Friday, January 27, 2012

අම්ම ගහයි බැට් එකෙන් - එතකොට ආච්චි ? ...... Mother will hit you from the Bat, What about Grandma then ?


අම්ම ගහයි බැට් එකෙන් කියන්නෙ ඉතා බැරෑරුම් කියමනක්. මම මෙ කියමන ගැන පොඩ්ඩක් හිතල බැලුව. අම්මගෙන් ගුටි කන එක ඉතින් නැගෙනහිරින් ඉර පායනව වගෙ වැඩ්ක්නේ. කවුරු හරි කොල්ලෙක් අම්මගෙන් ගුටි නොකා ඉන්නවනම් ඉතිං ඒ කොල්ලා නිරෝගී එකෙක් වෙන්න බෑ. ඉස්සර කාලේ අම්මලා ළමයින්ට ගහන්න වේවැලක් තියගෙන් හිටියා. නැත්නම් ගස් වලින් කඩා ගන්නා විවිධ වර්ගයේ කෝටු. අතින් තමන්ගෙ ළමයින්ට තඩි බාන අවස්ථාත් නැතුවම නොවෙයි. මේ කියමනට හේතු වෙච්ච කථාව මොකක් උනත්. මට හිතුනේ දැන් බැට් එකත් ඔනෑම කොලු පොඩ්ඩෙක් අතේ තියෙන මෙවලමක් නිසාත්, අතේ තියෙන ඒ බැට් එකෙන්ම පාර වදියි කියන එක කියලයි. කොහොමත් අම්මලා අතට අහු උන එකෙන් තඩි බාන එක සුලබ දසුනක්. අම්මලා එහෙම කරන්නේ ළමයින්ව හදා ගන්න මිසක් හිතේ තියෙන වෛරයක් පිරිමහන්න නෙවෙයි. පැරණි කියමනක් තියෙනවානේ "හැඳි නොගා හදන හොද්දයි, නොගහ හදන ළමයයි දෙකම එක වගේ කියල"


දැන් අපි නියම කථාවට බහිමු. මාතෘකාව දෙස නැවත වරක් බලන්න."අම්ම ගහයි බැට් එකෙන් - එතකොට ආච්චි. මෙක බලන කවුරු හරි ඉන්නවද ආච්චිගෙන් ගුටි කාපු. බොහෝ දෙනෙක්ගෙ උත්තරය "නෑ" කියන එක නේද ?  නෑ . උත්තරය  නෑ තමයි. ආච්චි සමහර ප්‍රදේශ වල අය කිරි අම්ම, අත්තම්මා කියලත් අමතනවා. ඒ වගේ ආදරණීය වෙනත් චරිතයක්   ඔබේ ජීවිතයේදී හමු වෙලා තියෙනවද? කියලා මම ඇහුවොත් ඔබේ උත්තරය වෙන්නෙත් "නෑ" කියන එකම නේද? හැබැයි සමහර අය ඉපදෙන්නත් කලින් ඒ අයගේ මිත්තණිය මිය ගිහින් තිබෙන්න පුලුවන්. ඒ අයට මේ ආදරණීය බව දැනිල නැතිව ඇති. මගෙ ආච්චි ගැන කිව්වොත් එයා වැඩියෙන්ම ආදරය උනේ එයගේ සියලුම දු වරුන්ගෙ ලොකු දුවලට. මට ආච්චි පොඩ්ඩක් සැර චරිතයක් උනා. පොඩි පොඩි වෙනස් කම් කලත් මම ආච්චිට ආදරයෙන් තමයි උන්නේ. අච්චිට කේන්ති ගියාම මට ආච්චිව පෙනුනේ රාක්ෂණියක් වගේ. ඒ වෙලාවට මම ඒ කාලේ දන්න දරුණුම වචනය වෙච්චි "දිය රකුසී" කියල තමයි ඇයට ආමන්ත්‍රණය කලේ. 


තවමත් මම මාතෘකාවට ආවෙ නෑ. අද උදේ මම ඔෆිස් යන්න බස් නැවතුමේ ඉන්නකොට ගාල්ලේ ඉඳලා ආව බස් එකකින් ආච්චි කෙනෙක් සහ ඇගේ දුව කියන්න පුලුවන් දෙදෙනෙක් බැස ගත්තා. බස් එකෙන් බහිනකොට ආච්චිගේ සාරිය ගැලවිලා තිබිලාද කොහෝදෝ අර දුව ඒක හදන නිසා මම ඒ දිහා වැඩිය බැලුවේ නෑ. ටික වේලාවකින් මේ දෙන්නා කහ ඉර හොයන්න පටන් ගත්තා. මට ඒක දැකල පොඩි සතුටකුත් ඇති උනා. දැන් අපේ රටේ මිනිස්සු කොයි තරම් නීතිගරුකද ? කියලා. මම ඒ දෙන්නට කහ ඉර තියෙන දිසාව පෙන්නල, බස් එනවද කියල බලන්න හැදුව විතරයි මම දැක්ක අර ආච්චිගෙ අතේ තියෙනව කඩදාසි වලින් ආවරණය කරපු බැට් එකක්.  මට දැන් හිත කියනවා පොටෝ එකක් ගන්නදෝ එපාදෝ කියලා. මෙහෙම හිත හිත ඉන්නකොට මගෙ බස් එක ආව. මම නැග්ගා. ඒත් කුඩා කාලයේ ඉඳලා ක්‍රිකට් පිස්සෙක් වුන මට මේක අත අරින්නම හිතෙන්නේ නෑ. ඒසී බස් එකේ හිටගෙන සෙනග ඉන්න නිස හරි බරි ගැහෙන්ත් ටිකක් වෙලා යනවා. අර ආච්චිව මම අන්තිමට කැමරාවට හසු කර ගත්ත. එත් පැහැදිලි මදි. මොනව කරන්නද? මෙතන වටිනාම දේ අර ආච්චි මෙක අරන් එන්න ඇත්තේ එයාගෙ මුනුපුරෙකුට වෙන්න ඕනෑ. කොයි තරම් වාසනවන්ත මුනුපුරෙක්ද? මම ගත්ත පොටෝ එක දැන් දාන්නම්. 



අම්ම ගැහුවොත් බැට් එකෙන් - ආච්චි දෙයි අම්මට ......

Tuesday, January 24, 2012

විමල්ගේ වික්‍රමය ...... Wimal's magical act



a bunch of young mangoes


මේක මම  උසස් පෙල කරන කාලේ උන සිද්දියක්. සාමාන්‍යන් ඒ කාලේ අපි පන්තිය ඇතුලට වඩා පන්තියේ පිට ජීවත් වෙන්න පුරුදු වෙල හිටියා. ගුරුවරුන්ගෙන් ඒකට විරෝධයක් ආවේ නැත්තේ අපි පුද්ගලික පංති වලට යන බව එයාල දන්න නිසා. එත් අපිට හිටි ඉංග්‍රීසි ගුරුතුමියට පුදුම උවමනාවක් තිබුන අපට උගන්වන්න. එයා සමහර දවස් වල අපි පස්සෙන් එනවා "අනේ දෙන්නෙක් පන්තියට එන්න" කියලා. ඒ ගුරුතුමිය තරමක තරබාරු කෙනෙක්. තවත් එක දවසක අපේ කට්ටිය පංතියෙන් එලියට පැන්නා. එතකොටම අර කියපු මිස් අපේ පස්සෙන එන්න පටන් ගත්ත. අපි මුලින්ම හිමින් හිමින් දුවලා, මිස්ට පයින් ඇවිත් අපිව අල්ලන්න බැරි වෙන්න හයියෙන් දුවන්න පටන් ගන්නව. ඒත් මිසුත් අත අරින්නේ නෑ. හෙමින් හෙමින් හරි අපි ගිය දිහාවට එනව. ඔය අතරේ අපි ඉස්සරහට අවා ඉස්කෝලේ ඉන්න මිස්ලගේ (ඉස්සරහ ) වීරය. ජයසෙන සර්. මිනිහා මිස්ලට වීරයෙක් වෙන්න හැදුවට සමහර පිරිමි සර්ලටත් මිනිහව අල්ලන්නෙ නෑ. ප්‍රින්සිපල්ගේ බෝල කාරයා. සමහරක් වෙලාවට මිනිහා ප්‍රිනිසිපල්ටත් වඩ උඩින් ඉන්නෙ. සොබා දහම් සිසු හවුල කියලා පරිසර සංගමයක් අටෝගෙන මුලු දවසම ඒකෙ වැඩ තමයි කරන්නේ. කලාතුරකින් තමයි පන්තියකට යන්නෙ. පාසලේ විනය කමිටුවේ, එතකොට ගුරු දෙගුරු මෙකී නොකී සියලුම සංගම් වල ප්‍රධාන නිලතල තුනෙන් එකක් දරන්නෙ ඔය කිව්ව ජයසේන් උන්නැහේ තමයි. අනිත් ගුරුවරුත් මිනිහව මේවට යෝජනා කරලා පැත්තකට වෙනවා. කිසිම කරදරයකින් තොරව ජයසෙන මහත්තය මේවට කර ගහනව. ඊට පස්සෙ ඉස්කෝලේ එනකොට බලන්න එපැයි තියෙන් උජාරුව. මිස්ලට ගුඩ් මොර්නිං කිය කිය, අත් දෙක පිටිපස්සට බැඳගෙන යන්නේ හරියට රටක් රාජ්‍යයක් දිනා ගත්ත අභීත සෙන් පතියෙක් වගෙ. ආ ඒ විතරක්ද මිනිහට උඩ තට්තුවේ තිබුනා වෙනමා ඔෆිස් කාමරයක්. වයිටට(ඒ කිව්වේ වයිස් ප්‍රින්සිපල්ට )වත් වෙනම කාමරයක් නෑ. අර කලින් කිව්ව සොභා දහම් සිසු හවුලේ වැඩ කටයුතු වලට තමයි මෙ කර්‍යාලය වෙන් කරල තිබුනේ. ඒකේ හැම තැනම පරිසර දූෂණය වගෙ මාතෘකා වලට ඇඳපු චිත්‍ර අලවලා තිබුනා. වෙනම පුස්ථකාලයක් වගේ, පොත් පත්, සඟරා එහෙමත් රාක්ක වල අටවලා තියෙනවා. මිනිහගෙ ඒ ඔෆිස් එක නම් බොහොම අලංකාරෙට තියෙනවා. මිනිහා ගැන ලියන්න ගිහින් තව ඩිංගෙන් ලියාගෙන ආව කාරනය අමතක වෙනවා. එයා ගැන ලියන්න ගියොත් පොතක්ම ලියන්න පුලුවන්. දැන් කාරනාවට බහිමුකො.

දැන් මම නැවැත්තුවෙ මිනිහා ඉස්සරහට මුලිච්චි වෙච්ච තැනින්නේ. මිනිහව දැක්ක ගමන් අපිත් වල් ඌරව දැක්ක පොලොංගු ටික වගෙ ඉද්ද ගහලා නතර උනා. "මොකොද අයිසෙ මෙ කඩි කුලප්පුව, ඔහොම ගිහින් තමුසෙලා ඉන්ජිනියර්ලා වෙයිද, නැත්නම් ගරාජ් බාස්ලා වෙයිද කියල තමයි මට බය".මූට තියෙන අමාරුව අපේ අම්මල තට්තලටවත් නෑනේ කියල මං ළඟ හිටපු විපුලය කිව්වෙ කනට කරලා. අනිත් අයත් මොනව මොනව හරි මුමුණනවා. අපි හිමිහිට පල්ලම් බැහැලා ගියා එලියට. දැන් අපි පස්සෙන් ආපු ඉංග්‍රීසි මිස්, "ගුඩ් මොර්නින් මිස්ටර් ජයසේන, කියල නතර උනා. එතනින් පස්සෙ වෙන දෙ අපි දන්න නිස දුවගෙන ගිහින් නතර උනේ කැන්ටිම ලඟ තියෙන අඹ ගහ ගාව. උඩ බැලුව විතරයි හොඳට පැහීගෙන එන අඹ වලු වලින් අතු පිරී ගිහින් තියෙනව. කඩමු, කියලා කට අහකට ගන්න කලින් දෙන්නෙක් ගහට නැග්ග සපත්තු පිටින්ම. ඔය අතරේ ඈතින් ජයසෙන් ලොක්කා එනව දැකලා අපි අනිත් පැත්තෙන් හිමිහිට පල්ලම් බැස්ස. මිනිහා නිතරම මේ පැත්තට එන්නේ "ජය-මාවත" ඔස්සේ පුද්ගලික අවශ්‍යතා සඳහ එලියට යන සිසුන් කොටු කර ගන්න. "ජය-මාවත" කිව්වේ ජයසේන උන්නැහේව සිහිපත් වෙන්න දාපු නමක් නොවෙයි. එල් අකුරේ හැඩයට තියෙන බිල්ඩින් දෙකක් අතරේ තියෙන අඩි 2ක් විතර පටු පරතරය ලඟින් අල්ලපු වත්තේ වැටේ කම්බි උස් පාත් කරලා හදා ගත්තු පිවිසුම් මාර්ගයක්. නා නා විධ අවශ්‍යතා සඳහ පාසලෙන් අවේලාවේ පිට වීමට අවශ්‍ය සිසුන් වෙනුවෙන් සිසුන් විසින්ම නිර්මණය කල නිල නොවන ගේට්ටුවක්. මෙතන අඟුරු කෑලලකිනි කවුදෝ "ජය -->" කියල පොල්ගෙඩි අකුරෙන් ලියලා ඊතලයක් එලිය පැත්තට ඇඳල තියෙනවා. ම්ං හිතන්නෙ මෙකෙන් එලියට යන සිසුන් ගණන ප්‍රදාන ගේට්ටුවෙන් පිට වෙන සිසුන් ගණනට වඩා වැඩි මිසක් අඩු නම් නෑ.


ඔන්න දැන ජයසේන සර් අපි ඉන්න තැනට ආවා, අපි කට්ටිය මාට්ටු. මිනිහට මේ වගේ එකක් හම්බ උනාම තියෙන සංතෝසේ. "මොකද අයිසේ මෙතන කරන්නේ ? කියාගෙන යන්න ගියා. පුදුමයි-ඒත් ඇත්ත්ත්යි, "අද නම් වහිනවා ෂුවර් එකටම" ඒක දෙතුන් දෙනෙකුගේම කටවල් වලින් පිට උනේ එක පාරට. කඩපං, කඩපං බය නැතුව කිව්වේ අජිත්. ඔහොම ටික වෙලාවක් යනකොට ගහෙ තිබ්බ අඹ වලින් භාගයක්ම බිමට ගලාගෙන එනවා. අඹ අත්තට සපත්තු දාපු කකුල් තියලා පයින් ගහනව. එතකොට බාල මහලු තරුණ අඹ ඔක්කොම දඩ්-බඩ ගාලා බිමට පාත් වෙනවා. "මල-කෙලියයි ඔන්න වයිටා. අද නම් ඉවරයි පුතෝ. වයිටා දන්නේ නැතුව අඹ ගහ යටට ආවා. ගහෙන් ගලාගෙන ආව අඹ ගෙඩි වයිටාගෙ ඔලුවට, සුදු කමිසයට, එක දිගට වැටුන. මෙ අනපේක්ශිත ප්‍රහරයෙන් අන්දුන්-කුන්දුන් වෙච්ච ගුරුතුමා "ඔක්කොම එනවල ප්‍රින්සිපල් ලඟට යන්න". අපේ එකෙකුගෙ කොලර් එක්න්ම ඇදගෙන ගියා ඔෆිස් එකට. අපිත් අපේ යාලුවා තනි කරන්නේ නැතුව පස්සෙන් ගියා. කට්ටිය වැඩි උනම දන්ඩුවම අඩු බව දිගු කාලීන පල පුරුද්දෙන් අපි දැනගෙන හිටියා. අපි කට්ටියගෙන් දැන් ප්‍රින්සිපල්ගේ කාමරය පිරුනා. "මොකද ? මේ කට්ටිය" ප්‍රින්සිපල් ඇහුව. අපි ටික ගල් ගිල්ල වගේ හිටියා. ප්‍රින්සිපල්ගෙ ඉස්සරහා පුටුවේ හරි-බරි ගැහිලා වාඩි වෙල හිටිය අපේ හිතාදර වීරායා "ආ මෙගොල්ලොද? මම දැක්ක දැන් ටිකකට කලිං අඹ ගහ ගාව හොරගල් අහුලනවා. සර් මම එහෙනම් උඩට යන්නම්, හොඳටම වැඩ, අර විජිතා මිස් කියපු හින්දයි මම ඒ පැත්තට ගිහින් බැලුවේ. ඉන්ග්ලිෂ් පීරියඩ් එක කට් කරලා තමයි මේ අඹ කැඩිල්ලට ගිහින් තියෙන්නේ." කියගෙන මිනිහා ලිස්සල ගියා. දැන් හැමෝටම කාරණය වැටහෙනවා. කවුද ගින්න දුන්නෙ කියලා. "මගෙ ඔලුවටත් අඹ ගෙඩි දෙක තුන්ක් වැටුනා" කියලා වයිටත් එලියට ගියා. මේ අතරේ ප්‍රින්සිපල්ට පිටිපස්සේ තියෙන ජනේලයේන් අපිට පේනවා අපේ විමලයා (අද දවසටම ඌව දැක්කේ දැන් තමයි ). ගොලු භාෂවෙන අපිත් එක්ක කථා කරන්න හදනව හින වෙවි. අපිට ප්‍රිසිපල් දැඩි සේ අවවාද කරනවා. අපිට ඒ මොනවත් ඇහෙන්නෙ නෑ, අපේ අවධානය යොමු වෙලා තිබුනේ විමලයාගේ රූකඩ සන්දර්ශණයට. හිනාව බොහොම අමරුවෙන් තද කරගෙන විටෙක් ප්‍රින්සිපල් දෙසත් තවත් විටෙක විමල් දෙසත් බල බලා අමාරුවෙන් ඉන්නකොට, ජනෙල් පොලු අස්සෙන අත් දෙක දාලා ජනෙල් කන්ඩියේ තියෙන ප්‍රින්සිපල්ගේ සාගත මල්ල, ඉතාම සූක්ෂමව අරිනවා. අද නම් මූට කන්න වෙනවා, ඒ විතරද අපිටත්, මගේ හිත කිව්වා. මූට නම් මෙ බෑග් ඇරිල්ල හොඳට පුරුදුයි වගේ. ආ, මුගෙ තාත්තත් ආණ්ඩුවේ රස්සාවක්නෙ කරන්නෙ,  ෂූවර් එකටම මූ දවස ගානේ තාත්තගෙ බෑග් එක සුද්ද කරනව ඇති. දෙපැත්තෙ බකල් දෙක ඇරලා. ඊලන්ගට ලොක් එකක් ලඟට අත එනකොට මම ඇස් දෙක පියා ගත්තා. මම දන්නවා මේ ලොක් එකක් අරිනකොට එන "ක්ලික්" සද්දේ ? මූ නම් අපිව නැති කරන්න හදන්නේ. දෙයියිනට පින් සිද්ද වෙන්න බෑග් එක ලොක් කරලා නෑ. අපොයි මෙන්න මූ බෑග් එක ඇතුලට අත දැම්මා. මේ වගෙ පිස්සෙක් නම් මම ජීවිතේට දැකලා නෑ. මූට නම් අයි ඉස්කොලේ එන්න වෙන්නේ නෑ. අපි බය වෙලා ඉන්නෙ කොයි වෙලාවෙ මුව මාට්ටු වෙයි කියලා. මෙන්න ඒ පාර පොතක් ගත්තා. මොකක්ද මේ යකා කරන්නේ. "අධ්‍යාපන පරිපාළන..." ඇදේට තියෙන වෙලාවේ යාන්තමට මට ඒ ටික විතරයි කියවගන්න ලැබුනේ. පොත හෙමිහිට ගත්ත විමලයා එක පාරටම පාත් උනා. ඇති යාන්තම් දැන් වත් පලයං මම හිතින් කිය ගත්තා. "එහෙනම් මෙ ළමයි පන්තියට යන්න. මීට පස්සේ මෙ වගෙ වැරදි කරල එහෙම මට අහු වෙන්න එපා. ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකෙන් එලියට ඇවිත් පඩි පෙල නගින කොටම මෙන්න විමලයා. "මොක්ක්ද බං අර කරපු ගොන් වැඩේ" එකෙක් ඇහුවා. උඹලට පනිෂ්මන්ට් දෙද්දී මට බලාගෙන ඉන්නද? කියන්නේ. විමලය ඇහුව. ඉතිං බං අහිංසක ප්‍රින්සිපල් අපිට කරපු වැරැද්ද මොකොක්ද ? ඒ මිනිහගෙ පොත උස්සන්න ? එහෙම ඇහුවේ මහෙන්ද්‍ර. අපිට කෙලියේ ජයසේනයනේ. අන්න උගෙ පොතක් ඉස්සුව නම් හරි. "එහෙනම් හරි ! එහෙනම් හරි !!...." විමලය කට පුරොල හින වෙනව. මොකක්ද බං හරිය ? හරියටම හරි, මම උස්සපු පොත ගිහින් දැම්මෙ ජයසෙනයගෙ පොත් ගොඩ අස්සේ !!!!

ඊට පස්සේ මේ සිද්දිය අපට අමතක වෙලා ගියා. දවසක් බයෝ පංතියෙ කැලුමා දුවගෙන දුවගෙන ආව හති දාගෙන. හිනාවයි, හති ඇරිල්ලයි, අස්සේ කියන කිසිම දෙයක් පැහැදිලි නෑ. මේ මල වදේ හරියට තේරෙන භාෂවකින් කියපන්කෝ.

"අන්න විමලය උස්සපු පොත ජයසේනයගේ පොත් මේසේ තිබිල පිනාට මාට්ටු වෙලා. මේ මගේ නැති වෙච්ච පොත, ජයසේනගෙ මේසෙට ආවේ කොහොමද ?" ජයසෙනය අන්දුන්-කුන්දුන් වෙලා "මම ගෙනාවේ නෑ සර්" කියනව එක තොයිලයයි.

ඒ කාලේ "එල-එල" කියන වචනයයි. පහ දැමිල්ලයි නොතිබුන එක මහ ලොකු අඩුපඩුවක් කියල මට මේ ලඟදි හිතුනා.

Wednesday, January 18, 2012

තටු සිඳි සුරංගනාවිය ...... An angle without feathers

අද උදේ මගේ Facebook මිතුරියක් වන ෂේනු තරංගා විජේතුංග, කුඩා දැරියකගේ ඡායරූපයක් එකතු කර පහත තිබෙන අදහස එයට එකතු කර තිබුණා. මීට පෙරත් ඇය මෙවැනි ඡයාරූප හා අදහස් බොහෝමයක් ඉදිරිපත් කර තිබුනත්, ආසන්න සිදුවීමක් හා සැසඳෙන නිසා මෙම සටහන තබන්න එය නිමිත්තක් කර ගත්තා.


Dedicated to all the GIRLS on this page and a must read for all the BOYS :

Girls Grow Up Listening To Fairy tales
And They Are Princess Of Their Parents
They Realize Slowly;
That Life is Not A Fairytale & Compromise With Their Lives
Just For An Unknown Person & Family
Leave behind Everything
Their Family, Friends & Home
Lucky Are The Guys
Who Don't Have To Leave Anything &
Who Live A Life Given By Their Wife
So Girls Are The Angles On Earth
BOYS Value Them... :)
an innocent girl in worried mood


මේ සිද්ධිය වුනේ නුගේගොඩ හංදියේ 163/176/183 බස් නැවතුමේදි, හරියටම කියනවානම් Shoe Limit කියන සපත්තු සාප්පුවේ එලිපත්තේ, ගිය ඉරිදා (15) හවස 5.30ත් 6.00ත් අතර. 

මම උදේට Office යන්නෙ ගාලු පාරෙන් උනත් එනකොට එන්නේ 138 - මහරගම/කොට්ටාව/හෝමාගම බස් වලින්. මොකද ගාලු පාරේ මොරටුව/කොටුව බස් කොටන හින්දා. එතනිනුත් මම යන්නේ 176 බස් එකෙන්, ඒත් කලින් කියපු හේතුවමයි. අනිත් බස් දෙක කලුබෝවිල රෝහල ලඟ නතර කරලා ලෙඩ්ඩු බලන්න ගිය අය ආපහු එනකං බලං ඉන්න නිසා. මෙහෙම ඉන්නකොට මගේ පාසල් මිතුරෙක් මුන ගැහුනා. ඌත් එක්ක පැය භාගයක් විතර ආගිය කථා කරා. මේ අතරෙ ඕනෑ තරම් බස් ගියත් අවුරුදු 15කට විතර පස්සේ මුණ ගැහුනු අපි දෙන්නට කථා කරන්න ඇති තරම් මාතෘකා තිබුනා. ගුණයා ඒ කියන්නේ මගේ යාලුවා පිටත් උනාට පස්සේ 176ක් එනකම් මම තව ටිකක් රස්තියදු උනා. 

මෙහෙම ඉන්නකොට A/L class ගිය ගැණු ළමයි තුන් දෙනෙක් මාව පහු කරලා මීටර් 2-3 ඈතින් නතර වෙලා කතා කර කර හිටියා. එය එතරම් විශේෂිත කරුණක් නොවුනත් ඔවුන් කෙලිදෙලෙන් විහිලු-තහලු කරමින් උන්නා. තුන් දෙනාම එක සයිස්. එතරම් පියකරු යුවතියන් නොවෙන බව පෙනුනා. අනිවාර්යෙන්ම උසස් පෙල පටන් ගත්ත ගමන් අය වෙන්න ඕනෙ. එතරම් මේරූ පාටක් පෙන්න තිබ්බේ නෑ. එක ළමයෙක් කලුයි. අනිත් දෙන්නා තළෙලුයි. තුන්දෙනාම සාමාන්‍ය පවුල් වල අය කියන්න පුලුවන්. ටික වෙලාවකිනි ඉතා කලබලයෙන ආපු තරුණයො දෙන්නෙක් මෙතන නතර උනා. එක් කෙනෙක් පැත්තකට වෙලා හිටියා. අනිත් එකා අර ගෑණු ළමයි තුන් දෙනාගෙන් කලු කෙනාව පොඩ්ඩක් පැත්තකට කරගෙන හොන්දටම බැනගෙන-බැනගෙන ගිය. ඔහු කියපු වචන හරියටම මට පැහැදිලිව ඇහුනේ නැති උනාට, "තමුසෙට කවුද?","තමුසේ දන්නවාද?",එන්නෙපා මාත් එක්ක සෙල්ලම් කරන්න" වගේ වචන කන්ඩ වඩ-වඩාත් ඉස්මතු වී ඇසුනා. මෙ කොල්ල දැක්ක පමනට යමක්-කමක් තියෙන ගෙදරක නාස්තිකාර පුත්‍රයෙක් බව පේනව. සාමන්‍යෙන් වයස අවුරුදු 17-18ක් උනත් ඉන 36ක්ට වඩා වැඩි මිසක් අඩු බවක් පෙන්නෙ නෑ. තරබාරු උදරය නෙරා ආ(මේකත් style එකක් ), අඩි 5 අඟල් 6 කට වඩා උස, රැවුල පිලිවෙලකට කපා නැති, කොන්ඩේ කපුටු කූඩුවක් සිහි ගන්වන(මෙය style එකකි ). කොල පාට T-shirt එකක්(body fit) ඇඳගෙන හිටියා. දැකපු කෙනෙකුට කිසිම පැහෑදීමක් ඇතිවෙන පෙනුමක් නෙවෙයි ඔහුට තිබුනේ. 

දැන් අර කෙල්ලගෙ කම්මුල් දෙකෙන් කඳුලු ගලාගෙන යනවා. මගේ ඇඟේ ලේ රත් වේගෙන ආවා. මට උන්-හිටි තැන් අමතක වෙන්න නොදී මාව පාළනය කර ගත්තේ බොහොම අමාරුවෙන්. මමත් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මම මෙතනට මැදිහත් වෙනවාද නැත්ද? යන දෙගිඩියාව මගෙ හිතෙ දෝංකාර දුන්න.

මම ඉතා අමාරුවෙන් හිත හදා ගත්තා, 

"අනේ දුවේ මට සමා වෙයං" මම හිතින් කියා ගත්තා. මේ වගෙ case එකකට මැදිහත් වෙන්නත් බෑ. ඒ කොල්ලාට ඇය පිලිබඳ අයිතියක් නැති බව පැහැදිලියි. ඒත් මට තියෙන අයිතිය මොකක්ද ? මම මැදිහත් උනානම් ඌ මගෙන් අහයි "තමුසෙ කවුද ?" කියලා. මම දෙන උත්තරය මොකක්ද? ඒ චබ්බට දෙකක් අනින්න මගේ කාය ශක්තිය ඉතාම ප්‍රමාණවත්. ඒත් මාගේ සුරතල් දියනියත් මේ වෙලාවේ මගේ හිතට ආවා. "මම බිය ගුල්ලෙක්" යයි ඔබට සිතෙන්නට පුලුවන්. මේතන මගේ අක්කාගේ දුවරුන්ගෙන් කෙනෙක් හිටියනම් තත්වය වෙනස් වෙන්න තිබුනා. ක්ෂණයකින් එම ස්ථානයට අක්කාගෙ බාල දියණිය ආදේශ කලා. අර කොල්ලාගේ කමිසය කරකවා අල්ලගෙන "උඹ කවුද මිනිහෝ" කියලා අහන ගමන් උගේ හොම්බට අත මිටි කරලා ලේ හැලෙන්න අනිනව. මේ ටික මගේ හිතින් දැක්ක දෙයක් විතරයි. මම දිග සුසුම හෙලුවා. තව ටික වෙලාවකින් අර කොල්ල වේගයෙන් නුගේගොඩ ගුවන් පාලම දිශාවට ගමන් කලා. අහිංසක කලු කෙල්ලත් ඒ පස්සෙන් ගමන් කලා. අනිත් කෙල්ලො දෙන්නත් ඒ දිහාවටම ගියා. මම ආයෙත් කල්පනාවට වැටුනා.

"දෙමවුපියෝ හරිම හුරතලෙන්, එක මොහොතක් ඇහැ අහකට ගන්නැතුව, ෂේනු කියන්න වගෙ "සුරංගනාවක්" වගේ තමයි තම දරුවන් උස් මහත් කරන්නෙ(ඇත්තටම මේ දවස් වල මගෙ දියනියගේ ලොකයේ ඉන්නේ සුරංගනාවියන් විතරයි. හරිම සුන්දරයි. සමහරවිට ඇය සිහිනෙන් පවා සුරංගනාවියන් දකිනව. සිනාසෙනවා, අඬනව, උදයේදී මේ හීන ගැන මාත් සමග කථා කරනවා). දරුවෙකුට ලෙඩක්-දුකක් තියෙන වෙලාවට දෙමවුපියන්ගෙ උගුරෙන් පල්ලෙහට වතුර ටිකකට වඩා දෙයක් යන්නෙ නෑ. විවාහක සැමියෙක් තම බිරිඳට මෙහෙම කථා කලානම් කමක් නෑ කියන්න පුලුවන්. ඒත් boy friend කියන්නේ මහ ලොකු අයිතිවසිකමක්ද ?" අහිංසක කෙල්ලන්ට මෙහෙම සලකන්න උන්ට තියෙන අයිතිය මොකක්ද? ඔබත් boy friend කෙනෙක් නම් මේ ගැන සිතන්න. ඔබ ඇයට ආදරය කර ඇත්තේ අවුරුදු 2ක් නැත්නම් 3ක් වෙන්න පුලුවන්. ඒත් දෙමවු පියන්ගෙ ආදරය නොනවතින එකක්. හරියට උතුරලා වතුර ගලන ලිඳක් වගේ. ඇයට මෙ වෙනස දැනෙන්න දෙන්න එපා. තරුණ වයසේ ආදරය සාර්ථක වන්නේ බොහොම ටිකයි. ඉතිං ඇය මෙලෙස තාඩන-පීඩන වලට ලක් විය යුතුද ? හිතන්න. අද මෙලෙස පීඩවට පත් වෙන්නෙ කවුරු හරි වුනත්. හෙට ඔබගේ බාල සහෝදරිය මෙතන ඉන්න පුලුවන්. තව ටික කාලයකින් ඔබගේ දියණිය මෙතන ඉන්න පුලුවන්. එතනදී ඔබට එය දරා ගන්න පුලුවන්ද ?

Sunday, January 15, 2012

අරුම - පුදුම වර්ජනේ .... Incredible Protest


A bottle tied  with a rope for hang and die
පින්තූරය ගත්තේ  : http://workerdandy.blogspot.com

දැන් ලංකාවේ හැම තැනම වර්ජන, විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාලි, සත්‍යක්‍රියා වැහි වැහැලාය. ඕනෑම පුංචි දෙයකට වුවත් වර්ජනය. වර්ජනයක්, පෙළපාලියක් දකින්නට නැති දවසක් නැති ගානය. මෙදා පාර නම් අමුතුම තාලයේ පෙළපාලියක් ගාලු පාර දිගේ කූඹි රැළක් මෙන් ඇදීගෙන එයි. වෙනදා අපි දකින පෙළපාලි වලට වඩ සහමුලින්ම වෙනස් ආකාරයේ එකකි. එක්තර රිද්මයකට අනුව කෙරෙන තට්ටු කිරීමේ හඬ ඈතින් ඇසෙයි. ගිනි අව්ව ඉවසාදරාගෙන  මෙය නැරඹීමට මම හිතා ගතිමි. වෙනදා පොලීසියෙන් බැරියර් දමා, වතුර විද, කඳුළු ගෑස් ගසා බාධා කරන මුත්, පොලිස් රාළහමිලාද පෙර නැති සැහැල්ලුවකින්, සින මුසු මුහුණින් බලා හිඳී. ඒකත් එකටම මෙය ආණ්ඩුවේ කුමක් හෝ ව්‍යාපාරයක් විය හැක. 

දැන් පෙළපාලිය මා සිටින තැනට ඉතා සමීපය. පාරේ ගමන් කරන සියලු දෙනා තමන් කරන්නට ආ රාජකාරි සියල්ල අමතක කර පොදි කමින් බලා හිඳී. මෙය නම් පුදුමයකි. රූපවාහිනී නාලිකා වල මාධ්‍යවේදීන් එක් වයෝවෘද්ධ පුද්ගලයකු වට කරගෙන් "වොයිස් කට්" ගනියි. මමද සෙනග පීරාගෙන එම ස්ථානයට කිට්ටු කළෙමි. මින් පෙර කිසිදිනෙක මා  එම පුද්ගලාය දැක නැත. අහිංසක ගැමි පෙනුමකින් හෙබි, ඉදුණු රැවුල දින කීපයකින් කපා නැත. ඔහු  කිසි දිනෙක රූපවහිනී කැමරාවක් ඉදිරියේ පෙනී සිට නැති බව සහතිකයෙන්ම කිව හැක. කලින් ඇසුණු රිද්මයානුකූල නාදය "අරක්කු" බෝතල් වලට කාසි වලින් තට්ටු කරන හඬ බව තේරී, මට නවත්වා ගන්නට බැරි හිනාවක් ඇති විය. ඒ මෙවැනි ආතල් ගන්නේ මළ ගෙදරක යන ගමන් සිංදු කියන්න නිසාය.

"නෑ ආයිබොවන්ඩ මම කියන්නේ, මේ විදියට බෝතලෙත් අලුතෙන්ම හදාගෙන පොල්තෙල් විකුණන්න ගියොත් ඉතිං මිනිස්සු කවදාවත් පොල් තෙල් ගන්න එකක් නෑ. අර සූරියකන්ත හරි පාම් තෙල් හරි ගනියි මීට වඩා අඩු නිසා. එතකොට අපේ දරුමල්ලන්න්ට කන්න වෙන්නේ පුන්නක්කු තමයි".
 කඳුළු පිරි දෙනෙතින් මහලු මිනිසා පවසයි. එවර මාධ්‍යවෙදියා මයික් එක අතට ගෙන

"ඒ අදහස් පල කළේ එක්සත් පොල්තෙල් නිපදවන්නන්ගෙ සමිතියේ සභාපති ජේමිස් අප්පුහමි මහාතයි".

ඒකත් එකටම මෙක ආහාර හා සමූපකාර ඇමතිගේ වැඩක්  විය යුතු බව මම හිතා ගතිමි. මේ යකා ෂුවර් එකටම තෙල් ගෙන්වන එවුන්ගෙන් ජරාවක් කාලා ඇති. ඉන්පසු  මගේ ඇහ එක්වරම නැවතූනේ පාරේ ගෙන යන බැනර් එකක් ළඟය. 

"අරක්කු බෝතල් වල පැණි විකිණීමට දියව්"

මොකක්ද ඒ හරුපේ තේරුම ?

මෙක නම් ෂුවර් එකටම බෝතල් අර්බුදයක්. හරියටම හරි. ඊළඟට එන්නේ එක්සත් එළ-කිරි විකුණන්නන්ගෙ සංගමයයි. ඊට පිටුපසින්  ආයුර්වේද තෙල් සහ අරිෂ්ට නිෂ්පාදකයින්ය. ඉතිං මේ රටේ මේ ඕන තරම් අරක්කු බෝතල් තියෙන්නේ. කාලේ, බාගේ, පයින්ට්, බෝතල් ඕන තරම්. ඈ.... ඊළඟට එන්නෙ හරි අපූරු කට්ටියකි, ඒ බෝතල් පත්තර මිලදී ගන්නන්ය. මේ ඔක්කොටම බඩේ පාර වදින්න ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ ? කෙළ මෝලෙන් ඇන්නා වගේ මේ පාර නම කාරණාව මට සහ සුද්දෙන්ම වැටහිණි. නාත්තන්ඩියේ වීදුරු වැලි නිෂ්පාදනාගාරේ සේවකයනගෙන් වැටුප් ප්‍රශ්නයක්. නැත්නම් වීදුරු වැලි ආනයනයට බදු වැඩි කරලා ඇති. ම්හු.. ඒකත් වෙන්න බෑනේ එහෙනම් ඇයි "අරක්කු බෝතල් වල පැණි විකුණන්න දියව්" කියල බැනර් එකක් නිල් පාටින්ම ගහගෙන් ගියේ ?

ඒකත් එකටම ආණ්ඩුව දේශීය මත් පැන් වෙනුවට, ආනයනය කරන මත් පැන් පානය කරන්න නියම කරලා ඇති. ඒත් ඉතිං ඒකට කිසිම විරෝධතාවක් නෑනේ. කියනකොටම මේ එන්නේ වැනි-වැනී කට්ටියක් බැනර් එකක් අරගෙන. රුයිතෙට ගිය බැනර් එක යාන්තමට බලා ගන්නට පෙර කවුරුන් හෝ  මාව තල්ලු කළේය. මා මෙවර සීතල පොළවටම වැටී ඇත. මා තල්ලු කර ඇත්තේ මගේ කුඩා දියණියයි. නිදා ගන්නා විටි මගේ ඇඟට කකුලක් හේත්තුකර ගැනීම ඇගේ සිරිතයි. දැන් මට කාරණය වැටහෙයි. මා මෙතෙක් වේලා දැක තිබෙන්නේ හීනයකි. අවාසාන කණ්ඩායමේ බැනර් එකේ තිබුණේ මොනවාදැයි දැන ගැනීමට මම නැවතත් ඇහ පියා ගතිමි. එහි තිබුණේ

"මතට-තිත වහා හකුළා ගනිව්" කියලයි. 

නැවතත් දෑස්  ඇර මා කල්පනා කළේ එක් නිෂ්පාදනයක් මත යැපෙන තවත් කණ්ඩායම්  කිහිපයක් විය හැකි බවයි.


ප.ලි. 



අරක්කු බෝතල් වල දමා විකුණන තවත් බොහෝ නිෂ්පාදන වෙයි. ඇත්තටම මේවා මහා පරිමාණ නිෂ්පාදන නොවේ. විනාකිරි, සරුවත්, පෙට්‍රල්,භූමිතෙල්. අපේ කාර්යාල වල බොහෝ දෙනා වතුර බොන්නේද අරක්කු බෝතල් වලය. මේ වෙනුවට ආදේශකයක් වශයෙන් මෙගා හෝ ප්ලාස්ටික් බෝතල් යොදා ගත නොහැකිද? ඇත්තටම අරක්කු බෝතල් මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව, බෝතලය යන මිම්ම නිවැරදිව සපයන්නේ ඒවා  බැවිනි. 




Friday, January 13, 2012

පෝෂණයෙන් අනූන බිත්තර ආප්ප ...... Nutritious Egg Hoppers



nutritious Sri Lankan authentic food egg hoppers


මේක වෙලා තියෙන්නෙ අපේ යලුවෝ කට්ටියක් රාජකරියකට හසලක ගිය වෙලාවෙ. අපේ යාලුවෙක් ඉන්නව සෙනරත් කියලා(ආදරේට කවුරුත් කියන්නෙ සෙන්නා කියලා) . හිතන්නේ තවමත් පාසල් යන විද්‍ය ශිෂ්‍යයෙක් විදිහට. මිනිහ කථා කලොත් ඒකට මොකක් හරි විද්‍යා කථාවක් ඈඳා ගන්නවා.



 එහෙ ගිය දවසේ ඉඳලා මිනිහා බලාගෙන ඉන්නෙ හවස් වෙනකන්. හවසට ආප්ප කන්න යන්න. වේලසන ඉඳන් බිත්තර ආප්ප වල ගුණ කියනවලු.



"මචං දන්නවද ? බිත්තර ආප්ප ගුණයි. මොකද බිත්තර දානවනේ, අද යන්නේ නැද්ද ආප්ප කන්න?"



ඉතිං අපේ යලුවෝ කට්ටියත් සෙන්නගෙන බේරෙන්න බැරි කමට යමු කියලා යනවලු. සෙන්නා යන ගමන් ඉන්න ගාන ගනන් කරනවලු. එකයි,.. දෙකායි... හයයි.


කඩෙට ගිය ගමන්


"හරි මච්ං අපි මෙතන වාඩි වෙමු නේද ?" කියල වේටර් කොලුවට කථා කරනවලු



"මල්ලි මෙහෙ එන්න, අපට බිත්තර ආප්ප 6 ක් ගෙන්න එකකට බිත්තර නැතුව"



දැන් වේටර් කොලුව තක්කු-මුක්කු වෙලා බලා ඉන්නවලු මේ කිව්ව හරුපේ තේරුම මොකක්ද ? කියන්න වගේ.


පස්සෙ කොල්ලටම තේරිලා හිනා වෙලා ගියාලු.

Sunday, January 8, 2012

ගරුතර හාමුදුරුවෝ .... Reverent Priest



A set of buddhist monks receiving alms giving


මම පොඩි කාලේ ඉඳන් සාමන්‍යන් ටිකක් අමුතු විදිහට හිතපු කෙනෙක්. දැනුත් එහෙමයි. මම පොඩි කාලේ(වයස හරියටම මතක නැහැ ) පන්සල් ගියාම, දානයක් තියෙන වෙලාවක කථා කරපු කෙනෙක් "ගරුතර සංඝරත්නයෙන් අවසරයි" කියල කිව්වාම මට හිතුනේ "මේ ගරුතර හාමුදුවෝ නම් හරිම පෙරේත එක්කෙන්ක් වෙන්න ඕනෙ. එයා හැම දානෙ තියෙන ගෙදරටම එනවා". අපේ ගම බෙන්තර(බෙන්තොට කියලත් කියනවා) එතකොට කලුතර, මාතර මේ වගෙ ගරුතර කියන්නෙත් ගමක නමක් වෙන්න ඔනෙ. හැම හාමුදුරුවන්ගේම නමට ඉස්සරැහින් ගමේ නම තියෙනවනේ. මම බැරිමතැන දවසක් තාත්තාගෙන් ඇහුව, "ඔය කොයි එක්කෙනාද ගරුතර හාමුදුරුවෝ ?" කියලා. එතකොටයි මට තෙරුනේ. ගරුතර සංඝරත්නය කියන්නේ කාටද කියලා.

Thursday, January 5, 2012

උදාර ගුණදම් සිත දැරුවෝ ...... Those with great minds


a sri lankan girl in school uniform holding blue water lily
මගේ දහම් පාසල් ගමන ඉතා කෙටි එකක්. එයට බලපෑ බොහෝ හේතු තිබුනත්, ප්‍රධානම හේතුව වූයේ ගාථා කට පාඩම් කිරීමට මා තුල තිබු දැඩි අකමැත්ත්යි. මුලින්ම පලමු ශ්‍රේණියට මා ඇතුලත් කරන ලද අතර, පාසල් මිතුරන් සමග තව-තවත් දොඩමලු වීමට , ගඩාගෙඩි කෑමට, බෙම්තොට උඩකොටුව විහාරස්ථාන මිදුලෙහි තිබු රූස්ස අඹ ගස් දෙක හ සියඹළා ගසත් අකමැත්තෙන් හෝ දහම් පාසල් යැවීමට රුකුල් දුන් හේතු කාරණායි. මගේ අතිජාත මිත්‍රයා යන්නේ වෙනත් දහම් පාසලකට වීම මගේ දහම් පාසල් ගමන අඩාල කරන්නට තවත් හේතුවක් වුනා.

සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් 
සැනහෙන අප සිරිලක් දරුවෝ
දහම් පාසලේ සෙවනෙහි වැඩෙමින්
උදර ගුණ දම් සිත දැරුවෝ
අප වෙමු සිරි ලක බොදු දරුවෝ......


ඔය කියන ටික මට තාමත් කට පාඩම්. ඒක සිංදුවක්නේ. ඒකයි. ඒ දවස් වල යාන්ත්‍රිකව වගේ මමත් ඔය  සිංදුව  ඔහේ කියාගෙන ගියා. තවත් එකක් තිබුනා එකෙන් පදයක්-දෙකක් විතර මතකයි


හිමිදිරි උදයේ සීතල නල වැල්
මගෙ ගත පුබුදයි - මට සුව සලසයි

පුංචි කුරුල්ලෙක් නින්දෙන් අවදිව 
තැන තැන පියඹයි
ගී හඬ පතුරයි 


ඔන්න ඔහොහොම කලවමේ ටික ටික තමයි මගේ මතකය ඒ දවස් වලත් තිබුනේ. මට මේ ගීත දෙක නම් හොඳට පාඩම්. ගාථා එකක් වත් පාඩම් නැහැ. සතියෙන් - සතියට කල් දාලා ලොකු arrears එකක් ආවාම මම අම්මත් එක්ක කෙලින්ම මේ ගැන කථා කලා. 

"අනේ අම්මෙ මට නම් අයිත් දහම් පාසල් යන්න කියන්න එපා"

"ඈ ! ඒ මොකද පුතේ ?"

"මට නම් ගාථා පාඩම් කරලා එපා වෙලා"

"එහෙම කියල හරි යන්නෑ" ඒ ටික අම්ම කිව්වේ ටිකක් සැරෙන්.


කොහොම හරි මුලු දවස පුරාම ජනේලය උඩ වාඩි වෙල කකුල් දෙක කස-කස අඬලා-අඬල මම සටන දිනා ගත්තා. පුංචි කාලේ මගේ ඉල්ලීම් දිනා ගන්න මම පාවිච්චි කල හොඳම ක්‍රමය මේක තමයි. 


ඊට පස්සෙ මගේ ඉරිදා දිනය වෙන් වුනේ ලොකු අයියලා එක්ක ක්‍රිකට් ගහන්න. කිසිම කරදරයක් නෑ. අපේ අල්ලපු වත්තෙ කුමාර විද්‍යාල පිට්ටනිය තිබුනේ. ඒකට මහ ඉස්කෝලේ කියලත් කියනවා. ඒකත් මට ඒ කාලේ ලොකු ගැටලුවක්.  මෙ පුංචි ඉස්කෝලෙට මොකද "මහා" කියන්නෙ, මේකේ තියෙන්නේ ඉස්කෝල(ගොඩනැගිලි ) 2යි. අපේ ඉස්කෝලේ තියෙනව 10ක් විතර. බ්‍රිතාන්‍ය පාළන කාළයේ එහි විශාල ගොඩනැගිලි තිබු බැවින් එය මහ ඉස්කෝලය වූ බව මම පසුව තාත්තාගෙන් දැන ගත්තා.


ඔන්න ඔහොමා මගේ දහම් පාසල් ගමන ලත් තැනම ලොප් උනා. ඒත් පුංචි කාලේ දහම් පාසල් ගිය අයට වඩා මගේ හැසිරීම හොඳ බව මටම තේරුනේ, දහම් පාසල් කියන තරඟයේ දෙවෙනි ඉනිම ගහන්න ගියාම. මම කලින් කිව්ව අතිජාත මිත්‍රය ශිෂ්‍යත්වය පාස් වෙලා ධර්මශෝකයට ගියා. මුලදි ඒක අපි දෙන්නටම දරා ගන්න බැරි උනත් පසුව අපි සති අන්තයේ හමු වන මිතුරන් ලෙස යාලු මිත්‍ර කම පවත්වගෙන ගියා. හත් වෙනි පන්තියේදි විතර මගේ යාලුවා මට අමුතුම යෝජනවක් ගෙනාවා. මගේ යාලුවාගේ නම අයිවන් (ඒක එයගේ දෙවෙනි නම පලවෙනි නම කිව්වොත් මිනිහගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වෙන නිස ඒ නම ගත්තෙ නැත්තෙ ). 

"මචං උඹත් වරෙන්කෝ අපෙ දහම් පාසළට"

"අනේ මට නම් බෑ. උඹ ඕන කෙනෙක් එක්කන් පලයං"

"මොකක්ද බං. අනිත් හැමෝම යනවා. උඹට විතරයි බැරි"

"හරි මං ආවෙත් උඹ මට මොනවද දෙන්නේ"

"උඹට මම දෙනවා,... උඹට මම දෙ..න..වා ..."

"ඔය ඔය උඹට දෙන්න දෙයක් නෑනෙ. මට බෑ. කොහොමටත් මට ඔය ගාථා එක්ක සෙල්ලම නම් හරි යන්නෑ"


"උඹ බය වෙන්න එප අපේ පංතියට උගන්නනේ අයිරින් මිස්ගේ පුතා, උඹලගෙ අම්මගෙ යාලුවා නේද අයිරින් මිස්."

"හරි දැන් කියපං, උඹ මට මොනවද දෙන්නේ?"

"උඹට දෙන්නම් මෙන්න මෙ ජාතියේ පෑනක්".

"කෝ දීපං බලන්න"

"ආ හරි මම මේක තිය ගන්නම්. උඹ ගාව ඕන තරම් ඇතිනේ"

"ඕක දීපං බං මම ඕකෙන් ගොඩක් ලියල තියෙන්නේ. උඹට දෙන්නම් අලුත් එකක්"

"හරි දැන් කියපං මාව දහම් පාසල් ගෙනියන්න උඹට තියෙන අමාරුව මොකක්ද ?"

"ඒක රහසක්, උඹ වැඩේ හරියට කරොත් මම උඹට තව බඩුවක් දෙනවා"

"හරි දැන් උඹ මට මොකක්ද කරන්න කියන්නෙ ?"


"අපේ පංතියට පල්ලෙහා පන්තියෙ ඉන්නව කෙල්ලෙක්, මාර ලස්සනයි මචං. නම චන්දි. මම ඒකිගෙන් අහලයි තියෙන්නේ. ඒකි බෑ කියනවා. ඒකිට අර අපෙ ගෙවල් ලඟ ඉන්න සුභාෂයත් ට්‍රයි. ඌ ඒකිට කියලා. ධර්මාශෝකයට අපිත් එක්ක යන, උඹලගෙ ගෙවල් ගාව ඉන්න ලාලනිත් එක්ක මම යාලුයි කියලා. මම උඹ ගාවට ඒකිව එක්කන් එනවා. උඹට තියෙන්නෙ එහෙම එකක් නෑ කියන්න විතරයි."

"අනේ මෙ උඹ හදන්නෙ මට ගුටි කන වැඩක් අටවන්න තමයි. මට බෑ"

"මොකක්ද බං සුභාෂ්. උඹ මගේ හොඳම යාලුවානේ. වරෙංකෝ"

"හරි මම අම්මගෙන් අහල කියන්නම්"

"අම්ම බෑ කියන්නෑ. උඹ වරෙන්. මම යන්නම් මචං"

මම එදා ගෙදර ගිහින් අම්මට කිව්ව 

"මට අයිවන් කථා කලා ගණේ පංසළේ තියෙන දහම් පසලට  එන්න කියල"

"අන්න හොඳ ලමයි. තමන්ගේ යාලුවන්වත් හරි මගට ගන්න හදන හොඳ ලමයයෙක්. කවදා හරි ලොකු තැනකට යයි"


කොහොම කොහොම හරි මමත් ගිය දහම් පාසලට. අපේ ගෙදර ඉඳලා හැතැප්මක් විතර ඈතින් තමයි ගණේ පන්සල තියෙන්නේ.  උදේ කෑම අයිවන් අරන් ඇවිත් තිබුනා. මට මාර සැලකිලි. ඒත් මට හොඳටම බයයි. ගුටි කන්න වෙන වැඩක් තමයි. දැන් නලින්ද අයිය උගන්වනව මට මොනවත් ඇහෙන්නැති ගානයි. අතරින් පතර තමයි මගේ අවධානය පන්තියට එන්නෙ. කොහොමින් කොහොමින් හරි interval එකත් ආවා. දැන් නම් මගේ පපුව යකාගේ කම්මල වගෙ. ඔය අස්සෙ අපේ පන්තියෙ ඉස්සර හිටිය විජිතය මගේ උරිස්සට දඩොරියං කියල පාරක් ගහල අහනවා 

"යකෝ කවද ඉඳලද මූ උපාසකය වෙලා තියෙන්නේ කියලා"


"අනේ මං දන්නෑ බං මෙ අයිව..." කියනකොටම අයිවන් මගේ කට වැහුව අතින්. එහෙම කරලා මගෙ අතින් ඇදගෙන ගියා. චන්දිගෙ පන්තියට යමු කියල. මට නං දැං හොඳටම බයයි. මේ ඉන්න හැමෝම මාව දන්නව.


"උඹ ඔහොම පොඩ්ඩක් හිටපං" කියල අයිවන් ගියා කෙල්ලෙක් ලඟට. අපෝ මේකිද මෙ මහ ලස්සන කෙල්ල මම හිතිං මුමුන ගත්තා. ඔය එන්නෙ අයිවනයා.

"මචං හරි වැඩේනෙ, අද චන්දි ඇවිල්ලා නෑනේ"

"මේ මමනං ආයි එන්නෑ"

"අනේ බන් ඒකි ලබන සතියෙ එයි. මම පනිවිඩයකුත් යැව්ව"


ඊලඟ සතියෙත් අයිවන්ගේ බලවත් ඉල්ලීමට මම ගියා. උදේම අයිවනයගෙ මූන මල් වට්ටිය වගේ බබලනව. මට තේරුණා. අද ඇවිල්ල ඇති. 


පන්සිල් අරන් ඉවර වෙච්ච ගමන්ම නලින්ද අයිය ඉස්සි ඉස්සි බලනව. මම අයිවනයගෙ කනට කොඳුරල ඇහුව. "

මචං වැඩේ මාට්ටු වෙලාවත්ද දන්නෑ කියල"


"උඹට පිස්සු ඒ බලන්නෙ අක්කලගේ පන්තියේ ඉන්න අක්ක කෙනෙක් දිහා. නලින්ද අයිය එයාට ට්‍රයි"

"යකෝ මේක දහම් පාසලක්ද" අයිවනය අතින් මගෙ කට වැහුවා.

"සුභාෂ් ගාථාව පාඩම්ද ?" මම ඔලුව වැනුවා. 

"එහෙනම් කියන්න බලන්න"

මනො පුබ්බම් .... ගම....ධම්ම
මනො... මනො (සෙට්ටා අයිවනය කෙඳුරුවා) සෙට්ට ...

"සෙට්ට" යනව එලියට 


"අයියො දෙයියනේ මට වෙච්ච දෙයක්. මේ අයිවනයා දැම්මොත් දාන්නෙ ලෙඩක්ම තමයි. දැන් අව් රස්නෙට මගේ ඔලුවේ ගෑව පොල්තෙල් කන දෙපැත්තෙන් බේරෙනව. ඉඳපන් අද මම චන්දිට කියනව උඹ ලාලනිත් එක්ක යාලුයි කියලා"

ටාං....ටාං .... ටාං


interval වෙලාවත් ආවා අයිවනයා කෙලින්ම දුවගෙන ඇවිත් මගේ කරට අතදා ගත්තා. වරෙන් යන්න අපි ඉක්මනට අර වැඩේ ඉවරයක් කරමු. අපි දෙන්න චන්දිගේ පන්තියට එහා තියෙන මල් ආසනය ගාවට රවුමෙන් ගියා. මමත් මරන්න ගෙනියන හරකෙක් වගේ ගියා. අයිවනය චන්දිට(වෙන්න ඔනෑ) මාව පෙන්නලා කිව්ව 


"මෙයා ඇවිත් ඉන්නෙ මම අර කිව්ව සාක්කිය දෙන්න. දැන් හරිනේ. එහෙනම් අපි යන්නම්"


කොහොම හරි මගේ දහම් පාසල් දෙවෙනි ඉනිමත් ඔහොම අවසන් උනා. අම්ම මගෙන් මොනවත් ඇහුවේ නෑ. 



Tuesday, January 3, 2012

බ්ලොග් යන්නට සිංහල තේරුමක් (තිබිය නොහැකිද) ? ...... Sinhala word for Blog

picture with word blog and pointer in it
මා තවමත් බ්ලොග් ලිවීමට පටන් අරන් දවස් කිහිපයකි. හරියටම කියනාවානම් දවස් තුනයි. ඒත් මගේ හිතේ බුබුර-බුබුරා නගින ප්‍රශ්ණය නම් "බ්ලොග් යන්නට සිංහල වචනයක් ගොඩ නගා ගත නොහකිද ?" යන්නයි. බ්ලොග් යනුවෙන් හඳුන්වන්නේ ඉංග්‍රීසි Web Log යන වචන දෙක බද්ධ කොට සාදා ගන්න ලද වචනයකි. මුලින්ම එය හඳුන්වා දී ඇත්තේ "ජොර්න් බාර්ගර්"(Jorn Barger) නැමැත්තය. ඒ අදින් අවුරුදු 14 කට පෙර එනම් 1997 දෙසැම්බර් 17 වන දා. ඉන් අණතුරුව එය විහිලුවට මෙන් We Blog ලෙස සන්ඳි කොට භාවිතා කොට ඇත්තේ "පීටර් ම්'ර්හොල්ස්" (Peter Merholz) නැමැති පුද්ගලයායි. පසුව එය වඩාත් ජනප්‍රිය වී බ්ලොග් යන්න ගලේ කෙටූවක් මෙන් ස්ථිර විය.



දැන් අපි බලමු මේ සඳහා ඇති සිංහල තේරුම් මොනවාද කියා. Web යන ඉංග්‍රිසි වචනයට ඇති සිංහල තේරුම්[ජාලය, සියොදුව,කොන්ද, පිළිකඩ, ආනාය, (රෙදි ) කච්චිය, දැල, ඇඟිලි අතරෙහි සවිය, වියමන] වලින් අන්තර්ජාලය යන තේරුම දෙන වචනය ජාලගත හෝ ජාලය ලෙස ගත හැක. Log යන්නට දී ඇති සිංහල තේරුම් [දැව කොටය, ලඝුගණකය, ලොගය, දශමාංශය, ලඝු, ළොඹුව, කොටය, කඳ, ලී කඳ] බොහෝ  විට අදාල නොවන ඒවය. මක් නිසාද Log යන වචනය ඉංග්‍රීසියෙදී බහුවල භාවිතා කරන්නේ ලී කොටය යන තෙරුමෙන් වන නිසාය. එහෙත් ලොග් යන්නට දිය හැකි සිංහල තේරුම් කිහිපයක් වෙයි. ලිපිය, සටහන වඩා අර්ථවත් ඒවාය. ඒ අනුව කෙලින්ම මේ වචන දෙක සම්බන්ධ කර පහත ආකාරයේ සංකරණ ලබා ගත හැක

ජාලගත + ලිපිය        ජාලගත + ලිපි
ජාලගත + සටහන     ජාලගත + සටහන්

ජාල + ලිපිය             ජාල + ලිපි
ජාල + සටහන          ජාල + සටහන්


එහෙත් මේ වචන දෙකෙන් ජාලගත හො ජාල යන පලමු වචනය සඳහා වඩාත් ගැලපෙන වචනය ජාලීය යන්න බව පැහාදිලි වේ. ඒ අනුව ඉහත සංකරණ මේ අයුරින් සකසා ගත හැක

ජාලීය + ලිපිය      ජාලීය + ලිපි
ජාලීය + සටහන    ජාලීය + සටහන්


ඒ අනුව වඩාත් තේරුමක් ඇති වචනය විය හැක්කේ

"ජාලි" බව පැහැදිලිය.


එහි ඒක වචන තේරුම "ජාලිය" හො "ජාලියක්"  වේ.
Blog-කරු යන්නෙහි තේරුම "ජාලිකයා", "ජාලික(යන්)" විය
Blog-කරණය යන්න "ජාලිකරණය" ලෙසද නම් කල හැක.

මා මෙහි සඳන් කලේ ඒ සඳහා ගත හැකි එක් ප්‍රායෝගික වචනයක් පමණි. ඒ සඳහා තවත් නොයෙකුත් වචන් තිබෙන්නට පුලුවන. එක් අතකින් Blog යන්න සමාජගත වී තීබෙන ප්‍රමාණයට මෙම වචනය ජන වහරට ගෙන යා හැකිද යන්න ප්‍රහේළිකාවකි. එහෙත් පීකිං යන්නට බීජ්ං යන්නත් බොම්බාය යන්නට මුම්බායි යන්නත් යොදා ගත්තානම්, එම රටවල් දෙකෙහි ජනගහනය සසඳා බැලීමේදී මෙය කජ්ජ්ක් නොවන බව පැහැදිලිය.

ආශ්‍රිත වෙබ් අඩවි : http://en.wikipedia.org/wiki/Blog
වචන පරිවර්ථන : MADHURA English-Sinhala Dictionary


සුභාෂ් දිල්රුක් කන්නන්ගර
2012-01-03.

Sunday, January 1, 2012

දැක්කම හිරිගඩු පිපෙන වතුර ටැංකිය ...... A water tank that will makes goosebumps on my body

a complex mechanical engine in black and white
මෙහි පළමුවෙන්ම සඳහන් කිරීමට බලපොරොත්තු වන්නේ මා කුඩා කාලයේ මුහුණ දුන් අත්දැකීමක්. මේක වෙද්දි  මගේ වයස අවුරුදු 9ක් විතර ඇති. ඒ කාලයේ මගේ ලෝකයේ වීරයා වෙලා හිටියෙ ජයසේන බාප්පා. ඒ දවස් වල බාප්පා වැඩ කරේ සංචරක මණ්ඩලයේ පොම්ප ඔපරේටර් කෙනෙක් විදියට. මුලු බෙන්තොට සංචරක ප්‍රදේශයටම ජලය සපයපු යෝධ වතුර ටැංකියට ජලය පොම්ප කරපු එන්ජින් කාමරය තිබුණේ වතුර ටැංකියේ පහළ මාලයේ අඳුරු කාමරයක. මම නිවාඩු දවස් වල හවසට බාප්පලගෙ ගෙදර යන්න පුරුදු වෙලා හිටිය. එහේ ගිය වෙලාවේ ඉඳන් බාප්ප්ගෙ පස්සෙන් යන එක මගේ සිරිතක් වෙලා තිබුණා. එහෙම ගිය දවසක බාප්පා නාන්න යද්දී මාවත් එක්කරගෙන ගියා. එක්කන් නොගියත් මම යනවා පස්සෙන්. නාන්න යන ලිඳට යන පාර තිබුණේ අර කියපු ටැංකියට ළඟින්. එහෙම යන අතරෙදි එන්ජින් කාමරයේ යතුර අරන් ඇවිත් ඒක ඇරලා ඇතුළට බාප්පා යද්දි මමත් රිංගුවා. ආයෙත් අහන්න දෙයක් නෑනෙ. ඒ වුණාට මම ටිකක් බයෙන් ගියේ. බාප්පා සැර නිසා. එන්ජින් කාමරයට ගියාම මට පිස්සු හැදුනා. ඒ වගේ තැනක් මම ජීවිතේට දැකලා නෑ. එතන මෝටරය නද දීගෙන කැරකෙනව. එහෙන් දැති රෝද මෙහෙන් දැති රෝද, බෙල්ට්, අර පැත්තට, මේ පැත්තට කැරෙකෙනවා. මම කට ඇරගෙන උඩ බලාගෙන හිටියේ. ඔහොම ටිකක් වෙලා බලාගෙන ඉඳලා මම බාප්ප කොහෙද කියල බැලුවා. මුලු කාමරයම කළුවරයි. බාප්ප පෙන්නත් නෑ. බාප්පේ..., බාප්පේ..., මම පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුව. දොරත් වහලා. බාප්පා මට විහිළුවක් වත් කරනවාද?  මට ඇඬුණේඉබේටම. මම දොරට ගහ-ගහ කෑ ගැහුවා. දැන් මගේ පපුව ගැහෙන සද්දේ  මෝටර් වල සද්දෙට වඩා වැඩියි.

 "අනේ අම්මේ...!! " 

මට ඉබෙටම කියැවුණා. අනේ අද දවසම මට මෙතැනද ඉන්න වෙන්නේ ? මට පුදුමාකාර බයක් ඇති වුණා. ඔහොම තව විනාඩි 10 විතර ගත වුණා. ඒ ටික වෙලාව මට කල්පයකටත් වඩා දිගයි.
"ටකාස් ... "

ගාපු හඬින් ආව එලියට මගේ ඇස් නිලංකර වෙලා ගිය. බාප්ප ඇවිල්ලා. 

"අනේ ... බාප්පේ.... "

මම අඬාගෙන ගිහින් බාප්පගේ ඇඟේ එල්ලුණා. මට ඒ වෙලාවේ දැනුණ සැනසීම ජීවිතේට දැනිලා නෑ. 

"සුදු මහත්තයව මට අමතක වුණා. මගදි මතක් වෙලා ආවේ". 

ඊට පස්සේ ළිඳට යෑම පැත්තක තියලා අපි ගෙදර ගියා. ඒ සිද්ධිය මතක් වෙද්දි තාමත් මගේ ඇඟේ හිරි ගඩු පිපෙනවා.

ආරම්භක සටහන ...... Starting Note


start button
අද දෙදහස් දොලැහේ ජනවාරි පළවෙනිදා. අලුත් දෙයක් කරන්න ඕනෑ කියල මට හිතුණා. බ්ලොග් පිළිබඳ ඉතිහාසය 1997 තෙක් ඈතට දිව ගියත්, මා කෙතරම් බ්ලොග් ලිපි කියව ඇතත්, බ්ලොග් කරුවකු වීමට අදහස මට ඇති වුවේ දින කීපයකට ඉහතදීයි. ඒ වනවිට මා ෆේස්බුක් නෝට්ස් මගින් යම් යම් ලිපි ලියා තිබුණා. මා ලියන ලිපි කියවු මගේ බොහෝ මිතුරු මිතුරියන් පවසා සිටියේ මට හොඳ ලිවීමේ හැකියාවක් ඇති බවයි. විශේෂයෙන්ම මා ලියු ලිපි කියවා ලිවීම සඳහ මා දිරිමත් කල චන්දිමා, ප්‍රසාද්, සුරේෂ් යන අය මගේ මතකයට නැගේ. 

 මේසඳහා ඇවිද්ද පය...... කියන නම තොරා ගත් ආකාරය මෙහි සඳහන් කිරීම මගේ යුතුකමක්. ඇවිද්ද පය දහස් වටී කියා කියමනක් අප කවුරුත් අසා තිබෙනවා. එහි සමාන්‍ය තේරුම පයින් ඇවිදීම යයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. එහෙත් එහි නියම තේරුම ගවේෂණය බව ටිකක් කල්පනා කල පසු වැටහෙයි. මගේ රාජකරි දිවිය තුළදී ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ගමන් කොට මා ලබා ගත් අත්දඇකීම් මෙසේ ඔබ සමග බෙදා - හදා ගැනීම මාගේ අරමුණයි. ඊට අමතරව මා විදේශගත වූ කිහිප අවස්ථා වලදී ලැබුණ අත්දැකීම්ද මෙහි ලියා තැබීම වටී. අද මා ලබාගෙන සිටින තත්වයක් වෙයි නම් ඒ සඳහා දායක වුණු මාගේ ආදරණීය දෙමපියන්ටත්, සහෝදර/සහෝදරියන්ටත්, මේ සියලු අත්දැකීම් ලබාගැනීමට දායක වුණු මාගේ සේවා ආයතනය වන මහජන බැංකුවටත් එහි සේවක සහෝදර/සහෝදරියන්ටත් මෙම බ්ලොග් අවකාශය උපහාරයක් වේවා !



සුභාෂ් දිල්රුක් කන්නන්ගර

2012-01-01

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...