේ ඇත්දැයි විපරම් කරයි. ඔවුන් මේ සොයන්නේ ඔවුන්ගේ අඹු දරුවන්ගේ කුසට දමන බ්ත් මිටකැයි මට සිතිනි. හිස් බෝතල් ඔවුන් බත් ඇට බවට පරිවර්තනය කරයි. මා සිටිනවාට පිටුපස කාමරයක දොර විවර වන හඬින් මා හැරී බැලුවෙමි. එම කාමරයෙහි අපේ කවුරුන්වත් නැති බවට මා හොඳින්ම දනිමි.සතියක් පමණ මෙහි ගත කර දැන් අපේ අය සිටින කාමර අපට හුරුපුරුදුය. එම කාමරයෙහි සිටි අය ඉන් පිටත්ව යාමට සූදානමින් මෙසේ එලියට ඇවිත් තිබේ. අපේ අය මේ වෙලාවට නැගිටින්නෙ ඉතා කලාතුරකිනි. මා අපේ කාමරයට ගොස් මලින්ට කතා කලෙමි.


උදෑසන 7.45 වන විට සියලු දෙනා සූදානම් වී ඇත. අපත් සමග මෙම තරගය සඳහා යාමට එම හෝටලයේ ශාන් නැමති සේවකයාද සූදානම් වී ඇත. ඒ අපේ ආවතේව කරු වශයෙනි. පහුගිය දවස් කිහිපයේදි අපත් සමග මෙම හාදය කෙතරම් කුලුපග වීද යත් ඔහු සිංහල වචන සෑහෙන ප්‍රමාණයක් ඉගෙන ගෙන තිබේ. ඔහු උදෑසනකට මුනගැහීම තරම් ආශ්වදජනක දෙයක් ඒ දින වල නොවීය. අපේ මිතුරන් මහත්මයා යන්නට හොඳ සිංහල කුණුහර්පයක් උගන්වා ඇත. සෑම දිනකම අප ඉදිරියට එන ඔහු ගුඩ් මෝනිං හු... යනුවෙන් අප අමතයි. එවිට හිනාව නවත්වා ගැනීමට අප කාටවත් බැරිය. ඔහුට තරමක් දුරට ඉංග්‍රීසි බස හැසිර විය හැකිය. තවත් විශේෂයක් වන්නෙ ඔහු අතරමැද කලාපයේ (නපුංසක) පුද්ගලයකු වීමයි. දෙතොල් ව්ලා ලිප්ස්ටික් ආලේප කර සිටින ඔහුගෙන් මා දින්ක් එසේ ආලේප කර ඇත්තේ මොනවදැයි විමිසීමි. එවිට "ලිපටික්" යනුවෙන් ඔහු පිළිතුරු දීය. තරගයට යන අතරතුරදි  ෂෝර්ට් ඇඳ තිබූ ටිරෝන්ගේ කකුලේ ඇති මවිල් අත ගා


"ලොට්ස් ඔෆ් හෙයාර්" යයි පැවසුවේ අප කාගේත් මුවග හිනා නංවමිනි.


මෙම තරගයට තායි ජාතික කණ්ඩායම සහභාගි වනවාද ? නැතහොත් වෙනත් කණ්ඩායමක් සහභාගි වනවාද? යන්න අපට ගැටලුවක් වී තිබුනි. මොනව වුවත් එම ක්‍රීඩංගනයෙ තායි වැසියන් දහ පහලොස් දෙනෙකුවත් ඇතැයි අප විශ්වාස කලෙමු. එහෙත් ක්‍රීඩාංගණයට ලඟා වු අපට තේරුනේ එම කන්ඩායම දකුණු ආසියාතිකයන්ගේ මිශ්‍රණයක් බවයි. එසේ නමුත් එම ක්‍රීඩාංගනය මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. වටපිටාවම හොඳින් ගස් කොලන් වලිනි පිරී පවති. එම ක්‍රීඩාංගනයට වැටක් හෝ තාප්පයක් නැති වීම් අපෙග් විමතියට හේතු විය. ඊටත් වඩා පුදුමය වූයේ එය තායි විශ්ව විද්‍යාලට අයිති එකක් වීම්යි. එහෙත් එම ගස් අස්සේ කිසිම විශ්ව විද්‍යාල සුසුවකු හො සිසුවියක් දකින්නට නැත. එවිට මාගේ සිතට ආවේ මීට දින කීපයකට පෙර කලු කොට සායකින් හා සුදු අත් දිග හැට්ටයකින් සැරසී පදික වේදිකාවේත්, කඩ සාප්පු වලත් සේවය කරන සේවිකාවන් පිරිසකි. ඔවුන්ගෙන් මා විමසා සිටියේ එය සාප්පු සේවිකාවන්ගේ නිල ඇඳුමද ? යන්නයි. එහෙත් එය සරසවි නිල ඇඳුම බව අසා මා විශ්මයට පත් වූවා පමණක් නොව අපගේ සරසවි සිසුන් ගැන ඉතා කණගාටුවක්ද ඇති විය. අපේ අය කඩයක තබා කාර්යලයක වත් වැඩ කරනවද යන්න මට ඇති වූ ගැටලුවයි. එහෙත් දේශණ නැති අවස්ථා වල නිකං අතන මේත රස්තියාදු ගැසීම, විරෝධතා සංවිධානය, තොරන් බැඳීම් ආදි ලෝකේ නැති වැඩ අපගේ සරසවි සිසු සිසුවියන්ට ඇත. ඒ අතින් තායි සරසවි සිසුවා අපට ආදර්ශයකි. හෝටල් හිමියා අප සමග පැවසූ කථාවක්ද මෙහි සඳහන් කරනු වටී. එක් යුගයක තායි සරසවියද අපගේ මෙන් කල-කෝලහල, විරෝධතා, සහ නොයෙකුත් ප්‍රශ්ණ උතුරා ගිය තැනක්ව පැවතින. තායි රජතුමා නිවෙදනයක් නිකුත් කර ඔවුන්ට ඇති ප්‍රශ්ණ පුද්ගලිකව ලියා එවන ලෙස දන්වා ඇත. ඉන් පසු එකී ප්‍රශ්ණ විසඳා ඇති අතර නැවත්ත් කිසිදු උද්ඝෝෂණ, විරෝධතා තායි සරසවි වලට තහනම් විය.


තායි යනුවෙන් සඳහන් කලද එම කණ්ඩායම හැන්දින්වීමට සුදුසු නාමය කුමක්දැයි මට තවමත් ගැටලුවකි. ඒ අතර ශ්‍රීලාංකිකයින් පස්-හය දෙනෙකුවත් සිට්යා යයි මගේ විශ්වාසයයි. අනෙකුත් අය ඉන්දියන්, පාකිස්ථාන් සහ බංග්ලාදේශයෙන් ආ අය වූහ. ඔවුන් එහි සේවය කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වෙයි. අපත් සමග අල්ලාප සල්ලපයෙහි යෙදුනු අකුරණ ප්‍රදේශයේ ක්‍රීඩකය (නම මතක නැත) අපගෙ ජේෂ්ඨතම පුද්ගලයා ටික වේලාවකින් අසා සිටිය ප්‍රශ්ණය සහ ඔහු ලභා දුන් පිලිතුර අදත් මගේ හිතේ රැවු පිලිරැව් දෙයි.


"මචං උඹ ලංකාවෙද ?"


"ඇයි යකෝ නැත්නම් මම කොහොමද උඹත් එක්ක සිංහලෙන් කථා කරන්නේ ?"


එම කථාව සිහිපත් කර අප තවමත් සිනසෙමු.


මද ප්‍රමාදයකින් පසු තරගය ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ඔවුන් පන්දුවට පහර දීමට පිටියට පිවිසීය. එම විකට්ටුව සිමෙන්තියෙන් සාදා ඇති අතර උඩින් කාපට් එකක් අතුර ඇත. තරග විනිශ්චය දෙපැත්තේම ක්‍රීඩකයන්ට භාර විය. මුලින්ම විනිශ්චය සඳහා ඉදිරිපත් වූ රැවුල වවා ගත් ඉන්දියානුවා තොර තෝංචියක් නැතුව කියවමින් තරග විස්තර විචාරයක්ද නොමිලයේ ලභා දීම්ට කාරුණික විය. ඔවුන්ගෙ කන්ඩායමේ බාල මහලු ඉන්දියනුවන් කිහිප දෙනෙක්ම විය. වයසක ශීක් ජාතිකට අඩුම වශයෙන් අවුරුදු පනස් පහකට වැඩි මිස අඩු නැත. කලින් අප සමග කථා කල අකුරණ මුස්ලිම් තරුණය අපිට අම්බානකට නෙලුවේය. මුල් ඕවර අට අවසානයෙක්දි ලකුණු හැට ගණනක්  ඔවුන් ලභා ගෙන තිබුනි. මගේ හිත නිතරම කිව්වේ අපට ලෝක නොන්ඩියක්  සිදු වනු ඇති බවයි. ලගාන් සිනමාපටයෙහි මෙන එක වයසකටත් නැති, එක ප්‍රමනයකටත් නැති, මිශ්‍ර ජාතීන්ගෙන් සැදි එම කණ්ඩයමට අප පරාද වෙයිද ? අපගේ වාසනාවකට කලින් කියූ අකුරණ තරුණයා ලකුනු හැට ගානකට දැවී ගියේය. ඉන් පසු ආ ලගාන් කණ්ඩායමට වැඩි වෙලා පිටියෙහි රැඳී සිටීමට වාසනවක් නොවීය. සියලු දෙනා ලකුණු එකසිය පනස් ගානකට දවා ගන්නට අපි සමත් වීමු. එහෙත් කිසිම මහන්සියක් නැත. දිවා ආහාරයේදී අප වෙත කෑම පැකට් ටික ලබා දුන් ශාන් කොලුවා අසා සිටියේ තරගය අවසානද යන්නයි. තවම භාගයයි යනුවෙන් පැවසු විට ඔහුගේ මුහුණ අඳුරු වී යන බව පෙණිනි.


මුලු හවස් භාගයම ඔහු ගසක් යට නිදාගෙන ඉයර්ෆොන් කණේ ගසාගෙන නිදා ගන්නවා දැක අපට ඇති වූයේ මහත් අනුකම්පාවකි. ආරම්භක පිතිකරුවකු වූ මගේ සිතේ එක් අදිෂ්ඨානයක් විය. ඒ "මෙමේ කණ්ඩායම කෙසේ හෝ  පරාද කල යුතුයි" යන්නයි. වරක් කුමර් ධර්මසේන සමග පැමිණි කණ්ඩයමක අය පවා මහලු සිං මහතා හමුවේ දැවී ගිය බව අසන්නට ලැබිනි. අර රැවුලාගේ විස්තර විචාරය අවසන් නොවුනි. එක දිගට ගඟක් ගලා එන්නා සේ ගලා එන එය අපටද මහත් ආශ්වාදයක් ලභා දුනි. වරක් උඩ පන්දුවක් අත හැරි ශ්‍රීලංකික් කඩුලු රකින්නාට හොඳට දෝශාරෝපනයක් කල ඔහුගේ අතටම ලබා දුන් උඩ පන්දුව අත හරිය විට කඩුලු රකින්න අසා සිටියේ


"එනි කමෙන්ට් ඔන් දැට් ?" කියාය.


ඉන් පසු ඔහුගේ දිව ගොලු විය. අපගේ කණ්ඩායමෙන් විනිශ්චයට ඉදිරිපත් වු මලින් විටෙක තමාගේ රාජකාරිය පැත්තක තබ ඡායරූපකරණයේ නිරත විය. ඒව පිළිබඳ ඔවුන්ටද ඒ හැටි ගැටලුවක් නොවීය. මා ඉත සුපරීක්ෂාකාරීව පන්දුවට පහර දුන්නත් සිං මහතාගේ දඟ පන්දු හමුවේ කඩුලු කිහිපයක්ම දැවී ගියේය. මා සටන අත් නොහැර ක්‍රීඩාවේ නිරත වී අප ජයග්‍රහණය කරන තුරුම කඩුල්ලේ රැඳි සිටියෙමි. කඩුලු රකින ශ්‍රී ලාංකිකයා නිතරම "ගහලා දාපං මචං" කිව්වත්. කවුරුන් හෝ දුන් අවවාදය නිසා සිං මහතාට කොටු නොවී ක්‍රීඩා කිරීමට සමත් විය.


සමස්තයක් වශයෙන් එම ක්‍රිකට් තරගය විනෝද ජවනිකාවක් වු අතර තවමත් අප ඒ ගැන සිහිපත් කර පුදුම සතුටක් විඳින්නෙමු.

පින්තූරය ගත්තේ  : http://www.bollywoodlife.com

Wednesday, February 22, 2012

බල්ලෙකුටත් වඩා පහතට වැටුනු හෝරා දෙකක් ....

මගේ ජීවිතයේ ත්‍රාසජනක අත්දැකීම් වැඩියකට මුහුණ දෙන්න සිදු වුනේ 89-90 අඳුරු යුගයේදීයි. ඒ කාළයේදී කොහොමත් මිනිස් ජීවිත් බල්ලො-බලල්ලු ගානට වැටුනා. අහවල් හන්දියේ කොල්ලෝ 10 පුච්චන්න ඕනෑ යයි අණ ලැබුනොත් ඒ සඳහා තරුණයින්  සොයා ගැනීමට එතරම් කාළයක් වැය කරන්න එකල හිටි හමුදා කන්ඩ කැමති වුනේ නෑ. ඒ අවටින්ම අවශ්‍ය ඔලුගෙඩි ගණන හොයා ගන්න ඔවුන් පසුබට වුනේ නෑ. 89-90 යුගයේදී තරුණයෙකු තවමත් ජීවත් වනවා නම් එය මහත් අශ්චර්යයක් ලෙස මා හිස් මුදුනින්ම පිලි ගන්නවා. එහෙත් මා ඉහත වැකි කීපය  සඳහන් කලේ ඉතා අකමැත්තෙන්. එය ඔවුන්ට ලැබුනු රාජකාරියයි. ඔවුන් ඒ සඳහ පුහුණු කර ඇත.  ඔවුන් එය ඉටු නොකාලා නම් දඬුවම් නියතයි. අද එම හමුදා නිළධාරීන්ම අප දේවත්වයෙන් අදහමු. එහි වරදක් නැත. ඒ මෙදා ඔවුන්ට ලබා දුන් ඉලක්කයයි. ඔවුන් ජීවිත දෙවනුවට තබා එය ඉටු කර ඇත. කෙසේ වෙතත් මේ හමුදා නිළධාරීන්ගේ රාජකාරීන් ඇගයීමේ අවස්ථාවක් නොව මා මුහුණ දුන් තවත් අත්දැකීමක් ඔබ හමුවෙ තැබීමේ උත්සාහයකි. 

එය 1989 හෝ 1990 දැයි මට නිශ්චිතවම මතක නැත. කුමන මාසයේ දවසක් දැයි කියන්නට මතකයක්ද නැත. එහෙත් එය තවත් ඉරිදා දවසක හැන්දෑවක් බව මට තවමත් මතකයි. එකල දින දවස් සඳහා වටිනාකමක් තිබුනේද නැත. කවදා හෝ ඒ දවස මටත් උදා වන බව අප කාගේත් යටිහිතේ දෝංකාර දුනි. එකල කෙතරම් දේශපාලන ප්‍රශ්ණ තිබුනද සන්ධ්‍යා යාමයේ පාපන්දු ක්‍රීඩා කිරීම අප අතපසු නොකලෙමු. එමගින් අප ලබා ගත් වාසි දෙකක් විය. එකක් රාත්‍රියේදී හොඳින් නින්ද යාමය, අනික උදෑසන පහසුවෙන් මලපහ කිරීමේ හැකියාවය. අද සමහර සුඛිත මුදිත ජීවිත ගත කරන අයට පවා මෙම අවස්ථා දෙකින් එකක්වත් ලභා ගැනීමේ වාසනාව නැත. එහෙත් එම අභාග්‍යසම්පන්න යුගයේදී පවා ඒ දෙකම ලබන්නට අප වාසනාවන්ත වීමු.  ඔය කියන ඉරිදා සන්ද්‍යාවේ අකමැත්තෙන් වුවද මට පාපන්දු ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරීමට සිදු වන්නේ එකල මට හැම අතින්ම උපකාර කල රොහාන් අයියාගේ ඉල්ලීමටය. ඔහු අපගෙන් උදව්වක් ඉල්ලන්නෙ ඉතාමත් කලාතුරකිනි. ඉදින් එය කෙසේ නම් ඉවත ලන්නද? එහෙත් මෙකී කාරණයට අපේ ගෙදරින් අවසර ගැනීම ඉබ්බන්ගෙන පිහාටු ගැනීමට වඩා අමාරු කටයුත්තක් විය.

"එන්න නම් පුලුවන් ඒත් අපේ අම්මලාගෙන් කැමැත්ත ගන්න එක තමයි වැඩේ රොහාන් අයියේ"

හරි මම තමුසෙලාගෙ අම්මට කියන්නම්

එහනම් ප්‍රශ්ණයක් නෑ.

රොහාන් අයියා එදින හවස 2.00ට විතර අපේ ගේ ගාව එයාගේ 200cc හොන්ඩා මෝටර් සයිකලය නවත්වා හෝර්න් දෙකක් විතර ගහනකොටම මම මිදුලට දුවගෙන ආවා. ඒ වෙනකොටත් මම ලෑස්ති වෙලා හිටියේ. 

රොහාන් කොහේද ඔය ඔයත් එක්ක යන්න හදන්නේ? දන්නවනේ මේ දවස් වල රටේ තත්වේ. අතන මිනිස්සු මරලා දාලා. මෙතන මිනිස්සු මරලා දාල. රටකට ගිය කලක්. 

අම්ම කිව්වේ ඉතාමත් දුක් බරව. ඒක ඇහුවාම මටත් ටිකක් තිගැස්මක් ඇති වුනා. ඒත් මම ඒ බව අම්මට නොදැනෙන්න වග බලා ගත්ත.

ඔය කියන තරමටම ප්‍රශ්ණ නැහැ අම්මේ. අපිට හමුදාව කරදර කරන්නෑ. අපි ජේවීපී කරන්නැති බව ඒගොල්ලෝ දන්නවා. වාද්දුවට යනව කිව්වේ. යාලුවෙකුගෙන් ඉල්ලන් ආපු මොනවද ආපහු අරන් යන්න තියෙනවා කිව්වා. මට තියෙන්නේ මෝටර් සයිකලේ පිටිපස්සට වෙලා ඒක අල්ලගෙන යන්න කිව්ව. ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි. 

ආ එහනම් කමක් නෑ. රොහාන් එක්කනේ යන්නේ. පරිස්සමට ගිහින් එන්න. 

මම දුවල දුවල ගිහින් බයික් එකේ පිටිපස්සෙ වාඩි වුනා. රොහන් අයිය මට කැප් එකක් දුන්න දාගන්න. ඒ දවස් වල හෙල්මට් දාලා මෝටර් බයික් වල යන්න තහනම්. අපි කෙලින්ම රොහන් අයියලගෙ ගෙවල් ගාවට ගියා. රොහාන් අයියට බයික් පදින එක ටොයිස් වැඩක්. මිනිහා ගෙවල් ගාවදි බයික් එක කොළඹ පැත්තට හරවලා නැවැත්තුවා. මම බයික් එකෙන් බහින්න හදනකොට රොහාන් අයියා කියනව 

ඔහොම ඉන්න සුභාෂ් බඩු කෑල්ල ගෙනත් දෙයි. කියල. එතකොටම එයාගේ නංගි දුවගෙන ආවා එගොල්ලන්ගෙ ගෙදර හදන පොමනේරියන් බල්ලත් එක්ක. ගේට්ටුවෙන එලියටම ඇවිත් නතර වුනෙ අපි දෙන්න ලඟ. 

ඔන්න ඔයාව උස්සල මෙයාට දෙන්න  

මොනව මේ බලු තඩියා මම කොහොමද ගන්නේ. මට බල්ලො පොඩ්ඩක් වත් හුරු නෑ. අපේ ගෙදර බල්ලො හදන එකක් යැයි. අපේ ගෙදර බල්ලො හදන්න බෑ කියලයි තාත්ත කියන්නේ. එයා සුනියම් දේවතාවන්ට පහනක් තියන නිසා අපේ වත්තෙ බල්ලන්ට ඉන්න බෑලු. ඒකටනම් මමත් කැමතියි. මට බල්ලොන්ව කොහොමත් දිරවන්නෑ. 

මෙයා හොඳ එක්කෙනෙක් සුභාෂ් බය වෙන්න දෙයක් නෑ. වාහන වල යන්න හරි ආසයි. 

දැන් නංගි ඇවිත් මගෙ කකුල් දෙක උඩින් පොමියව තිබ්බ. මම ඔලුව පැත්තකට හරව ගත්ත. ඌට කිසිම ගානක් නෑ. දිව එලියට දාගෙන මහ හයියෙන් හති අරින ගමන් වටපිට බලන්න ගත්තා. ඒත් මටනම් තාමත් හරියටම සැටිස් නෑ. මම ඉන්නෙ නිකන් අඩමානෙට වගෙ. දැන් ඔන්න රොහාන් අයියා බයික් එක ස්ටාර්ට් කරගෙන ඉස්සරහට යනවා. මේකනම් මාර ලැජ්ජාවක් කවුරු හරි දැක්කොත් මම හිතා ගත්තා. ඒත් භාර ගත්ත වැඩේනේ. කොහොම හරි කරන්න ඕනේ. මම ටිකක් අලුත්ගම පහු වෙනකම් බලු තඩියාව අල්ලගෙන බිම බලාගෙන ගියා. බලාගෙන යනකොට මේක හිතපු තරම් කරදර වැඩක් නොවෙයි. උගේ ඉස්සරහ කකුල් දෙක මගෙ වම් කලව උඩ. පස්සේ කකුල් දෙක දකුණු කලවා උඩ. ඌ ලස්සනට වටපිට බල බල යනව. මග්ගොන හරියේදි අපිව ඉස්සර කරල ගිය වෑන් එකක් හිටපු කෙල්ලෝ ටිකක් ඔලු එලියට දාගෙන මැරෙන්න හදනවා. හරි ලස්සන බල්ලා කියලා. මුන් බල්ල කියන්නෙ මටද දන්නෙත් නෑ. අනේ මටත් ගිය කලක්. මම මේ බල්ලටත් පල්ලෙහාට වැටුනනේ. මේ බයික් එකේ පිටිපස්සේ කොල්ලෙක් යනවා කියල මුන්ට පෙන්නැති හැටි. අම්ම කිව්ව වගෙ "රටකට ගිය කලක්". කොහොමින් කොහොමින් හරි අපි ආවා පයාගල රේල් ගේට්ටුව ගාවට (ස්ටේෂන් එකේ ගහල තියෙන්න පයියාගල කියලා)  රොහාන් අයියා බයිසිකලය නැවැත්තුවා. දැන් මේකා දඟලනවා.

රොහාන් අයියේ මෙන්න මූ පනින්න හදනවා. 

බොබී ඩොන්ට් මූව්. 

හපොයි දෙයියනේ මූට ඉංග්‍රීසිත් පුලුවන්ද? මම දැන් නම් කොහොමත් මූට වඩා පහල ඉන්නේ. මූට විජේනායක මිස් ඉංග්‍රීසි උගන්න්නනැති. එයා ඉතින් මටත් ඉංග්‍රීසි ඉගැන්නුවානෙ. කොහොම හරි මූත් රොහාන් අයිය කියපු එක තේරුණා වගේ දඟලන්නැතුව හිටියා. ඊට පස්සේ අපි ආයෙත් ගමන පටන් ගත්තා. කොච්චිය ගියාද කියලවත් මට නිනව්වක් නෑ. ඒ පාර මගේ කැප් එක වැටුන හුලඟට. අපි  ආයෙත්  බයිසිකලය නැවැත්වුවා. දැන් කොහොමද කැප් එක ගන්නේ. එහෙම හිතනකොටම සත් ගුණවත් මහත්මයෙක් කැප් එක අහුලාගෙන ඇවිත් මට ගෙනත් දුන්නා. මම මේ පාර කැප් එක ටිකක් තද වෙන්න දා ගත්තා. දැන්  ආයෙත්  අපි ඉස්සරහට යනවා. මම  ආයෙත්  බිම බලාගෙන යන්න පටන් ගත්තා. බොබිය ෆුල් ආතල් එකේ වට-පිට බල බලා යනවා. මූට නම් මොකද මගේ කකුල් දෙක තමයි හිරි වැටිල තියෙන්න. හැබැයි මුගේ කකුලෙ අඩියේ කොට්ට වගෙ තියෙන හින්දා ඒ තරමටම රිදෙන්නෑ.අපේ ඉස්කෝලේ හරිය පහු වුනා. වෙනදානම් කලුතර බෝධිය ගාවින් යද්දී නැගිටලා වැඳගෙන තමයි යන්නේ. ඒත් මේ සුනඛ පෝතකයා හින්දා ඒ ටිකත් කරන්න නැහැ. මට මතක් වෙන්නේ අලුත් පාලම හදන්න කලින් තිබ්බ කලුපාට යකඩ පාලම. ඒකේ මිනිසුන්ට පයින් යන්න අඩි දෙකක විතර කෑල්ලක් තිබ්බ. මම හරි බයෙන් තමයි ඒ ටික යන්නේ. පස්සෙ පස්සේ පුරුදු උනහම ගානක් නැති වුනා. ඉස්සර මම කෝච්චියෙන් කලුතරට ඇවිත් පයින් තමයි කලුතර උතුරේ තියෙන කුමාරසිංහ සර්ගේ විද්‍යා ක්ලාස් එකට යන්නෙ. ස්ටෙෂන් එකෙන් බැහැලා ග්‍රවුන්ඩ් එක මැද්දෙන් තමයි බොහෝ දෙනා වගේ මමත් යන්න පුරුදු වෙලා හිටියේ. සෙනසුරාදා උදේ මැච් ගහන අයියල ප්‍රැක්ටිස් කරන දිහාත් මම පොඩ්ඩක් බලාගෙන ඉන්න අමතක කරන්නේ නෑ. මගේ ජීවිතයට අමතක නොවෙන අත්දැකීමකුත් තියෙනව. එදා එස්.එස්.සී එක්ක කලුතර ටවුන් ක්ලබ් එකේ මැච් එක දවස. අර්ජුන අයියත් ඇවිත් හිටියා. නිල් පාට බොටම් එකකුයි සුදු ටී ෂර්ට් එකකුයි ඇඳලා. සෙරෙප්පු දාලා ග්‍රවුන්ඩ් එක අයිනේ ප්‍රැක්ටිස්. මමත් එතනට ගිහින් අයියා කෙනෙක්ගෙන් ඉල්ලගෙන බෝල දහයක් විතර අර්ජුන අයියට යැව්වා. 

සුභාෂ් බහින්න. බොබියව මේ අයියට දෙන්න. 

අම්මේ ඇති යාන්තම් වාද්දුවට ඇවිත්. පාළම ගැනයි. ක්‍රිකට් ගැනයි හිතනකොට වෙලාව ගිය දැනුනෙත් නෑ. බල්ලගෙ බර දැනුනෙත් නෑ. බල්ල දීපු ගෙදරින් තේ බීලා අපි ඉක්මනට ආවා. එනකම්ම මම කල්පනා කර-කර ආවේ මිනිස්සුන්ව බල්ලෙක් තරම් වත් ගනන් ගන්නති රටකනේ අපි ඉන්නේ කියලා. නැත්නම් එනකොට කිසි කෙනෙක් මම දිහ බැලුවද "හරි ෂෝක් කොල්ල " කියල. 

රටකට ගිය කලක්

මම ගෙදර ගාවින් බැහල රොහාන් අයියට යන්නම් කියල ආවා. රොහාන් අයිය ගියා.  අම්ම ඇහුව කොහොමද ගිය වැඩේ කියල.

අයියෝ  ඒක සුලු දෙයක් කියල මම දුවල ගිහින් නා ගත්ත. 



Sunday, February 19, 2012

වැල්ලෙන් අහුලාගත් පිට සක්වල වස්තුව (UFO)

මා උපන් ගම බෙන්තර(බෙන්තොට ) බව මීට කලින් සඳන් කර ඇතත්, අලුතෙන්ම බ්ලොග් කියවන අයගේ පහසුව වෙනුවෙන් එය නැවතත් මෙසේ සඳහන් කරා. බෙන්තොට කියන සුන්දර ගම්මානය සංචාරක පුරවරයක්. හැබැයි මගේ ගමේ නම හින්දා මම පුදුමාකාර අකරතැබ්බයන්ට මුහුණ දී තිබෙනවා. කොටින්ම මා මුලින්ම ගිය සම්මුඛ පරීක්ෂණයකදී පවා ගම බෙන්තොට යයි පැවසූ විට එය පැවත්වූ නිළධාරියාගේ යම් තිගැස්මක් මා දුටුවා. "අපෝ ගම බෙන්තරද ? බෙන්තර ගඟෙන් එහා පූස් පැටියෙක්වත් ගෙන්න හොඳ නැහැ" යයි මගේ ගම සිය දෙනෙක් ඇසුවානම් අසූ පහකට වඩා පවසා ඇත. ඉතිරි පහලොස්දෙනා එය සිතින් සිතන්නට ඇත. එත් මගේ ගම බෙන්තොට යයි සංචාරකයකුට පැවසුවහොත් ඔහු ඉතා උනන්දුවෙන් ගම ගැන අසනු ඇත. මුලින්- මුලින් මා ගම සඳහන් කිරීමට ලජ්ජාවක් දැක්වුවද, පසුව ඉතා ආඩම්බරයෙන් ගමේ නම කීමට මැලි නොවීමි.  බෙන්තොට සුන්දර වෙරළ තීරය අසල ඇති සංචාරක හෝටල් ආශ්‍රයෙන අපේ ගමේ උප සංස්කෘතියක් බිහි වී ඇත. බොහෝ දෙනාගෙ කථාවන් තුල ජර්මන්, ප්‍රංශ, ඉතාලි යන භාෂා වලින් උකහා ගත් වචන ඇත. ඒ විතරක් නොවේ විලාසිතා, රුචි අරුචිකම් පවා වෙනස් ආකාරයක බව අලුතින් එහි යන අයෙකුට වැටහේ. සංචරක ව්‍යපරය නිසා ගමට බොහෝ දේ ලැබුණ අතර අනවශ්‍ය දේද නොඅඩුව ලැබුණි. ලංකාවට බොහෝ අලුත් විදුලි/ඉලෙක්ට්‍රොනික් උපාංග අනෙක් පළාත් වලට කලින් සංචරකයන් මාර්ගයෙන් අප වැනි ගම්මාන වලට ලැබෙයි. එහෙත් මගේ ගමෙන් උගතුන් බිහි වන්නෙ ඉතා අල්ප වශයෙනි.  සංචාරක ව්‍යාපාරය උවදුරක් ලෙස සැලකූ මගේ ගුරු දෙමාපියන් අපව හැකිතාක් දුරට ඒ ඇසුරින් ඈත් කර තබන්නට ගත් උත්සාහය එකල අපට මහත් හිසරදයක් වූවද, දැන් එහි සැබෑ අගය වැටහේ. මගේ දේමාපියන් මේ පිලිබඳ දැක්වූ දැඩි ආකල්පය නිසා මට සංචරකයන්ගෙන් ලැබුනු දේ අල්පය. ඔවුන් එම සටන කොතෙක් දුරට ජයගත්තාදැයි මට වැටහුනේ උසස්පෙල හමාර වූ විගස සංචාරක හෝටලයක පිලිගැනීමේ නිළධාරියකු වශයෙන් බැඳුනු පසුවයි. මා කිසිදු (ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි ) වෙනත් භාශාවක වචනයක් හෝ දැන නොසිටියෙමි. 

 ගම ගැන කියන්න ගිහින් තව පොඩ්ඩෙන් මේක "මාගේ ගම" ගැන ලියපු තවත් රචනාවක් වෙනවා. මේ සිද්ධිය වෙද්දි මම අට වසරේ. ඒ කාළයේදී මගේ හොඳම යාලුව වෙලා හිටියේ මිල්රෝයි. අපි දෙන්න ඉස්කෝල දෙකකට ගියත් හවසට එකතු වෙලා කයියක් ගහන්න අමතක කරන්නේ නෑ. එහෙමත් නැත්නම් අපේ අල්ලපු වත්තේ තියෙන ඉස්කෝල පිට්ටනියේ ක්‍රිකට් ගහන්න යනවා. ඇලට, ගඟට, මුහුදු වේරලට මට යන්න තහනම්. මුහුදු වෙරලට යන්න තහනම් කාරණය ඉතිං ළමා අපයෝජනයට ලක් වෙයි කියන බිය. අනිත් අතින් සංචාරක ප්‍රදේශය තුල ගැවසෙන දේශීය අයව පොලීසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඒක නිසාඅමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ. මේකට මට සෑහෙන කාලයක් යනකම් හොඳටම තද වෙලා හිටියේ. "අපේ ගමේ තියෙන සුන්දරම තැන් වලට අපිට යන්න බැරි හැටි" යන්න මගේ හිතේ නිතරම දොන්කාර දුන්න. නිවාඩු කාලයට අපට යම් නිදහසක් ලැබෙනවා. අපි දෙන්නා එදා කොහොම හරි බීච් යමු කියලා ස්ටේෂන් එක ගාවින් තියෙන පාර මාරුවෙන පාලමෙන් (රේල් පාරට උඩින්) පැනලා පික්නික් ඒරියා (ඒ කාලේ හරියට තේරුම දන්නේ නෑ) එක පහු කරලා බීච් එකට ගියා. එහෙම ගියාට අපි දෙන්නට පොඩි බයකුත්  නැත්තෙම නෑ. ඇයි පොලීසිය. අහු වුනොත් ඉතින් ඉඳල වැඩ්ක් නෑ. ඒ කාලයේදී පොලීසියට අමතරව අපේ-ගමන් බිමන් වලට අකුල් හෙලන තව පිරිසක් හිටියා. ඒ අපිව දන්න වැඩිහිටියෝ. "ආ ! මේ ඉස්කෝලේ මහත්තයගේ පුතා නේද ? කොහෙද මේ ?" කියල අහනවා. එතකොට මට පිදුමාකාර අපේක්ෂා  භංගත්වයක් දැනෙනව. වෙලාවකට මට අපේ අමම්යි-තාත්තයි එකක මාර තරහයි. අනිත් කොල්ලො ගැන මුකුත් අහන්නැති එවුන් පවා මං ගැන අහනවා. "මොන මල වදයක්ද ?" කියල මට හිතුනෙ. කොහොම හරි බීච් ගියපු ගමන්ම අපි කරන්නේ සෙරෙප්පු දෙක අත් දෙකට දාගෙන රැල්ල පාගන එක. සමහර දවසකට පොඩි පිහි තලයක් අරන් යන්නත් අපි අමතක කරන්නේ නෑ. ඒ වැටකෙයියා මුලක් කපා ගන්න. හීනි ඒවා පින්සලක් විදියට පාවිච්චි කරනවා අපේ චිත්‍ර අඳින්න. ලොකු එකකින් නම් ගෙදරක හුණු/සමර ගාන්නත් පිට්ටනියේ කලුතෙල් වලින් ඉරි අඳින්නත් පුලුවන්. රැල්ල පාගලා ඇති වුනාහම අපි කරන්නේ කකුල් දෙකේ නියපොතු සුදු කර ගන්න ඒවා වැල්ලෙ උල-උලා යන එක. එහෙම ඇඳෙන ඉරි දිහා බල-බල එයිනුත් යම් රටාවක් ගොඩ නගන තරගයක් අපි ගාව තිබ්බා. ඊලඟට තමයි අපේ විනෝදාංශය. ඒ කියන්නේ වැල්ලෙන් මොනවා හරි හොයා ගන්න එක. වැල්ලේ ස්වභාවිකවම තියෙන සිප්පි කටු, බෙලි කටු, පංචි වගේ දේවල් වලට අමතරව තියෙන දේ තමයි අපි ගේන්නේ. අපේ වෙරල ධීවර කටයුතු වලින් වියුක්ත වෙලා තිබුන නිසා රෙජිෆෝම් ආශ්‍රිත දේ අපට ලැබෙන්නේ අඩුවෙන්. අපි මේ හොයන්නේ සංචාරකයන් ගමේ භාෂාවෙන් කියනවනම් සුද්දෝ දාලා ගියා දේවල් අහුල ගන්න. හැබැයි හොරකම් කරන්න නම් හිතන්නෙවත් නෑ. කාටවත් මම ඉඩ දෙන්නෙත් නෑ. ඒ මොකද අපායේ කටු ඉඹුලට නගින්න වුනොත්, ලෝදිය බොන්න උනොත්. ආපෝ රස්නෙන් තේ ටිකක් බිව්වත් මගේ කට පිච්චෙනවා. හොඳයි ලෝදිය බොන්න. අනේ මට නම් බෑ. ඒක නිසා හොරකම් නම් බෑ. ඒක මගේ යලුවොත් හොඳටම දන්නවා. 

"උඹ කොහොමද කියන්නේ අපායක් තියෙනව කියල, උඹ ගිහින් තියෙනවැයි ?" දවසක් මගේ යාලුවෙක් ඇහුවා. 

"ආ උඹ වැවුරුකන්නල ගිහින් නැද්ද ? ගියානම් උඹ ඔය කථාව කියන්නෑ"  කියල මම කිව්වහම යාලුවා ඒ පාර අහනව 

"හරි උඹ ගිහින් තියෙනවද ? " කියලා. කට උත්තරත් නෑ මම්ත් ගිහින් නෑනේ. 

"මට අපේ ආච්චි කිව්වේ ?" කියල කිව්වම 

"උඹලග ආච්චි තමයි ඔක්කොම දන්නෙ" කියනව. ඊට පස්සෙ මම අපායේ කථා ඔනවට වඩා කියන්න ගියෙ නෑ. 

දැන් අපි දෙන්න බිම බලාගෙන වැල්ල දිගේ යනවා. මොනව හරි ලැබුනත් නැතත් අපි මෝය ගාවටම යනවා. එතන තියෙනව ලස්සන පන්සලක්. මෝය ගාව තියෙන කඳු ගැට්ටක තමයි මේ පන්සල තියෙන්නෙ. පන්සලට නොගියත් අපි ඒ දිහා බලාගෙන ඉන්නෙ හරි ආසාවකින්. සමහර කාලෙකට බිකිණි සහ යට ඇඳුම් ඇඳ ගත් සුද්දෝ-සුද්දියන්ගෙන් වැල්ල පිරිලා. වැල්ලේ මාලිගා තනන්නත් අපි වාසනාවන්ත වුනා. මාලිගා කිව්වට මිනිස් රූප, චෛත්‍ය වගේම හිතට එන ඕනෑම දෙයක් අපි හදනව. 

මෙහෙම ඇවිදගෙන යනකොට සුදු පාට ඉටි කොළයක් දැකල අපි දෙන්නම නතර වුනා. වැලි වලට යට වෙලා තිබ්බ එක පාදලා එලියට ගත්තා. "මේ මොකක්ද බොලේ මේ?" කවදාවත් දැකලා නැති ජාතියේ අමුතුම වස්තුව දිහා අපි බලාගෙන හිටියේ පුදුමාකාර විශ්මයකින්.ඒ වෙලාවේ අපි හිටියේ පිට සක්වල වස්තුවක් අහුලා ගත්ත X-ෆයිල්ස් වල ඉන්න මූල්ඩර් වගේ බැරෑරුම් ස්වරූපයකින්.  වැලි ටික හොඳටම ගසලා, අපේ ඇඳුම් වල්නුත් පිහි දාල ගත්ත. අඟල් 6x6 විතර ඇති මේක. එක පැත්තක් කිරි සුදු පාට. අනික් පැත්ත ඉටි කොලයක්. මේක කවරයක් කියල නම් පැහැදිලියි. ඒත් උඩ පැත්ත ටිකක් ඝනකමට තියෙනව. දැන් අපි දෙන්න කොහු-කොහු වගේ තියෙන් තැන හිමීන් අදිනව. එතකොට හීනියට චිරි-චිරි සද්දයක් එනව. අයිත් තිබුන විදියටම තද කරනවා. ආයි හිමිහිට අදිනව. එක පැත්තක පුලුන් වගේ, අනිත් පැත්තෙ පොල් කෙඳි වගෙ රලූයි. "මේක නම් හරිම් ටොප් බාන්ඩයක්නේ" මට කියැවුනේ ඉබේටම. ඕනෑ දෙයෙක් වෙච්චිදෙන් කියල හයියෙන්ම ඇද්දා "ච......රා......ස්" ගාගෙන ඒක ඇරුනා. දැනුයි අපට කාරණාව තේරුනේ. මේක කවරයක්. නිකංම නිකං කවරයක් නෙවෙයි. චරාස් කවරයක්. "මේක මට ඕනේ" මම කිව්වා. මගේ මිත්‍රය මිල්රෝයි කිසි විරොධයක් නැතුවම ඒක මට දුන්නේ. එකක් මම කුතුහලය(curiosity) ඉහ-වහා ගිය පුද්ගලයෙක් බව දන්න නිසා, අනික මට මේ වගෙ දෙයක් හම්බ වෙන්නේ කලාතුරකින් කියල මිනිහ දන්න නිසා. උඹ ගනිං. මම එක දිගට මීටර් 100 විතර දුවගෙන ගියෙ ඉහ වහා ගිය සන්තෝෂයෙන්. ඒ වුනාට ගෙදරදී මේක රහසිගතව තිය ගන්න මං වග බල ගත්තා.   මේක ගෙදර අයට පෙන්නුවොත් වැල්ලේ ගිය එක මාට්ටු වෙනව. එතකොට ඉතිං ගුටිකන එකටත් වඩා අපේ අම්මයි, තාත්ත්යි මාසයක් විතර සංචරක කරුමාන්තයේ ආදීනව කියන්න පටන් ගනියි. ඒ වුනාට අක්කට මම හොරෙන් ඒක පෙන්නුවා. මේ රහස රකිනවට ගාස්තුව වශයෙන් අක්ක එක දවසකුත් මම එක දවසකුත් මේක ඉස්කොලේ ගෙනියන්න එකඟතාවයකට ආවා. පස්සෙ ඒක නැති වුන. මම පුදුමාකාර විදියට දුක් වුනා. අම්මලාට කියන්න විදියකුත් නැති නිස දුක උහුලගෙන හිත හදා ගත්තා. මෙ අරුම පුදුම පිට සක්වල වස්තුව ගැන රහස අපි තුන් දෙනා විතරයි දැනගෙන උන්නේ. 1983 දී අරුම පුදුම වස්තුවක් වූ දෙය අද සුලභව දකින්නට තියෙනව. මේවාට කියන්නෙ "ෆැබ්‍රික් ෆාස්ට්නර්ස්" (Fabric Fasteners) කියලා. මේ සංචාරක කර්මාන්තයට පිං සිද්ධ වෙන්න ලංකාවේ අනිත් අයට කලින් අපි දැන ගත්ත එක් දෙයක් විතරයි.




පිංතූර ගත්තේ : http://www.kobakant.at

Saturday, February 18, 2012

බ්ලොගර් තීම්

සොයන්නට ගොස් අතරමං වූයෙමි ...... Displaced after trying to find a blogger theme


a bull who devastated a ceramic shop
පිංතුරය ගත්තේ : http://andrewbaseman.com

මගේ බ්ලොග් එකට ගැලපෙන තීම් එකක් නැත්නම් ටෙම්ප්ලේට් එකක් සොය පහුගිය දින දෙකම මුලු අන්තර් ජාලයම කූරුගෑවත්, නිසි තීම් එකක් සොයාගනු බැරිව අතරමං වූයෙමි(හරියට මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය සැරිසරන්න ගොස් අතරමං වුවා සේය). පහුගිය දින දෙක තුල විනාඩි කිහිපයක් තුල කිහිප විටක් මෙහි පැමිණියානම් ඔබට එය කදිමට වැටහෙනවා ඇත. එය හරියට වලං කඩේට ගොනා පැන්නා වැනි තත්වයකට පත් විය. ආපසු සිටිය තැනින්ම මේ ගමන අවසන් කල මම බ්ලොගර් හී තිබෙන සාමන්‍ය තීම් එකක් දමා ෂේප් වුනෙමි. ඔබට යම් අපහසුතවයක් ඉන් සිදු වුනි නම් මාගේ බලවත්  කණගාටුව.


පහතින් දැක්වෙන්නේ ඉන් සමහරකි 


SmartG, TheLatest, Memoir, Mdev, DailyPost, WpStudio, Steira, Nomad, Travel_grunge.



රටටම රහසක් වු

ලංකාවේ පළමු සිංහල බ්ලොග් එක ...... Sri Lanka's 1st ever blog a Secret

blog based on paper 4 x 4 written on a atm cash reiceipt

මම හිතන්නේ ලංකාවේ මුලින්ම බ්ලොග් එකක් ලියන්න ඇත්තේ මං කියල. දැන් අපේ බ්ලොග් ලියන ප්‍රවීණයන්ට අම්බානකට තද වෙලා ඇති. මූ කොහොමද අපට කලින් බ්ලොග් ලියන්නේ කියලා. ඉන්නකෝ මං කථාව කියන කං. හොඳයි 1995 ට කලින් බ්ලොග් ලියපු කවුරුහරි ඉන්නවනම් අත උස්සන්න. සොරි සොරි අත ඉස්සුවාට පේනවැයි. මූ නං හරිම බූරුවෙක් කියලා දැන් ඔබ තුමාලට හිතෙනවා ඇති. මං කියන්නේ ඇත්ත. මං මුලින්ම බ්ලොග් එකක් ලිව්වේ 1995 මැයි මාසෙන් පස්සේ කියල මට සහතිකේටම කියන්න පුලුවන්. මොකද මේ ලිවිල්ල පටන් ගත්තේ මම 1995 දී මහජන බැංකුවට බැඳුනට පස්සේ. ඒ කාලෙදීත් කොළඹට සීමා වෙලා තිබ්බ ATM කාඩ් භාවිතය නිසා තමයි මේකට අඩිතාලම වැටුනේ. වහෙන් ඔරෝ කියන්නේ නැතුව කෙලින්ම කථාව කියන්න්ම. පෙට් ඒ කියන්නේ මහජන බැංකුවේ ඒටීඑම් කාඩ් පත. සාමාන්‍යන් ඔනෑම දෙයක් ඉක්මමන්ටම අත් හදා බැලීමේ පුදුමාකාර අසනීපයක් මට තියෙනවා. ඒක නිසාම වෙන්න ඕනෑ මමත් බැංකුවට ආපු ගමන්ම පෙට් කාඩ් එකකට ඇප්ලයි කලේ. ඒ කාලේ ගන්න තරම් වැඩි දෙයකුත් එකවුන්ට් එකේ නොතිබුනත් මිනි ස්ටෙට්මන්ට් කියලා එකක් තිබ්බ අන්තිම ගණුදෙනු පහ මුද්‍රණය වෙන. මගේ වැඩේ මිනි ස්ටටෙමෙන්ට් ගන්න එක. මුලින්ම මේව ටිකක් ගොඩ ගහගෙන ඉන්නකොට මට හිතුනා. මෙක හුඟක් දෙනා ගුලි කරලා විසි කරලා දාන එකේ මෙකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියල. ඒත් මේ අඟල් 4යි 4රේ කොල කෑල්ලෙන් මොනවද ගන්න පුලුවන් ප්‍රයෝජනය? අනිත් පැත්තේ මොනව හරි ලියන්න නම් පුලුවන්. හොඳයි අද ඉඳලා මම මෙකේ පත්තරයක් ලියනවා කියලා හිතා ගත්ත. ලියන්න නම් ඕනෑ තරම් දේවල් තියෙනවා ඒත් මොකක්ද මේකට දාන නම? පත්තරයක් උනහම නමකුත් තියෙන්න එපැයි. මේ දවස් වල සෙල්ටෙල් ලංකාවේ හොඳටම ජනප්‍රිය කාලෙ. එයාලගේ  පිටතට යන ඇමතුමකට මිනිත්තුවකට රුපියල් 13ක් අය කරනවා. අද කාලයේ හැටියටනම් මේක අස්ප ගණන් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් ඒ කාලයේ කවුරුත් දොසක් නොකියා ඔය ගානට සෙලියුලර් භාවිතා කලා. ඔය අතරේ එයාලගේ විශේෂ දීමනාවක් තිබුණා "ෆෝ බයි ෆෝ" කියලා. ඒ කියන්නේ කැමතිම අංක හතරකට විනාඩියක්ට රුපියල් 4 ගානේ. ඒ කාලයේ හැටියට ඒක පිස්සු හැදෙන දීමනාවක්. හැමෝම පෝලිමේ ඉඳල ගන්න තරමට ජනප්‍රිය වුනා. ඉතිං අර පෙට් යන්ත්‍රයෙන් එන කොළ කෑල්ලේ ප්‍රමනයත් 4 x 4 නිසා මට හිතුනා ඒ පත්තරයට ෆෝ බයි ෆෝ කියලම දාන්න. මේ පත්තරය ඒ කාලයේ නොබලන කෙනෙක් නෑ. අපේ ඉහල නිළධාරීන් පවා මේක හොරෙන් බැලුව කියල පස්සෙ මට ආරංචි   වුනා. මේකේ ලියන්න ඕනෑ තරම් කරුණු ඒ කාළයේ තිබුනා. දැන් ඔයාලගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්ණය මම දන්නව. මේක කොහොමද බ්ලොග් එකක් වෙන්නේ ෆොටෝ නෑ, කමෙන්ට් දාන්න බෑ. හොඳයි ෆොටෝ වෙනුවට මම ඒ කාලේ අතින්ම ඇන්ඳ කියමුකෝ. එතකොට කමෙන්ට් ? එකත් හරිම ලේසියි. තව පෙට් කොලයක කමෙන්ට් එක ලියලා ඒකත් මේකට ස්ටෙප්ලර් කරන්න තියෙන්නේ. එහෙම ලියපු එක කමෙන්ට් එකක් මට තවම මතකයි. ඒක ලිව්වේ ඒ පත්තරෙ හොඳම රසිකාවිය වෙලා හිටිය නර්මදා "කතෘතුමා තමන්ගෙ පුද්ගලික දේවල් මේකේ නොලියා හිටියොත් හොඳයි" කියලා. ඒ කාලේ පෙට් එකට යන හැමෝම මට පෙට් කොල හත අටක් ගෙනත් දෙන එක වරදින්නේ නෑ. ඒ කාලේ මගේ රචනා ශෛලියට හා මාතෘකා වලට ගුරු වුනේ මහින්ද අබේසුන්දර මහාතා ලක්බිමට ලියපු "මහින්දගේ ආගිය කථා" ඒ වාගේම කරුණාසේන සූරිය ආරච්චි මාහතාගෙ රචනා ශෛලියත් අදා පවා මා ලියන දේට දායක වුනා.

හොඳයි ඒකත් එක්තරා විදියක බ්ලොග් එකක් නෙවෙයිද ? ඒ කාලයේ හොඳ වෙලාවට මේක ඝනකම කඩදාසියේ මුද්‍රණය කලේ. දැන් වගෙ තර්මල් පේපර් එකේ ගැහුවනම් සොරිම තමයි.

Thursday, February 16, 2012

ප්‍රතිපත්තිගරුක කෙල ගිලීම ...... Abide to strategy in a Mouthwatering moment



mangoes sliced in a dish
පින්තුරය ගත්තේ : http://ecolocalizer.com

මේකත් 89/90 අඳුරු යුගයට සම්බන්ධ කථාවක්. ඒ කාළයේ මගේ හොඳම මිතුරා වෙලා හිටියේ ලකී. ලකී තමයි අපේ ගමෙන් රොයල් එකට ගිය එකම කෙනා. ඒක නිසා මිනිහට කවුරුත් වගේ හොඳට සැලකුවා. මමත් ලකීව ආශ්‍රය කලේ හේතු කාරණා කීපයක් නිසා. මිනිහව ආශ්‍රය කරණ එකට කවුරුත් බනින්නෑ මොකද කවදා හරි ඉංජිනේරුවෙක් වෙන්න ඉන්න කෙනා කියලා කාගෙත් විශ්වාසය. අනිත් පැත්තෙන කිසිම් රස්තියදුවකට යන්නැතුව ගෙදරටම වෙලා ඉන්න නිසා. ප්‍රයිවෙට් ක්ලාස්  එක පවා ගෙදරට ගෙන්වගෙන තමයි කලේ. ඉතිං අපි එහෙට ගියොත් ඇර මිනිහා අපේ ගෙවල් පැත්තේ එන එක නම් බොරු. ඉතිං මමත් බොහොම කැමැත්තෙන් එහෙ යනව. අපෙ ගෙදර ඉන්දල වැඩි ඈතක් නෑ. ඔන්නම් කිලෝ මීටර් එකක් ඇති. බයිසිකලේ පැදෙගෙන එහෙ ගිහින් මොනවා හරි කථා කර කර ඉන්නව. මමත් මිනිහා ගණන් හදන පොත් බලනවා. එක්කෝ එහේ ගෙදර මිදුලේ බැඩ්මින්ටන් ගහනව. බැඩ්මින්ටන් ගහන්න නම් බොහෝ දෙනෙක් එකතු වෙනව. ඒකට ලකීලගෙ ගෙදර අය වැඩි කැමැත්තකින් නොවෙයි උන්නේ. මම යන එකට නම් හරිම කැමතියි. ඉඳලා හිටල පොඩි පොඩි උදව් පදව් එහෙමත් කලා. ලකීගේ
අක්කව වැඩට ඇරලනව වගේ ඒවා. ඒ කාලේ කිලෝ මීටර් 2 ක් බයිසිකල් පදින එක මට සිම්පල්.



එක්තරා වැහිබර දිනයක උදේ 10ට විතර මම ලකීලගේ ගෙදර ගියා. එදා නිවාඩු දවසක්. වෙනදා වගේ එහෙ ගිහින් සතුටු සාමීචියේ ඉන්නකොට ලකීලගේ අම්ම කිවා අමුතුම කතන්දරයක්

බලන්න සුභාෂ් හරි වැඩක්නේ ඊයේ වෙලා තියෙන්නේ ?

ඒ මොකක්ද ?

ඊයේ වරාහේන රේල් ගේට්ටුව ගාවදි අඹ ලොරියකට ගිනි තියලා

එහෙනම් ජේවීපී එකේ වැඩක් වෙන්නැති

මටත් හිතෙන්නෙ එහම තමයි

එතකොට ලොරියෙ ආපු අය ?

එගොල්ලොන්ට මොනව වුනාද දන්නෑ

මරලද දන්නෑ ?

මිනියක් එහෙම පෙන්න තිබුනෙ නෑලු ?

එතකොට ඒ මිනිස්සු කොහේද ගියේ ?

දෙයියො තමයි දන්නෙ  (එහෙම කිව්වේ කම්මුලේ අත තියාගෙන).

ඒක් නෙවෙයි වැඩේ. බලන්න සමහර මිනිස්සු ගිහින් ලොරියේ තියෙන අඹ අරගෙන එනවලු. හරි කැත වැඩ නේද?

ඒක තමයි.
මමත් එහෙනම් යනව ඇන්ටි. කොයිකටත් ඒ පැත්තේ ගිහින් බලල එන්නම්. 


මමත් මිටින් ඇරිය කුරුල්ල වගේ ඒ පැත්තට ගියා. හැබැයි හොර පාරෙන්. ඒ ගාමිණියේ(ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය ) පිට්ටනිය අයිනෙන් තියෙන පාරෙන් ගිහින් පාලමෙන් එගොඩ උනාම කහඹිලියකන්ද හංදිය ගාවට ලේසියෙන්ම යන්න පුලුවං. එතන ඉඳලා ගාලු පාරේ කඳු දෙකක් නැගල බැස්සාම වරාහෙන රේල් ගේට්ටුව ගාව. වැරදිලාවත් අපේ ගෙවල් ලඟින් ගියානම් අම්ම හරි තාත්ත හරි දකිනවා. ඒ දවස් වල හැටියට තරුණ වයසේ ඉන්න පුතෙකුට ඕනවට වඩා එහෙ-මෙහෙ යන්න දෙන්න දෙමව්පියන් කැමති වුනේ නෑ.


මම එතනට යනකොට එකම ගාලගෝට්ටයයි. මිනිස්සු පොර කකා ලී පෙට්ටි වල තියෙන අඹ අරන් මලු වලට දා ගන්නවා. අපේ ගමේ අය විතරක් නෙවෙයි අහල ගම් හතේම එවුන් එතමට ඇවිත්. සමහරු පෙට්ටි පිටිනුත් අර ගන්නව. සමහරු මං වගේ බයිසිකල් නවත්වාගෙන බලං ඉන්නවා. පොඩි එවුන් එතනම අඹ කනවා. හරියට ඉතියෝපියාවට තම්පලා ගෙනිච්ච වගේ. මචං වරෙන් කන්න කියලා මං දන්න අය කීප දෙනෙක්ම කථා කලත්, ලකීලගෙ අම්ම කියපු කථාව මගේ හිතේ රැව් දුන්නා.


කෙනෙක් විපතට පත් වෙච්ච වෙලාවට උදව්වක් කරනවා විනා කරදරයක් වෙන්න නරකයි කියලා. ඇත්තම නෙන්නං මේ මුදලාලිට මේ වැඩෙන් කොච්චර අලාභ වෙන්න ඇද්ද? "මම නම් කන්නේ නෑ" කියල මම හිතා ගත්තා.

එහෙම කිව්වට මටත් කන්න ආසා හිතුනා. ඒ වුනාට එහම කන එක හරි නැහැ. මම එතන තවත් බලන් ඉන්න එකේ තේරුමක් නැති නිසා අපහු ආවා. 

උදේ ලකීලගේ ගෙදර ගියාට හරියට කථා කර ගන්නවත් බැරි වුනා මේ කලබල අස්සේ. ඒක නිසා මම හවසත් ගියා. 

ඇන්ටි මමත් ගියා අඹ ලොරිය බලන්න. හයියෝ එතන එකම ගාලගෝට්ටියයි

ආහ් ! ඇත්තද? මෙන්න අඹ කෑල්ලක් කන්න හරිම රසයි. අපිටත් ගොඩක් හම්බ වුනා

hundreds ripe wilad mangoes
පින්තුරය ගත්තේ : http://www.all-creatures.org


මට ඒ වෙලාවේ තරු පෙනුනා. "ඇහ් ! යකෝ උදේ මේ ගෙදර හිටියේ වෙන කවුරුවත්ද ? " මම හිතින් හිත ගත්ත. හනේ මට වෙච්චි දෙයක්. 

නෑ ඇන්ටි මම ගෙදරින් ගස්ලබු කාලා ආවේ. හොඳටම බඩ පිරිලා. 

කෑවට කමක් නෑ ළමයෝ අඹ කෑල්ලක් කන්නකෝ. 
කියලා අඹ පීරිසිය මගේ දිහාවට දික් කරනවා.  මමත් කටට උණන කෙල ටික ගිලගෙනම මෙහෙම කිව්වා.

අනේ බෑ ඇන්ටි මම තව ටිකකින් කන්නම්

හා එහෙනම් පස්සෙ කන්නකෝ කියල අඹ පීරිසිය මේසේ උඩින් තියලා ඇතුලට ගියා. මම හිමිහිට ගෙදර ආවා.

Tuesday, February 14, 2012

අම්මා පෙව් කිරි කඳුලින් - මේ ලොව මෙතරම් හැඩ උනේ ..... A mother who brought up Eight Children

මව් ගුණ ගැන ඕනතරම සිංහල ගීත ලියැවිලා තියෙනවා. ග්‍රේෂන් ආනන්ද මහතා ගයන මේ ගීතය ඒ වෙනුවෙන් තිබෙන ඉහලම රසය තිබෙන ගීතය යයි කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මමත් එම ගීතයට අංක එක ස්ථානය දෙන්න සූදානම් නැහැ. මේ කියන්න යන කථාව මව් ගුණ ගීත ගැන නම් නොවේ. මේ ගීතය මා සිය දහස් වාරයක් අසා තිබෙනවා. ඔබත් එසේම අසා ඇති. මේ ගීතය නිතරම මුමුනන එක් පුද්ගලයෙක් මා දන්නවා. පාටියකදි සිංදුවක් කියන්න ලැබුනාම ඔහු මුලින්ම කියන්නේ මේ ගීතය. ඔහු නමින් බ්‍රයන් වීරප්පුලි. ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ හැමටම වඩා හිත හොඳ කොල්ලෙක්. මා ප්‍රිය කරන මගේ මිතුරෙක්. සහෝදරයෙක්.  කට ඇති පුතෙක්. කාගෙත් හොඳ හිත විනාඩි කීපයකින් හිමි කර ගන්න දක්ෂයෙක්.


ඔහු නිතරම මේ ගීතය ගායනා කරන්න හේතුව මේ ලඟදී මම හොයා ගත්තා. ඒ ඔහුගේ මාතර නිවසට ගිය අවස්ථවේ. අපි පාපන්දු තරගාවලියක් සඳහා සහභාගි වෙන්න හම්බන්තොට යන අතර වාරෙදි ඔහුගේ ආරාධනය පිලි අරන් රාත්‍රී ආහාරය සඳහා ඔහුගේ නිවසට ගියා. රාත්‍රීයේදී කා-බී සප්පායම් වු 15 කට වැඩි වූ අපගේ කන්ඩායමත්. ඔහුගේ සහොදරයන් කීප දෙනාත් සිංඳු කියන්න පටන් ගත්තා. සහොදරයන් කීප දෙනා කිව්වට හතර දෙනෙක්ම එතන ගිටියා. අයියලා - මල්ලිලා ටිකා එකා වන්ව මහ හඬින් මේ ගීතය ගායනා කලේ අප විශ්මයට පත් කරමින්. අප සඳහා රාත්‍රී ආහාරය පිලියෙල් කලේ ඔහුගෙ මව ඇතුලු බාල සහොදරියන්. එම සහෝදරියන් තවමත් පාසල් යන වයසේ. වැඩිමහල් සහොදරයාට අවුරුදු 45ක් වත් වෙනවා. එදින සවස් භාගයෙදී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අප පුහුණු වුනා. එහි ක්‍රීඩා කල කිහිප දෙනෙකුත් මෙහි සිටියා. හිටිය හැමෝම බ්‍රයන්ගේ සහෝදරයන්. ඒ වගේම දක්ෂ ක්‍රීඩකයන්. ජාතික තලය නියෝජනය කල සහ ඒ ආසන්නයට ගිය අය. මට දැනුනෙ පුදුමාකාර විශ්මයක්. පාපන්දු පිලිබඳ වියත් දැනුමක් මේ හැමෝටම තිබුනා. සත්තකින්ම ඔවුන් හා කථාවට අවස්ථාව උදා වීම පිලිබඳ මා මහත් ආශ්වාදයකින් හිටියේ. මට ඔවුන් මේ තැනට ගෙනෙන්නට කිරි-කඳුලු පෙව් අම්මා සමග කථා කරන තුරු ඉවසිල්ලක් නැ.


අවසානයේදී ඒ අවස්ථාව උදා වුනා. රාත්‍රී ආහාරය ගන්නා අතරතුරදීත් ඉන් අනතුරුවත් ඇය සමග දොඩමලු වෙන්න මා අමතක කලේ නෑ. බ්‍රයන්ගේ පියා බර්ගර් අයෙක්. ඔහු සමග හිතුවක්කාර දීගයක ආ ඇයට සියලු සැප සම්පත් අත හරින්න සිදු වී තිබෙනවා. ඒ ගැන නාම මාත්‍ර දුකක් ඇයට නෑ. උපතින් දවස් ගනනකින් නැති වූ පිරිමි දරුවන් දෙදෙනා සමග ඇය දරුවන් 10ක් වැදු මවක්. වීර මාතාවක්. ඒත් ඇයගේ මුහුනේ සිනා රැල්ල සිඳී යන මොහොතක් නෑ. දරුවන් අට දෙනෙකු තමන්ගේම් දෑතින් උස් මහත් කරන්න ඇය කෙතරම් දුක් මහන්සියක් වෙන්න ඇද්ද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.


බ්‍රයන්ට කලින් ඉපැදුනු එහෙත් මෙලොව හැර ගිය වැඩිමහල් සහෝදරයන් දෙදෙනාගේ නම් බ්‍රයන්ගේ මුල් නම් දෙක වශයෙන් තෝරා ගන්නත් ඇය භිය වී නැහැ. ඒ අනුව රජිත් මිල් රෝයි බ්‍රයන් වීරප්පුලි යන නමින් ඔහුගේ උප්පැන්නය ලියා තැබුනා. අද මෙ පුතුන් දිහා ඈ බලා සිටින්නේ මහත් ආඩම්බරයකින්. සියලු දෙනා ක්‍රීඩා කරවා ඔවුන් සහභාගී වන තරග නරබන්නටත් ඈ අමතක කර නැහැ. පහලින් තියෙන ඡායාරූප දෙකින් පලවෙනි එක අරන් තියෙන්නේ බ්‍රයන්ගේ විවාහ මංගල උත්සවයේදී. එහි සියලුම සහෝදර්/සහෝදරියන් සහ වීරප්පුලි දෙමාපියන් සිටිනවා. පහලින් තිබෙන ඡායරූපයෙහි ඇයගේ සිනාමුසු මුහුණ දැක ගන්න පුලුවන්. කමිසයක් නැතුව සිටින්නේ බ්‍රයන්. ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයා. දකුණු පසින් සිටින්නේ බ්‍රයන්ගේ බාල සහෝදරය. ඔහු කොරියාවේ සිට පැමිණ ඇත්තේ මීට මාස කිහිපයකට කලින්. ඇය මේ ඇවිටිලි කර සිටින්නේ මිතුරන් පිරිසක් සමග රාත්‍රියේ මල ගෙදරක යන්නට සූදානම් වී සිටින ඔහුගේ ගමන නවතලන්නට. ඇය ගැන පොතක් ලියන්න කරුණු ඇති. මෙහි සඳහන් කලේ ඉන් ස්වල්පයක්.




මේ වීර මාතාවට දොහොත් මුදුන් දී වැඳ එන්න මා අමතක කලේ නැහැ. මා අනුව යමින් අපෙ කණ්ඩයමම ඇයට වැඳ පිටත් වුවා. ඇයට දීර්ඝායු.


අම්ම පෙව් කිරි කන්දුලින් - මේ ලොව මෙතරම් හැඩ උනේ ....


Wedding group foto of Brian Weerappuli family



තවමත් ඒ ගී හඬ මගේ හිත තුල රැව් දෙනවා.
Brain Weerappuli playing for Don Bosco against Java Lane

දකුණු පැත්තේ ඉඳලා තුන් වෙනියට ඉන්නෙ බ්‍රයන්. මේක දොන් බොස්කෝ ජාව ලේන් අතර තරගය. නිල් පාට ඇඳල ඉන්නේ දොන් බොස්කෝ කණ්ඩායම.



Thursday, February 9, 2012

ඔබට ගී ගයන මා .... For you I Sing ......

A boy singing holding a mic cartoon picture
පින්තූරය ගත්තේ : http://mello-photochallenge.blogspot.com 

මට මහ පුදුම පුරුද්දක් තියෙනවා කියලයි අපේ ඔෆිස් එකේ යාලුවෝ කියන්නේ. එගොල්ලොන්ගේ කටින් පිට වෙන හැම වචනයකටම ගැලපෙන සිංදුවක් මගේ කටින් ඒ මොහොතේදීම පිට වෙනවා. ඒක වෙන්නේ මමත් නොදැනුවත්වම. "උඹව හොඳයි අර ගීතයෙන් ගීතයට යවන්න" කියලා එක්කෙනෙක් කියනවා. ඒත් ඒ වැඩ සටහන තවම තියෙනවාද? කියලා අහන ගමන්ම මම මේ වගේ කථාවකුත් කිව්වා. ඒකෙ තියෙන්නේ නවත්වන අකුරට ගැලපෙන සින්දුවක් කියන්න. ඒත් මෙතන වෙන්නේ වචනයක් සම්බන්ධ කරගෙන සිංදුවක් කියන එක නේද කියලා. ඔන්න එහෙම වැඩ සටහනක් තිබ්බා නම් කියල මම ලිස්සලා ගියා. මේ කථාවේ ඇත්තක් නැත්තෙම නැහැ කියලා මගේ බ්ලොග් එක බලපු ඔයාලටත් දැන් තේරිලා ඇති. ඒ මෙතන තියෙන හැම විජට් එකටම මම දාලා තියෙන්නේ සිංදුවක කෑල්ලක් හින්දා. ඒ මදිවට සමහර මාතෘකා වලට දාන්නෙත් සිංදු වල කෑලි. ඒකෙත් යම් අනන්‍ය බාවයක් තියෙනව නේද ? ඒ වගේම ලොකු අභියෝගයකුත් තියෙනවා මේක දිගටම පවත්වාගෙන යන්න පුලුවන්ද කියලා ?


ඔෆිස් එකේ අය නොදන්න තවත් දෙයක් මගේ ලඟම හිතවතුන් දන්නවා. ඒ හුඟක් සිංදු වල වචන මට කට පාඩම් කියලා. සමහර අය පාටි වලදි සිංදු පටන් අරන මැද්දී හිර වෙනකොට මගේ මුණ දිහා බලනවා. මම ඉතුරු ටික ඇදන් යනවා. එක කාලයක්දී මගේ යාලුවෙක් මාව ලිරික්ස් මාස්ටර් කියලා හැඳුන්නුවෙත් මේ හින්දම වෙන්න ඇති. හැකි හැම විටම සිංදුවක් කියල හිත නිදහසේ ඉන්න එක කොයි තරම් හොඳයිද ? බලමු.

Wednesday, February 8, 2012

රතු ගුරු පාරේ -හැන්දෑවේ අක්ක නගෝ වාගේ ..... A True story about Mother Daughter Love ......


තම මව සොයා පැමිණි දියණිය

උදේ පාන්දර හතරහාමාර හෝ පහට අන්තර්ජාලයට පිවිසෙමින් දවස ආරම්භ කිරීම මා අද ඊයෙක සිට කරන දෙයක් නොවෙයි. අඩුම වශයෙන් අවුරුදු 10-12 ක සිට වත්, අධික ලෙස වෙහෙස මහනසි වී හෝ, ඉතා රෑ බෝ වී නිදා ගත් දිනකට පසු දිනක හැරෙන්නට මා මෙය පුරුද්දක් ලෙස කරගෙන යනවා. ඇත්ත වශයෙන්ම මෙය සෞඛ්‍ය පැත්තෙන් ඉතාම අනවශ්‍ය දෙයක්. ඒත්

"ආරෝග්‍ය පරමා ලාභා " කියන ගමන්ම "සන්තුශ්ඨි පරමං ධනං"

නීරෝගී භාවය පරම ලාභය වන්නේ යම් සේද සතුට පරම ධනය වන්නේද එලෙසමයි. ඒ නිසා මා මෙම ගාථාවේ දෙවෙනි කොටස මා ස්වේච්චාවෙන්ම තෝරා ගත්තා.

කාලය, ද්වීපය, දේශය, සඟවා ලියන තවත් කථාවක් බවට මෙය පරිවර්ථනය වන්නේ එක් අතකින් මෙය සියයට සීයක්ම සත්‍ය එහෙත් තවමත් අවසන් නොවූ කථාවක් වන බැවිනි. තවත් පැත්ත්කින් එය සියලු දෙනාගේම ශරීර සෞඛ්‍යට යහපත්ය. ෆේස්බුක් නැමති වෙබ් අඩවිය නිසා ලෝකය වෙනස් වුවා යයි මා කීවොත් ඔබ එය අනුමත කරනවා නිසැකයි. ඇත්තටම ෆෙස්බුක් නිසා ලෝකය භ්‍රමණ වේගය වැඩි වූවා යන්න අතිශයෝක්තියක් නොවේ. මේ හරහා තොරතුරු මිලියන ගණනක් දිනකට ලෝකයේ සතර දිග් භාගයට විදිනු ලබයි. මේ නිසා සිදු වූ හොඳ මෙන්ම නරක සිද්ධි ලෝකය පුරා වාර්ථා වෙයි. ශ්‍රී ලංකාවේ අපට නම් ලෝකය හා ගණුදෙනු කරන්නට මෙය කදිම අවස්ථාවකි. මා සිටින්නේ එවැනි සුබධායක සිතුවිල්ලකය. එය එසේම වේවා යන්නද මගේ පැතුමයි.

ඇයට අපි මාරි යයි කියමු. දිනක් පාන්දර මම සුපුරුදු ලෙස ෆෙස්බුක් ලොග් උනා. මම හදපු  ෆෙස්බුක් පිටු කීපයක්ම තියෙනවා ඒ නිසා මගේ නෝටිෆිකේෂන් බලල ඉවර වෙලා මම අර කිව්ව පිටු වලට අදාල නෝටිෆිකේෂන් ටිකත් බලලම තමයි මම වැඩ පටන් ගන්නේ. ඒ අතරේ එක්තරා නුපුරුදු නමකින් මට මැසේජ් එකක් තියෙනව මම දැක්කා. එහි නම සඳහන් වෙලා තිබුනේ මාරි කියලා. එය කියවු මට තරමක් විශ්මයක් හා මද සතුට මිශ්‍ර දුකකුත් ඇති වුනා. එයට හේතුව ඇය කර තිබූ අහිංසක ඉල්ලීමයි. මේ සඳහ මාම තෝරා ගැනීම මගේ විශ්මයාට හේතු වූ අතර, මට ඇයගේ ඉල්ලීම ඉටුකල හැකි වීම පිලිබඳ සතුට හා ඇයගේ හිතේ කකියන දුක මගේ හිතේ දුකක් ඇති කලා. මෙය නම් ඇගේ වාසනාවම විය යුතුයි. මා මීට පෙරද මෙවනිම ගැහැණු ළමයෙකුට උපකාර කර තිබුනා. දුවකු සිටින පියෙකු කෙසේනම් මෙ ඉල්ලීම අහක දමන්නද ? ඇය මට එවා තිබු පණිවුඩය පහත අදහස ගෙන දුන්නා

මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ. උපන් ගමන්ම මගේ භාරකරත්වය යුරෝපීය මාපිය යුවලකට පවරල. මට මගේ අම්මාව හොයා ගන්න උදව් කරන්න. මෙ පුංචි දැන්වීම ඔයාගේ ෆේස්බුක් පේජ් එකේ දාන්න. ඒක මට ලොකු උපකාරයක් වෙවි. ඔයාගෙ පේජ් එක අම්මාගේ ගමේ නමට සම්බන්ධ නිසා කවුරුහරි මට උදව් කරයි කියල මට විශ්වාසයි. 

ඇයට පිලිතුරු වශ්යෙන් මා මෙසේ ලිය යැවුවා

කුඩ දැරියකගේ පියකු වශයෙන් මට ඔයාගේ හිතේ තියෙන වේදනාව දැනෙනවා. ඕනෑම කෙනෙකුට මවගේ උණුසුම තරම් වටිනා දෙයක් නෑ. ඔයාගේ දැන්වීම මගේ පේජ් එකේ පොස්ට් කලා. ඔයාගේ පැතුම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 

සුලු මොහොතකින් ඇය පිලිතුරු එවා තිබුනා

ඔයාට ගොඩාක් ස්තුතියි. මම ඇත්තටම විශ්වාස කරනවා මට අම්මව හොයාගන්න පුලුවන් වෙයි කියලා. 
මම ඇයව හොයන්නේ අවුරුදු 10ක ඉඳලා. නැවත වරක් ඔයාට ස්තුතියි.

මා ඇය දිරි ගන්වමින් පිලිතුරු යැව්වා.

 ඔයාගේ අධිශ්ඨානය මා ඉතා අගේ කොට සලකනවා. කිසිලෙසකින්වත් ඔබගේ උත්සාහය අත අරින්න එපා. ශ්‍රී ලංකාව පොඩි ජනගහනයක් ඉන්න පුංචි රටක්. මෙහේ මිනිස්සු උදව් කරන්න්න හරි කැමතියි. ඔයා වගේම තවත් කෙනෙකුට මම උදව් කරන්න ඉදිරිපත් උනා. එයා අවසානයේදි උත්සාහය අත් ඇරියා.

මගේ සුභ පැතුම්


ඊට පස්සේ දවස් 10ක් විතර කිසිම තොරතුරක් නැතුව හිටියා. මටත් වැඩ අස්සේ මතක් උනේ නෑ. පස්සේ මේ කෙල්ල ඔන්ලයින් ඉන්නවා දැකලා මම චැට් කලා

සුභාරංචියක් එහෙම තියෙනවද ?

අහා ..!!! ඔව්. මට අම්ම හම්බ උනා...!!!
ගිය සිකුරාදා මට කෝල් එකක් ආවා. ඉතිං මට හරි සතුටුයි.මගෙ අම්ම මම ඇත්තටම මම වගේමලු.

ඔහ් !! මගේ සුබපැතුම්..!!! මට හිතා ගන්න පුලුවන් ඒක කොයිතරම් උනුසුම් අවස්ථවක්ද කියලා. එයාට ආදරයත් ගෞරවයත් දෙන්න.  



ආයෙත් දවස් තුනකින් මට ඇයව ෆේස්බුක් ඔන්ල්යින් ඉන්නකොට හම්බ උනා. එදිනම ඇගේ ෆේස්බුක් ස්ටේටස් එකේ මේ වගේ වැකියක් දාලා තිබුනා.

මෙන්න මම එනවා ශ්‍රි ලංකා. මට රාජකාරියක් ලැබුනා එහෙ යන්න.

ඉතිං. එහෙනං ඔයාට මෙහෙ එන්න රාජකාරියක් හම්බ උනා.

ඕව්. මට හරි සතුටුයි. 

මෙ වෙලාවෙදි තමයි මට තේරුණේ මේ කෙල්ල තවම ඉන්නෙ යුරෝපේ කියලා. අම්ම හම්බ උනා කිව්වේ ඇය ගැන ලැබුන හෝඩුවාවට. එහෙනම්.


තවත් දින ගනනක් සාමාන්‍ය විදියට චැට් කලා. එක් දිනක් මම ඇහුව

ඔයාට ලංකාවේ උප්පැන්න සහතියකයක් නැද්ද ? කියලා.

මීට කලින් මා මෙසේ උදව් කල තරුණියට ශ්‍රීලාංකික් උප්පැන්නයක් තිබූ බව මට මතක තිබුණා. එසේ භාර කාරත්වය බාර දෙද්දී එහි පිටපතක් ඔවුන්ටද ලබා දෙන බව මා දැන ගත්තේ මුලින් මා උදව් කල තරුණියගෙන්.

ඔව් මට තියෙනවා.

ඒකෙ තියෙන ඔයාගේ නම මොකක්ද ?

"නදීකා" 

ඔහෝ !

ඒත් මගේ යුරෝපීය දෙමව් පියන් මට කියන්නේ මාරි නදීකා ... කියලා. 

ඒක හොඳයි

මගෙ ලංකාවේ අම්ම තමයි මට  "නදීකා" කියල දාලා තියෙන්නේ (ඇය කියන්නේ මහත් ආඩම්බරයකින්)

දැන් මොනොවද ඔයාගෙ හිත කියන්නෙ ? මේ සිදුවීම ගැන ඔයා කම්පා වෙනවද ?

නැහැ. මට තේරෙනවා ඇය ඒ තීරණය ගත්තේ ඇයි කියලා. ඇයගේ මාමා විසින් ඇය දූෂණය වෙලා තියෙනවා. ඉතිං ඇයට මා උස් මහත් කරන්න අපහසුයි. මම ඇයට ගරු කරණවා ඒ ගැන. 

මේ වෙලාවේ මට පුදුම ලජ්ජාවක් හා කේන්තියක් ඇති උනා. මේ ධර්මද්වීපයේ නේද මෙව සිද්ද වෙන්නෙ කියලා. මොනවා උනත් දැන් ඇය පිටස්තර සංස්කෘතියක හැදෙන කෙල්ලෙක්. ඊලඟට මොනව අහයිද කියලා මට බය හිතුනා. "මේක ඔයලාගෙ සංස්කෘතියේ කොටසක්ද?" කියල ඇහුවොත් මම දෙන උත්තරය මොකක්ද ?

ඔහෝ! 

එහෙනම් ඔයා එයාට ගොඩක් ආදරය වෙන්න ඕනෙ. ඔයාගේ සතුට තමයි එයා බලාපොරොත්තු වෙන්න ඇත්තේ.

ඔව් මම ඇයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 
මට බාල සහෝදරයෝ දෙන්නෙකුත් ඉන්නවාලු. එක්කෙනක් 19 අනිත් එක්කෙනාට 13යිලු. මගෙ අම්ම දැන් බැඳලා.

හරි. ඔයා එගොල්ලොන්ට උදවු කරන්න.

ඒ උනාට අම්මා එගොල්ලොන්ට මං ගැන කියලා නෑ. එයා බය ඇති. මම කියනවා.

මට තේරුම් ගන්න පුලුවං.

එගොල්ලන්ව මුනගැහුණු මනුස්සය කිව්වා එගොල්ලෝ හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. ඒගොල්ලෝ දුප්පත් නෑ. ඉතිං මට සතුටුයි.

එගොල්ලන්ට කිව්වොත් එයා ගැන තියෙන ගෞරවය නැති වෙනවා. ඔයාට තාම අම්මව හම්බ උනේ නැද්ද?

ඇත්ත. ඒ උනාට මම හිතනවා අම්ම කවදාහරි එගොල්ලොන්ට කියයි කියලා. මොකද මට ඕන ඇත්තටම එගොල්ලොන්ව මුණ ගැහිලා එයාලගෙ ලොකු සහෝදරිය වෙන්න.

එගොල්ලො අර මාමට වෛර කරන්න ඉඩ තියෙනවා. ඔයාගෙ යුරෝපීය දෙමව්පියන් කොහොමද? ඔයා දන්නවද? මම බෙන්තොට. මට මේ වගේ කථා ගොඩක් අහන්න දකින්න ලැබිල තියෙනව.

ඔයාගෙ ගම අපේ අමමගේ ගමට කිට්ටුයි නේද?

මම පිලි ගන්නව දුප්පත් දෙමව්පියන් ඔවුන්ගේ දරුවන් හදා වඩා ගන්න සුදු දෙමව් පියන්ට බාර කිරීම සාධාරණයි කියල. ඒත් විකිණීම නොවෙයි. ඔව්. කිලෝ මීටර් ... විතර ඇති.


මෙ කතාව තවමත් අසම්පුර්ණ නිසා මෙහි දෙවන කොටස ප්‍රමාණවත් කරුණු එකතු වු පසුව ඉදිරිපත් කරන්නම්.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 5 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 1 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 10 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...