Wednesday, August 29, 2012

බ්ලොග් පොස්ට් දැමීමේ නිවැරදි වේගය (Frequency ) කුමක්ද ?

2012 ජනවාරි මාසේ පළවෙනිදා මේ ලෝකේ හය හතරක් දැන්නැතිව බ්ලොග් ලෝකෙට කඩා පාත් වෙච්ච් මම, මාස අටක් ගත වෙද්දී බොහෝ දේවල් ඉගෙන ගනිමින්, වැරදි නිවැරදි කර ගනිමින්, මේ වෙනකොට පොස්ට් 80ක් විතර ලියල තියෙනවා. මුලින් මුලින් මගේ බ්ලොග් එක බලන අය මගේ මිතුරන්ට සීමා වුනත් අද වෙනකොට විවිධ සින්ඩිකේටර් හරහා බොහෝ දෙනෙක් කියවන තත්වයකට පත් වෙලා තිබෙනවා.  මේ වෙද්දී මම මාසෙකට පොස්ට් 10ක් වගේ ප්‍රමාණයක් පොස්ට් කරන මට්ටමක් පවත්වාගෙන ආවා. මේ කාල සීමාවේදි මට පෙනුන දෙයක් තමයි සමහර පොස්ට් ලියල දින පහක් හයක් යනකම් කියවන අය පැමිණෙනවා,  ඒත් සමහර පොස්ට් දාලා දවස් දෙකක් වත් යනකම් පිවිසෙන්නන් අඛණ්ඩව නොඑන බව . එතකොට ඉතිං නිකංම තව පොස්ට් එකක් ලියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.  මම මේ කරන්න යන්නේ සහ-සහභාගීත්ව ප්‍රයේෂණයක්  (Interactive Research) එකක්. මේක මට විතරක් වැදගත් වෙන දෙයක් නොවේ. ඇත්තටම මේ මොනවා කිව්වත් අපි පොස්ට් දන්නේ අපිට ඒ සඳහා ලැබෙන ඉඩකඩ අනුව. මම මෙතැනදී ඔබගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා. මෙතන ඉන්නවා පොස්ට් 500 ට වඩා දාපු ප්‍රවීනයන්, ඒ වගේම මම වගේ ආධුනිකයන්.  ආධුනික අයට තමයි මේ දේ වඩාත් වැදගත් වෙන්නේ. මගේ මෙතන බලාපොරොත්තුව මා ලියනා දේ සිංහලෙන් කියවන හැම කෙනාටම කියවන්න සැලැස්වීම.

මට තේරෙන විදියට මේකට බලපාන කාරනයක් තමයි වැඩිම පිවිසෙන්නන් ප්‍රමාණයක් යොදා ගන්නා සින්ඩිකේටර්. අද වෙනකොට මම දන්නා විදියට සින්ඩිකේටර් පහළොවක් වගේ තියෙනවා. මින් වැඩි හරිය ෆේස්බුක් සින්ඩිකේටර්. මගේ බ්ලොග් එකට වැඩියෙන්ම පිවිසෙන්නන් එන්නේ "සිංහල බ්ලොග් කියවනය", පලවෙනි පිටුවෙහි තිබෙන තාක් පිවිසෙන්නන් අපේ බ්ලොග් එක වෙත පැමිණෙනවා. දෙවෙනි පිටුවෙන් හෝ ඉන් එහා ගිහින් එන්නේ ඉතා කලාතුරකින්. අපිට පුළුවන් නම් මේක යම් ස්ථායි තත්වයක පවත්වා ගන්න හැම දෙනාම ලියන දෙයට සමාන අවස්ථාවක් ලැබෙනවා. මට තේරෙන විදියට නම් අපි ලියන ප්‍රමාණය වැඩියි. පැමිණෙන්නන් පත්තරයකින් ලිපි තෝරාගෙන කියවනවා වගේ තමයි කියවන්නේ.  එහි වරදක් නෑ, තමන්ගේ රුචිකත්වය අනුව තමයි ලිපි තෝරා ගන්නේ. ඒත් සින්ඩිකේටර් වලට අමතර ජනප්‍රිය බ්ලොග් වල බ්ලොග් රෝල මගින්, අපගේ බ්ලොග් එක ෆලෝ කරන්නන් සහ සෙවුම් යන්ත්‍ර හරහාද පැමිණීම සිදු වනවා. සමහර අය කණ්ඩායම් වශයෙන් නිතරම යන බ්ලොග් තියෙනවා. ඇත්තටම මටත් ඒ වගේ බ්ලොග් තියෙනවා. මොනවා ලිව්වත් ගිහින් බලලා කමෙන්ට් කරන. හිතට වැදුනාම තමයි එහෙම වෙන්නේ. 

ඔබ ලියන මාතෘකාවත් එයට සෑහෙන දුරට හේතු කාරණයක් වනවා. බොහෝ දෙනෙක් මාතෘකාව පදනම් කරගෙන පිවිසෙන්නන් ආකර්ෂණය කර ගන්නවා. එහි වරදක් නෑ. එහෙත් සමහර ඒවා ගැනනම් එතරම් පැහැදීමක් නෑ. රටේ ජනප්‍රිය මාතෘකාවක් ඔබගේ පොස්ට් එකට දැම්මොත් බලන ප්‍රමාණය වැඩි වෙනවා. එයට සාපේක්ෂව කමෙන්ට් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ ප්‍රතිචාර මගින් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. සමහරවිට ලිපියේ අන්තර්ගතයට වඩා වැඩි දෙයක් කමෙන්ට් වලින් ගන්න පුළුවන්. ඒ වගේම එන අය අහන ප්‍රශ්ණ වලින් ඔබට අමතක වූ යම් තැනක් මතකයට නැගෙන්නත් පුළුවන්. 

හැබැයි ලිංගිත්වය ගැන තිබෙන ලිපි ගැන මම දරන්නේ නිහඩ ප්‍රතිපත්තියක්. ඒවා තියෙන්න අවශ්‍යද නැද්ද කියන එකට මට තාම පිළිතුරක් නෑ. නමුත් අපි දෙයක් ලියද්දී යම් වගකීමකින් ලියන්න අවශ්‍යයි කියන එකයි මගේ මතය. ලියා ඉතා ජනප්‍රිය විය හැකි බොහෝ දේ තිබුණත්, මෙහි පිවිසෙන්නන්ට හරවත් යමක් දීම තමයි මගේ වගකීම ලෙස මා විශ්වාස කරන්නේ. කොටින්ම මගේ දෙමාපිය, ගුරුවර වගේම සහෝදර සහෝදරියන්ට වුවත් කියවන්න හැකි. කියවීමෙන් පසු මට ඔවුන්ට මුහුණදිය හැකි දේ තමයි මා ලියන්න වග බලාගන්නේ. ඉතිං කෙනෙකුට හිතෙන්න පුලුව "උඹට ඔන්නම් උඹ ඔය විදිහට ලියපං, අපිට ඕන දේ අපි ලියවනවා" කියල. සහතික ඇත්ත. ඔබේ බ්ලොග් එකේ ඔබ ලියන්න ඕනේ ඔබට අවශ්‍ය දේ. ඒ ගැන විවාදයක් නෑ. 

ඒත් මගේ මිතුරණි, මට දැනගන්න අවශ්‍ය බ්ලොග් දෙකක් අතර පරතරය කෙතරම්ද කියලයි. ඒ සඳහා ඔබ සැමගේ සහභාගීත්වය බලාපොරොත්තු වනවා. කරුණාකර ඔබේ අදහස අකුරු කරන්න.

මෙය පර්යේෂණයක් බව මා මුලින්ම කිව්වා. හොඳයි ඒ සඳහා යම් සංඛයලේඛනයක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඉතිං මම හිතුව සිංහල සයිබර් අවකාශයේ ජනප්‍රියම බ්ලොග් කිහිපයක බ්ලොග් පොස්ට් දැමීමේ වේගය ලැයිස්තු ගත කරන්න. මට අතපසු වූ බ්ලොග් එකක් වේ නම මෙහි සඳහම් කිරීම ඔබගේ වගකීම. මන්ද මෙය සහ - සහභාගීත්ව පර්යේෂණයක් බැවින්.

බ්ලොග් අඩවිය   ප්‍රවේෂණ  ගණන   පොස්ට් ගණන  දින ගණන *  වේගය**
කතන්දර                1,000,000         680                1140         පැ. 40
හිස් අහස                  905,000         130                  680       පැ. 125
මල් කැකුළු               442,000         467                  300          පැ. 15
මාරයාගේ හෝරාව     396,000         644                1000          පැ. 37
__________________________________________________________
* ආසන්නව, ** දල වශයෙන්.

ප : ලි : සමහර බ්ලොග් අඩවි වල ප්‍රවෙෂණ ගණකයන් එක් කර නොමැති බවින් මේ සඳහා තොර ගනු ලැබුවේ මට දැනෙන පරිදි වැඩිම ප්‍රවෙෂණ ගණනක් ඇති බ්ලොග් අඩවි බව කරුණාවෙන් සලකන්න.  ඉංග්‍රීසි Interactive කියන වචනයට පැහැදිලි සිංහල වචනයක් නැති නිසා "සහ-සහභාගීත්වය" කියන වචනය යොදා ගත්තා. මගේ වේගයත් දාන්නම්

ඇවිද්ද පය   :     42,000                   82                        242          පැ. 70

35 comments:

  1. නියම වැඩක් කරලා තියෙන්නේ...
    තව ටිකක් ඒ ගැන හොයලා පෝස්ට් එකක් දැම්මොත් එල..

    ReplyDelete
  2. හොඳ උත්සහයක්.... මම නම් සතියකට සාමාන්‍යයෙන් දෙකක් තමයි දාන්නෙ!

    ReplyDelete
  3. මට ලියන්න හිතුන වෙලාවට මම ලියනව ලොක්කා එච්චර්යි

    ReplyDelete
  4. මං අවුරුදු දෙකකටම ලියලා තියෙන්නේ පෝස්ට් 59යි.ඒ නිසා ඒ තරම් අවබෝධයක් මට නෑ ගැප් එක ගැන නම්.හැබැයි ලිංගිකත්වය ගැනයි දේශපාලනය ගැනයි ලියනවනම් සෑහෙන්න ගානක් කියවනවා..සිකුරාදට පල කරන ඒවාටත් කට්ටිය ආකර්ෂණය වෙනවා වැඩි.සති අන්තෙදි නිදහසේ කියවන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  5. හොද වැඩක් .. මම නම් මාසෙකට පොස්ට් 7 ක යන්නේ .. ඒත් ඉස්සරහදි ඒකත් අඩු වෙන්න ඉඩ තියෙනවා ..

    ReplyDelete
  6. @අබේ : බොහොම ස්තුතියි. ඔව් මුල 10 වත් හොයා ගන්න ඕනේ. ඒත් මම දන්නේ මේ ටික. නොදන්නා ඒවා දන්නා ගිහින් වැරදුනොත් ?

    @ලහිරු : සතියට දෙකයි කියන්නේ, දවස් 3 1/2 ට එකයි. මාසෙට 08 ක් හෝ 9 ක්. මගේ ගැන වගේම තමයි.

    @Raj : එක තමයි බොහෝ දෙනා කරන්නේ.

    @Sabith : ක්‍රිකට් වලටත් ප්‍රතිචාර හොඳයි. එකත් ඉතිං දේශපාලනේ වගේනේ.

    @චමී : බොහෝම ස්තුතියි.

    ReplyDelete
  7. සතියට තුනක් ප්‍රමාණවත්. රසිකයන්ට කියවන්න කාලයක් ලැබෙනවා.

    ReplyDelete
  8. @සෑමා : එතකොට මාසෙට 12ක් හෝ 13ක්. හ්ම්ම්.

    ReplyDelete
  9. මිට කලින් කීප විටක් මේ පැත්තෙ ආවත් මුකුත් කියල යන්න බැරි වුනා. මම ගොඩක්ම ආධුනිකයි. මාස 3ක් විතර වයස. මේ කාලය තුල මගේ බ්ලොගය හා තවත් මම නිතරම යන එන බ්ලොග් වලට අනුව ඉහත කියවුන විදිහට මාතෘකාව, ලියන්නාගෙ ශෛලිය හැකියාව, බ්ලොගය ඇතුල් වී තිබෙන සිංඩිකේටර් ප්‍රමාණය. ලියන්නාට සිටින බ්ලොග් අවකාශයේ මිතුරු ප්‍රමාණය වගේ දේවල් බලපානවා. මීට අමතරව නව ලිපි මුදා හරින දිනය දවසේ වේලාවද බලපානවා (සිංඩි තුල පාඨකයන් ගැවසීම අනුව) එමෙන්ම කාල වකවානු අනුවද පාඨක ප්‍රවේශයන් අඩු වෙනවා.
    වැදගත් ලිපියක්, වැදගත් සොයා බැලීමක්!

    ReplyDelete
    Replies
    1. මාතෘකාවෙන් පිට පැන්නෙනෙ. මම හිතන්නෙ දින 3කට ලිපිය බැගින් එකතු කිරීම ප්‍රමාණවත්.

      Delete
  10. වල්පල් නැතුව උඹගෙ, ආගිය කතා, කතන්දර, මාරයා දවසට එක ගානෙ දැම්මත් කමක් නෑ.

    ReplyDelete
  11. මම නම් වෙලාව තියෙන විදිහට තමා ලියන්නේ. හැබැයි ලියන තරම් වේගයෙන් publish කරන්න යන්නේ නැහැ කියවන්නන්ට කාලයක් දෙන්නත් එපැයි.

    ඒ වගේමයි මග හැරුණු හුඟක් කියවන්න බ්ලොග් කියවන අය එච්චර යොමු වෙන්නේ නැහැ කියලාත් මට හිතිලා තියෙනවා. ඒ නිසා සතියකට posts 2 ක් වගේ තමා publish කරන්නේ.

    ඒ publish කරද්දිත් සති අන්තයේ post එකක් පළ කරන්නේ සති අන්තයේ හුඟක් දෙනෙක්ට විවේකය තියෙන නිසා කියවීමේ පහසුවට. ඒ වගේමයි සතියේත් මැද වගේ අනෙක් post එක publish කරනවා.

    කොහොම වුණත් මාතෘකාව සිත් ඇදගන්නා සුළු නම් සති අන්තයේ වේවා සතියේ මැද වේවා කියවන පිරිස වැඩියි....

    @ අකලංක

    ආගිය කතා කියලා සඳහන් කරලා තියෙන්නේ මගේ blog එක කියලා විශ්වාස කරනවා. ස්තුතියි ඒ ගැන සඳහන් කළාට :)

    ReplyDelete
  12. mamanam post ekak danne dawas 3kata sarayak samanyen hawasa 3ta withara thama post karanne.e widiha awulak na kiyalai mata hithenne.

    ReplyDelete
  13. මාස එකහමාරට මම පෝස්ට් 5ක් දැම්මා. බ්ලොග් එකට සැලකිය යුතු පිළිගැනීමක් ලැබිලා තිබුණත් අවසාන පෝස්ටුවට ප්‍රවේශයන් අසාමාන්‍ය විදියට අඩු වෙලා තියෙනවා. හේතුව තාම හොයාගන්න බැරිවුනා.
    මට කොහොමත් ජනප්‍රිය සින්ඩිකේටර් වලින් සහයෝගයක් නෑ. විශේෂයෙන්ම සිංහල බ්ලොග් කියවනය-ලාංකීය සිතුවිලි-එකතුව සින්ඩිකේටර්වල මගේ බ්ලොග් එක තවමත් අප්ඩේට් වුනේ නෑ(සමහරවිට "හේතුවක්" ඇති)එහෙම තිබියදීත් මේ වන විට පෝස්ට් 5 ට ප්‍රවේශයන් 4880 ක් ලැබිලා තියෙනවා. මම හිතන්නෙ ඒක හොද තත්ත්වයක්.

    අහලා තියෙන ප්‍රශ්නයට මගේ පිළිතුර මාසෙකට පෝස්ට් 6ක් උපරිම වශයෙන් ඇති. එතකොට මගහැරෙන්නෙ නැතුව වෙනත් බ්ලොග් කියවන්නත් වෙලාව තියෙනවා.

    ReplyDelete
  14. @ගිමන් නිවන්නා : බොහොම ස්තුතියි කමෙන්ට් කලාට. ඔයත් එහෙනම් මගේ වේගෙන්ම යන්නේ.

    @අකලංක : මම ලියන දේ දවස ගානේ වුනත් කියවන්න සතුටු බව දන ගැනීම සතුටක්.

    @හසිත : ඔයාගේ රසික පිරිස දැන් ඉතාම පුළුල් නේ. මම තේරුම අරන් ඉන්න දෙයක් තමයි බොහෝ දෙනෙක් රාජකාරි ස්ථාන වලින් අන්තර්ජාලය පරිහරණය කරන බව. ඒ කියන්නේ සති අන්ටයටට වඩා සති අන්තයේ ප්‍රවේශ වීම් වැඩියි.

    @ අවතාර් : ඔයත් මගේ වෙගේන්මයි. හවස දාන ඒවා හුඟක්ම බලන්නේ විදේශික බ්ලොග් පරිශීලකයින් නේද?

    @සුමිත් : ඔයා බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නේ ඔයාගේ කැමැත්තට නෙවෙයි, රසිකයන්ගේ ඉල්ලීමට. එහෙම වුනාම අනිවාර්යයෙන් හොඳ කියවන්නන් පිරිසක් ලැබෙනවා. ඔයාගේ එක ප්පොස්ට් එකක් 900 කට වැඩි පිරිසක් කියවල තියෙනව සින්ඩිකේටර් වල සහයෝගයක් නැතුව. එක අනිවර්යයෙන්ම හොඳ ප්‍රවනතාවක්.

    ReplyDelete
  15. මටනං හිතෙන්නේ මුල් කාලයේ ටිකක් වේගයෙන් ලිවීම කරන්න ඕන. එතකොට තමයි කට්ටියට හුරුවෙන්නේ.
    අනික තමයි අපි අනිත් අයව කියවන එක අඩුවෙනකොට අපිවත් කියවන එක අඩුවෙනවා.
    ( මට ඕකට මරු උදාහරනයක් හම්බුනා අවාසනාවකට මට දැන් නම මතක නැ. එක දවසයි මම ඒ බ්ලොග් එක දැක්කේ අව්රැදු දෙකක් විතර වයස,ඒදා මම ඒ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියේව්වනා. සමස්ථයක් විදිහට ගත්තහම ඒක හොද බ්ලොග් එකක් ,මාසයකට තුනක් විතර ලියලා තිබුනා,හැබැයි කමෙන්ට් දෙකයි තූනයි )
    හේතූව තමයි උන්දැ කාටවත් කමෙන්ට් නොකිරීම.
    ආයෙත් මට ඒ බ්ලොග්එක ආයෙත් හොයාගන්න බැරි උනෙත් ඒහන්දා තමයි.
    හොදම දේ තමයි කට්ටිය කියවලා ඉවරකල පසු අලුතින් පෝස්ට් දැමීම

    ReplyDelete
  16. @අටම්පහුර : අනිත් අයගේ ඒවා කියවා කමෙන්ට් දැමීම සාර්ථක ක්‍රමයක්.

    ReplyDelete
  17. මේක හොඳ විනෝදාංභයක් වගේම ඇබ්බැහි වුනොත් කාලකණ්ණි(කාලේ කන) වැඩක් බව අමතක කරන්න එපා.

    ලියා පලකරන දෙයක් නැති වෙන්නේ නෑනේ. අවුරුදු ගණණාවකට පසුත් ඒවා තියෙනවා.

    අප කළ යුත්තේ බ්ලොග් කියවන්නන් ගේ පිරිස වැඩි කිරීමට උත්සාහ ගැනීමයි.

    ඔබ කියනව ලිවීමේ වේගය වැදගත් වෙන්නේ තමන්ගේ ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමටයි. ඒ සමගම කියන්න දේවල් විශාල ප්‍රමාණයක් ඇත්නම් ඒ සියල්ල නියමිත දිනකට කලින් ලියා පලකරන්න අවශ්‍යනම් ඔය වේගය කියන සංකල්පය වැදගත්.

    එහෙම නැතුව මට නම් ඒ මිම්මේ වැඩි ප්‍රයෝජනයක් නෑ.

    ReplyDelete
  18. හොඳ උත්සාහයක්. මමත් ඔබ වැනිම ආධුනිකයෙක් මගේ බ්ලොග පටන් අරන් හෙටට අවුරුද්දයි . මගේ උත්සාහය ලැබෙන වෙලාවෙන් ලිවීම. ඒ වගේම කියවන්න ලැබෙන වෙලාවට කියවීම. මේ සතියෙම කාගෙවත් බ්ලොග් වල කමෙන්ට් දැමීම කලේ නෑ හේතුව මම මේ සතියෙම උන්නේ මගේ පරිඝනකයෙන් ඈත් වෙලා ඒත් ඉඩ ලැබුන හැමවිටකම බ්ලොග් කියෙව්වා.
    …මුලදි නම් මම හිටු කියලා පොස්ට් දැම්මා ඒ අර අටම්පහුර කියුවා වගේ කට්ටියට හුරුවෙන්න. ඒ වගේම දැන් නම් ඇබ්බැහිබෙලා ඒ හින්දා ලියන්නේ සීමාවක් දාගෙන. දැන්නම් ලියන්නෙ මාසෙකට 5ක් වගේ තමයි
    …මම ආතම්මගේ පෙට්ටගම ලියන ලොකු ජෝන්

    ReplyDelete
  19. @කතන්දර : //අප කළ යුත්තේ බ්ලොග් කියවන්නන් ගේ පිරිස වැඩි කිරීමට උත්සාහ ගැනීමයි.//

    ඇත්තටම මේක මමත් පිලි ගන්න දෙයක්. මේක කියවන ප්‍රමාණය පන්දහසකට අඩුයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒත් ඔබ ලියන වේගෙය ඔබට ඉඩ ලැබෙන ප්‍රමාණය අනුව සිදු වෙන දෙයක් බව ඕනෑම කෙනෙක් පිලි ගන්න දෙයක්. මොකද අපි මේක කරන්නේ රස්සාවට නෙවෙයි කියන එක.

    @ලොකු ජොහන් : ඇත්තටම මගේ මතකයට එන බොහෝ දේ ලියන්න අමතක වෙනවා. සමහරවිට කොයි එක ලියන්නද කියල තොර ගන්න බැරුව ලත වෙන වෙලාවලුත් තියෙනවා.

    එහෙනම් "ආත්තම්මාගේ පෙට්ටගමට" සුබ පැතුම්.

    ReplyDelete
  20. අදමද මන්දා මේ පැත්තේ ආවේ....
    මමත් බැලුවා මගේ වේගේ ගැන,

    හිට්ස් - 99820
    පෝස්ට් - 89
    දින - 225
    වේගය - පැ.60

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. මම නම් සින්ඩිකේටර් වලින් බ්ලොග් site හොයන්නෙ නෑ.
    මම ගොඩක් වෙලවට බ්ලොග් හොයා ගන්නෙ මම බලන බ්ලොග් එකේ ෆොල්ලොවෙර්ස් බලලයි. මේක මන් කැමති බ්ලොග් වලින් එකක්. මම ගොඩක් වෙලවට follow කරන්නෙ තාක්ශනික ලිපි.මන් මේ site එකට ආවෙත් ATM ගැන තිබුන ලිපිය නිසා.

    ReplyDelete
  22. මගේ අදහසේ හැටියටනං කෙනෙක් මාසෙකට බ්ලොග් පෝස්ට් කීයක් ලියන්න ඕනිද කියන එක තීරණේ කරන්න ඕනි බ්ලොග් ලියන කෙනාමයි. මොකද බ්ලොග් ලියන්නයි කියවන්නයි තියෙන කාලෙ ගැන හරි අදහසක් තියෙන්නෙ තමන්ටම නිසා.

    ReplyDelete
  23. මමනම් දවසක් ඇර දවසක් තමා අන්කල් පෝස්ට් ලියන්නේ..
    කැම්පස් පටන් ගත්තම නම් කොහොමත්ම ඔහොම ලියන්න වෙන්නේ නැති වේවි.

    ReplyDelete
  24. @ඉන්ද්‍රජිත් : එහෙනම් කමක් නෑ.

    @අඩවි රජ : ඔයාගේ වේගය හොඳයි වගේ පේනවා.

    @ඇනෝ : ඇත්තටම මම තාක්ෂණික අංශයේ රාජකාරියක් කලත්, වැඩියෙන් ලියන්නේ විනෝදාස්වාදය සහිත ලිපි.

    @පරිකල්පන : දැනට හැමෝම කරන්නේ ඒකමයි. තමන්ට හරි කියල හිතෙන විදියට ලියනවා. නමුට් සමහර බ්ලොග් වල ලිපි එන වේගය වැඩියි. වේග වැඩි වෙනකොට කෙටි ලිපි එනවා නම් හොඳ. උද්දහරනයකට සඳරු ලියන්නේ ඉතා දිගු ඒවා. හැබැයි එයා ළඟ ළඟ ලියන්නෑ. මේ දෙක අතරේ සමබරතාවක් තියෙන්න ඕන කියන එකයි මගේ විශ්වාසය.

    @හිරු : ඔයා වගේ කෙනෙක් කම්මැලි නොවී ලියනවා කියන එකත ලොකු දෙයක් දුව. පුළුවන් විදියට කරන්න. මගේ උත්සාහය කුඩා පොදු ගුණාකාරය සොයා ගන්න.

    ReplyDelete
  25. ඉදිනෙදා කනබොන දේවල්, යාලුවො අතර වෙන දේවල් ලියනවා නම් මාසෙකට පෝස්ට් 100 වුනත් ලියන්න පුලුවන්... ඒත් මම මාසෙකට උපරිමය 7 යි. ඊට වඩා ලියන්න වෙලාවකුත් නෑ සහ.. ඕනෑවට වඩා ලියලා තේරුමකුත් නෑ... දෙපිට කැපෙන කුණුහරුප පෝස්ට් වලට පුදුමාකාර ඉල්ලුමක් තියෙනවා කියෙන කාරණය අනෙක් අයගෙ බ්ලොග් කියවලාම දැනගත්තා... මම පුද්ගලිකව කුණු රසයට එච්චර ප්‍රිය මනාප නැති නිසා ඒ සම්බන්ධ පෝස්ට් ලියන්න අදහසක් නෑ... ඔබේ උත්සාහයට මගෙන් සුභ පැතුම් !

    ReplyDelete
  26. මම නං සතියට දෙකක් විතර දාන්නෙ සාමාන්‍යයෙන්. අතරමැදදි විශේෂ හේතූන් නිසා දාන පෝස්ට් එකතුවුනාම මාසෙට 8-12ක් විතර. ඒ ගනන කියවන්නන්ට ප්‍රමාණවත්.

    වැඩිම පිරිසක් එන්නෙ සිංහල බ්ලොග් කියවනයෙන්. ඊට පස්සෙ ලාංකීය, අඹගහ, කකාගෙ බ්ලොග් රෝල....

    විනෝදාත්මක පෝස්ට් එකකට දවස් දෙකතුනකදි හිට්ස් 600-800ක් සහ දේශපාලන/සමාජීය/වෙනත් පෝස්ට් සඳහා හිට්ස් 300-500ක් වගේ ගනනක් තියෙන්නෙ.

    හැබැයි කවුරු කොහොම කිව්වත් හරියටම එක වේගයක් පවත්වාගන්න බෑ. හිතුනොත් ලියනව. නැත්තං නිකා ඉන්නව. :)

    ReplyDelete
  27. සුදීක මරු වැඩක්නෙ කරලා තියෙන්නෙ!
    මම බ්ලොග් ලියන්නෙ මට කියන්න දෙයක් තියෙන නිසා. ඒ වගෙම දහසක් නීතිරීති වලට යටත්වෙලා ලියන්න අකමැති නිසා. එහෙම වුනා නම් පත්තරේකට ලියනවනෙ. එතකොට මම නම් ප්‍රවීනයෙක් නෙවෙයි. මුලදි මගෙ වේගය හිතාගන්න බැරුව මම ටිකක් වැඩියෙන් පල කලා.දැන් සාමාන්‍ය, මගෙ අනිත් වැඩත් එක්ක මට පවත්වාගෙන යා හැකි වේගය සතියකට පොස්ට් එකයි. නමුත් මම සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බ්ලොග් දෙකක් එකවිට පවත්වාගෙන යන නිසා සතියට දෙකයි කියලා කියන්න පුලුවන්.
    ඒ වගෙම මම හැකි දුරට මගෙම නිර්මාණ, ඒ වගෙම දේශපාලන, ජාතිවාදී, ආගම්වාදී, කල්ලිවාදී නොවන ලිපි පලකරන නිසා මීට වඩා වේගයක් පවත්වාගෙන යන්න කොහොමත් අමාරුයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  28. @සිරා : මමත් ඔයා වගේ තමයි. පුළුවන් තරම් කියවන්නාගේ දැනුන වර්ධනය වන, ඔවුන්ගේ හිතේ බර සැහැල්ලු වන මාරාන්තික නොවන හිත සැහැල්ලු කල හැකි දෙයක් තමයි මම දෙන්න බලාපොරොත්තු.

    @හෙන්රි : ඕනෑම් කෙනෙක්ට අනන්‍ය තමන්ට ගැලපෙන වේගයක් අඳුනා ගත හැකියි. නවක කෙනෙකුට වැදගත් වෙයි කියල තමයි මේක ලියන්න අදහස් කලේ.

    ReplyDelete
  29. මට නම් හැඟෙන විදිහට දැන් මම ඇබ්බැහිවෙලා වගේ.. නතර කරන්නම් කරන්නම් හිතුවත් පාඨක ඉල්ලීම් නිසා ලියවෙනවා.. මට තියෙන ලොකුම අවුල තමයි ලියපු එව්වා පබ්ලිශ් නොකර තියාගන ඉන්න බැරිකම.. අත කහනවා වගේ.. :)

    මම නම් පාඨකයො ගොඩක් ඉන්න බ්ලොග් ලියන්නෙක් නෙමෙයි.. ඒත් මගේ අවුරුදු දෙකක අත්දැකීම් අනුව නම් බ්ලොග් පෝස්ටුවක උණුසුම් බව තියෙන්නෙ දවස් තුනයි.. දින තුනකින් කියවීම වගේම කමෙන්ටු ලැබීම අඩුම වෙනවා.. ඒක නිසා සතියකට පෝස්ට් දෙකක් දැමීම තමයි හොඳම.. ඒත් මම හිතන් ඉන්නෙ එයත් මාසෙකට පෝස්ට් 6කට සීමා කළොත් හොඳයි කියලා.. මට ලියන්න දේවල් තියෙනවා ඒත් ළඟ ළඟ ලිපි දැමීමෙන් පාඨකයන්ට ලිපි මඟහැරීමේ ගතිය වැඩී.. අනික නිතරම එකම බ්ලොගයට පැමිණීමත් එපා වෙන්න පුලුවන්..

    මට නම් හිතෙන හැටියට සතිඅන්තෙ ලිපි කියවන පිරිස අඩුයි.. මම සොයා බැලූ හැටියට පෝස්ට් එකකට උපරිම හිට්ස් ලැබෙන්නෙ අඟහරුවාදා හෝ බදාදා දවසක පලකළ විට..

    ස්තුතියි!

    ReplyDelete
  30. @හරි : ඔබ හොඳ අධ්‍යනයක් කල පාටයි. ඔබේ අදහස් වලට ස්තුතියි.

    ReplyDelete
  31. @රාජ් : මචං, සොරි, මම අද තමයි දැක්කේ උඹේ කමෙන්ට් එක ස්පෑම් වෙලා කියලා. ඔයා කියන කතාවෙන් සහ බොහෝ දෙන කියන දෙයින් පැහැදිලි වෙනවා දවස් තුනක් පහු වුනාම බ්ලොග් එකට එන අය බින්දුව වෙනවා කියල. ඒ කියන්නේ දවස් තුනකට සැරයක් වත් පොස්ට් එකක් දන්නා ඕනේ.

    ReplyDelete
  32. ටික දවසක ඉඳන් මේ බ්ලොග් එක කෙරවලක ඉඳන් කියවන්න කියලා හිතං හිටියට අද තමා ටිකක් ඒකට අත ගහන්න උනේ... ඒ කියවං යද්දියි මේක අහු උනෙත්...

    ඇත්තටම වැදගත් වැඩක් වගේම සෑහෙන්න මහන්සියක් දරන්න ඕන දෙයක් කරලා තියෙන්නේ...

    මටනං ඔය ගැන ඒ හැටිම අදහසක් නැහැ... සරල වැඩ පිළිවෙලක් තියෙන්නේ ලියං යද්දී... වෙලාවක් ලැබුනද දං ලියන්න ගන්නවා... හැබැයි හුගක් අර්ථපූර්ණ අරවා මේවා හිතට ගන්න යන්නේ නැහැ හිත දුවන අතේ ලියනවා... ලියලා ඉවර වෙනවත් එක්කම පබ්ලිෂ් බට්න් එක ඔබනවා... එයින් පස්සේ තමා එක පාරක් කියවලා අකුරුවල වැරදි එහෙමත් ටිකක් හරි හදන්නේ... ලියලා සේව් කරං ඉන්නවා බොහෝම අඩුයි... හුගාක් නිදහසේ හිටිය සමහර දවස්වල එක දිගට පෝස්ට් හතර දාපු දවසුත් තියෙනවා... කාල වකවානු තීරණය කරන්නේ මට ලැබෙන විවේක කාල අනුව...

    එක කාලයක් දවසක් ඇර දවසක් වැඩට යන හින්දා සහ මට ඒ දවස්වල ලැපක් නොතිබුණ හින්දා හැමදාම ඩියුටි නැති දවසට උදේට ඔෆ් වෙලා ඇවිත් උදේට මොනවා හරි හදං කාලා නවයට කොමා ඉස්සරහා වාඩි වෙලා හරියට පැයක් ලියනවා... දහය වෙද්දී ඒක පබ්ලිෂ් කරලා මං දවල්ට උයන්න යනවා.. ඒ කාලෙනං දවසක් ඇර දවසක් උදේ දහයට ලිපියක් ගියා වගේම හුග දෙනෙක් ඒකට හුරු උනා.. පහුගිය ටිකේම ලිපි දැම්මේ මහ රෑට... හැබැයි මං ටිකක් විතර තේරුන දෙයක් තමා දිනපතා ලිපි දැමීමෙදී උදේ 8ට ලිපියක් දාපුවම ඒකට එන කට්ටිය වැඩියි කියන එක... පහුවදා උදේ 8 වෙද්දී බ්ලොග් එකට සාමාන්‍යයෙන් එන අය ඒ ලිපිය කියවනවම තමා.. ඒ ඇර දෙයක්නං මට එහෙමට අහු වෙලා නැහැ... හැබැයි තාමත් ඔහේ ලියං යනවා... සමස්ථයක් හැටියට ගත්තම මගේ බ්ලොග් එකට කාලයයි ලිපි ගානයි එක්ක බැළුවම හිට්ස් ඒ හැටි නැහැ. ඒත් හිතේ සතුටට ලියන හින්දා හිට්ස් ගැන ඒ හැටි හිතන්න දෙයක් නැහැ. හිට්ස් ගැන විතරක් බලං ලියන්න ගියානං මේකට මේ තරං මහන්සි වෙලත් කට්ටිය එනවා මදිනේ කියලා හිතලා මේ ලියන එක නැවතිලා...

    ආ තව එකක් මගේ බ්ලොග් එකේ ගිය මාසේ තමා ලිපි අඩුවෙන්ම ගියේ පටන් ගත්තට පස්සේ..(ලිපි 08යි).. හැබැයි මාසයකට ලැබුන උපරිම හිට්ස් ගාන වන 35000ක් ලැබුනෙත් ගිය මාසෙමයි... එව්වා එහෙම වෙනකොට මේව්වා කොහොම වෙනවද කියලා හිතාගන්නනං ලේසි නැහැ...:D:D:D ආයේ ඉතිං ඔය දේවල් අතර ඇති සම්බන්ධය ගැන හිත හිත ඉන්න ඕනයෑ... ඒත් ඒ කාරණයත් සුදීකට මේ පරීක්ෂණයට උදව්වක් දෙයි කියලා හිතෙනවා...

    ReplyDelete
  33. මාරයා අයියා මගේ බ්ලොග් එක කියවල කමෙන්ට් දැමීම ගැන පලමුවෙන්න ස්තුති කරනවා. එක මට ලොකු හයියක්. තමන් ගැන ඇත්ත බය නැතිව ලියන්න මගේ හිතට හයිය ලැබුනේ මාරයාගේ හෝරාවෙන්.

    \\. හැබැයි හුගක් අර්ථපූර්ණ අරවා මේවා හිතට ගන්න යන්නේ නැහැ හිත දුවන අතේ ලියනවා... ලියලා ඉවර වෙනවත් එක්කම පබ්ලිෂ් බට්න් එක ඔබනවා... \\

    මමත් විශ්වාශ කරන දෙයක් තමයි, බ්ලොග් පාඨකයා වැඩියෙන්ම කැමති සරල ඒ වගේම හිනා වෙන්න පුළුවන් දෙයක් කියවන්න. මමත් මුලින්ම කලේ ලියල ඉවර වෙච්ච ගමන්ම පබ්ලිෂ් කරන එක. ඒත් පස්සේ දැක්ක ප්‍රිවීව් කියල බට්න් එකක් තියෙනවා කියල. දැන් එහෙම ප්‍රිවීව් කරලා බලල තමයි පබ්ලිෂ් කරන්නේ.

    \\උදේ 8ට ලිපියක් දාපුවම ඒකට එන කට්ටිය වැඩියි කියන එක... පහුවදා උදේ 8 වෙද්දී බ්ලොග් එකට සාමාන්‍යයෙන් එන අය ඒ ලිපිය කියවනවම තමා.. \\

    සෑමත් කියල තිබුණා මේ කතාව. උදේ අටට දැම්මම හිට්ස් වැඩියි කියල. ඒත් අපි වගේ අයට එහෙම වෙලාවක් කියල පොස්ට් දන්නා බා. මාරේ කියනවා වගේ සමහර වෙලාවට වෙන වැඩක් නැති වුනත් මූඩ් එක නැති නිසා ලියවෙන්නේ නෑ. අර වැඩිම හිට්ස් ගාන ලැබෙන්න ඇත්තේ ඔය මම හොයන කාරණය නිසා වෙන්නම ඇති. තව මාසයක් පොස්ට් අටක් දාලා බලන්න. එතකොට හිතා ගන්න පුළුවන්. අනිත් එක දැන් 650කට වඩා ලියලා හින්දා ආව අයට බලන්න දෙයක් තියෙනව.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...