Tuesday, October 30, 2012

ඕල් ආ රේමන්ස් (All are raymonds/raymons?)

දවස් හයක රාජකාරි කටයුත්තකට යාපනයට ඇවිත් ඉන්නේ. මගේ බ්ලොග් එකේ තේමාපාටයෙන් කියවෙනවා  වගේ මේක රාජකාරි ගවේෂණයෙහි කොටසක්. ඒ කියන්නේ රාජකාරියට විවිධ පළාත් වල සංචාරය කරන්න ලැබෙනවා. වියදම රාජකාරි ස්ථානයෙන්. නරක නෑ නේද ? ඒ යන එන කොටත් විනෝද චාරිකාවක් යනවා වගේ වටපිට තියෙන දේවල් පේනවා. රාජකාරියෙන් බැහැර වෙච්ච හැම වෙලාවකම අපිට කැමති තැනක යන්න පුළුවන්. නීතියෙන් එහම කියල නැති වුනත් එහෙම බෑ කියල කොහෙවත් කියලත් නෑ. ඉතින් යන්න පුළුවන් හැම තැනකම යනවා රාජකාරිය පැහැර හරින්නේ නැතිව.  ඉතින් මේ ලියන්න යන්නේ නම් අද ඇවිත් ඉන්න ගමන ගැන නොවෙයි. ඒවා ලියවෙනකොට තව අවුරුදු ගානක් යයි. මේ පාරත් එක්ක මම  පස් වතාවක් යාපනයට ඇවිත් තියෙනවා.

මම බැංකුවක සේවයට එන්න කලින් සේවය කරපු දෙතැනම සංචාරක හෝටල්. අන්තිමට වැඩ කලේ  කොන්ෆිෆි හොටල් සමුහයේ එක හෝටලයක් වන රිවරිනා එකේ. රිවරිනා කියන්නේ තරු හතර පන්තියේ රිසොර්ට් ගහණයට අයිති වෙන කාමර 175ක් විතර තියෙන හෝටලයක්. එකේ ගිණුම් අංශයටම අනුයුක්ත කරලා පරිගණක අංශයක් තිබුනා. ඒ හෝටලයේ පලවෙනි පරිගණක අංශයේ සේවකයා වෙන්නෙත් මම. ඒ 1991දී. මෙම අංශයේ පහළොවකට වැඩි සේවක පිරිසක් හිටියා. මේ අතරින් තරුණ අය වෙච්ච ජයන්ත, උපසේන, ප්‍රභාත්, සුදත්, පාලිත සහ මම එකට එක්කාසු වෙලා දවසක් කතා කරා බස් වලින් ට්‍රිප් එකක් යන්න. අන්තිමේදී නුවර එළියේ යනවා කියල තීරණය කරා. උදේ කථා කල හවස යන්න. සිකුරාදා හවස නිවාඩු ගන්න බොහෝ දෙනෙක් සැදී පැහැදී හිටියා. ඒ අතරට අපිත් එක් වුනාම අර හැමදාම සති අන්තය ගෙදර ගත කරන අයගේ මූණු පොඩ්ඩක් සවුත්තු වෙලා තියෙනවා දැක්ක. ඒත් අපිට හිත හිතා ඉන්න කාලයක් නෑ. තමන්ගේ අංශයෙන් කෙනෙක් ඉන්නවනම් අනික් කෙනාට නිවාඩු ගන්න පුළුවන්. සංචාරක හෝටලයක රජයේ/සංස්ථා/බැංකු වල තියෙන නිවාඩු ඒ විදියටම ගන්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ලීව් චාර්ට් කියල එකක් තියෙනවා මාසය මුලදී ගිය මාසේ ඉතිරි නිවාඩු වලට මේ මාසේ තිබෙන නිවාඩු එකතු කරලා ශේෂය ඉදිරියට ගෙනෙනවා. අපිට ඉරිදා වුනත් ගෙදර ඉන්න නම් නිවාඩු අනුමත කර ගන්න වෙනවා. අන්තිමට ඔෆිස් එකේ කට්ටියට අපේ නුවර එළියේ ට්‍රිප් ඒක රහසක් විදියට සඟවා ගන්න බැරි වුනා. බොහෝ දෙනෙක්ගෙන් අලි පේර, පෙයාස් වලට ඇනවුම් හම්බ වුනා.

හවස 6.30ට අලුත්ගම බස්ටෑන්ඩ් එකට. එකත් ලේසි පහසු අභියෝගයක් නෙවේ. මම ගෙදරට යන්න බස් දෙකකින් යන්න ඕනේ. පහට ඔෆීසියෙන් පිටත් වෙච්ච මට පහ මාර වෙද්දී ගෙදර යන්න පුළුවන් වුනා. අමාරුම කාර්ය වුනේ අම්මාගෙන් අවසර ගන්න එක. පහුගිය කාලේ තිබ්බ වාතාවරනෙත් එක්ක ගෙදරින් පිට එක දවසක්වත් අපිව තියන්න අම්ම කැමති වුනේ නෑ. බොහොම අමාරුවෙන් අම්මාගෙන් අවසර අරගෙන බෑග් එකට අතට අහු වෙච්ච ඇඳුම් ටික ඔබාගෙන, තේකක් විතරක් බීලා එලියට බැස්සා. ජංගම දුරකථන හෝ ගෘහස්ථ දුරකථන නොතිබූ එවන් අවධියක හය හත් දෙනෙක් එක්කාසු කර ගන්නවා කියන්නේ ඉතිං බොහොම අමාරු කාරියක්. ඒත් එකිනෙකා ගැන තබන විශ්වාසය ඇරෙන්න වෙන කිසිවක් නෑ. ඒ කාලේ කවුරුවත් උවමනාවෙන් ප්‍රමාද වෙන්නේ නැත්තේ තමන්ව මග ඇරෙයි කියන බයට. දැන් කාලේ නම් යාලුවෝ ඉන්න තැන දන ගන්න පුළුවන් එක දුරකථන ඇමතුමකින්. කවුරුත් ප්‍රමාද නොවී අලුත්ගමට ඇවිත් තිබුනා. කට්ටියම ගොඩ වුනා කොළඹ බස් එකකට. ඊළඟ අභියෝගය තමයි කළුතරදී පාලිතවයි ජයන්තවයි එකතු කර ගන්න එක. විනාඩි 25ක් ගත වෙද්දී කළුතරින් පාලිතත්, ජයන්තත් එකතු වුනා. අපි පසුපස ආසන පේලිය වෙන් කරගෙන ආ නිසා අපි හය දෙනාට එකටම යන්න පුළුවන් වුනා. විටෙක ගීත ගායනා කරමින්ද තවත් විටෙක ඔෆීසියේ කතා ගැන කථා කරමින්ද පය එකහමාරක් අවෑමෙන් පිටකොටුවට ලඟා වුනා.

මෙම ගමනේ "නඩේ ගුරා" තනතුර බාර ගත්තේ අප අතරින් වැඩිමහල් පුද්ගලයා වූ උපසේනයි. ඔහු රුපියල් 500 බැගින් සියලු දෙනාගෙන්ම එකතු කර ගත්තේ ගමනේ වියදම් සඳහායි. පාලිත නම් මෙම ගමනට ගැලපෙන සුදානමකින් පැමිණ තිබුනා. ඔහුගේ අතෙහි වූ "බොංගෝ" වද හිසෙහි පැළඳ සිටි කව්බෝයි තොප්පියද ඒ බව පසක් කලා. ඒ වාගේම ෆිල්ම් රෝල් කිහිපක්ද සමග කැමරාවක් ප්‍රභාත් ගෙනවිත් තිබුනා. ජයන්ත,සුදත් සහ මම මෙහි සාමාන්‍ය ගමන් කරුවන් වුනා. ජයන්ත ගැන වචනයක් සඳහන් නොකරම බෑ. මම වැඩ කල පරිඝනක කාමරය සහ ප්‍රධාන ගනකාධිකාරවරයාගේ කාමර මද තබා ඇති "ස්ලියිඩින් ඩොර්" එක එහා-මෙහා කරන ජයන්ත "තිරය ඇරෙනවා තිරය වැසෙනවා" යනුවෙන් පවසන්නේ ඔහුගේ කටහඬ තරම වෙනස් කරමින්. කොයි වෙලාවෙත් මුවග රැඳී සිනහව වහස නාසය මතට වැටෙන දහඩිය බිඳු කීපය ඔහුගේ ආවේනික ලක්ෂණ වුනා. එකල පරිඝනක සඳහා තිබු CRT මොනිටර් සහ රුපවාහිනි අතර වැඩි වෙනසක් තිබුනේ නෑ. මා අසලට පැමිණෙන ජයන්ත "කතාව හොඳයි වගේ මං එනවා වත් දැක්කේ නෑ" යන එකල ජනප්‍රියව තිබු ලකී-මාලනී රඟපෑ පිලිප්ස් වෙළඳ දැන්වීමේ දෙබස් පවසයි. ඒවා ඇසු විට හිනහව වලකා ගත නොහැක. අප පිටකොටුවේ තේ කඩයකට ගොඩ වුයේ බීම බෝතලයක් තොල ගෑමට පමණක්ම නොවේ. කොකා-කෝලා බෝතල් කිහිපයක් ඇනවුම් කල අප ඒවා පානය කල මුත් පාලිතගේ වීදුරුව තවමත් හිස්ය. පාලිත තවමත් කොකා කෝලා නොබෝන්නේ මන්දැයි මට ගැටලුවකි, අප පානය කර අවසන් කල වීදුරුවකට ඉතිරි කොකා කෝලා ප්‍රමාණය උගුරට දෙකට ගිල දා අපේ බිල ගෙන්න යයි අසලින් ගිය වේටර් වරයාට අණ කලා. මේ අතර බිල ගෙවා පිටත් වී එළියේදී පාලිත අපට මැජික් එකක් පෙන්වුයේ අප සියලු දෙනා තුල භීතිය මෙන්ම සිනහවක්ද ඇති කරමිනි. ඔහුගේ කව්බෝයි තොප්පිය සමග බීම බිව් කඩයට අයිති කුඩා වීදුරුවක්ද මිරිකගෙන ඇවිත් තිබුනා.

"වැඩේ මාට්ටු වුනා නම් අම්බානක කන්න තිබුනා" යයි පැවසුවේ ප්‍රභාත්ය. ඒත් මේ වෙලාවේ අසෝක වීදුරුවක් ගන්න තැනක් කොහොමද හොයා ගන්නේ. උඹ හොඳ වෙලාවට අරගෙන ආවේ. මට කාරණා වැටහුනේ පසුවය. එය ගෙනවිත් තිබුනේ රාත්‍රී ගමන අතරතුර සප්පායම් වීමටය. කළුතරින් ගොඩ වූ පාලිත අවශ්‍ය බෝතල් සපයාගෙන විත් තිබුණි. මොනවා වුනත් මෙවැනි හොර වැඩ වලට මා තරයේම විරුද්ධය. මා ගමන යනකන්ම පාලිතට කියා සිටියේ ඔහු කලේ අනවශ්‍ය ක්‍රියාවක් බවයි.

"අහු වුනා නම අපි සේරම ගස්" යයි මා කී විට ඔහු කටේ දත් වැඩි ගණනක් පෙනෙන්නට සිනා සෙයි.

"යකෝ මම වර්ල්ඩ් මාර්කට් එකෙන් පර්ස් එකකුත් උස්සල තියෙනවා"

"මු තියන්න වටින්නේ නෑ" එසේ කීවේ ජයන්නතය.

රාත්‍රී නුවර බස් රථයකට ගොඩ වූ අප කමින් බොමින් රාත්‍රී එකොළහ වනවිට නුවර බස් නැවතුමට ලඟා වුනා. එහෙත් මේ රාත්‍රියේ නුවර එලියට බස් නැති බව අසා අප මහත් කනස්සල්ලට පත් වුවත්. හඬ අවධි කල පාලිත

"කරන්න දෙයක් නැ මචං. අද රෑ අපි මේ බස් එකක නිදා ගෙන හෙට උදෙන්ම තියෙන බස් එකේ යමු"

"ඔවු එහෙම කරමු" යයි පැවසුයේ උපසේනය. දැන් නුවර නගරය ඉතා සිසිල්ය. ගසක හෙවනකට වන්නට නවතා ඇති බස් රථයකට ගොඩ වූ අප, තම තමන්ගේ බෑග් උකුල මත තබා, ඒ මත හිස තබා නිදන්නට පටන් ගත්තද, නින්ද මා අසලකටවත් ආවේ නැත. මෙවැනි ආගන්තුක ස්ථාන වල නිදා ගැනීම මට ඒ හැටි හුරුවක් නැත. ගත වුයේ විනාඩි කිහිපයකි බසයට කිසිවෙක් ගොඩ වන සද්දයක් ඇසී මා අසල සිටි සුදත්ට තට්ටුවක් දැම්මද ඔහු නැගිටින පාටක් නැත. බසයට ගොඩ වූ පුද්ගලයා අඳුරේම ගෝරනාඩු කරන්න පටන් ගත්තා.

"මේ බස් තියෙන්නේ තමුසෙලාට නිදා ගන්න නෙවේ. බහිනවා බහිනවා නැත්නම් පොලීස් කුඩුවේ  තමයි ලගින්න වෙන්නේ එලි වෙනකං"

හපොයි මෙහෙමත් කරුමයක් යයි මට සිතිනි. ඒ වනවිටත් නින්දට වැටී සිටි පාලිත හා අනෙක් අය ආ පුද්ගලයාට මැසිවිලි නගමින් බසයෙන් බසින්නට විය. මාද කිසි හැල හොල්මනක් නැතුව මගේ බෑගයද කරේ දමාගෙන බසයෙන් බැස ගත්තේ "දැන් කොහෙද යන්නේ" යන දෙගිඩියාව සිතේ දරාගනය.

"මේ වගේ ගමන් ආවහම මේ වගේ ආතල් එකකුත් තියෙන්න ඕනේ" පාලිත නම් මේ සිදු වූ සිදුවීමෙන්ද යම් ආශ්වාදයක් ලබන බව පෙනේ. මේ අතර බස් නැවතූම් පොලෙහි සිටින පුද්ගලයකු සමග උපසේන යමක් සාකච්චා කරනු පෙනේ. "මේ කථා කරනවා ඇත්තේ මෑන්ව ෂේප් කරගෙන කෙසේ හෝ බස් රථයක නිදා ගන්න තමයි" යන්න මගේ සිතට ආ අදහසයි. එහෙත් අප වෙත ආපසු ආ උපසේන පවසා සිටියේ

"නුවර එලිය බස් එකක් තියෙනවලු හෙට උදේ පහට. පටන් ගන්නේ දළදා මාලිගාව ළඟ පාරක කිව්වා. අපි ඒ පැත්තට යමු"

නැවතත් බෑග් කරේ දමාගෙන ඇවිදින්නට පටන් ගතිමු. එහෙත් මගේ බෑග් එක මගේ තරමට වඩා ලොකු එකක් නිසා මගේ ගමන මන්දගාමී විය. ඒ දෙස හැරී බලන අනෙක් අය මට උසුළු විසුළු කරමින් මහත් විනෝදයකින් ගමන් කරන්නේ මොහොතකට පෙර ලුණු ඇඹුල් ඇතිව අසා ගත් දේවල් අමතක කරමිනි. එක් අතකට ඔවුන් සිටින්නේ බමන මතිනි. ඒ වුනත් ඔවුන් මට වඩා ඉදිරියෙන් ගමන් ගනියි. මට තරමක ලැජ්ජාවක් ඇති විය. මාද පය ඉක්මන් කර ඔවුන්ට එක් වන්නට නිෂ්පල උත්සාහයක යෙදුනත් ගමනාන්තය වන තුරුම මා සිටියේ ඔවුන්ට මීටර් කිහිපයක් පිටුපසිනි. අවසානයේදී දළදා මාලිගාව පේන මානයේ නිස්කලංක එහෙත් හොඳින් විදුලි එළියෙන් ඒකාලෝක වූ තැනක අපි නැවතුනෙමු.

"කිව්ව විදියට මෙතන තමයි තැන. අපි මෙතන නිදාගෙන උදේ බස් එකේ යමු" එහෙම කිව්වේ උපසේන. ඒත් මෙතන කොහොමද නිදියන්නේ? ඒ මගේ සිතට ආ ගැටලුවයි.

"මෙතන ගෙදර වගේ නිදියන්න බෑ. ඒත් බෑග් එකට ඔලුව තියාගෙන මේ පැය දෙක තුන නිදා ගමු" ඔහුගේ අණට කීකරු වනවා ඇරෙන්න වෙන කල හැකි කිසි දෙයක් මේ මොහොතේ සිතට නොඑයි.

මට ඇහැරුනේ උපසේන මගේ අතින් අල්ලා කථා කරන විටය. මා ඇරෙන්න අන් සියල්ල නැගිට ඇත මමද දඩ-බඩ ගා නැගිට වටපිට බලන්නට විය. මට දැඩි සීතලක් මෙන්ම මුත්‍ර කිරීමේ අවශ්‍යතාවක් ඇති විය. මා ඒ ගැන විමසු විට ඈත අඳුරු තැනක් පෙන්වා වතුරු බෝතලයක් මා අත තැබූ ප්‍රභාත් ඉක්මනට වරෙන් බස් එක තව විනාඩි පහකින් මෙතනට එනවා. 

දනි පනී ගා ආ කාර්ය ඉෂ්ට කරගෙන ඒ අතරතුරදී ඇදී ආ බස් රථය අසලට දිව්වෙමි. බසය කොයි වෙලාවේ පිටත් වුවාදැයි මට නිච්චියක් නැත. මට නැවත ඇහැරුනේ අතරමැද ස්ථානයක තේ පානය සඳහා බසය නවතා ඇති විටය. අප උදෑසන සඳහා නැවුම් එළකිරි උණු උණුවෙම පානය කළෙමු. උදෑසන සීතලේ ගැහෙමින් නුවර එලිය නගරයේ තෙත් බරිත මාවතක් දිගේ නිදි මැලි කමින් ගමන් ගත් අප වොටල්ස් ඉන් නැමති කුඩා හෝටලයකට ලඟා වීමු. එය නගරයට ඉතා ලඟින්ම පිහිටා තිබිමා වාසනාවකැයි මට සිතිනි. කාමර වලට ගොඩ වැදුණු අප වහා දිව ගියේ නාන කාමර වෙතය. සියලු දෙනා තල්ලු කරගෙන මා රිංගා දොර වසා ගත්තේ බඩ හෑල්ලු කර ගැනීමට තවත් ඉවසා දරා සිටිය නොහී නිසාය. එහෙත් ඒ සඳහා මට ගත වූ විනාඩි කිහිපය තුළදීත් එළියේ සිටියවුන්ගේ කෑ ගැසීම්ද දොරට තඩි බෑම්ද නොඅඩු විය. දෙවෙනි වටයේදී උණු වතුරෙන් නාගෙන අලුත් ඇඳුම් ඇඳගත් අප සුදානම් වූයේ පෙර සැලසුම් කල පරිදි හක්ගල උද්භිද උද්‍යානය නැරඹීමට යාමටය.

 එහෙත් ඊට කලින් නගරයේ පිරිසිදු තැනකින් උදෑසන ආහාරය ගතිමු. කුලී වෑන් රථයක් කථා කරගත් අප ගමන පිටත් වත්දී උදෑසන නවය වන්නට ඇත. එහෙත් නිදිමත සහ ගමන් විඩාව මට අවට සිරි නැරඹීමේ භාග්‍ය අහිමි කළේය. නැවතත් පාලිතගේ කෑ ගැසීමෙන් පියවි ලෝකයට ආ මා ඔවුන් සමග ගමනට එක් විය. නැග එන සුර්යාලෝකයෙන් මද ආශ්වාදයක් ලැබූ අප පැයක් පමණ උද්‍යානයේ දසත විසිතුරු නරඹමින් ගත කළෙමු. ඒත් අභාග්‍යක මහතා මට නැවතත් වැසිකිලි යාමේ අවශ්‍යතාවක් ඇති විය. කණ්ඩායමෙන් වඩාත් සමීප පාලිතට මේ බව පවසා අනෙක් අයගේ විහිලු තහළු සහ ආඩපාලි මැද අප දෙදෙනා වැසිකිලියක් සොයා ඒ මේ අත සැරිසරන්නට පටන් ගතිමු. තවත් මිනිත්තු විස්සක අවෑමෙන් වැසිකිළියක දර්ශනයක් දුටු මගේ සිත පස්වනක් පිනා ගියේ තව විනාඩි කිහිපයකින් මේ බර හිස් කර ගන්නවා නේද ? යන අස්වැසිල්ල නිසාය. යන අතරතුර පාලිතත් මමත් කථා කලේ එළකිරි නිසා මේ බඩේ අමාරුව ඇති වන්නට අත කියාය.  වැසිකිලියට ලං වත්ම මගේ අවශ්‍යතාවය දෙගුණ තෙගුණ විය. තවත් නම් මෙය හිර කරගෙන සිටිය නොහැක. මගේ මුළු උදාර ප්‍රදේශයම හරියට බ්ලෙන්ඩරයක ඇඹරෙන පලතුරු පානයක් මෙන් කැරකෙන්නට විය. 
stomach ache Stock Photo - 11242506
පින්තුරය ගත්තේ : http://www.123rf.com
මේ බරෙන් නිදහස් වන්නට මා සැදී පැහැදී එයට පය තබන්න හදනවාත් සමග කාගේ හෝ කටහඬක් ඇසී ආපසු හැරී බැලුවා
"මහත්තයා, මහත්තයා.. ඕක කැඩිච්ච ටොයිලට් එකක්. තාම හදනවා. අතනින් උඩට ගිහින් වමට හැරෙන්න" කියනවාත් සමග ඒ බර තවත් දරා සිටින්නට නොහැකිව ඇඹරෙන මා දෙස පාලිත ඉතා අනුකම්පාවෙන් බලා සිටිනු හීනෙකින් වාගේ දුටුවත් "බ...රා....ස්" හඬින් මගේ කලිසම් කකුල් දිගේ උණු උණුවෙම ගලාගෙන යන *** දහරාව මට ලබා දුන්නේ අස්වැසිල්ලකද ? නැත්නම්  වදයක්ද යන්න මට තවමත් සිතා ගත නොහැක. ඇත්තටම එම බරින් කෙසේ හෝ නිදහස් වීම් අස්වැසිල්ලකි. එහෙත් .....

ඉන්පසුව මටවත් ඉවසා ගත නොහැකි දුර්ගන්දය මැද මා අවාරණ සහිත ටැප් එකක් ඇති ස්ථානයකට කැදවාගෙන ගිය පාලිත මටද මගේ ඇඳුම්ද පිරිසිදු කර ගැනීමනට ලබා දුන් සහය මට කිසි දිනක අමතක වන්නේ නැත. එසේ බොහෝ වාරය සීතල ජලයෙන් සෝදා පවිත්‍ර කරගත් ඇඳුම් නැවතත් අඳින්නට සිදු වීම පුදුමාකාර පරිප්පුවක් විය. එක් අතකින් දසත් සීතල ගලන ප්‍රදේශයක තෙත් ඇඳුමින් තවත් පය කිහිපයක් ගත කරන්නට වීමද. අනිත් අතින් ඇඟට සත පහක වත් ශක්තියක් නොමැතිව කඳු සහිත මේ බිමේ ඇවිදින්නේ කෙසේද? යන්න මට තිබූ ප්‍රධාන ගැටලුයි. නැවතත් මගේ සහයට ඉදිරිපත් වූ පාලිත මා කැඳවාගෙන උද්‍යානයෙන් පිටත තේ කඩයකට ගොස් කෝපි බීමට සැලැස්වීය.  

අප නැවත එන ගමනේ අපේ අනෙකුත් අයගෙන් දෙදෙනක් අතුරුදහන් වී ඇති බව දැනී ඒ ගැන විමසා සිටි විට 

"අපි දෙන්නත් මේ ගිහින් ආවා විතරයි. අන්න උන් දෙන්නත් ගියා" යයි උපසේන පැවසුයේ සිනා මුසු මුහුණෙනි. ඒ අසා මගේ මුවටද සිහින් සිනාවක් ආවා.

"දැන් නම් මටත් ටිකක් ඒ වගේ ගතියක් දැනෙනවා" පාලිත පැවසුවේ සියලු දෙනා සිනහවට ලක් කරමිනි. 

"හා.. හා... හා.... ඕල් ආ රේමන්ස්" යයි කවදත් විහිලු කාරයෙක් වූ ජයන්ත පැවසීය.


Wednesday, October 24, 2012

සියවන පියවරේදී සටහන් තබන වගයි.


2012 ජනවාරි පළවෙනිදා සිංහල බ්ලොග් අවකාශයට පා තැබූ මා අද පා තබන්නේ එහි සියවන පියවරටයි. පොස්ට් 100 ලියන ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවේ යයි බොහෝ දෙනා කියයි. ඒත් මා කියන්නේ පොස්ට් 100 දමන ඒක කජු කනවා වගේ වැඩක් බවයි. හේතුව පොස්ට් එකක දිග පළල, ගුණාත්මක බව, අධ්‍යාපනික හෝ සමාජයීය වැදගත්කම කුමන මට්ටමකින් තිබිය යුතුයි කවුරුන් හෝ සඳහන් කර නැති නිසාය. ඇත්තටම බ්ලොග් වලට රැඟුම් පාලක මණ්ඩලයක් අවශ්‍යද ? අවශ්‍ය යයි කෙනෙකු කියන්නට පුළුවන්. එහෙත් තවත් කෙනෙක් එය අනවශ්‍ය බව කියන බව විශ්වාසය. මන්ද විවිධ අය විවිධ අදහස් දරන නිසාය. අනිත් කාරණය බ්ලොග් එකක් ආරම්භ කිරීම හෝ අවසන් කිරීම පිලිබඳ සර්ව බලධාරියෙකු නැති නිසා බ්ලොග් එකක් ඕනෑම අයෙකුට පටන් ගත හැකි සරල ක්‍රියාදාමයකි. ඉතිං ගුණාත්මක බවින් යුතු, හරවත්, බොහෝ දෙනාට වැදගත් බ්ලොග් පොස්ට් 100 දැමීම නම් පහසු කටයුත්තක් නොවේ. අන්න ඒ කාරණයේදී මාත් ඉන්නේ බ්ලොග් ලිවිල්ල ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ යන මතය දරන කණ්ඩායමේය. 

මාස දහයක බ්ලොග් ලිවීමෙන් ලද අත්දැකීම ඉතා සුවිශේෂීය. මෙය මට අලුත්ම මිතුරන් පිරිසක් හඳුනා ගන්නට ලැබුණු නව ඉමක් බව  නොබියව කියමි. බොහෝ බ්ලොග් වලට තේමාවක් ඇතිමුත් මගේ බ්ලොග් එකට එක් විශේෂ තේමාවක් නැත. ඒ බව පසුගිය මාස දහය ඔස්සේ මගේ බ්ලොග් එක පරිශීලණය කල පිරිස දනිති. වැඩිපුරම විනෝදශ්වාදයද ඉන් පසුව දැනුම, ක්‍රිකට් සහ මාගේ අත්දැකීම් වලින් මේ බ්ලොග් ඒක සමන්විත නිසා මෙය පසුපස(followers) එන අය විවිධාකාරය. 

ඉතිං සීයේ කඩයිම පසු කරන මේ මොහොතේ මා හා අත්වැල් බැඳගත් සියලු දෙනාට මගේ උණුසුම් සුභාශිංසන හිමි වේ. විශේෂයෙන්ම මෙම බ්ලොග් එකට මේ දක්වා එකතු වූ 107 දෙනාට මාගේ හදපිරි කෘතඥතාව  පල කරනු කැමැත්තෙමි. එසේ එක් වී ඇත්තේ මා ලියන ඕනෑම දෙයක් කියවීමට කැමැත්තක් දක්වන පිරිසක් වන බව විශ්වාස කරමි. මේ දක්වා නොනැවතී දිගටම මා ලියන ද කියවූ ඔබ සියලු දෙනාටත්, නොවැරදීම කමෙන්ට් කරමින් මා දිරි ගැන්වූ සියල්ලන්ටත් මාගේ ප්‍රණාමය පුද කරන්නෙමි. මේ වනවිට හිට්ස් 60,000ක් පමණ ලබා වඩා වේගවත් නොවූත්, මන්දගාමී නොවූත් සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සාමාන්‍ය ගමනමක් යන බ්ලොග් එකක් යන්න මගේ විශ්වාසයයි. 

මා ලියු බොහෝ දේ මගේ අත්දැකීම් බව සහතිකය. හිට්ස් ලබා ගැනීමේ පටු අරමුණින් ලියූ කිසිවක් මෙහි නැත. කිසි දිනක කුණුහර්ප ලියා නැත. නමුත් ව්‍යන්ගෙන් යම් යම් හාස්‍ය දනවන කාරණා එක් කර ඇත. මෙහි තිබෙන බොහෝ බ්ලොග් මෙන්ම එසේ කුණුහර්ප ලියන බ්ලොග්ද මා කියවා ඇත. ඒවාට ඉහල රසික ප්‍රතිචාර ලැබෙන බවද පැහැදිලිය. ඒවා තිබිය යුතුද නොතිබිය යුතුදැයි මා අදහස් පල කරන්නට නොයමි. මා ලියු "කෙටිම කෙටි ලොල් කථා"සඳහා ඉහල ප්‍රතිචාර ලැබුණි. ඒ ලිපි වලට ලැබුණු ප්‍රතිචාර වලින් මා තේරුම් ගත්තේ බ්ලොග් කියවන අය හාස්‍යට කැමති සරල චාම් පිරිසක් බවය. එහෙත් මේ අතර හරවත් දේ කියවන්නට කැමති අයද සිටින බව සමහර ලිපි වලට ලැබුණු සමහර කමෙන්ට් වලින් පැහැදිලි වේ. විශේෂයෙන් මගේ රාජකාරි දැනුම් බෙදීමේදී වෙනදා කමෙන්ට් නොකළ අයද සිය ස්තුතිය එම ලිපි වලට පල කිරීමෙන් එය පසක් වේ. මගේ ලිවීමේ අරමුණු මට හිතෙන දේ ලොවට පැවසීමය. ඒ වගේම එයට ඔවුන් පවසන දේද මට වැදගත්ය. කමෙන්ට් මගින් මාගේ ලිවිල්ල මටසිලිටු කර ගත හැකි බව මගේ විශ්වාසයයි. සැබවින්ම එය එසේ විය. 

මා ලියු දෙයින් මා කුමන ආකාරයේ පුද්ගලයෙක් දැයි ඔබට මේ වන විටත් වැටහී ඇතුවට සැක නැත. මා විනෝදයට කැමති අයෙක් නිසා වැඩියෙන් විනෝදාශ්වාදයට බර දේ ලියන්නට පෙළඹුණි. මා ක්‍රීඩාශීලීය, එනිසා මා ක්‍රීඩාව සම්බන්ධ දේ ලියන්නට හේතු විය. මා දැනුමට කෑදර අයෙකි, එනිසා ඔබට දැනුම දෙන්නට, ඔබේ දැනුම වඩවන්නට යමක් එකතු කලෙමි. මා කාලීන තොරතුරු ගැන උනන්දුවක් දක්වමි, එනිසා මා කාලීන දේ ලියුවෙමි. මා පරිවර්තන වලට කැමති නිසා යම් යම් වැදගත් ලිපි පරිවර්තනය කර මෙහි දැමුවෙමි. මා ළමා විය සතුටින් ගත කල අයෙක්මි එනිසා මා ළමා වියේ ලද අත්දැකීම් මතක ඇති පරිදි මෙහි සටහන් කර තැබුවෙමි. මා සංවේදී පුද්ගලයෙක්මි. එනිසා සංවේදී බොහෝ දේ මෙහි ලියා තැබුවෙමි. මා මා විවෘත පුද්ගලයෙකි. එනිසා මගේ දුක/සැප විවෘතව මෙහි සටහන් කලෙමි. හැබැයි මා එක් දෙයක් උවමනාවෙන්ම සඟවා තැබුවෙමි. ඒ දේශපාලනයයි. මගේ දේශපාලන මතයක් ඇතත්, දේශපාලනය මට නීරස දෙයකි. බ්ලොග් අවකාශයේ දේශපාලනය පිලිබඳ ලියන අය බොහෝ වෙතත්, මා ඒවාට ගොඩ වී අදහස් පල කලත්. දේශපාලනය මෙහි ලියා හැමදෙනාටම පොදුවේ එන්නට හැකි තැනක් නොවන තත්වයට මේ බ්ලොග් එක පත් කිරීමට ඇති අකමැත්ත මාව එම මාතෘකාව ඔස්සේ නො-ලියවන්නට හේතු වන්නට ඇත. මා සංක්‍යාලේකන(Statistics) පිලිබඳ උනන්දුවක් දක්වමි. එනිසා මගේ ලිපි වල සංක්‍යාලේඛන දැකගත හැක. මා සංගීතය රස විඳිමි. එනිසා මා සංගීතය ගැන ලියමි. මා මිනිසාගේ දුක හඳුනමි. මිනිසාගේ දුක ගැන ලියන්නෙමි.  මා රැකියාවෙන් හා අධ්‍යාපනයෙන් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අයෙකි. එහෙත් එ ගැන සටහන් එක් නොකරමි. මන්ද ඒ දේ නොමදව ඔබට උකහා ගත හැකි බ්ලොග් අඩවි සුලබව ඇති බැවිනි. මා පර්යේෂණ වලට කැමැත්තෙමි. එනිසා මා පර්යේෂණ කරමි. ඒ ගැන ලියමි. මා කුතුහලයෙන් යුක්ත පුද්ගලයෙකි. එනිසා කුතුහලය දනවන දේ ලිව්වෙමි. මා විවේචනයට කැමති අයෙක් නිසා විවේචනය මගේ ලිපි වල නිරතුරුව ඇත. මා සංචාරයට ප්‍රිය කරමි. සංචාරක අත්දැකීම් එක් වන්නේ එහෙයිනි. මා පිදිය යුත්තන් පුදන අයෙක්මි. එලෙසෙ ලියන්නෙමි.

සමහරවිට ඉහතින් දක්වූ සියලු අංශ ඔස්සේ මා මේ වනතාක් ලිය නැති වන්නට පුළුවන. එහෙත් නොබෝ දිනකින් එම අතපසු වූ මාතෘකා ඔස්සේ ලියන්නට පුළුවන්. මා ඔබ සියලු දෙනා ලියන දේ කියවා නැති වන්නට හැක. මා යම් බ්ලොග් එකකට ගොඩ වුවා නම් කමෙන්ට් නොකර පැමිණ නැත. එනිසා මා ආවාදැයි ඔබට සිතා ගත හැක. සාක්ෂි ඇත. මා දැනට නොඑන බ්ලොග් එකක් වේ නම් මෙහි කමෙන්ට් එකක් ලෙස දන්වන්න. මා එන්නම් කාලය තිබෙන හැටියට. 

මේ ආ දිගුත් නොවන කෙටිත් නොවන ගමන් මගේ මා හා අත්වැල් බැඳගත් ඔබ සියලු දෙනා වෙනුවෙන් තව තවත් ලියන්නට බලාපොරොත්තු වෙමි. ඔබගේ පැමිණීම මා අගේ කොට සලකමි. එන්න. කියවන්න. අදහස් දක්වන්න. මේ ඔබේ බ්ලොග් අවකාශය යයි සිතන්න. 

මා ඔබේ බ්ලොග් සහෘදයා සු(භාෂ්) දී(ල්රුක්) ක(න්නන්ගර).
2012.10.24 අලුයම 2.14.

පින්තුරය ගත්තේ : dare2share.org

Saturday, October 20, 2012

වේදනාත්මක මතකයක් ඉතිරි කර ගිය ගැඹුරු ස්වරය .....

අද සවස යාමයේ රාජ්ට කතා කලේ, සන්ධ්‍යාවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිටුපස කොටසේ ඇති කමත නමැති අලංකාර ලෙසත්, නිර්මාණාත්මක ලෙසත් නිමවා ඇති රංඟ භුමියේ පැවැත්වෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාත්‍යන්තර අංශයේ සුභසාධක දෙපාර්තමේන්තුව මෙහෙයවන "ගී පැදුර" නමැති සංගීත සන්ධයවට සහභාගී වේද යන්න දැන ගන්නයි.

"අනේ සොරි මචං, මම අර පොත් බෙදාදීමට අම්පාරේ යනවා, ඒ නිසා කලින් ගෙදර යන්නයි හිතා ඉන්නේ"

රාජ්ගේ පිළිතුරින් මා ගල් ගැහී ගියා. මමත් මේ සද්කාර්යට දායක වන්නට පොරොන්දු වුවා නෙවේද? දැන් මොකද කරන්නේ. මට මා පිළිබඳව මහත් ලැජ්ජාවක් හට ගැනිණි. මෙවර පොත් ප්‍රදර්ශනයෙන් පොත් විස්සකට අධික ප්‍රමාණයක් මිලදී ගත්තත්, ගිනි අව්වේ කැකෑරෙන කාෂ්ඨක පොලවේ නිරුවත් දෙපා තබා යන, අහිංසක දරු දැරියන්ට මා දෙන්නේ මොනවාද? වාසනාවකට මා මිලදී ගත් පොත් සියල්ල මාගේ කාර්යාලයේ තිබුණා..

"මචං උඹ දැන් කොහෙද ඉන්නේ? මම පොතක් ගෙනාවොත් දෙන්න පුලුවන්ද?"

"මම හතරයි කාල වෙනකං ඔෆිස් එකේ ඉන්නවා"

"රයිට් මම එන්නම්"

මම එන්න පිටත් වෙත්දී මගේ කාර්යාලීය සගයා, ජනකත් යන්න සුදානමින් ආවා. මම අතට අහු වෙච්ච පොත මැක්සිම් ගොර්කී ගේ අම්මා කෘතිය අතට ගත්තා.

"මචං උඹ එන්. එස්. බී. ද යන්නේ ?"

"ඔව්"

"මමත් එනවා උඹත් එක්ක යන්න"

මමත් ජනකත් විනාඩි කිහිපයකින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයට ආවා. මම රාජ් හමු වී පොත ඔහු ඇත තැබුවා. ඉන් අනතුරුව ඔහු සමගත් මගේ පැරණි මිත්‍රයකු වන අමල් සමගත් ටික වෙලාවක් කතා කොට ආපසු ආවා. එම ගමනට එක්  වන ලෙස රාජ් ඉල්ලා සිටියත් මා හෙට රාජකාරියකට අනුරාධපුරයට යන්න තීරණය කර තිබු නිසා එම මාහැඟි අවස්ථාව වැළකුණ. මගේ මතකයට ආවේ අප මෙවැනිම කටයුත්තක් සඳහා තණමල්විල දුෂ්කර පාසලක් වෙත ගිය ගමන. එතන පිළිගැනීමේ කතාව කල කොලු පැන්චාගේ කතාව අසා දෑසින් පෙරූ කඳුළු ප්‍රමාණය.

වැසි නොතකා සෑහෙන ප්‍රමාණයක් "ගී පැදුර" අහන්න එක් වී තිබුනා. මගේ කාර්යාලීය සගයන් සියල්ල ඒ සඳහා එක් වූවා. අපිද වරෙක හිඳ ගනිමින්ද වරෙක සිට ගනිමින්ද ඒ සොඳුරු ගී මියසියට එක් වුවා. ඇත්ත වශයෙන්ම එම ස්ථානය මනරම් නිමවුමක්. මේ කොළඹ 7 හී තිබෙන ස්ථානයක් කියා කිව හැකිද? එය සිහි ගන්වන්නේ තෙත් කලාපයේ කමතක් අද්දර තිබෙන කුඩා කඳුගැට කිහිපයක් අතර ඇති බිම් තීරයක්. එහි වචනයෙන් විස්තර කල නොහැකි අලංකාරයක් තිබෙනවා.

එම ප්‍රසංගයට ප්‍රථමයෙන් එක් වූ ජයලත් මනෝරත්නයන් විටෙක ඔහු මුහුණ දුන් අත්දැකීමුත්, විටෙක් නූර්ති සහ ටීටර් ගීතත් ගයනු ලැබුවා. ඔහු මුලින්ම පැවසු කතාව අනර්ග එකක්

"මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබද්දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ නාට්‍ය සඳහා කිහිප දෙනෙක් තෝරා ගැනීමට පරීක්ෂණයක් පැවැත්වුවා. මමත් ඒකට එකතු වුනා. පනහකට වැඩි පිරිසක්  එයට සහභාගී වුනා. ඔහු පැවසුවේ සෘතියට අනුව ගීත ගැයීමට හැකි නම්, එයාට නළුවකුවේ වෙන්න පුළුවන් කියලා. කෙනෙක් ගීතයක් ගැයුවාම ඔහු කියනවා. ඕනෑනම් ඒ ගීතය ඒ විදියටත් කියන්න පුළුවන් කියලා එතකොට අර ගීත ගයපු කෙනා ආයේ ඒ සඳහා ඉදිරිපත්වෙන්නේ නෑ. ඒ වගේම තව කෙනෙකුට කියනවා ඔය විදියට තව අවුරුදු පහළොවක් විතර කිව්වොත් ප්‍රතිභාපූර්ණ ගායකයෙක් වෙන්න පුළුවන් වෙයි කියල. කොහොම හරි මම එතනදී අමරදේව මාස්ටර්ගේ ගීතයක් ගැයුවා. මා මුලින්ම ගයන්නේ ඒ ගීතය"

ඉන්පසුව ඔහු මුහුණ දුන් ඉතා රසවත් අත්දැකීමක් විස්තර කරා.

"අපි කොච්චර චිත්‍රපටි, නාට්‍ය, ටෙලිනාට්‍ය ගණනක රඟපාලා තිබුනත් මේ ලෝකෙම ඉන්න අය අපිව දන්නවා කියල හිතුවත්, ඒක එහෙම නොවෙයි කියල දැන ගත්තේ එදා. අපිව නොදන්නා තමන්ගේම ලෝකේ ඉන්න ඕනෑතරම් අය ඉන්නවා. දවසක් මීරිගම පැත්තේ නාට්‍යක් සඳහා ගොස් එන අතරේ මගේ කාර් එකේ ටයර් එකක පැච් එකක් ගියා. වාසනාවට එය නතර වුනේ වොල්කනයිසින් කියා තඩි බෝඩ් එකක් තිබෙන තැනක. මමත් මගේ මිතුරාත් බොහොම අමාරුවෙන් නිදාගෙන හිටිය බාස්සුන්නැහේව ඇහැරවාගෙන වැඩේ පටන් ගත්තා. ඉතින් අපි දෙන්නත් ඉතාම උද්යෝගයෙන් බාස්සුන්නහේට සහයෝගය දෙනවා. ටයර ය ගලවාගත්ත බාස්සුන්නහේ දැන් පැච් එක දානවා.   දැන් මගේ මිතුරා උත්සාහ කරනවා බාස්සුන්නහෙට මම කවුද කියල කියන්න

බාස්සුන්නහේ දන්නවද මේ කාගේ ටයර් එකද දාන්නේ කියල?

බාස්සුන්නහේ පිළිතුරු නොදීම වැඩ කරගෙන යනවා.

බාස්සුන්නහෙට කොයි තරම ආඩම්බරයක්ද මේ වගේ කෙනෙකුගේ ටයර් එකක් දාන්න ලැබිච්ච එක.

කිසිම ප්‍රතිචාරයක් නෑ. මට පේනවා බාස්සුන්නැහේ ඉන්නේ හොඳටම කේන්තියෙන් කියල. මම අතින් කියනවා එපා කියල එත් මගේ මිත්‍රය දිගටම කියවනවා.

බාස්සුන්නහේට හෙට උදේ ආඩම්බරයෙන් කියන්න පුලුව මම ටයර් ඒක දැම්මේ ...... කියල. පොඩ්ඩක් බලන්න.

ඔලුව උස්සල රවල මගේ දිහා බලපු බාස්සුන්නහේ කියනවා

නිට්ටඹුවේ ඩිපෝ එකේනේ වැඩ කරන්නේ කියල.

මටත් තියෙන්නේ ඉතිං ඩ්‍රයිවර් මුනක්නේ" කියල ඔහු ඉතා අව්‍යාජව කියනවා. ඉන් පස්සේ ඔහු නාට්‍ය, නූර්ති, ටීටර් ගී කිහිපයක්ම ගයනාව. ඉන්පස්සේත් ඔහු කිව්වා ලොල් කතාවක්.

"ටීටර් කියන්නේ ඔය තියෙටර් කියන එකට අපේ අය කියපු වචනය. ටීටර් වලදී පසුබිම ස්වභාවික විදියටම හදනවා. දිව්‍ය ලෝකය නම් ඒ විදියට, වෙරලක් නම් ඒ විදියට නියම දේවල් ගෙනල්ලා. ඔන්න එක දවසක් අංගුලිමාල කතාව පෙන්වන්න පසුබිම හදල තිබුනා. කැලෑව මැදින් අහිංසක එන දර්ශනයක පසුබිමට හීලෑ කරපු සතුන් ගෙනවිත් තිබුනා. දැන් ඇඟිලි මාලේ කරේ දාගෙන අහිංසක එනවා. ඇඟිලි කැපුවත් මිනිහ අහිංසකයිනේ. හා පැටියෙක් වඩාගෙන හුරතල් කරනවා. ඒ එක්කම ඇඟිලි ඉල්ලලා වියරුවෙන් කෑ ගහනවා. එතකොට ප්‍රේක්ෂකයෙක් කෑ ගහල කියනවා

අහිංසක ඔන්න හාවා ඇඟිලි ටික කනවා කියල. වෙලා තියෙන්නේ ඇඟිලි වලට දාල තිබ්බ කැරට් වලින් හාවා රාත්‍රී ආහාරය ගත්ත එක"

ඔහුගේ සහය ගායනයට අනුලා බුලත්සිංහල මහත්මිය සහාභාගී වන්නේ තවමත් සුව නොවූ රෝගාබාද සහිතව. ඇය ගී ගයා අවසාන ප්‍රේක්ෂකායගෙන් සමාව ඉල්ලනවා ඇගේ ගායනයේ අඩුපාඩු නිසා රසවින්දනයට සිදු වූ බාදාවට.

ඉන් පස්සේ නුවන් ගුණවර්ධන හින්දි සහ සිංහල ගීත කිහිපයක්ම ගයනාව. ප්‍රියා සුරියසේන, ප්‍රියංකර පෙරේරාත් බැංකුවේ කිහිප දෙනෙකුත් එම ප්‍රසංගය රසවත් කරනවා. මේ සඳහා සංගීතය සපයන්නේ මහානාම වික්‍රමසිංහ ප්‍රමුක වාද්‍ය වෘන්දය.

ආපසු ගෙදර ආ මම පුරුද්දකට වගේ පරිඝණකයත්, රූපවාහිනියත් ක්‍රියාත්මක කරනවා. අද බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටි නිසයි පරිඝනකය ක්‍රියාත්මක කරන්නේ. වෙලාව රාත්‍රී 11.00 යි මේ වෙනකොට. මම බත් කන ගමන් සිරස පැරණි ගී ප්‍රසංගයක් නරඹනවා. එහි ගීත ගයන්නේ විශාරද ගුණදාස කපුගේ. අකාලයේ මියගිය කපුගේ. මානව හිතවාදියා, ගායකයා, ගී තනු නිර්මාපකයා, ශබ්ද පරිපාලකයා ඒ වගේම බේබද්දා(සමාවෙන්න මේ වචනය භාවිතා කරනවාට), සොඳුරු මිනිසා. මගේ නැති වූ සටහන් පොතේ ඔහු මියගිය කාලයේ තැබූ සටහන මගේ මතකයට එනවා.

විදේශීය සංගීත ප්‍රසංගයකට සහභාගී වී ඔහු ලංකාවට ගොඩ බසින්නේ කෙලින් හිට ගන්නවත් නොහැකි පමණට බීමත්ව. ඒ කාලේ විශාල ගුවන් යානා කෙලින්ම මගී පර්යන්තයට සමීප කර සෙනග බසවන්න කටුනායක ගුවන් තොටුපලේ පහසුකම් තිබුනේ නෑ. ඈතින් නවත්වන ගුවන්යානයේ සිටින මගීන් පර්යන්තය වෙත් කැඳවාගෙන එන්නේ කුඩා බසයකින්. ඔහු එලියට බසින විට බස් රථය පිරෙන්න සෙනග. ඔහු බස් රථයේ ෆූට් බෝඩ් එක වෙත ගොඩ වන්නේ අවසාන මොහොතේ. එහෙත් එහි දොර වැසෙනවාත් සමගම ඔහු එලියට විසි වී අනතුරට පත් වනවා. මට මේ හෝඩුවාව ලැබුනේ මගේ මිතුරකුගෙන්. ඔහුගේ මිතුරෙක් ගුවන්තොටුපල සේවකයෙක්. මේක මොනවා වුනත් ඇත්තම කතාව. ඔහු මිය යන්නේ ඒ අනතුරින් නොවෙයි. අපේ ගුවන් තොටුපලේ තිබෙන මගීන් නිදහස් කර යවන ප්‍රතිපත්තියේ අඩුපාඩුවෙන්. මියනොගිය අයෙකු නම් කෙතරම් රෝගී තත්වයක සිටියත් එම්බාකේෂන් කාඩ් පත පුරවා කස්ටම් ඔෆිසර් වෙත බාර දිය යුතුයි. ඉතින් අනතුරට පත් කපුගේ මහතා රෝහලකට ගෙන යන්න සිදු වන ප්‍රමාදයෙන් තමයි ඔහු මිය යන්නේ. ඒ අපට අහිමි වුනේ තවත් අවරුදු කීපයක් වත් අප පිනවන්නට සිටි යුග පුරුෂයෙක්. මා ලියූ ඒ සටහන තිබුනානම් ඔබට මීට වඩා සවිස්තර සටහනක් බලන්න තිබුනා. අවාසවනකට එකල බ්ලොග් යයි ජාතියක් තිබුනේ නෑ. නමුත් කවද හෝ කොහේදී හෝ මේවා ප්‍රකාශ කරන්න බලාගෙන ලියු සටහන්. 

දැන් ඔබ හිතනවා ඇති මේ පොතට වුනේ කුමක්ද කියලා. එය රහසක් වශයෙන් සඟවා ගන්න මට කිසි උවමනාවක් නෑ. මගේ "කඳුළු සලන හත් පෙති මල"  කියවපු අයට තේරුම් යන්න ඇති, මම විවාහයෙන් වෙන් වී කුඩා දියණියක් සමග තනි වූ පියෙක් බව. ඒ කතාව පසුව ඔබට කියන්නම්. මෙතන සිදු වුනේ ඇය වෙන් වී යනදා ඇයගේ පොත් ගොන්නත් සමග මගේ අර මතකසටහන් පොතත් රැගෙන යාමයි. ඇත්තටම ඇය මගේ පොත් වලින් යම් ප්‍රමාණයක් ගෙන ගොස් තිබුනා. ඒ ගැන මා විමසන්න ගියේ නෑ.

දැන් අපේ කතාවට එමු. කපුගේ යනු අප කාගේත් ගායකයි. ඔහු නිකම්ම නිකම් ගායකයකු නොව විප්ලවීය ගායකයෙක්. මා ඔහු සමාන කරන්නේ බොබ් මාර්ලෙට එහෙමත් නැත්නම් වික්ටර් හාරාට. බොබ් මාර්ලේ සහ වික්ටර් හාරා තරම් නැති වුවත් කපුගේ යනු අපේ රටේ විප්ලවීය ගායකයි. ඔහු මුදල් වෙනුවෙන් ගැයූ අයෙක් නොවෙයි. බොහෝ දෙනා ඔහුට චෝදනා කළා ඔහු සන්ෆලවර් සමග ගී තැටියක් කලාට. එහෙත් ඔහු ඒ ගැන වචනයක් හෝ මිය යන තුරුත් කතා කලේ නෑ. ඒ මුදල් ඔහු ලබා ගෙන තිබුණේ දරුණු රෝගාබාධයකට ප්‍රතිකාර ගන්නා ඔහුගේ මිතුරකුගේ දරුවකු සුවපත් කිරීමට. ඔහු තමන් ඇඳ සිටි කමිසය ගලවා කමිසයක් නැති පුද්ගලයකුට දුන් කෙනෙක්. වරක් ඔහු මිතුරන් කිහිප දෙනෙක් සමග මත්පැන් තොලගාමින් සිටින තැනකට ආ අසරණ පුද්ගලයෙක් තමන්ගේ දරුවාට කිරි පැකට් එකක් ගන්න යයි මුදල් ඉල්ලු විට ඔහුට රුපියල් පන්සීයක් දී, ඔහු ගිය පසු "අපි වගේම ඒ මිනිහත් අඩියක් ගහන්න ඕනෑ" යනුවෙන් පවසා තිබුණා. තමන්ගෙන් මුදල් ඉල්ලන්නා බොරුවක් පවසන බව දැන දැනත් මුදල් පරිත්‍යාග කරන්න ඔහු පසුබට වුනේ නෑ. 

කවුරුන් මොනවා කිව්වත් කපුගේ මට නම් වීරයෙක්. ඔහුගේ බීමත්කම ඔහුගේ අකල් මරණයට හේතු වුනා. ඔහු ගැයුවේ මේ රටේ තැලෙන පෙලෙන පීඩිත ජනතාව වෙනුවෙන්. ඔහු ගැයූ ගීත වල තිබූ ඒ ගැඹුරු හඬත්, වේදනාත්මක බවත්, ඔහුගේ මුහුණේ තිබු අවිවේකි බවත් නිරතුරු නොකියූ වේදනාවක් ඔහුගේ හිත තුල හිර කරගෙන සිටින පබව පසක් කළා. අදත් අපි ගමනක් බිමනක් යත්දී ගයන්නේ ඔහුගේ ගීත. 

රම්බණ්ඩා සෙනෙවිරත්න නමැති සංවේදී මිනිසා ලියූ "මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ" කියන ගී කොටස අදත් අපේ සිත් සතන් වල රැව් පිළිරැව් දෙනවා. 

ඔව් ඔබ නැවතත් එනතුරු අප බලා හින්දිනෙමු.

පින්තූරය ගත්තේ anurasrinath.com එකෙන්

දයාබර කපුගේ වෙත සෙනෙහසින්.

සුදීක
2012.10.20 උදෑසන 1.23ට

ප.ලි : මේ මගේ 99 වන පොස්ට් එක. 100ට හොඳ එකක් දාන්නම්. 

Wednesday, October 17, 2012

උඩ යන්නේ බලාගෙනයි......

මාතෘකාව දැක්කම මොනවද හිතෙන්නේ? ඔබට හිතෙයි මෑතකදී ගුවන් කරනම් ශිල්පියෙකු තැබූ ලෝක වාර්තාව සම්භන්ධ දෙයක් කියා. ඒත් ඒ ගැන බ්ලොග් පොස්ට් දෙකක්ම තිබෙනවා ඔබ දකින්න ඇති. සමහරවිට කියවන්නත් ඇති. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ කියන්නේ ගුවන් ගමන් ගැන. මොකද දවසකට සිදු වන ගුවන් අනතුරු ප්‍රමාණය ගැන හිතල කියල. එහෙමත් නැත්නම් අතුරේ යන එක ගැන. නෑ. මා කියන්න යන්නේ මේ එකක්වත් ගැන නොවේ. මෙය සාමාන්‍ය සමාජයේ තිබෙන රෝගයක් නොවූ රෝගයක්. මගේ යාලුවෙක් ඉන්නවා එයාට උඩක ඉඳන් බිම බලන්නත් බෑ. අපි පුදුම අමාරුවකින් තමයි මෙයාව ගුවන් ගමනක දී මෙල්ල කර ගත්තේ. ඔහු කියන විදියට ගුවන් යානය උඩට ඔසවත්දී(Take off) ඔහුගේ බඩ දඟලා පුදුමාකාර අමාරුවක් දැනෙනවා කියලා. ඒත් කතාව ඒක නම් නෙවේ. මෙය එක්තාර විදියකින් කියමනක්. ඒත් මෙය පොදු සමාජයේ යට ඇති වෙන රෝගී තත්වයක්. දැන් වෛද්‍ය වෘතියේ ඉන්න අපේ පොඩි කුමාරිහාමි, මහ වෙදනා එහෙම කලබල වෙන්න පුළුවන් මොකක්ද මේකා මේ කියන්න යන හරුපේ කියලා. 

ඒ 2010 පෙබරවාරි මාසයයි. මට ලැබුන එක්තරා ඊ මේල් පණිවුඩයකින් කියා තිබුණේ ආචාර්ය මධු ප්‍රනාන්දු මහත්මිය මෙහෙයවන "Best Practices in IT Project Management" නමැති එක්දින වැඩමුළුව ගැනයි. මගේ මතකය නිවැරදි නම් එහි ගාස්තුව රුපියල් 7500ක්. මෙය මා ඉතා ප්‍රිය කරන විෂයයක්. ඉතින් මා මේ ඊ මේල් පණිවුඩය මගේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට යවන ගමන් එම වැඩමුළුවට සහභාගී වීමට මා කැමති බව දන්වා සිටියා. එයට එම මොහොතේම ඔහුගේ කැමැත්ත පල කර අදාළ අංශ වලට යැවූ ඊ මේල් පණිවුඩයේ පිටපතක් මටද ඒවා තිබුණා. දින කිහිපයකින් මා එම වැඩමුළුවට ඉතා උනන්දුවෙන් සහභාගී වන්නට පිටත් වුවා. 

එය පැවැත්වුයේ  ඉබ්බන්වල තිබෙන එක්සෙල් වර්ල්ඩ් කියන විනෝදාස්වාදය සඳහා වෙන් වූ ස්ථානයේ. එහෙත් මෙම ස්ථානයේ මෙවැනි වැඩ මුළුවක් පැවැත්විය හැකිදැයි යන්න ගැන මා සිටියේ දෙගිඩියාවකින්. නමුත් එම ස්ථානයට සේන්දු වූ විට එහි පලමු මහලේ ශ්‍රවනාගාරයක් තිබෙන බව පසක් වුනා. පලමු මහලට නැගගත් පසු එහි සිටින සේනාව දුටු විට මට දවල් තරු පෙණුනි. "කෝ කැප්ටටන් වත් පේන්න නැනේ" යයි සිතමින් එහි තිබෙන පෝලිම් කිහිපයෙන් සෙනග අඩු එකකට එකතු වුනා. කැප්ටන් යනුවෙන් හැඳින්වුයේ මගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රත්නසිරි මහතායි. ඕනෑම කෙනෙකු ඔහු අමතන්නේ "කැප්ටන්" යන ආමන්ත්‍රණයෙන් නිසා අපද ඔහුට පෙරලා කැප්ටන් යනුවෙන් ඇමතීමට පුරුදුව සිටියා.   ඔවුන් පොරකමින් පොදි ගැහී ඉන්නේ සංවිධායකයින් ලබා දෙන අලංකාර බෑගයක දමා තිබෙන ත්‍යාගය ලබා ගන්නට බව මොහොතකින් මට වැටහුනා. මේ බෑග් වල සටහන් වී තිබෙන ලා කොළ පාට සමනලයෙක් වැනි සලකුණ ඒ දින වල රුපවාහිනී නාලිකාවලත්, මග දෙපස ඇති සුදු ගොඩනැගිලි වල බිත්ති වලට එල්ල කරන ලද ප්‍රොජෙක්ටර් දසුන් මගිනුත් දැක ගැනීමට ලැබුනා. නමුත් ඒ කුමන හේතුවකට පෙන්වන දෙයක්ද කියා සොයා ගැනීමට නොහැකි වී තිබුණා. ඒත් තවත් විනාඩි දෙකකින් ආරම්භ කරන වැඩමුළුවට මෙතරම් ජනකායක් කෙසේ නම් ඇතුලත් කරන්නද? නමුත් එයට සහභාගී වන අය දෙස බැලු විට විවිධ තරාතිරම් වල අය සිටින බව පැහැදිලිව පෙනුනා. ටයි පටි පළඳින අයද, කලිසම් සහ ටී ෂර්ට් ඇඳි අයද, මුදලාලි පෙනුමක් ඇති අයද මෙහි සිටීම ගැටළුවක් වුනා. නමුත් මෙහි දොරවල් දෙකක් තිබියදී ඔවුන් දකුණු පස ඇති දොරටුවකින් ඇතුලත් කරන අර කලින් සඳහන් කල සලකුණ ඇති කළු සහ සුදු ටී ෂර්ට් ඇඳි පිරිස දුටු විට මට යම් සැකයක් මතු වුනා. ඔවුන්ගේ මලු දුටු විට ඔවුන් බෙදන්නේ ඉහත සඳහන් ටී ෂර්ට්ම බව පැහැදිලි වුනා. කොතන හෝ වරදක් ඇති බව සිතා මා කොයි එකටත් වම පස දොරටුවෙන් හිස දමා බැලුවා, අපේ කැප්ටන් එහි අසුන් ගෙන සිටිනු දැක අනිත් පස තිබෙන්නේ වෙනම සුහද හමුවක් බව පසුව දැන ගත්තා. ටික දිනකදී මේ වෙන කිසිවක් නොව "එටිසලාට්" වෙළඳ සලකුණ බව දැන ගත්තා.: D.














පින්තූරය ගත්තේ www.gulfnews.com









කොහොමින් - කොහොමින් හරි වැඩමුළුව ආරම්භයේ සිටම සහභාගී වන්නට හැකි වීම පිළිබඳව මා සතුටට පත් වුනා. එයට සහබාගී වී සිටියේ පහලොවකට අඩු ප්‍රමාණයක්. එම වැඩමුළුව ගැන මා වැඩිමනත් සඳහන් නොකරන්නේ මෙය කියවන සියලු දෙනා තොරතුරැ තාක්ෂණයට අදාළ සේව්වාවන් වල නියුතු අය නොවීම නිසා. නමුත් තේ විවේකයට පසුව කුමක් හෝ මාතෘකාවක් ඔස්සේ කතා කල මධු ප්‍රනාන්ධු මහත්මිය පරිඝනක ව්‍යාපෘති වල හෝ ඔබගේ කාර්යාලයේ සිදු විය හැකි අලුත්ම ගණයේ රෝගයක් ගැන විස්තර කළා එය 

"Tall Poppy Syndrome"

ඇය පවසුසේ ඔස්ට්‍රේලියාව වැනි රටවල මේ කියමන ඉතා ප්‍රසිද්ධ එකක් බවයි.  ලංකාවේ අපිටනම් මෙය ඉතා හුරු එකක් නොවේ. අනික අපිට තිබෙන ප්‍රස්තා පිරුළු ආදිය ගත්තාම මේක ඉතාම සුළු එකක්. නමුත් මේක වැදගත් එකක්. 
tall-poppy
පින්තූරය ගත්තේ :  http://annemariecross.com
බලන්න මේ පින්තුරය දිහා. මේකේ පැහැදිලිවම පේනවා නේද අනිත් පොපි මල් සියල්ල එක මට්ටමක තිබෙද්දී එක් පොපි මලක් පමණක් ඉතා ඉහලින් පිපී හිනැහෙනවා. මේ වගේ ඉහලින් පිපුණාම ගොවි මහතුන්ගේ නෙත මේකට ගැටෙනවා ඔවුන් එක ඉක්මනින්ම කපා ඉවත් කර ගන්නවා. නමුත් මේ කතාවේ හරය එය නොවෙයි.

සමහරවිට ඔබ මේ වනවිටත් එයට මුහුණ දී තිබෙන්න පුළුවන්. ඇත්තටම ඒ දේශනයට සවන් දෙත්දී මමද එවැනි කාලයක් පසු කරමින් සිටියා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔන්න ඔෆිස් එකක යම් කණ්ඩායමක් වැඩ කරනවා. ඒ ඔෆිස් එකේ ඉන්න එක් සේවකයෙක් අනිත් යට වඩා වැඩි දැනුමකින් හිතා ගන්න බැරි විදියට වැඩ කරනවා. මේක දකින අනිත් අය නිරන්තරයෙන් අර සේවකයාට ඉරිසියා කරන්න පටන් ගන්නවා. ඉන් පස්සේ අර මනුස්සයව නොයෙක් විදියට තාඩන පීඩන වලට ලක් කරලා එයාට එතන ඉන්න බැරි වෙන තත්වයකට ගේනවා. එයාගේ හැකියාව දකින ප්‍රධානීන් කරන්නේ එයාට විශේෂයෙන් සලකන්න පටන් ගන්නවා. ඉතිං අනික් අය එකතු වෙලා අර පුද්ගලයා ගැන ප්‍රධානියාගේ හිතේ තියෙන පැහැදීම නැති වෙන විදියට වැඩ කරන්න පටන් ගන්නවා. එයාගේ නැති අඩුපාඩුවක් හරි දැනෙන්න සලස්වනවා. නැත්නම් එයාව බොරු වලක වට්ටවල ලොක්කට පෙන්වනන්ව. 

මේ කියන දේවල් මම අත්දැකීමෙන් විඳලා තියෙනවා. මම ආචාර්ය මධු ප්‍රනාන්දු මහත්මිය සමග දිවා විවේකයේදී හැඟුම්බරව මේ ගැන පවසනවා. මා ඇයගෙන් විමසා සිටිනවා මට මෙසේ සලකන පිරිසට එය දැනෙන්න ඊ-මේල් පණිවුඩයක් මගින් යවන්නද ? කියල. නමුත් එතුමිය පවසන්නේ එසේ කිරීමෙන් තත්වය වඩා දරුණු වන්නට ඉඩ ඇති නිසා තවත් ඉවසා සිටින්න කියලා. දිවා විවේකයෙන් පසුව ඔබ අංශ ප්‍රධානියෙක් හෝ ව්‍යාපෘති ප්‍රධානියෙක් නම් කල යුතු දේ ඈ පවසනවා. ඔබ කල යුත්තේ අර ඉහල් දක්ෂතා පෙන්වන සේවකයා එම තැනින් ඉවත් කොට ඔහුට ඊට වඩා වැඩි වගකීම් සහ පහසුකම් සහිත ස්ථානයක (වෙනත්) අනුයුක්ත කරන ලෙස. 

මා නැවතත් කාර්යාලයට එනවා. එන්නේ අර මගෙත් සමග "Tall Poppy Syndrome" තත්වයේ සිටින අය අතරට. නමුත් මගේ වාසනාවකට මගේ හොඳම හිතවතියක් මේ අය අතර ඉන්නවා. මට සිදු කරන්නට යන සියලු අකටයුතුකම් ඇය මාර්ගයෙන් මා දැන ගන්නවා. එනිසා මට එම අනතුරු වලින් ගැලවී ඉන්නට ඉඩ ලැබෙනවා. මේ කාලයේදී මා මේ පිළිබඳව අංශ ප්‍රධානියා දැනුවත් කරනවා. 

නමුත් මා මේ වැඩමුළුවෙන් උගත් දේ යන මාතෘකාවෙන් "Tall Poppy Syndrome" ගැන ඊ-මේල් පනිවුඩයක් අංශ ප්‍රධානියාට යවන්න සලස්වනවා. ඔහුගේ පිළිතුර වන්නේ "Agreed"   යන්නයි. නමුත් ඔහු මගෙන් ඉල්ලා සිටි දැන් සිටින අංශයේ ප්‍රධානත්වය බාර ගන්න මම ඉදිරිපත් නොවන්නේ ඒ වනවිට එම තනතුර දරන්නා කපා එතනට පැමිණියා යන අපවාදයට මා කැමති නැති නිසයි. 

මේ "Tall Poppy Syndrome" යන දෙය මීට කලින් මා අසා තිබුනා වෙනත් විදියකට. සටන් ශිල්පී සේනක විජේසිංහ මහතා ගුවන් විදුලි වැඩසටහනකට විත් පවසා සිටිය "අපි හොදට වැඩීගෙන එන ගොයමක් දිහා බැලුවොත් දකින්න පුළුවන් එකක් දෙකක් ගොයම් ගස් අනිත් ඒවාට වඩා උඩට ඉස්මතු වෙලා, අන්න ඒ වගේ කලාතුරකින් පහළවෙන අය තමයි මාර්ටින් වික්‍රමසිංහ වගේ අය. හැමදාම හැමතැනම ඒ වගේ අය බිහි වෙන්නෑ" කියල. ඉතිං මේකට අපේ වචනයකින් කියනවා නම "උස ගොයම් ගස" කියා කියන්න පුළුවන්.

ඔබත් කවදා හෝ මේ උස ගොයම් ගස හෝ Tall Poppy Syndrome එකට භාජන වී තිබෙනවාද ?

සුදීක 
2012.10.17 රාත්‍රී 08.30ට

ප:ලි: Google+ Profile  එකක් සාදා ගත් පසු එය Blogger ID  ඒක Replace  කල නිසා මගේ නම Subash Dilruk ලෙස දිස් වනවා අත. නිවැරදි කර ගන්නා අකාරයක් දත් අයෙක් වෙතොත් දන්වන්න.  


Saturday, October 13, 2012

කෙටිම කෙටි ලොල් කතා අංක 21 - අනේ ඇයි මෙයා පොඩි ලමයින්වම රේප් කරන්නේ?

මේක මම ඇත්තටම අහගෙන හිටපු කතාවක් නෙවේ. ඒත් මම මේ ජොබ් එකට එන්න කලින් මගේ ඔෆිස් එකේ වෙච්ච් කතාවක්.  මේක මගේ මතකෙට ඇවිල්ල ගොඩක් කල්. අද ලියන්නම් හෙට ලියන්නම් කියල ඉන්නවා. ම්හු... කෝ ලිව්වේ වෙන වෙන බහුබුතනේ. මතකනේ පහුගිය කාලේ නැගලම ගිය නිවුස්. දැන් කියයි 6% කේස් එක කියලා. නෑ ඊට පොඩ්ඩක් කලින්. එතකොට අර මේජර්ගේ සීන් එකද? නෑ ඒකත් නෙවෙයි. ඊටත් පොඩ්ඩක් කලින්.  එතකොට අර මුන්නේස්වරමේ එළු සීන් එක වෙන්ටෑ? නැහැනේ බොලල්ලා. එහෙනම් අහවල් එකද ? අහවල් එකක් තමයි. අර අකුරැස්සේ වුනේ. හා හරි හරි අපිට මතකයි. අර රේප් කේස් නේද? ඔව් ඔව් රේප් කෙසේ තමයි. 

ඔන්න අපි නියම තැනට ආවා. පහුගිය කාලේ, දවසේ පත්තරයක් ගත්තොත් ඕනෑම දවසක රේප් කේස් එකක් පත්තරයක. ඔන්න ඔය වගේ එක දිගට රේප් කේස් පත්තරේ දිගටම ගිය කාලයක් තිබුනාලු එක්දාස් නවසිය අනූ ගණන් වල මුල හරියේ. මම මේ ජොබ් එකට ආවේ අනූ ගණන් වල හරි මැද නේ. ඒ නිසා එහෙම වෙන්නට ඕනෑ. උදේ තේ විවෙකෙදී කල්ලි ගැහිලා තේ හදාගෙන බොන පුරුද්දක් ඒ කාලේ අපේ ඔෆිස් එකේ තිබිලා තියෙනවා. එහෙම එකතු වෙලා ඉන්නකොට එක එක මාතෘකා එනවනේ කතා කරන්න. දැන්නම් ඔය 6%, පැට්‍රල්, ටුවෙන්ටි20, මාමා, එළුවා වගේ කතානේ එන්නේ. ඒ කාලේ නැගලම ගිහින් තියෙන සීන් එක මම අර කලින් කිව්ව රේප් කේස් සීන් එක. ඔන්න ඉතිං මේ කතාවට මුල් වෙච්ච අපේ කතා නායිකාව. ආහ් ! එයා ගැන පොඩ්ඩක් විස්තර කලේ නැත්නම් ලොල් ගතිය නැතුව යනවා. 

එයාගේ නම - නම මොකටෙයි, අපි එයාට කතා නායිකාව කියමු. නැහැ එහෙම හරි නෑනේ අපි මේ වචන දෙකම එකතු කරලා දාමු රුසියන් නමක්."කතානා". එල නේද? ඒ කාලේ වෙද්දී බඳින වයසේ හිටිය කතානාට කවුරුත් පේජ් බෝයි කියල ඇමතුවේ එයා කොන්ඩේ හොඳටම කපල ඉන්න කොට කොල්ලෙක්ගේ වගේ මුණ නිසා. බෝතල් අඩි කන්නාඩි දෙකයි තරබාරු සිරුරයි. ඇවිදින්නෙත් බොහොම හිමිං ඒ මදිවට. ඉතිං රජෝ ඔය වගේ ඇත්තෙකුට පුරුෂ පරානයක් හොයනවා කියන්නේ ඉතිං කළු නික හොයනවා වගේ වැඩක් නේ. ඒත් කතාන කසාදයට බොහොම කැමතියි. බස් එකේ, ඔෆිස් එකේ, මගතොට යන කවුරුවත් ඉතිං කතානට බැල්ම දාන්නේ නෑ. එක අතකට පව්. ඒත් ලබා උපන් හැටිනේ. හොඳ දේපලකට හිමි කම් කිව්වත් කිසිම ප්රෝතිචාරයක් වැඩ කලේ නෑ. (මේ ටික කිව්වේ කතාව රසවත් කරන්න. කතාවට ඇගේ නියම ස්වරුපය අවශ්‍ය නිසා. ඇයට මේකෙන් කිසිම අපහාසයක් කරන්න නෙවයි) . ඉතිං ඔෆිස් එකේ ඇති වුනා මේ වගේ දෙබසක්.

කතානා : අනේ බලන්න මෙයා මේ පත්තර වල තියෙන දේවල්. බැලුවොත් තියෙන්නේ රේප් කේස් එකක්. බලන්න මේ අවුරුදු හතරක පොඩි ළමයෙක්ව රේප් කරලා. අඩු ගානේ අපි වගේ නං කමක් නෑ. 

මේ කතාව එතන හිටිය මගෝඩි කොලුවෙක් හැමෝටම ඇහෙන්න කා ගහල කියනවා. 

"මේ බලන්න මේ කතානා කියනවා හැම තැනම පොඩි ළමයින්ව විතරක් රේප් කරනවා අනේ අපිව රේප් කරන්න කව්රුත් නෑ කියලා"

එදා ඉඳල කතානා මුණ ගැහුනම කව්රුත් අහනවා "අපිව  රේප් කරන්න තමයි ඉතිං කවුරුත් නැත්තේ නේද කතානා කියලා"

පින්තුරය ගත්තේ : humasattars.wordpress.com

Wednesday, October 10, 2012

අඳුරු යුගයේ මතකසටහන් - 3

මා තිගැස්සී ඇහැරෙනවාත් සමග මා සීතල පොලොව මත වැටී සිටින බව දැනී, එක පාරටම "තාත්තේ" කියා කෑ ගැසුවා. ඒත් මගේ ශබ්දගේ එතරම් ශක්තියක් නැති බව මටම තේරුණා. තාත්තා දුවැවිත් මට නැගිටින්නට අත දුන්නා. මුහුණ අත ගා බැලූ විට නළලත් කම්මුලත් අතර තැනකට බැස තිබූ රටකජු ඇටයක තරම් බොරළු කැටයක් වැටුණි. මුහුණේ තිබූ වැලි පිසදාගත් පසු තාත්තා මා වත්ත්තම් කරගෙන මගේ කාමරය වෙත කැඳවාගෙන යන ලදී. 

ඒ 1989 ජනවාරි මාසයයි. සීතල දුරුත්තේ සීතල පොලොව මත මා කොපමණ කාලයක් වැටී සිටියාදැයි මතක නැත. ඇඟේ සමහර තැන් වල ඇලවුණු කොහොඹ කොළ තවමත් ඇතත්, ඒවා ඉවත් කරන්නට නොහැක්කේ පැපොල නිසා ඇති වන තුවාල වල කබොලු ගැලවේ යන බියෙනි. මේ දිනවල සහෝදර වරුන්ගේ ආණ්ඩුවේ අණ පනත් පරිදි රාත්‍රී කාලයේ විදුලි පහන් දැල්විය නොහැක. අඳුරේම මගේ කාමරයට පැමිණ, මා නිදා ගන්න පැදුර ලඟට ඇරලවා තාත්තා මා නිදා ගන්නා තුරු මා දෙස බලා සිට ඔහුගේ ඇඳ වෙත ගියා. ඇටෑච් බාත්රුම් නොතිබූ එම යුගයේ අපට හදිසි අවස්ථාවකදී වුවද නිවසින් පිට නමුත් නිවසටම බද්දව තිබූ වැසිකිලියට යාමට සිදු වුනත්, බොහෝ දෙනා එම අවශ්‍යතා උදෑසන වන තෙක් හිර කරගෙන ඉන්නේ රාත්‍රියේදී එලියට ගොස් එක්කෝ හමුදාවෙන් නැත්නම් සහෝදර වරුන්ගෙන් දඬුවම් විඳීමට ඇති බිය නිසාය. දහවල් කාලයේ අපේ වත්ත හෝ ඉඩම රාත්‍රී කාලයේදී ඉහත පාළන කොට්ටාශ දෙකෙන් එකකට නතු වනු අත. එනිසා අප රාත්‍රියේදී එලියට බහින්නේ බියෙන් මෙන්ම සෝදිසියෙනි. මල්ලිලා දෙන්නා සහ නංගී අම්මත් සමග ඇයගේ ඇඳෙහි නිදිය. අපගේ නිවස පිටුපස ඇත්තේ කුමාර විදුහලට අයත් ක්‍රීඩාංගණයය. වම පස ඇත්තේ තවත් හිස් ඉඩමකි. දකුණු පසින් පමණක් කුලී නිවැසියන් සිටින නිවාස දෙකක් ඇත. මෙම නිවාස දෙකෙහිම වාසය කලේ ක්‍රිස්තියානි බැතිමතුන්ය. පිටුපස නිවසේ වෙසෙන විරාජ් අයියා රාත්‍රී කාලයේ සංචාරක හෝටල් වල කැලිප්සෝ සංගීතය සපයා දිවි සරි කර ගන්නා කෙනෙකි.

 මගේ ඇඳ මේ දවස්වල හිස්ය. මා නිදන්නේ බිම පැදුරක් එලා එය මතට දමා තිබෙන කොහොඹ කොළ මතය. මගේ මදුරු දැල කෙසේ හෝ මගේ පැදුර ආවරණය වන පරිදි සකසා දුන්නේද තාත්තාය. මේ දිනවල වැරදී හෝ නින්දෙන් ඇහැරුණහොත් නින්ද යන්නේ නැත. වාසනාවකට රාත්‍රී එකොළහ දොළහ වනවිට පරිසරය සීතලය. ඒ ජනවාරි මාසයේ ලංකාවේ බොහෝ පළාත් සිසිල් වුවද රටේ තත්වය ඉතා උණුසුම්ය. රජයේ හමුදා හා පොලීසී සහ සහෝදරවරුන්ගේ ආණ්ඩුව ඇති කර ගන්නා කල කෝලාහලවල නිමක් නැත. කාමරයේ කෙලවරට වන්නට ජනේලය අයිනේම නිදියන මා රාත්‍රී නින්දට යන්නේ "අනේ රෑට නම් ඇහැරෙන්න එපා" යන ප්‍රාර්තනයද සමගිනි. මා එම ස්ථානයේ තබන්නට මගේ දෙමව්පියන් අකමැති වුවද, අප නිවසේ ඒ සඳහා වෙනත් සුදුසු ස්ථානයක් නොවූ බැවින් මට එහිම නිදන්න්දට සිදු විය. මීට මාස කිහිපයකට පෙර මා රාත්‍රී එක දෙකට වුවද රාත්‍රී සේවාව අවසන් කර නිවසට පැමිණ ඇතත් දැන් නම් රාත්‍රී කාලය අපට අයිති නැත. එකල මා කිසිදු බියක් නැතිව තනිවම පාරේ ආවේ බෙන්තොට බීච් හෝටලයේ සිට මගේ නිවසට එනතෙක් පාර දෙපස විදුලි ලාම්පු හොඳින් දල්වා තිබෙන නිසාය. අනෙක සාමකාමී යුගයේදී අවම වශයෙන් එසේ එද්දී කවුරු හෝ පාරෙහිදී මුණ ගැසෙයි. සමහරවිට රාත්‍රියේ එහෙ මෙහෙ යන සංචාරකයන් පවා සිටී. නමුත් අද තත්වය ගැන හිතන විට නෙතට කඳුලක් නැගේ. එහෙත් උදෑසන කන්නාඩියෙන් මාගේ මුහුණ දුටු මා ඉතා බියකින් වෙලී ගියේ නැවත හෝටල් විවෘත කලද මට සේවය කිරීමට කිසදු අවස්ථාවක් හිමි නොවේ යන බියෙනි. 

මා නිදි පැදුරේ කිහිප විටක්ම අඩ නින්දකට වැටී නැවතත් ඇහැරුනේ එකවිටම ඇහෙන බල්ලන්ගේ උඩු බිරුම් හඬ ඇසීය. ඒත් සමගම නිවාසට අඩි දහයක් පමණ ඈතින් ඇති පාරේ කවුරුන් හෝ ඇවිදින හඬ ඇසෙයි.  එය සපත්තු හඬකි. මෙය හමුදාවේ හෝ පොලීසියේ විය යුතුය. පොඩ්ඩක් නැගිට තිර රෙදි මාත් කර වීදුරු ජනේලයෙන් සිදු වන දේ බැලිය හැකි මුත් එතරම් අවදානමක් ගැනීමට මගේ හිතට දෛරියක් නොආවේ මගේ අසරණ දෙමව්පියන් ගැන සිහි වීමෙනි. අවුරුදු 19 ක තරුණයකු මේ කණ්ඩායම් දෙකටම කදිම ගොදුරකි. මා අසනීප වී ඉන්නා බව දන්නේ අප පමණකි. අසල්වසියන්ටද ඒ ගැන අවුබෝධයක් ඇත්තේ මා අසනීප වී ආ මොහොතේම තාත්තා ගෙයි උළුවස්සේ නුලක් ආධාරයෙන් එල්ලන ලද කොහොඹ කොළ කිහිපය නිසාය. එය අපේ ගැමියන් අවට නිවැසියන්ට පණිවිඩ දෙන කදිම ක්‍රමයකි. ගෙදරක කව්රුන් හේ ලෙඩ වී ඇති බව දින කිහිපයකදී කටින් කට ආරංචි වීම නිසා බොහෝ දෙනා ඉන් ආරක්ෂා වේ. මෙවැනි කාලපරිච්චේදජයක එවැනි වසංගතයක් බෝ වුවහොත් දෙවි පිහිටය. මේවා කොහොමත් දෙවියන්ගේ ලෙඩ නිසා කොහොමත් දෙවි පිහිටය. එහෙත් දෙවියන් සිටින බව මගේ කිසි විශ්වාසයක් නැත්තේ, දෙවියන් සිටිනවානම් රටේ තොටේ මේ සිදුවන දේ ඔවුන්ට නොපෙනෙන්නේ මන්දැයි ? යන ප්‍රශ්නය නිසාය. T-56 ගිනි අවි වලින් සිදු වන ගනු දෙනු දෙවියන් කෙසේ පාලනය කරන්නද? මේ මොහොතේ අප මෙන්ම ඔවුන්ද අසරණය.

මා මේ බලා සිටින්නේ උදෑසන ලඟා වනතුරුය. ඊයේ වැඩ ඇරී ගෙදර යන ගමන් හෝටලයේ පෝටර් වරයෙකු වන ආනන්ද පවසා ගිය සුභ ආරංචිය නිසා මට හෙට වනතුරු ඉවසුමක් නැත. ඒ හෙට දිනයේ අපට අත්තිකාරමක් ලබා දෙන බවයි. අපේ නිවාස අසල බයිසිකයල නැවැත්වූ විට කඩුල්ල අසල සිටින කෙනෙකු සමග ගෙයි සිට සංවාදයේ යෙදිය හැක. මා සවස ජනේලය අසල පුටුවක් තබාගෙන පරණ පත්තරයක් ගෙන කියවමින් ඉඳින විට ආනන්ද සයිකලය නැවතා මගේ සුව දුක් විමසා මේ ආරංචිය දී යන්නට ගියේය. මා ඔහුට ගෙදරට ආරාධනා නොකළේ එය සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක් නිසාය. ලෙඩෙකු සිටින ගෙදරකට පය ගසන්නට කවුරුවත් කැමති නැත. මේ දිනවල කිසිදු සංචාරකයෙක් හෝටල්වල නැතත් සේවකයන්ට නිවාඩු නැත්තේ, හෝටලය හොඳ තත්වයකින් පවත්වාගෙන යා යුතු බැවිනි. කොයි මොහොතේ හෝ නැවතත් සංචාරකයන් පැමිණෙන සුභ ආරංචිය ලද වහාම විවෘත කිරීමට සියලු දෙනා සැදී පැහැදී සිටිති. මේ මුළු ගමම සංචාරක කර්මාන්තය මත යැපෙන නිසා හෝටල් සේවකයන් පමණක් නොව ගම්මු සියල්ලද බලා සිටින්නේ සුදු මහත්වරුන්ගේ ආගමනය සිදු වන්නේ කවදාද යන්නයි. එහෙත් සෑම උදෑසනකම අසන්නට ලැබෙන ආරංචි හොඳ ඒවා නොවේ. 

අප නිවසට ඉදිරිපස ඇති විජේසේන අයියාගේ නිවාස කුලියට ගෙන සිටින්නේ මාත් සමගම හෝටලයේ සේවය කරන ජයසේනය. එහෙත් ඔවුන් මේ දින වල නිවාස වසා දමා යතුරු අපට බාර දී ඔවුන්ගේ කොළඹ නිවස බලා ගොස්ය. තිබෙන වාතාවරණය තුල ඔවුන්ට මෙහි වාසාය කල නොහැක. ඔහු රාත්‍රී සේවය අවසන් කර පැමිණෙන තෙක් ඔහුගේ බිරිඳ සිටින්නේ අපේ නිවසේ මගේ සහෝදර සහෝදරියන් සමග කාඩ් සෙල්ලම් කරමිනි. එහෙත් දැන් ඒවා කළහැකි වාතාවරණයක් නොමැති නිසා ඇයගේ නිවසටම ඇරලවා එහි සිට පාන්දර බස් වල සේවයට එන්නට ජයසේනට සිදු වී ඇත. ක්වාටස් එකේ සිටින මගේ සෙසු මිතුරන්ද නිවෙස් බලා ගොස්ය. මා පැපොල වැළදී ගෙදර විත් දැන් දවස් 10ක් පමණ වේ. මගේ රෝගී තත්වය සුව අතට හැරෙමින් පවතිතත් එය වැළඳෙන විට මා හෝටලයේ නේවාසිකව සේවයෙහි යෙදුනෙමි. පිළිගැනීම් අංශයට කාමරයක් ලබා දී තිබුනද බොහෝ දෙනාට ඉන්නට සිදු වී තිබුනේ ඔවුන්ගේ ඩොමේට්‍රි වලය. ඒවා පහසුකම් අතින් අඩුය. මා ලෙඩ වීමට ප්‍රථම දිනයේදී මවිසින් රාත්‍රියේදී සාදා නිම කලයුතු සංචාරකයන්ගේ බිල් සාදන මහා ලේජරයද, කැල්කුයුලේටරයද ගෙන මාත් ගමගේත් අපගේ කාමරය වෙත පිය මැන්නෙමු. ටික වෙලාවකින් එහි ලඟා වූ අනෙක් දෙපාර්තමේන්තු වල සේවය කරන (නම් වශයෙන් මතක නැත) දහ පහළොස් දෙනෙක් බෝතලයක් ගෙනවිත් බිම වාදී වී එය හිස් කරන්න පටන් ගත්තා. මා කන්නාඩි මේසය ළඟ දැන ගසා මගේ වැඩේ අවසන් කරන්නට උත්සාහ ගත්තා. ලොකුම ප්‍රශ්නයට තිබුනේ අපේ කාමරයේ ටෙලිෆෝනය වැඩ නොකරන එකයි. එකල ඩයලයට ඇඟිල්ල දමා කරකවන දුරකථන තිබූ යුගයකි. මාත් ගමගේත් අපගේ ටෙලිෆෝනය ගලවා, කාමරයේ තිබෙන ටවල් එකකින් හිඟන්නාගේ මල්ලක් වැනි එකක් නිමවා ගෙන එහි බාහා ගෙන යාබද කාමරයකට හොර අඩි තබමින් ගියෙමු. 

මේ හෝටල් වල අවුරුදු ගණනාවක් සේවය කර පදම් වී සිටි ගමගේ වැනි අය නිදන්නට එන විට අවට කාමර වලද යතුරු ගෙන ඒමටද අමතක කර තිබුනේ නැත. හනි හනික ටෙලිෆෝනය ගලවා හොඳ ටෙලිෆෝනය හිඟන්නාගේ මල්ලට දමාගත් ගමගේත් මමත් නැවත අපේ කාමරයට ආවේ හොර බළලුන් මීයන් පසුපස යනවිට දක්වන සංයමය අනුව යමිනි. එහි සිට එන අතරේ එම කාමරයට අයත් මිනරල් වතුර  බෝතල් දෙකද රැගෙන එන්නට අප අමතක නොකළෙමු. ඒ මේ කාමරයට එක් රොක් වී සිටින රාජකාරි අවසන් කල නොකළ කාගේත් යහපත පිණිසයි. රාත්‍රී ආහාරය ගන්නා විට තිබූ අන්නාසි පෙති කිහිපයක්ම ගිල දැමූ බැවින් මට නැවත කුසගින්නක් හටගෙන තිබුණා. ඒත් කන්නට වැඩි යමක් නොමැති බැවින් මා වැඩ කොටස එසේ තබා ඇඳේ කෙළවරකට වී නිදා ගත්තා. එහෙත් උදෑසනදී මගේ අතේ මතු වී තිබූ දිය බුබුලට අමතරව තවත් කිහිප තැනකම එවැනි බුබුළු ඇති බව මා ගමගේට පෙන්වූ විට, ඔහු කියා සිටියේ මිස්ට නානායක්කාරට පෙන්වා ගෙදර යන ලෙසයි. සිතු පරිදිම එය පැපොල් රෝගයේ ආරම්භක තත්වය විය. උදෑසනම මා පයින්ම ගෙදරට ලඟා වී අම්මාට මෙය පෙන්වා කාමරයට ගොස් නිදා ගතිමි. රාත්‍රිය නිදි වර්ජිතව ගත කලත් කල හැකි කිසිවක් නැත. විදුලි පහන් දැල්විය නොහැක. මට හැදෙන එක මහා ගහෙන්ම පැපොල හැදුනේ මා ඒ දිනවල හෝටලයෙන් දෙන උෂ්ණාධික ආහාර යහමින් අනුබව කර තිබූ බැවිනි. මුළු ශරීරයම වසා බිබිලි දමා තිබුණි. 

මේ කෙහෙල්මල් ලෙඩේ නිසා හවසට පිට්ටනියට ගොස් පාපන්දු ක්‍රීඩා කරන්නටද නැත. අප හවසට පාපන්දු ක්‍රීඩා කිරීමෙන් බලාපොරොත්තු වූ කාරණා දෙකක් විය. එකක් රාත්‍රියේ පොල්ලෙන් ගැසුවාක් මෙන් ලැබෙන නින්දය. අනෙක උදෑසන අතේ ගෙන ගියා මෙන් දඟලන්නේ නැතිව පහසුවෙන් මලපහ කල හැකි වීමය. මට මේ ගැටලුව නැති වුවත් සමහර යට ක්‍රීඩාව නිසා කදිම ආහාර ජීර්ණයක් ලබා දී තිබුණි. නින්ද මා අහලකටවත් නොපැමිණේ. තවත් කොපමණ වෙලාවක් අඳුරේ වහලය දෙස බලා සිටින්නද ? මේ කාලයේ පාසල් ගුරුවරුන් වූ මගේ දෙමව්පියන්ට තමන්ගේ වැටුප ලැබෙන ආකාරයක් ගැන සිතන්නට වත් බැරිය. ඒත් මම ලබා ගත පුංචි වැටුපෙන් ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන එන්නට අලුත්ගමට යන්නේ කවුරුන් හෝ අද කඩ ඇරලා යන සුබ පණිවිඩය දුන් පසුවය. අරපිරිමස්මෙන් මුදල් පරිහරණය කල මගේ මව නිසා අප කිසිදු වේලක් බඩගින්නේ නොසිටියා පමණක් නොව වට පිටාවේ අයටද යම්-යම් උපකාරද කරන්නට හැකි විය. 

අපේ පාරේ කිසිදු දිනක ජාතික හැඳුනුම්පත් එකතු කිරීම සිදු නොවුනේ මන්දැයි අපට තවමත් ගැටලුවකි. එහෙත් මගේ සොයුරිය සිටි මස්සිනාගේ ගෙදරට නම් සහෝදරවරු දින කිහිපයක්ම පැමිණ ඇත. එසේ ආ විට ඉදිරියට ගොස් ඇත්තේ අක්කාය. ඇගේ පපුවට තුවක්කුව තබා මෙම නිවසේ තුවක්කු තිබෙනවාදැයි විමසා ඇත. මුහුණු වසා එහි සිටි සමහරුන් අක්කා කටහඬින් දැන ගත්තත් නිහඬව ඔවුන් කියන දේට අවනතව කටයුතු කර ඇත. ඔවුන්ට රාත්‍රී අහාරය පිස දිය හැකිදැයි විමසා, පසුව අහාරද රැගෙන කිසිදු කරදරයක් නොකර ගොස් ඇත. දැන් වෙලාව රාත්‍රී තුන හමාර යයි අනුමාන කලෙමි. වෙනදා මේ වෙලාවට අප තද නින්දේය. එහෙත් නින්ද මා වෙත නොඑයි. මගේ සොයුරු සොයුරියන් තද නින්දේ සිටිනු ඇත. යාබද නිවසේ ප්‍රකාශ් මල්ලීගේ කොණ්ඩය හොඳටම වවා රාත්‍රියට නයිටියක් අන්දවා නිදි කරවන්නට ඔවුන් පුරුදු වී ඇත. හේතුව අද අඳුරේ හරියටම ඔවුන්ට පැහැදිලිව මේ සිටින්නේ කාන්තාවක්ද කොලු ගැටයෙක්ද කියා තෝරා ගැනීමට නොහැක. එය කදිම උපක්‍රමයක් වුවද ඉතා අවදානම් ක්‍රියාවකි. යම් විදියකින් එය අනාවරණය වුවහොත් සිදුවන දේ හිතා ගත නොහැක. විරාජ් අයියා වෙනාදා රාත්‍රියෙන වැඩ අවසන් කර ගෙදර ආවත් දැන් එන්නේ උදෑසනය. එයට හේතුව පිටේ ගිටාර් බැඳගෙන එන ඔවුන් එක දිනක් නවත්වාගත් නාවික හමුදාව (බස්නාහිර පළාත බාරව සිටියේ නාවුක හමුදාවයි) කෑම්ප් එක වෙත කැඳවාගෙන ගොස් එලි වනතුරු සිංදු කියවා ඇත. කැලිප්සෝ සංගීත කණ්ඩායම් මයික්‍රොෆෝන් භාවිතා නොකරන නිසා, දැඩි වෙහෙසක් ගෙන ගීත ගායනා කළයුතුව ඇත. ඉතිං මුළු රාත්‍රියම ගීත ගයන්නට සිදු වූ විට ඇති වන තත්වය සිතා ගත හැක. ඉන්පසු ඔවුන් කිසි දිනක රාත්‍රියේදී නිවසට නොපැමිණෙයි. ඔහු සහ ඔහුගේ සහෝදරයා හැරුණු කොට කාන්තාවන් පමණක් සිටින ඒ නිවසේ අය ඉතා බියෙන් කාලය ගෙව් බව මතකය. අවාසාන පැය කිහිපයේදී මා තද නින්දකට වැටී තිබුණි. මාත් සමග යාමට මගේ හිතමිත්‍ර ධම්මිකට පැමිණෙන ලෙස පණිවුඩයක් ඊයෙම යවා තිබූ බැවින්, මා ඇහැරින ලද්දේ ඔහුගේ පැමිණීමෙන් පසුවය. 

ප:ලි : මීළඟ කොටසෙන් අත්තිකාරම් ගන්නට ගොස් සිදු වූ දේ. 

මේ පොස්ටුව කෙතරම් දිගු වුනත්, පහුගිය ලිපිය කියවීම මගින් අතහැර දැමූ මා මිත්‍ර සුමිත් නිරිඇල්ල මේ ලිපිය කියවන බව දනිමි. හැම පළාතකම එක වගේ හොඳ මට්ටමක අන්තර්ජාල පහසුකම නැති බව දනිමි. අපගේ බ්ලොග් වල තිබෙන සියලු දේ ලෝඩ් වන්නට සැහෙන කාලයක් මෙන්ම දත්ත ප්‍රමාණයක්ද වය වන හෙයින් සියලු දෙනාගේ යහපත පිණිස මගේ බ්ලොගර් ටෙම්ප්ලේටය නැවතත් මාරු කලෙමි. දැන් කමෙන්ට් සඳහා ප්‍රතිචාර දැක්විය හැකිය. මගෙන් දහ අට දෙනෙකුට පැපොල බෝ වී තිබූ බව පසුව දැන ගන්නට ලැබුණි. 

පින්තුරය ගත්තේ : grandsamoanadventure.blogspot.com

Monday, October 8, 2012

මහේල ජයවර්ධනත් සමග එකම බංකුවේ හිඳ වර්ල්ඩ් කප් නැරඹුවෙමි.

Sri Lanka's Mahela Jayawardena poses for photos with fans during a cricket practice session in Pallekele, Sri Lanka, Tuesday, Nov. 30, 2010. (AP Photo
පින්තුරය ගත්තේ http://uk.eurosport.yahoo.com/
2012.10.07

මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ කෙනෙකුට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. ලෝක විස්සයි20 අවසන් තරගය පැවැත්වෙන අද දවසේදී ලංකාවේ වැඩිම කතා වෙන නම් වලින් එකක්. එම අවසාන තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමේ නායකයා වශයෙන් පමණක් නොවෙයි අද දින ඔහු ගැන කතා වෙන්නේ. පසුගිය පස් වෙනිදා ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවියට රයිට් තොම්ප්සන් මහතා ලියු "A man who speaks for a nation" යන ලිපිය සහ ඒ ඇසුරින් ෆේස්බුක් වෙබ් අඩවියේ අද දින බෙදා හැරුණු සටහන මගින් ඔහු කුමන වර්ගයේ පුද්ගලයෙක්දැයි ඉතා අනර්ඝ ලෙස විග්‍රහ කර තිබෙනවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු දුටු පළමු දවසේම, ඔහුගේ අනාගතය ඉතාමත් දීප්තිමත් බව තේරුම් ගන්නට මේ ක්‍රීඩාවට හැම අයුරකින්ම දායක වී ඇති කෙනෙකු වශයෙන් මට අපහසු වුනේ නෑ. ඒ කාලයේ මගේ මිතුරන් සමග මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අගනා සම්පතක් යයි මා පැය ගණන් තර්ක කර තිබෙනවා. නමුත් අවාසනාවකට මා ක්‍රිකට් දෙස බලන කෝණයෙන්ම මගේ මිතුරන් ක්‍රිකට් ක්‍රීඩාව දෙස බැලුවේ නෑ. ඔවුන් පමණක් නොවෙයි, අද ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වේදීන් පාවා තම හැඟුම් වලට වහල් වෙලා තමයි විචාරයේ යෙදෙන්නේ. ඒ කියන්නේ තමන් ඇලුම් කරන ක්‍රීඩකයා වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා  කිසිදු වටිනාකමක් නැති තර්ක කරමින්. 


මම මුලින්ම මහේල ක්‍රිකට් ක්‍රීඩා කරනවා දකින්නේ, සනත් ජයසුරිය ටෙස්ට් ලකුණු 340ක් ලබා ගත දිනයේදීම අගනා අර්ධ ශතකයක් ලබා ගනිමින් ක්‍රීඩා කල ඉනිම තුලින්. එතැන් පටන් ඒ වනතෙක් සනත් ජයසුරියගේ රසිකයෙක් වූ මා මහේල ජයවර්ධනගේ රසිකයෙක් වනවා. එදිනේ වටිනාම ක්‍රීඩකයාගේ දිගුකාලීන රසිකයෙක් එක මොහොතකින් වෙනත් ක්‍රීඩකයකුගේ රසිකයකු වීම් පුදුමය දනවන කාරණයක්. ඒ වනතෙක් පිටියේ හතරකොනට ලවක් දෙවක් නැතුව පහර දෙන සනත් ජයසුරියගේ රසිකයා වූ මා හැඟුමට වඩා බුද්දියට ඉඩ දී මේ දර්ශනීය ස්පර්ශය(Elegant Touch) ඇති ක්‍රීඩකයා තෝරා ගන්නවා. මෙතන ඉඳලා තමයි අර කාර්යාලයේ ඇති වූ වාද-විවාද ඇති වන්නේ. මාත් සමගම එකට සනත්ගේ රසිකයන් වූ අනෙක් පිරිස මා හා ගැටෙන්න පටන් ගන්නවා. ඒත් මා මගේ බුද්ධිය අව තක්සේරු කරන්න සුදානම් වුනේ නෑ. මහේලට ඒ කාලයේ බොහෝ දෙනෙක් අකමැති වූ හේතුව ඔහුගේ ක්‍රිකට් වලට වඩා "ඌ මහා පඬියා" යන මනක්කල්පිත   සිතිවිල්ලෙන්. එක අතකට මෙය මගේ කාර්යාලීය මිතුරන්ට සීමා වුනේ නෑ. යන යන තැන අය කතා කලොත් "මහේල මහා පඬියා" කියන දේ දිව මතුරක් ලෙස කියවුනා. මට ඒ සිතුවිල්ල ඇති නොවන්න සාධාරණ හේතුවක් තිබුනා. සාමාන්‍යයෙන් ඉක්මණින් මිතුරන් ඇති නොකර ගන්නා මා දෙසත් සමාජය මේ ලෙසම බැලු අවස්ථා තිබුනා. මාත් සමග කුළුපග වූ බොහෝ දෙනෙක් පසුව මා හා කියා සිටියේ "අපි හිතන් හිටියේ ඔයා හරි ආඩම්බරයි කියල" යන්නයි. ඒ නිසාම මට වැටහුනා මහේල ගැන තිබෙන මේ නොකැමැත්තත් ඒ වගේ එකක් කියල. අනිත් කාරණය තමයි මුල් කාලයේදී මහේලා මාධ්‍යත් සමග කල ගනුදෙනුව මාධ්‍ය කරුවන් තුල පවා ප්‍රසාදයක් ඇති නොකල එකක්. බොහෝ දෙනාට තිබුණේ කෙනෙකුගේ මුහුණෙන් මිනිසා පිලිබඳ තීරණ ගැනීමේ පොදු දුර්වලතාව. 

ටික කලකට පසු අප අන්ත පරාජයක් ලැබූ 1999 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයෙන් විසි වී ගිය පසු තරගයකදී මහේල ක්‍රීඩා කරනවා. එම තරගයේ විස්තර විචාරකයකු ලෙස සහභාගී වූ 1996 දී ශ්‍රී  ලංකා කණ්ඩායමේ ලෝක කුසලාණයේ ජයග්‍රහනයට කැඳවාගෙන යාමට මහත් පිටිවහලක් වූ පුහුණුකරු වී  ඩේව වට්මොරේ මහතා පවසා සිටියේ "මේ(මහේල) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් දමනා ස්ථාවර තැන්පතුවක්(This is a Fixed Deposit of Sri Lankan Cricket In Future)" යන්නයි. ඒ කියමන ඇසු සැනින් මගේ මුවගට සිනහවක් පහල වුයේ මට වැරදුනත් වට්මොර් වැනි පුද්ගලයෙකුට වරදින්නට නොහැකි නිසායි. ඒත් මෙවැනි දේට ඇහුම්කන් නොදී පන්දුව යන දෙස පමණක් බලා සිටින මගේ කාර්යාලීය මිතුරන් අර  පුරුදු තැටියම වාදනය කරමින් මහේල කිසි වැදගැම්මකට නැති ක්‍රීඩකයෙකු බව   පවසන්නේ අඩුම ගණනේ එම ඉනිමේදී දක්වන ලද දක්ෂතාව ගැනවත් නොසිතායි. 

මහේල ගැන ඊළඟ හොඳ විචාරය ලැබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පැමිණ ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දුන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තරග තීරක වරයා වන රන්ජන් මඩුගල්ලේ මහතායි. බ්‍රයන් තෝමස් මහතා සමග සම්මුඛ සාකච්චාවකට සහභාගී වන මඩුගල්ලේ මහතා කියා සිටින්නේ "ඔහු තුල සැඟවුණු දක්ෂතා තිබෙනවා. ඔහුගේ අඩුපාඩුව තමයි දිගු ඉනිම වලට නොයෑම. ඔහුට තිබෙන ජීවමාන උදාහරණය සචින් තෙන්ඩුල්කාර්" (Mahela is a player who has great potential. But what he currently lacking is not playing big innings. The living example for him is Sachin Tendulkar).  මට මේ දේවල් කියූ ආකාරයටම මතක සිටින්නේ මා මහේලට දැඩි ලෙස ඇලුම් කරන රසිකයෙක් වන නිසා කියා ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් අනෙක් බොහෝ ක්‍රීඩකයන් මෙන්ම වෙනත් දේ සම්බන්ධව ලැබෙන මෙවැනි ප්‍රකාශ මගේ මතකයෙන් ගිලිහෙන්නේ නෑ. 

මින් ටික කාලයකට පස්සේ ඔස්ට්‍රේලියාවේදී මුරලි පන්දුව දමා ගසන චෝදනවා නිසා එවකට නායකයා වූ අර්ජුන රණතුංග තරගයේ විනිසුරු වූ රෝස් එමර්සන් සමග ආරවුලක් ඇති කර ගන්නවා. එම තරගය අවසාන ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ ලකුණු තුන්සිය ගණනක් පසුපස හඹා ගිහිං. එම තරගයේදී එවකට තරුණ ක්‍රීඩකයකු වූ මහේල ශතකයක් වාර්තා කර ගන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ කටින් පහර දෙන්න අර්ජුන තරම් ප්‍රවීණ නොවුනත්, එම අපවාදයට උඩගෙඩි දුන් එංගලන්ත කණ්ඩායමට අගන පිළිතුරක් පිත්තෙන් ලබා දෙමින්. 

එම කාලයේම ක්‍රිකට් තරගයට පෙර කෙරෙන සංවාදයකට ප්‍රවීණ විස්තර විචාරකයකු ලෙස සහබාගි වන හේමන්ත දේවප්‍රිය මහතා පවසන්නේ "මහේල ශරීරයෙන් ඉතා කුඩායි, ඒත් මානසිකව ඔහු තුල ඉන්නවා  යෝධයෙක් තරම් විශාල පුද්ගලයෙක්". මේ කියමන් වලින් මට පසක් වන්නේ මා ගත් තීරණය සහ මගේ මතය නිවැරදි බවයි.  

ඉන් අනතුරුව එන්නේ මහේලට ඉතා අවාසනාවන්ත තරගාවලියක් වූ, දකුණු අප්‍රිකාවේ පැවැත්වූ 2003 ලෝක කුසලාන තරගාවලියයි. එහිදී ඔහු ක්‍රීඩා කල ඉනිම හතකදී ලබා ගන්නේ ලකුණු 21 ක් පමණයි. ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඔහුට නිර්දය ලෙස පහර දෙනවා. එම වාර්තා කියව මගේ කාර්යාලීය මිතුරන් මගෙන් විමසන්නේ "දැන් නම් මහේලව හලන්න කාලේ හරි නේද ?" කියයි. මා ඊට දෙන පිළිතුර වන්නේ "තව මැච් 40-50ක් බින්දුව ගැහුවත් මහේල වගේ පිතිකරුවෙක් හොයා ගන්න බෑ. මහේල ටීම් එකේ ඉන්න ඕනේ. බලපන් මහේලව හලනවද කියල" මා කිව ආකාරයටම මහේල දිගටම කණ්ඩායමේ  රැදී ඉන්නවා. එවිට ඔවුන් තේරුම් කමිටුව විවේචනය කරනවා. මගේ ඒ කියමන පසු කාලයක මතක තබාගෙන පැවසුවේ ලෙහෙසියෙන් දෙයක් මතක තබා ගැනීමට නොහැකි පුද්ගලයෙක් ලෙස මුළු කාර්යාලේම ප්‍රසිද්ධ සුසන්ත. ඒ 2007 ලෝක කුසලාණයේ හොඳින්ම ලකුණු අතර සිටි ක්‍රීඩකය සහ කණ්ඩායමට නායකත්වය දුන්නේ මහේල වීම ගැන සාකච්චාවට බඳුන් වූ මොහොතේදී. 

මා සිතන ආකාරයටම සිතන තවත් අය සිටිය යුතුයි. එහෙත් කිසිම තැනකදී මට එවැනි කෙනෙක් මුණ ගැහුනේ නෑ. නමුත් මා කියවන ඉංග්‍රීසි බ්ලොග් එකක් වන Cricket Through the Eyes of an Irishman හී පල වී තිබු  The Kelani river of Sri Lankan Cricket !! by Nipunika Sandarenu කියවූ මා අමන්දානන්දයට පත් වන්නේ එම ලිපියෙන් කියා ඇත්තේ මා පවසන දේම වෙනත් ආකාරයකින් පැවසු දේශීය විස්තර විචාරකයකු පැවසු දෙයකි. අප කවුරුත් දන්නා පරිදි කැළණි ගඟ ශ්‍රී ලාංකික ජන ජීවිතයට කරන මෙහෙය අප්‍රමාණය. එහෙත් කැළණි නදියට දොස් මිස වර්ණනා ලැබෙන්නේ නෑ. බීමට ජලය පමණක් නොව විදුලි ජනනයට පවා දායකත්වය සපයනවා.  එහෙත් කැළණි ගඟට හොඳක් කියන කෙනෙක් දකින්න නෑ. ඒ වාගේම මහේල දක්ෂතා දක්වන විට පැසසුම් නාවත් මහේලට වැරදුන විට මාධ්‍ය ඔහුට එලව එලව පහර දෙයි. නිපුනිකාගේ ලිපිය අප කියවන්නට පෙර අයිරිෂ් ජාතික බ්ලොග්කරුවා කියවා එය ඔහුගේ බ්ලොග් අඩවියට එක කරන්නේ මහේල යනු මාහැඟි වස්තුවක් බව ඔහු දන්නා නිසායි. මොනවා වුනත් පසුව සොයාගෙන යාමේදී නිපුනිකාද බ්ලොග් එකක් ලියන බව සොයා ගන්න ලැබුනා. 

කතාවේ වැදගත් තැනට එන්නේ දැන්. අපිත් එක්ක මේ බ්ලොග් කට්ටක් අටෝගෙන ඉන්න සුදිකය කොහොමද මහේලත් එක්ක එක බංකුවේ වාඩි වෙලා මැච් බලන්නේ ? මේක මු දැකපු හීනයක් වෙන්න ඕනේ. මුත් ක්‍රිකට් ගහන එක ඇත්ත තමයි. ඒත් මහේල එක්ක එකට වාඩි වෙන්න. වැඩ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නම් ඔන්න කමක් නෑ. මහජන බැංකුවේ වැඩ කරන එකාට මහේල එක්ක වාඩි වෙන්න චාන්ස් එක වදින්න විදියක් නෑනේ. ඒකත් එකටම මොනවා හරි තරගයකින් දිනාපු එකක්ද දැන්නෑ? හරි මාතෘකාව දැකපු ඕනෑම කෙනෙකුට (මාව දන්න) මේ වගේ අදහස් ගොන්නක් ගාලගෙන ආවා නම එක ස්වාභාවිකයි. එහෙම නොවුනානම් තමයි වැරදි. 

හැබැයි මේකත් එක්තරා විදියක චාන්ස් එකක් තමයි. ඔයාල දන්නවනේ මම වැඩ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් අංශයක කියල. පහුගිය සටහන් දෙක කියෙව්වනම් ඒක වැටහෙනවා. හොඳයි, අපි වැඩ කරන්නේ VISA ත් එක්කනේ. ඔන්න 2010 පාපන්දු ලෝක කුසලානයට VISA එකෙන් ලොකු ප්‍රමෝෂන් එකක් කරා හිල්ටන් හෝටලයත් එක්ක එකතු වෙලා. හේතුව තමයි දකුණු අප්‍රිකාවේ දහවල් කාලයේ පැවැත්වෙන තරග නරඹන්න  ලෝකයේ හොඳම කාලය, ඒ කියන්නේ රාත්‍රී 8.00 ට පමණ තියෙන්නේ අපි ඉන්න කලාපයේ වීම.  ඒ පාපන්දු තරඟ අර විශාල තිරයක පෙන්වන. එතන VISA gold කාඩ් හිමියන්ට ඇතුලත් වීමේ ටිකට් ඒක 25%ක ඩිස්කවුන්ට් එකකට ලබා දෙනවා. ඒ කියන්නේ රුපියල් 1000ක් වෙන ටිකට් ඒක රුපියල් 750ට ලබා දෙනවා. ඒ විතරක්ද ඇතුළේදී ඒ රුපියල් දාහෙම කෑම බීම මිලදී ගන්න පුළුවන්. මම ක්‍රිකට් වලට වගේම පාපන්දු වලටත් ඒක වගේම ඇල්මක් දක්වන නිසාත් මුල සිටම ස්පාඤ්ඤ කණ්ඩායමට සහයෝගය දක්වපු නිසාත්, දවස් දෙකක්ම මෙතන තරග බලන්න මම ගියා. දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු මේ පාපන්දු ලෝක කුසලානය පෙන්වන iL Ponte කියන හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකාංගණය තිබෙන මනරම් ප්‍රදේශයම දකුණු අප්‍රිකානු සිරි ගන්නා ආකාරයට සරසා තිබුනා. ඒ විතරක්ද දකුණු අප්‍රිකානු ජෑස් සංගීත කණ්ඩායමක් එහි ගෙන්වා තිබුනා. එම සංගීත කණ්ඩායමේ සිටි කළු තරුණියත් සමග කුළුපග වෙන්න මට අවස්තාවක් උදා වුනා. ඒ ගැන වෙනම පොස්ට් එකකින් විස්තර කරන්නම්. අර වුවුසෙලාස් කියන නලාත් බොහෝ දෙනෙක්ගේ අත් වල තිබුණා.  දැන් කිසිදු තරග බිමකට වුවුසෙලාස් රැගෙන යන්න තහනම් කරලා. ඒ වගේම විවිධ කණ්ඩායම් වල ටී ෂර්ට් විකුණන ස්ටෝල් එකකකුත් තිබුනා.
වුවුසේලාස් : www.wikipedia.org
ඒ ජූලි මාසේ තුන් වෙනිදා, මම වැඩට එන ගමන් තව ඇඳුමක් දාගෙන ආවා. මටත් ගෝල්ඩ් කාඩ් එක ලැබුනා විතරයි. අපේ ඔෆිස් එකේ ඉඳල හිල්ටන් එකට තියෙන්නේ පයින් යන දුර. හිල්ටන් එක කිව්වට iL Ponte කියන හිල්ටන් එකෙන්ම කරගෙන යන ඉතාලි ආපන ශාලාව. මීට කලින් මම එක වතාවක් මිතුරෙක් සමග ගොස් තිබුනා. ඊට අමතරව ඉතිං ලොන්ඩරියට තමයි. ඒකත් තියෙන්නේ එතනම. හවස ඇඳුම් මාරු කරගෙන මමත් චන්ඩියා වගේ ගියා ගිහින් ඇදලා ගත්ත ගෝල්ඩ් කාඩ් එක. කෙලින්ම දුන්නා. එයාලට මම ප්‍රමෝෂන් එක ගැන විස්තර කියන්න යද්දී එයාල දන්නවා. කෙලින්ම 750ක් ස්වයිප් කරලා කාඩ් එකයි රිසිට් එකයි පෑනයි දුන්න අත්සනට. මම ගියා ඇතුලට. හොඳටම තිරය දිස් වෙන තැනක් ඉදිරිපස පේලියේ බංකුවක වාඩි වුනා. කාටවත් කරදරයක් නෑ. මගේ ටිකට් එකට ලැබුන ටෝකන් වලින් ඔරේන්ජ් ජුස් එකක් ගෙන්වාගෙන මම තිරය දෙසට ඇස් යොමු කළා. මුල් තරගය ආර්ජෙන්ටිනාව සහ ජර්මනිය අතර. පටන් ගන්න තව වෙලා තියෙන නිසා ශ්‍රී ලාංකික නිවේදකයා ප්‍රශ්න අහන තරගයක් පටන් ගත්තා. මම මේවට හිත යොමාගෙන හිටියේ.  මගේ ලඟට ආව එක්තර වේටර් වරයෙක් "සර් දිස් ඉස් එ බූක්ඩ් ටේබල්. කැන් යූ ප්ලීස් මූව්  සම්වෙයාර් එල්ස් ?" කියල කිව්වා. මම කල්පනා කලේ වෙන් කරපු මේසයක් නම් ඇයි මට විතරක් යන්න කියන්නේ. තවත් අය වාඩි වෙලා ඉන්නේ. ඒ ගමන්ම මම මගේ ළඟ  ඉන්න කෙනා කවුද බලන ඔලුව දකුණු පැත්තට හැරෙව්වා 

මේක තමයි ටිකට් එක.

මහේල ........ ඔව් .... ඒ ඉන්නේ මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකය මහේල. ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනාත් එක්ක. මගේ ඔලුව නිකන් තෝන්තු වෙලා ගියා. මම මහේලගේ මුණ දිහා බලල හිනා වුනා. ඔහුත් පෙරලා සිනහවකින් සංග්‍රහ කළා. මම පිටිපස්සේ ආසනයට යද්දී ඔහු මා දෙස බලා හිස ඇල කර මද සිනහවක් පෑවා. ඔහුට තේරුනා මට සිදු වෙච්ච අපහසුතාවය. ඔහු මාත් සමග හිස ඇල කර මද සිනා පෑවේ "අනේ සොරි අයියේ" කියන පෙනුමකින්. නමුත් ඔහු එසේ කරන්න මේ සුදීකය කවුද? ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයා,  හිටපු නායකයා.  කතා කරන්න බොහොමයක් දේ තිබුනත්, ඔහුගේ පුද්ගලිකත්වයට හානි කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. අවුරුද්දේ වැඩි කාලයක් ගිනි අව්වේ වේලිලා-වේලිලා ඉන්න කෙනෙකුට තමන්ගේ බිරිඳත් එක්ක නිවිහැනහිල්ලේ ඉන්න ටික මැද්දට පැනල ඇණයක් වෙන්න කොහෙත්ම උවමනාවක් තිබුනේ නෑ. එහෙම හිතලා ඔහුත් එක්ක ටිකක් කතා කරන්න මගේ හිතට ආපු ආසාව අපහසුවෙන් මැඩ ගත්තා. ඔවුන් එතනට ඇවිත් තිබුනේ  ආජෙන්ටිනා මිතුරු පිරිසක් සමග. ඔබ පිලිගන්නවද එම තරගාවලිය තුල තරග තිබෙන හැම දවසකටම අදාළ රටේ කිහිප දෙනෙක් මෙතනට එකතු වුනා කිව්වහම. මාධ්‍ය වේදීන්ගෙන් ගැලවිලා, රසිකයන්ගෙන් ගැලවිලි මෙහෙම නිවී හැනහිල්ලේ ඉන්න මහේලලා වගේ අයට හම්බවෙන්නේ බොහොම පුංචි අවස්ථාවක් විතරයි.  ඔහු දන්නවානම් මේ ඉන්නේ ඔහුගේ හොඳ රසිකයෙක් බව ? ටික වෙලාවකට පස්සේ කවුදෝ ටී-ෂර්ට් එකකට අත්සනක් ගන්න මහේල ගාවට ආවා. ඒ අවසරෙන් මගේ පොකට්ටුවෙන් මගේ කාඩ් එකක් ගෙන අනිත් පස මම ඔහුගේ අත්සනක් ගත්තා සිහිවටනයක් ලෙස. මම ඊට කලින් කිසිම කෙනෙක්ගේ සමරු අත්සන් අරගෙන නෑ. ඔවුන් ආර්ජන්‍ටිනාවට සහය දැක්වුවත් ජර්මන් කණ්ඩායම එම තරගය ජයගත්තා. ඉන් පසුව තමයි මා නරඹන්න බලාපොරොත්තුවෙන් සිටි ස්පඥ්ඥය සහ පැරගුවේ අතර තරගය.  මම දැක්කා මහේල යුවලත් එක්ක රසික රසිකාවියෝ එකට හිඳිමින් චායාරුප ගන්නවා. මට එහෙම කරන්න හිතුනත් මා වෙනුවෙන් මගේ දුරකථනයෙන් ක්ලික් කරන්න මේ වගේ තැනකට එන කෙනෙක් ඉදිරිපත් වෙයි කියල හිතන්න අමාරු නිසා, ඒ අසාවත් මැඩ ගත්තා. 
මේ තියෙන්නේ මම අර ගත්ත අත්සන.

මෙතනදී මම ඇත්තටම තේරුම ගත්තා ඔහු පඬියෙකු නොව නිහතමානී කමේ ප්‍රතිමුර්තියක් කියලා. සමහර මේ වගේ තරු මට්ටමේ අය පොළොවට උඩින් තමයි ඉන්නේ. සාමාන්‍ය මිනිසුන්ගේ ඉදිරියේ ඔවුන්ගේ මුවගට සිනහ එන්නේ නෑ. 

මේ දවස් වල ඔහුගේ නිහතමානීත්වයට පින් සිදු වන්නට, කැලේ පිපී කැලේම පර වන්නට ඉඩ තිබුණු දක්ෂතා පිරි පන්දු යවන්නෙක් කරලියට ගෙන එන්න සමත් වුනා විතරක් නොවෙයි, ඔහුට වැඩිමහලු සහෝදරයෙක් වෙමින් උපකාර කරන්නේ සමහරවිට ඔහුගේ මිය ගිය සොහුරා දිශාල් ගැන සිහි වී වන්නට පුළුවන්. ඒ ක්‍රීඩකයා අකිල ධනංජය. අපිට ඔහු ගැන ඉදිරියට හොඳ පුවත් අහන්න ලැබෙයි කියන එක තමයි මගේ විශ්වාසය. 

මම අකිල ගැන ලියපු පොස්ට් එකට මෙතනින් යන්න --->

අවසානයේදී මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා

"කෙනෙකු, ඔහුගේ හෝ ඇයගේ මුහුණින් විනිශ්චය නොකරන්න" කියා.

ලියා අවසන් කලේ 2012.10.08 හවස 5.46ට. 

Saturday, October 6, 2012

ක්‍රෙඩිට් කාඩ් පත තෝරා ගැනීම සහ පොලී අය කිරීමේ


මගේ පහුගිය පොස්ට් එකෙන් (ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීමට ප්‍රථම ..) විස්තර කළා ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන ප්‍රමුඛ කාඩ් මධ්‍යස්ථාන වල ගාස්තු අය කිරීම ගැන. ඒ ගැන අදහස් පල කරපු ඊ-මේල් කවිකාරි අක්කගේ (මම සාමාන්‍යයෙන් අක්කා අයියා වචන දාල කථා කරන්න කැමති කෙනෙක් නොවුනත් සයිබර් සිහින උළෙලේදී ඇය මුණ ගැසුණු නිසා මට නිකමට අක්ක කියවෙනවා)  අදහසට අනුව ඇය පාවිච්චි කරන HSBC Advance  කාඩ් පත් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැතිලු. ලු නෙවෙයි නෑ. නමුත් අය පාවිච්චි කරන ක්‍රමයට මේ කාඩ් වර්ග සියල්ල ඇගේ අතට දුන්නත් කිසි ගැටළුවක් වෙන්නෑ. මොකද ඇය පොලී රහිත සහන කාලය  අවසන් වෙන්න කලින් ආපසු ගෙවන නිසා. ඇය මේ විදියට කිව්වත් හැමෝටම ඒ ක්‍රමය අනුගමනය කරන්නපුළුවන් කමක් නෑ. ඒ නිසා ඔය කියන ගාස්තු ගැන සැලකිලිමත් වෙන්න වෙනවාමයි. 

මොකක්ද මේ පොලී රහිත සහන කාල සීමාව(Grace Period) ? හිතන්න ඔබ කාඩ් පතේ හිඟ මුදල 0.00 තිබෙන විට ඔබ රුපියල් 7500.00 ක මිලදී ගැනීමක් කරනවා කියල, ඒ වගේම ඔබේ මාසික වාර්තාව පිලියෙල් වන්නේ සෑම මසකම විසි වෙනිදා කියලත් උපකල්පනය කරමු. අර කියපු මිලදී ගැනීම ඔබ සිදු කලේ මාසේ පස්වෙනිදා කියලා ගත්තොත්, මේ විසි වෙනිදා ඔබගේ මාසික වාර්තාවේ එන ශේෂය වන්නේ 7500.00 ඒ වගේම ගෙවිය යුතු අවම මුදල, අවම මුදල හෝ මුළු මුදල ගෙවිය යුත්ත්තේ කෙදිනට ප්‍රථමද ?(Due Date) යන්නත් සඳහන් වෙනවා. හිතන්න ඔබට විසි වෙනිදා හැදෙන මාසික වාර්තාව විසි පස් වෙනිදා ලැබුනා කියල, එහි සඳහන් ගෙවිය යුතු දිනය 31 කියල හිතුවොත් මෙහි සහන කාලය දින 21ක් වෙනවා(05 සිට 20 දක්වා). ඔය කාල සීමාව ඇතුලත් ගෙව්වොත් ඊළඟ මාසයේදී කිසිදු පොලියක් ගෙවීමට සිදු වන්නේ නෑ. මේකෙදි උපරිම සහ අවම සහන කාලය කියල දෙකක් තියෙනව. අවම සහන කාලය අදාළ වෙන්නේ ඔබ විසි වෙනිදා මිලදී ගත භාණ්ඩ වලට. ඒ වගේම උපරිම සහන කාලය ලැබෙන්නේ 21 වෙනිදා කරපු මිලදී ගැනීම් වලට. එවැනි ගණුදෙනු ඊළඟ මාසයේ මුද්‍රණය වන මාසික වාර්තාවට තමා ඇතුලත් වන්නේ. ඒ නිසා උපරිම සහන කාලය වන්නේ මෙන්න මේ දින වල ගත් ඒවා. එදා වගුවේ මෙන්න මේ සහන කාලය ඇතුලත් නොකළේ හිතාමතාමයි. අද මේ විස්තරයත් සමග එක් කරන බලාපොරොත්තුවෙන්. එහෙමනම් කාඩ් පතක් ගැනීමේදී ඔබ මෙන්න මේ සහන කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ බැංකුවේ උපරිම සහන කාලය දින 51ක් අවම දින 21ක්. ඔබට කාඩ් පතක තෝරා ගැනීමේදී ඉහල ලකුණු ප්‍රමාණයක් මේ කාරණයට එක් කරන්න. අදාල ආයතනයෙන් මේ ගැන විමසා සිටින්න.

නමුත් ඉහත ඇයගේ රෙකමදාරුව හොඳයි ඒ ආකාරයට කාඩ් පත පාවිචිචි කරන කෙනෙකුට. කාඩ් පතක් තෝරා ගැනීමේදී මෙන්න මේ ගාස්තු පමණක් සැලකිල්ලට ගෙන තෝරා ගැනීම කරන්න බෑ. හොඳයි ලංකාවේ හැමෝටම ඇයගේ මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න බෑ. මමවත් ඒ ක්‍රමය කරන්නේ නෑ. යම් ශේෂයක් ඉතුරු කරන්න බොහෝ දෙනාට සිදු වෙනවා මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක. මම බලල තියෙන දෙයක් තමයි මුලින්ම කාඩ් පතක් ගත්තු ඇය මුල් මාස කිහිපයෙදේ ගිණුම් වාර්තාවේ සඳහන් අය වියයුතු මුළු මුදලම ගෙවා දමනවා. පස්සේ පස්සේ යම් මුදලක් නොගෙවා ඉදිරියට යනවා. ඔන්න ඔය කොටසට තමයි පොලිය අය කරන්නේ. මේවායේදී එක් එක් කාඩ් මධ්‍යස්ථානය වෙනස් ආකාරයකින් පොලිය අය කරනවා. මම දන්නා විදියට වඩාත්ම නරක ක්‍රමය(ගනුදෙනුකරුවට) අනුගමනය කරන්නේ HSBC කාඩ් වලට. ඔවුන් පොලිය අය කරන්නේ එක් එක් අයිතමයට(Itemised Interest).  

මේ ගැන අපිට අනාවරණය කර ගන්න ලැබුනේ මගේ මිතුරෙක් කල ලිඛිත ඉල්ලීම මත ඔවුන් පොලිය ගණනය කල ආකාරය දක්වා එවන ලද ලියවිල්ලකින්. හිතන්න ඔබේ කාඩ්පතේ හිඟ ශේෂය 21213.50යි කියල. මේකේ අඩංගු පොලිය වෙන් කලොත් අනිත් කොටස ගාස්තු සහ මිලදී ගැනීම්. හිතන්න ඔබ පහුගිය කාලයේ කරන ලද ගෙවීම් වලින් 2009 දී කල ගනුදෙන්වක රුපියල් පහක් පියවී නෑ කියා. ඔවුන් අර රුපියල් පහට එදින සිට අද දක්වා පොලිය හදනවා. මෙහි සඳහන් කරන්න ඕන අනිත් කාරණය තමයි ඔබේ ගෙවීම් වලින් මුලින්ම අඩු කරන්නේ මුදල් අත්තිකාරම් ලබා ගත ඒවා තිබෙනවානම් එම ගණුදෙනු මුදල. හිතන්න මේ 21213.50ත ඔබ රුපියල් පන්දහසක් ගෙවනවා කියල, ඔබ පහුගිය මාසේ රුපියල් 3500.00 ක මුදල් අත්තිකාරමක් ලබා ගත්තේ නම්, අර පන්දාහෙන් තුන්දහස් පන්සීයක් අය කර ගන්නවා. බොහෝ කාඩ් මධ්‍යස්ථාන මුදල් අත්තිකාරම ලබා ගත දිනයේ සිට පොලිය අය කරනවා. දැන් ඉතිරි වන රුපියල් 1500.00 න් ඊළඟට අය කරන්නේ පොලිය. මෙහි පොලිය රුපිය 1285.00 ක් වුනොත්  රුපියල් 215.00ක් තමයි ඔබ ලබා ගත ණය මුදලින් අඩු වෙන්නේ. එම රුපියල් 215.00 අඩු කරන්නේ ඔබ කල පැරණිම ගනුදෙනුවෙන්. හොඳයි එයින් ඉතිරි මුදල 240.00ක් නම්, තවත් රුපිය 25.00 ක් ඉහත ගනුදෙනුවෙන්  ඉතිරි වනවා ඊළඟ මාසයට.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව පොලිය අය කරන්නේ මෙහෙමයි. මුලින්ම පසුගිය මාසික වාර්තාවේ ඇති ශේෂයට ගනුදෙනුකරුවා මුදල් ගෙවන දිනය දක්වා පොලී හදනවා. ගිය මාසයේ හිඟ මුදල 15252.13 ක යයි ගත්තොත්, ඔබගේ මාසික වාර්තා දිනය 15 යයි ගතහොත්. මේ හිඟ මුදලේ සිට ඊළඟ ගනුදෙනුව දක්වා නොවෙනස්ව පවතී ශේෂයට මුලින්ම පොලිය හදනවා. ඉන් පස්සේ කරන මිලදී ගැනීම හෝ මුදල් ගෙව්විම එකතු/අඩු කර ඉන්පසුව කරන ගනුදෙනුව දක්වා පොලිය ගණනය කරනවා.  මේ ආකාරයට ගිණුමේ ශේෂය වෙනස් වන හැම දිනක සිටම එම ශේෂය පවත්වාගෙන ඈ දින ගන්නට පොලිය සාදා අවසන් ඉලක්කම ගණනය කරනවා. මම හිතන විදියට මේ ක්‍රමය තමා හොඳයි. මොකද මේ මගින් ගණුදෙනු කරුවට අඩු ශේෂය පවතී දින වලට අඩු පොලියකුත්, වැඩි ශේෂය පවත්වාගෙන ගිය දින ගන්නට එම මුදලට අදාළ වන පොලියත් අය වීම නිසා. 

මහජන බැංකුව පොලී අය කරන්නේ මාසික වාර්තා දිනයට ඇති ශේෂයට. මෙහෙම වුනහම බැංකුවට ලැබෙන පොලී ආදායම ඉතා අඩු වනවා. අපේ කවි කාරිගේ වර්ගයේ අය මුදල් ගෙවා ශේෂය බින්දුව කලවිට පොලියද බින්දුවක් වනවා. එහෙත් මාසයේ මිලියන් ගණනක් බැංකුවේ මුදල් පාවිච්චි කර අර දිනට කලින් මුදල් ගෙව්වොත් ලැබෙන පොලියක් නෑ. නමුත් අර ගනුදෙනුකරුවා බැංකුවේ මුදල් අවම වශයෙන් දින 15 ක් වත් නොමිලයේම භාවිත කරනවා. 

ඉහතින් විස්තර කලේ තෝරාගත් බැංකු කිහිපයක පොලී අය කරන ක්‍රමය පමණයි. නමත් මෙම කාඩ් තුනෙන් බින්දුව ශේෂයේ තියල එකම ප්‍රමාණයක ගණුදෙනු කියපයක් කළහොත් වැඩිම පොලිය HSBC  වලිනුත්, අඩුම පොලිය මහජන බැංකුවෙනුත්  ගණනය වන ආකාරය ඔබට නීරීක්ෂණය කල හැක. එහෙත් SCB පොලිය ඉහත බැංකු දෙකට ලැබෙන පොලියට අතර ප්‍රමාණයක් වනු ඇත. ඒ අනුව ගනුදෙනුකරු සහ බැංකුවේ යන දෙකටම සාධාරණ ක්‍රමය මෙය බව වැටහෙනවා ඇත. 

මීළඟ ලිපියෙන් : එක් එක් ආයතන ලබා දෙන පහසුකම් සලකා බලමු. ඔබට ගැලපෙන කාඩ්පත තෝරා ගැනීමට ඔබ එය ලබාගෙන කරන්න යන ක්‍රියාව කුමක්දැයි වැදගත් වනු ඇත. හොඳයි කාඩ්පත ලබාගෙන නිකන්ම එය තබා ගන්නා කෙනෙකුට වඩා හොඳ ක්‍රමය ඉතාම අඩු ගාස්තු අය කරන ආයතනයේ කාඩ් පත ලබා ගැනීමයි. මන්ද ඔබ ගණුදෙනු කලත් නොකලත් වාර්ෂික ගාස්තු ගෙවීමට සිදු වන නිසයි. 

ප:ලි: පොස්ට් කරන වෙලාව අලුයම 2.10.
පින්තුරය ගත්තේ : creditcards.com

Wednesday, October 3, 2012

ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීමට ප්‍රථම ....

අද මම හිතුව විශේෂ මාතෘකාවක් ඔස්සේ තොරතුරැ ටිකක් ඉදිරිපත් කරන්න. මේ වනවිට ඔබ අතේ ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක්ම තිබෙන්න පුළුවන්. සමහරවිට ඔබ අලුතෙන් කාඩ් පතක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මට හිතුන ඔබට කාඩ් පතක් තිබුනත් නැතත් පහලින් තියෙන ලංකාවේ තිබෙන ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ් පත් සමාගම් වල ගාස්තු පිලිබඳ සංසන්දනයක් ඉදිරිපත් කරන්න. ඔබ මේ වන විටත් දන්නවා ඇති මම මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන බව. මොනවා උනත් මේ ගාස්තු වල සංසන්දනයක් පමණයි. ක්‍රෙඩිට් කාඩ් පතක් ගන්නට පෙර ඔබ සැලකිය යුතු තව කරුණු බොහොමයක් තිබෙනවා. ඔබගේ පහසුව සඳහා එක් එක් ආයතන වල ගාස්තු මෙසේ වගුවග් ලෙසේ පිළියෙළ කළා(හරිම අමාරුවෙන්). එහෙනං බලා ගන්න



වගුව මත ක්ලික් කිරීමෙන් සම්පුර්ණ වගුව බලා ගන්න පුළුවන්

ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් පතක් තෝරා ගන්න එම ආයතනය අය කරන ගාස්තු පමණක් මදි. ඔවුන් ලබා දෙන ගනුදෙනුකාර සේවයේ කාර්යක්ෂමතාව. ඔබ ගැටලුවකට මුහුණ දුන් විට ඔවුන් ක්‍රියා කරන ආකාරය. ඔවුන් ලබා දෙන පහසුකම්. අස්තානගත වූ විට, සොරා ගත් පසු සිදු වන දේ වගේ කාරණා ගොඩක් සලකා බලන්න වෙනවා. මෙන්න මේ කාඩ් පත හොඳයි කියා මා පවසන්නේ නෑ. නමුත් ඔබ ලබා ගත යුත්තේ කුමන කාඩ් පත දැයි ඔබටම තීරණය කිරීමට හැකි වන අයුරින් තොරතුරැ ඉදිරිපත් කරන්නම්. 

ඉදිරියේදී ලිපි කිහිපයකින් ක්‍රෙඩිට් කාඩ් ගැන ඔබ දත යුතු බොහෝ දේ ගැන මා දන්නා දේ අකුරු කරන්නම්. 

තොරතුරු මුලාශ


පබ්ලිෂ් කරන වෙලාව රාත්‍රී 1.05යි.




ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) ( 9 ) pinth ( 1 ) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) ( 13 ) අතීතකාමය (Nostalgia) ( 5 ) අනතුරු (Accidents) ( 1 ) අමතක වන්නට පෙර(Before Forget it ( 7 ) අවන්හල් (Restaurants) ( 4 ) ඇතුල් පැත්ත ( Inside Story ) ( 1 ) ඉවුම්-පිහුම්(Cooking) ( 1 ) එළුපැටියාගේ කතා (Baby Goat Stories) ( 1 ) ඔබේම දෑතින් (Doo it yourself) ( 6 ) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) ( 4 ) කාළීන(Current Issues) ( 65 ) කුතුහලය(Curiosity) ( 70 ) කෙටි කතා (Short Stories) ( 1 ) ක්‍රිකට් (Cricket) ( 8 ) ක්‍රිකට්(Cricket) ( 32 ) ක්‍රීඩා(Sports) ( 19 ) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) ( 8 ) ගණිත ගැටළු (Mathematical Problems) ( 4 ) ගමේ චරිත(My Villagers) ( 11 ) ගැටළු (Competitions) ( 2 ) ගීත ( Songs ) ( 2 ) ගෘහස්ථ කාරණා (Household Matters) ( 2 ) චිත්‍රපට(Movies) ( 3 ) ජීවන අත්දැකීම් ( Life Experience) ( 45 ) තාක්ෂණය(Technology) ( 18 ) දැකීම ( Observations ) ( 1 ) දැනුම(knowledge) ( 58 ) දේශපාළණ(Political) ( 14 ) නින්ද (Sleep) ( 2 ) නුවර එලිය ( Nuwara Eliya ) ( 1 ) පරිවර්තන (Translations) ( 32 ) පර්යේෂණ(Research) ( 16 ) පාපන්දු(Football) ( 14 ) පිටසක්වල ( Extra Terrestrial ) ( 1 ) පොත් (Books) ( 3 ) ප්‍රථමාධාර(First Aid) ( 1 ) බෙන්තොට (Bentota) ( 2 ) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) ( 3 ) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) ( 1 ) මං සලකුණු ( Milestones ) ( 7 ) මගේ දුව(My Daughter) ( 11 ) මගේ පියා (My Father) ( 2 ) මගෝඩි වැඩ (Humours) ( 4 ) මට හමු වූ අමුතු චරිත Rediculous people I met ( 3 ) මට හමු වූ මිනිසුන් ( People I met ) ( 6 ) මහජන බැංකුව (People's Bank) ( 5 ) මා ලියු කවි ( My Poems ) ( 1 ) මොබයිල්(Mobile) ( 3 ) යෝජනා (Proposal) ( 1 ) රිවරිනා හෝටල් (Riverina Hotel) ( 3 ) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) ( 1 ) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) ( 11 ) ලොල් කතා(Funny Stories) ( 55 ) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) ( 1 ) විනෝදාත්මක(Entertainment) ( 115 ) විවේචන(Critics) ( 56 ) ව්‍යායාම(Excercises) ( 3 ) සංචාරක(Travel) ( 24 ) සාකච්චා(Interview) ( 8 ) සුදීක(Sudeeka) ( 94 ) සෞඛ්‍යය( Health ) ( 2 ) හැඟුම්බර(Emotional) ( 43 ) හිරුආරක්ෂණ(Sun Protection) ( 2 ) ෆේස්බුක් (facebook) ( 1 )

මේවත් කියවා බලන්න

Related Posts Plugin for WordPress, Blogger...