Thursday, November 8, 2012

පොලා, ෆොරින් නොහොත් සිරී

අද මම ලියන්න යන්නේ අපේ ගමේ හිටපු සුපිරි චරිතයක් ගැන. ඔහුගේ හරි නම කුමක්දැයි අපේ ගමේ කාගෙන් ඇහුවත් කියන එකක් නෑ. ඒ ඔහු පොලා හෝ ෆොරින් යන සුරතල් නාමයන්ගෙන්  කවුරුත් අඳුනාගෙන සිටි නිසා. පොලා යන නමින් ඔහුට කවුරුන් හෝ මුහුණට අමතනවා මා දැක නැත. එහෙත් ඔහුගේ නම කුමක්දැයි ඔහුගෙන් කව්රුන් හෝ විමසුවොත් ඔහු පවා පවසන්නේ ෆොරින් යන නාමයයි. තමාටම ෆොරින් යනුවෙන් අමතා ගන්නා මේ පුද්ගලයා ජීවත් වූ කෙටි කාලය තුල සිදු කර ඇති ක්‍රියාකාරකම් නම් අපේ ගමේ (බෙන්තොට) කිසිවකුට අමතක වන්නේ නැත. ඔහු ගැන නොදන්නා කෙනෙක් අපේ ගමේ වෙත් නම් ඒ මෑතකාලීනව මෙහි පදිංචියට ආ කෙනෙකු විය යුතුය. මේ සමගම ගමේ චරිත ගැන ලිපි මාලාවක් ලිවිය යුතු යයි මගේ හිතට ආ අදහස නිසා වෙනමම කැටගරියක්ද ආරම්භ කරන්න වුනා. එනිසා මේ ලිපි පෙළ ලියැවෙන්නේ ගමේ චරිත යන කැටගරිය යටතේ.

ඔහු ගැන මගේ මුල්ම මතකය වන්නේ, බයිස්කල් රේස් සඳහා ෆිට් කරන ලද බයිසිකලයකින් උදේ හවා මගේ නිවාස අසලින් යන ගමන් "ආ ඉසොකොලේ මහහ්ත්තයා" යයි අපේ තාත්තාට කෑ ගසාගෙන යන "සීරී" නමැති අහිංසක මිනිසා යන්නෙන්ය. වයස අවුරුදු තිහක් පමණ වූ ඔහුගේ කර්ල් කොණ්ඩයත්, වර්තමානයේ ගිනිකූරු කට එක නමින් හඳුන්වන උඩු රැවුල් කෑල්ලත් නිසා මට ඔහු පෙනුනේ විකටයකු ලෙසිනි. ඇත්තටම පොලා යනු ප්‍රමාණයෙන් පොඩි මිනිසෙකි. ඔහුගේ කෙට්ටු සහ නොඋස් සිරුර කෙනෙකුට ඔහු මතකයේ තබා ගැනීමට තරම් අමුතු එකක් නොවේ. මට ඔහු වැඩියෙන්ම මුණ ගැහෙන්නේ දයානන්ද අයියාගේ කඩේ ලඟදීය. එකල මාත් මගේ මිතුරනුත් රස්තියාදු ගැසීමට පුරුදු වූ මෙම කඩය ඉස්තෝප්පුවේ ඇති බංකුවට වී කයියක් ගහගෙන ඉන්න විට එතනට ගොඩ වන මේ මනුස්සයා කිසි දිනක තනියම කෑමක් බීමක් හෝ සිගරට් එකක් ගත්තේ නැත. වටපිට ඉන්න අයගේ අතේද කෑමට දෙයක් හෝ බීම බෝතලයක් තැබීම ඔහුගේ සිරිත විය. ඒ වාගේම ඉල ඇදෙන කතාවක් පවසා නැවතත් බයිසිකලයේ නැග බෙන්තර සංචාරක හෝටල් ප්‍රදේශය කරා යන්නේය.

පොලා රැකියාවක් හෝ වෙළඳාමක් කල අයෙකු නොවීය. පිළිගත් රැකියාවක් නොවූ බීච් බෝයි, නැත්නම් ගයිඩ් යන නමින් ඔවුන්ම හඳුන්වාගන්නා ව්‍යාපාරයක ඔහු මෙන්ම ගමේ බොහෝ තරුණයන් සහ සමහර වැඩිහිටියන්ද නිරත විය. ඔවුන් කරන්නේ ගමේ සිරි නරඹන්නට එන සංචාරකයන්ට මග පෙන්වන්නන් ලෙස අතර මගදී එකතු වී, ඔවුන්ව බොහෝවිට අපේ ගෙවල් පාරෙන් කැඳවාගෙන ගොස්, හබල් ඔරු මගින් ගඟේ සිරි නැරඹීමට රැගෙන යාමය. මෙවැනි ගමනක් සඳහා අය කරන මුදලින් ඔවුන්ට කොමිෂන් මුදලක් ලැබේ. එසේම බතික් සහ වෙස් මුහුණු කඩ වලින්ද ඔවුන් හොඳ ගනණක් උපයයි. මේ ආකාරයට උපය ගන්නා මුදල් වලින් පොලා සහ සමාගම තමන්ගේ එදිනෙදා ආදායම සරි කර ගනී. හවසට හොඳටම සප්පායම් වී  සිංදුවක් ගායනා කරමින් බයිසිකලය පැදගෙන යයි.

විලී සර් යනු මගේ නිවස පිටුපස ඇති මහ ඉස්කෝලේ පිට්ටනියෙන් එහා පැත්තේ ඇති නිවසේ සිටින ඉංග්‍රීසි ගුරුවරයයි. මෙවැනි ගයිඩ් තරුණයන් නිතරම ඔහු සහ ඔහුගේ සහෝදරයා වන රිච්මන්ඩ් මහතා හමු වීමට පැමිණෙන්නේ ඔවුන් ලවා ලියුම් ලියා ගැනීමටය. මගේ හොඳම මිතුරා වූ සම්පත් සමග සවස් කාලයේ ක්‍රීඩා කිරීමට හෝ කතාබස් කරන්නට යන මටද පොලා සහ සමාගම මුණ ගැසේ. එසේ ආ විට ඔහු ලැබූ අත්දැකීම් විස්තර කරන්නට පොලාට සිදු වන්නේ විහිළුවෙන් තහළුවෙන් එවැනි දේ ඔවුන්ගෙන් අසා ගන්නට විලී සර් ගජ සමතෙකු වූ බැවිනි.

"සර් දන්නවද මට 1978 දී සුද්දෙක් ටීවී එකක් එව්වා. මමත් මේක ගෙදර අරන් ගිහින් ඔය ගමේ ඉලෙක්ට්‍රික් වැඩ කරන මල්ලි කෙනෙක් එක්කන් ඇවිත් මේක හයි කරලා. ඇන්ටනාව අපේ වත්තේ තියෙන උසම පොල්ගහේ පොල් පරාලයකින් ගැට ගහලා බැලුවා. තනිකර ඩොට් විතරයි. සර්ට කියන්න මේකට වයර් එක මම ගෙන්න ගත්තේ රුපියල් 500ක් දීලා කොළඹ වැඩට යන මල්ලි කෙනෙක්ට කියලා.  මෙහෙම් දවස් ගානක් මේක මහා මුහුද වගේ බල බලාඉඳල, අපේ ගෑනිගෙන් හොඳටම බැනුමකුත් අහගෙන. අන්තිමට මම නිකන් දීල දැම්ම. පස්සේ තමයි දැන ගත්තේ එක ජෙනරල් කියල හොඳ ටීවී එකක් බව. ඒ වුනත් සර් දන්නවනේ මට ඔය කිසි එකක් ඒ තරං ලොකු නෑ කියලා"

සීරී නොහොත් පොලා මේ වාගේ කතා කියන්නට අපූරු සමතෙකි. ඒ වාගේම ඔහු කල විස්මිත වැඩද ඇත.  මේ ගයිඩ් කෙරුවාව තහනම් ක්‍රියාවකි. බොහෝ දෙනා සංචාරකයන් නොමග යැවීමේ කටයුතු වල නිරත වන නිසා මෙවැනි පුද්ගලයන් අල්ලා ගැනීමට පොලීසිය නිතරම ඔවුන් පසුපස යයි. පොලීසිය ඔවුන් පසුපස පන්නන විට ඔවුන් අපේ වතු වලින්ද දුව ගොස් බේරෙන අවස්ථා එමටය. දිනක් මෙසේ පොලා පසුපසින් පොලීසිය පන්නගෙන යන විට අවසාන ගොස් නතර වී තිබෙන්නේ ගඟ අසලය. බල බලා සිටියොත් පොලීසියට මාට්ටු වෙනවාය. කරන්නම දෙයක් නොමැති තැන පොලා ගඟ අසල වූ පොල් ගසකට බඩගා නැගගෙන ඇත. දැන් පොලීසියේ හතර පස් දෙනෙක් පොල් ගස මුල හිඳ ඔහුට තර්ජනය කරනවා

"හොඳ හිතින් බැහැපන්"

පොලා කිසි උත්තරයක් නැත. පොලාට හොඳටම මහන්සි වන්නට ඇත. ගහ උඩ සිට සිට හති අරින ආකාරය බිම සිටින පොලිස් නිලධාරීන්ටද ඇහෙන තරම්ය. දැන් ගමේ ඉන්න මිනිසුන්ද එකා දෙන්න මේ ජවනිකාව බලන්නට එතනට රැස් වෙලාය. පොල් ගස ගඟට ඇල වූ එකක්ය. මෙහෙම සිටින පොලාගේ සිහියට ආවේ දිනක් බණ ගෙදරදී ලොකු හාමුදරුවන් කිව් කවියකි

වනේ ගිජිඳාය දුටුවොත්                                       වනසාය
ලිඳේ පනිඳය වැටුනොත් ඌ                                      කාය
අතකින් කරවැලය අතකින් දඬු                                   බෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි                              කෑය

තමාද පත් වී තිබෙන්නේ එවැනි තත්වයකට බව පොලාට වැටහේ. කරන්නම දෙයක් නැති තැන කුරුම්බට්ටියක් කඩාගෙන එය ගස් ගොබයේම ගසා පැළුන තැන වලින් වැහෙන වතුර ටික බීගෙන බීගෙන ගොස් වටපිට බැලුවේය. ගඟට ඇල වී තිබෙන මේ පොල් ගසත් ගඟත් අතර අඩි විසිපහක් තිහක් වත් පරතරයක් ඇත. ගගද ගැඹුරුය. රාළහාමිලා බලා සිටින්නේ තමාට ඇති වී පහලට බහින තුරුය. දැන් මහන්සියත් නැත. වටපිට බලා ඉන්න ගම්මු හිනා වෙන හඬද උසුළු විසුලුවද ඉවසා ඉන්නට බැරිය. මෙහෙම ඉන්න එකේ තේරුමක් නැත. පොලා ගහ දිගේ මදක් දුරට පහළට බසින්නට විය. දැන් වටේ සිටින කොල්ලේ කුරුට්ටෝ ඔල්වරසන්ද විසිල්ද ගසන්නට පටන් ගෙන ඇත.  සිදු වුයේ අනපේක්ෂිත දෙයකි. එක පාරටම බදාගෙන සිටිය පොල් කඳ ඇත හැර ගඟට පැන්න පොලා පිහිනන්නට පටන් ගත්තේය. රාලහාමිලාට කර ගන්නට දෙයක් නැත. පීනාගෙනම තම ගම් පියසස් වන යාත්‍රමුල්ලටම ගිහින් පසුදා ඒ විස්තර දිග අරින විට එය මසුරන් කතාවක් විය.
පින්තුරය ගත්තේ : shalimarnepal.com
ඔහුගේ මේ කතා බොහොමයක් විලී සර් සමග පැවසු ඒවාය. සමහර ඒවා පවසන විට මමද ඇහුන් කන් දී ඇත. ඔහු කර ඇති දේ ඇසු විට සමහරවිට පුදමයක් උපදී. තවත් දිනක මං සිටියදීම පැවසු කතාවක් මෙසේය

"සර් මට සුද්දෙක් හම්බ වුනා. ඌ රාඩෝ කොම්පැනියේ. මට කිව්වා උගේ නැව ඔස්ට්‍රේලියාවට යනකොට බෝට්ටුවකින් මගට එන්න කියල ඔරලෝසු ටිකක් දෙන්න. මමත් බොහොම අමාරුවෙන් ලොරි එන්ජිමක් බෝට්ටුවකට හයි කරලා ඌ කියපු දවසට මහා මුහුදේ ගියා නැව් යන හරියට. අන්තිමට ඌ කියපු නැවට ගියා. ඌ මට ඔරලෝසු 24ක් තියෙන පෙට්ටියක් දුන්නා. මමත් මේක අරගෙන ආවා. දැන් කොහොමද විකුනන්නේ. එකක් රුපියල් දහ දාහක් විතර වෙනවා. ඒත් කවුද සර් ඕවා ඒ ගානට ගන්නේ. මම ගිහින් ඇල්පිටිය පොළේ තියාගෙන විකුණුව එකක් රුපිය දෙදාහ ගානේ. හරියටම හයවෙනි එක විකුනලා ඉවර වෙනකොට රාළහාමිලා දෙන්නෙක් මං ගාව.

උඹට කොහෙන්ද මිනිහෝ මේ ඔරලෝසු?

සර් කලබල වෙන්න එපා. මම උදේ ඕ.අයි.සී. මහත්තය හම්බ වෙලා ආවේ. කමක් නෑ ඒත් ඔය දෙන්නත් මේක තියා ගන්නකෝ.

මම දෙපාරක් හිතන්නේ නැතුවම දෙන්නගේ අතේ ඔරලෝසුව ගානේ තිබ්බ. දෙන්න කිසි කතාවක් නැතුව යන්න ගියා. මම කියපු බොරුවට එතන තවත් ඉන්න බැරි හින්දා අකුලාගෙන ආවා"

මේවා පට්ටපල් බොරු යයි කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒත් මා දෑසින් දුටු දේ බොරු යයි කියන්නට නොහැක.

කලක් පොලාට ජෙනී නමැති වයසක සුද්දියෙක් සෙට් වී සිටියා. මේවා මොන විදියේ සම්බන්ධදැයි එවකට පාසල් සිසුවෙකු වූ මට පැහැදිලි කමක් තිබුනේ නෑ. බොහෝ දෙනා කියන කතා විශ්වාස කරන්නට මට සිදු විය. මුලින්ම මේ දෙදෙනාගේ නමින් වෙස් මුහුණ සාප්පුවක් ඇරඹුවා. ඒ සංචාරක මණ්ඩලේ වතුර ටැංකිය පේන මානයේ. එය නම් කලේ "ජෙනී - සීරී මාස්ක් ඇන්ඩ් බැටික්" කියලා. එක ආරම්භ කරලා ටික කාලෙකින් ජෙනී ආපහු රට ගියා. බාප්පලාගේ ගෙදර යන ගමන් එතනින් යද්දී දවසක් පොලා මට කතා කළා.

"මල්ලි අවන්හලෙන් අපිට වඩේ දහයකුයි, රෝල්ස් දහයකුයි ගෙනල්ල දීපං" කියා මා අතේ රුපියල් හාර සීයක් තැබුවා. මාත් ඒ ඉල්ලීම අහක දමන්නැතිව පේන මානයේ තියෙන අවන් හලට ගියේ පොලා හිත හොඳ මිනිහෙක් වූ නිසයි. කඩයක ඉන්න වෙලාවට දෙයක් කනවා බොනවා නම් බෙදා හදාගෙන කන මිනිහා නිසයි. මම වඩේ සහ රෝල්ස් ටික ඔහු අත තැබූ විට

"ඉතුරු සල්ලි උඹ තියා ගනින් මල්ලී. ඇවිල්ල වඩේ එකක් කාලම පලයන්" ඒ පොලාගේ හැටිය. කවදත් බෙදා හදාගෙන කන පුරුද්ද මෙන්ම අතේ මිටේ සල්ලි නැති වෙලාවට කාගෙන් හෝ කීයක් හරි ඉල්ලා ගන්නා පුරුද්දද ඔහුට තිබිණි.

මා කුඩා කාලයේ තවත් දිනක හොඳටම බීමතින්

"අනේ මට ඉන්න බැරියෝ. මගේ අම්මේ. මට ඉන්න බැරියෝ" කිය කියා උඩට කමිසයක් හෝ නැතිව පාරේ දිව්වා මට මතකය. තාත්තා කියා සිටියේ ඔය සුද්දෝ ගේන රට බීමක් බීලා වෙන්න ඇති බවය.

මේ ජෙනී-සීරී ව්‍යාපාරය තිබෙන කාලය ඔහුගේ හොඳම කාලය ලෙසේ සලකන්න පුළුවන්. ඒ කාලයේ '795' අංකය දෙපැත්තේම විශාලව අලවා තිබූ කාර් රථයක් ඔහුට තිබුනා. මෙය එළවුයේ  ඇන්චා නමැති තවත් අපේ ගමේ කතාබහට ලක් වූ චරිතයක්. මේ කාලයේදීම ජෙනී-සීරී යනුවෙන් සයිකල් සවාරියක් තනිවම සංවිධානය කරන්නට පොලා නොහොත් ෆොරින් සමත් විය. ඔහුට යහමින් මුදල් ගැවසෙන කාල වලදී ඔහු මහා ධානපතියෙකු ලෙස ක්‍රියා කරයි. එයට හොඳම උදාහරණය වන්නේ එක් පොහෝ දිනක ඔහුගේ ගම වූ යාත්‍රමුල්ල ප්‍රදේශයේ හැම ගෙදරකටම හාල් පොල් සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත මල්ලක් බෙදා දීමයි. ඔහුට පොලා නමැති නම පටබැඳෙන්නට හේතු වුයේද මේ පොල් බේදීමදැයි විටෙක මට සිතේ.

ඔහ්ගේ මෙම 795 අංකය සහිත වාහනය දිනක් අධික වේගයෙන් ධාවනය කල ඇන්චා පල්ලමකට පෙරේලී තිබුනේ එහි රෝද උඩ පැත්තට සිටින ලෙසය. එහෙත් ඒ සඳහා කාටවත් වචනයක් කිව්වේ පොලා නොවේ. ඔහුගේ මේ ධානපති බවෙන් ප්‍රයෝජන ගෙන ඔහු මෝරා කල යද එකල සුලභ විය.

ඔහු තමාටම ෆොරින් යන නාමය ආදේශ කර ගත්තේ නිතරම සංචාරකයන් සමග ගැවසෙන නිසාය. 1986 දී පමණ බෙන්තොට පොලීසියේ ස්ථානාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන(ජගත් රෝහණ) මහතා කිසිදු තැනක රස්තියාදු කාරයන්ට හෝ සංචාරක මග පෙන්වන්නන්ට ඉන්නට ඉඩ සැලසුවේ නැත. දිනක ඔහුගේ මේ අණපනත් නොතැකූ පොලා සංචාරක හෝටල් ප්‍රදේශයේ ගැවසෙනු දැක තම යතුරුපැදිය නවත්වා

"මෙතන මොකද කරන්නේ. තමා කවුද ?"

"මම ෆොරින්. එතකොට ඔබතුමා  ?" (පොලා යකාටවත් බය නැත. ඕ.අයි.සී.ද ඔහුට ලොකු නැත. කලින් පොලීසියේ සිටි ඕ.අයි.සී. ඔහුගේ ගජ මිතුරෙකි)

"උඹ ෆොරින් නම් මම ලෝකල් කියල මතක තියා ගනිං. මීට පස්සේ සුද්දෝ පස්සේ යාම තහනම්. එහෙම ගිහින් අහු වුනොත් මම නරක මිනිහා කියන්න එපා.

"හරි හරි බොස්' ඕකේ. නෝ ප්‍රොබ්ලම්" පොලා කියන ඒවාට ස්ථානාධිපති තුමාටද හිනා යන්න ආවත් තවත් මොහු සමග වාද විවාද කළහොත් ඉරෙන්නේ තමාගේ කොලය බව දැනගත් ඔහු කට පියාගෙන මහා හඬකින් බයිසිකලය රේස් කරගෙන් නොපෙනී යන්නට විය. එදෙස පොලා බලා සිටියේ මද සිනාවකිනි. ඒ තවත් නොබෝදිනකින් "එයත් මගේ සාක්කුවේ" බව ඉර හඳ මෙන් දන්නා නිසාය. එහෙත් සිදු වුවේ අනෙකකි. එතුමා හරියටම නීතිය අකුරට ඉටු කරන නිලධාරියෙකි.  

පොලිස් නිලධාරීන් ඔහු කෙතරම් සමීපව ඇසුරු කලාද යන්න මේ කාතාවෙන් පැහැදිලි වේ. ඉහත සඳහන් කල ජෙනී-සීරී ව්‍යාපාර බංකොලොත් වන්නට වැඩි කාලයක් නොගියේය. ඒ ඔහු එයට පය තබන ගනුදෙනු කරුවන් වන සුදු මහතුන්ටද පුරුදු හැන්දෙන් බෙදීම නිසාය. අනෙක් තැන් වල රුපියල් 1200 කට විකුණන වෙස් මුහුණක් ඔහු සමහරවිට රුපිය 750කට විකුණයි. එසේ කල විට ඉහල කොමිෂන් මුදලක් බලාපොරොත්තුවෙන් එහි එන තමාගේ පෙර රැකියාවේ මිතුරු කැල ඊළඟ වතාවේ ඔහු සොයා නොපැමිණෙන බව ඔහුට අමතක වුයේ අර කලින් කී ඔහු තුල සිටින ධානපතියා ඊට වඩා ඉහලින් සිටි නිසාය. මෙම ව්‍යාපාරය වැඩි කල් යන්නට මත්තෙන් විකුණා දැමු ඔහු නැවතත් පුරුදු රැකියාවට පැන්නේ තමාට ඔය බිස්නස් වැඩ හරි යන්නේ නැති බව පවසමිනි. එසේ නට්ටන් වී සිටි කාලයේ ඔහු ධර්ගා නගරයේ කඩයක තේ බී එහි වේටර් වරයාට තමාගේ වාහනයට ගොස් මුදල් රැගෙන එන බව පවසා හෙමිහිට මාරු වී ඇත. කලින් තාමටද හොඳ ගණනක් අත මිට මොළවන මොහු කෙරේ මුදලාලිද සැකයෙන් නොබලන බව වේටර් දනී. එහෙත් මේ කියන දිනයේ ඔහු ළඟ සතයක් වත් තිබී නැත. එසේ එලියට එන විට තරමක් වටිනා කාරයක පැමිණි අයෙක් කුමක් හෝ කාරණයකට වහනය ස්ටාර්ට් එකේ තිබියදීම කඩේට ගොඩ වී ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලා වාහනයට ගොඩ වී එය එලවාගෙන හැල්මේ බෙන්තරට ලඟා වී ඇත. එහෙත් දැන් තමා පසුපස අර පුද්ගලයා එන බව ඔහුට ඉර හඳ මෙන් විශ්වාසය.  කරාස් යන හඬින් පොලීසිය දෙසට වාහනය හරවා පොලීසියට මෑතින් වාහනය නැවතූ ඔහු  කිසි හැල හොල්මනක් නැතිව තමාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් ස්ථානාධිපති තුමාගේ කාමරයට කෙලින්ම ගොස් ඔහු ඉදිරියේ ඇති පුටුවේ හරි බැරි ගැහී ලොකු කතාවකට බැස එන ගමන් අර කාරයේ යතුර එතුමාගේ මේසයේ නොපෙනෙන තැනක තියා එන්නට තරම් කයිරාටිකයෙක් විය. 

ඔහු කල මෙවැනි ඇස් රතු වන විහිලු ඇරෙන්නට කුරා කුහුඹුවකුටවත් ඔහුගෙන් වරදක් වුනේ නැත. එහෙත් ඔහු අකාලයේ මිය ගොස් ඇති බව මා දැන ගත්තේ මෑතකදීය. 


33 comments:

  1. පොලා මාර පොරක් නේ. අලුත් ලේබලේ කතා ටිකත් හරිම රසවත් වෙයි වගේ!!

    ReplyDelete
    Replies
    1. මාරම පොරක්. නිතරම හිනා වෙලා, ලැබුණ දේ සතුටින් භාර ගන්න කෙනෙක්.

      අලුත් ලේබලේට ලියන්න ඉන්නේ මේ වගේ ඒවම තමයි.

      Delete
  2. පොතක්ම ලියන්ට සුදුසු චරිතයක් වගෙයි දැනුනේ. 'අපේ ගම' කතාවත් මතක් උනා කියවගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම ගොඩක් කතා තියෙනවා මිනිහගේ. අර විලී සර් තමයි සේරම් දන්නේ. අපේ ගමත් හරි ගමක් තමයි.

      Delete
  3. පුදුම මනුස්සයෙක්නේ...හිත හොඳ මිනිස්සුන්ට දියුණු වෙන එක ලේසි නෑ තමයි. එයා මැරිලා තියෙන්නේ මොනවා වෙලාද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නොගැලපෙන ගුණාංග වල එකතුවක් ඔහු තුල තිබුණා. ඔහුගේ මම දැක්ක හොඳම ලක්ෂණය තමයි සැහැල්ලුවෙන් ජීවත් වීම. මරුන විදිය ගම පැත්තෙන් හොයලා දාන්නම්.

      Delete
    2. මැරිලා තියෙන්නේ බීමත්කම නිසා.

      Delete
  4. හිත හොද මොනිස්සුන්ට වැඩිය ආයුෂ නෑ

    ReplyDelete
  5. ෆොරින් සුපිරි චරිතයක්නෙ.... ඔරලෝසු ගන්න යන්න ලොරි ඇන්ජිමක් බෝට්ටුවට හයි කලා කිව්වම නම් මට තේරුනා මිනිහා නාග චම්පා කියලා... රජ නයි ඇරලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරා ඒක නයෙක් නෙවෙයි. කොටිත් ඒ වගේ වාහන් එන්ජින් බෝට්ටු වලට යොදා ගත්තා නේද? මේ මිනිහට අමුතුම මොලයකුත් තිබ්බ කෙනෙක්. බෙන්තොට අලුත්ගම වෙන් කරන ගඟේ අලුත්ගම කෙලවරේම හිටිය විශ්මකර්ම වැඩ කරන කෙනෙක් රෝලන්ඩ් කියල. හැම වෙසක් එකටම මොනවා හරි මස්මොරෛස් වැඩක් කරනවා. සමහරවිට පොලා ඒ මනුස්සයාගේ උපකාර ගත්තද මන්ද ?

      Delete
    2. මම එහෙනම් අදහස වෙනස් කරගන්නම්...

      Delete
    3. සිරා දැනටත් ඔය සෙල්ලම යනවා ජයටම, ලේලන්ඩ් එන්ජින් තමයි වැඩේට ගන්නේ.

      Delete
  6. නැගල යන කතාපෙලක් වෙයි.\\උබ ෆොරින්නම් මම ලෝකල්// කතාව මතක් වෙන,මතක් වෙන වෙලාවට හිනා යනවා.

    ReplyDelete
    Replies
    1. එකෙන් ජයවර්ධන මහත්මයා(මගේ ඈතින් ඥාතියෙක් වුනා පස්සේ) කියන්න උත්සාහ කලේ "මම කරන්නේ උඹ කරන දේට විරුද්ද දේ" කියන එක.

      Delete
  7. මමත් වැඩියෙම ආසා ඔය සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ චරිතාපදාන වලට වඩා මේ වගෙ අපි අතරෙම ඉන්න චරිත් ගැන මේවගෙ රස කතා කියවන්න. නියමයි බොස්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මමත්... ඇත්තටම මේ මිනිස්සු අව්‍යාජයි...

      Delete
    2. හැමදාම වගේ හෙන්රිත් මමත් ඉන්නේ එකම බෝට්ටුවේ.

      Delete
    3. ආ හිරු ඉන්නෙත් ඒකෙම තමයි.

      Delete
    4. ඔහොම මිනිස්සුන්ට රකින්ඩ , පෝෂනය කරන්ඩ තත්වයක් , මාන්නයක් නෑ ඒ හින්දා ඒ මිනිස්සුන්ගේ ජීවිත සරලයි . සුන්දරයි

      Delete
    5. මට නම් සිරී නිකං සරදියෙල් වගේ චරිතයක්.

      Delete
  8. අන්න අපේ විදේශ ඇමතිකම දෙන්න පුලුවන් දක්ශයෙක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දක්ෂයෙක්. දැන් සමහර ප්‍රාදේශීය සභා වල ඉන්න මංත්‍රී වරුන්ට වඩා සීරී බුද්ධිමත්.

      Delete
  9. අයියෝ සිරී, අපරාදේ ඉන්න ඕන මිනිහෙක්..

    ReplyDelete
    Replies
    1. නැත්නම්. හැබැයි මිනිහා හිටිය නම් මිනිහට වඩා වටින්නේ අනිත් අයට.

      Delete
  10. හි හි...
    මරු මරු චරිත හැම ගමකම ඉන්නවා නේ...
    ස්ක්‍රිප්ට් එකක් ලිවුවනං පොලා ආශ්‍රිතව හිට් වෙන නාට්ටියක් කරන්න තිබ්බා..

    ReplyDelete
  11. අනිවාර්යයෙන්ම. පොලා හරියට සූරසේන වගේ චරිතයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවානම් ඒ චරිතයට හොඳම කෙනා මහේන්ද්‍ර පෙරේරා කියල තමයි මට හිතෙන්නේ. ඇත්තටම මහේන්ද්‍ර පෙරේරා වගේ හිනා වෙලා ඉන්න ඒ සමාන ශරීර ලක්ෂණ සහ විශේෂයෙන්ම කොණ්ඩය(ඇරපු අතක් නෑ) තිබුණ කෙනෙක්.

      Delete
  12. සුපිරිම කතාවක්නේ.කාලයේ තලාවට යටවන මිනිසුන්ගේ හද ගැස්මෙන් බ්ඳක් දුන්නට තුති.අදමයි වගේ මේ පැත්තට ආවේ දිගටම එන්නං දැං.
    එන්න සමකය වටේ රවුමක් යන්න
    .

    ReplyDelete
    Replies
    1. මේ කතාව ගැන අක්කට කිව්වහම අක්ක මතක් කරලා දුන්න තව මේ වගේ චරිත ටිකක්. ලියන්නම් හෙමිහිට. මමත් සමකය වටේ ගියේ අද.

      Delete
  13. ස්තුතියි සුදීක ... තව ෆොරින් ගැන කතා ටිකක් ලියමුකො !!! කෙටියෙන්ම කියල දාන්නේ නැතුව ටිකක් දිග්ගස්සුව නම් අගෙයි
    :)

    ReplyDelete
    Replies
    1. තව එ වගේ චරිත කීපයක්ම තියෙනවා ලියන්න. ෆොරින් ගැන ඇති නේද ?

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...