Monday, August 6, 2012

මානසික අල්ලස් නැති - "සිංදු ආදරේ....."

අපේ රටේ විතර FM නාලිකා තිබෙන රටක් ලෝකයේ තව කොහේ හරි තියෙනවද කියන එක සැකයි. ඒ තරමටම ලංකාවේ FM  සේවාවල් හතු පිපෙන්න වගේ බිහි වෙනවා. පර්යේෂණ විකාශන කාලේ තමයි මේ කොයි සේවාව ගත්තත් හොඳම කියල නිතරම FM වලට ඇහුන්කන් දෙන රියදුරන් සහ ආරක්ෂක නිලධාරීන් පවසන්නේ. ඒ කතාව බොරුවක් නොවෙයි කියලා අපට හිතෙන්නේ බස් එකක දුර ගමනක් යන්න සෙට් වුණොත් පටන් ගත්තා මොහොතේ ඉඳල අවසානය දක්වා ඇහෙන කන් කරච්චලයට ඉඳ හිට හරි මුහුණ දෙන්න වුණාම. ඒ මදිවට අතරමැද තිබෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණය. මේ සේරෝටම වඩා ඉහළින් තියෙන්නේ මේවාගේ සේවය කරන ගිරා පෝතක කැලගේ කැඩිච්ච සිංහල කියවිල්ල. එයාල හිතන් ඉන්නේ මේවා අහගෙන ඉන්න යට හරි රසවත් කියලද දන්නෑ. 

කලක් සාම්ප්‍රදායික මට්ටමේ තිබ්බ ගුවන් විදුලි සේවාව මෙතනට ඇද දැමීමේ ප්‍රමුඛ කර්තව්‍ය සිදු කරේ සිරස FM  ආයතනය. එයාලගේ අඩි පාරේ යමින් අද වනවිට තවත් FM නාලිකා බොහොමයක් බිහිවෙලා. ඒවාටම හරි යන නවක පරපුර යයි කියා ගන්නා ගායන ශිල්පීන් කැල ඉදිරිපත් කරන හරසුන් ගීත. අනේ මන්දා අපේ වයසේ වැරද්දක්ද මන්දා මේවා අහගෙන ඉන්න බැරි. අර අපේ බ්ලොග් ශිල්පීන් කියනවා වගේ "මගේ බ්ලොග් එකේ දාන්නේ මට ඕන ඒවා, කැමතිනම් කියවන්න" කියල, මේ FM වලත් "අපි දාන්නේ අපිට ඕන ඒවා, උඹලට කැමතිනම් අහගෙන හිටපල්ලා" වගේ අදහසකින්. අකමැතිනම් ඔබට වෙනත් සේවාවකට මාරු වෙන්න පුළුවන් (අර සංගා සිම්පල් ප්ලෑන් එකකට මාරු වුණා වගේ) නැත්නම් වහ දාන්න පුළුවන්. එකම විසඳුමත් ඒක තමයි. හැබැයි ඔබ බස් රථයක දිගු ගමනක් යනවා නම් ඔබට විකල්පයක් නෑ(මතකයට එන්නේ "සිරි සංඝබෝධි මහත්මයා අනුරපුරේ සිට නැග ගත්තා සැප බස් රියක" කියන ගීතය).  හොඳ වෙලාවට දැන් ජංගම දුරකථන වල තිබෙන ඉයර්ෆෝන් එක කනේ ගහගෙන වෙන මොනවා හරි අහන්න පුළුවන්. එත් ඒ වගේ දේවල් වලට වැඩිය හුරුවක් නැති වියපත් උදවියට සිද්ධ වෙන්නේ මොන ක්‍රමයකට හරි නිදා ගන්න.

මේ කතාවට ප්‍රවේශය ලැබෙන්නේ රාජකාරියකට නුවර ගිහින් ඊයේ එන ගමන් අපේ වාහනේ රියැදුරා රේඩියෝව දැම්මහම ඇහුණ වැඩසටහන නිසා. මිනිහා ඕනනම් මට වඩා අවරුදු පහක් හයක් වැඩිමහල් වෙන්නැති. මිනිහා ඒකේ බොත්තම් වලට හිතට අල්ලලා ගිය සේවාවන් කිහිපයක් දාගෙන තිබුණා. මට කිව්වා ඔබල බලන්න හොඳ ඒවා තියෙනවාද කියලා. මම කිව්වා අර එක දිගට සිංදු යන සේවය හොඳයි. එකේ පරණ සිංදු වගේම ඉංග්‍රීසි හින්දි සිංදුත් යන නිසා හොදයි කියල. මිනිහත් ඒක අනුමත කරා. අපේ පිටුපස ආසන වල ඉඳගෙන හිටි අය සියලු දෙනා නිදි දෙව්දුවත් සමග නිසා අපට මේ කාර්යය පහසුවෙන්ම කරගෙන යන්න පුළුවන් වුණා. 

ඕන එකක් කියල මම හතරවෙනි බොත්තම එබුවා. ඒ මගේ එක පුරුද්දක් නිසා. අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන ක්‍රිකට් තරග නරබද්දී බොහොම දෙනා පළවෙනි සහ දෙවෙනි නාලිකා තෝරා ගන්න නිසා කරදර වෙන්නැතුව බලන්න පුළුවන් හොඳම එක හතරවෙනි එක කියල මම අත් හුරුවෙන් දැනගෙන හිටිය. ඒ පුරුද්ද තමයි මෙතැනදීත් ඉදිරියට ආවේ. මම කන් යොමාගෙන උන්නේ තව තත්පර කිහිපයකින් මේක මාරු කරන්න වෙයිද කියන දෙගිඩියාවෙන්. එත් මේක තරමක් වෙනස් සේවාවක් කියල මට හිතුණේ මෙතැන නිවේදිකාව බොහොම පැහැදිලි, හොඳ සිංහලෙන් කරගෙන යන වැඩසටහන ඇහුනාම. මම ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පොඩ්ඩක් වැඩි කරන ගමන්ම කිව්වා "මේකනම් ටිකක් හොඳ පාටයි" කියල. රියදුරු රාජාත් ඒක අනුමත කරා. දැන් අපි දෙන්නා මේක අහගෙන ඉන්නවා.

ඒ වැඩසටහන "සිංදු ආදරේ" ඇහුණ ගමන් කෙනෙකුට හිතෙන්න පුළුව මේකේ යන්නේ ආදර ගීත කියල. ඉතිං මටත් හිතුණේ එහෙමම තමයි. ඒත් එම නිවෙදිකාවගේ ප්‍රසන්න වචන හැසිරවීම නිසා දිගටම අහගෙන ආව. වෙලාව රාත්‍රී 8.45 විතර ඇති, ඒ වෙද්දී මට ඇතිවේගෙන ආපු නිදිමතත් නැතුව ගියා. ඔන්න නිවේදිකාව මෙහෙම කියාගෙන යනවා

"ප්‍රේමසිරි කේමදාසයන් ගීයකට තනු නිර්මාණය කරමින් සිටින විටක දකිනවා, එම වාදක මණ්ඩලයේ හිටිය අමරසිරි පීරිස් නැමති වාදන ශිල්පියා එම ගීතය හම් කරමින් ඉන්නවා. ඔහු ඒක පාරටම කියනවා අමරසිරි ඔයා තමයි මේ සිංදුව කියන්නේ කියල, ඒ වෙලාවේදී තීරණය කරලා. අමරසිරි පීරිස් කිව්වහම ඕනෑම කෙනෙකුට නිරායාසයෙන් මතකයට එන මේ ගීතය ලිව්වේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනෙවිරත්න. සුපුන් මේ ගීය නිර්මාණය වුණු ආකාරය ගැන විස්තරයක් කරන්න"

ඔය මම ලිව්වේ මට මතක විදියට. ශිවන්ති නැමති එම නිවේදිකාව එය ඉදිරිපත් කළේ මෙයටත් වඩා අනර්ඝ විදියට. ඊළඟට එම ගීතයෙහි පද රචනය වූ ආකාරය ගැන සුපුන් නැමති විචාරකයා ඉතාම විශිෂ්ට කථනයක යෙදුණා. මම මෙතන ඒවා ලියන්න ගියොත් ඔබට මා දෙන්න යන පණිවුඩය නිවැරදිව ලැබෙන්නේ නෑ. ඉන්පසු ඔවුන් "යදමින් බැඳ විලංගු ලා" කියන නන්දා මාලිනී මහත්මියගේ ගීතය ගැන මේ වගේම විචාරයක යෙදෙනවා. ඉන් පසුව "නොදොඩා ඉන්න එපා දේවී" කියන ජානක වික්‍රමසිංහ ගායනා කරන ගීතය ගැන. මම භාවනාවකට සම වැදිලා වගේ අහගෙන හිටිය. 

හොදයි මම සිංදු ආදරේ කියන ගීත නිර්මාණ ගැන කියවෙන වැඩසටහන ගැන ඔබට කිව්වා. හැබැයි මාතෘකාවේ තිබෙන මානසික අල්ලස් කියන්නේ මොකක්ද ? අල්ලස් කියන්නේ ඉතිං ජරාව දීමනේ. කෙනෙක් තව කෙනෙක්ට ජරාව දෙන්නේ නීත්‍යානුකුල නොවන මාර්ගයකින් වැඩක් කර ගන්න. හැබැයි සමහර ගෑනු ළමයි මීට අමතරව පාවිච්චි කරන වෙනත් උපක්‍රමයක් තමයි මේ මානසික අල්ලස් කියන්නේ. ඒ ගුරුවරුන්, සේවාදායකයන්, ආයතන ප්‍රධානීන් වගේ ඉහළ අයගෙන් මෙන්ම, තමන්ට සේවය සපයන වෙනත් පහළ අයව පවා ඇද බැඳ තබා ගන්නේ යොදාගන්නේ මේ ක්‍රමය වීම. ඒ තමයි ඔවුන්ට සහජයෙන් දීල තියෙන ගැහැණු කම , සුකොමල කම භාවිතා කිරීමන්. හැට හතර මායම් කියන්නෙත් මේකටද ? මේක ඊට වඩා ටිකක් අඩු එකක්, දුරකථනයෙන් හෝ සම්මුඛව කෙරෙන වචන හුවමාරුවේදී, ආදරබර වදන් ඉතා ප්‍රවෙසමට පාවිච්චි කිරීම තමයි මේ මානසික අල්ලස් කියන්නේ. මේවා ඇහුවාම ඉතිං ඉර ඉලක්කගත පුද්ගලයා ඇඹරිලා යනවා. අන්තිමට අර කෙල්ල කියන ඕනෑම දෙයක් කරන ගානට එනවා. 

FM වල ඉන්න ගිර පෝතිකාවනුත් මේක හොඳටම භාවිතා කරනවා "ඔයාට ආදරෙන්","මං ඔයාගේ ම* බට්ටි නැත්නම් කිරිල්ලි" වගේ නොකිවයුතු වචන පවා දාලා කරන්නේ  ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගන්න. ඒ වෙනුවෙන් එයාට ඉහළ වැටුපක් ලැබෙනවා. අහිංසක ශ්‍රාවකයන් මේකට අහු වෙලා කියන කියන විදියට කෙටි පණිවුඩ ඒ මේ අතට යවනවා. එකෙන් අර සේවාවේ අයිතිකරුවන්ට හොද්ද බොර වෙනවා. එයිනුත් නොනැවතී ගීත ඉල්ලන්න දුරකථන ඇමතුම් ගන්නවා. ඒ කියන්නේ අර මානසික අල්ලසට ශ්‍රාවකයා හොඳටම නතු වෙලා. 

මම සිංදු ආදරේ ගෙන එන ශිවන්ති කියන නිවේදිකාව සහ එහි විචාරය කරන සුපුන් තබන්නේ ඉතාම ඉහළ තැනකින්. ඔවුන් මුදල් වලට ආත්මය පාවා නොදෙන, හොඳ වචන සම්රභායක් සතුව තිබෙන නිවේදක/විචාර සුසංයෝගයක්. ඔවුන්ගේ මේ වැඩසටහන විකාශනය වන්නේ අලුතින් ආරම්භ කරන ලද "සිංහ FM" කියන සේවාව හරහා. මෙය සතියකට කිහිප වතාවක් විකාශණය වනවාද යන්න නිශ්චිත නෑ. එහෙත් මෙය මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ගෙන එන්නත් ඔවුන් කටයුතු යොදා තිබෙනවා ඒ අඟහරුවාදාට මව්බිම පත්‍රයත් සමග නිකුත් වන අතිරේකයකින්. 

ඔබත් මා මෙන් FM අසා හෙම්බත් වුවෙක් නම් මෙන්න කදිම අවස්ථාවක්, බය නැතුව මේ වැඩසටහනට ඒක පාරක් හරි ඇහුම්කන් දෙන්න. මම සහතික කරනවා හරවත් යමක් ඔබට ලැබේවි කියා.  

ප:ලි:  මෙය කාට හෝ කඩේ යාමක් ලෙස නොසළකන්න. මා සවන් දුන් මේ වැඩසටහ සහ නිවේදිකාව/විචාරකයගේ විශේෂත්වය ඔබටත් ලබා දීමේ අරමුණින් ලිව්වෙමි. FM 107.9 ඔස්සේ ඔබටද එක විය හැක. 

සිංහ FM  වෙබ් අඩවිය : http://singhafm.com/
සිංහ FM ෆේස්බුක් පිටුව :http//www.facebook.com/singhafm
ශිවන්තිගේ ෆේස්බුක් පිටුව : https://www.facebook.com/shiwanthisinghafm

මේ ඉන්නේ ශිවන්ති අයගේ පින්තුරය ගත්තේ  ඉහතින් තියෙන ඇයගේ ෆේස්බුක් පිටුවෙන්.



මේ ඉන්නේ සුපුන් රත්නායක පින්තුරය ගත්තේ එයාගේ ෆේස්බුක් ප්රෝෆියිල් එකෙන්.


25 comments:

  1. මේ තත්ත්වය තව අලුත් නිසාමද දන්නෙත් නෑ! හැබැයි දිගටම උසස් රස වින්දනයක් දෙන්න පුලුවන් නම් ගෙවල් ට්‍රැක්ටර් බඩු මලු හතර මහා නිධාන නැති උනත් මිනිස්සු මේ නාලිකාව වටේ එකතු වේවි!

    ReplyDelete
  2. මං නම් අහන්න කැමති වැඩියෙන්ම සිංදු යන ඒවාට විතරයි.කියවන ඒවා එකක්වත් අහන්න කැමති නැහැ ඒ අතින් රිදම් එෆ්.එම් ටිකක් හොඳයි.හැබැයි අතරින් පතර කියවන්නේ අර සිංග්ලිෂ් වලින්ම තමා.

    ReplyDelete
  3. ________________________________________________________________________________
    @sabith : නාලිකාව කෙසේ වෙතත් වැඩසටහනේ ගුණාත්මක බව දිගටම රන්දවගත්තොත් හරි.
    ________________________________________________________________________________
    @නිශාන් : මමත් සිංදු විතරක් යන ඒවා අහන්න හිත හදාගෙන ඉන්නකොට තමයි මේ වැඩසටහනට සවන් දුන්නේ.
    ________________________________________________________________________________

    ReplyDelete
  4. මටත් අහම්බෙන් දවසක් ඔය චැනල් එක ඇහුනා
    මොකක්ද අමුත්තක් තියනවා තමා

    ReplyDelete
  5. මට මේ ගැන මොකුත් කියන්න බෑ, ඒත් ඔය විදියට වෙනවනම් හොදයි.....
    මට මතක බණ්ඩාර කේ විජේතුංග, කේ ඩී කේ ධර්මවර්ධන, ප්‍රෙම් වගේ අයගෙ පැහැදිළි නිරවුල් භාෂාවයි - ඉදිරිපත් කිරීමයි...

    ReplyDelete
  6. @අටම්පහුර : ඉරිදා රෑ 7.00 ට තමයි මේ වැඩසටහන යන්නේ.

    @සුමිත් : මම කියනවට මේ ඉරිදා 7.00 ට අහල බලන්න.

    ReplyDelete
  7. මම ගුවන්විදුලියට සවන් දීම අත්හැරියෙ තමන් කැමති ගීතයක් අහන්න ඔච්චර දුක් විඳින්න ඕනද කියල හිතුන නිසා (ඇයි ඉතිං නිවේදකයන්ගේ සමයං හා අනුග්‍රාහක දැන්වීම් වලට ගුවන් ගත කරන්නෙ ගීතයෙන් කොටසයිනෙ).
    විස්තරයට ස්තූතියි! බලමු මේකවත් පිරියක් ඇතිව අහන්න පුලුවන් වෙයිද කියල!

    ReplyDelete
  8. හොදයි අපි අහලා බලමු ,,ඔය වැඩසටහන නමින් පත්තරේ යන ලිපිය නම් කියාවලා තියෙනවා. ඒකේ නම් වැරැද්දක් නෑ

    ReplyDelete
  9. @ගිමන් නිවන්නා : පළමු වතාවටයි ඔයාගේ කමෙන්ට් එකක් දැක්කේ. මම හරිද ? මමත් හිටියේ ඔය ඉන්න තැනමයි.

    @රතු රජරට : අහල බලන්න. ඔයත් මගේ බ්ලොග් එකට එකතු කරන පලවෙනි කමෙන්ට් ඒක මම හිතන්නේ. මමත් මේ දැන් ඒ ලිපිය කියෙව්වා. ඉතාම වටිනා ලිපියක් ඒක. ලියන්නේ සුපුන් රත්නායක.

    ReplyDelete
  10. ඉරිදා රෑ 7 ට FM දෙරණේ රෑ ඉරපාන අහලා බලන්න. සිංදු ආදරේ තරම් හොඳ නැත්නම් ආයිත් චැනල් එක මාරු කරන්න.

    ReplyDelete
  11. @පැතුම් : මම කිව්වේ මට අහන්න ලැබුන සරල එඅත් උසස් වැඩසටහනක් ගැන. ඔය කියන වැඩ සටහනත් හොඳ වෙන්න පුළුවන්. මොනවා වුනත් ඒ ගැන දැනුම් දුන්න එකට ස්තුතියි.

    ReplyDelete
  12. බහුතරය දැන් ගුවන් විදුලිය අහන්නෙ නෑ.. ඇහුනොත් මිසක...

    ReplyDelete
  13. @සිරා: මටත් ඇහුන තමයි.

    ReplyDelete
  14. ඉස්සර විනෝදාංශ අතරේ ගුවන් විදුලියට සවන් දීමත් තිබුනා..ඒත් දැන් නම් මේවා අහගෙන ඉන්නවට අපිට කීයක් හරි දෙන්න ඕන නිසයි මේ රේඩියෝ චැනල් තෑගි පිට තෑගි දෙන්නෙ..

    රේඩියෝ කෙරුවාව බිස්නස් එකක් නම් එයාලගෙ භාණ්ඩ/සේවා විකුණන වෙළඳපලේ සෙග්මන්ට් එකක් තියනවා..

    මම හිතන්නෙ මේ සෙග්මන්ට් එකට අපිව අයිති නෑ..ඒ නිසයි අපිට මේ වැඩසටහන් ගොඩක් අහගෙන ඉන්න බැරි...

    කොහොම වුනත් ස්තුතියි ඔත්තුවට..හවස 6 ඉඳන් වී එෆ් එම් එකෙත් ලස්සන ගීත ප්‍රචාරය වෙනවා..(වෙළඳ දැන්වීම් අඩුවෙන්)

    ReplyDelete
  15. @රූ : ඇත්තට ගෙදරක ගෘහනියකට වඩාත් උචිත රේඩියෝව තමයි. මොකද කුස්සියේ වැඩ කරන ගමන්ම සවන් දෙන්න පුළුවන් නිසා. එත් මේ බහුබූතකරණය නිසා දැන් නැවතත් රේඩියෝව කුණුමුල්ලට විසි වෙන තත්වයකට ඇවිත්.

    ReplyDelete
  16. නිවාඩුවට ආවම බලමු. මම නම් අහන එකම FM channel එක Gold FM. මම කැමති සින්දු විතරයි යන්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  17. සුදීක සුදු මහත්තයෝ, අනේ මේ කමෙන්ට් බොක්ස් එක දාමුකො පෝස්ට් එක යටි එම්බෙඩ් කරලා. මේකෙ දුර ගමනක් ගිහන් ආපහුත් එන්න ඕනෙ. ඇවිත් රිෆ්‍රෙෂ් කරන්නත් ඕනෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  18. ________________________________________________________________________________
    @matahithenahatty : හරි ආවම බලමු.
    ________________________________________________________________________________
    @Dude : හරි මම හැකි ඉක්මනට දාන්නම්.
    ________________________________________________________________________________

    ReplyDelete
  19. අපිට ක්ලාස් එකේදි කිවුවේ ගුවන් විදුලිය යන්න පරිණාමය වී ඇති බවත්
    එය අසන මාධය යන සංකල්පයෙන් මිදී ඇසෙන මාධ්‍ය යන්න වූ බවත්ය,
    ඇසෙන මාධ්‍ය සංකල්පය යටතේ ඉන්න සෙට් එක තමා කච බච ගගා ඉන්නේ.
    අසන මාධ්‍ය අය තමා ඔය විදිහට හිතට දැනෙන විදිහට විස්තරාත්මකව ඉදිරිපත් කරන්නේ..
    ඒ නිසයි තම තමන්ගේ රසය අනුව මාධ්‍ය තෝරා ගත යුතු වෙන්නේ..

    ReplyDelete
  20. ඔය දාලා තියෙන්නෙ කමෙන්ට් බොක්ස් එක. තෑන්ක් යූ වේවා. :)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  21. @තරියා අබේ : මම හිතන්නේ ඔය කරන මුල්ම කමෙන්ට් එක. මම කියපු කතාව සංක්ෂිප්තව කියනවා නම් ඕක තමයි කියන්න වෙන්නේ.

    @Dude : ඔයා මේ වගේ ඉල්ලීමක් කරහම නොකර කොහොමද.

    ReplyDelete
  22. මට කියන්න ඕන උනෙත් රෑ ඉරපාන අහලා බලන්න කියලා විතරයි. කලින් කමෙන්ට් එකේ දීපු ලින්ක් එකෙන් ගිහින් පරණ වැඩසටහන් ඔක්කොම අහන්න පුළුවන්. ඉරිදාට චැනල් එක මාරු කරන්න අකමැති නම් සෙනසුරාදා උදේ 8.00 ට රෑ ඉරපාන නැවත විකාශයක් තියෙනවා.

    ReplyDelete
  23. @anonumous : අපි මෙතන කරන්නේ නාලිකා සංසන්දනයක් නොවෙන නිසා අපිට තවත් වැඩසටහනකට සවන් දීමේ කිසි ගැටළුවක් නෑ. මටත් ආසයි ඒකත් අහන්න. එහෙත් මං මේ වැඩසටහන ගැන කියනකං කවුරුත් ඔය ගැන කිව්වේ නෑ. එහෙම කියල තිබුනානම් අහනවා. මම මෙතන මතු කරන්න උත්සාහ කලේ ඒ කාලේ ප්රෙමකීර්තිලා, කේ.ඩී.කේ. ලා ගිය මග යන වර්තමාන පරම්පරාවක් ඉන්නවා කියන එක ඇත්තටම සතුටුයි.

    ReplyDelete
  24. අපි ඉදිරිපත් කරන වැඩසටහන් වල හොද නරක දන්නෙ අහන් ඉන්න අසන්නන්...
    හැබැයි ගොඩක් දෙනෙක් අහනව විතරයි ....අදහස් කියන්නෙ හරිම අඩුවෙන්.
    ඒ නිසා සුදීක සිoදු ආදරේ ගැන ලියපු මේ blog සටහන ගොඩක් වටිනවා..
    පුලුවන් වෙලාවක ආයෙත් සින්දු ආදරේ ගැන අදහස් ඉදිරිපත් කරනකල් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  25. @shiwanthi : මේ සංවාදයට ඔබ එක් වීම සතුටට කාරණයක්. තවමත් මා මෙම වැඩසටහනේ කොටස් දෙකක් පමණයි අසා තිබෙන්නේ. ඇත්තටම එය ගීත පිලිබඳ පර්යේෂණයක් වගෙයි. ඔබ දේපල එය ඉතා සිත්ගන්න සුළු අකාරයකට ඉදිරිපත් කරනවා. එම ගුණාත්මක බව දිගට පවත්වාගන්න දිරි දීමක් වශයෙන් මේ ලිපිය සලකන්න. ඉදිරියේදී කිසියම් වෙනසක් දුටුවොත් මා අනිවාර්යෙන්ම නැවත ලියනවා.

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...