Saturday, December 15, 2012

මට මෙහෙම හිතෙනවා : හරිද / වැරදිද මන්ද ?

පින්තූරය ගත්තේ : forums.somethingawful.com
මම බ්ලොග් ලෝකෙට කඩා පාත් වෙලා හරියට අවුරුද්දක් වෙන්න තව දවස් කීපයයි තියෙන්නේ. මේ ගෙවපු දවස් තුන්සිය ගානෙදී විවිධ වර්ග වලට අයත් අය මෙහි දැනුම බෙදා ගන්නවා දැක තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර වලට අයිති අය තමන් දන්නා දේ තමන්ගේ බ්ලොග් පොස්ට් වලට එකතු කරනවා. එහෙම ගත්තාම සිංහල බ්ලොග් අවකාශය කියන්නේ දැනුම එකතු කර ගන්න පුළුවන් සැබෑ විශ්ව කෝෂයක්. ඒ මේ කතාවේ සුදු පැත්ත. ඕනෑම තැනක සුදු වගේම කළු පැත්තකුත් තියෙනවා. බ්ලොග් ලෝකෙට ටිකක් ආධුනික  xxxxxxxxxxxxxxxx අද ෆේස්බුක් එකේ දාල තියෙනවා එයාගේ අම්ම කියපු කතාවක්. 

"අපේ අම්ම කියනවා සමහර සිංහල බ්ලොග්ස් වල තියන ඒවා අපේ අප්පච්චිටවත් කියන්න නුසුදුසු තරම් කුනුහරපලු...

මම කල්පනා කරා මේ කතාව ඇත්තක්ද කියල. ඒ හැටි කල්පනා කරන්න දෙයක් නෑ. ඉතිං සමහර ඒවගේ අමු කුණුහර්ප එහෙම පිටින්ම දාල තියෙනවා. ඇයට දෙන්න තියෙනවා උත්තර කිහිපයක්ම.


  • "තමන්ගේ මැට්ටන් තම්මට්ටන්" කියන්න වගේ තමාගේ බ්ලොග් එකේ ලියන්නේ තමන්ට අවශ්‍ය, තමන්ට ඕන කරන දේවල්. අපිට ඒවා පාලනය කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ ඒවා නොබලා ඉන්න එක.
  • එයාල ඒ වගේ දේවල් දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ?
  1. තමන්ගේ බ්ලොග් එක ජනප්‍රිය කර ගන්න. ඒ කියන්නේ වැඩිම හිට්ස් ප්‍රමාණයක් එකතු කර ගන්න. 
  2. තවත් සමහර අය පුරුද්දට වගේ කුනුහර්පම ලියනවා. ඕනෑම කෙනෙකුට ආවේනික විෂයයක් තියෙනවා හොඳට දන්න. ඉතිං ඒ ඇය දන්නා හොඳම විෂය එය වෙන්න පුළුවන්.
  3. සමහරු දක්ෂ විදියට ව්‍යංගෙන් ලියනවා. ඒත් තේරුම ගත්තාම එකයි.  
  4.  සිංහල බ්ලොග් වලට තවම ගූගල් වලින් ගෙවන්නේ නෑ. නමුත් එයාලා ගෙවන්න පටන් ගත්තොත් තමන්ගේ බ්ලොග් එකට යන - එන ප්‍රමාණය වැඩි වූ තරමට හොද්ද බොර කර ගන්න පුළුවන්. ඒ ගැන අරමුණු කරගෙන ලියන අය ඉන්නත් පුළුවන්.
කතාව රසවත් කරන්න එතනට වඩා ගැලපෙන වචනය කුණුහරපයක් කියමු. මේක ඒත්තු යන විදියට මුල් අකරු විතරක් දාලා, අවශ්‍ය අයට ග්‍රහණය කර ගන්න පුළුවන් විදියට කරන එකේ මම ඒ හැටි වැරද්දක් දකින්නේ නෑ. එය හරියට චිත්‍රපටයකට ලිංගික දර්ශන එකතු කරනවා වගේ. එතනින් එන්න අවශ්‍ය පණිවුඩය ප්‍රේක්ෂකයාට ලබා දෙන්න පුළුවන්. ඒත් සමහරු හිතා මතාම එවැනි කොටස් එකතු කරනවා, තමන්ගේ චිත්‍රපටිය ජනප්‍රිය කර ගන්න. 

 අපි මේ කොච්චර කථා කලත් හැම දෙනෙක්ම මේ දේවල් කියවන්න කැමතියි කියන එකයි මගේ විශ්වාසෙ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ප්‍රසිද්ධියේ මේ දේවල් කතා කරන්න අකමැති එකයි වැඩේ. අපේ සංස්කෘතියට අනුව දෙමාපියන් දරුවන් එකට ඉඳගෙන මේ දේවල් කතා කරන සිරිතක් නෑ. අපට ගැටලුව ඇති වෙන්නේ අන්න එතන. බ්ලොග් අවකාශයේ මම දන්නා විදියට විවිධ දේශ-දේශාන්තර වල ඉඳන් ලියන අය ඉන්නවා. ඉතිං එහෙම රටක(ප්‍රංශයේ වගේ) ඉඳන් ලියන කෙනෙක් එහෙම ලියනවා වෙන්නත් පුළුවන්. මොනවා වුනත් මට කියන්න තියෙන්නේ මේ දේවල් අපට අනවශ්‍ය නම මගහැරීම තමයි හොඳම. මොකද අපි බ්ලොග් වර්ජනය කිරීම වගේ දේවල් සාමුහිකව කරන්න ගියොත්, සිංහලෙන් මොනවා හරි ටිකක් කොටන පිරිස අඩු වෙයි. 

අද මගේ පොස්ට් එකෙන් මම සාකච්චා කරන්න බලාපොරොත්තු වුන දේ මේක නෙවයි. මේ දීර්ඝ විස්තරය කරේ ඕනෑම දෙයක සුදු පැත්ත වගේම කළු පැත්තක් තියෙනවා කියන්න ගිහිං. ඒ කාරණාව එක පාරටම කියනවට වඩා හොඳයි ටිකක් උදාහරණ සහිතව අපේ සමාජයේ වෙන සිද්ධි ටිකක් එක්ක පැහැදිලි කලොත්. එහෙම උදාහරණ දුන්නම තේරෙයි මේ බ්ලොග් ලෝකේ වෙන්නෙත් අනිත් ක්‍ෂේත්‍ර වල වෙන දේවල්මයි කියල. හැබැයි මේ දේවල් රැකියා කරන ස්ථාන වල අඩුයි, ඒත් කලාව ක්‍රීඩාව වගේ තැන් වෙලා එමට සිදු වන දේවල් තමයි.

මම මුලින්ම අවධානය යොමු කරන්නේ චිත්‍රපට/ටෙලිනාට්‍ය/නාට්‍ය ක්ෂේත්‍රයන්ට. ඔන්න මුලින්ම නළුවෙක් හෝ නිලියක් අපි දකිනවා. ඉතා හොඳින් රඟපෑම කරලා ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නගිනවා එක්කෝ ඊට කිට්ටු මට්ටමකට. වෙළඳ දැන්වීම් ලැබෙනවා, විවිධ උත්සව වලට ආරාධනා ලැබෙනවා, විවිධ රුපවාහිනි නාලිකා සහ පත්තර මගින් මේ අයගේ සම්මුඛ සාකච්චා, නිතර නිතර ප්‍රචාරය කරනවා. මේ වෙනකොට මේ අදාළ ශිල්පියා සැලකිය යුතු වත්කමකට හිමිකම් කියනවා. ඔන්න එතකොට අර ශිල්පියාට එනවා මේ වගේ අදහසක් 

"මම දැන් රඟපෑවා හොඳටම ඇති, මට රඟපාන්න බැරි චරිතයක් නෑ, මට තෝර ගන්න බැරි තරමට අලුත් නිර්මාණ වල රඟපාන්න ආරාධනා එනවා, හැමතැනම මා ගැන කථා වෙනවා. මම මේකම කරලා හරි යන්නෑ. මමත් චිත්‍රපටිය/ටෙලිනාට්‍යක්/වේදිකා නාට්‍යක් කරන්න ඕනේ. සල්ලිත් අතේ තියෙනවා, මේවට සම්බන්ධ ශිල්පීන් අඳුනනවා. තවත් ඉතිං බලන් ඉන්න දෙයක් නෑ."

ඔන්න ඉතිං ඔය කියන කෙනා වැඩේට බහිනවා. එක්කෝ අධ්‍යක්ෂණයට නැත්නම් නිෂ්පාදනයට. සමහරවිට මේ දෙකටම. ඇත්තටම සමහර අය සාර්තකත්වයට පත් වෙනවා. ඒකට හේතුව තමයි මුලින් නළුවෙක් / නිලියක් ලෙස ආපු මේ අය තුල අර කියන ඉහල රාජකාරියට අවශ්‍ය හැකියාව සහජයෙන්ම තිබීම. තවත් කෙනෙකුට ඒ ක්‍ෂේත්‍රයේ නියැලීමෙන් ලැබූ අත්දැකීම් ප්‍රයෝජනයට ඇරගෙන, තවත් ඇය මේ පිලිබඳ කර තිබූ වෘත්තීය අධ්‍යාපන. ඒත් සමහරු එක තැනම කඩා වැටෙනනවා. හේතුව තමයි අරමුණක් නැතිව කරන ආරම්භය. රැල්ලට වගේ. මේ බොහෝ අයට වරදින තැනක් තමයි ඒවායේ ගැඹුර නොදැනීම. මතුපිටින් බලා තීරණ ගැනීම. වඩාම වැදගත් දේ තමයි යම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව. 

ඉතින් සංගීත ක්ෂේත්‍රය ගත්තත් ඔය ටිකමයි. ගීත ගයනාව. ජනප්‍රිය වෙනවා. ඉන් පස්සේ සංගීත අධ්‍යක්ෂණය වගේ අපහසු කාර්ය වලට බහින්න යනවා. සමහරුන්ට හරි යනවා. සමහරුන්ට වරදිනවා. වරදින බොහෝ අවස්ථා වල හේතුව ඒ අය එකට සපුරන්න ඕනෑ නියම සුදුසකම් සහ අත්දැකීම් පසු නොකර හුදෙක් මුදල් පමණක්ම තීරණාත්මක සාධකය කරගෙන ඔය කියන කාර්‍යට බැසීම. 

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අය පුහුණුකරුවන්,විනිශ්චයකරුවන්, විස්තර විචාරකයන් එහෙමත් නැත්තනම් ක්‍රීඩා භාණ්ඩ අලෙවිය වගේ ක්ෂේත්‍ර වලට බහින්න යනවා. එක අතකට මේවගේ වැරද්දක් නෑ. මොකද ක්‍රීඩකයෙකුට හැම දාම එක වගේ ක්‍රීඩා කරන්න බෑ. ඒ අය ජීවනෝපාය වෘත්තිය ලෙස තමයි ඒවා තෝරා ගන්නේ.  ඒත් අසාර්ථක වන ප්‍රමාණය වැඩියි.

දැන් හැමෝම කල්පානා කරනවා ඇති බ්ලොග් ලෝකේ මොනවද මේ විදියට වෙන්නේ කියලා. ඇත්තටම බ්ලොග් ලිවීමෙන් ආත්ම තෘප්තිය, ලිවීම සුමට කර ගැනීම, විවිධ පුද්ගලයන් හඳුනා ගැනීමට අමතරව ඔබට ලැබෙන දෙයක් නෑ. මම මේ මෑතක දැක්ක දෙයක් තමයි හොඳට බ්ලොග් ලියලා තමන්ට හොඳ හිට්ස් ප්‍රමාණයක් දවසකට ලැබෙන ගානට ආව බොහෝ දෙනෙක් කරන, අර ලස්සන ලිවිල්ල අත හැරලා දාලා පටන් ගන්නවා සින්ඩිකේටර් එකක්. ඊට පස්සේ බ්ලොග් ලියන අය එකට එකතු කර ගන්නවා. ඇත්තටම කාට හරි කියන්න පුලුවන්ද දැන් මේ බ්ලොග් අවකාශේ තියෙන සින්ඩිකේටර් ප්‍රමාණය කොපමණද ? කියල. සමහරු ඒක බොහොම සුමට විදියට කරනවා. ඒත් බොහෝ දෙනෙක් කරන්නේ මම අර චිත්‍රපට ක්‍ෂේත්‍රයේ උදාහරණය දුන්න වගේ. අපරාදේ අර තමන් ගොඩ නගා ගත්තු හැකියාව සහ ජනප්‍රියත්වය. 

මගේ විශ්වාසය අනුව බ්ලොග් රෝල් එකක් තියෙන හැම බ්ලොග් අඩවියක්ම වක්‍රව සින්ඩිකේටර් එකක් ලෙස ක්‍රියා කරනවා. මගේ බ්ලොග් එකට එන අය දිහා බැලුවාම එහෙම හිතෙන්නේ. කාට හරි කියන්න පුලුවන්ද ඇත්තටම තියෙන සින්ඩිකේටර් ප්‍රමාණය කීයක්ද ? කියල. මේක කාටවත් මඩ ගැහීමක් ලෙස කරපු දෙයක් නෙවෙයි. අර ඉහතින් දක්වපු දේ හා සමාන කමක් දැක්ක නිසා තමයි මේක ලිව්වේ. මා දන්නා විදියට සින්ඩිකේටර් එකක් පවත්වාගෙන යන්න තනි පුද්ගයෙකුට අපහසුයි. ඒ වටා විවිධ තාක්තණික නිපුනතා තිබෙන කණ්ඩායමක් ඉන්න ඕනේ. එහෙම නොවුනොත් අර අධ්‍යක්ෂණයට බැහැපු නළුවන් තත්වයට පත්වීම නවත්වන්න බෑ. 

මේ ළඟදී දැක්කා සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල ජනප්‍රියතාව ගැන විස්තර කරපු ලිපියක්. ඒකෙදී සින්ඩිකේටර් 19ක විස්තර දාල තිබුණා. මම විශ්වාස කරන විදියට තව විස්සක් වත් තියෙනවා අප්‍රසිද්ධ ඒවා. ඒ ලිපියට මෙතනින් යන්න. 

මා ඔබට යොමු කරන ප්‍රශ්ණ
  • දැන් තිබෙන සින්ඩිකේටර් ප්‍රමාණය ප්‍රමාණවත්ද ? නැත්නම් ඕනෑවටත් වඩා වැඩිද?
  • තවත් සින්ඩිකේටර් අවශ්‍යද? ඒ කුමන ආකාරයේ ඒවාද?
ප.ලි : අපේ තියෙන සින්ඩිකේටර් වලට දාල තියෙන්නේ බොහෝ දේවල් එකතු වෙලා හැදෙන වගේ තේරුම්. උදාහරණයකට කොත්තු, අච්චාරු, එහෙම ගියාම රවුන්දබවුට්, බේරුවල් බොක්ක, ගණිකාව වගේ ඒවත් නරක නෑ අලුතින් පටන් ගන්න කෙනෙකුට. 

62 comments:

  1. හ්ම්ම්ම්ම් කතාවනම් සහතික ඇත්ත. ඔය කතාව දාලා තිබුනේ අපේ හිතවත් නංගි කෙනෙක්. මට කියන්න තියෙන්නෙත් කුණුහරප තියෙනවනම් බලන්න එපා සමහර ලිපි තියෙනවා පෙනුමෙන් කුණුහරප වගෙයි නමුත් එතන ඇති කුණුහරපයක් නැහැ. මට මතක විදියට අපේ මාරයා අයියත් ඔය කුණුහරප යෙදීම ගැන දීර්ග විචාරයක් දීල තිබුන එය අජිනමොටෝවලට සමාන කරලා ඕනෙම දෙයක් ඕනෙවට වැඩ හොඳ නැහැ. සමහර දේවල් තියෙනවා අයිය කියල තියෙන තාලෙට එතනට ඒ වචනේ යෙදුවේ නැත්නම්ගතියක් නැති.

    ReplyDelete
    Replies
    1. හොඳම උදාහරණය අර ඔයා දාල තිබ්බ හිරේ ගිය කතාව. මාතෘකාව සහ ෆොටෝ එකෙන් හිතට එන දේ නෙවයි අන්තර්ගතය. හරියට සෑමාගේ "කැත හිත් වලට කවි" වගේ තමයි.

      Delete
    2. හරියටම හරි අයියේ. මගේ ඒ කතා එකක්වත් කුණුහරපයක් අන්තර්ගත වෙලා නැහැ කියල මම හිතනවා. හැබැයි මාතෘකාව පොඩ්ඩක් අන්දොස්. අනෙක පින්තූරත්. මම මට කියන්න ඕනේ දේවල් ලිපියේ ලියල තියෙනවා. ඒකට නැතිව මාතෘකාවටයි පින්තූරෙටයි අවධානය දෙන අයත් ඉන්නවනම් මට කොරන්න දෙයක් නැහැ. නමුත් ගොඩ දෙනෙක් කියවල තියෙනවා. ඒවගේම අදහස් දක්වල තියෙනව තව බලපු ගොඩ දෙනෙක් මොකුත් නොකිය ගිහිං තියෙනවා ඒවා අපිට නවත්වන්න බැහැ. ඒ මේ බ්ලොග් ලෝකේ හැටි.

      Delete
  2. සුදීක අයියේ.. ම‌ට හිතෙන විදියට කුණුහරුප කියන එකේ වර්ග කීපයක් තියෙනවා.. සමහර ඒවා තියෙනවා කියවන කෙනාගේ බුද්ධි මට්ටමට දිරවන්න අමාරු වචන යොදලා ලාබ ආතල් දෙන්න ලියන ඒවා... ( මට තාම ඒ වගේ බ්ලොග් හම්බුවෙලා නෑ..) ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව අතාරින්න පුළුවන්... සමහර ඒවා තියෙනවා කතා කරන මාතෘකාව සමාජයේ සම්මත කුණුහරුපයක් කරගත්ත දෙයක් ගැන කතා කරන ඒවා.. මතකනේ මාරයියාගේ ළඟදි දාපු පෝස්ට් එක ලිංගිකත්වය ගැන කතා කරපු... තව මාතලන්/ සිරා දාපු ගණිකාව ගැන පෝස්ට් එහෙම... ඒවත් සමහරුන්ට තාම කුණුහරුප....

    මේ ළඟදි අපේ තාත්තා මට කතා කරලා කියනවා “ පුතේ මල්ලි යන පැත්ත මට එච්චර අල්ලන්නේ නෑ.. ඔයයි පුතයි ගෙදර ආපු දවසක මල්ලිට පොඩ්ඩක් කතා කරන්න..” කියලා... අපේ අම්මලා තාත්තලා උනත් ලිංගිකත්වය ගැන දෙයක් අපි එක්ක කතා කරන්න උත්සාහ කළේ නෑ... ඒවා කූණුහරුප ගානට දාලා නිකම් හිටියා... අඩු ගානේ බඳින්න කිට්ටු වෙලා උපත් පාලත ක්‍රමයක් ගැනත් මම ඕනේ කිව්වම තමයි අම්මා ඒ ගැන හොයලා බැලුවේ... ඒත් අද අපේ තාත්තලට තේරෙනවා ඒ ගැන දරුවො එක්ක කතා කරන්න ඕනේ කියලා.. හැබැයි ඒකට දැං පරක්කු වැඩියි..

    ඒ කුණුහරුප ගැන... තමන්ට දිරවන්න අමාරු නම් කියවන්නේ නැතුව ඉන්න එක තමයි තියෙන්නේ...

    සින්ඩ් ගැන කියන්න තියෙන්නේ මමත් කිසිම සින්ඩියක් බලන්නේ නෑ.. මම බලන්නෙ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන පෝස්ට් තමයි.. අනිත් එක ෆලෝ කළාට පස්සෙ රීඩරේ අප්ඩේට් වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. කුණුහරප සාපේක්ෂයි කියන එක තමයි මටත් කියන්න පුළුවන්. ඒවත් භාශාවෙම කොටස් නේ. ඕනෑම සංවර කෙනෙකුට වුනත් තමන්ගේ පීඩනය පිට කරගන්න කුණුහර්ප අවශ්‍ය වෙනවා. අර කොලොන්නාවේ සුමංගල හාමුදුරුවොත් අම්ම මෝ නැතුව බන්නලුනේ අර මිරිකපු වෙලාවේ. වේදිකා නාට්‍යක් බැලුවත් හොඳ හොඳ ඒවා තියෙනව. හැබැයි පොඩි ළමයින්ට ඒවා තේරෙන්නේ නෑ.

      Delete
  3. තමන්ට නොගැලපෙනවා කියලා හිතනවානම් නොබලා හිටියනම් හරි .....

    ReplyDelete
    Replies
    1. ඔය කතාව හරි මචන් ඒත් සීමාවකට යටත්ව..
      මාත් දැකල තියෙනවා..මාත් අත අරිනවා නොබලා..
      එක අතකට මේ මොන විකාරද අපි කරන්නේ කියලත්
      හිතෙනවා..අපි අපේ ලෝක වල , අනිත් අය අනිත් අයගේ
      ලෝක වල..අපි හැමෝම isolated ලෝක වල තනි උන
      අය...අනේ මන්ද වහ ටිකක් කාල කැලේ රිංගන්න හිතෙනවා
      ඔයි.

      Delete
    2. මේක තමයි හොඳම ක්‍රමය.

      Delete
  4. ඔය කතාව හරි මචන් ඒත් සීමාවකට යටත්ව..
    මාත් දැකල තියෙනවා..මාත් අත අරිනවා නොබලා..
    එක අතකට මේ මොන විකාරද අපි කරන්නේ කියලත්
    හිතෙනවා..අපි අපේ ලෝක වල , අනිත් අය අනිත් අයගේ
    ලෝක වල..අපි හැමෝම isolated ලෝක වල තනි උන
    අය...අනේ මන්ද වහ ටිකක් කාල කැලේ රිංගන්න හිතෙනවා
    ඔයි.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකම තව තැනක දැක්ක වගේ මතකයි.

      Delete
    2. ඔව් ඉතින් ඔය උඩ තියෙන්නේ...

      Delete
  5. මම නම් දකින්න ලැබෙන හැම බ්ලොග් එකටම යනවා..තවම අලුත් මාස 4 1/2 පහක් වගේ තමයි මම මෙහෙට ඇවිල්ලා..ඒ නිසා ගොඩාරියක් බ්ලොග් ගැන දන්නෙ නෑ..හැබැයි එක සැරයක් ගියොත් පටස් ගාලා ෆලෝ කරනවා...ඊට පස්සෙ ලේසියෙන්ම ආයේ ආයේ යන්න පුළුවන්..ඔය කියනවා වගේ හැම කතාවම මමත් කියවනවා..හැබැයි ක්මෙන්ට් කරන්න පුළුවන් විදියෙ ඒවට විතරක් අනිවාර්යයෙන්ම ක්මෙන්ට් කරලා එනවා..
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්න ඕනේ. නරක අතරින් හොඳ තෝරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ.

      Delete
    2. ඒක හින්ද වෙන්ටැති ශම්මිය මගේ අනිත් හැම පෝස්ට් එකකටම කමෙන් කරල
      -යට ඇඳුම- පෝස්ට් එකට විතරක් කමෙන්ට් නොකර හිටියෙ.. කුණුහරුප වගේ පේන්ඩ ඇති ඒක :D

      මන් දැන් ටිකක් කපටියි. :P

      Delete
  6. වැදගත් විස්තරයක්....

    ReplyDelete
  7. සිංඩි ගැන මම කියන්න යන්නෑ.. ඔය ‍බ්ලොග් වල කුණු හරුප ලියන උන්ට තියෙන්නෙ මානසික උන්මාදයක්.. ඒව කියවල අපි උන්ට සහය දෙන්න ඕන නෑ.. තෝරා ගැනීමේ අයිතිය අපිටයි තියෙන්නෙ.. එකපාරක් නරකයි කියල දැක්කම ආයි ඒ පැත්තෙ නොයා හිටියනම් හරි..

    ReplyDelete
    Replies
    1. තමන්ට ගැලපෙන බ්ලොග් මොනවාදැයි තෝරා ගන්නවා නම් හරි. අපට ලෝකය නිවැරදි කල නොහැකියි. ඒත් තමන්ට නිවැරදි වෙන්න පුළුවන්.

      Delete
  8. මගේ බ්ලොග් එකේ ලියන්න මට අවශ්‍යදේ කියන්න අර්ධ සත්‍යයක්. ඒ කියන්නේ මාතෘකා නැතුව වේලි වෙලී ඉන්න සමහර අය, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ, හැමදාම බ්ලොග් එකේ මොනවාහරි අලුත් ලිපියක් තිබෙන්න අවශ්‍ය නිසා, ඔහේ ලියනවා. ඒ ලිපියේ අඩංගු කරුණු පිළිබඳව අවබෝධයක් නැහැ. මම ලියන්නේ මට වශ්යදේ බව ඇත්තයි. නමුත් ඒ ලියන්නේ වෙනත් අයට ඒවා බලන්න සහ කැමතිනම් අදහස් දක්වන්නයි. මාධ්‍යයක පල කලාට පසු එය පෞද්ගලික දෙයක් නෙවෙයි. ඒ නිසා එතනට එන්න ලින්ක් දාලා බලන්නා පොලම්බවලා අන්තිමට කැමති නැත්නම් මොකටද ආවේ කියා ඇසීම සදාචාරාත්මක නැහැ.

    කුණුහරප කියා බොහෝ දෙනෙක් ලියන ජංගි/ජොකා, බ්‍රසියර්/වැල වරකා, අතපත ගෑම්, එබී බැලීම්, අනියම් සුවය ආදිය, බ්ලොග් වලට පෙර,රහසිගත මුද්‍රිත මාධ්‍ය වල ඔවැනි කතා ඔයිට වඩා තිබුණා. මම දිනක් සිංහලෙන් ටයිපකර යම්කිසි වචනයක් අන්තර්ජාලයේ සොයා බලද්දී, සිංහලෙන් ලියන ජරා කාමුක අඩවි තිබෙන බව අහම්බෙන් දැනගෙන කම්පාවට පත්වුණේ, සිංහලෙන් සෙවීමක් කරන පාසල් දරුවකු පවා මේවාට අතුලුවිය හැකි බව සිතුන නිසායි. ඉස්සර අර 'වල් පත්තර' පොලීසියෙන් ඇල්ලූ අවස්ථාද තිබුනා. බ්ලොග් පොලීසියක් නැති නිසා සිතුසේ කරනම් ගහන්න පුලුවන්. හැබැයි ඒවා ලියන අය මතක තබාගතයුතු වැදගත්ම කරුණ වන්නේ, තමන්ගේ දරුවන් කවදා හෝ දැනගත්තොත්, අපේ තාත්තා තමයි මේවා ලියන්නේ කියා, ඒ ළමයි ඔහුගේ සහජාත ලමයින්නම් මොනවා වෙයිද?

    සින්ඩිකේටර්, ඉන්ඩිකේටර්, නැත්නම් ඇලිගේටර් වුනත් පවත්වාගෙන යාමේ සැබෑ අරමුණ කුමක්ද යන්න වැටහෙනවා ටිකක් බුද්ධිමත්ව හොයා බැලුවම. අන්තිමට ඒවා බලන්න යන අය ඇලිගේටර්ලාට අහුවෙන්න ඉඩ තියනවා. ඒ නිසා හොඳ දේ ගෙන නරක දේ ඉවත දැමීමට විචාර බුද්ධිය අප තුලම වර්ධනය කරගැනීම වැදගත්.

    තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව තමයි අප සියලු දෙනාගේම චර්යාව සැකසෙන්නේ. අපට හැකිනම් යන්නන් වාලේ නොගොස්, යම් මගපෙන්වීමක් කරන්න, ඕනෑම බුද්ධි මට්ටමක් තිබෙන සමාජයක ඉන්නවා වතුරෙන් කිරි වෙන් කරගන්න පුළුවන් හංසයෝ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉතාම පැහැදිලි විචාරයක්.

      Delete
    2. විචාරක කියන්නෙ නිකන්යෑ.. සුදීක... :-)

      මගේ මතයත් ඕකමයි... අපේ බ්ලොග් එකේ අපිට ඕනා දෙයක් ලියන්න පුළුවන් කියන එක කිසි සේත්ම පිළිගන්න පුළුවන් තර්කයක් නෙමේ.. බ්ලොග් එක අයිති ලියන කෙනාට නෙමේ කියවන කෙනාටයි.. තම තමන්ට ඕනා දේවල් ලියන්න තමයි ඩයරි තියෙන්නෙ. එහෙම නැත්නම් බ්ලොග් එකක්ම වුනත් ඒ කාර්යයට යොදා ගන්න පුලුවන් තමන්ට විතරක් පිවිසීමේ අයිතිය තියාගන. අන්න ඒකෙ තමන්ට ඕනා දෙයක් ලියලා, තමන්ට කැමති වෙලාවක බල බල ආතල් ගන්න පුළුවන්. බහුතර පාඨක සමූහයක් ඉලක්ක කරගෙන ලියන එකක් නම් අදාල ලිපිය ප්‍රසිද්ධ කළ වහාම ඒක පොදු දෙයක් බවට පත්වෙනවා. එතනදි ඒ ප්‍රසිද්ධ කරන කෙනාට තියනවා සාමූහික වගකීමක් ඉටුකරන්ඩ. එහෙම නොවන දේවල් කාලයත් එක්ක කුණු කූඩෙට තල්ලු වෙන එක වලක්වන්ඩ බෑ..

      සින්ඩි ගැන කතා කරද්දි මට එන ලොකුම ගැටලුව තමා ඔය කියන තරම් සින්ඩි වලට ගිහින් බ්ලොග් කියවනවද කියන එක. අනිත් අයනම් මම දන්නෑ මමනම් ජීවිතේට සින්ඩියකින් ලිපි කියවලා නෑ.. මගේ බ්ලොග් රෝල තමා මගේ සින්ඩිය. සින්ඩි වලින් ඔය කියන තරම් සේවයක් වෙනවද කියන එකත් මට ගැටලුවක්..


      Delete
    3. සින්ඩි වලින් ලොකු සේවයක් මට නම් සිද්ධ වෙනවා , ලාංකීය, කොත්තු, ආදීයෙන් ආපු අයගෙන් තමයි ස්ථීර පාඨකයො පිරිසක් මට එකතු වුනේ , දැනටත් ඔය දෙකෙන් අඹ ගහ යටින් සැලකිය යුතු පිරිසක් එනවා . මම බ්ලොග් කියවන්න යන්නේ අඹගහ යටින් ඔක්කොම එකට , කැටගරි අනුව තියන නිසා ලේසියි

      Delete
    4. @සෙන්නා : මම කලකට ඉහතදී කියවපු පොතක තිබුනා ප්‍රදර්ශන කාමය කියල දෙයක්. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවලු එයාලගේ නිරුවත පෙන්වන්න කැමති. ඒ වගේම නැරඹුම් කාමය කියල. එයාලා නිරුවත බලන්න කැමති අය. මට පෙන්නේ බොහෝ දෙනෙක් බ්ලොග් වලින් කරන්නේ තමන්ගේ හිත ප්‍රදර්ශනය කිරීමක්. අනිත් කොටස මේවා බලන කට්ටිය. ඒගොල්ලොන්ට තියෙන්නේ අනුන්ගේ අර වගේ හිත් බලන කාමයක්. ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට හිතුනේ එහෙමයි.

      Delete
    5. @ wicharaka
      ////සින්ඩිකේටර්, ඉන්ඩිකේටර්, නැත්නම් ඇලිගේටර් වුනත් පවත්වාගෙන යාමේ සැබෑ අරමුණ කුමක්ද යන්න වැටහෙනවා ටිකක් බුද්ධිමත්ව හොයා බැලුවම. අන්තිමට ඒවා බලන්න යන අය ඇලිගේටර්ලාට අහුවෙන්න ඉඩ තියනවා. ////

      onna oya tika nawatha pahadili karanna...

      Delete
  9. බ්ළොග් ලියන බොහෝ දෙනෙකුට මේ සින්ඩිකේට්ර තියෙනවා. ඒ තමයි තමන්ගේ බ්ලොගයේ එක් තීරුවක දමා ඇති බ්ලොග් රෝල. එතනින් අළුත් බ්ලෙග් අඳුණා ගන්න අවස්ථා එමටයි නේද?

    ඔබේ ට්‍රැෆීක් සෝසස් චෙක් කර බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොග් අඩවියත් අගේ ට්‍රැෆි සෝස් වල ඉහල තැනක තියෙනවා.

      Delete
  10. මගේ ලියවිල්ලට කුණුහරුප හෝ ඒ ආසන්න කතන්දර නැති නිසා ඩබල් මිනින් , 18+ අරව මේවා මොකුත් නෑ . කමෙන්ටුවක උනත් සාමාන්‍යයෙන් අශිෂ්ටයි කියල ගැනෙන වචනයක් * එක්ක තමයි ලියන්නේ . කොල්ලො සෙට් එකක් මල ගෙදරක සෙට් වුනාම කියන කතාවලයි , පොදුවේ හැමකෙනාටම කියවන්න පුලුවන් ලිඛිත මාධ්යක් වෙච්ච බ්ලොග් වලයි වෙනසක් තියෙන්න අවශ්‍යයි කියලයි මම හිතන්නේ .

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
  11. මමත් මෑතක ඉඳන් නිතරම බ්ලොග් අස්සෙම ඉන්න කෙනෙක්. මට ඔය කියන කුණුහරුප ලියන බ්ලොග් පෝස්ට් හම්බ වෙලා නෑනෙ ... කොහෙද ඕවා තියෙන්නේ ?

    ලිංගිකත්වය ගැන කතා කිරීම නම් කුණුහරුප කියලා මම නම් හිතන්නෙ නෑ. මොකද මේ ලඟදී මාරයාගෙ අඩවියේ පලවුන පෝස්ටුව හරිම වැදගත් පෝස්ටුවක්.

    ඔය කුණුහරුප කියන්නෙ මොනවද කියලා මට නම් හිතා ගන්න බෑ.එහෙම ඒවා තියෙනවා නම් හොඳම දේ බලන්නෙ නැතුව ඉන්න එකයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට හම්බ වෙයි නේ.

      Delete
  12. ඔබ ලිපි කීපයකින් අපට දෙන්න ඕන පණිවිඩය මෙම ලිපිය මගින් අච්චාරුවක් කරගෙනද කියල හිතෙනව?තව දෙයක් තමා වරහන් ඇතුලෙ දාල තියෙන රට.ඒ රටේ ඉන්න උදවිය [ඔබගේ ලිපි කියවන]ඔබට කිව්වොත් "කුහක"වචන කියනව කියල,අපට වෙන්නෙ දිව හපාගෙන මැරෙන්නද?දිව විකාගෙන මැරෙන්නද????

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවේ යම්කසි සත්‍යයක් තිබෙනවා. මම කතාවට ප්‍රවේශයක් ගන්න තමයි අර කුණුහර්ප කතාව ලිව්වේ. මට ලියන්න ඕනා වුනේ මේ සින්ඩිකේටර් ගැන. ඒත් බොහෝ දෙනා ප්‍රවේශය මාතෘකාව ලෙස ගෙන තිබෙනවා.

      අපිට ලංකාවේ ප්‍රංශ විදියට ජීවත් වෙන්න බෑනේ. ජපානේ ඉන්නවනම් ජපන් විදියට. එහෙම නේද?

      Delete
  13. සින්ඩිකේටර් පස්සෙ මාත් එච්චර එලවන කෙනෙක් නෙවෙයි. එක බ්ලොග් එකක තියෙන බ්ලොග් රෝලට ඇහැ දාල තමයි අනිත් බ්ලොග්වලට යන පාර හොයා ගන්නෙ.
    කුණුහරුප ලියන එක අපිට නවත්තන්න බැරි හින්ද ඒව එපා අය ඒව නොකියවා ඉන්න එක තමයි හොඳ ම දේ.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට ඒවාට හොඳට හිට්ස් ලැබෙනවා. ඉතිං ඔවුන් හිතනවා ඔවුන් ජනප්‍රියයි කියලා.

      Delete
  14. සින්ඩිකේටර් ගැන කියපු හින්දා ඒ ගැන මුලින්ම කියන්නම් මාත් සින්ඩියක් කරන්න පටන් ගත්තේ ආසවට,සහ අලුත් දෙයක් ඉගෙනගන්න එතනින් සින්ඩියක් බිහිවුණා.සිංහලය,ලාංකීය තරම් නොවුනත් ඒක එක්කෙනෙක්ට ප්‍රයෝජනවත්!

    ඒ කාටද?
    ඒ මට!

    දවසකට බ්ලොග් ඇතුල් කරන්න කියලා ඉල්ලුම් තුනක්වත් එනවා.ඔය එන හැම ඉල්ලීමක්ම මම සින්ඩියට ඇතුල් කරනවා.ඊට පස්සේ එතනින් දවස ගානේ මම අප්ඩේට් වෙන හැම බ්ලොග් එකක්ම කියවනවා.දැන් මේ ඇවිද්ද ඔය වුනත් මම බලන්නේ අපි අපිට එකෙන්.ඒ නිසා කාට නැතත් ඒකෙන් මට නම් ප්‍රයෝජනවත්.ඒත් සමස්තයක් විදියට ගත්තොත් ඕනාවට වඩා සින්ඩි අවශ්‍ය නැහැ.බ්ලොග් හොය හොයා කියවන්න ඕන නම් සිංහලයයයි,ලාංකීයයි ප්‍රමාණවත්.

    අනික හැම බ්ලොග් එකකම බ්ලොග් රෝලක් තියෙනවනේ.කුණුහරප ලියන එක නම් වැරදියි.තමන්ගේ බ්ලොග් එක වුනාට බලන්නේ තමන් විතරක් නෙවේනේ.ඒක නිසා සදාචාරයට මුල් තැන දෙමින් කටයුතු කරනවා නම් ඕන කෙනෙක්ට ගෞරවයක් ලබා ගන්න පුළුවන්.හිතන්නකෝ බ්ලොග් ලෝකේ හැම බ්ලොග් එකකම කුණු හරප තියෙනවා කියලා.ඒ වගේ තැනක එක්කෙනෙක් හරි හරවත්,වැදගත් ලිපි ලියනවා නම් අර උඩ කිව්ව ගනයේ අම්මා කෙනෙක් කියයි "කුණුහබ්බ ලියන බ්ලොග් වල අහවලාගේ බ්ලොග් එකනම් රත්තරන්" කියලා.

    අපි දැනගන්න ඕනේ අපේ ගෞරවය රැකගන්න.

    ReplyDelete
    Replies
    1. *ඇවිද්ද ඔය නෙවේ ඇවිද්ද පය!

      Delete
    2. ඔබ හොඳ පොස්ට් එකක් නිසා එක්තාර බ්ලොග් එකක් තමන්ගේ බ්ලොග් රෝල්ට දා ගන්නවා කියල හිතන්න. ටික දවසකින් අශෝභන රුඋපයක් තියෙන පොස්ට් එකක් ඒ වගේ බ්ලොග් එකකින් දානවා. එතකොට ඔබේ බ්ලොග් රෝල්ට අර රූපය එකතු වෙනවා. ඔබේ බ්ලොග් එක බලන්න එන අය සමහරවිට වැරදියට වටහා ගන්නවා මෙයත් ඔබේම වැඩක් කියලා.

      Delete
  15. අඩුවෙන් කථාවෙන මාතෘකාවක් තමා ඔබේ අද නිමිත්ත වෙලා තියෙන්නෙ...

    කුණුහබ්බ කථා ලිවීම තුලින් හිට්ස් වැඩිකර ගත හැකි වුවත් මම ඒ ක්‍ර‍මයට කිසිසේත්ම කැමති නෑ.... තමන්ගේ හැකියාව හා ලියන ලියවිල්ලේ ගුණත්වය මත තමයි හිට්ස් වැඩිකර ගන්න උත්සාහ කල යුත්තේ... දැනට මා ලියා ඇති ලියවිලි වල යෙදී ඇති එකම කුණු හබ්බය තමයි “පුක“ කියන වචනය...එහෙත් කතන්දර ශූරීන් පුක යනු කුණුහබ්බයක් නොවේමැයි පහදා ඇත.

    ReplyDelete
    Replies
    1. කවුරු කිව්වත් නැතත් අපට තිබිය යුතුයි වචන ශබ්දකෝෂයක් හොඳ හෝ නරක වශයෙන්. පසුදිනක අහවලා කිව්වා නිසා කියල බේරෙන්න අපට බෑ. කතන්දර ශූරීන් වෙනත් වචයක් සභ්‍ය යයි කීවොත් ඔබ එය බාර ගන්නවාද?

      Delete
    2. එතකොට පුක කියන්නෙ කුණුහරුපයක්ද ?

      Delete
    3. මා කථන්දර අදහන පාඨකයෙකු නොවේය...ඒ පිළිබද එහි යමක් ලියවී ඇති බව පෙන්නන්නයි උත්සාහ කලේ... මට මගේම කියා ස්වාධීන චින්තනයක් තියෙද්දි මම භාවිතා කල යුතු වචන තවත් කෙනෙක් සභ්‍ය යයි කිව යුතු නෑ... ලියවිල්ලට අවශ්‍ය නම් මගේ හිත මෙය සභ්‍ය යැයි කියනවා නම් එච්චරයි...මම තවත් කෙනෙකු මත යැපෙන පරපෝෂිතයකු නොවේය.

      Delete
    4. හොඳයි ඔබට දරුවකු ඉන්න කාලෙක ඔබ ඒ දරුවට උගන්වනවාද මේ තමයි පු* කියලා? ඔබ ගෙදර දොර නිතර පාවිච්චි වන වචනයක්ද ? ඇත්තටම ඒවා 100% කුණුහර්ප නොවේ. ඒත භාවිතයට අහිතකර වචන. මේ සඳහා වෙනත් ආදේශක තියෙනවා නේද? මේ වචනය තවත් වචනයක් එක්ක යෙදුවොත් පහසුවෙන්ම කුනුහර්පයක් වන්නේ නැද්ද ?

      Delete
    5. පාලම යට චිත්‍ර‍පටයේ ගීතා කුමාරසිංහ කුඩා පටි දෙකක් සහිත කිහිල්ල පේන ආකාරයේ කෙටි හැට්ටයකින් සැරසී රගපාන අයුරු ඔබ දැක ඇත.. ඇයට ඒ ඇදුම වෙනුවට ඊට වඩා සංවර ඇදුමක් අදින්නට තිබුනේ නැතිද ? නමුත් ඒ පරිසරයට අනුව කථාව ඉදිරිපත් කිරීමේදී ඒ ඇදුම අත්‍යවශ්‍යය.

      අන්න එහෙම වැඩක් තමයි මමත් කලේ... පොල් සෝමෙ වැන් පුද්ගලයෙකුගෙ කටින් පශ්චාත් භාගය කියලා කවදාවත් කියවෙන්නෙ නැති කොට එහෙම වචනයක් එහි යෙදුවා නම් එය රචකයා බලෙන් ඔබපු එකක් බව හොදට පේනවා... එම ලියවිල්ලට එහෙම වචනයක් එක් කරන්නෙ කෘතිම බවක්...

      Delete
    6. ///හොඳයි ඔබට දරුවකු ඉන්න කාලෙක ඔබ ඒ දරුවට උගන්වනවාද මේ තමයි පු* කියලා?///

      sudeeka me blog wala kawruth daruwo nahane.inna okkoma 14 wath wadi aya.(itath podi aya enawa athi, eth me blog balala eyaala narak wenna eyala babalada oya kiyana tharam?) e pirisata kisima gataluwak naha.man piligannawa P*k* kiyala thiyena post ekak ekata indan matai mage thaththatai kiyawanna baha.ekko man nagitala yanawa, nathnam thaththa nagitala yanawa..
      methana babbu wenna hadana ekai waradda...


      ////මේ වචනය තවත් වචනයක් එක්ක යෙදුවොත් පහසුවෙන්ම කුනුහර්පයක් වන්නේ නැද්ද ?///
      hodama de siraa kiyanawa wge " mehi p*k* yana kunuharapaya anthargatha bawin , eya kunuharapayak lesa sithana aya ...... "
      yana awawadaya piliganeema...


      කුණුහරප ගැන කියන්න තියෙන්නේ සුදීක ඔයා
      ටිකක් අන්දරේ කියන වචනේ ගුගල් කරන්න..
      එන දේවල් බලන්න ...අන්න ඒවා තිත්ත කුණුහරප,
      වචනත් කුණුහරප , අදහසත් කුණුහරප..
      අවුරුදු 5 වගේ වෙද්දී ළමයි හොයාගන්නවා සුදීක
      ඔය වගේ වචන..අපේ කාලේ වගේ නෙවේ දැන් ළමයි..
      දෙමව්පියෝ විදිහට කරන්න ඕන ළමයින්ට කියල දෙන්න
      ඕන මෙන්න මේවා එළිපිට කියන්න හොද නැති වචන..
      ඒවා කිව්වම නරක ළමයෙක් වෙනවා හරි මොකක් හරි
      ගැලපෙන දෙයක්..
      හැබැයි තාත්තා බබා වෙන්න ගියහම නම් මුකුත් කරන්න
      බැහැ...

      Delete
    7. @සිරා : අපි මේ වචනය මත්තේ ගැටෙන එක තේරුමක් නෑ. ඔබ කොහොමත් කුණුහරප ලියන ගණයට වැටෙන කෙනෙක් නොවෙයි. මට නම් අර වචනයත් ටිකක් ප්‍රසිද්දියේ භාවිතා කිරීමේ ගැටළුවක් තියෙනවා. කොයි හැටි වෙතත් කතාවේ භාවිතා කල යුතුම තැනක මේවා භාවිතා කල යුතුයි කියල මමත් පිලි ගන්නවා. එහෙම නැතිව පටන් ගත්ත තැන ඉඳල කෙලවර වෙන තැන දක්වාම කුණුහරප භාවිතය තමයි මේ පොස්ට් එකේ මුල් කොටසින් මම අදහස් කලේ.

      Delete
    8. @SilentSahan : පොදු තැන් වල භාවිතයේ ගැටළු තියෙන්නේ. එහෙම වුනා නම් එදිනෙදා පුවත් පත් වලත් ඔය වචන තියෙන්න ඕන නේ. අර කෙනෙක් කිව්වා වගේ මල ගෙවල් වල යාලුවේ එකතු වුනාම කතා කරන දේවලුයි, පොදු ස්ථාන වලදී කතා කරන දේවලුයි අතර වෙනසක් තියෙන්න ඕනේ.

      Delete
    9. ඒක පැහැදිලිවම ඇත්ත සුදීක .මන් කියන්නේ කුණුහරප
      සදරානීයකරණ කරමු කියන දේ නෙවේ.බ්ලොග් , සාමාන්‍ය
      පුවත් පත් , රූපවහිනී වගේ දේවල් අයිති වෙන්නේ එක එක
      කාණ්ඩ වලට.ඒක තේරුම් ගන්න ඕන අපි.බ්ලොග් අවකාශයේ
      ඉන්නේ බහුතරය 14 වැඩි අය.අනිත් දේ professional life
      එක පැත්තකින් තියලයි ගොඩක් දෙනා බ්ලොග් ලියන්නේ..
      ඒ කියන්නේ ගොඩක් දෙනා A / L කාලේ අපි හැසිරුණු විදිහ ,
      දුප්පත් පෝසත් කම් නැති, පංගු පේරු නැති විදිහටනේ මෙතන
      ඉන්නේ.ඉතින් ඒ නිසා තමා අපි ටිකක් නිදහසේ කතා බහ කරන්නේ.
      ඒ කතා බහයි , අවිනීත කමයි කියන්නේ දෙකක්.මාත් පිලිගන්නවා
      පු* කියන්නේ එළිපිට කියන්න හොද දෙයක් නෙවේ කියන දේ.
      ඒත් මේ ඔයාල අපි ඉන්න සයිබර් එකමුතු ටිකේ ඔහොම දෙයක් මහා
      වරදක් විදිහට මන් පුද්ගලිකව හිතන්නේ නැහැ.

      මන් නම් පුද්ගලිකව මගේ බ්ලොග් එකේ content warning එකක් දානවා.
      ඒ වගේම එක්තරා පිරිසක් පමණක් අරමුණු කරගත්ත පොස්ට් වලදී ,
      ඒ බව මුලින්ම දානවා.මොකද සමහර දේවල් කෙනෙකුට තද බල
      පීඩනයක් ඇති කරන්න පුළුවන්.එහෙම ලිපි වල සාරාංශය කියවීමෙන්
      පස්සේ ඉවත් වෙන්න පුළුවන් කැමති කෙනෙක්ට.

      ඔයා කියපු මාධ්‍ය භාවිතය ගැන මන් පිලිගන්නවා.නමුත් බ්ලොග් සහ
      එදිනෙද පත්තර සංසන්දනය කරන්න බැහැ.සම්පූර්ණ දෙකක්.
      මාත් ඔය ගැන ලිපියක් ලිව්වා සුදීක .ඒත් අපිට කොහොමවත්
      කිසිම කෙනෙක්ව හදන්න බැහැ.කරන්න තියෙන්නේ තමන් ඉවත්
      වෙන එක විතරයි..ඒත් සද්භාවයෙන් වැරද්දක් පෙන්නලා දුන්නට
      කිසිම ගැටළුවක් නැහැ .ඒක සහෝදර කම.

      Delete
    10. 01.මේ තියෙන්නේ ඔය වගේ බ්ලොග් ගැන ලියපු දේ.
      මන් මෙතන කතා කරේ තනිකරම කුණුහරප මානසිකත්වය ගැන...




      02.මේ තියෙන්නේ ඔයා ඔය කියන මාධ්‍ය වගකීම ගැන , හා ක්‍රියාදාමය ගැන මන් ලියන්න පටන් ගත්ත එහෙක මුල ලිපිය..ඔකේ මතක ඇතුව කමෙන්ට් ටික කියවන්න...

      Delete
  16. එක පාරක් හම්බ වුනා ඇම්ඩන් කතා තියන එකක්, ඇම්ඩා කතා අපි එමට කීවත් ඒවාත් බ්ලොග් එකකදී කියන ශිෂ්ඨ බවක් ඒ බ්ලොග් එකේ තිබ්බේ නෑ. ඉට පස්සේ කවදාවත් එහෙම එකක් හම්බ වෙලා නෑ. හැබැයි හිරූ කිව්වා වගේ ලිංගිකත්වය ගැන කතා කරන එක කුණුහරුපයක් කියලා දක්වනවානම් අපිඅ ඒ කෙනාගේ මානසික තත්වේ ගැන ආයෙත් හිතන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ලිංගිකත්වය ගැන කතා වෙනවා නම් එය විද්‍යාත්මකව(අපේ මහා වේදනා කතා කළා කිසි අපුලක් තිබුනේ නෑ), හෝ සමාජ විද්‍යාත්මක වෙන්න ඕනේ.

      Delete
  17. සුදික මේ

    මගේ බ්ලොග් එකත් ඔය කියාපු එක ගොඩකට හරි වැටෙනවද බං
    මං මේ සිරාවට අහන්නේ
    මට නිකං මේක වැදුනා වැදුනා වාගේ

    ReplyDelete
    Replies
    1. මෙන්න වැදිලා :D
      ඒ උනාට අර කතාවෙ දාපු ඒවනම් ඒ කතාව තාත්වික කරන්න කොච්චර උදව්වෙනවද කියල කියන්න ඕනි නෑ ^_^

      Delete
    2. මම මෙතැන කුණුහර්ප බ්ලොග් වර්ගීකරණයක් කරන්න ගියේ නෑ. නමුත් අපේ ආධුනික බ්ලොග් කාරියගේ ෆේස්බුක් ස්ටේටස් එක දැකලා ඒක මම ලියන්න ගිය මාතෘකාවට ප්‍රවේශයක් විදියට භාවිතා කළා. මමත් උඹගේ බ්ලොග් එක රස විඳිනවා. ඒක මම ප්‍රසිද්දියේ කියනවා.

      Delete
  18. කුනුහබ්බ කතා කරාම හිට්ස් වැඩිවෙන එකනං මං හොදටම අත්දැකලා තියෙනවා..
    වෙන කොහෙංවත් නෙමේ මගේම බ්ලොග් එකෙං..
    මං විද්‍යා ප්‍රභන්දයක් හරි මොකක් හරි මහන්සිවෙලා දාන වැදගත් පෝස්ට් වලට වඩා කමෙන්ට්ස් හිට්ස් මංම දාපු මෙලෝ රහක් නැති කුනුහබ්බ පෝස්ට් වලට තියෙනවා..
    හැබැයි ඉතිං කුනුහබ්බ පිස්සු පීකුදු පෝස්ට් අපිව නිකං රීෆෙස් කරනවා කියලයි මට හිතෙන්නේ..
    අර ඒකාකාරිත්වයෙං මුදවනවා වගේ වැඩක්නේ ඒකෙං වෙන්නේ..
    මංදා මට හිතුන දේ තමා ඒ...

    ReplyDelete
    Replies
    1. මගේ කිසිම කුණුහර්ප විරෝධයක් නැත. මා සඳහන් කලේ ආදුනික බ්ලොග් කාරියගේ මව පැවසු දෙයයි. තමන් ලියනවද නැත්ද කියන එක තමන්ගේ තීරණය. මම ලියන්නේ නෑ. ව්‍යන්ගෙන් ලියපු අවස්ථා තියෙනවා. ලියන අය වැරදියි කියන්නෙත් නෑ.

      Delete
  19. සින්ඩිකෙටර ගැන නම් මම තාම දන්නෙ නෑ. මොකද මම අලුත්නේ. මමත් එකකට දෙකකට අයදුම්කලා. දෙකක තුනක ඉන්නවත් එක්ක (එකකට දෙකකට අයදුම් කරල දෙකක තුනක ඉන්න එක ගැන හිතන්නෙපා ඉතින්. හී හී :D )

    මොනව උනත් ඒවයින් සේවයක් වෙනවා කියල හිතෙනව.
    ක්නුහරුප ගැන කියනවනමිතින් මටත් තාම කුනුහරුප බ්ලොග් අඩවියක් හම්බුනේ නෑ... ඒ කියන්නෙ අර වැල කතාවල් තියෙන,ලිංගික ක්‍රියාකාරකම් විස්තර කෙරෙන බ්ලොග් අඩවි හම්බෙලා නෑ. ඒ උනාට එහෙම ඒව ඕනි තරම් ඇති. මොනව උණත් තමන්ට නොගැලපෙනවනම් ඒ දෙ නොගෙන ඉන්නෙක තමයි වටින්නෙ. එක එක්කෙනාගෙ මානසික මට්ටම් වෙනස්, ඒවගේම ඉල්ලන දේවල් සහ බලාපොරොත්තු වෙන දේවලුත් වෙනස්. තමන්ට නොගැලපෙනවනම් ආයෙ ඒ පැත්තෙ නොගිහින් හිටියනම් ඉවරයි

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන වුනේ හතු පිපෙනවා වගේ බිහි වෙන සින්ඩිකේටර් ගැන. අපිට දැනටමත් හොඳ මට්ටමේ සින්ඩිකේටර් කිහිපයක් තියෙනවානේ. මගේ දුක සමහර අය බ්ලොග් ලිවිල්ල අත හරියි කියන එකයි.

      Delete
  20. 18 ++ දාල සමනලයෙක් ගැන පොස්ට් එකක් දැම්මත් හිට්ස් වැඩි.නමුත් හිට්ස් වැඩි කරගන්න ඕනේ වැඩි දෙනෙකුට ප්‍රයෝජනයක් ඇති කුමක් හෝ ලිපියකින් යන බව මම විශ්වාස කරන්නේ. මම කවදාවත් හිට්ස් නැතත් ලියන්න මාතෘකාවක් නැතත් ඒවගේ ඒවා ලියන්නේ නම් නැහැ. එකී නෙකාගේ බ්ලොග් වල කැමති දේවල් ලිවුවාත් අපිට එරෙහිවෙන්නත් බැහැ.තමන්ම සබ්යත්වය ගැන හිතල පහත් දේවල් නොලිය ඉන්න හිතා ගන්නවානම් ගොඩාක් හොඳයි.

    සින්ඩි ගැන මගේ අදහස මේ තියෙන සින්ඩි හොඳටම ඇති.වැඩිත් එක්ක..

    ReplyDelete
    Replies
    1. රැල්ලට හසු නොවී අලුතෙන් යමක් ලිවීමත් වැදගත්. සමහරු බ්ලොග් වල ජනප්‍රිය අය ලියන විදිය බලාගෙන ඒ වට්ටෝරුවෙන්ම ලියලා එක රැයින් ජනප්‍රිය වෙන්න කරන උත්සාහත් අපිට පේනවා. ඒ වගේම තමයි භාවිතා කරන වචනත්. තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර නොගෙන වෙනත් අය භාවිතා කරන වචන පවා කොපි කරනවා.

      Delete
  21. සින්ඩි තියෙන එකත් හොඳයි නේද අපේ පොස්ට් ජනප්‍රිය කරගන්න.....

    ReplyDelete
    Replies
    1. සින්ඩි තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒත් බ්ලොගර්ලා ගානට සමානව සින්ඩි තිබ්බොත් මොකද වෙන්නේ ?

      Delete
  22. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගම්වල තිබුණු මතභේද එක්කත් සින්ඩිකේටර්ස් කීපයක් මුල් කාලයේ ඇතිවුණානේ. ඒ කාලේ කවුරු හරි කියලා තිබුණා ඉස්සරහට සිංහල සින්ඩිකේටර්ස් හිමියන්ගේ සංගමය වගේ එකකුත් ඇතිවෙයි තියෙන සින්ඩිකේටර්ස් ගාණ බලද්දී කියලා

    ReplyDelete
    Replies
    1. හසිත අද දවසම මගේ බ්ලොග් එක බලන්න වෙන් කරලා වගෙයි. ඒක තමයි තව ටික දවසකින් සින්ඩිකේටර් වල සින්ඩියක් හදන්න වෙයි වගේ. මේකත් හරියට ග්‍රහ ලෝකා, තාරක, මන්දාකිනි වගේ.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...