Saturday, November 17, 2012

දුවරු තිදෙනෙක් මවක් සහ පියෙක් ....

මේ ලියන පොස්ට් එක මම ලියන කෙටිම පොස්ට් එක වෙන්නත් පුළුවන්. එත් අද මම ලියන්නේ මේ දැන් මගේ හිතට වද දෙන හැගීම්. නෙරංජි සුලක්ඛනාගේ අද දාලා තිබුන පොස්ට් එක දැක්කහම මට මුලින් හිතුනේ, "මේ ළමයා මේ බ්ලොග් එකේ වැඩියෙන්ම ලියන්නේ එයාගේ හිතට එන හැඟීම් නේද ?" කියල. පස්සේ මම කල්පනා කළා ඇයි එයා එහෙම ලියන්නේ කියලා. එක අතකින් එයාට දුක කියන්න කෙනෙකුත් ඉන්නවා. ඉතිං ඇයි බ්ලොග් එකේ ඒවා ලියා තබන්නේ ? කියවන අපිට දැන ගන්නද? ඒත් එකෙන් වෙන වැඩේ මොකක්ද ? නමුත් ඒ ලිපිය කියවපු මගේ හිතේ කම්පනයක් ඇති කළා. මටත් දුවෙක් ඉන්නවා. අද මගේ දුව මගේ ගාව නෑ. අක්කා ගමේ යනකොට එක්කන් ගියා. මොකද දවල්ට ඇය බලා ගන්න ඉන්න සේවිකාව මේ දවස් වල නිවාඩු ගිහින්.

මම හිටියේ ලොකු කල්පනාවක. මම කල්පනා කලේ නෙරංජිගේ පොස්ට් එකට හේතුව. ඇය ඉන්නේ ලෙඩ ඇඳේ. බෙහෙත් වලින් ඇගේ මනස විකෘති වෙලාද ? නෑ එහෙම වෙන්නත් බෑ. සමහර තැන් වලදී ඇය යථාර්තවාදී දේත් ලියා තිබෙනවා. මට මගේ දුව මතක් වුනා. මගේ දුරකතනයේ ඒ වන රාත්‍රී විට 8:30 සටහන් වී තිබුණා. මා අද ඇයට කථා කල යුතුමයි. ඒත් මෙවැනි වෙලාවල් වල මා පුරුද්දක් වශයෙන් ඇය  අමතන්නේ නෑ. හේතුව මේ ඇයව නිදි කරවන වෙලාව නිසා. එවැනි විටක මා ගැන මතකයක් ඇති වූ විට ඇයට දුකක් ඇති වීම වලක්වන්න බෑ.  එය මට සොයුරිය පවසා තිබූ දෙයක්. රාත්‍රියේදී ඇය ඇමතීමෙන් වලකින ලෙස. වඩා හොඳ දේ වෙනුවෙන් මා හැගීම් පාලනය කර ගත්තා. ඒත් අද මට කෙල්ලට කතා කරන්නම ඕනේ වෙලා. මම අක්කගේ දුරකතනයට කතා කළා. පිළිතුරැ දුන්නේ ඇගේ පුත්‍රයා. මම සතුටු වුනා. අක්ක කථා කළා නම් කථා කිරීමේ අවස්තාව ගිලිහෙන්නත් තිබුනා. කොල්ලා කෙලින්ම දුව අතේ ෆෝන් එක තිබ්බා. ඇය වෙදානාවෙන් හඬමින් කථා කරනවා. මාව දැවී අළු වී යනවා වගේ දැනුනා. ඊයේ අපි දෙන්නට එකට ඉන්න ලැබුනේ පැයක් විතර. අක්කා එයාගේ දරුවන් බලන්න කොළඹ ඇවිත් තිබුණා. ඒ එත්දී මගේ කෙල්ලත් ඇය සමග මෙහි විත් තිබුනා.

මම ගෙට ගොඩ වනවිටත් ඈ සිටියේ චිත්‍රයක් අඳිමින්. ඇය බොහෝ විට අඳින්නේ ගැහැණු ළමයින්ගේ රූප. මම ලඟට එනකංම ඈ දැක්කේ නෑ. මා ඇය වෙනුවෙන් රැගෙන් ආ බිස්කට් පැකට් එක පෙන්නුවත්, මා දැකීමෙන් ලද සතුට හැර විශේෂත්වයක් ඈ බිස්කට් එක වෙත දැක්වුවේ නෑ. වෙනදා ම දුටු විට ඈ දුවවිත් මගේ ඇඟට පනිනවා. ඒත් පැයකින් ඔවුන් ආපහු යන බව දැනගත් විට ඇති වූ ශෝකය මා හිතේම හිර කර ගත්තා. එහෙත් පිට වන්නට පෙර ඇයගේ කකුලේ කැසීම නිසා ඇති වූ ලේ රත් පැහැයෙන් මගේ හිතේ විශාල තුවාලයක් ඇති කළා. ඇය මට මේවා පෙන්වන විට වේදනාව ඇගේ මුවින් පවා පෙන්වනවා. සමහරවිට මෙය පෙන්වීමකට වඩා නිරායාසයෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඇගේ චිත්‍රය මම අගේ කළා. කොහොමටත් ඇය අඳින චිත්‍ර වල යම් මුහුකුරා ගිය බවක් තියෙනවා. අක්කා දුරකථනය ගෙන

"මල්ලී හෙට මෙයාව පෙන්නුවොත් හොඳයි. චැනලින් එකක් දාන්න."

"හරි මම දාන්නම්"

මේක එක්තරා දෛවෝපගත සිදුවීමක්. වයස හතක් වන මගේ දියණිය ආරක්ෂාව අවශ්‍ය නිසා මගේ සොහොයුරියත් සමග ගමේ වෙසෙනවා. සොහොයුරියගේ දියණියන් දෙදෙනා කොළඹ මාත් සමග සිටිනවා. ඔවුන් රැකියා සඳහා යන නිසා ඔවුන්ට ගමේ ඉන්න බෑ, අක්කට කොළඹ ඉන්න බෑ මස්සිනාගේ බෙහෙත් ටික වෙලාවට දෙන්න අවශ්‍ය නිසා. මගේ නංගිගේ පුතා ඉන්නෙත් අපි එක්ක. ඒකා චිට්‍රපටි පිස්සා. පෝර්ටබල් හාර්ඩ් ඩිස්ක් එකක් උස්සන් ඇවිත් මගේ රූපවාහිනියට අමුණා නරඹන්න ඒකා හරි කැමතියි, යාලුවෙක්ගේ රෙකමදාරුව මත යයි පවසමින් August Rush නැමති චිත්‍රපටිය නරඹන්න පටන් ගත්තා. ඒ මදිවට මාවත් කෙසේ හෝ එයට ඈඳා ගන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. අන්තිමට ඒකා දිනුවා. හේතුව මේ චිත්‍රපටිය අනාථ දරුවෙකු වටා ගෙතුණු ඉතා සංවේදී කතාවක් නිසා. මුලින් මුලින් ඒ දෙස අතරින් පතර බැලු මම පසුව මෙය ටයිප් කිරිල්ල පැත්තක තියලා නරඹන්න පටන් ගත්තා.

උඩින් තියෙන පරිච්චේද ටික ඊයේ රෑ ටයිප් කරපුවා. 

රාත්‍රී දහය පසු වෙලා විනාඩි දහයක් ගත වෙත්දී අක්කාගෙන් දුරකථන ඇමතුමක්. මාව සීතල වෙලා ගියා. මගේ හිතට එක පාරටම ආවේ කෙල්ලට අමාරු වී ඇතිද යන්න. මෙවැනි තුවාල වලට අමතරව ඇයට හතිය ඇති වෙනවා බොහෝ වෙලාවල් වලට. අක්කා ගෙදර නැති දින කිහිපයකම ඇයට හතිය හොඳටම වැඩි වුනා රාත්‍රී කාල වලදී. මට මෙය හතියයද උණද කියා තේරුම් ගන්න බැරිව දෙගිඩියාවෙන් එක් දිනක් මුළු රෑම නිදිවර්ජිතව පහන් කළා. එවැනි වෙලාවට ඇය හුස්ම ගන්නා අකාරය හරිම භයංකාරයි. එවැනි එක් දවසක මා  දෙපාරක් නොසිතාම ඇය ලඟම තිබෙන නර්සින් හෝම් එක වෙත රැගෙන ගියා. මා පසුවයි දැන ගත්තේ එවැනි හති වෙලාවල් වලදී නිසි ලෙස ඔක්සිජන් ශරීරයට ලැබෙන්නේ නැති බව. එවිට නෙබියුලයිස් කල යුතුම වෙනවා. නැතිනම් ජීවිතය අනතුරේ. දැරිය රෝගී වූ සෑම අවස්ථාවකම අප හැරදා ජීවිතයේ ඉසුරු සොයා ගිය ඇගේ ජීව විද්‍යාත්මක(Biological) මව සමග මට දැඩි කෝපයක් ඇති වනවා. අන් කිසිම මොහොතක මට ඒ ගැන කිසි වේදනාවක් නෑ.

අක්කාගේ දුරකථන ඇමතුම ඇයගේ දුව සේවය නිමවී පැමිණ ඇයට කථා නොකළ නිසා ඒ ගැන විමසන්න. මා ඒ අතරදීත් මගේ දියණියගේ තත්වය විමසා සිටියා. අක්කාගේ දුව ඉහල මාලයේ සිටි නිසා මා ඇය සිටින තැනට ගමන් කලා. ඒ වන විට ඇය නාන කාමරයේ. අම්මා අමතන බව පැවසු විට. ඇයගේ දුරකතනයේ බැටරි නොමැති නිසා කථා නොකළ බවත්, හෙට උදයේ කථා කරන බවත් පවසා සිටියා. ඒ කතාවෙන් මා තුල ඇති වුනේ දැඩි කලකිරීමක්. දෙමව්පියන් තම දරුවන්ට කෙතරම් සෙනෙහසින් සිටිනවාද යන්න දන්නේ දෙමාපියන්ම පමණයි. සමහරවිට අක්කා කොළඹ නැති එක ගැන මේ දුව නෝක්කාඩුවෙන් සිටිනවා විය හැකියි. මා සිතා ගත්තා කෙසේ හෝ දුරකථනය මගින් මේ දෙදෙනා සම්බන්ධ කරන්න. 

ඉහත කී චිත්‍රපටය බලන්නට කලින් මම රුපවාහිනියේ CSN නාලිකාව දෙස බලා සිටියා. එහි තරු වැඩසටහනක් යනවා. තරුණියක් ගයනා කරන ගීතයට සවන් යෝමාගෙනම මා මේ ලිපිය අකුරු කරමින් හිටියේ.  ඒ ගීතය පරසතු මල් වල කියන ලතා වල්පොල මහත්මිය ගායනා කරන ගීතය. මගේ එකල සිටි නැන්දන්ම්මා ඒ කාලේ මේ ගීතයා ගායනා කරනවා කීප විටක් අසා තිබුනත් එහි වචන ගැන මා සංවේදී වුවේ නෑ. ඒත් ඊයේ ඒ ගීතයට මා උවමනාවෙන්ම සව දුන්නා. එහි එක් තැනක තිබෙනවා. "දුවට මවක මිස - පියෙකු කොයින්ද" කියා කොටසක්. ඒ කතාව ඇත්ත. මොකද අද මා සෙවනේ වැඩුනත් මගේ දියණිය නියම මව් සෙනෙහසක් මගේ සොයුරියගෙන් විඳිනවා. මගේ සොයුරියත් එලෙසම දුවකගේ සෙනෙහස විඳිනවා. ඒත් මව් සෙනෙහසක් දෙන්න නොහැකි වුනත් මා හැකි හැම අයුරින්ම ඇයට සෙනෙහස ලබා දෙනවා. මටත් ඇයටත් එකට ඉන්න ලැබෙන කාලය අඩු කම තමයි තිබෙන ගැටලුව.

ඉතිං මං කලින් හිත හිතා හිටිය කාරණය. අයි නෙරංජි ඒ වගේ ලිව්වේ. මට මුලින් හිතුනේ ඒක එයාගේ බ්ලොග් එක, එයාට කැමති දෙයක් ලියන්න පුළුවන් කියලා. ඒත් ඒ වගේම දෙයක් ඊට පැය කීපයකට පසු එහෙම හිතපු මමත් කරා. ඇයි එහෙම කරන්නේ ? ඒ වෙලාවේ හිතට ආව වේදනාවක්, දුකක් හෝ සතුටක් අපිට පසුව අමතක වෙලා යන්න පුළුවන්. ඒත් අතීතාවර්ජනයට හෝ වටිනවා. ඒක ලියලා පබ්ලිෂ් නොකර ඉන්න බැරිද ? ඇත්තටම බ්ලොග් කරුවෙකුට එහෙම කරන්න පුලුවන්ද? බෑ කොහෙත්ම බෑ. බ්ලොග් කරුවාගේ දුක බෙදා ගන්න, කිසිදා හමු නොවුනත්, පුද්ගලිකව දැන හැඳින නොගත්තත් බ්ලොග් කරුවාගේ දුක බෙදා ගන්න කියවන ලියන බ්ලොග් සහෘදයන් පිරිස ඉන්නවා. ඉතිං හිත හෑල්ලු කර ගන්න ලියපු මේ පොස්ට් එක කියවා ඔබගේ ජීවිතයට යමක් එකතු කර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මගේ හිත හෑල්ලු කර ගන්න ලියපු මේ පොස්ට් එක කියවූ ඔබට මා ණයගැතියි.

ප.ලි. : මාරයාගේ පොස්ට් එකකින් කියවුණු විදියට සති අන්තයට සිංහල බ්ලොග් පොස්ට් වැටෙනවා අඩුයි. මම පොරොන්දු වුනා සෙනසුරාදා හා ඉරිදා පොස්ට් දෙකක් දාන්න. එහෙම දාන පලවෙනි එකම මගේ හිතට ආපු සිතිවිලි ටිකක් අකුරු කරන්න වෙච්චි එක ගනා මාරයා මාත් සමග උරණ නොවෙයි කියලා මම විශ්වාස කරනවා. 

50 comments :

  1. ස්තූතියි...මේ පෝස්ට් එකට.මම ඔක්කොම කියෙව්වා....හිත අසනීප වෙන්න දෙන්න එපා.. ඇඟ දෙගුණයක් අසනීප කරන්නෙ හිත...මටත් පොඩි කාලෙ නිව්මෝනියාව හැදුණා.මට මතකයි. දැන් නම් මට කිසිම ලෙඩකට බයක් නෑ. හිත සතුටු වෙන්න දෙයක් ජීවිතේ අපිට හොයාගන්න අමාරුයි. ඒත් එහෙමයි කියලා මම නිවන් දකින්න මම කැමති නෑ. අපි හරි පුදුමයි.

    ReplyDelete
    Replies
    1. දෙගුණයක් නෙවෙයි 60% ක්. හිතෙන් ලෙඩේ සුව නොවුනොත් බෙහෙත් වලින් කරන්න අමාරුයි. නිවන් දකින්න අකමැතියි කිව්වට, මේ හැම දුකකටම පිළියම තියෙන්නේ එතන.

      Delete
  2. සුදීක අයියා..මීට කලින් මම අයියගෙ පෝස්ටුවක් කියෙව්වා. ඒක අයියගෙ පොඩි එකීට තෑග්ගක් ගන්න ගිය වෙලාවක ලියපු එකක්. ඒක මම දවස් ගානක් එක දිගට කියෙව්වා. තාත්ත කෙනෙක්ගෙ උණුසුම අල්ප මාත්‍රයක්වත් දැනගෙන උන්නෙ නැති ( තාත්තා අපිව දාලා ගිහින් තියෙන්නෙ මට අවුරුද්දක් විතර තියෙද්දී. මම අදටත් එයාව දැකලා නෑ ) මට ඒ පෝස්ටුවේ අකුරක් අකුරක් ගානෙ තිබ්බ පීතු සෙනෙහස කොයිවගේද කියන එක දැන ගන්න ඕනෙ වෙලා තිබ්බා.

    කවුරු කොහොම කොයි විදියට කිව්වත් මට තාත්තා කෙනෙක්ගෙ ආදරේ මේ වගෙයි කියලා මගේ හදවතට දැනෙන්න අරින්න බෑ. වෙලාවකට මට ඒ ගැන දුකයි. ඒ ගැන හිතලා මම අඬන වෙලාවක් අනන්තයි. අම්මගෙ ආදරේ ලැබුනත්..ඒ හිඩස.. ඒ දැනුනේ නැති පිය සෙනෙහසේ අඩුව මගේ හදවතේ කෙළවරක ඉතිරි වෙලා තියෙනවා..

    අයියගේ පෝස්ටුවලින් තවමත්...අදටත් පිය සෙනෙහස හඳුනා ගන්න හදනවා කියලා අයියා දන්නවානම්...

    ( August Rush මම ආසාවෙන් බලපු චිත්‍රපටයක්. අහම්බෙන් හමුවූ දෙන්නෙක් අතරේ ඇති උන සම්බන්ධකම නිසාම උපදින දරුවා තනිඋන දරුවන් හදන පාසැලක ඉගෙන ගන්නා අතරම තමන්ගේ දෙමාපියන් හොයා ගන්නට කරන උත්සාහය....)

    ReplyDelete
    Replies
    1. මම දෙගිඩියාවෙන් තමයි මේ දේවල් ලියන්නේ. අද මේ පොස්ට් එක ලියලත් පබ්ලිෂ් බට්න් එක ක්ලික් කරන්නවද ? නැද්ද ? නැද්ද කියල. ඒත් කෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියල හිතෙනකොටත් පුදුමයි. මම දුව හදා ගන්න කරන දේවල් පොතක ලියන්න පටන් ගත්තා. මම කවදා හරි ඒක මෙතන ලියයිද කියල මම දන්නේ නෑ. ඒත් ඔයා ගැන මට ආඩම්බරයි. මම මෙහෙම කියන්නනම්. තමන්ගේ දරුවන් ගැන පියෙකුට ඇති වෙන දුක මට දැනෙන විදියට හරිම වේදනාකාරීයි. මොනම හේතුවකටවත් ඒවා එලියට දාන්නේ නෑ. සතුටත් ඒ වගේමයි. දරුවන්ගේ පුංචි හරි දස්කමක් දැක්කහම පුදුමාකාර විදියට සතුටක් විඳිනවා. මගේ දුව මගේ මුණ පොඩ්ඩක් අත ගානකොට මට දැනෙන සතුට මේ ලෝකේ වෙන කිසිම දෙයකින් මට ලැබිලා නෑ.

      Delete
    2. ලිහිනි....
      මගේ දුව මේ අවුරුද්දෙ ඉස්කෝලෙට දැම්මෙ. ඒකියන්නෙ පලමු වසරේ උදේට එක්කන් යන්නෙ.දවල්ට ආපසු එක්කන් එන්නෙ මම.ඉස්කොලෙ ඇරෙන වෙලාවට මාව දැක්කම දරුවා මාලඟට දුවගෙන එනහැටි දැක්කම හිතට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ.
      ...
      අපේ දූගෙ පන්තියෙ ඉන්නව එක් දඟකාර පුතෙක් . එයාගෙ දෙමාපියන් දික්කසාදවෙලා. අම්ම ගාව දරුව ඉන්නෙ.ඉස්කෝලෙට එන්නෙ ත්‍රීවීල් එකක(පාසල් සේවයක්) ඒ දරුවගෙ තාත්ත සතියට දවසක් විතර පාසලට එනව දරුව බලන්න....ඒත් අර දරුව හැමදාම පන්තිය ඇරිච්ච ගමන් ගේට්‍ටුව ගාවට දුවගෙන ඇවිල්ල තාත්ත එනවද කියල මග බලා ඉන්න දසුන දකින මට පුදුම දුකක් ඇතිවෙනව. දරුවන්ට දෙමාපියන් ලඟ නැති උනාම කොයිතරම් වේදනාවක්ද..?

      Delete
  3. බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේකේ ලස්සන දැක්ක අයත් ඉන්නවා.

      Delete
  4. අයියෝ මට නම් බෑ... මට බඩේ අමාරුවක් හැදිලා දැන් උණ හොදටම.. අපේ මහත්තයා වැඩකට ගිහින්.. මම අපේ ගෙදර හිටිය නම් කියලමයි හිතෙන්නේ... එහෙනං කන්න බොන්න ජාති උස්සගෙන අපේ තාත්තා මං වැටේට කැරකි කැරකි ඉඳියි... කසාද බැන්දේ මොකටද කිය කිය හිත හිත නේරංජිගේ පෝස්ට් එකට උත්තර ලියලා මෙහෙ එනකොට මේක...

    හිතට එන සමහර දේවල් අපි ළඟ පාත ඉන්න අයට කිව්වට ඒ අය ඒක ‌තේරුම් ගන්නේ, අදහස් දක්වන්නේ අපි ගැන එයාලගේ හිතේ තියෙන පරණ අදහසුත් එක්කයි.. ඒත් මේ බ්ලොග් අවකාශේ කවදාවත් දැකලා නැති කෙනෙක්ට අපේ හිතේ ඇති වෙච්ච හැගිමක් ගැන ලියවෙච්ච පෝස්ට් එකක් කියවද්දි දැනෙන්නේ ඒ හැගීම ගැනම අදහසක් මිසක් අපේ චරිතය වත්, පරණ කුනු කන්දල්වත් ගැන හැඟීමක් නෙවෙයි... ඒ කමෙන්ට් වලින් ලැබෙන ශක්තිය වෙනස්... හරි ලෙංගතුයි.. අනිත් එක ගොඩක් වෙලාවට මේවා ගැන හිත හිත අපි තනිවෙලා නෑ කියලත් හිතෙනවා.. මොකද අඩුම ගානේ තව එක්කෙනෙක්වත් මං වගේම හිතන කෙනෙක් මේ ලොකේ ඉන්නවා කියලා දැන ගන්න නිසා...

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ 100% ඇත්ත. වටේ ඉන්න අය අපි ගැන එයාලගේ හිතේ මවා ගත්ත දෘෂ්ටි කෝණයෙන් බලන්නේ. ඒත් ආගන්තුක අය ඒක බොහොම උපේක්ෂාවෙන් බලන්නේ බොහෝ වෙලාවට.

      Delete
  5. හිත අසනීප උනොත් නන් ඔක්කොම ඉවරයි. ඇඟේ කොහේ හරි අසනීපයක් තිබ්බා වගේ නෙමෙයි හිතේ අසනීපයක් උනහම...

    ප.ලි. - අදමයි මේ පැත්තේ ආවේ. ඉඩක් ලැබුනොත් මගේ ටැංකිය පැත්තෙත් ගොඩ වෙලා යන්න එන්න.
    http://malutankiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔව් හිත ශක්තිමත් කරගමු.

      එන්නම්.

      Delete
  6. හැම පවුලකම වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා. එහෙම නැහැ කිව්වොත් බොරු.

    ඔය ගිය එකී ගැන වචනයක් වත් නහස්ති කරන්න එපා මිං මත්තේ. බ්ලොගේ කැත වෙනවා. එයාගෙ සැනසීම එයා ලබලා නං ඒ ගැන සතුටු වෙලා ඉන්න.

    ඔයාට සැනසීම ලබලා, සතුටු වෙන්ට පුලුවං වෙන්නෙ ඔයාගෙ කෙල්ල තව ලොකු උනාම. එතකං ඉවසං ඉන්න. එහෙමයි ආත්මාර්තකාමී නොවන අයට සැනසීම ලැබෙන්නෙ.

    ReplyDelete
  7. සෑහෙන්න හිතට වැදුන. සෑහෙන්න හිතන්න ඕන ලිපියක්

    ReplyDelete
    Replies
    1. මේක කියවන්න පටන්ගන්නකොට කවුරුවත් කමෙන්ට් දාලා තිබුනෙ නැ . ඒවත් කියෙව්වට පස්සේ ඔබේ හිතට යම් සහනයක් ලැබෙන්න ඇතැයි හිතෙනවා

      Delete
    2. අනිවාර්යෙන්ම.

      Delete
  8. ඔබ හොඳ ප්‍රශ්ණයක් අහලා තිබුනා. අද දරුවන් තමන්ගෙ අම්මලා එක්ක ඉන්නෙ තරහයින්ද කියලා. ඔව් ඇත්තටම ඔව්. තිත්ත උනත් ඇත්ත ඒක. අද දෙමව්පියන් ආත්මාරතකාමියි. ඔබ උනත් බලන්න. ඔබේ දරුවා වෙන තැනක. සොහොයුරියගෙ දරුවෝ වෙන තැනක. අනික උගන්වන්න කියලා දරුවන්ට දෙන වදයක්. ඒ දරුවන්ගේ ළමා කාළය සම්පූර්නයෙන් උදුරා ගන්නවා. සම්පූර්ණයෙන් ඔවුනගේ ළමා අයිතිවාසිකම් නැති කරලා දානවා. දරුවෝ ආස සෙල්ලම් කරන්න, චිත්‍ර අඳින්න, කාටුන් බලන්න, නමුත් අද ඒ කිසිම දේකට දරුවන්ට ඉඩක් දෙන්නෙ නෑ. ළොකු මිනිස්සු කරන්න විතරයි ඕන. හොඳ මිනිස්සු කරන්න ඕන නෑ. ඉතින් එයාලා ළොකු මිනිස්සු වෙයි. දෙමව්පියන්ට තනිවෙන්න වෙනවා. එහෙම නැත්නම් වැඩිහිටි නිවාස. ළමයි ඉන්නේ දෙමව්පියන් සමඟ වෛරයකින්. මට නම් ළොකු මිනිහෙක් ඕන නෑ. මගේ එකා හොඳ මිනිහෙක් උනාම ඇති. මම තාමත් ඌත් එක්ක සෙල්ලම් කරනවා. අපි කැමති දේ නොබලා එයා කැමති දේ බලන්න දෙනවා. සම්පූර්න නිදහස නෙමෙයි. ඒත් අපි විඳපු ළමා කාලයවත්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාතලන් .. ඒ කතාවේ ලොකු ඇත්තකුත් නැතුව නෙවෙයි.. ඒත් මං කල්පනා කලේ දරුවන්ට අම්මලා තාත්තලා එක්ක තරහා වෙන්න කොච්චර ජාති තියෙනවාද... මං ඉස්සර අපේ තාත්තා එක්ක හරි තරහයි.. එයාට හරියට කේන්ති යනවා.. පස්සේ කාලෙක අම්ම එක්ක තරහයි.. මං කරන හැමදේම වැරදියි කියන නිසා... ( දැං තේරෙනවා අම්මා කියපු එක හරි කියලා) ඊටත් පස්‌ෙස් යාලු වෙච්ච එකාට ලෙඩ දාන‌ෙකාට දෙන්නම එක්ක තරහයි... හි හි... ඔය කියපු ළමා කාලය තිබ්බේ නැතුව නෙවෙයි... සමහරුන්ට අම්මලා තාත්තලා හොයනව වැඩයි... සමහරුන්ට අම්මලා තාත්තලා හොයන්නේ නැති නිසා තරහයි.. ඉස්සර මම තරහයි රෑ වෙලා ඇවත් බස් එකෙන් බැස්සම අපේ ගෙදරින් කවුරුවත් මාව එක්කන් යන්න එන්නේ නැති නිසා.. අනිත් කෙල්ලන්ව එක්කන් යන්න එයාලගේ අම්මලා තාත්තලා පැය ගනන් මඟට වෙලා ඉන්නවා.. අපෙ දෙන්නා කෝල් එකක් දීලා මං එන වෙලාව දැනගෙන නිකම් ඉන්නවා... ඉතිං මට තරහයි.. අනිත් එවුන් බනිනවා අපේ අම්මල අපිට කිසි වැඩක් තනියෙන් කරගන්න දෙන්නේ නෑ .. මේ ටික මට තනියෙන් යන්න පුළුවන් කිව්වට අහන්නේ නෑ කියලා.. හි හි...

      ඔන්න අපේ ආච්චි එයාගේ අම්මලත් එක්ක තරහින් හිටියලු ශිෂ්‍යත්වෙන් පස්සේ ඉස්කෝලෙ ගමන නැවැත්තුව හින්දා... අපේ තාත්තා සීයා එක්ක තරහින් හිටියලු සීයාගේ ලේසිම දඬුවම ගස් බැඳලා දිමි ගොට්ටක් ඇඟට දාන එක කියලා.. අපේ අම්මා කියනවා ආච්චි රට ගිය නිසා නෑයෝ හැමෝම එයාලව වැඩකාරයෝ කර ගත්තා කියලා...

      අපි කොච්චර යාළුවෝ වගේ හිටියත් ළමයි අපිත් එක්ක තරහා වෙන වෙලාවල් තියෙනවා.. දෙමවුපියන්ට මොනම වෙලාවක හරි දරුවන්ට තදින් ඉන්න වෙනවා... එතකොට එයාලා තරහා වෙනවා... අන්න ඒ තදින් ඉන්න එක එයලට තේරුම් කරලා දෙන්න පුළුවන් තත්වෙන දෙමවුපියෝ හැටියට අපි ඉන්නවා නම් ඔය තරහා වෙන එක අඩු වෙනවා මං හිතන්නේ... ළමයි අපි හිතනවට වැඩිය මොලේ තියෙන කට්ටියක්.. හි හි..

      Delete
    2. man danna thanaka podi duwek innawa ape punchige
      lagata enawa ingreesi ahaganna .e duwata wayasa 8
      wge mage hithe.harima hurathal .punchigen ahuwama
      kiwwe eylge ammai thaththai 2nama ratalu..
      meyala inne achchiy seeyai laga.. ( nalla male seyai achchi.. passe kiyannam eka gana..)

      dawasak man ahuwa mge patiyo amma lagadi awe nadda kiyala..
      "awa" kiwwa..
      ithin eyawa mathak wenne nadda kiyala ahuwama kiwwe..
      "mathak unama mai ayyai kotte badagena adanawa" kiyala..

      sampoorna seen eka mge blog eke dannamm..

      Delete
    3. අපේ ආච්චිට එච්චර වයස නැ නැන්දේ. ඇහුවොත් කියන්නේ මට තාම දාසයයි මාසයයි කියලා.. හි හි.. රට ගිය ආච්චි නම් අවුරුදු දෙකකට කලින් නැති උනා...

      Delete
    4. @මාතලන් : ඔයාගෙත් එක්ක 200%ක් එකඟයි. මටත් ඕනේ average කෙනෙක් මිස exceptional කෙනෙක් නොවෙයි. මමත් එයාට නිදහසේ ඉන්න ඉඩ ඇරලා තියෙනවා. හැබැයි පිටිපස්සේ ඉඳන් බලන් ඉන්නේ. මම වෙලාවකට බැනුනුත් අහනවා අක්කාගෙන්.

      Delete
    5. @හිරු : මට කියන්න දෙයක් නෑ. මිනිස්සු නිතරම නැති දේ ගැන තමයි වද වෙන්නේ.

      Delete
  9. eka ahuwama polowa palan yanna hithuna...
    eth ohoma thama anthimata daruwanta
    salli hoyan eddi lamai na laga..
    duwala minissu hoyan puththu hire
    gihin....

    oka wenne " ane ithin geyak dorak hadagena
    manussayo wge tikak inna onane"
    kiyana ekata yatin...
    eka pitin dala thama berenne..
    wada waradunama " hayyo api duk winde mewa dakinnada"
    kiyanawa...

    katada kiyanne ithin mewa...

    ReplyDelete
  10. සංවේදී ලියවිල්ලක්... ඔබ පෙන්වූ පාරෙන් මම නෙරංජි ගේ බ්ලොග් එකටත් එබුනා....එයම එසේමැය...

    පුංචි සමනලිය වෙනුවෙන් කැපවුනු ඔබ ගැන මට ගොඩාක් ආඩම්බරයි...මගේ සහෝදරයා මොන්ටිසෝරි යන කාලෙ (මමත් මහ ලොකු එකෙක් නෙවේ ඒ දවස් වල) හැදුනෙ වැඩුනෙ අපේ නැන්දා කෙනෙකුගේ නිවසේ... ඒ යම්කිසි අපලයකට ගෙදරින් පිට කරන්න කියලා දෛවඥයො දක්වලා තිබ්බ විසදුමක් විදියට... මව සමග මම එහි ගිහිල්ලා මල්ලි එක්ක කථා බහ කරලා ආපහු එන්න හදනකොට ඒකා පොළොවෙ හැපි හැපි අඩනකොට පුදුම දුකක් මගේ පුංචි පපුවටත් දැනුනා... අපේ අම්මටත් එහෙමයි... තව දුරටත් මේ දේ දරාගෙන ඉන්න බැරි තැන අපි නැවතත් මලයව ගෙදර ගෙනාවා... ඒ අතීතය තමයි ඔබේ පෝස්ටුවෙන් නැවතත් මට මෙනෙහි උනේ...

    හැමදේම බොහොම හොද විදියට විසදෙන්නත්... පුංචි සමනළියට නිදුක් නිරෝගී ජීවිතයක් අත් වෙන්නත් මගෙන් සියළු සුභ ප්‍රාර්ථනා....

    ReplyDelete
    Replies
    1. මම දන්නවා සිරා සංවේදී මිනිහා කියල.

      Delete
  11. මට කියන්න තියෙන්නෙත් සුදීක ඊ මේල්කාරී තුමිය කියල තියෙන්නේ නියම දේ කියල.ඔබගේ දියණියගේ හතියට හොද වෛද්‍යවරයකුගෙන් ඉන්හේලර් [Inhaler] එකක් පාවිච්චියට ඉල්ලගන්න.ගෙදරදී සුළු වශයෙන් හතිය හැදීගන එද්දිම ප්‍රතිකාර කරාම හරියනවා.හතිය තද උනාම තමා නෙබියුලයිස් කරන්න වෙන්නෙ.සමහර වෛද්‍යවරු ප්‍රෙඩ්නිසිලාන් කියන පෙති වර්ගය දෙනවා.එය පොඩි දරුවන්ට හොද නැහැ කියනවා.එම පෙති දීර්ග කාලයක් පාවිච්චි කලාම හිසකෙස් පවා යනවලු.ඉන්හේලර් ගෙදරදී දුන්නහම කොට්ට 3ක් 4ක් උසට තියල තමයි නිදිකරවන්න ඕන. සමහරුන්ගෙ මතයක් තියෙනවා ඉන්හේලර් හොද නැහැ කියල.හොද නැත්තේ අර පෙත්ත.ඔය ගතිය අවරුදු 12 විතර වෙද්දී නැතිව යනවා.හරියට දිගටම ප්‍රතිකාර කලාම.මගේ දුවට අවරුදු 11දී විතර නැතිව ගියා.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට ඒ ප්‍රතිකර්මය වරද්දන්නෙ නැතිව කරනවා. ඔය කතාව මමත් අහල තියෙනව. මේ අවුරුදු පහත් ඔහොම ගෙවිලා යයි. මේ දුකත් එක්කම ලොකු සතුටකතුත් මම විඳිනවා.

      Delete
    2. කෙන්ජි කියපු නිසා මේ ටිකත් කියන්නම්. කට්ටිය මට නයා කියයි.

      මගෙ ඇදුරුගෙ තාත්තට වීස් එක තදට තිබුන. අපේ දරුවොන්ට එයා ආදරේ නැති උනාට දායාදෙ දීල තියෙනව.

      මගෙ දෝණි ප්‍රංශෙ හිටපු පොඩිකාලෙ මේක තිබුනෙ නැහැ. වරක් නොනවතින කැස්සක් ඇවිත් ඇලර්ජි සොයන ටෙස්ට් වර්ග කලා. නමුත් ඇලර්ජිය අහු උනේ නැහැ. වීස් එක තිබුනෙ නැහැ.

      ලංකාවට ඇවිත් අවුරුදු 2කින් පටංගත්ත වීස් එක හොඳ උනේ නැහැ. එයා එක්සයිට් වෙන හැම වෙලේම ආවා. ශිෂ්‍යත්වෙට රට ගියාට පස්සෙ නැවතුනා.

      නමුත් ඇස් රතුවෙනවා ආසාත්මිකතාවෙට.ලංකාවට ආපු හැටියෙ හැදෙනවා වීස් එක. නමුත් ඉස්සරවගෙ තදට නොවෙයි. ඉන්හේලර් පාවිච්චි කරනවා. ඒ ලෙඩෙත් එක්ක ජීවත් වෙන්ට ඉගෙන ගන්නවා ඇර කරන්ට පුලුවන් හොඳම දොස්තර කෙනෙක් අල්ලලා ගැලපෙන ඉන්හේලරයක් තෝරා ගැනීමයි. මගෙ දෝණි පරණ පොත් බලනකොට මම මාස්ක් එකක් අන්දනවා. එයාට ඒක අගුණයි. ළමයාට අගුන කෑම හඳුනා ගන්න. අගුන පරිසරය හඳුනා ගන්න. එයින් බැහැරව ඉන්න

      Delete
  12. මම ඔබගේ පසු බිම දන්නේ නෑ, අළුත් නිසා.. ඒත් මේ ලිපියෙන් ගොඩක් දේවල් දැන ගත්තා.. හැකි සෑම විටම දුවත් සමඟ රැදෙන්න බලන්න.. ඔබගෙන් ලැබෙන සෙනෙහස ඔබේ අක්කට දෙන්න බෑ..

    සියල්ල යහපත් වේවි !!

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ උත්සාහයත් එයමයි.

      Delete
  13. අමුතු විදිහේ ලිපියක්.අපේ ගෙදර දෙන්නෙක්ටම ඔය රෝගය වැළඳිලා තිබුණා.ඒ නිසා පීඩා නොවින්දත් ඒකේ වේදනාව මම දන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ අම්මට හැදුන නිතරම වගේ. අපි මුලින් හිතුවේ ඒක මානසිකව වෙන දෙයක් කියල. පස්සේ තේරුම ගත්තා.

      Delete
  14. හරිම සංවේදී සටහනක් , ඇත්තම කීවොත් මේ හැම අකුරකින්ම හිතේ සසල වීමක් වුනා . ඒ මමත් දියණියන් දෙදෙනෙක්ගේම පියෙක් නිසා , මෙවන් අවස්ථාවක හිතේ නැගෙන බර මටත් හිතා ගන්නට පුළුවන්  ,

    ස්තුතියි ,
    ආයෙත් එන්නම් ඇවිත් ඔක්කොම සටහන් කියවන්නට ...

    මම සො දුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔබට එය දැනෙන්න ඇති.

      Delete
  15. මමත් ඔබගෙ පසුබිම දන්නෑ...

    ඒත් ඇත්තනම්....
    අද කාලෙ දරුවන්ට අරමුනු වැඩී.අර ඉගෙනුම...අර බිස්නස් එක..අර රට යන වැඩේ...ඉතිං දෙමාපියන් ගැන බලන්න වෙලාවක් අරමුනක් නෑ..කොටින්ම දෙමාපියන් ගැන නොවේ හිතන්නෙ..තමන් ගැන විතරයි.
    ඉස්සර කාලෙ ලමයින්ගෙ ජීවන අරමුනු අතර දෙමාපියන්ටත් ඉඩක් වෙන්වෙලා තිබුන.

    ReplyDelete
    Replies
    1. මාරයට ලිව්වට කෝ....බොල..මාරයා...?

      Delete
    2. ඒ කතාව ඇත්ත. තමන්ව රට යවල උගන්වන්නේ නෑ කියල දෙමව්පියන්ට දෙස් තියන ළමයෙකුත් මම දැකල තියෙනවා. ඇත්ත අපේ කාලයේදී අපි සමහර දේවල් උවමනාවෙන් නොකර හිටියා දෙමව්පියන්ගේ තත්ත්වය තේරුම ගෙන.

      Delete
  16. palaweni wara kiyauwemi, comment karannata welawa madi viya.

    Deweni wara comment karanna aweme. Newatha kiyau nisa welawa madi viya.

    Thun weni waratath kiyawa dan comment karami.

    Kandy hospital eke 51 ward 1 issaraha nurse kenek dina 5k pamana wayasa babek theyagena hitiya. Man ahuwa kageda me baba kiyala. Eya kiwwe baba ipadunata passe amma babawa dala horen penala gihin kiyala.
    Meka kiyawanakota eka mathak wenawa. Namata witharak ammala, thaththala wela wedak ne. Daruwanta adare thiyenna ona. Ekata hodama wachane "daru kekkuma"

    Aththatama aiye oya thaththa kenek. E gena adambara wenna.
    Api kageth jeevitha pena tharam sundara ne. Eth sathutin inna lebena dewal hodatama athi. Oyatath inne daru patiyek. E athi neda sathutu wenna.

    ReplyDelete
    Replies
    1. මේ දරුවා මට සම්පතක්. නැතිනම් මේ දේවල් මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා. ඇය තමයි මාව ජීවත් කරවන බලවේගය.

      Delete
  17. අද දවසම එහෙ මෙහෙ කරක් ගහලා මේ දැන් ටිකකට කලින් කඩං පාත් උනේ...

    මුලින්ම සෙනසුරාදා ඉරිදාට ලිපි දෙන්න තීරණය කල එක අගේ කරනවා.. දෙවැනුව මගේ පැත්තෙන් මම මෙවැනි ලිපිවලට කැමතියි කියලත් කියන්න ඕන... අයාසයෙන් කතා ලියනවට වඩා එවෙලේ හිතට එන ආකාරයට එදිනෙදා ජීවිතේ ගැන මිනිස්සු ලියන දේවල්වලට මං කැමතියි...

    අවසාන වශයෙන් අර මාතලංගේ කොමෙන්ටුව.. ඒකට ලිපියට වගේම කැමතියි... මට වර්ථමාන දෙමාපියන්ගේ අසරණ ළමයි ගැන පුදුම කණගාටුයි... ඇහුවොත් කියන්නේ හැම දේම දරුවන් වෙනුවෙන් කියලා... හැබැයි දරුවන්ට සලකන්නේ තමන්ගේ හීන හැබෑකරන්න හදාගත්ත හරක් පැටවුන්ට වගේ...

    තමුන්ගේ හීන වෙනුවෙන් දරුවන් මඩවන අම්මලා තාත්තලා මහළු නිවාසවල අවසාන කාලය ගත කිරීම ගැන මගේනම් කිසිම දෝෂාරෝපණයක් නැහැ... ඒ තමුන් වපුරපු දේ නෙලාගන්න ආකාරයයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාරයා ඔයාගේ ලිපි තමයි මට දිරියක් වුනේ මේ දේවල් ලියන්න. මම එක උදාහරණයක් කියන්නම්. ඇයට ලස්සන් චිත්‍ර අඳින්න පුළුවන්. ඒත් අපේ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කරන සුබපැතුම් පත් වලට ළමයින්ගේ චිත්‍ර තොරණ තරගයක් තියෙනවා. මම දන්නවා මේ වගේ දේවල් වලට තේමාවක් යටතේ චිත්‍රයක් අඳින්න අවශ්‍ය වෙනවා. මම ඇයට එහෙම තරගයට අඳින්න කිව්වොත් ඇය බලි කුරුට්ටකට වඩා දෙයක් අඳින්නේ නෑ. ඒ එය ඇයගේ උවමනාව නොවන නිසා. ඒ නිසා එහෙම එකක් කරන්න කියල මම දුවට කියන්නේ නෑ. ඔය තරග වලට යවලා කා කොටා ගන්න කෙනෙකුට වඩා පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක් වීම මට අගෙයි.

      Delete
  18. අතිශයින්ම සංවේදී සටහනක්.....!

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම. මම කැමති බලන අය මේකෙන් දෙයක් ඉගෙන ගන්නවානම්.

      Delete
  19. අයියගේ කතාව සංවේදී කලින් පොස්ට් එකකත් මං දැකලා තියෙනවා දුව ගොඩාක් ලඟින් ඉන්නවා කියලා. ටිකක් ඈතට ගියාම ඒ දුක වැඩි තමා. හැම දෙයක්ම කාලයත් සමග විසඳෙවී.

    ReplyDelete
    Replies
    1. ඔව් කාලය බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා.

      Delete
  20. ගොඩාක් සංවේදී කථාවක් ..... ඉක්මන් සුවය පතමි :)

    ReplyDelete
    Replies
    1. දැන් තරමක් දුරට සනීපයි.

      Delete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 12 ) අතීතකාමය (Nostalgia) ( 4 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...